වෙබ් ලිපිනය:

Showing posts with label ගිණුම්කරණය. Show all posts
Showing posts with label ගිණුම්කරණය. Show all posts

Wednesday, August 24, 2022

මාස හයට ලංවිම පාඩුව කෝටි 7748ක්!


විගණනය නොකළ ගිණුම් වාර්තා අනුව, 2022 පළමු මාස 6 ඇතුළත ලංකා විදුලිබල මණ්ඩලය විසින් රුපියල් මිලියන 71,477ක අලාභයක් වාර්තා කර තිබෙනවා. ඩොලර් වලින් බැලුවත් මිලියන 200ක පමණ අලාභයක්. අදාළ කාලය තුළ ලංවිම විසින් උපයා ඇති ආදායම රුපියල් මිලියන 124,377ක් වුවත්, එම කාලය තුළ ඊට වඩා 57.5%ක වැය බරක් දරා තිබෙනවා.

මේ ආකාරයෙන් ගිණුම් වාර්තා වල දැකිය හැක්කේ ආයතනයක ගිණුම්කරණ අලාභයයි. ගිණුම්කරණ අලාභය ගණනය කිරීමේදී ගිණුම්කරණ සම්මත අනුගමනය කරනවා. එහෙත්, බොහෝ විට ගිණුම් වාර්තා වලින් ආර්ථික අලාභය හෙවත් සැබෑ අලාභය පිළිබිඹු වන්නේ නැහැ.

උදාහරණයක් ලෙස ලංවිම ගිණුම් සකස් කරද්දී ලංවිම විසින් මිල දී ගන්නා අලුත් වාහනයක වටිනාකම වසර හතක කාලයක් තුළ අනුක්‍රමික ලෙස ක්ෂය වී යන සේ උපකල්පනය කරනවා. මේ අනුව රුපියල් මිලියන 28කට මිල දී ගන්නා වාහනයක වටිනාකම වසරකට රුපියල් මිලියන 4 බැගින් අඩු වී ගොස් වසර හතකට පසු ශුන්‍ය වී යනවා. ඒ අනුව, දෙවසරකට පෙර රුපියල් මිලියන 28කට මිල දී ගත් ඩබල් කැබ් රථයක දැන් මිල රුපියල් මිලියන 20ක් පමණයි. එහෙත් අද එහි වටිනාකම ඊට වඩා වැඩි වී තිබිය හැකියි. ඒ අනුව, අද මෙම ඩබල් කැබ් රථය රුපියල් මිලියන 25කට විකිණුවොත්, එහි වෙළඳපොළ මිල රුපියල් මිලියන 30ක් වුවත්, එය සටහන් වන්නේ ලංවිම ලැබූ රුපියල් මිලියන 5ක ලාබයක් ලෙසයි. 

ආර්ථික ලාබ ගණනය කිරීමේදී ගිණුම්කරණ සම්මත අත හැර ආවස්ථික පිරිවැය සංකල්පය යොදා ගන්නවා. ඇතැම් විට ආවස්ථික පිරිවැය පිළිබිඹු වන පරිදි ගිණුම්කරණ සම්මතද වෙනස් වුවත් එය සිදු වන්නේ කාලයක් ගියාට පසුවයි. 

මේ වසරේ ජූනි 30 වන විට ලංවිම සතු වූ වත්කම් ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 1040.4ක්. එයින් රුපියල් බිලියන 852.9ක්ම ලංවීමට අයිති ජනන යන්ත්‍ර, සම්ප්‍රේෂණ උපකරණ හා අනෙකුත් සිවිල් ඉදි කිරීම් ආදියයි. මේ ඇස්තමේන්තුව සකස් කර තිබෙන්නේ ක්ෂය වීමේ පදනම මතයි. වෙළඳපොළ වටිනාකම අනුව බැලුවොත් මෙම වත්කම් වල වටිනාකම මීටත් වඩා වැඩි විය හැකියි. මම එය කරන්න යන්නේ නැහැ.

ලංවිම අයිතිය තිබෙන්නේ රජයටයි. ඒ අනුව, මෙයින් අදහස් වන්නේ ක්ෂය වීමේ පදනම මත බැලුවත්, රුපියල් බිලියන 1040.4ක මහජන ධනය ලංවිම තුළ ආයෝජනය කර ඇති බවයි. මේ වන විට ශ්‍රී ලංකා රජය දේශීය වෙළඳපොළෙන් ණය ලබා ගන්නේ 30%ක පමණ පොලියකටයි. ඒ කියන්නේ මාස 6ක කාලයක් රුපියල් බිලියන 1040.4ක් හිර කර තැබීමේ ආවස්ථික පිරිවැය රුපියල් බිලියන 156ක් පමණ වන බවයි. නමුත්, ගිණුම් වාර්තා අනුව අදාළ කාලය තුළ ලංවිම මූල්‍ය පිරිවැය රුපියල් බිලියන 10.7ක් පමණයි. ඒ අනුව, ඉතිරි රුපියල් බිලියන 145ක මුදල එකතු කළ වහාම බිලියන 77ක පාඩුව බිලියන 222ක් වෙනවා.

යම් හෙයකින් ලංකාවේ විදුලි බලය සැපැයීමේ ව්‍යාපාරය පෞද්ගලික අංශය විසින් කළේනම්, ඔවුන් ලාබ නොලබා එය කරන්නේ නැහැ. එසේ වූවානම් රජයට සැලකිය යුතු බදු ආදායමක් හිමි වෙනවා. මේ ව්‍යාපාරය රජය විසින් කිරීම නිසා එම බදු ආදායම මුළුමනින්ම අහිමි වී ගොස් තිබෙනවා. එයද ආවස්ථික පිරිවැයක්. ඉහත රුපියල් බිලියන 156ට අමතරව ලංවිම පාඩුවට එකතු විය යුතු මුදලක්. 

මීට අමතරව ලංකාවේ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයක් තිබෙනවා. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවක් තිබෙනවා. එවැනි ආයතන වල වියදම් වලින් සැලකිය යුතු කොටසක් යන්නේ විදුලිබල පාරිභෝගිකයින් වෙනුවෙන්. එම පිරිවැයද ආවරණය විය යුත්තේ විදුලිබලය විකුණා ලැබෙන මුදලිනුයි. එසේ නැත්නම් ඒ වෙනුවෙන් වෙනත් අයෙකුට ගෙවන්න වෙනවා. 

කාලයක සිටම ලංවිම පාඩු ලබනවා. අවසන් වරට ලාබ ලබා තිබෙන්නේ 2015දී. එහෙත් එම ලාබ වුවද ගිණුම්කරණ ලාබ මිසක් සැබෑ ආර්ථික ලාබ නෙමෙයි.

වැඩියෙන් ජල විදුලිය නිපදවන වසර වලදී ලංවිම පාඩු අඩු වෙනවා. ඇතැම් විට ලාබ ලබනවා. එහෙත්, මෙය රැවටිල්ලක් පමණයි. විදුලිය නිපදවීම සඳහා ලංවිම විසින් භාවිතා කරන ජලය වෙනුවෙන් ලංවිම මුදල් ගෙවන්නේ නැහැ. එහෙත්, එම ජලය රඳවා තබා ගන්නා ජලාශ නඩත්තුව සඳහා සැලකිය යුතු මුදලක් වැය වෙනවා. එහි පිරිවැයෙන් සැලකිය යුතු කොටසක් ජල විදුලිය නිපදවීමේ වියදමේම කොටසක් වුවත් එම වියදම් වැටෙන්නේ වෙනත් වැය ශීර්ෂයකටයි. 

ඒ වගේම, මෙම ජලාශ ඉදි කිරීම වෙනුවෙන් යට කළ ප්‍රාග්ධනයක් තිබෙනවා. ඒ වෙනුවෙන් ගත් ණය තවමත් ගෙවා නැහැ. ඒ ණයම බැලුවොත් ගෙවා ඇති. නමුත් ඒ විදිහට ණය ගෙවන්න ගත් ණය සහ පොලිය තවමත් එලෙසම තිබෙනවා. ජල විදුලිය නිපදවන එක ලංවිම විසින් ගණන් හදා පෙන්වන තරම් ලාබ නැහැ. පිරිවැය අඩුවෙන් පෙනෙන්නේ මුළු වියදමම ලංවිමට බැර වී නැති නිසයි.

ඔය සියල්ල එකතු කළොත් ලංවිම ඇත්ත අලාබය පෙනෙන අලාබයට වඩා ගොඩක් වැඩියි. මේ අලාබය "වින්දිතයින් නැති අපරාධයක්" නෙමෙයි. උද්ධමනය හරහා මේ බර රටේ සියල්ලන් වෙතම අසමානව බෙදී යනවා. මෙහිදී ශුද්ධ පිරිවැයක් දරන රටේ බොහෝ දෙනෙක් වින්දිතයින් වෙනවා. වෙනස ඔවුන් ඒ බව නොදන්නා එකයි. මෙහි වාසිය ලබන්නේ වැඩියෙන් විදුලිබලය පරිභෝජනය කරන අය ඇතුළු ටික දෙනෙක්. 

Tuesday, July 7, 2020

ලෝකයට ණය වීම හා ලෝකයට ණය දීම

කලින් ලිපියෙන් අපි ප්‍රධාන වශයෙන්ම කතා කළේ රටක ජංගම ගිණුම ගැනයි. දිගින් දිගටම ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගන්නා රටකට දිගින් දිගටම ප්‍රාග්ධනය ගලා එනවා. ඒ වගේම දිගින් දිගටම ජංගම ගිණුමේ හිඟයක් පවත්වා ගන්නා රටවලින් දිගින් දිගටම ප්‍රාග්ධනය පිටතට ඇදී යනවා.

මේක හරිම සරල දෙයක්. රටවල් පැත්තකින් තියලා තනි පුද්ගලයින් දිහා බැලුවත් ඔය දේ පැහැදිලිව පෙනෙනවා. දිගින් දිගටම ආදායමට වඩා අඩුවෙන් පරිභෝජනය කරන කෙනෙක් අතේ ප්‍රාග්ධනය එකතු වෙනවා. ආදායමට වඩා වියදම් කරන කෙනෙක් සතු ප්‍රාග්ධනය ටිකෙන් ටික ක්ෂය වෙනවා.

සෛද්ධාන්තිකව බැලුවොත් ආදායමට වඩා වියදම් කරන කෙනෙක් ආරම්භයේදී කොයි තරම් ධනවතෙක් වුනත් කාලයක් යද්දී දුප්පතෙක් විය යුතුයි. ආදායමට වඩා අඩුවෙන් පරිභෝජනය කරන කෙනෙක් කාලයක් යද්දී ධනවතෙක් විය යුතුයි.

රටවල් වලටත් මේ කතාව අදාළයි. ජංගම ගිණුමේ අතිරික්තයක් තියෙනවා කියා කියන්නේ ඒ රටේ සමස්ත පරිභෝජනය සමස්ත නිෂ්පාදිතයට වඩා අඩුයි. නිෂ්පාදිතයේ අතිරික්තය අපනයනය කර ලැබෙන ආදායම අනික් අතට ආනයන වෙනුවෙන් වැය කරන්නේ නැති නිසා රට ඇතුළේ විදේශ වත්කම් ගොඩ ගැහෙනවා. ඒ වගේම මෙහි අනිත් පැත්ත වුනොත්, ඒ කියන්නේ ආනයන ආදායම් ඉක්මවා අපනයන වෙනුවෙන් වියදම් කළොත්, බැරකම් ගොඩ ගැහෙන එකත් සිදු විය යුතුයි. නැත්නම් ආනයන සිදු වෙන්න විදිහක් නැහැ.

කලින් ලිපියේත් කතා කළ මේ කාරණා ඇසුරෙන් රටවල් තුළ ශුද්ධ වත්කම් හා බැරකම් සමුච්ඡය වෙන්න ජංගම ගිණුමේ ශේෂය බලපාන ආකාරය පැහැදිලි කළ හැකියි. නමුත්, මේ කතාව අංග සම්පූර්ණ නැහැ. ඒ නිසා, කාට හරි එසේ නොවන තැන් හොයාගෙන උදාහරණ ලෙස පෙන්වන්න බැරිකමක් නැහැ. ජංගම ගිණුමේ හිඟයක් තිබෙන රටක් වුනත් ටිකෙන් ටික ධනවත් වෙන අවස්ථා ඇතැම් විට දකින්න පුළුවන්. ඒ වගේම ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගෙනත් ටිකෙන් ටික දුප්පත් වන රටවලුත් තිබෙනවා.

තනි පුද්ගල උදාහරණයට නැවත ගියොත් අපි හැම මාසයේම වැටුපෙන් කීයක් හෝ ඉතිරි කරන පුද්ගලයෙක් ගැන හිතමු. හරිනම් මේ පුද්ගලයා අතේ ටිකෙන් ටික ප්‍රාග්ධනය එකතු විය යුතුයි. නමුත්, කාලයකට පෙර පියා විසින් ඉඩම උගස් කර ලබාගත් ණයක පොලිය ගෙවන්න තිබෙනවානම්, මාසයේ වැටුපෙන් ඉතිරි වන මුදල ගෙවිය යුතු ණය පොලියට වඩා වැඩිනම්, මාස්පතා මුදලක් ඉතුරු කළත් කවදාවත් ධනවතෙක් වෙන්න බැහැ. ඒ වගේම, කිසිම රස්සාවක් නොකර කකා බිබී ඉන්න මනුස්සයෙක්ට වුනත් පරම්පරාවෙන් උරුම වූ දේපොළ විශාල තොගයක් තිබෙනවානම්, ඒ දේපොළ වලින් ලැබෙන ආදායම මාසයකදී වියදම් කරන මුදලට වඩා වැඩිනම් අවසාන වශයෙන් වෙන්නේ මේ පුද්ගලයා තවතවත් ධනවත් වෙන එකයි.

මේ කතා රටවල් වලටත් අදාළයි. ලෝකයට ණය වී සිටින රටවල් වලට ඒ වෙනුවෙන් දිගින් දිගටම පොලී ගෙවන්න වෙනවා. ජංගම ගිණුමේ අතිරික්තයක් තිබුණත් ඒ අතිරික්තය පොලී ගෙවන්න ප්‍රමාණවත් නැත්නම් වෙන්නේ රට ටිකෙන් ටික දුප්පත් වෙන එකයි. ඒ වගේම ජංගම ගිණුමේ හිඟයක් තිබුණත් ලෝකය පුරා තිබෙන වත්කම් වලින් ඊට වඩා පොලී ආදායමක් එනවානම් අවුලක් නැහැ. ඒ නිසා, අපි ලෝකයේ එක් එක් රටවල් වල අනාගතය තේරුම් ගන්නනම් එම රටවල ශුද්ධ වත්කම් හෝ ශුද්ධ බැරකම් තත්ත්වයන් හඳුනාගත යුතුයි.

