වෙබ් ලිපිනය:

Showing posts with label පෞද්ගලික දේපොළ. Show all posts
Showing posts with label පෞද්ගලික දේපොළ. Show all posts

Wednesday, March 10, 2021

ප්‍රාග්ධනය එක්රැස්වීම


කාර්මික විප්ලවයෙන් පස්සේ කෙටි කාලයක් ඇතුළත යුරෝපයේ විශාල සමාජ පරිවර්තනයක් ඇති වුනා. දිගු කාලයක් තිස්සේ පැවති නිෂ්පාදන ක්‍රමවේදය වෙනස් වීමත් එක්ක ඇති වුනු කම්හල් වල වැඩ හොයාගෙන ගම් වල හිටපු මිනිස්සු විශාල වශයෙන් නගර කරා ඇදුනා. ශ්‍රමය විකිණීම සඳහා තරඟය වැඩි වෙද්දී ශ්‍රමය ලාබ වුනා. ශ්‍රමිකයන්ට ඉතා අයහපත් තත්ත්වයන් යටතේ දිගු පැය ගණනක් වැඩ කරන්න සිදු වුනා. ඇඩම් ස්මිත්ගේ ඉඳලා කාල් මාක්ස් දක්වා වූ කාලයේ ජීවත් වුනේ මේ සමාජ පරිවර්තනය ඇහෙන් දැකපු උදවිය. ඔවෙන්, ෆුරියේ, මැල්තුස් වගේ අය ඔය අතරමැද කාලයේ ජීවත් වුනු අය.

ඔය කාලයේ ශ්‍රමිකයන්ගේ තත්ත්වය ගොඩක් නරක මට්ටමක තිබුණේ ඇයි කියන කාරණාව අපට දැන් කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය ආශ්‍රයෙන් තේරුම් ගන්න පුළුවන්. 

ශ්‍රම ඒකකයකට ගෙවන වැටුප් අනුපාතිකය w ලෙසත්, ප්‍රාග්ධන ඒකකයකට ගෙවන ලාභාංශ හෝ පොලී අනුපාතිකය r ලෙසත් සලකමු. එවිට, අපට ධනවාදී මූලධර්ම අනුව ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර ප්‍රතිලාභ බෙදී යා යුතු ආකාරය මෙසේ ලියන්න පුළුවන්.

w = ∂Y/∂L = (1-α)Y/L

r = ∂Y/∂K = αY/K

විශාල පිරිසක් සතුව ශ්‍රමය තියෙද්දී, ප්‍රාග්ධනය තිබෙන්නේ සුළු පිරිසක් සතුවනම් ඉහත w හා r වලට මොකද වෙන්නේ? Y හා  α නොවෙනස්ව තිබෙන තත්ත්වයක් යටතේ L වැඩි වන තරමට w පහළ යනවා. සාමාන්‍ය භාෂාවෙන් කිවුවොත් ශ්‍රමය විකුණන්න ඕනෑ තරම් අය ඉන්න නිසා ඒ අය අතර තරඟයෙන් වැටුප් පහළ යනවා. නමුත්, ප්‍රාග්ධන හිමියන් ඉන්නේ සුළු පිරිසක් නිසා ඒ අය අතර ඒ තරම් තරඟයක් නැහැ. එහෙම තරඟයක් ඇති වෙන්නේ ශ්‍රමය හොයා ගන්න අමාරු තරමේ හිඟයක් ආවානම් පමණයි. ඔය කාලයේ එවැනි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ප්‍රාග්ධනය හොයාගෙන ශ්‍රමය ආවා මිසක් ශ්‍රමය හොයා ගෙන ප්‍රාග්ධනයට යන්න වුනේ නැහැ. K අඩු නිසා r ඉහළ මට්ටමක තිබුණා.

ඔය කාලයේ උපත් පාලනයක් තිබුණේ නැහැනේ. සාමාන්‍ය ශ්‍රමිකයෙකුට දරුවන් විශාල ප්‍රමාණයක් හිටියා. පවුලක බඩවල් පුරවන එක ලේසි නැහැ. ලැබෙන වැටුපෙන් පවුලකට යාන්තමින් හෝ ජීවත් වෙන එක පහසු වුනේ නැහැ. පවුල නඩත්තු කරගෙන යාන්තමින් ජීවත් වෙන්න පැය ගාණක් වැඩ කරන්න වුනා. යාන්තම් කරදඬු උස්මහත් වෙද්දී ළමයින්ටත් කම්හලක රස්සාවක් හොයා ගන්න වුනා. 

මේ කම්කරුවන්ගේ දුක්ඛිත ජීවිත ගැන බොහෝ දෙනෙක් සානුකම්පිකව බැලුවා. විසඳුම් හෙවුවා. ඇඩම් ස්මිත් දැක්කේ එක විසඳුමක්. ඔවෙන් වෙන විසඳුමක්. මාක්ස් තවත් විසඳුමක්.

ඇඩම් ස්මිත්ගේ අදහස වුනේ ප්‍රාග්ධන හිමියන් අතර තරඟය වැඩි වෙද්දී ශ්‍රමය ආකර්ෂණය කර ගැනීම සඳහා කම්කරුවන්ට වඩා හොඳ වැටුප් ගෙවන්න සිදු වෙනවා කියන එකයි. මේ අදහස නිවැරදි බව අද වන විට පැහැදිලිව පෙනී ගොස් තිබෙනවා. එහෙත්, කාල් මාක්ස්ගේ පුරෝකථනය වුනේ ප්‍රාග්ධන හිමියන් විසින් දිගින් දිගටම ශ්‍රමිකයන්ට ජීවත් වීම සඳහා අවශ්‍ය අවම වැටුපක් පමණක් ලබා දෙමින් අතිරික්තය මුළුමනින්ම සූරාකන නිසා කම්කරුවන්ගේ තත්ත්වය කොහොමටවත්ම වෙනස් වෙන්නේ නෑ කියන එකයි.

ඇඩම් ස්මිත්ට සාපේක්ෂව මාක්ස්ට සියවසක ඉතිහාසයේ වාසිය තිබුණා. මාක්ස්ගේ ප්‍රවාද හැදුනේ ඇඩම් ස්මිත් විසින් ආර්ථික විද්‍යාවට එකතු කළ දේ, ඔවෙන් හා ෆුරියේ වැනි මනෝරාජික සමාජවාදීන්ගේ අදහස් හා හේගල්ගේ දර්ශනය උකහා ගනිමිනුයි. මාක්ස්ගේ තර්කය වුනේ නිවැරදි විද්‍යාත්මක ප්‍රවාදයකින් දැනට පවතින තත්ත්වය පමණක් පැහැදිලි කළ හැකි වීම ප්‍රමාණවත් නොවන බව හා මිනිස් ඉතිහාසයම පැහැදිලි කළ හැකි විය යුතු බවයි.

