ලංකාවේ ඇඟලුම් සේවිකාවකගේ මාසික වැටුප රුපියල් 34,000ක්. ඈ විසින් මහන ටොමී හිල්ෆිගර් සන්නාමය සහිත ෂෝටක් ඇමරිකාවේ ඩොලර් 55කට විකිණෙනවා. එය ලංකාවේ මුදලින් රුපියල් 11,000ක්. මේ දවස් වල ඩොලරයක රුපියල් මිල ඉහළ යන වේගයට මෙය කියවන මොහොත වෙද්දී එකොළොස්දාහටත් වැඩි ඇති! ඒ කියන්නේ ලංකාවේ ලංකාවේ ඇඟලුම් සේවිකාවකට තමන්ගේ මාසික වැටුපෙන් මිල දී ගන්න පුළුවන් ඔය ෂෝට් තුනයි.
"මීට අවුරුදු 10 කට විතර කලින් වෘත්තීය සමිතියකින් රිසර්ච් එකක් කරලා තිබුනා. ඒක අනුව ඔක්කොම ගණන් හදලා බැලුවම ඇඟලුම් සේවිකාවක් තමන්ට දිනකට ලැබෙන වැටුපට සමාන ලාභයක් විනාඩි 25 ක් වැඩ කළාම හොයල ඉවරයි. ඉතිරි පැය 7 යි විනාඩි 35 ම සමාගමේ ලාභය.
(ඒ ගාණ හැදුවෙ ඉඩම්, ගොඩනැඟිලි, අමුද්‍රවය ඇතුළු සියලු පිරිවැය සලකලා සහ ඔවුන් වැඩකරන්නෙ දවසට පැය 8 යි ලෙස සලකලා.)
ඔන්න ඕකයි තත්වෙ. නින්දිත සූරා කෑමක්!
ඕක තමයි ධනවාදය!"
ඉහත ප්‍රකාශය ඇත්තනම් ලංකාවේ ඇඟලුම් සේවිකාවක් විනාඩි 25කදී තමන්ගේ දිනක වැටුප හොයනවා. නමුත් දිනකට පැය අටක්, ඒ කියන්නේ විනාඩි 480ක් වැඩ කරනවා. ඒ අනුව තමන් උපයන වැටුප වගේ 480/25 = 19.25 ගුණයක ලාබයක් හොයනවා. ඒ කියන්නේ සූරාකෑමක් නැත්නම් ඇගේ නියම මාසික වැටුප රුපියල් 652,800ක් විය යුතුයි.
කොහොම වුනත් ධනවාදයේ නින්දිත සූරාකෑම නිසා ලංකාවේ ඇඟලුම් සේවිකාවකට ලැබෙන්නේ ඇගේ නියම වැටුපෙන් 1/19.25ක් පමණයිලු. ලංකාවේ අනෙක් අයගේ වැටුප් හැදෙන්නත් ඔය පදනම යටතේ කියලා කියනවා. ඒ කියන්නේ දැන් ඩොලර් 3,830ක් වන ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 73,700ක් පමණ විය යුතුයි. ඇමරිකාවේ ඒක පුද්ගල ආදායමටත් වඩා වැඩි අගයක්!
මේ සල්ලි සූරාකන සමාගම මොකක්ද කියලා හරියටම කියලා නැහැ. ලංකාවේ සමාගම වෙන්න බැහැනේ. එහෙමනම් ඔය සූරාකාපු සල්ලි ලංකාවේ තියෙන්න ඕනෑනේ. ඔය කියන සමාගම ටොමී හිල්ෆිගර් සන්නාමයට සම්බන්ධ සමාගමක් විය යුතුයි.
මේ වෙද්දී ටොමී හිල්ෆිගර් සන්නාමය අයිති පීවීඑච් (පිලිප්-වැන් හුසේන්) සමාගමට. කැල්වින් ක්ලේන්, වැන් හුසේන් වගේ සන්නාම අයිතිත් මේ සමාගමට. පීවීඑච් සමාගම ලෝකයේ ලොකුම ඇඟලුම් සමාගමක්. පසුගිය (2021 ජනවාරි 31න් අවසන් වූ) වසර තුළ ඇඳුම් විකුණා ලබා තිබෙන ආදායම ඩොලර් මිලියන 7,133ක්. ලංකාවේ ඇඟලුම්ද ඇතුළු මුළු කාර්මික අපනයන ආදායමට කිට්ටු මුදලක්. ඇඳුම් වල වියදම ලෙස වැය වෙලා තියෙන්නේ ඩොලර් මිලියන 3,356ක් පමණයි. ඒ කියන්නේ ඇඳුම් විකුණලා තියෙන්නේ වියදම වගේ දෙගුණයකටත් වඩා වැඩියෙන්. විකිණුම් මිලෙන් 53%ක්ම ලාබ!
