වෙබ් ලිපිනය:

Saturday, February 20, 2021

රංග ඩයස් 2021 TIME100 NEXT ලැයිස්තුවට!


ටයිම් සඟරාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙන "2021 TIME100 NEXT" ලැයිස්තුවේ නම් සියය අතරට ඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයෙකුගේ නමද ඇතුළත්ව තිබෙනවා. ඔහු රංග ඩයස්. ලෝකයට සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර ඇති පුද්ගලයින් සිය දෙනෙකු අතරට රංගගේ නම එක් කරමින් ටයිම්ස් සඟරාවේ පළ කර තිබෙන හේතු පාඨය හා එහි ලිහිල් සිංහල පරිවර්තනයක් පහත තිබෙනවා. රංගට සුබපැතුම්!

Let’s be clear: hoverboards, magnetic levitation trains and resistance-­free power lines are not coming this year or next. But thanks to Ranga Dias, they’re closer than they ever were. Those technologies (and many more) rely on developing new ­superconductors: ­materials through which energy can move with no resistance. The catch is that supercold temperatures have long been necessary for super­conductors to work, making them impractical. So Dias, an assistant professor of mechanical engineering at the University of Rochester, came up with a solution that could pave the way for future innovations: a room-­temperature super­conductor that’s super­dense instead of super­cold. Dias developed a material made of hydrogen, sulfur and carbon, squeezed at a pressure equivalent to 2.5 ­million atmospheres. The extreme compression eliminates electrical resistance, allowing energy to traverse with ease. Dias is aware of the breakthrough nature of his work. “People have been trying to develop super­conductors for a century,” he says. They missed their chance in the 20th. In the 21st, thanks to Dias, they just might succeed.

ඉතා පැහැදිලිවම, උඩින් යා හැකි හවර්බෝඩ්, චුම්බක බලයෙන් පීලි මත පාවෙන දුම්රිය හෝ ප්‍රතිරෝධය රහිත විදුලි රැහැන් මේ වසරේදී හෝ ඊළඟ වසරේදී එන්නේ නැහැ. නමුත් රංග ඩයස්ට ස්තූතිවන්ත වෙන්න මේ දේවල් දැන් වෙන කවරදාටත් වඩා අපට සමීපයි. මෙම තාක්ෂණයන් සහ තවත් බොහෝ දේ රඳා පවතින්නේ නව සුපිරි සන්නායක වැඩිදියුණු කිරීම මතයි. ඒ කියන්නේ ප්‍රතිරෝධයක් නොමැතිව ශක්තිය සම්ප්‍රේෂණය කළ හැකි ද්‍රව්‍ය. අවුලකට තිබුණේ කාලයක් තිස්සේම සුපිරි සන්නායක වැඩ කිරීම සඳහා ඉතාම පහත් උෂ්ණත්වයක් දිගු කාලයක් තිස්සේ පවත්වා ගැනීමට අවශ්‍ය වී තිබීම ප්‍රායෝගික ප්‍රශ්නයක් වීමයි. රොචෙස්ටර් විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්යවරයෙකු වන ඩයස් විසින් මේ වන විට  අනාගත නවෝත්පාදනයන් සඳහා මග පෑදිය හැකි විසඳුමක් ඉදිරිපත් කර තිබෙනවා. මෙය අධික ශීතල යටතේ නොව අධික පීඩනයක් යටතේ කාමර උෂ්ණත්වයේදී ස්ථායීව තබා ගත හැකි සුපිරි සන්නායකයක්. හයිඩ්‍රජන්, සල්ෆර් සහ කාබන් උපයෝගී කරගෙන වායුගෝල මිලියන 2.5 පීඩනයක් යොදමින් ඩයස් විසින් මේ සුපිරි සන්නායක ද්‍රව්‍යය නිපදවා තිබෙනවා. ඉතා අධික ලෙස සම්පීඩනය කිරීම මගින් විද්‍යුත් ප්‍රතිරෝධය ඉවත් කර ශක්තිය සම්ප්‍රේෂණය කිරීමට ඇති බාධා ඉවත් කර තිබෙනවා. මෙය කොයි තරම් සුවිශේෂී නවෝත්පාදනයක්ද කියා ඩයස් දන්නවා: “මිනිස්සු සියවසක් පුරා සුපිරි සන්නායක නිපදවීමට උත්සාහ ගනිමින් ඉන්නවා".  විසිවන සියවස තුළදී මේ අවස්ථාව ඔවුන් අතින් ගිලිහී ගියා. ඩයස්ට ස්තූතිවන්ත වෙන්න, විසි එක්වන සියවසේදී මිනිස්සු මේ වැඩේ සාර්ථක ලෙස කරයි.

38 comments:

  1. අනාගතය සුබ වෙයි කියනා හැඟුම
    නිරතුරු හිතෙයි මට- සිතනා හැම විටම
    උගතුන් නැණවතුන් ඒ වෙනුවෙන් පුදුම
    මෙහෙයකි කරන්නේ! අත් වේවා ජයම

    ReplyDelete
  2. සිංහලයා කියන්නේ ශිල්පයට දක්ෂ නහුත් ශාස්ත්‍රයට අදක්ෂ ජාතියක්.
    එමනිසා සිංහලයෙක්ට ශිල්ඵීය අංශයෙන් ලෝකයේ පලමු තැනට වුනත් යන්න පුළුවන්.

    ලංකාව තුල සිංහලයන්ට සිංහල බසින් ඉංජිනේරු අධ්‍යාපනය ලබා ගන්න පහසුකම් දුන්නොත් සිංහලයා ජපනුන් වගේම දියුණු වෙන්න පුළුවන්. දෙමළ ජාතිවාදීන් සතුටු කරන්න යෑම නිසා ඉංගිරිසිය ලංකාවේ "දෙවියන් වහන්සේගේ බාශාව" වී තිබීම නිසා සිංහලයෙක්ට තම නිර්මාණශීලීත්වය පුබුදුවා ගන්න දුශ්කර වී තිබීම කණගාටුවට කරුණක්.

    නමුත් රංග ඩයස්ට වුනත් වියුක්ත ප්‍රවාද හදන්න බෑ. බෑ.බෑෑෑෑෑෑෑෑෑෑ.

    බටහිර විද්‍යාව දශක 5ක් පමණ එකතැන පල්වන දැනුම් පද්ධතියක්. එම හිරවීම පිටට නොපෙනෙන්නේ තාක්ෂණ දියුණුව නිසයි.

    ReplyDelete
    Replies
    1. ජගත් එහෙම නෙවෙයි දැනට තාක්ෂණික විද්‍යා විෂය ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥ ඥානයක් සහිත කෙනෙක් වශයෙන් ගත්තාම මට කියන්න තියෙන්නේ 1965-70 කාලයෙන් පසුව භෞතික විද්‍යාව, රසායන විද්‍යාව වගේ විෂයයන් වල මූලික පදනමේ ලොකු දෙයක් වෙනස් වෙලා නෑ නමුත් ව්‍යුත්පන්න සෛද්ධාන්තික වශයෙන් යම් යම් දේවල් නිර්මාණය කර ඇති බවයි.

      මූලික සිද්ධාන්ත ඒ ආකාරයෙන්ම පවතින්නේ ඒවා තව දුරටත් වෙනස් කරන්න උත්සාහ කරන එකේ ආර්ථික වාසි නැතී එක නිසා.

      උදාහරණයක් විදියට ආචාර්ය නලීන් ඩි සිල්වා ගන්න. මෑන් එංගලන්තයේ හරී ඇමරිකන් එක්සත් ජනපදයේ හරි මහා ලොකු සරසවියක භෞතික විද්‍යා හරි ගණිතය හරි කරලා අලුත් තියරි ඉදිරිපත් කළාට කාටවත් ම වැඩක් නෑ. හරියට ආර්ථික විද්‍යාව, ජ්‍යොතිෂ වගේ නිකන් බයිලා වගේම තමයි. පොරගේ එංගලන්තයේ ගුරුවරු වුණ ආචාර්ය මහාචාර්ය වරු පවා එංගලන්තයේවත් ඒ හැටි ජනප්‍රිය නෑ භෞතික විද්‍යාව ඉහළට හදාරන ඉතාමත් සුළු පිරිසක් අතර මිසක්.

      ඒත් ඊට වඩා දැනටමත් ලංකාවේ මිනිස්සුන්ට දාර්ශනික වශයෙන් පොර ටොක් දීලා පොර ලංකාවේ සෑහෙන ජනප්‍රිය සෑහෙන ලොකු පොරක් උනා. පොර 1986 විතර ලියපු මගේ ලෝකය කියන පොත ගැනවත් හරියට විවරණය කළ හැකි දාර්ශනිකයන් ලංකාවේ තවම නෑ මේ 2021 වත්. මෑන් ලංකාවේ දේශීය පට්ට පල් බොරු ප්‍රවර්ධනය නොකර බටහිර සහ ලංකාවේ දෙකේම පට්ට පල් බොරු ගැන කතා කරන්න තරම් පරිණත බවක් පෙන්නුවා නම් සහ ඉවසීමේ ගුණය කළමනාකරණය කරගෙන කමියුනිකේෂන් ස්කිල්ස් සංවර්ධනය කරගෙන හිටියා නම් මෑන් ලංකාවේ හොඳම මීටරේ සහ ලංකාවේ ඓන්ස්ටෛන් වෙනවා අනිවා.