ගැලීලියෝගෙන් පස්සේ බටහිර භෞතික විද්‍යාවේ සීඝ්‍ර ප්‍රගතියක් ඇති වුනා. අලුත් භෞතික විද්‍යා නියම වලින් බොහෝ දේවල් පැහැදිලි කරන්න පුළුවන් වුනා. ඒ එක්කම ඒ විදිහටම සමාජ විද්‍යාවන්ද වර්ධනය කළ හැකි නියම හොයා ගන්න ලොකු උනන්දුවක් ඇති වී තිබුණා. දැනුම හොයා ගැනීමේ ඉලක්කය වුනේ පරම සත්‍යයක් එළිදරවු කර ගැනීමයි. ෆුරියේ වැනි අය උත්සාහ කළේ පදාර්ථ, පදාර්ථ වල ගුණ, ජීවය වගේම මිනිස් සමාජය ක්‍රියා කරන මූලික නියම එළිදරවු කර පැහැදිලි කරන්නයි. වෙනත් විදිහකින් කිවුවොත් දෙවියන් වහන්සේගේ සැලසුම එළිදරවු කර ගැනීම. 

කාල් මාක්ස් මේ සැලසුමෙන් දෙවියන් වහන්සේව අයින් කළා. එහෙත්, සැලසුමක් තිබෙනවා කියන අදහස අයින් කළේ නැහැ. ඒ වෙනුවට ඔහු දෙවියන් වහන්සේ නැතුව ඒ සැලසුම එළිදරවු කර පැහැදිලි කළා. කාල් මාක්ස් විසින් දැකපු විදිහට මිනිස්සුන්ට දුක් විඳින්න සිදුවන ආරම්භක පාපය පෞද්ගලික ප්‍රාග්ධනයයි. ඔහු දුටු අනාගත පාරාදීසියේ පොදු දේපොළ මිසක් පෞද්ගලික දේපොළ නැහැ.

මාක්ස්ගේ විග්‍රහය පටන් ගන්නේ මිනිස්සු සතුව ප්‍රාග්ධනය නැති අතීතයකින්. මා කලින් ලිපියක ලියූ පරිදි මිනිස්සු මිනිස්සු වෙන්නේම ප්‍රාග්ධනය එක්රැස් කර ගැනීමට සමාන්තරවයි. ප්‍රාග්ධනය නැති මිනිස් සමාජයක් හා සත්තු අතර වෙනසක් නැහැ. කෙසේ වුවත්, ආන්තීය තත්ත්වයක් විදිහට අපිට මේ වගේ තත්ත්වයක් ගැන හිතන්න පුළුවන්.

කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතයේ α=0  වූ විට අපට මෙසේ ලියන්න පුළුවන්.

Y = F(K,L) = AKαL1-α = AK0L1-0 = AL

මෙහි L මිස K නැහැ. නිෂ්පාදිතයේ වටිනාකම ශ්‍රමයට සමානුපාතිකයි. මේ අනුව, නිෂ්පාදිතය කියන්නේ ශ්‍රමයේම වෙනත් ස්වරූපයක් කියා අපට කියන්න පුළුවන් නිසා, එම තර්කය මත පදනම්ව භාණ්ඩයක වටිනාකම ඒ වෙනුවෙන් යෙදවූ ශ්‍රම ඒකක ගණනට සමාන ලෙස අපට සලකන්න පුළුවන්. මෙය මාක්ස්වාදයේ මූලික උපකල්පනයක්. එහෙත් මෙය මාක්ස්ගේ කාලයේදී දැන සිටි දෙයක් මිසක් මාක්ස් විසින් එකතු කළ දෙයක් නෙමෙයි. ඇඩම් ස්මිත් විසින්ද මෙය මෙලෙසම සලකා තිබෙනවා. ඒ කාලය වෙද්දී භාණ්ඩයක වටිනාකම පිළිබඳ අද පිළිගැනෙන සම්මත න්‍යායයන් වැඩිදියුණු වී තිබුණේ නැහැ.

භාණ්ඩයක වටිනාකම හැදෙන්නේ එය නිපදවීම සඳහා යෙදවූ ශ්‍රමය නිසා පමණක්නම් එම වටිනාකමේ අයිතිය තිබෙන්නේ ශ්‍රමය යෙදවූ ශ්‍රමිකයාටයි. ඒ අනුව, ශ්‍රමය නොයොදවා ලාභයක් උපයන ප්‍රාග්ධන හිමියා විසින් කරන්නේ ශ්‍රමිකයා සතු දෙයක් සූරාකන එකයි. ඉතා සරලව මාක්ස්වාදයේ පදනම ඕකයි.

මාක්ස්වාදය තුළ, එහෙමත් නැත්නම් ඓතිහාසික භෞතිකවාදය තුළ, ඉහත කී ආකාරයෙන් ශ්‍රමය පමණක් නිශ්පාදනය සඳහා යොදවන, ප්‍රාග්ධනයක් නැති කාලය හැඳින්වෙන්නේ ආදි කොමියුනිස්ට් සමාජය විදිහටයි. ඊට පස්සේ වහල් යුගය, වැඩවසම් යුගය හා ධනවාදය ලෙස සමාජය විකාශනය වෙනවා. මාක්ස්ගේ ප්‍රවාදය අනුව ධනවාදයෙන් පස්සේ කොමියුනිස්ට් සමාජයක් එනවා. මේ පරිණාමය කවුරුවත් සැලසුම් කරන දෙයක් නෙමෙයි. කොහොමටත් සිදුවන දෙයක්. 

මාක්ස්වාදයටම අනුව වුනත් ධනවාදී නිෂ්පාදනය සිදු වෙන්නේ ශ්‍රමය පමණක් නිෂ්පාදන සාධක ලෙස යොදා ගනිමින් නෙමෙයි. නිෂ්පාදන සාධකයක් විදිහට ප්‍රාග්ධනයත් යොදා ගැනෙනවා. එහෙත්, මාක්ස්වාදයට අනුව ප්‍රාග්ධනය වෙනුවෙන් කිසිදු ප්‍රතිලාභයක් හිමි විය යුතු නැහැ. සියල්ල ශ්‍රමය වෙනුවෙන් ලැබිය යුතුයි.

මේ තර්කයේ පදනම වන්නේ පෞද්ගලික ප්‍රාග්ධනය කියා කියන්නේම ඓතිහාසික "වැරැද්දක්" කියන එකයි. ආරම්භයේදී නිෂ්පාදිතය ශ්‍රමය මත පමණක් පදනම් වූ නිසා පෞද්ගලික ප්‍රාග්ධනය රැස් වන්නේ එක් අයෙකු විසින් වෙනත් අයෙකුගේ ශ්‍රමයේ ප්‍රතිලාභ තමන් සතු කර ගැනීමෙන් කියන එක මාක්ස්වාදී අදහසයි. උදාහරණයක් විදිහට වහල් හිමියෙක් විසින් වහලෙකුගේ ශ්‍රමය සූරාකමින් ප්‍රාග්ධනය එක්රැස් කර ගන්නවා.