Table 1: Net IIP (Billions of Dollars)
2014 2015 2016 2017 2018 2019
Japan 2910.5 2715.2 2879.2 2916.6 3080.4 3339.3
Germany 1449.3 1535.1 1696.8 2191.1 2394.6 2747.7
China, P.R.: Mainland 1602.7 1672.8 1950.4 2100.7 2146.1 2124.0
China, P.R.: Hong Kong 870.2 1003.1 1153.8 1421.2 1282.5 1563.1
Norway 710.3 698.5 736.0 883.3 798.8 996.6
Singapore 591.2 647.1 754.1 867.2 769.9 896.0
Switzerland 661.0 650.4 813.3 866.9 889.4 838.7
Saudi Arabia 791.6 689.8 597.3 623.6 631.8 682.8
Canada 27.4 323.2 304.0 586.8 564.5 774.6
Netherlands, The 391.7 367.5 458.0 525.7 626.6 813.4
2014 2015 2016 2017 2018 2019
United States -6945.4 -7461.6 -8192.2 -7743.2 -9554.7 -10991.4
Spain -1202.3 -1043.1 -1004.3 -1191.5 -1104.3 -1035.5
Euro Area -1676.6 -1463.4 -983.8 -1058.0 -610.4 -77.3
Australia -695.2 -673.7 -701.2 -766.8 -718.4 -624.6
Brazil -705.9 -374.7 -566.6 -645.3 -594.3 -731.9
Ireland -380.4 -556.9 -519.3 -596.0 -612.5 -671.1
Mexico -598.6 -600.8 -532.3 -556.5 -591.3 -655.0
Turkey -446.7 -384.0 -368.4 -462.7 -371.6 -352.0
France -407.6 -309.4 -306.3 -456.8 -440.8 -633.6
India -361.5 -368.4 -367.3 -426.7 -433.7 -432.0

Source: IMF

හරියටම සමාන නැති වුනත් දිගින් දිගටම සෘණ ජංගම ගිණුම් ශේෂයක් පවත්වා ගෙන තිබෙන රටවල් බොහොමයක් ලෝකයට ණය වී සිටින බව, එනම් සමස්ත ජාත්‍යන්තර වත්කම් වලට වඩා සමස්ත ජාත්‍යන්තර බැරකම් වැඩි බව පැහැදිලිව දැකිය හැකි දෙයක්. ඒ වගේම කාලයක් තිස්සේ දිගින් දිගටම ධන ජංගම ගිණුම් ශේෂයක් පවත්වා ගෙන තිබෙන රටවල් සතුව ශුද්ධ ලෙස ධන ජාත්‍යන්තර වත්කම් තිබෙන බව පෙනෙනවා.


ශුද්ධ ලෙස ධන ජාත්‍යන්තර වත්කම් ඇති රටවල් අතර පෙරමුණේ ඉන්නේ ජපානය, චීනය, ජර්මනිය වැනි රටවල්. අනිත් ගොඩේ පෙරමුණේම ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදය. උඩ සිතියමේ තැඹිලි පාටින් දැකිය හැකි රටවල් ලෝකයට ණය වී සිටින රටවල්. නිල් පාටින් දැකිය හැක්කේ ණය හිමියන්. මේ මොහොතේ ලෝක භූ දේශපාලන යතාර්ථයන් අවබෝධ කර ගන්න උත්සාහ කරන කෙනෙක් මේ සිතියම මතක තබා ගත යුතුයි.

තෙල් නිධි ඇති රටවල් බොහොමයක් නිල් පාට රටවල් බව කැපී පෙනෙන කරුණක්. එහෙත්, ජපානය, චීනය, ජර්මනිය වැනි රටවල් ඒ ගොඩේ ඉන්නේ එවැනි ස්වභාවික වාසියක් නිසා නෙමෙයි. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදය විශාල ණයකරුවෙකු වී සිටින්නේ අනෙක් තැඹිලි පාට රටවල් ණය කරුවන් වී සිටින හේතු නිසාම නෙමෙයි.

ශුද්ධ විදේශ වත්කම් හෝ බැරකම් හා ජංගම ගිණුමේ ශේෂයට අමතරව රටවල් අතර අනාගත ප්‍රාග්ධන ප්‍රවාහ තීරණය කරන වෙනත් සංකීර්ණ සාධකද තිබෙනවා. චීන-ඇමරිකා සීතල යුද්ධය තේරුම් ගන්න ඒ සාධකත් හැදෑරිය යුතුයි. එහෙත්, ලංකාව ඇතුළු වෙනත් බොහෝ රටවල් හා අදාළව මේ නිල්-තැඹිලි භේදයේ බලපෑම ඉතා පැහැදිලියි.

Monday, July 6, 2020

ප්‍රාග්ධන උගුල: ජයග්‍රාහකයෝ හා පරාජිතයෝ

රටවල් අතර ගනුදෙනු සිදුවන එක අද ඊයේ පටන් ගත් දෙයක් නෙමෙයි. ලංකාව සැලකුවත්, ජාත්‍යන්තර ගනුදෙනු සිදු වෙන්නේ සහශ්‍ර ගණනක සිටයි. එහෙත්, ඉතිහාසයේ කවර කාලයකවත් ලෝකයේ රටවල් අද තරමට ජාත්‍යන්තර ගනුදෙනු වලින් බැඳී සිට නැහැ.

ඉතිහාසය පුරා බොහෝ විට ජාත්‍යන්තර ගනුදෙනු සිදු වුනේ භාණ්ඩ හුවමාරු ලෙසයි. භාණ්ඩ හුවමාරුවකදී ගනුදෙනුව සිදු වුනාට පස්සේ එය එතැනින් ඉවරයි. හුවමාරු කර ගත හැකි දෙයක් තමන් සතුව නැත්නම් බොහෝ විට ගනුදෙනුවක් නැහැ. ඒ නිසා රටවල් අතර වෙළඳාම නෛසර්ගික ලෙසම සමතුලිතයි.

පසුව ගනුදෙනු වලදී මුදල් භාවිතයට ගැනුණා. මුලදී මුදල් වුනේ රන් රිදී වැනි වටිනා ලෝහ. ඒ අනුව භාණ්ඩ සමඟ රන් රිදී හුවමාරු වුනා. ලංකාව වගේ රන් ආකාර නැති රටවලටත් ජාත්‍යන්තර වෙළඳාම හරහා රන් ලැබුණා. ඒ රන් වෙනුවෙන් මොනවා හෝ වෙනත් වටිනා දෙයක් දෙන්න වුනා. මුතු, මැණික්, අලි ඇත්තු, පසුව කුරුඳු. මේ ආකාරයට ලැබෙන රන් වලින් ගෙවා වෙනත් ඇතැම් භාණ්ඩ මිල දී ගත හැකි වුනා. නමුත්, උපයාගත් රන් නැත්නම් භාණ්ඩ මිල දී ගත හැකි නොහැකි නිසා තවදුරටත්  වෙළඳාම නෛසර්ගික ලෙසම සමතුලිතයි.

දැන් ජාත්‍යන්තර වෙළඳාම සිදු වෙන්නේ ඉතිහාසයේ සිදු වුනු තරම් සරල ආකාරයකට නෙමෙයි. එක පැත්තකින් භාණ්ඩ එහා මෙහා වෙද්දී අනික් පැත්තෙන් භාණ්ඩ හෝ රන් එහා මෙහා වෙන්නේ නැහැ. ඒ වෙනුවට බැංකු කිහිපයක ගිණුම් සටහන් කිහිපයක් වැටෙන එකයි වෙන්නේ.

කිසියම් රටක් තවත් රටක් එක්ක ජාත්‍යන්තර වෙළඳාමේ නියැලෙමින් සිදු කරන අපනයන වල වටිනාකම හා ආනයන වල වටිනාකම හැම විටම හරියටම සමාන වෙන්නේ නැහැ. රටක ජංගම ගිණුමේ ශේෂයෙන් මේ වෙනස පිළිබිඹු වෙනවා. කිසියම් රටක් වෙනත් රටක් සමඟ වෙළඳාමේ නියැලෙන හැම විටෙකම ජංගම ගිණුමේ හර ගිණුම් සටහනක් හෝ බැර ගිණුම් සටහනක් වැටෙනවා. මේ සඳහා භාණ්ඩ හුවමාරුවක්ම සිදු විය යුතු නැහැ. සේවා හුවමාරුවක් වුවත් සිදු විය හැකියි. ආර්ථික වටිනාකමක් තිබෙන කවර හෝ දෙයක් වෙනුවෙන් මුදල් ලබා ගැනීමක් සිදු වූ විට එය ජංගම ගිණුමේ සටහන් වෙනවා.

මේ ආකාරයේ ගනුදෙනුවක් හරහා එක පැත්තකින් මුදල් සම්ප්‍රේෂණය වෙද්දී අනෙක් පැත්තෙන් කිසියම් ආර්ථික වටිනාකමක් තිබෙන භාණ්ඩයක් හෝ සේවාවක් සම්ප්‍රේෂණය වන නිසා ගනුදෙනුව එතැනින් අවසානයි. එසේ නොවන ගනුදෙනුත් තිබෙනවා. විදේශ ණයක් ලබා ගැනීම එවැනි ගනුදෙනුවක්. එහිදී ආර්ථික වටිනාකමක් තිබෙන භාණ්ඩයක් හෝ සේවාවක් හුවමාරු වෙන්නේ නැහැ. ඒ නිසා ගනුදෙනුව එතැනින් ඉවර වෙන්නේ නැහැ. මේ මොහොතේ සිදු වෙන්නේ ගනු කොටස පමණක් නිසා දෙනු කොටස අනාගතයට ඉතිරි වෙනවා. මේ ආකාරයේ ගනුදෙනු ජංගම ගිණුමේ සටහන් වෙන්නේ නැහැ. ජංගම ගිණුමේ සටහන් නොවෙන ඉහත ආකාරයේ ගනුදෙනු සටහන් වෙන්නේ මූල්‍ය හා ප්‍රාග්ධන ගිණුමේ.

කිසියම් රටක් වෙනත් රටක් සමඟ කරන වෙළඳාමේදී ජංගම ගිණුම සමතුලිත විය යුතුම නැහැ. එහි ධන හෝ සෘණ ශේෂයක් තිබෙන්න පුළුවන්. එය ප්‍රශ්නයක් නෙමෙයි. එහෙත්, ලෝකයේ අනෙක් හැම රටක් එක්කම කරන ගනුදෙනු වලින් පසුව ජංගම ගිණුමේ ශේෂයක් ඉතිරි වෙනවානම් එහි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ලංකාව ඇමරිකාව හා යුරෝපය එක්ක කරන ගනුදෙනු වලදී ලංකාවට වාසිදායක ධන ජංගම ගිණුම් ශේෂයක් ඉතිරි වෙනවා. අනෙක් අතට ඉන්දියාව හා චීනය එක්ක කරන ගනුදෙනු වලදී ලංකාවට අවාසිදායක සෘණ ජංගම ගිණුම් ශේෂයක් ඉතිරි වෙනවා. මේ ධන ශේෂය හා සෘණ ශේෂය එකිනෙකින් සමතුලිත වෙනවානම් අවසාන වශයෙන් ජංගම ගිණුම සමතුලිතයි.


කිසිම රටක ජංගම ගිණුම් ශේෂය කිසියම් වසරක් ඇතුළත හරියටම සමතුලිත වෙන්නේ නැහැ. භාණ්ඩ හෝ රන් හුවමාරු නොවන ජාත්‍යන්තර වෙළඳ ක්‍රමයකදී ලොකු අහම්බයකින් මිසක් එහෙම වෙන්න විදිහක් නැහැනේ. පොඩි ශේෂයක් හෝ ඉතිරි වෙන්න ඕනෑනේ. ඉහත සිතියමේ පෙන්වා තිබෙන්නේ 2017 වසරේදී ලෝකයේ රටවල් වල ජංගම ගිණුමේ ශේෂය හිඟයක්ද අතිරික්තයක්ද කියන එකයි. 2017න්  පසුව බොහෝ රටවල සංඛ්‍යාලේඛණ යාවත්කාලීන වී නැති නිසයි 2018 හෝ 2019 වෙනුවට 2017 ගත්තේ.

කිසියම් වසරකදී ජංගම ගිණුමේ පොඩි ශේෂයක් ඉතිරි වීමත් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. දිගුකාලීනව ගිණුම සමතුලිතනම් කිසියම් වසරක ශේෂය සමතුලිත නොවීම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ලෝකයේ ඇතැම් රටවල් ඒ විදිහට තමන්ගේ ජංගම ගිණුම දිගුකාලීනව සමතුලිත ලෙස පවත්වා ගන්නවා. ඒ වුනත්, එය සාමාන්‍ය තත්ත්වය නෙමෙයි. ඇතැම් රටවල් විසින් දිගින් දිගටම ධන ජංගම ගිණුම් ශේෂයක් පවත්වා ගැනීමත්, තවත් ඇතැම් රටවල් විසින් දිගින් දිගටම සෘණ ශේෂයක් පවත්වා ගැනීමත් අපට නිරීක්ෂණය වන සාමාන්‍ය තත්ත්වයයි.

Table 1: Current Account Balance (Billions of US Dollars)
2012 2013 2014 2015 2016 2017 2018
Germany 251.6 245.4 278.7 288.6 295.1 287.2 293.1
Japan 60.1 46.4 36.4 136.5 197 203.2 176.1
China, P.R.: Mainland 215.4 148.2 236 304.2 202.2 195.1 25.5
Netherlands, The 89.5 85.5 76 48.5 62.9 90.2 99.1
Korea, Rep. of 48.8 77.3 83 105.1 97.9 75.2 77.5
Singapore 52.1 48.3 56.5 57.6 56.2 55.6 64.1
Italy -5.1 24 40.1 25.4 48.4 51.4 51.5
Thailand -4.9 -8.8 11.6 27.8 43.4 44 28.5
Switzerland 71.3 79.7 60.6 76.6 66.2 43.6 57.9
Spain 0.7 27.6 22.7 24.1 39.3 35.6 27.3
2013 2014 2015 2016 2017 2018 2019
United States -348.8 -365.2 -407.8 -428.3 -439.6 -491 -498.3
United Kingdom -132.9 -144.6 -143.6 -141.8 -93 -110.2 -106.9
Canada -58.1 -41.9 -54.7 -47.3 -46.4 -43 -35.4
Turkey -55.9 -38.8 -27.3 -26.8 -40.6 -20.7 8.7
India -49.1 -27.3 -22.5 -12.1 -38.2 -65.6 -26.9
Australia -47.9 -43.4 -57 -41 -35.8 -29.3 7.1
Argentina -13.1 -9.2 -17.6 -15.1 -31.2 -27.3 -3.5
Algeria 1.2 -9.3 -27 -26.2 -22.1
Mexico -31.5 -25.4 -31 -24.3 -20.5 -23 -2.4
France -24.4 -37.4 -9.1 -12.2 -16.5 -19 -18.5

Source: IMF

වෙනත් විදිහකින් කිවුවොත් හැම රටකම ජංගම ගිණුමේ අහම්බෙන් පොඩි ශේෂයක් පමණක් ඉතිරි වෙනවානම් ඉහත සිතියමේ පාට වසරින් වසර අහඹු ලෙස මාරු විය යුතුයි. නමුත්, එහෙම වෙන්නේ නැහැ. 2018 හෝ 2019 වසර වල සිතියම බැලුවොත් පාට මාරු වී තිබෙන්නේ ඉතාම සුළු රටවල් ගණනක පමණයි. ලංකාවේ ජංගම ගිණුම් ශේෂය දිගින් දිගටම සෘණ. ඇමරිකාව හෝ එක්සත් රාජධානිය ගත්තත් එහෙමයි. අනෙක් පැත්තෙන් ජර්මනිය, ජපානය, චීනය, දකුණු කොරියාව, සිංගප්පූරුව වගේ රටවල දිගින් දිගටම දැකිය හැක්කේ ධන ජංගම ගිණුම් ශේෂයක්.

