කාලයකට ඉස්සර උඹේ කටෙත් පස් මගේ කටෙත් පස් කියා කිවූ බව පැවසෙන්නේ අන්දරේ විසින් ඔහුගේ පුතාටයි. අන්දරේ කියන්නේ ඒ වෙද්දී රජවාසල කවටයා.
අන්දරේ කාටත් ඇහෙන්න උඹේ කටෙත් පස් මගේ කටෙත් පස් කියා කිවුවත් අන්දරේගේ හෝ පුතාගේ කටේ පස් තිබුණේ නැහැ. පස් කන බව කෑ ගසා කියමින් ඔවුන් කළේ හිතේ හැටියට රජවාසල සීනි කන එකයි. වෙනත් විදිහකින් කිවුවොත් පොදු දේපොළ අපහරණය කරමින් වංචාවක් කිරීමයි. ඒ දවස් වල වෝහාරික විගණන තිබුණේ නැති නිසා රජවාසල කවටයින් පවුල් පිටින් සීනි කෑමෙන් සිදු වූ අලාභය ගැන ගණන් මිමි නැහැ.
අන්දරේට පොදු දේපොළ අපහරණය කරන්න අවස්ථාව ලැබුණේ රජා විසින් තොරතුරු වසන් කරමින් බොරුවක් කියූ නිසයි. අන්දරේ විසින් රජවාසල මිදුලේ වේලෙන්න වනා තිබුණු සීනි පෙන්වා රජාගෙන් ඒ මොනවාදැයි ඇසූ විට රජා ඇත්ත නොකියා බොරුවක් කිවුවා.
සීනි වල කැලරි අගය ඉහළයි. ඒ වගේම සීනි කන්න කවුරුත් වගේ ආසයි. නමුත්, අන්දරේලාට හා දරුවන්ට රජාට හා දරුවන්ට මෙන් හිතේ හැටියට සීනි කන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා, එවැනි අවස්ථාවක් ලැබුණොත් අතාරින්නේත් නැහැ. රජා ඕක දන්නවා. තොරතුරු වසන් කරමින් පැදුරේ තියෙන්නේ වැලි කියා අන්දරේට කියන්නේ ඒකයි.
ඕනෑනම් පැදුරේ තිබෙන්නේ සීනි කියා කියන්න පුළුවන්කම රජාට තිබුණා. ඒ වගේම, ඒ සීනි රාජ්‍ය දේපොළක් බවත් කියන්න තිබුණා. නමුත්, රජා එහෙම කිවුවේ නැහැ. ඒකටත් හේතු තිබෙනවා.
රාජ්‍ය දේපොළ කියන්නේ පොදු දේපොළ. ඒ බව රජා දන්නවා. ඒ එක්කම මේ පොදු දේපොළ භුක්ති විඳින්නේ තමන්, පවුලේ අය සහ වටේ ඉන්න ටික දෙනෙක් පමණක් බවත් දන්නවා. ඒ කුඩා කණ්ඩායම ඇතුළට රජවාසල කවටයින්ව ඇතුළු කර ගන්න රජාට අවශ්‍ය නැහැ. රජා බොරු කියන්නේ ඒ නිසයි.
රජා බොරු කිවුවත් රජවාසල කවටයින්ව අන්දන්න අමාරුයි. රජාවත් අන්දලා රජවාසල සීනි කන හැටි ඔවුන් දන්නවා. තනියම නෙමෙයි පවුල් පිටින්.
අන්දරේ රජවාසල සීනි කන්නේ ලස්සනට රජාගේ කට වහලා. පැදුරු වල තියෙන්නේ සීනි නෙමෙයි වැලි කියලා කිවුවේ රජා විසින්මයි. ඒ නිසා දැන් රජාට රාජ්‍ය දේපොළ අපහරණය කළා කියා අන්දරේට දඩුවම් දෙන්න බැහැ.
රජවාසල කවටයෝ වැලි කිය කිය සීනි කනවා. ඒ අතරේ රටේ මිනිස්සු කන්න දෙයක් නැතුව ඇත්තටම පස් කනවා. පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, මොරදෙණිය ග්‍රාම නිලධාරි වසමේ, ඉතා දිළිඳු පවුලක දරුවකු තම නිවසේ බිත්තිවල ඇති මැටි ආහාරයට ගන්නා පුවතක් අද එක්තරා වෙබ් අඩවියක වාර්තා වී තිබුණා.
මා වෛද්‍යවරයෙකුගේ කාර්යය කරන්න යන්නේ නැහැ. එහෙත්, මේ වාර්තාවේ තිබෙන විස්තරය අනුව මෙය පයිකා (pica eating disorder) කියන රෝගී තත්ත්වය වෙන්න පුළුවන්. මෙය සැලකෙන්නේ මානසික රෝගී තත්ත්වයක් ලෙසයි. එහෙත්, මන්දපෝෂණය හා ඛණිජ ලවණ ඌණතා ඇතුළු වෙනත් පෝෂණ ඌණතා සමඟ මේ රෝගී තත්ත්වයේ විශාල සහසම්බන්ධයක් තිබෙනවා. හැම විටම දරුවෙකු පස් කන්නේ පෝෂණ ඌණතා නිසා නොවුණත්, දිගින් දිගටම පස් කන දරුවෙකු පෝෂණ ඌණතා වලින් පෙළෙන්නෙකු වීමේ සම්භාවිතාව ඉතා වැඩියි. වාර්තාවේ තිබෙන අනෙකුත් තොරතුරු අනුව මේ දරුවා පෝෂණ ඌණතාවයකින් පෙළෙන දරුවෙකු බව පැහැදිලියි.
ලංකාව ඉහළ සෞඛ්‍ය හා පෝෂණ තත්ත්වයක් ඇති බවට උදම් අනන රටක්. ඒ වගේම, මෑතකදී ඉහළ මැදි ආදායම් කාණ්ඩයට ඇතුළත් වූ රටක්. මේ සියල්ලටම වඩා කාලයක් තිස්සේ විශාල සුබසාධන ආර්ථිකයක් පවත්වාගෙන යන රටක්. එවැනි රටක දරුවන්ට පස් කන්න යොමු වෙන තරමේ ආහාර සුරක්ෂිතතා ප්‍රශ්නයක් තිබීමෙන් පෙනෙන්නේ මේ සුබසාධන ආකෘතිය අසමත් එකක් බවයි.
අප මේ කරුණ කියන්නේ ඉහත තනි උදාහරණය දෙස බලමින් නෙමෙයි. 2016 ශ්‍රී ලංකා ජනවිකාශ හා සෞඛ්‍ය සමීක්ෂණ ප්‍රතිඵල අනුව ලංකාවේ වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් 17%ක් වයසට අවශ්‍ය තරමට වඩා මිටියි. එම දරුවන්ගෙන් 15%කට උසට ගැලපෙන බර නැහැ. අවුරුදු පහට අඩු දරුවන්ගෙන් 21%ක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. වඩාත්ම කණගාටුවට කරුණ 2006-2016 අතර වසර දහයක් තුළ මේ තත්ත්වයේ පැහැදිලිව පෙනෙන වෙනසක් සිදු වී නොතිබීමයි.
Showing posts with label සහනාධාර. Show all posts
Showing posts with label සහනාධාර. Show all posts
Wednesday, January 29, 2020
උඹේ කටෙත් පස් මගේ කටෙත් පස්
Labels:
ජනකතා,
ජනවිකාශ විද්‍යාව,
පෝෂණය,
සහනාධාර,
සෞඛ්‍යය,
ළමා හිමිකම්
Sunday, October 21, 2018
එන්ටර්ප්‍රයිස් ලංකා ව්‍යාපෘතිය ෆිස්කල් බූස්ටරයක් ලෙස...
ව්‍යවසායකයින් බිහි කිරීමේ අරමුණින් ඇති කළා කියන එන්ටර්ප්‍රයිස් ලංකා ව්‍යාපෘතියේ ආකෘතිය අනුව එහි ප්‍රකාශිත අරමුණ කොයි තරම් දුරට ඉටුවෙයිද කියන එක හරියටම කියන්න බැහැ. නමුත්, ඒ හේතුව නිසාම මේ වැඩසටහන නරකයි කියා කියන්නත් බැහැ.
මහ බැංකුව හෝ රජය විසින් කෙළින්ම කියා නැතත්, එන්ටර්ප්‍රයිස් ලංකා ව්‍යාපෘතිය දිහා රාජ්‍ය මූල්‍ය උත්තේජකයක් (fiscal stimulus) විදිහට බලන්නත් පුළුවන්. එහෙම බැලුවොත් මේ වෙලාවේ රටේ සමස්ත ඉල්ලුම ඉහළ දමන්න ගත හැකි විකල්ප මුදල් හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග වලට සාපේක්ෂව මෙය නරක එකක් නෙමෙයි.
