වෙබ් ලිපිනය:

Showing posts with label බැංකු. Show all posts
Showing posts with label බැංකු. Show all posts

Monday, June 26, 2023

දවස් පහේ නිවාඩුව


මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා මේ සටහනින් අපි මේ දවස් පහේ නිවාඩුව ගැන පමණක් කතා කරමු. 

දවස් පහක බැංකු නිවාඩුවක් එන්නේ ජූනි 30 සිකුරාදා දිනය විශේෂ බැංකු නිවාඩුවක් සේ නම් කිරීමත් එක්ක. අනෙක් දවස් හතර කොහොමටත් බැංකු වසා තබන්න නියමිතව තිබුණු දවස්.

ජූලි 3 සඳුදා අධි ඇසළ පසළොස්වක පෝය. ඊට කලින් දවස් දෙක සති අන්තය. සඳුදා දවසකට පෝයක් වැටුණු විට කොහොමටත් දවස් තුනක දිගු සති අන්ත නිවාඩුවක් ලැබෙනවා. පෙර සතියේ, ජූනි 29 බ්‍රහස්පතින්දා හජ්ජි උත්සව දිනය. ඒකත් කොහොමටත් තිබුණු නිවාඩුවක්. සිකුරාදා දවස විශේෂ බැංකු නිවාඩුවක් කරලා හජ්ජි නිවාඩු දිනය දින තුනේ දිගු සති අන්තය එක්ක එකතු කරන එකයි අමුතුවෙන් කරලා තියෙන්නේ. එතකොට දවස් පහකට බැංකු වැහෙනවා. 

කොහොම වුනත් මේ ජූනි 30 විශේෂ බැංකු නිවාඩුව ලංකාවට අලුත්ම දෙයක් නෙමෙයි. මට මතක ඇති කාලයේ ඔය නිවාඩුව ස්ථිර විශේෂ බැංකු නිවාඩුවක්ව පැවතුණා. එය වෙනස් වුනේ කොයි කාලයේද කියන එක සොයා බැලිය යුතු දෙයක්. 

අපි සුහුරු ජංගම දුරකථන වලට පසුව පුරුදු වුනු, කාලයක් තිස්සේ අත් ඔරලෝසුවකින් හෝ බිත්ති ඔරලෝසුවකින් වෙලාව බලපු, කැලැන්ඩරයකින් දවස බලාගත් පරම්පරාවක අය. ඒ දවස් වල අලුත් ජනවාරියක් එද්දී අපි දිනපොත්, කැලැන්ඩර මාරු කරන්න බලා හිටියා. සමාගම්, සුළු වෙළඳ ව්‍යාපාර, සුළු වෙළඳ ව්‍යාපාරිකයෝ වගේම රජයේ ආයතන විසින්ද නොමිලේ දිනපොත්, කැලැන්ඩර බෙදුවා. පාසැල් කාලයේ අපි කාගෙන් හෝ දිනපොතක් ලැබෙන තෙක් බලා හිටියා. පසුව රැකියා කරද්දී රැකියාව කළ ආයතනයෙන් ලැබුණු දිනපොත්, කැලැන්ඩර වෙනත් අයට බෙදුවා. 

ගොඩක් කැලැන්ඩර සැලසුම් කර තිබුණේ කැලැන්ඩර වලට වඩා බිත්ති සැරසිලි විදිහට. නළුවෙකුගේ හෝ නිලියකගේ පින්තූරයකට එහෙමත් නැත්නම් මනරම් භූමි දර්ශනයකට ප්‍රමුඛතාවය ලැබෙද්දී මාස දොළහේ දවස් ටිකත් පැත්තක පොඩියට මුද්‍රණය කරලා තිබුණා. ඕකේම අනෙක් අන්තය විදිහට දින කැලැන්ඩර තිබුණා. ඒ කැලැන්ඩර වල දවස ගානේම කොළ කැඩිය යුතුයි. මේස කැලැන්ඩරයක්නම් කොළ පෙරළන්නත් පුළුවන්.

දවස බලා ගන්න වැඩියෙන්ම ප්‍රයෝජනවත් වුනේ ඔය වගේ විච්චූරණ රූප නැති, ලොකු ඉලක්කම් වලින් දවස් මුද්‍රණය කර තිබුණු මාස් කැලැන්ඩර. මේ වර්ගයේ කැලැන්ඩර වල මාසයකට පිටුව බැගින් තිබුණා. කොළේ කඩාගන්න අපි මාසය අවසන් වන තෙක් බලා හිටියා. සමහර වෙලාවට ඔය කැලැන්ඩර කොළ පොත් වලට පිටකවර දමන්න ගත්තා.

මාස් කැලැන්ඩර වල සතියේ වැඩ කරන දවස් කළු පාටිනුත්, සති අන්ත දවස් හා වෙනත් නිවාඩු දවස් රතු පාටිනුත් මුද්‍රණය කරලා තිබුණා. මාසයක රතු දවස් වැඩි වෙන තරමට අපි වගේ පාසැල් ගිය හෝ රජයේ රැකියා කළ ගොඩක් අය සතුටු වුනා. පාසැල් කාලයේ වගේම, රැකියා කරද්දීත් නිවාඩුවක් කොයි තරම් වටිනවද? 

ඔය නිවාඩු රජයේ නිවාඩු, බැංකු නිවාඩු සහ වෙළඳ නිවාඩු ලෙස නම් කර තිබුණා. වෙළඳ නිවාඩුවක් හැම විටම මෙන් රජයේ හා බැංකු නිවාඩුවක්ද වුණා. එහෙත්, රජයේ හෝ බැංකු නිවාඩු හැම විටම වෙළඳ නිවාඩු වුනේ නැහැ. 

පාසල් කාලයේදී මෙන්ම ඉන්පසුව රැකියා කරද්දී අපට වැදගත් වුනේ රජයේ නිවාඩු. සාමාන්‍යයෙන් හැම විටම මෙන් රජයේ නිවාඩුවක් බැංකු නිවාඩුවක්ද වුනා. එහෙත්, ජූනි 30 මේ සම්බන්ධය කැඩුණු දවසක්. විශේෂ බැංකු නිවාඩුවක් සේ නම් කර තිබුණු එම දිනය රජයේ නිවාඩු දිනයක් වූයේ නැහැ. ඒ නිසා, කැලැන්ඩරයේ දවස රතු පාටින් ලකුණු කර තිබුණත් ඒ දවස පාසැල් හෝ රජයේ කාර්යාල වල නිවාඩු දිනයක් වූයේ නැති නිසා ඔය දවස කැලැන්ඩරයේ දකින වාරයක් පාසා හිත රිදෙන එක පමණයි සිදු වුනේ. 

දෙසැම්බර් 31ත් ඔය වගේම තවත් විශේෂ බැංකු නිවාඩුවක් තිබුණා. නමුත්, දෙසැම්බර් 31 වැටෙන්නේ කොහොමටත් පාසැල් නිවාඩු කාලය තුළ නිසා ඒ ගැන ලොකු කණස්සල්ලක් තිබුණේ නැහැ. පාසැල් වාරයේ වැටුණු ජූනි 30 නිවාඩුව ඒ වගේද?

ඔය කාලයේ බැංකු වල ගිණුම් පරිගණකගත කරලා තිබුණේ නැහැ. ලොකු ලෙජර් එකක අතින් ගිණුම් සටහන් කළ කාලයක්. මාසේ අවසන් වෙද්දී ඔය ගිණුම් තුලනය කරන එක එක යුද්දයක්. මාස හයකට වරක් විශේෂ බැංකු නිවාඩුවක් දෙන්න ඇත්තේ ගිණුම් සටහන් විගණනය කරලා අවසන් ගිණුම් වාර්තා හදන්න වෙන්න ඇති. පාරිභෝගිකයින් සඳහා බැංකු වසා තිබුණත් ඔය විශේෂ බැංකු නිවාඩු දවස් දෙක බැංකු සේවකයින්ට නිවාඩු දවස් වූයේ නැහැ. 

ජුනි 30 විශේෂ බැංකු නිවාඩුවක් දෙන සම්ප්‍රදාය අවසන් වුනේ කොයි අවුරුද්දේද කියා මම දන්නේ නැහැ. මේ සටහන සමඟ පළ කර ඇති රූපයේ දැකිය හැකි පරිදි 1992, 1993 කාලයේනම් ඔය නිවාඩුව තිබුණා.  මෑත වසර වලදී ඇතැම් අහඹු දින වල විශේෂ බැංකු නිවාඩුවක් ලබා දී තිබෙනවා. උදාහරණයක් විදිහට මේ අවුරුද්දේ ජනවාරි 16 විශේෂ බැංකු නිවාඩුවක් ලෙස කලින්ම නම් කරලා තිබෙනවා. 

ලංකාවේ නිවාඩු දවස් තීරණය කරන්නේ නිවාඩු පණත අනුව අදාළ ඇමතිවරයා විසින්. මේ කාර්යයයේදී ඇමතිවරයාට විශේෂඥ උපදෙස් ලබා දෙන පෝය කමිටුව වැනි කමිටු තිබෙනවා. මේ අවුරුද්දේ රජයේ නිවාඩු දින ගණන 26ක්. අලුතෙන් එකතු කළ විශේෂ බැංකු නිවාඩුවත් එක්ක බැංකු නිවාඩු ගණන දින 28ක්. ඔය නිවාඩු වලින් වැඩි ප්‍රමාණයක් ආගමික හේතු මත ලබා දෙන නිවාඩු. පෝය නිවාඩුම 14ක්. 

වෙසක් පෝයට පසු දිනයත් එක්ක සාමාන්‍යයෙන් ඕනෑම අවුරුද්දක පෝය නිවාඩු 13ක් වැටෙනවා. අධික චන්ද්‍ර මාසයක් තිබෙන අවුරුදු වල ඔය ගණන 14ක් වෙනවා. මේවා බෞද්ධාගමික නිවාඩු. හින්දු ආගමික නිවාඩු දින 3ක්, ඉස්ලාම් ආගමික නිවාඩු දින 3ක් හා ක්‍රිස්තියානි ආගමික නිවාඩු දින 2ක් එක්ක මුළු ආගමික නිවාඩු දින ගණන 22ක් වෙනවා. කෙසේ වුවත් ආගමික අනාගමික භේදයක් නොමැතිව සියලුම ශ්‍රී ලාංකිකයින්ට මේ නිවාඩු සියල්ලම එක සේ ලැබෙනවා. 

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් තවත් නිවාඩු දින දෙකක් එකතු වෙනවා. ඉතුරු නිවාඩු දෙක නිදහස් දිනය හා ලෝක කම්කරු දිනය. කම්කරු දිනයත් එක විදිහක ආගමික නිවාඩුවක්ම තමයි. 

නිල වශයෙන් ලංකාවේ රජයේ අවුරුද්ද පදනම් වෙන්නේ ග්‍රෙගෝරියන් දින දර්ශනය මතයි. එහෙත්, ලංකාවේ රජයේ නිවාඩු වලින් ග්‍රෙගෝරියන් දින දර්ශනය මත පදනම් වන නිවාඩු තිබෙන්නේ තුනක් පමණයි. ඒ නත්තල්, කම්කරු දින හා නිදහස් දින නිවාඩු තුනයි. අනෙක් නිවාඩු දින සියල්ලම තීරණය වන්නේ වෙනත් දින දර්ශන අනුවයි. අදාළ දින දර්ශන හා වර්ෂ ක්‍රම අනුව එම නිවාඩු සියල්ලම වසරේ එකම දිනක යෙදුනත්, ග්‍රෙගෝරියන් දින දර්ශනය අනුව එම දින වසරින් වසර වෙනස් වෙනවා. 

වර්තමානයේදී  ග්‍රෙගෝරියන් දින දර්ශනය භාවිතා කරන බොහෝ රටවල දින හතේ සතියද භාවිතයේ පැවතුනත් දින හතේ සතිය හා ග්‍රෙගෝරියන් දින දර්ශනයද සමමුහුර්ත (synchronize) වන්නේ නැහැ. ඒ නිසා, ලංකාවේ නිවාඩු දින බොහොමයක් මෙන්ම සති අන්තයද වසරින් වසර වෙනස් වෙනවා. 

කාලයක් සිංහල චන්ද්‍ර-සූර්ය දින දර්ශනය මත පදනම් වූ සති ක්‍රමයක් ලංකාවේ භාවිතා වුනා. එම සති ක්‍රමය සිංහල චන්ද්‍ර-සූර්ය වර්ෂය සමඟ සමමුහුර්ත වන්නක්. 

නිදහස ලැබෙද්දී ලංකාවේ පෝය නිවාඩු වූයේ වෙසක් හා පොසොන් පසළොස්වක දින පමණයි. නිදහසෙන් පසුව මුලින්ම රජයේ නිවාඩු අතරට දුරුතු හා උඳුවප් පසළොස්වක පෝය දවස් එකතු වුනා. ඉන් පසුව, නමසිය පනස් හයේ බුද්ධ ජයන්තිය සමඟ සියළුම පෝය දින රජයේ නිවාඩු බවට පත් කෙරුණත් වසර තුනක් යද්දී නැවතත් එම අමතර පෝය නිවාඩු අහෝසි කෙරුණා. එසේ අහෝසි කර රජයේ සේවකයින්ගේ අනියම් නිවාඩු ගණන 14 සිට 21 දක්වා ඉහළ දමා අවශ්‍ය කෙනෙකුට අමතර පෝය දින වලදී පෞද්ගලික නිවාඩු ලබා ගැනීමට අවස්ථාව සලසා දෙනු ලැබුවා.

ලංකාවේ නිවාඩු ක්‍රමයේ ලොකුම පරිවර්තනය කළේ ඩඩ්ලි සේනානායක ආණ්ඩුවයි. ඔහුගේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව, 1965 අංක 17 දරණ පණත මගින් ඒ වන විට අහෝසි කර තිබුණු පසළොස්වක පෝය නිවාඩු පමණක් නෙවෙයි හතර පෝයම නිවාඩු දින බවට පත් කළා. කාලයක් තිස්සේම තිබුණු ඉරිදා නිවාඩුව අහෝසි කෙරුණා. මේ වෙනසින් පසුව, සෙනසුරාදා ඉරිදා වෙනුවට ලංකාවේ සති අන්තය වුනේ හතර පෝය හා පෙර පෝය දවස් හතරයි. ඒ දවස් වල කලින් ඉරිදා පළවූ සිළුමිණ වගේ පුවත්පත් පළ කෙරුණේ පෝය දවස් වල. සඳුදා පළ වූ මිහිර පත්තරේ ආවේ පෝයට පසු දවසේ. සතියක් හැම විටම දවස් හතක් වුණේ නැහැ. සමහර සති වල දවස් අටයි. වැඩ කරන දවස් හයයි.

මේ ක්‍රමය නිසා විවිධ ගැටළු රැසක් පැන නැගපු බව කිව යුතු නැහැ. අඟහරුවාදා දවසකට පෝයක් වැටුණු විට සඳුදා හා අඟහරුවාදා දවස් ලංකාවේ සති අන්තය. අනෙක් බොහෝ රටවල සති අන්ත නිවාඩුව සෙනසුරාදා හා ඉරිදා. ඒ නිසා, ඇතැම් විට හදිසි ජාත්‍යන්තර වාණිජ කටයුතු දින හතරකින් කල් ගියා. ඩඩ්ලි සේනානායක ආණ්ඩුව විසින් කළ වෙනස සමඟි පෙරමුණු රජය බලයට පත් වීමෙන් පසුව 1971 අංක 29 දරණ පණතින් නැවත ආපසු හරවා සෙනසුරාදා හා ඉරිදා දවස් නැවත සති අන්තය බවට පත් කෙරුණා. පසළොස්වක පෝය දින පමණක් දිගටම පොදු නිවාඩු දවස් වුණා.

මේ අනුව, පෙනී යන පරිදි, මේ සති අන්තයේ ලැබෙන දින පහක බැංකු නිවාඩුව තුළ ඇති සෙනසුරාදා හා ඉරිදා නිවාඩු වලට තිබෙන්නේ පෝය නිවාඩු හා හජ්ජි නිවාඩු වලට වඩා කෙටි අඛණ්ඩ ඉතිහාසයක්. හජ්ජි උත්සව දිනය 1886 සිට ලංකාවේ නිවාඩුවක්. පෝය නිවාඩු අඛණ්ඩව ක්‍රියාත්මක වන්නේ 1965 සිටයි. ඉරිදා හා සෙනසුරාදා දින කාලයක සිටම නිවාඩු දින වුනත්, අවසන් වරට මෙම දින රජයේ නිවාඩු බවට පත් වන්නේ 1971 සිටයි. 

ඉස්ලාම් ආගමද යුදෙව් හා ක්‍රිස්තියානි ආගම් මෙන්ම ආබ්‍රහමික ආගමක්. ඉස්ලාම් දින දර්ශනයේ අවසන් මාසය තුළ ඉස්ලාම් ආගමිකයින් විසින් ආබ්‍රහම් හෙවත් ඊබ්‍රාහීම් හා ඔහුගේ පුතා ඉස්මායීල් දෙවියන් වෙනුවෙන් කළ කැප කිරීම් සමරනවා. 

