Monday, June 26, 2023
දවස් පහේ නිවාඩුව
Sunday, December 5, 2021
ප්‍රියන්ත කුමාර දියවඩන
පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ ආදි විද්‍යාර්ථී ප්‍රියන්ත කුමාර දියවඩනව ඉස්ලාම් අන්තවාදීන් විසින් ඉතා සාහසික ලෙස මරා දමන ආකාරය දැඩි කම්පාවක් ඇති කරන සිදු වීමක්. ඔහුගේ සිරුරට ගිණි තියන්නේ මිය යාමෙන් පසුවද, පණ පිටින්මද යන්නත් සැක සහිතයි. ප්‍රියන්තට විඳින්නට සිදු වී ඇති වද වේදනා අනුව ඔය දෙකෙන් කොයි එක සිදු වී තිබුණත් වැඩි වෙනසක් නැහැ. එක් පාදයක අස්ථි හැර ඔහුගේ සිරුරේ හැම ඇටයක්ම බිඳී ඇති බවත්, කොඳු ඇට පේලිය තුන් පොළකින් කැඩී ඇති බවත්, සිරුරේ හැම වැදගත් අවයවයකටම හානි වී ඇති බවත්, සිරුරෙන් 99%ක්ම පිළිස්සී ඇති බවත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්. එහෙත් මරණයට හේතුව සේ සඳහන්ව ඇත්තේ හිස්කබලට සිදුව ඇති හානි.
ප්‍රියන්ත පකිස්ථානයේ වසර ගණනාවක් ජීවත්ව ඇති, විශාල පකිස්ථානුවන් පිරිසක් සේවය කරන සමාගම් වල ඉහළ මට්ටමේ කළමණාකරුවෙකු ලෙස සේවය කර ඇති අයෙක්. ඔහුට පකිස්ථානුවන් හිතන, ක්‍රියා කරන ආකාරය ගැන සැලකිය යුතු අවබෝධයක් නොතිබුණා විය නොහැකියි. වාර්තා අනුව ඔහු කර තිබෙන "වරද" ඉස්ලාම් ආගමික පාඨ අඩංගු වූ පෝස්ටරයක් ඉරා කුණු බක්කියට දැමීමයි. මෙවැන්නක් ඇත්තටම සිදු වුනා හෝ එවැනි කටකතාවක් පැතිරුණා විය හැකියි.
ප්‍රියන්තව මරා දමන්නේ ඔහුගේ ආයතනයේම සේවකයින් විසින්. සේවකයින්ට ලොක්කා සමඟ තිබෙන තරහක් හෝ ලොක්කා විදේශිකයෙක් වීම නිසා තිබෙන තරහක් ආගමික අපහාසයක් එක්ක පැටලෙන එක පහසුවෙන් සිදු විය හැකි දෙයක්. මේ වැඩේට විශාල පිරිසක් හවුල් වෙනවා. ඒ අතරින් ප්‍රියන්තව බේරා ගන්න ඉදිරිපත් වන්නේ කිහිප දෙනෙක් පමණයි. එහෙත්, ගුටි කෑමේ අවදානම ගන්නා එවැනි අයද කිහිප දෙනෙක් හෝ ඉන්නවා. මේ වගේ පිරිසක් අතර රැල්ලට පිටින් යන බොහෝ දෙනෙක් සිටිනු ඇතැයි අපේක්ෂා කළ නොහැකියි.
මේ වගේ අවස්ථා වල මිනිස්සු ක්‍රියා කරන්නේ සාමාන්‍ය බුද්ධියෙන් නෙමෙයි. ඇතැම් විට හැඟීම් අනුව වුවත් බොහෝ විට දැකිය හැක්කේ හැඟීම් වලින්ද තොරව රොබෝ වරුන් සේ ක්‍රියා කිරීමක්. මේ ආකාරයේ සිදුවීම් වෙන්නේ ඉස්ලාම් ආගමික පසුබිමක පමණක් නෙමෙයි. හැම ආගමකම වගේ ආගමික අන්තවාදීන් ඉන්නවා. ආගමික නොවන අන්තවාදීන්ද ඉන්නවා. එහෙත්, වත්මන් ලෝකයේ අනෙක් හැම ප්‍රධාන ආගමකටම සාපේක්ෂව ඉස්ලාම් ආගමික සන්දර්භයන් තුළ ආගමික අන්තවාදීන් පෝෂණය වීම වැඩියෙන් දැකිය හැකි දෙයක්.
මේ ක්‍රියාව ඉස්ලාම් ආගම සමඟ එකඟ නැති, ඉස්ලාම් ඉගැන්වීම් වලට විරුද්ධ දෙයක් බව බොහෝ දෙනෙක් කියයි. එසේ කියන අයට සාපේක්ෂව මේ කරුණ ඇත්තක් විය හැකියි. එහෙත් ප්‍රශ්නය ආගම් මෙන්ම ආගමික ඉගැන්වීම්ද පුද්ගලයාට සාපේක්ෂ වීමයි. මෙවැන්නක් ඉස්ලාම් ආගමට එකඟ බව සිතන අයද සිටිනවා. ඒ පිරිස, ලෝකයේ හෝ පකිස්ථානයේ ඉස්ලාම් ආගම අදහන අයගෙන් බහුතරය නොවිය හැකි වුවත් සැලකිය යුතු පිරිසක්.
ලෝකයේ බොහෝ ආගම් ව්‍යාප්ත වී තිබෙන්නේ යම් සාහසිකත්වයක් සමඟයි. හින්දු ආගම ඓතිහාසිකව අද තිබෙන ආකාරයේ අවිහිංසාවාදී ආගමක් නෙමෙයි. යුදෙවු ආගමික ඉගැන්වීම් මත පදනම්ව අද දැකිය හැකි යුදෙවු සංස්කෘතියට වඩා බොහෝ පසුගාමී යුදෙවු සංස්කෘතියක් නඩත්තු විය හැකිව තිබුණා. බොහෝ දෙනෙකු අදහන ජේසුස් සහ ඓතිහාසිකව ජීවත් වූ ජේසුස් එක් අයෙක් නෙමෙයි. මේ සියලුම ආගම් අද තිබෙන තැනට පරිණාමය වී තිබෙන්නේ කාලයත් සමඟ ප්‍රතිසංශෝධනය වීමෙන්. මෙය දිගින් දිගටම සිදු වෙනවා. ඉස්ලාම් ආගම හා අදාළවද මෙය සිදු වුනත්, ඒ අනෙක් ආගම් වලට සාපේක්ෂව අඩුවෙන්.
කිසියම් සංස්කෘතියක් ඉදිරියට යන්නේ එම සංස්කෘතියෙහි පසුගාමී චර්යාවන් විවේචනය වන තරමටයි. විවේචනයට ඉඩ නැති සංස්කෘතියක් එක තැන පල් වෙනු මිස ඉදිරියට යන්නේ නැහැ. ආගමක් හා අදාළව කරන විවේචනයක් හා ආගමික අපහාසයක් අතර ඉරක් අඳින එක ඉතාම අපහසු වැඩක්. ඒ නිසා, ආගමක් හෝ ආගමකට සම්බන්ධ චර්යාවක් විවේචනය කරන අයෙකුට ආගමික අපහාස චෝදනා එල්ල වීමේ අවදානම තිබෙනවා. මෙයින් වැඩිපුරම පීඩා විඳින්න වෙන්නේ අදාළ සංස්කෘතිය තුළම ජීවත් වන අයටයි.
ප්‍රියන්ත දියවඩන ඝාතනය සිදු වන්නේ පකිස්ථානයේ නීති රාමුවෙන් පිටයි. එහෙත්, පකිස්ථානයේ නීති රාමුව තුළම, ඉස්ලාම් ආගමට අපහාස කිරීම මරණ දණ්ඩනය ලැබෙන වරදක්. ආගමික අපහාස චෝදනා එල්ල වූ අයෙකු වෙනුවෙන් කතා කරන්න නීතිඥයෙකු සොයා ගන්න එකත් පහසු වැඩක් නෙමෙයි. බොහෝ විට එසේ ඉදිරිපත් වල නීතිඥයින්ටත් මරණය තෝරා ගන්න සිදු වෙනවා. ඒ වගේම, චෝදනාවට අදාළ පාඨය ගැන නැවත උපුටා දක්වමින් කතා කිරීමේ හැකියාවක්ද නැහැ. එසේ කළොත් එය ආගමික අපහාසයක් වෙනවා. නීති රාමුව තුළම වුවත් ආගමික අපහාස එල්ල වූ අයෙකුට බේරෙන්න තිබෙන්නේ ඉතාම සීමිත ඉඩක්.
මේ හා අදාළ පකිස්ථානයේ තත්ත්වය තේරුම් ගන්න මා කලින් ලිපි කිහිපයකින් විස්තර කර තිබෙන ජුනයිඩ් හෆීස් සිදු වීම ඉවහල් වේයැයි මා සිතනවා. මුස්ලිම් බහුතර රටක සේවයට හෝ සංචාරයට යන අයෙකු ඒ රටවල් වල ආගමික අපහාස සේ සැලකෙන දේවල් කොයි තරම් භයානක ප්‍රතික්‍රියාවන්ට හේතු වේදැයි හොඳින් අවබෝධ කරගෙන එවැනි රටකට ඇතුළු විය යුතුයි.
Thursday, December 26, 2019
අනෙකාගේ නහය කොන හඳුනාගැනීම (දෙවන කොටස)
කෙසේ වුවත්, ඔහුගේ ෆේස්බුක් ගිණුම සහ කණ්ඩායම් ගිණුම තවත් පැය ගණනක් සෝදිසි කිරීමෙන් පසුව, 2013 ජනවාරි සිට පෙබරවාරි දක්වා කාලය තුළ පළ කර තිබුණු අපහාසාත්මක පෝස්ට් 35 ක් පමණ සොයා ගැනීමට පරීක්ෂණ කණ්ඩායම සමත් වේ.
(විමර්ශනය තවදුරටත් ඉදිරියට ගිය අතර ජුනයිඩ් හෆීස්ට එරෙහිව සිසුන්ගෙන් ලිඛිත පැමිණිලි කිහිපයක්ම ලැබී තිබියදී ආචාර්ය ශිරිස් මේ කාරණය පරිපාලනයේ අවධානයට යොමු නොකළ බව අනාවරණය විය. ඈ විසින් මෙම කාරණය විසඳා ඇති බව පවසමින් උපකුලපතිවරයා නොමඟ යවා ඇත.)
විශ්ව විද්‍යාල පරිපාලනය සහ උපකුලපති විසින් ජූලි මාසයේදී ජ්‍යෙෂ්ඨතම මහාචාර්යවරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් සමන්විත කරුණු සෙවීමේ කමිටුවක් පත් කෙරුණු අතර එම කමිටුව විසින් 2013 පෙබරවාරි 25 වන දින අයිඑම්එස් ශාලාවේදී පැවති උත්සවයකදී ජුනයිඩ් හෆීස් විසින් සර්ව බලධාරී දෙවියන් වහන්සේව සමච්චලයට ලක් කර ඇති බව ප්‍රථම වරට වාර්තා කළේය.
එදින, උත්සවයට සහභාගී වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු විසින් කමිටුව හමුවේ සාක්ෂි දෙමින් පහත කරුණු ඉදිරිපත් කළේය.
“මම එදින උත්සවයට සහභාගී වුනා. අප සියලු දෙනා විසින්ම ප්‍රසන්න උත්සව අවස්ථාවක් බලාපොරොත්තුවෙන් සිටියා. සාමාන්‍යයෙන් මෙවැනි උත්සවයක් ආරම්භ කරන්නේ සර්වබලධාරී දෙවියන්ව සිහි කිරීමෙන් පසුවයි. එහෙත්, හදිසියේම වේදිකාවට පැමිණි ජුනයිඩ් හෆීස් විසින් උත්සවය ආරම්භ කළේ වෙනත් අයුරකිනුයි."
"In the name of Allah who is always absent without any leave, who's omnipotent absence is always taken as his omnipotent presence"
"සැමවිටම නිවාඩු නොගෙන නොපැමිණ සිටින හා කිසි තැනක නොසිටීමම සෑම තැනකම සිටීම සේ සැලකෙන සර්වබලධාරී දෙවියන් වහන්සේගේ නාමයෙන්"
"මේ විකාර සහගත ප්‍රකාශය නිසා සහභාගී වූ අය මහත් විමතියට පත් වුනා. එහෙත්, පසුව පිරිස සන්සුන් වුනා. උත්සව සභාවේ කටයුතු දිගටම කරගෙන ගියා."
මේ සිද්ධිය පිළිබඳව අංශාධිපති ශිරින් කිසිවිටෙකත් ජුනයිඩ්ගෙන් ප්‍රශ්න කර නැත.
ජුනයිඩ් සමඟ දර්ශනවේදී උපාධිය හදාරන සෙසු සිසුන්ගේ ප්‍රකාශයන් ද පටිගත කරන ලද අතර, විවේචනාත්මක න්‍යාය විෂය උගන්වන මුවාවෙන් ආචාර්ය ශිරින් විසින් ඇගේ පන්තියේදී අසභ්‍ය චිත්‍රපට පෙන්වා ඇති බවත් පසුව එම චිත්‍රපට හා අදාළව පැවරුම් ලබා දී ඇති බවත් එම ප්‍රකාශයන්ගෙන් අනාවරණය විය. එසේම, මෙම චිත්‍රපට නිවසේදී නැරඹීමට අපහසු ඒවා වූ බැවින්, සිසුන් විසින් බොහෝ විට ගූගල් හරහා බාගත කර ගත හැකි චිත්‍රපට වල තොරතුරු සොයාගෙන පැවරුම් සම්පූර්ණ කර තිබේ. එම සිසුන් විසින් ඉන්දියානු චිත්‍රපටයක් වන "The Dirty Picture" ඇසුරෙන් පැවරුම සම්පූර්ණ කර ඇතත් ආචාර්ය ශිරින් විසින් ඉංග්‍රීසි චිත්‍රපටයක් ඇසුරෙන් පැවරුම සම්පූර්ණ කරන මෙන් දන්වා තිබේ.
දර්ශනවේදය හදාරන සිසුන් විසින් වාර්තා කර ඇති පරිදි ශිරින් සුබයිර් විසින් බොහෝ අවස්ථා වලදී පන්තියේදී විචාරය කළ යුතු කෘතිය තෝරා ගැනීමට ජුනයිඩ්ට අවස්ථාව ලබා දී තිබේ. විවේචනාත්මක විචාරයක් ලිවීම සඳහා වරක් ඔහු විසින් තෝරා ගෙන තිබෙන කවියක අවසන් පද දෙක මෙවැන්නකි.
"God is dead
God is dead"
“දෙවියන් මිය ගොස් ඇත
දෙවියන් මිය ගොස් ඇත"
මෙම කවිය අඩංගු පත්‍රිකාව මෙන්ම ජුනයිඩ් හෆීස්ගේ ෆේස්බුක් ගිණුමෙන් ලබාගත් සමහර තොරතුරු ද කමිටුව විසින් ලබාගෙන ඇති අතර ඒවා උසාවියේ ඇති ලිපිගොනුවෙහි ඇමිණුමකි.
ශිරින් සුබයිර්ගේ පංතියේ සිසුන් සහ ඉංග්‍රීසි දෙපාර්තමේන්තුවේ සිසුන්ගේ ප්‍රකාශ අනුව ඔවුන් කමිටුවට පවසා ඇත්තේ ශිරින් යනු ආගමට වෛර කරන්නියක් බව ආගම පිළිබඳ ඇගේ අදහස් වලින් පැහැදිලි වන බවයි.
මෙම සියලු චෝදනා මත පදනම්ව කමිටුව විසින් ශිරින්ගෙන් ප්‍රතිචාර දක්වන ලෙස ඉල්ලා සිටියද ඇය දිගින් දිගටම නිදහසට කරුණු ඉදිරිපත් කළ අතර පසුව ප්‍රශ්න කිහිපයකට පමණක් පිළිතුරු සැපයුවාය.
කමිටුව සිය වාර්තාවෙන් නිගමනය කළේ ශිරින්ට ආගමට අපහාස කිරීම පිළිබඳව චෝදනා කළ හැකි සාක්ෂි නොමැති නමුත් ඇගේ පරිපාලනය යටතේ මෙම ඛේදජනක සිදුවීම සිදුවී ඇති බව හා ජුනයිඩ් හෆීස්ව නොවැලැක්වීමෙන් සහ ඔහුට පූර්ණ ආරක්ෂාව සැපයීමෙන් ඇය විශ්ව විද්‍යාලයේ කීර්ති නාමයට හානි කර ඇති බවයි.
කමිටුව පත් කිරීමට පෙර ශිරින් විශ්ව විද්‍යාලයෙන් නිවාඩු ලබාගෙන ජර්මනියට ගොස් ඇති අතර මේ වන තෙක් නැවත විශ්ව විද්‍යාලයට පැමිණ නැත.
ජුනයිඩ් හෆීස් විසින් ආරම්භක අවස්ථාවේදී පොලීසිය ඉදිරියේ පාපොච්චාරණය කළද පසුව තම පාපොච්චාරණය ඉල්ලා අස්කර ගෙන නඩුව ඉදිරියට ගෙනයාමට කටයුතු කළේය.
