මේ දවස් ටික ඉතාම කාර්ය බහුලයි. ලියන්නනම් ගොඩක් දේවල් තිබෙනවා. නමුත්, අනෙකුත් ප්‍රමුඛතා අවසන් කරලා බ්ලොග් එක පැත්තේ එන්න තවත් දවස් ගණනාවක් යන්න පුළුවන්. එතෙක් පරණ ලිපි කිහිපයක් ගැන නැවත මතක් කරන්නම්.
මේ වෙද්දී මේ බ්ලොග් එකේ ගොඩක් දේවල් ගැන මොනවා හරි ලියල තියෙනවනේ. පළමුවෙන්ම කපුටා ගැන ලියපු ලිපි කිහිපයකින් එකක් ගැන නැවත මතක් කිරීමක්. අර කපුටා කියලා පියාසර කරන කළු සතෙක් ඉන්නේ. අන්න ඒ සතා ගැන.
කපුටා කිවුවහම පොඩි කතාවක් මතක් වුනා. මේ කතාවත් කතාවක් ගැන කතාවක්. මගේ පුතෙක් පොඩි කාලේ දවසක් අපේ නැන්දම්මා එයාට කතාවක් කියා දෙනවා. ඒ කතාව ගැන අපි කතා නොකර ඉඳිමු. ඒ ගැනත් කතා කරන්න ගියොත් මේ කතාව කථා සරිත් සාගරයේ කතාව වගේ කදලු (nested) ආකෘතියේ කතාවක් වෙනවනේ.
ඔය නැන්දම්මා පුතාට කියා දෙන කතාවේත් කපුටෙක් ඉන්නවා. ඒ කපුටාට කෑමක් හම්බ වෙලා කෑම බෙදා ගන්න තවත් කපුටන්ට කතා කරනවා. කපුටෝ ඉතිං එහෙමනේ. සම්පත් සාමූහිකව බෙදා ගන්නවා. හැබැයි සමසමව හරි නිර්ධන පංතියේ කපුටන්ගේ ආඥාදායකත්වයකට අවශ්‍ය පිළිවෙලට හරි නෙමෙයි. ඕනෑනම් මොනවා හරි කෑමක් එළියට දමලා පොඩ්ඩක් කාක් කියලා බලන්න.
පොඩ්ඩක් පාරෙන් එළියට ගියා. හරි. ආපහු පාරට දාගත්තා. ඉතිං දැන් අර කපුටා කාක් කාක් කියලා වටේපිටේ ඉන්න අනෙක් කපුටන්ට කතා කළාට පස්සේ සිදු වුන දේ අපේ නැන්දම්මා පුතාට විස්තර කළේ මේ විදිහටයි.
"ඔන්න එතකොට වටේම ඉන්න කපුටෝ ටික හනිකට දුවගෙන දුවගෙන ආවා."
ඔහොම කියපු ගමන්ම අපේ පුතා මෙහෙම ප්‍රශ්නයක් අහනවා.
"ඉතිං ආච්චි කපුටෝ ටික පියාඹාගෙන එන්නේ නැතිව දුවගෙන ආවේ ඇයි?"
සාධාරණ ප්‍රශ්නයක්නේ. දැන් ඉතිං දීපංකෝ උත්තර.
කපුටෝ සාමාන්‍යයෙන් එන්නේ පියාඹාගෙන මිසක් දුවගෙන නොවන බව පුතා විසින් ඒ වෙද්දී බොහෝ වර නිරීක්ෂණය කරලා තිබෙනවා. ඒ නිරීක්ෂණය ඔහු සාධාරණීකරණය කරගෙන. ඔහු එවැනි සාධාරණීකරණය කිරීමක් කරලා තිබෙන්නේ තර්ක ශාස්ත්‍රය ඉගෙන ගෙන තිබුණු නිසා නෙමෙයි. ඒ වෙද්දී වයස අවුරුදු තුනයි.
දැකලා තිබෙන බොහෝ අවස්ථා වලදී කපුටෙක් ඔය වගේ වෙලාවක පියාඹාගෙන මිසක් දුවගෙන එන්නේ නැති නිසා පුතා එය සාමාන්‍ය තත්ත්වය ලෙස පිළිගන්නවා. එහෙම නොවෙන්නනම් විශේෂ හේතුවක් තිබිය යුතුයි. එවැනි විශේෂ හේතුවක් තියෙනවාද කියලයි පුතා නැන්දම්මාගෙන් ඇහුවේ. ලංකාවේ ජීවත් වූ සම වයසේ දරුවෙක් තරමටම සිංහල භාෂාව හුරු වී තිබුණානම් භාෂාවේ මේ යෙදීම ඔහුට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත්, ඔහු ඒ තරම්ම සිංහල භාෂාවට නිරාවරණය වෙලා නැති නිසා දුවගෙන ආවේ කියන එක තේරුම් ගත්තේ එහි වචනාර්ථය අනුව යමිනුයි.