හොඳ දරුවෙකු ලබා දෙන මෙන් දෙවියන්ට යාඥා කිරීමෙන් පසුව ඊබ්‍රාහීම්ට දරුවෙකු ලැබෙනවා. ඉස්මායීල් සේ නම් කෙරෙන මෙම දරුවා පියා සමඟ පා ගමනින් ඇවිදිය හැකි වයසට පැමිණෙද්දී තමා විසින් ඔහුගේ බෙල්ල කපා දෙවියන්ට බිලි දෙන බව ඊබ්‍රාහීම් සිහිනෙන් දකිනවා. මේ ගැන ඔහු දරුවා දැනුවත් කර ඒ ගැන විමසද්දී පියාට ලැබුණු නියෝගය අනුව කටයුතු කරන මෙන් ඉස්මායීල් ඉල්ලා සිටිනවා. ඒ අනුව, ඉස්මායීල්ගේ බෙල්ල කපා දෙවියන්ට බිලි දීම සඳහා ඔහුගේ පියා වන ඊබ්‍රාහීම් දරුවාව මුණින් අතට බිම හෙළනවා. මෙහිදී ඊබ්‍රාහීම්ගේ හා ඉස්මායීල්ගේ ඉමහත් පරිත්‍යාගය නිසා සතුටු වන දෙවියන් විසින් දරුවා නොමරා ඒ වෙනුවට නාඹර එළුවෙකු බිලි දී දරුවා නිදහස් කර ගන්නට ඉඩ සලසනවා. 

ඊදුල් අල්හා හෙවත් හජ් උත්සවය ඊබ්‍රාහීම් හා ඉස්මායීල් විසින් දෙවියන් වෙනුවෙන් කරන්නට සුදානම් වූ ඉහත පරිත්‍යාගය සැමරීමක්. මේ උත්සවය යෙදෙන්නේ ඉස්ලාම් දින දර්ශනයේ අවසන් මාසයේ දහවන දිනයි. ඉස්ලාම් දින දර්ශනයද සිංහල සූර්ය-චන්ද්‍ර දින දර්ශනය මෙන්ම චන්ද්‍රයාගේ සාපේක්ෂ චලිතය මත පදනම් වූ දින දර්ශනයක් වුවත් සිංහල සූර්ය-චන්ද්‍ර දින දර්ශනය මෙන් අධික මාස එකතු කර සූර්යයාගේ සාපේක්ෂ චලිතය සමඟ සමමුහුර්ත නොකෙරෙන නිසා ඉස්ලාම් දින දර්ශනයේ වර්ෂයක්  සිංහල සූර්ය-චන්ද්‍ර දින දර්ශනයේ වර්ෂයකට වඩා දින 11කින් පමණ කෙටියි. ග්‍රෙගෝරියන් දින දර්ශනයට සාපේක්ෂවද ආසන්න වශයෙන් දින 11කින් පමණ කෙටියි. 

ඉස්ලාම් දින දර්ශනයට සාපේක්ෂව සිංහල සූර්ය-චන්ද්‍ර දින දර්ශනය ආකෘතියක් මත පදනම්ව වියුක්ත ලෙස ගණනය කරන්නක්. ඉස්ලාම් මාසයක් ආරම්භ වන්නේ අලුත් සඳක් උදාවීමෙන් පසුවයි. මෙහිදී සිංහල සූර්ය-චන්ද්‍ර දින දර්ශනයේදී මෙන් අලුත් සඳක් උදා වීම ගණිතමය ලෙස "සිදු විය යුතු වීම" ප්‍රමාණවත් නැහැ. අලුත් සඳ පෙනෙන්නට තිබිය යුතුයි. ඒ නිසා, කාලගුණ තත්ත්වය වැනි සාධක මත ඉස්ලාම් දින දර්ශනයේ මාසයක ආරම්භක දිනය වෙනස් විය හැකියි. 

මුව දඩයමේ ගිය තිස්ස රජු ගෝණෙකු සේ වෙස් වලාගත් මිස්සක පවුවේ දෙවියා පසු පස පැන්නුවත් විද මරා දමන්නට පෙර මිහිඳු හිමියන් හමු වුනේ පසළොස්වක පෝය දවසකයි. පසළොස්වක පෝයක් යෙදෙන්නේ අලුත් සඳක සිට 13වන හෝ 14 වන දිනයි. ඒ නිසා, හජ්ජි උත්සවය යෙදෙන්නේ පසළොස්වක පෝය දිනකට දින තුනකට හෝ හතරකට පෙරයි. අලුත් සඳ දැකිය හැකි දිනය ප්‍රමාද විය හැකි නිසා බොහෝ විට පසළොස්වක පෝය දිනකට දින දෙකකට පෙර දිනයේද හජ්ජි උත්සවය යෙදෙන්නට පුළුවන්. මේ අනුව හජ්ජි උත්සවය හැම විටම මෙන් යෙදෙන්නේ පසළොස්වක පෝය දිනකට දින 2-4කට පෙරයි. මේ අතරට සති අන්තයක් වැටුණොත් එය දීර්ඝ සති අන්තයක් විය හැකියි.

හජ්ජි උත්සවය යෙදෙන්නේ කවර පසළොස්වක පෝයට පෙරද යන්න ආසන්න වශයෙන් වසර තුනකට පමණ වරක් වෙනස් වෙනවා. ඊට හේතුව ඉස්ලාම් කැලැන්ඩරය සිංහල සූර්ය-චන්ද්‍ර දින දර්ශනයට වඩා දින 11කින් පමණ කෙටි වීමයි. මේ වසරේදී හජ්ජි උත්සවය යෙදෙන්නේ අධි ඇසළ පෝයට පෙර වුවත් ඉදිරි වසරේ එය යෙදෙනු ඇත්තේ පොසොන් පෝයට පෙරයි.

ආර්ථික අර්බුදය හා එයින් ගොඩ යාමට ගත් ක්‍රියාමාර්ග හමුවේ ශ්‍රී ලාංකිකයින්ට පසුගිය වසරකට වැඩි කාලය තුළ විශාල කැපවීම් කරන්නට සිදු වුනා. එළැඹෙන හජ්ජි උත්සව සමයේ ඒ කැපවීම් වෙනුවෙන් ඔවුන්ට යම් සහනයක් ලැබෙනු ඇත්ද? ශ්‍රී ලාංකිකයින්ටත් ඊබ්‍රාහීම්ට මෙන් අඩු වටිනාකමැති දෙයක් බිල්ලට දී වඩා වටිනා දෙයක් බේරා ගන්නට ඉඩක් ලැබෙයිද? එහෙම නැත්නම් කලකට පෙර කැලැන්ඩරයේ ජූනි 30 දකින විට මෙන් හිත් රිදීමක් පමණක් ඉතිරි වෙයිද? 

Friday, March 25, 2022

හර්ෂ කියපු කතාව මොකක්ද?


හර්ෂ ද සිල්වා විසින් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක් ගැන සමාජ මාධ්‍ය වල පුළුල් කතාබහක් ඇති වුනානේ. එහිදී එක්තරා රාජ්‍ය බැංකුවක් විසින් කර තිබෙන විදේශ ව්‍යවහාර මුදල් ගනුදෙනු පිළිබඳව තොරතුරු ඔහු අනාවරණය කළා. මේ තොරතුරු වල ඇත්ත නැත්ත මම දන්නේ නැහැ. මෙය එහිදී කියූ දේ පිළිබඳ තාක්ෂණික පැහැදිලි කිරීමක්.

මෙහිදී අපි කතා කරන්නේ යන්නේ පොදුවේ විදේශ විණිමය ගනුදෙනු ගැන වුවත්, පැහැදිලි කිරීමේ පහසුවට ඩොලර් වෙළඳාම කියා කියමු. 

ඩොලර් මිල දී ගන්න හෝ විකුනන්න අවශ්‍ය කෙනෙක් සාමාන්‍යයෙන් කරන්නේ බැංකුවකට හෝ මුදල් හුවමාරුකරුවෙකු (moneychanger) වෙත ගොස් රුපියල් නෝට්ටු දී ඩොලර් නෝට්ටු ගන්න එක. එහෙම නැත්නම් ඩොලර් නෝට්ටු දී රුපියල් නෝට්ටු ගන්න එක. සිල්ලර කඩේකින් හාල් පොල් ගන්නවා වගේ ගණුදෙනුව එතැනින් ඉවරයි. 

හැබැයි බැංකු අතර විධිමත් ලෙස සිදුවන මහා පරිමාණ විදේශ විණිමය ගනුදෙනු සිදු වෙන්නේ ඔයිට වඩා ටිකක් සංකීර්ණ විදිහකට. ඒ ගනුදෙනු වලදී බොහෝ වෙලාවට එක් ගිණුමකින් තවත් ගිණුමකට මුදල් සම්ප්‍රේෂණය වනවා මිස රුපියල් හෝ ඩොලර් නෝට්ටු හුවමාරුවක් වෙන්නේම නැහැ. විධිමත් විදේශ විණිමය වෙළඳපොළේ සිදුවන ගනුදෙනු අදාළ ගනුදෙනුව සම්පූර්ණ වීමට ගත වන කාලය අනුව වර්ග කෙරෙනවා.

එදින ගනුදෙනු (cash transactions) - ගණුදෙනුව සිදු වූ දවස ඇතුළතම ගිණුම් අතර රුපියල් හා ඩොලර් හුවමාරු වෙනවා. මෙම ගනුදෙනු Today යන්න කෙටි කර Tod transactions ලෙසද හඳුන්වනවා. 

ඉදිරි දින ගනුදෙනු (Tom transactions) - ගණුදෙනුව සිදු වූ දිනට පසු දින ගිණුම් අතර රුපියල් හා ඩොලර් හුවමාරු වෙනවා. මෙහි Tom යන්න හැදී තිබෙන්නේ Tomorrow යන්න කෙටි වීමෙන්.

තැන් ගනුදෙනු (spot transactions) - ගණුදෙනුව සිදු වූ දවසේ සිට දින දෙකක් ඇතුළත ගිණුම් අතර රුපියල් හා ඩොලර් හුවමාරු වෙනවා.

ඉදිරි හුවමාරු ගනුදෙනු (forward transactions) - ගණුදෙනුව සිදු වූ දවසේ සිට දින දෙක ඉක්මවූ කලින් එකඟ වූ දිනයකදී ගිණුම් අතර රුපියල් හා ඩොලර් හුවමාරු වෙනවා. හුවමාරුව සිදු වන දිනය බොහෝ විට සතියකට, මසකට, තෙමසකට, සයමසකට හෝ වසරකට පසුව විය හැකියි. ඇතැම් විට වෙනත් කාලයකට පසුව වෙන්නත් පුළුවන්.

මුදල් හුවමාරු ගිවිසුම් (swap transactions) - මෙම ගනුදෙනුවක කොටස් දෙකක් තිබෙනවා. දළ වශයෙන් මෙය තැන් ගනුදෙනුවක හා ඉදිරි හුවමාරු ගනුදෙනුවක එකතුවක් වැනි දෙයක්. ගනුදෙනුව අනුව පළමු හුවමාරුව සිදු කර, කලින් එකඟ වූ නිශ්චිත කාලයකට පසුව, දෙවන ගනුදෙනුවකින් මුල් ගනුදෙනුව ආපසු හැරවෙනවා.

එදින, ඉදිරි දින හා තැන් ගනුදෙනු වලදී හුවමාරුව සිදු වන විණිමය අනුපාතය විශාල ලෙස වෙනස් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් කිසියම් දිනක විණිමය අනුපාතය ලෙස හඳුන්වන අනුපාතයට මෙම අනුපාත ආසන්නව සමානයි. එහෙත්, ඉදිරි හුවමාරු ගනුදෙනු වලදී එකඟ වන විණිමය අනුපාතය බොහෝ විට වෙනස් අනුපාතයක්. ඒ වගේම හුවමාරුව සිදුවන කාලය අනුව මෙම අනුපාතය වෙනස් වෙනවා.

සාමාන්‍ය මූලධර්මයක් ලෙස තැන් අනුපාතය හා ඉදිරි හුවමාරු අනුපාතය අතර වෙනසින් අදාළ රටවල් දෙක අතර පවතින උද්ධමන වෙනස පිළිබිඹු විය යුතුයි. 

මම මෙය උදාහරණයකින් පැහැදිලි කරන්නම්. 

ලංකාවේ උද්ධමනය 17.5% ලෙසත්, ඇමරිකාවේ උද්ධමනය 7.5% ලෙසත් සලකමු. මේ අනුව, රටවල් දෙක අතර උද්ධමන වෙනස 10%ක්. එයින් අදහස් වන්නේ වෙනත් සාධක වෙනස් නොවේනම් ඩොලරයක රුපියල් මිල වසරකට 10%කින් ඉහළ යාමට නියමිත බවයි. ඒ අනුව, මාස 6කදී 5%කිනුත්, මාස 3කදී 2.5%කිනුත් මිල ඉහළ යාමට නියමිතයි.

අද තැන් අනුපාතය රුපියල් 300 සේ සලකමු.

ඒ අනුව, මාස-3 ඉදිරි හුවමාරු අනුපාතය 307.50ක්ද, මාස-6 ඉදිරි හුවමාරු අනුපාතය 315ක්ද, වසර-1 ඉදිරි හුවමාරු අනුපාතය 330ක්ද විය යුතුයි. 

ජාත්‍යන්තර මූල්‍යකරණ විෂයයෙහි ඉදිරි හුවමාරු අනුපාතය හා තැන් හුවමාරු අනුපාතය සම්බන්ධ කෙරෙන "Theory of unbiased forward rates" නම් වූ න්‍යායයක් තිබෙනවා. එයින් කියැවෙන්නේ, අද දිනයේ තිබෙන තොරතුරු අනුව, මාස 6කට පසුව තැන් හුවමාරු අනුපාතය පිළිබඳ හොඳම ඇස්තමේන්තුව අද දිනයේ පවතින මාස-6 ඉදිරි හුවමාරු අනුපාතය බවයි. මෙය වෙනත් ඕනෑම කාලයකටද අදාළයි. එහෙත්, දැනට නොදන්නා පසුව ලැබෙන්නට නියමිත තොරතුරු මත මෙය වෙනස් විය හැකියි.

ඉදිරි හුවමාරු අනුපාතය හා තැන් හුවමාරු අනුපාතය අතර වෙනස ධන අගයක්නම් එය ඉදිරි හුවමාරු අධිභාරයක් (forward premium) ලෙසත්, මෙය සෘණ අගයක්නම් ඉදිරි හුවමාරු වට්ටමක් (forward discount) ලෙසත් හැඳින්වෙනවා.

ජාත්‍යන්තර මූල්‍යකරණ විෂයයෙහි මෙන්ම ආර්ථික විද්‍යාවෙහිද ප්‍රචලිත තවත් න්‍යායක් වන්නේ ක්‍රය ශක්ති සාම්‍ය (purchasing power parity) න්‍යායයි. එම න්‍යාය අනුව දෙරට අතර උද්ධමන වෙනස එක්-වසර ඉදිරි හුවමාරු අධිභාරයට හෝ ඉදිරි හුවමාරු වට්ටමට සමාන විය යුතුයි. මාස-6 ඉදිරි හුවමාරු අධිභාරය හෝ ඉදිරි හුවමාරු වට්ටම උද්ධමන වෙනසින් බාගයකට වඩා අඩු විය යුතුයි.

ලංකාවේ උද්ධමනය ඇමරිකාවේ උද්ධමනයට වඩා වැඩි වීම සාමාන්‍ය තත්ත්වය බව අපි දන්නවා. ඇමරිකාව දිගුකාලීනව උද්ධමනය 2% මට්ටමේ තියා ගන්නා නමුත් ලංකාවේ එම ඉලක්කයම වුවත් 5% පමණ මට්ටමක්. ඇත්ත උද්ධමනය බොහෝ විට ඊටත් වඩා වැඩියි. ඒ කියන්නේ උද්ධමන වෙනස අවම වශයෙන් 3%ක් පමණවත් වෙනවා. දැන්නම් 10% පමණ. ඉදිරියේදී තවත් ගොඩක් වැඩිවෙයි.

මේ අනුව, ලංකාවේ විදේශ විණිමය වෙළඳපොළේ ඉදිරි හුවමාරු අධිභාරයක් මිස ඉදිරි හුවමාරු වට්ටමක් තිබීම සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. එවැනි තත්ත්වයක් දැකිය හැකිනම් බොහෝ විට එය අසාමාන්‍ය තත්ත්වයක්.

මුදල් හුවමාරු ගිවිසුමක් කියා කියන්නේ තැන් ගනුදෙනුවක හා ඉදිරි හුවමාරු ගනුදෙනුවක එකතුවක් වැනි දෙයක් කියා මම කිවුවනේ. මෙය පැහැදිලි කිරීම සඳහා ඉදිරි හුවමාරු අධිභාරය 10%ක් ලෙස සලකමු. මෙහිදී ගිවිසුම අනුව, A විසින් B ට අද රුපියල් 300 බැගින් කිසියම් ඩොලර් ප්‍රමාණයක් දෙනවා. හරියටම වසරකට පසුව B විසින් Aට රුපියල් 330 බැගින් ඩොලර් 100ක් දිය යුතුයි. ඒ වන විට ඩොලරයේ තැන් මිල කීයක් වුනත් එහි ලාබය හෝ පාඩුව අදාළ පාර්ශ්ව වලට භාර ගන්න වෙනවා.

