වෙබ් ලිපිනය:

Showing posts with label ආර්ථික වර්ධනය. Show all posts
Showing posts with label ආර්ථික වර්ධනය. Show all posts

Tuesday, May 31, 2022

මැයි උද්ධමනය 39.1% දක්වා ඉහළට!


කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්ව මනින උද්ධමනය ගෙවුනු මැයි මාසයේදී 39.1% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආහාර උද්ධමනය 57.4% දක්වා ඉහළ ගොස් ඇති අතර ආහාර නොවන භාණ්ඩ හා සේවා හා අදාළ උද්ධමනයද 30.6% දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම ඇස්තමේන්තු පදනම් වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික පාරිභෝගිකයින්ගේ ජීවන රටා මතයි. රටේම පරිභෝජනය මත පදනම් වන ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් උද්ධමන ඇස්තමේන්තු පිළියෙල වන්නේ දින 21ක කාල පමාවකින් පසුවයි. එම ඇස්තමේන්තුව තරමක් ඉහළින් තිබිය හැකි වුවත් 45% ආසන්නව පවතිනු ඇති බව මගේ විශ්වාසයයි. මේ පිළිබඳ වැඩිදුර විග්‍රහයක් පසුව බලාපොරොත්තු වන්න!

මේ අතර ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් ජාතික ගිණුම් ඇස්තමේන්තු සංශෝධනය කර තිබෙනවා. සංශෝධිත ඇස්තමේන්තු අනුව පෙනී යන්නේ 2020දී ආර්ථිකය සංකෝචනය වීමට පෙරම 2019දීද ආර්ථිකය සංකෝචනය වී ඇති බවයි. සංශෝධිත ඇස්තමේන්තු අනුව 2019 වසරේදී ලංකාවේ ආර්ථිකය 0.2%කින්ද, 2020 වසරේදී තවත් 3.5%කින්ද හැකිලී තිබෙනවා. 2021දී ආර්ථිකය 3.3%කින් වර්ධනය වී ඇතත් මේ වසරේදී ඉතිහාසයේ කවදාවත් සිදු නොවූ තරමේ විශාල හැකිලීමක් සිදු විය හැකියි.

Sunday, April 24, 2022

ආර්ථිකය 3.7%කින් වර්ධනය වෙයි!


ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තු අනුව පසුගිය 2021 වසර තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 3.7%කින් වර්ධනය වී තිබෙනවා. පෙර වසරේදී ලංකාවේ ආර්ථිකය 3.6%කින් හැකිලුණා. මේ අනුව, ලංකාවේ ආර්ථිකය නැවතත් 2019දී පැවති මට්ටම ආසන්නයට ප්‍රසාරණය වී තිබෙනවා.

කෙසේ වුවද, ආර්ථිකයේ කෘෂිකාර්මික හා කාර්මික අංශ තවමත් තිබෙන්නේ 2019දී පැවති මට්ටම් වලට වඩා පහළින්. පසුගිය දෙවසරක කාලය තුළ සමස්තයක් ලෙස කෘෂිකාර්මික අංශය 0.2%කින්ද, කාර්මික අංශය 2.0කින්ද හැකිලී තිබෙන අතර සේවා අංශය පමණක් 2019ට වඩා 1.3%ක ප්‍රගතියක් පෙන්වා තිබෙනවා. 

දෙවසරක සමස්ත ආර්ථික වර්ධනය ශුන්‍ය වුවත් මිල මට්ටම් ඉහළ යාම නිසා 2021 ඒක පුද්ගල ආදායම රුපියල් 758,680 දක්වා ඉහළ ගොස් ඇති අතර පැවති විණිමය අනුපාතය අනුව එය ඩොලර් 3,815ක්. මෙය 2014දී පැවති මට්ටමටත් වඩා මඳක් අඩු මට්ටමක්.

ඇස්තමේන්තු අනුව ආර්ථිකයේ ප්‍රමාණය රුපියල් බිලියන 16,809ක් හෙවත් ඩොලර් බිලියන 84.5ක් වෙනවා.

නිදහසින් පසු, දෙවසරක කාලයක් තුළ සමස්තයක් ලෙස ආර්ථිකය වර්ධනය වී නැති පළමු අවස්ථාව පසු ගිය දෙවසරයි. තෙවසරක සාමාන්‍ය වර්ධනය වන 0.8% මට්ටම සැලකුවද, පස් වසරක සාමාන්‍ය වර්ධනය වන 1.9% මට්ටම සැලකුවද, දැකිය හැක්කේ ඉතිහාසයේ වාර්තාගත පහළම මට්ටමයි. වසර තුළ මිල මට්ටමේ සමස්ත ඉහළ යාම  7.9% ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා.

වසංගතය හේතුවෙන් 2020 වසර තුළ ලෝකයේ බොහෝ ආර්ථිකයන් සංකෝචනය වුවත්, 2021දී ඒ බොහෝ රටවල් අළු ගසා දමා වේගයෙන් නැගිටිනු දැකිය හැකි වුනා. ඒ අතරින් එක්සත් රාජධානිය, කැනඩාව වැනි ඇතැම් රටවල් තවමත් 2019 සිටි මට්ටමට පැමිණ නැහැ. එහෙත්, 2020දී 3.4%කින් හැකිළුණු ඇමරිකන් ආර්ථිකය 2021දී 5.7%කින් වර්ධනය වූ අතර, 2020දී 1.1%කින් හැකිළුණු ඕස්ට්‍රේලියන් ආර්ථිකය 2021දී 4.2%කින් වර්ධනය වුනා.

Thursday, December 16, 2021

ආර්ථිකය කඩා වැටිය හැක්කේ කොතැනකටද?


ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන එක හෝ නොවැටෙන එක, බංකොලොත් වීම හෝ නොවීම, කඩා වැටෙනවානම් එය සිදු වන දවස, බංකොලොත් වෙනවානම් එය සිදු වන දවස ආදිය ගැන ඇතැම් අය අනාවැකි කියනවා. තවත් අයට මේ ගැන දැන ගන්න උනන්දුවක් තිබෙනවා. ඊට සාපේක්ෂව අඩුවෙන් කතා වෙන දෙයක් වන්නේ ආර්ථිකය කඩා වැටෙන්නේ කොතැනටද කියන එකයි. කඩා වැටෙන තැනක් ගැන කතා නොකරමින් ආර්ථිකය කඩා වැටෙන එක ගැන කතා කරන එකේ තේරුමක් නැහැ. 

ආර්ථිකය කඩා වැටෙනවා කියා කතාවට කිවුවත් එයින් අදහස් වන්නේ කුමක්ද කියන එක එතරම්ම පැහැදිලි දෙයක් නෙමෙයි. ආර්ථිකය හෝ රට බංකොලොත් වෙනවා කියන එක ඊට සාපේක්ෂව තරමක් හෝ පැහැදිලියි. බොහෝ දෙනෙක් රට බංකොලොත් වීම ලෙස හඳුන්වන්නේ රටේ විදේශ ණය ගෙවා ගන්න බැරි තැනකට රට වැටෙන එකටයි. රටේ විදේශ ණය කියා කිවුවත්, මෙහිදී වැඩි අවධානයක් යොමු වී තියෙන්නේ රජයේ විදේශ ණය වලටයි.

සාමාන්‍ය ව්‍යවහාරයේ බංකොලොත් වීම කියන වචනය භාවිතා වෙන්නේ කාගේ හෝ පුද්ගලයෙකුගේ, සමාගමක හෝ වෙනත් කිසියම් නෛතික ව්‍යුහයක වත්කම් වලට වඩා බැරකම් වැඩි වී ශුද්ධ වත්කම් සෘණ පැත්තට ගිය විටයි. එහෙත්, ශුද්ධ වත්කම් සෘණ පැත්තට නොගියත්, ප්‍රමාණවත් ද්‍රවශීල වත්කම් නැති අවස්ථාවක පුද්ගලයෙකුට හෝ වෙනත් නෛතික ව්‍යුහයකට තමන් අරගෙන තිබෙන ණය ආපසු ගෙවන්න බැරි වෙන්න පුළුවන්. 

රටක වත්කම් මූර්ත වත්කම් හා මූල්‍ය වත්කම් ලෙස කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මේ දෙකෙන් මූර්ත වත්කම් කොටසට ගත්තොත් එය සාමාන්‍යයෙන් සෘණ පැත්තට නොයන්නක්. එහෙත්, මූල්‍ය වත්කම් කොටස සෘණ පැත්තට යන එක අසාමාන්‍ය දෙයක් නෙමෙයි. ලංකාව ඇතුළු ලෝකයේ රටවල් වලින් බාගයක වගේ ශුද්ධ මූල්‍ය වත්කම් තියෙන්නේ සෘණ පැත්තේ. 

ශුද්ධ මූල්‍ය වත්කම් සෘණ වූ පමණින් රටක් බංකොලොත් වෙන්නේ හෝ ණය පැහැර හරින තැනකට වැටෙන්නේ නැහැ. බැරකම් දිගුකාලීන ඒවානම් සහ වත්කම් ද්‍රවශීල වත්කම්නම් රෝලක් ගහගෙන යන්න පුළුවන්. එහෙත්, රටක මූල්‍ය වත්කම් සංචිතය කෙටිකාලීන මූල්‍ය බැරකම් පියවන්න ප්‍රමාණවත් නොවන මට්ටමකට වැටුණු විට රටකට ණය පැහැර හරින්න වෙනවා.

ලංකාව තවම ණය පැහැර හැරලා නැහැ. එය සිදුවීමේ අවදානම ගොඩක් වැඩි වී තිබෙනවා පමණයි. 

ආර්ථිකය කඩා වැටෙනවා කියන එක රටක් බංකොලොත් වීම වගේ එක නිශ්චිත මොහොතක සිදු වෙන දෙයක් නෙමෙයි. ක්‍රමක්‍රමයෙන් සිදු වන දෙයක්. ලංකාව තවමත් බංකොලොත් වී නැතත්, ලංකාවේ ආර්ථිකයේ කඩා වැටීමනම් මේ වෙන කොටත් පටන් ගෙනයි තියෙන්නේ. ඒ කඩා වැටීම කවදා කොතැනින් නවතීද කියන එක තමයි සාකච්ඡා කළ යුතු ගැටළුව.

රටක ආර්ථිකය කියන්නේ සංකීර්ණ පද්ධතියක්. ආර්ථිකයක කඩා වැටීම මේ පද්ධතියේ හැම කොටසකටම එක පරිදි දැනෙන්නේ නැහැ. සමහර කොටස් වලට ඒ බලපෑම වැඩියි. සමහර කොටස් වලට අඩුයි. ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයටත් මේ කරුණ අදාළයි.

ලංකාවේ ආර්ථික අර්බුදය දරුණුවටම දැනෙන්නේ විදේශ අංශයට බව අපි දැනටමත් දන්නවා. රජයට ආනයන භාණ්ඩ සීමා කරන්න සිදු වී තිබීමෙන් පමණක්ම වුවත් පැහැදිලි වන්නේ රටේ ආර්ථිකය මේ වන විටත් කඩා වැටී ඇති බවයි. මේ කඩාවැටීමේ අනාගතය කුමක්ද?

ඉන්දීය සහන පැකේජය හා තවත් එවැනි විදේශ විණිමය ලැබීම් වල උදවුවෙන් මාස ගණනක් අල්ලාගෙන හිටියත්, ඩොලරයක මිල දැන් තිබෙන මට්ටමේ තියා ගන්න එක දිගටම කරන්න බැහැ. මේ විදිහට ගියොත් යම් මොහොතක ඩොලරයක මිල අනිවාර්යයෙන්ම එකවර විශාල ලෙස ඉහළ යනවා. ඊට කලින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියොත් මේ විදිහට එකවර කඩා වැටෙන්න කලින් ටිකෙන් ටික රුපියල අවප්‍රමාණය වෙන්න ඉඩ දෙන්න කියා ලංකාවට යෝජනා කරයි. ඔය දෙකෙන් කොයි එක වුනත්, අවසාන වශයෙන් ඩොලරයක මිල සැලකිය යුතු තරම් ඉහළ යයි.

විණිමය අනුපාතය කඩා වැටුනොත් ඩොලරයක මිල කීයක් වෙලා නවතියිද? 

සරල හා කෙටි පිළිතුර ඩොලරයක මිල ඕනෑම ගණනක් විය හැකි බවයි. මොකද කිසිදු පාලනයකින් තොරව ඩොලරයක රුපියල් මිල කඩා වැටෙන තත්ත්වයක් යටතේ එය නැවතිය යුතු තැන තීරණය වෙන්නේ සමපේක්ෂනය මත මිසක් සාමාන්‍ය ආර්ථික විද්‍යා මූලධර්ම අනුව නෙමෙයි. හැබැයි මේ සමපේක්ෂකයින් විසින් ආර්ථික විද්‍යා මූලධර්ම නොසලකා හරින්නේ නැහැ. ඒ නිසා, ආර්ථික විද්‍යා මූලධර්ම අනුව නැවතිය යුතු තැනට වඩා පහළින් ඩොලරය නවතින්නේ නැහැ.

ඩොලරයක නියම මිල ගැන මීට පෙර කතා කර ඇති අවස්ථා වලදී මම ඒ සඳහා යොදාගත් ප්‍රධාන මූලධර්මයක් වුනේ ක්‍රය ශක්ති සාම්‍යය පිළිබඳ අදහසයි. පහත වගුවේ පෙන්වා තිබෙන්නේ ක්‍රය ශක්ති සාම්‍ය මූලධර්මය අනුව ලංකාවේ අපනයනකරුවෙකුට අඩු වශයෙන් 2001 වසරේදී පැවති මට්ටමේ අපනයන තරඟකාරිත්වයක් පවත්වාගන්නනම් ඩොලරයක මිල කීයක් විය යුතුද කියන එකයි. ඒ වගේම ලංකාවේ ජීවත් වන විදෙස් ශ්‍රමිකයෙකුගේ පවුලක සාමාජිකයින්ට 2001 තරමට පරිභෝජන මට්ටම පවත්වා ගැනීම සඳහා ඩොලරයක් වෙනුවෙන් කීයක් ලැබිය යුතුද කියන එකයි.

Year SL-CPI US-CPI Ratio PPP-Rate Actual Real Rate
2001 100.00 100.00 1.00 89.36 89.36 1.00
2002 109.55 101.58 1.08 96.37 95.66 1.01
2003 116.47 103.90 1.12         100.18 96.52 1.04
2004 125.29 106.66 1.17         104.97 101.19 1.04
2005 139.87 110.28 1.27         113.34 100.50 1.13
2006 159.03 113.83 1.40 124.84 103.96 1.20
2007 186.59 117.05 1.59         142.45 110.62 1.29
2008 228.69 121.57 1.88 168.10 108.33 1.55
2009 236.59 121.14 1.95         174.52 114.94 1.52
2010 250.66 123.13 2.04 181.92 113.06 1.61
2011 259.13 127.01 2.04 182.31 110.57 1.65
2012 278.62 129.64 2.15         192.05 127.60 1.51
2013 297.95 131.54 2.27 202.41 129.11 1.57
2014 307.70 133.67 2.30 205.70 130.56 1.58
2015 310.44 133.83 2.32 207.28 135.94 1.52
2016 322.07 135.52 2.38 212.37 145.60 1.46
2017 343.12 138.41 2.48 221.53 152.46 1.45
2018 357.82 141.79 2.52 225.51 162.54 1.39
2019 373.39 144.36 2.59 231.14 178.78 1.29
2020 390.40 146.14 2.67 238.72 185.52 1.29
Nov-21 426.33 155.94 2.73 244.30 202.05 1.21

ඉහත පදනම අනුව බැලුවොත් 2011 පමණ වෙද්දී ඩොලරයක් විකිණුනේ එහි ක්‍රය ශක්ති සාම්‍ය මිලෙන් 40%ක් පමණ දක්වා වන වට්ටමක් සමඟයි. ඒ කියන්නේ ආනයන භාණ්ඩ විකිණුනේ දේශීය ආදේශක වලට වඩා 40%ක් අඩුවෙන් කියන එකයි. රාජපක්ෂ ආණ්ඩුව විසින් ඉන්දියාවේ හා චීනයේ නිෂ්පාදකයින්ට ලබා දුන් ඔය විශාල වට්ටම නිසා ලංකාවේ එම ආනයන වේගයෙන් ප්‍රචලිත වුනා. වෙළඳ හිඟය විශාල ලෙස වැඩි වුනා. දේශීය කර්මාන්ත ගොඩනැගෙන එක වැළකුණා. අපනයන අධෛර්යමත් වුනා.

මේ වෙද්දී ඩොලරයක මිල ඒ කාලයට සාපේක්ෂව යම් තරමකින් නිවැරදි වී ඇතත් 2001 මට්ටමට යන්නනම් ඩොලරයක මිල රුපියල් 245ක් පමණවත් විය යුතුයි. මොකද ලංකාවේ සාමාන්‍ය මිල මට්ටම 4.26 ගුණයකින් ඉහළ යද්දී ඇමරිකාවේ සාමාන්‍ය මිල මට්ටම ඉහළ ගිහින් තියෙන්නේ 1.56 ගුණයකින් පමණයි. ඒ අනුව ඩොලරයක මිල 2.73 ගුණයකින් ඉහළ යා යුතු වුවත්, ඇත්තටම ඉහළ ගිහින් තියෙන්නේ 2.26 ගුණයකින් පමණයි. 

මේ මට්ටමට ඩොලරය ඉහළ ගියා කියලා ලංකාවේ හැම ප්‍රශ්නයක්ම විසඳෙන්නේ නැහැ. අඩු වශයෙන් වෙළඳ හිඟය නැති වෙන්නේ හෝ නැහැ. නමුත්, බොහෝ විට තාවකාලිකව හෝ ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. මා මේ සඳහා 2001 වසර යොදා ගත්තේ එම වසර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඩොලරය පා කරනු ලැබ ඩොලරයක මිල වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම මත තීරණය වූ වසරක් නිසයි. එහෙත්, එම වසර හා පෙර වසරවල්ද ලංකාව විදේශ ණය ලබා නොගෙන සිටි වසරවල් නොවූ බවද අමතක නොකළ යුතුයි.     

ඒ කියන්නේ දැන් මහ බැංකුව විසින් ඩොලරය පාලනය කිරීම නැවැත්තුවොත් ඩොලරයක මිල රුපියල් 245ක් වී එම මට්ටමේ ස්ථාවර වෙයිද?

එහෙම වෙන්නේ නැහැ. අපි ඉහත ක්‍රය ශක්ති සාම්‍ය ගැලපීම කළේ ලංකාවේ මිල මට්ටම නිවැරදි මිල මට්ටම සේ සලකා. එහෙත්, පසුගිය කාලයේ ලංකාවේ පැවති මිල මට්ටම ඒ මට්ටමේ තියා ගත්තේත් ඩොලරයක මිල පාලනය කිරීමේ උදවුවෙන් කියන එක අප‍ට අමතක කරන්න බැහැ. උදාහරණයක් විදිහට 2011දී රුපියල් 110 මට්ටමේ තියාගත් ඩොලරය එහි ක්‍රය ශක්ති සාම්‍ය අගය වූ 182ට ගොස් තිබුණා කියා අපි හිතමු. එසේ වුනානම්, ඉන්ධන, අත්‍යාවශ්‍ය ආහාර ඇතුළු බොහෝ දේවල් වල මිල 65%කින් පමණ ඉහළ යනවා. ඒ අනුව, රටේ සාමාන්‍ය මිල මට්ටම ඔය තිබුණාට වඩා ගොඩක් ඉහළ යනවා. හරියටම කොපමණකින්ද කියන එක තීරණය වන්නේ පාරිභෝගික මිල දර්ශකයේ තිබෙන ආනයනික භාණ්ඩ හා සේවා ප්‍රතිශතයේත්, දේශීය භාණ්ඩ හා සේවා වල ආනයනික යෙදවුම් ප්‍රතිශතයේත් එකතුව කොපමණද කියන එක මතයි.

අපි මෙම ප්‍රතිශතය 40%ක් ලෙස සලකමු. ඒ කියන්නේ ඩොලරය රුපියලකින් වැඩි වෙද්දී රටේ බඩු මිල සමස්තයක් ලෙස ශත 40කින් වැඩි වෙනවා කියන එකයි. මේ ප්‍රතිශතය මම හරියටම දන්නේ නැහැ. කෙසේ වුවත්, එය 40% ලෙස සැලකුවොත් ඩොලරය 65%කින් වැඩි වෙද්දී බඩු මිල 26%කින් වැඩි වෙනවා. ඒ අනුව, ඩොලරයක ක්‍රය ශක්ති සාම්‍ය මිලද තවත් 26%කින් වැඩි වෙනවා. 

එතැනින් නවතිනවද? නැහැ. ඩොලරයක මිල ක්‍රය ශක්ති සාම්‍ය මිල හා ගැලපෙමින් තවත් 26%කින් ඉහළ යද්දී බඩු මිල නැවතත් 10.4%කින් ඉහළ යනවා. ඩොලරයක මිල හා ලංකාවේ සාමාන්‍ය මිල මට්ටම අතර චක්‍රීය සම්බන්ධයේ ස්වභාවය අනුව මේ වැඩේ දිගින් දිගටම සිදු වෙනවා. හැබැයි යම් අගයකදී ඩොලරයක මිල ස්ථාවර වෙනවා. එතරම් සංකීර්ණ නැති ගණිතය යොදා ගෙන අපට මේ මට්ටම හොයා ගන්න පුළුවන්. 

