අවම වශයෙන් දහ හතර දෙනෙකුට මරු කැඳවා තිබෙන පස්සර බස් අනතුරේ වීඩියෝ දර්ශන මේ වෙද්දී බොහෝ දෙනෙක් විසින් දැක ඇතැයි සිතනවා. පළමුව, මිය ගිය හා තුවාල ලැබූ අයගේ පවුල් වල අයට අපගේ කණගාටුව. දෙවනුව, සිද්ධියෙන් පසු රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට කටයුතු කළ ගම් වැසියන්ට හා රාජකාරියට වඩා වැඩි දෙයක් කළ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් සේවකයින්ට අපගේ උපහාරය.
පස්සර අනතුරෙන් මිය ගිය අයගේ ජීවිත වෙනුවෙන් වග කිව යුත්තේ කවුද? අදාළ බස් රථයේ රියැදුරා, ටිපර් රථයේ රියැදුරා හා මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින්ගේ සිට ගෝඨාභය රාජපක්ෂ හා ජේආර් ජයවර්ධන දක්වා විශාල පරාසයක පුද්ගලයින්ට විවිධ අය විසින් මේ අනතුරේ වගකීම පවරා තිබුණා. මේ හැම දෙනෙකුගේම තර්ක වලට කිසියම් පදනමක් තිබෙනවා.
වීඩියෝව නොබැලූ අයෙකු ඇත්නම්, අනතුර සිදුවන්නේ වංගු සහිත කඳුකර මාර්ගයක. පාරට වැටුණු ගල් කුට්ටියක් නිසා පාරේ පැත්තක් අවහිර වෙලා. පාරේ අවහිර වූ පැත්තෙන් පැමිණෙන ටිපර් රථය අවහිරය පසු කර ඉදිරියට යාම සඳහා වාහනය පාරේ අනෙක් පසට ගන්නවා. ඒ පැත්තෙන් එන පෞද්ගලික බස් රථයට ටිපර් රථය මුහුණට මුහුණ හමු වුනත් බස් රථයේ රියැදුරා බසයේ වේගය අඩු නොකර පාරේ බෑවුම අද්දරින් බසය ධාවනය කරන්න උත්සාහ කරද්දී බසය ප්‍රපාතයට පෙරළෙනවා.
වීඩියෝවේ පැහැදිලිව නොපෙනුණත් ඇතැම් තැන් වල ලියැවී ඇති පරිදි ටිපරය වැලි අදින එකක්. වාහනය ධාවනය කරන ආකාරයෙන් පෙනෙන්නේ ටිපර් රථයේ රියැදුරාට මාර්ගයේ තිබෙන අවහිරය ගැන පූර්ව දැනුමක් ඇති බවයි. ඔහු වැඩිපුර නොහිතාම ටිපර් රථය පාරේ අනෙක් පැත්තට ගන්නවා. පාර වංගු සහිත එකක් වුවත්, එසේ ටිපර් රථය පාරේ අනෙක් පැත්තට ගනිද්දී ඉදිරියෙන් එන බස් රථය පැහැදිලිව පෙනෙනවා. මේ වගේ අවස්ථාවකට මා මුහුණ දුන්නානම් මම කරන්නේ බස් රථයට බාධකය පසු කර ඉදිරියට යන්නට හැර වාහනයේ වේගය අඩු කිරීම හෝ අවශ්‍යනම් වාහනය නවත්වා ගැනීමයි.
බස් රථයේ රියැදුරාට පාරේ බාධකය ගැන පූර්ව දැනුමක් තිබුණාද යන්න පැහැදිලි නැහැ. එවැනි දැනුමක් තිබුණත් නැතත් තිරිංග තද කර බස් රථය නවත්වා ගත හැකි තරමේ දුරකදී ඔහුට පාරේ බාධකය වගේම ඉදිරියෙන් එන ටිපර් රථයද දර්ශනය වෙනවා. එහෙත් ඔහු අඩු වශයෙන් තිරිංග තද කරන බවක් හෝ පෙනෙන්නට නැහැ. ඔහු උත්සාහ කරන්නේ බෑවුම අයිනෙන් වාහනය ඉදිරියට ධාවනය කරන්නයි. අඟලක දෙකක වාසිය ගෙන වාහනයක් රිංගවීම ලංකාවේ බස් රථ රියැදුරන් හා තවත් රියැදුරන් විසින් කරන ඉතාම සාමාන්‍ය දෙයක්.