හැබැයි මේ විදිහට විකිණුම් මිල හා පිරිවැය අතර වෙනස සමාගමක ලාබ විදිහට සලකන එක අන්තිම බොළඳ වැඩක්. මේ පිරිවැය විචල්‍ය පිරිවැය. සේවක වැටුප්, ගොඩනැගිලි කුලී, ප්‍රවාහන වියදම්, ප්‍රචාරන වියදම් වගේ තවත් වියදම් අටෝරාසියක් තිබෙනවා. ඒවා ස්ථිර පිරිවැය. ෂෝටක් ඩොලර් 55කට විකුණන්නනම් ඔය පිරිවැය දරන්නම වෙනවා. එහෙම නැතුව පදික වේදිකාවේ දාලා විකුණන්න බැහැ. ඇඳුම් විකිණුවත් නැතත් මේ ස්ථිර පිරිවැය එහෙම්මම තියෙනවා. නියම ලාබය වන්නේ මේ ස්ථිර පිරිවැයත් අඩු කළාට පසු ඉතිරි වන කොටසයි.
පීවීඑච් සමාගම විසින් කාව හරි හූරං කාලා මහා ලොකු ලාබයක් ලබනවානම් ඔය සමාගමේ කොටස් මිල දී ගන්න මිනිස්සු පෝලිමේ එනවා. ඇමරිකාවේ සමාගමක කොටස් මිල දී ගන්න එක මහා ලොකු වැඩක් නෙමෙයිනේ. ටොමී හිල්ෆිගර් ෂෝට් දෙකක් මිල දී ගන්න සල්ලි වලින් සමාගමේ කොටසක් මිල දී ගන්න පුළුවන්. කෝවිඩ් පැතිරෙන්න පටන්ගත් පහුගිය 2020 මාර්තු මාසයේදී ඔය කොටසක් ඩොලර් 30ට පමණ බැස්සා. ඒ දවස් වල ගත්තානම් ලංකාවේ ඇඟලුම් සේවිකාවකගේ සතියක වැටුපෙන් වුනත් කොටසක් මිල දී ගන්න තිබුණා.
පසුගිය අවුරුද්දේ පීවීඑච් සමාගමේ මෙහෙයුම් පිරිවැය ඇතුළු අනෙකුත් වියදම් අඩු කළාට පස්සේ ඇත්තටම ඩොලර් මිලියන 1,193ක පාඩුවකුයි වෙලා තියෙන්නේ. මෙය විශාල පාඩුවක්. පාඩුවට හේතුව කෝවිඩ් නිසා ඇමරිකාවේ ඇඟලුම් වලට තිබෙන ඉල්ලුම විශාල ලෙස පහළ යාමයි. අලෙවිය අඩු වෙද්දී ආදායම් අඩු වන අනුපාතයට වියදම් අඩු නොවන නිසා එකට එකක ලාබ ආන්තිකයක් තියාගත්තත් එයින් ස්ථිර පිරිවැය ආවරණය කර ගන්න බැහැ. මෙය සාමාන්‍යයෙන් මේ වගේ ව්‍යාපාරයක ස්වභාවයයි.
පීවීඑච් වගේ සමාගමක් ව්‍යාපාරය මෙහෙයවන්නේ පාඩු ලබන්න නෙමෙයි. සාමාන්‍යයෙන් මේ වගේ සමාගමක් ලාබ ලබනවා. එවිට සමාගමේ කොටස් හිමිකරුවන්ට ලාභාංශ ලැබෙනවා. නමුත් ඔවුන්ට පාඩු ලැබීමේ අවදානමද දරන්න වෙනවා. 2020 ජනවාරි 31න් අවසන් වූ පෙර වසරේදී පීවීඑච් සමාගම ඩොලර් මිලියන 444ක් ලාබ සේ උපයා තිබෙනවා. එක් කොටසක් වෙනුවෙන් ඩොලර් 5.60ක ලාභාංශ ලැබී තිබෙනවා. පීවීඑච් කොටසක මිල ඩොලර් 100කට ආසන්න නිසා මෙය 5.6%ක පමණ පොලී අනුපාතිකයකට සමානයි. අවදානම සැලකූ විට මෙය ඉහළ පොලී අනුපාතිකයක් නෙමෙයි.
