වෙබ් ලිපිනය:

Showing posts with label ඇමරිකාව. Show all posts
Showing posts with label ඇමරිකාව. Show all posts

Thursday, June 22, 2023

මෝදිට අද ධවල මන්දිරයෙන් ඉහළම පිළිගැනීමක්!


ඉන්දීය අගමැති නරේන්ද්ර මෝදී හා ඇමරිකානු ජනාධිපති බයිඩන් අද ධවල මන්දිරයේදී හමු වීමට නියමිතයි. මෙම ඇමරිකානු සංචාරයේදී අගමැති මෝදීට ඇමරිකාවේදී රාජ්යතාන්ත්රිකයෙකුට ලැබෙන ඉහළම පිළිගැනීම ලැබෙනවා.
අද අගමැති මෝදීව ධවල මන්දිරය වෙත පිළිගන්නේ රතු පලස මතින්. මීට පෙර ජනාධිපති බයිඩන් විසින් රාජ්ය නායකයෙකුට මෙම ගෞරවය ලබා දී ඇත්තේ අවස්ථා දෙකකදී පමණයි. ඒ ප්රංශ හා දකුණු කොරියා ජනාධිපතිවරුන්ටයි. අගමැති මෝදීට ඇමරිකානු කොන්ග්රසය ඇමතීම සඳහාද අවස්ථාවක් ලැබෙනවා. ඉන්දීය අගමැතිවරයා විසින් මෙම සංචාරයේදී ඇමරිකාව සමඟ ආර්ථික සහයෝගීතා හා ආරක්ෂක ගිවිසුම් ගණනාවක් අත්සන් කිරීමට හා සාකච්ඡාවට බඳුන් කිරීමට නියමිතයි.
චීන හා පකිස්තානු දේශ සීමා වල භාවිතය සඳහා ඇමරිකන් ඩොලර් බිලියන 3ක නියමුවන් රහිත දුරස්ථ පාලක ගුවන් යානා තිහකට ආසන්න ප්රමාණයක් මිල දී ගැනීම පිණිස මෙහිදී ගිවිසුමක් අත්සන් කෙරෙන බව වාර්තා වී තිබෙනවා. පාලක මැදිරියක සිට දුරස්ථව හසුරුවන මෙම ගුවන් යානා ඔත්තු බැලීමේ කටයුතු සඳහා පමණක් නොව දුරස්ථ ප්රහාරක කටයුතු සඳහාද භාවිතා කළ හැකියි.
ලෝකයේ විශාලතම ආයුධ හා යුද උපකරණ ආනයනකරු වන ඉන්දියාව ඇමරිකාවෙන් මෙන්ම රුසියාවෙන්ද යුද උපකරණ මිල දී ගන්නවා. කලක සිටම ඉන්දියාව වෙත වැඩියෙන්ම ආයුධ විකිණුවේ රුසියාව වුවත් මෑතක සිට, විශේෂයෙන්ම රුසියාවේ යුක්රේන ආක්රමණයෙන් පසුව, රුසියාවෙන් කරන ආයුධ මිල දී ගැනීම් පහත වැටී තිබෙනවා.
අගමැති මෝදීගේ ඉන්දීය සංචාරයට සමාන්තරව දෙරට විශ්ව විද්යාල, වෙනත් පර්යේෂකයින්, පෞද්ගලික සමාගම්, ආයෝජකයින් හා නවෝත්පාදකයින් සම්න්බන්ධ කරමින්, යුද උපකරණ වැඩි දියුණු කිරීම හා නිෂ්පාදනය හා අදාළ තාක්ෂනය බෙදා ගැනීම හා හවුල් නිෂ්පාදනය සඳහා ඉන්දුස්-එක්ස් නමින් වේදිකාවක් සකසා සාකච්ඡා ආරම්භ කර ඇති අතර මෙහි ඉලක්කය වනුයේ 2025 වසර වන විට ඉන්දියාවේ ආරක්ෂක උපකරණ අපනයන ඩොලර් බිලියන 5 දක්වා ඉහළ නංවා ගැනීමයි. මෙය සිදු වන්නේ ඇමරිකාවේ මෙන්ම ක්වාඩ් නමින් සම්මුතියකට එළඹ සිටින ඇමරිකාව, ඉන්දියාව, ජපානය හා ඕස්ට්රේලියාව අතර සැපයුම් දාම වලට සම්බන්ධ වීම මගිනුයි.
ජෙනරල් ඉලෙක්ට්රික් ඒරෝස්පේස් සමාගම හින්දුස්ථාන් එරෝනෝටික්ස් සමාගම සමඟ එක් වී ඉන්දියාව තුළ ගුවන් යානා එන්ජින් නිපදවීම සඳහාද මෙහිදී ගිවිසුමක් අත්සන් කෙරෙන අතර මෙම එන්ජින් ඉන්දියානු ගුවන් හමුදාවේ ප්රහාරක යානා සඳහා යොදා ගැනෙනවා. තවත් ආරක්ෂක ගිවිසුමක් අනුව ඇමරිකානු නාවික හමුදා යාත්රා ඉන්දියානු වරාය තුළ අලුත්වැඩියා කිරීම සඳහා පහසුකම් සැලසෙනවා.
අගමැති මෝදී විසින් දැනටමත් ටෙස්ලා සමාගමේ ප්රධාන විධායක නිලධාරියා හමු වී ඇති අතර ගූගල්, ඇපල්, මයික්රොසොෆ්ට් හා ෆෙඩෙක්ස් සමාගම් වල ප්රධාන විධායක නිලධාරින්ද හමු වීමට නියමිතයි. මොවුන් කිහිප දෙනෙකුම ඉන්දීය සම්භවයක් ඇති අයයි. ඇපල් සමාගම විසින් දැනටමත් ඉන්දියාව තුළ නිෂ්පාදන කටයුතු අරඹා ඇති අතර ටෙස්ලා සමාගමද ඉතා ඉක්මණින් ඉන්දියාව තුළ නිෂ්පාදනය ඇරඹීමට නියමිතයි. කෘතීම බුද්ධිය ඇතුළු තවත් අංශ ගණනාවක තාක්ෂනික සහයෝගීතාවය සඳහාද මෙම සංචාරය අතරතුර කටයුතු ආරම්භ වෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇස්තමේන්තු අනුව ගෙවුණු අප්රේල් මාසයේදී ඉන්දියාව චීනය අභිබවමින් ලෝකයේ වැඩිම ජනගහණයක් සිටින රට බවට පත් වුනා. සමාජවාදී ආකෘතියෙන් ක්රමයෙන් බැහැර වෙමින් වෙළඳපොළ ප්රතිසංස්කරණ කිරීම මගින් පසුගිය දශක කිහිපය තුළ චීනය විසින් වේගවත් ආර්ථික වර්ධනයක් අත් කර ගැනීමට සමත් වුවත්, එම ආර්ථික වර්ධනය දිගටම පවත්වා ගැනීම සඳහා අවශ්ය වන දේශපාලන ප්රතිසංස්කරණ චීනය තුළ සිදු වූයේ නැහැ. මේ වන විට චීනයේ ආර්ථික වර්ධනය ක්රමයෙන් මන්දගාමී වෙමින් තිබෙනවා.
චීනයෙන් වෙනස්ව, ඉන්දියාව ලෝකයේ විශාලතම ප්රජාතන්ත්රවාදය ලෙස මෙන්ම ඉංග්රීසි කතා කළ හැකි විශාල ජනගහණයක්ද සමඟ බටහිර රටවලට වඩා පහසුවෙන් ප්රවේශ විය හැකි පාර්ශ්වකරුවෙක්ව සිටිනවා. ලෝක ආර්ථික වර්ධනය මන්දගාමී වීමට නියමිත 2023-2025 කාලය තුළද 6% ඉක්මවන වේගයකින් ඉන්දියාවේ ආර්ථිකය වර්ධනය වීමට නියමිතව ඇති අතර චීනයේ ඇති ඇමරිකන් හා අනෙකුත් බටහිර රටවල ආයෝජන ක්රමයෙන් ඉන්දියාව වෙත විතැන් වීමේ නැඹුරුවක් මේ වන විට දැකිය හැකිව තිබෙනවා. මෙම නැඹුරුව හා අනෙකුත් සාධක අනුව ඉදිරි දශක දෙක ඉන්දියාවේ දශක විය හැකියි.

Wednesday, June 7, 2023

ඇමරිකාවේ බදු කපන හැටි...

පහත රූප සටහනේ තිබෙන්නේ ඇමරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ ආදායම් හා වියදම්. සාමාන්‍යයෙන් ප්‍රාන්ත රජය ආදායම් හා වියදම් තුලනය කර ගන්නවා. ආර්ථික අවපාතයක් හෝ වෙනත් ආපදාවක් ඇති වූ විටෙක අනපේක්ෂිත ලෙස බදු ආදායම් පහළ ගොස් වියදම් තරමට ආදායම් එකතු කර ගන්න බැරි වෙනවා. 2010 හා 2020 එවැනි වසර දෙකක්.


මේ ආකාරයෙන් ආදායම ඉක්මවා වියදම් කරන්නට සිදු වූ අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීම සඳහා ආපදා අරමුදලක් නඩත්තු කරනවා. සාමාන්‍ය වසරකදී මෙම ආපදා අරමුදලට බැර කෙරෙන මුදල් සටහන් වන්නේද වියදම් ලෙසයි. ඊට අමතරව අධ්‍යාපන හා සෞඛ්‍ය වියදම් සඳහා වන අරමුදල් දෙකක වෙනම සංචිත පවත්වා ගැනෙනවා. ප්‍රස්ථාරයේ බොහෝ වසර වලදී දැකිය හැකි අයවැය අතිරික්තය යනු ඉහත අරමුදල් තුනටම මුදල් වෙන් කර අනෙකුත් සියලු වියදම් දැරීමෙන් පසු අතිරික්තයයි. එම අතිරික්තය එකතු වන්නේ පොදු සංචිත අරමුදලේ. 

ප්‍රාන්ත රජයේ ඉලක්කය වන්නේ වාර්ෂික ආදායමෙන් 10%-12% පරාසය තුල සංචිත පවත්වා ගැනීමයි. යම් හේතුවකින් ඉදිරි වසරක ආදායම් අනපේක්ෂිත ලෙස පහළ ගියහොත් ප්‍රයෝජනයට ගැනීම සඳහා මෙවැනි මට්ටමක සංචිත පවත්වා ගැනීම ප්‍රමාණවත්. 


පසුගිය දෙවසර තුළ පැවති ඉහළ උද්ධමනය නිසා ඉන්දියානා ප්‍රාන්ත රජයේ ආදායම් අනපේක්ෂිත ලෙස ඉහළ ගියා. ආදායමෙන් කොටසක් දෙවරකට බදු ගෙවන්නන් අතර බෙදා දීමෙන් පසුවද පොදු සංචිත ප්‍රමාණය ඉලක්ක මට්ටම ඉක්මවා ඉහළ ගොස් තිබෙනවා (දෙවන රූපය බලන්න). මේ අයුරින් ඕනෑවට වඩා සංචිත එකතු වීම නිසා අතිරික්ත සංචිත අඩු කර ගැනීමේ අවශ්‍යතාවයක් ඇති වී තිබෙනවා. මෙය කරන්න යන්නේ වියදම් වැඩි කිරීම මගින් නෙමෙයි. 

ප්‍රශ්නයට විසඳුමක් ලෙස ප්‍රාන්ත රජය විසින් දැනට 3.15%ක් වන ප්‍රාන්ත ආදායම් බදු අනුපාතිකය 2024දී 3.05% දක්වා සහ ඉන්පසු වසරකට 0.05% බැගින් අඩු කර 2027 වන විට 2.90% දක්වා අඩු කිරීමට යෝජිතයි. 

Friday, June 2, 2023

ණය සීමාව හා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය


ඊයේ (ජූනි 1) ඇමරිකාවේ සෙනෙට් සභාව තුළත්, පෙරේදා (මැයි 31) නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළත්, මහජන නියෝජිතයින් විසින් රෑ වන තුරු වාද විවාද කිරීමෙන් අනතුරුව පැවති ඡන්ද විමසීම් වල ප්‍රතිඵල අනුව ඇමරිකානු ෆෙඩරල් රජයේ ණය ගැනීමේ උපරිම සීමාව 2025 ආරම්භය දක්වා අත් හිටවීම සඳහා වූ යෝජනාව සම්මත වුනා. ජනාධිපති බයිඩන් විසින් අත්සන් තැබීමෙන් පසුව මෙය නීතියක් වීමට නියමිතයි.

ෆෙඩරල් රජයේ ණය ගැනීමේ උපරිම සීමාව වැඩි කර ගැනීම හෝ තාවකාලිකව අත්හිටවීම සඳහා ඇමරිකානු ව්‍යවස්ථාදායකයේ කොටස් දෙකේම අනුමැතිය හිමි විය යුතුයි. එහෙත්, මේ වන විට ඇමරිකාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ වැඩි බලය තිබෙන්නේ රිපබ්ලිකන් පක්ෂයට බැවින් ආණ්ඩු පක්ෂය වන ඩිමොක්‍රටික් පක්ෂයට මෙය අභියෝගයක්ව පැවතුණා.

ඇමරිකානු ව්‍යවස්ථාදායකයේ ඡන්ද විමසීම් වලදී පක්ෂයේ මතය අනුව යමින් සිග්නල් කණු පමණක් වී අත ඉස්සීම සාමාන්‍ය තත්ත්වය නොවුනත්, මෑතකාලීනව එවැනි ධ්‍රැවීකරණ ප්‍රවණතාවක් දැකිය හැකිව තිබුණා. සාමාන්‍ය ජනතාව අතර වුවද පක්ෂ අනුව බෙදීම කලක සිට වැඩි වී උග්‍ර මට්ටමකට ගොස් තිබෙනවා. 

රජයේ උපරිම ණය සීමාව හා රජයේ වියදම් අතර සෘජු සම්බන්ධයක් නැතත් රිපබ්ලිකන් පක්ෂය විසින් රජයේ වියදම් පාලනය කිරීම සඳහා උපරිම ණය සීමාව කෙරෙහි ඔවුන්ට කළ හැකි වූ බලපෑම අවියක් ලෙස ප්‍රයෝජනයට ගත්තා. ඒ අනුව, ජනාධිපති බයිඩන්ට අවශ්‍ය වූ පරිදි කොන්දේසි විරහිතව ණය සීමාව ඉහළ දමා ගැනීම කළ හැකි වූයේ නැහැ. 

ජනවාරි 19 දින වන විට ලබාගත් ණය ප්‍රමාණය නීතිය අනුව ලබාගත හැකි උපරිම සීමාව කරා ලඟා වුනා. ඉන් පසුව, ඇමරිකාවේ මහා භාණ්ඩාගාරයට වියදම් කළමනාකරණය කර ගැනීම සඳහා හදිසි තත්ත්වයකදී ගන්නා තාවකාලික ක්‍රියාමාර්ග (හදිසි නොවන ගෙවීම් ප්‍රමාද කිරීම වැනි) ගන්නට සිදු වුනා. සාමාන්‍යයෙන් මාස කිහිපයක් මේ විදිහට ඇදගෙන යා හැකියි. 

ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ජෙනට් යෙලන් විසින් දැනුම් දුන් පරිදි මේ ආකාරයෙන් ඇදගෙන යා හැකි වූයේ ජුනි මාසය මුල දක්වා පමණයි. අලුතෙන් ණය ලබා ගත නොහැකි වීනම් එළැඹෙන සඳුදා (ජූනි 5) වන විට භාණ්ඩාගාරය සතු මුදල් අවසන් වී කර කියා ගත හැකි දෙයක් නැති වන බව ඇය දැනුම් දුන්නා. 

ඉහත අවදානම වලක්වා ගැනීම සඳහා ප්‍රධාන පක්ෂ දෙකට හැකි ඉක්මණින් කිසියම් සම්මුතියකට එළැඹෙන්නට සිදු වුනා. ෆෙඩරල් නිවාඩු දිනයකින් අවසන් වූ පසුගිය දිගු සති අන්තයේදී මෙම සම්මුතිය ඇති කර ගැනුණු අතර පෙරේදා (මැයි 31) අදාළ යෝජනාව නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වෙත ඉදිරිපත් කර දෙපක්ෂයේම මධ්‍යස්ථ මන්ත්‍රීවරුන්ගේ සහයෝගයෙන් සම්මත කර ගැනුණා. පක්ෂ දෙකෙහිම දැඩි මතධාරීන් යෝජනාවට විරුද්ධව ඡන්දය දුන්නා.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ වාදවිවාද වලින් පසුව ඡන්ද විමසීම පවත්වා අවසන් කළේ රාත්‍රී 9:30ට පමණ. ඩිමොක්‍රටික් මන්ත්‍රීවරු 165 දෙනෙකු සහ රිපබ්ලිකන් මන්ත්‍රීවරු 149 දෙනෙකු යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නා.  ඩිමොක්‍රටික් මන්ත්‍රීවරු 46 දෙනෙකු සහ රිපබ්ලිකන් මන්ත්‍රීවරු 71 දෙනෙකු යෝජනාවට විරුද්ධ වුනා. එක් එක් පක්ෂයේ නියෝජිතයින් දෙදෙනෙකු බැගින් ඡන්දය දීමෙන් වැළකුණා. ඒ අනුව, යෝජනාව වැඩි අපහසුවක් නොමැතිව සම්මත වුනා. 

ඊයේ (ජූනි 1) සෙනෙට් සභාව තුළ යෝජනාව සම්මත වන විට රාත්‍රී එකොළහේ කණිසමද පසු වී තිබුණා. එහිදී යෝජනාවට පක්ෂව ඩිමොක්‍රටික් ඡන්ද 44ක් රිපබ්ලිකන් ඡන්ද 17ක් සහ ස්වාධීන ඡන්ද 2ක් ලැබුනා. ඩිමොක්‍රටික් නියෝජිතයින් 4 දෙනෙක්  රිපබ්ලිකන් නියෝජිතයින් 31 දෙනෙක්  සහ ස්වාධීන නියෝජිතයෙක් යෝජනාවට විරුද්ධ වුනා. 

