දැන් කරගෙන යන විදිහට ඉස්සරහට ගියොත් අවුරුදු එකහමාරකින් පසුව රටේ තත්ත්වය හොඳ අතට හැරෙයි කියලා ගොඩක් අයට අහිංසක බලාපොරොත්තුවක් තිබෙනවා. ඒක කීයටවත්ම වෙන්න විදිහක් නැහැ කියලා මම කියන්නේ නැහැ. නමුත් ඔය අහිංසක බලාපොරොත්තුව ඉටු නොවෙන්න තිබෙන ඉඩකඩ වඩා වැඩියි.
පළමුවෙන්ම කිව යුත්තේ මේ හොඳ අතට හැරීම කියා කියන්නේ යහපාලන ආණ්ඩුව කාලයේ තිබුණු තත්ත්වය මිසක් රාජපක්ෂ දශකයේ තිබුණු තත්ත්වය හෝ ගෝඨාභය ඇවිත් හදයි කියා හිතාගෙන හිටපු තත්ත්වය නොවන බවයි. ඒ සෞභාග්‍යයනම් ආයේ එන්නේ නැහැ.
අපේ ගොඩක් පෞද්ගලික මිත්‍රයෝ ඉන්නවා ඉදිකිරීම් ක්ෂේත්‍රය හරහා ගොඩ ගිය හා තවමත් එම ක්ෂේත්‍රයේ නිරතව ඉන්න. පසුගිය රාජපක්ෂ දශකය ඒ අයට හොඳ කාලයක්ව තිබුණා. යහපාලන කාලයේ ඔවුන්ගේ තත්ත්වය සාපේක්ෂව නරක අතට හැරුණා. මම මේ කියන්නේ ආණ්ඩුව එක්ක කිසිම සම්බන්ධයක් නොතිබුණු, පැත්තකට වෙලා තමන්ගේ පාඩුවේ ව්‍යාපාරය කරගෙන ගිය අය ගැන.
දැන් මේ අය කබලෙන් ලිපට වැටිලා. දැනට ඉදිකිරීම් ක්ෂේත්‍රයට හිතා ගන්න හෝ පුළුවන් හොඳම තත්ත්වය ලිපෙන් නැවත කබලට යන එකයි. තවත් ඇතැම් අංශ හා අදාළව වුවත්, තත්ත්වය මේකයි. ප්‍රශ්නය ඒකවත් කර ගන්න පුළුවන් වෙයිද කියන එකයි.
ස්ටීව් හැන්කි කියන විදිහට මේ වෙද්දී ලංකාව මාරාන්තික සුළියකට (ඔහුගේ වචනය death spiral) අසු වී සිටිනවා. ඔහු කියන හැම දෙයක් ගැනම මා එකඟ නැතත්, මේ කතාව පදනමක් නැති කතාවක් නෙමෙයි.
ලංකාව සුළියට දැනටමත් අසු වී සිටියත් නැතත් සුළිය අද්දර සිටින බවනම් ඉතාම පැහැදිළියි. එසේ කීමෙන් මා කරුණු දෙකක් අදහස් කරනවා. පළමුවැන්න, සුළියට අසුවීමේ දැවැන්ත හානිය තවමත් සිදුව නැති බවයි. සුළියක මැද හා කෙළවර අතර වෙනස ඔබ දන්නවා. දෙවැන්න, මේ සුළියට අසු නොවී බේරී සිටීමේ අවසන් අවස්ථාව බොහෝ විට මේ වන විටද පසු වී ඇති බවයි.
දැන් අපි රනිල් කියන පාලමෙන් එගොඩ කරන කතාවට හෝ මහ බැංකු අධිපති විසින් කියන ආර්ථිකය පිළිසකර කිරීම වෙත යමු. මහ බැංකුව විසින් මේ වන විට ඩොලරයක මිල රුපියල් 360 මට්ටමේත්, භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික 24% මට්ටමේත් නඩත්තු කිරීමට උත්සාහ ගනිමින් සිටිනවා. එහි ශක්‍යතාවය හා අපේක්ෂිත ප්රතිඵල ගැනත්, වෙනත් විකල්ප ගැනත් අපි දැන් විමසා බලමු.
