වෙබ් ලිපිනය:

Showing posts with label ඇබ්බැහි. Show all posts
Showing posts with label ඇබ්බැහි. Show all posts

Monday, November 9, 2020

ඔරිගන් වැසියෝ මත්ද්‍රව්‍ය නීති ලිහිල් කරගනිති!


පසුගිය සතියේ පැවැත්වුණු ඇමරිකානු මැතිවරණ වලදී බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුනේ ජනාධිපති තරඟය කෙරෙහි වුවත්, සාමාන්‍යයෙන් සිදු වන පරිදි, ඇමරිකාවේ මැතිවරණ දිනයේදී ජාතික, ප්‍රාන්ත හා ප්‍රාදේශීය මට්ටමෙන් මැතිවරණ හා ජනමතවිචාරණ විශාල ප්‍රමාණයක් එක වර පැවැත්වෙනවා. 

ඔරිගන් ප්‍රාන්තයේ පැවති ජනමත විචාරණයක ප්‍රතිඵල අනුව මෙතෙක් අපරාධ වරදක් වූ හෙරොයින්, කොකේන් ඇතුළු දරුණු ගණයේ ලා සැලකෙන මත්ද්‍රව්‍යයක සුළු ප්‍රමාණයක් වාණිජ නොවන අරමුණකින්, තමන්ගේ පාවිච්චිය සඳහා ළඟ තබා ගැනීම තව දුරටත් අපරාධ වරදක් වන්නේ නැහැ. ඔරිගන් ඡන්දදායකයින්ගෙන් 59.51%ක් මෙම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. මෙය මෙවැනි යෝජනාවක් ඇමරිකාවේ සම්මත වූ පළමු අවස්ථාවයි. පෘතුගාලයේනම් කලක සිටම මත්ද්‍රව්‍ය භාවිතය අපරාධ වරදක් නෙමෙයි.

මේ යෝජනාවේ අරමුණ මත්ද්‍රව්‍ය නිසා සිදුවන හානි අඩු කිරීමයි. යෝජනාව සම්මත වීමෙන් පසුව මත්ද්‍රව්‍ය භාවිතය නීතිගත වන්නේ නැතත්, මත්ද්‍රව්‍ය භාවිතය වරදක් සේ දකිනවා වෙනුවට ඇබ්බැහි වූවන් පිළිබඳව මානුෂික මුහුණුවරකින් බලා මත්ද්‍රව්‍ය භාවිතය යනු ප්‍රතිකාර කළ යුතු රෝගයක් සේ දකිමින් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් පුනරුත්ථාපන වැඩ සටහනකට යොමු කෙරෙනවා. එය නොකරන්නේනම් ඩොලර් 100කට නොවැඩි සුළු දඩ මුදලක් පමණක් අය කළ හැකියි.

මෙතෙක් ඔරිගන් ප්‍රාන්තය තුළද ඇමරිකාවේ අනෙකුත් ප්‍රාන්ත වල මෙන්ම මත්ද්‍රව්‍ය භාවිතය අපරාධ වරදක් වූ අතර මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් අසු වූ විට සිර දඬුවම් දෙනු ලැබුවා. එහෙත්, සංඛ්‍යාලේඛණ අනුව පෙනී යන පරිදි භාවිතා කරන්නන් සිරගත කිරීමෙන් ඔවුන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය නවතින්නේ නැහැ. සිරෙන් නිදහස් වන ඔවුන් නැවත නැවතත් සිරගත වෙනවා. එමෙන්ම මත්ද්‍රව්‍ය භාවිතය අපරාධ වරදක් නිසා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අයෙකු ප්‍රතිකාර සඳහා යොමු වීමට මැලි වෙනවා.

වරක් අපරාධ වරදකට වරදකරුවෙකුට වූ අයෙකුට රැකියාවක් ලබා ගැනීම, කුලියට නිවසක් ගැනීම ආදී බොහෝ දේ අසීරු වෙනවා. ඒ නිසා, නැවතත් පරණ වලේම වැටී සිරගත වෙනු හැර ගොඩ යන්න අවස්ථාවන් අඩුයි. එයින් වෙන්නේ මහජන මුදල් නාස්තියක්.

"කුඩු පැකට් එකක් දමා ඇතුළට දැමීම" ලංකාවේ අයෙකු අසා නැති දෙයක් නෙමෙයි. ඔය විදිහට ඇතුළට යන අය ගියේ ඇත්තට වුනත්, බොරුවට වුනත්, ආපහු එළියට එන්නේ ඇතුළට ගිය පුද්ගලයා නෙමෙයි. මත්ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් ළඟ තබා ගෙන සිටින අය බොහෝ විට වරදකරුවන් වුවත් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්නම් ලේසියකට අහුවෙන්නේ නැහැ.

අලුත් නීතිය සම්මත වීමෙන් පසුව මත්ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් ළඟ තබාගෙන අසුවන අයව මහජන මුදලින් පුනරුත්ථාපනය කෙරෙනවා. යෝජනාව අනුව, මීට පෙර ගංජා භාවිතය නීතිගත කිරීමෙන් පසු ප්‍රාන්ත ආණ්ඩුවට ලැබෙමින් පවතින බදු හා ගාස්තු වලින් කොටසක් මේ වෙනුවෙන් වෙන් කෙරෙනවා.

ඔරිගන් වැසියන් මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ නීති ලිහිල් කර ගනිද්දී තවත් ප්‍රාන්ත ගණනාවක ගංජා භාවිතය නීතිගත කර ගැනීම වෙනුවෙන් වූ ජනමතවිචාරණ ජයග්‍රහණය කර තිබෙනවා.


Thursday, June 11, 2020

ලොබින් බැඳී ලොබින් කිරීම


"පාතාල සාමාජිකයින් වෙඩි තැබූ පමණින් පොලීසිය වෙඩි තැබීම හෙළා දකිමු ..!" චාන්දනී සෙනෙවිරත්න ඇතුළු පිරිසක් ඔහොම ලියපු බැනර් එකක් අල්ලගෙන ඉන්න ඡායාරූපයක් වත්පොතේ හුවමාරු වන බව අද දැක්කා. එඩිට් කරපු එකක්. ඇත්ත බැනර් එකේ තියෙන්නේ "End Impunity Arrest the suspect NOW!” කියලා. මැතිවරණය පැවැත්වෙන තුරු ඉදිරි මාස දෙක තුළ ඔය වගේ එඩිට් කරපු ඡායාරූප දවස ගානේ අලුතෙන් හැදෙයි.


අප බ්ලොග් එක හරහා කරන්නේ ලොබින් කිරීමක් කියා හැඟවෙන ප්‍රතිචාරයක් පාඨකයෙක් විසින් දමා තිබුණා. "lobbying" කියන ඉංග්‍රීසි වචනයට "සභාකක්ෂ මන්ත්‍රණය" කියා සිංහල වචනයක් තියෙනවා. අපි සරලව ලොබින් කිරීම කියා කියමු.

අප කරන්නේ ලොබින් කිරීමක් කියා කවුරුවත් චෝදනාවක් කරන්න අවශ්‍ය වන්නේ නැහැ. අප මේ බ්ලොග් එක හරහා කරන්නේ ලොබින් කිරීමක් තමයි. ආයේ ඒකේ හංගන්න දෙයක් නැහැ.

ලොබින් කිරීම කියන වචනයෙන් ආසන්න වශයෙන් අදහස් කරන්නේ අනෙක් අයගේ අදහස් වෙනස් කිරීම සඳහා බලපෑමක් කිරීම. එය මෘදු බලපෑමක්. එක විදිහකට හිතන කෙනෙක් වෙනස් විදිහකට හිතන්න පෙළඹවීමයි මෙහිදී කෙරෙන්නේ. ලොබින් කිරීම නරක දෙයක් නොවනවා වගේම හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක තිබිය යුතුම දෙයක්.

ලොබින් කිරීම ප්‍රශ්නයක් වෙන්නේ කාටද? එක කොටසක් දැඩි විශ්වාස වල එල්බ ගෙන ඉන්න අය. කොයි තරම් වැරදි බව පෙනුනත්, කොයි තරම් තර්කානුකූල නොවුනත් තමන් එල්බ ගෙන ඉන්න අදහස අත අරින්න අමාරුයි. ඇබ්බැහියක් වගේ දෙයක්. වෙන කෙනෙක් තමන්ගේ මතයට වෙනස් මතයක් හරි කියා පෙන්වන කොට රිදෙනවා. මේ අය තම මතයෙහි ලොබින් බැඳුණු අය. මෙහි ලොබින් කිවුවේ ලෝභයෙන්.

දෙවන කොටස තමන්ගේ මතය බලහත්කාරයෙන් අනුන් මත පටවමින් ඉන්න අය. මේ අය කරන්නේත් ලොබින් කිරීමක්. නමුත්, ඒක කරන්නේ ඒකාධිකාරයක් පවත්වා ගැනීම හරහා. සමාජවාදී රටවල ආණ්ඩු කරන්නේ ඒකයි. වෙනත් අදහස් ප්‍රචාරණය කිරීම බලහත්කාරයෙන් වලක්වා තනි ලොබින් කණ්ඩායමක ඒකාධිකාරය පවත්වා ගන්නවා. අප මෙහිදී සමාජවාදී රටවල් කියන්නේ චීනය කියුබාව වගේ රටවල් පමණක් නෙමෙයි. කවර ආකාරයක හෝ මාධ්‍ය වාරණයක් ඇති හැම රටක්ම.

ලොබින් කිරීම හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක මූලික පදනමේම තියෙන දෙයක්. ප්‍රජාතන්ත්‍රවාදය කියා කියන්නේ ගොඩවල් හතර පහකට බෙදිලා ඉන්න අය අතරින් වැඩිම පිරිසක් ඉන්න ගොඩේ මතය අනික් අය විසින් අකැමැත්තෙන් පිළිගන්නවා කියන එක නෙමෙයි. බොහෝ විට අවසානයේදී එහෙම කරන්න වෙන්න පුළුවන් තමයි. නමුත්, ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඒක නෙමෙයි. එවැනි තැනකින් පටන් ගන්න එක කොහොමටවත්ම ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි.

නියම ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන තැනක විවිධ අදහස් දරන කණ්ඩායම් වලට ලොබින් කරන්න අවස්ථාව ලැබෙනවා. එවිට මේ කිසිදු කණ්ඩායමක නැති කෙනෙකුට හැම දෙයක්ම කිරා මැන තමන්ට වඩා නිවැරදි සේ පෙනෙන මතය තෝරා ගන්න පුළුවන්. ඒ වගේම එක ලොබින් කණ්ඩායමක ඉන්න කෙනෙකුට වුවත් තමන්ගේ මතය නිවැරදිම මතය නොවන බව පේනවානම් එය වෙනස් කර ගන්න පුළුවන්.

ලොබින් කිරීමේ ආකාර දෙකක් තිබෙනවා. පළමු එක කිසියම් මුදල් වාසියක් වෙනුවෙන් ලොබින් කිරීම. මෙහිදී ලොබින් කරන කෙනා විසින් ප්‍රවර්ධනය කරන අදහස් ඇත්තටම ඒ අය පෞද්ගලිකව විශ්වාස කරන දේවල් නොවෙන්න පුළුවන්. රූපවාහිණි වෙළඳ දැන්වීම් වල ඇන්කර් කිරි බොන මවුවරු, සන්සිල්ක් ගාන නිලියෝ, මයිලෝ බොන ක්‍රීඩකයෝ බොහෝ විට ඇත්තටම ඒ දේවල් නොකරනවා වෙන්න පුළුවන්. දේශපාලන පක්ෂ වෙනුවෙන් පෙනී සිටින අයගෙන් කොටසකුත් එසේ කරන්නේ කුමක් හෝ වාසියක් බලාගෙනයි.

දෙවන කණ්ඩායම ලොබින් කරන්නේ පළමු ආකාරයේ අය මෙන් මුදල් වාසියක් බලාගෙන නෙමෙයි. තමන් විශ්වාස කරන අදහස් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන්. මේ අය අතර විවිධ දේශපාලන පක්ෂ වලට සම්බන්ධ අයත් ඉන්නවා. එසේ නැති අයත් ඉන්නවා.

මා මේ බ්ලොග් එක ලියන්නේ කිසිදු මුදල් වාසියක් බලාගෙන නෙමෙයි. ඒ වගේම ලංකාවේ හෝ ඇමරිකාවේ කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ මට කිසිදු සම්බන්ධයක් නැහැ. කලින් තිබිලත් නැහැ. නමුත්, එයින් කියැවෙන්නේ මා කිසිදු දේශපාලනයක නිරත නොවන බව හෝ වාසියක් නොලබන බව නෙමෙයි. මෙහි ලියන දේ වල පැහැදිලි දේශපාලනයක් තිබෙනවා. ඒ දේශපාලනය ඇතැම් දේශපාලන පක්ෂ සමඟ අඩුවෙනුත් වෙනත් ඒවා සමඟ වැඩියෙනුත් සමපාත වෙන්න පුළුවන්. එය මට ප්‍රශ්නයක් නෙමෙයි.

මා ඇමරිකාවට ආවත් මගේ නෑදෑයින් මිතුරන් අසල්වාසීන් බොහෝ දෙනෙක් ඉන්නේ ලංකාවේ. මට ඒ අයව ඇමරිකාවට ගෙන්නා ගන්න බැහැ. යම් හෙයකින් එසේ ගෙන්නා ගත්තත් ඔවුන්ට එයින් යහපතක් වේයැයි හරියටම කියන්න බැහැ. ලංකාවේ තත්ත්වය වඩා යහපත් වී ඒ අයගේ ජීවිත හොඳ තත්ත්වයකට පත් වනු දකින්න මම කැමතියි.

මම හැමවිටම යෝජනා කරන්නේ ඒ සඳහා උදවු වේයැයි මා හිතන දේවල්. මේ යෝජනා වල අඩුපාඩු හෝ වැරදි තිබෙන්න පුළුවන්. වඩා හොඳ යෝජනා තියෙන්න පුළුවන්. මා මෙන්ම එවැනි වෙනත් යෝජනා ඇති අයද තමන් විශ්වාස කරන නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටිය යුත්තේ ඒ නිසයි. එවැනි අයෙකුගේ අදහස් සමඟ එකඟ විය නොහැකි වුවත් ඒ අදහස් ඉදිරිපත් කරන්න තිබෙන අයිතිය වෙනුවෙන් මා පෙනී සිටිනවා.

එකම අදහසක එල්බී ඉන්න එක හරිම ඒකාකාරී දෙයක්. අදහස් වුනත් කාලයෙන් කාලයට වෙනස් වෙනවානම් ජීවිතයේ වෙනසක් තියෙනවා. ධනවාදය වගේ ක්‍රමයක අඩුපාඩු හොයන්න මම පෞද්ගලිකව කැමතියි. ඇමරිකානු සමාජයේ තිබෙන අඩුපාඩු ගැන කතා කරන්නත් කැමතියි. එහෙම අඩුපාඩුවක් හොයන බොහෝ අවස්ථා වලදී අන්තිමට පෙනී යන්නේ මුලින් අඩුපාඩුවක් වැරැද්දක් සේ පෙනුණු දේ එසේ නොවන බවයි, එහෙම නැත්නම් එය එසේ වෙන්න හේතුවක් තිබෙන බවයි. ඉතිං හත් දෙයියනේ ඒකට මම මොනවා කරන්නද?

ගොඩක් වෙලාවට ලිපියක් ලියන්න කලින් හරි ප්‍රශ්නයකට පිළිතුරක් දෙන්න කලින් හරි මම කරුණු හොයනවා. එසේ හොයන්නේ කිසියම් පූර්ව නිගමනයක සිට නොවන බව කියන්න බැහැ. වෙනත් අයට වගේම මටත් පූර්ව නිගමන තියෙනවා. කරුණු හෙවුවට පස්සේ සමහර වෙලාවට ඒ පූර්ව නිගමනය වෙනස් කර ගන්න වෙනවා. ඒ හරහා මම අලුත් දේවල් ඉගෙන ගන්නවා. එය මට මේ බ්ලොග් එක හා එයට ලැබෙන පාඨක ප්‍රතිචාර නිසා ලැබෙන විශාල වාසියක්. ලිපියක් පළ කිරීමෙන් පසුව එහි අන්තර්ගතය වැරදි බව පැහැදිලි වීම ඉතාම කලාතුරකින් සිදු වී තිබෙන දෙයක්. එයට හේතුව ලිපිය ලියන්න කලින්ම මා වැරදි පූර්ව නිගමන තිබුණේනම් ඒවා වෙනස් කර ගන්නා නිසා.

ලියන දේ සමඟ එකඟ නොවන අයගේ අදහස් වලට මෙහි ඉඩ දෙන්නෙත් මගේ වාසිය වෙනුවෙන්. ප්‍රතිචාර අනුව පෙනෙන පරිදි මගේ පූර්ව නිගමන වැරදිනම් මට නිවැරදි කර ගන්න පුළුවන්. එහෙත්, බොහෝ විට සිදු වෙන්නේ මගේ පූර්ව නිගමන නිවැරදි බව තහවුරු වීමයි.

මා ලියන දේ කෙරෙහි මගේ ඇලීමක් නැහැ. ඒ නිසා, වෙනත් ප්‍රතිවිරුද්ධ අදහස් නිසා මට රිදෙන්නේ නැහැ. බොහෝ විට ඒ ප්‍රතිවිරුද්ධ අදහස් මා විසින් කලින් සලකා බලා හේතුසහගතව ප්‍රතික්ෂේප කර ඇති අදහස්. එසේ නොවන වඩා හොඳ අදහසක් ඇත්නම් මා ඇත්තටම සතුටු වෙනවා. නමුත්, පිළිගත නොහැකි අදහසක් ඉදිරිපත් වූ විට මගේ අදහස වෙනුවෙන් පෙනී සිටිනවා. මෙහි එන බොහෝ දෙනෙක් නිවැරදි දෙයක් කරුණු හෝ හේතු සහිතව පෙන්වා දුන් විට එය පිළිගන්නවා. නින්දේ සිටින අය ඇහැරෙන නමුත් හොරට නිදා ගෙන ඉන්න අය ඇහැරෙන්නේ නැහැ.

උඩ ඡායාරූපය බොරුවක්. ඇතැම් විට ඔය වගේ එඩිට් කළ ඡායාරූප ප්‍රචාරය කරන අයට එසේ කරන්න කවුරු හෝ මුදල් ගෙවනවා වෙන්න පුළුවන්. පසුගිය මැතිවරණ සමයේ එවැනි කණ්ඩායම් පෙනෙන්න හිටියා. මුදල් වෙනුවෙන් කළත් බොහෝ විට මේ වගේ දේවල් කරන අය එසේ කරන්නේ තමන් පක්ෂපාතී දේශපාලන පක්ෂයක් වෙනුවෙන්. ඒ නිසා, මුදල් ලබා මෙවැනි දේ කරනවාද ස්වේච්ඡා පදනමකින් කරනවාද කියන එක වැදගත් කරුණක් නෙමෙයි.

පොදුවේ ගත්තත් මුදල් වාසි වෙනුවෙන් ලොබින් කළත් මටනම් එහි ප්‍රශ්නයක් නැහැ. මුදල් ලබා හෝ ස්වේච්ඡාවෙන් ලොබින් කරන කෙනෙක් කරන්නේ පුද්ගලයෙකුට අදහස් හා මතවාද තෝරා ගැනීම සඳහා විකල්ප ඉදිරිපත් කරන එකයි. හොඳම විකල්පය තෝරා ගත හැක්කේ වැඩි විකල්ප ප්‍රමාණයක් ඇති විටයි.

මා උපන් දා සිට දශක ගණනක්ම ලංකාවේ තිබුණේ අදහස්, මතවාද වල ඒකාධිකාරයක්. අප හැම දෙනෙක්ම ඒ ඒකාධිකාරයේ ගොදුරු වූ අයයි. ඒකාධිකාරය තිබුණේ සම්මත මිනුම් අනුව උගත් සේ සැලකෙන පිරිස් අතේ. අනෙක් අයට කට වහගෙන ඒ අය කියන දේ පිළිගන්න සිදු වී තිබුණා. සමාජ මාධ්‍ය නිසා ඒ තත්ත්වය වෙනස් වී තිබෙනවා. සමාජ මාධ්‍ය වල රට ගිය ඇත්තෝ වගේ කතා, උඩ ඡායාරූපය වැනි එඩිට් කළ ඡායාරූපය වැනි ඕනෑම දෙයක් සංසරණය වෙන්න පුළුවන්. එය වැඩි දෙනෙකුගේ කැමැත්ත මත සිදු වන දෙයක්. ඒ නිසා සිදු වී තිබෙන හොඳ දෙයක් වන්නේ උගතුන්ගේ මතවාදී ඒකාධිකාරය බිඳ වැටීමයි. කලින් හිතාමතා අසත්‍ය ප්‍රචාර කරන්න පුළුවන් වුනෙත් ඔවුන්ටම පමණයි. දැන් වෙන අයත් කරනවා.

බොරු ගොඩක් ඇත්ත එක්ක තරඟ කරද්දී ඇත්ත තෝරා ගැනීම ප්‍රශ්නයක් වෙනවා. ලංකාවේ ගොඩක් අයට කාලයක් තිස්සේ එවැනි පුහුණුවක් ලැබී නැහැ. අපි ගොඩක් අය හැදුණේ ආණ්ඩුවේ, ජනමාධ්‍ය වල හා ප්‍රසිද්ධ කලාකාරයින්ගේ අදහස් ඒකාධිකාරය ඇතුළේ මිසක් සමාජ මාධ්‍ය තිබුණු වටපිටාවක නෙමෙයි. එහෙමයි කියලා උගත්, පිළිගත් අය කියන දේ අනිත් අය විශ්වාස කළ අතීතයට යා යුතු නැහැ. ඊට සාපේක්ෂව දැන් තියෙන්නේ හොඳ තත්ත්වයක්. මේ තත්ත්වයත් එක්ක උගත්, පිළිගත් අයට තමන් දන්නා ඇත්ත අනෙක් අයට සරලව පැහැදිලි කරන්න බල කෙරී තිබෙනවා. එසේ නොකළොත් ඔවුන් අවලංගු වී යනවා. කලින් තිබුණු ඒකාධිකාරය ඔවුන්ට නැහැ.