තමා 2013 මාර්තු 15 වන දින සිට ස්ථීර කථිකාචාර්යවරයකු ලෙස පත් කිරීමට නියමිතව තිබුණු බවත් මෙය ඇතැම් කථිකාචාර්යවරුන් විසින් එයට එරෙහිව කරන කුමන්ත්‍රණයක් බවත් ජුනයිඩ් කියා සිටියේය. එහෙත්, විශ්ව විද්‍යාල වාර්තා පරීක්ෂා කර බැලූ විට පෙනී යන පරිදි මෙය පදනම් විරහිත ප්‍රකාශයක් වූ අතර විශ්ව විද්‍යාලය විසින් ඒ වන විට එවැනි පුරප්පාඩුවක් පිරවීම ගැන සලකා බලමින් නොසිටියේය. ජුනයිඩ් මේ වන විටද දර්ශනවේදී උපාධිය හදාරමින් සිටි සිසුවෙකු වූ අතර ඔහුගේ උපාධිය සම්පූර්ණ වීමට නියමිතව තිබුණේ 2014 වසර අවසානයේදී බැවින් ඒ වන තුරු ඔහුට කිසිදු ආකාරයකින් ස්ථිර කථිකාචාර්යවරයකු වීමට හැකියාවක් තිබුණේ නැත. එමෙන්ම, ජුනයිඩ් හෆීස්ට ඔහුගේ ප්‍රකාශය තහවුරු කළ හැකි කිසිදු සාක්ෂියක් අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි විය.
ඉන් පසුව චුදිත ජුනයිඩ් විසින් යළිත් වෙනත් ස්ථාවරයක් ගනිමින් මාස කිහිපයකට පෙර ඔහුගේ ෆේස්බුක් ගිණුම හැක් කර ඇති බව ප්‍රකාශ කර සිටියේය. 1400ක් පමණ වන ඔබේ ෆේස්බුක් මිතුරන්ගේ ලැයිස්තුවෙහි පංතියේ මිතුරන්, වෙනත් පෞද්ගලික මිතුරන් සහ සිසුන් සිටියදී, දිනපතාම පෝස්ට් වලට ඔවුන්ගෙන් ලයික් හා කමෙන්ට්ස් වැටෙද්දී මේ පිළිබඳව ඒ කිසිවෙකු ඔබට නොකීවේ ඇයි කියාත්, ඔබේ ෆේස්බුක් ගිණුම ඔබගේ ජංගම දුරකථනයට හා විද්‍යුත් තැපෑලට සම්බන්ධ වී තිබියදී මේ ගැන මාස ගණනක් යන තුරු දැනගත හැකි නොවූයේ ඇයි කියාත් විමසු විට චුදිතයාට උසාවියට පිළිගත හැකි නිශ්චිත පිළිතුරක් ලබා දිය නොහැකි විය.
ඉන් පසුව චුදිත ජුනයිඩ් විසින් යළිත් වෙනත් තෙවන ස්ථාවරයක් ගනිමින් හැක් කර ඇති ෆේස්බුක් ගිණුම ඔහුගේ වුවත් ඊමේල් ගිණුම තමන්ගේ නොවන බව පැවසුවේය. ඊමේල් ගිණුම ඔබේ නොවේ නම් ඔබේ ඊමේල් සහ ෆේස්බුක් පරිශීලක නාමයන් සමාන වන්නේ කෙසේද කියාත් ඔබගේ අනෙක් ජංගම දුරකථන අංකය මෙම විද්‍යුත් තැපැල් ගිණුම හා සම්බන්ධ වන්නේ කෙසේද කියාත් ඇසූ විට ඔහුට එය පැහැදිලි කළ නොහැකි විය. එමෙන්ම, එම විද්‍යුත් තැපැල් ලිපිනයෙන් විශ්ව විද්‍යාල ගුරුවරුන් කිහිප දෙනෙකු සමඟ ඊමේල් පණිවුඩ හුවමාරු කර ගෙන ඇති බවත්, එක්සත් ජනපද ශිෂ්‍යත්වය හා අදාළ ලිපි එම ලිපිනයට ලැබී ඇති බවත් පෙන්වා දුන් විට චුදිතයාට කට උත්තර නැති විය.
සාක්ෂිකරුවන් පහළොස් දෙනෙකු පමණ ජුනයිඩ් හෆීස්ට එරෙහිව සිය ප්‍රකාශ ගොනු කළ අතර විත්තිකරුට ඔහුගේ ප්‍රකාශය වෙනුවෙන් කිසිදු සාක්ෂිකරුවෙකු හෝ ලේඛන ඉදිරිපත් කිරීමට නොහැකි විය. ජුනයිඩ් හෆීස්ගේ ෆේස්බුක් ගිණුමෙන් ලබාගත් සියලු තොරතුරු පාකිස්තාන වෝහාරික පර්යේෂණාගාරයට යැවීමෙන් පසු එහි වාර්තාව ද ජුනයිඩ්ට එරෙහිව ඉදිරිපත් විය. ජුනයිඩ් හෆීස්ට එරෙහිව විශ්ව විද්‍යාල කමිටුවේ වාර්තාව ද එළියට ආවේය.
මේ කරුණු අනුව පෙනී යන්නේ ජුනයිඩ් හෆීස් මේ සියළු දේ කර තිබෙන්නේ සරණාගතයෙකු ලෙස එක්සත් ජනපද පුරවැසිභාවය ලබා ගැනීමේ අරමුණින් බවයි. ජුනයිඩ් හෆීස්ගේ හිටපු ගුරුවරයෙකු සහ ශිරින් සුබයිර්ගේ ස්වාමිපුරුෂයා වන මොයින් හයිඩර් නොහොත් ජාවාලා මුඛි ද විදේශීය පුරවැසිභාවය සහ දේශපාලන රැකවරණ ලබා ගත් අයෙකි.
අනෙක් අතට, ජුනයිඩ් හෆීස්ගේ නඩුව අධිකරණය වෙත යාමෙන් පසුව ඔහු විසි වතාවකට වඩා උසාවියේ පෙනී සිටි නමුත් කිසිදු අවාසනාවන්ත සිදුවීමක් සිදු වූයේ නැත. නමුත් හදිසියේම වසරකට පසුව පැමිණිල්ලට එරෙහිව නඩු පැවරීමට උත්සාහ කරමින් සිටියදී ජුනයිඩ්ගේ නීතිඥයා වූ රෂීඩ් රෙහ්මාන්ව ඝාතනය කරනු ලැබුවේය. එයින් පසුවද සුළු ආරක්ෂාවක් යටතේ ජුනයිඩ්ව විසි වරකට වඩා මුල්තාන් වෙත ගෙන එන ලද අතර කිසිවෙකු ඔහුට පහර දුන්නේ නැත.
මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ජුනයිඩ් හෆීස් නඩුවේ සියලු වියදම් හා නීතිඥ ගාස්තු ගෙවන බැවින් ජුනයිඩ්ගේ පියා මාධ්‍යයට කියා ඇති නඩුවේ අධික පිරිවැය කතාවද විශ්වසනීයත්වයක් නොමැති කතාවකි.
එමෙන්ම සාහිත්‍යයට ඇති කැමැත්ත නිසා ජුනයිඩ් හෆීස් කිං එඩ්වඩ් වෛද්‍ය විද්‍යාලයෙන් ඉවත් වූ බව මෙම නඩුව හා සම්බන්ධ සමාජ මාධ්‍ය වාර්තා වල සඳහන් වන නමුත් සත්‍යය වන්නේ ඔහුට වෛද්‍ය විද්‍යාලයෙන් ඉවත් වීමට සිදු වුනේ විනය උල්ලංඝනය කිරීම නිසා බවයි. ඔහුව කිං එඩ්වඩ් වෛද්‍ය විද්‍යාලයෙන් නෙරපා හරින ලද අතර පසුව ඔහුට එංගලන්තයේ සාහිත්‍යය හැදෑරීමට අවස්ථාව ලැබුණේය.
අධික ගාස්තු අය කරන ජුනයිඩ්ගේ නීතිඥයින් විසින් හා විවිධ වාසි ලබන රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙම නඩුවේ ඉතිහාසය හා කරුණු වෙනස් කරමින්, නඩුව හා සම්බන්ධ ව්‍යාජ කථා නිර්මාණය කරමින් නඩුවේ සත්‍ය කරුණු විකෘති කිරීමට උත්සාහ කරන අතර එම ව්‍යාජ කථා රට තුළ හා ජාත්‍යන්තරව ප්‍රචාරය කරමින් මෙම නඩු විභාගයට බලපෑම් කළෝය. හෆීස් නඩුව විභාග කිරීමට දීර්ඝ කාලයක් ගත වීමේ වගකීම ගත යුත්තේ ජුනයිඩ්ගේ නීතිඥයින් විසින්ය. ඔවුන් එක් සාක්ෂිකරුවෙකුව (තොරතුරු තාක්‍ෂණ විශේෂඥයාව) වසර තුනහමාරක පමණ කාලයක් තිස්සේ ප්‍රශ්න කළෝය. මෙවැනි දීරිඝ ප්‍රශ්න කිරීමක් සිදු වුනේ ඉතිහාසයේ පළමු වරටය.
රාජ්‍ය නොවන සංවිධාන, එක්සත් ජනපද තානාපති කාර්යාලය සහ කාදියානි පංතිය (අහමදියා මුස්ලිම්වරුන් හැඳින්වෙන නමකි) කෙතරම් බලපෑම් කළේද යත්, එක්සත් ජනපද උප ජනාධිපති මයික් පෙන්ස් විසින් ජුනයිඩ් හෆීස්ව නිදහස් කරන මෙන් 2019 ජූලි මාසයේදී පාකිස්තානයෙන් සෘජු ලෙසම ඉල්ලා සිටියේය. ඉම්රාන් ඛාන්ගේ එක්සත් ජනපද සංචාරයේදීද, ජුනයිඩ් හෆීස් නිදහස් කරන ලෙස ඉම්රාන් ඛාන්ගෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් සෘජුවම ඉල්ලා සිටි අතර, එක්සත් ජනපද ආධාර ලබා දීම සඳහා ජුනයිඩ් හෆීස්ව නිදහස් කිරීම කොන්දේසියක් ලෙස ඉදිරිපත් කෙරුණේය.
පකිස්ථානයයේ ආගමික අපහාස නීති දිගින් දිගටම උපුටා දක්වමින් විවේචනය කරන කාදියානි වරුන් (අහමදියා මුස්ලිම්වරුන්), එක්සත් ජනපදය හා බටහිර මාධ්‍ය විසින් ජුනයිඩ් හෆීස්ව වීරයෙකු ලෙස උලුප්පන්නේ ඔහු මුස්ලිම් වරුන්ට සහ ඉස්ලාම් ආගමට පහර දුන් නිසාය.
2019 නොවැම්බර් මාසයේ දී, කාදියානි ආටීෆ් මියන් ඇතුළු බටහිර හා කාදියානි විද්වතුන් 20 කට වැඩි පිරිසක් විසින්ද ජුනයිඩ් හෆීස් නිදහස් කරන ලෙස ඉල්ලා පාකිස්තාන අගවිනිසුරු අසීෆ් සයීඩ් කොසා වෙත ලිපියක්ද ලියා තිබේ.
Dawn පුවත්පත (පකිස්ථානයේ වැඩියෙන්ම කියවන සහ පැරණිම ඉංග්‍රීසි පුවත්පතකි) සහ අනෙකුත් පුවත්පත් ජුනයිඩ් හෆීස් සහ නඩුව පිළිබඳව අසත්‍ය ලිපි අඛණ්ඩව පළ කරමින් සිටී. නඩුවේ සත්‍ය කරුණු පිළිබඳව කිහිප වතාවක්ම මෙම පුවත්පත් සම්බන්ධ කර ගනිමින් කරුණු කාරණා ලබා දුන් නමුත් කිසි දිනෙක මේ පුවත්පත් සත්‍යයට ඉඩක් ලබා දුන්නේ නැත.
මෙම නඩුවේ සත්‍ය කරුණු විකෘති කරමින් සාමාන්‍ය ජනතාවද නොමඟ යවා ඇති අතර එය ඊනියා අහිංසක ජුනයිඩ් හෆීස්ට එරෙහි සමහර ආගමික සිසුන්ගේ කුමන්ත්‍රණයක් ලෙස නිරන්තරයෙන් හැඳින්වේ.
මෙම නඩුව කිසියම් විශේෂිත කණ්ඩායමක හෝ පන්තියක නොව සමස්ත ජාතියේම නඩුවකි. එබැවින්, මෙම නඩුවේදී බටහිර මාධ්‍ය, එක්සත් ජනපද රජය සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් අධිකරණය සහ රජය වෙත බලපෑම් කිරීම අපි තරයේ හෙළා දකිමු.
නඩුව සම්පූර්ණයෙන් විමර්ශනය කර සාක්ෂි සමාලෝචනය කිරීමෙන් හා දෙපාර්ශ්වයේම අවසාන තර්ක වලට දින තුනක් සහ රාත්‍රියක් සවන් දීමෙන් පසුව, ජුනයිඩ් හෆීස්ට අවසානයේදී 295 ඒ යටතේ වසර දහයක සිර දඬුවමක් සහ සහ රුපියල් ලක්ෂයක දඩයක්ද, 295 බී යටතේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් සහ 295 සී යටතේ රුපියල් ලක්ෂ 5 ක දඩයක් සහ මරණ දඬුවමද නියම විය.
මේ තීන්දුව ලබා දී තිබෙන්නේ මීට පෙර වරදකරුවන් බව ඔප්පු නොවීම නිසා අපහාස කිරීමේ චෝදනාවට ලක් වූ පුද්ගලයන් දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කර ඇති විනිසුරුවරුන්ම විසින්ය.
ජුනයිඩ් හෆීස්ගේ සිද්ධිය පාකිස්තාන ඉතිහාසයේ මෙවැනි ආකාරයේ පළමු අවස්ථාව වන අතර මේ සිද්ධියේදී ලේ වැගිරීම් කිසිවක් සිදු වුනේ නැත. ජුනයිඩ් හෆීස් විසින් සිදු කළ වරද පිළිබඳව කිසිදු සැකයක් නොමැති අතර ඒ බව තහවුරු කිරීම පිණිස සාක්ෂිකරුවන් හා සාක්ෂි ඕනෑ තරම් තිබේ.
“අල්ලාහ්ට සහ ඔහුගේ දූතයාට පීඩා කරන අය වෙත අල්ලාහ්ගේ ශාපය මෙලොවදීද පරලොවදීද නියත වශයෙන්ම පැමිණෙනු ඇත. අල්ලාහ් ඔවුන් වෙනුවෙන් නින්දිත දඬුවම් සූදානම් කර තිබේ.”
- අල් අහ්සාබ්, 57
(ලිවීම හා පර්යේෂණ: මුල්තාන් වක්ලා සමිතිය)
(සටහන: මෙම ලිපියේ විස්තර කර ඇති සිදුවීම් හා අදාළ ඕනෑම ලේඛනයක සහතික කළ පිටපතක් රුපියල් සිය ගණනක් ගෙවා උසාවියෙන් මිල දී ගත හැකිය.)
මේ බ්ලොග් සටහන පළ කර ඇති ලේඛකයාගේ බොහෝ අදහස් සමඟ එකඟ විය නොහැකි වුවත්, ලිපියේ ඇති කරුණු සෑහෙන තරමකින් නිවැරදි බව සිතිය හැකියි. ලේඛකයා උගත් තරුණයෙක්. ඔහු අන්තවාදියෙක් ලෙස සලකන්න බැහැ. මේ ලිපියෙන් නියෝජනය වන්නේ පකිස්ථානයේ බොහෝ දෙනෙක් මේ සිදු වීම ගැන හිතන ආකාරය වෙන්න පුළුවන්.
මධ්‍යස්ථ අදහස් කියන ඒවාත් සාපේක්ෂයි. පකිස්ථානය වැනි රටක හා බටහිර රටවල මධ්‍යස්ථ මතධාරීන් සේ සැලකෙන අයගේ අදහස් අතර පරතරය ඉතා පුළුල් එකක්. කිසියම් අදහසක් මධ්‍යස්ථ හෝ අන්තවාදී වන්නේ තවත් පුද්ගලයෙකුට සාපේක්ෂවයි. ප්‍රජනන සෞඛ්‍යය වැනි සරල දෙයක් ගැන කතා කිරීම පවා ඇතැම් විටෙක අනෙකාගේ නහයේ සීමාවේ වැදෙන්නක් වෙන්න පුළුවන්. මෙය පහසුවෙන් විසඳුම් සෙවිය හැකි ගැටලුවක් නෙමෙයි.
