ගාණක් හදද්දී ධන සෘණ මාරු කරගත්තොත් සෑහෙන අවුලක් වෙනවා. විදුලිය එක්ක වැඩ කරද්දී වුනත් ඔය ප්‍රශ්නය තියෙනවා. තවත් නොයෙක් හේතු නිසා වයර් මාරු වීම් වෙලා විවිධ අවුල් ඇති වෙනවා. මේ දවස් වල අහන්න ලැබෙන සමහර දේවල් වලට අපෙත් වයර් මාරු වෙනවා.
මේ වෙද්දී ලංකාවේ කොරෝනා රෝගීන් ගණන 823ක්. හෙට වෙද්දී ඔය ගණන 850ක්වත් වෙන්න පුළුවන්. තව දාහතක් හොයා ගත්තොත් 850ක් වෙනවනේ. හැබැයි සමහර විට හෙට වෙද්දී ගණන 800ක් වෙන්න වුනත් බැරි නැහැ. දැනට පොසිටිව් වෙලා ඉන්න 23ක් නෙගටිව් කියලා හෙට වෙද්දී හොයා ගත්තොත් ගාණ 800 වෙනවනේ.
ලෝකේ අනෙක් රටවල පීසීආර් පරීක්ෂණ කරලා කොරෝනා ආසාදිත අය හා ආසාදිත නැති අය ලෙස ගොඩවල් දෙකකට වෙන් කරනවා. ලංකාවේනම් ඌණ ආසාදිත කියලා තුන් වන කොටසකුත් ඉන්නවා. චතුර්කෝටික කතාවක් වගේ. වෛරසය ආසාදනය වී ඇත්තේද නැති නැත්තේද නැති අයද? මැරිච්ච අය අතරේත් සම්පූර්ණයෙන් මැරිච්ච නැති අය ඉන්නවද?
පීසීආර් පරීක්ෂණයකින් කරන්නේ කොරෝනා වෛරසය හඳුනාගැනීමයි. තාක්ෂණික කරුණු ගැන උනන්දුවක් දක්වන අය කියවන අය අතර ඉන්න නිසා මේ වෛරසය කුමක්ද කියලා මුලින්ම බලමු.
වෛරස් වර්ග කාණ්ඩ හතකට වර්ග කෙරෙනවා. ඒ අතරින් කොරෝනා වෛරසය කියා පොදුජන වහරේ හැඳින්වෙන SARS-COV2 වෛරසය අයත් වන්නේ "පොසිටිව්-සෙන්ස් සිංගල්-ස්ට්‍රැන්ඩඩ් ආර්එන්ඒ වෛරස්" කැටගරියටයි. වාසගමේ කෑලි තුනෙන් මේ වයිරස් කාණ්ඩයේ ලක්ෂණ තුනක් විස්තර කෙරෙනවා.
මුලින්ම අපි ආර්එන්ඒ කියන කොටස ගනිමු. මේ වෛරසය හැදී තිබෙන ජානමය ද්‍රව්‍යය ආර්එන්ඒ. අපි හැදිලා තියෙන්නේ වගේම වෙනත් ඇතැම් වයිරස්ද හැදී තිබෙන්නේ ඩීඑන්ඒ වලින්. ආර්එන්ඒ අනුවක හා ඩීඑන්ඒ අනුවක මූලික වෙනස්කම් කිහිපයක් තිබෙනවා. මේ එක් එක් අණුවක් හැදී තිබෙන්නේ මූලික රසායන හතරක් කිසියම් රටාවකට වැලක් සේ සම්බන්ධ වීමෙන්.
ඇඩිනින් adenine (A)
සයිටොසින් cytosine (C)
ගුඇනින් guanine (G)
තයිමීන් thymine (T) හෝ යුරසිල් uracil (U)
මේ රසායන වරහන් තුළ ඇති ඉංග්‍රීසි අකුරු වලින් කෙටියෙන් හඳුන්වනවා. ආර්එන්ඒ අණුවක් හා ඩීඑන්ඒ අණුවක් වෙනස් වන ප්‍රධාන කාරණයක් වන්නේ ඩීඑන්ඒ අණුවක තිබෙන තයිමීන් වෙනුවට ආර්එන්ඒ අණුවක යුරසිල් තිබීමයි. අදාළ වර්ග හතර වැලක් සේ සම්බන්ධව තිබෙනවා.
