වෙබ් ලිපිනය:

Showing posts with label ශ්‍රමික ප්‍රේෂණ. Show all posts
Showing posts with label ශ්‍රමික ප්‍රේෂණ. Show all posts

Tuesday, August 23, 2022

ශ්‍රමික ප්‍රේෂණ වැරදිනම් ඩොලර් ආවේ කොහෙන්ද?

මහ බැංකු අධිපතිවරයා විසින් බෝම්බයක් අත ඇරලා තිබෙනවා. මහ බැංකුව විසින්ම නියමාකාරයෙන් නිෂ්ක්‍රීය කළේ නැත්නම් මේ බෝම්බයෙන් තුවාල වෙන්නේ මහ බැංකුවටමයි. මම හිතන්නේ දැනටමත් ටිකක් තුවාල වෙලා.

මුදල් ප්‍රතිපත්ති තීරණ දැනුම් දීමෙන් අනතුරුව ශ්‍රමික ප්‍රේෂණ ගැන මහ බැංකු අධිපතිවරයාට ප්‍රශ්නයක් යොමු වෙනවා. එයට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපතිවරයා විසින් කියන්නේ ශ්‍රමික ප්‍රේෂණ විදිහට මහ බැංකුව විසින් කාලයක් තිස්සේ ඉදිරිපත් කළ ගණන් හිලවු නිවැරදි නැති බවයි. ඒ අනුව, ඇත්තටම ශ්‍රමික ප්‍රේෂණ වල අඩුවීමක් සිදු වී නැති බව ඔහු කියනවා. සිදු වී තිබෙන්නේ සංඛ්‍යාලේඛණ වඩා නිවැරදි වීමක්. 

මේ ප්‍රකාශය කරන අවස්ථාවේ වැදගත්කමත්, වත්මන් මහ බැංකු අධිපතිවරයාට ලංකාවේ විදේශ අංශය ගැන තිබෙන පළපුරුද්දත් සැලකූ විට මේ කියන කතාව නොසලකා හැරිය හැකි ප්‍රකාශයක් නෙමෙයි. මෙහෙම කතාවක් එළියට දැම්මේ හොඳින් හිතාමතා විය යුතුයි. ඒ පදනම මත, අදාළ ප්‍රකාශය හේතුවෙන් බොහෝ දෙනෙකුට මතු වී තිබෙන අතුරු ප්‍රශ්න වලට මහ බැංකුව පැත්තෙන් ඉතා ඉක්මණින් පිළිතුරු ලැබෙයි කියා හිතනවා.

ශ්‍රී ලංකාව මහ බැංකුව විසින් පමණක් නොව ලංකාවේ හා ලෝකයේ වෙනත් එවැනි ආයතන විසින් ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛණ බොහොමයක් පරම සත්‍යයන් නෙමෙයි. ඇතැම් සංඛ්‍යාලේඛණ වඩා නිවැරදියි. ඇතැම් ඒවා දළ ඇස්තමේන්තු. සංඛ්‍යාලේඛණ පිළියෙළ කිරීමේදී කරන උපකල්පන මතත් සංඛ්‍යාලේඛණ වෙනස් වෙනවා.

මෙය පැහැදිලි කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මාස්පතා ඉදිරිපත් කරන සංචාරක ඉපැයීම් පිළිබඳ ඇස්තමේන්තු යොදා ගන්න පුළුවන්. මේ ඇස්තමේන්තු වල නිරවද්‍යතාවය ඉතාම අඩුයි. ඇස්තමේන්තු හදන විදිහ පැහැදිලි කළාට පස්සේ ඒ ඇයි කියන එක ගොඩක් අයට තේරෙයි.

මේ ඇස්තමේන්තුව හදන්නේ මෙහෙමයි. පළමුව එක් එක් මාසය තුළ රටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය හොයා ගන්නවා. ඊට පස්සේ සංචාරකයෙකු දවසකට වියදම් කරන සාමාන්‍ය ඩොලර් ප්‍රමාණය සංචාරකයෙකු ලංකාවේ ගත කරන සාමාන්‍ය දින ගණනෙන් වැඩි කර එක් සංචාරකයෙකු විසින් වියදම් කරන ඩොලර් ප්‍රමාණය ඇස්තමේන්තු කරන්න පුළුවන්. ඔය ගණන් දෙක වැඩි කළාම සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් වලින් ඇස්තමේන්තු කළ හැකියි. අන්තිමට අදාළ මාසයේ පැවති නිල විණිමය අනුපාතය අරගෙන ඔය ගණන රුපියල් කළ හැකියි. ඒ කියන්නේ මේ වගේ වැඩක්.

සංචාරක ඉපැයීම් = සංචාරකයින් ගණන * දිනකට වැය කරන ඩොලර් ගණන * ගත කරන දින ගණන * ඩොලරයක මිල 

පළමුව හොයා ගන්න තියෙන්නේ රටට පැමිණි සංචාරකයින් ගණනනේ. රටට එන සෑම විදේශ පුරවැසියෙකු හා ද්විත්ව පුරවැසියෙකු විසින්ම රටට ඇතුළු වීමේදී කාඩ් එකක් පිරවිය යුතුයි. එහි රටට පැමිණීමට හේතුව සලකුණු කරන්න තිබෙනවා. ඔය තොරතුරු ආගමන පාලන නිලධාරීන් විසින් පරිගණකයට ඇතුළු කරන නිසා "Holiday" සඳහා ලංකාවට එන ගණන ලේසියෙන්ම ගණන් කර ගන්න පුළුවන්. විදේශ පුරවැසිභාවය ලබා නැති ස්ථිර පදිංචිකරුවන් මේ ඇස්තමේන්තුවට අහු වෙන්නේ නැහැ. කොහොම වුනත්, ඔය ඇස්තමේන්තුවේ ලොකු වැරැද්දක් නැහැ.

ලොකු ඇස්තමේන්තු වරදක් සිදු වෙන්නේ සංචාරකයෙකු විසින් දිනකට වැය කරන ඩොලර් ගණන හා ගත කරන දින ගණන හොයා ගන්න යද්දී. මේ ගණන් ඇස්තමේන්තු කරන්නේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය විසින් වසරකට වරක් කරන සමීක්ෂණයකින්. සාමාන්‍යයෙන් රටින් පිටවන සංචාරකයින් 5000කගේ පමණ නියැදියක් මේ සඳහා යොදා ගන්නවා. මහ බැංකුව විසින් කරන්නේ ඒ සමීක්ෂණය මගින් හොයා ගන්නා සාමාන්‍ය අගයයන් සියලුම සංචාරකයින් සඳහා යොදා ගැනීමයි.

උදාහරණයක් විදිහට පසුගිය ජූලි මාසයේදී සංචාරකයින් 47,293 දෙනෙක් රටට ඇවිත් තිබෙනවා. සංචාරක ප්‍රවර්ධන අධිකාරිය විසින් කර තිබෙන අලුත්ම සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව එක් සංචාරකයෙකු දින 10.23ක් රටේ ගත කරන අතර දිනකට ඩොලර් 175.8ක් වියදම් කරනවා. ඒ කියන්නේ ඩොලර් 1798.43ක්. මේ අනුව, සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 85.1ක් ලෙස ඇස්තමේන්තු කරලා පසුව එම මුදල රුපියල් වලට හරවන එක තමයි වෙන්නේ. 

මේ ක්‍රමයේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නය සමීක්ෂණය සඳහා යොදා ගන්නා නියැදිය රටට එන සංචාරකයින්ව නිවැරදිව නිරූපණය කරන බවට සහතිකයක් නැති වීමයි. එය එසේ නොවන බව පැහැදිලිව පේනවා. මේ වගේ ප්‍රශ්නයක් සංඛ්‍යානමය ක්‍රම මගින් නිවැරදි කර ගත හැකියි. හැබැයි ටිකක් මහන්සි වෙන්න වෙනවා. එහෙම නැත්නම් වෙන්නේ කලින් කී ඇස්තමේන්තුවේ තිබෙන එක් සංචාරකයෙකුගේ සාමාන්‍ය වියදම් කිරීම් වල තිබෙන වැරැද්දක් නිසා සංචාරක ඉපැයීම් ඇස්තමේන්තු ඩොලර් බිලියන ගණනකින් එහා මෙහා වෙන්න පුළුවන් වීමයි. 

උදාහරණයක් විදිහට 2021 සමීක්ෂණය අනුව එක් සංචාරකයෙකු දින 15.1ක් රටේ නැවතී සිට දිනකට ඩොලර් 215.8ක් වැය කරනවා. ඒ කියන්නේ ඩොලර් 3258.58ක්. 2022දී මේ ගණන 45%කින්ම අඩු වෙලා. සංචාරකයින් මිලියනයක් රටට ආවානම් ඩොලර් බිලියන 1.46කින් සංචාරක ඉපැයීම් ඇස්තමේන්තුව අඩු වෙලා. 

වඩා නිවැරදි හෝ අලුත් තොරතුරු ලැබුණු විට කලින් හදපු ඇස්තමේන්තු වෙනස් වෙන එක සාමාන්‍ය දෙයක්. එහි කිසිම වංචාවක් නැහැ. වංචාවක් වෙන්නේ ඒ වගේ වෙලාවක ඇස්තමේන්තු වෙනස් නොකර හිටියොත්. ඊටත් වඩා වංචාවක් වෙන්නේ ඇස්තමේන්තු වෙනස් කරන එක වාසිදායක වෙලාවට පමණක් කරලා අවාසිදායක වෙලාවට නොකර හිටියොත්. 

මහ බැංකු අධිපතිවරයා කියන විදිහට ශ්‍රමික ප්‍රේෂණ ඇස්තමේන්තු වැරදිලා තියෙන්නේ ඇතැම් වාණිජ බැංකු විසින් ලබා දී තිබෙන දත්ත වැරදි නිසා. ඒ බැංකු විසින් කාලයක් තිස්සේ අපනයන වෙනුවෙන් ලැබෙන ඩොලර් ප්‍රමාණත් ශ්‍රමික ප්‍රේෂණ විදිහට වාර්තා කරලා. මෙය නොසැලකිල්ල නිසා සිදු වූ දෙයක් වෙන්න පුළුවන්. මහ බැංකුව දත්ත ඉල්ලුවහම ලේසියෙන් පිළියෙල කළ හැකි දත්ත මොනවා හෝ දීලා වැඩේ ගොඩ දා ගත්තා වෙන්න පුළුවන්. වැඩේ ගැස්සිලා තියෙන්නේ ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ වලින් කොටසක් මහ බැංකුවට දෙන්න කියා නියෝග කළාට පස්සේ. මම මේ කියන්නේ මහ බැංකු අධිපතිවරයා විසින් කියන කතාව.

මේ කියන දේ ඇත්ත වෙන්න පුළුවන්. එහෙමනම් මෙතෙක් ශ්‍රමික ප්‍රේෂණ කියා කියපු ගණන් ඇත්තටම රටට ඇවිත් නැහැ. මහ බැංකු වාර්තා වල විතරක් නෙමෙයි මහ බැංකුවෙන් අරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන විසින් කාලයක් තිස්සේ ප්‍රසිද්ධ කරලා තිබෙන සංඛ්‍යාලේඛණත් වැරදියි. මොන විදිහකින් හෝ වැරැද්දක් වෙලානම්, දැන් වැරැද්ද අහුවෙලත් තියෙනවානම්, කරන්න තියෙන්නේ දැන්වත් වැරැද්ද හදන එකයි.

හැබැයි මේ කතාවත් එක්ක අතුරු ප්‍රශ්න කිහිපයක්ම මතු වෙනවා. විශේෂයෙන්ම 2004-2014 අතර කාලයේ ශ්‍රමික ප්‍රේෂණ ඉතා සීග්‍රයෙන් ඉහළ ගියා. ඩොලර් බිලියන 1.5 මට්ටමේ තිබුණු ශ්‍රමික ප්‍රේෂණ ඩොලර් බිලියන 7 පහු කළා. දැන් ඔය කියන විදිහට ඇත්තටම රටට ඇවිත් තියෙන්නේ ඔය ගණනින් බාගයක් පමණයි. නමුත්, ශ්‍රමික ප්‍රේෂණ විදිහට රටට ආවේ නැත්නම් ඔය ඉතුරු ඩොලර් ප්‍රමාණය රටට ආපු විදිහකුත් තියෙන්න ඕනෑනේ. අවුරුද්දකට ඩොලර් බිලියන 3.5 පමණ බැගින් අවුරුදු 10ක් ගණන් හැදුවොත් ඩොලර් බිලියන 35ක්!

සමහර අය ගණන් හදලා රටෙන් පන්නපු ඩොලර් ප්‍රමාණ ගැන කියනවා. දැන් මේ කියන කතාව ඇත්තනම් ඩොලර් බිලියන 35ක් හෝ වැඩි ගණනක් රට ඇතුළට හොරෙන් පන්නලා තියෙනවා. ඒ මොනවාද? කළු සල්ලිද?

මම දන්නා තරමින් ආනයන, අපනයන ආදිය පිළිබඳ සංඛ්‍යාලේඛණ ලබා ගන්නේ රේගුවෙන්. ඒ ගණන් වල ලොකු වැරැද්දක් තියෙන්න විදිහක් නැහැ. රජයට ලැබෙන ණය, ආයෝජන, සෘජු විදේශ ආයෝජන, කොටස් වෙළඳපොළ ආයෝජන වගේ දේවලුත් හරියටම වගේ දන්නවා. ගෙවුම් ශේෂ ගිණුම් ඇතුළේ ලොකු ඇස්තමේන්තු වරදක් තියෙනවානම් තියෙන්න පුළුවන් සංචාරක ඉපැයීම් වල පමණයි. නමුත් සංචාරක ඉපැයීම් දැනට තිබෙන ඇස්තමේන්තු වලට වඩා බිලියන තුන හතරක් වැඩි වෙන්න පුළුවන්ද? පැහැදිලි කරන එක මහ බැංකුවේ වැඩක්. 

Thursday, July 28, 2022

ඩොලර් බැලන්ස් කිරීමේ ප්‍රශ්නය


තව දුරටත් ඉතිරිව තිබෙන ණය ගෙවීමේ ප්‍රශ්නය ගැන කලින් ලිපියෙන් කතා කළා. ඒ ප්‍රශ්නය කිසිසේත්ම පැත්තකින් තියන්න පුළුවන්කමක් නැතත්, සාකච්ඡාව ඉදිරියට ගෙන යාමේ අරමුණින්, ණය ප්‍රශ්නය පැත්තකින් තියමු. එක ඩොලරයක්වත් ණය ආපසු ගෙවන්නේ නැහැ කියා හිතුවොත් ඊළඟට ඉතිරි වන ප්‍රශ්නය මොනවා හෝ විදිහකින් රටට ලැබෙන ඩොලර් ටික පිරිමහගෙන කළමනාකරණය කර ගැනීමේ ප්‍රශ්නයයි. එය කළ හැකිද?

මෙය කළ නොහැකි තරම් අසීරු කාර්යයයක්. එහෙත්, බාහිර උදවු නොලැබුණොත් වෙන කරන්න කිසිම දෙයක් නැහැ.

අපි සංඛ්‍යාලේඛණ එක්කම ප්‍රශ්නය දිහා බලමු. මේ පසුගිය වසරේ (2021) සංඛ්‍යාලේඛණ.

අපනයන ආදායම - ඩොලර් මිලියන 12,502

ආනයන වියදම - ඩොලර් මිලියන 20,637

වෙළඳ ශේෂ හිඟය - ඩොලර් මිලියන 8,136 

මේ ගාණට ආනයන වියදම් සීමා වී තිබෙන්නේත් නෛසර්ගික ලෙස නෙමෙයි. වාහන ආනයනය ආදිය සම්පූර්ණයෙන්ම නවත්වා තිබියදී. නැවත වාහන ආනයනය වගේ දේවල්නම් දැන් හීන පමණක් නිසා දැන් ඉන්න තැන ඉඳලා කතාව පටන් ගනිමු.

