තෙල් කියා කියන්නේ කාලයක සිටම බටහිර සංවර්ධනයට තිරිංග හෙළන, බටහිර රටවල දේශපාලන ආධිපත්‍යයට අභියෝග කරන ප්‍රබල අවියක්. ඇමරිකාව ඇතුළේ සැලකිය යුතු තෙල් නිෂ්පාදනයක් සිදුවුවත්, ඇමරිකාවේ තෙල් පරිභෝජනය ඊට වඩා ගොඩක් වැඩියි. ඒ නිසා, ඇමරිකාව සියවස් තුන්කාලක සිටම තෙල් ආනයනකරුවෙක්. ඉතා මෑතක් වන තුරුම, ලෝකයේ ලොකුම තෙල් ආනයනකරු වුනෙත් ඇමරිකාවයි.
ඇමරිකාව ඇතුළු බොහෝ බටහිර රටවල් ශුද්ධ තෙල් ආනයනකරුවන් වීමේ වාසිය තෙල් නිපදවන රටවල් විසින් දිගින් දිගටම ලබාගත්තා. නිපැයුම සීමා කිරීම මගින් නිපැයුම් වියදම ඩොලර් දහයකටත් අඩු තෙල් බැරලයක් ඊට වඩා ගොඩක් වැඩි මිල ගණන් යටතේ විකුණන්න සවුදි අරාබිය වැනි රටවල් සමත් වුණා. ඒ විදිහට ඉපැයූ මුදල් අත දිගහැර වියදම් කරමින් අරාබි රටවල් හා ඇතැම් සමාජවාදී රටවල් විසින් සුබසාධන රාජ්‍යයන් නඩත්තු කළා. තෙල් සල්ලි වල උදවුවෙන් රජය විසින් රටේ මිනිස්සුන්ට බොහෝ දේ නොමිලේ දුන් නිසා මේ වගේ රටවල ඒකාධිපති පාලන ක්‍රම අභියෝගයට ලක් වුණේ නැහැ.
මෙහි නොමිලේ කියන එකෙන් අදහස් කළේ ඇත්තටම නොමිලේ කියන එකයි. ලංකාවේ වගේ අදාළ වියදම් බදු ආදිය හරහා අනික් පැත්තට මේ සුබසාධන පහසුකම් භුක්ති විඳපු මිනිස්සුන්ගෙන්ම අය කර ගත්තේ නැහැ. වක්‍ර විදිහට ඒ මුදල් අය කර ගත්තේ තෙල් ආනයනය කරන රටවල පාරිභෝගිකයින්ගෙන්. ඒ රටවල් අතර ඇමරිකාව වගේ බටහිර රටවල් වගේම ලංකාව වගේ අඩු ආදායම් මට්ටම් වල සිටි රටවලුත් තිබුණා.
තෙල් නිපදවූ බොහෝ රටවල තෙල් කර්මාන්තය තිබුණේ රජයේ පාලනය යටතේ. එය අදටත් එහෙමමයි. තරඟයක් නොතිබුණු නිසා කර්මාන්තයට කාර්යක්ෂම වෙන්න බල කෙරුණේ නැහැ. තෙල් බැරලයක් නිපදවීමේ ආන්තික පිරිවැය ගොඩක් අඩුවුණත්, මේ ගොඩක් රටවල් තෙල් බැරලයක් ඊට වඩා ගොඩක් වැඩි මිලකට විකුණා ලබන ලාබ වියදම් කරන්න ක්‍රම හදලයි තිබුණේ. ඒ නිසා, ආන්තික පිරිවැය අඩුවූ පමණින් අඩු මිලට තෙල් විකුණන්න මේ රටවල් වලට පුළුවන් කමක් තිබුණේ නැහැ. දැනටත් නැහැ.
තෙල් කර්මාන්තයේ ආන්තික පිරිවැය තීරණය වෙන්නේ නිෂ්පාදකයාගේ කාර්යක්ෂමතාවය මතම නෙමෙයි. එය බොහෝ දුරට තීරණය වෙන්නේ තෙල් නිධියේ ස්වභාවය අනුව. මැද පෙරදිග තෙල් වල ආන්තික පිරිවැය ගොඩක් අඩු ඒ තෙල් උඩට ගන්න එක පහසු නිසයි. ඒ තරම් පහසුවෙන් උඩට ගත හැකිව තිබුණු ඇමරිකන් තෙල් කලින්ම ඉවර වෙලයි තිබුණේ.