මෙම යෝජනාව අනුව, 2025 ජනවාරි 1 දක්වා ණය ගැනීමේ උපරිම සීමාව අත් හිටවනු ලබනවා. ඒ සමඟම, 2024 වසර තුළ ආරක්ෂක වියදම් හැර අනෙකුත් වියදම් ඉහළ දැමිය නොහැකි බවටද සීමාවක් පැනවෙනවා. 2024 නොවැම්බරයේදී ඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරණය පැවැත්වෙනවා. 

ප්‍රජාතන්ත්‍රවාදයේ කෝණයෙන් මෙම ඡන්ද විමසීම් හොඳ හැරවුමක්. මෙහිදී එක් පාර්ශ්වයකට හෝ අවශ්‍ය දේ එලෙසම සිදු වූයේ නැහැ. දෙපාර්ශ්වයටම තමන් ජයගත් බව කියා සිටින්නට ඉඩ සලසමින් මධ්‍යස්ථ විසඳුමකට පැමිණීමයි අවසාන වශයෙන් සිදු වුනේ. 

Tuesday, September 6, 2022

විදුලි සැරෙන් බේරෙන්නේ කොහොමද (සිවුවන කොටස)

අමතර කරුණු වලට යන්න කලින් පෙර කොටසේ ලියූ දේවල් වල අපැහැදිලි සේ පෙනෙන තැන් පැහැදිලි කරලා ඉන්නම්. පළමු කොටසේදී මම වචන යොදාගත්තේ ආර්ථික විද්‍යාත්මක අරුතකින් මිසක් විදුලිබල කර්මාන්තය තුළ සිදුවන භෞතික ක්‍රියාවලිය මත පදනම්ව නෙමෙයි. ඒ නිසා, වචන වල අවුලක් පෙනෙන්න පුළුවන්. විදුලිය නිපදවීමේ සිට පාරිභෝගිකයා දක්වා පැමිණීමේ භෞතික ක්‍රියාවලිය කොටස් තුනකට (හතරකට) බෙදිය හැකියි. 

1. විදුලිය නිපදවා තොග වශයෙන් විකිණීම 

2. සම්ප්‍රේෂණය හා පද්ධති පාලනය 

3. බෙදා හැරීම 

(4. සිල්ලර වෙළඳාම) 

විදුලිය නිපදවා "තොග වශයෙන්" විකිණීම - මේ වැඩේ තරඟකාරී පදනමකින් බොහෝ දෙනෙකුට කළ හැකි වැඩක්. එසේ කිරීම වලක්වන ලොකු තාක්ෂණික බාධාවක්  නැහැ. ඒ වගේම, තරඟකාරී වෙළඳපොළක් තිබීම ආර්ථික වශයෙන් ශක්‍ය දෙයක්. ලංකාව ගත්තත් විදුලිය නිපදවන සමාගම් ගණනාවක් දැනටමත් තිබෙනවා. පෙර කොටසේ ලියූ පරිදි, 2021දී ලංකාවේ නිපදවූ විදුලිය ගිගාවොට්පැය 16,716න් වැඩිම කොටසක්, එනම් ගිගාවොට්පැය 12,711ක්ම නිපදවූයේ ලංවිම විසින්. එහෙත්, පෞද්ගලික සමාගම් විසින්ද ගිගාවොට්පැය 4,004ක් නිපදවුවා. මේ හා අදාළ වැඩිමනත් තොරතුරු හා මගේ යෝජනා ඉදිරි කොටසකින් කතා කරමු.

සම්ප්‍රේෂණය- මෙය දෙවන පියවර. සම්ප්‍රේෂණ සමාගමක් විසින් කරන්නේ ජනනය කරන විදුලිය ට්‍රාන්ස්ෆෝමරයක් මගින් අධි-වෝල්ටීය විදුලිය බවට හරවා වෙනත් තැනකට "ප්‍රවාහනය" කර එහිදී තවත් ට්‍රාන්ස්ෆෝමරයක් මගින් වෝල්ටීයතාව අඩු කර බෙදාහරින්නෙකුට ලබා දීම. ඒ වෙනුවෙන් සම්ප්‍රේෂකයා විසින් "ප්‍රවාහන ගාස්තුවක්" අය කරනවා. 

මෙහෙම කිවුවත් මෙය තාක්ෂණික ලෙස සංකීර්ණ වැඩක්. විදුලිය ප්‍රවාහනය කිරීම තක්කාලි ප්‍රවාහනය කිරීම වගේ දෙයක් නෙමෙයි. විදුලිය සම්ප්‍රේෂණය කරන පද්ධතියක් හැම මොහොතකම "සමතුලිතව" තබා ගත යුතුයි. විදුලිය ගබඩා කර තබා ගන්න බැහැ. (තාක්ෂණිකව වැරදිනම් එය ගොඩක් අසීරුයි කියා කියමුකෝ). ඒ නිසා, ඕනෑම මොහොතක විදුලි ඉල්ලුම හා විදුලි සැපයුම සමාන විය යුතුයි. නැත්නම් පද්ධතිය බිඳ වැටෙනවා. අසමතුලිතතාවය යම් සීමාවක් පැන්නොත් පද්ධතිය බිඳ වැටෙනවා. 

සම්ප්‍රේෂකයෙකුට බෙදාහරින්නෙකුගේ ඉල්ලුම පාලනය කරන්න බැහැ. කළ හැක්කේ පුරෝකථනය කිරීම පමණයි. ඒ පුරෝකථනය අනුව සැපයුම වෙනස් කළ යුතුයි. සැපයුම බොහෝ විට පොඩි ගණන් වලින් වෙනස් කරන්න බැහැ. ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීම හෝ ක්‍රියා විරහිත කිරීමයි කළ හැක්කේ. එවිට, එම ජනක යන්ත්‍රයේ මුළු ධාරිතාවම එකවර පද්ධතියට එකතු වෙනවා. නැත්නම් එම මුළු ධාරිතාවම පද්ධතියෙන් එක වර ඉවත් වෙනවා. ඒ නිසා, පද්ධතිය කුඩා වූ තරමට එය සුමට ලෙස පවත්වා ගෙන යාම අසීරුයි. බෙදාහරින්නන් හා විදුලිය නිපදවන්නන් විශාල ප්‍රමාණයක් පද්ධතියට සම්බන්ධ වී සිටින විට එය සුමට ලෙස මෙහෙයවන එක පහසුයි.

ලංකාවේ විදුලිය බෙදා හරින මධ්‍යස්ථාන හා ජනක යන්ත්‍ර සියල්ල එකම පද්ධතියක් ලෙස සම්බන්ධ කර තිබෙනවා. එය කාර්යක්ෂමයි. මේ පද්ධතිය මුළුමනින්ම පාලනය කරන්නේ ලංවිම විසින්. ඒ වගේම සම්ප්‍රේෂණය කිරීමේ ඒකාධිකාරයක්ද තිබෙනවා.

ලොකු රටක් වන ඇමරිකාවේ මහද්වීපයට පිටින් තිබෙන ඇලස්කා හා හවායි ප්‍රාන්ත වල හුදෙකලා විදුලිබල පද්ධති දෙකක් තිබෙනවා. මහාද්වීපයේ පිහිටි ඉතිරි ප්‍රාන්ත 48න් ටෙක්සාස් ප්‍රාන්තයේද බොහෝ දුරට හුදෙකලා විදුලි පද්ධතියක් තිබෙනවා. අනෙක් ප්‍රාන්ත 47 සහ වොෂින්ටන් අගනුවර එකිනෙකින් බොහෝ දුරට හුදෙකලා විශාල විදුලිබල පද්ධති දෙකක් ලෙස සම්බන්ධ වී තිබෙනවා. රටේ නැගෙනහිර කොටසේ ප්‍රාන්ත එක් පද්ධතියක්. බටහිර කොටසේ ප්‍රාන්ත තවත් පද්ධතියක්. ඒ වගේම මේ නැගෙනහිර හා බටහිර විදුලි බල පද්ධති වලට කැනඩාවේ ප්‍රදේශද සම්බන්ධයි. උතුරු ඇමරිකාවම සැලකුවොත් කැනඩාවේ කියුබෙක් ප්‍රාන්තය පැත්තට වෙන්න තවත් විදුලිබල පද්ධතියක් තිබෙනවා. 

මහාද්වීපික ඇමරිකාවේ තිබෙන විදුලිබල පද්ධති තුන එකිනෙකින් "බොහෝ දුරට" හුදෙකලා කියා කීවේ මේ පද්ධති අතරද විදුලි බලය හුවමාරු කළ හැකි සම්බන්ධතාවන් තිබෙන නිසයි. එහෙත් එසේ එම පද්ධති සම්බන්ධ කර ඇත්තේ එක් පද්ධතියක් අසමතුලිත වීම අනෙක් පද්ධති වලට බල නොපාන ආකාරයකිනුයි. මේ විදිහට එකම පද්ධතියක් ලෙස සම්බන්ධ වී තිබුණත් බටහිර හා නැගෙනහිර විදුලිබල පද්ධති එකම සම්ප්‍රේෂකයෙකුට මුළුමනින්ම අයිති නැහැ. ඒ පද්ධති වල කොටස් පද්ධති පාලකයින් 66 දෙනෙකු විසින් පාලනය කරනවා. කැනඩා කොටස් වල තවත් පද්ධති පාලකයෝ ඉන්නවා.


ප්‍රදේශ දෙකක් අතර විදුල බලය ප්‍රවාහනය කිරීම සඳහා තරඟකාරී සම්ප්‍රේෂකයින් දෙදෙනෙකු සිටීම තාක්ෂණික ලෙස සිදුවිය නොහැක්කක් නෙමෙයි. එහෙත්, යටිතල පහසුකම් සඳහා අවශ්‍ය ආයෝජනය විශාල නිසා මේ වැඩේ මුලින්ම කරන සම්ප්රේෂකයාට විශේෂ වාසියක් ලැබෙනවා. ඒ තුළින් "ස්වභාවික ඒකාධිකාරයක්" හැදෙනවා. ඒ හේතුව නිසා සම්ප්‍රේෂණ පද්ධතියක අයිතිය කාට වුවත් ඇමරිකන් නීතිය යටතේ ඒවා සැලකෙන්නේ පොදු භාණ්ඩ ලෙසයි. ඒ කියන්නේ, පෞද්ගලික  බස් වගේ. 

සම්ප්‍රේෂණ පද්ධතියක අයිතිකරුවෙකු එය පරිහරණය කිරීම සඳහා සියල්ලන්ටම සම අවස්ථා ලබා දිය යුතුයි. වෙනස් ලෙස සැලකිය නොහැකියි. 

ලංකාවේ සම්ප්‍රේෂණ පද්ධතිය මේ වන විට මුළුමනින්ම අයිති ලංවිමටයි. ඒ වගේම, පද්ධති පාලනය කරන්නේත් ලංවිම පමණයි. ලංකාවේ විදුලිබල පද්ධතියේ ප්‍රමාණය අනුව සම්ප්‍රේෂණය හා පද්ධති පාලනය තනි ආයතනයක් විසින් කිරීම ආයතන කිහිපයක් විසින් කොටස් කඩා කරනවාට වඩා කාර්යක්ෂම විය හැකියි. කඩනවා වුනත් වැඩිම වුනොත් මෙය කොටස් පහකට පමණ බෙදිය හැකියි. ඊට වඩා කුඩා කිරීම තාක්ෂණික ලෙස ශක්‍ය නැහැ. ඒ වගේම, එසේ කොටස් කිරීමේ තාක්ෂණික අවාසියට සාපේක්ෂව වෙනත් ආර්ථික වාසි නැහැ. සම්ප්‍රේෂණය කිරීමේ හා පද්ධති පාලනය කිරීමේ ලංවිම ඒකාධිකාරය කඩන එක අනවශ්‍ය දෙයක්. ඇමරිකාවේ පද්ධති පාලකයින් 66 දෙනෙකු ඉන්නේ ඓතිහාසික හා දේශපාලනික හේතු මත මිස ආර්ථික හේතු නිසා නෙමෙයි. 

දෙවන කොටස ගැන තරමක් ලොකු විස්තරයක් ලිවුවේ මේ කොටස ගැන දිගින් දිගටම කතා කරන්න බලාපොරොත්තුවක් නැති නිසා. මොකද මේ කටයුත්ත දැන් සිදු වෙන විදිහ ලොකුවට වෙනස් විය යුතු නැහැ.

බෙදා හැරීම - බෙදා හැරීම තුන් වන කොටසයි. බෙදා හරින්නා විසින් කරන්නේ සම්ප්‍රේෂකයා විසින් තොග වශයෙන් ලබා දෙන විදුලිය විදුලි උපපොළක සිට නිවෙස් දක්වා බෙදා හැරීමයි. මේ සඳහාද යටිතල පහසුකම් වෙනුවෙන් මුදල් යෙදවිය යුතු නිසා පළමුවැන්නාට ස්වභාවික ඒකාධිකාරයක් හිමි වෙනවා. එහෙත්, මෙහි ස්ථිර පිරිවැය සම්ප්‍රේෂකයෙකුගේ ස්ථිර පිරිවැය තරම්ම විශාල නොවන නිසා දෙවැන්නෙකුට වෙළඳපොළට ඇතුළු වීම නොකළ හැක්කක් නෙමෙයි. ඒ වගේම, බෙදා හරින්නෙකුට පැවතීම සඳහා විශාල ප්‍රදේශයක් අවශ්‍ය වන්නේ නැහැ. මගේ අදහස අනුව ඇමරිකාවේ බෙදාහරින්නන් දහස් ගණනක් සිටිනවා විය යුතුයි. ලංකාවේ බෙදා හැරීම කරන්නේ ලංවිම හා ලෙකෝ සමාගමයි.

සිල්ලරට විකිණීම - විදුලිය ජනනය කිරීම, සම්ප්‍රේෂණය හා බෙදා හැරීම භෞතික ලෙස සිදු වන කටයුතු තුනක්. විකිණීම ආර්ථික කටයුත්තක්. ලංකාවේ සන්දර්භයේදී විදුලිය බෙදා හැරීම හා සිල්ලරට විකිණීම එකට යන කටයුතු දෙකක්. එහෙත්, මෙය එසේම සිදු විය යුතු නැහැ. විදුලිය සිල්ලරට විකිණීම කළ හැක්කේ කාටද?

පහසුම ක්‍රමය ලංකාවේ දැනටද සිදුවන පරිදි බෙදා හරින්නා විසින් විදුලිය සිල්ලරට විකිණීමයි. මෙහිදී බෙදා හරින්නා විසින් නිපදවන්නාගෙන් තොග වශයෙන් විදුලිය මිල දී ගන්නවා. නිපදවන්නාට එක්කෝ බෙදාහරින්නට අවශ්‍ය තැනට විදුලිය සපයන්න පුළුවන්. මෙහිදී නිපදවන්නා විසින් සම්ප්‍රේෂකයාට ප්‍රවාහන ගාස්තු ගෙවනවා. එසේ නැත්නම් විදුලිය හදන තැනින් සපයන්න පුළුවන්. එහිදී බෙදාහරින්නා විසින් ප්‍රවාහන ගාස්තු ගෙවනවා. 

සම්ප්‍රේෂකයා විසින් විදුලිය විකිණීම - මෙය ආචාර ධාර්මිකව නුසුදුසු දෙයක්. බොහෝ රටවල නීතියෙන් ඉඩ නොලැබෙන දෙයක්. සම්ප්‍රේෂකයාට ලැබෙන ස්වභාවික ඒකාධිකාරය නිසා සම්ප්‍රේෂකයා සියලු නිපදවන්නට, බෙදාහරින්නට හා පාරිභෝගිකයින්ට සම සේ සැලකිය යුතුයි. සම්ප්‍රේෂකයා ඔවුන්ගේ තරඟකරුවෙකු වූ විට මේ වැඩේ සිදු වෙන්නේ නැහැ. ඇමරිකාවේ බොහෝ සම්ප්‍රේෂකයින් ලාබ ලැබීම අරමුණු කර නොගත් ආයතන. 

නිෂ්පාදකයා විසින්ම සිල්ලරට විදුලිය විකිණීම - ලංකාවේ සිදු නොවුනත් මෙයත් ලෝකයේ වෙනත් රටවල සිදු වන දෙයක්. මෙහිදී නිෂ්පාදකයා විසින් සම්ප්‍රේෂකයාට මෙන්ම බෙදාහරින්නාටද ගාස්තුවක් ගෙවනවා. 

වෙනමම පාර්ශ්වයක් විසින් විදුලිය විකිණීම - මෙහිදී සිල්ලර වෙළෙන්දාට විදුලිය සැපයීම තුළ කිසිදු භෞතික කාර්යභාරයක් නැහැ. සිල්ලර වෙළෙන්දා විසින් නිෂ්පාදකයාගෙන් තොග මිලට විදුලිය ලබාගෙන, සම්ප්‍රේෂකයාට සහ බෙදා හරින්නාට ගාස්තු ගෙවා පාරිභෝගිකයාට විදුලිය ලැබෙන්නට සලස්වනවා.

මේ සියල්ල පසුබිම් විස්තර. දැන් අපි කලින් නැවැත්වූ තැනට එමු. එහිදී මම යෝජනා කළේ ලංකාවේ විදුලිය බෙදා හැරීම හා සිල්ලරට විකිණීම පළමුව විමධ්‍යගත කර දෙවනුව ඒ සඳහා පෞද්ගලික අංශය දායක කර ගත යුතු බවයි. දැන් අපි ප්‍රශ්න වලට යමු.

ජනනය හා සම්ප්‍රේෂණය ගැන කතා නොකර බෙදාහැරීම ගැන කතා කළේ ඇයි?