නිකමට හිතාගන්න වෙසක් එකට දමන පාට හතරක බල්බ් තිබෙන බල්බ් වැලක් කියා. ඩීඑන්ඒ අණුවක තිබෙන පාට තුනක්ම ආර්එන්ඒ අණුවකත් තිබෙනවා. හතරවන පාට පමණක් වෙනස්. මේ බල්බ් සම්බන්ධ වී තිබෙන්නේ සීනි හා පොස්පේට් රසායන වලින් හැදුණු වයර් එකකටයි. වයර් එකේ ප්ලග් බේස් එකට ගහන පැත්තක් තියෙනවා කියා හිතන්න. ඒ වගේ මේ දාමයේත් අන්ත දෙකක් තිබෙනවා. ඒවා හඳුන්වන්නේ 5' අන්තය හා 3' අන්තය ලෙසයි. මේ අනුව, බල්බ් වැලේ රටාව 5' 3' දිශාවට හෝ 3' 5' දිශාවට කියවන්න පුළුවන්.
අපි හිතමු 5' 3' දිශාවට රටාව මේ වගේ කියා.
A C G A T A G C C T
මේ රටාව 3' 5' දිශාවට කියෙවුවොත් රටාව මේ වගේ.
T C C G A T A G C A
සාමාන්‍යයෙන් DNA හෝ RNA අණුවක් ගොඩනැගෙන්නේ 5' අන්තයේ සිට පටන් අරගෙනයි. ඒ කියන්නේ 5' 3' දිශාවට. මිනිස් ජෙනෝමයක මේ වගේ "බල්බ්" බිලියන තුනකටත් වඩා තිබෙනවා. අපේ ජානමය සැකැස්ම ලියැවී තියෙන්නේ ඒ "බල්බ්" වල වර්ණ රටාවේ. SARS-CoV-2 බල්බ් වැල අපේ ජෙනෝමයට සාපේක්ෂව ඉතා කෙටියි. එහි තිබෙන්නේ බල්බ් තිස් දහසක පමණ ප්‍රමාණයක්.
දැන් අපි සිංගල්-ස්ට්‍රැන්ඩඩ් කියන කොටසට එමු. මේ විදිහට හඳුන්වන්නේ ඩබල්-ස්ට්‍රැන්ඩඩ් වෛරස්ද තිබෙන නිසයි. එය ඉහත කී ආකාරයේ බල්බ් වැල් දෙකක එකතුවක්. අපේ DNA එක හැදී තිබෙන්නේත් මේ වගේ බල්බ් වැල් දෙකකින්. එක වැලක තිබෙන හැම බල්බ් එකක්ම අනෙක් වැලේ බල්බ් එකක් එක්ක සම්බන්ධ වී තිබෙනවා. මේ විදිහට වැල් දෙකේ බල්බ් සම්බන්ධ වන රටාවක් තිබෙනවා.
- A හැම විටම T (හෝ U) සමඟ සම්බන්ධ වෙනවා.
- C හැම විටම G සමඟ සම්බන්ධ වෙනවා.
අපි මුලින් ගත් රටාව සමඟ සම්බන්ධ වන අනෙක් බල්බ් වැල දෙස බලමු.
A C G A T A G C C T
T G C T A T C G G A
උඩින් තිබෙන්නේ මුල් රටාව. දෙවනුව තිබෙන්නේ ඒ සමඟ සම්බන්ධ වන රටාව. ඔබට පෙනෙනවා ඇති මේ රටා දෙකෙන් එකක් දන්නවානම් අනිත් එක පහසුවෙන් හදාගන්න පුළුවන් බව. එකක් කිසියම් මූර්තියක් කියා හිතුවොත් අනිත් එක අච්චුව වගේ. අච්චුවෙන් මූර්තියේ පිටපත් ඕනෑ තරම් හදාගන්න පුළුවන්. ඒ වගේම මූර්තියෙන් ඕනෑ තරම් අච්චු හදාගන්නත් පුළුවන්.
මේ වැල් දෙකේ තවත් විශේෂත්වයක් වන්නේ ඒ දෙක හැම විටම ප්‍රතිවිරුද්ධ දිශාවන්ට පිහිටන පරිදි සම්බන්ධ වීමයි. පළමු රටාව යන්නේ 5' 3' දිශාවටනම් දෙවන රටාව යන්නේ 3' 5' දිශාවටයි.
