Thursday, June 22, 2023
මෝදිට අද ධවල මන්දිරයෙන් ඉහළම පිළිගැනීමක්!
Sunday, July 17, 2022
ඉන්දියාව කරන්න හදන්නේ මොකක්ද?
ඉන්දියාව සමඟ කරන ගනුදෙනු සඳහා ඉන්දියානු රුපියල භාවිතා කිරීම ප්‍රවර්ධනය කරමින් ඉන්දියානු සංචිත බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙහි ඉලක්කය රුසියාව, ශ්‍රී ලංකාව හෝ එම රටවල් දෙකම විය හැකියි. ඉන්දියාව මේ කරන්න හදන්නේ මොකක්ද?
ඉන්දියාවට රුසියාව සමඟ කාලයක සිටම තියෙන්නේ අවාසිදායක වෙළඳ ශේෂයක්. ඉන්දියාව රුසියාවෙන් සාමාන්‍යයෙන් වසරකට ඩොලර් බිලියන 6-7ක පමණ ආනයන සිදු කරන නමුත් රුසියාව ඉන්දියාවෙන් ආනයනය කරන්නේ එයින් බාගයක පමණ ප්‍රමාණයක් පමණයි. පසුගිය 2021 වසරේදී ඉන්දියාව රුසියාවෙන් සිදු කළ ආනයන ප්‍රමාණය ඩොලර් බිලියන 8.70 දක්වා ඉහළ ගියා. එහෙත්, රුසියාව ඉන්දියාවෙන් කළ ආනයන වල වටිනාකම වුනේ ඩොලර් බිලියන 3.33ක් පමණයි. ඒ කියන්නේ ඩොලර් බිලියන 5.37ක වෙළඳ හිඟයක්.
මේ වෙලාවේදී රුසියාව ජාත්‍යන්තර වෙළඳාමේදී සාපේක්ෂව අවාසිදායක අඩියක සිටින බව අමුතුවෙන් කිව යුතු නැහැ. බටහිර රටවල සම්බාධක නිසා රුසියාවට තමන්ගේ අපනයන සඳහා වූ වෙළඳපොළ දැඩි ලෙස සීමා වී තිබෙනවා. (එයින් බටහිර රටවලටද අවාසියක් වී තිබීම ප්‍රස්තුතයට අදාළ නැති වෙනම කරුණක්!) එම තත්ත්වය යටතේ රුසියාවට ඉන්දියානු වෙළඳපොළ ගොඩක් වැදගත්. ඉන්දියාව මේ හදන්නේ තැටිය රත් වූ වෙලාවේ රොටියක් පුච්චා ගන්න වෙන්න පුළුවන්.
දැන් ඉන්දියාව කියන්නේ කුමක්ද? හරි. අපි ඕගොල්ලන්ගේ බඩු ගන්නම්. හැබැයි ගෙවන්නේ ඉන්දියන් රුපියල් වලින්!
වෙළඳ ශේෂය තියෙන්නේ තමන්ගේ වාසියට නිසා රුසියාවට ඉන්දියාව කියන දේ නොසලකා මග හැර යන්න බැහැ. බඩු විකුණාගන්නනම් ඉන්දියානු රුපියල් භාර ගන්න වෙනවා. මේ ඉන්දියානු රුපියල් වලින් රුසියාවට කළ හැක්කේ කුමක්ද?
ඉන්දියාවේ එක් අරමුණක් වන්නේ රුසියාවට කරන ඉන්දියානු අපනයන වැඩි කර ගැනීමයි. රුසියාව ඇතුළේ ඉන්දියානු රුපියල් ගොඩ ගැහෙද්දී රුසියාවට යම් තරමකින් හෝ ඉන්දියානු අපනයන වැඩි කර ගැනීමට අවස්ථා සලසන්න වෙනවා. එහෙම නැත්නම් මේ ඉන්දියානු රුපියල් නැවත ඉන්දියාවේම ආයෝජනය කරන්න වෙනවා. එහි ප්‍රතිඵලය ඉන්දියානු රුපියල් වලට ඉල්ලුම ඉහළ ගොස් ඉන්දියානු රුපියල ශක්තිමත් වීමයි.
ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව විසින් පොලී අනුපාතික ඉහළ දැමීමත් සමඟ ගෝලීය ප්‍රාග්ධනය ඇමරිකාව වෙත ගලා එන්න පටන් අරගෙන. ඒ හරහා ඩොලරයට තිබෙන ඉල්ලුම ඉහළ ගොස් ඩොලරය ශක්තිමත් වෙමින් තිබෙනවා. අනෙක් අතට එයින් අදහස් වන්නේ ඩොලරයට සාපේක්ෂව අනෙක් මුදල් ඒකක පිරිහෙනවා කියන එකයි. යුරෝවක මිල මේ වෙද්දී ඩොලරයක මිල මට්ටම දක්වාම පහත වැටිලා.
මේ තත්ත්වය තුළ ඉන්දියානු රුපියලද සාපේක්ෂව පිරිහෙමින් තිබෙනවා. එය වලක්වා ගැනීම සඳහා ඉන්දියානු සංචිත බැංකුවට තමන් සතු විදේශ සංචිත විකිණීමට සිදුව තිබෙනවා. ඉන්දියාව සතු විදේශ සංචිත ප්‍රමාණය අනුව මේ සඳහා විකිණීය යුතු ඩොලර් ප්‍රමාණය සුළු ප්‍රමාණයක් වීම වෙනම කරුණක්. කොහොම වුනත් මේ ක්‍රියාවලිය තුළ සිදු වන්නේ ඉන්දියානු රුපියල් සඳහා ඉල්ලුම අඩු වීමක්. රුසියාව ඉන්දියානු රුපියල් මිල දී ගැනීමට පෙළඹවීමෙන් ඉන්දියාවට මේ බලපැම නිශේෂණය කර ගත හැකියි. එසේ නොහැකිනම් පාලනය කර ගත හැකියි.
දැන් අපි ලංකාවට එමු. රුසියාව සමඟ මෙන් නොව, ලංකාව සමඟ ඉන්දියාවට කාලයක් තිස්සේම තියෙන්නේ වාසිදායක වෙළඳ ශේෂයක්. පසුගිය වසරේදී ලංකාව ඉන්දියාවෙන් ඩොලර් බිලියන 4.80ක ආනයන සිදු කළා. එහෙත් ඉන්දියාව ලංකාවෙන් ආනයනය කළ භාණ්ඩ වල වටිනාකම ඩොලර් බිලියනයකටත් අඩුයි. ඉන්දියාවේ වෙළඳ අතිරික්තය, ඒ කියන්නේ ලංකාවේ ද්විපාර්ශ්වික වෙළඳ හිඟය, ඩොලර් බිලියන 3.82ක්.
මෙතැන තියෙන ප්‍රශ්නය රුසියාව සමඟ තිබෙන ප්‍රශ්නයට වඩා හාත්පසින්ම වෙනස් ප්‍රශ්නයක්. මේ ද්විපාර්ශ්වික වෙළඳ හිඟය දිගින් දිගටම නඩත්තු කළ හැකි තරමේ ඩොලර් සංචිත ප්‍රමාණයක් හෝ ඩොලර් ආදායමක් දැන් ලංකාවට නැහැ. ඒ නිසා, තමන්ගේ අපනයන වෙළඳපොළ කඩා වැටී අහිමි වී යාමේ අවදානමට ඉන්දියාවට මුහුණ දෙන්න වෙනවා.
අවශ්‍යනම් ඩොලර් වලින් නොගෙවා ඉන්දියානු රුපියල් වලින් ගෙවන්න කියලා ලංකාවට කියන්න ඉන්දියාවට පුළුවන්. හැබැයි එහෙම කිවුවා කියලා ඉන්දියාවට ගෙවන්න ඉන්දියානු රුපියල් ලංකාව සතුව නැහැ. අවශ්‍ය ඉන්දියානු රුපියල් ටිකත් මොන විදිහකින් හෝ ඉන්දියාවටම දෙන්න වෙනවා. ඉන්දියානු ණය පහසුකම් යටතේ සිදු වුනෙත් ඔය වැඩේ.
සමහර විට මේ වෙලාවේ ඉන්දියාව විසින් උත්සාහ කරන්නේ ලංකාවේ භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කිරීම සඳහා ඉන්දියානුවන් පෙළඹවීමට හා ඒ සඳහා පහසුකම් සැලසීමට විය හැකියි. මේ හරහා සෘජුව ඉන්දියානු රජය හෝ මහ බැංකුව (සංචිත බැංකුව) මැදිහත් නොවී ඉන්දියාවට ලංකාවට උදවු කරන්නත් පුළුවන්. ලංකාවට උදවු කරනවා කියා කිවුවත් මෙහිදී සිදු වෙන්නේ ඉන්දියානු ජාතික අභිලාශ ඉටුවීමක්.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දෙමසකට වැඩි කාලයක් තිස්සේ ඩොලරයක මිල රුපියල් 360 මට්ටමේ තියාගෙන ඉන්න බව අපි දන්නා දෙයක්. ඔය කාලය ඇතුළත ඇමරිකානු ඩොලරය අනෙකුත් ප්‍රධාන මුදල් ඒකක බොහොමයකටම සාපේක්ෂව ශක්තිමත් වී තිබෙනවා. ඒ නිසා, ශ්‍රී ලංකා රුපියල පසුගිය දෙමස තුළ යුරෝ, පවුම්, යෙන් ආදී මුදල් ඒකක ගණනාවකටම සාපේක්ෂව ශක්තිමත් වෙමින් තිබෙනවා. ඉන්දියානු රුපියලට සාපේක්ෂවද රුපියල ශක්තිමත් වෙමින් තිබෙනවා.
පසුගිය මැයි 6 දින ශ්‍රී ලංකා රුපියල් 4.83ක් පමණ වූ ඉන්දියානු රුපියලක මිල ඉහත තත්ත්වයන් යටතේ මේ වන විට ශ්‍රී ලංකා රුපියල් 4.51 පමණ දක්වා පහත වැටී තිබෙනවා. මේ අතර මේ වන විට ලංකාවේ භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික 32% පමණ දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලංකාවේ භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික දැනට පවතින මට්ටම හා ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ස්ථාවරව තබාගෙන සිටියදී ඉන්දියානු රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරය ශක්තිමත් වීම තුළ ඉන්දියානුවෙකුට මේ වෙලාවේ ලංකාවේ භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කර 56% පමණ පොලියක් ලබා ගැනීමේ අවස්ථාව උදා වී තිබෙනවා.
ඉන්දියානු සංචිත බැංකුව මේ සඳහා පහසුකම් සැලසීමට උත්සාහ කරනවා විය හැකියි. මේ සඳහා ඉඩ සැලසීමෙන් ලංකාවට ඉන්දියාවේ සිට පෞද්ගලික ප්‍රාග්ධනය ගලා එන අතර එම ප්‍රාග්ධනයේ උදවුවෙන් ඉන්දියාවට ලංකාව සමඟ වන වාසිදායක වෙළඳ ශේෂය දිගටම පවත්වා ගත හැකි වෙනවා. සල්ලි එන්නේ ඉන්දියානු රුපියල් ලෙස මිස ඩොලර් ලෙස නොවන නිසා මේ විදිහට ලංකාවට එන ඉන්දියානු සල්ලි වලින් ඉන්දියාවෙන් ආනයන කරන්න හෝ ඉන්දියාවෙන් කලින් ගත් ණය ආපසු ගෙවන්න මිසක් වෙන වැඩක් කරන්න බැහැ. කොහොම වුනත්, මේ වෙලාවේ ලංකාවට අවශ්‍ය වී තියෙන්නේ කොහෙන් හෝ, මොන විදිහකින් හෝ, විදේශ විණිමය හොයා ගන්න මිසක් අස්සයාගේ දත් බලන්න නොවන නිසා ලංකාව පැත්තෙන් බැලුවහම වෙලාවේ හැටියට මෙය ලොකු උදවුවක්.
මේ වැඩේ විස්තර කරපු විදිහට සිදු වෙලා ලංකාවට ඉන්දියානු රුපියල් සැලකිය යුතු ප්‍රමාණයක් ගලා ආවොත් ලංකාවේ "දැවෙන ප්‍රශ්න" ටික තාවකාලිකව විසඳෙනවා. ඒ එක්කම ශ්‍රී ලංකා රුපියලේ හා සමස්තයක් ලෙස ශ්‍රී ලංකා ආර්ථිකයේ රිමෝට් කන්ට්‍රෝල් එක ඉන්දියාව අතට යාමේ ඉඩකඩත් බැහැර කරන්න බැහැ. ඒක ඉතිං කොහොමටත් කොයි වෙලාවක හෝ වෙන දෙයක්.
Tuesday, May 24, 2022
මහ බැංකුව කඩා කරන්සි බෝඩ් එකක් හැදීම
කරන්සි බෝඩ් එකක් කියන්නේ මොකක්ද කියලා ගොඩක් අය අහලා තිබුණා. මේ ගැන ගොඩක් අයට කුතුහලයක් ඇති වුනේ ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් සරසවියේ මහාචාර්ය ස්ටීව් හැන්කි විසින් ශ්‍රී ලංකා මහ බැංකුව විසුරුවා හැරලා කරන්සි බෝඩ් එකක් හැදිය යුතු බව ට්විටර් හරහා ප්‍රචාරය කළාට පස්සේ.
ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටෙවුවේ 1950දී. ඊට කලින් ලංකාවේ තිබුණේ කරන්සි බෝඩ් එකක්. මහ බැංකුවක් හා කරන්සි බෝඩ් එකක් අතර වෙනස කුමක්ද?
කරන්සි බෝඩ් එකකින් කරන්නෙත් මහ බැංකුවකින් වගේම රටට අවශ්‍ය මුදල් ප්‍රමාණය නිකුත් කරන එක. හැබැයි කරන්සි බෝඩ් එකකට හිතේ හැටියට සල්ලි අච්චු ගහන්න බැහැ. පැහැදිලි කිරීමේ පහසුවට මම සරල කරන්සි බෝඩ් ආකෘතියක් ගැන කතා කරන්නම්. වඩා සංකීර්ණ ආකෘති තිබෙනවා. හැන්කි කතා කරන්නෙත් සරල ආකෘතියක් ගැන.
මහ බැංකුවක් වුනත්, කරන්සි බෝඩ් එකක් වුනත්, සල්ලි අච්චු ගහලා මිනිස්සුන්ට නිකම් බෙදාගෙන යන්නේ නැහැ. සල්ලි ආර්ථිකයට මුදා හරින ක්‍රමවේදයක් තියෙනවා. හැන්කි යෝජනා කරන ආකෘතිය ඇතුළේ ලංකාවේ කරන්සි බෝඩ් එකක් හැදුවොත් මේ විදිහට රුපියල් නිකුත් කරන්නේ ඩොලර් එක්ක හුවමාරුවට. ඒ වැඩේ කරන්න මුලින්ම විණිමය අනුපාතයක් නියම කරන්න වෙනවා. ඊට පස්සේ ඒ විණිමය අනුපාතය වෙනස් කරන්නේ නැහැ.
අපි හිතමු ඩොලර් එකක් රුපියල් 400යි කියලා නියම කළා කියලා. දැන් ඕනෑම කෙනෙකුට මහ බැංකුවට ඩොලර් එකක් දීලා රුපියල් 400ක් ලබා ගන්න පුළුවන්. මහ බැංකුවට දීලා කිවුවත් බැංකුවක් හරහා වක්‍ර ලෙස ඔය වැඩේ වෙන්න පුළුවන්. ඒ වගේම රුපියල් 400 දීලා ඩොලර් එකක් ආපහු ගන්නත් පුළුවන්.
දැන් මේ ක්‍රමයට හැම වෙලාවේම මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන රුපියල් ප්‍රමාණයට අනුරූප ඩොලර් ප්‍රමාණයක් සංචිත විදිහට තිබෙනවා. මහ බැංකුවේ ඩොලර් සංචිත අඩු වුනොත් රටේ සංසරණය වන රුපියල් ප්‍රමාණයත් අඩු වෙනවා. වැඩි වුනොත් වැඩි වෙනවා.
මේ ක්‍රමය යටතේ රටේ බඩු මිල ඉහළ යන්නේ ජාත්‍යන්තර ලෙස බඩු මිල ඉහළ යන විදිහටයි. වඩා නිවැරදිව කිවුවොත් ඇමරිකාවේ බඩු මිල ඉහළ යන විදිහටයි. ඇමරිකාවේ තෙල් මිල ඉහළ යද්දී ලංකාවේ තෙල් මිලත් ඒ අනුපාතයෙන්ම ඉහළ යනවා. අඩු වෙද්දී අඩු වෙනවා. ඒ කියන්නේ ලංකාවේ උද්ධමනයත් ඇමරිකාවේ උද්ධමනයට සමානයි (විවිධ හේතු නිසා මේක වෙනස් වෙනවා. දැනට ඒ දේවල් නොසලකා හරිමු).
වෙනත් විදිහකින් කිවුවොත් රුපියල බාල්දු වෙන්නේ ඇමරිකන් ඩොලරය බාල්දු වුනොත් විතරයි. විණිමය අනුපාතය වෙනස් වෙන්නේ නැත්නම් එහෙම වෙන්න ඕනෑනේ. බඩු මිල කීය වුනත් රුපියලට සත සීයයි වගේ ඩොලරයට රුපියල් හාර සීයයි.
මහ බැංකුවක් කරන්සි බෝඩ් එකකින් වෙනස් වෙන්නේ කොහොමද?
ඔය කලින් විස්තර කරපු කරන්සි බෝඩ් එකක් කරන හැම දෙයක්ම මහ බැංකුවත් කරනවා. ඒ කියන්නේ ඩොලර් දුන්නොත් රුපියල් දෙනවා. හැබැයි ඊට අමතරව මහ බැංකුවක් විසින් රජයෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගෙන ඒ වෙනුවෙනුත් රුපියල් දෙනවා. කරන්සි බෝඩ් එකක් ඔය වැඩේ කරන්නේ නැහැ.
කවුරුහරි ඩොලර් දීලා රුපියල් ගන්නම් ඒ ඩොලර් මොන විදිහකින් හෝ උපයන්න වෙනවා. ඒ නිසා, කරන්සි බෝඩ් ක්‍රමයේදී රුපියල් ප්‍රමාණය ඉහළ යන්නේ රටේ විදේශ විණිමය ඉපැයීම් ඉහළ යන්නේනම් පමණයි. නමුත් මහ බැංකු ක්‍රමයේදී එහෙම ප්‍රශ්නයක් නැහැ. රජයට ආදායම ඉක්මවා වියදම් කරලා අඩුව පුරවා ගන්න මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් විකුණන්න පුළුවන්. "සල්ලි අච්චු ගැසීම" කියා කියන්නේ ඔය වැඩේට.
මේ ක්‍රමයේදී රටේ සංසරණය වන රුපියල් ප්‍රමාණය මහ බැංකුවේ තිබෙන විදේශ සංචිත ප්‍රමාණයේ රුපියල් වටිනාකමට වඩා ඉහළ යනවා. ඒ කියන්නේ රටේ හැමෝම තමන් අතේ තිබෙන රුපියල් දීලා මහ බැංකුවෙන් ඩොලර් ඉල්ලුවොත් දෙන්න ඩොලර් මහ බැංකුවේ නැහැ. ඒ නිසා, මහ බැංකුවට ඩොලරයක මිල ඉහළ යන්න දෙන්න වෙනවා. රජය මහ බැංකුවට වැඩි වැඩියෙන් භාණ්ඩාගාර බිල්පත් විකුණද්දී ඩොලරයක මිලත් තව තව ඉහළ යනවා. උද්ධමනයත් වැඩි වෙනවා.