කොයි තරම් කාර්යක්ෂම නිෂ්පාදකයෙක්ට වුනත් ඇමරිකාවේ තෙල් නිධියකින් මැද පෙරදිගදී තරම් ලාබෙට තෙල් ගොඩගන්න බැහැ. ඒ නිසා, මැද පෙරදිග ඇතුළු තෙල් නිපදවන රටවල් ඇමරිකාවට ලොකු ලාබයක් තියාගෙන තෙල් විකුණුවත් ඒ ලොකු ගණන් පවා ඇමරිකාවෙන් තෙල් හොයන්න යන වියදමට වඩා ලාබ වූ නිසා ඇමරිකාවේ තෙල් කර්මාන්තය ලොකුවට දියුණු වුණේ නැහැ.
කොයි දේක වුනත් සීමාවක් තියෙනවනේ. 2008 මැද වෙද්දී පැවතුණු අධික තෙල් මිල ඇමරිකාවේ තිබුණු තෙල් සමතුලිතතාවය වෙනස් කළා. හයිඩ්‍රෝලික් විභේදන තාක්ෂණය දියුණු වී ශල්ක තෙල් එළියට එන්න පටන්ගත්තා. ඇමරිකානු තෙල් නිෂ්පාදනය ක්‍රමයෙන් ඉහළ ගියා. ලෝකයේ අනෙක් තෙල් නිපදවන්නන් එක්ක එකතුවෙලා කාටල් හදන්න ඇමරිකානු නීතියෙන් ඇමරිකානු සමාගම් වලට ඉඩක් නැති නිසා ඇමරිකාවේදී වෙළඳපොළේ රැඳී සිටින්න ලැබෙන්නේ අඩුම මිලකට තෙල් නිපදවන වඩාත්ම කාර්යක්ෂම නිෂ්පාදකයින්ට පමණයි.
ඇමරිකානු තෙල් නිෂ්පාදනය ක්‍රමයෙන් ඉහළ යද්දී ඇමරිකාවේ තෙල් ආනයන ඉල්ලුම ක්‍රමයෙන් පහළ ගියා. එවිට ලෝක තෙල් ඉල්ලුමත් පහළ යන බව කිව යුතු නැහැ.
තෙල් මිල පහළ යන විට තෙල් නිපදවන රටවල ලාබ පහළ යනවා. එය වලක්වා ගන්න කරන්න තියෙන්නේ නිෂ්පාදනය සීමා කිරීමයි. නමුත්, නිෂ්පාදනය අඩු කිරීම නිසා සිදුවෙන පාඩුව මිල වැඩි වීමෙන් ආවරණය නොවුණොත් ඒ වැඩෙන් වෙන්නෙත් පාඩුවක්. නිෂ්පාදනය පාලනය කළ හැකි වුවත් මිල තීරණය වන්නේ වෙළඳපොළ සාධක මතයි. කෙසේ වුවත්, සිදු වුනේ වෙනත්ම දෙයක්.
ප්‍රශ්නයේ මුල තිබුණේ ඇමරිකාවේ ශල්ක තෙල් නිෂ්පාදනය. ඒ නිසා, සවුදි අරාබිය විසින් උත්සාහ කළේ ඇමරිකාවේ ශල්ක තෙල් කර්මාන්තය වැටෙන තෙක්ම මිල අඩු වෙන්න අරින්නයි.
සවුදි අරාබිය ඇතුළු මැද පෙරදිග සම්ප්‍රදායික තෙල් ලිං වලින් අවුරුදු සිය ගානක්ම එක දිගට තෙල් ගන්න පුළුවන්. නමුත්, ඇමරිකාවේ ශල්ක තෙල් ලිං වලින් අවුරුදු තුන හතරකට වඩා කාලයක් එක දිගට තෙල් ගන්න බැහැ. ඒ නිසා, දිගින් දිගටම අලුත් තෙල් ලිං කණින්න ඕනෑ. මේ වැඩේට ආයෝජකයින් අත ගහන්නේ තෙල් මිල ප්‍රමාණවත් තරම් ඉහළ මට්ටමක තිබේනම් පමණයි.
