වෙබ් ලිපිනය:

Showing posts with label ලිංගික චර්යා. Show all posts
Showing posts with label ලිංගික චර්යා. Show all posts

Saturday, January 25, 2020

ආදම්, ඒව සහ වෙනත් අය


පිරිමියෙකු කුසේ දරුවෙකු පිළිසිඳ ගැනීම බොහෝ දෙනෙකුට සුවිශේෂී පුවතක්. ලංකාවේ වගේම ඇමරිකාව ඇතුළු බටහිර රට වලත් එහෙමයි. මෙයට හේතුව වන්නේ සාමාන්‍ය සම්මතය අනුව දරුවකු පිළිසිඳ ගත හැක්කේ ගැහැණියකගේ කුසේ පමණක් නිසා.

අප බොහෝ විට කෙනෙක්ව පිරිමියෙකු හෝ ගැහැණියක ලෙස පහසුවෙන් වෙන් කර හඳුනා ගන්නවා. ඒ වගේම, පුරුෂයෙකුගෙන් හා ගැහැණියකගෙන් අපේක්ෂා කරන, එකිනෙකට වෙනස් වූ ලක්ෂණ ගණනාවක් තිබෙනවා. මේ ලක්ෂණ වලට ජීව විද්‍යාත්මක කරුණු, සිරුරේ බාහිර පෙනීම, ඇඳුම් පැළඳුම් ආදිය, සමාජ හැසිරීම, ලිංගික හැසිරීම්, නීතිමය කරුණු ආදී බොහෝ දේ ඇතුළත්.

බොහෝ දෙනෙකු හා අදාළව ලොකු ගැටළුවක් ඇති නොවුනත්, යමෙක් පිරිමියෙකු හෝ ගැහැණියක ලෙස ලේබල් කිරීම ඒ තරම්ම සරල කරුණක් නෙමෙයි. ලිංගිකත්වයට මාන ගණනාවක් තිබෙනවා.

1. ජානමය වෙනස්කම් 

ගැහැණුන් හා පිරිමින් ජාන වලින්ම වෙනස්. ගැහැණියකට එකිනෙකට සමාන x වර්ණදේහ දෙකක් තිබෙනවා. පිරිමියෙකුට තිබෙන්නේ එකිනෙකට වෙනස්, එක් x වර්ණදේහයක් හා y වර්ණදේහයක්. ගැහැණියක හා පිරිමියෙකු අතර සංසර්ගයෙන් බිහිවන දරුවෙකුට මවගෙන් හා පියාගෙන් එක් වර්ණදේහය බැගින් ලැබෙනවා. මවට තිබෙන්නේ x වර්ණදේහ දෙකක් නිසා දරුවෙකුට මවගෙන් හැමවිටම උරුම වෙන්නේ x වර්ණදේහයක්. එහෙත්, පියාගෙන් x වර්ණදේහයක් හෝ y වර්ණදේහයක් ලැබෙන්න පුළුවන්. පියාගෙන් ලැබුණේ x වර්ණදේහයනම් දරුවා ගැහැණු දරුවෙකු වෙනවා. පියාගෙන් ලැබුණේ y  වර්ණදේහයනම් දරුවා පිරිමි දරුවෙකු වෙනවා. 

සුලබව දැකිය හැකි තත්ත්වයන් මේවා වුවත්, xx ජාන සහිත ගැහැණු හා xy ජාන සහිත පිරිමි හැර වෙනත් වර්ග වල අයත් ඉඳහිට බිහි වෙනවා. මෙවැනි තත්ත්වයන් සැලකෙන්නේ ජාන විකෘති ලෙසයි. ඇතැම් ජාන විකෘති තත්ත්වයන් නිසා බාහිර පෙනුමේ වෙනසක් වෙන්නේ නැහැ. එහෙත් ඇතැම් විකෘති නිසා බාහිර වෙනස්කම් හා/හෝ විවිධ රෝගී තත්ත්වයන් ඇති වෙනවා.

xxy - ක්ලයින්ෆෙල්ටර් සහලක්ෂණය ලෙස හැඳින්වෙන මේ තත්ත්වයේදී පුද්ගලයෙකුට අමතර x වර්ණදේහයක් ලැබෙනවා. සාමාන්‍ය පිරිමියෙකුට හා ගැහැණියකට තිබෙන්නේ වර්ණදේහ 46ක් පමණක් වුවත්, මේ අයට වර්ණදේහ 47ක් තිබෙනවා. මෙය වඩාත්ම සුලබ ජාන විකෘති තත්ත්වයක් ලෙස හැඳින්විය හැකියි. 500-1000කට පමණ එක් අයෙක්ට xxy වර්ණදේහ පිහිටනවා. y වර්ණදේහය නිසා පිරිමියෙකු වුවත් x වර්ණදේහ දෙකක්ම තිබෙන නිසා ඇතැම් කාන්තා ලක්ෂණ මතු වීමේ ඉඩක් තිබෙනවා.

මීට වඩා දුලබ ක්ලයින්ෆෙල්ටර් සහලක්ෂණ තත්ත්වයන්ද තිබෙනවා. 50000කට එක් අයෙක් xxxy ලෙස වර්ණදේහ 48ක් සහිතවත්, 85000කට එක් අයෙක්  xxxxy ලෙස වර්ණදේහ 49ක් සහිතවත් උපදිනවා.

xyy - මෙහිදී 1000කගෙන් එක් අයෙකුට පමණ අමතර y වර්ණදේහයක් ලැබෙනවා. බොහෝ විට මෙවැනි අය සාමාන්‍ය නිරෝගී පිරිමින් වුවත් කථාකිරීමේ දුර්වලතා ආදී ඇතැම් රෝග තත්ත්වයන් ඇති වීමේ ඉහළ ඉඩක් තිබෙනවා. මෙවැනි අය ඇතැම් ටියුෂන් ගුරුවරුන් විසින් යූටියුබ් හරහා උගන්වන ආකාරයේ බෙල්ල කැපුවත් කඳට කෙළින් හිට ගත හැකි "සුපර් මේල්ලා"නම් නෙවෙයි.

xxx - මෙයත් 1000කගෙන් එක් අයෙකුට පමණ ඇතිවන තත්ත්වයක්. ඉතා කලාතුරකින් xxxx හා xxxxx තත්ත්වයන් ඇති අයද ඉපදෙනවා.

x0 - ටර්නර් සහලක්ෂණය ලෙස හැඳින්වෙන මේ තත්ත්වය 2500කින් අයෙකුට ඇති වෙනවා. මෙවැන්නෙකුට තිබෙන්නේ එක් x වර්ණදේහයක් පමණයි. ඒ නිසා මුළු වර්ණදේහ ගණන 45ක් පමණයි.

xxyy - මේ තත්ත්වය 25000කින් අයෙකුට පමණ ඇති විය හැකියි. මීට අමතරව xxxyy තත්ත්වය ඇති ඉතා සුළු පිරිසක්ද වාර්තා වී තිබෙනවා.

මේ අනුව පැහැදිලි වන පරිදි ජානමය ලෙස බැලූ විට සාමාන්‍ය පිරිමි හෝ සාමාන්‍ය ගැහැණු නොවන වෙනත් කණ්ඩායම් ගණනාවක් සිටිනවා. 

2. ශාරීරික ලක්ෂණ 

සාමාන්‍යයෙන් පිරිමියෙක් කියන්නේ සිරුරෙන් පිටත ලිංගික අවයවයක් ඇති, මුහුණේ රැවුල වැවෙන, පපුව පැතලි අයෙක්. සාමාන්‍ය ගැහැණියකගේ මුහුනේ රැවුල වැවෙන්නේ නැහැ. ලිංගික අවයව තිබෙන්නේ සිරුර ඇතුළට වෙන්නයි. ඔවුන්ගේ පියයුරු ඉදිරියට නෙරා එනවා. එහෙත්, මෙය හැම විටම මෙසේ විය යුතු නැහැ. ජාන වෙනස්කම් නිසා ගැහැණු ලක්ෂණ සහිත පිරිමි හා පිරිමි ලක්ෂණ සහිත ගැහැණු ඉපදෙනවා. සිරුරේ හෝමෝන වෙනස්කම් නිසාත් මෙය වෙනවා. ටෙස්ටටරෝන් හෝමෝනය බාහිරින් ගැනීමෙන් කෙනෙකුට පිරිමි ලක්ෂණ මතු කරගන්න පුළුවන්. ඒ වගේම, ඊස්ට්‍රජන් හෝමෝනය ගැනීමෙන් ගැහැණු ලක්ෂණ ඉස්මතු කර ගත හැකියි. මේ නිසා, කෙනෙකුගේ ශාරීරික ලක්ෂණ හැම විටම ජාන සැකැස්ම සමඟ හරියටම ගැලපෙන්නේ නැහැ.

3. තමන්ට දැනෙන ලිංගිකත්වය 

කෙනෙකුට දැනෙන තමන්ගේ ලිංගිකත්වය ඔහුගේ හෝ ඇයගේ බාහිර පෙනුම සමඟ නොගැලපෙන්න පුළුවන්. ගැහැණු පෙනුම තිබෙන ගැහැණියකට උපන් දා සිටම තමන් පිරිමියෙක් සේ දැනෙන්න පුළුවන්. ඒ වගේම, පිරිමි පෙනුම තිබෙන පිරිමියෙකුට තමන් ගැහැණියක සේද දැනෙන්න පුළුවන්. මේ ආකාරයට "අනුන්ගේ සිරුරක" සිර වී සිටින්නට වීම විශාල වදයක්. හෝමෝන ප්‍රතිකාර හා/හෝ ශල්‍යකර්ම වලින් ලිංග වෙනස්කම් කර ගන්න යොමු වන්නේ එවැනි අයයි.

4. පිටතට පෙන්වන ලිංගිකත්වය 

ඇතැම් ගැහැණු පිරිමි ලෙස අඳින්න පළඳින්න හා හැසිරෙන්න කැමතියි. ඇතැම් පිරිමි ගැහැණු ලෙස හැසිරෙන්න හා අඳින්න පළඳින්න කැමතියි. මෙවැනි අය ඇතැම් විට ශාරීරිකව සාමාන්‍ය ගැහැණු පිරිමි වෙන්න පුළුවන්. ඒ වගේම මේ බාහිර ප්‍රකාශනය ඉහත සඳහන් කළ ඔවුන්ට දැනෙන ලිංගිකත්වයම නොවෙන්නත් පුළුවන්.

5. ලිංගික ආකර්ෂණය 

විවිධ අයට විවිධ ආකාරයෙන් ලිංගික ආකර්ශන ඇති විය හැකියි.
- විරුද්ධ ලිංගිකයන්ට ආකර්ශනය වීම වඩාත්ම සුලබ තත්ත්වයයි.
- සම ලිංගිකයන්ට ආකර්ෂණය වීම 
- විරුද්ධ ලිංගිකයන්ට මෙන්ම සම ලිංගිකයන්ටද ආකර්ශනය වීම 
- විරුද්ධ ලිංගිකයන්ට, සම ලිංගිකයන්ට මෙන්ම මේ දෙකටම නැති අයටද ආකර්ශනය වීම 
- කිසිදු ලිංගික ආකර්ශනයක් නැති වීම 

යමෙකුගේ ලිංගික ආකර්ෂණය, බාහිර පෙනීම, ජාන සැකැස්ම ආදිය අතර සෘජු සම්බන්ධයක් තිබිය යුතු නැහැ.

6. චිත්තවේගීය ආකර්ශනය 

චිත්තවේගීය ආකර්ශනය හා ලිංගික ආකර්ෂණය කරුණු දෙකක්. උදාහරණයක් විදිහට විරුද්ධ ලිංගිකයන්ට මෙන්ම සම ලිංගිකයන්ටද ලිංගිකව ආකර්ශනය වන කෙනෙක් චිත්තවේගීය ලෙස ආකර්ශනය වෙන්නේ විරුද්ධ ලිංගිකයෙකුට පමණක් විය හැකියි.

7. නීතිමය අර්ථ දැක්වීම 

මෙය තීරණය වන්නේ රටේ නීතිය අනුවයි. බොහෝ විට කෙනෙකුට නීතිය අනුව ගැහැණු හා පිරිමි යන දෙගොඩෙන් එකකට වැටෙන්න වෙනවා. 

මෙසේ විස්තර කළ පරිදි ලිංගිකත්වයට මාන ගණනාවක් තිබෙන නිසා එක් මානයකදී පිරිමියෙක් ලෙස සැලකෙන අයෙක් වෙනත් මානයකදී ගැහැණියක් විය හැකියි. ඇතැම් අයට මේ ද්විමය බෙදීම ගැලපෙන්නේ නැහැ.

ලංකාවේ වත්මන් නීති රාමුව තුළ පුද්ගලයෙක් උපතින්ම ගැහැණියක හෝ පිරිමියෙකු වෙනවා. ඇතැම් මාන වලදී මේ විදිහට උපතින් ලැබෙන ලිංගිකත්වය ඇතුළේ නොසිටින අයට අපහාසාත්මක අර්ථයෙන් පොදුවේ "පොන්නයා" කියන වචනය භාවිතා කෙරෙනු දැකිය හැකියි. 

පිරිමි හා ගැහැණු නොවන අනෙකුත් අය එකම පොදු කණ්ඩායමක් නෙමෙයි. ඒ අය අතර එකිනෙකට වෙනස් කණ්ඩායම් විශාල ගණනක් සිටිනවා.

ලංකාවේ උපතක් ලියාපදිංචි කරන විට "පිරිමියාද ගැහැණියද යන වග" සඳහන් කරන්න සිදු වී තිබෙන්නේ යුරෝපීය බලපෑම නිසා. ආබ්‍රහමික ආගම් අනුව දෙවියන් විසින් පිරිමියෙකු හා ගැහැණියක මවනවාට අමතරව වෙනත් වර්ග වල මිනිසුන්ව මවන්නේ නැහැ. ඒ නිසා, ආදම් වැනි පිරිමි හා ඒව වැනි ගැහැණු හැර වෙනත් ලිංගික අනන්‍යතා තිබෙන අය සිටීම ගැටළුවක් මතු කරනවා.

