වෙබ් ලිපිනය:

Showing posts with label මහ බැංකුව. Show all posts
Showing posts with label මහ බැංකුව. Show all posts

Tuesday, August 23, 2022

ශ්‍රමික ප්‍රේෂණ වැරදිනම් ඩොලර් ආවේ කොහෙන්ද?

මහ බැංකු අධිපතිවරයා විසින් බෝම්බයක් අත ඇරලා තිබෙනවා. මහ බැංකුව විසින්ම නියමාකාරයෙන් නිෂ්ක්‍රීය කළේ නැත්නම් මේ බෝම්බයෙන් තුවාල වෙන්නේ මහ බැංකුවටමයි. මම හිතන්නේ දැනටමත් ටිකක් තුවාල වෙලා.

මුදල් ප්‍රතිපත්ති තීරණ දැනුම් දීමෙන් අනතුරුව ශ්‍රමික ප්‍රේෂණ ගැන මහ බැංකු අධිපතිවරයාට ප්‍රශ්නයක් යොමු වෙනවා. එයට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපතිවරයා විසින් කියන්නේ ශ්‍රමික ප්‍රේෂණ විදිහට මහ බැංකුව විසින් කාලයක් තිස්සේ ඉදිරිපත් කළ ගණන් හිලවු නිවැරදි නැති බවයි. ඒ අනුව, ඇත්තටම ශ්‍රමික ප්‍රේෂණ වල අඩුවීමක් සිදු වී නැති බව ඔහු කියනවා. සිදු වී තිබෙන්නේ සංඛ්‍යාලේඛණ වඩා නිවැරදි වීමක්. 

මේ ප්‍රකාශය කරන අවස්ථාවේ වැදගත්කමත්, වත්මන් මහ බැංකු අධිපතිවරයාට ලංකාවේ විදේශ අංශය ගැන තිබෙන පළපුරුද්දත් සැලකූ විට මේ කියන කතාව නොසලකා හැරිය හැකි ප්‍රකාශයක් නෙමෙයි. මෙහෙම කතාවක් එළියට දැම්මේ හොඳින් හිතාමතා විය යුතුයි. ඒ පදනම මත, අදාළ ප්‍රකාශය හේතුවෙන් බොහෝ දෙනෙකුට මතු වී තිබෙන අතුරු ප්‍රශ්න වලට මහ බැංකුව පැත්තෙන් ඉතා ඉක්මණින් පිළිතුරු ලැබෙයි කියා හිතනවා.

ශ්‍රී ලංකාව මහ බැංකුව විසින් පමණක් නොව ලංකාවේ හා ලෝකයේ වෙනත් එවැනි ආයතන විසින් ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛණ බොහොමයක් පරම සත්‍යයන් නෙමෙයි. ඇතැම් සංඛ්‍යාලේඛණ වඩා නිවැරදියි. ඇතැම් ඒවා දළ ඇස්තමේන්තු. සංඛ්‍යාලේඛණ පිළියෙළ කිරීමේදී කරන උපකල්පන මතත් සංඛ්‍යාලේඛණ වෙනස් වෙනවා.

මෙය පැහැදිලි කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මාස්පතා ඉදිරිපත් කරන සංචාරක ඉපැයීම් පිළිබඳ ඇස්තමේන්තු යොදා ගන්න පුළුවන්. මේ ඇස්තමේන්තු වල නිරවද්‍යතාවය ඉතාම අඩුයි. ඇස්තමේන්තු හදන විදිහ පැහැදිලි කළාට පස්සේ ඒ ඇයි කියන එක ගොඩක් අයට තේරෙයි.

මේ ඇස්තමේන්තුව හදන්නේ මෙහෙමයි. පළමුව එක් එක් මාසය තුළ රටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය හොයා ගන්නවා. ඊට පස්සේ සංචාරකයෙකු දවසකට වියදම් කරන සාමාන්‍ය ඩොලර් ප්‍රමාණය සංචාරකයෙකු ලංකාවේ ගත කරන සාමාන්‍ය දින ගණනෙන් වැඩි කර එක් සංචාරකයෙකු විසින් වියදම් කරන ඩොලර් ප්‍රමාණය ඇස්තමේන්තු කරන්න පුළුවන්. ඔය ගණන් දෙක වැඩි කළාම සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් වලින් ඇස්තමේන්තු කළ හැකියි. අන්තිමට අදාළ මාසයේ පැවති නිල විණිමය අනුපාතය අරගෙන ඔය ගණන රුපියල් කළ හැකියි. ඒ කියන්නේ මේ වගේ වැඩක්.

සංචාරක ඉපැයීම් = සංචාරකයින් ගණන * දිනකට වැය කරන ඩොලර් ගණන * ගත කරන දින ගණන * ඩොලරයක මිල 

පළමුව හොයා ගන්න තියෙන්නේ රටට පැමිණි සංචාරකයින් ගණනනේ. රටට එන සෑම විදේශ පුරවැසියෙකු හා ද්විත්ව පුරවැසියෙකු විසින්ම රටට ඇතුළු වීමේදී කාඩ් එකක් පිරවිය යුතුයි. එහි රටට පැමිණීමට හේතුව සලකුණු කරන්න තිබෙනවා. ඔය තොරතුරු ආගමන පාලන නිලධාරීන් විසින් පරිගණකයට ඇතුළු කරන නිසා "Holiday" සඳහා ලංකාවට එන ගණන ලේසියෙන්ම ගණන් කර ගන්න පුළුවන්. විදේශ පුරවැසිභාවය ලබා නැති ස්ථිර පදිංචිකරුවන් මේ ඇස්තමේන්තුවට අහු වෙන්නේ නැහැ. කොහොම වුනත්, ඔය ඇස්තමේන්තුවේ ලොකු වැරැද්දක් නැහැ.

ලොකු ඇස්තමේන්තු වරදක් සිදු වෙන්නේ සංචාරකයෙකු විසින් දිනකට වැය කරන ඩොලර් ගණන හා ගත කරන දින ගණන හොයා ගන්න යද්දී. මේ ගණන් ඇස්තමේන්තු කරන්නේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය විසින් වසරකට වරක් කරන සමීක්ෂණයකින්. සාමාන්‍යයෙන් රටින් පිටවන සංචාරකයින් 5000කගේ පමණ නියැදියක් මේ සඳහා යොදා ගන්නවා. මහ බැංකුව විසින් කරන්නේ ඒ සමීක්ෂණය මගින් හොයා ගන්නා සාමාන්‍ය අගයයන් සියලුම සංචාරකයින් සඳහා යොදා ගැනීමයි.

උදාහරණයක් විදිහට පසුගිය ජූලි මාසයේදී සංචාරකයින් 47,293 දෙනෙක් රටට ඇවිත් තිබෙනවා. සංචාරක ප්‍රවර්ධන අධිකාරිය විසින් කර තිබෙන අලුත්ම සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව එක් සංචාරකයෙකු දින 10.23ක් රටේ ගත කරන අතර දිනකට ඩොලර් 175.8ක් වියදම් කරනවා. ඒ කියන්නේ ඩොලර් 1798.43ක්. මේ අනුව, සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 85.1ක් ලෙස ඇස්තමේන්තු කරලා පසුව එම මුදල රුපියල් වලට හරවන එක තමයි වෙන්නේ. 

මේ ක්‍රමයේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නය සමීක්ෂණය සඳහා යොදා ගන්නා නියැදිය රටට එන සංචාරකයින්ව නිවැරදිව නිරූපණය කරන බවට සහතිකයක් නැති වීමයි. එය එසේ නොවන බව පැහැදිලිව පේනවා. මේ වගේ ප්‍රශ්නයක් සංඛ්‍යානමය ක්‍රම මගින් නිවැරදි කර ගත හැකියි. හැබැයි ටිකක් මහන්සි වෙන්න වෙනවා. එහෙම නැත්නම් වෙන්නේ කලින් කී ඇස්තමේන්තුවේ තිබෙන එක් සංචාරකයෙකුගේ සාමාන්‍ය වියදම් කිරීම් වල තිබෙන වැරැද්දක් නිසා සංචාරක ඉපැයීම් ඇස්තමේන්තු ඩොලර් බිලියන ගණනකින් එහා මෙහා වෙන්න පුළුවන් වීමයි. 

උදාහරණයක් විදිහට 2021 සමීක්ෂණය අනුව එක් සංචාරකයෙකු දින 15.1ක් රටේ නැවතී සිට දිනකට ඩොලර් 215.8ක් වැය කරනවා. ඒ කියන්නේ ඩොලර් 3258.58ක්. 2022දී මේ ගණන 45%කින්ම අඩු වෙලා. සංචාරකයින් මිලියනයක් රටට ආවානම් ඩොලර් බිලියන 1.46කින් සංචාරක ඉපැයීම් ඇස්තමේන්තුව අඩු වෙලා. 

වඩා නිවැරදි හෝ අලුත් තොරතුරු ලැබුණු විට කලින් හදපු ඇස්තමේන්තු වෙනස් වෙන එක සාමාන්‍ය දෙයක්. එහි කිසිම වංචාවක් නැහැ. වංචාවක් වෙන්නේ ඒ වගේ වෙලාවක ඇස්තමේන්තු වෙනස් නොකර හිටියොත්. ඊටත් වඩා වංචාවක් වෙන්නේ ඇස්තමේන්තු වෙනස් කරන එක වාසිදායක වෙලාවට පමණක් කරලා අවාසිදායක වෙලාවට නොකර හිටියොත්. 

මහ බැංකු අධිපතිවරයා කියන විදිහට ශ්‍රමික ප්‍රේෂණ ඇස්තමේන්තු වැරදිලා තියෙන්නේ ඇතැම් වාණිජ බැංකු විසින් ලබා දී තිබෙන දත්ත වැරදි නිසා. ඒ බැංකු විසින් කාලයක් තිස්සේ අපනයන වෙනුවෙන් ලැබෙන ඩොලර් ප්‍රමාණත් ශ්‍රමික ප්‍රේෂණ විදිහට වාර්තා කරලා. මෙය නොසැලකිල්ල නිසා සිදු වූ දෙයක් වෙන්න පුළුවන්. මහ බැංකුව දත්ත ඉල්ලුවහම ලේසියෙන් පිළියෙල කළ හැකි දත්ත මොනවා හෝ දීලා වැඩේ ගොඩ දා ගත්තා වෙන්න පුළුවන්. වැඩේ ගැස්සිලා තියෙන්නේ ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ වලින් කොටසක් මහ බැංකුවට දෙන්න කියා නියෝග කළාට පස්සේ. මම මේ කියන්නේ මහ බැංකු අධිපතිවරයා විසින් කියන කතාව.

මේ කියන දේ ඇත්ත වෙන්න පුළුවන්. එහෙමනම් මෙතෙක් ශ්‍රමික ප්‍රේෂණ කියා කියපු ගණන් ඇත්තටම රටට ඇවිත් නැහැ. මහ බැංකු වාර්තා වල විතරක් නෙමෙයි මහ බැංකුවෙන් අරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන විසින් කාලයක් තිස්සේ ප්‍රසිද්ධ කරලා තිබෙන සංඛ්‍යාලේඛණත් වැරදියි. මොන විදිහකින් හෝ වැරැද්දක් වෙලානම්, දැන් වැරැද්ද අහුවෙලත් තියෙනවානම්, කරන්න තියෙන්නේ දැන්වත් වැරැද්ද හදන එකයි.

හැබැයි මේ කතාවත් එක්ක අතුරු ප්‍රශ්න කිහිපයක්ම මතු වෙනවා. විශේෂයෙන්ම 2004-2014 අතර කාලයේ ශ්‍රමික ප්‍රේෂණ ඉතා සීග්‍රයෙන් ඉහළ ගියා. ඩොලර් බිලියන 1.5 මට්ටමේ තිබුණු ශ්‍රමික ප්‍රේෂණ ඩොලර් බිලියන 7 පහු කළා. දැන් ඔය කියන විදිහට ඇත්තටම රටට ඇවිත් තියෙන්නේ ඔය ගණනින් බාගයක් පමණයි. නමුත්, ශ්‍රමික ප්‍රේෂණ විදිහට රටට ආවේ නැත්නම් ඔය ඉතුරු ඩොලර් ප්‍රමාණය රටට ආපු විදිහකුත් තියෙන්න ඕනෑනේ. අවුරුද්දකට ඩොලර් බිලියන 3.5 පමණ බැගින් අවුරුදු 10ක් ගණන් හැදුවොත් ඩොලර් බිලියන 35ක්!

සමහර අය ගණන් හදලා රටෙන් පන්නපු ඩොලර් ප්‍රමාණ ගැන කියනවා. දැන් මේ කියන කතාව ඇත්තනම් ඩොලර් බිලියන 35ක් හෝ වැඩි ගණනක් රට ඇතුළට හොරෙන් පන්නලා තියෙනවා. ඒ මොනවාද? කළු සල්ලිද?

මම දන්නා තරමින් ආනයන, අපනයන ආදිය පිළිබඳ සංඛ්‍යාලේඛණ ලබා ගන්නේ රේගුවෙන්. ඒ ගණන් වල ලොකු වැරැද්දක් තියෙන්න විදිහක් නැහැ. රජයට ලැබෙන ණය, ආයෝජන, සෘජු විදේශ ආයෝජන, කොටස් වෙළඳපොළ ආයෝජන වගේ දේවලුත් හරියටම වගේ දන්නවා. ගෙවුම් ශේෂ ගිණුම් ඇතුළේ ලොකු ඇස්තමේන්තු වරදක් තියෙනවානම් තියෙන්න පුළුවන් සංචාරක ඉපැයීම් වල පමණයි. නමුත් සංචාරක ඉපැයීම් දැනට තිබෙන ඇස්තමේන්තු වලට වඩා බිලියන තුන හතරක් වැඩි වෙන්න පුළුවන්ද? පැහැදිලි කරන එක මහ බැංකුවේ වැඩක්. 

Monday, August 15, 2022

දැන් උද්ධමනය හොඳ වෙලාද?


පසුගිය සති ගණනාවක් මුළුල්ලේම මහ බැංකුව විසින් රජය වෙනුවෙන් වෙන්දේසියට ඉදිරිපත් කරනු ලැබූ භාණ්ඩාගාර බිල්පත් මුළු ප්‍රමාණයම වෙන්දේසියේදී අලෙවි කළ හැකි වූ වාසිදායකම මිලට අලෙවි කරනු ලැබුවා. මෙහිදී පොලී අනුපාතික ඉහළ යාම ගැන මහ බැංකුව එතරම් කනස්සලු වූයේ නැහැ. ප්‍රමුඛතාවය දුන්නේ පොලී අනුපාතික කීයට ගියත් භාණ්ඩාගාර බිල්පත් විකිණීම මගින් රජයට අවශ්‍ය අරමුදල් සොයා දී සල්ලි අච්චු ගැසීමෙන් වැලකී සිටීමටයි. අගෝස්තු 3 වෙන්දේසිය තෙක්ම මේ තත්ත්වය මෙලෙස සිදු වුනා.

කෙසේ වුවත්, පසුගිය සතියේ මේ ක්‍රමවේදයෙන් විතැන් වීමක් පෙනෙන්නට තිබෙනවා. අගෝස්තු 9 දින පැවති වෙන්දේසියට රුපියල් බිලියන 85ක බිල්පත් ඉදිරිපත් කර ඇතත්, විකුණා තිබෙන්නේ රුපියල් බිලියන 65.9ක බිල්පත් ප්‍රමාණයක් පමණයි. ඉන් පසුව, රුපියල් බිලියන 7.5ක බිල්පත් ප්‍රමාණයක් සෘජු ක්‍රමයට විකුණා තිබෙනවා. සතිය තුළ සංචිත මුදල් හෝ මහ බැංකුව සතු බිල්පත් ප්‍රමාණයේ වැඩි වීමක්නම් දැකිය නොහැකියි. ඒ දෙකම අඩු වී තිබෙනවා. එසේ වුවත්, මහ බැංකුවේ ඉහත තීරණය මගින් පෙන්නුම් කරන්නේ පොලී අනුපාතික ඉහළ යනු දැකීමට මහ බැංකුවේ ඇති නොකැමැත්තයි. එසේ නැත්නම් මේ කාරණය හා අදාළව මහ බැංකුව රජයට යට වීමයි.

මේ අතර මහ බැංකු අධිපතිවරයාගේ නමින් පළ වී ඇති ලිපියක් හා එහි සිංහල පරිවර්තනය වේගයෙන් සංසරණය වෙනවා. ලියා ඇති ශෛලිය අනුව මෙය ව්‍යාජ ලේඛණයක් විය හැකි වුවත්, ඒ බවක් මෙතෙක් අධිපතිවරයා විසින් හෝ මහ බැංකුව විසින් කියා නැහැ. අදාළ ලිපියේ මහ බැංකු අධිපති වරයා විසින් මෙවැනි ප්‍රකාශයක් කරනවා. 

''පැරණි න්‍යායන් අනුව යමින්, මෑතකදී මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත විශාල ලෙස වැඩි කළේය. එහි අරමුණ වූයේ උද්ධමනය පාලනය කිරීමයි. මෙය කනගාටුදායක ලෙස වැරදි පියවරක් වන අතර ඵලදායිතාව දිරිමත් නොකරනු ඇත, නමුත් එය අධෛර්යමත් කරනු ඇත.''

මෙය ඇතැම් විට ව්‍යාජ ලෙස සකස් කළ ලියැවිල්ලක් විය හැකියි. මහ බැංකු අධිපතිවරයා මුලදීනම් දැඩි ලෙසම පෙනී සිටියේ පොලී අනුපාතික වැඩි කිරීම වෙනුවන්. එහෙත්, මේ වන විට ඔහු සිය මතය වෙනස් කරගෙන ඇත්දැයි මා දන්නේ නැහැ. මෙය ව්‍යාජ ලියැවිල්ලක් නොවේනම් අධිපතිවරයා විසින් දැන් කියන්නේ ටිකක් වෙනස් කතාවක්. (පසු සටහන: වත්පොතේ ප්‍රතිචාර වල ඇති තොරතුරු අනුව මෙය මහ බැංකු අධිපතිවරයා විසින් නොව වෙනත් අයෙකු විසින් ලියූවක් බව පැහැදිලිව පේනවා.)

"උද්ධමනය පැවැත්ම සඳහා ඵලදායී වීමට මිනිසුන් තල්ලු කරනු ඇත. උද්ධමනය භාණ්ඩ හා සේවාවල මිල ගළපා ගන්නා අතර පාරිභෝගිකයන් තම පරිභෝජනයේ පිරිවැය තමන් විසින්ම ගෙවන ලෙස ඉල්ලා සිටියි. ත්‍රිරෝද රථයක්, පාර අයිනේ කඩ සාප්පුවක් හෝ කුඩා සැලෝන්/ස්පා එකක් පවත්වාගෙන යාමෙන් පුද්ගලයෙකුට පවුලක් නඩත්තු කළ නොහැකි බව උද්ධමනය සහතික කරයි. කෙටියෙන් කිවහොත්, උද්ධමනයට වඩා ඔබ ඵලදායි විය යුතුය, නැතහොත් ඔබ විනාශ වනු ඇත."

මේ කතාවේ යම් ඇත්තක් නැතුවා නෙමෙයි. උද්ධමනය කියා කියන්නේත් උද්ධමනයට විසඳුමක්. උද්ධමනයට හේතු වන්නේ රටක නිෂ්පාදනය ඉක්මවා මුදල් සැපයුම ඉහළ යාමයි. මුදල් සැපයුම ඉහළ යාම අහම්බයක් නෙමෙයි. මහ බැංකුව විසින් කරන දෙයක්. මහ බැංකුව විසින් ඉහළ යවන මුදල් සැපයුම මහ බැංකුව විසින්ම අඩු කරන්නේනම් උද්ධමනය ඇති වීම වලක්වා ගත හැකියි. එහෙත්, මහ බැංකුව විසින් එය නොකරන්නේනම් රටේ ජනතාවට උද්ධමනයට මුහුණ දෙන්න වෙනවා. ජනතාව විසින් උද්ධමනයේ බර දරා ගැනීම තුළ මුදල් සැපයුම ඉහළ යාමේ බලපෑම ඉවත් වී උද්ධමනය පාලනය වෙනවා. ඒ අර්ථයෙන් මේ කතාව ඇත්ත.

නමුත්, මහ බැංකුව විසින් හෝ මහ බැංකු අධිපතිවරයා විසින් මේ වගේ කතාවක් කියනවානම් එය විශාල ප්‍රශ්නයක්. එහෙම කියනවානම් ඒ කියන්නේ මේ වගේ දෙයක්.

"අපි අපිට අවශ්‍ය ප්‍රමාණයට සල්ලි අච්චු ගහලා අපිට අවශ්‍ය අයට දෙනවා. ඒ අය පැත්තක ඉඳලා මහන්සි නොවී පරිභෝජනය කරයි. අනෙක් අයට තියෙන්නේ මහන්සි වෙලා වැඩ කරලා, නිෂ්පාදනය වැඩි කරලා, පරිභෝජනය නොකර එයින් කොටසක් "අපිට අවශ්‍ය" අයට දීමෙන් උද්ධමනය පාලනය කරන එක!"

උද්ධමනය පාලනය කිරීම මහ බැංකුවේ හා මහ බැංකු අධිපතිවරයාගේ නීතිමය වගකීමක්. මහ බැංකු අධිපතිවරයෙකුට කවදාවත් උද්ධමනය හොඳ දෙයක් කියා කියන්න බැහැ. මුදල් නීති පණත අනුවම, උද්ධමනය 10% ඉක්මවීම රටේ මිල ස්ථායීතාවය තර්ජනයට ලක් වීමක් සේ සැලකෙනවා. උද්ධමනය 10% ඉක්මවන සෑම මාසයකදීම මහ බැංකුව විසින් උද්ධමනයට හේතු වූ තත්ත්වයන්, උද්ධමනය පාලනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සහ එම ක්‍රියාමාර්ග වලින් උද්ධමනය පාලනය වීමට නියමිත ආකාරය පැහැදිලි කරමින් විස්තරාත්මක වාර්තාවක් මුදල් ඇමතිවරයා වෙත ඉදිරිපත් කළ යුතුයි. යම් හෙයකින් මෙම වාර්තාව ප්‍රසිද්ධ කිරීම මහජන ශුභ සිද්ධිය කෙරෙහි අහිතකර ලෙස බලපාන්නේනම් හැර එම වාර්තාව ප්‍රසිද්ධ කළ යුතුයි. 

උද්ධමනයට විසඳුම මහජනතාව ඵලදායීතාවය විසින් වැඩි කර ගැනීමද? 2010-2012 වකවානුව වැනි, ඩොලරයක මිල ඉහළ යන්නට නොදී එක තැන තබා ගැනුණු වකවානු වල අපනයනකරුවන් මැසිවිලි නගද්දී ඔවුන්ට මහ බැංකුව විසින් කියූ කතාවත් මීට සමානයි. ඒ දවස් වල මහ බැංකුව විසින් කිවුවේ අපනයනකරුවන් විසින් ඩොලරයක මිල ඉහළ යාම දෙස බලා නොසිට සිය ඵලදායීතාව වැඩි කර ගත යුතු බවයි.

මේ කතා දෙකම සමාන කළ හැක්කේ මහ බැංකුව විසින් පැත්තක සිටින ජනතාව ගඟකට තල්ලු කර "දැන් ඉතිං පීනලා බේරෙන්න!" කියන එකටයි. ගඟට වැටුණු අයෙකුට බේරෙන්න හැකි වෙන්නේ ඵලයීතාවය වැඩි කරගෙන මොන විදිහෙන් හෝ ගොඩට පීනුවොත් පමණක් කියන එක ඇත්ත. නමුත්, පීනා ජීවිතය බේරා ගැනීමේ ප්‍රශ්නය මතු වන්නේම මහ බැංකුව විසින් ගඟට තල්ලු කරන නිසා. ඵලදායීතාවය වැඩි කර ගැනීම කිසිසේත්ම නරක දෙයක් නොවුනත්, උද්ධමනයට විසඳුම මහජනතාව විසින් ඵලදායීතාවය  වැඩි කර ගැනීම කියා කියන එක ඉතාම අසාධාරණ කතාවක්. 

"උද්ධමනයට වඩා ඔබ ඵලදායි විය යුතුය. නැතහොත් ඔබ විනාශ වනු ඇත."

