වෙබ් ලිපිනය:

Showing posts with label ගබ්සාව. Show all posts
Showing posts with label ගබ්සාව. Show all posts

Thursday, January 16, 2020

උඹ යකින්නක් වුනේ කොහොමද?


"සුරඟනට අමතකව දරුවන් හඬද්දී කුණු බක්කියේ
උඹ යකින්නක් වුනේ කොහොමද කියා දීපන් නංගියේ..."

සමන් ලෙනින් ඔහොම අහන්නේ මෝහිණීගෙන්. මෝහිණී ගැන නොදන්නා කෙනෙක් නැහැනේ. ගොර සපුන් ඇහැරෙන ඇඳිරියේ දොළ හඩන තුන්මං හන්දියේ ඈ බලා ගෙන ඉන්නේ අතේ ඉන්න දරුවාව දෙන්න කෙනෙක් එන තුරුයි. අතේ ඉන්න දරුවා ඇයට කරදරයක් වෙන්න ඇති. නමුත්, යකින්නක් වන ඇය මේ දරුවාව කුණු බක්කියකට දමන්නේ නැහැ. පණ පිටින් වලලන්නෙත් නැහැ.

ඒ අතින් බැලුවහම මෝහිණීගේ අතේ ඉන්න දරුවා නැත්නම් දැරිවිය වාසනාවන්තයි. සමහර දරුවෝ ඒ තරම් වාසනාවන්ත නැහැ.

"සුරඟනට අමතකව දරුවන් හඬද්දී කුණු බක්කියේ
උඹ යකින්නක් වුනේ කොහොමද කියා දීපන් නංගියේ..."

රජී වසන්ත වෙල්ගම සමන් ලෙනින් හරහා අහන්නේ සාධාරණ ප්‍රශ්නයක්. අද උදේ වැඩට එද්දී කාර් එකේදී ඔය සිංදුව ඇහෙද්දී මතක් වුනේ රත්නපුර කොස්ගල වත්තේ පදිංචි අවිවාහක තරුණියකට දාව උපන් බව කියන, උපන් මොහොතේම නිවස පිටුපස පස්ගොඩක් යට පැය පහක් තිස්සේ වළ දමනු ලැබ සිටීමෙන් පසුව අසල්වැසියකුගේ ඇස ගැටී පණ බේරා ගෙන තිබෙන බිළිඳියවයි.

මේ මව විසින් කරලා තිබෙන්නේ මෝහිණීවත් නොකරන දෙයක් වුණත් ඈ යකින්නක් කියා අපට එක වරම කියන්න බැහැ. බොහෝ විට ඇගේ පැත්තෙනුත් අපි නොදන්නා කතාවක් ඇති.

උපන් හැටියේම දරුවන්ව මරා දැමීම හෝ මැරෙන්නට අත හැර දැමීම ලෝකය පුරාම අතීතයේ සිටම සිදු වූ දෙයක්. රොබට් නොක්ස් ලංකාවේ සිටි කාලයේදී "දරුවා ආහාර නොමැති කමින් මිය යන තුරු හාමත් කර තැබීමෙන්, දිය බඳුනක හිස ඔබා තබා හුස්ම හිරවී මැරෙන්නට සැලැස්වීමෙන් හෝ පණ පිටින්ම වළලා දමමින්" මැරෙන්නට ඉඩ හළ බව ඔහු ලියා තිබෙනවා. මේ වගේ දේවල් අදටත් ලෝකයේ බොහෝ රටවල සිදු වෙනවා. ඇමරිකාවේ පවා.

ලෝකයේ බොහෝ සමාජ වල ඉතිහාසය පුරාම මේ විදිහට බිළිඳු දරුවන් මරා දැමීම හෝ මැරෙන්නට හැරීම කර තිබෙන්නේ ජනගහණ පාලන උපක්‍රමයක් විදිහටයි. මේක අර ඕස්ට්‍රේලියාවේ ඔටුවන් මැරීම වගේම වැඩක්. උපත් පාලන ක්‍රම ප්‍රචලිත වීමෙන් පසුව ජනගහණ පාලනය සඳහා වඩා "සදාචාර සම්පන්න" විකල්පයක් ලැබුණා. එහෙත්, අදටත් අනවශ්‍ය ගැබ් ගැනීම් සුලබව සිදු වෙනවා.

ලංකාවේ කාන්තාවකට අනවශ්‍ය ගැබ් ගැනීමකින් පහසුවෙන් නිදහස් වීමේ හැකියාවක් නැහැ. එහෙත්, සෑම දිනකම නීති විරෝධී ගබ්සා විශාල ප්‍රමාණයක් රටේ සිදු වන බව ප්‍රසිද්ධ රහසක්. නිසි ලිංගික අධ්‍යාපනයක් නැතිකම අනවශ්‍ය ගැබ් ගැනීම් වලට හේතුවක් වුවත් එය එක් හේතුවක් පමණයි. ලිංගික අධ්‍යාපනයක් තිබුණත් එතැනින් එහාට බොහෝ දේවල් තීරණය වෙන්නේ රටේ බහුතරය හිතන හා ක්‍රියා කරන ආකාරය මතයි.

හතේ අපේ පොත පසුගිය දවස් වල බොහෝ කතාබහට ලක් වුනා. ඔය පොත වසර කිහිපයකට කලින් ලබා දී තිබුණානම් කොස්ගල වත්තේ තරුණියට ඇගේ දරුවාව පණ පිටින් වළලන්න සිදු වෙන එකක් නැද්ද?

හතේ අපේ පොත සර්ව සම්පූර්ණ නැහැ. එහි පැහැදිලි අඩුපාඩු තිබෙනවා. නමුත්, එවැන්නක් එළිදැක්වීම හොඳ ආරම්භයක්. රන්ජන් හඬපට වලින් දරුවන් ලිංගික අධ්‍යාපනය ලබා ගන්නවාට වඩානම් එය අනිවාර්යයෙන්ම හොඳයි. දරුවන් ලිංගික අධ්‍යාපනයක් ලැබිය යුතුයි. එහෙත්, බටහිර රටවල ක්‍රමය ලංකාවට ඒ විදිහටම යොදා ගන්න අමාරුයි.

ඇත්තටම කියනවානම් හතේ පන්තිය කියන්නේත් මේ වැඩේට තරමක් වැඩි වයසක්. ලංකාවේ දරු දැරියන් බොහෝ දෙනෙක් විවිධ ආකාර වල ලිංගික අතවර වලට ලක් වෙන්නේ ඊට වඩා ගොඩක් අඩු වයස් වලදී.

ඇමරිකාවේ දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දෙන්නේ පෙර පාසැල් කාලයේ ඉඳලයි. හැබැයි මෙතැනදී ලිංගික අධ්‍යාපනය කියා කියන්නේ විවිධ ලිංගික ක්‍රියා ගැන කියා දෙන එක නෙමෙයි. මෙවැනි වයසකදී ලිංගික අධ්‍යාපනය කියා කියන්නේ දරුවෙකුට පුද්ගලිකත්වය ගැන කියා දීමයි. පුළුල් ලෙස කියනවානම් දරුවෙකුගේ අයිතිවාසිකම් ගැන හා පෞද්ගලිකත්වය කියන සංකල්පය ගැන ඔවුන්ව දැනුවත් කිරීමකුයි වෙන්නේ. අනෙක් අතට ලොකු පන්ති වලදී වුවත් වඩා බරපතල දේවල් කියා දෙන්නේ දෙමවුපියන් විසින් ලිඛිත අවසරයක් ලබා දී ඇත්නම් පමණයි. ඇමරිකාවේ කිවුවත් මම දන්නා පැති වල. මෙය හැම ප්‍රාන්තයකම වෙන ආකාරය ගැන මම හොයා බලලා නැහැ.

උපන් හැටියේම දරුවන් අතහැර දැමීමේ සිට දරුවන්ට සිදුවන ලිංගික අතවර දක්වා බොහෝ දේ පොදුවේ ගත් විට ළමයින්ට සිදුවන අතවර වල කොටසක්. කායික වධ හිංසා වලට නිතරම ලක් වෙන දරුවෙක් කොයි වෙලේ හෝ ලිංගික අතවරයකට ලක් වීමේ අවදානම වැඩියි. ඒ නිසා, වඩා සුදුසු වන්නේ වධ හිංසා වලට ලක් නොවීමට දරුවෙකුට තිබෙන අයිතිය ගැන පොදුවේ දැනුවත් කරන අතරම නිසි වයසේදී  ලිංගික අතවර ගැනත් යම් දැනුවත් කිරීමක් කරන එකයි. ලිංගිකත්වය හා අදාළ සෞඛ්‍යමය කරුණු ගැන වෙනම දැනුවත් කිරීමක් කළ හැකියි.

පසුගිය දවස් වල සංසරණය වූ දරුවෙකුට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝව දරුවන්ට සිදු වන වධ හිංසා පිළිබඳ ඇස් අරවන්නක් වෙන්න පුළුවන්. එහෙත්, කොළඹ ගමයා විසින් පළ කර තිබුණු සුමීර ගුණසේකරගේ ලිපියේ ඇති පරිදි, මේ වගේ දේවල් ඉතාම සුලබ දේවල්. වධකයින් වන වැඩිහිටියන් අසල්වැසියන් එක්ක ප්‍රශ්න ඇති කරගෙන නැත්නම් බොහෝ විට ඔවුන් වින්දිතයින් වන දරුවන් වෙනුවෙන් පෙනී නොසිට ඇහැ කණ පියාගෙන ඉන්න එකයි කරන්නේ.

ලිංගික අතවර වේවා, වෙනත් වධ හිංසා වේවා, තමන්ගේ නිවසේදීම දරුවෙක් අතවර වලට ලක් වන විට දරුවා ඉතාම අසරණ තත්ත්වයකට පත් වෙනවා. දරුවෙකු මේ වගේ වෙලාවක කට පියාගෙන ඉන්න පුරුදු වෙන්නේ මුළු ලෝකයම ඉන්නේ වධක වැඩිහිටියන්ගේ පැත්තේ මිසක් තමන්ගේ පැත්තේ නොවන බව තේරුම් ගැනීමෙන් පසුවයි. හැකි ඉක්මණින් ලොකු මහත් වී වැඩිහිටියන්ගෙන් නිදහස් වීම හැර දරුවා දකින වෙනත් විකල්පයක් නැහැ.

මේ විදිහට කුණු ගොඩවල් වල ළමා කාලයම ජීවත් වෙන්න සිදු වී ඇති දරුවන් කුඩා කාලයේම කුණු ගොඩකට වීසි කරනු ලැබ මිය යන දරුවන්ට වඩා අවාසනාවන්තයි. හැම විටම නොවූවත්, සොයා බැලුවොත් ඔවුන් බොහෝ විට තමන්ගේ ජීව විද්‍යාත්මක මවුපියන් දෙදෙනා සමඟ ජීවත් නොවන දරුවන්. අර වීඩියෝවේ සුළු මවගෙන් පහර කන දැරිය වගේ.

ඇමරිකාවේදීනම් මේ වගේ වෙලාවක පාසැලේ ගුරුවරයෙකුට දැනුම් දීමට දරුවන්ව දැනුවත් කරනවා. එසේ දරුවෙකු විසින් දැනුම් දීමක් කළ විට, එසේත් නැත්නම් දරුවෙකු නිවසේදී කිසියම් වධ බන්ධනයකට ලක් වන බව ගුරුවරයෙකුට සැක සිතුණු විට අනුගමනය කළ යුතු නිශ්චිත ක්‍රියා පටිපාටියක් තිබෙනවා. ගුරුවරයෙකුට ඒ ක්‍රියාපටිපාටියෙන් බැහැර වෙන්න බැහැ.

ලංකාවේනම් හැමෝම නැතත් බොහෝ දෙමවුපියන් වගේම ගුරුවරුනුත් වධකයින්. කණගාටුවට කරුණ එය වරදක් කියා බොහෝ දෙනෙක් නොසිතන එකයි. මෙය සංස්කෘතියේ කොටසක්නම් එය වෙනස් විය යුතු කොටසක්.

කුඩා කාලයේ ලිංගික අතවර වලට හෝ වෙනත් ශාරීරික හෝ මානසික වධ හිංසා වලට ලක්වන හැම දරුවෙක්ම වැඩිහිටියෙකු වූ විට සමාජ විරෝධියෙකු හෝ මානසික රෝගියෙකු වෙන්නේ නැතත් එවැනි වැඩිහිටියන් අතර කුඩා කාලයේ අතවර වලට ලක් වූ අය වැඩියි. කිසියම් සමාජයක් දරුවන්ට හා වෙනත් දුර්වල අයට සලකන ආකාරයෙන් අදාළ සමාජයේ නිරෝගී භාවය පිළිබිඹු වෙනවා. එසේ වුවත්, සමාජයක් සැබෑවටම නිරෝගී බව කිව හැක්කේ ආකල්පමය වෙනසකින් එය සිදු වී ඇත්නම් මිසක් දැඩි නීති රීති හරහා කෘතිමව එවැනි තත්ත්වයක් පෙනෙන්නට සලස්වා ඇති අවස්ථා වලදී නෙමෙයි.


Wednesday, October 24, 2018

සාධාරණ කාසි


ලංකා ඉතිහාසයේ මුල හරියේ හමුවන රජ වරුන්ට පුත්තු වැඩිපුර ඉඳලා තිබෙන බව මහා වංශය අනුව පේනවනේ. ඒ වගේම, අන්තිම හරියේ රජකරපු "රජවරුන්ටත්" ඉන්නේ පුත්තුමනේ. එහෙම වෙන්න පුලුවන්ද?

ගොඩක් අය හිතාගෙන ඉන්නේ කාට හරි ලැබෙන දරුවෙක් ගැහැණු හෝ පිරිමි වීම අහඹු දෙයක් කියලයි. හරියට කාසියක් උඩ දැම්මහම සිරස හා අගය ලැබීම වගේ.

කාසියක් උඩ දැම්මහම සිරස හෝ අගය වැටීමේ සම්භාවිතාව 50%ක් නැත්නම් 0.5ක් කියලා ඉගෙන ගත්ත අය ඕනෑ තරම් මෙය කියවන අය අතර ඇති. ඒ පදනම මත බැලුවොත් කාසියක් එක දිගට උඩ දමන විට එක දිගටම සිරස නැත්නම් අගය වැටෙනවානම් ටිකක් අවුල් වගේනේ.

කවුරු හරි කාසියක් උඩ දමලා මේ කතාව හරිද කියලා පරික්ෂා කරල තියෙනවද?

කාසියක් එක පාරක් උඩ දමලා මේ කතාව හරිද වැරදිද කියන එක තහවුරු කරගන්න බෑනේ. එක්කෝ අගය නැත්නම් සිරස වැටෙයි. කතාව හරිද බලන්න වාර ගණනක් කාසිය උඩ දාන්න ඕනෑ.

අපි හිතමු ඔය කියන සම්භාවිතාව 0.5මයි කියලා. එවිට කාසිය දෙපාරක් උඩ දැම්මොත් දෙපාරම සිරස වැටෙන්න 0.25ක සම්භාවිතාවක් තිබෙනවා. අගය දෙපාරක් වැටෙන්නත් 0.25ක සම්භාවිතාවක් තිබෙනවා. සිරස හා අගය සමාන වාර ගණනක් වැටෙන්න තිබෙන සම්භාවිතාව 0.5ක් පමණයි.

එක දිගට කාසිය දහ පාරක් උඩ දැම්මොත් සිරස හා අගය වාර පහ බැගින් වැටෙන්න තිබෙන සම්භාවිතාව කුමක්ද? එය 0.2461ක් පමණ වෙනවා.

කාසිය උඩ දමන වාර ගණන වැඩි වෙද්දී සිරස හා අගය වැටෙන වාර ගණන සමාන වෙන්න තිබෙන සමභාවිතාව ටිකෙන් ටික අඩු වෙනවා. සිය වාරයක් උඩ දැම්මොත් සිරස හා අගය පණහ පණහ බැගින් වැටෙන්න තිබෙන සම්භාවිතාව 0.0786ක් පමණයි.

කොහොම වුණත් මේ විදිහට කාසිය උඩ දමන වාර ගණන වැඩි වන තරමට සිරස හෝ අගය වැටෙන වාර ගණන මුළු වාර ගණනේ ප්‍රතිශතයක් ලෙස 50%ට ටිකෙන් ටික කිට්ටු වෙනවා. ඕකට කියන්නේ විශාල සංඛ්‍යා වල නීතිය කියලා.

නමුත්, මේක වෙන්නේ එක වාරයක් කාසිය උඩ දැම්මහම සිරස හෝ අගය වැටෙන සම්භාවිතාව 0.5ක්නම් පමණයි. ඒ වගේ ප්‍රතිඵලයක් ලබා දෙන කාසියකට සාධාරණ කාසියක් කියා කියනවා.

ඔය සාධාරණ කාසියක් කියන්නේ ගණිතමය සංකල්පයක්. ඇත්ත කාසි කිසිවකට සාධාරණ කාසි කියන්න බැහැ. ඒවා හදලා තියෙන්නේ හරියටම සමමිතිකව නෙමෙයි. ඒ නිසා, කවුරු හරි සැබෑ ලෝකයේ කාසියක් අරගෙන විශාල වාර ගණනක්, අපි හිතමු වාර මිලියනයක් විතර, ඕක උඩ දැම්මොත් සිරස හෝ අගය වැටෙන වාර ගණන මුළු වාර ගණනේ ප්‍රතිශතයක් ලෙස කිට්ටු වෙන්න ඉඩ තිබෙන්නේ 0.5ට ආසන්න වුවත් 0.5ම නොවන සංඛ්‍යාවකටයි.

වාර කිහිපයක් සිරස හෝ අගය දෙකෙන් එකක්වත් නොවැටී කාසිය කෙළින් හිටින්නත් ඉඩ තිබෙනවා. රුපියල් පහේ කාසියක් වගේ ඝනකම කාසියක්නම් මේ ඉඩකඩ තවත් වැඩියි.

අපි හිතමු කාසිය ඔය කියන විදිහේ සෛධාන්තික සාධාරණ කාසියක්ම කියලා. එහෙම වුනත්, උඩ දාන පුද්ගලයා මත ප්‍රතිඵලය වෙනස් වෙන්න පුළුවන්. හොඳට නිරීක්ෂණය කරල බලන්න කිසියම් පුද්ගලයෙක් කාසිය උඩ දාන්න පෙර එය තියා ගන්නේ කොහොමද කියලා. එක් එක් පුද්ගලයාට අනන්‍ය රටාවක් දකින්න බැරි වෙන එකක් නැහැ. සමහර අය සිරස උඩට තියාගෙන කාසිය උඩ දමයි. තවත් අය එහි අනිත් පැත්ත කරයි. මේ වගේ දේවල් වෙන්නේ නිරායාසයෙන්මයි.

කොහොම වුනත් ඔය කියපු වෙනස්කම් නිසා කාසියක් උඩ දැම්මහම සිරස හෝ අගය වැටීමේ සම්භාවිතාව මහා ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා, ක්‍රිකට් තරඟයක් අරඹන අවස්ථාවක් වගේ වෙලාවකදී ප්‍රායෝගිකව මේ සම්භාවිතාව 0.5ක් කියා ගන්න එකේ ලොකු අවුලක් නැහැ.