හර්ෂ කියන කතාව ඇත්තනම් මහජන බැංකුව විසින් පසුව රුපියල් 185 බැගින් ඩොලර් ආපසු දෙන පොරොන්දුවට රුපියල් 200 බැගින් ඩොලර් අරගෙන. ඒ කියන්නේ ඉදිරි හුවමාරු වට්ටමකට. දැන් මහජන බැංකුවට එම ගිවිසුම අනුව වෙළඳපොළෙන් රුපියල් 300ට ගන්න ඩොලර් රුපියල් 185 බැගින් විකුණන්න සිදු වෙලා. ඩොලර් එක තව ඉහළ ගියොත් පාඩුව තවත් වැඩි වෙනවා. 

මේ වැඩෙන් මහජන බැංකුව බංකොලොත් වෙලා කඩා වැටෙන එකක්නම් නැහැ. (ඒ ඇයි කියා විස්තර කරන්න ගියොත් ලිපිය ගොඩක් දිග වෙනවා. එය පසුව කරන්නම්). නමුත්, පාඩුවක් වෙන බව ඉතාම පැහැදිලියිනේ. එය තීරණය වන්නේ ගිවිසුම්ගත මුදල් ප්‍රමාණ හා ගිවිසුම් කාල මතයි. 

Thursday, March 24, 2022

බැංකු කඩා වැටෙන්නද යන්නේ?

 

මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කරමින් "බැංකු පද්ධතිය සම්බන්ධයෙන් සිදු කර ඇති යම් ප්‍රකාශයන් නිවැරදි නොවන අතර, බැංකු පද්ධතිය ස්ථාවර බවටත්, රාජ්‍ය බැංකු ආයතනවල මෙහෙයුම් කටයුතු සුමට ආකාරයෙන් සිදු වෙමින් පවතින බවටත්, මහජනතාව සහ සියලු පාර්ශ්වයන් වෙත මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහවුරු කරන බව" දැනුම් දී තිබෙනවා. 

මහ බැංකුව විසින් මීට මහජනතාව වෙත කළ මෙවැනි ඇතැම් දැනුම්දීම් නිවැරදි නොවූ බව මේ වන විට තහවුරු වී තිබෙනවා. ඒ හේතුව මත මහ බැංකුවට මේ වෙලාවේ "කොටියා ආවෝ" ආකාරයේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වී තිබෙනවා. මේ වෙලාවේ මහ බැංකුව ඇත්ත කිවුවත් මිනිස්සු පිළිගන්නේ නැහැ. ඒ නිසා, පැහැදිලි කිරීමක් කරන එක පැත්තක සිටින අප වැනි අයගේ වගකීමක් කියා මම හිතනවා. 

වාණිජ බැංකු විසින් කරන්නේ පොලියක් ගෙවා තැන්පතු සේ එකතු කරගන්නා මුදල් වැඩි ඊට වඩා පොලියකට ණය සේ ලබා දී ලාබයක් ලබන එකයි. ඔවුන්ගේ ව්‍යාපාරික ආකෘතියම මෙය නිසා ලෝකයේ කිසිම බැංකුවක් තැන්පතු සේ එකතු කරගන්නා මුදල්  සියල්ල බැංකුවේ ගොඩ ගසා ගෙන ඉන්නේ නැහැ. තමන්ගේ තැන්පතු මුදල් ආපසු ඉල්ලන අයට ලබා දීමට ප්‍රමාණවත්යැයි ඇස්තමේන්තු කරන මුදලක් අතේ තියාගෙන ඉතිරි සල්ලි ණයට දෙනවා.

සියලුම තැන්පතුකරුවන් එකවර පැමිණ බැංකුවේ තිබෙන තමන්ගේ සල්ලි මුදල් නෝට්ටු වලින් ඉල්ලා සිටියොත් ලෝකයේ ඕනෑම බැංකුවක් කඩා වැටෙනවා. එහෙම ගෙවන්න සල්ලි බැංකුවේ නැහැ. බැංකුවේ විතරක් නෙමෙයි රටෙත් නැහැ. මම පළමුව ඇමරිකාවේ දත්ත පෙන්වන්නම්. 

ඇමරිකානුවන් සතු මුළු මුදල් ප්‍රමාණය, එහෙමත් නැත්නම් මුදල් සැපයුම, කොපමණද?

පහත තිබෙන්නේ 2022 පෙබරවාරි අවසානයේ ඇමරිකාවේ M1 මුදල් සැපයුම හා එහි සංරචකයි.

සංසරණයේ ඇති මුදල් නෝට්ටු - ඩොලර් බිලියන 2,141.8යි.

ඉල්ලුම් තැන්පතු (ජංගම ගිණුම්) - ඩොලර් බිලියන 4,695.3යි.

අනෙකුත් ද්‍රවශීල තැන්පතු (ඉතිරි කිරීමේ ගිණුම් ආදිය) - ඩොලර් බිලියන 13,723.7යි.

එකතුව - ඩොලර් බිලියන 20,560.8යි. 

දැන් මේ අනුව රටේ මිනිස්සුන්ගෙන් සල්ලි වලින් 90%ක් පමණම තියෙන්නේ බැංකු වලයි. එහෙමයි කියලා මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැහැ. ඇමරිකාවේ ගොඩක් අය ගනුදෙනු කරන්නේ කාඩ්පත් වලින් හා වෙනත් විද්‍යුත් ක්‍රම වලින් මිසක් මුදල් නෝට්ටු වලින් නෙමෙයි. ලෝකයේ වෙනත් බොහෝ දියුණු රටවලත් තත්ත්වය එවැන්නක්.

දැන් මෙහි සඳහන් ඩොලර් බිලියන 20,560.8ක් වන මිනිස්සුන්ගේ සල්ලි වලින් ඩොලර් බිලියන 18,419ක්ම තියෙන්නේ බැංකු වල. මිනිස්සු එක පාරටම ඒ සල්ලි ඉල්ලුවොත් දෙන්න සල්ලි බැංකු වල තියෙනවද?

පෙබරවාරි අවසන් වෙද්දී ඇමරිකාවේ සංචිත බැංකුව විසින් නිකුත් කර තිබුණු මුළු නෝට්ටු ප්‍රමාණයම ඩොලර් බිලියන 2,235.5ක් පමණයි. එයින් බිලියන 2,141.8ක්ම මිනිස්සු අතේ. එතකොට බැංකු වල තියෙන ප්‍රමාණය ඩොලර් මිලියන 93.7ක් පමණක් බව ගණන් හදා ගන්න පුළුවන්නේ. 

බැංකු වල ඩොලර් නෝට්ටු තිබෙන්නේ මෙපමණක් වුවත්, ඔය බැංකු විසින් සංචිත බැංකුවේ ගිණුම් වල දමපු සල්ලි තිබෙනවා. ඒ නිසා අවශ්‍ය වෙලාවක ඒ සල්ලි මුදල් නෝට්ටු ලෙස ආපසු ගන්න පුළුවන්. එම ප්‍රමාණය ඩොලර් බිලියන 3,804.5ක්. ඒ කියන්නේ තැන්පතුකරුවන් විසින් ආපසු ඉල්ලුවොත් ඩොලර් බිලියන 3,898.2ක් දක්වා මුදලක් ප්‍රශ්නයක් නැතුව ආපසු ගෙවන්න පුළුවන්.

ඇමරිකාවේ බැංකු වල තිබෙන මුළු තැන්පතු ප්‍රමාණය ඩොලර් බිලියන 18,419ක්. ඒ කියන්නේ හදිසියකදී ගෙවන්න පුළුවන් ඔය ප්‍රමාණයෙන් 21%ක් පමණයි. ඊට වඩා ඉල්ලුවොත් බැංකු කඩා වැටෙනවා. 

දැන් අපි ලංකාවට එමු. 2021 ජූනි අවසානයේදී ලංකාවේ සාමාන්‍ය මිනිසුන්ට අයිති වූ මුදල් ප්‍රමාණය හා එහි සංරචක පහත තිබෙනවා.

සංසරණයේ ඇති මුදල් නෝට්ටු - රුපියල් බිලියන 711.9යි.

ඉල්ලුම් තැන්පතු (ජංගම ගිණුම්) - රුපියල් බිලියන 581.5යි.

ඉතිරි කිරීමේ ගිණුම් හා ස්ථිර තැන්පතු - රුපියල් බිලියන 7,842.9යි.

එකතුව - රුපියල් බිලියන 9,136.3යි. 

දැන් පේනවනේ. මිනිස්සුන්ගේ සල්ලි වලින් 92%ක්ම තියෙන්නේ බැංකු වල. සමහර විට ඔය ප්‍රතිශතය මේ වෙද්දී ටිකක් අඩු වෙලා ඇති. නමුත්, 90%කට වඩා අඩු වෙන්න විදිහක් නැහැ. බැංකු වල තිබෙන මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 8,424.4ක්. ඔය සල්ලි ඔක්කොම එක වර ගෙවන්න බැංකු වලට පුළුවන්ද?

ඔය දවස වෙද්දී බැංකු සතුව මුදල් ලෙස තිබුණේ රුපියල් බිලියන 238.2ක් පමණයි. තව රුපියල් බිලියන 115.0ක් මහ බැංකුවේ තැන්පත් කරලා තිබුණා. එතකොට එකතුව රුපියල් බිලියන 253.2ක් පමණයි. ඒ කියන්නේ මහජන තැන්පතු ප්‍රමාණයෙන් 3%ක් පමණයි. මේ ප්‍රතිශතය ඇමරිකාවේ 21%ට වඩා ගොඩක් අඩුයි. ඔය වගේ තත්ත්වයක් යටතේ මිනිස්සු එකවර බැංකු වලින් සල්ලි අදින්න ගත්තොත් රටේ බැංකු පද්ධතියම ක්ෂණිකව කඩා වැටෙන්න පුළුවන්.

සාමාන්‍යයෙන් ලංකාවේ මිනිස්සු ජංගම ගිණුම් වල තියෙන සල්ලි ගනුදෙනු සඳහා වියදම් කරන නමුත් ඉතිරි කිරීමේ ගිණුම් හා ස්ථිර තැන්පතු වල තිබෙන සල්ලි හොල්ලන්නේ නැහැ. ඔය කියන දවස වන විට ජංගම ගිණුම් වල තිබුණු සල්ලි වලින් 43.5%ක් එකවර ඉල්ලුවත් ගෙවන්න ප්‍රමාණවත් සල්ලි ලංකාවේ බැංකු සතුව තිබුණා. ඒ නිසා, මිනිස්සු ඉතිරි කිරීමේ ගිණුම් හා ස්ථිර තැන්පතු වල තිබෙන සල්ලි ආපසු නොගන්නා තුරු බැංකු පද්ධතිය කඩා වැටීමේ කිසිම අවදානමක් නැහැ.

පවතින ඉහළ උද්ධමනය හමුවේ බැංකු විසින් තැන්පතුකරුවන්ට ප්‍රමාණවත් තරම් ඉහළ පොලියක් ගෙවන්නේ නැහැ. මේ තත්ත්වය තුළ මිනිස්සු තමන්ගේ ඉතිරි කිරීමේ ගිණුම් හා ස්ථිර තැන්පතු වල තිබෙන සල්ලි ඇදලා රත්තරන් වැනි දේ මිල දී ගැනීමේ ප්‍රවණතාවක් ඇති වී තිබෙනවා. පුළුවන් අය ඩොලර් ගන්නවා. තව අය ඉඩම් වාහන වගේ දේවල් ගන්නවා. මේ තත්ත්වය තුළ බැංකු වලින් එළියට යන තරමට ඇතුළට සල්ලි එන්නේ නැහැ. ඊයේ (මාර්තු 23) වන විට බැංකු පද්ධතිය ඇතුළේ ද්‍රවශීලතා හිඟය රුපියල් බිලියන 585.95ක්. හැබැයි මහ බැංකුව විසින් 7.5% පොලියට ණය දීලා ඔය හිඟය පුරවනවා. අවදානම් පැත්තකින් තිබ්බොත්, මහ බැංකුවට සල්ලි අච්චු ගහන්න පුලුවන් නිසා ඔය වැඩේ දිගටම වුනත් කරන්න පුළුවන්. 

ඔය ප්‍රශ්නය ස්ථිරසාර ලෙස විසඳා බැංකු පද්ධතියේ ස්ථාවරභාවය තහවුරු කරන්න අවශ්‍යනම් මහ බැංකුව විසින් කළ යුත්තේ පොලී අනුපාතික වැඩි කරන එකයි. එතකොට මිනිස්සු බැංකු වලින් සල්ලි අදින එක නවතිනවා.

පෙනෙන විදිහට යම් කතාවක් පැතිරී තිබෙන්නේ මහජන බැංකුවේ ස්ථාවරත්වය පිළිබඳවයි. රොයිටර් වාර්තා කර තිබෙන විදිහට සංවර්ධන බැඳුම්කරයක් වෙනුවෙන් මහ බැංකුව විසින් මහජන බැංකුවට ගෙවිය යුතු වූ මුදලක් නියම වෙලාවට ගෙවලා නැහැ. එම මුදල නොලැබුණු නිසා මහජන බැංකුව විසින් තවත් වාණිජ බැංකු දෙකකට ගෙවිය යුතු වූ මුදල් ගෙවන්න බැරි වෙලා. ඔය වගේ පරක්කු වන එක ගෙවීමක් ක්ෂණිකව බැංකු පද්ධතියේම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

හැබැයි මතක තියා ගන්න මේ හිරවීම් සියල්ල සිදුවන්නේ ඩොලර් ගනුදෙනු හා අදාළවයි. ඒ හේතුව නිසා බැංකු පද්ධතියේ අස්ථාවරත්වයක් ඇති වුනත්, මහජනතාවගේ රුපියල් තැන්පතු වලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වාණිජ බැංකු සතුව ප්‍රමාණවත් රුපියල් ප්‍රමාණයක් නැත්තේ එම රුපියල් වැඩි පොලියකට රජයට ණයට දීලා නිසා. හරියටම කිවුවොත් භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරලා නිසා. බැංකු අතේ රුපියල් වලින් සල්ලි නැතත් මේ භාණ්ඩාගාර බිල්පත් තිබෙනවා. ඒ නිසා, ඕනෑ වෙලාවක ඒ භාණ්ඩාගාර බිල්පත් ඇපයට තියලා මහ බැංකුවෙන් 7.5% පොලියට ණය ගන්න පුළුවන්. 

තවත් විදිහකට කිවුවොත් මේ වෙලාවේ බැංකු වල තිබෙන රුපියල් තැන්පතු වලට කිසිම අවදානමක් නැහැ. හැබැයි හැමෝම බය වෙලා සල්ලි අදින්න ගත්තොත්නම් විශාල ප්‍රශ්නයක් වෙයි. එය කෙසේවත් නොකළ යුතු දෙයක්. මම හිතන්නේ ලංකාවට දැනට තියෙන ප්‍රශ්න ටික හොඳටම ඇති!

Wednesday, July 29, 2020

මිනිස්සු සල්ලි එපා කිවුවොත්?


බැංකු හා මුදල් මැවීම ගැන උනන්දුවෙන් කියවන පිරිසක් තවමත් සිටින නිසා තව ටිකක් ඉදිරියට යමු. එකම මාතෘකාවක් පිළිබඳව එක දිගටම ලියන කොට ඒ මාතෘකාව ගැන වැඩි උනන්දුවක් නැති අය ටිකෙන් ටික හැලෙනවා. එහෙම වෙන බව තේරුණොත් මාතෘකාව වෙනස් කෙරෙයි. තවමනම් අවුලක් නැහැ.

ඒ වගේම, මේ ලිපිය පෙර ලිපි වලට සම්බන්ධ නිසා එම ලිපි නොකියවූ අයෙකුට අගමුල නොතේරෙන්න පුළුවන්. එහෙමනම්, කරුණාකර පහත තිබෙන ලිපි කියවා නැවත එන්න. ආර්ථික විද්‍යාව යම් මට්ටමකට හදාරා තිබෙන කෙනෙකුට වුනත් අලුත් දේවල් විය හැකි ඇතැම් කරුණුත් ඉදිරියට එන්න ඉඩ තිබෙනවා.

අපේ සල්ලි හා බැංකුවේ සල්ලි


මුදල් මවන්නේ කොහොමද?


