වෙබ් ලිපිනය:

Showing posts with label විදේශ විණිමය ගනුදෙනු. Show all posts
Showing posts with label විදේශ විණිමය ගනුදෙනු. Show all posts

Thursday, August 4, 2022

හොර පාරෙන් රටින් පන්නන සල්ලි


රටකට විදේශ විණිමය එන හා එළියට යන ක්‍රම ගණනාවක් තිබෙනවා. කලින් ඕනෑ තරම් කතා කරලා තිබෙන නිසා නැවත විස්තර කරන්න යන්නේ නැහැ. මේ මාර්ග බොහොමයක් නීත්‍යනුකූල මාර්ග වුනත්, නීති විරෝධී ලෙසත් සැලකිය යුතු විදේශ විණිමය ප්‍රමාණයක් දේශ සීමා හරහා යනවා. එක පැත්තකට නෙමෙයි දෙපැත්තටම. 

නීත්‍යනුකූල මාර්ග වලින් රටට එන හා රටින් යන විදේශ විණිමය ප්‍රවාහ පිළිබඳ තොරතුරු වලින් විශාල කොටසක් මහ බැංකුවට වාර්තා වෙනවා. ගෙවුම් ශේෂ ගිණුම් වල තියෙන්නේ මේ තොරතුරු. මේ විදිහට රටට එන හා රටින් යන විදේශ විණිමය ප්‍රවාහ ගැන තොරතුරු සියල්ලම මහ බැංකුවට වාර්තා වෙනවානම්, කිසිවක්ම මග හැරෙන්නේ නැත්නම්, යන ප්‍රමාණය හා ආ ප්‍රමාණය අතර වෙනස රටේ සංචිත වල වෙනස් වීමට සමාන වෙන්න ඕනෑ. නමුත්, ලෝකයේ කිසිම රටක ඔය සමතුලිත වීම හරියටම වෙන්නේ නැහැ. ඇතැම් විදේශ විණිමය ගලනයන් මහ බැංකුවට වාර්තා වෙන්නේ නැහැ.

සාමාන්‍යයෙන් නීති විරෝධී විදේශ විණිමය ගලනයන් කොහොමටත් මහ බැංකුවට වාර්තා වෙන්නේ නැහැ. නීති විරෝධී නැති ගලනයන් වුවත් හැම එකක්ම වාර්තා වෙන්නේ  නැහැ. උදාහරණයක් විදිහට කවුරු හරි පිටරට සංචාරයක යද්දී ඩොලර් සීයක් බැංකුවකින් අරගෙන ආපහු එද්දී ඉතිරි වුනු ඩොලර් විස්ස ගෙදර ලාච්චුවේ තියා ගත්තොත් ඒ ඩොලර් විස්ස රටට ආපහු ආපු බව වාර්තා වෙන්නේ නැහැ. ඒ වගේම, සංචාරකයෙකු විසින් බැංකුවෙන් ඩොලර් මාරු කරද්දී එය වාර්තා වුනත්, ගයිඩ් කෙනෙක්ගේ අතට දෙන ඩොලර් විස්සක් වාර්තා වෙන්නේ නැහැ. දැන් වෙනත් කෙනෙක් පිටරට යද්දී බැංකුවෙන් ඩොලර් මිල දී නොගෙන ඔය වගේ රටේ තිබෙන ඩොලර් එකතු කරගෙන ගිහින් වියදම් කළොත් ඒකත් වාර්තා වෙන්නේ නැහැ. 

මේ වගේ සිල්ලර ගනුදෙනු සහ අනීතික ගනුදෙනු මහ බැංකුවට වාර්තා වෙන්නේ නැතත් රටට පැමිණි හා රටින් ගිය විදේශ විණිමය ප්‍රමාණ අතර වෙනස සංචිත වෙනස් වීමත් එක්ක සංසන්දනය කළාම "වැරදීම් හා මගහැරීම්" සියල්ලේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය ඇස්තමේන්තු කරන්න පුළුවන්. ඕනෑම රටක ගෙවුම් ශේෂ ගිණුම් වල මේ ප්‍රමාණය සටහන්ව තිබෙනවා. සාමාන්‍යයෙන් සැලකිය විශාල යුතු අගයක්. 

පහත තියෙන්නේ පසුගිය වසර 15 තුළ ලංකාවේ මේ වැරදීම් හා මග හැරීම් ප්‍රමාණය ඩොලර් මිලියන වලින්. වරහන් ඇතුළේ තියෙන්නේ සෘණ අගයන්.

2007- (165)

2008- 728

2009- 346

2010- (881)

2011- (707)

2012 - (412)

2013 - (590)

2013- 393

2015- (308)

2016 - (465)

2017- 175

2018 - (593)

2019 - (640)

2020 - 765

2021 - (711)

ඔය වසර 15 සමස්තයක් ලෙස ගත්තොත්, ධන හා සෘණ අගයයන් දෙවර්ගයම තිබුණත්, වැඩිපුර තියෙන්නේ සෘණ අගයයන් කියන එක පේනවනේ. ඒ කියන්නේ රටට ආපු විදේශ විණිමය ප්‍රමාණයෙන් යම් කොටසකට වෙච්ච දෙයක් නැහැ. ඒ සල්ලි නීති විරෝධී ලෙස රටින් පිටට ගියා කියන එක එයින් අනිවාර්යයෙන් අදහස් වන්නේ නැහැ. එක්කෝ නීති විරෝධී ලෙස රටින් එළියට ගියා. නැත්නම් රට ඇතුළේම කා අතේ හෝ දැනටත් තියෙනවා. එහෙම රට ඇතුළේ තිබුණත් මේ සල්ලි පහසුවෙන් රටින් පන්නන්න පුළුවන් නිසා ඔය දෙකේ වැඩි වෙනසකුත් නැහැ.

මේ විදිහට පසුගිය වසර 15 තුළ අවිධිමත් වෙළඳපොළ හරහා සම්ප්‍රේෂණය වී තිබෙන විදේශ විණිමය ප්‍රමාණයේ ශුද්ධ අගය ඩොලර් බිලියන 3ක් පමණ. ඒ කියන්නේ, ඇස්තමේන්තු නිවැරදිනම්, සාමාන්‍ය වශයෙන් වසරකට ඩොලර් මිලියන 200ක් පමණ අවිධිමත් වෙළඳපොළ හරහා රටින් පිට වී තිබෙනවා. එහෙම නැත්නම් ඇස්තමේන්තු වල එපමණ වරදක් තිබෙනවා.

නීති විරෝධී ලෙස රටට එන හා රටෙන් යන සල්ලි මහ බැංකුවට වාර්තා නොවුණත්, එවැනි ගනුදෙනු වල ශුද්ධ ප්‍රතිඵලය මේ සංඛ්‍යාව ඇතුළේ තියෙනවා. මේ සංඛ්‍යාලේඛණයට මග හැරෙන වෙනත් ආකාර වලින් සල්ලි රටින් පන්නන්න බැරිද? 

අපි හිතමු කවුරු හෝ බලවතෙක් ඩොලර් නෝට්ටු ගෝනි වල දාලා පෞද්ගලික ජෙට් යානයකින් මොකක් හරි රටකට පැන්නුවා කියලා. ඔය වගේ කතාවක් මට පෞද්ගලිකව විශ්වාස කරන්න අමාරු වුනත් කතාව එක පාරට ප්‍රතික්ෂේප කළ හැකි සෛද්ධාන්තික පදනමක් නැහැ. විය හැකියාවක් ලෙස ඔය කතාව මට භාර ගන්න වෙනවා. 

හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මම හිතන්නේ කියවන අය මාත් එක්ක එකඟ වෙයි. 

ඔය විදිහට හෝ වෙන විදිහකින් රටින් පන්නන්නනම් ඊට කලින් රටට ඔය ඩොලර් ටික ඇවිත් තියෙන්න ඕනෑ. රටට ඩොලර් ආවේ නැත්නම් රටෙන් පන්නන්න විදිහකුත් නැහැනේ. ඒ කියන්නේ මේ පන්නපු ප්‍රමාණය කලින් පෙන්වපු "වැරදීම් හා මගහැරීම්" ගොඩේ තියෙන්න ඕනෑ. රටට ආපු ඩොලර් ප්‍රමාණයෙන් වෙච්ච දෙයක් නැත්තේ ඒ ප්‍රමාණය පමණයි. 

ඒ කියන්නේ ඊට වඩා වැඩි ඩොලර් ප්‍රමාණයක් රටින් පැන්නුවා වෙන්නම බැරිද? 

පුළුවන්. එහෙමනම්, ඒ වැඩි ප්‍රමාණය හොර පාරකින්ම රටට ඇවිත් තියෙන්න ඕනෑ. රටට හොරෙන් ඩොලර් ආවේ නැත්නම්, ඔය ගණනට වඩා වැඩියෙන් රටෙන් ඩොලර් එළියට යන්න විදිහකුත් නැහැ. ඒ කියන්නේ, හොරෙන් ආ ගිය ඩොලර් ගණන් සැලකුවට පස්සෙත්, ශුද්ධ වශයෙන් බැලුවොත් වාර්තා නොවී රටේ ඩොලර් අඩු වෙලා තියෙන්නේ ඔය ප්‍රමාණයම තමයි.

ආනයන අපනයන වෙළඳාමේදී වැරදියට ඉන්වොයිස් දමන එක මේ සංඛ්‍යාලේඛණ වලට බලපාන්නේ කොහොමද? 

ඇමරිකාවේ රාජ්‍ය නොවන සංවිධානයක (GFI) සේවය කරන පර්යේෂකයෙකු (දේව් කර්) විසින්, නෝර්වේ රජයේ ආධාර මත, කනිෂ්ඨ සහායකයෙකුගේ උදවු ඇතිව සකස් කර තිබෙන 2015 වාර්තාවක ඉහත විස්තර කළ ගෙවුම් ශේෂ ගිණුම් වල "වැරදීම් හා මගහැරීම්" වලට ආනයන අපනයන වෙළඳාමේදී වැරදියට ඉන්වොයිස් දැමීම මගින් රටින් පිට කළේයයි ඔවුන් දෙදෙනා විසින් ඇස්තමේන්තු කර තිබෙන සංඛ්‍යාවක්ද එකතු කර එම මුදල නීති විරෝධී ලෙස සංවර්ධනය වන රට වලින් පිට කෙරුණු මුදලක් ලෙස අර්ථ දක්වා තිබෙනවා. මේ ඇස්තමේන්තු සකස් කර තිබෙන ක්‍රමවේදයේ බැලූ බැල්මටම පෙනෙන වැරදි හා අඩුපාඩු ගණනාවක් තිබෙනවා. විමර්ශිත ජර්නලයක පළව ඇති පර්යේෂණ පත්‍රිකාවක් වැන්නක් නොවන මෙවැනි ලියැවිල්ලක එවැනි වැරදි හා අඩුපාඩු තිබීම අනපේක්ෂිත දෙයක් නෙමෙයි. 

දේව් කර් සේවය කළ රාජ්‍ය නොවන සංවිධානය විසින්ම 2021දී තවත් වාර්තාවක් එළි දක්වා තිබෙනවා. පෙර කී වාර්තාවට සාපේක්ෂව දුර්වලතා අඩු එම වාර්තාවේ ඉලක්ක අරමුණ මෙන්ම ක්‍රමවේදයද මුල් වාර්තාවට වඩා වෙනස්. එහි අවධානය යොමු කර තිබෙන්නේ ආනයන අපනයන වෙළඳාමේදී වැරදියට ඉන්වොයිස් දැමීම හරහා සිදු කර තිබෙන නීති විරෝධී ගණුදෙනු පරිමාව පිළිබඳවයි. 

මේ 2021 වාර්තාව ගැන මීට පෙරද කතා කර තිබෙන නිසා අපි 2015 වාර්තාව ගැන දැන් කතා කරමු. 2015 වාර්තාවේ ඇස්තමේන්තු පදනම් වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් හා සංවර්ධිත රටවල් අතර සිදුව ඇති ගනුදෙනු මතයි. 2021 වාර්තාවේ මෙන්ම මේ වාර්තාවේද කරන්නේ දෙපැත්තේ ගණන් සංසන්දනය කිරීමයි. එහිදී දේව් කර් හා ඔහුගේ සහායකයා විසින් සංවර්ධිත රටේ සංඛ්‍යාලේඛණ නිවැරදි සේ සලකනවා. ඉන් පසුව, රක්ෂණ හා නැව් ගාස්තු 10%ක් සේ උපකල්පනය කර සංවර්ධනය වන රටකට භාණ්ඩයක් යන විට හා සංවර්ධනය වන රටකින් භාණ්ඩයක් එන විට පෙන්වා තිබිය යුතු "නියම මිල" ගණනය කරනවා. 

සංවර්ධනය වන රටකින් සංවර්ධිත රටකට භාණ්ඩයක් අපනයනය කරන විට පෙන්වා ඇති මිල ඉහත ආකාරයෙන් ගණනය කළ "නියම මිලට" වඩා අඩුනම් එය ඔවුන් විදේශ විණිමය ගලනයක් සේ සලකනවා. පෙන්වා ඇති මිල "නියම මිලට" වඩා වැඩිනම් එය නොසලකා හරිනවා.

මේ ආකාරයෙන්ම, සංවර්ධනය වන රටක් සංවර්ධිත රටකින් භාණ්ඩයක් ආනයනය කරන විට පෙන්වා ඇති මිල ඉහත ආකාරයෙන් ගණනය කළ "නියම මිලට" වඩා වැඩිනම් එය ඔවුන් විදේශ විණිමය ගලනයක් සේ සලකනවා. පෙන්වා ඇති මිල "නියම මිලට" වඩා අඩුනම් එය නොසලකා හරිනවා.