ඓතිහාසිකව ප්‍රාග්ධනය එක්රැස් වීමේ ක්‍රියාවලිය මාක්ස් විසින් දැක්කේ ප්‍රචණ්ඩ ලෙස සිදු වූ දෙයක් විදිහටයි. පිරිසක් විසින් යම් ප්‍රදේශයක් කොටුකර ගෙන එහි සිටින තවත් පිරිසක් බැහැර කරනවා. එසේ බැහැර කරනු ලැබූ පිරිසට ජීවත් වීම සඳහා කුලී ශ්‍රමිකයන් වෙන්න සිදු වෙනවා. ප්‍රාග්ධන හිමියන් හා ශ්‍රමිකයන් කියා කොටස් දෙකක් හැදෙන්නේ ඔය විදිහටයි. 

මාක්ස්ට කලින් ඓතිහාසිකව ප්‍රාග්ධනය එක්රැස් වීමේ ක්‍රියාවලිය ඇඩම් ස්මිත් විසින් දැක තිබුණේ සාමකාමීව සිදු වූ දෙයක් විදිහටයි. නාස්තිකාරයෝ හා විවිධ විෂමාචාර වල යෙදෙන්නෝ ලැබෙන දේ අනෙක් අතට වියදම් කරද්දී මසුරෝ සල්ලි ඉතුරු කරනවා. මේ වැඩෙන් යම් පිරිසක් අතේ පමණක් ප්‍රාග්ධනය එකතු වෙනවා. අද නූතන ධනවාදී සමාජයක් දිහා බැලුවහම මාක්ස් විසින් සමච්චලයට ලක් කළ ඇඩම් ස්මිත්ගේ ප්‍රවාදය නිවැරදි බව පේනවා.

ඓතිහාසිකව ප්‍රාග්ධනය එක්රැස් වීම එකම ආකාරයකට පමණක් සිදු වුනා කියලා මම හිතන්නේ නැහැ. ඇඩම් ස්මිත් විස්තර කරපු ආකාරයට සාමකාමීව වගේම කාල් මාක්ස් විස්තර කළ ආකාරයට ප්‍රචණ්ඩ විදිහටත් ඔය වැඩේ වෙන්න ඇති. මේ හේතු දෙකට අමතර තුන් වන හේතුවක් විදිහට වාසනාව කියන සාධකයත් ඉදිරිපත් කරන්න පුළුවන්. වාසනාව කියා මම කියන්නේ අහඹුතාවය.

කාලයකට ඉස්සර රත්නපුර පැත්තේ ගොඩක් අය පතල් රස්සාව කළානේ. දැන් ඔය වගේ කර්මාන්තයකදී L විශාල ලෙස වැඩි කළා කියලා Y ඒ තරම් වැඩි වෙන්නේ නැහැ. Y වැඩි වෙන්නේ මැණිකක් හම්බ වුනොත් පමණයි. මෙහිදී වෙන්නේ A වැඩි වෙන එක. ඒ කියන්නේ Y/L හෙවත් ශ්‍රම ඒකකයකට නිෂ්පාදිතය. එකම මහන්සිය වෙන දෙන්නෙක් අතරින් වටිනා මැණිකක් හොයා ගන්න වාසනාව තිබුණු කෙනා ලොකු ධනවතෙක් වෙනවා. අනික් අය දිගටම දුප්පත්තු. මෙහිදී Y/L = A කියා කියන්නේ වාසනාව මිසක් තාක්ෂනය නෙමෙයි.

මේ උදාහරණයේදී තරම්ම පැහැදිලි නැතත් ඔය වාසනාව හෙවත් අහඹුතාවය බොහෝ කර්මාන්ත වල Y/L කෙරෙහි බලපෑමක් කරනවා. උදාහරණයක් විදිහට කාලගුණය, දේශගුණය, පසේ ස්වභාවය ආදී දේවල්. විශේෂයෙන්ම මුදල් කියන දේ හොයා ගත්තට පස්සේ.

ඉතිහාසයේ යම් අවස්ථාවක රන් හා රිදී මුදල් බවට පත් වෙනවා. ඒ එක්කම මිනිස්සුන්ට ධනවත් වෙන්න විකල්ප මාර්ගයක් හිමි වෙනවා. ඒ රන් හෝ රිදී හොයන එක. රන් හෝ රිදී හොයා ගන්න කෙනෙකුට ආහාර, රෙදි පිළි වගේ අත්‍යවශ්‍ය දේවල් හදාගන්න මහන්සි නොවී ඒවා හදන කෙනෙක්ගෙන් මිල දී ගන්න පුළුවන්. අනෙක් අතට ආහාර, රෙදි පිළි වගේ දේවල් නිපදවන කෙනෙකුට රන්, රිදී හාරන්න මහන්සි නොවී මිල දී ගැනීම හරහා ඒවා අයිති කරගෙන ධනවතෙක් වෙන්න පුළුවන්.

මුල්ම කාලයේදී නයිල් ගඟේ ඉවුරක ඇවිද ගෙන යන කෙනෙකුට අහම්බෙන් වගේ දිලිසෙන රත්තරන් කෑල්ලක් අහු වෙන්න ඇති. ලස්සන නිසා ළඟ තියාගෙන හිටපු මේ රත්තරන් කෑල්ල වෙනත් කෙනෙකුට දීලා මරපු සතෙක්ව ලබා ගන්න පුළුවන් බව පස්සේ තේරෙන්න ඇති. කොහොම කොහොම හරි කාලයක් යද්දී රන් හා රිදී ලෝකය වටේම ධන සංචිත ලෙස සැලකෙන්න පටන් ගත්තා.

රන් රිදී හැම තැනම නැහැ. මේවා තියෙන තැනක මිසක් නැති තැනක ඉන්න කෙනෙක් කොයි තරම් මහන්සි වෙලා පොළොව හෑරුවත් රන් රිදී හමු වෙන්නේ නැහැ. වාසනාව කියන සාධකය මෙහිදී බලපානවා. ලෝක ඉතිහාසය පුරා සමහර රටවල් ධනවත් වෙන්නත් තවත් සමහර රටවල් දුප්පත් වෙන්නත් රන් රිදී වගේ වටිනා වස්තු තිබීම වැනි අහඹු කරුණුත් යම් තරමකින් බලපෑවා. ලංකාවේ රන් රිදී නොතිබුණත් ඒ වගේම වටිනා මුතු හා මැණික් තිබුණා. ඇත්දළ වගේ දේවලුත් තිබුණා. මේ දේවල් සමඟ හුවමාරු කරලා රන් හා රිදී ලබා ගන්න පුළුවන් වුනා.

ඇමරිකන් ඩොලරය ජාත්‍යන්තර මුදල් ඒකකය බවට පත් වෙන්න කලින් ඒ තැන තිබුණේ බ්‍රිතාන්‍ය පවුමට. එහෙත් පවුමේ තිබුණේ එහි අඩංගු වූ රන් වල වටිනාකම. ඔය විදිහට ලෝකයේ විවිධ රටවල භාවිතා වූ කාසි වලට තිබුණේ ඒ කාසි වල තිබුණු රන් හෝ රිදී වල වටිනාකම. රන් හා රිදී වල වටිනාකම තීරණය වුනේ ඉල්ලුම හා සැපයුම මත. 

