කිසියම් හේතුවක් නිසා ජංගම දුරකථන වලින් පිවිසෙන අයට වීඩියෝව පෙනෙන්නේ නැහැ. පහත ලින්ක් එක හරහා වීඩියෝවට යා හැකියි: https://www.youtube.com/watch?v=echr-J7HYhQ
Friday, July 23, 2021
රුපියලේ අනාගතය කුමක්ද?
කිසියම් හේතුවක් නිසා ජංගම දුරකථන වලින් පිවිසෙන අයට වීඩියෝව පෙනෙන්නේ නැහැ. පහත ලින්ක් එක හරහා වීඩියෝවට යා හැකියි: https://www.youtube.com/watch?v=echr-J7HYhQ
Monday, May 17, 2021
හයේ පාර හා මිලියනයේ තෑග්ග
"කොහෙන් හෝ පටන් ගත යුතුය. හිත හිතා හිටියොත් මේ වැඩේ කවදාවත් කෙරෙන්නේ නැත. වැදගත් වන්නේ කොහෙන් හෝ පටන් ගැනීම මිස පටන්ගත් තැන නොවේ. ඒ නිසා, ඔන්න ඔහේ නිකම්ම පටන් ගනිමු."
ඉකොනොමැට්ටාගේ බොජුන්හල විවෘත කරමින් මුලින්ම පළ කළ ලිපිය ආරම්භ වී තිබුණේ ඉහත පරිදියි. නිකම්ම පටන්ගත් මේ වියුණුව මුලින්ම කියවූයේ ඉතාම සීමිත පිරිසක්. එහෙත් වැඩි කල් නොයා එම පිරිස ටිකෙන් ටික වර්ධනය වුනා. ඒ පිරිස විසින් දිගින් දිගටම ලියන්න උත්තේජනයක් සැපයුවා.
අපේ වියුණුව පටන්ගෙන දැන් වසර හයක් ගත වෙලා. වසර හයක් කියන්නේ සැලකිය යුතු තරම් දිගු කාලයක්. ලේඛකයා විසින් මෙවැනි දිගු කාලයක් එක දිගට කර තිබෙන දේවල් ඉතාම සීමිතයි.
මෙය මේ වියුණුවේ පළවන 960 වන ලිපිය. දැනට පළව ඇති ලිපි බොහොමයක් ආර්ථික විද්‍යාවට සම්බන්ධ ඒවා වුවත් වෙනත් විවිධ විෂය පරාසයක ලිපිද අප මෙහි ලියා පළ කර තිබෙනවා. එහෙත් ලියා නැති, ලියන්නට අවශ්‍ය තවත් විෂයයන් හා මාතෘකා ගණනාවක් තිබෙනවා.
වියුණුව පටන් ගනිද්දී ලේඛකයාගේ සතුට වෙනුවෙන් ලේඛකයාට අවශ්‍ය දේ සටහන් කරනු හැර වෙනත් කිසිදු බරපතල ඉලක්කයක් තිබුණේ නැහැ. දැනුත් එහි වෙනසක් නැහැ.
මම හිතන විදිහට අප මේ වියුණුව පටන් ගන්නා විට "සිංහල බ්ලොග් වල ස්වර්ණමය යුගය" අවසන් වෙලා. විශේෂයෙන්ම පහුගිය වසර දෙකක පමණ කාලය තුළ සමස්තයක් ලෙස බ්ලොග් කියවීම වගේම ලිවීමත් අඩු වෙලා තිබෙනවා. එහෙත් සීමිත බ්ලොග් ප්‍රමාණයක් කාලයේ පරීක්ෂණය සමත්ව ඉතිරි වී තිබෙනවා. ඒ එක්කම බ්ලොග් වලත්, බ්ලොග් කියවන්නන්ගේත් යම් ගුණාත්මක වර්ධනයක්ද දැකිය හැකියි.
අප ලියන දේ නොවරදවා කියවන අතරම වෙනත් අය මෙය කියවීම වැළැක්වීමේ අරමුණින් විවිධ දේ කරන පිරිසක්ද බිහි වී තිබීමෙන් පෙනෙන්නේ අප ලියන දෙයින් ඇතැම් අයට දැනෙන බලපෑමක් සිදු වන බවයි. අප ලියන දේ කියවා ඔබට වෙනස් වෙන්නට අවශ්‍යයැයි සිතෙනවානම් ඔබ වෙනස් වෙන්න. එහෙත් අප ඔබට කිසිදු බලපෑමක් කරන්නේ නැහැ. අප ලියන දේ කියවා ඔබ සතුටක් ලබනවානම් මෙය කියවන්න. ඔබට දැනෙන්නේ කේන්තියක්නම්, වෛරයක්නම් මෙය නොකියවා ඉන්න.
හැකි තරම් විශාල පාඨක පිරිසක් වෙතට අප ලියන දේ ගෙන යාම අප විසින් කිසි විටෙකත් ඉලක්කයක් කරගෙන නැහැ. එවැනි ඉලක්කයක් දැනටත් අපට නැහැ. කෙසේ වුවත්, රටවල් 120කින් මිලියනය ඉක්මවූ පිවිසුම් ප්‍රමාණයක් මේ වන විට අපට ලැබී තිබෙනවා. අපට ලැබුණු මිලියනයේ තෑග්ග අප අගය කරනවා.
වසර හයකට පෙර අප පළ කළ පළමු ලිපිය අවසන් කළ විදිහටම මේ ලිපියත් අප අවසන් කරනවා.
එහෙමනම් ඉතිං ඔහොම යං!
Saturday, January 23, 2021
දැනුම කුමක් අරභයාද?
මෙසේ අපේ වියුණුවට පැමිණිය හැකි වෙබ් ලිපිනය වත්පොතේ වාරණය වී ඇතත්, අපේ වත්පොත් පිටු වාරණය වී නැහැ. ඒ නිසා අවශ්‍යනම් ඕනෑම ලිපියක් මුළුමනින්ම එහි පළ කිරීමේ හැකියාව අප සතුව තිබෙනවා. භාවිතා කළ හැකි විකල්ප තාක්ෂනික උපක්‍රමද තිබෙනවා. එහෙත්, විශේෂ අවශ්‍යතාවයක් මතු නොවුවහොත් අප වත්පොත පෙර ආකාරයෙන් භාවිතා කිරීම කරා යොමු වන්නේ නැහැ. අපහාස කියන දේ සාපේක්ෂ නිසා, දැනට අප මෙය සැලසුම් සහගත වැඩක්ද යන්න හෙවීමට බර නොතබා "පාඨක මතයට" ගරු කරනවා.
මෙහි ලියන ලිපි හැම එකක්ම විශාල පිරිසක් කරා ගෙන යාම අපේ ඉලක්කයක් නෙමෙයි. අපට අවශ්‍ය වන්නේ මෙහි ලියන දේ කියවනු දකින්නට අප කැමති සීමිත පිරිසක් වෙත මේ ලිපි යනු දකින්නයි. වත්පොත හරහා හෝ වෙනත් ක්‍රමයකින් ඇතැම් ලිපි විශාල පිරිසක් අතර ප්‍රචාරය වන්නට ඉඩ හැරීමේ අරමුණ වන්නේ පෙර කී කුලකයට අයත් සීමිත පිරිස් ආකර්ෂණය කර ගැනීමයි. මේ සීමිත පිරිස යනු අප සමඟ අදහස් අතින් එකඟ වන අය නෙමෙයි. එහෙත්, අප ලියන දේද ඇතුළු ඕනෑම දෙයක් ප්‍රශ්න නොකර පිළි නොගන්නා, තමන්ගේ මත නිවැරදි නොවන බව පෙනෙන විට ඒ බව පිළිගැනීමට සූදානම් අයයි. ඔවුන් එසේ කළ යුත්තේ ඔවුන් වෙනුවෙන්ම මිස මා වෙනුවෙන් නෙමෙයි.
අවවාද නොතකා වැරදි පාරක යාමෙන් අමාරුවේ වැටෙන්නේ එසේ යන අය මිස අවවාද දෙන්නා නෙමෙයි. මේ බව දන්නා නිසා, මා හැම විටම උත්සාහ කරන්නේ මගේ ලෝකය වඩා නිරවුල් කර ගැනීමටයි. මේ වියුණුව හරහා මට ලැබෙන ලොකුම ප්‍රයෝජනය පෞද්ගලිකව මට ඉගෙන ගන්නට ඉඩ ලැබීමයි. ඇතැම් විට මා ඉගෙන ගන්නේ ප්‍රශ්න අසන අය නිසා. ප්‍රශ්නයකට පිළිතුරු දෙන හැම විටම මගේ අදහස් වඩා නිරවුල් වෙනවා. ඇතැම් විට මා ඉගෙන ගන්නේ මා සමඟ එකඟ නොවන අය නිසා. මා නොදන්නා තොරතුරු වෙනත් අය විසින් ප්‍රතිචාර සේ ඉදිරිපත් කරන අවස්ථාද දුලබ නැහැ.
පොදු වශයෙන් ගත් විට බොහෝ දෙනෙක් මා සමඟ එකඟ නොවන තැනක් වන්නේ "ඇමරිකන් ක්‍රමය" අගය කිරීමයි. ඇමරිකානු ක්‍රමය ධනවාදය, ප්‍රජාතන්ත්‍රවාදය හා බටහිර විද්‍යාව මත ගොඩ නැගුනු ක්‍රමයක් කියා කියන්න පුළුවන්. ඇමරිකානු ක්‍රමයේ මේ සාධක තුනම මා අගය කරනවා. ඇමරිකාව මේ තැනට පැමිණ තිබෙන්නේ මේ සාධක තුන නිසා. මේ තුනටම අද වෙද්දී ලෝක ආධිපත්‍යයක් තිබෙනවා. එය පරිණාමය තුළ වෙනත් විකල්ප සමඟ තරඟ කර උචිතතමයා ඉතිරිවීම හරහා සිදු වූ දෙයක්. ධනවාදයට, ප්‍රජාතන්ත්‍රවාදයට හෝ බටහිර විද්‍යාවට මේ වන විට වඩා හොඳ විකල්ප නැහැ.
බටහිර විද්‍යාව ලෝකයේ තිබෙන එකම දැනුම් පද්ධතිය නොවූවත් එය ගොඩ නැගී තිබෙන්නේ වෙනත් දැනුම් පද්ධති වල ඇති සාධනීය අංග පහසුවෙන් අවශෝෂණය කර ගත හැකි ආකාරයකින්. ධනවාදය තුළද මේ ලක්ෂණය තිබෙනවා. ආර්ථික සෞභාග්‍යය නොවන වෙනත් දෙයක් සමාජ අරමුණක් වීමෙන් පසුව එය සාක්ෂාත් කර ගැනීම සඳහා ධනවාදය විනාශ කළ යුතු වන්නේ නැහැ. ධනවාදයට අවශ්‍ය පරිදි වෙනස් විය හැකියි. ප්‍රජාතන්ත්‍රවාදය තුළ පහසුවෙන් ඒකාධිපතිත්වයක් ඇති විය හැකි වුවත් ඒකාධිපතිත්වයක් තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළ හැක්කේ විශාල මිලක් ගෙවීමෙන් පසුවයි. ඒ නිසා, ඒකාධිපතිත්වයක් තුළ තිබෙන කවර හෝ සාධනීය අංගයක් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය නැති කර ගැනීම තාර්කික තීරණයක් නෙමෙයි.
ඇමරිකානු ක්‍රමය ධනවාදය, ප්‍රජාතන්ත්‍රවාදය හා බටහිර විද්‍යාව මත ගොඩ නැගුනු ක්‍රමයක් වුවත් ප්ලේටෝනික අර්ථයකින් ඔය තුනෙන් එකක්වත් ඇමරිකාවේ නැහැ. ඒ වගේම, මේ තුනෙන් එකක්වත් ප්ලේටෝනික පරිපූර්ණත්වයන් නෙමෙයි. අපට ඇමරිකානු ක්‍රමය හෝ ඉහත කී ධනවාදය, ප්‍රජාතන්ත්‍රවාදය හා බටහිර විද්‍යාව යන සංකල්ප විවේචනය කරන්නට අවශ්‍යනම් එය කරන එක අසීරු දෙයක් නෙමෙයි. එසේ කළහොත්, මෙය කියවන බොහෝ දෙනෙක් අප සමඟ එකඟ වෙයි. නමුත්, එවැනි කාර්යයකින් සිදු වන කිසිදු යහපතක් නැහැ.
සිංහලෙන් ලියන මේ වියුණුවේ පළ වන ලිපි කියවන කිසිවෙකුට ඇමරිකානු ක්‍රමය දශමයකින් හෝ වෙනස් කරන්න බැහැ. එය කළ හැක්කේ ඇමරිකාවේ ජීවත්වන තරුණ පරපුරටයි. ඔවුන්ට කතා කරද්දී ඇමරිකානු ක්‍රමයේ වෙනස් විය යුතු තැන් හෝ අඩුපාඩු ඇත්නම් ඒවා ගැන මා කතා කරනවා. පරිණාමික ක්‍රියාවලිය තුළ ඇමරිකාවට වඩා ගවු ගණනක් පසුපසින් ඉන්න සමාජයක් මුලින් දැන ගත යුත්තේ ඇමරිකාව අද සිටින තැනට පැමිණි ආකාරය මිසක්, ඇමරිකාව අද අත්පත් කර ගෙන තිබෙන ප්‍රගතිය කඩා වැටිය හැක්කේ කොහොමද කියන එක නෙමෙයි.
ලෝකය ඉතා වේගයෙන් ප්‍රතිනිර්මාණය වෙමින් තිබෙනවා. එය සිදුවන්නේ සීමිත පිරිසකගේ දායකත්වයෙන් මිසක් හැම දෙනෙකුගේම දායකත්වයෙන් නෙමෙයි. පරිණාමික ඉතිහාසය දෙස ආපසු හැරී බැලුවොත් එහි බලයට මිස සාධාරණත්වයට ප්‍රමුඛත්වය ලැබී නැහැ. ලෝකය ප්‍රතිනිර්මාණය කෙරෙන කටයුත්ත සිදු වෙමින් පවතින්නේ අප කවුද කියන එක පවා වෙනස් කරමින්. මෙහිදී අප ලෙස සඳහන් කළේ පොදුවේ හෝමෝ සේපියන්ස් සේපියන්ස්ලාගේ භෞතික සිරුර හා ඔවුන් සිතන පතන ආකාරයයි. කුඩා කණ්ඩායමක් විසින් අනාගත ලෝකය වගේම අනාගත මිනිසාවද සැලසුම් කරමින් සිටින අතර අනාගත ලෝකයේ සාධාරණත්වය යනු කුමක්ද යන්න තීරණය වීමට නියමිතව ඇත්තේ ඔවුන් අතින්.
ඇතැම් රටවල් සිටින්නේ රටවල් ලෙසින්ම මේ කණ්ඩායමෙන් බැහැරවයි. පරිණාමික ක්‍රියාවලියක් තුළ පරිසරයට උචිත පරිදි වෙනස් විය නොහැකි ජීවීන් ලෝකයෙන් අතුරුදහන්ව යාම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. ආර්ථික ජාතිකවාද හා බද්ධ වී ඇති සංස්කෘතික ජාතිකවාද වලින් කෙරෙන්නේ අනුචිත සංස්කෘතික චර්යාවන් වැඩි සංස්කෘතීන් ඒවායේ ඇතැම් සාධනීය අංගද සමඟ මුළුමනින්ම මිහිමතින් තුරන්ව යාමට ඉඩ සැලැස්වීමයි.
මේ වෙද්දී ලංකාවේ බොහෝ දෙනෙක් යුවාල් හරාරි ගැන දන්නවා. කතා කරනවා. වසර පහමාරකට පෙර ඔහු ගැන මෙම වියුණුව හරහා සිංහල පාඨකයින්ට හඳුන්වා දෙද්දී සිංහලෙන් ලියවුනු කිසිදු ලියැවිල්ලක ඔහු ගැන කතා කර තිබුණු බවක් මා දන්නේ නැහැ.
හරාරිට අනුව මිනිසා අද සිටින තැනට පැමිණෙන්නට හේතු වී තිබෙන්නේ වසර හැත්තෑ දහසකට පමණ පෙර සිදු වුනු වාසිදායක ජාන විකෘතියක්. මෙහි ප්‍රතිඵලයක් ලෙස මිනිසුන්ට වියුක්තව හිතන්න පුළුවන් වුනා. හරාරි විසින් චින්තන විප්ලවය සේ හඳුන්වන මේ සිදුවීමෙන් අනතුරුව අහම්බෙන් ජාන විකෘතියක් සිදු වන තුරු වසර දහස් ගණනක් බලා නොසිට පරිසරයට උචිත පරිදි සංස්කෘතික ලෙස පරිණාමය වන්නට මිනිස්සුන්ට හැකි වුනා. හරාරි විසින් ලියා තිබෙන හැම දෙයක්ම ශුද්ධ වූ ලියැවිලි ලෙස මා භාර ගන්නේ නැතත් මිනිස් දියුණුව හා වියුක්ත ලෙස සිතීමේ හැකියාව අතර සම්බන්ධය අපට නොසලකා හැරිය නොහැකි ඉතා වැදගත් සම්බන්ධයක්.
අප යමක් දන්නේ කොහොමද? මිනිස් මැෂිම ක්‍රියා කරන්නේ කොහොමද?
අප ඉපදෙන්නේම බොහෝ දේවල් "දැනගෙන". මේ දේවල් අප විසින් වසර ලක්ෂ ගණනක් පුරා අත්දැකීම් හරහා දැනගත් දේ. අප මෙන්ම වෙනත් සතුන් හා ගස් වැල් ද "ඉපදෙන්නේ" වසර ලක්ෂ හෝ මිලියන ගණනක් තිස්සේ එකතු කරගත් දැනුම් සම්භාරයක් සමඟ. ඒ දැනුම අපේ ජාන වල ගබඩා වී තිබෙනවා. අප ඇතැම් දේ කරන්නේ ඇල්ගොරිදම් වලට අනුවයි. අපේ හැඟීම් කියන්නේ මේ ඇල්ගොරිදම් වල ප්‍රතිඵල. මෙවැනි ඇතැම් ඇල්ගොරිදම් ප්‍රතිඵල වලට එරෙහිව අපට නිදහස් තීරණ ගන්න ඉතා අසීරුයි. වියුක්ත ලෙස නොසිතා එවැන්නක් කෙසේවත් කළ නොහැකියි.
- සත්තු වත්තේ ඝනකම වීදුරුවකින් වෙන්ව සිටින වලහෙක් ක්ෂණිකව වීදුරුවේ අනික් පැත්තේ සිටින අප වෙත පැන්නොත් එක වරම අපි බිය වී පස්සට පනින්නේ ඇයි? වසර ලක්ෂ ගණනක් පුරා පරිණාමය විසින් සුසර කර තිබෙන අපේ මොළයේ තිබෙන ඇල්ගොරිදමයක් ක්ෂණිකව ක්‍රියාත්මක වී වලසා විසින් පහර දෙනු ලැබ එයින් ජීවිතය අවසන් වීමේ සම්භාවිතාව ගණනය කර ඒ මත පදනම් වූ තීරණයක් ගන්නවා. මේ උදාහරණය ලංකාවට ගැලපෙන්නේ නැත්නම් හදිසියේ වත්තේ දකින සර්පයෙක් ගැන හිතන්න.
- අහම්බෙන් විරුද්ධ ලිංගිකයෙකු දුටු විට ආකර්ශනයක් ඇති වන්නේ ඇයි? වසර ලක්ෂ ගණනක් පුරා පරිණාමය විසින් සුසර කර තිබෙන අපේ මොළයේ තිබෙන ඇල්ගොරිදමයක් ක්ෂණිකව ක්‍රියාත්මක වී මේ දකින පුද්ගලයා සමඟ එකතු වී සරු ජනිතයෙකු බිහි කිරීමේ සම්භාවිතාව ගණනය කර ඒ මත පදනම් වූ තීරණයක් ගන්නවා.
- අහම්බෙන් දකින පැණි රස කෑමක් කන්න පෙළඹවීමක් ඇති වන්නේ ඇයි? වසර ලක්ෂ ගණනක් පුරා පරිණාමය විසින් සුසර කර තිබෙන අපේ මොළයේ තිබෙන ඇල්ගොරිදමයක් ක්ෂණිකව ක්‍රියාත්මක වී මේ ආහාරය ලබා ගැනීමෙන් ජීවත් වීමේ සම්භාවිතාව කෙතරම් ඉහළ දමා ගත හැකිදැයි ගණනය කර ඒ මත පදනම් වූ තීරණයක් ගන්නවා.
ඇල්ගොරිදම් හරහා පැමිණෙන මේ තීරණ බොහෝ විට නිවැරදි නැහැ. වසර දස දහස් ගණනක දත්ත යොදාගෙන පරිණාමික ක්‍රියාවලිය විසින් සුසර කර තිබෙන මේ ඇල්ගොරිදම් අද පරිසරයට ගැලපෙන පරිදි යාවත්කාලීන වී නැහැ. පරිණාමික ක්‍රියාවලිය ඉතා සෙමින් සිදු වන ක්‍රියාවලියක්. පරිණාමික ක්‍රියාවලිය තුළ සෑහෙන ප්‍රමාණයකට අනුචිත ඉතිරි වීම් වන අප සාර්ථක ලෙස මිහිමත ඉතිරි වී සිටින්නේ සංස්කෘතික පරිණාමය හරහා අපේ ජීවවිද්‍යාත්මක ඇල්ගොරිදම් වල වැරදි තීරණ නිවැරදි කර ගන්නට අප සමත්ව තිබෙන නිසයි. මෙයට උපකාරී වී තිබෙන්නේ මිනිසුන්ට වියුක්තව හිතන්න පුළුවන් වීමයි.