මේ පදනම මත, සංවර්ධනය වන රටවල් හා සංවර්ධිත රටවල් අතර ගනුදෙනු වලදී ඔවුන්ගේ ක්‍රමය අනුව රටින් පිටට විදේශ විණිමය ගලනයක් වී ඇතැයි සැක කෙරෙන අවස්ථා සියල්ල හඳුනා ගැනෙන අතර එම පදනම මතම රට තුළට විදේශ විණිමය ගලනයක් වී ඇතැයි සැක කෙරෙන අවස්ථා සියල්ල නොසලකා හරිමින් ඔවුන් විසින් පළමුව මූලික ඇස්තමේන්තුවක් සකස් කරනවා. ඉන් පසුව, සංවර්ධනය වන රටවල් අතරම සිදු වන ගනුදෙනු වලදීද එම අනුපාතයෙන්ම විදේශ විණිමය ගලනයක් වී ඇතැයි උපකල්පනය කරමින් අවසන් ඇස්තමේන්තුවක් හදනවා. 

දේව් කර්ගේ මූලික උපකල්පනයක් වන්නේම සංවර්ධනය වන රටවල් වල සිට සංවර්ධිත රටවල් වලට ප්‍රාග්ධනය විතැන් කිරීමක් මිස එහි අනෙක් පැත්ත සිදු නොවන බවයි. එහෙත්, ඔහු දෙවනුව සංවර්ධනය වන රටවල් අතර සිදු වන ගනුදෙනු වලදීද ප්‍රාග්ධනය විතැන් වන්නේ එක් දිශාවකට පමණක් බව උපකල්පනය කරනවා. ඒ වගේම, අදාළ අනුපාතයද සමාන සේ සලකනවා. 

ඒ කියන්නේ, ලංකාවෙන් ඉන්දියාවට හොරෙන් පන්නපු ගණන ඇස්තමේන්තු කරද්දී ඉන්දියාවෙන් ලංකාවට සල්ලි හොරෙන් පන්නන්න කිසිම හේතුවක් නැහැ කියා උපකල්පනය කරනවා. ඔය විදිහටම ඉන්දියාවෙන් ලංකාවට හොරෙන් පන්නපු ගණන ඇස්තමේන්තු කරද්දී ලංකාවෙන් ඉන්දියාවට සල්ලි හොරෙන් පන්නන්න කිසිම හේතුවක් නැහැ කියා උපකල්පනය කරනවා. 

ඔය දෙකෙන් එකක්වත් ඇස්තමේන්තු කරන්නේ ලංකාව හා ඉන්දියාව අතර ඇත්තටම සිදු වූ ගනුදෙනු මත පදනම්ව නෙමෙයි. ලංකාව සංවර්ධිත රටවල් සමඟ ඩොලර් 1000ක ගනුදෙනු කරද්දී ඩොලර් 200ක් එම රටවලට පන්නලානම්, ලංකාව ඉන්දියාව සමඟ ඩොලර් 1000ක ගනුදෙනු කරද්දීත් ඩොලර් 200ක් ඉන්දියාවට පන්නලා කියලා උපකල්පනය කරලා.  

මේ 2015 වාර්තාවේ ඇස්තමේන්තු කිසිසේත්ම බරපතල ලෙස ගිණිය නොහැකියි. මා හිතන පරිදි, 2021 වාර්තාව සකස් කළ පර්යේෂක කණ්ඩායම විසින් පෙර වාර්තාවේ වැරදි හා අඩුපාඩු බොහොමයක් හඳුනාගෙන තිබෙනවා. එම වාර්තාවේ අනීතික ගනුදෙනු ගැන මිස ප්‍රාග්ධන ගලනයන් ගැන අවධානය යොමු කරවන්නේ නැහැ. 

සාමාන්‍යයෙන් වෙන පරිදි, ලංකාවේ සමහර අය ඔය වාර්තා වල තියෙන දේවල් තමයි උඩින් පල්ලෙන් කියවලා, අදාළ පර්යේෂකයින් විසින් කරලා තියෙන වැරදි ගැන කිසිම අවබෝධයක් නැතුව, අනෙක් පැත්තට වමාරන්නේ. ඒ විතරක් නෙමෙයි. වාර්තා වල වැරදි පැත්තකින් තිබ්බත්, ඒ වාර්තා වල තියෙන දේවල්වත් හරියට ග්‍රහණය කර ගෙන නැහැ. 

ලංකාවේ කට්ටිය වැඩේ අනාගන්න ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ 2015 වාර්තාවේ සහ 2021 වාර්තාවේ තියෙන්නේ එකම දෙයක් ගැන කියලා හිතලා. වෙනස දැන ගන්නනම් එක් එක් වාර්තාවේ ක්‍රමවේද තේරුම් ගන්න ඕනෑනේ! 

ලංකාවේ කට්ටිය 2021 වාර්තාවේ තියෙන සංඛ්‍යාලේඛණ අරගෙන ඒවා අර්ථ දක්වන්නේ 2015 වාර්තාවේ අර්ථ දැක්වීම් අනුවයි. නමුත්, මේ දෙකේ කරලා තියෙන්නේ වගේම කියල තියෙන්නෙත් කරුණු දෙකක් ගැන. ඒ වගේම, 2021 වාර්තාවෙත් වැරදි හා අඩුපාඩු තිබුණත්, 2015 වාර්තාවේ ඇස්තමේන්තු වල වැරදි හා අඩුපාඩු ඉතාම ප්‍රාථමික මට්ටමේ ඒවා.

හරි. අපි දැන් ඔය වාර්තා සහ ඒවායේ තිබෙන ගණන් හිලවු පැත්තකින් තියලා වැරදියට ඉන්වොයිස් කිරීම කියන කාරණාවට එමුකෝ. එහෙම දෙයක් ඇත්තටම වෙනවනේ. ඒක අර මුලින් කී ගෙවුම් ශේෂ ගිණුම් ඇස්තමේන්තු වලට බලපාන්නේ කොහොමද? 

ලංකාවේ කවුරු හෝ කෙනෙක් ඩොලර් 1000ක බඩුවක් ආනයනය කරද්දී ඩොලර් 1500ක් කියලා පෙන්වනවා. දැන් මේ වැඩෙන් නියාමකයින්ගේ ඇස් වහලා ඩොලර් 500ක් රටින් පිටතට ප්‍රේෂණය කරනවා. ඒ ඩොලර් 500 ලංකාවට අපනයනය කරන සමාගමේ ගිනුමට යනවා. පසුව, එම සමාගම හරහා වෙනත් ගිණුමකට විතැන් වෙනවා වෙන්න පුළුවන්. 

හැබැයි මේ විදිහට ඉන්වොයිස් එක වැඩියෙන් පෙන්නුවත් ඩොලර් 1500 යන්නේ විධිමත් ලෙස බැංකු පද්ධතිය හරහා මිසක් හොර පාරකින් නෙමෙයි. ඒ නිසා, ඒ මුළු මුදලම, ඉතා නිවැරදි ලෙස රටින් එළියට ගිය මුදලක් ලෙස ගෙවුම් ශේෂ ගිණුම් වල සටහන් වෙනවා. සිදු වෙන වැරැද්ද ප්‍රේෂණයක් ලෙස (outward remittance) ද්වීතියික ආදායම් ගිණුමේ සටහන් විය යුතු ඩොලර් 500ක් එහි සටහන් නොවී වෙළඳ ගිණුමේ සටහන් වෙන එකයි. ඒ කියන්නේ, මේ වැඩෙන් ජංගම ගිණුමේ ශේෂය වෙනස් වෙන්නේ නැහැ.

අපි හිතමු ඔය විදිහට රටින් එළියට ගෙනයන ඩොලර් 500 රටින් පිට ආයෝජනය කළා කියලා. එහෙමනම්, ඒ මුදල යන්න ඕනෑ මූල්‍ය ගිණුමට. ඒ කියන්නේ, මූල්‍ය ගිණුමට යා යුතු ඩොලර් 500ක් ජංගම ගිණුමේ (වෙළඳ උප ගිණුමේ) සටහන් වෙනවා. නමුත්, මේ ඩොලර් 500 රටින් එළියට ගිය බව නියාමකයින් දන්නවා. ඒ නිසා, එම මුදල "වැරදීම් හා මගහැරීම්" වලට යන කොටසක් නෙමෙයි.

දැන් ඕකෙම අනෙක් පැත්ත වුනා කියා හිතමු. ලංකාවේ කවුරු හෝ කෙනෙක් ඩොලර් 1000ක බඩුවක් ආනයනය කරද්දී ඩොලර් 500ක් කියලා පෙන්වනවා. හැබැයි එහෙම පෙන්නුවත්, අදාල අපනයනකරුවාට මොන ක්‍රමයකින් හෝ ඉතිරි ඩොලර් 500 ගෙවන්න වෙනවා. ඒ මුදල ගෙවන්න වෙන්නේ හොර පාරකින්. 

මේ ඩොලර් 500 ගෙවන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් අවිධිමත් විදිහට ලංකාවෙන්ම සල්ලි යවන එක. එහෙම නැත්නම් දැනටමත් රටින් පිට තිබෙන ගිණුමකින් සල්ලි ගෙවන එක. අවිධිමත් විදිහට ලංකාවෙන්ම සල්ලි යැව්වොත් එය ගෙවුම් ශේෂ ඇස්තමේන්තු වල තිබෙන "වැරදීම් හා මගහැරීම්" වලට අහු වෙනවා. "වැරදීම් හා මගහැරීම්" වල එවැනි මුදලක් රටින් ගිය බවක් පෙනෙන්න නැත්නම් ඒ සල්ලි ගෙවලා තියෙන්නේ කලින් රටින් පිට කළ මුදල් යොදා ගෙන. මොකද කොහෙන් හෝ ඔය ඩොලර් 500 ගෙවන්නම වෙනවා. 

ඊළඟට අපි අපනයන පැත්ත බලමු. ඩොලර් 1000ක බඩු අපනයනය කරද්දී ඩොලර් 500ක් කියා පෙන්නුවොත් ඉතිරි ඩොලර් 500 රටින් එළියේ ගිණුමක තියා ගන්න පුළුවන්. "වැරදීම් හා මගහැරීම්" නැහැ. මොකද රටට ආපු ගණන ඩොලර් 500ක් පමණයි. ඒ ගණන ගිණුම් වල හරියට තිබෙනවා. නැත්තේ රටට නොආ කොටස. ඒ කොටස හොර පාරෙන් රටට ගෙනාවොත් " වැරදීම් හා මගහැරීම්" ගොඩට යනවා. නැත්නම් තවමත් රටින් පිට. 

එතකොට ගණන් වැඩියෙන් පෙන්නුවොත්? ඒ කියන්නේ, ඩොලර් 1000ක බඩු අපනයනය කරද්දී ඩොලර් 1500ක් කියා පෙන්නුවොත්? දැන් අමතර ඩොලර් 500ක් නිල වශයෙන්ම රටට එනවා. ඒ සල්ලි එන්නේ කොහෙන්ද? එහෙම වැරදි ඉන්වොයිස් පෙන්නලා සල්ලි ගෙන්වන්නනම් අපනයනකරු සතු, වාර්තා වී නැති, ධනයක් පිටරටක තියෙන්න ඕනෑ. එහෙම නැත්නම් වෙනත් කෙනෙක් අපනයනකරුගේ නමට ප්‍රේෂණයක් කළා වෙන්න ඕනෑ. ඔය දෙකෙන් කොයි එක වුනත් රට ඇතුළට ප්‍රාග්ධන ගලනයක් වෙලා. 

සරලවම කිවුවොත් ඉන්වොයිස් වල නොගැලපීම් වලට හේතුව ප්‍රාග්ධන ගලනය ලෙස සැලකුවොත් එය දෙපැත්තටම සිදු වන බව සලකා වෙනස දෙස බැලිය යුතුයි. එක පැත්තක් දෙස පමණක් බලන එක වැරදියි. එහෙම බැලුවට පස්සේ ශුද්ධ වශයෙන් යම් විදේශ විණිමය ගලනයක් වී ඇත්නම් එයින් අදහස් වන්නේ ගෙවුම් ශේෂය තව දුරටත් නිවැරදි වුවත්, මූල්‍ය ගිණුම හෝ ජංගම ගිණුමේම වෙනත් උප ගිණුමක් යටතේ සටහන් විය යුතු කොටසක් වෙළඳ ගිණුම යටතේ සටහන් වී තිබෙන බවයි. 

මෙවැන්නක් සිදු වීමේ ප්‍රතිඵලයක් ලෙස රටේ බාහිර වත්කම් (බැරකම්) පිළිබඳව තිබෙන ඇස්තමේන්තුවත් නිවැරදි නොවෙන්න පුළුවන්. ඒක තීරණය වන්නේ අදාළ මුදල් යොදා ගැනුණේ කවර කටයුත්තකටද කියන එක මතයි. රටින් මුදලක් පන්නපු පමණින්ම ඒ මුදල් රටින් පිට තිබෙනවා කියන එක අනිවාර්යයෙන් අදහස් වන්නේ නැහැ. මම මේ කියන්නේ කලින් කියපු නැවත රටට ඒ සල්ලි ආපහු ගෙනත් තිබීමේ හැකියාව ගැන නෙමෙයි. ශුද්ධ වශයෙන්ම රටින් පිට කෙරුණු විදේශ විණිමය ගැන.