රන් වලට වඩා වැඩිපුරම මුදල් විදිහට භාවිතා වුනේ රිදී. රුපියල් කියන වචනය හැදිලා තියෙන්නෙත් රිදී යන අදහස තිබෙන රුප්‍ය (रूप्य) කියන සංස්කෘත වචනයෙන්. හීබෘ භාෂාවේ කෙසේ (כסף) කියන වචනයේ වගේම ආජෙන්ටුම් (argentum) කියන ලතින් වචනයේත් රිදී කියන තේරුම වගේම මුදල් කියන තේරුමත් තිබෙනවා.

අටවන සියවසේදී ඇන්ග්ලෝ සැක්සන් වරු භාවිතා කළේ ස්ටර්ලින් ලෙස හැදින්වුනු රිදී කාසි. මේ රිදී කාසි 240ක මළු ලොකු ගනුදෙනු වලදී යොදා ගත්තා වගේම බර මැනීමේ ඒකකයක් විදිහට භාවිතා වුනා. ඒ වගේ මල්ලක් පවුන් (Pound) එකක් ලෙස හැඳින්වුනා. පවුන් එකක එහෙමත් නැත්නම් රාත්තලක් බර ස්ටර්ලින් රිදී කාසි මළු වලින් ගනුදෙනු කළේ ලොකු පෝසත්තු. එංගලන්තය රිදී කාසි වෙනුවට රන් කාසි වලට මාරු වුනේ ගොඩක් පස්සේ. අයිසෙක් නිවුටන්ගේ කාලය වෙද්දී යුරෝපයේ රිදී කාසි ගොඩක් බාල්දු වෙලා. රන් මිල රිදී මිල මෙන් පහළොස් ගුණයක් පමණ වෙලා. නමුත්, ඒ කාලය වෙද්දීත් චීනයේ හා ඉන්දියාවේ වැඩි ඉල්ලුමක් තිබුණේ රිදී කාසි වලටයි.

Tuesday, February 23, 2021

ශ්‍රමයේ අනදාලත්වය පිළිබඳ ප්‍රශ්නය


කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතයට නැවතත් එමු. මෙයින් ආකෘතිගත කරන්නේ ශ්‍රමය, ප්‍රාග්ධනය හා තාක්ෂනය යොදාගෙන අතිරික්ත වටිනාකමක් (නිෂ්පාදනයක්) නිර්මාණය කරන ආකාරයයි. චාල්ස් කොබ් සහ පෝල් ඩග්ලස් විසින් මේ නිෂ්පාදන ශ්‍රිතය ඇතුළත් පර්යේෂණ පත්‍රිකාව ඇමරිකන් එකොනොමික් රිවීව් ජර්නලයේ පළ කළේ 1928 වසරේදී. ඔවුන්ට පෙර පසුගිය සියවසේ ආරම්භයේදී හෝ ආසන්න වසරකදී පිලිප් වික්ස්ටීඩ් විසින් මේ ශ්‍රිතය ගැන අදහස ඉදිරිපත් කර තිබෙනවා. එහෙත්, ඊට පෙර මෙවැන්නක් කිසිවෙකු භාවිතයට ගෙන තිබුණේ නැහැ.

කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය භාවිතා නොකළත් නිෂ්පාදන අතිරික්තය ශ්‍රමය, ප්‍රාග්ධනය හා තාක්ෂනය කියන සාධක තුන ඇසුරෙන් විස්තර කිරීම කාලයක සිටම සිදුවුණු දෙයක්. ඇඩම් ස්මිත්, කාල් මාක්ස් වගේ අයගේ පැහැදිලි කිරීම් වලත් මේ අදහස තිබෙනවා. වෙනස ඒ පැරැන්නන් අද මෙන් ගණිතය යොදා නොගැනීමයි. කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය නිෂ්පාදනය සිදුවන ක්‍රියාදාමය පැහැදිලි කරන ආකෘතියක් නිසා එය දේශපාලන ක්‍රමයකට සම්බන්ධ දෙයක් නෙමෙයි. 

මෙහි නිෂ්පාදන අතිරික්තය, ශ්‍රමය හා ප්‍රාග්ධනය වසරින් වසර වෙනස් වන, ඒ වගේම වැඩි අපහසුවක් නැතිව මැනිය හැකි, විචල්‍යයන්. මේ විචල්‍යයන් තුනම සාමාන්‍යයෙන් කාලයත් සමඟ වර්ධනය වෙනවා. α එසේ වේගයෙන් වෙනස් නොවන පරාමිතියක්. එය වසර ගණනාවක දත්ත අනුසාරයෙන් ඇස්තමේන්තු කළ හැකියි. එසේ ඇස්තමේන්තු කිරීමෙන් පසුව බොහෝ විශ්ලේෂණ තුළ α නියතයක් ලෙස සලකා තාක්ෂනය වර්ධනය වූ ආකාරය විස්තර කෙරෙන A වෙනස් වන ආකාරය ඇස්තමේන්තු කරනවා. එය වසරින් වසර වර්ධනය වන එහෙත් සෘජුව මැනීම අසීරු විචල්‍යයක්.

චාල්ස් කොබ් සහ පෝල් ඩග්ලස් විසින් ඉදිරිපත් කළ ආරම්භක පර්යේෂණ පත්‍රිකාවේ ඇස්තමේන්තු අනුව α අගය සඳහා ගැලපුනේ 0.25 වැනි අගයක්. පසුකාලීන ඇස්තමේන්තු අනුව මේ අගය 0.3-0.35 අතර අගයක් ලෙස සැලකුණා. සෛද්ධාන්තිකව 0 හා 1 අතර තිබිය යුතු මේ අගය සෙමෙන් වුවත් කාලයත් සමඟ ඉහළ යන බව පෙනෙන්නට තිබෙනවා. නිෂ්පාදන තාක්ෂනය තුළ මිනිස් ශ්‍රමය ක්‍රමයෙන් විස්ථාපනය වෙමින් ස්වයංකරණය ආදේශ වෙද්දී  α අගයද ක්‍රමයෙන් ඉහළ යා යුතුයි. 

කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතයේ ආන්තීය (extreme) තත්ත්වයන් සේ සැලකිය හැකි α=0 හා α=1 තත්ත්වයන් දෙස බැලූ විට නිෂ්පාදන මාතය පරිණාමය වන ආකාරය පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. මෙය මා කරන දෙයක් මිසක් සම්මත දෙයක් නෙමෙයි. සමහර විට මා නොදැන වෙනත් අය මෙවැන්නක් කර තිබිය හැකියි.

α=0  වූ විට,

Y = F(K,L) = AKαL1-α = AK0L1-0 = AL

α=1  වූ විට,

Y = F(K,L) = AKαL1-α = AK1L1-1 = AK

α=0  වූ විට, Y = AL නිසා නිෂ්පාදනය සෘජුවම ඒ සඳහා යොදන ශ්‍රමයට සමානුපාතිකයි. ප්‍රාග්ධනය වෙනස්වීම මත අතිරික්තය වෙනස් වන්නේ නැහැ. යොදවන ශ්‍රමය හා අතිරික්තය අතර අනුපාතය තීරණය වන්නේ A අගය මතයි. නිෂ්පාදන කාර්යය තුළ ශ්‍රමයේ ආන්තික (marginal) ඵලදායීතාවය A නිසා ධනවාදී ක්‍රමයට ශ්‍රමය වෙනුවෙන් ලැබිය යුතු ප්‍රතිලාභය A වලට සමානයි. මාක්ස්වාදය අනුවද එය එසේමයි. 

