වෙබ් ලිපිනය:

Showing posts with label නිදහස් කැමැත්ත. Show all posts
Showing posts with label නිදහස් කැමැත්ත. Show all posts

Saturday, June 26, 2021

ජාතිකවාදී විකල්පය


ධනවාදයට හා මාක්ස්වාදයට විකල්පයක් ලෙස ජාතිකවාදය හඳුනා ගන්නා ගොඩක් අය ඉන්නවා. මේ තුන්-මුළු විසංයෝජනය ලෝකය පුරා ව්‍යාප්ත ජනප්‍රිය අදහසක්. ඔය අදහස ලෝකයට ගෙන ගිය ජනප්‍රිය පුද්ගලයෝ ඉන්නවා. එහෙත් ජාතිකවාදය දෙස මම බලන්නේ මේ ආකාරයේ තුන්-මුළු ආකෘතියක් ඇසුරෙන් නෙමෙයි. ඒ ඇයි කියා මම මීට පෙරත් විස්තර කර තිබෙනවා. තව දුරටත් පැහැදිලි කරන්නම්. 

කොහොම වුනත්, තුන්-මුළු ආකෘතියත් මගේ ආකෘතිය වගේම තවත් ආකෘතියක් නිසා වෙනත් අය ධනවාදය, මාක්ස්වාදය හා ජාතිකවාදය එකම ගැටලුවකට ලබා දෙන විසඳුම් තුනක් සේ හඳුනා ගැනීම ගැන මට ප්‍රශ්නයක් නැහැ. වෙනත් අය ගැටලුව සේ හඳුනා ගන්නේම මම අවධානය යොමු කරන ගැටලුව නොවෙන්න පුළුවන්.

මගේ ලිපි මාලාව හරහා ධනවාදය හා මාක්ස්වාදය සංසන්දනය කිරීමේදී මම අවධානය යොමු කළ ගැටලුව වූයේ මනුෂ්‍ය සංහතිය සතු සීමිත සම්පත් අසීමිත අවශ්‍යතා තිබෙන මිනිසුන් අතර බෙදා ගන්නේ කොහොමද කියන එකයි. මේ ගැටලුව ආර්ථික විද්‍යාඥයෙකුගේ මූලික ගැටළුව ලෙස හැඳින්විය හැකියි. සියලුම මිනිසුන්ගේ අවශ්‍යතා ඉක්මවන සම්පත් ප්‍රමාණයක් ඔවුන් හැම දෙනෙකු සතුවම තිබෙනවානම් ආර්ථික විද්‍යාඥයෙකුට කරන්න රස්සාවක් නැහැ. ආර්ථික විද්‍යාව කියා විෂයයක් අවශ්‍ය වන්නේත් නැහැ. අප ජිවත් වන ලෝකය එවැනි යුතෝපියාවක් නෙමෙයි. 

කරුණක් ලෙස ගත්තොත්, අප ජිවත් වන ලෝකයේ බොහෝ මිනිසුන්ට ඔවුන්ගේ අවශ්‍යතා වලට සරිලන තරමේ සම්පත් ප්‍රමාණයක් පරිභෝජනය කිරීමේ හැකියාවක් නැහැ. එවැනි හැකියාවක් ඇති අය ඇත්නම් ඒ ඉතා කලාතුරකින්. මාක්ස්වාදය ඇතුළේ වගේම පොදුවේ සමාජවාදී අදහස් විසින් මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස දකින්නේ සම්පත් සමානව හෝ වඩා සමානව බෙදා ගැනීමයි. එයින් වෙනස්ව ධනවාදය විසින් සම්පත්, එම සම්පත් නිර්මාණය කරන අයගේ නිදහස් කැමැත්ත අනුව ප්‍රයෝජනයට ගැනීම යෝජනා කරනවා.

ධනවාදී පරමාදර්ශය තුළ මිනිස්සු කොටස් වලට බෙදා ඔවුන්ට වෙනස් ලෙස සැලකීමක් යෝජනා කෙරෙන්නේ නැහැ. හැම මිනිහෙක්ම නිදහස් කැමැත්තක් තිබෙන මිනිහෙක්. මේ අදහසේ සීමාවන් ගැන පෙර කතා කළා. ඒ සීමාවන්ට යටත්ව, නිදහස් මිනිස්සු හැමෝම සමානයි. 

මෙයින් වෙනස්ව මාක්ස්වාදය පටන් ගන්නේම මිනිස්සු උපදින ආකාරය අනුව කුල වලට වර්ග කරලා. සියලුම යහපත් ලක්ෂණ තිබෙන්නේ උපතින් ප්‍රාග්ධනය අහිමි නිර්ධන පංතිකයින්ට. උපතින් ප්‍රාග්ධනය හිමි අය සියලුම නරක එකතු වී හැදුනු පිරිසක්. ඔය කණ්ඩායම් දෙකටම දමන්න බැරි සුළු ධනේශ්වර ආදී අතරමැදි කුල ගණනාවක්ද තියෙනවා. 

ප්‍රාග්ධනය හිමි අය සතු ප්‍රාග්ධනය පාලනය කිරීමේ බලය ඒ අයගෙන් උදුරා ගෙන එතෙක් ප්‍රාග්ධනය අහිමිව සිටි නිර්ධන පංතිකයින් අතරින් තෝරාගත් පිරිසකගේ අතට ගිය වහාම මැජික් එකකින් වගේ හැම ප්‍රශ්නයක්ම විසඳෙනවා. ගමේ සිල්ලර කඩයක්වත් හරියකට පවත්වා ගෙන ගොස් නැති අය "අපිට බලය දෙන්න. එවිට අපි කරල පෙන්වන්නම්!" කියලා ලොරි ටෝක් දෙන එකේ දාර්ශනික පදනම ඕකයි.

ඔය විදිහට ලොරි ටෝක් දීලා බලය ගන්න අය දිගින් දිගටම කරලා තියෙන්නේ කුමක්ද කියා එකින් එක නිදර්ශන සපයන්න අවශ්‍ය වන්නේ නැහැ. එසේ තිබියදීත්, උපතින් ප්‍රාග්ධනය හිමි අයගේ නිදහස් කැමැත්ත පිළිගන්න බැරි ගොඩක් අයට එසේ උපතින් ප්‍රාග්ධනය හිමි නොවූ "ජනතා නියෝජිතයෙකුගේ" නිදහස් කැමැත්ත අපහසුවකින් තොරව පිළිගන්න පුළුවන්. හැබැයි එහෙම වෙනත් අයෙකුගේ නිදහස් කැමැත්තට තමන්ගේ නිදහස් කැමැත්ත කැමැත්තෙන්ම යට කරන ගොඩක් අයට පසු තැවෙන්න වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ. මේ වගේ පසු තැවීමකට මුහුණ දෙන්න වෙන්නෙම, මොන විදිහට හිතා ගෙන හිටියත්, ඒ අයටත් නිදහස් කැමැත්තක් තිබෙන නිසා.