      දැනට ඩිමාන්ඩ් එක තියෙන්නේ විදුලි වාහන වලට වඩා හොද බැටරි සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, බලශක්ති ක්ෂේත්‍රය තුල පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය වගේ සීන් ගැන කරන සාර්ථක පර්යේෂණ වලට. ඒ ක්ෂේත්‍රයේ තියෙන අනවරත විභවය සහ තරඟකාරිත්වය නිසා. ඒ වගේම මැෂින් ලර්නිං වලදි කරන්න තියෙන්නේ ස්වභාවික පරිසරයේ සහ මිනිස් ක්‍රියාකාරකම් වල තියෙන විවිධාකාර රටාවන් අධ්‍යයනය කරලා ගණිතමය ඇල්ගොරිතම ලියන වගේ සීන් එකක්... කෘත්‍රිම බුද්ධිය කියන හත්වලාමට අයිති කොටසක්. මට තේරෙන හැටියට නම් ඇමරිකන් එක්සත් ජනපදයේ වගේ පරිසරයක වඩාත් වැඩි ඉල්ලීමක් ඇතිවන්නේ අනුන්ගේ හැගීම් අවබෝධ කරගෙන ඒ අනුගතව හැසිරීමට (empathy – EQ) සහ ඉගෙනීමේ හැකියා (LQ – Learnability Quotient) ප්‍රගුණ කළ අයටයි. ජගා ගේ emotional intelligence (EQ) එක හොඳයි නේද? මම හිතන්නේ තාක්ෂණ විද්‍යා විෂය ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥයෙක් වෙන්න නම් ඒ ගැන දැනුම් වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය සාධකයක්. මොකද ඉතාමත් ඉක්මනින් අපට ලෝකය පුරා පැතිරෙන ස්වයංක්‍රීය යන්ත්‍ර පද්ධති ක්‍රම (automation), මැෂින් ලර්නින්ග් (machine learning), සහ කෘතීම බුද්ධිය (artificial intelligence) වගේ තාක්ෂණ බහුලව අනාගතයේ යොදාගැනීමට ඉඩ තිබෙන නිසා, හැම ක්ෂේත්‍රයකම වගේ මේක වෙන්න පුළුවන්.

      Delete
    2. AnonymousFebruary 21, 2021 at 1:15 AM,'

      //මූලික සිද්ධාන්ත ඒ ආකාරයෙන්ම පවතින්නේ ඒවා තව දුරටත් වෙනස් කරන්න උත්සාහ කරන එකේ ආර්ථික වාසි නැතී එක නිසා.//

      //හරියට ආර්ථික විද්‍යාව, ජ්‍යොතිෂ වගේ නිකන් බයිලා වගේම තමයි.//

      ඇනෝගේ බයිලා ගේය පද වල සමහර කරුණු එක්ක එකඟ විය හැකියි.

      Delete
    3. //නමුත් රංග ඩයස්ට වුනත් වියුක්ත ප්‍රවාද හදන්න බෑ. බෑ.බෑෑෑෑෑෑෑෑෑෑ.//

      රංග ඩයස්ට ජගත් පතිරණගේ අර්ථයෙන් වියුක්ත ප්‍රවාද හදන්න අවශ්‍යතාවක් තිබෙනවාද කියා හෝ කවදාවත් තිබුණාද කියා මම දන්නේ නැහැ. මම දන්නා තරමින් ඔහුට අවශ්‍ය වූ මාර්ගයට ඔහු අවතීර්ණ වී සිටිනවා. ඒ වගේම තව දුරටත් එම මාර්ගයේ යනවා. වියුක්ත ප්‍රවාද ඕනෑම කෙනෙකුට හදන්න පුළුවන්. වැදගත් කරුණ වන්නේ හදන වියුක්ත ප්‍රවාදයකින් කාට හෝ වැඩක් ගන්න පුළුවන්ද කියන එකයි.

      ලංකාවේදී භෞතික විද්‍යාව හදාරා ආචාර්ය උපාධි හදාරන්න ඇමරිකාවට පැමිණි අය ගණනාවක් මම පෞද්ගලිකව ඇසුරු කරලා තියෙනවා. නලින් ද සිල්වාගෙන් ඉගෙන ගත් අයම ගණනාවක් ඉන්නවා. නමුත්, ඒ කිසිම කෙනෙක් නලින් ද සිල්වා අර්ථයෙන් "බටහිර විද්‍යාඥයෙකු වීමේ" අරමුණින් ඇමරිකාවට පැමිණි අය නෙමෙයි. බොහෝ විට මූලික අරමුණ ඇමරිකාවට පැමිණීම. සමහර විට මූලික අරමුණ ආචාර්ය උපාධියක් ලබා ගැනීම. ආචාර්ය උපාධිය ලබා ගැනීමෙන් පසු ඉලක්කය රැකියාවක් සොයා ගැනීම හා තමන්ගේ වෘත්තීය තුළ සාර්ථක වීම. ඒ ක්‍රියාවලිය තුළ කිසියම් අවස්ථාවක සිංහල බෞද්ධ සංස්කෘතියේ හැදී වැඩුණු පුද්ගලයෙකු වුවත් බටහිර විද්‍යාඥයෙක් ලෙස පිළිගැනීමක් ලබන්න පුළුවන්. මෙයට සාධක විශාල ප්‍රමාණයක් බලපාන නිසා බොහෝ විට කිසියම් නිශ්චිත පුද්ගලයෙක් එසේ නොවෙන්න පුළුවන්. ඇමරිකාවේ හෝ බටහිර සංස්කෘතිය තිබෙන වෙනත් රටක ඉපදී හැදී වැඩී මීට සමාන්තර මාර්ග වල යන බොහෝ දෙනෙකුටද හැම විටම බටහිර විද්‍යාඥයෙක් ලෙස පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ.

      බටහිර විද්‍යාඥයෙක් වීමේ ඉලක්කය ප්‍රධාන අරමුණ ලෙස මුල සිටම තිබී ඇති බව කියන කෙනෙක් ලෙස මම දන්නේ නලින් ද සිල්වා පමණයි. තව අය ඇති. මම දන්නේ නැහැ. තමන්ට බටහිර විද්‍යාඥයෙක් විය නොහැකි බව ඔහු විසින් තේරුම් ගෙන තිබෙනවා. ඔහුට අනුව එයට හේතුව ඔහුට වියුක්ත ප්‍රවාද හදන්න ප්‍රමාණවත් හැකියාවක් නැති වීමයි. ඒ හැකියාව නැති වීමට හේතුව ඔහු සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ ඉපදී ජීවත් වීම ලෙස ඔහු විසින්ම හඳුනා ගන්නවා. එහෙත් ඔහු දිගින් දිගටම වියුක්ත ප්‍රවාද හදනවා. ඒ වියුක්ත ප්‍රවාද වලට ලංකාවේ සිංහල බෞද්ධයින් අතර යම් පිළිගැනීමක්ද තිබෙනවා.

      දැන් ඔය කෝවිඩ් වසංගතය වෛරය ආහාර කරගත් අමනුෂ්‍යයින් විසින් පතුරවනවා කියලා වියුක්ත ප්‍රවාදයක් නලින් ද සිල්වා විසින් හැදුවේ. ඒ ප්‍රවාදය අනුව විසඳුමකුත් දුන්නනේ. ඒ අනුව අවශ්‍යනම් වෛර කරන එකෙන් වැලකිලා කෝවිඩ් පාලනය කළ හැකියි. එසේ කළ හැකිද කියා පරීක්ෂා කරන තාක් මෙය පරීක්ෂාවට ලක් නොවුණු වියුක්ත ප්‍රවාදයක්.

      සිංහල බෞද්ධයින්ට බටහිර විද්‍යාඥයින් විය නොහැකියි කියන එකත් මේ වගේම වියුක්ත ප්‍රවාදයක්. මෙහිදී නලින් ද සිල්වා විසින් තමන් හා අදාළව එළඹ තිබෙන තහවුරු කර නැති පෞද්ගලික නිගමනයක් සිංහල-බෞද්ධ කියන සමස්ත කුලකය මත සාධාරණ ලෙස පරාරෝපණය කරනවා. මේ ප්‍රවාදය පරීක්ෂාවට ලක්ව නැතත් යම් හෙයකින් එය සත්‍යනම් එය ප්‍රයෝජනවත් එකක්.

      Delete
    4. ප්‍රවාදයට අනුව සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ හැදෙන කෙනෙකුට බටහිර විද්‍යාඥයෙකු වීම සඳහා අවශ්‍ය මට්ටමට වියුක්ත ප්‍රවාද හදන්න බැහැ. ඔවුන්ට කළ හැක්කේ අනුකරණය කිරීම පමණයි. ඒ නිසා, පළමු විකල්පය වන්නේ නලින්වාදී ආස්ථානයට අනුව දැන් සිංහලයින් විසින් කරනවාක් මෙන් බටහිර දැනුම අනුකරණය කරමින් පරිධියේ දැනුම් නිර්මාණය කිරීමයි. මේ අනුව හැම විටම කේන්ද්‍රීය දැනුමේ බටහිර ආධිපත්‍යය පිළිගන්න වෙනවා.

      දෙවන විකල්පය වන්නේ මේ වන තුරු නලින් ද සිල්වා ඇතුළු නලින්වාදීන් විසින් යෝජනා කර තිබෙන බටහිර දැනුමෙන් මූලධාර්මික ලෙස වෙනස් එකම විකල්පය වන අමනුෂ්‍යයන්ගෙන් දැනුම ලබා ගැනීමයි. අර්ථදැක්වීම අනුවම මෙය අනුකාරක දැනුමක්. මෙහිදී වෙන්නේ කේන්ද්‍රය මාරු කිරීමක්. අමනුෂ්‍යයන්ගෙන් ලැබෙන කේන්ද්‍රීය දැනුම මත පදනම්ව පරිධියේ දැනුම් නිර්මාණය කරනවා. බටහිර දැනුම අනුකරණය කිරීමෙන් බටහිර සමග සමාන විය නොහැකි වුවත් අඩු වශයෙන් වැඩක් වන බව පෙනෙන්නට තිබෙනවා. බටහිර අනුකරණය කරමින් කරන දෙයක් වුවත් ඇස්ට්‍රසෙනිකා එන්නත නිසා ජීවිත බේරෙන බව පෙනෙන්නට තිබෙනවා. අමනුෂ්‍යයන්ගෙන් ලැබෙන දැනුම අනුකරණය කිරීමෙන් වැඩක් වෙනවාද කියන එක තවම තහවුරු වී නැහැ. ඒ නිසා තවමත් පළමු විකල්පය දෙවන විකල්පයට වඩා පැහැදිලි ලෙසින්ම හොඳ විකල්පයක්.