පාරිභෝගික මිල දර්ශකයේ ආනයනික අයිතමයන් හා යෙදවුම් අනුපාතය x ලෙස සැලකුවොත් ඩොලරය කෙටිකාලීනව රුපියකින් වැඩි වීම හේතුවෙන් දිගුකාලීනව රටේ මිල මට්ටම x/(1-x) ගුණයකිනුත්, ඩොලරයේ මිල දිගුකාලීනව 1/(1-x) ගුණයකිනුත් වැඩි වෙනවා. අපි x=0.33 සේ සලකමු. ඒ කියන්නේ ඩොලරයක මිල 1%කින් ඉහළ ගිය විට මිල මට්ටම 0.5%කින් ඉහළ යනවා. අවසාන වශයෙන් ඩොලරයේ මිල 1.33%කින්ම ඉහළ යනවා. හරියටම ගණන දන්නේ නැති නිසා x=0.4 සේ සැලකුවොත් ඩොලරයක මිල 1%කින් ඉහළ ගිය විට මිල මට්ටම 0.6%කින් ඉහළ යනවා. අවසාන වශයෙන් ඩොලරයේ මිල 1.67%කින් ඉහළ යනවා. හැබැයි යම් මට්ටමක ස්ථාවර වෙනවා. පළමු වටය ඉන්ධන මිල වැඩි වීම වගේ. දෙවන වටය බස් ගාස්තු වැඩිවීම වගේ.

මේ චක්‍රය කැඩිය හැකි හෝ ආපසු හැරවිය හැකි ස්ථිරසාර ක්‍රමය සල්ලි අච්චු ගැහීම සීමා කරන එකයි. ඒ සඳහා, අයවැය හිඟය අඩු කළ යුතුයි. රාජපක්ෂ ක්‍රමය වුනේ ඒ වෙනුවට කෙටි මාර්ගයක් සොයා ගැනීම. මේ අනුව, සල්ලි අච්චු ගැසීම අඩු නොකර විදේශ ණය අරගෙන විණිමය අනුපාතය පාලනය කළා. විණිමය අනුපාතය පාලනය කිරීම හරහා උද්ධමනය පාලනය කළා. දැන් විණිමය අනුපාතය කඩා වැටුනොත් එහි ප්‍රතිඵලයක් ලෙස මිල මට්ටමද ඉහළ යනවා. ඉන් පසු, නැවත වටයකින් විණිමය අනුපාතය අවප්‍රමාණය වෙනවා. ඔය වැඩේ දිගින් දිගටම වෙනවා. හැබැයි යම් තැනක නවතිනවා.

පවතින විණිමය අනුපාතය දැන් මිල මට්ටම අනුව රුපියල් 245 දක්වා 21%කින් අවප්‍රමාණය විය යුතුයි. එහෙත් ඒ එක් බඩු මිල ඉහළ යන නිසා නැවත වටයකින් විණිමය අනුපාතය අවප්‍රමාණය වෙන්න ඉඩ අරින්න වෙනවා. කලින් කී පාරිභෝගික මිල දර්ශකයේ ආනයනික අයිතමයන් හා යෙදවුම් අනුපාතය 40% සේ සැලකුවොත් අවසාන වශයෙන් ඩොලරයක මිල 35%කින් පමණ අවප්‍රමාණය විය යුතුයි. ඒ කියන්නේ රුපියල් 272ක් පමණ මට්ටමකට යා යුතුයි. ආනයනික අයිතමයන් හා යෙදවුම් අනුපාතය මීට වඩා වැඩිනම් මෙය මීටත් ඉහළ අගයක් විය හැකියි.

ඉහත උපකල්පන අනුව ඩොලරයක මිල නිවැරදි වෙන්න ඇරියොත් එය ක්ෂණිකව රුපියල් 245 පමණ මට්ට්මකටත් ඉන් පසුව රුපියල් 270-275 පමණ මට්ටමකටත් යා හැකියි. එම කාලය තුළ සමස්තයක් ලෙස බඩු මිල 15%කින් පමණ ඉහළ යා හැකියි. මේ සල්ලි අච්චු ගැසීම නිසා කොහොමටත් සිදුවන බඩු මිල ඉහළ යාමට අමතරව.

සල්ලි අච්චු ගැසීමේ බලපෑම ඉහත "කඩා වැටීමට" එකතු කරමු. පසුගිය දෙවසර තුළ සල්ලි අච්චු ගැසීම ඉතා ඉහළින්ම කෙරුණා තමයි. ඇතැම් අය විවිධ කතා කිවුවත්, මේ සල්ලි අච්චු ගැහීම තවමත් සිම්බාබ්වේ වැනි මට්ටමකට හෝ "පෙර නොවූ විරූ" මට්ටමකට ගිහින් නැහැ. පසුගිය දෙවසර තුළ පුළුල් මුදල් සැපයුම ඉහළ ගොස් තියෙන්නේ 40%කින් පමණ. මුදල් සැපයුමේ සිදුවන වසරකට 10-15%ක ඉහළ යෑමක් ලංකාවට සාමාන්‍ය දෙයක්. සල්ලි අච්චු ගැසීම නිසා වැඩිම වුනොත් මිල මට්ටම තව 10-15%කින් ඉහළ යයි. මම මේ කියන්නේ අනාගතයේ සිදු විය හැකි සල්ලි අච්චු ගැසීම් ගැන නෙමෙයි. දැන් තත්ත්වය ගැන. 

ඒ කියන්නේ සල්ලි අච්චු ගැසීමේ බලපෑම එකතු කළ විට මිල මට්ටම 25-30%කින් පමණ ඉහළ යා හැකියි. ඩොලරය රුපියල් 300 පමණ දක්වා යා හැකියි. හැබැයි මේ දේවල් මේ විදිහට විය හැක්කේ ආණ්ඩුව කිසිවක් නොකර හිටියොත් බව අමතක කරන්න එපා. ආණ්ඩුව උත්සාහ කරන්නේ කොහෙන් හෝ ණයක් අරගෙන ඔය තත්ත්වය පාලනය කර ගන්න. මම මේ විග්‍රහය කරන්නේ "ආර්ථිකය කඩා වැටුනොත් අපට මොකද වෙන්නේ?" කියන බය ගොඩක් අයට තිබෙන නිසා. 

ඔය විදිහට ඩොලරය රුපියල් 300 වී බඩු මිල 25-30%කින් ඉහළ ගියා කියා අපි හිතමු. ඕක ලෝක විනාසය නෙමෙයිනේ. ඒ වගේම, තනි පුද්ගලයෝ ලෙස ගත්තොත් ඇතැම් අයට මෙහි බලපෑම වඩා හොඳ එකක් වෙන්න වුනත් පුළුවන්.

තනි පුද්ගලයෙකුගේ පැත්තෙන් බැලුවොත් මෙතැන තිබෙන ලොකුම ප්‍රශ්නය වියදම ඉහළ යාම. එය වැඩිපුරම දැනෙනු ඇත්තේ විශ්‍රාමිකයන් වැනි නිශ්චිත ආදායමක් ලබන අයට. රජයේ සේවකයින් ඇතුළු අනෙකුත් මාස් පඩි කාරයින්ටත් මෙය ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අවසාන වශයෙන් ගොඩක් අයට යම් තරමකින් පටි තද කරගන්න වෙයි. නමුත්, ආහාර, ඖෂධ වගේ අත්‍යාවශ්‍ය වියදම් කපන්න බැහැනේ. ඒ නිසා, මේ වැඩෙන් වෙන්නේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ හා සේවා වලට ඉල්ලුම අඩු වෙන එකයි.

ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ නිපදවන අයට මේ කඩා වැටීමෙන් ලොකු බලපෑමක් වෙන එකක් නැහැ. ඒ වගේම, අපනයන කෘෂිකර්මයේ හෝ වෙනත් අපනයන කර්මාන්ත වල නියැලී ඉන්න අයට කොහොමටත් හොඳක් මිසක් නරකක් වෙන්නේ නැහැ. විදේශගත ශ්‍රමිකයන්ගේ පවුල් වල අයටත් වැඩේ හොඳයි.

අත්‍යවශ්‍ය නොවන සේවා ආශ්‍රිත කර්මාන්ත වල නියැලී ඉන්න අයටනම් අවුලක් වෙනවා. උදාහරණයක් විදිහට පෙදරේරුවෝ වගේ අයට. කන්න බොන්න අඩු වෙද්දී ගෙවල් හදන එක ගැන හිතන්නේ කවුද? සමස්තයක් ලෙස ඉදිකිරීම් කර්මාන්තයට ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේම, වෛද්‍යවරුන්, ටියුෂන් ගුරුවරුන් වගේ අයගේත් ආදායම අඩු වෙන්න පුළුවන්. මිනිස්සු වැඩි වැඩියෙන් ආණ්ඩුවේ ඉස්පිරිතාල වලට යයි. සදාකාලිකව නෙමෙයි. ආර්ථිකය නැවත පහළ මට්ටමක ස්ථාවර වෙන්න යන කාලය ඇතුළත. ආනයන වෙළඳාමේ නියැලී ඉන්න අයට, සිල්ලර වෙළඳසැල් වලට, භෝජන ශාලා පවත්වාගෙන යන අයට බිස්නස් අඩු වෙයි. ටිකක් විතර කෝවිඩ් නිසා ඇති වූ තත්ත්වයට සමාන තත්ත්වයක්. පුරුදු නැති තත්ත්වයක් නෙමෙයිනේ.

ඔය හැම දෙයක්ම නිසා දළ දේශීය නිෂ්පාදිතය හැකිලෙයි. හැබැයි එහෙම වුනා කියලා රට හතලිස් අටේදී හිටපු තැනට හෝ හැත්තෑ හතේදී හිටපු තැනට වැටෙන්නේ නැහැ. අවුරුදු කීපයකින් පස්සට යයි. ඊට පස්සේ නැවතත් ඉස්සරහට යන්න පුළුවන්. මතක තියා ගන්න නමසිය පණහේදී ලාංකිකයෙකුගේ ඒක පුද්ගල ආදායම රුපියල් 610යි. ඩොලර් වලින්නම් 124යි. 

දැන් ඇති වී තිබෙන අර්බුදය නිදහස ලබපු දවසේ පටන් රටේ ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් ඇති කළ අර්බුදයක් තමයි. හැබැයි එයින් අදහස් කරන්නේ ඒ අය මුකුත්ම කළේ නෑ කියන එක නෙමෙයි. දෙදාස් විස්සේ ලංකාව හතළිස් අටේ ලංකාවට වඩා බොහෝ දුර ගිය රටක්. දැන් තිබෙන අස්ථාවරත්වය ප්‍රශ්නයක් වුවත් එවැනි අස්ථාවරත්වයකට පාර කපමින් වුවද ලංකාව ලබාගෙන තිබෙන ජයග්‍රහණ ඉතා විශාලයි. ආර්ථිකය කඩා වැටුනා කියලා ඒ සියල්ල එක රැයින් නැති වෙන්නේ නැහැ. රැයවල් ගණනාවකින් පසුව නැති වෙන්නේත් නැහැ. විදේශ අංශයේ හා මිල මට්ටමේ යම් නිවැරදි වීමක් වෙනවා පමණයි. රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 2500 පමණ මට්ටමකට වැටුණත්, එය නිදහස ලබන කොට තිබුණු මට්ටම වගේ 20 ගුණයක්!

විදේශ අංශයෙන් පටන් අරගෙන, උද්ධමනය ගැනත්, මූර්ත අංශය ගැනත් අපි කතා කළා. මේ සියල්ල වෙද්දී රාජ්‍ය අංශයට වෙන්නේ මොකක්ද?

ලොකුම ප්‍රශ්නය වෙන්නේ රජයටයි. ලොකුවට නැතත් යම් තරමකින් හෝ ආර්ථිකය හැකිලීමත්, විරැකියා අනුපාතය ඉහළ යාමත් නිසා රජයට බදු ආදායම් ඉහළ දමා ගන්න වඩාත් අසීරු වෙනවා. ඒ අතර, විදේශ ණය වල රුපියල් අගය ඉහළ ගිහින් ණය පොලී හා වාරික වල වියදම ඉහළ යනවා. මහ බැංකුව විසින් උද්ධමනය පාලනය කරන්න පොලී අනුපාතික ඉහළ දැමීමත්, රටේ දේශීය ණය සැපයුම අඩු වීමත් නිසා දේශීය ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලී වියදම්ද ඉහළ යනවා. මේ අතර රජයේ සේවකයෝ වැඩි පඩි ඉල්ලා පාරට බහින්න ඉඩ තිබෙනවා. 

දීර්ඝකාලීනව ලොකු ප්‍රශ්නයක් වෙන්නේ ඔය වගේ තත්වයක් යටතේ රජය මහා පරිමාණයෙන් සල්ලි අච්චු ගහන්න යොමු වුනොත්. එහෙම කළොත්නම්, බේරෙන්න බැරි දිය සුළියකට අහු වෙනවා. වසර ගණනකින් පසුව සිම්බාබ්වේ මට්ටමට වුනත් යන්න පුළුවන්!

මේ තත්ත්වය වලක්වාගන්න තවත් කාලයක් යන තුරු යම් තරමකට හෝ තවත් විදේශ ණය ගන්නම වෙනවා. එසේ ණය අරගෙන තාවකාලිකව තත්ත්වය පාලනය කර ගන්නා අතරම විනිමය අනුපාතය අවප්‍රමාණය වෙන්න ඉඩ ඇරීම, මිල මට්ටම යම් තරමකින් ඉහළ යන්න ඉඩ ඇරීම හා දැඩි රාජ්‍යමූල්‍ය ප්‍රතිසංස්කරණ හරහා අයවැය හිඟය පාලනය කිරීමත් කරන්නම වෙනවා.

Tuesday, November 30, 2021

උතුරු මැද ගොඩ දා ගොඩ යා හැකිද?


ලංකාවේ පළාත් නවයෙන් ලොකුම පළාත උතුරු මැද පළාත. වර්ග කිලෝ මීටර 65,610ක් වන ලංකාවේ සමස්ත භූමි ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර 10,472ක්ම තියෙන්නේ උතුරු මැද පළාතේ. ප්‍රතිශතයක් ලෙස 16.0%ක්. නමුත්, උතුරු මැද පළාතෙන් ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට ලැබෙන දායකත්වය 5.4%ක් පමණයි. මේ ප්‍රශ්නය විසඳන්නේ කොහොමද?

හරිම සරලයි. කරන්න තියෙන්නේ විසඳන්න ප්‍රශ්නයක් නැති බව තේරුම් ගන්න එක පමණයි.

පළාතක භූමි ප්‍රමාණය හා එම පළාතෙන් දළ දේශීය නිෂ්පාදිතයට ලැබෙන දායකත්වය අතර සෘජු සම්බන්ධයක් තිබෙන්න හෝ තිබිය යුතු වෙන්න කිසිම හේතුවක් නැහැ. එහෙම සම්බන්ධයක් නොතිබීම ප්‍රශ්නයක් සේ පෙනීමම ශත වර්ෂ දෙක තුනකට පමණ පෙර පැවතුනු ලෝකය දිහා බලාගෙන හදපු න්‍යාය වලින් එහාට කිසි දෙයක් ගැන යාවත්කාලීන වී නැති අයගේ පසුගාමී අදහසක්. 

රටක නිෂ්පාදිතය හා භූමි ප්‍රමාණය අතර සම්බන්ධයක් තිබුණු කාලයක් තිබුණා. ඒ බොහොම ඉස්සර. කෝපි කාලෙටත් කලින්. ලෝකයේ භූමි ප්‍රමාණය සීමිත නිසා මිනිස්සුන්ට දියුණු විය හැක්කේත් එක්තරා සීමාවක් දක්වා පමණයි කියන අදහසටත් ඒ කාලයේ යම් පිළිගැනීමක් තිබුණා. මේ අදහසේම සාපේක්ෂව මෑතකාලීන වර්ෂන් එකක් වුනේ ලෝකයේ පොසිල ඉන්ධන සීමාසහිත නිසා පොසිල ඉන්ධන අවසන් වෙද්දී මිනිස් ශිෂ්ඨාචාරයේ දියුණුවත් නවතිනවා කියන එක. හැබැයි ඔය දෙකෙන් එකක්වත් වුනේ නැහැ.

සිංගප්පුරුවේ භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර 709යි. මුහුද ගොඩ කරලා එකතු කරගත් කොටසුත් එක්ක. සිංගප්පුරුවේ දදේනි ඇමරිකන් ඩොලර් බිලියන 340ක්. කසකස්ථානයේ භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර 2,724,900ක්. ඒ කියන්නේ කසකස්ථානය සිංගප්පූරුව වගේ 3,843 ගුණයක් ලොකුයි. නමුත්, කසකස්ථානයේ දදේනි ඇමරිකන් ඩොලර් බිලියන 170ක් පමණයි. සිංගප්පූරුවේ ප්‍රමාණයෙන් බාගයයි. එතකොට මොන්ගෝලියාවේ භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර 1,564,116ක්. ඒ කියන්නේ මොන්ගෝලියාව සිංගප්පූරුව වගේ 2,206 ගුණයක් ලොකුයි. නමුත්, මොන්ගෝලියාවේ දදේනි ඇමරිකන් ඩොලර් බිලියන 14ක් පමණයි. ඒ කියන්නේ සිංගප්පූරුවේ දදේනි මොන්ගෝලියාවේ දදේනි වගේ 25 ගුණයක්.

දැන් මේ කසකස්ථානය, මොන්ගෝලියාව වගේ රටවල් මාක්ස්වාදී, සමාජවාදී, මධ්‍යගත සැලසුම් ක්‍රමයක් විශාල කාලයක් තිස්සේ ක්‍රියාත්මක කරමින් සූරාකෑම්, ආදායම් විෂමතා අඩු කරපු රටවල්නේ. ඒ නිසා, ධනවාදයයේ ප්‍රශ්නයක් කියලා කාටවත් ඇඟ බේරගන්නත් බැහැ. හැබැයි මේ වෙනසට ප්‍රධාන හේතුව සමාජවාදය නෙමෙයි. නූතන ආර්ථිකයකට වර්ධනය වෙන්න ඉඩම් අවශ්‍ය නැහැ. ඉඩම් තිබුණා කියලා නූතන ආර්ථිකයකට වර්ධනය වෙන්නත් බැහැ. එහෙම කවුරු හෝ හිතනවානම් ඒක යල් පැනලා, මුල් ඇදලා, අල බැහැලා, අලත් පැල වෙච්ච අදහසක්.

ආර්ථිකයේ ප්‍රමාණය භූමි ප්‍රමාණය එක්ක සසඳන එක කිසිම තේරුමක් නැති දෙයක් වුනත් ආර්ථිකයේ ප්‍රමාණය ජනගහණය එක්ක සසඳන එකේනම් තේරුමක් තිබෙනවා. උතුරු මැද පළාතේ ජනගහණය රටේ ජනගහණයෙන් 6.2%ක්. එහෙම බැලුවහම උතුරු මැද පළාතෙන් ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට ලැබෙන දායකත්වය වන 5.4% පොඩ්ඩක් මදි. හැබැයි බස්නාහිර පළාත හැර ලංකාවේ අනෙක් හැම පළාතම තත්ත්වය ඕකයි. 

ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 39.1%කටම දායක වන බස්නාහිර පළාතේ ඉන්නේ රටේ ජනගහණයෙන් 28.7%ක් පමණයි.  බස්නාහිර දායකත්වය වැඩි නිසා, අනෙක් හැම පළාතකම ජනගහන අනුපාතයට වඩා දදේනි දායකත්වය ටිකක් අඩුයි.

යම් කිසි අයෙකුට හෝ ප්‍රදේශයකට ආදායම සේ ලැබෙන්නේ එම පුද්ගලයා හෝ ප්‍රදේශයේ වෙසෙන පුද්ගලයින් විසින් දළ දේශීය නිෂ්පාදනයට ලබා දෙන දායකත්වය. ඒකනම් කලින් අදහස වගේ පසුගාමී අදහසක් නෙමෙයි. ධනවාදී අදහසක්. එහෙම බැලුවහම උතුරු මැද පළාතේ සාමාන්‍ය ආදායම බස්නාහිරට වඩා අඩුයි. හැබැයි ලංකාවේ අඩුම සාමාන්‍ය ආදායම තිබෙන පළාත උතුරු මැද පළාත නෙමෙයි. තව පළාත් හතරක්ම තිබෙන්නේ ඊට පහළින්. කොහොම වුනත්, බස්නාහිර පළාත ඇරුනහම අනෙක් පළාත් අටේ සාමාන්‍ය ආදායම් අතර විශාල වෙනසක් නැහැ.

ඒ කියන්නේ කොළඹට කිරි පිටට කැකිරිද?

එහෙමමත් නැහැ. කොළඹ ජීවත් වෙන්නේ සහ වැඩ කරන්නේ කොළඹ ඉපදුණු අයම නෙමෙයි. උතුරු මැද ඇතුළු හැම පිට පළාතකම අය කොළඹට එනවා. ඒ එන්නේ දළ දේශීය නිෂ්පාදිතයට වැඩි දායකත්වයක් දිය හැකි අය. උතුරු මැද ඉතුරු වෙන්නේ එහෙම බැරි අය. ඒ නිසා, උතුරු පළාතේ සාමාන්‍ය ආදායම පහළ ගිහින් බස්නාහිර සාමාන්‍ය ආදායම ඉහළ යනවා. හැබැයි පුද්ගලයින් වශයෙන් ගත්තොත් උතුරු මැද ඉපදුනු කෙනෙකුට ලොකු අවාසියක් වෙලා නැහැ. 