අපගේ ජාන හරහා අපට ලැබෙන මූලික මට්ටමේ දැනුමෙන් පසුව අපට ලැබෙන ඊළඟ මට්ටමේ දැනුම් වන්නේ අපේ පංචේන්ද්‍රියයන් හරහා ලබා ගන්නා අනුභූතික දැනුම්. අනුභූතික අත්දැකීම් දැනුම් බවට පත් වන්නේ එම අත්දැකීම් මතකයේ ගබඩා කර ගැනීම හරහායි. පංචේන්ද්‍රියයන් හරහා ලැබෙන සංවේදනා වලට මූලික මට්ටමේ ප්‍රතිචාර දක්වන්නේ අපේ ජාන වල ගබඩා වී තිබෙන අවුරුදු මිලියන ගණනක් පැරණි දැනුමයි. ඒ දැනුම ගස්වැල් වලට පවා තිබෙන දැනුමක්. එහෙත්, මෙසේ පංචේන්ද්‍රියයන් හරහා ලැබෙන සංවේදනා ජානමය නොවන මතකයක ගබඩා කර තබා ගැනීම මිනිසුන්ට හා ඇතැම් සතුන්ට පමණක් කළ හැකි දෙයක්. සිතීමේ ක්‍රියාවලියේ මූලිකම අදියරක් සේ හැඳින්විය හැක්කේ මේ ආකාරයෙන් ගබඩා කර ගන්නා අනුභූතික අත්දැකීම් නැවත ස්මරණය කිරීම හා පංචේන්ද්‍රියයන් හරහා ලැබෙන සංවේදනා වලට ප්‍රතිචාර දැක්වීමේදී ප්‍රයෝජනයට ගැනීමයි.
මතකයේ ගබඩා කර ගත හැක්කේ එක් නිමේෂයක ලබන අනුභූතික අත්දැකීමක්. දඩයමේ යද්දී පළමු වරට හමු වන විශාල ගසක් පිළිබඳ අනුභූතික අත්දැකීම මතකයේ ගබඩා කර ගන්නා අයෙක් එම ගස පිළිබඳ අනුභූතික අත්දැකීමක් පංචේන්ද්‍රියයන් හරහා දෙවන වරට ලැබෙන විට වත්මන් නිමේෂය හා මතකයේ ගබඩා වී තිබෙන නිමේෂය අතර සාම්‍යයක් දකිනවා. ඒ සමඟ එම ගස පිළිබඳ අදහස වියුක්ත අදහසක් බවට පත් වෙනවා. මිහිඳු හිමිගේ පළමු ප්‍රශ්න වටය අවසානයේදී තිස්ස රජු විසින් තමන්ගේ දෑස් ඉදිරිපස පෙනෙන අඹ ගස පිළිබඳ වියුක්ත අදහසක් ඇති කර ගන්නේ මේ ආකාරයටයි. මේ මට්ටමේ බුද්ධියක් ඇතැම් සතුන්ටද තිබෙනවා. එය අනුභූතික අත්දැකීමක් ඉක්මවා යන දැනුමක්. එතරම් සංකීර්ණ නැති පරිගණක මෘදුකාංගයකටද මේ දෙයම කළ හැකියි.
දඩයමේ යද්දී හමු වන විශාල ගසක් පිළිබඳ අනුභූතික අත්දැකීම කෙටි කාලයක් තුළ විශාල ලෙස වෙනස් වන්නේ නැහැ. ඒ නිසා, මේ වියුක්ත සංකල්පය නිරූපණය වන චිත්තරූපයක් මවා ගැනීම අසීරු දෙයක් නෙමෙයි. එහෙත්, ඇතැම් අනුභූතික අත්දැකීම් එලෙසම අත් විඳිය හැක්කේ එක් නිමේෂයකදී පමණයි. දුවන මුවෙක් හා තණ කණ මුවෙක් වගේ. ස්ථිතික චිත්තරූපයක් සේ වරකදී සිතින් මවා ගත හැක්කේ එක්කෝ දුවන මුවෙක්. නැත්නම් තණ කණ මුවෙක් වගේ. දුවන මුවෙක් හා තණ කන මුවෙක් එකම සතෙක් ලෙස දැකීම තුළ තිබෙන්නේ වියුක්ත දැනුමක්.
මුවා යන වියුක්ත සංකල්පය හැදෙන්නේ දුවන හෝ තණ කන, එකිනෙකාගෙන් වෙනස්ව හඳුනාගත හැකි මුවන් ගණනාවක් පිළිබඳ අනුභූතික අත්දැකීම් මත පදනම්වයි. ඒ මුවා, එක් නිමේෂයක හෝ අනුභූතික ලෙස දැකිය නොහැකි මනසේ පමණක් සිටින මුවෙක්. මෙවැනි වියුක්ත සංකල්පයක වටිනාකම වන්නේ එම වියුක්ත සංකල්පය ඇසුරෙන් කිසිදා නොදුටු මුවන් පිළිබඳවද පරිකල්පනය කරන්නට හැකි වීමයි. ඒ සමඟම, පංචේන්ද්‍රියයන් හරහා ලැබෙන අත්දැකීම් හා ඒ මත පදනම් වූ දැනුම් ඉක්මවා යාමේ හැකියාවක් මිනිසාට ලැබෙනවා. මේ මට්ටමට යාමද ඇතැම් සතුන්ට මෙන්ම, පරිගණකයටද කළ හැකි දෙයක්.
බොහෝ වියුක්ත සංකල්ප සමඟ යම් ආකාරයක පරිපූර්ණත්වයක් සම්බන්ධ වී තිබෙනවා. මුවෙක්නම් කකුල් හතරක් තිබෙන සතෙක්. එහෙමනම්, කකුල් තුනකින් පැන පැන යන, කකුලක් අහිමි වූ මුවෙක් මුවෙක් නෙමෙයිද?
කකුල් තුනේ මුවාත් මුවෙක් තමයි. ඒ මුවාට පරිපූර්ණ වියුක්ත මුවාට සාපේක්ෂව අඩුවක් තිබෙනවා. එහෙත්, ඒ මුවාත් මුවෙක්. එසේ වුනා කියා මුවා කියන සංකල්පය කකුල් තුනේ මුවෙක් ලෙස වෙනස් වන්නේ නැහැ. බොහෝ විට ඉන්ද්‍රියයන් හරහා නිරීක්ෂණය කළ හැක්කේ වියුක්ත සංකල්පයේ අසම්පූර්ණ ස්වරූපයක්.
එතකොට කකුල් හයේ මුවෙක් දකින්න ලැබුණොත් ඒ ගැන කියන්න වෙන්නේ කුමක්ද? ගණිතය අනුවනම්, කකුල් හයේ මුවාගේ කිසිම අඩුවක් නැහැ. වැඩියෙනුත් කකුල් දෙකක් තිබෙනවා. නමුත්, සංකල්පීය ලෙස බැලුවොත් මේ වැඩිපුර කකුල් දෙක කියන්නෙත් අඩුවක්. එය අඩුවක් වන්නේ පරිපූර්ණත්වය අර්ථ දක්වා තිබෙන්නේ කකුල් හතරේ මුවෙක් ලෙස නිසයි.
අවශ්‍යනම් කෙනෙකුට වියුක්ත මුවා කකුල් හයේ මුවෙක් විදිහට අර්ථ දක්වන්නත් පුළුවන්. එසේ අර්ථදැක්වීමෙන් පසුව, සියලුම කකුල් හතරේ මුවන් අඩුවක් ඇති මුවන් බවට පත් වෙනවා. අවශ්‍යනම් කකුල් අටේ මුවෙක් ගැන වුවත් මිනිහෙකුට පරිකල්පනය කරන්න පුළුවන්. කකුල් අටේ මුවෙක් කිසිම දිනක අනුභූතික අත්දැකීමක් ලෙස දැක නොතිබීම මෙයට බාධාවක් නෙමෙයි. ඒ අනුව, කකුල් හයේ මුවෙක් වුවත් අඩුවක් සහිත මුවෙක් බවට පත් වෙනවා.
ඔය විදිහටම නයෙකුගේ පරිපූර්ණ ස්වරූපය පෙණ හතක් තිබෙන නයෙක් වෙන්න පුළුවන්. රජෙකුගේ පරිපූර්ණ ස්වරූපය හිස් දහයක් තිබෙන ස්වරූපයක් වෙන්න පුළුවන්. මේ වගේ දේවල් පරිකල්පනය කරන්න අනුභූතික අත්දැකීම් අවශ්‍ය නැහැ. එකම ගහ හෝ එකම සතා දවසෙන් දවස වෙනස් වන ආකාරය අනුභූතික අත්දැකීමක් ලෙස අත්විඳින කෙනෙකුට අනුභූතික අත්දැකීමක්ව නැති ආකාරයකින් යමක් වෙනස් වීමේ හැකියාව ගැනද පරිකල්පනය කිරීමට පෙළඹුමක් ඇතිවීම හිතාගන්න අමාරු කරුණක් නෙමෙයි.
වියුක්ත දැනුම්, වියුක්ත සංකල්ප අවශ්‍ය ඇයි? වියුක්ත නොවන දැනුම් අවශ්‍ය වන හේතුවටම තමයි. කවර හෝ දැනුමක් අවශ්‍ය වන්නේ පැවැත්ම හා අදාළ අවිනිශ්චිතතා අවම කර ගැනීමටයි. එය ජීව විද්‍යාත්මක පෙළඹුමක්. දැනුම ලබා ගැනීමේ වෙනත් අරමුණක් නැහැ. අවිනිශ්චිතතා අවම කිරීම හරහා පැවැත්ම සහතික කළ හැකි ආකාරයේ වියුක්ත දැනුමකින් සමාජයකට ලොකු පිම්මක් පනින්න පුළුවන්.
වියුක්තව හිතන එක ඕනෑම කෙනෙකුට කළ හැකි වගේම, නිතරම කරන සාමාන්‍ය දෙයක්. වැදගත් වන්නේ වියුක්තව හිතන්නේ මොනවාද කියන එකයි. බොහෝ දෙනෙක්ට වියුක්තව හිතන්න පුළුවන් වුනත් වියුක්ත ලෙස වැඩකට ඇති දෙයක් හිතන්න බැහැ.
වියුක්ත ලෙස වැඩකට ඇති දෙයක් ගැන හිතන්න බැරිකම එක් රටකට හෝ සංස්කෘතියකට පමණක් සීමා වූ ප්‍රශ්නයක් නෙමෙයි. ඇමරිකාව වැනි බටහිර රටක් ගත්තත් මෙහි වෙනසක් නැහැ. වියුක්ත ලෙස සිතා ඒ ඇසුරෙන් ප්‍රයෝජනවත් ආකාරයක අලුත් දැනුමක් නිෂ්පාදනය කළ හැක්කේ ඉතා සුළු පිරිසකට පමණයි. ලෝකය තමන්ට අවශ්‍ය පරිදි ප්‍රතිනිර්මාණය කරන්නේ මේ සුළු පිරිසයි. එවැනි වැඩි දෙනෙකු සිටින රටවල් හා සමාජ වඩා වේගයෙන් දියුණු වෙනවා.
Friday, January 22, 2021
වත්පොත ඉකොනොමැට්ටා තහනම් කරයි!
පෙරේදා (ජනවාරි 20) ඇමරිකාවේ අලුත් ජනාධිපතිවරයෙක් දිවුරුම් දුන්නා. අලුත් ජනාධිපතිවරයා වගේම ඔහුගේ දේශපාලන පක්ෂයත් පෙනී සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙකු රටේ ජනාධිපති සේ දිවුරුම් දෙන දවසේම වත්පොත විසින් ඉකොනොමැට්ටාගේ බොජුන්හල අසාදුගත කර වත්පොත හරහා මෙහි පිවිසීම තහනම් කර තිබීම අපූරු අහම්බයක්.
ඇමරිකාවේ බලයේ සිටි ජනාධිපතිවරයාගේ සමාජ ජාලා ගිණුම් පවා තහනම් වූ පසුබිමක මේ වගේ දෙයක් වෙන එකේ ලොකු අමුත්තක් නැතත්, මෙය ඇමරිකාවේ පැත්තෙන් සිදු වූ දෙයක් කියා මම හිතන්නේ නැහැ. ඇමරිකාවේ නීතියට, සම්මත වලට හෝ පොදු සදාචාරයට එරෙහි දෙයක් මෙහි පළ කර නැහැ. කෙසේ වුවත්, සිදු වුනේ කුමක්ද කියා නිශ්චිතව කීමේ හෝ දැන ගැනීමේ හැකියාවක් අපට නැහැ.
මේ වන විට මෙම වියුණුවේ ලිපි 889ක් පළ කර තිබෙනවා. එම ලිපි වලින් අඩුම වශයෙන් අටසීයක්වත් වත්පොත හරහා බෙදාගෙන තිබෙනවා. ඇතැම් ලිපි දහස් ගණනක් විසින් නැවත පළ කර (ශෙයා කර) තිබෙනවා. මේ බෙදා ගැනීම් බොහොමයක් මට නොපෙනෙන නිසා හරියටම ගණනක් දන්නේ නැති වුවත්, මෙතෙක් ලියා ඇති ලිපි වත්පොතේ බෙදාගෙන ඇති තැන් ප්‍රමාණය දස දහස් ගණනක් විය යුතුයි. කාලයක් තිස්සේ සංසරණය වූ මේ පැරණි බෙදා හැරීම් හරහා දිනපතාම සැලකිය යුතු පිරිසක් මෙහි පිවිසුනා. වත්පොත විසින් මේ වෙද්දී පසුගිය වසර හය තුළ ඉකොනොමැට්ටා මෙන්ම වෙනත් අය විසින්ද වත්පොත හරහා ප්‍රචාරය කළ එම ලිපි සියල්ලම ඉවත් කර ඇති බවයි පෙනෙන්නට තිබෙන්නේ.
අප කිසිම විටක මෙම වියුණුව හරහා හදිසියේ මතුවන වෙළඳ දැන්වීම් (පොප් අප් ඇඩ්ස්) පළ කර නැහැ. අඩු වශයෙන් සාමාන්‍යයෙන් බ්ලොගර් හරහා දැන්වීම් පළ කර මුදල් සෙවීමට ඉඩ සලසන ආකෘතිය හෝ ප්‍රයෝජනයට ගෙන නැහැ. කිසිදු ප්‍රසිද්ධ සන්නාමයක නම ව්‍යාජ ලෙස යොදාගෙනද නැහැ. ඒ වගේම, කෝවිඩ් හා අදාළ හෝ වෙනත් දේවල් හා අදාළ වැරදියයි සම්මත තොරතුරු ප්‍රචාරය කර නැහැ. ඇත්තටම අප විසින් දිගින් දිගටම කර තිබෙන්නේ නොමඟ යවන සුළු හෝ වැරදි තොරතුරු ප්‍රචාරය වෙද්දී ඒවාට එරෙහිව නිවැරදි තොරතුරු පළ කිරීමයි. වත්පොත විසින් අපගේ වියුණුව අසාදුගත කර ඇතත් වත්පොත් පිටු අවහිර කර නැති නිසා මෙය වත්පොත් පිටුව පිළිබඳ ප්‍රශ්නයක්ද විය නොහැකියි.
ඇතැම් දේවල් ලියන විට ඇතැම් කණ්ඩායම් වලට වැඩියෙන් රිදෙනවා. දොරවල් වසාගෙන හතර අතට නෙලන්නේ නැතිව, අප සමඟ එකඟ නොවන අයට තමන්ගේ අදහස්ද ප්‍රතිචාර සේ මෙහි පළ කරන්නට අප විසින් අවස්ථාව සලසා ඇතත් තමන් රැඳී සිටින්නේ බොරුවක් මත බව හොඳින්ම දන්නා සිටින අයට ඒ අවස්ථාවෙන් වැඩක් වෙන්නේ නැහැ. අප ලියන සමහර දේවල් වලින් එවැනි අයගේ ලෝක කඩා වැටී, පැවැත්මවල් බිඳ වැටෙන විට එය පිළිබිඹු වන්නේ මෙවැනි දේවල් වලින්. මීට පෙරද, ඇතැම් දේ ලියද්දී ආරම්භක ඉකොනොමැට්ටා ගිණුම ව්‍යාජ ගිණුමක් බව හදිසියේම වත්පොතට වාර්තා වුනා. එහෙත්, ඒ අවස්ථාවේදී එය ව්‍යාජ ගිණුමක් නොවන බව තහවුරු කරන්නට වත්පොත අපට අවස්ථාව ලබා දුන්නා. මෙවර එවැනි අවස්ථාවක් හෝ අඩු වශයෙන් කරුණු දැක්වීමක් හෝ නැති නිසා "මැරුණට පස්සෙවත් මැරුණේ කොහොමද කියලා දන්නේ නැති" තත්ත්වයකට අපට මුහුණ දෙන්න සිදු වී තිබෙනවා.
මෙම වියුණුව ආරම්භ කළ දවසේ සිටම අප විසින් වියුණුව හා අදාළව අනුගමනය කළේද අප වියුණුව හරහා පෙනී සිටින මතවාදයට ගැලපෙන භාවිතාවක්. නිදහස් අදහස් වෙනුවෙන් පෙනී සිටින අප අප ලියන දෙයට එකඟ නොවීමේ පදනම මත කිසිදු අදහසක් වාරණය කර නැහැ. එමෙන්ම පාරිභෝගික ඉල්ලුම සපුරනු මිස අප කිසි විටෙකත් ඇඟේ ගසා බඩු විකුණා නැහැ. මේ වියුණුව ආරම්භ කළ දවසේ සිටම එය ප්‍රචාරය කළේ කෙසේ හෝ එය හොයා ගෙන කියවූ අයයි. ලේඛකයාගේ කිසිදු පෞද්ගලික මිතුරෙකුට හෝ මෙය කියවන ලෙස ඉල්ලා සිට නැතුවාක් මෙන්ම අඩු වශයෙන් මෙවැන්නක් ගැන කියා නැහැ.
අප වියුණුව පටන් ගත් කාලයද සිංහල වියුණු වල හොඳම කාලය නොවුනත් අදට වඩා සිංහල වියුණු ජනප්‍රියව තිබුණු කාලයක්. ඒ කාලයේ වැඩි දෙනෙක් වියුණු වලට පැමිණියේ බ්ලොග් සින්ඩිකේටර හරහා. ඇතැම් බ්ලොග් සින්ඩිකේටර විසින් අපගේ ඉල්ලීමක් නැතිවම මෙම වියුණුවද එකතු කර ගැනීම නිසා ඒ හරහා සැලකිය යුතු පාඨක පිරිසක් මෙහි පැමිණියා. එක් අවස්ථාවක එවැනි එක් බ්ලොග් සින්ඩිකේටරකින් මෙම වියුණුව ඉවත් කිරීම නිසා මෙහි පැමිණෙන්නන් යම් තරමකින් අඩු වුනා. ඉන් පසුව, බොහෝ දෙනෙක් මෙහි පැමිණියේ වත්පොත හරහා.
මේ වන තුරු අවම වශයෙන් පන්සීයක් වෙත වත්පොත හරහා මෙහි පළ වන දේ ගියා. ඒ සියලුම දෙනා තමන්ගේ කැමැත්තෙන් වත්පොත් පිටුව සමඟ එකතු වූ අයයි. වත්පොත් පිටුව සමඟ එක් වන මෙන් අප විසින් කිසිවෙකුට ආරාධනා කර නැහැ. ඒ වගේම, මේ පිටුව යොදා ගෙන තිබෙන්නේ වියුණුව වෙත ප්‍රවේශ වීමේ දොරටුවක් ලෙස පමණයි. ඉතා කලාතුරකින් හැර එහි වෙනත් දේ පළ කර නැහැ.
මෙයින් ඉදිරියට අපට වත්පොත හරහා මෙහි පළවන අලුත් ලිපි පිළිබඳව දැනුම් දීමේ හැකියාවක් නැහැ. වත්පොතට වංගු ගසන්නට පුළුවන් වුවත්, වත්පොත වුවත් එන්නේ ගේමටනම් අප කරන්නේ ලේන් අම්මා මුහුදට කළ දෙයයි. දැවැන්තයින් සේ පෙනෙන හැම දෙනෙක්ම වාගේ රැඳී සිටින්නේ ඔවුන් මත විශ්වාසය තබන ඒකීය මිනිසුන් මත. මේ ලිපිය මුළුමනින්ම වත්පොතේ පළ කෙරෙන නමුත් මෙයින් ඉදිරියට දිගින් දිගටම එවැන්නක් කරන්න අපේ බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා, වියුණුව කියවන්න අවශ්‍යනම් ඔබට වරින් වර වියුණුවේ ලිපිනය භාවිතා කර සෘජුවම එහි පිවිසෙන්න වෙනවා.
පසුගිය දින දෙක තුළ ස්වීඩනයේ සිට මෙම වියුණුවට පිවිසුම් හාරදහසකට වැඩි ප්‍රමාණයක් දැකිය හැකියි. එය අසාමාන්‍ය දෙයක්. මෙය කියවන අයගෙන් 40%ක් පමණ විදේශගත ලාංකිකයින් වුවත්, ස්වීඩනය පාඨකයින් සැලකිය යුතු පිරිසක් මෙහි පිවිසවන රටක් නෙමෙයි. ඒ වගේම, මේ පිවිසුම් වැඩි ප්‍රමාණයක් සිදුව ඇත්තේ මැකින්ටොෂ් පරිගණකයකින්. එයද සාමාන්‍ය දෙයක් නෙමෙයි. කුමක් හෝ අසාමාන්‍ය දෙයක් සිදු වී ඇති බව පැහැදිලියි.
