වෙබ් ලිපිනය:

Showing posts with label අඥේයවාදය. Show all posts
Showing posts with label අඥේයවාදය. Show all posts

Tuesday, January 12, 2021

ආයෙත් ඒවිද ඒ සමනලයා


සාර්ථකත්වය 95.0% බව කියන පයිසර්-බයෝඑන්ටෙක් කෝවිඩ් එන්නතේ සාර්ථකත්වය 0% සිට 100% දක්වා ඕනෑම අගයක් වෙන්න පුළුවන්. ඒක එහෙම නෙමෙයි කියා කියන කෙනෙක් එන්නවානම් කරුණාකර ඉදිරිපත් වෙන්න. විද්‍යාව අනුව එවැනි නිශ්චිත ප්‍රකාශයක් කරන්න පුළුවන්කමක් නැහැ. ධම්මික පැණියේ සාර්ථකත්වයත් 0% සිට 100% දක්වා ඕනෑම අගයක් වෙන්න පුළුවන්. එහෙමනම්, මේ දෙකම එකිනෙකට සමානද? 

"ඒ කාලේ පල්ලියේ ඉගැන්වීම වුනේ සමස්ත විශ්වයම පෘථිවිය කේන්ද්‍ර කරගත්තක් බව. ඒත් පෘථිවිය සූර්යයා වටා භ්‍රමණය කෙරෙන බවට සාක්ෂි සොයා ගෙන ගැලීලියෝ ගැලිලි ඒක ප්‍රකාශයට පත් කළාම ඒ ගැන කිපුණු කතෝලික පල්ලිය 1633 දී ඔහු නිවාස අඩස්සියේ තබන්න නියෝග කළා. ... ඉතාලි පාලකයන් එදා ඔහු කියූ සත්‍යය බැහැර කළත් අද මුළු ලෝකයම ඔහු එදා හෙළි කළ දේ පිළිගන්නවා."

ඉහතින් තියෙන්නේ සරෝජ් පතිරණගේ ප්‍රකාශයක්.

පෘථිවිය සූර්යයා වටා භ්‍රමණය කෙරෙන බවට ගැලීලියෝ විසින් කරපු ප්‍රකාශය සත්‍යයක්ද? අද මුළු ලෝකයම ඔහු එදා හෙළි කළ දේ පිළිගන්නවා කියන්නේ ඇත්තද? විද්‍යාවේ පියා ලෙස සැලකෙන ගැලීලියෝ ගැලීලිගෙන් සෘජුවම පැවත එන, ගැලීලියෝගේ වගේම අයිසෙක් නිවුටන්ගේත් ශාස්ත්‍රාලයීය මී මුණුපුරෙක් වන නලින් ද සිල්වානම් මේ කතාව පිළිගන්නේ නැහැ. නලින් ද සිල්වාගේ පහත ලිපිය අගට ගියොත් සූර්යයා පෘථිවිය වටා භ්‍රමණය වන ආකෘතියක් ඇස් වලින්ම බලා ගන්න පුළුවන්.

කොපර්නිකස් හා ගැලීලියෝ නිවුටන්ට කළ හදිය

දැන් එහෙමනම්, නිවැරදි නලින් ද සිල්වාද නැත්නම් සරෝජ් පතිරණද? කෙටි පිළිතුරනම් ඔය ආකෘති දෙකම එක තරමට නිවැරදි බවයි. අවශ්‍යනම් ආකෘති දෙකම වැරදි බව "පෙන්වා දෙන්නත්" පුළුවන්.

මේ ආකෘති දෙකටම වඩා නිවැරදි භෞතික විද්‍යා ආකෘතියක් අනුව පොළොව වටා ඉරවත්, ඉර වටා පොළොවවත් ගමන් කරන්නේ නැහැ. ඇත්තටම සිදුවන්නේ පොළොවේත්, ඉරේත් පොදු ගුරුත්ව කේන්ද්‍රය වටා (barycenter) ඉරත් පොළොවත් දෙකම ගමන් කිරීමයි. පහත ලිපිය ආරම්භයේ ඇති ආකෘතිය බලන්න.

දවසට පැය කීයක්ද එහේ?

ඇත්තටම කියා කිවුවත් ඇත්තටමත් නෙමෙයි. මුල් ආකෘති දෙක වගේම මේ තෙවැන්නත් තවත් ආකෘතියක්. වෙනත් කෙනෙකුට ඉතාම පහසුවෙන් මේ ආකෘති තුනම වැරදි බව පෙන්වා දෙන්න පුළුවන්. සරලම වැරැද්දක් විදිහට ඉර, හඳ, හා පොළොව මේ ආකාරයට එකම තලයක ගමන් කරන්නේ නැහැ. ඒ බව සලකා ත්‍රිමාන ආකෘතියක් හදන්න පුළුවන් වුනත් එයත් තවත් ආකෘතියක් පමණයි. යම් තත්ත්වයන් යටතේදී මේ වගේ ආකෘතියකින් මේ ග්‍රහවස්තූන් සැබෑවටම චලනය වන ආකාරය නිරූපණය වන්නේ නැහැ. එහෙමයි කියලා වැඩ ගත හැකි සීමාව තුළ වැඩ ගන්නවා මිස ඔය ආකෘති අහක දාන්න අවශ්‍යත් නැහැ. 

පයිසර්-බයෝඑන්ටෙක් කෝවිඩ් එන්නත හදලා තියෙන්නේ විද්‍යාවේ ක්‍රමවේදය අනුව. කියන විදිහට ධම්මික පැණිය හදලා තියෙන්නේ කාලි අම්මාගෙන් අසාගත් වට්ටෝරුවකට. ඔය දෙකේම සාර්ථකත්වය 0% සිට 100% දක්වා ඕනෑම අගයක් වෙන්න පුළුවන්. එසේ වුවත්, පෞද්ගලිකව මට මේ දෙකෙන් පයිසර්-බයෝඑන්ටෙක් කෝවිඩ් එන්නත සම්බන්ධව තිබෙන විශ්වාසය ධම්මික පැණිය සම්බන්ධව නැහැ. ඒ ඇයි?

පයිසර්-බයෝඑන්ටෙක් කෝවිඩ් එන්නත හදලා පරීක්ෂා කරලා වෙළඳපොළට එන ක්‍රමවේදය පිළිබඳව මට විශ්වාසයක් තිබෙනවා. ධම්මික පැණිය සම්බන්ධව මට එවැනි විශ්වාසයක් නැහැ. මගේ විශ්වාසය අනුව මා විසින් පයිසර්-බයෝඑන්ටෙක් කෝවිඩ් එන්නත ලබා ගත්තොත් කෝවිඩ් හැදී මාව මැරෙන එක වැලකෙන්න 100%කට ඉතාම ආසන්න සම්භාවිතාවක් තිබෙනවා. කෝවිඩ් නොහැදෙන්න අඩු වශයෙන් 95%ක පමණවත් සම්භාවිතාවක් තිබෙනවා. නමුත්, ධම්මික පැණිය ලබා ගැනීමෙන් පසුව කෝවිඩ් නොහැදෙන්න එවැනි ඉහළ සම්භාවිතාවක් ඇති බව විශ්වාස කරන්න මට සාධක නැහැ. සමහර විට මේ පැණිය ගත්තා කියා කිසිම වැඩක් නැති වෙන්නත් පුළුවන්. මේ නිගමන විෂයමූලිකයි. ඒ නිසා, වෙන කෙනෙක් වෙනත් ආකාරයකට හිතනවානම් එහි කිසිම වැරැද්දක් නැහැ.

කාලි දෙවඟන විසින් මේ බෙහෙත දුන්නා කියන කතාව හෝ අඩු වශයෙන් කාලි දෙවඟන කියා කෙනෙක් ඉන්නවා කියන එක (ඇතැම් අයගේ මානසික ලෝක වල හැර) මම විශ්වාස කරන්නේ නැහැ. එහෙත්, අඥේයවාදියෙක් විදිහට මේ දේවල් මට මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන්න බැහැ. මොකද මේ දේවල් ඇත්ත කියා ඔප්පු වී නැතුවාක් මෙන්ම බොරු කියා ඔප්පු වෙලත් නැහැ. එහෙමනම්, මම මේ දේවල් ගැන විශ්වාසයක් නැති බව කියන්නේ ඇයි?