මේ ආකාරයේ ජංගම ගිණුම් අසමතුලිතතා දිගින් දිගටම පවතිනවා කියන එකෙන් අදහස් වෙන්නේ ජාත්‍යන්තර වෙළඳාමේදී ප්‍රාග්ධනය ගලා යන නිශ්චිත රටාවක් තිබෙනවා කියන එකයි. ඒ කියන්නේ සෑම වසරකම ජර්මනිය, ජපානය, චීනය, දකුණු කොරියාව වගේ රටවල කිසියම් අතිරික්ත ප්‍රාග්ධනයක් එකතු වෙනවා. ලංකාව, ඉන්දියාව, ඇමරිකාව, එක්සත් රාජධානිය වගේ රටවල ප්‍රාග්ධනය ක්‍රමයෙන් ක්ෂය වෙනවා. මෙවැන්නක් වෙන්න පුලුවන්ද?

කිසියම් රටක ජංගම ගිණුම අසමතුලිතනම් එම අසමතුලිතතාව මූල්‍ය හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය හරහා සමතුලිත විය යුතුයි. වෙනත් විදිහකට කිවුවොත් ජංගම ගිණුමේ හිඟයක් තිබෙන රටවල් යම් ආකාරයකින් ඒ හිඟය පියවාගෙන තිබිය යුතුයි. එහෙම නැත්නම් වෙළඳාමක් සිදු වී තිබෙන්නේ බැහැනේ.

ජංගම ගිණුමේ හිඟයක් තිබෙන රටකට ඒ හිඟය පියවා ගන්න වෙන්නේ විදේශ ණය අරගෙනයි. එය එකම ක්‍රමය නෙමෙයි. සෘජු විදේශ ආයෝජන, දේශීය සම්පත් විකිණීම වගේ තවත් ක්‍රමත් තිබෙනවා. මේ හැම අවස්ථාවකම සිදු වෙන්නේ රට ඇතුළේ තිබෙන වත්කම් වල අයිතිය විදේශිකයින්ට හිමි වීමක්. මේ ආකාරයේ ගනුදෙනු සටහන් කරන්නේ මූල්‍ය හා ප්‍රාග්ධන ගිණුමේ.

මූල්‍ය හා ප්‍රාග්ධන ගිණුමේ සටහන් වන ගනුදෙනු එතැනින් කෙළවර වන ගනුදෙනු නෙමෙයි. විදේශ ණය, දේශීය සම්පත් විකිණීම, සෘජු විදේශ ආයෝජන වගේ මොන ක්‍රමයකින් විදේශ ප්‍රාග්ධනය ලබා ගත්තත් අවසාන වශයෙන් සිදු වෙන්නේ අනාගතයේදී රටින් පිටතට ප්‍රාග්ධනය ගලා යන මාර්ගයක් විවෘත වෙන එකයි. අනෙක් අතට ණය දෙන, සෘජු විදේශ ආයෝජන කරන, විදේශ සම්පත් මිල දී ගන්න රටවලට අනාගතයේදී දිගින් දිගටම ආදායමක් ලැබිය හැකි, ප්‍රාග්ධනය ගලා එන මාර්ගයක් විවෘත වෙනවා. මේ වැඩේ කරන්න පුළුවන් වෙන්නේ දිගින් දිගටම ජංගම ගිණුමේ ශේෂයක් පවත්වා ගනිමින් ප්‍රාග්ධනය එක් රැස් කර ගෙන සිටින රටවලටයි.

අවසාන වශයෙන් වෙන්නේ ජංගම ගිණුමේ අතිරික්තය ප්‍රාග්ධන උල්පතක් බවට පත් වී දිගින් දිගටම තවත් ප්‍රාග්ධනය උපයන්න පටන් ගන්න එකයි. මේ ආකාරයේ ප්‍රාග්ධන ආයෝජන ප්‍රමාණවත් තරමට ඇත්නම් පසුකාලීනව ජංගම ගිණුම් ශේෂය හිඟයක් වුනත් ප්‍රශ්නයක් නැහැ. මොකද ජංගම ගිණුමේ හිඟය පියවා ගත හැකි ආදායමක් ලබා දෙන වත්කම් රටෙන් පිට තිබෙන නිසා ඒ වෙනුවෙන් කාගෙන්වත් ණය ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා, අවසාන වශයෙන් වැදගත් වෙන්නේ කිසියම් රටකට රටින් පිටත තිබෙන වත්කම් හා බැරකම් මොනවාද කියන එකයි.

රටින් පිටත ආදායම් උපදවන වත්කම් ඇති රටවල් ලෝක ණය හිමියෝ. ඒ වගේම රටින් පිටතට බැරකම් ඇති රටවල් ලෝක ණයකරුවෝ. ලෝකයේ සෑම රටකම ජංගම ගිණුම් සමතුලිතව තිබුණත් ශුද්ධ ජාත්‍යන්තර වත්කම් ඇති රටවලට දිගින් දිගටම ප්‍රාග්ධනය ගලා එනවා. ඒ රටවල් එන්න එන්නම පෝසත් වෙනවා. ශුද්ධ ජාත්‍යන්තර බැරකම් ඇති රටවල් දිගින් දිගටම දුප්පත් වෙනවා. ඒ රටවල් වලින් ප්‍රාග්ධනය දිගින් දිගටම පිටතට ගලා යනවා.

ශුද්ධ ජාත්‍යන්තර වත්කම් ඇති රටක් තව දුරටත් ජංගම ගිණුම් අතිරික්තයක් පවත්වා ගන්නවානම් ක්‍රම දෙකකින්ම ආදායම් එනවා. ඒ වගේම ශුද්ධ ජාත්‍යන්තර බැරකම් ඇති රටක් තව දුරටත් ජංගම ගිණුම් හිඟයක් පවත්වා ගන්නවානම් ක්‍රම දෙකකින්ම ප්‍රාග්ධනය ක්ෂය වෙනවා. මේ තත්ත්වයන් වසරින් වසර කළමනාකරණය කරන්න යාමේදී සිදු වෙන්නේ ශුද්ධ ජාත්‍යන්තර බැරකම් තවත් ඉහළ ගොස් ප්‍රාග්ධනය වඩා වේගයෙන් ක්ෂය වෙන එකයි. කොයි ආකාරයකින් හෝ මේ චක්‍රයෙන් මිදුනේ නැත්නම් තාවකාලිකව කවර ආශ්චර්යයන් පෙනෙන්න තිබුණත් දිගුකාලීනව රට යන්නේ වල පල්ලටයි.

ජපානය, චීනය, සිංගප්පූරුව, ජර්මනිය වගේ රටවල් මේ චක්‍රයෙන් මිදී සිටිනවා වගේම වෙනත් රටවල් මේ චක්‍රයේ සිර වී සිටීමේ වාසියද ලබා ගන්නවා. ලංකාව දිගින් දිගටම මේ උගුලේ සිර වෙමින් සිටිනවා. කෝවිඩ් වසංගත කාලය මේ ගැන ගැඹුරින් සිතා ක්‍රියාත්මක වීමට සුදුසුම කාලයක්!

Friday, February 21, 2020

ආච්චම්මගේ කඩේ


“සට ඉඳි තීනව දෙන්නං. එව්ව පොලෙං ගෙනාව කියන්න පුලුවන්නෙ“

මං අහනව.

“කීයද?“

“දෙසිය පනහක් පාලොහයි“

ග්‍රෑ. 250 ක්
13 යි

කියල ලියල තියෙන කොලේ වැහෙන්න හිටගෙන මම කියනව. ඉං පස්සෙ කාටත් නොපෙනෙන්න ඒ කොලේ රටඉඳි කවරෙ අස්සට දානව.

“හෙනං එයිං දෙසිය පනහක් දෙන්න“

මං රට ඉඳි දෙසිය පනහක් කිරල එයාට දීල රුපියල් පාලොවක් ගන්නව. ඒ සල්ලි ලාච්චුවට දාල හිස් සිකරට් පැකට් කොල කෑල්ලක් අරං ඒකෙ 2 ඉලක්කම ලියල සාක්කුවට දාගන්නව. 

යාං හෑල්ලේ ලියා තිබුණු "යස මාටියා ගැහිල්ලක්" ගැන ඩ්‍රැකී විසින් අවධානය යොමු කරවලා තිබුණා. සුරංගට වරින් වර ආච්චම්මගේ කඩේ පාර්ට් ටයිම් එකක් කරන්න ලැබෙනවා. ඒ වගේ වෙලාවල් වලදී ඔහු තමන්ට ඒ වෙනුවෙන් ලැබෙන දවසේ වැටුපට අමතරව තවත් ගාණක් හොයා ගන්න ක්‍රමය තමයි ඕක.

කඩේ විකුණන බඩු වලට එහි බලධාරියා වන ආච්චම්මා විසින් නියම කළ මිලක් තිබෙනවා. සුරංග ඒ මිලට වඩා අඩුවෙන් කාටවත් බඩු විකුණන්නේ නැහැ. බඩු නිකම් දෙන්නේත් නැහැ. ඔහු කරන්නේ කීයක් හෝ වැඩියෙන් බඩු විකුණා ඒ අමතර මුදල සාක්කුවට දා ගන්න එකයි.

බැලූ බැල්මටම මෙහි වංචාවක් තිබුණත්, වංචාවේ පාඩුව ආච්චම්මාට නොවන බවකුත් පේනවා. සුරංග ආච්චම්මාගේ නියෝජිතයා මිසක්, කඩේට බඩු ගන්න එන පාරිභෝගිකයින්ගේ නියෝජිතයෙක් නෙමෙයි. ඒ නිසා, පාරිභෝගිකයින් වෙනුවෙන් සාධාරණය ඉටු කිරීමේ වගකීමක් ඔහුට නැහැ. ඒ කියන්නේ මේ වැඩේ වැරැද්දක් නැද්ද?

මෙහි ආච්චම්මාට සිදු වන සෘජු පාඩුවක් පේන්න නැතත්, වක්‍ර පාඩුවක් තිබෙනවා. සුරංග කරන වැඩේ නිසා ටික කලක් යද්දී ආච්චම්මගේ කඩේ බඩු මිල අධික බව ඇතැම් පාරිභෝගිකයින්ට තේරුම් යනවා. එවිට, ඔවුන් ආච්චම්මගේ කඩේ මග හැර අනෙක් කඩේට යනවා. ආච්චම්මගේ කඩේ වෙළඳාම් අඩු වෙනවා. ආච්චම්මගේ කඩේට ඒ පාඩුව වෙන්නේ සුරංග නිසා.

නියෝජිතයෙකුගේ යුතුකම වන්නේ තමන්ට පවරනු ලැබූ වගකීම ප්‍රධානියා විසින් අපේක්ෂා කරන ආකාරයෙන් ඉටු කිරීමයි. ආච්චම්මා බලාපොරොත්තු වෙන්නේ තමන් විසින් නියම කර තිබෙන මිලටම බඩු විකුණයි කියලනම් සුරංග ඒ මිලට වඩා වැඩියෙන් හෝ අඩුවෙන් බඩු විකිණීම වැරදියි. එය විශ්වාසය කඩ කිරීමක්. තමන්ට ගෙවන වැටුපට සාධාරණය ඉටු නො කිරීමක්. වංචාවක්!

ඔය වගේ දෙයක් සිදු වුනට පස්සේ ආච්චම්මා සුරංගගේ වැඩ තහනම් කරලා සිදු වුනු පාඩුව ගැන වෝහාරික විගණනයක් කළා කියා හිතමු. දැන් මේ විගණනය කරන අයට කඩෙන් බඩු ගත් පාරිභෝගිකයින් කැඳවා ඔවුන්ගෙන් සාක්ෂි විමසා සුරංග මාටියා ගැසූ මුදල හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ මුදල සුරංග විසින් වංචා කළ මුදල ලෙස ඇස්තමේන්තු කරන්න පුළුවන්. විගණනයේ හා ගිණුම්කරණයේ සම්මත අනුව මේ වගේ ඇස්තමේන්තු කිරීම් සිදු වෙනවා.

මේ වගේ විගණන ඇස්තමේන්තුවක බැලු බැල්මටම වැරැද්දක් පේනවා. දැන් ඔය කියන මුදල සුරංග විසින් වංචා කර තිබුණත්, එසේ කිරීම නිසා ආච්චම්මගේ කඩේට පාඩුවක් වෙලා නැහැ. විකුණූ බඩු වෙනුවෙන් ලැබිය යුතු ආදායම අන්තිම සතේට නිවැරදිව ලාච්චුවේ තිබෙනවා. ඒ නිසා, විගණන වාර්තාව අනුව කඩේට කිසිම පාඩුවක් වී නැති බව නිගමනය වී තියෙන්නත් පුළුවන්.

විගණනයේදී පාඩුවක් ගණනය කරන්න වෙන්නේ වෙනත් විකල්පයකට සාපේක්ෂවයි. කියපු මිලටම බඩු විකිණීමට සාපේක්ෂව බැලුවොත් මේ වගේ විගණනයකින් පෙනෙනු ඇත්තේ ආච්චම්මගේ කඩේට කිසිදු පාඩුවක් සිදු වී නැති බවයි. විගණනයේදී හොයාගත්, සුරංග විසින් ලැබූ අයුතු ලාබය ආච්චම්මගේ කඩේට සිදු වූ අලාභය ලෙස සැලකුවොත් එයින් අදහස් වන්නේ එම මුදල ආච්චම්මගේ කඩේ ලාබයට එකතු වීමේ විකල්පයක් තිබුණු බවයි. වෙනත් විදිහකින් කිවුවොත්, විකල්ප තත්ත්වයන් යටතේදී සුරංග බඩු වැඩි මිලට විකිණීම නිවැරදි බව හා එසේ විකුණා ලැබෙන අමතර මුදල ආච්චම්මගේ කඩේ ලාච්චුවටම දැමිය යුතුව තිබුණු බවයි.