කතාව ඇත්ත. හැබැයි මෙය අදාළ ගඟට වැටී ඉන්න අයට පමණයි. උද්ධමනයේ වාසි ගන්න පිරිසක් වෙනම ගං ඉවුරේ පැත්තක ඉන්නවා. ගඟට වැටුණු ඔබ අමාරුවෙන් පීනා ගොඩට ආවත් ඒ අය කරන්නේ ඔබව නැවත ගඟට තල්ලු කරන එකයි. උද්ධමනයට වඩා ඵලදායී වීම ඒ අයට අදාළ නැහැ. එය අදාළ වන්නේ ඔබට පමණයි.

පොලී අනුපාතික වැඩි කළ විට ඵලදායිතාව දිරිමත් වන්නේ නැද්ද? 

මෙය කියවන බොහෝ දෙනෙකුට දැන ගන්නත් එක්ක මම මුලින්ම නාමික හා මූර්ත පොලී අනුපාතික ගැන විස්තර කරන්නම්. 

අපි උද්ධමනය ඉහළ මට්ටමක තිබෙන කාලයක් ගැන හිතමු. හාල් කිලෝ එකක නැත්නම් පොල් ගෙඩියක මිල මාසයක් තුළ 5%කින් ඉහළ යන බව කාට වුනත් පැහැදිලියි කියා හිතමු. ඔය වගේ වෙලාවක අතේ සල්ලි තිබෙන ඕනෑම කෙනෙක් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩියෙන් හාල් පොල් මිල දී ගන්න පෙළඹෙනවා. මොකද පහු වෙලා ගන්නවට වඩා දවසක් හරි කලින් ගන්න එක ලාබයි. ඉන්ධන ඉල්ලුම වගේම ඩොලර් ඉල්ලුමත් වැඩි වෙලා තියෙන්නේ ඔය හේතුව නිසා. ඕනෑවටම නෙමෙයි. ගණන් වැඩි වෙන නිසා, අතේ සල්ලිත් තියෙන නිසා ටිකක් වැඩිපුර ගන්නවා. 

උද්ධමන තත්ත්වයක් ඇති වෙන්නෙම රටේ තිබෙන භාණ්ඩ ප්‍රමාණයට සාපේක්ෂව මුදල් ප්‍රමාණය වැඩි වුනාමනේ. මොකද අතේ මුදල් ප්‍රමාණය වැඩි වෙද්දී භාණ්ඩ ඉල්ලුම වැඩි වුනත් භාණ්ඩ සැපයුම වැඩි වෙන්නේ නැහැ. දැන් ඊට අමතරව, කලින් කියපු විදිහටම සමපේක්ෂණය නිසා අමතර භාණ්ඩ ඉල්ලුමක් ඇති වෙනවා. එහි ප්‍රතිඵලය මිල තවත් ඉහළ යන එකයි. (මිල ඉහළ නොගියොත් වෙන්නේ භාණ්ඩ හිඟය තවත් වැඩි වෙන එකයි. තෙල් වලට වගේම ඩොලර් වලටත් වුනේ ඒකයි.)

පේනවනේ වෙන දේ. උද්ධමනය ඉහළ මට්ටමක තියෙද්දී මිල වැඩි වන බව පැහැදිලිව පේන නිසා ඒ හේතුවෙන්ම අමතර භාණ්ඩ ඉල්ලුමක් ඇති වෙනවා. අපේ උදාහරණයේදී මාසයකට මිල වැඩි වීම 5%යි. ඒ කියන්නේ මාසයක් කලින් බඩු අරගෙන තියා ගත්තොත් පාරිභෝගිකයන්ට 5%ක අමතර වාසියක් තියෙනවා. 

එතකොට ව්‍යාපාරිකයන්ට? අපි හිතමු සිල්ලර කඩයක් ගැන. දැන් මේ කඩේට මොනවා හෝ බඩු ටිකක් මිල දී අරගෙන මාසයක පමණ කාලයක් තුළ 10%ක ලාබයක් තියාගෙන විකුණනවා කියා හිතමු. මාසයකට 5%කින් බඩු මිල වැඩි වෙද්දී ඔය ලාබය නිකම්ම 15% වෙනවා. 

අපි වෙන නිෂ්පාදන කර්මාන්තයක් ගැන හිතමු. සරල ලෙස, බිත්තර හා පාන්පිටි යොදා ගෙන බිත්තර ආප්ප හදා විකුණන එක ගැන හිතමු. ඒත් කතාව ඔය වගේ.  බිත්තර හා පාන්පිටි මිල වැඩි වෙද්දී බිත්තර ආප්ප මිලත් ඉහළ යනවා. නමුත්, එයින් ලාබය වැඩි වෙන්නේ නැහැ. හැබැයි කලින්ම බිත්තර හා පාන්පිටි අරන් තිබුණානම් එතැන අමතර ලාබයක් තියෙනවා. වඩා සංකීර්ණ නිෂ්පාදනයක් ගැන හිතුවත් උද්ධමන කාලයකදී අමුද්‍රව්‍ය කලින්ම මිල දී ගැනීමෙන් ඔය වාසිය එනවා. ඒ වගේම, මිල අඩු වන වකවානු වලදී ඕකම අනෙක් පැත්තට වෙලා පාඩුවක් වෙනවා. පාඩුවක් වෙනවා කියන එකෙන් අදහස් කළේ ලාබය අඩු වෙනවා කියන එකයි. 

දැන් අපි මේ කතාවට පොලී අනුපාතික එකතු කරමු. ඔය කලින් කියපු වාසිය ගන්න පුළුවන් වෙන්නේ අතේ සල්ලි තියෙන අයට විතරනේ. නමුත්, 2% පොලියට ණය ගන්න පුළුවන්නම් තත්ත්වය කොහොමද? 

උද්ධමනය නිසා ලැබෙන අමතර වාසිය 5%යි. අතේ සල්ලි නැත්නම් ණයට බඩු අරගෙන 2% පොලිය ගෙවුවත් 3%ක් වාසියි. ඒ නිසා, පොලී අනුපාතික උද්ධමනය අනුපාතිකයට වඩා අඩුනම් ඕනෑම පුද්ගලයෙක් හෝ ව්‍යාපාරිකයෙක් ණය ගන්න පෙළඹෙනවා. මොකද අවදානමක් නැති ලාබයක්!

දැන් මෙය කොහොමද මුදල් සැපයුම කෙරෙහි බලපාන්නේ? පොලී අනුපාතික උද්ධමනයට වඩා පහතින් තිබෙන තුරු ණය ගන්න පුළුවන් හැම කෙනෙක්ම පුළුවන් තරම් ණය ගන්නවා. එහි ප්‍රතිඵලයක් විදිහට මුදල් සැපයුම ප්‍රසාරණය වෙනවා. මේ විදිහට ණය ගන්න අය විශාල ලාබයක් ලබන්නේ ඵලදායීතාවය වැඩි කරගෙන නෙමෙයි. උද්ධමනයේ උදවුවෙන්. මහ බැංකුවේ උදවුවෙන්. 

උද්ධමනය පාලනය කිරීම සඳහා මහ බැංකු විසින් පොලී අනුපාතික ඉහළ දමන්නේ ඔය හේතුව නිසා. අවම වශයෙන් උද්ධමනය හා ගැලපෙන තරමට පොලී අනුපාතික ඉහළ දැමුවේ නැත්නම් වෙන්නේ දිගින් දිගටම ණය ඉල්ලුම වැඩි වී මුදල් සැපයුම ප්‍රසාරණය වෙන එකයි.

මම කලින්ම මූර්ත පොලී අනුපාතික කියා දෙයක් ගැන කිවුවනේ. මූර්ත පොලී අනුපාතිකය කියා කියන්නේ නාමික පොලී අනුපාතිකය හා උද්ධමනය අතර වෙනස. නාමික පොලී අනුපාතිකය කියා කියන්නේ අපි ඔය නිකම්ම පොලී අනුපාතිකය කියන එක. නාමික කියා විශේෂණයක් එක් කරන්නේ මූර්ත පොලී අනුපාතික කියා වෙනම එකක් ගැන කතා කරන්න අවශ්‍ය නිසා.

උදාහරණයක් විදිහට දැන් උද්ධමනය 60% පමණ. අපි හිතමු ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාතිකය 36%ක් කියලා. එතකොට වෙනස, ඒ කියන්නේ මූර්ත පොලී අනුපාතිකය සෘණ 24%ක්. එයින් අදහස් කරන්නේ කුමක්ද? ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාතිකය 36%ක් වුනත්, පුළුවන් තරම් ණය ගන්න එක වාසියි කියන එකයි. මොකද 60%කින් (මාසයකට 5%කින්) බඩු ගණන් යන නිසා 36%ක් (මාසයකට 3%ක්) පොලී ගෙවුවත්, තව 24%ක් (මාසයකට 2%ක්) ලාබයි.

අතේ සල්ලි තියෙන, සල්ලි බැංකුවේ දමා තියෙන කෙනෙක් ගැන හිතමු. ඉතිරි කිරීම් සඳහා බැංකු වල පොලිය 12%යි කියා කියමු. මාසයකට 1%යි. දැන් ඔය සල්ලි බැංකුවේ නොතියා මොනවා හෝ බඩු අරගෙන ගෙදර ස්ටොක් කර ගත්තොත් 5%කින් බඩු ගණන් යන නිසා 4%ක වාසියක් තියෙනවා. ඒ නිසා, උද්ධමනය හා ගැලපෙන පරිදි පොලී අනුපාතික වැඩි නොකළොත්, මිනිස්සු බැංකු වල තිබෙන තමන්ගේ සල්ලි අදින්න පටන් ගන්නවා. ඒකෙන් වෙන්නෙත් මුදල් සැපයුම ඉහළ යන එක. මේ විදිහට සල්ලි ඇදලා වියදම් කරන එකේදී වෙන්නේ උද්ධමනයේ වාසිය ගන්න එක මිසක් ඵලදායීතාවය වැඩි කර ගැනීමක් නෙමෙයි. 

මූර්ත පොලී අනුපාතික සෘණ පැත්තේ තිබෙනවා කියා කියන්නේ එක පැත්තකින් ණය ඉල්ලුම වැඩි වෙනවා කියන එක. අනෙක් පැත්තෙන් ඉතිරි කිරීම් අඩු වෙනවා කියන එක. ඔය දෙකෙන්ම වෙන්නේ මුදල් සැපයුම ප්‍රසාරණය වෙන එකයි. මෙය වැළැක්වීම සඳහා ලෝකයේ ඕනෑම මහ බැංකුවක් විසින් යොදා ගන්නා ප්‍රධානම මෙවලම පොලී අනුපාතිකයි. 

දැන් උද්ධමනය 60% වගේ වෙලානේ. ඒ කියන්නේ පොලී අනුපාතික 60% කළ යුතුද?

පොලී අනුපාතික 60% කළ යුතුයි කියා මම යෝජනා කරන්නේ නැහැ. උද්ධමනය 60% යන්නෙන් අදහස් වෙන්නේ පසුගිය වසරක කාලය තුළ මිල වැඩි වීම එපමණ බවයි. නමුත්, අද යම් කිසිවකු විසින් දමන වසරක ස්ථිර තැන්පතුවක පොලී අනුපාතිකය 15%නම්, එම පොලිය ලැබෙන්නේ අද සිට ඉදිරි වසර සඳහා. ඒ නිසා, මෙහිදී අදාළ වන්නේ අද සිට වසරකට පසුව උද්ධමනයයි. එය අපි හරියටම දන්නේ නැහැ. වසරකට පසු උද්ධමනය 30% දක්වා අඩු වෙයි කියා හිතන්න පුළුවන්නම් 30% පොලී අනුපාතිකය ගැලපෙන එකක්. වසරකට පසු උද්ධමනය එපමණ අඩු වී තිබෙන්න බැරිකමක් නැහැ. නමුත්, 15% වැනි මට්ටමකට අඩු වෙයි කියලානම් හිතන්න අමාරුයි. 

ඒ නිසා, මුදල් සැපයුම පාලනය කිරීම සඳහා පොලී අනුපාතික අවම වශයෙන් 30% මට්ටමේවත් පවත්වා ගත යුතුයි. ඒ වැඩේ නොකර උද්ධමනයට මුහුණ දීම සඳහා ඵලදායීතාවය වැඩි කර ගන්න කියලා මහ බැංකුව කියනවානම් එය මහ බැංකුවේ රස්සාව හරියට නොකර වැරැද්ද අනුන් පිට දමන්න කියන කතාවක්. 

තර්කයක් විදිහට ගත්තොත් ඔය ඵලදායීතාවය වැඩි කර ගැනීමේ කතාව වඩා ගැලපෙන්නේ මූර්ත පොලී අනුපාතික ගොඩක් ඉහළ මට්ටමක තිබෙන වෙලාවකදීයි. දැන් උද්ධමනය 60%යි. අපි හිතමු ණය පොලී අනුපාතිකය 70%යි කියලා. ඔය 70%ක  පොලියෙන් 60%ක්ම උද්ධමනය නිසා නැවත ආපසු ලැබෙනවා. ඵලදායීත්වය වැඩි කර ගන්න වෙන්නේ උද්ධමනයේ වාසිය නොලැබෙන ඉතිරි 10% ආවරණය කර ගන්නයි. 

Sunday, July 24, 2022

භාණ්ඩාගාර බිල්පත් හා සංචිත මුදල්


මෙය පසුගිය ලිපියට අටුවාවක් සේ ලියන සටහනක්. බොහෝ දෙනෙකු විසින් මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ඉහළ ගිය විට එය සල්ලි අච්චු ගැසීමක් සේ වැරදියට අර්ථකථනය කරනවා. ඉතා පැහැදිලිවම මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ඉහළ යාම හා සල්ලි අච්චු ගැසීම එකක් නොව දෙකක්. එහෙත්, මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය දෙස බලා සල්ලි අච්චු ගැසීම පිළිබඳ යම් අදහසක් ගත හැකි නිසා එය නිරීක්ෂණය කිරීම නරක දෙයක් නෙමෙයි. එය චිත්‍රයේ එක කොටසක් පමණක් බව දැනගෙන මෙය කළ යුතුයි.

මහ බැංකුව විසින් මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය පිළිබඳ සංඛ්‍යාලේඛණ දෙකක් ප්‍රසිද්ධ කරනවා. එකක් එම බිල්පත් වල මුහුණත අගයන්හි (face value) එකතුවයි. අනෙක එම බිල්පත් වල ගිණුම් වල සටහන්ව ඇති වටිනාකමයි (book value). මේ ගිණුම් වල සටහන්ව ඇති වටිනාකම යනු අදාළ දිනයේදී එම බිල්පත් වල වෙළඳපොළ වටිනාකමයි (mark-to-market value). 

පසුගිය මාර්තු හා මැයි මාස අවසානයේදී මෙම අගයයන් පහත පරිදියි.

මුහුණත අගය අනුව බිල්පත් ප්‍රමාණය 

2022 මාර්තු 31 - රුපියල් බිලියන 1,727.8

2022 මැයි 31- රුපියල් බිලියන 1,971.5

වැඩි වීම - රුපියල් බිලියන 243.7


ගිණුම් අගය අනුව බිල්පත් ප්‍රමාණය 

2022 මාර්තු 31 - රුපියල් බිලියන 1,657.3

2022 මැයි 31- රුපියල් බිලියන 1,853.8

වැඩි වීම - රුපියල් බිලියන 196.5

බිල්පත් ප්‍රමාණයේ මුහුණත අගය වෙනස් වීම සල්ලි අච්චු ගැසූ ප්‍රමාණය නොවන බව ඉතාම පැහැදිලියි. 

අපි හිතමු මහ බැංකුව විසින් හෝ වෙනත් අයෙකු විසින් කිසියම් දිනක රුපියල් මිලියන 100ක මුහුණත අගය ඇති භාණ්ඩාගාර බිල්පතක් මිල දී ගත්තා කියා. එහෙත් එයින් අදහස් වන්නේ ඒ වෙනුවෙන් රුපියල් මිලියන 100ක් මුදල් ගෙවූ බව නෙමෙයි. මිලියන 100 කියා කියන්නේ බිල්පත කල් පිරුණු විට ලැබෙන මුදලයි. අපි හිතමු එසේ ගෙවූ මුදල රුපියල් මිලියන 93ක් බවත් කල් පිරෙන කාලය දින 91 බවත්. බිල්පත සඳහා ලැබෙන පොලිය, එහෙමත් නැත්නම් ඵලදා අනුපාතය, තීරණය වන්නේ මෙසේ මිල දී ගත් මිල අනුවයි. එය අපට මෙලෙස ගණන් හැදිය හැකියි.

ඵලදා අනුපාතය = (100 - 93)*(365/91)/93 = 30.19%

ඒ කියන්නේ මහ බැංකුව මේ බිල්පත මිල දී ගනිද්දී මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයේ මුහුණත අගය රුපියල් මිලියන 100කින් ඉහළ යන නමුත් ඒ වෙනුවෙන් ගෙවන්නේ රුපියල් මිලියන 93ක් පමණයි. ඒ කියන්නේ, "සල්ලි අච්චු ගැසීමක්" වෙන්නේ රුපියල් මිලියන 93ක් පමණයි. ඒ නිසා, මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයේ මුහුණත අගය දෙස බලා සල්ලි අච්චු ගැසීම පිළිබඳ දළ අදහසක් ගත හැකි වුවත් පූර්ණ අදහසක් ගන්න බැහැ.

ඒ වගේම මේ බිල්පත කල් පිරුණු විට සිදුවන දෙයත් බලමු. එවිට මහ බැංකුවට රුපියල් මිලියන 100ක් ලැබෙන නිසා සංචිත මුදල් සැපයුම එපමණකින් පහළ යනවා. ඒ වගේම, මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයේ මුහුණත අගයද රුපියල් 100කින් පහළ යනවා. එසේ වුවත්, කල් පිරෙන්න කලින් මහ බැංකුව මේ බිල්පත විකිණුවොත් මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයේ මුහුණත අගය රුපියල් 100කින් පහළ යන නමුත් එපමණකින් සංචිත මුදල් ප්‍රමාණය පහළ යන්නේ නැහැ.

එහෙමනම් මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයේ ගිණුම් අගය වෙනස් වීමෙන් සල්ලි අච්චු ගැසීම හරියටම නිරූපණය වෙනවද? 

දැන් මේ බිල්පත මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 93ක් ගෙවන්න වෙනවනේ. ඒ එක්කම මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයේ ගිණුම් අගයද එපමණකින් ඉහළ යනවා. ඒ කියන්නේ සල්ලි අච්චු ගැසූ ප්‍රමාණය හරියටම නිරූපණය වෙනවා. නමුත් වැඩේ අවුල් වෙන්නේ ඊට පස්සේ. 

මිල දී ගත් දවසේ ඉඳන් මේ බිල්පතේ වෙළඳපොළ අගය දිනෙන් දින වෙනස් වෙනවා. ඒ කියන්නේ ගිණුම් අගයත් වෙනස් වෙනවා. කල් පිරෙන දිනය වන විට එම අගය රුපියල් මිලියන 100ක් වෙනවා. හැබැයි ඒ අතර කාලයේදී සංචිත මුදල් ප්‍රමාණයේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සල්ලි අච්චු ගැසීමක් වෙන්නේ නැහැ. ඒ නිසා, මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයේ ගිණුම් අගය වෙනස් වීම දිහා බලලත් සල්ලි අච්චු ගැසූ ප්‍රමාණය හරියටම නිගමනය කරන්න බැහැ.

මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම රජයට ණය දෙන එක ක්‍රමයක් පමණයි. මහ බැංකුව රජයට කෙළින්මත් ණය හා අත්තිකාරම් දෙනවා. ඒ වගේම සමහර වෙලාවට රජයේ මුදල් මහ බැංකුවේ තැන්පත් කරනවා. මේ හේතු නිසා, සංචිත මුදල් කෙරෙහි බලපාන්නේ රජයට මහ බැංකුව විසින් දුන් ශුද්ධ ණය ප්‍රමාණයේ වෙනස් වීම. ඒක ඔය කලින් කී දෙකෙන් එකක්වත් නෙමෙයි. සාමාන්‍යයෙන් රජය මහ බැංකුවෙන් අරන් තිබෙන ණය ප්‍රමාණය ඔය දෙකටම වඩා වැඩියි. එම ණය ප්‍රමාණයේ වෙනස්වීම අඩු හෝ වැඩි විය හැකියි.

රජයට මහ බැංකුව විසින් දුන් ශුද්ධ ණය ප්‍රමාණය

2022 මාර්තු 31 - රුපියල් බිලියන 2,682.5

2022 මැයි 31- රුපියල් බිලියන 2,904.8

වැඩි වීම - රුපියල් බිලියන 222.3

හැබැයි සල්ලි අච්චු ගැසීම හෙවත් සංචිත මුදල් වැඩි වීම කියා කියන්නේ ඔය විදිහට සල්ලි අච්චු ගහලා මොන ක්‍රමයෙන් හෝ රජයට දෙන මුළු රුපියල් ප්‍රමාණයත් නෙමෙයි. මහ බැංකුවෙන් එළියට රුපියල් යන හා ඒ රුපියල් ආපහු මහ බැංකුවට එන තවත් ක්‍රම ගණනාවක් තිබෙනවා. ප්‍රචලිතම ක්‍රමය ඩොලර් විකිණීම හා මිල දී ගැනීම. ඩොලර් මිල දී ගනිද්දී රුපියල් එළියට යනවා. විකුණද්දී නැවත ඒ රුපියල් මහ බැංකුවට එනවා.

2022 අප්‍රේල් 

විකිණු ඩොලර් ප්‍රමාණය - මිලියන 244.90

මිල දී ගත් ඩොලර් ප්‍රමාණය - මිලියන 140.95

2022 මැයි 

විකිණු ඩොලර් ප්‍රමාණය - මිලියන 222.73

මිල දී ගත් ඩොලර් ප්‍රමාණය - මිලියන 155.10

මාස දෙකේදීම මිල දී ගත් ප්‍රමාණයට වඩා වැඩියෙන් ඩොලර් විකුණලා තිබෙනවා. ඒ කියන්නේ රජයට ණය විදිහට දුන් රුපියල්  බිලියන 222.3න් යම් ප්‍රමාණයක් ඩොලර් විකිණීම හරහා නැවත මහ බැංකුවට ඇවිත් තිබෙනවා. මේ හේතුව සහ වෙනත් හේතු නිසා, ඔය මාස දෙක තුළ සංචිත මුදල් වැඩි වී තියෙන්නේ, ඒ කියන්නේ සල්ලි අච්චු ගහලා තියෙන්නේ, රජයට ණය දුන් ප්‍රමාණයට වඩා අඩුවෙන්.

සංචිත මුදල් ප්‍රමාණය

2022 මාර්තු 31 - රුපියල් බිලියන 1,386.7

2022 මැයි 31- රුපියල් බිලියන 1,414.9

වැඩි වීම - රුපියල් බිලියන 28.3

Saturday, July 23, 2022

අලුත් අධිපතිගේ සල්ලි අච්චු ගැහිල්ල


ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය ජූනි මාසයේදී ලංකාවේ උද්ධමනය 58.9% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආහාර උද්ධමනය 75.8%ක්. නැවතත් පැහැදිලිව කිව යුත්තේ මෙය අධි-උද්ධමන (hyper-inflation) තත්ත්වයක් නොවන බවයි. අධි-උද්ධමන තත්ත්වයක් සේ සැලකෙන්නේ මාසයක් තුළ මිල දර්ශක අගය 50% ඉක්මවා ඉහළ යාමයි. මෙහි 58.9% ලෙස පෙන්වන්නේ 2021 ජූනි සිට 2022 ජූනි දක්වා වසරක කාලය තුළ ජාතික පාරිභෝගික මිල දර්ශකයේ ඉහළ යාමයි. 

ඒ වගේම, මේ වන තුරුත් මා අනාගත අධි-උද්ධමන අවදානමක් දකින්නේ නැහැ. නන්දලාල් වීරසිංහ අධිපති ධුරය භාරගත් තැන් සිට අධි-උද්ධමන තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම පිණිස මහ බැංකුව පැත්තෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැනෙමින් තිබෙනවා. ඒ වගේම, මහින්ද සිරිවර්ධන භාණ්ඩාගාර ලේකම් වීමෙන් පසුව ඒ සඳහා භාණ්ඩාගාරය පැත්තෙන් ලැබිය යුතු සහයෝගයද ලැබී ඇති බව පෙනෙනවා. මේ තත්ත්වය දිගටම පවත්වා ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළින් සිදු විය යුතු දේ කර ගැනීම මේ වන විට රට හමුවේ තිබෙන දේශපාලන අභියෝගයයි. 