ත්‍රිපිටක සාහිත්‍යයේද ඇතුළුව ඉන්දියානු කලාපයේ දැකිය හැක්කේ චතුර්කෝටික බෙදීමක්. ඒ පුරුෂ, ස්ත්‍රී, නපුංසක හා උභතෝබ්‍යඤ්ජනක ලෙස. නපුංසක වචනය හැදී තිබෙන්නේ පුරුෂ හෝ ස්ත්‍රී නොවන තේරුමෙන්. ඉහත වර්ග කිරීම් අනුව, ගැහැණු හා පිරිමි නොවන අය වැටෙන්නේ මේ ගොඩටයි. උභතෝබ්‍යඤ්ජනක ලෙස හඳුන්වා තිබෙන්නේ ගැහැණු හා පිරිමි ලිංගික අවයව දෙවර්ගයම තිබෙන අයයි. මෙවැනි මිනිසුන් සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්න නැහැ. අවශ්‍යනම් දරුවන් බිහි කරන පිරිමින්ව උභතෝබ්‍යඤ්ජනකයින් ලෙස හඳුන්වන්න පුළුවන්.

Saturday, February 9, 2019

සමරිසිතාවය විකෘතියක්ද?


දවස් කිහිපයකට කලින් අපේ පාඨකයෙක් අහල තිබුණා "ලිංගික දිශානතිය/ ආකර්ෂණය වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන් ඇතිවෙන දෙයක් නිසා, සමරිසිතාවය විකෘතියක් නෙමේද?" කියලා. මේ ගැන කතා කරනවානම් මානව ජීව විද්‍යාව, මානව පරිණාමය, සමාජ පරිණාමය ආදිය ආවරණය වන තවත් කරුණු රැසක් ගැනම කතා කරලා ඉන්න වෙනවා. බාගෙට කතා කළාම ඉස්මතු වන්නේ වැරදි අදහස්. තනි ලිපියකින් අවශ්‍ය හැම දෙයක්ම කතා කරන්න බැහැ. පුළුවන් තරම් කෙටියෙන් අවශ්‍ය වැදගත්ම දේවල් ටික කතා කරන්න බලමු.

මේ ප්‍රශ්නය ඇතුළේ තවත් ප්‍රශ්න තිබෙනවා. අඩු වශයෙන් මූලික ප්‍රශ්න දෙකක්. ප්‍රශ්නය අහල තියෙන්නෙම "ලිංගික දිශානතිය/ ආකර්ෂණය වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන් ඇතිවෙන දෙයක්" කියන පූර්ව උපකල්පනය ඇතුළේ ඉඳලයි. එය හැම විටම එහෙමද? එතකොට "විකෘතියක්" කියන්නේ මොකක්ද?

පරිණාමවාදී දෘෂ්ඨියකින් බලා ඉහත කී පූර්ව උපකල්පනය නිවැරදියි කියා කියන්න පුළුවන්. නමුත්, වර්ගයාගේ පැවැත්ම කියන්නේ වැඩි වැඩියෙන් දරුවන් බිහි කරන එකද?

බොහෝ සතුන් සම්බන්ධව එය එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ වර්ගයා බෝ කිරීම වෙනුවෙන් කරන්න තියෙන්නේ වැඩි වැඩියෙන් ජනිතයන් බිහි කරන එක. කොටසක් මැරෙනවා. ඒ දුර්වල අය. වඩා ශක්තිමත් කොටස ඉතුරු වෙනවා. ඔවුන් පරම්පරාව ඉදිරියට ගෙනියනවා. හදන දරුවන්ගෙන් සෑහෙන කොටසක් දරුවෝ නොහදා පොඩි කාලෙම මැරුණත් වැඩියෙන් දරුවෝ හදපු තරමට වැඩියෙන් දරුවෝ ඉතුරු වෙනවා. වැඩියෙන් දරුවෝ නොහැදුවොත් පරම්පරාව වඳ වෙලා යනවා.

මිනිස්සු සම්බන්ධව මේක වෙන්නේ මේ විදිහටම නෙමෙයි. එයට ජීව විද්‍යාත්මක හා පරිණාමික හේතු තිබෙනවා.

මිනිස් කාන්තාවකගේ කුසේ ඕනෑම වෙලාවක දරුවෙක් පිළිසඳ ගන්නේ නැහැ. එය සිදු විය හැක්කේ ඇගේ ඩිම්බකෝෂයකින්  ඩිම්බයක් නිකුත් වීමෙන් පසු පළමු පැය 24 ඇතුළත පමණයි. මේ කාලය පැය 12ක් තරම් අඩු වෙන්නත් පුළුවන්. ඩිම්බයක් නිකුත් වෙන්නේ දවස් 28කට පමණ වරක් පමණයි. ඇතැම් කාන්තාවන් හා අදාළව මේ කාල පරතරය ඊටත් වඩා වැඩියි.

පිළිසඳ ගැනීමක් වෙන්නනම්, මේ පැය 24 ඇතුළත ඩිම්බය එක්ක ශුක්‍රාණුවක් එකතු විය යුතුයි. ඒ සඳහා එක්කෝ ඒ කාලය තුළ පිරිමියෙක් ඇගේ සිරුර තුළට ශුක්‍රාණු මුදා හැරිය යුතුයි. එසේ නැත්නම්, කලින් ඈ වෙත මුදා හැරිය ශුක්‍රාණු ඒ වන විට ඇගේ ප්‍රජනන පද්ධතිය තුළ නිරුපද්‍රිතව තිබිය යුතුයි. ශුක්‍රාණු වලට සාමාන්‍යයෙන් ගැහැණියකගේ ප්‍රජනන පද්ධතිය තුළ නිරුපද්‍රිතව ජීවත් විය හැක්කේ දින 5-6ක් පමණයි. ඒ නිසා, ලිංගික ආකර්ශනය ඇති වන්නේ වර්ගයාගේ පැවැත්ම පිණිස දරුවන් බිහි කිරීම සඳහාමනම්, ගැහැණු හා පිරිමි ලිංගිකව ආකර්ශනය විය යුත්තේ ගැහැණියකගේ සිරුරෙන් ඩිම්බයක් නිකුත් වෙන්න ආසන්න දින 5-6 ඇතුළත පමණයි.

ගැහැණු හා පිරිමි අතර ලිංගික ආකර්ෂණය ඔය කියන දින 5-6ට සීමා නොවන බව අපි දන්නවා. "අවසර කල් රහස් තැන" ලිංගික ආකර්ශනයක් ඇති වෙන්නේ ගැහැණිය ඉන්නේ මාසික චක්‍රයේ පිළිසිඳ ගැනීමක් සිදුවිය හැකි අවස්ථාවකනම් පමණක් නෙමෙයි. ඒ ඇයි?

පළමුව මිනිස් ගැහැණියක් දෙස බලා ඇය සිටින්නේ දරුවෙකු හැදිය හැකි අවස්ථාවකද නැද්ද කියා පහසුවෙන් දැන ගැනීමේ හැකියාවක් මිනිස් පිරිමින්ට නැහැ. එය මිනිස් පිරිමින්ට සංවේදී වෙනවානම් ඒ ඉතාම යාන්තමිනුයි. ඒ තියා, තමන්ගේ ගර්භාෂයෙන් ඩිම්බයක් නිකුත් වෙන වෙලාව අඩු ගානේ මිනිස් ගැහැණියක්වත් හරියටම දන්නේ නැහැ.

බොහෝ ක්ෂීරපායී සතුන් හා අදාළව මේ තත්ත්වය වෙනස්. ඇතැම් වර්ග වල ගැහැණු සතුන්ගේ සිරුරෙන් ඩිම්බයක් නිකුත් වෙන්න ආසන්න වෙන විට ඇගේ යෝනි පෙදෙසේ හෝ ආසන්න පෙදෙසක පැහැය වෙනස් වෙනවා. එසේ නැත්නම් ඒ පෙදෙස ඉදිමී විශාල වෙනවා. එසේත් නැත්නම් ඒ දවස් වලට ඇගේ සිරුරෙන් කිසියම් රසායනිකයක් නිකුත් වෙනවා. පිරිමි සතුන්ට මේ වෙනස්කම් පැහැදිලිව පෙනෙනවා. නැත්නම් දැනෙනවා. ගැහැණු හා පිරිමි සත්තු අතර ලිංගික ආකර්ශනයක් ඇති වන්නේ එයින් පසුවයි. ඒ නිසා, අනෙක් හැම ක්ෂීරපායී සතාම නොවුනත් බොහෝ සත්තු ලිංගිකව ආකර්ශනය වන්නේ වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන් අළුත් ජනිතයින් බිහි කළ හැකි කාල සීමාව ඇතුළත පමණයි. හැමදාම නැහැ. හැමතැනම නැහැ.

පරිණාමයේ යම් අවදියකදී මිනිස්සුන්ගේ ඉහත කී සංවේදීතාවය මුළුමනින්ම වගේ නැති වී ගිහින්. ගැහැණියකගේ සිරුර තුළ ඩිම්බයක් නිකුත් වන අවස්ථාව ඈ දෙස පිටින් බලා හඳුනා ගන්න බැහැ. එය ඇයටවත් දැනෙන්නේ නැහැ. ඒ නිසා මිනිස් ගැහැනියක් ඇගේ මාසික චක්‍රය පුරාම ලිංගිකව සක්‍රීයයි. වෙනත් ඇතැම් සතුන්ට මෙන් ගැහැණියකට ඇගේ මාසික චක්‍රයේ එක් කාලයකදී පිරිමින් ගැන උනන්දුව මුළුමනින්ම නැති වෙන්නේ නැහැ. කොහෙත්ම දරුවකු පිළිසිද නොගන්නා දවස්වලත් ඇයට පිරිමින්ව ආකර්ශනය කරගත හැකියි. මෙහි ප්‍රතිඵලය කුමක්ද?

ගැහැණියකගේ සිරුරේ දරුවෙකු පිළිසිඳ ගන්නා දවස් කිහිපය තුළ පමණක් ඇයව පිරිමියෙකුට ආකර්ශනය වුනානම් බොහෝ විට සිදු වන්නේ ඒ දවස් පහ හය ඇතුළත පමණක් පිරිමියෙකු ඈ ලඟින්ම සිට ඉතිරි දවස් වල වෙනත් සහකාරියන් පස්සේ වැටෙන එකයි. නමුත්, ගැහැණු සිරුරක දරුවෙකු හැදෙන දවස් දැන ගැනීමේ හැකියාව නැති වීම නිසා මිනිස් පිරිමි එක් ගැහැනියක් සමඟ දිගටම ඉන්නවා. මේ සංවේදීතාව නැති වී ඇති වෙනත් ඇතැම් සතුන් අතරත් මේ පුරුද්ද දැකිය හැකියි.

පරිනාමයේදී සිදුවූ මේ වෙනස්කම හේතුවෙන් මිනිස් පිරිමියෙක් එක් මිනිස් ගැහැණියක් සමඟ වැඩි කාලයක් ගත කිරීම නිසා මිනිස් දරුවෙකුට සාමාන්‍යයෙන් නිශ්චිතව හඳුනාගත හැකි ජීව විද්‍යාත්මක පියෙක් ඉන්නවා. ඒ ගැන පියාට සැක සංකා අඩුයි. මෙහි ප්‍රතිඵලයක් විදිහට මිනිස් දරුවෙකුට ඔහුගේ හෝ ඇගේ දෙමවුපියන්ගෙන් වැඩි කාලයක් පුරා විශාල රැකවරණයක් ලැබෙනවා. මැරෙන එකා මැරී ඉතුරු වෙන එකා ඉතුරුවෙන්න කියා දරුවන් තොගයක් හැදීම වගේම එසේ නොකර හදන දරුවන් ටික දෙනා ලොකු මහත් වන තුරු හොඳින් බලාගැනීමත් වර්ගයාගේ පැවැත්ම තහවුරු කළ හැකි ක්‍රමයක්. සමාජයක් සංකීර්ණ වන තරමට දෙවන ක්‍රමය වඩා සාර්ථකයි.

දැන් මෙතැනදීත් වර්ගයාගේ පැවැත්මට හේතු වෙන්නේ ලිංගික ආකර්ශනයම තමයි. නමුත්, වෙනස් ආකාරයකට. ලිංගික ආකර්ශනය නිසා පඩිපෙළ වගේ ළමයි නොහැදුනත් හැදෙන ළමයි ටික දෙනාට හොඳ රැකවරණයක් හා පුහුණුවක් ලැබෙන නිසා වර්ගයාගේ පැවැත්ම තහවුරු වෙනවා. වෙනත් ආකාරයකින් කිවුවොත් මිනිසුන් හා අදාළව ලිංගික ආකර්ෂණයේ කාර්ය භාරය වැඩි වැඩියෙන් දරුවන් වැදීමේ සිට සමාජ සම්බන්ධතා වඩා හොඳින් පවත්වා ගැනීම දක්වා වෙනස් වෙලා.

දැන් අපි වර්ගයා බෝ කිරීම පැත්තකින්ම තියලා සමාජ සම්බන්ධතා වඩා හොඳින් පවත්වා ගැනීම කියන කරුණට ආවොත් සමරිසිතාවය හරහා වුවත් ඔය වැඩේම වෙනවා. වඩා සමාජශීලී වෙනත් ක්ෂීරපායී සතුන් අතරත් මේ පුරුද්ද දකින්න පුළුවන්.

කොහොම වුනත් ජාන දිගින් දිගටම ව්‍යාප්ත වෙන්න විදිහක් නැතුව මේ වගේ පුරුද්දක් දිගටම පවතින්නේ කොහොමද කියන පරිණාමික ගැටළුව මෙතැනදී මතු වෙනවා. ඒ ගැටළුවට පිළිතුර පැහැදිළි කරන ප්‍රවාදත් කිහිපයක්ම තිබෙනවා.

එක මතයක් වන්නේ සමරිසි දරුවන් බිහි කරන කාන්තාවන් අනෙක් කාන්තාවන්ට වඩා දරුවන් බිහි කරනවා කියන එකයි. දත්ත ඇසුරෙන් මේ ප්‍රවාදයට සාක්ෂි සපයා තිබෙනවා. මේ ප්‍රවාදය අනුව සමරිසියන් දරුවන් බිහි නොකළත්, සමරිසියන් නොවන පවුලේ සහෝදර සහෝදරියන් හරහා සමරිසි ජානය ව්‍යාප්ත වෙනවා.

දෙවන ප්‍රවාදයක් අනුව සමරිසියන් බිහි කරන කාන්තාවන් ගැහැණු දරුවන් බිහි කරන්න වැඩි ඉඩක් තිබෙනවා. ඒ වගේම, සමරිසි ජානය ව්‍යාප්ත වෙන්නේ මවගෙන්. ඒ නිසා, ජානය දිගටම පවතිනවා.

