වෙබ් ලිපිනය:

Showing posts with label අජිත් පැරකුම්. Show all posts
Showing posts with label අජිත් පැරකුම්. Show all posts

Monday, March 1, 2021

ලයිමා ෆාලිඩා, ධම්මික බණ්ඩාර හා එලියන්ත වයිට්


ලයිමා ෆාලිඩා නම් කට්ටඩි ගැහැනියක හා මව විසින් දෙල්ගොඩ ප්‍රදේශයේ ෆාතිමා රිෆ්කා නම් නව හැවිරිදි දැරියකට පැය පහක් පුරා වේවැල් පහර දී ඝාතනය කර තිබෙනවා. මේ අවාසනාවන්ත සිදුවීම ගැන අදහස් දක්වමින් අජිත් පැරකුම් ජයසිංහ විසින් පහත පරිදි ලියා තිබෙනවා.

"ජාතික චින්තන තර්කනය අනුව, ලයිමා ෆාලිඩා නම් මෙම මුස්ලිම් කට්ටඩි ගැහැනිය ද මහාචාර්ය නලින් ද සිල්වා වැනි අයෙකි. ඔවුන් අතර වෙනසක් නැත. චන්න ජයසුමන වැනි නලින්වාදීන් දේව මණ්ඩල අමතන ආකාරයත්, ලයිමා යක්ෂයන් පලවාහරින ආකාරයත් අතර මූලික වෙනසක් නැත. ඇය විසින් කරන ලද ඝාතනය ද ඒ අනුව රෝහලකදී ප්‍රතිකාර ගනිමින් සිටි අයෙකු මියයාම වැනි සාමාන්‍ය දෙයකි."

අජිත් පැරකුම්ගේ විවේචනය සරල ලෙස ඉවත දැමිය හැකි එකක් නෙමෙයි. මේ වන විට සෑහෙන දුරකට ලංකාවේ රාජ්‍ය මතවාදය වී තිබෙන නලින් ද සිල්වාගේ මතවාදය අනුව,

(අ) ලෝකයේ තිබෙන්නේ එක් දැනුම් පද්ධතියක් නෙමෙයි.

(ආ) එක දැනුම් පද්ධතියක් මගින් වෙනත් දැනුම් පද්ධතියක් පරීක්ෂා කළ නොහැකියි.

(ඇ) සාපේක්ෂ සත්‍යයන් මිසක් පරම සත්‍යයක් කියා දෙයක් නැහැ.

(ඈ) ඒ නිසා එක දැනුම් පද්ධතියක් වෙනත් එකකට වඩා නිවැරදියි කියා කියන්න බැහැ. 

(ඉ) බටහිර විද්‍යාව සත්‍යයක් බවත්, අනෙක් දැනුම් මිථ්‍යා බවත් ගොඩක් අය හිතන්නේ බටහිර දැනුම් ආධිපත්‍යය නිසා.

නලින් ද සිල්වා හා නලින්වාදීන් නාථ දෙවියන්ගෙන් හා කාලි දෙවඟනගෙන් දැනුම ලබා ගැනීම වෙනුවෙන් පෙනී සිටියේ ඉහත තර්කනය මත පදනම්වයි. මේ තර්කනය පහසුවෙන් ඉවත දැමිය නොහැකි තරම් ප්‍රබල බවත් කිව යුතුයි. 

මම ප්‍රායෝගිකව නොපෙනෙන බලවේග කෙරෙහි කිසිදු විශ්වාසයක් නඩත්තු නොකරමින් ජීවත් වන කෙනෙක්. මේ ආකාරයේ විශ්වාස මා අත් හැර දැමුවේ වයස අවුරුදු හත අටක කාලයේදී. එහෙත්, නොපෙනෙන බලවේග සැබෑවටම නොපවතින්නේයැයි විශ්වාස කිරීමද තවත් එක් විශ්වාසයක් කියන එක මට බැහැර කරන්නට බැහැ. මා අඥේයවාදියෙකු ලෙස මාව හඳුන්වා ගන්න කැමති ඒ නිසයි. මට කිසියම් නොපෙනෙන බලවේගයක් පවතින බව විශ්වාස කිරීම අසීරු වන හේතුවටම වෙනත් අයෙකුට එවැනි බලවේගයක් නොපවතින බව විශ්වාස කිරීම අසීරු විය හැකියි.

නාථ දෙවියන් නම් වූ අදෘශ්‍යමාන සත්ත්වයෙකු හෝ වෙනත් නොපෙනෙන බලවේගයක් ඇති බවත්, තමන්ට එම නාථ දෙවියන් සමඟ සන්නිවේදනය කළ හැකි බවත් කවුරු හෝ කියනවානම් මට එය ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් නැහැ. එහෙත් මේ වගේ දෙයක් පරීක්ෂා කර තහවුරු කර ගැනීමේ හැකියාවක්ද නැහැ. මට අවශ්‍ය වූ පමණින් නාථ දෙවියන් සමඟ සන්නිවේදනය කළ හැකි නිශ්චිත ක්‍රමවේදයක් නැහැ. මෙයින් වෙනස්ව බටහිර විද්‍යාවෙන් යෝජනා කරන දැනුම් බොහොමයක් පරීක්ෂාවට ලක් කළ හැකි නිශ්චිත ක්‍රමවේදයන් තිබෙනවා. එසේ පරීක්ෂා කරන ක්‍රමවේදත් පරීක්ෂාවට ලක් කළ හැකියි. බටහිර විද්‍යාව පරම සත්‍යයන් හොයා දෙන්නේ නැතත් යෝජනා කරන සත්‍යයන් සත්‍ය විය හැක්කේ කවර උපකල්පන යටතේද කියන එක බොහෝ විට පැහැදිලියි.

බටහිර විද්‍යාව හැර විවිධ දැනුම් ලෝකයේ තිබෙනවා. ඒ ඇතැම් දැනුම් බටහිර විද්‍යාවට පහසුවෙන් අවශෝෂණය කර ගත හැකියි. එහෙත්, අදෘශ්‍යමාන බලවේගයකින් දැනුම ලබා ගැනීම වැනි අදහසක් බටහිර විද්‍යාවට අවශෝෂණය කර ගැනීම අසීරුයි. බටහිර විද්‍යාවට අවශෝෂණය කර ගත නොහැකි අදහසක් බටහිර විද්‍යාවෙන් පරීක්ෂා කිරීමේ හැකියාවක්ද නැහැ. ඒ නිසා එවැනි දැනුමක් බටහිර විද්‍යාව මත පදනම්ව මිථ්‍යාවක් සේ නම් කිරීම අසීරු කරුණක්.

බටහිර විද්‍යාව සත්‍ය වන්නේ සම්මතය මතනම් වෙනත් දැනුමක් සම්මතය වූ විට ඒ දැනුමද පිළිගන්න වෙනවා. ඒ පදනම මත කාලි දෙවඟනගෙන් බෙහෙත් අසා ගෙන ඒ බෙහෙත් වලින් ප්‍රතිකාර කිරීම මිථ්‍යාවක් සේ සලකා බැහැර කරන්න බැහැ. මේ කාරණාවම ලයිමා ෆාලිඩාගේ ප්‍රතිකාර ක්‍රමයටත් අදාළයි. ඒ අනුව, ධම්මික පැණිය හා ලයිමා ෆාලිඩාගේ ප්‍රතිකාර අතර වෙනසක් නැහැ කියන අජිත් පැරකුම්ගේ තර්කය බැහැර කරන්න බැහැ.