පීවීඑච් වගේ සමාගමක අයිතිකාරයෝ කියා කියන්නේ අමුතු මිනිස්සු කොට්ඨාශයක් නෙමෙයි. ඇමරිකාවේ හෝ ඇමරිකාවෙන් පිටත ජීවත් වෙන අපි වගේ සාමාන්‍ය මිනිස්සු. අද දවස අවසන් වෙද්දී පීවීඑච් කොටසක මිල ඩොලර් 110.50ක්. මට අවශ්‍යනම් ඔය මුදල ගෙවා කොටසක් මිල දී ගන්න පුළුවන්. නමුත් මම එහෙම නොකරන්නේ අවුරුද්දකට ඩොලර් 4ක ලාභාංශ කියා කියන්නේ මහා ලොකු ලාබයක් නොවන නිසා. වෙන සමාගමක කොටස් වල ආයෝජනය කළත් ඔය වගේ මට්ටමකින් ලාභාංශ උපයන එක අමාරු දෙයක් නෙමෙයි.
ධනවාදී ක්‍රමයක් යටතේ තරඟකාරී වෙළඳපොළක් තිබේනම් ශ්‍රමය වෙනුවෙන් එහි ආන්තික ඵලදායීතාවයත්, ප්‍රාග්ධනය වෙනුවෙන් එහි ආන්තික ඵලදායීතාවයත් හරියටම ලැබෙනවා මිස අමුතු ලාබයක් කාටවත් ලැබෙන්නේ නැහැ. සූරාකෑම කියන එක මාක්ස්ගේ කතන්දරයක්. හැබැයි ඔය වචනේ සීනියර් අයියලාගේ මුඛ පරම්පරාවෙන් වනපොත් කරලා ගිරවු වගේ වමාරන ගොඩක් අයට සූරාකෑම කියලා මාක්ස් කියන දේ ගැනවත් හරි අවබෝධයක් තිබෙන බවක් පෙනෙන්නේ නැහැ.
මාක්ස්වාදයට අනුව නිර්ධන පන්තිකයින් හා ධනපතියන් කියලා මිනිස්සු වර්ග දෙකක් ඉන්නවා. නිර්ධන පන්තිකයෝ කියා කියන්නේ තමන්ගේ ශ්‍රමය හැර කිසිදු ප්‍රාග්ධනයක් නැතිව උපදින අය. ඒ අයට විප්ලවයක් නොකර කවදාවත් විමුක්තිය ලබා ගන්න බැහැ. ජීවත් වෙන්න සොච්චමක් පමණක් දීලා ඉතුරු ටික ඔක්කොම ධනපතියෝ සූරා කනවා. ඒ නිසා විප්ලවයක් කරලා නිර්ධන පන්ති ආඥාදායකත්වයක් හදන තුරු ඒ කට්ටියට බලාගෙන ඉන්න වෙනවා. මාක්ස්ගේ අර්ථකථනය අනුව ඇමරිකාවේ වුනත් ධනපතියෝ ඉන්නේ බොහොම ටිකයි. අති මහත් බහුතරයක් ඇමරිකානුවන් උපදින්නේ ප්‍රාග්ධනයක් නැතුවයි. හැබැයි ඇමරිකානුවන් වැඩි දෙනෙක් ඉපදුනු විදිහටම මැරෙන්නේ නැහැ.
තෝමස් ජේකබ් හිල්ෆිගර් හෙවත් ටොමී හිල්ෆිගර් කියා කියන්නෙත් උපතින් උරුම වූ ප්‍රාග්ධනයක් නැතිව සාමාන්‍ය ඇමරිකානු පවුලක ඉපදුනු දරුවෙක්. මාක්ස්වාදී අර්ථකථනය අනුවනම් නිර්ධන පාන්තිකයෙක්. දරුවන් නව දෙනෙකුගෙන් යුත් ඔරලෝසු හදන්නෙකුගේ පවුලක දෙවැනි දරුවා. ගොඩක් ඉහළට ඉගෙන ගත් අයෙකුත් නෙමෙයි.