මේ වගේ මුදලක් වුනත් අදාළ පුද්ගලයා රටින් බැහැර වූ විටක "එන්ජෝයි කරලා" වැය කර අවසන්ව තියෙන්න පුළුවන්. එහෙමනම් එය ජංගම ගිනුමේම වෙන උප ගිනුමක සටහන් විය යුතු මුදලක්. එහෙම නැතුව කොහේ හෝ ආයෝජනය කරලානම් ඒ සල්ලි රටින් පිට තියෙනවා. ඒ විතරක් නෙමෙයි. එවැනි මුදලක් රටින් පිට ඇත්නම් අදාළ ආයෝජනයේ ප්‍රතිලාභ ගෙවුම් ශේෂ ගිණුමේ සටහන් වෙන්නේ නැති ප්‍රශ්නයත් තියෙනවා. ඒ කියන්නේ මුලින් රටින් සල්ලි යද්දී එය ගෙවුම් ශේෂ ගිණුමේ වැරදි තැනක හෝ සටහන් වෙනවා. හැබැයි ඊට පස්සේ වෙන දේවල් ඒ විදිහට අහු වෙන්නේ නැහැ. 

ඇමරිකාව වගේ රටවල බදු ගොනු කරද්දී ලෝකයේ කොහේ හෝ රටක තිබෙන වත්කම් මත ලැබෙන ප්‍රතිලාභ වෙනුවෙන් බදු ගෙවිය යුතුයි. උදාහරණයක් විදිහට ඇමරිකන් පුරවැසියෙකු සතුව ලංකාවේ තිබෙන ගෙයක් හෝ ඉඩමක් විකිනුවොත් එහි ගැනුම් මිල හා විකුණුම් මිල අතර වෙනස ආදායමක් ලෙස පෙන්වලා ඒ වෙනුවෙන් ඇමරිකාවට බදු ගෙවිය යුතුයි. මම දන්නා තරමින් ලංකාවේ බදු නීතිය අනුවත් එහෙමයි. දැන් මේ විදිහට කා සතුව හෝ රටින් පිට එළිදරවු නොකළ වත්කම් තිබෙනවානම්, එම සල්ලි රටින් පිට කරන විට සිදු වන බදු වංචාවට අමතරව, අදාළ වත්කම් එළි නොකර තිබෙන තුරු දිගින් දිගටම සිදු වන බදු වංචාවක්ද එහි තිබෙනවා.

Wednesday, August 3, 2022

අර්බුදය හා විකල්ප ප්‍රවාද


ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳ විග්‍රහයන් ගණනාවක් තිබෙනවා. ගොඩක්ම ප්‍රචලිත හා ජනප්‍රිය ප්‍රවාදයක් වන්නේ රටේ මිනිස්සු ඔවුන් විසින් උපයන ඩොලර් වලට වඩා වැඩියෙන් ඩොලර් වියදම් කිරීම ප්‍රධාන හේතුව බවයි. මේක බොහෝ දුරට ආණ්ඩුවට හා රජයට හිතවත් අයගේ විග්‍රහයක්. මෙහිදී මිනිස්සු කියා කියන එකෙන් අදහස් කෙරෙන්නේ පාරිභෝගිකයින්. ආණ්ඩුව කියා කිවුවේ අලුත් ආණ්ඩුව ගැන නෙමෙයි. අලුත් ආණ්ඩුව මොන වගේ එකක්ද කියන එක තවමත් අපැහැදිලියි. 

උපයන ඩොලර් වලට වඩා වැඩියෙන් ඩොලර් වියදම් කිරීම ප්‍රශ්නයක් සේ හඳුනා ගන්නා නමුත් මගේ විග්‍රහය මේකම නෙමෙයි. එය මම බොහෝ වර විස්තර කර තිබෙනවා. මේ වෙද්දී කිසියම් සුළුතරයක් අතර හෝ මගේ ප්‍රවාදයටත් යම් පිළිගැනීමක් තිබෙනවා. ඊට අඩු වැඩි වශයෙන් සමාන ප්‍රවාද වෙනත් බොහෝ අය විසින්ද ඉදිරිපත් කර තිබෙනවා. ඔය ප්‍රවාද දෙකටම අමතරව තවත් විකල්ප ප්‍රවාද ගණනාවක් තිබෙනවා. මම මෙවැනි ප්‍රවාද තුනක සරල කරනු ලැබූ වර්ෂන් ඉතා කෙටියෙන් ඉදිරිපත් කරන්නම්.

1. ප්‍රචලිත ප්‍රවාදය - රටේ මිනිස්සු (පාරිභෝගිකයෝ) අපනයන වලින් අවුරුද්දකට උපයන්නේ ඩොලර් බිලියන දහයක් වුනත්, ඩොලර් බිලියන විස්සක ආනයනික භාණ්ඩ පරිභෝජනය කරනවා. ඒ නිසා, රජයට වසරකට ඩොලර් බිලියන දහයක් ණය ගන්න වී තිබෙනවා. වැරැද්ද මිනිස්සුන්ගේ අධිපරිභෝජනය. ප්‍රශ්නය විසඳන්නනම් මිනිස්සු පරිභෝජනය අඩු කරන්න ඕනෑ. ආනයන සීමා කරලා දේශීය නිෂ්පාදන වලට පුරුදු වෙන්න ඕනෑ. ව්‍යාපාරිකයින්ගේ වැරැද්දක් නැහැ. ඔවුන් කරන්නේ මිනිස්සු ඉල්ලන නිසා ඉල්ලන දේ ගෙනත් දෙන එකයි. රජයත් අහිංසකයි. ආණ්ඩුවත් අහිංසකයි. රජය/ආණ්ඩුව විසින් කරන්නේ බොහොම අමාරුවෙන් කොහෙන් හෝ රටකින් ණයට සල්ලි අරගෙන පාරිභෝගිකයන්ට අවශ්‍ය දේ ගෙනත් දීම සඳහා ව්‍යාපාරිකයන්ට සල්ලි හොයලා දෙන එක. ඒ කියන්නේ සාර්ව ආර්ථික ප්‍රතිපත්තියේ වැරැද්දක් නැහැ. වැරැද්ද තනිකරම මිනිස්සුන්ගේ අධිපරිභෝජනය. 

2. මගේ ප්‍රවාදය- රජය ආදායම ඉක්මවා වියදම් කරනවා. හිඟය පියවන්න විදේශ ණය ගන්නවා. සල්ලිත් අච්චු ගහනවා. ණයට ගත්ත ඩොලර් වෙළඳපොළේ විකුණා ලැබෙන රුපියල් ටිකත්, අච්චු ගහපු රුපියල් ටිකත් රට ඇතුළේ වියදම් කරද්දී රුපියල් වැඩි වන නමුත් ඒ තරමට රටේ නිෂ්පාදනය වැඩි වෙලා නැහැ. නමුත් වෙළඳපොළේ ඩොලර් වැඩි වෙනවා. ඩොලර් ලාබ වෙනවා. කිසියම් පිරිසක් මේ ඩොලර් මිල දී ගෙන පිටරටින් බඩු ගෙනත් ලාබෙට විකුණනවා. ඒ බඩු ගන්න අවශ්‍ය රුපියල් ආණ්ඩුව සංසරණයට දැනටමත් එකතු කරලා. ලාබෙට පිටරටින් බඩු එන නිසාත්, ඒ බඩු ගන්න ඇති තරම් රුපියල් අතේ තියෙන නිසාත් කවුරුවත් නිෂ්පාදනය වැඩි කරන්න මහන්සි වෙන්නේ නැහැ. අපනයන වලින් අවුරුද්දකට උපයන්නේ ඩොලර් බිලියන දහයක් වුනත්, ඩොලර් බිලියන විස්සක ආනයනික භාණ්ඩ පරිභෝජනය කරන්න මිනිස්සුන්ට පුළුවන් වෙනවා. මිනිස්සු ආතල් එකේ ඉන්නවා. 

මගේ මේ ප්‍රවාදයේදීත් ප්‍රචලිත ප්‍රවාදයේදී මෙන්ම වෙළඳ හිඟයක් තිබෙනවා. වෙනස එයට හේතුව මොකක්ද කියන එකයි. මගේ ප්‍රවාදය අනුව, මෙය රටේ සාර්ව ආර්ථික ප්‍රතිපත්තියේ වැරැද්දක් මිසක් මිනිස්සුන්ගේ (පාරිභෝගිකයින්ගේ) වැරැද්දක් නෙමෙයි. මිනිස්සුන්ගේ වැරැද්ද ඒ ප්‍රතිපත්තිය අනුමත කිරීම පමණයි. 

3. විකල්ප ප්‍රවාදය - මේ නිශ්චිත විකල්ප ප්‍රවාදය අනුව ඉහත ප්‍රවාද දෙකේම කියන විදිහේ වෙළඳ ශේෂ ප්‍රශ්නයක් රටේ නැහැ. ඇත්ත අපනයන ආදායම ඩොලර් බිලියන 15ක්. ඇත්ත ආනයන වියදමත් ඩොලර් බිලියන 15ක් පමණයි. හැබැයි අපනයනකරුවෝ අඩුවෙන් ගණන් පෙන්වලා ඩොලර් බිලියන 10ක් පමණක් රටට ගෙනත් ඉතිරි ඩොලර් 5 රටින් පන්නනවා. ආනයනකරුවෝ වැඩියෙන් ගණන් පෙන්නලා ඩොලර් බිලියන 15 වෙනුවට ඩොලර් බිලියන 20ක්ම රටින් එළියට ගෙනියනවා. දැන් එතැනත් ඩොලර් බිලියන පහක් රටින් පන්නලා. එතකොට ඔක්කොම ඩොලර් බිලියන 10ක් රටින් පන්නලා. ඒ ප්‍රමාණය තමයි රටට ණය වෙන්න වෙලා තියෙන්නේ. ඒ කියන්නේ වැරැද්ද මේ ආනයන අපනයන කරන වෙළෙන්දන්ගේ. මිනිස්සු අහිංසකයි. රජයත් අහිංසකයි. ආණ්ඩුව කරන වැරැද්ද මේ ව්‍යාපාරිකයින්ට දඬුවම් නොකර හුරතල් කරන එකයි.

මේ ප්‍රවාද තුනම මම ගොඩක් සරල කරලා තියෙන්නේ. සල්ලි පන්නන කතාව කියන අය ගණන ඩොලර් බිලියන දහයක් කියා කියන්නේ නැහැ. හැබැයි අදහස ඔය වගේ. ඔය ප්‍රවාද තුනට අමතරව කිසියම් පිරිසක් විසින් ණයට ගත් ඩොලර් හොරා කා රටින් පැන්නීම වගේ තවත් ප්‍රවාදත් තියෙනවා. 

දැන් මා ඇතුළු ඕනෑම කෙනෙකුට ඔය වගේ ප්‍රවාදයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ප්‍රවාදයක් කියා කියන්නේ නිකම්ම නිකම් හිතලුවක් මිසක් ඇත්ත නෙමෙයි. ඒ වුනත්, ලංකාවේ ආර්ථික අර්බුදයක් තියෙනවා කියන එක කාටත් පේන ඇත්තක්. ඇත්තම කතාව ඒ ආර්ථික අර්බුදයට හේතු වූ කරුණු ඔය ඕනෑම ප්‍රවාදයකට වඩා සංකීර්ණයි. ප්‍රවාදයකින් කරන්නේ ඒ සංකීර්ණ අර්බුදය වඩා පහසුවෙන් තේරුම් ගන්න කරන උත්සාහ කරන එකයි.

යම් කිසි ආකාරයකින් විද්‍යාත්මක ලෙස ප්‍රතික්ෂේප කරන තුරු ඔය වගේ ඕනෑම ප්‍රවාදයකට විය හැකියාවක් ලෙස වලංගු භාවයක් තිබෙනවා. එහෙම ප්‍රතික්ෂේප කළ ප්‍රවාදයකට වුනත් ඇතැම් අය අතර පිළිගැනීමක් තියෙන්න පුළුවන්. 

මේ වගේ ප්‍රවාදයක් ස්ථිර ලෙස ප්‍රතික්ෂේප කරන එක ගොඩක් අසීරු වැඩක්. ඒ නිසා, බොහෝ විට වෙන අය මොනවා කිවුවත් තමන්ගේ ප්‍රවාදය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටින කෙනෙකුට ඒ සඳහා යම් හෝ ඉඩක් ඉතිරි වෙනවා. මේ හේතුව නිසාම, තමන්ගේ ප්‍රවාදය වෙනුවෙන් දැඩි සේ පෙනී සිටින අයෙක් සමඟ තර්ක කරලා දිනන්න අමාරුයි. 

විය හැකියාවක් ලෙස වලංගු භාවයක් තිබෙනවා කියන්නේ ඇත්ත කියා කියන එක නෙමෙයි. බොරු බව ඔප්පු වී නැහැ කියන එකයි. ඒ නිසා, අවංකවම තමන්ගේ ප්‍රවාදය ඇත්තද කියා දැන ගන්න අවශ්‍ය කෙනෙක්නම් කළ යුත්තේ එය හැකි තරම් පරීක්ෂාවට ලක් කරන එකයි. තාර්කික තලයේදීම කළ හැකි මූලික පරීක්ෂාවක් වන්නේ ප්‍රවාදයේ අභ්‍යන්තර පරස්පරතා තියෙනවද කියලා බලන එකයි. එහෙම පරස්පර තියෙනවානම් එතැනින්ම වැඩේ අත ඇරලා දමන්න පුළුවන්. 