(Image: https://coolsandiegosights.com/2015/01/30/our-silences-and-precious-freedom-of-speech/)
Wednesday, December 25, 2019
අනෙකාගේ නහය කොන හඳුනාගැනීම (පළමු කොටස)
භාෂණයේ නිදහස තිබෙන්නේ අනෙකාගේ නහයේ නොවැදෙන සීමාව දක්වා කියන එක ප්‍රසිද්ධ කියමනක්. මේ ගැන දන්නා අයට වුවත් බොහෝ විට අනෙකාගේ නහය තිබෙන තැන හොයා ගැනීම පහසු නැහැ. තමන් ජීවත් වන රට අනුව අනෙකාගේ නහය තිබෙන තැන වෙනස් වෙනවා. ඇතැම් විට අනෙකාගේ නහය තිබෙන්නේ අත දිග අරින්නවත් බැරි තරම් කිට්ටුවෙන් වෙන්න පුළුවන්.
අනෙකාගේ නහය ඕනෑවට වඩා කිට්ටුවෙන් තිබෙන තැනක ජීවත් වෙන්න සිදු වූ විට එක්කෝ තමන්ගේ අත් අකුලාගෙන, දෙන දෙයක් කාගෙන, වෙන දෙයක් බලා ගෙන ජීවත් වෙන්න වෙනවා. එය අමාරුනම් අත දිග හැරිය හැකි තරම් දුරින් අනෙකාගේ නහය තිබෙන වෙනත් තැනකට සංක්‍රමණය වෙන්න සිදු වෙනවා. නමුත්, ඒ දෙවන අවස්ථාව හැමෝටම ලැබෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවක කෙනෙක්ට අත පය අකුලාගෙන දිගටම ජීවත් වීම අසීරු වී අත දිග හරින්න හිතෙන වෙලාවක් එන්න පුළුවන්. ඒ විදිහට දිග ඇරෙන අත් කාගේ හෝ නහයක වැදෙන්න පුළුවන්. සමහර විට සැලකිල්ලෙන් නොහිටියොත් කෙනෙක් නහය දිගු කර අතේ වද්ද ගන්න වුනත් පුළුවන්. ඒ වගේ වෙලාවකට ප්‍රතිඵලය භයානක වෙන්න පුළුවන්.
ජුනයිඩ් හෆීස් සිද්ධිය බටහිර ලෝකයට පෙනෙන ආකාරයේ පුද්ගලයකුගේ මානව අයිතිවාසිකම් කඩවීම පිළිබඳ සරල සිද්ධියක් නෙමෙයි. පකිස්ථානය ඇතුළේ ජීවත් වන බොහෝ දෙනෙක් මේ සිද්ධිය වෙනත් ආකාරයකට දකිනවා. ඒ අනෙක් පාර්ශ්වයට අපි සවන් දුන්නොත්, පකිස්ථානයේ නීතිය අනුව වරදක් කර තිබෙන ජුනයිඩ් හෆීස්ට සාධාරණ නඩු විභාගයකින් පසුව රටේ නීතිය අනුව ලැබිය යුතු දඬුවම නියම වී තිබෙනවා.
රටක නීති පැනවීම, පනවා ඇති නීති අර්ථ දැක්වීම, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය, දඩුවම් නියම කිරීම හා ක්‍රියාත්මක කිරීම ආදී සියල්ල තීරණය වන්නේ ඒ රටේ මිනිසුන් බොහෝ දෙනෙකු හිතන පතන ආකාරය මතයි. බොහෝ වෙලාවට රටක සුළුතරයට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් බහුතරය හිතන ආකාරයට අනුගත වෙන්න වෙනවා. එය සුළුතරයට කොයි තරම් පීඩාකාරීද කියන එක තීරණය වන්නේ බහුතරය කොයි තරම් දුරකට අනෙකාගේ මතයට සංවේදීද කියන කරුණ මතයි. සරසවියක උගන්වන දේශකයෙකු විසින් තමන්ගේ විෂය කරුණු ඉගැන්වීමේදී වුවත් මේ කරුණ නොසලකා හැරීමේ ඉඩක් නැහැ. ඇතැම් විට උගන්වන විෂය කරුණක් වුවත් අනෙකාගේ නාසයේ අග වැදෙන්න පුළුවන්.
ජුනයිඩ් හෆීස් තීන්දුව සම්බන්ධව බටහිර රටවල් හා ජාත්‍යන්තර සංවිධාන පකිස්ථානය මත කිසියම් පීඩනයක් යොදනවා. බොහෝ පකිස්ථානුවන් මෙය දකින්නේ බටහිර රටවල් විසින් තමන්ගේ රටට, ආගමික විශ්වාස වලට හා ස්වාධීන නීති පද්ධතියට බලපෑම් කිරීමක් ලෙසයි. බටහිර කුමන්ත්‍රණ කතා ලෝකයේ බොහෝ රටවල ජනප්‍රියයි.
ඇතැම් අයට අනුව ජුනයිඩ් හෆීස් මේ හැම දෙයක්ම කර තිබෙන්නේ බටහිර රටකට සරණාගතයෙකු සේ ඇතුළු වෙන්නයි. මේ වගේ දේවල් සමාන්තර විශ්ව වලත් සිදු වන නිසා බටහිර මාධ්‍ය වාර්තා වල දැකිය නොහැකි කතාවේ අනිත් පැත්තටත් අප සංවේදී විය යුතුයි. පහත කොටස් උපුටා ගන්නේ ජනප්‍රිය ෆේස්බුක් ක්‍රියාකාරිකයෙකු හා කරච්චි නගරයේ ජීවත් වන තරුණ විදුලි ඉංජිනේරුවෙකු වන ඉස්රාර් අහමඩ් තනෝලිගේ බ්ලොග් ලිපියකින්. මෙය කියවිය යුත්තේ ලිපිය ලියා තිබෙන්නේ ජුනයිඩ් හෆීස්ට මරණ දඬුවම නියම කිරීම සාධාරණීකරනය කරමින් බව මතක තබා ගෙනයි.
ජුනයිඩ් හෆීස් නඩුවේ සත්‍ය කරුණු…
සර්වබලධාරි දෙවියන් වහන්සේට, ශුද්ධ වූ අල් කුර්ආනයට හා සර්වබලධාරි දෙවියන් වහන්සේගේ දූතයාණන් වන මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාට අපහාස කිරීම.
සටහන:
මෙහි ඇත්තේ අධිකරණ වාර්තා, සාක්ෂිකරුවන්ගේ සාක්ෂි, නඩු වාර්තා ආදිය මත පදනම් වූ සටහනක් මිස ආවේග මත හෝ වැරදි තොරතුරු මත පදනම් වූ ලිපියක් නොවේ. ලියකියවිලි, ප්‍රකාශ, සාක්ෂි, විමර්ශන වාර්තාව, විශ්ව විද්‍යාල කමිටු විමර්ශන වාර්තාව, පොලිස් වාර්තාව ආදිය විශ්වවිද්‍යාල නිල ලේඛණ වල සහතික කළ පිටපත් වලින් ලබාගෙන ඇත. මෙය මෙම සිද්ධිය පිළිබඳ පළමු සම්පූර්ණ සවිස්තර වාර්තාවයි.
2013 මාර්තු 13 වන දින ඇමරිකානු පුරවැසියෙකු වන බෂාරි අසීස් විසින් ලාහෝර්හි ඇමරිකානු කොන්සල් ජනරාල් වන ජේසන් රීෆ් මහතා වෙත පහත සඳහන් විද්‍යුත් තැපැල් පණිවුඩය යවනු ලැබේ.
Hello, Mr. Reiff,
I don’t know if you are still there or not, but I hope some responsible person will get my email. In Pakistan one of our family friend is accused of “Blasphemy”. He is on run to save his life. I just wonder if you folks can help him? And what is the procedure to get help from our embassy. Thank God I am a US citizen and living in USA, but he is Pakistani and in Pakistan.
Thank you!
රීෆ් මහත්තයා,
ඔබ තවමත් මේ ධුරයේ ඉන්නවාද නැද්ද කියා මම දන්නේ නැහැ. නමුත්, කවුරු හෝ වගකිවයුතු පුද්ගලයෙකුට මගේ විද්‍යුත් ලිපිය ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. පාකිස්තානයේ අපේ පවුලේ මිතුරෙකුට “ආගමික අපහාස” චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු තම ජීවිතය බේරා ගැනීම සඳහා පලා යමින් සිටිනවා. මම මෙය ලියන්නේ ඔබට ඔහු වෙනුවෙන් යම් පිහිටක් විය හැකිදැයි බලන්නයි. අපේ තානාපති කාර්යාලයෙන් උදව් ලබා ගැනීමේ ක්‍රියා පටිපාටිය කුමක්ද? දෙවියන්ගේ පිහිටෙන් මම ඇමරිකාවේ ජීවත් වන එක්සත් ජනපද පුරවැසියෙක්. නමුත්, මගේ මිතුරා පකිස්ථානයේ ජීවත් වන පකිස්ථානුවෙක්.
ඔබට ස්තුතියි!
මෙය පටන් ගැන්ම හෝ අවසානය නොවේ.
2013 පෙබරවාරි 22 දින උදෑසන බහඋද්දීන් සකරියා විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යනාංශයේ අංශාධිපති ආචාර්ය ශිරීන් සුබයිර්ගේ කාර්යාලයට පැමිණෙන සිසුන් පිරිසක් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දර්ශනවේදී උපාධිය හදාරන සිසුවෙකු හා සරසවියේ තාවකාලික දේශකයෙකු වන ජුනයිඩ් හෆීස්ට එරෙහිව පැමිණිලි කිහිපයක් සහිත ලියවිල්ලක් භාර දෙයි. ඔවුන්ගේ පැමිණිලි වලට අනුව ජුනයිඩ් හෆීස් දේශන අතරතුර ආගම හා අදාළ කරුණු ගැනද කතා කරයි. එසේම ඔහුගේ නමින් ඇති ෆේස්බුක් පිටුවේත්, ඔහු විසින් හදා තිබෙන ෆේස්බුක් පිටු වලත් මුස්ලිම් ආගම ගැන හා මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ගැන අදහස් පළ කරයි. සිසුන් ඉල්ලා සිටින්නේ ඔහුගේ මේ ක්‍රියාකාරකම් නැවැත්විය යුතු බවයි.
ඇය ලිපිය භාරගෙන නැවත කතා කරන තුරු සිසුන්ට කාර්යාලයෙන් පිටත ටික වේලාවක් රැඳී සිටින මෙන් ඉල්ලා සිටී. පැය භාගයකට පමණ පසු ආචාර්ය ශිරීන් සුබයිර් සිසු සිසුවියන් නැවත කාර්යාලයට කැඳවා ඔවුන්ට කෝපාවිෂ්ට ස්වරයකින් බැණ වැදී අදාළ පැමිණිල්ල ඔවුන් ඉදිරිපිටදීම ඉරා දමා එය කාමරයේ ඇති කුණු බක්කියට විසි කරයි. නැවත එවැනි පැමිණිල්ලක් රැගෙන පැමිණියහොත් කිසිදු උපාධියක් ලබා නොදී ඔවුන්ව සරසවියෙන් ඉවත් කරන බවට සිසුන්ට අනතුරු අඟවයි. සිසුහු ආපසු හැරී යති.
එයින් දින කිහිපයකට පසුව සිසුන් කිහිප දෙනෙකු විසින් ජුනයිඩ් හෆීස්ට එරෙහිව උපකුලපතිවරයාට සමාන පෙත්සමක් ඉදිරිපත් කරමින්, 2013 පෙබරවාරි 25 වන දින සරසවියේ අයි.ජී.එස් ශාලාවේ පැවති ජුනයිඩ් හෆීස් විසින් සංවිධානය කළ සම්මන්ත්‍රණයකදී දෙවියන්ගේ මහිමයට අපහාස වන කරුණු ඉදිරිපත් කෙරුණු බවත්, සර්ව බලධාරී දෙවියන්ව සමච්චලයට ලක් කෙරුණු බවටත් චෝදනා කළෝය.
සිසුන්ව හරවා යැවුණු අතර කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනුනේය. උපකුලපතිවරයා විසින් අංශාධිපති ශිරීන් අමතා කරුණු විමසූ විට ඈ විසින් මෙවැනි අපහාස කිරීමක් සිදු නොවූ බව පැවසීම එයට හේතුවයි.
2013 මාර්තු 7 වන දින ජුනයිඩ් හෆීස්ගේ "So called liberals of Pakistan" නම් වූ ෆේස්බුක් පිටුවේ ප්‍රශ්න තුනකින් සමන්විත පෝස්ටුවක් පළ වී තිබුණු අතර, ඒවායින් නබි (සල්) තුමාණන්ගේ මහිමයට හා ඔහුගෙන් පැවත එන්නන්ට ප්‍රසිද්ධියේ අපහාස කර තිබුණේය.
(ඉස්ලාම් ආගමික ඉතිහාසය හදාරා නැති අයෙකුට මේ ප්‍රශ්න නිසා අපහාසයක් සිදු වීමට ඉඩ ඇති ආකාරය තේරුම් ගැනීමට අපහසු නිසා එම කොටස මෙහි උපුටා දක්වා නැත.)
සිසු කණ්ඩායම විසින් ජුනයිඩ් හෆීස්ගෙන් එම පෝස්ටුව ඉවත් කරන මෙන් ඉල්ලා සිටියද ජුනයිඩ් හෆීස් එම පෝස්ටුව මකා නොදමයි. මෙම පෝස්ටුව පිළිබඳව සිසුන් දැඩි කෝපයට පත්වන අතර පසුව කණ්ඩායමේ කිහිප දෙනෙකුගේ යෝජනාව පරිදි මේ සිසුහු ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු හමු වෙති. මහාචාර්යවරයා මුලින්ම සිසුන්ව ප්‍රතික්ෂේප කරමින් අංශාධිපතිවරිය හමු වී ප්‍රශ්නය විසඳා ගන්නා මෙන් සේ දන්වා සිටී. අංශාධිපතිවරිය ඔවුන්ට ඇහුම්කන් දීමට අකමැති බවත්, නැවත මේ ගැන කතා කරන්නට ගියහොත් ඔවුන්ව විශ්ව විද්‍යාලයෙන් නෙරපා හරින බව දැනුම් දී ඇති බවත් එවිට සිසුහු පවසති.
මෙය ඇසූ මහාචාර්යවරයා ආචාර්ය ශිරීන් සමඟ කතා කර ජුනයිඩ් හෆීස්වද සිසුන්වද විශ්ව විද්‍යාලයේ පිහිටි ඔහුගේ නිවසට කැඳවයි. ජුනයිඩ් හෆීස් විසින් අදාළ ෆේස්බුක් සටහන ගැන මහාචාර්යවරයාට පවසන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උදෙසා ඔහු මෙම ෆේස්බුක් පිටුව ආරම්භ කර ඇති බැවින් ඔහුට එහි පළ වී ඇති කිසිදු පෝස්ටුවක් මකා දැමිය නොහැකි බවයි. ඉන් පසු සිසුන් සහ ජුනයිඩ් හෆීස් පිටත්ව යති.
මෙම පළ කිරීම් මකා නොදැමෙන අතර දින දෙකකට පසුව තත්ත්වය වඩා දරුණු වේ. මුහම්මද් නබි (සල්) තුමාණන්ගේ නාමයට අපහාස කරමින් තවත් පෝස්ට් තුනක් පළ වේ. එයින් එකක මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ නාමයට පසුව සාමාන්‍යයෙන් යෙදෙන "peace be upon him" යන්න වෙනුවට ලියා තිබෙන්නේ "piss be upon him" යන්නයි. තවත් පෝස්ටු දෙකක "Muhammad the Rapist" හා "Muhammad the sex maniac" ලෙස සඳහන් වේ. මේවා කිසිදු මුස්ලිම් වරයෙකුට දරා ගත නොහැකි විස්තර කිරීමට පවා අපහසු අපහාසයන්ය.
මෙම කථාව නේවාසිකාගාර පුරා සහ විශ්ව විද්‍යාලය පුරා පැතිරෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස විවිධ දෙපාර්තමේන්තු වල සිසුහු පංති වර්ජනය කිරීමට එකඟ වෙති.
ජුනයිඩ් හෆීස්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලා සිටිමින් හා එසේ නොකළහොත් පංති වර්ජනය කරන බව දැනුම් දෙමින් 2013 මාර්තු 12 වන දින සිසුහු උපකුලපතිවරයා වෙත ලිඛිතව ඉල්ලීමක් ඉදිරිපත් කරති. ජුනයිඩ් හෆීස් මාර්තු 12 වන දින රාත්‍රියේ ඔහුගේ බඩු බාහිරාදිය රැගෙන නේවාසිකාගාරයෙන් ඉවත් වී ආචාර්ය ශිරින්ගේ නිවසට යයි.
2013 මාර්තු 13 වන දින උදෑසන ඉංග්‍රීසි හා යූජීඑස් (Undergraduate Studies in Social Sciences) දෙපාර්තමේන්තු ඉදිරිපිට විරෝධතා ආරම්භ වූ අතර එහිදී එම දෙපාර්තමේන්තු දෙකේ සිසුන් පහළොස් දෙනෙකු පමණ යූබීඑල් (United Bank Limited) මං සන්ධිය යාබද මාර්ගය අවහිර කළෝය. මේ සමඟ, වෙනත් දෙපාර්තමේන්තු වල සිසුන් විශාල සංඛ්‍යාවක්ද විරෝධතාවයට සම්බන්ධ වූහ.