ධම්මික පැණිය සතුව  කෝවිඩ් ආසාදනය වැළැක්වීමේ හැකියාවක් නොතිබියදී එය ලබා ගන්නා අයට කෝවිඩ් ආසාදනය නොවන්නේය යන පදනමෙන් එම පැණිය ලබාගත් අය සිය චර්යාවන් වෙනස් කළේනම් ඒ හේතුව නිසා බොහෝ දෙනෙකුට කෝවිඩ් වැළඳී එයින් යම් පිරිසක් මිය යා හැකිව තිබුණා. එහෙත් ලංකාවේ ආණ්ඩුව විසින් පරීක්ෂාවකට ලක් නොකර වක්‍ර ලෙස හෝ ධම්මික පැණිය ප්‍රවර්ධනය කළා. පැණිය ලබාගත් අයට කෝවිඩ් හැදුනා. මේ අනුව ධම්මික පැණිය සාර්ථක ප්‍රතිකාරයක් වීමේ හැකියාව පිළිගත් අයෙකුට, ලයිමා ෆාලිඩාගේ ප්‍රතිකාර ක්‍රමය සාර්ථක ප්‍රතිකාරයක් ලෙස පිළිගත නොහැක්කේ ඇයි කියන එක වලංගු තාර්කික ප්‍රශ්නයක්.

ලයිමා ෆාලිඩාගේ ප්‍රතිකාරය නිසා දැරියක් මිය ගියා. ඇය ප්‍රතිකාරයක් ලෙස දැරියට මිය යන තුරු වේවැල් පහර දී ඇති බව පැවසෙනවා. එහෙත් ඇගේ සිරුර පිහි වලින් කපා නැහැ. බටහිර වෛද්‍යවරු ශල්‍ය මේස මත බොහෝ රෝගීන්ගේ සිරුරු සැත්කම් පිහි වලින් කපනවා. ඒ ඇතැම් රෝගීන් මිය යනවා. එහෙත් ඔවුන් වරදක් කර ඇති බව කවුරුවත් කියන්නේ නැහැ. සැත්කමක් කිරීමේදී රෝගියෙකු මියයාම බොහෝ විට සැලකෙන්නේ නොවැලැක්විය හැකි දෙයක් විදිහටයි. ලයිමා ෆාලිඩාගේ ප්‍රතිකාරයෙන් රෝගියා මිය ගියේත් ඒ විදිහටම වෙන්න බැරිද?

ලෝකයේ විවිධ දැනුම් පද්ධති තිබෙනවා. අදෘශ්‍යමාන බලවේගයක උපකාරයෙන් ප්‍රතිකාර කිරීම බටහිර වෛද්‍යවරයෙකු විසින් කරන දෙයින් වෙනස් නැති සේ සැලකුවොත් ලයිමා ෆාලිඩා කිසිදු වැරැද්දක් කර නැහැ. කෝවිඩ් එන්නත්, ධම්මික පැණිය වගේම ඇගේ ප්‍රතිකාර ක්‍රමයත් 100%ක් සාර්ථක නැති බවට පහසුවෙන් තර්ක කළ හැකියි.

කොහෙන් හෝ ඉරක් ඇඳිය යුතු බව මොළේ කළඳක් තියෙන මිනිහෙකුට තේරෙන්න ඕනෑ. මේ ඉර අඳින්නේ කොහෙන්ද?

බටහිර වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර ක්‍රමයක් අනුමත කරන සම්මත ක්‍රමවේදයක් තියෙනවා. මේ ක්‍රමවේදය ඉතා පැහැදිලියි. එය තේරුම් ගන්න මහා ලොකු දර්ශනවාද අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ගැන මා ලියා තිබෙන නිසා නැවත ලියන්න යන්නේ නැහැ. ක්‍රමවේදය පැහැදිලි නැති හෝ ප්‍රශ්න තිබෙන කෙනෙක් ඉන්නවානම් වෙන කා වෙතවත් යන්න අවශ්‍ය නැති බවත්, පෞද්ගලිකව මට පැහැදිලි කළ හැකි බවත් බය නැතිව හා වගකීමෙන් කියන්න පුළුවන්. 

බටහිර වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර ක්‍රමයක් පරීක්ෂාවට ලක් කරන ක්‍රමවේදය බටහිර වෛද්‍ය විද්‍යාව මත පදනම් වූ ක්‍රමයක් නෙමෙයි. එම ක්‍රමවේදය ඉතා පහසුවෙන් වෙනත් දැනුම් පද්ධතියක ප්‍රතිකාර ක්‍රමයක් එම දැනුම් පද්ධතියේ මූලධර්ම මත පදනම්ව පරීක්ෂාවට ලක් කිරීම සඳහා වුවත් යොදාගත හැකියි. අදෘශ්‍යමාන බලවේග වල පැවැත්ම, එම බලවේග හරහා ප්‍රතිකාර ක්‍රම පිළිබඳ දැනුම ලබා ගැනීමේ හැකියාව ආදිය පිළිගන්නා අයෙකුට වුවත් කවුරු හෝ කෙනෙක් බොරුවක් කිරීමේ හැකියාව බැහැර කළ හැකියි කියා මා හිතන්නේ නැහැ. දැනුම් පද්ධතිය කුමක් වුවත් එය පරීක්ෂාවට ලක් කළ හැකි ක්‍රමයක් තිබිය යුතුයි. එම ක්‍රමය බටහිර වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර ක්‍රමයක් පරීක්ෂාවට ලක් කරන ක්‍රමවේදයම විය යුතු නැතත් අදාළ ක්‍රමවේදය පාරදෘශ්‍ය විය යුතුයි. පාරදෘශ්‍ය ක්‍රමයකින් පරීක්ෂාවට ලක් නොවුණු දැනුමක් වෙනුවෙන් රජය, ජනමාධ්‍ය හෝ වග කිව යුතු පුරවැසියෙකු පෙනී සිටීම ඉතාම නරක පූර්වාදර්ශයක්.

බටහිර වෛද්‍යවරුන්ගේ ආධිපත්‍යයක් නැතැයි මා කියන්නේ නැහැ. එය ඉතා දරුණුවටම තියෙනවා. ලංකාවේ තරමටම නැතත් ඇමරිකාවේ වුවත් යම් දැනුම් ආධිපත්‍යයක් ඔවුන්ට තිබෙනවා. මේ ආධිපත්‍යය තුළ ඔවුන්ට අත් වැරදි වගේම හිතාමතාම කරන වැරදිත් වහ ගන්න යම් ඉඩක් සැලසෙනවා. එහෙත්, අඩු වශයෙන් සෛද්ධාන්තිකව හෝ ඔවුන්ව ප්‍රශ්න කිරීමකට ලක් කළ හැකි නිශ්චිත ක්‍රමවේදයක් තිබෙනවා. මම හිතන විදිහට ආයුර්වේද වැනි විකල්ප ප්‍රතිකාර ක්‍රම හා අදාළවත් තත්ත්වය මෙයයි. කවර හෝ ආකාරයක වගවීමක් තියෙනවා.

අදෘශ්‍යමාන සත්ත්වයෙකු කියන දෙයක් වැරදී හානියක් වූ විට එහි වගකීම ගන්න කෙනෙක් නැහැ. නාථ දෙවියන්ගෙන්, කාලි දෙවඟනගෙන් හෝ ලයිමා ෆාලිඩාට වැහුණු අමනුෂ්‍යයාගෙන් වන්දි අය කර ගන්න බැහැ. අල්ලලා හිරේ දාන්නත් බැහැ. නිශ්චිත ප්‍රතිකාරයක් පරීක්ෂාවට ලක් කළ හැකි වුවත් ප්‍රතිකාර පිළිබඳ දැනුම ලබා ගන්නා ක්‍රමය පරීක්ෂාවට ලක් කරන්න බැහැ.