පරමාදර්ශී ප්‍රජාතන්ත්‍රවාදයක ලක්ෂණ වලින් ඉතාම සීමිත කොටසක් පමණක් තිබෙන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් ඇතුළේ ගොඩක් අය එකතු වෙලා තමන්ගේ නිදහස් කැමැත්ත වඩා හොඳින් නියෝජනය කරනවායැයි සිතන ජනතා නියෝජිතයෙක්ව තෝරා පත් කර ගන්නවා. ඊට පස්සේ ක්‍රියාත්මක වෙන්නේ ඒ ජනතා නියෝජිතයාගේ නිදහස් කැමැත්ත. එය තමන්ගේ නිදහස් කැමැත්ත නොවන බව ඉතා ඉක්මණින් තේරෙන්න පටන් ගන්නවා. ප්‍රශ්නය විසඳා ගන්නේ නියෝජිතයාව මාරු කරලා. අන්තිමට හිටපු තැනමයි. ප්‍රශ්නයට හේතුවම තමන්ගේ නිදහස් කැමැත්ත වෙනත් අයෙකුගේ නිදහස් කැමැත්තට යට කිරීම නිසා ඔය ක්‍රමයට කවදාවත් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ඔය විදිහට දිගටම ප්‍රශ්නය සමඟ ජිවත් වීමත් නිදහස් කැමැත්තක්ම තමයි!

ගොඩක් අයගේ නිදහස් කැමැත්ත ඔවුන්ගේම නිදහස් කැමැත්තට එරෙහිව ක්‍රියාත්මක වන්නේ කොහොමද? මේ ගොඩක් අයට තමන්ගේ නිදහස් කැමැත්ත ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. නමුත් අනෙක් අයගේ නිදහස් කැමැත්ත ක්‍රියාත්මක කරන්න දෙන්න අවශ්‍ය නැහැ. තමන්ට අවශ්‍ය දේ ලියන්න නිදහස අවශ්‍යයි. එයින් එහාට ගිහින් තමන්ට අවශ්‍ය දේ වෙනත් අය විසින්ද ලියන්න අවශ්‍යයි!

ලංකාව ඇතුළේ මිනිසුන්ගේ නිදහස් කැමැත්තට එරෙහිව සමාජවාදී දෘෂ්ඨිවාදය ක්‍රියාත්මක වන්නේ ඔය විදිහට. ලංකාවේ ප්‍රශ්නය මිනිසුන්ට නිදහස් කැමැත්තක් නැතිකම නෙමෙයි. ඒක කොහොමටත් නැති නොවන, නැති කළ නොහැකි දෙයක්. ඒ වගේම හැමෝටම අවශ්‍ය දෙයක්. ලංකාවේ සමාජවාදී දෘෂ්ඨිවාදය විසින් කරලා තියෙන්නේ මිනිස්සු අනෙකාගේ නිදහස් කැමැත්තට ගරු කිරීම වලක්වන එකයි. අනුන් වෙනුවෙන් හිතීමේ අයිතිය තනි කැමැත්තෙන් තමන් වෙත පවරාගෙන තිබෙන, නිදහස් කැමැත්තක් නැතැයි කියන මිනිස්සුත් අප ලිවිය යුතු දේ හා නොලිවිය යුතු දේ ගැන අපට උපදෙස් දෙනවා. ඒ කාගේ නිදහස් කැමැත්තද?

කිසියම් සමාජයක ජිවත්වන මිනිසුන්ට ඔවුන්ගේ නිදහස් කැමැත්ත ක්‍රියාත්මක කිරීමේ හැකියාව වැඩි කර ගත හැක්කේ අනෙක් අයගේ නිදහස් කැමැත්තටද ගරු කිරීමෙන් පමණයි. එවැනි පොදු එකඟතාවයක් නැතිව සමතුලිතතාවයක් ඇති වන්නේ නැහැ. තෝරාගත් ජනතා නියෝජිතයෙකු වෙත බොහෝ දෙනෙකුගේ නිදහස් කැමැත්ත පාලනය කිරීමේ බලය කැමැත්තෙන් පවරන බොහෝ අය එසේ කරන්නේ තමන්ගේ වාසියට අනෙක් අයගේ නිදහස් කැමැත්ත පාලනය කිරීමේ අරමුණින්. 

මෙහිදී ජනතා නියෝජිතයෙකු වෙනුවෙන් පෙනී සිටින අයෙකු විසින් එම ජනතා නියෝජිතයා විසින් අනෙක් අයගේ නිදහස් කැමැත්තට එරෙහිව තමන්ගේ නිදහස් කැමැත්ත වෙනුවෙන් පෙනී සිටිනු ඇතැයි අපේක්ෂා කරනවා. මේ අපේක්ෂාවම අසාධාරණ අපේක්ෂාවක්. ඒ වගේම කිසි විටෙකත් ඉටු වීමේ ඉඩක් නැති අපේක්ෂාවක්. ජනතා නියෝජිතයෙකුට කවදාවත් ඔහුව හෝ ඇයව තෝරාපත් කරගනු ලැබූ සියල්ලන්ම සතුටු කිරීමේ හැකියාවක් නැහැ. ඒ එකිනෙකාගේ අපේක්ෂාවන් එකිනෙකට වෙනස්. ඒ නිසා ප්‍රායෝගිකව සිදු වන්නේ ඔහුට හෝ ඇයට වඩා වැදගත් සුළු පිරිසක් සතුටු කරනු ලැබීමයි. ඒ සුළු පිරිසගේ පමණක් නිදහස් කැමැත්ත ක්‍රියාත්මක වීමයි. 

සම්පත් පාලනය කිරීම කියන කරුණට ආවොත් ධනවාදය තුළ සම්පත් පාලනය වන්නේ එම සම්පත් නිර්මාණය කරන "අයිතිකරුවන්" විසින්. කිසියම් මොහොතක මේ සම්පත් සීමිත පිරිසක් අතේ සංකේන්ද්‍රණය වී තිබිය හැකියි. මෙයට විකල්පයක් ලෙස දේශපාලන බලය යොදවා එම සම්පත් වල පාලනය වෙනත් පිරිසක් වෙත සම්ප්‍රේෂණය කළ විට සිදුවන එකම වෙනස සම්පත් කළමනාකරණය කිරීම ඒ කටයුත්ත සඳහා පළපුරුද්දක් නැති අය අතට යාම පමණයි. සම්පත් තවදුරටත් සීමිත පිරිසක් අතේ සංකේන්ද්‍රණය වී තිබීම නොවැලැක්විය හැකියි.

සම්පත් බෙදා හැරීමේ ප්‍රශ්නය පැත්තකින් තියා බලය බෙදා හැරීමේ ප්‍රශ්නය, එනම් දේශපාලන විද්‍යාඥයෙකුගේ ප්‍රශ්නය, වෙත අවධානය යොමු කළොත්, සම්පත් මෙන්ම බලයද එකම පිරිසක් අතේ සංකේන්ද්‍රණය වී තිබීමට සාපේක්ෂව කණ්ඩායම් දෙකක් අතේ සංකේන්ද්‍රණය වී තිබීම වඩා හොඳ නැද්ද?

