කාලයකට ඉස්සර උඹේ කටෙත් පස් මගේ කටෙත් පස් කියා කිවූ බව පැවසෙන්නේ අන්දරේ විසින් ඔහුගේ පුතාටයි. අන්දරේ කියන්නේ ඒ වෙද්දී රජවාසල කවටයා.
අන්දරේ කාටත් ඇහෙන්න උඹේ කටෙත් පස් මගේ කටෙත් පස් කියා කිවුවත් අන්දරේගේ හෝ පුතාගේ කටේ පස් තිබුණේ නැහැ. පස් කන බව කෑ ගසා කියමින් ඔවුන් කළේ හිතේ හැටියට රජවාසල සීනි කන එකයි. වෙනත් විදිහකින් කිවුවොත් පොදු දේපොළ අපහරණය කරමින් වංචාවක් කිරීමයි. ඒ දවස් වල වෝහාරික විගණන තිබුණේ නැති නිසා රජවාසල කවටයින් පවුල් පිටින් සීනි කෑමෙන් සිදු වූ අලාභය ගැන ගණන් මිමි නැහැ.
අන්දරේට පොදු දේපොළ අපහරණය කරන්න අවස්ථාව ලැබුණේ රජා විසින් තොරතුරු වසන් කරමින් බොරුවක් කියූ නිසයි. අන්දරේ විසින් රජවාසල මිදුලේ වේලෙන්න වනා තිබුණු සීනි පෙන්වා රජාගෙන් ඒ මොනවාදැයි ඇසූ විට රජා ඇත්ත නොකියා බොරුවක් කිවුවා.
සීනි වල කැලරි අගය ඉහළයි. ඒ වගේම සීනි කන්න කවුරුත් වගේ ආසයි. නමුත්, අන්දරේලාට හා දරුවන්ට රජාට හා දරුවන්ට මෙන් හිතේ හැටියට සීනි කන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා, එවැනි අවස්ථාවක් ලැබුණොත් අතාරින්නේත් නැහැ. රජා ඕක දන්නවා. තොරතුරු වසන් කරමින් පැදුරේ තියෙන්නේ වැලි කියා අන්දරේට කියන්නේ ඒකයි.
ඕනෑනම් පැදුරේ තිබෙන්නේ සීනි කියා කියන්න පුළුවන්කම රජාට තිබුණා. ඒ වගේම, ඒ සීනි රාජ්‍ය දේපොළක් බවත් කියන්න තිබුණා. නමුත්, රජා එහෙම කිවුවේ නැහැ. ඒකටත් හේතු තිබෙනවා.
රාජ්‍ය දේපොළ කියන්නේ පොදු දේපොළ. ඒ බව රජා දන්නවා. ඒ එක්කම මේ පොදු දේපොළ භුක්ති විඳින්නේ තමන්, පවුලේ අය සහ වටේ ඉන්න ටික දෙනෙක් පමණක් බවත් දන්නවා. ඒ කුඩා කණ්ඩායම ඇතුළට රජවාසල කවටයින්ව ඇතුළු කර ගන්න රජාට අවශ්‍ය නැහැ. රජා බොරු කියන්නේ ඒ නිසයි.
රජා බොරු කිවුවත් රජවාසල කවටයින්ව අන්දන්න අමාරුයි. රජාවත් අන්දලා රජවාසල සීනි කන හැටි ඔවුන් දන්නවා. තනියම නෙමෙයි පවුල් පිටින්.
අන්දරේ රජවාසල සීනි කන්නේ ලස්සනට රජාගේ කට වහලා. පැදුරු වල තියෙන්නේ සීනි නෙමෙයි වැලි කියලා කිවුවේ රජා විසින්මයි. ඒ නිසා දැන් රජාට රාජ්‍ය දේපොළ අපහරණය කළා කියා අන්දරේට දඩුවම් දෙන්න බැහැ.
රජවාසල කවටයෝ වැලි කිය කිය සීනි කනවා. ඒ අතරේ රටේ මිනිස්සු කන්න දෙයක් නැතුව ඇත්තටම පස් කනවා. පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, මොරදෙණිය ග්‍රාම නිලධාරි වසමේ, ඉතා දිළිඳු පවුලක දරුවකු තම නිවසේ බිත්තිවල ඇති මැටි ආහාරයට ගන්නා පුවතක් අද එක්තරා වෙබ් අඩවියක වාර්තා වී තිබුණා.
මා වෛද්‍යවරයෙකුගේ කාර්යය කරන්න යන්නේ නැහැ. එහෙත්, මේ වාර්තාවේ තිබෙන විස්තරය අනුව මෙය පයිකා (pica eating disorder) කියන රෝගී තත්ත්වය වෙන්න පුළුවන්. මෙය සැලකෙන්නේ මානසික රෝගී තත්ත්වයක් ලෙසයි. එහෙත්, මන්දපෝෂණය හා ඛණිජ ලවණ ඌණතා ඇතුළු වෙනත් පෝෂණ ඌණතා සමඟ මේ රෝගී තත්ත්වයේ විශාල සහසම්බන්ධයක් තිබෙනවා. හැම විටම දරුවෙකු පස් කන්නේ පෝෂණ ඌණතා නිසා නොවුණත්, දිගින් දිගටම පස් කන දරුවෙකු පෝෂණ ඌණතා වලින් පෙළෙන්නෙකු වීමේ සම්භාවිතාව ඉතා වැඩියි. වාර්තාවේ තිබෙන අනෙකුත් තොරතුරු අනුව මේ දරුවා පෝෂණ ඌණතාවයකින් පෙළෙන දරුවෙකු බව පැහැදිලියි.
ලංකාව ඉහළ සෞඛ්‍ය හා පෝෂණ තත්ත්වයක් ඇති බවට උදම් අනන රටක්. ඒ වගේම, මෑතකදී ඉහළ මැදි ආදායම් කාණ්ඩයට ඇතුළත් වූ රටක්. මේ සියල්ලටම වඩා කාලයක් තිස්සේ විශාල සුබසාධන ආර්ථිකයක් පවත්වාගෙන යන රටක්. එවැනි රටක දරුවන්ට පස් කන්න යොමු වෙන තරමේ ආහාර සුරක්ෂිතතා ප්‍රශ්නයක් තිබීමෙන් පෙනෙන්නේ මේ සුබසාධන ආකෘතිය අසමත් එකක් බවයි.
අප මේ කරුණ කියන්නේ ඉහත තනි උදාහරණය දෙස බලමින් නෙමෙයි. 2016 ශ්‍රී ලංකා ජනවිකාශ හා සෞඛ්‍ය සමීක්ෂණ ප්‍රතිඵල අනුව ලංකාවේ වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් 17%ක් වයසට අවශ්‍ය තරමට වඩා මිටියි. එම දරුවන්ගෙන් 15%කට උසට ගැලපෙන බර නැහැ. අවුරුදු පහට අඩු දරුවන්ගෙන් 21%ක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. වඩාත්ම කණගාටුවට කරුණ 2006-2016 අතර වසර දහයක් තුළ මේ තත්ත්වයේ පැහැදිලිව පෙනෙන වෙනසක් සිදු වී නොතිබීමයි.
Showing posts with label ළමා හිමිකම්. Show all posts
Showing posts with label ළමා හිමිකම්. Show all posts
Wednesday, January 29, 2020
උඹේ කටෙත් පස් මගේ කටෙත් පස්
Labels:
ජනකතා,
ජනවිකාශ විද්‍යාව,
පෝෂණය,
සහනාධාර,
සෞඛ්‍යය,
ළමා හිමිකම්
Saturday, January 18, 2020
මූව මග්ගොන යවන්නයි තියෙන්නේ!
"ඕනෑම සමාජයක අම්මයි තාත්තයි නැති ළමයි සම්බන්ධයෙන්, අනාථ ළමයි සම්බන්ධයෙන්, ඒ සමාජයේ සැලකිල්ලේ ප්‍රමාණයෙන් ඒ සමාජයේ ශීලාචාර තත්ත්වයේ තරම පෙන්වනවා. ඇත්ත වශයෙන්ම ලංකාවේ අම්මයි තාත්තයි නැති, වෙන කවුරුවත්ම නැති, ළමයි රජයේ අනාථ නිවාස වල ඉන්නවා. එහෙම අනාථ නිවාස විශාල ගාණක් තිබෙනවා.
ලංකාව ඒ ළමයෙකුට දවසකට කරන වියදම රුපියල් විස්සයි. සියළු දේ සඳහා. කන්න බොන්න ඇඳුම් පැළඳුම් සඳහා, සියලු දේ සඳහා, රුපියල් විස්සක වියදමක් කරන්නේ. එතකොට තේරුම් ගන්න පුළුවන්.
ලංකාවේ මොන තරම්...කියන්නේ රුපියල් කෝටි ගණන් නොයෙකුත් දේවල් වලට වියදම් කරනවා. ඒත් අත්‍යාවශ්‍ය, අත්‍යාවශ්‍යයෙන්ම අපි බලාගත යුතු පිරිස, දෙමවුපියන් නැති දරුවෝ අපි බලාගන්නේ නැහැ කියන එක.
ඒ දරුවෝ අපි නම්බුකාර හිඟන්නෝ බවට පත් කරලා. කියන්නේ ඒ ගොල්ලන්ව ඇත්තටම හිඟා කන්න පුරුදු කරනවා. මිනිස්සු ආපුවහම කෑම බීම අරගෙන, වැඳලා, නටලා, ඒ ගොල්ලන්ට ඕනෑ විදිහට. හරිම ඛේදජනකයි."
ඉහත කොටස උපුටා ගත්තේ රන්ජන් හඬපට හා අදාළව පසුගිය දිනක වික්ටර් අයිවන් විසින් උඩුගත කර තිබෙන ප්‍රකාශයකින්.
පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ 2013 වාර්තාවකට අනුව ඒ වසරේදී ලංකාවේ ළමාරක්ෂක ආයතන 414ක ළමුන් 14,179 දෙනෙකු රැඳී සිටියා. මේ ආයතන 414න් රාජ්‍ය ආයතන ප්‍රමාණය 37ක් පමණයි. ආයතන බහුතරයක් පරිපාලනය කෙරුණේ දේශීය හා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන, ආගමික සංවිධාන ඇතුළු වෙනත් ආයතන හෝ පුද්ගලයින් විසිනුයි.
මෙහිදී, ළමාරක්ෂක ආයතන ලෙස අර්ථ දක්වා තිබෙන්නේ කවර හෝ හේතුවක් මත බාලවයස්කාර දරුවන් නේවාසිකව රඳවා ගන්නා ආයතනයි. උදාහරණයක් ලෙස මේ ආයතන අතරින් 102ක් ආගමික ආයතන. ක්‍රිස්තියානි හෝ කතෝලික සෙමනේරි 66ක්, බෞද්ධ පිරිවෙන් 21ක්, හින්දු අරනේරි පාසැල් 13ක් හා ඉස්ලාම් මද්‍රසා පාසැල් 2ක් මේ ගණනට ඇතුළත් වුනා. රාජ්‍ය රාජ්‍ය ආයතන 37ත් විවිධ වර්ගයේ ආයතන. උදාහරණයක් ලෙස විවිධ වැරදි වලට වරදකරුවන් වූ හෝ චෝදනා ලැබූ බාලවයස්කාර දරුවන් රඳවා තබා ගන්නා හා පුනරුත්ථාපනය කෙරෙන ස්ථාන මේ ගණනට ඇතුළත්.
පසුගිය අයවැයෙන් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව වෙනුවෙන් වෙන් කර තිබෙන මුදල රුපියල් මිලියන 373.5ක්. ඒ මුදලින් රුපියල් මිලියන 260කට වැඩි මුදලක් වැය වන්නේ එහි සේවය කරන 449 දෙනෙකුගේ වැටුප් හා අනෙකුත් දීමනා වෙනුවෙන්. ඉතිරි මුදලින් විදුලි බිල්, ඉන්ධන වියදම් ආදිය ඉවත් කළ විට වික්ටර් අයිවන් කියන, එක ළමයෙකුට දවසකට වියදම් කරන්නේ රුපියල් විස්සයි කියන එක නිවැරදි වෙන්න පුළුවන්.
"In comparison with the national budgetary expenditure in the health, education and social services sectors, the child protection sector occupies a low priority area with a 0.5% in the total national expenditure for children (Budget for Children)."
2017 වසරේ "සේව් ද චිල්රන්" වාර්තාවකද සඳහන් කර ඇති පරිදි, පොදුවේ සෞඛ්‍යය හා අධ්‍යාපනය සුබසාධනය කිරීමට සාපේක්ෂව ළමුන් ඉලක්ක කරගත්, විශේෂයෙන්ම විශේෂ සැලකිලි හිමි විය යුතු ළමුන් ඉලක්ක කරගත්, වියදම් කෙරෙහි යොමු වන්නේ අඩු අවධානයක්.
හේතුව පැහැදිලියි. දෙමවුපියන්ගේ රැකවරණය අහිමි දරුවෙකුට කිසිදු දේශපාලන බලයක් නැහැ. ඒ නිසා, ඒ අය වෙනුවෙන් පෙනී සිටීමෙන් කාටවත් දේශපාලන වාසියක් ලැබෙන්නේ නැහැ. නමුත්, ලංකාවේ පොදු සෞඛ්‍ය හා අධ්‍යාපන පහසුකම් වල ප්‍රතිලාභ ලබන්නේ රටේ දේශපාලන බලය හිමි කණ්ඩායමයි.
