වෙබ් ලිපිනය:

Showing posts with label මිල. Show all posts
Showing posts with label මිල. Show all posts

Wednesday, March 31, 2021

අන්දරේ සීනි කෑ හැටි- පස් කාගේ කටේද?

සීනි සීරීස් එක මෙගා ටෙලියක් වෙන්න යනවා වගේ තේරෙනවද? ඔය වැඩේ කළේනම් හිතලමයි. ලංකාවේ දේශපාලනය කියන්නේ සිද්ධියෙන් සිද්ධියට යන එකනේ. ලංකාවේ කිවුවට වෙන රටවලත් වැඩි වෙනසක් නැහැ. ඔය සිද්ධියෙන් සිද්ධියට යන එකෙන් ඒ තරම් වැඩක් නැහැ. හැබැයි ඔය වගේ වෙලාවක දුවන කෝච්චියට අපිට ඕනෑ කරන බඩු ගෝනි ලේසියෙන් පටවා ගන්න පුළුවන්. සීනි අස්සේ ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය ගැනත් කියල දැම්මේ ඒ නිසයි.

මොන දේක වුනත් කෙළවරක් තියෙන්න ඕනැනේ. අපි කෙළින්ම පොයින්ට් එකට ඇවිත් මේ සීනි සීරිස් එක ඉවර කරලා දමමු. තව කොයි තරම් දේවල්නම් කතා කරන්න තියෙනවද?

ආනයනික සීනි මත අය කෙරුනු වෙනත් බදු වර්ග හතරක් වෙනුවට 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ සීනි ආනයන මත "විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක්" පැනවූ බව පසුගිය කොටසෙන් කිවුවනේ. ඊට පස්සේ වරින් වර ඔය බද්ද සංශෝධනය කෙරුණා. නමුත් බද්ද විශේෂ වෙළඳ භාණ්ඩ බද්දම තමයි. 

පහුගිය අවුරුදු හත තුළ, හරියටමනම් 2013 ජූලි සිට 2020 පෙබරවාරි දක්වා කාලය තුළ, ඔය බද්ද බොහෝ විට තිබුණේ රුපියල් 30කට ආසන්න මට්ටමකයි. යහපාලන ආණ්ඩුව බලයට පත් වන විට බද්ද රුපියල් 28යි. ඔය කාලයේදී සීනි කිලෝවක සිල්ලර මිල රුපියල් 100කට ආසන්න මට්ටමේ ස්ථාවරව තිබුණා. යහපාලන ආණ්ඩුවේ දින සීයේ වැඩ සටහන කියලා එකක් තිබුණනේ. කියවන අයට දැන් ඕවා මතකද මන්දා. 

ඔය දින සියයේ වැඩ සටහන යටතේ 2015 ජනවාරි මාසයේදී සීනි බද්ද රුපියල් 10කින් අඩු කළා. ඒ කියන්නේ රුපියල් 18 කළා. සීනි කිලෝවක මිලත් පටස් ගාලා රුපියල් 85 පමණ මට්ටමට අඩු වුනා. බද්ද රුපියල් 10කින් අඩු කරද්දී සීනි මිල රුපියල් 15කින් 20කින් වගේ අඩු වුණේ ඔය දවස් වල ලෝක වෙළඳපොළේ සීනි මිලත් අඩු වෙමින් තිබුණු නිසා. 

කොහොම වුවත් ඔය දින සියයේ වැඩ පිළිවෙළ යටතේ කරපු ගොඩක් දේවල් අගෝස්තු මැතිවරණය දිහා බලාගෙන කරපු දේවල්නේ. මහ මැතිවරණය ඉවර වුන ගමන් සීනි බද්ද රුපියල් 30 වුනා. බද්ද වැඩි කරන්න එකම හේතුව මැතිවරණය ඉවර වීම කියන එක සාධාරණ නැහැ. ඔය දවස් වෙද්දී සීනි වල ආනයනික මිල හොඳටම බැහැලයි තිබුණේ. ඒ නිසා බද්ද රුපියල් 30 කළා කියලා සීනි ලොකුවට ගණන් ගියේ නැහැ.

හැබැයි අවුරුද්ද අවසන් වෙද්දී සීනි වල ආනයනික මිල ඉහළ ගියා.  ඒ අනුව සීනි මිලත් යහපාලන ආණ්ඩුව එන්න කලින් තිබුණු රුපියල් 100 මට්ටමට ගියා. 2016 මැද වන තුරුම ලෝක වෙළඳපොළේ සීනි මිල ටිකෙන් ටික වැඩි වෙලා එහි බලපෑමෙන් ලංකාවේ සිල්ලර සීනි මිලත් ඉහළ යාම නිසා එම වසරේ ජූලි මැදදී යහපාලන ආණ්ඩුව එක පාරටම සීනි බද්ද රුපියල් 30ක සිට ශත 25 දක්වා අඩු කළා. මෑතක් වන තුරුම සීනි බද්ද එක පාරටම ලොකුවටම අඩු වුනේ මේ අවස්ථාවේදී.

කලින් පාර සීනි බද්ද රුපියල් 30කින්ම වගේ අඩු කළේ ලෝක වෙළඳපොළේ සීනි මිල සැලකිය යුතු තරමින් ඉහළ යාමට සමාන්තරවයි. බද්ද රුපියල් 30කින් අඩු කරද්දී ආනයනික සීනි මිල රුපියල් 15කින් පමණ ඉහළ ගිය නිසා සීනි වල සිල්ලර මිල අඩු වුනේ රුපියල් 15කට කිට්ටු ප්‍රමාණයකින් පමණයි. සීනි වල සිල්ලර මිලේ විකෘතියක් පෙනෙන්න තිබුණේ නැහැ.

ඔය විදිහට බද්ද ශත 25 දක්වා අඩු කර තිබුණේ මාස දෙකක් පමණයි. ඉන් පසු නැවත බද්ද වැඩි කෙරුණා. හැබැයි එක පාර නෙමෙයි. රුපියල් 2, රුපියල් 7, රුපියල් 13, රුපියල් 25, රුපියල් 33 ආදී ලෙස ටිකෙන් ටික. ඒ වගේම බද්ද වැඩි කළේ ලෝක වෙළඳපොළේ සීනි මිල ටිකෙන් ටික පහළ යාමට සමාන්තරවයි. ඒ නිසා පසුගිය වසර වන තුරු සෑහෙන කාලයක් සීනි මිල ස්ථාවරව තිබුණා. 2020 අප්‍රේල් වෙද්දී සීනි වල සිල්ලර මිල රුපියල් 108ක් පමණ. සීනි බද්ද, ඒ කිවුවේ සීනි සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 35ක් වුනා.

පසුගිය වසරේ මැයි 22 වනදා ආණ්ඩුව සීනි බද්ද රුපියල් 50 දක්වා රුපියල් 15කින් වැඩි කළා. මීට පෙර කවදාවත්ම සීනි බද්ද මේ තරමට වැඩි කරලා තිබුණේ නැහැ. ඒ වගේම මේ විදිහට සීනි බද්ද වැඩි කළේ කලින් වාර වල වගේ ලෝක වෙළඳපොළේ සීනි මිල අඩුවීම වැනි හේතුවක් නිසාත් නෙමෙයි.

බදු වැඩි කළාම රජයේ ආදායම් වැඩි වෙනවා. බද්දේ බර වැටෙන්නේ පාරිභෝගිකයන්ටද සැපයුම්කරුවන්ටද කියන එක තීරණය වෙන්නේ ඉල්ලුම් හා සැපයුම් වක්‍ර වල බෑවුම් අනුව බවත්, සැපයුම් වක්‍රයේ බෑවුමක් නැති නිසා මුළු බරම වැටෙන්නේ පාරිභෝගිකයින් මත කියන එකත් මම පෙර ලිපි වල පැහැදිලි කළානේ. ඒ කියන්නේ මේ වැඩි කළ රුපියල් 15ම ගෙවන්න වෙන්නේ පාරිභෝගිකයන්ට කියන එකයි. හැබැයි බද්ද වැඩි කළාට වඩා වැඩි මිලකින් සීනි මිල ඉහළ යන්න හේතුවක් නැහැ.

පසුගිය මැයි මාසයේදී සීනි බද්ද රුපියල් 15කින් වැඩි කිරීමෙන් පසුව සීනි වල සිල්ලර මිල රුපියල් 25-30 අතර ප්‍රමාණයකින් ඉහළ ගියා. ඔය කාලයේ සීනි වල ආනයනික මිල ලොකුවට වැඩි වුනේ නැහැ. ඕනෑනම් වැඩිම වුනොත් රුපියල් 5ක් දමමු. ඒත් සීනි මිල වැඩි විය යුත්තේ රුපියල් 20කින් පමණයි. එහෙමනම් සීනි මිල රුපියල් 30කට ආසන්නව ඉහළ ගියේ කොහොමද?

රජයෙන් සීනි ආනයනකරුවන්ට අභ්‍යන්තර තොරතුරු ලැබුණේ නැත්නම් පසුගිය මැයි මාසයේ කළ බදු වැඩි කිරීම තරමක් වෙනස් එකක් බව ඔවුන්ට තේරෙනවා. මේ වැඩේ කළේ වෙනදා වගේ ලෝක වෙළඳපොළේ සීනි මිල අඩු වීමට ප්‍රතිචාරයක් විදිහට නෙමෙයිනේ. 

ඔය දවස් වල ආණ්ඩුව හිටියේ ආනයන අධෛර්යමත් කරන ප්‍රතිපත්තියක. සමහර දේවල් ආනයනය කරන එක තහනම්ම කළා. අභ්‍යන්තර තොරතුරු ලැබුණේ නැත්නම් සීනි ආනයනකරුවෙකුට පෙනෙන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කාලයක් යන තුරුම බද්ද ඉහළින් තබාගෙන ආනයන අධෛර්යමත් කරන එක බවයි. අනෙක් පැත්තෙන් රුපියල මත ලොකු පීඩනයක් එල්ල වෙලා තිබුණා. රුපියල ඉදිරි කාලය තුළ අවප්‍රමාණය වීමට නියමිත බව සක් සුදක් සේ පෙනෙන්නට තිබුණා. ඒ කියන්නේ ඉදිරියේදී එක පැත්තකින් සීනි ආනයනයට ආණ්ඩුව බාධා කරන්න පුළුවන්. සීනි ආනයනය නවත්වන්න වුනත් පුළුවන්. ඒ වගේම විණිමය අනුපාතිකය පිරිහීමට නියමිත නිසා ඉදිරියේදී සීනි වල ආනයනික මිල ඉහළ යාමට නියමිතයි. 

ඔය වගේ තත්ත්වයක් යටතේ සීනි ආනයනකරුවෙක් ක්‍රියා කරන්නේ මොන විදිහටද? පළමුව ඩොලර් එක වැඩි වෙන්න කලින් හා සීනි ආනයනයට සීමා පැනවෙන්න කලින් හැකි තරම් සීනි ආනයනය කරන එක. දෙවනුව දැනට තිබෙන තොග මුදා හැරීම පාලනය කරන එක. ඔය දෙකේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය වන්නේ සීනි ආනයනකරුවෙකු සතු මුදල් සියල්ල යොදවා තමන්ගේ ගබඩා සියල්ල පුරවා ගන්නවා කියන එකයි. එහෙම නොකරනවානම් එක්කෝ අමු මෝඩයෙක්. නැත්නම් අනෙක් අයට නොපෙනෙන දේ දැකිය හැකි දක්ෂතාවයක් තිබෙන කෙනෙක්. එහෙමත් නැත්නම් මොන විදිහකින් හරි ආණ්ඩුව ඉස්සරහට කරන්න ඉන්න දේ දන්න කෙනෙක්!

ආණ්ඩුව සීනි බද්ද රුපියල් 15කින් වැඩි කරද්දී සීනි මිල රුපියල් 25-30කින් පමණ ඉහළ ගියේ සැපයුම්කරුවන් බොහෝ දෙනෙක් අනාගතය ගැන හිතා තමන්ගේ තොග මුදා නොහරිමින් සැපයුම පාලනය කළ නිසයි. බලාත්මක කළ නොහැකි පාලන මිලක් දමා තිබීමත් එයට හේතුවක් වෙන්න ඇති.

ඔහොම තත්ත්වයක් තියෙද්දී ආණ්ඩුව එකපාරටම සීනි බද්ද ශත 25 දක්වා අඩු කරනවා. මේක හරියට උස්සලා පොළොවේ ගහනවා වගේ වැඩක්. රුපියල් 50ට උස්සලා ශත 25 මට්ටමටම බැස්සුවහම කොහොමද?

හැබැයි ඔය විදිහට බදු අඩු වැඩි කිරීම වංචාවක් කියා කියන්න බැහැ. ආණ්ඩුවකට එහෙම කරන්න කිසිම තහනමක් නැහැ. ඒ වගේම බදු අඩු කළ නිසා රජයට පාඩුවක් වුනා කියන එකත් විහිළු කතාවක්. බදු ගැහීම රජයක් විසින් අනිවාර්යයෙන් කළ යුතු දෙයක් නෙමෙයි. බදු වැඩි කරද්දී රජයේ ආදායම් වැඩි වෙනවා. බදු අඩු කරද්දී රජයේ ආදායම් අඩු වෙනවා.

රජයට කැමති විදිහට බදු අඩු වැඩි කරන්න පුළුවන්කම තිබුණත් තේරුම් ගත හැකි හේතු මත රුපියල් 50 දක්වා වැඩි කළ බද්ද එක පාරටම ශත 25 දක්වා අඩු කළේ ඇයි කියන එක පිළිබඳවනම් සාධාරණ සැකයක් තිබෙනවා. ඒ සැකය වැඩි වෙන්නේ ඊට පස්සේ කරපු දේවල් එක්කයි.

ඔක්තෝබර් 14 වනදී සීනි මත අය කරන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ශත 25 දක්වා අඩු කරන ආණ්ඩුව නොවැම්බර් 17 වනදා ආනයනික සීනි කිලෝවක් මත රුපියල් 30ක තීරු බද්දක් දමනවා. 2007දී  දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත සම්මත කළාට පස්සේ දිගටම සීනි මිල පාලනය කරලා තිබෙන්නේ එම බද්ද හරහා. ඒ හැර සීනි වලට තීරු බද්දක් අය කරලාම නැහැ. දැන් එක පාරටම කාලයක් තිස්සේම අය කරනු නොලැබූ තීරු බද්දක් අළුතෙන් එන්නේ කොහොමද? හංගලා ගැහිල්ලක් නෙමෙයිද?

මම හිතන විදිහට තීරු බදු අය කරන්නේ භාණ්ඩ ඇනවුම් කළ දවස මත පදනම්වයි. ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමෙන් පසුව භාණ්ඩ රටට ගේන්න දින අනූවක කාලයක් තිබෙනවා කියා මම හිතනවා. තහවුරු කිරීම සඳහා ලේඛණයක් හොයා ගන්න බැරි වූ නිසා මේ කාරණයේදී මම නිවැරදි නොවෙන්න ඉඩ තිබෙනවා. අපි දැනට හිතමු මේක මෙහෙමයි කියලා.

මේ අනුව ශත 25ක බද්දක් ගෙවා සීනි ආනයනය කරන්න පුළුවන්කම තිබෙන්නේ ඔක්තෝබර් 14 සිට නොවැම්බර් 17 දක්වා දින 35ක කාලය තුළ සීනි ඇණවුම් කළ අයට පමණයි. එම කාලය තුළ ඇණවුම් කළානම් දින 90ක් ඇතුළත ශත 25 පමණක් ගෙවා සීනි නිදහස් කර ගත හැකිව තිබුණා කියන එක මගේ අදහසයි. මෙහි වැරැද්දක් තිබෙන බව යම් කෙනෙක් පෙන්වා දුන්නොත් නිවැරදි කිරීමක් කරන්නම්.

මැයි 22 රුපියල් 50 දක්වා ඉහළ දමපු සීනි බද්ද ඔක්තෝබර් 17 වෙනිදා එක පාරටම පෙරේතයා පොළොවේ ගැහුවා වගේ ශත 25 දක්වා අඩු වෙනවා. මැයි මාසයේ වැඩි කළ බද්ද ආණ්ඩුවේ ආනයන අධෛර්යමත් කිරීමේ ප්‍රතිපත්තියේ පිළිබිඹුවක් විදිහට තේරුම් ගත් සැපයුම්කරුවෝ ඒ වෙද්දී තමන්ගේ සල්ලි යට කරලා සීනි තොග ගොඩ ගහගෙන. ආනයන පාලනයක් එන බව පෙනෙද්දී කවුරු වුනත් කරන්නේ ඕකනේ. දැන් බද්ද අඩු කළා කියලා මේ අයට එක පාරට සීනි ආනයනය කරන්න බැහැ. කලින් ආනයනය කරලා රුපියල් 50 බැගින් බදු ගෙවා නිදහස් කරගත් සීනි තොග විකුණලා ඉන්න ඕනෑ. ඒ අය හුස්මක් කටක් අරගෙන සීනි ආනයනය කරන එක ගැන හිතන කොට බද්ද නැවතත් වැඩි වෙලා. විශේෂ වෙළඳ භාණ්ඩ බද්දනම් ශත 25 ලෙසම තියෙනවා. හැබැයි අලුතෙන් රුපියල් 30ක තීරු බද්දක් එකතු වෙලා.

කොහොම වුනත් හැම සැපයුම්කරුවෙක්ම එක විදිහටම කටයුතු කරන්න නීතියක් නැහැනේ. ඔය සීනි ආනයනකරුවන් අතරේ තමන්ගේ ගබඩා හිස් කරගෙන, සල්ලි අතේ තියාගෙන සීනි ආනයනය කරන්න බලාගෙන හිටපු අයත් ඉන්න බැරිකමක් නැහැ. හේතුව ඒ අයට අනෙක් අයට නොතිබුණු සුවිශේෂී විශ්ලේෂණ හැකියාවක් තිබීම වෙන්න පුළුවන්. වෙළඳපොළ ගැන හරි අවබෝධයක් නැතිකම වෙන්නත් පුළුවන්. අභ්‍යන්තර තොරතුරු ලැබී තිබීම වෙන්නත් පුළුවන්. හේතු හොයන එක අපිට කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. ඔය මොන හේතුවක් හරි නිසා බද්ද ශත 25ට බස්සා තිබුණු දින 35 ඇතුළේ සීනි ඇණවුම් කළ සමාගම් වලට දැන් කල්ල මරේ!

මම හරියටම තොරතුරු දන්නේ නැතත් ඇහෙන කතා වල හැටියට බද්ද ශත 25 වූ වහාම එක සමාගමක් ඔවුන්ගේ බන්ධිත ගුදම් වල තිබුණු සැලකිය යුතු සීනි තොගයක් නිදහස් කරගෙන තිබෙනවා. මෙහිනම් කිසිම අසාමාන්‍ය කමක් නැහැ. ඕනෑම සමාගමක් ඔය වැඩේ කරයි. 

ඒ සමාගමම දින කිහිපයක් ඇතුළත සීනි නැවක්ම ගෙනාවා කියලත් කියනවා. හැබැයි සීනි ආනයන විශාල ලෙස ඉහළ ගිහින් තියෙන්නේ 2021 ජනවාරි මාසයේදී. දෙසැම්බර් දක්වා මාස තුන තුළ සීනි ආනයනයේ කිසිම අසාමාන්‍ය වෙනසක් නැහැ. සමහර විට ඔක්තෝබර් මාසයේ ඇණවුම් කළ සීනි ජනවාරි මාසයේදී ශත 25 බැගින් ගෙවා, රුපියල් 30ක තීරු බද්ද නොගෙවා, නිදහස් කර ගත්තා වෙන්න පුළුවන්. නොවැම්බර් 17 පහු වෙලා ඇණවුම් කළානම් රුපියල් 30.25ක් බදු ලෙස ගෙවන්න වෙනවා.

කොහොමින් කොහොම හරි මේ වෙද්දී රුපියල් 50 බැගින් බදු ගෙවා ගෙන්වූ සීනි හා ශත 25 බැගින් බදු ගෙවා ගෙන්වූ සීනි විදිහට සීනි වර්ග දෙකක් වෙළඳපොළේ තිබෙනවා. ඔය සීනි වර්ග දෙකේ පාරිභෝගිකයන්ට හඳුනාගත හැකි කිසිම වෙනසක් නැහැ. නමුත්, ශත 25 ගෙවා නිදහස් කරගත් සීනි වල පිරිවැය රුපියල් 49.75කින් අඩුයි. 

සීනි ආනයනකරුවන් කිසිවෙකු විසින් තවමත් රුපියල් 30.25 බැගින් බදු ගෙවා සීනි නිදහස් කරගෙන නැතුවා විය හැකියි. රුපියල් 50 බැගින් බදු ගෙවා නිදහස් කරගත් සීනි තොග තමන් සතුව නොතිබුණානම් අනිවාර්යයයෙන්ම ශත 25ට ගෙන්විය හැකිව තිබුණු දින 35 ඇතුළත සීනි ඇණවුම් කරනවනේ. ඒ නිසා, නොවැම්බර් 17න් පස්සේ සීනි ලොකුවට ඇනවුම් කළා කියා හිතන්න බැහැ. 

යම් හෙයකින් කිසියම් සමාගමක් විසින් එහෙම කළා හෝ දැන් කරනවා කියා කියමු. ඔය කාලය ඇතුළත ලෝක වෙළඳපොළේ සීනි මිල 10%කින් පමණ ඉහළ ගියා. ඒ වගේම ඩොලරයක මිල 5%කින් පමණ ඉහළ ගියා. මේ කරුණු දෙක නිසා ආනයනික සීනි කිලෝවක මිල රුපියල් 20කින් පමණ වැඩි වුනා. මේ අනුව, දැන් රුපියල් 30.25ක් බදු ගෙවා සීනි ආනයනය කරන කෙනෙක්ගේ පිරිවැයත් ඔක්තෝබර් 14ට පෙර රුපියල් 50ක් බදු ගෙවා සීනි නිදහස් කරගත් අයගේ පිරිවැයට බොහෝ දුරට සමානයි. ඒ නිසා, සීනි වර්ග දෙකක් තියෙනවා කියපු කතාව වෙනස් වෙන්නේ නැහැ.

විවිධ සැපයුම්කරුවන්ගේ පිරිවැය හරියටම සමාන නොවන බවත් ඒ නිසා ලංකාවේ සිල්ලර සීනි වෙළඳපොළේ සැපයුම් වක්‍රයේ මම පහසුවට තිරස් රේඛාවකින් නිරූපණය කළ කොටස ඉතාම සුළු බෑවුමක් තිබෙන පඩිපෙළක් වගේ එකක් බවත් මම කලින් ලිපියක විස්තර කළා. සාමාන්‍යයෙන් මේ පඩිපෙළේ පඩි දෙකක් අතර උස ශත ගණනක්. පඩි සියල්ලේම උස වුවත් රුපියල් දෙක තුනකට වඩා වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා කිසියම් සැපයුම්කරුවෙකුට අනෙක් අයට වඩා ලාබයක් ගන්න පුළුවන් වුනත් වැඩිම වුනොත් එම ලාබය රුපියලක් නැත්නම් දෙකක්.