ටික වේලාවකට පසු විශ්ව විද්‍යාලයේ ආරක්ෂාව භාරව සිටින නේවාසික නිලධාරියා (Resident Officer - RO) ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකු පිරිවරා සිසුන් වෙත පැමිණේ. ජුනයිඩ් හෆීස් අත්අඩංගුවට ගෙන ඔහුගෙන් විනිවිද පෙනෙන ආකාරයෙන් ප්‍රශ්න කරන ලෙස ඉල්ලා සිසුහු විරෝධය පළ කරති. මඳ වේලාවකට පසු පොලීසිය සහ දිස්ත්‍රික් බලධාරීහු එම ස්ථානයට පැමිණෙති.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් විසින් පදික වේදිකාවේ සිටි සිසු සිසුවියන් අමතා අපහාස සිද්ධියට සම්බන්ධ ඕනෑම තරාතිරමක සැකකරුවෙකු කෆීර් වරයෙකු සේ සලකා ක්‍රියා කරන බවට සහතික වෙති. ඇතැම් සිසුන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනෙන අතර, දේශන වලට සහභාගී වී දිගටම අධ්‍යයන කටයුතු කරගෙන යන ලෙස සෙසු සිසුන්ගෙන් පොලිසිය හා පරිපාලනය විසින් ඉල්ලා සිටී. ඉන්පසු සිසුන්ව විසුරුවා හරිනු ලැබේ. අදාළ පරීක්ෂණ කටයුතු කරගෙන යාම සඳහා පොලිස් නිලධාරීන්ගෙන් හා විශ්ව විද්‍යාල නිලධාරීන්ගෙන් සමන්විත ඒකාබද්ධ පරීක්ෂණ කණ්ඩායමක් පත් කෙරේ.
පොලිස් නිලධාරීන් ජුනයිඩ් හෆීස්ව අත්අඩංගුවට ගැනීම සඳහා විශ්ව විද්‍යාලයේ ජුනයිඩ් නේවාසිකව සිටි නේවාසිකාගාරයට යන අතර එහිදී දැනගැනීමට ලැබෙන්නේ දිනකට පෙර ජුනයිඩ් හෆීස් තම අත්‍යාවශ්‍ය බඩු භාණ්ඩද රැගෙන නේවාසිකාගාරයෙන් පිටව ගොස් ඇති බවයි. නේවාසිකාගාරයේ නැවතී සිටින ඇතැම් කනිෂ්ඨ දේශකයින් නිර්නාමිකව පොලිසියට පවසා ඇත්තේ ජුනයිඩ් හෆීස් පෙර දින රාත්‍රියේ ආචාර්ය ශිරින් සුබයිර්ගේ නිවසට ගොස් ඇති බවයි. පොලීසිය මේ බව උපකුලපතිවරයාට දැනුම් දුන් පසු උපකුලපතිවරයා වහාම ශිරින් සුබයිර්ව තම කාර්යාලයට කැඳවන අතර එහිදී ඇය පවසන්නේ ජුනයිඩ් දැනටමත් ඩේවූ බස් රථයකින් (Daewoo Express) මුල්තාන් සිට ලාහෝර් බලා පිටත්ව ගොස් ඇති බවත් ඇගේ නිවසේ නැති බවත් ය.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගේ නායකත්වයෙන් යුත් පස් දෙනෙකුගේ කණ්ඩායමක් ජුනයිඩ් අත්අඩංගුවට ගැනීමට සඳහා වහා පිටත් විය. ඔවුහු වේගයෙන් රථය ධාවනය කරමින් ජුනයිඩ් හෆීස් ගමන් ගත් බස් රථය පසු කර ගොස් ජාවෙඩ් හෆීස්ට විනාඩි 15 කට පමණ පෙර ලාහෝර්හි කල්මා මං සන්ධිය අසල ඩේවූ බස් පර්යන්තය වෙත ළඟා වූහ.
ලාහෝර් ඩේවූ බස් පර්යන්තයේ නවතා තිබූ ඩේවූ බස් අංක LES/3873හි ආසන අංක 32හි සිටි ජුනයිඩ්ව එදින සවස් වරුවේදී පරීක්ෂණ කණ්ඩායම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු කොන්සියුලර් නිලධාරියෙකු සමඟ ඔහුගේ ලැප්ටොප් පරිගණකයේ දුරකථනයෙන් කතා කරමින් සිටියේය. ඒ අවස්ථාවේදී ජුනයිඩ් සතුව තිබූ ලැප්ටොප් පරිගණකයක්, සිම් කාඩ්පත් දෙකක් සමඟ ජංගම දුරකථනයක්, පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූප දොළහක්, අන්තර්ජාලයට පිවිසීමට යොදාගන්නා උපාංගයක්, ඇමරිකානු ජැක්සන් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය, හැඳුනුම්පත හා ඇඳුම් ආදිය පොලීසිය භාරයට ගැනේ.
එදින රාත්‍රියේදීම ඔහුව අදාළ භාණ්ඩද සමඟ ඒකාබද්ධ පරීක්ෂණ කණ්ඩායම වෙත ඉදිරිපත් කෙරේ. ඒකාබද්ධ පරීක්ෂණ කණ්ඩායම විසින් සාමාන්‍ය ප්‍රශ්න කිරීමේ ක්‍රියාවලිය අනුගමනය කරමින් ජුනයිඩ්ව ප්‍රශ්න කෙරේ.
පළමු ප්‍රශ්නය: ඔබේ නම සහ ලිපිනය මට කියන්න පුළුවන්ද?
පිළිතුර: ඔව්. මගේ නම ජුනයිඩ් හෆීස් ව්ලැඩ් නසීර් අහමඩ්. ජාතිය රාජ්පුත්. මාතන්කෝට් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. බහඋද්දීන් විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි දර්ශනවේදී උපාධිය හදාරන ශිෂ්‍යයෙකු වන අතර මෙම දෙපාර්තමේන්තුවේ බාහිර කථිකාචාර්ය වරයෙකු ලෙසද සේවය කරනවා. මගේ ඉංග්‍රීසි ප්‍රථම උපාධිය ලබා ගැනීමෙන් පසුව ශිෂ්‍යත්වයක් ලබා ඇමරිකා එක්සත් එක්සත් ජනපදයට ගොස් ශිෂ්‍යත්වය අවසන් වූ පසු නැවත මවු රටට පැමිණියා.
2 වන ප්‍රශ්නය: ඔබේ ලැප්ටොප් පරිගණකය අප ඉදිරිපිට සක්‍රිය කළ හැකිද?
පිළිතුර: ඔව්. (ලැප්ටොප් පරිගණකය සක්‍රිය කර ෆේස්බුක් පිටුව විවෘත කරයි.)
3 වන ප්‍රශ්නය: ඔබේ පරිශීලක නාමය සහ මුරපදය සඳහන් කළ හැකිද?
පිළිතුර: ඔව්. පරිශීලක නාමය: xxx මුරපදය: xxx
(පරීක්ෂණ කණ්ඩායමේ තොරතුරු තාක්ෂණ නිලධාරියා ජුනයිඩ්ගේ ෆේස්බුක් ගිණුම වෙත පිවිස ඒ හරහා එහි සම්බන්ධිත "So called liberals of Pakistan" පිටුවට පිවිසේ.)
4 වන ප්‍රශ්නය: මෙම ගිණුම ඔබේද? ඔබ මෙම ෆේස්බුක් පිටුව පරිපාලනය කරනවාද?
පිළිතුර: ඔව්, මෙම ගිණුම මගේ. මම මීට මාස කිහිපයකට පෙර මෙම පිටුව නිර්මාණය කළා. මම එහි එකම පරිපාලකයා.
5 වන ප්‍රශ්නය: මෙම පිටුවේ සාමාජිකයෙකු වීමට හෝ ඔබගේ අවසරයකින් තොරව කිසිවෙකුට එහි යමක් පළ කිරීමට හැකිද?
පිළිතුර: නොහැකියි. මගේ අවසරයකින් තොරව කිසිවෙකුට සාමාජිකයෙකු විය නොහැකියි. මගේ අවසරයකින් තොරව කිසිවෙකුට කිසිවක් පළ කළ නොහැකියි.
6 වන ප්‍රශ්නය: මෙම පිටුවෙහි සහ ඔබගේ ගිණුමේ පළ වී ඇති පෝස්ට් වලින් මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ, සර්වබලධාරි දෙවියන්ගේ සහ ඇදහිලිවන්තයන්ගේ මහිමයට අපහාසයක් වී ඇති බව ඔබ දන්නවාද?
පිළිතුර: ඔව්, මම ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරනවා.
7 වන ප්‍රශ්නය: ඔබ මෙම ලිපි මකා නොදැමුවේ ඇයි?
පිළිතුර: ඇත්ත වශයෙන්ම, මම මෙම සංසදය නිර්මාණය කළේම නිදහස් අදහස් ප්‍රකාශනය සඳහායි. ඕනෑම දෙයක් ප්‍රශ්න කිරීමට හෝ අදහස් දැක්වීමට හා ඕනෑම මතයක් දැරීමට නිදහසක් තිබිය යුතු බව මම විශ්වාස කරනවා.
8 වන ප්‍රශ්නය: මෙම පිටුවේ නබි (සල්) තුමාණන්ගේ මහිමය ගැන විවෘතව අදහස් පළ කෙරෙන බව ඔබ දන්නවාද?
පිළිතුර: ඔව්, එය මගේ දැනුමෙන් සිදු වන්නක්.
මෙසේ ඒකාබද්ධ පරීක්ෂණ කණ්ඩායමේ තොරතුරු තාක්ෂණ විශේෂඥයා විසින් ජුනයිඩ් හෆීස්ගේ පරිශීලක නාමය හා මුරපදය ලබා ගෙන ඔහුගේ ෆේස්බුක් ගිණුම හා "So called liberals of Pakistan" ෆේස්බුක් පිටුව වෙත ප්‍රවේශ වීමෙන් අනතුරුව ඒවායේ අඩංගු අපහාසාත්මක පළ කිරීම්ද සමඟ සමස්ත ක්‍රියාවලියම සජීවීව පටිගත කර සංයුක්ත තැටි දෙකක තැන්පත් කිරීමෙන් අනතුරුව මෙම ෆේස්බුක් ගිණුම් අක්‍රිය කෙරේ.
පසු දින, විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.
(මතු සම්බන්ධයි)
Sunday, December 22, 2019
ජුනයිඩ් හෆීස්
ඉස්ලාම් ආගමට අපහාස කිරීමේ චෝදනා මත වසර හතකට ආසන්න කාලයක් අත් අඩංගුවේ සිටි පකිස්ථාන සරසවියක දේශකයෙකු වූ ජුනයිඩ් හෆීස්ට පකිස්ථාන අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කර තිබෙනවා.
ජුනයිඩ් හෆීස් ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වලාභියෙකු ලෙස ඇමරිකාවේ මිසිසිපි ප්‍රාන්තයේ ජැක්සන් රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධියක් ලබා ගත් අයෙක්. 2010 වසරේදී නැවත පකිස්ථානයට යාමෙන් පසුව ඔහු පන්ජාබයේ මුල්තාන් බහඋද්දින් සකරියා සරසවියේ දේශකයකු ලෙස සේවය අරඹනවා.
ජුනයිඩ් හෆීස්ගේ නිදහස් මතධාරී අදහස් හේතුවෙන් පකිස්ථානය ඉස්ලාමීය රාජ්‍යයක් බවට පත් කිරීම වෙනුවෙන් පෙනී සිටින ජමාතේ ඉස්ලාමී පක්ෂයේ ශිෂ්‍ය සංවිධානය ඇතුළු අන්තවාදී ශිෂ්‍ය කණ්ඩායම් මුල සිටීම ජුනයිඩ් හෆීස්ව සරසවියට බඳවා ගැනීමට විරුද්ධ වෙනවා. මේ කණ්ඩායම් විසින් හෆීස්ට ඉස්ලාම් ආගමට අපහාස කිරීම පිළිබඳව චෝදනා කරන්නේ වත්පොත් පළ කිරීමක් ඉදිරියට දමමිනුයි.
චෝදනාවට හේතු වූ පළ කිරීම කර තිබෙන්නේ ජුනයිඩ් හෆීස් විසින් නෙමෙයි. එහෙත් එය පළ වූ වත්පොත් කණ්ඩායම් පිටුවේ ඇඩ්මින් වරයා ලෙස ඔහු එම පෝස්ටුව ඉවත් නොකිරීම මත ඔහුට චෝදනා නගා තිබෙනවා. ශිෂ්‍ය කණ්ඩායම් වල චෝදනා වලට අනුව "So-Called Liberals of Pakistan" සහ "Mulla Munafiq" නම් ෆේස්බුක් පිටු පවත්වා ගෙන ගොස් තිබෙන්නේත්, එම නම් වලින් කමෙන්ට් දමා තිබෙන්නේත් ජුනයිඩ් හෆීස් විසිනුයි. ජුනයිඩ් හෆීස් වෙනුවෙන් පෙනී සිටින අයට අනුව මෙය තහවුරු කළ කරුණක් නොවන අතර හෆීස්ව අත් අඩංගුවට ගැනීමෙන් පසුවද මේ වත්පොත් පිටු සක්‍රියව ක්‍රියාත්මක වී තිබෙනවා. කුරානයේ ඇති දේ පැරණි මෙසපොතේමියානු ජනකතා මත පදනම් වන බව ප්‍රකාශ කිරීම ඔහුට එරෙහිව තිබෙන තවත් චෝදනාවක්.
ජුනයිඩ් හෆීස් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින්ට ආගමික අන්තවාදීන්ගෙන් දිගින් දිගටම මරණ තර්ජන එල්ල වුනා. පකිස්ථානයේ ස්වාධීන මානව හිමිකම් කොමිසමේ මුල්තාන් කාර්යාලයේ අධ්‍යක්ෂ රෂීඩ් රෙහ්මන් විරෝධතාකරුවන්ට අවනත නොවී ජුනයිඩ් හෆීස් වෙනුවෙන් පෙනී සිටීම නිසා ඔහුට වසර කිහිපයකට පෙර ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදු වුනා.
ජුනයිඩ් හෆීස් වැනි නිදහස් මතධාරී ඉස්ලාම් ආගමිකයින්ව එක අතකින් ඉස්ලාම් අන්තවාදීන්ගේ විරෝධයට පාත්‍ර වන අතරම අනික් පැත්තෙන් ඔවුන්ට ඉස්ලාම් වීම නිසාම ඉස්ලාම් නොවන ලෝකය තුළ වෙනස් ලෙස සැලකීමට භාජනය වෙන්න සිදු වී තිබෙනවා. ඉන්දියාවේ අලුත් පණත උදාහරණයක්. ඉස්ලාම් නොවන වෙනත් මධ්‍යස්ථ මතධාරීන්ට මුහුණ දෙන්න වී තිබෙන ගැටළුවත් මෙයමයි. ලෝකයේ හැම පැත්තේම වගේ මධ්‍යස්ථ මතධාරීන්ට වෙන් වුනු ඉඩකඩ එන්න එන්නම පටු වෙනවා.
(Image: https://www.voanews.com/south-central-asia/pakistani-scholar-sentenced-death-blasphemy)
Tuesday, December 15, 2015
ෂරියා දණ්ඩ නීතිය: නොදැන මැකුවොත් හිරේ
රටක දණ්ඩ නීති සංග්‍රහය කියන්නේ ඒ රටේ නීතිය අනුව අපරාධ අර්ථ දක්වා ඒවාට ලබා දියයුතු දඬුවම් විස්තර කර ඇති ලියවිල්ලකි. කම්බියක් දිගේ විදුලිය ගමන් කරනු ඇසට නොපෙනුණත්, විදුලිය ගැන කවදාවත් අසා නැති වුවත්, විදුලිය සහිත කම්බියක් ස්පර්ශ කරන කෙනෙකුට විදුලි සැර වැදේ. මේ අයුරින්ම රටක නීතිය අනුව යම් පුද්ගලයෙකුගේ ක්‍රියාවක් වරදක් වීමටත්, එවැන්නෙකුට දඬුවම් ලැබීමටත් නීතිය නොදැන සිටීම බාධාවක් නොවේ. රටක නීතිය යනු සියල්ලන්ම විසින් දැන සිටිය යුතු එකක් බවට සාමාන්‍යයෙන් පූර්ව නිගමනයක් ඇත. බැද්දේගම සිළිඳුගේ සිට මුතුර්හි රිසානා නෆීක් දක්වා මුහුණ දුන් ඛේදවාචකය වූයේ තමන් ජීවත් වූ සමාජය යටත්ව ඇති නීති පද්ධතිය ගැන නිසි අවබෝධයක් නොතිබීමයි.