ඇමරිකාවේ බොහෝ දරුවන් වගේම කුඩා ටොමීත් පාසැල් කාලයේ සිටම කීයක් හරි හොයා ගන්න පැට්‍රෝල් ෂෙඩ් එකක වැඩ කරනවා. මේවා ඇමරිකාවේ පහළම මට්ටමේ රැකියා. බොහෝ විට ලැබෙන්නේ අවම වැටුප. වැඩ කරන පැය ගණන අනුව. එහෙත් ඇමරිකන් දරුවෙක් තමන්ට මේ විදිහට වැඩක් කරලා කීයක් හෝ හොයා ගන්න තිබෙන අවස්ථාව අගය කරනවා මිස බුදු අම්මෝ මගෙ ශ්‍රමය සූරාකනවෝ කිය කියා මොර දෙන්නේ නැහැ. පෙට්‍රෝල් ෂෙඩ් එකේ රැකියාව කරලා අමාරුවෙන් උපයන සල්ලි එකතු කරන ටොමී හිල්ෆිගර් වයස අවුරුදු 17ක් වෙද්දී ඩොලර් 150ක ප්‍රාග්ධන හිමියෙක් වෙනවා.
මේ විදිහට ටොමී හිල්ෆිගර් ඩොලර් 150ක මුදලක් ඉතිරි කර ගන්නේ 1968 අවුරුද්දේදී. ඒ මුදලේ දැන් වටිනාකම ඩොලර් 1000ක් පමණ වෙනවා. ලංකාවේ ඇඟලුම් සේවිකාවකගේ මාස හයක පඩිය. ඇමරිකාවේ පහළම මට්ටමේ රැකියාවක් කරන කෙනෙක් සති දෙක තුනකින් පමණ හොයන මුදලක්. තවත් යාලුවෙක් එක්ක එකතු වෙලා මේ මුදලින් බෙල්බොටම් කලිසම් 20ක් මිල දී ගන්න ටොමී ගාණක් තියාගෙන ඒ කලිසම් තමන්ගේ පාසැලේ මිතුරන්ට විකුණනවා.
අවුරුද්දක පමණ කාලයක් ටොමී සහ ඔහුගේ යාලුවා ලැරී මේ බිස්නස් එක කරනවා වගේම එය තවත් දියුණු කර ගන්නවා. ඔවුන්ගේ මේ පුංචි ව්‍යාපාරය කරගෙන යන්න උදවු වෙන්නේ තමන්ගේ වයසේ අය කැමති මෝස්තර ගැන තිබෙන ටොමීට තිබෙන ඉව. ටොමී සහ ලැරී නිවුයෝර්ක් නගරයේ අහුමුලු පීරලා තමන්ගේ වයසේ අය අතර විකුණන්න පුළුවන් මෝස්තර වල ඇඳුම් හොයා ගන්නවා.
ඔය කාලය තරුණයන් අතර හිපි ජීවන ක්‍රමය ජනප්‍රිය වී තිබුණු කාලයක්. හිපි මෝස්තරයේ ඇඳුම්, ආභරණ ආදිය අඩුවට හොයා ගන්න ටොමී මේ ඇඳුම් තමන්ගේ කාර් එකේ ඩිකියේ තියාගෙන ලාබයක් තියාගෙන තමන්ගේ යාළුවන්ට, ඔවුන්ගේ යාළුවන්ට හා වෙනත් තරුණ තරුණියන්ට විකුණනවා. වැඩේ නැගලා යනවා.
නීල් ආම්ස්ට්‍රෝං හඳට ගිය 1969 අවුරුද්ද වන විට ටොමී අවුරුදු 18ක තරුණයෙක්. කාර් එකේ ඩිකියේ තියාගෙන ඇඳුම් විකුණලා ඒ වෙද්දී ඔහු පොඩියට නමක් හදාගෙන. ඔය කාලයේ සමහර රටවල තරුණයෝ මාක්ස්ගේ කතන්දර වලට රැවටිලා රාජ්‍ය බලය පැහැරගෙන සූරා කෑම් නැති තමන්ගේ සිහින රාජ්‍යය ගොඩ නැගීමේ අරමුණින් කැලෑ වැදිලා අවි පුහුණුව ලබනවා. තමන් ප්‍රාග්ධනයක් නැතිව ඉපදුනේ තමන්ගේ වැරැද්දකින් නොවුනත්, ප්‍රාග්ධනයක් නැතිව මැරෙන්න වුනොත් එය තමන්ගේ වැරැද්දක් බව දන්න ටොමී තවත් පියවරක් ඉදිරියට තබමින් බේස්මන්ට් එකක තමන්ගේම ඇඳුම් කඩයක් අරිනවා.