අප ලියන දෙයින් යම් අයට රිදෙනවා විය හැකි වුවත් ඒ අයද අපේ පාඨකයින් බව අපට නොසලකා හරින්න බැහැ. අපේ පාඨකයින් යම් ප්‍රමාණයකට ඒ තරමටම රිදෙනවානම් අපට ඒ ගැනත් නොසලකා ඉන්න බැහැ. ඔවුන්ගේ කැමැත්ත වන්නේ මෙම ලිපි වත්පොත හරහා බෙදා හැරීම වැළැක්වීමනම්, වෙනත් පාඨකයින් විශාල පිරිසකට වත්පොත හරහා මෙම ලිපි බෙදාගන්නට අවශ්‍ය වන තුරු වැඩි පාඨක පිරිසකගේ අවශ්‍යතාවය එලෙසම සිදු වනු ඇති. මේ වියුණුවේ වෙබ් ලිපිනය වත්පොතේ පළ කරන්නට උත්සාහ කරන හැම විටකම වත්පොත විසින් එය වලක්වනවා. එහෙත් අවශ්‍ය අයෙකුට දිගටම ඉදිරියට ගොස් එයට තමන් එකඟ නොවන බව කියා සිටින්න පුළුවන්.
ප්‍රමාණවත් පිරිසක් විරුද්ධ වුවහොත් වත්පොතේ තීරණය ඇතැම් විට වෙනස් විය හැකියි. එහෙත්, අප ඒ ගැන හරියටම දන්නේ නැහැ. මෙතෙක් වත්පොත හරහා මෙහි පැමිණි පාඨකයින්ට ඉදිරියේදී එම සේවය සලසන්නට නොහැකි වීම පිළිබඳව අපගේ කණගාටුව!
Monday, May 18, 2020
සැලසුමක් නැති පස් වසරක්!
අපි කවුරුත් විවිධ දේවල් සැලසුම් කරනවා. ගෙයක් හදන්න, උපාධියක් ගන්න, රස්සාවක් හොයාගන්න, පරස්තාවක් කරගන්න, කාර් එකක් ගන්න, රට පනින්න, ආණ්ඩුව වෙනස් කරන්න, ජාතිය ගොඩගන්න, ෂෝට් ලීව් එකක් දාලා කලින් ගෙදර යන්න, ගෙදර අලුතෙන් පේන්ට් කරන්න, කාමරේ අස් කර ගන්න, ගෙදරට හොරෙන් යාලුවෝ එක්ක හවසට සෙට් වෙන්න ආදී නානාප්‍රකාර සැලසුම් අපිට තියෙනවා. සැලසුම් කියන්නේ නරක දෙයක් නෙමෙයි.
අපට සැලසුම් අවශ්‍ය වෙන්නේ ඇයි? විකල්පයක් විදිහට හැම දෙයක්ම එවෙලේ ක්ෂණිකව තීරණය කරලා කරන්න පුළුවන්නේ. එහෙමනම් සැලසුම් මොකටද?
අපට මේ මොහොතේ වඩාත්ම වාසිදායක, අපට වඩාත්ම සතුටක් ගෙනදෙන, හොඳම තීරණය ගන්න පුළුවන්. එහෙත්, අපි අද ගන්න ගොඩක් තීරණ වල අනාගත බලපෑමක් තිබෙනවා. උදාහරණයක් විදිහට මත්පැන් තොලගාන කෙනෙකුට ඒ මොහොතේ ලැබෙන සතුට මත්පැන් වෙනුවෙන් වැය කරන මුදලට වඩා වැඩි වෙන්න පුළුවන්. මේ විදිහට ඒ මොහොතේ සතුට ගැන සිතා දිනපතා කරටි කැඩෙන්න ගහන කෙනෙක්ට අනාගතයේ දවසක ඒ වෙනුවෙන් වන්දි ගෙවන්න වෙන්න පුළුවන්. ඒ නිසා, මේ වෙලාවේ ගන්න පුළුවන් හොඳම තීරණය ගන්න පුළුවන් වෙන්නේ යම් තීරණයකින් මේ මොහොතේ ලැබෙන වාසි අවාසි වගේම අනාගත වාසි අවාසිත් සලකා බැලීමෙන් පසුවයි.
මෙතැනදී මතු වන ප්‍රශ්නය වන්නේ අනාගතය ගැන අපි හරියටම දන්නේ නැති වීමයි. අපි හිතමු අපිට අනාගතය නිශ්චිත ලෙස දකින්න හැකියාවක් තිබෙනවා කියා. හෙට මා වාහන අනතුරකට මුහුණ දෙන්න නියමිත බව අද දන්නවානම් මට එම අනතුරට හේතු වන ගමන නොගිහින් ඉන්න පුළුවන්. තමන්ගේ දුම්පානය කිරීමේ පුරුද්ද නිසා තව අවුරුදු දෙකකින් පසු පෙනහළු පිළිකාවක් හැදී සෑහෙන දුකක් විඳ මිය යන්න වෙන බව අද හරියටම දන්න කෙනෙක් බොහෝ විට අද දුම්පානයෙන් මිදෙනවා. ඒ වගේම, ජීවිත කාලයම දුම්පානය කළත් අවුරුදු අනූවක් යන තුරු ඉහින් බහින රෝගයක් හැදෙන්නේ නැති බව හරියටම දන්නා කෙනෙක් එම පුරුද්දෙන් මිදෙන්න තිබෙන්නේ අඩු ඉඩක්.
අපිට අනාගතය නිශ්චිතව දකින්න විදිහක් නැහැ. එහෙත්, අනාගතය ගැන අපිට යම් අදහසක් තිබෙනවා. උපාධියක් ලබා ගත්තොත් හොඳ රැකියාවක් ලැබෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. හොඳ රැකියාවක් තිබේනම් හොඳ පරස්තාවක් කර ගන්න තිබෙන ඉඩකඩ වැඩියි. ලොක්කාට මළ පැනලා ඉන්න වෙලාවක ඇහුවොත් ෂෝට් ලීව් එක අනුමත කරන්න තිබෙන ඉඩකඩ අඩුයි. අද ඉඳලා කීය කීය හරි ඉතුරු කර ගත්තොත් කාර් කට්ටක් ගන්න ලැබෙන ඉඩකඩ වැඩියි. ඔය වගේ දළ අදහසක් අපිට තිබෙනවා. අපි සැලසුම් හදන්නේ මේ දළ අදහස මතයි.
සැලසුමක් හදන්න කලින් පළමුව අනාගතය පිළිබඳව පුරෝකථනය කළ යුතුයි. මෙහෙම කළොත් කොහොම වෙයිද? මෙහෙම නොකළොත් කොහොම වෙයිද? අපට මේ විදිහට අනාගතය ගැන පුරෝකථනය කරන්න වෙන්නේ මේ මොහොතේ අපි දන්නා දේවල් මත පදනම්වයි. නමුත්, පසුව අලුත් තොරතුරු ලැබෙන විට කලින් හිතා හිටි දේ නිවැරදි නොවන බව තේරෙන්න පුළුවන්. හොරෙක්ට අහුවෙන්න යන බව කලින් තේරෙන්නේ නැහැ. තේරෙන කොට අහුවෙලා.
එකම තොරතුරු ටික දැනගෙන හිටියත් දෙන්නෙක් එක ලෙසටම අනාගතය දකින්නේ නැහැ. එය එක් එක් පුද්ගලයාගේ විශ්ලේෂණ හැකියාව මතද තීරණය වෙනවා. කාලය ගෙවෙද්දී තමන්ගේ මුල් විශ්ලේෂණය නිවැරදි නොවන බව කෙනෙක්ට පෙනෙන්න පුළුවන්.
ඉහත කී හේතු දෙක නිසා බොහෝ විට සැලසුම් හරියටම සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා, කිසියම් සැලසුමක් ඕනෑම තත්ත්වයක් යටතේ මුලින් හිතපු විදිහටම ක්‍රියාත්මක කරන එක මෝඩ කමක්. අලුත් තොරතුරු ලැබෙන විට ඒ මත පදනම්ව අවශ්‍ය පරිදි සැලසුම වෙනස් කිරීම වඩා වාසිදායකයි.
මිනිස්සු වගේම රටවල්ද සැලසුම් සකස් කරනවා. සමාජවාදී රටවල් විසින් කාලයක් තිස්සේ උත්සාහ කළේ එක් මධ්‍යගත සැලසුමක් අනුව රටක බොහෝ කටයුතු සිදු කරන්නයි. මේ අනුව, රටේ සියලුම දෙනා මේ සැලසුමට අනුගත විය යුතුව තිබුණා. එවැනි සැලසුම් බොහෝ විට සකස් කළේ සුළු පිරිසක් විසින්. රටේ අනෙක් අයට සැලසුමට විරුද්ධ වීමේ හැකියාවක් තිබුණේ නැහැ. 2 + 2 = 5 කියා ආණ්ඩුව කියනවානම් මිනිස්සුන්ට ඒ බව පිළිගනු හැර වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ.
ජෝර්ජ් ඕර්වෙල් යන ආරූඪ නාමයෙන් පෙනී සිටි ඉංග්‍රීසි ලේඛක එරික් ආතර් බ්ලෙයාර් ඔහුගේ "1984" කෘතියේ මේ තත්ත්වය සමච්චලයට ලක් කළේ මෙහෙමයි.
"In the end the Party would announce that two and two made five, and you would have to believe it. It was inevitable that they should make that claim sooner or later: the logic of their position demanded it."
"අවසානයේදී පක්ෂය විසින් දෙකට දෙකක් එකතු කළ විට පිළිතුර පහ බව දැනුම් දෙනු ඇති අතර ඔබට එය විශ්වාස කිරීමට සිදු වනු ඇත. ඔවුන් මෙවැනි ප්‍රකාශයක් කිරීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි. පක්ෂ ස්ථාවරය අනුව, එය තර්කානුකූලව සිදු විය යුතුම දෙයකි."
ජෝර්ජ් ඕර්වෙල්ට මේ විදිහට ලියන්න පෙළඹුමක් ඇති කළේ සෝවියට් දේශයේ පළමු පස් අවුරුදු සැලැස්ම යටතේ එරට ඉතා වේගයෙන් කාර්මීකරණය කරන්න ගත් උත්සාහය තුළ අවුරුදු පහේ ඉලක්ක අවුරුදු හතරින් අත් කර ගැනීමට දැරූ උත්සාහය වෙන්න පුළුවන්. කෝවිඩ්-19 සංඛ්‍යාලේඛණ වැනි කරුණකදී ඉහත ප්‍රකාශයේ පක්ෂය කියන එකට අවශ්‍යනම් ආණ්ඩුව කියන වචනය ආදේශ කරන්නත් පුළුවන්.
සෝවියට් දේශය අනුගමනය කරමින් චීනය, ඉන්දියාව, කොරියාව වගේ රටවල් ගණනාවක් පස් අවුරුදු සැලසුම් හැදුවා. සමගි පෙරමුණු ආණ්ඩුව 1972-76 කාලයේ ක්‍රියාත්මක කළේත් මෙවැනි පස් අවුරුදු සැලැස්මක්.
ඔය වගේ බරපතල සැලසුමක් නැතුව පටන් ගත්තත්, මේ බ්ලොග් එකටත් අදට අවුරුදු පහක්!
Friday, October 5, 2018
බොරු නොකියන මිනිස්සු
ඊයේ මා සහභාගී වූ රැස්වීමකදී එක් අයෙක් යම් කරුණක් ගැන සඳහන් කරමින් කිවුවේ එය ට්‍රම්ප් බොරුවකටත් වඩා ලොකු බොරුවක් බවයි. බොරු කියන එක හොඳ දෙයක් කියා සැලකෙන්නේ නැති වුනත් බොරු කියන්නන් නැති තැනක් නැහැ.
බොරු කීම කියන කරුණ දිහා සදාචාරාත්මක හෝ ආගමික පදනමකින් බලන්නේ නැති වුනත් මම සාමාන්‍යයෙන් බොරු කියන්නේ නැහැ. ඒ බොරුවක් කියන එක ස්වභාවිකවම මට අමාරු දෙයක් නිසා.
මටනම් බොරුවක් කියන්න හිතන එකත් ආතතියක් ඇති කරන දෙයක්. ඒ වුනත්, කටේ තොලේ නොගැවී බොරු කියන අය ඕනෑ තරම් ඉන්නවා. සමහර අයටනම් ස්වභාවිකවම ඇත්ත කියන එක ගොඩක් අමාරු වැඩක්ද කියලා හිතෙන තරම්.
බොරු කියන්න අකැමැති වුනත් ඇත්ත කියන්න අමාරු අවස්ථා ඕනෑ තරම් එනවා. ඒ වෙලාවට බොරුවක් නොකියා ඇත්තත් නොකියා බේරෙන්න කුමක් හෝ උපක්‍රමයක් යොදන්න වෙනවා. මේ ප්‍රශ්නයට මුහුණ දෙන විවිධ අය භාවිතා කරන උපක්‍රම සමහර විට සමාන ඇති.
"මං බොරු කියන්නේ නෑ. ඒත් ඕනේ තරම් අවස්ථා උදාවෙනවා සත්‍යය හෙළි කරන්නත් බැරි. ඒ වෙලාවට තමා මං උපක්‍රමශීලි වෙන්නේ. මෙන්න ගුරුමුෂ්ටි නැතිවම මගේ ප්‍රයෝග. රිසි නම් අත්හදා බලන්න. කිසිදු ගෙවීමක් කළ යුතු නොවේ!
ඇත්ත බොරුවක් විදියට කීම: හිතමුකෝ කවුරු හරි මගෙන් අහනවා 'තමුසේ මාව අමාරුවේ දැම්මා නේද අරයාට මේක කියලා?'. ඒකට ඍජු උත්තරේ 'ඔව්' කියන එක එයාට කියන්න මට ඕනේ නැති නම් මං මෙහෙම කියාවි. "ආනේ, ඔයා කොහොමද ඕක ඔච්චර හොඳට දැනගත්තේ?" - "බලාගෙන ගියාම ඔයාට හොඳට පේන කියන්නත් පුළුවන්නේ. නරකයිද ඒක පටන් ගත්තොත්!" - "ඔයා එහෙම හිතනවා නම් මං මොකටද ආයේ නැහැයි කියන්නේ." - "ෂාහ්! මෙයා දැන් ෂර්ලොක් හෝම්ස්ටත් වැඩිය හපනෙක් වෙලානේ,රහස් හෙවිල්ලෙදී." වගේ ප්‍රකාශවලින් එකක්.
මඟ හැර යාම: "මහත්තයෝ, තරහ නැතිව ගෙනෙනවාද ලොකු කොළයක්, මං සේරම සහසුද්දෙන්ම ලියලා දෙන්න?"
අභියෝග කිරීම: "එක්කන් එන්නකෝ ඔය කතාව ඔයාට කිව්ව මනුස්සයාව. මං එයාගෙ ඉස්සරහම ඔයාට කියන්නම්." - " ඔයා මගේ අදහස් ප්‍රකාශ කිරීමේ මානව නිදහසත් උල්ලංඝනය කරන්නයි සුදෝ හදන්නේ!"
ඔයාලා ඔතැනදී ඉතාම ප්‍රවේසම් විය යුතුයි වචන තෝරා ගැනීමේදීත්. ප්‍රතිවාදියාව ප්‍රකෝප නොවෙන විදියේ වදන්, ඔහුට ගරු කරන විදියටයි මං නම් කියන්නේ. ඔය මොනවා කිව්වත් ඉඟි-බිඟිවලින්, උච්චාරණයෙන් පොලිෂ් කරලා ගන්නත් ඕනේ. එව්වා වරදින්නෙ නැහැ, මට නම්."
උඩින් තිබෙන කොටස ලිවුවේ මම නෙමෙයි. නිදිගේ පංච තන්තරේ ලියන නිමල් දිසානායක. අපූරු ලේඛණ ශෛලියක් හා ලියන්න ඕනෑ තරම් අත්දැකීම් තිබෙන බව පෙනෙන බ්ලොග්කරුවෙක්. පහුගිය මාස හයට ලිපි 79ක් ලියල තියෙනවා.
ඉකොනොමැට්ටා ලියන්න පටන් ගත්තේ අවුරුදු තුනහමාරකට කලින්. ඒ කාලයේ බ්ලොග් ලියමින් සිටි ඇතැම් අය දැන් පෙනෙන්න නැහැ. තවත් ඇතැම් අය ලිපියක් පළ කරන්නේ අවාරෙට පොල් වැටෙනවා වගේ. ඒ වුනත්, ඒ අඩුව පිරිමැහෙන්න අලුත් බ්ලොග් ආරම්භ වීම සතුටට කරුණක්.
අහස් ගව්වෙන් එහා ලෝකය මාස තුන හතරකට කලින් පටන් අරන් තිබෙන තවත් බ්ලොග් එකක්. ලියන්නේ අනුරුද්ධ වැලිගමගේ. කැනඩාවේ ජීවත් වන ලාංකිකයෙක්. ඔහු ලියන දේවල් කියවන්න වගේම කැනඩාවේ සිට විකාශනය වන සවණ ගුවන් විදුලියට සවන් දෙන්නත් ඔහුගේ බ්ලොග් අඩවියෙන් ඉඩ සලසනවා.
නිමල් දිසානායක වගේ අයට බොරු කියන්න අමාරුයි කිවුවත් ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියන එක පැහැදිලි නැති වෙලාවට අපි කියන්නේ ඇත්තක්ද බොරුවක්ද කියන එක අපිටවත් හරියටම නිර්ණය කරන්න අමාරුයි. ඒ වගේ වෙලාවට බොරු නොකියා ඉන්න උපක්‍රමයක් තියෙනවද?
අහස් ගව්වෙන් එහා ලෝකය හරහා සවන් දිය හැකි සවණ ගුවන් විදුලියේ ප්‍රචාරය වී තිබෙන කිසි දිනෙක බොරු නොකී මිනිහා කතාවට සවන් දුන්නොත් එහෙම උපක්‍රමයක් ගැනත් දැන ගන්න පුළුවන්.
සවණ ගුවන් විදුලියට මේ කතාව අරගෙන තිබෙන්නේ තවත් බ්ලොග් අඩවියකින්. එයනම් අලුත් එකක් නෙමෙයි. නිලූක කදුරුගමුව ලියන පරිවර්තන බ්ලොග් එක. අප්‍රිකානු ජනකතාවක් කියා කියන මේ කතාව අවුරුදු කිහිපයකට පෙර එහි පළ වී තිබෙන කතාවක්.
අපි ඉතිං බොරු කියන්නේ නෑනේ. ජීවිතේටම කියල තියෙන එකම බොරුව තමයි ඔය අන්තිමටම කිවුවේ!
(Image: https://www.parhlo.com/i-am-a-muslim-and-i-support-donald-trump-because/)
Friday, August 10, 2018
අපිට ලැබෙන නම්බු නාම
"ඉකොනොමැට්ටා වගේ උග්‍ර එජාප ක්‍රියාකාරිකයින්"
"ඉකොනොමැට්ටා වැනි බටහිර දැනුම් වහල් අනුකාරකයන්"
සමහර විට මේ වගේ නම්බු නාම දෙන අය ඔය වගේ ප්‍රතිචාරයක් දැම්මහම අපිට කේන්ති යනවා කියල හිතලා, කේන්ති ගිය ඉකොනොමැට්ටෙක්ව හිතින් මවා ගෙන සතුටු වෙනවා ඇති. ඒ විදිහට හෝ කවුරු හරි සතුටක් ලබනවානම් ඒකෙත් ඒ හැටි වැරැද්දක් නැහැ. ඔයිට වඩා හොඳ නම්බු නාමත් මේ බ්ලොග් එක නිසා අපිට ඇතැම් අයගෙන් ලැබිල තියෙනවනේ. මම හිතන හැටියට මේ වගේ ප්‍රතිචාර දමන එකේ ඊට වඩා වෙනස් දේශපාලනික අරමුණුත් තිබෙනවා.
දැන් ඔය පළමුවෙනි ලේබල් එක ගහන්නේ ඉකොනොමැට්ටා උග්‍ර එජාප ක්‍රියාකාරිකයෙක් කියල කිවුවහම නෑ එහෙම නෙමෙයි ඉකොනොමැට්ටා මධ්‍යස්ථයි කියල පෙන්වීම සඳහා මෙහි එජාපය විවේචනය කරලා පෝස්ට් දෙක තුනක්වත් දමයි කියන බලාපොරොත්තුවෙන් වෙන්න පුළුවන්. හැබැයි ඉතිං ඉකොනොමැට්ටාට එහෙම තමන් ඉන්න තැන කාටවත් පෙන්වන්න දඟලන්න අවශ්‍ය නැහැ.
ඉකොනොමැට්ටා ලියන දේවල් ආශ්‍රයෙන් කැමති කෙනෙක් කැමති නිගමනයකට එන එකේ ලොකු ප්‍රශ්නයක් නැහැ. ලිවීමේ අඩුපාඩුවක් නිසා ලියන දෙයකින් වැරදි අදහසක් සන්නිවේදනය වුනොත් විතරක් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉඳහිට මෙහි එන කෙනෙකුට මිස නිතර මෙහි එන කෙනෙකුට එවැනි ප්‍රශ්න ඇති වෙන්නත් ඉඩකඩ අඩුයි.
කොහොමටත් ඔය මධ්‍යස්ථ කතාව ඒ තරම් තේරුමක් නැති එකක්. කෙනෙක් මධ්‍යස්ථද නැද්ද කියන එක එය නිර්ණය කරන පුද්ගලයාගේ අදහස් මත තීරණය වන දෙයක්. ඒ නිසා, කෙනෙක් මධ්‍යස්ථ සේ දකින කෙනෙක්ව තවත් කෙනෙක් අන්තවාදියෙක් සේ දකින්න පුළුවන්.