      සිංහල බෞද්ධයින්ට බටහිර විද්‍යාඥයින් විය නොහැකියි කියන ප්‍රවාදය සත්‍යනම් දන්නා තරමින් සාකච්ඡාවට ලක් වී නැති තෙවන විකල්පයක්ද තිබෙනවා. ඒ සිංහල බෞද්ධ සංස්කෘතිය අත හැර කුඩා කළ සිටම දරුවන්ට බටහිර සංස්කෘතිය පුරුදු කිරීමයි. මෙය නලින් ද සිල්වාගේ ප්‍රවාදය සමඟ ගැලපෙනවා වගේම අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි කියා කිව හැකි විකල්පයක්. ජපානය, සිංගප්පූරුව වගේ රටවල් දියුණු වෙද්දී මේ ආකාරයෙන් බටහිර සංස්කෘතිය වේගයෙන් වැළඳ ගැනීමක් දැකිය හැකි වුනා. මුළුමනින්ම සිංහල බෞද්ධ සංස්කෘතියෙන් බැහැර කර හැදුවොත් අලුතෙන් ඉපදෙන දරුවන්ට වියුක්තව හිතන්න වගේම බටහිර විද්‍යාඥයින් වෙන්නත් පුළුවන් වෙයි. නැත්නම් ඉදිරි පරම්පරාවටත් වෙන්නේ එක්කෝ බටහිර දැනුම් අනුකරණය කරන්න. එහෙම නැත්නම් අමනුෂ්‍ය දැනුම් අනුකරණය කරන්න. අවාසනාවට යුදෙවුවන් වෙනත් අයව ඔවුන්ගේ ආගමට ගන්නේ නැති නිසා යුදෙවු සංස්කෘතිය ඒ විදිහටම ගන්නනම් අමාරුයි.


      Delete
    5. //පොර 1986 විතර ලියපු මගේ ලෝකය කියන පොත ගැනවත් හරියට විවරණය කළ හැකි දාර්ශනිකයන් ලංකාවේ තවම නෑ මේ 2021 වත්.//

      මම හිතන්නේ ඇනෝගේ ප්‍රතිචාරයේ වැදගත්ම කොටස මේක.

      Delete
  3. සිංහල බෞද්ධයන් හට වියුක්තය නුහුරට දැනෙන්නේ ඇයි?
    CP-C

    ReplyDelete
    Replies
    1. සිංහල බෞද්ධයන් හට වියුක්තය නුහුරට දැනෙනවා කියා මම හිතන්නේ නැහැ. එහෙත් සිංහල බෞද්ධයන්ට වියුක්තව හිතන්න බැහැ කියන නලින් ද සිල්වාගේ ප්‍රවාදය යම් පිරිසක් අතර ජනප්‍රිය වී තිබෙනවා. මෙහිදී එක් කරුණක් මුලින්ම කියා සිටිය යුතුයි. වියුක්තව සිතීමේ හැකියාවට සංස්කෘතිය බලපානවා කියන එකත්, යුදෙවු වැනි සංස්කෘතියක හැදෙන අය අතරින් සිංහල බෞද්ධ සංස්කෘතියේ හැදෙන අයට වඩා වියුක්තව සිතිය හැකි අය බිහිවෙනවා කියන එකත් මම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ.

      වියුක්තව හිතනවා කියන්නේ නොපවතින තත්ත්වයන් ගැන හිතීම. අප හැම විටම විවිධ විකල්ප අතරින් අප‍ට හොඳම විකල්පය තෝරා ගැනීමේ කාර්යයය කරනවා. මෙහිදී නොපවතින විකල්ප වැඩි ගණනක් ගැන හිතන්න පුළුවන් කෙනෙකුට වඩා සාර්ථක විය හැකියි. විකල්ප දෙකක් සංසන්දනය කරන අවස්ථාවකදී වුවත් නොපවතින තත්ත්වයන් වැඩි ගණනක් පරිකල්පනය කර සැසඳීමක් කළ හැකි අය වඩා සාර්ථක වීම නොවැලැක්විය හැකියි. උදාහරණයක් විදිහට දාම් හෝ චෙස් වැනි ක්‍රීඩාවකදී ප්‍රතිවාදියාට වඩා එක් පියවරක් එහාට හිතන්න පුළුවන් කෙනෙකුට හැම විටම දිනන්න පුළුවන්. දේශපාලනයේදී මේ තත්ත්වය ප්‍රායෝගිකව දැකිය හැකියි.

      නලින් ද සිල්වා වෙත ආවොත් ඔහු කියන හැම දෙයක්ම එක ලෙස ජනප්‍රිය වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට තමන් බටහිර විද්‍යාව හෝ බටහිර දැනුම කිසිසේත්ම ප්‍රතික්ෂේප නොකරන බව නලින් ද සිල්වා විසින් පුන පුනා කියන දෙයක්. ඔහු හැම විටම කියන්නේ තමන් විසින් ප්‍රතික්ෂේප කරන්නේ බටහිර විද්‍යාවේ හා බටහිර දැනුමේ ආධිපත්‍යය බවයි. නමුත්, ජනප්‍රිය තලයේදී මේ අදහස ප්‍රචලිත වෙන්නේ බටහිර විද්‍යාව හා බටහිර දැනුම ප්‍රතික්ෂේප කිරීමක් විදිහටයි.

      කිසියම් සමතුලිතතාවයක් හැදෙන්නේ ඉල්ලුම් සාධක හා සැපයුම් සාධක අතර ඝට්ටනයෙන්. මෙය මතවාද වලටත් අදාළයි. නලින් ද සිල්වා විසින් සපයන දේවල් අතරින් ජනප්‍රිය වෙන්නේ වැඩි ඉල්ලුමක් තිබෙන දේවල්. මෙහි feedback loop එකකුත් තිබෙනවා. මුලින් ඉදිරිපත් කරන අදහසක් ජනප්‍රිය වූ විට ඉල්ලුමට සරිලන සේ සැපයුම වැඩිවීමක්ද වෙනවා. මෙය නලින් ද සිල්වාට වගේම මා ඇතුළු කාට වුනත් වෙන දෙයක්. සමහර විට මේ ඉල්ලුම මූලික අදහසට ප්‍රතිවිරෝධී අදහසක් ලෙස මතු විය හැකියි. එසේ වුවත් අවසාන වශයෙන් වෙන්නේ එකම දේ. ට්‍රොට්ස්කිවාදී ඥානවිභාගයේ විවේචකයෙකු ලෙස හැරවුමක් ගන්නා නලින් ද සිල්වා සිංහල බෞද්ධ චින්තනයේ නියෝජිතයෙකු ලෙස පරිණාමය වන ක්‍රියාවලිය තුළ ඉල්ලුම් සාධක වලින් ඔහු මත ඇති කර තිබෙන බලපෑම ඉතා විශාලයි.

      Delete
    2. ඉල්ලුම් සාධක ඇති වෙන්නේ කොහොමද? ඉතා සරලව ඔබ ඉල්ලන්නේ ඔබට සතුටු වීමට උදවු වන දේ. මේ කාරණයට ආවොත් සිංහල බෞද්ධයන් හට වියුක්තව සිතිය නොහැකිය යන අදහසින් සතුටු වන සිංහල බෞද්ධයන් විශාල පිරිසක් ඉන්නවා. ඒ ඇයි?

      වියුක්තව හිතන්න බැරි අය වියුක්තව හිතන්න පුළුවන් අයට පරදිනවා. මෙය ප්‍රත්‍යක්ෂයක්. මේ වැඩෙන් වියුක්තව හිතන්න බැරි අයට පාඩුවක් වෙනවා. සිංහල බෞද්ධයෙක් වුනත්, යුදෙවුවෙක් වුනත් මේකේ වෙනසක් නැහැ. මේ පාඩු අඩු කර ගන්නනම් වියුක්තව හිතන්න පුරුදු වෙන්න වෙනවා. වියුක්තව හිතන එක පුහුණුවක් හා කැපවීමක් අවශ්‍ය අමාරු වැඩක්. මේ වෙනුවෙන් ගෙවිය යුතු මිලක් තිබෙනවා (මම මිලක් කියා කියන්නේ මුදල්ම නොවන බව ඔබට පැහැදිලි ඇති කියා මම හිතනවා). දැන් මෙහි අසීරු තීරණයක් තිබෙනවා. එක්කෝ වියුක්තව හිතන එක පුහුණු වීමේ මිල ගෙවන්න වෙනවා. එසේ නැත්නම් වියුක්තව හිතන්න බැරි වීමේ පාඩුව විඳින්න වෙනවා. ඔය දෙකෙන් කොයි එකෙන්වත් සතුටක් ලැබෙන්නේ නැහැ. දෙකෙන්ම ලැබෙන්නේ අසතුටක්. මෙහි තිබෙන්නේ අසතුට අවම කර ගැනීමේ තීරණයක් (minimizing disutility). මෙය සිංහල බෞද්ධයින් වන හෝ නොවන කාට වුනත් පොදු තත්ත්වයක්. මේ තත්ත්වය හමුවේ හොඳම ප්‍රතිචාරය අනාගත වාසි ගැන හිතා ආයෝජනයක් කරමින් වියුක්තව හිතන්න පුරුදු වෙන එකයි. කොයි තරමටද කියන එක පුද්ගලික කාරණයක්.