දැනට කර තිබෙන පර්යේෂණ අධ්‍යයන අනුව, දරුවෙකු පිළිසිඳගන්නා අවස්ථාවේදී ගැහැණු හෝ පිරිමි වීමේ සම්භාවිතාව 0.5 හෝ එයට ඉතාමත්ම කිට්ටු අගයක්. නමුත්, මේ විදිහට සිදුවන පිළිසිඳ ගැනීම් සියල්ලම සජීවී දරු උපත් විදිහට අවසන් වෙන්නේ නැහැනේ.

කළලයක් වැඩෙන මාස නවයක පමණ කාලය තුළ ස්වභාවිකවම ගබ්සා වන කළල වලින් වැඩි ප්‍රමාණයක් ගැහැණු කළල. සමහර විට ගැහැණියක් බිහි කිරීමේදී ස්වභාව ධර්මය වඩා වැඩි සැලකිල්ලක් දක්වනවා ඇති. එහෙම වෙන්න හේතු තියෙනවා. දුර්වල කළල වැඩි ප්‍රමාණයක් ස්වභාවිකව ගබ්සා වූ තරමට එසේ ගබ්සා නොවී ඉතිරි වන්නේ වඩා නිරෝගී කළල. ගැහැණියක් පිරිමියෙකුට වඩා වැඩි කාලයක් ජීවත් වෙන්න මෙයත් හේතුවක් වෙනවා ඇති.

මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්මට වඩා වැදගත් වෙන්නේ පිරිමියෙකුට වඩා ගැහැණියක් වැඩි කල් ජීවත් වීමයි. පිරිමියෙකුට වර්ගයා බෝ කිරීමේ තමන්ගේ යුතුකම කරන්න මහා ලොකු කාලයක් ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. අවුරුදු විස්සක් ජීවත් වන පිරිමියෙකුට වුවත් දරුවන් සිය ගණනක් බිහි කරන්න බැරි කමක් නැහැ. නමුත්, ගැහැණියකට ඒ ආකාරයට කෙටි කාලයක් තුළ දරුවන් විශාල පිරිසක් බිහි කිරීමේ හැකියාවක් නැහැ.

ස්වභාවික තත්ත්වයන් යටතේදී සජීවී ගැහැණු දරු උපත් 100ක් සිදු වෙන විට සජීවී පිරිමි දරු උපත් 105ක් පමණ සිදු වෙනවා. ඒ කියන්නේ පිරිමි දරුවෙකු ඉපදෙන්න තිබෙන සම්භාවිතාව 51%කට ටිකක් වැඩියි. ගැහැණු දරුවෙක් ඉපදීමේ සම්භාවිතාව 49%කට ටිකක් අඩුයි.

මේ කිවුවේ ස්වභාවික තත්ත්වයන් යටතේ. දැන් තිබෙන්නේ ස්වභාවික තත්ත්වයන්ම නෙමෙයිනේ. ලෝකයේ ගොඩක් රටවල නීත්‍යානුකූලවත්, ලංකාව වගේ රටවල් වල නීතියට පිටින් අවිධිමත් විදිහටත් සැලසුම් සහගතව ගබ්සා කිරීම් සිදු වෙනවනේ. ඒ වගේම කළලයට සති ගණනක් වෙද්දී ගැහැණු පිරිමි බව හොයාගන්න එකත් දැන් සරල දෙයක්නේ. මේ කරුණු දෙකේ ප්‍රතිඵලයක් විදිහට ඇතැම් රටවල සජීවී පිරිමි දරු උපතක් සිදු වීමේ සම්භාවිතාව ඔය කලින් කියපු ගණනටත් වැඩියි.

අපේ අසල්වැසි ඉන්දියාවේ සජීවී ගැහැණු දරු උපත් 100ක් සිදු වෙන විට සජීවී පිරිමි දරු උපත් 111ක් පමණ සිදු වෙනවා. චීනයේ මේ අනුපාතය 115ක්. ඉන්දියාව හා චීනය කියන්නේ ලෝකයේ වැඩිම ජනගහණයක් සිටින රටවල් දෙක නිසා ලෝකයම ගත්තහම සජීවී පිරිමි දරු උපත් අනුපාතය පැහැදිලිව පෙනෙන තරමට ස්වභාවික අනුපාතයට වඩා වැඩියි. ලංකාවේ අනුපාතයනම් ස්වභාවික අනුපාතයට කිට්ටුයි. ලංකාවේත් ගබ්සා කිරීම් විශාල සේ සිදු වුණත් ගැහැණු පිරිමි බව අනුව වෙනසක් ලොකුවට වෙනවා කියා මම හිතන්නේ නැහැ.

කොහොම වුනත්, උපදින දරුවෙකුගේ ගැහැණු පිරිමි බව කියන්නේ සාධාරණ කාසියක් උඩ දැමීමක් නෙමෙයි. ඒ නිසා, පුතෙක් බලාපොරොත්තු වන කෙනෙක්ගේ කැමැත්ත ඉටුවෙන්න තිබෙන ඉඩ 50%ට වඩා තරමක් වැඩියි.

රජවරුන්ගේ පුත්තු ගැන පැහැදිලි කරන්නනම් මේ ප්‍රවාදය ප්‍රමාණවත් නැහැ. ඒ ගැන කතා කරන එක තවත් දවසකට තියමු.

ඊට කලින් කැමති කෙනෙක්ට පිළිතුරු දෙන්න පොඩි ගණිත ගැටලුවක් පහත තියෙනවා. මෙය විසඳීමේදී ඉහත කියැවූ විස්තර අමතක කරලා දරුවෙක් ගැහැණු හෝ පිරිමි වෙන්න තිබෙන සම්භාවිතාව සමාන සේ සලකන්න.

අමලා සහ කමලා යන දෙන්නටම දරුවන් දෙදෙනා බැගින් ඉන්නවා. අමලාගේ වැඩිමල් දරුවා පුතෙක්. කමලාගේ (අඩු වශයෙන්) එක් දරුවෙක් පුතෙක්.

(1) අමලාට පුත්තුම දෙන්නෙක් සිටීමේ සම්භාවිතාව කීයද?
(a) 1/4
(b) 1/3
(c) 1/2
(d) 3/4

(2) කමලාට පුත්තුම දෙන්නෙක් සිටීමේ සම්භාවිතාව කීයද?
(a) 1/4
(b) 1/3
(c) 1/2
(d) 3/4

(Image: http://www.cityofphysics.com/blog/2015/12/08/flipping-coins-and-gender-quotas/)

Monday, October 2, 2017

දුලබ මිනිස්කම


උපත් පාලනය හා ගබ්සාව ගැන කතා කරන්නට පෙර උපත ගැන කතා කළ යුතුය. උපත ගැන කතා කරන්නටනම් ඉපදෙන පුද්ගලයෙක් සිටිය යුතුය. පුද්ගල අයිතිවාසිකම් ගැන කතා කළ හැක්කේද පුද්ගලයා යනු කවුදැයි අර්ථදැක්වීමෙන් පසුවය. පුද්ගල අයිතිවාසිකම් ඇති පුද්ගලයෙකු යනු කිසියම් කාලයකට හා සමාජයකට සාපේක්ෂ සම්මතයක් පමණක් බව අපි පෙර පැහැදිලි කරගත්තෙමු. මෙසේ පුද්ගලයකු බවට පත් වන තැනැත්තාගේ මූලික අවස්ථාවක් තිබේනම් එය කුමක්ද?

බොහෝ සමාජ වල සම්මතය අනුව හා නීතිය අනුව මේ මූලික අවස්ථාව දරුවෙකු මවුකුසෙන් එළියට පැමිණ ස්වාධීන ජීවියෙකු බවට පත් වන අවස්ථාවයි. එහෙත් මේ සඳහා වෙනස් සම්මත භාවිතා කරන සමාජ හා නීති ක්‍රමද තිබේ. ඒ වෙනස් සම්මත අමතක කර ප්‍රමුඛ සම්මතය අනුව ගියහොත්, යම් කිසිවෙකු මවු කුසෙන් එළියට පැමිණි දරුවෙකු මරා දැම්මොත් එය සැලකෙන්නේ මනුෂ්‍ය ඝාතනයක් වශයෙනි. එහෙත්, ඊට පෙර මවුකුස තුළදී ඒ දරුවා මරා දැම්මොත් එය හඳුන්වන්නේ ගබ්සාවක් වශයෙනි. ගබ්සාවක් ඇතැම් විට මනුෂ්‍ය ඝාතනයක් ලෙස සැලකෙන්නට පුළුවන.

ලංකාවේ නීතිය ගත්තත් මවුකුසේ සිටින දරුවෙකු හා මවුකුසෙන් එළියට පැමිණි දරුවෙකු අතර නීතිමය ලෙස විශාල වෙනසක් තිබේ. කිසියම් ගර්භණී කාන්තාවක් දරු උපතකට මොහොතකට පෙර විවාහ වුවහොත්, අදාළ කාන්තාව සමඟ විවාහ වන පුද්ගලයා ස්වයංක්‍රීය ලෙසම ඉපදෙන දරුවාගේ නීත්‍යානුකූල බවට පියා බවටද පත් වේ. එහෙත්, ඒ දරුවාව සිසේරියන් ශල්‍ය කර්මයක් මඟින් ටික වෙලාවකට පෙර එළියට ගත්තේනම් එය එසේ නොවේ.

අද මෙන් සිසේරියන් ශල්‍යකර්ම මඟින් නියමිත දිනට සැලකිය යුතු තරම් කලින් දරුවකු මවුකුසෙන් එළියට ගන්නට හැකියාවක් නොතිබුණු, දරු උපතක් සිදුවන මොහොත බොහෝ දුරට අහඹු දිනයක් හා වෙලාවක් වූ කාලයේදීද උපතක් සිදුවන අවස්ථාව කුමක්ද යන ගැටලුව තිබුණේය. ඇතැම් අය මේ අවස්ථාව පෙකණි වැල කපන අවස්ථාව ලෙසත්, තවත් අය දරුවාගේ හිස එළියට පැමිණි වෙලාව ලෙසත්, තවත් අය දරුවා මුලින්ම හුස්මගත් වෙලාව ලෙස හෝ මුලින්ම හඬන ලද මොහොත ලෙසත් සැලකුවේය. වෛද්‍යවිද්‍යාවේ දියුණුව සමඟ දරුවකු ඉපදෙන මොහොත හඳුනාගැනීම වඩාත් සංකීර්ණ වී ඇත. ඒ නිසා, ගබ්සාවක් හා මිනීමැරුමක් ඉරක් ගසා වෙන් කිරීමද සම්මතය මත මිස "නිවැරදි ලෙස" කිරීම අසීරු දෙයකි.

ගබ්සාව හා උපත් පාලනය වෙන් කරන ඉරද මේ ආකාරයේම අවිනිශ්චිත ඉරකි. ඒ ගැන කතා කිරීමට පෙර දරු උපත මෙන්ම අවිනිශ්චිත සංකල්පයක් වන දරුවකු පිළිසිඳගැනීම යනු කුමක්දැයි විමසිය යුතුය.

දරුවෙකු පිළිසිඳගැනීම සඳහා පිරිමියෙකුගේ ශුක්‍රාණුවක් හා ගැහැණියකගේ ඩිම්බයක් එකතු විය යුතුය. සරල ලෙස මෙසේ කිවුවත් මෙයද ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි.

වසර දෙතුන් දහසකට පෙර සිටම මිනිසුන්ට අහසේ ඇති විවිධ ග්‍රහ වස්තූන්ගේ පිහිටීම් ඒවා නොපෙනෙන දවල් කාලයේදී පවා හරියටම කියන්නට පුළුවන් වූ දැනුමක් තිබුණේය. එහෙත්, දරු උපතක් සිදුවන ආකාරය ගැන මිනිසුන් ඉතා මෑතක් වන තුරුම නිවැරදිව දැන සිටියේ නැත. මේ හා අදාළ දැනුම දැනටත් අලුත් වෙමින් පවතින දැනුමකි.

මිනිස් දරුවකු බිහි කරන්නට අවශ්‍ය වන්නේ එක් ඩිම්බයක් හා එක් ශුක්‍රාණුවක් පමණි. එහෙත්, පිරිමියෙකු සිය ජීවිත කාලය තුළ ශුක්‍රාණු බිලියන 500කට වඩා වැඩි ප්‍රමාණයක් නිපදවයි. මේ විශාල ශුක්‍රාණු ප්‍රමාණයෙන් අවසානයේදී ප්‍රයෝජනයට ගැනෙන්නේ සාමාන්‍ය වශයෙන් ශුක්‍රාණු දෙකකට මදක් වැඩි ප්‍රමාණයක් පමණි. පිරිමියෙකුගේ ජීවිත කාලය ඇතුළත ඔහුගේ සිරුරේ නිපදවෙන ශුක්‍රාණුවක් මිනිසෙකු බිහි කිරීමට දායක වීමට ඇති සම්භාවිතාව ඉතාම අඩු එකක් වන අතර ඉතිරි ශුක්‍රාණු සියල්ල කිසියම් හෝ පෙර අදියරකදී විනාශ වී යයි. කිසියම් කටයුත්තක් සඳහා පෘථිවිය මත ජීවත් වන මිනිසුන් සියලු දෙනා අතරින් අහඹු ලෙස එක් අයෙක් පමණක් ඉතිරිව අනෙක් සියලු දෙනා මරණයට පත් වන ව්‍යසනයකදී එසේ ඉතිරි වන පුද්ගලයා ඔබ වන්නට ඇති සම්භාවිතාව ශුක්‍රාණුවක් ඩිම්බයක් සමඟ එකතු වීමට ඇති ඉඩකඩ මෙන් 30 ගුණයක් පමණ වේ.

පිරිමියෙකු ශුක්‍රාණු මුදා හරින එක අවස්ථාවකදී වුවත් ශුක්‍රාණු මිලියන 50ක පමණ සිට බිලියනයක් පමණ දක්වා ප්‍රමාණයක් මුදා හරී. ඒවා අතරින් එකකට වැඩි ප්‍රමාණයක් මිනිස් කළලයක් බිහිකරන්නට දායක වන්නේ ඉතාම කලාතුරකින් පමණි. මේ තරම් තරඟකාරී තේරීමක් සිදුවන්නේ වඩාත්ම හොඳ මිනිස් කළල බිහි කිරීම සඳහා සිදුවන ස්වභාව ධර්මයේ උපක්‍රමයක් වශයෙනි. පිරිමියෙකු එක් වර මුදාහරින ශුක්‍රාණු සෛල ගණන මෙතරම් විශාල ප්‍රමාණයක් වී ඇත්තේ පරිණාමය සිදුවන ආකාරයේ ප්‍රතිඵලයක් ලෙසිනි.

ගැහැණියකගේ යෝනි මාර්ගය, ගැබ් ගෙල හා ගර්භාෂය පසුකර පැලෝපීය නාලය කරා ගමන් කරන ශුක්‍රාණු වලින් විශාල ප්‍රමාණයක් මේ දුෂ්කර ගමනේදී ඩිම්බයක් හමුවන්නට පෙර විනාශ වී යයි. ඇතැම් ඒවා වැරදි පාරක ගොස් හෝ අතරමඟ හිරවී විනාශ වෙයි. පිරිමියෙකු වරකට මුදා හරින ශුක්‍රාණු ප්‍රමාණය වැඩි වන තරමට ඒවායින් එකක් ඩිම්බයක් සමඟ එකතු වී කළලයක් බවට පත් වීමේ ඉඩකඩ වැඩිවේ. ඒ නිසා, කිසියම් හෝ  ජාන විකෘතියක් නිසා වෙනත් පිරිමින්ට වඩා වැඩි ශුක්‍රාණු ප්‍රමාණයක් මුදාහරින පිරිමින්ට වැඩි දරුවන් ප්‍රමාණයක් බිහිකරන්නට හැකිවේ. ඔහුගෙන් මෙසේ බිහිවන පිරිමි දරුවන්ටද පියාගේ ජාන නිසා මේ හැකියාවම ලැබුණොත් ඔවුන්ටද වෙනත් අයට වඩා වැඩි දරුවන් ප්‍රමාණයක් බිහි කරන්නට අවස්ථාව ලැබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස පරම්පරාවෙන් පරම්පරාවට ජනගහණයේ සිටින වැඩිපුර ශුක්‍රාණු මුදාහරින පිරිමින් වැඩි වී අවසානයේදී එය සාමාන්‍ය තත්ත්වය බවට පත් වේ.

තවත් කලක් යද්දී මේ අය අතරෙන් එක් පිරිමියෙකුට නැවතත් ජාන විකෘතියක් නිසා වෙනත් පිරිමින්ට වඩා වැඩි ශුක්‍රාණු ප්‍රමාණයක් මුදාහැරීමේ හැකියාවක් ලැබේ. කලින් ක්‍රියාවලියම පුනරාවර්තනය වීම නිසා ජනගහණයේ පිරිමියෙකු විසින් මුදාහරින ශුක්‍රාණු ප්‍රමාණය තවත් වැඩි වේ.

මිනිස් පිරිමියෙකු දරුවෙකු බිහි කිරීමේ සම්භාවිතාව තනිකරම රඳා පවතින්නේ ඔහු විසින් වරකට මුදා හරින ශුක්‍රාණු ප්‍රමාණය මතනම් පරිණාමයේ නීති අනුව සිදුවිය යුත්තේ කාලයක් යද්දී ඉතා විශාල වෘෂණ කෝෂ සහිත මිනිසුන් බිහි වීමයි. එහෙත්, මිනිස් පිරිමියෙකු වරකට මුදා හරින ශුක්‍රාණු ප්‍රමාණය ඔහුගේ ජාන සහිත ජනිතයෙකු බිහි වීමේ සම්භාවිතාව තීරණය කරන එකම සාධකය නොවේ. සංස්කෘතික සාධක ඇතුළු වෙනත් හේතු නිසා සෑම පිරිමියෙකුටම ගැහැණුන් සමඟ එකතු වීමට සමාන අවස්ථා නොලැබේ. මෙය වෙනත් සතුන්ටද පොදු දෙයකි.

ගෝරිල්ලන් රංචුවක ගැහැණු ගෝරිල්ලන් සියල්ලන්ම සමඟ වාගේ සංසර්ගය කිරීමේ අවස්ථාව ලැබෙන්නේ රැළේ නායකයාට වන අතර අනෙක් බොහෝ ගෝරිල්ලන්ට ඒ සඳහා කිසිදු අවස්ථාවක් නොලැබේ. ඒ නිසා, ගෝරිල්ලන් හා අදාළව ගත් විට ජනිතයන් බිහි කිරීමේදී වඩා වැදගත් වන්නේ වරකට මුදා හරින ශුක්‍රාණු ප්‍රමාණය නොව රැළේ නායකයා වීමට ඇති ඉඩකඩයි. ඒ අවස්ථාව ඉහළ නංවන්නේ ශරීර ප්‍රමාණය වැනි දේ තීරණය කරන වෙනත් ජානයි.