මේ දෙවැන්න දැඩි උපකල්පනයක් වුවත් ඇතැම් විට නිවැරදි එකක් වෙන්නත් බැරිකමක් නැහැ. එය තීරණය වන්නේ ආච්චම්මා තමන්ගේ නියෝජිතයා වෙත පැවරූ වගකීම කුමක්ද කියන එක මතයි. ආච්චම්මා සුරංගට පැවරූ වගකීම ලේබල් කළ මිලට බඩු විකිණීමද එසේ නැත්නම් හැකි උපරිම මිලට බඩු විකිණීමද? එය දෙවැන්නනම් මෙහිදී සුරංග මාටියා ගැසූ මුදල ආච්චම්මගේ කඩේට සිදු වූ පාඩුව ලෙස සැලකීම නිවැරදියි. එහෙත්, ආච්චම්මා බලාපොරොත්තු වුනේ කියපු ගාණට බඩු විකුණන එකනම්, මේ දෙක අතර එවැනි සෘජු සමබන්ධයක් නැහැ. ඒ වගේ වෙලාවක විගණන වාර්තාව අනුව, මාටියා ගැසීමක් සිදු වී තිබුණත්, ආච්චම්මගේ කඩේට පාඩුවක් සිදු වී නොතිබෙන්න පුළුවන්. හැබැයි ආර්ථික විද්‍යා මූලධර්ම අනුවනම් එහෙම කියන එක වැරදියි.

ආර්ථික විද්‍යා මූලධර්ම අනුව පාඩුව ගණනය කළ යුත්තේ "ප්‍රතිපරිසිද්ධික (counterfactual) තත්ත්වයට" සාපේක්ෂවයි. ඒ නිසා, මුලින්ම මේ ප්‍රතිපරිසිද්ධික තත්ත්වය කුමක්ද කියන එක නිරවුල් කර ගත යුතුයි. ආච්චම්මා බලාපොරොත්තු වුනේ කියපු ගාණට බඩු විකුණන එකනම්, එසේ නොකිරීම නිසා සිදුව තිබෙන පාඩුව කඩේට පාරිභෝගිකයින් පිරිසක් නැති වීමයි. මෙය ආවස්ථික පිරිවැයක්. ලැබිය හැකිව තිබුණු ලාබයක් අහිමි වීමක්.

සාමාන්‍යයෙන් විගණනයකදී මේ ආකාරයේ පාඩු ගණනය කරන්නේ නැහැ. විගණන හෝ ගිණුම්කරණ සම්මත යොදාගෙන එය කරන්නත් අමාරුයි. කඩේට පැමිණි පාරිභෝගිකයින්ගෙන් සාක්ෂි විමසීම අමාරුවෙන් හෝ කළ හැකි දෙයක් වුවත්, කඩේට නොපැමිණි එහෙත් පැමිණිය හැකිව තිබුණු පාරිභෝගිකයින්ගේ සාක්ෂි විමසීම ප්‍රායෝගිකව ඉතා අසීරු වැඩක්. ඒ නිසා, පාඩුව ඇස්තමේන්තු කිරීමත් ඉතා අසීරු වැඩක්.

මෙය කළ හැකි සංඛ්‍යානමය/ ආර්ථිකමිතික ක්‍රමවේද තිබෙනවා. එහෙත්, ඒවා විගණනයකදී හෝ වෝහාරික විගණනයකදී යොදා ගන්නා සරල මූලධර්ම වලට වඩා ගොඩක් සංකීර්ණයි. සංකීර්ණ තාක්ෂණික වංචාවක පාඩුව ගණන් බැලීම සඳහා සරල විගණන මූලධර්ම යොදාගත් විට ලැබෙන ප්‍රතිඵලය විශ්වාසනීය එකක් නෙමෙයි. මේ උදාහරණයේදී ආච්චම්මගේ කඩේට කිසියම් පාඩුවක් අනිවාර්යයෙන්ම සිදු වී තිබිය යුතුයි. එහෙත්, එම පාඩුව සුරංග මාටියා ගැසූ මුළු මුදලට, ඒ කියන්නේ සුරංග විසින් ලැබූ "අධික ලාබයට" සමාන වීමට හේතුවක් නැහැ.

දැන් අපි හිතමු ආච්චමමා සුරංගගෙන් බලාපොරොත්තු වුනේ වඩා "වෘත්තීය" කාර්යයක් කියලා. ඒ කියන්නේ, ලේබල් වල ගාණ කීය වුනත් කඩේ ලාබ වැඩි කරන එක කියලා. එහෙමනම්, ඔහු අවස්ථාව අනුව බඩු වැඩි මිලට හෝ අඩු මිලට විකිණීමේ වැරැද්දක් නැහැ. වැරැද්ද ඔහු එසේ නොකරන්නේනම්.

ඒ විදිහට බැලුවොත් සුරංගගේ මාටියා ගැසීම සෘජුවම ආච්චම්මගේ කඩේට කරපු වංචාවක්. යම් හෙයකින් ඔහු ඒ වංචාව නොකර අමතර මුදලත් කඩේ ලාච්චුවටම දැම්මා කියා හිතමු. ඒ තත්ත්වය යටතේ වුවත් කඩේට පාරිභෝගිකයින් නැති වී පාඩුවක් වෙන්න පුළුවන්. හැබැයි එය සුරංග විසින් කඩේට ලාබ වැඩි කර ගන්න කටයුතු කිරීමේදී සිදු වූ අහිතකර ප්‍රතිඵලයක් නිසා එය සුරංගගේ වැරැද්දක් කියා කියන්න බැහැ. අන්තිමේදී කඩේ වහන්න වෙන්නත් පුළුවන්. එයට හේතුව කළමනාකරුවෙකු ලෙස සුරංගගේ අදක්ෂතාවය විය හැකියි. එහෙත්, එහිදී ඔහු වංචාවක් කර නැහැ. පාඩු කියන්නේ හැම විටම වංචා නෙමෙයි.

(Image credit: https://ankierenique.files.wordpress.com/2014/11/kadeold.jpg)

Thursday, March 10, 2016

බොරු, පට්ටපල් බොරු හා සංඛ්‍යාලේඛණ


ගිණුම්කරණ සම්මතයන්ගේ ඇති අවිනිශ්චිතතාවන් උපයෝගී කරගෙන සැබෑ ලෝකයේ යම් නිශ්චිත ආකාරයකින් සිදුවන දෙයක් වෙනස් ආකාර කිහිපයකින් වාර්තා කිරීමේ යම් හැකියාවක් පවතී. පහත උදාහරණය සලකමු.

සිරිපාල කිසියම් රැකියාවක් කර මසකට රුපියල් 20,000ක ආදායමක් ලබයි. ඔහුගේ මාසික වියදම රුපියල් 30,000කි. මේ දෙක අතර ඇති අඩුව පුරවා ගැනීමට සිරිපාලට මාස්පතා වැඩි වැඩියෙන් ණය ගැනීමට සිදුවේ. ආදායම වැඩියෙන් පෙන්විය හැකිනම් ණය ගැනීම වඩා පහසුය.

ඉහත දත්ත අනුව සිරිපාලගේ අයවැය හිඟය රුපියල් 10,000කි. ඔහුගේ ආදායමේ ප්‍රතිශතයක් ලෙස එය 50%කි.

සිරිපාල ජීවත් වන්නේ දෙමවුපියන්ගෙන් ලැබුණු නිවසේය. මේ නිවස කුලියට දුන්නොත් ඔහුට මසකට රුපියල් 10,000ක් ලබාගත හැකිය. එමෙන්ම, ඔහු එවැනි නිවෙසක් කුලියට ගත්තොත් ඔහුට මසකට රුපියල් 10,000ක් ගෙවන්නට වනු ඇත. ඒ නිසා, සිරිපාලගේ පරිභෝජන වියදම රුපියල් 30,000ක් කීම නිවැරදි නැත. අයිතිය තමන්ටම වුවත් නිවසේ සිටීම මඟින් සිදුකරන පරිභෝජනයද සැලකුවහොත්, ඔහු ඇත්තටම රුපියල් 40,000ක් වටිනා භාණ්ඩ හා සේවා පරිභෝජනය කරයි. එමෙන්ම, ඔහුට තමාගේ දේපල වලින් (නිවසෙන්) කුලිය ලෙස මසකට තවත් රුපියල් 10,000ක ආදායමක්ද ලැබේ. ඒ අනුව, සිරිපාලගේ මුළු ආදායම රුපියල් 30,000කි.

මෙහිදී ඇත්තටම සිදුවන්නේ සිරිපාල විසින් ඔහුට අයිති දේපල එහි වෙළඳපොළ වටිනාකමට ඔහුටම කුලියට දුන් සේ සැලකීමයි. එසේ සැලකීම හෝ නොසැලකීම මත ඔහුගේ සැබෑ ජීවන තත්ත්වයේ කිසිදු වෙනසක් වුනේ නැත. එහෙත්, ඔහුගේ "අයවැය හිඟය" දැන් ආදායමේ ප්‍රතිශතයක් ලෙස 50% සිට 33.3% දක්වා අඩු වී තිබේ.

සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කිරීමේදී තාක්ෂණිකව වැරදි නොවන මෙවැනි 'විජ්ජා' කිරීමට පුළුවන. ඒ විජ්ජා සංකීර්ණ වූ විට බොහෝ දෙනෙකුට යම් අවුලක් ඇඟට දැනුණත් සිදුවුනේ කුමක්ද කියා හරියටම මීටර් වෙන්නේ නැත. මෙවැනි සමහර සංඛ්‍යාලේඛණ විජ්ජානම් අතේ මාට්ටු වෙන ඒවාය. එහෙත්, ඒවා වුවත් කෙනෙකුට පෙනෙන්නේ විමසිලිමත් වුවහොත් පමණි.

පැරා විසින් රාවය පුවත්පතෙන් උපුටාගෙන පළ කර ඇති මේ සංඛ්‍යාලේඛණ අනුව, 2016 සඳහා ඇස්තමේන්තු කර ඇති අමාත්‍යංශ සියල්ලේ මුළු වියදම රුපියල් බිලියන 1,661 සිට රුපියල් බිලියන 2,128 දක්වා 28%කින් වැඩි වී ඇත. රජයේ වියදම් ගැන කතා කරන විට බොහෝ දෙනා කතා කරන්නේ අධ්‍යාපනය හා සෞඛ්‍යය ගැනය. අනෙක් කේෂ්ත්‍ර වලට සාපේක්ෂව අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා කෙරෙන වියදම් ගැන බොහෝ දෙනාගේ ඇත්තේ ධනාත්මක අදහසකි.

ඉහත සංඛ්‍යාලේඛණ අනුව, 2015 වසරට සාපේක්ෂව අධ්‍යාපනය සඳහා වන ප්‍රතිපාදන 45%කින්ද, සෞඛ්‍යය සඳහා වන ප්‍රතිපාදන 29%කින්ද ඉහළ දමා ඇති අතර සියළු අමාත්‍යාශ වල මුළු වියදමෙන් පිළිවෙලින් 16%ක් හා 11%ක් වෙන් කර ඇත්තේ අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙනි. මේ අනුව, 2016 වසර තුළ අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍ර වල සැලකිය යුතු දියුණුවක් ඇතිවෙනු ඇතැයි යමෙකුට අපේක්ෂා කළ හැකිය.

ඇත්තටම එහෙම වෙයිද? 

මෙය තීරණය වන්නේ මේ වියදම් වැඩි කර ඇත්තේ කවර අනු අංශයන් යටතේද යන්න මතය. මුදල් අමාත්‍යාංශ වෙබ් අඩවියේ මේ වන විටත් ඇති අයවැය ඇස්තමේන්තු සැලකිල්ලෙන් පරීක්ෂා කළහොත් පිළිතුර සොයාගැනීම අපහසු නැත.

අධ්‍යාපනය සඳහා රජය විසින් වැයකෙරෙන මුළු මුදල අමාත්‍යංශ කිහිපයක් අතර බෙදී යයි. මේ අතරින් විශාලම ප්‍රතිපාදන වැඩිවීම පෙනෙන්නට ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශ වැය ශීර්ෂය යටතේය. එම අමාත්‍යාංශයට 2015දී වෙන් කළ රුපියල් මිලියන 62,134ක මුදල 2016දී රුපියල් මිලියන 185,975 දක්වා තෙගුණයකින් වැඩිකර තිබේ. මෙය ඉතා විශාල වැඩි වීමකි. අධ්‍යාපනය සඳහා වැඩිපුර වෙන්කළ ප්‍රතිපාදන වලින් වැඩි කොටසක් ඇත්තේ මෙතැනය.

කෙසේ වුවද, එක් එක් අනු අංශ පිරික්සීමේදී කොතැනකවත් එවැනි විශාල වැඩි වීමක් පෙනන්නට නැත. එසේනම්, මේ වැඩිවීම සිදුවුනේ කෙසේද?

2106 අයවැය ඇස්තමේන්තු වෙළුම 2 පිටුව 217 වෙත ගිය විට රහස හමු වේ.

http://www.treasury.gov.lk/images/depts/nbd/docs/budgetestimates/2016/approved/sin/bdgtestmates2016S-vol2.pdf

2016 ප්‍රතිපාදන වෙන් කිරීම් වල 2015දී නොතිබුණු අළුත් කැටගරියක් තිබේ. මේ කැටගරිය නම් කර ඇත්තේ "රාජ්‍ය ආයෝජන පවත්වාගෙන යාමේ පිරිවැය- ඉඩම් හා ගොඩනැගිලි" යනුවෙනි. අධ්‍යාපන අමාත්‍යංශයට වෙන්කර ඇති රුපියල් මිලියන 185,976 ක මුදලින් රුපියල් මිලියන 121,976ක්ම ඇත්තේ ඇත්තේ මේ අළුත් කැටගරිය යටතේය. ඒ මුදල ඉවත් කළහොත් ඉතිරි වන්නේ රුපියල් මිලියන 64,626ක් පමණි. මේ මුදල 2015 ගණන වූ රුපියල් මිලියන 62,624ට වඩා වැඩි වන්නේ යාන්තමිනි.

එතකොට මොකක්ද මේ අළුත් කැටගරිය?

දිවයින පුරා පවත්වාගෙන යන රජයේ පාසැල් 10,121ක් සතුව සැලකිය යුතු ඉඩම් හා ගොඩනැගිලි ප්‍රමාණයක් තිබේ. මේ ඉඩම් හා ගොඩනැඟිලි වෙන කාට හෝ කුලියට දුන්නොත් රජයට විශාල මුදලක් උපයා ගන්නට පුළුවන. එසේ කිරීමට නොහැකි වී තිබෙන්නේ ඒ ඉඩම් හා ගොඩනැගිලි පාසැල් සඳහා ප්‍රයෝජනයට ගන්නා (හෝ නොගන්නා) නිසාය. එසේනම්, මෙය අධ්‍යාපනය සඳහා වැය කෙරෙන වියදමකි.

අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂයට එකතු වූ ආකාරයෙන්ම මේ කැටගරිය සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය ශිර්ෂයටද එකතු කර තිබේ. (2016 අයවැය ඇස්තමේන්තු වෙළුම 1 පිටුව 299 බලන්න.)

http://www.treasury.gov.lk/images/depts/nbd/docs/budgetestimates/2016/approved/sin/bdgtestmates2016S-vol1.pdf

සෞඛ්‍ය අමාත්‍යාශයේ පිරිවැයද 2015දී වූ රුපියල් මිලියන 148,184 සිට රුපියල් මිලියන 174,078 දක්වා වැඩි කර ඇත්තේ ඉහත කැටගරිය යටතේ රුපියල් මිලියන 17,878ක් එකතු කිරීමෙනි. එය ඉවත් කළ විට ඉතිරි වන්නේ සුළු වැඩි වීමක් පමණි.