මේ බ්ලොග් එක නිර්නාමිකව ලියන එකත් එහි දේශපාලනයේම කොටසක්. ලියන දේ මිස ලියන පුද්ගලයාගේ පෞද්ගලික ජීවිතය වැදගත් නැහැ. ගොනා කෝවිලේ රාජා හෝ ජෝජ් ෆ්ලොයිඩ් අපරාධකරුවන් වීම හෝ නොවීම මත ඔවුන් මරා දැමීම යුක්තියුක්ත කරන්න බැහැ. මරණය සිදු වුනේ කොහොමද කියන කාරණයේදී ඒ අයත් මිනිස්සු. හැබැයි අප විසින් ප්‍රවර්ධනය කරන්නේ කරුණු හොයා බලා හරි දේ හොයා ගැනීමේ සංස්කෘතිය මිසක් මෙහි ලියන දේ කිසිවක් නොවිමසා පිළි ගැනීමේ සංස්කෘතියක් නෙමෙයි. අපට හැම දෙයක් ගැනම ලියන්න වෙලාවක් නැහැ. මේ වගේ කටයුත්තක් හැමදාම කරන්නත් බැහැ. අප කරන්නේ වෙනත් ඕනෑම අයෙකුට කළ හැකි දෙයක්. බොහෝ විට මේ බ්ලොග් ලිපි වල තිබෙන්නේ අන්තර්ජාලයේම කොහේ හෝ තිබෙන තොරතුරු.

උඩ තිබෙන එඩිට් කළ බොරු ඡායාරූපයට අනුව අළුත් පියාපත් කණ්ඩායමේ සාමාජිකාවන් විසින් පොලීසිය විසින් පාතාල සාමාජිකයින්ට වෙඩි තබා මරා දැමීමට එරෙහිව විරෝධතාවයක් දක්වනවා. කාලයක් තිස්සේම විවිධ පුද්ගලයින් ලංකාවේ පොලීසියේ නිලධාරීන්ව ආයුධ පෙන්නන්න එක්ක ගියා. ඒ එක්ක ගිය හැම වෙලාවකම වගේ වෙඩි හුවමාරුවක් සිදු වී අදාළ පුද්ගලයා මිය ගියා. මේ කතාව අඩු වශයෙන් රෝහණ විජේවීරගේ මරණය තෙක් පැරණි කතාවක්.

වීඩියෝ සාක්ෂි හෝ වෙනත් සාක්ෂි නැතත් මේ කතා ඇත්ත නොවන බව මෙය කියවන හැම කෙනෙක්ම වගේ පිළිගන්නවා. එහෙත්, මේ ආකාරයෙන් පොලීසිය විසින් බලය අපහරණය කිරීමට පොදුවේ ලාංකිකයින්ගේ විරෝධයක් නැතුවා වගේම බොහෝ ලාංකිකයින් විසින් එවැනි බලය අපහරණය කිරීමක් ඉල්ලා සිටිනවා. උඩ බොරු ඡායාරූපයෙන් ආමන්ත්‍රණය කරන්නේ ඒ අයටයි.

පෙසපෙ විසින් ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණයට එරෙහිව විරෝධතාවයක් පැවැත්වුවා. එහිදී කුමාර් ගුණරත්නම් විසින් කියා සිටියේ ඇමරිකාවේ රාජ්‍ය ත්‍රස්තවාදය පිළිබඳව ඔහුට අවබෝධයක් තිබෙන බවයි. ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණය හා රාජ්‍ය ත්‍රස්තවාදය අතර සම්බන්ධයක් නැති බව මා පැහැදිලි කර තිබෙනවා. මෙය තනි පුද්ගලයෙකු හෝ වැඩිම වුනොත් කිහිප දෙනෙකු විසින් කළ වැරැද්දක් මිසක් රාජ්‍ය ත්‍රස්තවාදයක් නෙමෙයි. ජෝජ් ෆ්ලොයිඩ් මරා දමන්න කියා පොලීසියට ඉහළින් නියෝග ආවේ නැහැ.

පොලීසි අහෝසි කර දමන මෙන් ඉල්ලමින් මේ වන විට ඇමරිකාවේ ඇතැම් ලොබින් කණ්ඩායම් විසින් බලපෑම් කරමින් ඉන්නවා. ඔවුන් පෙන්වා දෙන්නේ අපරාධකරුවන්ට දඬුවම් දීම සඳහා යොදවන මුදල් අපරාධ වැළැක්වීම සඳහා යෙදවීම වඩා කාර්යක්ෂම බවයි. හරි හෝ වැරදි හෝ වේවා මෙය නැවුම් අදහසක්. මේ වගේ නැවුම් අදහස් ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් ලැබීම ඇමරිකානු ප්‍රජාන්තන්ත්‍රවාදයයි. පොලීසි නැති සමාජයක් පොලීසි තිබෙන සමාජයකට වඩා යහපත් තැනක්ද නැද්ද කියන එක තීරණය කරන්න වෙන්නේ අත්හදා බැලීමෙන් පසුවයි. ඇමරිකානු සමාජය මෙවැනි අත්හදාබැලීම් වලට සූදානම්.

පෙසපෙ විරෝධතාවයට ඇමරිකාව විරුද්ධ වී නැහැ. මෙවැනි විරෝධතා පවත්වන්න තිබෙන අයිතිය ප්‍රජාතන්ත්‍රවාදයේ කොටසක් බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය විසින්ම නිවේදනයක් නිකුත් කර ප්‍රකාශ කර තිබෙනවා. විරෝධතාව මර්ධනය කළ ආකාරය අනුව එය පොලීසියේ තනි පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායමක ක්‍රියාවක් පමණක්යැයි හිතන්න බැහැ. ගොනා කෝවිලේ රාජා මිය ගිය ආකාරය පිළිබඳ වීඩියෝ සාක්ෂි නැතත් පෙසපෙ විරෝධතාකරුවන් මර්දනය කරන ආකාරය පිළිබඳ වීඩියෝ සාක්ෂි තිබෙනවා. කළින් වාරණ නියෝගයක් ලබා ගෙන තිබීම පැත්තකින් තිබ්බත් විරෝධතාකරුවන්, විශේෂයෙන්ම කාන්තාවන්, ජීප් රථයට පටවා ගත් ආකාරය පොලිස් අත්පොතක තිබෙන ආකාරය වෙන්න බැහැ. කෝවිඩ් පැතිරීම වැළැක්වීමේ උපදෙස් මාලාවක යෝජනා කෙරෙන දෙයක් වෙන්නත් බැහැ.

මේ මර්දනයට එරෙහිව සමනලී ෆොන්සේකා කතා කරනවා. උඩ බොරු ඡායාරූපය හැදෙන්නේ ඒ පසුබිමේ. එය ප්‍රචාරය කරන අයෙක් පෙන්වන්න උත්සාහ කරන්නේ "අයිතීන් උදෙසා කාන්තාවන්" පාතාල සාමාජිකයින් වෙනුවෙන් වුවත් පෙනී සිටින අය නිසා ඔවුන් කියන දේවල් වලට බරක් නොතැබිය යුතු බවයි. ඇත්තටම ප්‍රශ්නය වන්නේ අයිතීන් උදෙසා කාන්තාවන් වගේම පෙසපෙ වැනි පක්ෂත් ඇමරිකාවේ නැති රාජ්‍ය ත්‍රස්තවාදයක් වෙනුවෙන් පෙනී සිටියත් ලංකාවේ පොලීසිය විසින් පාතාල සාමාජිකයෙකු ලෙස හඳුන්වන අයෙකු වෙඩි හුවමාරුවකදී මිය ගිය බව කී විට එය ප්‍රශ්න නොකිරීමයි.

ලංකාවේ ජනගහණයෙන් උසස් පෙළ සමත් ප්‍රතිශතය 13.8%ක්. ඒ කියන්නේ මිලියන 2.99ක් පමණ. 2007-2018 කාලයේදී පමණක් ඇමරිකාවට යන්න බලාගෙන ග්‍රීන්කාඩ් ලොතරැයිය සඳහා අයැදුම් කළ ප්‍රමාණය මිලියන 1.24ක්. එහෙම බැලුවහම ලංකාව වඩා හොඳ තැනක් කර ගන්න හදනවා වගේම ඇමරිකාව වඩා හොඳ තැනක් කර ගන්න එකත් ලාංකිකයින්ගේ ප්‍රශ්නයක්. පෙසපෙ සාමාජිකයින් ගොඩක් අය අඩු ගානේ උසස් පෙළවත් සමත් අයනේ. සමහර විට ග්‍රීන්කාඩ් ලොතරැයිය සඳහා අයැදුම් කළ අය ඔය ගොඩෙත් ඉන්න ඇති. ඒ දවස් වල ඇමරිකන් විරෝධීන් වූ අපේ යාළුවෝ ඕනෑ තරම් දැන් ඔය මෙහේ ඇවිත් ඉන්නේ.

ආණ්ඩුව පෙසපෙට ඔය තරම් හයියෙන් ගැහුවේ ඇයි කියන එක වෙනම කතා කළ යුතු දෙයක්.

Saturday, May 30, 2020

මරණ බය හමුවේ අහිතකර පුරුදු



ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලංකාවේ සිදුවන මරණ වලින් 10%කට හේතුව දුම් පානයයි. ලංකාවේ දුම් පානය බොහෝ දුරට පිරිමින්ගේ පුරුද්දක්. ලංකාවේ පිරිමින් අතර දුම් පානය 2005දී වූ 40.5% මට්ටමේ සිට ක්‍රමයෙන් පහත වැටෙමෙන් ඇතත් 2018 වන විටත් පිරිමින්ගෙන් 28.4%ක් දුම්පානයෙන් ඈත්ව සිටියේ නැහැ.

ලංකාවේ දුම් පානය කරන්නන්ගෙන් 91%ක් සිගරැට් උරන්නන්. ඉතිරි ප්‍රමාණයෙන් වැඩි පිරිසක් බීඩි උරන්නන්. ලංකාවේ සිගරැට් වෙළඳපොළ බොහෝ දුරට ලංකා දුම්කොල සමාගමේ ඒකාධිකාරයක්. 2019 වසරේදී දුම්කොළ සමාගමේ පිරිවැටුම රුපියල් බිලියන 141.3ක්. එම මුදලින් රුපියල් බිලියන 120.4ක් ලබා ගෙන තිබෙන්නේ රජය විසිනුයි. බදු ගෙවීමෙන් පසුව සමාගමේ ලාබය රුපියල් බිලියන 17.3ක්. එම ලාබය බොහෝ දුරට රටෙන් පිටට යන මුදලක්. ලංකා දුම්කොළ සමාගමේ කොටස් වලින් 92.5%ක්ම අයිති බීඒටී හා පිලිප් මොරිස් බහුජාතික සමාගම් වලටයි. ඉතිරි කොටස් වලින්ද සැලකිය යුතු අයිතියක් විදේශිකයන් හෝ විදේශික සමාගම් සතුයි.

රජය විසින් හා දුම්කොල සමාගමේ කොටස් හිමිකරුවන් විසින් ලබා ගෙන ඇති ආදායම් මුළු පිරිවැටුමෙන් අඩු කළ විට විකිණූ සිගරැට් වල පිරිවැය සොයාගැනීම අමාරු නැහැ. සේවක පඩි නඩි, දුම්කොළ ඇතුළු අමුද්‍රව්‍ය වල වියදම හා විදුලි බිල ඇතුළු අනෙකුත් වියදම් සඳහා වැයවන මුළු පිරිවැය වන්නේ රුපියල් බිලියන 3.7ක පමණ මුදලක් පමණයි. දුම්කොළ සමාගමේ ඒකාධිකාරයේ උදවුවෙන් දුම්කොළ සමාගම හා රජය විසින් එකතු කර ගන්නා මුදල දුම්වැටි නිපදවීමට යන නිෂ්පාදන වියදමට සාපේක්ෂව හතළිස් ගුණයකට ආසන්න විශාල මුදලක්.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහනේ මෑතකාලීන අධ්‍යයනයකට අනුව ලංකාවේ දුම්පානයේ අවාසිය වසරකට රුපියල් බිලියන 213.8ක්. මේ මුදලින් රුපියල් බිලියන 15.3ක් දුම්වැටි භාවිතය ආශ්‍රිත රෝග වෙනුවෙන් වැය වන මුදල්. ඉතිරි රුපියල් බිලියන 198.5 දුම්වැටි නිසා සිදුවන අකල් මරණ හා රෝග නිසාත්, ඵලදායීතාවය අඩු වීම නිසාත් රටේ නිෂ්පාදිතය පහළ යාමේ අවාසියයි.

අවාසියේ වැඩි කොටස වන රුපියල් බිලියන 179.3ක් දුම්වැටි ආශ්‍රිත රෝග නිසා වයස 70ට පෙර මිය යන අයගේ අඩු වූ ජීවිත කාලයන්හි වටිනාකමයි. මේ අවාසිය අදාළ අයගේ පවුල් වලට සිදුවන අවාසියක්. දුම්වැටි භාවිතය ආශ්‍රිත රෝග වෙනුවෙන් වැය වන මුදලෙන් රජයට වැය වන මුදල රුපියල් බිලියන 8.3ක් පමණයි. ඉතිරියෙන් රුපියල් බිලියන 5.9ක් රෝගීන්ගේ අතින් යන වියදම්. රුපියල් බිලියන 1.1ක් රක්ෂණ ගිවිසුම් හරහා පියවෙන වියදම්.

දුම්පානය නිසා සමස්තයක් ලෙස රටට විශාල පාඩුවක් වුනත්, රජයට සිදුවන්නේ විශාල වාසියක්. දුම්කොළ සමාගම විසින් කරන ප්‍රධාන කාර්යය දුම්වැටි නිපදවා විකිණීම නොව, කොමිස් මුදලක් ලබමින් රජයට ආදායම් එකතු කර දීම බව කිවුවොත් එය වඩා නිවැරදියි. දුම්වැටි අලෙවිය හරහා රජය විසින් උපයන බිලියන 120.4ක මුදල දුම්වැටි ආශ්‍රිත රෝග වෙනුවෙන් රජය වැය කරන රුපියල් බිලියන 8.3 මෙන් පහළොස් ගුණයකට ආසන්නයි.

කොරෝනා තර්ජනය දුම්පානය කරන්නන්ට වඩා අහිතකර ලෙස බලපෑමත්, කොරෝනා තර්ජනය හමුවේ රජය විසින් ගත් විවිධ ක්‍රියාමාර්ගත් නිසා 2020 පළමු කාර්තුව තුළ දුම්කොළ සමාගමේ අලෙවි ආදායම 13%කින් පහත වැටී තිබෙනවා. දෙවන කාර්තුව තුළ කොරෝනා බලපෑම මීට වඩා වැඩි විය යුතුයි.

මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය විසින් මැයි 1-10 අතර ලංකාවේ දිස්ත්‍රික්ක 25ම ආවරණය කරමින් සිදු කර ඇති සමීක්ෂණයකට අනුව, දුම්පානය කරන්නන්ගෙන් 20%ක් කෝවිඩ් තර්ජනය හමුවේ දුම්පානය අතහැර තිබෙනවා. තවත් 68%ක් දුම් පානය සීමා කර තිබෙනවා. ඔවුන්ගෙන් 51%ක්ම පවසා ඇත්තේ කෝවිඩ් තර්ජනය අවසන් වීමෙන් පසුවද මේ තත්ත්වය එලෙසම පවත්වා ගැනීමට අදිටන් කරගෙන සිටින බවයි.

තෙවසරකට පෙර දුම්වැටි විරෝධී දිනයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලංකාවේ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියට සම්මානයක් ලබා දෙමින් එහි ක්‍රියාකාරකම් අගය කළා. එහෙත් එම වසර තුළද ලංකාවේ දුම්වැටි අලෙවිය, ඒ හරහා රජය ඉපැයූ බදු ආදායම මෙන්ම දුම්කොල සමාගමේ ලාබද පෙර වසරට වඩා ඉහළ ගියා. කාලයක් තිස්සේ රජයට කළ නොහැකි වූ හෝ කරන්නට අවශ්‍ය නොවූ කාර්යයයක් කොරෝනා වෛරසය විසින් සිදු කර තිබෙනවා.

හෙට (මැයි 31)  මේ වසරේ ලෝක දුම්වැටි විරෝධී දිනයයි.

Monday, March 18, 2019

අපේ කුණු...


හැමදාම නැතත් ගොඩක් දවස් වලට අපේ ගෙදර ලංකාවේ කෑම මොනවා හෝ හදනවා. සමහර අය හිතන විදිහටනම් මේක පසුගාමී වැඩක්. ලංකාවේ ඇතැම් අය හිතන්නේ එහෙම වුනත්, පරිප්පුයි බතුයි වගේ පසුගාමී කෑම වේලක් හදල දුන්නහම ගොඩක් සුද්දෝ වුනත් බොහොම ආසාවෙනුයි කන්නේ.

ලංකාවේ කෑම හදන්න පොල් නැතුවම බෑනේ. අපි සාමාන්‍යයෙන් මිල දී ගන්නේ පොල් කිරි ටින්. මැල්ලුම් සම්බෝල වගේ වගේ දේවල් හදන්න ගාපු පොල් පැකට් මිල දී ගන්නවා. බොහෝ විට මේවා එන්නේ තායිලන්තය වියට්නාමය වගේ රටවල් වලින්.

මේක අවුරුද්දකට දෙකකට කලින් සිදු වුනු සිද්ධියක්. ශ්‍රී ලාංකික සම්භවයක් තිබෙන මිතුරියක් අපේ ගෙදර ඇවිත්. ඈ පැමිණ සිටින නිසා අපේ ගෘහමූලිකාව බතක් එළවළුවක් හදන්න පටන් අරන්. පොල් කිරි ටින් එකක් කඩා හට්ටියට දැම්මට පස්සේ ඈ හිස් ටින් එක සෝදනවා.

"ඇයි අනේ ඔයා ඔය ටින් එක හෝදන්නේ. මොකක් හරි වැඩකට ගන්නද?"

අපේ නිවසට පැමිණි අමුත්තිය අහනවා.

මේ ප්‍රශ්නය මීටත් වසර කිහිපයකට කලින් වෙනත් නිවසකදී අපිත් අහපු ප්‍රශ්නයක්. ඒ අපේ මස්සිනාගේ නිවසේදී. ඔහු ඇමරිකාවේ ජීවත් වන්නේ අප මෙහි එන්න අවුරුදු ගණනකට පෙර සිටයි. සාමාන්‍යයෙන් ලංකාවේ කෑම හදන්නේ නැති වුනත් එදා අප එහි ගිය නිසා ඔවුන් ලංකාවේ කෑම හදන්න පටන් ගත්තා. හිස් පොල් කිරි ටින් එක හෝදන්නේ ඇයි කියන ප්‍රශ්නය අපට මතු වුනේ ඒ වෙලාවෙදියි.

එදා ඔහු හිස් පොල් කිරි ටින් එක හේදුවේත්, දැන් අපි ඔහුව අනුගමනය කරමින් ඒ දෙයම කරන්නේත් ටින් එකෙන් විශේෂ වැඩක් ගන්න නෙමෙයි. එය කුණු බක්කියට දමන්නයි. ටින් වැනි ලෝහ වර්ග දමන ප්‍රතිචක්‍රීකරනය සඳහා යන කුණු බක්කියට ආහාර කොටස් එක්ක හිස් ටින් එක දමන එක සුදුසු නැති නිසයි අප ඒ වැඩේ කරන්නේ.

මස්සිනා හිස් ටින් එකක් හෝදනවා දැකපු දවස් වල අපේ ගෙදර කුණු බක්කි කිහිපයක් තිබුණේ නැහැ. හැම කුණක්ම දාන්න තිබුණේ එකම එක කුණු බක්කියක් පමණයි. ඒ නිසා, ඒ දවස් වල අප ඒ දෙයම කරන එකේ තේරුමක් තිබුණේ නැහැ. නමුත්, පසුව අපිත් වෙන වෙනම කුණු බක්කි කිහිපයක් ඇණවුම් කළා.

දැන් අපේ ගෙදර "සාමාන්‍ය" කලවම් කුණු දමන බක්කිය පිරෙන්නේම නැති තරම්. ගෙදර එකතු වන කුණු වලින් විශාල ප්‍රමාණයක් කාඩ්බෝඩ් හෝ කඩදාසි, ටින් වැනි ලෝහ, වීදුරු බෝතල්, ප්ලාස්ටික් යන කැටගරි හතරෙන් එකකට වැටෙන ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කුණු. බක්කියේ ඉඩ මදි වෙන්නේ මේ ප්‍රතිචක්‍රීකරණය කළ අපද්‍රව්‍ය දමන්නයි. මුලින් වුනේ එහි අනිත් පැත්තයි. ආහාර අපද්‍රව්‍ය කොම්පෝස්ට් කරන්න පටන් ගත්තට පස්සේ කලවම් කුණු බක්කියට කලින් වැටුණු කුණුත් නැතුව ගිහින්.

සමහර අය හිතා ඉන්නවා වගේ කුණු කියන්නේ සම්පතක් නෙමෙයි. කුණු කුණුම තමයි. උඩින් ලියපු දේවල් ඇතුළු බොහෝ දේ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි වුවත් අනුන්ගේ කුණු එකතු කරගෙන ගිහින් ප්‍රතිචක්‍රීකරණය කර විකිණීමෙන් ලාබයක් ලැබිය හැකියි කියා මා හිතන්නේ නැහැ. ඒ නිසා කුණු ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වියදමෙන් කොටසක් තමන්ගේ කුණු බැහැර කරන්න අවශ්‍ය කුණු වල අයිතිකාරයින්ටත් ගෙවන්නම වෙනවා.

අපේ ගෙදර එකතු වන කුණු වෙනුවෙන් අප ගෙවිය යුතු මිල තීරණය වෙන්නේ අප විසින් තෝරා ගන්නා කුණු බක්කි ගණන හා ඒවායේ ප්‍රමාණය මතයි. කුණු ඔක්කොම එකම බක්කියකට දමනවානම් ගෙවන්න වෙන්නේ අඩු මිලක්. විවිධ වර්ග වල කුණු වෙනුවෙන් බක්කි කිහිපයක් නඩත්තු කරන්න වැඩි මිලක් ගෙවන්න වෙනවා. නමුත්, අප වගේම තවත් බොහෝ දෙනෙක් කැමැත්තෙන්ම ඒ මිල ගෙවනවා. ඒ නිසා, අපේ කුණු වලින් විශාල ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය වෙනවා. සෞඛ්‍යාරක්ෂිත ලෙස වළලා දමනු ලැබෙන්නේ මෙසේ ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි ඉතුරු කුණු ප්‍රමාණය පමණයි.

මුල් කාලයේ අප මෙසේ කුණු බක්කි කිහිපයක් නඩත්තු කළේ නැහැ. එයට එක් හේතුවක් වුනේ ඒ දවස් වල අපේ ආදායම් මට්ටම අනුව කුණු වෙනුවෙන් ලොකු මිලක් ගෙවන්න පුළුවන් කමක් නොතිබීමයි. මිනිස්සුන්ගේ ආදායම් ඉහළ ගොස් මූලික අවශ්‍යතා සපුරා ගැනීම අභියෝගයක් නොවන තැනට ආවහම අනෙක් මිනිස්සු ගැනත්, පරිසරය ගැනත් හිතන්න පුළුවන්කමක් ලැබෙනවා. පණ ගැට ගහ ගැනීම අභියෝගයක් වී තිබියදී ඔය වගේ දේවල් ගැන හිතන්න අමාරුයි.