ලංකාවේ විදුලිබල වෙළඳපොළෙහි ප්‍රමාණය හා රටේ ප්‍රමාණය අනුව සම්ප්‍රේෂණය හා පද්ධති පාලනය විමධ්‍යගත කිරීම හෝ පෞද්ගලීකරණය කිරීම අවශ්‍යම දෙයක් නෙමෙයි. ඒ වගේ වැඩකින් දැනට තිබෙන කාර්යක්ෂමතාවය වැඩි වීමට ලොකු ඉඩක් නැතුවාක් මෙන්ම කාර්යක්ෂමතාවය අඩු වෙන්න වුනත් පුළුවන්. කවර හෝ හේතු නිසා එසේ කළ යුතු වුවත්, ඒ ගැන සිතා බැලිය යුත්තේ කලින් කළ යුතු අනෙකුත් බොහෝ දේ කිරීමෙන් පසුවයි.

ලංකාවේ විදුලි ජනනය මේ වන විටත් සෑහෙන දුරකට පෞද්ගලික අංශය විසින් කරනවා වගේම සැලකිය යුතු තරඟයක්ද තිබෙනවා. තව යා යුතු දුර බොහෝ බව ඇත්ත. නමුත් විදුලි ජනන වෙළඳපොළ ලංවිම ඒකාධිකාරය දැනටත් දුර්වල එකක්. ලංකාවේ විදුලිය නිපදවීමේ ආන්තික පිරිවැය (marginal cost) වගේම සාමාන්‍ය පිරිවැයද (average cost) තීරණය කරන්නේ පෞද්ගලික විදුලිබල නිෂ්පාදකයින් විසින්. 

විදුලි ජනන වෙළඳපොලේ එවැනි තරඟයක් තිබියදීත් එහි වාසිය පාරිභෝගිකයා වෙත නොඑන්නේ විදුලිය සම්ප්‍රේෂණය කිරීමේ හා බෙදා හැරීමේ ඒකාධිකාරය ලංවිම හා ලෙකෝ සතුව තිබෙන නිසා. තාක්ෂණික හේතු මත සම්ප්‍රේෂණ ඒකාධිකාරය නොබිඳිය යුතු බව මම ඉහත විස්තර කළා. එවිට ඉතිරි වන්නේ බෙදා හැරීම හා සිල්ලර වෙළඳාම.

ඊළඟට ලංකාවේ බිම් යථාර්තයට ආවොත් මෙය කියවන්නේ ලංකාවේ අහඹු නියැදියක් නෙමෙයි. මෙය කියවන අය අතර වෙළඳපොළ වෙනුවෙන් පෙනී සිටින අය වැඩි වෙන්න පුළුවන්. නමුත් රටේ තත්ත්වය වෙනස්. රටේ ගොඩක් මිනිස්සු වෙළඳපොළ වැඩි දියුණු කෙරෙන ප්‍රතිසංස්කරණ වලට බයයි. කිසිම තාර්කික හේතුවක් නැතුව ඕනෑම ප්‍රගතිශීලී වෙනසකට විරුද්ධ වෙන අය ඕනෑ තරම් ඉන්නවා.

ලංකාවේ මෙන් රාජ්‍ය ඒකාධිකාරයක් තිබුණු කර්මාන්තයක් එක රැයින් විශාල පරිවර්තනයකට ලක් කරන එක ප්‍රායෝගිකව කළ හැකි දෙයක් නෙමෙයි. ලෝකයේ කිසිම රටක ප්‍රති-නියාමනය හදිසියේ කරලා නැහැ. ඇමරිකාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල විදුලිබල සැපයුම් කර්මාන්තය අද තියෙන තැන දක්වා පරිණාමය වී තිබෙන්නේ වසර ගණනක් තුළයි. ඒ නිසා, පියවරෙන් පියවර යා යුතුයි. එක් පියවරක් ලොකු කම්පනයක් නොවිය යුතුයි. හැම පියවරකින් පසුවම එයින් වැඩක් වූ බව රටේ සැලකිය යුතු පිරිසකට පෙනෙන්න තිබිය යුතුයි. මම යෝජනාව ගෙනාවේ මේ හැම දෙයක් ගැනම හිතලා. එය පළමු පියවරක් පමණයි. ඊළඟ පියවර පසුව විස්තර කරන්නම්.

මෙහිදී මම නිගමනය කරනවා මේ පළමු අදියරේදී විදුලිය සිල්ලරට විකිණීම බෙදා හරින්නා විසින් කළ යුතුයි කියා. ඒ ඇයි?

මේ වැඩේ විදුලිය හදන සමාගම් වලට දුන්න ගමන් ලංවිමත් එක්ක ක්ෂණික ගැටුමක් එනවා. එක පැත්තකින් ලංවිම විදුලිය විකුණනවා. පෞද්ගලික නිෂ්පාදකයින්ට විදුලිය විකුණන්න වෙන්නෙත් ලංවිම යටිතල පහසුකම්ම උපයෝගී කරලා. සම්ප්‍රේෂණය වගේම බෙදාහැරීමත් තියෙන්නේ ලංවිම අතේ. වෙනත් බොහෝ දේ වෙනස් නොවී ඔය වගේ ප්‍රතිසංස්කරණයක් සාර්ථක ලෙස දියත් කරන එක ගොඩක් අමාරු වැඩක්. 

දැනට කර්මාන්තයේ නැති අලුත්ම පිරිසක් වැඩේට සම්බන්ධ වෙන එක නොවෙන දෙයක්. එවැනි අයෙකුට කොහොමත් ලංවිම එක්ක තරඟ කරන්න බැහැ. 

බෙදා හරින්නා විසින් විදුලිය සිල්ලරට විකුණන එක ලංකාවට අලුත් දෙයක් නෙමෙයි. ඒ වැඩේ කාලයක් තිස්සේ සාර්ථක ලෙස සිදු වුනා. දැනටත් ලෙකෝ එක ඒ වැඩේ කරනවා. මේ වැඩේ වෙළඳපොළට විශාල කම්පනයක් නෙමෙයි. 

මේ වැඩෙන් පාරිභෝගිකයාට වාසියක් නැහැ නේද?

පළමු වටයේදී ක්ෂණික වාසියක් නැහැ. වාසිය ලැබෙන්නේ දෙවන අදියරේදී සහ ඉන් පසුව. එය මම පසුව විස්තර කරන්නම්.

මේ වැඩෙන් තරඟයක් ඇති වෙන්නේ නැහැ නේද? 

තරඟයක් ඇති වෙනවා. වෙළඳපොළක තරඟයක් ඇති විය හැකි විවිධ ආකාර තිබෙනවා. මෙහිදී තරඟය පටන් ගන්නේ බෙදාහරින්නන් තෝරා ගන්නා අවස්ථාවේදී.

මේ වැඩෙන් ලංවිම ඒකාධිකාරය නැති වෙන්නේ නැහැ නේද?

පැහැදිලිවම නැහැ. මෙය ලංවිම ඒකාධිකාරය බිඳීම සඳහා තැබිය හැකි එක් පළමු පියවරක් පමණයි.

ලංකාව වගේ කුඩා රටක විදුලිය බෙදාහරින්නන් 200-300 විතර ඉන්න ආකෘතියක් ලෝකයේ මොනම හරි රටක මේ වෙද්දී සාර්ථක විදිහට ක්‍රියාත්මක වෙන ආකෘතියක්ද?

පළමුව, විදුලිය බෙදාහරින්නන් 200-300 විතර සිටිය යුතු බවක් මම කිවුවේ නැහැ. දෙවනුව, අපි කරන හැම දෙයක්ම ලෝකයේ වෙනත් රටක් කලින් කර තිබිය යුතු නැහැ. ඕනෑම දෙයක් මුලින්ම කරන්නේ මොකක් හරි එක රටක. බොහෝ රටවල් වෙන රටවල් කර නැති දේවල් මුලින්ම කරලා තියෙනවා. හැබැයි වෙනත් බොහෝ රටවල් විසින් කරලා අසාර්ථක වී තිබෙන දෙයක්නම් එවැන්නක් කරන එකේ තේරුමක් නැහැ. මෙය එවැන්නක් නෙමෙයි.

එහෙමනම් විදුලිය බෙදාහරින්නන් කොපමණ සිටිය යුතුද?

මෙය අවසාන වශයෙන් තීරණය වන්නේ වෙළඳපොළ තුළයි. එහෙත්, මුලින්ම කඩන කොටස් ප්‍රමාණයට වඩා බෙදාහරින්නන් ඉන්න විදිහක් නැති නිසා විමධ්‍යගත කිරීමේ සැලසුම තුළ උපරිම බෙදාහරින්නන් ප්‍රමාණය තීරණය වෙනවා. දැනටම ලෙකෝ එකේ ශාඛා බල ප්‍රදේශ 7ක් තිබෙනවා. ලංවිම කොට්ඨාශ වල උප ප්‍රදේශ ගණනාවක් තිබෙනවා.

කොට්ඨාශය 1 - ප්‍රදේශ 20

කොට්ඨාශය 2 - ප්‍රදේශ 24

කොට්ඨාශය 3 - ප්‍රදේශ 14

කොට්ඨාශය 4 - ප්‍රදේශ 11

ලෙකෝ - ප්‍රදේශ 7

එකතුව - ප්‍රදේශ 76

දැනටම මෙවැනි විමධ්‍යගත ආකෘතියක් ඇති නිසා මේ ප්‍රදේශ මත පදනම්ව ප්‍රතිසංස්කරණයක් කරන එක පහසු වැඩක්. මගේ ලිපියේ මම කොටස් 200-300කට කැඩිය යුතු කතාවක් කිවුවේ නැහැ. එහි මම ලිවුවේ මෙවැන්නක්.

"ලෙකෝ එකෙන් කතාව පටන් ගත්තත්, ලංවිම බෙදා හැරීමේ කොට්ඨාශ වලත් උප කොට්ඨාශ තිබෙනවා. ලෙකෝ එකෙන් පටන් ගන්නේ නැතිව, ඒ උප කොට්ඨාශ වලින් මේ වගේ වැඩක් පටන් ගන්න පුළුවන්."

ඔය 200 කතාව ලිවුවේ අහපු ප්‍රශ්නයකට ප්‍රතිචාරයක් ලෙසයි. එහිදී මම කිවුවේ කඩන කලාප ගණනින් බෙදාහරින්නන් එපමණ ඇති වන බවක් අදහස් නොවන බවයි. 200 පැහැදිලි කිරීමේ උදාහරණයේදී යොදාගත් සංඛ්‍යාවක් පමණයි.

"අපි හිතමු කලාප 200කට කැඩුවා කියලා. කුඩා වැඩි නිසා එය අකාර්යක්ෂමනම් වෙන්දේසි කරද්දී කලාප 10 පමණ බැගින් ලබා ගන්නා තරමක් ලොකු සමාගම් 20ක් හැදෙයි. නමුත්, කලාප 20කින් පටන් ගත්තොත් එය අනෙක් පැත්තට වෙන්නේ නැහැ. ඒ නිසා, හැම විටම විමධ්‍යගත කිරීම වඩා කාර්යක්ෂමයි. එය කාර්යක්ෂම නැත්නම් වෙළඳපොළ විසින් ප්‍රශ්නය විසඳනවා. නමුත් අනෙක් පැත්තට වෙන්නේ නැහැ."

කොයි තරම් කුඩා කොටස් වලට කැඩිය යුතුයිද කියන එක හරියටම තීරණය කරන්න වෙන්නේ දැනට තිබෙන බෙදාහැරීමේ ජාලයේ ස්වරූපය අනුව. (ග්‍රිඩ් උපපොලවල්, ට්‍රාන්ස්ෆෝමර්ස් ආදිය තිබෙන තැන් අනුව). වැඩේ කෙරෙනවනම් කෙරෙන වෙලාවක ඒ ගැන හදාරමු. දැනට නිශ්චිත ගණනක් ගැන තීරණයකට එන්න අවශ්‍ය නැහැ.

මේ තරම්ම පොඩි කොටස් වලට කඩන එක තාක්ෂණික ලෙස ශක්‍යද? තිරසාරද?

පැහැදිලිවම, ඔව්. ලෙකෝ එක පටන් ගත්තේ දැන් ලෙකෝ එකට අයත් ප්‍රදේශ හතෙන් එකකින්. මුලින්ම ලෙකෝ එක වුනේ කෝට්ටේ නගර සභා බල ප්‍රදේශය. පාරිභෝගිකයෝ හිටියේ 13,000ක් පමණයි. ඒ කාලෙත් ලෙකෝ ආකෘතිය වැඩ කළා. ලෙකෝ එක තවමත් තියෙන්නෙත්, එහි ව්‍යාපාරික කටයුතු ටිකෙන් ටික ව්‍යාප්ත වුනෙත්, ආකෘතිය තිරසාර වූ නිසා. මෙයත් රාජ්‍ය ආයතනයක් නිසා එකම හේතුව කියා මම කියන්නේ නැහැ. 

ලෙකෝ එක හදන්න කලින් ලංවිම හැර බෙදාහරින්නන් 219 දෙනෙක් හිටියා. ඔවුන්ට හිටියේ පාරිභෝගිකයින් 230,000ක් පමණයි. ඒ කියන්නේ සාමාන්‍ය වශයෙන් එක් අයෙකුට දාහක් පමණ. අඩුපාඩු තිබුණත් මේ ක්‍රමය වැඩ කළා. බෙදාහරින්නාගේ ප්‍රමාණය පොඩි වැඩිවීම ප්‍රශ්නයක් වුනේ නැහැ. ලෙකෝ එක නොහදා මේ කාර්යය පෞද්ගලික අංශයට දුන්නානම් බොහෝ විට අද තියෙන්නේ වෙනම තත්ත්වයක්. පළාත් පාලන ආයතන වලින් පාලනය වෙද්දී අකාර්යක්ෂම වීම අහන්නත් දෙයක් නැහැනේ. 

මේ වෙද්දී ලංවිම පාරිභෝගිකයෝ ලක්ෂ 68ක් ඉන්නවා. ලෙකෝ එකත් එක්ක ගත්තම ලක්ෂ 76ක් ඉන්නවා. මම හිතන්නේ සම්ප්‍රේෂණ පද්ධතියේ තිබෙන ග්‍රිඩ් උප පොළවල් ප්‍රමාණයත් මීට ආසන්නයි. ඒ මට්ටමෙන් ප්‍රදේශ වෙන් කළොත් එක කොටසක පාරිභෝගිකයෝ ලක්ෂයක් පමණ ඉන්නවා. සාමාන්‍ය වශයෙන් වසරකට රුපියල් බිලියන තුන ඉක්මවන පිරිවැටුමක්. ඒ කියන්නේ සෑහෙන්න විශාල සමාගමක්. 

මේ මට්ටමට කැඩුවා කියලා ඔය ගාණට බෙදා හරින්නෝ ප්‍රමාණයක් බිහි වෙන්නේ නැහැ. එකම සමාගම බොහෝ විට ප්‍රදේශ ගණනාවකම බෙදා හැරීමේ අයිතිය ලබා ගන්නවා. රුපියල් බිලියන තුනක පිරිවැටුමක් කියා කියන්නෙත් සැලකිය යුතු විශාල සමාගමක්. මම හිතන්නේ වැඩේ පටන් ගන්න රුපියල් බිලියනකවත් ආයෝජන අවශ්‍ය වෙයි. කළ හැකි දෙයක් වුනත් හරියටම ගණන් බැලුවේනම් නැහැ.

ඒ කියන්නේ මේ මට්ටමට කැඩුවා කියලා අලුතෙන්ම ව්‍යවසායකයෝ බිහි වෙන්නේ නැහැ. දැනට රටේ ඉන්න ලොකු සමාගම් වල හා ලොකු ව්‍යාපාරිකයින්ගේ අතට තමයි වැඩේ යන්නේ. ගොඩක් වෙලාවට වැඩිම වුනොත් සමාගම් හය හතක් අතර රටේ ප්‍රදේශ බෙදී යයි. කතිපයාධිකාරයක් (oligopoly) හැදෙයි. හැබැයි දැනට සාපේක්ෂව සැලකිය යුතු තරඟයක් ඇති වෙනවා. එක සමාගමකට බ්ලොක් එකක් විදිහට ලොකු ප්‍රදේශයක් ලැබෙන්නේ නැහැ. 

මම හිතන්නේ අවම වශයෙන් මේ මට්ටමට කලාප කැඩිය යුතුයි. එහෙම නැතිව බෙදා හැරීම මුළුමනින්ම පෞද්ගලීකරණය කළොත් ඔය වැඩේට බොහෝ විට එන්නේ විදේශීය සමාගම්. කොටස් හතරකට කැඩුවා කියලත් ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ප්‍රශ්නය වැඩේ විදේශ සමාගමක් අතට යන එකම නෙමෙයි. ප්‍රමාණවත් තරඟයක් ඇති නොවෙන එක. රාජ්‍ය ඒකාධිකාරය වෙනුවට පෞද්ගලික අංශයේ ඒකාධිකාරයක් හැදුනොත් කරපු ප්‍රතිසංස්කරණයෙන් වැඩක් නැහැ. ඒ වගේම, ඔය වගේ ලොකු කෑලි විකුණද්දී අත යට ගනු දෙනු සිදු වෙන්න තිබෙන ඉඩකඩ ඉතාම වැඩියි. ඒ වගේ සැගවුණු වියදම් අන්තිමට ගෙවන්න වෙන්නෙත් පාරිභෝගිකයින්ට. කෑලි කුඩා වූ තරමට මේ අවදානම අඩු වෙනවා.

මුලින්ම සැලසුම් කරලා කොටස් හතරකට කඩන එකත්, කොටස් 75කට පමණ කඩලා වෙන්දේසි කළාට පස්සේ ඒ කොටස් එකතු වෙලා කොටස් හතරක් හැදෙන එකත් එකම නෙමෙයි. දෙවැනි ක්‍රමයේදී තරඟකාරීත්වයට වැඩි ඉඩක් ලැබෙනවා වගේම ප්‍රශස්ත ලෙස කලාප බෙදෙනවා. 

