වෙබ් ලිපිනය:

Showing posts with label සිංදු. Show all posts
Showing posts with label සිංදු. Show all posts

Tuesday, April 19, 2022

සීතා ගීතා මේ බලන්නකෝ...


මේක අලුතෙන් දිවුරුම් දුන්නු රාජ්‍ය ඇමතිනියන් ගැන ලිපියක් නෙමෙයි. ආර්ථිකේ ගැනම දිගටම කතා කරපු නිසා පොඩි වෙනසකටත් එක්ක සිංදුවක් ගැන කතා කරන්න හිතුණා. අවුරුදු දවස් නිසා අවුරුදු සිංදුවක්ම තෝරා ගත්තා.

"සීතා ගීතා මේ බලන්නකෝ 

ලස්සන මගෙ මේ ඇඳුම් කට්ටලේ 

ලස්සන අවුරුදු ඇඳුම් කට්ටලේ..."

නිරංජලා සරෝජනී සහ ගීතා කාන්ති ජයකොඩි ගායනා කරන හැත්තෑව දශකයේ මුල් කාලයේ ගීයක්. අර හැත්තෑ හතට කලින් සමගි පෙරමුණු ආණ්ඩුව කියලා එකක් තිබුණේ. අන්න ඒ කාලේ. 

ඔය කාලේ ඇඳුමක් ගන්නවා කියන එක මේ දවස් වල ගෑස් සිලින්ඩරයක් ගන්න තරම්වත් ලේසි නැහැ. කොහොමත් ගොඩක් පවුල් වල දරුවන්ට ඇඳුම් කට්ටලයක් ලැබුණේ ඔය අවුරුදු කාලෙට තමයි. හැමදාම හිතේ හැටියට ළමයින්ට ඇඳුම් අරන් දෙන්න තරම් මිනිස්සු අතේ සල්ලි තිබුණේ නැහැ. සල්ලි තිබුණා වුනත් සල්ලි වලට ගන්න බඩු නැහැ. සමුපකාරෙට එන භූමිතෙල් ගඳ ගහන චීත්ත රෙදි කෑල්ලක් ගන්නත් මැනේජර් මහත්තයා එක්ක හිතවත්කමක් තියෙන්න ඕනෑ. දැන් කිරිපිටි ගන්නවා වගේ.

"ආනේ නීතා කොයින්ද ඔයාට ලැබුණේ...?"

නීතාටනම් කොහොම හරි ලස්සන අවුරුදු ඇඳුම් කට්ටලයක් ලැබිලා. නීතා ගිහින් ඒක සීතාටයි ගීතාටයි පෙන්නනවා. තුන් දෙනාම හිච්චි කෙල්ලෝ. ඔන්න එහෙනම් අහගන්න නීතාට ලස්සන අවුරුදු ඇඳුම් කට්ටලේ ලැබුණේ කොහොමද කියලා.

"බෝගන්විලා පැළ උදුරාලා 

මමම හැදුව මගෙ තක්කලි කොටුවේ 

පොකුරු පොකුරු හැදුණා හැම නටුවේ 

ඒව විකුණලා කාසි ගෙනැල්ලා 

කාසි විකුණලා ඇඳුම් ගෙනැල්ලා 

ඇඳුම් කට්ටලේ මහගත්තා"


"පස පෙරළලා ගිනි අවුළාලා 

මමම හැදුව මගෙ පොඩි මුං හේනේ 

කරල් ඇතිවී තිබුණා පැළ ගානේ 

ඒව විකුණා කාසි ගෙනැල්ලා 

කාසි විකුණලා ඇඳුම් ගෙනැල්ලා 

ඇඳුම් කට්ටලේ මහගත්තා"

කොහොම කට්ටක් කන්න ඇද්ද ඇඳුම ගන්න. ඔය සමගි පෙරමුණු ආණ්ඩුවේ වගා සංග්‍රාම කාලෙනේ. විකුණන එක කොහොම වෙතත් කන්න බොන්න හරි වත්තේ මොනවා හරි වවා ගත්තේ නැත්නම් ඉතිං බඩගින්නේ තමයි.

ඇඟලුම් කර්මාන්තය ප්‍රචලිත වුනේ හැත්තෑ හතෙන් පස්සෙනේ. ඔය කාලයේ ගම් වල තරුණියන්ට කරන්න කියලා රස්සා එහෙමට තිබුණේ නැහැ. හේනේ කුඹුරේ වැඩක් කරගෙන ගෙදර උයන පිහන එක දරු මල්ලෝ බලා ගෙන ඉන්න එක තමයි ඉතිං ගොඩක් තරුණියන්ගේ ඉරණම. දරු මල්ලෝ කිවුවේ බාල සහෝදර සහෝදරියෝ, වැඩිහිටි සහෝදර සහෝදරියන්ගේ දරුවෝ එහෙම.

සමහර අම්මලා ගෑණු දරුවන්ට පොඩි කාලේ ඉඳලම ගෙදර දොරේ වැඩ හුරු කළත්, එහෙම නැතුව දරුවන්ව "මල් වගේ" හදපු අම්මලත් හිටියා. එහෙම ටිකක් "පොෂ්" ගෑණු දරුවෝ මැහුම් පන්ති, කුකරි ක්ලාස්, ටයිපිං ෂෝට් හෑන්ඩ් පංති ආදියට යන අතර ගෙදර ඉන්න වෙලාව මල් වවන්න යොදවනවා. සේපාලිකා, සමන් පිච්ච, දාස් පෙතියා, වතුසුදු වගේ වැඩි මහන්සියක් නැතිව ඔහේ හැදෙන මල් අතරේ ඕකිඩ්, ඇන්තූරියම් වගේ ඒවා ටිකක් පොෂ් මල්. ඒවාට දිනපතා සාත්තු කළ යුතුයි. බෝගන්විලා වලට ඒ තරමටම සාත්තු කළ යුතු නොවුනත් ඒකෙත් පොඩි පොෂ් ගතියක් තිබුණා.

මල් වලට ගෑණු ළමයි සාත්තු කරන්නේ පණ ඇරලා. එහෙම තත්ත්වයක් තියෙද්දී තමයි නීතා තමන්ගේ බෝගන්විලා පැළ ටික උදුරලා තක්කාලි හිටවන්නේ. වත්තේ හැම බිම් අඟලකම කන්න පුළුවන් මොනවා හෝ දෙයක් වගා නොකර බෝගන්විලා වවන එක දරුණු අපරාදයක් වගේ පෙනුණු කාලයක්නේ ඕක. නීතා තමන්ගේ බෝගන්විලා ටික උදුරා දමලා ඒ ඉඩේත් තක්කාලි වවලා සීතාට සහ ගීතාට ආදර්ශයක් දෙනවා. බෝගන්විලා ටික බේරගන්න හිතුවානම් ඇඳුම් නැතුව තමයි ඉන්න වෙන්නේ.

ගෙවතු වගා වැඩේ හොඳයි. අපිත් ඔය වැඩේ කරනවා. ගෙදරට එළවලුත් ලැබෙනවා තමයි. හැබැයි වැඩිපුර තියෙන්නේ සතුට. ආර්ථික පැත්තෙන් බැලුවොත් බෝගන්විලා වවන එකෙයි තක්කාලි වවන එකෙයි වැඩිපුරම තියෙන්නේ රුචිකත්වයන් පිළිබඳ වෙනස. මේවා රටක ආහාර ප්‍රශ්නයට විසඳුම් නෙමෙයි. හැබැයි වෙන විකල්පයක් නැති වුනාම ඔය වගේ දේවල් නොකරම බැරි වෙන්නත් පුළුවන්. 