කපුටා කියන්නේ පියාසර කරන සතෙක් වනවාක් මෙන්ම කළු සතෙක්. කපුටා කලුයි කියන එක බොහෝ දෙනෙක් සාධාරණ ප්‍රකාශයක් ලෙස පිළිගන්නවා. කළු නැති සුදු කපුටෙක් දකින්න මෝල් ගහේ දළු එන තුරු බලා ඉන්න ඕනෑ. දුවගෙන එන කපුටන්ව දැකපු අය සාපේක්ෂව ටිකක් වැඩිපුර හිටියත්, සුදු කපුටන් දැකපු අයනම් ගොඩක් දුර්ලභයි.
කවදාවත් සුදු කපුටෙක්ව දැකලා නැති කෙනෙක්ට සුදු කපුටෙක්ව පරිකල්පනය කර ගැනීම අසීරු දෙයක් නෙමෙයි. සුදු කපුටන් ගැන කතා බොහෝ සංස්කෘතීන් වල තිබෙනවා. එක ස්වදේශික ඇමරිකානු ජන කතාවකට අනුව ඉස්සර සියලුම කපුටෝ සුදුයිලු. කපුටා කළු වෙලා තියෙන්නේ දිව්‍ය ලෝකයෙන් මිනිස්සුන්ට ගින්දර අරන් එද්දී වැදුණු දුම නිසා. දුම් හට්ටි අල්ලපු නිසානම් නෙමෙයි. කවදාහරි මිනිස්සුන්ගේ කල්කිරියාව හොඳ වුනු දවසක නැවතත් කපුටෝ සුදු වෙනවා කියලා ඒ ස්වදේශික ඇමරිකානුවෝ විශ්වාස කරනවා. ඒක වෙන්නේ කොමියුනිස්ට් සමාජයක් හැදුනු දවසකද දන්නේ නැහැ.
(Photos by Mike Yip)
ඉතාම දුර්ලභ වුනත් සුදු කපුටෝ ඉන්නවා. ඇතැම් අය සුදු කපුටන්ව ඡායාරූපගත කරලා තිබෙනවා. උඩ ඉන්න සුදු කපුටාව හමු වෙලා තියෙන්නේ කැනඩාවේ වැන්කුවර් දිවයිනෙන්. සමහර විට කල්කිරියාව අතින් හොඳ මිනිස්සු බිහි විය හැක්කේ ඔය වගේ ධනවාදී රටකින් නිසා වෙන්න ඇති.
කල්කිරියාව අතින් හොඳ මිනිස්සු බිහි විය හැක්කේ ධනවාදී රටකින් කියන එක මගේ විශ්වාසයක්. එය මගේ නිරීක්ෂණ මත පදනම් වූ විශ්වාසයක්. කපුටා කෑමක් කන්න කතා කළාම පියාඹා ගෙන මිසක් දුවගෙන නොඑන බව වගේම විශ්වාසයක්. ඒ එන්නේ කළු කපුටෝ මිසක් සුදු කපුටෝ නොවන බව සිතීම වගේම විශ්වාසයක්. කපුටා පියාඹන කළු සතෙක් කියා සිතීම වැනිම විශ්වාසයක්. මේ විශ්වාස නිවැරදි වන්නේ කිසියම් සන්දර්භයක. එසේ සිතීමත් මගේ විශ්වාසයක්.
සුදු කපුටෝ පැත්තකින් තියමුකෝ. ලංකාවේ නෙමෙයි කැනඩාවේ පැත්තකින්. කළු කපුටෝ ඇත්තටම කළුද? එහෙමනම් කපුටා කළු වෙන්නේ කොහොමද? කපුටාට "කළු" කියා හැඳින්විය හැකි ගුණයක් තිබෙන නිසාද නැත්නම් කපුටා කළු සේ මා දකින නිසාද?
පරණ ලිපි කිහිපයකට සබැඳි පහත තිබෙනවා.
කළු, කැත කපුටා හා ලස්සන මොණරා
කපුටාගේ කැත කපුටාගේ ප්‍රශ්නයක් නොවේ!
කපුටා කළු නැත්නම් තැඹිලි තැඹිලි පාටද?
තැඹිලි තැඹිලි පාටද? (පළමු කොටස)
තැඹිලි තැඹිලි පාටද? (දෙවන කොටස)
ප්‍රතිචාර කියවා පිළිතුරු ලියන්න වෙලාව හොයා ගන්න අමාරුයි. හදිසි වැඩ ටික ඉවර කර ගන්න දවස් කිහිපයක් යයි. කළු කපුටා සුදු වන තුරු මෝල් ගහේ දළු එන තුරු තරම් කාලයක්නම් යන එකක් නැහැ.