ගොඩක් වෙලාවට එවැනි අභ්‍යන්තර පරස්පරතා නැති ප්‍රවාද එකකට වඩා ඉතිරි වෙනවා. එතකොට හරි එක හෝ වඩා ගැලපෙන එක හොයා ගන්න වෙන්නේ අනුභූතික දත්ත දිහා බලලා. මුල් වටයේදී ප්‍රතික්ෂේප නොවන ප්‍රවාද සමහරක් මේ විදිහට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒකත් හරියන්නේ නැත්නම්, අවදානමක් අරගෙන, ඉතිරි වී තිබෙන විකල්ප අතරින් තමන්ට වඩා හොඳයි කියා හිතෙන ප්‍රවාදය තෝරා ගන්න වෙනවා. 

ඉහත තෙවන විකල්ප ප්‍රවාදය කරලියට එන්නේ පළමු ප්‍රචලිත ප්‍රවාදයට එරෙහි ප්‍රවාදයක් ලෙසයි. පළමු ප්‍රවාදයෙන් වැරැද්ද පාරිභෝගිකයින් වෙත දමනවා. දෙවැන්නෙන් වැරැද්ද ව්‍යාපාරිකයින් වෙත දමනවා. මේ දෙකම දේශපාලනිකයි. ඒ විවේචනය මගේ ප්‍රවාදයත් ඒ විදිහටම වලංගුයි. ප්‍රවාදයක ස්වභාවයෙන්ම ඌණිතවාදී ප්‍රවේශයක් තියෙන නිසා එය ප්‍රවාදය හදන පුද්ගලයාගේ දැක්මට සාපේක්ෂ වීම නොවැලැක්විය හැකියි. 

ප්‍රවාදයක් ඇතුළෙන් මේ විදිහට දේශපාලනික ස්වරූපයක් පෙනෙන්න තිබෙන විට සහ පහසුවෙන් බැහැර කළ නොහැකි විකල්ප ප්‍රවාද එකකට වඩා තිබෙන කොට කවුරු හෝ කෙනෙක් තමන්ගේ දේශපාලන අභිරුචියට වඩා ගැලපෙන ප්‍රවාදයක් තෝරා ගෙන ඒ වෙනුවෙන් පෙනී සිටින එකත් වලක්වන්න බැහැ. විශේෂයෙන්ම මේ නිශ්චිත කාරණයේදී ප්‍රශ්නයට විසඳුම් යෝජනා කෙරෙන්නේ ප්‍රවාදයක් ඇතුළේ සිට නිසා.

උදාහරණයක් විදිහට පළමු ප්‍රවාදය පිළිගත් විට පරිභෝජනය සීමා කිරීම සඳහා පාරිභෝගිකයින් මත බදු පැනවීම සාධාරණීකරණය කෙරෙනවා. එයට එරෙහිව තෙවන ප්‍රවාදයෙන් ව්‍යාපාරිකයින්ගේ ලාබ මත බදු පැනවිය යුතුයි කියා යෝජනා කෙරෙනවා. මගේ ප්‍රවාදයට සාපේක්ෂව බැලුවොත්, ඔය කතා දෙකම එකම කාසියේ දෙපැත්ත. මේ දෙකෙන්ම කරන්නේ රජය ආරක්ෂා කරන එක. විශාල රජයක් යුක්තිගරුක කරන එක. වෙළඳපොළට විරුද්ධ වෙන එක. (පාරිභෝගිකයින්ට එරෙහිව ව්‍යාපාරිකයින්ගේ පැත්ත ගැනීම හා වෙළඳපොළ වෙනුවෙන් පෙනී සිටීම කියන්නේ කරුණු දෙකක්. ධනවාදය කියා කියන්නේ වෙළඳපොළ නිදහස වෙනුවෙන් පෙනී සිටීම මිසක් ව්‍යාපාරිකයින්ගේ පැත්ත ගැනීම නෙමෙයි.)

අනුභූතික දත්ත වලින් සහයෝගයක් නොලැබෙන නමුත් අපි මොහොතකට තෙවන ප්‍රවාදය පිළිගනිමු. මේ ප්‍රවාදය අනුව, ඇත්තටම වෙළඳ හිඟයක් නැහැ. ආනයන හා අපනයන කරන ව්‍යාපාරිකයින් විසින් විදේශ විණිමය රටින් පන්නන නිසා තමයි වෙළඳ හිඟයක් තියෙනවා වගේ පේන්නේ. දැන් යම් හෙයකින් මෙහෙම දෙයක් වෙනවානම් එයින් පැහැදිලිව පේන්නේ ඔවුන්ට විදේශ විණිමය රටින් පන්නන්න අවශ්‍යතාවයක් තිබෙනවා කියන එකයි. ඔය වැඩේ ඔය විදිහට සිදු නොවී වෙනත් විදිහකට සිදු වුනා කියා අපි හිතමු. ඒ කියන්නේ අපනයනකරුවෝ ඩොලර් බිලියන 15ම රටට ගේනවා. ඊට පස්සේ එයින් ඩොලර් බිලියන 5ක් රටින් එළියට ගෙනියනවා. ඒ වගේම, ආනයනකරුවෝ ආනයන කරද්දී හරියට ගනන් පෙන්නලා, ඩොලර් බිලියන පහක් විධිමත් ලෙස වෙනම රටෙන් එළියට ගෙනියනවා. ආර්ථික විද්‍යා අර්ථයකින් බැලුවොත් ඔය කතාවේ සහ මුල් කතාවේ විශාල වෙනසක් නැහැ. වෙනස තියෙන්නේ සල්ලි ගෙන යන ආකාරයේ පමණයි.

දැන් මම මෙහි කියපු විදිහට ඔය වැඩේ වුනොත් වෙළඳ ශේෂයක් නැහැ. නමුත් ගෙවුම් ශේෂ හිඟය ඒ විදිහටම තියෙනවා. ඒ කියන්නේ විදේශ විණිමය අර්බුදය හා අදාළව ප්‍රශ්නය මේ ඩොලර් ටික රටෙන් යන එක මිසක් යන ආකාරය නෙමෙයි. හැබැයි හරි පාරේ නොගොස්, නීති විරෝධී ලෙස සල්ලි එළියට යන එකේ රජයේ බදු ආදායම් අහිමි වීම වැනි වෙන ප්‍රශ්න තියෙන්න පුළුවන්.

ප්‍රශ්නය විදේශ විණිමය ගලනය කියා හිතුවොත්, ඇත්තටම වෙන්නේ පළමු ප්‍රවාදයේ කියන කතාව නොවී තෙවන ප්‍රවාදයේ කතාව වුනත් මගේ ප්‍රවාදය අනුව විග්‍රහයේ ලොකු වෙනසක් නැහැ. අපි හිතමු ව්‍යාපාරිකයින් විසින් වසරකට ඩොලර් බිලියන දහයක් රටින් පන්නනවා කියලා. යම් හෙයකින් එය එසේ වුවත්, ඔවුන්ට එහෙම කරන්න හැකි වී තිබෙන්නේ රජය ණය වී ඔය ඩොලර් බිලියන දහය වෙළඳපොළට පොම්ප කරන නිසා. රටේ ඩොලර් නැත්නම් රටෙන් ඩොලර් පන්නන්න බැහැ. අවසාන වශයෙන් මගේ ප්‍රවාදය හරහා හඳුනා ගන්නා ප්‍රශ්නයේ මූලික ස්වරූපය එකයි.

ආනයනකරුවෝ වැරදි ඉන්වොයිස් දමා රටෙන් ඩොලර් පන්නනවානම් ඒ විධිමත් ලෙස හෝ අවිධිමත් ලෙස වෙළඳපොළෙන් මිල දී ගන්න ඩොලර්. ඔවුන් එහෙම කරන්නේ එක පැත්තකින් අතේ රුපියල් තිබෙන නිසා. අනෙක් පැත්තෙන් ඩොලර් ලාබෙට තියෙන නිසා.

අපනයනකරුවන් දිහා බැලුවත් එහෙමයි. ඔවුන් ඩොලර් රටට ගේන්නේ නැත්තේ එක පැත්තකින් මාරු කළාම ලැබෙන රුපියල් ප්‍රමාණය මදි නිසා. අනෙක් පැත්තෙන් ඒ සල්ලි නොගෙනාවත් අතේ ඇති වෙන්න රුපියල් තිබෙන නිසා.

ප්‍රශ්නයට හේතුව ව්‍යාපාරිකයින් විසින් ඩොලර් රටින් පැන්නීම කියන උපකල්පනයේ සිට පටන් ගත්තත්, පාරිභෝගිකයින්ගේ අධිපරිභෝජනය සේ සැලකුවත්,  අවසාන වශයෙන් පාදක හේතුව එකමයි. අච්චු ගහන රුපියල් සහ ලාබෙට විකුණන ණයට ගත් ඩොලර්!

ප්‍රශ්නයට විසඳුම පාරිභෝගිකයින් පාලනය කිරීමට හෝ ව්‍යාපාරිකයින් පාලනය කිරීමට රජයට තව තවත් බලතල දෙන එක නෙමෙයි. රජයේ අයවැය හිඟය පියවා ගන්න බල කරන එක. ඒ වැඩේ වුනොත් සල්ලි අච්චු ගහන එක සහ විදේශ ණය අරගෙන රුපියල් කරන එක නවතිනවා. ඒ එක්කම, ඩොලරය විදේශ ණය පොම්ප කරලා ලාබ කරන එක කරන්න බැරි වෙනවා. රුපියල් පොම්ප කරන එකත් නවතිනවා. ප්‍රශ්නය පාරිභෝගිකයින්ගේ අධිපරිභෝජනයනම් දැන් ඒ වැඩේ සීමා වෙනවා. ප්‍රශ්නය ව්‍යාපාරිකයින් විසින් සල්ලි පන්නන එකනම් ඒකත් නවතිනවා.

Friday, June 3, 2022

ආයෙත් ඩොලර් එක හිර කරගෙනද?

දවසකට දෙකකට සැරයක් රුපියල් පහකින් හෝ දහයකින් ඉහළ ගිය ඩොලරයක මිල දැන් ඒ විදිහට ඉහළ යන්නේ නැහැ. ඩොලරයක මිල රුපියල් 360 ආසන්නයේ ස්ථාවර වෙලා. හැබැයි ස්ථාවර වෙලා කිවුවට මෙතැන ඇත්තටම වෙලා තියෙන්නේ මහ බැංකුව මැදිහත් වී මිල ස්ථාවර කිරීමක් කියන එක කාටවත් රහසක් නෙමෙයි.

මීට කලින් ඩොලරයක මිල රුපියල් 200 මට්ටමේ තියාගෙන ඉඳලා වෙච්ච සන්තෑසිය කාටවත් රහසක් නෙමෙයිනේ. දැන් ආයෙත් නැවත වටයකින් ඒ වගේම දෙයක් වෙන්නද යන්නේ?

කලින් පාර ඩොලරයක මිල රුපියල් 200 මට්ටමේ තියාගන්න ගිහින් මහ බැංකුවේ සංචිත බිංදුවටම හිඳුනා. දැන් මහ බැංකුව සතුව සංචිත නැහැ. එහෙමනම් ඩොලරයක මිල රුපියල් 360 මට්ටමේ තියාගන්නේ කොහොමද? එහෙම කරන එකේ මොකක් හෝ තේරුමක් තියෙනවද? 

වෙළඳපොළ තුළ ඩොලරයක මිල තීරණය වන්නේ ලංකාව ඇතුළේ ඩොලර් වලට තිබෙන ඉල්ලුම හා ඩොලර් සැපයුම මත. අපනයන, ශ්‍රමික ප්‍රේෂණ, සංචාරකයින්, රජය විසින් ගන්නා ණය, බැංකු වලට එන ඩොලර් තැන්පතු ආදිය හරහා රටට ඩොලර් එනවා. ආනයන, විදේශ සංචාර, ණය ආපසු ගැනීම් ආදිය ඉහළ යද්දී ඩොලර් ඉල්ලුම ඉහළ යනවා. සැපයුමට වඩා ඉල්ලුම වැඩි වූ විට ඩොලර් අවශ්‍ය අයට වෙළඳපොළේ තිබෙන සීමිත ඩොලර් ප්‍රමාණය මිල දී ගැනීමට තරඟ කරන්න වෙනවා.  ඒ තරඟය නිසා ඩොලරයේ මිල ඉහළ යනවා. ඩොලරයේ මිල ඉහළ ගියාම ආනයන ඉල්ලුම, විදේශ සංචාර ආදිය අඩු වෙලා ඩොලර් ඉල්ලුමත් පහළ ගිහින් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. ඕක තමයි ලංකාවේ ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වන සාමාන්‍ය ක්‍රමය.

එතකොට පහුගිය කාලයේ වුනේ කුමක්ද? විශාල ලෙස සල්ලි අච්චු ගහපු නිසා ආනයන ඉල්ලුම ඉහළ ගියා. ඇයි අතේ තියෙන රුපියල් වියදම් කරන්න ක්‍රමයකුත් හැදෙන්න ඕනෑනේ. නමුත් සල්ලි අච්චු ගැහුවා කියලා රටේ නිෂ්පාදනය වැඩි නොවන නිසා මිල දී ගන්න වෙන්නේ ආනයනය කරන දේවල්. 

දැන් ඔය විදිහට ආනයන ඉල්ලුම වැඩි වෙද්දී ඩොලර් ඉල්ලුමත් ඉහළ යනවා. හැබැයි ඩොලර් සැපයුම වැඩි වෙන්නේ නැහැනේ. මහ බැංකුව විසින් කළේ සංචිත විකුණමින් ඉල්ලුමට සරිලන තරමට ඩොලර් සපයන එක. එවිට එම ඩොලර් ආනයන සඳහා යොදා ගන්න පුළුවන්. මොන විදිහෙන් හෝ ඉල්ලුම හා සැපයුම සමතුලිත වන නිසා මිල ඉහළ යන්නේ නැහැ. ඔය වැඩේ කරන්න ගිහින් අවසාන වශයෙන් රටේ ඩොලර් සංචිතය බිංදුවටම හිඳුනා කියලා අපි දන්නවනේ.