මේ සිංදුවේ පදමාලාවේ මම ආසම කොටස "කාසි විකුණලා ඇඳුම් ගෙනැල්ලා" කියන කොටස. සාමාන්‍ය භාවිතයේදී අපි මේ වගේ සන්දර්භයකදී කාසි විකුණලා කියා කියන්නේ නැහැ. සිංදුව ලියා තිබෙන චන්ද්‍රසේන රංගේගේ දේශපාලන අදහස් ගැන මම දන්නේ නැහැ. නමුත් ඔය කාලය ගොඩක් කලාකරුවෝ, ලේඛකයෝ මාක්ස්වාදය එක්ක තදින් බැඳී සිටි කාලයක්. සමහර විට මේ රචකයාත් එවැන්නෙක්ව සිටියා වෙන්න පුළුවන්. එසේ නොවෙන්නත් පුළුවන්.

"ඒව විකුණලා කාසි ගෙනැල්ලා- කාසි විකුණලා ඇඳුම් ගෙනැල්ලා" කියන කොටස ඇහෙන හැම වෙලාවකම මට මතක් වෙන්නේ දාස් කැපිටාල් පොතේ C-M-C ආකෘතිය. ඕක ඉල්ලුම් සැපයුම් න්‍යාය වැඩි දියුණු වෙන්නත් කලින් යුගයේ යල් පැන ගිය ආකෘතියක් වුවත් දාස් කැපිටාල් ආගමික ග්‍රන්ථයක් විදිහට සලකන සමහර අය තවමත් ඔය ආකෘතිය ගැන කතා කරනවා මම දැකල තියෙනවා. මෙයින් විස්තර කරන්නේ පාරිභෝගික භාණ්ඩයක් මුදල් වෙලා දෙවනුව මුදල් පාරිභෝගික භාණ්ඩයක් වෙන එක. තව M-C-M කියලා එකකුත් තියෙනවා. ඒකෙදී මුදල් පාරිභෝගික භාණ්ඩයක් වෙලා දෙවනුව පාරිභෝගික භාණ්ඩය මුදල් වෙනවා. මාක්ස්වාදයේ ගොඩක් ප්‍රවාද පටන් ගන්නේ ඔය දෙවන ආකෘතියේ ඉඳලා. 

මේ පද පේලි දෙක අපට නූතන සන්දර්භයක පිහිටුවා විග්‍රහ කරන්නත් පුළුවන්. විකුණන එක ජාත්‍යන්තර සන්දර්භයකට ගෙනිහින් කාසි ඩොලර් විදිහට සලකන එකයි කරන්න තියෙන්නේ. දැන් පාරිභෝගික භාණ්ඩය අපනයන භාණ්ඩයක් වෙලා ඩොලර් ගේනවා. දෙවනුව, ඒ ඩොලර් ආනයනික පාරිභෝගික භාණ්ඩයක් වෙනවා. ඊළඟ අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් කට්ටලයක් ගන්නනම් නීතාට වගේම සීතාට හා ගීතාටත් ඩොලර් වලට විකිණිය හැකි දෙයක් නිපදවන්න වෙනවා. සමහර විට ඒ වැඩේට තක්කාලි ගලවලා බෝගන්විලා හිටවන්න වෙන්නත් පුළුවන්. 

#ඉකොනොමැට්ටා 

Tuesday, September 7, 2021

මේ කුරුමිට්ට්ටන් යෝධයින් වන කාලයක්!


සිංහල සංගීතය කියා කියන්නේම පසුගිය සියවසක හෝ එකහමාරක කාලය තුළ අනුකරණ හරහා ගොඩ නැගුනු දෙයක්. ලංකාවේ සංස්කෘතියට සියවස් ගණනක් තිස්සේ බොහෝ දේවල් නිසගවම එකතු වුනේ යාබද දකුණු ඉන්දියාවෙන්. ඒ ක්‍රමයටම දකුණු ඉන්දීය සංගීතය ඇසුරෙන් ලංකාවේ සංගීත ආරක් හැදෙමින් තිබුණා. උතුරු ඉන්දියානුවන් විසින් සිංහලයින්ව දකින්නේ තවත් දකුණු ඉන්දියානුවන් කණ්ඩායමක් සේ වුවත්, සිංහලයින් අතර තමන්ගේ උතුරු ඉන්දීය සම්භවය පිළිබඳ අදහස මුල් බැස ගෙන තිබීම මත දකුණු ඉන්දියානු සංගීතය සිංහලයින් හමුවේ බාල සංගීතයක් බවට පත් වුනා. ඒ අනුව, සිංහලයෝ වඩා හොඳ සංගීතයක් හොයන්න උතුරු ඉන්දියාවට ගියා. ශාන්ති නිකේතන් වගේ තැන් වලට.

කොහොමටත් සිංහලයින් හා වංගයින් අතර සියවස් ගණනාවක ඉතිහාසයේ කඩතුරාවෙන් වැහුණු සංස්කෘතික සම්බන්ධයක් තිබුණු නිසා රාබීන්ද්‍ර ශන්ගීත් වගේ සංගීත ආරකට සිංහල ගැමියෙකු සුසර වීම පුදුමයක් නෙමෙයි. මටනම් මේ සිංදු වෙනත් සියළුම සංගීත ආරවල් වලට වඩා සමීපව දැනෙනවා. දැනටත් මම මේ සිංදු අහන්න ගොඩක් කැමතියි.

හැබැයි උතුරු ඉන්දීය රාගධාරී සංගීතය අගය කරන අයට රාබීන්ද්‍ර ශන්ගීත් වගේ ආරවල් ටිකක් අඩු කුලේ වගේ.  රාබීන්ද්‍ර ශන්ගීත් ශෛලිය ඇතුළේ උතුරු ඉන්දීය රාගධාරී සංගීත ශෛලියේදී තරම් පුහුණුවක් අවශ්‍ය නොවනවා විය හැකියි. මමනම් සිංදු අහනවා මිසක් සංගීතය ගැන හදාරා හෝ සංගීතය ගැන වැඩිපුර දන්නා කෙනෙක් නෙමෙයි. ඒ නිසා මේ ලියන දේවලුත් සංගීතය ගැන දන්න මගුලක් නැති මට හිතෙන දේවල් පමණයි.

කොහොමින් කොහොම හරි උතුරු ඉන්දීය රාගධාරී සංගීතය ලංකාවේ අධිපතිවාදී සංගීත ආර බවට පත් වුනා. සමාජවාදීන් විසින් එසේ පත් කරනු ලැබුවා කියා කිවුවත් වැරැද්දක් නැහැ. හැත්තෑ හත වෙද්දී තිබුණේ මේ තත්ත්වයයි.

උතුරු ඉන්දීය රාගධාරී සංගීතය මත පදනම් වූ ලංකාවේ සංගීත ආර මතු වුනේ දකුණු ඉන්දීය "බාල" සංගීතය යට කරගෙන. එහෙම මතු වෙන්නනම් එහි අනෙක් මාදිලියේ නැති විශේෂත්වයක් තියෙන්න ඕනෑ. මුලින්ම මේ මාදිලිය ජනප්‍රිය වෙන්නේ "අපේ නොවන" දකුණු ඉන්දීය සංගීතයට එරෙහිව "අපේ සංගීතයක්" වෙනුවෙන් රටේ ඇති වෙන ඉල්ලුමට සමාන්තරවයි. හැබැයි මේ "අපේ දේ" හොයා ගන්න වෙන්නෙත් ඉන්දියාවෙන්ම නිසා ඔතැන උභතෝකෝටිකයක් ඇති වෙනවා. දෙකම ඉන්දියන් බඩුනම් එකක් අනෙකට වඩා වැඩියෙන් අපේ වෙන්නේ කොහොමද? 

ලංකාවේ සම්භාව්‍ය සංගීතය කියන එක තුළ අර්ථ රසයට විශාල වටිනාකමක් ලැබෙනවා. මේක සුවිශේෂී තත්ත්වයක් කියලයි මම හිතන්නේ. සමහර විට ඔය වැඩේ ඔය විදිහට වෙන්න ඇත්තේ ඉහත උභතෝකෝටිකයට පිළියමක් ලෙස වෙන්න ඇති. කොයි සිංදුවේත් තනු ඉන්දියන්නම්, අපේ කම තියෙන්නේ වචන වල විතරක්නම්, එකක් අනෙකට වඩා හොඳයි කියන්න පුළුවන් වෙන්නේ වචන වල පැහැදිලි වෙනසක් තිබේනම් පමණයි. අවසාන වශයෙන් වුනේ සාමාන්‍ය මනුස්සයෙක්ට නොතේරෙන වචන තිබෙන සිංදු සම්භාව්‍ය සිංදු වෙලා එහෙම නැති සිංදු පීචං සිංදු වෙන එක.