ජනතා වෙළඳසැල (පීපල්ස් ප්ලේස්) නම් වූ මේ රෙදි කඩේ පටන් ගන්නේ ඉතාම සුළුවෙන්. අතින් ඇඳපු බෝඩ් එකක් මිසක් හරියකට බෝඩ් එකක්වත් නැහැ. ටොමී සහ ඔහුගේ යහළුවා පූර්ණකාලීනව කඩේ වැඩ කරනවා. වෙනත් යහළුවන් අර්ධකාලීනව වැඩ කරනවා. ඒ වෙනත් යහළුවන්ගේ ශ්‍රමය වෙනුවෙන් ටොමී ඔවුන්ට ඇඳුම් වලින් ගෙවනවා. ඒක සූරාකෑමක් කියලා කවුරුවත් ඔහුට චෝදනා කරන්නේ නැහැ.
වැඩි කල් යන්න කලින් පීපල්ස් ප්ලේස් නම ජනප්‍රිය වෙනවා. නිවුයෝර්ක් ආසන්න විශ්ව විද්‍යාල ආශ්‍රිතව එහි ශාඛා ගණනාවක් අරින්න පුළුවන් වෙනවා. ඔය විදිහට ශාඛා 10ක් දක්වා මේ ව්‍යාපාරය පුළුල් වුනත් 1975 වෙද්දී මේ ව්‍යාපාරය බංකොළොත් වෙනවා. ව්‍යාපාර කිරීම අවදානම් වැඩක්!
පාසැලෙන් ඉවත් වූ ගමන් ඇඳුම් ව්‍යාපාරයට බහින ටොමීට තරුණ තරුණියන් කැමති විලාසිතා පිළිබඳව හොඳ ඉවක් තිබුණත් ව්‍යාපාරයක් ඉදිරියට ගෙනයන්න අවශ්‍ය ව්‍යාපාරකරණය, ගිණුම්කරණය වගේ දේවල් ගැන හොඳ දැනුමක් තිබුණේ නැහැ. මුලදී ඔහු මේ දේවල් එතරම් වැදගත් සේ සලකන්නේ නැහැ. එහෙත් ව්‍යාපාර බංකොලොත් වුනාට පස්සේ ඔහුට තමන්ගේ අඩුපාඩුව පැහැදිලිව පේන්න ගන්නවා. ඉන්පසුව තමන්ට අවශ්‍ය දැනුම ලබා ගැනීමට කාලය හා මුදල් ආයෝජනය කරනවා.
ඉන්පසුව ටොමීට මෝස්තර සැලසුම්කරුවෙකු ලෙස මුල සිට ජීවිතය පටන් ගන්න වෙනවා. දැන් නැවතත් ඔහු සතු ප්‍රාග්ධනයක් නැහැ. ඒ වන විට ඔහු තමන්ගේ වෙළඳසැලක සේවය කළ සේවිකාවක හා විවාහ වෙලා. ආදායමක් උපයන්න වෙන්නේ මේ දෙන්නා එක්කම මෝස්තර සැලසුම්කරණයේ යෙදෙමින් තමන්ගේ ශ්‍රමය විකුණලා. හැබැයි ඔහුට මේ වැඩේ කරන්න වෙන්නෙත් අවුරුද්දයි. දෙන්නාටම එකපාර රස්සා නැති වෙලා නැවතත් පාරට වැටෙනවා.
අතේ ලොකු මුදලක් නැතත්, මෝස්තර සැලසුම්කරුවෙකු ලෙස හොඳ වැටුපක් ලැබිය හැකිව තිබියදීත්, ටොමී කැමැත්තෙන් ඉන්නේ ගිලෙන්න හරි බලාගෙන නැවතත් වතුරට බහින්නයි. ඇඟලුම් ව්‍යාපාරයේ දැවැන්තයෙකු වූ මෝහන් මුර්ජානි මේ වෙද්දී මෝස්තර සැලසුම්කරුවෙකු හොයමිනුයි ඉන්නේ. මුර්ජානි සමාගම සමඟ එක් වන ටොමී තමන්ගේම සන්නාමයකින් වැඩ පටන් ගන්නවා. ඒ තමයි ටොමී හිල්ෆිගර් සන්නාමය.