මේ වගේ තත්ත්වයක් යටතේදී ශ්‍රමය නොයොදවා නිෂ්පාදන අතිරික්තයෙන් කොටසක් ලබාගත හැකි වන්නේ එක්කෝ ශ්‍රමය යොදවන අයෙකුගේ අනුකම්පාව මත. එසේ නැත්නම් හොරකම් කිරීමෙන් හෝ පැහැර ගැනීමෙන් වගේ ක්‍රමයකින්. නිෂ්පාදන මාතය තුළ ප්‍රාග්ධනයට කිසිදු වැදගත්කමක් නැති නිසා කවර හෝ බාහිර සාධකයක් මත A ඉහළ ගිය අවස්ථාවක ප්‍රාග්ධනය එක්රැස් කර ගැනීමේ අර්ථයක් නැහැ. ඒ වගේ වෙලාවක එක්කෝ තමන්ට පරිභෝජනය සඳහා අවශ්‍ය දේ නිපදවා ගැනීමට පමණට පමණක් ශ්‍රමය යොදවා නිකම් සිටිය යුතුයි. නැත්නම් තමන්ට පරිභෝජනය කළ නොහැකි අතිරික්තය වෙනත් අය සමඟ බෙදා ගත යුතුයි. වෙනත් අයෙකුගෙන් හොරකම් කිරීමක් හෝ පැහැර ගැනීමක් කළත් එසේ කරන්න අවශ්‍ය වෙන්නේ ක්ෂණිකව පරිභෝජනය කර අවසන් කළ හැකි මට්ටම දක්වා පමණයි.

හොරකම් කිරීම හා පැහැර ගැනීම අපි පැත්තකින් තියමු. පවුල් ඒකක තුළ හෝ වඩා විශාල කණ්ඩායම් ලෙස ජීවත් වන මිනිහෙක් හෝ වෙනත් සතෙක් පරිභෝජනය කර අවසන් කළ නොහැකි අතිරික්තය බෙදා ගන්නේ තමන්ගේ පවුල් ඒකකයේ හෝ කණ්ඩායමේ වෙනත් අය සමඟයි. මේ වගේ තත්ත්වයක් යටතේ පිරිමි සතෙකුට ගැහැණු සතුන් ආකර්ෂණය කර ගැනීම පහසු වෙනවා. වැඩියෙන් පැටවු හැදීම පහසු වෙනවා. ඒ පැටවු ලොකු වෙද්දී සාමාජික ඒකකය තුළ L වැඩි වන නිසා Y ද වැඩි වෙනවා. එහෙත්, Y/L අනුපාතය වෙනස් වන්නේ නැහැ. එය තීරණය වන්නේ A අගය මත.

අනෙක් අතට අහිතකර බාහිර සාධක නිසා A ඉහළ ගිය අවස්ථාවක වෙන්නේ කුමක්ද? ජීවිතය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය අවම පරිභෝජන මට්ටම හෝ නොලැබේනම් අතිරික්තය වෙනත් අය සමඟ බෙදාගන්න අමාරුයි. ජීවිතය පවත්වා ගැනීම සඳහා වැඩි වෙලාවක් ශ්‍රමය යොදවන්න වෙනවා. පිරිමි සතෙකුට ගැහැණු සතුන් ආකර්ෂණය කර ගැනීම අසීරුයි. ඉන්න පැටවුනුත් වැඩි දෙනෙක් ආහාර හා ආරක්ෂාව නැතිව මිය යනවා. L අඩු වී Y අඩු වෙනවා. එහෙත්, Y/L අනුපාතය වෙනස් වන්නේ නැහැ. එය තීරණය වන්නේ A අගය මත.

මේ වගේ තත්ත්වයකදී බාහිර සාධක මත A වෙනස් වෙද්දී L ද පසුව වෙනස් වී ඊට සමානුපාතිකව Y වෙනස් වන නමුත් දිගුකාලීනව Y/L වෙනස් වන්නේ නැහැ. වෙනත් විදිහකින් කිවුවොත් බාහිර සාධක වාසිදායක අතට හැරෙද්දී ගහණයක් වර්ධනය වෙනවා. එම සාධක අවාසිදායක අතට හැරෙද්දී ගහණය කුඩා වෙනවා. ගහණයේ එක් සාමාජිකයෙකුගේ පරිභෝජන මට්ටම තාවකාලිකව අඩු වැඩි වුවත් දිගුකාලීනව තත්ත්වයේ වෙනසක් වෙන්නේ නැහැ. A වැඩි වූ වහාම පරිභෝජනය වැඩි වන නමුත් එහි ප්‍රතිඵලයක් ලෙස ගහණය විශාල වෙද්දී අතිරික්තය වැඩි දෙනෙකු අතර බෙදී යන නිසා නැවත හිටපු තැනටම වැටෙනවා.

නිෂ්පාදනය මාතය මේ වගේ එකක්නම් මිනිස්සු හා වෙනත් සත්තු අතර කිසිම වෙනසක් නැහැ. ස්වභාවික පරිසරයක සිටින සත්තුන්ගේ "සමාජ රටාව" හරියටම මේ වගේ. 

මේ අන්තයේ සිටි මිනිස්සු අනෙක් සත්තුන්ගෙන් ටිකෙන් ටික වෙනස් වෙන්න පටන් ගන්නේ ප්‍රාග්ධනය එකතු කර ගන්නට පුරුදු වීමත් සමඟයි. මිනිස් වර්ගයා විසින් ලබා ගෙන තිබෙන හැම ජයග්‍රහණයක් පසුපසම තියෙන්නේ ප්‍රාග්ධනය එක්රැස් කර ගැනීමේ වාසිය. ඉතිහාසය පුරාම මිනිස්සු ප්‍රාග්ධනය එකතු කර ගෙන තිබෙන්නේ පෞද්ගලිකව මිස සාමූහිකව නෙමෙයි. පෞද්ගලික ප්‍රාග්ධනය ප්‍රාග්ධන හිමියාගේ කැමැත්ත පරිදි සාමූහිකව ආයෝජනය කිරීම හෝ ස්වේච්ඡාවෙන් අයිතිය අත හැර සාමූහික පරිභෝජනය වෙනුවෙන් යෙදවීම වෙනම දෙයක්. මාක්ස්වාදය හැර ලෝකයේ අනෙකුත් සෑම ආගමක්ම පෞද්ගලික ප්‍රාග්ධනයේ අයිතිය වෙනුවෙන් පෙනී සිට තිබෙනවා. 

ස්වභාව ධර්මයේ සමතුලිතතාවය තව දුරටත් එලෙසම භාර නොගනිමින් ප්‍රාග්ධනය ආයෝජනය කිරීම හරහා A වැඩි කරගැනීමට මිනිස්සු සමත් වෙනවා. A වැඩි වෙද්දී නිෂ්පාදන මාතයේ α අගයද හෙමින් හෙමින් වැඩි වෙන්න පටන් ගන්නවා.