ලයිමා ෆාලිඩා ප්‍රතිකාරයේත්, ධම්මික පැණියේත් එක් වෙනසක් තිබෙනවා. ලයිමා ෆාලිඩා ප්‍රතිකාර ක්‍රමයේදී දැනුම ලබා ගැනීමත් ප්‍රතිකාර කිරීමත් සිදු වන්නේ එක විටයි. ඒ නිසා දැනුම ලබාගත් ක්‍රමයට අමතරව ප්‍රතිකාර ක්‍රමයම පරීක්ෂාවට ලක් කළ නොහැකි එකක්. එක් අයෙකුට සුව වුනා කියා වෙනත් අයෙකුට සුවවන බවට සහතිකයක් නැහැ. නිශ්චිත සහතිකයක් නෙමෙයි. අඩු වශයෙන් සම්භාවිතාව මත පදනම් වූ සහතිකයක් හෝ නැහැ. 

ධම්මික ප්‍රතිකාරය ලබාගත් ක්‍රමය පරීක්ෂාවට ලක් කළ නොහැකි වුවත් අදාළ පැණිය පරීක්ෂාවට ලක් කිරීම කළ නොහැක්කක් නෙමෙයි. නිසි පරීක්ෂාවකට ලක් කිරීමෙන් පසුව සාර්ථක බව තහවුරු කළ හැකිනම් ඉඳ හිට රෝගියෙක් මැරෙන එක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි සමස්තයක් ලෙස සියලු හානි හා අවදානම් වලට වඩා වැඩි වාසි තිබෙන බව තහවුරු වී ඇත්නම් පමණයි.

කතාවට කියන්නේ කෝවිඩ් වලට බටහිර වෛද්‍ය විද්‍යාවේ කිසිම ප්‍රතිකාරයක් නැහැ කියලයි. නමුත්, එයින් අදහස් වෙන්නේ කෝවිඩ් ආසාදිතයින් මැරෙන්න ඇරලා බටහිර වෛද්‍යවරු බලා ඉන්නවා කියන එක නෙමෙයි. ඇමරිකාවේනම් මුල් කාලයේ ඉඳලාම මේ රෝගීන්ට විවිධ ප්‍රතිකාර කරනවා. ඒ විවිධ ප්‍රතිකාර වල සාර්ථක ප්‍රතිඵලද තිබෙනවා. ප්‍රතිකාරයක් නැහැ කියා කියන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවේ සම්මත අනුව ඒ කිසිදු ප්‍රතිකාරයක ප්‍රමාණවත් තරමේ වාසි නැති නිසා මිස කිසිම වැඩක් නැති නිසා නෙමෙයි.

බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් අනුමත කරන්නේ එහි හිතකර ප්‍රතිඵල සැලකිය යුතු මට්ටමක තිබෙන බව පැහැදිලිව පෙනේනම් පමණයි. ලංකාවේ භාවිතා වන ඇස්ට්‍රසෙනිකා එන්නත තවමත් ඇමරිකාව තුළ අනුමත වී නැත්තේ එහි සාර්ථකත්වය තවමත් ඇමරිකාවට ඒත්තු ගන්වනු ලැබ නැති නිසයි. මේ සියලු කඩුළු පැන ඉදිරියට යන බටහිර වෛද්‍ය ප්‍රතිකාරයක් වුවත් ඇතැම් පුද්ගලයින් හා අදාළව අසාර්ථක වෙන්න පුළුවන්. එහෙත් එයින් අදහස් වෙන්නේ බටහිර වෛද්‍ය ප්‍රතිකාරයක් හා ලයිමා ෆාලිඩා පන්නයේ ප්‍රතිකාරයක් සමානයි කියන එක නෙමෙයි. ලයිමා ෆාලිඩා පන්නයේ ප්‍රතිකාර වලට වඩා බටහිර වෛද්‍ය ප්‍රතිකාර වලට පිළිගැනීමක් තියෙන්නේ එම ප්‍රතිකාර වඩා සාර්ථක නිසා මිස බටහිර වෛද්‍ය විද්‍යාවේ ආධිපත්‍යයක ආනුභාවයකිනුත් නෙමෙයි.

විවිධ දැනුම් තිබෙන බව පිළිගත යුතුයි. ඒ අතරම, එම දැනුම් අතරින් වැඩකට ඇති දැනුම් හා හානිකර දැනුම් වෙන් කරමින් ඉරක් අඳින එකත් කළ යුතුයි. 

Sunday, October 11, 2020

මිනිසා වැඩ කරන්නේ කුමටද?


මේ ප්‍රශ්නය අජිත් පැරකුම්ගේ ප්‍රශ්නයක්. ප්‍රශ්නයට අදාළ ඔහුගේ නිරීක්ෂණ කිහිපයක් ඉදිරිපත් කර සාකච්ඡා කිරීමෙන් අනතුරුව පැරා ඔහුගේ ලිපිය අවසන් කරන්නේ මේ විදිහටයි.

"මිනිසා වැඩ කරන්නේ කුමටද යන ප්‍රශ්නය මා ඉදිරියේ තිබේ. එහෙත්, මට එයට පිළිතුරක් නැත."

පිළිතුරු නැති ප්‍රශ්න වලට පිළිතුරු ඉදිරිපත් කරන්න මම කැමතියි. පිළිතුරු කියා කියන එක අවුල් වගේනම් යෝජනා කියා කියමු. මා විසින් පිළිතුරු හෝ යෝජනා ඉදිරිපත් කරන්නේ ඇයි කියන එකත් මේ ප්‍රශ්නයට දිය හැකි පිළිතුරේම කොටසක්. 

සරල ප්‍රශ්නයක් වගේ පෙනුනත් පැරාගේ ප්‍රශ්නය ගොඩක් සංකීර්ණ ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට පිළිතුර කුමක්ද කියන එක මත වඩා සංකීර්ණ ප්‍රශ්න ගණනාවකට පිළිතුරු මොනවාද කියන එකත් තීරණය වෙනවා. උදාහරණ විදිහට සෞම්‍ය ලියනගේට රැකියාව නැති වීම, ඊට පෙර නලින් ද සිල්වා, වික්‍රමබාහු කරුණාරත්න, සුචරිත ගම්ලත් වගේ අයට රැකියා නැති වීම, හරිනි අමරසූරිය විසින් මැතකදී යෝජනා කළ, කාලයකට පෙර සිංහලේ මහා සම්මත භූමිපුත්‍ර පක්ෂයේ හෝ හරිශ්චන්ද්‍ර විජේතුංගගේ යෝජනාවක් වූ ගෙවල් වල වැඩ කරන කාන්තාවන්ට දීමනාවක් ගෙවීම පිළිබඳ කතිකාව, ප්‍රසූත නිවාඩු ප්‍රශ්නය, බ්‍රැන්ඩික්ස් සන්නාලියන්ට කෝවිඩ් ආසාදනය වීම ආදී ප්‍රශ්න වල සිට අජිත් පැරකුම් විසින් කතා කරන ලංකාවේ චීන ශ්‍රමිකයින් පිළිබඳ කතිකාව දක්වා බොහෝ ප්‍රශ්න මේ ප්‍රශ්නයටම සම්බන්ධයි.

මිනිසා වැඩ කරන්නේ ඇයි කියන ප්‍රශ්නයට පිළිතුරු එකකට වඩා තිබෙනවා. සමාජවාදී පිළිතුර එයින් එකක්. ධනවාදී පිළිතුර තවත් එකක්. 

ද්‍රව්‍යවාදය මත පදනම් වූ මාක්ස්වාදී විග්‍රහය අනුව ශ්‍රමය කියා කියන්නේ මිනිස් යන්ත්‍රයේ ප්‍රතිදාන (outputs). මේ ප්‍රතිදාන ලබා ගැනීම සඳහා ආහාර, ඇඳුම්, නිවාස වැනි ආදාන (inputs) අවශ්‍යයි. අනෙක් අතට එම ආහාර, ඇඳුම්, නිවාස වැනි පරිභෝජන භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා මිනිස් ශ්‍රමය අවශ්‍ය වෙනවා. මේ නිෂ්පාදන ක්‍රියාවලිය ඇතුළේදී මිනිස් ශ්‍රමය ආදානයක් බවටත්, ආහාර වැනි පරිභෝජන භාණ්ඩ ප්‍රතිදානයක් බවටත් පත් වෙනවා. 