කුණු බැහැර කිරීමේ මිල ගෙවිය යුත්තේ කුණු නිපදවන අයයි. එය වෙනත් අයෙකු මත පටවා ඇඟ බේරා ගැනීම සාධාරණ දෙයක් නෙමෙයි. තමන්ගේ කුණු බැහැර කිරීමේ මිල ස්වකැමැත්තෙන් තමන් විසින්ම ගෙවන තැන දක්වා සමාජයක් එක වර පරිණත වෙන්නේ නැහැ. මුදලින් ගෙවන මිල වගේම උඩින්ම ලියූ පරිදි හිස් පොල් කිරි ටින් එක හෝදන්න යොදවන ශ්‍රමයත් මේ මිලේ කොටසක්. අප මෙය අපේ මස්සිනාගෙන් ඉගෙන ගත්තාක් මෙන් ඔහු තවත් කාගෙන් හෝ ඉගෙන ගන්න ඇති.

ලංකාවේ කුණු ප්‍රශ්නය කාලයක් තිස්සෙම තිබෙන එකක්. මේ ප්‍රශ්නය රට නාගරීකරණය වීමත් එක්ක ක්‍රමයෙන් ඇති වූ ප්‍රශ්නයක්. අනුන්ගේ වත්තකට හෝ පාරට කුණු දමන තැනක ඉඳලා කුණු වර්ග කර බැහැර කරන හා එහි මිල ගෙවන තැන දක්වා එකවර වෙනස් වෙන්න බැහැ.

දෙවසරකට පෙර සිංහල අවුරුදු සමය ගෙවුනේ විශාල ඛේදවාචකයක් එක්කයි. කුණු කන්දකට යට වී මිනිස්සුන්ට මිය යන්න සිදුවුණු එකම රට ලංකාව නොවුනත් එවැනි දෙයක් වුනු එකෙන් ප්‍රතිපත්ති සම්පාදනයේදී කොහේ හෝ විශාල වැරැද්දක් සිදුව තිබෙන බව පැහැදිලිව පෙනෙනවා.

කොළඹ කුණු කියන්නේ ලංකාවේ කාලයක් තිස්සේ පැවතුණු විශාල ප්‍රශ්නයක්. මේ කුණු කලවම් කුණු. ඇමරිකාවේදී හෝ වෙනත් ඕනෑම දියුණු රටකදී වුවත් මෙවැනි කලවම් කුණු සනීපාරක්ෂිතව වළලා දමනු හැර වෙන කළ හැකි දෙයක් නැහැ. ඇමරිකාවේ තරම් හිස් බිම් නැති ලංකාව වගේ රටක කුණු ප්‍රශ්නය ගොඩක්ම සංකීර්ණයි.

මීතොටමුල්ල ඛේදවාචකය සිදු වූ දවස් වල බොහෝ දෙනෙක් ඒ ගැන කතා කළා. නමුත්, ලංකාවේ සාමාන්‍ය ක්‍රමය සිද්ධියක් සිදු වී කලක් යද්දී එය කාටත් අමතක වී යාමයි. කුණු ප්‍රතිචක්‍රීකරණය කොහොම වෙතත් කුණු ප්‍රශ්නය ඇතුළු ලංකාවේ සමාජයීය ප්‍රශ්න ප්‍රතිචක්‍රීකරණය කරන එකනම් බොහොම සාමාන්‍ය දෙයක්.

මේ චක්‍රය බිඳ දමමින් කුණු වගේම කුණු ප්‍රශ්නයත් සනීපාරක්ෂිතව වළලා දමන්න උත්සාහයක් ගැනෙමින් තිබීම සතුටට කරුණක්. කවුරු කළත් හොඳ දේ අගය කළ යුතුයි.

Monday, December 31, 2018

සැන්ඩි එපා!


සමහර වෙලාවට "සෝඩා ටිකක් දාල පොඩ්ඩක් ගේන්නද?" කියල ඇහුවහම විවිධ පිළිතුරු ලැබෙනවා. "පාවිච්චියක් නෑ!", "දැන් නවත්තල ඉන්නේ!", "දැන් බෑ!", "එහෙනං පොඩ්ඩක් ගම්මුකෝ!" ඉඳලා "සෝඩා එපා!" දක්වා විවිධ ප්‍රතිචාර ඔය අතර තිබෙනවා. ලාල්කාන්ත සහෝදරයා වගේ "උවමනාවක් නැතත්" යාලුවන්ගේ වදේට හරි "මානුෂික සම්බන්ධතා පවත්වාගැනීමේ ස්වරූපයක් විදිහට" හරි ගන්න අයත් ගොඩක් ඉන්නවනේ. හැබැයි ඉතිං ඔතැන උවමනාවක් නෑ කියන එකෙන් කියන්නේ ඔය විදිහට වෙනත් කෙනෙක් බල නොකළානම් හොයාගෙන ගිහින් ගන්න උවමනාවක් නෑ කියන එක පමණයි. වෙනත් අයෙකුගේ බල කිරීමට යටවෙන කෙනෙක් වුනත් කරන්නේ අවසාන වශයෙන් තමන් කැමති දේ. එහෙම නැත්නම් නොකර ඉන්න බැරිකමක් නැහැනේ!

සැර මත්පැන් පැණිබීම වලින් සැන්ඩි කරන එක ලංකාවේ සාමාන්‍ය දෙයක්. එයට ආර්ථික සාධක වගේම සංස්කෘතික සාධකත් හේතු වෙනවා.

සැන්ඩි කරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මත්වීම පාලනය කරගැනීම. අනෙක් පැත්තට මූලික වශයෙන්ම මත්පැන් බොන්නේ මත්වෙන්න කියා හිතුවොත් මේ චර්යාවේ පරස්පරයක් පේනවා. වෙනත් විදිහකින් කිව්වොත්, බොනවා තමයි- ඒත් මත්වීමේ උවමනාවක් නැහැ. ඒකෙන් පැහැදිලි වෙන්නේ මේ විදිහට සැන්ඩි කරමින් බොන්නේ, යාලුවන්ගේ බල කිරීමට යටවුණේ නැත්නම්, හොයාගෙන ගිහිං බොන්න තරම් උවමනාවක් නැති අය බවයි. ඒ නිසා, මේක මානුෂික සම්බන්ධතා පවත්වාගැනීමේ ස්වරූපයක් කියන එකේ වැරැද්දක් නැහැ.

සමහර සාමූහික චර්යා වලින් පිළිබිඹු වෙන්නේ පුද්ගල චර්යා වල එකතුව නෙමෙයි. සමූහයක කිසිම තනි පුද්ගලයෙකුට පෞද්ගලිකව කරන්න අවශ්‍ය නොවන දෙයක් එවැනි පුද්ගලයින් සමූහයක් විසින් කරන අවස්ථා ඕනෑ තරම් තියෙනවා. බුදු පිළිමයක් කැඩීම, පල්ලියකට ගලක් ගැහීම, හදිසි අනතුරකින් පසු රියදුරාට පහර දීම වගේම සංචාරයක යෙදීම, සිල් ගැනීම වගේ තනි තනිව කරන්න කිසිවෙකුට උවමනාවක් නැති ගොඩක් දේවල් ඔය විදිහට පුද්ගලයින් කණ්ඩායමක් විසින් කරන්න පුළුවන්. එවැනි උවමනාවක් තිබෙන එක් පුද්ගලයෙකු හෝ කිහිප දෙනෙකු විසින් කවර ආකාරයෙන් හෝ සමූහයක් මෙහෙයවීම වෙනම කරුණක්. මා කියන්නේ ඒ ගැන නෙමෙයි.

සමාජගත වීම සඳහා මත්පැන් බොන ඇතැම් කණ්ඩායම් වල කිසිවෙකුටත් තනිතනිව මත්පැන් බොන්න අවශ්‍ය නැහැ. නමුත්, "අනිත් අය ගැන හිතා" හැමෝම සෙට් වෙනවා. සමාජ සත්ත්වයෙක් වන මිනිසාගේ ඔය වගේ හැසිරීම් ඕනෑ තරම් තියෙනවා. මේ වගේ හැසිරීම් ක්‍රීඩා න්‍යාය (game theory) ඇසුරෙන් පැහැදිලි කරන්න පුළුවන්.

තමන්ගේ උවමනාවට තනිව මත්පැන් බොන පුද්ගලයෙක්ට සැන්ඩි වැදගත් නැහැ. නමුත්, යාළුවන්ගේ උවමනාවට සෙට් වෙන කොටනම් සැන්ඩි නැතුවම බැහැ. මෙතැන ගේම් එක ඩෝප් නොවී වැඩි වෙලාවක් අල්ලගෙන ඉන්න එකයි. මොකද සතුට තියෙන්නේ සෙට් වෙන එකේ මිසක් මත්පැන් වල නෙමෙයි. මත්පැන් වලින් කරන්නේ සෙට් වෙන්න හේතුවක් සපයන එක පමණයි.

සංඛ්‍යාලේඛණ මත පදනම් නොවී නිගමන වලට එළැඹෙන එක නිවැරදි නැති වුවත්, මම හිතන විදිහට බටහිර රටක මිනිස්සුන්ට සාපේක්ෂව ලංකාවේ මිනිස්සු මේ විදිහට සෙට් වෙන්න වැඩි කාලයක් වෙන් කරනවා. කාලයේ ආවස්ථික පිරිවැය සාපේක්ෂව අඩුවීම මෙයට එක් හේතුවක් කියන්න පුළුවන්.

බටහිර රටකදීනම් මේ වගේ එකතුවකදී කියන වෙලාවට හැමෝම වගේ එනවා. පැමිණිය යුතු වෙලාව වගේම සාදය අවසන් වන වෙලාවත් බොහෝ විට ඇරයුමේම තියෙනවා. ඒ වෙලාවට සභා තොමෝ සතුටින් විසිර යනවා. හැබැයි මේ කියන්නේ ලංකාව වැනි රටවලින් ආ සංක්‍රමණිකයින් ගැන නෙමෙයි. (ඔවුන්ගේ හැසිරීම ග්‍රාම්‍යයි කියා කියන්න හදනවත් නෙමෙයි).

ලංකාවේ ඔය වැඩේ ඔය විදිහට නොවන බව කියවන කවුරුත් දන්නවනේ. "මචං, පොඩ්ඩක් පරක්කුයි. තව පැය බාගෙන් ඔතැන." කියා කියන එකා එන්නේ තව පැය එකහමාරකින් වීම කාටවත් පුදුමයක් නෙමෙයි. ඒ වගේම එක්කෙනෙක් දෙන්නෙක් ආපහු ගියා කියා වැඩේ නවතින්නෙත් නැහැ. ඉතුරු අය ඇදගෙන යනවා. ඉවර වෙන වෙලාව වැඩේ සංවිධානය කරපු කෙනාටවත් කලින් කියන්න පුළුවන් කමක් නැහැ. මෙයට හේතුව ලංකාවේ පොදු ප්‍රවාහනයේ දුර්වලතා හෝ මාර්ග තදබදය පමණක්ම නෙමෙයි. ඔය විදිහට තැනකට වෙලාවට නොඑන ඇතැම් අය ඇතැම් වැදගත් දේ මොන විදියෙන් හෝ හරියටම නැකැත් වෙලාවකට කරනවා.එහෙම නැකතකට වැඩක් වෙනවා කියලා දන්නා අවස්ථා වලදී කොහොම හරි වෙලාවට එනවා.

ඇත්ත නැත්ත කොහොම වුවත් මත්පැන් මත පනවා තිබෙන විශාල බද්ද සාධාරනීකරණය කරන්නේ සමාජ යහපත ඉස්සරහට දාලනේ. මෙහි එක අතුරු ඵලයක් වන්නේ "කලවම් බඩු" විශාල ලෙස වෙළඳපොළට එන එක. මේ වැඩේ කරන්න පහසු වෙන්න හේතු වී තිබෙන එක් කරුණක් වන්නේ සැන්ඩි කිරීමේ පුරුද්දයි.

කාලයක් ඇතැම් අය ගෙන ආ තර්කයක් වුනේ සැර අඩු මත්පැන් මිල අඩු කර සැර වැඩි මත්පැන් භාවිතයේ හානි අඩු කළ යුතු බවයි. නමුත්, සමාජශීලී වෙන්න බොන ලංකාවේ ගොඩක් අය බොන්නේ සැර අඩු මත්පැන් වර්ග වලටත් වඩා තනුක කරලා. ප්‍රශ්න විසඳගන්න බොන අය කොහොමටත් සැර අඩු මත්පැන් හොයනවා අඩුයි.

බටහිර රටක මත්පැන් මිල සාපේක්ෂව ගොඩක් අඩුයි. ඒ නිසා, කිසියම් පෞද්ගලික සාදයක් වගේ තැනක වුවත් මත්පැන් වර්ග විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ නිසා, බොන කෙනෙකුට විකල්ප වැඩියි. ලංකාවේ අධික මත්පැන් මිල එක්ක විකල්ප සීමා වෙනවා. ඒ නිසා, ඇල්කොහොල් සාමූහිකයක් ඇතුළේදී "ප්‍රජාතන්ත්‍රවාදය අනුව" බහුතරයේ කැමැත්තට අනික් අයට යට වෙන්න වෙනවා. එවිට, පුද්ගල කැමැත්ත යටපත් වෙනවා. සැන්ඩි කිරීම ප්‍රචලිතව තිබීම ඇතුලෙ තිබෙන්නේ ඒ විදිහට පොදු කැමැත්ත ඇතුළේ යට වෙන පුද්ගල කැමැත්ත මතු වෙන ආකාරයයි. එක් එක් පුද්ගලයා විසින් කරන්නේ තිබෙන එකම ඇල්කොහොල් විකල්පය තමන්ට අවශ්‍ය තරමට සැන්ඩි කරගෙන තමන්ට අවශ්‍ය නිෂ්පාදනය හදාගන්න එක. මේ පුරුද්ද නිසා, එකම බෝතලයෙන් වුවත් එක් එක් පුද්ගලයාට අවශ්‍ය දේ බොන්න ඉඩ සැලසිලා තිබෙනවා.

අපි ලියන දේවල් වුනත් කියවන අය කියවන්නේ තමන්ට අවශ්‍ය පමණට සැන්ඩි කරගෙන. ඒකත් පුද්ගල කැමැත්ත. කෙනෙක් ලියන දේවල් වැඩිපුර බීලා වෙනත් කෙනෙක් මත්වෙන්න අවශ්‍ය නැහැ. හැබැයි සමහර වෙලාවට සමහර අය කියවන්නේ එනකොට අරන් එන සැන්ඩිම විතරයි!

වෙන ලිපි වල වගේම මේ ලිපියේ තියෙන දේවලුත් තමන්ට කැමති පමණ සැන්ඩි කරගෙන කියවන්න. අරගෙන ආපු සැන්ඩි විතරක්ම වුනත් කමක් නැහැ. එය ඔබේ කැමැත්ත.

සුබ නව වසරක්!

Sunday, December 30, 2018

මං උනත් ඉතිං ඉන්නෙ මෙ අවුෂදේ බලෙන්...


ග්‍රෙගෝරියන් අවුරුද්ද ඉවර වෙද්දී සංක්‍රාන්තිය සමරන්න අවුෂද ටිකක් ගන්න එක ගොඩක් දෙනෙක් කරන දෙයක්නේ. ඕකේ ඉතිං ලොකු වැරැද්දක් නැහැ. බොන්න උවමනාවක් නැති වුනත් යාලුවන්ගෙන් බේරෙන්න බැරි වුන වෙලාවට චුට්ටක් ගන්නවා කියල ලාල්කාන්ත සහෝදරයත් කියල තියෙනවනේ.

ඔය වගේ සමාජ සම්බන්ධතා පැවැත්වීමේ කොටසක් විදිහට වගේම ප්‍රශ්න වැඩි වුනහමත් තව අය බොනවනේ. එහෙම අය මුලින් කී අයට වඩා ටිකක් වැඩි වෙන්න ගන්නවා. ඒ අයට තියෙන එක විවේචනයක් තමයි බීල ප්‍රශ්න විසඳන්න බෑ කියන එක.

ආපහු සිහිය එන කොට තිබිච්ච ප්‍රශ්න ඔක්කොම තිබුණත් ඒ ප්‍රශ්න ටික වෙලාවකට හරි අමතක කරන එකත් එක විසඳුමක්නේ. හැබැයි ඔය විදිහට ප්‍රශ්න විසඳන්න අසීමාන්තික ලෙස එක දිගට බොන එකෙන් පස්සේ නැති ප්‍රශ්න ඇති වෙනවා. එහෙම තියෙද්දිත් සමහර අය ඔය වැඩේ කරන්නේ මේ පසුකාලීන හානි ගැන අවබෝධයක් නැති නිසාද?

ටික දවසකට කලින් ඇමරිකාවේ ප්‍රධාන පෙළේ සරසවියක පර්යේෂකයෙකු වන අයෙකු එක්ක කරපු කතාබහක් ගැන කලින් ලිපියක සඳහන් කළානේ. ඔහුට අනුවනම් මිනිස්සු මේ විදිහට බොන්නේ පසුකාලීන හානි ගැන අවබෝධයක් නැතිව නෙමෙයි. ඒ හානි ගැන දැනගෙන හිටියත් බොන එකෙන් ලැබෙන දේ ඒ හානි වලට වඩා වටින නිසා. වෙනත් විදිහකින් කිවුවොත් මේ මිනිස්සු කරන්නෙත් නොබොන අනුවණ දනෝ වගේම බොහොම තාර්කික විදිහට කටයුතු කරමින් තමන්ට හොඳම දේ කිරීම. එහෙම වෙන්නේ කොහොමද?

ඔහුගේ අදහස වන්නේ වෙනත් විකල්පයක් නැති විට මානසික ආතතියට ප්‍රතිකාරයක් ලෙස මිනිස්සු මත්පැන් ගන්නවා කියන එකයි. හැබැයි වෙනත් වඩා හොඳ විකල්පයක් ලැබුනොත් ඔවුන් තව දුරටත් මේ වැඩේ කරන්නේ නැහැ.

ඔහුට අනුව, මේ චර්යාවම වෙනත් කරුණු හා අදාළව වුවත් පෙන්වන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි කන බොන මිනිස්සුනේ. කන එකෙන් අපි හොඳට සතුටු වෙනවා. ඒ වගේම, ඇඟ හොල්ලන්න හොරයි. නමුත්, ඔය විදිහට කකා බිබී ව්‍යායාම නොකර ඉන්න කොට කොලෙස්ටරෝල් නගිනවා. ඔන්න එතකොට අකැමැත්තෙන් ඩයට් කරන්න වෙනවා. ව්‍යායාම කරන්න වෙනවා.

මෙතැන තේරීම් දෙකක් තිබෙනවා. එකක් හෘද රෝගයක් හැදීමේ අවදානම ගන්න එක. අනික අපි අකැමැති දේවල් වන ඩයට් කිරීම හා ව්‍යායාම කිරීම වැනි දේ කරන එක. දෙකෙන් එකක්වත් අපි කැමති දේවල් නෙමෙයි. ඒ නිසා, තිබෙන හොඳම විකල්පය අඩු නරක විකල්පය තෝරා ගැනීම.

දැන් ඔය මැතිවරණ වලදී ගොඩක් අය කරන්නෙත් ඕකමනේ. මොකා ආවත් එකයි කිවුවට මොකෙක් හරි එනවනේ. ඒ නිසා, අඩු නරක විකල්පය තෝරා ගන්න වෙනවා. ඉතිං ගොඩක් ඡන්ද වැටෙන්නේ කාව හරි දිනවන්න නෙමෙයි. අනිත් අපේක්ෂකයා දිනන එක වලක්වන්න. මිනිස්සුන්ගේ හැසිරීම තාර්කිකයි.

කොහොම වුනත් අමතර විකල්ප වැඩි වන තරමට අපට වඩා අඩු නරක හෝ වඩා හොඳ විකල්පයක් තෝරා ගැනීම පහසු වෙනවා. මා කිවූ පර්යේෂකයා මුලින්ම පෙන්වා දෙන්නේ කොලෙස්ටරෝල් පාලනය කරන්න ලිපිටෝර් වගේ ස්ටැටින් ඖෂධ සොයා ගැනීම. මේවායේ අතුරු ආබාධ හොඳටම අඩුයි. දැන් තුන්වන විකල්පයක් විදිහට ඩයට් නොකර, ව්‍යායාම නොකර ස්ටැටින් ඖෂධ වලින් කොලෙස්ටරෝල් පාලනය කරගෙන හෘද රෝග අවදානම අඩු කර ගන්න පුළුවන්. ඔහු පෙන්වා දෙන විදිහට මේ චර්යාත්මක වෙනස ඇමරිකාවේ ස්ථුලතාවය ඉහළ යන්න හේතු වී තිබෙනවා.

මේ ආකාරයටම ආතතිය පාලනය කරන ඖෂධ වෛද්‍ය නිර්දේශ නැතුව මිල දී ගැනීම පහසු වීමට සමාන්තරව ආතතියට විසඳුමක් ලෙස අධික ලෙස මත්පැන් පානය කිරීම අඩු වෙමින් තිබෙන බව ඔහු පෙන්වා දෙනවා. (මේ පර්යේෂණ ප්‍රතිඵල මේ විදිහටම වලංගු වන්නේ ඇමරිකාව වගේ රටකට බව මතක් නොකළොත් එය අඩුපාඩුවක්.) මේ කරුණු එක්ක ඔහු පෙන්වා දෙන්නේ තාක්ෂණය නිසා වඩා හොඳ අලුත් විකල්ප ලැබීමේ වාසිය හා ඒ එක්ක වෙළඳපොළ යාන්ත්‍රනය තුළ සමාජයීය ප්‍රශ්න ස්වභාවිකවම විසඳෙන ආකාරයයි.

Saturday, December 29, 2018

ලීනි සිබරල් කානි සිවුද?


දැන් ළමයි කොහොමද දන්නේ නැහැ. අපිනම් දෙවන භාෂාවක් ඉගෙන ගත්තේ ගොඩක් පොඩි කාලෙදිමයි. ඒ පෙරළි භාෂාව. බස් පෙරළීම හා "බස්" පෙරළීම කියා දෙකක් තියෙනවනේ! ඊට පස්සේ තුන්වන භාෂාවකුත් ඉගෙන ගත්තා. ඒ සීනි භාෂාව.

ඔය භාෂා තුන ඔය පිළිවෙළටම මිසක් වෙනත් පිළිවෙලකට ඉගෙන ගන්න බැහැ. පෙරළි භාෂාව ඉගෙන ගන්න කලින් සිංහල ඉගෙන ගන්න වෙනවා. අර සිංහල උගත් ඉංග්‍රීසි ආණ්ඩුකාරයෙක් හා ඒ කාලයේ ජීවත් වූ හිමිනමක් අතර පළමු පංතියේ දුම්රිය මැදිරියකදී වූ කතාබහක් ගැන කතාව අහල ඇතිනේ. සුද්දට ඇනගන්න වුනේ සිංහල කොයි තරම් හොඳින් ඉගෙනගෙන තිබුණත් පෙරළි භාෂාව ගැන දැනගෙන නොසිටි නිසයි. සීනි භාෂාව ඉගෙන ගන්නනම් සිංහලයි පෙරළි භාෂාවයි දෙකම කලින් හදාරලා තියෙන්න ඕනෑ.