ඉතිහාසය පුරා අද මෙන් සමරිසියන්ට සමරිසි ජීවිත ගෙවන්න ඉඩ නොලැබීමත්, ඔවුන්ට සමාජ බලපෑම නිසා දරුවන් හදන්න වීමත් නිසා මෙම ජානමය පුරුද්ද නැති නොවී පවතින බව තෙවන ප්‍රවාදයකින් කියවෙනවා. සමකාමී ගැහැණුන් හා අදාළව බොහෝ විට දැනටත් පවතින තත්ත්වය මෙයයි. මේ ප්‍රවාදය පමණක් සැලකුවොත් මේ පුරුද්ද පරම්පරා ගණනාවකට පසුව නැති වී යා යුතුයි.

තව හතරවන "යහපත් මාමා" ප්‍රවාදයකුත් තිබෙනවා. මේ අනුව, සමරිසියන්ට තමන්ගේම දරුවන් නැතත් ඔවුන් තම සොයුරු සොයුරියන්ගේ දරුවන් ආරක්ෂාකාරීව හා නිසි පෝෂණය ලබා ලොකු මහත් වී දරුවන් ලබන්න උපකාර කරන නිසා එම ඥාති දරුවන් විසින් දරුවන් හදන්න තිබෙන ඉඩකඩ ඉහළ යාමෙන් ජානය ව්‍යාප්ත වෙනවා.

බොහෝ සත්ත්ව ගහණ වල ගැහැණු සතුන්ගේ වැඩි ආකර්ෂණය ලබන්නේ වැඩිපුර පිරිමි ගති තිබෙන සටන්කාමී පිරිමි සතුන් වුවත්, දරුවන් ලොකු මහත් කර ගැනීමට අනෙක් සතුන්ට වඩා විශාල ආයෝජනයක් කළ යුතු මිනිස් ගැහැණුන් පිරිමින්ගෙන් යම් තරමකට ගැහැණු ගතිත් හොයනවා කියන එක මත පදනම් වූ පස්වන ප්‍රවාදයකුත් තිබෙනවා. මේ අනුව, ගැහැණුන්ගේ වැඩි ඉල්ලුම තිබෙන්නේ ගොඩක්ම පිරිමි ගති නැති, යම් තරමකට ගැහැණු ගතිත් තිබෙන පිරිමින්ටයි. එවැනි පිරිමින් දරුවන් වඩා හොඳින් රැක බලා ගන්න නිසා ඔවුන් ලොකු මහත් වී දරුවන් හදන්න තිබෙන ඉඩකඩ වැඩියි. එවැනි දරුවන්ගේ ජාන වල ගැහැණු ගතිය තවත් පොඩ්ඩක් වැඩි වූ විට ඔවුන් සමරිසියන් වෙනවා කියන එකයි පස්වන ප්‍රවාදය. සමරිසියා ගැහැණු ලක්ෂණ සහිත පිරිමියෙක් හෝ පිරිමි ලක්ෂණ සහිත ගැහැණියක් විය හැකියි.

මේ එක් ප්‍රවාදයක්වත් හරියටම පිළිගැනී නැහැ. කොහොම වුනත් මිනිස්සු අතර කාලයක් තිස්සේම සමරිසි චර්යාව පැවතී තිබෙන බවත්, ඇතැම් සතුන් අතර පවා මෙම චර්යාව තිබෙන බවත්, සමරිසි චර්යාවට ජානමය සම්බන්ධයක් තිබෙන බවත් පැහැදිලියි. අවසන් කරුණට සාක්ෂියක් ලෙස සමජාතීය නිවුන්නු දෙන්නෙක්ගෙන් එක් අයෙක් සමරිසියෙක්නම් අනෙක් කෙනාත් එසේ වෙන්න වැඩි ඉඩක් ඇති බවත්, විෂමජාතීය නිවුන්නු අතර එවැන්නක් නොපෙනෙන බවත් පෙන්වා දී තිබෙනවා.

ඒ ළඟ කරුණ විකෘතියක් කියන්නේ මොකක්ද කියන එකයි. විකෘතියක් ගැන කතා කළ හැක්කේ ප්‍රකෘතියකට සාපේක්ෂයි. හැම දෙනාටම හැම කලටම එකඟ විය හැකි එවැනි ප්‍රකෘති ස්වභාවයක් කියා එකක් තිබෙනවද?

දැන් මෙහි ප්‍රකෘතිය වන්නේ පරිපූර්ණ මිනිසෙක්. විකෘති, ශාරීරික හා මානසික රෝග ආදිය අර්ථදැක්වෙන්නේ මේ ප්‍රකෘතියට සාපේක්ෂවයි. කාලය, සංස්කෘතිය, දැනුම ආදිය එක්ක ප්‍රකෘතිය වෙනස් වෙනවා. පෙති ගෝමර, මල් ගෝමර ආදිය කාලයකදී ගැහැණියකගේ රූ සපුව විස්තර කරන ලකුණු. තවත් කාලයකදී මේවා චර්ම රෝග වෙනවා. නල දත් පිහිටීම ඇතැම් සමාජ වල ඇතැම් කාල වල සැලකෙන්නේ වාසනාවන්තකමේ ලකුණක් විදිහටයි. ලංකාවේ ජනප්‍රිය නිලියන් ගණනාවකට නල දත් පිහිටා තිබෙනවා. නමුත්, සමකාලීන ඇමරිකානුවන් මෙය සලකන්නේ අනිවාර්යයෙන්ම නිවැරදි කළ යුතු විකෘතියක් ලෙසයි. ස්වෙච්ඡතා රෝගයේ අර්ථදැක්වීම වෙනස් කිරීමෙන් පසුව එක් වරම ස්වෙච්ඡතා රෝගීන් ප්‍රමාණය විශාල ලෙස ඉහළ ගියා. සමරිසි සේවනය විකෘතියක්ද නැද්ද කියන එකත් අවසාන වශයෙන් සමාජය විසින් තීරණය කරන දෙයක්.

මේ කරුණ ගැන ලියන්න කියා ඉල්ලපු ඇනෝ සමරිසි සේවනය කෞමාර කාමයෙන් හා සත්ත්ව කාමයෙන් වෙනස් වන්නේ කොහොමද කියන ප්‍රශ්නය අහල තියෙනවා. වෙනත් බොහෝ සම්මත වගේම පසු කී කරුණු දෙක මානසික රෝග බවත්, සමරිසි සේවනය ප්‍රකෘතියේ කොටසක් බවත් තීරණය කරන්නේ සමාජය විසිනුයි. මේ සම්මතයේ පදනම වෙන්නේ සමරිසි සේවනය වැඩිහිටියන් දෙදෙනෙකු අතර කැමැත්තන් සිදුවන ගනුදෙනුවක් කියන එකයි.

සත්වකාමී පුද්ගලයෙකු ගනුදෙනුවකට කැමති වුවත් මිනිසෙකුට හෝ ගැහැණියකට මේ ගණුදෙනුවට සතෙකුගේ තිබෙන  කැමැත්ත දැනගන්න විදිහක් නැහැ. ඒ නිසා, ඒ විදිහට කැමැත්ත දෙන්න නොහැකි අල්ලපු ගෙදර සුරතලේට හදන පොමරේනියන් බල්ලා තමන්ගේ ඒකපාර්ශ්වික කැමැත්ත මත පමණක් පදනම්ව තමන්ගේ අවශ්‍යතාවය පිණිස ප්‍රයෝජනයට ගන්නා මිනිසෙකුට අවසානයේදී විකෘතියක් ඇති මිනිසෙක් සේ ලේබල් වෙන්න වගේම පොලීසි යන්නත් සිදු වෙනවා. මෙතැනදී බල්ලාගේ අයිතිවාසිකම් ගැන සමාජය සංවේදීයි. බල්ලා මිය ගියත් බල්ලාගේ අයිතිකරුවන් බල්ලා බේරාගන්න අවශ්‍ය ප්‍රතිකාර කරනවා. තමන්ගේ සතුට වෙනුවෙන් බල්ලාව යොදාගෙන ඔහුව මරණයට පත් කරන අයෙක් මානසික රෝගියෙක් හෝ අපරාධකරුවෙක් විය හැකි වුවත්, කුකුළෙක් හෝ සේනා දළඹුවෙක් මරා දැමීම විකෘතියක් සේ සැලකෙන්නේ නැහැ.

කෞමාර කාමයේදී ඇතැම් විට බාලවයස්කරුවෙකුගේ කැමැත්ත තිබෙන්න හෝ විරෝධයක් නැති වෙන්න පුළුවන්. නමුත්, මෙවැනි අත්දැකීමක් ලබන දරුවෙකුට බොහෝ විට එහි හානිකර බලපෑම් ජීවිත කාලය පුරාම අත් විඳින්න වෙන්න පුළුවන්. බාල වයස්කරුවෙකුගේ කැමැත්ත පූර්ණ කැමැත්තක් සේ සැලකෙන්නේ නැහැ. නමුත්, මෙතැනදීත් බාලවයස්කරුවෙකු කියන එක සමාජ සම්මතයක්. ඇමරිකාවේදී වෙළඳසැලකින් මත්පැන් මිල දී ගත හැක්කේ වයස අවුරුදු 21 සම්පූර්ණ වූ අයෙකුට පමණයි. නමුත්, කැනඩාවේදීනම් ප්‍රාන්තය අනුව මේ වයස් සීමාව අවුරුදු 18ක් හෝ 19ක් පමණයි.

පසුගිය දිනක වාර්තා වී ඇති පුවතක් අනුව දෙමවුපියන් විසින් ඔවුන්ගේ පහළොස් හැවිදිරි දියණියට පුවත්පතක මංගල දැන්වීම් හරහා සහකාරයෙක් තෝරා ගෙන විවාහය තීන්දු කිරීමෙන් පසුව, ඔහුගේ සොහොයුරියකගේ නිවසේ පදිංචියට ගොස් තිබෙනවා. එහිදී මේ යෝජිත යුවල අතර සම්බන්ධය කෙළවර වී තිබෙන්නේ අදාළ තරුණයා ස්ත්‍රී දූෂණ චුදිතයෙක් වීමෙන්. ඔහුගේ ආගමික පසුබිම වෙනත් එකක් වුනානම් ඔහුට මේ චෝදනාව එල්ල විය නොහැකිව තිබුණා. වැරදි, විකෘති ආදිය තීරණය කරන්නේ සමාජය විසිනුයි.

සමකාමය ජානමය හේතු මත ඇති වන්නක් වෙන්න පුළුවන්. එය එසේ නොවුනත්, එය දැනුම් තේරුම් තිබෙන වැඩිහිටියන් දෙදෙනෙකු අතර සිදුවන ගනුදෙනුවක්. එයින් දෙදෙනාම සතුටු වෙනවානම් එහි ඇති වැරැද්දක් මම දකින්නේ නැහැ. මුලින්ම කී පරිදි, වැඩිහිටි ගැහැණු හා පිරිමි අතර සම්බන්ධතා ඇති වන්නේත් දරුවන් හැදීමේ හෝ වර්ගයා බෝ කිරීමේ අරමුණින්ම නෙමෙයි. ඒ නිසා, ඒ හේතුව මත පළමුවැන්න විකෘතියක් කියා කියන්න බැහැ.

ඇතැම් විට මේ වගේ ගනුදෙනුවකදී ලිංගික ආකර්ශනය තිබෙන්නේ එක් පාර්ශ්වයකට පමණක් වෙන්න පුළුවන්. අනෙක් පාර්ශ්වයට තිබෙන්නේ කිසියම් මූල්‍යමය හෝ වෙනත් වාසියක් ලබා ගැනීමේ අරමුණ වෙන්න පුළුවන්. එය එහෙම වුනත්, එහි ඇති වැරැද්දක් නැහැ. අවසාන වශයෙන් ගනුදෙනුව සිදුවෙන්නේ දෙපාර්ශ්වයේම කැමැත්තෙන්. ගැහැණු හා පිරිමි අතරත් එවැනි ගනුදෙනු සිදු වෙන්න පුළුවන්.

මෙතැනදී කතා කළ යුතු තවත් කරුණක් වන්නේ වර්ගයා බෝ කිරීම කියන්නේ කුමක්ද කියන එකයි. බොහෝ සතුන් හා අදාළව වර්ගයා බෝ කිරීම කියා කියන්නේ තමන්ගේ ජාන ව්‍යාප්ත කිරීමයි. ඒ මගින් තමන් නැතත් තමන් වැනි වූ අයගේ පැවැත්ම තහවුරු කෙරෙනවා. කෙසේ වුවත්, මිනිසුන් හා අදාළව ගත් විට තමන් වගේ අය පවතින බව තහවුරු වෙන්නේ තමන්ගේ ජාන ව්‍යාප්ත කිරීම මගින්ම නෙමෙයි.

මිනිසෙක් මිනිසෙක් වන්නේ ඔහු හෝ ඇය ජීව විද්‍යාත්මකව හැදී තිබෙන ආකාරය පමණක් අනුව නෙමෙයි. මිනිසෙකු සතු දැනුම, මිනිසෙකුගේ සංස්කෘතිය ආදියත් මිනිසෙකුව මිනිසෙකු බවට පත් කරනවා. ඇතැම් විට මිනිසෙකුගේ "වර්ගය" තීරණය කරන ප්‍රධාන සාධක මේ දෙවැනියට සඳහන් දේවල් වෙන්න පුළුවන්. එහෙම හිතන කෙනෙක් වැඩි වැඩියෙන් දරුවන් හදන එක පැත්තකට දමලා වෙනත් ආකාරයකින් තමන්ගේ වර්ගයා බෝ කරන්න පටන් ගන්න පුළුවන්. ඒ ක්‍රියා මාර්ගයේදී තමන්ගේ ජීවවිද්‍යාත්මක දරුවන් විසින් දරුවන් හදා තමන්ගේ ජාන ඉදිරියට ගෙන යන එක වලක්වන්න පුළුවන්. එසේ කළ ඇතැම් අය තමන්ගේ "වර්ගයා" වසර දහස් ගණනක් නොනැසී පවත්වා ගන්න සමත් වී තිබෙනවා.


Tuesday, May 8, 2018

එච්අයිවී වෛරසය සම්ප්‍රේෂණය වන්නේ කොහොමද?


එච්අයිවී ආසාදිතයෙකු සමඟ අනාරක්ෂිත ලෙස ලිංගිකව එක් වීමේදී එච්අයිවී වයිරසය නිරෝගී අයෙකු වෙත සම්ප්‍රේෂණය වන්නට ඉඩ තිබෙන බව කවුරුත් වාගේ දන්නා කරුණකි. ගැහැණියක හා පිරිමියෙකු අතර සාමාන්‍ය ක්‍රමයට සිදුවන ලිංගික එක්වීමකදී පිරිමියාගෙන් ගැහැණියට වෛරසය සම්ප්‍රේෂණය වන්නට 0.008%ක (1250කට 1ක්) පමණ ඉඩක්ද ගැහැණියගෙන් පිරිමියාට සම්ප්‍රේෂණය වන්නට 0.004%ක (2500න් 1ක්) ඉඩක්ද තිබේ. ගුද සංසර්ගයේදී ගැහැණියකට හෝ පිරිමි ප්‍රතිග්‍රාහකයෙකුට වෛරසය සම්ප්‍රේෂණය වීමට ඇති සම්භාවිතාව 1.4% (71කට 1ක්) තරම් විශාලය.