පෞද්ගලිකව මම ගත්තොත්, කුඩා කාලයේ සිටම මට වැඩි කැමැත්තක් තිබුණේ සම්භාව්‍ය ගණයේ සැලකුණු අමරදේව, නන්දා මාලිනී වගේ අයගේ සිංදු වලට. මම මේ කියන්නේ නන්දා මාලිනී සිංදු විතරක් කියපු කාලය ගැන. සටන් පාඨ සිංදු විදිහට ඉදිරිපත් කරන්න කලින් යුගය. ඒ දවස් වල පීචං ගණයේ සැලකුණු ජෝතිපාල වගේ අයගේ සිංදු වලට මගේ ඒ තරම්ම කැමැත්තක් තිබුණේ නැහැ. මේක තනිකරම කැමැත්ත මත සිදුව තිබුණු දෙයක්. එහෙම නැතුව ප්‍රබුද්ධ පීචං වෙනස නිසා සිදු වී තිබුණු දෙයක් නෙමෙයි. ඒ කාලය ජෝතිපාලට කැමති එහෙත් ප්‍රසිද්ධියේ අමරදේව අහන අයත් හිටපු කාලයක්නේ.

හැබැයි දැන් හිතලා බැලුවහම මගේ ඒ පෞද්ගලික කැමැත්ත වුනත් අහම්බයක් නෙමෙයි. හැත්තෑ හත වන තුරු ලංකාවේ ගොඩක් පවුල් වලට ලෝකය හා සම්බන්ධ විය හැකිව තිබුණු එකම ක්‍රමය ගුවන් විදුලිය පමණයි. ඔය ගොඩේ හිටපු මටත් ඉතිං  කුඩා කාලයේදී සිංදු අහන්න ලැබුණේ ගුවන් විදුලියෙන් පමණයි. ඔය සිංදු අපට තෝරලා දෙන්න කට්ටිය හිටියා. අපට නිතර අහන්න ලැබුණේ ඒ අය හොඳ සිංදු කියා හිතපු සිංදු. වෙනත් ගොඩක් දේවල් වගේම සිංදු වලට තිබෙන කැමැත්තත් ඇබ්බැහියක්. එක දිගට අහද්දී ඒ අහන සිංදු වලට කැමැත්තක් ඇති වෙනවා.

ඕක වෙනස් වෙන්න පටන් ගත්තේ හැත්තෑ හතෙන් පස්සේ ගම් වලට කැසට් යන්ත්‍ර එන්න පටන් ගත්තට පස්සේ. විශේෂයෙන්ම ගම් වල කාන්තා පාර්ශවය මැදපෙරදිග රැකියා වලට යන්න පටන් ගැනීමෙන් පසුව ගෙවල් වලට ටූ ඉන් වන්, ත්‍රී ඉන් වන් එන්න ගත්තා. ඕවා ගමටම ඇහෙන්න දමන ප්‍රවණතාවයන්ද ඇති වුනා. 

මේ එක්කම ජනතාවට හොඳ සිංදු තෝරා දීමේ ගුවන් විදුලියේ ඒකාධිකාරය බිඳ වැටුනා. නිහාල් නෙල්සන් වගේ අයගේ "විකල්ප ධාරාවේ" සිංදු මාකට් වෙන්න පටන් ගත්තා. කැසට් වෙළඳපොළේ සම්භාව්‍ය සිංදු පරද්දලා පීචං සිංදු ඉදිරියට ආවා. හොඳ සිංදු කියන්නේ ජනප්‍රිය සිංදු නෙමෙයි කියන "සමාජවාදී" අදහස ජනගත කරන්න දරපු උත්සාහයත් එක්ක සම්භාව්‍ය-පීචං බෙදීම ඉදිරියට ගියා. හැබැයි ඔය ගොඩවල් දෙකේම හරි හරියට වගේ ඉන්දියන් කොපි තිබුණා. සමහර විට සම්භාව්‍ය සිංදු පීචං සිංදු තරමටම අමු අමුවේ කොපි නොකළා වෙන්න පුළුවන්. කොහොම වුනත් ඉන්දියාව එක්ක තිබුණු සමීප භූගෝලීය හා සංස්කෘතික සම්බන්ධය නිසා කොපියක් කොපියක් බව හංගන එක ලේසි වුනේ නැහැ. මිනිස්සුන්ට ඕකේ ප්‍රශ්නයක් තිබුණේත් නැහැ.

ඔය අස්සේ ඉන්දියන් කොපි වෙනුවට බටහිර සිංදු කොපි කරලා හදන සංගීත ආරකුත් හීනියට හැදිලා තිබුණා. මේ සංගීත ආර වැඩිපුර ජනප්‍රියව තිබුණේ සමහර සමාජ තීරු ඇතුළේ පමණයි. ක්ලැරන්ස්, ක්‍රිස්ටෝපර් පෝල් වගේ අයගේ සිංදු ඔය ගොඩේ තිබුණා. ඉන්දියන් කොපි අහුවෙනවා වගේ ලේසියෙන් බටහිර සින්දු වල කොපි කොපි බව අහුවුනේ නැහැ. සුනිල් පෙරේරාගේ ජිප්සීස් සිංදු තියෙන්නෙත් මේ ගොඩේ.

රජය විසින් මිනිස්සුන්ට හොඳ දේ තෝරා දීම බාර ගත්තට පස්සේ ඉල්ලුම සැපයුම අතර නොගැලපීමක් ඇති වෙනවා. ඒ නිසා, මිල තීරණය කරන්න වෙන්නේත් රජයටමයි. ගුවන් විදුලියේ ඒකාධිකාරයක් තිබුණු යුගයේදී ගායක ගායිකාවන්ට ලැබුණේ වාදනය කෙරෙන වාර ගණන හා ගායකයාගේ ශ්‍රේණිය අනුව රජය විසින් නියම කළ සොච්චම් මුදලක් පමණයි. සමාජවාදී මතවාදය අනුව මිනිස්සු වඩා කැමති දෙය සහ හොඳ දෙය එකක්ම නොවූ නිසා ගායක ගායිකාවන් හිඟන්නන් වීම වැරැද්දක් නොවන බවට වූ අදහසද සමාජවාදීන් විසින්ම ජනගත කර තිබුණා. ඒ අනුව, ගායක ගායිකාවන් බොහෝ දෙනෙකු රජය විසින් රැක බලා ගත යුතු හිඟන්නන් පිරිසක් බවට පත් කරනු ලැබ තිබුණා.

ගුවන් විදුලි යුගයෙන් කැසට් යුගයට යද්දී ඉහත තත්ත්වය වෙනස් වුනා. නිහාල් නෙල්සන්ලා වගේ අයට වැඩි පිරිසක් අතරට යන්න සහ තමන්ගේ නිර්මාණයේ වටිනාකම හොයා ගන්න විකල්ප මාවතක් ඇරුණා. ජෝතිපාලලා ජනතාවගේ ගායකයෝ වුනා. මේ දේවල් වුනේ හැත්තෑ හතේ වෙනසින් පසුවයි.

හැත්තෑ හතේදී ලංකාවේ ආර්ථිකය විවෘත වූ බව ගොඩක් අය හිතා සිටියත් ආනයන බලපත්‍ර අහෝසි වීම වගේ දේවල් ටිකක් හැර ආර්ථිකය මහා ලොකුවට විවෘත වුණේ නැහැ. කලින් පැවති රාජ්‍යමූලික සමාජවාදී ආර්ථික ව්‍යුහය තවදුරටත් එලෙසම තිබුණා වගේම ඉතා නිවැරදිව ජේආර් ජයවර්ධන විසින් ලංකාව නිල වශයෙන්ම සමාජවාදී ජනරජයක් ලෙස නම් කළා. ආර්ථිකයට වඩා බාහිරට විවෘත වුනේ රටේ සංස්කෘතිය කියා කියන්න පුළුවන්. ලංකාව එතෙක් මෙතෙක් බටහිරින් අරගෙන තිබෙන ගොඩක් දේවල් බටහිරින් ගත හැකි හොඳම දේවල්ම නොවන බව තේරුම් ගන්නනම් බටහිර රටක ජීවත් වෙලාම බලන්න ඕනෑ.