එහෙත්, වඩා "සමාජවාදී" සංස්කෘතියක් ඇති චිම්පන්සින් අතර තත්ත්වය වෙනස්ය. බොහෝ පිරිමි චිම්පන්සින්ට ගැහැණු චිම්පන්සියක සමඟ එකතු වීමට අවස්ථාවන් ලැබෙන නිසා වරකට මුදා හරින ශුක්‍රාණු ප්‍රමාණය වඩා වැදගත් සාධකයක් වෙයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස චිම්පන්සින්ගේ වෘෂණ කෝෂ ශරීර ප්‍රමාණයට අනුපාතිකව ගෝරිල්ලන්ගේ මෙන් පහළොස් ගුණයක් විශාලය. මිනිසුන් සිටින්නේ චිම්පන්සින් හා ගෝරිල්ලන් අතර තැනකය.


කෙසේ වුවද වැදගත්ම කරුණ වන්නේ වැඩිහිටි මිනිස් පිරිමියෙකු ජීවිත කාලය තුළ නිරන්තරව නිපදවන ශුක්‍රාණු විශාල ප්‍රමාණයෙන් එකක් දරුවෙකු බිහි කිරීමට දායක වන විට තවත් ශුක්‍රාණු බිලියන 250කට වඩා වැඩි ප්‍රමාණයක් විනාශ වන බවයි. මිනිස් පිරිමියෙකුගේ ශුක්‍රාණුවක් ජනිතයෙකු බිහි කිරීමට දායක වීමේ සම්භාවිතාව එතරම්ම අඩුය.

උපන් අලුත මිනිස් පිරිමියෙකුගේ සිරුරේ ශුක්‍රාණු සෛල හැදෙන්නේ නැත. එය සිදුවන්නට පටන් ගන්නේ වයස අවුරුදු 10-12 පමණ වන විටය. එතැන් සිට මිය යන තුරුම වාගේ මිනිස් පිරිමියෙකුගේ සිරුර ශුක්‍රාණු සෛල නිපදවයි.

ශුක්‍රාණු සෛලයක් නිර්මාණය වීම හා පරිණත වීම (මෙහි විස්තර නොකරන) අදියර හතරකදී පමණ සිදුවන සංකීර්ණ කාර්යයක් වන අතර මේ සඳහා දින 63-75 ක පමණ කාලයක් ගත වේ. මේ කාලය ඇතුළත ඩිම්බයක් කරා යන අසීරු චාරිකාව අරඹන්නට ශුක්‍රාණු සෛල පුහුණු වෙයි. මෙසේ පරිණත වූ ශුක්‍රාණුවක් මුදා හරිනු ලැබුවහොත් ප්‍රසස්ත තත්ත්වයන් යටතේ එයට දින 5-6 ක පමණ දක්වා වන කාලයක් ජීවත් විය හැකිය. මුදාහරිනු නොලැබුවහොත් සති 2-3 කින් පමණ පසුව එය විනාශ වන අතර එහි අඩංගු ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය වේ. මේ අනුව ශුක්‍රාණුවක සම්පූර්ණ ජීවිත කාලය මාස තුනකට පමණ සීමා වේ. වැඩිහිටි මිනිස් පිරිමියෙකුගේ සිරුර තුළ ශුක්‍රාණු විශාල ප්‍රමාණයක් අඛණ්ඩව සෑම මොහොතකම නිපදවීමට අවශ්‍ය වන්නේ ඒ නිසාය.

වැඩිහිටි පිරිමියෙකු එක වර මුදා හරින ශුක්‍රාණු එකතුවක ශුක්‍රාණු සෛල මිලියන 40-1500ක් පමණ තිබිය හැකි වුවත් බොහෝ විට මෙය මිලියන 100-300 අතර ප්‍රමාණයකි. මේ සියළු ශුක්‍රාණු සෛල සමාන නැත. එක් ශුක්‍රාණු සෛලයක තිබෙන්නේ පිරිමියෙකුගේ වර්ණදේහ යුගල 23න්, එනම් වර්ණදේහ 46න් 23ක් පමණි. ඒ නිසා එකම පිරිමියෙකුගේ ශුක්‍රාණු අතර ජානමය ලෙස වෙනස් ශුක්‍රාණු වර්ග අඩු වශයෙන් 8,388,608ක් තිබේ. මීට අමතරව විවිධ විකෘතීන් සහිත අසාමාන්‍ය ශුක්‍රාණු සෛල වර්ග විශාල ප්‍රමාණයක්ද තිබිය හැකිය. මේ සංඛ්‍යා සැසඳූ විට පෙනෙන පරිදි පිරිමියෙකු එක වරකදී මුදාහරින ශුක්‍රාණු අතර වුවද ජානමය ලෙස සමාන ශුක්‍රාණු 5-180 අතර ප්‍රමාණයක් තිබිය හැකිය.

කෙසේවුවද එකම වර්ණදේහ සංයුතියකින් යුතුව හැදෙන ශුක්‍රාණු වුවද භෞතික වශයෙන් එකිනෙකට සමාන නැත. ශුක්‍රාණු සෛල වලින් 90%ක් පමණම වලිගය නැති, හිස් දෙකක් සහිත, වලිග පැටලුණු ආදී විවිධ හේතු නිසා ඩිම්බයක් සොයා පිහිනිය හැකි තත්ත්වයක නොපවතී. ඒවා කෙටි කලකින් විනාශ වී යයි.

ශුක්‍රාණුවක දිගට සාපේක්ෂව එයට ඩිම්බයක් සොයා පීනන්නට ඇති දුර සමාන කළ හැක්කේ මිනිසෙකු සැතපුම් 3-4 ක පමණ දුරක් පිහිනීමටය. ශුක්‍රාණු සෛල අතර සිටින දක්ෂම පිහිනුම්කරුවෙකුට මිනිත්තු 45ක පමණ කාලයකදී මේ දුර පිහිනිය හැකි අතර එතරම් දක්ෂ නැති පිහිනුම්කරුවෙකුට මේ සඳහා පැය 12ක පමණ කාලයක් ගත වේ. එහෙත්, මේ ගමන සම්පූර්ණ කරන්නේම සීමිත පිහිනුම්කරුවන් පිරිසක් පමණි.

ශුක්‍රාණු සම්බන්ධ තත්ත්වය මෙසේනම් ඩිම්බ සම්බන්ධ තත්ත්වය කුමක්ද? සෑහෙන තරම් ප්‍රචලිත අදහසක් වන්නේ ශුක්‍රාණු අති විශාල ප්‍රමාණයක් ඩිම්බයක් අයිති කර ගන්නට තරඟ කර අවසානයේදී ඒ අතරින් එක් ශුක්‍රාණුවක් තරඟය ජය ගන්නා බවයි. කෙසේවුවද, මෙය ලොකු කතාවක එක් කොටසක් පමණි.

ශුක්‍රාණු හා ඩිම්බ අතර මූලික වෙනස්කම් ගණනාවක් තිබේ.

පළමුව, මිනිස් ගැහැණියකගේ ඩිම්බයක් නිපදවී පරිණත වීමට වසර 10-50 ක පමණ දීර්ඝ කාලයක් ගත වේ. ඩිම්බයක් පරිණත කර මුදාහැරීම සඳහා අවශ්‍ය වන මූල සෛල නිශ්චිත ප්‍රමාණයක් මිනිස් ගැහැණියකගේ සිරුරේ උපදින විටම පිහිටා තිබේ. මේ හැර මිනිස් පිරිමින්ගේ ශුක්‍රාණු සෛල මෙන් ඩිම්බ සෛල පසුව අලුතින්ම හැදෙන්නේ නැත. (වසර පණහක් පමණ තිස්සේ පිළිගැනෙන මේ ප්‍රවාදය ඇතැම් මෑතකාලීන පර්යේෂණ වලින් අභියෝගයට ලක්වී ඇතත් මා මේ ලිපියේදී ඒ කෙරෙහි  අවධානය යොමු කරන්නේ නැත.)

මිනිස් ගැහැණියක උපදින විට ඇගේ සිරුරේ නොමේරූ ඩිම්බ (වඩා නිවැරදිව එහි මූල අවස්ථාවක්) මිලියන 1-2 ක් පමණ ප්‍රමාණයක් තිබුණත් මේ සෛල විශාල ප්‍රමාණයක් වැඩිවිය පැමිණෙන්නටද පෙර ස්වභාවික ලෙසම විනාශ වී යයි. මිනිස් ගැහැණියක වැඩි විය පැමිණෙන විට ඇගේ සිරුරේ තිබෙන්නේ මේරූ ඩිම්බ බවට පත් වීමේ හැකියාවක් ඇති සෛල ආසන්න වශයෙන් ලක්ෂ 2-4 ක පමණ ප්‍රමාණයක් පමණි. වැඩිවිය පැමිණීමෙන් පසුවද මේරූ ඩිම්බ බවට පත් වීමේ හැකියාවක් ඇති සෛල විශාල ප්‍රමාණයක් මේ අයුරින් සෑම මසකම දිගින් දිගටම විනාශ වෙයි. මේ කරුණට උපත් පාලනය, ගර්භණී වීම හෝ නොවීම, සංසර්ගයේ යෙදීම හෝ නොයෙදීම, මාස් ශුද්ධිය සිදුවීම හෝ නොවීම ආදියේ සම්බන්ධයක් නැත.

මිනිස් ගැහැණියකගේ වයස අවුරුදු පණහක පමණ වන විට ඇයට උපතින් හිමි වුනු ඩිම්බ මිලියන දෙකම, එසේ නැත්නම් වැඩිවිය පැමිණෙන විට ඉතිරිව තිබුණු ලක්ෂ තුනම, විනාශ වී අවසන්ය. මෙය සිදුවන නිශ්චිත වයස කාන්තාවකට උපතින් උරුම වූ ඩිම්බ ගණන මත තීරණය වන අතර ඒ අනුව වසර පහක් හෝ හයක් එහා මෙහා වන්නට පුළුවන. කෙසේවුවද, ආසන්න වශයෙන් වසර පණහකදී පමණ මිනිස් ගැහැණියකගේ සිරුරේ ඇති ඩිම්බ ප්‍රමාණය අවසන් වන අතර ඉන් පසුව ඇයට දරුවන් බිහිකිරීමට දායක විය නොහැකිය.

මිනිස් ගැහැණියක විසින් උපතින් උරුම කර ගන්නා මිලියන දෙකක් පමණ වන ඩිම්බ සෛල වලින් මේරූ ඩිම්බ බවට පත්ව මාස්පතා මුදා හරිනු ලැබ දරුවකු බිහි කිරීමට දායක වීමේ ඉඩක් ලබන්නේ ඩිම්බ 400-500 අතර ප්‍රමාණයක් පමණි.

මිනිස් පිරිමියෙකුට මෙන්ම මිනිස් ගැහැණියකටද ජානමය ලෙස එකිනෙකෙන් වෙනස් ඩිම්බ වර්ග 8,388,608ක් නිපදවිය හැකි වුවත් ගැහැණියක උපදින විට ඇගේ සිරුරේ ඇති ඩිම්බ ප්‍රමාණයද එයින් හතරෙන් එකක් පමණක් නිසා ජානමය ලෙස සමාන ඩිම්බ දෙකක් අහඹු ලෙස ඇති වීමට ඉඩක් නැති තරම්ය. මේ නිසා, එකම මවකගේ සම-නිවුන් නොවන දරු දෙදෙනෙකුට ඇයගෙන් සමාන වර්ණදේහ ලැබෙන්නට ඉඩක් නැති තරම්ය.

එක් මිනිස් පිරිමියෙකු හා එක් මිනිස් ගැහැණියක විසින් බිහි කළ හැකි ජානමය ලෙස වෙනස් දරුවන් වර්ග ගණන අඩුම වශයෙන් 70,368,744,177,664කි. එනම් බිලියන හැත්තෑ දහසකට අධික සංයෝජන ප්‍රමාණයකි. මෙයට සාමාන්‍ය නොවන විකෘති ජාන සැකසුම් විශාල ප්‍රමාණයක්ද එකතු විය යුතුය. පෘථිවිය මත කෙදිනක හෝ ජීවත්ව සිට ඇති මිනිසුන් ගණන බිලියන සීයකට මඳක් වැඩි ප්‍රමාණයකි. ඒ නිසා, එක මවකගේ දරුවන් ලෙස සම-නිවුන් දරුවන් තරමට සමාන දරුවන් දෙදෙනෙකු කිසිදු කලෙක බිහිව තිබෙන්නට ඉඩක් නැතැයි සැලකිය හැකිය.

මෑතකදී අසන්නට ලැබුණු කතාවකට අනුව ඇතැම් අය සිතා සිටින පරිදි සෑම මිනිසෙකුම එකිනෙකාගෙන් වෙනස් වුවත් අලින්ගේ එවැනි වෙනසක් නැති අතර කොයි අලියාත් සමානය. මෙය වැරදි අදහසකි. මිනිසුන්ගේ වර්ණදේහ යුගල 46ට සාපේක්ෂව අලින්ට වර්ණදේහ යුගල 56ක් ඇති අතර ඒ නිසා එකම අලි ජෝඩුවකගේ ශුක්‍රාණුවක් හා ඩිම්බයක් එකතු වීමෙන් හැදෙන්නට ඉඩ ඇති ජානමය ලෙස වෙනස් අලි පැටවුන් ගණන පමණක් 72,057,594,037,927,936කි. මේ අනුව අලි ජෝඩුවකගේ පැටවුන්ට තිබිය හැකි ජාන විවිධත්වය මිනිස් යුවලකගේ දරුවන්ට තිබිය හැකි ජාන විවිධත්වය මෙන් දහස් ගුණයකි. සෑම අලියාම එක ලෙස පෙනීම අපේ ඉන්ද්‍රිය පද්ධතියේ ඇති සීමාවක් මිස අලින්ගේ විවිධත්වය අඩුකමේ ප්‍රශ්නයක් නොවේ. මේ වැරැද්ද පෙන්වා දුන්නත් ඒ හේතුව නිසා අලින්ට රට භාර දී මිනිසුන් ඉවත් විය යුතුයැයි අප යෝජනා කරන්නේ නැත.

ශුක්‍රාණු හා ඩිම්බ එකතු වී පිළිසිඳගැනීමක් සිදුවන ආකාරයත්, විවිධ උපත් පාලන උපක්‍රම මඟින් එයට බාධා පමුණුවන ආකාරයත් ගැන කතා කිරීම අපි පසු ලිපියකට ඉතිරි කරමු.

දැනට කියන්නට තිබෙන්නේ මිනිස් උපතක් යනු කෙතරම් දුර්ලභ දෙයක්ද යන්නයි. ඔබේ ජීව විද්‍යාත්මක මවගෙන් හා පියාගෙන් බිහිවිය හැකිව තිබුණු භෞතික ලක්ෂණ වලින් එකිනෙකාට වෙනස් දරුවන් ගණන බිලියන හැත්තෑ දහසකට අධිකය. මේ අතරින් එක් අයෙක්, හත් අට දෙනෙක් හෝ වැඩිම වුනොත් දහ පහළොස් දෙනෙක් මිනිස් දරුවන් ලෙස බිහිවන විට, ඔබේ මවට හා පියාට දාව ඉපදීමේ කිසියම් සම්භාවිතාවක් තිබුණු, ඔබේ පවුලේ සාමාජිකයින්ට වඩා වෙනස් භෞතික ශරීර සහිත ඔබේ සොහොයුරන් හෝ සොහොයුරියන් බිලියන හැත්තෑ දහසක් මෙලොවට බිහි වී නැත.

ස්වභාව ධර්මය අලුත් මිනිසෙකු බිහි කරන්නේ මේ තරම් විශාල තේරීමක් කරමිනි. ඔබව නිර්මාණය වීමට දායක වූ ඩිම්බය ඔබේ මව ඉපදෙන විට ඈ සතු වූ ඩිම්බ මිලියන දෙකකින් එකකි. ඔබව නිර්මාණය වීමට දායක වූ ශුක්‍රාණුව ඔබේ පියා ඔහුගේ ජීවිත කාලය තුළ නිපදවන ශුක්‍රාණු බිලියන 500කින් එකකි. ඔබට ඔවුන්ගෙන් ලැබුණු වර්ණදේහ යුගල 23, එසේ ලැබිය හැකිව තිබුණු විවිධ වර්ණදේහ යුගල ට්‍රිලියන 70කින් එකකි. ලෝකයේ ඕනෑම අහඹු පුද්ගලයෙක් ඇමරිකාවේ ජනාධිපති වීමට ඇති ඉඩකඩ ඔබේ භෞතික සිරුර ඔබට හිමිවන්නට තිබුණු ඉඩකඩට වඩා දසදහස් ගුණයකින් වැඩිය. සෑම මිනිසෙකුම සුවිශේෂී පුද්ගලයෙකු වන්නේ එබැවිනි.

(Image: http://www.soc.ucsb.edu/sexinfo/article/biological-steps-becoming-pregnant)

Monday, September 25, 2017

උපත් පාලනය, ගබ්සාව හා ලිංගික අධ්‍යාපනය


දෙසතියකට පමණ පෙර පළ කළ ලිපියකට ප්‍රතිචාර දැමූ අජිත් ධර්මා, නයනේ සහ ඇනෝලා එක් අයෙකු හෝ කිහිප දෙනෙකු අතර හොඳ සංවාදයක් ඇති වී තිබුණේය. මුලින්ම මේ සංවාදයට සහභාගී වන්නට හිටියත් පසුව, හේතු සහිතව, එසේ නොකර පැත්තකට වී බලා සිටින්නට තීරණය කළෙමි. ඇත්තටම කියනවානම් ඉහළින් වූ ප්‍රතිචාර කියවීමෙන් පසු ප්‍රතිචාරයක් දමා, පසුව පහළින් වූ ප්‍රතිචාර කියවීමෙන් පසු එය අවශ්‍ය නොවන බව පෙනී ගිය නිසා පසුව එය ඉවත් කර ගත්තෙමි.

මේ ගැන මුලින්ම අදහස් පළ කර තිබුණු අජිත් ධර්මාගේ අදහස් බොහෝ දුරට මගේ අදහස් වලට ආසන්න වූ අතර මුලින්ම හිතුනේ ඇනෝගේ අදහස් එයට ප්‍රතිවිරුද්ධ බවයි. එහෙත්, දිගටම සංවාදය නිරීක්ෂණය කරන විට පෙනී ගියේ ඇනෝද මේ කරුණු ගැන හොඳින් දැනුවත් බවත්, ඔහුගේ හෝ ඇයගේ අදහස්ද කිසිසේත්ම (මට සාපේක්ෂව) අන්තවාදී නොවන බවයි. මා මෙය ලියන්නේ ඇනෝ ප්‍රතිචාර ගණනාවක්ම එක් අයෙකුගේයැයි සිතමිනි. එය එසේ නොවන්නට පුළුවන.

ඇනෝ විසින් ඉතා පැහැදිලිවම සටහන් කර තිබුණු පරිදි ඔහු හෝ ඇය මූලධාර්මික ගබ්සා විරෝධියෙක් නොවේ. ඔහුගේ වචන පහත පරිදිය.