මේ වගේ ප්‍රශ්නයකට සියල්ලන්ටම එකඟ විය හැකි පිළිතුරක් නැතත්, සමාජවාදය විසින් යෝජනා කරන්නේ එය එසේ විය යුතු බවයි. එය නරක අදහසක් කියා කියන්න බැහැ. ඒ වගේම එය එසේ නොවිය යුතුයැයි ධනවාදය විසින් යෝජනා කරන්නේද නැහැ. කෙසේ වුවත්, ඉලක්කය මෙයනම් එම ඉලක්කය කරා යා හැකි වඩා කාර්යක්ෂම ක්‍රමය සමාජවාදී ක්‍රමය නෙමෙයි. ධනවාදය තුළම මෙය සිදු වෙනවා වගේම දියුණු ධනවාදයක් ඇති රටවල මෙය දැනටමත් සිදු වී තිබෙනවා. දැනටම වුවත් බොහෝ විශාල සමාගම් වල ප්‍රාග්ධන හිමියන් හා කළමණාකරුවන් කියන්නේ දෙපිරිසක්. මේ කළමණාකරුවන් වෙළඳපොළ තරඟය තුළ ඉතිරි වන දක්ෂයින් මිසක් දේශපාලන බලය මත තේරී පත්වන පිරිසක් නෙමෙයි. 

ධනවාදය ඇතුළේ කුල භේදයක් නැහැ. ඕනෑම නිදහස් මිනිසෙකුට ශ්‍රමිකයෙක්, ප්‍රාග්ධන හිමියෙක්, ව්‍යවසායකයෙක් හෝ කළමනාකරුවෙක් වෙන්න පුළුවන්. මොනවා කළත් අන්තිමට ලැබෙන්නේ තමන්ගේ ආන්තික ඵලදායීතාවය.

ධනවාදය ගැන හා සමාජවාදය ගැන මේ ආකාරයට කතා කළත් ඔය දෙකම ක්‍රියාත්මක වන්නේ ලෝකයේ පවතින දේශපාලන බල ව්‍යුහය ඇතුළේ. එම දේශපාලන බල ව්‍යුහය සකස් වෙලා තියෙන්නේ ජාතික රාජ්‍ය මත පදනම්වයි. ජාතික රාජ්‍ය ආකෘතිය ඇතුළේ මොන විදිහකින්වත් ලෝකයේ හැම මිනිහෙක්ම සමාන වන්නේ නැහැ. ඒ නිසා අපට මේ කරුණ අමතක කරලා ධනවාදය ගැන හෝ සමාජවාදය ගැන කතා කරන්න බැහැ. මෙතෙක් කතා කළ හැම දෙයක්ම එලෙසම වලංගු වන්නේ එක්කෝ සමස්ත ලෝකයේම දේශ සීමා අහෝසි වී යාමෙන් පසුව. එසේ නැත්නම් කිසියම් රටක් සම්පූර්ණයෙන්ම දේශ සිමා වසා ලෝකයෙන් හුදෙකලා වීමෙන් පසුව. ඔය දෙකේ ව්‍යුහමය වෙනස්කමක් නැහැ. 

හැබැයි ප්‍රායෝගිකව තිබෙන්නේ ඔය තත්ත්වයන් දෙකෙන් එකක්වත් නෙමෙයි. ලෝකයේ දේශ සීමා පවතිනවා වගේම ලෝකයේ කිසිම රටක් හුදෙකලා වී නැහැ. ජාතිකවාදය ගැන කතා කළ යුත්තේ මේ පසු බිමේ සිටයි. ජාතිකවාදයට කෙනෙකු පක්ෂ වුවත් නැතත් ලෝකයේ හැම රටකම යම් තරමකින් ජාතිකවාදයක් ක්‍රියාත්මක වෙනවා. ජාතිකවාදය හා ආර්ථික විද්‍යාඥයාගේ ප්‍රශ්නය අතර සම්බන්ධය කුමක්ද? 

ආර්ථික විද්‍යාඥයෙකුගේ මූලික ප්‍රශ්නය වන්නේ මනුෂ්‍ය සංහතිය සතු සීමිත සම්පත් අසීමිත අවශ්‍යතා තිබෙන මිනිසුන් අතර බෙදා ගන්නේ කොහොමද කියන එකයි. එම ප්‍රශ්නය සඳහා ධනවාදී හා සමාජවාදී පිළිතුරු මා විස්තර කර තිබෙනවා. 

ලෝකයේ දේශ සීමා නැත්නම් හෝ දේශ සීමා මුළුමනින්ම වැසී ඇත්නම් මේ ප්‍රශ්නයට ඉහත විසඳුම් දෙකෙන් එකක් ප්‍රමාණවත්. ධනවාදය තුළ සියලු මිනිසුන් සමානයි. මාක්ස්වාදය තුළ මිනිසුන් උපතින්ම කිසියම් කුලයකට අයත් වන නමුත් එම බෙදීම් හා ජාතික රාජ්‍යයන්හි දේශ සීමා අතර කිසිදු සම්බන්ධයක් නැහැ. 

එහෙත්, පවතින ලෝක දේශපාලන බල ව්‍යුහය තුළ ඕනෑම මිනිහෙක් ඉපදෙන්නේ කිසියම් ජාතික රාජ්‍යයක් හා බැඳුනු අනන්‍යතාවයක් සමඟයි. හැම මිනිහෙක්ම තමන් ජිවත් වන රටේ සමාජ දේශපාලන සම්මුතීන්ට යටත් වන නමුත් රටෙන් බාහිරව ජිවත් වන විදේශිකයින්ට එවැනි බැඳීමක් නැහැ. ඔවුන්ගේ බැඳීම තිබෙන්නේ වෙනත් සමාජ දේශපාලන සම්මුතියක් සමඟයි. කිසියම් රටක ආර්ථික-දේශපාලන ක්‍රමය ධනවාදී වුවත්, සමාජවාදී වුවත් එම රටේ ජිවත් වන්නන් හා ජිවත් නොවන්නන් සමාන සේ සලකා කටයුතු කළ හැකිද? ලෝකයේ කිසිදු රටක් කිසිදු අවස්ථාවක එසේ කටයුතු කර නැහැ. 

දළ අදහසක් ලෙස ජාතිකවාදය යන්නෙන් අදහස් වන්නේ කිසියම් රටක ජිවත් වන්නන් එම රටේ ජිවත් නොවන්නන්ගෙන් වෙනස් පිරිසක් සේ සලකා කටයුතු කිරීමයි. මෙය කරන හෝ කරන්නට අපේක්ෂා කරන ආකාරය අනුව විවිධ ජාතිකවාද තිබෙනවා. එකිනෙකින් වෙනස් විවිධ ජාතිකවාද විශාල ප්‍රමාණයක් මිස ජාතිකවාදය ලෙස හැඳින්විය හැකි එක් තනි පරමාදර්ශයක් නැහැ. ඒ නිසා, ජාතිකවාදය අර්ථදැක්වීමට පහසුම ක්‍රමය එහි ප්‍රතිවිරුද්ධ අන්තය පරමාදර්ශයක් සේ සැලකීමයි.

ජාතිකවාදය මෙන් නොව ජාත්‍යන්තරවාදය පහසුවෙන් අර්ථදැක්විය හැකියි. ජාත්‍යන්තරවාදියෙකුට අනුව දේශ සීමා වලින් වෙන් වූ පමණින් මිනිසුන් වෙනස් වන්නේ නැහැ. පරමාදර්ශ අනුව බැලුවොත් ධනවාදය වගේම මාක්ස්වාදයද ස්වභාවයෙන්ම ජාත්‍යන්තරවාදීයි. ආර්ථික ක්‍රමයක් සේ ධනවාදය පිළිගන්නා ලිබරල් ජාත්‍යන්තරවාදීන්ට අනුව ලෝකයේ සියලුම මිනිසුන් සමානයි. මාක්ස්වාදී ජාත්‍යන්තරවාදීන්ට අනුව ලෝකයේ මිනිසුන් ඔවුන් ඉපදුනු සමාජ තත්ත්වය අනුව විවිධ කුල වලට බෙදිය හැකි නමුත් ජීවත් වන ස්ථානය හෝ දේශ සීමා අනුව මිනිසුන් අසමාන වන්නේ නැහැ.