"මේක ඇත්ත ඉකොනා... ප්‍රා ලේ කාර්යාලයක ඉන්නකොට ඔයවගේ දේ කොතෙකුත් අනාවරණය වෙනවා. ජීවවිද්‍යාත්මක පියා ම, මවත් දැනුවත්ව දියණිය කාලයක් තිස්සේ දූෂණය කිරීම වැනි දේ පවා."
පසුගිය ලිපියට ප්‍රතිචාරයක් දමමින් ඩ්‍රැකී ලියා තිබෙනවා. තමන්ගේ නිවසේදී තමන්ගේ ජීව විද්‍යාත්මක දෙමවුපියන් අතින්ම හෝ ඔවුන්ගේ අනුදැනුම ඇතිව දරුවෙකු ලිංගික හෝ වෙනත් අතවරයකට ලක් වන විට ඒ දරුවා වැටෙන්නේ වැටෙන්න පුළුවන් පහළම තැනකටයි. එවැනි දරුවෙකුට හිතෙන්නේ ගෙදර මිනිස්සු සලකන්නේ මේ විදිහටනම් පිට මිනිස්සු ගැන හිතන එකවත් තේරුමක් නැහැ කියලයි.
"මූව මග්ගොන යවන්නයි තියෙන්නේ!"
මේ කතාව මා කුඩා කාලයේදී දෙමවුපියන් නුරුස්සන දෙයක් කළ විට නිවසේදී බොහෝ වර අසා තිබෙන කතාවක්. සමහර විට කුඩා කාලයේ මේ වගේ කතා අහපු තවත් අය ඇති.
ඔය කියන තැන ඉහත සඳහන් ළමාරක්ෂක ආයතන අතර තිබෙන, පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ නියාමනයට හා/හෝ පරිපාලනයට යටත් ආයතනයක්. මා හිතන්නේ කාලයක් තිස්සේ රෝමානු කතෝලික පල්ලිය විසින් පවත්වා ගෙන ආ ආයතනයක්. "මූව මග්ගොන යවන්නයි තියෙන්නේ!" කියා කුඩා දරුවෙකුට ගෙදරදී කියන කොට දරුවාගේ මනසේ මැවෙන්නේ ගෙදර දඬුවම් දී හදා ගන්න අමාරු දරුවෙකුට ලොකු දඬුවම් දී කොහොම හරි හදාගන්නා අපායක් වගේ තැනක් ගැනයි. මේ කතාව නිතර ඇහෙන කොට දරුවෙකු හිතන්නේ තිබෙන හොඳම විකල්පය වන්නේ කවර අතවර විඳිමින් වුවත් ගෙදරම ඉන්න එක බවයි. සුමීර ගුණසේකරගේ අත්දැකීම් අනුවනම් එහෙම හිතන එකේ වැරැද්දකුත් නැහැ.
නමුත්, මේ විදිහට කවුරු හෝ විසින් පරිවාස හා ළමාරක්ෂක අධිකාරියට වාර්තා කරන්නේ සිදුවන අතවර වලින් ඉතා සුළු ප්‍රමාණයක් පමණක් බව පැහැදිලියි. මුලතිවු හා පොළොන්නරුව දිස්ත්‍රික්ක වලින් කිසිදු පැමිණිල්ලක් නැත්තේ ඒ දිස්ත්‍රික්ක වල ළමුන්ට කිසිදු අතවරයක් සිදු නොවන නිසා විය නොහැකියි.
ලංකාව ඒ ළමයෙකුට දවසකට කරන වියදම රුපියල් විස්සයි. සියළු දේ සඳහා. කන්න බොන්න ඇඳුම් පැළඳුම් සඳහා, සියලු දේ සඳහා, රුපියල් විස්සක වියදමක් කරන්නේ. එතකොට තේරුම් ගන්න පුළුවන්.
ලංකාවේ මොන තරම්...කියන්නේ රුපියල් කෝටි ගණන් නොයෙකුත් දේවල් වලට වියදම් කරනවා. ඒත් අත්‍යාවශ්‍ය, අත්‍යාවශ්‍යයෙන්ම අපි බලාගත යුතු පිරිස, දෙමවුපියන් නැති දරුවෝ අපි බලාගන්නේ නැහැ කියන එක.
ඒ දරුවෝ අපි නම්බුකාර හිඟන්නෝ බවට පත් කරලා. කියන්නේ ඒ ගොල්ලන්ව ඇත්තටම හිඟා කන්න පුරුදු කරනවා. මිනිස්සු ආපුවහම කෑම බීම අරගෙන, වැඳලා, නටලා, ඒ ගොල්ලන්ට ඕනෑ විදිහට. හරිම ඛේදජනකයි."
ඉහත කොටස උපුටා ගත්තේ රන්ජන් හඬපට හා අදාළව පසුගිය දිනක වික්ටර් අයිවන් විසින් උඩුගත කර තිබෙන ප්‍රකාශයකින්.
පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ 2013 වාර්තාවකට අනුව ඒ වසරේදී ලංකාවේ ළමාරක්ෂක ආයතන 414ක ළමුන් 14,179 දෙනෙකු රැඳී සිටියා. මේ ආයතන 414න් රාජ්‍ය ආයතන ප්‍රමාණය 37ක් පමණයි. ආයතන බහුතරයක් පරිපාලනය කෙරුණේ දේශීය හා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන, ආගමික සංවිධාන ඇතුළු වෙනත් ආයතන හෝ පුද්ගලයින් විසිනුයි.
මෙහිදී, ළමාරක්ෂක ආයතන ලෙස අර්ථ දක්වා තිබෙන්නේ කවර හෝ හේතුවක් මත බාලවයස්කාර දරුවන් නේවාසිකව රඳවා ගන්නා ආයතනයි. උදාහරණයක් ලෙස මේ ආයතන අතරින් 102ක් ආගමික ආයතන. ක්‍රිස්තියානි හෝ කතෝලික සෙමනේරි 66ක්, බෞද්ධ පිරිවෙන් 21ක්, හින්දු අරනේරි පාසැල් 13ක් හා ඉස්ලාම් මද්‍රසා පාසැල් 2ක් මේ ගණනට ඇතුළත් වුනා. රාජ්‍ය රාජ්‍ය ආයතන 37ත් විවිධ වර්ගයේ ආයතන. උදාහරණයක් ලෙස විවිධ වැරදි වලට වරදකරුවන් වූ හෝ චෝදනා ලැබූ බාලවයස්කාර දරුවන් රඳවා තබා ගන්නා හා පුනරුත්ථාපනය කෙරෙන ස්ථාන මේ ගණනට ඇතුළත්.
පසුගිය අයවැයෙන් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව වෙනුවෙන් වෙන් කර තිබෙන මුදල රුපියල් මිලියන 373.5ක්. ඒ මුදලින් රුපියල් මිලියන 260කට වැඩි මුදලක් වැය වන්නේ එහි සේවය කරන 449 දෙනෙකුගේ වැටුප් හා අනෙකුත් දීමනා වෙනුවෙන්. ඉතිරි මුදලින් විදුලි බිල්, ඉන්ධන වියදම් ආදිය ඉවත් කළ විට වික්ටර් අයිවන් කියන, එක ළමයෙකුට දවසකට වියදම් කරන්නේ රුපියල් විස්සයි කියන එක නිවැරදි වෙන්න පුළුවන්.
"In comparison with the national budgetary expenditure in the health, education and social services sectors, the child protection sector occupies a low priority area with a 0.5% in the total national expenditure for children (Budget for Children)."
2017 වසරේ "සේව් ද චිල්රන්" වාර්තාවකද සඳහන් කර ඇති පරිදි, පොදුවේ සෞඛ්‍යය හා අධ්‍යාපනය සුබසාධනය කිරීමට සාපේක්ෂව ළමුන් ඉලක්ක කරගත්, විශේෂයෙන්ම විශේෂ සැලකිලි හිමි විය යුතු ළමුන් ඉලක්ක කරගත්, වියදම් කෙරෙහි යොමු වන්නේ අඩු අවධානයක්.
හේතුව පැහැදිලියි. දෙමවුපියන්ගේ රැකවරණය අහිමි දරුවෙකුට කිසිදු දේශපාලන බලයක් නැහැ. ඒ නිසා, ඒ අය වෙනුවෙන් පෙනී සිටීමෙන් කාටවත් දේශපාලන වාසියක් ලැබෙන්නේ නැහැ. නමුත්, ලංකාවේ පොදු සෞඛ්‍ය හා අධ්‍යාපන පහසුකම් වල ප්‍රතිලාභ ලබන්නේ රටේ දේශපාලන බලය හිමි කණ්ඩායමයි.
"මේක ඇත්ත ඉකොනා... ප්‍රා ලේ කාර්යාලයක ඉන්නකොට ඔයවගේ දේ කොතෙකුත් අනාවරණය වෙනවා. ජීවවිද්‍යාත්මක පියා ම, මවත් දැනුවත්ව දියණිය කාලයක් තිස්සේ දූෂණය කිරීම වැනි දේ පවා."
පසුගිය ලිපියට ප්‍රතිචාරයක් දමමින් ඩ්‍රැකී ලියා තිබෙනවා. තමන්ගේ නිවසේදී තමන්ගේ ජීව විද්‍යාත්මක දෙමවුපියන් අතින්ම හෝ ඔවුන්ගේ අනුදැනුම ඇතිව දරුවෙකු ලිංගික හෝ වෙනත් අතවරයකට ලක් වන විට ඒ දරුවා වැටෙන්නේ වැටෙන්න පුළුවන් පහළම තැනකටයි. එවැනි දරුවෙකුට හිතෙන්නේ ගෙදර මිනිස්සු සලකන්නේ මේ විදිහටනම් පිට මිනිස්සු ගැන හිතන එකවත් තේරුමක් නැහැ කියලයි.
"මූව මග්ගොන යවන්නයි තියෙන්නේ!"
මේ කතාව මා කුඩා කාලයේදී දෙමවුපියන් නුරුස්සන දෙයක් කළ විට නිවසේදී බොහෝ වර අසා තිබෙන කතාවක්. සමහර විට කුඩා කාලයේ මේ වගේ කතා අහපු තවත් අය ඇති.
ඔය කියන තැන ඉහත සඳහන් ළමාරක්ෂක ආයතන අතර තිබෙන, පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ නියාමනයට හා/හෝ පරිපාලනයට යටත් ආයතනයක්. මා හිතන්නේ කාලයක් තිස්සේ රෝමානු කතෝලික පල්ලිය විසින් පවත්වා ගෙන ආ ආයතනයක්. "මූව මග්ගොන යවන්නයි තියෙන්නේ!" කියා කුඩා දරුවෙකුට ගෙදරදී කියන කොට දරුවාගේ මනසේ මැවෙන්නේ ගෙදර දඬුවම් දී හදා ගන්න අමාරු දරුවෙකුට ලොකු දඬුවම් දී කොහොම හරි හදාගන්නා අපායක් වගේ තැනක් ගැනයි. මේ කතාව නිතර ඇහෙන කොට දරුවෙකු හිතන්නේ තිබෙන හොඳම විකල්පය වන්නේ කවර අතවර විඳිමින් වුවත් ගෙදරම ඉන්න එක බවයි. සුමීර ගුණසේකරගේ අත්දැකීම් අනුවනම් එහෙම හිතන එකේ වැරැද්දකුත් නැහැ.
දරුවෙකුට කවර හෝ අතවරයක් වෙන විට එයට හැකි ආකාරයෙන් මැදිහත්වීම ශීලාචාර වැඩිහිටියෙකුගේ යුතුකමක්. නමුත්, බොහෝ විට මෙවැනි අතවරයක් සිදුවන බව දකින වැඩිහිටියෙකු විසින් ගන්නේ අතවරය කරන වැඩිහිටියාගේ පැත්තයි. පැමිණිල්ලක් කළ විට වැඩිහිටියාට මුහුණ දෙන්න සිදු වන තත්ත්වය ගැන සානුකම්පිකව බලන අය එසේ සිතීමෙන් දරුවෙකුට වෙන අසාධාරණය නොසලකා හරිනවා. 2017 වසරේදී සිදු වූ විවිධ ළමා අතවර හා නොසලකා හැරීම් පිළිබඳ පැමිණිලි 12,093ක් පරිවාස හා ළමාරක්ෂක අධිකාරියට ලැබී තිබෙනවා. එයින් අඩක් පමණම පාසැල් නොයැවීම පිළිබඳවයි. බාල වයස් විවාහ හා ගැබ් ගැනීම් 606ක්, කායික දණ්ඩන 694ක්, මානසික අපයෝජන 1,310ක්, නොසලකා හැරීම් 1,745ක් හා ළමා ලිංගික අපයෝජන 398ක්ද වාර්තා වී තිබෙනවා.
නමුත්, මේ විදිහට කවුරු හෝ විසින් පරිවාස හා ළමාරක්ෂක අධිකාරියට වාර්තා කරන්නේ සිදුවන අතවර වලින් ඉතා සුළු ප්‍රමාණයක් පමණක් බව පැහැදිලියි. මුලතිවු හා පොළොන්නරුව දිස්ත්‍රික්ක වලින් කිසිදු පැමිණිල්ලක් නැත්තේ ඒ දිස්ත්‍රික්ක වල ළමුන්ට කිසිදු අතවරයක් සිදු නොවන නිසා විය නොහැකියි.