අධි-උද්ධමන තත්ත්වයක් නොවෙතත්, පෙර කිසි කලෙක නොපැවති, ඉතා ඉහළ මට්ටමක උද්ධමනයක් ලංකාවේ මේ වන විට පවතිනවා. පසුගිය මාස කිහිපය මුළුල්ලේම ජාතික පාරිභෝගික මිල දර්ශක අගය 10%කට ආසන්න මට්ටමකින් ඉහළ ගොස් තිබෙනවා.

අප්‍රේල්- 10.2%

මැයි- 9.7%

ජුනි- 10.9%

මිල මට්ටම් වේගයෙන් වැඩි වුනත් එසේ වැඩි වන වේගය ස්ථාවරව තිබීම සාපේක්ෂව හොඳ ලකුණක්. එයින් පෙන්වන්නේ අධි-උද්ධමන තත්ත්වයක් කරා යාමක් දැනට නොපෙනෙන බවයි. එහෙත්, දර්ශක අගය මසකට 10% බැගින් ඉහළ යනවා කියන එකෙන් අදහස් වන්නේ තවත් මාස ගණනක් යන තුරු උද්ධමනය ඉහළ හා හැකි බවයි. 

උද්ධමනය 70% පමණ මට්ටම දක්වා ඉහළ යා හැකි බව මහ බැංකු අධිපතිවරයා විසින්ම කියා තිබුණා. මහ බැංකුව එසේ කියනවානම් එයින් අදහස් වන්නේ 70%ක අනාගත උද්ධමනයක් දැනටමත් හැදී ඇති බවයි. මා හිතන පරිදි, ඉදිරි මාස තුන තුළ උද්ධමනය ඉලක්කම් තුනක අගයකට වුවද ආසන්න විය හැකියි. කෙසේ වුවද, දැනට සල්ලි අච්චු ගැසීම නැවතී ඇති නිසා උද්ධමනය යම් උපරිම මට්ටමක් කරා යාමෙන් පසුව පහළ යා යුතුයි. 

නන්දලාල් වීරසිංහ අධිපති ධුරය භාර ගැනීමෙන් අනතුරුව මහ බැංකුව විසින් සල්ලි අච්චු ගැසීම දැඩි ලෙස සීමා කර තිබෙනවා. මෙය අවධාරණය කර කිව යුත්තේ ඇතැම් වෙබ් අඩවි වල කරුණු විකෘති කළ වාර්තා පළ වී ඇති නිසයි.

පෙර නොයෙක් වර පැහැදිලි කර ඇති පරිදි සල්ලි අච්චු ගැසීම සේ සැලකෙන්නේ මහ බැංකුවේ සංචිත මුදල් ඉහළ යාමයි. අලුත් අධිපති වැඩ භාර ගත් අප්‍රේල් 7 දින සිට මේ දක්වා මහ බැංකුවේ සංචිත මුදල් වැඩි වී තිබෙන්නේ පහත පරිදියි.

2022 අප්‍රේල් 7 - රුපියල් බිලියන 1,425.8

2022 ජූලි 21 - රුපියල් බිලියන 1,439.4

වෙනස - රුපියල් බිලියන 13.6

මෙම වෙනස 1%කටත් අඩු වෙනසක්. එවැනි වෙනස්කම් දිනපතාම වුවද සිදු වන නිසා අලුත් අධිපතිවරයා වැඩ භාර ගැනීමෙන් පසුව සංචිත මුදල් සැපයුම ස්ථාවරව පවතින බව, එනම් සල්ලි අච්චු ගැසීමක් සිදු වී නැති බව, අපහසුවකින් තොරව කියන්න පුළුවන්. වෙනත් විදිහකින් කිවුවොත් ඇතැම් සති වලදී සංචිත මුදල් ඉහළ ගොස් ඇතත් එසේ මහ බැංකුවෙන් එළියට ගිය රුපියල් ඉතා ඉක්මණින් නැවත අවශෝෂණය කරගෙන ඇති නිසා පසුගිය මාස තුනහමාර තුළ සමස්තයක් ලෙස සැලකිය යුතු සල්ලි අච්චු ගැසීමක් සිදු වී නැහැ. 

මේ තත්ත්වය අපට පෙර අධිපතිවරයාගේ කාලය සමඟ සංසන්දනය කළ හැකියි. 2021 සැප්තැම්බර් 15 සිට 2022 අප්‍රේල් 4 දක්වා කලය තුළ නිවාඩ් කබ්රාල් අධිපති සේ කටයුතු කළා. එම කාලය තුළ මහ බැංකුවේ සංචිත මුදල් වැඩි වී තිබෙන්නේ පහත පරිදියි.

2021 සැප්තැම්බර් 16 - රුපියල් බිලියන 1,291.3

2022 අප්‍රේල් 7 - රුපියල් බිලියන 1,425.8

වෙනස - රුපියල් බිලියන 134.5

රජය ආදායම ඉක්මවා වියදම් කරන තුරු, රජයට විදේශ ණය ලබා ගැනීමේ හැකියාවද සීමා වී ඇත්නම්, අවශ්‍ය අරමුදල් ප්‍රමාණය දේශීය වෙළඳපොළෙන් සොයා ගන්නට සිදු වෙනවා. ඒ සඳහා, පොලී අනුපාතික "අවශ්‍ය පමණ" ඉහළ යාමට ඉඩ හරින්න වෙනවා. එසේ නොකළහොත් රුපියල් අතේ ඇති අය රජයට අවශ්‍ය පමණ ණය දෙන්නේ නැහැ. අඩුව පුරවන්න වෙන්නේ සල්ලි අච්චු ගැසීම මගින්.

කෙසේ වුවත්, පොලී අනුපාතික විශාල ලෙස ඉහළ යාමට ඉඩ හැරීමෙන් රටේ ව්‍යාපාර බිඳ වැටී ආර්ථිකය සංකෝචනය වෙනවා. ඉතා පැහැදිලිවම එය හානිකර වුවත්, සල්ලි අච්චු ගැසීම ඊට වඩා හානිකරයි. විශේෂයෙන්ම අධි-උද්ධමනයක් බවට පත් විය හැකි ඉතා ඉහළ උද්ධමන මට්ටමක් රටේ පවතින විටෙක. මෙහිදී මහ බැංකුවට අඩු නරක තෝරා ගැනීමට සිදු වෙනවා. උද්ධමනය පාලනය කිරීම සඳහා ලෝකයේ ඕනෑම මහ බැංකුවක් සතු ප්‍රධානම අවිය පොලී අනුපාතිකයි. 

අධි-උද්ධමන අවදානමද මග හැර ගනිමින් පොලී අනුපාතික ඉහළ යාම පාලනය කර ගැනීමට අවශ්‍යනම් පාර්ලිමේන්තුව පැත්තෙන් අවශ්‍ය දේ සිදු විය යුතුයි. හරියම කියනවානම් බදු වැඩි කර ගැනීම හා වියදම් කැපීම මගින් රජයේ ණය ගැනීමේ අවශ්‍යතාවය අඩු කර ගත යුතුයි. එය සිදු නොවන තාක්, අධි-උද්ධමන තත්ත්වයක් ඇති වීම වැළැක්වීම සඳහා මහ බැංකුවට පොලී අනුපාතික ඉහළ යාමට ඉඩ හරින්න සිදු වෙනවා. එහිදී වක්‍ර ලෙස රටේ ආර්ථිකය සංකෝචනය කිරීම සඳහා දායක වීමට මහ බැංකුවට සිදු වෙනවා. 

2022 ජනවාරි 

රජයේ ආදායම - රුපියල් බිලියන 104.8

රජයේ වියදම - රුපියල් බිලියන 259.1

හිඟය - රුපියල් බිලියන 154.3


2022 පෙබරවාරි 

රජයේ ආදායම - රුපියල් බිලියන 206.7

රජයේ වියදම - රුපියල් බිලියන 292.6

හිඟය - රුපියල් බිලියන 85.9


2022 මාර්තු 

රජයේ ආදායම - රුපියල් බිලියන 135.4

රජයේ වියදම - රුපියල් බිලියන 379.5

හිඟය - රුපියල් බිලියන 244.1


2022 අප්‍රේල් 

රජයේ ආදායම - රුපියල් බිලියන 184.2

රජයේ වියදම - රුපියල් බිලියන 224.0

හිඟය - රුපියල් බිලියන 39.8

Monday, June 27, 2022

සිම්බාබ්වේ මහ බැංකුව පොලී අනුපාතික 200% කරයි!

කාලයක් අධි උද්ධමනයෙන් බැට කෑ රටක් වන සිම්බාබ්වේහි උද්ධමනය 2022 ජූනි මාසයේදී 191.6% දක්වා ඉහළ ගොස් තිබෙනවා. මැයි මාසයේදී එරට උද්ධමනය තිබුණේ 131.7% මට්ටමේ. අප්‍රේල් මාසයේදී 96.4% මට්ටමේ. මාර්තු මාසයේදී 72.7% මට්ටමේ. පෙබරවාරි මාසයේදී 66.6% මට්ටමේ. ජනවාරි මාසයේදී 60.6% මට්ටමේ. උද්ධමනය වැඩි වෙන්න ගත්තහම වැඩි වෙන්නේ ඔය විදිහටයි. 

ජූනි මාසය තුළ උද්ධමන දර්ශක අගයේ වැඩි වීම 30.7%ක්. මෙම අගය 50% ඉක්මවීම අධි උද්ධමන තත්ත්වයක් සේ සැලකෙනවා. සිම්බාබ්වේ ඩොලරයක අගය මේ වන විට ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියලක අගයට සමානයි (ඇමරිකන් ඩොලරයකට සිම්බාබ්වේ ඩොලර් 352ක් පමණ).

කොහොම වුනත් නැගී ගෙන එන අධි උද්ධමන තර්ජනය හමුවේ සිම්බාබ්වේ මහ බැංකුව වන සිම්බාබ්වේ සංචිත බැංකුව තමන්ගේ ආයුධ ප්‍රයෝජනයට ගන්න පැකිලී නැහැ. උද්ධමනය පාලනය කිරීම සඳහා මහ බැංකුවක් සතුව තිබෙන ප්‍රධානම මෙවලම පොලී අනුපාතිකයි. 

අද නිවේදනය කර ඇති පරිදි ජූලි 1 දින සිට ක්‍රියාත්මක වන පරිදි සිම්බාබ්වේ සංචිත බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික 80% සිට 200% දක්වා ඉහළ දමා තිබෙනවා. මේ අනුව, මුදල් ඉල්ලුම පාලනය වන පරිදි පොලී අනුපාතික උද්ධමනයට වඩා ඉහළින් තැබීමට සිම්බාබ්වේ සංචිත බැංකුව කටයුතු කර තිබෙනවා. 

ඒ සමඟම බැංකු විසින් ඉතිරි කිරීමේ ගිණුම් සඳහා ගෙවිය යුතු අවම පොලිය 12.5% සිට 40% දක්වාත්, අවම ස්ථිර තැන්පතු පොලී අනුපාතිකය 25% සිට 80% දක්වාත් ඉහළ දමා තිබෙනවා. 

සිම්බාබ්වේ සංචිත බැංකුව විසින් ගෙන තිබෙන තවත් සුවිශේෂී ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයක් වන්නේ බැංකු හරහා වෙළඳපොලට රන් කාසි හඳුන්වා දීමයි. මේ අනුව, සිම්බාබ්වේ ඩොලරයේ අගය ගැන කණස්සල්ලක් ඇති අයට තමන්ගේ සිම්බාබ්වේ ඩොලර් ඇමරිකන් ඩොලර් වැනි වෙනත් මුදල් ඒකක වලට පරිවර්තනය නොකර රන් කාසි වල ආයෝජනය කළ හැකියි. 

මෙහි වාසි ගණනාවක් තිබෙනවා. එක පැත්තකින් සිම්බාබ්වේ ඩොලර් බැංකු පද්ධතිය තුළට පැමිණීමේදී රටේ මුදල් සැපයුම පහළ යනවා. අනෙක් පැත්තෙන් විදේශ මුදල් වලට තිබෙන සමපේක්ෂණ ඉල්ලුම අඩු වන නිසා විණිමය අනුපාතය මත වන පීඩනය අඩු වෙනවා. ලංකාවට වුනත් මේ වැඩේ උත්සාහ කර බැලිය හැකියි. 

Wednesday, June 22, 2022

මේ සතියෙත් සල්ලි අච්චු ගහන්න වෙයිද?


සති තුනකට පෙර (ජූනි 5) අප මෙහි ලිපියක් පළ කරමින් ඊට පෙර සති දෙක තුන තුළ සල්ලි අච්චු ගැසීමේ සිදු වූ සාධනීය වෙනස්කම් (සල්ලි අච්චු ගැසීම අඩු වීම හෝ නැවතීම) ගැන කථා කළා. ඒ ලිපියේ සාරාංශය මෙවැන්නක්.

මැයි 18 වෙන්දේසියෙන් රජයට රුපියල් බිලියන 90ක් හොයා ගන්න අවශ්‍ය වුනත් හොයාගන්න පුළුවන් වුනේ රුපියල් බිලියන 16.475ක් පමණයි. ඒ පහත පොලී අනුපාතික ගෙවීමෙන් පසුවයි.

දින-91: 24.07%

දින-182: 24.69%

දින-364: 24.50%

කෙසේ වුවත්, ඉන් පසුව පැවැත්වුණු වෙන්දේසි දෙකේදී මේ තත්ත්වය යහපත් අතට වෙනස් වුනා. මැයි 25 වෙන්දේසියෙන් හොයා ගන්න අදහස් කළ රුපියල් බිලියන 90ත්, ජූනි 1 වෙන්දේසියෙන් හොයා ගන්න අදහස් කළ රුපියල් බිලියන 83ත් ප්‍රශ්නයක් නැතුව හොයා ගන්න පුළුවන් වුනා වගේම ගෙවිය යුතු වූ පොලියත් පහළ ගියා. පහත තියෙන්නේ ජූනි 1 පැවති පොලී අනුපාතික.

දින-91: 22.75%

දින-182: 23.60%

දින-364: 23.75%

අද කතාව එතැන් සිට.

ජූනි 8 වෙන්දේසිය: රජය වෙනුවෙන් මහ බැංකුව විසින් රුපියල් බිලියන 98ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කළා වගේම ඒ සියල්ල විකුණා ගැනීමට සමත් වුනා. පොලී අනුපාතික පහළ ගියා. 

දින-91: 21.91%

දින-182: 22.89%

දින-364: 23.13%

ජූනි 15 වෙන්දේසිය: රජය වෙනුවෙන් මහ බැංකුව විසින් නැවතත් රුපියල් බිලියන 98ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කළා වගේම ඒ සියල්ල විකුණා ගැනීමට සමත් වුනා. පොලී අනුපාතික තවත් පහළ ගියා. 

දින-91: 20.73%

දින-182: 21.90%

දින-364: 22.04%

පේනවනේ වැඩේ. මැයි 18 සිට එන්න එන්නම හොඳ වෙලා. So far so good!

හැබැයි අද (ජූනි 22) වෙන්දේසියේදී මේ තත්ත්වය වෙනස් වෙලා. වෙන්දේසියට රුපියල් මිලියන 93,000ක (රුපියල් බිලියන 93ක) භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත් කිරීමෙන් පසුව මහ බැංකුව විසින් විකුණා තිබෙන්නේ රුපියල් මිලියන 30,779ක බිල්පත් ප්‍රමාණයක් පමණයි.

දින-91 බිල්පත් 

වෙන්දේසියට ඉදිරිපත් කර ප්‍රමාණය- රුපියල් මිලියන 40,000

ඉදිරිපත් වූ ලංසු ප්‍රමාණය- රුපියල් මිලියන 61,042

භාරගත් ලංසු ප්‍රමාණය - රුපියල් මිලියන 19,883 

භාරගත් ලංසු වල පොලී අනුපාතය - 20.73%

දින-182 බිල්පත් 

වෙන්දේසියට ඉදිරිපත් කර ප්‍රමාණය- රුපියල් මිලියන 25,000

ඉදිරිපත් වූ ලංසු ප්‍රමාණය- රුපියල් මිලියන 30,200

භාරගත් ලංසු ප්‍රමාණය - රුපියල් මිලියන 5,759 

භාරගත් ලංසු වල පොලී අනුපාතය - 21.90%

දින-364 බිල්පත් 

වෙන්දේසියට ඉදිරිපත් කර ප්‍රමාණය- රුපියල් මිලියන 28,000

ඉදිරිපත් වූ ලංසු ප්‍රමාණය- රුපියල් මිලියන 38,660

භාරගත් ලංසු ප්‍රමාණය - රුපියල් මිලියන 5,137

භාරගත් ලංසු වල පොලී අනුපාතය - 22.04%

මේ අනුව, පරිණත කාල තුනෙන්ම වෙන්දේසියට ඉදිරිපත් කළ බිල්පත් ප්‍රමාණයට වඩා වැඩි ලංසු ප්‍රමාණයක් ලැබී තිබෙන බව පෙනෙනවා. එහෙත්, මහ බැංකුව විසින් අරමුදල් අවශ්‍ය පමණට ලංසු පිළිගෙන නැහැ. ඒ, මහ බැංකුව විසින් පොලී අනුපාතික පෙර සතියේ පැවති මට්ටම ඉක්මවීමට ඉඩ නොහරින ප්‍රතිපත්තියක සිට ඇති නිසයි. මෙයින් පෙනෙන්නේ විණිමය අනුපාතය මෙන්ම පොලී අනුපාතිකද තව දුරටත් ඉහළ යාමට ඉඩ නොහරින ප්‍රතිපත්තියකට මහ බැංකුව එළැඹ සිටින බවයි.

අලුත් අධිපතිවරයා පත් වීමෙන් පසුව ආරම්භයේදී විණිමය අනුපාතය හා පොලී අනුපාතික සම්බන්ධව නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළත් ඉතා ඉක්මණින්ම විණිමය අනුපාතය හා අදාළ ප්‍රතිපත්තිය වෙනස් වුනා. එයට යම් හේතුත් තිබුණා. මේ වන විට පොලී අනුපාතික හා අදාළවද මහ බැංකුව නැවතත් අනම්‍ය ස්ථාවරයකට එළැඹ ඇති බව පේනවා.

මෙහිදී අප අමතක නොකළ යුතු තවත් කරුණක් වන්නේ පොලී අනුපාතික හා අදාළ අලුත් අධිපතිවරයාගේ ස්ථාවරය බැංකුකරුවන්ගේ හා ව්‍යාපාරිකයන්ගේ සෘජු විවේචනයට පාත්‍ර වූ බවයි. පොලී අනුපාතික ඉහළ යාම ඔවුන්ගේ ලාබ වලට කෙළින්ම බලපානවා. මේ වන විට මහ බැංකුව එම පීඩනයට යට වී ඇති බවක් පේනවා.

මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙන ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව අප්‍රේල් මාසයේ උද්ධමනය 45.3%ක්. මැයි උද්ධමනය මීටත් වඩා ඉහළ මට්ටමක තිබිය හැකියි. උද්ධමනය මෙවැනි ඉහළ මට්ටමක තියෙද්දී පොලී අනුපාතික 22% මට්ටමේ තිබෙනවා කියන එකෙන් අදහස් වන්නේ විශාල සෘණ (-23%ක පමණ) මූර්ත පොලී අනුපාතයක් පවතින බවයි. 

වෙන්දේසියේදී අඩු පොලියකට විකුණා ගත හැකි වී තිබෙන රුපියල් බිලියන 30.8න්ද සැලකිය යුතු කොටසක් විකුණා තිබෙන්නේ සේවක අර්ථසාධක අරමුදලටයි. අවශ්‍ය ඉතිරි රුපියල් බිලියන 62න් කොපමණ ප්‍රමාණයක් වෙනුවෙන් සල්ලි අච්චු ගසනු ලබයිද යන්න බලා සිටිය යුතු දෙයක්. එම ප්‍රමාණය කොපමණ වුවත් සල්ලි අච්චු ගැසීමක් සිදුවන බව ඉතා පැහැදිලියි.

පොලී අනුපාතික ඉහළ යාම සුළු හා මධ්‍යම ව්‍යාපාරිකයන්ට, බැංකු වලට හා සමස්තයක් ලෙස රටේ ආර්ථික වර්ධනයට නරක ලෙස බලපානවා. ඒකේ ආයේ කතා දෙකක් නැහැ. නමුත්, පොලී අනුපාතික ඉහළ නොයැවීම යන්නෙන් අදහස් වන්නේ තව තවත් සල්ලි අච්චු ගැසීමයි. 

ඉහළ උද්ධමනය තුළින් දැන් පෙනෙන්න තියෙන්නේ වසරකට හෝ දෙකකට පෙර අච්චු ගැසූ සල්ලි වල ප්‍රතිඵලයි. තවත් සල්ලි අච්චු නොගැසුවොත් ලබන වසරේ මුල් කාර්තුවේ සිට උද්ධමනය අඩු වීමට නියමිතයි. එහෙත් දිගින් දිගටම සල්ලි අච්චු ගැසුවොත් එය සිදු වෙන එකක් නැහැ. 

Tuesday, June 21, 2022

ඩොලරය පොඩ්ඩක් උඩ ගියේ IMF නිසාද?

 


ලිපියක් ලියන්නේ සතියකට පසුවයි. ලිපියක් එන තුරු බලා ඉන්න බව කිහිප දෙනෙක්ම ඊමේල් හා මැසේජ් කර තිබුණා. වැඩ ගොඩක හිර වී ඉන්න නිසා මේ වැඩේට මේ දවස් වල ලොකු කාලයක් යොදවන්න අමාරුයි. කලින් යොදා ගත් වැඩක් අවලංගු වූ නිසා අහම්බෙන් ලැබුණු පැයක ඉඩකයි මෙය ලියන්නේ. 

පසුගිය මැයි 12 පමණ සිට මහ බැංකුව විසින් නැවතත් ඩොලරයක මිල හිර කර ගෙන සිටින බව කාටත් රහසක් නෙමෙයි. එසේ වුවත්, කලින් රුපියල් 200 මට්ටමේ හිර කර ගෙන සිටීම හා දැන් මේ කරන හිර කර ගෙන සිටීම අතර යම් වෙනස්කම් තිබෙන බව මම කලින් ලිපි වල ලිවුවා. 

කලින් පාරට සාපේක්ෂව මේ පාර මේ වැඩේ කරන්නේ පාරදෘශ්‍ය ආකාරයකට. ඒ වගේම, කලින් පාර වගේ මේ පාර ඩොලරයේ මිල තියා ගන්න සංචිත නාස්ති කිරීමක් වෙන්නේ නැහැ. එහෙම විකුණන්න සංචිත ඇත්තේත් නැහැ. මේ වෙනස්කම් තිබුණත්, මිල හිර කර ගෙන සිටීම කියන්නේ මිල හිර කරගෙන සිටීමක්. 

එහෙමනම් කලින් පාර ඩොලරයක මිල හිර කර ගෙන සිටීම ගැන ඉතාම විවේචනාත්මක ලෙස කතා කරපු ඉකොනොමැට්ටා මේ පාර ඒ තරම් දරුණුවට මේ ප්‍රතිපත්තිය විවේචනය නොකළේ ඇයි?

මේ ප්‍රශ්නෙට කලින් පිළිතුරු දී තිබෙනවා. මතක් කිරීමක් විදිහට නැවතත් කෙටි පිළිතුරක් දෙන්නම්. 

කලින් පාර වගේම මේ පාරත් ඩොලරය තියා ගෙන ඉන්නේ එහි නියම මිලෙහි නොවන බව ඉතාම පැහැදිලි කරුණක්නේ. නමුත් වෙනස කලින් පාර මේ නියම මිල උපරිම වශයෙන් කීයක්ද කියන එක ගැන අදහසක් තිබුණා. ඒ ගැන මම වරින් වර ලියා තිබෙනවා. අවශ්‍යනම් පෙර ලිපි නැවත කියවා බලන්න. 

ඒ දවස් වල ඩොලරය රුපියල් 200 මට්ටමේ තියා නොගෙන අත ඇරියානම් එය වැඩිම වුනොත් රුපියල් 275 පමණ මට්ටමකට ගොස් නවතිනවා. මිල ඒ මට්ටම ඉක්මවා යනවානම් එය පාලනය කර ගැනීම සඳහා ප්‍රමාණවත් සංචිත ප්‍රමාණයක් මහ බැංකුව සතුව තිබුණා. නමුත්, එහෙම නොකළ නිසා තිබුණු සංචිත ටික නාස්ති වී ගියා. 