සරල පිළිතුරක් දුන්නොත් මට කිසිම දවසක ඔය කියන කාලි දෙවඟන, නාථ දෙවියන් හෝ වෙනත් දෙවි කෙනෙක් හමු වෙලා හෝ සන්නිවේදනය කරලා නැහැ. එවැනි අත්දැකීමක් තිබුණානම් මට මේ කතාව විශ්වාස කරන්න තිබුණා. 

එහෙමනම්, මම කෝවිඩ් හැදෙන්නේ වෛරසයකින් කියා විශ්වාස කරන්නේ (අඥේයවාදියෙක් විදිහට සැකය බැහැර නොකර මම එසේ විශ්වාස කරනවා) ඔය කියන වෛරසය දැකල තියෙන නිසාද? නැහැ. මම මේ වෛරසය දැකලා නැහැ. නමුත්, අවශ්‍යනම් එම වෛරසය දකින්න පුළුවන් වෙයි කියලා මට විශ්වාසයක් තිබෙනවා. සමහර විට ඒ සඳහා අවශ්‍ය වන උපකරණ (ඉලෙක්ට්‍රොනික් අන්වීක්ෂයක්) තිබීම පමණක් ඒ සඳහා ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. ඉලෙක්ට්‍රොනික් අන්වීක්ෂයකින් වෛරසය දකින්න පුහුණුවක් අවශ්‍ය වෙන්න පුළුවන්. මට අවශ්‍යනම් එවැනි පුහුණුවක් ලබා ගැනීමේ හැකියාව පිළිබඳවද මට විශ්වාසයක් තිබෙනවා. 

මේ විශ්වාසය පදනමක් නැති විශ්වාසයක් නෙමෙයි. මා ගැන පෞද්ගලිකව දන්නා අය දන්නා පරිදි මා එකිනෙකින් වෙනස් විෂයයන් ගණනාවක් විධිමත් ලෙස හදාරා තිබෙනවා. තවත් ඇතැම් විෂයයන් අවිධිමත් ලෙස හදාරා තිබෙනවා. කාලය හා මුදල් අවශ්‍ය වන නමුත් මා බොහෝ විට සාර්ථක වී තිබෙනවා. වෙනත් බොහෝ අයත් මා මෙන්ම මේ දෙය කරනු මා නිරීක්ෂණය කර තිබෙනවා. ඒ නිසා, මා දැනට හදාරා නැති බටහිර විද්‍යාවේ වෙනත් විෂයය ක්ෂේත්‍රයක් හදාරන්න අවශ්‍යනම් එය කළ හැක්කක් බවට මට සෑහෙන විශ්වාසයක් තිබෙනවා. 

මා හදාරා තිබෙන ක්ෂේත්‍ර තුළ හමු වී තිබෙන අලුත් දැනුම් හැම විටම ඇත්තද? පැහැදිලිවම නැහැ. මා බටහිර විද්‍යාව හදාරන්නේත් අඥේයවාදියෙකුගේ සැකය අත් නොහැරයි. හැබැයි හදාරන දෙය හැකිතාක් හොඳින් හදාරනවා. බටහිර විද්‍යාව තුළ වුවත් හමුවන හැම දෙයක්ම නිවැරදි නැහැ. සමහර දේවල් වැරදියි. නිවැරදි බොහෝ දේවල්ද නිවැරදි වන්නේ යම් සීමාවක් තුළයි. නමුත්, සමස්තයක් ලෙස මා පසුතැවිලි වී නැහැ. බටහිර විද්‍යාව තුළ, අවශ්‍යතාවයක් හා හැකියාවක් ඇත්නම් වැරදි නිවැරදි කිරීමේ හා නිවැරදි දේ නිවැරදි වන සීමාව පුළුල් කිරීමේ අවස්ථාව මා හමුවේ තිබෙනවා. මහා ලොකු දේවල් නොවුනත්, එසේ කර ඇති තැන්ද තිබෙනවා. අදටත් මා බටහිර විද්‍යාවන් පිළිබඳ මගේ දැනුම වඩා පුළුල් කර ගැනීම පිණිස මගේ පෞද්ගලික කාලය හා මුදල් ඉතා කැමැත්තෙන් වැය කරනවා.

බටහිර විද්‍යාවේ දැනුම් ක්ෂේත්‍රයට අයත් නොවන විකල්ප දැනුම් පිළිබඳ මගේ විශ්වාසයක් නැතත් එවන් දේ හැදෑරීම වෙනුවෙන්ද මා සෑහෙන කාලයක් යොදවා තිබෙනවා. එවැනි හැදෑරීම් කර තිබෙන්නේද බටහිර විද්‍යා විෂයයක් හදාරන තරමේම උනන්දුවකින් හා කැප කිරීමකින්. මෙය එක අතකින් අජිත් ධර්මා මළවුන් සමඟ කතා කරන්න යාමට සමාන කළ හැකියි. එහෙත්, බොහෝ විට මට හමු වී තිබෙන්නේ එක්කෝ හිතාමතා කරන බොරු. එසේ නැත්නම් ඇත්තක් ඇති බව විශ්වාස කිරීමට තරම් සාක්ෂි නැති දේ. මා සතු ඇතැම් විකල්ප දැනුම් ගැන මා වැඩිපුර ලියන්නවත් කැමති නැත්තේ මගේ විශ්වාසය අනුව එසේ ලිවීමෙන් අර්ථයකට වඩා අනර්ථයක් සිදු විය හැකි නිසයි. ඒ එක්කම මේ විකල්ප දැනුම් සම්පූර්ණ බොරු බව තහවුරු වී නැති බවද කිව යුතුයි.

ඊයේ රෑ "පූර්ණ ආගන්තුකයා (The Perfect Stranger)" කියලා ක්‍රිස්තියානි චිත්‍රපටයක් බැලුවා. මෙහි තරුණ කාන්තාවකට අමුත්තෙක්ගෙන් අහඹු ලෙස රාත්‍රී කෑමකට ආරාධනාවක් ලැබෙනවා. ඔහු තමන්ව හඳුන්වා දෙන්නේ නාසරෙත් සිට පැමිණි ජීසස් ලෙසයි. ඇමරිකාවේ පෙනිසිල්වේනියා ප්‍රාන්තයේ නිවුයෝර්ක් මායිමට කිට්ටුව නාසරෙත් නම් වූ නගරයක් තිබෙනවා. ජීසස් කියන නමත් දුලබ නමක් නොවන නිසා මෙහි ලොකු අමුත්තක් නැහැ. රාත්‍රී කෑම අවසානයේදී අමුත්තා පිටත්ව යාමට පෙර තමන් සමඟ නැවත සම්බන්ධ විය හැකි ආකාරය කාන්තාවට බිස්නස් කාඩ් එකක පිටුපස ලියා දෙනවා. ගෙදර ගිහින් බලද්දී එහි ලියා තිබෙන්නේ "එළිදරවු 3:20" කියලයි. බයිබලය පෙරලා බැලූ විට අදාළ පාඨය මෙවැන්නක්.

එළිදරවු 3:20: "මෙන්න, මම දොර ළඟ සිට තට්ටු කරමි. යමෙක් මාගේ හඬ අසා දොර අරින්නේ නම් මම ඇතුළු වී, ඔහු සමඟ කෑම කන්නෙමි. ඔහු ද මා සමඟ කෑම කන්නේ ය."

නාථ දෙවියන් හෝ කාලි අම්මා සමඟ සම්බන්ධ වීමට ඔය වගේ නිශ්චිත ක්‍රමයක් තිබුනනම් මමත් එය කරනවා. නමුත්, කවුරුවත් එවැනි ක්‍රමයක් නොදන්නා නිසා මට ඒ අයත් එක්ක සම්බන්ධ වෙන්න ක්‍රමයක් නැහැ. හැබැයි කවුරු හෝ තමන්ට එසේ සම්බන්ධ විය හැකි බව කියනවානම් එය ප්‍රතික්ෂේප කරන්න මට පුළුවන්කමක් නැහැ. සම්බන්ධ වන ක්‍රමය අහගත්තත් අදාළ දෙවියාට මා සමඟ සම්බන්ධ වෙන්න අවශ්‍ය නැත්නම් වැඩේ කෙරෙන්න විදිහක් නැහැනේ.

වෙනත් කෙනෙකුට දෙවි කෙනෙක් සමඟ සම්බන්ධ වෙන්න බැරි බව මට නිශ්චිතව කියන්න පුළුවන්කමක් නැත්නම්, ඒ කියන්නේ ඔය වැඩේ වෙන්න කවර හෝ හැකියාවක් තිබෙනවානම් එහෙම කෙනෙක් කෝවිඩ් සඳහා ප්‍රතිකාරයක් ලබා දෙන එකත් වෙන්න පුළුවන්නේ. ඒකේ අවුලක් නැහැ. නමුත්, එහෙමයි කියලා දෙවියන්ගෙන් අහගත්තා කියා කවුරු හරි දෙන බෙහෙතක් ගැන මට විශ්වාසය තියන්න පුලුවන්ද? 