Labels:
නියාමනය,
වික්ටර් අයිවන්,
ළමා හිමිකම්
Wednesday, January 9, 2019
සාධාරණත්වය උදෙසා අරගලය
අදට වසර හයකට පෙර නීත්‍යානුකූල මිනීමැරුමක ගොදුරක් වූ රිසානා නෆීක් පිළිබඳ මතකය අලුත් කරමින් නාරද විජයසූරිය විසින් ඔහුගේ වත්පොත් පිටුවේ තබා ඇති සටහනක් එතැනින් උපුටාගෙන පහත පළ කර තිබේ.
"මගේ දෑසේ කඳුලක් තිබේ ... ඒ ඔබ වෙනුවෙනි
'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
දුක කියන්නට කිසිවෙකු නොමැතිව , ළමා දිවියේ අනන්ත අප්‍රමාණ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙමින් වසර 7 ක් තිස්සේ අඳුරු සිර මැදිරියක සිරගතව සිටි ඒ අහිංසක දැරිය අද වැනි දිනයක උදේ 11 . 40 ට තියුණු කඩු පහරින් ගෙළ සිඳ මරා දැමිණි
ගිණියම් රියාද් වැලි කතර අහිංසක දැරියගේ රුධිරය උරා ගන්නා මොහොතේ භීතියෙන් මුසපත් වූ ඇගේ විවුර්ත වූ දෑස සහිත හිස බිම පතිත විය .
මට ඇගේ බියපත් දෑස මැවී පෙනෙයි .
වසර ගණනාවක් තිස්සේ නොවියලෙන කඳුලක් මගේ ඇස් කෙවෙණි වල සිර වී තිබේ
අද ද සිතුම් පාරා ඒ කඳුළු උණුසුමට වැගිරේ .
ඇගේ මරණයට මා වගකිවයුතුයැයි දැනෙන වරදකාරී හැඟීමෙන් මියෙන තුරු මිදිය නොහැක ,
ඒ අවාසනාවන්ත ජීවිතය බේරා ගැනීමට කරනු ලැබූ නිහඬ සටන පරාජය වූ හැටි මම ඔබට කියමි .
ඒ 2007 වසරේ ජූනි මාසයේ දවසකි , නෙත් රූපවාහිනී මැදිරියේ රාත්‍රී පහන් කන්ද වැඩ සටහන නිම කර මගේ කාර්යාල කාමරයට ඇතුල් වන විට දුර කථන ඇමතුමක් ලැබිණි ,
සෞදි අරාබියේ සිට කථා කළ ගෘහ සේවිකාවක් බිඳුණු ස්වරයෙන් පැවසුවේ ''දවද්මි '' සිර ගෙදර අපේ ගැහැණු ළමයෙකු මරණ දණ්ඩනයට නියම කර ඇති බවත් තව මාසයක් ඇතුළත අභියාචනයක් නොකළහොත් ඈ මරා දමන බවත්ය . මේ වන විටත් බලධාරීන් කිසිම පියවරක් ගෙන නොමැති බවත්ය .
සිර ගෙදරට යාමට අවකාශ ඇති ඇය දැරිය ගේ සියලු තොරතුරු අසා දැනගෙන මට කීවාය ,
අල් කතයිබි නමැති පොහොසත් පවුලක මාස 4ක් වයසැති දරුවාට කිරි පොවමින් සිටින අතරතුර ශ්වාස මාර්ගයේ කිරි සිරවීමට ලක් වී ඇත , ඇය කෑ ගසමින් දරුවාගේ පිටට වැරෙන් තට්ටු කරන්නට පටන් ගත්තාය , ඒ මොහොතේ ගෙහිමි කාන්තාව එහි පැමිණි අතර , දරුවා නිසලව සිටින අයුරුත් රිසානා පිටට පහර දෙන අයුරුත් දැක වහා කිපී දැරියට නහයෙන් ලේ වැගිරෙන ලෙස පහර දී පොලිසියට භාර දී ඇත .
පොලිසියෙදීත් ඉන බඳින හම් පටියකින් දරුණු පහර දීමට ලක්ව සිටි දැරියට අරාබි භාෂාවෙන් ඔවුන් කියූ කිසිවක් වටහා ගත නොහැකි විය , කාත් කවුරුත් නොමැති රටක ඇය බියෙන් මුසපත් වී සිටියාය ,
දරුවාගේ ගෙල මිරිකා මරා දැමූ බවට ලියු ලිපියකට , අකුරු නොදත් ඇයගේ ඇඟිලි සලකුණ ගෙන තිබිණි , 2005 වසරේ මැයි 4 වනදා රියාද් නගරයට පැමිණි 17 හැවිරිදි දැරිය දින 18 ක සේවයෙන් පසුව 22 වනදා මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නාය .
වසර දෙකක නඩු විභාගයෙන් අනතුරුව මරණ දණ්ඩනය නියම කරන තුරු කිසිවෙකු මේ පිළිබඳව දැනුවත් වී නොතිබිණි , එදා රාත්‍රියේ එම ගෘහ සේවිකාව ඒ බව මට නොපවසන්නට එය මාධ්‍යයෙන් වසන් වුන සිද්ධියක් වන්නට ඉඩ තිබිණි .
සිද්ධිය ඇසීමත් සමගම මගේ සිරුර ගිණිගෙන දැවෙන බවක් මට දැනුනි , එවකට විදේශ කම්කරු කටයුතු පිලිබඳ අමාත්‍ය කෙහෙළිය රඹුක් වැල්ල මහතාට ඒ රාත්‍රියේම මම දුර කථන ඇමතුමක් දුන්නෙමි , ඕනෑම මොහොතක ඔහුගේ ලේකම් වරයෙකුට කථා කරන්නට මට පහසුව සලසා තිබිණි . සිද්ධිය කෙටියෙන් පවසා හෙට උදෑසන විශේෂ සජීවී පහන් කන්ද වැඩ සටහනකට සුදානම්ව සිටින ලෙස දැනුවත් කර , එමොහොතේම මම ආසියානු මානව හිමිකම් සංවිධානයට සහ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයට විද්‍යුත් ලිපි දෙකක් යොමු කෙරුවෙමි , පසුදා උදෑසන සජීවී වැඩ සටහනේදී සිද්ධිය අනාවරණය කළ මම සෞදි අරාබි තානාපති වරයාට පිළිතුරු දෙන්නැයි ආරාධනය කළෙමි ,
හොඳින් සිංහල කථා කරණ , ඕනෑම මොහොතක අපේ රුපවාහිනිය සමග සම්බන්ධ වන , මා සමග දැඩි කෝපයකින් පසුවන තානාපති තුමා දුරකතනයෙන් සම්බන්ධ විය .
ඒ වනවිටත් තානාපති කාර්යාලය , රිසානාගේ සිද්ධිය ශ්‍රිලංකාවේ රජයට වාර්තා කර නොතිබුන බව මට පැහැදිලි විය .
ඔහු මේ සිද්ධිය දන්නා බවත් , අභියාචනයක් ඉදිරිපත් කිරීමට අරාබි නීතිඥයින් සපයා ගැනීමට සහ නීතිමය කටයුතු වලට දැවැන්ත වියදමක් යන බවත් එය අප සිතන තරම් පහසු නොවන බවත් ඔහු පැවසීය ,
මගේ ඉවසීමේ සීමාව ඉක්ම ගිය අතර , මා සිටින්නේ සජීවී වැඩ සටහනක බව මට අමතක විය ,
තානාපති කාර්යාලයේ ගෝනියක් තිබේදැයි මම ගරු තානාපති තුමාගෙන් අවිනීත ලෙස ප්‍රශ්න කලෙමි ,
එතුමා ඒ ඇයි දැයි මගෙන් විමසීය ,
කරුණාකර එම ගෝනිය තානාපති කාර්යාලයේ දොරටුව අසල තබන ලෙස මම ඉල්ලා සිටියෙමි .
''නාරද රාජ්‍ය තාන්ත්‍රික කටයුතු විහිලුවකට ගන්න එපා , මාධ්‍ය ඉදිරියේ වීරයෙක් වන්නට ඔබට ඕනෑම දෙයක් කිව හැකි නමුත් මේ ප්‍රශ්න ගැඹුරු රාජ්‍ය තාන්ත්‍රික ගනු දෙණු , ඔබ ඔබේ කටයුතු කරගෙන සිටින්න .'' යැයි ඉතා වෘත්තියමය අයුරින් සහ ඉවසීමෙන් ඔහු පැවසීය ,
අපට අපේ දැරියකගේ ජීවිතය පිළිබඳව වේදනාවක් ඇති බවත් , වැසිකිලි හෝදන , කාණු පිරිසිදු කරණ මන්දිර වල බැල මෙහෙවරකම් කරන දිළිඳු මිනිසුන්ගේ රුධිරය කකියන බවත් , ඒ මිනිසුන් ගේ දුප්පත් වැටුපෙන් රියාල් එක බැගින් පෝලිමේ විත් ඔබේ ගෝනිය පුරවා දෙන්නට අප සපථ කරන බවත් මම ඔහුට පැවසීමි .
මගේ දෑස් වල කඳුළු කැමරාවෙන් වසන් කර ගැනීමට උත්සහ කළද මගේ කටහඬේ බිඳුණු ස්වරය ලෝකයට ඇසුනි . දහස් ගණනක් දෙනා එක හඬින් අසරණ දැරිය වෙනුවෙන් හඬ නගන්නට විය . ඈ ඒ කිසිවක් නොදැන අඳුරු සිරකුටියේ මරණ භයෙන් තැතිගෙන සිටි මොහොතේ අප ඇය බේරා ගැනීමේ සටන අරඹා තිබිණි ,
ඊ ළඟ මොහොතේ ඇමති වරයා දුරකතනයෙන් සම්බන්ධ විය , ඔහු වහාම මේ වෙනුවෙන් ක්‍රියා කරන බවත් නියෝජ්‍ය ඇමති බාහිලා මහතා හෙටම රියාද් නුවරට පිටත් කරන බවත් පොරොන්දු විය , ඉනික්බිති ලංකාවේ දේශපාලකයින් , මාධ්‍ය මේ පිලිබඳ පුවත් මවන්නට විය .
එතැන් පටන් සිදු වූ සිද්ධි දාමය එතරම් ප්‍රීති දායක නොවේ , කොළඹ සරසවියේ නීති පීඨයෙන් පිට වුන අපට වඩා ඉහළ වසරක උගත් නීතිඥයෙක් වූ තානාපති කාර්යාලයේ නීති නිලධාරියා විශාල කැපවීමකින් කටයුතු කළ නමුත් , ලිපි ගොනු සැඟවීම වැනි බාධක ඔහුට එල්ල විය , ඇතැම් විට අපට රහසිගතව මෙහෙයුම් දියත් කරන්නට සිදු විය .
නීතිමය පිළිසරණ ඉතා අල්ප බව වැටහෙන්නට පටන් ගත විට ලාංකික සේවකයන් මාර්ගයෙන් සෞදි ජාතිකයන් දෙදෙනෙකු හඳුනා ගත් මා මියගිය දරුවාගේ දෙමාපියන් වෙත කිට්ටු කලෙමි .
එරට ශාරියා නීතිය අනුව අගතියට පත් පාර්ශවයට පමණක් ලේ වන්දිය ලෙස මුදලක් රැගෙන රිසානාට සමාව දීමේ හැකියාව තිබිණි . සෞදි රජයේ ප්‍රධාන පෙලේ අමාත්‍යංශ දෙකක උසස් නිලධාරීන් වූ මියගිය දරුවාගේ දෙමාපියන් වෙත පණිවුඩ කරුවන් යොමු කළෙමි , එකළ එහි සේව්‍ය කළ බොහෝ දුප්පත් මිනිසුන් විශාල කාර්යභාරයක් ඉටු කරනු ලැබිණි ,
දරුවාගේ පියා විශාල මුදලක් ලේ වන්දිය ලෙස ලබා ගැනීමට කැමැත්ත පල කළද මව එක හඬින්ම කියා සිටියේ රිසානාගේ රුධිරය දැකීමට ඇයට අවශ්‍ය බවයි .
එහෙත් අප උත්සාහය අත නොහැරියෙමු , ඒ වන විට මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයාත් , බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරාත් සෞදි රජුගෙන් දැරියට සමාව දෙන ලෙස ඉල්ලීම් කර තිබිණි ,
බාල වයස්කාර දැරියට මරණ දඬුවම නියම කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවට අපේ නීතිඥයින් තර්ක කරමින් සිටියේය .
සියල්ල තීරණය වන්නේ මවගේ කැමැත්ත මත බව තේරුම් ගත් අප ඇය කැමති කරවා ගැනීමේ වෑයම අත නොහැර කරගෙන යමින් සිටියෙමු .
අවාසනාවට ආර්ථික හේතුන් මත නෙත් රුපවාහිනිය නවතා දැමීමට සිදු විය .
අපේ රුපවාහිනී තිරයේ සංඥා නොමැති බව දක්වන පණිවිඩය දෙස බලාගෙන මගේ කාර්යාල මේසය මත මම හඬමින් සිටියෙමි . ඒ මොහොතේ ගලා ගිය කඳුළු වල වැඩි බරක් රිසානා වෙනුවෙන් වෙන්ව තිබිණි .
වසර 8 ක නඩු විභාගයකින් පසුව 2013 ජනවාරි 9 වනදා පෙ ව 11.40 ට රියාද් හී දවද්මි වධක භූමියේදී මරා දැමිණි .