හැන්කි මහ බැංකුව විසුරුවලා කරන්සි බෝඩ් එකක් හදන්න කියන්නේ මේ ප්‍රශ්න විසඳගන්න. ඒ කියන විදිහට කරන්සි බෝඩ් එකක් හැදුවොත් විසඳෙන ප්‍රශ්න මොනවාද?
- ඩොලරයක මිල වෙනස් වෙන්නේ නැහැ. ස්ථිරව තිබෙනවා
- උද්ධමනය ඇමරිකාවේ උද්ධමනයට වඩා වැඩි වෙන්නේ නැහැ
- "සල්ලි අච්චු ගැසීමක්" නැති නිසා රජයට ආදායම හා වියදම ගලපා ගන්නම වෙනවා
වැඩේ හොඳයි. හැබැයි ප්‍රශ්නය ඕක කරන්නේ කොහොමද කියන එකයි. මේ වගේ වැඩක් කළ හැකි ක්‍රම දෙයක් තිබෙනවා.
- දැන් තියෙන මහ බැංකුව කරන්සි බෝඩ් එකක් බවට පරිවර්තනය කිරීම
- අලුතෙන්ම කරන්සි බෝඩ් එකක් හැදීම
ඔය විකල්ප දෙක ගැන අපි වෙන වෙනම කතා කරමු.
පළමු විකල්පයේදී දැන් සංසරණයේ තිබෙන රුපියල් වල වටිනාකම එලෙසම ඉතිරි වෙනවා. දැනට මහ බැංකුව විසින් ආසන්න වශයෙන් රුපියල් බිලියන 1,500ක් පමණ නිකුත් කර තිබෙනවා. ඒ අනුව, මහ බැංකුව කරන්සි බෝඩ් එකක් කරන්නනම් මේ රුපියල් ප්‍රමාණයට අනුරූප ඩොලර් ප්‍රමාණයක් මහ බැංකුවට සංචිත තියා ගන්න වෙනවා. ඩොලර් ප්‍රමාණය තීරණය වෙන්නේ නියම කරන විණිමය අනුපාතය මත.
මේ විණිමය අනුපාතය රුපියල් 375ක් කියා අපි හිතමු. ඒ කියන්නේ ඩොලර් බිලියන 4ක් තියෙනවානම් වැඩේ කරන්න පුළුවන්. නමුත් ප්‍රශ්නය මේ වන විට මහ බැංකුව සතු සංචිත කිසිවක් නැති වීමයි. මහ බැංකුව තවත් ඩොලර් බිලියන 4ක් ණයයි (දැන් මේ ගණන මීට වඩා වැඩි වෙන්න පුළුවන්). ඒ කියන්නේ, ඩොලරයක මිල රුපියල් 375 මට්ටමේ තියාගෙන ඔය වැඩේ කරන්නනම් මහ බැංකුවට ඩොලර් බිලියන 8ක් හොයා ගන්න වෙනවා.
අපි හිතමු ඩොලරයක මිල රුපියල් 750 වෙන්න ඇරලා වැඩේ පටන් ගන්නවා කියලා. දැන් සංචිත අවශ්‍ය වෙන්නේ ඩොලර් බිලියන 2ක් පමණයි. හැබැයි ණය ටිකත් එකතු කළාම ඩොලර් බිලියන 6ක් ඕනෑ වෙනවා. ඩොලර් මිලියන 78ක කූපන් පොලී ගෙවාගන්න බැරුව, වරායට ඇවිත් තියෙන නැව් වල තියෙන තෙල් වලට ගෙවන්න ඩොලර් නැතුව ඔය වැඩේ කරන්නේ කොහොමද? මේ වැඩේ කරන්න පුළුවන් ක්‍රමයක් මටනම් තේරෙන්නේ නැහැ.
දෙවෙනි ක්‍රමය අලුතෙන්ම කරන්සි බෝඩ් එකක් හදන එක. කැමති වුනත්, නැති වුනත්, වෙන්න තියෙන නරකම දේ වුනොත් ඊට පස්සේ කොහොමටත් කරන්න වෙන්නේ ඔය වැඩේ තමයි.
වෙන්න තියෙන නරකම වැඩේ කියලා මම කිවුවේ සිම්බාබ්වේ වල වුනා වගේ රුපියල් වල කිසිම වටිනාකමක් නැති වීම. ඒ කියන්නේ මහ බැංකුව කොහොමත් කඩා වැටිලා. මිනිස්සු රුපියල් වෙනුවට ගනුදෙනු සඳහා වෙන වෙන දේවල් භාවිතා කරනවා. ඔය වගේ තැනකට වැටුනොත් ආපහු මුල ඉඳන් පටන් ගන්න වෙන්නේ කරන්සි බෝඩ් එකකින්. කාට හරි රුපියල් අවශ්‍යනම් මොනවා හෝ අපනයනය කරලා ඩොලර් හොයන්න වෙනවා.
බය කරන්න හදනවා නෙමෙයි. ළඟ පාතක වෙන්න තියෙන දේකුත් නෙමෙයි. හැබැයි කොහෙත්ම වෙන්න බැරිම දේකුත් නෙමෙයි. අපි හිතමු රුපියල වැඩකටම නැති වුනා කියලා. ලංකාවේ මිනිස්සු ගනුදෙනු සඳහා මොනවා යොදා ගනියිද?
ඔය වගේ දෙයක් වුනොත් ලංකාවේ රුපියල් වෙනුවට ඇමරිකන් ඩොලර් ආදේශ වෙන්නේ නැහැ. චීන යුවාන් ආදේශ වෙන්නෙත් නැහැ. ඔතැනට අනිවාර්යයෙන්ම ආදේශ වෙන්නේ ඉන්දියානු රුපියල්. රුපියල බිංදුවටම කඩා නොවැටුණත්, තව ටිකක් දුර්වල වුනොත් ලංකාවේ සංසරණයට ඉන්දියානු නෝට්ටු එන්නේ නැද්ද කියලා බලන්න. සමහර විට ඉන්දියාව දැනටමත් ඒ තරමටම දුර බලලා වෙන්න පුළුවන්. යම් විදිහකින් ලංකාවේ කරන්සි බෝඩ් එකක් හැදුනත් ප්‍රායෝගිකව ලංකාවේ රුපියල අමුණන්න වෙන්නේ ඉන්දියාවේ රුපියලට.
Friday, February 25, 2022
වසංගත කළුවර හා ඉන්දියාවේ සංචිත
ලංකාවට ආර්ථික අර්බුදයක් එයි කියලා ගොඩක් අය බලාගෙන හිටියත් තවමත් එහෙම දෙයක් වෙලා නැහැ. ආණ්ඩුව මොන විදිහට හරි ආර්ථිකය කළමනාකරණය කර ගන්නවා. දවසේ පැය දහ අටකටත් වැඩි කාලයක් කිසි ප්‍රශ්නයක් නැතුව ලංකාවේ ගෙවල් වලට විදුලි බලය ලැබෙනවා. සමහර අයනම් ලයිට් තියෙන පැය ගණන ගැන කතා නොකර අශුභවාදී ලෙස ලයිට් නැති පැය ගාණ ගැන කතා කරනවා. ඇමරිකාවේ වුනත් ගෙවල් වලට විදුලි බලය සපයන්නේ වැඩිම වුනොත් දවසකට පැය විසිහතරයි. අවුරුද්දකට එක දවසක් විතරක් පැය විසි පහක්ම විදුලි බලය සපයනවා. එහෙම බැලුවහම පැය දහ අටක් විදුලි බලය ලැබෙනවා කියන්නේ නරක තත්ත්වයක් නෙමෙයි.
ආර්ථික අර්බුදයක් නැතත් කෝවිඩ් නිසා ලංකාවට පොඩි පොඩි ප්‍රශ්න තිබුණා. කෝවිඩ් ප්‍රශ්නයනම් දැන් ඉවර වේගෙන යනවා. සමහර විට ඉදිරි කාලයේදී ලංකාවට රුසියානු-යුක්‍රේන ප්‍රශ්නය නිසා යම් යම් ගැටළු ඇති වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ දුර දිග නොගියොත් වෙන මොකක් හරි අලුත් ප්‍රශ්නයක් එන්න පුළුවන්. ආර්ථික අර්බුදයක්නම් එන එකක් නැහැ.
ලංකාව සතුව තවමත් ඩොලර් 2,360.6ක නිල සංචිත තිබෙනවා. තවමත් කිවුවත් ඔය ප්‍රමාණය තිබුණේ ජනවාරි අන්තිමට. තවම ඔය ඩොලර් ටික තිබෙනවා කියා අපි හිතමු. වෙන දෙයක් නොකළොත්, ඔය ඩොලර් ටිකෙන් මාස හයක පමණ කාලයක් ලංකාවට අවශ්‍ය තෙල් මිල දී ගන්න පුළුවන්. ඒකම මදිද?
කෝවිඩ් කාලයේ ලංකාවේ නිල සංචිත විශාල ලෙස අඩු වුනත්, කලාපයේ අනෙක් රටවල් වල වුනේ එහි අනෙක් පැත්ත. 2019 අවසාන වන විට ඉන්දියාව සතුව තිබුණේ ඩොලර් බිලියන 450ක පමණ නිල සංචිත ප්‍රමාණයක්. මේ වන විට මෙම ප්‍රමාණය ඩොලර් බිලියන 630ක් පමණ දක්වා ඉහළ ගිහින්.
ඉන්දියාවත් කලකට පෙර විශාල ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දුන් රටක්. 1991 වසරේදී ඉන්දියාවේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5.8 දක්වා පහත වැටුණා. ඒ වෙද්දී ඉන්දියාවේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 83.8ක්. ඒ කියන්නේ, විදේශ සංචිත ප්‍රමාණය විදේශ ණය ප්‍රමාණයෙන් 7% මට්ටම දක්වා පහත වැටී තිබුණා. දැන් ලංකාවේ තත්ත්වය තරම්ම නරක තත්ත්වයක් නොවුනත් ඊට කිට්ටු තත්ත්වයක්. මේ වන විට ලංකාව සතු නිල සංචිත ප්‍රමාණය රටේ විදේශ ණය වලින් 5%කටත් වඩා අඩුයි.
ඉන්දියාව සමාජවාදය අත හැරියේ ඔය කාලයේදී. එතැන් පටන් ඉන්දියාව දිගු ගමනක් ඇවිත් තිබෙනවා. පසුගිය වසරේ ජූනි අවසාන වෙද්දී ඉන්දියාවේ මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 571.3ක්. දදේනියෙන් 20.2%ක්. මේ මුළු රටේම විදේශ ණය. රටින් පිට ජීවත්වන ඉන්දියානුවන්ගේ බැංකු තැන්පතු ආදියත් ඔය ගොඩේ තිබෙනවා. ඉන්දියානු රජයේ විදේශ ණය ප්‍රමාණයනම් ඩොලර් බිලියන 106.9ක් පමණයි. ඒ කියන්නේ දදේනියෙන් 3.8%ක් පමණයි. කොහොම වුනත් වැදගත් කරුණ මේ වෙද්දී ඉන්දියාව සතුව මුළු රටේම විදේශ ණය ප්‍රමාණයටත් වඩා වැඩි නිල සංචිත ප්‍රමාණයක් තිබෙනවා.
කාලයක සිටම ඉන්දියානු සංචිත බැංකුව විසින් ඉන්දියාවට ගලා එන ඩොලර් වෙළඳපොළෙන් මිල දී ගනිමින් ඉන්දියානු රුපියල ශක්තිමත් වෙන්න නොදී දුර්වල මට්ටමක පවත්වා ගන්නවා. 2019 ආරම්භ වන විටද ඉන්දියාව සතුව තිබුණේ ඩොලර් බිලියන 396ක නිල සංචිත ප්‍රමාණයක් පමණයි. අවුරුදු දෙකහමාරක් ගොස් 2021 මැද වන විට මෙම ප්‍රමාණය ඩොලර් බිලියන 600 පන්නලා. ඒ කියන්නේ වසංගත කාලය ඇතුළත ඉන්දියානු සංචිත බැංකුව විසින් ඩොලර් බිලියන 200කටත් වඩා මිල දී අරගෙන.
පසුගිය වසර අවසානයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉන්දියාවට දැනුම් දුන්නේ මේ ආකාරයෙන් සංචිත මිල දී ගැනීම සීමා කළ යුතු බවයි. ඊට පෙර ඇමරිකාව පැත්තෙන්ද මේ පිළිබඳව විවේචන එල්ල වී තිබුණා. නව ලිබරල් ප්‍රතිපත්ති ලෙස බොහෝ දෙනෙකු විසින් හඳුන්වන ආර්ථික ප්‍රතිපත්ති අනුව ඉන්දියාව මෙවැනි මැදිහත් වීමක් නොකළ යුතුයි. එහෙත්, මෑතකදී ආර්ථික ප්‍රාතිහාර්ය පෑ චීනය හා සිංගප්පූරුව වැනි රටවල් විසින් අනුගමනය කළේද මේ ක්‍රමයයි.
සංචිත එකතු කරමින් විණිමය අනුපාතය දුර්වල කර තබා ගැනීම එසේ කරන රටට වාසිදායක වුවත් ගනුදෙනු කරන අනෙකුත් රටවලට අවාසිදායකයි. චීනය හා ඇමරිකාව අතර හොඳ හිත පළුදු වීමටද මේ කරුණ හේතු වුනා. සිංගප්පූරුව වැනි කුඩා ආර්ථිකයක් මේ ක්‍රමය අනුගමනය කරද්දී ඇමරිකාව වැනි රටකට එහි පාඩුව නොදැනෙන නමුත් චීනය හෝ ඉන්දියාව වැනි විශාල ආර්ථිකයක් ඇති රටක් මෙවැන්නක් කරද්දී ඇමරිකාවට වුවත් පාඩුව දැනෙනවා.
චීනයට කාලයක් තිස්සේ ලංකාව වැනි රටවල ආයෝජනය කිරීමට "උණක්" හැදෙන්න හේතුව මේ විදිහට ඩොලර් සංචිත විශාල ලෙස ගොඩ ගැහීමයි. මේ වෙද්දී ඉන්දියාවටත් ඒ ප්‍රශ්නයම ඇති වී තිබෙනවා. අපනයන තරඟකාරිත්වය පවත්වා ගන්නනම් ඉන්දියානු රුපියල අධිප්‍රමාණය වීම පාලනය කර ගත යුතුයි. එය කිරීම සඳහා වෙළඳපොළෙන් ඩොලර් ඉවත් කරද්දී සංචිත ගොඩ ගැහෙනවා. එසේ එකතු වන ඩොලර් වලට මොනවා හෝ කළ යුතුයි. මේ කරුණ මේ වෙලාවේ ලංකාවේ වාසියට (හෝ අවාසියට) හේතු වී තිබෙනවා.
භූ දේශපාලනය පැත්තකින්ම තිබ්බත්, මේ වෙලාවේ ලංකාවට ණයට ඩොලර් ටිකක් දෙන එකේ ආර්ථික වාසිම වුවත්, ගණනාවක් ඉන්දියාවට තිබෙනවා. ඉන්දියාවට ගොඩ යන්න, චීනය කළා වගේ, ඉන්දියානු රුපියලේ අගය පහළින් තියා ගන්න ඕනෑ (ඩොලරයක මිල ඉහළින් තියා ගන්න ඕනෑ). හැබැයි ඇමරිකාව ඇතුළු බටහිර රටවල් අවුල් නොකර ඔය වැඩේ කරන්නත් ඕනෑ. මේක කරන්න පුළුවන් එක ක්‍රමයක් වන්නේ දේශීය වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්නා අතරම ඒ ඩොලර් ණය ලෙස හෝ ආයෝජන ලෙස වෙන රටකට දෙන එක. එවිට රටේ විදේශ වත්කම් ඉහළ යන නමුත් නිල සංචිත ඉහළ යන්නේ නැහැ. ඉන්දියානු රුපියල ශක්තිමත් වෙන එකත් වලකිනවා.
ඊට අමතරව මේ වැඩේ ලාබයි. සංචිත ඇමරිකාවේ භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරලා දැනෙන තරමේ පොලියක් ලැබෙන්නේ නැහැ. ලංකාව වගේ රටක ආයෝජනය කරලා ඊට වඩා ලොකු පොලියක් ගන්න පුළුවන්. එයින් ලැබෙන දේශපාලන වාසි අමතර බෝනස් එකක්!
කොහොම වුනත්, ඉන්දියන් කාරයෙක් රුපියලක් වුනත් වියදම් කරන්න කලින් කොයි තරම් හිතනවද කියන එක කවුරුත් වගේ දන්නවනේ. කොහොමටත් ලැබෙන වාසි වලට තවත් වාසි එකතු කර ගන්න පුළුවන්නම් නොකරන්නේ කවුද? ඉන්දියාවෙන්ම ආනයන කිරීමේ කොන්දේසිය මත ණය දුන්නහම එක ගලෙන්ම තවත් කුරුල්ලෙක්!
ඔය ලයිට් කැපිල්ල වැඩි කාලයක් තියෙන එකක් නැහැ. ආණ්ඩුව ප්‍රශ්නය විසඳයි. පෝර සහනාධාරෙත් නවත්තලා, හාලුත් අන්තිමට පිටරටින් ගෙනල්ලා, කාබනික උන්මාදයත් නවත්තන එක ඕනෑ ගොනෙකුට කළ හැකිව තිබුණු දෙයක්ද? මාස කීපයක් ලයිට් නැතුව ඉඳලා එපා වුනාට පස්සේ ආයේ ලයිට් එනවානම් ඒ එන්නේ තූත්තුකුඩියෙන් වුනත් මොකද? මොන විදිහකින් හරි රටට අවශ්‍ය විදුලි බලය ලැබුණට පස්සෙවත් එළකිරි වගේ ලංකාවේ "ටියුබ් ලයිට්" ටික පත්තු වෙනවානම් එච්චරයි!
Tuesday, December 14, 2021
ඉන්දියානු සහන පැකේජය ප්‍රශ්නයට විසඳුමක්ද?
ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත දැඩි අන්තරායකාරී මට්ටමකට පහත වැටී තිබේ. එසේ වුවද, පෙර ලිපියෙන් විස්තර කළ පරිදි, ශ්‍රී ලංකා රජය විසින් ජනවාරි මාසයේදී පියවිය යුතු ස්වෛරිත්ව බැඳුම්කරය හා අදාළ කූපන් පොලී මුදල ගෙවීම සඳහා දැනට මහ බැංකුවේ තිබෙන සංචිත ප්‍රමාණවත් බැවින් ජනවාරි අවසානය දක්වා ශ්‍රී ලංකා රජයට ණය පැහැර හැරීමට සිදු වීමේ අවදානමක් නැත. එහෙත්, ජූලි මාසයේදී පියවිය යුතු ඇමරිකන් ඩොලර් බිලියනයක ස්වෛරිත්ව බැඳුම්කරය හා අදාළ කූපන් පොලී මුදල ගෙවීම සඳහා දැනට තිබෙන සංචිත ප්‍රමාණවත් නොවන බැවින්, කිසියම් ආකාරයකින් සැලකිය යුතු විදේශ ණය මුදලක් ලබා නොගතහොත්, ශ්‍රී ලංකා රජයට ණය පැහැර හැරීමට සිදු වනු ඇත.
