වෙබ් ලිපිනය:

Showing posts with label අභ්‍යාවකාශ තරණය. Show all posts
Showing posts with label අභ්‍යාවකාශ තරණය. Show all posts

Thursday, February 18, 2021

පර්සි අඟහරු වෙත!


පර්සි යන කෙටි නමින් හැඳින්වෙන පර්සිවියරන්ස් රෝවරය මාස හතකට ආසන්න ගමන් කාලයක් ගෙවා පැය කිහිපයකට පෙර අඟහරු ග්‍රහලෝකයේ ජෙසීරෝ ආවාට ප්‍රදේශය වෙත ලඟා වුනා. මෝටර් රථයක ප්‍රමාණයේ මේ රෝවරය මීට පෙර එහි ගිය කියුරියෝසිටි රෝවරයට සාපේක්ෂව සෑහෙන තරමකින් වැඩි දියුණු කළ එකක්. අඟහරු මත යා යුතු තැන දැනුම් දීමෙන් පසුව ඒ කරා යා යුතු හොඳම මාර්ගය තෝරා ගැනීමට මේ රෝවරය සමත්. 

අඟහරු වෙත මේ රෝවරය යැවීම අඟහරු ජනාවාස කිරීමේ ඉතාම මූලික අදියරේ පියවරක් ලෙස හඳුන්වන්න පුළුවන්. එය යැවීමේ ප්‍රධාන අරමුණු හතරක් වන්නේ,

- අඟහරු මත පිහිටි මූලික මට්ටමේ ජීවයකට පැවතිය හැකි හෝ පැවතිය හැකිව තිබුණු ස්ථාන හඳුනා ගැනීම;

- එම ස්ථාන ආශ්‍රිතව තිබිය හැකි හෝ තිබී ඇති මූලික මට්ටමේ ජීවයන් හඳුනා ගැනීම; 

- පසු දිනක වෙනත් යානයකින් ආපසු පොළොව වෙත රැගෙන ඒම සඳහා අඟහරුගේ "පස්" සාම්පල එකතු කර එක තැනකට ගොඩ ගැසීම (මේ පස් සාම්පල් පෘථිවියට ගේන්න 2026දී යන ගමනට ඉකොනොමැට්ටත් යන්නයි ඉන්නේ!); හා 

- අඟහරු මත ඔක්සිජන් නිෂ්පාදනය කිරීමේ හැකියාව පරීක්ෂා කිරීමයි.

රෝවරය සමඟ එහි යන කුඩා ඉන්ජෙනුයිටි හෙලිකොප්ටරයද අඟහරු ගැන වැඩි විස්තර දැන ගැනීම සඳහා උපකාරී වනු ඇති. පෘථිවියෙන් පිටත පළමු මිනිස් ජනාවාස හැදෙන්නේ අඟහරු මත වීමට ලොකු ඉඩක් තිබෙනවාක් මෙන්ම එය අපේ ජීවිත කාල තුළම සිදුවෙන්න වුවත් බැරිකමක් නැහැ. 

මිනිසා පැවැත්ම සඳහා කරන අරගලයේදී කුතුහලය කියන සාධකය විසින් හැම විටම වගේ පරිණාමික වාසි සපයා තිබෙනවා. කුතුහලය මිනිසාව අවදානම් ගැනීමට පොළඹවනවා. අවදානම් ගැනීම අලුත් දැනුම් එකතු කරනවා. දැනුම් ඇත්තද බොරුද කියන එකට වඩා වැදගත් වන්නේ දැනුම් වලින් වැඩක් තිබෙනවාද නැද්ද කියන එකයි. වැඩක් නැති දැනුම් පස්සේ යන අය පරිණාමික ක්‍රියාවලිය තුළ වඳ වී යාමත්, වැඩක් නැති දැනුම් අතහැර වැඩක් තිබෙන දැනුම් හොයා ගන්නට හෝ හොයා ගන්නට බැරිනම් අඩු වශයෙන් නිවැරදිව අනුකරණය කරන්නට පුළුවන් අය ඉතිරි වීම ඉතිහාසය පුරා දිගින් දිගටම සිදු වී ඇති දෙයක්. මිනිස් වර්ගයා අලුත් දැනුම් හොයා යන ගමනේදී පෞද්ගලික ප්‍රාග්ධනය විසින් කර තිබෙන කාර්ය භාරය ඉතා විශාලයි.

Wednesday, June 3, 2020

අභ්‍යාවකාශයෙන් ආ සීනු හඬ


තරඟකාරී නිදහස් වෙළඳපොළක් ඇති විට කිසිදු තනි පාරිභෝගිකයෙකුට හෝ සැපයුම්කරුවෙකුට මිලට බලපෑම් කරන්න බැහැ.  ඒ වගේ වෙළඳපොලක විකිණෙන භාණ්ඩයේ හෝ සේවාවේ මිල එම භාණ්ඩය නිපදවීම සඳහා වැය වන ආන්තික පිරිවැයට සමානයි. ඒ කියන්නේ, ශ්‍රමය සඳහා හා ප්‍රාග්ධනය සඳහා ප්‍රතිලාභ මිස අමතර ලාභ නැහැ.

නිදහස් වෙළඳාමට ඉඩ ලැබුණා කියලා හැම වෙළඳපොළක්ම තරඟකාරී වෙළඳපොළක් වෙන්නේ නැහැ. විවිධ හේතු නිසා  ස්වභාවිකවම ඒකාධිකාර ගොඩ නැගෙන අවස්ථා තිබෙන්න පුළුවන්. කතිපයාධිකර ඊට වඩා සුලභව දකින්න ලැබෙනවා. බොහෝ වෙළඳපොළවල් වල ප්‍රධාන සමාගම් හතර පහකට නැත්නම් හත අටකට වඩා නැති බව පෙනෙන්නට තිබෙන කරුණක්. මේ වගේ වෙළඳපොලක වුවත් ලාභ අවසාන වශයෙන් බෙදී යන්නේ ප්‍රාග්ධනය යෙදවූ අය හා ශ්‍රමය යෙදවූ අය අතරයි.

හැම දෙනෙකුටම ජීවිතය ආරම්භ කරද්දී ප්‍රාග්ධනයක් උරුමයෙන් ලැබෙන්නේ නැහැ. එවැනි අයෙකුට මුල් කාලයේදී තමන්ගේ ශ්‍රමයේ ප්‍රතිලාභ මිසක් ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ ලබා ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එහෙත්, ශ්‍රමයේ ප්‍රතිලාභ සියල්ල පරිභෝජනය කර අවසන් නොකර යම් කොටසක් ආයෝජනය කිරීමෙන් කාලයක් යද්දී ඕනෑම කෙනෙකුට ප්‍රාග්ධන සංචිතයක් ගොඩ නඟා ගන්න පුළුවන්.

කොටස් වෙළඳපොළ කියන්නේ පුද්ගලයෙකුට තමන්ගේ ප්‍රාග්ධනය ආයෝජනය කරන්න හොඳ තැනක්. කොටස් වෙළඳපොළ සංකල්පයේ අපූර්වත්වය වන්නේ කිසියම් සමාගමක් විසින් අධික ලාභ උපයනවා කියා හිතන කෙනෙකුට ඒ ගැන දුක් වෙනවා හෝ පැමිණිලි කරනවා වෙනුවට අදාළ සමාගමේ කොටස් හිමියෙකු වී ඒ ලාබ වල කොටස්කරුවෙකු වෙන්න අවස්ථාව මේ හරහා ලැබෙන එකයි.