රටේ පවතින අනන්ත දරිද්‍රතාවයෙන් මිදෙන්නට තම ලෙයින් මසින් තැනූ දියණිය අඩු වයසක් යොදා මාරු කතරට යැවූ දෙමාපියන්ටත් , දිළිඳු මිනිසුන්ගේ ජීවන වේදනාව මත සුඛෝපභෝගී ජීවිත ගෙවන මුග්ධ දේශපාලකයන්ටත් අද රිසානා අමතක වී තිබිය හැකිය .
එහෙත් ඈ මගේ දියණිය මෙන් . ඈ මගේ සොයුරිය මෙන් මගේ හදවත පතුලේ රිදුම් දෙමින් මා මියයන තුරුම සිටිනු ඇත . අදටත් මේ රටේ මිනිසුන්ට කිසි විටෙකත් අවශ්‍ය නැති කුණු කන්දල් අලෙවි කරණ මාධ්‍ය පිළිබඳව මට පිළිකුලක් තිබේ ,
කාලකන්නි දේශපාලකයන්ට කඩේ යනවා වෙනුවට , රටක ජනතාවගේ ආකල්ප සංවර්ධනය කරන්නට රුපවාහිනිය වැනි මාධ්‍යයක් යොදා ගත හැකි ආකාරය පිළිබඳව පුර්වාදර්ශයක් සපයන්නට අපට හැකි විය .
එවැනි මාධ්‍ය සිහිනයක් අවසන් හුස්ම දක්වාම මා තුල තැන්පත්කළ දැරිය අද වැනි දවසක ගෙළ කපා මරා දැමූ , ඒ බියපත් දෑසේ හිමිකාරියයි ,
රිසානා වැනි තවත් දස දහස් ගණනක් අදත් වැලි කතරේ දුක් විඳියි .
ඔබ ඔබෙන් ප්‍රශ්ණ කරමි
රිසානා මුහුණ දුන් අවාසනාවන්ත ඉරණම ඔබේ සහජාත දියණියට අත් වුවහොත් ඔබ කුමක් කරන්නේද ?
එහෙත් රිසානා ඔබේ දියණිය නොවේ ,
එහෙයින් ඇගේ මරණය ඔබට ඉවසා දරා ගත හැකිය ,
අප සැබවින්ම මිනිසුන්ද ?
නාරද විජයසූරිය"
රිසානා නෆීක්ව මරා දමනු ලැබීම අත්වැරදීමක ප්‍රතිඵලයක් බව හෝ එක් හුදෙකලා සිදුවීමක් බව යමෙකුට කියන්නට පුළුවන. ඉහත සටහන සමඟම කියවිය යුතුයයි මා සිතන නදීර විජේසිංහගේ පහත බ්ලොග් සටහනේ විස්තර කෙරෙන සිදුවීමනම් කෙසේවත් අත්වැරදීමක් නොවේ.
සාධාරණත්වය උදෙසා අරගලය
Labels:
ආකල්ප,
නීතිය,
මරණය,
මානව හිමිකම්,
මැද පෙරදිග,
ශ්‍රමික ප්‍රේෂණ,
ළමා හිමිකම්
Sunday, August 5, 2018
ලංකාවේ වහල්ලු
යුරෝපීයයන් පැමිණෙන්නට පෙර ලංකාවේ වූ නීතිය පිළිබඳ හොඳම මූලාශ්‍රයක් සේ නීති නිඝණ්ඩුව සැලකිය හැකිය. එහි පළමු පරිච්ඡේදයේ දෙවන කාණ්ඩයේ නඩු විනිශ්චය කිරීමට පෙර දැනගත යුතු මූලික කරුණු සඳහන්ව තිබේ.
මෙහිදී පළමුව කෙරෙන්නේ "අය" හා "දෙය" නම් වූ අර්ථදැක්වීම් දෙකක් ඉදිරිපත් කිරීමයි. මෙහි "අය" යන්නට සියලු මිනිසුන් ඇතුළත්ය වන අතර "දෙය" යනු ඒ මිනිසුන් සතු සියලු චංචල හා නිශ්චල දේපොලයි.
"අය" හෙවත් මනුෂ්‍යයෝ වර්ග දෙකකි. ඒ "දහසුන්" හා "නිදහසුන්ය". නිදහසුන්ට තමන් කැමති තැනකට ගොස් රැකියාවක් කර ජීවත් විය හැකි වුවත් දහසුන්ට එසේ කළ නොහැකි විය. ඔවුහු ඔවුන්ගේ ස්වාමීන් සතු දේපොලක් සේ සැලකුණෝය.
නිදහසුන් වුවද සියලු මිනිසුන් සමාන වුණේ නැත. කුලය අනුව ඔවුහු නීතිය ඉදිරියේ වෙනස් ලෙස සැලකුණෝය. එයට අමතරව ගිහි හා පැවිදි සේද වෙනසක්ද තිබුණේය. මෑතකදී රටට පැමිණ පදිංචි වූ සංක්‍රමණිකයින්ද ඇතුළු නිදහසුන්ගේ කුල හා අදාළ අමතර අර්ථදැක්වීම් රාශියක් ඉන් පසුව ඇතත් මෙහිදී අපේ සාකච්ඡාව දහසුන් ගැන නිසා අපි ඒ වෙත අවධානය යොමු කරමු.
අන්තෝජාත, ධනක්කීත, කරමරානිත, සාමංදාස ව්‍යොපගත යනුවෙන් දාසයෝ වර්ග හතරකි.
අන්තෝජාත- කිසියම් නිවසක දාසයන් සේ පරම්පරාවෙන් පැවතෙන අයයි. නීති නිඝණ්ඩුවට අනුව මේ දහසුන්ගේ ආරම්භය සේ සැලකෙන්නේ විජය ඇතුළු හත් සියයක් පිරිසට විවාහ කරගැනීම පිණිස දඹදිවින් එවූ ස්ත්‍රීන් හත්සියය සමඟ එවූ රන් රිදී ඇතුළු දායාද වලටම අයත් වූ දාසියන් හා දාසයින්ය.
ධනක්කීත- අයිති ස්වාමියාගෙන් හෝ මවුපියන්ගෙන් මිල දී ගත් අයයි. මේ අනුව පෙනෙන්නේ දාසයින් පරම්පරාවෙන් උරුම වනවාට අමතරව ඔවුන්ව මුදල් ගෙවා මිල දී ගත හැකි සක්‍රිය වෙළඳපොළක්ද කාලයක් තිස්සේ ලංකාවේ තිබී ඇති බවයි.
කරමරානිත- මේ වර්ගයේ දාසයින්ද කොටස් තුනකි. වෙනත් රටකින් සොරකම් කරගෙන ආ අය, යුද්ධයකදී බලහත්කාරයෙන් පැහැරගෙන ආ අය හා කුලයට නොගැලපෙන හැසිරීම් හේතුවෙන් කුලයෙන් පන්නා දමනු ලැබ රජුගේ වහලුන් වූ කාන්තාවන් වශයෙනි.
සාමංදාස ව්‍යොපගත-මේ කාණ්ඩයට අයත් වන අය තමා විසින් ස්ව-කැමැත්තෙන්ම දාස බවට පැමිණි අයයි. රැකියාවක් නැති කම නිසාද, ආරක්ෂාව පිණිසද, තමන් විසින් කළ හොරකමකට හෝ අලාභහානියකට වන්දි ගෙවිය නොහැකි නිසාද, ගත් ණයක් ආපසු ගෙවීමට නොහැකි නිසාද යන හේතු හතර මත මෙහිදී නිදහසුන් ස්ව-කැමැත්තෙන්ම දහසුන් වී තිබේ.
ඉහත හතරවන කාණ්ඩය දෙස බැලූ විට පෙනෙන්නේ මේ තත්ත්වය අද අර්ථයෙන් ගත්තොත් තමන්ගේ කැමැත්තෙන්ම ශ්‍රමය විකිණීමක් මිස වහල්කමක් නොවන බවයි. ලංකාවේ මෙයද සැලකුණේ දාස භාවයට පත් වීමක් වශයෙනි. පසුකාලීනව සිංහලයින් කුලී ශ්‍රමිකයින් සේ සේවය කරන්නට අකැමැති වීමට හේතුව වූයේද එසේ කළ පසු තමන් තවදුරටත් නිදහසෙකු නොවන බවට වූ අදහසයි.
සාමංදාස ව්‍යොපගත වර්ගයේ දාසයෙකුගෙන් පැවත එන්නෝ දාසයෝ නොවෙති. පරම්පරා කිහිපයක්ම එකම ස්වාමියෙකු යටතේ සේවය කළද එහි වෙනසක් නොවේ. එමෙන්ම ගෙවිය යුතු ණයක් හෝ වන්දියක් වෙනත් අයෙකු විසින් පියවීමෙන් පසුව හෝ ඒ වෙනුවෙන් අවශ්‍ය පමණ කාලයක් සේවය කිරීමෙන් පසු එවැන්නෙකුට නිදහසෙකු විය හැකිය. ණයක් ගෙවීම පිණිස දෙමවුපියන් විසින් දරුවෙකු වහල් කමට දුන් විට ණය අවසන්ව නොතිබුණත් ලොකුමහත් වීමෙන් පසුව දරුවාට නිදහසෙකු වීමට බාධාවක් නැත.
ධනක්කීත ක්‍රමයට දාසයෙකු අයිති කර ගත හැක්කේ මුල් අයිතිකරුට නිරවුල් අයිතියක් ඇත්නම් පමණි. අයිතිය පිළිබඳ ව්‍යාකූල භාවයක් ඇත්නම් මුදල් ගෙවූ පමණින් දාසයෙකු හිමි නොවේ. දරුවෙකු දාසයෙකු සේ විකිණීමට මවු පිය දෙදෙනාගේම කැමැත්ත අවශ්‍ය වේ. එක් අයෙක් හෝ විරුද්ධනම් දරුවෙකු විකිණිය නොහැකිය. මව හෝ පියා මිය ගොස් සිටියද මිය ගිය පාර්ශ්වයේ ඥාතීන් දරුවාට රැකවරණය සැපයීමට කැමතිනම් ඔවුන්ගේ කැමැත්තට විරුද්ධව දරුවා විකිණිය නොහැකිය.
දරුවෙකුට කිසියම් හෝ රැකියාවක් කර තමන්ගේ අවශ්‍යතා සපුරා ගත හැකිනම් මවුපියන් විසින් විකුණනු ලැබීමට විරුද්ධ වී ස්වාධීනව ජීවත් විය හැකිය. එමෙන්ම, දරුවෙකු වෙනත් අයෙකුට විකුණන්නේනම් ඒ මොහොතේ දරුවා දෙමවුපියන් සමඟ සිටිය යුතුය. දෙමවුපියන් විසින් විකුණා දැමූ බව පවසා වෙනත් තැනක සිටින දරුවෙකු අල්ලා ගත නොහැකිය.
දහසියකගේ කුසේ ඉපදෙන දරුවෙකු එම දහසිය අයිතිකරුගේ දේපොළකි. එහෙත්, නිදහසියකගේ කුසෙහි දාසයෙකුට ජාතකව උපදින දරුවෙකු දාසයෙකු නොවේ. වෙනත් අයුරකින් කිවහොත් දරුවෙකු උපතින් දහසෙකු හෝ නිදහසෙකු වන්නේ මව අනුව මිස පියා අනුව නොවේ.
දහසෙකුගේ අයිතිකරුට තමන්ගේ දාසයාව ත්‍යාග කරන්නට, විකුණන්නට හෝ නිදහස් කරන්නට පුළුවන. එහෙත්, දහසයාගේ කුලයට වඩා අඩු කුලයක අයෙකුට එසේ ත්‍යාග කරන්නට හෝ විකුණන්නට නොහැකිය. අඩු කුලයක අයෙකුට අකැමැත්තෙන් විවාහ කර දෙන්නටද නොහැකිය. දහසියකගේ අයිතිය පැවරීමෙන් පසුව ඇයගේ කුසේ උපන් දරුවන්ගේ අයිතිය පමණක් අලුත් අයිතිකරුට හිමි වේ.
ලංකාවට ඉංග්‍රීසින් මුලින්ම පැමිණි කාලය වහල් වෙළඳාම ලෝකය පුරා ව්‍යාප්තව තිබූ කාලයකි. මේ වහල් වෙළඳාමේ කේන්ද්‍රයක් වූයේ ඔටෝමන් අධිරාජ්‍යයේ කොටසක් වූ වත්මන් යේමනයේ අල්-මුඛා වරායයි. මෙහි වැඩිපුරම අළෙවි වී තිබෙන්නේ අප්‍රිකානු සම්භවයක් ඇති වහලුන් වුවත් මුස්ලිම් වෙළෙඳුන් විසින් ඒ කාලයේ ලංකාවේ ළමුන්ද රැගෙන ගොස් වහලුන් සේ විකුණා ඇති බව ඒ කාලයේ ඇතැම් වාර්තා අනුව පෙනේ.