සමාගම් පහක් හයක් වගේ ගණනක් අතර බෙදාහැරීමේ කටයුත්ත බෙදී ගියා කියා අපි හිතමු. ඒ එක්කම දැනට ලංවිම වගේ තැන් වල සේවය කරන තාක්ෂණික කුසලතා හෝ සුදුසුකම් තිබෙන අයට එක වරම විශාල ඉල්ලුමක් ඇති වෙනවා. ඒ අයට හෙට්ටු කරලා වැඩි පඩියකට රැකියාවකට යන්න අවස්ථාව ලැබෙනවා. වැඩි වරප්‍රසාද සමඟ එක් සමාගමකින් අයින් වෙලා තවත් සමාගමකට යන්න ඉඩ ලැබෙනවා. සරලවම දැනට නැති රැකියා වෙළඳපොළක් අලුතෙන් හැදෙනවා. 

අවශ්‍යනම් මීටත් වඩා කුඩා කොටස් වලට කලාප බෙදන එකත් කරන්න බැරි දෙයක් නෙමෙයි. මම හිතන්නේ දැනට ලංවිම බෙදාහැරීම් ට්‍රාන්ස්ෆෝර්මර් (උපපොළවල්) තිස්පන්දාහක් පමණ තිබෙනවා. වැරදිනම් නිවැරදි කරන්න. උපපොළවල් විස්සක් පමණ එකතු කලොත් පාරිභෝගිකයින් හාරදාහක් පමණ ඉන්නවා. වසරකට රුපියල් මිලියන දොළහක පමණ, ඒ කියන්නේ මාසයකට මිලියනයක පමණ පිරිවැටුමක්. එයින් ලක්ෂයක් හෝ දෙකක් ලාබ ගන්න පුළුවන්. සිල්ලර වෙළඳාම බෙදා හැරීමෙන් වෙන් කරනවානම් කිසිම අපහසුවක් නැතුව මේ වගේ මට්ටමටකට නෙමෙයි උපපොල මට්ටමට වුනත් යන්න පුළුවන්. වැඩේට තාක්ෂණික දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. 

සිල්ලර වෙළඳාම උපපොළ මට්ටම දක්වාම වුවත් කොටස් කළ හැකි වුවත්, විදුලිය බෙදාහැරීම ඒ තරම්ම පොඩි මට්ටමකට කඩන්න බැහැ. එවිට යටිතල පහසුකම් සඳහා අවශ්‍ය ආයෝජන සිදුවෙන්නේ නැහැ. නඩත්තු කටයුතු හරියට වෙන්නේ නැහැ. නමුත්, අවශ්‍යනම් ඔය සීමා දෙක අතර ප්‍රශස්ත මට්ටමක් තෝරා ගන්න පුළුවන්. අළුත් ව්‍යවසායකයින් බිහි වීමට ඉඩ සැලසෙන තරම් කුඩා විය යුතුයි. අවශ්‍ය ආයෝජන නොකඩවා සිදු වෙන තරමට විශාල විය යුතුයි. පාරිභෝගිකයින් හාර පන්දාහකට වඩා නැති බෙදාහරින්නන් ඇමරිකාවේ ඉන්නවා. ඊට වඩා පොඩි සමාගමුත් ඇති. ලංකාවට වඩාත්ම සුදුසු ප්‍රසස්ථ බෙදාහරින්නන් ප්‍රමාණය ගැන මම අවසන් නිගමනයකට එන්නේ නැහැ.

මේ විදිහට බෙදාහැරීම හා සිල්ලර වෙළඳාම භූගෝලීය කලාප ලෙස වෙන් කළත් අදාළ ප්‍රදේශයේ ස්වභාවික ඒකාධිකාරයක් ඇති වීම වැළැක්විය නොහැකියි. එහෙමනම්, ඔය වැඩේ එක් ආයතනයක් විසින් කරන එකේ තිබෙන ප්‍රශ්නය කුමක්ද?

කිසියම් ප්‍රදේශයක් ඇතුළත ස්වභාවික ඒකාධිකාරයක් ඉතිරි වන එක ඇත්ත. පළමුව, සම්ප්‍රේෂණයේදී මෙන් මෙහිදී ප්‍රමාණය කුඩා වීමේ අවාසියක් නැහැ. ගොඩක්ම කුඩා වුනොත් ඒ ප්‍රශ්නය එනවා. නමුත්, පාරිභෝගිකයින් ලක්ෂයක් පමණ සිටීම ඕනෑවටත් වඩා ප්‍රමාණවත් කියා මම හිතනවා. අවාසි නැත්නම් පොඩි වාසියක් වුනත් ශුද්ධ වාසියක්.

ඕනෑම ආයතනයක ආයතනික සංස්කෘතියක් තිබෙනවා. නවෝත්පාදන බිහිවන්නේ ඒ ආයතනික සංස්කෘතිය ඇතුළේ. ඒ නිසා, එක් ආයතනයක සිදුවන වෙනසක් ඒ විදිහටම වෙනත් ආයතනයක සිදු වෙන්නේ නැහැ. ආයතන ප්‍රමාණය වැඩි වූ තරමට හොඳ අතට (වගේම නරක අතටත්) වෙනස්කම් සිදු වෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. එක් ආයතනයක හොඳ අතට වෙනස්කමක් වූ විට (කාර්යක්ෂමතාවය ඉහළ ගිය විට) ලාබ අභිලාශ තිබෙන අනෙකුත් තරඟකාරී ආයතන විසින්ද ඒ දෙයම කරන්න පෙළඹෙනවා. තනි ආයතනයක් තියෙද්දී මේ වැඩේ මේ විදිහටම වෙන්නේ නැහැ.

ඒ ළඟට කර්මාන්තයේ ශ්‍රමිකයින්ට ඔවුන්ගේ ඵලදායීතාවය හා ගැලපෙන තරඟකාරී මිලක් ලැබෙනවා. ඒ වැඩේ කරගන්න වෘත්තීය සමිති අවශ්‍ය වෙන්නේ නැහැ. 

මිල නියාමනය තව දුරටත් තිබුණේ වුවත් පාරිභෝගිකයින්ට තරඟකාරී සේවා සපයන්නන් සංසන්දනය කිරීමේ හැකියාවක් ලැබෙනවා. මේ සංසන්දනයන් කතාබහට ලක් වෙනවා. ඒ එක්ක සේවාවන්හි ගුණාත්මක භාවය ඉහළ යනවා. වැදගත්ම දෙය ඊළඟට කියන්න යන එක. 

ලංකාවේ විදුලිය ජනනය මේ වන විටත් ඒකාධිකාරයක් නෙමෙයි. ඒකාධිකාරය හැදෙන්නේ විදුලිය ජනනය කළාට පස්සේ ලංවිම විසින් ජනනය වන සියලුම විදුලිය තොග වශයෙන් මිල දී ගැනීම නිසා. එතැනින්ම තරඟය නවතිනවා. සම්ප්‍රේෂණය හා බෙදාහැරීම ලංවිම (හා ලෙකෝ) අතේ තියෙද්දී මේ තත්ත්වය වෙනස් කරන්න බැහැ. සම්ප්‍රේෂණය ලංවිමෙන් ගලවන්නත් බැහැ. නමුත්, බෙදාහැරීම ලංවිමෙන් ගලවලා සම්ප්‍රේෂණය දැඩි ලෙස නියාමනය කළොත් (ලංවිමට විශේෂ ප්‍රමුඛතාවයක් නොලැබෙන පොදු භාණ්ඩයක් කළොත්) නිෂ්පාදකයින්ට හා බෙදාහරින්නන්ට සෘජුව සම්බන්ධ වීමට ඉඩ සැලසෙනවා. ඒ එක්ක ගොඩක් දේවල් වෙනස් වෙන්න පටන් ගන්නවා. ජනනය කිරීමේ ලොකු පංගුව තව දුරටත් ලංවිම අතේම තිබුනත්, ඒකාධිකාරය නැති වෙනවා. විදුලිය ජනනය කරන අනෙකුත් සමාගම් එක්ක තරඟ කරන්න වෙනවා. ඒ පැත්ත පසුව කතා කරමු.

Sunday, June 12, 2022

ඇමරිකාවේ උද්ධමනයත් වාර්තා තබයි!


පසුගිය මැයි මාසයේදී ඇමරිකාවේ උද්ධමනය 8.6% දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය වසර 40ක් තුළ ඇමරිකාවෙන් වාර්තා වන ඉහළම උද්ධමනයයි. 1980දී උද්ධමනය 14.6% පමණ මට්ටමට යාමෙන් පසුව පසුගිය දශක හතර තුළ ඇමරිකාවේ උද්ධමනය අඩු මට්ටමක තිබුණා. 

පසුගිය කාලය තුළම ඇමරිකාවේ මහ බැංකුව වන ෆෙඩරල් සංචිත බැංකුව විසින් 2%ක උද්ධමනයක් ඉලක්ක කර එම ඉලක්කය සපුරා ගත්තා. මේ වන විට ඇමරිකාවේද මහ බැංකුව අසමත්ව ඇති අතර එය දේශපාලන ප්‍රශ්නයක්ව තිබෙනවා. 

ඇමරිකාවේ උද්ධමනයට හේතුවද වෙනත් රට වල උද්ධමනයට හේතු වන සාමාන්‍ය කරුණයි. එනම් ඕනෑවට වඩා සල්ලි අච්චු ගැසීමයි. 2008 ආර්ථික අවපාතයෙන් පසුවද ඇමරිකාව විශාල ලෙස සල්ලි අච්චු ගැසුවත් බොහෝ දෙනෙකු පුරෝකථනය කළ පරිදි ඊට අනුරූප ලෙස උද්ධමනය ඉහළ ගියේ නැහැ. අච්චු ගැසූ සල්ලි ඇමරිකාවෙන් පිටතට ගලා යාමත්, ඇමරිකාව තුළද ධනවතුන් අත රැඳීමත් මෙයට හේතු සේ සැලකිය හැකියි. මෙයින් වෙනස්ව මෙවර හැම නිවසකටම චෙක්පත් තැපැල් කර යවනු ලැබුවා. ඒ නිසා පාරිභෝගික භාණ්ඩ වලට ඉල්ලුම වැඩි වී මිල ඉහළ ගියා.

ඇමරිකානුවන්ට උද්ධමනය දැනෙන්නේ ලාංකිකයින්ට උද්ධමනය දැනෙන විදිහටම නෙමෙයි. ඒ දෙරට පාරිභෝගිකයන්ගේ වියදම් රටා වෙනස් නිසයි. ලාංකිකයින්ගේ මුළු වියදම් වලින් 50%කටත් වඩා ආහාර වෙනුවෙන් වැය කළ යුතු වුවත් ඇමරිකානුවෙකු ආහාර වෙනුවෙන් වැය කරන්නේ 8.3%ක් පමණයි. 

ඇමරිකාවේ වියදම් රටාව  (අප්‍රේල් 2022)

ආහාර ද්‍රව්‍ය 8.3%

මත්පැන් හා දුම්වැටි 1.4%

ඇඳුම්, පාවහන් ආදිය 2.5%

නිවාස, ජලය, විදුලිය හා ගෑස් ආදිය 38.0%

ගෘහ භාණ්ඩ 4.0%

සෞඛ්‍යය 8.4%

ප්‍රවාහනය 19.0%

විනෝදාස්වාදය 5.1%

අධ්‍යාපනය 2.6%

හෝටල් හා අවන්හල් 5.1%

වෙනත් භාණ්ඩ හා සේවා 2.2%

සන්නිවේදනය 3.6%

එකතුව 100.0%


ලංකාවේ වියදම් රටාව  (අප්‍රේල් 2022)

ආහාර ද්‍රව්‍ය 50.7%

මත්පැන් හා දුම්වැටි 3.1%

ඇඳුම්, පාවහන් ආදිය 2.9%

නිවාස, ජලය, විදුලිය හා ගෑස් ආදිය 13.3%

ගෘහ භාණ්ඩ 2.9%

සෞඛ්‍යය 4.4%

ප්‍රවාහනය 9.8%

විනෝදාස්වාදය 1.2%

අධ්‍යාපනය 2.6%

හෝටල් හා අවන්හල් 3.9%

වෙනත් භාණ්ඩ හා සේවා 4.0%

සන්නිවේදනය 1.6%

එකතුව 100.0%


Sunday, April 24, 2022

ආර්ථිකය 3.7%කින් වර්ධනය වෙයි!


ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තු අනුව පසුගිය 2021 වසර තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 3.7%කින් වර්ධනය වී තිබෙනවා. පෙර වසරේදී ලංකාවේ ආර්ථිකය 3.6%කින් හැකිලුණා. මේ අනුව, ලංකාවේ ආර්ථිකය නැවතත් 2019දී පැවති මට්ටම ආසන්නයට ප්‍රසාරණය වී තිබෙනවා.

කෙසේ වුවද, ආර්ථිකයේ කෘෂිකාර්මික හා කාර්මික අංශ තවමත් තිබෙන්නේ 2019දී පැවති මට්ටම් වලට වඩා පහළින්. පසුගිය දෙවසරක කාලය තුළ සමස්තයක් ලෙස කෘෂිකාර්මික අංශය 0.2%කින්ද, කාර්මික අංශය 2.0කින්ද හැකිලී තිබෙන අතර සේවා අංශය පමණක් 2019ට වඩා 1.3%ක ප්‍රගතියක් පෙන්වා තිබෙනවා. 

දෙවසරක සමස්ත ආර්ථික වර්ධනය ශුන්‍ය වුවත් මිල මට්ටම් ඉහළ යාම නිසා 2021 ඒක පුද්ගල ආදායම රුපියල් 758,680 දක්වා ඉහළ ගොස් ඇති අතර පැවති විණිමය අනුපාතය අනුව එය ඩොලර් 3,815ක්. මෙය 2014දී පැවති මට්ටමටත් වඩා මඳක් අඩු මට්ටමක්.

ඇස්තමේන්තු අනුව ආර්ථිකයේ ප්‍රමාණය රුපියල් බිලියන 16,809ක් හෙවත් ඩොලර් බිලියන 84.5ක් වෙනවා.

නිදහසින් පසු, දෙවසරක කාලයක් තුළ සමස්තයක් ලෙස ආර්ථිකය වර්ධනය වී නැති පළමු අවස්ථාව පසු ගිය දෙවසරයි. තෙවසරක සාමාන්‍ය වර්ධනය වන 0.8% මට්ටම සැලකුවද, පස් වසරක සාමාන්‍ය වර්ධනය වන 1.9% මට්ටම සැලකුවද, දැකිය හැක්කේ ඉතිහාසයේ වාර්තාගත පහළම මට්ටමයි. වසර තුළ මිල මට්ටමේ සමස්ත ඉහළ යාම  7.9% ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා.

වසංගතය හේතුවෙන් 2020 වසර තුළ ලෝකයේ බොහෝ ආර්ථිකයන් සංකෝචනය වුවත්, 2021දී ඒ බොහෝ රටවල් අළු ගසා දමා වේගයෙන් නැගිටිනු දැකිය හැකි වුනා. ඒ අතරින් එක්සත් රාජධානිය, කැනඩාව වැනි ඇතැම් රටවල් තවමත් 2019 සිටි මට්ටමට පැමිණ නැහැ. එහෙත්, 2020දී 3.4%කින් හැකිළුණු ඇමරිකන් ආර්ථිකය 2021දී 5.7%කින් වර්ධනය වූ අතර, 2020දී 1.1%කින් හැකිළුණු ඕස්ට්‍රේලියන් ආර්ථිකය 2021දී 4.2%කින් වර්ධනය වුනා.

Wednesday, February 23, 2022

ඇමරිකාවට ආවහම ඉංග්‍රීසි පුළුවන් වෙනවද?

ඇමරිකානුවෙක් කිවුවහම බොහෝ දෙනෙකුගේ හිතේ මැවෙන්නේ ඇමරිකානු උච්ඡාරණයෙන් චතුර ලෙස ඉංග්‍රීසි කතා කරන, ක්‍රිස්තියානි ආගමක් අදහන, සුදු ජාතිකයෙක්. ගොඩක් ඇමරිකානුවෝ ඔය වගේ අය වුනත් හැම ඇමරිකානුවෙක්ම ඔය වගේ අය නෙමෙයි. ඇමරිකානුවන් කියා කියන්නේ සුදු ජාතිකයින් පමණක් නොවන බවත්, විවිධ ආගම් අදහන අය බවත් පෙන්වන්න ඇමරිකානු රජය වගේම ඇමරිකානු මාධ්‍ය විසින්ද සැලකිය යුතු උනන්දුවක් දක්වනවා. හැබැයි භාෂාව සම්බන්ධව ඔය උනන්දුව ඒ තරම් පෙනෙන්න නැහැ. 

සමහර විට ඇමරිකාව කියන වියමන එකලස්ව තියා ගන්න ආගම, හමේ පැහැය වගේ දේවල් වැදගත් නොවුනත් භාෂාව වැදගත් කියා ඇමරිකානු රජය ඇතුළු ඇමරිකාවට මග පෙන්වන්නන් විසින් හිතනවා වෙන්න පුළුවන්. ඇමරිකානු ඉතිහාසය දිහා බැලුවොත් ඇමරිකාවට සංක්‍රමණය වූ විවිධ භාෂා කතා කළ අයගෙන් පැවත එන්නන් ක්‍රමයෙන් ඉංග්‍රීසි කතා කරන්නන් බවට පත් වී ඇති බව පේනවා. මේ වැඩේ දැනුත් වෙනවා.

කොහොම වුනත් ඇමරිකාවේ හැම ගෙදරක්ම ඉංග්‍රීසි කතා කරන ගෙදරක් නෙමෙයි. අවුරුදු පහට වැඩි සෑම ඇමරිකානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු ගෙදරදී කතා කරන්නේ වෙනත් භාෂාවක්. 


ඇමරිකාවේ දෙවන ප්‍රධාන භාෂාව ස්පාඤ්ඤ භාෂාවයි. 2018 වසරේදී නිවසේදී ඉංග්‍රීසි හැර වෙනත් භාෂාවක් කතා කළ ඇමරිකානුවන් 67,268,668 දෙනෙකු අතරින් (ජනගහණයෙන් 21.9%ක්), 41,460,427 දෙනෙකු විසින් කතා කළ භාෂාව වූයේ ස්පාඤ්ඤ භාෂාවයි. 