"ගබ්සාවට මමත් විරුද්ධ නැති වුනත්, ගබ්සාව යන අන්තිම විසඳුම විය යුත්තේ වෙන කරන්නම දෙයක් නැති විටෙක පමණයි. ඒ අන්තිම තත්වයට යන්නේ නැතුව ගැබ්ගැනීම වලක්වා ගන්න එකයි වඩා හොඳ. මොනහේතුවක් නිසා හරි ගබ්සාවක් කරගත් ගැහැනියක් ඊට පසුව මානසිකව විඳවන ප්‍රමාණය කොතරම්ද කියා අවබෝධයක් තියෙන නිසා මම ඒ මතයේ ඉන්නේ. නැතුව ඔය විකාර රූපී ආගමික කල්ලි ගබ්සාවට විරුද්ධ නිසා නෙවෙයි."

ඇනෝ සිතන්නේ ලිංගික අධ්‍යාපනය හා උපත් පාලනය ප්‍රචලිත කිරීම මඟින් අනවශ්‍ය ගැබ් ගැනීම් අවම කර ගත යුතු බවයි. එසේ කිරීමෙන් පසුවද අනවශ්‍ය ගැබ් ගැනීම් සිදු වන්නේනම් ගබ්සා වලට ඉඩදීමේ ප්‍රශ්නයක් ඇති බව ඔහු හෝ ඇය සිතන බව නොපෙනේ.

අනික් අතට, විශේෂයෙන් සටහන් කර නැතත්, ලිංගික අධ්‍යාපනය හා උපත් පාලනය ප්‍රචලිත කිරීමේ අවශ්‍යතාවය සම්බන්ධව අජිත් ධර්මාද එකඟ වන බව මගේ අදහසයි. මෙහිදී උපත් පාලනය ප්‍රචලිත කිරීම කියා සරලව කිවුවත් මා එයින් අදහස් කරන්නේ උපත් පාලන ක්‍රම ගැන දැනුම ප්‍රචලිත කිරීම හා ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ස්වකැමැත්තෙන් මිල දී ගැනීමට ඇති පහසුකම් පුළුල් කිරීම මිස යම් අයෙකු විසින් බිහි කළ යුතු දරුවන් ගණන රජය මඟින් තීරණය කිරීම හෝ බලෙන් උපත් පාලනය කරවීම නොවේ.

අජිත් ධර්මා විසින් ඉදිරිපත් කරන මූලික තර්කය වන්නේ අධ්‍යාපනය හා උපත් පාලනය ප්‍රචලිත කිරීම මඟින් පමණක් අනවශ්‍ය ගැබ් ගැනීම් මුළුමනින්ම වැළැක්විය නොහැකි නිසා එසේ අනවශ්‍ය ගැබ් ගැනීම් වලට මුහුණ දෙන කාන්තාවන්ට තමන්ගේ ගැබ ගබ්සා කර ගැනීමට ඉඩ දිය යුතු බවයි. ඔහුගේ තර්කය ඉතා පැහැදිලිවම නිවැරදිය. ඇනෝ විසින්ද එය එසේ නොවේයැයි කියා නැත.

මට පෙනෙන හැටියටනම් මේ සංවාදයේ පාර්ශ්ව දෙක අතර ඇත්තේ ඉතා කුඩා ප්‍රතිවිරෝධතාවයකි. ඒ ප්‍රතිවිරෝධතාව තිබෙන්නේ ප්‍රතිපත්ති ප්‍රමුඛතාවන් හා අදාළවය. ඇනෝ සිතන පරිදි ලිංගික අධ්‍යාපනය ප්‍රචලිත කරන තුරු නීත්‍යානුකූල ගබ්සා ප්‍රවර්ධනය නොකළ යුතුය. අජිත් ධර්මා සිතන පරිදි ලිංගික අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්න ඇතුළු තවත් සමාජයීය ප්‍රශ්න ගණනාවක් තිබෙන නිසා නීත්‍යානුකූල ලෙස ගබ්සා කර ගැනීමට ඉඩක් සැපයිය යුතුය.

උපත් පාලනය, ගබ්සාව හා ලිංගික අධ්‍යාපනය යනු ඇමරිකාව ඇතුළු බටහිර සමාජයේ පවා මතවාදී බෙදීම් ඇති කරන විෂයයන්ය. මේ බෙදීම් වලට එක් හේතුවක් වන්නේ මේ විෂයයන් හා අදාළව බොහෝ දෙනෙකු සතු දැනුම සීමිත වීමයි. එමෙන්ම, මේ විෂයයන් ගැන කතා කිරීමේදී ඒවායේ ආගමික හා දාර්ශනික, ජීව විද්‍යාත්මක හා වෛද්‍ය විද්‍යාත්මක, ආර්ථික හා සමාජයීය වැනි එකිනෙකින් වෙනස් මාන වෙත අවධානය යොමු කරන්නට සිදුවේ.

මා මේ ගැන තරමක් දුරට කතා කරන්නට යන්නේ අජිත් ධර්මාට හෝ ඇනෝට ප්‍රතිචාරයක් වශයෙන් නොවේ. ඔවුන්ගේ අදහස් සමඟ මට මූලික ප්‍රතිවිරෝධතා නැත. එමෙන්ම, නැවත නැවතත් කියා ඇති පරිදි ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදනය සිදුවිය ඇති ආකාරය ගැන උපදෙස් දෙන්නටද නොවේ. ඒ නිසා, මා මේ හා අදාළව ලියන ලිපි වල ඇති කරුණු සම්බන්ධව පැහැදිලි කිරීම් කෙරෙනු ඇති නමුත් මගේ අදහස් සමඟ එකඟ නොවන්නන්ට මා මෙහි ප්‍රතිචාර නොදක්වනු ඇත. එහෙත්, කැමති අයෙකුට මෙහි ප්‍රතිචාර පළ කරනු ලැබීමේදී සලකා බලන සීමිත කොන්දේසි වලට යටත්ව තමන්ගේ අදහස් සටහන් කරන්නට කිසිදු බාධාවක් නැත.

මාතෘකාවේ ඇති අනු කොටස් තුනෙන් ලිංගික අධ්‍යාපනය ගැන මුලින්ම කතා කිරීම පහසුය. අනෙක් මාතෘකා දෙක ගැන මා ලියන්නට අපේක්ෂා කරන දේවල් තරමක් දුරට තාක්ෂණික ස්වභාවයකින් යුතු දේවල්ය. ඒ කොටස් අපි දෙවන ලිපියකට ඉතිරි කරමු.

ලංකාව හැරුණු විට මා වැඩිපුරම දන්නා අනෙක් රට වන ඇමරිකාවට සාපේක්ෂව ලංකාවේ ලිංගික අධ්‍යාපනයක් නැතැයි කිව හැකි තරම්ය. මෙය රජයේ අධ්‍යාපන ප්‍රතිපත්ති වල ප්‍රශ්නයක්ම නොවේ. බොහෝ දුරට මෙහි ඇත්තේ සංස්කෘතික ප්‍රශ්නයකි. ඇතැම් ප්‍රතිපත්ති තීරණ මඟින් තත්ත්වයේ යම් වෙනසක් කරන්නට උත්සාහ දැරිය හැකි වුවත් එවැනි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයක කාර්ය සාධනය සංස්කෘතික සාධක හමුවේ සීමාවීම නොවැලැක්විය හැකිය.

ලිංගික අධ්‍යාපනය ප්‍රචලිත කිරීමට එරෙහි වන්නන් ඉදිරිපත් කරන ප්‍රධාන තර්කය වන්නේ ඒ හේතුවෙන් කුඩා දරුවන් "නොදන්නා දේවල් අත්හදා බලන්නට" යාම නිසා වැඩි විනාශයක් සිදු විය හැකි බවයි. මේ අදහස දරන්නෝ ඇමරිකාවේද සිටිති. කොළඹ ප්‍රධාන සුපිරි වෙළඳසැල් සංකීර්ණයක පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයකට පොලීසියෙන් පැන එහි සිටියවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බව පුවත්පතක පළවීමෙන් පසු ගම්බද පෙදෙස්වල කාන්තාවන් ඒ පුවත දැක එහි සේවයට පැමිණි රටක එවැනි දේ නොවේයැයි කිසිවෙකුට සහතික විය නොහැකිය. එහෙත්, ලිංගික අධ්‍යාපනය ප්‍රචලිත කිරීම සමස්තයක් ලෙස යහපත් ප්‍රතිඵල අත් කර දෙනු ඇති බව මගේ අදහසයි.

හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය ගැනත්, ඒඩ්ස් වැනි රෝග ගැනත් මා මුලින්ම දැනගත්තේ අදාළ නිවාරණ වැඩ සටහන් මඟින් සිදුකළ ප්‍රචාර නිසාය. ඒ වන විට මත්ද්‍රව්‍ය හෝ ඒඩ්ස් ලංකාවේ විශාල ලෙස ප්‍රචලිතව නොතිබුණු අතර මා ජීවත් වූ ප්‍රදේශයේ තිබුණේම නැති තරම්ය. ඒ නිසා, මේ දේවල් ගැන දැනුවත් නොවුනත් ඒ කාලයේ මා මත්ද්‍රව්‍ය ලෝලියෙකු හෝ ඒඩ්ස් ආසාදිතයෙකු වීමට ගිණිය හැකි ඉඩක් නොතිබුණේය. අනෙක් අතට නිවාරණය අරමුණු කොට සිදු කෙරුණු ප්‍රචාරණය නිසා මේ දේවල් ගැන වැඩිපුර සොයන්නට කිසියම් "කෘතීම" උනන්දුවක්ද ඇති වුණේය.

නිවාරණ වැඩ සටහන් වලින් ප්‍රචලිත කළ තොරතුරු අනුව මා තේරුම් ගත් පරිදි ඒඩ්ස් හදාගැනීම හා මත්ද්‍රව්‍ය භාවිතය යන දෙකම ආපසු හැරවිය නොහැකි දේවල්ය. ඒඩ්ස් වලට බෙහෙත් නැති අතර රෝගය හැදුනොත් වසර පහක් තුළ අනිවාර්යයෙන් මරණයට පත් වේ. හෙරොයින් ආදී මත්ද්‍රව්‍ය යනු අරක්කු වැනි මත්පැන් හෝ දුම්වැටි මෙන් නොව එක් වරක් භාවිතා කළද ඇබ්බැහි කරවන ද්‍රව්‍යයි. ඒ නිසා, වරක් මත්ද්‍රව්‍ය භාවිතා කළ අයෙකුට ජීවිත කාලය පුරාම එයින් ගැලවීමක් නැත. මේ මා හත්වන ශ්‍රේණියේදී පමණ ලබාගත් දැනුමයි. පළමුවැන්න ඒ කාලයේදී ඇත්තක් වුවත් දෙවැන්න ඇත්තක්ම නොවීය. එහෙත්, දෙවැන්නද තරමක් දුරට ආසන්න ඇත්තක් විය.

මත්ද්‍රව්‍ය හෝ ඒඩ්ස් වැනි අතිශය භයානක කිඹුලන් ගැන මෙන්ම එතරම් භයානක නැති කබරගොයින් වූ මත්පැන්, දුම්වැටි ගැන හා සමාජරෝග ගැනද නිවාරණ වැඩසටහන් වලින් ප්‍රචාරය කළ දේ දැනුමට සැලකිය යුතු යමක් එකතු කළත්, ඒ දේවල් ගැන දැනුම ලබාගත හැකි වෙනත් ක්‍රමද තිබුණේය. මත්පැන් හා දුම්වැටි භාවිතා කරන්නන් ඕනෑ තරම් පෙනෙන්නට සිටි අතර මත්පැන් බී අකල් මරණ වලට පත් වෙන්නෝද අපේ ගම් පළාත් වල දුලබ දසුනක් නොවීය. ඒ අතරම, මත්පැන් දුම්වැටි පානය කළත් යහතින් හිටි අයද ඕනෑ තරම් පෙනෙන්නට හිටියේය. එමෙන්ම, සමාජරෝග හදාගත් අය ගැනද කසුකුසු තිබුණේය.

ගැටවර වියේදී ඕනෑම අලුත් දෙයක් අත්හදා බලන්නට උනන්දුවක් ඇති වේ. නිවාරන වැඩසටහන් හේතුවෙන් මත්පැන් හා දුම්වැටි වල ආදීනව දැන සිටීම ඒවා අත්හදා බලන්නට බාධාවක් වුනේ නැත. එහෙත්, ඇබ්බැහි වීමට ඇති ඉඩ ගැන දැන සිටි නිසා මේ අත්හදා බැලීම් කළේ ඉතා ප්‍රවේශමෙනි. එසේ හෝ අත්හදා බලන්නට යොමුවුණේ මේ දේවල් දිගින් දිගටම ගැනීමේදී මිස වරක් හෝ කිහිප වරක් ගත් පමණින් ඇබ්බැහි නොවන බව දැන සිටි බැවිනි. වෙනත් මත්ද්‍රව්‍ය පිළිබඳව මෙවැනි අත්හදාබැලීමක් හෝ නොකරන්නට ප්‍රධාන හේතුව වුණේ අප හැදුනු ගෘහස්ථ වටපිටාව තුළ එවැනි අවස්ථාවක් කිසි විටෙකත් නොලැබීම වුවත්, යම් හෙයකින් එවැනි අවස්ථාවක් නොලැබුණේ වුවද ඇබ්බැහිවීමේ අවදානම ගෙන මත්ද්‍රව්‍ය අත්හදාබැලීමට ඉඩක් නොතිබුණේ නිවාරණ වැඩ සටහන් හරහා, තරමක අතිශයෝක්තිකින්ද යුතුව, ලැබී තිබුණු දැනුම නිසාය.

ඒඩ්ස් හෝ වෙනත් සමාජරෝග වැළඳීමේ අවදානමක් සහිත ලිංගික ක්‍රියාකාරකම් කෙරෙහි යොමු නොවීමට ප්‍රධාන හේතුව වුනේද අවස්ථාවන් නොලැබීමයි. එහෙත්, විධිමත් හා අවිධිමත් ක්‍රම හරහා මේ ගැන දැනසිටි දේවල් වලින්ද එය වැලැක්වූයේය.

හයවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන කාලය වන විට වෙනත් බොහෝ විෂයයන් ගැන වයසට වඩා වැඩි දැනුමක් ලබා සිටියත් ප්‍රජනන සෞඛ්‍යය හා අදාළ මූලික කරුණු හෝ මම දැන නොසිටියෙමි. හයවන ශ්‍රේණියේ අන්තිම වාරයේ දවසකදී කාන්තාවක් ගර්භණී වීම සඳහා පිරිමියෙකු විසින් කළයුතු දෙය මගේ පන්තියේ මිතුරෙක්ගෙන් මුල් වරට අහන්නට ලැබුණේය. මේ කතාව මට කිසිසේත්ම පිළිගත නොහැකි විය. දරුවන් සිටින හැම ගැහැණියක හා පිරිමියෙකුම ඔය කියන 'නරක වැඩේ' කර ඇති බව පිළිගැනීම අපහසු වූ නිසා මම සුපුරුදු පරිදි මේ මිතුරාව තර්කයෙන් පරදවන්නට උත්සාහ කළෙමි.

මේ කාලය වන විට ග්‍රහයින් හා තාරකා අතර වෙනස දැන නොසිටි, පෝය ඇති වන හැටි දැන නොසිටි "මෝඩ" ළමයි ගණනාවක් අපේ පන්තියේ සිටියේය. මෙවැනි කරුණු හා අදාළව වෙනත් සිසුන් සමඟ තර්ක කිරීම ඒ දවස්වල මගේ විනෝදාංශයකි. වාදය නැගලා යන විට තවත් සිසුන් එකතු වේ. අවසානයේදී මෙසේ එකතුවන සිසුන් බහුතරය විසින් මගේ මතය තහවුරු කිරීමෙන් වාදය අවසන් වේ. ඒ දිනවල වෙනත් සිසුන් දෙදෙනෙකු අතර සිදුවන මෙවැනි වාදයකදී වුවද අවසන් තීරණය දෙන්නට බොහෝ විට සිදුවන්නේ මටය.

මේ කියන දවසේනම් බමරය කැරකුණේ මගේ වාසියට නොවේ. එකතුවන සිසුන් සියල්ලන්ම පාහේ ගත්තේ අනෙක් සිසුවාගේ පැත්තයි. දැන් මට ඔවුන් සියල්ලන්ගේම හරස් ප්‍රශ්න වලට උත්තර දෙන්නට සිදු වී ඇත.

"හරි, අපි කියන එක වැරදිනම් උඹ කියපං ළමයි හැදෙන්නෙ කොහොමද කියලා.."

කොස්බි ෂෝ එකේ දැරියට මෙන් මටත් පිළිතුරු තිබුණේය.

"සාමාන්‍ය විදිහට"

"මොකක්ද සාමාන්‍ය විදිහ?"

"ගෑණු ළමයි ලොකු වුණාම බඩේ ළමයි හැදෙනවා. හරියට ගස් වල ගෙඩි හැදෙනව වගේ.."

"හරි එහෙමනම් ගෑණුන්ට ළමයි හම්බවෙන්න කසාද බඳින්න ඕනැ වෙන්නෙ මොකද?"

අපේ විස්තීර්ණ පවුලේ මැදිවිය පසුකළ, අවිවාහක සාමාජිකාවන් කිහිප දෙනෙක්ම මට එක වර මතක් විය. කතාව ඇත්තය. ඒ අය කිසිවෙකුටත් දරුවන් නැත. දරුවන් සිටින අවිවාහක කාන්තාවන් ගැන ඒ වන විට මම දැන නොසිටියෙමි. එහෙත්, දරුවන් නැති විවාහක කාන්තාවන් කිහිප දෙනෙක් ගැනම මට මතක් විය.

"හරි එහෙමනම් සමහර ගැණුන්ට කසාද බැඳලත් ළමයි හම්බ වෙන්නෙ නැත්තේ මොකද?"

ප්‍රශ්නයට ප්‍රශ්නයක් දමා ගසා ප්‍රතිවාදී පාර්ශ්වය ගොළු කළ හැකි වුවත් මෙය ප්‍රමාණවත් පිළිතුරක් නොවන බව මටම තේරුණේය. මෙතෙක් මේ ගැන ගැඹුරට සිතා නැති බව මට අවබෝධ විය.

"ඕක වෙන්නේ මෙහෙමයි. දැන් ඔය දූරියන් ගස් වල ගෙඩි හැදෙන්නනම් ගස් දෙකක් එක ළඟ තියෙන්න ඕනැනේ. ඒ වගේ වෙන්න ඇති!"

ප්‍රතිවාදී පාර්ශ්වයෙන් ප්‍රමාණවත් ලෙස මගේ තර්ක විඛන්ඩනය නොකළත්, වටවී සිටි සිසුන්ගේ මුහුණු දෙස බලන විට ඒ කිසිවෙක් මා කියන දෙය විශ්වාස නොකරන බව පැහැදිලිය. මින් පෙර මෙවැන්නක් වී නැත. මේ අතර, මගේ හිතවත්ම මිතුරෙක් මගේ පිටට තට්ටුවක් දැම්මේය.

"මචං, පොඩ්ඩක් පැත්තකට වරෙන්"

මම ඔහුට කීකරු වුනෙමි.

"මචං, උන් කියන එක හරි. උඹ වැරදියි. ඕක අතෑරල දාපං!"