බ්‍රිතාන්‍යය විසින් 1807 මාර්තුවේදී එහි වැසියන්ට වහල් වෙළඳාම තහනම් කළේය. මුලින්ම අප්‍රිකානු වහලුන් හා අදාළව පමණක් පැනවුණු මේ තහනම 1811 මැයි මාසයේදී සියලු වහලුන් හා අදාළව දිගු වූ අතර 1812 ජනවාරි 1 දින සිට ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනය තිබුණු ප්‍රදේශ වලද මේ නීතිය බලාත්මක විය. ඉන් පසුව, 1813 දී කොළඹ අද්මිරාල් උසාවියේ විභාග වූ නඩුවක වාර්තා අනුව පෙනෙන පරිදි, එම වසරේදී සිංහල ළමුන් 15 දෙනෙකු වහලුන් සේ අරාබියට විකිණීම සම්බන්ධව බ්‍රිතාන්‍ය යටත් වැසියන් තිදෙනෙකුට හා විදේශිකයින් තිදෙනෙකුට චෝදනා ඉදිරිපත් වී තිබේ.
මේ විදේශිකයින් තිදෙනා අතරින් පළමුවැන්නා අල්-මුඛා සිට පැමිණි ජොහාන් බානි නම් වූ අරාබි නැවක නිලධාරියෙකු වූ අහමඩ් කාසිම් නමැත්තෙකි. අනෙත් දෙදෙනා මලක්කාවෙන් පැමිණි මැලේ මුස්ලිම් පූජකයෙකු හා දකුණු ඉන්දියානු (මලබාර්) හමුදා සාමාජිකයෙකි. යටත් විජිත වැසියන් තිදෙනා වන්නේ ගාල්ලේ මුස්ලිම් වෙළෙඳුන් දෙදෙනෙකු හා බර්ගර් ජාතිකයෙකි. 1813 ජනවාරිදී ජොහාන් බානි නැව ගාලු වරායට එන විට ඒ ප්‍රදේශයේ විශාල ආහාර හිඟයක් තිබී ඇති අතර කෑම වේලක් වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට සූදානම්ව සිටි දරුවන්ගෙන් අඩුවක් තිබී නැත. එවැනි ළමුන් 15 දෙනෙකු නැවට දක්කාගෙන පැමිණ තිබෙන්නේ බත්ගමගේ සයිමන් නම් වූ අයෙකි.
බ්‍රිතාන්‍ය රජය පෙර කී අවස්ථාවේදී වහල් වෙළඳාම තහනම් කළත් වහලුන් ළඟ තබා ගැනීම තහනම් කළේ නැත. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ලාංකිකයින්ගේ විරෝධතා මැද එය සිදු වුණේ ඉන් පසු වසරකදීය. 1844 අප්‍රේල් 30 දින ප්‍රකාශයට පත් කර ඇති එංගලන්ත සභාවේ ප්‍රකාශනයක සටහන්ව ඇති පරිදි, (The Church of England Magazine No. 461) 1835 වසරේ සිදු කර ඇති ජන සංගණනයකදී පිරිමි 14,108 ක් හා ගැහැණු 13,289 ක් ලෙස වහලුන් 27,397ක් ගණන් ගැනී ඇත.
මෙසේ පසුව ඉංග්‍රීසින් විසින් ලංකාවේ වහල් වෙළඳාම මෙන්ම වහළුන් ළඟ තබා ගැනීමද තහනම් කළත් එය බලපෑවේ අන්තෝජාත, ධනක්කීත හා කරමරානිත යන කාණ්ඩ වලට අයත් වන වහලුන්ට පමණි. ඉංග්‍රීසි නීතිය යටතේ වුවද යමෙක් ස්ව-කැමැත්තෙන් සාමංදාස ව්‍යොපගත වහලෙක් වීම වැළැක්වීමට හැකි කමක් තිබුණේ නැත.
(Historical information: http://www.houghton.hk/?p=161)
Labels:
ඉතිහාසය,
නීතිය,
බ්‍රිතාන්‍ය පාලනය,
මානව හිමිකම්,
ළමා හිමිකම්
Sunday, December 10, 2017
හිරගෙදර සියල්ලේ අවසානයද? (පළමු කොටස)
දින දෙකකට පෙර (දෙසැම්බර් 7 දින) කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිදු වූ විවාහයක් ගොසිප් ලංකා වෙබ් අඩවිය වාර්තා කර තිබුණේය. මේ විවාහය මෙසේ වාර්තා කරන්නට හේතු වී තිබුණේ විවාහය සඳහා පසුබිම්ව තිබුණු සුවිශේෂී හේතුවයි. වාර්තාව අනුව මේ විවාහයේ මනාලිය ස්විටි ෂෙලින් ෂමිලා බක් නම් වූ බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ක්‍රියාකාරී සාමාජිකාවකි. මනාලයා වසර 37 1/2ක සිර දඬුවමක් විඳිමින් සිටින තැනැත්තෙකි. මේ ගැන ගොසිප් ලංකා පිටුවේ පළ වී ඇති අමතර විස්තර මෙසේය.
"රටේ සියලූම බන්ධනාගාරවල රැඳවියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ඇය මැගසින් බන්ධනාගාරයේ රැඳවියකු වන සෙනරත් බන්දුල වෙනුවෙන් පෙනී සිටි අවස්ථාවක බන්ධනාගාරයේ ඉහළ නිලධාරියකු ඇයට පවසා ඇත්තේ ඔහු වෙනුවෙන් පෙනී සිටින්නව ඇයට හේතුවක් නැති බවකි. බිරිඳ වූයේ නම් ඔහු වෙනුවෙන් පෙනී සිටින්නට හැකි යැයි ඔහු පවසා ඇත්තේ ෂමිලා අපහසුවට පත් කරන්නටය. එම අභියෝගය භාර ගත් ෂමිලා අවිවාහකයකු වන බන්දුල සමඟ විවාහ වෙන්නට තීරණය කළාය. ඒ අනුව බන්ධනාගාර අධිකාරීගෙන් ද, තවත් නිලධාරින් බොහෝ දෙනකුගෙන්ද ඇය ඔහු හා විවාහ වන්නට අවසර ඉල්ලා සිටියාය. නමුත් එවැනි අවස්ථාවක් ලැබුණේ නැත. වසර තුනක් තිස්සේ මේ වෙනුවෙන් ඇවිද ගිය ඇය අවසානයේදී බන්ධනාගාර ඇමැති ඩී. එබ්. ස්වාමිනාදන් මහතා හමුවන්නට ගියාය. අමාත්‍යවරයා සහ ඔහුගේ නිලධාරින්ගෙන් ද සහාය ලැබිණි. මෙම විවාහයට අවශ්‍ය සියලූ පහසුකම් සලස්වන ලෙස නියෝග කරමින් අමාත්‍යංශයෙන් ලිපියක් ද නිකුත් කෙරිණි. මංගල්‍යයට දින නියම වුයේ ඒ අනුවය."
මේ සිද්ධිය පසුබිමෙහි මා නොදන්නා බොහෝ දේ තිබිය හැකි වුවත් මේ කාන්තාව විසින් බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කලක් තිස්සේ අනවරත අරගලයක නිරත වෙමින් සිටින බව පෙනෙන්නට තිබේ. ඇතැම් ප්‍රතිචාරකරුවන් විසින් සැක පළ කරන පරිදි ඇගේ මේ සමාජ ක්‍රියාකාරිත්වය වෙනුවෙන් බටහිර රටකින් ඩොලර් නොලැබෙන බව මට සහතික කළ නොහැකි වුවත්, එසේ ලැබුණද ඒ හේතුව නිසා ලංකාවේ බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් යමෙක් කරන අරගලයක වටිනාකම හෑල්ලු වෙන්නේ නැත.
ලංකාවේ බන්ධාගාර රැඳවියන්ගේ තත්ත්වය ඉතාම ශෝචනීය බව අමුතුවෙන් කිව යුතු දෙයක් නොවේ. පහතින් ඇත්තේ ඒ ගැන විස්තර කරමින් අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියා තිබුණු ලිපියක කොටසකි.
"ලංකාවේ සිරගෙවල්වල සාමාන්‍යයෙන් ඇඳන් නැත. මදුරු දැල් නැත. මා සිතන පරිදි මදුරු කොයිල් පවා තහනම් ය. විදුලි පංකා නැත. සාමාන්‍ය වාට්ටුවල නම් විවිධ රෝගාබාධ ඇති, අපිරිසිදු, කුඩුකාර, කොලුකාර, ඒඩ්ස්කාර, මදාවි, පිස්සු ආදී විවිධාකාර ඩයල් සමග එකට වැටී සිටිය යුතු ය. දළයන්ගේ හෙවත් බලවත් හිරකාරයන්ගේ උදහසට ලක් වුණොත් නිදාගන්නට සිදු වන්නේ ඩස්බින් එක හෝ කක්කුස්සිය හෝ ළඟ ය.
සෙල් හෙවත් සිරමැදිරි තුළ එක්කෝ තනිව, නැතිනම් තුන්දෙනෙකු හෝ ඊට වැඩි ගණනක් සමග රැය පහන් වන තුරු සිටිය යුතු ය. සෙල් එකට දමා වැසූ පසු පසුදා පහන් වන තෙක් මුත්‍රා, මළපහ කළ යුතු වන්නේ ඒ සඳහා දෙන බාල්දියකට ය. එය කුටිය තුළ ම තබා ගත යුතු ය. මේ කුටිවල බොහෝ විට වාතාශ්‍රය දුර්වල ය. සාමාන්‍යයෙන් සියලු සිරගෙවල් අධික ලෙස තදබද ය."
ලෝකයේ කවර රටක වුවත් හිර ගෙදරක ජීවිතය සුන්දර නැත. එහෙත්, ලංකාවේ තත්ත්වයට සාපේක්ෂව බටහිර රටවල බන්ධාගාර රැඳවියන්ගේ තත්ත්වය සෑහෙන තරම් යහපත් බව කිව යුතුය. එය දවසකින් දෙකකින් ඇති වූ තත්ත්වයක් නොවේ. විශාල කාලයක් තිස්සේ ෂමිලා බක් වැනි සමාජ ක්‍රියාකාරිකයන්ගේ අරගල ආදිය හරහා ඇති වූ තත්ත්වයකි.
කිසියම් රටක නිදහස් පුරවැසියන්ට අවශ්‍ය මූලික අවශ්‍යතා සැපිරෙන පසුබිමක් නොතිබියදී, සිරකරුවන්ගේ තත්ත්වය පමණක් යහපත් වන්නට ඉඩක් නැත. ලෝකයේ බොහෝ රටවල සමාජ ධුරාවලියේ පහළින්ම ජීවත් වන නිදහස් මිනිසුන්ගේ ජීවන තත්ත්වයද අජිත් පැරකුම් ජයසිංහ විසින් ඉහත විස්තර කර ඇති තත්ත්වයට කිසියම් අයුරකින් සමානය. ඇඳන්, මදුරු කොයිල්, මදුරු දැල් නැතිව නිදන නිදහස් මිනිසුන් ලංකාවේ වුවත් දුලබ නැත. මෙසේ ලියන්නේ සිරකරුවන් මුහුණ දෙන තත්ත්වය සාමාන්‍යීකරණය කිරීමට දරන උත්සාහයක් ලෙස නොවේ.
කිසියම් රටක සිරකරුවන් වෙනුවෙන් ප්‍රමාණවත් පහසුකම් සලකන්නට හැකි වන්නේ ඒ පහසුකම් වල පිරිවැය දරන මිනිසුන්ට ඒ සඳහා ආර්ථික ශක්තියක් ඇති තරමටය. ඒ නිසා, බටහිර රටක හිර ගෙදරක ඇති පහසුකම් ලංකාවේ සිරකරුවෙකුට සැපයීම ඕනෑවට වඩා ලොකු ඉලක්කයකි. කෙසේවුවද, හිරකරුවන්ට හිරගෙදර අපායක් වීමට එකම හේතුව භෞතික පහසුකම් අඩුකම පමණක් නොවේ. ෂමිලා බක්ගේ පහත ප්‍රකාශයෙන් පිළිබිඹු වන්නේ මේ තත්ත්වයයි.
"ඉස්සරහ බෝඩ් එකක් තියෙනවා “සිරකරුවෝ ද මනුෂ්‍යයෝය’ කියලා. ඒකට යටින් ගහන්න ඕන ‘නිලධාරින් අමනුෂ්‍යයෝය’ කියලා."
ඉහත තත්ත්වය වෙනස් කිරීමටනම් පිරිවැය ඉහළ නැංවිය යුතු නැත. අවශ්‍ය වන්නේ ආකල්පමය වෙනසක් පමණි.
බොහෝ විට හිරගෙදරට යන්නේ එසේ යා යුතු අය වුවත් එසේ නොවන අවස්ථාද තිබේ. නිවැරදිකරුවන් හිර ගෙදරට යාම ඉඳහිට වුවත් සිදුවන දෙයකි. "දේශපාලන සිරකරුවන්" යන යෙදුම මතභේදකාරී එකක් වුවත් දේශපාලනය නිසා ඇතැම් අයට හිර ගෙදරට යන්නට සිදුවන බවද රහසක් නොවේ. චෝදනා ගොනු නොකර රඳවාගෙන සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ඊයේ දිනයේද උද්ඝෝෂණයක් කර තිබුණේය.
සාමාන්‍යයෙන් කිසියම් පිරිසකගේ හෝ අනුකම්පාව ලබා ගන්නා විවිධ හේතූන් මත දඬුවම් ලබන නිවැරදිකරුවන් හා දේශපාලන සිරකරුවන් පමණක් නොව කිසිවෙකුට අනුමත කළ නොහැකි සම්මත අපරාධ කර හිර ගෙදරට යන අය පවා බොහෝ විට කිසියම් ආකාරයක වින්දිතයෝය. සමාජයට වැඩදායක පුද්ගලයෙකු එක් නිමේෂයකින් දරුණු අපරාධකරුවෙකු විය හැකිය.