මීට සති දහයකට පමණ පෙර ඩොලරයක මිල තිබුණේ රුපියල් 200 ආසන්න මට්ටමකයි. දැන් එම මිල 80%කින් ඉහළ ගිහින්. මහ බැංකු අධිපතිවරයා හිතන විදිහට මේ මිල ඕනෑවට වඩා වැඩි මිලක්. එම මිල අඩු විය යුතුයි. හිටපු අධිපති කුමාරස්වාමි විසින්ද මේ අදහස පළ කර තිබුණා. එසේ කියන්නට තර්කානුකූල හේතුත් තිබෙනවා.
අඩු වෙන එක කොහොම වෙතත්, ඩොලරය දැනට තිබෙන රුපියල් 360 මට්ටමේ තවත් මාස හත අටක් තියා ගත්තා කියා හිතමු. ඩොලරය වැඩි වූ නිසා ආනයනික බඩු වල මිල දැනටමත් අනුපාතිකව වැඩි වෙලා කියා හිතුවොත් ඩොලරය වැඩි නොවන්නේනම් එම මිල දිගින් දිගටම වැඩි වෙන්න හේතුවක් නැහැ.
දැන් අපි උද්ධමනය පැත්තටම එමු. මහ බැංකුව පැත්තෙන් කියවෙන්නේ උද්ධමනය 40% පමණ මට්ටමකට යා හැකි බවයි. ඒ මට්ටමට උද්ධමනය යනවා කියා කියන්නේ පසුගිය දෙවසර තුළ අච්චු ගහපු සල්ලි ටිකට හරියන්න උද්ධමනය වැඩි වෙලා කියන එකයි. එහෙමනම්, දිගින් දිගටම සල්ලි අච්චු ගැහුවේ නැත්නම්, උද්ධමනය ටිකෙන් ටික අඩු වෙලා යා යුතුයි. අධි උද්ධමනයක් ඇති වෙන්න හේතුවක් නැහැ. ඒ නිසාම, විණිමය අනුපාතය මත පීඩනයක් ඇති වෙන්න හේතුවකුත් නැහැ. ස්ටීව් හැන්කි කියන "මාරාන්තික සුළියට" අහුවෙන්න හේතුවක් නැහැ. අවුරුද්දක් එකහමාරක් යද්දී නැවත 2019ට ආපසු යාමේ අහිංසක සිහිනය සැබෑ වෙනවා.
නමුත් මෙතැන තියෙන කොස්ස ඔය ඉලක්කය කරා යන්න හදන්නේ මහා පරිමාණයෙන් සල්ලි අච්චු ගසමින් වීමයි. ඒ කියන්නේ උද්ධමනයට අලුතෙන් තව තවත් ගෑස් ගහනවා කියන එකයි. උද්ධමනය හිතන තරම් ලේසියෙන් හෝ ඉක්මණින් අඩු වෙන්නේ නැහැ කියන එකයි. ඩොලරයක මිල මත පීඩනයද තවත් වැඩි වෙනවා කියන එකයි. ඒ කියන්නේ හැන්කි කියන මාරාන්තික සුළිය ඇතුළේ කැරකෙනවා කියන එකයි. මෙයින් බේරෙන්න මහ බැංකුව විසින් දැනට නොකරන, මහ බැංකුවට කළ හැකි දෙයක් තිබෙනවාද?
මේ වෙද්දී ඩොලරයක මිල රුපියල් 360 මට්ටමේ තියෙන්නේ මහ බැංකුව විසින් එය පාලනය කරන නිසා. එය කාට වුනත් පැහැදිලි විය යුතුයි. ඩොලරයක මිල රුපියල් 200 මට්ටමේ හිර කරගත් තැන් සිට අද දක්වාම ලංකාවේ පාවෙන විණිමය අනුපාතයක් නොතිබුණු බව මම දිගටම කියා තියෙනවනේ. ඩොලරයක මිල ටිකෙන් ටික වැඩි වෙන්න ඉඩ ඇරියා මිසක් මහ බැංකුව ඩොලරය පා කළේ නැහැ. ඩොලරය පා කරන්න පුළුවන් වුනානම් කොහොමටත් ඩොලර් ප්‍රශ්නයක් නැහැ. නමුත්, ඒ වැඩේ කරගන්න පුළුවන් වුනේ නැහැ.
