වෙබ් ලිපිනය:

Showing posts with label සතුට. Show all posts
Showing posts with label සතුට. Show all posts

Tuesday, May 25, 2021

ආක්ෂා සහ ලිහිණි

 

මම දෙවෙනි ඉනිම නොවරදවා හෝ එක දිගට බලන කෙනෙක් නෙමෙයි. නමුත් ඉඳහිට බැලෙනවා. කොහොමත් ඉතිං මාසෙකට පාරක් බැලුවත් අල්ලගන්න අමාරුවක් නැති ටෙලි නාට්‍යයක්නේ. ඕකේ අනුහස්, ලිහිණි හා ආක්ෂා අතර තිබුණු තුන් කොන් ප්‍රේමය ආක්ෂාගේ වාසියට විසඳුනු බව කතාව බලන අයට රහසක් නෙමෙයිනේ. හැබැයි අනුහස්ගේ අම්මා උදේනිගේ වැඩි කැමැත්ත තිබුණේ ලිහිණිටයි.

දැන් උදේනිගේ හිත වෙනස් වෙලා. ඒක වෙන්නේ ආක්ෂා කාර් එක විකුණලා අනුහස්ට සල්ලි දුන්නට පස්සේ. ආක්ෂා කාර් එක විකුණලා අනුහස්ට සල්ලි දෙන්නේ ආක්ෂාට කාර් එකක් තිබුණු නිසා. ලිහිණිට කාර් එකක් තිබුණානම් ලිහිණිත් ඔය දෙයම කරයි. නමුත් ලිහිණිට කාර් එකක් නොතිබුණු නිසා ලිහිණිට ආක්ෂාට තිබුණු විකල්පය තෝරා ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. 

සතුට කියන්නේ සල්ලි වලට නෙමෙයි. නමුත් සල්ලි තියෙනවානම් සතුට ලැබෙන දේවල් කරන්න වැඩි අවස්ථාවන් ගණනක් ලැබෙනවා. ඒ වගේම වෙනත් අය සතුටු කළ හැකි දේවල් කරන්නත් වැඩි වැඩි අවස්ථාවන් ගණනක් ලැබෙනවා. වැඩිපුර සල්ලි තිබීම හොඳ දෙයක් වන්නේ ඒ නිසයි.

රටක් ගත්තත් ප්‍රතිපත්ති සම්පාදනයේදී එකම ඉලක්කය විය යුත්තේ භෞතික සංවර්ධනය නෙමෙයි. එහෙත්, භෞතික සංවර්ධනය නොවන, දියුණුව ලෙස හැඳින්විය හැකි අනෙක් දේවල් කරන්නත් භෞතික සංවර්ධනය අවශ්‍යයි. 

සමාජයේ පහළ ස්ථර වල සිටින අය ගැන සානුකම්පික වීම කිසිසේත්ම නරක දෙයක් නෙමෙයි. එහෙත්, එවැනි අයට උදවු කළ හැක්කේ කවුරු හෝ පිරිසක් විසින් ඒ අය වෙනුවෙනුත් සම්පත් ජනනය කිරීමක් කරනවානම් පමණයි.

රටක ආර්ථිකය සමස්තයක් ලෙස ප්‍රසාරණය වන විට ඒ රටේ පහළ ස්ථර වල සිටින අයගේ ජිවන තත්ත්වයත් වඩා යහපත් වෙනවා. ආර්ථිකය ප්‍රසාරණය කරන්න වැඩි දායකත්වය දෙන සීමිත පිරිසට ඒ වැඩේ කරන්න ඉඩ නොදුන් විට වෙන්නේ සමස්තයක් ලෙස ආර්ථිකය එක තැන පල් වෙන එකයි. එයින් දිගුකාලීනව වෙන්නේ ඒ සීමිත පිරිසගේ වගේම පහළ ස්ථර වල සිටින අයගේත් ජිවන තත්ත්වය අයහපත් වෙන එකයි. 

ධනවාදය පෙනී සිටින්නේ වෙරළු ගෙඩිය හරි හතකට බෙදා ගෙන කෑම වෙනුවෙන් නෙමෙයි. වෙරළු ගෙඩිය පුළුවන් තරම් ලොකු කර ගැනීම වෙනුවෙන්. ගොඩක් අයට ඒ ලොකු වෙරළු ගෙඩියෙන් හතෙන් කොටසක් ලැබෙන්නේ නැති වුනත් ලැබෙන කොටස පොඩි වෙරළු ගෙඩියකින් හතෙන් එකකට වඩා ලොකුයි.

Wednesday, October 14, 2020

කැමති තරම් නිවාඩු එක්ක රස්සාවක්!


සමහර රටවල රස්සාවක් කරන ගොඩක් අයට තියෙන ප්‍රධානම ප්‍රශ්නය නිවාඩු ප්‍රශ්නයයි. අවුරුද්දකට තියෙන නිවාඩු ගණන කීයක් වුනත් සමහර අයට ඒ ගණන මදි. නිවාඩු තියෙනවානම් කරන්න වැඩ ඕනෑ තරම්.

එක පැත්තකින් මේක තමන් කරන රැකියාවෙන් සතුටක් නොලැබීම පිළිබඳ ප්‍රශ්නයක්. රස්සාව කරන්නේ කිසිම කැමැත්තකින් නෙමෙයි. මාසෙ අන්තිමට අතට එන පඩිය නිසා. පඩිය ඒ විදිහටම අතට එනවනම් මේ වගේ කෙනෙක් බලන්නේ පුළුවන් තරම් නිවාඩු අරගෙන, පුළුවන් තරම් අඩුවෙන් වැඩ කරන්නයි. ඒත් ඉතිං නිවාඩු තියෙන්නේ නිශ්චිත ගණනක්නේ. ඒ නිසා ඉතිරි දවස් වල අකැමැත්තෙන් වුනත් වැඩ කරන්න වෙනවා.

කිසිම සීමාවක් නැතුව තමන්ට කැමති තරමට නිවාඩු ගන්න පුළුවන් රස්සා නැද්ද? 

ලංකාවේනම් තියෙනවද කියන්න මම දන්නේ නැහැ. හැබැයි ඇමරිකාවේනම් සමාගම් ගණනාවක්ම දැන් අසීමිත නිවාඩු ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. ඉතිරි සමාගම් අතරත් මේ ප්‍රතිපත්තිය වේගයෙන් ව්‍යාප්ත වෙනවා. ඒ කියන්නේ අවුරුද්දකට සේවකයෙකුට අයිති නිවාඩු ප්‍රමාණය කියලා නිශ්චිත ගණනක් නැහැ. නිවාඩු ගන්න පුළුවන් උපරිම සීමාවක් නැහැ.

සමාගම් වලින් මේ ආකාරයට කැමති තරම් නිවාඩු දෙන්නේ ඒ සමාගම් වල වෘත්තීය සමිති මුල් වී කරපු අරගල නිසාද? සේවකයෝ වැඩ වර්ජන කරලා හාම්පුතුන් දණ ගස්සපු නිසාද? "නිවාඩු සීමා ඉවත් කරනු!" කියලා බෝඩ් අල්ලගෙන හිටපු නිසාද? එහෙමත් නැත්නම් ආණ්ඩුව එහෙම නීතියක් පනවපු නිසාද? 

නෑ. ඔය එකක්වත් නිසා නෙමෙයි. ධනවාදී තරඟය නිසා.

ධනවාදී රටක වැටුප් සේ ලැබෙන්නේ ශ්‍රමිකයෙකුගේ ආන්තික ඵලදායීතාවයට සමාන මුදලක්. අවශ්‍ය වැඩේ කෙරෙනවානම් ඒ වෙනුවෙන් පැය කීයක් ගත වුනාද කියන එක වැදගත් නැහැ. දවස් කීයක් නිවාඩු ගත්තද කියන එකත් වැදගත් නැහැ.

නිවාඩු අසීමිතව තිබුණා කියලා ශ්‍රමිකයෝ හැමදාම නිවාඩු ගන්නේ නැහැ. එහෙම කළොත් වෙන්නේ තමන්ගේ ආන්තික ඵලදායීතාවය අඩු වෙන එක බව ඒ අය දන්නවා. එහි ප්‍රතිඵලය වැටුප් අඩු වෙන එකයි. 

අනෙක් පැත්තෙන් ශ්‍රමිකයෙක් රැකියාවෙන් නිවාඩු ගන්නේ තමන්ට සතුටු විය හැකි වෙනත් කාර්යයක යෙදෙන්නයි. කරන රැකියාවෙන් වෙන දෙයක් කරනවාට වඩා සතුටු වෙන්න පුළුවන්නම් ආයේ නිවාඩු ගන්නේ මොන කෙහෙම්මලකටද?

ඇමරිකාව වගේ ශ්‍රම වෙළඳපොළ පුළුල් වූ රටක ශ්‍රමිකයෙකුට තමන් කැමති ආකාරයේ රස්සාවක් කරන්න වැඩි අවස්ථාවන් ප්‍රමාණයක් තිබෙනවා. පුළුල් වූ වෙළඳපොලක ශ්‍රමිකයෙකු විසින් කරන්න කැමති දේ අගය කරන, ඒ කැමති දෙයට වටිනාකමක් දෙන, විශාල පිරිසක්ද ඉන්න නිසා තමන් සතුටු දේ කරන අතරම ආන්තික ඵලදායීතාවයද ඉහළ මට්ටමක පවත්වා ගන්න පුළුවන්. ඒ නිසා, පඩි තකා තමන් අකැමැති රස්සාවක් කරන්න වෙන්නේ අඩුවෙන්. තමන් කැමති රස්සාවක් කරන කෙනෙක් ඒ රස්සාව කිරීමෙන්ම සතුටු වෙනවා. ඒ නිසා, හැම වෙලාවේම නිවාඩු යන්න දඟලන්නේ නැහැ.

ඇමරිකාවේ තියෙන්නේ සේවකයින් වැඩිපුර නිවාඩු ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. අවශ්‍ය පමණ නිවාඩු නොගැනීම පිළිබඳ ප්‍රශ්නයක්.