වෙනත් අයෙක් ගහන ලේබල් එකක් නිසා හිත් රිදීමක් ඇති වෙන්නේ ඒ වගේ ලේබල් එකකින් තමන් තමන්ටම ගහගෙන ඉන්න ලේබල් එකක් වැහිල යන විටයි. උදාහරණයක් විදිහට තමන් මාර බුද්ධිමතෙක් හෝ උගතෙක් කියා හිතාගෙන හෝ පෙන්නගෙන ඉන්න කෙනෙක්ට වෙන කෙනෙක් මෝඩයෙක් කියලා ලේබල් එකක් ගැහුවම රිදෙන්න පුළුවන්. තමන් "පිරිසිදු" සිංහලයක් කියලා හිතාගෙන හෝ පෙන්නගෙන ඉන්න කෙනෙක්ට පරම්පරාවේ කලවමක් ගැන කියන කොට රිදෙන්න පුළුවන්. මටනම් ඔය කොයි ලේබල් එකෙත් ඒ තරම් වෙනසක් නැහැ.
ඒ තරම් කියලා කිවුවේ ඔය ලේබල් ප්‍රශ්නයක් වෙන වෙලාවල් නැත්තෙම නැති නිසා. අසූ අට අසූ නවය කාලය පහු කරපු අය දන්නවා ඒ කාලයේ කාට හරි දේශද්‍රෝහී ලේබලය හෝ ඒ වගේම අනික් පැත්තෙන් හේතුවක් නැතුව ජේවීපී ලේබල් එක වැදුනානම් විය හැකිව තිබුණේ කුමක්ද කියන එක. "කොටි", "සිංහල කොටි" වගේ ලේබලුත් ඔය වගේ.
එහෙම බැලුවහම "උග්‍ර එජාප ක්‍රියාකාරිකයෙක්" කියන එක ගණන් ගන්න තරම් වැදගත්කමක් තියෙන ලේබල් එකක් නෙමෙයි. අපි පේරාදෙණියේ හිටපු කාලයේදීනම් කවුරු හෝ සිසුවෙක්ට ඔය ලේබල් එක වැදෙන එකේ ලොකු ප්‍රශ්නයක් තිබුණා. එයින් හැඟවුනේ අනෙක් "පොදු" සිසුන් හැම වෙලාවෙම පරිස්සම් විය යුතු, ආණ්ඩුවේ ඔත්තුකාරයෙක් වගේ දෙයක්. ඒ විතරක් නෙමෙයි "චින්තන කාරයෙක්", "විකොසේ එකෙක්" වගේ ලේබල් වලින් වුනත් කියවුණේ "අපෙන් එකෙක් නොව මේ මිනිසා" වගේ අදහසක්.
කලින් කී උග්‍ර එජාප ක්‍රියාකාරිකයෙක් කියන නම්බු නාමය දුන්න කෙනා ඒ ලියා තිබෙන දේ ලිවුවේ අවංකවම කියා අපි මොහොතකට හිතුවොත් ඔහු හෝ ඇය එවැනි අයෙක්ව හඳුනාගන්න නිර්ණායකය කුමක්ද කියන ප්‍රශ්නය මතු වෙනවා. ඉකොනොමැට්ටා හා අදාළවනම්, එය මේ බ්ලොග් එකේ ලියන දේවල් මත සිදු කෙරෙන්නක් විය යුතුයි.
ඔය ලේබල් එකෙන් ගැලවෙන්න කරන උත්සාහයක් ලෙස කියන දෙයක් නොවුණත්, ඉකොනොමැට්ටා ලංකාවේ සිටියදී කිසිම දවසක කිසිදු දේශපාලන පක්ෂයක ක්‍රියාකාරිකයෙකුව සිට නැහැ. අවම වශයෙන් ශිෂ්‍ය දේශපාලනය ඇතුළේදී පවා. මැතිවරණ බොහොමයකදීම අඩු වශයෙන් ඡන්දයවත් දමා නැහැ. එජාපයටනම් කවදාවත්ම ඡන්දයක් පාවිච්චි කර නැහැ. කොහොම වුනත්, මේ මොන දේවල් කිවුවත් ඉකොනොමැට්ටා "උග්‍ර එජාප ක්‍රියාකාරිකයෙක්" නොවේ කියන එක තහවුරු වෙන්නේ නැහැ.
ඉකොනොමැට්ටා ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයක ක්‍රියාකාරිකයෙකුව සිට නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ උනුත් එකයි මුනුත් එකයි අරුනුත් එකයි වගේ පතෝල ප්‍රතිපත්තියක හිටියා හෝ ඉන්නවා කියන එක නෙමෙයි. ලංකාව (වගේම ලංකාවෙන් බාහිර ලෝකයත්) දැන් තිබෙනවාට වඩා හොඳ තැනක් වෙනවට ඉකොනොමැට්ටා කැමතියි. ඒ නිසා, ලංකාව දැන් ඉන්න තැනින් ඉහළට උස්සන්න හෝ පහළට වැටෙන එක නවත්වන්න වැඩිපුරම දායක වෙන ප්‍රතිපත්ති අනුගමනය කරන දේශපාලන පක්ෂයක් ලංකාවේ බලයේ ඉන්නවානම් ඉකොනොමැට්ටා කැමතියි.
දැන් මෙහෙම කිවුවහම මතුවෙන මූලිකම ප්‍රශ්නය තමයි ඔය ඉහළ හෝ පහළ හෝ කියන්නේ මොකක්ද කියන එක.
මාක්ස්වාදීන් කියා තමන්ව හඳුන්වා ගන්නා අයගේ කටවල් වලින් නිතර එළියත පනින වචන දෙකක් තමයි ප්‍රගතිශීලීන් හා ප්‍රතිගාමීන් කියන වචන දෙක. මේ අදහස අනුව, ප්‍රගතියේ දිශාවට යන අය ප්‍රගතිශීලීන්. එයින් විරුද්ධ දිශාවට යන අය ප්‍රතිගාමීන්. ටික කලකට පෙර මම ලියූ ලිපියක මාතෘකාවට යොදාගත්තේ ඉදිරිගාමීන් සහ පසුගාමීන් කියන වචන. කියැවෙන අදහසේ එහෙමට වෙනසක් නැහැ. මාක්ස්වාදීන් වැඩිපුර පාවිච්චි කළත් ඔය වචන ඒ අයටම සින්නක්කරේට ලියල දෙන්න බැහැ.
දැන් මේ වචන වලින් අදහස් වෙන්නේ ප්‍රගතියේ දිශාවක් හා ඊට විරුද්ධ දිශාවක් තිබෙන බවයි. මාක්ස්වාදීන්ට අනුව මේක සමාජය පරිණාමය වන ආකාරය ගැන මාක්ස් උගන්වා තිබෙන ප්‍රවාදයේ විස්තර කෙරෙන දිශාවයි. වෙනත් කෙනෙක්ට ඒක භාවනා කරලා සිත යම් කිසි තත්ත්වයකට පත් කර ගැනීම වගේ වෙනස්ම දෙයක් වෙන්න පුළුවන්. රේඛීය සිතීමක් කියා මේ ප්‍රගතිය කරා යෑම කියන අදහස අවඥාවෙන් බැහැර කරන ඇතැම් අය පවා පවතින තත්ත්වය වෙනස් විය යුතු ආකාරය ගැන යෝජනා කරන එකෙන් පේන්නේ ඒ අයට සාපේක්ෂව පවා ප්‍රගතියේ දිශාවක් තිබෙන බවයි.
ප්‍රගතියේ දිශාව කියන අදහස බැහැර කළොත් එතැනින් එහාට හිතාමතා කරන්න දෙයක් නැති තරම්. කොහොම වුනත්, මේ ප්‍රගතිය කියන එක පුද්ගලයාට සාපේක්ෂයි.
කලින් ලිපියකත් ලියා තිබෙන පරිදි, කිසියම් නිශ්චිත මොහොතක අප ගමන් කරමින් සිටින්නේ ප්‍රගතියේ දිශාවටද කියන එක අපිට ස්ථිරවම කියන්න අමාරුයි. එහෙත්, අද අප සිටින තැනට පැමිණි ගමන් මාර්ගය දෙස ආපසු හැරී බැලූ විට ඒ පාර දිගේ ඉදිරියට ගිය කාල පරාස, නැවතී සිටි තැන් වගේම, ආපසු ගිය කාල පරාසත් යම් නිරවද්‍යතාවයකින් යුතුව හඳුනා ගන්න පුළුවන්. ඒ හඳුනා ගැනීමම වුනත් සාපේක්ෂයි. ඇතැම් විට දැන් ආපස්සට යාමක් වගේ පෙනෙන දෙයක් ඉදිරියට යන ගමනේදී කළ යුතුම දෙයක්ව පැවතුනා වෙන්න වුවත් බැරි නැහැ.
සමාජ සත්ත්වයින් ලෙස හෝමෝ සේපියන්ස්ලා ඔවුන්ගේ ඉතිහාසය තුළ විශාල දියුණුවක් ලබා ඇති බව, එනම් ඉදිරියට ගමන් කර ඇති බව මා විශ්වාස කරන දෙයක්. ඒ විශ්වාසය මගේ පෞද්ගලික අත්දැකීම්, මා ඉගෙනගෙන තිබෙන දේවල් ආදිය මත පදනම් වන්නක්.
අප ඉතිහාසය කියා හිතන දෙය, එතකොට පරිණාමවාදය වගේ ප්‍රවාද පැත්තකින් තියමු. පළමුව, මට මතක තිබෙන මගේ ජීවිත කාලය තුළ සමස්තයක් ලෙස ලංකාව ජීවත් වීම සඳහා වඩා සුදුසු තැනක් වුණා කියා මම හිතනවා. දෙවනුව, සමස්තයක් ලෙස ගත්තහම ඇමරිකාව වැනි බටහිර රටක් ලංකාවට වඩා ජීවත් වීමට සුදුසු තැනක් කියා මම හිතනවා. ඒ වගේම, දශක ගණනාවකට පෙර තිබුණු ඇමරිකාවට වඩා අද තිබෙන ඇමරිකාව ජීවත් වීමට සුදුසු තැනක් කියලත් මම හිතනවා.
දළ දේශීය නිෂ්පාදිතය, භෞතික ජීවන තත්ත්ව දර්ශකය වගේ කිසියම් රටක කිසියම් අවස්ථාවක පවතින තත්ත්වය එම රටේ වෙනත් අවස්ථාවක පැවති තත්ත්වය හෝ එම අවස්ථාවේදී වෙනත් රටක පවතින තත්ත්වය සමඟ සැසඳිය හැකි සම්මත නිර්ණායක තිබෙනවා. මේ නිර්ණායක වල අඩුපාඩුත් තිබෙනවා.
පෙර කී නිර්ණායක වලින් ඊටත් පෙර කී මා හිතන ආකාරය තහවුරු කරනවා. නමුත්, පළමු කී මම හිතන ආකාරයට පාදක වෙන්නේ මූලික වශයෙන්ම මගේ පෞද්ගලික අත්දැකීම් මිසක් දෙවනුව කී නිර්ණායක නෙමෙයි. මගේ පෞද්ගලික අත්දැකීම් සමඟ ගැලපෙන නිසා පෙර කී නිර්ණායක රටවල් දෙකක් හෝ අවස්ථා දෙකක් සැසඳීම සඳහා හොඳ නිර්ණායක කියා මම හිතනවා. නමුත්, පරිපූර්ණ, අංග සම්පූර්ණ නිර්ණායක කියා හිතන්නේ නැහැ. පෞද්ගලික අත්දැකීම් හරහා දැනෙන දෙයට යම් තෝරගත් නිර්ණායක හා අදාල සංඛ්‍යාලේඛණ පිරික්සා ලබාගන්නා දැනුම සමකරන්න බැහැ.
කොහොම වුනත්, මගේ අත්දැකීම් තිබෙන තැන් වලදී ඒ අත්දැකීම් එක්ක මේ වගේ නිර්ණායක පෑහෙන එක පදනම් කර ගනිමින් මම මට එවැනි අත්දැකීම් නැති තැන් ගැන සැසඳීමක් කරන්න මේ වගේ නිර්ණායක භාවිතා කරනවා. උදාහරණයක් ලෙස උගන්ඩාවට වඩා නවසීලන්තය ජීවත් වෙන්න සුදුසු රටක් කියා මම හිතන්නේ මගේ පෞද්ගලික අත්දැකීම් මත පදනම්ව නෙමෙයි. මේ විදිහට එක තැනක් හා අදාළ අත්දැකීමක් වෙනත් තැන් වලට සාධාරනීකරණය කරද්දී වැරදෙන තැන් තියෙන්න පුළුවන්. ඒ වගේම එහෙම කරන එකට දාර්ශනික පදනමක් තිබෙන්න හෝ නොතිබෙන්න පුළුවන්. එය මම එතරම් වැදගත් දෙයක් සේ සලකන්නේ නැහැ.
ඉකොනොමැට්ටාට ලැබිල තිබෙන දෙවන නම්බු නාමය "බටහිර දැනුම් වහල් අනුකාරකයන්" කියන එකයි. "උග්‍ර එජාප ක්‍රියාකාරිකයින්" කියද්දී මෙන්ම ඇතැම් අය විසින් අපහාසාත්මක අර්ථයකින් යොදාගන්නා මේ ලේබල් එක නලින් ද සිල්වාගේ නිර්මාණයක්. නමුත්, මේ වෙලාවේ මේ ලේබල් එක ඉකොනොමැට්ටාට ගහල තියෙන නිර්නාමික පුද්ගලයා හෙවත් බ්ලොග් භාෂාවෙන් ඇනෝ (හිතන විදිහට) නලින් ද සිල්වා නෙමෙයි. ඇනෝ කරල තියෙන්නේ නලින් ද සිල්වා විසින් වෙනත් අයෙකු අරභයා ලියූ දෙයකට ඉකොනොමැට්ටාගේ ලිපිය සම්බන්ධ කර සුළුවෙන් වෙනස් කර මෙහි දැමීමයි.
නලින් ද සිල්වාට බටහිර විද්‍යාව ගැනත් බටහිර දැනුම් ආධිපත්‍යය ගැනත් විවේචනයක් තිබෙනවා. ඔහු එය කරන්නේ කිසියම් පදනමක පිහිටලා. වැදගත්ම කරුණ වන්නේ ඔහු බටහිර විද්‍යාව විවේචනය කරන්නේ බටහිර විද්‍යාව හා එහි විධි ක්‍රම හැදෑරීමෙන් පසුව වීමයි. නමුත්, ඔහුව අනුකරණය කරන ඇතැම් අය, විශේෂයෙන්ම සමාජ ජාලා වල වාද විවාද වලට පැටලෙන අය, බටහිර විද්‍යාව හෝ නලින් ද සිල්වා කියන දේවල් යන දෙකෙන් එකක්වත් හරියට ග්‍රහණය කරගෙන නැති බවයි ඔවුන් දමන ප්‍රතිචාර වලින් පෙනෙන්නේ.
මේ කියන්නේ හැමෝම ගැන නෙමෙයි. නලින් ද සිල්වාගේ අදහස් පිළිගන්න ඇතැම් අය බටහිර විද්‍යාවත් ඉහළටම හැදෑරූ අය. එවැනි අයට නලින් ද සිල්වාව අනුකරණය නොකර ඔහුගේ අදහස් තමන්ට ග්‍රහණය වන ආකාරයෙන් නැවත කියන්න පුළුවන්. උදාහරණයක් විදිහට ජානක වංශපුර වගේ අය.
පේරාදෙණියේ නවක වදයට ලක් වූ කෙනෙක් නවක වදය විවේචනය කරන කොට එහි යම් වෙනසක් තිබෙනවා. ඒ වගේම බටහිර විද්‍යාවේ විධික්‍රම ඉගෙනගත් කෙනෙක් ඒවා විවේචනය කරන කොට එය පැහැදිලිව පෙනෙනවා. එහෙම නැති, මං මුලා වී පාර සොයාගෙන යන අයගේ වෙනසත් ඒ විදිහටම පෙනෙනවා.
නලින් ද සිල්වාව උපුටා දක්වමින් මෙහි නිර්ණාමික ප්‍රතිචාර දමන අය ඔහුව අනුකරණය කරන්න උත්සාහ කරන අය වෙන්න ඉඩ තිබෙනවා වගේම ඔහුව බයිට් එකට ගන්න උත්සාහ කරන ඔහු කියන දේවල් වලින් රිදෙන අය වෙන්නත් පුළුවන්. කොපි පේස්ට් ඇනෝ ප්‍රතිචාරයකින් මේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් දෙකේ සාමාජිකයින් වෙන් කර හඳුනාගන්න අසීරුයි. ඒ නිසා, මේ ප්‍රතිචාර වලට පිළිතුරු දෙන්න යාමෙන් සිදු වෙන්නේ එය දැමූ තැනැත්තාගේ උපක්‍රමයට අහුවීමක් වෙන්න පුළුවන්. එහෙම තියෙද්දී, සෝමක්කා එක්ක ඔට්ටු දාන්න ගිය ඇම්ඩ වැටුණු අමාරුවේ වැටෙන්නෙ මොකටද?
අනුකරණය කියන එක කවුරුත් කරන දෙයක්. අපි කුඩා කාලයේදී මුලින්ම අපේ දෙමවුපියන්ව අනුකරණය කරනවා. මගේ දරුවෙක් දැන් ටික දවසක සිට උදේ නැගිට්ට ගමන්ම නානවා. එහෙම කරන්න කියා ඔහුට කවුරුත් කියා නැහැ. ඔහු එසේ කරන්නේ ඔහුගේ පියා වන මාව අනුකරණය කරමිනුයි. අප කන කෑම, අඳින ඇඳුම් වගේ බොහෝ දේවල් අනුකරණ තමයි. එවැනි අනුකරණ නොකරන කෙනෙක් නැහැ.
මම හිතන විදිහට බටහිර රටවල් ලංකාවට වඩා ජීවත්වීම සඳහා සුදුසු තැන් බව මම කළින්ම කිවුවා. මේ කරුණේදී මා සමඟ එකඟ නොවන අය එක්ක වාද කරන්න මට අවශ්‍ය නැහැ. මෙය මා හිතන විදිහයි. වෙනත් අයෙකු වෙනස් ලෙසකින් හිතීම සම්පූර්ණයෙන්ම ස්වභාවිකයි.
බටහිර රටවල් ලංකාවට වඩා ජීවත්වීම සඳහා සුදුසු තැන් කියා මම කියන්නේ යටිතල පහසුකම් වැනි භෞතික සම්පත් ඇතුළු ආර්ථික කරුණු මත පමණක් පදනම්ව නෙමෙයි. සමස්තයක් ලෙස සමාජය දෙස බලමිනුයි. ඒක පුද්ගල ආදායම අනුව බැලුවොත් ඇමරිකාවටත් වඩා ටිකක් ඉහළින් ඉන්න, ලංකාවේ ඇතැම් අයගේ පරමාදර්ශී රටක් වන සිංගප්පූරුව වැනි රටක් ඇමරිකාව තරම් ජීවත් වීමට සුදුසු රටක් කියා මම හිතන්නේ නැහැ. ඒක පුද්ගල ආදායම අතින් ඉහළ මැදපෙරදිග රටවල් ගැන වුවත් මගේ අදහස එවැන්නක්. කොහොම වුවත්, ආර්ථික වශයෙන් වඩා දියුණු රටක් ජීවත් වීම සඳහා වඩා සුදුසු රටක් වෙන්න වැඩි ඉඩකඩක් තිබෙනවා.
ඒ වගේම ඇමරිකාව පරමාදර්ශී රටක් කියලත් මම හිතන්නේ නැහැ. ඇමරිකන් ජීවිතයේ මම අගය කරන අංග වගේම වෙනස් විය යුතුයි කියා හිතන දේවලුත් තිබෙනවා. ඒ වගේම ලංකාවේත් මම අගය කරන අංග වගේම වෙනස් විය යුතුයි කියා හිතන දේවල් තිබෙනවා. ඇමරිකාවට සාපේක්ෂව ලංකාවේ වෙනස් විය යුතු දේවල් වැඩියි.
මොන අතින් හෝ තමන්ට වඩා සාර්ථක පුද්ගලයෙක් දිහා බලාගෙන හැදෙන එකේ මම වරදක් දකින්නේ නැහැ. ඒ වගේම, රටක් වඩා සාර්ථක වෙනත් රටක් දිහා බලාගෙන හැදෙන එකේත් වරදක් නැහැ. ඇමරිකාව වගේ ලංකාවට වඩා ඉදිරියෙන් ඉන්න රටක් දිහා බැලුවහම ඒ වගේ රටක් අද ඉන්න තැනට එන්න උපකාරී වුනු දේවල් කරන්න වගේම බාධාකාරී වූ දේ නොකර ඉන්නත් පුළුවන්. එහෙම දෙයක් යෝජනා කළ විට "බටහිර දැනුම් වහල් අනුකාරකයන්" වෙනවානම් එය අපහාසාත්මක ප්‍රකාශයක් ලෙස මම සලකන්නේ නැහැ.
ලංකාවේ අනෙක් දේශපාලන පක්ෂ වලට සාපේක්ෂව, මේ අවස්ථාව වන විට, ආර්ථික ප්‍රතිපත්ති අතින් බැලුවොත් සමස්තයක් ලෙස වඩාත්ම ඉදිරිගාමී පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. ඉතිහාසය දිහා බැලුවත් බොහෝ විට අනෙක් ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කරලා තිබෙන්නේ කිසියම් කාල පමාවකින් පසුව එජාපය සිටි තැනටම එන එකයි. ජවිපෙ පවා අන්තිමට කැරකිලා එන්නේ ඒ පාරටමයි.