ටොමී හිල්ෆිගර් සන්නාමය යටතේ ඇඳුම් නිර්මාණය වන්නේ 1985 වසරේදී. මුලින් මුර්ජානි සමාගම සමඟ වැඩ කරන ටොමී පසුව ඔවුන්ගෙන් අයින් වෙනවා. 1988 වන විට ටොමී හිල්ෆිගර් සන්නාමයේ අලෙවිය ඩොලර් මිලියන 25ක්. 1995 පමණ වන විට ඩොලර් මිලියන 500ක්. 2000 වන විට ඩොලර් බිලියනයක්. 2004 වන විට ටොමී හිල්ෆිගර් සමාගම ඩොලර් බිලියන 1.8ක අලෙවියක් තිබෙන, සේවකයින් 5,400කට රැකියා සපයන දැවැන්ත ව්‍යාපාරයක්. 2005 වසරේදී ටොමී හිල්ෆිගර් විසින් තමන්ගේ සමාගම ඩොලර් බිලියන 1.6ක මුදලකට බ්‍රිතාන්‍ය ආයෝජන සමාගමකට (Apax Partners) විකුණා දමනවා. පීවීඑච් සමාගම විසින් 2010 වසරේදී ඩොලර් බිලියන 3ක් ගෙවා ටොමී හිල්ෆිගර් සන්නාමය මිල දී ගන්නේ එම සමාගමෙන්.
තමන්ගේ ශ්‍රමය හැර වෙනත් ප්‍රාග්ධනයක් නැතිව ඉපදී, ඇමරිකාවේ පවතින ධනවාදී ක්‍රමයේ උදවුවෙන් හා තමන්ගේ මහන්සියෙන් හා උනන්දුවෙන් සැලකිය යුතු ප්‍රාග්ධනයක් උපයාගත් වෙනත් බොහෝ ඇමරිකානුවන් වගේම මේ "නින්දිත හූරාකන්නා" විසින්ද විවිධ ජනහිතකාමී කටයුතු වෙනුවෙන් තමන්ගේ කාලය, ශ්‍රමය හා ධනය විශාල ලෙස වැය කර තිබෙනවා. 1995 පමණ සිටම තරුණයින් සවිබල ගැන්වීම වෙනුවෙන් හා ඔවුන්ගේ අධ්‍යාපනය හා සෞඛ්‍යය නගා සිටවීම වෙනුවෙන් වැඩ කර තිබෙනවා. මේ වෙද්දී ජනහිතකාමී කටයුතු ටොමී හිල්ෆිගර්ගේ ජීවිතයේ ප්‍රමුඛතාවය කියා කියන්න පුළුවන්.
ටොමී හිල්ෆිගර් විසින් ඔහුගේ ජනහිතකාමී කටයුතු සිදු කර තිබෙන්නේ ඇමරිකාව තුළ පමණක් නෙමෙයි. ලෝකය පුරාම ළමුන්, පරිසරය, සෞඛ්‍යය ආදී විවිධ ක්ෂේත්‍ර වල පැතිරී තිබුණු ඔහුගේ ජනහිතකාමී කටයුතු මේ වෙද්දී ටොමීකෙයාර් සංවිධානය හරහා සිදු වෙනවා.
අද වෙද්දී ලොකු අධ්‍යාපනයක් නොලැබූ ලංකාවේ තරුණියකට මසකට රුපියල් 34,000ක පමණ ආදායමක් ඉපැයිය හැකිව තිබෙන්නේ ටොමී හිල්ෆිගර් වැනි ව්‍යවසායකයන්ගේ පුරෝගාමී මෙහෙවර නිසයි. ලංකාවේ ඇඟලුම් ව්‍යාපාරය නොතිබෙන්නට මේ තරුණියන්ටත් සිදු වන්නේ කොටුව දුම්රියපොළ ඉදිරිපිට බෝඩ් අල්ලාගෙන ඉන්න හෝ බස් වලට නැගී කැට හොල්ලන්නයි. නැත්නම් තමන්ගේ විප්ලවවාදී ජීව ගුණය පෙන්වන්න අශූචි කානු වල ඉන්න මීයන් මරාගෙන කන්නයි. ඔවුන් තමන්ගේ මහන්සියෙන් උපයන මේ මුදලින් කොටසක් රජය විසින් බදු හරහා සූරාකමින් රටට ඵලදායී සේවයක් නොකරන පරපුටුවන් පිරිසක් නඩත්තු කරද්දී විවිධ වෘත්තීය සමිති ආදිය විසින්ද ඔවුන්ගේ වැටුපෙන් තවත් කොටසක් සූරාකනවා.