      දැන් නලින් ද සිල්වා විසින් කරන්නේ කුමක්ද? ඔබට වියුක්තව හිතන්න බැරි ඔබ සිංහල බෞද්ධයෙක් වීම නිසා කියා ඔහු කියනවා. ඔය වගේ තත්ත්වයක් ඇත්තටම තිබෙන බව පැහැදිලිනම් මම කරන්නේ වියුක්තව හිතීමේ හැකියාව වෙනුවෙන් මගේ සිංහල බෞද්ධ චින්තනයෙන් ගැලවෙන්න උත්සාහ කරන එකයි. නමුත් වෙනස් නොවී සිංහල බෞද්ධ චින්තනය තුළම සිටීම වියුක්තව හිතන්න බැරි නිසා සිදු වන පාඩු වලට වඩා වටිනා සේ සලකන පිරිසක් ඉන්නවා. වෙනත් විදිහකින් කිවුවොත් ඔවුන් හා අදාළව සිංහල බෞද්ධ චින්තනයෙන් පොඩ්ඩක් හෝ මිදීමේ මිල ඉතා විශාලයි. වියුක්තව හිතන්න පුරුදු වීම සඳහා ගෙවිය යුතු මිලට ඒ මිලද එකතු වෙනවා. නැවතත් මෙහි තිබෙන්නේ අසතුට අවම කර ගැනීමේ තීරණයක්. තමන්ට වියුක්තව හිතන්න බැරි වී තිබෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය කියන තමන්ට ගැලවිය නොහැකි ලෙස තමන් හා සම්බන්ධ වී තිබෙන බාහිරත්වයක් කියා හිතුවහම වියුක්තව හිතන්න බැරි තමන්ගේ වරදක් නිසා නොවන බව සිතමින් කෙනෙකුට සතුටක් ලැබිය හැකියි. එවිට වියුක්තව සිතීම පුහුණු වීම සඳහා ගෙවිය යුතු මිල ගෙවන්න අවශ්‍ය නැති වෙනවා. ඒ මිල ගෙවීමේදී විඳින්න වෙන අසතුට නැති වෙනවා. තමන්ට වියුක්තව හිතන්න බැරි වීම ලෝක ස්වභාවය විදිහට බාර ගෙන ඒ නිසා සිදුවන අවාසි වලින් අසතුටට පත් නොවී ඉන්න පුළුවන්. ඔය සහනශීලී (complacency) හැඟීම නිසා සිංහල බෞද්ධයින්ට වියුක්තව හිතන්න බැරි බව හිතන්න ඇතැම් සිංහල බෞද්ධයින් කැමතියි. මේ කතාව කියන්නේ ඔවුන්ට විශ්වාසය තැබිය හැකි, පිළිගත හැකි නලින් ද සිල්වා වගේ පුද්ගලයෙක් නිසා සහනශීලී බව තවත් වැඩි වෙනවා.

      Delete
  4. බටහිර විද්‍යාවේ හිරවීම තාක්ෂණයට බලපාන අවස්ථාව තමයි බලශක්ති ක්‍ෂේත්‍රය,
    න්‍යෂ්ඨික ශක්තිය හොයාගෙන වසර 70කට වඩා ගියත් එතනින් එහාට යන්න බැරිවෙලා තියෙනවා.
    දැන් බලශක්ති ක්‍ෂේත්‍රයේ නව තාක්ෂණ හැටියට කෙරෙන්නේ වඩා කාර්යක්ෂම සූර්ය කෝෂ සෑදීම, බැටරි දියණු කිරීම වගේ සිල්ලර වැඩ.

    ReplyDelete
    Replies
    1. 1961 රුසියාව ටෙස්ට් කරපු Tsar bomb එක 58 Mega tons. මෙතෙක් ඉතිහාසයේ බලවත්ම න්‍යෂ්ටික අත්හදා බැලීම. ඒක සම්පූර්ණයෙන්ම පුරවලා නෑ 100MT කරේ නැත්තේ එහෙම කරා නම් බෝම්බය අතඅරින plane එකේ crew එකට බේරෙන්න වෙන්නෙ නෑ. අනික පුපුරපු tsar එකත් කොච්චර ප්‍රබලද කියනවනම් bomber crew එක බේරිමේ සම්බාවිතාව 50%. කලින්ම ඒක crew එකට කියලා තිබෙනවා. විකිරණ වලට ඔරොත්තු දෙන විශේෂ paint එකක් සහිත තුපලෙව් TU95 bomber එකේ ගාලා තිබ්බේ. බෝම්බය පුපුරද්දි ආපූ wave එකෙන් බොහොම අමාරුවෙන් plane එක බේරිලා තියෙන්නේ. පෘථිවි කක්ෂය වටා තුන් පාරක් වේව් යනවලු. Tsar වල cluster Shell හැකියාව ලබා දීලා තියෙනවා ලු. ඒ කියන්නෙ fake targets හදුනාගෙන විභේදනය වීම.

      ඇමරිකන් න්‍යෂ්ඨික බලය අතින් දැනට ඇති දරුණුතම න්‍යෂ්ඨික අවිය එක්සත් ජනපදය සතු B-41 තාප න්‍යෂ්ඨික පරමාණු බෝ්ම්බය තමයි. නිපදවා ඇත්තේ 1960 දී පමණ, ඒත් දැනට ඇමරිකාවේ නිපදවා ඇති ඉහලම සක්‍රිය TNT අස්වැන්න වන TNT මෙගාටොන් 25 ක ප්‍රමාණයේ ප්‍රබලත්වයක් මෙම අවිය සතුලු. දිග අඩි 12 විශ්කම්භය අඩි 4 බර කිලෝග්‍රෑම් 4,840 ක් හින්දා රැගෙන යා හැක්කේ B-52, B-47 යානා වලින් පමණි. නිදහසේ වැටීමට පැරශුට භාවිතා කර යුතු අතර සෝවියට් ට්සාර් ව්‍යාපෘතියට එකට එක කිරීමක් වශයෙන් සෑදූ මෙය තවම පෘථිවිය මත අත්හදා බලා නොමැති අතර විනාශය කෙතරම්දැයි තක්සේරු කර නැහැ. න්‍යායාත්මකව හිරෝෂිමා මත පතිත වූ න්‍යෂ්ඨික බෝම්බ 700 ක පමණ එකවර පතිත වීමකට සමාන බව පර්යේෂකයන් උපකල්පනය කරනවා. මේ ගැන තවත් විස්තර ඔබ දන්නවාද?

      Delete
  5. ඇත්තටම ඉකොනොමැට්ටා ආචාර්ය නලීන් ද සිල්වා සහ ගංගොඩවිල සෝම භික්ෂුව කියන්නෙ ජාතිකවාදී මතවාද වල පැහැදිලි පරස්පරතා තියෙන දෙපළක්. නලීන්ද සිල්වා පැහැදිලිවම වියතෙක් ඒ වගේම දේශමාමකත්වයත් තියෙනව. හැබැයි ඔහු ගේ නූතන මතවාදය සම්පූර්ණයෙන් පදනම් වෙන්නෙ ඔහු විසින් ගොඩ නගාගත් දේවවාදී සංකල්ප මත. හොඳම උදාහරණය තවමත් ඔහු කිසිම සොයා බැලීමකින් තොරව ධම්මික කපු උන්නාන්සේගේ කාලි පැණිය වෙනුවෙන් පෙනී සිටීම.

    ඒ වගේම සෝම භික්ෂුව කියන්නෙ බෞද්ධයා දේවවාදීත්වයෙන්, මිත්‍යාදෘෂ්ටියෙන් යම්තාක් දුරකට ඈත් කරවල බෞද්ධ සංකල්ප වලට අනුව පැහැදිලි ලෝකෝත්තර ගමනකට යොමු කරන ගමන්, තමන්ගේ ජාතිය ආගම ගැන දේශ හිතෛෂී ස්වරූපයෙන් බලපු භික්ෂුවක්. යම් තාක් දුරකට සිංහල ජාතිවාදී කියන්න පුළුවන්. නමුත් ඒ කාලේ රටේ නායකත්වය උග්‍ර ලෙස සිංහල විරෝධී බෙදුම්වාදීන්ට සහ ත්‍රස්ත වාදීන්ට ගැති භාවයකට පත්ව ඇති සංදර්භයක් තුල ඒක විමුක්තිකාමී කියලා කියන්න පුළුවන්, ඒත් අද කාලේ හැටියට නම් උග්‍ර සිංහල බෞද්ධ ජාතිවාදී අදහස්.

    මහාචාර්ය නලීන්ද සිල්වාල ලංකාවෙ මිනිස්සු ප්‍රාදේශීය දේවවාදී අවිද්‍යාවෙ ගිල්වන්න හදද්දි, සෝම භික්ෂුව වෑයම් කලේ, බෞද්ධයට වඩා නිවහල්ව බෞද්ධ සංකල්ප වලට අනුව පැහැදිලිව හිතන්න පුරුදු කරන්න. සමහර අවස්ථා වල එම භික්ෂුව ලංකාවේ මුල්බැසගෙන ඇති සංස්කෘතික සීමාත් අභියෝගයට ලක් කලා.

    ඒ වගේම ආචාර්ය නලීන් ද සිල්වා යම්කිසි දේවවාදී යැයි කියන විද්‍යාවක් මත කටයුතු කරනව නම් ඒක ඔහුගේ පෞද්ගලික දෙයක්, මොකද නලීන්ද සිල්වා තමන්ට වැළඳුණු රෝගයක් සුවපත් කරගන්න මේ විදිහට දේව වරමකින් වෙදකම් කරන කපු මහත්තයෙක් ලඟට යාම පෞද්ගලිකයි. මම ඒකෙ කිසිම වරදක් දකින්නෑ. නමුත් ඔහු තමන්ගෙ දේවවාදී අදහස් මත පිහිටලා සමාජයට අභියෝග කරනව. එතකොට ඒක පෞද්ගලික අදහසක් වෙන්නෙ කොහොම ද?

    නලීන් ද සිල්වා ස්වදේශික දේවවාදයක් ඉස්මතු කරනව කියන එකත් විහිළු සහගතයි. කලින් ඔහු පෙනී හිටපු නාථ දේව මණ්ඩලය ස්වදේශික විදිහට ගත්තත්, කාලි මෑණියො ස්වදේශික වුණේ කොහොම ද? ඒ මතය ඔහු සාධාරණීකරණය කරන්නෙ බෞද්ධ සාහිත්‍යයේ එන කාලි යකින්නගෙන්.

    නමුත් ධම්මික කපුරාල අදහන්නෙ ඒ බෞද්ධ සාහිත්‍යයේ එන කාලි යකින්න නෙවෙයි.

    නලීන්ද සිල්වා දේශීයත්වයට ගරු කරනව. නමුත් ඔහුගේ අනික් මතවාද හින්දා දේශීයත්වය වැනසෙනව. අපේ ඉදිරි පරපුර දේව වාදයකට යට වුණ පිරිසක් වෙන්න අවශ්‍ය නැහැ නිවහල්ව හිතල නව දැනුමක් ලොජිකලි නැත්නම් පදනමක් සහිතව විද්‍යාත්මකව ගවේෂණය කරන පරම්පරාවක් වෙන්න ඕනි. නලීන්ද සිල්වා අභියෝග කරන්නෙ ඒ ඉදිරි ගමනට. ඔහු ජාතිකවාදියෙක් වුණාට වැඩක් නෑ. ඔහු ප්‍රචාරය කරන අනික් අදහස් නිසා සමාජය වැරදි දිශාවකට යනව නම්.