අනෙක් අතට බස්නාහිර පළාතේ රැකියා කරන බොහෝ දෙනෙක් බස්නාහිර පළාතේ ස්ථිර පදිංචිකරුවෝ නෙමෙයි. අනුරාධපුරෙන් කොළඹ එන ගාමන්ට් නංගිලා, ස්පා නංගිලා බස්නාහිර පළාතේ දළ දේශීය නිෂ්පාදිතය වැඩි කළත් ඒ ආදායම උතුරු මැද පළාතට යනවා. පොළොන්නරුවෙන් කැම්පස් ගිහින් කොළඹ පදිංචි වෙලා ඉන්න දොස්තර අක්කලා, ඉංජිනේරු අයියලා බස්නාහිර පළාතේ දළ දේශීය නිෂ්පාදිතයට එකතු කරන දෙයිනුත් කීයක් හරි උතුරු මැද පළාතට යනවා. ඒ නිසා, උතුරුමැද පළාතේ දදේනි කියන්නේ උතුරුමැද පළාතේ ආදායම වුනත් උතුරුමැද පළාතේ පරිභෝජනයේ ප්‍රමාණය නෙමෙයි.


ඉතා පැහැදිලිවම උතුරු මැද පළාත ලංකා සිතියමේ ලොකුවට තිබෙන නිසා ඒ අනුපාතයට ඒ පළාතෙන් ලැබෙන දදේනි දායකත්වය වැඩි කරන්න සැලසුම් හදන එක ඉතාම සිඟිති, ඒ වගේම අන්තරායකාරී වැඩක්. ඔය වැඩේ අවසන් ප්‍රතිඵලය විදිහට තියෙන ජාතික ආදායමත් අඩු වෙන එක විතරයි වෙන්නේ.

හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. රටේ භූමි ප්‍රමාණයෙන් 16.0%ක් තියෙන උතුරු මැද පළාතෙන් දළ දේශීය නිෂ්පාදිතයේ කෘෂිකාර්මික කොටසට ලැබෙන දායකත්වය 8.7%ක් පමණයි. මෙයට සාපේක්ෂව රටේ ඉඩම් වලින් 5.6%ක් පමණක් තිබෙන, කුඩාම පළාත වූ බස්නාහිර පළාතෙන් දළ දේශීය නිෂ්පාදිතයේ කෘෂිකාර්මික කොටසට 9.7%ක දායකත්වයක් ලැබෙනවා. දෙවෙනි ලොකුම පළාත වූ, රටේ භූමි ප්‍රමාණයෙන් 15.2%ක් තියෙන නැගෙනහිර පළාත ගත්තත් උතුරු මැද ප්‍රශ්නයම තියෙනවා. නැගෙනහිරින් දළ දේශීය නිෂ්පාදිතයේ කෘෂිකාර්මික කොටසට ලැබෙන දායකත්වය 10.3%ක් පමණයි. අනෙක් අතට 8.5%ක භුමි ප්‍රමාණයක් තියෙන දකුණු පළාතෙන් 15.9%ක දායකත්වයකුත්, 8.7%ක භුමි ප්‍රමාණයක් තියෙන මධ්‍යම පළාතෙන් 11.5%ක දායකත්වයකුත් කෘෂිකාර්මික කොටසට ලැබෙනවා.

උතුරු මැද හා නැගෙනහිර පළාත් කියන්නේ දේශීය වෙළඳපොළ ඉලක්ක කරගත් වී ගොවිතැනේ හිරවෙලා ඉන්න පළාත්. හරියටම කිවුවොත් හිර කරලා තිබෙන පළාත්. මෙයින් වෙනස්ව තෙත් කලාපයේ හා මධ්‍යම කඳුකරයේ ඉඩම් බොහෝ විට යොදා ගැනෙන්නේ අපනයන කෘෂිකර්මය සඳහා. උතුරු මැද හා නැගෙනහිර පළාත් වලට ගෙවන්න වී තිබෙන්නේ අපි හදාගෙන අපි කන එකේ මිල. උතුරු මැද පළාතේ තත්ත්වය වෙනස් කරන්න අවශ්‍ය වෙන්නේ මධ්‍යගත සැලසුමක් නෙමෙයි. උතුරු මැද ගොවියා නිදහස් කර ඉඩම් වෙළඳපොළ සක්‍රිය කරන පුළුල් ඉඩම් ප්‍රතිසංස්කරණයක්. 

රටක් දියුණු වෙද්දී ඒ රටේ කෘෂිකාර්මික නිෂ්පාදිතයේ පංගුව එන්න එන්නම කුඩා වෙනවා මිසක් ලොකු වෙන්නේ නැහැ. එහෙම ලොකු කරන්න හදන එකෙන් වෙන්නේ ආර්ථිකය පස්සට යන එකයි. කෘෂිකාර්මික නිෂ්පාදිතයේ පංගුව කුඩා වෙනවා කියා කියන්නේ කෘෂිකාර්මික නිෂ්පාදිතය කුඩා වෙනවා කියන එක නෙමෙයි. අනෙක් අංශ වඩා වේගයෙන් ප්‍රසාරණය වෙනවා කියන එක. මේ වැඩේ වෙද්දී ලොකු භුමි ප්‍රමාණයක් තිබෙන, ජන ඝනත්වය අඩු පළාත් වලින් දළ දේශීය නිෂ්පාදිතයට ලැබෙන දායකත්වයේ ප්‍රතිශතය පහළ යන එක සාමාන්‍ය දෙයක්. එය සතුටු විය යුතු කරුණක් මිසක් කණගාටු විය යුතු හෝ වෙනස් කළ යුතු කරුණක් නෙමෙයි.

Sunday, October 17, 2021

ලංකාව ගැන අයිඑම්එෆ් එක හිතන දේ


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරි කාලය පිළිබඳ ඔවුන්ගේ පුරෝකථන ඇතුළත් අර්ධ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා. මේ වාර්තාව පදනම් වන්නේ 2021 සැප්තැම්බර් 27 දින දක්වා ඔවුන් වෙත වාර්තා වී තිබුණු සංඛ්‍යාලේඛණ මතයි.

අදාළ වාර්තාව අනුව 2020 වසරේදී 3.1%කින් හැකිළුණු ලෝක ආර්ථිකය මේ වසරේදී 5.9%කින්ද, 2023 වසරේදී 4.9%කින්ද වර්ධනය වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කර තිබෙනවා. 2020 වසරේදී 3.4%කින් හැකිළුණු ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථිකය මේ වසරේදී 6.0%කින්ද, 2023 වසරේදී 5.2%කින්ද වර්ධනය වීමට නියමිතයි. 2020දී 6.3%කින් හැකිළුණු යුරෝ කලාපය මේ වසරේදී 5.0%කින් හා ඉදිරි වසරේදී 4.3%කින්ද,  9.9%කින් හැකිළුණු එක්සත් රාජධානිය මේ වසරේදී 6.8%කින් හා ඉදිරි වසරේදී 5.0%කින්ද ප්‍රසාරණය වීමට නියමිතයි. 

සංකෝචනය නොවුනත්, 2020 වසරේදී 2.3% දක්වා පහත වැටුණු චීනයේ ආර්ථිකය 2021 හා 2021 වසර වලදී 8.0% හා 5.6% අනුපාත වලින් ඉහළ යද්දී, 7.3%කින් හැකිළුණු ඉන්දියාවේ ආර්ථිකය 9.5% හා 8.5% අනුපාත වලින් ඉහළ යනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කරනවා. 

ලංකාවේ ආර්ථිකය 2020 වසරේදී 3.6%කින් හැකිළුනා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව මේ වසරේදී ආර්ථිකය 3.6%කින් වර්ධනය වී නැවත ලංකාව 2019 සිටි තැනට පැමිණෙනවා. ඉන් පසු 2022 වසරේදී 3.3%කින් ප්‍රසාරණය වෙනවා. මේ අනුව, 2020-2022 තෙවසර තුළ අපේක්ෂිත සාමාන්‍ය වර්ධන වේගය 1.1%ක්. ඉතා අඩු වර්ධන වේගයක් වුවත්, කලාපයේ අනෙකුත් රටවල් පිළිබඳ පුරෝකථන සමඟ සැසඳූ විට මෙය අසාමාන්‍ය නරක තත්ත්වයක් නෙමෙයි.

පසුගිය වසරේ, මේ වසරේ හා ඉදිරි වසරේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය චීනයේ 5.3%ක්, ඉන්දියාවේ 3.6%ක් හා බංගලි දේශයේ 4.9%ක් වුවත්, නේපාලයේ 1.4%ක්, මැලේසියාවේ 1.3%ක්, තායිලන්තයේ -0.2%ක් හා මාල දිවයිනේ 0.0%ක් පමණයි. මියන්මාරයේ එය -4.9%ක්.

ආර්ථික වර්ධනය අඩාල වුවත් ඉදිරි තෙවසර තුළ ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන බවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කර නැහැ. අදාළ පුරෝකථන අනුව 2021 හා 2022 වසර වල ලංකාවේ උද්ධමනය 6.0 හා 6.5 මට්ටම් වල පැවතීමට නියමිතයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකථන හැම විටම නිවැරදි නැහැ. එහෙත්, මේ පුරෝකථන තුළින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ ආර්ථිකය පිළිබඳව සිතන ආකාරය පිළිබිඹු වෙනවා. ආර්ථිකය කඩා වැටෙන එක වලක්වා ගැනීම පිණිස, ආර්ථික වර්ධන ඉලක්ක පසෙක ලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ලංකාවේ රජය හා මහ බැංකුව යොමු වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශ්වාස කරන බවක් මේ පුරෝකථන තුළින් ගම්‍ය වෙනවා.

Saturday, October 16, 2021

යහපාලන ආණ්ඩුව සියඹලා ගෙනල්ලාම නැද්ද?

පසුගිය රාජපක්ෂ දශකය ලංකාවේ ආර්ථිකය අනෙක් කාලවල් වලට සාපේක්ෂව වේගයෙන් වර්ධනය වූ කාලයක්. එය ඉතා පැහැදිලි කරුණක්. යහපාලන ආණ්ඩුව කාලයේදී ආර්ථිකය වර්ධනය වුනේ ඊට සාපේක්ෂව අඩු වේගයකින්. එයත් ඉතා පැහැදිලි කරුණක්. හැබැයි යහපාලන ආණ්ඩුව කාලයේදීත් ආර්ථිකය වර්ධනය වුනා මිසක් සංකෝචනය වුනේ නැහැ. නිදහසින් පසුව ලංකාවේ ආර්ථිකය සංකෝචනය වුනේ 2020 හා 2001 වසර දෙකේදී පමණයි. අනෙක් හැම වසරකදීම ආර්ථිකය වර්ධනය වුනා. 

සමහර අය හිතාමතාම ජනගත කරලා තිබෙන විදිහට යහපාලන ආණ්ඩුව කාලයේදී ආර්ථිකය තිබී ඇත්තේ එක තැනයි. 

"මගේ කාලයේදී ඩොලර් බිලියන 20ක ආර්ථිකය ඩොලර් බිලියන 80ක් වුනා. අවුරුදු පහකට පස්සේ බලන කොටත් ආර්ථිකය ඩොලර් බිලියන 80මයි." 

ඔය වගේ කතා අපිට නිතර ඇහෙනවා. ඒ කියන්නේ යහපාලන ආණ්ඩුව සියඹලා ගෙනල්ලාම නැද්ද?

දැන් මෙතැන තිබෙන "ට්‍රික් එක" වන්නේ මේ ගණන් ඩොලර් වලින් කියන එකයි. ලංකාව මේ වන තුරුත් ඇමරිකාවේ ප්‍රාන්තයක් හෝ නිල වශයෙන් ඩොලර්කරණය කළ රටක් නෙමෙයි. ලංකාවේ මිනිස්සු තවමත් ගනුදෙනු කරන්නේ රුපියල් වලින්. විදේශගත ශ්‍රමිකයන් වැනි යම් පිරිසක් හැරුණු විට අනෙක් බොහෝ ශ්‍රමිකයන් ආදායම් උපයන්නේ රුපියල් වලින්. කඩේකට ගිහින් බඩු ගන්නේ රුපියල් වලින්. ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරන්නේත් රුපියල් වලින්.

ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 2020 වසරේදී රුපියල් බිලියන 14,973ක්. ඩොලර් වලින්නම් බිලියන 80.7ක්. යහපාලන ආණ්ඩුව බලයට එන විටත් ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය තිබුණේ ඔය මට්ටමේමද?

මේ ආකාරයේ සංසන්දනයක් කරන්න යද්දී මතු වන මූලිකම ප්‍රශ්නය සංසන්දනය කළ යුතු මුදල් ඒකකය කුමක්ද කියන එකයි. සංසන්දනය රුපියල් වලින් කළත්, ඩොලර් වලින් කළත් එහි වැරැද්දක් තිබෙනවා. මේ මුදල් ඒකක වල අගය උද්ධමනය නිසා බාල්දු වෙද්දී ආර්ථික වර්ධනයක් නැතත් දළ දේශීය නිෂ්පාදිතය නිකම්ම වැඩි වන නිසා සැබෑ ආර්ථික වර්ධනය බලාගන්න බැහැ. 2020 රුපියලක් 2015 රුපියලකට හෝ 2005 රුපියලකට සමාන නැහැ. එය කාට වුවත් සහසුද්දෙන්ම පැහැදිලි විය යුතු දෙයක්. මේ කතාවම ඩොලර් වලටත් අදාළයි. මොකද ඇමරිකාවේ මහ බැංකුවත් සල්ලි අච්චු ගහන වැඩේ කරනවා. ඩොලර් එකත් බාල්දු වෙනවා. 

හරි සංසන්දනයක් කරන්නනම් 2015 රුපියල්, 2005 රුපියල් ආදිය 2020 රුපියල් වලට හැරවිය යුතුයි. එසේ නැත්නම් 2020 ඩොලර් වලට හැරවිය යුතුයි. එක් එක් කාලයේදී ඇත්තටම ආර්ථිකය වර්ධනය වූ ප්‍රමාණය හොයා ගත හැක්කේ එවිටයි. පහත පළමු වගුවේ තිබෙන්නේ තෝරා ගත් වසර වලදී  2020 රුපියල් වලින් හා 2020 ඩොලර් වලින් ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයයි. දෙවන වගුවේ තිබෙන්නේ එක් එක් කාල වකවානු වලදී ලංකාවේ වත්මන් දළ දේශීය නිෂ්පාදිතයට එකතු වූ කොටසයි.




Saturday, September 18, 2021

ආර්ථිකය 12.3%කින් වර්ධනය වේ!

 



වසරේ දෙවන කාර්තුව තුළ, පෙර වසරේ දෙවන කාර්තුවට සාපේක්ෂව, ලංකාවේ ආර්ථිකය 12.3%කින් වර්ධනය වී තිබෙනවා. මේ වර්ධනය සිදුව තිබෙන්නේ කෘෂිකාර්මික අංශය 8.1%කින්ද, කාර්මික අංශය 22.1%කින්ද, සේවා අංශය 7.5%කින්ද වර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

පසුගිය වසරේ දෙවන කාර්තුව තුළ ලංකාවේ ආර්ථිකය 16.2%කින් හැකිලුනා. ඒ එම කාලය තුළ රටා වසා තැබීම හේතුවෙන්. එහෙත්, මේ වසරේ දෙවන කාර්තුව තුළ රට විවෘතව තිබුණු නිසා රටේ ආර්ථික ක්‍රියාකාරකම් සැලකිය යුතු තරම් ඉහළ මට්ටමක පැවතුණා. පෙර වසරේ කඩා වැටීමෙන් මුළුමනින්ම ගොඩ ඇවිත් නැතත්, ආර්ථිකය 12.3%කින් වර්ධනය වී තිබෙන්නේ ඒ නිසා. 

මෙවැනි වර්ධනයක් ලැබීමෙන් පසුවත්, තවමත් ආර්ථිකයේ ප්‍රමාණය 2017 දෙවන කාර්තුවේදී වූ තරමට වඩා අඩුයි. තෙවන හා සිවුවන කාර්තු තුළ රට වසා දැමීම නිසා ආර්ථිකයේ පසුබෑමක් නැවතත් ඇති වනු ඇතැයි පුරෝකථනය කළ හැකියි.

තවත් විශේෂ කරුණක් වන්නේ උද්ධමනය පිළිබඳ වඩා පුළුල් නිර්ණායකයක් වන දදේනි අවධමනකය අනුව, සමස්තයක් ලෙස 7.4%කින් මිල මට්ටම් ඉහළ ගොස් තිබීමයි. කෘෂිකාර්මික අංශයේ මෙම ඉහළ යෑම 11.5%ක්. අදාළ කාලය තුළ M1 මුදල් සැපයුම 29.1% කින් ඉහළ ගොස් ඇති තත්ත්වයක් තුළ මෙය අනපේක්ෂිත දෙයක් නෙමෙයි. මුදල් සැපයුම සීමා කර ඉදිරි කාලය තුළ උද්ධමනය පාලනය කර ගැනීම මහ බැංකුව හමුවේ තිබෙන අභියෝගයක්. 

Saturday, May 22, 2021

චීනය ලොකු වීම


චීන ආර්ථිකය මේ වන විට ඇමරිකන් ආර්ථිකය තරමටම වගේ ලොකුයි. මෙතෙක් ලෝකයේ ලොකුම ආර්ථිකය ඇමරිකන් ආර්ථිකය වුවත්, ඉදිරියේදී මේ තැන චීනයට ලැබෙන එක පැහැදිලි කරුණක්. ඇමරිකාව පහු කරගෙන චීන ආර්ථිකය මුල් තැනට පැමිණීමේ පසුබිම් කතාව කුමක්ද?

රටක ආර්ථිකය වර්ධනය වෙන්නේ කොහොමද කියන එක මේ වෙද්දී අපි පැහැදිලි කර ගෙන තිබෙනවා. මෙය තේරුම් ගැනීමේ පහසුව සඳහා අපි කොබ්-ඩග්ලස් ආකෘතිය යොදා ගත්තා. එම ආකෘතිය අනුව, ආර්ථිකයේ ප්‍රමාණය තීරණය කරන ප්‍රධාන සාධක තුන වන්නේ රටක නිෂ්පාදනය සඳහා යොදවන ප්‍රාග්ධනය (K), නිෂ්පාදනය සඳහා යොදවන ශ්‍රමය (L) හා එම සාධක දෙක නිෂ්පාදනය සඳහා යොදා ගන්නා තාක්ෂනයේ ඵලදායිතාවයි (A). 

මෙහි නිෂ්පාදනය සඳහා යොදවන ශ්‍රමය (L) තීරණය වන්නේ රටේ නිෂ්පාදනයට දායක වන ශ්‍රමිකයන් ගණන, එක් ශ්‍රමිකයෙකු විසින් වැඩ කරන පැය ගණන සහ ශ්‍රමිකයෙකු විසින් යොදවන පැයක ගුණාත්මක භාවය මතයි. පුහුණු ශ්‍රමිකයෙකුගේ පැයක ගුණාත්මක භාවය වැඩියි. මේ සියල්ල අපි පෙර ලිපියෙන් විස්තරාත්මකව කතා කළා. මේ ලිපියෙන් අපි ඇමරිකාවේ හා චීනයේ අදාළ සංඛ්‍යාලේඛන පරික්ෂා කර බලමු.


ඉහත වගුවේ පෙන්වා ඇති පරිදි චීන ආර්ථිකයේ ප්‍රමාණය ඇමරිකානු ආර්ථිකයේ ප්‍රමාණයට ආසන්න වුවත් චීන ශ්‍රමිකයන් ගණන ඇමරිකන් ශ්‍රමිකයන් ගණන මෙන් පස් ගුණයකටත් වඩා වැඩියි. ඒ කියන්නේ ආර්ථිකයන්ගේ ප්‍රමාණ සමාන වුවත්, ඇමරිකන් ශ්‍රමිකයෙකු විසින් චීන ශ්‍රමිකයෙකු උපයන මුදල මෙන් පස් ගුණයක් උපයනවා. මේ සංසන්දනය කර තිබෙන්නේ දෙරටේ ක්‍රය ශක්ති වෙනස්කම් හා ගැලපීමෙන් පසුවයි. ඒ නිසා, මේ මගින් සෘජු ලෙසම දෙරටේ ශ්‍රමිකයන්ගේ ජිවන තත්ත්වයන් සංසන්දනය කළ හැකියි.

ඊට අමතරව චීන ශ්‍රමිකයෙකු විසින් ඇමරිකානු ශ්‍රමිකයෙකු විසින් වැඩ කරන කාලය මෙන් 23%ක් කාලයක් වැඩිපුර වැඩ කරනවා. ඒ අනුව, චීන ශ්‍රමිකයෙකු විසින් පැයකට උපයන මුදල මෙන් 6.2 ගුණයක මුදලක් ඇමරිකන් ශ්‍රමිකයෙකු විසින් පැයකදී උපයනවා. මේ වෙනසට එක හේතුවක් වන්නේ ඇමරිකන් ශ්‍රමිකයෙකු සතුව චීන ශ්‍රමිකයෙකු සතු මානව ප්‍රාග්ධනය මෙන් 39%කින් වැඩි මානව ප්‍රාග්ධනයක් තිබීමයි. එහෙත්, එක සමාන මට්ටමකට මානව ප්‍රාග්ධනය තිබෙන ඇමරිකානු ශ්‍රමිකයෙකු හා චීන ශ්‍රමිකයෙකු සැලකුවත් ඇමරිකානු ශ්‍රමිකයා විසින් පැයකදී චීන ශ්‍රමිකයා විසින් උපයන මුදල මෙන් 4.5 ගුණයක් උපයනවා. 

ඇමරිකාවේ වගේම චීනයේත් ජාතික ආදායමින් ශ්‍රමය වෙනුවෙන් වෙන් කෙරෙන කොටස 60%ක් පමණ වුවත් චීනයේ කොටස ඇමරිකාවේදී බෙදී යනවාක් මෙන් පස් ගුණයක පමණ පිරිසක් අතර බෙදී යනවා. ඒ වගේම, ඔවුන් ඇමරිකානුවන්ට වඩා 23%ක කාලයක් වැඩ කරනවා. එක සමාන මානව ප්‍රාග්ධනයක් තිබෙන ඇමරිකානුවෙකු චිනෙකු මෙන් 4.5 ගුණයක් උපයන්නේ කොහොමද? ඇමරිකාව නිෂ්පාදනයේදී චීනයට වඩා ප්‍රාග්ධනය යොදා ගැනීම මීට හේතුවද?