මිනිස් යන්ත්‍රයේ දායකත්වයෙන් එහෙත් මිනිස් යන්ත්‍රයෙන් බැහැරව සිදු වන සාමූහික නිෂ්පාදන ක්‍රියාවලිය තුළ අතිරික්තයක් ජනනය වෙනවා. ඒ නිසා, මිනිස් යන්ත්‍රය නඩත්තු කිරීමට අවශ්‍ය ආදාන නිපදවීමට දවසේ සීමිත කාලයක් පමණක් ශ්‍රමය යෙදවීම ප්‍රමාණවත්. ඉතිරි වන අතිරික්ත කාලය මිනිස්සුන්ට තමන් සතුටු වන වෙනත් දේවල් වෙනුවෙන් යෙදවිය හැකියි.

මාක්ස්වාදීන් විසින් දකින "ධනවාදී ක්‍රමය" අනුව, ලෝකයේ මිනිස්සු වර්ග දෙකක් ඉන්නවා. ප්‍රාග්ධනය හිමි පංතිය හා ප්‍රාග්ධනය අහිමි, වැඩ කරන පංතිය විදිහට. ධනවාදය ඇතුළේ ප්‍රාග්ධනය හිමි පංතිය විසින් වැඩ කරන පංතියේ ශ්‍රමය මිල දී ගන්නවා. එහෙත්, ඒ වෙනුවෙන් ගෙවන්නේ ඔවුන්ගේ ශ්‍රමය ප්‍රතිදානය කිරීම සඳහා අවශ්‍ය අවම ආදාන ලබා ගැනීමට ප්‍රමාණවත් මුදලක් පමණයි. ඒ නිසා, වැඩ කරන පංතියට තමන්ගේ ජීවිත පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ආදාන ලබා ගැනීම සඳහා දවස පුරා වැඩ කරනු හැර වෙනත් විකල්පයක් නැහැ. ඔවුන්ට තමන් සතුටු වන වෙනත් දේවල් වෙනුවෙන් යෙදවීමට කාලයක් ඉතිරි වන්නේ නැහැ. අතිරික්තය මුළුමනින්ම ලබා ගෙන පරිභෝජනය කරන්නේ ප්‍රාග්ධනය හිමි පංතිය විසින්. ඔවුන් වැඩ නොකර තමන්ට රිසි සේ විනෝද වෙනවා.

සමාජවාදීන්ගේ ඉලක්කය ඉහත කී පරිදි ප්‍රාග්ධනය හිමි පංතිය විසින් තනිව භුක්ති විඳින අතිරික්තය සියළු දෙනා අතර සම සේ බෙදා හැරීමයි. එහෙත්, එසේ අතිරික්තය සම සේ බෙදා හැරියා කියලා කාටවත් වැඩ නොකර ඉන්න ලැබෙන්නේ නැහැ. නමුත්, වැඩ කරන පංතියේ අයට ටිකක් අඩුවෙන් වැඩ කරලා ඉතිරි කාලය තමන්ට රිසි සේ විනෝද වෙන්න පුළුවන්. එහි හිලවුවට ප්‍රාග්ධනය හිමි පංතියේ අයගේ විනෝදය අඩු වෙලා ඒ අයටත් වැඩ කරන්න වෙනවා.

මිනිහෙක් දවසකට කොයි තරම් කාලයක් වැඩ කළ යුතුද? කොයි තරම් කාලයක් විනෝද විය යුතුද? ඒවා තීරණය කරන්නේ පක්ෂයයි. පක්ෂය හෝ ආණ්ඩුව විසින් නියම කරන අවම කාලය වැඩ කරන එක ඔබේ වගකීමක් හා යුතුකමක්. ඒ වගේම, ඒ කාලය වැඩ කිරීම වෙනුවෙන් ඔබට ලැබෙන දේ තීරණය කරන්නේත් පක්ෂය හෝ ආණ්ඩුව විසිනුයි. ඒ ලැබෙන දේ ඔබේ ශ්‍රමයේ නියම වටිනාකම බව ඔබට පිළිගන්න සිදු වෙනවා.

දැන් මේ අනුව බැලුවහම මිනිසා වැඩ කරන්නේ ඇයි කියන ප්‍රශ්නයට සමාජවාදී පිළිතුර තීරණය වෙන්නේ පවතින සමාජ ක්‍රමය ධනවාදී එකක්ද සමාජවාදී එකක්ද කියන එක මතයි. පවතින්නේ ධනවාදී ක්‍රමයක්නම් මිනිස්සු වැඩ කරන්නේ තමන්ගේ ජීවිතය පවත්වා ගැනීම සඳහා. වැඩ කරන මිනිස්සුන්ට වැඩ කරනවා හා ජීවත් වෙනවා ඇරෙන්න වෙන දෙයක් කරන්න වෙලාවක් නැහැ. වැඩ නොකරන මිනිස්සු වැඩ නොකරන නිසා ඔවුන් හා අදාළව මිනිස්සු වැඩ කරන්නේ ඇයි කියන ප්‍රශ්නය මතු වෙන්නේ නැහැ. එහෙත්, ඒ මිනිස්සු වැඩ නොකරන්නේ ඇයි කියා ඇහුවොත් ඔවුන්ට වැඩ නොකර ජීවත් වෙන්න පුලුවන්කම තිබෙන නිසා කියා කියන්න පුළුවන්. 

මේ අනුව, සමාජවාදී විග්‍රහය අනුව මිනිස්සුන්ට වැඩ නොකර ජීවත් වෙන්න පුලුවන්කම තියෙනවානම් මිනිස්සු වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ වැඩ කිරීම වෙනත් කළ හැකි දෙයක් නැතිකමට අකැමැත්තෙන් කරන නිශේධනීය දෙයක් මිසක් කවුරුවත් කැමැත්තෙන් කරන දෙයක් නෙමෙයි. වැඩ කරන්න අකැමැති නිසා වැඩ නොකළොත් ජීවිතය පවත්වාගෙන යන්න බැරි නිසා වැඩ කරන පංතියේ අයට වැඩ කරන්න වෙනවා. සමාජවාදය ආවා කියලත් ඔය තත්ත්වය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි වඩා හොඳ ස්වාමියෙක් ලැබෙනවා. එහෙම නැත්නම් වඩා හොඳ ස්වාමියෙක් ලැබෙන බවට පොරොන්දුවක් සමාජවාදය ඇතුළේ තිබෙනවා.

සමාජවාදී විග්‍රහය අනුව ධනවාදී සමාජ ක්‍රමයක් පවතිද්දී වැඩ කරන එකේ වාසිය තනිකරම ලැබෙන්නේ ප්‍රාග්ධන හිමියන්ටයි. වැඩ කරන අයට ලැබෙන කිසිම දෙයක් නැහැ. ඒ නිසා, පුළුවන් තරම් අඩුවෙන් වැඩ කළා කියලා හරි හොරට වැඩ කළා කියලා හරි ඔවුන්ට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. පාඩුව වෙන්නේ ප්‍රාග්ධන හිමියන්ටයි. එහෙම තියෙද්දී මිනිස්සු මහන්සි වෙලා වැඩ කරන්නේ ඔය ටික තේරුම් ගන්න තරම් බුද්ධියක් නැති නිසා. සමාජවාදී පක්ෂ උත්සාහ කරන්නේ වැඩ කරන ජනතාවට ඔය කාරණාව කියා දෙන්නයි. බය නැතුව වැඩ වර්ජන වගේ දේවල් සංවිධානය කරන්නෙත් ප්‍රාග්ධන හිමියන්ට ශ්‍රමිකයන් නැතුව බැරි නිසයි. වැඩේ කියන්නේ ශ්‍රමිකයෝ කොයි තරම් කියා දෙන්න හැදුවත් ඔය ටික තේරුම් ගන්නේ නැහැ. ඒ අය හිතන්නේ මහන්සි වී වැඩ නොකළොත්, වැඩ වර්ජන කළොත්, කරන රස්සාවත් නැති වෙයි කියලා. පවු ඒ අය!