මාධ්‍ය වාර්තා අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට මේ වන තුරුද ආණ්ඩුව තීරණයක් ගෙන නැති අතර, ශ්‍රී ලංකා රජය ණය පැහැර හැරීමේ අවදානමෙන් බේරා ගැනීමට ඉන්දීය රජය සූදානම්ව සිටී. මේ ඉන්දීය සහන පැකේජය හරහා සිදු වනු ඇත්තේ කුමක්ද?
ආහාර හා ඖෂධ අර්බුදයට සහනයක් කියා කියන විටම මතක් වන්නේ පූමාලයි මෙහෙයුම වුවත්, සිවිල් යුද්ධයෙන් පසු බොහෝ දුරට අමතක කරනු ලැබ ඇති ඊනියා ජනවාර්ගික ප්‍රශ්නය හා යෝජිත ඉන්දියානු විසඳුම් නැවත කාඩ් කුට්ටමේ උඩට පැමිණීම ඇතුළු ආර්ථික නොවන කරුණු අපි දැනට නොසලකා හරිමු. ඉන්දියාවෙන් ලැබෙන ඊනියා සහන වලින් කොටසක්, මාධ්‍ය වාර්තා වල සඳහන් පරිදිම කටයුතු සිදු වුවහොත්, ආයෝජන ලෙස ලැබෙනු ඇත. ඉතිරි කොටස වාණිජ ණය ලෙසත්, මුදල් හුවමාරු ගිවිසුම් යටතේත් ලැබෙනු ඇත.
ඉන්දීය ආයෝජන වලින් ලංකාවේ ආර්ථික වර්ධනයට යම් තල්ලුවක් ලැබෙනු ඇති නමුත් මේ ආයෝජන ක්ෂණිකව හෝ දිගුකාලීනව ලංකාවේ ගෙවුම් ශේෂ හිඟයට පිළියමක් නොවනු ඇත. එමෙන්ම, මෙකී ආයෝජන වහාම සිදු වේයැයි සිතිය නොහැකිය. ගෙවුම් ශේෂ ප්‍රශ්නයට ක්ෂණික පිළියමක් විය හැක්කේ අදාළ ආයෝජන සිදු කිරීමේ ආරම්භක පියවරක් ලෙස ශ්‍රී ලංකා රජය සතු කවර හෝ භෞතික සම්පතක් ඉන්දීය සමාගමකට විකිණීමෙන් ක්ෂණිකව ලැබෙන මුදලක් පමණි. එවැනි විකිණීම් කොපමණ සිදු වනු ඇත්ද, ඒ හරහා කොපමණ මුදලක් ලැබේද යන්න ඉදිරි මාස කිහිපය හෝ වසර තුළ දැන ගන්නට ලැබෙනු ඇත. ඒ හැර, ආයෝජන සේ පැමිණෙන වෙනත් මුදලක් වේනම්, ඒ මුදල් නැවත ඉන්දියාවටම යනු ඇත. ලංකාවට පැමිණෙනු ඇත්තේ එම මුදල් වල වටිනාකමට සරිලන ආයෝජන භාණ්ඩයි.
වාණිජ ණය හේතුවෙන්ද ලංකාවට සෘජුව විදේශ විණිමය ගලා නොඑනු ඇත. මේ ණය මුදල් වලින් කළ හැක්කේ ඉන්දියාවෙන් ආහාර, ඖෂධ හා ඉන්ධන ආනයනය කිරීමයි. වෙනත් අයුරකින් කිවහොත්, ඉන්දියාව කරන්නේ පසුව මුදල් අය කර ගැනීමේ පදනම මත ආහාර, ඖෂධ හා ඉන්ධන සැපයීමයි. පාලනය කර තිබෙන විනිමය අනුපාතය යටතේ මෙසේ ඉන්දියාවෙන් ලැබෙන ආහාර, ඖෂධ හා ඉන්ධන ලාංකිකයින් විසින් සතුටින් පරිභෝජනය කරනු ඇති අතර ඒ වෙනුවෙන් පොලියද සමඟ මුදල් ගෙවීම අනාගතයට ඉතිරි වනු ඇත. බොහෝ විට මේ අනාගතය එතරම් දුරු අනාගතයක් විය නොහැකි අතර වැඩිම වුනොත් වසර කිහිපයක් වනු ඇත.
මුදල් හුවමාරු ගිවිසුම් හරහා ලැබෙන්නේ ඉන්දියානු රුපියල්ද එසේ නැත්නම් ඩොලර්ද යන්න නිශ්චිතව සඳහන් වී නැත. බොහෝ විට මෙසේ ලැබෙන්නේ ඉන්දියානු රුපියල් විය හැකිය. ඒ අනුව, එම මුදල් යොදා ගත හැකි වනු ඇත්තේද ඉන්දියාවෙන් භාණ්ඩ ආනයනය කිරීමට හා ඉන්දියාවට ගෙවිය යුතු ණය ගෙවීමට පමණි. අවසාන වශයෙන් මේ ඉන්දීය සහන පැකේජය හරහා ලැබෙන එක් සතයක් හෝ මුදල් ලෙස ලංකාවට නොලැබීමට ඉඩ තිබේ.
චීනය විසින් මීට කලින්ම මුදල් හුවමාරු ගිවිසුමක් යටතේ ලංකාවට ඩොලර් බිලියන 1.5කට පමණ සමාන යුවාන් ප්‍රමාණයක් ලබා දී ඇතත්, ඒ මුදල්ද මුදල් ලෙස ලංකාවට නොලැබෙන ණය පහසුකමක් පමණි. අදාළ මුදල් ප්‍රයෝජනයට ගත හැක්කේ චීනයෙන් භාණ්ඩ ආනයනය කිරීමට හා චීන ණය ගෙවීමට පමණි. දැන් ඉන්දියාව විසින් ලබා දී තිබෙන්නේද එවැනිම විකල්පයකි.
කෙසේ වුවද, මෙයින් අදහස් වන්නේ මේ සහන පැකේජ වලින් ලංකාවට ප්‍රයෝජනයක් නැති බව නොවේ.
සංක්ෂිප්ත කිවහොත්, ලංකාවට වෙළඳ ගිණුම හරහා ඩොලර් ලැබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන් හා යුරෝපයෙනි. ඉන්දියාව හා චීනය විසින් පසුගිය කාලය තුළම කළේ අපනයන හරහා එසේ ලංකාවට බටහිර රටවලින් ලැබෙන ඩොලර් ප්‍රමාණය එකතු කර ගැනීමයි. චීන මුදල් හුවමාරු ගිවිසුම හා යෝජිත ඉන්දීය සහන පැකේජය නිසා තාවකාලිකව ඉන්දියාව හා චීනය විසින් ලංකාවට බටහිරින් ලැබෙන ඩොලර් එකතු කර ගැනීම නවතිනු ඇත. එහිදී බටහිර රටවලින් හා ශ්‍රමික ප්‍රේෂණ ලෙස මැද පෙරදිගින් ලැබෙන ඩොලර් වලින් යම් ප්‍රමාණයක් ශ්‍රී ලංකා රජයේ ණය ආපසු ගෙවීම සඳහා රට තුළ ඉතිරි වනු ඇත. මෙය ප්‍රශ්නයට තාවකාලික විසඳුමකි.
සියල්ල මාධ්‍ය වාර්තා වල සඳහන් පරිදි සිදු වුවහොත්, මේ හරහා ජූලි මාසයේ ස්වෛරිත්ව බැඳුම්කරය පියවීමේ ප්‍රශ්නය විසඳෙනු ඇති අතර, ඇතැම් විට ලබන වසර අවසානය දක්වාම ගෙවුම් ශේෂ හිඟය කළමනාකරණය කර ගන්නට ඉඩ ලැබෙනු ඇත. එහෙත්, එපමණකින් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැත.
ආකෘතිමය ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් පවතින තාක් එම ශේෂය විදේශ ණය වලින් පියවන්නට සිදු වන නිසා මේ අයුරින් වරකට ලැබෙන සහන පැකේජයකින් සිදු වන්නේ තාවකාලිකව ප්‍රශ්නය කල් දමාගෙන හුස්මක් ගන්නට ඉඩක් ලැබීම පමණි. යම් ආකාරයකින් ඉදිරි වසර කළමණාකරනය කර ගත්තද, එතැනින් ඔබ්බට ඉදිරියට යන්නටනම් කොහෙන් හෝ දිගින් දිගටම මේ ආකාරයේ සහන පැකේජ ලැබිය යුතුය. එහෙත්, එවැන්නක් සිදු වීමේ ඉඩක් නැතුවාක් මෙන්ම ඉතා ඉක්මණින් මෙසේ අලුතෙන් ලබා ගන්නා ණයද ගෙවා දමන්නට සිදු වනු ඇත. එතරම් ඉක්මණින් මැතිවරණයක් නොපැමිණෙන බැවින් ප්‍රශ්නය තවදුරටත් මේ ආණ්ඩුවේම ප්‍රශ්නයක්ව පවතිනු ඇත.
ඉහත සන්දර්භය තුළ, ඉන්දීය සහන පැකේජය ලැබුණේ වුවද, එයින් පවතින තත්ත්වය බරපතල ලෙස වෙනස් නොවනු ඇත. මේ අලුත් තත්ත්වය යටතේ වුවද, මේ ආණ්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන්නට සිදුවීම ආසන්න අනිවාර්යතාවයකි.
Wednesday, August 18, 2021
කරාබු කඩා හැදූ මැණිකේ මගේ හිතේ
සිංහල සිංදුවක් ජාත්‍යන්තරයට ගිහින් තිබෙනවා. ජාත්‍යන්තරයට කියා කිවුවත් ඇත්තටම වෙලා තියෙන්නේ සිංහල සිංදුවක් ඉන්දියාව පුරා හිට් වීමයි.
මෙසේ කීමෙන් මා කිසිසේත්ම මේ සිංදුව අවතක්සේරු කිරීමක් කරන්නේ නැහැ. සිංහල සිංදුවක් කවදාවත්ම ඉන්දියානු කලාපයෙන් පිටත, ලෝකය පුරා ජනප්‍රිය වී නැහැ. මා දන්නා තරමින් මීට පෙර ඉන්දියානු කලාපය පුරා හෝ ජනප්‍රිය වී තිබෙන්නේ එකම එක සිංහල සිංදුවක් පමණයි. ඒ නිසා, මේ සිංදුව ඉන්දියානු කලාපය පුරා ජනප්‍රිය වීම පට්ටයි කියලා කට පුරා කියන්න පුළුවන්.
මැණිකේ මගේ හිතේ සිංදුව ඉන්දියාව පුරා වගේම, ඉන්දියානු කලාපයේ යාබද රටවල ප්‍රේක්ෂකයින් අතරත්, ලොව පුරා විසිරී සිටින එම රටවල ඩයස්පෝරිකයින් අතරත් ජනප්‍රිය වී තිබෙනවා. ඒ අර්ථයෙන් සිංදුව ජාත්‍යන්තරයට ගිහින් කීමේ වරදකුත් නැහැ. ඒ වගේම මෙය ඉන්දියානු සංස්කෘතියෙන් පිටතද ජනප්‍රිය වීමේ යම් විභවයක් තිබෙනවා. එසේ වේවා කියා අප ප්‍රාර්ථනා කරනවා.
සිංදුවක් ජනප්‍රිය වීමට එහි සංගීතය, ගායනය, පද මාලාවේ අර්ථ රසය, පද මාලාවේ ශබ්ද රසය ඇතුළු බොහෝ කරුණු බලපානවා. මේ කරුණු අතරින් පද මාලාවේ අර්ථ රසය වැදගත් වන්නේ සිංදුව ලියැවී තිබෙන භාෂාව දන්නා අයට පමණයි. එම භාෂාව නොදන්නා අයට වැදගත් වන්නේ ඉතිරි කරුණු තුන හා වෙනත් කරුණුයි. මේ වෙනත් කරුණු අතර මේ වන විට රූප රසයද වැදගත් කරුණක්ව තිබෙනවා.
කාලයක් තිස්සේ ලංකාව තුළ හොඳ සිංදු සේ සැලකුනේ පද මාලාවේ අර්ථ රසය ඉහළ මට්ටමක වූ සිංදුයි. මෙවැනි බොහෝ සිංදු වල අර්ථය සිංහල භාෂාව මුල් බස වූ අයෙකුට වුවත් හරියටම තේරුම් ගන්න අමාරුයි. ඒ වගේ සිංදු, ඉතිරි සාධක නිසා නොවේනම්, ලංකාවේ කොයි තරම් ජනප්‍රිය වුවත්, ජාත්‍යන්තරයට යන්නේ නැහැ. ඕනෑනම් වැඩිම වුනොත් සිංහල බස මුල් බස වූ සංක්‍රමණිකයින් අතර ජනප්‍රිය වෙයි.
මා දන්නා තරමින් වෙනත් භාෂා වලින් ලියැවෙන සිංදු බොහොමයක තිබෙන්නේ සරල අර්ථයක්. වෙනත් රටවල සිංදු හැදෙද්දී සිංහල සිංදු වල මෙන් පද මාලාවේ අර්ථ රසය බොහෝ වැදගත් සේ සැලකෙන බවක් මා දන්නේ නැහැ.
මැණිකේ මගේ හිතේ සිංදුවේ පද මාලාවේ අර්ථ රසයක්නම් නැහැ. සම්ප්‍රදායික සම්මත අනුව බැලුවොත් මෙය කසිකබල් සිංදුවක් කියන්න පුළුවන්. එහෙත් මේ පද මාලාවේ ශබ්ද රසය තිබෙනවා. සිංදුව හිට් වීමට වැඩිපුරම දායක වී තිබෙන්නේ එහි සංගීතය විය හැකි වුවත්, පද මාලාවේ ශබ්ද රසයද එයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබෙන බව පැහැදිලියි.
මීට පෙර මේ ආකාරයෙන් ඉන්දියාව පුරා හිට් වූ සිංහල සිංදුවක් ඇත්නම් ඒ සුරංගනීට මාළු ගෙනාවා ගීතය පමණයි. දශක ගණනාවකට පෙර ඉන්දියාවේ හිට් වූ සුරංගනී ගීතය ඉන්දියානුවන් අතර තවමත් ජනප්‍රියයි. සිංදුව දන්නා නමුත් එය සිංහල සිංදුවක් බව බොහෝ ඉන්දියානුවන් දන්නේ නැහැ. සුරංගනී ගීතය ඉන්දියාව පුරා ජනප්‍රිය කළේ සිලෝන් මනෝහර් ලෙසද ප්‍රසිද්ධව සිටි ඒ ඊ මනෝහරන් විසිනුයි. ඔහු තෙවසරකට පෙර වකුගඩු ආබාධයකින් මිය ගියා.
මැණිකේ මගේ හිතේ ගීතය මෙන්ම සංගීතය හා පද මාලාවේ ශබ්ද රසය නිසා ජනප්‍රිය වූ සුරංගනී ගීතය ඉන්දියාවේ විවිධ භාෂා වලට මිශ්‍ර වී තිබෙනවා. මේ ආකාරයෙන්ම මේ වන විට මැණිකේ මගේ හිතේ ගීතයද ඉන්දියාවේ විවිධ භාෂා ගණනාවක් සමඟ මිශ්‍ර වී තිබෙනවා. ඊට අමතරව ඉංග්‍රීසි භාෂාව සමඟ මිශ්‍ර කළ වර්ෂන් එකක්ද තිබෙනවා. මනෝහර්ට නොතිබුණු තාක්ෂනයේ වාසිය වගේම කාලයේ වාසියත් මැණිකේ මගේ හිතේ ගීතයේ නිෂ්පාදකයින්ට මේ ගීතය ඉතා කෙටි කලකින් ඉන්දියාව පුරා ජනප්‍රිය කර ගැනීමට උදවු වී තිබෙනවා. එය යම් තරමකට වාසනාව මත සිදුව ඇති දෙයක් වුවත් සැලසුම් සහගත මහන්සියක් මේ ගීතය පසුපස ඇති බව ඉතාම පැහැදිලියි.
ගීතය මුලින්ම බිහි වී තිබෙන්නේ කෑගල්ලේ තරුණයෙකු වන සතීෂාන් රත්නායකට ගීතයක් එළිදැක්වීමට තිබුණු උවමනාව මතයි. සම්මුඛ සාකච්ඡාවකදී ඔහු කියන විදිහට මේ සිංදුව හදන්න සල්ලි හොයා ගැනීම සඳහා ඔහු කවුරුවත් නොකරන දේවල් පවා කර තිබෙනවා. ඔහුට අනුව මේ කවුරුවත් නොකරන දේ කරාබු කැඩීමයි.
ඔහු මේ කියන්නේ කෝච්චියේ මාල කැඩීම වගේ දෙයක් ගැන නෙමෙයි. කරාබු ගස් වලින් කරාබු කැඩීම ගැනයි. අදාළ සාකච්ඡාව මෙහෙයවන්නාට හෝ එය නරඹන අයට කරාබු කැඩීම කවුරුවත් නොකරන දෙයක් වන්නේ ඇයි කියා අවබෝධයක් නැතුව ඇති. මෙය ඉතා අසීරු වැඩක්.
කරාබු ගස් අඩි විස්සක් විසිපහක් උසට වැවෙනවා. ඒ නිසා, කරාබු කැඩීම තේ දළු කඩනවා වගේ පහසුවෙන් කළ හැකි දෙයක් නෙමෙයි. කරාබු මල් පිපෙද්දී නටුවද සමඟ පොහොට්ටු කඩා ගන්න ගහට නැග අතු අග්ගිසි වලට යා යුතුයි. කරාබු නැටි අපනයනය හෝ දේශීය වෙළඳපොළ සඳහා සකස් කරන්නේ මේ පොහොට්ටු අව්වේ වේලලා. මේ වැඩේ අමාරු වන්නේ ගහට නගින්න වීම නිසා හෝ අතු අග්ගිසි වලට යන්න අවශ්‍ය නිසාම නෙමෙයි. කරාබු ගහේ හැම කොටසකම වගේ ලොකු සැරක් තියෙනවා. ගහට නැගලා පැය කිහිපයක් කරාබු කඩන කොට මුළු ඇඟම දැවිල්ල හැදෙනවා.
කරාබු කඩන්න ශ්‍රමිකයින් හොයා ගන්න එක ගොඩක් අමාරු වැඩක්. වැඩේට කැමති අයට හොඳ මිලක් ලැබෙනවා. බොහෝ විට සල්ලි ලැබෙන්නේ කඩන කරාබු ප්‍රමාණය අනුවයි. මේ මිල ගෙවා ලාබයක් ලැබිය හැකි තරමට කරාබු නැටි මිල ඉහළ මට්ටමක නැත්නම් කරාබු නොකඩා ඉන්න වෙලාවල් තියෙනවා.