සංඛ්‍යාලේඛණ වලින් පෙන්වන්නේ එසේ නොවන බවයි. චීනය සතු ප්‍රාග්ධන සංචිතය ඇමරිකාවේ ප්‍රාග්ධන සංචිතයට වඩා 18%කින් වැඩියි. මේ වන විට ලෝකයේ ලොකුම ප්‍රාග්ධන සංචිතය තිබෙන්නේ චීනයේ. ඒ කියන්නේ ඇමරිකාවේ මෙන් 4.5 ගුණයක ශ්‍රම බලයක් යොදා, ඇමරිකාව යොදවනවාට වඩා 18%ක් වැඩි ප්‍රාග්ධනයක් යොදවා චීනය විසින් නිපදවන අතිරික්තය ඉක්මවන අතිරික්තයක් තවමත් ඇමරිකාව විසින් නිපදවනවා. ඇමරිකාව එය කරන්නේ කොහොමද?

ඇමරිකාවේ සාර්ථකත්වය තනිකරම රඳා පැවතී තියෙන්නේ ඵලදායිතාවය මත. එක සමාන නිෂ්පාදන සාධක ප්‍රමාණයක් යොදවා චීනය විසින් නිපදවන අතිරික්තය මෙන් 2.8 ගුණයක් ඇමරිකාව විසින් නිපදවනවා. එය ඇමරිකානු ව්‍යවසායකත්වයයි. 

කෙසේ වුවත්, මෙය චීනයේ මෑතකාලීන සීඝ්‍ර ආර්ථික වර්ධනය නොසලකා හැරීමක් නෙමෙයි. 1970-2019 අතර කාලයේ දී ඇමරිකන් ආර්ථිකය 3.8 ගුණයකින් වර්ධනය වෙද්දී චීන ආර්ථිකය 18.3 ගුණයකින් වර්ධනය වී තිබෙනවා. ඒ අනුව, 1970දී ඇමරිකන් ආර්ථිකයෙන් පහෙන් පංගුවක් වූ චීන ආර්ථිකය ඇමරිකන් ආර්ථිකය තරමටම ලොකු වී තිබෙනවා. එය සිදු වුනේ කොහොමද?

පළමුව, මේ කාලය තුළ චීනයේ ජනගහණ වර්ධන වේගය 1.1% වුවත් ඇමරිකාවේ එම වේගය තිබුණේ 0.9% මට්ටමේ. මේ හේතුව නිසා ඇමරිකානු ජනගහණය 57%කින් වර්ධනය වෙද්දී, චීන ජනගහණය 73%කින් වර්ධනය වුනා. දෙවනුව, ඇමරිකාවේ රැකියා නියුක්තිය 19%කින් ඉහළ යද්දී, චීනයේ එය 28%කින් ඉහළ ගියා. තෙවනුව, මේ කාලය තුළ ඇමරිකානුවකු විසින් වසරකට වැඩ කරන පැය ගණන 7%කින් අඩු වෙද්දී චීනයේ එය 10%කින් වැඩි වුනා. සිවුවනුව, ඇමරිකාවේ මානව ප්‍රාග්ධන සංචිත 22%කින් ඉහළ යද්දී චීනයේ 86%ක වැඩි වීමක් සිදු වුනා. මේ සියල්ලේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාවේ ශ්‍රම බලය 2.1 ගුණයකින් ඉහළ යද්දී චීනයේ ශ්‍රම බලය 4.5 ගුණයකින් වැඩි වුනා. 

ශ්‍රම බලයේ සිදු වූ වෙනසටත් වඩා ලොකුම වෙනසක් සිදු වුනේ ප්‍රාග්ධන සංචිත වලයි. 1970-2019 අතර කාලයේ දී ඇමරිකාවේ ප්‍රාග්ධන සංචිත 3.2 ගුණයකින් ඉහළ යද්දී, චීනයේ ප්‍රාග්ධන සංචිත 20.1 ගුණයකින් ඉහළ ගියා. නිෂ්පාදන සාධක මේ විදිහට විශාල ලෙස ඉහළ යද්දී චීනයේ ඵලදායිතාවයද වැඩි වේගයකින් ඉහළ ගියා. ඇමරිකාවේ ඵලදායිතා වර්ධනය 25%ක් වෙද්දී  චීනයේ  ඵලදායිතා වර්ධනය 86%ක්.

චීනයේ මේ ප්‍රවණතාව මේ විදිහට දිගටම පවතියිද? චීන ජනගහණය දිගින් දිගටම වර්ධනය වන එකක් නැහැ. පුරෝකථන අනුව චීන ජනගහණය අඩු වීමට නියමිතයි. ජනගහණයේ ප්‍රතිශතයක් ලෙස ශ්‍රම බලකාය තවත් වැඩි වෙන්නත් ලොකු ඉඩක් නැහැ. ඒ වගේම වැඩ කරන පැය ගණනත් මීට වඩා වැඩි විය නොහැකියි. එහෙත් මානව ප්‍රාග්ධනය අතින් චීනයට ඇමරිකාවේ මට්ටමට එන්න බැරිකමක් නැහැ. ඒ වගේම චීනයේ භෞතික ප්‍රාග්ධන සංචිතත් තව දුරටත් ඉහළ යා හැකියි. මේ සාධක වලින් චීනයට ඇමරිකාව ඉක්මවා යම් දුරක් යා හැකි වුවත් විශාල දුරක් යා නොහැකියි. එහෙත් ඵලදායීතාවය අතින් ඇමරිකාවට වඩා බොහෝ පසුපසින් සිටින චීනයට ඉතා පහසුවෙන්ම සිය ඵලදායීතාවය දෙගුණ කර ගන්න පුළුවන්. එහි ප්‍රතිඵලය චීන ආර්ථිකය ඇමරිකන් ආර්ථිකය මෙන් දෙගුණයක් හෝ ඊටත් වඩා විශාල වීමයි. 

ඇමරිකාවට මෙය වලක්වා ගත හැකි ක්‍රමයක් තිබෙනවාද? ඇමරිකාව තුළ ස්වභාවිකව ජනගහණය වර්ධනය වීමේ නැඹුරුවක් නැහැ. ඒ නිසා, ඇමරිකානු ජනගහණය විශාල ලෙස වර්ධනය විය හැක්කේ මහා පරිමාණයෙන් සංක්‍රමණිකයන්ට ඇමරිකාවට පැමිණීමට අවස්ථාව සැලසීමෙන් පමණයි. චීනය නැගී එද්දී ලෝකය තුළ ඇමරිකානු දේශපාලන හා ආර්ථික බලය පවත්වා ගැනීම සඳහා ඇමරිකාවේ ජනගහණය බිලියනයක් දක්වා වර්ධනය කර ගත යුතු බව දැනටමත් ඇතැම් අය යෝජනා කර ඇතත් එවැන්නක් සිදු වීමේ ඉඩක් නැහැ. 

ඇමරිකාවේ ජනගහණය මෙන් 4.4ක ජනගහණයක් සිටින චීනයේ ආර්ථිකයට වඩා ලොකු ඇමරිකන් ආර්ථිකයක් පැවතිය හැක්කේ ඇමරිකාවේ ඵලදායිතාවය චීනයේ මෙන් තුන් හතර ගුණයක් වැඩි මට්ටමක පවත්වා ගත හැකිනම් පමණයි. එයද ප්‍රායෝගිකව කළ නොහැක්කක්. ඇමරිකාවේ ඵලදායිතාවය ඉහළ දමා ගන්නනම් ඇමරිකාවට අලුත්ම ක්‍රමවේද හොයා ගන්න වෙනවා. එහෙත්, ඵලදායීතාව අතින් ඇමරිකාවට වඩා බොහෝ පසුපසින් සිටින චීනයට කරන්න තිබෙන්නේ ඇමරිකාව දැනටමත් කර ඇති දේ කරන එක පමණයි. 

චීනය මෙය ඉතා හොඳින් කරනවා. ඇමරිකාවේ සරසවි වල ඉගෙනුම ලබන මිලියනයක් පමණ වන විදේශ සිසුන්ගෙන් 35%ක්ම එන්නේ චීනයෙන්. ඔවුන් බොහෝ දෙනෙක් නැවත ආපසු චීනයට යනවා. ඇමරිකාවේ ඉගෙන ගෙන, ජිවත් වී, රැකියා කළ අය ප්‍රතිපත්ති තිරණ ගන්නා මුල් පුටු වලට දමන්න චීන කොමියුනිස්ට් පක්ෂය පැකිලෙන්නේ නැහැ. චීන ආර්ථිකය ලෝකයේ විශාලතම ආර්ථිකය බවට පත් වීමට සමාන්තරව දැනට පවතින ධනවාදී-ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික-දේශපාලනික ආකෘතිය අභියෝගයට ලක් වීමේ හැකියාවද හිතා ගන්න අමාරු දෙයක් නෙමෙයි.

Attribution:

Feenstra, Robert C., Robert Inklaar and Marcel P. Timmer (2015), "The Next Generation of the Penn World Table" American Economic Review, 105(10), 3150-3182, available for download at www.ggdc.net/pwt.

Wednesday, May 19, 2021

ආර්ථික වර්ධනය හා ඵලදායිතාවය


කාලයක් ලෝකයේ ලොකුම ආර්ථිකය වුනේ බ්‍රිතාන්‍යයයි. පසුව ඇමරිකාව එතැනට ආවා. එහෙත්, මේ කුසලානය ඇමරිකාවෙන් චීනය වෙත මාරු වෙමින් තිබෙන බව, ඇතැම් විට දැනටම මාරු වී තිබෙන බව, පැහැදිලි කරුණක්. ඇතැම් අය මෙය ධනවාදය හා සමාජවාදය සම්බන්ධ සංසන්දනාත්මක කරුණක් සේ දකිනවා. විශේෂයෙන්ම මා පෙන්වා දුන් ධනවාදයේ කාර්යක්ෂමතාවය පිළිබඳ අදහස සමඟ නොගැලපෙන නිරීක්ෂණයක් සේ දකිනවා. ධනවාදය හා සමාජවාදය මෙයට කිසිසේත්ම සම්බන්ධ නැති පැත්තක තිබෙන කරුණක් නොවූවත්, එම සංසන්දනය පැත්තකින් තියා මේ ගැන පහසුවෙන්ම පැහැදිලි කළ හැකියි.

සමාජවාදී පරමාදර්ශය ධනවාදී පරමාදර්ශයට වඩා සාධනීය නොවන්නේ ඇයි කියන එක මා මේ වන විට ප්‍රමාණවත් අයුරින් පැහැදිලි කර තිබෙනවා. අප ලියන දේ කියවන සීමිත පිරිස අතරින් සමාජවාදය පිළිබඳ යම් විශ්වාසයක් තබන, එහෙත් ආගමක් සේ මාක්ස්වාදය නොඅදහන කිහිප දෙනෙකු විසින් මෙතෙක් වරින් වර මතු කළ ප්‍රශ්න සියල්ලටම අප විසින් පැහැදිලි හා විස්තරාත්මක පිළිතුරු සපයා තිබෙනවා. එහෙත් එවැනි පැහැදිලි කිරීම් වලින් ආගමික අන්තවාදයක සිටින්නෙකුටනම් වැඩක් වෙන එකක් නැහැ.

උදාහරණයක් විදිහට මේ අදහස ගැන සිතන්න.

"පන්තිභේදයකින් තොර සමාජයක් බිහිකරන්න "ඔය කියන" කාර්යක්ශමතාවයෙ කිසිම අවශ්‍යතාවයක් නැහැ. පුද්ගලයාගේ කැමැත්ත අකමැත්ත අදාලත් නෑ."

ධනවාදය හා මාක්ස්වාදය සසඳන්නනම් අප එවැනි සැසඳීමක් කළ හැකි කිසියම් ආරම්භක ස්ථානයක් සොයා ගත යුතුයි. සමාජවාදීන් සේ තමන්ව හඳුන්වා ගන්නා බොහෝ දෙනෙක් භෞතික සංවර්ධනය හා මිනිස් නිදහස වෙනුවෙන් පෙනී සිටිනවා. සෝවියට් දේශය පස් අවුරුදු සැලසුම් හැදුවේ භෞතික සංවර්ධනය ඉලක්ක කර ගෙනයි. කොමියුනිස්ට් ප්‍රකාශනයේ සමාජවාදී රාජ්‍යයක අරමුණක් සේ සඳහන්ව තිබෙන්නේ කොමියුනිස්ට් ක්‍රමයකට යාමට පෙර ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නැගීමයි. පෞද්ගලික දේපොළ අයිතිය බැහැර කළත්, සමස්තයක් ලෙස සමාජවාදය තුළ පුද්ගල කැමැත්තට ඉඩක් තිබෙනවා. සාමාන්‍යයෙන් ඓතිහාසික භෞතිකවාදය විශ්වාස කරන්නෙකු ධනවාදය සලකන්නේ සමාජවාදය තරම් දියුණු නැතත් ඊට පෙර එළැඹෙන දියුණු අදියරක් ලෙසයි. මේ අරමුණු වලින් බැහැර නොවූ සමාජවාදියෙකු සමඟ ධනවාදය ගැන කතා කළ හැකි ආරම්භක ස්ථානයක් තිබෙනවා. 

භෞතික සංවර්ධනය හා මිනිස් නිදහස පැත්තකට දමා කෙසේ හෝ "පංති රහිත" සමාජයක් හැදීමේ අරමුණක සිටින අයෙකු සමඟ සංවාදයක් ඇති කරගත හැකි ආරම්භක ස්ථානයක් හොයා ගන්න අමාරුයි තමයි. එවැන්නෙකුට අනුව වෙනත් විදිහකට හිතන හැම කෙනෙක්ම මුලා වී සිටින අයයි. ඔවුන්ට තේරෙන දෙය ලෝකයේ අනෙක් කාටවත් තේරෙන්නේ නැහැ. ඒ නිසා අනෙක් අයගේ කැමැත්ත වැඩක් නැහැ. අනෙක් අයගේ කැමැත්තෙන් වැඩක් නැති නිසා අනෙක් අයට භෞතික සංවර්ධනය අවශ්‍ය වීම වැදගත් දෙයක් නෙමෙයි. අවශ්‍ය වන්නේ කෙක්කෙන් හෝ කොක්කෙන් හෝ පංති රහිත සමාජයක් හදන එකයි. එහි භෞතික සංවර්ධනය හෝ මිනිස් නිදහස නොමැති වීම ප්‍රශ්නයක් නෙමෙයි. 

භෞතික සංවර්ධනය හා පුද්ගල නිදහස වැදගත් සේ නොසලකන වෙනත් අය සිටිනවා. ඇතැම් ආගමික අදහස් වලින් උගන්වන්නේ භෞතික සම්පත් අතහැරීම ගැනයි. තවත් ආගමික අදහස් පුද්ගල කැමැත්ත දේව කැමැත්තකට යටපත් කිරීම වෙනුවෙන් පෙනී සිටිනවා. එවැනි අදහස් තිබීමේ කිසිදු වැරැද්දක් නැතුවා වගේම එම අදහස් ධනවාදය සමඟ ගැටෙන්නේද නැහැ. එහෙත් මෙවැනි අදහස් දරන අයෙකු එම අදහස් හා එකඟ නොවන අනෙකුත් අය මත තමන්ගේ අදහස් බලහත්කාරයෙන් පටවන්නට ගිය විට ගැටුමක් ඇති වීම වැළැක්විය නොහැකියි. 

මෙවැනි අය ලෝකය වෙනස් කළ යුතු නියම විදිහ ගැන අනෙක් කාටවත් නැති සුවිශේෂ අවබෝධයක් තමන්ට තිබෙනවායැයි සිතා සිටින ශාස්තෘන් පිරිසක් වනවාට අමතරව ලෝකය වෙනස් කිරීමේ සුවිශේෂී වගකීමක් තමන් මත පැවරී ඇති බවද සිතනවා. හැබැයි ඔවුන්ට මෙවැනි අදහස් දරමින් ජිවත් වෙන්න හැකි වී තිබෙන්නේත් අනෙක් මිනිසුන් මිනිස් නිදහස හා පුද්ගල කැමැත්ත අගය කරන නිසා. වෙනත් විදිහකින් කිවුවොත් මේ වගේ අය අවශ්‍ය නැති බව කියන්නේ වෙනත් අයගේ පුද්ගල කැමැත්තයි. ඔවුන්ට තමන්ගේ පුද්ගල කැමැත්ත ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. 

ඔය වගේ ආගමික අන්තවාදී අදහස් ගැන වැඩිපුර කතා කරන එක පසුවට තියලා අපි නැවත චීනය වෙත එමු. චීනයේ හෝ වෙනත් රටක ආර්ථිකය වර්ධනය වන්නේ කොහොමද? 

ආර්ථිකයක ප්‍රමාණය නිර්ණය කරන සාධක තුනක් අපි මේ වන විටත් හඳුනාගෙන තිබෙනවා. ශ්‍රමය (L), ප්‍රාග්ධනය (K) සහ මේ නිෂ්පාදන සාධක දෙක නිෂ්පාදිතයක් (Y) බවට හරවන ඵලදායීතා සංගුණකය (A).

Y = F(K,L) = AKαLß 

මතක තියා ගන්න දැන් අප කතා කරන්නේ ආර්ථික වර්ධනය ගැන මිසක් එහි ඵලය බෙදිය යුතු ආකාරය ගැන නෙමෙයි. ඒ නිසා මෙය ධනවාදයට හෝ සමාජවාදයට සෘජුව අදාළ නැති තාක්ෂනික කරුණක්.

ආර්ථික වර්ධනය කියා කියන්නේ Y වැඩි කරන එක. එය කරන්නනම් A, K හෝ L වැඩි කළ යුතුයි. අපි මේ එකින් එක ගැන වැඩිපුර විමසා බලමු. L හෙවත් ශ්‍රම බලය තීරණය කරන පළමු සාධකය කිසියම් රටක ජනගහණයේ ප්‍රමාණයයි. ජනගහණය වැඩි වූ තරමට ශ්‍රම බලකායද වැඩි වෙනවා. එහෙත්, ජනගහණයේ වයස් කාණ්ඩ ව්‍යාප්තිය, රැකියා නියුක්තියේ ප්‍රමාණය, කාන්තාවන් කෙතරම් දුරට රැකියා වල නිරත වෙනවාද යන්න ආදී සංස්කෘතික හා සමාජයීය කරුණු ආදියද ශ්‍රම බලකාය කෙරෙහි බලපානවා. ඒ නිසා, ජනගහණය සමාන රටවල් දෙකක ශ්‍රම බලකායේ ප්‍රමාණයන් වෙනස් විය හැකියි. 

දෙවනුව වසරකට එක් ශ්‍රමිකයෙකු වැඩ කරන සාමාන්‍ය පැය ගණන. වැඩ කරන පැය ගණන වැඩි වෙද්දී ශ්‍රම බලය වැඩි වන බව තේරුම් ගැනීමට අපහසු නැති කරුණක්. සම්මත නිවාඩු දින ගණන, අර්ධකාලීන රැකියා කරන ප්‍රමාණය ආදී කරුණු මත මෙම පැය ගණන වෙනස් විය හැකියි.

තෙවනුව, වඩාත්ම වැදගත් කරුණ. ශ්‍රමිකයෙකුගේ පැයක ශ්‍රමයේ ගුණාත්මක භාවය. මානව ප්‍රාග්ධනය කියා කියන්නේත් මෙයටයි. අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව, පළපුරුද්ද, මනා සෞඛ්‍යය, වෘත්තීය ආචාර ධර්ම භාවිතය ආදී බොහෝ කරුණු මත ශ්‍රමිකයෙකුගේ පැයක ශ්‍රමයේ ගුණාත්මක භාවය වෙනස් වෙනවා. ශ්‍රම බලය කියා කියන්නේ මේ සාධක තුනේම ගුණිතයයි.

ශ්‍රම බලය (L) වැඩි වන විට නිෂ්පාදිතය (Y) වැඩිවන බව අප දන්නවා. එහෙත්, L වැඩිවන අනුපාතයටම Y වැඩි වෙන්නේ නැහැ. L වැඩි කර ගෙන යද්දී Y වැඩි වන නමුත් එසේ වැඩි වන වේගය එන්න එන්නම අඩු වෙනවා. හරියට මේ වගේ. 


ඉහත වගුවේ පෙන්වා ඇති පරිදි ශ්‍රම බලය (L) දහ ගුණයකින් වැඩි වෙද්දී Y වැඩි වී තිබෙන්නේ හතර ගුණයකින්. මොන විදිහකින් හරි ආර්ථිකය හතර ගුණයකින් ප්‍රසාරණය වෙලා තිබෙනවා. නමුත්, එයින් අදහස් වෙන්නේ රටේ මිනිස්සුන්ගේ ජිවන තත්ත්වය හතර ගුණයකින් ඉහළ ගියා කියන එක නෙමෙයි. එය තීරණය වන්නේ L වැඩි වුනේ කොහොමද කියන එක අනුවයි. 

ශ්‍රම බලය (L) වැඩි වුනේ රටේ ජනගහණය වැඩි වීම හා එයට සමානුපාතිකව ශ්‍රම බලකාය ඉහළ ගිය නිසා කියා අපි හිතමු. දැන් රටේ ජනගහණය 10 ගුණයකින් වැඩි වී තිබුණත් ආර්ථිකය වර්ධනය වී තිබෙන්නේ 4 ගුණයකින් පමණයි. ඒ නිසා, එක් අයෙකුට ලැබෙන කොටස 40%ක් දක්වා අඩු වෙලා. ඒ කියන්නේ රටේ ආර්ථිකය වර්ධනය වෙලා වුවත් රටේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය පහළ ගිහින්.