වැඩ කිරීම පිළිබඳ ධනවාදී අදහස ඉහත සමාජවාදී අදහසට වඩා හාත්පසින්ම වෙනස් අදහසක් නෙමෙයි. සමහර මූලික කරුණු සමානයි.

ධනවාදී ආර්ථික විද්‍යාව අනුව මිනිස්සු කොයි දෙයක් වුනත් කරන්නේ තමන්ගේ සතුට වෙනුවෙන්. ඒ අනුව, වැඩ කරන්නේත් තමන්ගේ සතුට වෙනුවෙන් කියා කියන්න පුළුවන්. එහෙත්, සතුට තිබෙන්නේ වැඩ කිරීමේ ක්‍රියාවලිය තුළම නොවෙන්න පුළුවන්. 

මිනිස්සු ජීවත් වීමෙන් සතුටු වෙනවා. ජීවත් වීමේ පූර්ව කොන්දේසියක් ලෙස ආහාර ආදිය අවශ්‍ය වෙනවා. ඒ දේවල් සපයා ගන්න වැඩ කරන්න වෙනවා. මෙහිදී වැඩ කිරීමේ ක්‍රියාවලිය තුළ සතුටක් නැති වෙන්න පුළුවන්. එහෙත්, ශ්‍රමය වෙනුවෙන් ලැබෙන කුලිය හෙවත් වැටුප් තුළ සතුට තිබෙනවා. එසේ ලැබෙන මුදලින් මිල දී ගන්නා දේවල් තුළ සතුට තිබෙනවා.

ධනවාදී ආර්ථික විද්‍යාව අනුව වැඩ කරන එක අකැමැත්තෙන් කරන දෙයක් විය යුතුම නැහැ. වැඩ කිරීමේ ක්‍රියාවලිය තුළම සතුට තිබෙන්න පුළුවන්. හැබැයි එසේ තිබීම අනිවාර්යත් නැහැ. වැටුප් තකා, අසතුටෙන් වැඩ කරන අයත් ඕනෑ තරම් ඉන්න පුළුවන්.

සමාජවාදී විග්‍රහය අනුව ධනවාදී ක්‍රමයක් තුළ වැටුප් සේ ගෙවනු ලබන්නේ ශ්‍රමිකයෙකුට යාන්තම් පණ ගැට ගසා ගැනීමට අවශ්‍ය ප්‍රමාණය පමණයි. ඉතිරිය ප්‍රාග්ධනය අයිති පුද්ගලයා විසින් "සූරා කනු" ලබනවා. එහෙත්, ධනවාදී ආර්ථික විද්‍යාව අනුව, තරඟකාරී වෙළඳපොළක් ඇති විට ශ්‍රමිකයෙකුට තමන්ගේ ශ්‍රමයේ නියම වටිනාකම වැටුප් සේ හිමි වෙනවා. මේ "නියම වටිනාකම" මනින්නේ කොහොමද?

මේ ප්‍රශ්නයට ටිකක් කිට්ටුවෙන් යන ප්‍රශ්නයක් පහුගිය දවසක නලින් ද සිල්වා විසින් අහලා තිබුණා. 

"අප කරන වැඩ මනින්න බැහැ. වැඩක් මනින්නෙ කොහොම ද කියන එක මට තේරෙන්නෙ නැහැ. යම්කිසි නිර්ණායක යොදා ගෙන අපි වැඩ මනිනවා. උගතුන් කරන වැඩ මානසික වැඩ ශාරීරික ව කරන වැඩවලට වඩා වටිනවා කියල අපි හිතනවා. උගතුන්ට වැඩියෙන් වැටුප් ඉල්ලනවා. සමහරු කියනව මා අහල තියෙනවා අපි මෙච්චර මහන්සියෙන් පාඩම් කෙරුව ඒවට ගෙවන්න ඕන කියල. ඒ ආයෝජන කතාවක්. නූතනත්වයේ ධනවාදී ක්‍රමයෙ කතාවක්.  ඒ අනුව නම් මට සතපහක් ගෙවන්න ඕන නැහැ. මා මහන්සි වෙලා පාඩම් කරලත් නැහැ වෙන කිසිම දෙයක් කරලත් නැහැ. මා කැමති දේ පමණක් කරනවා. මා අංක එකේ අත්මාර්ථකාමියෙක් වෙන්න ඇති."

නලින් ද සිල්වාගේ සටහනේ වැදගත් කරුණු ගණනාවක් මතු කර තිබෙනවා. එහෙත් එහි සඳහන් එක් කරුණක් වැරදියි. "අපි මෙච්චර මහන්සියෙන් පාඩම් කෙරුව ඒවට ගෙවන්න ඕන" කියන කතාව සමාජවාදී ප්‍රකාශයක් මිසක් "නූතනත්වයේ ධනවාදී ක්‍රමයෙ කතාවක්" නෙමෙයි. 

මාක්ස්වාදය අනුව මිනිස්සු හැමෝම සමාන නිසා හැම මිනිහෙකුගේම පැයක ශ්‍රමයේ වටිනාකමත් සමානයි. ඒ අනුව, වැඩක් මනින්නේ ඒ වැඩේ කරන්න යෙදවූ ශ්‍රමය මත පදනම්වයි. මහන්සි වෙලා පාඩම් කළානම් ඒ වෙනුවෙන් පැය ගණනට ගෙවන්න ඕනෑ. ඉගෙන ගත්තද නැද්ද කියන එක වැදගත් නැහැ. වෙනත් විදිහකින් කිවුවොත් වටිනාකම මනින්නේ ආදාන (inputs) මත පදනම්වයි. එහෙත්, ධනවාදය අනුව වටිනාකම මනින්නේ ප්‍රතිදාන (outputs) මත පදනම්වයි. කවුරු හෝ කෙනෙක් මහන්සි වෙලා වැඩ කළා කියලා හෝ මහන්සි වෙලා පාඩම් කළා කියලා ඒ මහන්සියට සමානුපාතිකව යමක් ලැබෙන්නේ නැහැ. ලැබෙන දේ තීරණය වන්නේ මහන්සි වී කළ දෙයින් වැඩක් වුනාද කියන එක මතයි.

ලංකාවේ සරසවි ඇදුරන්ගේ වැටුප් තීරණය වෙන්නේ සමාජවාදී ක්‍රමයට ආදාන මත පදනම්වයි. ඒ අනුව, වැටුප් නිර්ණායක හදා තිබෙන්නේ මහන්සි වූ තරම මැනීම සඳහායි. එක සමානව මහන්සි වී ඇත්නම් ඒ මහන්සියෙන් ලැබුණු ප්‍රතිඵල මොනවාද කියන එක අදාළ නැහැ. අවුරුදු අටක් ඇතුළත ආචාර්ය උපාධියක් ලබා ගත්තාද නැද්ද කියන එකෙන්, සර්ව සම්පූර්ණ ලෙස නොවුණත්, අවුරුදු අට ඇතුළත කොයි තරම් මහන්සි වුනාද කියන එක මනින්න පුළුවන්. ඒ අනුව, සමාන තරමට මහන්සි වී ඇති බව පෙනෙන අයට සමාන වැටුප් දෙන්න පුළුවන්. ලබාගත් ආචාර්ය උපාධිය නිසා "නිෂ්පාදනය" කොයි තරම් ඉහළ ගියාද කියන එක වැදගත් කරුණක් නෙමෙයි. එය වැදගත් වන්නේ ධනවාදී ක්‍රමය තුළයි.