දැන් මහ බැංකුවට ඔය වැඩේ කරන්න බැහැ. මොකද ඔය වැඩේ කරන්න පුළුවන් සංචිත අතේ තියෙනවානම් පමණයි. ඒ කියන්නේ ඩොලරයක මිල කීයට ගියත් මහ බැංකුවට උඩ බලාගෙන ඉන්නවා මිසක් කරන්න පුළුවන් දෙයක් නැහැ. මිල ඉහළ යාමෙන්ම ඉල්ලුම හා සැපයුම සමතුලිත විය යුතුයි.

මේ වෙද්දී මිල ඉහළ ගොස් තියෙන තරමට හා වෙනත් ක්‍රියාමාර්ග නිසා හරිනම් ලංකාවේ ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙන්න ඕනෑ. නමුත් තවමත් ඒක වෙලා නැහැ. ඊට ප්‍රධාන හේතුව කලින් ලැබුණු ශ්‍රමික ප්‍රේෂණ ඒ විදිහටම නොලැබීම. ඒකට හේතුව දේශපාලන හේතු නිසා පිටරට වල ඉන්න අය සල්ලි එවන්නේ නැතුව සිටීම වගේ සරල දෙයක් නෙමෙයි. හේතුව මම පැහැදිලි කරන්නම්.

ස්ටීව් හැන්කි ගැන දැන් හැමෝම වගේ දන්නවනේ. ඔහු ලංකාවේ උද්ධමනය ගණනය කරන්න ගන්නේ ඩොලරයක කළුකඩ මිල. මේ දත්ත ගන්නේ රුපියල් ගෙවා ක්‍රිප්ටෝ ඇතුළු වෙනත් මුදල් වර්ග මිල දී ගත හැකි වෙබ් අඩවියකින්. පසුගිය පෙබරවාරි මාසය පමණ දක්වා මේ වෙබ් අඩවියේ රුපියල් ගනුදෙනු සිදු වී තිබෙන්නේ ඉතා අඩුවෙන්. සමහර විට දවස් ගාණකට එකක්. ගනුදෙනු සිදුවන මිලත් බැංකු වල මිලට ආසන්නයි. 

පෙබරවාරි මාසයේදී පමණ එකවර හදිසි වෙනසක් වෙනවා. දෛනික රුපියල් ගනුදෙනු ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළ යනවා. බැංකු වල මිල හා කළුකඩ මිල අතර පරතරයද විශාල ලෙස වැඩි වෙනවා. 

පහත රූප සටහන දිහා බැලුවහම මෙය හොඳින් දකින්න පුළුවන්. දැන් මේ වුනේ කුමක්ද?

විණිමය සමපේක්ෂකයෝ කියලා ජාතියක් ලෝකයේ ඉන්නවා. මේ අය බලාගෙන ඉන්නේ ව්‍යවහාර මුදල් ගනුදෙනු වලින් තමන්ට ලොකු ලාබයක් ගන්න පුළුවන් අවස්ථාවක් එළැඹෙන තුරු. රටක මහ බැංකුවක් පිස්සු කෙලිනවා කියන්නේ ඒ වගේ වාසියක් ගන්න පුළුවන් හොඳම අවස්ථාවක්. ජෝජ් සෝරෝස් ඔය විදිහට වෙලාව බලලා එංගලන්තයේ මහ බැංකුවටත් ගේම දුන්න හැටි අහල ඇතිනේ. 

ලංකාවේ මහ බැංකුව සංචිත විකුණමින් ඩොලරයේ මිල ආරක්ෂා කරගෙන ඉන්නවා කියන එකත්, ඔය වැඩෙන් කොයි වෙලාවක හෝ කෙළවගන්නවා කියන එකත් අපි වගේ මැට්ටන්ට පවා කලින්ම තේරුණ එකේ ඕවා ගැන නිරන්තර අවධානයෙන් ඉන්න විණිමය සමපේක්ෂකයන්ට ඕක මීටර් නොවී තියෙන්නේ නැහැනේ. හැබැයි මේ ගොල්ලෝ හදිස්සි වෙන්නේ නැහැ. බලාගෙන ඉන්නවා.

ඔහොම ගිහින් ගිහින් ලංකාවේ සංචිත ඉතාම පහළ මට්ටමකට වැටෙනවා. දැන් කොයි වෙලාවේ හෝ ඩොලර් එක අතාරින්න වෙනවා කියන එක සහසුද්දෙන්ම පේනවා. ඔන්න ඔය වෙලාවේ සමපේක්ෂකයෝ වැඩ පටන් ගන්නවා. බැංකු ඩොලර් වලට රුපියල් 200ක් පමණක් ගෙවද්දී ලංකාවට සල්ලි එවන්න අවශ්‍ය අයට රුපියල් 240-260 වගේ ගණන් දීලා ඒ ඩොලර් මිල දී ගන්නවා. මේ විදිහට වැඩි මිලට ඩොලර් මිල දී ගන්නවා කියන්නේ අඩු මිලට රුපියල් විකුණනවා කියන එක. හැබැයි විකුණන්නේ නැති රුපියල්. ඉංග්‍රීසියෙන් කිවුවොත් රුපියල් ෂෝර්ට් සෙල් කරනවා.

මේ වැඩේ අවදානම් වැඩක්. හැබැයි ඔය වගේ වැඩ වලට අතගහන්නේ පළපුරුද්දක් තිබෙන අය. ඒ එක්කම ලංකාවේ රුපියලේ අපේක්ෂිත කඩා වැටීම, උද්ධමනය ආදිය තිබෙනවාටත් වඩා අතිශයෝක්තියට නංවලා මිනිස්සු බය කළාම ලංකාව ඇතුළේ රුපියල් ඉල්ලුම පහළ ගිහින් ඩොලර් ඉල්ලුම ඉහළ යනවා. ඒ කියන්නේ ලංකාවේ මිනිස්සු ඩොලරයකට විශාල මුදලක් ගෙවන්න සූදානම් වන වාතාවරණයක් හැදෙනවා. ඊට පස්සේ අතින් සල්ලි යට නොකරම ලාබ එකතු කරන්න පටන් ගන්න පුළුවන්. 

ලංකාවට එවන්න ඉන්න ඩොලරයක් රුපියල් 240ට අරගෙන ගෙදර අයට ඒ සල්ලි දෙන්න පොරොන්දු වුනා කියමු. අනෙක් පැත්තෙන් ඒ ඩොලර් එක රුපියල් 260ට ලංකාවේම කාට හරි විකුණලා අවශ්‍ය රුපියල් ටික එකතු කරගන්න ගමන් ලාබෙකුත් තියා ගන්නවා. ඔය වැඩේ දිගටම කරද්දී එකතු වන රුපියල් ලාබ ටිකත් ඔය ක්‍රමයෙන්ම ඩොලර් කර ගන්න පුළුවන්, අන්තිමේදී සල්ලි යට නොකරම ඩොලර් වලින්ම විශාල ලාබයක් ලැබිලා. විණිමය සමපේක්ෂණය කියන්නේ ඔය වගේ වැඩක්. 

මම හිතන විදිහට මේක ලංකාවට එන ශ්‍රමික ප්‍රේෂණ නොලැබී යන්න ප්‍රධානම හේතුවක්. විණිමය සමපේක්ෂකයා විසින් තමන්ට ලාබ හොයන්න කරන අතරමැදි ක්‍රියාවලිය හරහා ශ්‍රමික ප්‍රේෂණ ලංකාවට නොපැමිණ රටින් පිට නවතිනවා. ලංකාවේ ඉන්න තමන්ගේ අතේ රුපියල් තියෙන අය ඒ රුපියල් ක්‍රිප්ටෝ වලට හැරවීම සඳහා හෝ ඩොලර් වලට හැරවීම සඳහා සමපේක්ෂකයා හරහා මේ ඩොලර් ලබා ගන්නවා. ඒ කියන්නේ මේ ක්‍රියාවලිය වෙන්නේ ලංකාවේ ඉන්න අතේ රුපියල් වත්කම් තිබෙන බොහෝ දෙනෙක් තුළ රුපියල විශාල ලෙස කඩා වැටෙයි කියා තිබෙන බය නිසා. ඒ බය නැත්නම් ඒ අය වැඩි මිලක් දීලා ක්‍රිප්ටෝ මිල දී ගන්නේ නැහැ. එහෙම ඩොලර් හෝ ක්‍රිප්ටෝ ගන්න කෙනෙක් නැත්නම් විණිමය සමපේක්ෂකයන්ට ක්‍රියාත්මක වී රුපියල් ෂෝට්සෙල් කිරීමෙන් ලාබ ගන්නත් බැහැ. 

පෙබරවාරි මාසයේදී විතර විණිමය සමපේක්ෂකයෝ ලංකාවේ රුපියලට ඇටෑක් කරනවා. එහෙම කරලා පෙබරවාරි අවසානය වෙද්දී ඩොලරයක කළු කඩ මිල රුපියල් 270 පමණ දක්වා ඉහළ දමනවා. මේක කරන්නේ ගණන් හදලා. රුපියල් 270 කියන්නේ ක්‍රය ශක්ති සාම්‍ය පදනම අනුව බැලුවොත් (ආසන්න වශයෙන්) රුපියල තිබිය යුතු මිල. මේ විදිහට කළුකඩ මිල එහි "නියම මිල" දක්වා ඉහළ යාමෙන් පසුව මහ බැංකුවට රුපියල අත නොහැර බැරි වෙනවා. 

මේ වගේ වැඩක් කලින්ම කළානම් මහ බැංකුව වැඩිපුර සංචිත ටිකක් විකුණලා රුපියලේ පාලනය අතට ගන්නවා. සමපේක්ෂකයන් වැඩේට අත ගහන්න පෙබරවාරි වනකම් බලා ඉන්නේ ඒ නිසා. විණිමය සමපේක්ෂකයන්ගේ සාමාන්‍ය උපාය මාර්ගය වන්නේ හොඳටම දුර්වල වෙනකම් ඉඳලා එක පාරෙන් නොකවුට් කරන එක. 

සමපේක්ෂකයින් ක්‍රියාත්මක වුනේ නැත්නම් ඩොලරයක මිල රුපියල් 275 පමණ මට්ටමකට යාමෙන් පසුව මිල ස්ථාවර විය යුතුව තිබුණා. නමුත් සමපේක්ෂකයින් විසින් ශ්‍රමික ප්‍රේෂණ එවන අයට රුපියල් ෂෝට් සෙල් කරමින් රුපියලේ පාලනය අතට ගත්තා. ඉන්පසුව දවසකට දෙකකට වරක් ඩොලරය රුපියල් පහකින් දහයකින් වැඩි වෙන්න පටන්ගත්තා. මහ බැංකුවට සංචිත මුදා හැරීම හරහා තත්ත්වය පාලනය කිරීමට ඉඩක් ඉතිරි වී තිබුණේ නැහැ. 

මේ වගේ තත්ත්වයක් යටතේ ඩොලරයක මිල කීයට ගියත් ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වන්නේ නැහැ. මිල ඉහළ යාමේදී ආනයන ඉල්ලුම ආදිය පහළ යනවා වුවත් එක් සීමාවකින් පසුව ඒ වැඩේ වෙන්නේ නැහැ. ඉන්ධන, ආහාර, ඖෂධ ආදිය මිල වැඩි කිරීමෙන් පමණක් ලොකුවට සීමා කරන්න බැහැ. ඒ නිසා, ඩොලරයක මිල 360 දක්වා ඉහළ ගියාට පස්සේ එම මිල තවදුරටත් ඉහළ යන්න දීමෙන් ඩොලර් ඉල්ලුම විශාල ලෙස අඩු වෙන්නේ නැහැ. අනෙක් පැත්තෙන් ඩොලරයක මිල දවසින් දවස ඉහළ යද්දී ඩොලර් වලට තිබෙන සමපේක්ෂණ ඉල්ලුම ඉහළ යනවා. ඒ නිසා, තවදුරටත් දිගින් දිගටම මිල ඉහළ යන්න දෙනවා වෙනුවට මිල මාර්ගෝපදේශනය ඇතුළු තවත් ක්‍රියාමාර්ග හරහා සමපේක්ෂණ ඉල්ලුම පාලනය කරන්න උත්සාහ දැරීම හොඳ ප්‍රවේශයක්. 

රූප සටහන දිහා බැලුවහම මේ කරුණ තහවුරු වෙනවා. මහ බැංකුව ඩොලරයක මිල රුපියල් 360 මට්ටමේ තියාගන්න කියලා බැංකු වලට කියලා නැහැ. දවසක් ඇතුළත මිල ඉහළ දැමිය හැකි ප්‍රමාණය පමණයි සීමා කරලා තිබෙන්නේ. නමුත් මිල ඉහළ ගිහින් නැහැ. ඒ කියන්නේ මේ මිල සම්බන්ධව බැංකු වලට ප්‍රශ්නයක් නැහැ කියන එකයි. හැබැයි මහ බැංකුව විසින් නොනිල ලෙස බැංකු වල විණිමය අනුපාතය පාලනය කරනවාද කියලා අපි දන්නේ නැහැ. එහෙමත් වැඩ වෙනවනේ. 