පරමාදර්ශී ජාත්‍යන්තරවාදය තුළ දේශ සීමා නැතත් ප්‍රායෝගික යථාර්තය තුළ දේශ සීමා තිබෙනවා. මාක්ස්වාදය විසින් යෝජනා කළ නිර්ධන පංති ආඥාදායකත්වය තුළ බලය ලබා ගන්නේ ලෝක කම්කරුවන් විසින් මිසක් රුසියාවේ කම්කරුවන් විසින් නෙමෙයි. එහෙත් ධනවාදී වෙළඳපොළ වඩා දියුණු වී තිබුණු බටහිර රටවල සෝවියට් පන්නයේ සමාජවාදී විප්ලවයක් සිදු වුනේ නැහැ. තවත් පරිවාර රටවල් එකතු කරගෙන සමාජවාදී රාජ්‍යයක් හදපු සෝවියට් දේශයට ඔවුන්ගේ පුරෝගාමී සමාජවාදී රාජ්‍යය ලෝකය පුරා ව්‍යාප්ත කරන්න අවශ්‍ය වුනත් බටහිර රටවල බහුතරයක් මිනිස්සුන්ට එවැන්නක කිසිම උවමනාවක් තිබුණේ නැහැ. මේ තත්ත්වයත් එක්ක ලෝකයේ බල කඳවුරු දෙකක් හැදුනා. එහි ප්‍රතිඵලයක් විදිහට සමාජවාදී කඳවුරේ රටවල පමණක් නොව ප්‍රතිවිරුද්ධ ධනවාදී කඳවුරේ රටවලද රජයයන් වඩවඩා ශක්තිමත් වුනා.

මාක්ස්වාදීන්ගේ අවසන් ඉලක්කය රාජ්‍යයන් අහෝසි වූ කොමියුනිස්ට් ක්‍රමයක් වුවත් ඒ කරා යන මාර්ගය වැටී තිබෙන්නේ රජය වෙත සියලු සම්පත් පාලනය කිරීමේ අයිතිය ලබා දීම හරහා. සමාජවාදී ලෝක ආණ්ඩුවක් වෙනුවට ජාතික සමාජවාදයක් බිහි වූ වහාම, ජාතික රාජ්‍යය මොන නමකින් හැඳින්වුවත්, කොයි තරම් විශාල වුනත්, එම රාජ්‍යයේ සීමාවෙන් පිටත සිටින බාහිර සතුරාට විරුද්ධව රජය ශක්තිමත් කරන්න සිදු වෙනවා. සම්පත් සියල්ලේ පාලනය තිබෙන්නේ රජය සතුව නිසා මේ වැඩේ පහසුවෙන්ම කරන්න පුළුවන්. අවසන් ප්‍රතිඵලය වන්නේ මාක්ස්වාදය විසින් මුලින් ඉලක්ක කළ අරමුණට වඩා වෙනස් දෙයක්. 

චීනය වැනි රටකට සාපේක්ෂව සෝවියට් දේශය පෙනී සිටියේ ජාත්‍යන්තර මාක්ස්වාදයක් වෙනුවෙන් වුවත්, සෝවියට් දේශයද  එහි ආකෘතිය අනුවම ජාතික සමාජවාදී රාජ්‍යයක්. කිසිම රටකට කළ නොහැකි, තම රටේ වැසියන් හා අනෙකුත් අය සමානයන් සේ සැලකීම සෝවියට් දේශයට කළ හැකිව තිබුණු දෙයක් නෙමෙයි. ඔවුන් එසේ කරන බව පෙන්වන්න පුළුවන් තරම් උත්සාහ කළා පමණයි. මේ සීමිත උත්සාහය නිසා වුවත් සෝවියට් වැසියන්ට සිදු වුනේ අවාසියක්. 

යම් හෙයකින් ලෝකය පුරාම එකවර සමාජවාදී විප්ලවයක් සිදු වී දේශ සීමා සියල්ල අහෝසි වුවහොත්, එහි ප්‍රතිඵලයක් ලෙස මාක්ස් විසින් පුරෝකථනය කළ පරිදි බිම් මට්ටමේ සිට පරමාදර්ශී ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩ නැගී රජය ක්‍රමයෙන් අහෝසි වී යයිද?  මෙවැන්නක් සිදුවිය හැකි යාන්ත්‍රණය කුමක්ද කියා එතරම් පැහැදිලි නැහැ.

කෙසේ වුවත් ලිබරල් ජාත්‍යන්තරවාදී පරමාදර්ශය තුළ ක්‍රමක්‍රමයෙන් දේශසීමා වල වැදගත්කම අහෝසි වී යන ආකාරයනම් පැහැදිලියි. ගනුදෙනු හරහා ලාබයම හොයන කෙනෙකුට ගනුදෙනුවේ පාර්ශ්වකරුගේ ජාතිකත්වයෙන් වැඩක් නැහැ. ඒ නිසා, ලාබය ඉලක්ක කර ගනිමින් වෙළඳපොළ පුළුල් වන්නේනම් දේශ සීමා වල වැදගත්කම ක්‍රමයෙන් නැති වී යනවා.

මෙවැන්නක් විය හැකි දෙයක් වුවත් ඇත්තටම සිදු වන්නේ මෙවැන්නක් නොවන බව අපට පෙනෙනවා. ඇමරිකාවේ ප්‍රාන්ත අතර වෙනස්කම් ක්‍රමක්‍රමයෙන් දිය වී යනවා වගේම ඇමරිකාව හා කැනඩාව වැනි රටවල් අතර දේශසීමා බොඳ වී යනවා. යුරෝපා සංගමයේ රටවල් අතරත් මෙවැන්නක් සිදු වනවා. එහෙත් ඇමරිකාව හෝ යුරෝපා සංගමය තනි ප්‍රදේශයක් ලෙස ගත්තොත් සිදු වන්නේ දේශ සීමා වඩා ශක්තිමත් වීමයි. ඇමරිකානු ෆෙඩරල් රජය එන්න එන්නම ශක්තිමත් වී තිබෙනවා මිස දුර්වල වී නැහැ.

කිසිසේත්ම එකම හේතුව නොවුනත් ඇමරිකන් ෆෙඩරල් රජය මේ තරමට ශක්තිමත් වීමටද ලෝක සමාජවාදී ව්‍යාපාරය විශාල බලපෑමක් සිදු කර තිබෙනවා. බාහිර සතුරෙකු පෙනෙන්නට ඇති හැම විටෙකම රජයයන් ශක්තිමත් වෙනවා. යුරෝපා සංගමය වැනි කලාපීය එකතු වීම් දකින්නට ඇතත් ලෝක දේශපාලනය තුළ ජාතික රාජ්‍යයන්ගේ භූමිකාව ඉතා ප්‍රබලයි. 