ඩොලරය පා කරනවා කියන්නේ ඩොලරයක මිල ඉල්ලුම හා සැපයුම මත තීරණය වනවා කියන එකයි. ඒ කියන්නේ රටේ ඩොලර් හිඟයක් හෝ අතිරික්තයක් නැහැ කියන එකයි. තවමත් රටේ විශාල ඩොලර් හිඟයක් තියෙනවා කියන්නේ ඩොලර් සැපයුමට වඩා ඩොලර් ඉල්ලුම වැඩියි කියන එකයි. ඒ දෙක සමතුලිත වෙන්නනම් මිල තවත් වැඩි විය යුතු බවයි. එහෙමනම්, වත්මන් අධිපතිවරයා, හිටපු අධිපති කුමාරස්වාමි වගේ අය ඩොලරයක මිල ඕනෑවට වඩා වැඩියි කියා කියන්නේ ඇයි?
හිටපු අධිපති කබ්රාල් ඩොලරය රුපියල් 200 මට්ටමේ තියාගෙන සිටිමින් කිවුවේත් ඔය වගේම කතාවක්. ඒක පැත්තකින් තියමු. ඩොලරයක මිල තිබිය යුත්තේ දැන් මිලට වඩා පහළින් කියා විවිධ ආර්ථික විද්‍යා න්‍යාය ඇසුරෙන් කියන්න පුළුවන්. හැබැයි එහෙම කිවුවා කියලා ඩොලරයක මිල පහළ යන්නේ නැහැ. එවැන්නක් වෙන්නේ ඒ ආර්ථික විද්‍යා න්‍යාය මත පදනම්ව හෝ වෙන හේතු මත පදනම්ව ඩොලරයක මිල තිබිය යුත්තේ දැන් මිලට වඩා පහළින් කියා වෙළඳපොළ ඩොලර් ගනුදෙනුකරුවන් විශ්වාස කරනවානම් පමණයි. දැන් එවැනි තත්ත්වයක් නැහැ.
කුමක් හෝ හේතුවක් නිසා ඩොලරයක වෙළඳපොළ මිල හා පවතින මිල එකක් නොවන බව මහ බැංකුව හිතනවානම් මහ බැංකුවට මැදිහත් වී මිල පාලනය කළ හැකියි. මිල අඩු විය යුතුයි කියා හිතනවානම් සංචිත විකුණා සැපයුම වැඩි කිරීම මගින් අඩු මිලකදී ඉල්ලුම හා සැපයුම සමතුලිත කළ හැකියි. මේ වෙලාවේ මහ බැංකුවේ සංචිත නැට්ටටම හිඳිලා නිසා ඒ වැඩේ කරන්න බැහැ. ඒ නිසා, මහ බැංකුව මොන විදිහට හිතනවාද කියන එකේ බලපෑම ඉතා සීමිතයි.
මිල වැඩියි වගේ පෙනුණත් මහ බැංකුවට සංචිත විකුණා ඩොලරයක මිල අඩු කරන්න බැරි බව මේ වෙලාවේ ඩොලර් අතේ තියෙන අය දන්නවා. ඒ නිසා, ඒ අයට තමන්ගේ ඩොලර් වෙනුවෙන් ඉහළ මිලක් අර්පණය කළ හැකියි. ගන්නවානම් ගනිල්ලා. ඕකයි ගාණ!
දැන් ඩොලර් අවශ්‍ය අයට ඔය මිල දීලා ඩොලර් ගන්න වෙනවා. ගාණ වැඩියි වගේ වුනත්, මේ වෙලාවේ තමන්ගේ උදවුවට මහ බැංකුව එන්නේ නැති බව දන්නා නිසා, කියන ගාණට ඩොලර් ගන්නවා හැර වෙන විකල්පයක් නැහැ. හැබැයි ඔය විදිහට වැඩි මිලට ඩොලර් ගන්න කවුරුවත් නැත්නම් වැඩි මිලට විකුණන්න පුළුවන් වෙන්නේත් නැහැ.