වැදගත්ම දේ ඒක නෙමෙයි. මොන විදිහෙන් හෝ ඩොලරයක මිල රුපියල් 360 මට්ටමේ තියාගෙන ඉන්න බව පැහැදිලිව පේනවනේ. මේ මිල නියම මිල නෙමෙයිනම්, නියම මිල වඩා වැඩි මිලක්නම්, ඔහොම කරද්දී ඩොලර් ඉල්ලුම හා සැපයුම අතර පරතරය ටිකෙන් ටික වැඩි වෙන නිසා කළුකඩ මිල ටිකෙන් ටික ඉහළ යා යුතුයිනේ. නමුත් ඇත්තටම වෙමින් තියෙන්නේ ඒකේ අනෙක් පැත්ත. මහ බැංකුව මේ වැඩේ පටන් ගත් දවසේ ඉඳලා කළුකඩ මිල ටිකෙන් ටික පහළ වැටෙන්න පටන් අරන්. ඒ ඇයි?

සමපේක්ෂකයන්ගේ ගේම් එක වැඩ කරන්නේ දවසින් දවස ඩොලර් එක වැඩි වෙද්දී ඇති වන බය එක්ක. ඔය බයට ලංකිකයෝ කීය හෝ දීලා ඩොලර් ගන්නවා. වැඩේ පාඩුවකුත් නැහැනේ. අද අරන් හෙට ආපහු විකිණුවත් රුපියල් දහයක් විතර වාසියි. රට ඇතුළේ ඔය ඉල්ලුම තියෙන තුරු සමපේක්ෂකයින්ට බය නැතුව රුපියල් ෂෝට් සෙල් කරන්න පුළුවන්. අනෙක් පැත්තෙන් වැඩි මිලක් ගෙවලා ශ්‍රමික ප්‍රේෂණ ටික එකතු කරගන්න පුළුවන්. 

මහ බැංකුවේ තීරණය නිසා දැන් වැඩේ බැක්ෆයර් වෙලා.  රට ඇතුළේ තිබුණු සමපේක්ෂණ ඩොලර් ඉල්ලුම එක පාරටම අඩු වෙලා. ඒ එක්ක කළුකඩ මිල ටිකෙන් ටික පහත වැටෙනවා. මැයි 15 වන විට රුපියල් 442.74 දක්වා ඉහළ ගොස් තිබුණු ඩොලරයක කළුකඩ මිල ඊයේ (ජූනි 2) වෙද්දී රුපියල් 411.06 දක්වා පහත වැටිලා. මහ බැංකුවේ මිල එලෙසම තිබියදී කළුකඩ මිල අඩු වීමෙන් පෙනෙන්නේ සමපේක්ෂණ ඉල්ලුම අඩු වෙමින් තිබෙන බවයි.

මේ අනුව, මහ බැංකුවේ උපක්‍රමය සාර්ථක වී තිබෙන බව පේනවා. ඉල්ලුම හා සැපයුම අතර පරතරයක් ඇති විට මිල ඉහළ යන්න දීමේ අරමුණ ඉල්ලුම අඩු කර එම පරතරය නැති කිරීමයි. පවතින සුවිශේෂී තත්ත්වය තුළ එය අසීරු වුවත් මහ බැංකුව විසින් වෙනත් ක්‍රමයකින් ඩොලර් ඉල්ලුම අඩු කිරීමට සමත් වී තිබෙනවා.

එහෙමනම් මේ වැඩේ කරන්න ඩොලරයක මිල රුපියල් 360 වන තුරු හිටියේ ඇයි? ඔය වැඩේ කලින්ම කරන්න තිබුණනේ?

එහෙම කරන්න බැහැ. මේක මහ බැංකුව සහ විණිමය සමපේක්ෂකයින් අතර ගේම් එකක්. මහ බැංකුව ඩොලරයක මිල රුපියල් 200 මට්ටමේ තියාගෙන හිටියේ එය තිබිය යුතු නියම මිල ඊට වඩා වැඩි බව ඕනෑම කෙනෙකුට පැහැදිලිව තිබියදී. තමන් කරන වැඩේ "වැරැද්දක්" තිබෙන බව ඒ වෙලාවේ මහ බැංකුව දැනගෙනයි ඉන්නේ. විණිමය සමපේක්ෂකයින් විසින් ඇඟිල්ලෙන් ඇනලා මහ බැංකුව හෙළුවෙන් බව පෙන්නූ  වහාම මහ බැංකුවට විලි වහගන්න සිදු වුනේ ඒ නිසා.

දැන් තත්වය හරියටම අනෙක් පැත්ත. ඩොලරයක මිල රුපියල් 360ක් කියන්නේ ඕනෑවට වඩා වැඩි මිලක් බව සමපේක්ෂයෝ දන්නවා. මහ බැංකුව විසින් දැන් ඒ බව ඔවුන්ට පෙන්වා දී තිබෙනවා. මිල රුපියල් 300 පමණ මට්ටමක තියෙද්දී ඔය වැඩේම කළානම් බොහෝ විට අවශ්‍ය ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. ඔය වගේ වැඩකින් ප්‍රතිඵලයක් ලැබෙන්නනම් ඩොලරයක මිල දැන් තිබෙන මිලට වඩා අඩු විය යුතු බව මහ බැංකුව විතරක් හිතලා හරියන්නේ නැහැ. අනෙක් පැත්තේ ඉන්න විණිමය සමපේක්ෂයින් විසින්ද ඒ විදිහටම හිතන්න ඕනෑ. ඔවුන් හිතන්නේ තව දුරටත් මිල වැඩි විය යුතු බවනම් වැඩේ බැක්ෆයර් වෙනවා.

මහ බැංකුව පැත්තෙන් ගත් තීරණය තරමක් අවදානම් තීරණයක්. නමුත් ප්‍රතිඵල වලින් පෙනෙන්නේ මහ බැංකුවේ විනිශ්චය නිවැරදි බවයි. 

Saturday, May 14, 2022

ඩොලර් එකට වෙන්න යන දේ


පෙර ලිපියෙහි අනුමාන කළ මහ බැංකු තීරණය හා අදාළ නිල නිවේදනය හොයා ගත හැකි වුනා. මහ බැංකුව විසින් වාණිජ බැංකු වල ප්‍රධාන විධායක නිලධාරීන්ට නිකුත් කර ඇති 2022 මැයි 12 දාතම දරන හා අංක 33/04/12/0012/004 දරන මෙහෙයුම් උපදෙස් අනුව 2022 මැයි 13 දින සිට මහ බැංකුව විසින් වාණිජ බැංකු වල තැන් ගනුදෙනු (spot transactions) එක්තරා ආකාරයක නියාමනයකට ලක් කරනවා. මෙහිදී සිදුවන්නේ අදාළ ගනුදෙනු සිදුවිය යුතු උපරිම හා අවම සීමාවක් නියම කිරීමයි.

මීට පෙර මහ බැංකු අධිපති ධුරය දැරූ කබ්රාල්ගේ සයමාසික සැලැස්ම තුළද මෙවැනි දෙයක් සිදු වුනා. එය පවතින අර්බුදයටද හේතු වුනා.  දැන් සිදු වෙන්න යන්නේත් එවැන්නක්ද?

මෙය එවැන්නක් මෙන් පෙනුනත් එවැන්නක්ම නෙමෙයි. වෙනස මේකයි. කලින් වාරයේද මෙවැනිම උපරිම හා අවම සීමා නියම කිරීමක් (විධිමත් හෝ අවිධිමත් ආකාරයෙන්) සිදු වුනත් අදාළ සීමා නියම කෙරුණේ හිතුමතේට, පුද්ගල විනිශ්චයන් මතයි. එහෙත්, මෙවර මෙම සීමා නියම කෙරෙන්නේ එසේ කාගෙවත් හිතු මනාපෙට නෙමෙයි. වෙළඳපොළ මත පදනම්වයි.

මේ අනුව, එක් එක් දිනයේ සිදුවන අන්තර්බැංකු තැන් ගනුදෙනු වල බරිත සාමාන්‍ය අගය මහ බැංකුව විසින් ගණනය කරනවා. මේ ගණනය කිරීම අලුත් දෙයක් නෙමෙයි. මහ බැංකුව විණිමය අනුපාතය ලෙස දිනපතා ප්‍රසිද්ධ කරන්නේ මෙම අගයයි. මේ අගය වෙළඳපොළ මත තීරණය වන්නක්. දැන් සිදුවන අලුත් වෙනස වන්නේ ඕනෑම දිනක අන්තර්බැංකු තැන් ගනුදෙනු සිදු කළ හැකි මිල මෙසේ මහ බැංකුව විසින් නිවේදනය කරන පෙර දින පැවති සාමාන්‍ය මිලෙන් වෙනස් විය හැක්කේ නිශ්චිත සීමාවක් තුළ පමණක් වීමයි.

මෙහිදී සිදු වන්නේ වෙළඳපොළ නියාමනය කිරීමක්. එහෙත්, වෙළඳපොළ සංඥාව මග හැර යාමක් සිදු වන්නේ නැහැ. අවිනිශ්චිතතාවය අඩු කිරීමක් පමණක් සිදු වෙනවා. ඕනෑම දවසක ඩොලරයක මිල ඉල්ලුම හා සැපයුම අනුව ඉහළ හෝ පහළ යා හැකියි. එහෙත්, එසේ ඉහළ හෝ පහළ යා හැකි උපරිම සීමාවක් තිබෙනවා. ඒ නිසා, ආනයනකරුවන්ට, අපනයනකරුවන්ට හා අනෙකුත් අයට ඩොලරයේ මිල වෙනස් වීම ගැන යම් අදහසක් ඇති කර ගත හැකියි.

ඉහත සඳහන් මෙහෙයුම් උපදෙස් වල බලපෑම තීරණය වන්නේ මහ බැංකුව විසින් නිවේදනය කරන විචල්‍යතා සීමාව මතයි. පෙර දින බරිත සාමාන්‍ය තැන් මිල තීරණය වන්නේ මහ බැංකුවෙන් ස්වායත්ත ලෙස තනිකරම වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම මත වුවත්, විචල්‍යතා සීමාව තීරණය වන්නේ මහ බැංකුවේ අභිමතය මතයි. එය තීරණය කරන ආකාරය ඉහත කී අංක 33/04/12/0012/004 දරන මෙහෙයුම් උපදෙස් මාලාවේ නැහැ.

ඉන් පසුව මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන 2022 මැයි 13 දාතම දරන හා අංක 33/04/12/0012/005 දරන මෙහෙයුම් උපදෙස් අපට වෙනත් මූලාශ්‍රයකින් ලැබී තිබෙනවා. මහ බැංකු වෙබ් අඩවියෙන් මෙහි මුල් පිටපතක් සොයා ගත නොහැකි වුවත්, පෙනෙන ආකාරයට මෙය සැබෑ ලේඛණයක් කියා සිතිය හැකියි. එය පදනම් වන්නේ පෙර දින නිකුත් කළ මෙහෙයුම් උපදෙස් මතයි.

දෙවනු කී 33/04/12/0012/005 දරන මෙහෙයුම් උපදෙස් අනුව අන්තර්බැංකු තැන් අනුපාතය පෙර දින පැවති අනුපාතය වූ රුපියල් 360 සිට අඩු හෝ වැඩි විය හැක්කේ රුපියල් 2.60කින් පමණයි. මෙම සීමාව ගණනය කළ ආකාරය පැහැදිලි නැහැ. කෙසේ වුවද, මෙම මෙහෙයුම් උපදෙස් නිකුත් කිරීමෙන් අනතුරුව ඩොලරයක තැන් මිල පෙර දින පැවති රුපියල් 360 මට්ටමේම ස්ථාවර වී තිබෙනවා. මහ බැංකු උපදෙස් නොකඩමින් රුපියල් 362.60 දක්වා මිලකට ඩොලර් අලෙවි කළ හැකි වුවත් එවැන්නක් සිදු වී නැහැ.

මගේ පෙර ලිපියෙහි මා අනුමාන කළ අයුරින් පාරිභෝගිකයන්ට ඩොලර් විකිණිය යුතු හා ඔවුන්ගෙන් ඩොලර් මිල දී ගත යුතු මිල මහ බැංකුව විසින් සෘජුව තීරණය කර නැහැ. සීමා පනවා ඇත්තේ තැන් අනුපාතිකයටයි. කෙසේ වුවත්, මහ බැංකුවේ මේ තීරණයෙන් අනතුරුව විකුණුම් මිල තැන් මිලට වඩා ආසන්න වශයෙන් රුපියල් 5ක් වැඩියෙනුත් ගැනුම් මිල ආසන්න වශයෙන් රුපියල් 5ක් අඩුවෙනුත් ස්ථාවර වී තිබෙනවා. 

පවතින තත්ත්වය තුළ, මේ තීරණය නරක එකක් ලෙස මා දකින්නේ නැහැ. මෙහිදී සිදු වන පළමු දෙය විවිධ බැංකු අතර විණිමය අනුපාතයේ තිබෙන වෙනස්කම් අවම වීමයි. එවැනි ස්ථාවරත්වයක් තිබීම කාට වුවත් හොඳයි. දෙවැනි ප්‍රතිඵලය හෙට ඩොලරය කීයක් වෙයිද කියන අවිනිශ්චිතතාවය අවම වීමයි. ඒ හැර, මේ තීරණයෙන් ඩොලරයක මිල ක්‍රමයෙන් ඉහළ යාම වලක්වා නැහැ. 

තවමත් අවිනිශ්චිත කරුණකට තිබෙන්නේ මහ බැංකුව විසින් විචල්‍යතා සීමාව තීරණය කරන්න යන්නේ කොහොමද කියන එකයි. ලබන සතිය තුළ මෙයද දැන ගන්න ලැබෙයි. 