දෙවන, තුන්වන ආදී භාෂා කොපමණ ඉගෙන ගත්තත් මවු භාෂාව හසුරුවන එක වඩා පහසුයි. ලියන්න වගේම කියවන්නත්. හැබැයි තමන්ට පහසුම භාෂාවෙන් ලියා තිබෙන දෙයක් වුවත් හැමෝම කියවන්නේ එකම විදිහට නෙමෙයි. එකම අකුරු හා වචන තමයි. නමුත්, කියවන එක් එක් පුද්ගලයා ඒ වචන වලින් තේරුම් ගන්නේ තම තමන්ට අවශ්‍ය දේවල්. එයත් අප අතර තිබෙන විවිධත්වයේ කොටසක්.

රනිල් ප්‍රධාන එජාප ආණ්ඩුව ලිබරල් මතවාදී ආණ්ඩුවක් ලෙස බොහෝ දෙනෙක් සලකනවා. එහෙමනම්, මහින්දලා ප්‍රති-ලිබරල්ද?

රනිල්ගේ ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති ලෙස රාජිත විසින් යෝජනා කළ පැණි බීම සඳහා වූ සීනි බද්ද මහින්ද විසින් ඉවත් කළා. මේ බද්ද දමපු වෙලාවේ ඒ ගැන බටහිර මාධ්‍ය වාර්තා වල ඉතා පැහැදිලිවම ලියා තිබුණේ මෙය ප්‍රති-ලිබරල් ක්‍රියාමාර්ගයක් බවයි. එහෙමනම් බද්ද ඉවත් කිරීම ලිබරල් තීරණයක්. කවුරු හෝ පුද්ගලයෙක්, ප්‍රතිපත්ති සම්පාදකයෙක් හෝ ආණ්ඩුවක් විසින් සමස්තයක් ලෙස කටයුතු කරන ආකාරය හා එවැනි පුද්ගලයකු හෝ ආණ්ඩුවක් විසින් ගන්නා හුදෙකලා ප්‍රතිපත්ති තීරණ දිහා එකම අච්චුවේ දමා බලන්න බැහැ.

ලිබරල් වගේ පුළුල් තේරුමක් තියෙන බර වචන පැත්තකින් තියලා නිදහස් වෙළඳපොළ කියන සාපේක්ෂව සරල සංකල්පය වෙත හැරෙමුකෝ. නිදහස් වෙළඳපොළක් කියන්නේ රජයේ මැදිහත්වීමක් නැතුව පුද්ගලයින් දෙදෙනෙකු අතර ස්වේච්ඡාවෙන් සිදුවන ගනුදෙනු වලට ඉඩලැබෙන තැනක්. හරියට පැණිබීම නිෂ්පාදකයෙකු හා පාරිභෝගිකයෙකු අතර සිදුවන ගනුදෙනුවක් වගේ. ගනුදෙනුව සිදුවන මිල තීරණය කරන්නේ ඒ දෙන්නා. දෙන්නාගෙන් කාට හෝ පාඩුනම් ගනුදෙනුවක් වෙන්නේ නැහැ. ගනුදෙනුවක් වෙනවනම් එයින් කියන්නේ දෙන්නටම වාසි බවයි.

සීනි බද්ද කියන්නේ රජය විසින් ඉහත කී ගනුදෙනුවට අකුල් හෙළන නියාමන ක්‍රියාමාර්ගයක්. එය නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරීත්වයට බාධාවක්. එවැනි ක්‍රියාමාර්ගයක් යුක්තියුක්ත කළ හැක්කේ කවර පදනමකින්ද?

මේ ආකාරයේ බදු වලට කියන්නේ පිගෝවියන් බදු කියලා. කිසියම් හෝ හේතුවක් නිසා නිදහස් ගනුදෙනු වලට ඉඩ හැරීමෙන් සමාජයට අයහපතක් සිදුවෙනවාය යන උපකල්පනය මත ඒ අයහපත නැති කරන එකයි මෙවැනි බදු පැනවීමෙන් අපේක්ෂා කරන්නේ. ඇතැම් භාණ්ඩ මත පිගෝවියන් බදු පැනවීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර තිබෙනවා. මත්පැන් හා දුම්වැටි උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. වසර කිහිපයක සිට සීනි බදුත් මේ නිර්දේශ අතරට එකතු වී තිබෙනවා.

දෙවන ලෝක යුද්ධයට සහභාගී වූ අවසන් ඇමරිකානුවා වූ රිචඩ් ඕවර්ටන් වසර 112ක් හා දින 230ක් ආයු වළඳා පෙරේදා (දෙසැම්බර් 27) මිය ගියා. ඔහු නොකඩවා දිනපතාම දුම්පානය කළ, උදේට කෝපි එක්ක හෝ අමුවෙන්ම විස්කි වඩියක් සප්පායම් වූ, හැමදාම රෑට අයිස්ක්‍රීම් එකක් කන්න ප්‍රිය කළ පුද්ගලයෙක්. රිචඩ් ඕවර්ටන් වැනි ප්‍රති-උදාහරණ පෙන්විය හැකි වුවත්, අධික මත්පැන් භාවිතය හා දුම්වැටි භාවිතය නිසා පුද්ගලයෙකුට සෞඛ්‍යමය හානි වෙනවා කියන එක පිළිගත හැකි, පැහැදිලි කරුණක්.

ආර්ථික විද්‍යාවේ මූලික න්‍යායයක් වන්නේ හොඳ සිහියෙන් සිටින, වැඩිහිටි පුද්ගලයෙක්ට තමන්ට හොඳම දේ තෝරාගැනීමේ හැකියාවක් තිබෙනවා කියන එකයි. ඒ අනුව, කවුරු හෝ දුම්වැටියකට ගෙවන මිල ගෙවන්නේ මේ හානි ගැන සැලකීමෙන්ද පසුව ඔහු හෝ ඇය දුම්වැටියෙන් ලබන සතුට ගෙවන මිලට වඩා වැඩි නිසයි. ඒ පදනම මත බැලුවොත් කවුරුහරි දුම්පානය හේතුවෙන් පෙනහළු පිළිකාවක් හදා ගත්තොත් ඒක ඒ පුද්ගලයාගේ පෞද්ගලික ප්‍රශ්නයක්.

හැබැයි පුද්ගලයෙක් දුම්වැටියකට ගෙවන මිල තීරණය කරද්දී ඒ නිසා තමන්ට ලැබෙන සතුට හා සිදුවිය හැකි හානි ගැන මිසක් වෙනත් අයට සිදුවිය හැකි හානි ගැන හිතන්න හේතුවක් නැහැ. කවුරු හෝ මගේ සේවා ස්ථානයේ, නිවසේ හෝ වෙනත් පොදු ස්ථානයක සිට දුම්පානය කරද්දී, මටත් සිගරට් දුම ආඝ්‍රාණය වෙනවා. ඒ නිසා, මගේ පෙනහළු පිළිකා අවදානම ඉහළ යාම වෙනුවෙන් මට ලැබෙන දෙයක් නැහැ. පිගෝවියන් බදු පිටුපස තිබෙන අදහස වන්නේ දුම්පානය කරන පුද්ගලයාගෙන් හා සිගරැට් වෙළෙන්දාගෙන් මුදලක් අය කරගෙන තෙවන  පාර්ශ්වයක් වන මගේ හානිය ප්‍රතිපූරණය කළ යුතු බවයි. මත්පැන් පානය කිරීමේ පුරුද්ද නිසා ගෘහස්ථ හිංසනයේ ගොදුරු වන අය, රිය අනතුරු වලට ලක්වෙන අය ආදීනුත් මෙවැනි තෙවන පාර්ශ්ව සේ සැලකිය හැකියි. සීනි වැඩිපුර බීමෙන් මේ විදිහට කවර හෝ තෙවන පාර්ශ්වයන්ට හානි වෙනවද?

තෙවන පාර්ශ්වයන්ට හානි වෙන අවස්ථා වලදී නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරිත්වය කිසියම් නියාමනයකට ලක් කිරීම පිළිබඳව මගේ මූලික ප්‍රතිවිරෝධතාවයක් නැහැ. නමුත්, එසේ කරන්න කලින්, ඒ විදිහට තෙවන පාර්ශ්වයන්ට හානි වෙන බවත්, නියාමන ක්‍රියාමාර්ග නිසා ඒ හානි අඩුවන බවත් පැහැදිලිව පෙන්වා දෙන්න නියාමකයින්ට හැකි විය යුතුයි.

ඇතැම් විට ඉහත මූලධර්මයට අමතරව වෙනත් මූලධර්ම මතත් නියාමන ක්‍රියාමාර්ග ගැනෙනවා. උදාහරණයක් විදිහට මත්පැන් හා දුම්වැටි මිල දී ගැනීමේදී අවම වයස් සීමාවක් පැනවීම පෙන්වා දෙන්න පුළුවන්. මෙහිදී යොදා ගැනෙන මූලධර්මය වන්නේ මේ දේවල් වල හොඳ නරක කිරා මැන බැලීමේ හැකියාවක් තිබෙන්නේ වැඩිහිටි පුද්ගලයින්ට පමණක් බවයි. තවත් උදාහරණයක් ගත්තොත් බොහෝ බටහිර ඖෂධ විකිණිය හැක්කේ සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු විසින් නිර්දේශ කර ඇත්නම් පමණයි. මොකද ප්‍රමාණවත් පුහුණුවක් නැත්නම් මේ ඖෂධ වල හොඳ නරක කිරා මැන බලන්න සාමාන්‍ය පුද්ගලයෙකුට බැහැ. මේ ආකාරයේ නියාමනයක් තිබීම ගැන වෛද්‍යවරුන් නොවන වැඩිහිටි පුද්ගලයින්ගේ විරෝධයක් නැහැ. ඒ නිසා, නියාමනය සමාජයේ පොදු තීරණයක්.

මේ විදිහට බැලුවොත්, මත්පැන්, දුම්වැටි හා පැණි බීම මත බදු පැනවීමෙන් මේ දේවල් වල සෞඛ්‍යමය හානි පිළිබඳව සාමාන්‍ය වැඩිහිටි පුද්ගලයෙක්ට වුවත් අවබෝධයක් නැති බව පිළි ගැනෙනවාද? මේ වගේ තත්ත්වයක් නැහැ කියා කියන්න බැහැ. එහෙම තත්ත්වයක් තියෙනවනම් එයට විසඳුම කුමක්ද?

මෙය දේශපාලනික කරුණක්. පළමු විසඳුම වන්නේ වෛද්‍යවරුන් බෙහෙත් නිර්දේශ කරනවා වගේ "දන්නා අය විසින්" අනෙක් අයට ඔවුන්ගේ තේරීම් සිදු කළ යුතු ආකාරය නියම කිරීමයි. දෙවන විසඳුම දන්නා අය විසින් ඒ අයගේ දැනුම් පරතරය අඩු කරගන්න උදවු කිරීමයි. මගේ දේශපාලනික තේරීම දෙවැන්නයි. නමුත්, සියළුම දේශපාලනඥයින් අඩු වැඩි වශයෙන් පෙනී සිටින්නේ පළමු විසඳුම වෙනුවෙනුයි. ඔවුන්ට වෘත්තීය පැවැත්මක් තිබෙන්නේ ඒ තුළයි.

(Image: http://www.dailymirror.lk/article/Snaring-children-in-the-sugary-drink-trap-140964.html)

සීනි දී සැනසීම


පහුගිය "දින පණහ" ඇතුළත සිදු වූ එක් දෙයක් තමයි මහින්ද විසින් පැණි බීම මත පනවා තිබුණු සීනි බද්ද අඩු කිරීම. මේ බද්ද දැම්මේ අවුරුද්ද මුලදී රාජිත විසින්. කර්මාන්තයට දැනෙන තරමේ ලොකු බද්දක්.

මානව ඉතිහාසයේ වැඩි කාලයක් තිස්සේ මිනිස්සු හිටියේ ජීවත් වෙන්න අවශ්‍ය කරන අවම කැලරි ප්‍රමාණය හෝ ලබා ගැනීම අභියෝගයක් වූ පරිසරයකයි. ඒ කාලයේ වැඩි කාලයක් ජීවත් වී තමන්ගේ ජාන අනාගතයට ඉතිරි කරන්න පුළුවන් වුනේ මොන විදිහකින් හෝ මේ ශක්ති අවශ්‍යතාවය සපුරා ගත් අයටයි.

මිනිස්සු සාමාන්‍යයෙන් ගන්නා ආහාර අතරින් සීනි හා තෙල් කියන්නේ කැලරි පොදි. ඉතා පොඩි ප්‍රමාණයක් ආහාරයට ගැනීමෙන් විශාල කැලරි ප්‍රමාණයක් සිරුරට ලැබෙනවා.

පසුගිය අවුරුදු දහදාහක පමණ කාලය ගත්තොත් සීනි හා තෙල් කියන්නේ මිනිස්සුන්ට කලාතුරකින් හමු වූ දේවල්. සීනි ලැබුණේ හදිසියේ අහම්බෙන් හමු වූ ඉදුණු පළතුරු පිරුණු ගහක් වගේ තැනකින්. ඒ වගේ වෙලාවක පුළුවන් තරම් ඉදුණු පළතුරු කනවා මිස, ඒ පළතුරු ගෙදර ගෙනිහින් කල් තබා ගෙන ටික ටික කන්න පුළුවන් තාක්ෂණයක් ඒ කාලේ තිබුණේ නැහැ.

සීනි හා තෙල් වැඩියෙන් කන්න කැමැත්තක් තිබුණු හා මේ ආහාර වලින් ලැබුණු ශක්තිය සිරුරේ තැන්පත් කරගෙන ටිකෙන් ටික ප්‍රයෝජනයට ගන්න හැකියාවක් තිබුණු අයට අනෙක් අයට සාපේක්ෂව පරිණාමික වාසියක් ලැබුණා. ඒ නිසා, සීනි හා තෙල් වලට වැඩි කැමැත්තක් නැති මිනිස්සු ටිකෙන් ටික වඳ වී යද්දී මේ දෙකට වැඩි රුචිකත්වයක් දක්වන අය ඉතිරි වුනා. අපි හැමෝම වගේ ඒ විදිහට ඉතිරි වූ පරම්පරා වල අය. ඒ නිසා, අප ඉපදෙන්නෙම සීනි හා තෙල් වලට තිබෙන කැමැත්ත එක්කයි.

මානව ඉතිහාසයේ මෑතම යුගය දක්වාම සීනි හා තෙල් වලින් ලැබෙන ශක්තිය සිරුරේ තැන්පත් කරගන්න පුළුවන් වීම මිනිස්සුන්ට වාසියක් මිස අවාසියක් වුනේ නැහැ. පළතුරු පිරුණු ගහක් හෝ මේද පිරුණු සිරුරක් සහිත ලොකු සතෙක් වරක් හමු වීමෙන් පසුව නැවත හමු වුනේ සෑහෙන කාලයක් ගිහින්. ඒ වන විට සිරුරේ තැන්පත්ව තිබූ ශක්තිජනක ටික වැය වී අවසන්.

නමුත්, දැන් තත්ත්වය වෙනස්. සාගින්නෙන් පෙළෙන මිනිස්සු අදටත් ලෝකය පුරා විසිරී ඉන්න බව ඇත්තක් වුවත් ලංකාව වැනි රටක පවා බොහෝ දෙනෙක්ගේ ආදායම් තමන්ට අවශ්‍ය අවම ආහාර ප්‍රමාණයට වඩා ආහාර වෙනුවෙන් වැය කළ හැකි තරමට ඉහළ ගිහින්. ඉතිං අපි අපිට ආස දේවල් හිතේ හැටියට කනවා.

පරම්පරා ගණනක් අපේ සෞඛ්‍ය වර්ධනයට හේතු වූ පුරුද්දකින් දැන් වෙන්නේ අපේ මරණය ඉක්මන් කරන එකයි. හෘදයාබාධ, ආඝාත හා දියවැඩියාව කියන්නේ ලාංකිකයෙක්ව මරණයට පත් කරන ප්‍රධාන හේතු. වෙනත් බොහෝ රටවල තත්ත්වයත් එහෙමමයි.

රාජිත විසින් සීනි බද්ද හඳුන්වා දීමෙන් අපේක්ෂා කර තිබුණේ මේ වන විටත් ලංකාවේ විශාල සෞඛ්‍යමය ප්‍රශ්නයක් වී තිබෙන දියවැඩියාව පාලනය කිරීමයි. මේ තීරණයේ සෘජු ප්‍රතිඵලය වන්නේ පැණි බීම මිල ඉහළ යාමයි. පැණි බීම වලට සීනි බද්දක් පැනවීම මෑත කාලයේදී වෙනත් බොහෝ රටවල් විසින්ද කර තිබෙන දෙයක්.

ජාන වලින්ම එන පුරුද්ද නිසා පොඩි කාලේ ඉඳලම අපි පැණිරසට ආසයි. ගොඩක් පොඩි කාලේ අම්මගේ නංගිගෙන්, පුංචි අම්මගෙන්, ඉල්ලුවහම බෝතලෙන් සීනි හැන්දක් අල්ලට දමනවා. හැබැයි අම්මා නැති වෙලාවට. අම්ම දැක්කොත් පුංචි අම්මටත් බැණුම් අහන්න වෙනවා.

දැන් පොඩි එකාට වැඩියෙන් ආදරේ අම්මාද නැත්නම් පුංචි අම්මාද? අම්මා හිතනවා සීනි වැඩිපුර දීම හොඳ දෙයක් නොවන බව. සමහර විට ඒ දවස්වල හිතන්න ඇත්තේ දත් නරක් වෙන එක හරි කිරිපණුගාය හැදෙන එක හරි ගැන මිසක් දියවැඩියාව ගැන නොවෙන්න පුළුවන්.

එතකොට පුංචි අම්මා කරන්නේ නරකක්ද? පුංචි අම්මත් කොල්ලට ආදරෙයි. ඈ හිතන්නේ ඔය ඉඳලා හිටලා සීනි හැන්දක් දීලා පොඩි එකාගේ ආසාව ඉටු කළාට මහ ලොකු හානියක් වෙන්නේ නැහැ කියලයි.

මහින්ද කළේත් අපේ පුංචි අම්මා පොඩි කාලේ කළා වගේ වැඩක්. සීනි බද්ද නිසා පැණි බීම මිල වැඩි වුණත් පැණි බීම නැතුවම බැරි එකා කොහොමටත් බොනවා. පැණි රස වැඩිපුර කෑමේ සෞඛ්‍යමය හානි ඉතා හොඳින්ම දන්නා මම වුනත් ජානමය තෙරපුම නිසා හෝ ඇබ්බැහිය නිසා හෝ වෙනත් හේතුවක් නිසා සීනි වලට තියෙන කැමැත්තට ගොඩක් වෙලාවට ඉඩ දෙනවා. මේ ගැන ඇමරිකාවේ ප්‍රධානම සරසවියක පර්යේෂකයෙක් එක්ක ළඟදී කරපු කතාබහක් ගැන පස්සේ වෙනම ලියන්නම්.

රාජිත ක්‍රියා කළේ අපේ අම්මා වගේ. සීනි හැන්දක් දුන්නොත් කොල්ලා දැන් සතුටු වෙයි. ඒත් අනාගතයේදී කණගාටු වෙයි. ඒ නිසා, කොල්ලාගේ දිගුකාලීන සතුට ගැන හිතනවානම් කරන්න ඕනෑ සීනි නොදී ඉන්න එකයි. (කොල්ලා ඒ ගැන දැන් ඉන්නේ සතුටෙන්ද? ඒක වෙනම ප්‍රශ්නයක්!)

මේ සීනි ප්‍රතිපත්ති දෙකෙන් පොදුවේ මහින්දගේ හා රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්ති මොනවාද කියන එකත් නිරූපණය වෙනවා. මහින්ද කරන්නේ ණය අරගෙන හරි කන්න දීලා, තව ප්‍රාග්ධන ආයෝජනත් මොනවා හරි කරලා, මිනිසුන්ව අද සතුටින් තියන එකයි. පස්සේ දියවැඩියාව හැදුනහම, ණය ආපසු ගෙවන්න වුනහම...ඒක ඒ වෙලාවට බලා ගම්මු!

රනිල්ලා හදන්නේ අද සතුට තරමක් කැප කරමින් වුනත් දිගුකාලීනව රටට හොඳයි කියා ඔවුන් හිතන දේ කරන්නයි. හැබැයි මතක තියා ගන්න "දිගුකාලීනව රටට හොඳයි කියා ඔවුන් හිතන දේ".

දැන් මේ ප්‍රතිපත්ති දෙකෙන් වඩා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තිය කොයි එකද? ඇත්තටම බැලුවොත් මහින්ද කටයුතු කරන ආකාරය වඩා ප්‍රජාතන්ත්‍රවාදීයි. ඔහු බොහෝ විට දෙන්න උත්සාහ කරන්නේ වැඩි දෙනෙක් ඉල්ලන දෙයයි. පස්සේ ණය ගෙවන්න වෙනවා කියන එකේ ලංකාවේ වැඩි දෙනෙක්ට අවුලක් නැහැ. වඩා වැදගත් අද කාල බීල ඉන්න එකයි.

(Image: https://www.dailymail.co.uk/health/article-3336474/University-Bath-says-spoonful-sugar-secret-athletic-success.html)

Thursday, October 11, 2018

සතුට, කුඩු හා ණය


අපි සතුට ගැන කතා කරමින් හිටියනේ. ඇතැම් අය සතුට තියෙන්නේ මුදල් වල කියා හිතනවා. තවත් අය එහි අනිත් අන්තයට ගිහින් මුදල් නිසා සතුට නැති වනවා කියා හිතනවා.

සාමාන්‍යයෙන් මුදල් නිසා සතුට නැති වන්නේ නැහැ. නමුත්, එසේ විය හැකි තත්ත්වයන් තියෙන්න පුළුවන්. ඒ වගේම, මුදල් වැඩි වූ පමණින් හැම විටම සතුට වැඩි වෙන්නේ නැති වුවත්, ඇතැම් අය හා අදාළව එය එසේ වෙන්න පුළුවන්. මිනිස්සු එකෙක් අනෙකාගෙන් වෙනස්.

බොහෝ දෙනෙක් හා අදාළව මුදල් හා සතුට අතර තිබෙන්නේ වක්‍ර සම්බන්ධයක්. මුදල් නිසාම සතුට වැඩි නොවන නමුත් මුදල් යහමින් ඇති අයෙකුට තමන්ගේ සතුට වැඩි කරන වෙනත් දේවල් වෙනුවෙන් ඒ මුදල් යොදවන්න පුළුවන්. මුදල් යහමින් නැති කෙනෙකුට වෙන්නේ තිබෙන දෙයින් සතුටු වන්නයි.