නමුත් දැන් වෙලා තියෙන්නේ කුමක්ද? පඩි දෙකක් අතර විශාල පරතරයක් තිබෙනවා. කොපමණ විශාල පරතරයක්ද?

බද්ද රුපියල් 50ක්ව තිබියදී, 2020 සැප්තැම්බර් මාසය අවසානයේ ඩොලරයක මිල හා ලෝක වෙළඳපොළේ සීනි මිල අනුව සීනි කිලෝවක මිල රුපියල් 67.34ක්. එයට නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු ලෙස 5%ක් එකතු කර ආනයනික මිල රුපියල් 70.71ක් ලෙස ඇස්තමේන්තු කළ හැකියි. බද්ද එකතු කළ විට රුපියල් 120.71ක් වෙනවා. මෙයට ආනයනකරුගේ හා තොග හා සිල්ලර වෙළෙන්දන්ගේ ලාබ විදිහට 12%ක් එකතු කළොත් සීනි කිලෝවක සිල්ලර මිල රුපියල් 135.20ක් විය යුතුයි. එම මාසයේ සීනි සිල්ලර මිල වූ රුපියල් 135.54 මෙම ඇස්තමේන්තුව සමඟ සැසඳෙනවා.


බද්ද අඩු කිරීමෙන් පසු, 2020 ඔක්තෝබර් මාසය අවසානයේ ඩොලරයක මිල හා ලෝක වෙළඳපොළේ සීනි මිල අනුව සීනි කිලෝවක මිල රුපියල් 71.56ක්. එයට නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු ලෙස 5%ක් එකතු කර ආනයනික මිල රුපියල් 75.14ක් ලෙස ඇස්තමේන්තු කළ හැකියි. බද්ද එකතු කළ විට රුපියල් 75.39ක් වෙනවා. මෙයට ආනයනකරුගේ හා තොග හා සිල්ලර වෙළෙන්දන්ගේ ලාබ විදිහට 12%ක් එකතු කළොත් සීනි කිලෝවක සිල්ලර මිල රුපියල් 84.43ක් විය යුතුයි. ඒ කියන්නේ ශත විසි පහේ බද්දට සීනි ආනයනය කළ අයට අවශ්‍යනම් රජයේ පාලන මිල වූ රුපියල් 85ට සීනි සපයන්න තිබුණා. ඒ මිල යටතේ ඔවුන්ට ඔවුන්ගේ සාමාන්‍ය ලාබය ලැබෙනවා.


හැබැයි කලින් රුපියල් 50ක බද්දක් ගෙවා සීනි ආනයනය කර තිබුණු අයට රුපියල් 85ට සීනි දෙන්න බැහැ. රේගුවෙන් නිදහස් කර ගන්න කොටම සීනි කිලෝවක් රුපියල් 120.71ක් වෙලා. මේ මිලට 12%ක සාමාන්‍ය ලාබයක් එකතු කළොත් විකුණන්න වෙන්නේ රුපියල් 135.20ක මිලකට. මම කියපු මිල පරතරය රුපියල් 50.76ක්. බද්ද වැඩි වුනු ප්‍රමාණය වූ රුපියල් 49.75ට ආසන්න වෙනසක්. 

බද්ද අඩු කිරීමෙන් පසු, 2020 නොවැම්බර් මුල් සතියේදී සීනි විකිණුනේ කිලෝව රුපියල් 126.25 බැගින්. ඒ කියන්නේ ශත 25 බැගින් බදු ගෙවා සීනි නිදහස් කරගත් අයට 12%ක සාමාන්‍ය ලාබයට අමතරව 41.82ක සුපිරි ලාබයක් ලැබිලා. රුපියල් 50 බැගින් බදු ගෙවූ අයගේ සාමාන්‍ය ලාබයෙන් රුපියල් 8.95ක් අඩු වෙලා.

දළ වශයෙන් මේ කතාව කිවුවොත් රජය රුපියල් 50ක් පාඩු කර ගනිද්දී එයින් රුපියල් 9ක පමණ වාසියක් පාරිභෝගිකයන්ට ලැබෙනවා. හදිසියේ සීනි ගෙන්වපු අයට රුපියල් 41ක සුපිරි ලාබයක් ලැබෙනවා. කලින් සීනි තොග රැස් කරගෙන හිටපු අයට රුපියල් 9ක පාඩුවක් වෙනවා.ඔය නොවැම්බර් මාසයේදී පැවති තත්ත්වය.

මේ වෙද්දී සීනි කිලෝවක සිල්ලර මිල රුපියල් 115 පමණ මට්ටමට අඩු වෙලා. ශත 25 බැගින් බදු ගෙවූ අයට 12%ක සාමාන්‍ය ලාබයක් එක්ක රුපියල් 85 බැගින් සීනි සපයන්න පුළුවන් නිසා මෙතැන රුපියල් 30ක සුපිරි ලාබයක් තියෙනවා. අනෙක් අතට රජයට වූ රුපියල් 50ක පාඩුවෙන් රුපියල් 20ක් පමණ පාරිභෝගිකයන්ට ගිහින් තිබෙනවා. කලින් තොග රැස් කරගෙන සිටි අයට රුපියල් 20ක පමණ පාඩුවක්ද සිදු වී තිබෙනවා.

බදු අඩු කළ විට තොග රැස් කරගෙන ඉන්න කෙනෙකුට පාඩුවක් වෙනවා කියන එක සාමාන්‍ය කරුණක්, ව්‍යාපාරිකයෙකු වුනහම ඒ අවදානම ගන්න ඕනෑ. සාමාන්‍ය ලාබ වලින් මේ අවදානමේ අවාසියත් ආවරණය වෙනවා. එකම ප්‍රශ්නය ඒ අවාසිය හැම සැපයුම්කරුවෙකුටම එක විදිහට වුනාද කියන එකයි.

රුපියල් 30ක තීරු බද්ද ගෙවා ලෝක වෙළඳපොළේ දැන් මිලට හා දැන් විණිමය අනුපාතිකයට සීනි ගේන කෙනෙකුට 12%ක සාමාන්‍ය ලාබය නැතුව පිරිවැය ලෙස පමණක් රුපියල් 123.64ක් යනවා. ඒ නිසා, වෙළඳපොළේ මිල දැන් තිබෙන රුපියල් 115 මට්ටමේ තිබියදී හා රට ඇතුළේ සැලකිය යුතු සීනි තොග තිබියදී කවුරුවත් අලුතෙන් සීනි ආනයනය කරන්න පෙළඹෙන්නේ නැහැ. එහෙම කරලා දැන් මිලට වඩා අඩුවෙන් කොහොම වෙතත් දැන් මිලටවත් සීනි විකුණන්න බැහැ. ඒ නිසා ටික කාලයක් යන තුරු ලෝක වෙළඳපොළේ සීනි මිල හෝ විණිමය අනුපාතිකය ලංකාවේ සිල්ලර වෙළඳපොළේ සීනි මිලට බලපෑමක් කරන්නේ නැහැ. කළොත් කරන්නේ රජය විසින් රුපියල් 30ක තීරු බද්ද ඉවත් කළොත් හෝ විශාල ලෙස අඩු කළොත් පමණයි.

රුපියල් 135කට මිල විය යුතු සීනි හා රුපියල් 85ට මිල විය යුතු සීනි ලෙස ගොඩවල් දෙකක් තිබුණත් ඔය සීනි දෙවර්ගයේ වෙනසක් නැහැනේ. කිසියම් ආනයනකරුවෙක් ගත්තොත් එම ආනයනකරු සතුව බොහෝ විට ඔය සීනි දෙවර්ගයම තිබෙනවා. ඒ නිසා ආනයනකරුවෙකුගේ සීනි කිලෝවක සාමාන්‍ය පිරිවැය තීරණය වන්නේ කලින් තිබුණු තොග හා අලුතෙන් ආනයනය කළ තොග ප්‍රමාණ අතර අනුපාතය අනුවයි. 

අලුතෙන් ආනයනය කළේම නැත්නම් සාමාන්‍ය වියදම රුපියල් 135යි. පරණ තොග තිබුණේම නැත්නම් සාමාන්‍ය වියදම රුපියල් 85යි. පරණ තොග හා අලුත් තොග හරි හරියටනම් සීනි කිලෝවක් රුපියල් 110කට පමණ දෙන්න පුළුවන්. ඒ නිසා, දැන් සීනි මිල රුපියල් 115 වීමෙන් අදහස් වෙන්නේ රුපියල් 50 බැගින් බදු ගෙවා ආනයනය කළ සීනි වලින් පාඩුවක් වන බව වුවත් සමස්තයක් ලෙස පාඩුවක් වනවා කියන එකම නෙමෙයි. පරණ තොග අඩු වන තරමට සීනි මිල පහළ යා යුතුයි. 

සීනි මිල කොයි තරම් පහළ යයිද? රුපියල් 85 මට්ටමට පහළ යන්නේනම් නැහැ. එහෙම විය හැකිව තිබුණේ පරණ තොග තිබුනේම නැත්නම් පමණයි. සමහර විට තව පොඩ්ඩක් පහළ යයි. 

ඉතා පැහැදිලිවම සීනි බද්ද රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ වාසිය පාරිභෝගිකයන්ට ගිහින් නැහැ. නමුත් මාසයකට පසුව බද්ද නැවත රුපියල් 50 නොකර රුපියල් 30 කළ එකේ වාසිය පාරිභෝගිකයනට ගිහින් තිබෙනවා. ඔය අතර දින 35ක්  තුළ පමණක් බද්ද ශත 25 මට්ටමේ පවත්වා ගත්තේ ඇයි කියන එකට තර්කානුකූල හේතුවක් පෙනෙන්න නැහැ. මේ කාලය ඇතුළත ශත 25ක බද්ද ගෙවා ආනයනය කළ සීනි වලින් එසේ ආනයනය කළ අය සුපිරි ලාබයක් ලබා තිබෙනවා. එය රජයේ ආදායමෙන් අඩු වූ එහෙත්  පාරිභෝගිකයන්ට නොලැබුණු කොටසක්. 

ප්‍රමාණය කොපමණද කියන එක තීරණය වෙන්නේ ශත 25 බැගින් ආනයනය කර තිබෙන සීනි ප්‍රමාණය මතයි. අලාභය ගණනය කිරීමේදී මෙම සීනි කිලෝග්‍රෑම් ප්‍රමාණය රුපියල් 49.75කින් වැඩි කරන්නේ නැතිව රුපියල් 19.75කින් වැඩි කිරීම වඩා නිවැරදි බවයි මම හිතන්නේ. අන්දරේ සීනි කෑවේ කා එක්කද කියලා හරියටම දැන ගන්න වෙන්නේනම් බැඳුම්කර සිද්ධියේදී වගේ කොමිසම් දෙක තුනක් දමලා තමයි!

Monday, March 29, 2021

අන්දරේ සීනි කෑ හැටි (අටවන කොටස)

අන්දරේට වගේ හැමෝටම නොමිලේ රජවාසල සීනි කන්න ලැබෙන්නේ නැහැ. සීනි කන්නනම් සීනි වල මිලත් ගෙවන්න වෙනවා. නිදහස් වෙළඳපොලක සීනි මිල තීරණය වෙන්නේ කොහොමද? ඉල්ලුම හා සැපයුම මත කියා සරලව කියන්න පුළුවන්. ආර්ථික විද්‍යාවේ මූලික පාඩමක් වුනත් ඔය ඉල්ලුම හා සැපයුම ගැන කතා කරන හැමෝම හරියටම මේ ගැන දන්නවද?

මේ ලිපි මාලාවේ මුල් කොටස් පහෙන් අපි ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය ඇතුළු ආර්ථික විද්‍යාවේ සම්මත මූලික කරුණු ගැන හැදෑරුවා. හයවන හා හත්වන කොටස් වලින් ලංකාවේ සීනි වෙළඳපොළේ මූලික ලක්ෂණ ගැන කතා කළා. මේ කොටසින් අපි සීනි වලට බදු ගැසීමේ මෑතකාලීන ඉතිහාසය ගැන කතා කරමු. 

බදු ගහන එකේ ප්‍රධානම අරමුණ රජය නඩත්තු කිරීමේ වියදම ආවරණය කර ගැනීම. ඊට අමතරව, රටේ ආදායම් විෂමතාවය අඩු කිරීම, දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා කර ගැනීම, අහිතකර පුරුදු අධෛර්යමත් කිරීම වගේ වෙනත් අරමුණු මතද බදු අය කරනවා. වෙනත් අරමුණු තිබෙන අවස්ථා වලදී පවා බොහෝ විට ලංකාවේ බදු ප්‍රතිපත්තිය තුළ වැඩි ප්‍රමුඛතාවයක් ලැබෙන්නේ රජය නඩත්තු කිරීමේ වියදම ආවරණය කර ගැනීමටයි.

ලංකාවේ බදු බොහොමයක් පාරිභෝගිකයින් විසින් ගෙවන වක්‍ර බදු. මේ ආකාරයේ බදු වලින් ආදායම් විෂමතාවය තවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. සීනි බද්දම හොඳ උදාහරණයක්. ආදායමේ ප්‍රතිශතයක් ලෙස ගත්තොත් සීනි වෙනුවෙන් වැඩි වියදමක් දරන්නේ පහළ ආදායම් ස්ථර වල අය. ඒ නිසා, සීනි බද්ද වගේ බද්දකින් ඉහළ ආදායම් ස්ථර වල අයගෙන් ඉතා සුළු බදු අනුපාතිකයක් අය කෙරෙද්දී පහළ ස්ථර වල අයගේ ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් බදු ලෙස අය කෙරෙනවා.


ඉහත ප්‍රස්ථාරයේ පෙන්වා තිබෙන්නේ ලංකාවේ එක් එක් ආදායම් කාණ්ඩය තමන්ගේ ආදායමෙන් කොපමණ ප්‍රතිශතයක් සීනි මිල දී ගැනීමට වැය කරනවාද කියන එකයි. පහළම ආදායම් ලබන 10% තමන්ගේ ආදායමෙන් 2.24%ක් සීනි වෙනුවෙන් වැය කරද්දී ඉහළම ආදායම් ලබන 10% සීනි වෙනුවෙන් වැය කරන්නේ තමන්ගේ ආදායමෙන් 0.22%ක් පමණයි. සීනි වල මිලෙන් 30%ක් බදු සේ සැලකුවොත් පහළම ආදායම් ලබන 10% සීනි බදු විදිහට තමන්ගේ ආදායමෙන් 0.672%ක් ගෙවනවා. නමුත් ඉහළම ආදායම් ලබන 10% ගෙවන්නේ තමන්ගේ ආදායමෙන් 0.066%ක් පමණයි. පහළම ආදායම් ලබන අයගේ "ආදායම් බදු" අනුපාතිකය ඉහළම ආදායම් ලබන අයගේ අනුපාතිකය මෙන් දහ ගුණයකට වඩා වැඩියි. ඕක තමයි ලංකාවේ සමාජවාදය!

ප්‍රශ්නයක් නැහැ. ජනතාවගේ කැමැත්ත කියල කියමුකෝ. විශාල රජයක් නඩත්තු කරන්න අවශ්‍යනම් එහි වියදමත් කවුරු හරි දැරිය යුතුයිනේ. 

සීනි වලින් ලංකාවේ පාරිභෝගිකයන්ගෙන් බදු අය කරන එක කාලයක් තිස්සේම සිදු වන දෙයක්. සීනි වලින් විතරක් නෙමෙයි. තවත් බොහෝ පාරිභෝගික භාණ්ඩ හා අදාළව කතාව ඕකයි. නමුත් අපේ දැන් කතාව සීනි ගැනනේ! 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ සීනි ආනයන මත "විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක්" පනවන විට සීනි ආනයන මත බදු වර්ග හතරක් අය කෙරෙමින් තිබුණා.

වැට් බද්ද - 15%

වරාය සංවර්ධන බද්ද - 7.5%

ජාතිය ගොඩනැගීමේ බද්ද - 2%

තීරු බදු - කිලෝ ග්‍රෑමයකට රුපියල් 12/=

මොන නමින් බදු ගැහුවත් ලංකාවේ සීනි වෙළඳපොළේ ස්වභාවය අනුව බද්ද ගෙවන්න වෙන්නේ පාරිභෝගිකයන්ට බව මම කලින් පැහැදිලි කළානේ. ඒ වගේම මේ බදු වල බර වැඩිපුරම දැනෙන්නේ පහළම ආදායම් ස්ථර වලට බවත් පැහැදිලි විය යුතුයි. 

විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත සම්මත කිරීමෙන් පසුව ඉහත කී බදු හතර වෙනුවට සීනි වලට තනි බද්දක් යෝජනා කෙරුණා. මේ බද්දේ නියම නම විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද. අපේ පහසුවට අපි මින් ඉදිරියට මේ බද්ද සීනි බද්ද ලෙස හඳුන්වමු. විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පනවනු ලැබුවේ සීනි වලට පමණක් නෙමෙයි. මම මෙහිදී සීනි බද්ද ලෙස හඳුන්වන්නේ සීනි මත පනවනු ලැබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද.

ඔය සීනි බද්ද දැම්මට පස්සේ පැවති ආණ්ඩු විසින් වරින් වර බද්ද සංශෝධනය කර තිබෙනවා. බොහෝ විට බද්ද සංශෝධනය කර තිබෙන්නේ ජාත්‍යන්තර සීනි මිල ගණන් වෙනස් වෙද්දී දේශීය සීනි මිල ස්ථාවරව තබා ගත හැකි ආකාරයකටයි. ඒ කියන්නේ ලෝක වෙළඳපොළේ සීනි මිල අඩු වෙන කොට බද්ද වැඩි කරනවා. ලෝක වෙළඳපොළේ සීනි මිල වැඩි වෙන කොට බද්ද අඩු කරනවා.

මේ විදිහට බදු වෙනස් කරද්දී බොහෝ විට, ආණ්ඩු භේදයක් නැතිව, කියන බොරු කිහිපයක් තිබෙනවා. එකක් පාරිභෝගිකයන්ට සෙත සැලසීම. පට්ට පල් බොරු!

ලෝක වෙළඳපොළේ සීනි මිල වැඩි වෙන කොට සීනි බද්ද අඩු කරන එක හරියට ගං වතුර එද්දී ගැට ගහල ඉන්න හරකෙක්ව ලිහනවා වගේ වැඩක්. ඔය වැඩෙන් හරකාගේ ජීවිතේ බේරෙනවා තමයි. හැබැයි ඔය විදිහට ගං වතුරට යට වෙලා මැරෙන්න නොඇර හරකගේ කඹේ කපන්නේ ඇයි? හරකට තියෙන ආදරේකටද?

කඹේ කැපුවට පස්සේ හරකා පණ එපා කියලා දුවලා කොහොම හරි බේරෙනවා. හැබැයි ගංවතුර බැස්සට පස්සේ ඌට තණකොළ ටිකක් උලා කාලා නිදහසේ ඉන්න ලැබෙන්නේ නැහැ. ආපහු අල්ලගෙන ඇවිත් ගහේ බඳිනවා. මොකටද කියල කියන්න ඕනෑ නැහැනේ.

සීනි බද්ද අඩු කරලා පාරිභෝගිකයන්ට සෙත සලසන එකත් ඔය වගේම වැඩක්. ඇයි හත් දෙයියනේ පාරිභෝගිකයන්ට සෙත සලසන්න අවශ්‍යනම් ඔය බද්ද අය නොකරම හිටියහම ඉවරයිනේ! 

අපි කියමු සීනි මිල ස්ථාවරව තිබෙන එක පාරිභෝගිකයාට වාසියක් කියලා. එකම අරමුණ ඕකනම් රජයකට "බදු-උදාසීන (tax-neutral)" මැදිහත් වීමක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මිල අඩු වෙද්දී බද්දක් අය කළත් මිල ඉහළ යද්දී සහනාධාරයක් විදිහට ඒ අය කරගත් බදු මුදල් ආපසු ගෙවනවා. එහෙම දෙයක් වෙන්නේ නැහැනේ. ඒ කියන්නේ මෙතැන තිබෙන අරමුණ රජයේ නඩත්තුවට ආදායම් උපයා ගැනීම කියන එක ආයේ හංගන්න දෙයක් නැහැ.

සීනි මිල ස්ථාවරව තියා ගැනීමේ වාසියත් ඇත්තටම වක්‍ර ලෙස රජයටමයි. මොකද සීනි වගේ පාරිභෝගික භාණ්ඩ වල මිල වැඩි වෙද්දී උද්ධමනය ඉහළ ගොස් ඇති බව පේන්න ගන්නවා. විශේෂයෙන්ම රටේ මුදල් සැපයුම විශාල ලෙස වැඩි වී තිබෙන මේ වගේ කාලයක. මොන විදියෙන් හරි සීනි මිල ස්ථාවරව තබා නොගත්තොත් උද්ධමනය තුළ එය නිරූපනය වෙනවා. එවිට උද්ධමනයට අනුරූපව රාජ්‍ය සුරැකුම්පත් සඳහා ගෙවිය යුතු පොලී අනුපාතික වැඩි කරන්න වෙනවා. රජයට විශාල පාඩුවක් වෙනවා. සීනි මිල ස්ථාවරව තබා ගැනීමෙන් උද්ධමනය කෘතීම ලෙස පාලනය කළ හැකියි. පණිවිඩය ලැබෙන්නට පෙර පණිවිඩකරු නැවැත්වීමේ උපාය මාර්ගය!

ලංකාවේ වාර්ෂික සීනි ආනයනය කිලෝග්‍රෑම් මිලියන 600ක් පමණ. මෑත වසර වලදී සීනි බද්ද තිබුණේ රුපියල් 33-35 මට්ටමේ. ඒ කියන්නේ මෑත වසර වලදී සීනි බද්දෙන් රජය වසරකට රුපියල් බිලියන 20ක් පමණ උපයා තිබෙනවා. 

ඔය විදිහට සීනි වලට බදු ගහන්න හේතුවක් විදිහට ඉදිරිපත් කරන තවත් කාරණාවක් වන්නේ දේශීය සීනි කර්මාන්තය ආරක්ෂා කර ගැනීමයි. රටවල් වලට ඔය විදිහේ ජාතික අභිලාශ තිබීමේ වැරැද්දක් නැහැ. ඒ වගේම ජාතික අභිලාශ වෙනුවෙන් පිරිවැයක් දරන්නත් වෙනවා. හැබැයි ගඟේ මූදේ දැම්මත් ගාණක් මිම්මක් ඇතුව කියා කියනවනේ. මේ ජාතික අභිලාශය වෙනුවෙන් කොයි තරම් පාඩුවක් දරන්න වෙනවද?

දේශීය සීනි නිෂ්පාදකයා කිවුවට ලංකාවේ ඉන්න එකම දේශීය සීනි නිෂ්පාදකයාත් ලංකාවේ රජයම තමයි. එතකොට මේ දේශීය සීනි කර්මාන්තය ආරක්ෂා කර ගැනීම කියා කියන්නේත් "අපි වෙනුවෙන් අපි" වැඩක්. 