ඇමරිකානු ශ්‍රමිකයෙකුට 2018 වසරේදී ලබාගත හැකිව තිබුණු සාමාන්‍ය පඩි සහිත නිවාඩු ප්‍රමාණය දින 24ක් පමණ වෙනවා. එහෙත්, 2018 දත්ත අනුව, ඇමරිකානු ශ්‍රමිකයින්ගෙන් 55%ක්ම තමන්ට ලබා ගත හැකිව තිබුණු පඩි සහිත නිවාඩු සියල්ල ලබා ගෙන නැහැ. මෙසේ ලබා නොගත් සමස්ත නිවාඩු දින ගණන මිලියන 768ක්.

ඇතැම් ඇමරිකානු සමාගම් අසීමිත නිවාඩු ප්‍රතිපත්තියට අමතරව අනිවාර්ය නිවාඩු ප්‍රතිපත්තියක්ද අනුගමනය කරනවා. ලංකාවේද මෘදුකාංග සමාගම්, දැනටමත් මෙවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නැත්නම්, ඉතා ඉක්මණින් මෙවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට ඉඩ තිබෙනවා. අනෙක් අංශ ගැනනම් කියන්න බැහැ.

Tuesday, October 13, 2020

පඩි තකා වැඩ කිරීම


මිනිසා වැඩ කරන්නේ ඇයි කියන එක ගැන කලින් ලිපියෙන් අපි කතා කළා. මිනිස්සු වැඩ කරන්නේ එක්කෝ වැඩ කිරීමෙන් සතුටු  වන නිසා. එහෙම නැත්නම් වැඩ කිරීම අසතුටක් වුනත්, වැඩ කිරීම නිසා ලැබෙන සල්ලි හෝ වෙනත් දෙයකින් ඒ අසතුට ඉක්මවන සතුටක් ලැබෙන නිසා. 

බොහෝ දෙනෙක්ගේ පළමු ඉලක්කය තමන්ට සතුටු විය හැකි වැඩක් කරන එකයි. ඒ නිසා, ජීවත් වෙන්න ප්‍රමාණවත් තරම් සල්ලි තියෙන මිනිස්සු එසේ සල්ලි තිබුණු පලියට වැඩ නොකර ඉන්නේ නැහැ. එවැනි සමහර අය වැඩ කරන්නේ සල්ලි බලාගෙන නෙමෙයි. නමුත්, සල්ලි බලාගෙන වැඩ නොකළත් සල්ලි ලැබෙන වෙලාවල් තියෙනවා. සමහර විට සල්ලි ගලන වෙලාවලුත් තිබෙනවා. එය තීරණය වෙන්නේ එවැන්නෙක් තමන්ගේ සතුට වෙනුවෙන් කරන වැඩ නිසා වෙනත් අය කොයි තරම් සතුටු වෙනවද කියන එක මතයි.

සල්ලි බලාපොරොත්තුවක් නැතිව තමන්ගේ සතුට ගැන පමණක් සිතා වැඩ කරන අයට සමහර වෙලාවට සල්ලිත් ලැබෙනවා වුනත් ඒ ගැන සහතිකයක් නැහැ. එහෙත්, ලැබෙන සතුට වෙනුවෙන් මිනිස්සු සල්ලි නැතුවත් වැඩ කරනවා. මේ වගේ බ්ලොග් ලියන අපි වගේ අය, වත්පොතේ දේශපාලනය කරන අය වගේම වෙනත් විවිධ ස්වේච්ඡා කටයුතු වල නිරත වන අය ඒ දේවල් කරන්නේ තනිකරම තමන්ගේ සතුට වෙනුවෙන්. ඊටත් අමතරව තමන්ගේ සතුට වෙනුවෙන් සල්ලි දීලා වැඩ කරන අයත් ඉන්නවා. දිනපතා ජිම් යන අය ගැන හිතන්න!

තමන් සතුටු වෙන ඇතැම් දේවල් කරන්න මුදලක් වැය වෙනවා. තමන් සතුටු වෙන වෙනත් දේවල් කරලා ඒ මුදල උපයාගන්න බැරිනම්, ඒ සතුටු වන දේවල් කිරීම සඳහා මුදල් හොයා ගන්න අසතුටු දේවලුත් කරන්න වෙන්න පුළුවන්. තමන් සතුටු වන දේවල් කරලා මුදල් උපයන්න පුළුවන්ද කියන එක යම් තරමකට කෙනෙකුගේ "වාසනාව" මත තීරණය වන දෙයක්. මම මෙහිදී වාසනාව කියන වචනය භාවිතා කළේ තමන්ගේ පාලනයට මුළුමනින්ම යටත් නැති බාහිර සාධක මත කියන අදහසින්. 

මහන්සි වූ තරමට මිනිහෙක්ට සාර්ථක වෙන්න පුළුවන් කියන එක අර්ධ සත්‍යයක්. මහන්සි වන මිනිහෙක් එසේ මහන්සි නොවන මිනිහෙක්ට වඩා සාර්ථක වෙන්න ඉඩ තිබෙනවා වුවත් හැම විටම එය එසේම වෙන්නේ නැහැ. එය තීරණය වෙන්නේ මහන්සි වෙන්නේ මොකටද කියන කාරණාව මතයි. මැණික් හම්බ වෙන්න ඉඩක් තියෙන්නේ මැණික් ඉල්ලමක් තියෙන තැනක පතලයක් හෑරුවොත් පමණයි! 

කවුරු හෝ කෙනෙක් කරන වැඩ වලට ලැබෙන මුදල තීරණය වෙන්නේ ඒ වැඩේ ආන්තික ඵලදායීතාවය මතයි. ආන්තික ඵලදායීතාවය තීරණය වෙන්නේ කරන වැඩෙන් සතුටු වන අය මතයි. ඒ නිසා කරන වැඩකින් තමන්ද සතුටු වී සල්ලිත් හොයා ගන්න අවශ්‍යනම් ඒ වැඩෙන් තමන් සතුටු වීම හා අනුන් සතුටු කරවීම අතර සමතුලිතතාවයක් පවත්වා ගන්න වෙනවා. මෙයම වෙනත් විදිහකින් කිවුවොත් තමන් කරන වැඩෙන් ඒ වැඩේ කිරීම නිසාම ලැබෙන සතුට හා වැඩේ කිරීම වෙනුවෙන් ලැබෙන මුදල් නිසා ලැබෙන සතුට අතර සමතුලිතතාවයක් පවත්වා ගන්න වෙනවා.

සාමාන්‍යයෙන් තමන් කැමති රස්සා කරන අයට ඒ වෙනුවෙන් යම් මිලක් ගෙවන්න වෙනවා. ඒක ස්වභාවිකවම වෙන දෙයක්. අපි හිතමු කෙනෙක්ට රැකියා තෝරා ගැනීම් දෙකක් තිබෙනවා. පළමු රැකියාවෙන් මසකට රුපියල් 25,000ක් ලැබෙන නමුත් දෙවැන්නෙන් ලැබෙන්නේ රුපියල් 20,000ක් පමණයි. මේ වගේ වෙලාවක මුදලින් පාඩුවක් වුනත්, දෙවන රැකියාව තෝරා ගන්නා අය ඉන්නවා. එහෙම කරන්නේ දෙවන රැකියාව කිරීමෙන් ලැබෙන සතුට පළමු රැකියාව කිරීමෙන් ලැබෙන සතුටට වඩා වැඩි නිසයි. එපමණක් නෙමෙයි. ඒ වැඩි වන සතුට, එහෙමත් නැත්නම් සතුටු වෙනස, මසකට රුපියල් 5000ක් ලැබීමේ සතුටටත් වඩා වැඩි නිසයි. 

දැන් මේ වගේ අවස්ථාවක කෙනෙක් පළමු රැකියාව තෝරා ගන්නේ මසකට රුපියල් 5000ක් වැඩියෙන් ලැබෙන නිසානේ. ඔය රුපියල් 5000 පස්සේ යන්නේ ඒ සල්ලි වලින් තමන් සතුටු වන දේවල් මිල දී ගන්න පුළුවන් වන නිසයි. ඒ කියන්නේ අවසාන වශයෙන් බැලුවහම පළමු රැකියාව තෝරා ගන්නේ රුපියල් 5000 වැය කර "මිල දී ගත හැකි" සතුට නිසා මිසක් රුපියල් 5000 නිසා නෙමෙයි. දෙවන රැකියාව කිරීමෙන් ඊට වඩා සතුටක් "නොමිලේම" ලැබෙනවානම්, ඔය අමතර රුපියල් පන්දාහෙන් මිල දී ගන්න පුළුවන් අඩු සතුට පස්සේ යන එක තේරුමක් නැහැනේ. ඒ නිසා, තාර්කිකව හිතන මිනිහෙක්ගේ තේරීම වන්නේ දෙවන රැකියාවයි.

දැන් මේ තේරීම සිදු වෙන්නේ ශ්‍රමිකයාගේ පැත්තෙන්. කරන වැඩේ ආන්තික ඵලදායීතාවය මෙයින් බාහිර වෙනම කරුණක්‌. මේ උදාහරණයේදී ශ්‍රමිකයා වඩා සතුටු වෙන්නේ තමන්ගේ ආන්තික ඵලදායීතාවය අඩු රස්සාව කිරීමෙන්. 

මෙය තවත් පැහැදිලි කරන්න අපි කවුරු හෝ පුද්ගලයෙක් ගනිමු. අපි කියමු රවීන් කණිෂ්ක කියලා. රවීන් කණිෂ්කට එක්කෝ රඟපාන්න පුළුවන්. නැත්නම් සිංදු කියන්න පුළුවන්. මේ දෙකෙන් ඔහු වඩා සතුටු වෙන්නේ කොයි වැඩෙන්ද? අපි කියමු ඔහු වඩා සතුටු වෙන්නේ සිංදු කියන එකෙන් කියලා. රඟපාන්න ඔහු සිංදු කියන්න තරම්ම කැමැත්තක් නැහැ. නමුත්, ඔහු සිංදු කියන විට සතුටු වන පිරිසට වඩා රඟපාන විට සතුටු වන පිරිස වැඩියි. ඒ නිසා, නළුවෙක් විදිහට ඔහුගේ ආන්තික ඵලදායීතාවය වැඩියි. ගායකයෙක් විදිහට ඔහුගේ ආන්තික ඵලදායීතාවය අඩුයි. 