අඥේයවාදියෙක් වන මට දෙවියෙක් විසින් මිනිහෙක්ට බෙහෙතක් ලබා දිය හැකියි කියන කතාව සාධක රහිතව මුළුමනින්ම බැහැර කරන්න බැරුවාක් වගේම එහෙම දෙන බෙහෙතක් වැඩ කරනවා කියන එක සාධක රහිතව පිළිගන්න පුළුවන්කමකුත් නැහැ. ඔය ප්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින අයම කියන විදිහට දෙවියන්ගේ බෙහෙත් වුනත් හරියටම හරි නොයන්න පුළුවන්. දෙවියෝ බොරු කියන්නත් පුළුවන්. එහෙමනම් දෙවියෝ දුන්නත් බෙහෙත ගන්න වෙන්නේ පරීක්ෂා කිරීමෙන් පසුවයි. මීට කලින් හරියට බෙහෙත් දීලා දෙවියන්ට හොඳ වාර්තාවක් තිබුණානම් සමහර විට පරීක්ෂා නොකර වුනත් බෙහෙත ගන්න තිබුණා. එහෙම වාර්තාවක් නැහැනේ.

ධම්මික පැණියට මගේ පිළිගැනීමක් ලැබෙන්නනම් එය පරීක්ෂා කළ යුත්තේ කොහොමද? බටහිර ඖෂධයක් සාමාන්‍යයෙන් පරීක්ෂා කරන විධික්‍රමය අනුගමනය කරමින්, සැලකිය යුතු තරම් විශාල නියැදියක් යොදා ගෙන සසම්භාවී සායනික පරීක්ෂණයක් කරලා ඵලදායීත්වය තහවුරු වුනොත් මම මෙය සාර්ථක ඖෂධයක් ලෙස පිළිගන්නවා. අදාළ ඔසුව හදන්න දැනුම ලැබුණේ කොහොමද කියන එක මට අදාළ නැහැ. මොකද පරීක්ෂා කරන ක්‍රමය පිළිබඳව මට සෑහෙන විශ්වාසයක් තිබෙන නිසා. මතක තබා ගන්න මම මේ කතා කරන්නේ අඥේයවාදියෙක්ගේ විශ්වාසයක් ගැන මිසක් සැකයෙන් තොර විශ්වාසයක් ගැන නෙමෙයි.

ධම්මික පැණිය බටහිර ක්‍රමයටම පරීක්ෂා කළ යුතුද? මෙය පරීක්ෂා කළ හැකි වෙනත් සාර්ථක ක්‍රමයක් තිබෙනවානම් සසම්භාවී සායනික පරීක්ෂණ ක්‍රමයම යොදා ගත යුතු නැහැ. නමුත්, දැනට කිසිම කෙනෙක් එවැනි විකල්ප ක්‍රමයක් යෝජනා කර නැහැ. රෝගීන්ට පැණිය දීගෙන ගියා කියලා ඖෂධය පරීක්ෂා වෙන්නේ නැහැ. එය අර මම පොඩි කාලේ කරපු මදුරු පරීක්ෂණය වගේ එකක්.

මදුරු පරීක්ෂණ ක්‍රමයෙන් ඖෂධය පරීක්ෂා වෙන්නේ නැහැ කියා කියන්නේ ඇයි? මේ වෙද්දී බොරු වී තිබුණත්, මේ හා අදාළව කියපු කතාව වුනේ දැනට දහ පහළොස් දාහකට බේත දීලා තිබුණත් ඒ කාටවත් කෝවිඩ් හැදී නැහැ කියන එකයි. පසුගිය සති වලදී සාමාන්‍ය වශයෙන් සතියකට ලංකාවේ 4000කට කිට්ටු පිරිසකට කෝවිඩ් හැදුණා. ලංකාවේ ජනගහණය මිලියන 21කට වැඩියිනේ. ඒ කියන්නේ බෙහෙතක් නොගත්තත් සතියක් යද්දී දහ පහළොස් දාහක පිරිසකගෙන් කොවිඩ් හැදෙන්න ඉඩ තිබුණේ දෙන්නෙක්ට නැත්නම් තුන් දෙනෙක්ට පමණයි. කෝවිඩ් වැඩිපුර හැදුනේ කොළඹ ආශ්‍රිතව නිසා, ධම්මික පැණිය වැඩිපුර ගත්තේ කෑගල්ල පැත්තේ පිරිස්නම් ඔය විදිහට දෙතුන් දෙනෙකුට හෝ කෝවිඩ් නොහැදෙන එක පැණිය නොගත්තත් සිදුවිය හැකිව තිබුණු දෙයක්. 

මේ වෙද්දී පැණිය ගත් කිහිප දෙනෙකුටම කෝවිඩ් හැදී තිබෙන බව වාර්තා වී තිබෙනවා. පැණිය ගත් එක් අයෙකුට හෝ කෝවිඩ් හැදුනානම් එය මුලින් කියපු ආකාරයේ සියයට සියයක් සාර්ථක දිව්‍ය ඖෂධයක් කියන එක බොරු වෙනවා. නමුත්, ඒ හේතුව නිසා මේ පැණිය ඵලදායී එකක් නොවන බව තහවුරු වෙලා නැහැ. පැණිය කොයි තරම් ඵලදායීද කියන එක තවමත් විවෘත ප්‍රශ්නයක්. 

රෝගය වැළැක්වීමේ හැකියාව පැත්තකින් තිබ්බොත්, ඇතැම් තැන් වල පළ කර තිබුණු තොරතුරු අනුව, වතුපිටිවල පරීක්ෂණයේදී පැණිය ගත් සියල්ලන්ගේම කෝවිඩ් සුව වී තිබෙනවා. එහෙත්, පැණිය නොගත් පාලිත කණ්ඩායම තුළ එවැනි දෙයක් සිදු වී නැහැ. නියැදිය ඉතා කුඩා වුනත් මේ පරීක්ෂණය හරියට කරපු එකක්නම් එයින් කියැවෙන්නේ පැණිය කෝවිඩ් සුව කිරීමට සමත්ව ඇති බවයි. ඒ කියන්නේ එසේ වීමට විශාල සම්භාවිතාවක් ඇති බව මිස සැකයකින් තොර නිශ්චිත ප්‍රකාශයක් නෙමෙයි. එහෙත් මේ පරීක්ෂණය කර ඇති ආකාරය අනුව එය නිසියාකාරයෙන් කර නොතිබීමේ හැකියාව බැහැර කරන්න බැහැ.

ධම්මික පැණිය නිසි සසම්භාවී සායනික පරීක්ෂාවකින් නිසැකව සමත් වුවහොත් මා එය සාර්ථක ඖෂධයක් සේ පිළිගන්නවා. එසේ නැත්නම් පිළිගන්නේ නැහැ. කෙසේ වුවත්, එයින් අදහස් වන්නේ නිසි සසම්භාවී සායනික පරීක්ෂාවකින් නිසැකව සමත් වී නැති සියලු දේ මා බැහැර කරන බව නෙමෙයි. හෙම්බිරිස්සාවකට තම්බා බොන ඉඟුරු කොත්තමල්ලි හෝ ඇතැම් ආයුර්වේද බෙහෙත් එවැනි පරීක්ෂාවකට ලක්ව නොතිබීම මට ප්‍රශ්නයක් නෙමෙයි. එහෙත්, හදිසියේ කඩා පාත් වූ ලෙඩකට ප්‍රතිකාරයක් සේ හදිසියේ කඩා පාත් වූ ඖෂධයක් වසර සිය හෝ දහස් ගණනක් තිස්සේ පරීක්ෂාවට ලක් වූ දේවල් ගොඩට දමන්න පුළුවන්කමක් නැහැ. වසර සිය හෝ දහස් ගණනක් තිස්සේ කාලයේ පරීක්ෂාවට ලක් වීම වුවද නිසැකව ඖෂධයක ඵලදායීත්වය තහවුරු කරන්නේ නැතත් එම සම්භාවිතාව ඉහළ නංවනවා.