පුද්ගලයින්ගේ ලිංගික හැසිරීම් පිළිබඳ නිවැරදි තොරතුරු ලබාගැනීම මෙන්ම ලිංගික සහකරුවකු හෝ සහකාරියක එච්අයිවී ආසාදිතයෙකුදැයි දැන ගැනීමද පහසු කටයුත්තක් නොවන නිසා ඉහත ඇස්තමේන්තු සැලකිය හැක්කේ ඉතා දළ ඇස්තමේන්තු වශයෙන් පමණි. කෙසේ වුවත්, එච්අයිවී ආසාදිතයෙකු සමඟ වරක් පමණක් අනාරක්ෂිත ලෙස ලිංගිකව එක් වීමෙන් පසුව වුවද වෛරසය ශරීරගතව නොතිබෙන්නට ඇති ඉඩකඩ 99%කටත් වඩා වැඩිය. ඒ නිසා, එවැනි අවස්ථා ඕනෑ තරම් තිබිය හැකි අතර එයින් එච්අයිවී වෛරසය ලිංගිකව සම්ප්‍රේෂණය වන්නේය යන මතය බොරු වන්නේ නැත. මෙවැනි අනාරක්ෂිත ලිංගික හැසිරීම් වැඩිවන තරමට ඉහත අවදානමද ඉහළ යයි.

ලිංගික එක් වීමකදී එච්අයිවී වෛරසය සම්ප්‍රේෂණය වන්නේ කෙසේද? එයින් පසුව සිදුවන්නේ කුමක්ද?

ප්‍රංශ පර්යේෂකයින් පිරිසක් විසින් මෙය සිදුවන ආකාරය වීඩියෝගත කරන්නට සමත්ව තිබේ. මෙහිදී ඔවුන් විසින් මුලින්ම කරන්නේ ලිංගාශ්‍රිත පටක විද්‍යාගාර දීසියක් තුළ නිෂ්පාදනය කිරීමයි. මේ පටක ආකෘතියට ලිංගාශ්‍රිත පටක මතුපිට ඇති අපිච්ඡද සෛලද ඇතුළත්ය. දෙවනුව ඔවුන් එච්අයිවී වෛරසය පහසුවෙන් හඳුනාගත හැකි පරිදි කොළ පැහැ ප්‍රතිදීප්ත එළියක් විහිදුවන ප්‍රෝටීනයක් එයට එකතු කිරීමෙන් පසුව එච්අයිවී ආසාදිත, ප්‍රතිශක්තිකරණ පද්ධතිය හා අදාළ සෛල ලිංගාශ්‍රිත පටක ආකෘතිය වෙත මුදා හරී.

ආසාදිත සෛල වලින් ලිංගාශ්‍රිත පටක මතුපිට ඇති අපිච්ඡද සෛල වෙත එච්අයිවී වෛරසය වෙඩි තබන්නාක් මෙන් වේගයෙන් මුදා හරින ආකාරය වීඩියෝවේ පැහැදිලිව සටහන් වී තිබේ. කෙසේවුවද, මේ වෛරසය අපිච්ඡද සෛල ආසාදනය නොකරන අතර සිය ඉලක්කය වන ප්‍රතිශක්තිකරණ සෛල වෙත ළඟා වී ඒවා ආසාදනය කරයි. මෙහිදී සිදු කර ඇති අනපේක්ෂිත නිරීක්ෂණයක් වන්නේ මේ අයුරින් එච්අයිවී වෛරසය වේගයෙන් මුදාහරින්නේ ප්‍රතිශක්තිකරණ සෛල වලට ආසන්නව මතුපිටින් ඇති අපිච්ඡද සෛල වෙත පමණක් වීමයි.

වෛරසය ශරීරගත වීමෙන් පසුව එය ක්‍රියාකරන ආකාරයද පරීක්ෂණ කණ්ඩායම විසින් නිරීක්ෂණය කර ඇති අතර මේ හා අදාළ තොරතුරු "සෙල් රිපෝර්ට්ස්" ජර්නලයේ අද (මැයි 8) කලාපයේ පළ කර තිබේ. ඔවුන්ගේ නිරීක්ෂණ වෛරසය පාලනය කිරීම හා සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා උදවු වනු ඇති බව පර්යේෂකයින්ගේ අදහසයි.

වීඩියෝව සඳහා සබැඳියක් පහත තිබේ.

https://www.livescience.com/62508-hiv-infect-cells-real-time-video.html?utm_source=notification



(Image: http://ahotoronline.com/assin-north-records-218-hiv-cases/)


Saturday, January 28, 2017

සේනා සිංහ ප්‍රශ්නය

සමරිසි අයිතීන් ගැන ඇති වූ කැබිනට් සාකච්ඡාවකදී අමාත්‍ය සුජීව සේනසිංහ විසින් ඇසුවේයැයි මාධ්‍ය වල වාර්තා වී තිබුණු ප්‍රශ්නයක් නිසා සුජීව සේනසිංහ සමාජ මාධ්‍ය තුළ බයිට් වී තිබුණේය. වාර්තා වී ඇති පරිදි අදාළ ප්‍රශ්නය මෙවැන්නකි.

"දැන් මේ නීතිමය වෙනසින් පසුව සතුන් සමග ලිංගිකව හැසිරීමත් නීතිගත වෙනවාද?"

ඇතැම් අය මේ ප්‍රශ්නය අර්ථකථනය කර තිබුණේ සුජීව සේනසිංහගේ දැනුම පිළිබඳ ප්‍රශ්නයක් ලෙසිනි. තවත් අය මෙය ඔහුගේ ආකල්ප පිළිබඳ ප්‍රශ්නයක් ලෙස හඳුනාගෙන තිබුණේය.

සේනාසිංහගේ ප්‍රශ්නය කලින් කලට ඇතැම් සේනා වල අයිතිකාරයින් සිංහයින් වන්නට අසන ආකාරයේ ගොංපාට් ප්‍රශ්නයක් නොවන්නට ඉඩ තිබේ. නීති විද්‍යාලයේ ඉගෙනුම ලබා නීති වෘත්තිකයෙකු ලෙස කටයුතු කරන සේනාසිංහගේ ප්‍රශ්නය තේරුමක් තිබුණු, ඇසිය යුතු ප්‍රශ්නයක් වූවා විය හැකිය. උඩ පාවෙන කොස් කොළ, ක්‍රෝටන් කොළ මෙන් පරිධියේ ඇති දේවල් මාධ්‍ය තුළ උඩට පැමිණීම අමුතු දෙයක් නොවේ. පාඨකයින්ගේ ඉල්ලුම ඇත්තේ මෙසේ උඩ පාවෙන කොස් කොළ හා ක්‍රෝටන් කොළ වලටය.

සමලිංගික සම්බන්ධතා පැවැත්වීම ලංකාවේ නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස අර්ථ දැක්වෙන්නේ දණ්ඩ නීති සංග්‍රහය මත පදනම්වය. ඉංග්‍රිසීන් විසින් 1883දී හඳුන්වා දුන් දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය අනුව "පිරිමියෙකු, ගැහැණියක හෝ සතෙකු සමඟ සිය කැමැත්තෙන් අස්වාභාවික (against the order of nature) ලෙස ලිංගික සේවනයේ යෙදෙන ඕනෑම තැනැත්තෙකුට වසර දහයක් දක්වා වන බරපතල වැඩ සහිත හෝ රහිත සිර දඬුවමක් ලබා දිය හැකි අතර එයට අමතරව දඩයක්ද නියම කළ හැකිය."

මුල් පණතේ 365A වගන්තිය අනුව ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව පිරිමියෙකු සමඟ අවිනීත ලෙස හැසිරෙන වෙනත් පිරිමියෙකුට වසර දෙකක් දක්වා වන බරපතල වැඩ සහිත හෝ රහිත සිර දඬුවමක් ලබා දීම, දඩයක් නියම කිරීම හෝ මේ දඬුවම් දෙකම ලබා දිය හැකි වූ අතර ඊට අමතරව කසපහර දීමද කළ හැකි විය.

දණ්ඩ නීති සංග්‍රහය මේ වන විට වාර ගණනක් සංශෝධනය වී ඇතත් ඉහත 365 වගන්තිය තවමත් එසේම පවතී. එම මුල් වගන්තියට අමතරව බාලවයස්කරුවන් සමඟ පවත්වන ලිංගික සම්බන්ධතා සඳහා දඬුවම් වඩා දැඩි කරමින් අමතර කොටසක් ඉහත වගන්තියට එකතු වී තිබේ. ඒ අතර, 365A වගන්තිය සැලකිය යුතු ලෙස පුළුල් වී ඇති අතර "පිරිමියෙකු" යන්න "පුද්ගලයෙකු" ලෙස වෙනස් කර තිබේ. දඬුවමින් කසපහර දීම ඉවත් කර ඇත.

මට හිතෙන හැටියටනම් මේ "අස්වාභාවික" හා "අවිනීත" ආදී යෙදුම් වල තියෙන්නේ සංස්කෘතික අර්ථයකි. අස්වාභාවික ලිංගික හැසිරීම් ගැන කතා කළ හැක්කේ ස්වභාවික ලිංගික හැසිරීම් යනු කවරේදැයි නිශ්චිතව හඳුනාගත හැකිනම් පමණි. එහෙත්, සෑම කලකම, සෑම සංස්කෘතියක් තුළම ස්වභාවික ලිංගික හැසිරීම් ලෙස හඳුනා ගැනෙන්නේ එකම දෙයම නොවේ. 

රෝස කැලෙන් ළමයි ඇහිඳ මිනිස් ජනගහණය ස්ථාවරව තබා ගත නොහැකි බව කලක සිටම පොදු දැනුමක් වූ නිසා දරුවන් බිහි කිරීමේ හැකියාව ඇති ගැහැණියක හා පිරිමියෙකු අතර සිදුවන "සාමාන්‍ය" ලිංගික හැසිරීමක් ස්වභාවික ලෙස සැලකිය හැකි වුවත් මේ අදහස වුවද අදටත් එක ලෙස සෑම සමාජයකම පිළි නොගැනේ. විවාහයෙන් බාහිර සම්බන්ධතාවක් වීම, අවම වයස් සීමාවන්, වයස් පරතරයේ වෙනස්කම්, ලේ ඥාතිත්වයේ සීමාවන්, කැමැත්ත ප්‍රකාශ කිරීමෙහි සීමාවන් ආදී විවිධ හේතු මත ගැහැණියක හා පිරිමියෙකු අතර සිදුවන "සාමාන්‍ය" ලිංගික හැසිරීමක් කිසියම් සංස්කෘතියක් තුළ "අසම්මත" "අසාමාන්‍ය" හෝ "අස්වාභාවික" හැසිරීමක් ලෙස අර්ථ දැක්වෙන්නට පුළුවන.

ලංකාවට දණ්ඩ නීති පණත හඳුන්වාදෙන කාලයේ ඉංග්‍රීසින් විසින් ස්වභාවික ලිංගික හැසිරීමක් ලෙස සැලකුවේ විවාහය තුළ ගැහැණියක හා පිරිමියෙකු අතර ඇතිවන "සාමාන්‍ය" ලිංගික හැසිරීමකි. මේ අනුව, විවාහය තුළ වුවද ගැහැණියක හා පිරිමියෙකු අතර ඇතිවන වෙනත් ආකාරයේ ලිංගික හැසිරීම් "අස්වාභාවික" හැසිරීම්ය. එමෙන්ම, සමරිසි හා සත්වරිසි  හැසිරීම් "ස්වභාවික" නැත. මේ දැක්ම තනිකරම වාගේ එවක ඉංග්‍රීසි සදාචාරය මත පදනම් වූවකි. කෙසේවුවද, මෙවැනි ඇතැම් හැසිරීම් "අස්වාභාවික" ලෙස නීතියෙන් හඳුනාගන්නට සිදුවීමෙන්ම පෙනෙන්නේ එවැනි හැසිරීම් "ස්වභාවික" ලෙස කාලයක් තිස්සේ සමාජයේ පැවතී ඇති බවයි.

අස්වාභාවික ලිංගික ක්‍රියාවන්ට දඬුවම් පමුණුවන දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තියෙන් ප්‍රායෝගිකව ඉටු වූ කාර්යයක් හෝ සිදු වූ බලපෑමක් ඇතැයි ම
නොසිතමි. දෙදෙනෙකු අතර ස්ව කැමැත්තෙන් පෞද්ගලිකව සිදුවන ලිංගික කාර්යයන් සොයා බලමින් අස්වාභාවිකත්වය පදනම් කරගෙන නඩු පැවරීම ප්‍රායෝගිකව කළ හැක්කක් නොවේ. මෙය මේ නීතිය ඉවත් කර දැමිය යුතු එක් හේතුවකි. ක්‍රියාත්මක නොවන, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි නීති පොතේ පමණක් තබාගෙන සිටීමෙන් වෙන්නේ සමස්තයක් ලෙස නීතිය හෑල්ලුවට ලක්වීම පමණි.

කෙසේ වුවද, මේ නීතිය ඉවත් කරන්නට හදන්නේ (GSP කතාව පැත්තකින් තිබ්බොත්) ඉහත පදනමින් නොවේ. සමරිසි හැසිරීම් "ස්වභාවික" හැසිරීම්ය යන මතය මුල් කර ගනිමිනි. මේ මතය අනුව, කිසියම් පුද්ගලයෙකුගේ සමරිසි චර්යාව මුළුමනින්ම හෝ යම් කිසි දුරකට ඔහුගේ හෝ ඇයගේ උපතින් ගෙන ආ මිනිස් ස්වභාවය සම්බන්ධ එකකි. එය එසේනම්, ඇත්තටම දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය ඉවත් කරන්නට අවශ්‍ය වන්නේද නැත. ඒ, එම වගන්තිය යටතේ "ස්වභාවික" ලිංගික හැසිරීමකට දඬුවම් කළ නොහැකි බැවිනි.