ලංකාවේ සීනි නිෂ්පාදනය මුළුමනින්ම වගේ කරන සෙවණගල හා පැල්වත්ත සීනි කර්මාන්තශාලා තිබෙන්නේ රජයට අයිති ලංකා ෂුගර් පෞද්ගලික සමාගම යටතේ. ඒ වගේම දැනට ක්‍රියාත්මක නැති වුවත්, වැටුප් ලබන අධ්‍යක්ෂ්‍ය වරුන් සිටින කන්තලේ සීනි කම්හල වගේම හිඟුරාන සීනි කම්හලත් තිබෙන්නේ රජයේ පාලනය යටතේ. තව සීනි පර්යේෂණ ආයතනයකුත් තියෙනවා. ටික කලකට පෙර වෙනම සීනි ඇමති කෙනෙකුත් හිටියා. දැන් වෙනම අමාත්‍යංශයක් නැතත් එම අමාත්‍යංශය යටතේ වූ ආයතන වල වියදම නැති වී නැහැ. 

පසුගිය 2019 වසර තුළ ලංකා ෂුගර් පෞද්ගලික සමාගම විසින් සීනි කිලෝග්‍රෑම් මිලියන 41.2ක් රුපියල් මිලියන 5,458කට අලෙවි කර තිබෙනවා. ඒ අනුව දේශීය සීනි කිලෝවක් විකුණා තිබෙන්නේ රුපියල් 126.98 බැගින්. එම වසරේදී සීනි කිලෝවක සාමාන්‍ය මිල රුපියල් 104.09ක් පමණයි. සමහර විට තවත් එක් පාඩු ලබන රාජ්‍ය ආයතනයක් වන සතොස විසින් සීනි වැඩි මිලට මිලදී ගෙන අඩු මිලට විකිණුවාද කියා මා දන්නේ නැහැ.

ඔය විදිහට සීනි කිලෝවක් රුපියල් 127කට පමණ විකිණීමෙන් පසුවත් 2019 වසර තුළ ලංකා ෂුගර් විසින් ලබා තිබෙන පාඩුව රුපියල් මිලියන 1,308ක්. ඒ කියන්නේ සීනි කිලෝවකට රුපියල් 31.77ක්. ඒ අනුව, ලංකා ෂුගර් පෞද්ගලික සමාගමට පාඩු නොලබන්නටනම් සීනි කිලෝවක් රුපියල් 158.75 බැගින්වත් විකුණන්නට හැකි විය යුතුයි. 2019 වසරේදී ආනයනික සීනි කිලෝවක මිල නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තුද සමඟ රුපියල් 64.54ක් පමණයි. මේ අනුව ජාතික අභිලාශ වෙනුවෙන් දේශීය සීනි පාරිභෝගිකයෙකු විසින් සෘජුව හා වක්‍රව ගෙවිය යුතු මිල රුපියල් 94.21ක්. 

ලංකා ෂුගර් පෞද්ගලික සමාගම හැම වසරකම පාඩු ලබන්නේ නැහැ. ලාබ ලබන වසරවල්ද තිබෙනවා. හැබැයි පසුගිය වසර පහේ ලාබ අලාබ එකතුව ගත්තත් එකතුව රුපියල් මිලියන 808ක්. ඒ නිසා ඉහත ඇස්තමේන්තුව තරමක් වැඩි ඇස්තමේන්තුවක් විය හැකි වුවත් ජාතික අභිලාශ වෙනුවෙන් දේශීය සීනි පාරිභෝගිකයෙකු විසින් සැලකිය යුතු මිලක් ගෙවිය යුතුයි කියන එක බොරුවක් නෙමෙයි. සීනි පර්යේෂණ ආයතනය ඇතුළු ආයතන නඩත්තු කිරීමේ පිරිවැයද මේ මිලට එකතු කළ යුතුයි. සීනි ඇමති කෙනෙක් සිටිද්දී එම අමාත්‍යංශයේ වාර්ෂික වියදම් රුපියල් බිලියන 1.5කට ආසන්න මට්ටමක තිබුණා.

ලංකා ෂුගර් පාඩු, සීනි ඇමැතිලාගේ වියදම් ආදී සියල්ල එකතු කළත් ඕනෑනම් වැඩිම වුනොත් බිලියන දෙක තුනක් වෙයි. ඒ කියන්නේ සීනි බද්ද විදිහට අය කරන රුපියල් බිලියන 20ක පමණ මුදලින් ජාතික අභිලාශ වෙනුවෙන් යම් හෙයකින් මුදලක් වැය කෙරෙනවානම් එසේ වැය කෙරෙන්නේ බදු මුදලෙන් ඉතාම සුළු කොටසක් පමණයි. ඉතිරි කොටස ක්‍රියා කරන්නේ රටේ දුප්පතුන්ට වැඩි බරක් වැටෙන ආදායම් බද්දක් විදිහටයි. ඒ මුදලින් නඩත්තු වෙන්නේ කවුද?

Saturday, March 27, 2021

අන්දරේ සීනි කෑ හැටි (හත්වන කොටස)

අන්දරේට වගේ හැමෝටම නොමිලේ රජවාසල සීනි කන්න ලැබෙන්නේ නැහැ. සීනි කන්නනම් සීනි වල මිලත් ගෙවන්න වෙනවා. නිදහස් වෙළඳපොලක සීනි මිල තීරණය වෙන්නේ කොහොමද? ඉල්ලුම හා සැපයුම මත කියා සරලව කියන්න පුළුවන්. ආර්ථික විද්‍යාවේ මූලික පාඩමක් වුනත් ඔය ඉල්ලුම හා සැපයුම ගැන කතා කරන හැමෝම හරියටම මේ ගැන දන්නවද?

පළමු කොටසින් අපි ඉල්ලුම් වක්‍රය ගැන කතා කළා. දෙවන කොටසෙන් අපි සැපයුම් වක්‍රය ගැන ඉගෙන ගත්තා. තෙවන කොටසින් ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය ගැන කතා කළා. මිල පාලනය ගැනත් කතා කළා. සිවුවන කොටසින් බදු ගැන කතා කළා. පස් වන කොටසින් ලංකාවේ සීනි වෙළඳපොළේ මූලික ලක්ෂණ ගැන කතා කළා. හයවන කොටසින් අපි ලංකාවේ සීනි වෙළඳපොල ගැන තව ටිකක් කතා කළා. විශේෂයෙන්ම ලංකාවේ සිල්ලර සීනි වෙළඳපොළේ සැපයුම් වක්‍රයේ හැඩය ගැන කතා කළා. 

මුල් කොටස් පහේ විස්තර කළ දේවල් ආර්ථික විද්‍යාවේ සම්මත මූලික කරුණු බවත් හයවන කොටසින් විස්තර කළ ලංකාවේ සිල්ලර සීනි වෙළඳපොළේ සැපයුම් වක්‍රයේ හැඩය පිළිබඳ අදහස ආර්ථික විද්‍යා මූලධර්ම හා ලංකාවේ සීනි වෙළඳපොළ පිළිබඳ තොරතුරු මත පදනම්ව ලේඛකයා විසින් ඉදිරිපත් කරන්නක් බවත් මෙහිදී කිව යුතුයි.

ලංකාවේ සිල්ලර සීනි වෙළඳපොළේ සැපයුම් වක්‍රයේ හැඩය ගැන ලියූ දේ සාරාංශගත කළොත් අප විසින් පෙන්වා දී තිබෙන ප්‍රධානම කරුණ වන්නේ සැපයුම් වක්‍රයේ අදාළ කොටසේ බෑවුම ශුන්‍යයට ආසන්න බවයි. එහෙමත් නැත්නම් සැපයුම් වක්‍රයේ අදාළ කොටස තිරස් රේඛාවක් බවයි.

අප පෙර ඉගෙන ගත් පරිදි කිසියම් වෙළඳපොලක සියලුම සැපයුම්කරුවන්ගේ ලාබ සැපයුම් වක්‍රයට උඩින්, සමතුලිත මිලට යටින් හා සමතුලිත ප්‍රමාණයට වම්පසින් පිහිටි ප්‍රදේශයේ වර්ග ඵලයට සමානයි. සැපයුම් වක්‍රය තිරස් රේඛාවක්නම්, සමතුලිත මිල තිබෙන්නේත් ඒ මට්ටමේමනම් මේ කියන වර්ග ඵලයද ශුන්‍යයි. ඒ කියන්නේ සැපයුම්කරුවන් විසින් ලාබයක් ලබන්නේම නැහැ. එහෙම වෙන්න පුලුවන්ද?

එහෙම වෙන්න පුළුවන්. ආර්ථික විද්‍යාවේදී අපි ලාබ ලෙස හදුන්වන්නේ ආර්ථික ලාබ මිසක් ගිණුම්කරණ ලාබ නෙමෙයි. ආර්ථික ලාබ ලෙස හඳුන්වන්නේ ගිණුම්කරණ ලාබ වලින් ගිණුම් වල නැති ආවස්ථික පිරිවැය අඩු කළ පසු ඉතිරි වන කොටසයි. උදාහරණයක් විදිහට සමාගමක අයිතිකරුවන් වැටුප් ලබා නොගෙන වැඩ කළානම් ඔවුන්ගේ වැටුප් වෙනුවෙන් නිසි මුදලක් ලාබ වලින් අඩු කළ යුතුයි. ආර්ථික විද්‍යා විශ්ලේෂනයකදී ලබා නොගත් වැටුප් ලාබ සේ සලකන්න බැහැ. ඒ වගේම සමාගමටම අයිති ගබඩාවක සීනි ගබඩා කර තැබුවත් ගබඩා ගාස්තු වෙනුවෙන් නිසි මුදල ලාබ වලින් අඩු කළ යුතුයි. ලාබ ශුන්‍ය සේ සලකන්නේ ඔය ආකාරයේ ගිණුම් වල නැති වියදම්ද අඩු කිරීමෙන් පසුවයි. 

ඔය ආකාරයේ ආවස්ථික පිරිවැය අඩු කිරීමෙන් පසුව තරඟකාරී වෙළඳපොලක සැපයුම්කරුවන්ගේ ලාබ ශුන්‍ය වෙනවා. එසේ නොවනවානම් ඒ ඒවාට කියන්නේ සුපිරි ලාබ කියලයි. ආර්ථික විද්‍යාවේදී සැබෑ ලාබ සේ සලකන්නේ මේ ආකාරයේ සුපිරි ලාබයි.

සැපයුම්කරුවෝ හැම වෙලාවේම තමන්ගේ ලාබ වැඩි කරගන්න උත්සාහ කරනවා. තනි සැපයුම්කරුවෙකුට වෙළඳපොළ මිල පාලනය කළ නොහැකි නිසා ලාබ වැඩි කරගන්න තිබෙන එකම ක්‍රමය පිරිවැය අඩු කර ගැනීමයි. ලංකාවට සීනි ආනයනය කරන හැම සැපයුම්කරුවෙකුටම සීනී ගේන්න වෙන්නේ එකම පිරිවැයක් දරමින් කියා මම කලින් කොටසේ කිවුවත් මේ ප්‍රකාශය ආසන්න සත්‍යයක් පමණයි. ලෝක වෙළඳපොළේ සීනි මිල දවසෙන් දවස වෙනස් වෙනවා. විණිමය අනුපාතිකයත් දවසින් දවස වෙනස් වෙනවා. නමුත් හැම සැපයුම්කරුවෙකු විසින්ම ලංකාවට සීනි ගේන්නේ එකම දවසේ නෙමෙයි. ඒ නිසා එක් එක් සැපයුම්කරුවාගේ පිරිවැය වල පොඩි පොඩි වෙනස්කම් තිබෙනවා. 

සමහර සැපයුම්කරුවන්ගේ පිරිවැය රුපියලක් දෙකක් අඩු වෙන්න පුළුවන්. ඒ අයට අනෙක් අයට සාපේක්ෂව පොඩි අමතර ලාබයක් තිබෙනවා. මේ කතාව සැපයුම් වක්‍රය ඇසුරෙන් පැහැදිලි කළොත් තිරස් රේඛාවක් කියා කිවුවත් ඔතැන තියෙන්නේ පඩි පෙළක ආකාරයේ සමාන්තර තිරස් රේඛා කිහිපයක්. සැපයුම් වක්‍රය තිරස් එකක් කියා කිවුවත් එහි සුළු බෑවුමක් තිබෙනවා. ඒ සුළු බෑවුම නිසා මම කලින් ලිපියේ කියූ දේවල් කිසිවක් දැනෙන තරමට වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා අපි දැනට සැපයුම් වක්‍රය තිරස් රේඛාවක් ලෙසම සලකමු.

මේ තිරස් රේඛාවේ උස තීරණය කරන ප්‍රධාන සාධක වන්නේ ආනයනික මිල හා ලංකාවේ රජය විදින පනවන බදු අනුපාතිකයයි. පහත ප්‍රස්ථාරය පෙන්වා තිබෙන්නේ ලංකාවේ සිල්ලර වෙළඳපොළේ සීනි මිල තීරණය වන ආකාරයයි.


ඉහත ප්‍රස්ථාරය දෙස බැලූ විට ලංකාවේ සීනි වෙළඳපොළ පිළිබඳව මා විස්තර කර තිබෙන කරුණු නිවැරදි බව තහවුරු වෙනවා. මිල තීරණය කෙරෙන ප්‍රධානම සාධකය ලෝක වෙළඳපොළේ සීනි මිලයි. එයට නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු එකතු වෙනවා. නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු එකතු වීම නිසා ආනයනික මිල ලෝක වෙළඳපොළේ සීනි මිලට වඩා 7%කින් පමණ ඉහළ මිලක්. ආනයනික මිලට බදු එකතු වෙනවා. එම මුළු එකතුවම පිරිවැයේ කොටසක්. ඉන්පසුව ආනයනකරුගේ, තොග වෙළෙන්දාගේ හා සිල්ලර වෙළෙන්දාගේ ආන්තික මේ පිරිවැයට එකතු වෙනවා. එම සියලුම ආන්තික වල එකතුව 12%ක් පමණ. 

මේ ප්‍රස්ථාරයේ බදු පිළිබඳ දත්ත සියයට සියයක්ම නිවැරදි නැහැ. කිසියම් වසරක් තුළ බදු වෙනස් වූ විට අදාළ වසර සඳහා සාමාන්‍ය බදු ප්‍රමාණය සේ සැලකිය හැක්කේ එක් එක් බදු අනුපාතිකය යටතේ ආනයනය කළ සීනි ප්‍රමාණය අනුව බර තැබූ අගයක්. එම දත්ත මා සතු නැති නිසා මෙහි තිබෙන්නේ මගේ ආසන්න ඇස්තමේන්තු. බදු අනුපාතික වෙනස් නොවූ වසරවල් සඳහා දත්ත සම්පූර්ණයෙන්ම නිවැරදියි.

ඒ නිසා උදාහරණයක් විදිහට අපි බදු වෙනස් නොවූ වසරක් වන 2011 වසර සලකමු. එම වසරේ ලෝක වෙළඳපොළේ සීනි කිලෝවක මිල ඩොලර් 0.70ක්. එම වසරේදී ඩොලරයක් 110.57ක් වූ නිසා මෙය රුපියල් 77.15ක මුදලකට සමානයි. නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු එකතු වී ලංකාවට එන විට සීනි කිලෝවක් රුපියල් 81.80ක් වෙනවා. ඉන් පසු මෙයට රුපියල් 5ක බද්දක් එකතු වෙනවා. දැන් සීනි කිලෝවක් රුපියල් 86.80ක් වෙලා. ආනයනකරුගේ හා අනෙකුත් අතරමැදියන්ගේ ලාබ ආන්තික එකතු වීමෙන් පසුව සීනි කිලෝවක සිල්ලර මිල රුපියල් 96.11ක් වෙනවා. 

වෙනත් වසරක දත්ත පරීක්ෂා කළත් පෙනෙන්නට තිබෙන චිත්‍රය මීට වඩා වෙනස් නැහැ. සීනි වෙළඳපොළෙහි මාෆියාවක් හෝ සුපිරි ලාබ ලබන අතරමැදියන් පෙනෙන්නට නැහැ. අතරමැදියන්ගේ අතිරික්තය ඔවුන්ගේ වක්‍ර වියදම් ආවරණය කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් නෙමෙයි. හැම අතින්ම පෙනෙන්නේ තරඟකාරී වෙළඳපොළක ලක්ෂණ.

සීනි වෙළඳපොළේ අතරමැදියන්ගේ ලාබ ආන්තික වසරින් වසර වෙනස් වන බවක් පෙනෙන්නේ නැහැ. මෙයට හේතුව ප්‍රමාණවත් තරඟකාරිත්වය ලෙස සැලකිය හැකියි. ඒ අනුව සැපයුම් වක්‍රය තිරස් හැඩයක් ගන්නා බවට අප කළ නිගමනය නිවැරදි බව තහවුරු වෙනවා. අතරමැදියෙකු විසින් සුපිරි ලාබ ලබනවානම් ඒ කලාතුරකින් හා සුළු වශයෙන් මිසක් සාමාන්‍ය තත්ත්වය ලෙස විය නොහැකියි. ඒ වගේම නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තුද විශාල ලෙස විචලනය වන්නේ නැහැ.

කෙසේ වුවත් ලෝක වෙළඳපොළේ සීනි මිල විශාල ලෙස විචලනය වෙනවා. විණිමය අනුපාතිකය කාලයත් සමඟ ටිකෙන් ටික පිරිහෙනවා. ඒ වගේම සීනි වල ආනයනික මිල වෙනස් වෙද්දී රජය විසින් මිල ස්ථාවර වන ආකාරයට බදු අනුපාතික වෙනස් කරනවා. මේ සාධක තුන මත සැපයුම් වක්‍රයේ තිරස් කොටසේ උස වරින් වර වෙනස් වෙනවා. එයට අනුරූපව සීනි වල සිල්ලර මිලද වෙනස් වෙනවා.

ඉහත කරුණු අනුසාරයෙන් අපට සීනි වෙළඳපොළේ කිසියම් විකෘතියක් වී තිබේනම් එය හදුනාගන්න පුළුවන්. 

Friday, March 26, 2021

අන්දරේ සීනි කෑ හැටි (හයවන කොටස)

අන්දරේට වගේ හැමෝටම නොමිලේ රජවාසල සීනි කන්න ලැබෙන්නේ නැහැ. සීනි කන්නනම් සීනි වල මිලත් ගෙවන්න වෙනවා. නිදහස් වෙළඳපොලක සීනි මිල තීරණය වෙන්නේ කොහොමද? ඉල්ලුම හා සැපයුම මත කියා සරලව කියන්න පුළුවන්. ආර්ථික විද්‍යාවේ මූලික පාඩමක් වුනත් ඔය ඉල්ලුම හා සැපයුම ගැන කතා කරන හැමෝම හරියටම මේ ගැන දන්නවද?

පළමු කොටසින් අපි ඉල්ලුම් වක්‍රය ගැන කතා කළා. දෙවන කොටසෙන් අපි සැපයුම් වක්‍රය ගැන ඉගෙන ගත්තා. තෙවන කොටසින් ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය ගැන කතා කළා. මිල පාලනය ගැනත් කතා කළා. සිවුවන කොටසින් බදු ගැන කතා කළා. පස් වන කොටසින් ලංකාවේ සීනි වෙළඳපොළේ මූලික ලක්ෂණ ගැන කතා කළා. මේ කොටසින් අපි ලංකාවේ සීනි වෙළඳපොල ගැන තව ටිකක් කතා කරමු.

ලංකාවේ සීනි ඉල්ලුමෙන් කොටසක් රට ඇතුළේම නිපදවෙන නමුත් එම ප්‍රමාණය මුළු ඉල්ලුමෙන් 5-10% අතර ප්‍රමාණයක් පමණයි. ඉල්ලුමෙන් 90-95% පමණම සැපිරෙන්නේ ආනයනික සීනි වලින්. ඉන්දියාව, බ්‍රසීලය, තායිලන්තය වගේ රටවල් වලින් ලංකාව සීනි ආනයනය කරනවා. මේ රටවල් වල සීනි මිලත් ඉල්ලුම හා සැපයුම වෙනස් වන ආකාරය අනුව ඉහළ පහළ යනවා. ඉල්ලුම හා සැපයුම අනුව කිවුවත් බොහෝ විට විචලනය වන්නේ සැපයුමයි. ඉල්ලුම සාපේක්ෂව ස්ථාවරයි.

ලෝක වෙළඳපොළේ සීනි මිල ඉල්ලුම හා සැපයුම අනුව විචලනය වුවත් ලංකාවේ ආනයනික සීනි ඉල්ලුම ලෝක වෙළදපොළේ සීනි මිලට බලපෑමක් කළ හැකි මට්ටමක එකක් නෙමෙයි. ලංකාව සීනි ඇටයක්වත් ආනයනය නොකළත් එය ලෝක සීනි ඉල්ලුමට දැනෙන බලපෑමක් කරන්නේ නැහැ. ඒ නිසා, සෛද්ධාන්තිකව කොහොම වුවත් ප්‍රායෝගිකව ලෝක වෙළඳපොළේ සීනි මිල ලංකාවේ සීනි ඉල්ලුමෙන් ස්වායත්තයි. ලංකාවට සීනි ආනයනය කරන කෙනෙකුට ලෝක වෙළඳපොළේ පවතින මිලට සීනි මිල දී ගන්න වෙනවා. 

ලංකාවේ සීනි ආනයනකරුවෙක් වෙනත් රටකින් සීනි මිල දී ගත්තා කියමු. ඒ සීනි ලංකාවට ගේන්න නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු ගෙවන්න වෙනවා. ආනයනික සීනි මිල එහෙමත් නැත්නම් CIF මිල කියා කියන්නේ ලෝකයේ කොහේ හෝ රටකින් සීනි මිල දී ගෙන නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු ගෙවා ලංකාවට සීනි කිලෝවක් ගේන්න යන වියදම. ඉන් පසු ඒ මිලට ලංකාවේ රජය විසින් අය කරන බදු එකතු වෙනවා. ආනයනකරුගේ, තොග වෙළෙන්දාගේ හා සිල්ලර වෙළෙන්දාගේ ලාබ ආන්තිකද එකතු වෙනවා. ලංකාවේ දේශීය සිල්ලර වෙළඳපොළේ සීනි වල සැපයුම් වක්‍රය හැදෙන්නේ ඔය සියල්ල එකතු වී හැදෙන සීනි කිලෝවක පිරිවැය වෙනස් වන ආකාරය මතයි.

ලංකාවේ සිල්ලර වෙළඳාම බොහෝ දුරට තරඟකාරී එකක්. තොග වෙළඳාම හා සීනි ආනයනය වුවත් සෑහෙන තරමකට තරඟකාරීයි. වෙළඳපොළක් තරඟකාරී වන්නේ සැපයුම්කරුවන් වැඩි වන තරමටයි. ඇතැම් තත්ත්වයන් යටතේ සැපයුම්කරුවන් විශාල පිරිසක් නැතිවත් වෙළඳපොළක් තරඟකාරී වෙනවා. රජයේ නියාමනයක් නැත්නම් ලංකාවේ සීනි ආනයනය තරඟකාරී ලෙස සිදු නොවෙන්න හේතුවක් නැහැ. මොකද සීනි කියන්නේ සෑහෙන තරමකට සමජාතීය භාණ්ඩයක්. 