වෙනත් ඕනෑම අයෙකුටත් ඇමසන්, මයික්‍රෝසොෆ්ට් හා ෆේස්බුක් වැනි සමාගමක කොටස් මිල දී ගන්න බාධාවක් නැහැ. කැමතිනම් ගොඩක් ලාබ උපයනවා කියා සමහර අය කියන මොන්සැන්ටෝ වගේ සමාගමක කොටස් වුවත් මිල දී ගන්න පුළුවන්. නියම ජනසතු කිරීමක් කියා කිව හැක්කේ සමාගමක් කොටස් වෙළඳපොළක ලැයිස්තුගත කිරීමටයි. ජනසතු කිරීමේ නාමයෙන් සමාගමක් රජය සතු කළ විට සිදුවන්නේ එය ටික දෙනෙකුගේ බූදලයක් බවට පත් වීම බව පෙන්වන්න දෘශ්‍යමාන උදාහරණ ඕනෑ තරම් තිබෙනවා.

වෙනත් ඕනෑම අයෙකුට මේ කොටස් මිල දී ගන්න බාධාවක් නැහැ. නියම ජනසතු කිරීමක් කියා කිව හැක්කේ සමාගමක් කොටස් වෙළඳපොළක ලැයිස්තුගත කිරීමටයි. ජනසතු කිරීමේ නාමයෙන් සමාගමක් රජය සතු කළ විට සිදුවන්නේ එය ටික දෙනෙකුගේ බූදලයක් වීම බව පෙන්වන්න උදාහරණ ඕනෑ තරම් තිබෙනවා.

කොටස් වෙළඳපොළක් කියා කියන්නේ සමාගම් වල කොටස් ගනුදෙනු වන තැනක්. ලෝකයේ ලොකුම කොටස් වෙළඳපොළ නිවුයෝර්ක් කොටස් වෙළඳපොළයි. එහි ලැයිස්තුගත කර තිබෙන සමාගම් කොටස් වල වටිනාකම ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 25කට වඩා වැඩියි. ඒ කියන්නේ ඇමරිකාවේ ජාතික ආදායමටත් වඩා වැඩියි. නිවුයෝර්ක් කොටස් වෙළඳපොළ ආරම්භ වී වසර දෙසීයකටත් වඩා වැඩියි.

වසර පණහකට ආසන්න ඉතිහාසයක් තිබෙන නැස්ඩෑක් කොටස් වෙළඳපොළ ලෝකයේ දෙවන විශාලතම කොටස් වෙළඳපොළයි. ඇමසන්, මයික්‍රෝසොෆ්ට් හා ෆේස්බුක් වැනි තාක්ෂණික අංශයේ සමාගම් බොහොමයක් ලැයිස්තුගත කර තිබෙන්නේ නැස්ඩෑක් කොටස් වෙළඳපොළේ.

නිවුයෝර්ක් කොටස් වෙළඳපොළේ දෛනික ගනුදෙනු ආරම්භ වීම හා අවසන් වීම සංඥා කරමින් සීනුවක් නාද කිරීම සියවස් එකහමාරක් පමණ සිට සිදුවන දෙයක්. මේ සීනුව නාද කිරීමේ කටයුත්ත පසුකාලිනව කිසියම් නම්බුකාර වැඩක් බවට පත් වී තිබෙනවා. උදාහරණයක් ලෙස ලැයිස්තුගත සමාගමක ස්වර්ණ ජයන්තිය වැනි විශේෂ සැමරුම් අවස්ථාවකදී කොටස් වෙළඳපොළ සීනුව හඬවා එම අවස්ථාව සැමරීමට අදාළ සමාගමේ ප්‍රධානියෙකුට අවස්ථාව ලැබෙනවා. නැස්ඩෑක් කොටස් වෙළඳපොළ හා කොළඹ කොටස් වෙළඳපොල ඇතුළු ලෝකයේ වෙනත් කොටස් වෙළඳපොළවල් වලටද මේ චාරිත්‍රය පැතිරී තිබෙනවා.

සාමාන්‍යයෙන් මේ සීනු චාරිත්‍රය ඉටු කරන අය අදාළ ස්ථානයට පැමිණෙන නමුත් ඊයේ (ජූනි 2) උදේ නැස්ඩෑක් කොටස් වෙළඳපොළේ ගනුදෙනු ආරම්භ කරමින් චාරිත්‍රානුකූල ලෙස සීනුව නාද කළ අය ඒ කටයුත්ත කළේ වෙනත් තැනක සිටයි. මේ වෙනත් තැන නිවුයෝර්ක් නගරයේ, ඇමරිකාවේ හෝ අඩු වශයෙන් පෘථිවිය මත පිහිටි තැනක් නෙමෙයි. සීනු හඬ ආවේ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිටයි.

ස්පේස්-එක්ස් සමාගමේ කෲ ඩ්‍රැගන් අභ්‍යවකාශ යානය ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය කරා ගිය ඓතිහාසික ගමන සමරමින් ගමනට සහභාගී වූ නාසා අභ්‍යාවකාශගාමීන් වන රොබර්ට් බැන්කන් හා ඩග්ලස් හර්ලිත්, ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය භාරව සිටින ක්‍රිස් කැසීඩීත් එකතුව ඊයේ මේ චාරිත්‍රය ඉටු කළා. ඒ සඳහා උපයෝගී කර ගත්තේ මේ දවස් වල ගෙදර සිට වැඩ කරන ගොඩක් අයට පුරුදු සූම් මෘදුකාංගයයි.

සූම් මෘදුකාංගය නිපදවූ සූම් වීඩියෝ කමියුනිකේෂන්ස් සමාගමද නැස්ඩෑක් කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගමක්. එම සමාගමේ කොටස් නැස්ඩෑක් කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කරමින් පොදු සමාගමක් බවට පත් වීම සමරමින් එහි ප්‍රධාන විධායක නිලධාරිනිය විසින්ද පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී නැස්ඩෑක් සීනුව නාද කළා.

(Image: https://www.space.com/spacex-crew-dragon-astronauts-nasdaq-opening-bell.html)

Sunday, May 31, 2020

කොරෝනා අමතක කර අභ්‍යාවකාශගත වෙමු!


ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය කරා අභ්‍යාවකාශගාමීන් දෙදෙනකු ප්‍රවාහනය කරමින් ස්පේස්-එක්ස් සමාගමේ කෲ ඩ්‍රැගන් අභ්‍යවකාශ යානය ඊයේ (මැයි 30) ඇමරිකානු නැගෙනහිර කලාපයේ වේලාවෙන් පස්වරු 3:22ට හෙවත් ලංකාවේ වේලාවෙන් මැයි 31 දින අළුයම 12:52ට ෆ්ලොරිඩාහි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට සාර්ථක ලෙස ගුවන්ගත කෙරුණා. මේ අවස්ථාව පෞද්ගලික සමාගමක් මුල් වී මිනිසුන් අභ්‍යාවකාශය වෙත ප්‍රවාහනය කරන පළමු අවස්ථාව ලෙස ඉතිහාසගත වෙනවා.