Petrus Antonius Laurentius (Vader Abraham): Smurfenlied


සුනිල් පෙරේරා ප්‍රමුඛ ජිප්සීස් කණ්ඩායමේ හොඳම කාලය ආරම්භ වන්නේ හැත්තෑ හතේදී ඉහත අර්ථයෙන් රට විවෘත වීමෙන් පසුවයි. තවත් විදිහකට කිවුවොත් ගම් වලට කැසට් යන්ත්‍ර යාමට සමාන්තරව. හැබැයි අපේ ගෙදරනම් හැත්තෑ හතෙන් පසුවත් කාලයක් යන තුරු කැසට් යන්ත්‍රයක් තිබුණේ නැහැ. කැසට් යන්ත්‍රයක් මිල දී ගැනීමෙන් පසුවත් කාගෙන් හෝ ඉල්ලාගෙන ඇහුවොත් මිසක් එන එන කැසට් ගන්න තරම් අපට සල්ලි තිබුණේත් නැහැ. ඒ වගේම, අපේ ගෙදර වැඩිහිටියන්ට ලොකු සංගීත රුචිකත්වයක් තිබුණේත් නැහැ. මේ ආදී හේතු නිසා, මම බොහෝ කාලයක් යන තුරු සිංදු ඇහුවේ ගුවන් විදුලියෙන්. සම්භාව්‍ය සිංදු වලට වැඩි රුචිකත්වයක් ඇති වෙන්න මෙය හේතුවක් වෙන්න ඇති. හැබැයි මීටරේ මාරු කරලා ඉංග්‍රීසි සිංදුත් අඩුවක් නැතුව ඇහුවා. ඒවත් ඉතිං තෝරලා දෙන ඒවාම තමයි.

ජිප්සීස්ලා හිටියේ සම්භාව්‍ය ගොඩේ නෙමෙයි. පීචං ගොඩේ. මේ පීචං ගායකයින්ගේ වූ විශේෂත්වය වුනේ ඔවුන් වෙළඳපොල ඉල්ලුම මත ගායකයින් සේ බැබලීමයි. මෙයින් වෙනස්ව සම්භාව්‍ය ගොඩේ ගොඩක් අය ගායකයින් සේ දිලිසුනේ යම් තරමකට හෝ රජයේ උදවුවෙන්. 

Tiny Winey - Byron Lee & The Dragonaires



වෙළඳපොළ ඉල්ලුම තුළින්ම ගායකයින් වී පීචං ගොඩේ සිටි අය අතරින් එක් නිශ්චිත කරුණකින් සුනිල් පෙරේරා ජෝතිපාල වැනි කණ්ඩායමේ අනෙක් අයගෙන් වෙනස් වුනා. අනෙක් හැම දෙනෙක්ම වගේ ඉස්සරහට ගියේ මිල සාධකය උදවු කරගෙන නෙමෙයි. ඔවුන් කළේ මිල අඩු මට්ටමක තියෙද්දී එම මිලට වැඩි ඉල්ලුමක් ජනිත වූ නිසා ඉල්ලුමට සරිලන තරමට සැපයුම වැඩි කරන එකයි. සමහර අය සතිපතා වගේ කැසට් ගැහුවා. සෑහෙන්න මහන්සි වුනා. ඒ අය සමාජවාදී ක්‍රමයටම හිතමින් තමන්ගේ මහන්සියට ප්‍රතිලාභ ලබා ගත්තා මිසක් වෙළඳපොළ ඉල්ලුම තමන්ගේ වාසියට යොදා ගන්නා ආකාරය ගැන හොඳින් දැනුවත්ව සිටියේ නැහැ.

මේ අනෙක් අයගෙන් වෙනස්ව සුනිල් පෙරේරා මිල සාධකය සාර්ථක ලෙස ප්‍රයෝජනයට ගත්තා. සමහර විට ඔහු ලංකාවේ මේ වැඩේ මුලින්ම කළ ගායකයෙකු විය හැකියි. සුනිල් පෙරේරා ඉතා සාර්ථක ලෙස සැපයුම සීමා කිරීම හරහා ඉල්ලුම කළමණාකරණය කරමින් මිල ඉහළ මට්ටමක පවත්වා ගත්තා. සමහර විට ඔහුගේ ව්‍යපාරික පවුල් පසුබිම මෙයට උදවුවක් වුනා වෙන්න පුළුවන්.

සුනිල් පෙරේරා මගේ කැමතිම ගායකයෙක් කියා මම කියන්නේ නැහැ. එහෙත්, ඔහු මම කැමති ගායකයෙක්. ඒ වගේම ඔහු සිංහල සංගීතයට බොහෝ අලුත් දේ එකතු කළ අයෙක්. සරසවියට ගියාට පස්සේනම් බොහෝ දුරට තිබුණේ කපුගේගේ ඒකාධිකාරයක්. කපුගේ කියන්නේ තවමත් මම කැමතිම ගායකයෙක්. හැබැයි ඒ ඔහුගේ සිංදු වලට මම කැමති නිසා මිසක් ඔහුගේ දේශපාලනය නිසා නෙමෙයි. සමහර අය කපුගේට කැමතිව සිටියේ ඔහුගේ දේශපාලනය නිසා. 

කපුගේගේ සිංදු වලට කොයි තරම් කැමති වුවත් සරසවි පරිසරය ඇතුළේ කපුගේ වැනි ඇතැම් ගායකයින්ට ඕනෑවට වඩා වැඩි බරක් වැටී තිබීම ගැන මගේ එතරම් කැමැත්තක් තිබුණේ නැහැ. ජිප්සීස් සිංදු ඇහීම හෝ ගායනා කිරීම ඔය වගේ පසුබිමක සිටිද්දී වෙනස් අනන්‍යතාවයක් පෙන්වීමට අවශ්‍ය වූ අයෙකුට කළ හැකිව තිබුණු දෙයක්. ඊට වඩා ඉදිරියට ගොස් ජිප්සීස්ලාව සරසවියට ගෙන්වනවා වගේ දෙයක්නම් ලේසියකට කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. එවැන්නක් කළ හැකිව තිබුණේ ගුටිකන්න බලාගෙන පමණයි.

Jimmy the hover Tantalise (Wo Wo Ee Yeh Yeh)


මම හිතන විදිහට අසූව දශකය මුල පටන් ගත් ජිප්සීස්ලාගේ හොඳම කාලය අනූව දශකය අවසන් වෙද්දී කෙළවර වී ගියා. මම පළමු හා අවසන් වරට ජිප්සීස්ලාගේ එළිමහන් ප්‍රසංගයක් බැලුවේ අනූව දශකය අවසානයේ. ඒක කළේත් සෑහෙන ගේමක් දීලා. ඒ ගැන කලින් ලියූ ලිපියක් පහත තිබෙනවා. 

පූජ්‍ය පක්ෂයට පමණයි!


අගනුවර ප්‍රධාන පාසැලක ආදි සිසු සංගමය විසින් සංවිධානය කළ ප්‍රසංගයක පටිගත කිරීමක් ලීක් වුණෙත් ඔය ආසන්න කාලයකදී. අර ඇඟිලි වලින් ගිටාර් ගහනවා හැර තවත් දේ කළ හැකි බව පෙන්වපු එක. පසුව මෑතකදී ඇමරිකාවේ ආසන්න නගරයක ජිප්සීස් ප්‍රසංගයක් පැවැත්වුනත් එහි යාම දැරිය යුතු ආවස්ථික පිරිවැයට වඩා වටිනවා කියා මට හිතුනේ නැහැ. 