රජයට ස්මාර්ට් විසඳුම් නැතැයි ඇතැම් අය කියති. එහෙත්, මේ තරම් සරල ස්මාර්ට් විසඳුමක්නම් මා දැක ඇති බවක් මතක නැත.

මා පාසැල් යන කාලයේ අපේ පාසලේ පැත්තකද දම් කැලයක් තිබුණේය. දැනටත් බොහෝ ග්‍රාමීය පාසැල් සතුව මෙවැනි ඉඩම් තිබෙනවා විය හැකිය.  අධ්‍යාපනයට වැය කරන වියදම් තවත් මදිනම් දැන් කරන්නට ඇත්තේ මේ ඉඩකඩම් සඳහා අය කරන කුලිය වැඩි කර එය නොගෙන සිටීම පමණි.

මෙහිදී සිදුවී ඇත්තේ ගිණුම්කරණ සම්මත වෙනස්වීමක් නොවේ. හිතාමතාම සිදු කළ සංඛ්‍යාලේඛණ විජ්ජාවකි. එය ගිණුම්කරණ ක්‍රමවේදයේ සිදුවූ වෙනසක්නම් අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශ වල වැය ශීර්ෂ වලට පමණක් බලපෑමට හේතුවක් නැත. වනජීවී, ආරක්ෂක වැනි අමාත්‍යාංශ යටතේද විශාල රජයේ දේපල ප්‍රමාණයක් තිබේ.

පැරා විසින් උපුටාගත් රාවය සංඛ්‍යාලේඛණ පිළියෙළ කළේයැයි මා සිතන අහිලන් කදිරගාමර්ටනම් මෙය අසු වී නැත. අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් ප්‍රතිපාදන වැඩි කර තිබීම ඔහු විසින් බොහෝ තැන්වල අගය කර තිබීමෙන් එය පෙනේ. එහෙත්, මෙය පරීක්ෂාවෙන් බලන ඕනෑම කෙනෙකුට අතටම අහුවෙන ඉතාම ලාබ සංඛ්‍යාලේඛණ විජ්ජාවකි.

මෙසේ අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂ වලට 'නැති' අරමුදල් එකතු කිරීමටනම් රජයේ ආදායමට 'නැති' ඉපයීමක්ද එක් කළ යුතුය. රජයේ බදු නොවන ආදායම් 2015දී පැවති රුපියල් බිලියන 126 සිට රුපියල් බිලියන 378 දක්වා තෙගුණයකින් වැඩි වී ඇත්තේ මේ 'නැති ආදායම' එකතු කිරීම නිසාය. 2016 වසර සඳහා වූ ආදායම් ඇස්තමේන්තු වල ආදායම් කේතය 20.02.01.05 යටතේ "Notional Rent income from Land & Building" යනුවෙන් අළුතින් කැටගරියක් එකතු කර රුපියල් බිලියන 139 ක් (රුපියල් මිලියන 139,230ක්) රජයේ ආදායමට එකතු කර ඇති බව ඔබට බලා ගත හැකිය. මේ මුදල ඉහත අධ්‍යාපන හා සෞඛ්‍ය වැය ශීර්ෂ වලට එකතු කර ඇති අයිතම දෙකේ එකතුවට සමානය.

http://www.treasury.gov.lk/images/depts/fpd/docs/circulars/Revenue_Estimate_%202016.pdf

මේ ආකාරයට නැති ආදායම් පෙන්වීමට හැකි වුවද රජයට ඒ නැති ආදායම් වියදම් කළ නොහැකිය. එමෙන්ම, පළාත් සභා ආදායම් කියා ඇති කොටසද ඇත්තටම නැති ආදායමකි. පළාත් සභා වල වියදම කිහිප ගුණයකින් වැඩි නිසා මේ මුදල් ඇත්තටම මධ්‍යම රජයට ලැබෙන මුදල් නොවේ. රජයේ සැබෑ ආදායම් වන්නේ බදු ආදායම් පමණි. එමෙන්ම, අයවැය යෝජනා නැවත ආපසු හැරවීම නිසා ඒ යෝජනා හරහා මුලින් ලබාගැනීමට අපේක්ෂා කළ බදු ආදායමෙන්ද තුනෙන් එකක් පමණ ලැබීමේ ඉඩක් නැත. ඒ නිසා, රජයට ඉතිරිව ඇති විසඳුම් දෙක වනුයේ තවදුරටත් වක්‍ර බදු වැඩිකිරීම හෝ මුදල් අච්චු ගැසීම පමණි.

මේ ලිපිය අධ්‍යාපනයට හා සෞඛ්‍යට ප්‍රතිපාදන ප්‍රමාණවත් ලෙස වැඩි නොකිරීම ගැන කරන විවේචනයක් නොවේ. පවතින වාතාවරණය යටතේ එය අසීරු දෙයක් විය හැකිය. වෙනත් අයගේ සංඛ්‍යාලේඛණ විජ්ජා ගැන කතාකරන අය ඊට වඩා බාල අතේ මාට්ටු වන විජ්ජා කරන බව පෙන්වා දීමක් පමණි. කරන හොර වැඩක් අහු නොවන ලෙස, වෘත්තීය ලෙස කළ විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන වල නිලධාරීන් වුවද තරමක් දුරට අන්දන්නට බැරිකමක් නැත. එයින්, ඇතැම් විට වාසියක් ගන්නටත් පුළුවන. එහෙත්, මෙවැනි බාල විජ්ජාවන්නම් අතේ මාට්ටු වුවහොත් වෙන්නේ වස ලැජ්ජාවකි.

(Image: davidmcghee.wordpress.com)

Wednesday, March 9, 2016

සංඛ්‍යාලේඛණ බොරුද?

ලෝක බැංකුවට අනුබද්ධ ආයතනයක් වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) මඟින් ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් පිළිබඳ සමීක්ෂණයක් 2003 දී හෝ ආසන්න වසරකදී සිදු කළේය. ඒ වන විට ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් සම්බන්ධ මෙවැනි පුළුල් සමීක්ෂණ සිදු කිරීමේ භාවිතාවක් නොවූ බැවින් මෙය ඉතා අභියෝගාත්මක කටයුත්තක් විය. මේ කාණ්ඩයට වැටෙන සමාගම් වල ප්‍රධාන විධායක නිලධාරීන් සම්බන්ධ කරගෙන සිදු කළ පෞද්ගලික සම්මුඛ සාකච්ඡා මඟින් එකතු කරගත් තොරතුරු වල සාරාංශ වාර්තාවක් එළිදක්වමින් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව විසින් කොළඹ ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ ශාලාවේ කොටසක පැවති සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධනය පිලිබඳ වැඩමුළුවට හා ප්‍රවෘත්ති සාකච්ඡාවට මමද සහභාගී වූයෙමි.

මේ වැඩමුළුව අතරතුර එවකට ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ලංකාව භාරව සිටි ප්‍රධාන නිලධාරියා විසින් තමන් මේ සමීක්ෂණය සිදු කිරීමේදී මුහුණදුන් අභියෝග විස්තර කළේ මෙසේය.

"ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය වල ලාභදායීත්වය පිරික්සන විට තියෙන ලොකුම බාධාව වන්නේ අපි ඔවුන්ගේ ගිණුම් වල තොරතුරු ලබාගත යුත්තේ කොහෙන්ද කියන එකයි. මේ ව්‍යවසායකයින් සාමාන්‍යයෙන් ගිණුම් කට්ටල් තුනක් පවත්වාගෙන යනවා. එකක් බැංකුවට පෙන්වීමට. ණය ලබා ගැනීම සඳහා තමන්ගේ බැංකුවට ඉදිරිපත් කරන කරන මේ ගිණුම් අනුව පාඩු ලබන ව්‍යවසායකයෙක් හම්බ වෙන්නේ බොහොම කලාතුරකින්...."

"දෙවැනි කට්ටලය පවත්වාගෙන යන්නේ ආදායම් බදු දෙපාර්තමේන්තුවට පෙන්වීමටයි. මේ ගිණුම් අනුව බැලුවොත් ලාභ ලබන ව්‍යවසායකයෙක් හම්බ වෙන්නේ බොහොම කලාතුරකින්...."

"මේ දෙතැනින්ම පහසුවෙන් දත්ත එකතු කරගැනීමේ හැකියාව තියෙද්දී එසේ නොකර මේ ව්‍යවසායකයින්ව පෞද්ගලිකව හමුවී විස්තර ලබාගැනීමේ පිරිවැය අධික, කාලය ගතවෙන, දුෂ්කර කටයුත්තට අපි අත ගැහුවේ තමන්ගේ බිරිඳට පමණක් පෙන්වන, රහසිගතව පවත්වාගෙන යන තුන් වන ගිණුම් කට්ටලය හොයා ගන්නයි"

මේ ප්‍රකාශයේ වැරැද්දක් ඇත්නම් එසේ ඇතැයි මා සිතන්නේ ඔහු කී බිරිඳට පෙන්වන කතාවේ පමණි. කිසියම් ක්‍රමවේදයක අවිනිශ්චිතතා ඇති විට ඒ අවිනිශ්චිතතාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට මිනිස්සු පෙළඹෙති.

ඉහත සිදුවීමෙන් වසර පහකට පසු, සති ගණනාවක් පුරා පැවති ජාත්‍යන්තර වැඩමුළුවකදී අප්‍රිකානු රටවල් ගණනාවක මුදල් අමාත්‍යාංශයන්හි නිලධාරීන් සමඟ සමීපව ඇසුරු කිරීමේ අවස්ථාව මට ලැබුණේය. එහිදී මා දැනගත්, මා විමතියට පත් කළ කරුණක් වූයේ බොහෝ අප්‍රිකානු රටවල ජාතික ගිණුම් හා අදාළවද මෙවැන්නක් සිදුවන බවයි. ඒ අනුව, එක් ගිණුම් කට්ටලයක් පිළියෙළ වන්නේ රටේ ජනතාවට හා මාධ්‍යයට පෙන්වීමටය. දෙවැන්න, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව වැනි අඩු ආදායම් රටවලට ණය හා ආධාර ලබාදෙන ජාත්‍යන්තර ආයතන වලට පෙන්වීම සඳහාය. තුන්වැන්නක් ගැන එහිදී කතාබහක් සිදු නොවූවත්, ඇතැම් විට අභ්‍යන්තර තීරණ ගැනීමේදී එවැන්නක්ද ප්‍රයෝජනයට ගන්නවා විය හැකිය.

ඉහත කතාබහ විසින් මා විමතියට පත් කළේ ලංකාවේ මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව හෝ ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේතුව විසින් සංඛ්‍යාලේඛණ  සකස් කිරීමේදී මෙවැන්නක් කිසිවිට නොකරන බැවිනි. තවමත්, මේ සංඛ්‍යාලේඛණ පිළියෙළ වන ක්‍රමවේදයේ විශාල ගැටළුකාරී තත්ත්වයන් නැත. එමෙන්ම, රටේ දේශපාලන අධිකාරියට මෙවැනි කටයුතු වලට අතපෙවීමට ඇත්තේ ඉතාම සීමිත, දුරස්ථ හා වක්‍ර හැකියාවක් පමණි.

කෙසේවුවද, ලංකාවේ ආර්ථිකය හා අදාළ සංඛ්‍යාලේඛණ පිළිබඳව බොහෝ දෙනා තුළ යම් අවිශ්වාසයන් පවතී. එයට ප්‍රධානම හේතුව පොතේ ඇති දේ අතේ නැති බව නිතර දකින්නට ලැබීමයි. අප්‍රිකානු රටවල සිදුවන බව මා කී දේවල් ලංකාවේ සිදුනොවුනද මහජනතාව තුළ සංඛ්‍යාලේඛණ පිළිබඳව ඇති අවිශ්වාසය පදනම් විරහිත එකක් නොවේ. එයට හේතුව  සංඛ්‍යාලේඛණ බොරු නොවූවත් මහජනතාවට පෙනෙන්නට සංඛ්‍යාලේඛණ වලින් 'සෙල්ලම් දැමීමට' පුළුවන් කමක් තිබීමයි.

නිවැරදි සංඛ්‍යාලේඛණ වෙනස් ප්‍රවේශ වලින් ඉදිරිපත් කිරීම මෙසේ සෙල්ලම් දැමිය හැකි සරලම ක්‍රමයයි. "මේ වසරේ 6%ක ඉතා හොඳ ආර්ථික වර්ධනයක් ලබාගත හැකිවනු ඇත." කියූ විට සම්ප්‍රේෂණය කෙරෙන අදහස හා "මේ වසරේ ආර්ථික වර්ධනය 6% මට්ටමට කඩා වැටෙන ලකුණු දැන්මම පෙනෙන්නට තිබේ." කියන විට බොහෝ දෙනෙකුට දැනෙන දෙය එකම නොවේ. එහෙත්, විමසිල්ලෙන් කියවන්නේනම් මෙවැනි තොරතුරක ඇති මූලික කරුණ උකහා ගැනීම අමාරු දෙයක් නොවේ.

ඊළඟ මට්ටමේදී සිදුවන්නේ තමන්ගේ මතය තහවුරු කිරීමට උදවු වන සංඛ්‍යාලේඛණ පමණක් තෝරා බේරා ඉදිරිපත් කිරීමයි. ආර්ථික වර්ධනය මෙන්ම උද්ධමනයත් වැඩි වන විට අයෙක් උද්ධමනය ගැන කතා නොකර ආර්ථික වර්ධනය ගැන ලොකුවට කතා කරද්දී තවත් අයෙක් එහි අනෙත් පැත්ත කරයි.

සංඛ්‍යාලේඛණ සමඟ බොහෝ විට දමන මෙවැනි සරල හා සිල්ලර සෙල්ලම් වලට අමතරව වඩා සංකීර්ණ තාක්ෂණික සෙල්ලම් දමන්නටත් පුළුවන. එසේ කළ විට සිදුවී ඇත්තේ කුමක්ද යන්න බොහෝ දෙනෙකුට නොතේරේ.


2004-2014 කාලය තුළ ලංකාවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 2,139.5 සිට 7,390.9 දක්වා වැඩි වූ බව කෙනෙකු කියද්දී වෙනත් අයෙකුට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය මේ කාලය තුළ 102.3 සිට 75.5 දක්වා අඩු වූ බව කියන්නට පුළුවන. මේ දෙදෙනාම කියන්නේ බොරු නොවේ. එකම දෙය දෙයාකාරයකට කියූ විට වෙනස් අරුත් මතුවේ.

ගිණුම්කරණ ක්‍රමවේදයේ ඇති අවිනිශ්චිතතාවන් ප්‍රයෝජනයට ගනිමින් ඇතැම් අවස්ථාවල යම් සමාගමක් කිසියම් කාලයක් තුළ ලාභ ලැබූ හෝ පාඩු ලැබූ බව පෙන්වීමේ හැකියාවක් තිබේ. මෙය ලංකාවේ පමණක් සිදුවන දෙයක් නොවේ. කොයි රටේත් සිදුවන්නකි. එහෙත්, මෙසේ යම් සමාගමක ගිණුමක්  'තාක්ෂණිකව නිවැරදිව' ලාභ ලබන බව පෙන්වූ පමණින් ඒ සමාගමේ 'අතේ ඇති ලාභ' වෙනස් වන්නේ හෝ බංකොලොත් වීමට නියමිතනම් එය සිදු නොවන්නේ නැත. ආර්ථික විද්‍යාඥයෙකු විසින් ගිණුම්කරණ ලාභ හා ආර්ථික ලාභ නිවැරදිව වෙන්කොට හඳුනාගත යුත්තේ එබැවිනි.