කෲ ඩ්‍රැගන් අභ්‍යවකාශ යානයේ මේ පළමු පරීක්ෂණාත්මක ගමනට නාසා අභ්‍යාවකාශගාමීන් වන රොබර්ට් බැන්කන් හා ඩග්ලස් හර්ලි සහභාගී වුනා. යානය ගුවන්ගත කිරීම සඳහා මුලින්ම සැලසුම් කර තිබුණු දිනය මැයි 27 වුවත්, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවසන් මොහොතේදී එම කටයුත්ත දින හතරකින් කල් දැම්මා.

මෙතෙක් අභ්‍යාවකාශ තරණය රජයයන් මුල් වී සිදු කළ කටයුත්තක්. ආරම්භයේදී මේ කටයුත්තේදී මුල් තැන සිටියේ සෝවියට් දේශයයි. රටේ ආදායම මිනිසුන් අතර බෙදා හැරීමේ ඒකාධිකාරය රජය වෙත තබා ගෙන සිටි සෝවියට් දේශය වැනි සමාජවාදී රට වලට රජයේ ප්‍රමුඛතා වෙනුවෙන් බාධාවකින් තොරව සම්පත් යොමු කිරීමේ හැකියාව තිබුණු නිසා අභ්‍යාවකාශ තරණය වැනි කටයුතු වලදී අනෙක් රටවලට වඩා ඉදිරියෙන් සිටීමට හැකි වුනා.

ඇමරිකාව මුලින්ම අභ්‍යාවකාශ තරණයට අවතීර්ණ වුනේ සෝවියට් දේශයට දෙවැනි විය නොහැකි නිසයි. සෝවියට් දේශය විසින් පළමු වරට අභ්‍යාවකාශයට මිනිසෙකු යැවීමෙන් පසුව ඇමරිකානුවන්ගේ ජාතිකාභිමානයට සෑහෙන්න රිදුනා. ඒ නිසා, ඇමරිකාවේ ෆෙඩරල් රජයටත් බදු මුදල් යොදවා අභ්‍යාවකාශ තරණය වෙනුවෙන් ආයෝජනය කරන්න ඉඩ සැලසුණා. ඇමරිකාව සෝවියට් දේශය පරදවා අභ්‍යාවකාශ තරණය තුළද ඉදිරියට ගොස් පළමු වරට මිනිසෙකු හඳ වෙත යැවුවා.

මුලින්ම සෝවියට් දේශය අභ්‍යාවකාශ තරණ තරඟයෙන් ඉවත් වීමත්, පසුව සෝවියට් දේශය බිඳ වැටීමත් සමඟ අභ්‍යාවකාශ තරණය සඳහා වූ ඇමරිකානු උනන්දුව දියාරු වී ගියා. කෙසේ වුවත්, සෝවියට් දේශය අභ්‍යාවකාශ තරණ තරඟයෙන් මිස අභ්‍යාවකාශ තරණයෙන් ඉවත් වුනේ නැහැ. සෝවියට් දේශය වගේම පසුව රුසියාවත් දිගටම අභ්‍යාවකාශ තරණයෙහි යෙදී සිටියා. පසුකාලීනව අභ්‍යාවකාශ තරණයේදී රටවල් අතර තරඟයක් වෙනුවට සහයෝගීතාවයක් ගොඩ නැගුනා. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයත් එහි ප්‍රතිඵලයක්.


අභ්‍යාවකාශ තරණය බදු මුදල් නාස්ති කළ ප්‍රදර්ශනාත්මක කටයුත්තක් මිස ආර්ථික වශයෙන් ඵලදායී ලාබ ගෙනදුන් කටයුත්තක් වුනේ නැහැ. අභ්‍යාවකාශ ගමන් සඳහා යොදාගත් වියදම් අධික යානා එක ගමනකින් පසුව නැවත නැවත අභ්‍යාවකාශ ගමන් සඳහා යොදාගත නොහැකි වීම මෙය ආර්ථික වශයෙන් ඵලදායී කටයුත්තක් ලෙස වැඩි දියුණු වීමට තිබුණු විශාලම බාධාවක්.

සඳ තරණයෙන් වසර පණහකට පසුව දැන් නැවත උදා වෙමින් තිබෙන්නේ අභ්‍යාවකාශ තරණයේ නව යුගයක්. ස්පේස්-එක්ස් සමාගම ඇතුළු පෞද්ගලික සමාගම් විසින් පෞද්ගලික ධනය ආයෝජනය කර අත් හදා බලමින් සිටින්නේ නැවත නැවත අභ්‍යාවකාශ ගමන් සඳහා යොදාගත හැකි අභ්‍යාවකාශ යානා නිසා එක් ගමනක් සඳහා වන පිරිවැය විශාල ලෙස අඩු වෙනවා. ඒ අනුව, මුදල් ගෙවන්නට සූදානම් ඕනෑම කෙනෙකුට අභ්‍යවකාශගත වීමේ අවස්ථාව සලසා දෙමින් අභ්‍යාවකාශ සංචාරක කර්මාන්තය කර්මාන්තයක් ලෙස සංවර්ධනය වීමට වැඩි දවසක් යන එකක් නැහැ.

පැය දහ නවයක ගමනකින් පසුව තව මිනිත්තු කිහිපයකින් කෲ ඩ්‍රැගන් අභ්‍යාවකාශ යානයේ අභ්‍යාවකාශගාමීන් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය කරා ළඟා වන අවස්ථාව පහත සබැඳියෙන් සජීවී ලෙස නැරඹිය හැකියි.

https://www.nasa.gov/nasalive

Saturday, February 1, 2020

මුහුණු වැසුම් වලින් ගසා කෑම


මුහුණු වැසුම් කියන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ පාරිභෝගිකයන් බොහෝ දෙනෙකුට අත්‍යාවශ්‍ය දෙයක් නෙමෙයි. එහෙත්, කොරෝනා භීතිය පැතිරීමත් එක්ක මේ තත්ත්වය වෙනස් වෙලා. මුහුණු වැසුම් ඉල්ලුම ඉහළ යද්දී මිලත් ඉහළ ගොස්, අන්තිමේදී රජය විසින් පාලන මිලක් පැනවීමෙන් පසුව මුහුණු වැසුම් හිඟයක් ඇති වී තිබෙන බව පෙනෙනවා.

ඇමරිකානුවෙකු මුහුණු වැසුමක් භාවිතා කර සිටිනු දැකීම දුලබ දෙයක් නෙමෙයි. කෙනෙක් මුහුණු වැසුමක් භාවිතා කරන්නේ කිඹුහුම්, කෙළ, හොටු, ප්‍රශ්වාස වාතය ආදී ක්‍රමයකින් වෙනත් අයට බෝවිය හැකි රෝගයක් වැළඳුනු විට හෝ එවැනි රෝගයක් තමන්ට ඇති බවට සැකයක් ඇති වූ විටයි. මේ මුහුණු වැස්ම අනෙක් අයට අදාළ පුද්ගලයාට කිට්ටු වී රෝගය බෝ කර නොගැනීමට සංඥාවක්ද ලබා දෙනවා. වරක් භාවිතා කර ඉවතලන මුහුණු වැස්මක් ඇමරිකානු ඩොලර් ශත දහයකට පමණ මිල දී ගන්න බැරිකමක් නැහැ.