සවුදි අරාබිය කළේ නිෂ්පාදනය වැඩි කර තෙල් මිල පහළින් තියාගෙන ඇමරිකාවේ ශල්ක තෙල් ලිං එකෙන් එක වැහෙන ආකාරය දෙස බලා ඉන්න එකයි. සැලසුම් කරපු විදිහටම ඇමරිකාවේ තෙල් ලිං ගොඩක් වැහුණා. අඩු තෙල් මිල නිසා වැහෙන ලිං වල හිලවුවට අලුත් තෙල් ලිං හැදුණේ නැහැ. කොහොම වුනත් මේ ටික වෙද්දී තෙල් නිපදවන රටවල් වල ලාබ ගොඩක් අඩු වූ නිසා ඒ රටවල් වල අයවැය හිඟයයන් විශාල ලෙස ඉහළ ගියා. අනික් අතට ඇමරිකාවේ තෙල් කර්මාන්තය වැටුණත් පහළ ගිය තෙල් මිලේ උදවුවෙන් අනෙක් බොහෝ අංශ වේගයෙන් වර්ධනය වුනා.
තෙල් නිපදවන රටවල් වලට දිගින් දිගටම තෙල් මිල පහළින් තියාගන්න උවමනා වුණේ නැහැ. එහෙම තියෙන්න අරින්න පුළුවන්කමක් තිබුණෙත් නැහැ. ඇමරිකාවේ තෙල් නිෂ්පාදනය සීමා වෙද්දී තෙල් මිල ටිකෙන් ටික නැවත ඉහළ ගියා. තෙල් නිපදවන රටවල් එයට ඉඩ ඇරියා.
කොහොම වුනත් ඇමරිකාවේ ශල්ක තෙල් කර්මාන්තය එක් නිෂ්පාදකයෙක් අතේ තිබෙන එකක් නෙමෙයි. මිල පහළ යද්දී කර්මාන්තයෙන් විසි වුණේ වඩාත්ම අකාර්යක්ෂම නිෂ්පාදකයින්. වඩා කාර්යක්ෂම, අඩු පිරිවැයකින් තෙල් බැරලයක් නිපදවිය හැකි නිෂ්පාදකයෝ වෙළඳපොළේ ඉතුරු වුණා. අලුත් අභියෝගය හමුවේ කර්මාන්තයේ කාර්යක්ෂමතාව තවත් ඉහළ නංවා ගත හැකි තාක්ෂනයන් බිහි වුනා. නිදහස් වෙළඳපොළක් කියන්නේ එහෙම තැනක්.
අන්තිමට ඇමරිකාවේ තෙල් ලිං ගොඩක් වැහුණත්, ඉතිරි වූ අයගේ කාර්යක්ෂමතාවය ඉහළ ගිය නිසා තෙල් ලිං අඩු වෙන තරමටම තෙල් සැපයුම අඩු වුනේ නැහැ. අනෙක් පැත්තෙන්, නැවත මිල ඉහළ යද්දී තෙල් ලිං ආයෙත් අලුතෙන් හැදුනා. තෙල් නිපදවන රටවල් විසින් කරපු දේවල් වලින් ලොකු වැඩක් වුණේ නැහැ.
උඩ රූප සටහන දිහා බැලුවහම මේ කරුණු පැහැදිලි වෙනවා. තෙල් මිල වැටිලා මාස තුනක් පමණ යන කොට එයට අනුරූපව ක්‍රියාකාරී තෙල් ලිං ප්‍රමාණයත් පහත වැටෙනවා. ඉන්පසුව මිල ක්‍රමයෙන් නැවත ඉහළ යද්දී නැවත තෙල් ලිං නැවත හැදිලා මිල ඉහළ යාම නවතිනවා. 2008දී වගේම 2014දීත් මෙය වුනත් 2014 වැටීමෙන් පසුව මිල ඉහළ යාම නවත්වාගන්න 2008 වැටීමෙන් පසුව තරම් තෙල් ලිං හැදෙන්න අවශ්‍ය වුනේ නැහැ. මොකද ඒ වන විට කර්මාන්තය තවත් කාර්යක්ෂම වෙලා.
පසුගිය නොවැම්බර් අවසාන සතිය තුළ වසර 75කට පසුව පළමු වරට ඇමරිකා එක්සත් ජනපදය ශුද්ධ තෙල් අපනයනකරුවෙකු වුනා. එය තාවකාලිකව එක් සතියක් තුළ පමණක් සිදු වූ දෙයක් වුවත් එවැන්නක් පවා 1973 සිට පැවති ඇමරිකානු සිහිනයක්. ඉහළ තෙල් මිල හේතුවෙන් ඇමරිකාවේ තෙල් නිෂ්පාදන කර්මාන්තයේ වගේම විකල්ප බලශක්ති හා ඉන්ධන පිරිමැසුම් තාක්ෂණ ආදිය වෙනුවෙන්ද ආයෝජන දිරිමත් වී තිබෙනවා. අනාගත ඇමරිකානු සංවර්ධනය තෙල් මත පෙර තරම් යැපෙන්නේ නැහැ.