සුනිල් පෙරේරාට කෝවිඩ් හමුවේ ජීවිතයෙන් පැරදෙන්න සිදු වීම කණගාටුවට කරුණක්. අපි ඔහුට සුබ ගමන් පතමු!

හැබැයි සුනිල් පෙරේරා ඔහුගේ ජීවිතය ජීවත් වී අවසන්ව සිටියා කියා මම හිතනවා. තව කාලයක් හිටියත් සංගීතය පැත්තෙන් ඔහුගෙන් අමුතු දෙයක් වෙන්න තිබුණු ඉඩකඩ ගොඩක් අඩුයි. ගූගල් හම් වගේ මෘදුකාංග තව ටිකක් දියුණු වීමෙන් පසුව ජිප්සීස් සිංදු ගැන විස්තර තවත් ප්‍රචලිත වෙයි. කෝවිඩ් නිසා මියගිය මංගල සමරවීර වගේම සුනිල් පෙරේරාත් මිය යාමෙන් පසුව යෝධයින් වී සිටිනවා. සැබෑවටම යෝධයින් වූ ඔවුන් ජීවත්ව සිටියදී කුරුමිට්ටන් සේ පෙනුනාද? එසේ නැත්නම්, ඔවුන් මිය යාමෙන් පසුව යෝධයින් වුනාද?

අඟුටුමිට්ටන්ගේ ලෝකයකදී කවුරු වුනත් යෝධයෙක් වෙනවා. මෑත කාලයේදී සුනිල් පෙරේරාව අගය කළ හා මරණයෙන් පසුව ඔහුව අගය කරන ගොඩක් අය තිස් වසරකට පෙර සරසවි කාලයේදී තමන්ගේ සගයෙකු එවැන්නක් කළේනම් අතින් පයින් සලකන්නට වුවත් නොපැකිළෙන අය වීම හිතන්නට අවශ්‍ය කාරණයක්.

ගොඩක් අය මංගලව වගේම සුනිල් පෙරේරාවත් අගය කරන්නේ ඔවුන් තමන්ට අවශ්‍ය පරිදි ජීවත් වූ, ජීවත් වන ආකාරය හංගාගෙන වෙනත් මූණක් නොපෙන්වූ අය ලෙස සලකමිනුයි. ප්‍රසිද්ධ චරිත අතර මෙවැන්නන් දුලබයි. ඔවුන් ඇත්තටම එවැනි චරිත වූවාද කියන එකත් මතභේදාත්මක කරුණක් වුවත්, එක දෙයක්නම් ඉතා පැහැදිලියි. ප්‍රසිද්ධ චරිතයක්ව සිටියදී,  තමන්ගේ ඇත්ත මුහුණ නොපැකිළ පෙන්විය හැකි අය සඳහා මේ මොහොතේ ලංකාවේ විශාල දේශපාලන රික්තයක් ඇති වී තිබෙනවා. මෙය ඒ ලක්ෂණය ඇති කුරුමිට්ටේකුට වුවත් යෝධයෙකු විය හැකි මොහොතක්. ඒ වගේම, යෝධයින් සේ පෙනී සිටින ඇතැම් අය කුරුමිට්ටන්ම පමණක් බව පෙනෙන එකත් වැළැක්විය නොහැකි කාලයක්!

Wednesday, August 18, 2021

කරාබු කඩා හැදූ මැණිකේ මගේ හිතේ


සිංහල සිංදුවක් ජාත්‍යන්තරයට ගිහින් තිබෙනවා. ජාත්‍යන්තරයට කියා කිවුවත් ඇත්තටම වෙලා තියෙන්නේ සිංහල සිංදුවක් ඉන්දියාව පුරා හිට් වීමයි. 

මෙසේ කීමෙන් මා කිසිසේත්ම මේ සිංදුව අවතක්සේරු කිරීමක් කරන්නේ නැහැ. සිංහල සිංදුවක් කවදාවත්ම ඉන්දියානු කලාපයෙන් පිටත, ලෝකය පුරා ජනප්‍රිය වී නැහැ. මා දන්නා තරමින් මීට පෙර ඉන්දියානු කලාපය පුරා හෝ ජනප්‍රිය වී තිබෙන්නේ එකම එක සිංහල සිංදුවක් පමණයි. ඒ නිසා, මේ සිංදුව ඉන්දියානු කලාපය පුරා ජනප්‍රිය වීම පට්ටයි කියලා කට පුරා කියන්න පුළුවන්.

මැණිකේ මගේ හිතේ සිංදුව ඉන්දියාව පුරා වගේම, ඉන්දියානු කලාපයේ යාබද රටවල ප්‍රේක්ෂකයින් අතරත්, ලොව පුරා විසිරී සිටින එම රටවල ඩයස්පෝරිකයින් අතරත් ජනප්‍රිය වී තිබෙනවා. ඒ අර්ථයෙන් සිංදුව ජාත්‍යන්තරයට ගිහින් කීමේ වරදකුත් නැහැ. ඒ වගේම මෙය ඉන්දියානු සංස්කෘතියෙන් පිටතද ජනප්‍රිය වීමේ යම් විභවයක් තිබෙනවා. එසේ වේවා කියා අප ප්‍රාර්ථනා කරනවා.

සිංදුවක් ජනප්‍රිය වීමට එහි සංගීතය, ගායනය, පද මාලාවේ අර්ථ රසය, පද මාලාවේ ශබ්ද රසය ඇතුළු බොහෝ කරුණු බලපානවා. මේ කරුණු අතරින් පද මාලාවේ අර්ථ රසය වැදගත් වන්නේ සිංදුව ලියැවී තිබෙන භාෂාව දන්නා අයට පමණයි. එම භාෂාව නොදන්නා අයට වැදගත් වන්නේ ඉතිරි කරුණු තුන හා වෙනත් කරුණුයි. මේ වෙනත් කරුණු අතර මේ වන විට රූප රසයද වැදගත් කරුණක්ව තිබෙනවා.

කාලයක් තිස්සේ ලංකාව තුළ හොඳ සිංදු සේ සැලකුනේ පද මාලාවේ අර්ථ රසය ඉහළ මට්ටමක වූ සිංදුයි. මෙවැනි බොහෝ සිංදු වල අර්ථය සිංහල භාෂාව මුල් බස වූ අයෙකුට වුවත් හරියටම තේරුම් ගන්න අමාරුයි. ඒ වගේ සිංදු, ඉතිරි සාධක නිසා නොවේනම්, ලංකාවේ කොයි තරම් ජනප්‍රිය වුවත්, ජාත්‍යන්තරයට යන්නේ නැහැ. ඕනෑනම් වැඩිම වුනොත් සිංහල බස මුල් බස වූ සංක්‍රමණිකයින් අතර ජනප්‍රිය වෙයි. 

මා දන්නා තරමින් වෙනත් භාෂා වලින් ලියැවෙන සිංදු බොහොමයක තිබෙන්නේ සරල අර්ථයක්. වෙනත් රටවල සිංදු හැදෙද්දී සිංහල සිංදු වල මෙන් පද මාලාවේ අර්ථ රසය බොහෝ වැදගත් සේ සැලකෙන බවක් මා දන්නේ නැහැ. 

මැණිකේ මගේ හිතේ සිංදුවේ පද මාලාවේ අර්ථ රසයක්නම් නැහැ. සම්ප්‍රදායික සම්මත අනුව බැලුවොත් මෙය කසිකබල් සිංදුවක් කියන්න පුළුවන්. එහෙත් මේ පද මාලාවේ ශබ්ද රසය තිබෙනවා. සිංදුව හිට් වීමට වැඩිපුරම දායක වී තිබෙන්නේ එහි සංගීතය විය හැකි වුවත්, පද මාලාවේ ශබ්ද රසයද එයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබෙන බව පැහැදිලියි.