පාරිභෝගිකයෙකුට ඉන්දියාවෙන් ගේන සීනි සහ බ්‍රසීලයෙන් ගේන සීනි වෙන් කර හඳුනා ගන්න බැහැ. ඒ නිසා සීනි ආනයනකරුවන් හැම වෙලාවකම පුළුවන් තරම් අඩු මිලකට ලංකාවට සීනි ගේන්න උත්සාහ කරනවා. ඔවුන්ට ලාබ ගන්න පුළුවන් වෙන්නේ තමන්ගේ තරඟකරුවන්ට වඩා අඩුවෙන් සීනි කිලෝවක් ලංකාවට ගෙනාවොත් පමණයි. ලෝකයේ ඕනෑ තරම් සීනි නිෂ්පාදකයෝ හා අතරමැදියෝ ඉන්න නිසාත්, ඒ අයට ඕනෑ කරන්නේ තමන්ගේ සීනි කාට හරි විකුණන්න නිසාත් එක සීනි ආනයනකරුවෙකුට අනෙක් අයට වඩා ගොඩක් අඩුවෙන් ලංකාවට සීනි ගේන්න බැහැ. ලංකාවට කවුරු ආනයනය කළත් ආනයනික සීනි කිලෝවක පිරිවැය බොහෝ දුරට සමානයි.

ලංකාවට ආනයනය කරන සීනි වලට රජයෙන් ගහන බද්ද සාමාන්‍යයෙන් ආනයනකරු අනුව වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම තොග හා සිල්ලර වෙළඳුන්ගේ ලාබ ආන්තිකත් ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා, ලෝක වෙළඳපොළේ සීනි මිල, විණිමය අනුපාතිකය හා සීනි වලට ගහන බදු වෙනස් නොවෙනවානම් සපයන සීනි ප්‍රමාණය මත සීනි වල සිල්ලර මිල ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. ආර්ථික විද්‍යා භාෂාවෙන් කියනවානම් සීනි සැපයුම පූර්ණ නම්‍යශීලී සැපයුමකට කිට්ටුයි. ඒ කියන්නේ සැපයුම් වක්‍රය තිරස් රේඛාවක්. 

ලෝක වෙළඳපොළේ මිලට වඩා අඩුවෙන් සීනි ගන්න කිසිම හැකියාවක් නැහැ. ලෝක වෙළඳපොළේ මිලට ඕනෑ තරම් සීනි ආනයනය කරන්න පුළුවන්. ඒ නිසා ප්‍රමාණය වෙනස් වුනා කියා මිල වෙනස් වෙන්නේ නැහැ. ලෝක වෙළඳපොළේ මිලට නැව් හා රක්ෂණ ගාස්තු, බදු හා අතරමැදියන්ගේ ලාබ ආන්තික එකතු කළ විට ලැබෙන මිල මට්ටමේ සැපයුම් වක්‍රය දිගටම තිබෙනවා. මේ දේවල් වලින් එකක් හෝ කිහිපයක් වෙනස් වෙද්දී සැපයුම් වක්‍රය ඉහළ පහළ යනවා. නමුත් හැඩය වෙනස් වෙන්නේ නැහැ.

හැබැයි මේ කියපු කතාව සතොස වගේ රජය යටතේ තිබෙන ආයතන වලට අදාළ නැහැ. පෞද්ගලික අංශයට සීනි පාඩුවට දෙන්න බැරි වුනත් රජයට සීනි පාඩුවට විකුණන්න පුළුවන්. නිකම් දෙන්න වුනත් පුළුවන්. ඒ නිසා, සැපයුම්කරුවෙකු විදිහට රජය විසින් සපයන සීනි ප්‍රමාණය සැපයුම් වක්‍රයේ නිරූපණය කරන්නේ පූර්ණ අනම්‍යශීලී සැපයුමක්. රජය හරහා සපයන සීනි ප්‍රමාණය ඉල්ලුම මත තීරණය වෙන්නේ නැහැ. ඒ අනුව සැපයුම් වක්‍රයේ මුල් කොටස සිරස් රේඛාවක්. කෙසේ වුවත් රජය විසින් පාඩුවට සීනි විකුණන්නේ යම් සීමාවක් දක්වා පමණක් නිසා සැපයුම් වක්‍රයේ අපට වැදගත් කොටස තව දුරටත් තිරස් රේඛාවක්.

සැපයුම් වක්‍රයේ අපට වැදගත් කොටස තිරස් රේඛාවක් හෝ ඊට ආසන්න එකක් කියා දන්න නිසා ඉල්ලුම් වක්‍රයේ හැඩය හරියටම නොදැන වුවත් අපට යම් නිගමන වලට පහසුවෙන් එළඹෙන්න පුළුවන්. පළමු එක මේ විශේෂිත තත්ත්වය යටතේ මිල පාලනයේ බලපෑම කුමක්ද කියන එක. තෙවන කොටසේ විස්තර කළ සාධාරණ තත්ත්වයන් යටතේ මිල පාලනයේ ප්‍රතිඵලයක් විදිහට සීනි හිඟයක් ඇති විය යුතුයි. හැබැයි හිඟයක් තිබුණත් සීනි නැත්තටම නැති වෙන්නේ නැහැ. මොකද මිල මට්ටම ටිකක් අඩු කළත් සැපයුම් වක්‍රය කැපෙන තැනක් තිබෙනවා. අපේ සැපයුම් වක්‍රයේ ස්වභාවය අනුව මිල පාලනය යටතේ සැපයෙන්නේ රජය මගින් පාඩුවට සපයන සීනි ප්‍රමාණය පමණයි.

ලංකාවේ සීනි වෙළඳපොළේ ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය කියන කාරණාවට නැවත ආවොත් ඉහත පැහැදිලි කළ ආකාරයට මේ වෙළඳපොළේ සැපයුම් වක්‍රය මේ ලිපි මාලාවේ පෙර කොටස් වල විස්තර කළ, පාඨ ග්‍රන්ථයක දැකිය හැකි ආකාරයේ, සම්මත වක්‍රයක් නෙමෙයි. එහි මුල් හරියේ තිරස් කොටසකුත් ඉන් පසුව සිරස් කොටසකුත් තිබෙනවා. මෙහි තිරස් කොටස කොයි තරම් දුරකින් ආරම්භ වෙනවාද කියන එක වගේම කොයි තරම් උසකට යනවාද කියන එකත් තීරණය කරන්නේ රජය විසින්. තිරස් කොටස ආරම්භ වන තැන සතොස හෝ වෙනත් එවැනි ආයතන හරහා රජය විසින් සපයන සීනි ප්‍රමාණයයි. එහි උස, ආනයනික මිල අනුව තීරණය වන නමුත් ඒ මත පනවන බදු ප්‍රමාණය වරින් වර වෙනස් කිරීම හරහා රජය විසින් පාලනය කෙරෙනවා. 

මේ විදිහට සීනි වෙළඳපොළේ සැපයුම් වක්‍රය රජයේ අත් අඩංගුවේ පසු වුනත් ඉල්ලුම් වක්‍රය අඳින්නේ පාරිභෝගිකයන් විසින්. ඒ නිසා රජයට වෙළඳපොළ සමතුලිතතාවය පාලනය කළ හැක්කේ සැපයුම් වක්‍රය වෙනස් කිරීම මගිනුයි. ඉල්ලුම් වක්‍රයේ හැඩය කුමක් වුවත් එය සැපයුම් වක්‍රයේ තිරස් කොටස කපනවානම් මිල නිශ්චිත මිලක්. එම මිල තීරණය වන්නේ සැපයුම් වක්‍රයේ තිරස් කොටස තිබෙන්නේ කොපමණ උසකින්ද කියන කරුණ මතයි. එම උස තීරණය වන්නේ ආනයනික මිල හා බදු ප්‍රමාණය මතයි. කවර හෝ මිල පාලනයකින් වෙළඳපොළට බලපෑමක් වෙන්නේ පාලිත උපරිම මිල මේ මිලට වඩා අඩුනම් පමණයි. එසේ අඩු වූ පාලිත මිලක් යටතේ ඉල්ලුම් වක්‍රය සැපයුම් වක්‍රය කපන්නේ එහි සිරස් කොටසේදී. එවිට ඉල්ලුම හා සැපයුම සමතුලිත වන්නේ නැහැ. එසේ සමතුලිත විය හැක්කේ රජය විසින් පිරිවැයට වඩා අඩුවෙන් රටේ සමස්ත සීනි ඉල්ලුමම සපයනවානම් පමණයි.

දැන් අපි හිතමු කවර හෝ හේතුවක් නිසා ලංකාවේ සීනි වෙළඳපොළේ ඉල්ලුම වැඩි වුනා කියලා. අපේ එක පාඨකයෙක් පෙර ලිපියකට ප්‍රතිචාරයක් විදිහට සිංහල අවුරුදු කාලය ගැන මතක් කර තිබුණා. සිංහල අවුරුදු කාලයට ගෘහස්ථ සීනි ඉල්ලුම වැඩි වෙනවා. එහෙත් බොහෝ නිෂ්පාදන කර්මාන්ත ක්‍රියාත්මක නොවන නිසා කාර්මික සීනි ඉල්ලුම අඩු වෙනවා. මෙහි සමස්ත ප්‍රතිඵලය කුමක්ද කියා මම හරියටම දන්නේ නැහැ. ලංකාවේ ගෘහස්ථ සීනි ඉල්ලුම 36%ක් පමණ බව මම පෙර ලිපියේ සටහන් කළානේ. 

කොහොම හරි අවුරුදු කාලේ ඉල්ලුම වැඩි වුනා කියා කියමු. එවිට වෙන්නේ තාවකාලිකව ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වෙන එකයි. එක ඇමති වරයෙක් ලංකාවේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සඳහා වන සීනි ඉල්ලුම විශාල ලෙස ඉහළ ගොස් ඇති බවක් කියා තිබුණා. එය කොයි තරම් දුරට සමීක්ෂණ දත්ත මත පදනම් වූ ප්‍රකාශයක්ද කියලා මම දන්නේ නැහැ. අපි කියමු එහෙම වුනා කියලා. දැන් මේ නිසා වෙන්නෙත් ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වෙන එකයි. 

සාමාන්‍යයෙන් ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වූ විට, ඒ කියන්නේ ඉල්ලුම වැඩි වූ විට, මිල ඉහළ යනවා. එසේ වෙන්නේ සැපයුම් වක්‍රය ඉහළට බෑවුම් වී තිබෙන නිසයි. නමුත් මෙහි දැනටම විස්තර කර තිබෙන පරිදි ලංකාවේ සිල්ලර සීනි වෙළඳපොළේ සැපයුම් වක්‍රයේ එවැනි බෑවුමක් නැති තරම්. එයින් අදහස් වෙන්නේ කුමක්ද? 

ඉල්ලුම කොයි තරම් අඩු වැඩි වුනත් මිල වෙනස් වෙන්නේ නැහැ කියන එකයි. ඒ කියන්නේ මිල තනිකරම වගේ තීරණය වන්නේ සැපයුම් වක්‍රය මත. කලින් පැහැදිලි කර ගත් විදිහට සැපයුම් වක්‍රය අඳින්නේ රජය විසින්. ඒ අනුව ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවයක් ගැන ආර්ථික විද්‍යාවේදී සාධාරණ වශයෙන් කතා කරන්න පුළුවන් වුනත් මෙහි රජය විසින් පාලනය කරන සැපයුම් වක්‍රයට මිසක් ඉල්ලුමට කළ හැකි දෙයක් නැහැ. ඒ නිසා නීති විරෝධී මත්පැන් හදන්න හෝ උත්සව සමයේ ඉල්ලුම නිසා හෝ වෙනත් හේතුවකට ඉල්ලුම වැඩි වුනා කියලා ඒ හේතුව මත මිල ඉහළ යන්නේ නැහැ. එවැනි මිල ඉහළ යාමක් යම් හෙයකින් සිදු වුවත් එය ඉතාම සුළු, නොසලකා හැරිය හැකි මට්ටමේ එකක්.

ඊළඟට අපි බදු වලට යමු. රජය විසින් බද්දක් පැනවුවහම එම බද්දේ බර පාරිභෝගිකයන් හා සැපයුම්කරුවන් අතර බෙදී යනවා. එසේ බෙදී යන්නේ ඉල්ලුම් වක්‍රයේ හා සැපයුම් වක්‍රයේ බෑවුම් වල අනුපාතයට. අපි පැහැදිලි කර ගත් විදිහට ලංකාවේ සීනි වෙළඳපොළේ සැපයුම් වක්‍රය තිරස් එකක්. එහි කිසිම බෑවුමක් නැහැ. එයින් අදහස් වන්නේ කුමක්ද? සීනි මත බද්දක් පැනවූ විට එහි බර මුළුමනින්ම වැටෙන්නේ පාරිභෝගිකයින් මතයි. ඒ නිසා පවතින බද්දක් ඉවත් කළ විට එහි වාසියද මුළුමනින්ම වාගේ පාරිභෝගිකයන්ට ලැබිය යුතුයි.

රජය බදු අඩු වැඩි කරද්දී සැපයුම් වක්‍රය ඉහළ පහළ යනවා. සීනි මිල වෙනස් වෙනවා. ඒ වගේම ලෝක වෙළඳපොළේ සීනි මිල විචලනය වෙද්දීත්, විණිමය අනුපාතය විචලනය වෙද්දීත් මේ වැඩේම වෙනවා. පිරිවැය වෙනස් වීමේ වාසිය හෝ අවාසිය මුළුමනින්ම යන්නේ පාරිභෝගිකයින්ට නිසා සැපයුම්කරුවන්ට අමුතුවෙන් ලාබයක් ගන්න විදිහක් නැහැ. හැබැයි ඔය විදිහට පිරිවැය වෙනස් වෙද්දී පිරිවැය අඩු වෙලාවක් බලලා සීනි ආනයනය කරන සැපයුම්කරුවෙකුට තමන්ගේ තරඟකරුවන්ට සාපේක්ෂව තරමක වාසියක් ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අහම්බෙන් මිසක් එක සැපයුම්කරුවෙකුට පමණක් එවැනි අවස්ථාවක් ඇහැ ගැහෙන්න විදිහක් නැහැ. ඒ නිසා විශේෂ තත්ත්වයක් යටතේ මිසක් සාමාන්‍ය තත්ත්වයක් යටතේ සීනි ආනයනකරුවෙකුට ලංකාවට සීනි ආනයනය කරලා විශාල ලාභයක් ලබන්න බැහැ.

Wednesday, March 24, 2021

අන්දරේ සීනි කෑ හැටි (පස්වන කොටස)

පෙර කොටස් හතරෙන් අපි ඉල්ලුම් වක්‍රය, සැපයුම් වක්‍රය හා ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය ගැන කතා කළා. ඒ වගේම මිල පාලනය හා බදු හරහා ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවයට බලපෑමක් කළ විට සැපයුම්කරුවන්ගේ ලාබ හා පාරිභෝගික අතිරික්තය වෙනස් වෙන ආකාරය ගැනත්, එහිදී අතුරුදහන් වී යන අතිරික්තය ගැනත් පැහැදිලි කර ගත්තා. මේ හැම දෙයක්ම කතා කළේ බොහෝ දුරට වියුක්ත ලෙසයි. උදාහරණයක් විදිහට ඉල්ලුම් වක්‍රය හා සැපයුම් වක්‍රය ලෙස මා විසින් ඉදිරිපත් කළේ එවැනි වක්‍රයක පොදු ලක්ෂණ නිරූපණය කරන වක්‍රයක් මිස කිසියම් නිශ්චිත භාණ්ඩයකට අදාළ ඉල්ලුම් සැපයුම් වක්‍ර නෙමෙයි.

ඉහත කී ආකාරයේ ආකෘතියක් ඇසුරෙන් සැබෑ ලෝකයේ සිදුවන සංසිද්ධියක් පිළිබඳව ගුණාත්මක පැහැදිලි කිරීමක් කළ හැකියි. උදාහරණයක් විදිහට පාරිභෝගික අධිකාරිය විසින් මිල පාලන නීති දැඩි සේ ක්‍රියාත්මක කළහොත් රටේ භාණ්ඩ හිඟයක් ඇති වන බව නිශ්චිත ලෙස කියන්න පුළුවන්. එහෙත් එතැනින් එහාට ගොස් ප්‍රමාණාත්මක පැහැදිලි කිරීමක් කරන්න බැහැ. උදාහරණයක් විදිහට එවැනි භාණ්ඩ හිඟයකින් රටේ කොපමණ පිරිසක් පීඩාවට පත් වෙයිද කියන එක නිශ්චිත ලෙස කියන්න බැහැ.

කවර හෝ ප්‍රමාණාත්මක ප්‍රකාශයක් කරන්නනම් මුලින්ම අදාළ වෙළඳපොළෙහි ඉල්ලුම් හා සැපයුම් වක්‍ර යම් පරාසයක් තුළ නිශ්චිත ලෙස හඳුනා ගත යුතුයි. මෙය තරමක් අසීරු කරුණක්.

මිල පාලනයක් ක්‍රියාත්මක නොවේනම් අපට නිදහස් වෙළඳපොළ සමතුලිත මිල නිරීක්ෂණය කළ හැකියි. එම මිල පවතිද්දී විකිණෙන භාණ්ඩ ප්‍රමාණය සොයා ගැනීම තරමක් අසීරු කටයුත්තක් වුවත් කළ නොහැකි දෙයක් නෙමෙයි. මේ දත්ත දෙක තිබේනම් අපට ප්‍රස්ථාරයක ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය සිදුවන ලක්ෂ්‍යය ලකුණු කළ හැකියි. එහෙත් එම ලක්ෂ්‍යය ඉල්ලුම් වක්‍රය මත හා සැපයුම් වක්‍රය මත පිහිටි එක් ස්ථානයක් පමණයි. වක්‍ර දෙක ඡේදනය වන ස්ථානය හඳුනා ගත හැකි වුවත් එපමණකින් අපට ඉල්ලුම් වක්‍රය හා සැපයුම් වක්‍රය හඳුනා ගන්න බැහැ. ඒ නිසා මෙතෙක් කොටස් වල සාකච්ඡාවට බඳුන් කළ සැපයුම්කරුවන්ගේ ලාබ හා පාරිභෝගික අතිරික්තය වැනි දේවල් හොයා ගන්නත් බැහැ. ඒ සඳහා පළමුව ඉල්ලුම් වක්‍රය හා සැපයුම් වක්‍රය හඳුනා ගත යුතුයි. එය කරන්නේ කොහොමද?

ඉල්ලුම් වක්‍රය එලෙසම නොවෙනස්ව තිබියදී සැපයුම් වක්‍රය පමණක් වෙනස් වුවහොත් ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවයද වෙනස් වෙනවා. එවිට ඉල්ලුම හා සැපයුම සමතුලිත වන අලුත් ලක්ෂ්‍යයක් හඳුනාගත හැකියි. පෙර ලක්ෂ්‍යය ලකුණු කළ ප්‍රස්ථාරයේම මේ අලුත් ලක්ෂ්‍යයද ලකුණු කළ හැකියි. බදු අඩු වැඩි කිරීම වැනි අවස්ථා වලදී ඉල්ලුම් වක්‍රය එලෙසම නොවෙනස්ව තිබියදී සැපයුම් වක්‍රය පමණක් වෙනස්  වෙනවා. එවැනි අවස්ථා වලදී සමතුලිතතාවය වෙනස් වන ආකාරය ප්‍රස්ථාරයේ ලකුණු කළ හැකියි. මේ මෙවැනි ලක්ෂ්‍යයන් ගණනාවක් එකිනෙක යා කිරීමෙන් අපට ඉල්ලුම් වක්‍රයේ ස්වභාවය ගැන දැනගන්න පුළුවන්.

මේ ආකාරයෙන්ම සැපයුම් වක්‍රය නොවෙස්ව තිබියදී ඉල්ලුම් වක්‍රය වෙනස් වන අවස්ථාවන්ද හඳුනාගන්න පුළුවන්. එවිටද ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය වෙනස් වෙනවා. සැපයුම් වක්‍රය පමණක් වෙනස් වෙද්දී සමතුලිත ලක්ෂ්‍යය චලනය වන්නේ ඉල්ලුම් වක්‍රයේ පථය දිගේ. ඒ විදිහටම, ඉල්ලුම් වක්‍රය පමණක් වෙනස් වෙද්දී සමතුලිත ලක්ෂ්‍යය චලනය වන්නේ සැපයුම් වක්‍රයේ පථය දිගේ. මේ ලක්ෂ්‍යයන් එකිනෙක යා කිරීමෙන් අපට සැපයුම් වක්‍රයේ නියම ස්වරූපය දැන ගන්න පුළුවන්.

මේ විදිහට විස්තර කළත්, මේ ආකාරයෙන් ඉල්ලුම් වක්‍රය හෝ සැපයුම් වක්‍රය යන දෙකෙන් එකක් පමණක් වෙනස් වන අවස්ථා හඳුනා ගැනීම තරමක් අසීරු වැඩක්. එවැන්නක් කළ හැක්කේ එවැනි දේ කර පුහුණුවක් තිබෙන ආර්ථික විද්‍යාඥයෙකුටයි. කාලයත් කිසියම් වෙළඳපොළක මිල හා වෙළඳපොළ පරිමාව වෙනස් වන ආකාරය පිළිබඳ සංඛ්‍යාලේඛණ හොයා ගන්න පුළුවන් වුවත් එවැනි ලක්ෂ්‍යයන් ප්‍රස්ථාරයක සලකුණු කර එමගින් ඉල්ලුම් වක්‍රයේ හෝ සැපයුම් වක්‍රයේ හැඩය හොයා ගන්න බැහැ. මෙවැනි හැම ලක්ෂ්‍යයකින්ම අලුත් සමතුලිතතාවයක් නිරුපණය වන නමුත් බොහෝ විට එවැනි අළුත් සමතුලිතතාවයක් හැදෙන්නේ ඉල්ලුම හා සැපයුම යන දෙකම වෙනස් වීමෙන්. ඒ නිසා කාලයත් සමඟ සිදුවන සමතුලිත ලක්ෂ්‍යයේ චලනයන්ගෙන් ඉල්ලුම් වක්‍රයේ හෝ සැපයුම් වක්‍රයේ හැඩය නිරුපණය වන්නේ නැහැ.

කිසියම් වෙළඳපොළක ඉල්ලුම් වක්‍රය හෝ සැපයුම් වක්‍රය අපට හරියටම ඇඳ ගන්න බැරි වුනත් එයින් අදහස් වන්නේ එම වක්‍ර ඕනෑම හැඩයක් ගත හැකියි කියන එක නෙමෙයි. හරියටම නොදන්නවා වුවත් එම වක්‍ර වල හැඩය පිළිබඳ සාමාන්‍ය අදහසක් බොහෝ විට අපට ලබා ගන්න පුළුවන්. එය කළ හැක්කේ අදාළ වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම තීරණය කරන සාධක තේරුම් ගැනීමෙන්. 