සතීෂාන් රත්නායක විසින් ගායනා කරන චමත් සංගීත් විසින් සංගීතය යොදා ඇති දුලාන් ARXගේ පද මාලාවේ මුල් වර්ෂන් එකද ජනප්‍රියව ඇතත් ඉන්දියාව පුරා හිට් වී තිබෙන්නේ ඉන්පසුව ඔහු යොහානි දිලෝකා ද සිල්වා සමඟ ගයන වර්ෂන් එකයි. යොහානිගේ හැඟීම්බර ගායනය වගේම සංගීත වීඩියෝවේ රූප රසයද සිංදුව ජනප්‍රිය වීමට හේතු වී ඇති බව පැහැදිලියි. ඉන්දියාවේ විවිධ භාෂා වලින් නිපදවා තිබෙන වර්ෂන් වල යොහානි විසින් ගයන සිංහල කොටස එසේම තිබියදී සතීෂාන්ගේ රැප් කොටසට වෙනම ගායකයින් ආදේශ වී තිබෙනවා.
යොහානිගේ හා සතීෂාන්ගේ වර්ෂන් එකේ යූටියුබ් වීඩියෝව මේ වන විට මිලියන 38කට වඩා වැඩි පිරිසක් විසින් නරඹා ඇති අතර සතීෂාන්ගේ මුල් වර්ෂන් එකද මිලියන 13කට වැඩි පිරිසක් විසින් නරඹා තිබෙනවා. සුපිරි නළු අම්තාබ් බච්චන්ගේ මිණිපිරිය නව්‍යා නවේලි නන්දා විසින් අමිතාබ් රඟන චිත්‍රපට රූප රාමුවකට මේ ගීතය මුසු කොට ප්‍රසිද්ධ කිරීමෙන් පසුව අමිතාබ් විසින් පවසා තියෙන්නේ මේ ගීය කොපමණ ඇසුවත් ඇති නොවන බවයි.
ලංකාවේ බොහෝ දෙනෙකුට ඉන්දියානු භීතිකාවක් තිබෙනවා. මෙහිදී බොහෝ දෙනෙකු හිතන්නේ ඉන්දියානුවන් දේශීය වෙළඳපොළට අවතීර්ණ වීම තුළ තමන්ගේ වෙළඳපොළ අහිමි වී යනු ඇති බවයි. එහෙත්, එක් ශ්‍රී ලාංකිකයකුට දැවැන්ත ඉන්දියානු වෙළඳපොළට ඇතුළු විය හැකිනම් එහි වාසිය තුළින් ඉන්දියානු තරඟය නිසා දේශීය නිෂ්පාදකයින් පණහක් විනාශ වීමෙන් වන අවාසිය මැකෙනවා. මා මෙයින් අදහස් කරන්නේ දේශීය නිෂ්පාදකයින් පරාජය භාර ගත යුතු බව නෙමෙයි. එහි අනෙක් පැත්තයි.
ලංකාවේ කලාකරුවන්ට, ව්‍යවසායකයන්ට වගේම වෘත්තිකයින්ටත් ජාත්‍යන්තරය ජය ගැනීමට අවශ්‍යනම් හොඳම ආරම්භය වන්නේ ඉන්දියානු වෙළඳපොළ ජය ගැනීමයි. මෙහිදී දූපත් මානසිකත්වයෙන් මිදී ලොකුවට සිතීම වැදගත්. මැණිකේ මගේ හිතේ නිෂ්පාදක කණ්ඩායම විසින් පෙන්වා දී තිබෙන්නේ එය කළ හැක්කක් බවයි.
Wednesday, May 12, 2021
කෝවිඩ් හා විකල්ප දැනුම
කෝවිඩ් වලින් බේරෙන්න ඉන්දියානුවන් ඔවුන්ගේ විකල්ප දැනුම් භාවිතා කරන ආකාරය රොයිටර් පුවත් සේවය විසින් වාර්තා කර තිබෙනවා. රොයිටර් වීඩියෝවේ පෙන්වන පරිදි, ගුජරාටි ප්‍රාන්තයේ වැසියන් කෝවිඩ් වලින් ආරක්ෂා වීම සඳහා ඔවුන්ගේ ඇඟ පුරා ගොම සහ ගව මුත්‍රා ආලේප කර ගන්නවා. මේ පිරිස අතර සිටින ඖෂධ සමාගමක සහාය කළමණාකරුවෙකු බව කියන ගෞතම් මනිලාල් කියන විදිහට වෛද්‍යවරුන් පවා කෝවිඩ් වලින් බේරෙන්න මේ වැඩේ කරනවා. ඔහු කියන විදිහට පසුගිය වසරේදී ඔහු කෝවිඩ් වලින් බේරී තියෙන්නෙත් මේ විදිහටයි.
अब इस पर हँसे या रोएं... pic.twitter.com/NJIbiXmSoX
— Akhilesh Yadav (@yadavakhilesh) May 12, 2021
උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ සුන්දර් සිං කියන විදිහට ජලය සමඟ මිශ්‍ර කර ගව මුත්‍රා පානය කිරීමෙන් කෝවිඩ් වලින් බේරෙන්න පුළුවන්. තමන් අත්දැකීමෙන් දැන ගෙන තිබෙන මේ කරුණ සුන්දර් සිං විසින් වෙනත් අයටත් නිර්දේශ කරනවා.
#WATCH | BJP MLA Surendra Singh in UP's Ballia claimed drinking cow urine has protected him from coronavirus. He also recommended people to 'drink cow urine with a glass of cold water'. (07.05)
— ANI UP (@ANINewsUP) May 8, 2021
(Source: Self made video) pic.twitter.com/C9TYR4b5Xq
ගොම හෝ ගව මුත්‍රා වලින් කෝවිඩ් සඳහා ආරක්ෂාවක් ලැබෙන බව තහවුරු වී නැතුවා වගේම එසේ නොවන බවද තහවුරු වී නැහැ. ඇතැම් ඉන්දියානුවන් මේ ආකාරයෙන් ඔවුන්ගේ විශ්වාස මත පදනම්ව මේ වැඩේ කළත්, ඉන්දියානු රජය මෙම විකල්ප දැනුම වෙනුවෙන් පෙනී සිටින බවක්නම් වාර්තා වී නැහැ.
ලංකාවේ සමාජවාදී ප්‍රතිපත්ති නිසා ශ්‍රමයේ ප්‍රතිලාභ අඩු වී ඇති ආකාරය පැහැදිලි කළ පෙර ලිපියට ප්‍රතිචාර ලෙස එක් පාඨකයෙකු විසින් "එහෙම කාලයක් තිස්සේ මේ ගැන කරපු දේවල් නොකර හිටියා නං ශ්‍රමිකයන්ගේ තත්ත්වය මීටත් වඩා අහයපත් වෙන්න බැරිද?" යනුවෙන් අසා තිබුණා. මේ වගේ ප්‍රශ්නයකට සියයට සියයක් නිවැරදි නිශ්චිත පිළිතුරක් දෙන්න බැහැ. මොකද අපට ප්‍රතිපරිසිද්ධික තත්ත්වය නිරීක්ෂණය කිරිමේ හැකියාවක් නැහැ. ඒ නිසා, මෙවැනි ප්‍රශ්නයකට සෘජු අනුභූතික පිළිතුරක් තිබීමේ හැකියාවක් නැහැ. තිබිය හැක්කේ තාර්කික පිළිතුරක් පමණයි.
කොවිඩ් වලින් ආරක්ෂා වීම සඳහා ගොම හා ගව මුත්‍රා ආලේප කර ගැනීම ගැන කතා කරද්දීත් අපට මේ ප්‍රශ්නයටම මුහුණ දෙන්න වෙනවා. "ගොම හා ගව මුත්‍රා ආලේප කර ගැනීම සිදු නොකළේනම් තත්ත්වය මීටත් වඩා අහයපත් වෙන්න බැරිද?"
Friday, March 12, 2021
අයිසෙක් නිවුටන්ගේ විණිමය අනුපාතය
කියවන අය අතරේ අයිසෙක් නිවුටන් කියන නම අහල නැති කෙනෙක් නැතුව ඇතිනේ? කමක් නෑ. මමම කියන්නම් කවුද කියලා. අයිසෙක් නිවුටන් කියන්නේ 1696 අවුරුද්දේ ඉඳලා අවුරුදු තිස් එකක් එංගලන්තයේ රාජකීය ටන්කනයේ එහෙමත් නැත්නම් රෝයල් මින්ට් එකේ වෝඩන් හා පසුව මාස්ටර් ලෙස සේවය කළ පුද්ගලයා.
පුරප්පාඩු වූ තනතුරට අයදුම් කරන අයිසෙක් නිවුටන් 1696 අප්‍රේල් මාසයේදී රෝයල් මින්ට් එකේ වෝඩන් ලෙස පත් වෙනවා. ඒ වෙද්දී ඔහු "ස්වභාවික දර්ශනයේ ගණිතමය මූලධර්ම" කියලා පොතක් එහෙම ලියලා ටිකක් ප්‍රසිද්ධ වෙලයි හිටියේ.
අයිසෙක් නිවුටන් රෝයල් මින්ට් එකේ වෝඩන් ලෙස පත් වෙලා අවුරුදු තුනකට පස්සේ රෝයල් මින්ට් එකේ මාස්ටර් විදිහට සේවය කළ පුද්ගලයා මිය ගිහින් එම තනතුර පුරප්පාඩු වෙනවා. මාස්ටර් තනතුර වෝඩන් තනතුරට වඩා පහළ තනතුරක්. හැබැයි රජය වෙනුවෙන් කාසි ටන්කනය කිරීමේ කොන්ත්‍රාත්තුව ලැබෙන්නේ ඔය මාස්ටර් තනතුරේ ඉන්න පුද්ගලයාටයි. ඒ නිසා, කාසි ටන්කනය කරන අයට උප-කොන්ත්‍රාත්තු දීලා කොමිස් විදිහට හොඳ ආදායමක් ලබන්න පුළුවන්කම තිබෙන රස්සාවක්. 1699 නත්තල් දවසේ නිවුටන් වෝඩන් කමෙන් අයින් වෙලා මාස්ටර් විදිහට වැඩ භාර ගත්තා. ඉන් පසු මැරෙන තුරුම ඔය තනතුර අත ඇරියේ නැහැ.
කොමිස් ගන්නවා කිවුවට මේ කිවුවේ තනතුර දරන පුද්ගලයාට නිල වශයෙන්ම ලැබුණු කොමිස් මුදල් ගැන. එහෙම නැතුව හොරට කොමිස් ගහපුවා නෙමෙයි. නිවුටන්ව සැලකෙන්නේ ඉතා අවංකව සේවය කළ රාජ්‍ය නිලධාරියෙක් හැටියටයි. වරක් පවුම් පන්දහසක අල්ලසක්ද ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බව පැවසෙනවා.
මොන නම භාවිතා කළත් ඔය කාලයේ ලෝකයේ තිබුණේ ප්‍රධාන මුදල් ඒකක දෙකයි. එකක් රත්තරන්. අනෙක් එක රිදී. අනෙක් භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව රත්තරන් හෝ රිදී වල වටිනාකම තීරණය වුනේ ඉල්ලුම හා සැපයුම මත. මේ විදිහට රත්තරන් හා රිදී වල සාපේක්ෂ වටිනාකම් එකිනෙකින් ස්වායත්තව වෙනස් වෙද්දී රත්තරන් හා රිදී යොදා හදා තිබුණු මුදල් වල සාපේක්ෂ හුවමාරු අගයන්ද නිදහසේ තීරණය වුනා.
මුලින්ම එංගලන්තයේ ස්ටර්ලින් රිදී කාසි ටන්කනය කළේ කාසි 240ක බර රාත්තලක් වන විදිහටයි. මේ රාත්තල දැන් රාත්තලකින් 80%ක් පමණ බර රාත්තලක්. සිලිමක් වුනේ ඔය කාසි 12ක බරක්. එතකොට සිලිම් 20ක් රාත්තලක් බරයි. ඔය රාත්තලකට අවුන්ස 12ක් තිබුණා. ඒ කියන්නේ අවුන්සයක බරක් කියන්නේ රිදී කාසි 20ක බරක්. මේ ස්ටර්ලින් කාසි තමයි පසුව පැන්ස කාසි වුනේ.
දැන් මට්ටමට නැති වුනත් සල්ලි බාල්දු කරන වැඩේ දිගින් දිගටම සිදු වුනු වැඩක්. මේ වැඩෙන් රජයට බදු නොගහා බදු ගහන්න පුළුවන් වුනා. මුලින්ම සල්ලි බාල්දු කරන එක කියලා කළේ රිදී වලට ටික ටික තඹ කලවම් කරන එක. ඔහොම ගිහින් දාහත්වන සියවස පටන් ගනිද්දී පැන්ස කාසි රාත්තලක බර හැදුනේ රිදී අවුන්ස හතරක (තුනෙන් එකක) හා තඹ අවුන්ස අටක (තුනෙන් දෙකක) කලවමකින්.
සල්ලි බාල්දු කළාම එක පාරට මිනිස්සු රැවටෙනවා. මේ වැඩේ ටික ටික මිසක් එක පාරට කරන්නේ නැහැනේ. මුලින්ම රිදී වලට තඹ යාන්තමින් කලවම් කරනවා. පස්සේ ටිකෙන් ටික රිදී අඩු කරලා තඹ අනුපාතය වැඩි කරනවා. වෙනසක් වුනා කියා එක පාරට තේරෙන්නේ නැහැ. එහෙත් රිදී කාසියක් වෙනුවෙන් වැඩ කරන කෙනෙක්ට දැන් රිදී වෙනුවට ලැබෙන්නේ තඹ කලවමක්.
එක පාරට තේරුණේ නැතත් කාලයක් යද්දී තමන්ට ලැබෙන කාසි වල හිතපු තරම් වටිනාකමක් නැති බව මිනිස්සුන්ට තේරෙන්න ගන්නවා. එතකොට මිනිස්සු වැඩි පඩි ඉල්ලනවා. පැන්සයකට විකුණපු තමන්ගේ නිෂ්පාදන වලට පැන්ස දෙකක් ඉල්ලන්න ගන්නවා. ඔන්න උද්ධමනය.
රජය රිදී වලට තඹ කලවම් කරන්නේ මිනිස්සුන්ව රවට්ටලා නොතේරෙන්න බද්දක් ගහන්නනේ. එහෙම නැත්නම් අඩු රිදී ප්‍රමාණයක් ගෙවලා වැඩි ශ්‍රමයක් මිල දී ගන්න. මිනිස්සු ඕක තේරුම් අරගෙන වැඩි පඩි ඉල්ලන කොට සල්ලි බාල්දු කරපු එකේ වාසිය නැතුව යනවා. එතකොට සල්ලි තවත් බාල්දු කරන්න වෙනවා. මිනිස්සුන්ට වටින්නේ කාසියක තිබෙන රිදී ප්‍රමාණය මිසක් එහි මුළු බර නොවන බව පැහැදිලි වුණාම තුනෙන් එකක් රිදී තිබෙන කාසියක් වෙනුවට එම බරෙන් තුනෙන් එකක තනි රිදී කාසියක් ආදේශ වෙනවා. කලවම් කාසියේ රිදී තියෙන්නේ තුනෙන් පංගුවක් පමණක් බව දැනගත්තට පස්සේ මිනිස්සුන්ට ඔය දෙකේ වෙනසක් නැති නිසා තඹ කලවම් කරන එකේ තේරුමක් නැහැ. බර අඩු රිදී කාසියක්ම දෙන්න පුළුවන්.
දාහත්වන සියවස පටන් ගනිද්දී ට්‍රෝයි රාත්තලක් බර රිදී වලින් රිදී සිලින් කාසි 60ක් කැපුවා. නමුත් ඒ වෙද්දීත් පවුම සිලිං 20යි. ස්ටර්ලින් වල පසුකාලීන වර්ෂන් එක වූ පැන්ස 240යි. ඒ කියන්නේ ඒ වෙද්දී ට්‍රෝයි රාත්තලක් බර රිදී සමාන වෙන්නේ පැන්ස 720ක තිබෙන රිදී වලට. සල්ලි වල වටිනාකම මුල් වටිනාකමෙන් 1/3ක් දක්වා බාල්දු වෙලා. එහෙමත් නැත්නම් බඩු මිල තුන් ගුණයකින් වැඩි වෙලා.
දාහත් වන සියවස මුලදී එංගලන්තයේ සල්ලි තවත් බාල්දු වෙනවා. ට්‍රෝයි රාත්තලක් බර රිදී වලින් කපන සිලින් කාසි ගණන 62 දක්වා වැඩි කෙරෙනවා. අයිසෙක් නිවුටන්ගේ ප්‍රසිද්ධ වාර්තාව ඉදිරිපත් කෙරුණු 1717 සැප්තැම්බර් 21 දින වෙද්දී තිබුණේ ඔය රාත්තලට සිලින් හැට දෙකේ රිදී සම්මතය. රිදී කිවුවට තනි රිදීමත් නෙමෙයි. කොටස් 120කින් කොටස් 111ක් රිදී හා ඉතිරිය වැඩි වටිනාකමක් නොතිබුණු වෙනත් ලෝහයක් වූ කලවමක්.
ඔය දවස් වල එංගලන්තයේ රන් කාසිත් නිකුත් වී තිබුණා. රන් පවුමේ මුල් ස්වරූපය වූ ගිනි කාසිය එවැන්නක්. දැනටත් ලංකාවේ ඉතිරි වී තිබෙන ගිනි කනවා, ගිනි ගණන් වගේ යෙදුම් වල සම්භවය ඔය ගිනි කාසිය. ගිනි කාසි ටන්කනය කර තිබුණේ කැරට් විසි දෙකේ රත්තරන් රාත්තලක් ගිනි කාසි 44.5ක බරට සමාන වෙන විදිහටයි. කැරට් විසි දෙකේ කියා කියන්නේ කොටස් 22/24ක් රත්තරන්. ඉතිරි 2/24 රිදී.
අපි හිතමු රත්තරන් ගිනි කාසියක වටිනාකම රිදී සිලිං කාසි 20කට සමානයි කියලා. දැන් අපිට මේ සමානතාවය යොදාගෙන රන් හා රිදී අතර විණිමය අනුපාතිකය හොයා ගන්න පුළුවන්. නිවුටන් ගණන් හදලා පෙන්නපු විදිහට එංගලන්තයේ රත්තරන් රාත්තලක වටිනාකම රිදී රාත්තල් 15.57කට පමණ සමාන වුනා.
"I humbly represent, that a pound weight Troy of Gold eleven ounces fine and one ounce allay is cut into 44½ Guineas, and a pound weight of Silver eleven ounces two penny weight fine & eighteen penny weight allay is cut into 62 Shillings. And according to this rate, a pound weight of fine gold is worth Fifteen pounds weight six ounces seventeen penny weight & five grains of fine silver..."
මුදල් විදිහට රන් කාසි හා රිදී කාසි භාවිතා කළේ එංගලන්තයේ පමණක් නෙමෙයි. අනෙක් රට වලත් රන් වලින් හදපු කාසි හා රිදී වලින් හදපු කාසි භාවිතා වුනා. ඒ අනුව, රන් හා රිදී වටිනාකම් අතර කිසියම් අනුපාතයක් තිබුණා. කාසි තිබුනේ එක වර්ගයකින් පමණක් වුනත් එම කාසි එක්ක අනෙක් ලෝහය හුවමාරු වන අනුපාතයක් තිබුණා. හැබැයි මේ අනුපාතය රටින් රටට වෙනස් වුනා.
අයිසෙක් නිවුටන්ගේ වාර්තාවේ තිබෙන තොරතුරු අනුව, චීනයේ හා ජපානයේ රත්තරන් රාත්තලක් හුවමාරු වුනේ රිදී රාත්තල් නවයකට හෝ දහයකට. නැගෙනහිර ඉන්දියාවේ රිදී රාත්තල් දොළහකට. ප්‍රංශයේ රිදී රාත්තල් පහළොවකට. ස්පාඤ්ඤයේ හා පෘතුගාලයේ රිදී රාත්තල් දහසයකට.