මම හිතන්නේ කොරෝනා භීතිය එන්න කලින් මෙවැනි වරක් භාවිතා කර ඉවතලන මුහුණු වැස්මක් ලංකාවේ විකිණෙන්න ඇත්තේ රුපියල් දහයකට හෝ පහළොවකට වෙන්න ඇති. සමහර විට ඊටත් අඩුවෙන් වෙන්න ඇති. එය ඉල්ලුම හා සැපයුම මත තීරණය වුනු මිලක්. මෙවැනි මුහුණු වැස්මක නිෂ්පාදන පිරිවැය එතරම් විශාල නැති නිසා මේ වගේ මුදලකට විකුණා ලාබගන්න නිෂ්පාදකයෙකුට බැරිකමක් නැහැ. ඒ වගේම පාරිභෝගිකයෙකුට මෙවැනි මුහුණු වැස්මක මීට වඩා මහා ලොකු වටිනාකමක් නොතිබුණු නිසා මුහුණු වැස්මක් රුපියල් දෙතුන් සීයකට මිල දී ගන්න කැමති අය එතරම් සිටියා වෙන්න බැහැ.

මේ විදිහට සරලව විස්තර කළත් ලංකාවේ පාරිභෝගිකයෙකු මුහුණු වැස්මක් මිල දී ගන්නේ එහි නිෂ්පාදකයාගෙන් නෙමෙයි. ළඟම තිබෙන ෆාමසිය වැනි අතරමැදියෙකුගෙන්. ෆාමසිය හිමිකරු  මුහුණු වැස්ම විකුණන්නේ එය ඔහුට ලැබෙන මිලටම නෙමෙයි. මුහුණු වැසුම් තොග මිලට මිල දී ගෙන ගබඩා කරගෙන සිටීම සඳහා ඔහුට වියදමක් දරන්න වෙනවා. ඒ වියදම හා වෙනත් වියදම් ඔහු විසින් ආවරණය කරගත යුතුයි. අනවශ්‍ය තොග ගොඩ ගසාගෙන සිටීම තේරුමක් නැති වියදමක්. ඒ නිසා ෆාමසි කරුවෙකු විසින් ගබඩා කර තබා ගන්නේ කිසියම් නිශ්චිත කාලයක් තුළ විකිණී අවසන් වේයැයි අපේක්ෂිත මුහුණු වැසුම් ප්‍රමාණයක් පමණයි.

ලංකාවේ ෆාමසි හිමිකරුවෙකු  මුහුණු වැසුම් මිලදී ගන්නේත් සෘජුවම එහි නිෂ්පාදකයාගෙන් නෙමෙයි. නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර අතරමැදියන් ගණනාවක් සිටිනවා. ලංකාවේ බොහෝ පරිභෝජන භාණ්ඩ වල වගේම මේ මුහුණු වැසුම් වල නිෂ්පාදකයින්ද සිටින්නේ ඉන්දියාවේ හෝ චීනයේ වෙන්න පුළුවන්. එය එසේනම් එයින් අදහස් වෙන්නේ ඉන්දියානුවෙකුට හෝ චීනෙකුට ලාංකිකයෙකුට වඩා කාර්යක්ෂමව මුහුණු වැසුම් නිපදවිය හැකි බවයි. එයට හේතු අපි මෙහි කතා නොකර සිටිමු.

කොරෝනා භීතිය පැතිරීමත් සමඟ ලංකාවේ බොහෝ දෙනෙකුට මුහුණු වැස්මක තිබෙන පෞද්ගලික වටිනාකම එක වර විශාල ලෙස ඉහළ ගියා. ඒ එක්කම ඔවුන් මුහුණු වැස්මක් සඳහා ස්වේච්ඡාවෙන් ගෙවන්න කැමතිව සිටි උපරිම මිලත් විශාල ලෙස ඉහළ ගියා. මෙය ආර්ථික විද්‍යාවේ කියන ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වීමක්.

මේ ආකාරයට මුහුණු වැසුම් සඳහා වන ඉල්ලුම විශාල ලෙස ඉහළ ගියේ දින කිහිපයක් වැනි කෙටි කාලයක් ඇතුළතයි. ඒ තරම් කෙටි කාලයක් ඇතුළත සැපයුම් වක්‍රය වෙනස් වෙන්නේ නැහැ. කෙටිකාලීනව මුහුණු වැසුම් සැපයුම් වක්‍රය තීරණය වන්නේ ෆාමසි වල ගබඩා කරගෙන තිබෙන තොග ප්‍රමාණ මතයි. නමුත්, වැඩි වූ ඉල්ලුම අනුව, වෙනදා මාස හත අටකින් විකිණෙන මුහුණු වැසුම් ප්‍රමාණයක් දවසකින් දෙකකින් විකිණෙන්න පුළුවන්කමක් ඇති වුනා. ඒ තරම් ඉක්මණින් මුහුණු වැසුම් ආනයනය කරන්න බැහැ.

මුහුණු වැසුම් ඉල්ලුම වැඩි වුනේ ලංකාවේ පමණක් නොවෙයි. කොරෝනා නිජ භූමිය වූ චීනයේ මේ සිද්ධියම මීට වඩා ලොකුවට සිදු වුනා. චීනය ඇතුළේ මුහුණු වැසුම් ඉල්ලුම විශාල ලෙස ඉහළ යාමත්, චීනය සමඟ කෙරෙන ජාත්‍යන්තර වෙළඳ කටයුතු සීමා වීමත් නිසා මුහුණු වැසුම් සැපයුම් වක්‍රයටත් බලපෑමක් ඇති වුනා. එය ආර්ථික විද්‍යා භාෂාවෙන් සැපයුම් වක්‍රය වමට විතැන් වීමක්.

සැපයුම් වක්‍රය නොවෙනස්ව තිබියදී ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වීමේ ප්‍රතිඵලය මිල ඉහළ යාමයි. ඉල්ලුම් වක්‍රය නොවෙනස්ව තිබියදී සැපයුම් වක්‍රය වමට විතැන් වීමේ ප්‍රතිඵලයත් මිල ඉහළ යාමයි. ඔය දෙකම එකවර වෙනවා කියන්නේ ඩබල් බෝනස්!

පහුගිය දවස් වල ලංකාවේ ෆාමසි වල මුහුණු වැසුම් මිල ඉහළ ගියේ ඔය මූලධර්මය අනුවයි. නමුත්, මේ වෙලාවේ සිදු වුනේ ෆාමසි කාරයින් විසින් ඉතා අසාධාරණ ලෙස අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන පාරිභෝගිකයින් ගසා කෑමක් කියා කෙනෙකුට කියන්න පුළුවන්. ඒක ඇත්තද?

මගේ එක් වත්පොත් මිතුරෙක් මේ "අමානුෂික වැඩේ" ගැන ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවමින් වහාම මුහුණු වැසුම් වලට උපරිම සිල්ලර මිලක් නියම කරන ලෙස ඉල්ලීමක් කර තිබුණා. මේ වෙද්දී ඔහුගේ ඉල්ලීම ඉටු වී තිබෙනවා. දැන් වරක් භාවිතා කර ඉවතලන මුහුණු වැසුමක උපරිම සිල්ලර මිල රුපියල් පහළොවක් පමණයි. නමුත්, ඒ මිලට ගන්න බඩු නැහැ!