දැන් ඉහත කී පරිදි ඩොලර් මිලියන 8,136ක වෙළඳ ශේෂ හිඟයක් තියෙනවා කියන්නේ ඔය ඩොලර් ප්‍රමාණය වෙන කවර හෝ ආකාරයකින් රටට එන්න ඕනෑ. එහෙම මොන විදිහකින් හෝ ඩොලර් රටට එනවානම් වෙළඳ ශේෂ හිඟයක් තියෙන එක ප්‍රශ්නයක් නෙමෙයි. 

පසුගිය වසර තුළ ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 5,491ක් රටට ආවා. සංචාරක කර්මාන්තයෙන් ඩොලර් මිලියන 261ක් ආවා. නමුත්, ඒ දෙකම එකතු කළත් වෙළඳ ශේෂ හිඟය පියැවෙන්නේ නැහැනේ. ඒ වගේම, ණය ගෙවීම පැත්තකින් තිබ්බත්, ඩොලර් අවශ්‍ය වෙන්නේ භාණ්ඩ ආනයන සඳහා පමණක් නෙමෙයි. අනෙක් ඩොලර් අවශ්‍යතා සඳහා වැය වූ කොටසත් එකතු කලාට පස්සේ සමස්තයක් ලෙස පසුගිය වසරේදී ඩොලර් මිලියන 3,961ක ගෙවුම් ශේෂ හිඟයක් තිබුණා. 

හරි. අපි මුල් ප්‍රශ්නයට එමු. ලංකාවට දැනට දශක ගණනාවක් තිස්සේ පවතින වෙළඳ ශේෂ හිඟය ඉතා ඉක්මණින් පියවා ගැනීමේ හැකියාවක් තියෙනවද?

මෙහි පළමු පියවර ලෙස අපි ආනයන වියදම වූ ඩොලර් මිලියන 20,637 විභේදනය කර බලමු.

පරිභෝජන භාණ්ඩ - ඩොලර් මිලියන 3,848.7 (18.6%)

අතරමැදි භාණ්ඩ - ඩොලර් මිලියන 12,308.9 (59.6%)

ආයෝජන භාණ්ඩ - ඩොලර් මිලියන 4,462.7 (21.6%)

එකතුව  - ඩොලර් මිලියන 20,637.4 (100.0%)

මම හිතන්නේ කියන්න හදන දෙය පැහැදිලි විය යුතුයි. ආනයන භාණ්ඩ පරිභෝජනය ගැන, අධිපරිභෝජනය ගැන ලොකුවට කතා කළත් පරිභෝජන භාණ්ඩ ආනයනය වෙනුවෙන් වැය වෙන්නේ මුළු ආනයන වියදමෙන් 18.6%ක් පමණයි. ඔය ටික මුළුමනින්ම නැවතුනත්, වෙළඳ හිඟය පියැවෙන්නේ නැහැ.

ලංකාවේ ආනයන වියදම් වලින් 80%ක් පමණම යන්නේ අතරමැදි හා ආයෝජන භාණ්ඩ ආනයනයටයි. මොනවද මේ අතරමැදි හා ආයෝජන භාණ්ඩ? 

අතරමැදි හා ආයෝජන භාණ්ඩ කියා කියන්නේ දේශීය නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හා නිෂ්පාදන සාධක. මේවා එන්නේ නැහැ කියා කියන්නේ බොහෝ දුරට රටේ නිෂ්පාදනයක් වෙන්නේ නැහැ කියන එකයි. ඒ කියන්නේ දැනට ලැබෙන අපනයන ආදායමත් නොලැබී යනවා කියන එකයි.

උදාහරණයක් විදිහට පසුගිය වසරේ රෙදිපිළි හා ඇඟලුම් වලින් ලැබුණු අපනයන ආදායම ඩොලර් මිලියන 4,423.1ක්. රටේ අපනයන ආදායමෙන් 35%ක් පමණ. හැබැයි ඔය අපනයන ආදායම ලබා ගන්න රෙදිපිළි ඇතුළු අනෙකුත් අමුද්‍රව්‍ය ආනයනය කරන්න වෙනවා. පසුගිය වසරේ රෙදිපිළි හා ඇඟලුම් ආනයන වියදම ඩොලර් මිලියන 2,335.1ක්. අර ආපු ඩොලර් ටිකෙන් බාගයකටත් වඩා අමුද්‍රව්‍ය වෙනුවෙන් රටෙන් එළියට ගිහින්. 

ඇගලුම් කර්මාන්තය සඳහා ආනයනය කරන්න අවශ්‍ය වන්නේ රෙදිපිළි වැනි දේ පමණක් නෙමෙයිනේ. මහන මැෂින්, අනෙකුත් මැෂින් වගේ නිෂ්පාදන සාධකත් ආනයනය කරන්න වෙනවා. ඒවා තියෙන්නේ ආයෝජන භාණ්ඩ යටතේ. ඒ විතරක්ද? යොදා ගන්න විදුලි බලය හදන්න ඉන්ධන ආනයනය කළ යුතුයි. සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන්න වාහන ආනයනය කළ යුතුයි. ඒ අයට දවල් කෑමට දෙන පරිප්පු ටික ආනයනය කළ යුතුයි. හිතල බැලුවොත් ලැයිස්තුව තව ගොඩක් දිගයි.

ඕනෑම අපනයන කර්මාන්තයක් ගත්තොත් තත්ත්වය ඕකයි. පහුගිය දවස් වල ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් වානේ ආනයනය කළා කියලා ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තිබුණා. වානේ ආනයනය නොකළොත් බයිසිකල් අපනයන කරන්න වෙන්නේ නැහැ. අපනයන වලින් ඩොලර් මිලියන 12,502ක් ලැබුණත් මෙය ශ්‍රමික ප්‍රේෂණ වලින් ලැබෙනවා වගේ ශුද්ධ ඩොලර් ආදායමක් නෙමෙයි. ඔය ඩොලර් ටික උපයා ගැනීම සඳහාම සැලකිය යුතු ආනයන ප්‍රමාණයක් කරන්න වෙනවා. ඒ වෙනුවෙන් ඩොලර් වැය කරන්න වෙනවා.

තේ කර්මාන්තය වගේ කෘෂිකාර්මික කර්මාන්තයක් ගත්තත් මේ තත්ත්වයේ වෙනසක් නැහැ. කර්මාන්තයට අවශ්‍ය පෝර වල ඉඳලා, යන්ත්‍ර සූත්‍ර දක්වා ගොඩක් දේවල් ආනයනය කරන්න වෙනවා. ඒ නිසා, රටට එන ඩොලර් ආදායම ශුද්ධ ආදායමක් නෙමෙයි. ලංකාවේ අපනයන ආදායමෙන් කොපමණ කොටසක් එම අපනයන නිපදවීම සඳහාම ආනයන වෙනුවෙන් වැය කළ යුතුද කියන එක කවුරුවත් ගණන් හදා ඇති බවක් මම දන්නේ නැහැ. මේ ප්‍රමාණය 50% පමණ හෝ ඊටත් වඩා වැඩි විය හැකියි. 

අපි 50%ක් කියලා ගනිමු. ඒ කියන්නේ මාසයකට අපනයන වලින් රටට බිලියනයක් එනවා කියා කිවුවත් ශුද්ධ වශයෙන් එන්නේ මිලියන 500ක් පමණයි. අනෙකුත් හැම දෙයක්ම ආනයනය කරන්න වැය කළ හැක්කේ මේ කොටස පමණයි.

ඔය කිවුවේ අපනයන නිෂ්පාදන සඳහා අවශ්‍ය ආනයන ගැන. ඊට අමතරව දේශීය නිෂ්පාදන සඳහාත් සැලකිය යුතු ආනයනික අමුද්‍රව්‍ය ප්‍රමාණයක් හා නිෂ්පාදන සාධක අවශ්‍යයි. ආනයන නැත්නම් දේශීය නිෂ්පාදනයකුත් නැහැ. වී ගොවිතැන වගේ දෙයක් ගනිමු. පෝර, කෘෂි රසායන, අත්ට්‍රැක්ටර්, ගොයම් කපන යන්ත්‍ර ආදී කර්මාන්තයට අවශ්‍ය බොහෝ දේවල් ආනයනය කරන්න වෙනවා. කෙටියෙන් කිවුවොත්, ආනයන වලින් 60%ක් පමණ වන අතරමැදි භාණ්ඩ සීමා කිරීමේ හැකියාවක් නැහැ. බැරි නැහැ. නමුත් එහෙම කරනවා හෝ කරන්න වෙනවා කියා කියන්නේ රටේ සමස්ත ආර්ථිකය විශාල කඩා වැටීමකට ලක් වී රට ඇතැම් විට සියවස් බාගයකින් පමණ  ආපස්සට යනවා කියන එකයි.

ආයෝජන භාණ්ඩ සීමා කිරීමත් ඔය වගේම අහිතකර වුවත් කෙටිකාලීනව ආයෝජන භාණ්ඩ සීමා කිරීමක් කළ හැකියි. පරිභෝජන භාණ්ඩත් යම් තරමකින් සීමා කළ හැකියි. එහෙත් අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ ආදිය නොගෙන්වා බැහැ.

ඊළඟට කරන්න යන සංසන්දනය සඳහා මම ඉහත 2021 සංඛ්‍යාලේඛණ දොළහෙන් බෙදා මාසික සාමාන්‍ය අගයයන් ඉදිරිපත් කරන්නම්.

පරිභෝජන භාණ්ඩ - ඩොලර් මිලියන 320.7 

අතරමැදි භාණ්ඩ - ඩොලර් මිලියන 1,025.7 

ආයෝජන භාණ්ඩ - ඩොලර් මිලියන 371.9 

එකතුව  - ඩොලර් මිලියන 1,719.8 

අපනයන ආදායම - ඩොලර් මිලියන 1,041.8 

වෙළඳ හිඟය - ඩොලර් මිලියන 678.0


දැන් අපට මෙම ගණන් පසුගිය (2022 මැයි) මාසයේ සංඛ්‍යාලේඛණ සමඟ සැසඳිය හැකියි. 

පරිභෝජන භාණ්ඩ - ඩොලර් මිලියන 177.1 (-44.8%)

අතරමැදි භාණ්ඩ - ඩොලර් මිලියන 1,036.1 (1.0%)

ආයෝජන භාණ්ඩ - ඩොලර් මිලියන 238.2 (-36.0%)

එකතුව  - ඩොලර් මිලියන 1,451.5 (-15.6%)

අපනයන ආදායම - ඩොලර් මිලියන 1,047.3 (0.5%)

වෙළඳ හිඟය - ඩොලර් මිලියන 404.2 (-40.4%)

ආනයන සීමා කිරීමේ බලපෑම පේනවනේ. සමස්තයක් ලෙස මැයි මාසයේ ආනයන වියදම පසුගිය වසරේ සාමාන්‍ය මාසික වියදමට සාපේක්ෂව 15.6%කින් අඩු වී තිබෙනවා. අපනයන ආදායම ආසන්න වශයෙන් සමානයි. ඉතා සුළු (0.5%ක) වැඩි වීමක් පමණක් තිබෙනවා. අපනයන ආදායම් අඩු නොවී ආනයන වියදම් අඩු වීම නිසා වෙළද හිඟය 40.4%කින් අඩු වී තිබෙනවා. පවතින තත්ත්වය තුළ මේ හැම දෙයක්ම සාධනීයයි.

අපනයන වියදම් අඩු වෙලා තියෙන්නේ කොහොමද? පරිභෝජන භාණ්ඩ සඳහා යන වියදම් 44.8%කින් අඩු වෙලා. මේ වෙද්දී පරිභෝජන භාණ්ඩ කාණ්ඩය යටතේ ආනයනය කෙරෙන්නේ බොහෝ දුරට අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ වැනි දේ පමණයි. මේ ප්‍රමාණය මීට වඩා අඩු වෙනවා කියා කියන්නේ රටේ මිනිසුන්ගේ මූලික අවශ්‍යතා ටිකවත් සම්පූර්ණ වෙන්නේ නැහැ කියන එකයි. දැනටම වුවත් ඖෂධ ආදිය හිඟයිනේ.

නමුත් අතරමැදි භාණ්ඩ සඳහා යන වියදම් ඒ විදිහටම තියෙනවා. ඇත්තටම සුළු වශයෙන් (1.0%කින්) වැඩි වෙලා. මේ වියදම අඩු කිරීමේ හැකියාවක් නැහැ. එහෙම කළා කියලා අයහපතක් මිස සිදු වන කිසිදු යහපතකුත් නැහැ. මොකද අතරමැදි භාණ්ඩ ආනයනය අඩු වෙනවා කියන්නේ අනෙක් පැත්තෙන් අපනයන ආදායම් අඩු වෙනවා කියන එක සහ දේශීය නිෂ්පාදිත අඩු වී ආනයන අවශ්‍යතා ඉහළ යනවා කියන එකයි. උදාහරණ විදිහට රෙදි ආනයනය කරන්න ඉඩ නුදුන්නොත් ඇඟලුම් අපනයනය කර ලැබෙන ඩොලර් ටික ලැබෙන්නේ නැහැ. පෝර ආනයනය නවත්තලා වී නිෂ්පාදනය පහත වැටුනොත් වෙන්නේ හාල් ආනයනය කරන්න. ඔය දෙකෙන්ම අන්තිමට වෙන්නේ වෙළඳ ශේෂය තවත් ඉහළ යන එකයි.

ආයෝජන භාණ්ඩ ආනයනය අඩු කිරීමෙන් වෙන්නෙත් ඔය ටිකම වුනත් පොඩි වෙනසකට තියෙන්නේ කෙටිකාලීනව මෙහි හානි විශාල නොවීමයි. හැබැයි ඔය වැඩේ වුනත් දිගින් දිගටම කරන්න ගියොත් වෙන්නේ අතරමැදි භාණ්ඩ ආනයන නැවතුනු විට වෙන දේම තමයි. මැයි මාසය වෙද්දී, ආයෝජන භාණ්ඩ ආනයනය 36.0%කින් අඩු වෙලා. ඒ කියන්නේ, මෙයත් අඩු කළ හැකි උපරිම සීමාවකට කිට්ටු වෙලා. 

කෙටියෙන් කිවුවොත් රටේ ජනතාවගේ ජීවන තත්ත්වයේ දැවැන්ත කඩා වැටීමක් සිදු නොවී (දැන් තත්ත්වය මාර හොඳ තත්ත්වයක් කියා හිතෙන තරමේ) ඔයිට වඩා ආනයන පාලනය කරන්න බැහැ. ආනයන වැඩි නොකර අපනයන වැඩි කරන්න හෝ දේශීය නිෂ්පාදිත ඉහළ දමන්නත් බැහැ. 

මෙතැන තියෙන්නේ අපනයන කර්මාන්ත අමතක කර දේශීය නිෂ්පාදන දියුණු කරන්න වැඩි අවධානයක් යොමු කිරීමේ ඓතිහාසික වැරැද්ද. මම කියන්නේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම වැරැද්දක් කියන එක නෙමෙයි. ඕනෑම රටක ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රධාන ඉලක්කයක් විය යුත්තේ එයයි. ප්‍රශ්නය කරලා තියෙන විදිහට ඒ වැඩේ සිදු නොවීමයි.

