Showing posts with label නාට්‍ය. Show all posts
Showing posts with label නාට්‍ය. Show all posts
Wednesday, August 3, 2016
සුදු සහ කළු
ලංකාවේ ගත කළ කාලය තුළ අපට සුදු සහ කළු වේදිකා නාට්‍යයේ නව නිෂ්පාදනය නැරඹීමට අවස්ථාවක් ලැබුණේය. මා මෙම නළුව මෙවර නැරඹුයේ තෙවන වරටය.
සයිමන් නවගත්තේගමගේ සුදු සහ කළු මුල් නිෂ්පාදනය අසූව දශකයේ දෙවන අර්ධයේ කිසියම් දිනෙක මම ලුම්බිණි රඟහලෙහිදී හෝ ලයනල් වෙන්ඩ්ට්හිදී නැරඹුවෙමි. එවකට එහි ප්‍රධාන චරිතය රඟපෑවේ නැසී ගිය ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන එච් ඒ පෙරේරාය. පසු කලෙක, මම එච්ඒගේ ආයතන ප්‍රධානියා ලෙසද කටයුතු කළෙමි.
දෙවන වරට මා මේ වේදිකා නළුව නැරඹුවේ එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංගපීඨයේදී හෙවත් පේරාදෙණිය වලේදීය. ඒ 1991දී හෝ ආසන්න වසරකදීය. මා පේරාදෙණියේ ගතකළ කාලය තුළ වලේ පෙන්වූ එකදු නාට්‍යයක් හෝ මගෙන් ගිලිහී නැත. පේරාදෙණිය ගවේෂණ සංගමය මුල් වී මේ වසර මුලදී ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ සුදු සහ කළු නව නිෂ්පාදනයද වලේ පෙන්වා තිබුණේය.
මෙවර මා මේ නාට්‍යය නැරඹුවේ කොළඹින් පිටත නගරයකදීය. අවසන් වරට පේරාදෙණියේ වලේදී සුදු සහ කළු නරඹා සියවස් කාලක් ගෙවී ඇති බැවින් එම නළුව පිළිබඳව මගේ පැරණි මතක එතරම්ම පැහැදිළි නොවීය. අළුත් නිෂ්පාදනයේ ප්‍රධාන චරිතය රඟපෑවේ දක්ෂ නළුවකු වන ශ්‍රියන්ත මෙන්ඩිස් විසිනි. දෙබස් වැරදීම් දෙකක් හැරුණු විට ඔහුගේ රඟපෑම් ඉතා හොඳ මට්ටමක පැවැතිණි. එවැනිම ප්‍රතිභාපූර්ණ රංගධරයෙකු මෙන්ම මොරටුව සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙකුද වන ජයලාල් රෝහණ තවත් ප්‍රධාන චරිතයකට පණ පෙවුවේය.
මේ නාට්‍ය දර්ශනය නැරඹීමට අප පෙළඹුණේ එහි ප්‍රධාන සංවිධායකයකු වූ අප හිතවතෙකු අපේ පැමිණීම විශේෂයෙන් බලාපොරොත්තු වෙමින් ඉදිරි පෙළ ප්‍රවේශපත්ද අප වෙනුවෙන් වෙන් කර තිබුණු බැවිනි. මට මගේ දරුවන් නිවසක රඳවා මෙම නාට්‍යය නැරඹීම ප්‍රායෝගිකව අපහසු කරුණක් වූ බැවින් නාට්‍යය දරුවන් සඳහා යෝග්‍යද යන ප්‍රශ්නය පළමුව මතු විය. මෙහිදී, මගේ සොයුරිය විසින් පෙන්වා දුන්නේ එහි පාසැල් දර්ශනයක්ද ඇති බැවින් දරුවන් රැගෙන යාමෙහි වරදක් තිබිය නොහැකි බවයි. ඒ අනුව, අපි පෙර කී සංවිධායක හිතවතා අමතා ඔවුන් වෙනුවෙන්ද ආසන වෙන් කරවා ගත්තෙමු. මේ අවස්ථාවේදී, මගේ සොයුරිය යෝජනා කළේ පළමු පෙළ අසුනකට වඩා දෙවන පෙළ අසුන් යෝග්‍ය බවයි.
"කලින් ඔතනම ලෝරන්ස්ගේ මනමාලි පෙන්නුවා. අපි හිටියේ ඉස්සරහම පේළියේ. අන්තිමට දුලීකා ස්ටේජ් එක අතුගාන කොට දුවිලි ඔක්කොම අපේ ඇඟේ!"
ඒ අනුව, අපි දර්ශනය ඇරඹීමට නියමිත වෙලාවට විනාඩි පහකට පෙර දෙවන පේලියේ අසුන් ගත්තෙමු. නියමිත වෙලාව පසුවී විනාඩි විස්සකින් රංගනය ඇරඹුණු අතර මෙම දර්ශනයට විවේක කාලයක් නොමැති බව ශ්‍රියන්ත මෙන්ඩිස් විසින් මුලින්ම නිවේදනය කළේය.