මානුෂික වේවා අමානුෂික වේවා, වෛරස් බිය පැතිරෙද්දී මුහුණු ආවරණ වල මිල ඉහළ ගියේ නිදහස් වෙළඳපොළ ක්‍රමය නිසා කියන එක ඇත්ත. භාණ්ඩ හා සේවා මිල රජය විසින් තීරණය කරන විකල්ප ආර්ථික ක්‍රමයක් යටතේ මේ විදිහට මිල ඉහළ යන්නේ නැහැ. මේ විදිහට ආපදා අවස්ථාවකදී වැඩි වැඩියෙන් අවශ්‍ය වන භාණ්ඩයක මිල ඉහළ යන ක්‍රමයක් අමානුෂිකද?

මේ ගැන කතා කරන්න පටන් ගත යුත්තේ බැහැර කළ නොහැකි බිම් යථාර්ථ වල සිටයි. ෆාමසි වල සහ සමස්තයක් ලෙස රට ඇතුළේ කොහේ හෝ තිබෙන මුහුණු වැසුම් ප්‍රමාණය සීමිතයි. කොරෝනා වෛරස් බිය නොවන්නට මේ මුහුණු වැසුම් ප්‍රමාණය මාස හත අටකටවත් ප්‍රමාණවත්. ඒ කාලය ඇතුළත කවුරු හෝ විසින් නැවත තොග ආනයනය කරන නිසා රටේ  මුහුණු වැසුම් හිඟයක් ඇති වීමේ ඉඩක් නැහැ. නමුත්, දැන් හදිසියේම එකවර ඇති වී තිබෙන විශාල ඉල්ලුම රටේ තිබෙන මුහුණු වැසුම් ප්‍රමාණය ඉක්මවන්නක්. ඒ නිසා, මුහුණු වැසුම් අවශ්‍ය සියල්ලන්ටම මුහුණු වැසුම් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. රටේ ආර්ථික ක්‍රමය සමාජවාදී වුවත්, ධනවාදී වුවත් මේ සැබෑ ප්‍රශ්නය එළෙසම තිබෙනවා.

අපි හිතමු රටේ දැනට තිබෙන මුහුණු වැසුම් ප්‍රමාණය ලක්ෂයක් කියා. නමුත්, මුහුණු වැසුම් ඉල්ලුම ලක්ෂ පහක්. මේ ගණන් උදාහරණ පමණයි. පවතින තත්ත්වය යටතේ මුහුණු වැසුම් අවශ්‍ය අයගෙන් සෑම පස් දෙනෙකුගෙන් හතර දෙනෙකුටම මුහුණු වැසුම් ලැබෙන්නේ නැහැ. මුහුණු වැසුම් ලැබෙන්නේ කාටද කියන එක තීරණය වෙන්නේ රටේ සම්පත් බෙදා හැරීමේ ක්‍රමවේදය එහෙමත් නැත්නම් ආර්ථික ක්‍රමය අනුවයි.

මුහුණු වැසුම් ලැබිය යුත්තේ ඒවා වඩාත්ම අවශ්‍ය පිරිසටයි. ඒ පිරිස කවුද? නිදහස් වෙළඳපොළක සමතුලිත මිල කියා කියන්නේ මේ වඩාත්ම අවශ්‍ය පිරිස තෝරා ගන්නා යාන්ත්‍රණයටයි. මුහුණු වැස්මක මිල ටිකින් ටික ඉහළ යන විට මුහුණු වැස්මක් ඒ තරම්ම ලොකුවට අවශ්‍ය නැති අය ටිකින් ටික මේ තරඟයෙන් ඉවත් වෙනවා. අන්තිමට ඉතිරි වෙන්නේ කීයක් ගියත් මුහුණු වැස්මක් මිල දී ගන්න අවශ්‍ය පිරිසයි.

මුහුණු වැස්මක මිල රුපියල් පහළොවක සිට රුපියල් පණහ දක්වා ඉහළ ගිය විට ඒ ගැන මැසිවිලි නගන කෙනෙක් ගැන කියන්න තියෙන්නේ කුමක්ද? ඔහුට හෝ ඇයට මුහුණු වැස්මක් රුපියල් පණහක් වටින්නේ නැහැ. එපමණ මුදලක් ගෙවා මුහුණු වැස්මක් මිල දී ගන්න තරම් අවදානමක් තමන්ට නැති බව ඇය දන්නවා. එහෙත්, රුපියල් පහළොවකට මුහුණු වැස්මක් මිල දී ගත හැකිනම් තිබෙන සුළු අවදානම හමුවේ වුවත් එහි යම් වාසියක් ඇයට තිබෙනවා.

තමා ගැවසෙන ප්‍රදේශයේම කොරෝනා වෛරස් රෝගියෙකු සිටින බව දැනගත් විට, එහෙමත් නැත්නම් යම් අයෙකුට ස්වශන ආබාධයක් ඇති විට මුහුණු වැස්මක අවශ්‍යතාවය වැඩියි. එවැනි අය රුපියල් පණහක් නෙමෙයි සීයක් හෝ ගෙවා මුහුණු වැස්මක් මිල දී ගන්නවා. එවැනි අයට තිබෙන වැඩි අවදානම නිසා මුහුණු වැස්මක වටිනාකම වැඩියි. මුහුණු වැසුම් නිපදවන්න යන වියදම සමාන වුවත්, එහි වටිනාකම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ෆාමසිකරුවන් විසින් දිගින් දිගටම මුහුණු වැසුම් වල මිල ඉහළ දැමීම නිසා කිසියම් මුහුණු වැසුම් ප්‍රමාණයක් නොවිකිණී ෆාමසි වල ඉතිරි වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස, මුහුණු වැස්මක් අත්‍යාවශ්‍ය අයෙකුට වැඩි මිලක් ගෙවා හෝ මුහුණු වැස්මක් මිල දී ගැනීමේ හැකියාවද අහිමි නොවී ඉතිරි වෙනවා.

මුහුණු වැසුම් වලට උපරිම සිල්ලර මිලක් දැමූ වහාම මේ ස්වභාවික වෙළඳපොළ යාන්ත්‍රනය බිඳ වැටෙනවා. දැන් මුහුණු වැසුම් අයිති කර ගන්නේ ඒවා අවශ්‍යම පිරිස නෙමෙයි. ගන්නන් වාලේ ගන්න අයයි. එහි ප්‍රතිඵලයක් ලෙස මුහුණු වැසුම් අත්‍යවශ්‍යම අයට මුහුණු වැසුම් ලබා ගැනීමේ හැකියාව අහිමි වෙනවා. ඉල්ලුම හා සැපයුම අතර පරතරයක් ඇති වූ විට මිල ඉහළ යාම ඉතාම මානුෂීය වන්නේත්, මිල පාලනය අමානුෂික වන්නේත් ඒ නිසයි.