මේ විදිහට අඟලේ වාසිය ගෙන ධාවනය කරන වාහන අනතුරකට ලක් වෙන්න ඔන්න මෙන්න තත්ත්වයටම ගියත් බොහෝ විට අනතුරකට ලක් වෙන්නේ නැහැ. හරියට ලංකාවේ ආර්ථිකය තවමත් කඩා වැටී නැතුවා වගේ. හැබැයි ඔය අඟලේ වාසියේ අවදානම ගැනීම හැමදාම හරියන්නේ නැහැ. කොයි වෙලාවක හෝ වරදිනවා. දැන් වෙලා තියෙන්නේ ඒකයි.
ලංකාවේ මිනිස්සුන්ගේ වගේම වාහන වලද ධුරාවලියක් තිබෙනවා. වාහනයක් එළවන රියැදුරෙක් මේ ධුරාවලියේ තමන්ගේ තැන නිවැරදිව හඳුනාගත යුතුයි. නැත්නම් ලංකාවේ වාහන එළවන්න බැහැ. මම මේ කියන්නේ මැති ඇමතිවරුන්ගේ වාහන ගැන නෙමෙයි. ඒ වාහන වලට කොහොමටත් ධුරාවලියේ ඉහළම තැන ලැබෙනවා. එහෙත් මේ වාහන හැම වෙලාවේම පාරේදී හමු නොවන නිසා විශාල ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ.
එකම ආකාරය නොවුනත් වාහන ධුරාවලිය බොහෝ දුරට සකස් වන්නේ රියැදුරෙකුට කොයි තරම් අවදානමක් ගන්න පුළුවන්ද කියන එකට සාපේක්ෂව. පෞද්ගලික බස් රථයක් හෝ ලොරියක් ධාවනය කරන රියැදුරෙක් බොහෝ විට කරන්නේ අනුන්ගේ වාහනයක් එළවන එකයි. අනතුරක් වුනොත් පාඩුව වාහනයේ අයිතිකාරයාටයි. මෙයට සාපේක්ෂව තමන්ගේම වාහනයක් එලවන කෙනෙක් වාහනයට සීරීමක් හෝ වෙනවාට කැමති නැහැ. අනෙක් අතට බස් එකක් හෝ ලොරියක් වගේ ලොකු වාහනයක් පොඩි වාහනයක හැපුනොත් වැඩි හානිය වෙන්නේ පොඩි වාහනයටයි. මේ හේතු නිසා ගොඩක් වෙලාවට පොඩි වාහන ලොකු වාහන වලට පාර ඉඩ දීලා පැත්තකට වෙනවා. පෞද්ගලික බස්, ලොරි ආදී ලොකු වාහන ධාවනය කරන රියැදුරන් මෙහි වාසිය ගන්නවා.
සමහර වෙලාවට පෞද්ගලික බස් ධාවනය කරන්නේම පාරේ ප්‍රතිවිරුද්ධ පැත්තෙන්. එවිට හෙමින් යන වාහන කිහිපයක්ම එක වර පහු කරන්න පුළුවන්. ඔය වෙලාවට ප්‍රතිවිරුද්ධ පැත්තෙන් එන පොඩි වාහනයක් පාරෙන් එළියට බැහැලා බස් එකට මැදින් රිංගන්න ඉඩ දිය යුතුයි. බස් රථ රියැදුරා විසින් කරන්නේ පොඩි වාහනය අන්තිම මොහොතේ හෝ ඉවත් කර ගැනීමට පොළඹවමින් වේගය අඩු නොකර කෙළින්ම මූණට එන එකයි. පොඩි වාහනයේ රියැදුරාට අන්තිම මොහොතේ හරි වාහනය කාණුවට දමා ගන්න වෙනවා. වාහන ධුරාවලියේ තමන්ගේ තැන පිළිගන්නා රියැදුරෙක්නම් කලින්ම වාහනේ කාණුවට දානවා.