අනික් අතට, බොහෝ විට සිදු විය හැකි පරිදි, ජනප්‍රියත්වය සෑහෙන තරමට පිරිහිලා තිබෙන මේ ආණ්ඩුව පැරදිලා රාජපක්ෂලාගේ ආණ්ඩුවක් ආවත් ආර්ථිකයේ තිබෙන මූලික ආකෘතිය ලොකුවට වෙනස් කෙරෙන්න විදිහක් නැහැ. කිසිසේත්ම හොරකම් අනුමත කරන්නේ නැති වුනත් හොරකම්, දූෂණ වැළැක්වූ පමණින් ලංකාව සුරපුරක් කළ හැකියි කියා මා නොසිතන නිසා වැඩිපුර හොරකම් කරන්නේ කවුද කියන ප්‍රශ්නය ගැන මම එතරම් වද වෙන්නේ නැහැ. හොරකම් සිදු නොවනවානම් හොඳයි තමයි. නමුත්, හොරකම් මැද්දේ වුවත් මොනවා හෝ නිෂ්පාදනය වෙලා ආර්ථිකය ඉදිරියට තල්ලු කෙරෙන ක්‍රමයක් හොරකම් නැති වුනත් හොරකම් කරන්න දෙයක්වත් නිෂ්පාදනය නොවන ක්‍රමයකට වඩා හොඳයි.
මම මේ ආණ්ඩුවේ ඇතැම් කටයුතු විවේචනය කරල තිබෙන්නේ හදාගන්නවානම් වැරදි හදාගෙන ඉදිරියට යන්න උදවු වෙන්න මිසක් ආණ්ඩුව ගෙදර යවන්න හෝ ආණ්ඩුව එක්ක වෛරයකින් නෙමෙයි. එහෙම කරලා තිබෙන්නේ රටක් වශයෙන් ලංකාව ඉදිරියට අඩියක් හෝ තියනවට තියෙන කැමැත්ත නිසා මිසක් ආණ්ඩුවට තිබෙන පක්ෂපාතිත්වය නිසාත් නෙමෙයි. මේ ආණ්ඩුව වෙනස් වෙලා වෙනත් ආණ්ඩුවක් ආවත් මම කරන්නේ ඔය ටිකමයි. සෘජු හෝ වක්‍ර සම්බන්ධයක් තිබෙනවාද කියා හරියටම නොදන්නා නමුත්, ඉකොනොමැට්ටාගේ වියුණු හරහා පසුගිය කාලය මුළුල්ලේ වරින් වර කර තිබෙන යෝජනා වලින් ඇතැම් ඒවා ඒ යෝජනා කර සිදු කර ටික කලකට පසුව ක්‍රියාත්මක වී තිබෙනු දැකීම සතුටට කරුණක්.
එජාපයේ ආර්ථික ප්‍රතිපත්ති අනෙක් විකල්ප වලට සාපේක්ෂව ඉදිරිගාමී බව කීමෙන් අදහස් කෙරෙන්නේ අඩු වශයෙන් ආර්ථික ප්‍රතිපත්ති හා අදාළව හෝ එජාපය කරන හැම දෙයක්ම නිවැරදි බව නෙමෙයි. එජාපයේ ආර්ථික ප්‍රතිපත්ති වල හා ඒවා ක්‍රියාත්මක කිරීමේ තිබෙන අඩුපාඩු සියල්ලම වගේ අනෙක් දේශපාලන පක්ෂ වලටත් පොදු බවයි. එජාප ආර්ථික ප්‍රතිපත්ති සියල්ලම අනුමත නොකළත්, ලංකාවේ ආර්ථිකය නිවැරදි මාර්ගයට ගන්න කළ යුතු දේ ලෙස මම හිතන දේවල් සමඟ මේ වෙලාවේ වඩාත්ම සමපාත වන්නේ එජාපයේ ආර්ථික ප්‍රතිපත්ති.
ආණ්ඩුව විසින් ආර්ථිකය හැසිරවීමේදී කිසියම් කරුණක් හා අදාළව කරන්නේ ආර්ථිකය හසුරුවන එක ඉකොනොමැට්ටා බාර ගත්තත් කරන්න පුළුවන් හොඳම දේ නම්, යෝජනා කරන්න වෙන ප්‍රායෝගික විකල්පයක් ඉකොනොමැට්ටාට පේන්නෙත් නැත්නම්, ආණ්ඩුව කරන දෙයක වැරැද්දක් අඩුපාඩුවක් පෙනුණත් එය විවේචනය කිරීම සාධාරණයි කියා මම හිතන්නේ නැහැ. අප විශ්වාස කරන නිවැරදි ක්‍රියාමාර්ගයක් කවර හෝ ආණ්ඩුවක් විසින් ගන්න විට ඒ වෙනුවෙන් පෙනී සිටිනු මිස බොරුවට එය විවේචනය කිරීමේ කුහක ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න අපට හැකියාවක් නැහැ. එහෙම නොකරන්නෝ "උග්‍ර එජාප ක්‍රියාකාරිකයින්" කියා කවුරු හෝ හිතනවානම් එය ඒ අයගේ ප්‍රශ්නයක් මිසක් මගේ ප්‍රශ්නයක් නෙමෙයි.
ඔය "බටහිර දැනුම් වහල් අනුකාරකයන්" එහෙම නැත්නම් "උග්‍ර එජාප ක්‍රියාකාරිකයින්" වගේ ලේබල් වලින් මට රිදෙන්නේ නැතුවා වගේම ඔය ලේබල් නිසා මම ආඩම්බර වෙන්නේත් නැහැ. ඕවා නිකම්ම නිකම් ලේබල් පමණක් බව දන්න නිසා මම ඕවා දිහා බොහොම උපේක්ෂාවෙනුයි බලන්නේ.
හැබැයි සතුටු වෙන්නේ නෑ කියන්නමත් බැහැ. මෙහි ඇවිත්, ඉකොනොමැට්ටා ලියන "ආර්තික විජ්ජා රස කතා" හෝ වෙන මොනවා හෝ වැල්වටාරමක් කවුරු හෝ කියවන්නේ එයින් මොනවා හෝ සතුටක් ලැබෙන නිසයි. ඒ ගැන ඉකොනොමැට්ටාට නිහතමානී සතුටක් තිබෙනවා. වෙන තැනකින් කොපි කරගෙන ඇවිත් හෝ මෙහි කමෙන්ට් එකක් දමන අය කරන්නේ මේ ලිවිල්ල දිගටම ඇදගෙන යාම දිරිමත් කරන එකයි. ඒ නිසා ඒ ගැන වුවත් තිබෙන්නේ සතුටක්. ඒ නිසා, මෙහි ලියන දේ හෝ ඒ මත පදනම්ව ඉකොනොමැට්ටාව විවේචනය කරන අයට මම අවංකවම කියන්නේ ඔබ ඔබටම අවංකනම් ඔබ කරන දේ දිගටම කරන්න කියලයි. ඔබ හිතන ආකාරය දැන ගැනීම මට ඇත්තටම සතුටක්!
පහුගිය අවුරුදු තුනකුත් මාස තුනකට කිට්ටු කාලයක් පුරා ලිපි හාරසිය ගණනක් ලියමින් පැමිණි ගමනට දිරි දුන් අය අතර අපව අගය කරමින් ප්‍රතිචාර දැක්වූ අය, විවේචන කළ අය වගේම දෝෂාරෝපණ කළ අයත් එක සේ ඇතුළත්. ඒ වගේම කිසිවක් නොකියා නිහඬව ලියන දේ කියවන විශාල පිරිසත් එයට ඇතුළත්. හැම ප්‍රතිචාරයකටම පිළිතුරු නොසපයන්නේ ඇතැම් ප්‍රතිචාර වල ස්වභාවය අනුව අමුතුවෙන් කියන්න තරම් යමක් නැති නිසා. ඇතැම් විට කාලයත් හරස් නොවෙනවා නොවෙයි.
අපේ පාඨකයින්ව අපි හැම වෙලාවේම අගය කළත් ඒ ගැන ඉඳහිට හෝ නොකීවොත් අප ඔබව කොයි තරම් අගය කරනවාද කියන එක දැනෙන එකක් නැහැ. ඒ නිසා, නැවත වරක් අවධාරණයෙන් යුතුව මතක් කරන්නේ මෙහි පැමිණ අප ලියන දේ කියවන හා කවර හෝ ආකාරයේ ප්‍රතිචාරයක් දැමීමට තමන්ගේ වටිනා කාලය යොදවන ඔබ සැමව අප ඉතාමත්ම අගය කරන බවයි.
Friday, May 18, 2018
අවුරුදු තුනක කෙරුවාව
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලංකාවේ ආර්ථිකය ගැන සමාලෝචනය කරමින් සෑම වසරකම අප්‍රේල් මාසයේදී වාර්තාවක් පළ කරන අතර 2017 වසර සඳහා වන එම වාර්තාව මේ වන විට පළ කර තිබේ. එහි ඇති සංඛ්‍යාලේඛණ ඇසුරින් අපට 2014 හා 2017 වර්ෂ සසඳා බැලිය හැකිය. පහත වගුව එවැන්නකි.
මේ වසර තුන ඇතුළත රුපියල් වලින් බැලූ විට රටේ ආර්ථිකය 28.3%කින් ප්‍රසාරණය වී තිබේ. ඒ අතර රටේ ජනගහණයද 3.2%කින් වැඩි වී ඇති නිසා, ඒක පුද්ගල ආදායම වැඩි වී තිබෙන්නේ 24.2%කින් පමණි. කෙසේ වුවද, ඒ රුපියල් වලිනි. 2014 රුපියලක අගයට වඩා 2017 රුපියලක අගය අඩු බව කිව යුතු නැත. මේ තෙවසර තුළ ඇමරිකන් ඩොලරයක මිල 16.8%කින් ඉහළ ගියේ එබැවිනි. ඒ නිසා, ඩොලර් වලින් බැලූ විට ලංකාවේ ඒක පුද්ගල ආදායම වැඩි වී තිබෙන්නේ 5.9%කින් පමණි.
පසුගිය කාලය තුළ රජයේ ආදායම් 52.7%කින් වැඩි කරගෙන තිබෙන අතර වියදම් වැඩි වීම 43.3% මට්ටමට සීමා කරගෙන තිබේ. රටේ නාමික ආර්ථික වර්ධනය මෙන් දෙගුණයකට ආසන්න වේගයකින් රජයේ ආදායම් ඉහළ නංවා ගැනීම පහසු දෙයක් නොවේ. බදු හරහා ආදායම් වැඩි කරගන්නා අතරම රජයේ වියදම් සීමා කිරීම ආර්ථික වර්ධනයට අහිතකර ලෙස බලපාන බවද කිවයුතු නොවේ. ඒ නිසා, එවැනි ක්‍රියාමාර්ග ගන්නට ආණ්ඩුවකට විශාල ධෛර්යයක් අවශ්‍යය. මෙවැනි තත්ත්වයක් යටතේ පවා රජයේ අයවැය හිඟය 24.1%කින් ඉහළ ගොස් තිබීම ලංකාවේ රජය වැටී සිටින අගාධයේ ගැඹුර පෙන්නුම් කරයි.
අයවැය හිඟය තව දුරටත් වැඩි වීමේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය තෙවසර තුළ රාජ්‍ය ණය ප්‍රමාණය 39.5%කින් වර්ධනය වී ඇති අතර, දේශීය ණය ප්‍රමාණය 30.8%කින්ද, විදේශ ණය 51.6%කින්ද ඉහළ ගොස් තිබේ. රුපියල් වලින් බලන විට විදේශ ණය ප්‍රමාණය විශාල ලෙස වැඩි වූ සේ පෙනෙන්නට එක් හේතුවක් වන්නේ රුපියලේ අගය පිරිහීමයි. එහෙත්, ඩොලර් වලින් බැලුවත්, සිදුවී තිබෙන්නේ විදේශ ණය ප්‍රමාණයෙහි 20.8%ක වර්ධනයකි.
රාජ්‍ය අංශය මෙසේ වෙද්දී, පෞද්ගලික අංශයේ ක්‍රියාකාරිත්වයෙහි කැඩපතක් බඳු කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය 12.7%කින් පහළ ගොස් ඇති අතර, වෙළඳපොල ප්‍රාග්ධනීකරණය 6.6%කින් පහළ ගොස් තිබේ. මේ දර්ශක පසුගිය කාලයේ සිදුවූ මන්දගාමී ආර්ථික වර්ධනයට අනුරූපය.
මහ බැංකුව විසින් රුපියල යම් ප්‍රමාණයකින් අවප්‍රමාණය වන්නට හැරියත්, අවශ්‍ය පමණට අවප්‍රමාණය වන්නට ඉඩ නොහැරීම නිසා ආනයන වියදම් 8.0%කින් ඉහළ යද්දී, අපනයන ආදායම් වැඩි වී තිබෙන්නේ 2.1%කින් පමණි. මෙහි ප්‍රතිඵලය ලෙස වෙළඳ ශේෂය 16.1%කින් ඉහළ ගොස් තිබේ. රුපියලේ අගය පහළින් තබා ගැනීම පිණිස නිල සංචිත විකිණීමේ ප්‍රතිඵලයක් ලෙස 3.0%කින් නිල සංචිත පහළ ගොස් තිබේ.
මේ අතර මහ බැංකුවේ සංචිත මුදල් 62.6%කින් විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර මෙය රටේ ආර්ථික වර්ධනයට අනුරූප මට්ටම ඉක්මවමින් විශාල මුදල් ප්‍රමාණයක් අලුතින් මුද්‍රණය කර සංසරණයට එකතු කිරීමකි. එහි ප්‍රතිඵලයක් ලෙස කොළඹ පාරිභෝගික මිල දර්ශකය ඉහළ ගොස් තිබෙන්නේ 16.2%කින් පමණක් නිසා ඉදිරි කාලයේදී උද්ධමන පීඩන ප්‍රශ්නයක් වන්නට ඉඩ තිබේ.
මේ රටේ ආර්ථිකයේ තත්ත්වයයි. අවුරුදු තුනක් තුළ රටේ ආර්ථික දර්ශක මේ අයුරින් වෙනස් වෙද්දී ඉකොනොමැට්ටාගේ බොජුන්හලටද මේ වන විට අවුරුදු තුනක් ගත වී තිබේ.
Thursday, February 1, 2018
මාළු අල්ලමුද?
ජනවාරි මාසය අවසන්ය. මාසය තුළ මෙහි පළ කරනු ලැබ ඇත්තේ ලිපි හතරක් පමණි. අවසන් ලිපිය පළ කර ඇත්තේ දෙසතියකට පමණ පෙරය. මේ දෙකෙන් එකක්වත් සිදුවුණේ පළමු වරට නොවූවත්, සාමාන්‍යයෙන් මේ වියුණුව මීට වඩා අඩු කාලාන්තර තුළ යාවත්කාලීන කෙරෙන බව පාඨකයින් දන්නා කරුණකි.
වියුණුව කෙරෙහි අඩු අවධානයක් ලැබෙන්නට හේතු වූ මූලික කරුණ කාර්යබහුලකම වූවත් එය එකම කරුණ කියා කියන්නට නුපුළුවන. ලිපියක් ලියා පළ කරන්නට තරම් උත්තේජනයක් නොතිබීමද එයට හේතුවකි. පසුගිය දෙසතිය තුළ ලියන්නට පටන්ගත් ලිපි කිහිපයක්ම අතරමඟ නැවතී ඇති අතර තවත් කිහිපයක් ලියා අවසන් කළද ඒවායේ ඇති කරුණු අනුව පළ කළ යුතුයැයි සිතුණේ නැත.
වියුණුව කෙරෙහි වූ උනන්දුව අඩුවුණේ ඇතැම් අය හිතන පරිදි හිට්ස් අඩුවීම හෝ කමෙන්ට්ස් අඩුවීම වැනි සිල්ලර කරුණු නිසා නොවේ. කියවන්නන්ගේ අඩුවක් කොහෙත්ම සිදුවී නැත. දෙසතියකින් පමණ අලුත් ලිපියක් පළ වී නැතත්, සෑහෙන පිරිසක් තවමත් "නිකං ඇවිත් යන්නට" හෝ පැමිණේ. තේරුමක් ඇති කමෙන්ට් මිස නිකමට දමන කමෙන්ට්ස් වලින් මට කවදාවත් උත්තේජනයක් ලැබී නැත.
ඇත්තටම කියනවානම් වියුණුව කෙරෙහි උනන්දුව අඩුවන්නට හේතුව වූයේ පසුගිය දිනවල වියුණුවෙන් පරිබාහිරව කරන දේවල්ද වියුණු ලිපි ලියනවාටම සමාන දේවල් වීමයි. ඒ නිසා, වෙනදා මෙන් වියුණු ලිපියක් ලිවීමෙන් කාර්යබහුල ජීවිතයේ ඒකාකාරී බවින් මිදෙන්නට උදවුවක් නොලැබුණේය. එවැනි වාසියක් හෝ නැතිව, වියුණු ලිපි ලියන්නට කාලය මිඩංගු කළ විට විට මඟ හැරී යන්නේ ශාරීරික යෝග්‍යතාවය පවත්වා ගැනීම හා පවුල සමඟ ගත කිරීම සඳහා ඇති සීමිත කාලයයි.
සාමාන්‍යයෙන් නිතර යාවත්කාලීන කෙරෙන වියුණුවක් වන රසිකොලොජි වියුණුවද මේ වියුණුවට හෝ මට පෞද්ගලිකව කිසිදු සම්බන්ධයක් නැති, මා නොදන්නා කවර හෝ හේතුවක් නිසා මේ අවුරුද්ද තුළ යාවත්කාලීන වී තිබුණේ ඉතා අඩුවෙනි. ටික කලකට පෙර රසිකොලොජිස්ට් විසින්ම කියා තිබුණු පරිදි සිංහල වියුණු යනු තවමත් එකිනෙකට අනුපූරක මිස ආදේශක නොවේ. මා හිතන පරිදි ඔහුගේ මේ අදහස නිවැරදිය. ඇතැම් අය වරින්වර පිට පනින රීතියක් වුවත්, බොහෝ බ්ලොග්කරුවන් කැමැත්තෙන්ම වෙනත් බ්ලොග් ප්‍රවර්ධනය කරන්නේ මේ ගැන අදහසක් බොහෝ බ්ලොග්කරුවන්ට තිබෙන නිසා විය හැකිය.
සිංහල වියුණු එකිනෙකට අනුපූරක වීමට ඉල්ලුම් සාධක මෙන්ම සැපයුම් සාධකද බලපායි. ටික කලකට පෙර රසිකොලොජිස්ට් විසින්ම ඔහුගේ වියුණුවට පාඨකයින් පැමිණෙන ප්‍රධාන ප්‍රවේශ මාර්ග පිළිබඳ සංඛ්‍යාලේඛණ පළ කර තිබුණේය. මේ ලිපිය හොයාගන්නට අපහසු වුවත්, එම ලැයිස්තුවේ හැලපකඩේ හා ඉකොනොමැට්ටා වැනි වෙනත් බ්ලොග් අඩවි කිහිපයක්ද තිබුණේය. මේ වියුණුවට පාඨකයින් එන ප්‍රධාන ප්‍රවේශ මාර්ග අතරද හැලපකඩේ හා රසිකොලොජිය වැනි වෙනත් බ්ලොග් අඩවි තිබේ.
රසිකොලොජිය වැනි බ්ලොගයක් නිතර යාවත්කාලීන වන විට එහි පැමිණෙන පාඨකයින් ගණනද වැඩි වේ. එවිට, ඒ හරහා මේ වියුණුව වැනි වෙනත් වියුණු වලට පැමිණෙන පිරිස්ද ඉහළ යයි. විරුද්ධ දිශාවටද ඒ දෙයම සිදුවනවා විය යුතුය. මෙය ඉල්ලුම් සාධක හරහා එක් වියුණුවකින් තවත් වියුණුවක් පෝෂණය වන ප්‍රධාන ආකාරයකි.
කෙසේවුවද, රසිකොලොජිගේ ඉහත සංඛ්‍යාලේඛණ අනුව එහි පැමිණෙන පාඨකයින් අති මහත් බහුතරය පැමිණෙන්නේ බ්ලොග් සින්ඩිකේටර හෝ බ්ලොග් රෝල් හරහා නොවේ. වත්පොත හා ගූගල් හරහාය. මෙය මේ වියුණුවටද පොදු කරුණකි. ඒ නිසා, වෙනත් බ්ලොග් හරහා පැමිණෙන සාපේක්ෂව සුළු පාඨකයින් ප්‍රතිශතය වියුණුව සමඟ රැඳී සිටින්නට විශාල බලපෑමක් කරන්නේ නැත.
එක් සිංහල වියුණුවකින් තවෙකක් පෝෂණය කරන්නට ප්‍රධාන වශයෙන්ම හේතුවන්නේ සැපයුම් සාධකයි. අයෙක් ලිපියක් පළ කළ විට තවත් බොහෝ අයට ලියන්නට දෙයක් මතක් වෙයි. ඉයන් වැනි අය විසින් කලින් කලට දිරිගන්වනු ලැබූ රැළි උදාහරණ ලෙස දැක්විය හැකිය.
දැන් මේ "අනුවේදනීය කතාව" අවසන් කර ලියන්නට සිතා සිටි මාතෘකාවට නැවත පැමිණියහොත් රසිකොලොජිස්ට්ගේ අලුත්ම ලිපි දෙකෙන් කතා කරන්නේ මස්කෑම හා සතුන් මැරීම අතර ඇති සම්බන්ධය ගැන හා සතෙකු මැරීමේදී සතා අනුව හා අවස්ථාව අනුව යමෙකුට ඇතිවන සහකම්පනය වෙනස්වීම ගැනය. ඔහුට මේ ලිපි ලියන්නට උත්තේජනයක් සපයා ඇත්තේ ඔහුගේ මිතුරෙකු විසින් වත්පොතේ පළ කරනු ලැබ ඇති සටහනකි.