අනෙක් පැත්තෙන් දැන් ලෝකයේ ලොකුම තෙල් ආනයනකරු ඇමරිකාව නෙමෙයි. චීනයයි. තෙල් මිල නිසා කලින් බටහිර රටවල් මුහුණ දුන් අභියෝග වලට දැන් මුහුණ දෙන්න සිදුවී තිබෙන්නේ චීනය, ඉන්දියාව වැනි රටවලටයි. ලංකාව වැනි රටවලුත් ඒ අතර තිබෙනවා.
Showing posts with label සවුදි අරාබිය. Show all posts
Showing posts with label සවුදි අරාබිය. Show all posts
Friday, December 28, 2018
බටහිර සංවර්ධනය හා තෙල්
Labels:
ඇමරිකාව,
තෙල්,
තෙල් මිල,
ධනවාදය,
මැද පෙරදිග,
සමාජවාදය,
සවුදි අරාබිය
Saturday, December 8, 2018
තෙලේ බලේ දැලේ වෙලේ?
"තෙල් මිල අඩුවෙමින් තිබෙනවා. නියමයි! ඇමරිකාවටත්, ලෝකයටමත් ලැබුණු විශාල බදු සහනයක් වගේ. සතුටු වෙයල්ලා! තිබුණේ ඩොලර් 84ට. දැන් ඩොලර් 54යි. සවුදි අරාබියට ස්තුතියි, නමුත් තවත් ටිකක් අඩු කරමු!"
ජනාධිපති ට්‍රම්ප් පසුගිය නොවැම්බර් 21 වෙනිදා ට්වීට් කළා. ට්‍රම්ප්ගේ ට්විටර් සංඛ්‍යාලේඛණ වල නිරවද්‍යතාව පැත්තකින් තිබ්බත්, ඔක්තෝබර් හා නොවැම්බර් මාස ඇතුළත බොර තෙල් මිල විශාල ලෙස අඩු වුනා. සවුදි අරාබිය කළමණාකරණය කර ගැනීම මඟින් ඇමරිකාවේ හා ලෝකයේ තෙල් මිල පහළින් තබා ගත හැකි බවත්, තෙල් මිල පහළින් තබා ගැනීමෙන් ඇමරිකන් ආර්ථික වර්ධන වේගය ඉහළ යැවිය හැකි බවත් ජනාධිපති ට්‍රම්ප් විශ්වාස කරන බව පේනවා. එසේ නැත්නම් ඔහු තමන් එසේ සිතන බව පෙන්වනවා
තෙල් මිල පහළ යන විට ඇමරිකාව ඇතුළු ශුද්ධ ලෙස තෙල් ආනයනය කරන රටවල ආර්ථික වර්ධනය ඉහළ යනවා. ශුද්ධ ලෙස තෙල් අපනයනය කරන රටවල ආර්ථික වර්ධනය අඩාල වෙනවා. ලෝකයටම කෙසේ වෙතත් ඇමරිකාව, චීනය, ඉන්දියාව හා ලංකාව වැනි රටවල ආර්ථිකයන්ට ලෝක තෙල් මිල පහළ යාම බදු සහනයක් වගේ තමයි. නමුත්, රුසියාව හා සවුදි අරාබිය වැනි ශුද්ධ ලෙස තෙල් අපනයනය කරන රටවලට තෙල් මිල පහළ යාම විශාල ප්‍රශ්නයක්.
තෙල් කියන්නේ පසුගිය සියවසේ ලෝක දේශපාලනය තීරණය කළ පරිභෝජන භාණ්ඩයක්. අඩු වශයෙන් වසර හැත්තෑ පහක සිට ඇමරිකාව ශුද්ධ තෙල් ආනයනකරුවෙක්. කැනඩාව හා නෝර්වේ වැනි රටවල් කිහිපයක් හැරුණු විට සමස්තයක් ලෙස බටහිර රටවල් බොහොමයක්ම ශුද්ධ තෙල් ආනයනකරුවන්. බටහිර ප්‍රජාත්නත්‍රවාදී රටවල් බොහොමයක් ශුද්ධ තෙල් ආනයනකරුවන් වෙද්දී ශුද්ධ තෙල් අපනයනකරුවන් වන බොහෝ රටවල ප්‍රජාත්නත්‍රවාදී නොවන පාලන පවත්වා ගැනීම පහසු වී තිබෙනවා.