මා ලිපි ගණනාවකින් කතා කළ ධනවාදය, සමාජවාදය හෝ එහි කිසියම් මිශ්‍රණයක් ක්‍රියාත්මක වන්නේ මේ එක් එක් ජාතික රාජ්‍යයේ සීමාව තුළයි. එවැනි සීමාවක් තුළ සිට මගේ මුල් ප්‍රශ්නය ඇසූ විට එයට යෝජනා වී තිබෙන පිළිතුරු තිබෙන්නේ දෙකක් පමණයි. ඒ ධනවාදී පරමාදර්ශය හා සමාජවාදී පරමාදර්ශයයි. කවර හෝ ජාතිකවාදයක් විසින් කරන්නේ ධනවාදී පරමාදර්ශය, සමාජවාදී පරමාදර්ශය හෝ මේ දෙකේ කිසියම් මිශ්‍රණයක් ක්‍රියාත්මක වන භූගෝලීය සීමාව වටා තිබෙන තාප්පයේ ශක්තිය තීරණය කරන එකයි. ඒ හැර ලංකාවේ හෝ ලෝකයේ කිසිදු ජාතිකවාදියෙකු විසින් ධනවාදී පරමාදර්ශයෙන් හා සමාජවාදී පරමාදර්ශයෙන් (හෝ මේ දෙකේ මිශ්‍රණයකින්) වෙනස් තෙවන විකල්පයක් මෙතෙක් යෝජනා කර නැහැ.

තේ බීම හා කිරි බීම විකල්ප දෙකක්. අවශ්‍යනම් තේ සහ කිරි කවර හෝ අනුපාතයකින් මිශ්‍ර කරගෙන බොන්න පුළුවන්. ධනවාදය හා සමාජවාදය තේ සහ කිරි සේ සැලකුවොත් ජාතිකවාදය මෙයට එකතු කරන සීනි ප්‍රමාණය වැනි දෙයක්. එකතු කරන සීනි ප්‍රමාණය කොපමණ වුවත්, සීනි ඇත්තේම නැතත්, බොන්න වෙන්නේ තේ, කිරි හෝ මේ දෙකේ මිශ්‍රණයක්. ඒ නිසා, ජාතිකවාදය ධනවාදයට හා සමාජවාදයට එරෙහි තෙවන විකල්පයක් සේ සලකන්න අමාරුයි. එහෙම සැලකිය හැක්කේ රණවරා හෝ බෙලිමල් වැනි වෙනම දෙයක්. කිසිදු ජාතිකවාදියෙකු විසින් එවැන්නක් යෝජනා කර නැහැ.

මෙයින් අදහස් වන්නේ මා විසින් විස්තර කළ ආර්ථික විද්‍යාඥයෙකුගේ මූලික ප්‍රශ්නයට ලබා දෙන පිළිතුර කෙරෙහි බලපාන ජාතිකවාදයේ භූමිකාවක් නැති බව නෙමෙයි. එවැනි භූමිකාවක් තිබෙනවා වගේම එය ඉතා ප්‍රබලයි. ඒ ගැන ඉදිරියේදී කතා කරමු.

Sunday, June 20, 2021

මඩේ පිපුණු පියුම්!


ආර්ථික විද්‍යාවේ මූලික ගැටලුව වන්නේ ලෝකයේ ජිවත් වන මිනිසුන් අතර සම්පත් බෙදී යා යුත්තේ කොහොමද කියන එකයි. ධනවාදී පරමාදර්ශය සහ මාක්ස්වාදී සමාජවාදී පරමාදර්ශය මේ ප්‍රශ්නයට විකල්ප පිළිතුරු දෙකක් සපයනවා. මේ ප්‍රශ්නයට සමාන්තරව පවතින තවත් ප්‍රශ්නයක් වන්නේ ලෝකයේ ජිවත් වන මිනිසුන් අතර බලය බෙදී යා යුත්තේ කොහොමද කියන එකයි. මෙය දේශපාලන විද්‍යාවේ මූලික ගැටලුව ලෙස හැඳින්විය හැකියි.

සම්පත් බෙදීමේ ගැටලුව සහ බලය බෙදීමේ ගැටලුව අතර අවියෝජනීය සම්බන්ධයක් තිබෙනවා. මේ සම්බන්ධයේ ප්‍රතිඵලයක් විදිහට ලෝකයේ කොහේවත් පරමාදර්ශී ධනවාදයක් බිහි වී නැහැ. යම් හෙයකින් එවැන්නක් බිහි වූයේනම්, මාක්ස් විසින් පුරෝකථනය කළ පරිදි, එහි ප්‍රතිවිරෝධතා හේතුවෙන්ම ක්‍රමය කඩා වැටෙන්නට වුවත් යම් ඉඩක් තිබුණා. 

ප්‍රායෝගික තත්ත්වයන් යටතේ මෙතෙක් ධනවාදී පරමාදර්ශය වෙත වඩාත්ම කිට්ටු වී තිබෙන්නේ බලය බෙදීමේ ගැටලුවට විසඳුමක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදය තෝරාගත් රටවල්. එසේ තෝරාගනු ලැබ ක්‍රියාත්මකව ඇති සහ තවමත් ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදය වුවද කිසි විටෙකත් එහි පරමාදර්ශී ස්වරූපයම නොවුනත්, ප්‍රජාතන්ත්‍රවාදයේ එම අසම්පූර්ණ ස්වරූපය විසින් වුවද පරමාදර්ශී ධනවාදයක නෛසර්ගික ප්‍රතිවිරෝධතා වල නිශේධනීය ප්‍රතිඵල පාලනය කිරීම උදෙසා සාධනීය කාර්ය භාරයක් ඉටු කර තිබෙනවා. මේ සන්දර්භය තුළ ධනවාදී-ප්‍රජාතන්ත්‍රවාදී පැකේජය කාලයක් තිස්සේ ලෝකයේ ප්‍රමුඛ ආර්ථික-දේශපාලන ව්‍යුහය ලෙස වැජඹෙනවා.

පරමාදර්ශී ධනවාදයක කාර්යක්ෂමතාවයට හේතු වන්නේ මිනිසුන් අතර සිදුවන නිදහස් ගනුදෙනු. ගනුදෙනුවක් නිදහස් ගනුදෙනුවක් වීමේ පූර්ව කොන්දේසියක් ලෙස ගනුදෙනුවේ පාර්ශ්වකරුවන් සමානයින් විය යුතුයි. එහෙත්, ධනවාදය විසින් සම්පත් සමානව බෙදී යාමක් කිසිසේත්ම සහතික නොකරන නිසා ධනවාදය තුළ වැඩි සම්පත් ප්‍රමාණයක් අයිතිකර ගන්නා පිරිස් වෙත වැඩි දේශපාලන බලයක්ද සංකේන්ද්‍රනය වී ධනවාදයේ සම්මත ඔවුන්ගේ වාසියට නිර්මාණය වුවහොත් ගනුදෙනු තවදුරටත් නිදහස් ගනුදෙනු නොවනවාක් මෙන්ම ධනවාදය එහි පරමාදර්ශී තත්ත්වය කරා ප්‍රගමනය වීමද නවතිනවා. මෙය ධනවාදයේ මූලික ප්‍රතිවිරෝධතාවක් සේ හඳුනාගත හැකියි. 

දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් තුළ ධනවාදයේ ඉහත ප්‍රතිවිරෝධතාවයට ඉස්මතු වීමට තිබෙන ඉඩකඩ සිමා වෙනවා. ඒ හරහා ධනවාදය ස්වයංක්‍රීය ලෙසම අර්බුදයකට යාම වලක්වනවා. ධනවාදී-ප්‍රජාතන්ත්‍රවාදී පැකේජය කාලයක් තිස්සේ ලෝකයේ ප්‍රමුඛ ආර්ථික-දේශපාලන ව්‍යුහය ලෙස ස්ථාවරව පවතින්නේ මේ හේතුව මතයි. මෙවැනි සමතුලිතතාවයක් තුළ සමාජවාදී පරමාදර්ශයටද යම් ඉඩක් ඉතිරි වෙනවා. එය කොපමණද කියන එක අවශේෂ සාධක මත තීරණය වන දෙයක්.

කොහොම වුනත් එක දෙයක් පැහැදිලියි. ප්‍රජාතන්ත්‍රවාදී බල ව්‍යුහයක් හා පරමාදර්ශී නොවූවත් අඩු වශයෙන් ඊට කිට්ටු සමාජවාදයක් කිසි විටෙකත් පැකේජයක් ලෙස ස්ථාවරව පැවතී නැහැ. බටහිර රටවල් තුළ දැකිය හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදී බල ව්‍යුහයන් පවත්වා ගනිමින් ධනවාදී පරමාදර්ශයෙන් ඈත් විය හැකි, එසේ නැත්නම් සමාජවාදී පරමාදර්ශය කරා යා හැකි, "ස්වභාවික" සීමාවයි. මෙයින් අදහස් වන්නේ මේ සීමාව වෙනස් නොවන ස්ථිර සීමාවක් බව නොවූවත්, එම "ස්වභාවික" සීමාව ධනවාදී පරමාදර්ශයෙන් බොහෝ ඈත් වූ සීමාවක් නෙමෙයි. 

මේ සීමාව මාක්ස්වාදය විසින් මුල සිටම හඳුනා ගන්නවා. මාක්ස්වාදය තුළ බලහත්කාරයෙන් රාජ්‍ය බලය පැහැර ගැනීම සහ බලහත්කාරය මත රාජ්‍ය බලය පවත්වා ගැනීම විකල්පයක් සේ යෝජනා වී තිබෙන්නේත්, සමාජවාදය වෙත යාමේදී එම විකල්පය හැම විටම ක්‍රියාත්මකව තිබෙන්නේත් ඒ නිසයි. "ස්වභාවික" සීමාව ඉක්මවා සමාජවාදී මාර්ගයේ ගමන් කර ඇති හැම විටකම මුලින්ම සිදුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ඒකාධිපතිත්වයක් ආදේශ වීමයි. මේ ඒකාධිපතිත්වය යනු තනි පුද්ගලයෙකු නොවී කුඩා කණ්ඩායමක සාමූහිකත්වය විය හැකි වුවත් එය කිසියම් සමාජයක හැම දෙනාගේම හෝ වැඩි දෙනෙකුගේ කැමැත්තනම් නෙමෙයි. වැඩි දෙනෙකුගේ කැමැත්ත ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය බිඳ දමා ඒකාධිපතිත්වයක් ගොඩ නැගිය යුතු වන්නේ නැහැ. 

ප්‍රතිවිරෝධතා ගහණ මාක්ස්වාදයේ අවසන් ඉලක්කය තුළ රජය අහෝසි වී යනවා. එහෙත්, රජය අවසන් කිරීමේ මාර්ගය වැටී තිබෙන්නේ සමස්ත දේශපාලන බලය මෙන්ම සම්පත් බෙදා හැරීමේ අයිතියද රජය වෙත සංකේන්ද්‍රණය කිරීම හරහා. අපූරුම කරුණක් වන්නේ කොමියුනිස්ට් සමාජයක් කරා යාමේ අතරමැදි පියවරක් ලෙස මාක්ස්වාදය විසින් යෝජනා කරන නිර්ධන පංති ආඥාදායකත්වය තුළ ඉලක්ක කෙරෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීම වීමයි. සැබෑ ලෝකය තුළ මෙය සිදුව ඇති ආකාරය අමුතුවෙන් විස්තර කළ යුතු නැහැ. 

මෙතෙක් පැවති සමාජවාදී සේ හඳුනාගත හැකි කිසිදු සමාජයක ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නැගී නැහැ. ඒ වෙනුවට සිදුව තිබෙන්නේ මිනිස් නිදහසෙහි මූලික අංග පවා අහිමිව යාමයි. පරිකල්පනීය අදහසක් ලෙස හෝ ඒකාධිපති සමාජවාදී ක්‍රමයක් තුළ ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩ නැගෙන්නට ඉඩක් තිබේද?

සෛද්ධාන්තික ලෙස ගත්තොත් මෙවැන්නක් සිදු වීමේ ඉඩක් තිබෙනවා. බලය තිබෙන පිරිමියෙක් විසින් කාන්තාවක් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් සිර කර ගෙන දිගින් දිගටම දූෂණය කළත්, කාලයක් යද්දී ඒ කාන්තාව තමන්ගේ දූෂකයා සමඟ යම් ආකාරයක ආත්මීය බැඳීමක් ඇති කර ගන්නවා. ඒකාධිපති සමාජවාදී සමාජයක් තුළත් මෙවැන්නක් සිදු විය හැකියි.

සමාජවාදී විප්ලවයක් මෙහෙයවන්නේ සමාජයේ බහුතරයකට නොතේරෙන දෙයක් තමන්ට පමණක් තේරෙන බව හිතන සීමිත පිරිසක් විසින්. ඒ අය අතරින් ඇතැම් ගුරුකුල වල අයට අනුව, ඔවුන්ට තේරෙන දෙය අනෙක් අයට නොතේරෙන්නේ වෙනත් අය විසින් නිදහස් අදහස් සේ සලකන අදහස් සමාජය විසින් ඔවුන් මත පටවා තිබෙන අදහස් මිසක් ඔවුන්ගේම අදහස් නොවන නිසා. එහෙත්, මේ සීමිත පිරිසට පමණක් නිදහස් අදහස් තිබෙනවා. ඒ අය පමණක් මඩේ පිපුණු පියුම් සේ සමාජය විසින් ඔවුන් මත පටවා තිබෙන අදහස් වලින් මිදී නිදහස්ව සිතනවා. අනෙක් අයට එසේ කළ නොහැකි නිසා, සමාජයේ ගැලවුම්කරයින් විය හැක්කේ මේ "තෝරාගත් පිරිසටයි". ඒ නිසා, ඔවුන්ගේ ඒකාධිපතිත්වයක් යටතේ අනෙක් අයගේ නිදහස් කැමැත්ත වෙනස් කළ යුතුයි.