දැන් ඒ විදිහටම ඩොලරයට නිදහසේ පාවෙන්න දුන්නොත් මිල කීයට හරි ගිහින් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙයිද? කීයටවත් නැහැ. සෛද්ධාන්තිකව අනන්තය දක්වාම මිල ඉහළ යන්න පුළුවන්. මොකද මිල ඉහළ යාමට සමාන්තරව රුපියල් අතේ තියෙන එය ඒ රුපියල් ඩොලර් කරන්න තියෙන පෙළඹුමත් ඉහළ යනවා. ඒ කියන්නේ භාණ්ඩ හා සේවා මිල ඉහළ යද්දී ඒ හේතුවෙන් ඩොලර් ඉල්ලුම අඩු වුනත්, අනෙක් පැත්තෙන් සමපේක්ෂණ ඩොලර් ඉල්ලුම වැඩි වෙනවා. ඒ නිසා සමස්තයක් ලෙස ඩොලර් ඉල්ලුම අඩු වෙන්නේ නැහැ. තමන්ගේම විදේශ බැරකම් පියවාගන්න බැරුව ඉන්න බංකොලොත් මහ බැංකුවකට මේ සමපේක්ෂණ ඩොලර් ඉල්ලුම පාලනය කරන්න බැහැ.

මෙයින් අදහස් වන්නේ පවතින වාතාවරණය තුළ ඩොලරය නිදහසේ පා කළොත් දිගින් දිගටම මිල ඉහළ යන බවයි. ඒ කියන්නේ ඉන්ධන ආදී ආනයනික භාණ්ඩ වල මිලත් දිගින් දිගටම ඉහළ යවන්න වෙනවා කියන එකයි. දේශපාලනික හා අනෙකුත් ප්‍රායෝගික සාධක සැලකිල්ලට ගත් විට මෙයින් අදහස් වන්නේ ඩොලරයට පාවෙන්න දුන්නත් යම් සීමාවකදී එහි මිල පාලනය කරන්න වෙනවා කියන එකයි. 

ඩොලරය රුපියල් 10,000ට යන්න දුන්නත් ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙන්නේ නැත්නම්, ඒ කියන්නේ ඩොලර් හිඟය හා ඒ නිසා ඇති වී තිබෙන ප්‍රශ්න විසඳෙන්නේ නැත්නම්, ඒ මට්ටමේදී හෝ මිල යම් ආකාරයකින් පාලනය කරන්න වෙනවා. එහෙමනම් කලින්ම රුපියල් 360 මට්ටමේ හිර කර ගත්තා කියලා සිදු වෙන අමුතු, විශාල අවාසියක් නැහැ. ඔය වැඩේට මම ඒ තරම් විරුද්ධත්වයක් නොදැක්වුවේ ඔය හේතුව නිසා. (හැබැයි මට පෞද්ගලිකව ඔය තීරණය ගන්න වුනානම් මම ඔය තීරණය ගන්නේ මිල තව ටිකක් වැඩි වුනාට පස්සේ. සමහර විට රුපියල් 450-500 වගේ මට්ටමකට යන්න දීලා ප්‍රතිචාර දිහා බලනවා. ඒක වෙනම කතාවක්!)

ඩොලරයේ මිල පාලනය කිරීම නිසා සමපේක්ෂණ ඉල්ලුමත් පාලනය වුනා. කළුකඩ මිල ඉහළ යන එක නැවතුණා පමණක් නෙමෙයි ටිකක් අඩු වුනා. ප්‍රේෂණ ඉහළ ගියා. හැබැයි ඩොලර් ඉල්ලුම හා සැපයුම අතර පරතරයට තවමත් විශාල, දැනෙන වෙනසක් වෙලා නැහැ. 

මේ විදිහට නැවත වටයකින් ඩොලර් මිල මාර්ගෝපදේශනය කිරීම ආරම්භ වුනේ මැයි 12. ඉන් පසුව, දිනපතාම මහ බැංකුව විසින් පෙර දින පැවති මිල මත පදනම්ව මිල ඉහළ හෝ පහළ යා හැකි උපරිම සීමාව බැංකු වලට දැනුම් දුන්නා. පටන් ගත්තේ රුපියල් 360 සිටයි. මැයි 13 වනදා මිල රුපියල් 360 සිට රුපියල් 2.60ක් අඩු හෝ වැඩි විය හැකි වුනා. ඊට වඩා වෙනස් වෙන්න බැහැ.

මේ රුපියල් 2.60 සීමාව තීරණය කළේ කොහොමද? මම දන්නේ නැහැ. මගේ අනුමානය මුලින්ම රුපියල් 3.60 සීමාවක් යෝජනා වෙන්න ඇති කියලා. 1%ක්නේ. ඒකට යම් පදනමක් තියෙනවා. රුපියල් 3.60x2 = 7.20ක විචලනයක් ටිකක් වැඩියි කියලා හිතිලා පස්සේ රුපියල අඩු කළා වෙන්න පුළුවන්. මගේ හිතළුවක් පමණයි. කොහොම වුනත්, වැදගත් කරුණ ඩොලරයට දවසකට රුපියල් 2.60කින් වැඩි වෙන්න හෝ අඩු වෙන්න පුළුවන්කම තිබුණා.

මැයි 17 මේ විචලන සීමාව රුපියල් 2.50 වුනා. ඒකත් තේරුම් ගන්න පුළුවන්නේ. විචලන සීමාව රුපියල් 5කට රවුම් කරලා. දවසකට රුපියල් 2.50ක් අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. කොහොමටත් බැංකු විසින් ඒ වන විට, මහ බැංකුව කැමති මට්ටම වූ, රුපියල් 360 සීමාවේම ඩොලර් එක තියාගෙන හිටියා මිසක් ඔය දෙකයි පණහේ වාසිය ගන්න ගිහින් තිබුණේ නැහැ.

මැයි 23 වන විටත් ඩොලරයක මිල රුපියල් 359.44 මට්ටමේම රැඳී තිබෙනවා. ඒ කියන්නේ ඩොලරයක මිල කඩාගෙන ඉහළ යාමේ අවදානමක් මහ බැංකුවට පේන්න නැහැ. ඒ නිසා මහ බැංකුව අර රුපියල් 2.50 සීමාව රුපියල් 3 දක්වා පුළුල් කරනවා. දැන් බැංකු වලට අවශ්‍යනම් දවසකට රුපියල් 3ක් දක්වා මිල වැඩි කරන්න පුළුවන්. හැබැයි මහ බැංකුව ඔය වැඩේ කරන්නේ මිල ඒ විදිහට වැඩි වෙන ප්‍රවණතාවක් පේන්න නැති නිසා.

මැයි 25 දක්වාම ඔය තත්ත්වය තියෙනවා. ඒ වන විට ඩොලරයක මිල රුපියල් 359.38යි. ඒ කියන්නේ, අවශ්‍යනම් රුපියල් 362.38 දක්වා වැඩි වෙන්න පුළුවන්. ඒ තරම් වැඩි නොවුණත් ඔන්න දැන් මිල රුපියල් 359.71 දක්වා වැඩි වෙනවා. 

දැන් මොකද වෙන්නේ? ඔය ශත 33 වැඩි වීමට මහ බැංකුව පොඩ්ඩක් බය වෙනවා. මැයි 26 වෙද්දී ඩොලරයක මිල දවසකට අඩු විය හැකි ප්‍රමාණය රුපියල් 3 මට්ටමේම තියලා වැඩි විය හැකි ප්‍රමාණය රුපියල් 2.50 දක්වා බස්සනවා. එසේ කිරීමෙන් වෙළඳපොලට වෙනස් සංඥාවක් දෙනවා.

"ඕගොල්ලන්ට කලින් වගේම යම් සීමාවක් දක්වා නිදහසේ ඩොලරයක මිල අඩු වැඩි කරන්න පුළුවන්. හැබැයි වැඩි කරන එක ගැන අපේ එච්චර කැමැත්තක් නැහැ!"

ඔහොම කිවුවත් මැයි 27 වෙද්දී ඩොලරයක මිල රුපියල් 360 පන්නලා රුපියල් රුපියල් 360.76 දක්වා ඉහළ යනවා. මහ බැංකුව බය වෙනවා. ආයේ තොණ්ඩුව තද කරනවා. මැයි 30 සිට දවසකට ඩොලරයට ඉහළ යා හැක්කේ රුපියලකින් පමණයි. හැබැයි දවසකට රුපියල් 4කින් පහළ යන්න පුළුවන්!

දැන් මේ මහ බැංකුව කියන්නේ කුමක්ද? කිසි ප්‍රශ්නයක් නැතුව ඩොලරයක මිල නිදහසේ තීරණය වෙන්න අපි ඉඩ දෙනවා. හැබැයි අඩු වෙනවානම් විතරයි! 

අර මුල් කාලයේ හදපු ෆෝඩ් කාර් ගැන ප්‍රසිද්ධ කතාවක් තියෙන්නේ.

 "Any customer can have a car painted any color that he wants, so long as it is black."

පාරිභෝගිකයින්ට තමන් කැමති පාටකින් මෝටර් රථ ඇණවුම් කළ හැකියි. එහෙත් එම පාට කළු පාට විය යුතුයි! 

බැංකු වලට තමන්ට කැමැති පරිදි ඩොලරයක මිල තීරණය කළ හැකියි. එහෙත් එම මිල රුපියල් 360 නොඉක්මවිය යුතුයි!

දැන් ඉතිං චක්‍රලේඛ ගහමින් මහ බැංකුව එන්නේ මොකාටද කියලා බැංකු වලට ඉතාම පැහැදිලියිනේ. 

"අපි හිතන විදිහට ඩොලරයක මිල රුපියල් 360 ඉක්මවිය යුතු නැහැ. ඕගොල්ලන්ට අවශ්‍යනම් දවසකට රුපියලකින් වැඩි කරන්න පුළුවන්. හැබැයි ඒ ගැන හිතන්නවත් එපා!"

බැංකු කිවුවට ලොකුම බැංකු දෙක රාජ්‍ය බැංකුනේ. ඔය බැංකු දෙක හරහා ඩොලරයක මිල අවශ්‍ය මට්ටමේම තියා ගන්නත් පුළුවන්. 

පසුගිය සතිය අවසන් වන තුරුම කතන්දරේ ඕකයි. දවසකට රුපියල් 4කින් මිල අඩු කළ හැකි වුනත් බැංකු වලට මිල අඩු කරන්න ලොකු උවමනාවක් තිබුණේම නැහැ. නමුත් මහ බැංකුවට අවශ්‍ය වෙලා තිබුනේ සුළුවෙන් හෝ මිල අඩු වෙනවා දකින්න. දවසකට රුපියලකින් මිල ඉහළ යාමේ පුංචි ඉඩක් තිබුණත් ඒක ඇත්තටම කැමැත්තකින් ඉතිරි කර තිබුණු ඉඩක් නෙමෙයි. 

පසුගිය සති තුනක පමණ කාලය තුළ මහ බැංකුවට අවශ්‍ය වූ දේ සිදු වෙමින් තිබුණා. හැබැයි මේ සතියේ මේ ප්‍රවණතාවය වෙනස් වෙලා. ඊයේ සහ අද ඩොලරයක මිල අර රුපියලේ කඹයේ දුර ගිහින් තණකොල ටික කාලා.

6/17 (සිකුරාදා) - රුපියල් 359.75

6/20 (සඳුදා) - රුපියල් 360.75

6/21 (අඟහරුවාදා) - රුපියල් 361.75

මේ හදිසි වෙනසට හේතුව කුමක්ද? මේ සතියේ IMF එකේ කණ්ඩායමක් ලංකාවට ආවා කියලා අපි දන්නවනේ. මේක IMF එක සමඟ සිදුවනු සාකච්ඡා වල ප්‍රතිඵලයක්ද?

මහ බැංකුවට සුබ සිහින තියෙනවා විය හැකි වුවත් ඩොලරයක මිල තව වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේනම් නැති බව සක් සුදක් සේ පැහැදිලි කරුණක්. මිල අඩු කරනවානම් ඉතිං මොකක් හරි කෘතිම ක්‍රමයකට තමයි. අනෙක් පැත්තෙන් කිසිම පාලනයක් නැතුව මිල ඉහළ යන්න දෙන්න පුළුවන්කමකුත් නැහැ තමයි. හැබැයි එහෙමයි කියලා රුපියල් 360 මට්ටමේම හිර කරගෙන ඉන්න එකත් හරියන වැඩක් නෙමෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මේ කාරණය මහ බැංකුවට ඇඟිල්ලෙන් ඇනලා පෙන්නලද?

Saturday, June 11, 2022

නන්දලාල්ට තව සති තුනයි!


රටේ ආර්ථික අර්බුදය පෙර නොවූ විරූ මට්ටමකට උග්‍ර වී ඒ තුළින් දේශපාලන හා සමාජ අර්බුදයක්ද මතු වීමෙන් පසුව මහ බැංකු අධිපති ධුරයේද වෙනසක් සිදු වුනා. අධිපති ධුරය භාරගත්තේ සැලකිය යුතු කාලයක් මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති දක්වා තනතුරු හොබවා විශ්‍රාම ගැනීමෙන් පසුව ඕස්ට්‍රේලියාවට වී සිටි, ආර්ථික විද්‍යා ආචාර්ය උපාධිධාරියෙක්ද වන, නන්දලාල් වීරසිංහයි. 

ආර්ථිකයේ ප්‍රශ්න තවමත් විසඳී නැහැ. වසර දහයක් පමණවත් යන තුරු ප්‍රශ්න සියල්ල විසඳෙන එකකුත් නැහැ. අවුරුදු 74ක ප්‍රශ්න ඊට වඩා අඩු කාලයකින් විසඳිය නොහැකියි. එහෙත් නිවැරදි මාර්ගෝපදේශනයක් ඇත්නම් ආර්ථිකය තවතවත් අගාධයට යාම වලක්වා ගත හැකියි. එය සිදු නොවන්නේනම් විනාශයේ කෙළවර කුමක් වේදැයි කාටවත් කියන්න බැහැ.

නන්දලාල් වීරසිංහ විසින් මහ බැංකු අධිපති ධුරය භාර ගැනීමෙන් පසුව ඉතා ඉක්මණින් සාධනීය වෙනස්කම් රැසක් කිරීමට පියවර ගත්තා. මේවා වරින් වර ලියා තිබෙන නිසා එකින් එක විස්තර කරන්න යන්නේ නැහැ. ඒ කර තිබෙන දේවල් වුවත් පැලැස්තර තමයි. නමුත් මේ වෙලාවේ පැලැස්තර දමනවාට වඩා දෙයක් ක්ෂණිකව කළ නොහැකියි. නන්දලාල් වීරසිංහ විසින් ක්ෂණික ප්‍රශ්න වලට පැලැස්තර දමන අතරම වරින් වර ඔහුගේ දිගුකාලීන දැක්ම ගැන අදහස් ප්‍රකාශ කිරීමටද පැකිලී නැහැ.

අඩුපාඩු තිබිය හැකි වුවත්, තවමත් නන්දලාල්ගේ ක්ෂණික පිළියම් කිසිවක් අතේ පත්තු වී නැහැ. ඒ වගේම, දිගුකාලීන වෙනසක් වෙනුවෙන් යමක් කිරීමට ඔහුට තවමත් අවස්ථාවක් ලැබීත් නැහැ. එවැනි වෙනස්කම් කළ හැකි වාතාවරණයක් තවමත් රටේ නැහැ. නන්දලාල්ගේ අනාගත සාර්ථකත්වය ගලේ කෙටී නැතත්, ඔහු තවමත් අසාර්ථක වී නැහැ. 

කෙසේ වුවත්, නන්දලාල් වීරසිංහගේ අධිපති පත්වීම වලංගු වන්නේ ජූනි 30 දක්වා පමණයි. මීට පෙර වරක් මාධ්‍ය ඉදිරියේ පැවසූ පරිදි ඔහු ස්ව කැමැත්තෙන් ඉල්ලා අස් නොවුනත්, එසේම දේශපාලන අධිකාරිය විසින් ඉල්ලා අස්වෙන සේ බල කරනු නොලැබුවත්, ඔහුගේ අධිපති ධුරය තව තෙසතියකින් ඉබේටම අහෝසි වී යනවා.

මුදල් නීති පණත අනුව මහ බැංකු අධිපති වරයෙකු හෝ වෙනත් මුදල් මණ්ඩල සාමාජිකයෙකු පත් කිරීමෙන් අනතුරුව වසර හයක කාලයක් යන තුරු එම පත්වීම වලංගුයි. එම කාලය නිම වන තුරු මුදල් මණ්ඩල සාමාජිකයින් ඉවත් කළ නොහැකියි. මෙය නීතියෙන් මහ බැංකු ස්වාධීනත්වය ස්ථාපිත කර ඇති ආකාරයයි. එහෙමනම්, නන්දලාල් වීරසිංහගේ පත්වීම මේ තරම් ඉක්මනින් කල් ඉකුත් වන්නේ ඇයි?

මහ බැංකු අධිපති ධුරය පිළිබඳ මෑත ඉතිහාසයට එබී බැලුවොත්, 2004 ජූනි 1 වෙනිදා එවක ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග විසින් හේලීස් සභාපති වූ සුනිල් මෙන්ඩිස්ව වසර හයක කාලයකට මහ බැංකු අධිපති සේ පත් කළා. එය මහ බැංකු අධිපති ධුරයට පෞද්ගලික අංශයේ සේවය කරමින් සිටි පුද්ගලයෙකු පත් කරනු ලැබූ මුල්ම අවස්ථාවයි. ඊට පෙර, එක් අවස්ථාවක හැර, දිගින් දිගටම මහ බැංකු අධිපති සේ පත් කරනු ලැබුවේ මහ බැංකුවේම කාලයක් සේවය කර පළපුරුද්දක් තිබුණු නිලධාරීන්වයි.

සුනිල් මෙන්ඩිස්ගේ ධුර කාලය 2010 ජූනි 30 දක්වා වලංගුව තිබුණත්, දෙවසරක් ධුරයේ කටයුතු කිරීමෙන් පසුව ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස් වුනා. මෙවැනි අවස්ථාවක කරන්නේ ඔහුගේ ඉතිරි වී ඇති ධුර කාලය තුළ අධිපති ධුරයේ කටයුතු කිරීම සඳහා වෙනත් අයෙකු පත් කිරීමයි. ඒ අනුව, එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් සුනිල් මෙන්ඩිස්ගේ ඉතිරිව ඇති වසර හතරක කාලය සඳහා අජිත් නිවාඩ් කබ්රාල්ව පත් කළා. 

ඉන් පසුව, 2010 ජූනි 30 දින එම ධුර කාලය අවසන් වීමෙන් පසුව මහින්ද රාජපපක්ෂ විසින් නැවතත් වසර 6කට අජිත් නිවාඩ් කබ්රාල්වම එම ධුරයට පත් කළා. මේ අනුව, අජිත් නිවාඩ් කබ්රාල්ගේ ධුර කාලය 2016 ජූනි 30 දින දක්වා වලංගුව පැවතුණා. එතෙක් ඔහුව ධුරයෙන් ඉවත් කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ.

කෙසේ වුවද, 2015 ආණ්ඩු මාරුවෙන් පසුව අජිත් නිවාඩ් කබ්රාල් ස්ව කැමැත්තෙන් සිය ධුරයෙන් ඉල්ලා අස් වුනා. අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කෙරුනේ කබ්රාල්ගේ පුරප්පාඩුව පිරවීමටයි. ඒ අනුව, කබ්රාල්ගේ දෙවන ධුර කාලය අවසාන වීමට නියමිතව තිබුණු 2016 ජූනි 30 දින අර්ජුන් මහේන්ද්‍රන්ගේ සේවා කාලය අවසන් වුනා. ඒ දින වල ඇතැම් තැන් වල වාර්තා වී තිබුණු පරිදි බැඳුම්කර වංචා චෝදනා එල්ල වීමෙන් පසුව ඔහු ධුරයෙන් ඉල්ලා අස් වුනේ හෝ ඉවත් කරනු ලැබුවේ නැහැ. 

අර්ජුන් මහේන්ද්‍රන්ගේ සේවා කාලය අවසන් වීමෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉන්ද්‍රජිත් කුමාරස්වාමිව වසර 6ක කාලයකට මහ බැංකු අධිපති සේ පත් කෙරුණා. මේ අනුව, ඔහුගේ ධුර කාලය අවසන් විය යුතුව තිබුණේ 2022 ජූනි 30 දිනයි. එසේ වුවත්, කබ්රාල් විසින්ද දුන් වැරදි පූර්වාදර්ශයම අනුගමනය කරමින්, 2019 ආණ්ඩු මාරුවෙන් පසුව ඉන්ද්‍රජිත් කුමාරස්වාමිද සිය ධුරයෙන් ඉල්ලා අස් වුනා.

මේ වන තුරුද ගෙවී යන්නේ ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගේ ඉතිරිව ඇති ධුර කාලයයි. මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරනු ලැබූ තවත් අධිපතිවරුන් තිදෙනෙකු එම ධුරයේ කටයුතු කර තිබෙනවා. ඉතිරිව ඇති ධුර කාලය සඳහා පත් කරනු ලැබූ ඩබ්ලියු ඩී ලක්ෂමන් මෙන්ම අජිත් නිවාඩ් කබ්රාල්ද කලින්ම ඉල්ලා අස්වීම (හෝ එසේ කිරීමට බල කරනු ලැබීම) නිසා නන්දලාල් වීරසිංහට ධුරය භාර ගැනීමට සිදු වුනේ මාස තුනකටත් අඩු කාලයක් සඳහා පමණයි. ඔහුගේ පත්වීම ජූනි 30 දින කල් ඉකුත් වෙනවා. 

මීළඟට මහ බැංකු අධිපති සේ පත් කරනු ලබන කවර හෝ පුද්ගලයෙකුට 2028 ජූනි 30 දක්වා වසර හයක් ධුරයේ කටයුතු කළ හැකියි. මහ බැංකු අධිපති ලෙස නන්දලාල් වීරසිංහවම නැවත පත් කරයිද එසේ නැත්නම් වෙනත් අයෙකුව පත් කරයිද යන්න තවමත් අවිනිශ්චිතයි. මෙම අවිනිශ්චිතතාව නන්දලාල් වීරසිංහට මෙන්ම මහ බැංකුවේ නිලධාරීන්ටද ප්‍රශ්නයක්ව නොතිබෙන්නට හේතුවක් නැහැ. පසුගිය කාලයේ රටේ ආර්ථිකය සම්බන්ධව ගනු ලැබූ බොහෝ තීරණ වලට මහ බැංකු අධිපති ධුරයේ කටයුතු කළ පුද්ගලයාගේ පෞද්ගලික රුචි අරුචිකම් බලපෑ බව රහසක් නෙමෙයි.

Friday, June 10, 2022

සංචිත පොඩ්ඩක් වැඩි වෙලා!


කලකට පසු මහ බැංකුවේ සංචිත සුළුවෙන් වුවත් ඉහළ ගොස් තිබෙනවා. අප්‍රේල් මාසය අගදී මහ බැංකුව සතු වූ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1,812ක්. මැයි මාසය අවසන් වෙද්දී මෙම සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1,920 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම සංචිත වලින් වැඩි කොටසක් "ප්‍රයෝජනයට ගත නොහැකි" සංචිත බව ප්‍රචලිත කරුණක්. එසේ වුවද, වැඩි වී තිබෙන්නේ ප්‍රයෝජනයට ගත හැකි සංචිතයි.

මැයි මාසය තුළ ශ්‍රමික ප්‍රේෂණ වලද යම් වර්ධනයක් දැකිය හැකියි. අප්‍රේල් මාසයේදී ශ්‍රමික ප්‍රේෂණ ලෙස ලැබුණේ ඩොලර් මිලියන 248.9ක් පමණක් වුවත්, මැයි මාසයේදී මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 304.1 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේ වුවත්, අප්‍රේල් මාසයේදී සංචාරක ඉපැයීම් වලින් ලැබුණු ඩොලර් මිලියන 113.3 මැයි මාසයේදී ඩොලර් මිලියන 54.3 දක්වා අඩු වීම නිසා ශ්‍රමික ප්‍රේෂණ ඉහළ යාමේ වාසිය නිශේධනය වී තිබෙනවා. අප්‍රේල් මාසයේදී මෙන්ම මැයි මාසයේදීද ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක ඉපැයීම් වල එකතුව ලෙස ලැබී තිබෙන්නේ ඩොලර් මිලියන 350කට ආසන්න විදේශ විණිමය ප්‍රමාණයක් පමණයි. 