ධම්මික පැණිය යම් හෙයකින් කෝවිඩ් මඩින ඉතා සාර්ථක ඖෂධයක් බව සසම්භාවී සායනික පරීක්ෂාවකින් තහවුරු වුනා කියා හිතමු. ඒ හේතුව මත විධික්‍රමයක් ලෙස දෙවියන්ගෙන් දැනුම ලබා ගැනීමේ සාර්ථකත්වය තහවුරු වෙනවාද? පැහැදිලිවම නැහැ. සමහර අය කියන විදිහට කාලි අම්මාගෙන් ලැබුණු සේ එළියට එන්නේ ලංකාවේ කොහොමටත් භාවිතයේ තිබුණු ආයුර්වේද හෝ වෙනත් දේශීය ඖෂධයක් කියන එක අපට බැහැර කරන්න බැහැ.

තාවකාලික කල්පිතයක් විදිහට දෙවියන්ගෙන් දැනුම ලබා ගැනීම ක්‍රමවේදයක් විදිහට අපි පිළිගනිමු. දෙවියන්ගෙන් ලැබුණු සේ පැවසුණු දැනුමක් මිනිස් පරීක්ෂා සමත් වූ අවස්ථා ගැන සීමිත වාර්තා කිහිපයක් අප සතුව තිබෙනවා. බොහෝ දෙනෙක් පුන පුනා කතා කරන්නේ අපට තහවුරු කර ගැනීමේ හැකියාවක් නැති මෙවැනි වාර්තා අතළොස්සක් ගැනයි. අදාළ දැනුම් නිවැරදි බව මිස එම දැනුම් ලැබුණේ දෙවියන්ගෙන් හෝ වෙනත් අදෘශ්‍යමාන ප්‍රාණියෙකුගෙන් කියන එක තහවුරු වී නැහැ. 

අඥේයවාදී ස්ථාවරයක සිටිමින් අපි දැනට හිතමු මේ කතා සියල්ල ඇත්ත බව. මා විද්‍යාත්මක පර්යේෂණයක් කර නැතත් අදෘශ්‍යමාන ප්‍රාණියෙකුගෙන් යම් යම් දේ දැනගත් බව කියමින් මිනිසුන් දැන හෝ නොදැන (උදාහරණයක් ලෙස යම් මානසික ආබාධයක් නිසා) සිදු කරන ලද ප්‍රකාශ මීට වඩා විශාල ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා. මෙවැනි වාර්තා නිසි ක්‍රමවේදයකට එකතු කළොත් අපට පුළුවන් දැනගන්න අදෘශ්‍යමාන ප්‍රාණියෙකුගෙන් යම් දැනුමක් ලබාගත් බවට කවුරු හෝ කරන ප්‍රකාශයක ඇති තොරතුරක් සත්‍ය වීමේ සම්භාවිතාව. මගේ විෂයමූලික අනුමානය මෙම සම්භාවිතාව ඉතාම අඩු බවයි. කෙසේ වුවත්, මෙපමණකින් වුවද දෙවියන්ගෙන් දැනුම ලබා ගැනීම පිළිබඳ අදහස අපට බැහැර කරන්න බැහැ.

කෝවිඩ් සඳහා ඔසුවක් හැදීම වැනි දෙයක හෝ වෙනත් එවැනි කටයුත්තක පියවර ගණනාවක් තිබෙනවා. මුල් අදියරේදී ඉදිරිපත් වන අදහස් වලින් අවසන් අදියර වන විට සාර්ථක බව තහවුරු වන්නේ ඉතාම සුළු අදහස් ප්‍රමාණයක් පමණයි. අපට අවශ්‍යනම් මේ සම්භාවිතාව ගණනය කළ හැකියි. දෙවියෙක්ගෙන් ලැබුණු දැනුමක් ලෙස කිසිවෙකු විසින් ඉදිරිපත් කරන අදහසක් නිවැරදි වීමේ සම්භාවිතාව මිනිසෙකු විසින් මුල් අදියරේදී ඉදිරිපත් කරන අදහසක් නිවැරදි වීමේ සම්භාවිතාවට වඩා වැඩිනම් දෙවියන්ගෙන් දැනුම් ලබා ගැනීම යම් තරමකින් හෝ ඵලදායී කාර්යයයක්. එවැනි වෙනසක් නැත්නම්, දෙවියන්ගෙන් දැනුම ලබා ගත හැකි වුවත් ඒ දැනුමෙන් ඇති වැඩක් නැහැ.

මේ නිදර්ශනයෙන් පැහැදිලි කළ පරිදි දෙවියන්ගෙන් දැනුම ලබා ගැනීම ඵලදායී දෙයක්ද නැද්ද කියා විද්‍යාත්මක ලෙස පරීක්ෂා කිරීමට අපට දෙවියන් පිළිබඳව විශ්වාස කරන්න අවශ්‍ය වන්නේ නැහැ. දෙවියන් කියා කොට්ඨාසයක් ඉන්නවාද, ඔවුන් සමඟ සන්නිවේදනය කළ හැකිද ආදී දේ ගැන අඥේයවාදීව සිටිමින්ම දෙවියන්ගෙන් දැනුම ලබා ගැනීමේ ඵලදායීත්වය අපට විද්‍යාත්මක පරීක්ෂාවකට ලක් කළ හැකියි.


Sunday, January 10, 2021

අල හොදි හා නියඟලා අල


වැහි දවසක්. ඇමරිකාවේ නෙමෙයි, ලංකාවේ. උදේ වැඩට යන්න බස් එකෙන් බහිනවා. බස් එකෙන් බැහැලා කන්තෝරුවට පයින් යන්න තිබෙන්නේ බොහොම පොඩි දුරක්. ඒ වුනත්, මොර සූරන වැස්ස නිසා ඒ පොඩි දුර පයින් යන්න බැහැ. අතේ කුඩයකුත් නැහැ. බස් එකෙන් බැහැපු ගමන්ම කරන්න තියෙන්නේ ළඟම තියෙන කඩ පිලකට දුවන එක. මිනිත්තු පහළොවක් ඇතුළත කන්තෝරුවට නොගියොත් රතු ඉර වදිනවා. එතකල් වැස්ස අඩු වීම බලාපොරොත්තුවෙන් කඩ පිලේ ඉන්න පුළුවන්කම තිබෙනවා.

යන්නේ කන්තෝරුවටම නොවෙන්න පුළුවන්. ප්‍රශ්නය රතු ඉර වදින එකම නොවෙන්න පුළුවන්. උදාහරණ විදිහට විභාගයකට, ටියුෂන් පංතියකට, දේශනයකට හෝ සම්මුඛ පරීක්ෂණයකට යද්දී ඔය වැඩේ වෙන්න පුළුවන්. ආණ්ඩුවේ කන්තෝරුවක් හෝ බැංකුවක් වහන්න කිට්ටුව වැඩක් කරගන්න යද්දී ඔය වැඩේ වෙන්න පුළුවන්. මම හිතන්නේ කියවන ගොඩක් අයට ඔය වගේ අත්දැකීමක් නැති වෙන්න බැහැ.

මිනිත්තු පහක් ගත වෙද්දී වැස්ස ටිකක් තුරල් කරනවා. ආයෙම වැඩි වෙන්නත් පුළුවන්. වැස්ස නැවතිලාම යන්නත් පුළුවන්. කිසිම නිශ්චිත අදහසක් නැහැ. පොඩ්ඩක් තෙමෙද්දී කන්තෝරුවට දුවනවද? නැත්නම්, වැස්ස ආපහු වැඩි වීමේ අවදානම අරගෙන පායනකම් තව ටිකක් බලනවද? 

ඔය වගේ වෙලාවක මමනම් බොහෝ විට කරන්නේ පොඩ්ඩක් තෙමෙද්දී කන්තෝරුවට දුවන එකයි. සමහර විට මිනිත්තු පහක් යද්දී වැස්ස පායලා. තෙමිලා තියෙන්නේ නිරපරාදේ. හැබැයි වැස්ස තවත් අඩු වන තුරු බලා ඉඳිද්දී වැස්ස අඩු නොවී තවත් වැඩි වුනානම් එක්කෝ හොඳටම තෙමෙන්න වෙනවා. නැත්නම් රතු ඉර වැදෙනවා.

අපිට ජීවිතයේ මුහුණ දෙන්න වෙන ගොඩක් ප්‍රශ්න ඔය වගේ. නිශ්චිත නිවැරදි පිළිතුරක් නැහැ. අවිනිශ්චිතතාවය හමුවේ  තීරණ ගන්න වෙන්නේ විෂයමූලික සම්භාවිතා මත පදනම්වයි. ගන්න තීරණයකින් අවදානම අඩු කරගන්න පුළුවන් වුනත් අවදානම නැති කරගන්න බැහැ. 