ස්වභාවික ලිංගික හැසිරීම් පිළිබඳ බටහිර මතය පසුගිය සියවසකට වැඩි කාලය තුළ සැලකිය යුතු ලෙස වෙනස් වී තිබේ. සමරිසි හැසිරීම් ස්වභාවික බව අද පිළිගැනෙන අතර සමරිසි අයිතීන් තහවුරු කරන නීති හඳුන්වා දීමේ රැල්ලක්ද බටහිරින් ඇරඹී පැතිරී යයි. වසර දහයකට පෙර ලෝකයේ රටවල් 92 ක සමරිසි හැසිරීම් නීති විරෝධී ලෙස සැලකුණු අතර ඉහත රැල්ලේ ප්‍රතිඵලයක් ලෙස දැන් මේ රටවල් ගණන 72 දක්වා අඩු වී තිබේ. 


අනෙක් අතට, සත්වරිසි චර්යාවන් සම්බන්ධව රැල්ල හමන්නේ තනිකරම ප්‍රතිවිරුද්ධ අතටය. සතුන් සමඟ ලිංගික හැසිරීම් තහනම් කරමින් නීති පැනවීමේ රැල්ලක්ද පසුගිය දශකය තුළ බටහිර රටවල් තුළ හමායමින් පවතී. එමෙන්ම මෙවැනි හැසිරීම් මානසික රෝග ලෙසද හඳුනා ගැනේ. සත්ව හිංසනයේ සීමාවන්ගෙන් ඔබ්බට මෙවැනි චර්යාවන්ට එරෙහිව පැනවෙන නීති සැලකිය හැක්කේ සදාචාරාත්මක නීති වශයෙනි. සදාචාරාත්මක නීති සඳහා ඉල්ලුමක් ඇති වන්නේ කිසියම් සංස්කෘතියක් තුළය. ලංකාවේ පොහොය දින මත්පැන් නොවිකිණීම උදාහරණයකි.

ලංකාවේදී සත්වරිසි ලිංගික චර්යාවක් වරදක් වන්නේ සමරිසි චර්යාවන් හා "අස්වාභාවික" විෂමලිංගික චර්යාවන් නීති විරෝධී ලෙස නම් කෙරෙන දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය අනුවය. සමරිසි චර්යාවන්ට හා "අස්වාභාවික" ලෙස සැලකෙන විෂමලිංගික චර්යාවන්ට ඉඩ සලසනු පිණිස ඉහත වගන්තිය මුළුමනින්ම ඉවත් කළහොත් සත්වරිසි චර්යාවන්ටද නීතිමය ආවරණයක් ලැබේ. සුජීව සේනසිංහ විසින් විමසුවේ මේ කරුණ වන්නට පුළුවන.

Tuesday, September 27, 2016

එක පියෙකුගෙ දරු කැල ලෙසිනා...

මහා පරාක්‍රමබාහු රජු ලංකාවේ රාජ්‍ය කරන කාලයේදී මොන්ගෝලියාවේ ගෝත්‍රයක ප්‍රධානියෙකුගේ දරුවෙකු ලෙස උපන් ජෙන්ඝීස් ඛාන්ට සිය මැදි වයස වන විට මොන්ගෝලියාවේ සියළු ගෝත්‍ර එක්සේසත් කිරීමටත්, වයස අවුරුදු 65ක්ව මියයන විට වත්මන් ආසියාවේ හා යුරෝපයේ විශාල භූමි ප්‍රදේශයක පැතිරුණු ලෝක ඉතිහාසයේ ලොකුම අධිරාජ්‍යයක් ගොඩ නැඟීමටත් හැකි විය. ජෙන්ඝීස් ඛාන්ගේ අනුප්‍රාප්තිකයින් විසින් තවදුරටත් පුළුල් කෙරුණු මේ අධිරාජ්‍යය තුදුස්වන සියවසේ මුල තෙක්ම මෙසේ තනි අධිරාජ්‍යයක් ලෙස පැවති අතර ඉතිහාසයේ විවිධ පාලකයින් විසින් ගොඩනඟා ඇති අධිරාජ්‍යයන් අතරින් එය ප්‍රමාණයෙන් දෙවැනි වන්නේ අප වඩා හොඳින් දන්නා ඉංග්‍රීසි අධිරාජ්‍යයට පමණි.

යුද්ධ හෝ අධිරාජ්‍ය ගොඩනැඟීම් කවර කලෙකවත් මනුෂ්‍ය සංහතියේ යහපත පිණිස හේතු නොවීය. ඒ අතරින්ද, රාජ්‍යතාන්ත්‍රික උපක්‍රම හරහා ගොඩනඟාගන්නා අධිරාජ්‍යයන්ට සාපේක්ෂව තනිකරම බලය යොදා යටත් කරගැනීම මඟින් අධිරාජ්‍යයන් ගොඩනැඟීම වඩා විනාශකාරීය. ජෙන්ඝීස් ඛාන් සිය අධිරාජ්‍යය ගොඩනැඟීම පිණිස හැමවිටම වාගේ යොදාගත්තේ දෙවන ක්‍රමයයි. තමන්ට ප්‍රතිරෝධයක් දක්වන ජන කණ්ඩායම් මුළුමනින්ම සමූලඝාතනය කර දැමීම හා කාන්තාවන් දූෂණය කිරීම ජෙන්ඝීස් ඛාන්ගේ යුධ ක්‍රමෝපායයේ අවියෝජනීය කොටසක්ව පැවතී ඇති බව පෙනේ.

අළුතින් යටත් කරගන්නා ප්‍රදේශවල කාන්තාවන්ගෙන් "හොඳම කොටස" මුලින්ම වෙන් කර ගෙන ඇත්තේ ජෙන්ඝීස් ඛාන් විසිනි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ජෙන්ඝීස් ඛාන්ට දාව ඉපදී ඇති දරුවන් ගණන 1000-2000 අතර ප්‍රමාණයක් ලෙස සැලකේ. ජෙන්ඝීස් ඛාන්ගේ දරුවෝද, කුබ්ලායි ඛාන් වැනි මුණුපුරෝද මේ පිළිවෙත ඉදිරියට ගෙන ගියහ. මෙහි අවසාන ඵලය ලෙස, අද වන විට ලෙස ජෙන්ඝීස් ඛාන්ගෙන් පැවතෙන්නෝ විශාල ගණනකි.

පිරිමි දරුවෙකු පිළිසිඳ ගැනීමේදී වයි-ක්‍රොමසෝමය උරුම විය හැක්කේ පියාගෙන් පමණි. මේ නිසා යම් පුද්ගලයකුගේ වයි-ක්‍රොමසෝමය අධ්‍යයනය කිරීමෙන් ඔහුගේ පීතෘ පාර්ශ්වයීය සම්භවය ගැන දැනගත හැකිය. ටික කලකට පෙර සිදු කෙරුණු මෙවැනි අධ්‍යයනයකදී හෙළිවූ කරුණක් වූයේ, සාමාන්‍යයෙන් ජනගහණයක එක සමාන වයි-ක්‍රොමසෝම දෙකක් හමුවීම සුලභ සිදුවීමක් නොවුණත් තෝරාගත් නියැදියේ විශාල පිරිසක් සතුව එක්තරා සුවිශේෂී වයි-ක්‍රොමසෝමයක් ඇති බවයි. 2003 වසරේදී පළ කෙරුණු මේ පර්යේෂණ පත්‍රිකාවට අනුව  පැරණි මොන්ගෝලියානු අධිරාජ්‍යයට අයත් ප්‍රදේශ වල ජනගහණයෙන් 8%කටම ඇත්තේ මේ එකසමාන වයි-ක්‍රොමසෝමයයි. මෙය ලෝක ජනගහණයෙන් 0.5%කට ආසන්න ප්‍රමාණයකි. ආකෘති මඟින් පෙනෙන පරිදි මේ වයි-ක්‍රොමසෝමය මෙසේ ව්‍යාප්ත වීමේ මූලාරම්භය ජෙන්ඝීස් ඛාන් ජීවත් වූ කාලයට ආසන්නය.

ඉහත අධ්‍යයන ප්‍රතිපලය අනුව ඔවුන්ගේ නියැදිය අහඹු නියැදියක්ය යන උපකල්පනය මත ලෝකයේ සෑම 200කින් එක් අයෙකුම ජෙන්ඝීස් ඛාන්ගෙන් පැවතෙන්නෙකි. පසුව සිදු කෙරුණු වෙනත් අධ්‍යයන අනුව, මෙසේ වත්මන් ලෝක ජනගහණය තුළ තමන්ගේ ජාන විශාල ලෙස නියෝජනය කරන එකම ඓතිහාසික චරිතය ජෙන්ඝීස් ඛාන් පමණක් නොවේ. 2005දී පළවූ අධ්‍යයනයක් මඟින් චින් රජපෙළපතේ (Qing Dynasty) සාමාජිකයෙක්ද, තවත් අධ්‍යයනයකින්  අයර්ලන්තයේ Uí Néill/ O'Neill වාසගම් දරන අයගේ ආදිතමයෙක්ද මේ අයුරින් හඳුනාගෙන තිබේ.

ලෝකය ඉදිරියට යද්දී මෙසේ වැඩි වශයෙන් ශේෂ වන්නේ යහපත් මිනිසුන්ගේ ජාන නොවේ. හොඳින් හෝ නරකින් අනෙක් මිනිසුන් සමඟ තරඟකර ජය ගන්නා අයගේ ජානයි.






(උඩම ඡායාරූපය ලබාගත්තේ අන්තර්ජාලයෙනි. මෙය උලන් බතාර්හි ඇති ජෙන්ඝීස් ඛාන් ස්මාරකයකි. එම ස්ථානයේම සාදා ඇති පහළ ඡායාරූප වල ඇති ඉතිරි ස්මාරක ඉකොනොමැට්ටා විසින් වසර කිහිපයකට පෙර ගත් ඒවාය. සමාජවාදය බිඳ වැටීමෙන් පසු නැවතත් ජෙන්ඝීස් ඛාන් මොන්ගෝලියානු ජාතික වීරයෙකු ලෙස සැලකුම් ලබයි.)

Saturday, September 24, 2016

බවලත්තු හොයන බලවත්තු

දේශපාලන, ව්‍යාපාරික, වෘත්තීය, මිලිටරි හා කලා ක්ෂේත්‍ර ඇතුළු බොහෝ ක්ෂේත්‍ර වල සිවිල් බලයක් ගොඩ නඟාගෙන සිටින පුද්ගලයින්ගේ විවාහ සංස්ථාවෙන් පිට අනිසි සබඳතා ගැන තොරතුරු වරින් වර කරලියට පැමිණේ. එසේ නොපැමිණියද, මෙවැනි 'ලොක්කන්' බොහෝ දෙනෙකු මලින් මලට පියඹා තුඩින් තුඩග රොන් ගැනීම සිය ජීවිතයේ ප්‍රමුඛ කාර්යයක් බවට පත් කරගෙන සිටින බව බොහෝ දෙනෙකුට රහසක් නොවේ.

ලංකාවේදීනම් මෙවැනි හැසිරීම් සාමාන්‍යයෙන් මෙවැනි සිවිල් බලයක් ඇති ලොක්කන්ගේ වෘත්තීය ජීවිතය අවදානමට ලක් නොකරයි. ඒ නිසා, එවැනි චර්යාවන් පාලනය කිරීමට විශාල පෙළඹුමක් ඇති නොවීම පුදුම සහගත දෙයක් නොවේ.

ඇමරිකාවේදී මෙවැනි සිදුවීම් මෙවැනි 'ලොක්කෙකුගේ' වෘත්තීය ජීවිතය අවදානමෙහි හෙලීමේ වැඩි සාපේක්ෂ ඉඩකඩක් තිබේ. එහෙත්, එවැනි තත්ත්වයක් යටතේ වුවද තහනම් රස සොයමින් අන් මල් වල රොන් ගන්නට පෙළඹෙන්නෝ නොඅඩුය.

බිල් ක්ලින්ටන් හා මොනිකා ලෙවින්ස්කි ගැන නොදන්නා අය ඇත්නම් ඒ ඉතා අඩුවෙනි. ලෝක බැංකු සභාපතිව සිටි පෝල් වුල්ෆොවිට්ස්ට සිය තනතුරෙන් ඉල්ලා අස් වීමට බල කෙරුණු ශාහා රිසා සමඟ වූ සම්බන්ධතාවයද බොහෝ දෙනාට අමතකව තිබිය නොහැකිය. ව්‍යාපාරික ලෝකයෙහි, හැව්ලට්-පැකාර්ඩ්හි හිටපු ප්‍රධාන විධායක නිලධාරී මාක් හර්ඩ් මෙන්ම, බෝයිංහි ප්‍රධාන විධායක නිලධාරී වූ හැරී ස්ටෝන්සයිපර්ටද රස්සා නැති කරගන්නට වුනේ මෙවැනිම අනියම් සම්බන්ධතා නිසාය. මේ කිසිවකු මේ අවදානම් නොදත්තෝ නොවූහ. එසේනම්, ඔවුන් අනියම් සබඳතාවක් වෙනුවෙන් මෙසේ සිය වෘත්තීය  අනාගතයම පරදුවට තබන්නට තරම් 'මෝඩ වෙන්නේ' ඇයි?

පළමුව, අප විමසා බැලිය යුත්තේ මෙය ඇත්තටම සිවිල් බලවතුන්ගේ සුවිශේෂී චර්යාවක්ද යන්නයි. ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ මෙවැනි චර්යාවක් ගැන සමාජ ජාල වල පුවතක් සංසරණය වන බොහෝ විට දක්නට ලැබෙන සුලභ ප්‍රතිචාරයක් වන්නේ මෙවැන්නකි.

"දැන් ඕක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ xxx කරපු නිසා. ඕක සාමාන්‍ය කෙනෙක් කළානම් කවුරුවත් කතා කරන්නෙවත් නැහැ."

ඇත්තටම මෙතැන තියෙන්නේ සිවිල් බලවතුන්ගේ පෞද්ගලික ජීවිත හාරා ඇවිස්සීමට සාමාන්‍ය පුද්ගලයින්ට ඇති කුතුහලය නිසා ජනමාධ්‍ය මඟින් එවැනි සිද්ධීන්ට වැඩි ප්‍රචාරයක් දීම නිසා ඇති වන තත්ත්වයක්ද?

නෙදර්ලන්තයේ ටිල්බර්ග් හා ග්‍රොනින්ගන් සරසවි වල ජොහිස් ලැමර්ස් ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් විසින් 2010දී පලකළ පර්යේෂණ පත්‍රිකාවකට අනුව මෙය එවැනි තත්ත්වයක් නොවේ. වෘත්තිකයින් 1,561 දෙනෙකු යොදාගෙන සිදු කළ මේ පර්යේෂණයෙන් පෙනී යන්නේ සිවිල් බලය වැඩිවන තරමට අනියම් සම්බන්ධතා සඳහා වන පෙළඹුම වැඩි වන බවයි. එහෙම වෙන්නෙ ඇයි?