කෙසේවුවද, ගණකාධිකාරී වරුන් පුහුණුවක් ලබා ඇත්තේ ඔවුන් දන්නා තාක්ෂනික උපක්‍රම උපයෝගී කරගෙන සිය සේවාදායකයාට අවශ්‍ය පරිදි ලාභය අඩුවෙන් හෝ වැඩියෙන් පෙන්වීමටය. දක්ෂ ගණකාධිකාරීවරයෙකුට මේ කාර්යය වඩා හොඳින් කළ හැකිය.

වෘත්තීය ගණකාධිකාරීවරයෙකු රටක මහ බැංකුවේ ප්‍රධානියා හෝ මුදල් ඇමතිවරයා වූ විට එවැන්නෙකු තමන් ලබා ඇති පුහුණුව අනුව, තමන්ට අවශ්‍ය ඉලක්ක සපුරා ගැනීම සඳහා කළ යුතු හොඳම දෙය කිරීමට උත්සාහ ගැනීම තේරුම් ගැනීමට අපහසු නැත.


(Image: http://38north.org/2012/07/rfrank071612/)

Tuesday, July 21, 2015

අතේ නැති පොතේ ඇති ලාභ සහ අතේ ඇති පොතේ නැති ලාභ



පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වයක් දිනා ගන්නා සසංක විජේවර්ධන එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාලයයක දෙවසරක පශ්චාත් උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා පිටත්ව යයි. ඒ සඳහා ඔහු සේවය කළ අර්ධ රාජ්‍ය ආයතනයෙන් ඔහුට අධ්‍යයන නිවාඩු ලැබී ඇත. අලුත විවාපත් සසංක ඔහුගේ බිරිඳද සමඟ ලන්ඩන් නගරයෙන් සැතපුම් සියයක් පමණ දුරින් පිහිටි නගරයක් කරා පිවිසෙන්නේ නුපුරුදු පරිසරයකට ඉක්මණින් හැඩ ගැසීමේ අභියෝගය සතුටින් භාරගනිමිනි.

ජංගම දුරකථන සම්බන්ධතාවක් ලබා ගැනීම මුලින්ම කළ යුතු කාර්යයකි. මසකට පවුම් තිහක් බැගින් වන නිශ්චිත අවම ගාස්තුවක් මාස 24ක් පුරා ගෙවීමට එකඟ වූ විට ටී-මොබයිල් සමාගමෙන් අළුත්ම ජංගම දුරකතනයක් හිමිවන අතර පවුම් තිහේ ගාස්තුව ගෙවූ විට සසංකට ඕනෑවටත් වඩා ප්‍රමාණවත් මාසික ඇමතුම් කාලයක්ද හිමිවේ. මාසිකව ලැබෙන ශිෂ්‍යත්ව මුදලින් එංගලන්තයේ අධික නිවාස කුලී වියදම ගෙවූ විට අත ඉතිරි වන්නේ සීමිත මුදලක් නිසා ඒ මුදල සැලසුම් සහගතව ප්‍රවේශමෙන් වියදම් කළ යුතුය. කොහොමටත් මාස 24ක් එංගලන්තයේ ජීවත් වීමට බලාපොරොත්තු වන නිසාත්, මේ පැකේජය ලබා ගත් විට මාසික ගාස්තුව නිශ්චිත මුදලක් වන නිසාත් ටී-මොබයිල් පැකේජය සසංකට ආකර්ශනීය එකකි.

අපට නිලධාරිවාදය පුරුදු කළ එංගලන්තයේ නිලධාරිවාදය මේ වන විට අපේ නිලධාරිවාදයට වඩා බොහෝ අඩු වුවත් යුරෝපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව එංගලන්තයේ 'කොළ පිරවීම්' බොහෝ වැඩිය. දුරකථන සම්බන්ධතාව ලබා ගැනීමට එංගලන්ත බැංකු ගිණුමක් අවශ්‍යය. බැංකු ගිණුමක් විවෘත කිරීමට විශ්ව විද්‍යාලයෙන් සහතික කළ ලිපියක් අවශ්‍යය. විශ්ව විද්‍යාලයෙන් මෙවැනි ලිපි ලබා දෙන්නේ එකක් පමණක් නිසා ආරම්භ කළ හැක්කේ එක් බැංකු ගිණුමක් පමණි. ඒ අනුව, විශ්ව විද්‍යාලය ඇතුළත බැංකු ශාඛා ඇති නැට්වෙස්ට් හෝ බාර්ක්ලේස් බැංකු දෙකින් එකක් තෝරාගත යුතුය.

එසේ කළද, මේ ලිපිය දවසින් ලබා ගත නොහැක. විශ්ව විද්‍යාලයට අලුතින් පැමිණි සිසුන් බොහෝ දෙනෙකුට මෙවැනි ලිපි අවශ්‍ය නිසා තමන්ගේ වාරය එන තුරු බලා සිටිය යුතුය. සසංකගේ වාසගම ඇරඹෙන ඩබ්ලියු අකුර ඇත්තේ ඉංග්‍රීසි හෝඩියේ අන්තිම හරියේ නිසා ඔහුට මේ සඳහා සති තුනක් බලා සිටීමට සිදුවේ. කලින් දන්නවානම් සමහර ඡන්ද අපේක්ෂකයින් වාගේ අ.අ.අ.අ. සසංක විජේවර්ධන කියා නම වෙනස් කරගෙන එනවාය. කෙසේ හෝ අවසානයේදී නැට්වෙස්ට් බැංකුවේ ගිණුමක් අරඹන සසංක එම ගිණුමෙන් මාස 24ක් මසකට පවුම් තිහ බැගින් කෙළින්ම මුදල් අය කර ගැනීමට ටී-මොබයිල් සමාගමට අනුමැතිය දෙමින් දුරකථන සම්බන්ධතාව ලබා ගනී. ගිවිසුම අනුව මාස 24 අවසානයේදී අලුත් නොකළහොත් සම්බන්ධතාව අවසන් වනු ඇත.

කාලය ඉතා වේගයෙන් ගෙවී යයි. ඉතා හොඳින් අධ්‍යයන කටයුතු අවසන් කරන සසංකට ආචාර්ය උපාධියක් හැදෑරීම සඳහාද අවස්ථාව සැලසෙන අතර ඒ සඳහා ශිෂ්‍යත්වයක්ද ලැබේ. එහෙත් ඔහුගේ අධ්‍යයන නිවාඩුව අනුමත වී ඇත්තේ වසර දෙකකට පමණක් නිසා අනුමත නිවාඩු අවසන් වීමට පෙර ඔහු සේවයට වාර්තා කළ යුතුය. ඔහු අත්සන් කර ඇති ගිවිසුම අනුව එසේ සේවයට වාර්තා නොකළහොත් වසර දෙකක් පුරා ලබාගත් මුළු ශිෂ්‍යත්ව මුදලම ශ්‍රී ලංකා රජයට ආපසු ගෙවිය යුතුය. ශිෂ්‍යත්වය ලබා දුන්නේ ශ්‍රී ලංකා රජයෙන් නොවූවද එය සැලකෙන්නේ ශ්‍රී ලංකා රජයට හිමි වූ වරප්‍රසාදයක් ලෙසින් බැවිනි. ඔහු එසේ නොකළොත් අපහසුතාවයට පත්වන්නේ ඔහුගේ ඇපකරුවන් ලෙස අත්සන් තබා ඇති මිතුරන් කිහිපදෙනාය.

සිය අධ්‍යයන නිවාඩුව අවසන් වීමට මාස දෙකක් තිබියදී ආපසු ලංකාවට යාමට සසංක තීරණය කරයි. ඒ අනුව දැඩි වෙහෙසක් දරා නියමිත දිනයට දෙමසකට පෙර ඔහු ඔහුගේ උපාධි නිබන්ධනයද අවසන් කර භාර දෙයි. ඉතිරි වී ඇති දෙමස තුළ අවශ්‍ය අනුමැතිය ලබා ගෙන නැවත පැමිණ ආචාර්ය උපාධි පාඨමාලාව ආරම්භ කිරීම ඔහුගේ අපේක්ෂාවයි.

ටී-මොබයිල් ගිවිසුම අනුව සසංක තවත් මාස තුනක් පවුම් තිහ බැගින් ගෙවිය යුතුය. ඔහුගේ (ජංගම) ශිෂ්‍ය ගිණුමේ පවත්වා ගත යුතු අවම ශේෂය පවුම් දහයක් පමණි. මේ අනුව පවුම් සියයක් සහ තවත් පැන්ස කිහිපයක් පමණක් සිය නැට්වෙස්ට් ගිණුමේ ඉතිරි කරන සසංක ඉතිරි මුදල් සිය බිරිඳගේ බාර්ක්ලේස් ගිණුමට සම්ප්‍රේෂණය කරයි. ඉන් පසු ඔවුන් දෙදෙනාගේම බැංකු ගිණුම් වල ලිපින ලන්ඩන්හි ජීවත්වන සසංකගේ බිරිඳගේ මිතුරියකගේ ලිපිනයට (ඇගේ අනුමැතිය ගෙන) වෙනස් කරන්නේ දෙමසකින් නැවත එක්සත් රාජධානියේම වෙනත් නගරයකට පැමිණීමට අපේක්ෂා කරන නිසාත්, විදේශ ලිපිනයකට ලිපිනය වෙනස් කිරීමේදී 'කොළ පිරවීම්' වැඩි නිසාත්ය. ඇයට මේ නිසා සිදුවන අපහසුතාව අවම කිරීම සඳහා තැපෑලෙන් එවන මාසික ගිණුම් ශේෂ විස්තර ආදියද තාවකාලිකව නතර කෙරේ.

සසංක නැට්වෙස්ට් බැංකුවේ එකම ගනුදෙනුකරු ලෙස සලකා (පහසුව සඳහා) ඔහු ලංකාවට පිටත් වන විට නැට්වෙස්ට් බැංකුවේ ශේෂ පත්‍රය පිළියෙළ කළහොත් එය මෙවැන්නකි. වත්කම් පැත්තේ පවුම් සීයක් අත ඇති මුදල්ය. බැරකම් පැත්තේ සසංකට ගෙවිය යුතු පවුම් සීයක් තිබේ. නැට්වෙස්ට් බැංකුව විසින් සසංකගෙන් උපයාගත් ලාභයක් නොමැත.

සසංක අපේක්ෂා කළ පරිදි සියල්ල සිදුනොවේ. ලංකාවේ නිලධාරිවාදය හමුවේ ඔහුට ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා අධ්‍යයන නිවාඩු අනුමත නොවේ. ඒ සඳහා ඔහු අවම වශයෙන් තවත් අවුරුදු දෙකක් ලංකාවේ සේවය කළ යුතුය. ඔහුගේ ශිෂ්‍යත්වය එතෙක් කළක් ඔහු වෙනුවෙන් බලා නොසිටින බව ඔහු මෙන්ම ඔහුගේ නිවාඩු අනුමත කිරීමේ අධිකාරිය ඇති නිලධාරීහුද දනිති. සසංක පරාජය භාරගැනීමට සුදානම් නැතත් තාවකාලික පසුබැස්මක් සඳහා යොමුවේ.

කෙසේ වුවද සසංකට උසස්වීමක් ලැබෙන අතර වගකීම් රැසක් ඔහුගේ කරමත පැටවේ. කාර්යබහුලත්වය නිසා ඔහුට සුළු මුදලක් ඇති එක්සත් රාජධානියේ ගිණුම් ගැන සොයා බැලීමට නොලැබේ. තෙමසකට පමණ පසුව වැඩ අවසන් කර නිවසට පැමිණෙන සසංකට දැන ගැනීමට ලැබෙන පරිදි ඔහුගේ බිරිඳට ඇගේ මිතුරිය විසින් දුරකථනයෙන් දන්වා ඇත්තේ සසංකගේ නමට කිසියම් ලිපියක් ලැබී ඇති බවයි. ඒ අනුව ටී-මොබයිල් සමාගමට කිසියම් හිඟ මුදලක් ගෙවීමට තිබේ. සසංකට මීට වඩා වැඩි විස්තරයක් නොලැබේ.

සසංක අන්තර්ජාලයෙන් ඔහුගේ ටී-මොබයිල් ගිණුම පරීක්ෂා කරයි. එක්සත් රාජධානියෙන් පිටවීමට පෙර ඉතා පැහැදිලිව තහවුරු කරගත් පරිදි මාස 24 අවසානයේදී සසංකගේ දුරකථන සම්බන්ධතාව මෙන්ම ගිවිසුමද අවසන් විය යුතු වුවද කිසියම් වැරදීමකින් ටී-මොබයිල් සමාගම 25වන මාසයේද පවුම් තිහක් අය කර ගැනීමට උත්සාහ දරා ඇති අතර ගිණුමේ ශේෂය පවුම් 30කට අඩු නිසා එසේ කළ නොහැකි වී තිබේ. මේ අනුව පවුම් 30ක ගෙවිය යුතු මුදලක් තවමත් තිබේ.

සසංක එංගලන්තයට දුරකථන ඇමතුමක් ගෙන ටී-මොබයිල් සමාගමේ නිලධාරිනියට සිදු වී ඇත්තේ වැරැද්දක් බව පැහැදිලි කරයි. සිදුවී ඇත්තේ අත් වැරදීමක් බව ඇය පිළිගන්නා අතර එය නිවැරදි කිරීමට පොරොන්දු වේ. ඒ අනුව සසංක ටී-මොබයිල් සමාගමට ණය නැත. "ඔබට අපෙන් වෙනත් යමක් සිදු විය යුතුද?" ඇය අසයි. මෙහිදී සසංක ඔහුගේ  ටී-මොබයිල් ගිණුමේ ලිපිනයද ලංකාවේ ලිපිනයට වෙනස් කරයි. සසංක නැවතත් කාර්ය බහුල වන අතර මේ සිදුවීම ගැන නැවත සොයා නොබලයි. ප්‍රශ්නයක් මතු වූ විට එය එවෙලේම විසඳීම සසංකගේ ස්වාභාවයයි. එසේ කළ නොහැකිනම් ප්‍රශ්නය විසඳෙන තුරු ඔහු ඒ ගැන සොයා බලනු ඇත. එහෙත්, විසඳා අවසන් කළ ප්‍රශ්න ගැන ඔහු වද නොවේ.

තවත් මාසයක් දෙකක් ගත වේ. සසංකගේ බිරිඳට ඇගේ මිතුරියගෙන් නැවතත් දුරකථන ඇමතුමක් ලැබී ඇති අතර ඇගේ ලිපිනයට ලැබී ඇති ලිපියක් පරිදි හිඟ මුදල තවමත් පියවී නැත. එයට දඩ මුදලක්ද එකතු වී තිබේ.