මේ ආකාරයෙන්ම සැපයුම් වක්‍රය නොවෙස්ව තිබියදී ඉල්ලුම් වක්‍රය වෙනස් වන අවස්ථාවන්ද හඳුනාගන්න පුළුවන්. එවිටද ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය වෙනස් වෙනවා. සැපයුම් වක්‍රය පමණක් වෙනස් වෙද්දී සමතුලිත ලක්ෂ්‍යය චලනය වන්නේ ඉල්ලුම් වක්‍රයේ පථය දිගේ. ඒ විදිහටම, ඉල්ලුම් වක්‍රය පමණක් වෙනස් වෙද්දී සමතුලිත ලක්ෂ්‍යය චලනය වන්නේ සැපයුම් වක්‍රයේ පථය දිගේ. මේ ලක්ෂ්‍යයන් එකිනෙක යා කිරීමෙන් අපට සැපයුම් වක්‍රයේ නියම ස්වරූපය දැන ගන්න පුළුවන්.

මේ විදිහට විස්තර කළත්, මේ ආකාරයෙන් ඉල්ලුම් වක්‍රය හෝ සැපයුම් වක්‍රය යන දෙකෙන් එකක් පමණක් වෙනස් වන අවස්ථා හඳුනා ගැනීම තරමක් අසීරු වැඩක්. එවැන්නක් කළ හැක්කේ එවැනි දේ කර පුහුණුවක් තිබෙන ආර්ථික විද්‍යාඥයෙකුටයි. කාලයත් සමඟ කිසියම් වෙළඳපොළක මිල හා වෙළඳපොළ පරිමාව වෙනස් වන ආකාරය පිළිබඳ සංඛ්‍යාලේඛණ හොයා ගන්න පුළුවන් වුවත් එවැනි ලක්ෂ්‍යයන් ප්‍රස්ථාරයක සලකුණු කර එමගින් ඉල්ලුම් වක්‍රයේ හෝ සැපයුම් වක්‍රයේ හැඩය හොයා ගන්න බැහැ. මෙවැනි හැම ලක්ෂ්‍යයකින්ම අලුත් සමතුලිතතාවයක් නිරුපණය වන නමුත් බොහෝ විට එවැනි අළුත් සමතුලිතතාවයක් හැදෙන්නේ ඉල්ලුම හා සැපයුම යන දෙකම වෙනස් වීමෙන්. ඒ නිසා කාලයත් සමඟ සිදුවන සමතුලිත ලක්ෂ්‍යයේ චලනයන්ගෙන් ඉල්ලුම් වක්‍රයේ හෝ සැපයුම් වක්‍රයේ හැඩය නිරුපණය වන්නේ නැහැ.

කිසියම් වෙළඳපොළක ඉල්ලුම් වක්‍රය හෝ සැපයුම් වක්‍රය අපට හරියටම ඇඳ ගන්න බැරි වුනත් එයින් අදහස් වන්නේ එම වක්‍ර ඕනෑම හැඩයක් ගත හැකියි කියන එක නෙමෙයි. හරියටම නොදන්නවා වුවත් එම වක්‍ර වල හැඩය පිළිබඳ සාමාන්‍ය අදහසක් බොහෝ විට අපට ලබා ගන්න පුළුවන්. එය කළ හැක්කේ අදාළ වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම තීරණය කරන සාධක තේරුම් ගැනීමෙන්. 

ලංකාවේ සීනි වෙළඳපොළේ ඉල්ලුම හැදෙන්නේ කොහොමද?

මෙතෙක් උදාහරණ වලදී මා යොදා ගත්තේත්, වැඩි දෙනෙකුට මුලින්ම මතක් වෙන්නේත් ගෘහස්ථ සීනි පරිභෝජන ඉල්ලුමයි.  ලංකාවේ ගෘහස්ථ ඒකකයක සාමාන්‍ය මාසික සීනි පරිභෝජනය (2016 දත්ත අනුව) කිලෝග්‍රෑම් 4.0 ක්. ඒ වෙනුවෙන් වැය කරන මුදල නිවාස ඒකකයක සාමාන්‍ය ආදායමෙන් 0.67%ක්. පහළම ආදායම් කාණ්ඩ වල සීනි පරිභෝජනය මිල පහළ යද්දී යම් තරමකින් ඉහළ යන නමුත් යම් ආදායම් මට්ටමකින් පසුව එවැන්නක් සිදු වන්නේ නැහැ. මේ වන විට ලංකාවේ නිවාස ඒකක බොහොමයකට සීනි මිල සීමාකාරී සාධකයක් නෙමෙයි. ඔවුන් සීනි පරිභෝජනය සීමා කර තිබෙන්නේ වෙනත් හේතු මතයි. මේ කරුණු සංඛ්‍යාලේඛණ ඇසුරෙන් තහවුරු කළ හැකි වුවත් එතරම් දුර යාම අවශ්‍යයි කියා මම හිතන්නේ නැහැ.

ලංකාවේ නිවාස ඒකක ගණන මිලියන 5.4ක්. මේ අනුව ලංකාවේ වාර්ෂික ගෘහස්ථ සීනි ඉල්ලුම කිලෝග්‍රෑම් මිලියන 5.4 x 4.0 x  12 = 259.2 ක් වෙනවා. මේ සියල්ල 2016 සංඛ්‍යාලේඛණ අනුව. කෙසේ වුවත්, ගෘහස්ථ සීනි ඉල්ලුම ලංකාවේ සීනි ඉල්ලුමේ ප්‍රධානම සංරචකය නෙමෙයි. ලංකාවේ සීනි ඉල්ලුමේ ප්‍රධානම සංරචකය පැණි බීම, රසකැවිලි ආදී කර්මාන්ත වල අමුද්‍රව්‍යයක් ලෙස වන ඉල්ලුමයි. එම ඉල්ලුම සාමාන්‍යයෙන් ගෘහස්ථ සීනි ඉල්ලුමට වඩා තරමක් වැඩියි. මීට අමතරව නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සඳහා වන ඉල්ලුමක්ද පවතින බව පැහැදිලියි. ගෘහස්ථ සීනි පාරිභෝගිකයන්ගේ පාරිභෝගික අතිරික්තය ලාබයක් වන ආකාරය තේරුම් ගැනීම අසීරු අයෙකුට වුවත්, පැණි බීම, රසකැවිලි හෝ නීති විරෝධී මත්පැන් නිපදවීම සඳහා සීනි මිල දී ගන්නා පාරිභෝගිකයෙකුගේ පාරිභෝගික අතිරික්තය ලාබයක් වන බව සක් සුදක් සේ පැහැදිලි විය යුතුයි.

අනෙක් අතට දේශීයව නිෂ්පාදනය වන්නේ ලංකාවේ සීනි සැපයුමෙන් 5-10%ක පමණ කොටසක් පමණයි. ඉතිරි කොටස මුළුමනින්ම සැපයෙන්නේ ආනයන වලින්. ලංකාවේ සීනි සැපයුම පිළිබඳ සියයට සියයක් නිවැරදි දත්ත නැතත් වාර්ෂික දේශීය සීනි නිෂ්පාදනය හා වාර්ෂික සීනි ආනයන පරිමා පිළිබඳ නිවැරදි දත්ත තිබෙනවා. කිසියම් වසරක් තුළ දේශීය සීනි නිෂ්පාදන පරිමාවේ හා ආනයන පරිමාවේ එකතුව සීනි සැපයුමට හරියටම සමාන සේ සැලකිය නොහැක්කේ පෙර වසරෙන් ඉතිරි වූ හා ඉදිරි වසරට ඉතිරි වන තොගද තිබෙන නිසයි. එහෙත්, මේ එකතුව ආසන්න වශයෙන් සීනි සැපයුම් පරිමාවට සමාන සේ සැලකිය හැකියි. ඒ වගේම ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය මත පදනම්ව දේශීය සීනි ඉල්ලුමටද සමාන සේ සැලකිය හැකියි.

සංසන්දය කිරීම සඳහා 2016 වසරම සැලකුවහොත් එම වසර තුළ දේශීය සීනි නිෂ්පාදිතය කිලෝග්‍රෑම් මිලියන 61ක්ද ආනයනික සීනි පරිමාව කිලෝග්‍රෑම් මිලියන 651ක්ද වෙනවා. මේ අනුව තොග වෙනස්වීම් නොසලකා හැරියොත් මුළු සීනි සැපයුම කිලෝග්‍රෑම් මිලියන 712ක් වන අතර එම ප්‍රමාණයෙන් 91.4%ක්ම ආනයනික සීනි. ඒ වගේම මෙම ප්‍රමාණය අදාළ වසරේ සීනි ඉල්ලුමට සමාන සේ සැලකුවොත් ගෘහස්ථ සීනි ඉල්ලුම එම ප්‍රමාණයෙන් 36%ක් පමණයි. රටේ සීනි ඉල්ලුමෙන් 64% ක්ම ගෘහස්ථ නොවන, නිෂ්පාදන අමුද්‍රව්‍යයක් ලෙස වන ඉල්ලුමක්. සීනි වෙළඳපොළේ පාරිභෝගික අතිරික්තය කියා කියන්නේ ගෘහස්ථ පාරිභෝගිකයන්ගේ පාරිභෝගික අතිරික්තයේ හා ඉතා පැහැදිලි ලාබයක් වන ගෘහස්ථ නොවන පාරිභෝගිකයන්ගේ පාරිභෝගික අතිරික්තයේ එකතුවයි.

ගෘහස්ථ නොවන පාරිභෝගිකයින් විසින් අමුද්‍රව්‍යයක් සේ යොදා ගැනීමට මිල දී ගන්නා සීනි යොදවා හදන පැණි බීම, රස කැවිලි හෝ නීති විරෝධී මත්පැන් මිල දී ගන්නේද ගෘහස්ථ පාරිභෝගිකයින් විසිනුයි. ඒ නිසා, ගෘහස්ථ පාරිභෝගිකයින්ගේ පැණි බීම, රස කැවිලි හා නීති විරෝධී මත්පැන් සඳහා වන ඉල්ලුම ඉහළ පහළ යන විට ගෘහස්ථ නොවන පාරිභෝගිකයන්ගේ සීනි ඉල්ලුමද ඉහළ පහළ යනවා. රටේ මිනිසුන්ගේ ආදායම් මට්ටම ඉහළ යද්දී පැණි බීම, රස කැවිලි ආදිය සඳහා වන ඉල්ලුමද යම් තරමකින් ඉහළ යනවා. පහත වගුවේ පෙන්වා දී තිබෙන්නේ 2001-2019 අතර කාලයේ ලංකාවේ වාර්ෂික සීනි සැපයුමයි.


Thursday, March 18, 2021

අන්දරේ සීනි කෑ හැටි (සිවුවන කොටස)

අන්දරේට වගේ හැමෝටම නොමිලේ රජවාසල සීනි කන්න ලැබෙන්නේ නැහැ. සීනි කන්නනම් සීනි වල මිලත් ගෙවන්න වෙනවා. නිදහස් වෙළඳපොලක සීනි මිල තීරණය වෙන්නේ කොහොමද? ඉල්ලුම හා සැපයුම මත කියා සරලව කියන්න පුළුවන්. ආර්ථික විද්‍යාවේ මූලික පාඩමක් වුනත් ඔය ඉල්ලුම හා සැපයුම ගැන කතා කරන හැමෝම හරියටම මේ ගැන දන්නවද?

පළමු කොටසින් අපි ඉල්ලුම් වක්‍රය ගැන කතා කළා. දෙවන කොටසෙන් සැපයුම් වක්‍රය ගැන ඉගෙන ගත්තා. තුන් වන කොටසින් අපි ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය ගැන ඉගෙන ගෙන ඉන් පසුව මිල පාලනයේ හානිය ගැනත් ඉගෙන ගත්තා. මිල පාලනය හරහා නිදහස් වෙළඳපොළ සමතුලිතතාවයට බාධා කරන එක මේ වෙද්දී එතරම් ප්‍රචලිත දෙයක් නෙමෙයි. එහෙත් බදු හරහා නිදහස් වෙළඳපොළ සමතුලිතතාවයට බාධා කරන එක දැනටත් ගොඩක් සුලභයි. 

රජයයන් විසින් භාණ්ඩ හා සේවා මත බදු අය කිරීමට ප්‍රධාන හේතුව රජය නඩත්තු කිරීම සඳහා ආදායම් උපයා ගැනීමයි. එහෙත් කිසියම් භාණ්ඩයක් පරිභෝජනය කිරීම අධෛර්යමත් කිරීම වැනි වෙනත් හේතු මත බදු අය කරන අවස්ථාද තිබෙනවා. රජය විසින් අය කරන බද්දක බර මුළුමනින්ම පාරිභෝගිකයා මත වැටෙනවද?

බද්දක බර මුළුමනින්ම පාරිභෝගිකයින් මත වැටෙනවානම් එයින් අදහස් වෙන්නේ රජයේ බදු ආදායමට සමාන ප්‍රමාණයකින් පාරිභෝගික අතිරික්තය අඩු වෙනවා කියන එකයි. එහෙම නොකර සැපයුම්කරුවන්ගෙන් මේ බද්ද අය කර ගන්න බැරිද? ඒ කියන්නේ පාරිභෝගික අතිරික්තය අඩු නොකර සැපයුම්කරුවන්ගේ ලාබය අඩු වෙන විදිහට බදු ගහන්න බැරිද?

සාමාන්‍යයෙන් බද්දක බර පාරිභෝගිකයා හා සැපයුම්කරුවා අතර බෙදී යනවා. එසේ බෙදී යන අනුපාතය තීරණය වන්නේ ඉල්ලුම් වක්‍රයේ හා සැපයුම් වක්‍රයේ ස්වභාවය මත මිසක් බදු අය කරන ක්‍රමය අනුව නෙමෙයි. සැපයුම්කරුවන්ගෙන් අය කරන ආනයන බද්දකින් වගේම පාරිභෝගිකයන්ගෙන් අය කරන භාණ්ඩ හා සේවා බද්දකින්ද අවසාන වශයෙන් වෙන්නේ එකම දේ. රජයේ බදු ආදායමෙන් කොටසක් පාරිභෝගික අතිරික්තයෙන් අඩු වෙද්දී ඉතිරි කොටස සැපයුම්කරුවන්ගේ ලාබ වලින් අඩු වෙනවා. මීට අමතරව මිල පාලනයේදී මෙන්ම පාරිභෝගික අතිරික්තයෙන් හා  සැපයුම්කරුවන්ගේ ලාබ වලින් කොටසක් කිසිවෙකුට නොලැබී අතුරුදහන් වී යනවා. 

ඉහත රූප සටහනේ මේ බෙදී යාම සිදුවන ආකාරය ලකුණු කර තිබෙනවා. වම්පස ප්‍රස්ථාරයේ දැකිය හැක්කේ බදු කිසිවක් නැති විට තත්ත්වය. කොළ පාට කොටස පාරිභෝගික අතිරික්තය. නිල් පාට කොටස සැපයුම්කරුවන්ගේ ලාබ.

දකුණුපස ප්‍රස්ථාරයේ දැකිය හැක්කේ බද්දක් එකතු වූ විට තත්ත්වය. රතු පාට කොටස රජයේ බදු ආදායම. එහි මැද ඉරෙන් උඩ කොටස අඩු වෙන්නේ පාරිභෝගික අතිරික්තයෙන්. මැද ඉරෙන් පහළ කොටස අඩු වෙන්නේ සැපයුම්කරුවන්ගේ ලාබ වලින්. කහ පාට කොටස අතුරුදහන් වී යන අතිරික්තය.

බද්දක් එකතු වුනා කියලා ඉල්ලුම් වක්‍රය වෙනස් වෙන්නේ නැහැ. එහෙත් සැපයුම්කරුවන් විසින් කිසියම් මිලකට කලින් සැපයූ භාණ්ඩ ප්‍රමාණය දැන් ඔවුන්ට සැපයිය හැක්කේ එම මිල සහ බද්දේ එකතුව ඔවුන්ට අය කර ගත හැකිනම් පමණයි. ඒ නිසා, සැපයුම් වක්‍රය බද්දේ ප්‍රමාණයට සමානව ඉහළට ඉස්සෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඉල්ලුම හා සැපයුම සමතුලිත වන මිල ඉහළ ගොස් සමතුලිත මට්ටමේදී විකිණෙන භාණ්ඩ ප්‍රමාණය අඩු වෙනවා. 

විකිණෙන භාණ්ඩ ප්‍රමාණය අඩුවීම නිසා කලින් භාණ්ඩ මිල දී ගත් කිසියම් පාරිභෝගිකයන් පිරිසකට භාණ්ඩ නොලැබී යනවා. ඒ වගේම කලින් භාණ්ඩ විකිණූ සැපයුම්කරුවන් පිරිසකට තමන්ගේ භාණ්ඩ විකිණීමේ අවස්ථාව නැති වී යනවා. මේ හේතු දෙක මත අතිරික්තයෙන් කොටසක් කිසිවෙකුටත් නොලැබී අතුරුදහන් වෙනවා.

පාරිභෝගිකයින්ට වැඩි මිලක් ගෙවන්න සිදු වන නිසා ඔවුන්ගේ අතිරික්තයේ අඩු වීමක් වෙනවා. එහෙත් එම කොටස රජයට යන නිසා සැපයුම්කරුවන්ට ලැබෙන්නේ නැහැ. සැපයුම්කරුවන්ට සාපේක්ෂව සැපයුම් වක්‍රය මුල් එකමයි. එහෙත් දැන් විකිණෙන්නේ අඩු භාණ්ඩ ප්‍රමාණයක්. ඔවුන්ගේ පැත්තෙන් බැලුවොත් මෙය ඉල්ලුම් වක්‍රය බද්දේ ප්‍රමාණයෙන් පහතට පැමිණීමක් කියා කියන්න පුළුවන්. අවසන් ප්‍රතිඵලය වන්නේ ඔවුන්ට ලැබෙන මිල අඩු වීම. ඒ නිසා එක පැත්තකින් පාරිභෝගිකයින් විසින් ගෙවිය යුතු මිල ඉහළ යද්දී අනෙක් පැත්තෙන් සැපයුම්කරුවන්ට ලැබෙන මිලද අඩු වෙනවා. මේ වෙනස් වීම් දෙකේ එකතුව බද්දට සමානයි.

වැදගත්ම කරුණ බද්දක පිරිවැය මුළුමනින්ම ගෙවන්න වෙන්නේ පාරිභෝගිකයින්ට නොවන බවයි. ඒ නිසාම, බද්දක් ඉවත් කළ විට ඊට සමාන ප්‍රමාණයකින් මිල අඩුවීමක් වෙන්නේත් නැහැ. උදාහරණයක් විදිහට සීනි කිලෝවකට රුපියල් 50ක ආනයන බද්දක් එකතු වූ විට පාරිභෝගිකයෙකු විසින් සීනි කිලෝවක් සඳහා ගෙවිය යුතු මිල රුපියල් 50කින්ම වැඩි වන්නේ නැහැ. ඒ නිසා එවැනි බද්දක් ඉවත් කළ විට සීනි කිලෝවක මිල රුපියල් 50කින් අඩු වන්නේත් නැහැ.

එහෙමනම් සීනි කිලෝවකට රුපියල් 50ක ආනයන බද්දක් එකතු වූ විට පාරිභෝගිකයෙකු විසින් සීනි කිලෝවක් සඳහා ගෙවිය යුතු මිල කීයකින් වැඩි වෙනවාද? එය තීරණය වන්නේ ඉල්ලුම් හා සැපයුම් වක්‍ර වල අදාළ කොටස් වල බෑවුම් කොපමණද කියන එක මතයි.

මේ දක්වා කොටස් හතරකින් විස්තර කළේ ආර්ථික විද්‍යා විෂයේ මූලික මට්ටමේ කරුණු කිහිපයක්. මෙතෙක් විස්තර කළ කිසිවක් ලේඛකයාගේ පෞද්ගලික අදහස් නෙමෙයි. විභාගයකට වුවත් ලියන්න පුළුවන් සම්මත විෂය කරුණු. ඒ වගේම මේ විස්තර කළ කරුණු (ඇතැම් විශේෂ අවස්ථා හැර) ඕනෑම භාණ්ඩයකට හෝ සේවාවකට අදාළ කර ගත හැකියි.

අප විස්තර කළ ඉල්ලුම් හා සැපයුම් වක්‍ර වියුක්ත ලෙස අඳින ලද ඒවා. එම ප්‍රස්ථාර ඇසුරෙන් මා විස්තර කළ කතාව විස්තර කළ හැකි වුවත් කිසිදු ගණනය කිරීමක් හරියටම කරන්න බැහැ. එය කළ හැක්කේ කිසියම් භාණ්ඩයක් හා අදාළ නිවැරදි ඉල්ලුම් වක්‍රය හා සැපයුම් වක්‍රය පිළිබඳ අදහසක් ඇත්නම් පමණයි. 

නිවැරදි ඉල්ලුම් හා සැපයුම් වක්‍ර වල හැඩය (ගණිතමය ශ්‍රිතයක් ලෙස) ඇස්තමේන්තු කිරීම තරමක් සංකීර්ණ වැඩක්. එහෙත් ඇමරිකාව වැනි රටකනම් එය ආර්ථික විද්‍යාඥයින් විසින් කරන සාමාන්‍ය දෙයක්. ඇමරිකාව වැනි රටක බද්දක් වෙනස් කරන්න කලින් පාරිභෝගිකයින්ට, සැපයුම්කරුවන්ට හා රජයට එයින් වන බලපෑම ඇස්තමේන්තු කරනවා. බද්ද පැනවීමෙන් පසුවත් මේ ඇස්තමේන්තු නැවත පරීක්ෂාවට ලක් කරනවා.

ලංකාවේ මේ දවස් වල කතා බහට ලක් වන "සීනි මගඩිය" ගැන වැඩිදුර සාකච්ඡා කරන්න මේ ලිපි හතරේ කරුණු අනිවාර්යයෙන්ම ප්‍රයෝජනවත් වෙයි. ඒ වගේම මේ  කරුණු ඇසුරෙන් "හාල් මෝල් මාෆියාව" වැනි තවත් දේවල්ද සාකච්ඡාවට ලක් කළ හැකියි.

Tuesday, March 16, 2021

අන්දරේ සීනි කෑ හැටි (තෙවන කොටස)

අන්දරේට වගේ හැමෝටම නොමිලේ රජවාසල සීනි කන්න ලැබෙන්නේ නැහැ. සීනි කන්නනම් සීනි වල මිලත් ගෙවන්න වෙනවා. නිදහස් වෙළඳපොලක සීනි මිල තීරණය වෙන්නේ කොහොමද? ඉල්ලුම හා සැපයුම මත කියා සරලව කියන්න පුළුවන්. ආර්ථික විද්‍යාවේ මූලික පාඩමක් වුනත් ඔය ඉල්ලුම හා සැපයුම ගැන කතා කරන හැමෝම හරියටම මේ ගැන දන්නවද?