ලංකාවේ මිනිස්සුන්ට කන්න හාල් ඕනෑ. රටේ හාල් නිෂ්පාදනය අඩු වෙද්දී හාල් මිල ඉහළ යනවා. මිල ඉහළ ගියත් කීයක් හරි දීලා හාල් ගන්නම වෙනවා. ඒ නිසා, ආනයනික හාල් වලට ඉල්ලුමක් හැදෙනවා. හාල් ආනයනය කරන්න ඩොලර් ඕනෑ. ඒ ඕනෑ කරන ඩොලර් ටික බැංකුවෙන් දෙන්නේ නැත්නම් කීයක් හරි දීලා පිටින් ඩොලර් ගන්න වෙනවා. ඒ විදිහට වැඩි මිලට ඩොලර් අරගෙන හාල් ආනයනය කළත් විකුණලා ලාබ ගන්න පුළුවන්නම් කවුරු හරි ඔය වැඩේට අත ගහනවා. බැංකු පද්ධතියට පිටින් වැඩි මිලට ඩොලර් ගන්න ඉල්ලුමක් ඇති වෙනවා. ඒ නිසාම, වැඩි මිලට ඩොලර් විකුණන්නත් අවස්ථාවක් ලැබෙනවා. කීයක් හරි දීලා අයිෆෝන් එකක් ගන්න අය හිටියත් වෙන්නේ ඕකයි.
රට ඇතුළේ ඩොලර් සැපයුමට වඩා ඩොලර් ඉල්ලුමක් තිබෙන තුරු, මහ බැංකුවට විකුණන්න සංචිතත් නැත්නම්, මිල ඉහළ යන එක වලක්වන්න බැහැ. මහ බැංකුව ඒ වැඩේ කරන්න හදනවා කියන්නේ උන්ඩියල් ඉල්ලුම තවත් ඉහළ යනවා කියන එකයි.
මහ බැංකුවට විකුණන්න සංචිත නැති බව කවුරුත් දන්නවනේ. එහෙමනම් දැන් මට්ටමේ හෝ ඉහළ මට්ටමක ඩොලරයක මිල ස්ථාවර විය හැක්කේ එක්කෝ ඉල්ලුම අඩු වුනොත්. නැත්නම් ඩොලර් සැපයුම අඩු වුනොත්. පහත තියෙන්නේ පසුගිය වසර කිහිපයක පළමු මාස තුනේදී ඩොලර් ලැබීම් හා ගෙවීම් පිළිබඳ සාරාංශයක්. මෙය දැන් වැඩි දෙනෙක් කියවන්නේ වියුණුව හරහා නොවන නිසා මම වගුවක් හදන්නේ නැතිව වත්පොතට ගැලපෙන විදිහට සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කරන්නම්.
ආනයන වියදම් (පළමු මාස තුන, ඩොලර් මිලියන)
2017 - (5,279)
2018 - (5,971)
2019 - (4,817)
2020 - (4,503)
2021 - (5,041)
2022 - (5,651)
මොන තරම් ආනයන සීමා දැම්මත්, මිල ඉහළ ගියත්, ආනයන වියදම් ඒ තරම්ම අඩු වී නැති බව පේනවනේ. දැන් මේ සල්ලි හොයා ගත්තේ කොහොමද?
අපනයන ආදායම් (පළමු මාස තුන, ඩොලර් මිලියන)
2017 - 2,774
2018 - 2,989
2019 - 3,156
2020 - 2,650
2021 - 2,982
2022 - 3,249
යම් වැඩි වීමක් තිබුණත්, අපනයන ආදායම් වලත් විශාල වෙනසක් වී නැති බව පැහැදිලි විය යුතුයි. ඩොලර් එකක මිල ඉහළ ගියා කියලා ක්ෂණිකව විශාල ලෙස ආනයන ඉහළ යන්නේ හෝ අපනයන පහළ යන්නේ නැහැ. අලුත් තත්ත්වයෙන් වාසි ලබමින් අපනයන නිෂ්පාදන කර්මාන්ත හා ආනයන ආදේශක කර්මාන්ත බිහිවෙන්න වසර ගණනාවක් යනවා. ඒ නිසා, රුපියල් 200 මට්ටමේ තිබෙන ඩොලර් එක රුපියල් 360 වෙන්න ඇරියා කියලා ක්ෂණිකව වෙළඳ ශේෂයේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඩොලරය තව වැඩි වුනත් එච්චරයි. වසර ගණනක් ඩොලරයක මිල ඉහළින් තියාගත්තොත් තත්ත්වයේ වෙනසක් වෙයි.