"වෙන්ඩ බෑනේ මචං. එහෙමනම් ගස් වල ගෙඩි හැදෙන්ඩත් ඕක කරන්න ඕනැ වෙන්න එපායැ. එතකොට සත්තුන්ට පැටවු  හැදෙන්නෙත් ඔහොමද?"

"ගස්නම් මං දන්නෙ නෑ. හැබැයි සත්තු පැටවු දාන්නේනම් ඕක කරල තමයි. උඹ අඩුගානෙ බලුපූට්ටුවක්වත් දැකල නැද්ද?"

"දැකල තියෙනවා!"

"ඒක තමයි ඒ.."

"හරි මං කියන්නේ පැටවු හම්බ වෙන්න ඕක කරන්න ඕනැ නෑ කියලයි. අපේ ගෙදර හරකෙක් නැතුව එළදෙනට පැටවු හම්බවුනේ කොහොමද?"

එළදෙනට පැටියා ලැබෙන්නට පෙර පට්ටි ගස්සන්නට වෙනත් නිවසකට ගෙනගිය එක ගැන මට ඒ වන විට හරි අවබෝධයක් තිබුණේ නැත.

"කොහොම වුනත් කමක් නෑ. මම කියන එක අහල ඕක නවත්තල දාපං. නැත්නම් උඹයි අපරාදේ නෝන්ඩි වෙන්නේ.."

මේ මිතුරා විශ්වාසවන්තම මිතුරෙක් වූ බැවින් ඔහුගේ කීම අහක දාන්නට නොහැකි විය. ඒ නිසා, දෙපැත්තට ඇදෙමින් තිබුණු වාදය ජයපරාජයකින් තොරව අවසන් විය. එයින් පසුව, මේ ගැන වැඩි විස්තර හොයා ළමයින් හැදෙන්නටනම් අහවල් දෙය කළ යුතු බව මම තහවුරු කරගත්තෙමි.


අපේ කාලයේදී ප්‍රජනන සෞඛ්‍යය ගැන විධිමත් ලෙස මුලින්ම දැනගන්නට ලැබෙන්නේ නවවන ශ්‍රේණියේ සෞඛ්‍යය පෙළ පොත අතට ලැබුණු පසුවය. මේ පොතේ වූ ප්‍රාණවත් වූ ශිෂ්නයක රූපයක් හා එහි අභ්‍යන්තර අවයව සහිත විස්තරය තිබුණු පිටු අංකය ගැන කළින්ම කණින් කොණින් අහන්නට ලැබී තිබුණු නිසා පොත් ලැබුණු වහාම බොහෝ සිසුන් කළේ හොරෙන්ම මේ පිටුව පෙරළීමයි. කෙසේවුවත්, පෙළ පොතේ පිටු දෙකක පමණ වූ විස්තරය තනිවම කියවනු හැර අමතර දෙයක් අපට ඉගෙන ගන්නට නොලැබුණේ අදාළ විෂය ඉගැන්වූ ගුරුවරයාට ඒ පාඩම ඉගැන්වීම සඳහා ධෛර්යයක් නොතිබුණු බැවිණි. මහලොකු දෙයක් නොතිබුණත් බොහෝ සිසුන් පාඩම් පොතේ මේ පිටුව දෙස බැලුවේද ලිංගික උත්තේජනයක් සපයන දෙයක් ලෙස සලකමිනි.

කෙසේවුවද, පසුව මා ඉංග්‍රීසි උපගුරුවරයෙකු ලෙස සේවය කළ පාසලේ විද්‍යා හා සෞඛ්‍ය විෂයයන් ඉගැන්වූ තරුණ ගුරුවරයාටනම් අදාළ පාඩම කියා දෙන්නට කිසිදු චකිතයක් තිබුණේ නැත. එම පාසලේ තිබුණේ ගොඩනැගිලි දෙකක් පමණි. එක් ගොඩනැඟිල්ලක ප්‍රාථමික පන්ති පැවැත්වුනේය. අනෙක් ගොඩනැඟිල්ලේ හයවන, හත්වන, අටවන හා දහවන පන්ති පැවැත්වුණු අතර එහිම පැත්තක විදුහල්පති කාමරය හා ගුරු විවේකාගාරය තිබුණේය. අටවන පන්තියේ සිටියේ ළමුන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු පමණි. ළමුන් කිසිවකු නොසිටි නිසා නවවන පන්තියක් තිබුණේ නැත. සාමාන්‍යපෙළ සමත් නොවී දිගටම රැඳී සිටීම නිසා දහවන ශ්‍රේණියෙහි වයස් කාණ්ඩ තුනක හෝ හතරකට අයත් එක් සිසුවෙකු හා සිසුවියන් හතර පස් දෙනෙක් සිටියේය.

ප්‍රජනන සෞඛ්‍යය පාඩම අපේ විද්‍යා ගුරුවරයාගේ ජනප්‍රියම පාඩමක් විය. පිටු දෙසීයක පමණ පෙළ පොතේ මේ කොටස පිටු දෙකක් පමණක් වුවත් ඔහු ඒ වෙනුවෙන් කාලපරිච්ඡේද දෙකක් පමණ වෙන් කළේය. ඔහුගේ අරමුණ වූයේ මේ දරු දැරියන්ට ප්‍රජනන සෞඛ්‍යය ගැන හැකිතරම් හොඳින් කියා දීමද, එසේ නැත්නම් අවාරෙට පොල් වැටෙන්නාක් මෙන් පාසැලට එන මේ ළමුන්ට පාසැල් එන්නට උනන්දුවක් ඇති කිරීමද, ඒත් නැත්නම් ඒ දෙකමද කියා මා දන්නේ නැත.

මේ ශාලාවේ පන්ති අතර බාධක තබා වෙන් කර තිබුණේ නැත. අඩු වශයෙන් ගුරු විවේකාගාරය හෝ එසේ වෙන් කර තිබුණේ නැත. ඒ නිසා, මේ දහවන පන්තියේ සෞඛ්‍ය පාඩම කට ඇරගෙන අසා සිටීමේ අවස්ථාව පහළ පන්ති වල සිසුසිසුවියන්ටද ලැබුණේය. ඒ බොහෝ දෙනෙක් අවධානය යොමු කර සිටියේ තමන්ගේ පන්තියේ පාඩමට නොව දහවන පන්තියේ පාඩමටය.

හොඳම කෑල්ල තිබුණේ ගුරු විවේකාගාරයේය. පාසැලේ සිටි අවිවාහක ගුරුවරියන් කිහිප දෙනෙකුමද ගුරු විවේකාගාරයට වී මේ පාඩමට සවන් දුන්නේය. ඔවුන්ගෙන් ඇතැමෙකුගේ මුහුණු රතු වී තිබුණේය. මගේ අදහස අනුව, ප්‍රජනන සෞඛ්‍යය ගැන ඉගැන්විය යුත්තේ මීට වඩා අඩු වයසකදීය. නවවන ශ්‍රේණියට පැමිණෙන විට සිසුසිසුවියන් අවිධිමත් ලෙස ලිංගික අධ්‍යාපනය ලබා අවසන්ය.

ඇමරිකාවේ සිසුවෙකුට ලිංගිකත්වය හා අදාළ මූලික දේ කියා දෙන්නේ පෙර පාසැල් වයසේදීය. දෙවන වසරේදී පමණ ඔවුන්ට සැලකිය යුතු දැනුමක් ලබා දේ. මෙහිදී, ලිංගික අධ්‍යාපනය යනුවෙන් අදහස් කෙරෙන්නේ "ලොකු එක" කරන ආකාරය කියාදීම නොවේ. ඊට වඩා ඉතා සරල දෙයකි. ඇමරිකාවේ ලිංගික අධ්‍යාපනය යනු ඇතැම් අය සිතා සිටින ආකාරයේ "අනවශ්‍ය තොරතුරු" ලාබාල වයසේ සිසුන් මත ඕනෑවට වඩා කලින් පැටවීමක් නොව පුළුල් සන්දර්භයක් තුළ වෙනත් අදාළ දැනුම් සමඟ මුසුකර ක්‍රමානුකූල ලෙස හා වයසට ගැලපෙන ලෙස ලබා දෙන දැනුමකි. වෙනත් බටහිර රටවලද මෙය සිදුවන්නේ මේ අයුරින් බව මගේ අදහසයි.

ඇමරිකාවේ පෙරපාසැල් වයසේ දරුවෙකුට ලබාදෙන ලිංගික අධ්‍යාපනය යනු පෞද්ගලික අයිතිවාසිකම් ගැන ලබා දෙන දැනුමේම කොටසකි. පිරිමි ළමුන් දෙදෙනෙකු හෝ ගැහැණු ළමුන් දෙදෙනෙකු අත් අල්ලාගෙන හෝ කරට අත දමාගෙන යාම ලංකාවේනම් සාමාන්‍ය දෙයකි. එහෙත්, ඇමරිකාවේ එවැනි දෙයක් සාමාන්‍ය දෙයක් නොවේ. ගැටවර වයසේදීනම් එයින් වෙනත් දෙයක් අදහස් වනවා විය හැකිය.

හොඳ යාළුවන් වන පිරිමි ළමුන් දෙදෙනෙකු හෝ ගැහැණු ළමුන් දෙදෙනෙකු මේ අයුරින් සමීපව සිටීම ඉතා අහිංසක දෙයක් හෝ සංස්කෘතියේ කොටසක් බව කෙනෙකුට කියන්නට පුළුවන. ඒ කතාවේ වැරැද්දක්ද නැත. ඇමරිකාවේ මේ ආකාරයේ අත් අල්ලාගැනීම් හෝ කරට අත දමාගෙන යෑම වැනි සමීප සම්බන්ධතා නැත්තේ සිසුන් ඉතා කුඩා වයසකදීම අනෙක් අයගේ පෞද්ගලිකත්වයට ගරු කිරීමට ඔවුන්ට පුරුදු කරන බැවිනි.

මගේ දරුවන්ට පෙර පාසැලේදී මුලින්ම කියාදුන් පාඩමක් වූයේ සෑම අයෙකුටම තමා වටා අදෘශ්‍යමාන බුබුළු අවකාශයක් (bubble space) ඇති බවයි. වෙනත් අයෙකුට ඕනෑවට වඩා සමීප වූ විට මේ බුබුල බිඳෙන්නට පුළුවන. එමෙන්ම, තමන්ගේ බුබුල බිඳෙන තරම් ලඟට එන්නට වෙනත් අයෙකුට ඉඩදිය යුතුද නැත.

මේ බුබුල පෙර පාසැල් වයසේ දරුවෙකුට සිතින් මවාගත හැකි එකකි. වයසින් වැඩෙද්දී එවැනි බුබුලක් සැබෑවටම නැති බව දරුවා තේරුම් ගන්නා නමුත් ඒ වන විට ඔහු හෝ ඇය එහි අදහස උකහාගෙන අවසන්ය.

මේ මඟින් කෙරෙන්නේ දරුවන් අතර ඇතිවන අහිංසක හා සුන්දර සම්බන්ධතා විනාශ කිරීමක්යැයි අයෙකුට සිතෙන්නට පුළුවන. එහෙත්, එහි වැදගත්කම තේරෙන්නේ ඒ හේතුවෙන් පසුකාලීනව වැළකෙන දේ ගැන සිතද්දීය. පිරිමි පාසැල් සිසුවෙකුට තවත් සිසුවෙකුට යාලු කමට පිටට තට්ටුවක් දාගෙන යන්නට ඇති හැකියාවවම ඇතැම් අවස්ථා වලදී කොක්කක් දා ගැනීම සඳහාද උපයෝගී කරගන්නා බව රහසක් නොවේ. මෙවැනි පොඩි තට්ටු දැමීම් හා ඇඟේ හැප්පීගෙන යාම් තවමත් ලංකාවේ පාසැල් වල සාමාන්‍ය දේවල් බව දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ ඇති එවැනි ජවනිකා සාක්ෂි දරයි. නවක වදයේදී සිදුවන දේවල් වලට සාපේක්ෂව මේවා ගණන් ගත යුතු දේවල් නොවන බව ඇතැමෙකුට කියන්නට පුළුවන.

පෙර පාසැල් වයසේදීම කියා දෙන දෙවැනි දෙය කිසියම් අයෙකුගේ සිරුරේ පෞද්ගලික ප්‍රදේශ මොනවාද යන්නයි. මේ ප්‍රදේශ අතපතගාන්නට වෙනත් අයට කිසිදු අයිතියක් නැති බව ඇමරිකාවේ දරුවෙකු කුඩා කාලයේදීම දැන ගනී. ඒ සමඟම, එසේ කරන්නට අයිතියක් ඇති අය (මව, පියා, වෛද්‍යවරයා) කවුද යන්නත්, ඔවුන්ට වුවත් එසේ කළ හැක්කේ කුමන අවස්ථාවලදීද යන්නත් දරුවා දැන ගනී.

දරුවන් හා අදාළව සිදුවන ලිංගික අපචාර බොහොමයක්ම සිදුවන්නේ වෙනත් ළමා අපචාර වලම කොටසක් වශයෙනි. ඒ නිසා, ලිංගික අධ්‍යාපනය ලබා දිය යුත්තේ ළමා අයිතිවාසිකම් පිළිබඳ දැනුමක්ද සමඟය. දෙවන ශ්‍රේණියේදී පමණ ඇමරිකන් දරුවෙකුට මෙවැනි කරුණු ගැන තවත් වැඩිපුර දැනගන්නට ලැබේ.

දරුවෙකු මුලින්ම දැනගත යුත්තේ විශ්වාසනීය වැඩිහිටියෙකු යනු කවුද යන්නයි. එවැන්නන් පස් දෙනෙකු පමණ හඳුනාගන්නට මුලදීම දරුවෙකුට පුහුණු කෙරේ. වෙනත් වැඩිහිටියෙකුගෙන් අසාමාන්‍ය හැසිරීමක් දකින්නට ලැබෙන විට දරුවෙකු මුලින්ම කළ යුත්තේ මේ විශ්වාසනීය වැඩිහිටියන්ගෙන් අයෙක් දැනුවත් කිරීමයි. විශ්වාසනීය වැඩිහිටියා මව, පියා, ගුරුවරයා හෝ වෙනත් සමීප ඥාතියෙකු විය හැකිය.

අප දන්නා පරිදි ලංකාවේ බොහෝ ලිංගික අපචාර ඇතුළු ළමා අපචාර කරන්නේ මේ ආකාරයේ විශ්වාසනීය වැඩිහිටියන් විසින්මය. එසේනම්, මේ පුහුණුව මඟින් එවැනි දේ කෙසේ වැළැක්විය හැකිද?

එක් විශ්වාසනීය වැඩිහිටියෙකුගෙන් අසාමාන්‍ය හැසිරීමක් දකින්නට ලැබෙන විට දරුවකු විසින් කල යුත්තේ වෙනත් විශ්වාසනීය වැඩිහිටියෙකු දැනුවත් කිරීමයි. උදාහරණයක් ලෙස පියාගේ හැසිරීම අසාමාන්‍යනම් කළ යුත්තේ ඒ ගැන වහාම මව සමඟ කතා කිරීමයි. මෙය බොහෝ විට සාර්ථක වන උපක්‍රමයකි. ඇයගෙන්ද සතුටු විය හැකි විසඳුමක් නොලැබේනම් කළ යුත්තේ ගුරුවරයාට දැනුම් දීමයි. එයද සාර්ථක නැත්නම් 911 දුරකථන අංකය අමතා දැනුම් දීමට දරුවන් මුල සිටම පුහුණු කර තිබේ.

ඇමරිකාවේ දරුවන්ගෙන් 40% සම්බන්ධවම කිසියම් අවස්ථාවක බලාධිකාරයකට මැදිහත් වෙන්නට සිදු වී තිබේ. මෙය එකවර විශ්වාස කිරීමට අසීරු තරමේ සංඛ්‍යාලේඛණයකි. එයින් අදහස් වන්නේ ලංකාවට සාපේක්ෂව ඇමරිකාවේ ළමා අපචාර සුලභ බව නොවේ. දෙමවුපියන්ගෙන් වරක් හෝ පහරක් කෑ දරුවන් මෙවැනි පැමිණිලි ගොනු කළහොත් ලංකාවේ මේ ප්‍රතිශතය කොපමණ ඉහළ අගයක් ගනු ඇත්දැයි සිතාගන්නට බැරිකමක් නැත.

ඇමරිකාවේ දෙමවුපියන්ගේ හා දරුවන්ගේ කාර්යයන් ඉතා පැහැදිලි ලෙස අර්ථ දක්වා ඇති අතර දෙමවුපියන් විසින් කළ යුතු, කළ හැකි, නොකළ යුතු හා නොකළ හැකි දේවල් ගැන දරුවන්ව කුඩා කාලයේදීම දැනුවත් කෙරේ. ඒ දේවල් ඒ අයුරින් සිදු නොවන්නේනම් ඔවුන්ට පැමිණිලි කළ හැකි තැන් ගණනාවක් තිබේ. මෙවැනි පැමිණිලි විභාග නොවී ඉවත යන්නේ නැත.

ලිංගික අධ්‍යාපනයටත් වඩා ලංකාවට අවශ්‍ය වන්නේ ළමා අයිතිවාසිකම්, ළමා අපචාර ආදිය ගැන කුඩා කාලයේදීම දරුවන් දැනුවත් කිරීම හා එවැනි දේ සිදුවන විට ඒවා කරන අයට ගැලවී යා නොහැකි යාන්ත්‍රණයක් ඇති වීමයි. ඒ දේවල් සිදු නොවී ලිංගික අධ්‍යාපනය පමණක් ලබා දුන් පමණින් සාර්ථක ප්‍රතිඵල නොලැබෙන්නට ඉඩතිබේ. මෙයින් කියන්නේ ලිංගික අධ්‍යාපනය ලබා දීම නොවැදගත් බව නොවේ. එය සිදුවිය යුත්තේ වඩා පුළුල් යාන්ත්‍රණයක කොටසක් ලෙස බවයි.

ලිංගික අධ්‍යාපනය ලබාදීම හේතුවෙන් සිදුවන්නේ කුමක්දැයි නොදැන සිය පියා අතින් අපයෝජනය වන දැරියක් සිදුවන දෙය දැනගනු ඇතත්, තමන්ට ආහාර හා ආරක්ෂාව සපයන පියාට එරෙහිව පැමිණිලි කර කබලෙන් ලිපට වැටෙන්නට ඇයට ඇති ස්වභාවික බිය ඒ හේතුවෙන් තුරන් වන්නේ නැත. ඒ නිසා, එසේ පැමිණිලි කිරීමෙන් පසුව ඇගේ අනාගතය වඩාත් සුරක්ෂිත බව ඇයට ඒත්තු ගැන්වීමට ප්‍රමාණවත් යාන්ත්‍රණයක්ද රටේ තිබිය යුතුය.

ලිංගික අපචාර සිදු නොවුණත් මවුපියන් හා පවුලේ සමීපතම වැඩිහිටි ඥාතීන් විසින් දරුවන්ට අමානුෂික ලෙස පහර දෙන හෝ වධ හිංසා සිදුකරන, එසේ නැත්නම් ඔවුන්ගෙන් වයසට නොගැලපෙන වැඩ කරවා ගන්නා අවස්ථා එතරම් දුලබ නැත. සංඛ්‍යාලේඛණ මඟින් පෙනෙන්නේ ලිංගික අපචාරයකට ලක්වන දරුවෙකු බොහෝ විට කිසියම් හෝ වෙනත් ආකාරයක අපහරණයකට හෝ අපහරණයන්ට මුලින් ලක්වන බවයි. එසේ නැත්නම්, මෙවැන්නෝ අඩු වශයෙන් දෙමවුපියන් විසින් නොසලකා හරිනු ලැබීමට ලක් වූ අය වෙති.

