රනිල් වික්‍රමසිංහ තත්ත්ව වාර්තාවක් එක්ක ජාතිය අමතනවා. අර හමුදාවේ කියන්නේ සිට්රෙප් එකක් කියලා. මෙහිදී රනිල් ආර්ථිකයේ පවතින තත්ත්වය ගැන ඇත්ත කතා කරනවා. හැබැයි රනිල් නොකිවුවත් දැන් මේ තත්ත්වය කාටවත් රහසක් නෙමෙයි. ඒ වගේම, රට මේ තත්ත්වයට ඇද දැමීමේ වරද රනිල් මත නොපැටවෙන නිසා රනිල්ට මේ ඇත්ත කතා කරන්න අපහසුවක් නැහැ.
ඩොලර් ප්‍රශ්නය ගැන දැන් කවුරුත් දන්න නිසා අපි මෑතකාලීන ප්‍රවණතා ගැන පමණක් බලමු.
අපනයන ආදායම (ඩොලර් මිලියන)
2022 ජනවාරි - 1,001
2022 පෙබරවාරි - 1,092
2022 මාර්තු - 1,057
ඉතා පැහැදිලි ලෙසම ඩොලරයේ මිල ඉහළ ගියා කියලා අපනයන ආදායම් වැඩි වන බවක් පෙනෙන්න නැහැ. එවැන්නක් කොහොමටත් හදිසියෙන් වෙන්නේ නැහැ.
ආනයන වියදම (ඩොලර් මිලියන)
2022 ජනවාරි - 1,959
2022 පෙබරවාරි - 1,873
2022 මාර්තු - 1,819
ආනයන වියදම් වල යම් අඩු වීමක් පෙනෙන්න තිබෙනවා. මේ අඩුවීම වෙන්නේ වාහන වැනි ඇතැම් ආනයන තහනම්ව ඇති තත්ත්වයක් යටතේ. දැන් තිබෙන්නේ කෙසේවත්ම වාහන වැනි දේ ආනයනය කළ හැකි තත්ත්වයක් නොවන නිසා ඒ තත්ත්වය එලෙසම තවත් කාලයක් තියෙයි කියා හිතමු. ඩොලරයේ මිල ඉහළ යද්දී ආනයන ඉල්ලුමේ අඩුවීමක් අපේක්ෂා කළ හැකියි. හැබැයි මෙය සිදු වෙන්නේ ආනයනික භාණ්ඩ වල දේශීය මිල අවශ්‍ය තරමට ඉහළ යන්න ඉඩ ඇරියොත් පමණයි. ඒ කියන්නේ ගෑස්, ඉන්ධන, විදුලි බිල් වැඩි කළොත් පමණයි. තව දුරටත් දිගින් දිගටම සහන දුන්නොත් ඔය වැඩේ වෙන්නේ නැහැ.
වෙළඳ ශේෂය (ඩොලර් මිලියන)
2022 ජනවාරි - (859)
2022 පෙබරවාරි - (781)
2022 මාර්තු - (762)
අපනයන වියදම් වැඩි නොවෙද්දී වෙළඳ හිඟය අඩු විය හැක්කේ ආනයන වියදම් අඩු වීමෙන් පමණයි. එවැන්නක් සිදු වන බව පෙනුනත් ඒ අවශ්‍ය තරමට වඩා අඩු මට්ටමකින්. වෙළඳ ශේෂය තව දුරටත් අඩු කර ගන්නම් ආනයනික භාණ්ඩ වල මිල තවත් ඉහළ යන්න ඉඩ දෙන්නම වෙනවා.