අපි හිතමු රටේ ජනගහණය හා ශ්‍රම බලකාය එලෙසම තියෙද්දී වැඩ කරන පැය ගණන දහ ගුණයකින් වැඩි වූ නිසා ශ්‍රම බලය ඉහළ ගියා කියලා. කලින් දවසකට පැයක් වැඩ කළ කෙනෙක් දැන් පැය දහයක් වැඩ කරනවා. (මෙය එතරම් ප්‍රායෝගික නැති පරිකල්පනීය උදාහරණයක්. වෙන දේ පැහැදිලිව පෙන්වන්න දහ ගුණයකින් වැඩි කළත් වැඩ කරන පැය ගණන සියයට දහයකින් වගේ වැඩි වුනහම වෙන්නෙත් ඕකම තමයි.) 


දැන් එක් ශ්‍රමිකයෙකුට ලැබෙන කොටස හතර ගුණයකින් වැඩි වෙලා. නමුත්, වැඩ කරන පැය ගණන දහ ගුණයකින් වැඩි වෙලා. ඒ කියන්නේ පැයකට ලැබෙන ආදායම 40%ක් දක්වා අඩු වෙලා. කලින් තරමටම නරක තත්ත්වයක් නොවුනත් හොඳ තත්ත්වයක් කියා කියන්න අමාරුයිනේ. කෙනෙක් මෙය හොඳ තත්ත්වයක් සේ සලකන්න පුළුවන්. තවත් කෙනෙක් එසේ නොසලකන්න පුළුවන්. සමහර විට එක් අයෙක් රැකියා කළ නිවෙසක දෙදෙනාම රැකියා කරන්න පටන් ගැනීම නිසාත් මේ වගේම දෙයක් වෙන්න පුළුවන්. දැන් පවුල් ඒකකය විසින් යොදවන සමස්ත ශ්‍රම කාලය දෙගුණ වුනත් එහි ප්‍රතිලාභ දෙගුණ වී නැහැ.

රටේ ජනගහණය හා ශ්‍රම බලකාය එලෙසම තියෙද්දී, වැඩ කරන පැය ගණනත් වැඩි නොකර, ශ්‍රම බලය වැඩි කර ගන්න පුළුවන්. ඒ මා පෙර විස්තර කළ තෙවැනි ක්‍රමයට මානව ප්‍රාග්ධනය වැඩි කර ගැනීමෙන්. එහෙමත් නැත්නම් ශ්‍රමිකයෙකුගේ පැයක ශ්‍රමයේ ගුණාත්මක භාවය වැඩි කර ගැනීමෙන්. මෙහිදී සිදු වන දෙය කලින් අවස්ථා වලදී සිදුවන දෙයම නෙමෙයි. ශ්‍රම බලය දහ ගුණයකින් වැඩි වීම නිසා Y හතර ගුණයකින් වැඩි වෙනවා. එහෙත් සමස්තයක් ලෙස ශ්‍රම-කාලය වැඩි වී නැති නිසා එක් ශ්‍රමිකයෙකුගේ ජිවන තත්ත්වයද හතර ගුණයකින් වැඩි වී තිබෙනවා. අවස්ථා තුනේදීම රටේ ආර්ථිකය එක තරමටම වර්ධනය වී තිබුණත් රටේ මිනිසුන්ගේ ජිවන තත්ත්වය වර්ධනය වී (හෝ  අවවර්ධනය වී) තිබෙන්නේ එකම ආකාරයකින් නෙමෙයි. 

ඉහත පැහැදිලි කිරීම් වලින් පෙනෙන්නේ ශ්‍රම බලය වැඩි කරගත යුතු හොඳම ආකාරය මානව ප්‍රාග්ධනය ඉහළ නැංවීම බවයි. මේ ප්‍රකාශය ලංකාව මානව ප්‍රාග්ධනය වෙනුවෙන් ඕනෑවට වඩා බරක් දමා තිබෙන බවට මා කලින් ලිපියක පෙන්වා දී තිබෙන කරුණ සමඟ ගලපන්නේ කොහොමද? ඉතා පැහැදිලිවම මානව ප්‍රාග්ධනය ඉහළ නැංවීම සාධනීය දෙයක්. නමුත් ප්‍රශ්නය වන්නේ එහි පිරිවැයක්ද තිබීමයි. මානව ප්‍රාග්ධනය ඉහළ නැංවිය යුතු වුවත් එය කළ යුත්තේ එහි ආන්තික ප්‍රතිලාභ පිරිවැය නොඉක්මවන මට්ටමක් දක්වා පමණයි. කිසිම දෙයක් ඕනෑවට වඩා ඕනෑ නැහැ කියා කියනවනේ!

තුබූ තැනක සොර සතුරන් ගත   නොහෙනා

එසැඩ මනා වත් වතුරෙන් වල         නොයනා

කෝප වුවත් රජ මැතිඳුන් ගත     නොහෙනා

උගත මනා ශිල්පයමයි මතු             රැකෙනා

කවුරුත් වගේ ඔය කවිය අහල ඇති. මේ කවියෙන් කියන්න හදන්නේ කෙනෙකුට කළ හැකි සුරක්ෂිතම ආයෝජනය මානව ප්‍රාග්ධනය බවයි. පෞද්ගලික ප්‍රාග්ධනයේ සුරක්ෂිතතාව පිළිබඳව කිසිදු සහතිකයක් නැති සමාජයක මානව ප්‍රාග්ධනය වඩා හොඳ ආයෝජනයක් වුවත් එය වුවත් සොරකම් කළ නොහැකි, ස්වභාවික විපත් වලින් මුළුමනින්ම ආරක්‍ෂිත, රජයට පැහැර ගත නොහැකි දෙයක් නෙමෙයි. භෞතික ප්‍රාග්ධනයට වගේම මානව ප්‍රාග්ධනයටත් ඔය අවදානම් පොදුයි. ඒ වගේම භෞතික ප්‍රාග්ධනය වගේම මානව ප්‍රාග්ධනයත් කාලයත් සමඟ ක්ෂය වී යනවා. භෞතික ප්‍රාග්ධන සංචිත වගේම මානව ප්‍රාග්ධන සංචිතත් නඩත්තු කළ හැක්කේ ක්ෂය වන ප්‍රමාණය දිගින් දිගටම ප්‍රතිපූරණය කිරීමෙන් පමණයි. මේ සඳහා වත්මන් නිෂ්පාදිතයෙන් කොටසක් පරිභෝජනය නොකර ඉතිරි කරන්නම වෙනවා.

ඉහත පෙන්වූ පරිදි, ජනගහණය වැඩි වෙන්නේ නැත්නම්, වැඩ කරන කාලය වැඩි වෙන්නේත් නැත්නම්, ශ්‍රම බල සංචිතය පවත්වා ගැනීම සඳහා ක්ෂය වන මානව ප්‍රාග්ධනය ප්‍රතිපූරණය කරන්න වෙනවා. නිෂ්පාදිතය වැඩි කර ගන්නනම් එසේ ක්ෂය වීම ප්‍රතිපූරණය කරනවාට වඩා අමතර ආයෝජනයක් කළ යුතුයි. එසේ මානව ප්‍රාග්ධනය වෙනුවෙන් ක්ෂය වීම ඉක්මවන ආයෝජන කිරීමෙන් අනාගත නිෂ්පාදිතය ඉහළ දමා ගත හැකි වුවත්, ඒ සඳහා K හා A අඩු නොවන බවටද වග බලා ගත යුතුයි.

නමුත් කාලයත් සමඟ භෞතික ප්‍රාග්ධන සංචිතද ක්ෂය වන බව අප දන්නවා. ඒ නිසා ක්ෂය වන මානව ප්‍රාග්ධනය ප්‍රතිපූරණය කරන අතරම ක්ෂය වන භෞතික ප්‍රාග්ධනයද ප්‍රතිපූරණය කළ යුතු වෙනවා. ඔය දෙකම කරන්න වෙන්නේ වත්මන් නිෂ්පාදිතයෙන් කොටසක් පරිභෝජනය නොකර ඉතිරි කර ගැනීමෙන්. නිෂ්පාදිතය බෙදී යන්නේ සමාජවාදී ක්‍රමයටද නැත්නම් ධනවාදී ක්‍රමයටද කියන එක මත මෙය වෙනස් වෙන්නේ නැහැ.

දැන් අපට මේ කතා කළ දේවල් ඇසුරෙන් L හෝ K වැඩි කර Y වැඩි කර ගැනීමේ සීමාවන් හඳුනා ගන්න පුළුවන්. අප මෙතෙක් කතා නොකළ ස්වභාවික සම්පත් වලින් පටන් ගනිමු. ලෝකයේ රටවල ආර්ථික වර්ධනය ස්වභාවික සම්පත් හොයා ගැනීම මත තීරණය වුනු කාලයක් තිබුණා. ස්වභාවික සම්පත් අයිතිය වෙනුවෙන් යුද්ධ ඇති වුනේ ඒ කාලයේදී. දැනටත් මෙය සිදු නොවනවා නෙමෙයි. එහෙත්, ස්වභාවික සම්පත් කියන්නේ තව දුරටත් ආර්ථික වර්ධනය සඳහා වැදගත්ම සාධකයක් නෙමෙයි.

ස්වභාවික සම්පත් අලුතින් සොයාගත් විට K වැඩි වෙනවා. මේ ක්‍රමයට ආර්ථික වර්ධනය පවත්වා ගන්නනම් දිගින් දිගටම වැඩි වැඩියෙන් ස්වභාවික සම්පත් හොයා ගත යුතුයි. නමුත් එය කළ හැකි දෙයක් නෙමෙයි. අලුතෙන් හොයා ගත හැකි ස්වභාවික සම්පත් වල සීමාවක් තිබෙනවා. දැන් ලෝකය ඒ සීමාවට ඇවිත්. අඟහරු ජනාවාස කිරීම වගේ ලොකු දෙයක් කළොත් මිසක් ස්වභාවික සම්පත් වැඩි වැඩියෙන් හොයා ගැනීම මගින් කිසිම රටකට ආර්ථික වර්ධනය ඉහළ මට්ටමක පවත්වා ගන්න බැහැ.

ස්වභාවික සම්පත් වැඩි වැඩියෙන් සොයා ගැනීමේ හැකියාවක් නැති නිසා ප්‍රාග්ධනය වැඩි කර ගන්නනම් අතිරික්තයෙන් කොටසක් ඉතිරි කළ යුතුයි. වැඩි ප්‍රතිශතයක් ඉතිරි කරන රටක ප්‍රාග්ධන සංචිත ඉහළ යනවා. අඩු ප්‍රතිශතයක් ඉතිරි කරන රටක ප්‍රාග්ධන සංචිත පහළ යනවා. හැබැයි මේ දෙකම සිදුවන සීමාවක් තිබෙනවා. ඉතිරි කිරීම් වැඩි වී ප්‍රාග්ධන සංචිත ඉහළ යද්දී ක්ෂය වන ප්‍රාග්ධනයත් සමානුපාතිකව ඉහළ යනවා. ඉතිරි කිරීම් අඩු වී ප්‍රාග්ධන සංචිත පහළ යද්දී ක්ෂය වන ප්‍රාග්ධනයත් සමානුපාතිකව පහළ යනවා. මොකද හැම විටම ක්ෂය වෙන්නේ තිබෙන ප්‍රාග්ධන සංචිතයේ ප්‍රතිශතයක්. 

මේ හේතුව නිසා රටක ඉතිරි කිරීම් අනුපාතය කොපමණ වුවත්, ප්‍රාග්ධන සංචිතය යම් මට්ටමකට පැමිණ ස්ථාවර වෙනවා. ඒ මට්ටමේදී ජාතික ඉතිරි කිරීම් ක්ෂය වන ප්‍රාග්ධනයට හරියටම සමානයි. ඉතිරි කිරීම් අනුපාතය හෝ ප්‍රාග්ධනය ක්ෂය වන අනුපාතය වෙනස් වුනේ නැත්නම් රටක ප්‍රාග්ධන සංචිතය ගතික සමතුලිතතාවයකට එනවා. රටේ නිෂ්පාදිතය හා ප්‍රාග්ධන සංචිත අතර අනුපාතය නියත මට්ටමකට එනවා. ඒ නිසා, K වැඩි කරලා Y වැඩි කරන්න බැහැ. එහෙත්, මෙවැනි සමතුලිතතාවයකට එන තුරු යම් කාලයක් ඉහළ ආර්ථික වර්ධනයක් පවත්වා ගත හැකියි. 

අනෙක් පැත්තෙන් L වැඩි කර ගැනීම සඳහා වැඩ කරන පැය ගණන වැඩි කිරීම කළ හැකි දෙයක් නෙමෙයි. මානව සම්පත් වැඩි කර ගැනීම සඳහා ඉතිරි කිරීම් යොදා ගත යුතුයි. එයද අසීමිත ලෙස කළ නොහැකියි. ප්‍රාග්ධන සංචිත වැඩි කර ගැනීමේදී වගේම ගතික සමතුලිතතාවයකට එනවා. ජනගහනය වැඩි වන විට L වැඩි වුවත් එම ක්‍රමයේදී රටේ ආර්ථිකය ප්‍රසාරණය වන නමුත් රටේ පුද්ගලයින්ගේ ජිවන තත්ත්වය නරක අතට මිස හොඳ අතට හැරෙන්නේ නැහැ. ඒ නිසා, මෙයත් අතීතයට අයත් දෙයක්. අවසාන වශයෙන් K හෝ L වැඩි කිරීමෙන් Y වැඩි කළ හැකි වුවත් එය කළ හැක්කේ යම් සීමාවක් දක්වා පමණයි. මේ මගින් රටකට ලොකු ආර්ථික වර්ධනයක් දිගටම පවත්වා ගන්න අමාරුයි. 

වර්තමාන සන්දර්භයේ කිසියම් රටකට ඉහළ ආර්ථික වර්ධනයක් දිගටම පවත්වා ගත හැක්කේ A වැඩි කර ගැනීමෙන්, ඒ කියන්නේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය, එහෙමත් නැත්නම් ඵලදායිතාවය වැඩි කර ගැනීමෙන්, පමණයි. 

ඵලදායිතාවය කියා කියන්නේ නිෂ්පාදනය සඳහා ස්වභාවික සම්පත් හෝ ප්‍රාග්ධනය වැඩි වැඩියෙන් යොදා ගැනීම නෙමෙයි. වැඩියෙන් මහන්සි වී වැඩියෙන් වැඩ කිරීමත් නෙමෙයි. ඒ දෙක ගැනම අපි දැනටමත් කතා කරලා ඉවරයි. ඵලදායිතාවය කියා කියන්නේ අඩු සම්පත් ප්‍රමාණයක් වැය කර, අඩු ශ්‍රමයක් යොදවා, වැඩි නිෂ්පාදනයක් කරන එකටයි. ව්‍යවසායකත්වය කියන්නේ ඒකටයි. ව්‍යවසායකයා කියා කියන්නේ ප්‍රාග්ධන හිමියාට නෙමෙයි. ප්‍රාග්ධන හිමියා විසින් ලබා ගන්නේ තමන් යෙදවූ ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රතිලාභ. ව්‍යවසායකයෙකු විසින් කරන්නේ තමන්ගේ නිර්මාණශිලිත්වය වෙනුවෙන් ප්‍රතිලාභ ලබන එකයි. ඇය එම ලාබ ලබන්නේ ප්‍රාග්ධන හිමියාට වගේම ශ්‍රමිකයාටත් ඔවුන්ගේ කොටස් වෙන් කර දීමෙන් පසුවයි. 

ධනවාදී පරමාදර්ශය තුළ ප්‍රාග්ධන හිමියෙකුට "ඕනෑ තරම්" ලාබ ලබන්න ඉඩ දෙන්නේ නැහැ. ක්‍රමය විසින්ම ලැබිය හැකි ලාබ සීමා  කරනවා. එහෙත්, ධනවාදය විසින් ව්‍යාවසායකයෙකුගේ ලාබ එලෙස සීමා කරන්නේ නැහැ. නිර්මාණශිලිත්වයට ඕනෑ තරම් දුර යා හැකියි. 

අපි මේ වගේ කොබ් ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතයකින් පටන් ගනිමු.

Y = F(K,L) = 10K0.4L0.6 

මෙයින් අදහස් වන්නේ පවතින තාක්ෂනය යොදා ගනිමින් K සහ L එක් ඒකකය බැගින් යොදා ගෙන Y ඒකක දහයක් නිපදවිය හැකි බවයි. එම ඒකක දහය බෙදා ගන්නේ කොහොමද කියන එක ද්විතියික කාරණයක්. ධනවාදී පරමාදර්ශය තුළ ශ්‍රමිකයන්ට ඒකක 6ක් හා ප්‍රාග්ධන හිමියන්ට ඒකක 4ක් හිමි වෙනවා. මෙවැනි තත්ත්වයක් තිබියදී කවුරු හෝ කෙනෙක් වඩා කාර්යක්ෂම තාක්ෂණයක් හොයා ගන්නවා. එය මෙවැන්නක්.

Y = F(K,L) = 20K0.4L0.6 

දැන් මේ පුද්ගලයාට පමණක් K සහ L එක් ඒකකය බැගින් යොදා ගෙන Y ඒකක විස්සක් නිපදවිය හැකියි. එයින් ශ්‍රමිකයන්ට ඒකක 6ක් හා ප්‍රාග්ධන හිමියන්ට ඒකක 4ක් ලබා දීමෙන් පසුව මේ ව්‍යවසායකයාට ඉතිරි ඒකක දහය තියා ගන්න පුළුවන්. ශ්‍රමිකයෙකුට හෝ ප්‍රාග්ධන හිමියෙකුට ඊට වඩා දෙයක් ඉල්ලා හෙට්ටු කරන්න බැහැ. මොකද වෙනත් කිසිවෙකුගෙන් ඔවුන්ට ඊට වඩා දෙයක් ලැබෙන්නේ නැහැ.

හැබැයි ව්‍යවසායකයෙකුට මෙවැනි ලොකු ලාබයක් ලැබිය හැක්කේ අලුත් තාක්ෂනය හෝ නිෂ්පාදන ක්‍රමවේදය හොයා ගෙන කෙටිකලක් යන තුරු පමණයි. ඇයගේ ලාබ දකින අනෙක් සියලුම නිෂ්පාදකයන් විසින්ද ඉතා ඉක්මණින් තමන්ගේ වාහන වල චතුරශ්‍රාකාර රෝද රවුම් කර ගන්නවා. එවිට ශ්‍රමිකයන්ට වගේම ප්‍රාග්ධන හිමියන්ටත් වැඩි ප්‍රතිලාභ ලැබිය හැකි විකල්ප අවස්ථා හමු වෙනවා. මෙය මුලින්ම නිරීක්ෂණය කරන ශ්‍රමිකයන් හා ප්‍රාග්ධන හිමියන් විසින් එක්කෝ තමන්ගේ නිෂ්පාදන සාධක වෙනත් තැනකට විතැන් කරනවා. එසේ නැත්නම් ඉන්න තැනම සිට හෙට්ටු කරනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රමයේ ආන්තික ඵලදායිතාවය 6 සිට 12 දක්වාත්, ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය 4 සිට 8 දක්වාත් වැඩි වෙනවා. 

ව්‍යවසායකයෙකුට ලාබ ලැබිය හැක්කේ මෙය සිදුවීමට ගත වන කාලය තුළ පමණයි. අලුත් දැනුම සමාජයීය දැනුමක් වූ විට නැවතත් නිෂ්පාදිතය බෙදී යන්නේ ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර පමණයි. මෙහිදී රටේ සමස්ත නිෂ්පාදිතය වැඩි කරන්නේ ව්‍යවසායකයා විසින් මිස ශ්‍රමිකයා හෝ ප්‍රාග්ධන හිමියා විසින් නෙමෙයි. ඔවුන්ගේ දායකත්වයක් නැතුවා නෙමෙයි. එහෙත් එය සීමිතයි. මේ එක් එක් කොටස ගණන් හිලවු ඇතිව පෙන්වා දිය හැකි දේවල් මිස වියුක්ත සංකල්ප පමණක් නෙමෙයි.

තාක්ෂනය නිරන්තරයෙන් දියුණු වෙන්නේ ධනවාදී ක්‍රමයකදී පමණක් නෙමෙයි. රජයේ මෙහෙයවීම යටතේ සෝවියට් දේශය විසින් බොහෝ දේ සොයා ගත්තා. නිර්මාණය කළා. සාමාන්‍යයෙන් මාක්ස්වාදී අදහස වන්නේ යම් පුද්ගලයෙකු විසින් අලුත් යමක් නිර්මාණය නොකළොත් වෙනත් කවුරු හෝ කෙනෙකු විසින් ඒ දෙය කරනු ඇති බවයි. ඒ පදනම මත නිර්මාපකයාට නිර්මාණයේ ප්‍රතිලාභ හිමිවන්නේ නැහැ. ධනවාදය තුළ, අවශ්‍ය පමණ ලාබ ලබා ගැනීමේ අවස්ථාවක් දී, ව්‍යවසායකත්වය දිරිමත් කෙරෙනවා. එහෙත් ධනවාදය තුළ ව්‍යවසායකයෙකුට මේ ඉහළ ප්‍රතිලාභ ලැබෙන්නේ කෙටි කාලයකට පමණයි. එයින් පසුව එය සමාජයීය ප්‍රතිලාභයක් බවට පත් වෙනවා. ප්‍රායෝගික නිදර්ශන වලින් පෙනෙන්නේ මේ ක්‍රමය වඩා සාර්ථක බවයි. 

පෞද්ගලික අංශය මුල් වී, ලාබ ලැබීමේ අරමුණින් පයිසර්-බයෝඑන්ටෙක් එන්නත හදද්දී රාජ්‍ය අංශය මුල් වී සයිනෝෆාර්ම් එන්නත හැදුවා. දෙකම වැඩ කරනවා. එහෙත් පයිසර්-බයෝඑන්ටෙක් එන්නත වඩා ඉක්මණින් ආවා. ඒ වගේම එය වඩා සාර්ථක එන්නතක්. 