ඇමරිකාවේ චීන හා ඉන්දියානු භාෂා කතා කරන පිරිස ඉතා වේගයෙන් වර්ධනය වෙනවා. 2018 වසරේදී මැන්ඩරින් බස කතා කළ ඇමරිකානුවන් ප්‍රමාණය 3,471,604ක්. මීට අමතරව තගලොග් (පිලිපීන), වියට්නාම්, අරාබි, ප්‍රංශ, කොරියන් යන එක් එක් භාෂා කතා කරන ඇමරිකානුවන් ප්‍රමාණයද මිලියනයකට වඩා වැඩියි. ඉන්දියානු භාෂා අතරින් 874,314 දෙනෙකු හින්දි බසත්, 485,373 දෙනෙකු උර්දු බසත්, 419,164 දෙනෙකු ගුජරාටි බසත්, 400,186 දෙනෙකු තෙලිඟු බසත්, 375,143 දෙනෙකු බෙංගාලි බසත්, 315,987 දෙනෙකු පන්ජාබි බසත්, 308,857 දෙනෙකු දෙමළ බසත් ගෙදරදී කතා කරනවා. 

වසර විස්සකට පමණ පෙර මිලියනයකට වඩා වැඩි ඇමරිකානුවන් පිරිසක් විසින් කතා කළ ඉතාලි හා ජර්මන් භාෂා භාවිතය මෙන්ම ප්‍රංශ භාෂාව කතා කරන ඇමරිකානුවන් ප්‍රමාණයද ක්‍රමයෙන් අඩු වෙමින් යන නමුත් ආසියානු භාෂා කතා කරන ප්‍රමාණයනම් වැඩි වනු මිස අඩුවන බවක් පෙනෙන්න නැහැ.

ඇමරිකානුවන් 39,538,223ක් (11.91%ක්) ජීවත් වන කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ජනගහණයෙන් 45%ක්ම ගෙදරදී කතා කරන්නේ ඉංග්‍රීසි නොවන භාෂාවක්. ඇමරිකානුවන් 29,145,505ක් (8.74%ක්) ජීවත් වන ටෙක්සාස් ප්‍රාන්තයේ ජනගහණයෙන් 36%කුත්, ඇමරිකානුවන් 21,538,187ක් (6.47%ක්) ජීවත් වන ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ජනගහණයෙන් 30%කුත්, ඇමරිකානුවන් 20,201,249ක් (5.86%ක්) ජීවත් වන නිවුයෝර්ක් ප්‍රාන්තයේ ජනගහණයෙන් 31%කුත් ගෙදරදී ඉංග්‍රීසි කතා කරන්නේ නැහැ. ඇමරිකානු ජනගහණයෙන් තුනෙන් එකක් ජීවත් වෙන්නේ ඔය ප්‍රාන්ත හතරෙන් එකක. 

ලංකාවෙන් පැමිණෙන සංක්‍රමණිකයින්ගෙන් වැඩි පිරිසක් පැලපදියම් වන්නේත් ජනගහණය වැඩි කැලිෆෝර්නියා, ටෙක්සාස්, ෆ්ලොරිඩා, නිවුයෝර්ක් වැනි ප්‍රාන්ත වලයි. එම ප්‍රාන්ත වල වුවද ප්‍රධාන නගර සංක්‍රමණිකයින්ගෙන් වැඩි පිරිසක් ආකර්ෂණය කර ගන්නවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාවේ විශාලම නගර වන ලොස් ඇන්ජලීස්හි ජනගහණයෙන් 59%ක්, නිවු යෝර්ක් නගරයේ ජනගහණයෙන් 49%ක් හා හූස්ටන් ජනගහණයෙන් 50%ක් ගෙදරදී ඉංග්‍රීසි කතා කරන්නේ නැහැ. 

ගෙදරදී ඉංග්‍රීසි කතා නොකරන ඇමරිකානුවන් අතරින් මිලියන 25.6කටම (38%කටම), ඔවුන් සිතන පරිදි, හොඳින් ඉංග්‍රීසි කතා කළ නොහැකියි. මීට අමතරව තමන්ට හොඳින් ඉංග්‍රීසි කතා කළ හැකියැයි සිතාගෙන සිටින තවත් සැලකිය යුතු පිරිසකටද ඇත්තටම හොඳින් ඉංග්‍රීසි කතා කළ නොහැකි විය හැකියි.

ලංකාව වැනි රටකින් ඇමරිකාවට සංක්‍රමණය වන අයෙකුට මුල් කාලයේදී ඇමරිකානු උච්ඡාරණය තේරුම් ගැනීම සැලකිය යුතු අභියෝගයක්. ලංකාවේ සිටියදී ඉතා හොඳින් හා නිතර ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කළ අයට පවා මේ අභියෝගයට මුහුණ දෙන්න සිදු වෙනවා. ඇමරිකානුවන්ට තේරෙන සේ කතා කිරීම තවත් අභියෝගයක්.

ඇමරිකාවට පැමිණීමෙන් පසුව, ඇමරිකානු උච්ඡාරණයට කණ හුරු වෙන්න වැඩි කලක් යන්නේ නැහැ. එහෙත්, ජීවිත කාලයම ඇමරිකාවේ සිටියත්, බොහෝ සංක්‍රමණිකයන්ට තමන්ගේ ඉංග්‍රීසි උච්ඡාරණයනම් වෙනස් කර ගන්න අමාරුයි. ලංකාවේදී ඉංග්‍රීසි භාවිතයක් එතරම් නොතිබුණු කෙනෙකුට මේ වැඩේ සාපේක්ෂව පහසුයි. එවැනි අය ඉංග්‍රීසි කතා කරන්න පුරුදු වෙන්නේම ඇමරිකානු උච්ඡාරණය සමඟයි. දෙමවුපියන් සමඟ කුඩා වයසෙන් ඇමරිකාවට සංක්‍රමණය වන දරුවන්ටත් මේ වාසිය තිබෙනවා.

රස්සාවක් කරගෙන ඇමරිකාවේ ජීවත් වීම සඳහා ඇමරිකානුවෙක් තරමට හොඳින් ඉංග්‍රීසි කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉංග්‍රීසි වලට වඩා වැදගත් කරන රස්සාව හරියට කරන එකයි. ඒ වැඩේට අවශ්‍ය තරමට ඉංග්‍රීසි පුළුවන් වීම හොඳටම ප්‍රමාණවත්. ඒ නිසා, ඇමරිකාවට ඇවිත් ස්ථාවර වුනාට පස්සේ සංක්‍රමණිකයෙක් තමන්ගේ භාෂා දැනුම ගැන එතරම් වද වෙන්නේ නැහැ. ජීවත් වෙන්නේ සංක්‍රමණිකයින් වැඩි පැත්තකනම් මේක කොහොමටවත්ම ප්‍රශ්නයක් නෙමෙයි.

හැබැයි සංක්‍රමණිකයින් වැඩි පැත්තක ජීවත් වෙද්දී වෙන විදිහක භාෂා ප්‍රශ්නයක් මතු වෙනවා. ලංකාවෙන් එන අය ඇමරිකානුවන් මෙන් ඉංග්‍රීසි කතා කරන්නේ නැතුවාක් මෙන්ම වෙනත් රටවල් වලින් එන අය ඉංග්‍රීසි කතා කරන්නෙත් ඔවුන්ටම ආවේණික උච්ඡාරණයකින්. ඉන්දියානුවන්ගේ "ර්" ගැනනම් ගොඩක් අය දන්නවා ඇතිනේ. චීන්නුන්ට, රුසියානුවන්ට, යුදෙවුවන්ට ආදී වෙනස් භාෂාවක් මවු බස කරගත් අයටත් ඔය වගේ අමුතු උච්ඡාරණ තියෙනවා. ඇමරිකාවේ සංක්‍රමණිකයින් වැඩි පැත්තක මිනිස්සු එක්ක නිතර සම්බන්ධ වෙන රැකියාවක් කරන කෙනෙකුට ඔය හැම ජාතියේම අය එක්ක ගනුදෙනු කරන්න වෙන නිසා ඒ අයගේ ඉංග්‍රීසිත් තේරුම් ගන්න බැරිනම් ප්‍රශ්නයක්. ටික කලක් ඇමරිකාවේ ජීවත් වුනාට පස්සේනම් දුරකථන ඇමතුමක් ආ විට වුවත් මේ කතා කරන්නේ සුද්දෙක්ද, කල්ලෙක්ද, චීනෙක්ද නැත්නම් ඉන්දියානුවෙක්ද කියා හිතා ගන්න පුළුවන්. 

ඇමරිකාවේදී රස්සාවකට බඳවා ගැනීමේදී වුවත් ඉංග්‍රීසි දැනුම ගැන හොයා බලන්නේ අදාළ රස්සාව කරගෙන යන්න අවශ්‍ය වන අවම ඉංග්‍රීසි දැනුමට සාපේක්ෂව පමණයි. ඇමරිකාව නියෝජනය කරන රාජ්‍ය තාන්ත්‍රිකයින් වැනි අයටනම් හොඳ ඉංග්‍රීසි භාෂා දැනුමක් නැතුවම බැරුවාක් මෙන්ම වෙනත් භාෂා දැන සිටීමද විශේෂ සුදුසුකමක් වෙනවා.


ඇමරිකාවේ නව ශ්‍රී ලංකා තානාපතිනිය සේ පත්ව ඇවිත් සිටින ජුලී ජියූන් චුංට ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවයට අමතරව ස්පාඤ්ඤ, ජපන්, කොරියන් හා කමියර් (කාම්බෝජයේ භාෂාව) යන භාෂාද කතා කළ හැකියි. ජුලී ජියූන් චුං කොරියාවේ සියෝල් නුවර ඉපිද කුඩා කාලයේදී ඇගේ දෙමවුපියන් සමඟ ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයට සංක්‍රමණය වූ තැනැත්තියක්. 

ජුලී ජියූන් චුංව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති සේ පත් කිරීමට යෝජනා කරන්නේ ජනාධිපති බයිඩන් විසින් වුවත්, ඒ ඇය බයිඩන්ගේ ඥාතියෙකු හෝ බයිඩන්ට කඩේ ගිය කෙනෙකු නිසා නෙමෙයි. ජුලී ජියූන් චුං ඇමරිකානු විදේශ සේවයෙහි අත්දැකීම් ඇති නිලධාරිනියක්. මෙවැනි තනතුරක් සඳහා ඇමරිකානු ජනාධිපති වරයාට නාම යෝජනා සිදු කළ හැකි වුවත්, එම නාම යෝජනා සෙනෙට් සභාවේ නාම යෝජනා කමිටුව විසින් අනුමත කළ යුතුයි. එසේ නැතුව තමන්ට අවශ්‍ය අයෙකු හිතුමනාපයට ලංකාව වැනි රටක තානාපති සේ පත් කර එවීමට හෝ බලයක් ඇමරිකානු ජනාධිපතිවරයාට නැහැ.

Saturday, February 19, 2022

කවුරුත් එන්නැති ආණ්ඩුවේ රස්සා


අපේ ප්‍රාන්තයේ ආණ්ඩුකාරයා විසින් දින දෙකකට පෙර ප්‍රාන්ත රජයේ සේවකයින් වෙනුවෙන් සහන පැකේජයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව, මින් පසුව ප්‍රාන්ත රජයේ සේවකයින්ට සතියකට දින දෙකක් නිවසේ සිට වැඩ කළ හැකියි. මෙය වසංගත කාලයේ මෙන් තාවකාලිකව කළ වෙනසක් නෙමෙයි. අනෙක් සහන මම එකිනෙක විස්තර කරන්න යන්නේ නැහැ. ඉහත කී සහන පැකේජය සමඟම, ප්‍රාන්ත රජයේ සේවය සඳහා සුදුසුකම් සහිත සේවකයෙකු "රැගෙන එන" අයෙකුට ඩොලර් 100 සිට 500 දක්වා පාරිතෝෂික මුදලක් ලබා දෙන බවද සඳහන් කර තිබෙනවා. 

ඇමරිකාවේ වෛද්‍යවරු, විශේෂයෙන්ම දන්ත වෛද්‍යවරු, බැංකු, සමාගම් කොටස් අලෙවි කරන තැරැව්කාර සමාගම් ඇතුළු ඇතැම් පෞද්ගලික ආයතන බොහෝ විට ඔවුන්ට අළුත් පාරිභෝගිකයෙකුව හඳුන්වා දෙන අයට කිසියම් පාරිතෝෂික මුදලක් ලබා දෙනවා. මෙය කාලයක සිටම සිදුවන දෙයක්. දැන් අපේ ප්‍රාන්ත ආණ්ඩුවත් මේ වැඩේම කරන්නයි යන්නේ.

ප්‍රාන්ත ආණ්ඩුවට මේ වගේ දෙයක් කරන්න සිදු වී තිබෙන්නේ ආණ්ඩුවේ රස්සා විශාල ප්‍රමාණයක් ඇබෑර්තු වී ඇති නමුත් එම රැකියා සඳහා සුදුසුකම් ඇති අය අයදුම් නොකරන නිසයි. අපේ ප්‍රාන්තයේ ප්‍රාන්ත රජය විසින් නියම කළ අවම වැටුපක් නැහැ. ඒ නිසා, ෆෙඩරල් නීතිය අනුව අවම වැටුප වන පැයකට ඩොලර් 7.25 බැගින් ගෙවා සේවකයින් බඳවා ගත හැකියි. එහෙත්, මේ දවස් වල ඒ වැටුපට වැඩ කරන්න කාවවත් හොයා ගන්න බැහැ.

අපේ ප්‍රාන්තයේ ප්‍රාන්ත රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පටන් ගන්නේ පැයකට ඩොලර් 13.21ක සිටයි. ප්‍රාන්ත රාජ්‍ය සේවකයෙකු සතියකට පැය 37.5ක් සේවය කළ යුතුයි. ඒ අනුව, වසරක වැටුප ආරම්භ වන්නේ ඩොලර් 25,766 සිටයි. ෆෙඩරල් රජයේ වැටුප් පටන් ගන්නේ වසරකට ඩොලර් 20,172 සිටයි. ෆෙඩරල් රජයේ සේවකයෙකු සතියකට පැය 40ක් සේවය කළ යුතුයි. මේ අනුව, පැයක වැටුප ආරම්භ වන්නේ ඩොලර් 9.67 සිටයි.

විරැකියා අනුපාතය ඉහළ මට්ටමක ඇති කාල වකවානු වලදී පැයකට ඩොලර් 13.21ක් ආකර්ශනීය වැටුපක්. එහෙත්, අපේ ප්‍රාන්තයේ විරැකියා අනුපාතය මේ වෙද්දී 2.7% තරම් පහළ මට්ටමකට බැහැලා. සුපිරි වෙළඳසැල් වල වැඩ කරන සේවකයින් වැනි අයටත් මේ දවස් වල පැයකට ඩොලර් 15ක පමණ වැටුපක් ලබා ගන්න පුළුවන්. එවැනි වැටුපක් නොගෙවා පුරප්පාඩු පුරවන්න බැහැ.

ලංකාවේ වගේම ඇමරිකාවෙත් ආණ්ඩුවේ රස්සා සුරක්ෂිතයි. ලොකු වැරැද්දක් නොකළොත් දිගටම රස්සාව කරගෙන ඉන්න පුළුවන්. වැඩ නොකර අයිස් ගහන්න හෝ කන්තෝරුවේ බඩු සාක්කුවේ දාගෙන ගෙදර ගේන්න වගේ දේවල්නම් කරන්න බැහැ. වැඩ කරන කාලයට කෑම පැය හෝ පැය බාගය අයිති නැහැ. අට පහ වැඩ කරන්න තෝරා ගන්නා කෙනෙකුට තමන් කැමති වෙලාවක තමන් කැමති පැය බාගයක් කෑමට ගන්න පුළුවන්. කැමතිනම් හත හමාරට වැඩට ගිහින් පැයක් කෑමට ගන්නත් පුළුවන්. ඔය දෙකම නොකර වැඩ කරන ගමන්ම මොනවා හෝ කන්නත් පුළුවන්. දවස් හතරෙන් පැය 37.5 ආවරණය කරලා දවසක් සතියේ දවස් පහෙන් දවසක් නිවාඩු ගන්න අවශ්‍යනම් ඒකත් කරන්න පුළුවන්. විශ්‍රාම වැටුපක් එහෙමත් තියෙනවා.

හැබැයි ඇමරිකාවේ ආණ්ඩුවේ රස්සාවක් කළා කියලා ඒකෙන් අමුතු සමාජ තත්ත්වයක් ආරෝපණය වෙන්නේ හෝ සිවිල් බලයක් ලැබෙන්නේ නැහැ. පෞද්ගලික අංශයේ රැකියාවකින් වැඩි වැටුපක් ලබා ගන්න පුළුවන් බව පෙනෙන විට ආණ්ඩුවේ රස්සා කරන අය රස්සාව අත ඇරලා වෙන රස්සාවකට යනවා. ආණ්ඩුවේ රස්සා ඇබෑර්තු වෙනවා. වැටුප් අඩු නිසා මේ ඇබෑර්තු පුරවන්න අමාරුයි. ඒ නිසා, ඉතිරි වී ඉන්න අයට වැඩ වැඩි වෙනවා. ඒ අයත් අස් වෙලා යන්න පෙළඹෙනවා. දැන් අපේ ප්‍රාන්තයේ තත්ත්වය ඔන්න ඔය වගේ. 