වෙළඳ ශේෂය (පළමු මාස තුන, ඩොලර් මිලියන)
2017 - (2,505)
2018 - (2,982)
2019 - (1,661)
2020 - (1,853)
2021 - (2,959)
2022 - (2,402)
(වරහන් ඇතුළේ තියෙන්නේ සෘණ ගණන්)
වෙළඳ ශේෂය ඩොලර් බිලියන දෙකකට ආසන්න සෘණ අගයක් වුවත් ලංකාවේ සමස්ත ගෙවුම් ශේෂය බොහෝ විට සමතුලිත වුනා. ඒ වෙන ක්‍රම වලින් රටට ඩොලර් ආපු නිසා.
ගෙවුම් ශේෂය (පළමු මාස තුන, ඩොලර් මිලියන)
2017 - (176)
2018 - (311)
2019 - 912
2020 - 143
2021 - (1,101)
2022 - (2,269)
(වරහන් ඇතුළේ තියෙන්නේ සෘණ ගණන්)
පසුගිය දෙවසර තුළ ගෙවුම් ශේෂය මේ තරම්ම අර්බුදයට ගියේ ඇයි කියන එක පහත සංඛ්‍යාලේඛණ බැලුවහම පැහැදිලි වෙයි.
සංචාරක ඉපැයීම් (පළමු මාස තුන, ඩොලර් මිලියන)
2017 - 1,122
2018 - 1,313
2019 - 1,390
2020 - 682
2021 - 13
2022 - 513
ශ්‍රමික ප්‍රේෂණ (පළමු මාස තුන, ඩොලර් මිලියන)
2017 - 1,911
2018 - 1,979
2019 - 1,617
2020 - 1,600
2021 - 1,867
2022 - 783
දිගින් දිගටම වුනත් රටක වෙළඳ ශේෂයේ හිඟයක් තියෙන එක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ඒ අඩුව වෙන ක්‍රමයකින් පියවෙන්න ඕනෑ. ඒ වෙන ක්‍රමය ණය ගැනීම නොවිය යුතුයි. 2020 පළමු මාස තුනේදී සංචාරක ඉපැයීම් වලින් බාගයක්ම අඩු වෙලා තිබුණත් ගෙවුම් ශේෂ හිඟයක් තිබුණේ නැහැ. ඒ ශ්‍රමික ප්‍රේෂණ ටික හරියට ලැබුණු නිසා. 2021දීත් ශ්‍රමික ප්‍රේෂණ ටික ලැබුණා. නමුත් සංචාරක ආදායම් නැත්තටම නැති වුනා. ඒ නිසා ගෙවුම් ශේෂ හිඟය සැලකිය යුතු ලෙස ඉහළ ගියා.
මේ අවුරුද්දේ මුල් මාස තුනේදී සංචාරක ඉපැයීම් ටිකක් ඉහළ ගිහින් තිබුණත් තවමත් 2017-2019 මට්ටමෙන් බාගයක්වත් සංචාරකයෝ එන්නේ නැහැ. ඊටත් වඩා ලොකුම හා අලුත්ම ප්‍රශ්නය ශ්‍රමික ප්‍රේෂණ විශාල ලෙස පහත වැටී තිබීමයි. ඔය ආදායම් මාර්ග දෙක හරියට තිබුණානම් අනාගතය දිහා ටිකක් හරි සුබවාදී විදිහට බලන්න තිබුණා.
මේ වසරේ පළමු මාස තුනේ සංචාරක ඉපැයීම් වල ක්‍රමික වැඩි වීමක් පෙනෙන්න තිබුණා. අප්‍රේල් මාසයේ රටේ පැවති තත්ත්වයන් එක්ක දැන් ඒ ප්‍රවණතාව ආපහු හැරිලා. ඒ විතරක් නෙමෙයි. මාර්තු මාසයේදී ඉහළ ගිය ශ්‍රමික ප්‍රේෂණත් නැවත පහළ ගිහින්.