මීට පෙර මේ ආකාරයෙන් ඉන්දියාව පුරා හිට් වූ සිංහල සිංදුවක් ඇත්නම් ඒ සුරංගනීට මාළු ගෙනාවා ගීතය පමණයි. දශක ගණනාවකට පෙර ඉන්දියාවේ හිට් වූ සුරංගනී ගීතය ඉන්දියානුවන් අතර තවමත් ජනප්‍රියයි. සිංදුව දන්නා නමුත් එය සිංහල සිංදුවක් බව බොහෝ ඉන්දියානුවන් දන්නේ නැහැ. සුරංගනී ගීතය ඉන්දියාව පුරා ජනප්‍රිය කළේ සිලෝන් මනෝහර් ලෙසද  ප්‍රසිද්ධව සිටි ඒ ඊ මනෝහරන් විසිනුයි. ඔහු තෙවසරකට පෙර වකුගඩු ආබාධයකින් මිය ගියා. 

මැණිකේ මගේ හිතේ ගීතය මෙන්ම සංගීතය හා පද මාලාවේ ශබ්ද රසය නිසා ජනප්‍රිය වූ සුරංගනී ගීතය ඉන්දියාවේ විවිධ භාෂා වලට මිශ්‍ර වී තිබෙනවා. මේ ආකාරයෙන්ම මේ වන විට මැණිකේ මගේ හිතේ ගීතයද ඉන්දියාවේ විවිධ භාෂා ගණනාවක් සමඟ මිශ්‍ර වී තිබෙනවා. ඊට අමතරව ඉංග්‍රීසි භාෂාව සමඟ මිශ්‍ර කළ වර්ෂන් එකක්ද තිබෙනවා. මනෝහර්ට නොතිබුණු තාක්ෂනයේ වාසිය වගේම කාලයේ වාසියත් මැණිකේ මගේ හිතේ ගීතයේ නිෂ්පාදකයින්ට මේ ගීතය ඉතා කෙටි කලකින් ඉන්දියාව පුරා ජනප්‍රිය කර ගැනීමට උදවු වී තිබෙනවා. එය යම් තරමකට වාසනාව මත සිදුව ඇති දෙයක් වුවත් සැලසුම් සහගත මහන්සියක් මේ ගීතය පසුපස ඇති බව ඉතාම පැහැදිලියි.

ගීතය මුලින්ම බිහි වී තිබෙන්නේ කෑගල්ලේ තරුණයෙකු වන සතීෂාන් රත්නායකට ගීතයක් එළිදැක්වීමට තිබුණු උවමනාව මතයි. සම්මුඛ සාකච්ඡාවකදී ඔහු කියන විදිහට මේ සිංදුව හදන්න සල්ලි හොයා ගැනීම සඳහා ඔහු කවුරුවත් නොකරන දේවල් පවා කර තිබෙනවා. ඔහුට අනුව මේ කවුරුවත් නොකරන දේ කරාබු කැඩීමයි.

ඔහු මේ කියන්නේ කෝච්චියේ මාල කැඩීම වගේ දෙයක් ගැන නෙමෙයි. කරාබු ගස් වලින් කරාබු කැඩීම ගැනයි. අදාළ සාකච්ඡාව මෙහෙයවන්නාට හෝ එය නරඹන අයට කරාබු කැඩීම කවුරුවත් නොකරන දෙයක් වන්නේ ඇයි කියා අවබෝධයක් නැතුව ඇති. මෙය ඉතා අසීරු වැඩක්. 


කරාබු ගස් අඩි විස්සක් විසිපහක් උසට වැවෙනවා. ඒ නිසා, කරාබු කැඩීම තේ දළු කඩනවා වගේ පහසුවෙන් කළ හැකි දෙයක් නෙමෙයි. කරාබු මල් පිපෙද්දී නටුවද සමඟ පොහොට්ටු කඩා ගන්න ගහට නැග අතු අග්ගිසි වලට යා යුතුයි. කරාබු නැටි අපනයනය හෝ දේශීය වෙළඳපොළ සඳහා සකස් කරන්නේ මේ පොහොට්ටු අව්වේ වේලලා. මේ වැඩේ අමාරු වන්නේ ගහට නගින්න වීම නිසා හෝ අතු අග්ගිසි වලට යන්න අවශ්‍ය නිසාම නෙමෙයි. කරාබු ගහේ හැම කොටසකම වගේ ලොකු සැරක් තියෙනවා. ගහට නැගලා පැය කිහිපයක් කරාබු කඩන කොට මුළු ඇඟම දැවිල්ල හැදෙනවා.

කරාබු කඩන්න ශ්‍රමිකයින් හොයා ගන්න එක ගොඩක් අමාරු වැඩක්. වැඩේට කැමති අයට හොඳ මිලක් ලැබෙනවා. බොහෝ විට සල්ලි ලැබෙන්නේ කඩන කරාබු ප්‍රමාණය අනුවයි. මේ මිල ගෙවා ලාබයක් ලැබිය හැකි තරමට කරාබු නැටි මිල ඉහළ මට්ටමක නැත්නම් කරාබු නොකඩා ඉන්න වෙලාවල් තියෙනවා. 

සතීෂාන් රත්නායක විසින් ගායනා කරන චමත් සංගීත් විසින් සංගීතය යොදා ඇති දුලාන් ARXගේ පද මාලාවේ මුල් වර්ෂන් එකද ජනප්‍රියව ඇතත් ඉන්දියාව පුරා හිට් වී තිබෙන්නේ ඉන්පසුව ඔහු යොහානි දිලෝකා ද සිල්වා සමඟ ගයන වර්ෂන් එකයි. යොහානිගේ හැඟීම්බර ගායනය වගේම සංගීත වීඩියෝවේ රූප රසයද සිංදුව ජනප්‍රිය වීමට හේතු වී ඇති බව පැහැදිලියි. ඉන්දියාවේ විවිධ භාෂා වලින් නිපදවා තිබෙන වර්ෂන් වල යොහානි විසින් ගයන සිංහල කොටස එසේම තිබියදී සතීෂාන්ගේ රැප් කොටසට වෙනම ගායකයින් ආදේශ වී තිබෙනවා. 

යොහානිගේ හා සතීෂාන්ගේ වර්ෂන් එකේ යූටියුබ් වීඩියෝව මේ වන විට මිලියන 38කට වඩා වැඩි පිරිසක් විසින් නරඹා ඇති අතර සතීෂාන්ගේ මුල් වර්ෂන් එකද මිලියන 13කට වැඩි පිරිසක් විසින් නරඹා තිබෙනවා. සුපිරි නළු අම්තාබ් බච්චන්ගේ මිණිපිරිය නව්‍යා නවේලි නන්දා විසින් අමිතාබ් රඟන චිත්‍රපට රූප රාමුවකට මේ ගීතය මුසු කොට ප්‍රසිද්ධ කිරීමෙන් පසුව අමිතාබ් විසින් පවසා තියෙන්නේ මේ ගීය කොපමණ ඇසුවත් ඇති නොවන බවයි.


ලංකාවේ බොහෝ දෙනෙකුට ඉන්දියානු භීතිකාවක් තිබෙනවා. මෙහිදී බොහෝ දෙනෙකු හිතන්නේ ඉන්දියානුවන් දේශීය වෙළඳපොළට අවතීර්ණ වීම තුළ තමන්ගේ වෙළඳපොළ අහිමි වී යනු ඇති බවයි. එහෙත්, එක් ශ්‍රී ලාංකිකයකුට දැවැන්ත ඉන්දියානු වෙළඳපොළට ඇතුළු විය හැකිනම් එහි වාසිය තුළින් ඉන්දියානු තරඟය නිසා දේශීය නිෂ්පාදකයින් පණහක් විනාශ වීමෙන් වන අවාසිය මැකෙනවා. මා මෙයින් අදහස් කරන්නේ දේශීය නිෂ්පාදකයින් පරාජය භාර ගත යුතු බව නෙමෙයි. එහි අනෙක් පැත්තයි. 