මේ ආණ්ඩුව බලයට පත් වෙන්න ආසන්න වසර වල පැවතුණු ඉහළ ආර්ථික වර්ධනයට එක හේතුවක් වුණේ යුද්ධය අවසන් වීමෙන් පස්සේ ලංකාවේ විභව දළ දේශීය නිෂ්පාදිතය එකවරම ඉහළ මට්ටමකට යාමයි. නමුත්, ඒ විදිහට ඉහළ ගියේ රටේ දළ දේශීය නිෂ්පාදිතය මිසක් එහි වර්ධන වේගය නෙමෙයි. මේ දෙක දෙකක්.
රටේ දළ දේශීය නිෂ්පාදිතය ඔය වගේ බාහිර කරුණක් හේතුවෙන් එක වර ඉහළ යන විට ආර්ථික වර්ධන වේගයත් තාවකාලිකව ඉහළ යන නමුත් නැවතත් කලින් තැනටම එනවා. ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින් වරද්දා ගත්ත තැන වුනේ මේ වැඩි වීම (ලෙවල් ශිෆ්ට් එක) වර්ධන වේගයේ වැඩි වීමක් සේ සැලකීමයි. මේ ගැන වැඩි විස්තර පසුව වෙනම ලිපියක ලියන්නම්.
කොහොම හරි පහුගිය කාලයේ ලංකාවේ ආර්ථික වර්ධන වේගය ඉහළ මට්ටමක පවත්වා ගැනීමේ ප්‍රකාශිත ඉලක්කයක් තිබුණනේ. ආර්ථික වර්ධන වේගය ඉහළ යනවනම් හොඳයි. එහි කතා දෙකක් නැහැ. නමුත්, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති වලින් හෝ මුදල් ප්‍රතිපත්ති වලින් පමණක් රටක දිගුකාලීන ආර්ථික වර්ධන වේගය ඉහළ දමන්න බැහැ. වරද්ද ගත්ත තැන ඔතැනයි. එය කරන්න උත්සාහ කරන තරමට වෙන්නේ විභව නිෂ්පාදිතය වැඩි වීම වෙනුවට නිපැයුම් පරතරය ඉහළ යාමයි. එය භයානකයි. බොහෝ විට අවසන් වෙන්නේ ආර්ථිකයේ එකවර සිදුවන ලොකු කඩා වැටීමකින්.
කොහොම වුනත් මහ බැංකුව හා රජය කල් පසුවී හෝ මෙය තේරුම් ගෙන ආර්ථික වර්ධනයට තිරිංග යොදපු නිසා එවැනි එකවර සිදුවන කඩා වැටීමක් වැළකුණා. මේ කියන්නේ රටේ මූර්ත අංශය ගැන. විණිමය අනුපාතිකය, ගෙවුම් ශේෂය වැනි විදේශ අංශයේ අංග ගැන හෝ මුදල් අංශය වැනි අනෙකුත් අංශ ගැන නෙමෙයි. විදේශ අංශයේ අවදානම් තවමත් පහවී නැහැ.
ඉහත කී තිරිංග දැමීමේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහට මේ වන විට ලංකාවේ ආර්ථික වර්ධන වේගය දිගුකාලීන මට්ටමෙන් පහළට වැටිලා තිබෙනවා. රජය වගේම මහ බැංකුවත් දිගින් දිගටම දැඩි මුදල් හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සිටීමේ ප්‍රතිඵලයක් විදිහට ඉදිරි වසර දෙක තුන තුළ ආර්ථික වර්ධනය පහළ ගිහින් ව්‍යාපාර චක්‍රයේ අනික් පැත්ත දැකගන්න පුළුවන් විය හැකියි.
ඒ අතරම ලංකාවේ ආර්ථිකයේ දිගු කලක් තිස්සේ තිබෙන ආකෘතිමය ප්‍රශ්න දෙක වන රාජ්‍ය අයවැය හිඟය හා ගෙවුම් ශේෂ ප්‍රශ්න වලට තිරසාර විසඳුමක් හොයන එක ගැනත් රජය හා මහ බැංකුව හිතමින් ඉන්න බව පේනවා. ලිහිල් මුදල් ප්‍රතිපත්තියකට හෝ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියකට යාම මේ අරමුණට බාධාවක්. රැවුලයි කැඳයි දෙකම බේරගෙනයි කරන දෙයක් කරන්න වෙන්නේ.
රාජ්‍ය මූල්‍ය උත්තේජකයක් විදිහට එන්ටර්ප්‍රයිස් ලංකා ව්‍යාපෘතියේ වැදගත්කම මම දකින්නේ ඉහත පදනම මතයි.
ආර්ථිකය උත්තේජනය කරන්න රජයට මැදිහත් විය හැකි විවිධ ආකාර තිබෙනවා. රජයේ වියදම් වැඩි කිරීම හා බදු අඩු කිරීම කියා පොතේ තිබුණත් මේ දේවල් කළ හැකි ආකාර රැසක් තිබෙනවා. බදු කොටස ගත්තොත් අඩු හෝ වැඩි කරන්නේ කවර බදුද කියන එක මත ඇති වන බලපෑම වෙනස්. ඒ වගේම තමයි රජය විසින් කරන වියදම් රට ඇතුළට ගලා එන්නේ කොහොමද කියන එක.
අපි මුලින්ම බදු අඩු කිරීමේ විකල්පය ගැන හිතමු. මේක ප්‍රායෝගිකව ලංකාවට ඒ තරම් හරියන විකල්පයක් නෙමෙයි. බදු අඩු කළාම භාණ්ඩ හා සේවා වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. පරිභෝජනය ඉහළ යනවා. නමුත්, විදේශ අංශයේ තිබෙන අසමතුලිතතාවයත් එක්ක මේ වෙලාවේ ඒක වෙන්නේ රටේ රැකියා ජනනය වීම එක්ක නෙමෙයි. බොහෝ විට වෙන්නේ දේශීය නිෂ්පාදිතය ඉහළ යාම වෙනුවට ආනයන තවත් වැඩි වෙන එකයි. බදු අඩු කිරීමෙන් අයවැය හිඟය වැඩි වීමේ අවාසිය ගැන බැලුවහම තේරුමක් නැති වැඩක්. කොහොමත් මේ වෙලාවේ කෙරෙන දෙයකුත් නෙමෙයි. ආණ්ඩුව ඉන්නේ බදු තවත් වැඩි කරලා අයවැය හිඟය අඩු කරගන්න උත්සාහ ගනිමින්.
බදු අඩු කරන්නේ නැත්නම් රජයේ වියදම් වැඩි කරන්න ඕනෑ. කාලයක් තිස්සෙම ලංකාවේ ආණ්ඩු වල ජනප්‍රිය තේරීම වුනේ මෙයයි. හැබැයි වියදම් කරපු ආකාරයන්ගේ වෙනස්කම් තිබෙනවා.
ලංකාවේ රජයේ වියදම් ඉහළ යවන සම්ප්‍රදායික ක්‍රමය රජයේ සේවය පුළුල් කිරීමයි. මේ හරහා රටේ තෝරාගත් පවුල් ටිකක මිල දී ගැනීමේ හැකියාව වැඩි වෙනවා. නමුත්, ඊට සාපේක්ෂව රටේ නිෂ්පාදිතය වැඩි වීමක් වෙන්නේ නැහැ. නිපැයුම් පරතරය සෘණ පැත්තට ගිහින් තියෙන වෙලාවට මේ වැඩෙන් ඒ පරතරය පියවගන්න පුළුවන් වුනත් ඒ හේතුව නිසා දිගුකාලීනව අවුල තවත් වැඩි වෙන එකයි වෙන්නේ. මොකද රජයේ සේවයට බඳවා ගන්නවා මිසක් බඳවා ගත්ත අය ඉවත් කරන්න ප්‍රායෝගික ක්‍රමයක් නැති නිසා.