ලංකාව වගේ රටකට ආනයනික යෙදවුම් නැතිව දේශීය නිෂ්පාදිතය ඉහළ දමන්න බැහැ. කවර කර්මාන්තයක් ගත්තත් තත්ත්වය ඕකයි. රටේ පරිභෝජනය සඳහා වුවත්, ආනයන සඳහා වුවත්, ලංකාවේ හදන ඕනෑම දෙයකට සැලකිය යුතු ආනයනික යෙදවුම් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ ආනයනික යෙදවුම් සඳහා ඩොලර් අවශ්‍ය වෙනවා. මේ ඩොලර් ප්‍රමාණය හොයා ගන්න සැලකිය යුතු අපනයන ප්‍රමාණයක් අවශ්‍යයි. හැබැයි ඒ අපනයන ටික නිපදවන්නත් ආනයනික යෙදවුම් නැතුව බැහැ. ඒ නිසා, ආනයන වලින් රටට ශුද්ධ වශයෙන් ලැබෙන ඩොලර් ප්‍රමාණය සංඛ්‍යාලේඛණ වල පෙනෙන ගණනට වඩා ගොඩක් අඩුයි.

මේ කතාව ලංකාවේ ආනයන වලට අදාළ නැහැ. ලෝකයේ අනෙක් රටවල් වලට ලංකාවේ අපනයන තිබුණත් නැතත් මේ දේවල් හදන්න පුළුවන්. ඒ නිසා, ආනයන වෙනුවෙන් රටෙන් එළියට යන ඩොලර් ප්‍රමාණය සංඛ්‍යාලේඛණ වල තිබෙන ප්‍රමාණයම තමයි. මේ කරුණ සැලකුවහම ලංකාවේ සංඛ්‍යාලේඛණ අනුව ආනයන වියදම අපනයන ආදායම් මෙන් දෙගුණයක් ලෙස පෙනුණත් ඇත්තම අනුපාතය තුන් ගුණයක් හෝ හතර ගුණයක් වෙන්න පුළුවන්.

ලංකාවේ වෙළඳ ශේෂය අඩු කරගන්නනම් කළ යුත්තේ ආනයන වලට හැකි තරම් ඉඩ දෙන එක මිසක් ආනයන පාලනය කරන එක නෙමෙයි. මම මේ කියන්නේ දැන් කළ යුතු දෙයක් ගැන නෙමෙයි. දිගුකාලීනව සිදු විය යුතු දෙය. ලංකාවේ බයිසිකල් හදලා අපනයනය කරන්නේ බයිසිකල් ආනයනය කරන්න දුන් නිසා. මිනිස්සු ඇපල්, මිදි වවන්න උත්සාහ කරන්නේ ඒවා ආනයනය කරන්න ඉඩ දීමෙන් රට ඇතුළේ ඉල්ලුමක් හැදී ඇති නිසා. ආනයන නෑ කියන්නේ අපනයත් නැහැ. දේශීය නිෂ්පාදන වැඩි වෙන්නෙත් නැහැ.

වැරැද්ද ආනයන වලට ඉඩ දීම නෙමෙයි. ඩොලරයක මිල පහළින් තියලා ආනයන ඕනෑවට වඩා ලාබ කිරීම. ඩොලරයක මිල වැඩිනම් ආනයන භාණ්ඩ වෙළඳපොළේ තිබුණත් බොහෝ දෙනෙකුට මිල දී ගන්න බැරි තරමට මිල අධිකයි. අතේ සල්ලි නැති නිසා ගොඩක් අය කඩේ තියෙන බඩු දිහා බල බල යනවා. එතකොට තමයි දේශීය නිෂ්පාදකයෝ වැඩේට බහින්න පෙළඹෙන්නේ. මේ වැඩේ මාසෙකින් වෙන එකක්නම් නැහැ. 

අපි මැයි මාසයට නැවත යමු. ආනයන වියදම ඩොලර් මිලියන 1,451.5ක්, අපනයන ආදායම ඩොලර් මිලියන 1,047.3ක්. වෙළඳ හිඟය ඩොලර් මිලියන 404.2ක්. ලබන මාසයේ හෝ ඊළඟ මාසයේ ඔය වෙළඳ හිඟය නැති කරන්න පුළුවන්ද? කොහෙත්ම බැහැ. දැන් මෙය එහි සීමාවට ඇවිල්ලයි තියෙන්නේ. ඒ කියන්නේ ඔය ඉතිරි ඩොලර් මිලියන 400 වෙන ක්‍රමයකින් හොයා ගන්නම වෙනවා.

අවුරුද්දකට විතර කලින්නම් ඔය ඩොලර් ප්‍රමාණය ශ්‍රමික ප්‍රේෂණ ලෙස රටට ආවා. පසුගිය මැයි මාසයේ ලැබුණු ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 460ක්. නමුත් මේ මැයි මාසයේ ඇවිත් තියෙන්නේ ඩොලර් මිලියන 304ක් පමණයි. ශ්‍රමික ප්‍රේෂණ වැඩිවන ප්‍රවණතාවක් ලොකුවට පේන්න නැහැ. හැබැයි දැනට ලැබෙන මිලියන 300 ඒ විදිහටම ලැබුණත් තව විශාල අඩුවක් නැහැ. මේ කතා කරන්නේ ණය ප්‍රශ්නය පැත්තකින් තියලා. ඒ ප්‍රශ්නය වෙනම තියෙනවා.

සංචාරකයින් යම් ප්‍රමාණයක් ආවත් අඩුපාඩුව හොයා ගන්න අමාරු නැහැ. නමුත්, විදුලිය කැපෙද්දී, ප්‍රවාහනය අඩාල වී තියෙද්දී, ජීවිත ආරක්ෂාව පිළිබඳ ගැටළු පේන්න තියෙද්දී සංචාරකයෝ ගෙන්වන එකත් ලේසි වැඩක් නෙමෙයි. ඔය ඔක්කොම හොඳ විදිහට සිදු වුනත් කෙටිකාලීනව ගෙවිය යුතු ණය පිළිබඳ ප්‍රශ්නය එහෙම්මම තියෙනවා. ඒ නිසා, IMF වැඩේ කෙරෙන තුරු ඉස්සරහට යන්නනම් අසල්වැසි රටකින් කෙටිකාලීන ණය නැතිවම බැහැ. 

Friday, June 10, 2022

සංචිත පොඩ්ඩක් වැඩි වෙලා!


කලකට පසු මහ බැංකුවේ සංචිත සුළුවෙන් වුවත් ඉහළ ගොස් තිබෙනවා. අප්‍රේල් මාසය අගදී මහ බැංකුව සතු වූ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1,812ක්. මැයි මාසය අවසන් වෙද්දී මෙම සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1,920 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම සංචිත වලින් වැඩි කොටසක් "ප්‍රයෝජනයට ගත නොහැකි" සංචිත බව ප්‍රචලිත කරුණක්. එසේ වුවද, වැඩි වී තිබෙන්නේ ප්‍රයෝජනයට ගත හැකි සංචිතයි.

මැයි මාසය තුළ ශ්‍රමික ප්‍රේෂණ වලද යම් වර්ධනයක් දැකිය හැකියි. අප්‍රේල් මාසයේදී ශ්‍රමික ප්‍රේෂණ ලෙස ලැබුණේ ඩොලර් මිලියන 248.9ක් පමණක් වුවත්, මැයි මාසයේදී මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 304.1 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේ වුවත්, අප්‍රේල් මාසයේදී සංචාරක ඉපැයීම් වලින් ලැබුණු ඩොලර් මිලියන 113.3 මැයි මාසයේදී ඩොලර් මිලියන 54.3 දක්වා අඩු වීම නිසා ශ්‍රමික ප්‍රේෂණ ඉහළ යාමේ වාසිය නිශේධනය වී තිබෙනවා. අප්‍රේල් මාසයේදී මෙන්ම මැයි මාසයේදීද ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක ඉපැයීම් වල එකතුව ලෙස ලැබී තිබෙන්නේ ඩොලර් මිලියන 350කට ආසන්න විදේශ විණිමය ප්‍රමාණයක් පමණයි. 

මේ අනුව, මාසික අපනයන ආදායම ඩොලර් බිලියනයක් සේ සැලකුවත් ආනයන වෙනුවෙන් වැය කිරීම සඳහා සඳහා රටට ලැබෙන්නේ ඩොලර් මිලියන 1,350කට ආසන්න මුදලක් පමණයි. ආනයන ඉල්ලුම යම් තරමකින් අඩු වී තිබිය හැකි වුවත් බොහෝ විට ඩොලර් මිලියන 1,750ක් පමණවත් විය හැකියි. එයින් අදහස් වන්නේ තවමත් මසකට ඩොලර් මිලියන 400ක පමණ ඩොලර් ප්‍රමාණයක් කොහෙන් හෝ හොයා ගත යුතුව තිබෙනවා කියන එකයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන මුදලක් ඉතා ඉක්මණින් ලැබෙන බවක් පෙනෙන්නට නැහැ. කොයි තරම් හදිස්සි කළත් ඒ සඳහා අවම වශයෙන් මාස ගණනක් යන බව පැහැදිලියි. ඒ වන තුරු උදවු කරන්නට සූදානම්ව සිටින්නේ ඉන්දියාව පමණයි. ඉන්දියාවෙන් කීයක් හරි ඉල්ලා ගන්නත් දිගින් දිගටම බැගෑපත් වෙන්න වෙනවා. 

ඉන්දියානු ණය පහසුකම නිසා ඉන්දියාවෙන් කරන ආනයන වෙනුවෙන් අදාළ ආනයනකරුවන් විසින් මුදල් ගෙවිය යුතු වුවත් ඒ මුදල් ඉන්දියාවට නොගොස් මහ බැංකුවේ ඉතිරි වෙනවා. මහ බැංකුව විසින් එම මුදල් පසුව ඉන්දියාවට ගෙවිය යුතුයි. මැයි මාසය තුළ මහ බැංකුවේ සංචිත ප්‍රමාණය මිලියන 108කින් ඉහළ ගොස් තිබුණත්, බොහෝ විට මහ බැංකුව විසින් ඉන්දියාවට ගෙවිය යුතු ණය ඊට වඩා වැඩියෙන් ඉහළ ගොස් තිබෙනවා විය හැකියි.

රටට ඩොලර් අද්දවා ගැනීම සඳහා මහ බැංකුව විසින් මහ බැංකුවට කළ හැකි දේවල් කරමින් සිටිනවා. මහ බැංකුව විසින් අලුතෙන්ම ගත් ප්‍රතිපත්ති තීරණය වාණිජ බැංකු වල ඩොලර් තැන්පතු සඳහා ගෙවිය හැකි උපරිම පොලී සීමාව ඉවත් කිරීමයි. මෙවැනි ක්‍රියාමාර්ග වලින් යම් ප්‍රතිඵල ලැබිය හැකි වුවත් බංකොලොත් රටක බංකොලොත් මහ බැංකුවකට කළ හැකි දේ ඉතා සීමිතයි. 

Monday, April 25, 2022

ශ්‍රමික ප්‍රේෂණ 55%කින් ඉහළ යයි!


මාර්තු මාසය තුළ ලංකාවට ලැබුණු ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය පෙබරවාරි මාසයට සාපේක්ෂව 55%කින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසර මුල සිටම ලංකාවට ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් පහළ ගියා. ඩොලරයේ මිල ඉහළ යාමට සැලැස්වීමෙන් පසුව මෙම ප්‍රවණතාවයෙහි පැහැදිලි හැරවුමක් පෙනෙන්නට තිබෙනවා. 

පෙබරවාරි මාසයේදී ලැබුණු ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 204.9ක් පමණයි. මාර්තු මාසයේදී මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 318.4 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේ වුවත්, පසුගිය (2021) මාර්තු මාසයේදී ලැබුණු ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය මේ ප්‍රමාණය මෙන් දෙගුණයකට ආසන්නයි.

Tuesday, March 1, 2022

ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය (නවවන කොටස)


පෙර කොටසින් විස්තරාත්මක ලෙස පැහැදිලි කළ පරිදි, ලංකාවේ ආර්ථිකය මේ වන විට පත් වී ඇති තත්ත්වයට වසංගතයේ දායකත්වය බැහැර කළ නොහැකි වුවත්, රටේ විදේශ අංශයට වසංගතය නිසා සිදු වූ යහපත් හා අයහපත් බලපෑම් සැලකිල්ලට ගැනීමෙන් පසුව නිගමනය කළ හැක්කේ වසංගතය නොපැවතියද මේ වන විට රටේ තත්ත්වය දැන් තිබෙනවාට වඩා යහපත් මට්ටමක නොතිබිය හැකි වූ බවයි. වසංගතය නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් "පිනට" ලැබුණු ඩොලර් මිලියන 800ක මුදල වැනි සාධකද සැලකූ විට කිව හැක්කේ වසංගතය නොතිබුණානම් මේ වෙද්දී රටේ තත්ත්වය මීටත් වඩා දරුණු වන්නට වුවද ඉඩ තිබුණු බවයි.

ප්‍රශ්නයේ මුල් නිදහස ලැබූ කාලය තෙක්ම ඇදී යන නමුත් මේ ආණ්ඩුවේ අදූරදර්ශී සාර්ව-ආර්ථික උපාය මාර්ග නොවන්නට රටේ ආර්ථිකය මේ තරමටම කඩා වැටීමේ ඉඩක් තිබුණේ නැහැ. මේ අදූරදර්ශී සාර්ව-ආර්ථික උපාය මාර්ග අතරින් බදු කැපිල්ලේ හානි මේ වන විට පුළුල් ලෙස සාකච්ඡා වී හා පිළිගැනීමට ලක් වී අවසන් වුවත් විණිමය අනුපාතය පාලනය කිරීමේ හානි ඒ තරමටම සාකච්ඡා වී නැහැ. 

ආනයන පාලනය කිරීමේ හානි යම් තරමකින් වැඩි අවධානයකට යොමු වී ඇතත් ආනයන පාලනය කිරීමේ අවශ්‍යතාවයක් ඇති වී තිබෙන්නේම විණිමය අනුපාතය පාලනය කිරීම නිසාය යන්න අවධාරණය වී තිබෙන්නේ අඩුවෙන්. මුලින් න්‍යාය මත පමණක් පදනම්ව සිදු විය හැකි බව පෙන්වා දුන් මේ කරුණ දැන් අපට සංඛ්‍යාලේඛණ ඇසුරෙන්ම පෙන්වා දිය හැකියි. 

වසංගතයට පෙර 2019 වසරේදී ආනයන පාලනයක් සිදු වූයේ නැහැ. වඩාත් නිවැරදිව කියනවානම් ආනයන පාලනය සිදු වුනේ වෙළඳපොළ මූලධර්ම අනුවයි. වෙළඳපොල විසින් ආනයන පාලනය කෙරෙන ස්වභාවික ක්‍රමය වන්නේ මිල ඉහළ යන්නට සැලැස්වීම මගින් ආනයන ඉල්ලුම අඩු කිරීමයි. මෙහිදී කිසිදු භාණ්ඩ හිඟයක් ඇති වන්නේ නැහැ. මෙයින් වෙනස්ව, මේ ආණ්ඩුවේ වත්මන් සාර්ව-ආර්ථික උපාය මාර්ගය වී තිබෙන්නේ මිල වැඩි නොකර සැපයුම පාලනය කිරීමයි. මෙහි ප්‍රතිඵලය ඉල්ලුම තවතවත් ඉහළ යාමයි.

