වෙබ් ලිපිනය:

Showing posts with label මිල පාලනය. Show all posts
Showing posts with label මිල පාලනය. Show all posts

Friday, December 10, 2021

රෙගියුලේටර ප්‍රශ්නය


ලංකාවේ ගෑස් සිලින්ඩර වලට සම්බන්ධ කර තිබෙන උපාංග පිපිරෙන්න පටන් ගැනීම නිසා ඇති වූ ප්‍රශ්නය මේ වෙද්දී විසඳිලා වගේ. ගෑස් සිලින්ඩර වල පීඩනය වැඩි කිරීම මේ ප්‍රශ්නයට හේතුව බවයි කියැවුනේ. සමහර විට පීඩනය වැඩි කළත් පුපුරන්නේ නැති තරමට ප්‍රමිතියක් ගෑස් සිලින්ඩර වල තියෙන්න ඇති. එහෙත්, ගෘහස්ථ පාරිභෝගිකයෙක් සැලකුවාම ගෑස් සිලින්ඩරය, ගෑස් උදුන හා ඒ දෙක සම්බන්ධ කෙරෙන උපාංග සියල්ලම එකම පද්ධතියක කොටස්. මේ වගේ පද්ධතියක එක තැනක් බිඳ වැටෙනවා කියා කියන්නේ පද්ධතියම බිඳ වැටීමක්. 

කවර හෝ පද්ධතියක් බිඳ වැටෙද්දී බොහෝ විට මුලින්ම බිඳ වැටෙන්නේ එහි දුර්වලම තැනින්. පහත් තැනින් යයි ගලා ජලේ!

ගණන් හිලවු පැත්තකින් තියලා කතා කළොත්, ගෑස් සිලින්ඩරයක ගෑස් අසුරා තිබෙන්නේ විශාල පීඩනයක් යටතේ. ඒ වගේ පීඩනයක් යටතේ තියෙන දෙයක් එකවර නිදහස් වුනොත් කෙළවර වෙන්නේ විශාල විනාශයකින්. සිලින්ඩරයේ ගෑස් පාවිච්චියට ගැනීමේදී වෙන්නේත් මේ විදිහට විශාල පීඩනයක් යටතේ ගබඩා කර තිබෙන ගෑස් නිදහස් වෙන එක. හැබැයි ඒ වැඩේ වෙන්නේ පාලනයක් යටතේ. 

මේ විදිහට පාලනයක් යටතේ නිදහස් කර ගන්නා ගෑස් දහනය කරලා අපිට විවිධ දේවල් කර ගන්න පුළුවන්. ලංකාවේ වැඩිපුරම වෙන්නේ කෑම උයන එක. කෑම ඉවිල්ල ගින්දර පාලනය කරමින් කරන කලාවක්. ගෑස් වලින් උයද්දී ගින්දර පාලනය කරන්නේ ගෑස් සැපයුම පාලනය කරලා. ගෑස් හරියට පාලනය කරගන්න බැරි වුනොත් ගින්දරත් හරියට පාලනය කර ගන්න බැහැ. රෙගියුලේටරයෙන් කරන්නේ සිලින්ඩරයෙන් මුදා හැරෙන ගෑස් සැපයුම පාලනය කරන එක.

ඇමරිකාවේනම් ගෙවල් වල පාවිච්චියට කඩෙන් ගෑස් ගේන්න අවශ්‍ය නැහැ. ගෑස් සැපයුම් නල ගෙවල් වලට සම්බන්ධ කරලයි තියෙන්නේ. ප්‍රධාන ගෑස් නලයක් දිගේ එන ගෑස් රෙගියුලේටරයක් මගින් පීඩනය අඩු කරලා ගෙවල් වලට සපයනවා. ඒ නිසා, ගෙදර ගෑස් ඉවර වෙනවා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ලංකාවේ එවැනි යටිතල පහසුකම් නැති නිසා සිලින්ඩරේ ගෑස් ඉවර වෙද්දී කඩෙන් අළුත් ගෑස් සිලින්ඩරයක් ගේන්න වෙනවා. සමහර වෙලාවට ගෑස් ඉවර වෙලා කියලා දැන ගන්න ලැබෙන්නේ හොද්දක් බතක් බාගෙට ඉදී තියෙද්දී ලිප නිවුනාමයි. 

ලංකාවේ පාවිච්චි කරන ආකාරයේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක ගෑස් ටිකෙන් ටික ප්‍රයෝජනයට ගනිද්දී සිලින්ඩරයේ පීඩනයත් ටික ටික අඩු වෙනවා මිසක් පීඩනය වැඩි වෙන්නේ නැහැ. මොකද සිලින්ඩරයෙන් ඒකේ තියෙන ගෑස් ඉවත් වෙනවා මිසක් ඇමරිකාවේ වගේ සිලින්ඩරේට ගෑස් එන මාර්ගයක් නැහැනේ. සර්වත්‍ර වායු නියමය අනුව ගෑස් සිලින්ඩරේ පරිමාව වෙනස් වෙන්නෙත් නැත්නම්, උෂ්ණත්වය වෙනස් වෙන්නෙත් නැත්නම්, සිලින්ඩරයේ තිබෙන ගෑස් අණු ගණන අඩු වෙද්දී පීඩනය අඩු විය යුතුයි. 