SARS-COV2 වැනි සිංගල්-ස්ට්‍රැන්ඩඩ් වෛරසයක මේ වගේ කොටස් දෙකක් නැහැ. කොටස් දෙකක් තිබෙන විට පිටපත් වීමේදී සිදුවන දෝෂ පහසුවෙන් පරීක්ෂා කර නිවැරදි කරගත හැකියි. තනි වැලකින් හැදුනු වෛරසයකට එය කිරීම අසීරු නිසා පිටපත් හැදීමේදී වැරදි වැඩිපුර සිදු වෙනවා.
සිංගල්-ස්ට්‍රැන්ඩඩ් වෛරසයක එකට සම්බන්ධ වූ වැල් දෙකක් නැති නිසා තිබෙන එක 5' 3' දිශානුගත (පොසිටිව් සෙන්ස්) එකක් හෝ 3' 5' දිශානුගත එකක් (නෙගටිව් සෙන්ස්) විය හැකියි. SARS-COV2 වෛරසය පොසිටිව් සෙන්ස් එකක්.
මේ වගේ සිංගල්-ස්ට්‍රැන්ඩඩ් ආර්එන්ඒ වෛරසයක් "බෝ වෙන්නේ" මිනිස් (හෝ වෙනත් සත්ත්ව) සෛල වල තිබෙන ජීව ද්‍රව්‍ය අරගෙනයි. පොසිටිව් සෙන්ස් වෛරසයක් මුලින්ම එහි නෙගටිව්-සෙන්ස් අච්චු රාශියක් හදනවා. ඉන් පසු මේ එක් එක් අච්චුව පොසිටිව් සෙන්ස් වෛරස් හදන්න පටන් ගන්නවා. ඔය වැඩේ වැල වගේ වෙනවා.
පීසීආර් පරීක්ෂණයකින් කරන්නේත් මීට සමාන දෙයක් කෘතීම ලෙස කර මුල් සාම්පලයේ තිබෙන ආර්එන්ඒ අණු වලින් තවත් අනු විශාල ප්‍රමාණයක් හදන එකයි. එය කරන්නේ වෛරසය තිබෙන්නට ඉඩ ඇති ජීව ද්‍රව්‍ය සාම්පලයක් පෝෂක මාධ්‍යයක දමා නිශ්චිත කාලාන්තර වල උෂ්ණත්වය වෙනස් කිරීම මඟින්, උදාහරණයක් විදිහට මිනිත්තු 20ක් සෙන්ටිග්‍රේඩ් අංශක 50 උෂ්ණත්වයේ තබා, මිනිත්තු 3ක් සෙන්ටිග්‍රේඩ් උෂ්ණත්වය අංශක 95 දක්වා ඉහළ දමා ඉන්පසුව මිනිත්තුවක් තුළ සෙන්ටිග්‍රේඩ් අංශක 40 දක්වා සිසිල් කිරීම එක් චක්‍රයක් කියමු. මේ තාප චක්‍රය අවසන් වන විට එක් RNA අනුවකින් පිටපත් ගණනක් (අපි කියමු 50ක් කියා) හැදිලා. දෙවන චක්‍රය අවසන් වන විට එකකින් පිටපත් 50x50 = 2500ක් හැදිලා. ඔය විදිහට හැම තාප චක්‍රයක් අවසානයේදීම වෛරසය ඝාතීය ලෙස වර්ධනය වෙනවා.
ආපහු අපි අර පරණ බල්බ් කතාවට යමු. දැන් මේ බල්බ් වැලෙන් අච්චුවක් හදන එක අපි අතින් කරනවානම් අපිට එහි රටාව දෙස බලා A නම් T, G නම් C ආදී ලෙස ගැලපෙන බල්බ් තෝර තෝර එකින් එක අමුණන්න වෙනවනේ. අපි කියමු ඊළඟට අවශ්‍ය වෙන බල්බ් පිළිවෙළ මෙහෙමයි කියලා.
A T C G
දැන් අපි වැලට අමුණන්න බල්බ් හොයා හොයා ඉන්න කොට හරියටම ඔය පිළිවෙලටම සම්බන්ධ වූ බල්බ් හතරක කෑල්ලක් හම්බ වුනොත් ඒ කෑල්ල අරගෙන අමුණනවා මිසක් එකින් එක වෙන වෙනම අමුණන්නේ නැහැනේ. වෛරස් පිටපත් හැදෙන කොටත් ඔය වැඩේම වෙනවා. ගැලපෙන කෑල්ලක් තිබුණොත් පටස් ගාලා කෑල්ල පිටින්ම ගන්නවා.