සංචාරක ඉපැයීම් (ඩොලර් මිලියන)
2022 ජනවාරි - 148
2022 පෙබරවාරි - 174
2022 මාර්තු - 192
සංචාරක ඉපයීම් මීට වඩා ඉහළ නංවා ගැනීමේ පැහැදිලි විභවයක් තිබෙනවා. එහෙත්, ඒ සඳහා රටේ ආර්ථික, දේශපාලනික හා සමාජයීය ස්ථාවරත්වය අවශ්‍ය වෙනවා. මේ වැඩේ සිදු විය හැක්කේ රජය, මහ බැංකුව, දේශපාලන පක්ෂ හා සාමාන්‍ය මහජනතාව අතර ඇතිවන යම් ආකාරයක සංහිඳියාවකින් පසුව පමණයි. මේ වන විටනම් ඉතිරිව තිබෙන්නේ ප්‍රශ්නාර්ථ ලකුණක්.
ශ්‍රමික ප්‍රේෂණ (ඩොලර් මිලියන)
2022 ජනවාරි - 259
2022 පෙබරවාරි - 205
2022 මාර්තු - 318
ඩොලරයේ මිල ඉහළ යාමට ඉඩ සැලසීමෙන් පසුව ශ්‍රමික ප්‍රේෂණ වල වැඩිවීමක් පෙනෙන්න තිබෙනවා. මහ බැංකුව විසින් ගන්නා ක්‍රියාමාර්ග වල උදවුවෙන් මෙම ලැබීම් තව දුරටත් ඉහළ යා හැකි වුවත් මෙහිදීද රටේ දේශපාලන තත්ත්වයේ බලපෑමක් තිබෙනවා. දේශපාලනික ඉලක්ක ඇතිව ඇතැම් විදේශගත ශ්‍රී ලාංකිකයින් විසින් රටට මුදල් නොඑවා සිටීමේ ප්‍රවණතාවක්ද දැකිය හැකියි. මේ තත්ත්වය කෙලෙස වෙනස් වේද යන්න පිළිබඳවද තිබෙන්නේ අවිනිශ්චිතතාවයක්.
ඉහත ගණන් වල එකතුව (ඩොලර් මිලියන)
2022 ජනවාරි - (452)
2022 පෙබරවාරි - (402)
2022 මාර්තු - (252)
මෙතෙක් විස්තර කළ සියලු ආකාර වලින් රටට එන හා රටින් යන ඩොලර් ප්‍රමාණ අතර පරතරය අඩුවෙමින් ඇතත් තවමත් එය පියැවී නැහැ. ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක ඉපැයීම් තරමක් ඉහළ ගියොත් මේ ලැබීම් හා යාම් සමතුලිත වන බව ඉතා පැහැදිලියි. ඒ සඳහා, ආර්ථික, දේශපාලනික හා සමාජයීය ස්ථාවරත්වය අවශ්‍ය වෙනවා. එසේ නොවුවහොත්, මේ ලැබීම් හා යාම් සමතුලිත විය හැක්කේ ඩොලරයක මිල තව දුරටත් ඉහළ යාමෙන් පමණයි. ඩොලරයක මිල රුපියල් 450-500ක් පමණ වුවහොත් සහ ඊට අනුරූපව ඉන්ධන, විදුලිබිල් මිල ඉහළ ගියොත් සංචාරක ඉපැයීම් හා ශ්‍රමික ප්‍රේෂණ වැඩි නොවීම ඩොලර් ප්‍රශ්නය විසඳෙයි.
බිල ගෙවාගත නොහැකි නිසා බොහෝ දෙනෙක් පැය හයක් පමණ ලයිට් නොදමා හිටියොත් වෙන්නෙත් පැය හයක් ලයිට් කැපූ විට ලැබෙන ප්‍රතිඵලයමයි. බොහෝ දෙනෙකුට ගෑස් මිල දරාගත නොහැකි වුවහොත් ගෑස් පෝලිම් අඩු වෙනවා වගේම ගෑස් ආනයනය සඳහා යන ඩොලර් ටිකත් ඉතිරි වෙනවා. වාහන වලට පැට්‍රෝල් ගහන්න සල්ලි නැතිව වාහන පාරට දාන එක නැවතුනොත් ඉන්ධන ආනයන වියදම් අඩු වෙනවා. පැට්‍රෝල් පෝලිමුත් නැති වෙනවා. ඩොලරයක මිල රුපියල් 450-500ක් පමණ වුවහොත් වෙළඳපොළ විසින් ප්‍රශ්නය විසඳන්නේ ඔය විදිහටයි.