පළමු කොටසින් අපි ඉල්ලුම් වක්‍රය ගැන කතා කළා. දෙවන කොටසෙන් අපි සැපයුම් වක්‍රය ගැන ඉගෙන ගත්තා. මේ කොටසින් අපි ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය ගැන ඉගෙන ගනිමු.

සීනි, හාල්, පොල් වගේ පාරිභෝගික භාණ්ඩයකට ඉල්ලුමක් තිබුණු පමණින් පාරිභෝගිකයෙක්ට එම භාණ්ඩය හිමි කරගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. භාණ්ඩය සපයන්න කැමති සැපයුම්කරුවෙකුත් ඉන්න ඕනෑ. අනෙක් අතට සැපයුම්කරුවෙකුට මේ වගේ පාරිභෝගික භාණ්ඩයක් විකුණන්න පුළුවන් වෙන්නේ ප්‍රමාණවත් පාරිභෝගික ඉල්ලුමක් තිබුණොත් පමණයි. ඒ නිසා, ගනුදෙනුවක් සිදු වෙන්නනම් ඔය දෙපාර්ශ්වයේම නිදහස් කැමැත්ත අවශ්‍ය වෙනවා. 

සැපයුම්කරුවෙක් පාරිභෝගික භාණ්ඩයක් කිසියම් මිලකට විකුණන්න කැමති වෙන්නේ ඒ මිලට විකුණා ලාබයක් ලැබිය හැකිනම් පමණයි. කවුරුවත් පාඩුවට බඩු විකුණන්නේ නැහැ. එහෙම කළොත් කරන්නේ රජය පමණයි. අනෙක් අතට පාරිභෝගිකයෙක් කිසියම් මිලකට භාණ්ඩයක් මිල දී ගන්නේ තමන්ට එයින් පාරිභෝගික අතිරික්තයක් ලැබේනම් පමණයි. නිදහස් වෙළඳපොළ ගනුදෙනුවක් කියා කියන්නේ ඔය දෙකම එක වර සිදු වන අවස්ථාවක්. 

වෙළඳපොළ සමතුලිතාවකදී භාණ්ඩයකට තිබෙන ඉල්ලුම එහි සැපයුමට හරියටම සමාන වෙනවා. මේ වැඩේ සිදු විය හැක්කේ එකම එක නිශ්චිත මිලකදී පමණයි. එය තමයි අපට භාණ්ඩයක නියම මිල ලෙස සැලකිය හැක්කේ.

එහෙම කියන්නේ කොහොමද? ඉල්ලුම් වක්‍රය පහළට බෑවුම් වන බවත් එය එසේ වෙන්නේ ඇයි කියන එකත් අපි දැන් දන්නවා. ඒ වගේම සැපයුම් වක්‍රය ඉහළට බෑවුම් වන බව හා හේතුවත් අපි දන්නවා. ඉහළට බෑවුම් වන ඉරක් හා පහළට බෑවුම් වන ඉරක් එක තැනකදී එකිනෙක හරහා යනවා. හරියටම ඒ ලක්ෂ්‍යයේදී ඉල්ලුම හා සැපයුම සමාන වෙනවා. ඒ වගේම එය සිදු වන එක් නිශ්චිත මිලක් තිබෙනවා. ඉල්ලුම හා සැපයුම හරියටම සමාන වෙන්නේ මේ නිශ්චිත මිලේදී පමණයි. 

මිල මේ සමතුලිත මිලට වඩා වැඩි වුනොත් සැපයුම තරමට ඉල්ලුමක් නැති වෙනවා. භාණ්ඩය විකුණා ගන්න බැරි වී අතිරික්තයක් හැදෙනවා. එවිට සැපයුම්කරුවන්ට මිල අඩු කරන්න සිදු වෙනවා. මිල සමතුලිත මිලට වඩා අඩු වුනොත් සැපයුමට වඩා ඉල්ලුම වැඩි වී භාණ්ඩ හිඟයක් ඇති වෙනවා. එවිට පාරිභෝගිකයෝ වැඩි මිලක් ගෙවා කොහෙන් හෝ භාණ්ඩ මිල දී ගන්න පෙළඹෙනවා. මිල ඉහළ යනවා. කොතැනින් පටන් ගත්තත් අන්තිමට නවතින්නේ සමතුලිත මිලට ඇවිදින්.

සමතුලිත මිලට භාණ්ඩයක් විකිණෙද්දී භාණ්ඩයේ වටිනාකම එහි මිලට වඩා වැඩියි කියා හිතන හැම පාරිභෝගිකයෙකුටම භාණ්ඩය හිමි වෙනවා. භාණ්ඩය හිමි නොවන්නේ එය එතරම් නොවටිනා සේ සලකන අයටයි. ඒ වගේම භාණ්ඩය විකුණා ලාබයක් ලැබිය හැකි තරමට කාර්යක්ෂම හැම සැපයුම්කරුවෙකුටම එම අවස්ථාව ලැබෙනවා.

වෙළඳපොළ මිල නිදහස් වෙළඳපොළක ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය හරහා තීරණය වෙද්දී සැපයුම්කරුවෙකුට ලැබෙන ලාබය තීරණය වෙන්නේ සැපයුම්කරුවාගේ සැපයුම් පිරිවැය කොපමණද කියන එක මතයි. පිරිවැය වැඩි සැපයුම්කරුවෙකුට ලැබෙන්නේ අඩු ලාබයක්. පිරිවැය අඩු සැපයුම්කරුවෙකුට වැඩි ලාබයක් ලැබෙනවා. පහත රූප සටහනේ නිල් පාට ත්‍රිකෝණයේ වර්ග ඵලය සියළුම සැපයුම්කරුවන්ගේ ලාබ වල එකතුවට සමානයි. ත්‍රිකෝණයේ උසම කොටසේ ඉන්නේ අඩුම පිරිවැකට භාණ්ඩය සපයන, ඒ නිසාම වැඩිම ලාබයක් ගන්න සැපයුම්කරුවෝ. සැපයුම්කරුවෙකුගේ පිරිවැය වැඩි වෙද්දී ලාබය ටිකෙන් ටික අඩු වෙලා පිරිවැය සමතුලිත මිලට සමාන වෙද්දී ලාබයක් නැතුව යනවා. වැදගත්ම කරුණ වෙළඳපොළ මිල එකක් වුවත් එක් එක් සැපයුම්කරුවා එම මිලට භාණ්ඩය විකුණා ලබන ලාබ සමාන නැති බව. 

පාරිභෝගිකයාගේ පැත්තෙන් බැලුවත් මිල එකම වුවත්, භාණ්ඩය වඩාත්ම වටිනා සේ සලකන පාරිභෝගිකයන්ගේ අතිරික්තය වඩා වැඩියි. පාරිභෝගිකයෙකු විසින් භාණ්ඩයට ලබා දෙන සාපේක්ෂ වටිනාකම අඩු වෙද්දී ඇගේ පාරිභෝගික අතිරික්තයද ටිකෙන් ටික අඩු වෙනවා. ඉහත කොළ පාට ත්‍රිකෝණයේ වර්ග ඵලය සියලුම පාරිභෝගිකයින්ගේ අතිරික්ත වටිනාකම් වල එකතුවට සමානයි.

වෙළඳපොළ මිල නිදහස් වෙළඳපොළක ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය හරහා තීරණය වෙද්දී සැපයුම්කරුවෙකුට ලැබෙන ලාබය තීරණය වෙන්නේ සැපයුම්කරුවාගේ සැපයුම් පිරිවැය කොපමණද කියන එක මතයි. පිරිවැය වැඩි සැපයුම්කරුවෙකුට ලැබෙන්නේ අඩු ලාබයක්. පිරිවැය අඩු සැපයුම්කරුවෙකුට වැඩි ලාබයක් ලැබෙනවා. පහත රූප සටහනේ නිල් පාට ත්‍රිකෝණයේ වර්ග ඵලය සියළුම සැපයුම්කරුවන්ගේ ලාබ වල එකතුවට සමානයි. ත්‍රිකෝණයේ උසම කොටසේ ඉන්නේ අඩුම පිරිවැකට භාණ්ඩය සපයන, ඒ නිසාම වැඩිම ලාබයක් ගන්න සැපයුම්කරුවෝ. සැපයුම්කරුවෙකුගේ පිරිවැය වැඩි වෙද්දී ලාබය ටිකෙන් ටික අඩු වෙලා පිරිවැය සමතුලිත මිලට සමාන වෙද්දී ලාබයක් නැතුව යනවා. වැදගත්ම කරුණ වෙළඳපොළ මිල එකක් වුවත් එක් එක් සැපයුම්කරුවා එම මිලට භාණ්ඩය විකුණා ලබන ලාබ සමාන නැති බව. 

පාරිභෝගිකයාගේ පැත්තෙන් බැලුවත් මිල එකම වුවත්, භාණ්ඩය වඩාත්ම වටිනා සේ සලකන පාරිභෝගිකයන්ගේ අතිරික්තය වඩා වැඩියි. පාරිභෝගිකයෙකු විසින් භාණ්ඩයට ලබා දෙන සාපේක්ෂ වටිනාකම අඩු වෙද්දී ඇගේ පාරිභෝගික අතිරික්තයද ටිකෙන් ටික අඩු වෙනවා. ඉහත කොල පාට ත්‍රිකෝණයේ වර්ග ඵලය සියලුම පාරිභෝගිකයින්ගේ අතිරික්ත වටිනාකම් වල එකතුවට සමානයි.

දැන් මේ රූප සටහනේ නිල් හා කොළ පැහැති ත්‍රිකෝණ දෙකේ වර්ග ඵල වල එකතුවෙන් පෙන්වන්නේ නිදහස් වෙළඳපොළ ගනුදෙනු නිසා කවුරු හෝ පුද්ගලයෙකුට ලැබුණු ලාබ වල එකතුව. ධනවාදයේ මූලධර්ම අනුව සියලු මිනිස්සු සමාන සේ සලකනවා මිසක් ඔවුන් ධනපතියන් හා නිර්ධන පංතිකයින් ලෙස, ජාතීන් අනුව, දේශිකයින් හා විදේශිකයින් ලෙස හෝ ආණ්ඩුවට බලයට එන්න උදවු කළ අය හා නොකළ අය ආදී ලෙස බෙදා වෙන් කර වෙන වෙනම සලකන්නේ නැහැ. ඒ නිසා, සැපයුම්කරුවන් ගොඩේ ඉන්නේ කවුද පාරිභෝගිකයින් ගොඩේ ඉන්නේ කවුද කියන එක වැදගත් කරුණක් නෙමෙයි. ධනවාදය අනුව කාර්යක්ෂමතාවය ලෙස සලකන්නේ කාට හෝ කෙනෙකුට ලැබෙන අතිරික්ත වල එකතුව හැකි තරම් වැඩි කරන එකයි.

නිදහස් වෙළඳපොළක මිල ඉහත විස්තර කළ සමතුලිත මිලෙන් වෙනස් වන හැම විටකම සමස්ත අතිරික්තයේ කිසියම් හෝ අඩු වීමක් සිදු වෙනවා. සැපයුම්කරුවන්ගේ ලාබයෙන් රුපියලක් අඩු කරලා ඒ රුපියල පාරිභෝගිකයන්ට ලබා දිය හැකිනම් කාර්යක්ෂමතාවය අඩු වීමක් වෙන්නේ නැහැ. නමුත්, එහෙම කරන්න බැහැ. පාරිභෝගික අතිරික්තය රුපියලකින් වැඩි කරන්න සැපයුම්කරුවන්ගේ ලාබ රුපියලකට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කරන්න වෙනවා. මේ විදිහටම සැපයුම්කරුවන්ගේ ලාබ රුපියලකින් වැඩි කරන්නනම් පාරිභෝගිකයන්ගේ අතිරික්තය රුපියලකට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කරන්න වෙනවා. මේ අවස්ථා දෙකේදීම වෙන්නේ සමස්තයක් ලෙස අතිරික්ත වටිනාකම් ජනනය වීම සීමා වීමයි. නිදහස් වෙළඳපොළකට මැදිහත් වීම හැම විටකම වාගේ අකාර්යක්ෂම වන්නේ ඒ නිසයි.

ඉහත විස්තර කළ ආකාරයේ නිදහස් වෙළඳපොළ සමතුලිතතාවයකදී සමස්ත අතිරික්තය හා එහි සංරචක දෙක වන පාරිභෝගික අතිරික්තය හා සැපයුම්කරුවන්ගේ ලාබ කොපමණද කියන එක තීරණය වන්නේ කොහොමද? ඉල්ලුම් හා සැපයුම් වක්‍ර වල තිරස් අක්ෂය හා සමතුලිතතාව අතර කොටසේ බෑවුම වැඩි වෙද්දී ත්‍රිකෝණයේ අදාළ ත්‍රිකෝණයේ වර්ග ඵලයද වැඩි වන බව ඔබට පෙනෙනවා ඇති. අපේ උදාහරණයේ සැපයුම් වක්‍රයේ බෑවුම අඩුයි. ඉල්ලුම් වක්‍රයේ බෑවුම වැඩියි. ඒ නිසා සැපයුම්කරුවන්ගේ ලාබ අඩුයි. පාරිභෝගික අතිරික්තය වැඩියි.

ඉහත විස්තර කළ ආකාරයේ නිදහස් වෙළඳපොළ සමතුලිතතාවයකදී සමස්ත අතිරික්තය හා එහි සංරචක දෙක වන පාරිභෝගික අතිරික්තය හා සැපයුම්කරුවන්ගේ ලාබ කොපමණද කියන එක තීරණය වන්නේ කොහොමද? ඉල්ලුම් හා සැපයුම් වක්‍ර වල තිරස් අක්ෂය හා සමතුලිතතාව අතර කොටසේ බෑවුම වැඩි වෙද්දී ත්‍රිකෝණයේ අදාළ ත්‍රිකෝණයේ වර්ග ඵලයද වැඩි වන බව ඔබට පෙනෙනවා ඇති. අපේ උදාහරණයේ සැපයුම් වක්‍රයේ බෑවුම අඩුයි. ඉල්ලුම් වක්‍රයේ බෑවුම වැඩියි. ඒ නිසා සැපයුම්කරුවන්ගේ ලාබ අඩුයි. පාරිභෝගික අතිරික්තය වැඩියි.

ඉල්ලුම් වක්‍රයේ හෝ සැපයුම් වක්‍රයේ බෑවුම් වලින් අදහස් වන්නේ කුමක්ද? 

ඉල්ලුම් වක්‍රයේ බෑවුම අඩුනම් එයින් අදහස් වන්නේ මිල සුළු වශයෙන් හෝ වෙනස් වෙද්දී ඉල්ලුම විශාල ලෙස වෙනස් වෙනවා කියන එකයි. ඒ කියන්නේ පාරිභෝගිකයින්ගේ මිල සංවේදීතාවය ඉතාම වැඩියි කියන එකයි. ඉල්ලුම් වක්‍රයේ බෑවුම වැඩිනම් එයින් අදහස් වන්නේ පාරිභෝගිකයින් එතරම් මිල සංවේදී නැති බවයි.

මිල සංවේදී නැති වීමේ ආන්තීය තත්ත්වය යටතේ ඉල්ලුම් වක්‍රය සිරස් රේඛාවකට ආසන්න එකක් වෙන්න පුළුවන්. එයින් අදහස් වෙන්නේ මිල කොයි තරම් අඩු වැඩි වුනත් මිල දී ගන්නා ප්‍රමාණය වෙනස් නොවන බවයි. ආර්ථික විද්‍යාවේදී මෙවැනි තත්ත්වයක් හඳුන්වන්නේ අනම්‍ය ඉල්ලුමක් ලෙසයි. හාල්, සීනි වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ වලට තිබෙන ඉල්ලුම සෑහෙන තරමකට අනම්‍ය ඉල්ලුමක්. 

මේ විදිහටම සැපයුම් වක්‍රයේ බෑවුම අඩුනම් එයින් අදහස් වන්නේ මිල සුළු වශයෙන් හෝ වෙනස් වෙද්දී සැපයුම විශාල ලෙස වෙනස් වෙනවා කියන එකයි. ඒ කියන්නේ සැපයුම්කරුවන්ගේ මිල සංවේදීතාවය ඉතාම වැඩියි කියන එකයි. සැපයුම් වක්‍රයේ බෑවුම වැඩිනම් එයින් අදහස් වන්නේ සැපයුම්කරුවන් එතරම් මිල සංවේදී නැති බවයි.

ඉල්ලුම් වක්‍රයේ බෑවුම තීරණය වන්නේ අදාළ භාණ්ඩයට පාරිභෝගිකයින් විසින් වටිනාකම් දෙන ආකාරය අනුව. සැපයුම් වක්‍රයේ බෑවුම තීරණය වන්නේ නිෂ්පාදන තාක්ෂණයේ ස්වභාවය අනුව. මීට අමතරව ගැනුම්කරුවන්ගේ හෝ සැපයුම්කරුවන්ගේ ඒකාධිකාර හෝ කතිපයාධිකාර ඇති විටද මිල සංවේදීතාවය අඩු වෙනවා. මේවා සාමාන්‍යයෙන් පහසුවෙන් වෙනස් නොවන දේවල්. ඒ නිසා, නිදහස් වෙළඳපොළ සමතුලිතතාවයකදී පාරිභෝගිකයින් හා සැපයුම්කරුවන් අතර අතිරික්තය බෙදී යන ආකාරයත් බොහෝ දුරට ස්වභාවික ලෙස තීරණය වන දෙයක් කියා කියන්න පුළුවන්.

රජයයන්ට ඇතැම් විට මේ ස්වභාවික සමතුලිතතාවය වෙනස් කරන්න අවශ්‍ය වෙනවා. ඇතැම් විට සමාජවාදී හෝ ජාතිකවාදී දේශපාලනික අදහස් එයට පාදක වෙනවා. මෙහිදී වෙන්නේ බලයේ සිටින කණ්ඩායමට සහයෝගය දෙන පිරිසකට වාසියක් වන ආකාරයට වෙළඳපොළ සමතුලිතතාවය වෙනස් කිරීමක්. එවැනි මැදිහත්වීමක් හැම විටම අකාර්යක්ෂම වුවත් සමහර අවස්ථා වල මෙවැනි අකාර්යක්ෂමතාවයක් නඩත්තු කිරීම රටේ වැඩි දෙනෙකුගේ කැමැත්ත වෙන්න පුළුවන්. සමහර අවස්ථා වල කියා කිවුවත් මෙවැනි තත්ත්වයන් සුලභයි. සමහර රටවල මෙය සාමාන්‍ය තත්ත්වයයි.

උදාහරණයක් විදිහට හාල්, සීනි ආදී ඇතැම් පාරිභෝගික භාණ්ඩ හා අදාළව මේ දවස් වල ලංකාවේ ක්‍රියාත්මක වන මිල පාලනය පෙන්වා දෙන්න පුළුවන්. මිල පාලනයේ ඉලක්කය පාරිභෝගිකයින්ට වාසියක් සැලසීම කියා අපි හිතමු. දැන් පාරිභෝගිකයින්ට මේ වාසිය සලසද්දී සැපයුම්කරුවන්ට අනිවාර්යයෙන්ම පාඩුවක් වෙනවා. පාඩුවක් කියා කියන්නේ ලාබ අඩු වීමක්.

අපි හිතමු සීනි කිලෝවක වෙළඳපොළ සමතුලිත මිල රුපියල් 110ක් කියලා. දැන් මේ මිල යටතේ ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. අපි හිතමු මිල රුපියල් 110ක් වෙද්දී ඉල්ලුම වගේම සැපයුමත් සීනි කිලෝග්‍රෑම් මිලියන 600ක් කියලා. මෙහෙම තියෙද්දී ආණ්ඩුව විසින් සීනි වල උපරිම සිල්ලර මිල රුපියල් 85ක් කළාම වෙන්නේ කුමක්ද?

පළමු කොටසෙන් අපි ඉගෙන ගත්ත විදිහට මිල අඩු වෙද්දී ඉල්ලුම වැඩි වෙනවා. දැන් මිල සීනි කිලෝවක රුපියල් 110 සිට 85 දක්වා අඩු වෙද්දී ඉල්ලුම සීනි කිලෝග්‍රෑම් මිලියන 600ට වඩා වැඩි විය යුතුයිනේ. අපි හිතමු මිල රුපියල් 85 වෙද්දී ඉල්ලුම කිලෝග්‍රෑම් මිලියන 625 දක්වා වැඩි වෙනවා කියලා. 

දෙවන කොටසින් අපි ඉගෙන ගත්ත විදිහට මිල අඩු වෙද්දී සැපයුමත් අඩු වෙනවා. දැන් මිල සීනි කිලෝවක රුපියල් 110 සිට 85 දක්වා අඩු වෙද්දී සැපයුම සීනි කිලෝග්‍රෑම් මිලියන 600ට වඩා අඩු විය යුතුයිනේ. අපි හිතමු මිල රුපියල් 85 වෙද්දී කිලෝග්‍රෑම් මිලියන 550 දක්වා අඩු වෙනවා කියලා. 


සමස්ත ප්‍රතිඵලය කුමක්ද? මිල රුපියල් 85ට සීමා කළ විට ඉල්ලුම සීනි කිලෝග්‍රෑම් මිලියන 625 දක්වා වැඩි වෙද්දී සැපයුම කිලෝග්‍රෑම් මිලියන 550 දක්වා අඩු වෙලා. දැන් වෙළඳපොළේ සීනි කිලෝග්‍රෑම් මිලියන 75ක හිඟයක් තිබෙනවා. මිල රුපියල් 85 වුනත් කැමති කෙනෙකුට කැමති වෙලාවක මිල දී ගන්න සීනි නැහැ. රුපියල් 85ට සීනි විකුණන තැනකින් සීනි ගන්න පෝලිමේ ඉන්න ඕනෑ. එහෙම පෝලිමේ ඉඳලා සීනි මිල දී ගන්න කෙනෙකුට රුපියල් 110 - 85 = 25ක වාසියක් වෙනවා. නමුත් පෝලිමේ සිටීමේ "මිල" වියදමක් ලෙස එකතු වෙනවා.

කරන්න වෙන වැඩක් නැති "පෝලිමේ මැද- හිටියට පාඩු වෙනවද- ඔය තරුණියන් මැද- ඔහෙලට සොමියක් නැද්ද" කියලා හිතන අයටනම් ඔය වියදම වියදමක් වගේ නොපෙනෙන්න පුළුවන්. හැබැයි සීනි පෝලිම් වල රස්තියාදු වෙනවට වඩා වෙන කරන්න වැඩ තියෙන අයට ඔය රස්තියාදුව වියදමක්. පෝලිමේ රස්තියාදු වෙන එකේ "පිරිවැය" රුපියල් 25කට වඩා වැඩි කෙනෙක්ට සීනි මිල රුපියල් 85 දක්වා අඩු කළ එකෙන් අවාසියක් මිසක් වාසියක් වෙන්නේ නැහැ.