සංචාරක ඉපැයීම් (ඩොලර් මිලියන)
2022 ජනවාරි - 148
2022 පෙබරවාරි - 174
2022 මාර්තු - 192
2022 අප්‍රේල් - 113
ශ්‍රමික ප්‍රේෂණ (ඩොලර් මිලියන)
2022 ජනවාරි - 259
2022 පෙබරවාරි - 205
2022 මාර්තු - 318
2022 අප්‍රේල් - 249
කොහෙන් හෝ ඩොලර් ටිකක් හොයාගෙන ලයිට් කැපෙන එක නවත්තලා, රටේ තත්ත්වයත් සාමකාමීව පැවතුණොත් සංචාරක ආදායම් ටිකක් වැඩි වෙයි. නමුත් ඉතා ඉක්මණින් කර්මාන්තයේ විශාල පිබිදීමක් ඇති වෙයි කියා හිතන්න බැහැ. ශ්‍රමික ප්‍රේෂණ වැඩි වෙයි කියා හිතන්න විශේෂ හේතුවකුත් නැහැ. ඒ කියන්නේ, තව මාස ගනණාවක් යන තුරු මේ විදිහට රට දුවවන්න වුනත් මාසයකට ඩොලර් මිලියන දෙතුන් සීයක් පොම්ප කරන්න වෙනවා කියන එකයි.
රජයේ විදේශ ණය හා පොලිය ගෙවන්නෙම නැහැ කියා කියමු. ඒත් බැංකු පද්ධතියේ ණය නොගෙවා ඉන්න බැහැ. ඒ ණය ගෙවන්නත් ඩොලර් ඕනෑ. ඔය තත්ත්වයත් එක්ක ඩොලර් එක රුපියල් 360 මට්ටමේ තියා ගන්න හෝ තවත් අඩු කරගන්න මහ බැංකුවට අවශ්‍යව තිබෙනවා විය හැකි වුවත් එය කළ හැකි බව සාර්ථක ලෙස සමපේක්ෂකයින්ට සන්නිවේදනය කරන්න පුළුවන්කමක් මහ බැංකුවට නැහැ. ඩොලර් අතේ තියාගෙන ඉන්න අය හොයන්න පොලීසිය යොදවනවා වගේ වැඩ වලින් වැඩක් නොවන බව කොහොමටත් පැහැදිලියිනේ. ඒ නිසා, ඩොලරයක මිල දැන් තිබෙන මට්ටමේ තියාගෙන සිටීමේ හැකියාව ගැන මට තිබෙන්නේ විශාල සැකයක්.
ලිපිය දැනටමත් ගොඩක් දිගයි. ඒ නිසා, පොලී අනුපාතික ගැන ඉතා කෙටියෙන් කතා කරමු.
මාර්තු මුලදී තනි ඉලක්කමේ තිබුණු භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික 24% මට්ටමට යන්න දුන්නා කියා කියන්නේ ලොකු වෙනසක් තමයි. ඒකේ කතා දෙකක් නැහැ. නමුත් ප්‍රශ්නය ඒ පොලිය ගෙවලත් භාණ්ඩාගාර බිල්පත් විකුණන්න බැරි වීමයි. අඩුව පුරවන්න සල්ලි අච්චු ගැසීම කෙළින්ම ඩොලර් ප්‍රශ්නයටත් බලපානවා. බඩු මිල ඉහළ යද්දී අතට රුපියල් එනවා කියන්නේ ආනයනික භාණ්ඩ වල මිල ඉහළ ගියත් ඉල්ලුම අඩු වෙන්නේ නැහැ කියන එකයි. අලුත් රෙගුලාසිය නිසා භාණ්ඩ ගෙන්වන්න උන්ඩියල් ඩොලර් හොයන එක නැවතුනත්, රුපියල බාල්දු වන තරමට ඩොලර් වලට තිබෙන ඉල්ලුම ඉහළ යන එක වලක්වන්න බැහැ.
ආර්ථික ශක්තියක් තියෙන විදේශ රටවලට ඩොලර් පොම්ප කරමින් ලංකාවට හුස්ම ගන්න උදවු කරන්න පුළුවන්. කොයි තරම් කාලයක් ඒ විදහට උදවු කරයිද? එහෙම උදවු කළත් එයින් අදහස් වෙන්නේ නිශ්චිත කාලයකට ලංකාව තවත් පහළට වැටෙන එක නවතිනවා කියා මිසක් ගොඩ යනවා කියන එක නෙමෙයි.