කොහොම වුනත්, මුදල් එක් රැස් කර ගැනීමෙන් සතුටු වන අයත් ලෝකයේ ඉන්නවා. එවැනි අය ගැන කතා බෞද්ධ සාහිත්‍යයේ වගේම වෙනත් ආගමික සාහිත්‍යයන් වලත් දැකිය හැකියි. ඒ කියන්නේ ඒ වර්ගයේ මිනිස්සු සහශ්‍ර ගණනකටත් පෙර සිට ලෝකයේ හිටියා. එහෙම නැතුව ධනවාදයක් හෝ වෙන කෙහෙම්මලක් නිසා ඇති වෙච්ච තත්ත්වයක් නෙමෙයි.

මුදල් හැරුණු විට දැනුම, සෞඛ්‍යය, ආගමිකත්වය, පවුල් සම්බන්ධතා, සමාජ සම්බන්ධතා, ලිංගික සම්බන්ධතා, බලය, කීර්තිය වගේ වෙනත් බොහෝ දේවල් වලින් මිනිස්සු සතුටු වෙනවා. ඇතැම් අය, ඇතැම් විට, මේ වගේ වෙනත් දෙයකින් ලැබෙන සතුට වෙනුවෙන් තමන්ගේ අතේ තිබෙන මුදල් කැප කරනවා.

සමහර අය උපුටා දක්වන ඇතැම් පාඨ අනුව ඇතැම් අය ජීවිත කාලයෙන් සෑහෙන කොටසක් මුදල් හොයන්න වෙන් කරලා අන්තිමේදී ධනවතුන් වෙනවා. ඉන් පසුව, ඔවුන්ට තේරෙනවා තමන්ට දැනුම, සෞඛ්‍යය, ආගමිකත්වය, පවුල් සම්බන්ධතා වගේ සතුට ලැබිය හැකි බොහෝ දේ මග හැරී ඇති බව. නමුත්, ඒ වන විට පරක්කු වැඩියි!

දැන් ඔය කතාව උපුටා දක්වන ගොඩක් අය එයින් පෙන්වන්නේ මුදල් පස්සේ පැන්නීමේ තිබෙන නිරර්ථක බවයි. නමුත්, ඔය කතාවේ වෙනත් පැති තිබෙනවා.

සාහිත්‍යකරුවන් ඇතුළු විවිධ කලාකරුවන් ඉහත කතාවට ප්‍රචාරයක් ලබා දෙනවා. ඒ මගින්, එක අතකින් කරන්නේ කොයි තරම් මුදල් ඉපැයූවත් ඒ මුදල් ඉතා ඉක්මණින් නාස්ති කර වත්මන් සතුට වෙනුවෙන් අනාගත සතුට කැප කරන මෙවැනි ඇතැම් අයගේ ජීවන රටාව සාධාරනීකරණය කිරීමයි. කලාකරුවන්ගේ අදහස් ඉතා පහසුවෙන් සාමාන්‍ය ජනතාව අතරට යන නිසා වෙනත් බොහෝ අයත් මුදල් පස්සේ පැන්නීම නිරර්ථක දෙයක් කියා හිතනවා.

ජීවිත කාලයෙන් වැඩි කොටසක් මුදල් පස්සේ පන්නලා ධනවතෙක් වුනාට පස්සේ තමන් එතැනට එද්දී මග හැරුණු වෙනත් දේවල් ගැන කණගාටු වන අය ඕනැ තරම් ඇති. නමුත්, ජීවිතයේ අවසන් කාලය සතුටින් ගෙවන්න තරම් ප්‍රමාණවත් මුදලක් ඉතිරි කර ගැනීම ගැන නොසිතමින් ජීවිතයේ මුල් කාලය වෙනත් දේවල් වලට යෙදවීම ගැන අන්තිම කාලයේදී පසුතැවෙන අය ඇතැම් විට ඊට වඩා ගොඩක් වැඩි ඇති.

මෙතැන තියෙන අවුල මුදල් පස්සේ පැන්නීම හෝ නොපැන්නීම නෙමෙයි. ස්වභාවිකවම ජීවිතයේ තිබෙන අවිනිශ්චිතභාවය හා ඒ අවිනිශ්චිතභාවය ගැන අපට තිබෙන නොදැනුමයි.

අවසන් කාලයේදී තමන්ගේ සෞඛ්‍යය ගැන කණගාටු වෙන්න වෙන බව ස්ථිරවම දන්නවානම් යමෙක් බොහෝ විට මුල් කාලයේදී සල්ලි හොයන්න යොදවන කාලයෙන් කොටසක් සෞඛ්‍යය වෙනුවෙන් යොදවන්න ඉඩ තිබෙනවා. ඒ වගේම, අවසන් කාලයේ සල්ලි නැති කමින් පීඩා විඳින්න වන බව ස්ථිරවම දන්නවානම් මුල් කාලයේ තමන්ගේ සතුට කැප කරලා මුදල් ඉතිරි කරන්න පෙළඹෙන්න ඉඩ තිබෙනවා.

මිනිස්සු හැම වෙලාවෙම ගන්නේ තමන්ගේ සතුට ඉහළ නංවන, තමන්ට හොඳම තීරණ වුවත් ඒ තීරණ නිසා අනාගත සතුටට සිදුවන බලපෑම ගැන නිවැරදි තක්සේරුවකට පැමිණීම හැම විටම කෙරෙන දෙයක් නෙමෙයි.

මත්ද්‍රව්‍ය භාවිතයෙනුත් මිනිස්සු සතුටක් ලබනවා. අපි පහසුවට කුඩු ගැහීම කියා කියමු.

මිනිස්සු කුඩු ගහන්නේ එයින් සතුටක් ලැබෙන නිසා. ඒ සතුට ක්ෂණික සතුටක්. නමුත් සතුට දිගටම පවතින්නේ නැහැ. පැය කිහිපයකට පස්සේ කික් එක නැතුව යනවා. එවිට නැවතත් කුඩු ඕනෑ වෙනවා.

මේ විදිහට සතුටින් ඉන්න දිගින් දිගටම කුඩු ගහන කෙනෙක් කලක් යද්දී කුඩු වලට ඇබ්බැහි වෙනවා. එවිට ඇති වන්නේ වෙනත් තත්ත්වයක්. දැන් සතුටින් සිටීම කෙසේ වෙතත් කුඩු නැතුව ඉන්න වෙලාවට හැදෙන සික් එක නිසාම කුඩු ගහන්න වෙනවා. කලින් ගත්ත ප්‍රමාණයම ගත්තා කියා දැන් ආතල් එකක් නැහැ. සික් එක නැති වෙන එක විතරයි වෙන්නේ. ඒත් පැය කිහිපයකට විතරයි. ආතල් ගන්නනම් කලින් ප්‍රමාණයට වඩා කුඩු අවශ්‍යයි.

ඔය විදිහට දිගින් දිගටම ආතල් ගන්නනම් ගන්න කුඩු ප්‍රමාණය දවසින් දවස වැඩි කරන්න වෙනවා. කලින් ප්‍රමාණයම ගත්තොත් වෙන්නේ සික් එක නැති වෙන එක විතරයි. ඒකත් නොගත්තොත් ඉන්නම බෑ. මේ වැඩේ කෙළවර වෙන්නේ කොතැනින්ද?

රුපියල දිගින් දිගටම අවප්‍රමාණය නොවී තිබෙනවානම් හොඳයි. නමුත්, ඒ සඳහා මහලු කාලය සතුටින් ගෙවීම පිණිස දැන් මහන්සි වී මුදල් ඉතිරි කරන කෙනෙක් වගේ වැඩ කළ යුතුයි. ඒ කියන්නේ අනිත් හැමදේම අමතක කරලා සල්ලි හොයන්න මැරෙනවා කියන එක නෙමෙයි. තමන්ගේ ආදායම්, වියදම් හා ඉතිරි කිරීම් බැලන්ස් කර ගැනීමයි කළ යුත්තේ. සමහර වෙලාවට තමන්ගේම අනාගත සතුට වෙනුවෙන් තරමක් දුරට අද සතුට කැප කරන්න වෙනවා.

ඩොලර් වලින් ණය අරගෙන රුපියල බැලන්ස් කරන එක හරියටම කුඩු ගහනවා වගේ වැඩක්. සල්ලි එනකොට ආතල්. ආර්ථිකයේ නිර්ණායක හැම එකක්ම වගේ හොඳින් පෙනෙන්න තියෙනවා.

ආයෝජන සිදු වෙනවා. හැබැයි අනුන්ගේ සල්ලි වලින්. ඒ නිසා දළ දේශීය නිෂ්පාදිතය වේගයෙන් වර්ධනය වෙනවා. හැබැයි ස්වභාවිකව නෙමෙයි.

ඩොලර් එකේ මිල අඩුයි. හැබැයි ණයට ගත්ත ඩොලර් වෙළඳපොළට එකතු වන නිසා. ඩොලර් එක අඩු නිසා ආනයනික භාණ්ඩ වල මිල අඩුයි. ඒ නිසා උද්ධමනයත් අඩුයි. රටේ නිපදවන බඩු වලට වඩා අඩු මිලකට ආනයනික බඩු මිල දී ගන්න පුළුවන්. අපනයන වලට වඩා ආනයන වැඩි නිසා රටේ පරිභෝජනය හා ආයෝජනය රටේ ආදායමට වඩා වැඩියි. මිනිස්සුන්ගේ සතුට වැඩියි.

දේශීය කර්මාන්ත එකින් එක වැහිලා ගියත් රටේ විරැකියාව අඩුයි. හැබැයි ඒ රජය විශාල කරමින් රැකියා ලබා දෙන නිසා මිස ඵලදායී වැඩක් කෙරෙන නිසා නෙමෙයි. වැඩිවන රජයේ වියදම් අර ණය වලින් ආවරණය වෙන නිසා බදු වැඩි කරන්නත් අවශ්‍ය නැහැ.

ඩොලර් වලින් ණය වැඩි වුනත් ඒ ඩොලර් යොදාගෙන රුපියල අධිප්‍රමාණය කරන්න පුළුවන් නිසා රුපියල් වලින් බැලුවහම ණය අඩු වෙලා. ඒ එක්කම, ණය වලින් රජයේ ආයෝජන ඇතුළු වියදම් ඉහළ යන නිසා දළ දේශීය නිෂ්පාදිතයත් වැඩි වෙනවා. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස බැලුවහම පෙනෙන්නේ රජයේ ණය අඩුවන බවයි.

රුපියල ශක්තිමත් වෙන නිසා පිටරට තිබෙන ඩොලර් ලංකාවට ගේන එක දවසකින් හෝ පරක්කු කළොත් පාඩුයි. ඒ නිසා, එලියේ තිබෙන හැම ඩොලරයක්ම ක්ෂණිකව රට ඇතුළට එනවා. නමුත්, පිටට යවන ඩොලර් දවසක් හෝ පරක්කු කරල යවන තරමට වාසියි.

එළියෙන් 2-3% පොලියකට ඩොලර් වලින් ණය ගන්න පුළුවන්. ලංකාවේ භාණ්ඩාගාර බැඳුම්කර ආදියට 10%ක විතර පොලියක් ලැබෙනවා. ඒ අතර රුපියලත් අධිප්‍රමාණය වෙනවා. රුපියල 2-3%කින් ඉහළ ගියොත් එළියෙන් ගන්න ණය වල පොලිය ගෙවන්න ඒ වෙනසම ඇති. එතකොට අර 10%ක පොලිය එහෙම්මම ලාබ. අවදානමක් නැති ලාබයක් (සාපේක්ෂ පදනමකින්).

අවදානමක් නැතිව ලාබයක් ගන්න පුළුවන් නිසා ආයෝජකයෝ සල්ලි අරගෙන එන්නේ පෝලිමේ. දැන් රුපියල වැඩි මහන්සියක් නැතුව තවතවත් ශක්තිමත් වෙනවා.

හැම දේම නියමෙටම වෙනවා තමයි. හැබැයි මේ හැම දෙයක්ම රඳා පවතින්නේ ඩොලර් වලින් ණය අරගෙන රුපියල බැලන්ස් කිරීම මතයි. කුඩු ගහල ගන්න ආතල් එක වගේම තමයි. ණය ආපහු ගෙවන්න වෙනකොට කික් එක ඉවර වෙලා සික් එක හැදෙනවා.

ණය ගෙවන්න රජයට සල්ලිත් නැහැ. බදු වැඩි කරලා සල්ලි හොයාගත්තත් රුපියල් ඩොලර් කරන්න රටේ ඩොලරුත් නැහැ. ඒ නිසා ණය ගෙවන්න වෙන්නේ තවත් ණය අරගෙනයි.

රජය වෙළඳපොළෙන් නැති ඩොලර් ගන්න ගිය වහාම වෙන්නේ රුපියල ඉතා වේගයෙන් අවප්‍රමාණය වීමයි. එතකොට අර කලින් ඩොලර් අරගෙන ඇවිත් ආයෝජනය කරපු අය බලන්නේ පුළුවන් ඉක්මණින් තමන්ගේ ඩොලර් එළියට ගෙනියන්නයි. එළියේ ඩොලර් තියෙන එය බලන්නේ ඒවා ගේන එක හැකිතරම් පරක්කු කරන්නයි.

ඩොලර් එක වැඩි වෙන කොට ආනයනික බඩු වල මිල වැඩි වෙලා උද්ධමනය ඉහළ යනවා. රජයට වගේම පෞද්ගලික අංශයටත් වැටුප් වැඩි කරන්න වෙනවා. පෞද්ගලික අංශයේ ලාබ අඩුවෙලා රජයට ඒ මාර්ගයෙන් ලැබෙන බදු අඩු වෙනවා. රජයේ සේවක වැටුප් ඉහළ යාම නිසා රජයේ අයවැය හිඟය ඉහළ යනවා. රජයට වක්‍ර බදු ඉහළ දමන්න වෙනවා. වියදම් සීමා කරන්න වෙනවා. ආතල් ඔක්කොම ඉවරයි.

හැබැයි විසඳුමක් තිබෙනවා. ඒ තව ණය ගන්න එක. පොලියත් ගෙවන්න තිබෙන නිසා කලින් ප්‍රමාණයම අරගෙන මදි.

ගන්න කුඩු මාත්‍රාව එන්න එන්නම වැඩි කළොත් ආතල් එක දිගටම තියාගන්න පුළුවන්. පහුගිය ආණ්ඩුවේ ආර්ථික උපාය මාර්ගය වුණේ එයයි. දැන් ආණ්ඩුව කුඩු ගහන්නේ සික් එක නැති කරගන්න අවශ්‍ය තරමට විතරයි. ඒ නිසා ආතල් නැහැ. හැබැයි සික් එක නැති කරගන්න අවශ්‍ය කුඩු ප්‍රමාණය වුවත් එන්න එන්නම වැඩි වෙනවා.

කුඩු ගහන්න පුරුදු වුන කෙනෙක්ව පුනරුත්ථාපනය කරන එක අමාරු හා කල් යන වැඩක්. ඒ කාලයේ සික් එක අමාරුවෙන් හෝ විඳවන්න වෙනවා. අමාරුව වැඩි කමට වැඩේ අත ඇරියොත් ආපහු හිටපු තැනමයි.

(Image: http://www.thequotepedia.com/you-cant-buy-happiness-but-you-can-buy-drugs-and-thats-kind-of-the-same-thing-drugs-quote/)

Tuesday, October 3, 2017

කූඹියන්ගේ ගේම කුමක්ද?


මේ දවස්වල ස්වාධීන රූපවාහිනියේ විකාශනය කෙරෙන කූඹියෝ ටෙලි නාට්‍යය ගැන විශාල සංවාදයක් ඇති වී තිබේ. මේ සංවාදය බොහෝ දුරට එක් දිශාවකට විහිදුනු එකකි. මේ ටෙලි නාට්‍යය අගය කරන අය මිස විවේචනය කරන අය පෙනෙන්නට නැත. එය එසේ වීමේ පුදුමයක්ද නැත. කෙසේ වුවද, කූඹියෝ ටෙලි නාට්‍යයට පිස්සු වැටී ඉන්නේ සමාජයේ එක් ස්ථරයක් පමණක් වන්නටද පුළුවන.

තවමත් විකාශනය වී තිබෙන්නේ කූඹියෝ ටෙලි නාට්‍යයේ කොටස් දොළහක් පමණි. සම්පූර්ණයෙන් නරඹන්නේ නැතිව මෙවැනි නිර්මාණයක් ඇගයීම හෝ විවේචනය කිරීම එතරම් සුදුසු දෙයක් නොවූවත්, මේ නාට්‍යයේ කොටස් කිහිපයක් හෝ නැරඹු අයෙකු වුවද ඒ ගැන කතා කරන්නට පෙළඹීම තේරුම් ගන්නට අපහසු නැත.

සරලවම කියනවානම් කූඹියෝ පට්ටම පට්ටය. එය අබියස සාපේක්ෂව ජනප්‍රියව පැවති මේ දින වන විකාශනය වන වෙනත් සිංහල ටෙලිනාට්‍ය වොට් සීයේ බල්බයක් අබියස පත්තු කළ ඉටිපන්දම් බවට පත් වී තිබේ. කූඹියෝ ටෙලි නාට්‍යය ලොකු ඉඩෝරයකට පසු වැටුණු මහ වැස්සකි. එහි කතා දෙකක් නැත.

පුරුද්දක් ලෙස සිංහල ටෙලිනාට්‍ය නොබලන, එහෙත් අතරින් පතර බලන මට මෙහි එක් කොටසක් අහම්බෙන් බලන්නට ලැබුණු පසු ක්ෂණිකව ඇති වුනු ඇබ්බැහිය අවසන් වුණේ මෙතෙක් විකාශනය කර ඇති කොටස් සියල්ල එක දිගට බැලීමෙන් පසුවය. මෑත කාලයේදී කිසිදිනෙක සිංහල ටෙලි නාට්‍යයකට මා මෙතරම් ඇබ්බැහි වී නැත.

කූඹියෝ ටෙලි නාට්‍යය අගය කරන බොහෝ දෙනෙකු එසේ කරන්නේ එහි රඟපෑම් ඉතා විශිෂ්ඨ මට්ටමක තිබේය යන පදනමිනි. මෙහිදී වැඩිපුරම අගය කෙරෙන්නේ ප්‍රියන්ත මහඋල්පත චරිතය රඟපාන කලණ ගුණසේකරගේ රඟපෑමයි. ටෙලිනාට්‍යයේ කතානායකයා වන ජෙහාන් ප්‍රනාන්දු හෙවත් සාගරගේ චරිතය රඟපාන තුමිඳු දොඩන්තැන්නගේ රඟපෑම්ද ඊට දෙවෙනි නැත. සෙසු චරිත සඳහාද තෝරාගෙන ඇත්තේම ලංකාවේ දැනට සිටින ප්‍රවීණම නළු නිලියන් නිසා ඔවුන්ගේ රඟපෑම් ගැනද අමුතුවෙන් කතා කරන්නට දෙයක් නැත. රඟපෑම් වලට අමතරව මෙහි සංගීතය, දෘශ්‍ය උපක්‍රම, දර්ශන පසුබිම් හා කැමරා කෝණ, ආලෝකකරණය ආදියද විශිෂ්ඨ මට්ටමක තිබේ.

කෙසේ වුවද, මටනම් මේ ටෙලිනාට්‍යයේ විශේෂත්වය තිබෙන්නේ මේ එක දෙයක්වත් නොවේ. එහි තිර රචනයේ හා අධ්‍යක්ෂනයේය. එයින්ද, මේ ටෙලිනාට්‍යයේ සාර්ථකත්වය පසුපස ඇති මූලිකම කරුණ එහි තිර රචනයයි. උඩින් කී අනෙක් කරුණු විශිෂ්ඨ මට්ටමක නොතිබුණානම් මේ ටෙලි නාට්‍යය මෙතරම් ජනප්‍රිය නොවිය හැකිව තිබුණේය. එහෙත්, රඟපෑම්, අධ්‍යක්ෂණය ආදිය මෙවැනිම විශිෂ්ඨ මට්ටමක තිබුණේ වුවද තිර රචනය මෙතරම් සාර්ථක එකක් නොවූයේනම් එහි කතා කරන්නට මෙතරම් දෙයක් ඉතිරි නොවිය හැකිව තිබුණි. අනෙක් අතට, මේ තිර පිටපතෙන් ටෙලිනාට්‍යයක් නොහැදී එය මුද්‍රිත පොතක් පමණක් වූයේ වුවද එහි කතා කරන්නට තරම් දෙයක් ඉතිරි වනු ඇත.

කූඹියෝ තේමාව මෙතෙක් සිංහල ටෙලිනාට්‍ය වල සාකච්ඡාවට ලක් වුණු තේමා වලට වඩා මුළුමනින්ම වෙනස් එකකි. එහි කතාව දිවෙන්නේ ගේම් කාරයෙක් වටාය.

ගේම් කාරයින් කියන්නේ පොලිස් කාරයින්, දොස්තරලා හා කොන්දොස්තරලා මෙන්ම ලංකාවට හොඳින් හුරුපුරුදු චරිතයකි. ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ හැම එකකම ගේම් කාරයින් ලෙස ප්‍රසිද්ධ වූ පුද්ගලයෝ සිටිති. ව්‍යාපාරික ක්ෂේත්‍රය ගත්තද එසේමය. රජයේ හෝ පෞද්ගලික ආයතනයක් වැනි ඕනෑම තැනක මෙන්ම කලා හා ක්‍රීඩා වැනි ක්ෂේත්‍රයන්හිද ගේම් කාරයින්ගේ අඩුවක් නැත.

ගේම් කාරයෙක් කියන්නේ ඇත්තටම කවුද? ගේම් කාරයින් අතර අපරාධකාරයින් සිටිය හැකිවුවත් හැම විටම ගේම් කාරයෙක් කියන්නේ අපරාධකාරයෙක්ම නොවේ. ඉංග්‍රීසියෙන් "con artist" කෙනෙකු ලෙස හඳුන්වන චරිතය සිංහලෙන් ගේම් කාරයෙකු ලෙස හැඳින්වීම කෙතරම් උචිතද යන්නද සැක සහිතය.