කොමියුනිස්ට් ප්‍රකාශනය අනුව සමාජවාදී සමාජයක එක් මූලික අංගයක් වන්නේ සියලුම මාධ්‍ය වල පාලනය රජය යටතේ මධ්‍යගත කිරීමයි. අධ්‍යාපනය ලබා දීමද රජය සතු ඒකාධිකාරයක් විය යුතුයි. මේ ක්‍රමයට කාලයක් යද්දී මිනිසුන්ගේ නිදහස් කැමැත්ත වෙනස් කළ හැකියි. මා මේ ලිපියේ අවධානය යොමු කරන ගුරුකුල වල සමාජවාදීන්ට අනුව, නිදහස් කැමැත්ත කියා කියන්නේ ඇත්තටම නිදහස් කැමැත්තක් නොවන නිසා එසේ කිරීමේ කිසිම වැරැද්දක් නැහැ. ඔය වැඩේ කාලයක් තිස්සේ කරගෙන යද්දී සෛද්ධාන්තිකව රටේ වැඩි දෙනෙකුගේ කැමැත්ත රජයේ කැමැත්තම වෙන්න පුළුවන්. හරි මාර්ගයට ගන්නම බැරි අය සමහර විට අතුරු දහන් වෙන්න පුළුවන්. එහෙම නැතුව කොහොමද සමාජවාදය පවතිද්දීම ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නගන්නේ? 

ඒකාධිපති සමාජවාදී සමාජ තුළ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නැගී ඇති ආකාරය ගැන මෙය කියවන කවුරුත් වගේ දන්නවා. අධ්‍යාපනය, මාධ්‍ය, කලාව හරහා නිදහස් කැමැත්ත පාලනය කරන්න කොයි තරම් උත්සාහ කළත් ඒ වැඩේ කිසි විටෙකත්, කවර සමාජයකවත්, දිගුකාලීනව සාර්ථක වී නැහැ. 

අපේ නිදහස් කැමැත්ත පූර්ණ නිදහස් කැමැත්තක් නෙමෙයි. ජානමය වෙනස්කම් ඇතුළු භෞතික වෙනස්කම් පැත්තකින් තිබ්බත්, "මම" කියන පුද්ගලයා බිහි වෙන්නේ කිසියම් සමාජ පසුබිමක. අසූ ගණන් වල ලංකාවේ ඉපදුනු දරුවන් විශාල ප්‍රමාණයක් යුරෝපිය රටවල දරුවන් නැති යුවලවල් වලට අලෙවි කරනු ලැබුවා. පහුගිය කාලයේ මේ ඇතැම් දරුවන් ලොකු මහත් වී තමන්ගේ ජීවවිද්‍යාත්මක දෙමවුපියන් සොයා ආ අවස්ථා ගණනාවක් අපි දැක්කා. මේ අය හිතන ආකාරයත්, ලංකාවේ ජිවත් වූ ඔවුන්ගේ සොයුරු සොයුරියන් හිතන ආකාරයත් සංසන්දය කිරීම හොඳ ස්වභාවික සමාජ පරීක්ෂණයක් (natural experiment) වෙයි.

ඉපදෙන හා ජිවත්වන සමාජ පසුබිම වගේම එම සමාජ පසුබිමෙහි ඉන් පසුව සිදුවන වෙනස්කම්ද පුද්ගලයෙකුගේ නිදහස් කැමැත්ත කෙරෙහි බලපානවා. මීට පෙර ලිපියකට ප්‍රතිචාරයක් දමමින් "සිංහලයින් ලංකාවේ කළුගඟ බඩ ගමක විසීමත් ඔරුමිත්තනාඩුවේ නගරයක සිටීමත් දෙකම එක සේ ස්වභාවික යැයි මා සිතන්නේද නෑ" කියා කතාකතු විසින් ලියා තිබුණා. පුද්ගලයෙකුගේ නිදහස් කැමැත්ත ස්වභාවිකත්වය සේ සැලකුවොත් එම ස්වභාවිකත්වය ඉපදෙන හා ජිවත්වන සමාජ පසුබිම සමඟ වෙනස් වෙනවා. මේ හේතුව පාදක කර ගනිමින් පුද්ගලයෙකුගේ නිදහස් කැමැත්ත ස්වභාවික නොවන සේ සලකා වෙනත් අයෙකුට අවශ්‍ය පරිදි එය වෙනස් කර "ස්වභාවික කිරීම" සාධාරණීකරණය කළ හැකිද?

අපේ නිදහස් කැමැත්ත පූර්ණ නිදහස් කැමැත්තක් නොවන බවත්, ඉපදෙන හා ජිවත්වන සමාජ පසුබිම නිදහස් කැමැත්ත කෙරෙහි බලපෑමක් කරන බවත් ඇත්ත. එහෙත්, එකම සමාජ පසුබිමක ඉපදෙන හා ජිවත්වන හැම දෙනෙකුගේම නිදහස් කැමැත්ත හැම විටම සමාන වන්නේ නැහැ. තේරීමක් කිරීමේ නිදහසක් ඇති හැම විටකම අපට පෙනී යන්නේ මිනිසුන්ගේ නිදහස් කැමැත්ත ක්‍රියාත්මක වන්නේ එකම සමීකරණයකට අනුව නොවන බවයි. තමන් මඩේ පිපිණු පියුම් බව සිතා සිටින, කොහෙන් හෝ හොයා ගත් "චින්තකයෙක්ගේ" ලියුම් විවෘත නොකරම බෙදන පියුන්ලාටද එසේ සිතන්න හැකි වී තිබෙන්නේ මෙවැනි නිදහස් තේරීමක් මිනිස්සුන්ට තිබෙන නිසයි. 

Monday, June 7, 2021

අපට නිදහස් කැමැත්තක් තිබේද?


ධනවාදය කියා කියන්නේ කුමක්ද කියන එක මෙහි පෙර ලිපි වල පැහැදිලි කර තිබෙනවා. බටහිර රටවල පැකේජ් එකක් ලෙස එකට දැකිය හැකි වුවත්, ධනවාදය කියා කියන්නේත්, ප්‍රජාතන්ත්‍රවාදය කියා කියන්නේත් වෙනම දේවල් දෙකක්. ඇමරිකාව හෝ ඇමරිකානු ක්‍රමය කියන්නේ ඔය දෙකෙන්ම වෙනස් තවත් දෙයක්. ඇමරිකාවේ වගේම වෙනත් බටහිර රටවලද හැම දෙයක්ම වෙන්නේ ධනවාදයේ මූලධර්ම අනුව නෙමෙයි. මේවා අතර අතිපිහිත වීම් තිබීම වෙනම කරුණක්. 

ආර්ථික විද්‍යාව කියා කියන්නේ සහ ධනවාදය කියා කියන්නේත් එකම දෙය නෙමෙයි. මා මේ කියන්නේ මාක්ස්වාදී ආර්ථික විද්‍යාව ගැන නෙමෙයි. ප්‍රධාන ධාරාවේ ආර්ථික විද්‍යාව ගැන. එහෙත් ප්‍රධාන ධාරාවේ ආර්ථික විද්‍යාව ධනවාදී පරමාදර්ශය සමඟ බොහෝ දුරට අතිපිහිත වෙනවා. 

ලිබරල්වාදය කියා කියන්නේත් ධනවාදය නෙමෙයි. එසේ වුවත්, ලිබරල්වාදයේ වගේම ධනවාදයේත් මූලික හරය තුළ පුද්ගල කැමැත්ත කියන අදහස තිබෙනවා. මේ අදහසට එරෙහිව සිදු කෙරෙන විවේචනයක් වන්නේ පුද්ගලයකුට ඇත්තටම නිදහස් කැමැත්තක් තිබෙනවාද කියන කරුණයි. මෙහි ධනවාදයට අදාළ කොටස පුද්ගලයින් අතර සිදුවන ගනුදෙනු වලදී එම පුද්ගලයින්ගේ නිදහස් කැමැත්ත කෙතෙක් දුරට පිළිබිඹු වෙනවාද කියන කරුණයි.