පීසීආර් පරීක්ෂණයේදී කරන්නේ ඔය වගේ කෑලි හදලා මිශ්‍රණයට එකතු කරන එකයි. හදන්න ඕනෑ මොන වගේ කෑල්ලක්ද කියන එක මුලින්ම තීරණය කරන්න ඕනෑ. අපි හිතමු මේ වගේ රටාවක්.
A T C G A T C G C G A T
පළමුව මේ රටාව තියෙන්නේ SARS-CoV-2 වෛරසයේ පමණක් විය යුතුයි. අනෙක් වෛරස් වල එම රටාව නැති විය යුතුයි. දෙවනුව හැම SARS-CoV-2 වෛරසයකම වගේ මේ රටාව තියෙන්නත් ඕනෑ. එක් එක් SARS-CoV-2 වෛරසයේ රටාව 100%ක්ම සමාන නැති බව මම කලින් ලිපි වල විස්තර කරල තියෙනවනේ. දැන් වෛරසයේ පිටපතක් අලුතින් හැදෙන හැම වෙලාවකම වගේ මේ එකතු කරපු කෑල්ලක් භාවිතයට ගැනෙනවා. මේවට කියන්නේ ප්‍රයිමර්ස් කියලා.
මිශ්‍රණයට පොසිටිව් ප්‍රයිමර්ස් හා නෙගටිව් ප්‍රයිමර්ස් දෙවර්ගයම එකතු කරනවා. එක වර්ගයක් අවශ්‍ය වෙන්නේ වෛරසයෙන් අච්චු හදන විට. අච්චු වලින් වෛරස් හදන කොට අනිත් වර්ගය අවශ්‍ය වෙනවා.
දැන් මම තවත් කරුණක් කියන්නම් බල්බ් වැල හදාගන්න රටාවක් හොයන කොට ඒක හම්බ වුනත් ඒ හම්බ වුන කෑල්ලේ අග අවශ්‍ය නොවන පාටක එක බල්බ් එකක් තියෙනවා. දැන් මොකද කරන්නේ? කෑල්ලම නොගෙන තනි තනි බල්බ් අමුණනවද නැත්නම් අර බල්බ් එක අයින් කරලා කෑල්ල ගන්නවද? තනි තනි බල්බ් අමුණන එක තේරුමක් නැහැනේ. අන්තිම බල්බ් එක අයින් කරන එක වඩා කාර්යක්ෂමයි. අර මම කියපු ප්‍රයිමර් වලත් මේ වගේ අමතර කොටසක් තිබෙනවා. ප්‍රයිමර් එක සම්බන්ධ වෙන කොට ඒ කෑල්ල කැඩිලා මිශ්‍රණයට එකතු වෙනවා. අපි මේ කෑල්ලට කියමු රිපෝටර් ප්‍රෝබ් එක කියලා.
දැන් අපි සැක සහිත ආසාදිතයෙකුගේ නාසයෙන් හෝ උගුරෙන් ගන්න ජීවද්‍රව්‍ය සාම්පලයක් පීසීආර් පරීක්ෂණ උපකරණයකට දමලා තාප චක්‍ර ක්‍රියාත්මක කරන වාරයක් පාසා සාම්පලයේ තිබුණු හැම වයිරසයකින්ම පිටපත් ගණනක් හැදෙනවා. මේ විදිහට මුල් සාම්පලයේ තුබුණු ආර්එන්ඒ අණු ටික ඝාතීය ලෙස වර්ධනය වෙනවා. පිටපතක් හැදෙන හැම වෙලාවකම රිපෝටර් ප්‍රෝබ් එකක් මිශ්‍රණයට එකතු වෙනවා. මේ විදිහට එකතුවන රිපෝටර් ප්‍රෝබ් ප්‍රමාණය එක සීමාවක් පැන්න ගමන් සංඥාවක් නිකුත් කරනවා. එය සිදු වන විට වයිරසයේ පිටපත් ඉතා විශාල ගණනක් හැදිලා.
රෝගියාගෙන් ගත්ත මුල් සාම්පලයේ RNA පිටපත් විශාල ප්‍රමාණයක් තිබුණානම් තාප චක්‍ර 20ක් පමණ යන කොට සංඥාව එනවා. පිටපත් ගණන අඩුයිනම් සංඥාව එන්නේ චක්‍ර 30ක් වගේ ගණනක් ගියහම. රෝගියාගේ වෛරල් ලෝඩ් එක වැඩි වූ තරමට අඩු චක්‍ර ගාණකින් සංඥාව ලැබෙනවා. පීසීආර් පරීක්ෂණයක් කරන කෙනෙකුට ප්‍රතිඵලය සේ ලැබෙන්නේ මේ චක්‍ර ගණනයි. එය C(t) අගය ලෙස හැඳින්වෙනවා. චක්‍ර 40ක් වැනි නිශ්චිත ප්‍රමාණයකට පසුව සංඥාව ආවේ නැත්නම් ආසාදනය වී නැති බව නිගමනය කරනවා.