තෙල් සම්පත් හා රටේ පවතින පාලන ක්‍රමය අතර සම්බන්ධයක් පැවතීම අහම්බයක්ම නෙමෙයි. කිසියම් රටක ආර්ථිකයෙන් විශාල කොටසක් ස්වභාවික සම්පත් මත පදනම් වූ විට, ඒ ස්වභාවික සම්පත් වලට හිමිකම ඇති අය හා නැති අය අතර විශාල වත්කම් පරතරයක් හා ආදායම් පරතරයක් ඇති වෙනවා. එවිට තමන්ගේ රටේ ස්වභාවික සම්පත් වලට අයිතියක් නැති අයට තමන් අසාධාරණයකට ලක් වූ බව පෙනෙනවා. එසේ වූ විට, රටේ ස්වභාවික සම්පත් වල අයිතිය පෞද්ගලික අයිතිකරුවන් වෙත ලබා නොදී රජය වෙත (හෝ රජු වෙත) තබාගෙන ඒ සම්පත් වල ප්‍රතිලාභ සියළු රටවැසියන් අතර "සාධාරණ" ලෙස බෙදා දීම රටේ බොහෝ දෙනෙකුගේ කැමැත්ත බවට පත් වෙනවා. මේ සම්පත් රටේ ජීවත් වන අයගේ "වාසනාවට" ලැබුණු දේ මිස මහන්සියෙන් උපයාගත් දේ නොවීම ඊට හේතුවයි.
සවුදි අරාබිය ඇතුළු මැද පෙරදිග කලාපයේ වගේම, රුසියාව හා වෙනිසියුලාව වැනි රටවලත් තෙල් නිපදවීම සිදු වෙන්නේ රජයේ සෘජු හෝ වක්‍ර පාලනය යටතේ. ඒ නිසා තෙල් මිල නියම කරන්නෙත් රජය විසිනුයි. ලංකාව වැනි මුළුමනින්ම තෙල් ආනයනය කරන ඇතැම් රටවලත් තෙල් මිල හා අදාළව තිබෙන්නේ රජයේ ඒකාධිකාරයක්. නමුත්, ඇමරිකාවේ තිබෙන්නේ එවැනි තත්ත්වයක් නෙමෙයි.
ඇමරිකාවේ තෙල් කර්මාන්තය තරඟකාරී එකක්. හන්දියක හතර පැත්තේ තිබෙන තෙල් පිරවුම්හල් හතරක බැලුවොත් තියෙන්නේ මිල ගණන් හතරක්. මේ මිල ගණන් දිනපතාම විචලනය වෙනවා. එය ඉල්ලුම හා සැපයුම මත සිදුවන දෙයක්. කිසිදු තනි සමාගමකට වෙළඳපොළ මිල මත බලපෑමක් කරන්න අමාරුයි. රුසියාවේ, සවුදි අරාබියේ හෝ ලංකාවේ රජයට රටේ සිල්ලර තෙල් මිල නියම කළ හැකි වුවත්, ඇමරිකාවේ රජයට හෝ ජනාධිපති ට්‍රම්ප්ට එය කළ නොහැකියි.
ඇමරිකාවේ සිල්ලර තෙල් මිල ඇමරිකාව ඇතුලෙ සාධක කළමනාකරණය කරමින් පාලනය කරනවාට වඩා පහසුවෙන් සවුදි අරාබිය වගේ රටක් හරහා වක්‍ර ලෙස පාලනය කිරීම ඇමරිකන් ජනාධිපතිවරයෙකුට පහසුයි. ජමාල් ඛශෝගි ඝාතනය පිළිබඳව සවුදි රජ කුමරු වෙත සීඅයිඒ ඇඟිලි දික් වෙද්දී, ජනාධිපති ට්‍රම්ප් විසින් දැක්වූ ඇල්මැරුණු ප්‍රතිචාරය වැනි දේ හරහා ලෝක තෙල් මිල පාලනය කළ හැකියයි ජනාධිපති ට්‍රම්ප් සිතනවා විය හැකියි. ඔහු එසේ පෙන්වනවා පමණක් වෙන්නත් පුළුවන්.