ලංකාවේ දණ්ඩ නීති ආඥාපණත මුලින්ම හඳුන්වා දුන්නේ පස්වෙනි ජෝජ් රජු විසින් ලංකාව පාලනය කළ 1883 දීය. ඉන්පසුව සමාජයේ වෙනස්කම් වලට ගැලපෙන පරිදි සුද්දා මේ ආඥාපණත තිස් වරක් වරින් වර සංශෝධනය කළේය. මෙසේ වසර දෙකකට පමණ වරක් සුද්දා මේ අස්සයා මාරු කළත් නිදහසින් පසු දශක දෙකක්ම අප කළේ මේ අස්සයා මාරු නොකර පැදීමයි. නිදහසින් පසුව 1968 දී මුල් වරටත්, 1980දී දෙවන වරටත් අපේ දණ්ඩ නීතිය වෙනස් විය. ඉන්පසුව අනූව දශකයේ පටන් වසර තුන හතරකට වරක් අපි අපේ දණ්ඩ නීතිය සංශෝධනය කළෙමු. (මේ වන විට නැවත වරක් අපේ දණ්ඩ නීතිය සංශෝධනය කිරීමට කටයුතු කෙරෙමින් පවතින අතර අද දුටු පුවත් දෙකකට අනුව ද්‍රවිඩ සන්ධානය මෙන්ම බොදුබල සේනාවද මේ අළුත් සංශෝධනයට අකමැත්ත ප්‍රකාශ කර ඇත.)
මට මුලින්ම පරිශීලනය කිරීමට ලැබුණේ 1968 සංශෝධිත ලංකා දණ්ඩ නීති සංග්‍රහයයි. මෙය මගේ පියාගේ පුස්තකාලයේ තිබුණු බැව් හරියටම නිවැරදි නොවන්නේ එය වැඩිපුරම තිබුණේ ඔහුගේ ලියන මේසය මත බැවිනි. මෙහි විවිධ වගන්ති ඔහු නිතර කියවූවත් ඇත්තටම ඒ පොත බලාගෙන නොවේ. මතකයෙනි. ඔහු බොහෝ විට පොත අතට ගෙන එහි පිටු නොපෙරලාම "දැන් මේ පොතේ xx වගන්තිය අනුව ..." යනුවෙන් කියවාගෙන යයි. මෙය ඔහුගේ වෘත්තීය නොවූවද අපේ පවුලේ සිටි නීති හා අධිකරණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට ගිය සියල්ලන්ටම වඩා නීතිය පිලිබඳ ඔහුගේ දැනුම ඉහළ බවනම් ඉඳුරාම කිව හැකිය.
පසුව මේ 1968 සංශෝධනය වෙනුවට 1980 සංශෝධනය ඔහුගේ මේසයට ආවේය. පියාගේ කතාබස් වලින් හැලෙන කෑලි අහුලගන්නවාට අමතරව මේ පොත් මමත් වරින් වර කියවූයෙමි. පසුකාලයකදී, නීති විද්‍යාලයේ අපරාධ නීතිය විෂයට කිසිදු දේශනයකට සහභාගී නොවී, පෙර දින සහ උදය වරුවේ පමණක් සූදානම් වී ඉහළ ලකුණු ගණනක් ගැනීමට උදවු වුණේ මේ දැනුමයි. 'යුනියන් නෝට්ස්' වලින් නීති විද්‍යාල විභාග ගොඩ දා ගැනීම අපහසු නොවුණත් ඒවා ප්‍රමාණවත් වුණේ යාන්තම් පාස් වීමට පමණි.
ඉරාන දණ්ඩ නීතිය අපේ දණ්ඩ නීතියට සාපේක්ෂව සරල එකක් බව මගේ අදහසයි. මෙය හඳුන්වා දී ඇත්තේ 1991 වසරේදීය. මේ ගැන මගේ සම්පූර්ණ දැනුම අන්තර්ජාලයෙන් හොයාගත් ඉහත කියූ සංක්ෂිප්ත ලියවිල්ලට සීමා වුණත් එහි ඇතැම් කරුණු සටහන් කර තැබීම වැදගත්යැයි සිතේ. යම් රටකට තාවකාලිකව හෝ ඇතුළු වන කෙනෙකු අදාල රටේ නීති ගැන දැන සිටියත්, නොදැන සිටියත් ඒවාට මුළුමනින්ම යටත්ය. ඒ නිසා කළ යුත්තේ මෙවැනි නීති ගැන හැකිතාක් දැනුවත් වීමයි. නීති කෙතරම් ම්ලේච්ඡ ලෙස පෙනුණත්, ඒවා ගැන නොදැන ඇණගත්තාට පසු මේ නීති විවේචනය කිරීම තේරුමක් නැති දෙයකි.
ඉරාන දණ්ඩ නීති සංග්‍රහයේ 82 වගන්තිය අනුව පහත අවස්ථාවන් වලදී වයස සහ විවාහක/අවිවාහක භාවය කවරක් වුවද ලිංගික හැසිරීමක් සඳහා දඬුවම මරණයයි. මෙහි ලිංගික හැසිරීම යනු (63 වගන්තිය අනුව) ගැහැණියක සහ පිරිමියෙකු අතර සාමාන්‍ය හෝ ගුද සංසර්ගයයි.
- ඉස්ලාම් ආගමෙන් තහනම් කර ඇති ලේ ඥාතීන් අතර ලිංගික හැසිරීමකදී දෙදෙනාටම
- තමන්ගේ සුළු මවු සමඟ ලිංගික හැසිරීමකදී පිරිමියාට
- මුස්ලිම් නොවන පිරිමියෙකු සහ මුස්ලිම් කාන්තාවක් අතර ලිංගික හැසිරීමකදී මුස්ලිම් නොවන පිරිමියාට
- ස්ත්‍රී දූෂණයකදී දූෂකයාට
පහත සඳහන් අවස්ථා වලදී දඬුවම ගල් ගසා මැරීමයි (83 වගන්තිය).
- තමන් විසින් වරක් හෝ සංසර්ගය කර ඇති, තමන්ට අවශ්‍ය වූ විට සංසර්ගය සඳහා ඉඩ දීමට සූදානම්ව සිටින බිරිඳක් සිටින විවාහක පුරුෂයෙකු වෙනත් කිසියම් කාන්තාවක සමඟ ලිංගිකව හැසිරුණු විට
- තමන් විසින් සැමියා සමඟ වරක් හෝ සංසර්ගයේ යෙදී ඇති, නැවතත් එසේ කිරීමට බාධාවක් නැති විවාහක කාන්තාවක් වෙනත් වැඩිහිටි පිරිමියෙකු සමඟ ලිංගිකව හැසිරුණු විට (විවාහක කාන්තාවක ලාබාල තරුණයෙකු සමඟ ලිංගිකව හැසිරුණු විට මරණ දඬුවම නොලැබේ. එවිට දඬුවම කසපහරයි.)
මෙසේ කාමයේ වරදවා හැසිරෙන වයස්ගත කාන්තාවකට හෝ පිරිමියෙකුට ගල් ගසා මරා දැමීමට පෙර කසපහරද දිය යුතුය (84 වගන්තිය).
අවිවාහක කාන්තාවක් සහ පිරිමියෙකු අතර ලිංගික හැසිරීමට දඬුවම කසපහර සියයකි (88 වගන්තිය). එහෙත්, මේ වරද සිවුවන වරට කර අසුවුවහොත් දඬුවම මරණයයි (90 වගන්තිය).
ගල් ගසා මරා දැමීම ක්‍රියාත්මක කළ යුත්තේ පිරිමියෙකුනම් ඉණ මට්ටමටත්, ගැහැණියකනම් තන මට්ටමෙන් ඉහළටත් පොළොවේ වැලලීමෙන් පසුවය (102 වගන්තිය).
එමෙන්ම, 104 වගන්තිය අනුව, එක් ගල් පහරකින් හෝ දෙකකින් මරණයට පත් වන තරමට ගලක් විශාල නොවිය යුතු අතර ගලක් කියා හැඳින්විය නොහැකි තරම් කුඩා නොවිය යුතුය.
දඬුවමට ලක්වන්නා ගැලවී පලාගියහොත් කටයුතු කළ යුතු ආකාරය 103 වගන්තියේ විස්තර වේ. දඬුවම ලබාදෙන්නේ වරද පිළිගැනීම මත පදනම්වනම් (වරද තහවුරු කළ හැකි පහසුම ක්‍රමය සිවුවරක් වරද පිළිගැනීමට ඉඩහැරීමයි.) මෙසේ ගැලවී ගිය කෙනෙකු නැවත රැගෙන විත් දඬුවම ක්‍රියාත්මක කළ නොහැක. එහෙත්, බාහිර සාක්ෂි වලින් එය තහවුරු වී ඇත්නම් එසේ කළ යුතුය.
වැඩිහිටි පිරිමි දෙදෙනෙකු අතර සමලිංගික හැසිරීමට දඬුවම දෙදෙනාටම මරණයයි. මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු ආකාරය විනිශ්චය කාරයාට තීරණය කළ හැකිය (110 වගන්තිය). වැඩිහිටි පිරිමියෙකු සහ ලාබාල අයෙකු අතර සමලිංගික හැසිරීමකදී වැඩිහිටි පිරිමියාට මරණයත්, බාලයාට කසපහර 74 කුත් හිමි වේ (112 වගන්තිය).
ගැහැණු සමලිංගික සේවනයට දඬුවම දෙදෙනාටම කසපහර 100 බැගිනි (129 වගන්තිය). සිවුවන වරට අසුවුවහොත් දඬුවම මරණයයි (131 වගන්තිය).
මත්පැන් පානය සඳහා දඬුවම කසපහර 80 කි (174 වගන්තිය).
මේවා කුරාණයේ හෝ වෙනත් ආගමික ලියවිලි වල (සුන්නා) ඇති දෑ මත පදනම්ව ඇති නීති බැවින් ෂරියා නීතිය ක්‍රියාත්මක වන අනෙක් රටවලද මේ නීති මෙයට ආසන්නව සමාන බව මගේ අදහසයි.
ඒ නිසා ඔය රටවලට යනවානම් කොරන දෙයක් පරිස්සමිනි. හදිස්සියේවත් පරණ කරුමයකට කොහේවත් තිබුණු වරදකට හෝ අසු වුනොත් වරද පිළිගැනීමනම් කෙසේවත් නොකළ යුතු දෙයකි. වරද පිළිගත්තා කියන්නේ අනිවාර්යයෙන්ම එහා ලෝකයට 'වන් වේ එයා ටිකට්' එකකි.
(Photo credit: boingboing.net)
Wednesday, December 9, 2015
ඉදිරිගාමීන් සහ පසුගාමීන්
යම් නිශ්චිත මොහොතක අප සිටිනා තැන සිට ආපසු හැරී බැලූ විට අපට දැන් සිටිනා තැනට පැමිණීමට උදවු වූ ඉදිරිගාමී මතය මෙන්ම එය නියෝජනය කළ ඉදිරිගාමීන්ද හඳුනාගැනීම අපහසු නැත. ප්‍රශ්නයක් මතුවන්නේ මේ මොහොතේ ඉදිරිගාමී මතය කුමක්දැයි හඳුනාගැනීමේදීය. සමාජයක් ඉදිරියට ගෙනයන මතය ඉදිරිගාමී මතයයි. එහෙත්, මේ 'ඉදිරිය' අද අපට හරියටම නොපෙනේ. ඒ නිසා අපේ දැනුම, අත්දැකීම් ආදිය ඇසුරෙන් අපට සමාජ ප්‍රගමනය සිදුවන ආකාරය ගැන හෝ සිදුවිය යුතු ආකාරය ගැන තීරණය කිරීමට සිදුවේ. මෙහිදී අප එකිනෙකා දකින අනාගතයන් බොහෝ විට එකම නොවේ.
දිගුකාලීනව සමාජයක් පරිණාමය වීමේදී වඳ නොවී ඉදිරියටම යා හැක්කේ ඉදිරිගාමීන්ටය. මේ අනුව, අද ජීවත්වන සියල්ලෝම යම් කාලයක ජීවත් වූ ඉදිරිගාමින්ගෙන් පැවතෙන්නෝය. පසුගාමීන්ගෙන් පැවතෙන්නෝ අප අතර නැත. මේ අයුරින්ම අනාගතය යනු අද ජීවත්වන ඉදිරිගාමීන්ගේ ලෝකයකි.
උදාහරණයක් ලෙස සම්මතයක් ලෙස දරුවන් බිහි නොකරන හෝ ඔවුන් ලොකු මහත් වන තුරු රැකවරණය නොසපයන සමාජයක් දරුවන් බිහිකර හොඳින් රැකබලාගන්නා සමාජයකට සාපේක්ෂව පසුගාමී සමාජයකි. කාලයත් සමඟ පළමු ආකාරයේ සමාජ ක්ෂය වී පසුව වඳ වී ගොස් දෙවැන්න ස්වභාවිකවම සම්මතය වේ. යම් මතයක් හෝ චර්යාවක් ඉදිරිගාමීදැයි හඳුනා ගත හැකි එක් නිර්ණායකයක් වන්නේ, විකල්පයකට සාපේක්ෂව, අදාළ මතයේ හෝ චර්යාවේ අනාගත පැවැත්මයි. අනාගත පැවැත්ම නිශ්චය කිරීමේදී අද අප සිටින තැනට පැමිණීමට උපකාරී වූ චර්යාවන් හඳුනාගැනීමෙන් යම් ඉඟියක් ලබා ගත හැකිය.
ආගම් බිහි වී ඇත්තේත්, ප්‍රචලිත වී ඇත්තේත් කිසියම් කාලයකදී කිසියම් සමාජයකට මතු වූ ගැටළුවකට හෝ ගැටළු ගණනාවකට විසඳුම් ලෙසිනි. මේ ගැටළු වල ස්වභාවය වෙනස් වෙද්දී මුල් විසඳුම් තවදුරටත් ප්‍රමාණවත් හෝ ප්‍රයෝජනවත් නොවන විට ආගම් පරිණාමය වීම, අළුත් ආගම් හෝ නිකාය බිහිවීම මෙන්ම වෙනත් ආගමක් විසින් ප්‍රතිස්ථාපනය කරනු ලැබීම සිදුවී තිබේ. ආගම් මෙන්ම නීති, දඬුවම් ක්‍රම හා දේශපාලන ආකෘති බිහි වී ඇත්තේද මේ අයුරිනි.
පුද්ගල අභිලාශ හා පොදු අභිලාශ අතර ගැටුම මානව සංස්කෘතියේ ආරම්භයේ සිටම පැවති ප්‍රශ්නයකි. ඇතැම් විට පුද්ගල අභිලාශ හා පොදු අභිලාශ මැනවින් ගැලපේ. ඇතැම් විට එසේ නොවේ. ප්‍රාථමික සමාජයක ජීවත් වන යමෙකුට වෙනෙකෙකුට අයිති දෙයක් පරිභෝජනය කිරීම ස්වකීය සන්තුෂ්ඨිය වැඩි කරවන ක්‍රියාවකි. එහෙත්, වෙනත් අයෙකු තමා සතු දෙයක් එසේ පරිභෝජනය කිරීම කණගාටුවට කරුණකි. මේ අසමතුලිතතාවට විසඳුමක් ලෙස අන්සතු දේ ගැනීමට එරෙහිව නීති, දඬුවම් මෙන්ම ආගමික මත බිහිවිය. මේ විසඳුම් භාවිතයට ගන්නා සමාජයක් අනුන්ගේ දේ සොරා ගැනීම සම්මතය වූ සමාජයකට වඩා ඉදිරිගාමී එකක් වූ බැවින් සොරකමට එරෙහි නීති, දඬුවම් මෙන්ම ආගමික තහංචි මේ වන විට සම්මතයයි.
තමාගේ කණ්ඩායමේ සාමාජිකයින් සුළු කරුණකට වුවත් මරා දැමීම සම්මතය වූ සමාජයක් කාලයත් සමඟ ක්ෂය වී, වඳ වී යයි. එවැනි පසුගාමී චර්යාවන් වලක්වා ගත හැකි විසඳුමක් සොයාගත් සමාජයක් සාපේක්ෂව ඉදිරිගාමී සමාජයකි. මිනීමරුවන් ප්‍රසිද්ධියේ ගල් ගසා මරා දැමීම මඟින් මිනීමැරුම් අධෛර්යමත් කිරීම වඩා හොඳ විකල්පයක් ගැන නොදන්නා ප්‍රාථමික සමාජයකට ඉදිරිගාමී පියවරකි. මරණින් මතු සිදුවන ලොකු අවාසියක් පෙන්වා මිනීමැරුම් පාලනය කිරීම වඩා හොඳ විකල්පයකි. එමෙන්ම, සමාජ විරෝධියෙකු සමාජයෙන් වෙන්කර තබාගැනීමේ පිරිවැය දරාගැනීම අපහසු, වෙනත් විසඳුමක් ගැනද නොදන්නා සමාජයකට මිනීමැරුමකට වඩා අඩු වරදක් කරන්නෙකු වුවද මරා දැමීම ඉදිරිගාමී පියවරකි.