මේ සඳහා පරිනාමීය මනෝවිද්‍යාවෙහි පැහැදිලි කිරීමක් තිබේ. පරිනාමීය මනෝවිද්‍යා විශ්ලේෂනයක් බොහෝ විට පදනම් වන මූලික ගොඩනැඟුම් වලින් එකක් වන්නේ වර්ගයා බෝ කිරීමේ කාර්යයහිදී ස්ත්‍රීන් හා පුරුෂයන් අතර ඇති ජීවවිද්‍යාත්මක හැකියාවන්ගේ අසමමිතියයි.

නිවුන් දරු උපත් සිදු නොවුවහොත්, ගැහැණියකට සාමාන්‍යයෙන් දස මසක් තුළ එක් දරුවෙකුට වඩා බිහිකළ නොහැක. දරුවෙකු පිළිසිඳගත් තැන් සිට එම දරුවා බිහිවන තුරුත්, තවත් කෙටි කාලයක් යන තුරුත් නැවත දරුවෙකු බිහි කිරීමට දායක වීමට ඇයට ජීව විද්‍යාත්මක බාධාවක් තිබේ. ඒ නිසා, ප්‍රශස්ත තත්ත්වයන් යටතේ වුවත් ගැහැණියකට සිය ජීවිත කාලය තුළ දරුවන් සියයකට වඩා බිහි කිරීමේ ජීව විද්‍යාත්මක හැකියාව නොගිණිය හැකි තරම් කුඩාය. දැනට පවතින වාර්තා අනුව මෙතෙක් වැඩිම දරුවන් ගණනක් බිහි කර ඇති ෆියදෝර් වසිලියෙව්ගේ පළමු බිරිඳ විසින් බිහිකර ඇති දරුවන් ගණන 69කි. ගැහැණියක ලිංගික සබඳතා පවත්වන සහකරුවන් ගණන කොපමණ වැඩි වුවද මේ සීමාව ඉහළ නොයයි.

පිරිමින් හා අදාළව ඇත්තේ මෙයට වඩා බොහෝ වෙනස් තත්ත්වයකි. පිරිමියෙකුට අවශ්‍ය පමණ ලිංගික සහකාරියන් සිටීනම් දිනකට දරුවන් ගණනාවක් වුවද බිහි කිරීමේ හැකියාව තිබේ. දරුවන් සියය ඉක්මවා බිහිකළ පිරිමින් ගැන වාර්තා සැලකිය යුතු ප්‍රමාණයක් තිබේ. මොරොක්කෝවේ ඉස්මයිල් ඉබන් ශරීෆ් විසින් අඩු වශයෙන් දරුවන් 867 දෙනෙකුද, ජෙන්ගීස් ඛාන් විසින් දරුවන් 1000-2000 අතර ප්‍රමාණයක්ද බිහි කිරීමට දායක වී ඇත. මේ ජීව විද්‍යාත්මක වෙනස ගැහැණුන් හා පිරිමින්ගේ ඇතැම් චර්යාත්මක වෙනස්කම් පැහැදිලි කරයි.

වෙනත් ඕනෑම සතෙකුට මෙන්ම මිනිසෙකුටද සිය වර්ගයා වැඩි වැඩියෙන් බෝ කිරීම සඳහා ස්වභාවික ජීව විද්‍යාත්මක තෙරපුමක් තිබේ. එය ජාන වලින්ම එන්නකි. පිරිමියෙකුට මෙය වඩාත්ම සාර්ථක ලෙස කළ හැක්කේ හැකි පමණ කාන්තාවන් සමඟ කැමැත්තෙන් හෝ බලහත්කාරයෙන් ලිංගිකව එක් වීමෙනි. එහෙත්, ඒ සඳහා අවශ්‍ය පමණ සහකාරියන් නොමැති නිසා පිරිමින්ට අනෙක් පිරිමින් සමඟ තරඟ කිරීමට සිදුවේ.

ඉතිහාසයේ වැඩි කාලයක් සහකාරියන් ලබා ගැනීමේ තරඟයෙන් ජයගත්තේ ශරීර ශක්තියෙන් වැඩි අයයි. මේ නිසා ශරීර ශක්තිය වැඩි, උස මහත පිරිමින්ට දරුවන් හදන්නට එතරම් ශරීර ශක්තියක් නැති පිරිමින්ට වඩා වැඩි අවස්ථාවන් ලැබුණේය. ඒ නිසා කාලයත් සමඟ උස මහත පිරිමින්ගෙන් පැවතෙන්නෝ වැඩි වූහ. සාමාන්‍යයෙන් පිරිමින්ට වඩා ගැහැණුන් උසින් අඩු මේ නිසාය.

යම් ගහණයක සිටි ශක්තිමත් පිරිමි ගැහැණුන් හා එක්වූයේ හැමවිටම ඔවුන්ගේ කැමැත්තෙන්ම නොවේ. මෙය බොහෝ විට බලහත්කාරයෙන්ද සිදු විය. පිළිසිඳ ගැනීම සිදු වූයේ කැමැත්තෙන් එක්වීමෙන් වුවද, නොවුවද ගැබ්බර වන කාන්තාවකට දරුවා බිහි කර ලොකු මහත් කරන්නට සිදු වූ නිසා ස්ත්‍රී දූෂකයින්ගේ ජාන ගහණයෙන් ඉවත් නොවීය. ඒ නිසා, අඩු වැඩි වශයෙන් අප සියල්ලෝම ස්ත්‍රී දූෂකයන්ගෙන් පැවතෙන්නෝය.

ඉහත ප්‍රවාදය අනුව, මිනිස් ගහණයක තිබිය යුත්තේ කුකුළු කොටුවක වැනි තත්ත්වයකි. එය එසේ නොවී එක් සහකරුවෙකු සමඟ කුටුම්භයක් හදන තැනකට මිනිසුන් යොමු වුණේ ඇයි?

පිරිමින් හා අදාළ තත්ත්වය ඉහත පරිදි වුවත් ගැහැණුන් සම්බන්ධව එය එසේම නොවීය. සහකරුවන් වැඩි වූ පමණින් ගැහැණුන්ට ඉහත ආකාරයේ වාසියක් නොලැබේ.

පිරිමියෙකු විසින් ගැහැණියක ගැබ්බර කිරීමෙන් පසු ඔහුගේ කාර්යය අවසන් වුවද ඇයගේ කාර්යය එතැනින් අවසන් නොවේ. ඇගේ ජාන ඉදිරියට ගෙන යා හැක්කේ මේ කළලය ප්‍රවේශම් කරගෙන, නිරෝගී දරුවෙකු බිහි කර එම දරුවා දරුවන් බිහි කරන තෙක් රැක ගත හැකි වුවහොත් පමණි.

මේ තත්ත්වය පිරිමින්ටද අදාළ වුවත් එය බලපාන්නේ එකම අයුරින් නොවේ. ගැබ්බර කළ කාන්තාව නිරෝගී දරුවෙකු බිහි නොකළහොත් ඔහුගේ ආන්තික පිරිවැය විනාඩි පහක දහයක කාලයයි. එහෙත්, ගැහැණියට එය වසරක පමණවත් කාලයකි. ඒ නිසා, ගැබ්බර වූ පසු ගැබ රැක ගැනීමට ගැහැණියකට ඇති උවමනාව පිරිමියෙකුට නැත.

දරුවෙකු සැදීමේ ජීව විද්‍යාත්මක කාර්යයේදී ගැහැණියක ගෙවන මිල පිරිමියෙකු ගෙවන මිලට වඩා ඉතාම විශාලය. ඒ අතරම, සහකරුවන් තෝරා ගැනීමේ තරඟයෙන් ජය ගන්නා පිරිමින්ට සිය ජාන ඉදිරියට ගෙන යන්නට විශාල ඉඩකඩක් ඇතත් මේ තරඟයෙන් පැරදෙන බොහෝ පිරිමින්ට සිදු වන්නේ සහකාරියන් නොමැතිව වේලෙන්නටය. මෙවැනි තත්ත්වයක් දෙපාර්ශ්වයකටම වාසි සලසන ගණුදෙනුව
ට ඉඩකඩ සලසයි.

සහකාරියන් සඳහා ඇති ඉල්ලුම තරමට සැපයුමක් නැති නිසා ගැහැණුන්ට මිල ඉහළ දැමීමේ හෙවත් ගණන් ඉස්සීමේ හැකියාවක් තිබේ. මේ අනුව, ගැහැණිය පිරිමියාට මිලක් නියම කරයි. ඒ සිය දරුවා ලොකු මහත් කර ගැනීමට උදවුවකි. එසේ වැඩිපුර උදවු කරන, ගැහැණියට වැඩි සම්පත් සැපයීමේ හැකියාවක් ඇති පිරිමින්ට දැන් සහකාරියන් සොයා ගැනීමේ වැඩි අවස්ථා හිමි වේ.

කෙසේ වුවද, මෙතැනදීත් වැඩි අවස්ථා ඇත්තේ වඩා ශක්තිමත් පිරිමින්ටය. ඔවුන්ට දඩයම් කිරීමේ හෝ වෙනත් අයුරකින් සම්පත් ජනනය කිරීමේ හැකියාව වැඩිය. ඒ නිසා, ඔවුන්ට සහකාරියන් වැඩි ගණනක් හිමි වේ. නමුත්, සහකාරියන් ගණන වැඩි වෙද්දී සීමිත සම්පත් ප්‍රමාණය වැඩි දෙනෙකු අතර බෙදන්නට සිදුවන නිසා සහකාරියන් අසීමිත ලෙස වැඩි කර ගැනීමේ හැකියාවක් නැත. මේ හේතුවෙන්, වැඩි උසමහත නැති පිරිමින්ටත් සහකාරියක් සොයා ගැනීමට යම් ඉඩකඩක් සැලසේ.

කෙසේ වුවද, අවසාන වශයෙන්ද තමන් සතු සහකාරියන් ගණනින් පිරිමියා තෘප්තිමත් වීමක් සිදු නොවේ. සම්පත් හිඟය ඔහුව එතැනට තල්ලු කරයි. බොහෝ පිරිමින්ට වෙන්නේ තමන්ගේ සහකාරිය රැක ගැනීම සඳහා ඇයට විශ්වාසවන්තව සිටීමටය. වැඩිපුර හොයන්නට ගියොත් තියෙන එකත් නැති කර ගන්නට සිදු වේ.

ක්‍රීඩා, කලා, ව්‍යාපාරික හෝ දේශපාලන ක්ෂේත්‍රයකින් ඉදිරියට ගොස්  'පොරක්' වූ විට මේ අවදානම අඩුය. සම්පත් හිඟයක් නැති නිසා සහකාරියන් සොයා ගැනීම අපහසු නැත. ඒ නිසා තියෙන එක නැති වීමේ අවදානමක්ද නැත. ජෝහිස් ලැමර්ස් ඇතුළු පිරිස පෙන්වා දෙන පරිදි, සිවිල් බලවතුන් අනියම් සබඳතා වලට පෙළඹෙන්නේ මේ අවදානම ඉතා අඩු බවට ඔවුන් තුළ ආත්ම විශ්වාසය තහවුරු වී ඇති බැවිනි.

එසේනම්, ඉහත ආත්ම විශ්වාසයේ හා එයට පාදක වන සිය සිවිල් බලයේත් පදනම වන සිය වෘත්තීය ජීවිතයේ අනාගතය පවා කැප කර මෙවැනි සබඳතා සඳහා යොමු වන්නේ ඇයි?

මේ සඳහාද සරල පිළිතුරක් තිබේ. මිනිස්සු සිවිල් බලය ගොනු කර ගැනීමට උත්සාහ කරන්නේම සම්පත් සීමාවන් ඉක්මවා වැඩි සහකාරියන් පිරිසක් ඇසුරු කිරීමට ඇති ජීව විද්‍යාත්මක පෙළඹුම නිසාය. එසේනම්, ඉතා මහන්සියෙන් ගොඩ නඟා ගත් මේ  සිවිල් බලය යොදා ගත යුත්තේ වෙන මොන කෙහෙම්මලකටද?


(Image: www.youtube.com)

Wednesday, March 16, 2016

අයියා නංගිලාගේ දරුවෝ


මිනිසුන්ගේ ඇති වෙනත් අයෙකුට හානියක් නොවන ආකාරයේ විවිධ විශ්වාස ගැන කතාකිරීම ඒ තරම්ම තේරුමක් නැති දෙයකි. ආගමික, සංස්කෘතික මෙන්ම ඇතැම් විට විද්‍යාත්මක ලේබල් යටතේද එන එවැනි විශ්වාස වලින් අප බොහෝ දෙනෙකු ඉඳහිට හෝ සිඟිති ආතල් එකක් ගන්නෙමු. කිසිවෙකුගේ ආගමික විශ්වාස වලට ගැරහීමේ අදහසක් නැතත්, යමෙකුට එසේ සිතෙනවානම් ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරමින් මේ ලිපිය ලියන්නට හේතු වූ මූලික අදහස පහළ වුනේ රසිකගේ ලිපියක ඇති කරුණක් දැකීමෙනි.

රසිකගේ ලිපියේ හරය නොවූවත්, ඔහු එහි අවසානයේ "සිංහබාහු-සිංහසීවලි" පමණක් නොව, "ජීවහත්ත-දිසාලා" අතීතයක් ද අපට ඇති බව මතක් කර ඇත. ඔහු මෙහිදී කියන්නේ අපේ ජනප්‍රිය ඉතිහාස කතාව අනුව සිංහලයින් වගේම වැද්දන්ද පැවතෙන්නේ අයියා-නංගී එකතුවකින් බවයි. ඔහු කෙළින්ම කියා නැතත්, අයියා-නංගී එකතුවක් නුසුදුසු දෙයක් බව එයින් අදහස් වේ. මෙය ඔහු කියන දෙයක්ම නොවේ. අප මත බලෙන් පැටවූ රෝම-ලන්දේසි නීතිය අනුවත්, එවකට රටේ පැවති උඩරට නීතිය ලෙස පසුව හැඳින්වුණු නීතිය අනුවත් අයියා-නංගී විවාහයක් යනු නොගැලපෙන, තහනම් විවාහයකි.