මිල පාලනයේ තිබෙන එකම අවාසිය මෙපමණක් නෙමෙයි. ඉහළ යන මිල කියා කියන්නේ වෙළඳපොළේ ඉල්ලුම වෙනස් වී ඇති බව සැපයුම්කරුවන්ට දැනුම් දෙන සංඥාවයි. රුපියල් පහළොවකට මුහුණු වැසුම් හදා වෙළඳපොළට දමන්න බොහෝ අය නොපෙළඹෙන්නේ එසේ කර වාසියක් ලැබීම අසීරු නිසයි. මිල රුපියල් පණහක් වූ විට තත්ත්වය වෙනස් වෙනවා. ඒ වගේම, මිල ප්‍රමාණවත් තරම් ඉහළ මට්ටමක තිබුණොත් කෙනෙක් ඉන්දියාවට ගොස් තමන්ගේ ගමන් මළු වල දමාගෙන මුහුණු වැසුම් අරගෙන එන්න පවා පෙළඹෙන්න පුළුවන්. මේ වගේ දේවල් නිසා ඉතා ඉක්මණින් සැපයුම ඉහළ ගොස් නැවත මිල පහළ වැටෙනවා. නමුත්, හදිස්සි වී මිල පාලනය කළ විට මේ යාන්ත්‍රනය ඇණ හිටිනවා.

සැබෑ ප්‍රශ්නය ඉල්ලුමට සරිලන තරම් මුහුණු වැසුම් සැපයුමක් නැතිකම මිස මිල ඉහළ යාම නෙමෙයි. මිය ඉහළ යාම කියා කියන්නේ සැබෑ ප්‍රශ්නය ගැන දැනුම් දෙන පණිවුඩකරු මිස සැබෑ ප්‍රශ්නය නෙමෙයි. පණිවුඩකරුට වෙඩි තිබ්බා කියා ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ.

කිසියම් මැදිහත්වීමක් කළ යුතු බව රජය විසින් හඳුනාගත්තානම් කළ යුතුව තිබුණේ කෙසේ හෝ මුහුණු වැසුම් සැපයුම වැඩි කිරීමයි. එසේ කළානම්, මිල ඉබේම පහළ වැටෙනවා. එසේ නොකර මිල පාලනය කරන්න යාමෙන් සිදු වන්නේ මුහුණු වැසුම් හිඟය තවත් උග්‍ර වීම පමණයි.

Wednesday, January 16, 2019

ඉර හඳ ඇල්ලීම


"ඉර හඳ ඇල්ලුවත් මොකටද?"

"අපි හදන්නෙ ඉර හඳ අල්ලන්න නෙමෙයි!"

ඔය වගෙ කතා ලංකාවේ මිනිස්සුන්ගේ කටින් නිතරම පිට වෙනවා. මේ කතා වලින් කියැවෙන්නේ ඉර හඳ අල්ලනවා වගේ ලොකු වැඩ නොකළාට කරන්න ඊට වඩා වැදගත් වැඩ තිබෙන බවයි.

පසුගිය සියවසේ තුන්වන කාර්තුව අභ්‍යාවකාශ තරණය හා අදාළ ගොඩක් දේවල් සිදුවුණු කාලයක්. ඒ කාලයේ ඉර හඳ අල්ලන්න උත්සාහ කළ රටවල් අතර ඉදිරියෙන්ම සිටියේ සෝවියට් දේශය හා ඇමරිකාවයි.

වෙනත් හැම දෙයක්ම වගේ රජය මූලිකව කළ සෝවියට් දේශය අභ්‍යවකාශ තරණය වෙනුවෙන් විශාල ප්‍රමුඛතාවයක් දෙමින්, සැලකිය යුතු තරමින් සම්පත් වැය කර ඔවුන්ගේ එම ආයෝජන වල ප්‍රතිඵල නෙලා ගනිමින් පසුගිය සියවසේ මැද හරියේදී අභ්‍යවකාශ තරණයේ ප්‍රමුඛයා වෙන්න සමත් වුණා. ගොඩක් දේවල් රජයේ මැදිහත්වීමකින් තොරව සිදුවන ඇමරිකාවේ එවැනි දැවැන්ත කටයුත්තකට අත ගැසිය හැකි පෞද්ගලික ආයෝජකයින් සිටියේ නැහැ. එවැනි ආයෝජනයකින් ලැබිය හැකි අවදානමට සරිලන ලාබ පෙනෙන්නට නොතිබීම එයට හේතුවයි.

සෝවියට් දේශය විසින් 1957 ඔක්තෝබර් 4 වෙනිදා මුල් වරට සාර්ථක ලෙස කෘතීම චන්ද්‍රිකාවක් (ස්පුට්නික් 1) ගුවන්ගත කළා. ඒ එක්කම ඇමරිකානු ෆෙඩරල් රජයට ජාතික වැදගත්කමක් ඇති කටයුත්තක් ලෙස අභ්‍යවකාශ තරණය ගැන හිතන්න අවශ්‍ය වාතාවරණය හැදුනා. 1958 ඔක්තෝබරයේදී නාසා ආයතනය බිහිවුනේ ඒ අනුවයි. නාසා ආයතනය පිහිටුවීමෙන් පසුව ඉලක්ක කළ පළමු ව්‍යාපෘතිය වූයේ අභ්‍යවකාශයට මිනිසෙකු යැවීමයි.

නාසා ආයතනය විසින් 1960 අප්‍රේල් 26 දින අභ්‍යවකාශයට ඇමරිකානුවෙකු යැවීමට මුලින්ම සැලසුම් කර තිබුණත් අවශ්‍ය සියළු කටයුතු සැලසුම් කළ පරිදිම සිදු නොවූ නිසා මේ කටයුත්ත 1961 මැයි 5 දක්වා කල් ගියා. ඊට තෙසතිකට පෙර 1961 අප්‍රේල් 12 වෙනිදා රුසියානුවෙකු වූ යූරි ගගාරින් මුල් වරට අභ්‍යවකාශයට ගියා.

අභ්‍යාවකාශයට ගිය පළමු මිනිසා වූ ගගාරින්ට ලොව වටෙන්ම ලොකු පිළිගැනීමක් ලැබුණා. 1961 දෙසැම්බරයේදී ඔහු ලංකාවටත් ආවා. ඒ සංචාරයේදී ගගාරින් විසින් සිටවූ ගස් ලංකාවේ ගොඩක් තැන් වල දැනටත් තිබෙනවා ඇති කියා හිතනවා. 


(Image: http://lka.rs.gov.ru/en/news/10510)

මුල් වරට අභ්‍යාවකාශයට ඇමරිකානුවෙකු යවන්න නොහැකි වුවත්, මුල් වරට ඇමරිකානුවෙකු හඳට යවන්න නාසා ආයතනයට හැකි වුනා. ඒ 1969 ජූලි 21 වෙනිදා. ඇපලෝ ව්‍යාපෘතිය යටතේ, 1969, 1971 හා 1972 වසර වලදී ගමන් හයකදී ඇමරිකානුවන් 12 දෙනෙකු හඳට ගොඩ බැස්සා. ඒ හැර වෙනත් කිසිවෙකු මෙතෙක් හඳට අඩිය තබා නැහැ. මිනිසෙකු අවසන් වරට හඳට ගොඩ බැස්සේ 1972 දෙසැම්බරයේදී. කෙසේ වුවත්, ඒ කාලයේදීම සෝවියට් දේශය විසින් මිනිසුන් රහිත යානා ගණනාවක් හඳට යැවුවා.