මේ අනුව, මාසික අපනයන ආදායම ඩොලර් බිලියනයක් සේ සැලකුවත් ආනයන වෙනුවෙන් වැය කිරීම සඳහා සඳහා රටට ලැබෙන්නේ ඩොලර් මිලියන 1,350කට ආසන්න මුදලක් පමණයි. ආනයන ඉල්ලුම යම් තරමකින් අඩු වී තිබිය හැකි වුවත් බොහෝ විට ඩොලර් මිලියන 1,750ක් පමණවත් විය හැකියි. එයින් අදහස් වන්නේ තවමත් මසකට ඩොලර් මිලියන 400ක පමණ ඩොලර් ප්‍රමාණයක් කොහෙන් හෝ හොයා ගත යුතුව තිබෙනවා කියන එකයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන මුදලක් ඉතා ඉක්මණින් ලැබෙන බවක් පෙනෙන්නට නැහැ. කොයි තරම් හදිස්සි කළත් ඒ සඳහා අවම වශයෙන් මාස ගණනක් යන බව පැහැදිලියි. ඒ වන තුරු උදවු කරන්නට සූදානම්ව සිටින්නේ ඉන්දියාව පමණයි. ඉන්දියාවෙන් කීයක් හරි ඉල්ලා ගන්නත් දිගින් දිගටම බැගෑපත් වෙන්න වෙනවා. 

ඉන්දියානු ණය පහසුකම නිසා ඉන්දියාවෙන් කරන ආනයන වෙනුවෙන් අදාළ ආනයනකරුවන් විසින් මුදල් ගෙවිය යුතු වුවත් ඒ මුදල් ඉන්දියාවට නොගොස් මහ බැංකුවේ ඉතිරි වෙනවා. මහ බැංකුව විසින් එම මුදල් පසුව ඉන්දියාවට ගෙවිය යුතුයි. මැයි මාසය තුළ මහ බැංකුවේ සංචිත ප්‍රමාණය මිලියන 108කින් ඉහළ ගොස් තිබුණත්, බොහෝ විට මහ බැංකුව විසින් ඉන්දියාවට ගෙවිය යුතු ණය ඊට වඩා වැඩියෙන් ඉහළ ගොස් තිබෙනවා විය හැකියි.

රටට ඩොලර් අද්දවා ගැනීම සඳහා මහ බැංකුව විසින් මහ බැංකුවට කළ හැකි දේවල් කරමින් සිටිනවා. මහ බැංකුව විසින් අලුතෙන්ම ගත් ප්‍රතිපත්ති තීරණය වාණිජ බැංකු වල ඩොලර් තැන්පතු සඳහා ගෙවිය හැකි උපරිම පොලී සීමාව ඉවත් කිරීමයි. මෙවැනි ක්‍රියාමාර්ග වලින් යම් ප්‍රතිඵල ලැබිය හැකි වුවත් බංකොලොත් රටක බංකොලොත් මහ බැංකුවකට කළ හැකි දේ ඉතා සීමිතයි. 

Sunday, June 5, 2022

මහ බැංකුව තාමත් සල්ලි අච්චු ගහනවද?


සල්ලි අච්චු ගැසීම ප්‍රශ්නයක් වුවත්, යම් කාලයක් යන තුරු තවත් සල්ලි අච්චු ගහන්න සිදු වෙන බව පසුගිය දවසක අගමැතිවරයා ප්‍රකාශ කළා. සාමාන්‍යයෙන් අගමැතිවරයෙක් මේ වගේ ප්‍රකාශයක් කරන්නේ නැහැ.  සල්ලි අච්චු ගැහිල්ල කිය කියා කරන්නෙත් නැහැ. ඔහුට මේ වගේ ප්‍රකාශයක් කරන්න සිදු වුනේ මේ වෙද්දී රටේ මිනිස්සු සල්ලි අච්චු ගැහිල්ල ගැන විමසිල්ලෙන් ඉන්න නිසයි. කොහොම වුනත්, ඔය වගේ ප්‍රකාශ වලට වඩා වැදගත් ඇත්තටම වෙලා තියෙන්නේ කුමක්ද කියන එකයි. 

සල්ලි අච්චු ගැසීම කියන එකෙන් සාමාන්‍යයෙන් අදහස් වෙන්නේ රජය විසින් මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් විකුණන එක. රජයට මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් විකුණන්න වෙන්නේ වෙන කවුරුවත් බිල්පත් මිල දී ගන්නේ නැති වුනාම. එහෙම නැත්නම් වෙන අය බිල්පත් මිල දී ගැනීම සඳහා ඉල්ලන පොලිය ගෙවීමට රජය සූදානම් නැති විට.

සාමාන්‍යයෙන් හැම බදාදා දවසකම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කෙරෙනවා. පසුගිය සති තුනේ වෙන්දේසි දිහා බැලුවහම එම සති තුන තුළ රටේ ආර්ථිකයේ යම් යහපත් වර්ධනයක් සිදු වී තිබෙන බව පැහදිලිව දකින්න පුළුවන්. ඩොලරයක කළුකඩ මිල දිහා බැලුවහමත් මේ වෙනස ඒ විදිහටම පේන බව මම කලින් ලිපියක විස්තර කළා.

දැන් මම මේ විදිහට යහපත් වර්ධනයක් කියා කියන්නේ සති තුනකට පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව. එය ඉතා හොඳ තත්ත්වයක් බව හෝ මේ වර්ධනය මේ විදිහට දිගටම පවතියි කියන එක එයින් අනිවාර්යයෙන්ම අදහස් වන්නේ නැහැ. ඕනෑ වෙලාවක සුළු දෙයකින් තත්ත්වය නරක අතට හැරෙන්න පුළුවන්. අපි මේ කතා කරන්නේ බංකොලොත් වෙච්ච රටක් ගැන. ඒ පසුබිමත් අමතක නොකර අපි පසුගිය තෙසතිය තුළ දැකිය හැකි වූ යහපත් වර්ධනයන් දිහා බලමු. 

මැයි 18 වෙන්දේසිය 

රජය විසින් දින-91 බිල්පත් රුපියල් මිලියන 50,000ක්,  දින-182 බිල්පත් රුපියල් මිලියන 20,000ක් හා දින-364 බිල්පත් රුපියල් මිලියන 20,000ක් වෙන්දේසියට දමනවා. එහෙත් මිල දී ගන්නේ දින-91 බිල්පත් රුපියල් මිලියන 6,416ක්,  දින-182 බිල්පත් රුපියල් මිලියන 3,433 ක් හා දින-364 බිල්පත් රුපියල් මිලියන 6,626 ක් පමණයි. ඒ කියන්නේ රජයට ඒ සතියේ රුපියල් මිලියන 90,000ක් අවශ්‍ය වුවත් බිල්පත් විකුණා හොයා ගන්න පුළුවන් වෙන්නේ රුපියල් මිලියන 16,475ක් පමණයි. දැන් මේ මදිපාඩු මුදල හොයා ගන්නේ කොහොමද?

මැයි 19 වෙනිදා රජය මහ බැංකුවට රුපියල් බිලියන 85ක පමණ භාණ්ඩාගාර බිල්පත් විකුණනවා. ඒ කියන්නේ එපමණ සල්ලි අච්චු ගැසීමක් වෙනවා. මේ ගැන මම අදාළ සතියේ ලිවුවා. 

රජයට වෙන්දේසියට ඉදිරිපත් කළ බිල්පත් සියල්ල විකුණා ගන්න බැරි වෙන්නේ ලන්සු ඉදිරිපත් කළ අය ඉහළ පොලියක් ඉල්ලා සිටි නිසා. රජය වෙනුවෙන් මහ බැංකුව විසින් භාර ගන්නේ 24% මට්ටම නොඉක්මවන පොලියක් ඉල්ලන අයගේ ලන්සු පමණයි. ඒ කියන්නේ සල්ලි අච්චු නොගසා ඉන්නනම් පොලී අනුපාතික 28-31% මට්ටමට ඉහළ යාමට ඉඩ දිය යුතුව තිබුණා. වෙනත් විදිහකින් කිවුවොත් මැයි 18 වන විට වෙළඳපොළ අපේක්ෂාව වුනේ පොලී අනුපාතික ඉදිරියේදී විශාල ලෙස වැඩි වනු ඇති බවයි.

ඒ නිසා, 24% පමණ පොලියක් ගෙවා අවශ්‍ය අරමුදල් ප්‍රමාණය හොයා ගන්න බැරි වුනා. රජය (වෙනුවෙන් මහ බැංකුව) ගෙවන්න සූදනම්ව සිටි උපරිම පොලී අනුපාතික පහත පරිදියි.

දින-91: 24.07%

දින-182: 24.69%

දින-364: 24.50%

ඉහත පොලී අනුපාතික යටතේ ලබා ගන්න පුළුවන් වුනේ රුපියල් මිලියන 16,475ක් පමණයි.

මැයි 25 වෙන්දේසිය 

රජය විසින් දින-91 බිල්පත් රුපියල් මිලියන 45,000ක්, දින-182 බිල්පත් රුපියල් මිලියන 22,500ක් හා දින-364 බිල්පත් රුපියල් මිලියන 22,500ක් වෙන්දේසියට දමනවා. දින-91 බිල්පත් රුපියල් මිලියන 60,116ක්, දින-182 බිල්පත් රුපියල් මිලියන 4,272ක් හා දින-364 බිල්පත් රුපියල් මිලියන 25,612ක් වෙන්දේසියෙන් මිල දී ගන්නවා. ඒ කියන්නේ අවශ්‍ය මුදල වූ රුපියල් මිලියන 90,000 හොයා ගන්නවා. හැබැයි ඒක කරන්නේ දින-91 බිල්පත් වැඩියෙනුත්, දින-182 බිල්පත් අඩුවෙනුත් අරගෙන. ඒ ඇයි?

ලංසු ඉදිරිපත් කරන ගොඩක් අය දින-91 බිල්පත් වැඩියෙන් ඉල්ලනවා. දින-182 බිල්පත් ඉල්ලන්නේ අඩුවෙන්. ඒ කියන්නේ, වෙළඳපොළ අපේක්ෂාව වුනේ පොලී අනුපාතික තව දුරටත් ඉහළ යනු ඇති බවයි. දින-91 බිල්පත් වැඩියෙන් ඉල්ලන්නේ ඉක්මණින් සල්ලි ආපසු ලබාගෙන වැඩි පොලියකට නැවත ආයෝජනය කරන්න බලාගෙන.

කොහොම හරි මොන විදිගෙන් හෝ අවශ්‍ය සල්ලි ටික ලැබුණු නිසා සල්ලි අච්චු ගහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ඉහළ යන්නේ නැහැ. ඇත්තටම බිලියන තුනකින් පමණ පහළ යනවා. 

අවශ්‍ය අරමුදල් ප්‍රමාණය සපයා ගැනීම සඳහා ගෙවන්න සිදු වූ උපරිම පොලී අනුපාතික පහත පරිදියි.

දින-91: 23.65%

දින-182: 24.22%

දින-364: 24.30%

සුළුවෙන් වුවත් පෙර සතියට සාපේක්ෂව පොලී අනුපාතික පහළ ගිහින් බව පේනවා ඇතිනේ. 

ජූනි 1 වෙන්දේසිය 

රජය විසින් දින-91 බිල්පත් රුපියල් මිලියන 40,000ක්, දින-182 බිල්පත් රුපියල් මිලියන 23,000ක් හා දින-364 බිල්පත් රුපියල් මිලියන 20,000ක් වෙන්දේසියට දමනවා. දින-91 බිල්පත් රුපියල් මිලියන 37,199ක්, දින-182 බිල්පත් රුපියල් මිලියන 25,227ක් හා දින-364 බිල්පත් රුපියල් මිලියන 20,574ක් වෙන්දේසියෙන් මිල දී ගන්නවා. ඒ කියන්නේ අවශ්‍ය මුදල වූ රුපියල් මිලියන 83,000 හොයා ගන්නවා පමණක් නෙමෙයි ආසන්න වශයෙන් වෙන්දේසියට දාපු ප්‍රමාණ වලින්ම මිල දී ගන්නටත් පුළුවන් වෙනවා. පොලී අනුපාතිකත් පහළ ගිහින්. 

ඒ කියන්නේ, වෙළඳපොළ අපේක්ෂාවන් වෙනස් වෙලා. දැන් අපේක්ෂාව පොලී අනුපාතික ඉදිරි කාලයේදී පහළ යනු ඇති බවයි. දින-91 බිල්පත් නොඉල්ලා දින-182 හා දින-364 බිල්පත් ඉල්ලන්නේ පොලිය අඩු වෙන්න කලින් වැඩි කාලයකට තමන්ගේ ප්‍රතිලාභ සහතික කර ගන්නයි. 

මේ විදිහට වෙළඳපොළ අපේක්ෂාවන් වෙනස් වෙන්නේ බදු වැඩි කිරීමට ගත්ත තීරණයත් එක්ක. වැඩි කරපු බදු ආදායම් තවම රජයට ලැබිලා නැහැ. ඒක කවුරුත් දන්නවනේ. හැබැයි මේ සල්ලි ඉදිරි කාලයේදී රජයට ලැබෙනවා. ඒ නිසා, භාණ්ඩාගාර බිල්පත් විකුණා සල්ලි හොයන්න තිබෙන අවශ්‍යතාවයත් පහළ ගිහින් රජයට අඩු පොලියකට බිල්පත් විකුණන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ වගේම, සල්ලි අච්චු ගැහිල්ල සීමා වන නිසා මහ බැංකුවට පොලී අනුපාතික වැඩි කරන්න පීඩනයක් එන්නේත් නැහැ. මේ සියල්ල ලංසුකරුවෝ දන්නවා. ඒ නිසා, පොලිය අඩු වෙන්න කලින් මේ වෙලාවේ බිල්පත් ගන්න ඔවුන් තරඟ කරනවා. සති දෙකකට කලින් සිදුවුනේ මෙහි අනෙක් පැත්ත.

ඒ එක්කම මහ බැංකුව සතු බිල්පත් ප්‍රමාණය තවත් රුපියල් බිලියන හයකින් පමණ අඩු වෙලා. මහ බැංකුව සතු බිල්පත් කල් පිරුණු විට බිල්පත් ගන්න යෙදවූ සල්ලි පොලියත් එක්ක ආපසු මහ බැංකුවට එනවා. එවිට මුදල් සැපයුම පහළ යනවා. ඒ කියන්නේ අච්චු ගහලා එළියට දමපු සල්ලි වලින් කොටසක් නැවත සංසරණයෙන් ඉවත් වෙනවා. 

බදු වැඩි කිරීමේ වාසි ක්ෂණිකවම පෙනෙන්න තිබෙනවා. බදු බර මිනිස්සු මතම වැටෙනවා වුනත් බදු වැඩි නොකර සල්ලි අච්චු ගැසූ විට වෙන්නෙත් ඒකම තමයි. බොහෝ විට දෙවැන්නේ හානිය වැඩියි. පොලී අනුපාතික ඉහළ ගියාම වැඩි වන වියදම් පියවන්න වෙන්නෙත් තව සල්ලි අච්චු ගහලා. මේ තත්ත්වය දැන් ක්ෂණයකින් වෙනස් වෙලා තියෙනවා. බදු වැඩි කිරීමේ බර වැඩිපුර වැටෙන්නේ ධනවතුන් මතයි. එහෙත් සල්ලි අච්චු ගැසීම නිසා උද්ධමනය ඉහළ ගිය විට එහි බර වැඩිපුර පැටවෙන්නේ දුප්පතුන් මත. 

දුප්පතුන් තමන්ගේ ආදායම මුළුමනින්ම යොදවන්නේ පරිභෝජනය සඳහා. එහෙත් ධනවතුන් ඔවුන්ගේ ආදායමෙන් විශාල කොටසක් ආයෝජනය කරනවා. උද්ධමනය වැඩි වී පොලී ඉහළ යද්දී දුප්පතුන්ට මෙන්ම ධනවතුන්ටද හානියක් වුවත් ආදායමට සාපේක්ෂව වැඩි හානියක් වෙන්නේ දුප්පතුන්ටයි. ආයෝජන වෙනුවෙන් වැඩි ප්‍රතිලාභ ලැබෙන නිසා ධනවතුන්ට එයින් වාසියක් වෙන්න වුනත් පුළුවන්. බදු වැඩි කිරීමේ හානියද සියල්ලන්ටම වුවත් වැඩි බරක් වැටෙන්නේ ධනවතුන් මතයි. 

ජූනි 1 වෙන්දේසියේදී අවශ්‍ය අරමුදල් ප්‍රමාණය සපයා ගැනීම සඳහා ගෙවන්න සිදු වූ උපරිම පොලී අනුපාතික පහත වැටී තිබුනේ මේ විදිහටයි.

දින-91: 22.75%

දින-182: 23.60%

දින-364: 23.75%

ජූනි 8 වෙන්දේසිය 

ඊළඟ බැඳුම්කර වෙන්දේසිය තියෙන්නේ ජූනි 8. මේ වෙන්දේසිය සඳහා රජය වෙනුවෙන් මහ බැංකුව විසින් රුපියල් මිලියන 98,000ක බිල්පත් ඉදිරිපත් කර තිබෙනවා. ඒ දින-91 බිල්පත් රුපියල් මිලියන 40,000ක්, දින-182 බිල්පත් රුපියල් මිලියන 30,000ක් හා දින-364 බිල්පත් රුපියල් මිලියන 28,000ක් ලෙසයි. මේ බිල්පත් ප්‍රමාණය වෙන්දේසි කර ගන්න පුළුවන් වෙයිද? ඒ සඳහා කොපමණ පොලියක් ගෙවන්න වෙයිද? එසේ නැත්නම් මහ බැංකුවටම මේ බිල්පත් වලින් යම් ප්‍රමාණයක් මිල දී ගන්න වෙයිද? අපි වෙන්දේසියෙන් පසුව බලමු.

Friday, June 3, 2022

ආයෙත් ඩොලර් එක හිර කරගෙනද?

දවසකට දෙකකට සැරයක් රුපියල් පහකින් හෝ දහයකින් ඉහළ ගිය ඩොලරයක මිල දැන් ඒ විදිහට ඉහළ යන්නේ නැහැ. ඩොලරයක මිල රුපියල් 360 ආසන්නයේ ස්ථාවර වෙලා. හැබැයි ස්ථාවර වෙලා කිවුවට මෙතැන ඇත්තටම වෙලා තියෙන්නේ මහ බැංකුව මැදිහත් වී මිල ස්ථාවර කිරීමක් කියන එක කාටවත් රහසක් නෙමෙයි.

මීට කලින් ඩොලරයක මිල රුපියල් 200 මට්ටමේ තියාගෙන ඉඳලා වෙච්ච සන්තෑසිය කාටවත් රහසක් නෙමෙයිනේ. දැන් ආයෙත් නැවත වටයකින් ඒ වගේම දෙයක් වෙන්නද යන්නේ?

කලින් පාර ඩොලරයක මිල රුපියල් 200 මට්ටමේ තියාගන්න ගිහින් මහ බැංකුවේ සංචිත බිංදුවටම හිඳුනා. දැන් මහ බැංකුව සතුව සංචිත නැහැ. එහෙමනම් ඩොලරයක මිල රුපියල් 360 මට්ටමේ තියාගන්නේ කොහොමද? එහෙම කරන එකේ මොකක් හෝ තේරුමක් තියෙනවද? 

වෙළඳපොළ තුළ ඩොලරයක මිල තීරණය වන්නේ ලංකාව ඇතුළේ ඩොලර් වලට තිබෙන ඉල්ලුම හා ඩොලර් සැපයුම මත. අපනයන, ශ්‍රමික ප්‍රේෂණ, සංචාරකයින්, රජය විසින් ගන්නා ණය, බැංකු වලට එන ඩොලර් තැන්පතු ආදිය හරහා රටට ඩොලර් එනවා. ආනයන, විදේශ සංචාර, ණය ආපසු ගැනීම් ආදිය ඉහළ යද්දී ඩොලර් ඉල්ලුම ඉහළ යනවා. සැපයුමට වඩා ඉල්ලුම වැඩි වූ විට ඩොලර් අවශ්‍ය අයට වෙළඳපොළේ තිබෙන සීමිත ඩොලර් ප්‍රමාණය මිල දී ගැනීමට තරඟ කරන්න වෙනවා.  ඒ තරඟය නිසා ඩොලරයේ මිල ඉහළ යනවා. ඩොලරයේ මිල ඉහළ ගියාම ආනයන ඉල්ලුම, විදේශ සංචාර ආදිය අඩු වෙලා ඩොලර් ඉල්ලුමත් පහළ ගිහින් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. ඕක තමයි ලංකාවේ ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වන සාමාන්‍ය ක්‍රමය.

එතකොට පහුගිය කාලයේ වුනේ කුමක්ද? විශාල ලෙස සල්ලි අච්චු ගහපු නිසා ආනයන ඉල්ලුම ඉහළ ගියා. ඇයි අතේ තියෙන රුපියල් වියදම් කරන්න ක්‍රමයකුත් හැදෙන්න ඕනෑනේ. නමුත් සල්ලි අච්චු ගැහුවා කියලා රටේ නිෂ්පාදනය වැඩි නොවන නිසා මිල දී ගන්න වෙන්නේ ආනයනය කරන දේවල්. 

දැන් ඔය විදිහට ආනයන ඉල්ලුම වැඩි වෙද්දී ඩොලර් ඉල්ලුමත් ඉහළ යනවා. හැබැයි ඩොලර් සැපයුම වැඩි වෙන්නේ නැහැනේ. මහ බැංකුව විසින් කළේ සංචිත විකුණමින් ඉල්ලුමට සරිලන තරමට ඩොලර් සපයන එක. එවිට එම ඩොලර් ආනයන සඳහා යොදා ගන්න පුළුවන්. මොන විදිහෙන් හෝ ඉල්ලුම හා සැපයුම සමතුලිත වන නිසා මිල ඉහළ යන්නේ නැහැ. ඔය වැඩේ කරන්න ගිහින් අවසාන වශයෙන් රටේ ඩොලර් සංචිතය බිංදුවටම හිඳුනා කියලා අපි දන්නවනේ.

දැන් මහ බැංකුවට ඔය වැඩේ කරන්න බැහැ. මොකද ඔය වැඩේ කරන්න පුළුවන් සංචිත අතේ තියෙනවානම් පමණයි. ඒ කියන්නේ ඩොලරයක මිල කීයට ගියත් මහ බැංකුවට උඩ බලාගෙන ඉන්නවා මිසක් කරන්න පුළුවන් දෙයක් නැහැ. මිල ඉහළ යාමෙන්ම ඉල්ලුම හා සැපයුම සමතුලිත විය යුතුයි.

මේ වෙද්දී මිල ඉහළ ගොස් තියෙන තරමට හා වෙනත් ක්‍රියාමාර්ග නිසා හරිනම් ලංකාවේ ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙන්න ඕනෑ. නමුත් තවමත් ඒක වෙලා නැහැ. ඊට ප්‍රධාන හේතුව කලින් ලැබුණු ශ්‍රමික ප්‍රේෂණ ඒ විදිහටම නොලැබීම. ඒකට හේතුව දේශපාලන හේතු නිසා පිටරට වල ඉන්න අය සල්ලි එවන්නේ නැතුව සිටීම වගේ සරල දෙයක් නෙමෙයි. හේතුව මම පැහැදිලි කරන්නම්.

ස්ටීව් හැන්කි ගැන දැන් හැමෝම වගේ දන්නවනේ. ඔහු ලංකාවේ උද්ධමනය ගණනය කරන්න ගන්නේ ඩොලරයක කළුකඩ මිල. මේ දත්ත ගන්නේ රුපියල් ගෙවා ක්‍රිප්ටෝ ඇතුළු වෙනත් මුදල් වර්ග මිල දී ගත හැකි වෙබ් අඩවියකින්. පසුගිය පෙබරවාරි මාසය පමණ දක්වා මේ වෙබ් අඩවියේ රුපියල් ගනුදෙනු සිදු වී තිබෙන්නේ ඉතා අඩුවෙන්. සමහර විට දවස් ගාණකට එකක්. ගනුදෙනු සිදුවන මිලත් බැංකු වල මිලට ආසන්නයි. 