පෙර ලිපි කියවුවානම් දැන් ඔබට වාණිජ බැංකු වලින් කරන මුදල් මැවීම ගැන පැහැදිලි අවබෝධයක් තිබිය යුතුයි. එසේ නැත්නම් අවශ්‍ය ඕනෑම ප්‍රශ්නයක් අහන්න. දැන දැන උවමනාවෙන්ම ඇහුවේ නැත්නම්, මෝඩ ප්‍රශ්න කියා දේවල් නැහැ. පැහැදිලි නැති දෙයක් පැහැදිලි කර ගැනීම ලැජ්ජාවට කාරණයක් නෙමෙයි. කොහොමටත් මෙහි ප්‍රතිචාර දමන්න තමන්ගේ නම දැමීම අනිවාර්ය නැහැ. එකම පහසුව කෙටියෙන් අකුරු දෙකක් හෝ දැම්මොත් එකම පුද්ගලයාගේ ප්‍රතිචාර වෙන් කර හඳුනා ගන්න පුළුවන් වීමයි.

දැන් මේ වාණිජ බැංකු විසින් කරන මුදල් මැවීම මුදල් ගුණනය කිරීමක් එහෙමත් නැත්නම් මුදල් බෝ කිරීමක්නේ. අර මැජික්කාරයෝ තොප්පියට පරවියෙක් දමලා පරවියෝ දෙන්නෙක් ගන්නවා වගේ. 

වට්ටක්කා ඇට දෙකක් කුඹුරට වීසි කළාම වට්ටක්කා වැල් දෙකක් හැදෙනවා. ඒ වැල් දෙකේ වට්ටක්කා හැදෙනවා. ඒ වට්ටක්කා වල තිබෙන ඇට ටික කුඹුරු වලට හරි වතු වලට හරි විසි කළාම තව වට්ටක්කා වැල් විශාල ප්‍රමාණයක් හැදී ඒවායේත් වට්ටක්කා හැදෙනවා. ඔය විදිහට හැදෙන වට්ටක්කා ටික ඔක්කොම නාස්ති වෙන්න නොදී එකතු කරගෙන අපනයනය කරන්න පුලුවන්නම් ලංකාව සංවර්ධිත රටක් කරන්න අවශ්‍ය වෙන්නේ වට්ටක්කා ඇට දෙකක් පමණයිනේ.

ඔය විදිහට වට්ටක්කා ඇට දෙකකින් රටක් ගොඩ දමන්න බැරි බව කියවන කාට වුනත් තේරෙනවනේ. හැබැයි ආකෘතියක් හදලා එහෙම පුළුවන් කියා සෛද්ධාන්තිකව පෙන්නන්න පුළුවන්. ඊට පස්සේ ඒ ආකෘතිය වැරදි බව තවත් කෙනෙක්ට පෙන්වන්න පුළුවන්. ආකෘතිය වැරදි වුනත් වට්ටක්කා ඇට දෙකකින් වට්ටක්කා හදා ගන්න පුළුවන් කියන කාරණය ඇත්තක්නේ.

වාණිජ බැංකු එකතු වෙලා මුදල් මවන එකත් ඔය වගේ වැඩක්. අසීමිත ලෙස මුදල් ගුණනය කරන්න බැරි වුනත් බැංකු වලට මුදල් ගුණනය කිරීමක් කළ හැකියි. මෙය කවුරුවත් හිතාමතා කරන දෙයක් නෙමෙයි. වට්ටක්කා ඇට දෙකක් කුඹුරට විසි කළාම පැල වෙනවා වගේ දෙයක්. සමහර වෙලාවට ඔය ඇට දෙක පැලවෙන්නේ නැති බව කාට හරි කියන්න පුළුවන්. එහෙම පැල වුනේ නැත්නම් වට්ටක්කා මැවීමක් නැහැ. මුලින් වට්ටක්කා පැල වුනත් වට්ටක්කා හේනක්ම බෝකර ගත්තාට පස්සේ වුනත් එක පාර ඔය හේනම විනාශ වෙන්න පුළුවන්. ඔය වගේම වාණිජ බැංකු විසින් මුදල් මැවීමේ යාන්ත්‍රණයත් විවිධ හේතු මත අතරමග නවතින්න පුළුවන්. 

ඊට කලින් අපි මුලටම ගියොත් වට්ටක්කා බෝකර ගන්න මුලින්ම වට්ටක්කා ඇටයක් හෝ ඇට දෙකක් අවශ්‍ය වෙනවා වගේම වාණිජ බැංකු වලට මුදල් මැවීම ආරම්භ කරන්නත් කිසියම් බීජ මුදලක් (seed money) අවශ්‍ය වෙනවා. ඔය බීජ මුදල් වෙන්නේ මහ බැංකුව විසින් සංසරණයට අලුතෙන් එකතු කරන මුදල්. 

අපි හිතමු රටේ මුදල් ඉල්ලුම හා සැපයුම මනා සේ සමතුලිතව තිබෙනවා කියා. දැන් එක බැංකුවකට දවස අවසානයේ මුදල් හිඟයක් ඇති වුනත්, ඒ හිඟය පියවා ගන්න අවශ්‍ය මුදල් වෙනත් බැංකුවක තිබෙනවා. ඒ වගේම, එක බැංකුවක මුදල් අතිරික්තයක් ඇති වුනොත් එම අතිරික්තය ආයෝජනය කළ හැකි ඉල්ලුමක් රටේ බැංකු පද්ධතිය ඇතුළේ තිබෙනවා. ඒ නිසා, මහ බැංකුවට ඇඟිලි ගහන්න දෙයක් නැහැ.

ඔහොම තියෙද්දී රජය හා මහ බැංකුව එකතු වී රටේ මුදල් සැපයුම වැඩි කරන්න තීරණය කරනවා. හේතුව මොකක් හෝ වෙන්න පුළුවන් ඒ කාරණය අපි දැනට පැත්තකින් තියමු.

රජය විසින් රුපියල් බිලියන 10ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනවා. මහ බැංකුව විසින් අලුතින් මුද්‍රණය කළ මුදල් ගෙවා ඒ භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්නවා. දැන් රජය විසින් ඔය මුදල් යොදවා රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කරනවා. අපි ඔය වගේ උදාහරණයක් ගනිමු. දැන් මෙහිදී රුපියල් බිලියන 10ක සල්ලි අච්චු ගැසීමක් සිදු වෙලා. ඒ වගේම රටේ මුදල් සැපයුම ක්ෂණිකවම රුපියල් බිලියන 10කින් ඉහළ යනවා. ඒ කියන්නේ රටේ මුදල් ඉල්ලුම හා සැපයුම අතර රුපියල් බිලියන 10ක පරතරයක් ඇති වෙනවා. ඒ අමතර රුපියල් බිලියන 10 ගන්න කෙනෙක් නැහැ.

වෙනත් විදිහකින් කිවුවොත් රජය රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කළත් රාජ්‍ය සේවකයින්ට ඇත්තටම වැඩිපුර සල්ලි අවශ්‍ය නැහැ. හැබැයි මෙහිදී රාජ්‍ය සේවකයින්ට ඇත්තටම වැඩිපුර සල්ලි අවශ්‍ය නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ ඔවුන් තමන්ට පඩි වැඩි කළ එක ගැන අසතුටු වෙනවා කියන එක නෙමෙයි. කවුද ඒකට අකැමති? නමුත්, ඔවුන්ට ඒ වැඩි කළ මුදල මුදල් නෝට්ටු වලින් අතේ තියාගන්න අවශ්‍ය නැහැ. ඔවුන්ගේ ක්ෂණික වියදම් සඳහා පරණ වැටුප ප්‍රමාණවත්. ඒ නිසා කරන්නේ වැඩි වූ මුදල බැංකුවේ දමන එකයි. බැංකුවට කෙළින්ම ආවානම් බැංකුවේම තියන එකයි.

දැන් බැංකුවේ රුපියල් බිලියන 10ක අතිරික්තයක් තිබෙනවා. ඒ මුදල තිබෙන්නේ අර රාජ්‍ය සේවකයින්ගේ තැන්පතු වලයි. ඒ නිසා, පාඨකයෙකු විසින් නිවැරදිව පෙන්වා දී තිබෙන පරිදි, බැංකු වලට එම මුදල් වෙනුවෙන් පොලියක් ගෙවන්න වෙනවා. බැංකුවේ නිකම් තිබෙන සල්ලි වෙනුවෙන් බැංකුව විසින් පොලියක් ගෙවනවා කියා කියන්නේ අතින් කාලා හරක් බලනවා වගේ වැඩක්නේ. ඒ නිසා, බැංකුවට ඔය වැඩේ කරන්න බැහැ. ඔය රුපියල් බිලියන 10ක මුදල ණය විදිහට කාගේ හෝ ඇඟේ ගහන්නම වෙනවා.

දැන් ප්‍රශ්නය තිබෙන්නේ ණය ගන්න ඉල්ලුමක් නැති කමයි. අලුතෙන් රුපියල් බිලියන 10ක මුදලක් සංසරණයට එකතු වෙන්න කලින් ණය ඉල්ලුම සමතුලිත වෙලා තිබුණු නිසා දැන් ඊට වඩා අමතර ඉල්ලුමක් නැහැ. ඒ නිසා, අමතර ඉල්ලුමක් ඇති කරන්න වෙනවා. ඒක කරන්නේ කොහොමද?

අමතර ණය ඉල්ලුමක් ඇති කරන්න බැංකු වලට ණය පොලී අඩු කරන්න වෙනවා. කලින් 10%ක පොලියට ණය ගන්න අවශ්‍ය නොවූ යම් පිරිසක් පොලිය 9% වූ විට ණය ඉල්ලාගෙන එනවා. එවිට අර අමතර රුපියල් බිලියන 10ක මුදල හෝ එයින් කොටසක් ඒ අයට දෙන්න පුළුවන්. ඒ වගේම බැංකු වලට තැන්පතු පොලී අනුපාතික පහළ දමන්නත් පුළුවන්. එවිට එක පැත්තකින් දැනට තිබෙන තැන්පතු සඳහා ගෙවිය යුතු පොලී වියදම් පහළ යනවා. අනෙක් පැත්තෙන් ලැබෙන පොලිය අඩු නිසා පාරිභෝගිකයින්ගෙන් පිරිසක් තමන්ගේ තැන්පතු ඉවත් කර ගන්නවා. ඔය දෙයාකාරයෙන්ම අන්තිමට රටේ මුදල් ඉල්ලුම ඉහළ යනවා. ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. අර අමතර රුපියල් බිලියන 10ක මුදල බැංකු පද්ධතියෙන් එළියට යනවා.

ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නා සිසුන්ට වාණිජ බැංකු විසින් මුදල් මවන ආකාරය පැහැදිලි කිරීම සඳහා යොදා ගන්නා ඉතා සරල ආකෘතියක් තිබෙනවා. මෙය ප්‍රායෝගිකව ඒ ආකාරයෙන්ම "වැඩ කරන" ආකෘතියක් නෙමෙයි. එහෙත්, එම ආකෘතිය යොදා ගෙන මහ බැංකුව විසින් රටේ මුදල් සැපයුම පාලනය කරන ආකාරය පැහැදිලි කළ හැකියි.

මේ ආකෘතියේදී අපි උපකල්පන ගණනාවක් කරනවා. පළමු උපකල්පනය වන්නේ රටේ ණය ඉල්ලුමේ සීමාවක් නැහැ කියන එකයි. අරමුදල් තිබේනම් බැංකුවකට ඕනෑ තරම් ණය දෙන්න පුළුවන්. මෙය නිවැරදි උපකල්පනයක් නොවන බව අපි දන්නවා. නමුත්, ආකෘතිය වඩා සංකීර්ණ කර නොගැනීම සඳහා අපි දැනට ඒ බව අමතක කරමු. දෙවන උපකල්පනය වන්නේ කවුරු හෝ ණය ලෙස ලබා ගන්නා මුදල් සියල්ලම අනෙක් අතට නැවත බැංකු පද්ධතිය තුළට එනවා කියන එකයි. මේ උපකල්පන යටතේ මහ බැංකුව විසින් සංසරණයට එකතු කරන රුපියලක් කොපමණ ගුණනය වනවාද කියන එක අප‍ට ගණනය කළ හැකියි. එය තීරණය වන්නේ මහ බැංකුව විසින් නියම කරන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය මතයි.

මේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය මගින් තීරණය වෙන්නේ වාණිජ බැංකු වලට තමන් විසින් එකතු කර ගන්නා තැන්පතු වලින් කොපමණ ප්‍රතිශතයක් නැවත ණය සේ නිකුත් කළ හැකිද කියන එකයි. බැංකු වල ව්‍යවස්ථාපිත සංචිත කියා කියන්නේ ණය සේ නිකුත් නොකර අනිවාර්යයෙන්ම මහ බැංකුවේ තැන්පතුවක් සේ තැබිය යුතු මුදලක්. එම මුදල සාමාන්‍යයෙන් බැංකුවේ තැන්පතු වල ප්‍රතිශතයක්. ණය සේ නිකුත් කළ හැක්කේ එම තැන්පතු මහ බැංකුවේ තැබීමෙන් පසු ඉතිරි වන අමතර මුදල හෝ එයින් කොටසක් පමණයි. මේ හරහා මහ බැංකුව විසින් වාණිජ බැංකු විසින් මුදල් ගුණනය කිරීමේ ක්‍රියාවලිය පාලනය කරනවා.

උදාහරණයක් විදිහට ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 10%ක් කියා අපි හිතමු. ඒ කියන්නේ බැංකුවක තැන්පතු ප්‍රමාණය රුපියල් 100කින් ඉහළ ගියොත් එම මුදලෙන් ණය සේ නිකුත් කළ හැක්කේ රුපියල් 90ක් පමණයි. එම රුපියල් 90 නැවත තැන්පතුවක් සේ බැංකුවට පැමිණියොත් දෙවන වර ණය සේ නිකුත් කළ හැක්කේ රුපියල් 90*90% = 81ක් පමණයි. හැම චක්‍රයකදීම මුදල ටිකෙන් ටික අඩු වුනත් මේ වැඩේ වැල වගේ යනවා.

පළමු වටයේදී මහ බැංකුවේ හෝ රජයේ මැදිහත් වීමක්, එහෙමත් නැත්නම් වෙනත් බාහිර හේතුවක් නිසා වැඩි වූ රුපියල් 100
දෙවන වටයේදී ඒ රුපියල් 100 යොදාගෙන මවන රුපියල් 90
තුන් වන වටයේදී ඒ රුපියල් 90 යොදාගෙන මවන රුපියල් 81
හතර වන වටයේදී ඒ රුපියල් 81 යොදාගෙන මවන රුපියල් 81*90% = 72.90
....

ඔහොම වැල වගේ යනවා. වට්ටක්කා වගේම තමයි. අන්තිමේදී අර මුල් රුපියල් 100 රුපියල් කීයක් වෙනවද? ගුණෝත්තර ශ්‍රේණි ගැන දන්න කෙනෙකුට ඔය එකතුව පහසුවෙන් හොයා ගන්න පුළුවන්. කාට හෝ අවශ්‍යනම් අහන්න. මෙහි ගණිතය පෙන්වන්නම්. 

සමීකරණ පැත්තකින් තියමුකෝ. කාට වුනත් එක දෙයක් පැහැදිලි විය යුතුයි. ඒ තරමයි මේ එකතුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය මත හා ආරම්භක වටයේදී වැඩි වූ මුදල මත තීරණය වන දෙයක් බව. උදාහරණයක් විදිහට ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 50%ක් කළොත් දෙවන වටයේදී මැවෙන්නේ රුපියල් 90ක් නෙමෙයි රුපියල් 50ක්. තෙවන වටයේදී මැවෙන්නේ රුපියල් 25ක් පමණයි. ඒ වගේම පළමු වටයේදී තැන්පතු ප්‍රමාණය රුපියල් 200කින් වැඩි වුනොත් ඉන් පසු වට වලදී මැවෙන මුදල් ප්‍රමාණයත් සමානුපාතිකව වැඩි වෙනවා.

මේ අනුව තවත් කරුණු කිහිපයක් හොඳින් පැහැදිලි වෙනවා.

- ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය නොවෙනස්ව තියෙද්දී මහ බැංකුව හා රජය එකතු වී සල්ලි අච්චු ගැසූ විට එසේ අච්චු ගැසූ මුදල් ප්‍රමාණයට වඩා වැඩියෙන් මුදල් සැපයුම ඉහළ යනවා.
- ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය නොවෙනස්ව තියෙද්දී මහ බැංකුව හා රජය එකතු වී සල්ලි අච්චු ගැසූ විට මුදල් සැපයුම ඉහළ යන්නේ එසේ අච්චු ගැසූ මුදල් ප්‍රමාණයට සමානුපාතිකවයි.
- ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කිරීම මගින් සල්ලි අච්චු නොගසා රටේ මුදල් සැපයුම වැඩි කළ හැකියි. අවසන් ප්‍රතිඵලය සමානයි.

මහ බැංකුවකට මුදල් සැපයුමට බලපෑම් කළ හැකි තවත් ආකාර තිබුණත් මෙහි සඳහන් කළේ ප්‍රධානම ක්‍රම දෙකයි.

දැන් අපි මහේෂ්ගේ ප්‍රශ්නයට එමු.