ගේම් කාරයෙකුට වෙනත් අයෙකුගේ තීරණ මත බලපෑම් කිරීමේ සුවිශේෂී දක්ෂතාවයක් තිබේ. එවැන්නෙකු එසේ කරන්නේ විශ්වාසය දිනාගැනීම හරහා මිස බලහත්කාරය යෙදීම මඟින් නොවේ. මේ සඳහා වෙනත් අය හිතන ආකාරය තේරුම් ගැනීමටත්, වෙනත් අයගේ දුර්වල තැන් හඳුනාගැනීමටත් ප්‍රවීණතාවයක් තිබිය යුතුය. දේශපාලන, ව්‍යාපාරික හෝ වෙනත් ඕනෑම අංශයකින් ඉදිරියට එන බොහෝ දෙනෙක් යම් තරමක ගේම් කාරයෝය. ඒ නැතත්, අප කා තුළත් පොඩි හෝ ගේම් කාරයෙක් සිටී. වෙනසක් ඇත්නම් ඒ එක් එක් පුද්ගලයා විසින් සැලසුම් කරන ගේම් වල ස්වභාවයේය. එහෙත්, ගේම් කාරයින් ලෙස සමාජයේ ප්‍රසිද්ධ වන්නේ දිගින් දිගටම සාර්ථක ලෙස ගේම් දී නමක් හදාගන්නා හා ගේම් වලින්ම ජීවත් වීම පුරුද්දක් කරගත් අයයි.

කූඹියෝ කතාව ආරම්භ වන්නේ පෞද්ගලික බස් රථයක් තුළ සිදුවන කතාවේ ප්‍රධාන චරිත තුනේ හමුවකිනි. කොළඹ පිටකොටුවේ ගුණසේන පොත් සාප්පුව කිට්ටුවෙන් පාදුක්ක බස් රථයකට ගොඩවන ජෙහාන් (තුමිඳු දොඩන්තැන්න) අසුන්ගන්නේ රූමත් තරුණියක වුවද වෙනත් බොහෝ සිංහල ටෙලිනාට්‍ය වල දැකිය හැකි මේකප් සුන්දරියක් හෝ ගම්බද ලලනාවක් ලෙස නොව 125 බස් රථයකදී සාමාන්‍යයෙන් හමුවිය හැකි තරුණියක ලෙස නිරූපණය කර ඇති හිරුනි (යුරේනි නොෂිකා) වාඩි වී සිටින අසුනට යාබදවය. ජෙහාන් හිරුනි සමඟ ඉන්දියානු උච්චාරණයෙන් ඉංග්‍රීසියෙන් කතා කර කොළඹ මහජන පුස්තකාලය පිහිටි තැන විමසයි. වැඩිදුර විස්තර අහන හිරුනිට ජෙහාන් තමන්ව හඳුන්වා දෙන්නේ ලංකාවේ ඉතිහාසය හා සංස්කෘතිය ගැන පර්යේෂණයක් කිරීමට පැමිණ සිටින බංග්ලාදේශ ජාතිකයෙකු ලෙසිනි.

අහම්බෙන් හමුවූ පිටරැටියාට උදවු කරන්නට පැනලාම ඉදිරිපත් වන හිරුනි ඉබ්බන්වල හෝ සලාකා හරියේදී බස් එකෙන් බහින්නේ තමන්ගේ දුරකථන අංකයද ජෙහාන්ගේ අතේ තබමිනි. ඉදිරි අසුනේ සිටින තරුණයෙකු (ප්‍රියන්ත) අමතමින් මේ පිටරටින් ආ මහත්තයාට පුස්තකාලය ලඟින් බහින්නට නිවැරදි නැවතුම පෙන්වන මෙන් ඉල්ලීමක් කිරීමටද ඇය අමතක නොකරයි.

ඉදිරි අසුනේ සිටින ප්‍රියන්ත මහඋල්පතගම (කළණ ගුණසේකර) ඇඟලුම් කම්හලක රියදුරු රැකියාවක් කරන්නට ගමෙන් නගරයට පැමිණි, ලොකු උගත්කමක් නැති තරුණයෙකි. ඇඟලුම් කම්හල වසා දැමීම නිසා ඔහුගේ රැකියාව අහිමි වී තිබේ. දැන් ඔහු යන්නේ වෙනත් රැකියාවක් හොයා ගැනීමේ අරමුණින් මහත්තයෙක් හමුවන්නටය. ජෙහාන් හා ප්‍රියන්ත අතර සිදුවන කෙටි පිළිසඳර අවසන් වන්නේ ප්‍රියන්ත ජෙහාන්ගේ සහායකයෙකු බවට පත් වීමෙනි.

ප්‍රියන්තට හමුවන ජෙහාන් සුළු ව්‍යාපාරයක නිරතව සිටින්නෙකි. ජෙහාන්ගේ වචන වලින්ම කියනවානම් ඔහු කරන්නේ සුපිරි වෙළඳසැලකට ගොස් බඩු ගන්නට තරම් විවේකයක් නැති කොළඹ හතේ නෝනලා වෙනුවෙන් ඉංග්‍රීසියෙන් කඩේ යාමයි.

ජෙහාන්ගේ ව්‍යාපාරය තනිකරම වන් මෑන් ෂෝ එකකි. එහෙත්, ඔහුගේ පාරිභෝගිකයින්ට ඒ බව නොපෙන්වීමට ඔහු සැලකිලිමත් වෙයි.

පර්චසින් ලංකා ඉන්ටර්නැෂනල් නමින් හඳුන්වන, එහෙත් එනමින් ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කර නැති, ජෙහාන්ගේ "ආයතනයේ" වෙබ් අඩවිය හරහා හෝ දුරකථන මාර්ගයෙන් පාරිභෝගිකයෙකුට තමන්ට මිලදී ගැනීමට අවශ්‍ය බඩු මෙන්ම එම බඩු මිල දී ගත යුතු සුපිරි වෙළඳසැල හා බඩු අවශ්‍ය වන දිනය දැනුම් දිය හැකි අතර එසේ දැනුම් දීමෙන් අනතුරුව අවශ්‍ය දිනට බඩු ගෙදරටම ලැබේ. පෙනෙන්නට ඇති පරිදි, මෙහිදී පාරිභෝගිකයින් විසින් අවදානමක් නොගන්නා අතර බඩු වෙනුවෙන් මුදල් ගෙවිය යුත්තේ එම බඩු නිසි පරිදි ගෙදරටම ප්‍රවාහනය කර දීමෙන් පසුවය. මේ සේවාව වෙනුවෙන් පාරිභෝගිකයින් විසින් බඩු වල මිලෙන් 10%ක මුදලක් පර්චසින් ලංකා ඉන්ටර්නැෂනල් "සමාගමට" ගෙවිය යුතු අතර අඩුම වශයෙන් රුපියල් 3000ක බඩු ඇණවුම් කළ යුතුය. සේවාවේ යම් අඩුපාඩුවක් ඇත්නම් ආයතනයට පැමිණිලි කිරීමටද පුළුවන්කම තිබේ.

ප්‍රියන්තව හමුවන තුරු පර්චසින් ලංකා ඉන්ටර්නැෂනල් සමාගමේ ඇණවුම් භාර ගැනීම, භාණ්ඩ මිලදී ගැනීම, ඩිලිවර් කිරීම මෙන්ම පැමිණිලි විභාග කිරීම ඇතුළු සියලු කටයුතු සිදුවන්නේ තනිකරම ජෙහාන්ගේ අතින් වුවත් ඔහු සිය පාරිභෝගිකයින් සතුටු කරමින් ඒ කටයුත්ත ඉතා සැලකිල්ලෙන් හා මහන්සියෙන් කරයි. ආයතනය වෙත අලුත් පාරිභෝගිකයින් ආකර්ශනය වන්නේ එහි සේවාවන්හි ගුණාත්මක භාවය කටින් කට ප්‍රචාරය වීම හරහාය.

බැලූ බැල්මටම පෙනෙන පරිදි මේ ව්‍යාපාරය ඉතා සාධාරණ ව්‍යාපාරයකි. මගේ පෞද්ගලික අත්දැකීම් අනුව ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර බොහොමයක කටයුතු සිදුවන ආකාරය මෙහි සිදුවන ආකාරයෙන් විශාල ලෙස වෙනස් නොවේ. කිසියම් ව්‍යාපාරයක් කුඩා "වන් මෑන් ෂෝ" එකක් බව පෙනෙන්නට ඇති විට එවැනි තැනකින් බඩු ගන්නට ලංකාවේ බොහෝ පාරිභෝගිකයින් කැමති නැත. හොඳ වැටුපක් ගෙවුවත් එවැනි තැනක සේවය කරනවාට වඩා, අඩු පඩියක් ගෙවන නමක් ඇති තැනක සේවය කරන්නට බොහෝ දෙනා කැමතිය. ඒ නිසා, බොහෝ කුඩා ව්‍යාපාරික ආයතන වලට පාරිභෝගිකයින් හමුවේ වඩා විශාල ව්‍යාපාරයක් ලෙස පෙනී සිටින්නට සිදුවේ. අඩුම වශයෙන් මා සේවය කර ඇති හෝ සම්බන්ධව සිට ඇති ලංකාවේ හා බංග්ලාදේශයේ කුඩා සමාගම් හෝ ව්‍යාපාර හතරකම තිබුණේ මෙවැනි තත්ත්වයක් නිසා මෙය ඉතාම සාමාන්‍ය තත්ත්වයක් බව මගේ විශ්වාසයයි.

මට පෞද්ගලිකව අත්දැකීම් ඇති ඉහත කී ආයතන කිහිපයේම අයිතිකරුවන් විසින් වරින් වර විවිධ නම් වලින් පාරිභෝගිකයින් ඇමතීම සාමාන්‍ය තත්ත්වයක් විය. ඇතැම් විට, පාරිභෝගික සේවා කළමණාකරු අළෙවි කළමනාකරු වෙත දුරකථන ඇමතුම යොමු කරයි. තවත් විටෙක සාමාන්‍යාධිකාරී වෙත යොමු කරයි. එහෙත්, විවිධ නම් වලින් දුරකතනයට පිළිතුරු දෙන්නේ එකම පුද්ගලයාය. මෙසේ කිරීමෙන් ආයතනයට ඇත්ත ප්‍රමාණයට වඩා ලොකුවට පෙනී සිටින්නට හැකිවීමට අමතරව තවත් වාසි රැසක් ලැබේ.

පළමුව, ඇමතුම ගන්නා විටම ඉල්ලන පුද්ගලයාගේ නම අනුව ඇමතුම එන්නේ කාගෙන්දැයි දැනගෙන සූදානම් වන්නට ඉඩ ලැබේ. දෙවනුව, කිසියම් සිද්ධියක් සම්බන්ධව අසතුටෙන් සිටින පාරිභෝගිකයෙකුගේ පැමිණිල්ල විභාග කර අවශ්‍යනම් පහසුවෙන්ම සේවකයා සේවයෙන් ඉවත් කර දමන්නට වුවද පුළුවන. ඒ සඳහා කළ යුත්තේ නම වෙනස් කිරීම පමණි. ව්‍යාපාරයක් ආරම්භ කරන විටම එය නීත්‍යානුකූල ලෙස ලියාපදිංචි නොකිරීමද ලංකාවේ අසාමාන්‍ය දෙයක් නොවේ. ආරම්භයේදී මෙවැනි දේ කළත්, බොහෝ කුඩා පරිමාණ ව්‍යාපාරිකයින් හා ආයතන විසින් මෙවැනි දේ කරන්නේ ඔලුව උස්සා ගන්නා තුරු පමණි.

කෙසේ වුවද, කිසිසේත්ම විය නොහැකි දේවල් නොවුණත්, සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් නොකරන "හොර වැඩ" කිහිපයක්ද ජෙහාන් විසින් කරයි. පළමුව, ඔහු විසින් පදිංචිව සිටින හා ව්‍යාපාරය පවත්වාගෙන යන ස්ථානය ඔහුට අයිති නැති, ඔහු විසින් කුලියට ගෙනද නැති තැනකි. එහි හිමිකරු කවුදැයි ඔහුවත් නොදනී. මෙය මෙවැනි ව්‍යාපාරික කටයුත්තක යෙදෙන සාමාන්‍ය පුද්ගලයෙකු විසින් නොගන්නා මට්ටමේ අවදානමකි.

ඇතැම් විට, කිසිවෙකු ප්‍රයෝජනයට නොගන්නා "නිකම් තිබෙන" ගොඩනැඟිල්ල රෑට නිදාගන්නටවත් තැනක් නැති ජෙහාන් විසින් ප්‍රයෝජනයට ගැනීමේ කිසිදු සදාචාරාත්මක වරදක් නැතැයි මේ ටෙලිනාට්‍යය නරඹන ඇතැම් ප්‍රේක්ෂකයින්ද සිතනවා විය හැකිය. ලංකාවේ සමාජය දේපොළ අයිතිවාසිකම් ප්‍රමාණවත් තරමින් පිළිගන්නා හෝ තහවුරු කරන සමාජයක් නොවේ.

දෙවනුව, පර්චසින් ලංකා ඉන්ටර්නැෂනල් වෙත ලැබෙන ඇණවුම් වෙනුවෙන් බඩු මිල දී ගැනෙන්නේ පාරිභෝගිකයින් විසින් ඉල්ලා සිටින සුපිරි වෙළඳසැල් වලින් නොවේ. එළවළු ආදිය පොළක් වැනි සාමාන්‍ය තැනකින් මිලදී ගන්නා ජෙහාන් එම බඩු ඇත්තටම මිලදී ගත්තේ සුපිරි වෙළඳසැලකින් බව පෙන්වීමට වංචනික ලෙස බිල්පත් මුද්‍රණය කරමින් සිය පාරිභෝගිකයින් රවටයි.

මේ කරුණු දෙකෙන් පෙනෙන්නේ ජෙහාන්ට දක්ෂ ව්‍යාපාරිකයෙකු ලෙස දියුණු වීමේ ශක්‍යතාව තිබුණත් ඔහුට එවැනි දිගුකාලීන අරමුණක් නැති බවයි. ඔහුගේ හැසිරීම වඩා සමාන වන්නේ තමන්ගේ වෙනත් සැබෑ ඉලක්කයක් හඹා යන අතරතුර එය ආවරණය කරගැනීමට කුමක් හෝ දෙයක් තාවකාලිකව කරමින් සිටින දේශපාලන ව්‍යාපාරයක යටිබිම්ගත සාමාජිකයෙකු හෝ රහස් ඔත්තු සේවා සාමාජිකයෙකු වැනි අයෙකුගේ හැසිරීමටය.

ධනවාදී ආර්ථික ක්‍රමයක වාසිය ලබමින් ගොඩ යන්නට හදන තරුණයෙක් බව පෙනුණත් ජෙහාන්ගේ දැක්ම මාක්ස්වාදී එකකි. දෙල්කඳ පොළේ හා ඒ ආසන්නව ඇති කීල්ස් සුපිරි වෙළඳසැලක විකිණීමට තබා ඇති භෞතික වශයෙන් එක සමාන බෝංචි කිලෝ දෙකක් එකිනෙකෙන් වෙනස් වන්නේ කෙසේද යන්න මාක්ස්වාදී ආර්ථික විද්‍යාව විශ්වාස කරන වෙනත් අයෙකුට මෙන්ම ජෙහාන්ටද අවබෝධ කර ගත නොහැකිය. ඒ නිසා, සුපිරි වෙළඳසැලේ බෝංචි කිලෝවක් වෙනුවට පොළේ බෝංචි කිලෝවක් ආදේශ කිරීමේ සදාචාරාත්මක වරදක් නැති බවත්, ඒ නිසා එසේ කිරීමෙන් වාසියක් ලැබීමේ වැරැද්දක් නැති බවත් ඔහු සිතයි.

භාණ්ඩයක මිල තීරණය වන්නේ එහි භෞතික ලක්ෂණ මත පදනම් වූ ප්‍රයෝජ්‍ය අගයක් මත නොව එක් එක් පාරිභෝගිකයා විසින් එයට ලබා දෙන වටිනාකම් අනුව බව තේරුම් ගැනීමට ජෙහාන්ට හැකියාවක් නැත. ඒ නිසා, පාරිභෝගිකයින් විසින් සුපිරි වෙළඳසැලේ විකුණන බෝංචි කිලෝවට වැඩි වටිනාකමක් දීමට හේතු ඔහු බාගෙට විශ්ලේෂණය කර වැරදියට අවබෝධ කරගනී. මෙහි අවසන් ප්‍රතිඵලය ලෙස ජෙහාන්ට සිය ඉංග්‍රීසියෙන් කඩේ යාමේ ව්‍යාපාරය වසා දමන්නට සිදුවේ.

එක් ව්‍යාපාරයක් කඩා වැටුණද අනික් අතට තවත් කටයුත්තකට අත ගසන්නට තරම් ව්‍යාපාරික ඥානයක් ජෙහාන්ට තිබේ. ඔහුට දක්ෂ ව්‍යවසායකයෙකු සතු ලක්ෂණ වන අවස්ථා හඳුනා ගැනීමේ හැකියාව, අවදානම් කළමනාකරණ හැකියාව, අඩු පිරිවැයකින් සම්පාදනය කරගත හැකි භෞතික හා මානව සම්පත් හඳුනා ගැනීමේ හැකියාව, ඉවසීම, මහන්සි වී වැඩ කිරීමේ හැකියාව, ප්‍රධාන අරමුණ පැත්තක දමා වෙනත් අරමුණු පස්සේ නොයාම, වඩා වටිනා දෙයක් වෙනුවෙන් අඩුවෙන් වටිනා දේ (බත් පිඟානේ ඇති කරවල කෑල්ලක් වැනි) කැපකිරීමේ හැකියාව ආදී ලක්ෂණ ගණනාවක් තිබේ.

එහෙත්, අවාසනාවකට ජෙහාන්ගේ මාක්ස්වාදී හැදියාව ඔහුගේ ව්‍යවසායකත්වයට බාධා කරයි. වයස අවුරුදු තිස්පහක් වුවත් දෘෂ්ඨිවාදී ලෙස ජෙහාන් ගමකින් නගරයට පැමිණි, තමන්ට භුක්ති විඳිය නොහැකි සම්පත් භුක්ති විඳින පංතියට වෛර කරන, යම්තාක් දුරකට හීනමානයකින්ද පෙළෙන බව පෙනෙන ක්‍රම විරෝධියෙක් වන අතර සරසවියේ කලා පීඨයක දෙවන වසරේ පමණ සිටින ග්‍රාමීය පහළ මධ්‍යම පාන්තික පසුබිමක් ඇති ඉගෙනීම වෙනුවට වෙනත් අරමුණු වලට ප්‍රමුඛතාවය දෙන තරුණයෙකුගෙන් වෙනස් වන්නේ නැත. කතාවේ දැනට විකාශනය වී ඇති කොටස් අනුව ජෙහාන් සරසවියේ ජනසන්නිවේදන උපාධිය හැදෑරීමට අම්පාර දිස්ත්‍රික්කයෙන් පැමිණි අයෙකි.

දැනට කතාව අනුව, නියමිත කාලය අවසන් වෙද්දී ජෙහාන් විසින් උපාධිය සම්පූර්ණ කර නැතත්, වසර තුනකට පසු උපාධිය සම්පූර්ණ කර තිබේ. කතාවේ ස්වභාවය අනුව ඉදිරියේදී ජෙහාන්ගේ අනන්‍යතාවය නැවතත් වෙනස් වෙන්නට වුවද බැරිකමක් නැත. ඒ අනුව, ඔහු උපාධිය සම්පූර්ණ නොකළ අයෙක් හෝ ඇතැම් විට සරසවි සිසුන් ආශ්‍රිතව ජීවත් වූ සරසවි සිසුවෙකු නොවූ අයෙකු වුවද විය හැකිය. ලංකාවේ ආරක්ෂක තත්ත්වය ඉතාම ඉහළ මට්ටමක තිබියදී හමුදාවේ ඉහළ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් කිසිදු හැඳුනුම්පතක් නොපෙන්වා ප්‍රධාන හමුදා හා නාවික හමුදා කඳවුරු වල නිලදරු නිවස්න වෙත සතිපතා මෙන් යමින් රිසි සේ රසමසවුලෙන් හා මත්පැනින් සප්පායම් වීමේ හැකියාව තිබුණු පුද්ගලයින් මා පෞද්ගලිකවම ඇසුරු කර තිබේ.

ගේම් කාරයෙකු ලෙස හඳුන්වා දෙනු ලැබුවත් කූඹියෝ ටෙලි නාට්‍යය තුළ ජෙහාන්ගේ චරිතය ගොඩනඟන්නේ ඒ කෙරෙහි කිසියම් වීරත්වයක්ද ආරෝපණය වන පරිදිය. මේ අනුව, එක් වර පෙනෙන්නේ පහළ මධ්‍යම පන්තියෙන් පැමිණි, එහෙත් ඉතා  සුවිශේෂී දක්ෂතා ඇති පුද්ගලයෙකු වන ජෙහාන්ට ගේම් කාරයෙක් වී එදා වේල හොයා ගත්තේ නැත්නම් ගොඩයන්නට ක්‍රමයක් නැති බවයි. අඩු වශයෙන් ඔහුට ඉන්න තැනක් හෝ කන්න විදිහක් නැත. එහෙත්, ඔහුගේ අරමුණ ආර්ථික දියුණුවනම් ඔහුට ඒ කරා යන්නට විශාල බාධාවන් ඇති බවක් නොපෙනේ. ඔහුට දැනටම තිබෙන බව පෙනෙන විශාල සම්බන්ධතා ජාලය පමණක් වුවද ඒ සඳහා ප්‍රමාණවත්ය.

කතාවේ පෙන්වන පරිදි ජෙහාන් යනු "කුරුඳුවත්තේ බැල්ලියන්" රවටා කීයක් හෝ හොයා ගැනීම වරදක් ලෙස නොසිතුවත් තමන්ගේ "පංතියේ" අයට වරදක් නොකරන අයෙකි. ව්‍යාපාරය බිඳ වැටුණත් ඔහු ප්‍රියන්තගේ වැටුප් නොගෙවා සිටින්නේ නැත. වත්තේ කුඩුකාර තරුණ තරුණියන් අළෙවි නිලධාරීන් ලෙස පුහුණු කර ටයි පටි අන්දවා ඔහුගේ සඟරාව විකුණන්නට යවන සමාජ ශෝධකයෙක් හා පහළ පන්තියට සේවය කරන්නෙක් ලෙස ජෙහාන්ගේ චරිතය බැලූ බැල්මට පෙනුණත් ඇත්තටම ඔහු කරන්නේ වෙනත් ශූර ව්‍යාපාරිකයෙකු මෙන් හැකිතරම් අඩු මිලකට ශ්‍රමය මිල දී ගනිමින් ලාබ ලැබීමයි. මෙය ලංකාවේ ඇතැම් වාමාංශික පක්ෂ විසින් මොළ ශෝධනය කිරීම මඟින් අඩු මිලකට හෝ ඇතැම් විට නොමිලේම ශ්‍රම සම්පත් සම්පාදනය කර ගැනීමට සමාන කළ හැකිය.