පෙබරවාරි මාසයේදී පමණ එකවර හදිසි වෙනසක් වෙනවා. දෛනික රුපියල් ගනුදෙනු ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළ යනවා. බැංකු වල මිල හා කළුකඩ මිල අතර පරතරයද විශාල ලෙස වැඩි වෙනවා. 

පහත රූප සටහන දිහා බැලුවහම මෙය හොඳින් දකින්න පුළුවන්. දැන් මේ වුනේ කුමක්ද?

විණිමය සමපේක්ෂකයෝ කියලා ජාතියක් ලෝකයේ ඉන්නවා. මේ අය බලාගෙන ඉන්නේ ව්‍යවහාර මුදල් ගනුදෙනු වලින් තමන්ට ලොකු ලාබයක් ගන්න පුළුවන් අවස්ථාවක් එළැඹෙන තුරු. රටක මහ බැංකුවක් පිස්සු කෙලිනවා කියන්නේ ඒ වගේ වාසියක් ගන්න පුළුවන් හොඳම අවස්ථාවක්. ජෝජ් සෝරෝස් ඔය විදිහට වෙලාව බලලා එංගලන්තයේ මහ බැංකුවටත් ගේම දුන්න හැටි අහල ඇතිනේ. 

ලංකාවේ මහ බැංකුව සංචිත විකුණමින් ඩොලරයේ මිල ආරක්ෂා කරගෙන ඉන්නවා කියන එකත්, ඔය වැඩෙන් කොයි වෙලාවක හෝ කෙළවගන්නවා කියන එකත් අපි වගේ මැට්ටන්ට පවා කලින්ම තේරුණ එකේ ඕවා ගැන නිරන්තර අවධානයෙන් ඉන්න විණිමය සමපේක්ෂකයන්ට ඕක මීටර් නොවී තියෙන්නේ නැහැනේ. හැබැයි මේ ගොල්ලෝ හදිස්සි වෙන්නේ නැහැ. බලාගෙන ඉන්නවා.

ඔහොම ගිහින් ගිහින් ලංකාවේ සංචිත ඉතාම පහළ මට්ටමකට වැටෙනවා. දැන් කොයි වෙලාවේ හෝ ඩොලර් එක අතාරින්න වෙනවා කියන එක සහසුද්දෙන්ම පේනවා. ඔන්න ඔය වෙලාවේ සමපේක්ෂකයෝ වැඩ පටන් ගන්නවා. බැංකු ඩොලර් වලට රුපියල් 200ක් පමණක් ගෙවද්දී ලංකාවට සල්ලි එවන්න අවශ්‍ය අයට රුපියල් 240-260 වගේ ගණන් දීලා ඒ ඩොලර් මිල දී ගන්නවා. මේ විදිහට වැඩි මිලට ඩොලර් මිල දී ගන්නවා කියන්නේ අඩු මිලට රුපියල් විකුණනවා කියන එක. හැබැයි විකුණන්නේ නැති රුපියල්. ඉංග්‍රීසියෙන් කිවුවොත් රුපියල් ෂෝර්ට් සෙල් කරනවා.

මේ වැඩේ අවදානම් වැඩක්. හැබැයි ඔය වගේ වැඩ වලට අතගහන්නේ පළපුරුද්දක් තිබෙන අය. ඒ එක්කම ලංකාවේ රුපියලේ අපේක්ෂිත කඩා වැටීම, උද්ධමනය ආදිය තිබෙනවාටත් වඩා අතිශයෝක්තියට නංවලා මිනිස්සු බය කළාම ලංකාව ඇතුළේ රුපියල් ඉල්ලුම පහළ ගිහින් ඩොලර් ඉල්ලුම ඉහළ යනවා. ඒ කියන්නේ ලංකාවේ මිනිස්සු ඩොලරයකට විශාල මුදලක් ගෙවන්න සූදානම් වන වාතාවරණයක් හැදෙනවා. ඊට පස්සේ අතින් සල්ලි යට නොකරම ලාබ එකතු කරන්න පටන් ගන්න පුළුවන්. 

ලංකාවට එවන්න ඉන්න ඩොලරයක් රුපියල් 240ට අරගෙන ගෙදර අයට ඒ සල්ලි දෙන්න පොරොන්දු වුනා කියමු. අනෙක් පැත්තෙන් ඒ ඩොලර් එක රුපියල් 260ට ලංකාවේම කාට හරි විකුණලා අවශ්‍ය රුපියල් ටික එකතු කරගන්න ගමන් ලාබෙකුත් තියා ගන්නවා. ඔය වැඩේ දිගටම කරද්දී එකතු වන රුපියල් ලාබ ටිකත් ඔය ක්‍රමයෙන්ම ඩොලර් කර ගන්න පුළුවන්, අන්තිමේදී සල්ලි යට නොකරම ඩොලර් වලින්ම විශාල ලාබයක් ලැබිලා. විණිමය සමපේක්ෂණය කියන්නේ ඔය වගේ වැඩක්. 

මම හිතන විදිහට මේක ලංකාවට එන ශ්‍රමික ප්‍රේෂණ නොලැබී යන්න ප්‍රධානම හේතුවක්. විණිමය සමපේක්ෂකයා විසින් තමන්ට ලාබ හොයන්න කරන අතරමැදි ක්‍රියාවලිය හරහා ශ්‍රමික ප්‍රේෂණ ලංකාවට නොපැමිණ රටින් පිට නවතිනවා. ලංකාවේ ඉන්න තමන්ගේ අතේ රුපියල් තියෙන අය ඒ රුපියල් ක්‍රිප්ටෝ වලට හැරවීම සඳහා හෝ ඩොලර් වලට හැරවීම සඳහා සමපේක්ෂකයා හරහා මේ ඩොලර් ලබා ගන්නවා. ඒ කියන්නේ මේ ක්‍රියාවලිය වෙන්නේ ලංකාවේ ඉන්න අතේ රුපියල් වත්කම් තිබෙන බොහෝ දෙනෙක් තුළ රුපියල විශාල ලෙස කඩා වැටෙයි කියා තිබෙන බය නිසා. ඒ බය නැත්නම් ඒ අය වැඩි මිලක් දීලා ක්‍රිප්ටෝ මිල දී ගන්නේ නැහැ. එහෙම ඩොලර් හෝ ක්‍රිප්ටෝ ගන්න කෙනෙක් නැත්නම් විණිමය සමපේක්ෂකයන්ට ක්‍රියාත්මක වී රුපියල් ෂෝට්සෙල් කිරීමෙන් ලාබ ගන්නත් බැහැ. 

පෙබරවාරි මාසයේදී විතර විණිමය සමපේක්ෂකයෝ ලංකාවේ රුපියලට ඇටෑක් කරනවා. එහෙම කරලා පෙබරවාරි අවසානය වෙද්දී ඩොලරයක කළු කඩ මිල රුපියල් 270 පමණ දක්වා ඉහළ දමනවා. මේක කරන්නේ ගණන් හදලා. රුපියල් 270 කියන්නේ ක්‍රය ශක්ති සාම්‍ය පදනම අනුව බැලුවොත් (ආසන්න වශයෙන්) රුපියල තිබිය යුතු මිල. මේ විදිහට කළුකඩ මිල එහි "නියම මිල" දක්වා ඉහළ යාමෙන් පසුව මහ බැංකුවට රුපියල අත නොහැර බැරි වෙනවා. 

මේ වගේ වැඩක් කලින්ම කළානම් මහ බැංකුව වැඩිපුර සංචිත ටිකක් විකුණලා රුපියලේ පාලනය අතට ගන්නවා. සමපේක්ෂකයන් වැඩේට අත ගහන්න පෙබරවාරි වනකම් බලා ඉන්නේ ඒ නිසා. විණිමය සමපේක්ෂකයන්ගේ සාමාන්‍ය උපාය මාර්ගය වන්නේ හොඳටම දුර්වල වෙනකම් ඉඳලා එක පාරෙන් නොකවුට් කරන එක. 

සමපේක්ෂකයින් ක්‍රියාත්මක වුනේ නැත්නම් ඩොලරයක මිල රුපියල් 275 පමණ මට්ටමකට යාමෙන් පසුව මිල ස්ථාවර විය යුතුව තිබුණා. නමුත් සමපේක්ෂකයින් විසින් ශ්‍රමික ප්‍රේෂණ එවන අයට රුපියල් ෂෝට් සෙල් කරමින් රුපියලේ පාලනය අතට ගත්තා. ඉන්පසුව දවසකට දෙකකට වරක් ඩොලරය රුපියල් පහකින් දහයකින් වැඩි වෙන්න පටන්ගත්තා. මහ බැංකුවට සංචිත මුදා හැරීම හරහා තත්ත්වය පාලනය කිරීමට ඉඩක් ඉතිරි වී තිබුණේ නැහැ. 

මේ වගේ තත්ත්වයක් යටතේ ඩොලරයක මිල කීයට ගියත් ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වන්නේ නැහැ. මිල ඉහළ යාමේදී ආනයන ඉල්ලුම ආදිය පහළ යනවා වුවත් එක් සීමාවකින් පසුව ඒ වැඩේ වෙන්නේ නැහැ. ඉන්ධන, ආහාර, ඖෂධ ආදිය මිල වැඩි කිරීමෙන් පමණක් ලොකුවට සීමා කරන්න බැහැ. ඒ නිසා, ඩොලරයක මිල 360 දක්වා ඉහළ ගියාට පස්සේ එම මිල තවදුරටත් ඉහළ යන්න දීමෙන් ඩොලර් ඉල්ලුම විශාල ලෙස අඩු වෙන්නේ නැහැ. අනෙක් පැත්තෙන් ඩොලරයක මිල දවසින් දවස ඉහළ යද්දී ඩොලර් වලට තිබෙන සමපේක්ෂණ ඉල්ලුම ඉහළ යනවා. ඒ නිසා, තවදුරටත් දිගින් දිගටම මිල ඉහළ යන්න දෙනවා වෙනුවට මිල මාර්ගෝපදේශනය ඇතුළු තවත් ක්‍රියාමාර්ග හරහා සමපේක්ෂණ ඉල්ලුම පාලනය කරන්න උත්සාහ දැරීම හොඳ ප්‍රවේශයක්. 

රූප සටහන දිහා බැලුවහම මේ කරුණ තහවුරු වෙනවා. මහ බැංකුව ඩොලරයක මිල රුපියල් 360 මට්ටමේ තියාගන්න කියලා බැංකු වලට කියලා නැහැ. දවසක් ඇතුළත මිල ඉහළ දැමිය හැකි ප්‍රමාණය පමණයි සීමා කරලා තිබෙන්නේ. නමුත් මිල ඉහළ ගිහින් නැහැ. ඒ කියන්නේ මේ මිල සම්බන්ධව බැංකු වලට ප්‍රශ්නයක් නැහැ කියන එකයි. හැබැයි මහ බැංකුව විසින් නොනිල ලෙස බැංකු වල විණිමය අනුපාතය පාලනය කරනවාද කියලා අපි දන්නේ නැහැ. එහෙමත් වැඩ වෙනවනේ. 

වැදගත්ම දේ ඒක නෙමෙයි. මොන විදිහෙන් හෝ ඩොලරයක මිල රුපියල් 360 මට්ටමේ තියාගෙන ඉන්න බව පැහැදිලිව පේනවනේ. මේ මිල නියම මිල නෙමෙයිනම්, නියම මිල වඩා වැඩි මිලක්නම්, ඔහොම කරද්දී ඩොලර් ඉල්ලුම හා සැපයුම අතර පරතරය ටිකෙන් ටික වැඩි වෙන නිසා කළුකඩ මිල ටිකෙන් ටික ඉහළ යා යුතුයිනේ. නමුත් ඇත්තටම වෙමින් තියෙන්නේ ඒකේ අනෙක් පැත්ත. මහ බැංකුව මේ වැඩේ පටන් ගත් දවසේ ඉඳලා කළුකඩ මිල ටිකෙන් ටික පහළ වැටෙන්න පටන් අරන්. ඒ ඇයි?

සමපේක්ෂකයන්ගේ ගේම් එක වැඩ කරන්නේ දවසින් දවස ඩොලර් එක වැඩි වෙද්දී ඇති වන බය එක්ක. ඔය බයට ලංකිකයෝ කීය හෝ දීලා ඩොලර් ගන්නවා. වැඩේ පාඩුවකුත් නැහැනේ. අද අරන් හෙට ආපහු විකිණුවත් රුපියල් දහයක් විතර වාසියි. රට ඇතුළේ ඔය ඉල්ලුම තියෙන තුරු සමපේක්ෂකයින්ට බය නැතුව රුපියල් ෂෝට් සෙල් කරන්න පුළුවන්. අනෙක් පැත්තෙන් වැඩි මිලක් ගෙවලා ශ්‍රමික ප්‍රේෂණ ටික එකතු කරගන්න පුළුවන්. 

මහ බැංකුවේ තීරණය නිසා දැන් වැඩේ බැක්ෆයර් වෙලා.  රට ඇතුළේ තිබුණු සමපේක්ෂණ ඩොලර් ඉල්ලුම එක පාරටම අඩු වෙලා. ඒ එක්ක කළුකඩ මිල ටිකෙන් ටික පහත වැටෙනවා. මැයි 15 වන විට රුපියල් 442.74 දක්වා ඉහළ ගොස් තිබුණු ඩොලරයක කළුකඩ මිල ඊයේ (ජූනි 2) වෙද්දී රුපියල් 411.06 දක්වා පහත වැටිලා. මහ බැංකුවේ මිල එලෙසම තිබියදී කළුකඩ මිල අඩු වීමෙන් පෙනෙන්නේ සමපේක්ෂණ ඉල්ලුම අඩු වෙමින් තිබෙන බවයි.

මේ අනුව, මහ බැංකුවේ උපක්‍රමය සාර්ථක වී තිබෙන බව පේනවා. ඉල්ලුම හා සැපයුම අතර පරතරයක් ඇති විට මිල ඉහළ යන්න දීමේ අරමුණ ඉල්ලුම අඩු කර එම පරතරය නැති කිරීමයි. පවතින සුවිශේෂී තත්ත්වය තුළ එය අසීරු වුවත් මහ බැංකුව විසින් වෙනත් ක්‍රමයකින් ඩොලර් ඉල්ලුම අඩු කිරීමට සමත් වී තිබෙනවා.

එහෙමනම් මේ වැඩේ කරන්න ඩොලරයක මිල රුපියල් 360 වන තුරු හිටියේ ඇයි? ඔය වැඩේ කලින්ම කරන්න තිබුණනේ?

එහෙම කරන්න බැහැ. මේක මහ බැංකුව සහ විණිමය සමපේක්ෂකයින් අතර ගේම් එකක්. මහ බැංකුව ඩොලරයක මිල රුපියල් 200 මට්ටමේ තියාගෙන හිටියේ එය තිබිය යුතු නියම මිල ඊට වඩා වැඩි බව ඕනෑම කෙනෙකුට පැහැදිලිව තිබියදී. තමන් කරන වැඩේ "වැරැද්දක්" තිබෙන බව ඒ වෙලාවේ මහ බැංකුව දැනගෙනයි ඉන්නේ. විණිමය සමපේක්ෂකයින් විසින් ඇඟිල්ලෙන් ඇනලා මහ බැංකුව හෙළුවෙන් බව පෙන්නූ  වහාම මහ බැංකුවට විලි වහගන්න සිදු වුනේ ඒ නිසා.

දැන් තත්වය හරියටම අනෙක් පැත්ත. ඩොලරයක මිල රුපියල් 360ක් කියන්නේ ඕනෑවට වඩා වැඩි මිලක් බව සමපේක්ෂයෝ දන්නවා. මහ බැංකුව විසින් දැන් ඒ බව ඔවුන්ට පෙන්වා දී තිබෙනවා. මිල රුපියල් 300 පමණ මට්ටමක තියෙද්දී ඔය වැඩේම කළානම් බොහෝ විට අවශ්‍ය ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. ඔය වගේ වැඩකින් ප්‍රතිඵලයක් ලැබෙන්නනම් ඩොලරයක මිල දැන් තිබෙන මිලට වඩා අඩු විය යුතු බව මහ බැංකුව විතරක් හිතලා හරියන්නේ නැහැ. අනෙක් පැත්තේ ඉන්න විණිමය සමපේක්ෂයින් විසින්ද ඒ විදිහටම හිතන්න ඕනෑ. ඔවුන් හිතන්නේ තව දුරටත් මිල වැඩි විය යුතු බවනම් වැඩේ බැක්ෆයර් වෙනවා.

මහ බැංකුව පැත්තෙන් ගත් තීරණය තරමක් අවදානම් තීරණයක්. නමුත් ප්‍රතිඵල වලින් පෙනෙන්නේ මහ බැංකුවේ විනිශ්චය නිවැරදි බවයි. 

Saturday, May 28, 2022

රට බංකොලොත් කළ තනි ඡන්දය?


පහතින් තියෙන්නේ අප්‍රේල් 10 දින පළ කළ ලිපියෙන් උපුටාගත් කොටසක්.

"අලුත් මහ බැංකු අධිපතිගේ හා භාණ්ඩාගාර ලේකම්ගේ මාධ්‍ය සාකච්ඡාවේදී පැහැදිලි ලෙස එළිදරවු කර ඇති පරිදි මහ බැංකුවේ නිලධාරීන් විසින් දැන් සිදු වී තිබෙන විනාශය කලින්ම දැක තිබෙනවා. ඒ වගේම නිවැරදි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග යෝජනා කර තිබෙනවා. එම ප්‍රකාශ නිවැරදිනම්, නිලධාරී මට්ටමේ යෝජනා හා පුරෝකථන නොසලකා හරිමින් වැරදි තීන්දු ගෙන තිබෙන්නේ මුදල් මණ්ඩලයයි. ඒ සඳහා මුදල් මණ්ඩලයට බලයක් තිබෙනවා. ඒ වගේම ඒ විදිහට ඔවුන් තීන්දු ගත්තේ ඇයි කියා දැන ගන්න ජනතාවටත් අයිතියක් තිබෙනවා.

මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අවසාන වශයෙන් ගත් තීන්දු නිවැරදි තීන්දු නොවේනම් සහ ඇතැම් මුදල් මණ්ඩල සාමාජිකයින් විසින් "ඉතා ස්වාධීනව, අපක්ෂපාතීව, වෘත්තීමයභාවය ආරක්ෂා කරගනිමින්, කාර්යක්ෂමව ක්‍රියා කර" ඇත්නම් එයින් අදහස් වන්නේ මුදල් මණ්ඩලය විසින් ගත් තීන්දු ඒකමතික තීන්දු නොවූ බවද? මුදල් මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුගේ විරුද්ධත්වය තිබියදී, ඉතිරි සාමාජිකයින් තිදෙනා විසින් බහුතර ඡන්දයෙන් තීන්දු ගත් බවද?

මම හිතන්නේ ජනතාවට මෙය පැහැදිලි කර ගැනීමට අයිතියක් තිබෙනවා."

මේ කරුණු දැන් කෝප් කමිටුවේ විමසීම් හමුවේ එළිදරවු වී තිබෙනවා. ඒ අනුව, පෙනෙන්නේ අදාළ තීන්දු ගෙන තිබෙන්නේ මුදල් මණ්ඩලයේ ඒකමතික කැමැත්ත මත නොව බහුතර කැමැත්ත මත බවයි. මෙහි නීත්‍යනුකූල වරදක් නැහැ. නමුත්, එයින් කියැවෙන්නේ මුදල් මණ්ඩලයේ එක් සාමාජිකයෙකුගේ ඡන්දය නොවන්නට සිදු වූ දේවල් මේ විදිහට සිදු නොවනවා කියන එකයි. 

කියන කතාව ඇත්තනම්, මහ බැංකුවේ නිලධාරීන් විසින් ඔවුන්ගේ දැනුම යොදාගෙන සංකීර්ණ විශ්ලේෂණයක් කර යම් දේවල් ටිකක් කියනවා. මුදල් මණ්ඩලය ඒ දේවල් ප්‍රතික්ෂේප කර වෙනත් දෙයක් කරනවා. මුදල් මණ්ඩලයේ සාමාජිකයින් පස් දෙනාගෙන් දෙදෙනෙක්ද මෙයට විරුද්ධ වෙනවා. නමුත් ඉතිරි තිදෙනාගේ තීරණය ක්‍රියාත්මක වෙනවා. අවසාන ප්‍රතිඵලය රට බංකොලොත් වීමයි. 

මම හිතන්නේ මේ කතා ඇහෙන කොට මිනිස්සුන්ට ඇති වන ප්‍රශ්නය කවුරු හෝ තිදෙනෙකුට තමන්ට හරියැයි හිතෙන දේ ක්‍රියාත්මක කරන්න මහ බැංකුවක් මොකටද කියන එකයි. මහ බැංකුව පැත්තකින් තියලා වෙනත් රාජ්‍ය ආයතනයක් දිහා බැලුවත් ඔය වගේ කතාවක් ඇති. 

මේ ප්‍රශ්නයට යෝජනා වෙන ජනප්‍රිය විසඳුම ඔය වගේ තනතුරු වලට උගත්, දක්ෂ, හොරු නොවන මිනිස්සු පත් කරන එක. ඇත්තටම විසඳුම ඒකද?

දැන් මහ බැංකු අධිපති තනතුරට සහ මුදල් මණ්ඩලයේ තවත් තනතුරු වලට ඔය කියපු විදිගේ අය පත් වෙලා තිබෙනවා. එහෙම නැත්නම් අඩු වශයෙන් රටේ බොහෝ දෙනෙක් එහෙම හිතනවා. ඒක එහෙමද? එහෙම වෙන්න පුළුවන්. හැබැයි මේක විෂයමූලික කරුණක්. 

හිටපු අධිපතිවරයා වැඩ භාර ගනිද්දීත් ගොඩක් අය ඒක දැක්කේ හොඳ තත්ත්වයක් විදිහට. ඊට කලින් ජනාධිපතිවරයා හදිසියේ මහ බැංකුවට කඩා පාත් වෙලා තගක් දාපු වෙලාවෙත් ගොඩක් අය හුරේ දැම්මා. ඒ වගේම, මහ බැංකුවේ නිලධාරීන් විසින්ද මාධ්‍ය ඉදිරියට ඇවිත් මුදල් මණ්ඩල තීරණ සාධාරණීකරණය කළ අවස්ථා තිබුණා. ඒ ඔළුවට පිස්තෝල තියලා තිබුණු නිසාද? සියඹලා ඔක්කොම ගෙනාවේ මුදල් මණ්ඩලයද? ඔය හැම දෙයක්ම ප්‍රශ්න වෙලා තියෙන්නේ රට බංකොලොත් වුණාටත් පස්සේ. එහෙමනම් දැන් කරන දේවල් හරි දේවල්ම නෙමෙයි කියලා පසුව පේන එකක් නැහැ කියලා තියෙන සහතිකය මොකක්ද?

සද්භාවයෙන් ගන්නා තීරණ වුවත් වැරදි තීරණ බව පසුව පේන්න පුළුවන්. තනි පුද්ගලයින් ගැන විශ්වාසය තියන එකේ තිබෙන ප්‍රශ්නය ඕකයි. හැමදාම හොඳ මිනිස්සු, දක්ෂ මිනිස්සු හොයන්න වෙනවනම්, එහෙම අය හොයා ගන්න බැරි වුණාම වැඩේ අවුල් වෙනවානම් එතැන තියන්නේත් ක්‍රමවේදයේ ප්‍රශ්නයක්. වෙනස් වෙන්න ඕනෑ මේ ක්‍රමවේදයයි. ක්‍රමවේදය හරිනම් කවුරු ආවත් වැඩේ හරියට කෙරෙන්න ඕනෑ. 

මහ බැංකුවට වගේම අනෙක් රාජ්‍ය ආයතන වලටත් මෙය අදාළයි. සමහර අය කියන විදිහට ඒ අය ඒ ආයතන පාලනය කරද්දී ආයතන ලාබ පෙන්නලා. හැබැයි දැන් නැහැ. ඒ කියන්නේ ලාබ පෙන්නුවේ රහසිගත මැජික් වට්ටෝරුවකට අනුවද? ඒක "පරම්පරාවෙන්" පිට නොදෙන ගුරු මුෂ්ඨියක්ද?