සමහර දවසට බස් එක ලොකු ට්‍රැෆික් එකකට අහුවෙලා වෙනදාට වඩා පරක්කු වෙනවා. අනිවාර්යයෙන්ම වෙලාවට වැඩට යන්න බැරි වෙනවා. උදේම ඉන්නම ඕනෑ රැස්වීමකුත් තියෙනවා. ඉන්න තැන අනුව බස් එකෙන් බැහැලා ත්‍රීවීල් එකක් හොයා ගන්න පුළුවන් කමක් පේන්නෙත් නැහැ. තියෙන ට්‍රැෆික් එකේ හැටියට ත්‍රීවීල් එකකට වුනත් අස්සෙන් රිංගලා යන්නත් අමාරුයි. ඒ කියන්නේ විකල්පයක් නැහැ. ඉතිං මැරෙන්නද? බස් එක යන වෙලාවක යයිනේ කියලා හිතලා පාඩුවේ අතේ තියෙන පොතක් කියවන එකයි මමනම් කරන්නේ.

අඥේයවාදියෙක්ගේ ලෝකය සමස්තයක් විදිහට ගත්තහම අවිනිශ්චිතතාවන්ගෙන් පිරුණු එකක්. අඥේයවාදියෙක්ම නොවුනත් ඕකේ වෙනසක් නැහැනේ. අඥේයවාදියෙක්ගේ තිබෙන වෙනස ඔය ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු හොයන්න වද නොවීමයි. නිශ්චිත පිළිතුරු හොයන්නේ නැහැ කියා කියන්නේ පිළිතුරු හොයන්නේ නැහැ කියන එක නෙමෙයි. අවිනිශ්චිත පිළිතුරකින් සෑහීමකට පත් වෙන්න පුරුදු වෙනවා කියන එකයි.

වයස අවුරුදු එකොළහක් වෙද්දී, ඒ කියන්නේ හයේ පන්තියට එන කොට මම මුළු හදවතින්ම හේතුවාදියෙක් වී සිටි බව කලින් ලිපියේ ලිවුවනේ. ඒ එක්කම විද්‍යාව ගැන ඉගෙන ගන්නත් විශාල උනන්දුවක් ඇති වුනා. විශේෂයෙන්ම තාරකා විද්‍යාව ගැන ගොඩක් කියෙවුවා. ඒ වයසේ හැටියට වෙනත් අයට වඩා ඉදිරියෙන් සිටියත් මහා ලොකු දේවල් දැනගෙන හිටියා කියන්න බැහැ. අහල පහළ පුස්තකාල හත අටකම නිත්‍ය සාමාජිකයෙකු වී හිටියත් තිබුණු දැනුම් පිපාසයට සරිලන තරමේ සිංහල පොත් හොයාගන්න පුළුවන් වුනේ නැහැ. සාපේක්ෂතාවාදය ගැන ලියපු සිංහල පොතක් හොයා ගන්න පුළුවන් වුනේ අටේ පංතියේදී පමණ.

ගොඩක් වෙලාවට හේතුවාදීකම එළියට දැම්මේ වැඩිහිටියෙකු කේන්ති ගස්සන්න අවශ්‍ය වූ විටක. වැඩිහිටියන් කේන්ති ගස්සන්න අවශ්‍ය වුනේ මගේ නිදහසට වැඩිහිටියෙක් අනවශ්‍ය ලෙස බාධා කරනවා කියා හිතුනු වෙලාවට. මා විසින් මිථ්‍යා විශ්වාස සේ වර්ග කර තිබුණු දේවල් වලට බොහෝ වැඩිහිටියන් විශාල බරක් තබන බවත්, වැඩිහිටියන් සමඟ ගනුදෙනු කරද්දී ළමයෙකුට සිදුවන අවාසි සමනය කරගැනීමේ මාර්ගයක් ඒ හරහා වැටී තිබෙන බවත් ඉතා අඩු වයසකදී අවබෝධ කරගන්න මට පුළුවන් වී තිබුණා. ළමයෙක් විදිහට වැඩිහිටියන්ගේ ඔය දුර්වලතාවය මම බොහෝ වර ප්‍රයෝජනයට අරගෙන තිබෙනවා. වැඩිහිටියෙක් අසාධාරණයක් කරද්දී ගොඩක් වෙලාවට බැණුම් ඇහුවේ පැත්තක හිටපු දෙවියෙක්.

ඔය වැඩේ නිසා සිදු වුනු පාඩුත් බොහොමයි. "කට කැඩිච්ච කතා" කියලා නමක් හදාගෙන හිටපු නිසා කාලයක් යනකල්ම කෝඩුවේ සිරීපාදේ එක්ක ගෙන යන්න කැමති වැඩිහිටියෙක්ව හොයා ගන්න අමාරු වුනා. අන්තිමට මේ වැඩේට ඥාතියෙක්ව බොහොම අමාරුවෙන් කැමති කරගත්තා. ඇය ගත්ත අවදානම ගැන හිතලා, ඇයට මා නිසා වෙනත් අයගෙන් බැණුම් අහන්න වෙන එක වලක්වා ගන්න ඔය ගමන ගිහින් එනකල්ම වචනයක් කටින් පිට කරන්න කලින් දහයට ගණන් කරනවා කියලා හිතින් අධිෂ්ඨාන කරගෙනයි ගියේ. ඒ වැඩේනම් අමාරුවෙන් වුවත් ඒ විදිහටම කළා. හිතට ආපු දේවල් ඒ විදිහටම කිවුවනම් කී පාරක් කට වරද්දගෙනද දන්නේ නැහැ.

සාමාන්‍ය පෙළ විභාගයට යන්න කලින් බෝධි පූජා තියන්නත්, බෙල්ලන්විල ගොස් කතරගම දෙවියන්ට භාර වීමටත් හැදුවත් යන එක කෙලින්ම ප්‍රතික්ෂේප කළා කියලා අජිත් ධර්මා විසින් ලියා තිබුණා. ඔය වගේ වැඩ මමත් ඕනෑ තරම් කරලා තිබෙනවා. සාමාන්‍ය පෙළ විභාගයට යද්දී ප්‍රතිඵලය ගැන මට විශාල සහතිකයක් තිබුණා. සාමාන්‍ය පෙළ විභාගය කියා කියන්නේ එක විෂයයක විෂය අංකය පාසැලෙන් වරද්දලා යවලා හයේ පන්තියේ සිට වසර පහක් උගත් විෂයයක් වෙනුවට කවදාවත් ඉගෙනගෙන නැති විෂයයක් විභාගයට ලියන්න වී තිබියදී ඒ විෂය දවස් තුන හතරකින් ඉගෙන ගෙන එයටත් විශිෂ්ඨ සාමාර්ථයක් ලබාගත් අමතක නොවන විභාගයක්. ප්‍රතිඵලය ගැන ඒ තරම් සහතිකයක් තියෙද්දී ඒකේ ගෞරවයෙන් පොඩ්ඩක්වත් කොහේවත් ඉන්න දෙවි කෙනෙක්ට දෙන්න මට අවශ්‍ය වෙලා තිබුණේ නැහැ.

සාමාන්‍ය පෙළ විභාගයේ පළමු දවසේදී විභාග ශාලාවේ වාඩි වී සිටිය යුතු වූ වෙලාව උදේ අට. උදේ අටට පාසැලට යන්නනම් හතටවත් කළින් ගෙදරින් යා යුතුයි. පාසැල් බස් රථය එන්නේ උදේ 6:45 වගේ වෙලාවකට. පාසැල් බස් රථය අල්ලා ගත්තේ නැත්නම් වෙනත් බස් එකක යන්න වෙනවා. වෙනත් බස් සීසන් කෑලි වලට හැම විටම නවත්වන්නේ නැහැ. ඔය ඔක්කොම සලකලා බලලා පාසැල් බස් එක එන වෙලාවට ගෙදරින් එළියට බහින්න හදන කොටම අමුතු නියෝගයක් ආවා.

"හතහමාරට රාහු කාලේ. පරක්කු නොවී යන්න."