"ඉකොන් කියන විදියට අපි හිතමුකෝ වානිජ බැන්කු තමන්ට ලැබෙන සියලුම තැම්පතු ( අපි හිතමුකෝ ස්තාවර තැම්පතු සහ ලමා ගිනුම් වැනි ආපසු ලබා ගැනීමේ අඩු සම්බාවිතාවක් තියෙන තැම්පතු කියලා) වලින් 90% ක් නය විදියට දෙන්න සුදානමින් ඉන්නවා කියලා. ඒත් රටේ මිනිස්සුන්ගෙන් නය වලට ඉල්ලුමක් නැති නම් ඒ සල්ලි වලට බැන්කු මොනවද කරන්නෙ? අපි හිතමුකෝ ලක්ශ 100 ක් තැම්පතු තියෙනවා එකෙන් ලක්ශ 90 නය දෙන්න පුලුවන්. ඒත් නය ගන්නේ ලක්ශ 20 විතරයි නම් ඉතුරු ලක්ශ 70 ට බැන්කුව මොකද කරන්නේ?"

ඇත්තනේ! පොතේ තියෙන්නේ ඔය උඩින් කියපු කතාව තමයි. ඒ නිසා, විභාගයකට ලියන කෙනෙක් වැඩි පණ්ඩිතකම් නොකර ඒ කතාව කට පාඩම් කරගෙන ලිවුවොත් ලකුණු ටික හම්බ වෙයි. හැබැයි ඔය කතාවේ කියන ආකාරයට රටේ ණය වලට ඉල්ලුමක් නැත්නම් වට්ටක්කා හැදෙන්නේ කොහොමද?

පහසු පිළිතුරක් අවශ්‍යනම් උඩින්ම ලියලා තිබෙනවා. විසඳුම සරලයි. කරන්න තියෙන්නේ පොලී අනුපාතික පහළ දමන එකයි. එතකොට නැති ණය ඉල්ලුම හැදෙනවා. බොහෝ වෙලාවට ඇත්තටම වෙන්නෙත් ඕක තමයි. 

හැබැයි ඔය ආකාරයට පොලී අනුපාතික අඩු වී අවශ්‍ය තරම් ණය ඉල්ලුමක් ඇති නොවන තත්ත්වයන්ද තියෙනවා. දැන් ලංකාවේ තියෙන්නේත් ඒ වගේ තත්ත්වයක්. ඒ ඇයි කියා මම පැහැදිලි කරන්නම්. මේ කියන්න යන ටික පාඨ ග්‍රන්ථ වල තිබෙන මූලික කරුණු නෙමෙයි.

කාට හෝ ණයක් දෙන එකේ අවදානම ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. පොලියක් බලාගෙන ණය දුන්නත් පොලිය තියා දුන් මුල් මුදලවත් ආපසු නොලැබෙන අවස්ථා එමටයි. මෙය වාණිජ බැංකු විසින් මුහුණ දෙන ලොකුම අවදානමයි. පෙර ලිපි වල විස්තර කළ ද්‍රවශීලතා අවදානමත් ලොකු අවදානමක් වුණත් ණය ආපසු නොලැබීමේ අවදානමට සාපේක්ෂව ද්වීතියිකයි.

අපි හිතමු මෙලෙස ණය ආපසු නොලැබීමේ අවදානම 1%ක් කියා. ඒ කියන්නේ රුපියල් ලක්ෂය බැගින් සිය දෙනෙකුට ණය දුන්නොත් එයින් කවුරු හෝ කෙනෙක් පොල්ල තියනවා. ඒ නිසා, මේ ණය ආපසු නොලැබීමේ අවදානම වෙනුවෙන් පමණක් බැංකුවට 1%කට මඳක් වැඩි පොලියක් අය කරන්න වෙනවා. එක්කෙනෙක්ට දුන් රුපියල් ලක්ෂය නැති වුවත් ඉතිරි 99 දෙනාගෙන් අමතර රුපියල් දාහ බැගින් (හරියටමනම් පාඩුව පියවගන්නනම් රුපියල් 1010.10ක් බැගින්) ඇවිත් නිසා අවුලක් නැහැ. අනෙක් අවදානම් වෙනුවෙනුත් ඔය වගේ යම් පොලියක් එකතු කරන්න වෙනවා.

දැන් මේ වෙලාව ගැන හිතමුකෝ. කෝවිඩ් ඉවරවෙන දවසක් පෙනෙන්න නැහැ. ආර්ථිකය නැවත හිස ඔසොවන දවසක් පැහැදිලිව පෙනෙන්න නැහැ. ඔය වගේ තත්ත්වයක් යටතේ බැංකුවකින් ණයක් ගන්නා කෙනෙකුට ඒ ණය ආපසු ගෙවාගන්න බැරි වෙන්න සැලකිය යුතු ඉඩක් තිබෙනවා. අපි කියමු මේ අවදානම 5%ක් කියලා. ඒ කියන්නේ ඒ අවදානම වෙනුවෙන් පමණක් අඩු වශයෙන් 5%ක පොලියක් අය කරන්න වෙනවා. ඊට වඩා අඩු පොලියකට ණය දෙනවා කියන්නේ දැන දැන කිඹුල් කටකට පනිනවා වගේ වැඩක්. වෙනත් විදිහකින් කිවොත් වාණිජ බැංකුවකට අනිවාර්ය පාඩුවක් නොලබා ණයක් දිය හැකි අවම පොලියක් තිබෙනවා.

මේ විදිහට වාණිජ බැංකුවකට අනිවාර්ය පාඩුවක් නොලබා ණයක් දිය හැකි අවම පොලියට ණය දුන්නත් ණය ගන්න රටේ ඉල්ලුමක් නැත්නම් මොකද කරන්නේ? දැන් අර මම මුලින් කියපු විසඳුම වැඩ කරන්නේ නැහැ. බැංකු වලට සල්ලි එනවා. ඒත් මළ වදේ ඒ සල්ලි වලට කරන්න දෙයක් නැහැ. දෙන්න හැදුවට කවුරුවත් ණය ගන්නේ නැහැ. 

මේ වගේ තත්ත්වයක් යටතේ ණය පොලිය තවත් අඩු කිරීමේ හැකියාවක් නැති නිසා බැංකු විසින් කරන්න ඉඩ තිබෙන්නේ තැන්පතු පොලිය අඩු කරන එකයි. එවිට, බැංකුවෙන් තැන්පතු ඉවත් වෙනවා. අලුත් තැන්පතු එන එක නවතිනවා. රටේ මුදල් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. බැංකුවේ තත්ත්වයත් සමතුලිත වෙනවා. නමුත්, අර පොතේ හැටියට සිදු විය යුතු, බොහෝ විට ඇත්තටමත් සිදුවෙන මුදල් ගුණනය වීම කියන එක වෙන්නේ නැහැ. ඒ නිසා, රජය හෝ මහ බැංකුව විසින් අපේක්ෂා කළ ප්‍රතිඵලය එලෙසම දකින්න ලැබෙන්නේ නැහැ.

අදට ඔය ඇති. ප්‍රශ්න තිබේනම් අහන්න.

Tuesday, July 28, 2020

මුදල් මවන්නේ කොහොමද?


මේ ලිපිය පෙර ලිපියට සම්බන්ධයි. එහි දෙවන කොටසක් කියා කියන්න පුළුවන්. ඒ නිසා, කරුණාකර පෙර ලිපිය කියෙවුවේ නැත්නම් එය මුලින් කියවා එන්න නැත්නම් අගක් මුලක් නොතේරෙන්න පුළුවන්. 


මුලින්ම එම ලිපිය පළ  කිරීමෙන් පසුව පාඨකයෙකු විසින් ඇසූ ප්‍රශ්නයක් සහ එයට ලබා දුන් පිළිතුර මෙහි නැවත පළ කරන්නම්. මම හිතන්නේ ඉදිරියට යාම සඳහා එම ප්‍රශ්නය වගේම පිළිතුරත් වැදගත්.

"ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනය මහජන බැංකුවේ නැතුව සම්පත් බැංකුවේ අර ලක්ශ දහය තැන්පත් කලා නම් මොකද වෙන්නෙ? එතකොට චන්ද්‍රානි ලක්ශ දහයක් ණය ඉල්ලං මහජන බැංකුවට එනකොට මහජන බැංකුව සම්පත් බැංකුවෙන් ඒක ණයක් හැටියට ගන්නවද?"

ඔබ අසා තිබෙන්නේ තර්කානුකූලව ඊළඟට ඇසිය යුතු ප්‍රශ්නයක්. කෙටි පිළිතුර, ඔව්.

පැහැදිලි කිරීමේ පහසුව සඳහා මහජන බැංකුව පමණක් යොදාගත්තත් ඇත්තටම මේ වැඩේට බැංකු පද්ධතියම සම්බන්ධයි. ඒ වගේම දවසකට මේ වගේ දේවල් වෙන්නේ එකක් නෙමෙයිනේ. විශාල ප්‍රමාණයක් ඔය වගේම සිද්ධි වෙනවා. එක සිද්ධියක් තනිව ගත්තහම මහජන බැංකුවට සම්පත් බැංකුවෙන් ණයක් ගන්න වෙනවා. වෙනත් සිද්ධියකදී සම්පත් බැංකුවට මහජන බැංකුවෙන් ණයක් ගන්න වෙනවා. එහෙම නැත්නම් ඔය බැංකු දෙකටම ලංකා බැංකුවෙන් ණයක් ගන්න වෙනවා.

වැදගත් කරුණ වන්නේ කවර හෝ බැංකුවකින් ණය ලෙස එළියට යන මුදල් තව කවර හෝ බැංකුවකට තැන්පතු ලෙස ආපසු ලැබෙනවා. ඒ වගේම, කවර හෝ බැංකුවකින් ණයක් නිකුත් කළ විට වෙනත් කවර හෝ බැංකුවකට එම මුදල තැන්පතුවක් ලෙස ආපසු එනවා. ඒ නිසා, මහජන බැංකුව වගේ නිශ්චිත බැංකුවක් ගත්තොත් එම බැංකුවෙන් ආපසු ගන්නා තැන්පතු සම්පත් බැංකුවේ තැන්පත් කෙරෙනවා වගේම එහි අනික් පැත්තත් සිදු වී සෑහෙන තරමකින් සමතුලිත වීමක් වෙනවා. හරියටම සමතුලිත වෙන්නේ නැහැ තමයි.

අවසානයේදී මහජන බැංකුවේ මුදල් තැන්පතු කිරීම්, ආපසු ගැනීම්, ණය දීම්, ණය ආපසු ලැබීම් ආදිය හේතුවෙන් කිසියම් සුළු මුදලක් පමණක් ඉතිරි වුනොත් එය ඊළඟ දවස වෙනුවෙන් තියා ගන්න පුළුවන්. සුළු අඩුවක් වුනොත් එය බැංකුවේ තිබෙන අමතර අරමුදල් වලින් පියවා ගන්න පුළුවන්. නමුත්, එම හිඟය වැඩිනම් වෙනත් බැංකුවකින්, ඔබ කියන පරිදි සම්පත් බැංකුවෙන් දෛනික පදනම මත ණයක් ගන්න වෙනවා. ඒ වගේම, දවස අවසානයේදී සැලකිය යුතු මුදලක් ඉතිරි වුනොත් එය වෙනත් වාණිජ බැංකුවකට දෛනික පදනමින් ණයක් විදිහට දෙන්න පුළුවන්.

මේ වැඩේ වෙන්නේ බැංකු වලින් එළියට යන සල්ලි ප්‍රමාණයට සමාන මුදලක් නැවතත් කවර හෝ බැංකුවකට ආවොත්නේ. එහෙම එනවා කියන්නේ රටේ මුදල් ඉල්ලුම හා සැපයුම සමතුලිතයි.

සිංහල අවුරුදු කාලය වගේ විශේෂ අවස්ථාවක් ගත්තොත් අදාළ සතියේ බැංකු වලින් එළියට යන මුදල් සතියක් පමණ යන තුරු බැංකු පද්ධතියට නැවත ආපහු එන්නේ නැහැ. ඒ නිසා, සමස්තයක් ලෙස බැංකු පද්ධතියට ද්‍රවශීලතා හිඟයකට මුහුණ දෙන්න වෙනවා. එක බැංකුවක අඩුව පියවන්න වෙනත් බැංකුවක් නැහැ. ඒ වගේ අවස්ථාවක මහ බැංකුවට තාවකාලිකව මුදල් සැපයුම වැඩි කරන්න වෙනවා.

කෝවිඩ් නිසා සිදු වී තිබෙන්නේ සිංහල අවුරුදු කාලයේ දින කිහිපයකට ඇති වනවා වගේ තත්ත්වයක් මාස ගණනක්ම අල්ලා සිටීමයි. මිනිස්සු සල්ලි ආපසු ගන්න තරමට සල්ලි නැවත බැංකු වල තැන්පත් කරන්නේ නැහැ. ඒ වගේම, ණය වාරික ගෙවීම කල් දැමීම නිසා මුදල් අපේක්ෂා කළ පරිදි බැංකු වලට එන්නේ නැහැ. මේ අඩුව පුරවන්න මුදල් සැපයුම වැඩි කළ යුතුයි.

හැබැයි දැන් වෙලා තිබෙන්නේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා මුදල් සැපයුම වැඩි කිරීමක්. ඒ නිසා, බැංකු වල රුපියල් බිලියන ගණනක් ගොඩ ගැහිලා. ආණ්ඩුව විසින් මහ බැංකුවට සල්ලි අච්චු ගහන්න බල කිරීම මත හෝ මහ බැංකුව කැමැත්තෙන්ම එසේ කිරීම නිසා. පසුගිය සතිය අවසානයේ රුපියල් බිලියන 118ක අතිරික්තයක්. ඔය වගේ සමස්ත අතිරික්තයක් බැංකු පද්ධතිය ඇතුළේ තිබෙන විට එක් බැංකුවකට තවත් බැංකුවකින් ණය ගන්න අවශ්‍ය වෙන්න ඉතාම අඩු ඉඩකඩක් තියෙන්නේ. හැම බැංකුවක් සතුවම වගේ වැඩිපුර මුදල් තිබෙනවා. ඒ නිසා, බැංකු වලට ණය විදිහට ඔය සල්ලි කාට හෝ තල්ලු කරන්න වෙනවා. මේ වෙද්දී ලංකාවේ බැංකු විසින් කරමින් ඉන්නේ ඒකයි.

ඉහත ප්‍රශ්නයට ලබා දුන් පිළිතුර අවසන්. මේ ලිපිය පළ කරන්නේ පාඨකයින් විසින් අසා තිබෙන තවත් ප්‍රශ්න දෙකකට පිළිතුරු සපයන්නයි. ප්‍රශ්න අසා තිබෙන පාඨකයින් දෙදෙනා එක් අයෙකුම නොවේය යන්න මගේ උපකල්පනයයි. එම ප්‍රශ්න වලට වෙනම පිළිතුරු නොදී මෙසේ ලිපියකින් ප්‍රතිචාර දක්වන්නේ ප්‍රශ්න දෙකම එකිනෙකට සම්බන්ධ නිසයි. ප්‍රශ්න දෙකක් කියා කිවුවත් ප්‍රශ්න ගණනාවක් සහිත ප්‍රතිචාර දෙකක්.

"රටේ සංසරණය වෙන මුදල් ප්‍රමාණය තීරණය කරන්නේ කවුද? කොහොමද ?
උදා. මහජන බැංකුව රත්නසේකරට දෙන දෙවෙනි ලක්ශ 10 එහෙම මවලා දෙන්න පුලුවන් කියලා තීරණය කරේ කොහොමද?"

"ස්තුතියි ඉකොනෝ කොමෙන්ටුවට පොස්ටුවක් දමාම පැහැදිලි කරාට. ඒ වගේම මට තව ගැටළුවක් ආවා මේක කියවද්දී. ඒ තමයි දැන් බැංකුවට තැන්පතුවක් ලෙස තිබෙන්නේ ලක්ෂ 10 යි. එතකොට ඒක තව කෙනෙක්ට ණයක් විදියට දෙන්න පුළුවන්. ඒ උනාට ආයේ තවත් කෙනෙක්ට ලක්ෂ 10 ක ණයක් දෙන්නේ කොහොමද? මොකද එහෙම දෙන එක නිවැරදි නැහැනි. මොකද එහෙම දෙන්න පුළුවන් මුදලක් ඇත්තටම නැහැ. එහෙම කරන්න පුළුවන් තමයි ඉකොනෝ කියලා තියෙන විදියට ප්‍රායෝගිකව. ඒත් එහෙම කරන එක නිත්‍යානුකූල කරලා තියෙන්නේ ඇයි? මූල්‍ය ආයතනයටත් රිස්ක් එකක් නැද්ද ඒකෙන්?"

මේ වගේ ප්‍රශ්න මතු වීම ඉතාම සාධාරණයිනේ. හරිනම් මේවා පාසැල් වල ඉගැන්විය යුතු දේවල්. තේරුම් ගන්න උපාධි අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වගේ දේවල් බොහෝ දෙනෙක් නොදැන සිටීමෙන් ඒ ක්‍රියාවලීන් ගැන අවබෝධයක් තිබෙන අයට එසේ නොදන්නා අයව පාලනය කිරීමේ ඉඩක් ලැබෙනවා. මම මේ ප්‍රශ්න වලට ගැලපෙන පිළිවෙලට පිළිතුරු දෙන්නම්.