හැබැයි උෂ්ණත්වය වැඩි වෙද්දී ගේ ලුසැක්ගේ නියමය අනුව පීඩනය වැඩි වෙනවා. ඒ නිසා, සිලින්ඩරයෙන් මුදා හැරෙන ගෑස් නිසා එතුළ පීඩනය අඩු වුනත්, ඒ ගෑස් සිලින්ඩරය ආසන්නයේ දහනය කරද්දී යම් හෙයකින් සිලින්ඩරය ඇතුළේ ගෑස් වල උෂ්ණත්වය විශාල ලෙස ඉහළ ගිහින් ඒ හේතුව නිසා පීඩනය ඉහළ යාමේ බලපෑම වඩා වැඩිනම් සිලින්ඩරයෙන් ගෑස් මුදා හරිද්දී වුවත් ඇතුළේ පීඩනය ඉහළ යන්න පුළුවන්. පීඩනය ඔරොත්තු නොදෙන මට්ටමකට ආවොත් සිලින්ඩරේ පුපුරන්න වුනත් පුළුවන්.

ගෑස් සිලින්ඩර් ගැනත්, ඔය කියපු නියම ගැනත් මම වැඩිපුර දන්නේ නැහැ. ඒ නිසා, ඕවා ගැන නොදන්නා කෙනෙක් ඉන්නවානම් ජනාධිපති නියමය වගේ එකක් කියලා හිතන්නකෝ. ඒකනම් කවුරුත් වගේ දන්නවනේ. "සෑම ගැසට්ටුවකටම සමාන හා ප්‍රතිවිරුද්ධ ගැසට්ටුවක් ඇත!".

ආර්ථිකය ක්‍රියාත්මක වෙන්නෙත් ටිකක් විතර ඔය ගෑස් සිලින්ඩරේ වගේ. ඉල්ලුම හා සැපයුම අතර වෙනසක් ඇති වුනාම සිලින්ඩරේ ඇතුළේ පීඩනයක් ඇති වෙනවා. නිදහස් වෙළඳපොළ යාන්ත්‍රනය කියන්නේ ඒ පීඩනය වැඩි වෙන්න නොදී මුදා හරින ස්වභාවික යාන්ත්‍රනය. සිලින්ඩරේ ඇතුළේ ලොකු පීඩනයක් හැදෙන්නේ නැත්නම් රෙගියුලේටරයක් අවශ්‍ය වන්නේ නැහැ. සිලින්ඩරේ විශාල වන තරමට යම් නිශ්චිත ගෑස් ප්‍රමාණයක් එහි ගබඩා කර ගැනීමේදී අඩු පීඩනයක් පවත්වා ගත හැකියි. බොයිල්ගේ නියමය!

ලංකාවේ ගෑස් සිලින්ඩර වලට පුරවා තියෙන්නේ ප්‍රොපේන් හා බියුටේන් මිශ්‍රණයක්නේ. මුලින් තිබී ඇත්තේ බියුටේන් 70%ක සහ ප්‍රොපේන් 30%ක මිශ්‍රණයක්. උපාංග පුපුරන්න පටන් අරන් තියෙන්නේ ඔය අනුපාතය 50:50 ලෙස වෙනස් කළාට පස්සේ. දැන් නැවතත් 70:30 අනුපාතයට යා යුතුයි කියලා රජය නියෝග කර තිබෙනවා. 

ප්‍රොපේන් හා බියුටේන් දෙවර්ගයම හයිඩ්‍රෝකාබන්. ඒ කියන්නේ මේවා හැදිලා තියෙන්නේ හයිඩ්‍රජන් සහ කාබන් වලින්. ප්‍රොපේන් අණුවක කාබන් පරමාණු 3ක් හා හයිඩ්‍රජන් පරමාණු 8ක් තිබෙනවා. බියුටේන් අණුවක කාබන් පරමාණු 4ක් හා හයිඩ්‍රජන් පරමාණු 10ක් තිබෙනවා. ඒ කියන්නේ බියුටේන් අණුවක් ප්‍රොපේන් අණුවකට වඩා බරයි. ඒ නිසා, බරෙන් සමාන ප්‍රොපේන් හා බියුටේන් ප්‍රමාණ ගත්තොත් ප්‍රොපේන් වල අණු ගණන වැඩියි. සර්වත්‍ර වායු නියමය අනුව, පරිමාව හා උෂ්ණත්වය සමානනම් පීඩනය තීරණය වන්නේ අණු ගණන මත කියලා කලින් කිවුවනේ. ඒ නිසා, වායු මිශ්‍රණයක බියුටේන් අඩු කරලා ප්‍රොපේන් වැඩි කරද්දී පීඩනය වැඩි වෙනවා. උපාංග පිපිරිලා තියන්නේ ඔය හේතුව නිසා.

අයවැය පරතරය නිසා ඇති වෙන පීඩනයත් ඔය ගෑස් සිලින්ඩරයක් ඇතුළේ හැදෙන පීඩනය වගේ තමයි. හැබැයි මේ සිලින්ඩරේට ඇමරිකාවේදී වගේ කෙළින්ම ගෑස් එනවා. කඩේ ගිහින් ගෑස් පුරවන්න අවශ්‍ය නැහැ. ගෑස් එන්නේ ගෑස් පාවිච්චියට ගන්න තරමටනම් සිලින්ඩරේ ඇතුළේ පීඩනය නියතව තියෙනවා මිස අඩු වැඩි වෙන්නේ නැහැ. නමුත් ගෑස් සිලින්ඩරේට එන වේගයෙන්ම පිට වෙන්නේ නැත්නම් සිලින්ඩරේ ඇතුළේ පීඩනය එන්න එන්නම ඉහළ යනවා. ඒකේ අනෙක් පැත්ත වුනොත් පීඩනය අඩු වෙනවා. 