පෞද්ගලිකව රවීන් කණිෂ්ක වඩා සතුටු වෙන්නේ සිංදු කියලා. හැබැයි මේ තමන් වඩා සතුටු වන දේ කිරීමෙන් ඔහුට මුදල් වලින් බැලූ විට අවාසියක් වෙනවා. ඒ නිසා, ඔහු වඩා වැඩි මුදලක් උපයන්න පුළුවන් රඟපෑම කරලා ඒ අමතර මුදලින් තමන්ට අඩු වෙන සතුට මිල දී ගන්නවා.

සෞම්‍ය ලියනගේ දක්ෂ නළුවෙක්. නළුවෙක් විදිහට ඔහුගේ ආන්තික ඵලදායීතාවය ගොඩක් වැඩියි. නමුත්, ඔහු පෞද්ගලිකව මේ නළු රස්සාවට වඩා විශ්ව විද්‍යාලයේ රස්සාවට කැමතියි. තමන්ගේ සතුට වෙනුවෙන් සෞම්‍ය ලියනගේ විශ්ව විද්‍යාලයේ රස්සාව තෝරා ගන්නවා. ඒ රස්සාවේදී ඔහුගේ ආන්තික ඵලදායීතාවය සාපේක්ෂව අඩුයි. ඒ නිසා, ලැබෙන මුදලත් අඩුයි. නමුත්, ඒ රස්සාව කිරීමෙන් ඔහුට ලැබෙන අමතර සතුට නළු රස්සාව කරලා ලැබෙන අමතර මුදලින් මිල දී ගන්න බැහැ. ඒ නිසා, සෞම්‍ය ලියනගේගේ තේරීම වන්නේ විශ්ව විද්‍යාලයේ රස්සාවයි. එය තාර්කික තේරීමක්. (රවීන් කණිෂ්ක වගේම සෞම්‍ය ලියනගේවත් උදාහරණ විදිහට ගත්තේ මේ කරුණ පැහැදිලි කිරීම සඳහා පමණයි. ඒ අයගේ සැබෑ පෞද්ගලික රුචි අරුචිකම් මොනවාද කියලා දන්නේ ඒ අයයි.)

තමන් පෞද්ගලිකව කැමති වැඩ කරන්න යාමෙන් මේ විදිහට මූල්‍යමය පාඩුවක් වෙන්නේ තමන් කරන්න වඩා කැමති දෙය හා තමන්ට වඩාත්ම ඵලදායී ලෙස කළ හැකි දෙය, එනම් වෙනත් අය තමන් කරනවාට කැමති දෙය, එකක් නොවී දෙකක් වූ විටයි. එවිට එක්කෝ ලැබෙන මුදල ගැන සතුටු නොවෙමින් තමන් කරන රස්සාව කරන්න වෙනවා. එහෙම නැත්නම්, තමන් කරන රස්සාව ගැන කැමැත්තක් නැතුව සල්ලි වෙනුවෙන් අකැමැත්තෙන් වැඩ කරන්න වෙනවා.

ඉහත කාණ්ඩ දෙකේම ඉන්න අයට කවර හෝ දුක් ගැනවිල්ලක් තිබෙනවා. ලේඛකයෝ, කලාකාරයෝ වගේ අයත්, බොහෝ සරසවි ආචාර්යවරුන් හා ඇතැම් ආණ්ඩුවේ රස්සා කරන අයත් පළමු කාණ්ඩයේ පිරිස් අතර ඉන්නවා. ඒ අය තමන් කැමති රස්සා තෝරාගෙන තිබෙනවා. ඒ රස්සා කිරීමෙන් ඔවුන්ට ලැබෙන ආදායම තීරණය වෙන්නේ ඔවුන්ගේ ආන්තික ඵලදායීතාවය මතයි. බොහෝ විට රස්සාවේ ස්වභාවය අනුව මහන්සි වී වැඩ කලා කියලා ආන්තික ඵලදායීතාවය වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා, ආදායම් වැඩි වෙන්නේත් නැහැ. ඇඟළුම් කර්මාන්තයේ ශ්‍රමිකයින් වගේ අය බොහෝ විට ඉන්නේ දෙවන කාණ්ඩයේ. ඔවුන්ට සාපේක්ෂව හොඳ වැටුපක් ලැබෙනවා. ලැබෙන වැටුප තකා රැකියාව කළත්, ඔවුන් බොහෝ විට කරන රැකියාවෙන් සතුටු වෙන්නේ නැහැ.

මේ ගැටළුව විසඳෙන්නේ තමන් කැමති රස්සාවත්, තමන්ට වඩාත්ම ඵලදායී ලෙස කළ හැකි රස්සාවත් දෙකම එකක් වූ විට පමණයි. වැඩි දෙනෙකුට එවැනි රැකියා කරන්න ඉඩ ලැබෙන්නේ ශ්‍රම වෙළඳපොළ පුළුල් වන තරමටයි. 

ලංකාව වගේ ශ්‍රම වෙළඳපොළ සාපේක්ෂව පුළුල් නැති, ශ්‍රම වෙළඳපොළ සාපේක්ෂව නිදහස් නැති රටක බොහෝ දෙනෙකු හා අදාළව බොහෝ විට මේ දෙක දෙකක්. ඒ නිසා, ගොඩක් අය තමන් කරන රස්සා කරන්නේ කැමැත්තෙන් නෙමෙයි. කැමති රස්සා කරන ගොඩක් අය ලැබෙන වැටුප පිලිබඳව සතුටු නැහැ. ඇමරිකාව වගේ රටක වුනත් තමන් කරන රැකියාව ගැන වගේම ලැබෙන වැටුප ගැනත් සතුටු පිරිස බහුතරය නෙමෙයි. එහෙත්, ඒ පිරිස සාපේක්ෂව වැඩියි.

Saturday, December 29, 2018

සීනි දී සැනසීම


පහුගිය "දින පණහ" ඇතුළත සිදු වූ එක් දෙයක් තමයි මහින්ද විසින් පැණි බීම මත පනවා තිබුණු සීනි බද්ද අඩු කිරීම. මේ බද්ද දැම්මේ අවුරුද්ද මුලදී රාජිත විසින්. කර්මාන්තයට දැනෙන තරමේ ලොකු බද්දක්.

මානව ඉතිහාසයේ වැඩි කාලයක් තිස්සේ මිනිස්සු හිටියේ ජීවත් වෙන්න අවශ්‍ය කරන අවම කැලරි ප්‍රමාණය හෝ ලබා ගැනීම අභියෝගයක් වූ පරිසරයකයි. ඒ කාලයේ වැඩි කාලයක් ජීවත් වී තමන්ගේ ජාන අනාගතයට ඉතිරි කරන්න පුළුවන් වුනේ මොන විදිහකින් හෝ මේ ශක්ති අවශ්‍යතාවය සපුරා ගත් අයටයි.

මිනිස්සු සාමාන්‍යයෙන් ගන්නා ආහාර අතරින් සීනි හා තෙල් කියන්නේ කැලරි පොදි. ඉතා පොඩි ප්‍රමාණයක් ආහාරයට ගැනීමෙන් විශාල කැලරි ප්‍රමාණයක් සිරුරට ලැබෙනවා.

පසුගිය අවුරුදු දහදාහක පමණ කාලය ගත්තොත් සීනි හා තෙල් කියන්නේ මිනිස්සුන්ට කලාතුරකින් හමු වූ දේවල්. සීනි ලැබුණේ හදිසියේ අහම්බෙන් හමු වූ ඉදුණු පළතුරු පිරුණු ගහක් වගේ තැනකින්. ඒ වගේ වෙලාවක පුළුවන් තරම් ඉදුණු පළතුරු කනවා මිස, ඒ පළතුරු ගෙදර ගෙනිහින් කල් තබා ගෙන ටික ටික කන්න පුළුවන් තාක්ෂණයක් ඒ කාලේ තිබුණේ නැහැ.

සීනි හා තෙල් වැඩියෙන් කන්න කැමැත්තක් තිබුණු හා මේ ආහාර වලින් ලැබුණු ශක්තිය සිරුරේ තැන්පත් කරගෙන ටිකෙන් ටික ප්‍රයෝජනයට ගන්න හැකියාවක් තිබුණු අයට අනෙක් අයට සාපේක්ෂව පරිණාමික වාසියක් ලැබුණා. ඒ නිසා, සීනි හා තෙල් වලට වැඩි කැමැත්තක් නැති මිනිස්සු ටිකෙන් ටික වඳ වී යද්දී මේ දෙකට වැඩි රුචිකත්වයක් දක්වන අය ඉතිරි වුනා. අපි හැමෝම වගේ ඒ විදිහට ඉතිරි වූ පරම්පරා වල අය. ඒ නිසා, අප ඉපදෙන්නෙම සීනි හා තෙල් වලට තිබෙන කැමැත්ත එක්කයි.

මානව ඉතිහාසයේ මෑතම යුගය දක්වාම සීනි හා තෙල් වලින් ලැබෙන ශක්තිය සිරුරේ තැන්පත් කරගන්න පුළුවන් වීම මිනිස්සුන්ට වාසියක් මිස අවාසියක් වුනේ නැහැ. පළතුරු පිරුණු ගහක් හෝ මේද පිරුණු සිරුරක් සහිත ලොකු සතෙක් වරක් හමු වීමෙන් පසුව නැවත හමු වුනේ සෑහෙන කාලයක් ගිහින්. ඒ වන විට සිරුරේ තැන්පත්ව තිබූ ශක්තිජනක ටික වැය වී අවසන්.

නමුත්, දැන් තත්ත්වය වෙනස්. සාගින්නෙන් පෙළෙන මිනිස්සු අදටත් ලෝකය පුරා විසිරී ඉන්න බව ඇත්තක් වුවත් ලංකාව වැනි රටක පවා බොහෝ දෙනෙක්ගේ ආදායම් තමන්ට අවශ්‍ය අවම ආහාර ප්‍රමාණයට වඩා ආහාර වෙනුවෙන් වැය කළ හැකි තරමට ඉහළ ගිහින්. ඉතිං අපි අපිට ආස දේවල් හිතේ හැටියට කනවා.

පරම්පරා ගණනක් අපේ සෞඛ්‍ය වර්ධනයට හේතු වූ පුරුද්දකින් දැන් වෙන්නේ අපේ මරණය ඉක්මන් කරන එකයි. හෘදයාබාධ, ආඝාත හා දියවැඩියාව කියන්නේ ලාංකිකයෙක්ව මරණයට පත් කරන ප්‍රධාන හේතු. වෙනත් බොහෝ රටවල තත්ත්වයත් එහෙමමයි.