සදාචාරය කියන සංකල්පය වගේම නීතිරීතිත් තැනින් තැනට කලින් කලට වෙනස් වේ. අයියා-නංගී විවාහ නුසුදුසු ලෙස ලංකාවේ සාමාන්‍යයෙන් සැලකුනත් මවගේ සොහොයුරෙකුගේ හෝ පියාගේ සොහොයුරිකගේ විරුද්ධ ලිංගික දරුවෙකු සමඟ කරන විවාහයක් ලංකාවේ නීතියෙන් මෙන්ම සමාජ සම්මත අනුවද අනුමත විවාහයකි. පරම්පරා කිහිපයකට පෙර කාලය දක්වාම සිදුවුණු සම්ප්‍රදායික විවාහ බොහොමයක්ම මේ ආකාරයේ නෑනා-මස්සිනා විවාහයි. කෙසේ වුවද, පියාගේ සොහොයුරෙකුගේ හෝ මවගේ සොහොයුරියෙකුගේ විරුද්ධ ලිංගික දරුවෙකු සමඟ කරන විවාහයක් සැලකෙන්නේ අසම්මත, තහනම් විවාහයක් වශයෙනි. ලංකාවේදී අසම්මත සම්බන්ධතා ලෙස පිළිගැනෙන පියාගේ සොහොයුරෙකුගේ හෝ මවගේ සොහොයුරියෙකුගේ විරුද්ධ ලිංගික දරුවෙකු සමඟ කරන විවාහ බොහෝ මුස්ලිම් රටවල ජනප්‍රිය සම්ප්‍රදායකි.

ඇමරිකාවේ ප්‍රාන්ත වලින් අඩකම මේ ආකාරයේ ළඟම ඥාතීන් අතර විවාහයක් සිදුකිරීම නීති විරෝධීය. තවත් ප්‍රාන්ත හතක ඒ සඳහා ඉඩ ලැබෙන්නේ වයස හෝ වෙනත් හේතුවක් මත දරුවන් බිහි කිරීමේ ඉඩකඩක් නැත්නම් පමණි. මෙහි අරමුණ ඉපදෙන දරුවන් නිරෝගී දරුවන් වීම තහවුරු කිරීමයි. චාල්ස් ඩාවින් පවා ඔහුගේ නෑනා හා විවාහ වූ නමුත් බටහිර සංස්කෘතිය තුළ සාමාන්‍යයෙන් ළඟ නෑයන් අතර විවාහ අනුමත නොකෙරේ.

ළඟ නෑයන් අතර විවාහ පිලිබඳ සම්මත රටින් රටට විශාල ලෙස වෙනස් වුවද, එක පවුලේ අයියා-නංගී විවාහ ලෝකයේ සෑම සංස්කෘතියක මෙන්ම පිළිකුල් කෙරෙන දෙයකි. මෙයට ආගමික පසුබිමක්ද තිබේ. බයිබලයේ පැරණි ගිවිසුමේ මේ ගැන කියවෙන්නේ මෙසේය.


"නුඹලාගෙන් කිසිවෙකු කිට්ටු ඥාතියෙකුගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. මම සමිඳාණන් වහන්සේ ය.

නුඹේ මවගේ නිරුවත අනාවරණය කොට නුඹේ පියාට නින්දා නොකළ යුතු ය. ඈ නුඹේ මව බැවින් ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය.

නුඹේ පියාගේ බිරිඳකගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. එසේ කිරීම නුඹේ පියාට කරන නින්දාවකි.

ගෙදර උපන් හෝ අන් තැනක උපන් හෝ නුඹේ පියාගේ හෝ මවගේ හෝ දුව වන නුඹේ සහෝදරියගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය.

නුඹේ පුතෙකුට උපන් හෝ දුවකට උපන් හෝ නුඹේ මිණිබිරියකගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. එය නුඹට ම කරගන්න නින්දාවකි.

නුඹේ පියාට දාව උපන්, ඔහුගේ වෙන කසාදයක දුව, නුඹේ සොහොයුරිය වන බැවින්, ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය.

නුඹේ පියාගේ සොහොයුරිය, නුඹේ පියාගේ කිට්ටු නෑයෙකු බැවින් ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය.

නුඹේ මවගේ සොහොයුරිය, නුඹේ මවගේ කිට්ටු නෑයෙකු බැවින්, ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය.

නුඹේ පියාගේ සහෝදරයාගේ බිරිඳ නුඹේ කුඩම්මා වන බැවින් ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය.

නුඹේ ලේලි, නුඹේ පුතාගේ බිරිඳ වන බැවින්, ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය.

නුඹේ සහෝදරයාගේ බිරිඳගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. එය ඔහුට කරන නින්දාවකි.

නුඹ යම් ස්ත්‍රියකගේ නිරුවත අනාවරණය කළ පසු ඇගේ දුවගේ හෝ ඇගේ මිණිබිරියගේ හෝ නිරුවත අනාවරණය නොකළ යුතු ය. ඔවුන් කිට්ටු නෑයන් වන බැවින් එසේ කිරීම දුෂ්ටකමකි.

නුඹේ භාර්යාව ජීවත් ව සිටිය දී, ඇගේ සහෝදරිය තවත් භාර්යාවක වශයෙන් පාවාගෙන ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය."

ලෙවි ව්‍යවස්ථාව 18 (6-18).


මේ වන විට විද්‍යාත්මක පදනමක් තිබුණද ළඟ ඥාතීන් අතර විවාහ පිලිබඳ බටහිර සදාචාර අදහස් වර්ධනය වන්නේ මේ බයිබල් පාඨ වල සිට බව මගේ අදහසයි.

මේ බයිබල් මතය ගැන මා මුලින්ම දැනගන්නා විට මගේ වයස අවුරුදු දොළහක් පමණ වන්නට ඇත. ඒ දිනවල අප වාසය කළ ප්‍රදේශයේ සතියක් පුරා යම් ක්‍රිස්තියානි නිකායක සුවකිරීමේ මෙහෙයක් පැවැත්වුනේය. ගම්සභා පිට්ටනියේ පැවැත්වූ මේ සුවකිරීමේ මෙහෙය මෙහෙයවූයේ ඇමරිකානුවෙකු විය යුතුයැයි මා දැන් සිතන 'සුද්දෙකි'. පරිවර්තකයින් දෙදෙනෙකු විසින් ඔහු කියන දේ සිංහලට හා දෙමළට හැරෙව්වේය.

සුද්දා කියන දේ දෙමළට හැරවූ නමුත්, මේ අවස්ථාවට දෙමළුන් කිසිවෙකුත් පැමිණියාද යන්න සැක සහිතය. මේ කියන ප්‍රදේශය තනිකරම වාගේ සිංහල බෞද්ධ ගමකි. එහි සැලකිය යුතු මුස්ලිම් ජනගහණයක්ද සිටි නමුත් යාබද ගමක සිට පැමිණ වෙදකම් කළ ඇපොතිකරි කෙනෙකු හැරුණු විට කිසිදු ක්‍රිස්තියානි, කතෝලික හෝ දෙමළ පවුලක් සිටි බවක් මට මතක නැත. ඇත්තටම කියනවානම් අපේ නිවසට යාබද නිවසේ සිටියේත් දෙමළ ක්‍රිස්තියානි පවුලක් වුවත් ඒ වන විට ඔවුන් සිංහල බෞද්ධයින් වී සිටියහ.

සුව කිරීමේ මෙහෙය සඳහා සැලකිය යුතු සෙනඟක් දිනපතා පැමිණියේ මූලික කටයුත්තට අමතරව චිත්‍රපට පෙන්වීම හා ජනප්‍රිය සිංහල හා හින්දි සිංදු වල තාලයට ආගමික ගීත ගැයීමද සිදුවූ බැවිනි. මේ දෙකටම වඩා මට අවශ්‍ය වූයේ මගේ පොත් රාක්කයට නොමිලේ දෙන පොත් හැකි තරමක් එකතු කර ගැනීමටය.

මුල් දවස්වලම සැලකිය යුතු පොත් ප්‍රමාණයක් එකතු කර ගත හැකි වුවත් මට අවශ්‍ය වූයේ තරමක් ලොකු ඉලක්කයකට ලඟා වීමටය. ඒ සම්පූර්ණ බයිබලයක් අයිති කර ගැනීමයි. සම්පූර්ණ බයිබල් සීමිත ප්‍රමාණයක් තිබෙනු මා දුටුවද, මා එයින් පිටපතක් ඉල්ලා සිටියද මට එය ලැබුණේ නැත. පොත් බෙදා දුන් ශ්‍රී ලාංකික පුද්ගලයා දවසකට බයිබලයේ එක් පරිච්ඡේදයක් වන සුභාරංචි පොත් පිංචක් වැනි යමක් දී තවත් පොත් අවශ්‍යනම් ඊළඟ දිනත් පැමිණෙන ලෙස දන්වයි. මේ වැඩේ මට ඇල්ලුවේ නැත.

තෙවන හෝ සිවුවන දින පමණ වෙද්දී මම බයිබලයක් කෙසේ හෝ ලබා ගැනීමට සැලසුමක් හැදුවෙමි. සුවකිරීමේ මෙහෙය අවසන් කිරීමෙන් පසු මේ කටයුත්තට සම්බන්ධ වන සුද්දා ඇතුළු සියල්ලෝම වේදිකාවෙන් බැස පොත් බෙදීමත්, ප්‍රශ්න වලට උත්තර දීමත් කරයි. මට අවශ්‍ය වුනේ කෙසේ හෝ සුද්දාවම අල්ලා ගන්නටය.

මම සුද්දා කිට්ටුවටම ගියෙමි. එහෙත්, ලාංකික පුද්ගලයෙක් මට බාධා කළේය.

"මට අරයට පොඩ්ඩක් කතා කරන්න ඕනෑ. ප්‍රශ්නයක් තියෙනව අහන්න."

"ඇයි? මොකක්ද දැනගන්න ඕනෑ? මගෙන් අහන්න"

"දැන් ඔය ඕගොල්ලන්ගේ ආගමේ හැටියට අයියලා නංගිලා කසාද බඳින එක හරිද?"

"නෑ. ඒක පාපයක්!"

මා සිතන පරිදි, මීට පෙර දිනද මොහුගෙන් මේ ආකාරයේ අණ්ඩර ප්‍රශ්න ගණනක් අසා සිට ඇති නිසා ඔහු මට උත්තර දෙන්නේ එතරම් කැමැත්තකින් නොවේ. අඩි හතරක්වත් උස නැති බටු කොල්ලෙකු විසින් වැඩිහිටියෙකු ලස්සනට මඩවන මේ අවස්ථාව බලා ගැනීමට තවත් ළමයින් හා වැඩිහිටියන් රැසක් වටවී සිටින්නේ මෙය මෙසේ සිදුවන පළමු දිනය නොවූ බැවිනි.

"ඒක පාපයක් කියල බයිබලේ තියෙනවද?"

"ඔවු, තියෙනව."

"මට දීපු කොටස් ටිකනම් ඔක්කොම කියෙවුව. ඒවයෙනම් තිබුනෙ නෑ. හරියටම පෙන්නන්න පුලුවන්ද තියෙන තැන?"

වටේ පිටේ අයත් දැන් සිනාසෙති. තමන්ගේ සහායකයාව පොඩි එකෙක් බයිට් එකට ගෙන ඇති බව සුද්දා කෙසේ හෝ නිරීක්ෂණය කළේය. සුද්දා කඩිමුඩියේ මා සිටි තැනට ආවේය. ඔහුගේ අතේ බයිබලයක්ද ඇති බව මම දැක්කෙමි. දැන් මගේ ඇහැ එතැනය.

"යර්ස් සන් වට්ස් ද ප්‍රොබ්ලම්?"

ඔහු ඇමරිකානුවෙකු බව මා සිතන්නේ ඔහුගේ උච්ඡාරණය තේරුම් ගැනීම මට බොහෝ අසීරු වූ බව මතක ඇති නිසාය.

"මෙයාගෙන් අහන්න අයියා-නංගි කසාද බඳින එක වැරැද්දක් කියල බයිබලේ තියෙනවද කියල?"

ඔහු සමඟ සිටි ඔහුගේ පරිවර්තකයා එය ඉංග්‍රීසියට හැරෙවුවේය.

"හරි, තියෙනව කියල මම දන්නව. මට ඕනෑ ඒකේ තියෙන දෙයයි තැනයි හරියටම දැනගන්න."

ඔහු සහායකයාට යමක් කිවුවේය. සහායකයා ඔහු අත වූ සිංහල බයිබලයක් පෙරලා ඉහතින් ඇති පාඨ විය යුතුයැයි මා දැන් සිතන කොටසක් කියවාගෙන ගියේ මේ කරදරෙන් බේරෙන්නේ කෙසේද කියා හිතමින් විය යුතුය.

"යම් මිනිසෙකු තම පියාගේ දුව හෝ තම මවගේ දුව වන තමාගේ සහෝදරිය හෝ පාවාගෙන ඇගේ නිරුවත අනාවරණය කළොත්, එය දුෂ්ටකමකි. ඔවුන් ප්‍රසිද්ධියේ නින්දාවට පත් කර තම සෙනඟ අතරෙන් නෙරපනු ලැබිය යුතු ය. ඔහු තම සොහොයුරියට නින්දා කළ බැවින්, ඒ දුෂ්ටකම ගැන වගකිව යුතු ය."

ලෙවි ව්‍යවස්ථාව 20 (17).


"එතකොට ඔයගොල්ලන්ගේ දෙවියෝ අයියා-නංගි කසාද බඳින එකට විරුද්ධයි. ඒක හරි. තව ප්‍රශ්නයක් තියෙනවා..."


"දැන් ඔයගොල්ලන්ගේ දෙවියෝ ඉස්සෙල්ලම මැවුවේ ආදම්ව නේද?"

"ඔවු"

"ඊට පස්සේ එයාගේ ඉල ඇටයක් අරන් ඒවව මැවුවනේ?"

"ඔවු"

සහායකයා අපට පරිවර්තයෙන් උදවු කරයි.

"දෙවියන් වහන්සේ වෙන කවුරුවත්ම මිනිස්සු මැවුවේ නැද්ද?"

"නෑ"

ඇතැම් විට පිළිතුර මීට වඩා දිග, බයිබල් උපුටාගැනීම් සහිත එකක් වූවා විය හැකිය.

"එතකොට ඒ අයගෙන් තමයි මිනිස්සු ඔක්කොම පැවතෙන්නේ?"

"ඔවු"

"ඒක එහෙම වෙන්නනම් ආදම්ගෙයි ඒවගෙයි ළමයින්ට කසාද බඳින්නම වෙනවනේ. මැවුවේ දෙන්නෙක් විතරනම් ඒක වෙන බව දෙවියෝ දැනගෙන ඉඳල තියෙනව. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ දෙවියෝ අයිය-නංගි විවාහ අනුමත කරල තියෙනවා"

මම ජයග්‍රාහකයෙකු මෙන් කියාගෙන ගියෙමි. වටේට රැස් වී සිටින පිරිස හයියෙන් හිනාවේ.