ඔය විදිහටම රාජ්‍ය වියදම් වැඩි වෙද්දී අයවැය මත පීඩනය වැඩි වෙනවා. ආදායම් ඉහළ යද්දී පීඩනය අඩු වෙනවා. අයවැය හිඟය ඉහළ යන තරමට "සිලින්ඩරේ ඇතුළේ" පීඩනය වැඩි වෙනවා. පීඩනය හැදෙන්නේ වායු වර්ග දෙකක් නිසා. "දේශීය ණය" සහ "විදේශීය ණය". ඔය දෙකෙන් දේශීය ණය බියුටේන් වගේ. විදේශීය ණය ප්‍රොපේන් වගේ. විදේශීය ණය නිසා ඇති වන පීඩනය වඩා වැඩියි. හැබැයි ඔය දෙකෙන් කොයි එකෙන් වුනත් පීඩනය වැඩි වෙනවා.

වියදම් තරමට ආදායම් ඉහළ නොයද්දී අයවැය මත ඇති වන පීඩනය අඩු කර ගන්න කරන එක දෙයක් වන්නේ සල්ලි අච්චු ගැසීමයි. සල්ලි අච්චු ගහලා තාවකාලිකව අයවැය මත වන පීඩනය අඩු කර ගන්න පුළුවන්. සිලින්ඩරේ ගෑස් වේගයෙන් එළියට යද්දී ලිප වඩා හොඳින් දැල්වෙනවා. කෑම හොඳින් ඉදෙනවා. මේක තමයි ආර්ථික වර්ධනය.

හැබැයි මේ විදිහට සල්ලි අච්චු ගහලා අයවැය පීඩනය අඩු කරගෙන ආර්ථිකය වර්ධනය කළ හැක්කේ එක සීමාවක් දක්වා පමණයි. ගෑස් සිලින්ඩරයේ පීඩනය අඩු කරන්න වැඩියෙන් ලිපට ගෑස් එවලා ලිපේ ගින්දර වැඩි වුනොත් බත රොස් වෙනවා. කාමරයේ උෂ්ණත්වය ඉහළ යනවා. ඒක තමයි උද්ධමනය කියන්නේ.

සිලින්ඩරයේ ගෑස් අඩු වෙද්දී ඒ තුළ පීඩනය අඩු වෙන්නේ කාමරයේ උෂ්ණත්වය නියතව තිබුණොත්නේ. හැබැයි ලිපේ දැල්ලේ සැර වැඩි වෙලා කාමරයේ උෂ්ණත්වය ඉහළ ගිහින් සිලින්ඩරයේ ගෑස් වල උෂ්ණත්වයත් ඉහළ ගියොත් සිලින්ඩරයේ ගෑස් පරිමාව අඩු වෙද්දී වුනත් පීඩනය ඉහළ යන්න පුළුවන්. එතකොට ගෑස් සිලින්ඩරය පුපුරන එක වලක්වා ගන්න තව තවත් වැඩි වැඩියෙන් ගෑස් නිදහස් කරන්න වෙනවා. ඒ ගෑස් ලිපේ දැවෙද්දී උෂ්ණත්වය තව තවත් ඉහළ යාම නිසා පීඩනය වැඩි වීමේ විෂම චක්‍රයක් හැදුනොත් මොකද වෙන්නේ? 

ඔය වගේ වෙලාවක මුලින්ම කළ යුත්තේ සිලින්ඩරයට ගෑස් එන සැපයුම සීමා කරන එකයි. ඒ කියන්නේ අයවැය හිඟය. සිලින්ඩරේට ගෑස් එන එක සීමා නොකර සිලින්ඩරෙන් පිට වෙන ගෑස් සැපයුම සීමා කළාම මොකද වෙන්නේ? 

කාමරේ රත් වෙන එක අඩු වෙන නිසා පීඩනය පොඩ්ඩක් අඩු වුනත් පිටවෙන තරමට වඩා වැඩියෙන් දිගින් දිගටම සිලින්ඩරයට ගෑස් එන නිසා සිලින්ඩරේ ඇතුළේ පීඩනය එන්න එන්නම වැඩි වෙන එකයි වෙන්නේ. ඔය පීඩනය නිදහස් වෙන්නේ කොයි වෙලාවක හෝ ගෑස් සිලින්ඩරේ පිපිරුවාමයි. දිගින් දිගටම ආදායම් ඉක්මවා වියදම් කරමින් මිල පාලනය හා විණිමය අනුපාතය පාලනය කිරීම හරහා උද්ධමනය පාලනය කරන්න ගියාම ඇති වෙන්නේ ඔය වගේ තත්ත්වයක්.

සිලින්ඩරය පුපුරන එක වලක්වන්නනම් කොයි වෙලාවක හරි වෑල් ඇරලා ගෑස් නිදහස් කරන්නම වෙනවා. එහෙම කරන්න වෙන වෙලාවට කාමරයේ උෂ්ණත්වය ලොකුවටම වැඩි වෙනවා. කාට කාටත් උෂ්ණත්වය දැනෙන්න ගන්නවා. හැබැයි ඔය වැඩේ පරක්කු කිරීමෙන් වෙන්නේ  වෑල් ඇරලා ගෑස් නිදහස් කිරීමෙන් පස්සෙත් සිලින්ඩරය ඇතුළේ පීඩනය අඩු වෙනවා වෙනුවට වැඩි වෙන තත්වයක් දක්වා තත්ත්වය ඔඩු දුවන එක. මිල පාලනය හා විණිමය පාලනය නිසා දැන් ලංකාවේ ඇති වෙලා තියෙන තත්ත්වයත් ඔය වගේ!