මෙහි කතා කළ පසුබිම් කරුණු මත පදනම්ව අපට චීන ආර්ථිකය ලෝකයේ ලොකුම ආර්ථිකය බවට පත් වීම ගැන කතා කළ හැකියි. එය වෙනත් ලිපියකට ඉතිරි කරමු. අදට ඇති.

Wednesday, March 17, 2021

ශ්‍රී ලංකා ආර්ථිකය 3.6%කින් පල්ලම් බසී!

 

ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ ප්‍රකාශයට පත් කර තිබෙන ජාතික ගිණුම් ඇස්තමේන්තු අනුව 2020 වසර තුළ ලංකාවේ ආර්ථිකය 3.6%කින් සංකෝචනය වී තිබෙනවා. නිදහසින් පසුව මීට පෙර මෙසේ ලංකාවේ ආර්ථිකය සංකෝචනය වී තිබෙන්නේ කටුනායක ගුවන් තොටුපොළට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වූ 2001 වසරේදී පමණයි. එම වසරේදී ලංකාවේ ආර්ථිකය 1.5%කින් හැකිළුනා. මෙවර ආර්ථිකය එමෙන් දෙගුණයකටත් වඩා වැඩියෙන් පල්ලම් බැස තිබෙනවා.

ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2015 වසරේ සිට ක්‍රමයෙන් අඩු වෙමින් පැවතුනා. 2019 වසරේදී ලංකාවේ ආර්ථිකය වර්ධනය වුනේ 2.2%කින් පමණයි. මේ අනුව, 2019 වර්ධනය වූ ප්‍රමාණයටත් වැඩියෙන් ආපස්සට ගොස් ලංකාවේ ආර්ථිකය නැවත 2018දී සිටි තැනට වැටී තිබෙනවා. 

වසරේ පළමු කාර්තුවේදී ලංකාවේ ආර්ථිකය 1.8කින් හැකිළුණු අතර දෙවන කාර්තුවේදී 16.4%කින් හැකිළුනා. අවසන් කාර්තු දෙක තුළදී 1.3% බැගින් වර්ධනය වී ඇතත් සමස්තයක් ලෙස වසර තුළදී ආර්ථිකය 3.6%කින් හැකිලී තිබෙනවා. මේ අනුව, 2020 වසරේදී ලංකාවේ ආර්ථිකයේ ප්‍රමාණය රුපියල් බිලියන 14,973 දක්වා අඩු වී තිබෙනවා. නොවැම්බර් මාසය අවසාන වෙද්දී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 14,818ක්. වසර අවසාන වෙද්දී රාජ්‍ය ණය ප්‍රමාණය හා දළ ජාතික නිෂ්පාදිතය ආසන්නව සමාන මට්ටමක තිබෙන්නට ඉඩ තිබෙනවා.

දෙවසරකට පෙර ඒක පුද්ගල ආදායම ඩොලර් 4000 මට්ටම ඉක්මවා සිටි ලංකාව ඉහළ මැදි ආදායම් කාණ්ඩයේ රටක් ලෙස නම් කෙරුණා. 2017 වසරේදී ඇමරිකන් ඩොලර් 4,077ක් වූ ලංකාවේ ඒක පුද්ගල ආදායම මේ වෙද්දී ඩොලර් 3,682 මට්ටම දක්වා පහත වැටී තිබෙනවා. මෙය 2014 සිටි තැනින්ද පහළට නැවත ආපසු යාමක්.

Tuesday, February 23, 2021

ශ්‍රමයේ අනදාලත්වය පිළිබඳ ප්‍රශ්නය


කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතයට නැවතත් එමු. මෙයින් ආකෘතිගත කරන්නේ ශ්‍රමය, ප්‍රාග්ධනය හා තාක්ෂනය යොදාගෙන අතිරික්ත වටිනාකමක් (නිෂ්පාදනයක්) නිර්මාණය කරන ආකාරයයි. චාල්ස් කොබ් සහ පෝල් ඩග්ලස් විසින් මේ නිෂ්පාදන ශ්‍රිතය ඇතුළත් පර්යේෂණ පත්‍රිකාව ඇමරිකන් එකොනොමික් රිවීව් ජර්නලයේ පළ කළේ 1928 වසරේදී. ඔවුන්ට පෙර පසුගිය සියවසේ ආරම්භයේදී හෝ ආසන්න වසරකදී පිලිප් වික්ස්ටීඩ් විසින් මේ ශ්‍රිතය ගැන අදහස ඉදිරිපත් කර තිබෙනවා. එහෙත්, ඊට පෙර මෙවැන්නක් කිසිවෙකු භාවිතයට ගෙන තිබුණේ නැහැ.

කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය භාවිතා නොකළත් නිෂ්පාදන අතිරික්තය ශ්‍රමය, ප්‍රාග්ධනය හා තාක්ෂනය කියන සාධක තුන ඇසුරෙන් විස්තර කිරීම කාලයක සිටම සිදුවුණු දෙයක්. ඇඩම් ස්මිත්, කාල් මාක්ස් වගේ අයගේ පැහැදිලි කිරීම් වලත් මේ අදහස තිබෙනවා. වෙනස ඒ පැරැන්නන් අද මෙන් ගණිතය යොදා නොගැනීමයි. කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය නිෂ්පාදනය සිදුවන ක්‍රියාදාමය පැහැදිලි කරන ආකෘතියක් නිසා එය දේශපාලන ක්‍රමයකට සම්බන්ධ දෙයක් නෙමෙයි. 

මෙහි නිෂ්පාදන අතිරික්තය, ශ්‍රමය හා ප්‍රාග්ධනය වසරින් වසර වෙනස් වන, ඒ වගේම වැඩි අපහසුවක් නැතිව මැනිය හැකි, විචල්‍යයන්. මේ විචල්‍යයන් තුනම සාමාන්‍යයෙන් කාලයත් සමඟ වර්ධනය වෙනවා. α එසේ වේගයෙන් වෙනස් නොවන පරාමිතියක්. එය වසර ගණනාවක දත්ත අනුසාරයෙන් ඇස්තමේන්තු කළ හැකියි. එසේ ඇස්තමේන්තු කිරීමෙන් පසුව බොහෝ විශ්ලේෂණ තුළ α නියතයක් ලෙස සලකා තාක්ෂනය වර්ධනය වූ ආකාරය විස්තර කෙරෙන A වෙනස් වන ආකාරය ඇස්තමේන්තු කරනවා. එය වසරින් වසර වර්ධනය වන එහෙත් සෘජුව මැනීම අසීරු විචල්‍යයක්.

චාල්ස් කොබ් සහ පෝල් ඩග්ලස් විසින් ඉදිරිපත් කළ ආරම්භක පර්යේෂණ පත්‍රිකාවේ ඇස්තමේන්තු අනුව α අගය සඳහා ගැලපුනේ 0.25 වැනි අගයක්. පසුකාලීන ඇස්තමේන්තු අනුව මේ අගය 0.3-0.35 අතර අගයක් ලෙස සැලකුණා. සෛද්ධාන්තිකව 0 හා 1 අතර තිබිය යුතු මේ අගය සෙමෙන් වුවත් කාලයත් සමඟ ඉහළ යන බව පෙනෙන්නට තිබෙනවා. නිෂ්පාදන තාක්ෂනය තුළ මිනිස් ශ්‍රමය ක්‍රමයෙන් විස්ථාපනය වෙමින් ස්වයංකරණය ආදේශ වෙද්දී  α අගයද ක්‍රමයෙන් ඉහළ යා යුතුයි. 

කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතයේ ආන්තීය (extreme) තත්ත්වයන් සේ සැලකිය හැකි α=0 හා α=1 තත්ත්වයන් දෙස බැලූ විට නිෂ්පාදන මාතය පරිණාමය වන ආකාරය පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. මෙය මා කරන දෙයක් මිසක් සම්මත දෙයක් නෙමෙයි. සමහර විට මා නොදැන වෙනත් අය මෙවැන්නක් කර තිබිය හැකියි.

α=0  වූ විට,

Y = F(K,L) = AKαL1-α = AK0L1-0 = AL

α=1  වූ විට,

Y = F(K,L) = AKαL1-α = AK1L1-1 = AK

α=0  වූ විට, Y = AL නිසා නිෂ්පාදනය සෘජුවම ඒ සඳහා යොදන ශ්‍රමයට සමානුපාතිකයි. ප්‍රාග්ධනය වෙනස්වීම මත අතිරික්තය වෙනස් වන්නේ නැහැ. යොදවන ශ්‍රමය හා අතිරික්තය අතර අනුපාතය තීරණය වන්නේ A අගය මතයි. නිෂ්පාදන කාර්යය තුළ ශ්‍රමයේ ආන්තික (marginal) ඵලදායීතාවය A නිසා ධනවාදී ක්‍රමයට ශ්‍රමය වෙනුවෙන් ලැබිය යුතු ප්‍රතිලාභය A වලට සමානයි. මාක්ස්වාදය අනුවද එය එසේමයි. 

මේ වගේ තත්ත්වයක් යටතේදී ශ්‍රමය නොයොදවා නිෂ්පාදන අතිරික්තයෙන් කොටසක් ලබාගත හැකි වන්නේ එක්කෝ ශ්‍රමය යොදවන අයෙකුගේ අනුකම්පාව මත. එසේ නැත්නම් හොරකම් කිරීමෙන් හෝ පැහැර ගැනීමෙන් වගේ ක්‍රමයකින්. නිෂ්පාදන මාතය තුළ ප්‍රාග්ධනයට කිසිදු වැදගත්කමක් නැති නිසා කවර හෝ බාහිර සාධකයක් මත A ඉහළ ගිය අවස්ථාවක ප්‍රාග්ධනය එක්රැස් කර ගැනීමේ අර්ථයක් නැහැ. ඒ වගේ වෙලාවක එක්කෝ තමන්ට පරිභෝජනය සඳහා අවශ්‍ය දේ නිපදවා ගැනීමට පමණට පමණක් ශ්‍රමය යොදවා නිකම් සිටිය යුතුයි. නැත්නම් තමන්ට පරිභෝජනය කළ නොහැකි අතිරික්තය වෙනත් අය සමඟ බෙදා ගත යුතුයි. වෙනත් අයෙකුගෙන් හොරකම් කිරීමක් හෝ පැහැර ගැනීමක් කළත් එසේ කරන්න අවශ්‍ය වෙන්නේ ක්ෂණිකව පරිභෝජනය කර අවසන් කළ හැකි මට්ටම දක්වා පමණයි.

හොරකම් කිරීම හා පැහැර ගැනීම අපි පැත්තකින් තියමු. පවුල් ඒකක තුළ හෝ වඩා විශාල කණ්ඩායම් ලෙස ජීවත් වන මිනිහෙක් හෝ වෙනත් සතෙක් පරිභෝජනය කර අවසන් කළ නොහැකි අතිරික්තය බෙදා ගන්නේ තමන්ගේ පවුල් ඒකකයේ හෝ කණ්ඩායමේ වෙනත් අය සමඟයි. මේ වගේ තත්ත්වයක් යටතේ පිරිමි සතෙකුට ගැහැණු සතුන් ආකර්ෂණය කර ගැනීම පහසු වෙනවා. වැඩියෙන් පැටවු හැදීම පහසු වෙනවා. ඒ පැටවු ලොකු වෙද්දී සාමාජික ඒකකය තුළ L වැඩි වන නිසා Y ද වැඩි වෙනවා. එහෙත්, Y/L අනුපාතය වෙනස් වන්නේ නැහැ. එය තීරණය වන්නේ A අගය මත.

අනෙක් අතට අහිතකර බාහිර සාධක නිසා A ඉහළ ගිය අවස්ථාවක වෙන්නේ කුමක්ද? ජීවිතය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය අවම පරිභෝජන මට්ටම හෝ නොලැබේනම් අතිරික්තය වෙනත් අය සමඟ බෙදාගන්න අමාරුයි. ජීවිතය පවත්වා ගැනීම සඳහා වැඩි වෙලාවක් ශ්‍රමය යොදවන්න වෙනවා. පිරිමි සතෙකුට ගැහැණු සතුන් ආකර්ෂණය කර ගැනීම අසීරුයි. ඉන්න පැටවුනුත් වැඩි දෙනෙක් ආහාර හා ආරක්ෂාව නැතිව මිය යනවා. L අඩු වී Y අඩු වෙනවා. එහෙත්, Y/L අනුපාතය වෙනස් වන්නේ නැහැ. එය තීරණය වන්නේ A අගය මත.

මේ වගේ තත්ත්වයකදී බාහිර සාධක මත A වෙනස් වෙද්දී L ද පසුව වෙනස් වී ඊට සමානුපාතිකව Y වෙනස් වන නමුත් දිගුකාලීනව Y/L වෙනස් වන්නේ නැහැ. වෙනත් විදිහකින් කිවුවොත් බාහිර සාධක වාසිදායක අතට හැරෙද්දී ගහණයක් වර්ධනය වෙනවා. එම සාධක අවාසිදායක අතට හැරෙද්දී ගහණය කුඩා වෙනවා. ගහණයේ එක් සාමාජිකයෙකුගේ පරිභෝජන මට්ටම තාවකාලිකව අඩු වැඩි වුවත් දිගුකාලීනව තත්ත්වයේ වෙනසක් වෙන්නේ නැහැ. A වැඩි වූ වහාම පරිභෝජනය වැඩි වන නමුත් එහි ප්‍රතිඵලයක් ලෙස ගහණය විශාල වෙද්දී අතිරික්තය වැඩි දෙනෙකු අතර බෙදී යන නිසා නැවත හිටපු තැනටම වැටෙනවා.

නිෂ්පාදනය මාතය මේ වගේ එකක්නම් මිනිස්සු හා වෙනත් සත්තු අතර කිසිම වෙනසක් නැහැ. ස්වභාවික පරිසරයක සිටින සත්තුන්ගේ "සමාජ රටාව" හරියටම මේ වගේ. 

මේ අන්තයේ සිටි මිනිස්සු අනෙක් සත්තුන්ගෙන් ටිකෙන් ටික වෙනස් වෙන්න පටන් ගන්නේ ප්‍රාග්ධනය එකතු කර ගන්නට පුරුදු වීමත් සමඟයි. මිනිස් වර්ගයා විසින් ලබා ගෙන තිබෙන හැම ජයග්‍රහණයක් පසුපසම තියෙන්නේ ප්‍රාග්ධනය එක්රැස් කර ගැනීමේ වාසිය. ඉතිහාසය පුරාම මිනිස්සු ප්‍රාග්ධනය එකතු කර ගෙන තිබෙන්නේ පෞද්ගලිකව මිස සාමූහිකව නෙමෙයි. පෞද්ගලික ප්‍රාග්ධනය ප්‍රාග්ධන හිමියාගේ කැමැත්ත පරිදි සාමූහිකව ආයෝජනය කිරීම හෝ ස්වේච්ඡාවෙන් අයිතිය අත හැර සාමූහික පරිභෝජනය වෙනුවෙන් යෙදවීම වෙනම දෙයක්. මාක්ස්වාදය හැර ලෝකයේ අනෙකුත් සෑම ආගමක්ම පෞද්ගලික ප්‍රාග්ධනයේ අයිතිය වෙනුවෙන් පෙනී සිට තිබෙනවා. 

ස්වභාව ධර්මයේ සමතුලිතතාවය තව දුරටත් එලෙසම භාර නොගනිමින් ප්‍රාග්ධනය ආයෝජනය කිරීම හරහා A වැඩි කරගැනීමට මිනිස්සු සමත් වෙනවා. A වැඩි වෙද්දී නිෂ්පාදන මාතයේ α අගයද හෙමින් හෙමින් වැඩි වෙන්න පටන් ගන්නවා.

මේ ක්‍රියාදාමයේ අනෙක් අන්තය මොන වගේ එකක්ද? 

α=1  වූ විට, Y = AK නිසා නිෂ්පාදනය සෘජුවම ඒ සඳහා යොදන ප්‍රාග්ධනයට සමානුපාතිකයි. කිසිම ශ්‍රමයක් යෙදවිය යුතු නැහැ. ධනවාදී අදහස අනුව ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබිය යුතු ආන්තික ප්‍රතිලාභ A වලට සමානයි. ශ්‍රමය යෙදවීමක් නැති නිසා ශ්‍රමය වෙනුවෙන් ලැබිය යුතු ප්‍රතිලාභයක්ද නැහැ. මාක්ස්වාදය අනුව ශ්‍රමය යොදවන අය අතර ප්‍රතිලාභ බෙදී යා යුතු වුවත් දැන් ශ්‍රමය යොදවන කෙනෙක් නැහැ. ඒ නිසා මාක්ස්වාදයේ තර්කය තව දුරටත් වලංගු නැහැ. මෙහි තිබෙන්නේ ශ්‍රමයේ අනදාලත්වය පිළිබඳ ගැටලුවක් මිසක් ශ්‍රමය සූරාකෑම පිළිබඳ ගැටලුවක් නොවන නිසා ප්‍රාග්ධනය අහිමි, ශ්‍රමය පමණක් හිමි අයෙකුට කිසිදු හෙට්ටු කිරීමේ බලයක් නැහැ. ඔවුන්ට ලැබෙන කවර හෝ දෙයක් තීරණය වන්නේ තනිකරම ප්‍රාග්ධනය හිමි අයගේ අනුකම්පාව මතයි. 

මේ වගේ තත්ත්වයක් සමාන කළ හැක්කේ (බටහිර රටක) ගෙවල් වල හදන සත්තුන්ගේ තත්ත්වයටයි. ගෙදරක හදන බල්ලෙක්ට පූසෙක්ට ස්වභාවික පරිසරයක ජීවත් වන සතෙකුට තිබෙන ප්‍රශ්න නැහැ. පරිභෝජනය සඳහා ශ්‍රමය යෙදවිය යුතු නැහැ. මහන්සියක් නැතුවම කෑම, බීම, වෛද්‍ය ප්‍රතිකාර ලැබෙනවා. එහෙත් ඒ සියල්ල ලැබෙන්නේ ස්වාමියාගේ අනුකම්පාව මතයි. අවසාන වශයෙන් මේ වගේ ගෙදර හදන සතෙකුගේ විනෝදය කියන්නේ කුමක්ද කියා තීරණය කරන්නේත් ස්වාමියා විසින්.

මේ දෙකම ආන්තීය (extreme) තත්ත්ව. α අගය දැනට තිබෙන්නේ ඔය අන්ත දෙකෙන් එකකටවත් ආසන්නව නෙමෙයි. එහෙත්, α අගය හෙමින් හෙමින් වැඩි වෙනවා. ඒ එක්කම සූරාකෑම (exploitation) කියන අදහසේ වලංගු භාවය ක්‍රමයෙන් අඩු වෙමින් අනදාලත්වය (irrelevance) පිළිබඳ ප්‍රශ්නය ක්‍රමක්‍රමයෙන් ප්‍රමුඛ ප්‍රශ්නයක් බවට පත් වෙමින් තිබෙනවා.

Friday, February 12, 2021

දැය දියුණට පැද යන නැවියා


කලින් ලිපියක මම සංවර්ධන ආර්ථික විද්‍යාවේදී යොදා ගන්නා සොලෝ ආකෘතිය පිළිබඳව විස්තර කළා. වෙනත් ඕනෑම ආකෘතියකින් කරනවා වගේම මේ ආකෘතියෙන් කරන්නෙත් අපට විශ්ලේෂණය කරන්න අවශ්‍ය කරුණට අවධානය යොමු කිරීම පහසු කරමින් අවශේෂ දේවල් අයින් කරලා සරල ආකෘතියක් ඇසුරෙන් පවතින හෝ පැවතිය හැකි තත්ත්වය විග්‍රහ කරන එක. ඒ කියන්නේ ආකෘතිය ඇතුළේදී අවශේෂ කරුණු නොවෙනස්ව තිබෙන සේ සලකමින් හදාරන්න අවශ්‍ය ප්‍රධාන කරුණ හැදෑරීම.

සොලෝ ආකෘතිය රටක ආර්ථික වර්ධනයට ප්‍රාග්ධනය බලපාන්නේ කොහොමද කියන එක පැහැදිලි කරන්න උපයෝගී කර ගන්න පුළුවන්. මේ ආකෘතිය තවත් දේවල් පැහැදිලි කරන්නත් යොදා ගත හැකියි. එහෙත්, මම ප්‍රධාන වශයෙන්ම මෙය යොදා ගන්නේ ඉහත කරුණ පැහැදිලි කරන්න. මේ ආකෘතිය ඉදිරිපත් කිරීමේදී මම කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය යොදා ගත්තා. එය පැහැදිලි කිරීමේ පහසුවට කළ දෙයක්. කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය යොදා නොගෙන වුවත් සොලෝ ආකෘතිය ඉදිරිපත් කරන්න පුළුවන්. 

කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය යොදා ගන්නේ ශ්‍රමය, ප්‍රාග්ධනය හා නිෂ්පාදිතය අතර සම්බන්ධය පැහැදිලි කරන්න. නිෂ්පාදනදී බිහිවන අතිරික්තය ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර බෙදී යා යුතු සාධාරණ ක්‍රමය කුමක්ද කියන එක පිළිබඳ ධනවාදී අදහස ගැනත් මෙම මේ ශ්‍රිතය ආශ්‍රයෙන් පැහැදිලි කළා. එහෙත්, ඒ පැහැදිලි කිරීම කරන්නත් කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය අවශ්‍ය වන්නේ නැහැ. එය යොදා ගත්තේ පැහැදිලි කිරීමේ පහසුවට. කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය යොදා ගෙන නිෂ්පාදනදී බිහිවන අතිරික්තය ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර බෙදී යා යුතු සාධාරණ ක්‍රමය කුමක්ද කියන එක පිළිබඳ සමාජවාදී අදහස වුවත් විස්තර කළ හැකියි. 