වරදකරුවකු ගල් ගසා මරා දැමීම තිබුණු හොඳම විකල්පය වූ තැන සිට දැන් අප බොහෝ දුර පැමිණ තිබේ. ගල් ගසා හෝ දෙතිස් වධ දී මරා දමන තැන සිට 'මානුෂික ලෙස' මරා දමන තැනටත්, මරණ දඬුවම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන තැනටත් බොහෝ සමාජ මේ වන විට පරිණාමය වී තිබේ. ඇමරිකාවේ මරණ දඬුවම තවමත් ක්‍රියාත්මක වන නමුත් එය ක්‍රමක්‍රමයෙන් ඉවත් වෙමින් යන පසුගාමී චර්යාවකි. කෙසේ වුවද මේ හා අදාලව ඇමරිකාව රටක් වශයෙන්ද සිටින්නේ පසුගාමී තැනකය.
ඇමරිකාව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සාමාන්‍යයෙන් සිදු කරන්නේ නිර්වින්දනය කිරීමෙන් අනතුරුව, පළමුව මාංශ පේශීන්ද දෙවනුව හදවතද අක්‍රිය වන අයුරින් විෂ එන්නත් කිරීම මඟිනි. ලංකාවේදී එල්ලා දැමීම නියම කෙරුනද අප දන්නා පරිදි කලක සිටම එල්ලුම් ගස ක්‍රියාත්මක නොවේ. එංගලන්තයේ එල්ලුම් ගස ප්‍රයෝජනයට ගන්නා ආකාරය මා පෙර පලකළ මේ ලිපියේ උඩින්ම ඇති ඡායාරූපයෙන් බලාගත හැකිය (ඡායාරූපය විශාල කර බලන්න). එය ක්‍රියාත්මක වන ආකාරය දැක ගැනීමට අවශ්‍යනම් යායුතු තැන එම ලිපිය අවසානයේ තිබේ. මේ එය තිබිය යුතු නිසි තැනයි.
මේ අනුව, අතීතයේ සිට ආ ගමනේ රේඛීය දිගුවක් ලෙස අනාගතය දෙස බැළුවොත් මරණ දඬුවම යනු අනාගතයේදී ලෝකයෙන් තුරන් වීමට නියමිත පසුගාමී චර්යාවකි. කෙසේ වුවද, සමාජ ප්‍රගමනය සිදුවන්නේ හරියටම රේඛීයව නොවේ. ඇතැම් විට මේ මාර්ගයේ වංගු තිබේ. ඇතැම් සමාජ මේ වංගු කෙටි පාරවල් වලින් තරණය කරයි. තවත් විටක ආපසු ගොස් හැරී ඒමට සිදුවේ. එමෙන්ම, රවුමේ කැරකෙන වෙලාවල්ද තිබේ. මෙසේ වංගු ගන්නා, ආපසු යන හෝ රවුමේ කැරකෙන අවස්ථාවල ඉදිරිගාමියෙකු පසුගාමියෙකු ලෙසද පසුගාමියෙකු ඉදිරිගාමියෙකු ලෙසද පෙනිය හැකිය.
බොහෝ රටවල් බටහිර සංස්කෘතියෙන් බැහැරවීම ඉදිරිගාමී පියවරක් ලෙස සලකන කාලයක තුර්කිය කළේ බටහිර සංස්කෘතිය වැළඳ ගැනීමයි. කෙමල් අතතුර්ක් මේ පරිවර්තනයට නායකත්වය සැපයීය. දශක ගණනාවකට පසුව ලී ක්වාන් යූගේ නායකත්වය යටතේ සිංගප්පුරුවේ වූයේද එවැන්නකි. මේ පියවර ඉදිරිගාමී පියවරක් බව දැන් අපට පෙනේ. එහෙත්, යමෙක් මෙවැනි ප්‍රතිසංස්කරණ මුලින්ම ක්‍රියාත්මක කරන විට අවසන් ප්‍රතිපලය කවරෙක්දැයි ඉඳුරාම කිව නොහැකිය. සමාජ පරිණාමයේදී ඉතිරි වන්නේ ජයග්‍රාහකයින් පමණි. පරාජිතයින් ඉතිහාසයෙන් ඉවත් වේ. ඊළාම් අරගලය වෙනස් අයුරකින් නිමවීනම් වේලුපිල්ලේ ප්‍රභාකරන් අද ජාතියේ පියෙකි. මේ වන විට කිසියම් හෙයකින් ඉස්ලාම් රාජ්‍ය පාලනය ලෝකයේ ප්‍රධානම දේශපාලන ව්‍යුහය වී ලෝක ආර්ථිකය හා මාධ්‍ය හැසිරවීමේ බලය ඔවුන් අත සංකේන්ද්‍රනය වී තිබුණේනම් ඉස්ලාමීය ප්‍රතිසංස්කරණ වෙනුවෙන් මුලින්ම හඬ නැඟූ අය ඉදිරිගාමින් ලෙස බොහෝ දෙනෙකු දකිනු ඇත. අද ඉදිරිගාමියා කවරෙක්දැයි තීරණය කරන්නේ අනාගත ලෝකයේ දේශපාලන බලතුලනය විසිනි.
කෙමල් අතතුර්ක්ගේ තුර්කිය ආගම රාජ්‍ය පාලනයෙන් ඉවත් කළ එකම මුස්ලිම් රට නොවේ. අතතුර්ක්ගේ ප්‍රතිසංස්කරණ සිදු කෙරෙන කාලයේම යාබද පිහිටි ඉරානයේ ඔටුනු පලන් රිසා ෂා විසින් 1924දී ඉරානයේද ඉස්ලාම් අතු ඉති කපා දැම්මේය. ඔහු විසින් හඳුන්වාදුන් ප්‍රතිසංස්කරණද අතතුර්ක් ප්‍රතිසංස්කරණ වලට බොහෝ කිට්ටු ඒවාය. වෙනකක් තබා ප්‍රසිද්ධියේ මුස්ලිම් ආගමික උත්සව පැවැත්වීම මෙන්ම ගැහැණුන්ගේ හිජාබය පමණක් නොව පිරිමින්ට උඩුරැවුල හැර රැවුල වැවීම පවා තහනම් කෙරුණේය. ෂා රජ පරපුර බලයෙන් පහකෙරෙන තුරුම ඉරානයේ රාජ්‍ය පාලනය ආගමික නොවූ එකක් විය.
ඉහත තත්ත්වය උඩුයටිකුරු කෙරුණේ අයතොල්ලා කොමෙයිනි විසින් 1979දී ෂා පාලනය පෙරලා බලය පිහිටුවා ඉස්ලාමීය රාජ්‍ය පාලනයක් ඇරඹීමෙන් පසුවය. ඉරාන විප්ලවය ලෝක දේශපාලනයේ හැරුම් ලක්ෂ්‍යයකි. බටහිරකරණය වෙමින් හෝ සමාජවාදය වෙත යමින් තිබූ දේශපාලන ප්‍රවාහ දෙකට අමතරව තෙවැන්නක් තීරණාත්මක විකල්පයක් ලෙස මතු වුනේ ඉරාන විප්ලවයෙන් පසුවය.
තුර්කියේ අද සිදුවන්නේද ඉරාන විප්ලවයෙන් පසු ඇරඹුණු ආපසු ගමනයි. මෙය එහි ජනතාවගෙන් සැලකිය යුතු කොටසකගේ ආශීර්වාදය ඇතුව සිදුවන දෙයක් මිස එර්ඩොගන්ගේ තනි කැමැත්තෙන්ම සිදුවන දෙයක් නොවේ. එය මා කැමති වුවද අකමැති වුවද ලොව පුරා සීග්‍රයෙන් වර්ධනය වන ප්‍රවණතාවකි. ජනප්‍රියත්වය ගිලිහෙමින් තිබූ ඉස්ලාමීය දේශපාලනය නැවතත් ජනප්‍රිය වීමට හේතු වූ කරුණු මා මෙහි සාකච්ඡා කරන්නේ නැත. රටක ජනතාවකගෙන් බහුතරය කැමති පාලන ක්‍රමයක් තෝරාගැනීම ඔවුන්ගේ අයිතියකි. එහෙත්, මේ තෝරාගැනීමේ ඇති භයානකකම වන්නේ මේ මාර්ගය යොමුවී ඇත්තේ නැවත ආපසු පැමිණීම ඉතා අසීරු ගමනාන්තයක් වෙත වීමයි.
ලංකාවේ මුස්ලිම් ප්‍රජාව අතරින් කොටසක් තුළ මේ වන විට සිදුවන ඇතැම් වෙනස්කම් තේරුම් ගතයුත්තේ මේ ලෝක ප්‍රවණතාවන්ද හඳුනාගනිමිනි. ඒවාට සෙවිය යුත්තේ උපක්‍රමික විසඳුම් මිස හදිසි විසඳුම් නොවේ.
පහත වීඩියෝවේ ඡායාරූප එකතුවෙන් දැකගත හැක්කේ ඉස්ලාමීය විප්ලවයට පෙර ඉරානයයි. තුර්කියනම් තවමත් මේ වගේ තිබේ.
Sunday, December 6, 2015
මුස්ලිම් ලෝකය තුල කෙමල් අතතුර්ක් ලකුණ
පසුගිය සති දෙක තුන තුල මුස්ලිම් අන්තවාදය හා අදාලව සටහන් කිහිපයක්ම පලවී තිබුණේය. මධ්‍යස්ථ මතධාරියාගේ, මාතලන්ගේ සහ කොළඹ ගමයාගේ සටහන් මේ විෂය හා අදාලව මා එසේ කියවූ කිහිපයකි.
මා කුඩා කල සිටම ශ්‍රී ලාංකික මුස්ලිම් හා මැලේ ජාතිකයින් ලඟින් ඇසුරු කර තිබේ. එහෙත්, මැදපෙරදිග කලාපය පිළිබඳවනම් මට පළමෝත අත්දැකීම් නැති තරම්ය. මුස්ලිම් මහා සංස්කෘතියක් තුල ජීවිතය පිළිබඳව මට ඇති ලොකුම අත්දැකීම බංග්ලාදේශයේ ජීවත් වූ කෙටි කාලයයි. අනෙකුත් අත්දැකීම් කෙටිකාලීන සංචාරයන්ට වඩා වැඩි ඒවා නොවේ.
බංග්ලාදේශයේ ගතකල කාලය තුල මට දැනුනු ප්‍රධාන කරුණක් වූයේ බෙංගාලි මුස්ලිම්වරුන් සමස්තයක් ලෙස ලංකාවේ මුස්ලිම්වරුන් තරම් 'මුස්ලිම්' නැති බවයි. මගේ ලාංකික මුස්ලිම් මිතුරන් අතර මත්පැන් පානය කරන, මූලික ඉස්ලාම් වතාවත් නොපිළිපදින අය නොසිටි තරම්ය. එහෙත්, බංග්ලාදේශයේදී මෙවැනි අය සෑහෙන පිරිසක් මට හමුවිය.
තමන්ගේ කණ්ඩායම බහුතරය වූ විට සහ සුළුතරය වූ විට පුද්ගලයින් හැසිරෙන ආකාරය වෙනස්වීම අමුතු දෙයක් නොවේ. ලංකාවේදී අවුරුදු ගාණකින් පන්සලක් පැත්තේ නොයන අය විදෙස් රටකට සංක්‍රමණය වූ පසු එසේ කරන්නේ ආගමික අවශ්‍යතාවක් වෙනුවෙන්ම නොව සංස්කෘතික අවශ්‍යතාවයන්ද නිසාය.
කෙසේවුවද, බංග්ලාදේශයේ බහුතරය මෙවැනි අය නොවේ. එහෙත් අන්තවාදින්ද නොවේ. මේ අතර අන්තවාදීන් සුළු පිරිසක්ද සිටිති. බොහෝ විට පිටට පෙනෙන්නේ මේ සුළුතර අන්තවාදීන්ගේ ක්‍රියාවන්ය. මගේ පෞද්ගලික අත්දැකීම් රැසක් ඇතත් මේ සටහනේ ඒවා ගැන ලියන්නේ නැත.
මගේ ඉහත අත්දැකීම් වසර පහළොවක් පැරණිය. මේ කාලය තුල මුස්ලිම් ලෝකය සැලකිය යුතු ලෙස වෙනස් වී තිබේ. මේ අතර බටහිර රටවල් දෙකකදී ලෝකයේ විවිධ රටවලින් පැමිණි මුස්ලිම් සංක්‍රමණිකයින් හෝ ඔවුන්ගේ දෙවන-තෙවන පරම්පරා වල සාමාජිකයින් රැසක් මට ඇසුරු කිරීමට ලැබී තිබේ. මේ අයගේ විවිධත්වය වෙනත් ඕනෑම කණ්ඩායමක තරමටම විශාලය.
බටහිර රටවලදී මට හමුවූ ඉස්ලාම් ආගමිකයින් අතරින් බටහිර සංස්කෘතියට වඩාත්ම දුරස්ථව සිටි අය මැද පෙරදිග කලාපයෙන් පැමිණි අයයි. මා ජීවත්ව සිටි එක්තරා ග්‍රාමීය, කෘෂිකාර්මික, තනිකරම වාගේ සුදු ජාතිකයින් ජීවත් වූ ප්‍රදේශයක විශ්වාසදායක ලෙස හලාල් ආහාර මිලදී ගැනීමට තැනක් තිබුණේ නැත. බොහෝ ඉස්ලාම් ආගමිකයින්ට මෙය විශාල ප්‍රශ්නයක් වූයේ නැත. එහෙත්, මේ ප්‍රදේශයේ සිටි මා දැන සිටි එක්තරා ලිබියානුවන් දෙදෙනෙකුට මෙය විශාල ප්‍රශ්නයක් විය. ඔවුහු සිරිතක් වශයෙන් කළෝ සැතපුම් සියයකටත් වඩා දුරින් පිහිටි සත්ත්ව ගොවිපලකට ගොස් පණ පිටින් බැටළුවෙකු සහ කුකුළන් මිලදී ගෙන ඔවුන් විසින්ම ඉස්ලාම් ආගමානුකූලව මස් කර රැගෙන විත් ශීතකරණයේ දමාගෙන පරිභෝජනය කිරීමයි. ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ දෑස් හැර ඉතිරි කොටස් ගැන මා කිසිවක් දන්නේ නැත.
ලිබියාවේ ගඩාෆිට එරෙහි කැරලි ඇරඹුණේ මේ කාලයේදීය. මේ සම්බන්ධව ඇමරිකාවේ සිටි මා දන්නා සංක්‍රමණික හෝ නේවාසික ලිබියානුවන් බහුතරය සිටියේ ගඩාෆිට එරෙහි ස්ථාවරයකය. එහෙත්, මා පෙර කී ලිබියානුවන් දෙදෙනා ඉතා උග්‍ර ගඩාෆි හිතවාදීහු වූහ. එයට එක් හේතුවක් වූයේ ඔවුන් ගඩාෆිගේම ගෝත්‍රයේ අය වීමයි. මෙය ඔවුන් නිතර මහත් ආඩම්බරයෙන් සඳහන් කළ දෙයකි. එමෙන්ම, ඔවුන්ට ගඩාෆිගෙන් ලැබී තිබුණු මා හරියටම නොදන්නා වරප්‍රසාද හෝ උදවු වෙනුවෙන් ඔවුහු කෘතගුණශීලීව සිටියහ.
ගඩාෆිගේ පරාජය ක්‍රමයෙන් පැහැදිලි වෙද්දී මා පෙර කී ලිබියානුවෝ බොහෝ නොසන්සුන් වූහ. මේ අවස්ථාවේදී මඟ හැර සිටීම ඔවුන් දුටුවේ විශාල වරදක් ලෙසිනි. ඔවුන්ට ගඩාෆි වෙනුවෙන් කෘතගුණ සැලකීමට අවශ්‍ය විය. එහෙත්, මේ වන විට ඇමරිකාවේ සිට ලිබියාවට යාම අවදානම් සහගත දෙයක් වූ බැවින් මෙවැනි ගමන් අධෛර්යමත් කෙරුණු කාලසීමාවකි. මේ ලිබියානුවෝ මේ බාධක ජයගෙන කෙසේ හෝ අවසාන මොහොතේ ලිබියාවට ඇතුළු වූහ. එහෙත්, ඒ වන විට ගඩාෆි ඇතුළු පිරිස කොටුවී සිටි කුඩා ප්‍රදේශයට ඇතුළු වීමට ලැබුණේ මේ දෙදෙනාගෙන් එක් අයෙකුට පමණි. සිදුවීමට වඩාත්ම ඉඩකඩ තිබූ දෙය වූ කැරලිකරුවන්ගේ වෙඩිපහරට ලක්ව මියයාම ඔහුගේ ඉරණම විය. මාස ගණනක අතදරුවෙකු ඇතුළු ඔහුගේ දරු තිදෙනා තරුණ බිරිදද සමඟ තනි විය.