සසංකට මළ පනී. ඔහු වහාම ටී-මොබයිල් සමාගම අමතයි. සසංකගේ ගිණුම පරීකෂා කරන ටී-මොබයිල් නිලධාරිනිය ගිණුමේ හිඟ ශේෂයක් නොමැති බව නැවත තහවුරු කරයි. එසේනම් ඒ බව තහවුරු කර ලිපියක් එවන ලෙස සසංක ඉල්ලා සිටින්නේ 'කොළයක් අතේ තබා ගැනීම' සුරක්ෂිත බව ඔහුගේ නිලධාරිවාදී මනසටද හැඟෙන බැවිනි. සතියකින් පමණ මේ ලිපිය සසංකට ලැබේ. යාන්තම් හිසරදය අවසන්ය.

තවත් මාස ගණනක ඇවෑමෙන් සසංකගේ බිරිඳගේ මිතුරියගෙන් නැවතත් දුරකථන ඇමතුමක් ලැබේ. ඇය දන්වා ඇති පරිදි ප්‍රශ්නය තවමත් අවසන් නැත. ගෙවීමට ඇති මුදල මේ වනවිට පවුම් 400 ඉක්මවා ඇත. ඒ මුදල වහාම නොගෙවුවහොත් මුදල් අය කර ගැනීම සඳහා එවැනි කටයුතු කරන සමාගමකට භාර දීමට සිදුවනු ඇත. වැඩේ අන්ඩර දෙමළ නිසා සසංක සිය බිරිඳගේ මිතුරියට ඇමතුමක් ගෙන ලිපිය කියවන ලෙස ඉල්ලා සිටී. දැන් සසංකට තේරෙන පරිදි මුදලක් පියවිය යුතුව ඇත්තේ ටී-මොබයිල් සමාගමට නොව නැට්වෙස්ට් බැංකුවටය. අන්ඩරේ ඩබල්ය.

සසංක බොහෝ දඟලා ඔහුගේ නැට්වෙස්ට් අන්තර්ජාල ප්‍රොෆයිලය සක්‍රිය කර ගනී. දැන් ඔහුට පෙනී යන පරිදි පවුම් තිහ බැගින් දිගටම ඔහුගේ ගිණුමෙන් මුදල් අඩුකරගෙන තිබේ. ටී-මොබයිල් ගිවිසුම අවසන් විය යුතුව තිබුණු මාසයෙන් පසුව ඔහුගේ ගිණුමේ ශේෂය පවුම් දහයක් පමණක් වූ අතර ඉන්පසු මාසයේදී ඔහුගේ ගිණුම් ශේෂය පවුම් විස්සක හිඟ මුදලක් වී ඇත. ගිණුමේ ශේෂය පවුම් තිහ බැගින් දිගටම අඩු වී ඇති අතර මේ වන විට හිඟය පවුම් හාරසිය හතළිහකි!

සසංක මෙවර නැට්වෙස්ට් බැංකුව අමතයි. ඔහු දුරකථන බැංකු පහසුකම ලබාගෙන නොමැති නිසා අවසන් හිඟ ශේෂයට අමතරව වෙනත් ගිණුම් විස්තර දුරකතනයෙන් ලබා ගැනීමේ හැකියාවක් නැත. අවශ්‍යනම් ඔවුන් සතුව ඇති ලිපිනයට තැපැල් කිරීමට පුළුවන. ලිපිනය වෙනස් කිරීමට අවශ්‍යනම් ඕනෑම නැට්වෙස්ට් බැංකු ශාඛාවකට පෞද්ගලිකව පැමිණ අයදුම්පතක් පුරවා දී අනන්‍යතාවයද තහවුරු කල යුතුය. වෙනත් ක්‍රමයක් නැත. කෙසේ වුවද සසංක කැමතිනම් ක්‍රෙඩිට් කාඩ් පතකින් පවුම් 440 ගෙවා ප්‍රශ්නය විසඳා ගැනීමේ පහසුකම සැලසීමට ඔවුන් සුදානම්ය.

හැම විටම කලට වේලාවට ගණුදෙනු පියවන සසංක 'ඇරියස්' තබා ගැනීමට කැමති නැත. එහෙත්, සසංකට පෙනෙන පරිදි මෙතන ඇත්තේ ලොකු වැරදීමකි.   නොකළ වරදකට දඬුවම් විඳීමට ඔහුට අවශ්‍ය නැත. අනිත් අතට රුපියල් වලින් 'ආණ්ඩුවේ පඩියක්' ගන්නා සසංකට පවුම් 440ක් කියන්නේ කජු ඇට කොස් ඇට නොවේ. අනෙක් අතට, තමාගේ ලිපිනය 'බ්ලැක් ලිස්ට්' වෙනවාට බිරිඳගේ මිතුරිය කැමති නැත. උදවුවක් කිරීමට ඉදිරිපත් වූ ඇයට 'අහක යන පරිප්පුවක් සෙට් කිරීමටද' නොහැකිය.

සසංකහේ බිරිඳගේ මිතුරියට ඊළඟ ලිපිය ලැබෙන්නේ නැට්වෙස්ට් බැංකුවේ ණය අය කර ගැනීමේ අංශයෙනි. සසංකගේ ඉල්ලීම පරිදි ලිපිය විවෘත නොකර හරවා හරින ඇය සසංක මෙම ලිපිනයේ තව දුරටත් ජීවත් නොවන බව දන්වා සසංකගේ නිවැරදි ලිපිනය සහ දුරකථන අංක ආදිය නැට්වෙස්ට් බැංකුවේ ණය අය කර ගැනීමේ අංශයට දැනුම් දෙයි. දැන් මේ 'අහක යන පරිප්පුවෙන්' ඇය නිදහස්ය. මුලින් වෙනස් කිරීමට බැරි වූ ලිපිනය මෙවර වෙනස් වේ. සසංකට ලිපිය ලැබේ.

මේ වන විට ගෙවිය යුතු මුදල පවුම් 2120ක් වී ඇත. හිඟ මුදල වූ පවුම් 620කට ණය අයකර ගැනීමේ ගාස්තු ලෙස තවත් පවුම් 1500ක් එකතු වී ඇත.

සසංක නැට්වෙස්ට් බැංකුවේ ණය අය කර ගැනීමේ අංශයට දුරකථන ඇමතුමක් ගනී. (මේ කියන දවස් වල එංගලන්තයට දුරකථන ඇමතුමක් ගැනීමද වියදම් අධික කටයුත්තකි.) සසංක ඔවුන්ට පැහැදිලි කරන්නේ තමන් විසින් ගෙවිය යුතු මුදලක් නොවලහා ගෙවීමට ඔහු සුදානම් වුවත් මේ මුදල ඔහු ගෙවිය යුත්තේ ඇයිදැයි නොදන්නා බැවින් නිකම්ම මෙවැනි විශාල මුදලක් ගෙවීමට සුදානම් නැති බවයි. එහෙත්, ණය අය කර ගැනීමේ අංශයේ නිලධාරීන්ට බැංකු ගිණුමේ තොරතුරු බලා ගැනීමේ හැකියාවක් නැත. ඔවුන් දන්නේ අයවිය යුතු සම්පුර්ණ මුදල පමණි.

සසංක මඟ නො ඇර කෙළින්ම කතා කිරීම ගැන ණය අය කර ගැනීමේ අංශයේ නිලධාරීහු සතුටු වෙති. හිඟ මුදල ලබා ගැනීමේ හැකියාවක් පෙනෙන්නට ඇති නිසා අවශ්‍ය අංශ සමඟ එකඟතාවකට එන ණය අය කර ගැනීමේ අංශය පැරණි ගිණුම් ප්‍රකාශන සියල්ල මුද්‍රණය කර ලංකාවට තැපැල් කර එවීමට කටයුතු සලසයි. (පාරිභෝගික ගිණුම් වල රහස්‍ය භාවය ගැන 'ලොකු ටෝක්' දෙමින් මෙතෙක් කල් ලිපිනය වෙනස් කිරීමට හෝ සුදානම් නොවූ බැංකුව මේ ගිණුම් ප්‍රකාශ සමඟ අත් වැරදීමකින් ඔවුන්ගේ වෙනත් පාරිභෝගිකයින් හත් අට දෙනෙකුගේ ගිණුම් ප්‍රකාශද ලොකු මිටියක් තැපැල් කර එවයි. ඒ ගැන දැන්වූ විට කලබලයට පත්වන ඔවුන් ඒවා නැවත ඔවුන් වෙත එවන ලෙස සසංකගෙන් ඉල්ලා සිටී.)

සිදු වී ඇති දෙය සසංකට පැහැදිලි වන්නේ මුල් මාස වල ගිණුම් ප්‍රකාශ පරීක්ෂා කළ විටය. පවුම් තිහ බැගින් දිගටම අයකරගෙන ඇත්තේ ටී-මොබයිල් සමාගමට ගෙවීමට නොවේ. එය වෙනත් 'දඬුවම් ගාස්තුවකි'. ටී-මොබයිල් සමාගමට ගෙවිය යුතු (සැබවින්ම ගෙවිය යුතු නොවූ) පවුම් තිහක මුදල ගිණුමේ නොතිබීම නිසා සසංකව පවුම් තිහක දඬුවම් ගාස්තුවකට යටත් කර ඇත. ටී-මොබයිල් සමාගම විසින් එවැනි මුදලක් අයවිය යුතුව නොතිබුණු බව නැට්වෙස්ට් බැංකුවට දැනුම් දුන් පසුවද මේ දඬුවම් ගාස්තුව ඉවත් වී නොමැති අතර 'ඕවර්-ඩ්රාෆ්‍ට්' පහසුකම් නොමැති සසංකගේ ශිෂ්‍ය ගිණුමේ ශේෂය සෘණ අගයක් ගෙන තිබේ. ඉන් පසුව මාස්පතා 'ඕවර්-ඩ්රාෆ්‍ට්'  ගාස්තුවක් එකතු වී ඇත.

නැවතත් පෙර පරිදිම සසංක නැට්වෙස්ට් බැංකුවේ එකම ගනුදෙනුකරු ලෙස සලකා නැට්වෙස්ට් බැංකුවේ ශේෂ පත්‍රය පිළියෙළ කළහොත් එය මෙවැන්නකි. වත්කම් පැත්තේ පවුම් දහයක් අත ඇති මුදල්ය. තවත් පවුම් 2120ක් සසංකගෙන් අයවිය යුතු මුදල්ය. නැට්වෙස්ට් බැංකුව විසින් සසංකගෙන් ගාස්තු වශයෙන් උපයාගත් මුදල මේ වන විට පවුම් 2130කි. ඒ අනුව බැරකම් පැත්තේ නැට්වෙස්ට් බැංකුව සතු පවුම් 2130ක ප්‍රාග්ධනයක් ඇත. මේ මුදලින් සැලකිය යුතු කොටසක් බැංකුවේ කොටස් කරුවන් විසින් ලාභාංශ ලෙස ලබා ගන්නවා ඇත.

සසංකගේ බැංකු ගිණුමේ හිඟ ශේෂය පසුව තවත් වැඩි අතර ඒ අනුව නැට්වෙස්ට් බැංකුවේ ලාභයද තවත් වැඩි විය. කෙසේ වුවද මේ ලාභය 'අතේ නැති පොතේ ඇති' ලාභයක් බව නොකිවමනාය. ගිණුම්කරණ සම්මත අනුව මෙවැනි  'අතේ නැති පොතේ ඇති' ලාභ මෙන්ම 'අතේ ඇති පොතේ නැති' ලාභද දුලභ නැත. කොටස්කරුවන්ට ලාභාංශ ගෙවන්නේත්, රජයට බදු ගෙවන්නේත් 'පොතේ ඇති' ලාභය අනුව මිස 'අතේ ඇති' ලාභය අනුව නොවේ.

ගිණුම්කරණ සම්මත සාපේක්ෂ සම්මුතීන් පමණක් වන නිසා කලින් කලට වෙනස් වේ. එවිට, ලාභයද වෙනස් වේ. හොඳින් ලාභ ලබන ආයතන හිටිවනම පාඩු ලබන ආයතන බවට පත්වේ. ඇතැම් විට රටවල් වලටද මේ දෙයම වේ. ඒ නිසා ගිණුම් වල පෙන්වන ලාභය හැම විටම සැබෑ ආර්ථික ශක්තියේ නිවැරදිම පිළිබිඹුවක් නොවේ.

පුද්ගලයින්, සමාගම් මෙන්ම රටවල්ද ගිණුම්කරණ සම්මත වල ඇති දුර්වලතා ඇතැම් විට සිය වාසියට යොදා ගනිති. තම ණය ප්‍රමාණය යුරෝපීය සංගමයේ සාමාජිකයෙකු වශයෙන් ඇතුලත් කර ගැනීම සඳහා අවශ්‍ය සීමාවට වඩා අඩුවෙන් ඇති බව පෙන්වීමට ග්‍රීසිය විසින් වසර ගණනක් තිස්සේ විවිධ ගිණුම්කරණ උපක්‍රම යොදා ගෙන ඇති බව දැන් රහසක් නොවේ. අවසාන ප්‍රතිඵලය කවුරුත් දනිති.

හොඳ වෙලාවට ග්‍රීසියේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැත.

(පුද්ගල නම් සහ සියළුම සිදුවීම් මනඃකල්පිත වන අතර ටී-මොබයිල් ආයතනයේ සහ නැට්වෙස්ට් බැංකුවේ නම් යොදාගත්තේ කරුණු පැහැදිලි කිරීමේ පහසුව සඳහා පමණි.)



පසු සටහන:

බොහෝ මනඃකල්පිත ප්‍රබන්ධයන්ට සත්‍ය අත්දැකීම් පාදක වේ. මෙය ඉකොනොමැට්ටාටද පොදුය. ඉකොනොමැට්ටාගේ ඇතැම් කතා ප්‍රබන්ධ වුවද ප්‍රායෝගිකව සිදුවිය නොහැකි දේ නොවේ. බැංකුවක ඇති මෘදුකාංගයක තිබුණු නොසලකා හැරුණු අඩුපාඩුවක් ප්‍රයෝජනයට ගෙන එය නිවැරදි කරන තුරු ලංකාවේ පිහිටි විදේශ බැංකුවකින් 36%ක ඉහල පොලියක් මාස ගණනක් තිස්සේ ලබා ගැනීමට ඉකොනොමැට්ටාට හැකි වී තිබේ. මෙය කළේ ලංකාවට ක්‍රෙඩිට් කාඩ් හඳුන්වා දෙනු ලැබූ මුල් කාලයේදී ක්‍රෙඩිට් කාඩ් ගිණුමට ගෙවිය යුතු මුදලට වඩා වැඩි මුදලක් තැන්පත් කිරීම මඟිනි.