යුරෝපයේ ස්පාඤ්ඤය හා පෘතුගාලය වැනි රටවල් කිහිපයක් ඇරුනහම ලෝකයේ අනෙක් රටවල් වලට සාපේක්ෂව එංගලන්තයේ රත්තරන් වල රිදී මිල ඉහළ මට්ටමකයි තිබුණේ. ඒ නිසා, එංගලන්තයෙන් භාණ්ඩ ආනයනය කරන රටවල් හැම වෙලාවෙම වගේ ගෙවුවේ රත්තරන් වලින්. රත්තරන් රාත්තලක බඩු වලට රිදී රාත්තල් 15.57ක් ගෙවන්න වෙනවනේ. ඉන්දියාව, චීනය වගේ ආසියාතික රටවල රත්තරන් රාත්තලක වටිනාකම රිදී රාත්තල් 15.57ක වටිනාකමට වඩා ගොඩක් අඩුයි. ඒ නිසා රත්තරන් වලින් ගෙවන එක ලාබයි. රිදී වලින් ගෙවන එක වාසියි.
අනෙක් අතට එංගලන්තයට භාණ්ඩ අපනයනය කරද්දී චීනය වගේ රටවල් රත්තරන් බාර නොගෙන රිදී වලින්ම ගෙවන්න කියලා ඉල්ලුවා. මේ නිසා එංගලන්තයේ රිදී දිගින් දිගටම එළියට ගිහින් රිදී හිඟයක් ඇති වුනා. එංගලන්තයට චීනය ඉන්දියාව වගේ රටවලින් බඩු ගන්න එක ප්‍රශ්නයක් වුනා. නිවුටන්ට විසඳන්න වුනේ මේ බැරෑරුම් ප්‍රශ්නය.
නිවුටන්ගේ විසඳුම වුනේ පවුම (සිලිං විස්ස) අවප්‍රමාණය කිරීම. මේ යෝජනාව ක්‍රියාත්මක වුනා. ඒ අනුව, ගිනි එකක් සිලිං 21 කට සමාන කරමින් රන් හා රිදී අතර විණිමය අනුපාතය වෙනස් කෙරුණා. මේ අනුපාතයට රන් අවුන්සයක මිල පවුම් 4.25 ක් බවට පත් වුනා.
නිවුටන් කොයි තරම් ගණන් කාරයෙක් වුනත් විණිමය අනුපාතය සකස් කිරීම මගින් රටේ තිබුණු රිදී කාසි රටෙන් පිටවෙන එක වලක්වාගන්නනම් බැරි වුනා. ගණන් කාරයෙක් කියා කිවුවට නිවුටන් කියා කියන්නේ කොටස් ආයෝජන කරන්න ගිහින් අන්තිම කාලයේදී සේසතම නැති කර ගත්ත මනුස්සයෙක්නේ. ඒ වගේම සම්ප්‍රදායික දැනුම් පිළිබඳව හැදෑරීම සඳහා රහසිගතව විශාල කාලයක් වැය කරපු කෙනෙක්.
නිවුටන් විණිමය අනුපාතය හැදුවේ යුරෝපය සමඟ කරන වෙළඳාමට ගැලපෙන විදිහටයි. ආසියාතික රටවල් සමඟ කරන වෙළඳාමට ඔහු තිබ්බේ ඉතා අඩු බරක්. විණිමය අනුපාතයේ තවදුරටත් තිබුණු විශාල අසමතුලිතතාවය නිසා නිවුටන්ගේ රන් සම්මතයෙන් පස්සේ සිදු වුනේ එංගලන්තයේ රිදී කාසි ඔක්කොම වගේ රටෙන් පිටතට ඇදී යාමයි. එයින් පස්සේ එංගලන්තය කාලයක් තිස්සේ පවත්වා ගෙන ආ රිදී සම්මතය බිඳ වැටිලා රන් සම්මතයකට යන්න වුනා. නිවුටන්ගේ අවුන්සයට පවුම් 4.25 රන් සම්මතයනම් කාලයක්ම වෙනස් නොවී තිබුණා.
එංගලන්තයෙන් එළියට ගිය රිදී කාසි ඉන්දියාවේ ගොඩ ගැහුනා. ඉන්දියාවේ රත්තරන් එංගලන්තට ගියා. එංගලන්තය රන් කාසි වලට මාරු වෙද්දී ඉන්දියාවේ ජනප්‍රිය වී තිබුණේ රිදී කාසි. ලංකාවේ මුලින් භාවිතා වුනේත් මේ ඉන්දියානු රිදී කාසි. මුලින් පවුමක වටිනාකමට හදපු ගිනි එකක් සිලිං 21 කරලා කාලෙකට පස්සේ එංගලන්තය සිලිං 20ක් වටින පවුමේ රන් කාසි නිකුත් කළා. මේ පවුමේ කාසියක රත්තරන් ප්‍රමාණය ගිනි එකක ප්‍රමාණයෙන් 20/21ක්. ලංකාවේ රත්තරන් පවුම් කියා කියන්නේ ඔය කාසියක තිබෙන රත්තරන් ප්‍රමාණය. නිවුටන්ගේ වාර්තාවේ යෝජනා කරපු විදිහටම ඔය රන් පවුම් 4.25ක රත්තරන් ට්‍රෝයි අවුන්සයක් තියෙනවා.
යුරෝපයට සාපේක්ෂව ආසියානු රටවල රිදී වල රන් වටිනාකම ඉහළ මට්ටමක තිබුණා. ඉන්දියානුවන් රිදී කාසි අත ඇරලා රන් කාසි ලබා ගන්න කැමති වුනේ නැහැ. ඒ නිසා ඉන්දියාවේ වගේම ඉන්දියාව හරහා ලංකාවෙත් වැඩිපුර ජනප්‍රිය වෙලා තිබුණේ රිදී කාසි. ලංකාවේද භාවිතා වූ ඉන්දියානු රුපියලක් මුලදී සිලිං දෙකක වටිනාකමක් ඇති සේ සැලකුණා. එංගලන්තයේ සිලිං විස්සක් පවුමකට සමාන සේ සැලකුණා. ඒ අනුව බ්‍රිතාන්‍ය පවුමක් රුපියල් දහයක් වුනා.
නෙලී බ්ලයි යන අන්වර්ථ නාමයෙන් ලියූ එලිසබෙත් ජේන් කොක්‍රේන් ලංකාවට එන්න වසර දෙක තුනකට කලින් රිදී මිල විශාල ලෙස පහළ ගිහින් ඉන්දියානු රුපියල් වල සැබෑ වටිනාකම පහත වැටුනා. ඊට සාපේක්ෂව ඉන්දියාවේ වගේම ලංකාවේත් රත්තරන් වල වෙළඳපොළ මිල කාසි වල නාමික අගයට වඩා ගොඩක් ඉහළ ගියා. නෙලී බ්ලයිට ඇගේ ඩොලර් විස්සේ රත්තරන් කෑල්ල එහි නාමික මිලට වඩා වැඩි මිලකට කොටුවේදී මාරු කරන්න පුළුවන් වී තිබෙන්නේ ඒ නිසයි. හරියට අද වෙනවා වගේ.
පහතින් තියෙන්නේ මේ වියුණුව පටන් ගත් දිනට පසු දින පළ කළ ලිපියක්. නිවුටන් ගැන සමහර දේවල් එම ලිපියේ තිබෙනවා. වියුණුවේ පළ වූ තෙවන ලිපිය. නමුත් නිවුටන් ගැන වැඩිපුර කතා නොවන ඇතැම් සුවිශේෂී දේවල් මේ ලිපියේ වගේම ඒ ලිපියේත් නැහැ.
ඒ දවස් වල අපේ වියුණුව කියෙවුවේ දහ පහළොස් දෙනෙක් වගේ ඉතාම සුළු පිරිසක් පමණයි. දැන් ආපසු හැරී බැලුවත් පෙනෙන්නේ ලියන්න පටන් ගත් විදිහ හා අවුරුදු හයකට ආසන්න මෙතෙක් ආ මග නරක නැති බවයි.
ප්‍රධාන වශයෙන්ම පාඨක පිරිසක් ආකර්ෂණය කර ගැනීමේ අරමුණ ඇතිව ලියූවක් වුවත් ඉහත ලිපියේ මම මෙහෙම ලියා තිබෙනවා.
"ඔය කියන ඇපලය වැටෙන විට අයිසෙක් නිවුටන් ට්‍රිනිටි කොලිජියේ දීප්තිමත් සිසුවෙකුව සිට ගණිතය සහ භෞතික විද්‍යාව මැනවින් හදාරා තිබුණේය. ඒ නිසා, තවත් අලුත් භෞතික විද්‍යා නියමයක් ඉදිරිපත් කිරීමට ඔහුට හැකි විය. යම් කිසි ආකාරයකින් ඔහුගේ විෂයය (ආර්ථික විද්‍යාව වැනි) වෙනකක් වීනම් ඉතිහාසය තරමක් වෙනස් විය හැකිව තිබුණි."
ඇත්තමට කියනවානම් ඒ දවස් වල නිවුටන්ට ගණිතය සහ භෞතික විද්‍යාව වගේ විෂයයක් මිසක් ආර්ථික විද්‍යාව හදාරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. අද අර්ථයෙන් එහෙම විෂයයක් ඒ කාලයේ තිබුණේ නැහැ. නිවුටන් ආර්ථික විද්‍යා සංකල්ප තේරුම් ගත්තේ භෞතික විද්‍යා න්‍යාය ඇසුරෙන්. මෙය ලෝක ඉතිහාසයේ නිවුටන්ට පසු කොටස විශාල ලෙස වෙනස් කළා. ඒ අර්ථයෙන් බැලුවොත් අයිසෙක් නිවුටන් කියන්නේ ලෝකයම වෙනස් කළ කෙනෙක්. කවුරුවත් සාකච්ඡා කර තිබෙන බවක් මා දන්නේ නැතත් කාල් මාක්ස් වගේම ඇඩම් ස්මිත් විසින් පසුකාලීනව වටිනාකම් න්‍යාය හදන්නේ නිවුටන්ගේ රන් වටිනාකම් න්‍යායේ ආභාෂය ලබමින්.
නිවුටන් රාජකීය ටන්කනාගාරයේ රස්සාව කරන අතර ගෙදර ගිහින් හවසට ඇල්කෙමි පරීක්ෂණ කරද්දී ජෝන් ලොක් ඉල්ලුම් සැපයුම් න්‍යාය ගැන අදහස් ලියා පළ කළා. පසුව ඇඩම් ස්මිත් විසින් නිවුටන්ගේ ආභාෂය ලබන අතරම ජෝන් ලොක්ගේ අදහස් වර්ධනය කළා. එහෙත් කාල් මාක්ස් ඔවුන්ව නොසලකා හරිමින් භෞතික විද්‍යාව පස්සේම නොන්ඩි ගගහා ගියා. ඔහු වඩා වැදගත් සේ සැලකුවේ හේගල්ගේ දර්ශනවාදය හා මනෝරාජික සමාජවාදීන්ගේ අදහස්.
Tuesday, February 16, 2021
විණිමය හුවමාරු ගිවිසුම් හා ණය
මම හිතන්නේ විණිමය හුවමාරු ගිවිසුම් කියන වචනය පහුගිය දවස් වල ලංකාවේ ගොඩක් අයට ඇහෙන්න ඇති. සමහර මාධ්‍ය වල පළ වී තිබුණු හැටියට ලංකාව ඉන්දියාවෙන් අරගෙන තිබුණු ඩොලර් මිලියන 400ක ණයක් වහාම ගෙවන්න කියලා ඉන්දියාව ඉල්ලලා තිබෙනවා. ඔය ගැන ලංකාවෙන් වගේම ඉන්දියාවෙන්ද පැහැදිලි කිරීම් කෙරුණා. ඊට පස්සේ දැන් චීනයෙන් ඩොලර් මිලියන 1,500ක ණයක් ගන්න යන කතාවකුත් ඇහෙනවා. ඔය කතා දෙකම එක්ක විණිමය හුවමාරු ගිවිසුම් කියන වචනයත් ඇහෙන බව ටිකක් හොයා බැලුවොත් පෙනෙයි.
මේ විණිමය හුවමාරු ගිවිසුම් කියන්නේ මොනවාද? ඒවා ණය නෙමෙයිද? අයිඑෆ්එම් හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ගන්න ණය ගැනත් ඔය වගේම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේ ගැන මීට කලිනුත් පැහැදිලි කරලා තියෙනවා. නමුත්, ගොඩක් අයට මෙය තවමත් පැහැදිලි නැති නිසා, විශේෂයෙන්ම වෙන තැන් වල නැවත පළවීමෙන් පසුව මේ ලිපි කියවන අයත් දැන් ගොඩක් ඉන්න නිසා, අපි මේ ගැන නැවතත් පැහැදිලි කර ගනිමු.
පළමුව රාජ්‍ය ණය හා විදේශ ණය අතර වෙනස නැවත පැහැදිලි කරන්නම්.
රාජ්‍ය ණය කියන්නේ රජය විසින් ලබා ගන්නා ණය. මේ ණය විදේශ ණය හෝ දේශීය ණය විය හැකියි. ඒ වගේම, විදේශ ණය කියන්නේ ලංකාවේ කවුරු හෝ විසින් විදේශයකින් ගන්නා ණය. ණය ගන්නේ රජය, පුද්ගලයෙක් හෝ සමාගමක් වෙන්න පුළුවන්. ලංකාවේ රාජ්‍ය ණය අර්බුදය හා විදේශ ණය අර්බුදය එකිනෙකට සම්බන්ධ වුනත් මේ දෙක දෙකක්.
රාජ්‍ය ණය ඉහළ යාමේ ප්‍රශ්නය වන්නේ ණය වාරික හා පොලිය ගෙවීම අනාගතයට ඉතිරි වීම, ඒ හරහා අනාගතයේදී රජයේ වියදම් ඉහළ ගොස් අයවැය හිඟය වැඩි වීම හා අයවැය හිගය පියවන්න වැඩි වැඩියෙන් තවතවත් ණය ගන්න සිදු වීම. මේ විදිහට අයවැය හිඟය ඉහළ ගිහින් ඒ අයවැය හිඟය පියවීම සඳහා තවදුරටත් දේශීය හෝ විදේශීය ණය ගන්න අමාරු වුනහම රජය සල්ලි අච්චු ගැහීම කරා යොමු වෙනවා. පහුගිය අවුරුද්දේ කළේම ඔය වැඩේනේ. එහි අහිතකර ප්‍රතිඵල ගැන කතා කරන්න කාලය වැය නොකර සිටිමු. කලින් මේ ගැන ඕනෑ තරම් කතා කරලා තියෙනවනේ.
ඇත්තටම රජය විසින් ලබා ගන්න ණය ඵලදායී ලෙස ආයෝජනය කරනවානම් ණය කොයි තරම් ගත්තත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කරපු මොනවා හෝ ආයෝජන නිසා රටේ ආදායම් ඉහළ යන නිසා ණය වාරික හා පොලී ගෙවන්න අවශ්‍ය අමතර මුදලට වඩා වැඩියෙන් රජයේ බදු ආදායම් ඉහළ යනවා. ඒ නිසා, ණය ගෙවන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ලංකාවේ රාජ්‍ය ණය ඒ විදිහට ඵලදායී විදිහට ආයෝජනය නොවන බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඒ නිසා, වරින් වර ඔය සල්ලි අච්චු ගහන විකල්පයට යන්න වෙනවා.
විදේශ ණය ඉහළ යාමේ ප්‍රශ්නය වෙන එකක්. අපි රජය පැත්තකින්ම තියමුකෝ. ලංකාවේ කවර හෝ සමාගමක් විසින් විශාල (ඩොලර් බිලියන දෙක තුනක වගේ) විදේශ ණයක් ගත්තා කියමු. මේ විදිහට ලබාගත් අරමුදල් ඉතාම ඵලදායී ලෙස ආයෝජනය කරලා ණය ගෙවන්න අවශ්‍ය මුදලටත් වඩා ආදායමක් ඉපැයූවා කියමු. හැබැයි ආදායම උපයා තියෙන්නේ රුපියල් වලින්. ණය ආපසු ගෙවන්න තියෙන්නේ ඩොලර් වලින්.
දැන් මේ සමාගමට ණය ගෙවන්න රුපියල් ඩොලර් වලට මාරු කරන්න වෙනවා. ඒ සඳහා, ඩොලර් දීලා රුපියල් ගන්න කැමති කෙනෙක් ළඟට යන්න වෙනවා. පොඩි ඩොලර් ගණනක්නම් ඔය විදේශ මුදල් හුවමාරු කරන තැනකින් ගන්න පුළුවන්. ටිකක් ලොකු ගණනක් බැංකුවකින් ගන්න පුළුවන්. හැබැයි ලංකාවේ කිසිම වාණිජ බැංකුවක බිලියන ගණන් ඩොලර් නැහැ. ඒ වගේ ගණනක් ගන්න පුළුවන් තැන මහ බැංකුව. රුපියල් දීලා ඩොලර් ගන්න පුළුවන් වෙන්නේ මහ බැංකුවේ ඩොලර් සංචිත වලින්.
ඇත්තටම කියනවානම් වෙන කවුරු විසින් ප්‍රතික්ෂේප කළත් මහ බැංකුවට රුපියල් අරගෙන ඩොලර් දෙන එක ප්‍රතික්ෂේප කරන්න බැහැ. මහ බැංකුව විසින් එහෙම කරනවානම් එහි විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒ ඇයි?
මහ බැංකුව විසින් රුපියල් අරගෙන ඩොලර් දෙන්න බැහැ කියා කියනවානම් එය සමාන කළ හැක්කේ වාණිජ බැංකුවක් විසින් ඔබේ තැන්පතු ආපසු දෙන්න බෑ කියන එකටයි. ඔබේ අතේ තිබෙන රුපියල් මුද්‍රණය කරලා සංසරණයට එකතු කරලා තියෙන්නේ මහ බැංකුව විසින්. ඔබ මේ රුපියල් ලබා ගෙන තිබෙන්නේ නිකම් නෙමෙයි. මහන්සියෙන් හදාගත් මොනවා හෝ දෙයක් එක්ක හුවමාරු කරලා. එහෙම නැත්නම් ඔබේ ශ්‍රමය එක්ක හුවමාරු කරලා. ඔබ වටිනා දෙයක් රුපියල් නෝට්ටු එක්ක හුවමාරු කරගන්න කැමති වී තිබෙන්නේ මහ බැංකුව මත තිබෙන විශ්වාසය මත. රුපියල් අතේ තියා ගන්නවා කියන්නේත් හරියට බැංකුවක සල්ලි දමනවා වගේම දෙයක් තමයි.