කෘතීම ආනයන පාලනයක් සිදු නොවූ 2019 වසරේදී ලංකාවේ ආනයන වියදම වූයේ ඩොලර් මිලියන 19,937ක් පමණයි. එහෙත්, වාහන, කිරිපිටි ආදී බොහෝ දේ ආනයනය කිරීම මුළුමනින්ම වලක්වා තවත් ආනයනික භාණ්ඩ විශාල ප්‍රමාණයක් ආනයනය කිරීම සීමා කර තිබියදී පවා 2021 වසර තුළ ආනයන වෙනුවෙන් වැය වී තිබෙන මුදල ඩොලර් මිලියන 20,637ක්. මෙය ඩොලර් මිලියන 700ක ඉහළ යාමක්. මීට සාපේක්ෂව අපනයන ආදායම් ඉහළ ගොස් තිබෙන්නේ ඩොලර් මිලියන 562කින් පමණයි. මේ අනුව, කොපමණ ආනයන සීමා දැම්මත් 2019ට සාපේක්ෂව 2021දී වෙළඳ හිඟය සුළුවෙන් හෝ වැඩි වී මිස අඩු වී නැහැ.

විණිමය අනුපාතය වෙනස් වන්නට ඉඩ නොදී, ආනයනික භාණ්ඩ කෘතීම ලෙස ලාබ කර, තෝරාගත් කාණ්ඩ වල ආනයනික භාණ්ඩ ආනයනය වැළැක්වූ විට සිදු වන්නේ එසේ තහනම් නොකළ ආනයනික භාණ්ඩ සඳහා වන ඉල්ලුම ඉහළ යාමයි. ආනයනික භාණ්ඩ ආනයනය එකින් එක තහනම් කර ගෙන ගොස් මේ ප්‍රශ්නය විසඳිය හැක්කේ භාණ්ඩ ආනයනය මුළුමනින්ම නැවැත්වීමෙන් පසුව පමණයි. ආනයනික භාණ්ඩ සඳහා වැය වන විදේශ විණිමය රට තුළ රඳවා ගත හැකි සරලම හා පහසුම ක්‍රමය විණිමය අනුපාතය ඉහළ යන්නට ඉඩ දීමයි. එය නොකරන තුරු ක්‍රමක්‍රමයෙන් රට තුළ ආනයනික භාණ්ඩ හිඟය ඉහළ යාම වැළැක්විය නොහැකියි. 

ලංකාව වැනි කුඩා ආර්ථිකයක් තිබෙන රටක ආනයනික භාණ්ඩ සීමා වීම යන්නෙන් අදහස් වන්නේ දේශීය නිෂ්පාදනයද විශාල ලෙස බිඳ වැටෙනවා යන්නයි. ලංකාවේ දේශීය නිෂ්පාදන බොහොමයකට සැලකිය යුතු තරමක ආනයනික ආදාන අවශ්‍යයි. මේ වන විට මේ දේවල් ඇස් පනාපිට පෙනෙමින් තිබෙනවා. වසංගතය නොවන්නට සංචාරක කර්මාන්තය ඇතුළු සේවා ආර්ථිකයටද විණිමය අනුපාතය පාලනය කිරීම නිසා සිදුවන හානිය පැහැදිලි ලෙසම දැකගත හැකිව තිබුණා. මේ වසර මැද වන විට වසංගත බිය දුරු වී ලෝකය බොහෝ දුරට පෙර පැවති මට්ටමට පැමිණෙනු ඇති නමුත් පවතින විණිමය අනුපාතය එලෙසම තිබියදී සේවා ගිණුමේ අතිරික්තය 2019 මට්ටමට ඉහළ නංවා ගැනීම ගිම්හානයේ දකින සිහිනයක් පමණයි. 

කෙසේ වුවත්, විණිමය අනුපාතය පාලනය කිරීමේ හානිය වැඩි වශයෙන්ම දැනී තිබෙන්නේ ශ්‍රමික ප්‍රේෂණ සටහන් වන ද්වීතියික ආදායම් ගිණුමටයි. මෙය අනිවාර්යයෙන්ම මහ බැංකුව ඇතුළු ලංකාවේ සාර්ව-ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් අපේක්ෂා නොකළ තත්ත්වයක්. ආර්ථික න්‍යාය දැන සිටියත් ඒවා පිළිබඳව විශ්වාසයක් නැති වූ විට මෙවැනි ප්‍රශ්න මතු වෙනවා. 

ළමයා ඉපදෙන්න කලින්ම හඳහන් බලනවා වගේ මහ බැංකුව විසින් අනාගතයේ ලැබෙන්නට නියමිත ශ්‍රමික ප්‍රේෂණ කලින්ම විකුණන්නට සැලසුම් හැදුවා. මෙහිදී මහ බැංකුවේ උපකල්පනය වුනේ ශ්‍රමික ප්‍රේෂණ කියන්නේ ඕනෑම තත්ත්වයක් යටතේ නොසිඳෙන ඩොලර් උල්පතක් බවයි. කන්න නොදී කොයි තරම් පහර දුන්නත් කිරි සපයන කිරි එළදෙනක් බවයි. 2021 නොවැම්බර් තරම් මෑත කාලයකදී පවා මහ බැංකුව මේ විශ්වාසය තුළ සිටියා. වසරකට ඩොලර් මිලියන 7,000ක ශ්‍රමික ප්‍රේෂණ ලැබෙන එක ගැන මහ බැංකුවට කිසිම සැකයක් තිබුණේ නැහැ.

පසුගිය වසර පහක හෝ ඊටත් වැඩි කාලය තුළ වසරකට ඩොලර් බිලියන 7ක පමණ ශ්‍රමික ප්‍රේෂණ රටට ලැබුණා කියන එක කවුරුත් දන්නා දෙයක්. ඇත්තටම මේ ශ්‍රමික ප්‍රේෂණ කියන අර්ථදක්වීමේත් ප්‍රශ්නයක් තිබෙනවා. එය පසුව කතා කරමු. කොහොම වුනත් පහුගිය අවුරුදු වල ලංකාවට සල්ලි එවන අයට ඩොලරයක් වෙනුවෙන් සාධාරණ රුපියල් ප්‍රමාණයක් ලැබුණා. අවුරුද්දකට ඩොලර් බිලියන හතක් සල්ලි ආවේ ඒ තත්ත්වය යටතේ.

දැන් වෙලා තියෙන්නේ කුමක්ද? 2021 ජනවාරි මාසයේදී ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 675.3ක් ලැබුණා. ඔය ගණන දොළහෙන් වැඩි කළොත්, ඩොලර් මිලියන 8,103.6ක්. නමුත්, 2022 ජනවාරි මාසයේදී ලැබුණේ ඩොලර් මිලියන 259.2ක් පමණයි. දොළහෙන් වැඩි කළොත් ඩොලර් මිලියන 3,110.4ක් පමණයි. ඩොලර් බිලියන 5ක වෙනසක්. පේනවනේ යන්නේ කොහාටද කියලා.

ලංකාවේ ආණ්ඩුවට හා මහ බැංකුවට ආනයන පාලනය කරලා රටට එන ඩොලර් රටින් එළියට යන එක වලක්වා ගන්න උත්සාහ කරන්න පුළුවන්. අපනයනකරුවන් විසින් උපයන ඩොලර් රටට ගේන්න කියලා ඔවුන්ට බල කරන්නත් පුළුවන්. හැබැයි ඔය විදිහට තග දාලා රටින් පිට සිට ලංකාවට ඩොලර් ගෙන්න ගන්න බැහැ. රටින් පිට ජීවත් වන අය ලංකාවේ ආණ්ඩුව කියන දේවල් මායිම් කරන්නේ නැහැ. අනිත් එක සල්ලි එවද්දී "රට විරුවෝ" වුනත් ඔය මිනිස්සුන්ට කෝවිඩ් කාලේ ආණ්ඩුව සලකපු විදිහත් අමතක නැතුව ඇතිනේ. ඒ නිසා, නියම රුපියල් ගණන නොලැබෙද්දී ආණ්ඩුව ගැන අනුකම්පා කරලා සල්ලි එවයිද?

දැනටත් මහ බැංකුව හිතන බව පෙන්නේ කොහොම හරි සල්ලි උන්ඩියල් වෙන එක නවත්ත ගත්තොත් වැඩේ ගොඩ කියලා. උන්ඩියල් පාලනය කරන්න ගියොත් වෙන්නේ තත්ත්වය තවත් නරක අතට හැරෙන එක පමණයි. උන්ඩියල් වෙන සල්ලි බැංකු පද්ධතිය හරහා නොආවත් වක්‍ර ලෙස හෝ රටට එනවා. වැඩිය සෙල්ලම් දාන්න යනවා කියන්නේ ඒ එන ටිකත් නැති වෙන එකයි.

ලංකාවේ ගොඩක් අයගේ අදහස දරු පවුල ලංකාවේ තියලා මැද පෙරදිග රැකියා වලට යන අය ලංකාවට ඩොලර් එවුවත් ස්ථිර පදිංචිය සඳහා බටහිර රටවලට යන අය සල්ලි එවන්නේ නැහැ කියන එක. සමහර අය කියන විදිහට ඒ අය ලංකාවේ තිබෙන ඉඩකඩමුත් විකුණලා ඩොලර් රටින් අරන් යන එකයි කරන්නේ. මේ කතාවේ ඇත්තක් තිබුණත් එය අර්ධ සත්‍යයක්. සංඛ්‍යාලේඛණ වල කොයි තරම් නිවැරදිව පිළිබිඹු වනවාද කියලා මම දන්නේ නැතත්, ස්ථිර පදිංචිය සඳහා ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් විසින්ද ලංකාවට සැලකිය යුතු මුදලක් එවනවා. මම පෞද්ගලිකව දන්න ගොඩක් අය පවුල පිටින්ම රටින් පිටවෙලා අවුරුදු ගාණක් ගිහින් තිබුණත් හැම අවුරුද්දකම විශාල මුදලක් ලංකාවට යවන අය.

පවුල ලංකාවේ සිටිද්දී, වෘත්තීය නොවන රැකියාවක් කරන්න මැද පෙරදිග රටකට ගොස් සිටින අයෙකුට මාස්පතා ලංකාවට සල්ලි නොඑවා ඉන්න බැහැ. බැංකු හරහා, උන්ඩියල් කරලා බැරිනම් පරෙයියෙක්ගේ කකුලේ බැඳලා හරි ඒ අයට ලංකාවට සල්ලි එවන්නම වෙනවා. එහෙම නොකළොත් ගෙවල් වල මිනිස්සුන්ට කන්න බොන්න විදිහක් නැහැ. බටහිර රටක ස්ථිර පදිංචිය සඳහා ගිහින් සිටින කෙනෙකුට ඒ ප්‍රශ්නය නැහැ. ඒ අය සල්ලි එවන තුරු බලා ඉන්න පවුලක් ලංකාවේ නැහැ.

මේ වගේ කෙනෙක් ලංකාවට සල්ලි එවන්නේ එක්කෝ තමන්ගේ විස්තෘත පවුලේ සාමාජිකයෙකුගේ කුමක් හෝ වියදමක් වෙනුවෙන්. වයස්ගත දෙමවුපියන්, සහෝදර සහෝදරියන් හෝ ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් වෙන්න පුළුවන්. හැබැයි බොහෝ විට මේ විදිහට සල්ලි එවන්නේ මරණයක්, මගුලක්, දානයක්, උපන් දිනයක් වගේ විශේෂ අවස්ථාවකදී මිසක් මාස්පතා දීමනාවක් විදිහට නෙමෙයි. එහෙම නැත්නම් සමාජ කටයුත්තකට. පන්සලකට, ළමා නිවාසයකට හෝ පාසැලේ ආදි ශිෂ්‍ය සංගමයට වගේ තැනකට වෙන්න පුළුවන්. තවත් අය සල්ලි එවන්නේ ලංකාවේ කුමක් හෝ දේපොළක් මිල දී ගන්න හෝ සංවර්ධනය කරන්න. එහෙම කරන අයත් ගොඩක් ඉන්නවා. මේවා හරිනම් සංඛ්‍යාලේඛණ වල ප්‍රාග්ධන ගිණුමේ සටහන් විය යුතු වුවත්, වෙන් කර හඳුනා ගන්න අමාරු නිසා ශ්‍රමික ප්‍රේෂණ ගොඩටම එකතු වෙනවා.

ඔය කවර හෝ හේතුවක් නිසා සල්ලි එවන අයට ඒ සල්ලි ලංකාවට එවන්නම කියලා අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම, මේ ගොඩේ ඉන්න අය ලංකාවේ ආර්ථිකයේ වත්මන් තත්ත්වය ගැන දැනුවත් පිරිසක්. ඩොලරයක මිල වැඩි කලක් ඔය විදිහට තියා ගන්න බැරි බව ඒ අයට තේරෙනවා. මේ සල්ලි උන්ඩියල් වෙන්නේ නැහැ. රටට එන එක සම්පූර්ණයෙන්ම නැවතිලා. 

මේ ගොඩට දැමිය හැක්කේ බටහිර රටවලට ස්ථිර පදිංචිය සඳහා ගොස් සිටින අය එවන සල්ලි පමණක් නෙමෙයි. මැදපෙරදිග රටවල වෘත්තීය රැකියා කරන අයටත් මේ කතාව අදාළයි. අපි හිතමු මැදපෙරදිග රටක සේවය කරන ගණකාධිකාරීවරයෙක් ගැන. ඔහුගේ බිරිඳ හා දරුවන් ඉන්නේ ලංකාවේ. බිරිඳ වෘත්තීය රැකියාවක් කරන්නේ නැත්නම් අඩු ගානේ ගුරු රැකියාවක් හෝ කරනවා. මේ පවුලේ සාමාජිකයින් සතුව ලංකාවේ බැංකු වල ඉතිරි කරගත් සැලකිය යුතු මුදලක්ද තිබෙනවා. දැන් අර මැදපෙරදිග ඉන්න පියා මාස කිහිපයක් ඩොලර් නොඑවුවා කියලා ලංකාවේ ඉන්න පවුල කන්න නැතුව මැරෙන්නේ නැහැ. ඒ නිසා, සල්ලි උන්ඩියල් කරන්න හදිස්සියක් නැහැ. 

ශ්‍රමික ප්‍රේෂණ ලෙස මසකට ලැබුණු මුදලින් ඩොලර් මිලියන 400කටටත් වඩා අඩු වී තිබීමෙන් අදහස් වන්නේ ඔය මුදල උන්ඩියල් වෙනවා කියන එක නෙමෙයි. උන්ඩියල් වන මුදල වැඩිම වුනොත් මාසයකට ඩොලර් මිලියන 100ක් පමණ විය හැකියි. ඉතිරි කොටස අදූරදර්ශී විණිමය ප්‍රතිපත්තිය නිසා හිඳී ගොස් ඇති විදේශ විණිමය උල්පතක්. 

විදේශගත ශ්‍රී ලාංකික ඩයස්පෝරාව කියා කියන්නේ ලංකාවට නොසලකා හැරිය හැකි පිරිසක් නෙමෙයි. හොඳට හෝ නරකට හෝ අනාගතයේදී ලංකාවේ කලාව, දේශපාලනය හා ආර්ථිකය මේ පිරිස විසින් තීරණය කරනු ලැබීම නොවැලැක්විය හැකි දෙයක්. දැනටත් ලංකාවේ ටෙලි නාට්‍ය, චිත්‍රපට, සිංදු, පොත්, වෙබ්අඩවි, සමාජ මාධ්‍ය, සමාජ සේවා, ක්ෂුද්‍ර ව්‍යාපාර, සිංහල ජාතිකවාදය ඇතුළු මතවාද සංස්කරණය ආදිය තුළ ඩයස්පෝරාවේ බලපෑම ඉතාම විශාලයි. ඒ බව නොසලකා හරින අයට මෝඩ චූන් ගන්න පුළුවන්. අනෙක් කරුණු කෙසේ වුවත්, ජවිපෙ මේ කරුණ නිවැරදිව අවබෝධ කරගෙන සිටින බව පේනවා. රැස්වීම තංගල්ලේ වුනත්, ගම්පහ වුනත් ජවිපෙ කථිකයෝ කතා කරන්නේ ඩයස්පෝරා සාමාජිකයින්ටත් එක්කයි.