ලංකාවේ කලාකරුවන්ට, ව්‍යවසායකයන්ට වගේම වෘත්තිකයින්ටත් ජාත්‍යන්තරය ජය ගැනීමට අවශ්‍යනම් හොඳම ආරම්භය වන්නේ ඉන්දියානු වෙළඳපොළ ජය ගැනීමයි. මෙහිදී දූපත් මානසිකත්වයෙන් මිදී ලොකුවට සිතීම වැදගත්. මැණිකේ මගේ හිතේ නිෂ්පාදක කණ්ඩායම විසින් පෙන්වා දී තිබෙන්නේ එය කළ හැක්කක් බවයි.

Friday, October 16, 2020

එතුවක් දුරින් ඉන්න ඈතින්...

කොරෝනා එහෙමත් නැත්නම් කෝවිඩ්-19 ගැන අන්තිමට කතා කළේ මාසයකට පමණ පෙරයි. වසංගතයේ ව්‍යාප්තිය ආරම්භයේදී අප මේ හා අදාළ ලිපි ගණනාවක් පළ කළත්, පසුගිය ජූලි මාසයේ සිට කොරෝනා ගැන කතා කර තිබෙන්නේ මසකට වරක් පමණයි. ඒ ලිපි වලත් ගැඹුරු තාක්ෂණික කරුණු කිසිවක් කතා කර නැහැ.

සිවු මසකට පෙර "කෝවිඩ් නැත්තේ කොහේද?" යනුවෙන් ලිපියක් මෙහි පළ කරමින් අප ඒ වන විට ලෝකයේ කෝවිඩ් වලින් තොර රටවල් ගැන කතා කළා. එහි සඳහන් කළ උතුරු කොරියාව හා තුර්ක්මේනිස්ථානය යන රටවල් නිල වශයෙන් කෝවිඩ්-19 ආසාදිතයින් වාර්තා කර නැතත් අදාළ රටවල් කෝවිඩ් වලින් නොතොර බව බොහෝ විශේෂඥයින්ගේ මතයයි. බටහිර සහරාවේ පොලිසාරියෝ පෙරමුණ විසින් පාලනය කරන නැගෙනහිර බිම් තීරුව සම්බන්ධ තත්ත්වයත් මෙවැන්නක්.

තොරතුරු නිවැරදිව වාර්තා නොවන ඉහත රටවල් /ප්‍රදේශ හැරුණු විට කෝවිඩ් වලින් තොර රටවල් සේ සැලකිය හැකිව තිබුනේ ශාන්තිකර සාගර කලාපයේ දූපත් රාජ්‍ය දහයක් පමණයි. මේ කලාපයේ පිහිටි ජනගහණය වැඩිම දූපත් රාජ්‍යය වූ ෆිජි ජනරජයෙන් ඒ වන විටද කෝවිඩ්-19 ආසාදිතයින් වාර්තා වී තිබුණා. 


ඉහත කී දූපත් රාජ්‍ය දහය අතරින් වැඩිම ජනගහණයක් සිටින රට වන සොලමන් දූපත් වලින්ද මේ වන විට කෝවිඩ්-19 ආසාදිතයින් තිදෙනෙකු හමු වී තිබෙනවා. මේ අනුව, මේ වෙද්දී කෝවිඩ් වලින් බේරී සිටින්නේ ශාන්තිකර කලාපයේ දූපත් රාජ්‍ය නවයක් පමණයි. මේ අතරින් වැඩිම ජනගහණයක් සිටින දූපත් රාජ්‍යය වන්වාතු. එහි ජනගහණය ආසන්න වශයෙන් ලක්ෂ තුනක් පමණ වෙනවා. වන්වාතුද ඇතුළුව මේ දූපත් රාජ්‍ය නවයේම ජනගහණය මිලියනයකට වඩා අඩුයි.


ලක්ෂයක පමණ ජනගහණයක් සිටින බටහිර ඉන්දීය දූපත් රාජ්‍යයක් වන සෙන්ට් වින්සන්ට් සහ ග්‍රෙනඩීස් දූපත් වලින් හමු වූ කෝවිඩ්-19 ආසාදිතයින් 64 දෙනෙකුත්, එම කලාපයේම පිහිටි පනස් දහසක පමණ ජනගහණයකින් යුත් සෙන්ට් කිට්ස් සහ නෙවීස් දූපත් වලින් හමු වූ කෝවිඩ්-19 ආසාදිතයින් 19 දෙනෙකුත් මේ වන විට සුවය ලබා සිටින නිසා එම රටවල්ද මේ වන විට කෝවිඩ් වලින් නිදහස් බව ඕනෑනම් කියන්න පුළුවන්. 

ඉහත කී රටවල් සියල්ල සීමිත ජනගහණයක් සිටින හුදෙකලා දූපත් රාජ්‍යයන්. ඇමරිකාව හෝ ඉන්දියාව වැනි විශාල කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණයක් සිටින රටවල වුවත් කෝවිඩ්-19 ආසාදිතයින් නැති මෙවැනි කුඩා ප්‍රදේශ තියෙන්න පුළුවන්. ඒ නිසා, මේ වෙද්දී කෝවිඩ්-19 විසින් ලෝකයම ග්‍රහණයට අරගෙන කියන එක සෑහෙන තරමේ සාධාරණ ප්‍රකාශයක්. වරින් වර කෝවිඩ්-19 "සාර්ථකව මර්දනය කළ" බොහෝ රටවල දැන් නැවතත් ආසාදිතයින් හමු වෙන්න පටන් අරන්. [මෙය ලංකාව ඉලක්ක කර කරන ප්‍රකාශයක් නෙමෙයි.]


ඉහත ප්‍රකාශය අභියෝගයට ලක් වෙනවානම් මුලින්ම එය වෙන්නේ කෝවිඩ්-19 මුලින්ම පැතිරුණු චීනයේදී. චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් පිටත ජනගහණය ලක්ෂයකට කෝවිඩ්-19 ආසාදිතයින් ගණන 15කට වඩා අඩුයි. චීනය හැරුණු විට මේ මට්ටමේ කෝවිඩ්-19 පාලනයක් දැකිය හැක්කේ චීනයට යාබද වියට්නාමය, ලාඕසය හා කාම්බෝජය ඇතුළත් භූගෝලීය කලාපයේ හා නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සානියාවේ පමණයි. 

කෝවිඩ්-19 සාර්ථකව පාලනය කිරීම සම්බන්ධව ටැන්සානියාව දෙවෙනි වනවානම් ඒ උතුරු කොරියාවට හා තුර්ක්මේනිස්ථානයට පමණයි. නිල වශයෙන් රටක කෝවිඩ්-19 ආසාදිතයින් සිටිය හැක්කේ පරීක්ෂා කර හඳුනාගෙන අදාළ තොරතුරු ප්‍රසිද්ධියට පත් කළොත් පමණයි. කෝවිඩ්-19 පරීක්ෂණ සිදු කිරීම සම්පූර්ණයෙන් නැවැත්වූ විට අලුත් කෝවිඩ්-19 ආසාදිතයින් හමු වන එකත් සම්පූර්ණයෙන්ම නවතිනවා. ඒ වන විට හඳුනාගත් ආසාදිතයින් සුව වූ පසු රට කෝවිඩ් වලින් තොර වෙනවා.

රටවැසියන්ගේ යාඥා වල ප්‍රතිඵලයක් ලෙස ටැන්සානියාව කෝවිඩ් වලින් තොර වී ඇති බව එරට ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර රෝග ලක්ෂණ ඇති අය පරීක්ෂා කිරීම නැවැත්වීමෙන් පසුව ටැන්සානියාවෙන් කෝවිඩ්-19 ආසාදිතයින් හමු වන්නේ නැහැ. සිම්පල් ප්ලෑන් එකක්!

තොරතුරු වාරණයක් සිදු වනවා විය හැකි වුවත් චීනය ටැන්සානියාවේ ගොඩට දමන්න බැහැ. හුබෙයි ප්‍රාන්තයෙන් කෝවිඩ්-19 ව්‍යාප්තිය ආරම්භ වූ මුල් අදියරෙන් පසුව චීනය රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඉතා දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. අවදානම් සහිත ජන කණ්ඩායම් මහා පරිමාණයෙන් පරීක්ෂාවට ලක් කිරීමද චීනය විසින් අනුගමනය කරන ක්‍රමවේදයේ කොටසක්. එහෙත්, එය චීනය විසින් කරන එකම දෙය නෙමෙයි ආක්‍රමනශීලී ලෙස සබඳතා හමා යාම, විශාල ජනගහණයක් සිටින ප්‍රදේශ ලොක් ඩවුන් කිරීම ඇතුළු තවත් බොහෝ දේ චීනය විසින් කරනවා.