මේ ක්‍රියාදාමයේ අනෙක් අන්තය මොන වගේ එකක්ද? 

α=1  වූ විට, Y = AK නිසා නිෂ්පාදනය සෘජුවම ඒ සඳහා යොදන ප්‍රාග්ධනයට සමානුපාතිකයි. කිසිම ශ්‍රමයක් යෙදවිය යුතු නැහැ. ධනවාදී අදහස අනුව ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබිය යුතු ආන්තික ප්‍රතිලාභ A වලට සමානයි. ශ්‍රමය යෙදවීමක් නැති නිසා ශ්‍රමය වෙනුවෙන් ලැබිය යුතු ප්‍රතිලාභයක්ද නැහැ. මාක්ස්වාදය අනුව ශ්‍රමය යොදවන අය අතර ප්‍රතිලාභ බෙදී යා යුතු වුවත් දැන් ශ්‍රමය යොදවන කෙනෙක් නැහැ. ඒ නිසා මාක්ස්වාදයේ තර්කය තව දුරටත් වලංගු නැහැ. මෙහි තිබෙන්නේ ශ්‍රමයේ අනදාලත්වය පිළිබඳ ගැටලුවක් මිසක් ශ්‍රමය සූරාකෑම පිළිබඳ ගැටලුවක් නොවන නිසා ප්‍රාග්ධනය අහිමි, ශ්‍රමය පමණක් හිමි අයෙකුට කිසිදු හෙට්ටු කිරීමේ බලයක් නැහැ. ඔවුන්ට ලැබෙන කවර හෝ දෙයක් තීරණය වන්නේ තනිකරම ප්‍රාග්ධනය හිමි අයගේ අනුකම්පාව මතයි. 

මේ වගේ තත්ත්වයක් සමාන කළ හැක්කේ (බටහිර රටක) ගෙවල් වල හදන සත්තුන්ගේ තත්ත්වයටයි. ගෙදරක හදන බල්ලෙක්ට පූසෙක්ට ස්වභාවික පරිසරයක ජීවත් වන සතෙකුට තිබෙන ප්‍රශ්න නැහැ. පරිභෝජනය සඳහා ශ්‍රමය යෙදවිය යුතු නැහැ. මහන්සියක් නැතුවම කෑම, බීම, වෛද්‍ය ප්‍රතිකාර ලැබෙනවා. එහෙත් ඒ සියල්ල ලැබෙන්නේ ස්වාමියාගේ අනුකම්පාව මතයි. අවසාන වශයෙන් මේ වගේ ගෙදර හදන සතෙකුගේ විනෝදය කියන්නේ කුමක්ද කියා තීරණය කරන්නේත් ස්වාමියා විසින්.

මේ දෙකම ආන්තීය (extreme) තත්ත්ව. α අගය දැනට තිබෙන්නේ ඔය අන්ත දෙකෙන් එකකටවත් ආසන්නව නෙමෙයි. එහෙත්, α අගය හෙමින් හෙමින් වැඩි වෙනවා. ඒ එක්කම සූරාකෑම (exploitation) කියන අදහසේ වලංගු භාවය ක්‍රමයෙන් අඩු වෙමින් අනදාලත්වය (irrelevance) පිළිබඳ ප්‍රශ්නය ක්‍රමක්‍රමයෙන් ප්‍රමුඛ ප්‍රශ්නයක් බවට පත් වෙමින් තිබෙනවා.

Sunday, November 8, 2020

කොපි චැට්


මේ දවස් වල කොපි චැට් කතාවක් හැම තැනම සංසරණය වෙනවා. මම හරියටම මේ කතාවේ අග මුල දන්නේ නැහැ. මේ හා අදාළව අජිත් ධර්මා විසින් ලිපියක් පළ කර තිබෙනවා. පහත තිබෙන්නේ එම ලිපිය.

සුභාෂ් ජයවර්ධන සහ කොපිය ගැන

ඉහත ලිපියට ප්‍රතිචාරයක් දමන්න හිතාගෙන ටයිප් කරන්න පටන් ගත්තත් සාමාන්‍යයෙන් සිදු වන පරිදි ප්‍රතිචාරය ගොඩක් දිගට ලියැවිලා. අජිත් ධර්මාගේ ලිපියට ප්‍රතිචාරයක් ලෙස දමන්න මෙය දිග වැඩි සේ පෙනෙන නිසා මෙහි වෙනම ලිපියක් සේ පළ කරනවා. අජිත්ගේ ලිපිය කියවලා ආවේ නැත්නම් අගමුල තේරෙන එකක් නැහැ.

***

මම මේ කාරණයේදී ඉන්නේ සුභාෂ් ජයවර්ධනගේ පැත්තේ. ඒ කියන්නේ කොපි කිරීම මම පෞද්ගලිකව අනුමත කරනවා කියන එක නෙමෙයි. සංකල්පීය වශයෙන් ගත්තොත් සුභාෂ් ජයවර්ධන ඉන්නේ අජිත්ට වඩා නිවැරදි තැනක. 

බුද්ධිමය දේපොල අයිතිය කියන එක ධනවාදී අදහසක්. ධනවාදය හා සමාජවාදය (මාක්ස්වාදය) ප්‍රධාන වශයෙන්ම වෙනස් වෙන්නේ පෞද්ගලික දේපොළ අයිතිය පිළිගැනීම කියන කාරණයේදී. සමාජවාදය පෞද්ගලික දේපොළ අයිතිය ප්‍රතික්ෂේප කරනවා. ධනවාදය පෞද්ගලික දේපොළ අයිතිය පිළිගන්නවා. 

ධනවාදය පෞද්ගලික දේපොළ අයිතිය පිළිගන්නවා කියන එකෙන් කියන්නේ ධනවාදය පොදු දේපොළ ප්‍රතික්ෂේප කරනවා කියන එක නෙමෙයි. ධනවාදය තුළ පෞද්ගලික දේපොළ වලට වගේම පොදු දේපොළ වලටත් ඉඩ තිබෙනවා. එය තීරණය වන්නේ එක් එක් පුද්ගලයාගේ හා සමූහයක රුචි අරුචිකම් මත. 

සමාජවාදය තුළ, අඩු වශයෙන් සෛද්ධාන්තිකව, පෞද්ගලික දේපොළ අයිතියට ඉඩක් ඉතුරු කරන්නේ නැහැ. පොදු දේපොළ පමණයි. හැම සමාජවාදී රටකම ප්‍රායෝගිකව පෞද්ගලික දේපොළ අයිතියට සීමිත ඉඩක් දෙන්නේ සෛද්ධාන්තිකව කළ හැකි දෙය ප්‍රායෝගිකව මොන විදිහෙන්වත් කරන්න බැරි නිසා.

