වෙබ් ලිපිනය:

Thursday, May 26, 2022

හැන්කිගේ උද්ධමනය


ශ්‍රී ලංකා මහ බැංකුව විසුරුවා හැරලා කරන්සි බෝඩ් එකක් හැදිය යුතු බව කියන ස්ටීව් හැන්කි විසින් මෑතක සිට වරින් වර ලංකාවේ උද්ධමනය ඇස්තමේන්තු කර ප්‍රකාශයට පත් කරනවා. ඔහුගේ අලුත්ම සංඛ්‍යාලේඛනය අනුව මැයි 19 වනදා වන විට ලංකාවේ උද්ධමනය 123%ක්. මැයි මාසය තවමත් අවසන්ව නැහැ. මැයි මාසයේ නිල උද්ධමනය දැන ගන්න ලැබෙන්නේ මාසය අවසන් වූ පසු නිසා අපට දැනට මැයි මාසයේ හැන්කිගේ උද්ධමනය හා නිල උද්ධමනය සංසන්දනය කළ නොහැකියි. 

කෙසේ වුවත්, හැන්කිට අනුව අප්‍රේල් 28 වනදා ලංකාවේ උද්ධමනය පැවතියේද 123% මට්ටමේ. මෙය අපට අප්‍රේල් මාසයේ නිල උද්ධමනය වූ 33.8% සමඟ සංසන්දනය කළ හැකියි. මේ ගණන් අතර විශාල වෙනසක් තිබෙනවා. ඒ ඇයි?

ලංකාවේ නිල උද්ධමනය ඇස්තමේන්තු කරන ආකාරය මම කලින් සටහනක විස්තර කළා. වෙනත් රටවල මෙන්ම ලංකාවේද නිල උද්ධමනය ගණනය කරන්නේ රටේ ජනතාවගේ පරිභෝජන රටාව නිරූපණය වන භාණ්ඩ හා සේවා පැසක මිල වෙනස් වීම මතයි. ජාතික පාරිභෝගික මිල දර්ශකය සකස් කිරීම සඳහා උපයෝගී  කර ගන්නා භාණ්ඩ හා සේවා පැසෙහි අයිතමයන් 407ක් තිබෙනවා. ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් ඒ එක් එක් අයිතමයේ මිල ලංකාවේ එක් එක් දිස්ත්‍රික්කයෙහි පිහිටි ස්ථාන තුනකින් එකතු කර ගන්නවා. මෙසේ දිස්ත්‍රික්ක සියල්ලෙන්ම මිල ගණන් තුන බැගින් එකතු කර ගැනීමෙන් පසුව එම මිල ගණන් වල සාමාන්‍ය අගය මත පදනම්ව භාණ්ඩ හා සේවා පැසෙහි මිල වෙනස් වීම ගණනය කරනවා. උද්ධමනය කියන්නේ වසරක් තුළ මෙම අගයේ වෙනස් වීමයි.

ජාතික පාරිභෝගික මිල දර්ශකය සකස් කිරීමට මිල ගණන් විශාල ප්‍රමාණයක් එකතු කරගත යුතු නිසා එය ප්‍රකාශයට පත් කරන්නේ දින 21ක කාල පමාවකින් පසුවයි. එහෙත්, කොළඹ පාරිභෝගික මිල දර්ශකය මාසය අවසන් වූ වහාම ප්‍රකාශයට පත් කරනවා. ඒ සඳහා, මිල ගණන් එකතු කර ගන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික ප්‍රදේශ වල පිහිටි මධ්‍යස්ථාන 14කින්. එයින් ලංකාවේම පරිභෝජන රටා නිරූපණය වන්නේ නැහැ. එහෙත්, එමගින් ජාතික පාරිභෝගික මිල දර්ශකයේ හැසිරීම ගැන ආසන්න අදහසක් කලින්ම ගන්න පුළුවන්. උදාහරණයක් ලෙස කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2022 අප්‍රේල් මාසයේදී උද්ධමනය 29.8%ක් වුනා. එය ලංකාවේම උද්ධමනය වූ 33.8%ට බොහෝ ආසන්නයි. 

ස්ටීව් හැන්කි විසින් උද්ධමනය ඇස්තමේන්තු කරන්නේ මේ සම්මත ක්‍රමයට නෙමෙයි. ඔහු විසින්ම හදාගත් සරල ක්‍රමයකට. ඒ සඳහා ලංකාවෙන් අවශ්‍ය වන්නේ විණිමය අනුපාතය පමණයි.