"මහජන බැංකුව රත්නසේකරට දෙන දෙවෙනි ලක්ෂ 10 එහෙම මවලා දෙන්න පුලුවන් කියලා තීරණය කරේ කොහොමද?"

මම මුල් ලිපියේ මේ ක්‍රියාදාමය පැහැදිලි කර තිබෙන ආකාරය නිවැරදි වුවත් එසේ පැහැදිලි කර තිබෙන්නේ ආර්ථික විද්‍යා පාඨ ග්‍රන්ථයක මේ ක්‍රියාවලිය පැහැදිලි කරන සම්මත ආකාරයට නෙමෙයි. මම පටන් ගත්තේ ප්‍රශ්නය ඇසූ පාඨකයා සිතන තැන සිටයි. මේ ප්‍රශ්න මේ ආකාරයට මතු වන්නේ මා මුල් ප්‍රශ්නය පැහැදිලි කළ ආකාරය හේතුවෙනුයි. සම්මත ක්‍රමයට පැහැදිලි කළානම් බොහෝ විට මෙවැනි ප්‍රශ්න මතු වන්නේ නැහැ. 

ඒ එම ප්‍රශ්න නැති නිසා නෙමෙයි. සාමාන්‍ය පැහැදිලි කිරීමේදී ඒ ප්‍රශ්න සැඟවෙන නිසා. ඒ නිසා, කවුරු හෝ අමතර ප්‍රශ්නයක් ඇහුවත් කෙනෙකුට ඉතා පහසුවෙන් ඇඟ බේරා ගන්නා ගිරා පිළිතුරක් දෙන්න පුළුවන්. නමුත්, මට අවශ්‍ය වුනේ එවැන්නක් නොකර මේ සිද්ධි දාමය ඇතුළේ තිබෙන මූලධර්ම මොනවාද කියා ඒත්තු ගන්නන්නයි. මේ ප්‍රශ්න මතු වී තිබීමෙන් පෙනෙන්නේ මේ කරුණේදී මා සාර්ථක බවයි.

මේ ප්‍රශ්න දෙකෙන්ම පැහැදිලි වෙන්නේ මහජන බැංකුව විසින් දෙවන ලක්ෂ දහය ණය ලෙස ලබා දීම මොකක් හෝ වැරැද්දක් සේ පෙනෙන බවයි. "ඒ තමයි සාමාන්‍යයෙන් බැංකු කටයුතු සිදු වෙන විදිහ" වැනි ඇඟ බේරාගත හැකි පහසු පිළිතුරක් දෙන්න මම කැමති නැහැ.

පළමුව, වාණිජ බැංකුවක ප්‍රධාන ව්‍යාපාරික කාර්යය වන්නේ තැන්පතුකරුවන්ගේ තැන්පතු මුදල් සේප්පුවක දමා ආරක්ෂා කර දීම නෙමෙයි. බැංකු විසින් ආදායම් උපයන්නේ පොලියක් අය කර ණය දීම මගිනුයි. තැන්පතු කියන්නේ එසේ ණය ලෙස ලබා දීම සඳහා අරමුදල් හොයා ගන්නා ක්‍රමයක්.

මගේ මුල් පැහැදිලි කිරීම අනුව මහජන බැංකුව විසින් දෙවන ලක්ෂ දහය ණය ලෙස ලබා දෙන අවස්ථාව දක්වාම රටේ සෑම මුදල් නෝට්ටුවකටම කිසියම් "අයිතිකාරයෙක්" ඉන්නවා. මේ තත්ත්වය අපිට පහසුවෙන් මනසින් මවා ගත හැකි තත්ත්වයක්. ඒ නිසා, බැංකුවේ තිබෙන තැන්පතු සමරදිවාකරගේ මුදල්, රාමලිංගම්ගේ මුදල්, ෆර්සානාගේ මුදල් ආදී ලෙස වෙන් කළ හැකියි. වැඩේ අවුල් වෙන්නේ දෙවන ලක්ෂ දහය ලබා දීමෙන් පසුවයි. 

නමුත්, ඇත්තටම වාණිජ බැංකුවක් ඔය විදිහට සල්ලි ලේබල් කරන්නේ නැහැනේ. ඔවුන් කරන්නේ තැන්පතු සේ ලැබෙන මුදල් සියල්ල එකම "පෙට්ටියකට" දමන එකයි. ඒ පෙට්ටියෙන් රුපියල් පන්දාහක් අරගෙන එය සමරදිවාකරගේද, රාමලිංගම්ගේද, නැත්නම් ෆර්සානාගේද කියා හොයන්න බැහැ. බැරි නැති වුනත් බැංකුවක් එසේ කරන්නේ නැහැ. එසේ නොකිරීම වැරැද්දක්ද කියන එක පසුව සාකච්ඡා කරමු.

නැවත ණය නිකුත් කරන කොටත් ඔය පෙට්ටියෙන් මුදල් අරගෙන දෙනවා මිසක් ඒ දෙන්නේ සමරදිවාකරගේ මුදල්ද, රාමලිංගම්ගේ මුදල්ද, ෆර්සානාගේ මුදල්ද කියා හොයන්න බැංකුව මහන්සි වෙන්නේ නැහැ. බැංකුවේ මුදල් තිබේනම් ණය ලෙස නිකුත් කරනවා. එපමණයි. ඒ නිසා, චන්ද්‍රානිට ණයට දුන්නේ සමරදිවාකරගේ සල්ලි කියා මම කිවුවත් බැංකුව කොහේවත් එහෙම සටහන් කරගෙන නැහැ. තමන්ට ලැබුනේ සමරදිවාකරගේ තැන්පතු මුදල් බව චන්ද්‍රානි නොදන්නවා වගේම චන්ද්‍රානිට ණයට දුන්නේ සමරදිවාකරගේ මුදල් බව අඩු ගානේ බැංකුවවත් දන්නේ නැහැ.

චන්ද්‍රානි විසින් රුපියල් ලක්ෂ දහයක ණය මුදල ලබාගෙන අනික් අතට ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනයේ ගිණුමේ තැන්පත් කළ නිසා එසේ තැන්පත් කළේ ණයට ගත් සල්ලිම බව අපි දන්නවා. එහෙත්, බැංකුව ඒ බව කොහේවත් වාර්තා කර ගන්නේ නැහැ. ඒ වගේම, මේ අවස්ථාවේ අපට මේ ණය මුදල හා තැන්පතුව එකිනෙක හා පාහන්න හැකි වුවත් බොහෝ විට එවැන්නක් කරන්න අමාරුයි. උදාහරණයක් විදිහට චන්ද්‍රානි විසින් එවෙලේම මුදල් තැන්පත් නොකර ගෙදර යාමෙන් පසුව ඇගේ දරුවා විසින් මහජන බැංකුවේ වෙනත් ශාඛාවකින් ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනයේ ගිණුමට මුදල් බැර කළොත් ඒ සල්ලි බැංකුවෙන් ණයට දුන් සල්ලිම බව තහවුරු කරන්න අමාරුයි. මේ වැඩේට රටේ බැංකු පද්ධතියම සම්බන්ධ වන නිසා වැඩේ කරන්නම බැරි තරම්.

එයින් අදහස් වෙන්නේ කුමක්ද? මහජන බැංකුවේ පැත්තෙන් බැලූ විට මුලින් සමරදිවාකර විසින් තැන්පත් කළ රුපියල් ලක්ෂ දහයක මුදල වගේම දෙවනුව චන්ද්‍රානි විසින් ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනයේ ගිණුමේ තැන්පත් කළ රුපියල් ලක්ෂ දහයක මුදලත් එක සමාන තැන්පතු දෙකක්. ඒ දෙක එකක්මද දෙකක්ද කියන එක බැංකුවට හොයා ගන්න බැහැ. බැංකුව විසින් කරන්නේ තැන්පතු ලෙස ලැබෙන මුදල් ණය සේ ලබා දෙන එක පමණයි. එසේ ලබා දෙන ණය නැවත තැන්පතු සේ බැංකු පද්ධතිය ඇතුළටම එන එක ස්වභාවිකවම වෙන දෙයක්. එහෙම නැතුව බැංකු විසින් කරන "වැරැද්දක්" නෙමෙයි.

වැරැද්දක් නෙමෙයි කියා මම කිවුවත් තර්කානුකූලව මෙහි අවුලක් තිබෙන බව පේනවනේ. ගොඩක් වෙලාවට කියවන කෙනෙකුට අවුලක් දැනුනත් අහන්න අවශ්‍ය ප්‍රශ්නය එක පාරටම ඔළුවට එන එකක් නැහැ. ඒ නිසා, මමම ප්‍රශ්නය පැහැදිලි කරන්නම්.

අපි අපේ මුල් උදාහරණයට ගියොත්, මම කියපු කතාව ඔය විදිහටම සිද්ධ වෙනවානම් බැංකුවකට එකම රුපියල් ලක්ෂ දහය අනන්ත වාරයක් ණය ලෙස නිකුත් කළ හැකියිනේ. එහෙම වෙනවානම් අනිවාර්යයෙන්ම එහි අවුලක් තිබිය යුතුයිනේ.

දැනට අපි මහ බැංකුව හා සියලුම බැංකු නියාමන නීති අමතක කරමු. ඒ කිසිවක් නැතත් ඉහත කී ආකාරයේ දෙයක් වෙන්නේ නැහැ. එයට හේතුව වෙනත් ඕනෑම ව්‍යාපාරයක් කරන කෙනෙක් වගේම බැංකු ව්‍යාපාරයක් කරන කෙනෙකුත් අවදානම් ගන්නවා වුවත් අසීමිත ලෙස අවදානම් ගන්නේ නැහැ. බැංකුවේ පැත්තෙන් ගත් විට අවදානම ආරම්භ වන්නේ දෙවන වරට රත්නසේකරට ලක්ෂ දහයක් ණයට දෙන අවස්ථාවේදී නෙමෙයි. පළමු වරට චන්ද්‍රානිට ලක්ෂ දහය ණයට දෙන විටත් ඒ අවදානමම තිබෙනවා.

මුදල් මැවීම අමතක කරමු. මහජන බැංකුව විසින් චන්ද්‍රානිට ණයට දෙන්නේ සමරදිවාකරගේ තැන්පතු මුදල්. එසේ එම මුදල් ණයට දුන් පසු සමරදිවාකර බැංකුවට පැමිණ තමන්ගේ තැන්පතු මුදල් ආපසු ඉල්ලුවොත් මහජන බැංකුව මොකද කරන්නේ? සල්ලි නොදී ඉන්න බැහැනේ. බැහැ කිවුවොත් බැංකුව බංකොලොත් වෙනවා.

අනිවාර්යයයෙන්ම මෙහි අවදානමක් තිබෙනවා. ඒ අවදානම ගන්නේ නැත්නම් වාණිජ බැංකුවකට ණය දෙන්නම බැහැ. ඒ කියන්නේ වාණිජ බැංකු ව්‍යාපාරයට පවතින්නම බැහැ. වාණිජ බැංකු විසින් කරන්නේ දක්ෂ ලෙස මේ අවදානම කළමනාකරණය කරන එකයි. එසේ කර ගන්න බැරි බැංකු බංකොලොත් වී වැසී යනවා. 

වාණිජ බැංකු පවතින තාක් කල් මුදල් මැවීම කියන එකත් ස්වභාවිකවම සිදු වෙනවා. එය සැලසුම් කර කරන දෙයක් නෙමෙයි. නමුත්, මගේ මුල් උදාහරණයේදී මෙන් බැංකුවකට රුපියල් ලක්ෂ දහයක් තැන්පතු සේ ලැබුණු විට බැංකුව විසින් එම මුළු මුදලම නැවත ණය සේ නිකුත් කරන්නේ නැහැ. එසේ නිකුත් කරන්නේ එම මුදල් වලින් යම් කොටසක් පමණයි. එම කොටස කොපමණද කියන එක එක් එක් බැංකුවේ තීරණයක්. එය තීරණය වන්නේ එක් එක් බැංකුව විසින් ගන්නා අවදානම මතයි.

බැංකුවක තැන්පතුකරුවන් විසින් ඕනෑම වෙලාවක තමන්ගේ තැන්පතු ආපසු ඉල්ලා සිටිය හැකි බවත්, එසේ ඉල්ලූ විට ආපසු දිය යුතු බවත් බැංකු දන්නවා. ඒ එක්කම හැම තැන්පතුකරුවෙක්ම එක වර තමන්ගේ මුදල් ආපසු ගන්නේ නැති බවත් බැංකු දන්නවා. 

කිසියම් නිශ්චිත දවසක තැන්පතු සේ ආපසු ඉල්ලන මුදල් ප්‍රමාණය ගැන දළ අදහසක් බැංකුවකට තිබෙනවා. ඒ නිසා, හැම විටම බැංකුවක් විසින් ණය සේ අරමුදල් නිකුත් කරන්නේ තැන්පතු ආපසු ගෙවීම සඳහා කිසියම් මුදල් ප්‍රමාණයක් අතේ තියාගෙනයි. මුල් උදාහරණයට නැවත පැමිණියහොත් මහජන බැංකුව විසින් කිසි විටකටත් සමරදිවාකරගේ රුපියල් ලක්ෂ දහයක මුදලම චන්ද්‍රානිට දෙන්නේ නැහැ. එසේ දෙන්නේ රුපියල් ලක්ෂ අටක් හෝ නවයක් වැනි අඩු මුදලක්. ඒ නිසා, චන්ද්‍රානි විසින් නැවත ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනයේ ගිණුමේ තැන්පත් කරන්නේ රුපියල් ලක්ෂ අටක් හෝ නවයක් වැනි අඩු මුදලක්. අපි මේ මුදල ලක්ෂ අටක් කියා කියමු. සමරදිවාකර ඔහුගේ තැන්පතු ආපසු ගන්න ආවොත් දෙන්න මහජන බැංකුව විසින් ඉතුරු ලක්ෂ දෙක තියා ගන්නවා.

දැන් දෙවන වටයේදී රත්නසේකර ණය ඉල්ලාගෙන බැංකුවට එනවා. බැංකුවේ ලක්ෂ දහයක් තියෙනවා තමයි. නමුත්, එයින් ලක්ෂ දෙකක් තියාගෙන ඉන්නේ සමරදිවාකර ඔහුගේ තැන්පතු ආපසු ගන්න ආවොත් ආපසු දෙන්නයි. ඒ නිසා, ඒ සල්ලි රත්නසේකරට ණයට දෙන්න බැහැ. එහෙමනම්, ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනයේ ගිණුමේ තිබෙන ලක්ෂ අටක මුදල රත්නසේකරට දෙන්න පුළුවන්ද? 

එසේ කළත් කලින් ප්‍රශ්නයම එනවනේ. ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනය සල්ලි ආපහු ගන්න ආවොත් මොකද වෙන්නේ?

මහජන බැංකුවට ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනයේ ගිණුමේ තිබෙන ලක්ෂ අටක මුදල මුළුමනින්ම රත්නසේකරට දෙන්න පුළුවන්කමක් නැහැ. එහි අවදානමක් තිබෙනවා. ඒ නිසා, මහජන බැංකුව විසින් දෙවන වටයේදී ණය නිකුත් කරන්නේ ඒ අවදානම වෙනුවෙන්ද යම් මුදලක් ඉතිරි කර ගෙනයි. අපි කියමු මේ මුදලත් ලක්ෂ දෙකක් කියා. ඒ කියන්නේ, රත්නසේකරට ණය ලෙස දෙන්නේ රුපියල් ලක්ෂ හයක් පමණයි. ඔහු නැවත ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනයේ ගිණුමේ තැන්පත් කරන්නේත් ලක්ෂ හයක් පමණයි. 

මෙහිදීත් මුල් අවස්ථාවේදී වගේම මුදල් මැවීමක් සිදු වී තිබෙනවා. එය ඉතාම පැහැදිලියිනේ. නමුත්, එක් වටයකදී අලුතෙන් මැවෙන මුදල් ප්‍රමාණය ආරම්භක තැන්පතුවට සාපේක්ෂව අඩු මුදලක්. ඒ නිසා, වාණිජ බැංකුවකට එකම රුපියල් ලක්ෂ දහය අනන්ත වාරයක් ගුණනය කරන්න බැහැ. වාණිජ බැංකුවකට මැවිය හැකි මුදල් ප්‍රමාණය යම් නිශ්චිත සීමාවකට ඇවිත් නවතිනවා. මේ සීමාව තීරණය වෙන්නේ එක් එක් වාණිජ බැංකුව විසින් ගන්නා අවදානම මතයි.

දැන් ඔබට එක දෙයක් පැහැදිලි විය යුතුයි. කිසියම් බැංකුවක තැන්පතුකරුවන් සියලුම දෙනා එකවර තමන්ගේ තැන්පතු මුදල් ආපසු ඉල්ලා සිටියොත් එම මුදල් ආපසු ගෙවීමේ හැකියාවක් කිසිදු බැංකුවකට නැහැ. එසේ ඉල්ලා සිටියහොත් ඕනෑම ශක්තිමත් බැංකුවක් කඩා වැටෙනවා. 