ප්‍රශ්නය ඒක විතරක් නෙමෙයි. පෝලිමේ ඉන්න වෙලාව තියෙන අය පෝලිමේ ගිහින් සීනි මිල දී ගන්නවා. නමුත් සීනි සැපයුම කිලෝග්‍රෑම් මිලියන 550ක් පමණක් නිසා වෙළඳපොළේ සීනි ඉතා ඉක්මණින් ඉවර වෙනවා. තවත් කිලෝග්‍රෑම් මිලියන 75කට ඉල්ලුම තිබෙනවා. නමුත් රාක්ක හිස්. පෝලිමේ රස්තියාදු වීමේ ආවස්ථික පිරිවැය අත ඇරියත් සීනි මිල දී ගන්න හිතාගෙන හිටි එහෙත් එම අවස්ථාව නොලැබුණු පිරිසකගේ පාරිභෝගික අතිරික්තය දැන් ශුන්‍ය වෙලා.

මිල පාලනය නිසා සැපයුම්කරුවන්ගේ ලාබ අඩු වෙනවා කියන එක ඉතාම පැහැදිලි දෙයක්නේ. මිල පාලනය කරන්නේම ඒකටනේ. මිල පාලනයෙන් පස්සේ මුලින් තිබුණු සැපයුම්කරුවන්ගේ ලාබයෙන් ඉහත රූප සටහනේ රතු පාට ඉරෙන් උඩ කොටස ඔවුන්ට අහිමි වෙනවා. එයින් කොටසක්, එනම් මිල රුපියල් 110 හා 85 අතරත්, ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 0 හා 550ත් අතර කොළ පාට චතුරශ්‍ර කොටස පාරිභෝගිකයින්ට ලැබෙනවා. පෝලිමේ සිටීමේ පිරිවැය අමතක කළොත් මෙය සැපයුම්කරුවන්ට පාඩුවක් වුනත් පාරිභෝගිකයින්ට වාසියක්. නමුත්, සැපයුම්කරුවන්ගේ ලාබ වලින් අඩුවෙන රුපියල් 110 මට්ටමට යටින්, කිලෝග්‍රෑම් මිලියන 550ට දකුණෙන් හා සැපයුම් වක්‍රයට උඩින් පිහිටි කහ පාට ත්‍රිකෝණ කොටස කාටවත්ම නැතුව යනවා.

කාටවත්ම නැතුව යන්නේ සැපයුම්කරුවන්ගේ ලාබ වලින් අඩු වී පාරිභෝගියන්ටද නොලැබෙන ඉහත කොටස පමණක් නෙමෙයි. මිල පාලනය නිසා කලින් තිබුණු පාරිභෝගික අතිරික්තයෙන් කොටසක්ද ඔවුන්ට අහිමි වෙනවා. ඒ භාණ්ඩ හිඟය නිසා අහිමි වී යන කලින් තිබුණු පාරිභෝගික අතිරික්තය. පහත රූපයේ කහ පාටින් ලකුණු කර තිබෙන්නේ මේ විදිහට මිල පාලනය නිසා කාටවත්ම නොලැබී අතුරුදහන් වී යන සමස්ත  අතිරික්තයයි. සමාජවාදයේ අකාර්යක්ෂමතාවයට හේතුව නිදහස් වෙළඳපොළට මැදිහත්වීම නිසා ඔය විදිහට කාටවත්ම නොලැබී අතුරුදහන් වී යන අතිරික්තයයි.

මිල පාලනය නිසා සැපයුම්කරුවන්ගේ ලාබ අඩු වන බව වගේම සමස්තයක් ලෙස සැපයුම්කරුවන්ගේ හා පාරිභෝගිකයින්ගේ අතිරික්තයේ අඩු වීමක්ද අනිවාර්යයෙන්ම සිදු වන බව දැන් ඉතාම පැහැදිලියිනේ. ඒ අවාසි තිබුණත් පාරිභෝගිකයින්ට වාසියක් වෙන්නේ නැද්ද? දැන් ඔය වැඩේ කරන්නේම පාරිභෝගිකයින් ගැන හිතලනේ. 

සැපයුම්කරුවන්ගේ හා සමස්ත කාර්යක්ෂමතාවයේ වියදමින් පාරිභෝගිකයින්ට වාසියක් වෙන්න පුළුවන්. නමුත් එය වුවත් අනිවාර්ය නැහැ. ඉහත රූපයේ කොළ පාට චතුරශ්‍ර කොටස පාරිභෝගික අතිරික්තයට එකතු වෙනවා. කලින් රුපියල් 110ට සීනි ගත්ත අයට දැන් රුපියල් 85ට සීනි ලැබෙද්දී වාසියක් නැති වෙන්න විදිහක් නැහැනේ. ඔය වාසිය හරියටම ගණන් හදන්නත් පුළුවන්. කිලෝවකට රුපියල් 25 බැගින් කිලෝ මිලියන 550කින් ලැබෙන වාසිය. 

හැබැයි ඒ එක්කම කලින් රුපියල් 110 බැගින් සීනි මිල දී ගත් යම් පිරිසකට දැන් කීයක් දීලාවත් ගන්න වෙළඳපොළේ සීනි නැහැ. කහ පාටින් ලකුණු කර ඇති කොටසේ උඩ ත්‍රිකෝණයේ වර්ග ඵලය මිල පාලනය හේතුවෙන් ඒ විදිහට සීනි නොලැබී යන පාරිභෝගිකයන්ට කලින් ලැබුණු, මිල පාලනය හේතුවෙන් අහිමි වන පාරිභෝගික අතිරික්තයයි. මිල පාලනයෙන් සමස්තයක් ලෙස පාරිභෝගික අතිරික්තය වැඩි වන්නේ කොළ පාට චතුරශ්‍රයේ වර්ග ඵලය කහපාට ත්‍රිකෝණයේ වර්ග ඵලයට වඩා වැඩිනම් පමණයි. එසේ නැත්නම් සැපයුම්කරුවන්ගේ ලාබ අඩු වන අතරම පාරිභෝගික අතිරික්තයද අඩු වෙනවා. ඊට අමතරව පෝලිම් වල රස්තියාදු වීමේ ආවස්ථික පිරිවැයද පාරිභෝගික අතිරික්තයෙන් අඩු වෙනවා.

Monday, March 15, 2021

අන්දරේ සීනි කෑ හැටි (දෙවන කොටස)

අන්දරේට වගේ හැමෝටම රජවාසල සීනි කන්න ලැබෙන්නේ නැහැ. සීනි කන්නනම් සීනි වල මිලත් ගෙවන්න වෙනවා. නිදහස් වෙළඳපොලක සීනි මිල තීරණය වෙන්නේ කොහොමද? ඉල්ලුම හා සැපයුම මත කියා සරලව කියන්න පුළුවන්. ආර්ථික විද්‍යාවේ මූලික පාඩමක් වුනත් ඔය ඉල්ලුම හා සැපයුම ගැන කතා කරන හැමෝම හරියටම මේ ගැන දන්නවද?

පළමු කොටසින් අපි ඉල්ලුම් වක්‍රය ගැනත්, මිල වැඩි වෙද්දී ඉල්ලුම අඩුවීම ඉල්ලුම් වක්‍රයෙන් නිරූපණය වන ආකාරයත්, පාරිභෝගික අතිරික්තය කියන සංකල්පය ගැනත්, මිල වැඩි වෙද්දී පාරිභෝගික අතිරික්තය අඩු වන ආකාරය ඉල්ලුම් වක්‍රය තුළ නිරූපණය වන ආකාරයත් කතා කළා. දෙවන කොටසෙන් අපි සැපයුම් වක්‍රය ගැන ඉගෙන ගනිමු.

සීනි, හාල්, පොල් වගේ පාරිභෝගික භාණ්ඩයකට ඉල්ලුමක් තිබුණු පමණින් පාරිභෝගිකයෙක්ට එම භාණ්ඩය හිමි කරගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. භාණ්ඩය සපයන්න කැමති සැපයුම්කරුවෙකුත් ඉන්න ඕනෑ. සැපයුම්කරුවෙක් පාරිභෝගිකයෙකුට භාණ්ඩයක් සපයන්නේ ඇයි? තමන්ට ලාබයක් ගන්න. නැතුව වෙන මුකුත් අමාරුවකට නෙමෙයිනේ. 

සැපයුම්කරුවා සමහර විට භාණ්ඩයේ නිෂ්පාදකයාම වෙන්න පුළුවන්. නැත්නම් අතරමැදියෙක් වෙන්න පුළුවන්. බොහෝ විට දෙවැන්න.

නිෂ්පාදකයෙක්ගෙන් භාණ්ඩයක් මිල දී ගන්න ගණනටම එය පාරිභෝගිකයාට විකුණලා අතරමැදියෙකුට ලාබයක් ලබන්න බැහැ. කීයක් හරි වැඩියෙන් විකුණන්න වෙනවා. කීයක් වැඩියෙන්ද? එහෙම ගාණක් කියන්න බැහැ. එය සාධක ගණනාවක් මත තීරණය වන දෙයක්. නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයා දක්වා භාණ්ඩයක් ලබා දෙන අතරමැදි ක්‍රියාවලියේ විවිධ වියදම් තිබෙනවා. මේ වියදම් අතරමැදියා විසින් පියවා ගත යුතුයි.

නිෂ්පාදකයාගේ ලාභය = මිල - පිරිවැය 

භාණ්ඩයක වෙළඳපොළ මිල ඉහළ යද්දී එම මිලට භාණ්ඩය විකුණා අතරමැදියෙකුට ලැබිය හැකි ලාභ ඉහළ යනවා. ඒ නිසා මිල ඉහළ යද්දී වෙළඳපොළකට සැපයුම්කරුවන් වැඩි වැඩියෙන් ආකර්ශනය වෙනවා. සැපයුම ඉහළ යනවා. රුපියල් 85ට සීනි නොසපයන සැපයුම්කරුවන් මිල රුපියල් 120 වෙද්දී සිනි සපයන්න පටන් ගන්නවා. ඉල්ලුම් වක්‍රයේ බෑවුම පහළට නැඹුරු වූ එකක් වුවත් සැපයුම් වක්‍රයේ බෑවුම ඉහළට නැඹුරු වූ එකක්. පහත රූපයේ වගේ.

තිරස් අක්ෂයෙන් පෙන්වන්නේ කිසියම් මිලකට සියළුම සැපයුම්කරුවන් විසින් සපයන සීනි හෝ වෙනත් එවැනි භාණ්ඩයක සැපයුම් ප්‍රමාණය. සිරස් අක්ෂයෙන් භාණ්ඩයේ මිල.

සැපයුම් ප්‍රමාණය තීරණය වන්නේ පිරිවැය මත. ඒ කියන්නේ ඉහත රූප සටහනේ ඇති නිදර්ශනයේ රුපියල් 110කට නොවැඩි මිලකට සැපයිය හැකි උපරිම සීනි ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 600ක් පමණයි. කවර හෝ හේතුවක් නිසා ඒ මිලට ඊට වඩා සීනි සපයන්න බැහැ. එහෙම පුළුවන්කමක් තිබෙනවානම් ඒ පුළුවන් කෙනාට රුපියල් 110 බැගින් තවත් සීනි සපයා ලාබයක් ලබන එක නොකර සිටින්න හේතුවක් නැහැ. ඒ නිසා ඒ හේතු මොනවාද කියා හොයන්න මහන්සි වෙන්න අවශ්‍ය නැහැ. 

සීනි මිල රුපියල් 120 වූ විට තවත් සීනි කිලෝග්‍රෑම් මිලියන 50ක ප්‍රමාණයක් සැපයිය හැකි වෙනවා. ඒ සීනි කිලෝග්‍රෑම් මිලියන පණහේ පිරිවැය රුපියල් 110ට වඩා වැඩි වුවත් රුපියල් 120ට වඩා අඩුයි. ඒ නිසා රුපියල් 110ට විකුණා ලාබ ගන්න බැරි වුනත් රුපියල් 120ට විකුණා ලාබ ගන්න පුළුවන්. එකම භාණ්ඩයක්, එකම ගුණාත්මක භාවයකින් යුතුව නිපදවා වෙළඳපොළට දමන්න සැපයුම්කරුවන් දෙදෙනෙකුට යන වියදම හැම විටම සමාන නැහැ. ඇතැම් සැපයුම්කරුවන් වඩා කාර්යක්ෂමයි. ඇතැම් අය සාපේක්ෂව අකාර්යක්ෂමයි. 

මිල අඩු මට්ටමක තිබෙන විට භාණ්ඩයක් සපයා ලාබ ලැබිය හැක්කේ වඩාත්ම කාර්යක්ෂම සැපයුම්කරුවන්ට පමණයි. එහෙත් මිල ඉහළ යද්දී සාපේක්ෂව අකාර්යක්ෂම සැපයුම්කරුවන්ටත් කිසියම් ලාබයක් ලැබීමේ අවස්ථාව හිමි වෙනවා. සැපයුම් වක්‍රය උඩු අතට බෑවුම් වන්නේ ඒ නිසයි. මේ ක්‍රියාවලිය තුළදී නිසගයෙන්ම මුලින් වෙළඳපොළේ සිටි වඩා කාර්යක්ෂම සැපයුම්කරුවන්ගේ ලාබද ඉහළ යනවා. එයට හේතුව මිල ඉහළ ගියත් ඔවුන්ගේ පිරිවැය ඉහළ නොයාමයි.

භාණ්ඩයක මිල ඉහළ යද්දී සැපයුම්කරුවන්ගේ ලාබ ඉහළ යාම ක්‍රම දෙකකට සිදු වෙනවා. පළමුව මිල ඉහළ යාමට පෙර විකුණූ සෑම ඒකකයකටම දැන් කලින් ලැබුණාට වඩා වැඩි මිලක් ලැබෙනවා. පහත රූප සටහනේ කොළ පැහැති චතුරශ්‍රයෙන් පෙන්වන්නේ එසේ වැඩි වන ලාබ ප්‍රමාණයයි. ඊට අමතරව සැපයුම් ප්‍රමාණය ඉහළ යන නිසා රූපයේ නිල් පැහැති ත්‍රිකෝණයෙන් පෙන්වන ලාබ කොටසද එකතු වෙනවා. ඒ කොටසේ ඉන්නේ අළුතෙන් වෙළඳපොළට එකතු වූ සාපේක්ෂව අකාර්යක්ෂම සැපයුම්කරුවන් හෝ සැපයුම්.

හැබැයි ඉහත කී පරිදි මිල ඉහළ යාමේදී සැපයුම්කරුවන්ගේ ලාබ ඉහළ යාම සඳහා භාණ්ඩයට ප්‍රමාණවත් ප්‍රමාණවත් ඉල්ලුමක් තිබිය යුතුයි. අපි පළමු කොටසෙන් පැහැදිලි කරගත් පරිදි භාණ්ඩයක මිල ඉහළ යද්දී ඉල්ලුම අඩු වෙනවා. මිල ඉහළ යද්දී සැපයුම්කරුවෙකුට විකිණිය හැකි භාණ්ඩ ප්‍රමාණය සීමාවීමක් වෙනවා. ඒ නිසා, සැපයුම්කරුවෙකුට ඔය විදිහටම ලාබ වැඩි කරගන්න බැහැ.

එහෙමනම් කොයි තරම් ලාබ වැඩි කරගන්න පුළුවන්ද? එය දැන ගන්නනම් අපට ඉල්ලුම් සැපයුම් සමතුලිතාවය හොයා ගන්න වෙනවා. ඉල්ලුම් සැපයුම් සමතුලිතාවය තෙවන කොටසින් සාකච්ඡා කරමු.

Sunday, March 14, 2021

අන්දරේ සීනි කෑ හැටි (පළමු කොටස)

අන්දරේගේ කතාව ගොඩක් ප්‍රසිද්ධයිනේ. රජ වාසල මිදුලේ පැදුරු වල සීනි වනා තිබුණා. රජ කාලේ ලංකාවේ සීනි හැදුවාද කියලා අහන්න එපා. ආනයනික සීනිද කියලා අහන්නත් එපා. 

සීනි ගැන අන්දරේට හොඳට තේරෙනවා. ඒ වුනාට නොතේරුණා වගේ රජ්ජුරුවන්ගෙන් අහනවා. තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ වෙන්න බැහැ.

"රජතුමනි, අර පැදුරු වල මොනවද වනල තියෙන්නේ?"

රජා වෙනුවෙන් උත්තර දෙන්න ලේකම් කෙනෙක් නැති නිසා රජාම උත්තර දෙනවා. රජවරු කොහොමත් ඇත්ත කියනවට වැඩිය බොරු කියලා මිනිස්සුන්ව රවට්ටන්න කැමතියිනේ.

"මේ පස් වගයක් වේලෙන්න දැම්මා, අන්දරේ!"

"අනේ තොගෙ පස්. තෝ රජා නිසා හිතනව ඇති තෝ ඇරෙන්න අනෙක් හැම මිනිහගේම ඔලුවෙ තියෙන්නෙ පස් කියලා!" අන්දරේ හිතනවා. හැබැයි කියන්නෙ නැහැ. ඕවා කියන්න ගිහින් ආදාහනය වෙන්න වෙයිද භූමදානය වෙන්න වෙයිද කියලා කවුද දන්නේ? 

අන්දරේ මෝඩයා වගේ ඉඳලා පුතානෝවත් හවුල් කරගෙන සීනි වලින් ගොඩ යන්න ගේමක් සෙට් කරනවා. "උඹේ කටෙත් පස් මගේ කටෙත් පස්" කිය කියා පුතා එක්ක පෙරලි පෙරලී සීනි කනවා. හැබැයි අන්දරේගේවත් පුතාගේවත් කටේ පස් වැටෙන්නේ නැහැ. රජාට පාඩුවක් වෙන්නෙත් නැහැ. ඔය සීනි වල පාඩුව අන්තිමට රජාව නඩත්තු ක‍රන මිනිස්සුන්ටයි.

අන්දරේට වගේ හැමෝටම රජවාසල සීනි කන්න ලැබෙන්නේ නැහැ. සීනි කන්නනම් සීනි වල මිලත් ගෙවන්න වෙනවා. නිදහස් වෙළඳපොලක සීනි මිල තීරණය වෙන්නේ කොහොමද? ඉල්ලුම හා සැපයුම මත කියා සරලව කියන්න පුළුවන්. ආර්ථික විද්‍යාවේ මූලික පාඩමක් වුනත් ඔය ඉල්ලුම හා සැපයුම ගැන කතා කරන හැමෝම හරියටම මේ ගැන දන්නවද?

අපි පටන් ගනිමු ඉල්ලුම් වක්‍රයෙන්. සැපයුමට පස්සේ එමු. 

ඉල්ලුම් වක්‍රය කියන එක ඉහත පෙන්වා ඇති ආකාරයේ එකක්. තිරස් අක්ෂයෙන් පෙන්වන්නේ සීනි හෝ වෙනත් එවැනි භාණ්ඩයකට තිබෙන ඉල්ලුම. සිරස් අක්ෂයෙන් භාණ්ඩයේ මිල.

ඉල්ලුම් වක්‍රයේ හැඩය මෙහි තිබෙන හැඩයම විය යුතු නැහැ. එහෙත්, එකම එක අවශ්‍යතාවයක් තිබෙනවා. වක්‍රය පහළට බෑවුම් විය යුතුයි. ඒ ඇයි?

සීනි වගේ පාරිභෝගික භාණ්ඩයක මිල ඉහළ යද්දී භාණ්ඩයට තිබෙන ඉල්ලුම අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නැහැ. මම හිතන්නේ මේක බොහෝ දෙනෙක්ට පහසුවෙන් එකඟ විය හැකි සරල කරුණක්. ඉල්ලුම හා අදාළව අපි මේ උපකල්පනය හැර වෙන බරපතල උපකල්පන කිසිවක් කරන්නේ නැහැ.

අපි හිතමු කවුරු හෝ කෙනෙක් පාලන මිලට සීනි කිලෝ එකක් ගන්න රුපියල් සීයක් අරගෙන කඩේ ගියා කියලා. කඩේ සීනි කිලෝ එකක් එකසිය විස්සයි. අසූපහට සීනි තියෙන කඩයක් හොයන එක තාප්ප වල චිත්‍ර ඇඳපු කට්ටිය හොයනවටත් වඩා අමාරුයි. රුපියල් සීයට සීනි කිලෝ එකක් ගන්න බැහැනේ. ඉතිං හැටක් දීලා සීනි පන්සීයක් අරගෙන ගෙදර යන්න වෙනවා. හැමෝටම ඔය වැඩේ වුනේ නැතත් සීනි මිල ඉහළ යන හැම වෙලාවකම යම් කිසි පිරිසකට තමන් මිල දී ගන්න සීනි ප්‍රමාණය අඩු කරන්න සිදු වෙනවා. ඒ නිසා සමස්තයක් ලෙස සීනි වලට තිබෙන ඉල්ලුම අඩු වෙනවා. ඉල්ලුම් වක්‍රය පහළට බෑවුම් වෙනවා.

සීනි කිලෝ එකක මිල අසූ පහේ ඉඳලා එකසිය විස්සට ගියාම පාරිභෝගිකයින්ට පාඩුවක් වෙනවද? 

මේක ටිකක් පරිස්සමෙන් තේරුම් ගත යුතු කරුණක්. අසූ පහේ ඉඳලා එකසිය විස්සට සීනි මිල වැඩි වුනහම කවුරු හෝ කෙනෙක් තමන්ගේ සීනි පරිභෝජනය කිලෝ එකේ ඉඳලා ග්‍රෑම් පන්සීය දක්වා අඩු කරන්නේ ඇයි?

මේ පාරිභෝගිකයාට පළමු සීනි ග්‍රෑම් පන්සීය අඩුම වශයෙන් රුපියල් හැටක් වටිනවා. නමුත් දෙවන ග්‍රෑම් පන්සීය රුපියල් හැටක් වටින්නේ නැහැ. එහෙම වටිනවානම් කරාබු දෙක උගස් කරලා හරි එකසිය විස්ස ගෙවලා සීනි කිලෝ එකක් ගන්නවා. පළමු සීනි ග්‍රෑම් පන්සීය හා දෙවන සීනි ග්‍රෑම් පන්සීය අතර කිසිම භෞතික වෙනසක් නැහැ. නමුත්, වටිනාකම් කියන ඒවා මිනිස්සුන්ට සාපේක්ෂ දේවල් මිසක් වාස්තවික දේවල් නෙමෙයි. එහෙම හිතුවේ සමාජ විද්‍යාවන් භෞතික විද්‍යාව පස්සේ නොන්ඩි ගගහා ගිය යුගයේ. තවමත් ඒ අතීතයේ ජීවත් වන අය ඇර වෙන කවුරුවත් දැන් එහෙම හිතන්නේ නැහැ. 