ජනාධිපති ට්‍රම්ප්ගේ ඉලක්කය වුනේ පසුගිය දෙදින පැවති ඔපෙක් රැස්වීමයි. තමන් සවුදි අරාබිය කළමනාකරණය කිරීම මඟින් තෙල් මිල පාලනය කරන බව ජනාධිපති ට්‍රම්ප් සිය අනුගාමිකයින්ට පෙන්වන්න හැදුවත් ඇත්තටම වී තිබෙන්නේ සවුදි අරාබියට තිබෙන විකල්ප කොහොමටත් සීමා වී තිබීමයි. ජනාධිපති ට්‍රම්ප් එහි වාසිය ගන්න උත්සාහ කරනවා.
ලෝක තෙල් වෙළඳපොළ තුළ පසුගිය සියවසේ දෙවන අර්ධය තුළ පැවති තත්ත්වයන් මේ වන විට බොහෝ දුරට වෙනස් වී තිබෙනවා. ඒ වෙනස ලෝක දේශපාලනයත් වෙනස් කර තිබෙනවා. දශක ගණනවක් ගත වීමෙන් පසුව වුවත් නිදහස් වෙළඳපොළෙහි "අදිසි හස්තය" ලෝක තෙල් මිලේ සුක්කානම අතට ගනිමින් සිටිනවා. ඒ නිසා, අනාගතයේදී කිසිදු රටකට තෙල් සම්පත් හිමිකම් මත පදනම්ව ලෝක දේශපාලනයට බලපෑම් කිරීම පහසු වෙන එකක් නැහැ.
ඔපෙක් රටවල් හා රුසියාව ඇතුළු ඇතැම් ඔපෙක් නොවන රටවල් විසින් දිනකට බැරල් මිලියන 1.2කින් නිෂ්පාදනය අඩු කිරීමට අවසාන වශයෙන් එකඟ වීමෙන් පසුව තෙල් මිල ඩොලර් දෙක තුනකින් වැඩි වී තිබෙනවා. එය විශාල වැඩි වීමක් කියා කියන්න අමාරුයි. කොහොම වුනත්, නිෂ්පාදන කප්පාදුව නිසා තෙල් මිල ඩොලර් පණහ මට්ටමෙන් පහළට වැටෙන එකක් නැහැ.
ලෝක තෙල් මිල හැසිරවීමේ සුක්කානම ක්‍රමයෙන් ඇමරිකාව අතට පත් වෙමින් තිබෙනවා. නමුත්, එය වෙන්නේ ඇමරිකන් රජයේ රාජ්‍යතාන්ත්‍රික ක්‍රියා හෝ ඇමරිකන් විධායකයේ දේශපාලන බලපෑම් හරහා නෙමෙයි. නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරීත්වය හරහායි. ඒ නිසා, පවතින අළුත් යථාර්තය වන්නේ තෙල් නිපදවන රටවල් විසින් තෙල් නිපැයුම සීමා කර මිල වැඩි වෙන්න ඇරියත්, සැපයුම වැඩි කර මිල වැටෙන්න හැරියත් අවසානයේ ඒ රටවල් වලටම එහි ප්‍රතිවිපාක වල මුහුණ දෙන්න සිදු වීමයි. ජනාධිපති ට්‍රම්ප් කිවුවත් නොකිවුවත්, ඔවුන් සැපයුම සීමා කිරීම ගැන දෙවරක් හිතන්නේ ඒ නිසයි.
(Image: https://www.forbes.com/sites/arielcohen/2018/12/07/high-five-at-opec-russia-and-saudi-arabia-agree-1-2mbd-production-cut/#66cebe566d24)
Labels:
ඇමරිකාව,
ජාත්‍යන්තර වෙළඳාම,
තෙල්,
තෙල් මිල,
දේශපාලනය,
රුසියාව,
සවුදි අරාබිය
Wednesday, March 30, 2016
නෙළුම් පතක රැඳි තෙල් බිඳුවක් සේ...
තෙල් හා වතුර කලවම් නොවේ. ඒ වගේම නෙළුම් කොළේ දිය රැඳෙන්නේත් නැත. ඒ අනුව, තෙල් සහ නෙළුම් දෙකටම වතුර ඇලජික්ය. තෙල් සහ නෙළුම් අතර වෙනත් සම්බන්ධතාවයක් ගැනනම් මතකයට එන්නේම නැත.