දැනට පෙනෙන්නට තිබෙන රුපියල් 2.60 දිනකට ඩොලරයක මිල ඉහළ යා හැකි උපරිම ප්‍රමාණය සේ සැලකුවත්, මේ හරහා ලැබෙන යහපත් ප්රතිඵල ගණනාවක් තිබෙනවා. අපනයනකරුවෙකුට දැන් වඩා පහසුවෙන් තමන් අතේ තිබෙන ඩොලර් විකුණනවාද තියා ගෙන ඉන්නවාද කියන තීරණය ගන්න පුළුවන්. ඒ වගේම ආනයනකරුවන්ට තමන් ඩොලරයකට ගෙවිය යුතු සාධාරණ මුදල පිළිබඳව වඩා නිවැරදි තක්සේරුවකට එන්න පුළුවන්. මූල්‍ය වෙළඳපොළකට අවශ්‍යම දෙය ස්ථාවරත්වයයි.

දැනට පවතින සාර්ව ආර්ථික තත්ත්වයන් තුළ ඩොලරයක මිල නැවත විශාල ලෙස පහත වැටේයැයි මා හිතන්නේ නැහැ. යම් හෙයකින් එසේ පහත වැටීමේ ප්‍රවණතාවක් ඇති වුනත් මේ තීරණය නිසා එකවර ඩොලරයක මිල කඩා වැටීමේ ඉඩ ඇහිරෙනවා. ඩොලරයක මිල දැන් තිබෙන මට්ටමේ ටික දවසකට හෝ ස්ථාවර වෙයිද නැත්නම් හෙමින් හෙමින් ඉහළ යයිද කියන එක බලා ගන්න වෙන්නේ වෙළඳපොළ ප්‍රතිචාර අනුවයි. බොහෝ විට එළැඹෙන සතිය තුළ මේ දිශානතිය නිරීක්ෂණය කරන්න පුළුවන් වෙයි.

Friday, May 13, 2022

ඩොලරයක මිල අඩු වුනේ කොහොමද?


රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය භාර ගැනීමත් සමඟ ඩොලරයක මිල පහළ ගොස් ඇති බව ප්‍රධාන ජනමාධ්‍ය විසින් වාර්තා කරද්දී, එයට හේතුව පුත්තලමේ දූපතක් විකිණීම බව සමාජ මාධ්‍ය වල ප්‍රචාරය වෙනවා. ඇත්තටම වෙලා තියෙන්නේ කුමක්ද? පුත්තලමේ දූපත බදු දී ඇත්නම් එය මේ වෙලාවේ හැටියට කිසිසේත්ම නරක තීරණයක් නොවුනත්, ඩොලරයේ මිල වෙනස් වීම හා දූපත බදු දුන් කතාව අතර සම්බන්ධයක් නැහැ.

මේක තරමක් සංකීර්ණ කාරණයක් නිසා මම සියයට සියයක් තාක්ෂනිකව නිවැරදි ලෙස විස්තර කරන්න මහන්සි නොවී හැකි තරම් සරල ලෙස පැහැදිලි කරන්නම්. 

වෙළඳපොළ තුළ විණිමය අනුපාතය තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම මතනේ. දිගුකාලීනව බැලුවොත් ඉල්ලුම හා සැපයුම තීරණය වන්නේ ක්‍රය ශක්ති සාම්‍ය මූලධර්මය අනුව. එහෙත් කෙටිකාලීනව ඉල්ලුම හා සැපයුම තීරණය වන්නේ සමපේක්ෂණය මත. මේ කියන දේවල් පැරණි ලිපි වල විස්තරාත්මක ලෙස පැහැදිලි කර තිබෙනවා.

මේ වෙලාවේ ලංකාවේ විණිමය වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම තනිකරම වගේ තීරණය වන්නේ සමපේක්ෂණය මත. අවුරුදු ගණනක් තිස්සේම ඩොලරයක මිල ඉහළ යා යුතු බව මම දිගින් දිගටම කිවුවේ ක්‍රය ශක්ති සාම්‍ය මූලධර්මය මත පදනම්වයි. ලංකාව මේ වගේ ඩොලර් අර්බුදයක හිර වුනේ එසේ නොකර ඩොලරයක මිල පහළ මට්ටමක තියාගෙන හිටපු නිසා. අඩු වශයෙන් වසරකට කලින් IMF ගිහින්, විණිමය අනුපාතය පාවෙන්න ඇරියානම් ඩොලරයක මිල රුපියල් 275 පමණ මට්ටමක නවතිනවා. ක්‍රය ශක්ති සාම්‍ය මූලධර්මය අනුව බැලුවොත් ඩොලරයක මිල දැන් තරමටම ඉහළ යා යුතු නැහැ. 

ඩොලරයක මිල සමපේක්ෂණය මත තීරණය වන විට එයට පාලනයක් නැහැ. නියම වටිනාකමක්, නියම මිලක් කියා දෙයක් නැහැ. ඩොලරයක මිල ඉහළ යයි කියා හැමෝම හිතුවොත් මිල ඉහළ යනවා. අඩු වෙයි කියා හැමෝම හිතුවොත් අඩු වෙනවා. 

ඩොලරයක මිල කියා කිවුවත් ඩොලරයක මිල කියන්නේ නිශ්චිත මිලක් නෙමෙයි. මම මේ කියන්නේ දවසින් දවස මිල වෙනස් වෙන එක ගැන නෙමෙයි. උන්ඩියල් ගැනත් නෙමෙයි. යම් මොහොතක බැංකු පද්ධතිය ඇතුළේම පවතින විවිධ මිල ගණන් ගැන.

ලංකාවේ ඩොලර් වෙළඳපොළ කියන්නේ කවුරු හෝ ඩොලර් සීයක් දෙසීයක් මාරු කරන එක නෙමෙයි. මේ වෙළඳපොළේ ප්‍රධාන පාර්ශවකරුවෝ වෙන්නේ ආනයනකරුවන්, අපනයනකරුවන් හා බැංකු. ඒ අනුව, ඩොලරයකට මිලවල් තුනක් තිබෙනවා. (ඉහත ඇති ප්‍රස්ථාරය දෙස බලන්න)

1. බැංකු විසින් අපනයනකරුවන්ගෙන් ඩොලර් ගන්න මිල (ගැනුම් මිල)

2. බැංකු විසින් ආනයනකරුවන්ට ඩොලර් විකුණන මිල (විකුණුම් මිල)

3. බැංකු එකිනෙකා අතර ගනුදෙනු කරගන්නා මිල (තැන් මිල)

විකිණුම් මිල ගැනුම් මිලට වඩා වැඩි බව ඉතාම පැහැදිලියිනේ. බැංකු කරන්නේ අපනයනකරුවන්ගෙන් ඩොලර් අරගෙන ගානක් තියාගෙන ආනයනකරුවන්ට විකුණන එක. තැන් මිල සාමාන්‍යයෙන් ඔය දෙක අතර මිලක්. ඒ ඇයි?

වෙළඳපොළ සමතුලිතනම් බැංකුවක් විසින් ආනයනකරුවන්ට විකුණන්නේ අපනයනකරුවන්ගෙන් ගන්න ඩොලර් ටිකයි. ශ්‍රමික ප්‍රේෂණ එහෙමත් තිබුණත් කතාව සරල කර ගැනීම සඳහා පැත්තකින් තියමු. දැන් ඔය ඩොලර් ටික විකුණගන්න බැරිනම් කරන්නේ වෙනත් බැංකුවකට විකුණන එකයි. ඒ වගේම ඩොලර් ඉල්ලුම වැඩිනම් වෙන බැංකුවකින් මිල දී ගත හැකියි. සමස්තයක් ලෙස බැංකු පද්ධතිය ඇතුළේ ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිතයි. එහෙම නොවෙන්නේ මහ බැංකුව මැදිහත් වුනොත් පමණයි.

දැන් අපි කිසියම් බැංකුවක් ගත්තොත් ඒ බැංකුවට වෙන බැංකුවකින් ඩොලර් ගන්න පුළුවන් ගාණට වඩා වැඩි මිලක් අපනයනකරුවෙකුට ගෙවන්න හේතුවක් නැහැනේ. ඒ වගේම, වෙන බැංකුවකට විකිණිය හැකි මිලට වඩා අඩු මිලකට ආනයනකරුවන්ට ඩොලර් විකුනන්න හේතුවකුත් නැහැනේ. ඒ නිසා, සාමාන්‍යයෙන් ගැනුම් මිලට වඩා තැන් මිල වැඩියි. තැන් මිලට වඩා විකිණුම් මිල වැඩියි.

පහුගිය කාලයේ මාධ්‍ය වාර්තා බැලුවොත් බැංකු වල ඩොලරයක මිල මේ ගානයි නමුත් මහ බැංකුවේ මේ ගානයි කියලා කියන තැන් තියෙනවනේ. දැන් ඔය බැංකු වල මිල කියා කියන්නේ විකිණුම් මිල. මහ බැංකුවේ මිල කියන්නේ තැන් මිල. ඇත්තටම ඩොලරයක මිලට මොකද වෙන්නේ කියලා බලන්න හොඳම නිර්ණායකය තැන් මිල.

රනිල් අගමැති වුනු ආරංචියට ඔය තැන් මිල ටිකක් අඩු වෙලා තිබෙනවා. මම ඒකට එන්නම්. ඊට කලින් නන්දලාල් මහ බැංකු අධිපති වෙද්දීත් තැන් මිල පහළ ගියා. අප්‍රේල් 4 වෙනිදා ඩොලරයක තැන් මිල රුපියල් 310.86යි. අධිපති මාරුවෙන ආරංචියටම තැන් මිල පොඩ්ඩක් අඩු වුනා. අධිපති වැඩභාරගත් අප්‍රේල් 7 වෙනදා ඩොලරයක තැන් මිල රුපියල් 299.91 දක්වා අඩු වුනා. අප්‍රේල් 20 වන විටත් තැන් මිල රුපියල් 310 සීමාවේ රැඳී තිබුණා. 

නන්දලාල් වැඩ භාර ගැනීමෙන් පසුව IMF ගිහින් ඉක්මණින් සල්ලි අරගෙන ඇවිත් වැඩේ ගොඩදායි කියන විශ්වාසය බැංකු පද්ධතිය ඇතුළේ තහවුරු වුනා. තැන් මිල මේ විදිහට ස්ථාවර වුනේ ඒ නිසා. හැබැයි නන්දලාල්ම කරපු තවත් වැඩක් නිසා මේ ප්‍රවණතාව එළියට පෙනුණේ නැහැ. 

අපනයනකරුවන්ගෙන් ඩොලර් මිල දී ගැනීමේදී ගෙවන ඩොලරයක ගැනුම් මිල බැංකු පද්ධතිය ඇතුළේ ගනුදෙනු සිදුවන තැන් මිලට වඩා උඩින් තියාගන්න කියලා (එවැන්නක් ඇඟවෙන ආසන්න දෙයක් විය හැකියි) අලුත් අධිපතිවරයා විසින් බැංකු වලට උපදෙස් දී තිබුණා. එතකොට විකිණුම් මිල අනිවාර්යයෙන්ම ඊට වඩා වැඩි වෙනවා. මම හිතන්නේ මෙය ඉතා හොඳ තීරණයක්. මෙහි අරමුණ වුනේ ඩොලර් පුළුවන් තරමක් බැංකු පද්ධතිය ඇතුළට ගන්න එකයි. ඩොලර් ඇතුළට ගන්න තරමට අපනයන සඳහා ඩොලර් නිකුත් කළ හැකියි. අපනයන භාණ්ඩ හිඟය අඩු කළ හැකියි. මේ හේතුව නිසා ඩොලරයක විකිණුම් මිල ඉහළ ගියත්, තැන් මිල ස්ථාවර වුනා. ඩොලරයක මිල දිනෙන් දින ඉහළ යාම ගැන ලෙඩ්ඩු බය වුනත්, දොස්තරලාට බය වෙන්න දෙයක් නැති බව මම කිවුවේ ඔය දවස් වල.

ඔය අතරේ තමයි IMF එකත් එක්ක සාකච්ඡා පැවැත්වුණේ. අප්‍රේල් 18-22 කාලයේ. IMF එකත් එක්ක සාකච්ඡා පටන් ගත්තට පස්සේ තමයි පැහැදිලි වුනේ සල්ලි ගන්න එක හිතන තරම් පහසුවෙන් හෝ ඉක්මණින් කළ නොහැකි බව. මේ තත්ත්වය බැංකු විසින් තේරුම් ගැනීමත් එක්කම ටික දවසක් ස්ථාවර වී තිබුණු තැන් මිල නැවතත් ඉහළ යන්න පටන් ගත්තා. අප්‍රේල් 20 රුපියල් 310 මට්ටමේ තිබුණු තැන් මිල අප්‍රේල් 21 වෙද්දී රුපියල් 335ට ගියා. හැබැයි විකිණුම් මිල ඒ වන විටත් රුපියල් 340 මට්ටමේ තිබුණු නිසා මේක පිටතට පෙනුණේ නැහැ. 

රනිල් අගමැති වෙන්න ආසන්නව තැන් මිල තිබුණේ රුපියල් 364.76 මට්ටමේ. රුපියල් 375 දක්වා ඉහළ ගිහින් තිබුණේ විකිණුම් මිලයි. ඇතැම් බැංකු වල මේ මිල රුපියල් 380 මට්ටම දක්වා ඉහළ ගොස් තිබුණා. රනිල් පත් වන ආරංචියත් එක්ක තැන් මිල රුපියල් 360 දක්වා පොඩ්ඩක් පහළ ගියා. විකුණුම් මිල ඊට වඩා වැඩියෙන් පහළ ගියේ වෙනත් හේතුවක් නිසා.