ලිංගික අධ්‍යාපනයක් ලබා නැති දරුවෙකු තමන් ලිංගික අතවරයකට ලක්වන බව දැන නොසිටීමට සැලකිය යුතු ඉඩක් ඇතත් වෙනත් ආකාරයක ළමා අපචාරයකට, උදාහරණයක් ලෙස පහර දීමකට, නොසලකා හරිනු ලැබීමකට හෝ කළ නොහැකි මට්ටමේ වැඩ කරන ලෙස බල කරනු ලැබීමට ලක්වන විට, තමන්ට නරක ලෙස සලකන බව තේරුම් ගන්නට දරුවෙකුට ස්වභාවික හැකියාවක් තිබේ. එහෙත්, එවැනි දැනුමක් තිබූ පමණින් ලංකාවේ දරුවකුට එය වලක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ගයක් නැත.

මෙවැනි දේවල් ගැන දුක්ගැනවිලි ඉදිරිපත් කරන්නට දරුවෙකුට සිටින විශ්වාසවන්තම තැනැත්තා ගුරුවරයාය. ඇමරිකාවේ දරුවෙකුට සිය පාසැල් ජීවිතය ආරම්භයේදීම තමන්ට ඇති මෙවැනි ගැටළු ඇත්නම් ගුරුවරයා සමඟ කතා කරන්නට පුහුණු කෙරේ. දරුවකුට නිවසේදී සිදුවන අතවරයක් ගැන ගුරුවරයෙකුට ඉව වැටුණු පසු දරුවා විසින් කිසිවකුට නොකියන ලෙස ගුරුවරයාව පොරොන්දු කරගෙන සිටියේ වුවද ගුරුවරයා විසින් ගත යුතු නිශ්චිත පියවර ගණනාවක් තිබේ. මේ නීතිය වැඩිහිටි සිසුන් ඇසුරු කරන සරසවි ආචාර්යවරුන් විසින්ද පිළිපැදිය යුතු එකකි. ඒ නිසා, දරුවන්ට නොසලකා හරින ඇමරිකන් වැඩිහිටියෙකු ගන්නේ විශාල අවදානමකි. ලංකාවේ මෙවැන්නක් සිදු නොවනවා පමණක් නොව ඇමරිකානු අර්ථයෙන් දරුවන් අපහරණය කිරීම බොහෝ ගුරුවරුන් සාමාන්‍යයෙන් කරන දෙයකි.

සංක්ෂිප්තව කියනවානම් ලිංගික අධ්‍යාපනය කියන්නේ ප්‍රජනන සෞඛ්‍යය හා අදාළ නිවැරදි තොරතුරු දරුවෙකුට කියා දීම පමණක් නොවේ. එවැනි දැනුමක් පමණක් ලබා දුන්නොත්නම් ඇතැම් විට අවසන් ප්‍රතිඵලය ඇතැම් අය කියන "අත්හදා බැලීම් ඉහළ යාම" පමණක් වුවද විය හැකිය. මේ දැනුම ලබා දිය යුත්තේ පුද්ගල අයිතිවාසිකම් ගැන පුළුල් ලෙස දරුවන් කුඩා කළ සිටම දැනුවත් කිරීමේ අංගයක් ලෙසය. එවැනි දැනුවත් කිරීම් ආරම්භ කරන්නේනම් එයට සමාන්තරව ප්‍රශ්න වලට මුහුණ දෙන දරුවන්ට පහසුවෙන් උදවු ලබාගත හැකි විශ්වාසනීය යාන්ත්‍රණයක්ද ස්ථාපිත කළ යුතුය.

වැඩිදුර කරුණු දෙවන ලිපියකින් කතා කරමු.

Sunday, September 10, 2017

බබා එපානම් මේ පෙට්ටියට දාන්න!



රෝග පාලන හා නිවාරණ කේන්ද්‍රය (CDC) වෙත වාර්තා කර තිබුණු දත්ත අනුව, 2013 දී ඇමරිකාව තුළ නීත්‍යානුකූල ගබ්සා 664,435ක් සිදු කර තිබුණේය. එම ආයතනය විසින් මෙසේ දත්ත එකතු කරන්නේ ඇමරිකාවේ ගබ්සා සේවා සපයන පුද්ගලයින් හෝ ආයතන වලින් සීමිත ප්‍රමාණයකින් පමණක් නිසා මේ ගණන අවම සීමාවකි.

ඇමරිකාව තුළ සජීව දරු උපත් පහක් සිදුවන විට එක් ගබ්සාවක් සිදු වේ. මේ ගබ්සා වලින් 91.6%ක්ම සිදුකර ඇත්තේ කළලයේ වයස සති 13කට අඩුව තිබියදීය. එමෙන්ම මුළු ගබ්සා ප්‍රමාණයෙන් 22.2%ක්ම සිදු කර තිබුණේ වෛද්‍යමය හේතුවක් පාදක කර ගනිමිනි.

ඇමරිකාව සිදුවන ගබ්සා වලින් විශාල ප්‍රමාණයක් සිදු කරන්නේ එක්තරා රාජ්‍ය නොවන සංවිධානයක් විසිනි. එහෙත්, මේ සංවිධානය වුවද ගබ්සා ප්‍රවර්ධනය කිරීමක් නොකරයි. ප්‍රාන්ත නීතියේ අවශ්‍යතාවය මත හෝ ස්වේච්ඡා පදනමින් ගබ්සාවක් කිරීමට පෙර අදාළ ගර්භණී කාන්තාවට සිය තීරණය ගැන නැවත සිතා බලන්නට සැලකිය යුතු අවස්ථාවක් සැපයීම ඇමරිකාවේ ගබ්සාවක් සිදු කිරීමට පෙර හැම විටම වාගේ සිදු කෙරෙන්නකි. මෙයට පහත කරුණු වලින් එකක්, කිහිපයක් හෝ සියල්ලම ඇතුළත් විය හැකිය.

1. ඉල්ලීම කිරීමෙන් පසු අවම කාලයක් යන තුරු ගබ්සාව නොකිරීම.
2. ඉල්ලීම කළ අවස්ථාවේ සිට ගබ්සාව සිදු කරන තුරු (හා එයින් පසුවත්) උපදේශන සේවා සැපයීම.
3. දරුවා බිහි කිරීමෙන් පසු හදා ගන්නට කැමති පවුලක් සමඟ සම්බන්ධ කිරීම.
4. ගර්භණී සමයේ දරන්නට සිදුවන ආර්ථික හා ආර්ථික නොවන හානි පූරණය කරගත හැකි ආකාර පෙන්වා දීම.
5. දරුවාගේ හෘද ස්පන්දනයට සවන් දෙන්නට සැලැස්වීම.
6. දරුවාගේ ස්කෑන් ඡායාරූපයක් පෙන්වීම.
7. කාන්තාවට ඇගේ සැමියාගෙන්, පවුලේ සාමාජිකයින්ගෙන් හෝ වෙනත් අයෙකුගෙන් බලපෑමක් සිදු නොවන බවත් තීරණය තනිකරම ඇගේ පෞද්ගලික තීරණයක් බවත් තහවුරු කර ගැනීම.

ගබ්සා කිරීම සිදුකරන්නේ මෙවැනි විකල්ප තේරීම් පෙන්වා දීමෙන් පසුවද ගර්භණී කාන්තාවක් සිය තීරණය වෙනස් නොකරන්නේනම් පමණි. එහෙත්, මෙයින් අදහස් කෙරෙන්නේ ගබ්සා කිරීම ප්‍රවර්ධනය නොකෙරෙන බව මිස ගබ්සා කිරීමේ අයිතියට බාධා කෙරෙන බවද නොවේ. අවසාන අරමුණ වන්නේ මෙවැනි ආපසු හැරවිය නොහැකි තීරණයක් ගන්නට පෙර කාන්තාවකට සියලු කරුණු සලකා බලා වඩාත්ම හොඳ තීරණය ගන්නට අවස්ථාව සැපයීමයි.

කෙසේ වුවද, නීත්‍යානුකූල ලෙස ගබ්සා කිරීමේ හැකියාව තිබූ පමණින් වුවද අනවශ්‍ය දරු උපත් සිදුවීම සම්පූර්ණයෙන්ම වැළකෙන්නේ නැත.

මාස ගණනක් සිය ගර්භණී භාවය සඟවාගෙන සිටින ඇතැම් කාන්තාවන් රහසිගත ලෙස දරුවා ප්‍රසූත කර වැසිකිළි වලවල් වැනි තැන්වල දමා යන අවස්ථා ගැන ඇතැම් විට ලංකාවෙන් අහන්නට ලැබේ. මෙවැනි දේ සිදුවන තරමට වාර්තා වන්නේ නැති වන්නට පුළුවන.

විවිධ හේතූන් මත මවුවරුන් විසින් උපන් අලුත බිළිඳුන් පොදු වැසිකිළි හෝ කුණු බක්කි වල දමා යාම ඇමරිකාවේද සිදුවන දෙයකි. සංඛ්‍යාලේඛණ අනුව පෙනෙන පරිදි මෙය වැඩිපුරම සිදුවන්නේ දරු උපතකින් පසු පළමු පැය කිහිපය ඇතුළතය. එසේ නැත්නම් උපතින් සති 6-8 පමණ වයසකදීය. මේ වයස දරුවෙකු මවට වදයක් වන පරිදි නිතර අඬන්නට පටන් ගන්නා වයසයි.

මෙසේ අනාරක්ෂිත ලෙස අත හැර දමන බිළිඳුන්ගෙන් අඩක් පමණම මිය යයි. මෙවැනි ක්‍රියාවකට පෙළඹෙන මවකට අවසානයේදී මිනීමැරුමකට හෝ මිනීමැරීමට තැත් කිරීමට චෝදනා ලබා දඬුවම් විඳින්නට සිදු වේ.

වරදක් කරන අයෙකුට දඬුවම් දෙන බොහෝ අවස්ථා වලදී එවැනි දඬුවමකින් හානියට පත් වූ පාර්ශ්වයට යහපතක් නොසැලසේ. එහෙත්, දඬුවම් විඳින පුද්ගලයාට මෙන්ම අනෙකුත් තෙවන පාර්ශ්වයන්ටද එයින් හානියක් සිදුවේ. ලංකාවේ කිසියම් පුද්ගලයෙකු බන්ධනාගාර ගත වූ විට ලැබෙන 'සැප' ගැන අජිත් පැරකුම් ජයසිංහ විසින් විස්තර කර තිබුණේය. මෙහිදී දඬුවම් විඳින පුද්ගලයාට අමතරව පැත්තක සිටින විශාල පිරිසකටද දඬුවම් විඳින්නට වෙන්නේ බන්ධනාගාර නඩත්තු කිරීමට වැය වන පිරිවැය පැත්තක සිටින බදු ගෙවන්නන්ට දරන්නට සිදුවන වියදමක් බැවිනි. දඬුවම ගෙවෙන්නේ බන්ධනාගාර රෝහලේ වුවද තත්ත්වයේ වෙනසක් නැත.

දඬුවමකින් වින්දිතයාගේ හානිය පූරණය නොවන විටක ඒ දඬුවමේ පිරිවැයට දායක වන පොදු සමාජයට ඒ වෙනුවෙන් ලැබෙන වාසිය වනුයේ තවත් අය අදාළ වරද නොකිරීමට පෙළඹීම පමණි. මේ අනුව, සමාජයට වඩා වැඩදායක වන්නේ වැරදි සිදුවීම වැළැක්වීම පිණිස සම්පත් යෙදවීම මිස දඬුවම් කිරීම වෙනුවෙන් සම්පත් යෙදවීම නොවේ. ඒ නිසා, විශාල පිරිසක් එකම වරද කරන විට දඬුවම් වලින් පමණක් එවැනි වරදක් වැළැක්වීම ඵලදායී නැත. දඬුවම් අවශ්‍ය වන්නේ වැරදි කිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමෙන් පසුවද තවදුරටත් වැරදි කරන සුළු පිරිස වෙනුවෙනි.

උපන් අලුත බිළිඳෙකු අනාරක්ෂිත තැනක අතහැර දමා යන මවක් තමන්ට විඳින්නට සිදුවිය හැකි දඬුවමේ හානිය ගැන දැන දැනම එසේ කරන්නේ දරුවා හදාගැනීම ඇයට ඊටත් වඩා "දඬුවමක්" වන බැවිනි.

පර්යේෂකයින් විසින් හඳුනාගෙන ඇති පරිදි මවක් විසින් දරුවකු අනාරක්ෂිත තැනක අතහැර දැමීම සඳහා පෙළඹෙන්නේ පහත හේතු එකක් හෝ කිහිපයක් නිසා විය හැකිය.

1. නරක තත්ත්වයන් යටතේ දරුවා හදනවාට වඩා දරුවා මැරෙන්නට හැරීම යහපතක්යැයි සිතීම.
2. භ්‍රාන්ති තත්ත්වයක් (hallucination) යටතේ පොළඹවනු ලැබීම.
3. වෙනත් දෙමවුපියෙකු යටතේ තමන්ගේ දරුවා හැදෙනවාට ඇති අකැමැත්ත.
4. අනවශ්‍ය ගැබ් ගැනීමක් වීම නිසා දරුවා කෙරෙහි ඇති ද්වේශය.
5. සහකරුවා සමඟ ඇති වෛරය දරුවා පිටින් යැවීම.

බිළිඳු දරුවන් ඔවුන්ගේ මවුවරුන් විසින් අනාරක්ෂිත තැන් වල අතහැර දමනු ලැබීමත්, එවැනි දරුවන් බොහෝ දෙනෙකු මරණයට පත් වීමත් සලකමින් ඇමරිකාවේ ප්‍රාන්ත රාජ්‍යයන් විසින් මවකට අලුත උපන් දරුවෙකු ආරක්‍ෂිත ලෙස අතහැර දමනු ලැබිය හැකි ස්ථාන හඳුන්වා දෙමින් (safe-haven laws) නීති සංශෝධනය කිරීම 1999දී ටෙක්සාස් ප්‍රාන්තයෙන් ඇරඹුණු අතර මේ වන විට ඇමරිකාවේ සෑම ප්‍රාන්තයකම මේ ආකාරයේ නීති ක්‍රියාත්මක වේ.

මෙසේ පසුගිය දශක දෙක තුළ හඳුන්වා දෙනු ලැබ ඇති අලුත් නීති අනුව තමන්ගේ අලුත උපන් දරුවාගේ බරෙන් නිදහස් වන්නට අවශ්‍ය මවකට එම දරුවා කුණු බක්කියකට හෝ වැසිකිළි වලකට දමනු වෙනුවට රෝහලක්, පොලිස් ස්ථානයක් හෝ ගිණි නිවන හමුදා ඒකකයක් වැනි ආරක්‍ෂිත තැනක අතහැර යන්නට ඉඩ ලැබේ. දරුවාට හිරිහැර කර ඇති බව පැහැදිලිව පෙනෙන්නට ඇති අවස්ථාවක හැර එවැනි ආරක්‍ෂිත තැනක දරුවෙකු දමා යන මවකට චෝදනා ඉදිරිපත් කිරීමක් සිදු නොවේ. එමෙන්ම, මවකට සිය අනන්‍යතාවය හෙළිදරවු නොකර එය කිරීමටද නීතියෙන් ඉඩ සැලසේ.

තවමත් විශාල ලෙස ප්‍රචලිතව නැතත්, මෙසේ යම් කාන්තාවකට අනවශ්‍ය දරුවන් දමා යා හැකි පෙට්ටිද මේ වන විට එක් ප්‍රාන්තයක (ඉන්දියානා) හඳුන්වා දී තිබේ. මෙහි ඇති වාසිය වන්නේ දරුවෙකුගෙන් නිදහස් වන්නට අවශ්‍ය මවකට වෙනත් පුද්ගලයෙකු සමඟ කවර ලෙසකින් හෝ සම්බන්ධ නොවී දරුවා පෙට්ටියට දමා වසා යා හැකි වීමයි. දරුවාට අවශ්‍ය වාතාශ්‍රය හා නිසි උෂ්ණත්වය මේ පෙට්ටිය තුළ තිබෙන අතර එහි දරුවෙකු දැමූ පසු වෙනත් තැනක එලාමයක් ක්‍රියාත්මක වී දරුවෙකු එහි සිටින බව අදාළ නිලධාරීන්ට දැනගන්නට සැලැස්වේ. මේ පෙට්ටියේ නිර්මාතෘ මොනිකා කෙල්සිද කුඩා කාලයේදී අතහැර දමනු ලැබූ දැරිවියකි.

මෙසේ බිළිඳෙකු සුරක්ෂිත තැනක අතහැර යාමට ඉඩ සැලසෙන නීති පසුගිය දශක දෙක තුළ ඉතා වේගයෙන් ජනප්‍රිය වූයේ මේ අදහස සමඟ විවිධ දේශපාලන මතවාද දරන අයට පහසුවෙන් එකඟ වන්නට හැකි වූ බැවිනි. මවගේ පැත්තෙන් බැලූ විට ඇයට නීතියෙන් ගැලවී දරුවාගෙන් නිදහස් වන්නට ඉඩක් ලැබේ. දරුවාට සුරක්ෂිත ජීවිතයක් හිමි වේ. මේ අයුරින් දමා යන දරුවකු හමු වූ වහාම අදාළ ස්ථානයේ සිටින පුහුණුවක් ලබා ඇති පුද්ගලයෙකු විසින් දරුවාගේ ජීවිතය සුරක්ෂිත කිරීමට අවශ්‍ය මූලික පියවර ගැනීමෙන් පසුව හදා ගැනීම සඳහා දරුවන් සපයන ආයතනයක් හරහා දරුවාව වෙනත් දෙමවුපියෙකු වෙත ලබා දේ. ඇමරිකාවේ මෙවැනි ආයතන යනු රජයේ පොදු අරමුදල් වලින් නඩත්තු නොවන රාජ්‍ය නොවන ආයතනයි. මේ ක්‍රමය නිසා එවැනි ආයතන වල අරමුණුද ඉටුවන අතර දරුවෙකු සොයන පවුලකට දරුවකුද හිමි වේ.

මේ ක්‍රමය ජනප්‍රිය වීමට තවත් ප්‍රධාන හේතුවක් වූයේ මෙසේ දරුවන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා බදු මුදල් කිසිවක් වැය කළ යුතු නොවන බවට වන අදහසයි. කෙසේ වුවද, මේ අදහසනම් අර්ධ සත්‍යයක් පමණි. මේ අදහස ව්‍යාප්ත වී තිබීමේ පදනම වන්නේ දැනට පවතින ආයතනික ව්‍යුහයම මේ කටයුත්ත සඳහා යොදා ගැනීමයි. නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රාන්ත රජයයන් විසින් අමතර ප්‍රතිපාදන වෙන් කිරීම් නොකරන බවනම් බොහෝ දුරට ඇත්තක් වුවත් මෙසේ ජීවිත බේරාගැනීම සඳහා වක්‍ර ලෙස මහජන මුදල් වැය කරන්නට සිදුවේ.