සඳුදා දවස් වල හතහමාරට රාහු කාලේ ලබනවා. රාහු කාලේ තිබුණත් නැතත් කොහොමටවත් මම හතහමාර වෙනකම් ගෙදර ඉන්නේ නැහැ. ඒ වෙලාවට ගෙදරින් ගිහින් වෙලාවට විභාගෙට යන්න බැරි බව දන්නවා. ඒ වෙනකොටත් අනෙක් භාරහාර සියල්ල ප්‍රතික්ෂේප කරලා තිබුණු නිසා අන්තිම මොහොතේ හරි මගේ විභාග ප්‍රතිඵලයේ නම්බුව හොරකම් කරන්න හදන උත්සාහයක් විදිහටයි මට මේක තේරුණේ. මළ පැන්න පාර විභාගයට වෙලාවට යන්න බැරි වෙන එකේ අවදානමත් අමතක වුනා. ආපහු ගෙදර ඇවිත් රාහු කාලේ ලබලා මිනිත්තු පහක් ගත වෙන තුරු පුටුවක වාඩි වෙලා ඉඳලා, වම් කකුල පෙරට තියලා, දොරෙන් ඉදිරිය බලා කෙළින්ම එළියට බහින්නේ නැතුව එදා මරු සිටි දිශාව වූ වයඹ දිශාවට හැරිලා ගෙදරින් එළියට බැස්සේ 7:35ට. මිනිත්තු පහක් වැඩිපුරත් හිටියේ යාන්තමින් රාහු කාලය අහු නොවී යන්න පුළුවන් නිසා. විභාගෙට යන්න ඉන්න නිසා පින්සෙන්ඩු වුනා මිසක් ගෙදර කවුරුවත් ගහන්න බණින්න ආවේ නැහැ.

මගේ වාසනාවට වගේ බස් නැවතුමට යන කොටම ආපු දුරගමන් බස් රථයක් අත දාපු ගමන් නැවැත්තුවා. බස් නැවතුමේ වෙන කවුරුවත්ම හිටියේ නැහැ. හැමෝම ගිහින්. සාමාන්‍යයෙන් බස් එකක් එනතුරු මිනිත්තු දහයක් පහළොවක් බලා ඉන්න වෙනවා. එවැනි ප්‍රමාදයක් සිදු නොවූ නිසාත්, බස් එක හැම තැනම නවත්වන එකක් නොවූ නිසාත් සෑහෙන තරම් ඉක්මණින් පාසැල ළඟට ගියා. ඊට පස්සේ හති දාගෙන විභාග ශාලාවට දිවුවා. අටට විභාග ශාලාවේ සිටිය යුතු වුනත් විභාගය පටන් ගන්නේ අටහමාරට. ඒ අතර, කොළ බෙදන එක විභාග අංකය (ඇඩ්මිෂන් කාඩ් එක) පරීක්ෂා කරන එක ආදිය කරනවා. මම යන කොට ඔය ඔක්කොම කරලා අන්තිමට ප්‍රශ්න පත්‍රයත් බෙදලා. හැමෝම තම තමන්ගේ ආසන වල වාඩි වෙලා නිසා කවුරුවත් නැති හිස් ආසනයක් ඈතදීම මගේ උකුසු ඇස් වලට නිරීක්ෂණය වුනා. කෙළින්ම එතැනට ගිහින් බලද්දී මගේ විභාග අංකය. ඉතිං හති ඇර ඇර විභාගය ලිවුවා.

ඔය වගේ මෝඩ වැඩ දිගින් දිගටමනම් කළේ නැහැ. අනිත් අයගේ විශ්වාස නිසා මම නිකම් පරිප්පු කන්න අවශ්‍ය නැහැ කියන එක කාලයක් යද්දී තේරුණා. 

අඥේයවාදය කියන්නේ මොකක්ද කියලා මම දැනගත්තේ "අඥේයවාදය යනු කුමක්ද?" නම් වූ පොතක් කියවලා. පොඩි පොතක්. සමහර විට පරිවර්තනයක්. මගේ ජීවිතයට සුවිශේෂී බලපෑමක් කළ පොතක් වුවත් කතෘ කවුද කියලාවත් මතක නැහැ. මම හිතන්නේ ඔය පොත කියවන්න ලැබුණේ සාමාන්‍ය පෙළ විභාගය ලියලා ගෙදර හිටපු කාලයේ. ඒ වන විට මම අහලා තිබුණු රසල් හා අසා නොතිබුණු හක්ස්ලි වගේ අය අඥේයවාදීන් බව ඔය පොත හරහා දැන ගැනීමෙන් පසුව ඒ අයගේ ඉංග්‍රීසි පොත් කිහිපකුත් හොයාගෙන කියවන්න උත්සාහ කළා. හරියටම තේරුම් ගන්න තරම් ඉංග්‍රීසි දැනුමක් තිබුණේ නැහැ. කොහොම වුනත්, ඔය කාලයේදී මම ද්‍රව්‍යවාදයෙන් ඔබ්බට ගියා. බෞද්ධ සාහිත්‍යය තුළ ගර්හාවට ලක් වන සංජය බෙල්ලට්ඨිපුත්ත විසින් කියන්නේත් තේරුමක් තියෙන කතාවක් බව වැටහුණා. ඉන් පසු, දිගටම මම මා ගැන හිතුවේ අඥේයවාදියෙක් විදිහටයි. 

විද්‍යාව කියා කියන්නේ ඉතා පුළුල් දැනුම් පද්ධතියක්. කවුරු වුනත් හොඳින්ම දන්නේ මේ දැනුම් පද්ධතියේ කිසියම් කොටසක් පමණයි. අලියාගේ කණ, කකුල්, වලිගය ආදිය මිස අලියාවම අතගාන්න අපි කාටවත් කාලය හෝ අවස්ථාවන් ලැබෙන්නේ නැහැ. අලියා ඒ තරම්ම ලොකු සද්දන්තයෙක්. භෞතික විද්‍යාවේ තන්තු න්‍යාය හෝ ක්වොන්ටෝම් න්‍යාය වගේ දේවල් මම හදාරලා නැහැ. ඒ වුනත්, ලෝකයේ හැම ප්‍රශ්නයකටම විසඳුම් හොයන්න ප්‍රවාදාත්මක භෞතික විද්‍යාව ඉහළටම හදාරා තිබීම අත්‍යාවශ්‍යයි කියලා මම හිතන්නේත් නැහැ. ඒ වගේම, අනෙක් හැම විද්‍යාවක්ම භෞතික විද්‍යාව පසුපස නොන්ඩි ගසමින් යනවා කියාත් මම හිතන්නේ නැහැ. තාරකා භෞතික විද්‍යාවට විශාල මෙහෙයක් කරලා, නේචර් වගේ ඉහළම ජර්නල ඇතුළු විමර්ශිත ජර්නල වල තාරකා භෞතික විද්‍යාව සම්බන්ධ වැදගත් පත්‍රිකා සිය ගණනක් පළ කරලා පසුව ආර්ථික විද්‍යාව මුල සිට හදාරන්න පැමිණි අය සිටියත් ඒ අය එවැනි දෙයක් කියන්නේ නැහැ. මේ කතාව භෞතික විද්‍යාව පිළිබඳ මගේ දැනුමේ අඩුපාඩු වහගන්න කියන කතාවක් නෙමෙයි. කොහොමටත් මම භෞතික විද්‍යා න්‍යාය ලොකුවට දන්නේ නැහැ. සමහර විට දන්නේම නැහැ වෙන්නත් පුළුවන්.

මගේ විද්‍යා දැනුම සීමිත දැනුමක්. මා වැඩිපුර ඇසුරු කර තිබෙන්නේ ආර්ථික විද්‍යාව, සංඛ්‍යානය වැනි විෂයයන් හා අදාළ පර්යේෂණ වල නියැලෙන අයයි. මේ හැම දෙනෙක්ම වගේ විද්‍යාවේ භාවිතය තුළදී අඥේයවාදීන්. මා හිතන විදිහට විද්‍යාව විසින් කරන්නේ දැනුමේ අවිනිශ්චිතතාවය පිළිගනිමින් එම අවිනිශ්චිතතාවය අවම කරන විසඳුම් සෙවීම මිස නිශ්චිත පරම විසඳුම් හොයන එක නෙමෙයි. විද්‍යාවේ වෙනත් කේෂේත්‍ර වල පර්යේෂණ කරන අය ඇතැම් විදිහට වෙනත් ආකාරයකට හිතනවා වෙන්න පුළුවන්. මා දන්නා සීමාවේනම් හැම විටම මේ අවිනිශ්චිතතාවය තිබෙනවා.