තවත් විකල්පයක් වෙන්නේ රජය මැදිහත් වෙලා මහා පරිමාණ ආයෝජන කරන එක. මේ වැඩේට ප්‍රාග්ධන භාණ්ඩ හා අන්තර් භාණ්ඩ ආනයනය කරන්න වෙනවා. ඒකට ඩොලර් ඕනෑ. ඒ නිසා ප්‍රායෝගිකව විදේශ ණය නොගෙන බැහැ. විදේශ ණය විදිහට ගන්න මුදල් වලින් වැඩි ප්‍රමාණයක් නැවත රටින් එළියට යනවා. උප කොන්ත්‍රාත්තු ආදිය හරහා රට ඇතුළට මුදල් ටිකක් යනවා. රැකියා ටිකකුත් හැදෙනවා. ආර්ථිකය ප්‍රසාරණය කරන්න මේ වැඩේ නරක නැති වුණත් දැන් කාලයක් තිස්සෙම ඕක කරලා අමාරුවේ වැටිලනේ ඉන්නේ. මේ වෙලාවේ තවත් විදේශ ණය අරගෙන රට ඇතුළේ වියදම් කරන්න පුළුවන් කමක් නැහැ.
මේ විකල්ප එක්ක බැලුවහම එන්ටර්ප්‍රයිස් ලංකා කියන්නේ නරක අදහසක් නෙමෙයි.
රජයෙන් වියදමක් කියල යනවනම් යන්නේ සහන පදනමකට ණය දෙන්න යන මුදල පමණයි. අපි හිතමු රුපියල් සීයකට ණය සහනය රුපියල් පහයි කියලා. ආණ්ඩුව රුපියල් පහක් වියදම් කරන කොට රුපියල් සීයක් රට ඇතුළට ගිහින්. කෙළින්ම වියදම් කරලා සමස්ත ඉල්ලුම ඉහළ දානවට වඩා විසිගුණයක් ප්‍රතිඵලදායකයි.
ඔය සල්ලි ගන්න හැමෝම මේ මුදල් යොදවලා ඵලදායී වැඩ කරයි කියා කියල සහතික වෙන්න බැහැ. නමුත්, ණය ගන්න අයගෙන් ටික දෙනෙක් හෝ යමක් කරයි. ණය ලබා දීමේ සැලසුමේ ඇතැම් කොටස් නරකම නැහැ. පාසැල් වෑන් රථ සේවා, සංචාරක සේවාවන් ආදිය කෙළින්ම ඉලක්ක කරලා තියෙනවා. උපාධිධාරීන්ට ණය දෙන එකේනම් තියෙන්නේ දේශපාලනික අරමුණක් වෙන්න පුළුවන්.
කොහොම වුණත් රජයේ අයවැය මත තිබෙන පීඩනය ලිහිල් කර ගන්නා අතරම ආර්ථිකය තරමක් ප්‍රසාරණය කරගන්න හෝ අඩු ගානේ සංකෝචනය වෙන එක වලක්වගන්න මේ ව්‍යාපෘතියෙන් උදවුවක් ලැබෙයි කියා හිතනවා.
Labels:
ආර්ථික වර්ධනය,
දේශපාලනය,
සහනාධාර,
සේවා ආර්ථිකය
Saturday, October 20, 2018
ව්‍යවසායකයන් බිහි කරන්නේත් රජයද?
රටක ආර්ථිකය ඉදිරියට ගෙන යන්න ව්‍යවසායකයන් කොයි තරම් විශාල කාර්ය භාරයක් කරනවද කියන එක මා බොහෝ වර පැහැදිලි කර ඇති කරුණක්. ව්‍යවසායකයින්ට ඔලුව උස්සන්න තිබෙන බාධා අවම වන තරමට රටකට වේගයෙන් ඉදිරියට යන්න පුළුවන්.
දැන් මේ ව්‍යවසායකයින්ට තිබෙන බාධා මොනවාද? රටක නිදහස් වෙළඳාමට රජයේ බලපෑම් වැඩි වන තරමට ව්‍යවසායකයකත්වය අඩු වෙලා රජයේ වහල්ලු වැඩි වෙනවා. රජයේ ඇඟිලි ගැසීම් අඩු වන තරමට ව්‍යවසායකයින් වැඩි වැඩියෙන් බිහිවෙනවා.
ව්‍යවසායකයින් කියන්නේ අර්ථ දැක්වීම අනුවම පවතින වාතාවරණය යටතේ වෙනත් අයට කළ නොහැකි දෙයක් කරන පිරිසක්. ව්‍යවසායකයෙකු වෙන්න රජයෙන් උදවු බලාගෙන ඉන්න කෙනෙක්ට හොඳ ව්‍යවසායකයෙක් කියන්න බැහැ. ව්‍යවසායකයෙකු වෙන්න කවුරු හෝ රජයේ උදවු හොයනවනම් එය නිදහස් චින්තකයෙකු වෙන හැටි ඉගෙන ගන්න ටියුෂන් පන්තියකට යනවා වගේ වැඩක්.
පසුගිය අයවැයෙන් ලංකාවේ ව්‍යවසායකයින් දිරිගන්වන වැඩ පිළිවෙලක් යෝජනා වුණා. මේ වන විට එය ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පේනවා. ව්‍යවසායකත්වය දිරි ගන්වන එකත් රජය විසින් කරන්න යාම තුළම මෙහි තිබෙන අවුල පෙනුණත් අඩු වශයෙන් අරමුණ හොඳ එකක් නේද කියන අදහසින් මම මේ ගැන ලිවුවේ නැහැ. වෙමින් තිබෙන්නේ මා හිතූ දෙයම බව දැන් දැනගන්නට ලැබෙන ආරංචි අනුව පැහැදිලියි.
මේ ව්‍යවසායකයින් දිරිගන්වන වැඩ සටහනේ ආකෘතිය කුමක්ද? මෙහිදී වෙන්නේ තමන් ව්‍යවසායකයෙකු බව රජයට පෙන්විය හැකි කෙනෙකුට වෙනත් අයට නොලැබෙන වාසියක් රජයෙන් ලැබෙන එකයි. ඒ වෙනත් අයට වඩා අඩු පොලියකට හා අඩු කොන්දේසි යටතේ ලැබෙන ණයක්. වෙනත් විදිහකින් කිවුවොත් ව්‍යවසායකයෝ වැඩේට බහින්නේ වෙනත් අයට නොලැබෙන වාසියක් ලබමින්.
ව්‍යවසායකයින්ට අඩු පොලියට ණය ලැබෙන විට පාඩු ලබන පිරිසකුත් ඉන්න ඕනෑනේ. දැන් මේ පාඩුව රාජ්‍ය බැංකු වලට හෝ රජයට. ඒ කියන්නේ මේ ව්‍යවසායකයින් බිහි කිරීම සිදු වෙන්නේ මහජන මුදල් යොදාගනිමිනුයි.
පහුගිය කාලයේ ලංකාවේ බැංකු වලින් වයස හැටක් වූ අයට වැඩි පොලියක් ගෙවන්න පටන් ගත්තා. මම හිතන්නේ මෙය තවමත් වෙනවා. මේ එක්කම වයස හැටක් නොවූ අය හැට පිරුණු වැඩිහිටියන්ගේ නමින් මුදල් තැන්පත් කරන්න ගත් බව මා දන්නා දෙයක්. එවැන්නක් වැළැක්වීමේ හැකියාවක් නැහැ.
ව්‍යවසායකයින්ට අඩු පොලියට ණය දෙනවා කියපු ගමන් වෙන්නේ මොනවා හෝ කතාවක් හදාගෙන ඔය ණය ගන්න කට්ටිය පෝලිමේ එන එකයි. ඔය නමින් නොවුනත් ඔයිට කලිනුත් ස්වයං රැකියා ණය කියා අඩු පොලියට ණය දුන් අවස්ථා තියෙනවා. ඒ වෙලාවල් වල වුනෙත් ඕකමයි.
රජයේ මැදිහත් වීමෙන් සහනදායී පදනමකින් ණය දෙන කොට අනිවාර්යයෙන්ම වෙන්නේ වෙන් කරන ප්‍රතිපාදන ප්‍රමාණයට වඩා වැඩි ණය ඉල්ලුමක් ඇති වීමයි. එතකොට මේ ඉල්ලුම්කරුවන් අතරින් ව්‍යවසායකත්වය වැඩි අය කවුද කියන එක තෝරන්න වෙන්නේ බැංකු නිලධාරීන්ටයි. ඔවුන් විසින් තෝරා ගැනෙන අයට මහජන මුදලින් වාසියක් සැලසෙනවා. තෝරා නොගන්නා අයට එය නැහැ. මේ වගේ වෙලාවක ණය පාස් කර ගැනීමේ ආට් එක දන්න අය තමයි අන්තිමට නියම ව්‍යවසායකයෝ වෙන්නේ.
තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට වඩා සහනදායී පදනමකට ලැබෙන ණය මුදල ලබා ගැනීම ඉස්සර වුනොත් අවසන් ප්‍රතිඵලය එතරම් හොඳ එකක් නොවෙන්න පුළුවන්. බැංකුව මහජන මුදල් නාස්ති කරද්දී ණය ලබාගත් අය ඒ මුදල් වෙනත් කටයුතු වෙනුවෙන් යොදවලා ව්‍යවසායකයෝ කොහොම වුණත් ණයකරුවෝ බිහිවෙන්න පුළුවන්.