Thursday, October 15, 2020

බැල ගෙඩියටත් කෙලවන මිල පාලනය


ලංකාවට නිදහස් අධ්‍යාපනය හඳුන්වා දෙද්දී "ඔය වැඩෙන් වෙන්නේ ගමක පොල් ගෙඩියක් කඩා ගන්නවත් මනුස්සයෙක් නැති වෙන එක" කියලා සමහර අය විරුද්ධ වුනා කියනවනේ. ඔය පොල් කඩන වැඩේ කාලයක් ලංකාවේ විශාල පිරිසක් නිරතව හිටපු වෙන කරන්න දෙයක් නැති අයට කළ හැකි වූ රැකියාවක්. අපි පොඩි කාලේ විභාගයකදී ලකුණු ටිකක් අඩු වුනොත් වැඩිහිටියෝ කියන්නේ "ඔහොම කරලනම් කවද හරි පොල් කඩන්න තමයි වෙන්නේ" කියලා. මම හිතන විදිහට මේ රස්සාව අද සමාන කරන්න පුළුවන් වෙන්නේ ත්‍රිරෝද රථ රස්සාව වගේ එකකටයි.

ඒ දවස් වල පොල් කඩන රස්සාව කරපු අයට අපි සල්ලි දුන්නේ නැහැ. නගින ගහකට ගෙඩිය ගානේ දෙන එකයි කළේ. ඔයාකාරයට පොල් කැඩීමේ කුලිය විදිහට දුන් ගෙඩියට බැල ගෙඩිය කියලයි කිවුවේ. දැන් කල්පනා කරලා බැලුවහම වචනයේ තේරුම බැලයාගේ එහෙම නැත්නම් සේවකයාගේ පංගුව වගේ එකක් බව පේනවා. ඔය වචනය ගූගල් එකේවත් නැත්තේ සමහර විට අපේ පැත්තේ ප්‍රාදේශීය යෙදුමක් නිසාද දන්නේ නැහැ.

මේ "අපේ පැත්ත" තිබුණේ පොල් ත්‍රිකෝණය ඇතුළේ හෝ මුහුදක් අයිනේ නෙමෙයි. ඒ නිසා අපේ පොල් ගස් වල සාර සොබාවට ගෙඩි හැදුනේ නැහැ. එහෙම හැදුනේ ගේ කිට්ටුව තිබුණු වැඩි සාත්තු සප්පායම් ලැබූ ගස් කිහිපයක පමණයි. වත්තේ ගෙදරින් ඈතට වෙන්න තිබුණු, ඔහේ හැදෙනවට හැදුණු සමහර ගස් වල වල්ලක ගෙඩි දෙක තුනකට වඩා තිබුණේ නැහැ. ඔය වගේ ගෙඩි දෙක තුනක් තියෙන ගහක පොල් කඩවලා බැල ගෙඩිය දීලා ගෙඩියක් හෝ දෙකක් ගන්න එකේ තේරුමක් නැති නිසා ඒ වගේ ගස් වල තියෙන ගෙඩි කීපය කඩවන්නේ නැතුව වේලිලා වැටෙන්න අරින එකයි කළේ. 

සමහර හවුල් ඉඩම් වලට අයිතිකාරයෝ විශාල ගණනක් හිටියා. කඩන පොල් අයිතිකාරයින් අතර බෙදෙනවා. ඒ ඇතැම් අයිතිකාරයින්ගේ පංගුවේ තරමට වාරයකට පොල් ගෙඩියකට දෙකකට වඩා ලැබෙන්නේ නැහැ. සමහර ඉඩම් වල පොල් මුර ක්‍රමයක් තිබුණා. ඉඩමේ පළමු පහෙන් පංගුවේ කොටස් අයිතිකාරයින්ට එක අවුරුද්දක පොල් ලැබෙනවා. ඉන් පසු දෙවන පහෙන් පංගුවේ අයිතිකාරයින්ට. සිංහල අවුරුද්දට පස්සේ පොල් මුරේ මාරු වෙනවා. මුරේ ඉවර වුනාට පස්සේ ආයේ මුරයක් ඉන්නේ අවුරුදු පහකට පස්සේ. ඔය එක පහෙන් පංගුවකටත් අයිතිකාරයෝ සෑහෙන ගණනක් හිටියා. ඉතිං පොල් ටික කඩලා බෙදුවට පස්සේ ලොකුම පොල් ගොඩ අයිතිවෙන්නේ පොල් කඩපු මනුස්සයාටයි.

සාමාන්‍යයෙන් ගහක ගෙඩි ටික කඩලා එකතු කළ ගමන්ම පොල් කඩන මනුස්සයා බැල ගෙඩිය පැත්තකට කර ගන්නවා. ඒ නිසා, ලොකු හෝ පොඩි ගෙඩි ප්‍රශ්නයක් මතු වෙන්නේ නැහැ. ගහේ පොල් ලොකුනම් බැල ගෙඩියත් ලොකුයි. ගහේ පොල් පොඩිනම් බැල ගෙඩියත් පොඩියි.