ආර්ථික, දේශපාලනික හා සමාජයීය ස්ථාවරත්වය ඇති වී සංචාරකයෝ රටට ආවොත්, පෙර පරිදිම ශ්‍රමික ප්‍රේෂණ ලැබුනොත් ඩොලරයක මිල ඔය තරම් ඉහළ යන්න ඉඩ අරින්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔය තරමටම ගෑස්, ඉන්ධන, විදුලි බලය පරිභෝජනය සීමා කරන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ. ඩොලරයක මිල දැන් තිබෙන මට්ටම ආසන්නයේම වුවත් ස්ථාවර වෙන්න පුළුවන්.
සමස්ත ගෙවුම් ශේෂය (ඩොලර් මිලියන)
2022 ජනවාරි හා පෙබරවාරි - (1,697)
2022 මාර්තු - (572)
සමස්ත ගෙවුම් ශේෂ හිඟය ඉහත ගණන් මෙන් දෙගුණයක් පමණ බවද අමතක නොකළ යුතුයි. ඒ, ණය වාරික හා පොලී ලෙස ගෙවිය යුතු ඩොලර් ප්‍රමාණයක්ද තිබෙන නිසා. රජයේ විදේශ ණය හා පොලිය ගෙවීම අත් හිටවීම නිසා මේ ගණන් වල අඩුවක් විය හැකි වුවත්, අවම මට්ටමකින් හෝ රට දුවා ගැනීමට අවසාන වශයෙන් මාසයකට තවත් සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක් සොයා ගත යුතුව තිබෙනවා. රනිල් වික්‍රමසිංහ විසින් උත්සාහ කරමින් සිටින බව පෙනෙන්නේ කොහෙන් හෝ ඒ අවශ්‍ය මුදල හොයා ගන්නයි.
සල්ලි හොයා ගන්න විදිහ රනිල් නිශ්චිත ලෙස කියා නැති නිසා ඒ ගැන මම දන්නේ නැහැ. කොහොම හරි හොයා ගනියි කියලා අපි සුබවාදී ලෙස හිතමු. බැරි වුනොත් තත්ත්වය ගැන කතා කරන්නවත් දෙයක් නැහැනේ. ඒ සඳහා අවශ්‍ය සහයෝගයත් රටෙන් ලැබුණා කියලා හිතමු.
මෙවැනි සුබවාදී තත්ත්වයක් යටතේ දැන් තිබෙන අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ, ඉන්ධන හිඟය නැති වෙයි. පෝලිම් නැති වෙයි. හැබැයි බඩු ගණන් යයි. උද්ධමනය තවත් වැඩි වෙයි.
උද්ධමනය පාලනය කරන එක මහ බැංකුවේ රස්සාවනේ. මේ වැඩේට මහ බැංකුව සතුව තිබෙන ආයුධය පොලී අනුපාතිකයි. මේ වෙලාවේ පොලී අනුපාතික ඉහළ දැමීමෙන් පමණක් වැඩේ ගොඩ දැමිය හැකිද? ඔන්න ඔතැනයි ලොකුම කොස්ස තියෙන්නේ.
රාජ්‍ය මූල්‍යනය සම්බන්ධව රනිල් පැහැදිලි කරන කරුණු එක්ක පහසුවෙන්ම චිත්‍රය සම්පූර්ණ කරගත හැකියි.
"2022 ආරම්භයේ දී පසුගිය රජයේ අයවැයෙන් රුපියල් ට්‍රිලියන 2.3ක ආදායමක් ඇති බවට පෙන්නුම් කළත් මේ වසර සඳහා සැබෑ ආදායම් අනාවැකිය වන්නේ රුපියල් ට්‍රිලියන 1.6 ක්."