    ReplyDelete
  6. කොළඹ විශ්විද්‍යාලයේ භෞතික විද්‍යා විශේෂ පළමු උපාධියක් ගත් රංග ඩයස් ට ඇමෙරිකාවේ රොචෙස්ටර් විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්යවරයෙකු වෙන්නට පුළුවන්. ඒ වුනාට උතුම් ලංකාවේ ඉංජිනේරු පීඨ වල කථිකාචාර්ය කෙනෙක් වෙන්න නම් පළමු උපාධිය ඉංජිනේරු උපාධියක්ම විය යුතුයි කියල දැන්වීමේ කෙලින්ම දානවා. අමෙරිකාවේ සුද්දෝ එහෙම වුනාට අපේ කළු සුද්දොන්ට තවම AL ලකුණු වලින් පළමු උපාධියෙන් එහා දෙයක් නෑ. ඔය මොන දේ හොයාගත්තත් උතුම් ශ්‍රී ලංකාවේ අති උතුම් ජේෂ්ඨ මහදුරු තුමන්ලා හදපු UGC Circular 721 චක්රලේඛනයට අනුව නම් කථිකාචාර්ය උතුමන්ලා බඳවාගන්න බලන්න ඕනේ පළමු උපාධිය මොකක්ද පළමු උපාධියේ සමාර්ථය මොකක්ද කියල. ඒ පොරොන්දම් ගැලපෙනවා නම් විතරයි එතනින් එහා ලෝකේ බස්නාහිරෙන් ඉර පායන සොයාගැනීමක් කලත් වැඩක් වෙන්නේ.ආසියාවේ විතරක් නෙවෙයි ලෝකෙම ආශ්චර්ය තමයි අපි. ඉතින් කොහොමෙයි පර්යේෂණ කරන්නේ පළමු උපාධියේ සාමාර්ථය බලල තෝර ගතිපු උන්දැලත් එක්ක :D

    ReplyDelete
    Replies
    1. // කොළඹ විශ්විද්‍යාලයේ භෞතික විද්‍යා විශේෂ පළමු උපාධියක් ගත් රංග ඩයස් ට ඇමෙරිකාවේ රොචෙස්ටර් විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්යවරයෙකු වෙන්නට පුළුවන්. ඒ වුනාට උතුම් ලංකාවේ ඉංජිනේරු පීඨ වල කථිකාචාර්ය කෙනෙක් වෙන්න නම් පළමු උපාධිය ඉංජිනේරු උපාධියක්ම විය යුතුයි කියල දැන්වීමේ කෙලින්ම දානවා.
      //

      මහාචාර්ය චන්දිම ගෝමසුත් කොළඹ විශ්වවිද්‍යාලයීය ප්‍රථම් උපාධිය ලාභියෙක් හා ඔහු දැන් අප්‍රිකානු විශ්වවිද්‍යාලයීයක ඉංජිනේරු අංශයකම මහාචාර්ය වරයෙක් මම දන්න විදියට.

      Delete
    2. ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ පර්යේෂකයෙක් හා නෝබෙල් ත්‍යාග ලාභී පීටර් ඩොරති ගේ ප්‍රථම උපාධිය පශු වෛද්‍ය විද්‍යාව.

      Delete
    3. Ano 6.39 AM

      ඔය කතාව පිළිගන්න අමාරුයි. මම නම් එච්චර ඉංජිනේරු පීඨ ගැන දන්නේ නෑ. ඒත් මම දන්න තරමින් මොරටුව විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති සහ ඉංජිනේරු පීඨයේ කථිකාචාර්ය ලෙස කටයුතු කළ සේවාවර්ජිත මහාචාර්ය ජී ටී එෆ් ද සිල්වා ගේ ප්‍රථම උපාධිය ගණිතය පිළිබඳ ලංකා විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ.

      ඒ වගේම ඉහත සඳහන් ආචාර්ය නලීන් ද සිල්වා වගේම තව ගොඩක් විද්‍යා, කළමනාකරණ, ගණකාධිකාරී, නීති උපාධිය ආදී විවිධ විෂයන් මූලික උපාධිය ලබා ගත් අය මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තවත් හිටියා වගේ මතකයි.

      මේ බලන්න මේක;

      https://uom.lk/past-presidents-vice-chancellors-university-moratuwa

      මේකේ ඉන්න මහාචාර්ය සුමනදාස, සෑම් කරුණාරත්න, දයන්ත විජේසේකර, ආදී විවිධ මහාචාර්ය වරුන්ට මූලික උපාධිය වත් නෑ මම අහල තියන හැටියට. ඒ අය තාක්ෂණික නිලධාරීන් වශයෙන් වෘත්තීය ඇරඹීමෙන් පසුව ඉහළටම උගත් අය නේද? ඉකොන් ඔබ දන්නවාද?

      Delete
    4. Sam Karunaratne: "He then went on to do his higher studies at the University of Ceylon, where he gained a first class honours degree in electrical engineering. He then achieved his MSc degree in engineering from the University of Glasgow and a diploma in electrical engineering from the University of London." - Wikipedia

      Dayantha S. Wijeyesekera: "..then in the United Kingdom where he graduated in Civil Engineering from Enfield College London in 1965 and was awarded the Postgraduate Degree of Doctor of Philosophy from the University of Edinburgh in 1969." - http://www.dayanthawijeyesekera.com/

      L. H. Sumanadasa: "He completed his BSc degree in Physics at Ceylon University College and was awarded the Ceylon Government Scholarship to study aeronautical engineering at Imperial College, London in 1932 Graduating BSc and DIC (postgraduate Diploma of Imperial College)" - Wikipedia

      Delete
    5. ඉකොන් බොහොම ස්තූතියි. මම හිතන්නේ ඔය උඩ කියපු කතාව බොරු මොකද මේ කියපු අය කවුරුත් උසස් පෙළ ප්‍රතිඵල මත මූලික උපාධිය වශයෙන් ඉංජිනේරු පීඨ උපාධි පාඨමාලා කළ අය නෙවෙයි නේද? මුලින්ම ඩිප්ලෝමා පාඨමාලා කරලා පස්සෙ ඒ කාලේක ලංකාවේ හරි පිටරට හරි මූලික උපාධි පාඨමාලා කරලා ඉහළටම ඉගෙනගෙන තියෙනවා නේද?

      අනික මම හිතන්නේ සමහර සුවිශේෂ පර්යේෂණ සඳහා ඇරුනම (ඔය රංග ඩයස් සහෝදරයා වගේ) ගොඩක් ඉංජිනේරු විද්‍යා විෂය ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥ දැනුම සහ ඉංජිනේරු වෘත්තීය පළපුරුද්ද සහිත අය තමයි ඉංජිනේරු පීඨයක කරන පර්යේෂණ වලින් 95% - 99% කට විතර අවශ්‍ය වන්නේ. ඉංජිනේරු අධ්‍යාපනයේ දී නම් ගණිතය සහ මූලික විද්‍යා විෂයයන්, කළමනාකරණය, ඉංජිනේරු ආර්ථික විද්‍යා, ගිණුම් තැබීම, නීතිය, සන්නිවේදනය හැරුණුකොට වෘත්තීය අධ්‍යාපනයට අවශ්‍ය දිගටම ප්‍රායෝගිකව ඉංජිනේරුවෙක් වශයෙන් කටයුතු කරන්න පුහුණුවක් ලබා ඇති කෙනෙක් මිස භෞතික විද්‍යා ආදී ශුද්ධ විද්‍යා හදාරපු අය නෙවෙයි.

      මම හිතන්නේ ලංකාවේ ඉංජිනේරු පීඨ වලට නම් NDT, NDES සහ IESL හෝ වෙනත් තාක්ෂණික පාඨමාලා කරලා පළපුරුදු අය සෑහෙන වටිනවා ඔය විජ්ජා කාරයින්ට වඩා. මොකද මම උගත් වාණිජ්‍ය හා ගිණුම් ක්ෂේත්‍රයේ උනත් පොතේ දැනුමට වඩා ප්‍රායෝගික පළපුරුද්ද හා කළමනාකරණ හැකියාව තමයි වඩා වැදගත්.

      Delete
    6. AnonymousFebruary 21, 2021 at 7:05 AM

      ඔබ ඔය සඳහන් කරල තියෙන මහත්මයා නියෝජනය කරන්නේ රොහාන් සමරජීව, නීතිඥ නාගානන්ද වගේ බොහොම දෙනෙක් වගේ සුවිශේෂ සමාජ කුලකයක්. මේ අය සමාජ මාධ්‍ය ජාල වල තමුන්ම තමන් ගැන ලියාගන්න වර්ණනා හරහා පිම්බුණු සමාජ මාධ්‍ය වල අනුගාමිකයන් සුළු පිරිසක් අතර ප්‍රසිද්ධ වූ 'කයිවාරු' විද්වත් පිරිසක් ලෙස දැක්විය හැකියි. මම හිතන්නේ එවැනි අයගෙන් ලංකාවේ තත්ත්වය දියුණු කිරීමට කළ හැකි කිසිවක් හෝ ඉගෙනුමට දෙයක් නැති බවයි. ඕන නම් සරසවියක විද්‍යා පීඨයක ගුරු භූමිකාවක් සඳහා සුදුසු බව පේනවා. එච්චරයි.

      Delete
    7. Anonymous February 21, 2021 at 7:28 AM

      ඔස්ට්‍රේලියාව විතරක් නෙමෙයි ලංකාවේ වෛද්‍ය පීඨ වල ඕන තරම් දන්ත වෛද්‍ය, පශු වෛද්‍ය අය උගන්නන්න එනවා. මොකද මම හිතන්නේ ඒ අය හැමෝම මුල් වසර වල එකම වෛද්‍ය පීඨ වල වෛද්‍ය සිසුන් හා එකට අධ්‍යාපනය ලබා ගන්නා නිසා. ඒ වගේම පර්යේෂණ වලට සහභාගී වෙනවා මම හිතන්නේ.