එහෙමයි කියලා ආණ්ඩුව සේවක වැටුප් වැඩි කරන්නේ නැහැ. අපේ ප්‍රාන්ත රජයේ වගේම ෆෙඩරල් රජයේත් සේවකයින් සියලු දෙනාම ඇතුළත් එක් වැටුප් ක්‍රමයක් තිබෙනවා. වැඩි කරනවානම් ඒ වැටුප් ක්‍රමයම සංශෝධනය කළ යුතුයි. එහෙම නැතුව පුරප්පාඩු පුරවන්න පුළුවන් රැකියා වල වැටුප් පමණක් වැඩි කරන්න බැහැ. වැටුප් ක්‍රමයම සංශෝධනය කරන්න යනවානම් වැඩිවන වියදම හොයා ගත හැකි ක්‍රමයකුත් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ බදු වැඩි කරන්න වෙනවා. බදු වැඩි කිරීම සඳහා මහජන කැමැත්ත අවශ්‍යයි. ප්‍රාන්ත රජය හිතුමතේට බදු වැඩි කරන්නේ හෝ බදු ආදායම් ඉක්මවා වියදම් කරන්නේ නැහැ.

පසුගිය වසරේදී, වසංගතය අස්සේ වුනත්, අපේ ප්‍රාන්ත රජයේ බදු ආදායම් වලින් සියලු වියදම් වලින් පසුව යම් මුදලක් ඉතිරි වී තිබෙනවා. එම මුදල එක් අයෙකුට ඩොලර් 125 බැගින් බෙදා දීමට නියමිතයි. 

Monday, February 14, 2022

කෙට්ටු වෙන ඩොලරය හා හෙට්ටු නොවෙන රුපියල

වසංගතය හමුවේ පසු ගිය දෙවසර තුළ ඇමරිකන් ආණ්ඩුව කිහිප වරක්ම ඇමරිකානුවන්ට සල්ලි බෙදුවා. ඒ බෙදුවේ, ජනාධිපති බයිඩන් ගෙදරින් ගෙනාපු සල්ලි නෙමෙයි. එයින් සැලකිය යුතු කොටසක් අච්චු ගහපු සල්ලි. සල්ලි අච්චු ගැසීමේ අනිවාර්ය ප්‍රතිඵලය සල්ලි බාල්දු වීම. රුපියලද ඩොලරයද කියා ඒකේ වෙනසක් නැහැ.

පසුගිය ජනවාරි මාසය වෙද්දී ඇමරිකාවේ උද්ධමනය 7.5%ට නැග්ගා. මෙය අවුරුදු හතළිහකින් ඇමරිකාවේ වාර්තා වූ ඉහළම උද්ධමනය. මෙයින් අදහස් වන්නේ වසරක් ඇතුළත ඩොලරය 7.5%කින් බාල්දු වී ඇති බවයි.

ඩොලරය මේ විදිහට බාල්දු වෙද්දී අනෙක් මුදල් ඒකක වලින් ඩොලරයක මිල පහළ යා යුතුයි. හැබැයි අනෙක් මුදල් ඒකක ඊටත් වඩා බාල්දු වෙලානම් එහෙම වෙන්නේ නැහැ. ඇමරිකාවේ ඉහළ උද්ධමනය හමුවේ ගොඩක් රටවල් පරාද වී ඇතත්, ලංකාවනම් සෙකන්ඩ් වෙලා නැහැ. ජනවාරි මාසයේ ලංකාවේ උද්ධමනය 14.2% දක්වාම ඉහළ ගියානේ. ඩොලරය 7.5%කින් කෙට්ටු වෙද්දී රුපියල 14.2%කින්ම කෙට්ටු වෙලා. කෙට්ටු ඩොලරය එක්ක දුවලා වුවත්, රුපියල ගිහින් තියෙන්නේ තවත් පස්සටයි.

හැබැයි කෙට්ටු වෙන ඩොලරය එක්ක රුපියල හරියට හෙට්ටු වෙන්නේ නැහැ. රුපියල තාම ඉන්නේ ඇඟේ තරමට වඩා ලොකු ඇඳුමක් ඇඳගෙන. මේ ඇඳුම නඩත්තු කරන්න ලංකාවට ලොකු වියදමක් යනවා. ආණ්ඩුව ණයට කමින් ඇඳුම නඩත්තු කරනවා.

හැපී වැලන්ටයින්!




Sunday, December 5, 2021

පල්ලියේ පන්සල


ඇමරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ බ්‍රයන් නගරය ඉතාම කුඩා නගරයක්. ජනගහණය 8,729ක් පමණයි. එයින් 95%ක් පමණම සුදු ජාතිකයින්. මා දන්නා තරමින් ශ්‍රී ලාංකික සම්භවය ඇති කිසිවකු එම නගරයේ නැහැ. එහෙත් ඔහායෝ ප්‍රාන්තයේ වඩා විශාල නගර වල හා යාබද ප්‍රාන්ත වල තැනින් තැන ශ්‍රී ලාංකිකයින් යම් ප්‍රමාණයක් විසිරී සිටිනවා. 

ඔහායෝ ප්‍රාන්තයේ පිහිටි ඓතිහාසික මෙතෝදිස්ත පල්ලියක් එහි වත්මන් හිමිකරු විසින් සඟසතු කර පූජා කිරීමෙන් පසුව මේ වන විට එය බෞද්ධ පන්සලක් හා භාවනා මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය වී තිබෙනවා. පන්සලේ විහාරාධිපති ධුරය දරන තලංගම දේවානන්ද හිමියන් එහි අතීත උරුමය පිළිබිඹු වන පරිදි Father John's Loving Kindness Meditation Society යනුවෙන් මෙම ස්ථානය නම් කර තිබෙන අතර එහි අතීත ගෘහ නිර්මාණ සැලසුම හා චිත්‍ර ආදිය එලෙසම නඩත්තු කරමින් ආරක්ෂා කිරීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම මෙම ස්ථානය ඕනෑම ආගමිකයෙකුට විවෘතයි. 

දේවානන්ද හිමි කැලිෆෝර්නියා හා ඉන්දියානා ප්‍රාන්ත වල පිහිටි තවත් පන්සල් දෙකක ද විහාරාධිපති ධුරය දරනවා. සම්ප්‍රදායික ක්‍රිස්තියානි පල්ලියක් පන්සලක් වීම අපූරු අත්දැකීමක්. 


ඇමරිකාවේ ඕනෑ විදිහට පන්සල් හදන්න බැහැ. ඒ වගේම ඕනෑ විදිහට වෙනත් ආගමික ස්ථාන, ව්‍යාපාරික ස්ථාන හෝ නිවාස හදන්නත් බැහැ. ගෙදරක් කුලියට දීමේ නිදහස තබා ගෙදරක ඉදිරිපස හා පසුපස වැවිය හැකි ගස් ගණන තීරණය කිරීමේ නිදහස පවා ඇතැම් විට නිවාස හිමියාට නැහැ. ඒ වගේ දේවල් තීරණය වන්නේ කිසියම් ප්‍රදේශයක බහුතරයකගේ කැමැත්ත මතයි. එහෙත්, ඇමරිකාවේ බෞද්ධයින් ඇත්තේම නැති නගරයක වුවත් පල්ලියක් පන්සලක් කරන්න බැරි කමක් නැහැ.

ඡායාරූපය දේවානන්ද හිමිගේ වත්පොත් පිටුවෙන්.

Thursday, November 11, 2021

ඇමරිකාවේ උද්ධමනයත් ඉහළට!


පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමරිකාවේ උද්ධමනය 6.2% මට්ටම දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය වසර තිහක කාලය තුළ ඇමරිකාවෙන් වාර්තා වූ ඉහළම උද්ධමන අගයයි. මීට පෙර ඇමරිකාවේ උද්ධමනය මෙවැනි ඉහළ මට්ටමක තිබුණේ 1990 වසරේදී.  

උද්ධමනය මෙතරම් ඉහළ යාමට ප්‍රධානම හේතුව වසංගත කාලය තුළ විශාල ලෙස පහත වැටුණු ඉන්ධන මිල 49.5%කින් නැවත ඉහළ යාමයි. ඇමරිකාවේ උද්ධමනය මනින භාණ්ඩ හා සේවා පැසෙහි ඉන්ධන වලට 4.08%ක බරක් තිබෙන නිසා ඉන්ධන වලින් පමණක් උද්ධමනය 2.0%කින් ඉහළ යාමට දායකත්වයක් සැපයී තිබෙනවා. 28.1%කින් ඉහළ ගොස් තිබෙන ගෑස් මිලෙහි බලපෑමද එකතු කළ විට මෙම දායකත්වය 2.2%ක්.

ඉන්ධන මිලට අමතරව ඇමරිකාවේ වාහන මිලද පසුගිය කාලය තුළ විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. එයින්ද වැඩිපුරම ඉහළ ගොස් තිබෙන්නේ පරණ (පාවිච්චි කළ) වාහන වල මිලයි. අළුත් වාහන වල මිල පසුගිය වසර තුළ 9.8%කින් ඉහළ යද්දී, පරණ වාහන වල මිල 26.4%කින් ඉහළ ගොස් තිබෙනවා. උද්ධමන පැසෙහි 7.787%ක බරක් තිබෙන වාහන හා වාහන අමතර කොටස් සමස්තයක් ලෙස 16.5%කින් ඉහළ යාම නිසා ඇමරිකාවේ උද්ධමනයට තවත් 1.3%ක දායකත්වයක් ලැබී තිබෙනවා. මීට අමතරව වාහන කුලියට ගැනීමේ වියදම්ද 39.1%කින් ඉහළ ගොස් තිබෙනවා.

විශාල ලෙස මිල වැඩි වී තිබෙන තවත් අයිතමයක් වන්නේ හෝටල් හා නවාතැන්පොළ ගාස්තුයි. එම අංශයේ 25.5%ක වැඩිවීමෙන් පිළිබිඹු වන්නේද වසංගත කාලය තුළ විශාල ලෙස පහත වැටුණු මෙම සේවා ගාස්තු නැවත පෙර මට්ටමට පැමිණීමයි. 

ඉන්ධන, වාහන, නවාතැන්පොළ ගාස්තු ආදියේ වැඩිවීම නොවන්නට ඇමරිකාවේ උද්ධමනය 2.5% ආසන්න මට්ටමක තිබිය හැකි වූ බැවින් ෆෙඩරල් සංචිත බැංකුව විසින් තවමත් ඇමරිකාවේ උද්ධමනය ඉහළ යාම කණස්සල්ලට කාරණයක් සේ සලකා නැහැ. ඔවුන්ගේ අදහස වන්නේ උද්ධමනය මෙසේ ඉහළ යාම තාවකාලික තත්ත්වයක් පමණක් බවයි. එහෙත්, ඉහත පරිදි විශාල ලෙස මිල ඉහළ ගොස් ඇති අයිතමයන්ට අමතරව අනෙකුත් බොහෝ අයිතමයන්ගේ මිල ගණන්ද සාමාන්‍ය තරමට වඩා වැඩි වී තිබෙනවා.

පසුගිය වසරක කාලය තුළ සමස්තයක් ලෙස ආහාර මිල 5.3%කින්ද, ඉන්ධන, විදුලි බලය ඇතුළු බලශක්ති ප්‍රභව වල මිල 30.0%කින්ද, අනෙකුත් භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන් 4.6%කින්ද ඉහළ ගොස් තිබෙනවා. ආහාර කාණ්ඩයේ හරක්මස් හා මුවමස් මිල 20.1%කින්ද, ඌරුමස් හා ඌරුමස් ආශ්‍රිත නිෂ්පාදන (හැම් හා බේකන්) මිල 14.1%කින්ද, කුකුළුමස් මිල 8.8%කින්ද, අළුත් මාළු මිල 11.0%කින්ද, බිත්තර මිල 11.6%කින්ද ඉහළ ගොස් තිබෙනවා.

කෝවිඩ් වසංගතය හා ඒ හේතුවෙන් ආර්ථිකය සංකෝචනය වීම හමුවේ ඇමරිකන් ෆෙඩරල් රජය හා ඇමරිකාවේ මහ බැංකුව රටේ මුදල් සංසරණය විශාල ලෙස වැඩි කළා. මුදල් සැපයුමේ ඉහළ යාම උද්ධමනයට හේතු වන බව පැහැදිලි කරුණක්. 

රටේ ආර්ථිකය ප්‍රසාරණය කරන්නට අවශ්‍ය වූ විට මුදල් සැපයුම වැඩි කිරීමත්, ඒ හේතුවෙන් උද්ධමන අවදානම් මතු වෙද්දී නැවත එම මුදල් ආපසු ඇද ගැනීමත් මුදල් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන සාමාන්‍ය ක්‍රමයයි. පසුගිය 2008 ආර්ථික අවපාතයෙන් පසුවද ඇමරිකාවේ රජය හා මහ බැංකුව එකතු වී විශාල මුදල් ප්‍රමාණයක් සංසරණයට එකතු කළත් ඒ හේතුව නිසා ඇමරිකාවට උද්ධමන තර්ජනයකට මුහුණ දීමට සිදු වූයේ නැහැ. එම නිරීක්ෂණය මත පදනම්ව ඇතැම් අය සල්ලි අච්චු ගැහීම කියන තරම්ම හානිකර නොවේය යන වැරදි නිගමනයට පැමිණීමට හදිස්සි වුනා.

පසුගිය ආර්ථික අවපාතයේදී අච්චු ගැසූ සල්ලි වලින් විශාල ප්‍රමාණයක් ගියේ විශාල බැංකු හා සමාගම් බේරා ගන්නයි. එයින් වෙනස්ව, මෙවර සාපේක්ෂව අඩු ආදායම් ලබන පවුල් වලට සල්ලි බෙදා දෙනු ලැබුවා.

ලොකු ධනවතෙකුට එකවර විශාල මුදලක් ලැබුණා කියා කන ප්‍රමාණය හෝ අඳින ප්‍රමාණය වැඩි කරන්නේ නැහැ. සමස්තයක් ලෙස මෙසේ ලැබුණු මුදල් ආයෝජනය කරනවා මිස පරිභෝජනය සඳහා වැය කරන්නේ නැහැ. ඒ නිසා, කොටස් වෙළඳපොළ මිල ගණන් ආදිය ඉහළ යනවා මිස පාරිභෝගික භාණ්ඩ හා සේවා මිල ඉහළ යන්නේ නැහැ. ආයෝජන වැඩි වෙද්දී, රටේ නිෂ්පාදනය ඉහළ යන අතර රැකියා නියුක්තිය වැඩි වී සමාජයේ පහළ ස්ථර වෙතද ප්‍රතිලාභ ගලා එන නමුත් ඒ සඳහා යම් කාලයක් යනවා. මෙහිදී පාරිභෝගික භාණ්ඩ සඳහා ඉල්ලුම ඉහළ යන විට අනෙක් පැත්තෙන් නිෂ්පාදනයද ඉහළ ගොස් අවසන් නිසා මිල ඉහළ යාමක් සිදු වන්නේ නැහැ.

අඩු ආදායම්ලාභීන් අතට සෘජුව මුදල් ලබා දුන් විට සිදු වන්නේ මේ දෙයම නෙමෙයි. ඔවුන් එක පැත්තකින් එම මුදල් විශාල ලෙස භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා වැය කරන අතර අනෙක් පැත්තෙන් අතේ සල්ලි තිබෙන නිසා රැකියාවක් කරන්නට තිබෙන උනන්දුව අඩු වෙනවා. මෙහි සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය වන්නේ එක පැත්තකින් පාරිභෝගික භාණ්ඩ සඳහා ඉල්ලුම ඉහළ යද්දී අනෙක් පැත්තෙන් සැපයුම සීමා වීමයි. අවසන් ප්‍රතිඵලය උද්ධමනයයි.

සල්ලි අච්චු ගසා ලොකු සමාගම් බේරා ගැනීම නරක දෙයක් බවත්, එහෙත් සල්ලි අච්චු ගසා දුප්පතුන්ට බෙදීම හොඳ දෙයක් බවත්, කෙනෙකුට තර්ක කළ හැකියි. එහෙත්, අච්චු ගහන සල්ලි දුප්පතුන් අතට යාමෙන් ඔවුන්ට ලැබෙන ක්ෂණික සහනය උද්ධමනය ඉහළ ගිය වහාම අහෝසි වෙනවා. දුප්පතුන්ට දැනෙන උද්ධමන පීඩනය පොහොසතුන්ට දැනෙන්නේ නැහැ. උද්ධමනය ඉහළ යද්දී ඔවුන්ගේ වත්කම් වල මිල වැඩි වී ඒ වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභද ඉහළ යනවා. එම වාසිය පාරිභෝගික භාණ්ඩ වල මිල ඉහළ යාමේ අවාසියට වඩා වැඩියි. 

සල්ලි අච්චු ගසා රටක දුප්පතුන් සුබසාධනය කිරීමේදී ඇත්තටම සිදු වන්නේ ඔවුන්ව රැවටීමක් පමණයි. එක සාක්කුවකට වැටෙන සල්ලි අනෙක් සාක්කුවෙන් නැවත ආපසු යනවා. සැබෑ සුබසාධනයක් කරන්නනම් කාගෙන් හෝ බදු ලෙස එම වියදම පියවා ගන්නම සිදු වෙනවා.

Friday, October 8, 2021

ග්‍රීන්කාඩ් පෝලිම


පසුගිය දින වල සමාජ මාධ්‍ය වල වාර්තා කරනු ලැබ තිබුණු පරිදි ලංකාවේ ගමන් බලපත්‍ර කාර්යාලය අසල දිගු පෝලිමක් හැදිලා. ගමන් බලපත් ලබා ගැනීම සඳහා වන පෝලිම විවිධ හේතු නිසා දිගු විය හැකියි. විදේශගත වන්නට අවශ්‍ය අයගේ ගමන් බලපත් ඉල්ලුම ඉහළ යාම එක හේතුවක්. ගමන් බලපත් නිකුත් කිරීම සඳහා යොදවා ඇති නිලධාරීන් ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම හෝ ඔවුන් ප්‍රමාණවත් තරම් කාර්යක්ෂම නොවීම තවත් හේතු දෙකක්. 