එහෙත්, බ්‍රැන්ඩික්ස් සන්නාලියන්ගේ වටිනාකම තීරණය වෙන්නේ සරසවි ඇදුරන්ගේ වටිනාකම මනින සමාජවාදී ක්‍රමයට නෙමෙයි. ඔවුන් වැඩ කරන පැය ගණනට වඩා පැයකදී මහන කෑලි ගණනයි වැදගත් වෙන්නේ.

වටිනාකම් මනින ධනවාදී ක්‍රමයත් සමාජවාදී ක්‍රමය වගේම ආකෘතියක් මත පදනම් වූ ක්‍රමයක් තමයි. එහෙත්, එය වඩා සංගතයි. ධනවාදී විග්‍රහය අනුව තරඟකාරී ශ්‍රම වෙළඳපොළක් ඇති විට ශ්‍රමිකයෙකුට වැටුප් සේ හිමිවන්නේ ඔහුගේ හෝ ඇයගේ ආන්තික ඵලදායීතාවයයි. මෙහිදී ආන්තික ඵලදායීතාවය යනුවෙන් අදහස් වන්නේ කිසියම් ශ්‍රමිකයෙකු නිෂ්පාදනය සඳහා සම්බන්ධ කර ගැනීම නිසා නිෂ්පාදනය ඉහළ ගිය ප්‍රමාණයයි.

ආන්තික ඵලදායීතාවය ශ්‍රමයේ නියම වටිනාකම සේ සැලකීමේ පදනම කුමක්ද?

අපි හිතමු බිත්තියක් බඳින බාස් කෙනෙක් ගැන. බාස්ට දවසකට ලැබෙන මුදල තීරණය වෙන්නේ බඳින වර්ග අඩි ගණන අනුව කියා සලකමු. අපි හිතමු බාස්ට තනිවම බිත්ති වර්ග අඩි හැත්තෑවක් බඳින්න පුලුවන් කියා. අත්වැඩකාරයෙක් ගත්තොත් බිත්ති වර්ග අඩි සීයක් බඳින්න පුළුවන්. දැන් මේ විදිහට දවසකට වර්ග අඩි තිහක් වැඩියෙන් බඳින්න පුළුවන් වුනේ අත්වැඩ කාරයා නිසයි. ඒ අනුව, අත්වැඩකාරයාගේ ශ්‍රමයේ වටිනාකම බිත්ති වර්ග අඩි තිහක් බැඳ ලැබිය හැකි මුදලයි.

බිත්ති බැඳීම වෙනුවෙන් රුපියල් දස දහසක මුදලක් ලැබුණොත් එයින් හත් දහසක් යන්නේ බාස්ටයි. අත්වැඩකරුට යන්නේ තුන් දහසක් පමණයි. එහෙත්, දෙදෙනාම සමාන පැය ගණනක් වැඩ කර තිබෙනවා. සමාජවාදී ක්‍රමයටනම් රුපියල් දසදහස දෙදෙනා අතර සම සේ බෙදී යා යුතුයි. මේ ක්‍රමය අසාධාරණ වන්නේ අත්වැඩකරු නැතත් බාස්ට තනිව රුපියල් හත් දහසක් උපයා ගත හැකි නිසයි. 

අත්වැඩකරු විසින් රුපියල් තුන් දහසකට වඩා ඉල්ලා සිටියොත් බාස් ඔහුට රැකියාව ලබා දෙන්නේ නැහැ. එය අතින් කා හරක් බැලීමක්. අනෙක් අතට බාස් නැතිව අත්වැඩකරුට තනිව බිත්ති බඳින්න බැහැ. ඒ නිසා, රැකියාවක් නැත්නම් ඔහුට ආදායමක් ඉපැයිය හැකි වෙනත් වඩා හොඳ ක්‍රමයක් නැති වෙන්න පුළුවන්. එවැනි වෙනත් වඩා හොඳ ක්‍රමයක් තිබේනම් ඔහු අත්වැඩ දෙන්න එන්නේ නැහැ.

අජිත් පැරකුම්ගේ ලිපියේ ඇති තොරතුරු අනුව චීන කම්කරුවෙකුට ලංකාවේදී මසකට එක්සත් ජනපද ඩොලර් 1,000ක් පමණ වැටුප් ලැබෙන නමුත් ශ්‍රී ලාංකික කම්කරුවෙකුට ලැබෙන්නේ එම මුදලෙන් තුනෙන් එකක් පමණයි. මේ වෙනසින් පිළිබිඹු වන්නේ අදාළ සන්දර්භය තුළ චීන කම්කරුවෙකුගේ හා ශ්‍රී ලාංකික කම්කරුවෙකුගේ ආන්තික ඵලදායීතාවයන්ගේ වෙනසයි.

මේ ආන්තික ඵලදායීතා වෙනස අජිත් පැරකුම් විසින් පැහැදිලි කරන්නේ මේ ආකාරයටයි.

"[චීන කම්කරුවන්] දවසේ නියමිත මුළු කාලය ම වැඩ කරන අතර, නිවාඩු නොගෙන දිනපතා වැඩට පැමිණෙති. ලාංකික කම්කරුවන් ගැන විස්තර සඳහන් කිරීම අවශ්‍ය නැත. සාමාන්‍යයෙන් ඔවුන් ස්ථිරව සේවයේ රැඳෙන්නේ නැත. අධික ලෙස නිවාඩු ලබාගනිති. අලසය. වැඩ සම්බන්ධයෙන් සුබවාදී නැත. අවස්ථාව ලැබුණොත් සොරකම් කරති."

මේ වෙනස්කම් ආන්තික ඵලදායීතා වෙනසට විශාල ලෙස හේතු වනවා විය හැකි නමුත් ඒ සඳහා වෙනත් අමතර කරුණුද බලපානවා විය හැකියි. උදාහරණයක් ලෙස චීන වැඩ බිමක සේවය කරන කම්කරුවෙකු චීන භාෂාව දැන සිටීම විවිධ ආකාර වලින් එම ශ්‍රමිකයාගේ ආන්තික ඵලදායීතාවය ඉහළ නංවනවා. කෙසේ වුවත්, ලාංකික කොන්ත්‍රාත්කරුවන් විසින්ද චීන ශ්‍රමිකයින්ට වැඩි කැමැත්තක් දක්වන්නේනම් එයින් පෙනෙන්නේ ඉහත අජිත් පැරකුම් විසින් සඳහන් කර තිබෙන කරුණු වල වැඩි බලපෑමක් ඇති බවයි.

අජිත් පැරකුම්ගේ මුල් ප්‍රශ්නයට ආවොත්, මිනිසා වැඩ කරන්නේ ඇයි කියන ප්‍රශ්නයට "ජීවත්වීම සඳහා" හෝ "තමන් එයින් සතුටු වන නිසා" ලෙස සරල පිළිතුරක් දෙන්න බැහැ. ඔය හේතු දෙකම නිසා මිනිස්සු වැඩ කරනවා. ඇතැම් අය ස්වේච්ඡා රැකියා පවා කරන්නේ වැඩ කිරීමෙන් සතුටු වන නිසා. බොහෝ දෙනෙක් තමන් කරන රැකියාව කරන්නේ ලැබෙන වැටුපට අමතරව එම රැකියාව කිරීමෙන්ම යම් සතුටක්ද ලැබෙන නිසා.

මිනිස්සු එදිනෙදා කරන දේවල් ජීවත්වීම සඳහා කරන්න සිදු වී ඇති හෝ අකැමැත්තෙන් කරන "වැඩ" හා විනෝදය පිණිස කරන දේවල් ලෙස ඉරක් ගසා වෙන් කරන්න බැහැ. සිංදු කියන එක බොහෝ දෙනෙක් විනෝදය සඳහා කරන දෙයක්. වෘත්තීය ගායකයෝ රැකියාව ලෙස සිංදු කියනවා. ඔවුන් එය කරන්නේ අකැමැත්තෙන්ද? ඔවුන් තමන්ගේ රැකියාවෙන් විනෝදයක් ලබන්නේ නැද්ද? 