ඇමරිකාව විසින් මිනිසුන් හඳට යැවීම මූලික වශයෙන්ම ඇමරිකන් රජයේ දේශපාලන ව්‍යාපෘතියක්. එහි ඉලක්කය වුණේ කෙසේ හෝ සෝවියට් දේශයට වඩා ඉස්සර වීමයි. එය නොකළානම් හඳ සෝවියට් දේශයේ භුක්තියට සින්න වෙලා යයි කියා බයක් හිතෙන්න ඇති. ඒ හැර එහි වෙනත් ආර්ථික වාසි තිබුණේ නැහැ. ඒ නිසා ඉලක්කය පස්සේ පන්නා ජය ගැනීමෙන් පසුව ඇමරිකාව පැත්තෙන් අභ්‍යවකාශ තරණයට වූ උනන්දුව දිය වෙලා ගියා. අනිත් පැත්තෙන් සෝවියට් දේශයත් වැඩේ අත ඇරලා දැම්මා. ඊට පස්සේ දශක ගාණක්ම ඉර හඳ අල්ලන වැඩේ පැත්තකට විසි වෙලයි තිබුණේ.

දැන් නැවතත් අභ්‍යාවකාශ තරණය ගැන උනන්දුව අලුත් වී තිබෙනවා. ඉර අල්ලන්න ඇමරිකාවෙන් යවපු පාකර් ප්‍රෝබ් එක කලින් කවදාවත් ගිහින් නොතිබුණු තරම් ඉරට කිට්ටු වෙද්දී, අභ්‍යාවකාශ තරඟයට අළුතෙන් එකතු වී සිටින චීනය මුල් වරට හඳේ නොපෙනෙන පැත්තට යානයක් යවා තියෙනවා. මෙය සිදුවන්නේ චන්අ නැත්නම් චන්ද්‍ර දෙවඟන ව්‍යාපෘතිය යටතේ සිදුවන සිවුවන මෙහෙයුම ලෙසයි.

මෙතෙක් කල් හඳේ නොපෙනෙන පැත්තට යානයක් යවනු ලැබ නොතිබුණේ එය තාක්ෂණිකව වඩා අසීරු කටයුත්තක් නිසයි. හඳ තමන් වටා භ්‍රමණය වන අක්ෂය ආසන්න වශයෙන් හඳ පොළොව වටා යන පථයට ලම්බකව පිහිටා තිබෙන නිසා හැම විටම පොළොව පැත්තට හැරී තිබෙන්නේ හඳේ එක අර්ධයක් පමණයි. ඒ නිසා හඳේ පොළොවෙන් විරුද්ධ පැත්තේ තිබෙන කොටසේ සිට පොළොව සමඟ සෘජුව සන්නිවේදනය කිරීමේ හැකියාවක් නැහැ. චීනය මේ අභියෝගය ජයගෙන තිබෙන්නේ හඳ මත ගොඩ බස්වපු යානය හා පොළොවේ පාලන මධ්‍යස්ථානය යන දෙකම "දැකිය හැකි" පරිදි හඳේ කක්ෂයේ ස්ථානගත කර තිබෙන "පොල්කිචි පාලම" චන්ද්‍රිකාව වෙත මුලින්ම සන්නිවේදන සංඥා යොමු කර එතැනින් ගමනාන්තය වෙත යොමු කිරීම මගිනුයි. මේ චන්ද්‍රිකාව කලින්ම ස්ථානගත කරනු ලැබුවා.

චන්අ-4 යානය ඇතුළේ කපු ඇටයක් පැල කරවන්නත් චීනය සමත් වුනා. මේ හඳේ පැලයක් පැල වුනු පළමු අවස්ථාව. කොහොම වුනත් ඒ පැලයට ආයුෂ තිබුණේ දවස් කිහිපයක් පමණයි. හඳේ දවසක් පොළොවේ දවස් 27ක් පමණ වන නිසා හඳට රෑ වන තුරු පැලයට දවස් ගානක්ම අවශ්‍ය උෂ්ණත්වය ලැබුණත් හඳට රෑ වෙද්දී එන අධික ශීතලෙන් බේරෙන්න විදිහක් නොතිබුණු නිසා දවස් කීපයකට කලින් ඒ කපු පැලේ මිය ගිහින්. 

අභ්‍යාවකාශ තරණයේ යෙදෙන හැම රටක්ම වගේ එය කරන්නේ තමන්ගේ රටේ ජාතික කටයුත්තක් ලෙස සලකලයි. ඒ නිසා, වෙනත් ක්ෂේත්‍රවල තරමට මේ ක්ෂේත්‍රයේ දැනුම රටකින් රටකට කාන්දු වෙන්නේ නැහැ. කිසියම් රටක් අභ්‍යවකාශ තරණයෙන් ඉදිරියට එනවා කියන්නේ ඒ රටේ තාක්ෂණ දැනුම පිළිබඳ සංඥාවක්.

චීනය වගේම අසල්වැසි ඉන්දියාවත් අභ්‍යවකාශ තාක්ෂනය අතින් වේගයෙන් ඉදිරියට යමින් සිටිනවා. ඉන්දියාවේ "ඒක් ටොයිලට් ප්‍රේම් කතා" සුලභ වීම එයට බාධාවක් වී නැහැ. ඉදිරි දශකයක කාලය තුළ මේ ක්ෂේත්‍රයේ ගොඩක් දේවල් වෙයි කියා හිතන්න පුළුවන්. නුදුරු අනාගතයේ දවසක ඉර හඳ අල්ලන්න ආසාවක් ඇති වුනු කෙනෙක් හඳට ගියොත් දවල් කෑමට චීන කෑම කන්න ලැබෙයිද ඉන්දියන් කෑම කන්න ලැබෙයිද කියා දැන්ම කියන්න අමාරුයි.

Monday, November 26, 2018

රතු ග්‍රහයා වෙත නෑ ගමනක්!



පසුගිය මැයි පස් වනදා කැලිෆෝර්නියාවේ වැන්ඩන්බර්ග් ගුවන් හමුදා කඳවුරේ සිට අඟහරු ග්‍රහයා වෙත ගමන් ඇරැඹු ඉන්සයිට් යානය සයමසකට වැඩි කාලයක චාරිකාව නිමා කර තවත් පැය කිහිපයකින් සිය ගමනාන්තය කරා ළඟා වෙනවා. මේ අවස්ථාව සජීවී ලෙස නැරඹිය හැකියි.

අඟහරු ගමන බොහෝ අභියෝගාත්මක කටයුත්තක්. මෙතෙක් අඟහරු වෙත සිදු කෙරුණු ගමන් වලින් සාර්ථක වී ඇති ප්‍රමාණයට වඩා අසාර්ථක වී ඇති ප්‍රමාණය වැඩියි. කෙසේ වුවත්, ඇමරිකාවෙන් අඟහරු වෙත යැවූ යානා බොහොමයක්ම අපේක්ෂිත අරමුණු ඉටු කිරීමට සමත්ව තිබෙනවා.

ඉන්සයිට් යානය අඟහරු වෙත ළඟා වීමෙන් අනතුරුව මෙතෙක් නොකළ බොහෝ දේ කරන්නට නියමිතයි. ඒ කටයුතු අතර අඟහරු පෘෂ්ඨයේ අභ්‍යන්තරය පරීක්ෂා කිරීම විශේෂයි.

ඉන්සයිට් යානය අඟහරු වෙත ලඟා වීමට නියමිතව තිබෙන්නේ ලංකාවේ වේලාවෙන් අද රාත්‍රී (27 අළුයම) 1.30ට පමණ. මධ්‍යම රාත්‍රී 12.30 සිට නාසා වෙබ් අඩවියෙන් (පහත සබැඳියෙන්) සජීවී විකාශනය නැරඹිය හැකියි.

https://www.nasa.gov/nasalive

Sunday, October 21, 2018

2020 දී මොකක් වෙයිද?