ඉකොනොමැට්ටා විසින් ලියා පළ කළ තෙල් ගැන ලිපියකට නෙළුම් සම්මානයක් ලැබී තිබේ. "ඇමෙරිකානු බොරතෙල් තහනම ඉවතට" නම් වූ මේ ලිපිය පළකළේ පසුගිය දෙසැම්බර් මස 21 වෙනිදාය. ඒ ලිපියෙන් කතා කළේ ඊට දින තුනකට පෙර සිදුවූ ඇමරිකානු බොරතෙල් අපනයන තහනම ඉවත් කිරීම, ඒ සඳහා හේතු වූ කරුණු හා වසර හතළිහකට පෙර එම තහනම පැනවීමට හේතු වූ පසුබිම ගැනය.
ඉහත ලිපිය පළ කිරීමෙන් පසු මතු වූ අදහසක් වූයේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහතයාම ඇමරිකාව හා සවුදි අරාබිය එකතු වී කෘතිමව ඇති කළ තත්ත්වයක් බවයි. දින දෙකකට පසු දෙසැම්බර් මස 23 වන දින "තෙල් මිල ඉහළ යයිද?" යන මාතෘකාව යටතේ ඉකොනොමැට්ටාගේ අඩවියේ පළ කළ තවත් ලිපියක් මඟින් පැහැදිලි කළේ එය එසේ නොවන බවයි. තෙල්මිල පහළ යාමට හේතු වූ දීර්ඝකාලීන හා ආසන්න හේතු එහිදී සාකච්ඡා කෙරිණි. මේ ලිපිය පලවී තෙමසක් ඉක්මගොස් ඇති මේ මොහොතේ සාකච්ඡා කෙරෙන්නේ ලෝක තෙල් වෙළඳපොළ හා අදාළව ඉන්පසුව සිදුවූ වර්ධනයන් ගැනය.
එම ලිපියේ මම මෙසේ සඳහන් කළෙමි.
"මේ අවස්ථාවේ ඇමරිකාව සහ සවුදි අරාබිය අතර ඇත්තේ ගල උඩ සටනකි."
"...මිල මට්ටම පහත තබා ගැනීමෙන් සවුදි අරාබිය අපේක්ෂා කරන්නේ ඇමරිකාවේ ශල්ක තෙල් නිෂ්පාදකයින් වෙළඳපොළෙන් ඉවත් කිරීමටය. මේ වන විට සවුදි අරාබිය ඔවුන්ගේ අරමුණ වෙත සෑහෙන දුරකට ලඟා වී සිටී. පසුගිය මාස කිහිපය තුළ ඇමරිකාවේ අළුත් ශල්ක තෙල් කැනීම් අට්ටාල ඉදිවීම විශාල ලෙස අඩුවී තිබේ. එහෙත්, මේ සඳහා සවුදි අරාබියටද විශාල වන්දියක් ගෙවීමට සිදුවේ...තෙල් මිල පහළ යද්දී සවුදි අරාබියේ අයවැය හිඟය ඉහළ යයි. ඒ නිසා මේ ක්‍රීඩාවෙන් අන්තිමේදී සවුදි අරාබිය පැරදෙන්නටත් බැරි නැත."
"...ඇමරිකාව සහ සවුදි අරාබිය අතර මේ ක්‍රමෝපායික ක්‍රීඩාවේ ජයග්‍රහණය කාට හිමි වේදැයි කියන්නට තවමත් කල් වැඩිය. "
මේ ලිපි පළ කෙරෙන විට තෙල් බැරලයක මිල ඇමරිකන් ඩොලර් 40 මට්ටමේ පැවතුනු අතර පසුගිය පෙබරවාරි මැද වන විට මේ මිල 2003 සිට පැවති අඩුම මිල වන ඇමරිකන් ඩොලර් 26 මට්ටම දක්වාම අඩු විය. කෙසේවුවද, එතැන් සිට ගතවූ පසුගිය සති හය තුළ ලෝක තෙල්මිල නැවතත් ඇමරිකන් ඩොලර් 40 මට්ටමට පැමිණ ස්ථාවර වී තිබේ. මෙයින් අදහස් වන්නේ කුමක්ද? පෙර ලිපි වලින් කතා කළ ගල උඩ සටනේ දිනුම ලැබුණේ කාටද?
පසුගිය මාස හතරේ දත්ත අනුව පෙනීයන්නේ සවුදි අරාබිය ඔවුන් බලාපොරොත්තු වූ අරමුණ කරා ලඟා වී ඇති බවයි.