පොල් ගහකට නැග්ගට පස්සේ කඩන ගෙඩි ප්‍රමාණය අනුව මහන්සිය ලොකුවට අඩු වැඩි වෙන්නේ නැහැනේ. ගහේ එක පොල් ගෙඩියක් තිබුණත් ගෙඩි විස්සක් තිහක් තිබුණත් ගහට නගින මහන්සිය එකයි. නමුත්, ගහට නැගලා පොල් කැඩීම නිසා නිර්මාණය වන වටිනාකම කඩන පොල් ගෙඩි ගණන අනුව වෙනස් වෙනවා. 

පොල් වත්තේ අයිතිකාරයාට වැදගත් වන්නේ කැඩෙන පොල් ගෙඩි ගණනයි. පොල් ගෙඩි ගණන ඉහළ යන තරමට සමානුපාතිකව ඔහුට හෝ ඇයට ලැබෙන දෙය ඉහළ යනවා. පොල් කඩන ශ්‍රමිකයාගේ පැත්තෙන් බැලුවොත් වැදගත් වන්නේ නගින පොල් ගස් ගණන මිසක් කඩන පොල් ගෙඩි ගණන නෙමෙයි. 

දැන් මේ අනුව බැළුවහම පොල් කැඩීමේ රස්සාව හා අදාළ ශ්‍රම වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම වෙනස් වන ආකාරයේ පැහැදිලි වෙනස්කමක් දෘශ්‍යමාන වෙනවනේ. පොල් කඩන මනුස්සයාට ගහේ තියෙන ගෙඩි ගණන වැදගත් නැහැ. ඒ නිසා ඔහු හදන්නේ ගෙඩි අඩුවෙන් තියෙන ගහකට හරි නැගලා තමන්ගේ ගාස්තුව ගන්නයි. නමුත්, පොල් ගස් අයිතිකාරයාට පොල් කඩන්නාගේ ශ්‍රමය අවශ්‍ය වෙන්නේ ගහේ යම් අවම ගෙඩි ප්‍රමාණයක් තියෙනවානම් පමණයි. ඔය දෙපාර්ශවයේ අවශ්‍යතා සමතුලිත වීම අනුව පොල් කැඩෙන ගස් ගණන තීරණය වෙනවා. 

ඒ කියන්නේ පොල් කඩන මනුස්සයාට ගහේ තියෙන ගෙඩි ගණන වැදගත් නැත්තේත් නැහැ. කවුරු හරි පොල් කඩන්න කිවුවොත් ගහේ ගෙඩි ගණන ගැන වද නොවී ඔහු ගහට නගින බව ඇත්ත. නමුත්, ඔහුට ඒ විදිහට පොල් කඩන්න අවස්ථාවක් ලැබෙන එක ගහේ තිබෙන පොල් ගෙඩි ගණන අනුව තීරණය වෙනවා. ඒ නිසා, වක්‍රව ගහේ තියෙන ගෙඩි ගණන ඔහුට වැදගත්. 

පොල් කඩන්නාගේ දවසක ආදායම තීරණය වෙන්නේ ඔහු දවසකට නගින පොල් ගස් ගණන අනුව. ඒ නිසා, තමන්ගේ මහන්සියෙන් ආදායම වැඩි කර ගැනීමේ අවස්ථාවක් ඔහුට තිබෙනවා. හැබැයි මේ ආකාරයට මහන්සි වී තමන්ගේ ආදායම වැඩි කර ගන්න පුළුවන් සීමාවක් තිබෙනවා. මොකද ඔහුට නගින්න ලැබෙන ගස් ගණන තීරණය කරන්නේ පොල් ගස් අයිතිකාරයා. 

පොල් ගස් අයිතිකාරයාගේ තීරණයට බලපාන්නේ ගහක තිබෙන පොල් ගෙඩි ගණන පමණක් නෙමෙයි. පොල් ගෙඩියක මිලත් එයට බලපානවා. පොල් ගොඩක් ගණන්නම් සාපේක්ෂව අඩු පොල් ගෙඩි ප්‍රමාණයක් තිබෙන ගහක වුවත් ගෙඩි කඩවන්න ඔහු මැලි වෙන්නේ නැහැ. ඒ වගේම පොල් මිල අඩුනම් ඔහු කෙනෙක්ව ගහට යවලා පොල් කඩවන්නේ වැඩි පොල් ප්‍රමාණයක් ගහේ තිබුණොත් පමණයි.  ඒ නිසා, පොල් කඩන්නාට නගින්න ලැබෙන පොල් ගස් ප්‍රමාණය පොල් මිල මතත් තීරණය වෙනවා. ඒ අනුව, ඔහුට ලැබෙන බැල ගෙඩි ප්‍රමාණයත් පොල් මිල මත තීරණය වෙනවා.

ලැබෙන බැල ගෙඩි ප්‍රමාණය ඉහළ යාම නිසා, පොල් මිල වැඩි වෙද්දී පොල් කඩන්නාගේ ආදායම වක්‍ර ලෙස ඉහළ යනවා. ඒ වගේම, පොල් ගෙඩියක මිල වඩා වැඩි නිසා අර බැල ගෙඩි විකුණා ලැබිය හැකි ආදායම පොල් මිල ඉහළ යද්දී සෘජුවමත් වැඩි වෙනවා. වාසි දෙකයි.