කිසිම දෙයක් අපි තනිවම නිර්මාණය කරන්නේ නැහැ. අපි අලුතින් නිර්මාණය කරන හැම දෙයකම වගේ ඉතිහාසය තුළ හා සමකාලීනව වෙනත් බොහෝ දෙනෙක් කරපු දේවල් වල දායකත්වය තිබෙනවා. නිර්මාණය භෞතික එකක්ද, එහෙම නැත්නම් බුද්ධිමය එකක්ද කියන එක මත එය වෙනස් වෙන්නේ නැහැ. නමුත්, ඊට අමතරව අපි අලුතින් එකතු කරන දෙයක් තිබෙන්නත් පුළුවන්. ධනවාදය තුළ නිෂ්පාදකයෙක් විසින් උපයන ලාභය කියන්නේ ඒ ආකාරයට එකතු කළ අගය වෙනුවෙන් වෙනත් අය විසින් නිර්ණය කරන වටිනාකම. එම ලාභය ලැබෙන්නේ අලුතෙන් එකතු කළ කොටස වෙනුවෙන් මිසක් අතීතයේ සිට හෝ සමකාලීනව වෙනත් අය විසින් එකතු කළ දේවල් වෙනුවෙන් නෙමෙයි.

මොරීෂියෝ කැට්ලෑන්ගේ ඩක් ටේප් එකක් ගහපු කෙසෙල් ගෙඩිය ඩොලර් 120,000කට විකිණෙන්නේ වෙනත් කවුරු හෝ කෙනෙකුට අනුව ඔහු ඊට ආසන්නව සමාන හෝ වැඩි අගය එකතු කිරීමක් කරලා තියෙන නිසා. දැන් මේ විකටයා ලෙස නම් කළ කලා නිර්මාණයේ අතීතයේ සිට හෝ සමකාලීනව වෙනත් අය විසින් එකතු කළ දේවල් වල දායකත්වය තිබෙනවා. ලෝකයට මුලින්ම කෙසෙල් ගෙඩිය හොයා ගත්තේ හෝ ඩක් ටේප් හොයා ගත්තේ මොරීෂියෝ කැට්ලෑන් නෙමෙයි. නමුත්, කලා නිර්මාණය තුළ එය හදන්න යොදා ගත් කෙසෙල් ගෙඩියට හා ඩක් ටේප් කෑල්ලට වඩා වැඩි දෙයක් තියෙනවා.

මොරීෂියෝ කැට්ලෑන් විකටයා හදන්න කෙසෙල් ගෙඩිය හා ඩක් ටේප් කෑල්ල හොරකම් කරන්නේ නැහැ. ඔහු ඒවා මිල දී ගන්නවා. අපි හිතමු ඩොලර් පහක් ගියා කියලා. ඒ ඩොලර් පහ කියා කියන්නේ එම කලා නිර්මාණයට අතීතයේ සිට හෝ සමකාලීනව වෙනත් අය විසින් එකතු කළ දේවල් වල දායකත්වයේ වටිනාකම. ඒ මුදල ගෙවුවට පස්සේ මොරීෂියෝ කැට්ලෑන් වෙනත් කිසිවෙකුට ණය නැහැ. ඩොලර් 120,000ක මුදලින් අර ඩොලර් 5 අඩු කළාට පස්සේ (සහ වෙන්දේසිකරුගේ කොමිස් මුදල් ආදිය ගෙවුවට පස්සේ) ඔහු අතේ ඉතිරිවන ලාබය කියා කියන්නේ මොරීෂියෝ කැට්ලෑන් විසින් එකතු කළ අගය. ධනවාදය තුළ ඔහුට හරියටම ඔහු විසින් එකතු කළ අගය ලැබෙනවා. මේ ආකාරයටම අර්තාපල් කිලෝවක් විකුණන ගොවියෙකුට හෝ නවකතාවක් ලියන ලේඛකයෙකුට ලැබෙන්නෙත් තමන් විසින් එකතු කළ අගය. වෙනත් අය විසින් එකතු කළ අගය එහි නැහැ.

මොරීෂියෝ කැට්ලෑන් කෙසෙල් ගෙඩියට හෝ ඩක් ටේප් එකට මුදල් ගෙවුවේ නැත්නම් එය ධනවාදයට අනුව හොරකමක්. එය හොරකමක් වෙන්නේම ධනවාදයට අනුව, සංකල්පීය ලෙස, කෙසෙල් ගෙඩිය හා ඩක් ටේප් එක වෙනත් අයෙකුගේ පෞද්ගලික දේපොලක් නිසා. ඒ ආකාරයටම අර්තාපල් වවන්න යෙදූ පෝර වලට මුදල් ගෙවුවේ නැත්නම් එයත් හොරකමක්. නවකතාව ලියද්දී වෙනත් අයෙකුගේ පොතකින් කොටසක් අමු අමුවේ කොපි කළානම් එයත් හොරකමක්. මේ හැම දෙයක්ම හොරකම් වෙන්නේ පෞද්ගලික දේපොළ අයිතිය පිළිගන්නා ධනවාදී සන්දර්භයක.

ධනවාදී සන්දර්භයේදී මේ අගය එකතු කිරීම කියන අදහස සුවිශේෂීයි. එය කොපමණද කියන එක තීරණය කරන්නේ පාරිභෝගිකයා විසින්. ඒ හැර එම අගය එකතු කිරීම මැනිය හැකි වාස්තවික නිර්ණායකයක් නැහැ. ඒ නිසා එය ඕනෑ තරම් ලොකු මුදලක් වෙන්න පුළුවන්. නිෂ්පාදකයෙක් තමන්ගේ නිර්මාණය කොපමණ මුදලකට විකිණුවත්, පාරිභෝගිකයා මිල ගෙවන්නේ කැමැත්තෙන්නම්, එහි කිසිදු වැරැද්දක් හෝ  "සූරාකෑමක්" කියා දෙයක් නැහැ.  

බොහෝ අවස්ථා වලදී මේ අගය එකතු කිරීම කොපමණද කියන එක පිළිබඳ පාරිභෝගිකයෙකුගේ විෂයමූලික තක්සේරුව නිර්මාණකරු කවුද කියන එක මත වෙනස් වෙනවා. මට කෙසෙල් ගෙඩියකට ඩක් ටේප් එකක් ගහලා ඩොලර් 120,000කට විකුණන්න බැහැ. විකටයා එපමණ මුදලකට විකිණෙන්නේ එය මොරීෂියෝ කැට්ලෑන්ගේ නිර්මාණයක් නිසා. ඒ වගේම, නිපුණ හාල් මල්ලක්, ලුවී විටෝන් අත් බෑගයක් හෝ ජිජැක්ගේ වසංගතය අදාළ මිල ගණන් වලට විකිණෙන්නේ ඒ නිර්මාණ වල නිෂ්පාදකයින් අදාළ පුද්ගලයින් හෝ සමාගම් වීම නිසා. ජිජැක්ගේ වසංගතය පොත ඔහු තමන්ගේ නමින් පළ නොකර කිසිවෙකු අසා නැති ව්‍යාජ නමකින් පළ කළානම් ඔය පොත ඔය තරම් විකිණෙන්නේ නැහැ. 

බුද්ධිමය වේවා, භෞතිකමය වේවා කිසියම් නිෂ්පාදිතයකට නිෂ්පාදකයාගේ සන්නාමය යෙදීමේ පදනම මෙයයි. සන්නාමය විසින් එහි විෂයමූලික වටිනාකම පාරිභෝගිකයෙකුට සංඥා කරනවා. 