දැන ගන්නට ලැබුණු විදිහට එකවරම ලංකාවේ "පාස්පෝට් පෝලිම" මේ තරම් දිගු වී තිබෙන්නේ ඇමරිකානු ග්‍රීන්කාඩ් ලොතරැයිය සඳහා අයදුම් කිරීමේ අවස්ථාව එළැඹීමත් සමඟයි. මේ අවස්ථාව පසුගිය බදාදා (2021 ඔක්තෝබර් 6) විවෘත වුනා. වාසනාව මත පදනම්ව ඇමරිකාවට සංක්‍රමණය වීමට කැමති අයට 2021 නොවැම්බර් 9 දක්වා වන කාලය තුළ ග්‍රීන්කාඩ් ලොතරැයිය සඳහා අයදුම් කළ හැකියි. ලොතරැයිය ජයග්‍රහණය කරන අයට හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට අනෙකුත් අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙන් පසුව 2022 ඔක්තෝබර් 1 දින සිට 2023 සැප්තැම්බර් 30 දක්වා වන වසරක කාලය තුළ ඇමරිකාවට සංක්‍රමණය විය හැකියි. 

ග්‍රීන්කාඩ් යන්නෙන් පොදුවේ අදහස් වන්නේ ඇමරිකාවේ ස්ථිර පදිංචිය සඳහා හිමිවන වීසා බලපත්‍රයයි. මෙය කුඩා කාඩ් පතක්. ඇමරිකානු ග්‍රීන්කාඩ් බලපත්‍රය ලබා ගත් අයෙකුට වසර පහකට පසුව (ඇතැම් කාණ්ඩ යටතේ ලබාගත් අයට වසර තුනකට පසුව) ඇමරිකානු පුරවැසි භාවය ලබා ගත හැකියි. ස්ථිර පදිංචිය හිමි අයටද ඇමරිකානු පුරවැසියන්ට හිමි වන වරප්‍රසාද හා අයිතිවාසිකම් වලින් විශාල ප්‍රමාණයක් හිමි වෙනවා. 

ඇමරිකාව කියා කියන්නේ ලෝකයේ වැඩිම සංක්‍රමණිකයින් පිරිසක් සිටින රටයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංඛ්‍යාලේඛණ අනුව 2019 වසරේදී ලෝකය පුරා විසිරී සිටි සංක්‍රමණික ජනගහණය 271,642,105ක්. එම ප්‍රමාණයෙන් 18.6%ක්ම, එනම් 50,661,149ක් සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. ඇමරිකාවේ ජනගහණයෙන් 15.4%ක් සංක්‍රමණිකයින්. ඇමරිකාවේ සිටින සංක්‍රමණික ප්‍රජාවෙන් ලෝකයේ හැම රටක්ම නියෝජනය වෙනවා.

ඇමරිකාවේ සංක්‍රමණිකයන්ගෙන් වැඩිම පිරිසක් මෙක්සිකෝවේ සිට සංක්‍රමණය වූ අයයි. ඊළඟට වැඩිපුරම සිටින්නේ පිලිවෙලින් චීනයෙන්, ඉන්දියාවෙන් හා පිලිපීනයෙන් පැමිණි අයයි. ඇමරිකාවේ සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් ප්‍රමාණය 57,135ක් පමණයි. මෙම ප්‍රමාණය ඇමරිකාවේ සංක්‍රමණික ජනගහනයෙන් 0.11%ක් තරම් සුළු ප්‍රතිශතයක්. සමස්ත ශ්‍රී ලාංකික සංක්‍රමණික ජනගහනය වන 1,775,768න් වුවද 3.22%ක ප්‍රතිශතයක් පමණයි. ලංකාවේ ජනගහනය ලෝක ජනගහනයෙන් 0.27%ක් පමණ බව සැලකූ විට, ඇමරිකානු සංක්‍රමණික ජනගහනය තුළ ලංකාව නියෝජනය වන්නේ අඩුවෙන්.

ආසන්න වශයෙන් වසරකට මිලියනයක පමණ පිරිසක් ඇමරිකාවේ ස්ථිර පදිංචිය සඳහා ලැබෙන ග්‍රීන්කාඩ් බලපත්‍රය ලබා ගන්නවා. ඒ සඳහා, ක්‍රම ගණනාවක් තිබෙනවා. ග්‍රීන්කාඩ් ලොතරැයි ක්‍රමය ඒ අතරින් එක් ක්‍රමයක් පමණයි. 2019 වසරේදී ඇමරිකානු ග්‍රීන්කාඩ් බලපත්‍රය ලබාගත් මිලියනයකට අධික පිරිස එම බලපත්‍රය ලබා ගත්තේ පහත ක්‍රම වලිනුයි.

ඇමරිකානුවන්ගේ ළඟම ඥාතීන් (සහකරු හෝ සහකාරිය හා දරුවන්) - 505,765

අවශේෂ ඥාතීන් (දෙමවුපියන් හා සොහොයුරු සොහොයුරියන්)  - 204,139

රැකියාව මත පදනම්ව - 139,458

සරණාගතයින් - 106,911

ලොතරැයිය ජයග්‍රහණය කිරීමෙන් - 43,463

වෙනත් ක්‍රම වලින් - 32,029

එකතුව - 1,031,765


ඉහත කී ග්‍රීන්කාඩ්ලාභීන් අතරින් ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණය 1,689ක් පමණයි. ඔවුන් ග්‍රීන්කාඩ් බලපත් ලබා ගෙන තිබෙන්නේ පහත ක්‍රම වලිනුයි.

ඇමරිකානුවන්ගේ ළඟම ඥාතීන් (සහකරු හෝ සහකාරිය හා දරුවන්) - 531

අවශේෂ ඥාතීන් (දෙමවුපියන් හා සොහොයුරු සොහොයුරියන්)  - 185

රැකියාව මත පදනම්ව - 466

ලොතරැයිය ජයග්‍රහණය කිරීමෙන් - 370

සරණාගතයින් - 125

වෙනත් ක්‍රම වලින් - 12

එකතුව - 1,689


ලොතරැයිය හරහා ග්‍රීන්කාඩ් බලපත් ලබා ගන්නා ප්‍රමාණය මුළු ප්‍රමාණයෙන් 4.2%ක් පමණක් වුවත්, 2019 වසරේදී ඇමරිකානු ග්‍රීන්කාඩ් බලපත් ලබා ගත් ශ්‍රී ලාංකිකයින් අතරින් 21.9%ක්ම එය ලබාගෙන තිබෙන්නේ ලොතරැයිය හරහා. ඒ වගේම, මෙම ප්‍රමාණය නිකුත් කර තිබෙන මුළු ග්‍රීන්කාඩ් බලපත් ප්‍රමාණයෙන් 0.85%ක් තරම් ඉහළ ප්‍රතිශතයක්. ශ්‍රී ලාංකිකයින්ට ග්‍රීන්කාඩ් ලොතරැයි තරඟයේදී විශේෂ වාසි ගණනාවක් තිබීම එයට හේතුවක්. 

Reference:

United Nations, Department of Economic and Social Affairs. Population Division (2019). International Migrant Stock 2019 (United Nations database, POP/DB/MIG/Stock/Rev.2019).

Friday, August 20, 2021

කෝවිඩ් බය


මේ වන විටද ලෝකයේ රටවල් අතරින් වැඩිම කෝවිඩ් ආසාදිතයින් ගණනක් හඳුනා ගැනුණු රට මෙන්ම වැඩිම කෝවිඩ් මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇති රටද ඇමරිකාවයි. ඇමරිකාවෙන් පිටත බොහෝ දෙනෙකුට අනුව ඇමරිකාවේ ආණ්ඩුව ඇමරිකානුවන්ගේ ජීවිත පරදුවට තබමින් ආර්ථිකය ආරක්ෂා කර ගෙන තිබෙනවා. ඒ වගේම ඇමරිකානුවන් ඉතා නොසැලකිලිමත් ලෙස හැසිරී විශාල විනාශයක් කරගෙන තිබෙනවා. මේ කතා සුරංගනා කතා පමණක්ම බව පැහැදිලි කරද්දී එය පිළි නොගත් අයටද ඉතා ඉක්මණින් මේ බැව් පිළිගන්නට සිදුවනු නොඅනුමානයි.

මා පසුගිය වසර මුලදීම කියා ඇති පරිදි ඇමරිකාව කෝවිඩ් වසංගතය සැලකුවේ දිගුකාලීන යුද්ධයක් ලෙස මිස ඉතා ඉක්මණින් අවසන් සතුරාද මරා දමා ජයග්‍රහණය සැමරිය හැකි සටනක් ලෙස නෙමෙයි. ලංකාවේ අත්දැකීම තරමක් වෙනස් සේ මතුපිටින් පෙනුනත්, දිගුකාලීන යුද්ධ බොහෝ විට එක් පාර්ශ්වයක් මුළුමනින්ම විනාශ වීමෙන් අවසන් වන්නේ නැහැ. බොහෝ යුද්ධ වල අවසානය යම් ආකාරයක සංහිඳියාවක්. 

ඇමරිකාව බොහොමයක් තීරණ ගනු ලැබුවේ විද්‍යාව මත පදනම්වයි. ඇතැම් තීරණ ගනු ලැබුවේත්, බොහෝ ඇමරිකානුවන් ක්‍රියා කළේත් විද්‍යාව අදහමින් කියා කිව හැකියි. විද්‍යාව අදහමින් ගනු ලබන තීරණ විද්‍යාව මත පදනම්ව ගන්නා තීරණ තරමටම සාර්ථක වෙන්නේ නැහැ. විද්‍යාව මත පදනම්ව ගන්නා තීරණද හැම විටම සාර්ථක වන්නේ නැහැ. එහෙත්, කෝවිඩ් හා අදාලවනම් මේ දෙවර්ගයේම තීරණ බොහෝ දුරට හරි ගියා. ඇමරිකාව තවමත් කෝවිඩ් පරාජය කර නැතත්, එය ඇමරිකාව ෆේල් වීමක් නොවන්නේ මේ තත්ත්වය මුල සිටම ඇමරිකාව අපේක්ෂා කළ දෙයක් වූ නිසයි.

කෝවිඩ් සතුරා ලේසියකට පරාජය කළ නොහැකි බව ඇමරිකාව මුල සිටම තේරුම් ගෙන සිටි කරුණක්. ඒ අනුව හැම විටම ඉලක්කය වුනේ හානිය අවම කිරීම මිස කෝවිඩ් සහමුලින්ම දුරු කිරීම නෙමෙයි. ඇමරිකාවේ කියා කිවුවත් පොදුවේ බොහොමයක් බටහිර රටවලට මේ කියන දේවල් අදාලයි.

ඇමරිකාව ඇතුළු බටහිර රටවල ප්‍රවේශය නිවැරදි බව මේ වෙද්දී තහවුරු වී අවසන්. ඝර්ම කලාපීය රටවල් කෝවිඩ් වලින් ආරක්ෂා වුනේ නැහැ. බීසීජී එන්නත් කළ රටවල් කෝවිඩ් වලින් ආරක්ෂා වුනේ නැහැ. දුඹුරු හම ඇති අය කෝවිඩ් වලින් ආරක්ෂා වුනේ නැහැ. විවිධ විකල්ප ඖෂධ භාවිතා කළ අය කෝවිඩ් වලින් ආරක්ෂා වුනේ නැහැ. සමාජවාදී රටවල් කෝවිඩ් වලින් ආරක්ෂා වුනේ නැහැ. ථෙරවාදී බෞද්ධ රටවල් කෝවිඩ් වලින් ආරක්ෂා වුනේත් නැහැ. චීනය පමණක් තවමත් කෝවිඩ් පාලනය කරගෙන ඉන්නවා.

කෝවිඩ් මරණ අනුපාතය අතින් ඊයේ ලංකාවට වඩා ඉහළින් හිටියේ ජනගහණය ඉතා අඩු රටවල් කිහිපයක් පමණයි. කෝවිඩ් මර්දන කාර්යයේදී ලංකාවේ ආණ්ඩුව පට්ට ෆේල් බව මේ වන විට විවාදිත කරුණක් නෙමෙයි. එය එසේ වන්නේ ලංකාව ලෝකයේ රටවල් අතරින් කෝවිඩ් පාලනය කිරීමට අසමත්ම වූ රට නිසා නෙමෙයි. ලංකාවේ ආණ්ඩුව තමන්ගේම ක්‍රමයකට රට කෝවිඩ් වලින් මුදාගෙන බටහිර රටවල් ඇතුළු ලෝකයට පෙන්වීමට බලාගෙන සිට ඇණගත් නිසයි. ආරම්භය එසේ වුවත් මේ වෙද්දී ලංකාවේ ආණ්ඩුව කෝවිඩ් සමඟ සහජීවනයකට සූදානම්ව සිටිනවා.

ඇමරිකාව ඇතුළේ හැම දෙයක්ම කලින් සැලසුම් කළ, පුරෝකථනය කළ හා අපේක්ෂා කළ විදිහට සිදු වුනා. හැබැයි ඇමරිකාවේ ජනාධිපතිට වුනත් බලාගෙන හිටපු විදිහට ජයට නිදහස් දිනය සමරා රට විවෘත කරන්න ඉඩ ලැබුණේ නැහැ. මේ වෙද්දී ඇමරිකාවේ එන්නත් ලබා ගන්නට අවශ්‍ය හැම දෙනෙක්ම වගේ එන්නත් ලබාගෙන අවසන්. එසේ ලබාගෙන තිබෙන්නේත් තිබෙන හොඳම එන්නත්. එසේ වෙලත් මේ වෙද්දී ඇමරිකාව පුරා කෝවිඩ් ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිරෙනවා. එහි R0 අගය 6-7 තරම් විශාලයි වගේම මරණ අනුපාතයද අඩු නැහැ. වෛරසයේ පරිණාමය ඩෙල්ටා ප්‍රභේදයෙන් අවසන් වන එකක් නෙමෙයි.


කෝවිඩ් වලට එරෙහිව එන්නත් වලින් ආරක්ෂාවක් ලැබෙන බව ඉතා පැහැදිලියි. එහෙත් මෙය සාපේක්ෂ ආරක්ෂාවක් පමණයි. එන්නත් දෙකම ලබාගත් අයටත් කෝවිඩ් හැදෙනවා. ඔවුන් කෝවිඩ් බෝ කරනවා. ඇතැමෙක් මැරෙනවා. ශීත සෘතුව එළැඹෙද්දී තත්ත්වය තවත් දරුණු විය හැකි බව පැහැදිලියි.

මම පෞද්ගලිකව ගත්තොත්, වසරකට වැඩි කාලයක් පුරා ස්වේච්ඡාවෙන් නිවාස අඩස්සිගතව සිටියා කිව හැකියි. එළියට බැස්සේ එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සති දෙකකට පසු පූර්ණ ප්‍රතිශක්තිය ලැබීමෙන් පසුවයි. එහෙත් මේ පූර්ණ ප්‍රතිශක්තිය කියන එකත් වචනයක් පමණයි. ඕනෑම වෙලාවක මට කෝවිඩ් හැදෙන්න පුළුවන්. අමාරු වෙන්න වගේම මැරෙන්නත් පුළුවන්.

වසරක්ම ගෙදරට වී සිටියේ උමග කෙළවර එළිය දෙස බලාගෙනයි. ඒ එළිය අපේක්ෂා කළ පරිදිම දැක ගත හැකි වුනා. එය කණාමැදිරි එළියක්‌ කියා මම කියන්නේ නැහැ. එහෙත්, එළිය පෙනුණේ උමග කෙළවර නෙමෙයි. උමග තව දිගයි. 

කෝවිඩ් අවදානම තිබුණත් හැමදාම ගේ ඇතුළට වී ඉන්න බැහැ. කොයි දේක වුනත් සීමාවක් තිබෙනවා. මොන තරම් අවදානමක් තිබුණත් කෝවිඩ් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්නම වෙනවා. දැන් ඇමරිකාවේ ජීවිතය ගැන ගැන කෙටියෙන්ම කිවුවොත් මෙය කෝවිඩ් සමඟ සහජීවනයක්. ලෝකයේ අනෙක් හැම රටකටමත් කොයි වෙලාවේ හෝ කරන්න වෙන්නේ ඕකම තමයි. යම් පිරිසක් තව දුරටත් මැරෙයි. ඒ අතර මම වුනත් ඉන්න පුළුවන්. එන්නත නිසා අවදානම අඩු වෙලා තිබෙනවා. එච්චරයි. 

Tuesday, August 10, 2021

ඇමරිකාවේ පාසැල් අධ්‍යාපනය


මා සාමාන්‍යයෙන් කිසියම් අයෙකු විසින් ගන්නා වෙනත් අයට බලපාන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග විවේචනය කරන්නේ අදාළ භූමිකාව පෞද්ගලිකව මට පැවරී තිබුණේනම් එය වඩා හොඳින් කළ හැකිව තිබුණු හෝ තිබෙන ආකාරයක් ඉතා පැහැදිලිව පෙනෙන්නට ඇති විට පමණයි. බොහෝ විට සිදු වන්නේ පවතින තත්ත්වය පහසුවෙන් විවේචනය කළ හැකි තරම් නරක වුවත්, එම තත්ත්වය වෙනස් කර ගත හැක්කේ කොහොමද කියන එක අවිනිශ්චිත වීමයි. මේ වගේ වෙලාවකදී, පවතින තත්ත්වය කොයි තරම් නරක වුවත්, ප්‍රශ්නයට සෘජුව මුහුණ දෙන පුද්ගලයින් විවේචනය කිරීමට මම යොමු වෙන්නේ නැහැ. 

විශේෂයෙන්ම ලංකාව වගේ රටක ප්‍රතිපත්ති සම්පාදකයින්ට ඇතැම් වෙලාවට තමන්ට නිවැරදි සේ පෙනෙන දෙයම කරන්න ඉඩ ලැබෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවක එවැන්නෙකු කරන දෙයක් විවේචනය කිරීම ඒ අයටම කරන උදවුවක් වෙනවා. 