ජෙහාන් විසින් කරන්නේ, මතුපිටින් පෙනෙන පරිදි, තමන්ගේ ශූර ඥානයෙන් ලොකු සල්ලි ගස් හොලවා වැටෙන සල්ලි තමන්ගේ පංතියේ අය සමඟ බෙදාගැනීම නොවේ. ඇත්තටම සිදුවන්නේ ජෙහාන් විසින් ගේම් කාරයෙකු ලෙස විශාල අවදානමක් ගනිමින්, තමන් සමඟ සිටින ප්‍රියන්ත වැනි වෙනත් අයද අවදානමේ හෙලමින් හා ඒ අවදානමට ගැලපෙන මිලට වඩා අඩු මිලක් ඔවුන්ට ගෙවමින් අඩු මිලට ශ්‍රමය සම්පාදනය කර ගනිමින් කීයක් හෝ හොයා ගන්නා අතර ඉහළ පන්තියේ පුද්ගලයින්ගේ වඩා ලොකු ගේම් වල ඉත්තෙක් වීම පමණි. මෙහි ඇත්තම ගේම් කාරයින් ජෙහාන්ගෙන් සේවය ලබා ගන්නා අයයි. ඔවුහු පැත්තක සිට, ලොකු අවදානමක්ද නොගෙන තමන්ට අවශ්‍ය දේවල් ජෙහාන් ලවා කරවා ගනිති.

කූඹියෝ තිර රචනය තුළ ජෙහාන්ගේ චරිතය හරහා ප්‍රවර්ධනය කෙරෙන වීර චරිතය ඇතැම් දේශපාලන පක්ෂ විසින් ප්‍රවර්ධනය කරන දර්ශීය පුද්ගලයෙකුගේ චරිත ලක්ෂණ සමඟ බොහෝ දුරට සමපාත වේ. ජෙහාන් "පරිභෝජනවාදියෙකු" නොවේ. එහෙත්, ඔහු කන බොන මනුස්සයෙකි. ඔහු තමන්ගේ පන්තියට ලැදිය. එමෙන්ම, කෙතරම් වාසි ලැබිය හැකි වුවත් ඉහළ පන්තිය සමඟ ඔහු පෑහෙන්නට නොයයි. තමන්ට සුරක්ෂිත අනාගතයක් තහවුරු කරගැනීමට ප්‍රවේශ මාර්ගයක් ලෙස පෙනෙන "බදුලු කුමාරිය" ජෙහාන් විසින් ප්‍රතික්ෂේප කරන්නේ "මානුෂික සබඳතා" හා "මුදල්" අතර පැහැදිලි ඉරක් ඇති බව එසේ විශ්වාස කරන අයට පෙන්වා දෙමිනි. ඔහුගේ එදිනෙදා ජීවිතය ගෙවෙන්නේ සිය සබඳතා ජාලය පුළුල් කර ගනිමින් හා අදහස් පරාරෝපණය කරමිනි.

නාට්‍යයේ තේමා ගීතය අනුවනම්, ජෙහාන් විසින් කරන්නේ "පායනා කාලෙදී රෑ දවල් මහන්සි වී කන්න දේ" රැස් කිරීමකි. ජෙහාන් විසින් මෙසේ මහන්සියෙන් රැස් කරන්නේ මොනවාද? එසේ රැස් කිරීමේ අරමුණ කුමක්ද?

කිසියම් කලා කෘතියක් තුළ නිර්මාණය කෙරෙන චරිතයක පරිකල්පන ශක්තියේ උපරිම සීමාව එහි රචකයාගේ පරිකල්පනයේ උපරිම සීමාවට වඩා වැඩි විය නොහැකිය. කූඹියෝ චරිත සැබෑ වුවත් සංකීර්ණ චරිතයි. විශේෂයෙන්ම මෙහි ප්‍රධාන චරිතය වන ජෙහාන්ට තමන් ඉදිරිපිට සිටින මිනිසෙකු සිතන ආකාරය විශ්ලේෂණය කර උපාය මාර්ගික ප්‍රතිචාර දැක්වීමේ සුවිශේෂී හැකියාවක් තිබේ. ජෙහාන්ට සමාජය විනිවිද දැකිය හැකිය. අවුලක් නැතිව සමාජයේ විවිධ ස්ථර වල සිටින අය ඇසුරු කළ හැකිය. නාගරික වත්තක හැදෙන ජූඩ්ට, මහඋල්පතගම ප්‍රියන්තට මෙන්ම ඉහළ පන්තියේ වෘත්තීයවේදියෙක් හා ව්‍යාපාරිකයෙක් වන අරවින්දට ජෙහාන්ව ඇසුරු කිරීමේදී කිසිදු ආතතියක් නොදැනේ.

මේ ආකාරයේ සංකීර්ණ චරිතයක් නිර්මාණය කළ හැක්කේ අඩුම වශයෙන් ජෙහාන්ගේ තරමට සමාජය විනිවිද දැකිය හැකි හා සමාජ අත්දැකීම් ඇති අයෙකුට පමණි. වෙනත් අයුරකින් කිවහොත් ජෙහාන්ට වඩා හොඳ ගේම් කාරයෙකුට හෝ එවැනි කණ්ඩායමකට පමණි. එසේනම්, කූඹියෝ නිර්මාණය පසුපස ටෙලි නාට්‍යයෙන් ඔබ්බට යන නොපෙනෙන ගේමක් තිබෙනවාද? ටෙලි නාට්‍යයේ ඉතිරි කොටස් විකාශනය වී අවසන් වන තුරු නිගමනයකට පැමිණෙන්නට අප හදිස්සි විය යුතු නැත.

Friday, April 14, 2017

සේනක බිබිලේ බොරුකාරයෙක්ද?



මේ වන විට පසුගිය 2016 වසර සඳහා වන ශ්‍රී ලංකා දුම්කොළ සමාගමේ වාර්ෂික වාර්තාව ප්‍රකාශයට පත් කර තිබේ.

වාර්තාව අනුව පසුගිය වසරට සාපේක්ෂව දුම්කොළ සමාගමේ වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 121,525 දක්වා 14%කින්ද, ශුද්ධ ආදායම රුපියල් මිලියන 31,747 දක්වා 22%කින්ද, බදු ගෙවීමට පෙර ලාභය රුපියල් මිලියන 21,219 දක්වා 17%කින්ද, බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් මිලියන 12,559 දක්වා 18%කින්ද, ශුද්ධ වත්කම් රුපියල් මිලියන 3,485 දක්වා 21%කින්ද වැඩි වී තිබේ.

දුම්කොළ සමාගම විසින් වසර තුළ රජයට ගෙවා ඇති බදු ප්‍රමාණය රුපියල් මිලියන 89,777ක් වන අතර මෙය පසුගිය වසරට වඩා රුපියල් මිලියන 9,386ක වැඩි වීමකි. දුම්කොළ සමාගමේ ඇස්තමේන්තු අනුව රජයේ සමස්ත බදු ආදායමෙන් 7%ක් ගෙවා ඇත්තේ දුම්කොළ සමාගමයි. 


රජය වාර්ෂිකව දුම්වැටි හා මත්පැන් මත අයකරන බදු වැඩි කළත්, එසේ කිරීමේදී බදු ආදායම් අඩු වන මට්ටමට බදු අනුපාතික ඉහළ නොදැමීමට සැලකිලිමත් වේ. මෙතෙක් කල් කිසිදු වසරක් තුළ මෙය වෙනස් ආකාරයකින් සිදුවූ බවක්, එනම් බදු අනුපාතික වැඩි කර රජයේ බදු ආදායම් අඩු කරගත් බවක්, මා දන්නේ නැත.

ලංකාවේ සිටින දුම්බොන්නන් ගණන මිලියන දෙකක් ලෙස සැලකුවහොත්, පසුගිය වසර තුළ එක් දුම් බොන්නෙකුගෙන් රජය විසින් රුපියල් 45,000ක පමණ මුදලක් එකතු කරගෙන තිබේ. මේ බොහෝ දෙනෙක් පහළ හා පහළ මැදි ආදායම්ලාභීන් විය යුතුය. බලාගෙන ගියාම  දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වැඩ වලින් සෑහෙන කොටසක් කරන්නේද ලංකා දුම්කොළ සමාගමයි.

අද පළවී ඇති ලංකා සී නිවුස් පුවතකට අනුව "යහපාලන රජය ආරම්භ කළ වැඩපිළිවෙල හේතුවෙන් දුම්පානය සියයට 48 කින් අඩු වී" ඇති බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න විසින් පවසා තිබේ. ඖෂධ සමාගම් සමඟ සටන් කරන්නේය යන පදනමින්, පසුගිය නෙළුම්යාය බ්ලොග් සම්මාන ප්‍රදානෝත්සවයේදී ඇමති රාජිත සේනාරත්නව හඳුන්වා දී තිබුණේ නූතන සේනක බිබිලේ වශයෙනි.

ඇත්ත මෙන් හැඟෙන්නට ඉංග්‍රීසි මූලාශ්‍ර උපුටා දක්වමින්, සිංහල පාඨකයින්ට ඒ මූලාශ්‍ර වල නැති බොරු ඉදිරිපත් කරන ලංකා සී නිවුස්හි පළවන දේවල් එතරම් විශ්වාසනීය නැත. කෙසේවුවද, යම් හෙයකින් රාජිත සේනාරත්න ඉහත ප්‍රකාශය කළේනම් එහි පදනම ගැටළු සහගතය. ඇතැම් විට, මේ කියන අඩුව සිදුවී ඇත්තේ ඉතාම මෑතකදී වන්නට පුළුවන.

එසේ නැත්නම්, ලාංකිකයින් දුම්වැටි මිලදී ගත්තද දුම්පානය නොකර ඒවා ගෙවල්වල ගබඩා කර තබා ගැනීමට පුරුදු වී ඇත්දැයි කියා අප දන්නේ නැත. දුම්වැටි වලට ඇති ඉල්ලුම ලේසියකට නැති නොවන නිසාත්, මිල ඉතාම වේගයෙන් දිගින් දිගටම වැඩි වන නිසාත් දුම්වැටි වල මුදල් ආයෝජනය කිරීමත් නරක
නැත!

පසු සටහන:
වැඩිදුර සොයා බැලීමේදී පෙනී ගිය පරිදි ඇත්තටම සිදුවී ඇත්තේ බදු ඉහළ දැමීමට පෙර වෙළඳ නියෝජිතයින් ලෙසින් විශාල ලෙස තොග මිල දී ගෙන ගබඩා කර ගැනීමයි. මාස ගණනකට අවශ්‍ය තොග කලින්ම මිලදී ගෙන අවසන් නිසා බදු වැඩි කිරීමෙන් පසු අලෙවිය පහත වැටී තිබේ. මේ තොග අවසන් වීමෙන් පසු අලෙවිය නැවත පෙර මට්ටමට පැමිණෙනු ඇත.


(Image: http://www.sundaytimes.lk/160925/news/vital-drug-prices-to-come-down-at-last-209805.html)

Thursday, February 16, 2017

බයිට් එක වෙන බේබද්දෝ

"මා දැන සිටි එක් ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියෙකු මධුලෝලයෙන් පෙලෙන රෝගීන් ගේ හිමොග්ලෝබීන් කෙතෙක් අඩු වූවද ඔවුනට රුධිර පාරවිලනය කිරීමට විරුද්ධ විය​. ඒ ආගමික හේතු නිසා නොවේ. මේ බේබදු කාලකන්නින්ට බ්ලඩ් දෙන එක අපරාධයක් කියා ඔහු නිතර කීවේය​. සුරාධූර්ත්වය රෝගයක් ලෙස දැකීමට ඔහුට නොහැකි විය​. බඩවල් ඉදිමුණු මදිරාබාධයෙන් පෙලුනු රෝගීන් ඔහුගේ වාට්ටුවේ මිය ගියද ඔහු සැලුනේ නැත."

ඉහත ඡේදය උපුටා ගත්තේ ටික දවසකට පෙර පළ කර තිබුණු වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ ලිපියකිනි. එම ලිපියට කමෙන්ටුවක් එකතු කරමින් අජිත් ධර්මා විසින් ලියා තිබුණේ කිසි දිනෙක මත්පැන් පානය නොකළ ඔහුගේ පියාට බොහෝ විට අධික මත්පැන් පානය හේතුවෙන් හැදෙන රෝගයක් වැළඳී රෝහල්ගතව සිටියදීද රෝහල් සේවකයින් විසින් ඔහු මධු ලෝලියෙකුව සිට ඇති බවට පූර්ව නිගමනයකට පැමිණ කුඩම්මාගේ සැලකිලි දැක්වූ බවයි.

ඇමරිකාවේ ජනගහණයෙන් ඇතැම් සීමිත කොටස් වලට හැර වැඩි දෙනෙකුට නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාවක් නැති අතර වෛද්‍ය ප්‍රතිකාර වල මිල සෘජුව හෝ වක්‍රව (වෛද්‍ය රක්ෂණයක් හරහා) රෝගියා විසින් ගෙවිය යුතුය. මේ නිසා කිසියම් වෛද්‍ය ප්‍රතිකාරයක මිල යනු වෙනත් පාරිභෝගික භාණ්ඩයක මෙන්ම ඉල්ලුම හා සැපයුම සමතුලිත වන මිලයි. ඉල්ලුම හා සැපයුම සමතුලිත වන විට භාණ්ඩයක හෝ සේවාවක හිඟයක් ඇති නොවේ. කෙසේ වුවද, වෛද්‍ය ප්‍රතිකාර සඳහා වැය කළ හැකි මුදල රෝගියාගේ මිල දී ගැනීමේ හැකියාව මත තීරණය වන නිසා වෛද්‍යවරයෙකු විසින් රෝගියෙකුට ප්‍රතිකාරයක් නියම කිරීමේ දී, හැම විටම සවිඥානකව සිදු නොවූවත්, එයින් රෝගියාට සැලසෙන යහපත වැය වෙන මුදල සමඟ සැසඳීමක් කිරීමට සිදු වේ.

ලංකාවේ රජයේ රෝහලක සේවය කරන වෛද්‍ය වරයෙකුට බොහෝ විට මේ මිල සාධකය ගැන ඇමරිකාවේදී මෙන් සැලකිලිමත් වන්නට සිදු නොවේ. එහෙත්, වෛද්‍ය ප්‍රතිකාර සඳහා වැය වෙන මුදල රෝගියාගෙන් අය කර නොගෙන වෙනත් අයෙකුගෙන් අය කර ගන්නා ක්‍රමයකදී ඉල්ලුම හා සැපයුම සමතුලිත නොවන බැවින් බොහෝ විට වෛද්‍යවරයාට වෙනත් ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිදු වේ. ඒ අවශ්‍යතා තරමට සම්පත් නොමැති වීම නිසා ඇතිවන සම්පත් බෙදා හැරීමේ ගැටළුවයි. මෙහිදී ඇමරිකාවේදී මිල සාධකය මඟින් ස්වයංක්‍රීය ලෙස සිදු වන සම්පත් බෙදා හැරීමේ කාර්යය වෛද්‍යවරයාට තමන්ගේ අභිමතය පරිදි කිරීමට සිදු වේ. වඩා ඉහළ තලයකදී රෝහල් අතර සම්පත් බෙදා හැරීම කිසියම් නිලධාරියෙකු හෝ නිලධාරීන් කිහිප දෙනකු විසින් ඔවුන්ගේ අභිමතය පරිදිත්, පොදුවේ සියළුම රජයේ රෝහල් වලට සම්පත් වෙන් කරන ප්‍රමාණය මුදල් ඇමති වරයා හා මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් විසින් ඔවුන්ගේ අභිමතය පරිදිත් සිදු කරයි.

කිසියම් රජයේ රෝහලක සේවය කරන වෛද්‍යවරයෙකුට රෝගීන් අතර බෙදා දිය හැකි සම්පත් ප්‍රමාණය සියළුම රෝගීන්ගේ අවශ්‍යතාවන් සඳහා ප්‍රමාණවත් නැත. ඖෂධ, පරීක්ෂණ උපකරණ හා රෝහල් ඇඳන් ආදී සියළුම ආකාර වල සම්පත් වලට මෙය බලපායි. මෙහිදී සම්පත් බෙදා හැරීම සම්බන්ධව අභිමතය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති වෛද්‍ය වරයෙකු තමන්ගේ පෞද්ගලික නිර්ණායක හෝ වෛද්‍ය ආචාර ධර්ම මත පදනම් වූ වෙනත් පොදු නිර්ණායකයක් යොදා ගනිමින් ප්‍රමුඛතා පදනම මත සම්පත් බෙදා හැරීම සිදු කරයි. මේ ප්‍රමුඛතා පදනම තීරණ ගන්නා පුද්ගලයා අනුව වෙනස් විය හැකිය. රුවන් ජයතුංගගේ උදාහරණයේ මධු ලෝලියාට හා අජිත් ධර්මාගේ පියාට රුධිර ප්ලාස්මා පාරවිලනය සිදු නොකෙරෙන්නේ ඔවුන් මේ තීරණය ගන්නා පුද්ගලයාගේ ප්‍රමුඛතා පදනම මත පහළට වැටෙන බැවිනි.

රජයේ රෝහල් වල සම්පත් හිඟය ක්‍රමයෙන් ඉහළ යද්දී සම්පත් බෙදා හැරීම සම්බන්ධව වෛද්‍ය වරුන්ට කළ හැකි බලපෑමද ක්‍රමයෙන් ඉහළ යයි. 2017 වසර සඳහා අයවැයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 160,971.8 කි. මෙය 2016 වසර සඳහා වෙන්කර තිබුණු මුදල වූ රුපියල් මිලියන 198,838.0 ක මුදලට වඩා 19.04% කින් අඩු මුදලකි (2017 අයවැය ඇස්තමේන්තු ඉංග්‍රීසි පිටපත වෙළුම 1 පිටුව 327). කෙසේ වුවද, 2016 වසරේ ගණන සංඛ්‍යාලේඛණ විජ්ජාවකින් වැඩිකර පෙන්වූ මුදලකි. ඇත්තටම වෙන් කර තිබුණු මුදල මීට වඩා රුපියල් මිලියන 17,878 කින් අඩු මුදලක් විය. එම ගණන ඉවත් කළද 11.05%කින් ප්‍රතිපාදන කප්පාදු වී තිබේ. 

රජයේ වියදම් වැඩි කර නොගන්නා අතර, ණය ගෙවීම සඳහා වැඩි මුදලක් වෙන් කිරීම සඳහා මෙවර අමාත්‍යාංශ වැඩි ප්‍රමාණයක ප්‍රතිපාදන යම් ප්‍රමාණයකින් කප්පාදු කර ඇති බව පෙනේ. බොහෝ දෙනාගේ අවධානයට ලක්වන සෞඛ්‍ය හා අධ්‍යාපන වැනි ක්ෂේත්‍රද මේ ප්‍රතිපාදන කප්පාදුවෙන් ගැලවී නැත. (මේ ගැන ඉඩක් ලැබුණු විටක පසුව වෙනම කතා කරමු.)

කෙසේ වුවද, අවසන් ප්‍රතිඵලය වන්නේ රජයේ රෝහල් වල සම්පත් හිඟය තව දුරටත් ඉහළ යාමයි. ඒ සමඟම වෛද්‍යවරුන් ඇතුළු රෝහල් සේවකයින්ට සම්පත් බෙදා හැරීමේදී සිය අභිමතය ක්‍රියාත්මක කිරීමට ලැබෙන ඉඩකඩ තව දුරටත් ඉහළ යනු ඇති අතර, රුවන් ජයතුංගගේ ලිපියේ මධු ලෝලියා වැනි අයට එහි වන්දිය වැඩිපුර ගෙවන්නට සිදු වනු ඇත.

මේ කියන ආකාරයේ මධු ලෝලීන් මට මගේ ජීවිතයේදී ඕනෑ තරම් හමු වී තිබේ. මැරෙන්නම අමාරු වී රෝහල් ගත කර යාන්තම් ගොඩදාගෙන නැවත ආපසු පැමිණියත් මෙවැනි අය මත්පැන් පානය නවත්වන්නේ නැත. ඇත්තටම ඒ වන විට මත්පැනෙහි වහලුන්ව සිටින ඔවුන්ට මේ පුරුද්දෙන් මිදීමේ හැකියාවක්ද නැත. බොහෝ රෝහල් සේවකයින් මෙවැනි තැනැත්තන්ව දකින්නේ තමන්ගේ පාලනය යටතේ ඇති සීමිත සම්පත් ප්‍රමාණය විනාශ කරන සමාජ විරෝධීන් කොටසක් වශයෙනි. ඒ නිසා සම්පත් බෙදා හැරීමේදී වරදකාරී හැඟීමකින් තොරව එවැන්නන්ට අඩු ප්‍රමුඛතාවයක් දීමට ඔවුන්ට හැකි වී තිබේ. අධික ලෙස මත්පැන් පානය කිරීමේ සමාජ පිරිවැයක් ඇත්තටම තිබුණත් මෙහිදී එම තාර්කික හේතුවට වඩා වැඩිපුර බලපාන්නේ තීරණ ගන්නා පුද්ගලයින්ගේ ආගමික හා සංස්කෘතික පසුබිමයි.

මත්පැන් වලට එරෙහිව යන තාර්කික හේතුත්, ඊටත් වඩා ආගමික හා සංස්කෘතික හේතුත් නිසා රජයයන්ට මත්පැන් පානය අධෛර්යමත් කිරීම හේතුවක් ලෙස ඉදිරියට දමමින් මත්පැන් පානය කරන්නන්ගෙන් අධික බදු අය කිරීමට හැකියාවක් ලැබී තිබේ. මේ මඟින් මත්පැන් භාවිතය අධෛර්යමත් වන බව ඇත්තක් වුවත් බදු වැඩි කිරීම මඟින් රජය ඇත්තටම අපේක්ෂා කරන්නේ සිය බදු ආදායම් ඉහළ නංවා ගැනීමය. එය එසේ නොවේනම් රජය විසින් කළ යුත්තේ මෙසේ සුරා බදු ලෙස එකතු කර ගන්නා මුදල් වැය කිරීමේදී මත්පැන් වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමට ප්‍රමුඛතාවයක් දීමයි. එහෙත්, එවැන්නක් සිදු නොවේ. ඒ නිසා, හැමවිටම වාගේ මේ බදු වැඩි කිරීම් කරන්නේ "ගාණකටය". 

බදු වැඩි වීම නිසා ඕනෑවට වඩා මිල වැඩි වූ විට අන්තිමට වෙන්නේ, ලොතරැයි වලින් වුනාක් මෙන්, රජයේ බදු ආදායම අඩු වීමයි. ඇස්තමේන්තු කර ඇති පරිදි, 2017 වසරේදී රජයේ සුරා බදු ආදායම රුපියල් මිලියන 175,500 දක්වා වැඩි කර ගැනීමට රජය අපේක්ෂා කරයි (2017 අයවැය ඇස්තමේන්තු ඉංග්‍රීසි පිටපත වෙළුම 1 පිටුව XXIV). මේ මුදල 2017 වසරේදී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට වෙන් කර ඇති මුළු මුදලට වඩා රුපියල් මිලියන 14,528 කින් පමණ වැඩිය. ඒ නිසා, ලංකාවේ මධු ලෝලීන් ගෙවන බදු වලින් පමණක් රජය විසින් "නොමිලේ" ලබා දෙන සියළුම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය සේවාවන් ලබා දී වෛද්‍යවරුන්ගේ හා සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ රජයේ ඉහළ නිලධාරීන්ගේ වාහන ආනයන බදු සහන නිසා රජයට අහිමි වන ආදායමද ආවරණය කර ගැනීමට පුළුවන.