ගණිතය බොහෝ වෙලාවට නිශ්චිත පිළිතුරු සපයනවා. නමුත්, සංඛ්‍යානය බොහෝ වෙලාවට සපයන්නේ අවිනිශ්චිත පිළිතුරු. මෙය ගණිතය හා සංඛ්‍යානය අතර ප්‍රධාන වෙනසක්. දෙවියන් වහන්සේ දාදු කැට උඩ දමන්නේ නැතුව ඇති. හැබැයි මට ඒක දැනගන්න වෙන්නේත් දාදු කැටයක් උඩ දමලා. 

විද්‍යාවෙන් කවදාවත් කෝවිඩ් සඳහා සියයට සියයක් සාර්ථක බෙහෙතක් හොයා ගන්න බැහැ. අඩුම වශයෙන් සියයට සියයට නිරවද්‍යතාවයකින් යුතුව කෝවිඩ් රෝගියෙකු හඳුනා ගන්නවත් බැහැ. අවශ්‍යනම් කෝවිඩ් පරීක්ෂණයක ප්‍රතිඵල මත කෝවිඩ් රෝගය අර්ථදක්වන්න පුළුවන්. එවිට සිදුවන්නේ සියයට සියයක නිරවද්‍යතාවය ප්‍රකාශයට පත් කිරීමක්. මම විද්‍යාව තේරුම් ගන්නා ආකාරයට විද්‍යාව සහ ආගම් අතර වෙනස ආගම් වලින් නිශ්චිත පිළිතුරු යෝජනා කරද්දී විද්‍යාව විසින් එවැනි නිශ්චිත පිළිතුරු යෝජනා නොකිරීමයි. වෙනත් අයට වෙනත් අර්ථකථන තියෙන්න පුළුවන්.

පයිසර්-බයෝඑන්ටෙක් කෝවිඩ් එන්නතේ ඵලදායීතාවය 95.0%ක් බව හැමෝම වගේ අහලා ඇති. ඔය මාධ්‍ය හැම එකකම වගේ කියන්නේ. දැන් මේ අනුව, එන්නත ගත්තා කියා රෝගය හැදෙන එක වැලකෙනවද? අනිවාර්යයෙන්ම නැහැ. රෝගය හැදෙන එක වැලකෙන්නේ 95%ක සම්භාවිතාවකින් පමණක් බවත්, රෝගය වැළඳීමට 5%ක සම්භාවිතාවක් තිබෙන බවත් ගොඩක් අය කියයි. ඔය ටික ගොඩක් අයට තේරෙනවනේ. ඒ කියන්නේ එන්නත ගත්තත් රෝගය හැදෙන්න හෝ නොහැදෙන්න පුළුවන්. ඔය දෙකෙන් එකක් වන බවට කිසිම සහතිකයක් නැහැ. 

හරි. ඒක එහෙමයි කියමුකෝ. එහෙමනම් පයිසර්-බයෝඑන්ටෙක් කෝවිඩ් එන්නත ලබාගත් කෙනෙක්ට රෝගය වැළඳීමේ සම්භාවිතාව 95.0%ක් කියන එක නිශ්චිත කාරණයක්ද? මේ හා අදාළ විද්‍යාව ගැන වැඩි දැනුමක් නැති අය ඔව් කියලා කියයි. නමුත්, මේ හා අදාළ පර්යේෂණ පත්‍රිකාවක් බැලුවොත් පේනවා එන්නතේ සාර්ථකත්වය 90.3- 97.6% පරාසයේ විචලනය විය හැකි බව. 95.0%ක සාර්ථකත්වය කියන්නේ නිශ්චිත කාරණාවක් නෙමෙයි. එය 90% හෝ 97% වැනි ගණනක් වෙන්න පුළුවන්. මේ ගැන ටිකක් වැඩිපුර දන්නා කෙනෙක් ඔය පරාසය ඉදිරිපත් කරයි.

එහෙමනම්, පයිසර්-බයෝඑන්ටෙක් කෝවිඩ් එන්නත ලබාගත් කෙනෙක්ට රෝගය වැළඳීමේ සම්භාවිතාව 90.3- 97.6% පරාසයේ විචලනය විය හැකි අගයක් කියන එක නිශ්චිත කාරණයක්ද? 

පිස්සුද? ඒත් නෑ!

ඔය 90.3- 97.6% පරාසයට කියන්නේ 95% විශ්වාසී පරාසය කියලා. ඒ කියන්නේ, පයිසර්-බයෝඑන්ටෙක් කෝවිඩ් එන්නතේ සාර්ථකත්වය 90.3- 97.6% පරාසයේ අගයක් වෙන්න 95%ක සම්භාවිතාවක් තියෙනවා. ඒ කියන්නේ ඒ පරාසයෙන් පිටත අගයක් වෙන්නත් 5%ක සම්භාවිතාවක් තිබෙනවා. සාර්ථකත්වය 0% සිට 100% දක්වා ඕනෑම අගයක් වෙන්න පුළුවන්. වෙනත් විදිහකින් කිවුවොත් ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. 

කෝවිඩ් පරීක්ෂාවක් ගැන කියන්න තියෙන්නේත් ඔය ටිකමයි. අපි හිතමු පීසීආර් පරීක්ෂණයකින් කෝවිඩ් රෝගියෙකු හඳුනාගැනීමේ සම්භාවිතාව 70%ක් කියලා. ඒ කියන්නේ වැරදෙන්න 30%ක ඉඩක් තිබෙනවා. එහෙමනම්, හරියන්න 70%ක ඉඩක් තිබෙනවා කියන එක නිශ්චිත කාරණාවක්ද? පැහැදිලිවම නැහැ. හරියන්න 70%ක ඉඩක් තිබෙන්න කිසියම් ඉඩක් තිබෙනවා. එහෙත් එය 0-100% අතර ඕනෑම අගයක් වෙන්න පුළුවන්. ඔය ගොඩක් අය කතා කරන R0 අගය, කෝවිඩ් පැතිරෙන වේගය වගේ ඕනෑම දෙයක් හා අදාළව මේ අවිනිශ්චිතතාවය තිබෙනවා. අවිනිශ්චිතතාවයට හේතුව විද්‍යාව ඒ තරම් දියුණු නැති වීම නෙමෙයි. මේක විද්‍යාවේ ස්වභාවයමයි. අවිනිශ්චිතතාවයක් නැත්නම් ඒක ආගමක්. මේ කාරණා ගැනනම් මම ටිකක් හදාරා තිබෙන නිසා, ඇත්තටම මගේ මූලික විෂය ක්ෂේත්‍රය නිසා, වැඩි පැහැදිලි කිරීම් අවශ්‍යනම් කරන්න අමාරුවක් නැහැ. 

පයිසර්-බයෝඑන්ටෙක් කෝවිඩ් එන්නතේ සාර්ථකත්වය සෛද්ධාන්තිකව 0-100% අතර ඕනෑම අගයක් වෙන්න පුළුවන්. සෛද්ධාන්තිකව ධම්මික පැණියේ සාර්ථකත්වයත් 0-100% අතර ඕනෑම අගයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔය දෙකේ කිසිම වෙනසක් නැද්ද?

විද්‍යාව හා ව්‍යාජ විද්‍යාව අතර වෙනස තේරුම් ගන්නනම් සාර්ථකත්වය සෛද්ධාන්තිකව 0-100% අතර ඕනෑම අගයක් වෙන්න පුළුවන් පයිසර්-බයෝඑන්ටෙක් කෝවිඩ් එන්නත හා ඒ ආකාරයෙන්ම සාර්ථකත්වය සෛද්ධාන්තිකව 0-100% අතර ඕනෑම අගයක් වෙන්න පුළුවන් ධම්මික පැණිය අතර තිබෙන වෙනස කුමක්ද කියා වටහාගත යුතුයි. පයිසර්-බයෝඑන්ටෙක් කෝවිඩ් එන්නතේ සාර්ථකත්වය 0-100% අතර ඕනෑම අගයක් වෙන්න පුළුවන් වුනත් වඩාත්ම ඉඩ තිබෙන්නේ එම අගය 95.0%ක් වෙන්නයි. එම අගය 90.3- 97.6% පරාසයේ අගයක් නොවෙන්න තිබෙන සම්භාවිතාව 5%කට වඩා අඩුයි. නමුත්, ධම්මික පැණිය ගැන අප දන්නේ එහි සාර්ථකත්වය 0-100% අතර ඕනෑම අගයක් වෙන්න පුළුවන් කියන එක පමණයි. විද්‍යාව විසින් මෙහිදී අවසන් වශයෙන් කර තිබෙන්නේත්, මම හිතන විදිහට බොහෝ විට කරන්නේත් අපේ නොදැනුම තුළ තිබෙන ඓන්ද්‍රීය අවිනිශ්චිතතාවය නිසා අපට මුහුණ දෙන්න සිදුවන අවදානම අවම කරන එකයි. එහෙම නැතුව විද්‍යාව විසින් නිශ්චිත පිළිතුරු ලබා දෙන්නේ නැහැ.