අතිරික්තය සාධාරණව බෙදිය යුතු ආකාරය පිළිබඳ ධනවාදී අදහස අනුව ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ශ්‍රමය ලබා දෙන අයටත් ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය ප්‍රාග්ධනය ලබා දෙන අයටත් හිමි විය යුතුයි. තරඟකාරී වෙළඳපොළක් ඇති විට කිසිවෙකුගේ මැදිහත්වීමක් නැතිවම ඒ බෙදීම නිවැරදිව සිදු වෙනවා. කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය යොදා ගනිමින් මම ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය හා ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය වෙනුවෙන් වෙන් විය යුතු කොටස් ගණනය කර පෙන්වූවා. 

ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය = ∂Y/∂L = (1-α)Y/L

ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය = ∂Y/∂K = αY/K  

මාක්ස්වාදී අදහස වන්නේ අතිරික්තයෙන් කොටසක් ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ ලෙස වෙන් කිරීම අසාධාරණ බවයි. ඒ අදහස අනුව අතිරික්තය මුළුමනින්ම ලැබෙන්නේ ශ්‍රමය ලබා දෙන අයටයි. මේ අනුව සමාජවාදී බෙදීමකදී ශ්‍රමිකයෙකුට Y/L කොටසක් හිමි වෙනවා. α<1 නිසා (1-α)Y/L < Y/L බව පැහැදිලියිනේ. මේ අනුව, සමාජවාදී රටක ශ්‍රමිකයෙකුට ධනවාදී රටක ශ්‍රමිකයෙකුට ලැබෙනවාට වඩා ප්‍රතිලාභ හිමි විය යුතුයි. එහෙමනම් එය එසේ නොවන්නේ ඇයි? 

රටේ සමස්ත නිෂ්පාදිතය එකම මට්ටමේ තිබේනම් සමාජවාදී බෙදීමකදී ශ්‍රමිකයෙකුට වැඩි ප්‍රතිලාභ ලැබෙනවා. α = 1/3 ලෙස සැලකුවොත්, සමාජවාදී රටක ශ්‍රමිකයෙකුට එක් ශ්‍රම ඒකකයක් වෙනුවෙන් Y/L ප්‍රතිලාභයක් ලැබෙන විට ධනවාදී රටක ශ්‍රමිකයෙකුට එක් ශ්‍රම ඒකකයක් වෙනුවෙන් ලැබෙන්නේ ඊට වඩා 33%ක් පමණ අඩුවෙන්. හැබැයි මේ කතාව හරියන්නේ රටවල් දෙකේම නිෂ්පාදිතය, එනම් Y අගය, සමාන මට්ටමක තිබුනොත් පමණයි. ධනවාදී ක්‍රමය යටතේ මොනයම් හෝ ආකාරයකින් Y අගය 50%කින් වැඩි වුනොත් ධනවාදී රටේ ශ්‍රමිකයාට සමාජවාදී රටේ ශ්‍රමිකයාට ලැබෙන ප්‍රතිලාභයම ලැබෙනවා.

ධනවාදී රට: w = (1 - 1/3)*1.5Y/L = Y/L

සමාජවාදී රට: w = Y/L

මේ තත්ත්වය යටතේදී ධනවාදී රටේ නිෂ්පාදිතයෙන් තුනෙන් එකක් ප්‍රාග්ධනය ලබා දෙන අය වෙනුවෙන් වෙන් කළාට පසුවත් ශ්‍රමිකයාට ලැබෙන කොටස සමාජවාදී රටක ශ්‍රමිකයෙකුට ලැබෙන කොටසට සමානයි. යම් ආකාරයකින් ධනවාදී රටේ නිෂ්පාදිතය 50%කට වඩා වැඩිනම් ධනවාදී රටේ ශ්‍රමිකයාට සමාජවාදී රටක ශ්‍රමිකයෙකුට ලැබෙනවාට වඩා වැඩි ප්‍රතිලාභ ලැබෙනවා. 

අපි මේ 50% කියන එක හදාගත්තේ  α = 1/3 ලෙස සලකලානේ. සාධාරණ ප්‍රකාශනයක් ලෙස මෙය ඉදිරිපත් කළොත් ධනවාදී රටේ නිෂ්පාදිතය සමාජවාදී රටේ නිෂ්පාදිතයට වඩා අඩුම වශයෙන් 1/(1-α) ගුණයක් වුනොත් අපට මේ තත්ත්වය නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා. 

දැන් අපි නැවතත් සොලෝ ආකෘතියට යමු. සොලෝ ආකෘතිය අනුව ස්ථායී තත්ත්වයකදී යම් රටක එක් ශ්‍රමිකයෙකු විසින් සිදු කරන නිෂ්පාදිතය (y* අගය) තීරණය වන්නේ A, α, δ, s යන සාධක මතයි. මේ විචල්‍යයන් අතර සම්බන්ධතාවය පහත ආකාරයේ එකක්.

y* = Y*/L = (A)1/1-α(s/δ)α/1-α 

ධනවාදී රටක ශ්‍රමිකයෙකුට ශ්‍රමය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ සමාජවාදී රටක ශ්‍රමිකයෙකුට ශ්‍රමය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ වලට වඩා වැඩි වෙන්නනම් ධනවාදී රටේ y* අගය සමාජවාදී රටේ එම අගය මෙන් අඩුම වශයෙන් 1/(1-α) ගුණයක් විය යුතුයි. මෙහි α අගය ධනවාදී රටේ α අගයයි. සමාජවාදී රටේ α අගය මේ සංසන්දනය සඳහා වැදගත් නැහැ. ඇමරිකාවේ මේ අගය කාලයක් තිබුණේ 0.33 මට්ටමේ. දැන් 0.38 මට්ටමට කිට්ටුයි. α වැඩි කර ගැනීම සාර්ථක ක්‍රමයක් වුවත් එයින් අතුරු ප්‍රශ්නද ඇති වෙනවා. විරැකියාව ඉහළ යාම එවැනි එක ප්‍රශ්නයක්. 

මෙය කළ හැක්කේ A, α, δ, s යන සාධක වලින් එකක් වෙනස් කිරීම මගිනුයි. α හෝ A වැඩි කරනවා කියා කියන්නේ නිෂ්පාදන තාක්ෂනය වඩා කාර්යක්ෂම ලෙස වෙනස් කරනවා කියන එක. δ අඩු කිරීම කියන්නේ ප්‍රාග්ධනය ක්ෂය වීම අඩු කර ගැනීම. s වැඩි කිරීම කියා කියන්නේ ඉතිරි කිරීමේ අනුපාතය වැඩි කිරීම.

ඕනෑම ආකාරයක ප්‍රාග්ධන ආයෝජනයක් ක්ෂය වෙනවා කියන එක සාමාන්‍ය කරුණක්. අවුරුදු තුන හතරක් යද්දී පරිගණයකින් තව දුරටත් වැඩක් නැහැ. පාලමක් හෝ අධිවේගී මාර්ගයක් වසර තිහක් හතලිහක් ප්‍රයෝජනයට ගන්න පුළුවන් විය හැකි වුවත් ඒ අතරවාරයේ නඩත්තු කිරීම් කළ යුතුයි. ගොඩනැගිල්ලක්, වාහනයක් හෝ යන්ත්‍ර සූත්‍ර ගත්තත් ඒවාට ජීවිත කාලයක් තිබෙනවා. ඒ නිසා, මේ δ අගය අඩු කළ හැකි සීමාවක් තිබෙනවා. ඒ වගේම, තාක්ෂනය අලුත් කිරීම කියන ක්‍රියාවලිය ඇතුළේම පවතින ප්‍රාග්ධනය යම් තරමකින් විනාශ කිරීමක්ද අවශ්‍ය වෙනවා. 

ක්ෂය වීමේ අනුපාතය වැඩි වෙන්න වෙනත් හේතුද බලපානවා. යුද්ධ වගේම නාස්තිය හා දූෂණය හේතුවෙනුත් ප්‍රාග්ධනය ක්ෂය වෙනවා. ඒ වගේ හේතු මත ක්ෂය වන ප්‍රාග්ධනය ඉතුරු කරගෙන δ අගය යම් තරමකින් අඩු කරගන්න පුළුවන්. එසේ කිරීමෙන් ආර්ථිකය යම් තරමකින් ඉදිරියට තල්ලු කරන්න පුළුවන්. හැබැයි මෙය කළ හැකි සීමාවක් තිබෙනවා. දිගින් දිගටම කරන්න බැහැ. උතුරේ යුද්ධය අවසන් වී වසර කිහිපයක් යන තුරු ලංකාවේ ආර්ථිකය වේගයෙන් වර්ධනය වුනේ  δ අගය අඩු වූ නිසා. ඇමරිකාවේ δ අගය 0.05 පමණ වෙනවා.

ඉතිරි කිරීමේ අනුපාතය වැඩි කර ගැනීමෙන්ද ආර්ථිකය ප්‍රසාරණය කර ගන්න පුළුවන්. චීනය, දකුණු කොරියාව, සිංගප්පූරුව වගේ රටවල් කාලයක් වේගයෙන් වර්ධනය වුනේ s විශාල ලෙස වැඩි කරගත් නිසා. දැනටත් එම රටවල වගේම ලංකාවේද ඉතිරි කිරීමේ අනුපාතය ඇමරිකාවේ එම අනුපාතයට වඩා වැඩියි. කෝවිඩ් නිසා ඇමරිකාවේ s විශාල ලෙස ඉහළ ගොස් තිබුණත් එය තාවකාලික තත්ත්වයක් පමණයි. නමුත්, s වැඩි කර ගැනීම හරහා ආර්ථිකය ප්‍රසාරණය කළ හැක්කේද යම් සීමාවක් දක්වා පමණයි. 

අවුලක් නැතුව ආර්ථිකයක් වේගයෙන් දිගින් දිගටම වර්ධනය කර ගත හැකි පහසුම ක්‍රමය A වැඩි කර ගැනීමයි. එයට සීමාවක් නැහැ. අද හොඳ මට්ටමක තිබෙන රටවල් ඒ තැන් වල තිබෙන්නේ එම රටවල A අගය ගොඩක් වැඩි නිසයි. රටක් දියුණුව කරා පැදවිය හැකි මාර්ගය වැටී තිබෙන්නේ A අගය වැඩි කර ගැනීම හරහා.

Thursday, February 4, 2021

රටවල් දියුණු වෙන්නේ කොහොමද?


අද ලංකාවේ හැත්තෑ තුන් වන නිදහස් දිනය. ඔය නිදහස් දිනය දවසේ සාමාන්‍යයෙන් කියන කතා කිහිපයක් තියෙනවා. නිදහසින් පස්සේ ලංකාව එන්න එන්නම පස්සට ගිහින් කියන එක මේ කතා වලින් එකක්. එහෙම වෙන්න හේතු විදිහට ඉදිරිපත් කෙරෙන ජනප්‍රිය කතා තිබෙනවා. මේ කතා බොහොමයක් ඇත්ත නොවන බව මේ වියුණුව හරහා වරින් වර පෙන්වා දී තිබෙනවා. එසේ වුවත්, පසුගිය වසර හැත්තෑ තුන තුළ ලෝකයේ වෙනත් බොහෝ රටවල් ලංකාවට වඩා වේගයෙන් දියුණු වී තිබෙන බවනම් බොරුවක් නෙමෙයි.

සමහර රටවල් වෙනත් රටවල් වලට වඩා වේගයෙන් දියුණු වෙන්නේ ඇයි? රටවල් අතර ඒක පුද්ගල ආදායමේ වෙනස්කම් දිගින් දිගටම පවතින්නේ ඇයි? මේ වෙනස්කම් අඩු කර ගත හැක්කේ කොහොමද? මේ වගේ දේවල් ගැන අධ්‍යයනය කරන ආර්ථික විද්‍යාවේ අනු ක්ෂේත්‍රය සංවර්ධන ආර්ථික විද්‍යාව ලෙස හැඳින්වෙනවා. 

රොබර්ට් සොලෝ විසින් ඉදිරිපත් කළ සොලෝ ආකෘතිය සංවර්ධන ආර්ථික විද්‍යාවේ භාවිතා කරන ප්‍රචලිත ආකෘතියක්. මෙය ඉදිරිපත් කිරීම ඇතුළුව ඔහු විසින්  සංවර්ධන ආර්ථික විද්‍යාවට සිදු කළ සේවය වෙනුවෙන් රොබර්ට් සොලෝට 1987 වසරේදී ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය හිමි වුනා.

සොලෝ ආකෘතිය හැකි තරම් සරලව පැහැදිලි කිරීම සඳහා අපි කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතයෙන් පටන් ගනිමු. පෙර ලිපි වල මේ ශ්‍රිතය පිළිබඳව විස්තර කරලා තියෙනවනේ.

ඇත්තටම මෙය පැහැදිලි කරන්න කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය වැනි නිශ්චිත ශ්‍රිතයක් අවශ්‍ය වන්නේ නැහැ. එය යොදා ගන්නේත්, කලින් ලිපි වල ඒ ගැන පැහැදිලි කළේත්, මෙවැනි නිශ්චිත ශ්‍රිතයක් යොදා නොගෙන වඩා වියුක්ත ලෙස විස්තර කළොත් බොහෝ දෙනෙකුට තේරුම් ගන්න අසීරු නිසයි. මේ පැහැදිලි කිරීම වුනත්, කියවන ගොඩක් අයට වියුක්ත වැඩි බවයි පෙනෙන්නේ.

Y = F(K,L) = AKαL1-α 

Y - නිෂ්පාදිතය 

K - ප්‍රාග්ධනය 

L -  ශ්‍රමය 

මේ නිෂ්පාදිතයට වෙන්නේ කුමක්ද?

Y = C + S

C - පරිභෝජනය 

S - ඉතිරි කිරීම් 

අපි හිතමු රටේ සමස්ත ආදායමෙන් ඉතිරි කරන අනුපාතය s කියලා. 

ඒ කියන්නේ, 

S = sY = sF(K,L).

දැන් අපි එක් ශ්‍රමිකයෙකු සඳහා පහත අනුපාත අර්ථදක්වමු.

K/L = k

Y/L = y = F(K,L)/ L = AKαL-α = A(K/L)α = Akα

S/L = sY/L = sy = sAkα

ප්‍රාග්ධනය ක්ෂය වන අනුපාතය δ ලෙස සලකමු. ඒ කියන්නේ δ = 0.05නම් සෑම වසරකදීම තිබෙන ප්‍රාග්ධන සංචිතයෙන් 5%ක් ක්ෂය වෙනවා. හැබැයි ඒ එක්කම ඉතිරි කිරීම් ප්‍රාග්ධන සංචිතයට එකතු වෙනවා. 

එහෙමනම්, එක් ශ්‍රම ඒකකයකට ප්‍රාග්ධන ඒකක ගණන කාලයත් සමඟ වෙනස් වෙන්නේ කොහොමද?

∆k = sAkα − δk 

ඉහත ගතික සමීකරණයේ ∆k කියන්නේ යම් කාලයක් තුළ ප්‍රාග්ධනය හා ශ්‍රමය අතර අනුපාතයේ වෙනස්වීම. එසේ නැත්නම් කාලය විෂයයෙහි අවකල සංගුණකය (dk/dt). මෙහි 0<α<1 නිසා, k වැඩි වෙද්දී sAkα වැඩි වන නමුත් එසේ වැඩි වන වේගය එන්න එන්නම අඩු වෙනවා. එසේ අඩු වෙමින් ගොස් sAkα = δk වූ පසු k තව දුරටත් වැඩි වෙන්නේ නැහැ.

ඒ කියන්නේ ප්‍රාග්ධනය හා ශ්‍රමය අතර අනුපාතය වෙනස් නොවන ස්ථායී සමතුලිතතාවයකට එනවා. මේ අනුපාතය කුමක්ද? 

ස්ථායී තත්ත්වයේදී ∆k = 0 නිසා,

sAkα = δk

sA = δk1-α

k1-α = As/δ

k* = (As/δ)1/1-α 

මෙයට අනුරූප y අගය:

y* = A(k*)α = (A)1/1-α(s/δ)α/1-α 

මෙම y* අගය ස්ථායී සමතුලිතාවයකදී කිසියම් රටක එක් ශ්‍රමිකයෙකුගේ මධ්‍යන්‍ය ආදායමයි.

සොලෝ ආකෘතියෙන් පෙන්වා දෙන වැදගත්ම කාරණයක් වන්නේ දීර්ඝකාලීනව රටක ඒක පුද්ගල ආදායම තීරණය වන්නේ ප්‍රාග්ධන සංචිත ප්‍රමාණය අනුව නොවන බවයි. ඉහත y* අගය A, α, δ, s යන සාධක මත මිස k අගය මත වෙනස් වන්නේ නැහැ. මේ අනුව,  A, α, δ, s යන සාධක වෙනස් නැත්නම් ආරම්භක ප්‍රාග්ධන සංචිත ප්‍රමාණ කොයි තරම් අසමාන වුවත්, ස්ථායී සමතුලිතාවයකට පැමිණෙද්දී රටවල් අතර ආදායම් මට්ටම් වල විෂමතා නැති වී යා යුතුයි. 

වෙනස් විදිහකට කිවුවොත් රටවල් අතර ආදායම් විෂමතා වලට හේතුව A, α, δ, s යන සාධක මිස ප්‍රාග්ධනයේ අඩු වැඩිකම් නෙමෙයි.

මේ පරාමිතීන් හතරෙන් α, δ, s යන තුනටම සෛද්ධාන්තික සීමාවන් තිබෙනවා. මේ අගයයන් හැම විටම 0 හා 1 අතර තිබිය යුතුයි. α =1 කියන්නේ නිෂ්පාදනය සඳහා ශ්‍රමයේ කිසිම දායකත්වයක් නැහැ කියන එකයි. හැම දෙයක්ම ස්වයංක්‍රීය ලෙස සිදු වෙනවා. δ = 0 කියන්නේ කොයි තරම් කල් ගියත් ප්‍රාග්ධනය ක්ෂය වෙන්නේ නැහැ කියන එකයි. s = 1 කියා කියන්නේ මිනිස්සු කිසිම දෙයක් පරිභෝජනය නොකර රටේ ආදායම මුළුමනින්ම ඉතුරු කරනවා කියන එකයි. මේ තුනෙන් එකක්වත් වෙන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ නිසා, මේ විචල්‍යයන් වෙනස් වීම හරහා රටක ඒක පුද්ගල ආදායම වැඩි වෙන්න පුළුවන් යම් සීමාවක් දක්වා පමණයි. 

මෙවැනි සීමාවක් නැත්තේ A වලට පමණයි. A කියන්නේ ඵලදායීතාවය. ලෝකයේ දියුණුම රටවල් දිගින් දිගටම තව තවත් දියුණු වෙන්නේ දිගින් දිගටම ඵලදායීතාවය වැඩි කර ගැනීම මගින්.

Tuesday, January 26, 2021

ශ්‍රමය, ප්‍රාග්ධනය හා ආර්ථික වර්ධනය


ආර්ථික සංවර්ධනය අතින් ලෝකයේ වෙනත් රටවල් එකින් එක ලංකාව පහු කරගෙන ඉදිරියට යාම ගැන, මේ කතාව අර්ධ සත්‍යයක් වුවත්, ලංකාවේ ජීවත්වන හෝ ශ්‍රී ලාංකික සම්භවයක් තිබෙන ලංකාවෙන් පිට ජීවත් වන ගොඩක් අයට ලොකු කණස්සල්ලක් තිබෙනවා. කෙළින්ම නොකිවුවත්, මේ කවුරු වුනත් කතා කරන්නේ මේ වන විට සංවර්ධිත රටවල් ලෙස හඳුන්වන බටහිර රටවල් හා තවත් ඇතැම් රටවල් විසින් අත් කරගෙන තිබෙන ආකාරයේ සංවර්ධනයක් ගැනයි. බටහිර සංවර්ධනය කියන යෙදුම එක්ක කාට හෝ ප්‍රශ්න තිබෙනවානම් රටේ වැඩි කෙනෙකුට හිතේ හැටියට කාලා ඇඳලා හොඳ ගෙයක සතුටින් ජීවත් වෙන්න ලැබෙන ආකාරයේ සංවර්ධනයක් කියා අපි කියමු. 

ලංකාවේ කිසියම් ජන පදනමක් තිබෙන දේශපාලන පක්ෂ වලින් පටන් ගත්තොත්, එජාප හා දැන් එජාපයෙන් කැඩී ගොස් සිටින සජබෙ කොහොමටත් පෙනී සිටියේ ඔය ආකාරයේ සංවර්ධනයක් වෙනුවෙන්. රාජපක්ෂ කඳවුර හා හිතවතුන් ගත්තත් එහෙමයි. නලින් ද සිල්වා වගේ කෙනෙක් ගත්තත් තමන් බර කරත්තෙන් අනුරාධපුර යුගයට යන්න යෝජනා නොකරන බව පැහැදිලිව කියනවා. පොදුවේ ගත්තහම සමාජවාදීන්ගේ අවසන් ඉලක්කයත් ඕකම තමයි. මේ එක් එක් කණ්ඩායම වෙනස් වෙන්නේ ඔවුන්ගේ උපක්‍රම වලින් මිසක් අවසන් ඉලක්කය අනුව නෙමෙයි. වෙනස් වචන යොදාගත්තත්, කවුරු වුනත් කතා කරන්නේ වේගවත් සංවර්ධනයක් අත් පත් කර ගැනීම ගැනයි.