දිනපතාම වාගේ කිසියම් හෝ සත්ව මාංශ කොටසක් ආහාරයට ගන්නා පුද්ගලයෙකු වන මට සතෙකු මැරීම බොහෝ විට ඉතා අසීරු කාර්යයකි කාර්යයකි. එහෙත්, එයින් අදහස් වන්නේ මා කිසිවිටෙක සතෙකු මරා නැති බව හෝ සතෙකු නොමරන බව නොවේ. එසේ කළ අවස්ථා ඕනෑතරම් තිබේ. විශේෂයින්ම මදුරුවන් හා මකුණන් ඕනෑතරම් මරා තිබේ.
ඇමරිකාවේ ජීවත් වෙද්දී මුහුණ දෙන ප්‍රශ්නයක් නොවූවත්, දැන් වුවද ලංකාවට ගිය විටක මදුරුවන් මරන්නට මා පැකිලෙන්නේ නැත. එහෙත්, ඉතා කුඩා කාලයේදී (පාසැල් යන්නටත් පෙර හෝ පළමු ශ්‍රේණියේ උගත් කාලයේදී පමණ) පින් තකා දිනපතා නිශ්චිත මදුරුවන් ගණනකට ගණන් කරමින් ලේ දන් දුන් අතීතයක්ද මට තිබේ. ඒ නිසා, දැනටත් සතෙක් මරන්නට ඇති අපහසුතාවය පසුපස අවිඥානිකව හෝ ආගමික පසුබිමක් තිබෙන්නටද පුළුවන.
ආහාර පිණිස සතුන් මැරීම ඇමරිකාවේදී සැලකෙන්නේ ඉගෙන ගත යුතු ජීවන කුසලතාවයක් ලෙසිනි. මෙය ආබ්‍රහමික ආගම් වල දාර්ශනික පදනම සමඟද මැනවින් ගැලපේ.
ඇමරිකාවේ සෑම නගරයකම වාගේ ඉතා හොඳ මට්ටමේ පුස්තකාලයක් තිබේ. පළාත් පාලන ආයතන විසින් අයකරනු ලබන බදු වලින් නඩත්තු කෙරෙන මේ පුස්තකාල වලින් කෙරෙන්නේ පොත් හා වෙනත් ශ්‍රව්‍ය දෘශ්‍ය ප්‍රකාශන කියවන්නට, අසන්නට හෝ නරඹන්නට අවස්ථාව සැලසීම පමණක් නොවේ. මේ පුස්තකාල වල කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා විවිධ වයස් කාණ්ඩ ඉලක්ක කර සකසා ඇති පරිගණක මෘදුකාංග, ඉංග්‍රීසි භාෂාව හා වෙනත් භාෂා ආදිය නොමිලේ හැදෑරීමට අවකාශ සැලසෙන අධ්‍යාපනික වැඩසටහන් ගණනාවක්ම ක්‍රියාත්මකව ඇති අතර ඒ අතර මාළු ඇල්ලීම වැනි ජීවන කුසලතා පුහුණු කෙරෙන වැඩ සටහන්ද තිබේ. බොහෝ විට මෙවැනි වැඩ සටහනක අරමුණ ජීවන කුසලතාවයක් ලෙස මාළු ඇල්ලීම ප්‍රවර්ධනය කිරීමම නොව, පවුලක දරුවන් හා වැඩිහිටියන් එක්ව විනෝදාංශයක් ලෙස මාළු ඇල්ලීම වැනි ක්‍රියාකාරකම් තුළින් පවුල් සම්බන්ධතා ශක්තිමත් කිරීම විය හැකිය.
පවුලේ සාමාජිකයින් හා එක්ව වසරකට වරක්වත් "කෑම්පිං යාම" මෙන්ම එවැනි අවස්ථාවක හෝ වෙනමම අවස්ථාවක දරුවන් හා එක්ව මාළු අල්ලන්නට යාමද බොහෝ ඇමරිකානුවන් විසින් කරන දෙයකි. බලපත්‍රයක් ලබාගැනීමෙන් පසු ප්‍රාන්ත රජයේ දේපොළ වන ඇළ, දොළ, ගංගා හා ස්වභාවික පොකුණු ආදියේ මාළු අල්ලන්නට ඉඩ ලැබෙන අතර ඇතැම් ප්‍රාන්ත වල නිශ්චිත සතියක් හෝ සති අන්තයක් තුළ බලපත්‍ර නොමැතිව මෙසේ මාළු අල්ලන්නටද ඉඩ ලැබේ. එහෙත්, මේ මාළු ඇල්ලීම මාළුවාගේ ප්‍රමාණය දක්වාම තවදුරටත් නියාමනය කෙරී ඇති අතර නිශ්චිත තරමකට ලොකු වී නැති මාළු අසුවුවහොත් ඔවුන් නැවත වතුරට දැමිය යුතුය. මෙය මාළු ගහණය ස්ථිරව පවත්වා ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගයකි.
මා පෞද්ගලිකව දන්නා, දරුවන් සමඟ නිතර මාළු අල්ලන්නට යන ඇතැම් ඇමරිකානු මිතුරෝ ඉහත පරිදි අසුවන කුඩා මාළුන් පමණක් නොව, ලොකු මාළුන් පවා අසු වූ වහාම කරන්නේ බිලී පිත්තෙන් මුදා නැවත වතුරට දැමීමයි. දවස පුරාම මාළු අල්ලන ඔවුන් හවසට ගෙදර එන්නේ හිස් අතිනි. මේ හැසිරීමට හේතුව ආගමික එකක්යැයි කිව නොහැකිය.
මගේ දරුවන්ගේ මිතුරන් ඔවුන්ගේ පවුල්වල අය සමඟ කරන ක්‍රියාකාරකම් වල නිරත වන්නට මගේ දරුවන්ද කැමතිය. එහෙත්, කවර හෝ හේතුවක් නිසා මාළු අල්ලන්නටනම් ඔවුන් කැමතිම නැත. එහෙත්, ඔවුන් හැදී වැඩී ඇත්තේ මා හැදුණු ආකාරයේ සංස්කෘතික වටපිටාවක නොවේ. මෙය පිං පවු මත පදනම් නොවූ, සත්ත්ව හිංසනයට ඇති කිසියම් ස්වභාවික අකැමැත්තකි.
Thursday, August 17, 2017
බූරුවා පැනගොස් දෙවසරක් ගෙවී තිබේ!
හරියටම වසර දෙකකට පෙර 2015 අගෝස්තු 17 වෙනිදා ඉකොනොමැට්ටාගේ වත්පොත් පිටුවේ පළ කළ සටහනක් ගැන වත්පොත්බොට්ටන් විසින් උදේ පාන්දරම මතක් කර දුන්නේය. මේ වත්පොත්බොට්ටන්ට හා එවැනි වෙනත් බොට්ටන්ට මේ වන විට මෑතක් වන තුරු මිනිසුන්ට පමණක් කළ හැකිව තිබුණු බොහෝ දේ කළ හැකිය. විශේෂයෙන්ම ඔවුන්ට වෙනසක් නොපෙනෙන පරිදි සාමාන්‍ය පුද්ගලයින් මෙන් මිනිසුන් සමඟ චැට් කිරීමට පමණක් නොව ඇතැම් දේ ගැන දක්ෂ ලෙස හෙට්ටු කිරීමට පවා පුළුවන්කම තිබේ. එය ඔවුන්ට කෙතරම් දක්ෂ ලෙස කළ හැකිද කියනවානම් තමන් චැට් කරන්නේ සැබෑ පුද්ගලයෙකු සමඟ නොවන බව ඔවුන් සමඟ චැට් කරන අයට හිතෙන්නේවත් නැත. තාක්ෂනය දියුණු වෙමින් පවතින වේගය අනුව තව වසර කිහිපයක් යන විට මෙවැනි හෙට්ටු කිරීම් වචන වලින්ම කරන්නටත්, සිංහලෙන් කරන්නටත් ඉඩ ලැබෙනු ඇතැයි සිතිය හැකිය.
සිය ගණුදෙනුකරුවන් සමඟ අදහස් හුවමාරු කරගැනීම සඳහා බොට්ටන් යොදාගැනීම මේ වන විටත් බොහෝ සමාගම් විසින් කරන්නකි. බැංකු, රක්ෂණ සමාගම්, ගුවන් ප්‍රවේශපත් නියෝජිතයින් හා ගුවන් සේවා සමාගම් වැනි පුළුල් පරාසයක විහිදෙන ආයතන ගණනාවක් විසින් විකිණීම, අලෙවිකරණය හා පාරිභෝගික සේවා සැපයීම වැනි කාර්යයන් ගණනාවක් සඳහා බොට්ටන් යොදාගැනීම ඉතා සීඝ්‍රයෙන් ජනප්‍රිය වන ප්‍රවණතාවයකි.
මේ ඇතැම් ආයතනයක වෙබ් පිටුවට ගිය වහාම "ඇන්ජෙලා" වැනි සාමාන්‍ය නමක් ඇති කවුරු හෝ පැමිණ ඔබට අදාළ කරුණ ගැන චැට් කිරීමට අවශ්‍යදැයි විමසයි. ඔබ කැමතිනම් ඔබට ඇන්ජෙලා සමඟ චැට් කළ හැකිය. එහෙත්, බොහෝ විට මේ ඇන්ජෙලා ලේ, මස්, නහර වලින් හැදුණු හෝමෝ සේපියන්ස් දියණියක් නොවේ. සමාගම් විසින් ඇන්ජෙලා වැනි නම් ඇති බොට්ටන් සේවයට යොදවා ගැනීම ඉතා වේගයෙන් වර්ධනය වෙමින් පවතින අතර මේ හරහා ප්‍රතිස්ථාපනය වන්නේ ඉන්දියාව වැනි රටවල දැනට පවත්වාගෙන යන කෝල් සෙන්ටර් වලට ඇති ඉල්ලුමයි.
ෆේස්බුක් ආයතනය ඇතුළු සමාගම් සැබෑ මිනිසුන් ලෙස පෙනී සිටින හා කටයුතු කරන බොට්ටන් වැඩි දියුණු කරමින් සිටිද්දී විවිධ හේතූන් මත සාමාන්‍ය පුද්ගලයින් විසින් තමන්ගේ නීත්‍යානුකූල නම නොවන වෙනත් නම් වලින් වත්පොත් ගිණුම් අරඹති. මේ වන විට බිලියන දෙක ඉක්මවා ඇති වත්පොත් ගිණුම් ප්‍රමාණයෙන් මිලියන 83ක් පමණ මෙවැනි "ෆේක් ප්‍රොෆයිල්" බව ඇස්තමේන්තු කර තිබේ. එහෙත්, එයින් අදහස් වන්නේ ඒවා සියල්ලම වංචනික පරමාර්ථයකින් හදා ඇති වත්පොත් ගිණුම් බව නොවේ. මේ ගිණුම් බොහොමයක් ඒවා මෙහෙයවන පුද්ගලයින් විසින් හදා ඇත්තේ කිසියම් ව්‍යවසායයක් හෝ මතවාදයක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණිනි.
ඉකොනොමැට්ටාගේ බොජුන්හල ආරම්භ කළේ 2015 මැයි 18 දිනයි. එයින් දින පහකට අනතුරුව ඉකොනොමැට්ටා (ඉකොනො මැට්ටා) නමින් වත්පොත් ගිණුමක්ද අරඹනු ලැබුවේය. ඉකොනොමැට්ටා ලියන ලියුම්කරු විසින් සමාජජාලා හරහා සිංහලෙන් ලිවීම ඇරඹුවේ ඊට මාස කිහිපයකට පෙරය. ඒ සඳහා භාවිතා කළේ එක්තරා වත්පොත් පිටුවකි. එසේ කළේ ඉකොනොමැට්ටාගේ පෞද්ගලික මිතුරෙකුගේ යෝජනාවක් හා ඉල්ලීමක් අනුවය. එසේ පළකළේ ලිපි සීමිත ගණනක් පමණක් වුවත් එම ලිපි ඉකොනොමැට්ටා ලියන ලියුම්කරු විසින් පෞද්ගලිකව දැන නොසිටි බොහෝ දෙනෙකුගේද අවධානයට ලක් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස පෞද්ගලිකව නොදන්නා බොහෝ දෙනෙකුගෙන් මිතුරු ඉල්ලීම් එන්නට පටන් ගත්තේය.
ඒ වන තුරු ඉකොනොමැට්ටා ලියන ලියුම්කරුගේ පෞද්ගලික වත්පොත් ගිණුම සම්බන්ධව ලියුම්කරු විසින් අනුගමනය කළ ප්‍රතිපත්තිය වූයේ පෞද්ගලිකව නොදන්නා අයගේ මිතුරු ඉල්ලීම් අනුමත නොකර සිටීමයි. එහෙත්, ඉහත වත්පොත් පිටුව හරහා හඳුනාගත් කිහිප දෙනෙකුගේ ඉල්ලීම් එසේ අනුමත නොකර සිටීම අසීරු විය. මේ කිහිපදෙනා තවමත් ලියුම්කරුගේ පෞද්ගලික වත්පොත් ගිණුමේ මිතුරු ලැයිස්තුවේ සිටින අතර ඔවුන් නිසා මෙතෙක් කිසිදු අසීරුතාවයක් ඇති වී නැත.
කෙසේ වුවත්, ඉහත තත්ත්වය ලියුම්කරුට සිය වත්පොත ගිණුම ගැන නැවත හිතන්නට පෙළඹුවේය. එක අතකින්, වත්පොත් ගිණුම යනු ලියුම්කරුගේ පෞද්ගලික තොරතුරු හා ඡායාරූප ඇති ඉතා පෞද්ගලික තැනකි. එමෙන්ම, එය ලියුම්කරුගේ පවුලේ අනෙකුත් සාමාජිකයින්ගේ හා සමීප මිතුරන්ගේ පෞද්ගලිකත්වයද නිරාවරණය කෙරෙන තැනකි. ඒ නිසා, එහි ඇති දෑ පොදු අවකාශයකට විවෘත කිරීමට හැකියාවක් නොතිබුණේය. අනෙක් අතට, ලියුම්කරුව පෞද්ගලිකව නොදත්, එහෙත් කවර හෝ හේතුවක් නිසා ඔහු සමඟ සම්බන්ධ වීමට කැමැත්තෙන් සිටින සැලකිය යුතු පිරිසක්ද සිටින බව පෙනෙන්නට තිබුණේය.
ඉකොනොමැට්ටාගේ බොජුන්හල ආරම්භ කළේ ලියුම්කරු ලියන දේ කියවන්නට කැමති පෞද්ගලිකව නොදන්නා අයටද ඒ සඳහා ඉඩ සැලසීම සඳහාය. ඒ අතරම, ලියුම්කරු පෞද්ගලිකව දන්නා එහෙත් මෙහි ලියන වැල්වටාරම් කියවන්නට උනන්දුවක් නැති අයද සිටින නිසා මේ වියුණුව අවශ්‍ය අයෙකුට හොයා ගන්නට ඉඩ හරිනු හැර එය පෞද්ගලික මිතුරන් අතර හෝ ප්‍රචාරණය කළේ නැත. ඒ අයුරින්ම, ඉකොනොමැට්ටා වත්පොත් ගිණුම ඇරඹුවේ මෙහි ලියන දේ ඇසුරින් ඉකොනොමැට්ටාව හඳුනාගෙන ඉකොනොමැට්ටා සමඟ සම්බන්ධ වීමට අවශ්‍යයැයි සිතන අය වෙනුවෙනි. පසුව, 2016 ආරම්භයේදී ඉකොනොමැට්ටාගේ සතපහ ආරම්භ කිරීමෙන් පසුව ඒ වෙනුවෙන්ද වත්පොත් පිටුවක් අරඹනු ලැබුවේය.
වත්පොත් ගිණුමක් විවෘත කිරීමෙන් පසුව තමන්ට සම්බන්ධ වන්නට අවශ්‍ය අය වෙත මිතුරු ඉල්ලීම් යැවීම බොහෝ දෙනෙකු විසින් කරන සාමාන්‍ය දෙයකි. පෙර කී පරිදි, ඉකොනොමැට්ටා ලියන ලියුම්කරු වෙත ඔහුගේ පෞද්ගලික වත්පොත් ගිණුමට එවැනි මිතුරු ඉල්ලීම් පැමිණි විට ඒවා අනුමත කළේ ඉල්ලීම එවූ තැනැත්තා පෞද්ගලිකව දන්නේනම් පමණි. ඉතා සීමිත අවස්ථා ගණනකදී පමණක් පොදු මිතුරු ලැයිස්තුව හා අනෙකුත් තොරතුරු පරීක්ෂා කර එවැනි ඉල්ලීම් අනුමත කර තිබේ.
තමන්ගේ වත්පොත් මිතුරන් තෝරාගැනීමේදී අනෙකුත් බොහෝ දෙනෙකුද එසේ සැලකිලිමත් වන බව ඉකොනොමැට්ටා දන්නා නිසා ඉකොනොමැට්ටා වත්පොත් ගිණුමෙන් මෙතෙක් කිසිවෙකුටත් මිතුරු ඉල්ලීම් යවා නැත. එහෙත්, වියුණුව හරහා බ්ලොග්කරුවෙකු ලෙස ඉකොනොමැට්ටාව හඳුනාගත් අයගෙන් වරින් වර ඒ වෙත මිතුරු ඉල්ලීම් ලැබුණු අතර මෙතෙක් එසේ ලැබුණු මිතුරු ඉල්ලීම් කිසිවක් ප්‍රතික්ෂේප කරද නැත. මේ වන විට එම ගිණුම හා අදාළ මිතුරු ලැයිස්තුවේ 312 දෙනෙකු සිටිති.
ඉහත ගිණුම ඇරඹීමේදී ඉකොනොමැට්ටා විසින් ඇමරිකන් නීතිය අනුව වරදක් කර නොතිබුණු අතර ලියුම්කරුගේ අනන්‍යතාවය හඳුනාගත හැකි පෞද්ගලික තොරතුරු ෆේස්බුක් සමාගමට ලබාදී තිබුණේය. කෙසේවුවද, 2015 දෙසැම්බරයේදී පමණ ෆේස්බුක් සමාගමේ ෆේක් ප්‍රොෆයිල් හා අදාළ ප්‍රතිපත්තිය දැඩි විය. මේ අනුව, එක් පුද්ගලයෙකුට හැකියාව ඇත්තේ තමන්ගේ නීත්‍යානුකූල නමින් එක් වත්පොත් ගිණුමක් පවත්වාගෙන යාමට පමණි. 2016 වසර මුල සිට පවත්වාගෙන එන "ඉකොනොමැට්ටාගේ සතපහ" පිටුව වැනි පිටු නඩත්තු කිරීමේ හැකියාවක් ඇතත්, වත්පොත් ගිණුමක් පවත්වාගෙන යා හැක්කේ කිසියම් පුද්ගලයෙකුගේ සැබෑ නමින් පමණි.
ඉහත ප්‍රතිපත්තිය උල්ලංඝනය කරන අයගේ වත්පොත් ගිණුම් වාර්තා කිරීමට ඕනෑම අයෙකුට හැකියාව තිබේ. ෆේක් ප්‍රොෆයිල් එකක් වීම නිසා හෝ වෙනත් හේතුවක් මත කිසියම් වත්පොත් ගිණුමක් සැලකිය යුතු පිරිසක් විසින් වාර්තා කළ විට බොහෝ විට නඩු අසා තීන්දුව දෙන්නේ වත්පොත්බොට්ටන් විසිනි. ඔවුහු මේ කටයුත්ත සෑහෙන තරම් පරීක්ෂාකාරී ලෙස හා දක්ෂ ලෙස කරති. ටික දවසකට පෙර චානුක වත්තේගම විසින් දමා තිබුණු පෝස්ට් එකක් අනුවත්, දේශකයාගේ බ්ලොග් පෝස්ට් එකක් අනුවත් පෙනී යන්නේ මේ වත්පොත්බොට්ටන්ට ෆේක් ප්‍රොෆයිල් ගැන තොරතුරු සැපයීම සඳහා ලංකාවේ ටීම් එකක් ස්වේච්ඡාවෙන් පූර්ණකාලීනව කටයුතු කරන බවයි.
"ඉකොනොමැට්ටාගේ සතපහ" වත්පොත් පිටුවත්, ඉකොනොමැට්ටා වත්පොත් ගිණුමත් ඒවා ආරම්භ කළ දින සිටම භාවිතා කළේ අදාළ වියුණු වල පළ කෙරෙන සටහන් වලට සබැඳි දැමීම සඳහාය. ඒ හැරුණු විට, වෙනත් දේ පළ කිරීමට හා වත්පොතෙහි අදහස් දැක්වීමට මේ ගිණුම හා පිටුව භාවිතා කර ඇත්තේ ඉතාම සීමිතව වන අතර ජාති, ආගම් වැනි කරුණු මත කිසිවෙකුට ගැරහීමට හෝ අසභ්‍ය දේ පළ කිරීමට එම ගිණුම් කිසිවිටෙකත් යොදාගෙන නැත. කෙසේවුවද, ඉකොනොමැට්ටා වත්පොත් පිටුවද කෙටි කාලාන්තරයක් තුළ සැලකිය යුතු පිරිසක් විසින් වාර්තා කර තිබීමෙන් පෙනෙන්නේ මෙය කිසියම් පිරිසක් විසින් සංවිධානාත්මකව කර ඇති දෙයක් බවයි.