පීසීආර් පරීක්ෂණ හදා තියෙන්නේ මුලින් ලබා ගන්නා ජීව ද්‍රව්‍ය සාම්පලයේ අඩු වශයෙන් RNA පිටපත් කිසියම් අවම ගණනක් (100ක් කියමු) තිබෙනවානම් චක්‍ර 40 යනකොට සංඥාව ලැබෙන ආකාරයටයි. බොහෝ විට ආසාදිතයෙකුගේ ජීව ද්‍රව්‍ය සාම්පලයක RNA පිටපත් ඊට වඩා විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත්, වෛරසය ආසාදනය වූ මුල් දවස් වලත්, ආසාදනය පාලනය වීමෙන් පසුවත් ජීවද්‍රව්‍ය සාම්පල වල RNA පිටපත් අවශ්‍ය අවම ප්‍රමාණය නොතිබෙන්න පුළුවන්. ඒ නිසා, පරීක්ෂණ ප්‍රතිඵලය සෘණ වෙන්න පුළුවන්.
සාමාන්‍යයෙන් පීසීආර් පරීක්ෂණයකින් වරක් හෝ කෙනෙක් පොසිටිව් ලෙස හඳුනාගත්තානම් එයින් අදහස් වෙන්නේ අදාළ පුද්ගලයා ඇත්තටම පොසිටිව් කියන එකයි. දෙවන වර පරීක්ෂා කරන විට සිරුරේ වෛරසය පාලනය වී තියෙන්න පුළුවන්. නමුත්, නෙගටිව් කියන එකෙන් හරියටම නෙගටිව් බව ස්ථිරව කියන්න බැහැ. නැවත පරීක්ෂා කරන විට වෛරසය වර්ධනය වී පොසිටිව් වෙන්න පුළුවන්. මෙය පීසීආර් පරීක්ෂණ සම්බන්ධව පිළිගත් කරුණක්.
එහෙම තියෙද්දී වරක් කෝවිඩ්-19 ආසාදනය වූ අයෙක් සේ හඳුනාගත් අයෙක් පසුව එසේ නොවූ අයෙකු සේ නම් කිරීම ගැටළු සහගත කරුණක්. ඇතැම් විට ඌණ ආසාදිත කියන එකෙන් අදහස් කෙරෙන්නේ පොසිටිව් සංඥාව ආවේ අන්තිම හරියේදී කියන එක වෙන්න ඇති. ඒ කියන්නේ වෛරල් ලෝඩ් එක අඩුයි. එයට හේතුව සුව වෙන්න ආසන්නව සිටීම වෙන්න පුළුවන්. එවිට දෙවන වර නෙගටිව් වෙන්න පුළුවන්. හැබැයි එවැනි කෙනෙක්ගේ පළමු පරීක්ෂණය වැරදි බව නිගමනය කරන්න බැහැ.
ඇත්තටම ආසාදනය නොවූ කෙනෙක් වැරදියට පොසිට්ව් සේ හඳුනා ගැනෙන්න ඉඩ තිබෙන තවත් ක්‍රම දෙකක් තිබෙනවා. පළමු ක්‍රමය පරීක්ෂාව කරන කෙනා විසින් අත් වැරැද්දකින් සාම්පල් මිශ්‍ර කර ගැනීම. දෙවන ක්‍රමය යොදාගත් පරීක්ෂණ කට්ටල දෝෂ සහගත වීම. ඔය දෙකෙන් කොයි එක වුනත් එයින් අදහස් වෙන්නේ කෝවිඩ්-19 පරීක්ෂා කරන ක්‍රමවේදයේ වෙනත් රටවල නැති විශේෂ අවුලක් තිබෙන බවයි. නමුත්, ඔය දෙකම සිදු වී නැත්නම්, එයින් අදහස් වෙන්නේ කෝවිඩ්-19 හැදී සුව වී ඇති බවයි. එය එසේ නොවන බව තහවුරු කළ හැක්කේ