කෙසේ වුවත්, ඩොලරයක මිල රුපියල් 360 සීමාවේ රඳවා ගැනීම ගැන මහ බැංකුවට චෝදනා කරන්නත් අමාරුයි. ඩොලරයක මිල ඉහළ යද්දී ඩොලර් හිඟය සමනය වෙන්නේ සල්ලි අච්චු නොගසා සිටිය හැකිනම් පමණයි. සල්ලි අච්චු ගැසීම හෝ නොගැසීම මහ බැංකුවේම වැඩක් වුනත්, රජයේ අයවැය හිඟය පියවීමට අරමුදල් සපයා දීමේ වගකීම මහ බැංකුවට මග හරින්න බැහැ. ඒ සඳහා, දැනට 24% මට්ටමේ තිබෙන පොලිය තවත් වැඩි කරන්න වෙනවා. මගේ අදහසනම් ඩොලරයක මිල මෙන්ම පොලී අනුපාතිකද තවත් ටිකක් වැඩි විය යුතු බවයි. කෙසේ වුවත්, මෙහිද සීමාවක් තිබෙනවා. එක් සීමාවකින් පසුව එන්නේ හැන්කි කියන මාරාන්තික සුළියයි. දැනටමත් මේ සීමාවට ඇවිත් නැත්නම් එය ඉතා ළඟ විය යුතුයි. වෙනත් විදිහකින් කිවුවොත් මේ වෙද්දී මහ බැංකුව පාරේ කෙළවරට ඇවිත්!
සල්ලි අච්චු ගැහීම නැවතෙන්නේ රජය පැත්තෙන් විශාල වෙනසක් වුනොත් පමණයි. ශ්‍රී ලන්කන් වැනි ආයතන මේ වෙලාවේ කවුරුවත් ගනියිද කියන එක සැකයි. එසේ ගත්තත් ගන්නේ ණයත් එක්කනම් නෙමෙයි. ණය ටික ගෙවන්න වෙන්නේ රජයටයි. විකිණුවා කියලා තියෙන හිඟයේ හැටියට මහා ලොකු ආදායමක් ලැබෙන්නේ නැහැ.
ඩොලර් ප්‍රශ්නයට සෘජු පිළියමක් නොවුනත් රජය සතු වත්කම් රුපියල් අතේ තිබෙන දේශීය ධනවතුන්ට විකිණීම මේ වෙලාවේ කළ හැකි දෙයක්. ඉඩම්, ගොඩනැගිලි ආදී ඕනෑම දෙයක්. ඒ හරහා අයවැය හිඟය පියවා ගත හැකි අතරම සංසරණයේ තිබෙන රුපියල් ප්‍රමාණයද සීමා කරගත හැකියි. රජය සතු වාහන වුවද විකුණා දමා අවශ්‍යතා අනුව වාහන කුලියට ගන්නේනම් මේ වෙලාවේ අයවැය පීඩනය අඩු කරගත හැකි වෙයි. රජයේ සේවකයින්ට නිවසේ සිට වැඩ කිරීමට ක්‍රමවේද හැදීම මගින් ගොඩනැගිලි අවශ්‍යතා වුවත් අඩු කරගත හැකියි. දේශපාලන අධිකාරිය සතු වාහන ආදිය විකුණා දැමිය යුතු බවනම් රටෙන්ම එන ඉල්ලීමක්.
රජයට බදු වැඩි කරන්නම වෙනවා. නමුත් එය ඉතා සැලකිල්ලෙන් කරන්න වෙනවා. ලංකාවේ නිවාස ඒකක වල සමස්ත ආදායමෙන් 50%කට වඩා ලැබෙන්නේ ඉහළ ආදායම් ලබන 20%ටයි. පහළ ආදායම් ලබන 50%කටම ලැබෙන්නේ සමස්ත ආදායමෙන් 20%කට මඳක් වැඩි කොටසක් පමණයි. මේ පහළ ආදායම් ලබන 50% දැන් ජීවත් වන්නේ ඉතාම අසීරුවෙන්. ඔවුන්ගේ ආහාර සුරක්ෂිතතාව පවා තියෙන්නේ අවදානමේ. ඔවුන්ගේ බදු බර තවත් වැඩි කළ නොහැකියි.