මේ සංවර්ධන කතිකාවේදී ප්‍රාග්ධනය ගැන බොහෝ විට කතා වෙනවා. වේගවත් සංවර්ධනයක් අත් පත් කර ගැනීමේදී ප්‍රාග්ධනයේ භූමිකාව පිළිබඳව ඉහත කී කණ්ඩායම් අතර ලොකු එකඟතාවයක් නැතත්, කවුරුත් වගේ ප්‍රාග්ධනයේ භූමිකාව ඉතාම වැදගත් සේ සලකනවා. ඒ වගේම, ලංකාවට ඉදිරියට යන්න තිබෙන ලොකුම බාධාව ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් නැති බව කියලා සෑහෙන තරමේ එකඟත්වයක් තිබෙනවා. එකඟත්වයක් නැත්තේ අවශ්‍ය ප්‍රාග්ධනය සම්පාදනය කර ගත යුත්තේ කොයි ආකාරයෙන්ද කියන එක ගැනයි.

රටක ආර්ථික වර්ධනය හා ප්‍රාග්ධනය අතර තියෙන්නේ මොන වගේ සම්බන්ධයක්ද? 

මේ ගැන මම පෙර කතා කර තිබුණත් බොහෝ විට එසේ කර තිබෙන්නේ විස්තරාත්මකව මිස ගණිත ආකෘති ඇසුරෙන් නෙමෙයි. දැන් මෙහි පළවන ලිපි කියවන අය අතර ගණිතය තරමක් ඉහළට ඉගෙන ගත් අය යම් ප්‍රමාණයක් ඉන්න නිසාත්, ඒ ඇතැම් අය ඉල්ලා තිබෙන නිසාත්, මේ පැහැදිලි කිරීම සඳහා අපි ගණිතමය ආකෘති යොදා ගනිමු. අපේ ඇතැම් නිත්‍ය පාඨකයින්ට මෙය බර වැඩි වෙයි. ඒ තරම් ගණන් ගන්න එපා. අවශ්‍ය නැත්නම් බර වැඩි කොටස් අත ඇරලා කියවන්න.

රටක ආර්ථිකය වර්ධනය වනවාද කියා මනින්න යොදා ගන්නා සම්මත නිර්ණායකය දළ දේශීය නිෂ්පාදිතය. දළ දේශීය නිෂ්පාදිතය මගින් මනින්නේ කිසියම් කාලයක් තුළ රටක නිපදවූ භාණ්ඩ හා සේවා ප්‍රමාණය. ඕනෑම භාණ්ඩයක් හදන්න යොදා ගන්නා නිෂ්පාදන සාධක සියල්ල අපට ශ්‍රමය හෝ ප්‍රාග්ධනය විදිහට අපට වර්ග කරන්න පුළුවන්. තක්කාලි වගේ ප්‍රාථමික කෘෂි නිෂ්පාදිතයක් නිෂ්පාදනය කරන්න අපට ඉඩමක් අවශ්‍යයි. මිනිස් ශ්‍රමය අවශ්‍යයි. උදළු වගේ කෘෂි උපකරණ අවශ්‍යයි. පොහොර, රසායන වගේ දේවල් අපි දැනට අමතක කරමු. මෙහි මිනිස් ශ්‍රමය හැර ඉඩම්, කෘෂි උපකරණ ආදිය අපට ප්‍රාග්ධනය ලෙස සලකන්න පුළුවන්.

ශ්‍රමය හා ප්‍රාග්ධනය නිෂ්පාදන සාධක ලෙස හඳුන්වන්නේ නිෂ්පාදනය සිදු කර අවසන් වීමෙන් පසුවත් තව දුරටත් මේ දේවල් ඉතිරි වන නිසයි. තක්කාලි හිටවා අස්වැන්න ලැබුණාට පසුව ඉඩම වගේම කෘෂි උපකරණත් තව දුරටත් ඉතිරිව තිබෙනවා. ශ්‍රමය ලබා දුන් ශ්‍රමිකයාත් තව දුරටත් ඉන්නවා. ඉඩම හා කෘෂි උපකරණ නිෂ්පාදනය සඳහා නැවත නැවතත් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ශ්‍රමිකයාගේ ශ්‍රමයත් නැවත නැවත නිෂ්පාදනය සඳහා යොදා ගන්න පුළුවන්.  

නිෂ්පාදනය සඳහා යොදා ගන්න ඇතැම් ආදාන නිෂ්පාදන කාර්යයේදී ක්ෂය වී යනවා. මේවාට අපි කියන්නේ අමුද්‍රව්‍ය කියලා. අමුද්‍රව්‍ය හා නිෂ්පාදන සාධක අතර වෙනස මෙයයි. තක්කාලි සෝස් හදන්න තක්කාලි අවශ්‍යයි. සෝස් නිෂ්පාදනය කර අවසන් වූ පසු තක්කාලි තව දුරටත් තක්කාලි ලෙස ඉතිරි වෙන්නේ නැහැ. යෝගට් හැදූ පසු කිරි තවදුරටත් කිරි ලෙස ඉතිරි වෙන්නේ නැහැ. මේ වගේ නිෂ්පාදිතයකට අපට ද්වීතියික නිෂ්පාදිතයක් කියා කියන්න පුළුවන්. 

ද්වීතියික නිෂ්පාදිතයක් හදද්දී ඒ සඳහා ශ්‍රමය හා ප්‍රාග්ධනය අවශ්‍ය වනවා වගේම වෙනත් ප්‍රාථමික නිෂ්පාදිතද අවශ්‍ය වෙනවා. ප්‍රාථමික නිෂ්පාදිතයක පිරිවැය වන්නේ ඒ සඳහා යොදාගත් ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ පිරිවැයයි. ද්වීතියික නිෂ්පාදිතයක පිරිවැයට ඒ සඳහා යොදාගත් ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ පිරිවැය වගේම අමුද්‍රව්‍ය ලෙස යොදාගත් ප්‍රාථමික නිෂ්පාදිත නිපදවීමට යොදාගත් ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ පිරිවැයද ඇතුළත්. අවසාන වශයෙන් ප්‍රාථමික වේවා, ද්වීතියක වේවා ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් හදන්න අවශ්‍ය වෙන්නේ ශ්‍රමය හා ප්‍රාග්ධනය පමණයි. අපට මේ සම්බන්ධය මේ විදිහට ලියන්න පුළුවන්.

K,L ➞ Y 

Y = F(K,L)

මෙහි Y කියන්නේ නිෂ්පාදිතය. K කියන්නේ යෙදවූ ප්‍රාග්ධනය. L කියන්නේ යෙදවූ ශ්‍රමය. මෙහිදී ශ්‍රමය යන වචනය භාවිතා වෙන්නේ ශ්‍රමිකයින් ප්‍රමාණය වැනි අදහසකින් මිසක් සිදු කළ කාර්යයය කියන අදහසින් නෙමෙයි. F(.) කියා කියන්නේ ශ්‍රමය හා ප්‍රාග්ධනය නිෂ්පාදිතය බවට පරිවර්තනය කෙරෙන නිෂ්පාදන ක්‍රියාවලියේ ස්වරූපය. උදාහරණයක් විදිහට, K = 10, L = 20 නම් Y කීයද කියා තීරණය කරන සම්බන්ධතාවයේ ස්වභාවය. එම සම්බන්ධතාවය තීරණය වන්නේ පවතින තාක්ෂනය මතයි. එවැනි කවර හෝ සම්බන්ධතාවයක් තිබෙන බව මිස එය කුමක්ද කියන එක අපි හරියටම දන්නේ නැහැ.

මේ දක්වා අපි බරපතල උපකල්පන කිසිවක් කරලා නැහැ. එහෙත්, මෙතනින් ඉදිරියට යාමේදී F(K,L) කියන සම්බන්ධතාවයේ ස්වභාවය පිළිබඳව කිසියම් ගණිතමය ආකෘතියක් යොදා ගැනීම විශ්ලේෂණය පහසු කරනවා. මේ සම්බන්ධතාවය විස්තර කිරීම සඳහා යොදා ගන්නා සරල ගණිතමය ශ්‍රිතයක් කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය ලෙස හැඳින්වෙනවා. එය මෙවැන්නක්.

Y = F(K,L) = AKαLß 

දැනට අපි මෙහි A නියතයක් ලෙස සලකමු. ඒ වගේම, α හා ß ද නියතයන්. විචල්‍යයන් වන්නේ K සහ L පමණයි. (ඔබ මෙය කියවන්නේ මුල් ලිපිය නැවත පළ කර ඇති තැනකින්නම් සමීකරණ වල දර්ශක වන α හා ß නිවැරදිව පෙන්නුම් කරනවාද කියා පරීක්ෂා කර බලන්න.)

මේ ශ්‍රිතයේ භාවිතය උදාහරණයකින් පැහැදිලි කළොත්, ඇඟලුම් කම්හලක ශ්‍රමිකයන් ගණන L ලෙසත් යෙදවූ ප්‍රාග්ධනය K ලෙසත් සැලකුවොත්, වසරකදී නිපදවිය හැකි ඇඟලුම් ප්‍රමාණය වන Y මේ සම්බන්ධතාවය අනුව හොයා ගන්න පුළුවන්. ඒ සඳහා  A, α හා ß කියන අගයයන්ද දැන සිටිය යුතුයි. දැනට අපි මේ අගයයන් මොනවාද කියන එක ගැන වද නොවී ඕනෑම අගයක් වෙන්න ඉඩ තියමු. 

දැන් අපි ඉහත කී ඇඟලුම් කම්හල වැනිම තවත් ඇඟලුම් කම්හලක් විවෘත කළොත් ප්‍රතිඵලය කුමක්ද? ඒ කියන්නේ, අලුත් කම්හලේත් පළමු කම්හලේ සිටිනවාට සමාන සේවක පිරිසක්, මැෂින් ප්‍රමාණයක් ආදී වශයෙන් කිසිම වෙනසක් නැතුව. එහෙමනම්, අලුත් කම්හලෙන්ද මුල් කම්හලේ තරමටම ඇඟලුම් ප්‍රමාණයක් වසරකදී නිපදවන්න පුළුවන් විය යුතුයි. ඒ කියන්නේ, කම්හල් දෙකම සැලකුවහම K සහ L යන දෙකම දෙගුණ වී ඇති නිසා Yද දෙගුණ විය යුතුයි.

ඉහත ශ්‍රිතයට නැවත ආවොත්, K සහ L වෙනුවට 2K සහ 2L ආදේශ කළොත් ප්‍රතිඵලය 2Y විය යුතුයි. එහෙම වෙනවද? දැන් අපට පොඩ්ඩක් ගණිතයේ දර්ශක පිළිබඳ දැනුම උපයෝගී කර ගන්න වෙනවා. පාසැලේ පහළ පන්තියක දැනුමක්නේ.

A(2K)α(2L)ß = (2)α+ßAKαLß = (2)α+ß Y 

ඉහත ප්‍රතිඵලය අනුව පෙනෙන පරිදි,  K සහ L යන දෙකම දෙගුණ වූ විට Y වල අගය (2)α+ß ගුණයකින් වැඩි වෙනවා. 

මෙම අගය හරියටම දෙගුණයක් වෙන්නේ α+ß =1 වුනොත් පමණයි. ඒ නිසා, කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය ඉහත උපකල්පනය සමඟ ගැලපෙන පරිදි α+ß =1 ලෙස සලකනවා. ඒ කියන්නේ, ශ්‍රමය හා ප්‍රාග්ධනය යන දෙකම කිසියම් නියත අනුපාතයකින් වෙනස් කළොත් නිෂ්පාදිතයද එම අනුපාතයෙන්ම ඉහළ යනවා. මේ අනුව අපට අවශ්‍යනම්, කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය පහත ආකාරයෙන් ලියන්නත් පුළුවන්.

Y = F(K,L) = AKαL1-α 

ඉහත ශ්‍රිතයේ පරාමිතියක් වන α අගය 0 හා 1 අතර ඕනෑම අගයක් විය හැකියි. සෘණ අගයක් හෝ 1ට වැඩි අගයක් විය නොහැකියි.

උදාහරණයක් විදිහට α = 0.3 කියා අපි හිතමු. K සහ L යන දෙකම දෙගුණ වුනොත් Y ද දෙගුණ වන බව අප දැනටමත් දන්නවා. එසේ නොවී K පමණක් දෙගුණ වුනොත් වෙන්නේ කුමක්ද?

Y = F(K,L) = A(2K)αL1-α  = (2)αY

α = 0.3 යන උපකල්පනය යටතේ (2)α = 1.23 නිසා, K දෙගුණ වෙද්දී, ඒ කියන්නේ 100%කින් වැඩි වෙද්දී, Y වැඩි වෙන්නේ 23%කින් පමණයි.

මේ විදිහටම අපට L පමණක් දෙගුණ වුනොත් ප්‍රතිඵලයත් හොයා ගන්න පුළුවන්.

Y = F(K,L) = AKα(2L)1-α  = (2)1-αY

α = 0.3 යන උපකල්පනය යටතේ 1- α = 0.7 යි. ඒ නිසා, (2)1-α = 1.62 වෙනවා. ඒ කියන්නේ L 100%කින් වැඩි වෙද්දී, Y වැඩි වෙන්නේ 62%කින් පමණයි.

මෙය එක් උදාහරණයක් වුවත්, මේ උදාහරණයෙන් රටක නිෂ්පාදිතය (Y) සඳහා ශ්‍රම බලකායේ (L) හා ප්‍රාග්ධන සංචිතයේ (K) බලපෑම පිළිබඳව කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතයෙන් උපකල්පනය කෙරෙන වැදගත් කරුණු කිහිපයක් පැහැදිලි කරනවා. 

1. කොපමණ සුළු ප්‍රමාණයකින් වුවත් K වැඩි කළහොත් Y වැඩි වෙනවා. එයට හේතුව α>0 වීමයි.
2. කොපමණ සුළු ප්‍රමාණයකින් වුවත් L වැඩි කළහොත් Y වැඩි වෙනවා. එයට හේතුව ß = 1-α > 0 වීමයි. එනම්, α < 1 වීමයි.
3. L සහ K දෙකම නිශ්චිත අනුපාතයකින් වැඩි කළොත් Y ද එම අනුපාතයෙන්ම වැඩි වෙනවා. එයට හේතුව α+ß =1 වීමයි.
4. L හෝ K යන දෙකෙන් එකක් නිශ්චිත අනුපාතයකින් වැඩි කළොත් Y වැනි වන නමුත් එසේ වැඩි වන්නේ ඊට වඩා අඩු අනුපාතයකින්. එයට හේතුව 0< α <1 වීමයි. ඒ වගේම වැඩි කරන ප්‍රමාණය වැඩි වෙද්දී ලැබෙන ප්‍රතිලාභ එන්න එන්නම අඩු වෙනවා. 

මේ කරුණ පැහැදිලි කර ගැනීමට අපි α = 0.5 ලෙස ගනිමු. 

- 20.5 = 1.41 නිසා K=K සිට K=2K දක්වා ප්‍රාග්ධනය වැඩි කළොත් නිෂ්පාදිතය Y = Y සිට Y = 1.41Y දක්වා වැඩි වෙනවා.  

- 30.5 = 1.73 නිසා K=2K සිට K=3K දක්වා ප්‍රාග්ධනය වැඩි කළොත් නිෂ්පාදිතය Y = 1.41Y සිට Y = 1.73Y දක්වා වැඩි වෙනවා. 

- 40.5 = 2 නිසා K=3K සිට K=4K දක්වා ප්‍රාග්ධනය වැඩි කළොත් නිෂ්පාදිතය Y = 1.73Y සිට Y = 2Y දක්වා වැඩි වෙනවා. 

පළමු අවස්ථාවේදී Y අගය 41%කින් වැඩි වූ නමුත් දෙවන අවස්ථාවේදී වැඩි වුනේ 173% - 141% = 32%කින් පමණයි. තෙවන අවස්ථාවේදී වැඩිවුණේ තවත් අඩුවෙන්. එනම්, 200% - 173% = 27%කින් පමණයි. නමුත්, අවස්ථා තුනේදීම අප යෙදවූ ප්‍රාග්ධනය සමානයි.

තවත් විදිහකින් කිවුවොත් Y දෙගුණ කරන්න K හතර ගුණයකින් වැඩි කළ යුතුයි. Y තුන් ගුණයක් කරන්න K නව ගුණයකින් වැඩි කළ යුතුයි. Y හතර ගුණයක් කරන්න K දහසය ගුණයකින් වැඩි කළ යුතුයි. ඒ කියන්නේ Y වැඩි වන තරමට ප්‍රාග්ධනය යොදවා Y තව දුරටත් වැඩි කරන එක එන්න එන්නම අමාරු වෙනවා. මේ කරුණ L වලටත් අදාළයි. 

ගණිතය ඇසුරෙන් තේරුම් ගන්න කැමති අයට ඉහත විස්තර කළ කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතයේ පාර්ශ්වීය අවකල සංගුණක ඇසුරෙන්ද මේ කරුණ පෙන්වා දෙන්න පුළුවන්.

Y = F(K,L) = AKαL1-α 

Y/K = αAKα-1L1-α αAKαL1-α /K = αY/K  

Y/L = (1-α)AKαL-α (1-α)AKαL1-α /L = (1-α)Y/L

එක් එක් නිෂ්පාදන සාධකය හා එම නිෂ්පාදන සාධක වල පාර්ශ්වීය අවකල සංගුණක අතර තියන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක් නිසා K හෝ L වැඩි කරන තරමට ලැබෙන ප්‍රතිලාභ ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. ඔහොම වැඩි වෙලා තව දුරටත් K හෝ L වැඩි කරලා Y ඉහළ දැමිය නොහැකි ස්ථායී තත්ත්වයකට එනවා. ඊට පස්සේ  K හෝ L වැඩි වුනා කියලා Y වැඩි වෙන්නේ නැහැ.

හැබැයි මතක තියා ගන්න මේ වැඩේ වෙන්නේ K හෝ L යන දෙකෙන් එකක් පමණක් වැඩි කළොත්. ඔය සාධක දෙකම එකම අනුපාතයෙන් කොයි තරම් වැඩි කළත්, Y එම අනුපාතයෙන්ම වැඩි වෙනවා. ගණිතය පැත්තකින් තිබ්බොත් මෙතැන කියැවෙන කතාව වෙන්නේ ප්‍රාග්ධනය හා ශ්‍රමය කියන සාධක දෙකටම නිසි අවධානය යොමු නොකර ඔය දෙකෙන් එකකට අනවශ්‍ය තරමේ වැඩි අවධානයක් යොමු කළ විට ආර්ථික වර්ධනය බාල වෙනවා එකයි. 

ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් නැති ශ්‍රමය වගේම ප්‍රමාණවත් ශ්‍රමයක් නැති ප්‍රාග්ධනයත් අකාර්යක්ෂමයි. ඒ නිසා, මේ දෙක අතර ප්‍රසස්ථ සමතුලනයක් හැම විටම පවත්වා ගන්න අවශ්‍යයි. රාජ්‍ය මැදිහත්වීම් නිසා බොහෝ විට වෙන්නේ මේ සමතුලනය නැති වෙන එකයි. 

ලංකාවේ නිදහස් අධ්‍යාපන හා නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්ති නිසාත් ඔය වගේ තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඊට කලින් අපි වෙනත් උදාහරණයක් ගනිමු. මැද පෙරදිග වෙලා තිබෙන්නේ මෙහි අනෙක් පැත්ත. තෙල් නිධි නිසා කෙටි කාලයක් තුළ ප්‍රාග්ධන සංචිත ඉහළ ගියත් ඒ හා ගැලපිය හැකි මට්ටමට මිනිස් සම්පත් ඉහළ ගිහින් නැහැ. ඒ නිසා, ආර්ථික වර්ධනය කාර්යක්ෂම මට්ටමක පවත්වා ගන්නනම් මිනිස් ශ්‍රමය ආනයනය කරන්න වෙනවා. 

ලංකාවේ වෙලා තියෙන්නේ මෙහි අනෙක් පැත්ත. නිදහස් අධ්‍යාපන හා නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්ති තනිව ගත්තොත් සාධනීයයි. එහෙත්, මිනිස් සම්පත් වෙනුවෙන් ආයෝජන ඉහළ දමන හැම විටකම ප්‍රාග්ධන ආයෝජන සීමා වීමක් වෙනවා. මේ වැඩේ කාලයක් තිස්සේ සිදු වන විට රටේ ශ්‍රම බලකායට සරිලන රැකියා නැතිව යනවා. මූලික ප්‍රශ්නය එලෙසම තියද්දී රජයේ රැකියා දුන්නා කියලා ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. වෙනත් ප්‍රශ්න ගණනාවක් ඇති කරනවා පමණයි. මේ වගේ තත්ත්වයක් යටතේ සංක්‍රමණය නොවැලැක්විය හැකි දෙයක්. සංක්‍රමණය වගේම විරැකියාව විසින්ද ලබාගත හැකිව තිබුණු ආර්ථික වර්ධනය සීමා කරනු ලබන නමුත් ගැටළුව පසුපස තිබෙන මූලික ප්‍රශ්නය ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර ප්‍රසස්ථ සමතුලනය නැති කර දමනු ලැබ තිබීමයි. 

රාජ්‍ය මැදිහත්වීම් නිසා හෝ වෙනත් ස්වභාවික හේතුවක් නිසා ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර සමතුලනය බිඳ වැටුණු පසුව කිසියම් ආකාරකින් එම සමතුලනය නැවත හැදෙනවා. ලංකාව ගත්තොත් රටේ ශ්‍රම බලකාය රටින් පිටතට විතැන් වීම හරහා L අඩු වී, සංක්‍රමනික ප්‍රේෂණ හරහා K වැඩි වෙනවා. ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ සංචරණයට බාධා නැත්නම් ප්‍රසස්ථ සමතුලනය මේ ක්‍රමයට හෝ ඇති වන තුරු මේ වැඩේ වෙනවා. අදට ඇති!

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...