නාට්‍යය අතරතුර ජයලාල් රෝහණගේ රඟපෑම් අපව මහත් අපහසුතාවයකට පත් කළේය. ඒ ඔහු තමා රඟපෑ චරිතය ඕනෑවටත් වඩා තාත්ත්වික ලෙස රඟ පෑ බැවිනි. නාට්‍ය දර්ශනය අතරතුර දෙවරක්ම (නිරූපණය කළ චරිතය තුළ) ලොකු කළු සුරුට්ටු පත්තු කරගෙන පැමිණි ඔහු මේ සුරුට්ටු උරමින් (හෝ උරන බව පෙන්වමින්) එහි දුම ප්‍රේක්ෂකාගාරය වෙතට වරින් වර පිට කළේය. මා සිගරැට් හා සුරුට්ටු දුම අප්‍රිය කළත් දුම්පානය කරන මිතුරන් සමඟ ටික වෙලාවක් ගත කිරීම මට ලොකු ප්‍රශ්නයක් නොවේ. එහෙත්, මගේ බිරිඳ, සොහොයුරිය හා දරුවෝ මෙයින් මහත් අසීරුතාවයකට පත් වූහ. මා පෙර ලිපියෙන් අවධානයට ලක් කළ, පෙනහළු ආශ්‍රිත රෝග තත්ත්වයන්ගෙන් පීඩා විඳින අයද මේ ප්‍රේක්ෂකාගාරයේ සිටින්නට ඇත.
කොටු කරන ලද පොදු ස්ථානයක් වන නාට්‍ය රඟහලක් තුළ දුම්පානය කිරීම වසර දහයක පටන්ම ලංකාව තුළ නීතිමය වරදක් බව ජයලාල් රෝහණ නොදන්නවාදැයි නොදනිමි. 2006 අංක 27 දරන දුම්කොළ හා මධ්‍යසාරය පිලිබඳ ජාතික අධිකාරිය පණතේ 39 වන වගන්තියේ මේ ගැන සඳහන්ව ඇත්තේ පහත පරිදිය.
"යම් කොටු කරන ලද පොදු ස්ථානයක් ඇතුළත කිසිම තැනැත්තෙකු විසින් යම් දුම්කොළ නිෂ්පාදන පානය කිරීම හෝ යම් තැනැත්තෙකුට එසේ කිරීමට ඉඩදීම නොකළ යුතුය."
"මේ වගන්තියේ කාර්යය සඳහා පොදු ස්ථානයක් යන්නෙන් මහජනයාට අයිතියක් වශයෙන් හෝ අන්‍යාකාරයකට ප්‍රවේශ විය හැකි වූද යම් ස්ථානයක් අදහස් වේ."
"කොටු කරන ලද පොදු ස්ථානයක් යන්නට රජයේ දෙපාර්තමේන්තුවක්, ව්‍යවස්ථාපිත මණ්ඩලයක් හෝ අධිකාරියක් හෝ රජයේ ආයතනයක්, කාර්යාල පරිශ්‍ර, බැංකු, අධිකරණ ශාලා, ශ්‍රවනාගාර, ක්‍රීඩා සංකීර්ණ, ආරෝග්‍ය ශාලා, සායන, බෙහෙත් ශාලා, විද්‍යාගාර, පාසල්, විශ්ව විද්‍යාල හෝ වෙනත් අධ්‍යාපනික ආයතන, පුස්තකාල, කෞතුකාගාර, ආගමික ස්ථාන, හෝටල්, ආගන්තුක නිවාස, තාවකාලික නවාතැන්පොළ (ලොජ්), නේවාසිකාගාර, ආපනශාලා, සමාජශාලා, අන්තර්ජාල මධ්‍යස්ථාන, චිත්‍රපටිශාලා, නාට්‍ය රඟහල්, සුපිරි වෙළඳසැල්, ගුවන් තොටුපළ, දුම්රියපළ වල හෝ බස් නැවතුම්පළ වල විවේකාගාර, යම් පොදු වැසිකිළි, ගොඩනැඟිලි, ගොඩනැඟිලි තනා ඇති ස්ථාන හා විදුලි සෝපාන ඇතුළත් වේ."
මෙයට අමතරව, ඉහත නාට්‍යයේ ආකෘතිය අනුව ඉවත් කළ නොහැකියැයි මා සිතන නමුත්, ප්‍රදර්ශනාත්මකව මත්පැන් හා දුම්වැටි පානය කිරීමද වරදක් විය හැකිය.
නීතිමය තත්ත්වය අමතක කළත්, සරසවි කථිකාචාර්ය වරයෙක්ද වන, ජයලාල් රෝහණ වැනි ජනතාවට සමීප (මා පෞද්ගලිකවද ප්‍රිය කරන) කලාකරුවෙකු මෙවැනි කරුණක් ගැන මීට වඩා සැලකිලිමත් හා සංවේදී විය යුතුයැයි සිතමි.
Labels:
නාට්‍ය,
නීතිය,
සමාජ චර්යා
Subscribe to:
Posts (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...