දින දෙක තුනකට පෙර මහ බැංකුව විසින් විණිමය ප්‍රතිපත්තියේ පොඩි වෙනසක් කළා. එහි අරමුණ වුනේ විකිණුම් මිල හා ගැනුම් මිල අතර පරතරය අඩු කිරීමයි. මාධ්‍ය වාර්තා මිසක් මහ බැංකු චක්‍රලේඛය ඇහැට දැක්කේ නැති නිසා එහි හරියටම තියෙන දෙය දන්නේ නැතත් මේ අනුව වෙන්නේ මහ බැංකුව විසින් දිනපතා උපරිම ගැනුම් මිල හා අවම විකිණුම් මිල තීරණය කිරීමයි. මේ අලුත් ප්‍රතිපත්තිය සම්බන්ධව මට තිබෙන විවේචන ගැන කතා කිරීම වෙන ලිපියකට ඉතිරි කරමු.

ඇත්තටම මෙහිදී මහ බැංකුව විසින් කරලා තියෙන්නේ කලින් දුන් උපදෙස ඉවත් කර ගැනීමක් කියා කියන්න පුළුවන්. ඒ කියන්නේ තැන් මිල නැවතත් ගැනුම් මිල හා විකිණුම් මිල අතරට ආපසු ගැනීමක්. විකිණුම් මිල රුපියල් 380 පමණ සිට 365 දක්වා පහත වැටී තිබෙන්නේ මේ හේතුව නිසා. රනිල් ආපු එකේ බලපෑමක් ඇත්නම් එය වැඩිම වුනොත් රුපියල් පහක අඩුවීමක්.

Friday, March 25, 2022

හර්ෂ කියපු කතාව මොකක්ද?


හර්ෂ ද සිල්වා විසින් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක් ගැන සමාජ මාධ්‍ය වල පුළුල් කතාබහක් ඇති වුනානේ. එහිදී එක්තරා රාජ්‍ය බැංකුවක් විසින් කර තිබෙන විදේශ ව්‍යවහාර මුදල් ගනුදෙනු පිළිබඳව තොරතුරු ඔහු අනාවරණය කළා. මේ තොරතුරු වල ඇත්ත නැත්ත මම දන්නේ නැහැ. මෙය එහිදී කියූ දේ පිළිබඳ තාක්ෂණික පැහැදිලි කිරීමක්.

මෙහිදී අපි කතා කරන්නේ යන්නේ පොදුවේ විදේශ විණිමය ගනුදෙනු ගැන වුවත්, පැහැදිලි කිරීමේ පහසුවට ඩොලර් වෙළඳාම කියා කියමු. 

ඩොලර් මිල දී ගන්න හෝ විකුනන්න අවශ්‍ය කෙනෙක් සාමාන්‍යයෙන් කරන්නේ බැංකුවකට හෝ මුදල් හුවමාරුකරුවෙකු (moneychanger) වෙත ගොස් රුපියල් නෝට්ටු දී ඩොලර් නෝට්ටු ගන්න එක. එහෙම නැත්නම් ඩොලර් නෝට්ටු දී රුපියල් නෝට්ටු ගන්න එක. සිල්ලර කඩේකින් හාල් පොල් ගන්නවා වගේ ගණුදෙනුව එතැනින් ඉවරයි. 

හැබැයි බැංකු අතර විධිමත් ලෙස සිදුවන මහා පරිමාණ විදේශ විණිමය ගනුදෙනු සිදු වෙන්නේ ඔයිට වඩා ටිකක් සංකීර්ණ විදිහකට. ඒ ගනුදෙනු වලදී බොහෝ වෙලාවට එක් ගිණුමකින් තවත් ගිණුමකට මුදල් සම්ප්‍රේෂණය වනවා මිස රුපියල් හෝ ඩොලර් නෝට්ටු හුවමාරුවක් වෙන්නේම නැහැ. විධිමත් විදේශ විණිමය වෙළඳපොළේ සිදුවන ගනුදෙනු අදාළ ගනුදෙනුව සම්පූර්ණ වීමට ගත වන කාලය අනුව වර්ග කෙරෙනවා.

එදින ගනුදෙනු (cash transactions) - ගණුදෙනුව සිදු වූ දවස ඇතුළතම ගිණුම් අතර රුපියල් හා ඩොලර් හුවමාරු වෙනවා. මෙම ගනුදෙනු Today යන්න කෙටි කර Tod transactions ලෙසද හඳුන්වනවා. 

ඉදිරි දින ගනුදෙනු (Tom transactions) - ගණුදෙනුව සිදු වූ දිනට පසු දින ගිණුම් අතර රුපියල් හා ඩොලර් හුවමාරු වෙනවා. මෙහි Tom යන්න හැදී තිබෙන්නේ Tomorrow යන්න කෙටි වීමෙන්.

තැන් ගනුදෙනු (spot transactions) - ගණුදෙනුව සිදු වූ දවසේ සිට දින දෙකක් ඇතුළත ගිණුම් අතර රුපියල් හා ඩොලර් හුවමාරු වෙනවා.

ඉදිරි හුවමාරු ගනුදෙනු (forward transactions) - ගණුදෙනුව සිදු වූ දවසේ සිට දින දෙක ඉක්මවූ කලින් එකඟ වූ දිනයකදී ගිණුම් අතර රුපියල් හා ඩොලර් හුවමාරු වෙනවා. හුවමාරුව සිදු වන දිනය බොහෝ විට සතියකට, මසකට, තෙමසකට, සයමසකට හෝ වසරකට පසුව විය හැකියි. ඇතැම් විට වෙනත් කාලයකට පසුව වෙන්නත් පුළුවන්.

මුදල් හුවමාරු ගිවිසුම් (swap transactions) - මෙම ගනුදෙනුවක කොටස් දෙකක් තිබෙනවා. දළ වශයෙන් මෙය තැන් ගනුදෙනුවක හා ඉදිරි හුවමාරු ගනුදෙනුවක එකතුවක් වැනි දෙයක්. ගනුදෙනුව අනුව පළමු හුවමාරුව සිදු කර, කලින් එකඟ වූ නිශ්චිත කාලයකට පසුව, දෙවන ගනුදෙනුවකින් මුල් ගනුදෙනුව ආපසු හැරවෙනවා.

එදින, ඉදිරි දින හා තැන් ගනුදෙනු වලදී හුවමාරුව සිදු වන විණිමය අනුපාතය විශාල ලෙස වෙනස් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් කිසියම් දිනක විණිමය අනුපාතය ලෙස හඳුන්වන අනුපාතයට මෙම අනුපාත ආසන්නව සමානයි. එහෙත්, ඉදිරි හුවමාරු ගනුදෙනු වලදී එකඟ වන විණිමය අනුපාතය බොහෝ විට වෙනස් අනුපාතයක්. ඒ වගේම හුවමාරුව සිදුවන කාලය අනුව මෙම අනුපාතය වෙනස් වෙනවා.

සාමාන්‍ය මූලධර්මයක් ලෙස තැන් අනුපාතය හා ඉදිරි හුවමාරු අනුපාතය අතර වෙනසින් අදාළ රටවල් දෙක අතර පවතින උද්ධමන වෙනස පිළිබිඹු විය යුතුයි. 

මම මෙය උදාහරණයකින් පැහැදිලි කරන්නම්. 

ලංකාවේ උද්ධමනය 17.5% ලෙසත්, ඇමරිකාවේ උද්ධමනය 7.5% ලෙසත් සලකමු. මේ අනුව, රටවල් දෙක අතර උද්ධමන වෙනස 10%ක්. එයින් අදහස් වන්නේ වෙනත් සාධක වෙනස් නොවේනම් ඩොලරයක රුපියල් මිල වසරකට 10%කින් ඉහළ යාමට නියමිත බවයි. ඒ අනුව, මාස 6කදී 5%කිනුත්, මාස 3කදී 2.5%කිනුත් මිල ඉහළ යාමට නියමිතයි.

අද තැන් අනුපාතය රුපියල් 300 සේ සලකමු.

ඒ අනුව, මාස-3 ඉදිරි හුවමාරු අනුපාතය 307.50ක්ද, මාස-6 ඉදිරි හුවමාරු අනුපාතය 315ක්ද, වසර-1 ඉදිරි හුවමාරු අනුපාතය 330ක්ද විය යුතුයි. 

ජාත්‍යන්තර මූල්‍යකරණ විෂයයෙහි ඉදිරි හුවමාරු අනුපාතය හා තැන් හුවමාරු අනුපාතය සම්බන්ධ කෙරෙන "Theory of unbiased forward rates" නම් වූ න්‍යායයක් තිබෙනවා. එයින් කියැවෙන්නේ, අද දිනයේ තිබෙන තොරතුරු අනුව, මාස 6කට පසුව තැන් හුවමාරු අනුපාතය පිළිබඳ හොඳම ඇස්තමේන්තුව අද දිනයේ පවතින මාස-6 ඉදිරි හුවමාරු අනුපාතය බවයි. මෙය වෙනත් ඕනෑම කාලයකටද අදාළයි. එහෙත්, දැනට නොදන්නා පසුව ලැබෙන්නට නියමිත තොරතුරු මත මෙය වෙනස් විය හැකියි.

ඉදිරි හුවමාරු අනුපාතය හා තැන් හුවමාරු අනුපාතය අතර වෙනස ධන අගයක්නම් එය ඉදිරි හුවමාරු අධිභාරයක් (forward premium) ලෙසත්, මෙය සෘණ අගයක්නම් ඉදිරි හුවමාරු වට්ටමක් (forward discount) ලෙසත් හැඳින්වෙනවා.

ජාත්‍යන්තර මූල්‍යකරණ විෂයයෙහි මෙන්ම ආර්ථික විද්‍යාවෙහිද ප්‍රචලිත තවත් න්‍යායක් වන්නේ ක්‍රය ශක්ති සාම්‍ය (purchasing power parity) න්‍යායයි. එම න්‍යාය අනුව දෙරට අතර උද්ධමන වෙනස එක්-වසර ඉදිරි හුවමාරු අධිභාරයට හෝ ඉදිරි හුවමාරු වට්ටමට සමාන විය යුතුයි. මාස-6 ඉදිරි හුවමාරු අධිභාරය හෝ ඉදිරි හුවමාරු වට්ටම උද්ධමන වෙනසින් බාගයකට වඩා අඩු විය යුතුයි.

ලංකාවේ උද්ධමනය ඇමරිකාවේ උද්ධමනයට වඩා වැඩි වීම සාමාන්‍ය තත්ත්වය බව අපි දන්නවා. ඇමරිකාව දිගුකාලීනව උද්ධමනය 2% මට්ටමේ තියා ගන්නා නමුත් ලංකාවේ එම ඉලක්කයම වුවත් 5% පමණ මට්ටමක්. ඇත්ත උද්ධමනය බොහෝ විට ඊටත් වඩා වැඩියි. ඒ කියන්නේ උද්ධමන වෙනස අවම වශයෙන් 3%ක් පමණවත් වෙනවා. දැන්නම් 10% පමණ. ඉදිරියේදී තවත් ගොඩක් වැඩිවෙයි.

මේ අනුව, ලංකාවේ විදේශ විණිමය වෙළඳපොළේ ඉදිරි හුවමාරු අධිභාරයක් මිස ඉදිරි හුවමාරු වට්ටමක් තිබීම සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. එවැනි තත්ත්වයක් දැකිය හැකිනම් බොහෝ විට එය අසාමාන්‍ය තත්ත්වයක්.

මුදල් හුවමාරු ගිවිසුමක් කියා කියන්නේ තැන් ගනුදෙනුවක හා ඉදිරි හුවමාරු ගනුදෙනුවක එකතුවක් වැනි දෙයක් කියා මම කිවුවනේ. මෙය පැහැදිලි කිරීම සඳහා ඉදිරි හුවමාරු අධිභාරය 10%ක් ලෙස සලකමු. මෙහිදී ගිවිසුම අනුව, A විසින් B ට අද රුපියල් 300 බැගින් කිසියම් ඩොලර් ප්‍රමාණයක් දෙනවා. හරියටම වසරකට පසුව B විසින් Aට රුපියල් 330 බැගින් ඩොලර් 100ක් දිය යුතුයි. ඒ වන විට ඩොලරයේ තැන් මිල කීයක් වුනත් එහි ලාබය හෝ පාඩුව අදාළ පාර්ශ්ව වලට භාර ගන්න වෙනවා.

හර්ෂ කියන කතාව ඇත්තනම් මහජන බැංකුව විසින් පසුව රුපියල් 185 බැගින් ඩොලර් ආපසු දෙන පොරොන්දුවට රුපියල් 200 බැගින් ඩොලර් අරගෙන. ඒ කියන්නේ ඉදිරි හුවමාරු වට්ටමකට. දැන් මහජන බැංකුවට එම ගිවිසුම අනුව වෙළඳපොළෙන් රුපියල් 300ට ගන්න ඩොලර් රුපියල් 185 බැගින් විකුණන්න සිදු වෙලා. ඩොලර් එක තව ඉහළ ගියොත් පාඩුව තවත් වැඩි වෙනවා. 

මේ වැඩෙන් මහජන බැංකුව බංකොලොත් වෙලා කඩා වැටෙන එකක්නම් නැහැ. (ඒ ඇයි කියා විස්තර කරන්න ගියොත් ලිපිය ගොඩක් දිග වෙනවා. එය පසුව කරන්නම්). නමුත්, පාඩුවක් වෙන බව ඉතාම පැහැදිලියිනේ. එය තීරණය වන්නේ ගිවිසුම්ගත මුදල් ප්‍රමාණ හා ගිවිසුම් කාල මතයි. 

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...