උන්ඩියල් වෙළඳපොළ කියන්නෙත් සමතුලිත වෙළඳපොළක්. උන්ඩියල් ක්‍රමයට රටට එන හැම ඩොලර් එකක්ම අනික් පැත්තට රටින් එළියට යනවා. ඒ කියන්නේ, ශ්‍රමික ප්‍රේෂණ වල වාර්තා වී නැති ඩොලර් එකක් උන්ඩියල් ක්‍රමයට රටට ඇවිත්නම් රටින් එළියට ගිය ඩොලර් එකකුත් සංඛ්‍යාලේඛණ වල නැහැ කියන එකයි. 

සාමාන්‍යයෙන් පෞද්ගලික ප්‍රේෂණ ලෙස වසරකට ඩොලර් බිලියනයක් පමණ ලංකාවෙන් එළියට යනවා. බැංකු වලින් ඩොලර් ගන්න අමාරු නිසා 2021 වසරේදී මේ ප්‍රමාණයෙන් ඩොලර් 600ක් පමණ නියම ක්‍රමයට එළියට ගිහින් නැහැ. එයින් කොටසක් උන්ඩියල් වෙන්න ඇති. ආනයන වෙනුවෙන්ද යම් ඩොලර් ප්‍රමාණයක් උන්ඩියල් ක්‍රමයට රටින් යන්න ඇති. ඔය සියල්ල එකතු කළත් ඩොලර් බිලියනයකට වඩා වැඩි වෙන්න බැහැ. උන්ඩියල් ක්‍රම වලට වැඩි වැඩියෙන් වැට බඳින තරමට වෙන්නේ කළු කඩේ ඩොලර් මිල තවත් ඉහළ ගොස් නිල විණිමය අනුපාතය මත පීඩනය ඉහළ යන එක පමණයි.

දැන් තත්ත්වය අනුව වඩා සුදුසු ජංගම ගිණුම දෙස මාසික පදනමකින් බලන එකයි. අවුරුද්දකට පස්සේ තත්ත්වය ගැන හිතන එකෙත් ලොකු තේරුමක් නැහැ. පවතින තත්ත්වය තුළ මාසයකට ඩොලර් මිලියන 1000ක් පමණ අපනයන වලින් ලැබෙද්දී ආනයන වෙනුවෙන් ඩොලර් මිලියන 1700ක් වියදම් වෙනවා. ණය පොලී ගෙවන්න තවත් ඩොලර් 200ක් යනවා. ඒ කියන්නේ මාසයකට ඩොලර් මිලියන 900ක් පමණ හොයා ගත යුතුයි. සංචාරකයන්ගෙන් හා ශ්‍රමික ප්‍රේෂණ වලින් ලැබෙන්නේ ඩොලර් මිලියන 500ක පමණ මුදලක්. තවත් ඩොලර් මිලියන 400ක් අඩුයි. ඒ ශ්‍රමික ප්‍රේෂණ අඩු වීමේ ප්‍රතිඵලය. 

විණිමය අනුපාතය අවප්‍රමාණය වූ ගමන්ම ඔය ඩොලර් මිලියන 400 නැවතත් රටට එන්න පටන් ගන්නවා. ඊට පස්සේ හොයාගන්න වෙන්නේ ණය ආපසු ගෙවන්න අවශ්‍ය ඩොලර් ටික පමණයි. නමුත් වැරදි විණිමය ප්‍රතිපත්තිය නිසා දැන් මාසයකට තවත් අමතර ඩොලර් මිලියන 400ක් හොයාගන්න වෙලා. සංචිත තියෙන්නේ ඩොලර් බිලියන 2.3ක් පමණයි. ඉන්දියාව තවත් කොයි තරම් කාලයක් ලංකාවේ ආර්ථිකය ආරක්ෂා කරයිද?

Sunday, November 21, 2021

ශ්‍රමික ප්‍රේෂණ උල්පතත් හිඳෙන්නද යන්නේ?


වැරදි විදේශ විණිමය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා දැඩි විදේශ විණිමය අර්බුදයකට මුහුණ දී සිටින ලංකාව මේ තරමින් හෝ ඔළුව උස්සාගෙන ඉන්නේ දිගින් දිගටම ලැබෙන විදේශ ශ්‍රමික ප්‍රේෂණ නිසයි. විශාල විදේශ විණිමය අර්බුදයක සිර වී සිටි පසුගිය වසරේදීද ලංකාවට ඩොලර් මිලියන 7,103.9ක ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබුණා. මෙය සාමාන්‍ය වශයෙන් මසකට ඩොලර් මිලියන 592ක්. අඩු වශයෙන් පසුගිය වසර හතක පමණ කාලය තුළ ලංකාවට සාමාන්‍ය වශයෙන් මාසිකව මීට ආසන්න ඩොලර් ප්‍රමාණයක් ශ්‍රමික ප්‍රේෂණ ලෙස ලැබුණා.

කෙසේ වුවද, පසුගිය සැප්තැම්බර් මාසයේදී ලංකාවට ශ්‍රමික ප්‍රේෂණ ලෙස ලැබී තිබෙන්නේ ඩොලර් මිලියන 352.2ක් පමණයි. මෙම ප්‍රමාණය පසුගිය වසර 11ක කාලය තුළ ලංකාවට මසක් තුළ ලැබී ඇති අවම ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය වන අතර පෙර වසරේ සැප්තැම්බර් මාසයේදී ලැබුණු ඩොලර් මිලියන 702.7න් බාගයක පමණ ප්‍රමාණයක්. 

මහ බැංකුවේ විදේශ විණිමය උපයා ගැනීමේ උපාය මාර්ග අතරද ශ්‍රමික ප්‍රේෂණ වලට විශාල බරක් තබා තිබෙනවා පමණක් නොව අනාගතයේදී ලැබෙන්නට නියමිත ශ්‍රමික ප්‍රේෂණ ඇපයට තබා ණය ගැනීමේ සැලසුමක් පිළිබඳවද මහ බැංකුව මෑතකදී ප්‍රකාශයක් නිකුත් කළා. එහෙත්, මෙය කරන්න යන්නේ විණිමය අනුපාතය හිර කරගෙන තබා ගෙනයි. 

විණිමය අනුපාතය හිර කරගෙන ශ්‍රමික ප්‍රේෂණ ඉහළ නංවා ගැනීම, අපනයන වැඩි කිරීම, ආනයන ඉල්ලුම සීමා කිරීම ආදී කිසිවක් කළ නොහැකියි. සාමාන්‍ය භාෂාවෙන් කියනවානම් මෙය අධෝමුඛය මසා විරේක බේත් දෙනවා වගේ වැඩක්.

ශ්‍රමික ප්‍රේෂණ මේ තරම්ම අඩු වෙන්න පිළිගත හැකි බාහිර හේතුවක් නැහැ. මෙයින් පෙනෙන්නේ ලංකාවට සාමාන්‍යයෙන් ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ වලින් විශාල ප්‍රමාණයක් බැංකු පද්ධතිය මඟ හැර වෙනත් මාර්ග හරහා රටට පැමිණෙන බවයි. අනෙක් පැත්තෙන් එයින් අදහස් වන්නේ ඩොලර් අවශ්‍ය, එහෙත් විධිමත් ලෙස ඩොලර් මිල දී ගැනීමේ අවස්ථාව අහිමි කරනු ලැබ ඇති, ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙක් මොන විදිහකින් හෝ තමන්ට අවශ්‍ය ඩොලර් හොයා ගන්නා බවයි. කවර බාධා ක්‍රියාත්මක වුවත් ඉල්ලුම හා සැපයුම සමතුලිත වීම නොවැලැක්විය හැකියි.

මෙතෙක් ඉදිරිපත් කළ "මහදැනමුතු විසඳුම්" බොහොමයක්ම මේ වන විට රිවස් කර තිබෙන මේ ආණ්ඩුවට විදේශ විණිමය ප්‍රතිපත්තියද වැඩි කලක් නොයා රිවස් කරන්නට සිදු වනු නොඅනුමානයි. දැනටමත් එළුවාගේ බෙල්ල කපා අවසන් කර ඇති ආණ්ඩුව කොයි වෙලාවේ හෝ මුට්ටිය බිඳීමෙන් පසුව ඩොලරයේ මිල එකවර සැලකිය යුතු මට්ටමකින් ඉහළ යාමද නොවැලැක්විය හැකියි. එවිට සිදු වනු ඇත්තේ දැනට විරේක බෙහෙත් බීමේ අපහසුතාවයෙන් පෙලෙන ජනතාවට අධෝමුඛය ඉරී යාමේ වේදනාවටද මුහුණ දෙන්නට සිදු වීමයි.

Sunday, February 14, 2021

විදේශ සංචිත අඩුවුණේ කොහොමද?


පසුගිය වසර ආරම්භ වන විට ලංකාවේ නිල විදේශ විණිමය සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 7,642ක්. වසර අවසාන වෙද්දී මෙම නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 5,665 දක්වා අඩු වී තිබෙනවා. මෙය ඩොලර් මිලියන 1,977ක අඩුවක්. ජනවාරි මාසය ඇතුළත තවත් ඩොලර් මිලියන 851කින් අඩු වීමෙන් පසුව තවත් ඉතිරිව තිබෙන්නේ ඩොලර් මිලියන 4,815ක් පමණයි. වසරේ ඉදිරි මාස එකොළහ තුළ විදේශ ණය හා වාරික ලෙස ගෙවිය යුතු මුදල මීට වඩා වැඩියි. 

ලංකාව නැවත වරක් ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දී සිටින බව පැහැදිලියි. කොහොම වුනත් ගෙවුම් ශේෂ අර්බුද ලංකාවට අලුත් දෙයක්නම් නෙමෙයි.

පසුගිය වසර ඇතුළත ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1,977කින් අඩු වුනේ කොහොමද?

විදේශ සංචිත අඩු වුනේ කෝවිඩ් නිසා කියන එකනම් පිළිගන්න අමාරුයි. ඇතැම් විට කෝවිඩ් වසංගතය නොවන්නට තත්ත්වය වඩාත් දරුණු විය හැකිව තිබුණු බව මගේ අදහසයි. මා එසේ කියන්නේ හේතු ඇතිව.

ලංකාවට විදේශ විණිමය ලැබෙන ප්‍රධාන මාර්ග තුන විදිහට භාණ්ඩ අපනයනය, සේවා අපනයනය හා ශ්‍රමික ප්‍රේෂණ හඳුනා ගත හැකියි. පසුගිය වසර ඇතුළත විදේශ විණිමය ලැබෙන මේ එක් එක් මාර්ගයට සිදු වුනේ කුමක්ද?

වසර තුළදී භාණ්ඩ අපනයන ආදායම පෙර වසරට සාපේක්ෂව ඩොලර් මිලියන 1,863කින් අඩු වී තිබෙනවා. මෙයින් ඩොලර් මිලියන 1,266ක්ම අඩු වී තිබෙන්නේ ඇඟලුම් අපනයන ආදායමින්. කොහොමටත් ලංකාවේ අපනයන ආදායමෙන් බාගයකට වඩා ලැබෙන්නේ ඇඟලුම් අපනයන වලින් නිසා මෙහි විශාල අමුත්තකුත් නැහැ. ඉතිරි අඩුව අනෙක් සියළුම අපනයන අතර බෙදී ගොස් තිබෙනවා. 

අපනයන ආදායම අඩු වීමට හේතුව කෝවිඩ් වසංගතය හා එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාවේ හා යුරෝපයේ ඇඟලුම් ඇතුළු අනෙකුත් අපනයන සඳහා වූ ඉල්ලුම අඩු වීම ලෙස හඳුනාගත හැකියි. ඒ අනුව, අවශ්‍යනම් ගෙවුම් ශේෂ හිඟයට හේතුව වසංගතය නිසා අපනයන ආදායම් අඩු වීම කියන සරල නිගමනයට පැමිණිය හැකියි. එහෙත් එවැනි නිගමනයක් නිවැරදි නොවන්නේ වසංගතය නිසා අපනයන ආදායම් අඩු වනවාට වඩා වැඩියෙන් ආනයන වියදම් අඩු වී තිබීම නිසයි.

අපනයන ආදායම් ඩොලර් 1,863කින් අඩු වෙද්දී ආනයන වියදම් ඩොලර් 3,882කින් අඩු වී තිබෙනවා. මේ අනුව, පසුගිය වසරේදී ලංකාවේ වෙළඳ හිඟය ඩොලර් මිලියන 2,019කින් පහළ ගොස් තිබෙනවා. වෙනත් විදියකින් කිවුවොත් ආනයන අපනයන පරතරයක් තිබුණත් එය පෙර වසරට වඩා ඩොලර් මිලියන 2,019කින් අඩු පරතරයක්. ඒ නිසා, සංචිත වැඩි වෙන්න මිසක් අඩු වෙන්න හේතුවක් නැහැ. 

ආනයන වියදම් වලින් ඩොලර් 1,349ක්ම අඩු වී තිබෙන්නේ ඉන්ධන ආනයන වියදම් වලින්. කෝවිඩ් නිසා ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩු වීමත්, රට ඇතුළේ ඉන්ධන අවශ්‍යතා යම් තරමකින් අඩු වීමත් මෙයට හේතුව බව පැහැදිලියි. ඒ කියන්නේ මෙය වසංගතය නිසා ලැබුණු වාසිදායක ප්‍රතිඵලයක්. මේ වාසිය පමණක් ගත්තත් ඇඟලුම් අපනයන අඩු වීමේ අවාසියට වඩා වැඩියි. 

ලංකාවේ ප්‍රධානම අපනයන ආදායම ඇඟලුම් වුනත් මේ අපනයන නිෂ්පාදනය සඳහා අවශ්‍ය රෙදිපිළි ඇතුළු බොහෝ අමුද්‍රව්‍ය ආනයනය කරන නිසා කර්මාන්තයෙන් ලැබෙන අපනයන ආදායම ශුද්ධ අපනයන ආදායමක් නෙමෙයි. ආදායමෙන් කොටසක් අමුද්‍රව්‍ය ආනයනය සඳහා නැවත රටෙන් එළියට යනවා. කර්මාන්තය කඩා වැටෙන විට අපනයන ආදායම් අඩු වනවා වගේම ආනයන වියදම් වලින් කොටසක්ද අඩු වෙනවා. පසුගිය වසර තුළ ඇඟලුම් හා රෙදිපිළි ආනයන වියදම් ඩොලර් මිලියන 574කින් අඩු වී තිබෙනවා. ඒ කියන්නේ, අඩු වුනු ඇඟලුම් අපනයන ආදායම් වලින් බාගයකට කිට්ටු මුදලක් ඇත්තටම අඩු වෙලා නැහැ. වෙන පැත්තකින් ඉතුරු වෙලා. 

මේ අනුව, මෙම මුදල අඩුකර, සමස්ත අපනයන ආදායමේ සැබෑ අඩු වීම ඩොලර් මිලියන 1,863 - 574 = 1,289ක් කියා කියන්න පුළුවන්. තෙල් වලින් පමණක් ලැබී තිබෙන වාසිය ඩොලර් 1,349ක්. ඒ වාසිය අපනයන අඩුවීමේ සමස්ත අවාසියට වඩා වැඩියි. වසංගතය නිසා වෙළඳ ශේෂයට වාසියක් මිස අවාසියක් සිදු වී නැති බව ඉතාම පැහැදිලියි.

එහෙමනම්, ශ්‍රමික ප්‍රේෂණ අඩු වෙලාද?