මේ ආකෘතියේ පොඩි වෙනසක් කළානම් අවුල ලිහාගන්න බැරි නැහැ. රජයේ බැංකු විසින් කළ යුත්තේ ඔවුන් හඳුනාගන්නා ව්‍යවසායකයින්ට ණය දීම වෙනුවට ඔවුන් පටන් ගන්න යන ව්‍යාපාරයක කොටස් මිල දී ගැනීමයි. උදාහරණයක් විදිහට ව්‍යවසායකයාට 60%ක් තියෙද්දී බැංකුවට 40%ක් කොටස් මිල දී ගන්න පුළුවන්. එවිට බැංකුවට තමන්ගේ ආයෝජනයෙන් වාසියක් ලබා ගන්න තිබෙන උනන්දුව වැඩියි. ව්‍යාපාරය බංකොලොත් වුනොත් ව්‍යවසායකයා ණයකරුවෙක් වෙන්නෙත් නැහැ.
මේ විදිහට මුදල් ආයෝජනය කරද්දී අවදානම අමතක කර වැඩේ ගොඩ ගියොත් විශාල ලාභයක් තිබෙන ව්‍යාපෘති පමණක් තෝරා ගැනීම වැදගත්. ව්‍යාපෘති දහයකින් නවයක් බංකොලොත් වුවත් ඉතුරු එකෙන් ඒ අලාභය ආවරණය වන බවට බැංකුව වගබලාගන්න ඕනෑ.
වඩාත්ම හොඳ විදිහ මේ විදිහට කරන ආයෝජන නැවත වෙනත් අයට විකුණන එකයි. ව්‍යාපෘති දහයක් පමණ එකතු කරලා ඒ සමස්ත ආයෝජනය කොටස් කරලා නැවත විකුණන්න පුළුවන්. වැඩි ප්‍රතිලාභ වෙනුවෙන් අවදානම් ගන්න කැමති අය ලංකාවේ ඕනෑ තරම් ඉන්නවා.
ඒ තරම් ලොකු වෙනසක් කරන්න අමාරුනම් දැනට ඔය ලබා දෙන ණය එකතු කරලා ඒ එකතුව කොටස් කරලා නැවත විකුණන්න උත්සාහ කරන්න පුළුවන්. බැංකුව ව්‍යවසායකයින් හරියට තෝරගෙනනම් ණය වෙනත් අයෙකුට ආපසු විකුණන එක අමාරු වෙන්න හේතුවක් නැහැ. එහෙම කරන්න බැරිනම් ඒ කියන්නේ ව්‍යවසායකයින් හඳුනා ගැනීමේ හැකියාවක් රජයේ බැංකු වලට නෑ කියන එකයි.
Labels:
ආර්ථික වර්ධනය,
ව්‍යවසායකත්වය,
සහනාධාර
Thursday, November 23, 2017
දරිද්‍රතාවය සමව බෙදාගැනීමේ සමාජවාදී සිහිනය
පහතින් ඇත්තේ මෙහි පළවූ පසුගිය ලිපියකට අජිත් ධර්මා විසින් දමා ඇති ප්‍රතිචාරයක කොටසකි.
"ඔය රටවල් දෙකම මන්දපෝෂණය තිබුනේ නැහැ. හේතුව සලක ක්‍රමයට පෝලිමේ ඉන්දල් අ හෝ කෑම දුන්න බඩගින්නේ නොහිටින්න. හොඳ කෑම නොවෙන්න පුළුවන්. ඒක ඇත්ත. රුවන් කියන සුඛෝපභෝගී ආහාර නැහැ. මම මේ කියුබන් ක්‍රමය හොඳයි කියනවා නෙවි. අපි විවේචනයක් කරන විට සාධාරණ විය යුතු නිසා."
මෙහි අජිත් ධර්මා විසින් කියන්නේ පැරණි සෝවියට් දේශයේ හා කියුබාවේ සියලු දෙනාටම බඩ පුරවා ගන්නට තරම් ප්‍රමාණවත් ආහාර සලාකයක් රජය විසින් ලබා දුන් බවයි.
ඊට පෙර ඉකොනොමැට්ටා විසින් පළ කළ වෙනත් ලිපියකට අජිත් ධර්මා විසින්ම දමා තිබුණු ප්‍රතිචාරයක් මෙසේය.
"ඔබ කිව්වා වගේ පගාව දීල ටෙලිෆෝන් එක ගන්න ඕනේ. ඔයඅර්ධ සමාජවාදී නැත්නම් ලනක්ව වගේ මුනිච්චාවට සමාජවාදී රටවල තිබූන ප්‍රශ්නයක්. සෝවියට් දේශයේ හැම ගෙදරකටම ආණ්ඩුවෙන් ටෙලිෆෝන් එකක් දීල තිබුන. කාටවත් බලෙන් ඉල්ලන්න ඕනේ කමක් තිබුනේ නැහැ. ඒ කියන්නේ පෞද්ගලික ගෙවල් නැහැනේ. ඔක්කොම ආණ්ඩුවේ. ඉතින් ආණ්ඩුවම දෙන්න ඕනේ. එතනයි වෙනස."
කියුබාව වැනි රටවල මන්දපෝෂණය නොතිබුණු බව වැනි දේ නිවැරදි නොවන බව අපි පැත්තකින් තියමු. එය මේ ලිපියේ සාකච්ඡා කරන කරුණට අදාළ නොවේ.
අජිත් ධර්මාගේ ප්‍රතිචාරය අනුව පැරණි සෝවියට් දේශයේ සෑම නිවසකටම රජය විසින් ස්ථාවර දුරකථනයක් ලබා දී තිබේ. එසේම, රටේ සියලු දෙනාටම කුසගිණි නිවා ගන්නට ප්‍රමාණවත් ආහාර සලාකයක් ලබා දී තිබේ. මේ ආහාර සලාකය සාමාන්‍ය පුද්ගලයෙකුට ජීවත් වීමට අවශ්‍ය වන පෝෂ්‍ය පදාර්ථ සියල්ල අඩංගු ප්‍රසස්ථ ආහාර වේලක්යැයි අපි උපකල්පනය කරමු. අජිත් ධර්මා විසින් විශේෂයෙන් සඳහන් කර නොතිබුණත් පැරණි සෝවියට් දේශයේ වැසියන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම්ද රජය මඟින් සැපයූ බව අප දන්නා කරුණකි.
දැන් මේ හරහා මැවෙන්නේ ලංකාවේ බොහෝ සමාජවාදීන්ගේ සිහිනය වන පරමාදර්ශී සමාජයකි. ඔවුන්ගේ ඉලක්කය ලංකාව මෙවැනි තැනකට ගෙන යාමයි.
මේ සමාජවාදී ඉලක්කය දෙස විමසිල්ලෙන් බැලීමෙන්ම සමාජවාදී චින්තනයේ ඇති වැරැද්ද පැහැදිලිව පෙනේ. ඒ ගැන සාකච්ඡා කිරීමේදී අදාළ රටවල් මේ ඉලක්කය සැබෑවටම සපුරා ගත්තේද යන්න සැක නොකර අපේ සාකච්ඡාව ඉදිරියට ගෙන යමු.
දැන් මේ පරමාදර්ශී රටක මධ්‍යගත සැලසුම්කරුවෙකු විසින් රට වැසියන් අතර දුරකථන බෙදා දිය යුතු හොඳම ක්‍රමය එක් නිවසකට එක් දුරකථනය බැගින් බෙදා දීම බව තීරණය කරයි. එහෙත්, රටේ ජීවත් වන සෑම දෙනෙකුටම දුරකථනයක ඇති ප්‍රයෝජ්‍ය වටිනාකම සමාන නැත.