රාජිත විසින් සීනි බද්ද හඳුන්වා දීමෙන් අපේක්ෂා කර තිබුණේ මේ වන විටත් ලංකාවේ විශාල සෞඛ්‍යමය ප්‍රශ්නයක් වී තිබෙන දියවැඩියාව පාලනය කිරීමයි. මේ තීරණයේ සෘජු ප්‍රතිඵලය වන්නේ පැණි බීම මිල ඉහළ යාමයි. පැණි බීම වලට සීනි බද්දක් පැනවීම මෑත කාලයේදී වෙනත් බොහෝ රටවල් විසින්ද කර තිබෙන දෙයක්.

ජාන වලින්ම එන පුරුද්ද නිසා පොඩි කාලේ ඉඳලම අපි පැණිරසට ආසයි. ගොඩක් පොඩි කාලේ අම්මගේ නංගිගෙන්, පුංචි අම්මගෙන්, ඉල්ලුවහම බෝතලෙන් සීනි හැන්දක් අල්ලට දමනවා. හැබැයි අම්මා නැති වෙලාවට. අම්ම දැක්කොත් පුංචි අම්මටත් බැණුම් අහන්න වෙනවා.

දැන් පොඩි එකාට වැඩියෙන් ආදරේ අම්මාද නැත්නම් පුංචි අම්මාද? අම්මා හිතනවා සීනි වැඩිපුර දීම හොඳ දෙයක් නොවන බව. සමහර විට ඒ දවස්වල හිතන්න ඇත්තේ දත් නරක් වෙන එක හරි කිරිපණුගාය හැදෙන එක හරි ගැන මිසක් දියවැඩියාව ගැන නොවෙන්න පුළුවන්.

එතකොට පුංචි අම්මා කරන්නේ නරකක්ද? පුංචි අම්මත් කොල්ලට ආදරෙයි. ඈ හිතන්නේ ඔය ඉඳලා හිටලා සීනි හැන්දක් දීලා පොඩි එකාගේ ආසාව ඉටු කළාට මහ ලොකු හානියක් වෙන්නේ නැහැ කියලයි.

මහින්ද කළේත් අපේ පුංචි අම්මා පොඩි කාලේ කළා වගේ වැඩක්. සීනි බද්ද නිසා පැණි බීම මිල වැඩි වුණත් පැණි බීම නැතුවම බැරි එකා කොහොමටත් බොනවා. පැණි රස වැඩිපුර කෑමේ සෞඛ්‍යමය හානි ඉතා හොඳින්ම දන්නා මම වුනත් ජානමය තෙරපුම නිසා හෝ ඇබ්බැහිය නිසා හෝ වෙනත් හේතුවක් නිසා සීනි වලට තියෙන කැමැත්තට ගොඩක් වෙලාවට ඉඩ දෙනවා. මේ ගැන ඇමරිකාවේ ප්‍රධානම සරසවියක පර්යේෂකයෙක් එක්ක ළඟදී කරපු කතාබහක් ගැන පස්සේ වෙනම ලියන්නම්.

රාජිත ක්‍රියා කළේ අපේ අම්මා වගේ. සීනි හැන්දක් දුන්නොත් කොල්ලා දැන් සතුටු වෙයි. ඒත් අනාගතයේදී කණගාටු වෙයි. ඒ නිසා, කොල්ලාගේ දිගුකාලීන සතුට ගැන හිතනවානම් කරන්න ඕනෑ සීනි නොදී ඉන්න එකයි. (කොල්ලා ඒ ගැන දැන් ඉන්නේ සතුටෙන්ද? ඒක වෙනම ප්‍රශ්නයක්!)

මේ සීනි ප්‍රතිපත්ති දෙකෙන් පොදුවේ මහින්දගේ හා රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්ති මොනවාද කියන එකත් නිරූපණය වෙනවා. මහින්ද කරන්නේ ණය අරගෙන හරි කන්න දීලා, තව ප්‍රාග්ධන ආයෝජනත් මොනවා හරි කරලා, මිනිසුන්ව අද සතුටින් තියන එකයි. පස්සේ දියවැඩියාව හැදුනහම, ණය ආපසු ගෙවන්න වුනහම...ඒක ඒ වෙලාවට බලා ගම්මු!

රනිල්ලා හදන්නේ අද සතුට තරමක් කැප කරමින් වුනත් දිගුකාලීනව රටට හොඳයි කියා ඔවුන් හිතන දේ කරන්නයි. හැබැයි මතක තියා ගන්න "දිගුකාලීනව රටට හොඳයි කියා ඔවුන් හිතන දේ".

දැන් මේ ප්‍රතිපත්ති දෙකෙන් වඩා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තිය කොයි එකද? ඇත්තටම බැලුවොත් මහින්ද කටයුතු කරන ආකාරය වඩා ප්‍රජාතන්ත්‍රවාදීයි. ඔහු බොහෝ විට දෙන්න උත්සාහ කරන්නේ වැඩි දෙනෙක් ඉල්ලන දෙයයි. පස්සේ ණය ගෙවන්න වෙනවා කියන එකේ ලංකාවේ වැඩි දෙනෙක්ට අවුලක් නැහැ. වඩා වැදගත් අද කාල බීල ඉන්න එකයි.

(Image: https://www.dailymail.co.uk/health/article-3336474/University-Bath-says-spoonful-sugar-secret-athletic-success.html)

Thursday, October 11, 2018

සතුට, කුඩු හා ණය


අපි සතුට ගැන කතා කරමින් හිටියනේ. ඇතැම් අය සතුට තියෙන්නේ මුදල් වල කියා හිතනවා. තවත් අය එහි අනිත් අන්තයට ගිහින් මුදල් නිසා සතුට නැති වනවා කියා හිතනවා.

සාමාන්‍යයෙන් මුදල් නිසා සතුට නැති වන්නේ නැහැ. නමුත්, එසේ විය හැකි තත්ත්වයන් තියෙන්න පුළුවන්. ඒ වගේම, මුදල් වැඩි වූ පමණින් හැම විටම සතුට වැඩි වෙන්නේ නැති වුවත්, ඇතැම් අය හා අදාළව එය එසේ වෙන්න පුළුවන්. මිනිස්සු එකෙක් අනෙකාගෙන් වෙනස්.

බොහෝ දෙනෙක් හා අදාළව මුදල් හා සතුට අතර තිබෙන්නේ වක්‍ර සම්බන්ධයක්. මුදල් නිසාම සතුට වැඩි නොවන නමුත් මුදල් යහමින් ඇති අයෙකුට තමන්ගේ සතුට වැඩි කරන වෙනත් දේවල් වෙනුවෙන් ඒ මුදල් යොදවන්න පුළුවන්. මුදල් යහමින් නැති කෙනෙකුට වෙන්නේ තිබෙන දෙයින් සතුටු වන්නයි.

කොහොම වුනත්, මුදල් එක් රැස් කර ගැනීමෙන් සතුටු වන අයත් ලෝකයේ ඉන්නවා. එවැනි අය ගැන කතා බෞද්ධ සාහිත්‍යයේ වගේම වෙනත් ආගමික සාහිත්‍යයන් වලත් දැකිය හැකියි. ඒ කියන්නේ ඒ වර්ගයේ මිනිස්සු සහශ්‍ර ගණනකටත් පෙර සිට ලෝකයේ හිටියා. එහෙම නැතුව ධනවාදයක් හෝ වෙන කෙහෙම්මලක් නිසා ඇති වෙච්ච තත්ත්වයක් නෙමෙයි.

මුදල් හැරුණු විට දැනුම, සෞඛ්‍යය, ආගමිකත්වය, පවුල් සම්බන්ධතා, සමාජ සම්බන්ධතා, ලිංගික සම්බන්ධතා, බලය, කීර්තිය වගේ වෙනත් බොහෝ දේවල් වලින් මිනිස්සු සතුටු වෙනවා. ඇතැම් අය, ඇතැම් විට, මේ වගේ වෙනත් දෙයකින් ලැබෙන සතුට වෙනුවෙන් තමන්ගේ අතේ තිබෙන මුදල් කැප කරනවා.

සමහර අය උපුටා දක්වන ඇතැම් පාඨ අනුව ඇතැම් අය ජීවිත කාලයෙන් සෑහෙන කොටසක් මුදල් හොයන්න වෙන් කරලා අන්තිමේදී ධනවතුන් වෙනවා. ඉන් පසුව, ඔවුන්ට තේරෙනවා තමන්ට දැනුම, සෞඛ්‍යය, ආගමිකත්වය, පවුල් සම්බන්ධතා වගේ සතුට ලැබිය හැකි බොහෝ දේ මග හැරී ඇති බව. නමුත්, ඒ වන විට පරක්කු වැඩියි!

දැන් ඔය කතාව උපුටා දක්වන ගොඩක් අය එයින් පෙන්වන්නේ මුදල් පස්සේ පැන්නීමේ තිබෙන නිරර්ථක බවයි. නමුත්, ඔය කතාවේ වෙනත් පැති තිබෙනවා.

සාහිත්‍යකරුවන් ඇතුළු විවිධ කලාකරුවන් ඉහත කතාවට ප්‍රචාරයක් ලබා දෙනවා. ඒ මගින්, එක අතකින් කරන්නේ කොයි තරම් මුදල් ඉපැයූවත් ඒ මුදල් ඉතා ඉක්මණින් නාස්ති කර වත්මන් සතුට වෙනුවෙන් අනාගත සතුට කැප කරන මෙවැනි ඇතැම් අයගේ ජීවන රටාව සාධාරනීකරණය කිරීමයි. කලාකරුවන්ගේ අදහස් ඉතා පහසුවෙන් සාමාන්‍ය ජනතාව අතරට යන නිසා වෙනත් බොහෝ අයත් මුදල් පස්සේ පැන්නීම නිරර්ථක දෙයක් කියා හිතනවා.