හැන්කිගේ ක්‍රමයේ පදනම ක්‍රය ශක්ති සාම්‍ය (Purchasing Power Parity) න්‍යායයි. එයින් කියවන්නේ මොන මුදල් ඒකකය භාවිතා කර මොන රටේ විකිණුවත් එක සමාන භාණ්ඩ විකිණෙන්නේ එකම මිලකට කියන එකයි. උදාහරණයක් විදිහට ලංකාවේ අඹ ගෙඩියක් රුපියල් 100යි. ඇමරිකාවේ ඒ වගේම අඹ ගෙඩියක් ඩොලර් සත 50යි. ඒ කියන්නේ ඩොලර් සත පණහක් රුපියල් සීයක් විය යුතු බවයි. ඩොලර් එකක් රුපියල් දෙසීයක් විය යුතු බවයි. 

ක්‍රය ශක්ති සාම්‍ය න්‍යායට පදනම් වන තර්කය වන්නේ කිසියම් බඩුවක් එක් රටක වඩා ලාබනම් අනෙක් රටට එය ආනයනය කළ හැකි නිසා ඒ බඩුවම වැඩි මිලට විකිණෙන්නට හේතුවක් නැති බවයි. මේ පදනම අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ අඩංගු භාණ්ඩ හා සේවා සියල්ල ඇමරිකාවේදී ඩොලර් ගෙවා මිල දී ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය වෙළඳපොළෙන් මිල දී ගැනීමට අවශ්‍ය රුපියල් ගණන එම භාණ්ඩ හා සේවා පැස ලංකාවෙන් මිල දී ගැනීම සඳහා වැය වන රුපියල් ප්‍රමාණයට සමාන විය යුතුයි. 

ක්‍රය ශක්ති සාම්‍ය න්‍යාය ආසන්නව නිවැරදි වුවත් හේතු ගණනාවක් නිසා හරියටම හරියන න්‍යායයක් නෙමෙයි. පළමු හේතුව ප්‍රවාහන ගාස්තු. බොහෝ භාණ්ඩ එක් රටක වඩා ලාබ වුවත් වෙනත් ප්‍රවාහන ගාස්තු ගෙවා වෙනත් රටකට ගෙන ආ විට ඒ ලාබය නැති වෙනවා. දෙවන හේතුව බොහෝ භාණ්ඩ නිෂ්පාදනය කිරීමෙන් පසුව කල් තබා ගත නොහැකි වීමයි. අළුත් මාළු උදාහරණයක්. සේවා නිෂ්පාදන සෛද්ධාන්තික ලෙසම නිපදවන මොහොතේම පරිභෝජනය කළ යුතුයි. 

මෙවැනි අඩුපාඩු තිබුණත්, හැන්කි විසින් උද්ධමනය ගණනය කිරීමට යොදා ගන්නේ මේ න්‍යායයි. එහිදී ඔහුට ලංකාවෙන් මිල ගණන් කිසිවක් එකතු නොකරම ලංකාවේ උද්ධමනය ගණනය කළ හැකියි. ඇතැම් සන්දර්භ වලදී මෙවැනි විකල්ප ක්‍රමයක් තිබීම ප්‍රයෝජනවත්.

උද්ධමනය ගණනය කිරීම සඳහා හැන්කි විසින් කරන්නේ ඇමරිකාවේ උද්ධමනය ගණනය කිරීම සඳහා යොදා ගන්නා භාණ්ඩ හා සේවා පැසෙහි ඩොලර් අගය රුපියල් වලට හරවා ඒ ඇසුරෙන් ලංකාවේ උද්ධමනය මනින එකයි. එවිට, ඇමරිකාවේ උද්ධමනය හා රුපියල් වලින් ඩොලරයක මිල වෙනස් වීම පදනම් කර ගනිමින් ලංකාවේ උද්ධමනය ඇස්තමේන්තු කළ හැකියි. මේ සඳහා විණිමය අනුපාතය ලෙස ඔහු ගන්නේ ඩොලරයක කළු කඩ මිලයි.

පසුගිය අප්‍රේල් මාසයේදී ඇමරිකාවේ උද්ධමනය 8.2%යි. ඒ කියන්නේ වසරක් තුළ ඇමරිකාවේ උද්ධමනය ගණනය කිරීම සඳහා භාවිතා කරන භාණ්ඩ හා සේවා පැසේ මිල 8.2%කින් ඉහළ ගියා කියන එකයි. ක්‍රය ශක්ති සාම්‍ය න්‍යාය අනුව එම භාණ්ඩ හා සේවා පැස ලංකාවේ විකිණෙන මිලේ ඩොලර් වටිනාකමද හරියටම 8.2%කින් ඉහළ ගොස් තිබිය යුතුයි. රුපියල් වලින් ඉහළ යාම හොයා ගන්න වෙන්නේ අදාළ කාලයේ විණිමය අනුපාතය වෙනස් වූ ආකාරය අනුවයි.