අපරාධකරුවෙකුට දඬුවමක් ලෙස සිරගත කර තැබීමේ අරමුණු කුමක් වුවත්, කවර අයුරකින් හෝ එවැන්නෙකු නැවත පුනරුත්ථාපනය කර සමාජයට වැඩදායක පුරවැසියෙකු බවට පත් කළ හැකිනම් එය හැම අතින්ම සාධනීය දෙයකි. විවිධ හේතු මත සමාජයට වැඩදායක මිනිසුන් දරුණු අපරාධකරුවන් වනවාක් මෙන්ම, නිසි මාර්ගෝපදේශනයක් ලැබීම නිසා දරුණු අපරාධකරුවන් සමාජයට වැඩදායක පුද්ගලයින් වී ඇති අවස්ථාද ඕනෑ තරම් තිබේ. මේ සඳහා අප බොහෝ දෙනෙකු දන්නා අංගුලිමාල චරිතය හොඳම උදාහරණයකි.
මේ දිගු පූර්විකාව ලිවුවේ නිවුයෝර්ක් සරසවියේ ආචාර්ය උපාධිය හදාරන සිසුවියක වන මිෂෙල් ජෝන්ස් ගැන ලියන්නටය. මිෂෙල් පසුගිය අගෝස්තුවේදී ආචාර්ය උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා නිවුයෝර්ක් සරසවියට පැමිණියේ තමන්ගේම සිවු හැවිරිදි දරුවාගේ මිනීමැරුමට වරදකාරිය වී පනස් අවුරුදු සිර දඬුවමක් ලබා, එම දඬුවම් කාලයෙන් වසර විස්සකට අධික කාලයක් සිරගෙදර ගත කර නිදහස ලැබීමෙන් දිනකට පසුවය. ඇගේ කතාව ඇමරිකානු සමාජයේ විවිධ පැතිකඩ කෙරෙහි ආලෝකය හෙළන්නකි. ඇමරිකාව වැනි රටක පවා බාලවයස්කරුවන් මුහුණ දෙන අවදානම් පිළිබඳව අවධානය යොමු කරවන්නකි.
දෙමවුපියන්ගෙන් දරුවකුට ලැබිය යුතු මාර්ගෝපදේශනය වෙනුවට කුඩා කළ සිටම ගෘහස්ථ හිංසනයේ ගොදුරක් වන මිෂෙල් එන්ග්‍රන් ජෝන්ස් බාලවයස්කාර දැරියකව සිටියදීම ආදරය සොයා කෙවින් සිම්ස් වෙත ලං වෙයි. කෙවින් සිම්ස්ද ඒ වන විට ඉහළ පංතියක පාසැල් සිසුවෙකි. මේ ආදරය දුරදිග ගොස් මිෂෙල් ගැබ් ගන්නා විට ඇගේ වයස යන්තම් අවුරුදු 14ක් වූවා පමණි. මිෂෙල්ට අනුව මේ ගැබ් ගැනීමට හේතු වූ ලිංගික එක්වීම සිදුවන්නේ ඇගේ අනුමැතියෙන් තොරවය.
ගැබ් ගැනීමෙන් පසුව මිෂෙල්ට සිදුවන්නේ වැඩිහිටියන්ගේ තාඩන පීඩන වලට තවත් වැඩියෙන් ලක් වන්නටය. සිය දියණිය ගැබ් ගෙන සිටින බව දැනගන්නා මිෂෙල්ගේ මව ලී පුවරුවකින් ඇගේ උදරයට පහර දෙයි. මෙසේ ගැබිණියක ලෙසද තාඩන පීඩන වලට ලක්වන මිෂෙල් 1987 නොවැම්බර් 11 දින බ්‍රෙන්ඩන් ලෙස පසුව නම් කරන පිරිමි දරුවා වදන විට ඇගේ වයස යාන්තම් අවුරුදු 15කි. මේ දරුවා වර්ධනය අසාමාන්‍ය වීමේ නිදන්ගත ආබාධයකින්ද පෙළෙන අයෙකි.
කෙවින් සිම්ස් දරුවාගේ පීතෘත්වය පිළිගන්නා අතර දරුවාගේ භාරකාරත්වය මිෂෙල්ට හිමි වෙද්දී, කෙවින්ට දරුවා බලන්නට පැමිණීමේ අයිතිය ලැබේ. ඒ අනුව, මිෂෙල් දරුවාද සමඟ ඇගේ දෙමවුපියන් වෙත යයි. එහෙත්, කුඩා බ්‍රෙන්ඩන්ට තබා මවක් වුවත් තවමත් බාලවයස්කාර දැරියක වන මිෂෙල්ට ජීවත් වීමට සුදුසු වාතාවරණයක් ඒ නිවසේ නැත.
බ්‍රෙන්ඩන්ට වයස මාස හතක් වෙද්දී, ඉන්දියානාපොලිස්හි ළමා කාර්යාංශය විසින් තවදුරටත් බාලවයස්කාර දැරියක වන මිෂෙල්ගේ භාරකාරත්වය පවරා ගනිමින් ඇයව නිවසින් ඉවත් කර ගනී. ඒ සමඟ, බ්‍රෙන්ඩන්ගේ භාරකාරත්වය ඔහුගේ පියා වූ කෙවින්ට හිමිවන අතර කෙවින් හා ඔහුගේ මව දරුවාට රැකවරණය සලසන්නට පටන් ගනී.
බ්‍රෙන්ඩන්ට වයස අවුරුදු තුනක් වෙද්දී, ඒ වන විට තවදුරටත් බාලවයස්කාරියක නොවන මිෂෙල්ට නැවතත් බ්‍රෙන්ඩන්ගේ භාරකාරත්වය හිමි වේ. 1992 මැයි මාසයේදී මහල් නිවාසයක ඒකකයක් (එපාර්ට්මන්ට් එකක්) බද්දට ගන්නා මිෂෙල් බ්‍රෙන්ඩන් සමඟ එහි පදිංචියට යයි. 1992 ජූලි මාසයේ දිනක මිෂෙල් ඇගේ මිතුරියක වන ඩෙබෝරා සමඟ සති අන්ත නාට්‍ය වැඩමුළුවකට සහභාගී වීම සඳහා ඩිට්‍රොයිට් බලා පිටත් වෙයි. මෙය සැතපුම් 300ක පමණ දුරක පිහිටි නගරයකි.
ඩෙබෝරා විසින් විමසූ විට මිෂෙල් පවසන්නේ බ්‍රෙන්ඩන් බලා ගැනීම වෘත්තියක් ලෙස දරුවන් බලා ගන්නා අයෙකුට (බේබිසිටර් කෙනෙකුට) පැවරූ බවයි. මේ ගමන නිමවා ආපසු පැමිණීමෙන් පසු මිෂෙල්ගේ යෙහෙළියන්ට හා අසල්වැසියන්ට බ්‍රෙන්ඩන්ව දකින්නට නැති බව පෙනේ. දරුවා ගැන විමසන ඔවුන්ට පිළිතුරු දෙමින් මිෂෙල් පවසන්නේ දරුවා ඔහුගේ පියා සමඟ සිටින බව හෝ එසේ නැත්නම් පියාගේ මව සමඟ සිටින බවයි.
මේ අතර, මිෂෙල් විසින් වරින් වර ඇගේ මෝටර් රථයේ පිටත හා ඇතුළත නැවත නැවත සෝදන බව මිෂෙල්ගේ ඉහළ මාලයේ ජීවත් වන පදිංචිකරු නිරීක්ෂණය කරයි. මේ අතරවාරයේ දිනක මහල් නිවාස සංකීර්ණයේ කළමණාකරුට හදිසියෙන්ම දකින්නට ලැබෙන්නේ මිෂෙල්ගේ ඒකකයේ කාමරයක ඉදිරි ජනේලයේ මැස්සන් සිය ගණනක් වසා සිටින බවයි. ඒ අනුව, නිවසට ඇතුළු වී පරීක්ෂා කරන ඇයට සැර දුර්ගන්ධයක් ආඝානය වේ. බ්‍රෙන්ඩන් විසින් මෙට්ටයේ මුත්‍රා කර ඇති බව පවසන මිෂෙල් එය පිරිසිදු කර දෙන්නට පොරොන්දු වෙයි. වසර අවසානයේදී මහල් නිවාසයෙන් ඉවත්වන මිෂෙල් ඇගේ තවත් යෙහෙළියක වන මහාලියා සමඟ පදිංචියට යයි.
මේ අතරවාරයේ බ්‍රෙන්ඩන් බලන්නට එන්නට වෙලාවක් වෙන් කර ගැනීම පිණිස කෙවින් හා ඔහුගේ මව දිගින් දිගටම උත්සාහ කරන නමුත් මිෂෙල් ඔවුන්ගේ දුරකථන ඇමතුම් වලට පිළිතුරු නොදෙමින් මඟ හරී. මේ ගැන සැක සිතන කෙවින්ගේ මව මහාලියාගෙන් මේ ගැන විමසයි. එහි ප්‍රතිඵලයක් ලෙස මහාලියා මිෂෙල්ව දිගින් දිගටම ප්‍රශ්න කරයි. තමන් ඩිට්‍රොයිට් ගොස් පැමිණෙන විට බ්‍රෙන්ඩන් මිය ගොස් සිටි බවත්, ඔහුගේ සිරුර පොරෝණයක දවටා සිය මෝටර් රථයෙන් ගෙන ගොස් කැලෑවට දැමූ බවත් අය මහාලියාට පවසයි. ප්‍රශ්න කිරීම් හමුවේ ඩෙබෝරාටද ඇය මීට සමාන කරුණු පවසයි.
ඩෙබෝරාගේ හා මහාලියාගේ පෙරැත්තය මත මිෂෙල් රැකියාවෙන් නිවාඩු ගෙන මානසික සෞඛ්‍ය මධ්‍යස්ථානයක් වෙත යයි. බ්‍රෙන්ඩන්ව තනිව නිවසේ දමා ඩිට්‍රොයිට් ගොස් ආපසු පැමිණෙන විට දරුවා මියගොස් සිටි බවත්, පසුව මළ සිරුර කැලෑවට ගෙනගොස් දැමූ බවත් ඇය එහිදී පාපොච්ඡාරණය කරයි. පොලීසිය දිගින් දිගටම බ්‍රෙන්ඩන්ගේ මළ සිරුර සෙවුවත් එය හමු නොවේ. මේ සිදුවීම් වෙන්නේ 1994දීය. මානසික සෞඛ්‍ය මධ්‍යස්ථානයෙන් පිටවීමෙන් පසු 1995 සැප්තැම්බර් මාසයේදී නැවත රැකියාවට යන මිෂෙල් නොවැම්බර් මාසයේ දිනෙක ඇගේ මිතුරියක වන ක්ලැරිසාටද පරණ කතාවම කියයි.
"දරුව මැරුණේ උඹ ගහලද?" ක්ලැරිසා අසයි.
"මං හිතන්නේ..." මිෂෙල් පිළිතුරු දෙයි.
මීට අමතරව දරුවාගේ මළ සිරුර දැමූ තැන ගැන තමන් පොලීසියට වැරදි තොරතුරු ලබාදුන් බවද මිෂෙල් ක්ලැරිසාට කියයි.
යමෙක් තමන් අපරාධයක් කළ බව පිළිගැනීම මත පමණක් පුද්ගලයෙකු නීතියෙන් වරදකරුවෙකු කළ නොහැකිය. ඒ සඳහා අපරාධයක් සිදුවී ඇති බව මෙන්ම, අදාළ අපරාධය එම පුද්ගලයා විසින්ම සිදුකර ඇති බවද තහවුරු විය යුතුය. බ්‍රෙන්ඩන්ගේ මළ සිරුර හමු නොවූ නිසා මිෂෙල්ට එරෙහිව චෝදනා ගොනු කිරීම පහසු කටයුත්තක් වුණේ නැත. කෙසේ වුවද, අවසානයේදී ඉන්දියානා රජය මිෂෙල්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට සමත් වූ අතර 1996 ඔක්තෝබර් 22 දින චෝදනා දෙකකට වැරදිකාරිය වූ මිෂෙල් මිනීමැරුම සඳහා වසර පණහක්ද, දරුවාව නොසලකා හැරීම සඳහා වසර තුනක්ද ලෙස එකවර ගෙවී යන දඬුවම් දෙකක් ලබමින් බන්ධනාගාරගත විය.
ඉන්පසුව ඇගේ ජීවිතය ගෙවුණු ආකාරය අපි ඉදිරි කොටසින් කතා කරමු.
Labels:
අධ්‍යාපනය,
ඇමරිකාව,
නීතිය,
ලිංගික අධ්‍යාපනය,
ළමා හිමිකම්
Tuesday, October 24, 2017
විද්‍යා ගැන දන්නා ඔබ හරිශ්නවී ගැන නොදන්නේද?
සිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනය ගැන මාධ්‍ය වල ඕනෑ තරම් කතා වී ඇති නිසා ඒ ගැන අමුතුවෙන් කතා කරන්නට දෙයක් නැත. මෙය ඉතා කණගාටුදායක සිද්ධියකි. විද්‍යා ඝාතකයන්ට මේ වන විට මරණ දඬුවම නියම කර තිබේ.