මේ උදාහරණයේදී පාරිභෝගිකයා කඩේට ආවේ රුපියල් සීයක් අරගෙනයි. නමුත්, රුපියල් පන්සීයක් අරගෙන ආවත් ඔය වැඩේම වෙන්න පුළුවන්. සීනි අසූපහට තිබුණානම් කිලෝ එකක් ගන්නවා. එකසිය විස්සට ගියාම ගන්නේ සීනි පන්සීයක් පමණයි. මොකද පාරිභෝගිකයාට සාපේක්ෂව පළමු සීනි පන්සීය රුපියල් හැටක් වටින නමුත් දෙවන සීනි පන්සීය රුපියල් හැටක් වටින්නේ නැති නිසා. සීනි උදාහරණය අවුල් වගේනම් එළවලු උදාහරණයක් ගැන හිතන්න. බෝංචි කිලෝ එකක් සීය ගානේ ගන්න කෙනෙක් බෝංචි දෙසීය වුනාමත් කිලෝ එකක්ම ගන්නවද?

පාරිභෝගිකයාට සාපේක්ෂව පළමු සීනි පන්සීයේ වටිනාකම කීයද? එය රුපියල් හැටක්, සීයක්, එකසිය පනහක් හෝ දෙසීයක් වෙන්න පුළුවන්. අපි හරියටම දන්නේ නැහැ. නමුත් එය අනිවාර්යයෙන්ම රුපියල් හැටට සමාන හෝ වැඩි අගයක් විය යුතුයි. නැත්නම් පාරිභෝගිකයා සීනි මිල දී නොගෙන ආපසු හැරී යනවා.

පාරිභෝගිකයාට සාපේක්ෂව දෙවන සීනි පන්සීයේ වටිනාකම කීයද? එය රුපියල් 59.99 හෝ ඊට අඩු අගයක් විය යුතුයි. ඒ ඇයි? මේ පාරිභෝගිකයා කඩේ ආවේ රුපියල් 85ට තිබුණානම් සීනි කිලෝ එකක් ගන්න හිතාගෙනයි. ඇය සීනි පන්සීයක් වෙනුවෙන් රුපියල් 60ක් ගෙවුවා. එහෙත් දෙවන සීනි පන්සීයක් වෙනුවෙන් රුපියල් හැටක් ගෙවුවේ නැහැ.

අපි හිතමු පාරිභෝගිකයාට සාපේක්ෂව පළමු සීනි පන්සීයේ වටිනාකම රුපියල් 100ක් කියා. ඇය සීනි මිල දී ගත්තේ පන්සීය රුපියල් 60 බැගින්. ඒ කියන්නේ ඇයට සාපේක්ෂව සීනි වල වටිනාකමට වඩා රුපියල් 40ක් අඩුවෙන්. මෙය ඇයට ගනුදෙනුවෙන් සිදුවූ වාසියක්. ආර්ථික විද්‍යාවේදී මේ වාසිය හඳුන්වන්නේ පාරිභෝගික අතිරික්තය ලෙසයි.

පාරිභෝගික අතිරික්තය = පාරිභෝගිකයාගේ සාපේක්ෂ වටිනාකම - ගෙවූ මිල 

නිදහස් ගනුදෙනුවකදී කිසිම විටක පාරිභෝගික අතිරික්තය සෘණ අගයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ පාරිභෝගිකයෙකුට පාඩුවක් වෙන්නේ නැහැ. සිදුවෙන්නේ පාරිභෝගික අතිරික්තය අඩු වැඩි වීමක් පමණයි. යම් විදිහකින් සීනි කිලෝවක් රුපියල් 85 බැගින් මිල දී ගත හැකිව තිබුනනම් ඇගේ පාරිභෝගික අතිරික්තය 100 - 42.50 = 57.50ක් වෙනවා. සීනි කිලෝවක් රුපියල් 120ක් වූ නිසා පාරිභෝගික අතිරික්තය 100 - 60 = 40 දක්වා අඩු වුනා. මෙය පාරිභෝගිකයාගේ ලාබය රුපියල් 17.50කින් අඩු වීමක් වුවත් පාරිභෝගිකයාට පාඩු වීමක් නෙමෙයි. 

අපි හිතමු පාරිභෝගිකයාට සාපේක්ෂව දෙවන සීනි පන්සීයේ වටිනාකම රුපියල් 50ක් කියා. සීනි කිලෝ එකක් රුපියල් 85ට තිබුණානම් ඇය දෙවන සීනි පන්සීයද මිල දී ගන්නවා. එසේ කළානම් ඇගේ පාරිභෝගික අතිරික්තය රුපියල් 50 - 42.50 - 7.50ක්. එහෙත් සීනි කිලෝවක් රුපියල් 60ක් වූ බැවින් ඈ සීනි මිල දී ගත්තේ නැහැ. යම් හෙයකින් ඈ රුපියල් 60ක් ගෙවා තවත් සීනි 500ක් මිල දී ගත්තානම් ඇයට රුපියල් 10ක පාඩුවක් වෙනවා. නමුත්, ඈ දෙවන සීනි පන්සීය මිල දී නොගත් නිසා ඇයට එවැනි පාඩුවක් සිදු වුනේ නැහැ. පාඩුවක් සිදු නොවුනත් ඇයට ලබා ගත හැකිව තිබුණු ලාබයක් අහිමි වුනා. එසේ අහිමි වූ ලාබය හෙවත් පාරිභෝගික අතිරික්තය රුපියල් 7.50ක්.

සීනි මිල රුපියල් 85 ලෙස තිබුණේනම් මේ පාරිභෝගිකයාට පළමු සීනි පන්සීයෙන් රුපියල් 57.50ක් හා දෙවන සීනි පන්සීයෙන් රුපියල් 7.50ක් ලෙස රුපියල් 65ක පාරිභෝගික අතිරික්තයක් හිමි වෙනවා. එහෙත් සීනි මිල රුපියල් 120 වූ නිසා ඇයට පළමු සීනි පන්සීයෙන් රුපියල් 40ක් පමණක් පාරිභෝගික අතිරික්තය ලෙස ලැබෙනවා. සමස්තයක් ලෙස රුපියල් 65 - 40 = 25කින් පාරිභෝගික අතිරික්තයේ අඩු වීමක් සිදු වී තිබෙනවා. එහෙත් මෙය ලාබය අඩු වීමක් මිසක් පාඩුවීමක් නෙමෙයි. නිදහස් වෙළඳපොළ ගනුදෙනු වලින් කිසිවෙකුට ලාබ මිසක් පාඩු වෙන්නේ නැහැ.

සාමාන්‍යයෙන් පාරිභෝගිකයෙකුට පාරිභෝගික භාණ්ඩයක පළමු ඒකකයේ වටිනාකම වැඩියි. දෙවන ඒකකයේ වටිනාකම අඩුයි. තෙවන ඒකකයේ වටිනාකම තවත් අඩුයි. මේ උදාහරණයේ පාරිභෝගිකයාට තෙවන සීනි ග්‍රෑම් පන්සීයක වටිනාකම වැඩිම වුවහොත් රුපියල් 42.49ක් පමණයි. කිලෝ එක 85ට තිබියදී වුවත් සීනි කිලෝවක් මිසක් කිලෝ එකහමාරක් මිල දී ගැනීමට ඇය සැලසුම් නොකළේ ඒ නිසයි. 

අපි හිතමු පාරිභෝගිකයාට සාපේක්ෂව තෙවන සීනි පන්සීයක වටිනාකම රුපියල් 30ක් කියා. සීනි පන්සීයක් රුපියල් 42.50 බැගින් මිල දී ගත්තේනම් ඇයට සිදුවන්නේ රුපියල් 12.50ක පාඩුවක්. යම් හෙයකින් සීනි කිලෝවක මිල රුපියල් 60ක් වුනානම් අය සීනි කිලෝ එකහමාරක්ම මිල දී ගන්නවා.

මේ පාරිභෝගිකයා පමණක් සැලකුවොත් සීනි වලට ඇගේ ඉල්ලුම වෙනස් වෙන්නේ කොහොමද? මෙහිදී අපි පහසුවට හිතමු සීනි මිල දී ගන්න පුළුවන් ග්‍රෑම් 500 ඒකක වලින් පමණක් කියා. මෙය ග්‍රෑම් 100 හෝ ග්‍රෑම් 50 දක්වා අඩු කළා කියලත් මේ කතාව වෙනස් වෙන්නේ නැහැ.

- සීනි පන්සීයක් රුපියල් 30ක් හෝ අඩුනම් ඉල්ලුම අවම වශයෙන් කිලෝ 1.5ක්.

- සීනි පන්සීයක් රුපියල් 30-50 අතරනම් ඉල්ලුම කිලෝ 1ක්

- සීනි පන්සීයක් රුපියල් 50-100 අතරනම් ඉල්ලුම ග්රෑම් 500ක්.

- සීනි පන්සීයක් රුපියල් 100ට වැඩිනම් ඉල්ලුමක් නැහැ. 

මිල වැඩි වෙද්දී ඉල්ලුම අඩු වෙනවා කියන එක ඉතාම පැහැදිලියි. වෙනත් පාරිභෝගිකයෙක් ගත්තොත් ඉල්ලුම් අඩු වෙන්නේ මේ මිල ගණන් වලදීම විය යුතු නැහැ. එහෙත් කවර හෝ ආකාරයකින් මිල වැඩි වෙද්දී ඉල්ලුම අඩු වෙනවා. එක් එක් මිල ගණන් යටතේ රටේ හැම පාරිභෝගිකයෙකුගේම ඉල්ලුම අරගෙන එකට එකතු කළොත් අපට සුමට වක්‍රයක් ලැබෙනවා. එය ඉහත රූපයේ වැනි පහළට බෑවුම් වූ වක්‍රයක්. 

උදාහරණයක් විදිහට අපි හිතමු සීනි කිලෝවක මිල රුපියල් 110 සිට 120 දක්වා ඉහළ යද්දී ලංකාවේ වාර්ෂික සීනි ඉල්ලුම කිලෝ ග්‍රෑම් මිලියන 600 සිට 550 දක්වා අඩු වුනා කියලා. මේ විදිහට මිල ඉහළ යද්දී ආකාර දෙකකින් පාරිභෝගික අතිරික්තයේ අඩු වීමක් වෙනවා. 

මිල ඉහළ යාමෙන් පසුවත් සීනි කිලෝ මිලියන 550ක් විකිණෙනවා. ඒ සීනි මිල දී ගන්නා හැම පාරිභෝගිකයෙක්ගේම සාපේක්ෂ සීනි වටිනාකම රුපියල් 120ට වඩා වැඩි නිසා කාටවත් පාඩුවක් වෙන්නේ නැහැ. නමුත් කලින් ලැබුණු ලාභය, හරියටමනම් පාරිභෝගික අතිරික්තය, දැන් කිලෝවකට රුපියල් 10කින් අඩු වෙලා. ඒ කියන්නේ සමස්තයක් ලෙස පාරිභෝගික අතිරික්තය රුපියල් මිලියන 550 x 10 = රුපියල් බිලියන 5.5කින් අඩු වෙලා. කොළ පාට චතුරශ්‍රයෙන් පෙන්වා තිබෙන්නේ මේ අඩු වීමයි. 

මිල ඉහළ යද්දී පාරිභෝගික අතිරික්තයේ අඩු වීම ඉහත කොළ පාට චතුරශ්‍රයෙන් පෙන්වා තිබෙන කොටස පමණක් නෙමෙයි. කලින් පාරිභෝගිකයින් විසින් මිලදී ගත් සීනි කිලෝ මිලියන 50ක් දැන් මිලට විකිණෙන්නේ නැහැ. මේ සීනි කලින් මිල දී ගත් පාරිභෝගිකයන්ට සාපේක්ෂව කිලෝවක වටිනාකම රුපියල් 110ට වඩා වැඩි වුවත් 120ට වඩා අඩුයි. ඒ නිසා මේ අය අලුත් මිලට සීනි මිල දී ගන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට පාඩුවක් වී නැතත් කලින් ලැබුණු ලාබය හෙවත් පාරිභෝගික අතිරික්තය දැන් නැති වෙලා. නිල් පාට ත්‍රිකෝණයෙන් පෙන්වා තිබෙන්නේ ඒ අඩු වීමයි. සීනි මිල ඉහළ යාම නිසා පාරිභෝගික අතිරික්තයේ සිදු වූ සමස්ත අඩු වීම ඉහත කොළ පාට චතුරශ්‍රයේත් නිල් පාට ත්‍රිකෝණයේත් වර්ග ඵල වල එකතුවයි.

භාණ්ඩයක මිල අඩු වන තරමට පාරිභෝගික අතිරික්තය වැඩි වෙනවා. භාණ්ඩයක මිල වැඩි වන තරමට පාරිභෝගික අතිරික්තය අඩු වෙනවා. පාරිභෝගිකයන් ගැන පමණක් හිතනවානම් භාණ්ඩයක මිල අඩු වන තරමට හොඳයි. නමුත්, රටක පාරිභෝගිකයෝ වගේම නිෂ්පාදකයෝ කියා පිරිසකුත් ඉන්නවා. සීනි වගේ දෙයක් හා අදාළව තත්ත්වය ටිකක් වෙනස් වුවත් හාල්, පොල්, කහ වගේ දෙයක් ගැන හිතුවොත් මෙය ඉතාම පැහැදිලියි. සාධාරණත්වය කියා කියන්නේ රටේ හැම දෙනෙක් ගැනම එක විදිහට හිතන එක මිසක් පාරිභෝගිකයන් ගැන පමණක් හිතන එක නෙමෙයි. ඒ නිසා අපට සාධාරණත්වය වගේ දේවල් ගැන කතා කරන්න කලින් සැපයුම් වක්‍රය ගැනත් හදාරලා ඉන්න වෙනවා.

සැපයුම් වක්‍රය ගැන දෙවන කොටසින් කතා කරමු. ඊට පෙර මේ කොටස පිළිබඳ ගැටළු ඇත්නම් ඒවා විසඳාගෙනම ඉදිරියට යමු.

Thursday, May 28, 2020

ඩඩ්ලි සිරිසේනගේ හයේ පාර


තරඟය උණුසුම්. කොරෝනා අස්සේ ගෙවල් වලට හිර වෙලා ඉන්න ප්‍රේක්ෂකයෝ කට ඇරගෙන රූපවාහිණී තිරය දිහා බලා ඉන්නවා. ඉතිරි වී තියෙන්නේ අවසන් ඕවරයේ අවසන් පන්දුව පමණයි. "නියාමකයෝ" කණ්ඩායමේ  ජයග්‍රහණය සඳහා "නිදහස්" කණ්ඩායම ලකුණු 90කට සීමා කර ගත යුතුයි. ඩක්වර්ත්-ලුවිස් ක්‍රමයට විනිසුරුකරුවන් විසින් නියම කර ඇති ඉලක්කය පසුපස හඹා ගිය "නිදහස්" කණ්ඩායමේ කඩුලු එකින් එක දැවී ගිහින්. සමහර ක්‍රීඩකයෝ දැවී යන්න කලින්ම ක්‍රීඩාගාරයට ආපහු ගිහින්. ඉතිරි වී තියෙන්නේ අන්තිම කඩුල්ල පමණයි.

නියාමකයෝ කණ්ඩායමේ නායකයා විසින් තමන්ගේ කණ්ඩායමේ ක්‍රීඩකයින්ව යාර තිහේ සීමාව ඇතුළේ ස්ථානගත කරනවා. පන්දුවට පහර දෙන්න නියමිතව සිටින්නේ පොළොන්නරුව අරලිය ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් නිදහස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ඩඩ්ලි සිරිසේන. නියාමකයෝ කණ්ඩායමේ නායකයා වගේම ක්‍රීඩකයිනුත් කලින්ම තරඟය දිනලා. ටෝක් කෝටියයි. කණ්ඩායමේ දක්ෂතම පන්දු යවන්නා පාරිභෝගික අධිකාරී අන්තයේ සිට පන්දු එවීම සඳහා දිව එනවා. දැවී ගියාද?

ෆුල්ටොස් පන්දුවක්. ඩඩ්ලි සිරිසේන යාර තිහේ සීමාව ඉහළින් වේගවත් පහරක් එල්ල කරනවා. උඩ පන්දුවක්ද?

නියාමකයෝ කණ්ඩායමේ ක්‍රීඩකයෝ කට ඇරගෙන බලා ඉන්නවා. පන්දුව පසුපස දිව යන්න කවුරුවත් නැහැ. හතරේ සීමාව පසු කර පන්දුව බිම පතිත වෙනවා. හයේ පාරක්! ලකුණු 96යි!!

ලකුණු පුවරුවේ 90 ඉලක්කම ගැලවිලා පොල් ගෙඩි අකුරින් 96 ඉලක්කම සටහන් වෙනවා. රුපවාහිණී කැමරා කාච 96 ඉලක්කම වෙත නාභිගත වෙනවා. රට පුරා ප්‍රේක්ෂකයෝ කටවල් ඇරගෙන බලා ඉන්නවා.

නිදහස් පිල දිනුම්! තරඟයේ වීරයා ඩඩ්ලි සිරිසේන!!

***

ඩඩ්ලි සිරිසේන වීරයෙක් කියා මම කියන්නේ නැහැ. ඔහු ව්‍යාපාරිකයෙකු ලෙස අද සිටින තැනට ඇවිත් තිබෙන්නේ කාලයක් තිස්සේ රටේ දේශපාලන බලාධිකාරියේ සහයෝගයද ලබමිනුයි. ඉදිරියේදීත් එය එසේම වෙයි. කොහොමටත් දේශපාලනයෙන් මුළුමනින්ම ඈත් වී ලංකාවේ ව්‍යාපාරිකයෙකුට සාර්ථක වෙන්න අමාරුයි. එය වෙනස් විය යුතු දෙයක්. හැබැයි මේ මොහොතේ ඩඩ්ලි සිරිසේන විසින් නියෝජනය කළේ නිදහස් වෙළඳපොළයි.

ඩඩ්ලි සිරිසේන විසින් විධිමත් ලෙස ආර්ථික විද්‍යාව හදාරා නැතුව ඇති. බොහෝ විට ආර්ථික විද්‍යාව හදාරා ඇති අය ඔහුගේ හාල් මෝලේ වැඩ කරන්නෙත් නැතුව ඇති. නමුත්, ඔහු වෙළඳපොළ කියන්නේ කුමක්ද කියා ඉතා නිවැරදිව අවබෝධ කරගෙන තිබෙන බව පේනවා.

ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවකයින් 10,123 ඉන්නවා. කෘෂිකර්ම සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවකයෝ 14,161ක් ඉන්නවා. අමාත්‍යාංශය යටතේ තිබෙන අනෙකුත් ආයතන එකතු කළාම (2018 ජූනි 30 දත්ත අනුව) සේවකයෝ 36,315ක් ඉන්නවා. ඔය ගණන වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මහවැලිය වගේ තැන් වල ඉන්න පිරිස් නැතුව. මේ අය අතරේ කෘෂිකර්ම උපාධිධාරීන් වගේම පශ්චාත් උපාධිධාරීන් විශාල පිරිසක් ඉන්නවා. තව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුවේ පිරිස් බලයෙන් කොටසකුත් යෙදෙවෙන්නේ කෘෂිකර්මය හා අදාළ තොරතුරු එකතු කරන්නයි. ඔය සියලු දෙනාම යොදාගෙන හදන රජයේ සංඛ්‍යාලේඛණ වලට තනි ඩඩ්ලි සිරිසේන අභියෝග කරනවා.

මම මේ රජයේ ආයතන වල සේවය කරන පුද්ගලයින්ගේ අධ්‍යාපනය හෑල්ලු කරන්නේ නැහැ. මෙය එවැනි දෙයක් නෙමෙයි. ඒ වගේම තනි පුද්ගලයින් වශයෙන් ගත්තොත් මේ බොහෝ දෙනෙක් දක්ෂ, කාර්යක්ෂම පුද්ගලයින් වෙන්න පුළුවන්. රජයේ අකාර්යක්ෂමතාවය කියන එක රජයේ සේවකයින් හරියට වැඩ නොකිරීමට ලඝු කළ හැකි දෙයක් නෙමෙයි. ඒ වගේම ඩඩ්ලි සිරිසේන කියන්නේ පට්ට මීටරයක්, මාර මොළයක්  කියලා මම කියන්නේ නැහැ. හැබැයි අර විශාල කණ්ඩායම ඩඩ්ලි සිරිසේනට පරාදයි.

ධම්මික පෙරේරා ළඟ වගේ ඩඩ්ලි සිරිසේන ළඟත් ඉතා දක්ෂ පර්යේෂකයින් කණ්ඩායමක් ඉන්නවද? බොහෝ විට නැතුව ඇති. එහෙමනම්, රජයේ පරිණත විශේෂඥයින් කණ්ඩාමට වඩා වෙළඳපොළ ගැන ඩඩ්ලි සිරිසේන දන්නේ කොහොමද?

මෙතැන තිබෙන්නේ රජයට සම්බන්ධ ආයතන වල සේවය කරන පුද්ගලයින්ගේ අකාර්යක්ෂමතාවය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. මධ්‍යගත සැලසුම් ක්‍රමය ක්‍රමයක් විදිහටම අකාර්යක්ෂමයි. අසාර්ථකයි. කොයි තරම් දක්ෂ, උගත් කෙනෙක් දැම්මත් ඒක එහෙමයි.

රට පුරා ලොකු කුඩා වී මෝල් වල, තොග හා සිල්ලර කඩ වල, ගෙවල් වල තිබෙන වී හෝ සහල් තොග හරියටම ඇස්තමේන්තු කරන්න විශාල මිනිස් සම්පත් ප්‍රමාණයක් අවශ්‍යයි. නමුත්, මිල සංඥාව තේරුම් ගත හැකි පුද්ගලයෙකුට ඔය දැවැන්ත කාර්යය නොකර පැත්තක සිට ඔය ඇස්තමේන්තුව සෑහෙන්න නිවැරදිව කරන්න පුළුවන්.

තමන්ට පෙනෙන්නට තිබෙන ඉල්ලුම දිහා බලලා ඩඩ්ලි සිරිසේන රටේ හාල් ඉල්ලුම හා සැපයුම නිවැරදිව ඇස්තමේන්තු කරනවා. අනෙක් ලොකු කුඩා ව්‍යාපාරිකයිනුත් ඒ වැඩේ කරනවා. ඔවුන් ව්‍යාපාරිකයින් වී සිටින්නේ ඒ වැඩේ හරියට කරන්න ඔවුන්ට පුළුවන් නිසයි. ඒකට කෘෂිකර්ම උපාධි හෝ ආර්ථික විද්‍යා උපාධි අවශ්‍යම නැහැ. අවශ්‍ය වන්නේ මිල සංඥාව නිවැරදිව තේරුම්ගන්න හැකිවීම පමණයි.

මුලින්ම කිවුවා වගේ මම ඩඩ්ලි සිරිසේන මාර පොරක් කියා කියන්නේ නැහැ. ඒකාධිකාර වෙනුවෙන් පෙනී සිටින්නේත් නැහැ. හැබැයි මේ වෙලාවේ ඩඩ්ලි සිරිසේන විසින් මධ්‍යගත සැලසුම් වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ ඔලු වලට උඩින් දැවැන්ත හයේ පහරක් ගහලා තියෙනවා. ඒක මධ්‍යගත සැලසුම් විශ්වාස කරන අයට රිදෙන්නම ගහපු කණේ පාරක්ද වෙනවා.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...