දුරකථනයක් යනු අනවශ්‍ය කරදරයක් කියා සිතන සුළු පිරිසක් හෝ සිටිති. එවැන්නන්ට රජයෙන් ලබා දෙන දුරකථනය ප්‍රයෝජනයට නොගෙන සිටිය හැකි බව ඇත්තකි. එහෙත්, එහිදී සිදුවන්නේ සම්පත් නාස්තියකි. ඒ අතරම, පවුලේ සාමාජිකයින් කිහිප දෙනෙකුම දුරකථනයට ඇබ්බැහි වී සිටින නිවසකට එක් දුරකථනයක් ප්‍රමාණවත් නොවන්නට පුළුවන. රජය මඟින් නිවසකට එක් දුරකථනය මඟින් ලබා දීමෙන් පසු කැමති අයෙකුට තමන්ගේ දුරකථනය වෙනත් අයෙකුට විකිණීමට ඉඩ ලැබේනම් දුරකථන හුවමාරු ගණුදෙනු යම් ප්‍රමාණයක් හෝ සිදුවන බව ස්ථිරය. මෙවැනි නිදහස් ගනුදෙනුවකදී සිදුවන්නේ කිසියම් අයෙකු තමන්ට අනවශ්‍ය හෝ අත්‍යවශ්‍ය නොවන දෙයක් එය වඩා අවශ්‍ය අයෙකුට දී දෙවැන්නාට වාසියක් සලසමින් තමන්ද වාසියක් ලැබීමයි. මධ්‍යගත සැලසුම් ක්‍රමයේ ඇති අකාර්යක්ෂමතාවය වන්නේ දෙදෙනෙකුටම වාසි සැලසෙන මෙවැනි හුවමාරුවක් කරන්නට නිදහසක් නැති වීමයි.
ආහාර සම්බන්ධව සැලකූ විට මෙය පැහැදිලි කිරීම වඩා පහසුය. මේ සඳහා, පැරණි සෝවියට් දේශයටම යා යුතු නැත. පේරාදෙණියේ අක්බාර් කැන්ටිම වැනි තැනකට යාම ප්‍රමාණවත්ය.
මෙවැනි තැනක ලබා දෙනා කෑම වේල මධ්‍යම සැලසුම්කරුවෙකුගේ දැඩි නියාමනයකට ලක්ව තිබේ. ඒ අනුව, ටෙන්ඩරය භාරගන්නා අයෙකු නිශ්චිත මිලකට නිශ්චිත ද්‍රව්‍ය අඩංගු කෑම වේලක් ලබා දිය යුතුය. මෙය සාමාන්‍යයෙන් බත්, පරිප්පු හෝ මුං ඇට, මැල්ලුමක් හා එළවළුවක් වැනි අංග වලින් යුත් කෑම වේලකි. අවශ්‍යනම් වැඩිපුර මුදලක් ගෙවා මස්, මාළු හෝ බිත්තර වැනි දෙයක් මිල දී ගත හැකිය.
කෙසේ වුවත්, මේ ප්‍රසස්ථ කෑම වේල සියලුම පාරිභෝගිකයින්ගේ ප්‍රසස්ථම කෑම වේල නොවේ. බොහෝ දෙනෙක් කෑම වේල මිල දී ගෙන මේසයට පැමිණ වාඩි වෙන්නේම කොළ මැල්ලුම කුණු බක්කියට දැමීමෙන් පසුවය. එය කෙළින්ම සිදුවන සම්පත් නාස්තියකි. ඉන් පසුව, ඉතිරි වන එළවලුවද ඇතැම් අයගේ ප්‍රියජනක ආහාරයක් නොවිය හැකිය.
"මචං, මම පතෝල කන්නෙ නැහැ. උඹ කනවනම් මේ ටික ගනිං."
කෑම මේසයේදී මේ වගේ දේවල් සිදුවිය හැකිය. කොළ මැල්ලුමද කුණු බක්කියට දමා අවසන් නිසා දැන් පළමු සිසුවාගේ පිඟානේ තිබෙන්නේ බත් හා පරිප්පු පමණි.
"කෝ උඹට බත් ටික කන්න දෙයක් දැන් නෑනේ. මේකෙන් තව පරිප්පු ටිකක් ගනිං."
මධ්‍යගත සැලසුම වෙනුවට පුද්ගල තේරීමට ඉඩදෙන බුෆේ ක්‍රමයක් තිබුණානම් තමන් කැමති දේ මිස අකැමැති දේ බෙදාගෙන්නට අවශ්‍ය නැත. නාස්තිය අඩු වන නිසා නියමිත මිලටම ලබාගත හැකි කෑම ප්‍රමාණය වැඩි වනු මිස අඩු වන්නේද නැත.
ඇමරිකාවේ අඩුආදායම්ලාභීන්ට ලබා දෙන සහනාධාරය සලාකයක් ලෙස නොව මුදලින් ලබා දෙන්නකි. මේ මුදල ගණනය කිරීමේදී දරු දෙදෙනෙකු ඇතුළුව හතරදෙනෙකු සිටින පවුලකට සතියකට එළවලු රාත්තල් 31.56ක් හා පළතුරු රාත්තල් 24.48ක් මිල දී ගන්නට ප්‍රමාණවත් මුදලක් ලබා දුන්නත් එවැනි පවුලක අය ඒ ප්‍රමාණයෙන් අඩක්වත් එළවලු හා පළතුරු ආහාරයට ගන්නේ නැත. ඔවුන් ඒ වෙනුවට කරන්නේ ඒ මුදල් ඉතිරි කරගෙන තෙල් හා මේද අඩංගු ආහාර හා රසකැවිලි වැඩිපුර ආහාරයට ගැනීමයි. එහෙත්, මෙයට විසඳුමක් ලෙස මේ අයට බලෙන් එළවලු හා පළතුරු කවන්නට ආණ්ඩුවට පුළුවන් කමක් නැත. කිසියම් අයුරකින් එළවලු හා පළතුරු සලාකයක් ලෙස ලබා දුන්නොත් සිදුවනු ඇත්තේ එම ආහාර කුණු බක්කි වලට යාම පමණි. දැනුවත් කිරීම් මඟින් පුද්ගල තේරීම් වෙනස් කිරීම මිස වෙනත් ආකාර වල මැදිහත්කිරීම් මඟින් සාර්ථක ප්‍රතිඵල ලබාගත නොහැකිය.
ආහාර සහනාධාරය මෙන්ම ඇමරිකාවේ අඩුආදායම්ලාභී නිවසකට දුරකථන පහසුකම් ලබාගැනීම සඳහා "ලයිෆ්ලයින්" නම් වූ සහනාධාර වැඩසටහනක්ද ක්‍රියාත්මකව පවතී. මේ හරහා දුරකථනයක් නැති පවුලකට තමන් කැමති පරිදි ස්ථාවර දුරකථනයක් හෝ ජංගම දුරකථනයක් ලබා ගැනීමට පුළුවන. සහනාධාරය මඟින් දුරකථනයේ මිල ඇතුළු සම්බන්ධතාව ලබා ගැනීමේ මූලික වියදම් මෙන්ම මාසික ගාස්තු වලින්ද සැලකිය යුතු කොටසක් ප්‍රතිපූරණය කරන නිසා අඩුආදායම්ලාභී පවුලකට ඇමරිකාවේ අවම වැටුපට පැයක පමණ කාලයක් වැඩකර ඉපැයිය හැකි මුදලක් මසකට වැය කර දුරකථනයක් නඩත්තු කළ හැකිය. ස්ථාවර දුරකථන යනු ඇමරිකාවේ හෙමින් මිය යමින් තිබෙන සංකල්පයකි. ඒ නිසා, අඩුආදායම්ලාභීන් ඇතුළු බොහෝ ඇමරිකානුවන්ගේ දැන් තේරීම ජංගම දුරකථනයයි.
ඇමරිකාවේ ආදායම් මට්ටම් අනුව පහළින්ම සිටින අයෙකුට වුවද පෙර ලිපියේ විස්තර කර ඇති නොමසුරු ආහාර සහනාධාරය, දුරකථන සහනාධාරය, සෞඛ්‍ය පහසුකම් ඇතුළු අවම ජීවන තත්ත්වයක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වන දේ ලැබේ. රජය මඟින් ලබා දෙන්නේ නොමිලේ ප්‍රතිකාර නොව සියලු වියදම් ආවරණය වන සෞඛ්‍ය රක්ෂණයක් නිසා ප්‍රතිකාර ගන්නට "ආණ්ඩුවේ ඉස්පිරිතාල වල" පෝලිම් වල ඉන්නට අවශ්‍යද නැත. අඩුආදායම් ස්ථරවල ජීවන තත්ත්වය මෙසේ ඉහළින් තිබීමට හේතු වී ඇත්තේ ආදායම් උපයන ඉහළ ස්ථර වලට බාධාවකින් තොරව එය කරන්නට ඉඩ සැලසීම මිස ඔවුන්ට තිරිංග දැමීම නොවේ.
සියල්ලන්ටම සමානව බෙදීමේ සමාජවාදී ඉලක්කයේ අරමුණ සමාජයේ පහළම ස්ථර වලට අවම ජීවන තත්ත්වයක් සහතික කිරීමයි. ඉහළ ස්ථර වලට කොහොමටත් එහි වාසියක් නැත. මේ පරමාදර්ශී සමාජවාදී ඉලක්කය අනුව බැලුවත් ධනවාදී ඇමරිකාව සිටින්නේ සමාජවාදී රටවලට වඩා ඉදිරියෙනි.