මහ බැංකුවට අනුව අද (මැයි 26) ඩොලරයක තැන් මිල (spot rate) රුපියල් 359.71ක්. වසරකට පෙර මෙම මිල 199.56ක්. මේ අනුව ඩොලරයක මිල වසරක් තුළ 80.25%කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ කියන්නේ ඇමරිකාවේ උද්ධමන පැසේ රුපියල් අගය 8.2%කින් හා නැවත 80.25%කින් ඉහළ ගොස් තිබෙනවා. මේ වර්ධනය වීම් දෙකම එකට ගත් විට නිල විණිමය අනුපාතයේ වෙනස් වීම මත පදනම්ව හැන්කිගේ ක්‍රමයට ලංකාවේ උද්ධමනය 95%ක් ලෙස ඇස්තමේන්තු කරන්න පුළුවන්.. 

කෙසේ වුවත්, හැන්කි විණිමය අනුපාතය සේ සලකන්නේ කළුකඩ මිලයි. ඔහුට අනුව ඊයේ (මැයි 25) එම මිල 426.07ක්. වසරකට පෙර මෙම මිල රුපියල් 200 සේ සැලකුවොත් මෙහි 113%ක පමණ වැඩි වීමක් තිබෙනවා. ඇමරිකාවේ උද්ධමනයද සැළකු විට මෙයින් අදහස් වන්නේ ලංකාවේ උද්ධමනය 131% පමණ වන බවයි. වසරකට පෙර කළුකඩ මිල හරියටම නොදන්නා පොඩ්ඩක් එහා මෙහා විය හැකි වුවත්, මේ වන විට ලංකාවේ හැන්කි උද්ධමනය 131% ආසන්නව පැවතිය යුතුයි. 

හැන්කි ක්‍රමය ලංකාවේ නිල උද්ධමනය ගණන් හදන සම්මත ක්‍රමය මෙන් පොදු භාවිතය සඳහා පිළිගත් ක්‍රමයක් නෙමෙයි. එහෙත් ඇතැම් සන්දර්භ වලදී මෙවැනි විකල්ප ක්‍රමයක් තිබීම ප්‍රයෝජනවත්. ඔහු මේ ක්‍රමය හඳුන්වා දී තිබෙන්නේම අධි උද්ධමන (hyperinlfation) තත්ත්වයක් ඇති රටවල් සඳහායි. අධි උද්ධමනය ලෙස අර්ථ දක්වන්නේ මාසයකට 50% ඉක්මවන මිල වැඩි වීමක්. 

සිම්බාබ්වේ කියන්නේ මෑත ඉතිහාසයේදී මෙවැනි අධි උද්ධමන තත්ත්වයක් ඇති වූ එක් රටක්. 2008 ජූලි මාසයේදී සිම්බාබ්වේ රාජ්‍යයේ නිල උද්ධමනය 231,150,889% දක්වා ඉහළ යාමෙන් පසුව නිල වශයෙන් එරට පාරිභෝගික මිල දර්ශකය ගණනය කර ප්‍රසිද්ධ කිරීම අත් හිටවනු ලැබුවා. ස්ටීව් හැන්කි හා තවත් අයෙකු විසින් ක්‍රය ශක්ති සාම්‍ය න්‍යාය මත පදනම්ව විකල්ප ක්‍රමයක් හඳුන්වා දුන්නේ මේ අඩුව පිරවීමටයි. ඔහුගේ ක්‍රමය අනුව, 2008 නොවැම්බර් 14 දින වන විට සිම්බාබ්වේ උද්ධමනය 89,700,000,000,000,000,000,000% දක්වා ඉහළ ගොස් තිබුණා. වෙනත් සංඛ්‍යාලේඛනයක් නැති නිසා මෙය විකල්ප මිනුමක් ලෙස පොදුවේ භාර ගැනුණා. 

තවත් ඇතැම් රටවල් විසින් අධි උද්ධමන තත්ත්වයක් ඇති විට පාරිභෝගික මිල දර්ශකය ගණනය කර ප්‍රසිද්ධ කිරීම හිතාමතාම ප්‍රමාද කරනවා. එවැනි තත්ත්වයක් යටතේද කුමක් හෝ විකල්පයක් තිබීම වැදගත්. 

ලංකාවේ ඉහත තත්ත්වයන් දෙකෙන් එකක්වත් නැහැ. හරියටම මාසය අවසානයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය ප්‍රකාශයට පත් කෙරෙනවා. එයින් දින 21කට පසුව ජාතික පාරිභෝගික මිල දර්ශකයද ප්‍රකාශයට පත් කෙරෙනවා. ඉදිරියේදී මේ දේවල් වෙනස් වෙන්න තිබෙන ඉඩකඩ අපට බැහැර කරන්න බැහැ. එහෙත් දැනටනම් උද්ධමනය මනින මිනුමක් නැති නිසා මොකක් හෝ විකල්පයක් හොයන්න අවශ්‍යතාවයක් ඇති වී නැහැ. 