පොල් කඩන්නාට වැඩියෙන් මහන්සි වෙලා වැඩි පොල් ගස් ගණනක් නැගලා ඔහුගේ ආන්තික ඵලදායීතාවය වැඩි කර ගන්න පුළුවන්. ඒ වගේම, මොන විදිහකින් හරි වඩා කාර්යක්ෂම ලෙස පොල් ගස් නැගලා ඔහුගේ ආන්තික ඵලදායීතාවය වැඩි කර ගන්නත් පුළුවන්. ඒ නිසා, පොල් කඩන්නාගේ ආන්තික ඵලදායීතාවය යම් පමණකට ඔහුගේ අතේ තිබෙන දෙයක්. හැබැයි මුළුමනින්ම නෙමෙයි. ඔහුගේ පාලනයට යටත් නැති, වෙනත් බාහිර සාධක මත ඔහුගේ ආන්තික ඵලදායීතාවය වෙනස් වෙනවා. ඒ අනුව, ඔහුගේ ආදායමත් වෙනස් වෙනවා.

පොල් මිල වෙනස් වෙද්දී පොල් කඩන්නාගේ ආන්තික ඵලදායීතාවය වෙනස් වෙනවා. පොල් මිල වෙනස් වෙන්නේ රටේ පොල් වලට තිබෙන ඉල්ලුම හා සැපයුම අනුව. එය පොල් කඩන්නාගේ පාලනයට යටත් නැති කරුණක්.

ඉඩෝර කාලෙකදී පොල් හැදෙන්නේ අඩුවෙන්. ඒ නිසා, පොල් කඩන්නෙකුට පොල් කඩන්න ලැබෙන අවස්ථා ගණනත් අඩු වෙනවා. ගස් වල පොල් නැත්නම් කඩන්නේ මොනවාද? ඒ කියන්නේ ඉඩෝර කාලෙකදී පොල් කඩන්නෙකුගේ ආදායම අඩු වෙනවා.

ඉඩෝර කාලෙකදී පොල් අඩුවෙන් කැඩෙන කොට පොල් සැපයුම පහළ ගිහින් පොල් මිල ඉහළ යනවා. ඒ නිසා, පොල් කඩන්නාට ලැබෙන බැල ගෙඩි වල වෙළඳපොළ වටිනාකමත් ඉහළ ගිහින් ඔහුගේ ආදායම වැඩි වෙනවා. ඒ වගේම, පොල් ගස් අයිතිකාරයාට පොල් අඩු ගස් වලත් ගෙඩි කඩවන්න ඉහළ පොල් මිල නිසා පෙළඹුමක් ඇති වෙනවා. ඒ නිසා, පොල් කඩන්නාට ලැබෙන බැල ගෙඩි ප්‍රමාණයත් යම් තරමකින් ඉහළ යනවා. අවසාන වශයෙන් ඉඩෝරය නිසා පොල් කඩන්නාට වෙන්න ගිය පාඩුව මගහැරෙනවා.

පොල් සරුවට හැදෙන කාල වලදී පොල් කඩන්නෙකුට වැඩ වැඩියි. ලැබෙන බැල ගෙඩි ගණනත් වැඩියි. නමුත්, පොල් මිල අඩු නිසා පොල් කඩන්නාගේ ආදායම මහා ලොකුවට වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා, පොල් වැඩියෙන් හැදුනා කියලා පොල් කඩන්නෙකුට ඔහුගේ ආන්තික ඵලදායීතාවය ඉක්මවන විශාල ආදායමක් ලබා ගන්න වෙළඳපොළ ඉඩ අරින්නෙත් නැහැ. පොල් හොඳට හැදෙන කාල වලදී වගේම, පොල් අඩුවෙන් හැදෙන කාල වලදීත් පොල් කඩන්නෙකුට ලැබෙන ආදායම විශාල ලෙස උච්ඡාවචනය නොවන පරිදි වෙළඳපොළ යාන්ත්‍රනය විසින් ස්වභාවික ලෙසම නියාමනය කරනවා.

පොල් අස්වැන්න අඩු වැඩි වෙද්දී නිදහස් වෙළඳපොලක ඉල්ලුම හා සැපයුම මත වෙනස් වන පොල් මිල නිසා පොල් කඩන්නාගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවයත් අනුරූපී ලෙස වෙනස් වෙලා ඔහුගේ ආදායමත් නිසි සේ සකස් වෙනවා. මේ ස්වභාවික නියාමන යාන්ත්‍රනය නිසා පායනා කාලෙකදී පොල් අඩුවෙන් කැඩුනත්, ඊට සමානුපාතිකව පොල් කඩන්නෙකුගේ ආදායම අඩු වෙන්නේ නැහැ. ඒ නිසා, පොල් කඩන්නෙකුගේ දරුවන්ට පොල් අවාරයේදී හාමතේ ඉන්න වෙන්නේ නැහැ.

පොල් අවාරෙකදී රජය මැදිහත් වෙලා පොල් වලට පාලන මිලක් දැම්මහම මොකද වෙන්නේ? ගස් වල පොල් අඩු නිසා පොල් කඩන්නෙකුට පොල් කඩන්න ලැබෙන්නේ සීමිත ගස් ප්‍රමාණයක පමණයි. මිල අඩු නිසා පොල් ගස් අයිතිකාරයා වැඩි ගස් ප්‍රමාණයක පොල් කඩවන්න උනන්දු වෙන්නේ නැහැ. ඒ නිසා, පොල් කඩන්නෙකුට ලැබෙන්නේ බැල ගෙඩි අඩු ප්‍රමාණයක්. අනෙක් අතට මේ බැල ගෙඩි ටික විකුණන්න වෙන්නේ අඩු මිලකට. පොල් කඩන්නාගේ ආදායම දෙයාකාරයකින්ම අඩු වෙලා. පොල් ගහෙන් වැටිච්ච මිනිහට මිල පාලන ගොනා අනින්නේ ඔය විදිහටයි.