ඔබ සුපිරි වෙළඳසැලකට ගිය විට මිල දී ගන්නේ ඔබට අවශ්‍ය දේවල් පමණක්ද? වෙළඳ දැන්වීම් වලින් ඔබව ඔබට අනවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීමට පොළඹවන්නේ නැද්ද? 

නිදහස් කැමැත්ත කියන එකෙන් අදහස් වන්නේ ඔබේ කැමැත්ත අනෙක් හැම දෙයකින්ම මුළුමනින්ම ස්වාධීන දෙයක් කියන එක නෙමෙයි. අප ඉපදෙද්දී අපට "අහඹු ලෙස" හිමිවන ජාන වලින්ම ජිවිත කාලය තුළ අප ගන්නා තීරණ යම් තරමකින් තීරණය වී අවසන් බව පැහැදිලිව පෙනී යන දෙයක්. ඉපදීමෙන් පසුව, කුඩා කාලයේ අප හැදෙන වැඩෙන පරිසරය වැඩිහිටියන් ලෙස අපේ කැමැත්ත කුමක්ද කියා තීරණය කරනවා. ඉන් පසුව, අප ඇසුරු කරන අය, කියවන පොත්පත්, බලන ටෙලි නාට්‍ය, ලබන අධ්‍යාපනය, ආගමික හා දේශපාලන ඉගැන්වීම්, වෙළඳ ප්‍රචාරණයන් ආදිය අප හිතන පතන ආකාරය හා තීරණ ගන්නා ආකාරය කෙරෙහි බලපෑමක් කරනවා.

මම හිතන විදිහට ලිබරල්වාදියෙකු විසින් වුවත් නිදහස් කැමැත්ත කියා කියද්දී පුද්ගල කැමැත්ත කෙරෙහි මෙසේ විවිධ සාධක බලපෑම් කරන බව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එය ඉතා පැහැදිලි කරුණක්. නිදහස් කැමැත්ත කියන එකෙන් අදහස් කරන්නේ මේ සියලු තත්ත්වයන් යටතේ වුවත් පුද්ගලයෙකු විසින් යම් මොහොතක තීරණයක් ගැනීමේදී එම පුද්ගලයා සතුව තේරීමක් තිබෙනවා කියන එකයි.

උදාහරණයක් ලෙස එක් අයෙකු මත්පැනට ඇබ්බැහි වීමටත්, වෙනත් අයෙකු එසේ නොවීමටත් උපතින් ලැබෙන ජාන, කුඩා කළ හැදුනු වැඩුණු පරිසරය හෝ වෙනත් කිසියම් අහඹු සිදුවීමක් හේතු වෙන්න පුළුවන්. නිදහස් කැමැත්ත කියන එකෙන් අදහස් වෙන්නේ මේ කවර හෝ අවාසිදායක තත්ත්වයක් යටතේ වුවත්, පුද්ගලයෙකුට මත්පැනට ඇබ්බැහි නොවී සිටීමේ යම් තේරීමක් තිබෙන බවයි. ඒ වගේම, කෙතරම් වාසිදායක තත්ත්වයක් යටතේ වුවද මත්පැනට ඇබ්බැහි වීමේ තේරීමක් තිබෙන බවයි.

මෙයට විකල්ප ලෙස පුද්ගලයෙකුට කිසිදු නිදහස් කැමැත්තක් නැතැයි යන විකල්ප අදහසක්ද තිබෙනවා. මේ අදහසේ හරය සංකල්පීය ලෙස ද්‍රව්‍යවාදී එකක්. ඒ අනුව, මහා පිපිරුමේදීම ඉන්පසුව සිදු වන හැම දෙයක්ම තීරණය වී අවසන්. අප විසින් අප සතු නිදහස් කැමැත්තක් ඇතැයි සිතුවත් ඇත්තටම එවැනි නිදහස් කැමැත්තක් කියා දෙයක් නැහැ. සබින් හොසෙන්ෆෙල්ඩර්ගේ පහත වීඩියෝව නරඹන්න. (මෙය යොමු කළ හිතවතාට ස්තුතියි!)


උදාහරණයක් විදිහට මම මේ මොහොතේ මේ ලිපිය යතුරු ලියනය කරනවා. එය මෙතෙක් සිදු වූ ක්‍රියාවලියක අනිවාර්ය ප්‍රතිඵලයක් මිසක් මගේ කැමැත්තෙන් කරන දෙයක් නෙමෙයි. එය තේරුම් ගෙන මම මේ ලිපිය යතුරු ලියනය කරන එක නැවැත්තුවා කියා කියමු. එයත්, කොහොමටත් වෙන්න තිබුණු දෙයක් මිසක් මම හිතාමතා කරන දෙයක් නෙමෙයි.

මේ වගේ ප්‍රශ්න දර්ශනයේ එහෙමත් නැත්නම් භෞතික විද්‍යාවේ විෂය ක්ෂේත්‍රයට අයත් බරපතල ප්‍රශ්න. මෙවැනි දේ ගැන අවසන් නිගමනයකට පැමිණෙන්න මට පුළුවන්කමක් නැහැ. දාර්ශනිකව කොයි තරම් වැදගත් ප්‍රශ්නයක් වුවත් ප්‍රායෝගිකව මේ ප්‍රශ්නයේ එතරම් වැදගත්කමක් ඇතැයි මා හිතන්නේ නැහැ. 

ලිබරල්වාදියෙකු විශ්වාස කරන ආකාරයට පුද්ගලයෙකුට නිදහස් කැමැත්තක් තිබේනම් මා කළ යුත්තේ මගේ එම නිදහස් කැමැත්ත මට අවශ්‍ය පරිදි භාවිතා කිරීමයි. ඒ එක්කම අනෙක් අයගේ නිදහස් කැමැත්ත පිළිගෙන එයට ඉඩ සැලසීමයි. ඒ අනුව කිසිවකුගේ නිදහස් කැමැත්තට ඉඩ නොදී වෙනත් අයෙකු විසින් බලය යොදා පාලනය කිරීම හොඳ දෙයක් කියා කියන්න බැහැ.

ලිබරල්වාදීන් වැරදිනම්, භෞතිකවාදීන් නිවැරදිනම් තත්ත්වය කුමක්ද? එසේ වුවත්, හොඳම දෙය මගේ නිදහස් කැමැත්ත ක්‍රියාත්මක කිරීමයි. මා කරන දෙයින් ඇත්තටම සිදුවන්නේ කොහොමටත් වෙන්න තියෙන දෙයක්නම්, මා විසින් මගේ නිදහස් කැමැත්ත ක්‍රියාත්මක කරන විට සිදු වන්නේ කොහොමටත් වෙන්න තියෙන දෙයයි. කිසිවෙකුට නිදහස් කැමැත්තක් නැත්නම් මට නැති නිදහස් කැමැත්ත වෙනත් කෙනෙකුට තියෙන්න හේතුවක් නැහැ. ඒ නිසා, මගේ නිදහස් කැමැත්ත වෙනත් අයෙකු විසින් බලය යොදා පාලනය කිරීම හොඳ දෙයක් ලෙස පිළිගන්න මට කිසිම හේතුවක් නැහැ.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...