හැබැයි මෙය පුදුම විය යුතු භයානක තත්ත්වයක් නෙමෙයි. මේ වගේ අවදානමක් ඕනෑම දෙයක තිබෙනවා. රෝහලක ඖෂධ ගබඩා කර තබා ගන්නේ සාමාන්‍යයෙන් පැමිනෙනු ඇතැයි සිතිය හැකි රෝගීන් ප්‍රමාණය ගැන සලකලයි. ඇඳන් ප්‍රමාණය, වාට්ටු ප්‍රමාණය, වෛද්‍යවරුන් හා හෙදියන් ප්‍රමාණය ආදිය තීරණය කරන්නේත් එවැනි පදනමක සිටයි. කෝවිඩ් වැනි තත්ත්වයක් නිසා එකවර විශාල රෝගීන් ප්‍රමාණයක් රෝහල්ගත වුවහොත් ඖෂධ හා ඇඳන් හිඟයක් ඇති වීම නොවැලැක්විය හැකියි. ඒ හේතුව නිසා, රෝහල් පහසුකම් සාමාන්‍ය අවශ්‍යතාව මෙන් දහ ගුණයක් දක්වා පුළුල් කර දිගින් දිගටම පවත්වා ගැනීම කාර්යක්ෂමයි කියා කියන්න බැහැ. නමුත්, එසේ නොකිරීමේ අවදානමක් තිබෙනවා.

පාලමක් සැලසුම් කරද්දී ඒ මතින් එකවර ගමන් කරන්නට ඉඩ තිබෙන පුද්ගලයින් ප්‍රමාණය හා ඔවුන් පා තබන රටාව පිළිබඳව පූර්ව උපකල්පන කරනවා. ඒ පූර්ව උපකල්පන ඉක්මවා යන තත්ත්වයකදී පාලම ඔරොත්තු නොදෙන්න පුළුවන්.

අපි තවමත් බැංකු නියාමනය ගැන කතා කළේ නැහැනේ. මහ බැංකු හා බැංකු නියාමනය සාපේක්ෂව අලුත් සංකල්ප. වාණිජ බැංකු සංකල්පය ඊට වඩා ගොඩක් පරණයි. ජාතක කතා වල ඉන්න සිටුවරු කියන්නේත් යම් ආකාරයක බැංකුකරුවන් පිරිසක්. මහ බැංකු විසින් රටක සමස්ත බැංකු පද්ධතියේ අවදානම් ගැන හිතන්න පටන්ගන්න පෙර සිටම වාණිජ බැංකු තමන්ට තිබෙන අවදානම් ගැන සැලකිලිමත් වුනා. ඔවුන් ණය සේ  අරමුදල් නිකුත් කළේ තමන්ට ලැබෙන තැන්පතු වලින් කිසියම් ප්‍රතිශතයක් හදිසි සංචිතයක් සේ තබා ගැනීමෙන් පසුවයි. ඒ, තැන්පතුකරුවන් තමන්ගේ අරමුදල් ඉල්ලගෙන පැමිණි විට එම මුදල් ආපසු දෙන්නයි. මේ ප්‍රතිශතය 1% ද, 5%ද 20%ද කියන එක එක් එක් බැංකුවේ තීරණයක්. එම ප්‍රතිශතය අනුව අදාළ බැංකුව විසින් කොයි තරම් දුරකට මුදල් මැවීමට දායක වෙනවාද කියන එකත් තීරණය වෙනවා.

මහ බැංකු කියන්නේ එක විදිහකින් බැලුවහම පසුකාලීනව ඇති වී බැංකු ක්‍රියාකාරිත්වයේ සුක්කානම තමන් අතට ගත් ව්‍යුහයක්. මහ බැංකු බිහි වෙන්න පෙර සිටම වාණිජ බැංකු තිබුණා. මුදල් මැවීමත් සිදු වුනා. ඒ විතරක් නෙමෙයි. මුල් කාලයේ අලුතින් මුදල් නෝට්ටු සංසරණයට එකතු කළේත් බැංකු විසින් හෝ බැංකු සේ සැලකිය හැකි ව්‍යුහයන් විසින්. නමුත්, මේ වන විට රටක සංසරණය වෙන මුදල් ප්‍රමාණය තීරණය කරන්නේ මහ බැංකු විසින්.

එසේ වුවත්, ඔබට එක් දෙයක් පැහැදිලි විය යුතුයි. රටක මහ බැංකුවකට මුදල් සැපයුම තීරණය කළ හැකි වුවත් එය එක්තරා විදිහක සාමූහික කටයුත්තක්ද වෙනවා. අලුතින් මුදල් නෝට්ටු මුද්‍රණය කර මුදා හැරීමේ ඒකාධිකාරය තිබෙන්න මහ බැංකු අතේ. එසේ වුවත්, එම මුදල් ප්‍රමාණය වාණිජ බැංකු විසින් ගුණනය කරනවා. ඒ වගේම, මේ ගුණනය වීම රටේ මුදල් හා ණය ඉල්ලුම මතද තීරණය වන්නක්.

මේ වගේ සංකීර්ණ තත්ත්වයක් යටතේ මහ බැංකුව විසින් රටේ මුදල් සැපයුම කොපමණ විය යුතුදැයි තීරණය කිරීමෙන් පසුව එම ඉලක්කය සැපිරෙන බවට වගබලා ගන්නේ කොහොමද?

පළමුව, වාණිජ බැංකු විසින් මුදල් මැවීමක් කළත් මෙහිදී වෙන්නේ මහ බැංකුව විසින් අලුතෙන් නිකුත් කරන මුදල් ගුණනය වීමක් නිසා ආරම්භක මුදල පාලනය කළ විට අවසන් මුදල් ප්‍රමාණයද පාලනය වෙනවා. දෙවනුව, වාණිජ බැංකු විසින් ණය නිකුත් කිරීමේදී තැන්පතු වලින් කිසියම් ප්‍රතිශතයක් සංචිතයක් සේ තබා ගන්නා බව මම කිවුවනේ. මහ බැංකුව විසින් මේ සඳහා අවම සීමාවක් පනවා තිබෙනවා. ඒ නිසා, වාණිජ බැංකු වලට ණය නිකුත් කළ හැක්කේ එම අවම සංචිත ප්‍රමාණය මහ බැංකුවේ ගිණුමක තැන්පත් කිරීමෙන් පසුවයි. මේ අවම සීමාව වෙනස් කිරීමෙන් වාණිජ බැංකු වල මුදල් මැවීමේ හැකියාව පාලනය කළ හැකියි.

මේ කරුණු තවත් දීර්ඝ ලෙස විස්තර කළ හැකියි. ප්‍රශ්න මතු වුවහොත් පිළිතුරු සපයන්නම්. 

Monday, July 27, 2020

අපේ සල්ලි හා බැංකුවේ සල්ලි


කාලයකට පස්සේ මම ගොඩක් කැමති විදිහේ ප්‍රශ්නයක් පාඨකයෙක් විසින් අහලා තිබුණා. ආර්ථික විද්‍යාව පොඩ්ඩක් හරි හදාරලා තිබෙන කෙනෙක්ටනම් ඉතාම සරල ප්‍රශ්නයක්. සමහර විට කෙනෙකුට මෝඩ ප්‍රශ්නයක් වගේ පෙනෙන්නත් පුළුවන්. නමුත්, මේ වගේ ප්‍රශ්නයක් ආර්ථික විද්‍යාව හදාරලා නැති කෙනෙකුට ඉතාම සංකීර්ණ, බරපතල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. බ්ලොග් එක ලියන්න පටන් ගනිද්දී මම ඉලක්ක කළේ මේ වගේ මූලික මට්ටමේ ප්‍රශ්න තිබෙන අයවයි. වෙනත් විෂයයක් ගත්තත් ඔය ප්‍රශ්නයම තියෙනවා. කිසියම් විෂයයක් හදාරපු කෙනෙකුට ඉතා සරල ප්‍රශ්නයක් වගේ පෙනෙන දෙයක් එම විෂය හදාරා නැති කෙනෙකුගේ හිතට වද දෙන සංකීර්ණ ප්‍රශ්නයක්.

ඔය වගේ සරල ප්‍රශ්න වලට සරල උත්තර දෙන්න යන කොට ආර්ථික විද්‍යාව ගැන යම් දැනුමක් තිබෙන අය සංකීර්ණ ප්‍රශ්න මතු කරනවා. එවිට ඒ අය ඉලක්ක කර සංකීර්ණ පිළිතුරු සපයන්න වෙනවා. මේ වැඩේ දිගින් දිගටම සිදු වීම නිසා සමහර විට දැන් බ්ලොග් එක ඕනෑවට වඩා බරපතල වෙලාද කියලත් වෙලාවකට හිතෙනවා. වඩා වැදගත් වෙන්නේ ආර්ථික විද්‍යා විෂය දැනුමක් තිබෙන, මෙහි ලියන දේවල් සමඟ පහසුවෙන් එකඟ වෙන අය මෙය කියවන එක නෙමෙයි. එවැනි දැනුමක් නැති ටික දෙනෙක් හෝ ආර්ථික විද්‍යාවේ මූලික සංකල්ප අවබෝධ කර ගැනීමයි. 

රටේ මුදල් හා මූල්‍ය පාලනය භාරව ඉන්න ටික දෙනෙකුට ලංකාවේ හැමෝගෙම ජීවිත පාලනය කරන්න හැකි වී තිබෙන්නේ එවැනි දැනුමක් රටේ බොහෝ දෙනෙකුට නැති නිසයි. එය මිනිස්සුන්ගේ වැරැද්දක් නෙමෙයි. ලංකාවේ සමාජවාදී ආණ්ඩු විසින් සමාජවාදී අධ්‍යාපන ක්‍රමය හරහා දිගින් දිගටම පවත්වා ගෙන යන තත්ත්වයක්. ලංකාවේ ධනවාදී දේශපාලන පක්ෂ නැති නිසා මේ උගුලෙන් ගැලවෙන්න වෙන්නේ රටේ මිනිස්සු කවර හෝ විකල්ප ක්‍රමයකින් අවශ්‍ය දැනුම ලබා ගත්තොත් විතරයි. හැමදේම අතැඹුලක් සේ දන්න විවිධ නිකාය වල භක්තිවාදී මාක්ස්වාදී ආගමිකයින්ට දැනුම පොවන්න බැරි වුනත්, භක්තිවාදීන් නොවන විවෘත මනසක් තිබෙන අයට නොදන්නා විෂයයක් තේරුම් ගැනීම නොකළ හැක්කක් නෙමෙයි.

"ඉතිං බැංකුවට ගිහිං අපි ගන්නේ අපේ ගිණුමේ ඉතිරි වෙලා තියෙන සල්ලි ටිකනේ. එතකොට කොහොමද රටේ මුදල් හිගයක් ඇති වෙන්නේ ඉකොනෝ. මොකද අපිට ගන්න පුළුවන් ගිණුමේ තියෙන මුදල මිසක් ඊට වඩා වැඩි ගානක් නෙමේ. ඒ කියන්නේ රටක සියලුම ගිණුම් වල තියෙන මුදල් ප්‍රමාණය ඉලක්කම් වලින් පෙන්නවට වඩා අඩු මුදල් නෝට්ටු ගණනක්ද මුද්‍රණයේ පවතින්නේ. ප්‍රශ්නේ තේරුනාද දන්නේ නැහැ. මේ ප්‍රශ්නේ මගේ ඔලුවට ආවට මෙහෙම ලියලා තේරුම් කරන්න මටත් තේරෙන්නේ නැහැ."

මේ ප්‍රශ්නය ඇතුළේ ආර්ථික විද්‍යාවේ මූලික කරුණු ගණනාවක් තිබෙනවා. මම හිතන්නේ මම මේ ගොඩක් දේවල් වරින් වර පැහැදිලි කරලත් තිබෙනවා. අපි මේ පාඨකයාගේ ගැටලුව හැකි තරමින් පැහැදිලි කරන්න උත්සාහ කරමු. එය ඔහු හෝ ඇය වැනි තවත් අයටත් උපකාරයක් වෙයි කියා මම හිතනවා.

මුදල් කියා කිවුවහම බොහෝ දෙනෙක්ගේ සිහියට එන්නේ මුදල් නෝට්ටු. රුපියල් සීයේ කොළයක් නැත්නම් රුපියල් පන්දාහේ කොළයක් වගේ දෙයක්. ඔවු. ඒවා මුදල් තමයි. එය ඉතාම පැහැදිලි කරුණක්නේ. 

අපිට මේ මුදල් ලැබෙන්නේ කොහොමද? බොහෝ දෙනෙක් හා අදාළව සරලම පිළිතුර වැඩ කරලා උපයන ආදායමක් ලෙස කියන එකයි. සමහර විට මොනවා හෝ කෘෂිකාර්මික හෝ ධීවර නිෂ්පාදනයක් විකුණලා ලබා ගන්න සල්ලි. සමහර විට වඩු වැඩක්, මේසන් වැඩක්, කරණවෑමි රැකියාවක් වගේ දෙයක් කරලා ලබා ගන්න සල්ලි. මේ වගේ වැඩක් කළාම කෙළින්ම අතට සල්ලි එනවා. රුපියල් නෝට්ටු වලින්. වැඩේ සරලයි.

ඔය විදිහට කවුරු හෝ කෙනෙක් විසින් උපයන මුදල් වෙනත් භාණ්ඩ හා සේවා මිල දී ගැනීම වෙනුවෙන් වැය කරනවා. එවිට තවත් පිරිසක් අතට මේ සල්ලි යනවා. අවසානයේ යම් ඉතිරියක් ඇතොත් බැංකු ගිණුමක තැන්පත් කරනවා. දැන් බැංකුවේ තියෙන්නේ කාගේ සල්ලිද? අර පාඨකයා නිවැරදිව කියනවා වගේ අපේ සල්ලි. අපිට අවශ්‍ය වෙලාවට බැංකුවට ගිහින් ඔය සල්ලි ආපහු ගන්න පුළුවන්.

සමහර අය ආදායම් උපයන්නේ රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවක් කරලා. එවැනි රැකියා කළ අයට කාලයකට පෙර පඩි පැකට් එකක් ලැබුණා. හරියට සතේටම ලියුම් කවරයක දමපු නෝට්ටු හා කාසි ගොඩක්. පඩි පැකට් එක ගත්තට පස්සේ කතාව කලින් වගේමයි. ණය තුරුස් ඇත්නම් ගෙවලා ඉතිරිය වියදම් කරනවා. යම් විදිහකින් ඉතිරියක් ඇත්නම් බැංකු ගිනුමේ තැන්පත් කරනවා.

දැන් මම හිතන්නේ ඔය පඩි පැකට් ක්‍රමය එතරම් දකින්න නැහැ. නැත්තේමත් නැහැ තමයි. පඩි දවසේ සල්ලි අරගෙන යන වාහනය මංකොල්ල කෑ පුවත් දැනුත් කලාතුරකින් හෝ ඇහෙනවා. හැබැයි බොහෝ විට පඩිය කෙළින්ම බැංකු ගිණුමකට යනවා. ඊට පස්සේ බැංකුවෙන් අවශ්‍ය තරමට මුදල් අරගෙන වියදම් කරන එකයි කරන්න තියෙන්නේ. මුළු වැටුපම වියදම් කර අවසන් කළේ නැත්නම් ඔය සල්ලි බැංකුවේ ඉතිරි වෙනවා.

මේ ක්‍රමය කලින් ක්‍රමයට වඩා වෙනස් වෙන්නේ එක් කරුණකින් පමණයි. කලින් ක්‍රමයට අතට එන සල්ලි වලින් කොටසක් බැංකුවේ දමනවා. දැන් ක්‍රමයට බැංකුවට කෙළින්ම එන සල්ලි වලින් කොටසක් එහි ඉතිරි වෙනවා. ඒ වෙනස හැරුණු විට අවසාන වශයෙන් බැංකුවේ තිබෙන්නේ පාඨකයා විසින් නිවැරදිව තේරුම් අරන් තිබෙන විදිහටම අපේ සල්ලි.

අතේ තිබුණත් බැංකුවේ තිබුණත් සල්ලි අපේනේ. සල්ලි අතට ආවේ වෙන කෙනෙකුගෙන්. මේ වෙන කෙනා තවත් අපි වගේම වැටුපක් සඳහා වැඩ කරන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. එහෙමනම් ඒ පුද්ගලයාගේ අතට සල්ලි ඇවිත් තියෙන්නේත් අපිට සල්ලි ලැබුණු විදිහටමයි. එහෙම නැත්නම් පෞද්ගලික සමාගමකින් වෙන්න පුළුවන්. පෞද්ගලික සමාගමක් සල්ලි හොයන්නේ මොනවා හෝ විකුණලානේ. ඒ කියන්නේ, අපි වගේ කාගේ හරි අතේ තිබුණු සල්ලි. 