චීනය මධ්‍යගත පාලනයක් තිබෙන විශාල රටක් වීම කෝවිඩ් මර්දනයේදී උදවුවක් වී තිබෙනවා. මෙහිදී දෙවන සාධකය අමතක කර පළමු සාධකය ගැන පමණක් කතා කරන්න බැහැ. ඇත්තටම චීනයේ දැඩි මධ්‍යගත පාලනය නොවන්නට ඇතැම් විට කෝවිඩ් ව්‍යාප්තිය මුල් අදියරේදීම හඳුනාගනු ලැබ වුහාන් වලටම සීමා වන්නට වුවත් ඉඩ තිබුණා. කෙසේ වුවත්, යම් මට්ටමකට වසංගතය පැතිරුණු පසුව චීනය විසින් වසංගතය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ඉතා දැඩි ක්‍රියාමාර්ග ගත්තා.

චීන්නු කටවහගෙන ආණ්ඩුව කියන දේ ඒ විදිහටම කරන්න කාලයක් තිස්සේ පුරුදු වී සිටීම වැඩේට පහසුවක් වුනා. හැබැයි එහෙම කටවහගෙන ආණ්ඩුව කියන දේ කරන ජනතාවක් සිටි පමණින් කුඩා රටකට චීනය කළ දේවල් කරන්න පහසු වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට මිලියන 60ක පමණ ජනගහණයක් සිටින හුබෙයි ප්‍රාන්තය ලොක් ඩවුන් කරද්දී රටේ වැඩ කටයුතු කරගෙන යන්න තවත් මිලියන 1380ක පමණ ජනගහණයක් හුබෙයි ප්‍රාන්තයෙන් පිටත හිටියා. ලංකාව වගේ රටක ජනගහණය මෙන් තුන් ගුණයකගේ සංචරණය සීමා කළාට පසුවත් චීනයෙන් 96%ක්ම වැඩ. 

මෙය චීනයට පමණක්ම කළ හැකි දෙයක්. රටේ ආර්ථික කටයුතු වලට විශාල බලපෑමක් කර නොගනිමින් මිලියන 60ක ජනගහණයක් පැත්තකට කරන්න පුළුවන් තරමේ විශාල ජනගහණයක් සිටින වෙනත් රටක් ඇත්නම් ඒ ඉන්දියාව පමණයි. ඉන්දියාවේද චීනයේ මෙන්ම විශාල ජනගහණයක් සිටියත් චීනයේ මෙන් දැඩි මධ්‍යගත පාලනයක් නැති නිසා ඉන්දියාවටත් මෙවැන්නක් කරන්න බැහැ. අනෙක් අතට මධ්‍යගත පාලනයක් තිබුණා කියලා පොඩි රටකට මෙවැන්නක් කරන්නත් බැහැ. 

චීනය කෝවිඩ් රටින් තුරන් කරලා නැහැ. රට ඇතුළෙන් වරින් වර කෝවිඩ් ආසාදිතයින් හමු වෙනවා. එහෙත්, ඒ විදිහට හමුවෙන ආසාදිතයින් ඉක්මණින් හඳුනාගෙන වෙන් කිරීමට හැකි යාන්ත්‍රණයක් චීනය සතුව තිබෙනවා. ඒ යාන්ත්‍රනය චීනයේ ආර්ථිකයට දරා ගත නොහැකි බරක් නෙමෙයි. අනෙක් පැත්තෙන් එන්නත් තරඟය තුළත් චීනය ඉදිරියෙන් ඉන්නවා. ඒ නිසා, එන්නතක් වැඩි දියුණු කර ගන්නා තුරු කෝවිඩ් විශාල ලෙස රට ඇතුළේ පැතිරෙන එක වලක්වා ගන්න චීනයට බැරි වෙයි කියා කියන්න බැහැ. 

චීනයට දකුණින් තිබෙන ලාඕසය, වියට්නාමය හා කාම්බෝජය වගේ රටවල් වලට වගේම තායිලන්තයටත් චීනය කෝවිඩ් පාලනය කර ගැනීමේ වාසිය වක්‍ර විදිහට ලැබී තිබෙනවා. හැබැයි මේ තත්ත්වය කොයි වෙලාවක හෝ වෙනස් වෙන්න බැරිකමක් නැහැ. මෑතක් වන තුරුම කෝවිඩ් ව්‍යාප්තිය ඉතා අඩු මට්ටමක තිබුණු මියන්මාරයේ මේ වෙද්දී වේගයෙන් කෝවිඩ් ව්‍යාප්ත වන ආකාරය අනුව පැහැදිලි වන්නේ ඉහත රටවල දැනට පෙනෙන්නට තිබෙන ස්ථාවර තත්ත්වය එසේම දිගටම පවතිනු ඇති බවට කිසිදු සහතිකයක් නැති බවයි. චීන බෝඩරය ආරක්‍ෂිත වුනත් මියන්මාරය පැත්තෙන් හරි මැලේසියාව පැත්තෙන් හරි මේ බ්ලොක් එකේ රටවල කෝවිඩ් පැතිරෙන්න පුළුවන්.

කෝවිඩ් වසංගතය හමුවේ දූපත් රාජ්‍ය වලට යම් වාසිදායක තත්ත්වයක් දිගටම වගේ තිබුණා. අයිස්ලන්තය උදාහරණයක් ලෙස පෙන්වන්න පුළුවන්. එක පැත්තකින් දූපත් රාජ්‍යයක් වීමේ වාසියත්, අනෙක් පැත්තෙන් අඩු ජන ඝනත්වයක් තිබීමේ වාසියත් අයිස්ලන්තයට තිබුණා. ඊට අමතරව අයිස්ලන්තය මුල් කාලයේදීම තමන්ගේ රටේ ජනගහණය විශාල ලෙස පරීක්ෂාවට ලක් කළා. 

අයිස්ලන්තය ගැන බොහෝ දෙනෙක් කතා කළේ සාර්ථක ලෙස කෝවිඩ් මර්දනය කළ රටක් විදිහටයි. නමුත්, මේ වෙද්දී කෝවිඩ් "දෙවන රැල්ල" අයිස්ලන්තය හරහා හමා යනවා. සීෂෙල්ස්, නවසීලන්තය වගේ දූපත් රාජ්‍ය වල තත්ත්වයනම් තවමත් හොඳින් පාලනය වී තිබෙනවා.දූපත් රාජ්‍ය වලට කෝවිඩ් වලින් බේරීම සාපේක්ෂව පහසු වුනත් එය ඉබේටම වෙන්නේ නැහැ. එය තවත් සාධක ගණනාවක් මත තීරණය වන දෙයක්.

ලංකාවේ කෝවිඩ් මර්දන කටයුතු මෙතෙක් සාර්ථකව සිදු වී ඇති බව පැහැදිලි කරුණක්. එහෙත්, මේ වෙද්දී ලංකාව නැවතත් "හන්දියකට" පිවිස තිබෙනවා. මේ ලිපියෙන් මම ලංකාව ගැන කතා කරන්න යන්නේ නැහැ. කොහොම වුනත් දැන් පවතින තත්ත්වය අනුව, කාලයකට ඉස්සර ප්‍රේමකීර්ති ද අල්විස් විසින් දීලා තියෙන උපදෙස් පිළිපදින එක තමයි කරන්න තියෙන්නේ.

එතුවක් දුරින් ඉන්න ඈතින්...

එහෙම නැත්නම් වෙන දේත් කියල තියෙනවනේ.

මනසින් ලබන්න හැකි සුවේ...අප ලං වුනොත් දුරස් වෙතේ...



වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...