2011 වසර ආරම්භයේදී ඇමරිකාවේ සක්‍රිය කැනීම් අට්ටාල 1,220ක් පැවති අතර එම වසර අවසාන වන විට මෙම සංඛ්‍යාව 1,694 දක්වා වැඩි විය. 2013 වසර ඇරඹෙන විට මේ ගණන 2007 දක්වා තවදුරටත් වැඩි විය. මේ වර්ධනයට හේතු වූයේ පැවති ඉහළ තෙල්මිල හේතුවෙන් ශල්ක තෙල් කැණීම් සඳහා වන ආයෝජන දිරිමත් වීමයි.
කෙසේවුවද, 2014 මැද වන විටත් ඇමරිකන් ඩොලර් 100-110 මට්ටමේ පැවති තෙල්මිල එතැන් සිට කඩා වැටෙන්නට පටන් ගැනීමත් සමඟ ආයෝජන ප්‍රවාහ ඇණහිටීම නිසා අළුතින් අළුත් කැණීම් අට්ටාල ඉදිකිරීම සිදුවුණේ ඉතා සෙමිනි. අළුතින් කැණීම් අට්ටාල ඉදිකිරීම නැවතීමෙන් පසු පැරණි කැණීම් අට්ටාල ක්‍රමයෙන් කල් ඉකුත්ව භාවිතයෙන් ඉවත් වෙද්දී ඇමරිකාවේ සක්‍රිය කැණීම් අට්ටාල ගණන ක්‍රමයෙන් අඩුවන්නට විය.
පසුගිය 2015 ආරම්භයේදී සක්‍රියව පැවති කැණීම් අට්ටාල 1,811 වසර අවසානය වන විට 698 දක්වා අඩු විය. එහෙත්, පසුගිය වසර තුළ ඇමරිකාවේ බොරතෙල් නිෂ්පාදනයේ අඩුවක් පෙනෙන්නට නොතිබුණේය. එයට හේතු වූයේ, නිෂ්පාදනයෙන් ඉවත් වූයේ වඩා අකාර්යක්ෂම කැණීම් අට්ටාල වීමත්, දිගටම නිෂ්පාදනයේ යෙදුණු කැණීම් අට්ටාල වල ඵලදායිතාව ඉතා විශාල ලෙස දියුණු කෙරුණු නිසාත්ය. කෙසේවුවද, හැම දෙයකටම සීමාවක් තිබේ.
පසුගිය මාර්තු 24 දින වන විට ඇමරිකාවේ සක්‍රිය කැණීම් අට්ටාල ගණන 464 දක්වා අඩුවී ඇති අතර එය තවදුරටත් අඩු වන ප්‍රවණතාවක් පෙනෙන්නට තිබේ. එමෙන්ම, පෙබරවාරි මාසයේ පමණ සිට ඇමරිකාවේ බොරතෙල් නිෂ්පාදන පරිමාවන්ද අඩුවෙමින් පවතී. මේ අනුව සවුදි අරාබිය විසින් ඇමරිකාවේ දරාගැනීමේ සීමාව සාර්ථක ලෙස පරික්ෂාවට ලක්කර තිබේ. තෙල් මිල ඇමරිකන් ඩොලර් 26 මට්ටමට වැටී නැවතත් ඉහළ යාමෙන් පෙනෙන්නේ මිල පහත වැටිය හැකි අවසාන සීමාව එය බවයි. අළුත් කැණීම් අට්ටාල ඉදිවීම අඩාල වී ඇති නිසා ඉදිරි වසර දෙකක පමණ කාලය තුළ ඇමරිකානු බොරතෙල් නිෂ්පාදනය තවදුරටත් පහත වැටීමෙන් තෙල් මිල තරමක් දුරට ඉහළ යා හැකිය.
අනෙක් අතට ඉදිරියේදී තෙල්මිල විශාල ලෙස ඉහළ යාමේ හැකියාවක්ද නැත. තෙල්මිල ඇමරිකන් ඩොලර් 55-70 මට්ටමට ලඟාවුවහොත් ඇමරිකාවේ ශල්ක තෙල් කැනීම් අට්ටාල රැසක් නැවතත් වහා ඉදිවනු ඇත.
මෑතකාලීන තෙල් මිලේ සිදුවූ වෙනස්කම් නිසා සවුදි අරාබිය ඇතුළු මැද පෙරදිග රටවලටත්, රුසියාවටත් ඇති වූ බලපෑම ගැනත් සවුදි-රුසියානු ගිවිසුමේ අනාගතය ගැනත් පසුව කතා කරමු.
(Image: skycare.unetedu.vn)
Labels:
තෙල්,
තෙල් මිල,
දේශපාලනය,
බලශක්තිය,
සවුදි අරාබිය
Subscribe to:
Posts (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...