"දි‍යුණු රටක බැංකුවකට වැරදීමේ සම්භාවිතාව බොහෝ අඩුය." මේ සම්භාවිතාව අඩු කරගෙන ඇත්තේ ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකකිනි. පළමුව, නිශ්චිත හා වඩා ඵලදායී ක්‍රමවේද හඳුන්වා දීම මඟිනි. දෙවනුව, මෙසේ හඳුන්වා දී ඇති ක්‍රමවේද නිසියාකාරව ක්‍රියාත්මක වන බවට වග බලා ගැනීමෙනි. කෙසේ වුවද, සම්භාවිතාව අඩු වුවත් මේ බැංකු වලටත් වරදින වෙලාවල් තිබේ. එසේ වැරදුනු විට වැරැද්ද පැටවු ගැසීමද සාමාන්‍ය දෙයක් වන්නේ මෙවැනි අවස්ථා දුලබ නිසා ලන්ඩන් නගරයට හිම වැටුණු දිනක මෙන් එවැනි තත්ත්වයන්ට මුහුණ දීමට ඔවුන්ගේ සූදානමක් නොමැති බැවිනි.

දියුණු (සංවර්ධිත) රටවල කටයුතු සිදුවන ආකාරය අඩු ආදායම් රටවල සිදුවන ආකාරයට වඩා ක්‍රමවත් වුවත් සර්ව සම්පුර්ණ නැත. දියුණු රටවල් තවත් දියුණු වන්නේ එසේ දියුණු වීමට ඉඩකඩක් පවතින නිසාය.

ඉකොනොමැට්ටා සංචාරය කර හෝ නොමැති සංවර්ධිත රටවල් ගණන එසේ කර ඇති රටවල් ගණනට වඩා වැඩි අතර ජීවත් වී ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් අඩු රටවල් කිහිපයක පමණි. මේ ප්‍රයෝගික සීමාවන්ට යටත්ව වුවත්, මේ රටවල් අතර මෙන්ම ඇමරිකාව වැනි රටක ප්‍රාන්ත අතර පවා ඇතැම් කටයුතු සිදු වන ආකාරයන්හි විශාල වෙනස්කම් තිබේ.




බොහෝ යුරෝපීය රටවල ප්‍රායෝගිකව භාවිතයෙන් ඉවත් වී ඇති චෙක්පත් ඇමරිකාවේ තවමත් ජනප්‍රිය ගෙවීම් මාධ්‍යයකි. සිංගප්පුරුව වැනි, බටහිර රටවලට වඩා පසුව සංවර්ධනය වූ, ප්‍රමාණයෙන් කුඩා, රාජ්‍ය මැදිහත්වීම වැඩි රටකට ප්‍රතිසංස්කරණ අලුතින්ම හඳුන්වා දීම පහසු වුවත්, අළුත් හොඳ ක්‍රම සොයා ගන්නා විටත් පැරණි හොඳ ක්‍රම වලට හුරු වී ඇති සහ ප්‍රමාණයෙන් විශාල, රාජ්‍ය මැදිහත්වීම අඩු රටකට ඒ සඳහා කල් ගත වේ. ඇතැම් දියුණු රටවල එතරම් නොදියුණු ප්‍රාදේශීය බැංකු බහුලය. ඇතැම් සංවර්ධිත රටවල සිට වෙනත් සංවර්ධිත රටකට ගිය විට එය සංවර්ධනය නොවූ රටක්දැයි හැඟෙන අවස්ථා තිබේ.

දියුණු රටවලද සිතාමතාම (යම් වාසියක් අපේක්ෂාවෙන්) ඇතැම් 'නොදියුණු' ක්‍රමවේද අනුගමනය කරන අවස්ථා තිබේ. ග්‍රීසිය විසින් දල ජාතික නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස ඔවුන්ගේ ණය ප්‍රමාණය වසර ගණනාවක් තිස්සේ අඩුවෙන් පෙන්වීම මෙවැන්නකි.

මගේ ඉහත සටහනේ "කොළ පිරවීම්" යන්නෙන් මා අදහස් කරන්නේ bureaucratic procedures යන්නයි. මෙයට සැබෑවටම කොළ පිරවීමද ඇතුළත්ය.

මුල් ලිපියේ මුඛ්‍ය පරමාර්ථය වූයේ ගිණුම්කරණ ක්‍රමවේදයේ ඇති අවිනිශ්චිතා ගැන සාකච්ඡා කිරීමයි. එංගලන්තයෙන් උදාහරණයක් ගත්තේ මෙය පැහැදිලි කිරීමට උපයෝගී කරගත හැකි මා දන්නා වඩාත්ම ප්‍රායෝගිකව නිවැරදි උදාහරණය එය වූ බැවිනි. ප්‍රායෝගිකව නිවැරදි වුවත් මේ ලිපියේ සිතාමතාම නොසලකා හැර ඇති න්‍යායාත්මක අඩුපාඩු තිබේ. දැනට පෙන්වා දෙන කරුණට ඒ අඩුපාඩු  ප්‍රශ්නයක් නොවේ.

Friday, July 17, 2015

ඇමරිකන් මැදිහත්වීම සහ ගණිකාවගේ ශේෂ පත්‍රය

ඉකොනොමැට්ටා ඊයේත් කළේ ණය ගැන කතාකිරීම මිස හෝටල් ප්‍රශ්නය විසඳීම නොවේ. ප්‍රශ්න විසඳනවාට වඩා ප්‍රශ්න ගැන කතා කර කර ඉන්නවාට ගොඩක් අය කැමති නිසාම නොවේ. ඔය ප්‍රශ්නයට උත්තරය හොයා ගත්තා කියා එලොවටවත් මෙලොවටවත් වැඩක් නැති නිසාත් නොවේ. ඔය ප්‍රශ්නය නිසා  ඉකොනොමැට්ටාට මතක් වූ වෙනත් ප්‍රශ්න අතරේ ණය ප්‍රශ්නයත් තිබුණු නිසාය.

ප්‍රශ්නයකට උත්තරයක් ඇත්තේ යම්කිසි රාමුවක් ඇතුළේය. රාමුව වෙනස් වූ විට උත්තරයද වෙනස් විය හැකිය. බොහෝ ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු එකකට වඩා තිබේ. සමහර ප්‍රශ්න වලට උත්තර නැත. සමහර වෙලාවට රාමුව වෙනස් කළ විට ප්‍රශ්නයද අතුරුදහන් වන නිසා තව දුරටත් උත්තර අවශ්‍ය වන්නේ නැත.

දැන් මෙතන තියෙන්නේ ලාභ අලාභ ප්‍රශ්නයකි. නීත්‍යානුකූලව බදු අය කර ගැනීම වැනි කටයුතු සඳහා ලාභ අලාභ ගණනය කිරීමේ ක්‍රමවේදයක් තිබේ. එය පදනම් වන්නේ සම්මත ගිණුම්කරණ රෙගුලාසි මත පදනම්වය. සම්මත කියා කිවුවත් මෙය තැනින් තැනට, කලින් කලට වෙනස් විය හැකි සාපේක්ෂ සම්මුතියකි.

ඇතැම් කරුණු වෙනස් වන නමුත් බොහෝ දෙනා පිළිගන්නා මූලික ගිණුම්කරණ නීති වල වැඩි වෙනසක් නැත. ද්විත්ව සටහන් ක්‍රමය යටතේ සියළු මුදල් ගණුදෙනු ලෙජරයක සටහන් කිරීමෙන් පසු ඒ අනුසාරයෙන් පිළියෙළ කරගන්නා ශේෂ පත්‍රයකින් හා ලාභ අලාභ ගිණුමකින් අවසන් ප්‍රතිඵලය බලාගත හැකිය.

සම්මත ගිණුම්කරණ නීති අනුව ගණුදෙණුවක් සිදු වූ ලෙස සැලකෙන්නේ භාණ්ඩ හෝ සේවා හුවමාරුවක් සඳහා මුලින්ම මිල එකඟතාවක් ඇති වූ අවස්ථාවේදී මිස ගණුදෙනු පියවන අවස්ථාවේදී නොවේ. මේ කතාවේ එවැනි ගණුදෙණු කිසිවක් නැත. ඇමරිකන් කාරයා සහ හෝටල්කරු අතර ගණුදෙණුවක් ඇතිවීමට ආසන්න අවස්ථාවක් ඇතත් අවසානයේදී එවැන්නක් සිදු නොවේ. ඒ නිසා මෙහි කිසිවෙකුටත් ලාභයක් හෝ අලාභයක් සිදු නොවේ.

පළමුව අපි හෝටල්කරුගේ ශේෂ පත්‍රය වෙනස් වන ආකාරය විමසා බලමු.



ආරම්භක අවස්ථාවේදී හෝටල්කරුට ගණිකාවගේ ඩොලර් 100කට හිමි කමක් තිබේ. මෙය ඔහුගේ වත්කමකි. එමෙන්ම, හෝටල්කරු විසින් කඩකාරයාට ඩොලර් 100ක් ගෙවිය යුතුව තිබේ.එය ඔහුගේ බැරකමකි. වත්කම් බැරකම් සැසඳූ පසු ඔහු සතු කිසිදු ප්‍රාග්ධනයක් නැත.

ඇමරිකන්කාරයාගේ ඩොලර් 100 තැන්පතුවක් වශයෙන් ලබා ගත් විට හෝටල්කරුගේ වත්කම ඩොලර් 200දක්වා ඉහළ යන නමුත් ඇමරිකානුවාට හෝටල් කාමරයක් විකුණා නොමැති නිසා ඒ මුදල ඔහුගේ ලාභයක් වන්නේ නැත. එබැවින් එය ප්‍රාග්ධනය ඉහළ යාමක් නොවී බැරකමක් ලෙස පවතී.

ඩොලර් 100 කඩකාරයාට දුන්විට මේ අත ඇති මුදල ඔහුගේ වත්කම් වලින් අඩුවන අතරම ඩොලර් 100ක බැරකමක්ද අඩුවේ. වත්කම් බැරකම් තව දුරටත් සමානය.

තැබෑරුම්කරුගේ ණය ආපසු ලැබුණු විට හෝටල්කරුගේ ඩොලර් 100ක වත්කම ලැබීමට ඇති මුදලක සිට අත ඇති මුදලක් දක්වා වෙනස් වන අතර බැරකමෙහි වෙනසක් සිදු නොවේ.

අවසානයේදී, ඇමරිකානුවාගේ ඩොලර් 100යේ තැන්පතුව ආපසු ගෙවීමෙන් අනතුරුව හෝටල්කරුගේ ශේෂ පත්‍රයේ වත්කම් මෙන්ම බැරකම්ද ශුන්‍යයක් වේ.


ගණිකාවගේ, තැබෑරුම්කරුගේ, මස්කඩකරුගේ මෙන්ම සිල්ලර කඩකරුගේද ශේෂ පත්‍ර වෙනස් වන්නේ එකම ආකාරයකටය. ආරම්භයේදී, මේ හැම දෙනෙකුගේම ශේෂ පත්‍රවල ඩොලර් 100 බැගින් වූ වත්කමක් හා බැරකමක් ඇති අතර ඔවුන් කිසිවකු සතුව ඔවුන්ගේම ප්‍රාග්ධනයක් නැත. සිදුවීම් සියල්ල අවසානයේදී, මේ වත්කම මෙන්ම බැරකමද ඔවුන්ගේ ශේෂ පත්‍ර වලින් ඉවත් වන අතර ප්‍රාග්ධනය වෙනස් නොවේ.


ඇමරිකානුවා සතුව පමණක් ඩොලර් 100ක ආරම්භක ප්‍රාග්ධනයක් තිබේ. එය හෝටල් කළමනාකරු හමුවේ තැන්පත් කරන ඇමරිකානුවා අවසානයේදී සිය තැන්පතුව ආපසු ලබා ගනී. සිදුවීම් අවසානයේදී ඔහුගේ ශේෂ පත්‍රයේ කිසිදු වෙනසක් වී නැත.

කෙසේ වුවද සිදුවීම් සියල්ල අවසන් වන විට ආරම්භක සමතුලිතතාව වෙනස් වී ඇති නිසා මේ විග්‍රහයේ අවුලක් ඇති බව අපට දැනේ. අවුලක් ඇතත් අවුල ඉකොනොමැට්ටාගේ අවුලක් නොවේ. ගිණුම්කරණ ලාභය සැබෑවටම ගණනය කෙරෙන්නේ මේ ආකාරයෙනි.

ආර්ථික ලාභය ගිණුම්කරණ ලාභයට වඩා වෙනස් සංකල්පයකි. එය ඇතැම් විට ගිණුම්කරණ ලාභයට සමාන විය හැකි වුවත් හැම විටම එසේ නොවේ. ගිණුම්කරණයට විෂය වන්නේ මුදලින් වටිනාකම් මැනිය හැකි දේවල් පමණි.

ආර්ථික විද්‍යාවේදී එය හැම විටම එසේ විය යුතු නැත. ගිණුම්කරණය සම්මත නීති හා රෙගුලාසි පාදක කරගනිද්දී ආර්ථික විද්‍යාව පාදක කර ගන්නේ පුද්ගල රුචිකත්වයන්ය. ඒ නිසා ආර්ථික විද්‍යා රාමුවක් තුළ මේ සිදුවීම් පෙළ වෙනත් ආකාරයකින් විග්‍රහ කිරීමට පුළුවන. (අද නොවේ.)

අවසාන වශයෙන් මේ කතාවත් බලාගෙන ගිය විට අපේ ඇත්ත තත්ත්වයට වඩා වැඩිපුර වෙනස් නැත. වරාය, ගුවන් තොටුපොළ, මහා මාර්ග ආදී අපේ ප්‍රාග්ධන වත්කම් ඉහළ යයි. ඒ සමඟම අපේ ණයත් ඉහළ යයි. ශේෂ පත්‍රයේ වත්කම් බැරකම් සැසඳූ විට ලොකු වෙනසක් වී නැත. ගණිකාවගේ සිට හෝටල් කළමනාකරු දක්වා කතාවේ සිටින ලාංකිකයින් කවුරුත් රෝල් දමන නමුත් අතේ ප්‍රාග්ධනයක් නැත. ඒ නිසා මේ විදිහට රවුමට හිර වේ.

අන්තිමට හිර වී ඇති අපේ ආර්ථිකය ගොඩ ගැනීමට අපට අතේ ප්‍රාග්ධනය ඇති ඇමරිකානුවා එනතුරු බලා සිටීමට සිදුවේ. ඇමරිකන් කාරයා ඩොලර් 100ත් බේරාගෙන ආපහු යන්නේ අපේ කාමර වල ඇතුලේ ඇති ඇද පළුදු සියල්ලම කැමරාවේ සටහන් කරගෙනය. ඇමරිකන්කාරයාට අපේ කාමර ඇතුලේ ඡායාරූප අවශ්‍ය වන්නේ ඇයිදැයි දන්නේ ඇමරිකන්කාරයාම පමණි.

ඇමරිකන් කාරයා වෙනුවට චීනෙක් ආ විට වෙන්නේ වෙනස් දෙයක්දැයි සිතීම ඔබේ වැඩකි.

(උඩින්ම ඇති රූපය ගත්තේ ජේම්ස් බෘනෝගේ -http://jameslbruno.blogspot.com/2012/04/sin-sex-and-uncle-sam.html- බ්ලොගයෙනි.)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...