පසුගිය සෙනසුරාදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විද්‍යා දැරියගේ නිවසට ගොස් ඇගේ ඥාතීන් හමුවී ඇති බවත්, ඇගේ "වැඩිමහල් සොහොයුරියගේ උසස් අධ්‍යාපන කටයුතු මෙන්ම එම පවුලේ ඉදිරි කටයුතු වෙනුවෙන් ලබාදිය හැකි සියලු උපකාර සිදුකරන බවට" පොරොන්දු වී ඇති බවත් වාර්තා වී තිබුණේය. මේ ජනාධිපතිවරයා විද්‍යා දැරියගේ පවුලේ අයව හමුවුණු පළමු අවස්ථාව නොවේ. මීට දෙවසරකට පෙර සිද්ධිය වූ අලුතමද ඔහු උතුරේ ආණ්ඩුකාර නිල නිවසේදී ඒ අයව හමු වී තිබුණේය.
ජනාධිපතිවරයා විද්‍යා දැරියගේ ඥාතීන් හමුවීම වාර්තා කර තිබුණු ගොසිප්ලංකා වෙබ් අඩවියේ එම පුවත පළවීමෙන් පසුව පළව තිබුණු ප්‍රතිචාර කිහිපයක් පහත දැක්වේ.
සියාතු මාමා:
"සේයා සදෙව්මි වගේ දකුණේ මේවගේ අපරාධ වලට ලක්වුන ලමයින්වත් බලන්න ගිහින් උන්ගේ ගෙවල්වලටත් සලකන්න පොරොන්දු වුනාද හිටං?
අඩුම තරමේ තමන්ගේ මලයගේ මල ගෙදරවත්...?
දෙමළ පත්තර, කැළෑ පත්තරවල හරි කමක් නෑ ෆොටෝ එකක් වැටෙනවනම් කුජීතයා එතන!"
ponil:
"විද්‍යා දැරියගේ නිවසට ගොඩ වැදීම ගැන විවේචනය කරන්න තරම් අපි කුහක නෑ, ඒ වුනාට ඔය වගේම දකුණේ විපතට පත්වුවන්වත් බලන්න ගියානම් තමා හොඳ. විශේෂයෙන් කොළොන්නාවේ කුණු කන්ද කඩා වැටිලා පවුල් පිටින් මැරුණා, දකුණේ ගං වතුරෙන් සිය ගානක් මැරුණා ඒවා බලන්න නොගිය ඔබතුමා මේ කරන්නේ නම් දේශපාලන ගේමක් කියල දකුණේ අපිට නම් හොදින් වැටහෙනවා"
kon kala doni:
"දෙමළ ළමයෙක් නිසා උඩ දාගෙන දුවලා ගිහින් උදව් කරන්න පොරොන්දු වෙලා පොටෝ ගහලා රට පුරා ප්‍රසිද්ධ කරනවා. දකුණෙ ගෑණු ළමයි කී දෙනෙක් දූෂනය කරලා මරා දාලා තියෙනවද? ඒ එකම ගෙදරකට වත් මෙයා ගියාද? කුජීතයි අප්‍රසන්නයි මුගෙ හැම වැඩක්ම."
මේ ප්‍රතිචාර කියවන විට එකවරම ඒ ඇතැම් ප්‍රතිචාර වල ඇති ජාතිවාදී ස්වභාවය අවධානයට ලක් වෙන්නට පුළුවන. එහෙත්, ඊට යටින් පෙනෙන අනෙක් කරුණ "සියල්ලන්ම සමාන වුවත් ඇතැම් අය වඩා සමාන වන්නේ කෙසේද?" යන්නයි.
මේ ප්‍රශ්නය ලංකාවේ බොහෝ දෙනෙක්ට තිබෙන ප්‍රශ්නයකි. ප්‍රශ්නයට සිංහල දෙමළ භේදයක් නැත. එහෙත් ප්‍රශ්නයේ පැත්තක දෙමළෙක් සිටින විට බොහෝ සිංහලයින් සිතන්නේ වෙනසට හේතුව එය බවයි. බොහෝ දෙමළුන් සිතන්නේද මේ ආකාරයටමය. "උන්ගේ ළමයින්ට වැඩි සැලකිලි" වැනි සමාජ ආර්ථික තත්ත්වය මත වෙනස් ලෙස සැලකීම ගැන කණස්සල්ල පළ කෙරෙන කතා සිංහල සමාජය තුළ ඇහෙන්නේ මේ "වැඩි සැලකිල්ල" ලැබෙන්නේ සිංහලයෙක්ටම වූ විට පමණි. එසේ නැත්නම් වෙනසට හේතුව ලෙස හඳුනා ගැනෙන්නේ දෙමළෙකු වීමයි. දෙමළ සමාජය පැත්තෙන් ගත්තත් මේ තත්ත්වය මෙසේමය.
විද්‍යා දැරියගේ ඝාතනයෙන් අටමසකට පමණ පසුව සිදුවුණු ගංගාදරන් හරිශ්නවී දැරියගේ ඝාතනය හා අදාළව තමිල්වින් වෙබ් අඩවියේ අද පළ කර ඇති ලිපියකින් පෙනෙන පරිදි උඩින් ඇති මතුපිටින් බැලූ විට ජාතිවාදී ස්වරූපයක් ගන්නා (හා එවැනි ස්වරූපයක් ඇති) ප්‍රතිචාර වලින් මතු කරන අදහස දෙමළ සමාජයටද පොදු අදහසක් බවයි.
මේ වන විට සමාජජාලා හරහා මගේ දෙමළ මිතුරු මිතුරියන් අතර හුවමාරු වෙමින් තිබෙන බව පෙනෙන අදාළ ලිපියේ අසම්පූර්ණ දළ පරිවර්තනයක් පහත පළවේ. මා දෙමළ භාෂාවේ ප්‍රවීණයෙක් නොවන නිසා පරිවර්තනයේ අඩුපාඩු තිබිය හැකිය.
"විද්‍යා ගැන දන්නා ඔබ මැය ගැන නොදන්නේද? සියල්ලන්ටම අමතක වී ඇති කුරිරු ඝාතනයක්...
හරිශ්නවී කියන්නේ වවුනියාව විපුලානන්ද විදුහලේ ඉගෙනුම ලැබූ 14 වියැති දැරියකි. "හරිශ්වනී? ඒ කවුද?" බොහෝ දෙනෙක් අසනු ඇත. ඇතැම් අයට ඇයව අමතකව ගොස් තිබේ. තවත් අය හරිශ්නවී ගැන දන්නේවත් නැත.
අපට දිනපතා බොහෝ දේ අහන්නට දකින්නට ලැබේ. එහෙත්, මේ හැම දෙයක්ම මතකයේ නොරැඳේ. හරිශ්නවී ඝාතනයද මෙසේ බොහෝ දෙනෙකුට අමතකව ගොස් ඇති දෙයකි.
පසුගිය වසරේ ජනවාරි 16 දින [ඉකොනොමැට්ටා: නිවැරදි දිනය පෙබරවාරි 16 විය යුතුය] වවුනියාව උක්කුලන්කුලමේ හතරවන පියවරේ පිහිටි තමන්ගේ නිවසේ තනිව සිටි හරිශ්නවී මියගොස් සිටියේය. ඇය නිවසේ තනිව සිටියදී සේවයට ගිය [ඉකොනොමැට්ටා: විපුලානන්ද විදුහලේම ගුරුවරියක වූ] ඇගේ මව සේවය නිමකර නිවසට පැමිණි විට දකින්නට ලැබුණේ වහලයේ එල්ලී සිටි හරිශ්නවීගේ නිසල දේහයයි.
මේ මරණය සියදිවි නසාගැනීමක් මෙන් පෙනෙන්නට තිබුණත් පසුව පැහැදිලි වූ පරිදි ඇයව දූෂණය කර මරා දැමීමෙන් පසුව සියදිවි නසා ගැනීමක් මෙන් පෙනෙන්නට ඝාතකයින් විසින් මිනිය වහලයේ එල්ලා තිබුණේය. [ඉකොනොමැට්ටා: ඇගේ කලිසම මාරු කර ඇති බවත් එහි බොත්තම් හා සිපරය නිසි ලෙස වසා නැති බවත්, ඇගේ ජංගම දුරකථනය හා මුද්ද අතුරුදහන්ව ඇති බවත් නිරීක්ෂණය වීමෙන් පසු මවට සැක පහළ විය.] මේ සිසුවියගේ ඝාතනය සිදු වූ අළුත ප්‍රදේශවාසීන්ගේ විරෝධතා හා දේශපාලනඥයින්ගේ ප්‍රකාශ අඩුවක් නොතිබුණත් පුදුම සහගත ලෙස දැන් මේ සිදුවීම සියල්ලන්ටම අමතක වී තිබේ.
මේ පිළිබඳ මූලික විමර්ශන සිදු කිරීමෙන් පසුව අසල්වැසි නිවසක පදිංචිකරුවෙකු සැක පිට අත් අඩංගුවට ගැනුණේය. මේ වන විට විමර්ශන ඇරඹී මාස 21ක් ගත වී ඇතත් සිදුවූ දෙයක් පෙනෙන්නට නැත. [ඉකොනොමැට්ටා: මෙහි සැබෑ තත්ත්වය කුමක්දැයි මා ස්ථිරව දන්නේ නැත.]
මේ මිනීමැරුම යාපනයේදී සිදුවුණු මිනීමැරුමකට බොහෝ සමානය. ඒ මිනීමැරුම සිදුවුණේ හරිශ්නවී ඝාතනයට අටමසකට පමණ පෙරය. 2015 මැයි මාසයේදී පුන්කුඩුතිව් සිසුවියක් කුරිරු ලෙස ඝාතනය විය.
මේ සිදුවීම් දෙකෙන් අනතුරුව කටයුතු සිදු වූ ආකාර කෙතරම් වෙනස්ද යන්න ඉතා පැහැදිලිය. විද්‍යා ඝාතනය සිදුවීමේදී මුල සිට අග දක්වා සිදු වුණේ කුමක්ද? ලබාදුන් තීන්දුව කුමක්ද? එහි මහමොළකරුවෝ කවුද? මේවා නොදන්නා කෙනෙක් නැත. නමුත්, හරිශ්නවී ඝාතන සිද්ධියේ විමර්ශන වල ප්‍රගතිය ගැන දන්නා අය කොපමණ සිටීද? මේ සිද්ධිය ගැන විමර්ශනද කඩිනමින් අවසන් වී ඉක්මණින් තීන්දුවක් ලැබෙනවා දකින්නට අපි කැමැත්තෙමු. මේ කුඩා දැරිය සියල්ලන්ටම අමතකව ඇති බව පෙනීම කණගාටුවට කරුණකි.
මේ හා අදාළව මුලදී පෙනෙන්නට තිබුණු උනන්දුව දැන් නැත. එහෙත්, වින්දිතයින්ට සාධාරණය ඉටු කරගැනීම සඳහා ජීවිත කාලයක් බලා සිටිය නොහැකිය.
මේ විමර්ශන වල වත්මන් තත්ත්වය ගැන අපි විමසීමක් කළෙමු. මේ ලිපිය ලියන්නට අප පෙළඹුණේ විමර්ශන වල ප්‍රගතිය පිළිබඳව අපට සෑහීමකට පත් විය නොහැකි බැවිනි. දෙමසකට පෙර මේ නඩුව උසාවියේදී විභාගයට ගැනුණු අතර උසාවියේ නිගමනය වූයේ සැකකරුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි. විමර්ශන මෙහෙයවන පොලිස් නිලධාරීන්ගෙන් විමසූ විට ප්‍රකාශ කර සිටින්නේ අත් අඩංගුවේ සිටින සැකකරු ඝාතකයා වීමට 99%ක්ම ඉඩ ඇති බව පෙනෙන නමුත් එය තහවුරු කළ හැකි තරමේ සාක්ෂි නොමැති බවයි. සාක්ෂි එකතු කර චෝදනා ගොනු කිරීමට තවත් මාස හතරක් පමණ ගත විය හැකි බවද පැවසුනේය.
ලංකාවේ අධිකරණ අමාත්‍ය ධුරය දරන්නේ කාන්තාවකි. ඇයට මවකගේ දුක නොතේරේද? මාධ්‍ය වලින් පෙනෙන පරිදිනම් ජනාධිපතිවරයා දරුවන් ගැන ලොකු සැලකිල්ලක් දක්වන අයෙකි."
ගොසිප්ලංකා වෙබ් අඩවියේ පාඨක ප්‍රතිචාර වල ඇති ජාතිවාදී මුහුණුවර පැත්තකින් තිබ්බොත් ඒවායේ මූලික අදහස ඉහත තමිල්වින් වෙබ් අඩවියේ පළව ඇති ලිපියේ මූලික අදහසට සමානය. එයින් කියවෙන්නේ "යාපනයට කිරි වවුනියාවට කැකිරි" යන අදහසයි.
ඇතැම් විට හරිශ්නවී ඝාතන විමර්ශන සාමාන්‍යයෙන් එවැනි කටයුතු සිදුවන වේගයෙන් සිදුවනවා විය හැකිය. මෙවැනි වරදකට චෝදනා ගොනු කිරීම පහසු කටයුත්තක් නොවේ. කෙසේ වුවද, මේ ලිපියෙන්ද පැහැදිලි වන පරිදි ලංකාවේ අධිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය පිළිබඳව රටේ බොහෝ දෙනෙකු සෑහීමකට පත්ව නොසිටිති.