සල්ලි ලැබුණේ රජයෙන් වෙන්නත් පුළුවන්. ලංකාවේ ගොඩක් අය කරන්නේ රජයේ රැකියානේ. රජයට සල්ලි කොහෙන්ද? අපි දැනට හිතමු රජය සල්ලි හොයන්නේ බදු හා වෙනත් ආදායම් වලින් කියලා. වෙනත් ආදායම් කිවුවේ ඔය වාහන ලියාපදිංචි ගාස්තු වගේ දේවල්. ඔය විදිහට බැලුවොත් රජයෙන් ලැබෙන්නේත් අපි වගේ කාගෙන් හෝ එකතු කර ගන්නා සල්ලි.

දැන් මේ කතාවේ පොඩි අවුලක් පෙනෙන්නේ නැද්ද? සල්ලි අතින් අතට යන බව පැහැදිලියි. අපේ අතේ තිබෙන රුපියල් පන්සීයක නෝට්ටුවක අතීතය මොනයම් විදිහකින් හෝ හාරා ඇවිස්සුවොත් එහි පරණ අයිතිකාරයින් හොයා ගන්න පුළුවන්. එහෙත් ප්‍රශ්නය මුලින්ම මේ රුපියල් පන්සීයේ නෝට්ටුව කාගේ හරි අතට ලැබුණේ කොහොමද?

ඒ ප්‍රශ්නය එහෙම්මම තියෙද්දී අපි දැන් බැංකුවට යමු. අපි මොන ආකාරයකින් හෝ සල්ලි හොයනවා. ඒ සල්ලි වලින් කොටසක් බැංකුවට යනවා. අර පාඨකයා කියපු විදිහටම දැන් බැංකුවේ තියෙන්නේ අපේ සල්ලි මිසක් බැංකුවේ සල්ලි නෙමෙයිනේ. නමුත්, බැංකුව අපි කවදා හරි ආපහු ගන්නකම් මේ සල්ලි සේප්පුවේ තියාගෙන ඉන්නවද? 

බැංකුවකට රත්තරන් බඩුවක් උගස් කළාමනම් එය ආපහු ගන්නකම් බැංකුව සේප්පුවක දමලා තියාගෙන ඉන්නවා. නමුත්, බැංකුවක සල්ලි දැම්මහම බැංකුව ඒ විදිහට ඒ සල්ලි තියාගෙන ඉන්නේ නැහැ. ණය විදිහට කාට හරි දෙනවා. දැන් ඒ දෙන්නේ බැංකුවේ සල්ලිද අපේ සල්ලිද? අපේ සල්ලිනේ. ඒ කියන්නේ දැන් ගිහින් බැලුවොත් අපි බැංකුවේ දමපු සල්ලි සියල්ල බැංකුවේ නැහැ. 

දැන් අපි අර මුලින් කතාවට තවත් කොටසක් එකතු කරමු. අපි මොනවා හෝ විකුණලා එහෙම නැත්නම් රස්සාවක් කරලා සල්ලි හොයනවා. ඒ සල්ලි වියදම් කරනවා. ඊට අමතරව අපිට බැංකුවකින් ණයක් අරගෙන ඒ සල්ලිත් වියදම් කරන්න පුළුවන්. හැබැයි මේ සල්ලි කාගේ හරි සල්ලිනේ. හදිසියකට අසල්වැසියාගෙන් රුපියල් දාහක් ණයට ඉල්ලගත්තහම අසල්වැසියාගේ අතේ තිබෙන සල්ලි වලින් රුපියල් දාහක් අඩු වෙනවා වගේ බැංකුවෙන් ණයක් ගත්තහම බැංකුවේ තිබෙන අපේ සල්ලි වලින් කොටසක් අඩු වෙනවා. නමුත්, සල්ලි වෙන තැනකට ගිහින් මිසක් සල්ලි ප්‍රමාණය වෙනස් වෙලා නැහැ. ඒ නිසා, මේ විදිහට බැලුවොත් හැම මුදල් නෝට්ටුවකටම කවුරු හරි අයිතිකාරයෙක් ඉන්නවා. මම බැංකුවෙන් ණයට ගත් රුපියල් පන්දාහේ නෝට්ටුවේ සැබෑ අයිතිකාරයා ඒ රුපියල් පන්දාහ බැංකුවේ තැන්පත් කළ පුද්ගලයා. 

තවමත් කතාව සරලයි. ඒ වගේම, මුදල් නෝට්ටු මුලින්ම සංසරණයට ආවේ කොහොමද කියන ප්‍රශ්නය විසඳිලා නැහැ. 

පුද්ගලයෙකුට හෝ සමාගමකට වියදම් කළ හැක්කේ තමන් උපයන ආදායම හෝ ණයට ගන්නා මුදලක් පමණයි. ණයට ගන්නා මුදල් කියා කියන්නේත් වෙනත් පුද්ගලයෙකුගේ හෝ සමාගමක ආදායමයි. නමුත්, රජයට ආදායම ඉක්මවා වියදම් කළ හැකි තවත් ක්‍රමයක් තිබෙනවා. ඒ මහ බැංකුව සමඟ හවුල් වී සල්ලි අච්චු ගැසීමයි. උදාහරණයක් විදිහට රජයට අළුතෙන්ම මුද්‍රණය කළ මුදල් නෝට්ටු වලින් රජයේ සේවකයෙකුගේ වැටුප් ගෙවන්න පුළුවන්කම තිබෙනවා. ඒ මුදල් රජය විසින් බදු හෝ ආදායම් ලෙස එකතු කරගත් මුදල් විය යුතුම නැහැ. අලුතින්ම මුදල් නෝට්ටු සංසරණයට එන්නේ ඔය විදිහටයි. මෙය ඉතාම සරල පැහැදිලි කිරීමක්. 

දැන් කතාව ටිකක් සම්පූර්ණයි. රජය මහ බැංකුව හා හවුල්ව සල්ලි අච්චු ගසා වියදම් කරනවා. ඒ සල්ලි කාගේ හෝ ආදායමක් වෙනවා. ඉන් පසු, සල්ලි අතින් අත යනවා. කොටසක් බැංකු වලට යනවා. නැවත ණය ලෙස බැංකු වලින් එළියට එනවා. හැබැයි මොන ආකාරයට හෝ සංසරණය වෙන්නේ රජය විසින් මහ බැංකුව සමඟ එකතු වී සංසරණයට එකතු කළ මුදල් ප්‍රමාණයයි. සල්ලි තිබෙන්නේ බැංකුවේද අතේද කියන එක අදාළ කරුණක් නෙමෙයි. අර පාඨකයා තේරුම් ගෙන තිබෙන ආකාරය තවමත් නිවැරදියි.

කතාවේ තේරුම් ගන්න අමාරු කොටස ඉන් පසු කොටසයි. අපි හිතමු කවුරු හෝ කෙනෙක් බැංකුවෙන් ණයක් අරගෙන දරුවෙකුගේ පෞද්ගලික උපාධි පාඨමාලාවක් සඳහා වැය කළා කියලා. අපි කියමු රුපියල් ලක්ෂ දහයක්. දැන් බැංකුවට මේ විදිහට දෙන්න වෙන්නේ කාගේ හරි සල්ලිනේ.

මෙහෙම හිතමු. සමරදිවාකර විශ්‍රාමිකයෙක්. ඔහු රුපියල් ලක්ෂ දහයක් මහජන බැංකුවේ විශ්‍රාමික ගිණුමක තියලා එහි පොලියෙන් ජීවත් වෙනවා. ඔහු මේ ආදායම උපයා තියෙන්නේ රජයේ රැකියාවක් කරලා. රජය ඔහුට වැටුප් ගෙවා තියෙන්නේ සල්ලි අච්චු ගහලා. ඒ කියන්නේ, සමරදිවාකර තමයි මේ සල්ලි වල මුල් අයිතිකරුවා හා වත්මන් සැබෑ අයිතිකරුවා. මහජන බැංකුව සමරදිවාකරගේ සල්ලි වල භාරකරුවා.

සමරදිවාකර මේ සල්ලි හදිස්සියේ ආපහු නොගන්න බව බැංකුව දන්නවා. චන්ද්‍රානි ඇගේ දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් මහජන බැංකුවෙන් ලක්ෂ දහයක ණයක් ඉල්ලනවා. මහජන බැංකුව සමරදිවාකාරගේ සල්ලි චන්ද්‍රානිට දෙනවා. හැබැයි ඒ සල්ලි සමරදිවාකරගේ බව චන්ද්‍රානි දන්නේ නැහැ. තමන්ගේ සල්ලි ණයක් සේ චන්ද්‍රානිට දුන් බව සමරදිවාකර දන්නේත් නැහැ. මහජන බැංකුව චන්ද්‍රානිට දුන් ණය වෙනුවෙන් 10%ක පොලියක් අය කර ගන්නවා. සමරදිවාකරට පොලිය ලෙස 8%ක් ගෙවනවා. ඉතරි 2% බැංකුවේ වියහියදම් වෙනුවෙන් යොදවනවා. තවමත් මුදල් සැපයුම වෙනස් වෙලා නැහැ. සමරදිවාකරගේ සල්ලි චන්ද්‍රානි අතට යාම හා මහජන බැංකුව අතරමැදියෙකු සේ කටයුතු කර ලාබයක් ලැබීම පමණයි සිදු වී තිබෙන්නේ.

චන්ද්‍රානි මේ සල්ලි ගත්තේ දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන්නනේ. ඇය අනෙක් අතට ඒ සල්ලි "ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනයේ" ගිණුම් අංකයකට බැර කරනවා. මේ ගිණුම පවත්වාගෙන යන්නෙත් මහජන බැංකුවේ. ඒ කියන්නේ, චන්ද්‍රානි රුපියල් ලක්ෂ දහයක ණයක් ගත්තත් ඒ සල්ලි බැංකුවෙන් එළියට ගිහින් නැහැ. ඒ විදිහටම තිබෙනවා.

චන්ද්‍රානි තමන්ගේ දරුවාගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් ණයක් ගත් බව දැන ගන්නා රත්නසේකරටත් ඔහුගේ දරුවා වෙනුවෙන් ණයක් ගන්න අවශ්‍ය වී මහජන බැංකුවට එනවා. චන්ද්‍රානි විසින් ලබාගත් ණය මුදල බැංකුවෙන් එළියට ගියේ නැතුවා සේම රත්නසේකර විසින් ගන්නා ණය මුදලත් එළියට නොයන බව මහජන බැංකුව දන්නවා. මහජන බැංකුව ඒ ලක්ෂ දහයම නැවතත් රත්නසේකරට ණයට දෙනවා. රත්නසේකර විසින් එම මුදල ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනයේ ගිණුම් අංකයට බැර කරනවා. දැන් ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනයේ ගිණුමේ රුපියල් ලක්ෂ දෙකක් තියෙනවා.

මහජන බැංකුව විසින් චන්ද්‍රානිට ණයට දුන්නේ සමරදිවාකරගේ සල්ලිනේ. එහෙමනම්, රත්නසේකරට ණයට දුන්නේ කාගේ සල්ලිද? සමරදිවාකරගේ සල්ලි කියා කියන්න බැහැනේ. සමරදිවාකරගේ ගිණුමේ ලක්ෂ දහයක් මිසක් ලක්ෂ විස්සක් තිබුණේ නැහැනේ. ඒ වගේම, මේ වෙලාවේ අලුතෙන් සල්ලි අච්චු ගැසීමක් වුනෙත් නැහැ. ඒ කියන්නේ රටේ තිබුණු මුදල් නෝට්ටු ප්‍රමාණය වෙනස් වුනේ නැහැ. එහෙමනම්, මේ අමතර රුපියල් ලක්ෂ දහය ආවේ කොහෙන්ද?

බැංකු විසින් කරන මුදල් මැවීම කියා කියන්නේ ඕකටයි. මෙය මහ බැංකුව හා රජය එකතු වී කරන සල්ලි අච්චු ගැසීමට වඩා වෙනස් දෙයක්. සල්ලි අච්චු ගහන විට රටේ භෞතික ලෙස සංසරණය වන මුදල් නෝට්ටු ප්‍රමාණය වැඩි වෙනවා වුනත් (පැහැදිලි කිරීම සඳහා කියන සරල කතාවක් පමණයි. ඇත්තටම එහෙමම වෙන්නේත් නැහැ) වාණිජ බැංකු විසින් මුදල් මවන විට එවැනි දෙයක් වෙන්නේ නැහැ. මෙහිදී වෙන්නේ එකම රුපියල් පන්දාහේ නෝට්ටුව වාර ගණනාවක්ම නැවත නැවත ණය ලෙස ලබා දෙන එකයි. ණය ලෙස ලබා ගන්නා මුදල් නැවත නැවත බැංකුවට ආපසු එන තුරු මේ වැඩේ දිගින් දිගටම කරන්න පුළුවන්.

වාණිජ බැංකු විසින් මේ ආකාරයට මුදල් මැවීමක් කිරීමේ එහෙමත් නැත්නම් රටේ මුදල් ප්‍රමාණය ගුණනය කිරීමේ මූලධර්මය බැංකුවේ තැන්පත් කර තිබෙන මුදල් සියල්ල එම ගිණුම් අයිතිකරුවන් විසින් එක වර ලබා නොගන්නා බවට වන විශ්වාසයයි. එවැනි විශ්වාසයක් නැත්නම් බැංකුවකට ණය දෙන්නම බැහැනේ. අනෙක් අතට එවැනි විශ්වාසයක් තිබේනම් එකම රුපියල් පන්දාහ හතර පස් දෙනෙකුටම ණයට දුන්නා කියලා මොකද වෙන්නේ?

මම හිතන්නේ රටේ මුදල් සැපයුම සංසරණයේ තිබෙන නෝට්ටු ප්‍රමාණයට වඩා වැඩි වෙන්නේ කොහොමද කියන එක දැන් පැහැදිලි ඇති කියලා. අපේ උදාහරණයට ගියොත් එකම රුපියල් ලක්ෂ දහයට දැන් අයිතිකාරයෝ දෙන්නෙක් ඉන්නවා. මුල් අයිතිකාරයා වූ සමරදිවාකර හා දෙවන අයිතිකරුවා වූ ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනය. සමරදිවාකරගේ ගිණුමේ රුපියල් ලක්ෂ 10ක් තිබෙනවා. ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනයේ ගිණුමේ රුපියල් ලක්ෂ 20ක් තිබෙනවා. හැබැයි බැංකුවේ මුදල් නෝට්ටු ලෙස තියෙන්නේ රුපියල් ලක්ෂ 10ක් පමණයි. මේ ගිණුම් දෙකේම මුදල් එකවර ගන්න ආවොත් බැංකුව අර්බුදයකට යනවා. එහෙම අර්බුදයකට ගිය බැංකු පිළිබඳ උදාහරණ ලංකාවේම තියෙනවනේ.

මම හිතන්නේ දැනට මේ ඇති. ප්‍රශ්න තිබේනම් තවත් අමතර පැහැදිලි කිරීම් කළ හැකියි.


Friday, December 27, 2019

රාජ්‍ය බැංකු ලාබ ලබනවද?

පසුගිය දිනෙක මුදල් අමාත්‍යංශය විසින් නිවේදනය කර තිබුණේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ලබා දී තිබුණු බැංකු ණය කපා දැමීමට රජය තීරණය කර තිබෙන බවයි. මෙහි පිරිවැය කාගෙන්ද කියන එක එතරම් පැහැදිලි නැහැ.

ලංකාවේ බැංකු ව්‍යාපාරය තුළ රාජ්‍ය බැංකු වල කොටස තවමත් සෑහෙන තරම් විශාලයි. ආණ්ඩු විසින් වරින් වර ගන්නා සහන පොලී අනුපාතික යටතේ ණය ලබා දීම, ණය කපා දැමීම වැනි දේශපාලන තීන්දු බොහෝ විට සෘජුවම බලපාන්නේ රාජ්‍ය බැංකු වලටයි. ඒ නිසා, රාජ්‍ය බැංකු වලට පෞද්ගලික බැංකු සමඟ තරඟ කිරීමේදී යම් අවාසියක් වෙනවා කියා කියන්න පුළුවන්.

ලංකාවේ ප්‍රධාන රාජ්‍ය බැංකු තුන වන්නේ ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුවයි. පසුගිය දශකයක පමණ කාලය තුළ මේ රාජ්‍ය බැංකු තුනේ ප්‍රතිලාභ අනුපාතික දෙස බැලූ විට පෙනී යන්නේ එම බැංකු අදාළ කාලය තුළ කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත ප්‍රධාන පෙළේ දේශීය සමාගම් වලට සාපේක්ෂව ඉහළ  ප්‍රතිලාභ අනුපාතික වාර්තා කර ඇති බවයි. 

එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකයට ඇතුළත් ලංකාවේ ප්‍රධාන පෙළේ පෞද්ගලික වාණිජ බැංකු වන සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව හා හැටන් නැෂනල් බැංකුව සමඟ සංසන්දය කළත් රාජ්‍ය බැංකු විසින් උපයා තිබෙන ලාබ කැපී පෙනෙනවා.



වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...