රුපියල් වලට වටිනාකමක් තිබෙන බව කියන්නේ මහ බැංකුව. මේ වටිනාකම හරියටම ඔබට දැනුම් දෙන්නෙත් මහ බැංකුව. නිශ්චිතවම කියනවානම් රුපියල් දෙසීයක ඇමරිකන් ඩොලරයකට සමාන වටිනාකමක් තිබෙන බව ඔබට කියන්නේ මහ බැංකුව. මහ බැංකුව ඔබට එහෙම කියනවානම් ඔබ රුපියල් දෙසීයක් මහ බැංකුවට දුන්නහම ඔබට ඩොලරයක් දෙන්න මහ බැංකුවට වගකීමක් තියෙනවා. මහා බැංකුව එහෙම දෙන්න බැහැ කියනවානම් ඒ කියන්නේ රුපියලේ වටිනාකම පිළිබඳව මහ බැංකුව කියන්නේ බොරුවක් කියන එකයි.
ඉහත තර්කය අනුව ඔබ රුපියල් දුන්නහම ඔබට අවශ්‍ය ප්‍රමාණයට ඩොලර් දෙන්න බැරිනම් මහ බැංකුවේ විශ්වාසනීයත්වය පිළිබඳ ගැටළුවක් මතු වෙනවා. ඒ නිසා, මහ බැංකුවක් මේ තත්ත්වයට වැටෙන්න කැමති නැහැ. එහෙම වැටෙනවානම් වැටෙන්නේ වෙන කරන්න කිසිම දෙයක් නැති වුනහම. එහෙමත් නැත්නම් මහ බැංකුව බංකොලොත් වුනහම. රටක මහ බැංකුවක් බංකොලොත් වෙනවා කියන්න ඒ රටේ මුදල් වලට කිසිම වටිනාකමක් නැති වෙලා නිකම්ම කඩදාසි බවට පත් වෙලා කියන එක. සමහර රටවල් වල ඒ වගේ තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. කවුරු හෝ ඉල්ලුවොත් ඉල්ලන තරමක් දෙන්න ප්‍රමාණවත් ඩොලර් සංචිතයක් මහ බැංකුවේ පවත්වා ගැනීම ඉතාම වැදගත් වන්නේ මේ නිසා.
මහ බැංකුවේ ඩොලර් සංචිත පහත වැටිලා ඉල්ලුමට සරිලන තරම් ඩොලර් සපයන එක අසීරු වුනහම එය අපි ගෙවුම් ශේෂ අර්බුදයක් කියා හඳුන්වනවා. ලංකාව වසර කිහිපයකට වරක් ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දෙනවා. ගොඩක් වෙලාවට ගොඩ දමන්නේ අයිඑම්එෆ් එක. අර්බුදය අවසන් වන විට රුපියල සෑහෙන තරමකින් අවප්‍රමාණය වෙනවා. බොහෝ විට වෙන්නේ සංචිත ඉහළ යන එකට වඩා විණිමය අනුපාතය ඉහළ යාම නිසා ඩොලර් වලට තිබෙන ඉල්ලුම අඩු වෙන එක.
රුපියල් දෙසීය ගානේ මහා බැංකුවෙන් ඩොලර් ඉල්ලන ගොඩක් අය රුපියල් තුන්සීය ගානේ ඩොලර් ඉල්ලගෙන එන්නේ නැහැ. ඒ නිසා සංචිත වැඩි වුනේ නැතත් අඩු වශයෙන් තාවකාලිකව හෝ ගෙවුම් ශේෂ ප්‍රශ්නය විසඳෙනවා. කාලයක් ගිහින් අලුත් වටයකින් නැවත ගෙවුම් ශේෂ ප්‍රශ්නය මතු වෙන කොට ආයෙත් ඔය රවුමම යනවා. රුපියල අවප්‍රමාණය වෙනවා.
දැන් මම ඔය විස්තර කළේ ගෙවුම් ශේෂ ප්‍රශ්නය. මම මෙය විස්තර කළේ රජය ගාවා නොගෙන. ගෙවුම් ශේෂ ප්‍රශ්න වලට හේතුව මහ බැංකුවේ විදේශ විණිමය ප්‍රතිපත්තිය. රාජ්‍ය ණය ප්‍රශ්නයක් නොතිබුණත් මහ බැංකුවේ විදේශ විණිමය ප්‍රතිපත්තිය නිසා ඔය වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ උදාහරණයේදී මෙන් විදේශ ණය ලබාගත් පෞද්ගලික සමාගම එම මුදල් ඵලදායී ලෙස ආයෝජනය කරලා ආදායම් ඉපදවූයේ වුවත් මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්.
මේ ප්‍රශ්න දෙකේ වෙනස පැහැදිලි කරන්න මේ විදිහට පෞද්ගලික අංශය විසින් ලබාගත් විදේශ ණයක් උදාහරණයට ගත්තත් ඇත්තටම ලංකාවේ විදේශ ණය වලින් විශාල කොටසක් අරගෙන තිබෙන්නේ රජය විසින්නේ. රජය විසින් විදේශ ණය ගත්තහම එක පැත්තකින් රාජ්‍ය ණය අර්බුදයක් වගේම අනෙක් පැත්තෙන් ගෙවුම් ශේෂ අර්බුදයක්ද මතු වෙනවා. ඒ නිසා, වෙන වෙනම ප්‍රශ්න දෙකක් වුනත් මේ ප්‍රශ්න දෙක එකට ගැට ගැහිලයි තියෙන්නේ.
විදේශ ණය ගත්තහම තාවකාලිකව ප්‍රශ්න දෙකම යටපත් වෙනවා. එක පැත්තකින් ගත්ත ඩොලර් ටික රුපියල් වලට මාරු කළාම රටේ බැංකු පද්ධතියට ඩොලර් ඇවිත් ගෙවුම් ශේෂ ප්‍රශ්නය යට යනවා. අනෙක් පැත්තෙන් ඩොලර් මාරු කරලා ගත්ත රුපියල් ටිකෙන් අයවැය හිඟය පියවාගන්න පුළුවන්. ඒ නිසා, සල්ලි අච්චු ගහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. උද්ධමන ප්‍රශ්නයක් එන්නෙත් නැහැ. ලංකාව කාලයක් තිස්සේම කරන්නේ මේ වැඩේ.
හැබැයි ඉතිං මේ වැඩේ තනිකරම හිඟන්නාගේ තුවාලය කහනවා වගේ වැඩක්. විදේශ ණය අරගෙන තාවකාලිකව ප්‍රශ්න දෙකම යටපත් කර ගත්තත් ගත්ත ණය පොලියත් එක්ක ගෙවන්න වුනහම ප්‍රශ්නය අලුත් වටයකින් එන්නේ තිබුණාටත් වඩා දරුණු වෙලා. එතකොට හැමදාම වැඩි වැඩියෙන් විදේශ ණය ගන්න වෙනවා. නමුත්, ණය ගන්නනම් ණය දෙන්න කැමති අයත් ඉන්න ඕනෑනේ.
දැන් ලංකාවේ රජය ණය අරන් තිබෙන තරමට හා ඒ ගත්ත ණය මෙතෙක් කාලයක් වියදම් කරලා තිබෙන විදිහට රජයට තවත් ණය දෙන එක විශාල අවදානමක් බව කාට වුනත් තේරෙනවා. මෙච්චර කල් ගත්ත ණය වලින් ආදායම් උපදවා නැතුවා වගේම කවදාවත් ගත්ත ණය ගෙවලත් නැහැනේ. ගත්ත ණය ගෙවලා නැහැ කියා කියන්නේ ණයට පොලු තියලා තියෙනවා කියන එක නෙමෙයි. ලංකාව එහෙම කරලා නැහැ. නමුත්, හැම විටම ගත් ණය ගෙවා තියෙන්නේ අලුත් ණය වලින්. ඔය පිරමිඩ් එක කොයි වෙලේ හෝ කඩා වැටෙන බව කාට වුනත් තේරෙනවනේ.
දැන් ලංකාවේ රජයට විදේශ ණය ලබා ගන්න එක ඉතාම අසීරුයි. අවුරුද්දකින් (2022 ජනවාරි 18) කල් පිරෙන්න නියමිත ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කරයක අද ආයෝජනය කරන කෙනෙකුට (ද්වීතියික වෙළඳපොළෙන් මිල දී ගන්න කෙනෙකුට) 40%කට කිට්ටු පොලියක් ඩොලර් වලින්ම ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවට අවුරුද්දකට ඩොලර් 100ක් දෙන කෙනෙක් එසේ කරන්නේ අවුරුද්දකින් ඩොලර් 140ක් ලැබෙනවානම් පමණයි. මෙයින් පෙන්වන්නේ රට ඇතුළේ ඉන්න අයට නොතේරුණත් රුපියලේ සැබෑ වටිනාකම කොයි තරම් අඩු වෙලාද කියන එකයි.
මේ වගේ තත්ත්වයකදී ලංකාවට විදේශ ණය ලබා ගැනීම ඉතාම අසීරුයි. වාණිජ පදනමින් ණය ගන්නවානම් 40%ක පමණ පොලියක් ගෙවන්න වෙනවා. නැත්නම් ඉන්දියාව, චීනය හෝ වෙනත් බටහිර රටක් දේශපාලන අරමුණක් පෙරදැරිව අඩු පොලියකට ණය දෙන්න ඕනෑ.
මේ ආණ්ඩුව බලයට පත් වූ වහාම විශාල ලෙස බදු අඩු කළානේ. එහි දේශපාලනය අපි පැත්තකින් තියමු. මේ වැඩෙන් රජයේ ආදායම් විශාල ලෙස අඩු වෙලා අයවැය හිඟය විශාල ලෙස ඉහළ ගියා. දැන් එක පැත්තකින් අයවැය හිඟය විශාල ලෙස ඉහළ ගිහින්. අනෙක් පැත්තෙන් අයවැය හිඟය පියවාගන්න විදේශ ණය ගන්නත් බැහැ. දේශීය ණය ගන්න පුළුවන් වුනත් දේශීය ආයෝජකයෝ වුනත් ආණ්ඩුවට අවශ්‍ය පොලියට ණය දෙන්න සූදානම් නැහැ. පවතින පොලියට රජයට ණය දීම අවදානම් බව දේශීය ආයෝජකයෝ පවා හිතනවා. මේ තත්ත්වය යටතේ විශාල ලෙස සල්ලි අච්චු ගසමින් අයවැය හිඟය පියවා ගන්න ආණ්ඩුව පෙළඹී තිබෙනවා.
මේ වැඩෙන් යම් කාල පමාවකින් පසුව විශාල ලෙස රටේ බඩු මිල ඉහළ යාම හා ඉන් පසුව ඩොලරයේ මිලද ඉහළ යන එක ඉතාම පැහැදිලියි. ඒ කතාව අපි පැත්තකින් තියමුකෝ. ඒ අනාගත අවදානම් කොහොම වුනත් මේ විදිහට සල්ලි අච්චු ගහන එකෙන් මේ අවස්ථාවේදී තාවකාලිකව රාජ්‍යමූල්‍ය අර්බුදය විසඳෙනවා. අච්චු ගහපු සල්ලි වලින් දේශීය ණය වගේම පොලියත් ආපහු ගෙවන්න පුළුවන්. අනෙක් දේශීය වියදම් වෙනුවෙන් මේ මුදල් වැය කරන්නත් පුළුවන්. ඒ වගේම විදේශ ණය හා පොලිය ගෙවන්න අවශ්‍ය තරමට මුදලක් අච්චු ගහගන්නත් පුළුවන්.
ප්‍රශ්නය තියෙන්නේ එතැනින් එහාට. ඩොලර් වලින් ලංකාවේ රජයට ණය දුන් කවුරුවත් රුපියල් දෙසීයක් ඩොලරයේ අනුපාතයට රුපියල් වලින් ණය හා වාරික ආපහු ගන්න කැමති නැහැ. මොකද එහෙම ගත්තා කියලා රුපියල් දෙසීයේ අනුපාතයට රුපියල් ඩොලර් වලට මාරු කරලා දෙන්න කෙනෙක් නැහැ. ආණ්ඩුව ඩොලර් වලින් ගත් ණය හා පොලිය ඩොලර් වලින්ම ආපසු ගෙවිය යුතුයි. රුපියල් ඩොලර් වලට මාරු කරගන්න වෙන්නේ මහ බැංකුවෙන්. නමුත් ඒ වැඩේට ප්‍රමාණවත් ඩොලර් මහ බැංකුවේ නැහැ. ඔන්න ඕකයි ප්‍රශ්නය.
"අපේ රුපියල් දීලා ඩොලර් අරන් ණය ගෙවන්න බැරිද? එහෙම ගෙව්වොත් ඩොලර් එක කොච්චරකින් වැඩිවෙයිද? (ඩොලර් බිලිනයක් ගත්තොත් ඩොලරය කීයක් වෙයිද?) ඒ ඔප්ශන් එකට යන්නෙ නැත්තෙ ඇයි?"
ඔය ඔප්ෂන් එකට යන්න පුළුවන්නම් හරිම ලේසියි. කැමති තරමක් රුපියල් මුද්‍රණය කළා. ඩොලර් වලට මාරු කළා. ණය ගෙවුවා. සිම්පල් ප්ලෑන් එකක්!
ඇත්තටම කියනවානම් ඇමරිකාව කරන්නේ ඔය වගේ වැඩක්. ඩොලර් අච්චු ගහලා ණය ගෙවනවා. ඇමරිකාව අච්චු ගහලා දෙන ඩොලර් කියන්නෙත් රුපියල් වගේම නිකම්ම කඩදාසි වුනත් ඒ කඩදාසි බාර ගන්න කැමති අය ඇමරිකාවෙන් පිටත ඕනෑ තරම් ඉන්නවා. නමුත්, ලංකාව ඒ විදිහට සල්ලි අච්චු ගැහුවා කියලා ලංකාවේ පිටත කිසිම කෙනෙක් ඒ කඩදාසි බාර ගන්නේ නැහැ. ඒවා බාර ගන්නේ ලංකාව ඇතුළේ ඉන්න අය පමණයි.
ලිපිය පටන් ගැනීමේදී කතා කළ විණිමය හුවමාරු ගිවිසුමක් කියා කියන්නේ මේ විදිහට රුපියල් අරගෙන ඩොලර් දීමක්. හැබැයි එහෙම දෙන අය රුපියල් අරගෙන ඩොලර් දෙන්නේ කොන්දේසියක් යටතේ. යම් නිශ්චිත කාලයකට පසුව රුපියල් ටික ආපසු අරගෙන ඩොලර් ටික ආපසු දෙන්න ඕනෑ. තාක්ෂනිකව බැලුවොත් මෙය ණය ගැනීමක් නෙමෙයි. මොකද ඩොලර් ගන්නේ රුපියල් දීලා.
විණිමය හුවමාරු ගිවිසුම් වලට යන්නේ රජයයන් පමණක් නෙමෙයි, උදාහරණයක් විදිහට සමාගමක් හා වාණිජ බැංකුවක් අතර විණිමය හුවමාරු ගිවිසුමක් ඇති වෙන්න පුළුවන්. අපි හිතමු චීනයෙන් මොනවා හරි ගෙන්නලා ඉන්දියාවට ප්‍රතිඅපනයනය කරන ලංකාවේ ව්‍යාපාරයක් ගැන. හදිසියේම ඉන්දියාව පැත්තෙන් ඉල්ලුම වැඩි වුනොත් එම ව්‍යාපාරික අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න අමතර ඩොලර් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. අනෙක් අතට බඩු ටික ඉන්දියාවට ගිය ගමන් ඩොලර් ලැබෙනවා. ඩොලර් අවශ්‍ය වන්නේ ඔය අතර කාලයේදී පමණයි.
එක විකල්පයක් වන්නේ ඩොලර් ණයට ගන්න එක. එතකොට ණයට පොලියක් ගෙවන්න වෙනවා. නමුත් අතේ රුපියල් වලින් ඕනෑ තරම් සල්ලි තියෙන කෙනෙකුට පොලියට ණය ගන්න අවශ්‍ය නැහැ. උවමනාව අතේ තිබෙන රුපියල් ටික තාවකාලිකව ඩොලර් කර ගන්න එකයි. ඒ වගේම දිගටම ඩොලර් අවශ්‍ය වෙන්නේත් නැහැ. මේ වගේ අවස්ථාවකදී විණිමය හුවමාරු ගිවිසුමකට යන එක හොඳ විකල්පයක්. පසුව දෙන පොරොන්දුවට කාගෙන් හෝ ඩොලර් ගත්තත් අනෙක් පැත්තෙන් රුපියල් ගෙවීමක්ද සිදුවන නිසා මෙය ණයක් නෙමෙයි. ඩොලර් ගන්නේ සදහටම නොවන නිසා සාමාන්‍ය විණිමය ගනුදෙනුවකුත් නෙමෙයි.
පහුගිය දවස් වල කතාබහට ලක් වුනු ඉන්දියාවට ආපසු ගෙවපු ඩොලර් 400ක "ණය" මුදලත් ඔය විදිහට විණිමය හුවමාරු වැඩ සටහනක් යටතේ අරගෙන තිබුණු මුදලක්. දැන් චීනයෙන් ගන්න යනවා කියා කියන්නෙත් මේ වගේ "ණයක්". සාමාන්‍යයෙන් අයිඑම්එෆ් එකෙන් ගන්නා ණයත් මේ වර්ගයේ "ණය". අයිඑම්එෆ් ණය වලට විණිමය හුවමාරු ගිවිසුම් කියා කියන්නේ නැතත් ව්‍යුහමය ලෙස සිදුවන්නේ සමාන දෙයක්.
ඉහත අවස්ථා තුනේදීම ගනුදෙනුව සිදු වන්නේ මහ බැංකුව එක්ක මිසක් රජය එක්ක නෙමෙයි. මේ වගේ ගනුදෙනුවකින් රජය විදේශ ණය ගනිද්දී මෙන් රාජ්‍ය ණය ඉහළ යන්නේ නැහැ. මොකද රජය ණය ගැනීමක් නොකරන නිසා. රජය කරන්නේ කවර හෝ ක්‍රමයකින් හොයා ගන්නා රුපියල් මහ බැංකුවට දී ඩොලර් කර ගන්න එක. මහ බැංකුව විසින් කරන්නේ සංචිත වල ඩොලර් ප්‍රමාණය පහත වැටෙන එක වලක්වා ගැනීම සඳහා තාවකාලික ක්‍රියාමාර්ගයක් ගන්න එක.
යුරෝපයේ හා ඇමරිකාවේ පිහිටි සමාගම් දෙකක් අතර සිදුවන විණිමය හුවමාරු ගිවිසුමක් වගේ එකක් ගත්තොත් ඇමරිකාවේ සමාගමට තාවකාලිකව යුරෝ අවශ්‍ය වෙනවා. යුරෝපයේ සමාගමට තාවකාලිකව ඩොලර් අවශ්‍ය වෙනවා. නමුත්, ඉන්දියාවට, චීනයට හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඔය විදිහට තාවකාලිකව ලංකාවේ රුපියල් අවශ්‍ය වීමක් වෙන්නේ නැහැ. ලංකාවට ඩොලර් අවශ්‍ය වීම පමණයි සිදු වෙන්නේ. ඒ නිසා, ලංකාවට විණිමය හුවමාරු ගිවිසුමකට යන්න වෙන්නේ යම් තාක් දුරකට අනෙක් පාර්ශ්වයේ අනුකම්පාව මත හෝ කොන්දේසි වලට යටත් වෙමින් පමණයි.