බොහෝ වෘත්තීය කලාකරුවන් තමන්ගේ රැකියාවෙන් වැටුපක් වගේම සතුටකුත් ලබනවා. වෙනත් බොහෝ වෘත්තිකයිනුත් අඩු වැඩි වශයෙන් තම තමන්ගේ රැකියා වලින් සතුටක් ලබනවා. බොහෝ ව්‍යවසායකයින්, වෛද්‍යවරුන්, ගුරුවරුන්, සරසවි ඇදුරන්, දේශපාලනඥයින් යම් තරමකට හෝ තම තමන්ගේ රැකියා වලින් සතුටු වන අයයි. එහෙත්, ඉදිකිරීම් හෝ කෘෂිකාර්මික කම්කරුවන් බොහෝ දෙනෙක් ජීවත්වීම සඳහාම රැකියා කරන අය වෙන්න පුළුවන්.

කෙනෙක් රැකියාවක් තෝරා ගන්නේ කොහොමද? 

දැන් කරන රැකියාව හා අදාළවම නොවිය හැකි වුවත් නලින් ද සිල්වා මෙහෙම කියනවා.

"ඒ අනුව නම් මට සතපහක් ගෙවන්න ඕන නැහැ. මා මහන්සිලාවෙලා පාඩම් කරලත් නැහැ වෙන කිසිම දෙයක් කරලත් නැහැ. මා කැමති දේ පමණක් කරනවා. මා අංක එකේ ආත්මාර්ථකාමියෙක් වෙන්න ඇති."

ඒ අතර, අජිත් පැරකුම් මෙහෙම කියනවා.

"මා වැඩ කරන්නේ මගේ ජීවිත අරමුණු කීපයක් සාක්ෂාත් කරගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකසා ගැනීමට වුව ද, අවසානයේදී මගේ වැඩකිරීම හසුරුවනු ලබන්නේ මගේ එකී අවශ්‍යතාව විසින් නොව මට ලැබෙන වැඩ විසිනි."

නලින් ද සිල්වා, අජිත් පැරකුම් වගේම වෙනත් ඕනෑම කෙනෙක් ප්‍රමුඛතාවය දෙන්නේ තමන් කැමති, තමන්ට සතුටු විය හැකි දෙයක් කරන්නයි. නමුත්, ඒ විදිහට තමන් කැමති දෙයම කරන්න ඉඩ ලැබෙනවාද කියන එක තීරණය වෙන්නේ බාහිර කරුණු මතයි. මේක අර මුලින් කී සමාජවාදී විග්‍රහය අනුව පැහැදිලි කරන්න බැහැ. 

ඕනෑම කෙනෙක් තමන් සතුටු දේ කළාම වටිනාකම් නිර්මාණය වෙනවානම් කරන්න තියෙන්නේ දවසේ නියමිත පැය ගණනක් මහන්සි වෙලා තම තමන් කැමති දේවල් කරන එකයි. වටිනාකම් නිර්මාණය වෙන්නේ යොදවපු ශ්‍රමයට සමානුපාතිකවනම් මොනවා කළත් අවුලක් නැහැනේ. හැබැයි එහෙම කළොත් කාටත් වෙන්නේ ආඬි හත් දෙනාගේ කැඳ හැලිය බෙදාගෙන බොන්න බව ඉතාම පැහැදිලියි. තමතමන් කැමති දේවල් කළ පමණින් වටිනාකම් නිර්මාණය වෙන්නේ නැහැ. 

නලින් ද සිල්වා, අජිත් පැරකුම් හෝ සෞම්‍ය ලියනගේ කරන දේවල් වල වටිනාකම තීරණය කරන්නේ වෙනත් අයයි. එය තමන්ට තීරණය කරන්න බැහැ. කරපු දෙයින් වෙන කාටවත්ම වැඩක් නැත්නම් එතැන කරපු දෙයක් නැහැ. අනෙක් අතට කාට හෝ වැඩක් වෙලානම් කොයි තරම් මහන්සි වෙලාද කියන එක වැදගත් නැහැ. ධනවාදී ක්‍රමයක් ඇතුළේ තමන් කරපු දේ වෙනුවෙන් ලැබෙන්නේ මොනවාද කියන එක තීරණය වෙන්නේ ඒ කරපු දේවල් වෙනත් අයට කොයි තරම් වටිනවාද කියන එක මතයි.

අනුන්ට වටිනාකමක් තියෙනවාද නැද්ද කියන එක ගැන වැඩිය වද නොවී "මා කැමති දේ පමණක් කරනවා" කියන නලින් ද සිල්වා වගේ කෙනෙක්ට එහෙම තමන් කැමති දේ පමණක්ම කරන්නනම් "මට සතපහක් ගෙවන්න ඕන නැහැ" කියන පදනමෙන් වැඩ කරන්න වෙනවා. නමුත්, යම් තරමකින් තමන් කැමති දේ කරන අතරම ඒ වෙනුවෙන් යම් ගෙවීමක්ද බලාපොරොත්තු වන අජිත් පැරකුම් වැනි කෙනෙකුගේ වැඩකිරීම හසුරුවනු ලබන්නේ ඔහුගේ එකී අවශ්‍යතාව විසින් වගේම ඔහුට ලැබෙන වැඩ අනුවයි.

මේ කරුණු අනුව, එක දෙයක් පෙන්වා දෙන්න පුළුවන්. කවුරු හෝ කෙනෙක් තමන් කැමති. තමන් සතුටු වන දෙයක් කරද්දී වෙනත් අය ඒ දෙයින් සතුටු වෙනවානම්, ඒ කියන්නේ තමන් කොහොමටත් සතුටු වන දෙයින් වටිනාකම් නිර්මාණය වෙනවානම් අර වැඩ හා විනෝදය කියන දෙක අතර ඉර බොඳ වී යනවා. වැඩ කිරීමම විනෝදයක් බවට පත් වෙනවා. ධනවාදය දියුණු වෙද්දී ශ්‍රම වෙළඳපොළ පරිණාමය වෙන්නේ මේ වගේ තැනකටයි. 

අපි හිතමු ග්‍රාමීය මට්ටමේදී ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් ගැන. ආර්ථික ක්‍රමය කුමක් වුනත්, හැමෝටම ආහාර අවශ්‍යයි. ආහාර සපයා ගැනීම සඳහා හැමෝටම වගේ වැඩ කරන්න වෙනවා. මේ අතරින් කිහිප දෙනෙක් එසේ වැඩ කිරීමෙන් විනෝදයක් ලබනවා වෙන්න පුළුවන්. නමුත්, විශාල පිරිසකට මෙය විනෝදයක් නෙමෙයි. තමන්ගේ වත්තේ, තමන්ගේ කුඹුරේ වැඩ කළා කියලා මෙය වෙනස් වෙන්නේ නැහැ. මෙතැන තියෙන්නේ වැඩ කිරීමේ රුචිකත්වය පිළිබඳ ප්‍රශ්නයක් මිසක් සූරාකෑම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි.

ධනවාදය තුළ වෙළඳපොළ ප්‍රසාරණය වෙද්දී සිදු වෙන්නේ ඔය විදිහට තමන් අකැමැති රැකියා කරන අය ක්‍රමයෙන් තමන් කැමති රැකියා කරා විතැන් වීමයි. හැමෝටම වගේ ආහාර වල වටිනාකමක් තිබෙනවා. එහෙත්, බහුතරයකට නොතේරෙන දාර්ශනික ප්‍රවාදයක වටිනාකමක් තියෙන්නේ ඉතාම කලාතුරකින් කෙනෙක්ටයි. සරල ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් ඇතුළේ මාර සිරා දාර්ශනිකයෙකුට ඉල්ලුමක් නැහැ. එවැන්නෙකුගේ ශ්‍රමයට හුවමාරු වටිනාකමක් නැහැ. ඒ නිසා දර්ශනය පැත්තකට දමලා අකැමැත්තෙන් වුනත් කුඹුරට බහින්න වෙනවා. නැත්නම් හාමතේ මැරෙන්න වෙනවා. වෙළඳපොළ විශාල ලෙස ප්‍රසාරණය වීමේ වාසිය වන්නේ බොහෝ දෙනෙක්ට වටිනාකමක් නැති, තමන් කරන්න කැමති දෙයට වටිනාකමක් දෙන පුද්ගලයෙක් කොහෙන් හෝ හමු වීමයි.