ඔය කතාව මම කලින්ම කියලා තියෙනවනේ.
"2022 වසර සඳහා රජයේ වියදම රුපියල් ට්‍රිලියන 3.3 ක්. කෙසේ වෙතත් පසුගිය රජයේ පොලී අනුපාත වැඩිවීම් සහ අතිරේක වියදම් හේතුවෙන් 2022 වසර සඳහා රජයේ සමස්ථ වියදම රුපියල් ට්‍රිලියන 04 කි. වර්ෂය සඳහා අයවැය හිඟය රුපියල් ට්‍රිලියන 2.4 ක් වන අතර එය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 13 කි."
ඔන්න අවුල. දැන් ඔය රුපියල් ට්‍රිලියන 2.4 හොයා ගන්නේ කොහොමද?
ඩොලර් ප්‍රශ්නය විසඳපු ගමන්ම ඔය රුපියල් ප්‍රශ්නය මතු වෙනවා. දැනට පොලී අනුපාතික 24% මට්ටමට ඉහළ යන්න ඉඩ ඇර තිබුණත් ඒ පොලිය ගෙවා හෝ වෙන්දේසියට දමන භාණ්ඩාගාර බිල්පත් සියල්ල විකුණා ගන්න බැහැ. අඩුව පුරවන්න වෙන්නේ සල්ලි අච්චු ගහලා. විකිණෙන බිල්පත් වැඩිපුරම මිල දී ගන්නෙත් බැංකු. බැංකු විසින් ඒ සඳහා අවශ්‍ය අරමුදල් ලබා ගන්නෙත් මහ බැංකුවෙන්. ඒ කියන්නේ එතැනත් වෙන්නේ වක්‍ර ලෙස සල්ලි අච්චු ගැසීමක්.
විසඳුමක් ලෙස මහ බැංකුව විසින් පොලී අනුපාතික තවත් වැඩි කළා කියා හිතමු. එවිට තවත් යම් බිල්පත් ප්‍රමාණයක් විකිණෙයි. නමුත්, පොලී වියදම් ඉහළ යාම නිසා අයවැය හිඟය ඉහළ ගොස් රජයට විකුණන්න අවශ්‍ය වන බිල්පත් ප්‍රමාණය ඊට වඩා වැඩියෙන් ඉහළ ගියොත් මහ බැංකුව පොලී අනුපාතික වැඩි කළ එකෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ. රජයේ විශාල අයවැය හිඟය එක්ක මහ බැංකුව හමුවේ තිබෙන අභියෝගය ඕකයි. ඒ කියන්නේ තවත් යම් කිසි කාලයක් යන තුරු අනිවාර්යයෙන්ම සල්ලි අච්චු ගහන්න වෙනවා කියන එකයි.
ප්‍රශ්නය ස්ථිරසාර ලෙස විසඳන්නනම් කරන්න වෙන්නේ මිනිස්සු කැමති වන දේවල් නෙමෙයි. බඩු ගණන් යන්න ඉඩ අරින්න වෙනවා. බදු තව වැඩි කරන්න වෙනවා. රජයෙන් දෙන සහන කපන්න වෙනවා. රාජ්‍ය සේවකයින් ඉවත් කරන්න වෙනවා. ඔය කිසිවක් කළ හැකි දේශපාලන වාතාවරණයක් රටේ නැහැ. මිනිස්සු ඉල්ලා සිටින්නේ රජය තවත් සහන දිය යුතු බවයි. රනිල් කරන්න යන්නෙත් ඒකම තමයි.
"මේ අතර 2022 වසර සඳහා ඉදිරිපත් කළ සංවර්ධන අයවැය වෙනුවට අලුත් අයවැයක් ඉදිරිපත් කරන්න සැලසුම් කරල තිබෙනවා. එය සහන අයවැයක් ලෙස ඉදිරිපත් කරන්නයි මගේ සැලසුම."
No comments:
Post a Comment
ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.