දෙදාස් විස්සෙදී මොකක් වෙයිද වගේ ප්‍රශ්න ගොඩක් අයට තිබෙනවා. අනාගතයේ වෙන දේවල් අපට නිශ්චිතවම දැනගන්න විදිහක් නැහැ. නමුත්, එයින් කියන්නේ අනාගතය තනිකරම අහම්බයක් කියන එක නෙමෙයි. අද අපි ගන්නා තීරණ අනාගතය වෙනස් කරනවා. හරියට සැලසුම් කළොත් අනාගතය වඩා හොඳ විදිහකට වෙනස් කරගන්න බැරිකමක් නැහැ.

නීල් ආම්ස්ට්‍රෝන් හඳට ගිහින් දැන් අවුරුදු පණහකට කිට්ටුයි. ඒ වෙන විට මම ඉපදිලා හිටියත් මේ ගැන සංවේදී වන වයසක නෙමෙයි හිටියේ. මේ ලිපිය කියවන බොහෝ දෙනෙක් එක්කෝ ඒ කාලයේ ඉපදිලා නැහැ. එහෙම නැත්නම් මම වගේම ඒ කාලයේ මේ ගැන සංවේදී නැති කුඩා දරුවෙක්. මෙය කියවන අය අතරේ ඔය හඳ ගමන හරියටම මතක තියෙන අයත් සෑහෙන පිරිසක් ඇති. නමුත්, අද ජීවත් වන බොහෝ දෙනෙක්ට ඕක තවත් ඉතිහාස කතන්දරයක් විතරයි.

ආම්ස්ට්‍රෝන් හඳට යන්න කලින් දශක දෙක අභ්‍යාවකාශ තරණය හා අදාළව ගොඩක් දේ සිදු වුනු කාලයක්. නමුත්, ආම්ස්ට්‍රෝන්ගේ හඳ ගමනින් ටික කාලයකට පස්සේ ඒ ගැම්ම අඩු වෙලා ගියා.

අභ්‍යාවකාශ තරණය හා අදාළව මුලින්ම ඉදිරියෙන් හිටියේ සෝවියට් දේශය කියා කියන්න පුළුවන්. ඇමරිකාව වැඩේට බර දැම්මේ සෝවියට් දේශයට දෙවෙනි වෙන්න තිබුණු අකැමැත්ත එක්කයි. ඇමරිකාවට සෝවියට් දේශයට වඩා කලින් මිනිහෙක්ව හඳට යවන්න පුළුවන් වුණත් ඒ වෙනුවෙන් විශාල වියදමක් දරන්න වුණා. ගැම්ම අඩුවෙලා යන්න මේ වියදම හේතු වුනා කිවුවොත් එය බොරුවක් නෙමෙයි.

අවුරුදු පණහකට පස්සේ දැන් ආයෙත් ඇමරිකාව හඳත් එක්ක ඔට්ටු අල්ලන්න ලෑස්ති වෙමින් ඉන්නවා. මේ පාර කලින් සැරේ වගේ හඳට ඇමරිකානුවෙක්ව යවලා වැඩේ නවත්වන්න අදහසක් නැහැ.

සැලසුම තිබෙන්නේ හඳ වෙත අඛණ්ඩව ගමන් බිමන් පවත්වා ගැනීම සහ එතැනින් එහාට අඟහරු පැත්තටත් ඔලුව දා ගැනීම. 2020 අන්තිම වෙද්දී නැවත වරක් ඇමරිකානුවෙක් හඳ මත පා තැබීමත් 2030 පමණ වෙද්දී අඟහරු ගමනක් ආරම්භ කිරීමත් සැලසුම් කෙරෙමින් තිබෙනවා. පසුගිය අගෝස්තු 12 වෙනිදා ඉර කිට්ටුවට ගමන් ආරම්භ කළ පාකර් ප්‍රෝබ් එකත් මේ සැලසුම් වලම කොටසක්. ආම්ස්ට්‍රෝන් හඳට යාමේ සිද්ධිය දිහා කුතුහලයෙන් බලා සිටි පරම්පරාවට ලැබුණු, අපට නොලැබුණු අත්දැකීම අපටත් වැඩි කල් නොයා විඳගන්න ලැබෙයි.

පසුගිය දවසක නාසා ආයතනයේ සේවය කරන මිතුරෙකු සමඟ අප කිහිප දෙනෙකු මේ දේවල් ගැන කතා බහක යෙදෙමින් හිටියා. මෙහිදී, අපේ එක් මිතුරෙකු දැඩි ලෙස තර්ක කළේ කරන්න ඕනෑ තරම් දේවල් තියෙද්දී අභ්‍යාවකාශ තරණය වැනි කටයුතු වලට මෙවැනි විශාල මුදලක් වැය කිරීම නාස්තියක් බවයි.

මේ අදහස ඔහුගේ පමණක් වන අදහසක් හෝ අලුත් අදහසක් නෙමෙයි. මම හිතන්නේ මේ අදහස දරන විශාල පිරිසක් ඉන්නවා. සමහර විට අභ්‍යාවකාශ තරණ ව්‍යාපෘති කාලයක් යට ගිහින් තියෙන්න හේතුවෙන්න ඇත්තෙත් මෙවැනි අදහස්. එහෙමනම්, නැවතත් අභ්‍යාවකාශ තරණය ආකර්ශනීය අදහසක් වෙලා තියෙන්නේ කොහොමද?

මම හිතන්නේ ලෝක බලතුලනයේ සිදු වෙමින් පවතින වෙනස්කම් මෙයට හේතු වනවා කියලයි. කලින් සිටම අභ්‍යවකාශ තරණයේදී ඉදිරියෙන් සිටි රුසියාවට අමතරව නැගී එන අලුත් ලෝක බලවතුන් වන චීනය හා ඉන්දියාවත් අභ්‍යාවකාශය දිහා බලාගෙනයි ඉන්නේ. යම් විදිහකින් ඇමරිකාවට කලින් වෙනත් රටක් හඳ මත තමන්ගේ ආධිපත්‍යය පැතුරුවොත් ඒ සිද්ධියම ලෝක දේශපාලනයේ ඇමරිකාවට තිබෙන තැන එක වර වෙනස් කරන්න ඉඩ තිබෙනවා. අනික් අතට ඇමරිකාවේ ආධිපත්‍යය හඳ දක්වා දිගු වුනොත් ඇමරිකාවට පෘථිවිය මත තිබෙන තැන තවත් ස්ථාවර වෙනවා.

මේ හේතු නිසා, මේ පාර ඇමරිකාව හඳට යාමෙන් නොනැවතී හඳ මත තමන්ගේ ආධිපත්‍යය පැතිරීමේ සිට එයින් ඔබ්බට අත පොවන එක දක්වා ගොඩක් දේවල් නොවෙන්න හේතුවක් නැහැ. බරපැන වැඩි වුවත් ඇමරිකාවට ඒ බරපැන දරන්න බල කෙරෙන හේතු පැහැදිලිව පෙනෙන්න තිබෙනවා.

(Image: https://en.wikipedia.org/wiki/Parker_Solar_Probe)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...