මෙතැන අනතුරට හේතු වී තිබෙන්නේ ටිපර් රථ රියැදුරා වගේම බස් රථ රියැදුරාත් වාහන ධුරාවලියේ තමන් ඉන්නේ අනෙකාට පහළින් නොවන බව සිතීමයි. දෙන්නාම හැම වෙලේම පාරේ ඉන්න, බොහෝ විට අනුන්ගේ වාහන එළවන අය. වාහන දෙකෙන් එකක්වත් කිරි ටොයියෝ නෙමෙයි. ටිපර් රථයේ රියැදුරා බලාපොරොත්තු වෙන්නේ බස් එක වේගය අඩු කර ගනු ඇතැයි කියලා. බස් රථයේ රියැදුරා හදන්නේ ටිපර් රථයේ රියැදුරාට වාහන ධුරාවලියේ තමන්ගේ තැන පෙන්වන්න. ඔහු වේගය අඩු කරන්නේ නැහැ. මේ වැඩේ කරන්නේ අන්තිම මොහොත වන තුරු ටිපර් රථය මුහුණටම ආවොත් බෑවුම අයිනෙන් බස් එක ධාවනය කළ හැකි බවට වන විශ්වාසයෙන්. අන්තිමට කරන්නෙත් ඒකයි. මේ අවස්ථාවේදී වැඩේ ඛේදවාචකයකින් අවසන් වුනත් මෙය හැම දවසකම බොහෝ පෞද්ගලික රියැදුරන් විසින් නොයෙක් වර කරන දෙයක්.
ඇමරිකාවේ පාරකට මේ වගේ ගලක් හෝ පස් කන්දක් වැටුනානම් එය මුලින්ම දකින කෙනා හදිසි ඇමතුම් අංකයකට ඒ ගැන දැනුම් දෙනවා. ඉතා ඉක්මණින්ම පොලිස් නිලධාරීන් එහි පැමිණ බාධකය දෙපස සිට වාහන ධාවනය පාලනය කරන්න පටන් ගන්නවා. වරකට වාහන ධාවනය කරන්න ලැබෙන්නේ එක පැත්තකට පමණයි. ඒ අතර අදාළ අංශ වලින් පැමිණ බාධකය ඉවත් කරනවා. පොලීස් නිලධාරීන් ඉවත් වන්නේ බාධකය ඉවත් කිරීමෙන් පසුවයි. මේ වගේ දෙයක් කරන්න බැරි තරමට ලංකාවේ පොලීසියට හා මාර්ග සංවර්ධන අධිකාරියට සම්පත් හිඟයක් තිබෙනවා කියා මම හිතන්නේ නැහැ. බොහෝ විට තිබෙන්නේ ප්‍රමුඛතාවය දීම පිළිබඳ ප්‍රශ්නයක්.
බාධකය ඉවත්ව තිබුණානම් හෝ පොලිස් නිලධාරියෙකු අදාළ ස්ථානයේ සේවයේ නිරතව සිටියානම් මේ වෙලාවේ මේ අනතුර සිදුවන එකක් නැහැ. එහෙත්, ඔය බාධකය නොතිබී ටිපර් රථය ත්‍රිරෝද රථයක් ඉස්සර කරන්න යාමක් වැනි අවස්ථාවකදී වුවත් ඔය වගේ අනතුරක් සිදු විය හැකිව තිබුණා.
පෞද්ගලික බස් රථ රියැදුරන් මේ ආකාරයේ අවදානම් ගනිමින් වේගයෙන් බස් රථ ධාවනය කරන්නේ එසේ කිරීම බස් රථයේ ගමන් කරන මගීන් වැඩි දෙනෙකුගේ කැමැත්තද වන නිසයි. ඔය වගේ වෙලාවක මගියෙක් කතා කරන්න ගියොත් අනෙක් පැත්තට කතා කරන්න මගීන් හතර පස් දෙනෙක්ම ඉදිරිපත් වෙනවා. මේ දවස් වල සිදුවන ලංකාවේ සංවර්ධන කතිකාව තුළ ඇහෙන එක ප්‍රශ්නයක් වන්නේ අධිවේගී මාර්ග අවශ්‍ය කාටද කියන එකයි. ලංකාවේ ගොඩක් අයට පුළුවන් තරම් හයියෙන් යන්න අවශ්‍යයි. විශේෂයෙන්ම දුරගමන් බස් රථ වල යන මගීන්ට. ඒකටත් හේතු තියෙනවා.