      උදාහරණ වශයෙන් මහාචාර්ය NA de S අමරතුංග, සුසිරිත් මෙන්දිස්, උපුල් දිසානායක වගේ මහාචාර්ය වරු සහ කලකට පෙර බ්ලොග ලියූ උග්‍ර මහින්ද රාජපක්ෂවාදී සරස හෙවත් ආචාර්ය කුමාර් කළුආරච්චි වගේ අය වෛද්‍ය පීඨ වල MBBS සිසුන්ට උගන්නපු අය මම හිතන්නේ. ආචාර්ය කුමාර් වෛද්‍ය විද්‍යා සිසුන්ට කායික විද්‍යා විෂය උගන්වන බව ලියා තිබෙනවා වගේ මතකයි. ඒ වගේම ඔහු වෛද්‍ය පර්යේෂණ කරල තිබුණ කියලා ඔහුම ලියල තියෙනවා. ඇත්ත ද බොරුද දන්නේ නැහැ. ඉකොනොමැට්ටා ඔබ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නිසා මේ ගැන වඩාත් හොඳින් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

      Delete
    8. පළමුව පේරාදෙණිය විශ්ව විද්‍යාලය හෝ ලංකාවේ වෙනත් විශ්ව විද්‍යාලයක් ඇමරිකාවේ රෝචෙස්ටර් වැනි විශ්ව විද්‍යාලයක් එක්ක සංසන්දනය කිරීම තරමක් අසීරු වැඩක්. මේවා මූලික වශයෙන් පර්යේෂණ කරන විශ්ව විද්‍යාල (research universities). මූලික වශයෙන් ඉගැන්වීම කරන විශ්ව විද්‍යාල වෙනම තිබෙනවා (teaching universities). හැම පර්යේෂණ විශ්ව විද්‍යාලයකම වගේ ඉගැන්වීම හා ප්‍රථම උපාධි පිරිනැමීමද සිදු වනවා වගේම හැම ඉගැන්වීම මූලික අරමුණු කරගත් විශ්ව විද්‍යාලයකම පර්යේෂණද කෙරෙනවා. එහෙත්, පීඨ සාමාජිකයෙකු බඳවා ගැනීමේදී ප්‍රධාන වශයෙන්ම අපේක්ෂා කරන දෙය වෙනස්. කිසියම් විෂයයක මූලික පුහුණුවක් අවශ්‍ය මට්ටමට තිබේනම් ඉගැන්වීම කළ හැකියි. ඉගැන්වීමේදී කරන්නේ ලෝකයේ දැනට තිබෙන දැනුමක් ලබාගෙන එය වෙනත් අය වෙත සම්ප්‍රේෂණය කරන එක. මේ වැඩේට අවශ්‍ය වෙන්නේ අදාළ විෂය හොඳින් හදාරා ඇති, ඒ වගේම ඉගැන්වීමට දක්ෂ අයයි. ඉගැන්වීමේ දක්ෂතාවයක් නැති අයෙකු කොයි තරම් විෂය ප්‍රවීණයෙකු වුවත් (පර්යේෂණ කිරීමෙහි දක්ෂතාවයක්ද නැත්නම්) සරසවි ආචාර්ය වරයෙකු ලෙස දිගටම ඉන්න බැහැ. ඇමරිකාවේ සරසවියක ප්‍රථම උපාධි පාඨමාලා වල උගන්වන කථිකාචාර්යවරුන් හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් බොහෝ දෙනෙකුටද අදාළ විෂයයෙහි ආචාර්ය උපාධියක් තිබුණත් එසේ නොවන අවස්ථාද තිබෙනවා. ආචාර්ය උපාධියක් තිබුණත් නැතත් ඉගැන්වීමේ දක්ෂතාවයනම් අනිවාර්යයි.

      පර්යේෂණ කිරීමේදී කරන්නේ ලෝකයේ දැනට නැති කවර හෝ අලුත් දැනුමක් නිර්මාණය කරන එක. මේ වැඩේ කරන්න ආරම්භයක් විදිහට දැනට පවතින දැනුම පිළිබඳ මනා පුහුණුවක් අවශ්‍යයි. භෞතික විද්‍යාව වැනි විෂයයක සහකාර මහාචාර්ය කෙනෙක් වීමට පෙර ආචාර්ය උපාධිය හදාරා ඉන් පසුව වසර කිහිපයක් පශ්චාත්-ආචාර්ය උපාධි පුහුණුවක්ද ලබන්නට අවශ්‍ය වීම සාමාන්‍ය තත්ත්වයයි. මෙහිදී අමතර පුහුණුව ලබන්න වෙන්නේ ඉතා පටු නිශ්චිත ක්ෂේත්‍රයක.

      ඇතැම් පර්යේෂණ මාතෘකා තිබෙන්නේ ප්‍රධාන විෂයයන් දෙකක් හෝ වැඩි ගණනක් අතිපිහිත වන අවකාශයක. උදාහරණයක් විදිහට භෞතික විද්‍යාව හා යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව වගේ විෂයයන් දෙකකට අදාළ අලුත් පර්යේෂණයක් වෙන්න පුළුවන්. විශ්ව විද්‍යාලයක පරිපාලන ව්‍යුහය සකස් වී තිබෙන ආකාරය අනුව මේ ප්‍රධාන විෂය දෙක හා අදාළ විශේෂඥතාව හා පර්යේෂණ පහසුකම් තිබෙන්නේ ඒකක දෙකක වෙන්න පුළුවන්. ඒ වගේ වේලාවකදී පර්යේෂණ පීඨ සාමාජිකයෙකු විදිහට (research faculty) අලුතෙන් මහාචාර්ය වරයෙකු බඳවා ගනිද්දී පීඨ දෙකක හෝ දෙපාර්තමේන්තු දෙකක හවුල් පත්වීමක් ලබා දෙන අවස්ථා තිබෙනවා (joint appointment). රංගටත් මේ විදිහට පීඨ දෙකක පත්වීම් තිබෙනවා. ඔහුට Assistant Professor of Mechanical Engineering පත්වීමක් වගේම Assistant Professor of Physics and Astronomy පත්වීමක්ද තිබෙනවා. ඔහු දැන් කරන පර්යේෂණ බොහෝ දුරට ඉංජිනේරුමය පැත්තට බර වුනත් ඔහු ඒ දක්වා එන්නේ සෛද්ධාන්තික පර්යේෂණද කරමින්. ඔහු දැන් කරන පර්යේෂණ සඳහා අවශ්‍ය උපකරණ තිබෙන්නේ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාගාරයක කියා මම හිතනවා. පත්වීම් දෙකක් තිබීම මේ වැඩේට පහසුවක්. මේ විදිහටම Associate Professor, Department of Mechanical Engineering, Associate Professor, Department of Orthopaedics ලෙස ඉංජිනේරු හා වෛද්‍ය පීඨ වල හවුල් පත්වීම් තිබෙන අය රංග සිටින දෙපාර්තමේන්තුවේම ඉන්නවා.

      ලංකාවේ පේරාදෙණිය හෝ මොරටුව වැනි සරසවියකින් මූලික වශයෙන් කරන්නේ දේශීය වෙළඳපොළට අවශ්‍ය ඉංජිනේරුවන් හදන එක. මේ වැඩේට වඩාත්ම සුදුසු ඉංජිනේරු විද්‍යා අධ්‍යාපනයක් ලැබූ අයයි. එහෙත්, ඉංජිනේරු ගණිතය වැනි විෂයයක් උගන්වන්න ඉංජිනේරු විද්‍යාව හැදෑරු අයම අවශ්‍ය නැහැ. ගණිතය හැදෑරු අයෙක් වඩා සුදුසු වෙන්න පුළුවන්. ඇමරිකාවේ බොහෝ වෛද්‍ය විද්‍යාල වල ආර්ථික විද්‍යාව හැදෑරු පීඨ සාමාජිකයින් ඉන්නවා. එහෙත් ඒ අය සෞඛ්‍ය ආර්ථික විද්‍යාව වැනි විෂයයක් මිසක් Orthopaedics වැනි විෂයයක් උගන්වන්නේ නැහැ. මම දන්නා තරමින් පේරාදෙණිය හා මොරටුව ඉංජිනේරු පීඨ ප්‍රථම උපාධියට ඉංජිනේරු විද්‍යාව හදාරා නැති අය පීඨ සාමාජිකයින් සේ බඳවා ගන්නවා.

      Delete
  7. ඉකෝන් රජයක් රත්‍රන් විකුණනවා කියන්නේ මොකක්ද ? සහා රත්තරං එකතු කරන්නේ කොහොමද ? ඒවායේ වටිනාකම් මනින්නේ කොහොමද ?

    හර්ෂ ද සිල්වා කියනවා, රජය රත්‍රන් විකුණනලා කියලා

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන ගැන කියපු කතාවක් වෙන්න පුළුවන්. අර ETC එකෙන් පස්සේ WTC එක විකුණන එක ගැන ජවිපේ කට්ටිය බයිලයක් ගැහැව්වා නේද?

      Delete
    2. රත්තරන් කතාව දිගටම ලිවුවොත් රසවත් කතාවක්. පසුගිය වසර දෙතුන් දහසක කාලය තුළ ලෝකය පුරාම වගේ භාවිතා වුනු ප්‍රධානම මුදල් ඒකකයක් වුනේ රත්තරන් (හා රිදී). දැන් භාවිතා වන කඩදාසි මුදල් කියන්නේ ඓතිහාසිකව රත්තරන් වල ව්‍යුත්පන්නයක්. ආරක්ෂාව සඳහා ඔබ ඔබේ රත්තරන් බැංකුවක තැන්පත් කළ විට ඔබට ඒ බවට සහතිකයක් ලැබෙනවා. එවිට මේ සහතිකය මුදලක් සේ භාවිතා කරන්න පුළුවන්. නමුත් ඇත්තටම වටිනාකම තිබෙන්නේ බැංකුවේ තිබෙන රත්තරන් වල මිසක් කඩදාසියේ නෙමෙයි. ඇමරිකන් ඩොලර් වලට වටිනාකමක් ඇවිත් තියෙන්නේ ෆෙඩරල් සංචිත බැංකුවේ තිබෙන රත්තරන් නිසා. මේ විදිහටම ලංකාවේ රුපියල් වල වටිනාකම ශ්‍රී ලංකා මහ බැංකුවේ තිබෙන රත්තරන් ප්‍රමාණය හා ඩොලර් ප්‍රමාණය (එම ඩොලර් ෆෙඩරල් සංචිත බැංකුවේ තිබෙන රත්තරන් වලට සම්බන්ධ නිසා) සම්බන්ධ කළ හැකියි. ඉංග්‍රීසින් විසින් ලංකාවෙන් විවිධ දේ අපනයනය කර ලබාගත් රත්තරන් වලින් ආනයනය සඳහා වැය කර ඉතිරි කරගත් රත්තරන් වලින් තමයි මහ බැංකුවේ රන් සංචිත ගොඩ නැගී තිබෙන්නේ. මම දන්නා තරමින් නිදහසින් පසු මේ රන් සංචිත විකුණලා මිසක් වැඩි කරගෙන නැහැ. රන් සංචිත විකුණනවා කියා කියන්නේ රුපියල් වල නෛසර්ගික වටිනාකම අඩුවෙනවා කියන එකයි.