එහෙම පාඩු ලබන රාජ්‍ය ආයතන ලාබ ලබන ආයතන කළ හැකි අත් දුටුවයි සත්තයි ක්‍රමයක් කවුරු හරි දන්නවනම්, රටට හා ජනතාවට ආදරේකුත් තියෙනවානම්, තමන්ටම වැඩේ භාර දෙන්න කියා ඉල්ලන්නේ නැතිව ක්‍රමේ කියන එකයි කරන්න තියෙන්නේ. ක්‍රමේ හරිනම් කවුරු කළත් හරියන්න ඕනෑ. එහෙම ක්‍රමයක් නැත්නම් වැඩ කරලා තියෙන්නේ කණාපල්ලමක්ද කියලා අපි දන්නේ කොහොමද?

මහ බැංකුවට නැවත ආවොත් දැන් අධිපතිවරයා විසින් හෝ අනාගත අධිපතිවරයෙක් විසින් නිලධාරීන් කියන දේ නොසලකා හැරලා රටම අමාරුවේ දමන්න තියෙන ඉඩකඩ සීමා කර ගත හැක්කේ කොහොමද? එවැනි අයෙක් සද්භාවයෙන් ගන්නා තීරණයක් වැරදිලා වීරයා එක රැයකින් ද්‍රෝහියෙක් වෙන්න තිබෙන ඉඩකඩ වලක්වා ගත හැක්කේ කොහොමද? මෙය කළ හැක්කේ පාරදෘශ්‍ය වීමෙන් පමණයි. 

ඇමරිකාවේනම් "මුදල් මණ්ඩලයේ" සෑම රැස්වීමකින් පසුවම රැස්වීම් වාර්තා ප්‍රසිද්ධ කරනවා. එහිදී එක් එක් සාමාජිකයා අදාළ යෝජනාවට පක්ෂ වූයේද විරුද්ධ වූයේද යන්න පැහැදිලිව ජනතාවට දැනගත හැකියි. ඒ වගේම නිලධාරී මට්ටමේ යෝජනා හා පුරෝකථන මොනවාද කියන එකත්, එක් එක් "මුදල් මණ්ඩල" සාමාජිකයා විසින් ආර්ථිකය සම්බන්ධව වෙන වෙනම කරන පුරෝකථන මොනවාද කියන එකත් පැහැදිලිව දැනගත හැකියි. ඒ නිසා, තනි වැඩි ඡන්දයකින් බරපතල තීරණයක් ක්‍රියාත්මක කරන වෙලාවක රටේ මිනිස්සුන්ට ඒ බව ක්ෂණිකව දැනගෙන කරන දෙයක් කරන්න පුළුවන්. මම හිතන්නේ ලංකාවටත් එවැනි පාරදෘශ්‍යතාවයක් අවශ්‍යයි.

Tuesday, May 24, 2022

මහ බැංකුව කඩා කරන්සි බෝඩ් එකක් හැදීම


කරන්සි බෝඩ් එකක් කියන්නේ මොකක්ද කියලා ගොඩක් අය අහලා තිබුණා. මේ ගැන ගොඩක් අයට කුතුහලයක් ඇති වුනේ ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් සරසවියේ මහාචාර්ය ස්ටීව් හැන්කි විසින් ශ්‍රී ලංකා මහ බැංකුව විසුරුවා හැරලා කරන්සි බෝඩ් එකක් හැදිය යුතු බව ට්විටර් හරහා ප්‍රචාරය කළාට පස්සේ.

ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටෙවුවේ 1950දී. ඊට කලින් ලංකාවේ තිබුණේ කරන්සි බෝඩ් එකක්. මහ බැංකුවක් හා කරන්සි බෝඩ් එකක් අතර වෙනස කුමක්ද?

කරන්සි බෝඩ් එකකින් කරන්නෙත් මහ බැංකුවකින් වගේම රටට අවශ්‍ය මුදල් ප්‍රමාණය නිකුත් කරන එක. හැබැයි කරන්සි බෝඩ් එකකට හිතේ හැටියට සල්ලි අච්චු ගහන්න බැහැ. පැහැදිලි කිරීමේ පහසුවට මම සරල කරන්සි බෝඩ් ආකෘතියක් ගැන කතා කරන්නම්. වඩා සංකීර්ණ ආකෘති තිබෙනවා. හැන්කි කතා කරන්නෙත් සරල ආකෘතියක් ගැන.

මහ බැංකුවක් වුනත්, කරන්සි බෝඩ් එකක් වුනත්, සල්ලි අච්චු ගහලා මිනිස්සුන්ට නිකම් බෙදාගෙන යන්නේ නැහැ. සල්ලි ආර්ථිකයට මුදා හරින ක්‍රමවේදයක් තියෙනවා. හැන්කි යෝජනා කරන ආකෘතිය ඇතුළේ ලංකාවේ කරන්සි බෝඩ් එකක් හැදුවොත් මේ විදිහට රුපියල් නිකුත් කරන්නේ ඩොලර් එක්ක හුවමාරුවට. ඒ වැඩේ කරන්න මුලින්ම විණිමය අනුපාතයක් නියම කරන්න වෙනවා. ඊට පස්සේ ඒ විණිමය අනුපාතය වෙනස් කරන්නේ නැහැ.

අපි හිතමු ඩොලර් එකක් රුපියල් 400යි කියලා නියම කළා කියලා. දැන් ඕනෑම කෙනෙකුට මහ බැංකුවට ඩොලර් එකක් දීලා රුපියල් 400ක් ලබා ගන්න පුළුවන්. මහ බැංකුවට දීලා කිවුවත් බැංකුවක් හරහා වක්‍ර ලෙස ඔය වැඩේ වෙන්න පුළුවන්. ඒ වගේම රුපියල් 400 දීලා ඩොලර් එකක් ආපහු ගන්නත් පුළුවන්. 

දැන් මේ ක්‍රමයට හැම වෙලාවේම මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන රුපියල් ප්‍රමාණයට අනුරූප ඩොලර් ප්‍රමාණයක් සංචිත විදිහට තිබෙනවා. මහ බැංකුවේ ඩොලර් සංචිත අඩු වුනොත් රටේ සංසරණය වන රුපියල් ප්‍රමාණයත් අඩු වෙනවා. වැඩි වුනොත් වැඩි වෙනවා.

මේ ක්‍රමය යටතේ රටේ බඩු මිල ඉහළ යන්නේ ජාත්‍යන්තර ලෙස බඩු මිල ඉහළ යන විදිහටයි. වඩා නිවැරදිව කිවුවොත් ඇමරිකාවේ බඩු මිල ඉහළ යන විදිහටයි. ඇමරිකාවේ තෙල් මිල ඉහළ යද්දී ලංකාවේ තෙල් මිලත් ඒ අනුපාතයෙන්ම ඉහළ යනවා. අඩු වෙද්දී අඩු වෙනවා. ඒ කියන්නේ ලංකාවේ උද්ධමනයත් ඇමරිකාවේ උද්ධමනයට සමානයි (විවිධ හේතු නිසා මේක වෙනස් වෙනවා. දැනට ඒ දේවල් නොසලකා හරිමු).

වෙනත් විදිහකින් කිවුවොත් රුපියල බාල්දු වෙන්නේ ඇමරිකන් ඩොලරය බාල්දු වුනොත් විතරයි. විණිමය අනුපාතය වෙනස් වෙන්නේ නැත්නම් එහෙම වෙන්න ඕනෑනේ. බඩු මිල කීය වුනත් රුපියලට සත සීයයි වගේ ඩොලරයට රුපියල් හාර සීයයි.

මහ බැංකුවක් කරන්සි බෝඩ් එකකින් වෙනස් වෙන්නේ කොහොමද?

ඔය කලින් විස්තර කරපු කරන්සි බෝඩ් එකක් කරන හැම දෙයක්ම මහ බැංකුවත් කරනවා. ඒ කියන්නේ ඩොලර් දුන්නොත් රුපියල් දෙනවා. හැබැයි ඊට අමතරව මහ බැංකුවක් විසින් රජයෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගෙන ඒ වෙනුවෙනුත් රුපියල් දෙනවා. කරන්සි බෝඩ් එකක් ඔය වැඩේ කරන්නේ නැහැ.

කවුරුහරි ඩොලර් දීලා රුපියල් ගන්නම් ඒ ඩොලර් මොන විදිහකින් හෝ උපයන්න වෙනවා. ඒ නිසා, කරන්සි බෝඩ් ක්‍රමයේදී රුපියල් ප්‍රමාණය ඉහළ යන්නේ රටේ විදේශ විණිමය ඉපැයීම් ඉහළ යන්නේනම් පමණයි. නමුත් මහ බැංකු ක්‍රමයේදී එහෙම ප්‍රශ්නයක් නැහැ. රජයට ආදායම ඉක්මවා වියදම් කරලා අඩුව පුරවා ගන්න මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් විකුණන්න පුළුවන්. "සල්ලි අච්චු ගැසීම" කියා කියන්නේ ඔය වැඩේට. 

මේ ක්‍රමයේදී රටේ සංසරණය වන රුපියල් ප්‍රමාණය මහ බැංකුවේ තිබෙන විදේශ සංචිත ප්‍රමාණයේ රුපියල් වටිනාකමට වඩා ඉහළ යනවා. ඒ කියන්නේ රටේ හැමෝම තමන් අතේ තිබෙන රුපියල් දීලා මහ බැංකුවෙන් ඩොලර් ඉල්ලුවොත් දෙන්න ඩොලර් මහ බැංකුවේ නැහැ. ඒ නිසා, මහ බැංකුවට ඩොලරයක මිල ඉහළ යන්න දෙන්න වෙනවා. රජය මහ බැංකුවට වැඩි වැඩියෙන් භාණ්ඩාගාර බිල්පත් විකුණද්දී ඩොලරයක මිලත් තව තව ඉහළ යනවා. උද්ධමනයත් වැඩි වෙනවා.

හැන්කි මහ බැංකුව විසුරුවලා කරන්සි බෝඩ් එකක් හදන්න කියන්නේ මේ ප්‍රශ්න විසඳගන්න. ඒ කියන විදිහට කරන්සි බෝඩ් එකක් හැදුවොත් විසඳෙන ප්‍රශ්න මොනවාද?

- ඩොලරයක මිල වෙනස් වෙන්නේ නැහැ. ස්ථිරව තිබෙනවා 

- උද්ධමනය ඇමරිකාවේ උද්ධමනයට වඩා වැඩි වෙන්නේ නැහැ 

- "සල්ලි අච්චු ගැසීමක්" නැති නිසා රජයට ආදායම හා වියදම ගලපා ගන්නම වෙනවා


වැඩේ හොඳයි. හැබැයි ප්‍රශ්නය ඕක කරන්නේ කොහොමද කියන එකයි. මේ වගේ වැඩක් කළ හැකි ක්‍රම දෙයක් තිබෙනවා.

- දැන් තියෙන මහ බැංකුව කරන්සි බෝඩ් එකක් බවට පරිවර්තනය කිරීම 

- අලුතෙන්ම කරන්සි බෝඩ් එකක් හැදීම 


ඔය විකල්ප දෙක ගැන අපි වෙන වෙනම කතා කරමු.

පළමු විකල්පයේදී දැන් සංසරණයේ තිබෙන රුපියල් වල වටිනාකම එලෙසම ඉතිරි වෙනවා. දැනට මහ බැංකුව විසින් ආසන්න වශයෙන් රුපියල් බිලියන 1,500ක් පමණ නිකුත් කර තිබෙනවා. ඒ අනුව, මහ බැංකුව කරන්සි බෝඩ් එකක් කරන්නනම් මේ රුපියල් ප්‍රමාණයට අනුරූප ඩොලර් ප්‍රමාණයක් මහ බැංකුවට සංචිත තියා ගන්න වෙනවා. ඩොලර් ප්‍රමාණය තීරණය වෙන්නේ නියම කරන විණිමය අනුපාතය මත.

මේ විණිමය අනුපාතය රුපියල් 375ක් කියා අපි හිතමු. ඒ කියන්නේ ඩොලර් බිලියන 4ක් තියෙනවානම් වැඩේ කරන්න පුළුවන්. නමුත් ප්‍රශ්නය මේ වන විට මහ බැංකුව සතු සංචිත කිසිවක් නැති වීමයි. මහ බැංකුව තවත් ඩොලර් බිලියන 4ක් ණයයි (දැන් මේ ගණන මීට වඩා වැඩි වෙන්න පුළුවන්). ඒ කියන්නේ, ඩොලරයක මිල රුපියල් 375 මට්ටමේ තියාගෙන ඔය වැඩේ කරන්නනම් මහ බැංකුවට ඩොලර් බිලියන 8ක් හොයා ගන්න වෙනවා. 

අපි හිතමු ඩොලරයක මිල රුපියල් 750 වෙන්න ඇරලා වැඩේ පටන් ගන්නවා කියලා. දැන් සංචිත අවශ්‍ය වෙන්නේ ඩොලර් බිලියන 2ක් පමණයි. හැබැයි ණය ටිකත් එකතු කළාම ඩොලර් බිලියන 6ක් ඕනෑ වෙනවා. ඩොලර් මිලියන 78ක කූපන් පොලී ගෙවාගන්න බැරුව, වරායට ඇවිත් තියෙන නැව් වල තියෙන තෙල් වලට ගෙවන්න ඩොලර් නැතුව ඔය වැඩේ කරන්නේ කොහොමද? මේ වැඩේ කරන්න පුළුවන් ක්‍රමයක් මටනම් තේරෙන්නේ නැහැ.

දෙවෙනි ක්‍රමය අලුතෙන්ම කරන්සි බෝඩ් එකක් හදන එක. කැමති වුනත්, නැති වුනත්, වෙන්න තියෙන නරකම දේ වුනොත් ඊට පස්සේ කොහොමටත් කරන්න වෙන්නේ ඔය වැඩේ තමයි. 

වෙන්න තියෙන නරකම වැඩේ කියලා මම කිවුවේ සිම්බාබ්වේ වල වුනා වගේ රුපියල් වල කිසිම වටිනාකමක් නැති වීම. ඒ කියන්නේ මහ බැංකුව කොහොමත් කඩා වැටිලා. මිනිස්සු රුපියල් වෙනුවට ගනුදෙනු සඳහා වෙන වෙන දේවල් භාවිතා කරනවා. ඔය වගේ තැනකට වැටුනොත් ආපහු මුල ඉඳන් පටන් ගන්න වෙන්නේ කරන්සි බෝඩ් එකකින්. කාට හරි රුපියල් අවශ්‍යනම් මොනවා හෝ අපනයනය කරලා ඩොලර් හොයන්න වෙනවා. 

බය කරන්න හදනවා නෙමෙයි. ළඟ පාතක වෙන්න තියෙන දේකුත් නෙමෙයි. හැබැයි කොහෙත්ම වෙන්න බැරිම දේකුත් නෙමෙයි. අපි හිතමු රුපියල වැඩකටම නැති වුනා කියලා. ලංකාවේ මිනිස්සු ගනුදෙනු සඳහා මොනවා යොදා ගනියිද? 

ඔය වගේ දෙයක් වුනොත් ලංකාවේ රුපියල් වෙනුවට ඇමරිකන් ඩොලර් ආදේශ වෙන්නේ නැහැ. චීන යුවාන් ආදේශ වෙන්නෙත් නැහැ. ඔතැනට අනිවාර්යයෙන්ම ආදේශ වෙන්නේ ඉන්දියානු රුපියල්. රුපියල බිංදුවටම කඩා නොවැටුණත්, තව ටිකක් දුර්වල වුනොත් ලංකාවේ සංසරණයට ඉන්දියානු නෝට්ටු එන්නේ නැද්ද කියලා බලන්න. සමහර විට ඉන්දියාව දැනටමත් ඒ තරමටම දුර බලලා වෙන්න පුළුවන්. යම් විදිහකින් ලංකාවේ කරන්සි බෝඩ් එකක් හැදුනත් ප්‍රායෝගිකව ලංකාවේ රුපියල අමුණන්න වෙන්නේ ඉන්දියාවේ රුපියලට.

Sunday, May 22, 2022

ගොඩයන එක ලේසි නැත්තේ ඇයි?


දැන් කරගෙන යන විදිහට ඉස්සරහට ගියොත් අවුරුදු එකහමාරකින් පසුව රටේ තත්ත්වය හොඳ අතට හැරෙයි කියලා ගොඩක් අයට අහිංසක බලාපොරොත්තුවක් තිබෙනවා. ඒක කීයටවත්ම වෙන්න විදිහක් නැහැ කියලා මම කියන්නේ නැහැ. නමුත් ඔය අහිංසක බලාපොරොත්තුව ඉටු නොවෙන්න තිබෙන ඉඩකඩ වඩා වැඩියි. 

පළමුවෙන්ම කිව යුත්තේ මේ හොඳ අතට හැරීම කියා කියන්නේ යහපාලන ආණ්ඩුව කාලයේ තිබුණු තත්ත්වය මිසක් රාජපක්ෂ දශකයේ තිබුණු තත්ත්වය හෝ ගෝඨාභය ඇවිත් හදයි කියා හිතාගෙන හිටපු තත්ත්වය නොවන බවයි. ඒ සෞභාග්‍යයනම් ආයේ එන්නේ නැහැ.

අපේ ගොඩක් පෞද්ගලික මිත්‍රයෝ ඉන්නවා ඉදිකිරීම් ක්ෂේත්‍රය හරහා ගොඩ ගිය හා තවමත් එම ක්ෂේත්‍රයේ නිරතව ඉන්න. පසුගිය රාජපක්ෂ දශකය ඒ අයට හොඳ කාලයක්ව තිබුණා. යහපාලන කාලයේ ඔවුන්ගේ තත්ත්වය සාපේක්ෂව නරක අතට හැරුණා. මම මේ කියන්නේ ආණ්ඩුව එක්ක කිසිම සම්බන්ධයක් නොතිබුණු, පැත්තකට වෙලා තමන්ගේ පාඩුවේ ව්‍යාපාරය කරගෙන ගිය අය ගැන. 

දැන් මේ අය කබලෙන් ලිපට වැටිලා. දැනට ඉදිකිරීම් ක්ෂේත්‍රයට හිතා ගන්න හෝ පුළුවන් හොඳම තත්ත්වය ලිපෙන් නැවත කබලට යන එකයි. තවත් ඇතැම් අංශ හා අදාළව වුවත්, තත්ත්වය මේකයි. ප්‍රශ්නය ඒකවත් කර ගන්න පුළුවන් වෙයිද කියන එකයි. 

ස්ටීව් හැන්කි කියන විදිහට මේ වෙද්දී ලංකාව මාරාන්තික සුළියකට (ඔහුගේ වචනය death spiral) අසු වී සිටිනවා. ඔහු කියන හැම දෙයක් ගැනම මා එකඟ නැතත්, මේ කතාව පදනමක් නැති කතාවක් නෙමෙයි. 

ලංකාව සුළියට දැනටමත් අසු වී සිටියත් නැතත් සුළිය අද්දර සිටින බවනම් ඉතාම පැහැදිළියි. එසේ කීමෙන් මා කරුණු දෙකක් අදහස් කරනවා. පළමුවැන්න, සුළියට අසුවීමේ දැවැන්ත හානිය තවමත් සිදුව නැති බවයි. සුළියක මැද හා කෙළවර අතර වෙනස ඔබ දන්නවා. දෙවැන්න, මේ සුළියට අසු නොවී බේරී සිටීමේ අවසන් අවස්ථාව බොහෝ විට මේ වන විටද පසු වී ඇති බවයි. 

දැන් අපි රනිල් කියන පාලමෙන් එගොඩ කරන කතාවට හෝ මහ බැංකු අධිපති විසින් කියන ආර්ථිකය පිළිසකර කිරීම වෙත යමු. මහ බැංකුව විසින් මේ වන විට ඩොලරයක මිල රුපියල් 360 මට්ටමේත්, භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික 24% මට්ටමේත් නඩත්තු කිරීමට උත්සාහ ගනිමින් සිටිනවා. එහි ශක්‍යතාවය හා අපේක්ෂිත ප්රතිඵල ගැනත්, වෙනත් විකල්ප ගැනත් අපි දැන් විමසා බලමු.

මීට සති දහයකට පමණ පෙර ඩොලරයක මිල තිබුණේ රුපියල් 200 ආසන්න මට්ටමකයි. දැන් එම මිල 80%කින් ඉහළ ගිහින්. මහ බැංකු අධිපතිවරයා හිතන විදිහට මේ මිල ඕනෑවට වඩා වැඩි මිලක්. එම මිල අඩු විය යුතුයි. හිටපු අධිපති කුමාරස්වාමි විසින්ද මේ අදහස පළ කර තිබුණා. එසේ කියන්නට තර්කානුකූල හේතුත් තිබෙනවා.

අඩු වෙන එක කොහොම වෙතත්, ඩොලරය දැනට තිබෙන රුපියල් 360 මට්ටමේ තවත් මාස හත අටක් තියා ගත්තා කියා හිතමු. ඩොලරය වැඩි වූ නිසා ආනයනික බඩු වල මිල දැනටමත් අනුපාතිකව වැඩි වෙලා කියා හිතුවොත් ඩොලරය වැඩි නොවන්නේනම් එම මිල දිගින් දිගටම වැඩි වෙන්න හේතුවක් නැහැ.

දැන් අපි උද්ධමනය පැත්තටම එමු. මහ බැංකුව පැත්තෙන් කියවෙන්නේ උද්ධමනය 40% පමණ මට්ටමකට යා හැකි බවයි. ඒ මට්ටමට උද්ධමනය යනවා කියා කියන්නේ පසුගිය දෙවසර තුළ අච්චු ගහපු සල්ලි ටිකට හරියන්න උද්ධමනය වැඩි වෙලා කියන එකයි. එහෙමනම්, දිගින් දිගටම සල්ලි අච්චු ගැහුවේ නැත්නම්, උද්ධමනය ටිකෙන් ටික අඩු වෙලා යා යුතුයි. අධි උද්ධමනයක් ඇති වෙන්න හේතුවක් නැහැ. ඒ නිසාම, විණිමය අනුපාතය මත පීඩනයක් ඇති වෙන්න හේතුවකුත් නැහැ.  ස්ටීව් හැන්කි කියන "මාරාන්තික සුළියට" අහුවෙන්න හේතුවක් නැහැ. අවුරුද්දක් එකහමාරක් යද්දී නැවත 2019ට ආපසු යාමේ අහිංසක සිහිනය සැබෑ වෙනවා.

නමුත් මෙතැන තියෙන කොස්ස ඔය ඉලක්කය කරා යන්න හදන්නේ මහා පරිමාණයෙන් සල්ලි අච්චු ගසමින් වීමයි. ඒ කියන්නේ උද්ධමනයට අලුතෙන් තව තවත් ගෑස් ගහනවා කියන එකයි. උද්ධමනය හිතන තරම් ලේසියෙන් හෝ ඉක්මණින් අඩු වෙන්නේ නැහැ කියන එකයි. ඩොලරයක මිල මත පීඩනයද තවත් වැඩි වෙනවා කියන එකයි. ඒ කියන්නේ හැන්කි කියන මාරාන්තික සුළිය ඇතුළේ කැරකෙනවා කියන එකයි. මෙයින් බේරෙන්න මහ බැංකුව විසින් දැනට නොකරන, මහ බැංකුවට කළ හැකි දෙයක් තිබෙනවාද?

මේ වෙද්දී ඩොලරයක මිල රුපියල් 360 මට්ටමේ තියෙන්නේ මහ බැංකුව විසින් එය පාලනය කරන නිසා. එය කාට වුනත් පැහැදිලි විය යුතුයි. ඩොලරයක මිල රුපියල් 200 මට්ටමේ හිර කරගත් තැන් සිට අද දක්වාම ලංකාවේ පාවෙන විණිමය අනුපාතයක් නොතිබුණු බව මම දිගටම කියා තියෙනවනේ. ඩොලරයක මිල ටිකෙන් ටික වැඩි වෙන්න ඉඩ ඇරියා මිසක් මහ බැංකුව ඩොලරය පා කළේ නැහැ. ඩොලරය පා කරන්න පුළුවන් වුනානම් කොහොමටත් ඩොලර් ප්‍රශ්නයක් නැහැ. නමුත්, ඒ වැඩේ කරගන්න පුළුවන් වුනේ නැහැ. 