හැබැයි අපට බොහෝ විට අවශ්‍ය වන්නේ නිශ්චිත පිළිතුරු මිසක් අවිනිශ්චිත පිළිතුරු නෙමෙයි. 95%ක සම්භාවිතාවකින් කෝවිඩ් වලක්වන ඔසුවකට වඩා 100%ක  සම්භාවිතාවකින් කෝවිඩ් වලක්වන ඔසුවකට අපි කැමතියි. අපි අවිනිශ්චිතතාවයට කැමති නැහැ. ඇත්තටම කියනවානම් විද්‍යාව අවශ්‍ය වන්නේත් අපි අවිනිශ්චිතතාවයට කැමති නැති නිසා. ඒ නිසා, භාවිතය තුළදී විද්‍යාවට සිදුවෙනවා මිනිස්සුන්ට නිශ්චිත පිළිතුරු සේ පෙනෙන පිළිතුරු සපයන්න. දැනුම් ආධිපත්‍යයක් ලෙස විද්‍යාවේ භූමිකාව විද්‍යාමාන වන්නේ මේ සන්දර්භය තුළයි.

මට කෝවිඩ් තිබෙනවද කියා සැකයක් ඇති වුනොත් මම පරීක්ෂාවක් කර ගන්න යනවා. අපි හිතමු මට ලැබුණු පරීක්ෂණ ප්‍රතිඵලය මේ වගේ එකක් කියලා.

"ඔබට කෝවිඩ් හැදී තිබීමේ සම්භාවිතාව 64.7-77.4% අතර අගයක් වීමට 95%ක සම්භාවිතාවක් තිබෙනවා!"

ඔය අණ්ඩර දෙමළයෙන් වැඩක් තියෙන්නේ කාටද? 

"ඒ කියන්නේ මට කෝවිඩ් හැදිලද? නැද්ද?"

ගොඩක් අය අහයි. මිනිස්සුන්ට අවශ්‍ය වන්නේ බයිනරි (ද්විමය) උත්තර. කෝවිඩ් හැදිලද නැද්ද? ඔයා මට කැමතිද නැද්ද? යුෂ්මතා වැරදිකරුද නිවැරදිකරුද? 

භාවිතය තුලදී විද්‍යාව සන්නිවේදනය කරන්න වෙන්නේ විද්‍යාව භාවිතා කරන අයට එයින් ප්‍රයෝජනයක් ලැබෙන ආකාරයට. මෙහිදී ගොඩක් වෙලාවට අවිනිශ්චිතතාවය ගැන නොකියා ද්විකෝටික බෙදීමක් කරලා නිශ්චිත පිළිතුරක් ඉදිරිපත් කරන්න සිදු වෙනවා. එක්කෝ පොසිටිව් නැත්නම් නෙගටිව්. 

දැන් වැඩේ පහසුයි. තමන් කෝවිඩ් පොසිටිව්ද නැත්නම් නෙගටිව් නෙගටිව්ද කියලා රෝගියා දන්නවා. පොසිටිව්නම් නිරෝධායනයට. නෙගටිව්නම් ගෙදර. 

අවිනිශ්චිත තොරතුරකින් මේ විදිහට නිශ්චිත ප්‍රතිඵලයක් ලබා දෙන්නේ කොහොමද? ඒ සඳහා කිසියම් රීතියක් උපයෝගී කර ගන්න වෙනවා. උදාහරණයක් විදිහට කෝවිඩ් වැළඳී තිබීමේ සම්භාවිතාව 95%ට වඩා වැඩිනම් පොසිටිව්. එම සම්භාවිතාව 5%ට අඩුනම් නෙගටිව්. ඒ කියන්නේ වැරදෙන්න තිබෙන සම්භාවිතාව 5%ක් පමණයි. එතකොට කෝවිඩ් වැළඳී තිබීමේ සම්භාවිතාව 5-95% අතරනම් මොකක්ද කියන්නේ? අවශ්‍යනම් චතුර්කෝටික පිළිතුරක් දෙන්න පුළුවන්.

"ඔබට කෝවිඩ් හැදිලත් නැහැ. හැදිලා නැත්තේත් නැහැ"

"ඔබට කෝවිඩ් හැදිලා වගේම ඔබට කෝවිඩ් හැදිලා නැහැ"

දාර්ශනික වැදගත්කමක් තිබෙනවා විය හැකි වුවත්, ඔය වගේ චතුර්කෝටික පිළිතුරකින් කාටවත් ප්‍රයෝජනයක් තියෙනවාද කියලා මම දන්නේ නැහැ. වඩා නිවැරදි පිළිතුරක් අවශ්‍යනම් අර මම කලින් යෝජනා කරපු පිළිතුර තියෙනවා.

"ඔබට කෝවිඩ් හැදී තිබීමේ සම්භාවිතාව 64.7-77.4% අතර අගයක් වීමට 95%ක සම්භාවිතාවක් තිබෙනවා!"

ද්විකෝටික පිළිතුරු වල බොහෝ විට ප්‍රයෝජ්‍ය වටිනාකමක් තිබෙනවා. විද්‍යාත්මක ක්‍රම හරහා ලබා ගන්නා අවිනිශ්චිත තොරතුරු ගොඩක් වෙලාවට භාවිතය තුළදී නිශ්චිත ද්විකෝටික පිළිතුරු විදිහට සන්නිවේදනය කරන්න හේතුව මේකයි. මෙහි ආධිපත්‍ය ස්වරූපයක් තිබෙනවා තමයි. නමුත්, අවශ්‍ය කෙනෙකුට විද්‍යාව තුළින්ම ඒ ආධිපත්‍ය බාධකය බිඳගෙන අවශ්‍ය පියවර ගණනක් පස්සට යන්න පුළුවන්. 

කෝවිඩ් පරීක්ෂාවකදී හෝ වෙනත් එවැනි පරීක්ෂණයකදී ලැබෙන තොරතුරු මත නෙගටිව් හෝ පොසිටිව් ගොඩකට දමන්න බැරිනම් බොහෝ විට කරන්නේ පරීක්ෂණය නැවත සිදු කරන එකයි. එවිට ආසාදිතයෙකු විය හැකි පුද්ගලයාට නිශ්චිත පිළිතුරු දෙකකින් එකක් ලැබෙනවා. අනෙක් අතට පරීක්ෂාව කරන පුද්ගලයාට ත්‍රිකෝටික බෙදීමක් හමු වෙනවා. එහෙත්, විද්‍යාව, අඩු වශයෙන් මා වැඩිපුර දන්නා ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විෂයයන් හා අදාළව, ද්විකෝටික තර්කයක හෝ ත්‍රිකෝටික තර්කයක හිර වී නැහැ. සංඛ්‍යානමය විශ්ලේෂණයන් තුළ වියහැකියාවන් අනන්ත ප්‍රමාණයක් තිබෙනවා.

විද්‍යාවේ ප්‍රායෝගික භාවිතය තුළ කවදාවත්ම අවිනිශ්චිතතා මුළුමනින්ම නැති කරන්න බැහැ. ඔබට දැන් සනීපයි කියා රෝගියෙකු රෝහලෙන් ගෙදර යවන එකෙන් අදහස් වෙන්නේ මේ වන විට ඔබට රෝගය සුව වී තිබීමේ සම්භාවිතාව ඉතාම විශාලයි කියන එකයි. නිසි සේ සැලසුම් කළ පාලමක් නිසි දැනුමක් නැති මේසන් බාස් කෙනෙකු හැදූ පාලමක් මෙන් කඩා වැටෙන්නේ නැහැ කියන්නේ එසේ කඩා වැටීමේ සම්භාවිතාව ඉතා අඩුයි කියන එකයි. 

සුද්දන් පොටේටෝ චිප්ස් කද්දී අල හොදි එක්ක බත් කන එක මට ප්‍රශ්නයක් නෙමෙයි. ඒත් මම හොදි හදන්න අර්තාපල් වෙනුවට නියඟලා අල ගන්නේ නැහැ. 


වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...