ඉස්ලාම් ආගම ඇදහූ මා දැන සිටි හෝ ලඟින් ඇසුරු කළ අය අතර ඉහත කී ආකාරයේ අය මෙන්ම එයින් සම්පුර්ණයෙන් ප්‍රතිවිරුද්ධ ජීවන රටාවක් තිබුණු, තනිකරම බටහිර සංස්කෘතිය තුල ජීවත් වූ අයද සිටියහ. මේ අය අතර ඉදිරියෙන්ම සිටියේ තුර්කි ජාතිකයින්ය. තජිකිස්තානය, උස්බෙකිස්තානය වැනි පැරණි සෝවියට් දේශයේ කොටස් වලින් පැමිණි අයද සිටියේ මොවුන්ට පිටුපසිනි. මෙහිදී, මා සසඳන්නේ උපතින් ඉස්ලාම් වූ හෝ නමින් ඉස්ලාම් වූ අය නොවේ. වෙනස් ලෙස හැසිරුණු අදේවවාදීන් හෝ භෞතිකවාදීන් වූ එවැනි අයනම් මා ලංකාවේදීත් ඇසුරු කර තිබුණේය. මා සසඳන්නේ තමන්ගේ අනන්‍යතාවය ඉස්ලාම් හෝ මුස්ලිම් ලෙස හඳුන්වා දෙන, කටපුරා නොපැකිල කියන අයයි.
මගේ ඇතැම් තුර්කි ජාතික මිතුරියනට විවාහයට පෙර කිහිප දෙනෙකු සමඟ එකට ජීවත් වීම, කොට ඇඳුමක් ඇඳීම හෝ මධුවිතකට නිතර එක්වීම අරුමයක් නොවේ. කෑම ගැනීමේදීද හලාල්ද යන්න හෝ අඩුම වශයෙන් සූකර මාංශය අඩංගුද යන්න ප්‍රශ්නයක් නොවේ. එහෙත්, ඔවුන් සිය මුස්ලිම් අනන්‍යතාවය බැහැර කරද නැත. බොහෝ කලක් ඔටෝමාන්-තුර්කි අධිරාජ්‍යයේ කොටසක් වූ, වත්මන් තුර්කියට ආසන්නව පිහිටි ලිබියාවේත්, තුර්කියේත් පසුකාලීනව ඇති වුනු සංස්කෘතික දුරස්ථභාවය මෙවැන්නකි. (මේ වෙනස පෙන්වා දෙනු හැර විවිධ පුද්ගලයින්ගේ ආගමික විශ්වාස හෝ ජීවන විලාසිතා ගැන කතාකිරීම මගේ අරමුණ නොවේ.)
බටහිර නූතනත්වය බාහිර නිරීක්ෂකයින් විසින් බොහෝ විට හඳුනාගන්නේ ක්‍රිස්තියානි සංස්කෘතිය හා බද්ධවය. මේ සංස්කෘතිය තුලම ජීවත්වන අයද යම්තාක් දුරකට එසේ සිතති. එයට හේතුව මේ දෙක බොහෝ විට එකට යාමයි. සමාජවාදී සමාජ ගොඩනැගුම් හැරුණු විට, ක්‍රිස්තියානි/කතෝලික ආගමික පසුබිමකින් තොරව බටහිර නූතනත්වයට ඉදිරියට යාහැකි බවට ඇති හොඳම ශාක්ෂිය තුර්කිය විය යුතුය.
මා බංග්ලා දේශයේ ජීවත් වූයේ ධාකා අගනුවර බොනානි (বনানী) ප්‍රදේශයේය. මෙහි අපේ ආයතනය පිහිටි වීදිය 'කාමාල් ආතාතුර්ක් එභිනිඋ (avenue)' (কামাল আতাতুর্ক এভিনিউ) නම් විය. මේ නම ගැන උනන්දු වූ මට දැනගන්නට ලැබුණේ තුර්කි රාජ්‍ය නායකයෙකු අනුව මේ වීදිය නම් කර ඇති බවයි. ඒ වන විට මීට වඩා වැඩි දෙයක් දැන නොසිටියත් පසුව දැනගත්තේ මේ කාමාල් ආතාතුර්ක් යනු නූතන තුර්කි රාජ්‍යයේ නිර්මාතෘ වන මුස්ටෆා කෙමල් අතතුර්ක් බවයි.
කෙමල් අතතුර්ක් ගැන මධ්‍යස්ථ මතධාරියාගේ ලිපියක සඳහනක් කෙරී තිබුණු අතර (දැන් මට තැන හොයාගැනීම අපහසුය.) කොළඹ ගමයා විසින් සැලකියයුතු විස්තරයක් ඉදිරිපත් කර තිබුණේය. කොළඹ ගමයා විසින් ලියා ඇති දේවල් මා නැවත ලියන්නේ නැත. එහි සඳහන් නැති හෝ වැඩිපුර විස්තර කෙරී නැති කරුණු කිහිපයක් පමණක් එකතු කරමි.
කෙමල් අතතුර්ක් විසින් ඉතිහාසය වෙනස් කළ ප්‍රධාන තැනක් වන්නේ සියවස් ගණනක් පැවති කාලිෆ් ධුරය අහෝසි කර දැමීමයි. ඉස්ලාම් කාලිෆ් ධුරය යම් තරමකට කතෝලික පාප් ධුරයට සමාන ලෝකයේම ඉස්ලාම් භක්තිකයින්ගේ ආගමික සහ ලෞකික නායක ධුරයක් විය. එහෙත්, ඉස්ලාම් යනු අනෙකුත් ප්‍රධාන ආගම් වලට සාපේක්ෂව ආගමකට වඩා වැඩි ජීවන ක්‍රමයක් බව කිවයුතු නැත. මේ කාලිෆ් ධුරය ප්‍රථම ඉස්ලාම් වක්තෘවරයා වන මුහම්මද් නබිගේ සිට අඛණ්ඩව පැවත ආ එකකි. කෙසේ වුවද, ධුරයේ බල හුවමාරුව බොහෝ විට සිදුවුනේ සම්මුතියෙන්ම නොවේ. සුන්නි සහ ෂියා නිකායන් අතර මුල සිටම මතභේද තිබුණේය. කලින් කලට විශාලම අධිරාජ්‍ය ගොඩනැඟූ මුස්ලිම් පාලකයෝ ලෝ පුරා ඉස්ලාම් භක්තිකයින්ගේ කාලිෆ් වරයා විය.
දහසයවන සියවසේ පමණ සිට මේ ඉස්ලාම් කාලිෆ් ධුරය ඔටෝමාන්-තුර්කි අධිරාජ්‍යය සතු විය. මෙය ඉතා ප්‍රබල ධුරයක් වූ අතර බ්‍රිතාන්‍යයෝද ක්‍රමෝපායික ලෙස මේ ධුරය පිළිගනිමින් කැලිපට් ක්‍රමයට සහයෝගය දැක්වූහ. ඔටෝමාන්-තුර්කි අධිරාජ්‍යයාගේ ඉල්ලීමක් ලංකාවද ඇතුලත් වූ බ්‍රිතාන්‍ය ඉන්දියාවේ මුස්ලිම් වරුන්ගේ සහයෝගය බ්‍රිතාන්‍යයන්ට ලබා ගැනීමට උදවු වී තිබේ. කෙමල් අතතුර්ක් විසින් අහෝසි කර දැම්මේ මේ ධුරයයි. එයින් පසු මේ ධුරය නැවත ප්‍රතිස්ථාපනය කිරීමට දැරූ උත්සාහයන් සාර්ථක වූයේ නැත.
කෙමල් අතතුර්ක් යනු ඒකාධිපතියෙක්යයි කීම වැරදි නැත. තුර්කි ජාතිය ගොඩ නැගීමේදී ඔහු ගත් ඇතැම් ක්‍රියාමාර්ග වත්මන් සන්දර්භය තුලනම් සිතාගන්නටත් අමාරු තරම්ය.
පළමු ලෝක යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍ය ඉන්දියාව නිදහස ලබන විට ඉන්දියාව සහ පකිස්ථානය අතර සිදු වූ අයුරින් විශාල සංක්‍රමණයන් සිදුවිය. වත්මන් තුර්කියේ සිටි ග්‍රීක, ආර්මේනියානු ආදී කොටස් ඒ රටවලට සංක්‍රමණය වෙද්දී ඉස්ලාම් ආගම ඇදහූ තුර්කීන් තුර්කියට පැමිණියහ. මේ සංක්‍රමණයන්හි ප්‍රතිපලයක් ලෙස කෙමල් අතතුර්ක්ගේ අතට ලැබුණේ තනිකරම ඉස්ලාම් භක්තිකයින් සිටි රටකි. අදටත් තුර්කියේ අන්‍ය ලබ්ධිකයින් සිටින්නේ සියයට එකකටත් අඩුවෙනි. මෙවැනි රටක ඉස්ලාම් ආගමික සංකේත ඉවත් කර ජාතික රාජ්‍යයක් ලෙස පරිවර්තනය කිරීම ඇත්තටම විශාල විප්ලවයකි. මේ අනුව, ආගම පෞද්ගලික කටයුත්තක් බවට පත්කිරීම තුර්කියේ ඉස්ලාම් ආගමිකයින් අඩුවීමට හේතු වුණේ නැත. එහෙත්, තුර්කීන්ගේ හැසිරීම් වඩා නිදහස් විය.
"ශිෂ්ඨ සම්පන්න ලෝකය සිටින්නේ අපට වඩා බොහෝ ඉදිරියෙන්. අප හැකි ඉක්මණින් ඔවුන් සමඟ එක්වීම හැර වෙනත් මඟක් නැහැ." මේ අතතුර්ක්ගේ දැක්ම විය. මේ ගමනේදී ආගමෙන් බැහැර වීම, විද්‍යාව ජාතියේ පෙරගමන්කරු බවට පත් කරවීම, ගැහැණුන්ට සමාජයේ ඇති බාධාවන් ඉවත් කිරීම, අධ්‍යාපන තත්ත්වය ඉහළ නැංවීම වැනි දේවලට අතතුර්ක් මුල් තැන දුන්නේය.
"මට ආගමක් නැහැ. මම හිතනවා සියළු ආගම් පැවතිය යුත්තේ මුහුදු පතුලේ කියා. යමෙකු හිතනවානම් රාජ්‍ය පාලනයට ආගමක් සම්බන්ධ කරගතයුතුයි කියා, ඔහු ඉතා දුර්වල පාලකයෙක්." මෙය අතතුර්ක්ගේ වචන වලට සීමා නොවීය. ඉස්ලාම් ආගමික සංකේත වූ ඇඳුම්, නම්ගම් පමණක් නොව අරාබි අකුරු පවා තුර්කියෙන් ඉවත් කළ අතතුර්ක් රටේ කලක් තිස්සේ පැවති මත්පැන් තහනම ඉවත් කළේය. ඇත්තටම අතතුර්ක් පෞද්ගලිකවද දැඩි මත්පැන් ලෝලියෙක් වූ අතර ඔහු දීර්ඝායුෂ නොලබා මිය ගියේද සිරෝසියස් රෝගයට ගොදුරු වීම නිසාය. මෙහිදී ඔහුගේ විශේෂත්වය වන්නේ ප්‍රසිද්ධියේ බොරුවට "මතට තිත" නොතියා තමන් විඳින ජීවිතය තෝරා ගැනීමේ නිදහස තමන්ගේ රටවැසියන්ටද ලබා දීමයි.
අතතුර්ක් අතට පත් ඔටෝමාන් තුර්කියේ සාක්ෂරතාව ඉතා පහල අගයක් ගත්තේය. මෙය ඉහල නැංවීමට තිබූ එක් බාධාවක් වූයේ තුර්කි භාෂාව වසර දහස් ගණනක් තිස්සේ ලිවූ අරාබි අකුරු වල සංකීර්ණ කමයි. මේ අනුව, අරාබි අකුරු ඉවත් කර රෝමන් අකුරු ආශ්‍රිත වත්මන් තුර්කි හෝඩිය හඳුන්වා දෙනු ලැබීය. මෙවැනි වෙනසක් කිරීම සුළුපටු දෙයක් නොවේ.
මීටත් වඩා සිතාගැනීමටත් අමාරු ප්‍රතිසංස්කරණයක් වන්නේ වාසගම් නීතිය ක්‍රියාත්මක කළ ආකාරයයි. මෙහිදී සෑම තුර්කි ජාතිකයෙකුම තුර්කි වාසගමක් ගත යුතු විය. මෙහිදී ඒ වන විට තමන්ගේ ජනවර්ගය කවරක් වුවත් රටේ සියල්ලන්ම තුර්කි ජාතිකයින් ලෙස සැලකුණි. මේ නම් වලින් ආගමික හෝ වෙනත් රටක සම්භවයක් පිලිබඳ තේරුම් මතු විය නොහැක. මේ අනුව ග්‍රීක සම්භවයක් ඇති මිත්‍රෝයිදිස් නම ඇත්තෙකුට මිත්‍රෝග්ලූ වැනි තුර්කි වාසගමක් ගන්නට සිදුවිය. මේ අයුරින්ම ආර්මේනියානු, බල්ගේරියානු, බොස්නියානු, ඇල්බේනියානු, කුර්දි, ජෝජියන්, සිරියන්, අරාබි සහ යුදෙවු සම්භව තිබූ බොහෝ දෙනෙකුගේ නම් වෙනස් විය. ග්‍රීක් නම් මෙන්ම, 'බින්' වැනි අරාබි නම් සහ 'ඉච්' ලෙස අවසන් වන ස්ලාවික් නම් ආදිය ඉවත් කළ යුතු විය. පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් කෙමල් මුස්ටෆාට 'තුර්කින්ගේ පියා' යන තේරුම ඇති 'අතතුර්ක්' වාසගම හිමිවන්නේද මේ වාසගම් පණත අනුවය.
අතතුර්ක්ගේ ඇතැම් ප්‍රතිසංස්කරණ අද සම්මතය අනුව ඒකාධිපති, බටහිර ගැති හෝ සදාචාර සම්පන්න නොවන ඒවා ලෙස යමෙකුට නිර්වචනය කිරීමට පුළුවන. මේ ප්‍රතිසංස්කරණ වල වැදගත්කම තීරණය කරන්නට වෙන්නේ අද තුර්කිය ලිබියාව වැනි ඔටෝමාන්-තුර්කියේ කොටසක්ව පැවත වෙනත් මඟක ගිය රටක් සමඟ සසඳමිනි. ගඩාෆිගේ ලිබියාව මිහිපිට තිබූ සුරපුරයක්යයි සිතා සිටින අය සමඟනම් මා වැඩිදුර වාද කරන්නට කැමති නැත.
මාස කිහිපයකට පෙර මට කෙමල් අතතුර්ක්ගේ උපන් නිවසට යාමට ලැබුණේය. මේ කෙමල්ගේ පියා විසින් සිටවූ චෙරි ගසකි. කෙමල් කුඩා කල මේ ගස යට සෙල්ලම් කර ඇත. (චෙරි වලනම් විශේෂ රසක් නැත.) දැනට ලෝකයේ චෙරි නිෂ්පාදනය අතින් ඉදිරියෙන්ම සිටින්නේ තුර්කියයි.
Tuesday, June 16, 2015
හලාල් ආහාර වලට වැඩිපුර ගෙවිය යුතුද?
වෙළඳපළෙහි විකිණෙන කුකුළු මස් හලාල්නම් මේ සිවු දෙනාම මස් මිලදී ගැනීමේ ඉඩ කඩක් තිබේ. එහෙත්, මස් හලාල් නොවේනම් අබ්දුල් මස් මිලදී නොගනු ඇත. මේ නිසා හලාල් ක්‍රමයට කුකුළු මස් නිෂ්පාදනය කළ විට ඉල්ලුම වැඩි වේ. එහෙත්, එවිට නිෂ්පාදන පිරිවැය සුළු වශයෙන් හෝ ඉහල යයි. මේ ඉහල යන පිරිවැය අවසානයේදී දරන්නේ කවරෙක්ද?
මෙහි ඇත්තේ න්‍යායාත්මකව විශ්ලේෂණය කළ හැකි ආර්ථික විද්‍යා ගැටලුවකි.
මේ ගැටළුව විශ්ලේෂණය කිරීම සඳහා අපට ආර්ථික විද්‍යා ආකෘතියක් සකස් කර ගැනීමට සිදුවේ. අපි සරල ආකෘතියකින් පටන් ගනිමු.
වෙළඳාම සඳහා බාහිරට විවෘත නොවූ නිශ්චිත ප්‍රදේශයක් ඇතැයි අපි පළමුව උපකල්පනය කරමු. මේ ප්‍රදේශය තුළ කුකුළු මස් සාමාන්‍යයෙන් ආහාරයට ගන්නා පාරිභෝගිකයන් සිය දෙනෙකු අතර 'රතු' සහ 'කොළ ' නම් වූ පාරිභෝගිකයෝ දෙවර්ගයක් සිටිති. කොළ පාරිභෝගිකයෝ හලාල් කුකුළු මස් පමණක් ආහාරයට ගනිති. රතු පාරිභෝගිකයෝ හලාල්ද නැද්ද යන්න නොසලකා අඩු මිලට ඇති තැනෙකින් කුකුළු මස් මිලදී ගනිති.