කෙසේ වුවත්, අප වරදක් කර නැති නිසා වත්පොත්බොට්ටන් සමඟ පමණක් නොව ෆේස්බුක්හි සේවය කරන හෝමෝ සේපියන්ස්ලා සමඟත් ගණුදෙනු කර ඔවුන්ගේ උදවුවෙන් අවුලක් ලෙහා ගන්නට අපට බැරිකමක් නැත. උදාහරණයක් ලෙස, "Restaurant Economatta" ලෙස ඉංග්‍රීසියට පරිවර්තනය වන "ඉකොනොමැට්ටාගේ බොජුන්හල" වැනි නමක් ඇති ව්‍යවසායයක් ප්‍රවර්ධනය කිරීම සඳහා වත්පොත් පිටුවක් නඩත්තු කිරීම ෆේස්බුක් ප්‍රතිපත්ති වලට සම්පූර්ණයෙන්ම එකඟය. වත්පොත්බොට්ටන් විසින් ඉකොනොමැට්ටා වත්පොත් ගිණුම් පිටුව මෙන්ම පෙනෙන වත්පොත් පිටුවක් හදා ගිණුමේ මිතුරු ලැයිස්තුවේ සිටි සියලු දෙනාගේම මිත්‍රත්වයන් ප්‍රියතා (like) බවට හරවන්නට උදවු කිරීමට තරම් කාරුණික වූ නිසා දැන් ඉකොනොමැට්ටා නමින් මිතුරන් 312ක් සිටින ගිණුමක් මෙන්ම, ප්‍රියතා 312ක් සහිත එනමින්ම වූ වත්පොත් පිටුවක්ද තිබේ.
අප විසින් අපගේ වියුණු ලිපි බෙදාහැරීම සඳහා ඉදිරියේදී ඉකොනොමැට්ටා වත්පොත් ගිණුම වෙනුවට එනමින්ම ඇති ඉකොනොමැට්ටා වත්පොත් පිටුව භාවිතා කෙරෙනු ඇති අතර පෙනුමෙන් මේ දෙකේ සැලකිය යුතු වෙනසක් නැත. ඉකොනොමැට්ටා වත්පොත් ගිණුම වත්පොත්බොට්ටන් විසින් අක්‍රිය කරනු ඇතැයි අප සිතා සිටියත්, සතියක් ගතවීමෙන් පසුවද තවමත් එයද ක්‍රියාත්මකව පවතී.
එහෙත්, කොයි මොහොතක හෝ එම ගිණුම අක්‍රිය වීමට හෝ ෆේස්බුක් ප්‍රතිපත්ති සමඟ අනුගත වෙමින් අප විසින්ම අක්‍රිය කරනු ලැබීමට ඉඩ තිබේ. යම් හෙයකින් එසේ නොකළද, අප විසින් ඉදිරියේදී එම ගිණුම භාවිතයට නොගැනෙනු ඇත. එහෙත්, එහි මිතුරු ලැයිස්තුවේ සිටි සියල්ලන්ටම අලුත් වත්පොත් පිටුව හරහා අප සමඟ පැවති සම්බන්ධතාවය තවදුරටත් පවත්වා ගත හැකි අතර ඒ වෙනුවෙන් අමතර කිසිවක් කළ යුතු නැත.
ලිපිය ආරම්භයේදී සඳහන් කළ වත්පොත් පළ කිරීම 2015 අගෝස්තු 16 දින ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙහි පළ කෙරුණු ලිපියක් හා අදාළ වූවකි. ඒ ලිපිය මුලින්ම ලියා දැන් වසර 27ක් පමණ ගත වී ඇත. ඒ කාලයේ දිවයින ඉරිදා සංග්‍රහයේ පළවුණු එම සටහන දෙවසරකට පෙර නැවත මෙහි පළකළේ එය පළ කළ දිනට පසුදින එනම් 2015 අගෝස්තු 17 දින පැවති මහ මැතිවරණය පැවැත්වෙන්නට ආසන්නව තිබියදීය.
මේ අනුව, ආණ්ඩුව පිහිටුවා දෙවසරක් ගතවී ඇති බවද වත්පොත්බොට්ටන්ගේ දැනුම් දීම නිසා මතක් විය. මේ අවුරුදු දෙක ඇතුළත බොහෝ දේ වෙනස් සිදුවිය. බ්ලොග්කරුවන්ගේ හා කමෙන්ට්කරුවන්ගේ ඇතැම් ක්‍රියාකාරකම් වලින් පිළිබිඹු වන්නේද පසුගිය දෙවසරක කාලය තුළ සිදුවූ මේ වෙනස්කම්ය. ඒවා ගැන කතා කිරීම අපි පසුවට තබමු.
(Image: https://www.pinterest.com/scrib9877/cakes-donkey/)
Thursday, August 10, 2017
මොන රෙද්දක්වත් නැතුව...
පසුගිය කාලයේ ඉකොනොමැට්ටා විසින් බ්ලොග් වල ලිපි පළ කර ඇති ආකාරය නිරීක්ෂණය කළ විට එහි කිසියම් රටාවක් දැකිය හැකිය. ඉකොනොමැට්ටා විසින් ටික කාලයක් දිනපතාම වාගේ බ්ලොග් ලිපි පළ කරයි. සමහර දවස් වල ලිපි දෙකක් අතර පරතරය පැය 24කටත් අඩුය. සමහර විට, මෙසේ ටික දවසක් ෆෙස්ටිවල් දමා ලිපි පළ කිරීමෙන් පසුව දවස් ගානක් යන තුරු ඉකොනොමැට්ටාගේ සද්දයක්වත් නැත.
අවුරුද්දකට පමණ කලින් ඉකොනොමැට්ටා බ්ලොග් යාවත්කාලීන කර ඇත්තේ මීට වඩා ක්‍රමවත් රටාවකය. පත්තරයක් එළියට දානවා හෝ ටෙලි නාට්‍යයක් විකාශනය කරනවාක් මෙන් පිළිවෙලකට සතියේ නිශ්චිත දවස් තුනක නියමිත වෙලාවක ඉකොනොමැට්ටා විසින් බ්ලොග් යාවත්කාලීන කළ කාලයක්ද තිබුණේය. එහෙත්, ඒ ඉතා ටික කාලයකි.
ඇත්තටම කියනවානම් මුල සිටම ඉකොනොමැට්ටා බ්ලොග් ලිපි ලිවුවේ දැන් ලියන ආකාරයටමය. ඒ කියන්නේ, වෙලාවක් ලැබුණු විට ලිපි ගණනාවක් ලිවීමත්, වැඩ වැඩි වූ විට කිසිවක් නොලියා දවස් ගණනක් සිටීමත් මුල සිටම කළ දෙයක් බවය. එහෙත්, සමහර කාල වලදී මෙය පාඨකයින්ට නොතේරුනේ ලිපි පළකලේ ලියන රටාව අනුවම නොවූ බැවිනි.
ඉහත කී ආකාරයෙන් පිළිවෙලකට ලිපි පළ කරන කාලයේ ඉකොනොමැට්ටා විසින් කළේ ලියන ලිපි ඉදිරි දිනයක පළවන පරිදි පෝලිම්ගත කර තැබීමයි. ඒ නිසා, බොහෝ විට ලියා අවසන් කළ ලිපි තුන හතරක් හෝ ඇතැම් විට හත අටක් ඉදිරියට පළවන්නට නියමිතව පෝලිමේ තිබුණේය. සංචිතයේ ලිපි ප්‍රමාණය අඩු වන විට ඉකොනොමැට්ටා එයට එකවර ලිපි ගණනක් එකතු කළේය.
මේ කියන කාලයේ ඉකොනොමැට්ටාගේ පාඨකයින් වැඩි දෙනෙක් මෙහි පැමිණියේ බ්ලොග් සින්ඩිකේටර් හා බ්ලොග් රෝල් හරහාය. එවැනි තත්ත්වයක් යටතේ පිළිවෙලකට ලිපි පළකිරීමේ කිසියම් උපාය මාර්ගික වාසියක් තිබුණේය. කාලයක් ලිපි පළ නොකරන විට සින්ඩිකේටර් වල හා බ්ලොග් රෝල් වල ඉකොනොමැට්ටාගේ බොජුන්හල පහළට ගොස් නොපෙනී යයි. අනෙක් අතට, එක ළඟ ලිපි දෙකක් පළ කළ විට පළමුවැන්න වෙනුවට දෙවැන්න ආදේශ වන නිසා පළමුවැන්න පාඨකයින්ට මඟ හැරේ. ඒ නිසා, හොඳම උපාය මාර්ගය වූයේ දින 2-3කට වරක් ලිපියක් පළ කිරීමයි.
කෙසේ වුවත්, මේ වන විට ඉහත තත්ත්වය වෙනස් වී තිබේ. දැන් වැඩි දෙනෙකු මෙහි පැමිණෙන්නේ වත්පොත හෝ ගූගල් හරහාය. එසේ පැමිණෙන බොහෝ අය ලිපි එක දිගට පළවන විට අලුත් ලිපි ඇත්දැයි බැලීමට නැවත නැවත මෙහි පැමිණෙති. ලිපි පළ නොවන විට නොපැමිණෙති. මෙහි පළවන ලිපි කියවන්නට කිසියම් අයුරකින් "ඇබ්බැහි වී" සිටින අයට ඉකොනොමැට්ටාගේ අපිළිවෙළ රටාව බාධාවක් වුවත්, ඔවුන් වැඩි දෙනෙක් මෙහි අලුත් ලිපියක් පළවූ විට පසුව හෝ එය කියවති. ඇත්තටම කියනවානම් ඉකොනොමැට්ටාගේ බොහෝ ලිපි ලියූ වහාම කියවිය යුතු ඒවා නොවේ. ඇතැම් ලිපි වල කරුණු වසර කිහිපයකට පසුව කියවූවද ප්‍රශ්නයක් නැති ආකාරයේ ඒවාය. ඒ නිසා, ටික කාලයක සිට ඉකොනොමැට්ටා විසින් කරන්නේ ලියා අවසන් වූ වහාම ලිපි මෙහි පළ කිරීමයි. ලිපි ලියන්නේ ෆෙස්ටිවල් රටාවට නිසා ඒවා පළවන්නේද ෆෙස්ටිවල් රටාවටය.
මේ ෆෙස්ටිවල් රටාව ඉකොනොමැට්ටාගේ බ්ලොග් එකට පමණක් සීමා වුවක් නොවේ. දැන් අමාරුවෙන් තරමක් දුරට වෙනස් කරගෙන සිටියත්, ඉකොනොමැට්ටා කුඩා කාලයේ සිටම වැඩ කළේ මේ ෆෙස්ටිවල් රටාවටය. පාසැල් කාලයේ සාමාන්‍යයෙන් විභාග වලින් හොඳ ප්‍රතිඵල ලැබුණත් එය එසේ වුණේ දිනපතා පිළිවෙලකට එදිනෙදා කළ යුතු වැඩ කොටස කිරීම නිසා නොව විභාගය අත ළඟට පැමිණි විට එක දිගට දින ගණනක් ෆෙස්ටිවල් දමා විභාගයට සූදානම් වීම නිසාය.
ඉකොනොමැට්ටා ප්‍රථම උපාධිය හදාරන කාලයේ අනුගමනය කළේත් මේ ෆෙස්ටිවල් රටාවමය. ඒ අනුව, වසර පුරා අනෙක් සියළු වැඩ කරමින් සිට විභාග වෙනුවෙන් වැඩ කරන්නට පටන් ගත්තේ අධ්‍යයන නිවාඩු ලැබුණු පසුවය. අධ්‍යයන වැඩ වලට අමතරව අනෙක් පෞද්ගලික කටයුතු කළේද මේ විදිහටමය. හොඳම උදාහරණය ඉකොනොමැට්ටා පේරාදෙණිය සරසවියේ නේවාසිකාගාර වල ජීවත් වෙද්දී රෙදි සේදූ ආකාරයයි.
ඒ කාලයේදීත් අපි අනිත් අයගේ රෙදි සේදුවේ නැතිවාක් මෙන්ම අපේ රෙදි සෝදන්නට වෙනත් අය සිටියේද නැත. අද මෙන්ම එදාත් අප කළේ අපේ රෙදි අපිම සෝදා ගැනීමයි. හැබැයි ඉතින් මේ වැඩේ කළේත් අර පෙර කී ෆෙස්ටිවල් රටාවටමය.
අඳින්නට සේදූ ඇඳුම් තිබෙන තාක් රෙදි සේදීම පස්සට යයි. අන්තිමේදී ෆෙස්ටිවල් දමා රෙදි හෝදන්නට අතගහන්නේ එළියට බහින්නට සේදූ ඇඳුමක් නැති වන තැනටම වැටුණු පසුවය.
ඔහොම කිවුවාට සේදූ රෙදි නැත්තටම නැති වී ගියාමත් නොවේ.
එදා මෙන්ම අදත් ඉකොනොමැට්ටා ඇඳුම් ගැන ලොකු සැලකිල්ලක් නැත. දැන් ජීවත් වන රටේත්, කරන රැකියාවේත් ඉකොනොමැට්ටාට ඇති එක් විශේෂ වාසියක් වන්නේ මොන රෙද්දක් ඇඳගෙන ගියත් ප්‍රශ්නයක් නැති වීමයි.
මෙයින් අදහස් වන්නේ ඉකොනොමැට්ටා ඕනෑම රෙද්දක් ඇඳගෙන වැඩට යන්නට නොපැකිළෙන බව නොවේ. ලොකු තේරීම් නොකළත් ඉකොනොමැට්ටාට ඇඳුම් පිළිබඳ රුචිකත්වයන් තිබේ. ඒ නිසා ප්‍රායෝගිකව සිදුවන්නේ කොයි තරම් ඇඳුම් තිබුණත් බොහෝ විට ඇඳෙන්නේ වඩා කැමති ඇඳුම් කිහිපයෙන් එකක් වීමයි. ඉතිරි ඇඳුම් බොහෝ විට ඔහේ පැත්තක තිබේ.
සරසවියේ හිටි කාලයේ ඉකොනොමැට්ටාට අද තරම් ඇඳුම් නොතිබුණත්, ඒ කාලයේදීත් අඳින්නට එතරම් ප්‍රිය නොකළ ඇඳුම් තිබුණේය. කොහොමටත් ඉතින් අඳිනවා කියා ඕනෑම රෙද්දක් අඳින්නට නුපුළුවන. ඒ නිසා, ඇත්තටම වුනේ මෙසේ අඳින්නට අකමැති ඇඳුම හෝ දෙක අඳින තැනට වැටෙන තෙක් ඉකොනොමැට්ටාගේ රෙදි සේදීම ප්‍රමාද වීමයි.
මේ කියන කාලයේදී අප නැවතී සිටියේ පේරාදෙණිය සරසවියේ ජේම්ස් පීරිස් ශාලාවේ දෙවන මහලේ කාමරයකය. නැවතී සිටියේ කියා කිවුවත් ගෙදර ගියේ මාසයකට වරක් පමණ බැවින් ජීවත්ව සිටියේ කියා කීම වඩා නිවැරදිය. ඒ නිසා, රෙදි සෝදා ගැනීම හා වේලා ගැනීම වැනි දේ කරන්නට වුනේ ඕක ඇතුළේමය.
පිටතින් දකින අයෙකුට අසුන්දර දසුනක් විය හැකි වුවත්, නේවාසිකාර කාමරයේ සඳලුතල කොටස ඇතුළේ වැලක් අදින්නට කාටවත් තහනමක් නොතිබුණේය. වැලක් කිවුවේ රෙදි වැලක් ගැනය. ඉකොනොමැට්ටා ෆෙස්ටිවල් දමා සෝදන රෙදි වනන්නට මේ නේවාසිකාගාර කාමරයේ සඳළුතලයේ ගැට ගසා තිබුණු රෙදි වැලද ප්‍රමාණවත් නොවූ අතර, බොහෝ විට එහි කොට බිත්තිය දිගේද රෙදි ඇතිරුණේය. මෙසේ වනන රෙදි වේලෙන්නට දිනක් හෝ දෙකක් ගත වෙයි.
මේ කියන දවසේත් ඉකොනොමැට්ටා ෆෙස්ටිවල් දමා වැල මෙන්ම කොට බිත්තියද පිරෙන්නට රෙදි අතුරා තිබුණු දවසකි. රාත්‍රියේ රෙදි සෝදා වැනීමෙන් පසුව උදේ පාන්දර සඳළුතලයට පිවිසි ඉකොනොමැට්ටාගේ ඇස ගැටුණේ ඉතා සුන්දර දසුනකි. රාත්‍රියේ වැලේ හා බිත්තිය මත වැනූ රෙදි කිසිවකුත් එහි නැත!
මේ හොරා විසින් කලිසම් කමිස පමණක් නොව අඩු වශයෙන් යට ඇඳුම්වත් ඉතිරි කර නොතිබුණේය. ඉකොනොමැට්ටාගේ සරම් කිහිපයෙන් ඉතිරිව තිබුණේ ඇඳගෙන සිටි සරම පමණි. ෆෙස්ටිවල් දමන සමහර දිනවල තුවායක් ඇඳගෙන අන්තිම සරමත් හෝදන නමුත් හොඳ වෙලාවට එදා එසේ කර නොතිබුණු නිසා ඒ සරම හෝ ඉතිරි විය. නැත්නම්, ඉතිරි වන්නේ තුවාය පමණි.
ඉකොනොමැට්ටාට සිදු වූ ඉහත අකරතැබ්බය ඒ දවස් වල පේරාදෙණියේ නේවාසිකාගාර කිහිපයකම ජීවත් වූ සිසුන් ගණනාවක් විසින්ම මුහුණ දුන් අකරතැබ්බයකි. කිසියම් පුද්ගලයෙක් විසින් හෝ පුද්ගලයින් කණ්ඩායමක් විසින් ඒ කාලයේ පේරාදෙණියේ නේවාසිකාගාර වල සිසුන්ගේ රෙදි හොරකම් කිරීම වාර ගණනක් දිගින් දිගටම සිදු විය. මෙය සිදු වුනේ හිතාගන්නටවත් අමාරු ආකාරයකිනි.
පේරාදෙණිය සරසවිය කියන්නේ අද මෙන්ම එදාත් "මුදා නොගත්" භූමියකි. මෙහි පැමිණ රෙදි හොරකම් කරන්නට සිතන අයෙකු විසින් ගන්නේ සුළුපටු අවදානමක් නොවේ. යම් හෙයකින් මේ හොරකම කරන්නට ගොස් මාට්ටු වුනේනම් රටේ නීතිය ක්‍රියාත්මක වන්නට පෙර කැම්පස් නීතිය ක්‍රියාත්මක වන අතර, සිසුන් සිටි මානසික තත්ත්වය අනුව, හොරාගේ වෘෂණ කෝෂ දෙකවත් ඉතිරි නොවන බව ඉඳුරාම කිව හැකිය. ඒ දවස්වල එසේ හොරා මාට්ටු වූයේනම් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉකොනොමැට්ටාද පෝලිමේ ඉදිරියෙන්ම සිටිය හැකිව තිබුණේය.
කොහොම වුවත් හොරා අහුවුනේ නැත.
ඉකොනොමැට්ටාගේ රෙදි නැති වන විටත් අවස්ථා ගණනාවක මෙවැනි හොරකම් සිදුවී තිබුණු බව ඉකොනොමැට්ටා දැන සිටියේය. එහෙත්, ඒ එක්කෝ පළමු මහලේ කාමරයකය. එසේ නැත්නම්, දෙවන මහලේ එක් අන්තයකට වන්නට තිබුණු කාමරයකය. ඉකොනොමැට්ටාගේ කාමරය තිබුණේ දෙවන මහලේ මැද හරියේ නිසා හොරෙකුට එහි ළඟා විය හැකි බවක් පෙනෙන්නට නොතිබුණේය. රෙදි වැනීමේදී එතරම් සැලකිලිමත් නොවුණේ ඒ නිසාය.
එහෙත්, ඉකොනොමැට්ටාගේ රෙදි නැති විය. හොරා අහුවුනේ නැත.
රෙදි නැති වූ පසු ඉකොනොමැට්ටාට සමාජයට මුහුණ දෙන්නට සිදු වූ අපහසුව මෙහි විස්තර කරන්නට යන්නේ නැත. කෙටියෙන් කියන්නට තියෙන්නේ අඳින්නට රෙද්දක්වත් නැති වූ විට පත්වන අසරණ භාවය ගැන ඉකොනොමැට්ටාට පළමෝත අත්දැකීම් ඇති බවයි. ඉන්පසු ඔලුව උස්සන එක ලේසි නැත. කාට වුවත් ඒක එහෙමය.
මෙසේ රෙදි නැති වුනේ ඉකොනොමැට්ටාගේ පමණක් නොවේ. තවත් සිසුන් ගණනකට මේ අකරතැබ්බයට මුහුණ පාන්නට සිදු වූ අතර සමස්තයක් ලෙස සියළුම සිසුන්ට තමන්ගේ රෙදි පරිස්සම් කර ගැනීම ගැන නිබඳ සිතන්නට සිදු විය. සිසුහු කණ්ඩායමක් ලෙස සාමූහිකව කාල වේලා වෙන් කරගෙන රෙදි හොරා අල්ලන්නට නිදි වැරීම පවා කළත් හොරා අහු වුණේ නැත.
ඇස් පනා පිටම වාගේ රෙදි හොරකම දිගටම සිදු වුණේය. හොරාව අල්ලන්නට සිසුහු මහන්සි වූහ. එහෙත් හොරා අහු වුනේ නැත. හොරකම දිගටම සිදු වුණේය. හොරෙක් නැතුව හොරකමක් සිදු විය නොහැකි වුවත් හොරා අහු වුණේ නැත.
තත්ත්වය මෙසේ තිබියදීම අධ්‍යයන වර්ෂය අවසන් වූ අතර ඉකොනොමැට්ටාගේ ඊළඟ නවාතැන වූයේ ජයතිලක ශාලාවයි. මේ ශාලාව පිහිටියේ විද්‍යා පීඨය ඉදිරිපිටය.
පේරාදෙණිය සරසවිය ලංකාවේ රජයේ සරසවි අතරින් වැඩිම නේවාසිකාගාර පහසුකම් ඇති සරසවිය ලෙස සැලකිය හැකි වුවත්, එහිද කාමර පහසුකම් සැපයුම ඉල්ලුමට වඩා බොහෝ අඩුය. ඒ නිසා, තමන් කැමති නේවාසිකාගාරයක කාමරයක් ලබාගැනීම පහසු කටයුත්තක් නොවේ.