Labels:
ආදායම් විෂමතාවය,
ඇමරිකාව,
දරිද්‍රතාවය,
ධනවාදය,
සමාජවාදය,
සහනාධාර,
සෝවියට් දේශය
Wednesday, November 22, 2017
ඇමරිකාවේ දුප්පතුන්ගේ කෑම
ඇමරිකාවේ අඩුආදායම්ලාභී පවුලකට ආහාර මිල දී ගැනීම සඳහා ලබා දෙන සහනාධාර මුදල පවුලේ සාමාජිකයින් ගණන, ඔවුන්ගේ වයස් මට්ටම් ආදී කරුණු අනුව වෙනස් වේ. වයස 19-50 අතර වැඩිහිටියන් දෙදෙනෙකු, වයස 6-8 දරුවෙකු හා වයස 9-11 අතර දරුවෙකු ලෙස හතර දෙනෙකු සිටින "සම්මත පවුලක" ආහාර වියදම ඩොලර් 649ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර එවැනි පවුලක් ඉහත මුදලින් පහත සඳහන් පරිදි සතියක් තුළදී ආහාර රාත්තල් 130.61ක් මිල දී ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
-ධාන්‍ය රාත්තල් 12.26ක්
-එළවළු රාත්තල් 31.56ක්
-පළතුරු රාත්තල් 24.48ක්
-කිරි හා කිරි නිෂ්පාදන රාත්තල් 42.39ක්
-මස් වර්ග හා මාෂභෝග රාත්තල් 13.29ක්
-තෙල් සහ මේද, රසකැවිලි හා වෙනත් ආහාර රාත්තල් 6.63ක්
කෙසේ වුවත් මිනිසුන්ගේ ආහාර පුරුදු ආණ්ඩුවට වෙනස් කළ නොහැකිය. ඉහත සඳහන් උදාහරණයේ දැක්වෙන සාමාජිකයින් සිටින සම්මත පවුලක් සතියක් තුළදී අවශ්‍ය පමණ එළවලු හා පළතුරු පරිභෝජනය නොකරන අතර වැඩි කැලරි ප්‍රමාණයක් අඩංගු තෙල් සහ මේද, රසකැවිලි අවශ්‍ය ප්‍රමාණයට වඩා පරිභෝජනය කරති. සම්මත පවුලක් සතියක් තුළදී ආහාර රාත්තල් 106.06ක් පරිභෝජනය කරන්නේ පහත පරිදිය.
-ධාන්‍ය රාත්තල් 10.58ක්
-එළවළු රාත්තල් 13.31ක්
-පළතුරු රාත්තල් 11.40ක්
-කිරි හා කිරි නිෂ්පාදන රාත්තල් 18.81ක්
-මස් වර්ග හා මාෂභෝග රාත්තල් 13.31ක්
-තෙල් සහ මේද, රසකැවිලි හා වෙනත් ආහාර රාත්තල් 38.65ක්
මීට අමතරව මේ එක් එක් ප්‍රවර්ගය ඇතුළත ඇති අයිතමයන් අතරින්ද රජය විසින් සහනාධාරලාභීන් පරිභෝජනය කරනු ඇතැයි අපේක්ෂා කරන දේ සහ ඇත්තටම ඔවුන් පරිභෝජනය කරන දේ අතර විශාල වෙනස්කම් තිබේ.
කිසියම් පවුලකට මාසිකව ලැබෙන ආහාර සහනාධාර මුදල තීරණය කරන්නේ පහත පරිදිය. පළමුව, පවුලේ සියළු දෙනාගේම මුදල් ආදායම් ගණනය කර නිවාස කුලී හෝ බැංකු ණය වාරික, විදුලි බිල් හා ජල බිල් වැනි මාසික බිල්පත් ගාස්තු ආදිය එම ආදායමෙන් අඩු කෙරේ. එවිට, ඉතිරි වන මුදලින් තුනෙන් එකක් ආහාර සඳහා වියදම් කිරීමේ හැකියාව පවුලකට ඇතැයි සලකා, පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීම සඳහා අවශ්‍ය ඉහත මුදල එසේ අත ඉතිරි නොවන බව පෙනේනම්, ඉතිරි මුදල ආහාර සහනාධාරයක් ලෙස ලබා දේ.
මේ ආහාර සහනාධාරයට අමතරව ගර්භණී මවුවරුන්ට, කිරිදෙන මවුවරුන්ට හා වයස අවුරුදු 5 නොඉක්මවූ දරුවන්ට ඔවුන්ගේ වයස් සීමාවන් අනුව පෝෂ්‍යදායී ආහාර සලාකයක් වෙනම ලැබේ. එයට කිරි, චීස්, ළදරු ආහාර හා කිරිපිටි, සෝයා නිෂ්පාදන, සීරියල්, ටින් මාළු, බිත්තර, යෝගට්, එළවළු හා පළතුරු, පළතුරු යුෂ, පාන් හෝ හාල්, පරිප්පු හෝ කවුපී, යෝගට් හා රටකජු බටර් ආදිය ඇතුළත්ය. අඩුආදායම්ලාභී පාසැල් දරුවන්ට නොමිලේ දිවා ආහාරද ලැබේ.
රටේ සියල්ලන්ටම ප්‍රමාණවත් හා පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දීම ලේ හලන විප්ලව කර ළඟා කරගත යුතු ඉලක්කයක් නොවේ. ඇමරිකාවේ අඩුආදායම්ලාභීන්ට ප්‍රමාණවත් ආහාර ලබා ගැනීමට හැකි වී තිබෙන්නේ සමස්තයක් ලෙස රටේ සියල්ලන්ගේ ආහාර අවශ්‍යතා ඉක්මවන තරමේ ආහාර නිෂ්පාදනයක් රට තුළ සිදුවන බැවිනි. මේ බොහෝ ආහාර වර්ග තාක්ෂනය යොදාගනිමින් මහා පරිමාණයෙන් වගා කෙරේ. ඒ ලාභ පිණිස කෘෂිකර්මාන්තයේ යෙදෙන ව්‍යවසායකයින් විසින් මිස ලාභ නොසොයන සමූහගොවිපොළ හිමිකරුවන් විසින් නොවේ. ඔවුන්ට තමන්ගේ ලාභ වැඩි කරගත හැක්කේ හැකිතාක් අඩු වියදමකින් වැඩි ආහාර ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම මඟිනි. මේ ඉලක්කය කරා ඔවුන් වැඩි වැඩියෙන් ගමන් කරද්දී ආහාර නිෂ්පාදනය ඉහළ ගොස් ආහාර මිල අඩු වේ.
ඇමරිකානුවන් හත් දෙනෙකුගෙන් එක් අයෙකු ආහාර සහනාධාරය ලබයි. ඔවුන්ට ආහාර සහනාධාරය නොලැබුණානම් රටේ සමස්ත ආහාර ඉල්ලුම දැන් පවතින මට්ටමට වඩා අඩු විය හැකිව තිබුණේය. එසේනම්, ආහාර මිල දී ගැනෙන්නේ දැනට වඩා අඩුවෙන් නිසා නිෂ්පාදනය වන්නේද දැනට වඩා අඩු ප්‍රමාණයකි. ආහාර සහනාධාර නිසා ආහාර නිෂ්පාදනය ඉහළ ගොස් ඇති අතර මිල අඩු වී තිබේ. ආහාර සහනාධාර මුදල වැය කර වෙනත් දේ මිල දී ගත නොහැකි නිසා අවශ්‍ය පමණට ආහාර මිල දී ගැනීමෙන් පසු මෙම සහනාධාර ගිණුමේ ඉතිරි වන මුදලක ආවස්ථික පිරිවැයක් නැත. මෙය ආහාර නාස්තියටද හේතුවේ.
ආහාර සහනාධාරය නොතිබුණානම් රටේ ආර්ථික අවපාතයක් ඇති වී බොහෝ දෙනෙකුගේ ආදායම් අඩුවන විට ආහාර සඳහා ඇති ඉල්ලුම විශාල ලෙස අඩු වේ. එහෙත්, ආහාර සැපයුම ක්ෂණිකවම අඩු වන්නේ නැත. මෙහි ප්‍රතිඵලය වන්නේ ආහාර මිල විශාල ලෙස පහත වැටීමයි. මෙය ආදායම් අඩු වෙද්දී අඩුආදායම්ලාභීන්ගේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරන ස්වභාවික යාන්ත්‍රණයයි.