ඒත් නැහැ. වසර තුළ ශ්‍රමික ප්‍රේෂණ විදිහට ඩොලර් මිලියන 7,104ක් ලැබී තිබෙනවා. මෙය පෙර වසරට සාපේක්ෂව ඩොලර් මිලියන 387ක වැඩි වීමක්. වසංගතය නිසා ශ්‍රමික ප්‍රේෂණ තවත් වැඩි වී මිස අඩු වී නැහැ. 

පසුගිය අවුරුද්දේ සමස්ත වෙළඳ ශේෂය ඩොලර් මිලියන 5,978 දක්වා අඩු වෙද්දී ශ්‍රමික ප්‍රේෂණ විදිහට පමණක් ඩොලර් මිලියන 7,104ක් ලැබී තිබෙනවා. මෙතැනම ඩොලර් මිලියන 1,126ක් වැඩිපුර තිබෙනවා. පහුගිය කාලය මුළුල්ලේම ලංකාවේ වෙළඳ ශේෂ හිඟයෙන් සැලකිය යුතු කොටසක් ශ්‍රමික ප්‍රේෂණ වලින් ආවරණය වුනත් මේ විදිහට ශ්‍රමික ප්‍රේෂණ වලින් වෙළඳ ශේෂ හිඟය මුළුමනින්ම ආවරණය වුනේ පළමු වතාවට කියලයි මම හිතන්නේ. 

ආනයන පාලනය කිරීමේ බලපෑම නොසලකා හැරිය නොහැකි වුවත්, මෙය බොහෝ දුරට වසංගතය නිසා ලැබුණු වාසියක්. ආනයන පාලනය ගැන අපි වෙනම කතා කරමු.

දැන් අඩු වශයෙන් කරුණු දෙකක් පැහැදිලි විය යුතුයි. පළමුව, කෝවිඩ් නිසා භාණ්ඩ අපනයන වෙළඳපොළේ තත්ත්වය හොඳ අතට මිස නරක අතට හැරී නැහැ. දෙවනුව, ශ්‍රමික ප්‍රේෂණ වැඩි වී මිස අඩු වී නැහැ. 

වසංගතය නිසා සිදු වූ තුන් වන පාඩුව ලෙස සැලකෙන්නේ සංචාරක කර්මාන්තය හරහා ලැබුණු ආදායම් අඩු වීම. පසුගිය වසර තුළදී සංචාරක කර්මාන්තයෙන් උපයා තිබෙන ආදායම ඩොලර් මිලියන 957ක් පමණයි. පෙර වසරේ ආදායම ඩොලර් මිලියන 3,607ක්. මෙය ඩොලර් මිලියන 2,650ක අඩුවක්. 

සංචාරක කර්මාන්තයෙන් ලංකාව විශාල ආදායමක් උපයනවා කියන එක ඇත්ත. හැබැයි අනෙක් පැත්තට ශ්‍රී ලාංකිකයින් විදේශ රටවල සංචාරය කරද්දී වියදමක්ද යනවා. ඒ නිසා මේ මුළු මුදලම කර්මාන්තය හරහා සිදු වූ ශුද්ධ විදේශ විණිමය ලැබීමක් ලෙස සලකන්න බැහැ. පහුගිය අවුරුද්දේ සංචාරක ආදායම් ප්‍රමාණය ඩොලර් මිලියන 3,607ක් වෙද්දී සංචාරක වියදම්ද ඩොලර් මිලියන 1,638ක්ව තිබුණා. ඒ නිසා කර්මාන්තයේ ශුද්ධ විදේශ විණිමය ලැබීම ප්‍රමාණය වුනේ ඩොලර් මිලියන 1,969ක් පමණයි. ඒ වගේම සමස්තයක් ලෙස සියලුම සේවා අංශ වලින් ඩොලර් මිලියන 2,849ක ශුද්ධ විදේශ විණිමය ප්‍රමාණයක් ලැබී තිබුණා.

දැන් මේ අවුරුද්දේ සංචාරක ආදායම් ඩොලර් මිලියන 2,650කින් අඩු වෙද්දී සංචාරක වියදම්ද විශාල ලෙස අඩු වී තිබිය යුතුයි. මාර්තු වලින් පස්සේ ලාංකිකයින් විදේශ සංචාර වල යෙදෙන එක සම්පූර්ණයෙන්ම වගේ නැවතුනානේ. ඒ නිසා, ඉහත කී අවාසියෙන් සෑහෙන ප්‍රමාණයක් අඩු විය යුතුයි. සංඛ්‍යාලේඛණ හරියටම නැතත් වසංගතය නිසා සිදු වූ පාඩුව ඩොලර් බිලියන 1-1.5 ප්‍රමාණයක් කියා හිතන්න පුළුවන්. මේ මට්ටමේ අවාසියක් සිදු වුනත්, සමස්තයක් ලෙස ලංකාවේ සේවා ගිණුමේ අතිරික්තයක් තිබිය යුතුයි. 

වෙළඳ ගිණුමේ හිඟය ශ්‍රමික ප්‍රේෂණ වලින් සම්පූර්ණයෙන්ම ආවරණය වෙලානම්, සේවා ගිණුමේත් හිඟයක් නැත්නම්, පසුගිය වසර තුළදී රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1,977කින් අඩු වුනේ කොහොමද?

මෙය වසංගතය නිසා සිදු වී ඇති දෙයක් නෙමෙයි. රටේ මිනිස්සුන්ගේ හෝ ව්‍යාපාරිකයින්ගේ අකාර්යක්ෂමතාවය හෝ වෙනත් වැරැද්දක් නිසා සිදු වී ඇති දෙයක්ද නෙමෙයි. සමස්තයක් විදිහට රටේ පෞද්ගලික අංශය විසින් වියදම් කරනවාට වඩා වැඩියෙන් විදේශ විණිමය උපයා තිබෙනවා. පසුගිය වසර පමණක් තනිව ගත්තොත් රජයේ කාර්යභාරයත් සාධනීයයි.

පහුගිය කාලය මුළුල්ලේම රටේ සමස්ත ගෙවුම් ශේෂය යම් ස්ථාවර තත්ත්වයක පැවතුනා තමයි. උදාහරණයක් විදිහට 2019 වසර තුළ රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 377කින් ඉහළ ගියා. නමුත්, එසේ නිල සංචිත ඉහළ ගියේ විදේශ ණය විදිහට රජය විසින් ඩොලර් මිලියන 6,570ක් ලබා ගැනීමෙන් පසුවයි. ණය නොගත්තානම් පසුගිය වසරේදීම විදේශ සංචිත හිඳිලා. ඉහත ණය ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 4,400ක්ම ලබා ගත්තේ ස්වෛරීත්ව බැඳුම්කර විකුණලා. ඉතිරි ඩොලර් මිලියන 2,170 වෙනත් ණය. මේක කාලයක් තිස්සේම ගහපු රෝලක්.

මේ වෙද්දී මේ රෝල තවදුරටත් ගහන්න බැරි තරමට තත්ත්වය නරක අතට හැරිලා. එයට හේතුව වසංගතය නෙමෙයි. වසංගතය නොතිබුණත් මේ වෙද්දී ඔය ටික වෙනවා. දැන් මේ කොහොමටත් සිදු විය හැකිව තිබුණු දෙය වසංගතය පිට දමන්න හැකි වී තිබෙනවා. 

දැන් ලංකාවට තවදුරටත් ස්වෛරීත්ව බැඳුම්කර විකුණා ණය ගන්න බැහැ. එසේ බැරි වුනේ ණය ශ්‍රේණිගත කරන ආයතන ලංකාවේ ශ්‍රේණිගත කිරීම් පහළට දමපු නිසා නෙමෙයි. එය සිදු වී තිබෙන්නේ අනෙක් පැත්තටයි. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කරන ආයතන වලට ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පහළට දමන්න සිදු වුනේම ලංකාවට ස්වෛරීත්ව බැඳුම්කර හරහා තවදුරටත් ණය අරගෙන ගෙවන්න බැරි මට්ටමට වැටී තිබෙන නිසයි. ශ්‍රේණිගත කිරීම් පහළට නොදමන්නට ලංකාව තවත් ණය අරගෙන මීට වඩා ලොකු අමාරුවක වැටෙනවා.

පහුගිය අවුරුද්ද ඇතුළත ලංකාවේ රජයට ස්වෛරීත්ව බැඳුම්කර විකුණා එක ඩොලරයක් හෝ හොයා ගන්න පුළුවන් වුනේ නැහැ. එහෙත්, වෙනත් ක්‍රම වලින් ඩොලර් මිලියන 2,002ක ණය අරගෙන තිබෙනවා. 2019 වසරේදී ලබාගත් ඩොලර් මිලියන 6,570ක ශුද්ධ විදේශ ණය ප්‍රමාණය එක්ක බැලුවහම මෙය ඩොලර් මිලියන 4,568ක අඩුවක්. 

රජය විසින් ලබාගත් විදේශ ණය ඩොලර් මිලියන 4,568කින් අඩු වෙද්දී විදේශ සංචිත අඩු වී තිබෙන්නේ ඩොලර් මිලියන 1,977කින් පමණයි. මෙය ඉතා හොඳ තත්ත්වයක්. මෙයින් අදහස් වෙන්නේ පෙර වසරට සාපේක්ෂව ඩොලර් මිලියන 2,591කින් ශුද්ධ විණිමය ලැබීම් ඉහළ ගිහින් කියන එකයි. පෙර වසරට සාපේක්ෂව වෙළඳ ශේෂය ඩොලර් මිලියන 2,019කින් අඩු වීමත්, ශ්‍රමික ප්‍රේෂණ ඩොලර් මිලියන 387කින් ඉහළ යාමත් මේ වෙනස බොහෝ දුරට පැහැදිලි කරනවා. ඊට අමතරවද  තවත් ඩොලර් මිලියන 185ක ඉතිරියක් තිබීමෙන් පෙනෙන්නේ සේවා ගිණුම ඇතුළු අනෙක් සියලු ගිණුම් වල ශේෂයන් සමස්තයක් ලෙස ගත් විටද හොඳ අතට මිස නරක අතට හැරී නැති බවයි. 

ආනයන පාලනය වෙනම දීර්ඝ ලෙස සාකච්ඡා කළ යුතු මාතෘකාවක්. ආනයන පාලනය කිරීම ඉහත ප්‍රතිඵලය කෙරෙහි බලපා ඇති බවත්, ආර්ථික වර්ධනය අඩාල කිරීමටද හේතු වී ඇති බවත් බොරු නෙමෙයි. එහෙත්, මෙහිදී රජය පැත්තෙන් සිදු වී තිබෙන්නේ අවශ්‍ය පමණ විදේශ ණය ගැනීමේ හැකියාවක් නැති නිසා විකල්පයක් නැති කමින් ආනයන පාලනය කිරීම කෙරෙහි යොමු වීමක් මිස ආනයන පාලනය හේතුවෙන් ණය ගන්න අවශ්‍ය නොවීමක් නෙමෙයි. යම් හෙයකින් පහසුවෙන් තවත් විදේශ ණය ලබා ගත හැකිව තිබුණානම් මේ විදිහේ ආනයන පාලනයක් කරා රජය යොමු නොවිය හැකිව තිබුණා.

මොන විදිහෙන් සිදු වුනත් සිදු වී තිබෙන්නේ සිදු විය යුතුව තිබුණු දෙයක්. විදේශ සංචිත අඩු වී ඇතත්, විදේශ ණය අඩු වූ තරමට විදේශ සංචිත අඩු වී නැහැ. වසංගතය නිමා වීමෙන් පසුවද මේ ක්‍රමයට දිගටම ගියොත් දිගුකාලීනව ගෙවුම් ශේෂය මත තිබෙන පීඩනය අඩු කර ගන්න පුළුවන් වෙයි. හැබැයි ඒ අතරවාරයේ ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් ඇවිත් ආර්ථිකය කඩා වැටෙන එක වලක්වා ගන්න අවශ්‍ය මට්ටමට ණය ගන්න වෙනවා. 

Wednesday, January 9, 2019

සාධාරණත්වය උදෙසා අරගලය


අදට වසර හයකට පෙර නීත්‍යානුකූල මිනීමැරුමක ගොදුරක් වූ රිසානා නෆීක් පිළිබඳ මතකය අලුත් කරමින් නාරද විජයසූරිය විසින් ඔහුගේ වත්පොත් පිටුවේ තබා ඇති සටහනක් එතැනින් උපුටාගෙන පහත පළ කර තිබේ.

"මගේ දෑසේ කඳුලක් තිබේ ... ඒ ඔබ වෙනුවෙනි 
'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
දුක කියන්නට කිසිවෙකු නොමැතිව , ළමා දිවියේ අනන්ත අප්‍රමාණ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙමින් වසර 7 ක් තිස්සේ අඳුරු සිර මැදිරියක සිරගතව සිටි ඒ අහිංසක දැරිය අද වැනි දිනයක උදේ 11 . 40 ට තියුණු කඩු පහරින් ගෙළ සිඳ මරා දැමිණි 
ගිණියම් රියාද් වැලි කතර අහිංසක දැරියගේ රුධිරය උරා ගන්නා මොහොතේ භීතියෙන් මුසපත් වූ ඇගේ විවුර්ත වූ දෑස සහිත හිස බිම පතිත විය . 
මට ඇගේ බියපත් දෑස මැවී පෙනෙයි .

වසර ගණනාවක් තිස්සේ නොවියලෙන කඳුලක් මගේ ඇස් කෙවෙණි වල සිර වී තිබේ 
අද ද සිතුම් පාරා ඒ කඳුළු උණුසුමට වැගිරේ . 
ඇගේ මරණයට මා වගකිවයුතුයැයි දැනෙන වරදකාරී හැඟීමෙන් මියෙන තුරු මිදිය නොහැක ,

ඒ අවාසනාවන්ත ජීවිතය බේරා ගැනීමට කරනු ලැබූ නිහඬ සටන පරාජය වූ හැටි මම ඔබට කියමි . 
ඒ 2007 වසරේ ජූනි මාසයේ දවසකි , නෙත් රූපවාහිනී මැදිරියේ රාත්‍රී පහන් කන්ද වැඩ සටහන නිම කර මගේ කාර්යාල කාමරයට ඇතුල් වන විට දුර කථන ඇමතුමක් ලැබිණි , 
සෞදි අරාබියේ සිට කථා කළ ගෘහ සේවිකාවක් බිඳුණු ස්වරයෙන් පැවසුවේ ''දවද්මි '' සිර ගෙදර අපේ ගැහැණු ළමයෙකු මරණ දණ්ඩනයට නියම කර ඇති බවත් තව මාසයක් ඇතුළත අභියාචනයක් නොකළහොත් ඈ මරා දමන බවත්ය . මේ වන විටත් බලධාරීන් කිසිම පියවරක් ගෙන නොමැති බවත්ය .
සිර ගෙදරට යාමට අවකාශ ඇති ඇය දැරිය ගේ සියලු තොරතුරු අසා දැනගෙන මට කීවාය ,

අල් කතයිබි නමැති පොහොසත් පවුලක මාස 4ක් වයසැති දරුවාට කිරි පොවමින් සිටින අතරතුර ශ්වාස මාර්ගයේ කිරි සිරවීමට ලක් වී ඇත , ඇය කෑ ගසමින් දරුවාගේ පිටට වැරෙන් තට්ටු කරන්නට පටන් ගත්තාය , ඒ මොහොතේ ගෙහිමි කාන්තාව එහි පැමිණි අතර , දරුවා නිසලව සිටින අයුරුත් රිසානා පිටට පහර දෙන අයුරුත් දැක වහා කිපී දැරියට නහයෙන් ලේ වැගිරෙන ලෙස පහර දී පොලිසියට භාර දී ඇත .