මේ අයුරින් දමා යන්නට හැකියාව ඇත්තේ අලුත උපන් බිළිඳුන් පමණි. දමා යා හැකි දරුවෙකුගේ උපරිම වයස ප්‍රාන්තය අනුව දින 3ක සිට සති ගණනක් දක්වා වෙනස් වේ. ඉහත නීති ක්‍රියාත්මක වීමෙන් පසුව දරුවන් අනාරක්ෂිත ලෙස අතහැර දමා යනු ලැබීම සැලකිය යුතු තරමින් අඩු වී තිබේ.

මේ ගැන පර්යේෂණ කරන ප්‍රමුඛ පර්යේෂිකාවකගේ තවමත් ප්‍රසිද්ධ කර නැති පර්යේෂණයකට අනුව මේ ක්‍රමයට ජීවිතයක් බේරා ගැනීම සඳහා (වක්‍ර ලෙස) වැයවන මුදල උපරිම වශයෙන් ඩොලර් ලක්ෂ හතකට (රුපියල් කෝටියකට) වඩා වැඩි නොවේ. සාමාන්‍යයෙන් මිනිස්  ජීවිතයක වටිනාකම ලෙස සෞඛ්‍ය ආර්ථික විද්‍යාවේදී සැලකෙන අගය එමෙන් දහ ගුණයකටත් වඩා වැඩි නිසා මෙය සැලකිය හැක්කේ ඉතා ඵලදායී යාන්ත්‍රණයක් වශයෙනි.

Thursday, September 7, 2017

පුද්ගල අයිතිවාසිකම් හා ගබ්සාව


ඇමරිකා එක්සත් ජනපදය කාන්තාවන්ගේ ගබ්සා අයිතිය පිළිගත් රටකි. එයින් දළ වශයෙන් අදහස් වන්නේ ඇමරිකාවේ සෑම ප්‍රාන්තයකදීම නීත්‍යානුකූල ලෙස ගබ්සා කර ගැනීමට ඉඩක් ඇති බවයි. කෙසේ වුවද, බොහෝ ප්‍රාන්ත වල මේ ගබ්සා අයිතිය කිසියම් ආකාරයකින් නියාමනය වේ. ඊට අමතරව ගබ්සා කිරීමට නීතිමය නොවන බාධාවන්ද තිබේ.

ගබ්සා හා අදාළව ඇමරිකාවේ දැන් පවතින නීතිමය තත්ත්වය තීරණාත්මක ලෙස වෙනස් වුණේ 1973 වසරේදී ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නඩු තීන්දුවකින් පසුවය. ඒ වන විට ඇලස්කාව, වොෂින්ටන්, හවායි වැනි ප්‍රාන්ත කිහිපයක කාන්තාවකගේ ඉල්ලීම මත කරන ගබ්සා නීත්‍යානුකූල වුවත්, රටේ ප්‍රාන්ත වැඩි ප්‍රමාණයක එය නීති විරෝධී කටයුත්තක් විය. ප්‍රාන්ත තිහකම කවර ආකාරයක ගබ්සාවක් වුවද නීති විරෝධී වූ අතර ටෙක්සාස් වැනි තවත් ප්‍රාන්ත ගණනාවක ගබ්සාවට ඉඩ ලැබුණේ මවගේ ජීවිතයට අනතුරක් ඇත්නම් පමණි.

පෙර කී නඩු තීන්දුවෙන් පසු ඒ වන විට පැවති තත්ත්වය කණපිට හැරුණේය. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කළේ ඇමරිකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් තහවුරු කර ඇති පුද්ගල අයිතියේ කොටසක් ලෙස සැලකිය හැකි කාන්තාවකට අනවශ්‍ය ගැබක් ගබ්සා කිරීමට ඇති අයිතිය වළක්වමින් නීති පැනවීමේ අයිතියක් ප්‍රාන්ත රාජ්‍යයන්ට නැති බවයි.

ඉහත නඩු තීන්දුව ලබා දීමේදී පදනම් කරගත් එක් සිද්ධාන්තයක් වූයේ නූපන් දරුවෙකු "පුද්ගලයෙකු" ලෙස සැලකිය නොහැකි බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පුද්ගලයෙකුට ලැබෙන ජීවත් වීමේ අයිතිවාසිකම මවගේ ගර්භාෂයෙන් පිටත ස්වාධීන පැවැත්මක් තිබිය නොහැකි, අඩු වයසක දරුගැබකට අදාළ නොවන බවයි. මේ කාලය වෙද්දී අඩු වශයෙන් සති 27ක්වත් සම්පූර්ණ නොකළ ගැබක් ගර්භාෂයෙන් පිටතදී ජීවත් කරවීමේ හැකියාවක් නොතිබුණේය.   

වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ සති 24 පමණ වයසැති දරු ගැබක් වුවද සැලකිය යුතු තරම් ඉහළ සම්භාවිතාවකින් ගර්භාෂයෙන් පිටත ජීවත් කරවිය හැකි වීම නිසා මුල් නඩු තීන්දුව අනුව ගබ්සා කිරීමට ඉඩ ලැබුණු කාලය පසුව වෙනත් නඩු තීන්දුවකින් පහත හෙලුනත්, 1973 තීන්දුව අනුව ගබ්සා කිරීමට ඉඩ දීමේදී සලකා බැලිය යුතු නිර්ණායකය ලෙස හඳුනා ගැනුණු "වෛද්‍යාධාර ලබමින් හෝ ගර්භාෂයෙන් පිටත ජීවත් වීමේ හැකියාව (Fetal viability)" යන සිද්ධාන්තය වෙනස් වුණේ නැත.

ගබ්සාව පිළිබඳ ඇමරිකානු ජනමතය අද වන විටද දෙපැත්තකට බෙදී ඇත. අතරමැදි අදහස් දක්වන්නන්ද යම් පිරිසක් සිටියත් බොහෝ දෙනෙකු එක්කෝ ගබ්සාවට මුළුමනින්ම විරුද්ධය. නැත්නම් පක්ෂය.

ගබ්සාවට පක්ෂ අය කාන්තාවකට ඇගේ සිරුර ගැන තීරණ ගැනීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටින අතර විරුද්ධ අය කළලයකට වර්ධනය වී පුද්ගලයෙකු ලෙස ජීවත් වීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටිති.

ඇමරිකාවේ ගබ්සා විරෝධයට ආගමික පදනමක් තිබුණත් එය ගබ්සාවට එරෙහි වීමේ එකම පදනම නොවේ. ගබ්සාව හා අදාළව මතවාදී ලෙස ඇමරිකානු සමාජය දෙපිල බෙදී සිටීමට ප්‍රධානම හේතුව "අයිතිවාසිකම් හිමි පුද්ගලයා" කවුද යන්න ගැන සියල්ලන්ටම එකඟ විය හැකි තර්කානුකූල පදනමක් නොතිබීමයි.

පුද්ගල අයිතිවාසිකම් යන සංකල්පය මෙන්ම එයට පාදක වන පුද්ගලයා යන සංකල්පයද සමාජ සම්මතයකි. මේ පුද්ගල සංකල්පය සෑම සමාජයකටම හා සෑම කාලයකටම පොදු සංකල්පයක් නොව කිසියම් නිශ්චිත සමාජයක වුවත් කාලයත් සමඟ පරිණාමය වන සංකල්පයකි.

අද බටහිර ප්‍රමුඛ මතය අනුව පූර්ණ අයිතිවාසිකම් හිමි පුද්ගලයෙකු යනු ආසන්න වශයෙන් ගත්තොත් වැඩිහිටි පිරිමියෙකු හෝ වැඩිහිටි ගැහැණියකි. විවාහ වීම, සංසර්ගයේ යෙදීම, මත්පැන් මිල දී ගැනීම හා පානය කිරීම හා ඡන්දය ප්‍රකාශ කිරීම වැනි තීරණ ගැනීමේ අයිතිය ඇත්තේ මේ වැඩිහිටි පිරිමියාට හෝ ගැහැණියටය. ඒ අය අතරින් වුවද, සමාජ විරෝධීයෙකු ලෙස හෝ කිසියම් අවම ශාරීරික හා මානසික යෝග්‍යතාවක් නොමැත්තෙකු ලෙස හඳුනාගත් අයෙකුට මේ අයිතිවාසිකම් සියල්ල ඒ අයුරින්ම හිමි නොවේ.

වැඩිහිටියන් නොවූ උපන් දරුවන්, නූපන් දරුවන්, සමාජ විරෝධීන් ලෙස හඳුනා ගන්නා අය, ශාරීරික හා මානසික රෝගීන්, මෙන්ම ආහාරය පිණිස ඇති කරන, ගෘහාශ්‍රිතව ජීවත් වන හෝ ස්වභාවික පරිසරයේ ජීවත් වන සතුන් සතු විය යුතු සීමිත අයිතිවාසිකම් මොනවාද කියා අවසාන වශයෙන් තීරණය කරන්නේද ඉහත විස්තර කළ පුද්ගල අර්ථකථනයට යටත් වන නිරෝගී, වැඩිහිටි ගැහැණුන් හා මිනිසුන් විසිනි.

ඇමරිකානු සමාජය වැනි සමාජයක් ගත්තත් කලකට පෙර මේ පුද්ගල අයිතිවාසිකම් තිබුණේ නිරෝගී, වැඩිහිටි සුදු පිරිමින්ට පමණි. කළු පිරිමින් හා සුදු හා කළු ගැහැණුන් පූර්ණ අයිතිවාසිකම් සහිත පුද්ගලයින් බවට පත් වුණේද සමාජ පරිණාමයත් සමඟය. එය සිදුවුණේ එවකට "පුද්ගලයින්" නොවූ අදාළ කණ්ඩායම් වල පිරිස් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැඟීමෙන් පසුවය. මේ ලිපියේ ඇමරිකානු සමාජය ගැන කතා කළත්, මේ බොහෝ කරුණු අඩු වැඩි වශයෙන් වෙනත් සමාජ වලටද පොදුය.

පුද්ගලයෙකුගේ ජීවත් වීමේ අයිතිය ගැන කෙතරම් දුරකට පෙනී සිටින සමාජයක් වුවත් ඇතැම් තත්ත්වයන් යටතේ යමෙකුගේ මේ අයිතිය නැති කිරීමට පැකිලෙන්නේ නැත. ඇමරිකාව තවමත් මරණ දඬුවම ක්‍රියාත්මක කරන රටකි. මරණ දඬුවම අහෝසි කර ඇති ඕනෑම රටක් වුවද සමාජ විරෝධියෙකු සිර කර තබා එවැන්නෙකුට සාමාන්‍ය පරිදි ජීවත් වීමට ඇති අයිතිය සීමා කිරීමට පැකිලෙන්නේ නැත. මෙහිදී අදාළ වන මූලධර්මය වැඩි දෙනෙකුගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන්, එයට බාධා කරන  ටික දෙනෙකුගේ ජීවත් වීමේ අයිතියට බාධා කිරීමේ වරදක් නැති බවයි. යුද්ධ වලදී සිදුකරන මනුෂ්‍ය ඝාතන සාධාරණීකරණය කෙරෙන පදනමද මෙයට තරමක් ආසන්නය. මානසික රෝගියෙකුගේ හෝ මත්වී සිටින පුද්ගලයෙකුගේ තීරණ ඇතැම් විට නිදහස් තීරණ ලෙස නොසැලකේ.

සමාජ විරෝධීන්, මානසික රෝගීන් හා මත්වී සිටින පුද්ගලයින්ව හඳුනා ගනු ලබන්නේද අනෙකුත් පුද්ගලයින් විසිනි. මේ හැමවිටකම සිදු වන්නේ තමන්ට පුද්ගල අයිතිවාසිකම් ඇතැයි සම්මත කරගත්, බලය ඇති වැඩි පිරිසක් එකතු වී තමන්ගේ තේරීම් සමඟ නොපෑහෙන තේරීම් කරන අයව මේ බලය ඇති ප්‍රමුඛ කණ්ඩායමෙන් බැහැර කිරීමයි. (මෙසේ අන්තිමට ඉතිරි වන අයිතිවාසිකම් ඇති පුද්ගලයින් අතරද වෙනත් තල ගණනාවකදී දී මීට සමාන බැහැර කිරීම් සිදු වන අතර ලෝක දේශපාලනය තුළ රටවල් වලට ඇති 'සමානත්වය' උදාහරණයකි.)

ඇමරිකාවේ හෝ වෙනත් දියුණු සමාජයක සිරකරුවෙකුට, මානසික රෝගියෙකුට, දරුවෙකුට හෝ සතෙකුට තමන්ට අවශ්‍ය තේරීම් කිරීමට සීමිත නිදහසක් ඇතත්, පූර්ණ නිදහසක් නැත. තමන් කැමති තේරීම් කිරීමේ පූර්ණ නිදහසක් නැති මෙවැනි කණ්ඩායම් වලට නිදහස තිබිය යුත්තේ කවර ආකාරයේ තේරීම් කිරීමටද යන්න තීරණය කරන්නේ "පුද්ගල අයිතිය" හිමි "පුද්ගලයින්" ලෙස තමන්වම සම්මත කරගෙන සිටින හොඳ සිහියෙන් සිටින, වැඩිහිටි ගැහැණුන් හා මිනිසුන් විසිනි. මෙහි පදනම බලය මිස වෙන කිසිවක් නොවේ. තීරණ ගැනීමේ නිදහස හා පුද්ගල අයිතිවාසිකම් සංකල්ප පිටුපස අවසාන වශයෙන් ඇත්තේ බලයයි.  "හොඳ සිහියෙන් සිටින" හෝ "වයස් පූර්ණත්වයට පැමිණි" වැනි කරුණු තීරණය කරමින් නිර්ණායක හදන්නේ මේ "බලය අල්ලාගෙන සිටින" නිරෝගී, වැඩිහිටි ගැහැණු හා පිරිමි කණ්ඩායම හෝ ඇතැම් විට ඒ කණ්ඩායම තුළත් බලය හිමි වෙනත් උප කණ්ඩායමකි.

කවුරු මොන දාර්ශනික කතා කිවුවත් කාලයක් ගැහැණුන් හා කළු මිනිසුන් තීරණ ගැනීමේ පූර්ණ අයිතිය ඇති පුද්ගලයින් නොවීමේත්, ඉහත විස්තර කළ පිරිස් වලට එවැනි පූර්ණ අයිතියක් අදටත් නොතිබීමේත් පදනම බලය තිබීම හා නොතිබීමේ වෙනසයි. අලින්ට හෝ රිළවුන්ට මිනිසුන්ව බලයෙන් අභිබවිය හැකිනම් අවසාන වශයෙන් ක්‍රියාත්මක වන්නේ අලින්ගේ හෝ රිළවුන්ගේ කැමැත්ත මිස මිනිසුන්ගේ කැමැත්ත නොවේ.

මිනිස් කළලයකට බලයක් යෙදවීමේ හැකියාවක් ඇත්තේම නැති තරම්ය. ඒ නිසා අවසාන වශයෙන් මිනිස් කළලයක පැවැත්ම තීරණය කෙරෙන්නේ බලය ඇති "පුද්ගලයින්ගේ" අභිලාශ පරිදිය. මා මෙහි සාකච්ඡා කරන්නේ හරි දෙය හෝ වැරදි දෙය ගැන නොවේ. ඇත්තටම සිදුවන දෙයයි.

වයස අවුරුදු දහඅටක් යාන්තමින් සම්පූර්ණ කළ අයෙකුට රටේ ජනාධිපති විය යුත්තේ කවුදැයි තීරණය කිරීමට ඉඩක් ලැබුණත් වයස දිනකින් අඩු අයෙකුට ඒ අවස්ථාව නොලැබේ. එහෙත්, වයස දහඅට සපුරන මොහොතේ දරුවෙකු ක්ෂණිකව පරිණත වී "පුද්ගලයෙකු" බවට පත් වන්නේ නැත. මෙහිදී සිදු වී ඇත්තේ ඒ නිශ්චිත කඩඉම පසු කළ අයෙකු තමන්ගේ කණ්ඩායමට ඇතුළු කර ගැනීම බලය අතේ ඇති අයගේ තේරීම වීම පමණි.

දරුවෙකු මවු කුසෙන් එළියට පැමිණි වහාම සිදුවන ලොකුම වෙනස ඔහුට හෝ ඇයට එතැන් සිට අම්ලකර වායුව වායුගෝලයෙන් සෘජුව උරා ගන්නට හැකි වීමයි. එපමණකින් මේ දරුවා ස්වාධීන පුද්ගලයෙකු වන්නේ නැත. දරුවාගේ ආහාර තවදුරටත් පෙකණි වැල හරහා නොපැමිණියත්, ආහාර ලැබෙන්නේ මවගෙනි. මිනිස් දරුවෙකුට "සාමාන්‍යයෙන්" උපත ලබා සෑහෙන කලක් යන තුරුම "ස්වාධීනව" ජීවත් වීමේ හැකියාවක් නැත.

"පුද්ගලයෙකු" හෝ "මිනිසෙකු" බිහිවන නිශ්චිත මොහොතක් තීරණය කිරීම තර්කානුකූලව කළ නොහැකි දෙයකි. එය කළ හැක්කේ සම්මතයෙන් පමණි. උපත ලබන දරුවෙකුට මවගෙන් වෙන්වී ස්වාධීන ජීවිතයක් ආරම්භ කළ හැක්කේ වෙනත් මිනිසුන්ගේ උපකාර ලැබේනම් පමණි. මවු කුසෙන් එළියට පැමිණීම නිසා දරුවෙකු හා මවක අතර ඇති සම්බන්ධය නැති වන්නේ නැත.

වෛද්‍ය විද්‍යාව දියුණු වන්නට පෙර දරුවෙකු මවු කුසෙන් එළියට එන නිශ්චිත මොහොතට අදට වඩා වැදගත්කමක් තිබුණේය. ඒ කාලයේ ස්වභාවික ලෙස මවු කුසෙන් එළියට පැමිණි දරුවෙකුට උදවු කරන්නට වෙනත් මිනිසුන්ට හැකි වුවත්, එතෙක් දරු ගැබ රැකගැනීම කළ යුතු වූයේ මව විසිනි. මව විසින් දරුවෙකු බිහි කරන තුරු වෙනත් අයට කළ හැකි දෙයක් නොවීය.

කෙසේ වුවද අවුරුදු දෙදහස් තුන්සීයකට පෙර පවා නූපන් දරුවෙකුගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් මිනිසුන් ක්‍රියාත්මක වී ඇති බවට හොඳම උදාහරණය අශෝක අධිරාජයාගේ පියා වූ බින්දුසාර රජුගේ උපත පිළිබඳ කතාවයි. බින්දුසාරගේ පියා හා අශෝකගේ සීයා වූ චන්ද්‍රගුප්ත මයුරට රාජ්‍ය බලය ගැනීමට උදවු කළ අර්ථශාස්ත්‍ර ග්‍රන්ථයේ කතුවරයාද වන චානක්‍ය හෙවත් කෞටිල්‍ය විසින් චන්ද්‍රගුප්ත මයුර කිසියම් විෂක් ශරීරගත වී මිය යාමට ඇති ඉඩකඩ වැළැක්වීමට ඔහුගේ ආහාරයට දිනපතා විෂ වර්ග සුළු මාත්‍රාවක් එකතු කළේය. මේ මාත්‍රාව දිනපතා ක්‍රමයෙන් වැඩි කිරීම මඟින් චන්ද්‍රගුප්තට වෙනත් අය මරණයට පත් කරන මට්ටමේ විෂක් ආහාරයට ගැනීම ප්‍රශ්නයක් නොවන ප්‍රතිශක්තියක් ලැබී තිබුණත් මේ බව දැන සිටියේ චන්ද්‍රගුප්ත මයුර හා කෞටිල්‍ය පමණි. 