      Delete
    3. එතකොට රත්‍රං කියන්නේ අපී සාමාන්‍ය ජීවිතයේ හමු වන රත්‍රන් මූල ද්‍රව්‍යයේ ,මූල්‍යමය වටිනාකම නේද?

      එතකොට රත්තරං සංචිත ලංකාවේ මහ බැංකුවෙන් වැඩි කර ගන්නේ කොහොමද ? ලංකාවේ රත්‍රන් නිදි නෑ නේ. ඩොලර් සල්ලී දීලා විදේශයකින් අරගෙන ගොඩ ගහ ගන්නවා වගේ ද?

      Delete
    4. //එතකොට රත්‍රං කියන්නේ අපී සාමාන්‍ය ජීවිතයේ හමු වන රත්‍රන් මූල ද්‍රව්‍යයේ ,මූල්‍යමය වටිනාකම නේද?//

      ඔව්.

      //එතකොට රත්තරං සංචිත ලංකාවේ මහ බැංකුවෙන් වැඩි කර ගන්නේ කොහොමද ? ලංකාවේ රත්‍රන් නිදි නෑ නේ. ඩොලර් සල්ලී දීලා විදේශයකින් අරගෙන ගොඩ ගහ ගන්නවා වගේ ද?//

      ඔව්, ඒ විදිහටම තමයි. ඒ නිසා රත්තරන් හා ඩොලර් අතර ලොකු වෙනසක් නැහැ. දෙකම සංචිත වල කොටස් දෙකක් පමණයි. ලෝකයේ ගොඩක් රටවල රත්‍රන් නිධි නැහැ. එහෙත් එම රටවලත් ඉතිහාසය පුරාම මුදලක් විදිහට රත්‍රන් භාවිතා වුනා. ලංකාවේද සහශ්‍ර කිහිපයක සිට රත්‍රන් භාවිතා වෙනවා. ඉතිහාසය තුළ ලංකාව ඇත්දළ, මුතු වගේ දේවල් සමඟ රත්‍රන් හුවමාරු කර ගත්තා, ඉංග්‍රීසි කාලයේදී තේ, කෝපි ආදිය හුවමාරුවට රත්‍රන් ලබා ගත්තා. මම දන්නා තරමට දැනටත් ලංකාවේ රන් සංචිත වලින් සැලකිය යුතු කොටසක් භෞතික ලෙස තිබෙන්නේ ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුවේ විය යුතුයි. රන් සංචිත පවත්වා ගැනීම කියා කියන්නේ රන් වල අයිතිය පවත්වා ගැනීමයි. ඒ රත්‍රන් අතේම තියා ගන්න අවශ්‍ය නැහැ. විකුණද්දී වුනත් එහෙමයි. උදාහරණයක් විදිහට ෆෙඩරල් සංචිත බැංකුවේ තැන්පත් කර තිබෙන රත්තරන් එම බැංකුවටම විකුණන්න පුළුවන්. එවිට රන් ගිණුමෙන් මුදල් අඩු වී ඩොලර් ගිණුමට මුදල් බැර වෙනවා.

      Delete
  8. බොහොම ස්තූති ඉකොනො .

    මට ඉස්සෙල්ලා දෙයක් අහන්න අමතක උනා. ලංකාවේ වර්තමානයේ පවත්වාගෙන යන ආර්තික ක්‍රමය පෙර ඒවට සාපේක්ෂව වෙනස් එකක් ද? මොකද වත්මන් මහ බැංකු අධිපති මහාචාර්ය ලක්ෂ්මන් කියන්වා මෙම ආර්තික ක්‍රමය වෙනස් කරන්නේ නැතුව ඉස්සරහටත් පවත්වෙනගෙන යනවා සහ ජ්‍යාත්‍යන්තරෙන් කියනවා මෙම ක්‍රමය වෙනස් කරන්න කියලා.

    නමුත් ඔහු මෙම කතා වල ක්‍රමය ගැන් නම් කිවේ නෑ. කිව්වේ ඉස්සර ඉදම්ම එයාල කිව්වේ මෙම ක්‍රමය ආර්තිකය දුවන්න ඕනා කියල

    ReplyDelete
    Replies
    1. //මොකද වත්මන් මහ බැංකු අධිපති මහාචාර්ය ලක්ෂ්මන් කියන්වා මෙම ආර්තික ක්‍රමය වෙනස් කරන්නේ නැතුව ඉස්සරහටත් පවත්වෙනගෙන යනවා සහ ජ්‍යාත්‍යන්තරෙන් කියනවා මෙම ක්‍රමය වෙනස් කරන්න කියලා.//

      මම ඔය ප්‍රකාශය තිබෙන තැන දැක්කේ නැහැ. ලින්ක් එකක් තියෙනවද?

      මටනම් එහෙම ලොකු වෙනසක් පෙනෙන්න නැහැ. කලින් දිගින් දිගටම කළ ණය ගැනීම දැන් කරන්න බැරි වෙලා තිබෙනවා. ඒ නිසා, වෙන විකල්පයක් නැති කමට සල්ලි අච්චු ගහනවා. ඒ හැර අමුතු, අලුත් ක්‍රමයක් නැහැ. වෙන කරන්න දෙයක් නැති වෙද්දී මුට්ටි ගඟට දැම්මා වගේ තමයි. දැන් ඔය කතාවක් නැතුව එන්නත් ගහගෙන යන්නේ.

      Delete
  9. ඊකෝන් ඔබ නලීන් සිල්වාගේ වියුක්තව සිතීම ගැන කියා ඇති නිසා ඒ ගැන කතා කරමු. මට තේරෙන විදිහට මේ ගැන නලීන් සිල්වා කියන්නේ ප්‍රවාද යනු බටහිර වියුක්ත දැනුම් බවයි.

    ඒ අනුව නලීන් සිල්වා ගේ අදහස වියුක්ත ප්‍රවාද හෙවත් වියුක්ත කතන්දර ගෙතීම ලෝකයාට කියා දුන්නේ ගැලීලියෝ බව. ගැලීලියෝ එය එකල දකුණු යුරෝපයේ යම් ප්‍රමාණයකට වර්ධනය වී තිබූ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වෙමින් සිදු කළේ බවයි.

    ඒ වගේම එයට පෙර වෛදික බමුණෝ ද ප්‍රවාද ගොතා තිබුණත් ඒ ප්‍රවාද නලීන් සිල්වා ගේ බටහිර ප්‍රවාද තරමට වියුක්ත නොවූ ඉතා වැඩි වශයෙන් සංයුක්ත ප්‍රවාද හෙවත් කතන්දර බවයි.

    නලීන් සිල්වා ගේ අදහස ඉතාමත් සංක්ෂිප්තව කියන්නේ නම් බොහෝ දෙනෙකු පටලවා ගෙන ඇති නූතන ලෝකයේ දැනුම් ආධිපත්‍යය "බටහිර" සතු බවත් අපට ඔවුන්ගෙන් නිදහස් වීමට නම් අපේ දැනුම් පද්ධතියක් තිබිය යුතු බවත් අපට ඔවුන්ගේ දැනුම් පද්ධතිය, විශේෂයෙන් ම සමාජයීය විද්‍යාවන්හි දී සුණු විසුණු කර දැමීමට හැකිවිය යුතු බවත් වේ.

    ඔහුගේ තර්කය "බටහිර" සමාජ විද්‍යාවන් යනූ "බටහිර" භෞතීය විද්‍යාවන් පිටුපස නොන්ඩි ගසමින යන දැනුම් පද්ධතියක් පමණකි. එයින් විශේෂයෙන් ම ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව, මානව විද්‍යාව යොදා ගැනෙන්නේ ලංකාව වැනි 'පරිධියේ' රටවල් "බටහිර" ට අවශ්‍ය ආකාරයට මෙහෙයවීම සඳහා බව. ඒ වගේම නූතන සාහිත්‍යය, කලාව හා දර්ශනය ආදී මානව ශාස්ත්‍ර යනුවෙන් හැඳින්වෙන විෂයයන් ක්ෂේත්‍රයේ ද මේ කාර්යය ම සිදු කරන බවද හෙතෙම අවධාරණය කරනු ලබයි.

    නලීන් සිල්වා ගේ සෝ කෝල්ඩ් "බටහිර" විද්‍යාවේ ප්‍රවාද යනු නලීන් සිල්වා ගේ අදහසක් අනුව "පට්ටපල් බොරු" බව කියයි.

    ඒ අනුව කලකට පෙර අපට මේ දැනුම නො තිබිණු නමුත් "බටහිර" විද්‍යාව අනුව යමින් අපේ ප්‍රවාද නිර්මාණයකර බටහිර දැනුමේ ප්‍රවාද පරාජය කිරීම මුලින් ම ඔහු දැරූ වෑයම වුණාලු. ඔහු මුලින් කළේ සිංහල බෞද්ධ චින්තන ඉදිරි දැක්ම යම් ආකාරයක 'වියුක්ත ප්‍රවාද' නිර්මාණය කිරීමට සිංහලයන් උනන්දු කරවීම වුවත් එහි යම් ගැටළුවක් වූයේ සිංහල බෞද්ධ චින්තන ඉදිරි දැක්මේ වියුක්තය ඇත්තේ ඉතා අඩුවෙන් (ඔහුට අනුව එය නැති තරම්).

    ඒ අනුව ඔහු පවසා ඇත්තේ සිංහල ජනතාව අතරින් "හරිහමන් බටහිර විද්‍යාඥයකු" හෝ "බටහිර ගණිතඥයකු" බිහි වී නැත්තේ එම හේතුව නිසා ලු.