ශිෂ්‍ය සුබසාධනය භාරව සිටි නිලධාරියා විසින් ඉංජිනේරු පීඨ සිසුවෙකුට ජයතිලක ශාලාවේ කාමරයක් වෙන් කිරීමට දැක්වූයේ ඉතා අඩු උනන්දුවකි. ඔහුගේ තර්කානුකූල තීරණයට හේතුව වූයේ ජයතිලක ශාලාව ඉංජිනේරු පීඨයට ඈතින් පිහිටීම හා ඉංජිනේරු පීඨයට ආසන්නව අක්බාර්-නෙල් ශාලාව තිබීමයි. ඒ නිසා, ජයතිලක නේවාසිකාගාරයේ කාමර ලබා දීමේදී ප්‍රමුඛතාවය ලැබුනේ එයට ආසන්නව පිහිටි විද්‍යා පීඨයේ සිසුන්ට හා වෛද්‍ය, දන්ත වෛද්‍ය, කෘෂි විද්‍යා වැනි පීඨ වල සිසුන්ටය.
තමන්ගේ පීඨයට ආසන්නව පිහිටි නේවාසිකාගාරයක නවාතැන් ගැනීම බොහෝ සිසුන්ගේ කැමැත්ත වුවත් වෙනත් ප්‍රමුඛතා ඇති සිසුහු ඕනෑ තරම් සිටිති. එහෙත්, පේරාදෙණි ශිෂ්‍ය නේවාසිකාගාර වලට සිසුන් අනුයුක්ත කිරීම භාරව සිටි නිලධාරියා, මධ්‍යගත සැලසුම් ක්‍රියාත්මක කරන වෙනත් බොහෝ අය මෙන්ම, සිතා සිටියේ එක් එක් සිසුවාට හොඳම නේවාසිකාගාරය කුමක්ද කියා ඔවුන්ට වඩා හොඳින් ඔහු දන්නා බවයි. මෙය ක්‍රමයේ ප්‍රශ්නයක් මිස ඔහුගේ පෞද්ගලික ප්‍රශ්නයක් නොවේ.
මධ්‍යගත සැලසුම් වලින් පාරිභෝගික ඉල්ලුම නිසි පරිදි නොසැපිරෙන විට තමන්ගේ ප්‍රමුඛ තේරීම ලබා ගැනීම සඳහා පාරිභෝගිකයෝ තමන්ට හැකි දේ කරති. ජනප්‍රිය පාසැල් වලට දරුවන් ඇතුළු කර ගැනීම සඳහා දෙමවුපියන් විසින් දරන විවිධ ප්‍රයත්නයන් උදාහරණ වේ.
ඉකොනොමැට්ටා ඇතුළු ඉංජිනේරු පීඨයේ සුළුතර සිසු පිරිසකට අවසන් අධ්‍යයන වසර අරුණාචලම් හෝ ජයතිලක ශාලා දෙකෙන් එකක නේවාසිකව සිටින්නට අවශ්‍යව තිබුනේය. එහෙත්, ශිෂ්‍ය සුබසාධනය භාරව සිටි නිලධාරියා දැඩි ලෙස කියා සිටියේ එම නේවාසිකාගාර වල දැනට පුරප්පාඩු කිසිවක් නැති බවයි. පෙර වසරේ ජේම්ස් පීරිස් ශාලාව ඉල්ලා සිටි විට අපට ලැබුණේද මෙවැනිම පිළිතුරකි. ඒ නිසා, අපි දෙවන වසරේ සිටියදී සිටම මේ නිලධාරියා සමඟ ගනුදෙනු කර සාර්ථක වූ උපක්‍රමය නැවත වරක් යොදා ගත්තෙමු.
අපේ බලකිරීම නිසාත්, ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් වූ (හා ඒ නිසාම මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිතයින්ද වූ) සිසුන් අපේ කණ්ඩායමේ සිටීමත් නිසා අදාළ නේවාසිකාගාර වල ඇති කාමර ගණන් හා එක් එක් පීඨ වලට අයත් සිසුන් ගණන් පිළිබඳ සංඛ්‍යාලේඛණ අපට මේ නිලධාරියාගෙන් ලබා ගත හැකි විය. මේ කටයුත්ත අප දැන් මෙසේ කරන්නේ තෙවන වරටය. පෙර දෙවසරේදීමත් අප මෙය මෙලෙසම කළෙමු. මේ උපක්‍රමය මඟින්, සාමාන්‍යයෙන් නේවාසිකාගාර පහසුකම් නොලැබෙන දෙවන වසරේදීද අපට නේවාසිකාගාර පහසුකම් ලබාගත හැකි විය.
පෙර පළපුරුද්ද නිසා, අදාළ ශාලා වල නේවාසිකව සිටින එක් එක් පීඨ වලට අයත් සිසුන්ගේ එකතුවත්, නේවාසිකාගාරයක ඇති කාමර ගණන එක් කාමරයක සාමාන්‍යයෙන් සිටින සිසුන් ගණනින් වැඩි කළ විට ලැබෙන ගණනත් අතර වෙනසක් ඇති බව සොයා ගන්නට අපට වැඩි වෙලාවක් ගියේ නැත. ජයතිලක හා අරුණාචලම් ශාලා වල ඇති නීත්‍යානුකූල ලෙස නොපිරවූ කාමර පුරප්පාඩු ගණන අපේ කණ්ඩායමට ප්‍රමාණවත් බව අපට පෙනී ගියේය.
කෙසේ වුවද, අදාළ ශාලා වල මේ පුරප්පාඩු තිබෙන්නේ කුමන කාමර වලද යන්න අදාළ නිලධාරියා නොදන්නා බව ඔහු පවසන්නේ ඇත්තටම බවද මේ වන විට අප දැන සිටි නිසා අප විසින් ඊළඟ පියවර කරා යා යුතුය. මේ පුරප්පාඩු සාමාන්‍යයෙන් තිබෙන්නේ හිස් කාමර වල නොවේ. බොහෝ විට සිදු වන්නේ සහකාර නේවාසිකාගාර පාලක කෙනෙකු විසින් පුරප්පාඩු තුනක් ඇති කාමරයකට දෙදෙනෙකු පමණක් අනුයුක්ත කිරීමයි. එසේ කරන ඔහු කාමරයේ පුරප්පාඩුවක් ඇති බව ශිෂ්‍ය සුබසාධන නිලධාරියාට දැනුම් නොදී සිටියි. එවැනි දැනුම් දීමක් නොලැබෙන තාක් සුබසාධන අංශයේ දත්ත අනුව නේවාසිකාගාර වල පුරප්පාඩු නැත.
සහකාර නේවාසිකාගාර පාලකවරුන් විසින් මෙසේ කිරීමට හේතුවක් තිබුණේය. ඒ මේ කාමර වල ඇත්තටම කිසියම් සිසුවෙක් හෝ සිසු පිරිසක් ජීවත් වීමයි. එහෙත්, ඒ නීත්‍යානුකූල ලෙස නොවේ. එවැන්නෙක් එක්කෝ ශිෂ්‍ය දේශපාලනය හෝ වෙනත් කිසියම් පක්ෂයක දේශපාලනය කරමින් වසර ගණනක් තිස්සේ සරසවි ඇතුළේම ජීවත් වන අයෙකි. එසේ නැත්නම්, දේශපාලනය නොවන වෙනත් හේතු මත විභාග දිගින් දිගටම අසමත් වුවත් සරසවිය ඇතුළේම රැඳී සිටින අයෙකි.
මේ කාණ්ඩ දෙකෙන් කවරකට අයත් වුවත් බොහෝ විට මෙවැනි සිසුවකු ජනප්‍රිය සිසුවෙකු වූ අතර සාමාන්‍යයෙන් කා සමඟත් හොඳින් සිටි අයෙකි. කෙසේ වුවත්, මෙවැන්නෙකු සිටින තැනක් අධ්‍යයන කටයුතු සඳහා සුදුසු තැනක් හෝ පෞද්ගලිකත්වයක් ඇති තැනක් නොවීය. ඒ නිසා, අවස්ථාවක් ලැබුණත් එවැනි කාමරයක සිටින්නට බොහෝ සිසුන් කැමති නොවුණේය. එවැනි විටක එවැනි කාමරයකට අනුයුක්ත කරනු ලබන සිසුවකු බොහෝ විට සහකාර නේවාසිකාගාර පාලක හමු වී වෙනත් කාමරයක් ඉල්ලා සිටී. මෙය දිගින් දිගටම සිදුවන විට එවැනි පුරප්පාඩුවක් නොපුරවා ප්‍රශ්නයෙන් බේරීමට සහකාර නේවාසිකාගාර පාලකවරු පෙළඹුණෝය.
මෙයට තවත් හේතුවක් තිබුණේය. මේ සහකාර නේවාසිකාගාර පාලකවරු බොහෝ විට වසර දෙක තුනකට පෙර උපාධිය ලබාගත් අයයි. ඒ නිසා, ඉහත කී ලෙස නේවාසිකාගාර කාමර වල නීත්‍යානුකූල නොවන ලෙස පැලපදියම් වී සිටි අය ඇතැම් විට ඔවුන්ගේ බැචාලාය. එසේ නැත්නම් යාලුවෝ හෝ ඇතැම් විට සීනියර්ස්ලාය. ඒ නිසා, මේ සහකාර නේවාසිකාගාර පාලකවරුන්ට එවැනි අයෙකුට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට උවමනාවක් හෝ ඇතැම්විට ප්‍රායෝගික හැකියාවක් හෝ නොතිබුණේය. නේවාසිකාගාර පාලකවරු ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් වුවත් ඔවුන් විසින් දැරුවේ නාමික තනතුරකි. නේවාසිකාගාර පරිපාලනය සිදුවුනේ ඉහත කී සහකාර නේවාසිකාගාර පාලකවරුන් අතිනි.
දැන් මේ පුරප්පාඩු තිබෙන කාමර සොයා ගැනීම පහසු දෙයක් නොවේ. ඒ සඳහා කාමරයෙන් කාමරයට තට්ටු කර එහි සිටින සිසුන් සමඟ සෘජුව හෝ වක්‍රව කතා කර කරුණු දැනගත යුතුය. මේ අසීරු කාර්යය හරහා එවැනි පුරප්පාඩු ඇති කාමර හඳුනා ගැනීමෙන් පසුව සහකාර නේවාසිකාගාර පාලක හමු වී එම කාමර වල නීත්‍යනුකූලව සිටින සිසුන් ගැන තොරතුරු විමසා සිටිය යුතුය. ඔහුට එවැනි පැහැදිලි කිරීමක් කළ නොහැකිනම් කාමරයේ පුරප්පාඩුවක් ඇති බව පිළිගන්නට සිදුවන අතර ඒ බව තහවුරු කර අදාළ තොරතුරු ශිෂ්‍ය සුබසාධන අංශයට යවන මෙන් ඔහුට බල කරන්නට පුළුවන. එසේ කිරීමෙන් පසුවද ප්‍රමුඛතාවය මත අදාළ කාමර වෙනත් අයෙකුට ලැබෙන්නට ඉඩ තිබෙන නිසා එය වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ගද කලින්ම ගත යුතුය. අවුරුදු තුනක්ම අපට අවශ්‍ය තැන් වලින් අප කාමර සොයා ගත්තේ මේ සෙල්ලම කිරීමෙනි.
මෙසේ අමාරුවෙන් කාමරයක් ලබාගත්තත් මෙවැනි කාමරයක ජීවත් වීම ප්‍රායෝගිකව කළ නොහැක්කකි. මෙවැනි ඇතැම් කාමරයක, නීත්‍යානුකූල ලෙස නොවූවත්, සිසුහු හතර පස් දෙනෙක්ම සිටියහ. එවැනි තැනක ජීවත් වීම මාර ඇණයක් බව කියන්නට අවශ්‍ය නැත. පසුව වෙනත් කාමරයක් ඉල්ලාගෙන පැමිණියාට ඔහුට කරන්න දෙයක් නැති බව සහකාර නේවාසිකාගාර පාලක විසින් කලින්ම අවවාද කර තිබෙන නිසා ලබාගත් කාමරයෙන්ම ගොඩ යා යුතුය. ටික කාලයක් උත්සාහ කිරීමෙන් පසුව අන්‍යෝන්‍ය හුවමාරු වලට සිසුන් කැමති කරගෙන තැන් තැන් වල කාමර වල වෙනත් අය සමඟ සිටින අපේ කණ්ඩායමට නැවත එකතු වන්නට පුළුවන. එහෙත්, මෙය පහසු වැඩක් නොවේ. බොහෝ විට මෙවැනි කාමර වලදී හමුවන සිසුන් අපට වඩා දරාගැනීමේ ශක්තියක් ඇති ඇම්ඩන්ලා නිසා ඔවුන්ට කාමරය මාරු කිරීමට පෙළඹවීම පහසු නැත.
හතරවන වසර මුලදී ජයතිලක ශාලාවෙන් හොයා ගත් කාමරයද මේ ජාතියේ කාමරයකි. පළමු මහලේ කැන්ටිම කිට්ටුව තිබුණු මේ කාමරය විද්‍යා පීඨයේ පොදු කාමරයක් වැනිය. වසර හත අටක සිටම සරසවියේ ඉගෙනුම ලබා තිබුණු, බොහෝ විට උපාධි පාඨමාලාව සම්පූර්ණ නොකළ, සිසුන්ගේ සටහන් පොත් මෙන්ම ඇඳුම් පවා මේ කාමරයේ නිරුපද්‍රිතව තිබුණේය. උපාධිය සම්පූර්ණ කර රැකියා විරහිතව සිටි, පෙම්වතිය සරසවි සිසුවියක වීම නිසාත් වෙනත් කරන්නට දෙයක් නැති නිසාත් සරසවිය ආශ්‍රිතවම සිටි සිසුන්ද මේ අතර වූහ. මෙවැනි කාමරයක ජීවත් වෙද්දී දත් බුරුසුව පවා පොදු දේපොළක් වන්නට පුළුවන. අනිත් ඒවා ගැනනම් කියන්නත් දෙයක් නැත.
විද්‍යා පීඨයේ සිසුන් ගණනාවක් ළඟ මේ ජයතිලක කාමරයේ යතුරු තිබුණු නිසා කාමරය වසා තිබීම තේරුමක් නැති දෙයකි. අනෙක් අතට සමහර සිසුන් හා ආදි සිසුන් උදේම කාමරයට පැමිණ කිසිදු ඇහිල්ලක් බැලිල්ලක් නැතිව කාමරයේ ඇති සබන් කෑල්ලක් ගෙන වොෂ් එකක් දමාගෙන, කොණ්ඩය පීරා, ගමන් මල්ලක් එහි දමා පෙම්වතිය බලන්නට යන්නේ නැවත පැමිණෙන විට දොර අගුළු නොදමා තබන මෙන් ඉල්ලීමක් කරමිනි. කොහේ හෝ ගොස් කාමරයට ආපසු එන්නට වැඩිපුර පරක්කු වුනොත්, එන කොට ඇඳේ කවුරු හෝ නිදාගෙනය. අල්ලපු ඇඳේ නිදා සිටින්නේ කලින් දැක නැති අයෙකු බව ඇතැම් විට දැනගන්නට ලැබෙන්නේ උදේ නැගිටින විටය.
මේ තරම් ජනාකීර්ණ කාමරයටත් රෙදි හොරා ආවේය. ඒ වන විට ඉකොනොමැට්ටාගේ රෙදි වරක් නැති වී තිබුණු නිසාත්, මේ දෙවන දිනය ඉකොනොමැට්ටා විසින් ෆෙස්ටිවල් දමා රෙදි සෝදා තිබුණු දවසක් නොවූ නිසාත් එවර ඉකොනොමැට්ටාගේ රෙදි නැති නොවුණත්, රෙදි පමණක් නොව බයිසිකලයක් හා ගණක යන්ත්‍රයක් ඇතුළු කාමරයේ සිටි වෙනත් සිසුන්ගේ බඩු රැසක් එවර අතුරුදහන් විය. නැති වුනු බයිසිකලය මුලින්ම කෘෂි විද්‍යා සිසුවෙකුට අයිතිව තිබී කාමරයට උරුමයෙන් හිමිව තිබුණු අයිතිකරුවකු නොසිටි පොදු දේපොලක් විය. හොරා එවර කාමරය ඇතුළටම පැමිණ තිබුණේය. කාමරයේ සිසුහුද නිදා සිටියහ. එහෙත්, හොරා අහු වුණේ නැත.
මෙසේ ජයතිලක ශාලාවේ (කාමරය මාරු කර වෙනත් කාමරයක) සිටියදී පසුව අසන්නට ලැබුණේ පොලීසියට රෙදි හොරාව කොටු වී සිටින බවයි. එහෙත් ඒ පොලීසිය රෙදි හොරකම අල්ලන්නට සිදුකළ විමර්ශනයක් හේතුවෙන් නොව, වෙනත් වරදකට අත්අඩංගුවට ගෙන තිබුණු අයෙකු පාපෝච්චාරණය කිරීම හේතුවෙනි. අනෙක් අතට ඉකොනොමැට්ටා ඇතුළු රෙදි නැති කරගත් කිසිදු සරසවි සිසුවකු විසින් පොලීසියට පැමිණිලි කර නොතිබුණු බැවින් එවැනි විමර්ශනයක් කිරීම සඳහා පොලීසියට හේතුවක්ද නොතිබුණේය.
පොලීසිය විසින් හොරකම් කළ රෙදි සොයාගැනීමෙන් පසුව, හොරාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා රෙදි නැති වූ සරසවි සිසුන්ට පොලීසියට පැමිණ පැමිණිල්ලක් දමන මෙන් මහනුවර ආසන්නව ජීවත් වූ සිසුවෙකු අතේ පොලීසියෙන් පණිවුඩයක් එවා තිබුණත් දන්නා තරමින් කිසිවකු ඒ සඳහා ඉදිරිපත් වූයේ නැත. ඒ නිසා, පොලීසියට රෙදි හොරාට විරුද්ධව චෝදනා ගොනු කරන්නට නොහැකි වූවා විය හැකිය. ඒ නිසා, හොරා නීතිය ඉදිරියේ වරදකරුවකු නොවූවා වන්නටද පුළුවන.
ලංකාවේ විවිධ ආකාරයේ හොරකම් විවිධ මට්ටම් වලදී සිදුවේ. හොරෙක් කියන්නේ මූලික වශයෙන් දේපොළ අයිතිවාසිකම් ගරු නොකරන්නෙකි. වෙනත් රටවලද හොරු සිටිති. අඩුම වශයෙන් ඇමරිකාව හා ලංකාව ගැන මගේ පෞද්ගලික සංසන්දනාත්මක අත්දැකීම වන්නේ ලංකාවේ ජීවත් වන්නේනම් හැම මොහොතේම හොරු ගැන ඇස ගසාගෙන සිටින්නට වන බවයි. සුදු රෙදි හොරු හා සිවුරු හොරු පමණක් නොව තවත් විවිධ වර්ග වල ආවේණික හොරුන්ගෙන් ලංකාව ස්වයංපෝෂිතය. ඇමරිකාවේත් හොරකම් සිදුවුවත්, මෙහි ජීවත් වීමේදී ලංකාවේදී මෙන් හැම මොහොතකම හොරු ගැන සිතමින් පරීක්ෂාවෙන් සිටීම අවශ්‍ය නැත.
හොරකම් නිසා මිනිස්සු විශාල ලෙස පීඩාවට පත් වෙති. ඉකොනොමැට්ටාගේ රෙදි නැති වූ දිනයේ ඉකොනොමැට්ටා පත් වූ අසරණ භාවය මෙන්ම ඉන් පසුව මුහුණ දුන් එවැනි අවස්ථා ගණනාවක සිටි මානසිකත්වය ඉකොනොමැට්ටාට අමතක නැත. හොරකමක් සිදුවී කාලයක් ගත වූ පසු හොරා අල්ලාගෙන දඬුවම් දීමෙන් හැම විටම වින්දිතයාගේ හානිය පූරණය වන්නේ නැත. රෙදි හොරාට එරෙහිව ඉකොනොමැට්ටා පොලීසියට පැමිණිලි කළේනම් දින ගාණක් උසාවියේ රස්තියාදු වීමෙන් පසුව ඉකොනොමැට්ටාට නැති වූ ඇඳුම් ටික ලබාගත හැකිවන්නට ඉඩ තිබුණේය. එහෙත්, ඒ වන විට ඉකොනොමැට්ටා රෙදි නැති වීමේ හානිය විඳ, ප්‍රශ්නයට මුහුණ දී එය විසඳාගෙන අවසන්ය. ඒ වන විට, පරණ රෙදි වලින් ඉකොනොමැට්ටාට වැඩක් නොතිබුණේය.
නීතිය ක්‍රියාත්මක කිරීම මඟින් හොරකම් යම් තරමකට පාලනය කළ හැකි වුවත් මිනිසුන්ට හොරකම් කිරීමට ඇති ස්වභාවික පෙළඹුම කාලයත් සමඟ පරිණාමය වීමෙන්ම අඩු විය යුත්තකි. මිනිසුන් අනෙක් අයගේ දේපොළ අයිතිවාසිකම් වලට ගරු කරන්නට පුරුදු වන තරමට හොරකම් කරන්නට ඇති ස්වභාවික පෙළඹුමද අඩු වේ. හොරකම් අඩුවීමත්, දේපොළ අයිතිවාසිකම් ගැන ඇති සැලකිල්ල වැඩි වීමත් රටකට ඉදිරියට යන්නට උදවු වේ.
(Image: https://www.rodalesorganiclife.com/home/organic-way-dry-your-clothes)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...