රජය වෙළඳපොළට මැදිහත්වීම නිසා බඩේ පාර වදින්නේ පොල් කඩන රස්සාව කරන අයට විතරක් නෙමෙයි. ශ්‍රමිකයින් බොහෝ දෙනෙකුට රාජ්‍ය මැදිහත්වීම් නිසා බඩේ පාර වදිනවා. ඒ අතරිනුත්, සුවිශේෂී කුසලතා අවශ්‍ය නොවන, පොල් කැඩීම වැනි රැකියා කරන අයට බලපෑම වැඩියි.

Thursday, May 28, 2020

ඩඩ්ලි සිරිසේනගේ හයේ පාර


තරඟය උණුසුම්. කොරෝනා අස්සේ ගෙවල් වලට හිර වෙලා ඉන්න ප්‍රේක්ෂකයෝ කට ඇරගෙන රූපවාහිණී තිරය දිහා බලා ඉන්නවා. ඉතිරි වී තියෙන්නේ අවසන් ඕවරයේ අවසන් පන්දුව පමණයි. "නියාමකයෝ" කණ්ඩායමේ  ජයග්‍රහණය සඳහා "නිදහස්" කණ්ඩායම ලකුණු 90කට සීමා කර ගත යුතුයි. ඩක්වර්ත්-ලුවිස් ක්‍රමයට විනිසුරුකරුවන් විසින් නියම කර ඇති ඉලක්කය පසුපස හඹා ගිය "නිදහස්" කණ්ඩායමේ කඩුලු එකින් එක දැවී ගිහින්. සමහර ක්‍රීඩකයෝ දැවී යන්න කලින්ම ක්‍රීඩාගාරයට ආපහු ගිහින්. ඉතිරි වී තියෙන්නේ අන්තිම කඩුල්ල පමණයි.

නියාමකයෝ කණ්ඩායමේ නායකයා විසින් තමන්ගේ කණ්ඩායමේ ක්‍රීඩකයින්ව යාර තිහේ සීමාව ඇතුළේ ස්ථානගත කරනවා. පන්දුවට පහර දෙන්න නියමිතව සිටින්නේ පොළොන්නරුව අරලිය ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් නිදහස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ඩඩ්ලි සිරිසේන. නියාමකයෝ කණ්ඩායමේ නායකයා වගේම ක්‍රීඩකයිනුත් කලින්ම තරඟය දිනලා. ටෝක් කෝටියයි. කණ්ඩායමේ දක්ෂතම පන්දු යවන්නා පාරිභෝගික අධිකාරී අන්තයේ සිට පන්දු එවීම සඳහා දිව එනවා. දැවී ගියාද?

ෆුල්ටොස් පන්දුවක්. ඩඩ්ලි සිරිසේන යාර තිහේ සීමාව ඉහළින් වේගවත් පහරක් එල්ල කරනවා. උඩ පන්දුවක්ද?

නියාමකයෝ කණ්ඩායමේ ක්‍රීඩකයෝ කට ඇරගෙන බලා ඉන්නවා. පන්දුව පසුපස දිව යන්න කවුරුවත් නැහැ. හතරේ සීමාව පසු කර පන්දුව බිම පතිත වෙනවා. හයේ පාරක්! ලකුණු 96යි!!

ලකුණු පුවරුවේ 90 ඉලක්කම ගැලවිලා පොල් ගෙඩි අකුරින් 96 ඉලක්කම සටහන් වෙනවා. රුපවාහිණී කැමරා කාච 96 ඉලක්කම වෙත නාභිගත වෙනවා. රට පුරා ප්‍රේක්ෂකයෝ කටවල් ඇරගෙන බලා ඉන්නවා.

නිදහස් පිල දිනුම්! තරඟයේ වීරයා ඩඩ්ලි සිරිසේන!!

***

ඩඩ්ලි සිරිසේන වීරයෙක් කියා මම කියන්නේ නැහැ. ඔහු ව්‍යාපාරිකයෙකු ලෙස අද සිටින තැනට ඇවිත් තිබෙන්නේ කාලයක් තිස්සේ රටේ දේශපාලන බලාධිකාරියේ සහයෝගයද ලබමිනුයි. ඉදිරියේදීත් එය එසේම වෙයි. කොහොමටත් දේශපාලනයෙන් මුළුමනින්ම ඈත් වී ලංකාවේ ව්‍යාපාරිකයෙකුට සාර්ථක වෙන්න අමාරුයි. එය වෙනස් විය යුතු දෙයක්. හැබැයි මේ මොහොතේ ඩඩ්ලි සිරිසේන විසින් නියෝජනය කළේ නිදහස් වෙළඳපොළයි.

ඩඩ්ලි සිරිසේන විසින් විධිමත් ලෙස ආර්ථික විද්‍යාව හදාරා නැතුව ඇති. බොහෝ විට ආර්ථික විද්‍යාව හදාරා ඇති අය ඔහුගේ හාල් මෝලේ වැඩ කරන්නෙත් නැතුව ඇති. නමුත්, ඔහු වෙළඳපොළ කියන්නේ කුමක්ද කියා ඉතා නිවැරදිව අවබෝධ කරගෙන තිබෙන බව පේනවා.

ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවකයින් 10,123 ඉන්නවා. කෘෂිකර්ම සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවකයෝ 14,161ක් ඉන්නවා. අමාත්‍යාංශය යටතේ තිබෙන අනෙකුත් ආයතන එකතු කළාම (2018 ජූනි 30 දත්ත අනුව) සේවකයෝ 36,315ක් ඉන්නවා. ඔය ගණන වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මහවැලිය වගේ තැන් වල ඉන්න පිරිස් නැතුව. මේ අය අතරේ කෘෂිකර්ම උපාධිධාරීන් වගේම පශ්චාත් උපාධිධාරීන් විශාල පිරිසක් ඉන්නවා. තව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුවේ පිරිස් බලයෙන් කොටසකුත් යෙදෙවෙන්නේ කෘෂිකර්මය හා අදාළ තොරතුරු එකතු කරන්නයි. ඔය සියලු දෙනාම යොදාගෙන හදන රජයේ සංඛ්‍යාලේඛණ වලට තනි ඩඩ්ලි සිරිසේන අභියෝග කරනවා.

මම මේ රජයේ ආයතන වල සේවය කරන පුද්ගලයින්ගේ අධ්‍යාපනය හෑල්ලු කරන්නේ නැහැ. මෙය එවැනි දෙයක් නෙමෙයි. ඒ වගේම තනි පුද්ගලයින් වශයෙන් ගත්තොත් මේ බොහෝ දෙනෙක් දක්ෂ, කාර්යක්ෂම පුද්ගලයින් වෙන්න පුළුවන්. රජයේ අකාර්යක්ෂමතාවය කියන එක රජයේ සේවකයින් හරියට වැඩ නොකිරීමට ලඝු කළ හැකි දෙයක් නෙමෙයි. ඒ වගේම ඩඩ්ලි සිරිසේන කියන්නේ පට්ට මීටරයක්, මාර මොළයක්  කියලා මම කියන්නේ නැහැ. හැබැයි අර විශාල කණ්ඩායම ඩඩ්ලි සිරිසේනට පරාදයි.

ධම්මික පෙරේරා ළඟ වගේ ඩඩ්ලි සිරිසේන ළඟත් ඉතා දක්ෂ පර්යේෂකයින් කණ්ඩායමක් ඉන්නවද? බොහෝ විට නැතුව ඇති. එහෙමනම්, රජයේ පරිණත විශේෂඥයින් කණ්ඩාමට වඩා වෙළඳපොළ ගැන ඩඩ්ලි සිරිසේන දන්නේ කොහොමද?

මෙතැන තිබෙන්නේ රජයට සම්බන්ධ ආයතන වල සේවය කරන පුද්ගලයින්ගේ අකාර්යක්ෂමතාවය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. මධ්‍යගත සැලසුම් ක්‍රමය ක්‍රමයක් විදිහටම අකාර්යක්ෂමයි. අසාර්ථකයි. කොයි තරම් දක්ෂ, උගත් කෙනෙක් දැම්මත් ඒක එහෙමයි.

රට පුරා ලොකු කුඩා වී මෝල් වල, තොග හා සිල්ලර කඩ වල, ගෙවල් වල තිබෙන වී හෝ සහල් තොග හරියටම ඇස්තමේන්තු කරන්න විශාල මිනිස් සම්පත් ප්‍රමාණයක් අවශ්‍යයි. නමුත්, මිල සංඥාව තේරුම් ගත හැකි පුද්ගලයෙකුට ඔය දැවැන්ත කාර්යය නොකර පැත්තක සිට ඔය ඇස්තමේන්තුව සෑහෙන්න නිවැරදිව කරන්න පුළුවන්.

තමන්ට පෙනෙන්නට තිබෙන ඉල්ලුම දිහා බලලා ඩඩ්ලි සිරිසේන රටේ හාල් ඉල්ලුම හා සැපයුම නිවැරදිව ඇස්තමේන්තු කරනවා. අනෙක් ලොකු කුඩා ව්‍යාපාරිකයිනුත් ඒ වැඩේ කරනවා. ඔවුන් ව්‍යාපාරිකයින් වී සිටින්නේ ඒ වැඩේ හරියට කරන්න ඔවුන්ට පුළුවන් නිසයි. ඒකට කෘෂිකර්ම උපාධි හෝ ආර්ථික විද්‍යා උපාධි අවශ්‍යම නැහැ. අවශ්‍ය වන්නේ මිල සංඥාව නිවැරදිව තේරුම්ගන්න හැකිවීම පමණයි.

මුලින්ම කිවුවා වගේ මම ඩඩ්ලි සිරිසේන මාර පොරක් කියා කියන්නේ නැහැ. ඒකාධිකාර වෙනුවෙන් පෙනී සිටින්නේත් නැහැ. හැබැයි මේ වෙලාවේ ඩඩ්ලි සිරිසේන විසින් මධ්‍යගත සැලසුම් වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ ඔලු වලට උඩින් දැවැන්ත හයේ පහරක් ගහලා තියෙනවා. ඒක මධ්‍යගත සැලසුම් විශ්වාස කරන අයට රිදෙන්නම ගහපු කණේ පාරක්ද වෙනවා.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...