ජීවිත කාලයෙන් වැඩි කොටසක් මුදල් පස්සේ පන්නලා ධනවතෙක් වුනාට පස්සේ තමන් එතැනට එද්දී මග හැරුණු වෙනත් දේවල් ගැන කණගාටු වන අය ඕනැ තරම් ඇති. නමුත්, ජීවිතයේ අවසන් කාලය සතුටින් ගෙවන්න තරම් ප්‍රමාණවත් මුදලක් ඉතිරි කර ගැනීම ගැන නොසිතමින් ජීවිතයේ මුල් කාලය වෙනත් දේවල් වලට යෙදවීම ගැන අන්තිම කාලයේදී පසුතැවෙන අය ඇතැම් විට ඊට වඩා ගොඩක් වැඩි ඇති.

මෙතැන තියෙන අවුල මුදල් පස්සේ පැන්නීම හෝ නොපැන්නීම නෙමෙයි. ස්වභාවිකවම ජීවිතයේ තිබෙන අවිනිශ්චිතභාවය හා ඒ අවිනිශ්චිතභාවය ගැන අපට තිබෙන නොදැනුමයි.

අවසන් කාලයේදී තමන්ගේ සෞඛ්‍යය ගැන කණගාටු වෙන්න වෙන බව ස්ථිරවම දන්නවානම් යමෙක් බොහෝ විට මුල් කාලයේදී සල්ලි හොයන්න යොදවන කාලයෙන් කොටසක් සෞඛ්‍යය වෙනුවෙන් යොදවන්න ඉඩ තිබෙනවා. ඒ වගේම, අවසන් කාලයේ සල්ලි නැති කමින් පීඩා විඳින්න වන බව ස්ථිරවම දන්නවානම් මුල් කාලයේ තමන්ගේ සතුට කැප කරලා මුදල් ඉතිරි කරන්න පෙළඹෙන්න ඉඩ තිබෙනවා.

මිනිස්සු හැම වෙලාවෙම ගන්නේ තමන්ගේ සතුට ඉහළ නංවන, තමන්ට හොඳම තීරණ වුවත් ඒ තීරණ නිසා අනාගත සතුටට සිදුවන බලපෑම ගැන නිවැරදි තක්සේරුවකට පැමිණීම හැම විටම කෙරෙන දෙයක් නෙමෙයි.

මත්ද්‍රව්‍ය භාවිතයෙනුත් මිනිස්සු සතුටක් ලබනවා. අපි පහසුවට කුඩු ගැහීම කියා කියමු.

මිනිස්සු කුඩු ගහන්නේ එයින් සතුටක් ලැබෙන නිසා. ඒ සතුට ක්ෂණික සතුටක්. නමුත් සතුට දිගටම පවතින්නේ නැහැ. පැය කිහිපයකට පස්සේ කික් එක නැතුව යනවා. එවිට නැවතත් කුඩු ඕනෑ වෙනවා.

මේ විදිහට සතුටින් ඉන්න දිගින් දිගටම කුඩු ගහන කෙනෙක් කලක් යද්දී කුඩු වලට ඇබ්බැහි වෙනවා. එවිට ඇති වන්නේ වෙනත් තත්ත්වයක්. දැන් සතුටින් සිටීම කෙසේ වෙතත් කුඩු නැතුව ඉන්න වෙලාවට හැදෙන සික් එක නිසාම කුඩු ගහන්න වෙනවා. කලින් ගත්ත ප්‍රමාණයම ගත්තා කියා දැන් ආතල් එකක් නැහැ. සික් එක නැති වෙන එක විතරයි වෙන්නේ. ඒත් පැය කිහිපයකට විතරයි. ආතල් ගන්නනම් කලින් ප්‍රමාණයට වඩා කුඩු අවශ්‍යයි.

ඔය විදිහට දිගින් දිගටම ආතල් ගන්නනම් ගන්න කුඩු ප්‍රමාණය දවසින් දවස වැඩි කරන්න වෙනවා. කලින් ප්‍රමාණයම ගත්තොත් වෙන්නේ සික් එක නැති වෙන එක විතරයි. ඒකත් නොගත්තොත් ඉන්නම බෑ. මේ වැඩේ කෙළවර වෙන්නේ කොතැනින්ද?

රුපියල දිගින් දිගටම අවප්‍රමාණය නොවී තිබෙනවානම් හොඳයි. නමුත්, ඒ සඳහා මහලු කාලය සතුටින් ගෙවීම පිණිස දැන් මහන්සි වී මුදල් ඉතිරි කරන කෙනෙක් වගේ වැඩ කළ යුතුයි. ඒ කියන්නේ අනිත් හැමදේම අමතක කරලා සල්ලි හොයන්න මැරෙනවා කියන එක නෙමෙයි. තමන්ගේ ආදායම්, වියදම් හා ඉතිරි කිරීම් බැලන්ස් කර ගැනීමයි කළ යුත්තේ. සමහර වෙලාවට තමන්ගේම අනාගත සතුට වෙනුවෙන් තරමක් දුරට අද සතුට කැප කරන්න වෙනවා.

ඩොලර් වලින් ණය අරගෙන රුපියල බැලන්ස් කරන එක හරියටම කුඩු ගහනවා වගේ වැඩක්. සල්ලි එනකොට ආතල්. ආර්ථිකයේ නිර්ණායක හැම එකක්ම වගේ හොඳින් පෙනෙන්න තියෙනවා.

ආයෝජන සිදු වෙනවා. හැබැයි අනුන්ගේ සල්ලි වලින්. ඒ නිසා දළ දේශීය නිෂ්පාදිතය වේගයෙන් වර්ධනය වෙනවා. හැබැයි ස්වභාවිකව නෙමෙයි.

ඩොලර් එකේ මිල අඩුයි. හැබැයි ණයට ගත්ත ඩොලර් වෙළඳපොළට එකතු වන නිසා. ඩොලර් එක අඩු නිසා ආනයනික භාණ්ඩ වල මිල අඩුයි. ඒ නිසා උද්ධමනයත් අඩුයි. රටේ නිපදවන බඩු වලට වඩා අඩු මිලකට ආනයනික බඩු මිල දී ගන්න පුළුවන්. අපනයන වලට වඩා ආනයන වැඩි නිසා රටේ පරිභෝජනය හා ආයෝජනය රටේ ආදායමට වඩා වැඩියි. මිනිස්සුන්ගේ සතුට වැඩියි.

දේශීය කර්මාන්ත එකින් එක වැහිලා ගියත් රටේ විරැකියාව අඩුයි. හැබැයි ඒ රජය විශාල කරමින් රැකියා ලබා දෙන නිසා මිස ඵලදායී වැඩක් කෙරෙන නිසා නෙමෙයි. වැඩිවන රජයේ වියදම් අර ණය වලින් ආවරණය වෙන නිසා බදු වැඩි කරන්නත් අවශ්‍ය නැහැ.

ඩොලර් වලින් ණය වැඩි වුනත් ඒ ඩොලර් යොදාගෙන රුපියල අධිප්‍රමාණය කරන්න පුළුවන් නිසා රුපියල් වලින් බැලුවහම ණය අඩු වෙලා. ඒ එක්කම, ණය වලින් රජයේ ආයෝජන ඇතුළු වියදම් ඉහළ යන නිසා දළ දේශීය නිෂ්පාදිතයත් වැඩි වෙනවා. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස බැලුවහම පෙනෙන්නේ රජයේ ණය අඩුවන බවයි.

රුපියල ශක්තිමත් වෙන නිසා පිටරට තිබෙන ඩොලර් ලංකාවට ගේන එක දවසකින් හෝ පරක්කු කළොත් පාඩුයි. ඒ නිසා, එලියේ තිබෙන හැම ඩොලරයක්ම ක්ෂණිකව රට ඇතුළට එනවා. නමුත්, පිටට යවන ඩොලර් දවසක් හෝ පරක්කු කරල යවන තරමට වාසියි.

එළියෙන් 2-3% පොලියකට ඩොලර් වලින් ණය ගන්න පුළුවන්. ලංකාවේ භාණ්ඩාගාර බැඳුම්කර ආදියට 10%ක විතර පොලියක් ලැබෙනවා. ඒ අතර රුපියලත් අධිප්‍රමාණය වෙනවා. රුපියල 2-3%කින් ඉහළ ගියොත් එළියෙන් ගන්න ණය වල පොලිය ගෙවන්න ඒ වෙනසම ඇති. එතකොට අර 10%ක පොලිය එහෙම්මම ලාබ. අවදානමක් නැති ලාබයක් (සාපේක්ෂ පදනමකින්).

අවදානමක් නැතිව ලාබයක් ගන්න පුළුවන් නිසා ආයෝජකයෝ සල්ලි අරගෙන එන්නේ පෝලිමේ. දැන් රුපියල වැඩි මහන්සියක් නැතුව තවතවත් ශක්තිමත් වෙනවා.

හැම දේම නියමෙටම වෙනවා තමයි. හැබැයි මේ හැම දෙයක්ම රඳා පවතින්නේ ඩොලර් වලින් ණය අරගෙන රුපියල බැලන්ස් කිරීම මතයි. කුඩු ගහල ගන්න ආතල් එක වගේම තමයි. ණය ආපහු ගෙවන්න වෙනකොට කික් එක ඉවර වෙලා සික් එක හැදෙනවා.

ණය ගෙවන්න රජයට සල්ලිත් නැහැ. බදු වැඩි කරලා සල්ලි හොයාගත්තත් රුපියල් ඩොලර් කරන්න රටේ ඩොලරුත් නැහැ. ඒ නිසා ණය ගෙවන්න වෙන්නේ තවත් ණය අරගෙනයි.

රජය වෙළඳපොළෙන් නැති ඩොලර් ගන්න ගිය වහාම වෙන්නේ රුපියල ඉතා වේගයෙන් අවප්‍රමාණය වීමයි. එතකොට අර කලින් ඩොලර් අරගෙන ඇවිත් ආයෝජනය කරපු අය බලන්නේ පුළුවන් ඉක්මණින් තමන්ගේ ඩොලර් එළියට ගෙනියන්නයි. එළියේ ඩොලර් තියෙන එය බලන්නේ ඒවා ගේන එක හැකිතරම් පරක්කු කරන්නයි.