මේ අයුරින්ම රටේ වැඩි දෙනෙකුගේ ආදායම් තාවකාලිකව ඉහළ ගොස් ආහාර ඉල්ලුම ඉහළ යනවිට, නිෂ්පාදනය සමානුරූපී ලෙස වැඩි නොවන නිසා ආහාර මිල විශාල ලෙස ඉහළ යයි. ඒ නිසා, ආදායම් ඉහළ ගිය පමණින් බොහෝ දෙනෙකුට ආහාර පරිභෝජනය වැඩි කරන්නට ලැබෙන්නේ නැත. මෙවැනි අවස්ථාවක නිෂ්පාදකයින් විසින් මිල ඉහළ දමා පාරිභෝගික අතිරික්තය "සූරා ගන්නා බව" යම් අයෙකුට පෙනෙන්නට පුළුවන. නමුත්, ඇත්තටම සිදුවන්නේ එවැන්නක් නොවේ. යම් හෙයකින් නිෂ්පාදකයින් විසින් මිල වැඩි නොකළහොත් සිදුවන්නේ මිල අඩු වුවත් මිල දී ගන්නට ආහාර නැති වීම නිසා පෝලිම් ඇතිවීම පමණි.
ආහාර මිල ස්ථාවරව තබා ගැනීමටනම් ආහාර සඳහා ඇති ඉල්ලුම මෙන්ම සැපයුමද ස්ථාවරව තිබිය යුතුය. ඇමරිකාවේ ආහාර සහනාධාර නිසා සිදුවන එක් යහපත් දෙයක් වන්නේ රටේ ආහාර මිල ස්ථාවරව පැවතීමයි.
ආර්ථික අවපාතයක් ඇතිවී බොහෝ දෙනෙකුට රැකියා අහිමි වන විට ආහාර සහනාධාර ලබන පිරිස් වැඩි වේ. මේ අයුරින්ම ආර්ථිකය වඩා වේගයෙන් වර්ධනය වී විරැකියාව අඩුවන විට ආහාර සහනාධාර ලබන ගණන අඩු වේ. ඒ නිසා ආර්ථිකයේ උච්ඡාවචනයන්ට අනුරූපව සමස්ත ආහාර ඉල්ලුම විශාල ලෙස වෙනස් නොවේ. ඒ නිසා, සැපයුම වෙනස් නොවුවහොත් මිලද ස්ථාවරව පවතී.
ධනවාදී ආර්ථිකයක මිල යනු නිෂ්පාදකයින්ට ලබා දෙන ස්වභාවික සංඥාවකි. මිල අඩු වන විට නිෂ්පාදකයෝ කර්මාන්තයෙන් ඈත් වෙති. මිල ඉහළ යන විට කර්මාන්තය වෙත ඇදී එති. කෘෂිකර්මාන්තය වැනි ස්වභාවික සම්පත් මත පදනම් වූ කර්මාන්තයකින් නිෂ්පාදකයින් ඉවත් වන නිෂ්පාදනය සඳහා යොදාගත් සම්පත් අපතේ යාමක් සිදුවන්නට වැඩි ඉඩක් තිබේ. මේ සම්පත් යම් හෙයකින් වෙනත් ආර්ථික කටයුත්තක් වෙනුවෙන් යොදා ගතහොත්, නැවත කර්මාන්තයට පිවිසෙන්නෙකුට සම්පත් හිඟයකට මුහුණ පාන්නට සිදු විය හැකිය. මිල යාන්ත්‍රණයට මෙවැනි ප්‍රශ්න වලටද ස්වභාවික විසඳුම් ලබා දෙන්නට බැරි නැතත්, ආහාර මිලේ හා සැපයුමේ වෙනස්වීම් වලට බොහෝ දෙනෙක් සංවේදී වන අතර වෙනත් භාණ්ඩ හා සේවා වලට වඩා වැඩියෙන් ආහාර ද්‍රව්‍ය වල මිල ස්ථාවරත්වය ප්‍රිය කරති.
ආහාර සහනාධාර වල ප්‍රතිඵලයක් ලෙස ආහාර ඉල්ලුම දිගුකාලීනව ස්ථාවරව තිබෙන නිසා නිෂ්පාදකයින්ට මිල වෙනස්වීම් වලට ප්‍රතිචාර දක්වමින් නොසිට දිගින් දිගටම නිෂ්පාදනයේ යෙදීමට අවකාශ සැලසෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස කාලගුණ වෙනස්වීම් වැනි සාධක නිසා නොවේනම් දිගුකාලීනව ආහාර සැපයුමද ස්ථාවර වේ. මෙසේ තමන් මුහුණ දෙන අවිනිශ්චිතතාවයන් අඩු වීම ආහාර සහනාධාර නිසා නිෂ්පාදකයින්ට ලැබෙන වක්‍ර වාසියකි. ඉල්ලුම හා සැපයුම දෙකම වඩා ස්ථාවර වෙද්දී ආහාර මිලද ස්ථාවරව පවතී. ප්‍රධානම හේතුව නොවූවත්, හැටේ දශකයේ ආහාර සහනාධාර හඳුන්වාදීමෙන් පසු ඇමරිකාවේ ආහාර උද්ධමනය ඉන් පෙර යුගයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස ස්ථාවර වී තිබේ.
(Image: http://homespunoasis.com/thrifty-food-plan-shopping-results-week-2/)
Saturday, November 18, 2017
ලංකාවේ දුප්පත්තු සහ ඇමරිකාවේ දුප්පත්තු
ටික දවසකට පෙර ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තුමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබුණු 2016 ගෘහස්ථ ආදායම් හා වියදම් සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව ලංකාවේ දරිද්‍රතාවයෙන් පෙළෙන ජන ප්‍රතිශතය 4.1% දක්වා අඩු වී තිබේ. සංඛ්‍යාත්මක ලෙස මේ ප්‍රමාණය 843,913 කි. වසර 20කට පෙර ලංකාවේ දරිද්‍රතාවයෙන් පෙළුණු ජන ප්‍රතිශතය 28.8%ක් වූ අතර එම මට්ටමට සාපේක්ෂව වත්මන් තත්ත්වය ඉතා හොඳ මට්ටමකි. මෙයින් පෙනෙන්නේ රටේ ජාතික ආදායම වැඩි වෙද්දී එහි ප්‍රතිඵල ක්‍රමයෙන් අඩු ආදායම්ලාභී ස්ථර වෙතද ගලා එන ආකාරයයි.
පසුගිය 2016 වසරේදී ඇමරිකාවේ දරිද්‍රතාවයෙන් පෙළුණු ජන ප්‍රතිශතය 12.7%ක් විය. පසුගිය වසර පණහක පමණ කාලය තුළ මේ ප්‍රතිශතය විශාල ලෙස වෙනස් වී නැත. සංඛ්‍යාත්මක ලෙස මේ ප්‍රමාණය මිලියන 40.6 කි. ලංකාවේ මුළු ජනගහණය මෙන් ආසන්න වශයෙන් දෙගුණයකි.
එසේනම්, ඇමරිකාවේ දිළිඳුකම ලංකාවේ දිළිඳුකමට වඩා අතිශයින්ම වැඩිද?
ඇතැම් අය හිතාගෙන ඉන්නේ ඇමරිකාවේ සල්ලි තියෙන අයට පීනනන්ට සල්ලි තියෙද්දී සල්ලි නැති විශාල පිරිසක් මූලික පහසුකම් පවා නැතිව දුක් විඳිමින් සිටින බවයි.
දිළිඳුකම පිළිබඳ සංඛ්‍යාලේඛණ සංසන්දනය කරද්දී එය ඉතා සැලකිල්ලෙන් කළ යුතුය. කිසියම් රටක දරිද්‍රතාවයෙන් පෙළෙන පිරිස් හඳුනාගැනීම සඳහා යොදාගන්නා සම්මත ආදායම් මට්ටමක් තිබේ. මෙය රටින් රටට වෙනස් වේ. කිසියම් රටක් ගත්තද එය වසරින් වසර වෙනස් වේ.
ලංකාවේ එක් එක් දිස්ත්‍රික්කයේ දරිද්‍රතාවයෙන් පෙළෙන පුද්ගලයින් ගණන හඳුනා ගැනීම සඳහා මේ අයුරින් යොදාගන්නා සම්මත ආදායම් මට්ටම ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් මාසයකට වරක් යාවත්කාලීන කරයි. 2017 අගෝස්තු මාසයේදී කොළඹ දිස්ත්‍රික්කයේ දරිද්‍රතා මට්ටම ලෙස සැලකුණේ මසක ආදායම රුපියල් 4475 ඉක්මවන්නේද යන්නයි. මොනරාගල දිස්ත්‍රික්කය සඳහා යොදාගත් ආදායම් මට්ටම රුපියල් 3912ක් විය. ලංකාවම පොදුවේ ගත් විට රුපියල් 4305ක් විය.