පොලිසියෙදීත් ඉන බඳින හම් පටියකින් දරුණු පහර දීමට ලක්ව සිටි දැරියට අරාබි භාෂාවෙන් ඔවුන් කියූ කිසිවක් වටහා ගත නොහැකි විය , කාත් කවුරුත් නොමැති රටක ඇය බියෙන් මුසපත් වී සිටියාය ,

දරුවාගේ ගෙල මිරිකා මරා දැමූ බවට ලියු ලිපියකට , අකුරු නොදත් ඇයගේ ඇඟිලි සලකුණ ගෙන තිබිණි , 2005 වසරේ මැයි 4 වනදා රියාද් නගරයට පැමිණි 17 හැවිරිදි දැරිය දින 18 ක සේවයෙන් පසුව 22 වනදා මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නාය .

වසර දෙකක නඩු විභාගයෙන් අනතුරුව මරණ දණ්ඩනය නියම කරන තුරු කිසිවෙකු මේ පිළිබඳව දැනුවත් වී නොතිබිණි , එදා රාත්‍රියේ එම ගෘහ සේවිකාව ඒ බව මට නොපවසන්නට එය මාධ්‍යයෙන් වසන් වුන සිද්ධියක් වන්නට ඉඩ තිබිණි .

සිද්ධිය ඇසීමත් සමගම මගේ සිරුර ගිණිගෙන දැවෙන බවක් මට දැනුනි , එවකට විදේශ කම්කරු කටයුතු පිලිබඳ අමාත්‍ය කෙහෙළිය රඹුක් වැල්ල මහතාට ඒ රාත්‍රියේම මම දුර කථන ඇමතුමක් දුන්නෙමි , ඕනෑම මොහොතක ඔහුගේ ලේකම් වරයෙකුට කථා කරන්නට මට පහසුව සලසා තිබිණි . සිද්ධිය කෙටියෙන් පවසා හෙට උදෑසන විශේෂ සජීවී පහන් කන්ද වැඩ සටහනකට සුදානම්ව සිටින ලෙස දැනුවත් කර , එමොහොතේම මම ආසියානු මානව හිමිකම් සංවිධානයට සහ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයට විද්‍යුත් ලිපි දෙකක් යොමු කෙරුවෙමි , පසුදා උදෑසන සජීවී වැඩ සටහනේදී සිද්ධිය අනාවරණය කළ මම සෞදි අරාබි තානාපති වරයාට පිළිතුරු දෙන්නැයි ආරාධනය කළෙමි ,

හොඳින් සිංහල කථා කරණ , ඕනෑම මොහොතක අපේ රුපවාහිනිය සමග සම්බන්ධ වන , මා සමග දැඩි කෝපයකින් පසුවන තානාපති තුමා දුරකතනයෙන් සම්බන්ධ විය . 
ඒ වනවිටත් තානාපති කාර්යාලය , රිසානාගේ සිද්ධිය ශ්‍රිලංකාවේ රජයට වාර්තා කර නොතිබුන බව මට පැහැදිලි විය .

ඔහු මේ සිද්ධිය දන්නා බවත් , අභියාචනයක් ඉදිරිපත් කිරීමට අරාබි නීතිඥයින් සපයා ගැනීමට සහ නීතිමය කටයුතු වලට දැවැන්ත වියදමක් යන බවත් එය අප සිතන තරම් පහසු නොවන බවත් ඔහු පැවසීය ,

මගේ ඉවසීමේ සීමාව ඉක්ම ගිය අතර , මා සිටින්නේ සජීවී වැඩ සටහනක බව මට අමතක විය ,
තානාපති කාර්යාලයේ ගෝනියක් තිබේදැයි මම ගරු තානාපති තුමාගෙන් අවිනීත ලෙස ප්‍රශ්න කලෙමි , 
එතුමා ඒ ඇයි දැයි මගෙන් විමසීය ,
කරුණාකර එම ගෝනිය තානාපති කාර්යාලයේ දොරටුව අසල තබන ලෙස මම ඉල්ලා සිටියෙමි . 
''නාරද රාජ්‍ය තාන්ත්‍රික කටයුතු විහිලුවකට ගන්න එපා , මාධ්‍ය ඉදිරියේ වීරයෙක් වන්නට ඔබට ඕනෑම දෙයක් කිව හැකි නමුත් මේ ප්‍රශ්න ගැඹුරු රාජ්‍ය තාන්ත්‍රික ගනු දෙණු , ඔබ ඔබේ කටයුතු කරගෙන සිටින්න .'' යැයි ඉතා වෘත්තියමය අයුරින් සහ ඉවසීමෙන් ඔහු පැවසීය ,

අපට අපේ දැරියකගේ ජීවිතය පිළිබඳව වේදනාවක් ඇති බවත් , වැසිකිලි හෝදන , කාණු පිරිසිදු කරණ මන්දිර වල බැල මෙහෙවරකම් කරන දිළිඳු මිනිසුන්ගේ රුධිරය කකියන බවත් , ඒ මිනිසුන් ගේ දුප්පත් වැටුපෙන් රියාල් එක බැගින් පෝලිමේ විත් ඔබේ ගෝනිය පුරවා දෙන්නට අප සපථ කරන බවත් මම ඔහුට පැවසීමි . 
මගේ දෑස් වල කඳුළු කැමරාවෙන් වසන් කර ගැනීමට උත්සහ කළද මගේ කටහඬේ බිඳුණු ස්වරය ලෝකයට ඇසුනි . දහස් ගණනක් දෙනා එක හඬින් අසරණ දැරිය වෙනුවෙන් හඬ නගන්නට විය . ඈ ඒ කිසිවක් නොදැන අඳුරු සිරකුටියේ මරණ භයෙන් තැතිගෙන සිටි මොහොතේ අප ඇය බේරා ගැනීමේ සටන අරඹා තිබිණි , 
ඊ ළඟ මොහොතේ ඇමති වරයා දුරකතනයෙන් සම්බන්ධ විය , ඔහු වහාම මේ වෙනුවෙන් ක්‍රියා කරන බවත් නියෝජ්‍ය ඇමති බාහිලා මහතා හෙටම රියාද් නුවරට පිටත් කරන බවත් පොරොන්දු විය , ඉනික්බිති ලංකාවේ දේශපාලකයින් , මාධ්‍ය මේ පිලිබඳ පුවත් මවන්නට විය .

එතැන් පටන් සිදු වූ සිද්ධි දාමය එතරම් ප්‍රීති දායක නොවේ , කොළඹ සරසවියේ නීති පීඨයෙන් පිට වුන අපට වඩා ඉහළ වසරක උගත් නීතිඥයෙක් වූ තානාපති කාර්යාලයේ නීති නිලධාරියා විශාල කැපවීමකින් කටයුතු කළ නමුත් , ලිපි ගොනු සැඟවීම වැනි බාධක ඔහුට එල්ල විය , ඇතැම් විට අපට රහසිගතව මෙහෙයුම් දියත් කරන්නට සිදු විය .

නීතිමය පිළිසරණ ඉතා අල්ප බව වැටහෙන්නට පටන් ගත විට ලාංකික සේවකයන් මාර්ගයෙන් සෞදි ජාතිකයන් දෙදෙනෙකු හඳුනා ගත් මා මියගිය දරුවාගේ දෙමාපියන් වෙත කිට්ටු කලෙමි . 
එරට ශාරියා නීතිය අනුව අගතියට පත් පාර්ශවයට පමණක් ලේ වන්දිය ලෙස මුදලක් රැගෙන රිසානාට සමාව දීමේ හැකියාව තිබිණි . සෞදි රජයේ ප්‍රධාන පෙලේ අමාත්‍යංශ දෙකක උසස් නිලධාරීන් වූ මියගිය දරුවාගේ දෙමාපියන් වෙත පණිවුඩ කරුවන් යොමු කළෙමි , එකළ එහි සේව්‍ය කළ බොහෝ දුප්පත් මිනිසුන් විශාල කාර්යභාරයක් ඉටු කරනු ලැබිණි ,

දරුවාගේ පියා විශාල මුදලක් ලේ වන්දිය ලෙස ලබා ගැනීමට කැමැත්ත පල කළද මව එක හඬින්ම කියා සිටියේ රිසානාගේ රුධිරය දැකීමට ඇයට අවශ්‍ය බවයි . 
එහෙත් අප උත්සාහය අත නොහැරියෙමු , ඒ වන විට මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයාත් , බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරාත් සෞදි රජුගෙන් දැරියට සමාව දෙන ලෙස ඉල්ලීම් කර තිබිණි ,
බාල වයස්කාර දැරියට මරණ දඬුවම නියම කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවට අපේ නීතිඥයින් තර්ක කරමින් සිටියේය .

සියල්ල තීරණය වන්නේ මවගේ කැමැත්ත මත බව තේරුම් ගත් අප ඇය කැමති කරවා ගැනීමේ වෑයම අත නොහැර කරගෙන යමින් සිටියෙමු .
අවාසනාවට ආර්ථික හේතුන් මත නෙත් රුපවාහිනිය නවතා දැමීමට සිදු විය .

අපේ රුපවාහිනී තිරයේ සංඥා නොමැති බව දක්වන පණිවිඩය දෙස බලාගෙන මගේ කාර්යාල මේසය මත මම හඬමින් සිටියෙමි . ඒ මොහොතේ ගලා ගිය කඳුළු වල වැඩි බරක් රිසානා වෙනුවෙන් වෙන්ව තිබිණි . 
වසර 8 ක නඩු විභාගයකින් පසුව 2013 ජනවාරි 9 වනදා පෙ ව 11.40 ට රියාද් හී දවද්මි වධක භූමියේදී මරා දැමිණි .

රටේ පවතින අනන්ත දරිද්‍රතාවයෙන් මිදෙන්නට තම ලෙයින් මසින් තැනූ දියණිය අඩු වයසක් යොදා මාරු කතරට යැවූ දෙමාපියන්ටත් , දිළිඳු මිනිසුන්ගේ ජීවන වේදනාව මත සුඛෝපභෝගී ජීවිත ගෙවන මුග්ධ දේශපාලකයන්ටත් අද රිසානා අමතක වී තිබිය හැකිය .

එහෙත් ඈ මගේ දියණිය මෙන් . ඈ මගේ සොයුරිය මෙන් මගේ හදවත පතුලේ රිදුම් දෙමින් මා මියයන තුරුම සිටිනු ඇත . අදටත් මේ රටේ මිනිසුන්ට කිසි විටෙකත් අවශ්‍ය නැති කුණු කන්දල් අලෙවි කරණ මාධ්‍ය පිළිබඳව මට පිළිකුලක් තිබේ ,

කාලකන්නි දේශපාලකයන්ට කඩේ යනවා වෙනුවට , රටක ජනතාවගේ ආකල්ප සංවර්ධනය කරන්නට රුපවාහිනිය වැනි මාධ්‍යයක් යොදා ගත හැකි ආකාරය පිළිබඳව පුර්වාදර්ශයක් සපයන්නට අපට හැකි විය . 
එවැනි මාධ්‍ය සිහිනයක් අවසන් හුස්ම දක්වාම මා තුල තැන්පත්කළ දැරිය අද වැනි දවසක ගෙළ කපා මරා දැමූ , ඒ බියපත් දෑසේ හිමිකාරියයි , 
රිසානා වැනි තවත් දස දහස් ගණනක් අදත් වැලි කතරේ දුක් විඳියි .

ඔබ ඔබෙන් ප්‍රශ්ණ කරමි 
රිසානා මුහුණ දුන් අවාසනාවන්ත ඉරණම ඔබේ සහජාත දියණියට අත් වුවහොත් ඔබ කුමක් කරන්නේද ? 
එහෙත් රිසානා ඔබේ දියණිය නොවේ ,
එහෙයින් ඇගේ මරණය ඔබට ඉවසා දරා ගත හැකිය , 
අප සැබවින්ම මිනිසුන්ද ?

නාරද විජයසූරිය"

රිසානා නෆීක්ව මරා දමනු ලැබීම අත්වැරදීමක ප්‍රතිඵලයක් බව හෝ එක් හුදෙකලා සිදුවීමක් බව යමෙකුට කියන්නට පුළුවන. ඉහත සටහන සමඟම කියවිය යුතුයයි මා සිතන නදීර විජේසිංහගේ පහත බ්ලොග් සටහනේ විස්තර කෙරෙන සිදුවීමනම් කෙසේවත් අත්වැරදීමක් නොවේ.

සාධාරණත්වය උදෙසා අරගලය 

Tuesday, September 11, 2018

ශ්‍රමික ප්‍රේෂණ, සෘජු විදේශ ආයෝජන හා විදේශ ණය



දිගින් දිගටම විදේශ ණය ගනිමින් අයවැය පරතරය පියැවීම හා එයින් රටේ ආනයන අපනයන පරතරයට සිදුවන බලපෑම ගැන පෙර ලිපියෙන් පෙන්වා දුන්නා. එහි පෙන්වා දුන් පරිදි, රටට හා රටෙන් පිටතට විදේශ විණිමය සම්ප්‍රේෂණය වන එකම යාන්ත්‍රනය ආනයන හා අපනයන පමණක්නම්, විදේශ විණිමය වෙළඳපොළට මහ බැංකුවේ මැදිහත්වීමකුත් නැත්නම්, දිගුකාලීනව රටේ ආනයන හා අපනයන අතර පරතරයක් තියෙන්න විදිහක් නැහැ. නමුත්, කිසියම් වෙනත් ක්‍රමයකින් රටට වාර්ෂිකව විදේශ විණිමය ගලා එනවනම් එසේ පැමිණෙන විදේශ විණිමය ප්‍රමාණයට සමාන ආනයන අපනයන පරතරයක් ඇතිවෙන එකත් වලක්වන්න බැහැ.

මේ විදිහට වෙනත් ආකාර වලින් රටට පැමිණෙන විදේශ විණිමය කොටස් තුනක් යටතේ වර්ග කරන්න පුළුවන්.
1. ශ්‍රමික ප්‍රේෂණ
2. සෘජු විදේශ ආයෝජන
3. විදේශ ණය

ඔය ක්‍රම තුනෙන් කොයි විදිහට විදේශ විණිමය රටට ආවත්, මහ බැංකුවේ මැදිහත්වීමක් සිදු නොවුනොත්, අවසාන ප්‍රතිඵලය වෙන්නේ රුපියල වඩා ශක්තිමත් වීම (ඩොලරයේ මිල අඩුවීම/ අවශ්‍ය තරම් වැඩි නොවීම) හා ඒ හේතු කරගෙන ආනයන වලට වඩා අපනයන වැඩි වී වෙළඳ හිඟයක් ඇතිවීම හා අවසාන වශයෙන් විදේශ විණිමය වෙළඳපොළ සමතුලිතවීමයි. කවර ආකාරයෙන් ඩොලර් රට ඇතුළට ආවත් ඒ ඩොලර් අපනයන වෙනුවෙන් නැවත ආපසු රටින් එළියට යනවා. ඒ හැම විටකම දේශීය කර්මාන්ත යම් ප්‍රමාණයක් බිඳ වැටෙනවා. ඒ නිසා, (මහ බැංකුවේ මැදිහත්වීමක් නැතිව) දේශීය නිෂ්පාදන වලට තැනක් දීමත් රුපියල ශක්තිමත්ව තබා ගැනීමත් කියන ඉලක්ක දෙකම එකවර හඹා යන්න බැහැ. දොන්නම් දොන් සිමන්නම් සිමන්.