    ඒ වගේම නලීන් සිල්වා බොහෝ අවස්ථාවල ඉතා දැඩි අවධාරණයෙන් ප්‍රකාශ කර ඇති පරිදි බටහිර විද්‍යාව හෝ බටහිර ගණිතය ඉගෙනීම එතරම් ප්‍රශ්නයක් නොවන බවත් එසේ ඉගෙනගත් අය, ඇතැම් විට උපාධි පරීක්‍ෂණයේ එතරම් උසස් සාමාර්ථයක් නැතිව වුව ද ජනප්‍රිය පොතපත කියවා වියුක්ත බටහිර ගණිතය ගැන හෝ වියුක්ත බටහිර විද්‍යාව ගැන හෝ යම් පමණකට අවබෝධයක් ලබාගෙන ඇති කණ්ඩායම් වියුක්තය වෙනුවෙන් කියන, ලියන නමුත් ඔවුන්ට "බටහිර (වියුක්ත) විද්‍යාවේය' හෝ "බටහිර ගණිතයේ" හෝ වියුක්ත ප්‍රවාද නිර්මාණය කිරීමට තියා බොහෝ අයට මෙන් නොව උපාධි විභාග ආදියෙන් උසස් පංති සාමාර්ථයක් ලැබීම පවා නො හැකි බවයි.

    නලීන් සිල්වා ගේ අදහස 'වියුක්ත ප්‍රවාද' නිර්මාණය කරමින් දැනුම එකතු කිරීම "අපේ ක්‍රමයක්" නොවන බවත් අපට එසේ කිරීමට සිදුවූයේ අප පෙළන 'බටහිර ප්‍රවාද' පරාජය කිරීමට අපට වෙනත් ක්‍රමයක් නොතිබූ බැවින් ලූ.

    ReplyDelete
    Replies
    1. නලින් ද සිල්වාගේ අදහසක් මත පදනම්ව කරන ප්‍රකාශයක් වුවත් ජගත් පතිරණ විසින් "රංග ඩයස්ට වුනත් වියුක්ත ප්‍රවාද හදන්න බෑ. බෑ.බෑෑෑෑෑෑෑෑෑෑ." කියා කියද්දී ඉදිරිපත් කරන්නේ ඔහුගේ මතයක්. CP-C විසින් අසා තිබෙන්නේත් ඔහුගේම ප්‍රශ්නයක්. නලින් ද සිල්වා විසින් මාව ප්‍රශ්න කළොත් මිසක් මට ඔහු ලියා තිබෙන දේවල් හැම දෙයක් ගැනම මත පළ කරන්න අවශ්‍ය නැහැ. ඔබේ ස්ථාවරය ගැන කිවුවොත් හෝ ඔබට තිබෙන ප්‍රශ්නය හෝ ඔබට මා සමඟ එකඟ නොවිය හැකි දෙයක් ඇත්නම් මට පැහැදිලි කිරීමක් කළ හැකියි.

      Delete
  10. මගේ කොමෙන්ට් එකෙන් විද්දේ හාවට වැදුනේ පඳුරට ද මන්ද !!! UGC 721 circular ආවේ 1997. ඊට කලින් බඳවා ගැනීම් ඒකට යටත් නැහැ. ඒ වගේම වෛද්‍ය පීඨ වල ගණිතය, ඉංජිනේරු පීඨ වල ඉංග්‍රීසි භෂාව, කළමනාකරණය, හෝ ගණිතය වැනි ක්ෂේත්‍රයෙන් පරිභාහිර දේවල් වලට කොහොමත් වැඩේට ගැලපෙන අය ගන්න ඕනේ නේ. Lets talk in 3 sigma :). Teaching Univeristy කියන ඉකොන් ගේ කතාව ඇත්ත. නමුත් කියන research professor තනතුරක් ලංකාවේ නැහැනේ. ඒ නිසා ඔය ඔල්මාද UGC721 circular එක කාලෙට විසිකරන්න දැන් කාලේ හරි. ලෝකේ කිසිම විශ්විද්යලෙක අධ්‍යනකාර්යමණ්ඩල බඳවාගැනීම් වලදී එකයි ඒකෙ එක බලල නෙවෙයි නේ ගන්නේ.එහෙම අරන් කොහොමද පර්යේෂණ කරන්නේ, අනුන් හොයාගතිපු දැනුම දෙසලා දානවා මිසක් :D

    ReplyDelete
    Replies
    1. මේක ගැනද ඇනෝ කියන්නේ?

      https://www.ugc.ac.lk/attachments/652_Circular721Annex.pdf

      Delete
    2. එකෝන්,

      මම හිතන්නේ මේ වගේ යල් පැනගිය පරණ නීති රීති වෙනස් කරන්න ඕන කියලා. මොකද ලංකාවේ දැනටමත් රැකියා විරහිත තරුණ තරුණියන් රැසක් ඉන්නවා. ඒ අතර අති බහුතරය කලා උපාධිධාරින්.

      අනික් පැත්තෙන් ගත්තම ලංකාවේ Engineering faculties වල ආචාර්ය මණ්ඩලයේ ගොඩක් vacancies තියෙනවා මොකද Engineering උපාධිධාරීන් උගන්වන්න එන්නේ නැහැ කර්මාන්ත ආයතන වල රස්සා කරන්න පිට රටවල් වල රැකියා කරන එක තමයි ගොඩක් අය කරන්නේ.

      මේකට හොඳ විසඳුමක් ලෙස රැකියා විරහිත තරුණ තරුණියන් වූ කලා උපාධි දරන්නන් මේ යල්පිනූ නීති වෙනස් කරලා Engineering faculties වල ආචාර්ය මණ්ඩල වලට බඳවාගෙන ඔවුන් රිසර්ච් කරන්න යොමු කිරීම වඩාත් සුදුසු බව. මේ වගේම කලා වාණිජ සහ වෙනත් මූලික උපාධි පාඨමාලා තියෙන අය Engineering faculties වල masters , PhD දක්වා හදාරන්න සහ පර්යේෂණ වලට යොදා ගැනීම හරහා ලංකාවේ විශාල පෙරළියක් ඇති කිරීමට පුළුවන් වෙයි කියලයි මට හිතෙන්නේ.

      Delete
    3. @ Ano 1.25 am,

      මෙහෙම දෙයක් කරන්න පුළුවන්, ඇත්තටම ආචාර්ය රංග ඩයස් කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ විශ්ව විද්‍යාල කිහිපයක්ම භෞතික විද්‍යාව ඉහළට හදාරපු ඒ හා සම්බන්ධ පර්යේෂණ කරපු කෙනෙක්. ඔහු යාන්ත්‍රික/විදුලි ඉංජිනේරු විද්‍යාව, හෝ වෙනත් කිසිම ඉංජිනේරු විද්‍යා අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකම් ලබා නැහැ මම දන්න තරමින්. ඒ නිසා ඔහු ඉංජිනේරු පීඨයක යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යා පර්යේෂණ සඳහා බඳවා ගැනීමේ අවශ්‍යතාවක් නෑ.

      මම දන්න විදිහට රොචෙස්ටර් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා පර්යේෂණ අංශය සඳහා ඔහු සම්බන්ධ වී සිටි අතර ඔහු දැනට කරන පර්යේෂණ බොහෝ දුරට ව්‍යවහාරික භෞතික විද්‍යා පර්යේෂණ ක්ෂේත්‍රයේ ඇති දේවල්. සාමාන්‍යයෙන් ලෝකයේ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යා අධ්‍යයනාංශ වල මේ වගේ පර්යේෂණ කෙරෙන්නේ ඉතාමත් කලාතුරකින්. ඔවුන් සාමාන්‍ය වශයෙන් කරන්නෙ ඉංජිනේරුමය පර්යේෂණ. ඒවාට භෞතික විද්‍යාඥයන් අවශ්‍ය නැහැ.

      අනෙක ආචාර්ය රංග ඩයස් ගැන මම දන්න විදිහට ඔහු භෞතික විද්‍යා පර්යේෂකයෙක් ලෙස බඳවාගෙන දැනට යාන්ත්‍රික ඉංජිනේරු පීඨයේ ද සම තනතුරක් (joint appointment) දරමින් මේ පර්යේෂණ කරන්නේ.

      ඒ වගේම ඔබ ඔය කියන කලා වාණිජ ආදී අංශවල අය ඉංජිනේරු විද්‍යාව හා එකට පර්යේෂණ කරන්න නම් ඒ දෙකම එකට එකතු වුන ක්ෂේත්‍රයක පමණක් වගේ කරන්න පුළුවන් වෙයි.

      උදාහරණයක් විදියට ඉංජිනේරු විද්‍යාව හා මූල්‍ විශ්ලේෂණය/ කළමනාකරණය, ඉතිහාසය හා ලංකාවේ අතීත ඉංජිනේරු තාක්ෂණ ක්‍රම නූතනයට ගැලපෙන ලෙස නැවත ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහන් (ඉතිහාස උපාධිධාරීන් සහ ඉංජිනේරු පර්යේෂකයන් සම සහභාගීත්වයෙන්) වගේ දේවල් නම් කරන්න පුළුවන් වෙයි.

      Delete
  11. මේ ප්‍රවෘත්තිය මම දුටුවා ෆිසික්ස් සඟරාවේ ද කොහෙද ගිය අවුරුද්දේ. සුභ පැතුම් ඔහුට

    ReplyDelete
  12. රංගට ඩයස් ට සුබපැතුම්!
    මෙවර ඔහු එලි දැක්වූ හයිඩ්‍රජන්, සල්ෆර් සහ කාබන් සංයෝගය ස්ථායි තත්වයට පත් කල හැකි වූ බව අපි හැමෝම පිලිගන්නවා. ඒත් , මීට කලකට පෙර ඔහු නිවේදනය කල, විද්‍යාගාරයක් තුල ඝන හයිඩ්‍රජන් නිපදවූ බව නම් පසුව බොරුවක් බවට හෙළි උනා.(or he couldn't prove his claim ever, but this is almost the next best thing)

    ReplyDelete
  13. ඉකොනො,

    මේ කතාව ගැන මොකද හිතන්නේ?

    https://www.facebook.com/watch/?v=2478994865751366

    මේක ඇත්තටම වෙන්න පුළුවන් දෙයක් නොවෙයි නේද?

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...