බොහෝ දෙනෙකු එසේ සෑහීමකට පත්ව නොසිටීමට සාධාරණ හේතු තිබේ. ලංකාවේ අධිකරණ පද්ධතියද වෙනත් බොහෝ අංශ මෙන්ම කාර්යක්ෂම නැත. පසුගිය කාලයේදී මෙහි කිසියම් ප්‍රගතියක් සිදුවී ඇතත් රටේ බොහෝ දෙනෙකුට එය ඇඟට දැනී නැත.
විද්‍යා ඝාතන සිද්ධිය පිළිබඳ විමර්ශන වලට හෝ හරිශ්නවී ඝාතන සිද්ධිය පිළිබඳ විමර්ශන වලට රටේ රාජ්‍ය නායකයා මැදිහත් විය යුතු නැත. අධිකරණ ඇමතිවරයා මැදිහත් විය යුතුද නැත. මේවා බරපතල ගණයේ අපරාධ බවට විවාදයක් නැතත් රටක රාජ්‍ය නායකයෙකු මැදිහත් වීම කිසිසේත්ම අවශ්‍ය නොවන සිල්ලර සිදුවීම්ය. එහෙත්, මේ ආකාරයේ සිල්ලර සිදුවීම් වලට පවා රටේ රාජ්‍ය නායකයා මැදිහත් විය යුතු බව සිතන බොහෝ දෙනෙක් ලංකාවේ සිටිති.
එක අතකින් එසේ සිතීමේ වරදක්ද නැත. ලංකාවේ ජනාධිපතිවරුන් විසින් සිල්ලර සිදුවීම් වලට මැදිහත් වෙමින් කාලයක් තිස්සේ පූර්වාදර්ශ දී තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙය ලොකුවටම කළ අයෙකි. ඊට පෙර ජනාධිපති ප්‍රේමදාසගේ දින චර්යාවේද මෙවැනි සිල්ලර සිදුවීම් වලට මැදිහත් වීම ප්‍රධාන කටයුත්තක් විය. වත්මන් ජනාධිපති වරයාද මේ පුරුද්දෙන් බැහැර වී නැත.
රාජ්‍ය නායකයෙකු රටේ සිල්ලර සිදුවීම් වලට මැදිහත් වීම තනිකරම සෝබන වැඩක් පමණි. විසි එක් වන සියවසේ රාජ්‍ය නායකයෙකු වෙස් වලාගෙන රෑ කාලයේ ගෙවල් වලට රිංගා ජනතාවගේ ප්‍රශ්න හොයාගත්තේයැයි කියන රජෙක් මෙන් හැසිරිය යුතු නැත. රටේ අධිකරණ පද්ධතිය අකාර්යක්ෂමනම් රාජ්‍ය නායකයෙකු විසින් කළ යුත්තේ එය කාර්යක්ෂම කිරීමට පියවර ගැනීම මිස තෝරාගත් හුදෙකලා සිදුවීම් වෙත අවධානය යොමු කිරීම නොවේ.
විද්‍යා ඝාතන සිද්ධිය වැනි සිද්ධියක විමර්ශන කඩිනම් කිරීමට හෝ ආර්ථික අර්බුද වලින් පෙළෙන කිසියම් කලාකරුවෙකුට නිවසක් ලබා දෙන්නට රටක රාජ්‍ය නායකයෙකු මැදිහත් වන විට මතුපිටින් පෙනෙන්නේ මේ කටයුත්ත අගතියට පත් පාර්ශ්වයකට සාධාරණය ඉටු කිරීමක් ලෙසිනි. එහෙත්, එහිදී ඇත්තටම වෙන්නේ එහි අනිත් පැත්තයි. මේ බොහෝ අවස්ථා වල සමාන තත්ත්වයන්ට මුහුණ දෙන තවත් විශාල පිරිසකට අසාධාරණයක් සිදුවේ.
තෝරාගත් එක් අයෙකුට "සාධාරණයක් ඉටු කරන" හැම විටකම සිදුවන්නේ ඇතැම් අයට "වඩා සමාන ලෙස" සැලකීමකි. මෙය විශාල පිරිසකට පෙනෙන්නේ "එයාට විතරක් කිරි අපිට කැකිරි" ආකාරයෙනි. සැලකිල්ල ලබන්නේ දෙමළෙක් වූ විට සිංහලයන්ට පෙනෙන්නේ සැලකිල්ලට හේතුව දෙමළ වීම බවයි. සැලකිල්ල ලබන්නේ සිංහලයෙක් වූ විට දෙමළුන්ට පෙනෙන්නේ සැලකිල්ලට හේතුව සිංහල වීම බවයි. සැලකිල්ල ලබන්නේ පිරිමියෙක් වූ විට ගැහැණුන්ට පෙනෙන්නේ සැලකිල්ලට හේතුව පිරිමියෙක් වීම බවයි. සැලකිල්ල ලබන්නේ ගැහැණියක වූ විට පිරිමින්ට පෙනෙන්නේ සැලකිල්ලට හේතුව ගැහැණියක වීම බවයි.
අවශ්‍ය වන්නේ විශේෂ සැලකිලි නොවේ. කිසිවකුට විශේෂ සැලකිලි අපේක්ෂා කිරීමට අවශ්‍ය නොවන වාතාවරණයකි. ඒ නිසා හරිශ්නවීගේ පවුලේ අය ඇතුළු බොහෝ දෙනෙක් ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ගැන හිතන ආකාරය ගැන අවධානය යොමු කරන්නට මිස හරිශ්නවීගේ ඥාතීන්ට පමණක් හැකි ඉක්මණින් සාධාරණය ඉටු කර ගැනීමේ අරමුණින් මා මේ ලිපිය කිසිවකුගේ විශේෂ අවධානයට යොමු කරන්නේ නැත.
Labels:
දේශපාලනය,
නීතිය,
සමානාත්මතාවය,
ළමා හිමිකම්
Sunday, October 22, 2017
සිසුවිය ගැබ්ගෙන සිටියානම් පාසැල කළ දේ හරිද?
දරිද්‍රතාවය නිසා පාතරාසය නොගෙන පාසැල් පැමිණි දහවන වසරේ දැරියක් පාසැලේදී වමනය කිරීමෙන් පසුව ඇය ගැබිණියක වී ඇතැයි තීන්දු කර පාසැලෙන් අස්කර දැමීමේ පුවතක් ගැන මේ දිනවල සංවාදයක් ඇති වී තිබේ. පසුව වෛද්‍යවරුන් විසින් තහවුරු කර ඇති පරිදි ඇය ගැබ්ගෙන හෝ අතවරයකට ලක්වී නැත. මේ ගැන පළකෙරෙන අදහස් වැඩි ප්‍රමාණයක සාරාංශය වන්නේ දරිද්‍රතාවය නිසා කුසට අහරක් නැතිව පාසැල් පැමිණි දැරියකට බොරු චෝදනාවක් කිරීමේ ඇති වැරැද්දයි.
මෙවැනි සිදුවීම් බොහෝ විට මාධ්‍ය වල වාර්තා වන්නේ අසම්පූර්ණ ලෙස නිසා මේ කතාවේ සැඟවුණු වෙනත් පැති තව ටික දවසකින් එළියට එන්නට පුළුවන. කෙසේ වුවද, මේ සිද්ධිය පසුපස සැඟවුණු වෙනත් කරුණු තිබේද යන්න වැනි දේ වාර්තා වී ඇති සිද්ධිය පාදක කරගෙන කරන සාකච්ඡාවකට බාධාවක් නොවේ.
වාර්තා වී ඇති කතාව අනුව මේ සිද්ධියට මුහුණ දී සිටින වයස අවුරුදු 16ක් පමණ වෙතැයි සිතිය හැකි දැරිය පැය කිහිපයක "නඩු විභාගයකින්" පසුව පාසැලෙන් අස්කර තිබෙන්නේ වැරදි චෝදනාවක් කරමිනි. මට තිබෙන ප්‍රශ්නය වන්නේ ඇය ඇත්තටම ගැබ්ගෙන සිටියානම් මේ අයුරින් පාසැලින් අස්කර දැමීම වැරැද්දක් නොවන්නේද යන්නයි.
ලංකාවේ බාල වයස්කාර දැරියන් විශාල ප්‍රමාණයක් ලිංගික අතවර වලට ලක්වන බව හා ඒ අයගෙන් කොටසක් අනවශ්‍ය ගැබ් ගැනීම් වලට බඳුන් වන බව රහසක් නොවේ. බොහෝ දැරියන් මේ අයුරින් අතවර වලට ලක් වන්නේ පවුලේම ඥාතියෙකු අතිනි. ඇතැම් අනවශ්‍ය ගැබ් ගැනීමක් එවැනි අතවරයක ප්‍රතිඵලයක් නොව, ප්‍රේම සම්බන්ධයක ප්‍රතිඵලයක් වන්නට පුළුවන. එය එවැන්නක් ලෙස සැලකුවද බාලවයස්කාර දැරියක් සමඟ කැමැත්තෙන් සංසර්ගයේ යෙදීම පවා සැලකෙන්නේ ස්ත්‍රී දූෂණයක් ලෙසිනි.
පාසැල් දැරියන් අනවශ්‍ය ගැබ්ගැනීම් වලට ලක්වීමට ප්‍රමාණවත් ලිංගික අධ්‍යාපනයක් නොලැබීමද එක් හේතුවකි. මේ හා අදාළව විෂය නිර්දේශ වල ඇති ඉතාම සීමිත කොටස් පවා බොහෝ විට පාසැල් වලින් සිසු සිසුවියන් වෙත නොලැබී යයි. කිසියම් අයුරකින් අතවරයකට ලක් වුවහොත් අනවශ්‍ය ගැබ් ගැනීමක් වැළැක්වීමට ගත හැකි ක්‍රියාමාර්ග ගැන මේ දැරිය වැනි දැරියන්ට ලොකු අවබෝධයක් නැත.
කිසියම් අයුරකින් බාලවයස්කාර දැරියක් ගැබ් ගෙන සිටින බව පාසැලේ ගුරුවරුන්ට හෝ විදුහල්පතිට දැනගන්නට ලැබුණු විට දැරිය පාසැලෙන් අස්කර දෙමවුපියන් ගෙන්වා ඔවුන්ට භාර දීම අධ්‍යාපන පරිපාලන චක්‍රලේඛ අනුව කළ හැකි දෙයක්ද කියා මා දන්නේ නැත. ඇතැම් විට එසේ හැකි වන්නට පුළුවන. නොවන්නටද පුළුවන. මේ දෙකෙන් කුමක් වුවත් මෙහි ලොකු වැරැද්දක් තිබෙන බවනම් ඉතාම පැහැදිලිය.
චක්‍රලේඛ වල තිබුණත් නොතිබුණත් මෙවැනි අවස්ථාවක සිදුවිය යුත්තේ සිද්ධිය දැන ගැනීමෙන් පසු පාසැල් බලධාරීන් විසින් වහාම අනෙකුත් අදාළ අංශ දැනුවත් කිරීම අනිවාර්යය වීමයි.
අනවශ්‍ය ගැබ් ගැනීමකට ලක්වුණු දැරියක යනු විශාල අර්බුදයකට මැදි වී සිටින අයෙකි. එවැනි තැනැත්තියක් සිටින්නේ කායික ප්‍රතිකාර මෙන්ම මානසික ප්‍රතිකාරද ලැබිය යුතු තත්ත්වයකය. ඒ නිසා, මෙවැනි දෙයක් දැනගත් හෝ සැක කල හැකි අවස්ථාවක පාසැලෙන් පළමුව කළ යුත්තේ ඇයව අදාළ පරීක්ෂා හා ප්‍රතිකාර සඳහා යොමු කිරීමයි. එයට අමතරව මෙවැනි දැරියකට සිදුව ඇති අතවරයක් නීතිමය වරදක් වන නිසා ඒ ගැන විමර්ශනය කිරීමට සඳහාද අදාළ අංශ දැනුවත් කළ යුතුය.
මෙහිදී ඇයව දෙමවුපියන් වෙත භාර දීම, මේ සිද්ධියේදී නොවූවත්, නරියන්ට කුකුළන් භාර දීමක් වන්නට වුවද පුළුවන. යම් හෙයකින් දැරිය පවුලේ අයෙකු අතින් අතවරයට ලක්වී සිටියේනම් මෙසේ කිරීමෙන් වන්නේ සිද්ධිය යටපත් වීමයි.
කෙසේ වුවද, ලංකාවේ පාසැල් වල බොහෝ විට සිදුවන්නේ මේ සිද්ධියේදී මෙන් දැරිය පාසැලෙන් අස් කර වගකීමෙන් ගැලවීම විය හැකිය. සමාජජාලා වල මතය හා චක්‍රලේඛ වල ඇති දේවල් කවරක් වුවත් ගැබ්ගත් දැරියක් පාසැලේ දිගටම තබාගතහොත් බොහෝ විට සිදුවන්නට ඉඩ තිබෙන්නේ කුලියාපිටියේ සිදු වුනු දෙය වැනි දෙයකි. මේ අවස්ථාවේ ජනමතය පාසැලට එරෙහිව තිබෙන්නේ දැරිය සැබෑවටම ගැබ්ගෙන නොසිටි බැවිනි. ඇය සැබෑවටම ගැබ්ගෙන සිටියානම් මෙය "පුවතක්" හෝ නොවිය හැකිව තිබුණි.
Labels:
අධ්‍යාපනය,
ආකල්ප,
උපත් පාලනය,
ලිංගික අධ්‍යාපනය,
ළමා හිමිකම්
Subscribe to:
Posts (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...