ඉහත කී ක්‍රම තුනෙන් කොයි විදිහට විදේශ විණිමය ආවත් දේශීය අපනයන අඩුවෙලා ආනයන ඉහළ යනවා. නමුත්, ඒ හේතුව නිසාම ඔය තුනේ බලපෑම් සමානයි කියන්න බැහැ. ශ්‍රමික ප්‍රේෂණ ඉතිරි ආකාර දෙක තරම් හානිකර නැහැ. එයට හේතුව ශ්‍රමික ප්‍රේෂණ ආවා කියා පසුකාලීනව විදේශ විණිමය ආපසු යාමක් සිදු නොවන නිසා. ශ්‍රමික ප්‍රේෂණ හේතුවෙනුත් වෙළඳ හිඟයක් ඇති වුනත් එය හානිකරයි කියා කියන්න බැහැ. නමුත්, සෘජු විදේශ ආයෝජන හා විදේශ ණය ලබා ගන්නවා කියන්නේ අනාගතයේ විදේශ විණිමය රටින් පිටවන යාන්ත්‍රණයන් කැඳවා ගැනීමක්.

මෑතකාලීනව ලංකාවේ ආණ්ඩු වල ආර්ථික ප්‍රතිපත්ති වල සෘජු විදේශ ආයෝජන කැඳවා ගැනීමේ අපේක්ෂාව කැපී පෙනෙනවා. ඒ කටයුත්තේදී ලංකාවේ ආණ්ඩු දිගින් දිගටම අසාර්ථක වීම වෙනම කරුණක්. නමුත්, සෘජු විදේශ ආයෝජන කියන්නේ ඔය හිතන තරම් වාසිදායක දෙයක් නෙමෙයි. කවුරු හෝ සෘජු විදේශ ආයෝජන ලෙස ප්‍රාග්ධනය ලංකාවට ගේනවනම් එසේ ගේන්නේ සැලකිය යුතු ප්‍රතිලාභයක් සමඟ මේ ප්‍රාග්ධනය නැවත ආපසු රටෙන් පිටතට රැගෙන යාමේ අරමුණිනුයි. ඒ නිසා, බොහෝ විට සිදුවෙන්නේ සෘජු විදේශ ආයෝජන ලෙස පැමිණෙන විදේශ විණිමයට වඩා වැඩි විදේශ විණිමයක් පසුකාලීනව රටින් පිටතට යාමයි. එය නොවන අවස්ථාත් තියෙනවා. නමුත්, එය තීරණය වන්නේ සංස්කෘතික සාධක මතයි.

උදාහරණයක් සේ ගත්තොත් දහනවවන සියවසේදී එංගලන්තයේ සිට ලංකාවට දිගින් දිගටම ප්‍රාග්ධනය ගලා ආවා. මේවා  සෘජු විදේශ ආයෝජන සේ සැලකිය හැකියි. ලංකාවේ වැවිලි ආර්ථිකය දියුණු කෙරුණේ හා මහාමාර්ග සංවර්ධනය සිදුවුණේ මේ ප්‍රාග්ධනය යොදා ගනිමිනුයි. මේ විදිහටම ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව වගේ වත්මන් සංවර්ධිත රටවලටත් ඉන්දියාව, පකිස්ථානය, බංගලි දේශය වගේ වත්මන් අඩු-ආදායම් රටවලටත් එංගලන්තයේ සිට ප්‍රාග්ධනය ගලා ආවා.

ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව වගේ රටවලට ප්‍රාග්ධනය අරගෙන ආපු සුද්දෝ ඒ රටවලම පැලපදියම් වුණා. ඒ නිසා, ඔවුන් රැගෙන ආ ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ ඒ රටවල් වලින් පිටතට ගෙනියන්න ඔවුන්ට අවශ්‍ය වුණේ නැහැ. ඒ ප්‍රාග්ධනය වගේම ප්‍රාග්ධනයේ ප්‍රතිලාභත් ඒ රටවල් වලම නැවත ආයෝජනය කෙරුණා. නමුත්, ඉන්දියාව, පකිස්ථානය, බංගලි දේශය වැනි රටවල් වලට පැමිණි සුද්දෝ ඒ විදිහට පැලපදියම් වුණේ නැහැ. ඉන්දියාවට හා ලංකාවට නිදහස ලැබෙන්න ආසන්න කාලයේදී හා නිදහස ලැබීමෙන් පසුව මේ සුද්දෝ බොහෝ දෙනෙක් ආපසු ගියේ ඔවුන්ට රැගෙන යා හැකි තරම් ප්‍රාග්ධනයත් අරගෙනයි.

ලංකාවේ ආණ්ඩු විසින් මේ ඇතැම් පෞද්ගලික දේපොළ "ජනසතු කිරීම" හරහා එය යම් තරමකින් වැලැක්වුවත් එයින් බොහෝ විට වුණේ එසේ ජනසතු කළ දේවල් ඒවායේ මුල් අයිතිකරුවන්ට හෝ පසු අයිතිකරුවන්ට ප්‍රතිලාභ ලබා නොදෙන සුදු අලින් බවට පත් වීම විතරයි. එයට අමතරව ලංකාවට සෘජු විදෙස් විණිමය රැගෙන එන්න ඉඩ තිබුණු අයට නරක පණිවුඩයකුත් ඒ හරහා සම්ප්‍රේෂණය වුණා.

අඩු වශයෙන් දහනවවන සියවසේ මුල් කාලයේදී සුද්දෝ ඔවුන්ගේ එංගලන්තයේ දේපොළ විකුණා ඒ මුදල් ලංකාව ඇතුළු වෙනත් රටවල ආයෝජනය කළේ ඒ රටවල් දාලා ආපහු යන්න හිතාගෙනම නෙමෙයි. ඒ වුනත්, දහනවවන සියවසේ අන්තිම කාලය වෙද්දී තමන්ට දිගුකාලීනව පැලපදියම් වීමට සුදුසු හා නුසුදුසු රටවල් ගැන ඔවුන්ට අවබෝධ වුණා. ඉන් පසුව, තමන්ට දිගුකාලීනව පැලපදියම් වී සිටීමේ ශක්‍යතාවයක් නොතිබුණු රටවලදී ඔවුන් කළේ තමන්ගේ ආයෝජන වල ප්‍රතිලාභ ඒ රටවලම නැවත ආයෝජනය කරනවා වෙනුවට හැකි තරම් රටින් පිටතට ගෙනියන එකයි.

දැන් වෙන්නෙත් ඔය ටිකම තමයි. ලංකාවේ සෘජු විදෙස් ආයෝජන කරන කවුරු වුනත් දැන් එසේ කරන්නේ තමන්ගේ ප්‍රාග්ධනය හා ඒ මත ලැබෙන ප්‍රතිලාභ නැවත ආපසු ගෙනයාමේ බලාපොරොත්තුවෙනුයි. මේ විදිහට වාර්ෂිකව රටෙන් පිටතට යන මුදල දැනටත් විශාල මුදලක්. තව තවත් විදේශ ආයෝජන එනවා කියන්නේ අනාගතයේදී විදේශ විණිමය ලංකාවෙන් පිටතට යන මාර්ග තවතවත් විවෘත වෙනවා කියන එකයි. ඒ නිසා, සෘජු විදෙස් ආයෝජන දිරිමත් කරනවා කියන්නේ බොහොම සැලකිල්ලෙන් කළ යුතු දෙයක්.

රටට වාසියක් ලැබෙන්නනම් දිරිමත් කළ යුත්තේ මොන විදිහේ සෘජු විදෙස් ආයෝජනද කියන එක අපි වෙනම ලිපියකින් කතා කරමු. දැනට කියන්න තියෙන්නේ මොන විදිහකින් හෝ සෘජු විදෙස් ආයෝජන ලබා ගැනීම වාසිදායක දෙයක් නොවන බව පමණයි.

කෙටිකාලීනව කරන්න අපහසු වුවත් විදේශ ආයෝජන සමඟ මෙහි එන විදේශිකයින් ලංකාවේ සංස්කෘතියට අවශෝෂණය කරගෙන, ඔවුන්ව ලාංකිකයින් කරගෙන මෙහි රඳවා ගත හැකිනම් පෙර කී හානිය සිදුවන්නේ නැහැ. දහනවවන සියවසේදී සෘජු විදෙස් ආයෝජන රැගෙන මෙහි පැමිණි චෙට්ටි, පාර්සි වගේ ඉන්දියානු ධනවතුන් විශාල පිරිසක් ලංකාවේ පැලපදියම් වුණා. ඊටත් පසුව, චීන විප්ලවය වෙලාවේ පැනල ආපු චීන්නු දැන් සිංහලයන් වී සිටිනවා. මේ අය පැමිණියේ එක්කෝ ප්‍රාග්ධනය, එසේ නැත්නම් වෘත්තීය කුසලතාවන්, බොහෝ විට ඔය දෙකම අරගෙනයි. නමුත්, දැන් මෙය මේ ආකාරයෙන් සිදුවෙන්නේ නැහැ. ඒ නිසා, සෘජු විදෙස් ආයෝජන වලින් වාසියක් සැලසෙන්නේ ඒ හේතුවෙන් තාක්ෂනය කාන්දුවීම හා රැකියා ජනනය වීම සිදුවන තරමට පමණයි. ප්‍රාග්ධනය පැත්තෙන් බැලුවොත් බොහෝ විට සිදුවෙන්නේ හානියක්.

විදේශ ණය වුවත් හැම විටම හානිකරයි කියා කියන්න බැහැ. ණය යොදාගැනෙන්නේ අනාගතයේදී විදේශ විණිමය ජනනය වෙන ව්‍යාපෘතියක් වෙනුවෙන්නම් ණය හා පොලිය ආපසු ගෙවීම ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. නමුත්, ප්‍රායෝගිකව එය සිදු නොවන තරම්. ලංකාවට මෙතෙක් ලබාගත් විදේශ ණය නිසා සිදු වී තිබෙන්නේ පිටතට ගලා යන විදේශ විණිමය ප්‍රවාහ වැඩි වැඩියෙන් බිහිවීම පමණයි.

සෘජු විදේශ ආයෝජන හෝ විදේශ ණය ලෙස විදේශ විණිමය රට ඇතුළට පැමිණෙද්දී සිදුවන රුපියල අධිප්‍රමාණය වීම, ආනයන පරිමාව වැඩි වීම, අපනයන පරිමාව පහළ යාම ආදී දුර්විපාක විදේශ විණිමය ප්‍රතිපත්තිය හරහා පාලනය කරගන්න බැරිකමක් නැහැ. කරන්න තියෙන්නේ මේ විදිහට පැමිණෙන විදේශ විණිමය මහ බැංකුව විසින් මිල දී ගන්න එකයි. එසේ කිරීමේදී රටේ මුදල් සැපයුම ඉහළ නොයන පරිදි රජයේ හෝ මහ බැංකුවේ බැඳුම්කර විකිණීමෙන් එළියට දමන රුපියල් ටික ආපසු එකතු කරගත්තොත් උද්ධමනය ප්‍රශ්නයක් වෙන එකත් සීමා කරගන්න පුළුවන්.

ශ්‍රමික ප්‍රේෂණ හැර වෙනත් ක්‍රමවලින් රටට එන අමතර විදේශ විණිමය මහ බැංකුව විසින් එකතු කරගෙන සංචිත වැඩි කරගන්නවානම් ආනයන වෙනුවෙන් වැය කරන්න අමතර ඩොලර් වෙළඳපොළේ ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා, ආනයන වෙනුවෙන් වැය කරන්න වෙන්නේ අපනයන ආදායම හා ශ්‍රමික ප්‍රේෂණ පමණයි. හැබැයි මෙය කරන අතරම ඩොලරයේ අගය පහළින් තියා ගන්න බැහැ. අපනයන අඩු කරන යාන්ත්‍රනය වන්නේම ඩොලරයේ අගය ඉහළ යන්නට ඉඩ සැලසීම නිසා එය කරන්නම වෙනවා.

මේ විදිහට සෘජු විදෙස් ආයෝජන හෝ විදේශ ණය ලෙස ලැබෙන විදේශ විණිමය මහ බැංකුව විසින් අඛන්ඩව විදෙස් සංචිත වලට එකතු කරගත්තානම් රටේ අපනයන තරඟකාරීත්වය මේ තරමටම දුර්වල වෙන්නේ නැහැ. ඒ වගේම, ණය ආපසු ගෙවන්න ඩොලර් නැතුව පස්ස කැඩිච්ච කඩියෝ වගේ දඟලන්න වෙන්නෙත් නැහැ.

කොහොම වුනත් ඔය වැඩේ කාලයක් තිස්සෙම ඔයාකාරයට වුණේ නැහැනේ. ඒ නිසා, දැන් තත්ත්වය ගොඩක් සංකීර්ණයි. පහුගිය කාලය තිස්සේ ගත්ත විදේශ ණය වල වාරික හා පොලිය ලෙස වගේම සිදු කෙරුණු විදේශ ආයෝජන වල ප්‍රතිලාභ වෙනුවෙනුත් වාර්ෂිකව විශාල විදේශ විණිමය ප්‍රමාණයක් රටින් පිටතට යාමට නියමිතව තිබුණත් ඒ වෙනුවෙන් වැය කළ හැකි තරමේ සංචිත මහ බැංකුව සතුව නැහැ. වාර්ෂිකව මේ විදිහට අවශ්‍ය වෙන මුදල ඩොලර් බිලියන හත අටක්. ශ්‍රමික ප්‍රේෂණ ලෙස වාර්ෂිකව ලැබෙන මුදලට ආසන්නව සමාන මුදලක්.

දැන් වැඩේ ගොඩදාන්නනම් අවුරුද්දකට ඩොලර් බිලියන හත අටක් මහ බැංකුවට වෙළඳපොළෙන් මිල දී ගන්න සිදු වෙනවා. ශ්‍රමික ප්‍රේෂණ ලෙස ලැබෙන ඩොලර් ටික මිලදී ගෙන ණය වාරික හා පොලිය වෙනුවෙන් යෙදෙවුවොත් අවුරුදු කිහිපයකට පස්සේ නැවතත් ආනයන අපනයන පරතරය නැති වෙලා යයි. එහෙම කරන්න පටන් ගැනීමේදී ඩොලර් එකේ අගය කොහේ නවතීද කියා කියන්න බැහැ. නමුත් රුපියල අවශ්‍ය පමණට අවප්‍රමාණය වීමෙන් පසුව එය නිසි තැන ස්ථාවර වෙයි. එයින් පස්සේ ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් නැහැ.

මහ බැංකුව හා රජය දැනටත් කරමින් ඉන්නේ වෙළඳපොළෙන් ඩොලර් එකතු නොකර රටෙන් පිටතට ආපසු යන්න නියමිත විදේශ විණිමය ප්‍රමාණයට ගැලපෙන්න අලුත් විදේශ ණය ගන්න එකයි. එසේ කරන්නේ ඩොලරයේ අගය වේගයෙන් ඉහළයාම වලක්වා ගන්නයි. මෙයින් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. එය තව තවත් උග්‍ර වෙමින් අනාගතයට තල්ලු වීම පමණයි වෙන්නේ.

එකවර කරන්න අපහසු වුවත්, සෑම වසරකම ඩොලරය සැලකිය යුතු තරමින් අවප්‍රමාණය වෙන්න හරිමින් වෙළඳපොළෙන් හැකි තරම් ඩොලර් එකතු කරගන්න එකයි කළ යුත්තේ. එසේ නොකළොත් කවදාවත් ගොඩයාමක් නැහැ. තුවාල සනීප වෙන්නනම් බෙහෙත් දාන්න කලින් හොඳට සුද්ද කරන්න වෙනවා. සුද්ද කරන කොට රිදෙන එක වලක්වන්න අමාරුයි.

(Image: https://www.readme.lk/sri-lanka-innovation/ originally Sunday Times)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...