තවත් දෙයක් තිබෙනවා. විණිමය හුවමාරු ගිවිසුමකදී සෛද්ධාන්තිකව ණය ගැනීමක් සිදු වෙන්නේ නැහැ. ලංකාවේ මහ බැංකුව විසින් කරන්නේ ඉන්දියාවේ මහ බැංකුව එක්ක තාවකාලිකව රුපියල් හා ඩොලර් මාරු කර ගැනීමක් පමණයි. ලංකාවේ රජය විසින් මහ බැංකුවෙන් ඩොලර් මිල දී ගන්නවා. ඒ සඳහා රුපියල් හොයා ගැනීම වෙනම කතාවක්. එය රජයේ බදු හෝ වෙනත් ආදායමක් වෙන්න පුළුවන්. නැත්නම් දේශීය වෙළඳපොළේ රාජ්‍ය සුරැකුම්පත් විකුණා හොයා ගන්න මුදලක් වෙන්න පුළුවන්.
හැබැයි දැන් වෙන්නේ කුමක්ද? රජය මහ බැංකුවට රාජ්‍ය සුරැකුම්පත් විකුණනවා. මහ බැංකුව අලුතින් මුද්‍රණය කළ මුදල් ගෙවා ඒ රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගන්නවා. ඉන් පසු රජය රාජ්‍ය සුරැකුම්පත් විකුණා මහා බැංකුවෙන් ලබාගත් මුදල්ම මහ බැංකුවට දී ඩොලර් ලබා ගන්නවා. මහ බැංකුව ඩොලර් ලබා ගන්නේ ඉන්දියාවේ මහ බැංකුවට රුපියල් දීලා. ඒ කියන්නේ වක්‍රව ගත්තහම මෙතැනදී අන්තිමට වෙන්නේ ලංකාවේ රජය විසින් ඉන්දියාවේ මහ බැංකුවෙන් ණයක් ගැනීමක්ම තමයි.
මහ බැංකුව ගිවිසුමේ කාලය අවසානයේදී ඉන්දියාවට ඩොලර් ආපසු දී රුපියල් ටික නැවත ලබාගත යුතුයි. නමුත්, ඩොලර් ටික දැන් රජයට දීලා ඉවරයි. ඒ ඩොලර් නැවත ආපසු ලැබෙන්නේ නැහැ. ඒ නිසා, ඉන්දියාව පැත්තෙන් බැලුවහම මහ බැංකුවට දුන් ඩොලර් ටික ආපසු ලබා ගැනීමේ අවදානම ඒ විදිහටම තිබෙනවා.
මෙහි ඉන්දියාව වෙනුවට අයිඑම්එෆ් එක හිටියත් කතාව ඔය විදිහමයි. දුන්න සල්ලි ආපසු නොලැබීමේ අවදානම අයිඑම්එෆ් එකට තිබෙනවා. ඒ නිසා, අයිඑම්එෆ් එක සල්ලි දෙන්නේ ඒ සල්ලි ආපසු ගෙවිය හැකි තරමේ වෙනසක් සිදුවන ප්‍රතිසංස්කරණ වලට ලංකාව කැමති වුනොත් පමණයි. ණය ගනිද්දී අයිඑම්එෆ් එක කොන්දේසි දමනවා කියා කියන්නේ ඕකටයි.
විණිමය හුවමාරු ගිවිසුම යටතේ ඉන්දියාව ඩොලර් මිලියන 400ක් දීලා තියෙන්නෙත් ඔය වගේ කොන්දේසියක් දමලා. කොන්දේසිය වන්නේ ලංකාව අයිඑම්එෆ් වැඩසටහනකට යා යුතු බවයි. එසේ කළහොත් ණය ආපසු ලබා ගැනීමේ අවදානම අඩු වන බව ඉන්දියාව දන්නවා. නමුත්, ලංකාව අයිඑම්එෆ් වැඩසටහනකට ගියේ නැහැ. ඒ නිසා, ඉන්දියාව තමන්ගේ අවදානම අඩු කර ගැනීම සඳහා ඩොලර් ටික නැවත ආපසු අරගෙන ගත්ත රුපියල් ටික ආපසු දුන්නා.
දැන් ලංකාව සතුව ඉතිරි වී තිබෙන එක් විකල්පයක් වන්නේ අයිඑම්එෆ් වැඩසටහනකට යන එකයි. දෙවන විකල්පය වන්නේ ඉන්දියාවෙන් හෝ චීනයෙන් ණය ගැනීමයි. තෙවන විකල්පය වන්නේ ඉන්දියාව හෝ චීනය සමඟ විණිමය හුවමාරු ගිවිසුමකට යන එකයි. හතරවන විකල්පය රටේ මූල්‍යමය නොවන වත්කම් වලින් කොටසක් විකුණන (හෝ බදු දෙන) එකයි.
මෙහි මා ඉන්දියාව හා චීනය ගැන සඳහන් කළේ එම දෙරටින් එකක් මේ වැඩේට කැමති වීමේ වැඩි හැකියාවක් තිබෙන නිසයි. ලංකාවේ ඩොලර් සංචිත හිඳෙනවා කියා කියන්නේ දැඩි ලෙස ආනයන සීමා කරන්න වෙනවා කියන එකයි. මෙයින් ප්‍රධාන වශයෙන්ම අවාසියක් වෙන්නේ ඉන්දියාවට හා චීනයටයි. එම රටවල් වලින් ලංකාවට කරන අපනයන අඩු නොකර පවත්වා ගන්නනම් අනෙක් පැත්තෙන් ලංකාවට බඩු ගන්න සල්ලිත් කිසියම් ක්‍රමයකින් දෙන්නම වෙනවා. වෙන විකල්පයක් නැහැ.
ණය ආපසු නොලැබීමේ අවදානම නොගෙන අපනයනද එලෙසම පවත්වා ගැනීම සඳහා අවශ්‍ය විදේශ විණිමය ලංකාවට පොම්ප කළ හැකි එකම ක්‍රමය ලංකාවේ මොනවා හෝ වත්කම් මිල දී ගැනීමයි. චීනය වගේම ඉන්දියාවත් කරන්න හදන්නේ ඒකයි.
Monday, February 15, 2021
ආනයන පාලනයෙන් ආණ්ඩුව ඇණ ගනියිද?
තවත් පැහැදිලිව කිවුවොත් ලංකාව හැමදාම කරනවා වගේ ආනයන සඳහා අපනයන ආදායමට වඩා වැඩියෙන් වියදම් කර තිබුණත්, පසුගිය වසර තුළ එසේ වැඩියෙන් වියදම් කර තිබෙන මුදල ශ්‍රමික ප්‍රේෂණ වලින් රටට ලැබුණු මුදලට වඩා අඩු මුදලක්. කාලයක් තිස්සේම සිදු වුනු ආකාරයට ලංකාව ණයට ගත් ඩොලර් වියදම් කර භාණ්ඩ ආනයනය කරලා නැහැ. ඒ නිසා, කලින් ගත් ණය හා පොලී ගෙවන්න මිසක් ඊට අමතරව තවත් විදේශ ණය ගැනීමේ අවශ්‍යතාවයක් මතු වී නැහැ.
පළමු ප්‍රශ්නය මේ විදිහට ආනයන වියදම් පහළ ගියේ කොහොමද කියන එකයි. 2019 වසරට සාපේක්ෂව 2020 වසර තුළ ලංකාවේ ආනයන වියදම් ඩොලර් මිලියන 3,882කින් අඩු වී තිබෙනවා. මෙයින් ඩොලර් මිලියන 1,349ක් අඩු වෙලා තියෙන්නේ ඉන්ධන ආනයන වියදම් වලින්. එය කෝවිඩ් නිසා ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල අඩු වීමේ හා දේශීය ඉන්ධන ඉල්ලුම අඩු වීමේ ප්‍රතිඵලයක්. ආනයන සීමා කිරීමක සෘජු ප්‍රතිඵලයක් නෙමෙයි. තවත් ඩොලර් මිලියන 574ක් අඩු වෙලා තිබෙන්නේ රෙදිපිළි හා ඇඟලුම් කාණ්ඩයෙන්. එයට හේතුව ඇඟලුම් අපනයන ඉල්ලුම පහත වැටීම නිසා එම කර්මාන්තයට අමුද්‍රව්‍ය අඩුවෙන් අවශ්‍ය වීමයි. එයත් වසංගතය නිසා ඇති වූ තත්ත්වයක්. මේ අනුව ආනයන වියදම් අඩු වීමෙන් බාගයකටම, එනම් ඩොලර් මිලියන 1,923කටම හේතුව වසංගත තත්ත්වය මිසක් ආනයන පාලනය කිරීම නෙමෙයි.
තවත් විශාල වශයෙන් පහළ ගොස් තිබෙන ආනයන කාණ්ඩ වන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා අවශ්ය වන අමුද්‍රව්‍යයි. ගොඩනැගිලි ද්‍රව්‍ය අමුද්‍රව්‍ය ආනයන වියදම් ඩොලර් මිලියන 473කින්ද, මූල ලෝහ ආනයනය ඩොලර් මිලියන 103කින්ද, යන්ත්‍රසූත්‍ර හා උපකරණ ආනයනය ඩොලර් මිලියන 317කින්ද අඩු වී තිබෙනවා. මේ අඩුවීම් වලට හේතුව ආනයන තහනමකට වඩා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ක්‍රියාකාරකම් පහත වැටීමයි.
ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයට රාජ්‍ය අංශයේ බලපෑම ඉතා විශාලයි. පසුගිය දශක එකහමාරක පමණ කාලය තුළ රජය මුල් වී, විදේශ ණය වැය කරමින්, මහා පරිමාණ ඉදිකිරීම් කරද්දී එම කර්මාන්තය සඳහා අවශ්‍ය ආනයනද අනුරූපී ලෙස ඉහළ ගියා. මේ වෙද්දී ලංකාවේ රජයට තවදුරටත් මේ රෝල ගහන්න අමාරු වී තිබෙන නිසා රජය මුල් වී සිදු කළ ඉදිකිරීම් කටයුතු යම් තරමකින් සීමා වී තිබෙනවා. මෙයට වසංගතයේ බලපෑම යම් තරමකින් තිබුනත්, ප්‍රධාන වශයෙන්ම මෙය ව්‍යුහමය හිර වීමක් (structural bottleneck).
මීට අමතරව පෞද්ගලික රථවාහන ආනයන වියදම් ඩොලර් මිලියන 533කින්ද, ප්‍රවාහන උපකරණ ආනයනය ඩොලර් මිලියන 248කින් අඩු වී තිබෙනවා. ආනයන පාලනයේ වැඩිම බලපෑමක් තිබෙන්නේ මේ කොටසේ. ඒ හැර කහ ආනයන තහනම වගේ සිල්ලර දේවල් ආර්ථිකයට දැනෙන දේවල් නෙමෙයි. මුළු කතාවම සාරාංශ ගත කළොත් ආනයන වියදම් අඩු වීමෙන් තුනෙන් දෙකකට පමණ හේතු වී තිබෙන්නේ වසංගතයේ බලපෑම හා ලංකාවේ රජය මුහුණ දී සිටින රාජ්‍ය මූල්‍ය අර්බුදය මිසක් විදේශ වෙළඳ ප්‍රතිපත්තිය නෙමෙයි. රටේ විදේශ වෙළඳ ප්‍රතිපත්තිය ආනයන සීමා කිරීමට හේතු වී තිබෙනවානම් එම දායකත්වය මුළු අඩු වීමෙන් 30-35% පමණ ප්‍රමාණයක් පමණයි.
අප හැම විටම පෙනී සිටින්නේ නිදහස් වෙළඳාම වෙනුවෙන්. නිදහස් වෙළඳාම වෙනුවෙන් පෙනී සිටින කෙනෙකුට ආනයන පාලනය වෙනුවෙන් පෙනී සිටින්න බැහැ. එසේ වුවත්, යම් සුවිශේෂී තත්ත්වයන් යටතේ ආනයන පාලනය වුවත් හිතකර වෙන්න පුළුවන්. ව්‍යායාම නොකිරීම හෘදයාබාධ හැදීමේ සම්භාවිතාව ඉහළ දමන නමුත් හෘදයාබාධයක් හැදී සිටින අයෙකු ව්‍යායාම කරන්නට යාමෙන් වෙන්නේ මරණය තවත් ඉක්මන් වීම වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් නරක දේවල් වුවත් හොඳ වෙන වෙලාවල් තිබෙනවා.
ජාත්‍යන්තර වෙළඳාම සඳහා බාධා අවම වීම කාර්යක්ෂමයි. එහි ප්‍රතිඵල හැම රටකටම ලැබෙනවා. එහෙත්, හැම රටක්ම බාධා ඉවත් කර තිබියදී එක රටක් පමණක් ආනයන වලට බාධා සිදු කළහොත් අනෙක් රටවලට පාඩුවක් වී එසේ බාධා කළ රටට වාසියක් ලැබෙනවා. ඒ නිසා, එක රටක් ආනයන වලට බාධා කළ විට අනෙක් රටවල්ද ඒ දෙයම කරන්න පෙළඹෙනවා. අවසානයේදී හැමෝම පරදිනවා. රටවල් සාමූහිකව ජාත්‍යන්තර වෙළඳාම සඳහා තිබෙන බාධා ඉවත් කිරීමෙන් හැමෝටම වාසියක් වෙනවා. ඒ හැර තමාගේ දේවල් ලෝකයටම අපනයනය කරමින්, කිසිම දෙයක් ආනයනය නොකර ඉන්න ප්‍රතිපත්තියක් කොයි තරම් වාසිදායක වුවත් දිගටම ක්‍රියාත්මක කළ නොහැකියි.
ලංකාවේ පැත්තෙන් ගත්තොත් අපනයන ප්‍රවර්ධනය කරන අතරම ආනයන පාලනය කිරීම රටට වාසියි. වෙන ඕනෑම රටකට වුවත් එය එහෙමයි. ආරක්ෂණවාදය රටවල් අතර ජනප්‍රිය ඒ නිසයි. එහෙත්, කිසියම් රටක් ආරක්ෂණවාදය කරා යොමු වන විටම අනෙක් පැත්තෙන් ප්‍රතිචාර එනවා. වත්මන් ලෝකයේ බොහෝ රටවල් විසින් අපනයන ප්‍රවර්ධනය කරන අතරම ආනයන පාලනය කිරීම කරන "කපටි" ක්‍රමය විණිමය අනුපාතිකය නියම මට්ටමට වඩා පහළින් තියා ගැනීමයි. චීනය මේ වැඩේට කප් ගසා සිටින රටක්.
ලංකාව කාලයක් තිස්සේ කළේ මෙහි අනෙක් පැත්තයි. එනම් ණයට ගන්නා ඩොලර් වල උදවුවෙන් රුපියල එහි නියම වටිනාකමටත් වඩා උඩින් තබා ගැනීමයි. මෙයට පාදක වී තිබෙන දේශපාලනික හේතු මා සාකච්ඡා කර තිබෙනවා. රටට අහිතකර විදේශ විණිමය ප්‍රතිපත්තිය නිසා කාලයක් තිස්සේ ලංකාවට එන අපනයන වැඩි වී ආනයන අඩු වී තිබෙනවා. ලංකාවේ නිෂ්පාදකයින්ට අසාධාරණ තරඟයකට මුහුණ දෙන්න සිදු වී තිබෙනවා. මෙහි වාසිය ඉන්දියානු හා චීන නිෂ්පාදකයින් විසින් කාලයක් තිස්සේ ලබාගෙන තිබෙනවා.
ලංකාව ආනයන පාලනය සඳහා යොමු වන්නේ මෙවැනි පසුබිමකයි. මේ වැඩේ දිගටම කළොත් ලංකාවට අනෙක් පැත්තෙන් ප්‍රතිරෝධයක් එන එකක් නැද්ද?
මගේ පිළිතුර වන්නේ අඩු වශයෙන් කෙටිකාලීනව මෙවැනි අවදානමක් නැති බවයි. ලංකාව කිසියම් රටකින් එන ආනයන වලට බාධා කරන විට එම රටටත් ලංකාවේ අපනයන වලට බාධා කළ හැකියි. ලංකාවේ අපනයන වැඩිපුරම යන්නේ ඇමරිකාවට හා යුරෝපයටයි. නමුත්, ලංකාව ඒ රටවල් වලින් මහා ලොකු දෙයක් ආනයනය කරන්නේ නැහැ. ඒ නිසා, ලංකාවේ ආනයන පාලන ප්‍රතිපත්ති වලින් ඇමරිකාවට හෝ යුරෝපයට බලපෑමක් වෙන්නේ නැහැ. ඒ නිසා, ඒ රටවල් වලට මේ හේතුව මත පදනම්ව ලංකාවේ අපනයන වලට බාධා කිරීමේ අවශ්‍යතාවයක් ඇති වන්නේ නැහැ. මානව හිම්කම් චෝදනා මත සිදු කළ හැකි බාධා කිරීම් ආදිය මෙයට අදාළ කරුණක් නෙමෙයි. එය මෙයට සම්බන්ධයක් නැති වෙනම කරුණක්.
ලංකාව වැඩිපුරම ආනයන සිදු කරන්නේ චීනයෙන් හා ඉන්දියාවෙන්. ඒ නිසා ලංකාවේ ආනයන සීමා කිරීම් වැඩිපුරම දැනෙන්නේ චීනයට හා ඉන්දියාවටයි. එහෙත්, එහෙම කළා කියලා එකට එක කරන්න තරම් දෙයක් ඉන්දියාව හෝ චීනය ලංකාවෙන් ආනයනය කරන්නේ නැහැ. ඒ නිසා, මේ රටවල් වලට ලංකාවේ අපනයන වලට ප්‍රතිඵලදායක බලපෑමක් කිරීමේ හැකියාවක් නැහැ. මේ සුවිශේෂී තත්ත්වය නිසා, අඩු වශයෙන් කෙටිකාලීනව, ලංකාවට සෘජුව හෝ වක්‍රව ආනයන පාලනය කරන්න වගේම එයින් වාසියක් ලබා ගන්නත් පුළුවන්. එහිදී පවතින තත්ත්වය තේරුම් ගෙන එය මැනවින් කළමණාකරණය කර ගැනීම වැදගත්.
Sunday, January 31, 2021
ඉන්දියානු මෛත්‍රිය
පසුගිය වසර තුළදී කෝවිඩ් ව්‍යාප්තිය සිදු වූ ආකාරය සැලකුවොත්, වරින් වර ලෝකයේ ඇතැම් රටවල කෝවිඩ් පැතිරීම පාලනය වුනා. චීනය වැනි ඇතැම් රටවල් ඒ පාලනය දිගටම පවත්වා ගන්න සමත් වුනා. වෙනත් ඇතැම් රටවල් වලින් පාලනය ගිලිහුනා. කොහොම වුනත් සමස්තයක් ලෙස ලෝකයම සැලකුවහොත් දිගින් දිගටම සිදු වුනේ ලෝකයේ කොහෙන් හෝ දිනකට හමු වන ආසාදිතයින් ප්‍රමාණය එන්න එන්නම වැඩි වීමයි.
කවර ආකාරයකින් හෝ පසුගිය සති තුන ඇතුළත මේ ප්‍රවණතාවය ආපසු හැරී තිබෙනවා. ලෝකය පුරා කෝවිඩ් වසංගතයට එරෙහිව එන්නත්කරණය ආරම්භ වී ව්‍යාප්ත වීම සිදු වුනේද මෙයට සමගාමීවයි. කෙසේ වුවත් මේ වනතුරුද එන්නත්කරණයේ රැකවරණය ලබා තිබෙන්නේ ලෝක ජනගහණයෙන් 1%කට ආසන්න පිරිසක් පමණක් නිසා මෙය තනිකරම එන්නතේ බලපෑමෙන් සිදු වූ දෙයක් ලෙස සලකන්න බැහැ.