ඇමරිකාවේ මේ අයුරින් දරිද්‍රතාවයෙන් පෙළෙන අය හඳුනා ගැනීම සඳහා යොදාගන්නා ආදායම් මට්ටමද ප්‍රාන්ත, නගර ආදිය සඳහා වෙන වෙනම ගණනය කරන අතර විවිධ නිල කටයුතු සඳහා මහාද්වීපික ඇමරිකාව සඳහා (හවායි හා ඇලස්කා හැර ඉතිරි ප්‍රාන්ත) පොදුවේ යොදාගන්නා මට්ටමක්ද තිබේ. මෙය ගණනය කරන්නේ ලංකාවේ මෙන් පුද්ගලයෙකු පදනම් කරගෙන නොව පවුලක් පදනම් කර ගනිමිනි. 2017 වසර සඳහා තනි පුද්ගල පවුලක දරිද්‍රතා සීමාව වසරකට ඩොලර් 12,060ක්ද, ද්විපුද්ගල පවුලකට ඩොලර් 16,240ක්ද, ත්‍රිපුද්ගල පවුලකට ඩොලර් 20,420ක්ද, සිවුපුද්ගල පවුලකට ඩොලර් 24,600ක්ද විය.
ඇමරිකාවේ දරිද්‍රතාවයෙන් පෙළෙන්නන් ලෙස හඳුනා ගැනෙන්නේ වාර්ෂිකව ඉහත ආදායම් මට්ටම් නූපයන පවුල් වල සාමාජිකයින්ය. සාමාන්‍ය ඇමරිකානු පවුලක සාමාජිකයින් ගණන 2.58ක් පමණ වුවත් ලංකාවේ ඒ ගණන 4කට ආසන්න නිසා සැසඳීමක් කිරීමට ඩොලර් 24,600 මට්ටම යොදාගත්තොත් මෙය ඩොලර් 2,050ක මාසික ආදායමකි. එනම් රුපියල් 314,716ක පමණ මාසික ආදායමකි. මේ ආදායම් මට්ටම සැලකුවහොත් ලංකාවේ 95%ක් පමණම දිළින්දන් ලෙස සැලකිය හැකිය.
ධනවාදී රටක් වුවත් ඇමරිකාවේ අඩුආදායම්ලාභීන් වෙනුවෙන් සුබසාධන වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක වේ. ඒ අතර නොමිලේ හෝ සහන මිලකට ලැබෙන ආහාර, සෞඛ්‍ය පහසුකම්, නිවාස, දුරකථන, පෙර පාසැල් අධ්‍යාපනය, දිවාසුරැකුම් පහසුකම් ආදිය ඇතුළත්ය. මෙවැනි පහසුකම් ලබාදීමේදී සාමාන්‍යයෙන් පදනම් කරගන්නේ ඉහත කී දරිද්‍රතා ආදායම් මට්ටමයි.
ආහාර සහනාධාරය සැලකුවොත්, දරිද්‍රතා ආදායම් සීමාව මෙන් 130%ක් නොඉක්මවන පවුල් වලට ෆෙඩරල් ආහාර සහනාධාර ලැබේ. මේ මට්ටමට අහු නොවන පවුල් වලටද ඇතැම් ප්‍රාන්ත රජයන් විසින් ආහාර සහනාධාර ලබා දේ. උදාහරණයක් වශයෙන් වොෂින්ටන් ප්‍රාන්තයේ දරිද්‍රතා ආදායම් සීමාව මෙන් 200%ක් නොඉක්මවන පවුල් වලට ආහාර සහනාධාරය ලබාගත හැකිය. සිවු දෙනෙකු සිටින පවුලකට මේ සීමාව මසකට ඩොලර් 4100කි. මෙය සැලකිය යුතු තරම් ඉහළ ආදායම් මට්ටමකි. සෞඛ්‍ය සහනාධාරය වැනි වෙනත් සහනාධාර හා අදාළවද ඇත්තේ මෙවැනිම තත්ත්වයකි.
පසුගිය අගෝස්තු මාසයේදී ෆෙඩරල් ආහාර සහනාධාරය ලබා ගත් ඇමරිකානුවන් ගණන මිලියන 41.3කි. තවත් ඇමරිකානුවන් හා ඇමරිකාවේ සිටින විදේශිකයින් විශාල පිරිසක් ප්‍රාන්ත රජයන්ගේ අරමුදල් වලින් ආහාර සහනාධාරය ලබාගන්නට ඇත. ආහාර සහනාධාරය වෙනුවෙන් ඇමරිකන් ෆෙඩරල් රජය විසින් පමණක් ඩොලර් බිලියන 70ක පමණ මුදලක් වාර්ෂිකව වැය කරයි. කුඩා දරුවන්, ගර්භණී මවුවරුන් වැනි වෙනත් විශේෂිත කණ්ඩායම් ඉලක්ක කරගත් ආහාර සහනාධාර වැඩ සටහන් ආදිය සඳහා වැය කරන මුදල්ද එකතු කළ විට ඇමරිකාවේ ආහාර සහනාධාර වෙනුවෙන් වාර්ෂිකව වැය කරන බදු මුදල් ප්‍රමාණය ලංකාව හෝ හෝ කියුබාව වැනි රටක සමස්ත දළ දේශීය නිෂ්පාදිතයට ආසන්න වශයෙන් සමානය.
ත්‍රිපුද්ගල පවුලකට ඩොලර් 511 ක් පමණ දක්වා මුදලක්ද, සිවු පුද්ගල පවුලකට ඩොලර් 649 ක් පමණ දක්වා මුදලක්ද මාසිකව ආහාර සහනාධාර ලෙස ලබාගත හැකිය. මේ සහනාධාරය ලබාගැනීම සඳහා ඩෙබිට් කාඩ්පතක් ලබා දෙන අතර මාස්පතා සහනාධාර මුදල ගිණුමට ස්වයංක්‍රීය ලෙස බැර කෙරේ. සුපිරි වෙළඳසැල් ආදියේදී මේ කාඩ්පත වෙනත් ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පතක් මෙන් භාවිතා කළ හැකිය. එහෙත්, එයින් මිලදී ගත හැක්කේ ආහාර ද්‍රව්‍ය පමණි. මත්පැන්, දුම්වැටි ආදිය හෝ ආහාර නොවන වෙනත් දේ එම කාඩ්පතෙන් (සාමාන්‍යයෙන්) මිල දී ගත නොහැකිය. මේ ආහාර සහනාධාරය ඇමරිකාවේදී වුවද සැලකිය යුතු මුදලකි. සහනාධාර කාඩ්පතකින් ගෙවීම් කරන විට බදු මුදල් බිල් පතෙන් ඉවත් වීම නිසා ගෙවන්නට වෙන්නේද වෙනත් අය ගෙවනවාට වඩා අඩු මුදලකි.
ඇමරිකාවේ අඩුආදායම්ලාභී පවුල්වලට ලබාදෙන ඉහත ආහාර සහනාධාරය හැරුණු විට වයස අවුරුදු පහට අඩු දරුවන්ට හා ගර්භණී මවුවරුන්ට කිරි, බිත්තර, ධාන්‍ය ආදී නිශ්චිත ආහාර ද්‍රව්‍ය ගණනාවක් ලබාදෙන වෙනත් වැඩසටහනක්ද තිබේ. ඇමරිකාවේ ආහාර බැංකු ඉදිරිපිට දිගු පෝලිම් දකින්නට නැත්තේ ආහාර අවශ්‍ය බොහෝ දෙනෙකුට මෙවැනි සහනාධාර ලැබෙන බැවිනි.
ඇමරිකාවේ ධනය උපයන්නන් විසින් ගෙවන බදු මුදල් යොදවා ලබා දෙන නිර්ලෝභී ආහාර සහනාධාර නිසා අඩුආදායම්ලාභී පවුල් වල ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ගැටලුව විසඳෙන නමුත් එහි අහිතකර ප්‍රතිඵලද තිබේ. අඩුආදායම්ලාභීන්ගේ ස්ථුලතාවය හා වෙනත් බෝ නොවන රෝග විශාල ලෙස ඉහළ යාම, ආහාර නාස්තිය ඉහළ යාම හා රැකියා නොකර සිටින්නට පෙළඹීම එයින් කිහිපයකි.
Labels:
ආදායම් විෂමතාවය,
ආහාර,
ඇමරිකාව,
දරිද්‍රතාවය,
සහනාධාර
Subscribe to:
Posts (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...