මාක්ස්වාදය අනුව කිසියම් නිෂ්පාදිතයක වටිනාකම ධනවාදයේදී පිළිගැනෙන ආකාරයට විෂයමූලික ලෙස වෙනස් වෙන්නේ නැහැ. වටිනාකම් වාස්තවිකයි. එහෙමනම් පාරිභෝගිකයාට නිෂ්පාදිතය කුමක්ද කියන එක මිසක් නිෂ්පාදකයා කවුද කියන එක වැදගත් නැහැ. අර්තාපල් මිසක් නිෂ්පාදකයාගේ සන්නාමය වැඩක් නැහැ. අර්තාපල්නම් අර්තාපල්. එච්චරයි. ගෝර්කිගේ පොතක් අජිත් ධර්මා නමින් පළ කලත්, නමක් නැතිව පළ කළත් එහි වටිනාකම එළෙසම තියෙනවා. 

මේ අනුව, සුභාෂ් ජයවර්ධනගේ තර්කය සාධාරණයි. සමාජවාදී පදනමකින් බැලුවොත් කලාකරුවෙකු විසින් කරන්නේත් ගොවියෙක් හෝ කම්කරුවෙක් වගේම පොදු නිෂ්පාදන යාන්ත්‍රණයකට තමන්ගේ ශ්‍රම දායකත්වය ලබා දෙන එක පමණයි. ගොවියා නිපදවන අර්තාපල් හෝ කම්කරුවා විසින් නිපදවන කාකි කලිසම් පොදු දේපොළක්නම් ලේඛකයෙකු විසින් ලියන දෙයත් පොදු දේපොළක්. ඒ වෙනුවෙන් ඔහුගේ ශ්‍රමයේ වටිනාකම ගෙවුවා. එච්චරයි.

ඇත්තටම වැරැද්ද තිබෙන්නේ සෝවියට් ලේඛකයන්ගේ සන්නාම වලට ඔවුන්ගේ නම් දැමීම. සංකල්පීය ලෙස බැලුවොත්, කළ යුතුව තිබුණු නිවැරදි දෙය, පක්ෂයේ නමින් හෝ නමක් නැතිවම සෝවියට් ලේඛකයන්ගේ නවකතා පළ කරන එකයි. වෙන කෙනෙක්, කණ්ඩායමක් හෝ පක්ෂය විසින් මුල් පිටපත සංශෝධනය කළත් සංකල්පීය ලෙස වැරැද්දක් නැහැ. නිෂ්පාදකයාගේ අගය එකතු කිරීම් හේතුවෙන් නිර්මාණය වූ අතිරික්තයේ පෞද්ගලික අයිතිය පිළිගන්නේ නැත්නම්, අර්තාපල් බෑග් එකකට සන්නාමයක් අවශ්‍ය නැත්නම්, පොතකට අවශ්‍ය වෙන්න හේතුවක් නැහැ. පෞද්ගලික දේපොළ හිමිකම් කියා දෙයක් නැත්නම් බුද්ධිමය දේපොළ වලටත් එය අදාළ විය යුතුයි. දොන් නම් දොන් සිමන්නම් සිමන් මිස දොන් සිමන් දෙකක් බැහැ. 

නමුත්, සෝවියට් සංගමය එසේ නොකළේ ඇයි? ලේඛයාගේ සන්නාමය නැත්නම් ඔය පොත් වලට ඔය තරම්ම වටිනාකමක් ලැබෙන්නේ නැහැ. සෝවියට් දේශයේ නිපදවූ භෞතික නිෂ්පාදන වලට පවා සන්නාම තිබුණා. මොකද මාක්ස්වාදයේ වටිනාකම් පිළිබඳ මූලධර්මය, දාස් කැපිටාල් පළමු පරිච්ඡේදයම, වැරදියි. මාක්ස්වාදය කියා කියන්නේම අත්තිවාරමක් නැතිව හදපු ලොකු ගෙයක්.

ගොඩක් අය තමන් ලියන දේවල් වලට වටිනාකමක් හදාගන්න තමන්ගේ අධ්‍යාපන සුදුසුකම්, තනතුරු, රැකියා වගේ දේවල් යොදා ගන්නවා. මම බ්ලොග් එක පටන් ගත්තේම එවැනි කිසිවක් නැතිවයි. ඒ අනුව බ්ලොග් එකේ පළ කරන දෙයක් කවුරු හෝ විසින් කියවිය යුත්තේ ලේඛකයාගේ සන්නාමයට වටිනාකමක් තිබෙන නිසා නෙමෙයි. ලියන දෙයක කවර හෝ වටිනාකමක් තිබෙන නිසා. ඒ විදිහට පටන් ගත්තත් මේ වෙද්දී ඉකොනොමැට්ටා කියලා සන්නාමයක් හැදිලා තියෙනවා. අයිතිකරු විසින් (තමන්ගේ සතුට හැර) ලබා ගන්නා දෙයක් නැතත් ඒ සන්නාමයට වටිනාකමක් තිබෙනවා. 

ඇතැම් අය මෙහි ලියන දේ කොපි කර විවිධ තැන් වල නැවත පළ කරනවා. ඒ බොහෝ දෙනෙක් මෙය මෙම බ්ලොග් අඩවියෙන් ගත් බවට සඳහනක් කරනවා. මෙහි ඇති දේ අමු අමුවේ කොපි කර තමන්ගේ නමින් පළ කර ඇති අවස්ථාද තිබෙනවා. දෙවන කොටස ගැන අපි කතා නොකර ඉඳිමු. පළමු කොටස ගනිමු.

මෙහි ලියන දේ කොපි කර නැවත පළ කරන අය බොහෝ විට ඒ බව සඳහන් කරන්නේ ආචාර ධාර්මික පදනමකින් වෙන්න ඇති. නමුත්, එය ආචාර ධාර්මික පදනමකටම පමණක් ගොනු කරන්න බැහැ. අපේ අත් හදා බැලීම වුනේම ලියන දෙය මත පදනම්ව මෙය කියවන පාඨක පිරිසක් හදාගැනීම මිස ලේඛක නාමය සන්නාමයක් සේ ප්‍රවර්ධනය කර ගැනීම නොවුණත්, අවසාන වශයෙන් ඉකොනොමැට්ටා යන්න සන්නාමයක් වී තිබෙනවා. ඒ නිසා, මෙහි පළ කරන දෙයක් කොපි කර නැවත පළ කරද්දී ඉකොනොමැට්ටා විසින් ලියූවක්යැයි කී විට අගය වැඩි වීමක් වෙනවා. තමන්ගේ පෞද්ගලික නම යොදා නොගෙන බ්ලොග් ලියන වෙනත් අය හා අදාළවත් තත්ත්වය මෙයයි.

මේ කරුණෙන් තහවුරු කරන්නේත් වටිනාකම් හා නිෂ්පාදකයින්ගේ සන්නාම අතර සම්බන්ධය කොයි තරම් ස්වභාවික දෙයක්ද කියන එකයි.


වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...