වසංගතවේද ආකෘති අනුව, සාමාන්‍යයෙන් වසංගතයක් ආරම්භයේදී වේගයෙන් පැතිරී යම් උපරිම මට්ටමකට පැමිණීමෙන් පසුව ස්වභාවිකවම ක්‍රමයෙන් ක්ෂය වී යනවා. මෙසේ වසංගතය පැතිරීම ස්වභාවික ලෙසම මන්දගාමී වෙන්නේ සාමූහික ප්‍රතිශක්ති මට්ටමට ළඟා වීමෙන් පසුවයි. එන්නතකින් කරන්නේ රෝගය ආසාදනය වීමෙන් "නරක ක්‍රමයට" සාමූහික ප්‍රතිශක්තිය ඇති වෙන්නට පෙර වඩා හොඳ ක්‍රමයකට සාමූහික ප්‍රතිශක්තිය ඇති කිරීමයි.
අලුත් රෝගයක් වූ කෝවිඩ් වසංගතය වේගයෙන් ව්‍යාප්ත වෙන්න පටන් ගනිද්දී ඒ සඳහා එන්නතක් තිබුණේ නැහැ. ඒ නිසා, ලෝකයේ හැම රටකටම වගේ රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වෙනත් උපක්‍රම භාවිතා කරන්න සිදු වුනා. පොදු වශයෙන් මෙහිදී සිදු වුනේ සංචරණයට හා සමාජ සම්බන්ධතා වලට සීමා පැනවීමයි. එම උපක්‍රම තාවකාලිකව රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට සමත් වුනා.
ඇමරිකාව ඇතුළු බොහෝ බටහිර රටවලද මෙවැනි සංචරණ සීමා හේතුවෙන් ආරම්භයේදී වසංගතයේ ව්‍යාප්තිය පාලනය වුවත්, එම සීමා ක්‍රමයෙන් ලිහිල් කරද්දී නැවතත් රෝග ව්‍යාප්තිය ඉහළ ගියා.
වසර තුළ කාලගුණයේ විශාල වෙනස්කම් සිදුවන බොහෝ බටහිර රටවල එම කාලගුණ වෙනස්වීම් සමඟ මිනිස් හැසිරීම්ද විශාල ලෙස වෙනස් වෙනවා. මෙය රෝග ව්‍යාප්තිය කෙරෙහිද බලපානවා. ස්වභාවික තත්ත්වයන් තුළද ග්‍රීෂ්ම කාලය තුළ රෝග ව්‍යාප්තිය පාලනය වී, ශීත සෘතුව තුළ නැවතත් වඩා දරුණු ආකාරයකින් හිස එසැවිය හැකි බව ඇමරිකාව හා එක්සත් රාජධානිය වැනි රටවල් විසින් වසංගතය ආරම්භයේදීම නිවැරදිව පුරෝකථනය කළා.
පළමු රැල්ල ඕනෑවට වඩා පාලනය කිරීමෙන් ශීත සෘතුව තුළ පැමිණිය හැකිව තිබුණු දෙවන රැල්ල වඩා භයානක විය හැකි විය හැකි බව ආකෘති අනුව පෙනෙන්නට තිබුණා. ඒ වගේම ග්‍රීෂ්ම සෘතුව තුළ සංචරන සීමා ආදිය යම් තරමකින් ලිහිල් කළද විශාල හානියක් සිදු වන්නට ඉඩක් තිබුණේ නැහැ. ඒ නිසා, ඇමරිකාවේ උපක්‍රමය වුනේ ග්‍රීෂ්ම කාලය තුළ සීමාවන් යම් තරමකින් ලිහිල් කර ශීත කාලය තුළ නැවතත් සංචරණ සීමා පිළිබඳව වඩා සැලකිලිමත් වීමයි. දැන් ආපසු හැරී බැලුවොත් සෘතු භේද පැහැදිලිව දැකිය හැකි බොහෝ රටවල රෝග ව්‍යාප්තියේ "රැළි දෙක" පැහැදිලිව දැක ගත හැකියි.
සමකය ආසන්නයේ පිහිටි ඉන්දියාව වැනි රටකට සෘතු භේද බලපාන්නේ අඩුවෙන්. ඒ නිසා, ඉන්දියාව වැනි රටක රෝග ව්‍යාප්තිය තනි රැල්ලකින් අවසන් විය හැකිව තිබුණා. දැන් ආපසු හැරී බැලුවොත් පෙනෙන පරිදි ඉන්දියාවේ කෝවිඩ් වේගයෙන් ව්‍යාප්ත වී ඒ ව්‍යාප්ත වුනු වේගයෙන්ම අඩු වී ගොස් තිබෙනවා. දින තුනකට පෙර ඉන්දියානු සෞඛ්‍ය ඇමති හර්ෂ් වර්ධන් විසින් ප්‍රකාශ කර සිටියේ මේ වන විට ඉන්දියාව කෝවිඩ් වසංගතය පාලනය කර ගැනීමට සමත්ව සිටින බවයි. ඉන්දියාවේ විද්‍යා හා තාක්ෂණ ඇමැතිවරයාද වන හර්ෂ් වර්ධන් වෘත්තියෙන් විශේෂඥ වෛද්‍යවරයෙක්.
ඉන්දියාවේ දිස්ත්‍රික්ක 718කින් 146කින්ම පසුගිය සතිය තුළ කිසිදු කෝවිඩ් ආසාදිතයෙකු වාර්තා වී නැහැ. මේ වන විට ඉන්දියාවේ සිටින කෝවිඩ් ආසාදිතයින්ගෙන් 78%ක්ම කේරළ, මහා රාෂ්ඨ, උත්තර ප්‍රදේශ්, කර්ණාටක හා බටහිර බෙංගාල ප්‍රාන්ත වලට සීමා වී තිබෙනවා. කෝවිඩ් ආසාදිතයින් සේ හඳුනාගෙන තිබෙන්නේ ඉන්දියානුවන්ගෙන් 0.8%ක් පමණක් වුවත්, අහඹු රුධිර පරීක්ෂණ ප්‍රතිඵල අනුව පෙනී යන්නේ මෙම ප්‍රමාණය 28-32 ගුණයකින් වැඩි බවයි. ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශ වල මේ වන විටද සාමූහික ප්‍රතිශක්තිය ඇති වී තිබෙන්නට සැලකිය යුතු ඉඩක් තිබෙනවා.
බිලියන 1.37ක ඉන්දියානු ජනගහණය එන්නත් කිරීමේ දැවැන්ත අභියෝගයට මුහුණ දෙන අතරම කලාපයේ රටවලට එන්නත් මෛත්‍රිය පතුරවන්නටද ඉන්දියාවට හැකි වී තිබෙන්නේ ඉන්දියාව තුළ මේ වන විට කෝවිඩ් ව්‍යාප්තිය ස්වභාවික ලෙසම සෑහෙන තරමකින් පාලනය වී තිබීම නිසයි.
Friday, June 12, 2020
කොරෝනා කොයිබටද?
මා කොරෝනා වෛරසය ගැන මෙහි ලියන්නේ ජනවාරි මාසයේ සිටයි. ඒ වෙද්දී මේ රෝගය කෝවිඩ්-19 ලෙස නම් කර තිබුණේ නැහැ. ආසාදිතයින් ප්‍රමාණය 7,815ක් වන විට මරණ සිදු වී තිබුණේ 170ක් පමණයි. එය 2.2%ක මරණ අනුපාතයක්. මේ අඩු මරණ අනුපාතය නිසා ඒ දවස් වල බොහෝ දෙනෙක් රෝගය බරපතල ලෙස සැලකුවේ නැහැ. ජනවාරි 30 දින මා මෙසේ ලිවුවා.
"අසල්වැසි ඉන්දියාවෙන් සහ පිලිපීනයෙන්ද නව කොරෝනා රෝගීන් හමු වීමත් සමඟ මේ වන විට චීනයෙන් පිටත රටවල් හා ප්‍රදේශ 20ක් කරා වෛරසය ව්‍යාප්ත වී තිබෙනවා."
"මෙය භයානක වන්නේ මරණ අනුපාතිකය නිසා නෙමෙයි. වෛරසය ව්‍යාප්ත වන වේගය නිසයි.".
මුල් කාලයේදී චීනයේ වෛරසය පැතිරෙද්දී බොහෝ අය චෝදනා කළේ ඇමරිකාවටයි. මෙය චීනයට එරෙහිව ඇමරිකානු මාධ්‍ය මගින් මවන බොරු බියක් බව ප්‍රචාරය වුනා. නිල වශයෙන් චීනයත් එසේ කිවුවා. එය එසේ නොවන බව පෙන්වා දෙමින් රෝගයේ භයානකකම ගැන මා පෙබරවාරි 6 දින අවධාරණය කළේ මෙලෙසයි.
"කොරෝනා භීෂණය මාධ්‍ය මගින් හදපු එකක් කියා ඇතැම් අය කිවුවත් එය නිවැරදි නැහැ. එය සැබෑ ප්‍රශ්නයක්. නව කොරෝනා වෛරසය වැළඳුනු අයගෙන් මිය යන්නේ 2%කට මඳක් වැඩි ප්‍රමාණයක් පමණක් බව ඇත්ත. නමුත්, කොරෝනා වෛරසය භයානක වන්නේ මරණ අනුපාතය නිසා නෙමෙයි. පැතිරෙන වේගය නිසයි.
රෝගය පැතිරීම වලක්වන්න චීනය කොයි තරම් උත්සාහ කළත් තවමත් දවසෙන් දවසම තත්ත්වය දරුණු වෙන එකයි වෙන්නේ. සෑම දවසකම පෙර දවසේ මැරුණු ගණනට වඩා වැඩි ගණනක් මිය යනවා. නිල සංඛ්‍යාලේඛන අනුව මේ වන විට මිය ගොස් ඇති ගණන 638ක්. වෛරසය වැළඳුනු ගණන 31,481ක්."
ඉන් පසුව, චීනයෙන් පිටත දකුණු කොරියාව, ඉතාලිය හා ඉරානය යන රටවල වෛරසය පැතිරෙන්න පටන් ගත්තා. පෙබරවාරි 24 දින මා මෙසේ ලිවුවා.
"මේ වන විට කෝවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ගණන 79,731 දක්වාත්, කෝවිඩ්-19 මරණ ගණන 2,627 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා. මේ ආසාදිතයින් අතරින් 97%ක් හමු වී තිබෙන්නේත්, මරණ වලින් 99%ක් පමණම සිදුව තිබෙන්නේත් චීනයේ. ඒ අනුව, මෙතෙක් කෝවිඩ්-19 වෛරසය බොහෝ දුරට චීනයට සීමා වෙලයි තිබුණේ.
මේ වෙද්දී ඉහත තත්ත්වය වෙනස් වී තිබෙන බවත්, චීනයේ වෛරස් බිය ක්‍රමයෙන් තුනී වෙද්දී චීනයෙන් පිටත වේගයෙන් වෛරසය පැතිරෙමින් තිබෙන බවත් පෙනෙන්නට තිබෙනවා. එසේ කෝවිඩ්-19 වේගයෙන් පැතිරෙන ප්‍රධාන රටවල් තුනක් වන්නේ එකිනෙකට ආසන්නව නොපිහිටි දකුණු කොරියාව, ඉතාලිය හා ඉරානයයි."
මාර්තු මැද වන විට කොරෝනා යුරෝපයේ ප්‍රශ්නයක් වී තිබුණා. ඒ වන විටත් ඇමරිකාවේ වෛරසය එතරම් දුරට පැතිරී තිබුණේ නැහැ. මේ මාර්තු 14 වන විට පැවති තත්ත්වයයි.
"මේ වන විට කොරෝනා චීනාගේ ප්‍රශ්නයක් නෙමෙයි. දැනට ජීවත්ව සිටින හැත්තෑ දහසකට අධික සුව නොවූ කොරෝනා රෝගීන්ගෙන් පනස් අට දහසක්ම ඉන්නේ චීනයෙන් පිටතයි. එයින් රෝගීන් තිස් දහසක් සිටින්නේ දෙවන වටයේදී රෝගය ව්‍යාප්ත වූ දකුණු කොරියාව, ඉතාලිය හා ඉරානය යන රට වල වුවත්, ඉතිරි විසි අට දහස සිටින්නේ ලෝකය පුරාම අනෙකුත් රටවලයි."
"ආසාදිතයින් ප්‍රමාණය අනුව බැලුවොත් ඇමරිකාව සිටින්නේ අටවන තැනයි. එහෙත්, ජනගහණයේ අනුපාතයක් ලෙස ඇමරිකාවේ කෝවිඩ්19 ආසාදිතයින් ප්‍රමාණය තවමත් මිලියනයකට 7.1ක් පමණයි.
ඇමරිකාවේ දැනට පවතින තත්ත්වය මෙසේ වුවත්, ඉදිරි සති කිහිපය ඇතුළත කෝවිඩ්19 ආසාදිතයින් ප්‍රමාණය විශාල ලෙස ඉහළ යා හැකි බව පෙනෙන්නට තිබෙනවා."
ඉන් පසුව ඇමරිකාව ක්‍රමයෙන් කොරෝනා ලැයිස්තුවේ උඩට ආවා. මාර්තු 26 දින මා ලිවුවේ මෙලෙසයි.
"මෙය ලියන මොහොත වන විටත් හඳුනාගත් කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය අනුව ඉහළින්ම සිටින්නේ චීනයයි. දෙවැනි තැන ඉතාලියත්, ඉන් පසුව ඇමරිකාවත් ඉන්නවා. ජෝන් හොප්කින්ස් සරසවියේ සංඛ්‍යාලේඛණ මෙහෙමයි.
චීනය - 81,667
ඉතාලිය - 74,386
ඇමරිකා එක්සත් ජනපදය - 68,572
හෙට දවස අවසන් වන විට ඇමරිකාව මෙහි උඩින් සිටින රටවල් දෙකම පසුකර මුල් තැනට පැමිණීමට විශාල ඉඩක් තිබෙනවා. යම් හෙයකින් එය එසේ නොවුනොත් අනිද්දා දිනයේ එය අනිවාර්යයෙන්ම වෙයි."
මේ වෙද්දී ඇමරිකාවේ ඇමරිකාවේ කොරෝනා රෝගීන් ප්‍රමාණය මිලියන දෙක ඉක්මවා ඇති බවත් මරණ ප්‍රමාණය ලක්ෂය ඉක්මවා ඇති බවත් (116,000) කවුරුත් දන්නා දෙයක්. චීනයෙන් පසුව කොරෝනා ප්‍රධාන වශයෙන්ම ප්‍රශ්නයක් වුනේ ඇමරිකාවට හා යුරෝපයට.
කොරෝනා රුසියාව, ඉන්දියාව හා බ්‍රසීලය යන රටවල ප්‍රශ්නයක් වන බව මා කිවුවේ දැනට මාස දෙකකටත් පෙරයි. ඒ අප්‍රේල් 10 වෙනිදා. ඒ වන විට එම රටවල් හිටියේ ලැයිස්තුවේ ගොඩක් පහළින්.
"කිසියම් රටක කෝවිඩ්-19 පැතිරීම ආරම්භ වූ අවදියේදී ඝාතීය වර්ධනයක් දකින්න ලැබෙනවා. ඇමරිකාවේ හා යුරෝපීය රටවල් බොහොමයකම මේ තත්ත්වය දකින්න ලැබුණා. රුසියාව, ඉන්දියාව හා බ්‍රසීලය ඇතුළු ලොකු ජනගහණයක් සිටින හා ප්‍රමාද වී කෝවිඩ්-19 තර්ජනයට මුහුණ දුන් රටවල මේ වන විට මේ ඝාතීය වර්ධන තත්ත්වය දැකිය හැකියි."
අප්‍රේල් 18 මා මේ කරුණ නැවත අවධාරණය කළා.
මැයි අවසානය වන විට මේ රටවල් අතරින් රුසියාව හා බ්‍රසීලය ලැයිස්තුවේ උඩට එන්න පටන් ගෙන තිබුණා. මේ මා මැයි 28 දින තැබූ සටහනයි.
ඉන් පසුව, මා නැවත කොරෝනා ගැන ලියන්නේ අදයි. මේ වන විට ඇමරිකාවට පසුව කොරෝනා ලැයිස්තුවේ ඉහළින්ම සිටින රටවල් වන්නේ බ්‍රසීලය, රුසියාව හා ඉන්දියාවයි. බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව හා චීනය බ්‍රික් රටවල් ලෙසද හැඳින්වෙනවා. චීනයෙන් පටන් ගත් කොරෝනා මේ වෙද්දී ඉතිරි බ්‍රික් රටවල ප්‍රශ්නයක් වෙලා.
තවමත් ඇමරිකාවේ කොරෝනා රෝගීන් ප්‍රමාණය ඇමරිකාවට පසුව වැඩිම රෝගීන් ප්‍රමාණයක් සිටින බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව හා එක්සත් රාජධානිය යන රටවල් හතරේම එකතුවට වඩා වැඩියි. මරණ ගණන බැලුවත් එහෙමයි. ඇමරිකාවේ රෝගය පැතිරීම මන්දගාමී වී තිබුණත් තවමත් දවසකට රෝගීන් විසිදහසක්වත් අළුතෙන් හමු වෙනවා. ඒ නිසා, දැනට මතුපිටින් පෙනෙන්නට ඇති ආකාරයට රෝගීන් ප්‍රමාණය අනුව වෙන රටක තත්ත්වය ඇමරිකාවට වඩා දරුණු වීම දුරස්ථ කාරණයක්.
රුසියාවේ ආසාදිතයින් ලක්ෂ පහකට වඩා සිටියත්, ඒ ප්‍රමාණය හදුනාගෙන තිබෙන්නේ මිලියන 14ක පිරිසක් පරීක්ෂා කිරීමෙන් පසුවයි. එහෙත්, බ්‍රසීලයේ තත්ත්වය වෙනස්. ආසාදිතයින් ලක්ෂ අටක් හමු වී තිබෙන්නේ පරීක්ෂා කරනු ලැබූ මිලියන 1.36ක් අතරින්. ඉදිරි කාලයේදී පරීක්ෂණ ප්‍රමාණය ඉහළ යද්දී බ්‍රසීලයේ ආසාදිතයින් ප්‍රමාණය වේගයෙන් ඉහළ යයි. තව සති තුනකින් හෝ හතරකින් බ්‍රසීලය ලැයිස්තුවේ උඩට එන්න බැරිකමක් නැහැ.
දැනට ඉන්දියාවෙන් හඳුනාගෙන තිබෙන ආසාදිතයින් ප්‍රමාණය ඇමරිකාවේ ආසාදිතයින් ප්‍රමාණයෙන් 15%ක් පමණක් වුනත් ඉන්දියාව ඇමරිකාව මෙන් හතර ගුණයක ජනගහණයක් සිටින රටක්. යම් කාලයක් ගත විය හැකි වුවත් ඉන්දියාව අවසානයේදී ඇමරිකාව හා බ්‍රසීලය පහු කර ලැයිස්තුවේ උඩටම එන්න පුළුවන්. සමහර විට අගෝස්තු මාසය පමණ වෙද්දී විය හැකියි. රුසියාව පහු කරන්නනම් වැඩි කාලයක් ගත වන එකක් නැහැ.
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...