ඩොලර් එක වැඩි වෙන කොට ආනයනික බඩු වල මිල වැඩි වෙලා උද්ධමනය ඉහළ යනවා. රජයට වගේම පෞද්ගලික අංශයටත් වැටුප් වැඩි කරන්න වෙනවා. පෞද්ගලික අංශයේ ලාබ අඩුවෙලා රජයට ඒ මාර්ගයෙන් ලැබෙන බදු අඩු වෙනවා. රජයේ සේවක වැටුප් ඉහළ යාම නිසා රජයේ අයවැය හිඟය ඉහළ යනවා. රජයට වක්‍ර බදු ඉහළ දමන්න වෙනවා. වියදම් සීමා කරන්න වෙනවා. ආතල් ඔක්කොම ඉවරයි.

හැබැයි විසඳුමක් තිබෙනවා. ඒ තව ණය ගන්න එක. පොලියත් ගෙවන්න තිබෙන නිසා කලින් ප්‍රමාණයම අරගෙන මදි.

ගන්න කුඩු මාත්‍රාව එන්න එන්නම වැඩි කළොත් ආතල් එක දිගටම තියාගන්න පුළුවන්. පහුගිය ආණ්ඩුවේ ආර්ථික උපාය මාර්ගය වුණේ එයයි. දැන් ආණ්ඩුව කුඩු ගහන්නේ සික් එක නැති කරගන්න අවශ්‍ය තරමට විතරයි. ඒ නිසා ආතල් නැහැ. හැබැයි සික් එක නැති කරගන්න අවශ්‍ය කුඩු ප්‍රමාණය වුවත් එන්න එන්නම වැඩි වෙනවා.

කුඩු ගහන්න පුරුදු වුන කෙනෙක්ව පුනරුත්ථාපනය කරන එක අමාරු හා කල් යන වැඩක්. ඒ කාලයේ සික් එක අමාරුවෙන් හෝ විඳවන්න වෙනවා. අමාරුව වැඩි කමට වැඩේ අත ඇරියොත් ආපහු හිටපු තැනමයි.

(Image: http://www.thequotepedia.com/you-cant-buy-happiness-but-you-can-buy-drugs-and-thats-kind-of-the-same-thing-drugs-quote/)

Saturday, September 29, 2018

අවංක පෙම්වතාට සල්ලි නැත්තේ ඇයි?


පසුගිය ලිපිය පිළිබඳව කිහිප දෙනෙක්ම ප්‍රසාදය පළ කරල තිබුණා. විශේෂයෙන්ම එක් මානවිකාවක් ලෙස අදහස් දක්වන හිතවතිය (කෙටියෙන් එමා කියමු. මේ කෙටි කිරීමට අකැමැතිද දන්නේ නැහැ), පැතුම්, සෙන්නා හා උදය ඇතුළු තවත් අය, පළමු කී දෙන්නා දීර්ඝ ලෙස, ඔවුන්ගේ අදහස් එකතු කරලා තිබුණා. මේ අදහස් ඇතුළේ තවත් බෝල හදන්න අවශ්‍ය නූල් කෑලි සෑහෙන්න තියෙනවා. ප්‍රතිචාර දැමූ සියල්ලන්ටම ස්තුතියි!

ප්‍රතිචාර සේ ලියැවී තිබෙන ගොඩක් දේවල් ගැන අඩු වැඩි වශයෙන් එකඟ වෙන්න පුළුවන්. සමහර අයට මේ ප්‍රතිචාර වලින් කියා ඇති දේවල් හා ලිපියේ කරුණු අතර පරස්පර පෙනෙනවනම් ඒ මේ දේවල් අතර තිබෙන සම්බන්ධය පැහැදිලිව නොපෙනීම නිසා වෙන්න පුළුවන්.

ගොඩක් අය ප්‍රසාදය පළ කරපු ලිපියකින් පසුව ඒ හා අදාළවම තවත් ලිපි ලියා කරුණු එකතු කරන්න ගියාම වෙන්නේ මුලින් වූ ප්‍රසාදය දියාරු වෙලා ගිහින් අර කලින් ආපු කික් එක නැති වෙන එකයි. ඒ වුණත්, ඉතිං කමක් නෑ. අපි අපිමනේ! මම කිවුවේ දැන් මේක කියවන ගොඩක් අය නිතර මෙහි යන එන අය මිසක් ආගන්තුකයෝම නෙමෙයිනේ...

"ටෙලි නාට්‍ය, චිත්‍රපටි වලත් ගොඩක් වෙලාවට ව්‍යාපාරිකයා බිස්නස් ගැන විතරක් හොයන බිසී කෙනෙක් කරලා, එයාගේ බිරිඳ හා දරුවන් පාලුවෙන් කාන්සියෙන් ඉන්න අවස්ථා ගොඩනගනවා වැඩිපුර. අවංක පෙම්වතා ගොඩක් වෙලාවට දුප්පත්."

මෙහෙම කියන්නේ අපේ එමා. ඇත්ත නේද කතාව?

මට මෙතැන තිබෙන වැදගත් කරුණ මේක මේ විදිහට වෙන්නේ ඇයි කියන එකයි.

ටෙලි නාට්‍ය, චිත්‍රපටි කියන්නෙත් මූලික වශයෙන් ආදායම් ඉපදවීම මුල් කරගත් කර්මාන්ත. මේවා වෙනුවෙන් ආයෝජනය කරන අයට මුදල් හෙවීමට අමතරව වෙනත් අරමුණුත් තිබෙනවා වෙන්න පුළුවන්. නමුත්, එයින් අදහස් වෙන්නේ නැහැ මුදල් හෙවීමේ අරමුණක් නැති බව. ඔය ටෙලි නාට්‍ය, චිත්‍රපටි වලට සම්බන්ධ වන හැම දෙනෙක්ම වාගේ මේ කටයුතු හරහා තමන්ට කිසියම් මුදල් වාසියක් ලැබෙනවාට කැමතියි.

ටෙලි නාට්‍ය, චිත්‍රපටි ආදියෙන් මුදල් ලාභ ලබන්නනම් මේවා ජනප්‍රිය වෙන්න ඕනෑ. වෙනත් විදිහකින් කියනවානම් මේවා නැරඹීම වෙනුවෙන් ආවස්ථික පිරිවැයක් දරන්න කැමති විශාල පිරිසක් රටේ ඉන්න ඕනෑ.

ටෙලි නාට්‍ය හා අදාළව මේ මුදල් ප්‍රවාහය සිදුවෙන්නේ වක්‍රව. චිත්‍රපටයක් බලන වෙලාවකදී මෙන් ප්‍රේක්ෂකයෙක් ටෙලි නාට්‍යයක් බැලීම සඳහා සෘජුව මුදල් ගෙවන්නේ නැහැ. නමුත්, වැඩි දෙනෙක් අතර ජනප්‍රිය වෙන්න ඉඩ තිබෙන ටෙලි නාට්‍යයක් වෙනුවෙන් වැඩි මිලක් ගෙවන්න කැමති ආයතනික අනුග්‍රාහකයෙක් හොයා ගන්න අපහසු නැහැ.

මේ වගේ අනුග්‍රාහකයෝ ටෙලි නාට්‍යය වෙලාවේ ප්‍රචාරය කරන තමන්ගේ වෙළඳ දැන්වීම් හේතුවෙන් ඉහළ යන තමන්ගේ භාණ්ඩ හෝ සේවා ඉල්ලුම හරහා හෝ වෙනත් ක්‍රමයකින් ප්‍රේක්ෂකයින්ගෙන් වක්‍රව මිලක් අය කරගෙන එයින් කොටසක් ටෙලි නාට්‍ය නිෂ්පාදකයාට දෙනවා.

සමහර වෙලාවට ඔය වෙළඳ දැන්වීම තිබෙන්නේ ටෙලි නාට්‍යය ඇතුළේම වෙන්නත් පුළුවන්. තිර පිටපත් රචකයා කලින් හිතාගෙන පිටපත ලිවුවේ නැතත් ඒ ඇතුළේ කිසියම් අනුග්‍රාහකයෙකු විසින් සොයමින් සිටින වෙළඳ දැන්වීම හමු වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක එවැනි ටෙලි නාට්‍යයකට අනුග්‍රහය දක්වන්න අනුග්‍රාහකයා දෙවරක් හිතන්නේ නැහැ.

ටෙලි නාට්‍ය අනුග්‍රාහයකුගේ අවශ්‍යතාවය තමන්ගේ නිෂ්පාදනයක අළෙවිය ඉහළ දමා ගැනීම වගේ සරල එකක් නොවෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට අනුග්‍රාහකයාගේ ආයෝජනයේ වාසිය ලැබෙන්නේ ටෙලි නාට්‍යය විසින් රටේ දේශපාලනයට සිදුකරන බලපෑමේ වක්‍ර ප්‍රතිඵලයක් ලෙස වෙන්න පුළුවන්.

හරි. ඔය කොහොම වුනත් වැදගත් කරුණ වන්නේ ටෙලි නාට්‍යය හෝ චිත්‍රපටිය ජනප්‍රිය වීමයි. ඔය කියන කරුණ හා අදාළව ගත්තහම එමාගේ ප්‍රතිචාරයේ සිටින දුප්පත් අවංක පෙම්වතාට ලංකාවේ මම දන්න කාලයේ ඉඳන්ම ලොකු ඉල්ලුමක් තිබෙනවා. පොදුවේ ඉන්දියානු සිනමාව ගත්තත් ඕක ඔහොමයි. මේ තත්ත්වය අදටත් වෙනස් වෙලා නැහැ.

ටික කලකට පෙර විකාශනය වූ බොහීමියානුවා ගොඩක් අය කැමති වූ ටෙලිනාට්‍යයක්. එහි සජිත අනුත්තර විසින් පණ දුන් බොහීමියානුවා (කල්ප) ඔය වර්ගයේ අවංක පෙම්වතෙක්. ඔහුට සල්ලි නෑ. නමුත් ඔහු ඒ හේතුව නිසා තමන්ගේ අරමුණ අතාරින්නෙත් නැහැ.

කල්පට අහම්බෙන් හමුවන ආදරය (උමාලි රඟපාන නූරිගේ චරිතය) ස්ථානගත වී තිබෙන්නේ කල්ප සිටින සමාජ ස්ථරයට වඩා ගොඩක් ඉහළින්. ඒ වගේම නූරි කල්පට ආදරය කරන්නේ ඇය ජීවත්වන මායාව ඇතුලෙ සිට තමන්ගේ අහිමි වූ පෙම්වතා මනසින් මවාගෙන මිසක් ඇත්තටම ඔහුව හඳුනාගෙන නෙමෙයි. ඇත්තක් නොවන බව දැනදැනත්, කල්ප නූරිගේ ඒ ආදරයට ආදරය කරනවා. ඒ වෙනුවෙන් අම්බානක කට්ටක් කනවා. මැරෙන්න පවා සූදානම්ව ඉන්නවා.