බින්දුසාර ලැබෙන්නට ආසන්නව සිටි චන්ද්‍රගුප්ත මයුරගේ බිසව ආහාර වල විෂ ඇති බව නොදැන රජුගේ අහරින් ඉතිරිව ඇති කොටසක් අනුභව කරන බව කෞටිල්‍ය හදිසියේම දැක්කේය. එකතු කර ඇති විෂ ද්‍රව්‍ය වල ස්වභාවය අනුව දේවිය ඉතා ඉක්මණින් මරණයට පත් වීම නොවැලැක්විය හැකි බව දැන සිටි ඔහු, දරු ගැබට විෂ සම්ප්‍රේෂණය වන්නට පෙර ක්ෂණිකව දේවිය මරණයට පත් කර අසිපතෙන් කුස පලා දරුවා එළියට ගත්තේය. ගැබ මෝරා තිබුණු බැවින් කිරිමවුවරුන් යොදවා දරුවා ජීවත් කරවිය හැකි විය.

බින්දුසාරගේ කතාවේ මෙන් මවත් දරුවාත් දෙදෙනාම බේරාගත නොහැකි අවස්ථා දැනුත් ඇතැම් විට එළැඹේ. මෙවැනි බොහෝ අවස්ථා වලදී ප්‍රමුඛත්වය ලැබෙන්නේ මවගේ ජීවිතය බේරා ගැනීමටය. එහෙත්, එහි අනිත් පැත්ත සිදුවන අවස්ථාද තිබේ. මෙහිදී යොදාගැනෙන මූලධර්මය වන්නේ ජීවත් කරවීමට වැඩි සම්භාවිතාවක් ඇති ජීවිතය රැක ගැනීමට ප්‍රමුඛතාවය දීමයි.

වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා මේ වන විට සති 22 නොඉක්මවූ කළල පවා ගර්භාෂයෙන් පිටත ජීවත් කරවීමේ හැකියාව තිබේ. ඉදිරියේදී තත්ත්වය වෙනස් විය හැකි වුවත්, සති 21 නොඉක්මවූ කළලයක් ගර්භාෂයෙන් එළියට ගෙන ජීවත් කරවීමේ හැකියාවක් තවමත් නැත. සති 22-26 අතර සෑම දිනකදීම මිනිස් කළලයක් ගර්භාෂයෙන් එළියට ගෙන ජීවත් කරවීමේ හැකියාව වේගයෙන් ඉහළ යන අතර සති 27 පමණ වන විට මේ සම්භාවිතාව 90% ඉක්මවයි. ඒ නිසා සති 21-22 පමණ වයසැති කළලයක් යනු මවගෙන් බාහිර පැවැත්මක් තිබිය හැකි ජීවියෙකි. ඊට අඩු වයසක කළලයකට වෛද්‍ය විද්‍යාවේ උදවුවෙන් වුවත් එසේ මවගෙන් ස්වාධීනව ජීවත් වීමට තවමත් නොහැකිය. 

සති 22 නොඉක්මවූ කළල පවා ගර්භාෂයෙන් පිටත සාර්ථකව ජීවත් කරවා ඇති අවස්ථා ඇතත්, කළලයක වයස අඩු වන තරමට ගර්භාෂයෙන් පිටත ජීවත් කරවීම අපහසු වෙයි. සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙකු අඩු වයස් කලයක් ජීවත් කරවීමට උත්සාහ දරන්නේ එම මිනිස් කළලය "ජීවත්වන්නට උවමනාවක්" කිසියම් අයුරකින් හෝ පෙන්වන්නේනම් පමණි. මෙය අත පය හෙලවීමක්, හුස්ම ගන්නට උත්සාහ කිරීමක් වැනි දෙයක් විය හැකිය.

මිනිස් කළලයකට ගර්භාෂයෙන් එළියට පැමිණ ජීවත් වීමේ හැකියාවක් ඇත්ද යන්න වෙනත් පුද්ගලයින්, වෛද්‍ය විද්‍යාවේ දියුණුව හා ප්‍රදේශය වැනි බාහිර සාධක මත තීරණය වන්නක් මිස එම කළලය විසින් තීරණය කරන්නක් නොවේ. ඒ නිසා, දැනට මිනිස් කළලයක් ගර්භාෂයෙන් එළියට ගෙන ජීවත් කරවිය හැකි අවම වයස යනු තවත් එක් අහඹු දිනයක් නිසා "පුද්ගලයෙකු" හෝ "ජීවියෙකු" බිහිවන සුවිශේෂී දවසක් නොවේ. වෛද්‍ය විද්‍යාව දියුණු වන විට දැනට ජීවත් කළ හැකි වයසට වඩා අඩු වයසක කළල වුවද ගර්භාෂයෙන් පිටත ජීවත් කරවිය හැකි වනු ඇත. ජීව විද්‍යාත්මක ලෙස බැලුවොත් මිනිස් කළලයක් පිළිසිඳගත් දින සිට සෑම දිනකම එම කළලය ක්‍රමයෙන් වර්ධනය වන අතර මවු කුස තුළදී හෝ පුද්ගලයෙකු බිහිවී, ජීවත් වී, මිය යන තුරු කිසිම දවසක එහි එකවර ලොකු වෙනසක් සිදුවන්නේ නැත. ඒ නිසා, ඉතා පැහැදිලිවම ජීවයේ මුල්ම අවස්ථාව පිළිසිඳගන්නා අවස්ථාවයි.

ගබ්සාවට පක්ෂ මතවාදයේ එක් කොනක ඇත්තේ "ඇගේ ගර්භාෂය ඇගේ අයිතිය" යන අදහසයි. ගර්භාෂයෙන් පිටත මිනිස් කළලයක් බිහි කරගැනීමේ හැකියාවක් ඇතත්, කාන්තාවකගේ ගර්භාෂයක් උදවු කර නොගනිමින් මිනිස් ජීවයක් බිහි කර ගැනීම් හැකියාවක් තවමත් නැත. මෑතකදී කෘතීම ගර්භාෂ තුළ සාර්ථක ලෙස බැටළු පැටවුන් වර්ධනය කරගෙන ඇති බැවින් ඉදිරියේදී මේ තත්ත්වය වෙනස් විය හැකි වුවත්, දැනට පවතින තත්ත්වය අනුව ගර්භාෂය යනු උපත ලබන්නට නියමිත ජීවියෙකුටද අයිතියක් ඇති තැනකි.  "ඇගේ ගර්භාෂය ඇගේ අයිතිය" යන අදහසට තේරුමක් තිබෙන්නේ කිසියම් නිශ්චිත වයසක් පසු කරන තුරු මිනිස් කළලයකට (හෝ මිනිස් දරුවෙකුට) පුද්ගල අයිතිවාසිකම් නැතැයි යන අදහසට තේරුමක් ඇත්නම් පමණි. එවැනි අදහසකට සමාජ සම්මතය තුළ මිස ජීවවිද්‍යාත්මක තේරුමක් නැත.

කෙසේ වුවද, අලුත් ජීවියෙකු බිහි කිරීම තවදුරටත් "දෙවියන්ගේ කැමැත්ත පරිදි" සිදුවන අහඹු සිදුවීමක් නොවේ. හැම විටම නොවූවත්, බොහෝ දුරට දරුවෙකු බිහි කිරීම යනු එහි වැඩි බර දරන ගැහැණියකගේ කැමැත්තෙන් ගන්නා තීරණයක ප්‍රතිඵලයකි. උපත් පාලන ක්‍රම සොයාගැනීමත් සමඟ ලිංගික එක්වීමක් යනු තවදුරටත් ගැබ් ගැනීම් වලින් කෙළවර විය යුතු දෙයක් නොවේ. කවර හෝ හේතුවක් නිසා ගැබ් දරන්නට අකැමැති ගැහැණියකට ගැබ් ගැනීමේ අවදානම නොගනිමින් ලිංගිකව එක්වීමේ හැකියාව දැන් තිබේ. මෙය වෙනත් සතුන් කිසිවෙකුට නැති, මානව ඉතිහාසය පුරා මිනිසුන්ටද නොතිබුණු සුවිශේෂී හැකියාවකි.

ලිංගික එක් වීමෙන් වැලකී සිටීම මඟින් හැර, ගැබ් ගැනීම ගැහැණුන්ට පාලනය කළ නොහැකි වූ අතීතයේ ගැහැණුන්ගේ ගැබ් ගැනීම් සියල්ලම සජීවී දරු උපත් වී පසුව වැඩිහිටි පුද්ගලයින් බවට පත් වීමෙන් කෙළවර වුණේ නැත. උපතින් පසු පළමු මාස හා වසර කිහිපය තුළ ජීවිතය දිගටම පවත්වා ගැනීමේ හැකියාව ලැබුණේ ජීව විද්‍යාත්මකව ශක්තිමත් දරුවන්ට පමණි. 

මිනිස් සංස්කෘතිය ක්‍රමයෙන් දියුණු වෙද්දී මේ ජීව විද්‍යාත්මක වරණයට වඩා වැදගත් සාධකයක් ලෙස දෙමවුපියන් ප්‍රධාන වැඩිහිටි මිනිසුන්ට දරුවන් වෙනුවෙන් කළ හැකි ආයෝජනයේ තරම වරණීය සාධකය බවට පත් විය. අද වන විට දරුවකු බිහි කිරීම බොහෝ දුරට දෙමවුපියන්ගේ සවිඥානක තීරණයක ප්‍රතිඵලයක්ව පවතින අතර පරිසර සාධක මත හොඳම අයට ඉතිරි වන්නට ඉඩ හරිමින් වැඩි දරුවන් ගණනක් බිහිකිරීම වෙනුවට ගුණාත්මක භාවයෙන් වැඩි සීමිත දරුවන් ගණනක් බිහි කිරීම අද බොහෝ දෙමවුපියන්ගේ තේරීමයි.

කෙසේ වුවද, ගැහැණියක් ගැබ් ගැනීම හැමවිටම ඇගේ සවිඥානක තීරණයක ප්‍රතිඵලයක් නොවේ. ගැහැණියකට තමන්ගේ අකැමැත්තෙන් පිරිමියෙකු සමඟ ලිංගිකව එක් වන්නට සිදුවීමත්, එහි ප්‍රතිඵලයක් ලෙස අනපේක්ෂිත ලෙස ගැබ් ගන්නට සිදුවීමත් ඉතා සාමාන්‍ය තත්ත්වයකි. ඇමරිකාවේ ගැබ් ගැනීම් වලින් අඩකට වඩා අනපේක්ෂිත ගැබ් ගැනීම්ය. එයින් අදහස් වන්නේ මේවා ස්ත්‍රී දූෂණ බව නොවේ. අනවශ්‍ය ගැබ්ගැනීම් වලින් විශාල ප්‍රමාණයක් සිදුවන්නේ විවාහ සංස්ථාව තුළමය. ඇමරිකාව වැනි ලිංගික ප්‍රවේශය ගැහැණියගේ කැමැත්ත මත තීරණය විය යුතු රටක පවා තත්ත්වය එවැනිනම් ලංකාව වැනි රටක තත්ත්වය සිතාගන්නට බැරිකමක් නැත. 

අනවශ්‍ය ගැබ් ගැනීමක් නිසා ඇති වන පීඩාව කෙතරම් වුවත්, ඇමරිකාව වැනි ගබ්සාවට නීත්‍යනුකූල බාධා ඉතා අඩු රටක වුවද ගබ්සා වලින් කෙළවර වන්නේ අනවශ්‍ය ගැබ්ගැනීම් වලින් 40%ක පමණ ප්‍රමාණයක් පමණි. ගැබ දැරීම කොපමණ පීඩාවක් වුවත් ආගමික, ආචාර ධර්මීය, සමාජයීය හා ආර්ථික වැනි විවිධ කරුණු නිසා බොහෝ කාන්තාවෝ කැමැත්තෙන් සිය ගැබ ඉවත් කරගැනීමට නොපෙළඹෙති. එසේ පෙළඹෙන කාන්තාවන්ගෙන් බොහෝ දෙනෙක්ද එය කරන්නේ වෙනත් කරන්නම දෙයක් නැති නිසා මිස "ආතල් එකට" නොවේ. මේ බොහෝ කාන්තාවෝ ගබ්සා කිරීමට පෙර හා පසුව, ඇතැම් විට ගබ්සාවකින් වසර ගණනක් යාමෙන් පසුත් මානසිකව පීඩා විඳිති. එසේ මානසික පීඩාවක් විඳිමින් ගබ්සාවක් කිරීමට කාන්තාවක් පෙළඹෙන්නේ ගැබ දැරීමේ මානසික, ශාරීරික හා සමාජමය පීඩාවන්ගේ බර ගබ්සා කිරීමේ පීඩාවට වඩා වැඩි බැවිනි. ලංකාව වැනි ගබ්සාව නීති විරෝධී ලෙස සැලකෙන රටක මේ මානසික පීඩාව වඩාත් උග්‍රය.

ගබ්සාව නිවැරදිද යන ගැටළුවට අවශ්‍ය වන්නේ දාර්ශනික පිළිතුරක් නොව ප්‍රායෝගික පිළිතුරකි. දාර්ශනික පිළිතුරු මෙන් නොව, ප්‍රායෝගික පිළිතුරු සෑම සමාජයකටම හා සෑම කාලයකටම එක සේ ගැලපෙන්නට අවශ්‍ය නැත. පිළිතුර සොයාගත යුත්තේ කිසියම් සමාජයක දැනට පවතින තත්ත්වය මත පදනම්වය.

ලංකාවේ ගබ්සාව දැනට නීති විරෝධී වුවත් දිනපතාම විශාල ගබ්සා ප්‍රමාණයක් රට තුළ සිදුවන බව රහසක් නොවේ. මුදල් යහමින් ඇති, හොඳ සමාජ තත්ත්වයක් ඇති අයෙකුට ප්‍රවීණ නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු ලවා ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකදී සෞඛ්‍ය අවදානම් රහිතව මේ කටයුත්ත කරගත හැකි බවද රහසක් නොවේ. එවැනි හැකියාවක් නැති වැඩි දෙනෙකු වෙනත් විකල්ප කරා යොමු වෙති. සුදුසුකම් රහිත පුද්ගලයින් විසින් නිසි සනීපාරක්ෂක තත්ත්වයන් නැතිව සිදුකරන ගබ්සාවන් හේතුවෙන් සිදු වන මාතෘ මරණ දැනට ඉතා අඩුමට්ටමක ඇති ලංකාවේ මාතෘ මරණ අනුපාතය තවත් පහළ දමාගැනීමට ඇති විශාල බාධාවකි.

ගබ්සාවක් කිරීමට පෙළඹෙන කාන්තාවක් එය කරන්නේ එය තමන් සතු හොඳම විකල්පය බැවිනි. ගබ්සාවක් කරන වෛද්‍යවරයෙකු එය කරන්නේ මුදල් අය කර වුවත්, තමන් කරන්නේ වරදක් නොවන බව සිතන නිසාද බැවිනි. ඇමරිකන් වෛද්‍යවරුන් අතරද සැලකිය යුතු පිරිසක් ගබ්සාව වරදක්යයි සිතන අතර ඔවුහු ගබ්සා නොකරති. එසේනම්, ගබ්සාවක් යනු පාරිභෝගිකයෙක් හා සැපයුම්කරුවෙකු අතර ස්වේච්ඡාවෙන් සිදුවන ගනුදෙනුවකි. එවැනි ගනුදෙනුවකින් අයහපතක් විය හැක්කේ එයින් තෙවන පාර්ශ්වයකට අවැඩක් වන්නේය යන පදනමින් පමණි.

ගබ්සාවකදී අදාළ කළලයට ජීවත් වීමට ඇති අවස්ථාව නැති වේ. දැන් මෙහි ඇති ප්‍රශ්නය "පුද්ගලයෙකුගේ" හෝ "අනාගත පුද්ගලයෙකුගේ" ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් තවත් පුද්ගලයෙකුට පීඩාවක් විඳින්නට බලකිරීමේ හැකියාවක් වෙනත් අයට (සමාජයට) තිබේද යන්නයි. වකුගඩු රෝගයෙන් පීඩා විඳින බොහෝ දෙනෙකුට වෙනත් අයෙකුගේ වකුගඩුවක් බද්ධ කිරීම මඟින් ජීවත් වීමේ අවස්ථාව ලබා දිය හැකිය. මෙවැන්නෙකුට වෙනත් අයෙකුගේ වකුගඩුවක් නොලැබුණහොත් ජීවත් වීමේ අයිතිය නැති වන්නට පුළුවන. එසේනම්, නිරෝගී වකුගඩු දෙකක් ඇති අයගේ එක් වකුගඩුවක් වකුගඩු රෝගීන්ගේ ජීවත් වීමේ අයිතිය සුරැකීම වෙනුවෙන් ලබා දිය යුතු බව සමාජයට බලකළ හැකිද?

එක් අයෙකුගේ ජීවත් වීමේ අයිතිය සුරැකීම වෙනුවෙන් වෙනත් අයෙකු වකුගඩුවක් නැතුව ජීවත් වීමේ හා වකුගඩුව ඉවත් කිරීමේ ශල්‍ය කර්මයට මුහුණ දීමේ පීඩාව විඳිය යුතුය යන අදහස විකාර අදහසක් බව බොහෝ දෙනෙකු කියනු ඇත. එහෙත්, යමෙක් කැමැත්තෙන්ම මේ පීඩාව විඳිමින් වකුගඩුවක් පරිත්‍යාග කරන්නේනම් එහි ගැටලුවක් නැත.

කාන්තාවන් සතු ගැබ් දැරීමේ හෝ නොදැරීමේ අයිතියද ඉහත ආකාරයේ එකකි. එහි පීඩාව යම් කාන්තාවක් විසින් ස්වේච්ඡාවෙන් විඳින්නේනම් ගැටළුවක් නැතත්, ඇයගේ කැමැත්තක් නැතිව, වෙනත් ජීවයක් රැක ගැනීමේ අරමුණින් ඇයට පීඩාවක් විඳින්නට බල කිරීම ජීවිතයක් බේරීම සඳහා කාගේ හෝ වකුගඩුවක් බලහත්කාරයෙන් ලබා ගැනීමෙන් වෙනස් නොවේ. 

මිනිස් ජීවිතයකට වුවද නිශ්චිත මිලක් තිබේ.

(Image: http://www.dailymail.co.uk/femail/article-1021034/The-tiniest-survivor-How-miracle-baby-born-weeks-legal-abortion-limit-clung-life-odds.html)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...