සුද්දාට කට උත්තර නැති වුනේයැයි කීම අතිශයෝක්තියක් වන්නේ මේ ප්‍රශ්නයටද ඔහුට පැහැදිලි පිළිතුරක් තිබුණු බැවිනි. ඔහු කීවේ ඒ දවස්වල දෙවියන්ගේ කැමැත්ත එසේ වූ බවත් පසුව එය වෙනස් වූ බවත්ය. මගේ බයිට් කිරීම එතැනින් අවසන් වුනේත් නැත. අන්තිමේදී සුද්දාගේ අතේ තිබුණු බයිබලය ගන්නට මරිසියක් දැම්මත් ඒක හරිගියේත් නැත.

කෙසේවුවද, මට කියන්නට අවශ්‍ය වන්නේ තමන් අයියා-නංගී විවාහයකින් පැවත එන බව සිතන්නේ සිංහලයින් පමණක් නොවන බවයි. පරණ ගිවිසුම මත පදනම් වූ ආබ්‍රහමික ආගම් අදහන ලෝක ජනගහණයෙන් අඩකට වැඩි පිරිසක්, ඔවුන් විශ්වාස කරන පරිදි, පැවතෙන්නේ අයියා-නංගී සම්බන්ධතාවයක ප්‍රතිඵල ලෙසින්ය.


(Image: https://en.wikipedia.org/wiki/Tutankhamun)

Tuesday, December 15, 2015

ෂරියා දණ්ඩ නීතිය: නොදැන මැකුවොත් හිරේ

පසුගිය සතියේ පළ කළ ලිපියකට මධ්‍යස්ථ මතධාරියා දැක්වූ ප්‍රතිචාරයක ඉරාන දණ්ඩ නීතිය ගැන සඳහනක් විය. ලංකාවේ දණ්ඩ නීතිය හදාරා තිබුණත් ඉරාන දණ්ඩ නීතිය ගැන මට කිසිදු දැනුමක් නොවූ නිසා මේ ප්‍රතිචාරය කියවූ පසු ඒ පිළිබඳව සොයා බලන්නට උනන්දුවක් ඇති විය. මත්ද්‍රව්‍ය සහ අපරාධ පිලිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ (UNODC) වෙබ් අඩවියෙන්  ඉරාන දණ්ඩ නීති සංග්‍රහයේ ඉංග්‍රීසි පිටපතක් සොයා ගත හැකි විය.

රටක දණ්ඩ නීති සංග්‍රහය කියන්නේ ඒ රටේ නීතිය අනුව අපරාධ අර්ථ දක්වා ඒවාට ලබා දියයුතු දඬුවම් විස්තර කර ඇති ලියවිල්ලකි. කම්බියක් දිගේ විදුලිය  ගමන් කරනු ඇසට නොපෙනුණත්, විදුලිය ගැන කවදාවත් අසා නැති වුවත්, විදුලිය සහිත කම්බියක් ස්පර්ශ කරන කෙනෙකුට විදුලි සැර වැදේ. මේ අයුරින්ම රටක නීතිය අනුව යම් පුද්ගලයෙකුගේ ක්‍රියාවක් වරදක් වීමටත්, එවැන්නෙකුට දඬුවම් ලැබීමටත් නීතිය නොදැන සිටීම බාධාවක් නොවේ. රටක නීතිය යනු සියල්ලන්ම විසින් දැන සිටිය යුතු එකක් බවට සාමාන්‍යයෙන් පූර්ව නිගමනයක් ඇත. බැද්දේගම සිළිඳුගේ සිට මුතුර්හි රිසානා නෆීක් දක්වා මුහුණ දුන් ඛේදවාචකය වූයේ තමන් ජීවත් වූ සමාජය යටත්ව ඇති නීති පද්ධතිය ගැන නිසි අවබෝධයක් නොතිබීමයි.

ලංකාවේ දණ්ඩ නීති ආඥාපණත මුලින්ම හඳුන්වා දුන්නේ පස්වෙනි ජෝජ් රජු විසින් ලංකාව පාලනය කළ 1883 දීය. ඉන්පසුව සමාජයේ වෙනස්කම් වලට ගැලපෙන පරිදි සුද්දා මේ ආඥාපණත තිස් වරක් වරින් වර සංශෝධනය කළේය. මෙසේ වසර දෙකකට පමණ වරක් සුද්දා මේ අස්සයා මාරු කළත් නිදහසින් පසු දශක දෙකක්ම අප කළේ මේ අස්සයා මාරු නොකර පැදීමයි. නිදහසින් පසුව 1968 දී මුල් වරටත්, 1980දී දෙවන වරටත් අපේ දණ්ඩ නීතිය වෙනස් විය. ඉන්පසුව අනූව දශකයේ පටන් වසර තුන හතරකට වරක් අපි අපේ දණ්ඩ නීතිය සංශෝධනය කළෙමු. (මේ වන විට නැවත වරක් අපේ දණ්ඩ නීතිය සංශෝධනය කිරීමට කටයුතු කෙරෙමින් පවතින අතර අද දුටු පුවත් දෙකකට අනුව ද්‍රවිඩ සන්ධානය මෙන්ම බොදුබල සේනාවද මේ අළුත් සංශෝධනයට අකමැත්ත ප්‍රකාශ කර ඇත.)

මට මුලින්ම පරිශීලනය කිරීමට ලැබුණේ 1968 සංශෝධිත ලංකා දණ්ඩ නීති සංග්‍රහයයි. මෙය මගේ පියාගේ පුස්තකාලයේ තිබුණු බැව් හරියටම නිවැරදි නොවන්නේ එය වැඩිපුරම තිබුණේ ඔහුගේ ලියන මේසය මත බැවිනි. මෙහි විවිධ වගන්ති ඔහු නිතර කියවූවත් ඇත්තටම ඒ පොත බලාගෙන නොවේ. මතකයෙනි. ඔහු බොහෝ විට පොත අතට ගෙන එහි පිටු නොපෙරලාම "දැන් මේ පොතේ xx වගන්තිය අනුව ..." යනුවෙන් කියවාගෙන යයි. මෙය ඔහුගේ වෘත්තීය නොවූවද අපේ පවුලේ සිටි නීති හා අධිකරණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට ගිය සියල්ලන්ටම වඩා නීතිය පිලිබඳ ඔහුගේ දැනුම ඉහළ බවනම් ඉඳුරාම කිව හැකිය.

පසුව මේ 1968 සංශෝධනය වෙනුවට 1980 සංශෝධනය ඔහුගේ මේසයට ආවේය. පියාගේ කතාබස් වලින් හැලෙන කෑලි අහුලගන්නවාට අමතරව මේ පොත් මමත් වරින් වර කියවූයෙමි. පසුකාලයකදී, නීති විද්‍යාලයේ අපරාධ නීතිය විෂයට කිසිදු දේශනයකට සහභාගී නොවී, පෙර දින සහ උදය වරුවේ පමණක් සූදානම් වී ඉහළ ලකුණු ගණනක් ගැනීමට උදවු වුණේ මේ දැනුමයි. 'යුනියන් නෝට්ස්' වලින් නීති විද්‍යාල විභාග ගොඩ දා ගැනීම අපහසු නොවුණත් ඒවා ප්‍රමාණවත් වුණේ යාන්තම් පාස් වීමට පමණි.

ඉරාන දණ්ඩ නීතිය අපේ දණ්ඩ නීතියට සාපේක්ෂව සරල එකක් බව මගේ අදහසයි. මෙය හඳුන්වා දී ඇත්තේ 1991 වසරේදීය. මේ ගැන මගේ සම්පූර්ණ දැනුම අන්තර්ජාලයෙන් හොයාගත් ඉහත කියූ සංක්ෂිප්ත ලියවිල්ලට සීමා වුණත් එහි ඇතැම් කරුණු සටහන් කර තැබීම වැදගත්යැයි සිතේ. යම් රටකට තාවකාලිකව හෝ ඇතුළු වන කෙනෙකු අදාල රටේ නීති ගැන දැන සිටියත්, නොදැන සිටියත් ඒවාට මුළුමනින්ම යටත්ය. ඒ නිසා කළ යුත්තේ මෙවැනි නීති ගැන හැකිතාක් දැනුවත් වීමයි. නීති කෙතරම් ම්ලේච්ඡ ලෙස පෙනුණත්, ඒවා ගැන නොදැන ඇණගත්තාට පසු මේ නීති විවේචනය කිරීම තේරුමක් නැති දෙයකි.

ඉරාන දණ්ඩ නීති සංග්‍රහයේ 82 වගන්තිය අනුව පහත අවස්ථාවන් වලදී වයස සහ විවාහක/අවිවාහක භාවය කවරක් වුවද ලිංගික හැසිරීමක් සඳහා දඬුවම මරණයයි. මෙහි ලිංගික හැසිරීම යනු (63 වගන්තිය අනුව) ගැහැණියක සහ පිරිමියෙකු අතර සාමාන්‍ය හෝ ගුද සංසර්ගයයි.
- ඉස්ලාම් ආගමෙන් තහනම් කර ඇති ලේ ඥාතීන් අතර ලිංගික හැසිරීමකදී දෙදෙනාටම
- තමන්ගේ සුළු මවු සමඟ ලිංගික හැසිරීමකදී පිරිමියාට
- මුස්ලිම් නොවන පිරිමියෙකු සහ මුස්ලිම් කාන්තාවක් අතර ලිංගික හැසිරීමකදී මුස්ලිම් නොවන පිරිමියාට
- ස්ත්‍රී දූෂණයකදී දූෂකයාට

පහත සඳහන් අවස්ථා වලදී දඬුවම ගල් ගසා මැරීමයි (83 වගන්තිය).
- තමන් විසින් වරක් හෝ සංසර්ගය කර ඇති, තමන්ට අවශ්‍ය වූ විට සංසර්ගය සඳහා ඉඩ දීමට සූදානම්ව සිටින බිරිඳක් සිටින විවාහක පුරුෂයෙකු වෙනත් කිසියම් කාන්තාවක සමඟ ලිංගිකව හැසිරුණු විට
- තමන් විසින් සැමියා සමඟ වරක් හෝ සංසර්ගයේ යෙදී ඇති, නැවතත් එසේ කිරීමට බාධාවක් නැති විවාහක කාන්තාවක් වෙනත් වැඩිහිටි පිරිමියෙකු සමඟ ලිංගිකව හැසිරුණු විට (විවාහක කාන්තාවක ලාබාල තරුණයෙකු සමඟ ලිංගිකව හැසිරුණු විට මරණ දඬුවම නොලැබේ. එවිට දඬුවම කසපහරයි.)

මෙසේ කාමයේ වරදවා හැසිරෙන වයස්ගත කාන්තාවකට හෝ පිරිමියෙකුට ගල් ගසා මරා දැමීමට පෙර කසපහරද දිය යුතුය (84 වගන්තිය).

අවිවාහක කාන්තාවක් සහ පිරිමියෙකු අතර ලිංගික හැසිරීමට දඬුවම කසපහර සියයකි (88 වගන්තිය). එහෙත්, මේ වරද සිවුවන වරට කර අසුවුවහොත් දඬුවම මරණයයි (90 වගන්තිය).


ගල් ගසා මරා දැමීම ක්‍රියාත්මක කළ යුත්තේ පිරිමියෙකුනම් ඉණ මට්ටමටත්, ගැහැණියකනම් තන මට්ටමෙන් ඉහළටත් පොළොවේ වැලලීමෙන් පසුවය (102 වගන්තිය).

එමෙන්ම, 104 වගන්තිය අනුව, එක් ගල් පහරකින් හෝ දෙකකින් මරණයට පත් වන තරමට ගලක් විශාල නොවිය යුතු අතර ගලක් කියා හැඳින්විය නොහැකි තරම් කුඩා නොවිය යුතුය.

දඬුවමට ලක්වන්නා ගැලවී පලාගියහොත් කටයුතු කළ යුතු ආකාරය 103 වගන්තියේ විස්තර වේ. දඬුවම ලබාදෙන්නේ වරද පිළිගැනීම මත පදනම්වනම් (වරද තහවුරු කළ හැකි පහසුම ක්‍රමය සිවුවරක් වරද පිළිගැනීමට ඉඩහැරීමයි.) මෙසේ ගැලවී ගිය කෙනෙකු නැවත රැගෙන විත් දඬුවම ක්‍රියාත්මක කළ නොහැක. එහෙත්, බාහිර සාක්ෂි වලින් එය තහවුරු වී ඇත්නම් එසේ කළ යුතුය.

වැඩිහිටි පිරිමි දෙදෙනෙකු අතර සමලිංගික හැසිරීමට දඬුවම දෙදෙනාටම මරණයයි. මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු ආකාරය විනිශ්චය කාරයාට තීරණය කළ හැකිය (110 වගන්තිය). වැඩිහිටි පිරිමියෙකු සහ ලාබාල අයෙකු අතර සමලිංගික හැසිරීමකදී වැඩිහිටි පිරිමියාට මරණයත්, බාලයාට කසපහර 74 කුත් හිමි වේ (112 වගන්තිය).

ගැහැණු සමලිංගික සේවනයට දඬුවම දෙදෙනාටම කසපහර 100 බැගිනි (129 වගන්තිය). සිවුවන වරට අසුවුවහොත් දඬුවම මරණයයි (131 වගන්තිය).

මත්පැන් පානය සඳහා දඬුවම කසපහර 80 කි (174 වගන්තිය).

මේවා කුරාණයේ හෝ වෙනත් ආගමික ලියවිලි වල (සුන්නා) ඇති දෑ මත පදනම්ව ඇති නීති බැවින් ෂරියා නීතිය ක්‍රියාත්මක වන අනෙක් රටවලද මේ නීති මෙයට ආසන්නව සමාන බව මගේ අදහසයි.

ඒ නිසා ඔය රටවලට යනවානම් කොරන දෙයක් පරිස්සමිනි. හදිස්සියේවත් පරණ කරුමයකට කොහේවත් තිබුණු වරදකට හෝ අසු වුනොත් වරද පිළිගැනීමනම් කෙසේවත් නොකළ යුතු දෙයකි. වරද පිළිගත්තා කියන්නේ අනිවාර්යයෙන්ම එහා ලෝකයට 'වන් වේ එයා ටිකට්' එකකි.

(Photo credit: boingboing.net)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...