මෙතැන කල්පගේ දුෂ්ඨයා වන්නේ කවුද? ඒ වෙන පෙම්වතෙක් නෙමෙයි. නූරිට බොහෝ සේ ආදරය කරන නූරිගේ පියා (බුද්ධදාස විතානාරච්චි). ඔහු සමාජයේ පහළ ස්ථරයක ඉඳලා ඉතා අමාරුවෙන් උඩට ආ කෙනෙක්. ඔහු තමන්ගේ දුවට ගොඩක් ආදරෙයි. දුව දැන් සිටින සමාජ ස්ථරයෙන් පහළට වැටෙනවාට ඔහු කැමති නොවන්නේ ඒ නිසයි. සල්ලි නැති වන විට ආදරයට පමණක් පැවතෙන්න අමාරු බව ඔහු දන්නවා. කොහොම වුනත් ප්‍රේක්ෂකයින්ගේ වීරයා කල්ප මිසක් නූරිගේ පියා නෙමෙයි.

මට තිබෙන ප්‍රශ්න මේවායි. පළමුව, මේ දුප්පත් අවංක පෙම්වතාගේ චරිතයට ලංකාවේ ලොකු ඉල්ලුමක් තිබෙන්නේ ඇයි? එමා විසින් ලියා තිබෙනවාක් මෙන් මෙය කලාකරුවන් විසින් කාලයක් තිස්සේ ලංකාවේ ප්‍රේක්ෂකයින්ගේ මනසේ පින්තාරු කරපු චිත්‍රයක් කියා අපි හිතමු. එහෙමනම්, කලාකරුවන් විසින් එහෙම කරල තියෙන්නේ ඇයි? ආර්ථික විද්‍යා වාග්කෝෂයට ආවොත් මේ සමතුලිතතාවයට හේතු වන ඉල්ලුම් සාධක හා සැපයුම් සාධක මොනවාද?

ආර්ථික විද්‍යාව පැත්තෙන් බැලුවොත් මිනිසුන් අතර සිදුවන නිදහස් ගනුදෙනු වලින් හැම විටම වෙන්නේ අදාළ සියළු පාර්ශ්වයන් වඩා සතුටට පත් වීමයි. එහෙම නොවෙන වෙලාවලුත් තියෙන්න බැරිද?

මහ රෑ මැද්දේ දරුවාට සහලෝලා උණ. තාත්තා මැරිලා. අම්මගේ අතේ පිච්චියක් නැහැ. කහට කෝප්පේ උගුරට හලාගනිද්දී ලෙවකන්න අල්ලට හලාගන්න සීනි හැන්දක්වත් ගෙදර නෑ. ඉතිං කොහොමද දොස්තරට කාසි දෙන්නේ? අම්මා වැඩිමල් ගෑණු දරුවා ගෙට වුනු වෙලාවේ කණට දාපු කරාබු ජෝඩුව ඈ නිදා සිටිද්දීම ගලෝගෙන චීත්ත කොණේ ඔතාගෙන, අකුණු ගහන අනෝරා වැස්සේ කුඩයක්වත් නැතුව තෙමි තෙමී පොලී මුදලාලිගේ දොරට තට්ටු කරනවා.

මුදලාලි අන්තිමට දොර අරිනවා. මුදලාලි හාමිනේ ගමේ ගිහින්. මුදලාලිත් තට්ට තනියම. දරුවාගේ අම්මට කාසි ලැබෙනවා. ඒත් ඒ වෙනුවෙන් ඇයට කරාබු ජෝඩුවට අමතරව තවත් දේවල් දෙන්න වෙනවා. මොනව කරන්නද? පොඩි එකාව බේරගන්නත් එපායැ.

පනස්‌ගණන් වල හැටගණන් වල හදපු චිත්‍රපට වල ඔය වගේ දර්ශනයක් බොහෝ විට වැරදුණේ නැහැනේ. දැන් ඔය තරම්ම අමුවෙන් කියන්නේ නැහැ. නමුත්, කියන්නේ ඔය ටිකම තමයි.

ඔය වගේ වෙලාවක අම්මට සතුටු වෙන්න පුලුවන්ද? මේක තීරණය කරන්න වෙන්නේ ඇයට තිබෙන අනෙක් විකල්පයට සාපේක්ෂවයි.  නරක සේ බැලූ බැල්මට පෙනෙන තේරීමකට කෙනෙක් යන්නේ අනෙක් තේරීම වඩාත් නරක එකක් නිසයි. වඩා නරක තේරීමට සාපේක්ෂව අඩු නරක තේරීම සතුටු විය හැකි එකක්.

සතුට කියන එක එක් එක් පුද්ගලයාට සාපේක්ෂව තීරණය වන දෙයක්. හැම දෙනෙක්ම සතුටු වෙන්නේ එකම දේවල් කිරීමෙන් නෙමෙයි. නමුත්, අපි බොහෝ වෙලාවට හිතන්නේ වෙනත් අය සතුටු වෙන්නෙත් අපි සතුටු වන දේවල් වලින්ම කියලයි. එහෙම හිතලා අපි වෙනත් දුක් විඳින මිනිස්සු ගැන දුක් වුණත් ඇතැම් විට ඒ මිනිස්සු අපට වඩා වෙනස් විදිහකට සතුටු වෙනවා වෙන්න පුළුවන්.

ධනපාල ලොකු ව්‍යාපාරිකයෙක්. ඔහුට ගොඩක් සල්ලි තිබෙනවා. ඔහු උදෙන්ම තමන්ගේ ව්‍යාපාරික කටයුතු සඳහා පිටත්ව යනවා. සති අන්තයේ කියලත් වෙනසක් නැහැ. ගෙදර එන්නේ හොඳටම රෑ වෙලා. ඔහු සිංදුවක් අහන්නේ බොහොම කලාතුරකින්. චිත්‍රපටයක් බලන්නේ නැති තරම්. තරුපහේ හෝටල් වල තිබෙන ව්‍යාපාරික හමු වලදී වෙනත් ව්‍යාපාරිකයින් සමඟ මධුවිත තොල ගානවා.

ජීවක විශේෂඥ වෛද්‍යවරයෙක්. ඔහු රජයේ රෝහලක සේවය කරනවා. රෝහලට යන්න කලින් උදෙන්ම තමන්ගේ පෞද්ගලික සායනයේ පැයක් ගත කරනවා. සේවය ඉවර වෙලා කෙළින්ම යන්නේත් පෞද්ගලික සායනයට. ගෙදර එන්නේ රෑ වෙලා. සෙනසුරාදා දවස ගත කරන්නෙත් පෞද්ගලික සායනයේ. ඉරිදාට තමන්ගේ තේවත්ත බලන්න නගරයෙන් බැහැර යනවා. සිංදු අහන්නේ මෝටර් රථය තුළදී පමණයි. චිත්‍රපටයක් බලන්නේ ඉතාම කලාතුරකින්. ඔහු මධුවිතෙන් ඈත්වයි ඉන්නේ. ධනපාල තරමටම නැතත් ජීවකත් සෑහෙන තරමක ධනවතෙක්.

සංගීත් කලාකරුවෙක්. ඔහුට ගීත ගායනයට මෙන්ම තනු නිර්මාණයටත් දක්ෂතා තිබෙනවා. සංගීත භාණ්ඩ කිහිපයක්ම වාදනය කළ හැකියි. සංගීත සංදර්ශනයක් හෝ වෙනත් කලා කටයුත්තක් තිබෙන දවසට ගෙදර එන්නේ බොහෝ රෑ වෙලා. පහුවෙනිදාට නැගිටින්නේ හොඳටම දවල් වෙලා. එහෙම විශේෂ වැඩක් නැති දවසට කියලත් වැඩි වෙනසක් නැහැ. රෑ වෙනකම් සිංදු කියමින් හා වාදනය කරමින් කාලය ගෙවනවා. මධුවිතෙන් සප්පායම් වෙනවා. ගොඩක් දවසට තවත් යාලුවෝ එක්ක. ඒ අයත් කලාකරුවෝ. සමහර වෙලාවට මලකුත් ගහනවා. අතට සල්ලි ආවහම ලෝබ නැතුව වියදම් කරනවා. උපයන ආදායම කෙසේ වුවත්, ජීවක හා ධනපාලගේ මෙන් ධනයක් සංගීත්ගේ අතේ කවදාවත් රැඳී නැහැ.

දැන් මේ අයගෙන් වැඩිපුරම සතුටු වෙන්නේ කවුද? වැඩිපුරම ජීවිතය විඳින්නේ කවුද?

ලංකාවේ හැදෙන ගොඩක් චිත්‍රපට හා ටෙලිනාට්‍ය වලට අනුවනම් මේ තුන් දෙනාගෙන් සතුටෙන් ඉන්නේ සංගීත්. අනිත් දෙන්නා කරන්නේ සල්ලි හොයන්නම මැරෙන එකයි. ඔවුන්ට ජීවිතයක් නැහැ. ඔවුන් කියන විදිහට සල්ලි කියන්නේ ජීවිතය නෙමයි. සල්ලි හොයන්න මහන්සි වෙද්දී ජීවිතය මග හැරෙනවා.

ඇත්තටම කියනවානම් ධනපාල, ජීවක හා සංගීත් කියන තුන්දෙනාම ජීවිතය විඳිනවා. ඒ ඔවුන්ගේම ක්‍රම වලට.