හැන්කිගේ උද්ධමන මිනුම වෙනුවෙන් පෙනී සිටින අය එයට හේතුව සේ ඉදිරිපත් කරන්නේ ලංකාවේ නිල උද්ධමන මිනුම් වල අඩුපාඩු ඇති බවයි. මෙය ඇත්තක්. නිල උද්ධමන මිනුම් සර්ව සම්පූර්ණ නැහැ. නමුත් ප්‍රශ්නය හැන්කිගේ උද්ධමන මිනුම ඊට වඩා හොඳ එකක්ද කියන එකයි.

නිල උද්ධමන මිනුමට තිබෙන පළමු විවේචනය එමගින් ලංකාවේ වත්මන් පරිභෝජන රටාව නිරූපණය වන්නේ නැහැ කියන එකයි. දැනට එයින් පිළිබිඹු වන්නේ 2012/2013 කාලයේ පැවති පරිභෝජන රටාවයි. මේ වෙද්දී මෙහි වෙනසක් වී ඇතැයි යන්න පිළිගත හැකි තර්කයක්. එහෙත්, ඒ හේතුව නිසා ඇමරිකාවේ වත්මන් පරිභෝජන රටාව මත පදනම් වූ මිනුමක් ආදේශ කිරීම කිසිසේත්ම නිවැරදි නැහැ. පසුගිය දසවසරක කාලය තුළ ලංකාවේ පරිභෝජන රටාවන්හි සැලකිය යුතු වෙනසක් සිදුව තිබෙනවා විය හැකි වුවත් එසේ සිදු විය හැකි වෙනස ඇමරිකාවේ හා ලංකාවේ පරිභෝජන රටා වල වෙනසට වඩා ගොඩක් අඩු එකක්. 

දෙවැනි තර්කය ලංකාවේ බොහෝ මිල ගණන් රජය විසින් පාලනය කරනවා කියන එකයි. මෙය ඉතා නිවැරදි තර්කයක්. ලංකාවේ බොහෝ මිල ගණන් තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම මත නෙමෙයි. එසේ තීරණය වන්නට ඉඩ දෙනවානම් මිල ගණන් මීට වඩා ගොඩක් ඉහළ යා යුතුයි. කෙසේ වුවත්, මෙය අලුත් තත්ත්වයක් නෙමෙයි. හැමදාමත් තිබුණු තත්ත්වයක්. ඒ නිසා, එහි බලපෑම මත පාරිභෝගික මිල දර්ශකයේ අගය අඩුවෙන් පෙන්වන නමුත් එම දර්ශක අගයේ වෙනස් වීම හෙවත් උද්ධමනය අඩුවෙන් පෙන්වන බවක් එයින් අදහස් වන්නේ නැහැ. එය එසේ වෙන්න හෝ නොවෙන්න පුළුවන්. 

අනෙක් අතට හැන්කිගේ දර්ශකය පදනම් වෙන්නේ විණිමය අනුපාතය මතයි. පාරිභෝගික භාණ්ඩ වල මිල මෙන්ම ඩොලරයක මිලද රජය හා මහ බැංකුව විසින් පාලනය කරන බව නොරහසක්. මේ හේතුව නිසාම හැන්කි විසින් නියම මිල සේ සලකන්නේ කළුකඩ මිලයි. කෙසේ වුවත්, නිල විණිමය අනුපාතය පාලනය කිරීම හරහා වක්‍ර ලෙස කළුකඩ මිලද පාලනය වෙනවා. මේ හේතුව නිසා දෙවැනි තර්කය අනුව නිල මිනුමේ තිබෙන අඩුපාඩුව වැනිම අඩුපාඩුවක් හැන්කිගේ මිනුමේත් තිබෙනවා.

තුන්වෙනි තර්කය වන්නේ හැන්කි කියන උද්ධමනය මහ පොළොවේ පෙනෙන තත්ත්වය හා වඩා ගැලපෙන බවයි. මෙය සාමාන්‍ය පුද්ගලයින් හිතන ආකාරය පිළිබඳ ප්‍රශ්නයක්. හැමදාම තිබෙන ප්‍රශ්නයක්. උද්ධමනය ඉතා අඩු කාල වකවානු වලදී පවා ගොඩක් අය ඔය කතාව කියනවා. එයට හේතුව විශාල ලෙස මිල ඉහළ යන භාණ්ඩ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වන නමුත් එතරම් මිල ඉහළ නොයන දේ එවැනි අවධානයකට ලක් නොවීමයි. මේ තුන් වන කරුණ ගැන පසුව විස්තරාත්මක ලෙස කතා කරමු.  

No comments:

Post a Comment

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...