ආසන්න වශයෙන් පහළ 50% කියන්නේ මසකට රුපියල් 50,000 නොඉක්මවන ආදායම් ලබන පවුල්. ඉහළ 20% කියා කියන්නේ මසකට රුපියල් ලක්ෂය ඉක්මවා ආදායම් ලබන පවුල්. වැඩි බදු බරක් පටවන්න වෙන්නේ ඒ පිරිසටයි. මේ වෙලාවේ කළ හැකි හොඳම දෙය නිවාස, වාහන ආදිය ඇතුළු වත්කම් මත සැලකිය යුතු වත්කම් බද්දක් අය කිරීමයි. ආදායම් සැඟවිය හැකි ඇතැම් අයට වත්කම් සඟවන්න අමාරුයි.
සාමාන්‍ය මූලධර්මයක් ලෙස ආදායම් මත මිස වත්කම් මත ලොකුවට බදු අය කරන්නේ නැහැ. ඒ වත්කම් වලින් නිරූපණය වන්නේ අතීත ඉතිරි කිරීම් වීම නිසා සහ ඒ ඉතිරි කිරීම් කර තිබෙන්නේ බදු ගෙවීමෙන් පසුව නිසයි. මේ පදනම අනුව වත්කම් මත බදු අය කිරීම කියන්නේ ආදායම මත නැවත නැවත බදු අය කිරීමක්. නමුත් දැන් ලංකාවේ තිබෙන්නේ සුවිශේෂී තත්ත්වයක්. රජයට අය කර ගත යුතුව තිබෙන්නේ කාලයක් තිස්සේ අය කරගත යුතුව තිබුණු බදු හා එම බදු අය කර නොගෙන ණය ගැනීම නිසා එකතු වූ පොලියයි.
මේ ආකාරයෙන් වත්කම් මත බදු අය කිරීම ලංකාවට දිගුකාලීනව වුවත් නරක නැහැ. මිල අධික වාහන මත සැලකිය යුතු මාසික බද්දක් අය කිරීමෙන් එවැනි වාහන භාවිතය අධෛර්ය කළ හැකියි. එවිට ලංකාවේ සුවිශේෂී තත්ත්වයක් වන වත්කමක් ලෙස වාහන නඩත්තු කිරීම නවතිනවා. වාහනයකින් ආදායම් උපයන අයට මෙය විශාල ප්‍රශ්නයක් නෙමෙයි. එහෙත්, වාහනය තියාගෙන මාසිකව බදු ගෙවිය නොහැකි අයට වාහනය විකුණා අඩු වටිනාකමැති වාහනයක් ගන්න වෙනවා. මෙය මේ වෙලාවේ වාහන ආනයනය නවතා තිබීම ප්‍රශ්නයක් වී ඇති අයටද පිළිතුරක්.
මේ අයුරින්ම නිවාස හා ඉඩම් මත වටිනාකම අනුව සැලකිය යුතු බද්දක් අය කිරීමෙන් අනවශ්‍ය තරම් ලොකු ගෙවල් හදන එක අධෛර්ය කළ හැකියි. බදු ගෙවිය හැකි තරම් ආදායමක් තියෙනවනම් ප්‍රශ්නයක් නැහැ. ලංකාවේ විදේශ ණය ලැබීම් වලින් සැලකිය යුතු කොටසක් තැන්පත් වී තිබෙන්නේ වාහන හා ඉදි කිරීම් තුළයි. වත්කම් බදු හරහා වටිනාකම වැඩි නාගරික ඉඩම් වල පදිංචිව සිටින ලොකු ආදායමක් නූපයන අයට පිට පළාත් වලට සංක්‍රමණය වීමටද බලපෑම් කළ හැකියි. එයින් ගමෙන් නගරයට සංක්‍රමණය වන අයට එය වඩා පහසු කරවනවා.
මේ අයුරින්ම මූල්‍ය වත්කම් මතද බදු අය කළ හැකියි. සම්ප්‍රදායික ආදායම් බදු හා වක්‍ර බදු වලින් පමණක් මේ වෙලාවේ තිබෙන රාජ්‍යමූල්‍ය අර්බුදය විසඳාගන්න බැහැ. එය නොවිසඳා සල්ලි අච්චු ගැසීම වලක්වන්න බැහැ. සල්ලි අච්චු ගැසීම නවත්වන්නේ නැතිව "මාරාන්තික සුළියෙන්" ගැලවෙන්න බැහැ.
No comments:
Post a Comment
ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.