ධනපාල උදේ ඉඳන් හවස් වෙනකම් ව්‍යාපාරික කටයුතු වල නිරතව ඉන්නේ සල්ලි හොයන්නම නෙමෙයි. ඒ ඔහු සතුටු වන විදිහ. සතුට එක්කම ඔහුට සල්ලිත් ගොඩක් ලැබෙනවා. ඒ සල්ලි නිසා ඔහුගේ සතුට තවත් වැඩි වෙනවා. ධනපාල සිංදු අහන්න, චිත්‍රපට බලන්න කාලය යොදවන්නේ නැත්තේ ඒ දේවල් වලින් ඔහුට සතුටක් නොලැබෙන නිසා. චිත්‍රපට ශාලාවක පැය දෙකක් හිර වී ඉන්න එක ඔහුට බිරිඳ එක්ක ෂොපින් යනවාටත් වඩා බෝරිං වැඩක්. ව්‍යාපාර ලෝකයේ කටයුතු සිදුවන ආකාරය නිරීක්ෂනය කිරීමෙන් ඔහු සතුටක් ලබනවා. තමන්ගේ ව්‍යාපාර දිනෙන් දින දියුණු වන විට ඔහු සතුටු වෙනවා. ව්‍යාපාරික කටයුතු වලට විවිධ අභියෝග එල්ල වන විට ඒවාට උපායමාර්ගික ප්‍රතිචාර දක්වන ආකාරය ගැන හිතන එක ඔහුට ලොකු සතුටක්. ඔහුට ජීවිතය විඳීම වන්නේ මේ අභියෝග වල මුහුණ දීමයි.

ජීවක දිවා රෑ නොබලා පොල් කඩන්නේත් සල්ලි හොයන්නම නෙමෙයි. සල්ලි හෙවීමත් එක් අරමුණක් තමයි. නමුත්, ලෙඩ්ඩු එක්ක කතා කිරීමේ, ඔවුන්ගේ රෝග හඳුනා ගැනීමේ ආතල් එකකුත් තිබෙනවා. ඒ ආතල් එක මොකක්ද කියලා තේරෙන්නේ ඩොකෙක්ටම තමයි. දොස්තර මහත්තයා කලින් දුන්න බේත් ටිකෙන් දවස් දෙකට සනීප වුණා කියල ලෙඩෙක් කියන කොට ඔහුට දැනෙන්නේ මාර සතුටක්. ඒ සතුට එක්කම ලැබෙන සල්ලි නිසා සතුට තවත් වැඩි වෙනවා. ජීවක මත්පැනින් දුරස්ථව ඉන්නේ ඔහුට මත්පැන් බීම හිසරදයක් මිසක් සතුටට හේතුවන කරුණක් නොවන නිසා. ඔහු සිංදුවක් අහන්න, චිත්‍රපටයක් බලන්න අකැමැත්තක් නැතත් මේ වගේ දේවල් වෙනුවෙන් ඕනෑවට වඩා කාලය නාස්ති කිරීම තේරුමක් නැතැයි ඔහු සිතනවා. ලෙඩ්ඩු එක්ක කාලය ගත කිරීමේදී ලැබෙන සතුට හා ලැබෙන මුදල් නිසා එකතුවන සතුට එක ගොඩකට දැම්මහම චිත්‍රපටයකින් හෝ සිංදුවකින් ලැබෙන සතුට මොකක්ද?

සංගීත් ගෙදර ඉන්න දවසට කරන්නෙත් ගිටාරය වයමින් හෝ කී බෝර්ඩ් එක ඔබමින් සිංදු කියන එකයි. බැලුවහම කොයි වෙලාවෙත් සොමියෙන් ඉන්න එළ කොල්ලෙක්. හැබැයි මේ විදිහට ඔහු කරන්නේ ආතල් එකක් ගන්න එකම නෙමෙයි. තමන්ගේ වෘත්තීය දක්ෂතා පවත්වා ගැනීම පිණිස දිගින් දිගටම පුහුණු වෙන එකයි ඔහු කරන්නේ. වක්‍ර විදිහට මෙහිදී වෙන්නේ සංගීත් විසින් තමන්ගේ ආදායම් ඉපැයීමේ හැකියාව වැඩි දියුණු කර ගන්න එකයි.

සංගීත් හිතන්නේ තමන්ට සල්ලි නැතත් තමන් ධනපාලට හා ජීවකට වඩා සතුටින් ඉන්නා බවයි. රස්සාවටම හිර වුනු ජීවිත වල තිබෙන ප්‍රයෝජනේ මොකක්ද? නමුත්, ඔහුත් දවස තිස්සේම ඉන්නේ ඔහුගේ රස්සාව අස්සෙම හිර වෙලා. ඒ බව ඔහුට තේරෙන්නේ නැහැ. ඔහු හිතනවා ධනපාල හා ජීවකත් රස්සා වලම හිර වෙලා ඉන්නේ නැතුව චිත්‍රපටයක් බලලා, සිංදුවක් අහලා, අඩියක් ගහලා, දුමක් ඇදලා ජීවිතය විඳින්න යම් කාලයක් වෙන් කළ යුතුයි කියා. එහෙම නොකර සල්ලි පස්සෙම යන ජීවිතයක තේරුම මොකක්ද කියලා සංගීත්ට තේරෙන්නේ නැහැ.

ධනපාල හිතන්නේ වෙනත් විධිහකටයි. ඔහු හිතන විදිහට ඔහු ජීවිතය විඳින ගමන්ම සල්ලිත් උපයනවා. තවත් අයට රැකියා දී සල්ලි උපයන්න උදවු කරනවා. එහෙම නොකර හැමදාම සල්ලි නැතිකමින් දුක් විඳින සංගීත් වගේ අය ගැන ඔහුට තිබෙන්නේ අනුකම්පාවක්. ඔවුන් කලාව අතහැර "ප්‍රයෝජනවත්" වැඩක යෙදුනානම් මීට වඩා මීට වඩා සතුටින් ඉන්න තිබුණා කියා ධනපාල හිතනවා.

ජීවකට අනුව ධනපාල කියන්නේ සල්ලි පස්සෙම පන්නන මුදලාලි කෙනෙක්. නමුත්, තමන්නම් කරන්නේ සේවයක්. ඒ වගේම ඒ සේවය කරමින්ම තමන් තමන්ට සතුටු විය හැකි ජීවිතයකුත් ගෙවනවා කියලත් ඔහු හිතනවා. ඔහුට අනුව ඔහු ඉන්නේ සංගීත්ට වගේම ධනපාලටත් වඩා සතුටින්.

ඔය තුන් දෙනා අතරින් තමන් හිතන විදිහ සාමාන්‍ය මිනිස්සු විශාල පිරිසකට කියන්න ලැබෙන්නේ සංගීත් වගේ කලාකරුවන්ට පමණයි. ජීවකට හෝ ධනපාලට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා, මිනිස්සු දකින්නේ සංගීත් සතුටින් සිටින බව පමණයි. ධනපාලගේ හෝ ජීවකගේ ධනය මිනිස්සුන්ට දකින්නට ලැබුණත් ඔවුන්ගේ සතුට පිටට පෙනෙන්නේ නැහැ. සතුට පිටතට පෙන්වන සංගීත්ට ඔවුන්ට තරම් ධනයක් නැහැ. ඒ නිසා, ධනය විසින් සතුට පළවා හරින බවක් මිනිස්සුන්ට දැනෙනවා. නමුත්, එය ඇත්ත නෙමෙයි.

කොහොම වුණත්, සංගීත් ඔහුගේ වෘත්තිය අතහැර මුදලාලි කෙනෙක් වුණොත් ඔහු දැන් තරමට සතුටු වෙන එකක් නැහැ. ඒ ඔහු සතුටු වෙන්නේ ධනපාලගේ ක්‍රමයට නොවන නිසා. ඒ නිසා, ධනපාලට ආතල් එකක් ගන්න කියන එකේ වගේම සංගීත්ට සල්ලි හම්බවෙන වැඩකට අතගහන්න යෝජනා කරන එකෙත් තේරුමක් නැහැ.

මේ තුන් දෙනාගෙන් අවංක පෙම්වතෙක්, හොඳ සැමියෙක් වෙන්න පුළුවන් කාටද? ඒක තීරණය වෙන්නේ යම්කිසි ගැහැණියක් හොයන සතුට මොකක්ද කියන එක මතයි. වෛද්‍ය වෘත්තියේ හෝ හෙද වෘත්තිය වැනි කිට්ටුවෙන් යන වෘත්තියක නිරතව සිටින ගැහැණියකගේ අපේක්ෂා සමඟ ජීවකගේ ජීවන විලාසිතාව ගැලපෙනවා. ධනපාලගේ බිරිඳත් ඔහුගේ ව්‍යාපාරයේම කොටස්කාරියක්නම් ඇයට ධනපාලගේ රටාවේ අවුලක් පෙනෙන එකක් නැහැ. කලා ක්ෂේත්‍රයේම සිටින ගැහැණියක් සංගීත් එක්ක ජීවිතය බෙදාගන්න කැමති වෙයි.

යම් විදිහකින් සංගීත් ගැන සිහින මවමින් හිටපු, ඒ විදිහේ ජීවිතයකින් සතුටු වන ගැහැණියකට ධනපාල හෝ ජීවක එක්ක අකමැත්තෙන් විවාහ වෙන්න සිදුවුනොත්නම් ඔන්න අවුලක් තිබෙන්න පුළුවන්. මොකද ජීවිතය කියන්නේ සල්ලි නිසා හෝ වෙනත් දේවල් නිසා ලබන සතුට මිසක් සල්ලි හෝ ඒ වෙනත් දේවල් නොවන නිසා. ඒ වගේම, සංගීත්ගේ ක්‍රමයට අකැමැති ගැහැණියක් ඔහු එක්ක වැඩි කලක් ජීවත් වන එකකුත් නැහැ.

සල්ලි නිසා සතුට නැති වෙනවා කියා කවුරු හෝ කියනවානම් එය පට්ට බොරුවක්. සල්ලි නිසා සතුට නැති වෙන්නේ නැහැ. නමුත්, සල්ලි පස්සේ පැන්නීම නිසා මග හැරෙන වෙනත් දේවල් හේතුවෙන් නැති වෙන සතුට, සල්ලි හොයා ගත්තට පස්සේ සල්ලි නිසා ලැබෙන සතුටට වඩා වැඩි නොවන අවස්ථා තිබෙන්න පුළුවන්. එය පුද්ගලයෙකුගේ රුචිකත්වය හා අවස්ථාව අනුව තීරණය වන දෙයක්.

මේ එක නූල් කෑල්ලක් විතරයි. තව නූල් කෑලි කීපයක්ම ලැබුණු ප්‍රතිචාර අතරේ තියෙනවා.

(Image: /arthamagazine.blogspot.com/2016/10/bohimiyanuwa.html)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...