ධනවාදය යටතේ වුවත් හැම පුද්ගලයෙකුටම තමන් කැමතිම දේ කරන්න ලැබෙන බවට සහතිකයක් නැහැ. එහෙම කරනවානම් කරන්න වෙන්නේ කවුරුවත් "සතපහක් ගෙවන්න ඕන නැහැ" කියන පදනමිනුයි. හැමෝම තමන් වඩාත්ම කැමති දේවල් තෝරා ගත්තොත් සමාජවාදයක් යටතේ වගේම ධනවාදයක් යටතේත් කවුරු හෝ විසින් කළ යුතු, කවුරුත් කරන්න කැමති නැති වැඩ කොටසක් කරන්න කෙනෙක් නැතිව ඉතිරි වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේ අවස්ථාවක ශ්‍රම වෙළඳපොළ අසමතුලිතතාවය නිසා ඒ අකැමැති වැඩේ කරන්න අවශ්‍ය ශ්‍රමය වෙනුවෙන් ගෙවන මිල ඉහළ යනවා. ඔය විදිහට මිල ඉහළ යද්දී, එක අවස්ථාවක වැඩේ කරන්න ප්‍රමාණවත් පිරිසක් එකතු වෙනවා. වැඩේ තමන් කරන්න කැමතිම දෙය නොවූවත්, ලැබෙන ගණන බැලුවහම පාඩුවක් නැහැ!

සමාජවාදයක් යටතේ "තමන්ට හැකි ප්‍රමාණයට සමාජයට තමන්ට අවශ්‍ය ප්‍රමාණයට සමාජයෙන්" කියල කතාවක් තියෙනවනේ. දැන් ඔය කතාවේ පළමු කොටසේ අදහස වෙන්නේ හැමෝම නිශ්චිත පැය ගණනක් වැඩ කරනවා නමුත් එම පැය ගණන තුළ සිදුවන ඵලදායී කාර්යය සමාන විය යුතු නැහැ කියන එකයි. තමන්ට හැකි ප්‍රමාණයනේ! දෙවන කොටසෙන් ප්‍රයෝගිකව අදහස් වෙන්නේ නිෂ්පාදිතය සමසමව බෙදෙනවා කියන එකයි. ඒ කියන්නේ තමන්ට අවශ්‍ය ප්‍රමාණය තීරණය කරන්නේ සමාජය විසින් මිසක් තමන් විසින් නොවන බවයි. 

ධනවාදය ඇතුළේ තමන්ට අවශ්‍ය ප්‍රමාණය තීරණය කරන්නේ තමන් විසින්. එහෙත්, තමන්ට අවශ්‍ය ප්‍රමාණය සමාජයෙන් ලබා ගන්නනම් අවශ්‍ය පමණ සමාජයටත් දිය යුතුයි. හැකි පමණ සමාජයට දී අවශ්‍ය පමණ සමාජයෙන් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට වඩා සමාජයට දෙන අයගේ සහකම්පනය මත පමණයි. 

මිනිසාට තමන් කැමති වැඩක් කිරීමට තිබෙන අයිතිය ගැන සමාජවාදීන් විසින්ද කතා කරනවා. ඇතැම් අය කියන විදිහට සමාජවාදී ක්‍රමයක් යටතේ පුද්ගලයෙක් විසින් කරන්නේ තමන් කැමති රැකියාවයි. එහෙත්, සියළු දෙනාම තමන් කැමති රැකියා කළොත් සියලු දෙනාට අවශ්‍ය ඇතැම් දේවල් ප්‍රමාණවත් තරමින් නිෂ්පාදනය වෙන්නේ නැහැ. ඒ නිසා, ප්‍රායෝගිකව මේ වැඩේ කරන්න විදිහක් නැහැ. ප්‍රායෝගිකව සිදුවෙන්නේ පක්ෂය විසින් යම් පිරිසක් ඔවුන් අකැමැති රැකියා වලට ඇද දමන එකයි. ධනවාදය යටතේත් යම් පිරිසකට තමන් අකැමැති රැකියා කරන්න සිදු වුනත් එහිදී කිසිවකු බලහත්කාරයෙන් එම රැකියා වලට තල්ලු කරන්නේ නැහැ. වැඩි වැටුප් හරහා ස්වේච්ඡාවෙන් පිරිස් ආකර්ෂණය කර ගන්න එකයි සිදු වෙන්නේ.

මේ වෙනස ඉතා වැදගත් වෙනසක්. සමාජවාදය යටතේ "තමන්ගේ සමාජ වගකීම ඉටු කිරීමට" කිසියම් පිරිසක් ඔවුන් අකැමැති රැකියා වලට බලෙන් තල්ලු කෙරෙනවා. එහෙත්, ඒ වෙනුවෙන් ඔවුන්ට අනෙක් අයට නොලැබෙන දෙයක් ලැබෙන්නේ නැහැ. ධනවාදය තුළ මෙසේ තමන් අකැමැති රැකියා කරන අයට එහි වටිනාකම ලැබෙනවා.

ධනවාදය තුළ කිසියම් රැකියාවක් කරන්න කැමති පිරිස් අඩු වෙද්දී එම රැකියාව හා අදාළ ශ්‍රමයේ මිල ඉහළ යනවා. මේ විදිහට ඉහළ යන ශ්‍රමය විසින් අදාළ රැකියාව ස්වයංකරණය කිරීම සඳහා තාක්ෂනය වැඩි දියුණු කිරීම පිණිස සිදු කෙරෙන ආයෝජන දිරිමත් කෙරෙනවා. අවසානයේදී ස්වයංකරණය විසින් මිනිස්සු කරන්න අකැමැති රැකියා ප්‍රතිස්ථාපනය කෙරෙනවා. ඒ නිසා, අවසාන වශයෙන් හැමෝටම වගේ තමන් කැමති රැකියා කරන්න අවස්ථාව සැලසෙනවා. සමාජවාදී ක්‍රමයක් යටතේ මෙවැනි ජනප්‍රිය නැති රැකියා සඳහා යම් පිරිසක් බලෙන්ම වගේ යොමු කෙරෙන නිසා වේගවත් ස්වයංකරණයක් සඳහා අවශ්‍ය ආර්ථික සාධක සම්පූර්ණ වෙන්නේ නැහැ.

වෙළඳපොළ පුළුල්වීම හා ස්වයංකරණය නිසා ටිකෙන් ටික සිදු වන්නේ "වැඩ" හා "විනෝදය" අතර ඉර මැකී යාමයි. කෙනෙකුගේ "වැඩ" හා "විනෝදය" එකක් වූ විට දවසේ වැඩ කරන පැය ගණන සීමා කිරීම විනෝදය සීමා කිරීමක් බවට පත් වෙනවා. වැඩ කරන තරමට ආන්තික ඵලදායීතාවය ඉහළ ගොස් ශ්‍රමයේ මිල ඉහළ යනවාක් වගේම විනෝදයත් ඉහළ යනවා. මිනිහෙකුට වැඩි වැඩියෙන් විනෝද වෙන්න අවස්ථාව දීම හා වැඩි වැඩියෙන් වැඩ කරන්න අවස්ථාව දීම යන දෙකම එකක් වුනාම වැඩි වැඩියෙන් වැඩ ගැනීම සූරාකෑමක් කියා කියන්න මොකක් හරි පදනමක් ඉතිරි වෙනවද?

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...