කුකුළු මස් නිෂ්පාදකයෙකු සාමාන්‍ය මස් කිලෝවක් නිෂ්පාදනය කිරීමේදී කුකුළු කෑම ආදිය සදහා රුපියල් 200ක විචල්‍ය පිරිවැයක්ද සේවක වැටුප් ආදිය සඳහා රුපියල් 500ක ස්ථිර පිරිවැයක්ද දැරිය යුතුයැයි සිතමු. හලාල් ක්‍රමයට නිෂ්පාදනය කළහොත් විචල්‍ය පිරිවැය රුපියලකින් වැඩිවී රුපියල් 201ක් වේයැයිද, ස්ථිර පිරිවැය රුපියල් සියයකින් වැඩිවී රුපියල් 600ක් වේයැයිද සිතමු. කුකුළු මස් කිලෝවක් රුපියල් 225ක් වේනම් සෑම පාරිභෝගිකයෙකුම කුකුළු මස් කිලෝවක් බැගින් මිලදී ගන්නේයැයි සිතමු. කෙසේ වුවද, කොළ පාරිභෝගිකයින් මස් මිලදී ගන්නේ මස් හලාල්නම් පමණි.
අවස්ථාව 1- තනි රතු රට:
රතු රටේ පාරිභාගිකයින් සිය දෙනාම රතු අයයි. ඒ නිසා නිෂ්පාදකයෙකුට වැඩි පිරිවැයක් දරා හලාල් ක්‍රමයට කුකුළු මස් නිෂ්පාදනය කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගී. නිෂ්පාදකයෙකු මස් කිලෝවක් අලෙවි කිරීමෙන් රුපියල් 25ක ලාභයක් ලබයි. මේ වෙළඳපළෙන් සියළුම නිෂ්පාදකයන්ට ලබා ගත හැකි මුළු කෙටිකාලීන ලාභය (ස්ථිර පිරිවැය නොසලකා) රුපියල් 2500කි (25x100). එක් නිෂ්පාදකයකුගේ ස්ථිර පිරිවැය රුපියල් 500ක් වන බැවින් නිෂ්පාදකයන් පස් දෙනෙකුට මේ වෙළඳපළෙහි ඉඩ තිබේ. දිගුකාලීන ලාභයක් නැත. නිෂ්පාදකයින් ගණන එයට වැඩි වුවහොත් දීර්ඝකාලීනව කිසිවකුට ලාභයක් ලැබිය නොහැක.
අවස්ථාව 2- තනි කොළ රට:
කොළ රටේ පාරිභාගිකයින් සිය දෙනාම කොළ අයයි. මේ වෙළඳපොළෙහි සාමාන්‍ය කුකුළු මස් සඳහා කිසිදු ඉල්ලුමක් නොමැති බැවින් සෑම නිෂ්පාදකයෙකුටම හලාල් ක්‍රමයට කුකුළු මස් නිෂ්පාදනය කිරීමට සිදුවේ. නිෂ්පාදකයෙකු මස් කිලෝවක් අලෙවි කිරීමෙන් රුපියල් 24ක ලාභයක් ලබයි. මේ වෙළඳපළෙන් සියළුම නිෂ්පාදකයන්ට ලබා ගත හැකි මුළු කෙටිකාලීන ලාභය රුපියල් 2400කි (24x100). එක් නිෂ්පාදකයකුගේ ස්ථිර පිරිවැය රුපියල් 600ක් වන බැවින් නිෂ්පාදකයන් සිවුදෙනෙකුට පමණක් මේ වෙළඳපළෙහි ඉඩ තිබේ. දිගුකාලීන ලාභයක් නැත.
අවස්ථාව 3- රතු බහුතර රට:
රතු බහුතර රටේ රතු පාරිභෝගිකයෝ අනූ දෙනෙකි. කොළ පාරිභෝගිකයෝ දහයකි. නිෂ්පාදකයෝ සාමාන්‍ය කුකුළු මස් නිපදවත්යැයි මොහොතකට සිතමු. දැන් ඔවුන් හමුවේ ඇති ඉල්ලුම මස් කිලෝ අනූවකි. මුළු කෙටිකාලීන ලාභය රුපියල් 2250කි (25x90). නිෂ්පාදකයින් ගණන හතරකට වැඩිවිය නොහැකි නිසා එක් අයෙකුගේ කෙටිකාලීන ලාභය රුපියල් 562.50කි. දිගුකාලීන ලාභය රුපියල් 62.50කි.
අනෙක් අතට, ඔවුන් හලාල් කුකුළු මස් නිපදවත්යැයි මොහොතකට සිතමු. දැන් ඔවුන් හමුවේ ඇති ඉල්ලුම මස් කිලෝ සියයකි. මුළු ලාභය රුපියල් 2400කි (24x100). නිෂ්පාදකයින් ගණන සිවුදෙනෙකුට වැඩිවිය නොහැකි නිසා එක් අයෙකුගේ කෙටිකාලීන ලාභය රුපියල් 600කි. දිගුකාලීන ලාභයක් නැත. මේ අනුව නිෂ්පාදකයන් සිවුදෙනෙකු සාමාන්‍ය කුකුළු මස් නිපදවනු ඇත. මෙහිදී රතු බහුතර රටේ සුළුතර කොළ පාරිභෝගිකයින්ගේ ඉල්ලුම සැපිරී නැත.
පස් වන නිෂ්පාදකයෙකු හලාල් කුකුළු මස් නිපදවීමට සිතන්නේනම් මස් කිලෝ දහයක ඉල්ලුමක් ඇත. මේ නිෂ්පාදකයාට තම ස්ථිර පිරිවැය පියවා ගැනීම සඳහා මස් කිලෝවක් රුපියල් 261කට (201+600/10) විකිණීමට සිදුවේ. මේ අනුව කොළ පාරිභෝගිකයෙකු මස් කිලෝවක් සඳහා ගෙවීමට කැමති උපරිම මිල රුපියල් 261ට අඩුනම් රතු බහුතර රටේ හලාල් මස් නිෂ්පාදනය නොවනු ඇත.
ඒ මිල ඊට වැඩිනම් රුපියල් 225කට සාමාන්‍ය කුකුළු මස් අලෙවි වෙත්දී රුපියල් 261කට හලාල් කුකුළු මස් අලෙවි වනු ඇත. හලාල් කුකුළු මස් සඳහා වැඩි මිලක් ගෙවීමට රතු පාරිභෝගිකන් සූදානම් නැති නිසා ඔවුන් හලාල් මස් වලට අකමැත්තක් නැතත් හලාල් මස් මිල දී නොගනු ඇත. මෙහිදී හලාල් කුකුළු මස් සහ සාමාන්‍ය කුකුළු මස් වෙනස් ආර්ථික භාණ්ඩ දෙකක් ලෙස පවතිනු ඇත.
අවස්ථාව 4- කොළ බහුතර රට:
කොළ බහුතර රටේ කොළ පාරිභෝගිකයෝ අනූ දෙනෙකි. රතු පාරිභෝගිකයෝ දහයකි. නිෂ්පාදකයෝ සාමාන්‍ය කුකුළු මස් නිපදවත්යැයි මොහොතකට සිතමු. දැන් ඔවුන් හමුවේ ඇති ඉල්ලුම මස් කිලෝ දහයකි. මුළු ලාභය රුපියල් 250කි (25x10). මෙය එක් නිෂ්පාදකයකුගේ හෝ ස්ථිර පිරිවැය නොපියවයි. ඒ නිසා කිසිදු නිෂ්පාදකයෙකු හලාල් නොවන කුකුළු මස් නොනිපදවනු ඇත.
මේ අනුව, සියළුම නිෂ්පාදකයෝ හලාල් කුකුළු මස් නිපදවති. දැන් ඔවුන් හමුවේ ඇති ඉල්ලුම මස් කිලෝ සියයකි. මුළු ලාභය රුපියල් 2400කි (24x100). නිෂ්පාදකයින් ගණන සිවුදෙනෙකුට වැඩිවිය නොහැකි නිසා එක් අයෙකුගේ කෙටිකාලීන ලාභය රුපියල් 600කි. දිගුකාලීන ලාභයක් නැත. මේ අනුව නිෂ්පාදකයන් සිවුදෙනෙකු හලාල් කුකුළු මස් නිපදවනු ඇත. වෙළඳපලෙහි හලාල් නොවන සාමාන්‍ය කුකුළු මස් දක්නට නොලැබෙනු ඇත. ඒ අනුව රතු පාරිභෝගිකයන්ටද හලාල් කුකුළු මස් මිලදී ගැනීමට සිදුවන නමුත් ඒ සඳහා ඔවුන් වැඩි මිලක් ගෙවිය යුතු නොවේ.
අවස්ථාව 5- රතු කොළ සම රට:
රතු කොළ සම රටේ කොළ පාරිභෝගිකයෝ පනස් දෙනෙකි. රතු පාරිභෝගිකයෝද පනසෙකි. මෙහිදී විශ්ලේෂණය තරමක් සංකීර්ණය.
විකල්පය-1:
ඇතැම් නිෂ්පාදකයෝ සාමාන්‍ය කුකුළු මස් නිපදවත්යැයි මොහොතකට සිතමු. දැන් ඔවුන් හමුවේ ඇති ඉල්ලුම මස් කිලෝ පනහකි. මුළු ලාභය රුපියල් 1250කි (25x50). නිෂ්පාදකයින් ගණන දෙකකට වඩා වැඩිවිය නොහැකි නිසා එක් අයෙකුගේ කෙටිකාලීන ලාභය රුපියල් 625කි. දිගුකාලීන ලාභය රුපියල් 125කි. එහෙත් මේ ලාභය ලබාගත හැක්කේ හලාල් කුකුළු මස් නිෂ්පාදකයන් කිසිවෙකු නැත්නම් හෝ හලාල් කුකුළු මස් කිලෝවක මිල රුපියල් 225කට වඩා වැඩිනම් පමණි. නැතහොත් හලාල් කුකුළු මස් නිෂ්පාදකයන්ගේ තරඟය හමුවේ මේ ලාභය දිය වී යනු ඇත.
මෙහිදී කොළ පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා ඉටු නොවන බැවින් එම වෙළඳපොල ගැන පමණක් සිත් යොමන හලාල් නිෂ්පාදකයකුට ලැබිය හැකි මුළු කෙටිකාලීන ලාභය රුපියල් 600කි (24x50/2). දිගුකාලීන ලාභයක් නැත. මේ නිසා හලාල් නිෂ්පාදකයින් රතු වෙළඳපොලටද පිවිසෙනු ඇති අතර එවිට සාමාන්‍ය කුකුළු මස් නිෂ්පාදකයින්ගේ ලාභය අඩු වනු ඇත. ඒ නිසා ඉහත වෙළඳපොළ සැලැස්ම සිදු විය නොහැක්කකි.
විකල්පය-2:
නිෂ්පාදකයෝ සියල්ලෝම හලාල් කුකුළු මස් නිපදවත්යැයි මොහොතකට සිතමු. දැන් ඔවුන් හමුවේ ඇති ඉල්ලුම මස් කිලෝ සියයකි. මුළු ලාභය රුපියල් 2400කි (24x100). නිෂ්පාදකයින් ගණන හතරකට වැඩිවිය නොහැකි නිසා එක් අයෙකුගේ කෙටිකාලීන ලාභය රුපියල් 600කි. දිගුකාලීන ලාභයක් නැත. මෙහිදී සිය පාරිභෝගිකයන්ගෙන් හරි අඩක් හලාල් මස් නොඉල්ලන නිසාත්, සාමාන්‍ය මස් විකිණීමෙන් ලාභය වැඩි කර ගත හැකි නිසාත් ඇතැම් හලාල් නිෂ්පාදකයෝ සාමාන්‍ය මස් නිපදවීමට පෙළඹෙනු ඇත. මේ නිසා මෙයද සිදු විය නොහැක්කකි.
විකල්පය-3:
තෙවන විකල්පය යටතේ හලාල් සහ හලාල් නොවන නිෂ්පාදකයින් දෙවර්ගයක් සිටියත් මස් වල මිලෙහි වෙනසක් නැත. මෙහිදී රතු කොළ සම රටේ වෙළඳපලෙහි දිගුකාලීන ලාභය හලාල් සහ හලාල් නොවන නිෂ්පාදකයින් අතර බෙදෙනු ඇත.
සාමාන්‍ය කුකුළු මස් නිෂ්පාදකයින් දෙදෙනෙකු එක නිෂ්පාදකයෙකු මස් කිලෝ 22.5ක් බැගින් නිපදවනු ඇත. කෙටිකාලීන ලාභය රුපියල් 562.50කි (25x 22.5). දිගුකාලීන ලාභය රුපියල් 62.50කි. හලාල් කුකුළු මස් නිෂ්පාදකයින් දෙදෙනෙකු එක නිෂ්පාදකයෙකු මස් කිලෝ 27.5ක් බැගින් නිපදවනු ඇත. කෙටිකාලීන ලාභය රුපියල් 660කි (24x 27.5). දිගුකාලීන ලාභය රුපියල් 60කි. නිෂ්පාදකයන්ගේ ලාභය (ආසන්නව) සමාන වන අතර දෙවන විකල්පයේදී ලැබෙන ලාභයට වඩා වැඩිය.
මේ නිසා රතු කොළ සම රටේ මෙවැනි මිශ්‍ර සමතුලිතතාවක් ඇති වනු ඇත.
ඉහත අවස්ථා සියල්ල සලකා බැලූ විට මේ සරල ආකෘතිය අනුව යම් කිසි නිශ්චිත ප්‍රදේශයක කොළ පාරිභෝගික ප්‍රතිශතය වැඩිවෙද්දී හලාල් නිෂ්පාදකයින් වැඩි වන ආකාරය අපට තේරුම් ගැනීමට පුළුවන. ලෝකය පුරා මෙන්ම ලංකාවේ විවිධ ප්‍රදේශ වල විසිරී සිටින මේ සටහන කියවන්නට මෙවැනි ප්‍රදේශ හඳුනා ගත හැකි වනු ඇත.
-කොළ පාරිභෝගික ප්‍රතිශතය ඉතා අඩුනම් හලාල් ආහාර සඳහා සාමාන්‍ය ආහාර වලට වඩා වැඩි මිලක් ගෙවීමට සිදු වනු ඇත. මෙය මුදල්මය මිලක් හෝ දුර බැහැරකට යාමේ අවශ්‍යතාව වැනි මුදල්මය නොවන මිලක් විය හැකිය.
-කොළ පාරිභෝගික ප්‍රතිශතය තරමක් වැඩි වෙද්දී හලාල් සහ හලාල් නොවන ආහාර මිල සමාන වනු ඇත. එහෙත් මෙහිදී සිදුවන්නේ හලාල් නොවන ආහාර වල මිලටම හලාල් ආහාර මිල අඩුවීම (රතු පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා) මිස හලාල් නොවන ආහාර මිල වැඩිවීමක් නොවේ.
-කොළ පාරිභෝගික ප්‍රතිශතය ඉතා වැඩිනම් හලාල් ආහාර පමණක් වෙළෙඳපොලේ පවතිනු ඇත. මෙහිදී රතු පාරිභෝගික ප්‍රතිශතය ඉතා අඩු නිසා හලාල් නොවන ආහාර වලට වඩා හලාල් ආහාර නිෂ්පාදන වියදම (ස්ථිර වියදම්ද එකතු කළ විට) අඩුය. ඒ අනුව මෙහිදීද රතු පාරිභෝගිකයින්ට වැඩි මිලක් ගෙවීමට සිදු නොවේ.
ඉහත විග්‍රහය හැකිතාක් සරලව සිදු කර තිබේ. එහෙත් වඩා සංකීර්ණව මේ විග්‍රහය කළද අවසාන ප්‍රතිපලය වෙනස් නොවේ. මේ විග්‍රහය හලාල් සහ කොෂර් ආහාර වලට මෙන්ම අසාත්මිකතා ඇති කරන ආහාර සඳහාද යොදා ගත හැක. උදාහරණයක් ලෙස රටකජු වලට අසාත්මිකතා ඇති (කොළ) අය සැමවිටම රටකජු නොමුසු ආහාර සොයන අතර අසාත්මිකතා නොමැති (රතු) අයට මෙහි වෙනසක් නැත.
යම් කිසි ප්‍රදේශයක කොළ ප්‍රතිශතය නිශ්චිත සීමාවක් ඉක්මවූ විට ඔවුන් මිල දී නොගන්නා නිෂ්පාදන වෙළඳපළෙන් ඉවත් වීම (වෙළඳපොල ආර්ථිකයක් යටතේ) ස්වභාවිකවම සිදු වනු ඇත. මේ ප්‍රතිශතය තීරණය වන්නේ අදාළ භාණ්ඩය සඳහා ඇති ඉල්ලුමේ ස්වභාවය, විචල්‍ය පිරිවැය වෙනස සහ ස්ථිර පිරිවැය වෙනස මතය.
කෙසේ වුවද, රතු සහ කොළ පාරිභෝගිකයින්ට අමතරව හලාල් නොවන ආහාර පමණක් මිලදී ගන්නා 'කහ' පාරිභෝගිකයින්ද සුළු ප්‍රතිශතයක් හෝ සිටීනම් මේ සීමාවන් විශාල ලෙස වෙනස් වනු ඇත. එහෙත්, මෙහිදී කහ පාරිභෝගික ප්‍රතිශතය විශාල නොවේනම් ඔවුන්ටද කොළ පාරිභෝගිකයින්ට මෙන්ම වැඩි මිලක් ගෙවීමට සිදු වනු ඇත.
(විග්‍රහය ඉකොනොමැට්ටාගේය. ඡායාරූප අන්තර්ජාලයෙනි.)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...