ඩොලරය පා කරනවා කියන්නේ ඩොලරයක මිල ඉල්ලුම හා සැපයුම මත තීරණය වනවා කියන එකයි. ඒ කියන්නේ රටේ ඩොලර් හිඟයක් හෝ අතිරික්තයක් නැහැ කියන එකයි. තවමත් රටේ විශාල ඩොලර් හිඟයක් තියෙනවා කියන්නේ ඩොලර් සැපයුමට වඩා ඩොලර් ඉල්ලුම වැඩියි කියන එකයි. ඒ දෙක සමතුලිත වෙන්නනම් මිල තවත් වැඩි විය යුතු බවයි. එහෙමනම්, වත්මන් අධිපතිවරයා, හිටපු අධිපති කුමාරස්වාමි වගේ අය ඩොලරයක මිල ඕනෑවට වඩා වැඩියි කියා කියන්නේ ඇයි? 

හිටපු අධිපති කබ්රාල් ඩොලරය රුපියල් 200 මට්ටමේ තියාගෙන සිටිමින් කිවුවේත් ඔය වගේම කතාවක්. ඒක පැත්තකින් තියමු. ඩොලරයක මිල තිබිය යුත්තේ දැන් මිලට වඩා පහළින් කියා විවිධ ආර්ථික විද්‍යා න්‍යාය ඇසුරෙන් කියන්න පුළුවන්. හැබැයි එහෙම කිවුවා කියලා ඩොලරයක මිල පහළ යන්නේ නැහැ. එවැන්නක් වෙන්නේ ඒ ආර්ථික විද්‍යා න්‍යාය මත පදනම්ව හෝ වෙන හේතු මත පදනම්ව ඩොලරයක මිල තිබිය යුත්තේ දැන් මිලට වඩා පහළින් කියා වෙළඳපොළ ඩොලර් ගනුදෙනුකරුවන් විශ්වාස කරනවානම් පමණයි. දැන් එවැනි තත්ත්වයක් නැහැ. 

කුමක් හෝ හේතුවක් නිසා ඩොලරයක වෙළඳපොළ මිල හා පවතින මිල එකක් නොවන බව මහ බැංකුව හිතනවානම් මහ බැංකුවට මැදිහත් වී මිල පාලනය කළ හැකියි. මිල අඩු විය යුතුයි කියා හිතනවානම් සංචිත විකුණා සැපයුම වැඩි කිරීම මගින් අඩු මිලකදී ඉල්ලුම හා සැපයුම සමතුලිත කළ හැකියි. මේ වෙලාවේ මහ බැංකුවේ සංචිත නැට්ටටම හිඳිලා නිසා ඒ වැඩේ කරන්න බැහැ. ඒ නිසා, මහ බැංකුව මොන විදිහට හිතනවාද කියන එකේ බලපෑම ඉතා සීමිතයි. 

මිල වැඩියි වගේ පෙනුණත් මහ බැංකුවට සංචිත විකුණා ඩොලරයක මිල අඩු කරන්න බැරි බව මේ වෙලාවේ ඩොලර් අතේ තියෙන අය දන්නවා. ඒ නිසා, ඒ අයට තමන්ගේ ඩොලර් වෙනුවෙන් ඉහළ මිලක් අර්පණය කළ හැකියි. ගන්නවානම් ගනිල්ලා. ඕකයි ගාණ!

දැන් ඩොලර් අවශ්‍ය අයට ඔය මිල දීලා ඩොලර් ගන්න වෙනවා. ගාණ වැඩියි වගේ වුනත්, මේ වෙලාවේ තමන්ගේ උදවුවට මහ බැංකුව එන්නේ නැති බව දන්නා නිසා, කියන ගාණට ඩොලර් ගන්නවා හැර වෙන විකල්පයක් නැහැ. හැබැයි ඔය විදිහට වැඩි මිලට ඩොලර් ගන්න කවුරුවත් නැත්නම් වැඩි මිලට විකුණන්න පුළුවන් වෙන්නේත් නැහැ.

ලංකාවේ මිනිස්සුන්ට කන්න හාල් ඕනෑ. රටේ හාල් නිෂ්පාදනය අඩු වෙද්දී හාල් මිල ඉහළ යනවා. මිල ඉහළ ගියත් කීයක් හරි දීලා හාල් ගන්නම වෙනවා. ඒ නිසා, ආනයනික හාල් වලට ඉල්ලුමක් හැදෙනවා. හාල් ආනයනය කරන්න ඩොලර් ඕනෑ. ඒ ඕනෑ කරන ඩොලර් ටික බැංකුවෙන් දෙන්නේ නැත්නම් කීයක් හරි දීලා පිටින් ඩොලර් ගන්න වෙනවා. ඒ විදිහට වැඩි මිලට ඩොලර් අරගෙන හාල් ආනයනය කළත් විකුණලා ලාබ ගන්න පුළුවන්නම් කවුරු හරි ඔය වැඩේට අත ගහනවා. බැංකු පද්ධතියට පිටින් වැඩි මිලට ඩොලර් ගන්න ඉල්ලුමක් ඇති වෙනවා. ඒ නිසාම, වැඩි මිලට ඩොලර් විකුණන්නත් අවස්ථාවක් ලැබෙනවා. කීයක් හරි දීලා අයිෆෝන් එකක් ගන්න අය හිටියත් වෙන්නේ ඕකයි. 

රට ඇතුළේ ඩොලර් සැපයුමට වඩා ඩොලර් ඉල්ලුමක් තිබෙන තුරු, මහ බැංකුවට විකුණන්න සංචිතත් නැත්නම්, මිල ඉහළ යන එක වලක්වන්න බැහැ. මහ බැංකුව ඒ වැඩේ කරන්න හදනවා කියන්නේ උන්ඩියල් ඉල්ලුම තවත් ඉහළ යනවා කියන එකයි. 

මහ බැංකුවට විකුණන්න සංචිත නැති බව කවුරුත් දන්නවනේ. එහෙමනම් දැන් මට්ටමේ හෝ ඉහළ මට්ටමක ඩොලරයක මිල ස්ථාවර විය හැක්කේ එක්කෝ ඉල්ලුම අඩු වුනොත්. නැත්නම් ඩොලර් සැපයුම අඩු වුනොත්. පහත තියෙන්නේ පසුගිය වසර කිහිපයක පළමු මාස තුනේදී ඩොලර් ලැබීම් හා ගෙවීම් පිළිබඳ සාරාංශයක්. මෙය දැන් වැඩි දෙනෙක් කියවන්නේ වියුණුව හරහා නොවන නිසා මම වගුවක් හදන්නේ නැතිව වත්පොතට ගැලපෙන විදිහට සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කරන්නම්.

ආනයන වියදම් (පළමු මාස තුන, ඩොලර් මිලියන)

2017 - (5,279)

2018 - (5,971)

2019 - (4,817)

2020 - (4,503)

2021 - (5,041)

2022 - (5,651)

මොන තරම් ආනයන සීමා දැම්මත්, මිල ඉහළ ගියත්, ආනයන වියදම් ඒ තරම්ම අඩු වී නැති බව පේනවනේ. දැන් මේ සල්ලි හොයා ගත්තේ කොහොමද?

අපනයන ආදායම් (පළමු මාස තුන, ඩොලර් මිලියන)

2017 - 2,774

2018 - 2,989

2019 - 3,156

2020 - 2,650

2021 - 2,982

2022 - 3,249

යම් වැඩි වීමක් තිබුණත්, අපනයන ආදායම් වලත් විශාල වෙනසක් වී නැති බව පැහැදිලි විය යුතුයි. ඩොලර් එකක මිල ඉහළ ගියා කියලා ක්ෂණිකව විශාල ලෙස ආනයන ඉහළ යන්නේ හෝ අපනයන පහළ යන්නේ නැහැ. අලුත් තත්ත්වයෙන් වාසි ලබමින් අපනයන නිෂ්පාදන කර්මාන්ත හා ආනයන ආදේශක කර්මාන්ත බිහිවෙන්න වසර ගණනාවක් යනවා. ඒ නිසා, රුපියල් 200 මට්ටමේ තිබෙන ඩොලර් එක රුපියල් 360 වෙන්න ඇරියා කියලා ක්ෂණිකව වෙළඳ ශේෂයේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඩොලරය තව වැඩි වුනත් එච්චරයි. වසර ගණනක් ඩොලරයක මිල ඉහළින් තියාගත්තොත් තත්ත්වයේ වෙනසක් වෙයි. 

වෙළඳ ශේෂය (පළමු මාස තුන, ඩොලර් මිලියන)

2017 - (2,505)

2018 - (2,982)

2019 - (1,661)

2020 - (1,853)

2021 - (2,959)

2022 - (2,402)

(වරහන් ඇතුළේ තියෙන්නේ සෘණ ගණන්)

වෙළඳ ශේෂය ඩොලර් බිලියන දෙකකට ආසන්න සෘණ අගයක් වුවත් ලංකාවේ සමස්ත ගෙවුම් ශේෂය බොහෝ විට සමතුලිත වුනා. ඒ වෙන ක්‍රම වලින් රටට ඩොලර් ආපු නිසා.

ගෙවුම් ශේෂය (පළමු මාස තුන, ඩොලර් මිලියන)

2017 - (176)

2018 - (311)

2019 - 912

2020 - 143

2021 - (1,101)

2022 - (2,269)

(වරහන් ඇතුළේ තියෙන්නේ සෘණ ගණන්)

පසුගිය දෙවසර තුළ ගෙවුම් ශේෂය මේ තරම්ම අර්බුදයට ගියේ ඇයි කියන එක පහත සංඛ්‍යාලේඛණ බැලුවහම පැහැදිලි වෙයි.

සංචාරක ඉපැයීම් (පළමු මාස තුන, ඩොලර් මිලියන)

2017 - 1,122

2018 - 1,313

2019 - 1,390

2020 - 682

2021 - 13

2022 - 513

ශ්‍රමික ප්‍රේෂණ (පළමු මාස තුන, ඩොලර් මිලියන)

2017 - 1,911

2018 - 1,979

2019 - 1,617

2020 - 1,600

2021 - 1,867

2022 - 783

දිගින් දිගටම වුනත් රටක වෙළඳ ශේෂයේ හිඟයක් තියෙන එක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ඒ අඩුව වෙන ක්‍රමයකින් පියවෙන්න ඕනෑ. ඒ වෙන ක්‍රමය ණය ගැනීම නොවිය යුතුයි. 2020 පළමු මාස තුනේදී සංචාරක ඉපැයීම් වලින් බාගයක්ම අඩු වෙලා තිබුණත් ගෙවුම් ශේෂ හිඟයක් තිබුණේ නැහැ. ඒ ශ්‍රමික ප්‍රේෂණ ටික හරියට ලැබුණු නිසා. 2021දීත් ශ්‍රමික ප්‍රේෂණ ටික ලැබුණා. නමුත් සංචාරක ආදායම් නැත්තටම නැති වුනා. ඒ නිසා ගෙවුම් ශේෂ හිඟය සැලකිය යුතු ලෙස ඉහළ ගියා. 

මේ අවුරුද්දේ මුල් මාස තුනේදී සංචාරක ඉපැයීම් ටිකක් ඉහළ ගිහින් තිබුණත් තවමත් 2017-2019 මට්ටමෙන් බාගයක්වත් සංචාරකයෝ එන්නේ නැහැ. ඊටත් වඩා ලොකුම හා අලුත්ම ප්‍රශ්නය ශ්‍රමික ප්‍රේෂණ විශාල ලෙස පහත වැටී තිබීමයි. ඔය ආදායම් මාර්ග දෙක හරියට තිබුණානම් අනාගතය දිහා ටිකක් හරි සුබවාදී විදිහට බලන්න තිබුණා.

මේ වසරේ පළමු මාස තුනේ සංචාරක ඉපැයීම් වල ක්‍රමික වැඩි වීමක් පෙනෙන්න තිබුණා. අප්‍රේල් මාසයේ රටේ පැවති තත්ත්වයන් එක්ක දැන් ඒ ප්‍රවණතාව ආපහු හැරිලා. ඒ විතරක් නෙමෙයි. මාර්තු මාසයේදී ඉහළ ගිය ශ්‍රමික ප්‍රේෂණත් නැවත පහළ ගිහින්.

සංචාරක ඉපැයීම් (ඩොලර් මිලියන)

2022 ජනවාරි - 148

2022 පෙබරවාරි - 174

2022 මාර්තු - 192

2022 අප්‍රේල් - 113

ශ්‍රමික ප්‍රේෂණ (ඩොලර් මිලියන)

2022 ජනවාරි - 259

2022 පෙබරවාරි - 205

2022 මාර්තු - 318

2022 අප්‍රේල් - 249

කොහෙන් හෝ ඩොලර් ටිකක් හොයාගෙන ලයිට් කැපෙන එක නවත්තලා, රටේ තත්ත්වයත් සාමකාමීව පැවතුණොත් සංචාරක ආදායම් ටිකක් වැඩි වෙයි. නමුත් ඉතා ඉක්මණින් කර්මාන්තයේ විශාල පිබිදීමක් ඇති වෙයි කියා හිතන්න බැහැ. ශ්‍රමික ප්‍රේෂණ වැඩි වෙයි කියා හිතන්න විශේෂ හේතුවකුත් නැහැ. ඒ කියන්නේ, තව මාස ගනණාවක් යන තුරු මේ විදිහට රට දුවවන්න වුනත් මාසයකට ඩොලර් මිලියන දෙතුන් සීයක් පොම්ප කරන්න වෙනවා කියන එකයි. 

රජයේ විදේශ ණය හා පොලිය ගෙවන්නෙම නැහැ කියා කියමු. ඒත් බැංකු පද්ධතියේ ණය නොගෙවා ඉන්න බැහැ. ඒ ණය ගෙවන්නත් ඩොලර් ඕනෑ. ඔය තත්ත්වයත් එක්ක ඩොලර් එක රුපියල් 360 මට්ටමේ තියා ගන්න හෝ තවත් අඩු කරගන්න මහ බැංකුවට අවශ්‍යව තිබෙනවා විය හැකි වුවත් එය කළ හැකි බව සාර්ථක ලෙස සමපේක්ෂකයින්ට සන්නිවේදනය කරන්න පුළුවන්කමක් මහ බැංකුවට නැහැ. ඩොලර් අතේ තියාගෙන ඉන්න අය හොයන්න පොලීසිය යොදවනවා වගේ වැඩ වලින් වැඩක් නොවන බව කොහොමටත් පැහැදිලියිනේ. ඒ නිසා, ඩොලරයක මිල දැන් තිබෙන මට්ටමේ තියාගෙන සිටීමේ හැකියාව ගැන මට තිබෙන්නේ විශාල සැකයක්. 

ලිපිය දැනටමත් ගොඩක් දිගයි. ඒ නිසා, පොලී අනුපාතික ගැන ඉතා කෙටියෙන් කතා කරමු.

මාර්තු මුලදී තනි ඉලක්කමේ තිබුණු භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික 24% මට්ටමට යන්න දුන්නා කියා කියන්නේ ලොකු වෙනසක් තමයි. ඒකේ කතා දෙකක් නැහැ. නමුත් ප්‍රශ්නය ඒ පොලිය ගෙවලත් භාණ්ඩාගාර බිල්පත් විකුණන්න බැරි වීමයි. අඩුව පුරවන්න සල්ලි අච්චු ගැසීම කෙළින්ම ඩොලර් ප්‍රශ්නයටත් බලපානවා. බඩු මිල ඉහළ යද්දී අතට රුපියල් එනවා කියන්නේ ආනයනික භාණ්ඩ වල මිල ඉහළ ගියත් ඉල්ලුම අඩු වෙන්නේ නැහැ කියන එකයි. අලුත් රෙගුලාසිය නිසා භාණ්ඩ ගෙන්වන්න උන්ඩියල් ඩොලර් හොයන එක නැවතුනත්, රුපියල බාල්දු වන තරමට ඩොලර් වලට තිබෙන ඉල්ලුම ඉහළ යන එක වලක්වන්න බැහැ. 

ආර්ථික ශක්තියක් තියෙන විදේශ රටවලට ඩොලර් පොම්ප කරමින් ලංකාවට හුස්ම ගන්න උදවු කරන්න පුළුවන්. කොයි තරම් කාලයක් ඒ  විදහට උදවු කරයිද? එහෙම උදවු කළත් එයින් අදහස් වෙන්නේ නිශ්චිත කාලයකට ලංකාව තවත් පහළට වැටෙන එක නවතිනවා කියා මිසක් ගොඩ යනවා කියන එක නෙමෙයි. 

කෙසේ වුවත්, ඩොලරයක මිල රුපියල් 360 සීමාවේ රඳවා ගැනීම ගැන මහ බැංකුවට චෝදනා කරන්නත් අමාරුයි. ඩොලරයක මිල ඉහළ යද්දී ඩොලර් හිඟය සමනය වෙන්නේ සල්ලි අච්චු නොගසා සිටිය හැකිනම් පමණයි. සල්ලි අච්චු ගැසීම හෝ නොගැසීම මහ බැංකුවේම වැඩක් වුනත්, රජයේ අයවැය හිඟය පියවීමට අරමුදල් සපයා දීමේ වගකීම මහ බැංකුවට මග හරින්න බැහැ. ඒ සඳහා, දැනට 24% මට්ටමේ තිබෙන පොලිය තවත් වැඩි කරන්න වෙනවා. මගේ අදහසනම් ඩොලරයක මිල මෙන්ම පොලී අනුපාතිකද තවත් ටිකක් වැඩි විය යුතු බවයි. කෙසේ වුවත්, මෙහිද සීමාවක් තිබෙනවා. එක් සීමාවකින් පසුව එන්නේ හැන්කි කියන මාරාන්තික සුළියයි. දැනටමත් මේ සීමාවට ඇවිත් නැත්නම් එය ඉතා ළඟ විය යුතුයි. වෙනත් විදිහකින් කිවුවොත් මේ වෙද්දී මහ බැංකුව පාරේ කෙළවරට ඇවිත්!

සල්ලි අච්චු ගැහීම නැවතෙන්නේ රජය පැත්තෙන් විශාල වෙනසක් වුනොත් පමණයි. ශ්‍රී ලන්කන් වැනි ආයතන මේ වෙලාවේ කවුරුවත් ගනියිද කියන එක සැකයි. එසේ ගත්තත් ගන්නේ ණයත් එක්කනම් නෙමෙයි. ණය ටික ගෙවන්න වෙන්නේ රජයටයි. විකිණුවා කියලා තියෙන හිඟයේ හැටියට මහා ලොකු ආදායමක් ලැබෙන්නේ නැහැ. 

ඩොලර් ප්‍රශ්නයට සෘජු පිළියමක් නොවුනත් රජය සතු වත්කම් රුපියල් අතේ තිබෙන දේශීය ධනවතුන්ට විකිණීම මේ වෙලාවේ කළ හැකි දෙයක්. ඉඩම්, ගොඩනැගිලි ආදී ඕනෑම දෙයක්.  ඒ හරහා අයවැය හිඟය පියවා ගත හැකි අතරම සංසරණයේ තිබෙන රුපියල් ප්‍රමාණයද සීමා කරගත හැකියි. රජය සතු වාහන වුවද විකුණා දමා අවශ්‍යතා අනුව වාහන කුලියට ගන්නේනම් මේ වෙලාවේ අයවැය පීඩනය අඩු කරගත හැකි වෙයි. රජයේ සේවකයින්ට නිවසේ සිට වැඩ කිරීමට ක්‍රමවේද හැදීම මගින් ගොඩනැගිලි අවශ්‍යතා වුවත් අඩු කරගත හැකියි. දේශපාලන අධිකාරිය සතු වාහන ආදිය විකුණා දැමිය යුතු බවනම් රටෙන්ම එන ඉල්ලීමක්.

රජයට බදු වැඩි කරන්නම වෙනවා. නමුත් එය ඉතා සැලකිල්ලෙන් කරන්න වෙනවා. ලංකාවේ නිවාස ඒකක වල සමස්ත ආදායමෙන් 50%කට වඩා ලැබෙන්නේ ඉහළ ආදායම් ලබන 20%ටයි. පහළ ආදායම් ලබන 50%කටම ලැබෙන්නේ සමස්ත ආදායමෙන් 20%කට මඳක් වැඩි කොටසක් පමණයි. මේ පහළ ආදායම් ලබන 50% දැන් ජීවත් වන්නේ ඉතාම අසීරුවෙන්. ඔවුන්ගේ ආහාර සුරක්ෂිතතාව පවා තියෙන්නේ අවදානමේ. ඔවුන්ගේ බදු බර තවත් වැඩි කළ නොහැකියි. 

ආසන්න වශයෙන් පහළ 50% කියන්නේ මසකට රුපියල් 50,000 නොඉක්මවන ආදායම් ලබන පවුල්. ඉහළ 20% කියා කියන්නේ මසකට රුපියල් ලක්ෂය ඉක්මවා ආදායම් ලබන පවුල්. වැඩි බදු බරක් පටවන්න වෙන්නේ ඒ පිරිසටයි. මේ වෙලාවේ කළ හැකි හොඳම දෙය නිවාස, වාහන ආදිය ඇතුළු වත්කම් මත සැලකිය යුතු වත්කම් බද්දක් අය කිරීමයි. ආදායම් සැඟවිය හැකි ඇතැම් අයට වත්කම් සඟවන්න අමාරුයි. 

සාමාන්‍ය මූලධර්මයක් ලෙස ආදායම් මත මිස වත්කම් මත ලොකුවට බදු අය කරන්නේ නැහැ. ඒ වත්කම් වලින් නිරූපණය වන්නේ අතීත ඉතිරි කිරීම් වීම නිසා සහ ඒ ඉතිරි කිරීම් කර තිබෙන්නේ බදු ගෙවීමෙන් පසුව නිසයි. මේ පදනම අනුව වත්කම් මත බදු අය කිරීම කියන්නේ ආදායම මත නැවත නැවත බදු අය කිරීමක්. නමුත් දැන් ලංකාවේ තිබෙන්නේ සුවිශේෂී තත්ත්වයක්. රජයට අය කර ගත යුතුව තිබෙන්නේ කාලයක් තිස්සේ අය කරගත යුතුව තිබුණු බදු හා එම බදු අය කර නොගෙන ණය ගැනීම නිසා එකතු වූ පොලියයි. 

මේ ආකාරයෙන් වත්කම් මත බදු අය කිරීම ලංකාවට දිගුකාලීනව වුවත් නරක නැහැ. මිල අධික වාහන මත සැලකිය යුතු මාසික බද්දක් අය කිරීමෙන් එවැනි වාහන භාවිතය අධෛර්ය කළ හැකියි. එවිට ලංකාවේ සුවිශේෂී තත්ත්වයක් වන වත්කමක් ලෙස වාහන නඩත්තු කිරීම නවතිනවා. වාහනයකින් ආදායම් උපයන අයට මෙය විශාල ප්‍රශ්නයක් නෙමෙයි. එහෙත්, වාහනය තියාගෙන මාසිකව බදු ගෙවිය නොහැකි අයට වාහනය විකුණා අඩු වටිනාකමැති වාහනයක් ගන්න වෙනවා. මෙය මේ වෙලාවේ වාහන ආනයනය නවතා තිබීම ප්‍රශ්නයක් වී ඇති අයටද පිළිතුරක්. 

මේ අයුරින්ම නිවාස හා ඉඩම් මත වටිනාකම අනුව සැලකිය යුතු බද්දක් අය කිරීමෙන් අනවශ්‍ය තරම් ලොකු ගෙවල් හදන එක අධෛර්ය කළ හැකියි. බදු ගෙවිය හැකි තරම් ආදායමක් තියෙනවනම් ප්‍රශ්නයක් නැහැ. ලංකාවේ විදේශ ණය ලැබීම් වලින් සැලකිය යුතු කොටසක් තැන්පත් වී තිබෙන්නේ වාහන හා ඉදි කිරීම් තුළයි. වත්කම් බදු හරහා වටිනාකම වැඩි නාගරික ඉඩම් වල පදිංචිව සිටින ලොකු ආදායමක් නූපයන අයට පිට පළාත් වලට සංක්‍රමණය වීමටද බලපෑම් කළ හැකියි. එයින් ගමෙන් නගරයට සංක්‍රමණය වන අයට එය වඩා පහසු කරවනවා.

මේ අයුරින්ම මූල්‍ය වත්කම් මතද බදු අය කළ හැකියි. සම්ප්‍රදායික ආදායම් බදු හා වක්‍ර බදු වලින් පමණක් මේ වෙලාවේ තිබෙන රාජ්‍යමූල්‍ය අර්බුදය විසඳාගන්න බැහැ. එය නොවිසඳා සල්ලි අච්චු ගැසීම වලක්වන්න බැහැ. සල්ලි අච්චු ගැසීම නවත්වන්නේ නැතිව "මාරාන්තික සුළියෙන්" ගැලවෙන්න බැහැ.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...