රෝහල්ගත වී යන්තම් ගොඩ දාගෙන ආපසු ගෙදර යන මධු ලෝලීහු නැවතත් මත්පැන් පානය කර රෝගී වී ආපසු රෝහල්ගත වෙති. එහෙත්, රෝහල්ගත වන ඒ වාර දෙක අතරද ඔවුහු රජයට තවත් සැලකිය යුතු වැඩිපුර මුදලක් බදු ලෙස ගෙවති.

මෙහිදී මෙසේ රෝහල්ගත වන වැඩි දෙනෙකු පරිභෝජනය කරන්නේ නීති විරෝධී මත්පැන් බවත්, ඒ නිසා ඔවුනගෙන් රජයට බදු ආදායමක් නොලැබෙන බවත් කියවන අයෙකුට මට "කියා දෙන්නට" පුළුවන. මතුපිටින් පෙනෙන පරිදි මේ කතාව නිවැරදිය. එහෙත්, ඇත්තටම මෙය සංකීර්ණ කරුණකි. නීති විරෝධී මත්පැන් පරිභෝජනය කිරීමට මේ පිරිස් පොළඹවා ඇත්තේ රජයයි. ඒ, බදු මඟින් මිල හත් අට ගුණයකින් ඉහළ යැවීම හරහා "නියම මිලට" තත්ත්වයෙන් වඩා හොඳ මත්පැන් පරිභෝජනය කිරීමට අඩු ආදායම්ලාභී බොහෝ දෙනෙකුට ඇති අයිතිය රජය විසින් නැති කර ඇති බැවිනි. 

මේ පිටුපස සෞඛ්‍යමය හේතු තිබුණත්, මෙහිදී ආගමික හා සංස්කෘතික හේතු වලින් මේ ඉහළ බදු වලට වැඩි තල්ලුවක් ලැබී තිබේ. සීනි හා පිෂ්ඨය වැඩිපුර ගැනීමද විශාල ලෙස සෞඛ්‍ය ප්‍රශ්න ඇති කරන අතර බත් වලට වන ඇබ්බැහියද අත් හැරීම ඉතා අපහසු ඇබ්බැහියකි. ඒ නිසා මත්පැන් මෙන්ම මිල වැඩි වුවත් ඉල්ලුම එතරම් අඩු නොවන හාල් වලට විශාල බද්දක් පැනවීමෙන් රජයට බදු ආදායම සැලකිය යුතු ලෙස වැඩි කර ගැනීමට පුළුවන. නමුත්, කිසිදු රජයක් ඒ ගැන නිකමටවත් හිතන්නෙවත් නැතිවා පමණක් නොව හැකි තරම් අඩු මිලකට හාල් සැපයීමට දැඩි උත්සාහයක් දරයි. ඒ, සෞඛ්‍යමය හේතු කෙසේ වුවත් "බඩ පිරෙන්නට බත් කෑම" මත්පැන් පානය කිරීම මෙන් "වරදක්" නොවන නිසාය.

මත්පැන් පානය කරන්නෝද අඩු වැඩි වශයෙන් මේ සංස්කෘතික රාමුව තුළම සිරවී සිටින අතර තමන් කරන්නේ වරදක්ය යන හැඟීම පෙරදැරි කරගෙන කියන ගාණක් ගෙවා මත්පැන් මිලදී ගන්නවා මිස ඔවුහු කවදාවත් සංවිධානය වී කොටුව දුම්රියපොළ ඉදිරිපිට රැස් වී රජය නඩත්තු කිරීමට විශාල දායකත්වයක් දෙන තමන්ගේ "බේබදු අයිතිවාසිකම්" වෙනුවෙන් හඬ නඟන්නේ නැත. ඒ වෙනුවට ඔවුන්ගේ තෝරා ගැනීම වන්නේ නීත්‍යානුකූල මත්පැන් මිල තමන්ට දරා ගැනීමට නොහැකි වන විට නිහඬව නීති විරෝධී මත්පැන් වෙත යොමු වීමයි. මෙසේ ඉහළ සුරා බදු හමුවේ කිසිදු විරෝධයක් නොපා නීත්‍යානුකූල මත්පැන් වෙළඳපොළෙන් පිරිසක් බැහැර වීම තුළ එසේ නොකරන අයගෙන් වැඩි මුදලක් බදු ලෙස ඉපැයීමට රජයට වක්‍රව උදවුවක් ලැබේ. නීත්‍යානුකූල මත්පැන් සඳහා අය කරන ඉහළ බදු නිසාම ඇතිවන නීති විරෝධී මත්පැන් වෙළඳසැල් වෙත ඔවුහු යොමු වෙති.

මෙසේ විශාල මුදලක් රජයට බදු ලෙස ගෙවමින් තමන්ගේ මුදලින් මත්පැන් පානය කරන්නන් බොහෝ දෙනෙකු මෙන්ම මේ විශාල බදු මුදල නොගෙවිය හැකි බැවින් නීත්‍යානුකූල මත්පැන් වෙළඳපොළෙන් බැහැර වී බදුද සමඟ වැඩි මිලක් ගෙවා "හොඳ මත්පැන්" පරිභෝජනය කිරීමේ අවස්ථාව එය කිරීමට ආර්ථික ශක්තියක් ඇති අයට පවරා දීම මඟින් ඔවුන්ගෙන් වැඩිපුර බදු මුදලක් අය කර ගැනීමට රජයට වක්‍ර ලෙස උදවු කර ඇති පිරිසද මත්පැන් පානය කරන්නේ සංස්කෘතිය හරහා උරුම වන වරදකාරී හැඟීමක් සහිතව බැවින් බේබද්දන් රෝහල් තුළ මෙන්ම වෙනත් තැන් වලද බයිට් වීම ඉදිරියටත් එසේම සිදු වනු ඇත.

(Image: https://lordsofthedrinks.com/2015/03/11/drunk-guy-picks-fight-with-a-killer-elephant-in-sri-lanka/)

Tuesday, May 31, 2016

දැල්වී, දැවී යන රුපියල් හා ජීවිත


පසුගිය 2015 වසර සඳහා වූ ලංකා දුම්කොළ සමාගමේ වාර්ෂික වාර්තාව අනුව එම වසර තුළ සමාගම විසින් උපයා ඇති ආදායම රුපියල් බිලියන 106.5 කි. මෙය පෙර වසරේ ආදායම වූ රුපියල් බිලියන 87.9 ට සාපේක්ෂව 21.2% ක සැලකිය යුතු වර්ධනයකි. දුම්කොළ සමාගම විසින් සිය ආදායම මෙසේ ඉහළ නංවාගෙන ඇත්තේ සමාගමේ නිෂ්පාදන මත රජය විසින් පනවන බදු පසුගිය වසර තුළදීද විශාල ලෙස වැඩි කර තිබියදීය.

දුම්කොළ සමාගම විසින් පසුගිය වසර තුළ රජයට බදු ලෙස ගෙවා ඇති මුදල රුපියල් බිලියන 91.6 කි. මේ අනුව, සිය ආදායමෙන් 86%ක්ම එම සමාගම විසින් රජයට බදු ලෙස ගෙවා තිබේ. දුම්කොළ මත පනවන බදු වලින් රජය විසින් ලබන ආදායම පෙර වසරට (රුපියල් බිලියන 73.6) සාපේක්ෂව 24.5%කින් ඉහළ ගොස් තිබේ. මේ අනුව, රුපියල් බිලියන 12.6 ක ඉහළ ගිය ආදායමෙන් රුපියල් බිලියන 12.0 ක්ම ලබාගෙන ඇත්තේ රජය විසිනි.
රජයට බදු මුදල් එකතු කර දීම වසර ගණනාවකම සිට දුම්කොළ සමාගම හරහා සිදුවන ප්‍රමුඛ කාර්යයක් බව කිව හැකිය. කෙසේවුවද, දුම්කොළ සමාගමේ ලාභ පෙර වසරේ වූ රුපියල් බිලියන 8.6 ට සාපේක්ෂව රුපියල් බිලියන 10.6 ක් දක්වා 23.3%කින් වර්ධනය වී තිබේ.

දුම්කොළ සමාගමේ ආයෝජකයෙකුට වසර මුලදී රුපියල් 1060.10 කට මිල දී ගත හැකිව තිබුණු කොටසක් සඳහා රුපියල් 45.15 ක ලාභාංශ හිමි වී ඇතත් වසර අවසානය වන විට කොටස් මිල රුපියල් රුපියල් 992.50 දක්වා අඩු වී ඇති බැවින් අවසාන වශයෙන් කොටසකට රුපියල් 22.45 ක, එනම් 2.1%ක ශුද්ධ අලාභයක් සිදු වී තිබේ. ඒකාධිකාර පවත්වා ගන්නා ව්‍යාපාර වල හිමිකරුවන්ට පවා හැමවිටම ලාභ නොලැබේ. එමෙන්ම, සමාගමක් ලබන ලාභ හා එහි හිමිකරුන්ට සිය ආයෝජනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ අතර හැමවිටම සෘජු සම්බන්ධතාවයක් නැත.


මේ වන විට (2015 ජූලි) ලංකාවේ වැඩිහිටියන්ගෙන් (මෙහිදී අදහස් කෙරෙන්නේ වයස 15ට වැඩි අයයි) 31%ක් පමණ දුම්වැටි උරති. ඔවුන්ගෙන් 91%ක්ම සිගරැට්ද 8% ක් බීඩිද ඉතිරි 1% ප්‍රධාන වශයෙන් සුරුට්ටුද උරති. ඔවුන්ගෙන් 70.7%ක් පමණම දිනපතා පුරුද්දක් ලෙස දුම්වැටි උරන්නෝය.

නාගරික ප්‍රදේශ වලට සාපේක්ෂව ග්‍රාමීය ප්‍රදේශ වල දුම්වැටි භාවිතය විශාල ලෙස වැඩිවීමෙන් පෙනෙන්නේ මේ පුරුද්දේ ඇති හානි පිළිබඳ දැනුම නගරයේ සිට ගමට යන්නේ ඉතා සෙමින් බවයි. මොණරාගල වැසියන්ගෙන් 50%ක් දුම්වැටි උරද්දී (2014 දෙසැම්බර් දත්ත) කොළඹ මේ ප්‍රතිශතය මේ වන විට 23% දක්වා අඩු වී තිබේ.

දුම්වැටි උරන්නන්ගෙන් 30.8%ක් ආහාර ගැනීමෙන් පසු පුරුද්දක් ලෙසද, 26.7%ක් කිසිදු විශේෂ හේතුවක් නැතිවද, 16.3%ක් එයින් සතුටක් ලැබේයැයි සිතන බැවින්ද, 15.9ක් යහළුවන් සමඟ සමාජගත වීම සඳහාද, 5.8%ක් ප්‍රශ්න අමතක කිරීමටද, 4.2%ක් තනිකම මකා ගැනීම සඳහාද දුම්වැටියෙකින් සැනසෙති. වයස 24ට අඩු අය ප්‍රධාන වශයෙන් යහළුවන් සමඟ සමාජගත වීම සඳහාද 40ට වැඩි අය ආහාර ගැනීමෙන් පසු පුරුද්දක් ලෙසද දුම්වැටි උරති. මේ අයගෙන් 73.5%ක්ම වයස 20 එළැඹීමට පෙර දුම්වැටි භාවිතය ඇරැඹු අයයි.


දුම්වැටියක මිලෙන් 86%ක් බදු ලෙස අය කිරීම බැලූ බැල්මටම අසාමාන්‍ය තත්ත්වයක් බව පෙනේ. කෙසේ වුවද, ලෝකයේ බොහෝ සංවර්ධිත රටවල දුම්වැටි සඳහා අයකරන බදු ප්‍රමාණය මේ වන විට විකුණුම් මිලෙන් 75-80% පමණ මට්ටමක පවතී. එවැනි, ඉහළ බදු අනුපාතයක් පවතිද්දීද දුම්කොළ සමාගම් සාමාන්‍යයෙන් ලාභ ලබයි. ලංකා දුම්කොළ සමාගමට අනුව මේ තරම් දැඩි නියාමනයක් යටතේ වුවද ඉහළ ගිය ඒක පුද්ගල ආදායම හා අඩු උද්ධමනය ලංකාවේ දුම්වැටි සඳහා වන ඉල්ලුම ඉහළ නැංවීමට හේතු වී ඇති බැවින් ඔවුන්ට සිය ලාභ වැඩි කරගැනීමට හැකි වී තිබේ.

දුම්වැටි පාරිභෝගිකයින් බහුතරය අඩු ආදායම්ලාභීන්ය. ඒ නිසා දුම්වැටි මත අය කරන බදු වලින් සිදුවන්නේ රටේ අඩු ආදායම් ලබන කොටස් අත ඇති සීමිත සම්පත් රජය වෙත අවශෝෂණය කර ගැනීමකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව රජයයන් විසින් මෙසේ බදු ලෙස අයකරගන්නා මුදල දුම්වැටි නිවාරණය සඳහා වැය කරන මුදල මෙන් 269 ගුණයකි. මේ අනුව, පෙනෙන්නේ බදු වැඩි කිරීමේදී බොහෝ විට රජයයන්හි සැබෑ අභිප්‍රාය දුම්වැටි නිවරණයම නොවන බවයි. කෙසේවුවද, මේ ඉහළ බදු හේතුවෙන් දුම්වැටි භාවිතය අධෛර්යමත් වීම හෙමින් වුවත් සිදු වෙමින් පවතී.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දුම්වැටි භාවිතය ජගත් සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස කලක සිටම හඳුනාගෙන ඇත. එම සංවිධානයට අනුව වසරකට ලොව පුරා මරණ මිලියන හයකට පමණ වගකියන්නේ දුම්වැටි භාවිතයයි. මේ මරණ වලින් 600,000ක් පමණ දුම්වැටි නොඋරන වෙනත් අය උරණ දුම් ආශ්වාස කරන්නෝය. දුම්කොළ සමාගම් විසින් නිර්දේශ කරන පරිදි දුම්වැටි භාවිතා කළහොත් දුම් උරන්නන්ගෙන් අඩක් පමණ පිරිසක් ඒ හේතුවෙන් මිය යාමට ඉඩ තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, දුම්වැටි යනු මෙවැනි මට්ටමේ සෞඛ්‍ය හානියක් සිදුකරන එකම නීත්‍යානුකූල පාරිභෝගික භාණ්ඩයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය වන්නේ දුම්වැටි මිලෙන් අවම වශයෙන් 70%ක් බදු ලෙස අය කරගත යුතු බවයි. ඔවුන්ගේ අධ්‍යයනයන් අනුව, දුම්වැටි මිල 10%කින් වැඩි කළ විට මැදි ආදායම් රටක දුම්වැටි භාවිතය 5%කින් පමණ අඩුවේ. එමෙන්ම, රටේ ආදායම හා උද්ධමනය සලකා බලමින් දුම්වැටි භාවිතය වැඩි නොවන පරිදි දිගින් දිගටම බදු ඉහළ නැංවිය යුතුබවද නිර්දේශයකි. ඒ අතරම, මිල අඩු බීඩි වැනි ආදේශක වෙත පාරිභෝගිකයින් යොමු වීම වැළැක්වීම සඳහා එවැනි නිෂ්පාදන මතද සමාන්තරව බදු නොපැනවුවහොත් අපේක්ෂිත අවසන් ප්‍රතිඵලය නොලැබෙන්නට තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේම තවත් නිර්දේශයක් වන්නේ දුම්වැටි අසුරනයක මතුපිට වර්ග ප්‍රමාණයෙන් අඩු වශයෙන් 50%ක්වත් ආවරණය වන පරිදි දුම්වැටි භාවිතයේ ආදීනව පෙන්වන රූපමය දැනුවත් කිරීම් මුද්‍රණය කර තිබිය යුතු බවයි. ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී ඉදිරියෙන්ම සිටින රටකි.

කෙසේවුවද, අසුරණයේ රූප දැන්වීම් මුද්‍රණය කිරීම ලංකාවේදී එතරම්ම ඵලදායී කටයුත්තක් බව නොපෙනේ. පවතින ඉහළ මිල යටතේ බහුතරය අඩු ආදායම්ලාභීන් වන ලංකාවේ දුම් උරන්නන් 95%කට පමණ දුම්වැටි පැකට්ටුවක් එකවර මිලදී ගැනීමේ හැකියාව නැත. ඔවුන් දුම්වැටි මිලදී ගන්නේ වරකට එකක් හෝ කිහිපයක් බැගින් නිසා දුම්වැටි අසුරන වල ඇති රූප අවවාද කිසිවිටෙකත් ඔවුන්ගේ ඇස නොගැටේ. සිගරැට් පැකට්ටුවක් වරකට මිලදී ගැනීමේ හැකියාව ඇති බොහෝ දෙනෙකු දුම්පානයේ ආදීනව කොහොමටත් හොඳින්ම දන්නා "හාඩ් කස්ටමර්ස්ලා"ය.

දුම්වැටි නිවාරණයේදී විශේෂ අවධානයක් යොමු කළ යුත්තේ මේ සඳහා අළුතින් එකතු වන අඩුවයස් පාරිභෝගිකයින් අධෛර්යමත් කිරීම කෙරෙහිය. ලංකාව සඳහා වඩා සුදුසු ක්‍රමවේදයක් ලෙස මා සිතන්නේ සිගරැට් විකුණන සෑම ස්ථානයකම දැනට සිගරැට් අසුරණයේ මුද්‍රණය කරන ආකාරයේ රූපමය අවවාද සහිත විශාල පෝස්ටර් හෝ කටවුට් ප්‍රදර්ශනය කිරීමට නියම කිරීමයි. මෙයද දුම්කොළ සමාගම හරහාම ක්‍රියාත්මක කරවිය හැකිය.

අද (මැයි 31) ලෝක දුම්වැටි නිවාරණ දිනයයි!


(Image: synergyy.com)

Monday, April 11, 2016

නෙය්යප්පම් හා අච්චප්පම්

පැණිරස කෑමට සහ තෙල් කෑමට හෝමෝ සේපියන්ස්ලාගේ ඇති කැමැත්ත ජාන වලින්ම එන එකකි. සියවස් කිහිපයකට පෙර මැල්තුසියානු උගුලෙන් ගැලවෙන තුරු, අතළොස්සක් හැර ලෝකය පුරා ජීවත් වූ මිනිසුන්ගේ සාමාන්‍ය ඉරණම වූයේ ජීවිත කාලය පුරාම කුසගින්නෙන් පීඩා විඳීමයි. වසර දස දහස් ගණනක් වූ මේ දීර්ඝ කාලය තුළ වැඩි කැලරි ප්‍රමාණයක් ලබා ගත හැකි ආහාර වන සීනි හා තෙල් අඩංගු ආහාර යනු කෙනෙකුට කලාතුරකින් ලැබුණු 'සුඛෝපභෝගී භාණ්ඩ' විය.

අපේ මුතුන් මිත්තන්ට බොහෝ විට ඉඳහිට හෝ කන්නට ලැබුණු ප්‍රධානම සීනි ප්‍රභවය වූයේ ඉදුණු පළතුරකි. ආහාර කල් තබා ගැනීමේ හා සුරක්ෂිතව ප්‍රවාහනය කිරීමේ ක්‍රම පිලිබඳ දැනුම අපට ඉතාම මෑතක් වන තුරුම නොතිබුණු දැනුමකි. ඒ නිසා, අපේ දීර්ඝ පරිණාමික ඉතිහාසය තුළ මෙවැනි ඉදුණු පළතුරු පිරුණු ගසක් හදිසියේ දක්නට ලැබුණු විට කළ හැකිව තිබුණු හොඳම දෙය වූයේ හැකිතාක් එවේලේම ආහාරයට ගැනීමයි. යම් හෙයකින් වාසස්ථානය වෙත ගෙන ආවද නරක් වෙන්නට පෙර අළුත් පිට ආහාරයට ගැනීම වඩා තර්කානුකූල විය. එසේ ආහාරයට ගන්නට ප්‍රිය කළ ජාන සැකැස්මක් තිබුණු අය එසේ නොතිබුණු අයට සාපේක්ෂව කුසගින්නෙන් මියගියේ අඩුවෙනි. මේ නිසා, කල් යාමේදී ඉතිරි වූයේ පැණිරසට ප්‍රිය කරන්නන්ගෙන් පැවත එන්නන්ය. මේ අයුරින්ම, අධික කැලරි ධාරිතාවක් ඇති මේදය පිරුණු ආහාර වලට ප්‍රිය කළ අයටද පරිණාමික වාසියක් ලැබුණේය.

ඉතා කිට්ටු තරංග ආයාම ඇති කොළ, රතු හා කහ පැහැයන් වෙන් වශයෙන් දුර සිටම හඳුනාගත හැකි පරිදි මේ තරංග ආයාම පරාසයේදී සංවේදී වන (කොළ හා රතු)  කේතු සෛල වර්ග දෙකක්
අපේ ඇස් වල පරිණාමය වුණේත් මෙසේ ඉදුණු සහ නොඉදුණු පළතුරු ඇති ගස් දුර සිටම හඳුනාගත හැකි වන පරිද්දෙනි. එමෙන්ම, පිරිමින් දඩයම් කරද්දී, සිය වාසස්ථාන අවට පලවැල නෙළූ කාන්තාවන්ගේ දෘෂ්ඨිය පිරිමින්ගේ දෘෂ්ඨියට වඩා හොඳින් පරිණාමය වී ඇත්තේත් මේ නිසාය.

කුසගින්නේ පෙළෙන මිනිසුන් තවමත් ලොවේ අඩු නැතත්, කාර්මික විප්ලවයෙන් පසු අපේ ආහාර අවශ්‍යතා සපුරා ගැනීමේ හැකියාවන් ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වීමත්, වැය කරන දෛනික කැලරි ප්‍රමාණය විශාල ලෙස අඩුවීමත් නිසා දැන් අපේ මේ පරිණාමික අතීතය අපේ අයහපතට හේතු වී ඇත. සීනි සහ තෙල් වලට අපේ ඇති සහජ කැමැත්ත දියවැඩියාව, හෘදයාබාධ, ආඝාත මෙන්ම පිළිකා වැනි ආයුෂ කෙටි කරන රෝග රැසකට හේතු වේ. එහෙත්, සහජ කැමැත්ත නිසා බොහෝ දෙනෙකු 'අකාල මරණ' වලට ඇති කැමැත්ත කෙසේ වෙතත් 'කාල මැරෙන' එකට කැමතිය.

පහතින් ඇත්තේ එසේ 'කාල මැරෙන්නට' කැමති අයට කේරළ රසකැවිලි වට්ටෝරු දෙකකි.


නෙය්යප්පම්



අච්චප්පම්

 

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...