බොහෝ වෙලාවට ප්‍රශ්න පැහැදිලි වුවත් එම ප්‍රශ්න වලට විසඳුම් බ්ලොග් පෝස්ට් එකකින් ඉදිරිපත් කළ හැකි තරම් සරල නැහැ. එහෙත් එයින් අදහස් වෙන්නේ විසඳුම් නැති බව නෙමෙයි. බොහෝ විට අපේ බොහෝ පාඨකයින් ඇතැම් දේවල් සම්බන්ධව "කළ හැක්කේ කුමක්ද?" කියා අපෙන් විමසා තිබෙනවා. ඒ වගේම, "අපේ ප්‍රශ්න අපි විසඳාගන්නම්. ඕගොල්ලෝ පැත්තකට වෙලා ඉන්න" කියා කියන පිරිසකුත් ඉන්නවා.

මේ විදිහට "ඕගොල්ලෝ පැත්තකට වෙලා ඉන්න" කියා කියන ගොඩක් අය සෘජුවම ප්‍රශ්නය විසඳීමේ වගකීම දරන අය නෙමෙයි. මේ ප්‍රකාශයෙන් ප්‍රායෝගිකව අදහස් වෙන්නේ "ඕගොල්ලෝ පැත්තකට වෙලා ඉන්න. අපේ බුවා අපිට ප්‍රශ්නේ විසඳලා දෙයි!" කියන එකයි. 

මේ දවස් වල ලංකාවේ ආණ්ඩුව මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්න දෙකෙන් එකක් නොවූවත් අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නයකටද ආණ්ඩුව මුහුණ දෙමින් සිටිනවා. "අපේ බුවා අපිට ප්‍රශ්නේ විසඳලා දෙයි!" කියා හිතන ඇච්චන් කෙසේ ප්‍රතිචාර දැක්වුවත්, ප්‍රශ්නයට සෘජුව මුහුණ දෙන අය ලෝකයේ කොහේ හෝ සිටින අයගේ අදහස් වලට විවෘතව සිටින බව පේනවා.

රටක අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කිරීමේදී එකිනෙක හා ගැටෙන ඉලක්ක තුනක් ලඟා කර ගැනීමේ අභියෝගයට මුහුණ දීමට ප්‍රතිපත්ති සම්පාදකයෙකුට සිදු වෙනවා. ඒ ප්‍රවේශය වැඩි කිරීම, ගුණාත්මක භාවය වැඩි කිරීම හා පිරිවැය අඩු කිරීම කියන ඉලක්ක තුනයි. ඇමරිකාවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ මේ එක් එක් ඉලක්කය සපුරා ගන්නේ කොහොමද?

පළමු ඉලක්කය වන ප්‍රවේශය වැඩි කිරීමට තිබෙන ප්‍රධානම බාධාව පිරිවැයයි. ඇමරිකාව තුළදී ඕනෑම සිසුවෙකුට අවම වශයෙන් වසර දහතුනක මූලික අධ්‍යාපනයක් නොමිලේ ලබා ගත හැකියි. මේ හරහා ප්‍රවේශය පිළිබඳ ප්‍රශ්නය විසඳෙනවා.

ඇමරිකාවේ පාසැල් ආකෘතිය ප්‍රදේශය අනුව වෙනස් වන දෙයක්. ව්‍යතිරේඛද සුලභ වුවත්, වඩාත්ම සුලභ පාසැල් ආකෘතිය පහත ආකෘතියයි.

හෝඩිය

මූලික පාසැල (1-5 ශ්‍රේණි)

මධ්‍යම පාසැල (6-8 ශ්‍රේණි)

උසස් පාසැල (9-12 ශ්‍රේණි)

මේ අනුව ඇමරිකානු සිසුවෙකුට අවම වශයෙන් පාසැල් තුනකට හෝ හතරකට යන්න සිදු වෙනවා. හෝඩිය බොහෝ විට මූලික පාසැලේම කොටසක්. අඩු ආදායම්ලාභී පවුල් වල සිසුන්ට පෙර පාසැල් අධ්‍යාපනයද නොමිලේ ලබා ගත හැකියි. 

ඕනෑම ඇමරිකානු සිසුවෙකුට තමන් ජීවත් වන ස්ථානය මත පදනම් වූ නිශ්චිත මූලික, මධ්‍යම හා උසස් පාසැලක් තිබෙනවා. පෙර ලිපියක විස්තර කළ පෞද්ගලික හෝ වරලත් පාසැලකට නොයන්නේනම් සහ නිවසේ සිට අධ්‍යාපනය නොලබන්නේනම් යා යුත්තේ මේ නිශ්චිත පාසැල් වලටයි.

පාසැල් දිස්ත්‍රික්කයක් යන්නෙන් බොහෝ විට අදහස් වන්නේ උසස් පාසැලක භූගෝලීය සීමාවයි. ඒ අනුව, ව්‍යතිරේඛ තිබුණත්, කිසියම් පාසැල් දිස්ත්‍රික්කයක සිසුන් බොහෝ විට යා යුත්තේ එකම උසස් පාසැලකටයි. එම සීමාව තුළ මධ්‍යම පාසැල් එකකට වඩා තිබිය හැකියි. මූලික පාසැල්නම් බොහෝ විට කිහිපයක් තිබෙනවා. උසස් පාසැලේ සීමාව තුළ මූලික පාසැල් වල භූගෝලීය සීමා ලකුණු කර තිබෙනවා. ඒ අනුව, සෑම සිසුවෙකුටම ප්‍රාථමික අධ්‍යාපනය සඳහා නිවසට ඉතාම ආසන්න පාසැලකට යා හැකියි. මධ්‍යම හා උසස් පාසැල් ඊට වඩා තරමක් ඈතින් පිහිටා තිබෙනවා විය හැකි වුවත් ඒවාද එම මට්ටමේදී තිබෙන ළඟම පාසැල්.

ඇමරිකාවේ පොදු පාසැල් අධ්‍යාපනය පොදු සේවාවක් වුවත් එය මධ්‍යගතව සැලසුම් නොවන ප්‍රාදේශීය කටයුත්තක්. උසස් පාසැලකට නඩත්තු විය හැක්කේ යම් අවම සිසු ගහණයක් සිටීනම් පමණයි. ඒ නිසා, නාගරික ප්‍රදේශයක පාසැල් දිස්ත්‍රික්කයක් කුඩා වුවත්, ග්‍රාමීය ප්‍රදේශයක පාසැල් දිස්ත්‍රික්කයක් සාපේක්ෂව විශාලයි. සිසුන් ප්‍රමාණය යම් අවම මට්ටමක පවත්වා ගත හැකි පරිදි පාසැල් දිස්ත්‍රික් සීමා නිර්ණය වීමේදී අදාළ සීමාව තුළ නිවාස ඒකක ප්‍රමාණය යම් අවම මට්ටමක තිබීමද සහතික කෙරෙනවා. මේ අනුව, දේපොළ බදු සේ අය කෙරෙන ආදායම්ද යම් අවම මට්ටමක තිබීම සහතික කෙරෙනවා. පාසැල් ප්‍රධාන වශයෙන්ම නඩත්තු වන්නේ මේ දේපොළ බදු වලින්. 

කිසියම් පොදු පාසැලකට දරුවන් යවන පිරිසත් එම පාසැල නඩත්තු කිරීම වෙනුවෙන් දේපොළ බදු ගෙවන පිරිසත් එකම පිරිසක්. මේ නිසා, පදිංචිය තහවුරු කර ගැනීම අපහසු නැහැ. පදිංචිය වෙනස් කළොත් දරුවන්ගේ පාසැල්ද වෙනස් කළ යුතුයි. මේ ක්‍රමය තුළ පාසැල් අධ්‍යාපනය වෙනුවෙන් සෘජුව මුදල් නොගෙවුවත්, එය වක්‍රව ගෙවන්නේ එම දරුවන්ගේම දෙමවුපියන් විසිනුයි.

වැඩි වැටුප් ගෙවීමෙන් වඩා හොඳ ගුරුවරුන් ආකර්ෂණය කර ගත හැකියි. එහිදී දරුවන්ට ලැබෙන අධ්‍යාපනයේ ගුණාත්මක භාවයද ඉහළ යනවා. එහෙත්, ඒ වෙනුවෙන් වැඩි මිලක් ගෙවන්න සිදු වෙනවා. වෙනත් අයුරකින් කිවුවොත්, ඇමරිකානු පාසැල් දිස්ත්‍රික් ක්‍රමය තුළ ඕනෑම සිසුවෙකුට ප්‍රවේශය සහතික කෙරෙනවා. එය සාධාරණ ලෙසද සිදු වෙනවා. ඒ වගේම, පිරිවැය අවම වන පරිදිද එය සිදු වෙනවා. එහෙත්, මෙහිදී අධ්‍යාපනයේ ගුණාත්මක භාවය සමාන මට්ටමකින් පවතින බව සහතික කෙරෙන්නේ නැහැ.

පොදු පාසැල් පද්ධතිය තුළ ඉගෙන ගන්නා තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ දමා ගන්නනම් දෙමවුපියන්ට දේපොළ බදු ලෙස ඉහළ මිලක් ගෙවීමේ එකඟතාවයකට එන්න සිදු වෙනවා. දේපොළ බදු වැඩිපුර ගෙවන්න කැමති නැත්නම් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය අඩුවීම භාර ගන්න සිදු වෙනවා. පොදු පාසැල් හරහා ලැබෙන අධ්‍යාපනයේ ගුණාත්මක භාවය අඩු වූ විට තමන්ගේ දරුවන්ට වඩා හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න අවශ්‍ය දෙමවුපියන් දරුවන්ව මුදල් ගෙවා පෞද්ගලික පාසැලකට යවන්න පෙළඹෙනවා. එවිට ඔවුන්ට පොදු පාසැල් නඩත්තු කිරීම වෙනුවෙන් දේපොළ බදු ගෙවීමට තිබෙන අවශ්‍යතාවයද නැති වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස පොදු පාසැල් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය තවත් පහළ යනවා. මෙය චක්‍රීය ලෙස සිදු වී අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පිළිබඳ විෂමතා ඉහළ යනවා. 

ඇතැම් ප්‍රදේශ වල වැසියන් පොදු පාසැල් පද්ධතියේ ගුණාත්මක භාවය පවත්වා ගැනීමට ප්‍රමාණවත් තරම් බදු ගෙවීමට සූදානම් නොවීමෙන් ඔවුන්ට අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැදගත් නොවන බවක් හැම විටම අදහස් වෙන්නේ නැහැ. පාසැල් දිස්ත්‍රික්ක වල පිහිටි නිවාස ඒකක වල ආදායම් මට්ටම් අතර සැලකිය යුතු විෂමතා තිබෙනවා. පොදු පාසැල් පද්ධතියේ ගුණාත්මක භාවය පවත්වා ගැනීමේ බර හැම පෙදෙසකම වැසියන්ට එක සේ දැරිය නොහැකියි. ප්‍රාන්ත මට්ටමේ මැදිහත් වීම් වලින් වෙන්නේ මෙවැනි විෂමතා අඩු කිරීමයි. ප්‍රාදේශීය ආදායම් අඩු, ඒ හේතුව නිසා පොදු පාසැල් පද්ධතියේ ගුණාත්මක භාවය පවත්වා ගැනීම අසීරු පාසැල් දිස්ත්‍රික්ක වලට ප්‍රාන්ත අරමුදල් වල උදවුවෙන් වඩා හොඳ ගුරුවරුන් ආකර්ෂණය කරගෙන අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නංවා ගත හැකියි. මේ ආකාරයෙන්ම ෆෙඩරල් අරමුදල් වලින් ප්‍රාන්ත අතර තිබෙන විෂමතා අඩු කළ හැකියි.

ගුණාත්මක භාවය පහළ අඩියකට වැටුණොත් එය ප්‍රවේශය පිළිබඳ ප්‍රශ්නයක් බවටද පත් වෙනවා. සෑම සිසුවෙකුටම මුදල් නොගෙවා මූලික අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව තිබීම පමණක් ප්‍රමාණවත් නැහැ. එම අධ්‍යාපනය අවශ්‍ය පමණ ගුණාත්මක අධ්‍යාපනයක්ද විය යුතුයි. එවැනි ගුණාත්මක අධ්‍යාපනයක් සියල්ලන්ටම ලැබේනම් එය ලැබෙන්නේ කෙසේද යන්න වැදගත් නැහැ.

ඇතැම් දෙමවුපියන්ට තමන්ගේ දරුවන්ට අවශ්‍ය ගුණාත්මක අධ්‍යාපනය නිවසේදීම ලබා දිය හැකියි. තවත් දෙමවුපියන් මේ සඳහා පෞද්ගලික පාසැල් තෝරා ගන්නවා. පොදු පාසැල් අවශ්‍ය වන්නේ මේ අවස්ථා දෙකම හිමි නොවන දරුවන්ටයි. පොදු පාසල් ක්‍රමය තුළ, තමන්ගේ දරුවන් පොදු පාසැලකට නොයවන පවුල් වල අය ඇතුළු පාසැල් දිස්ත්‍රික්කයේ වැසියන්ගේ වියදමෙන් මේ අධ්‍යාපනය ලැබෙනවා. මෙහිදී අදාළ ප්‍රදේශයේම වැඩි ආදායම්ලාභී පවුල් විසින් ඔවුන්ගේ කැමැත්තෙන් අඩු ආදායම්ලාභී පවුල් සුබසාධනය කිරීමක් සිදු වෙනවා. එය අවශ්‍ය පමණට සිදු නොවන විට ප්‍රාන්ත රජය මැදිහත් වී ප්‍රාන්තයේම  වෙනත් ප්‍රදේශ වල වැසියන්ගේ වියදමින් ඇතැම් පාසැල් දිස්ත්‍රික්ක සුබසාධනය කරනවා. එයද ප්‍රමාණවත් නොවන අවස්ථා වල පමණක් ෆෙඩරල් රජය මැදිහත් වී අනෙකුත් ප්‍රාන්ත වල වැසියන්ගේ වියදමෙන් ඇතැම් පාසැල් දිස්ත්‍රික්ක සුබසාධනය කරනවා. මේ සියල්ල සිදු වන්නේ ධනවාදී සමාජ-ආර්ථික ව්‍යුහය එලෙසම තිබියදී. 

Sunday, August 8, 2021

ඇමරිකාවේදී ගුරුවරයෙකු වන හැටි


ඇමරිකාවේදී වෙනත් බොහෝ වෘත්තීන් වගේම ගුරු වෘත්තියේ නියැලීම සඳහාත් බලපත්‍රයක් ලබා ගත යුතුයි. මෙවැනි බලපත්‍ර එක් එක් ප්‍රාන්තය විසින් නිකුත් කරනවා. බලපත්‍රය වලංගු වන්නේ අදාළ ප්‍රාන්තය තුළ පමණයි. වෙනත් ප්‍රාන්තයක ගුරුවරයෙකු ලෙස රැකියාව කරන්නනම් එම ප්‍රාන්තයෙන් බලපත්‍රයක් ලබා ගත යුතුයි.

බලපත්‍රය ලබා ගැනීම සඳහා සාමාන්‍යයෙන් අධ්‍යාපනය හා ඉගැන්වීම පිළිබඳ ප්‍රථම උපාධියක් තිබිය යුතුයි. නිශ්චිත විෂයයන් ඉගැන්වීම සඳහා අවම වශයෙන් අදාළ විෂය සම්බන්ධ ප්‍රථම උපාධියක්ද තිබිය යුතුයි. ඇතැම් විට පශ්චාත් උපාධියක් තිබිය යුතුයි. අධ්‍යාපනය හා ඉගැන්වීම පිළිබඳ ප්‍රථම උපාධියක් නැති, එහෙත් වෙනත් විෂයයක් සම්බන්ධ ප්‍රථම උපාධියක් තිබෙන අයෙකුට ඉගැන්වීම පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාවක් හදාරා ගුරු වෘත්තියට ඇතුළු විය හැකියි. 

බලපත්‍රයක් ලබා ගැනීම සඳහා කළ යුතු දේ ප්‍රාන්තය අනුව වෙනස් වෙනවා. බොහෝ විට ලබා ගන්නා බලපත්‍රයේ ස්වභාවය (උගන්වන විෂයයන් හා පන්ති) අනුව, අදාළ විෂයයන් පිළිබඳ දැනුම සම්බන්ධ හා ඉගැන්වීමේ හැකියාව සම්බන්ධ විභාග වලින් සමත් විය යුතුයි. ඊට අමතරව අපේ ප්‍රාන්තයේ ගුරුවරු ප්‍රථමාධාර පිළිබඳ පුහුණු පාඨමාලාවක් (හදිසි අවස්ථාවකදී හෘදය වස්තුව පණ ගැන්වීම) හා සිය දිවි නසා ගැනීමේ ලක්ෂණ කලින් හඳුනා ගෙන වැළැක්වීම පිළිබඳ පුහුණු පාඨමාලාවක්ද සම්පූර්ණ කළ යුතුයි. වෙනත් ප්‍රාන්ත වල අවශ්‍යතා මීට වඩා අඩු හෝ වැඩි විය හැකියි.

මේ සුදුසුකම් ඇත්නම් ඉගැන්වීමේ බලපත්‍රයක් සඳහා අයැදුම් කළ හැකියි. එහිදී මුලින්ම අයැදුම්කරුගේ පෙර වැරදි පිළිබඳ (criminal history) සොයා බැලීමක් කරනවා. පළමු වරට ලැබෙන්නේ ආධුනික බලපත්‍රයක්. එය වලංගු වන්නේ වසර දෙකක කාලයකට පමණයි. එහිදී පුහුණු ගුරුවරයෙකුගේ අධීක්ෂණය යටතේ තවත් අවශ්‍යතා සම්පුර්ණ කළ යුතුයි. ඉන් පසුව, පූර්ණ බලපත්‍රයක් ලබා ගත හැකියි. කිසියම් හේතුවක් මත අවලංගු කරනු නොලැබුවහොත් ගුරු බලපත්‍රයක් වසර පහකට වලංගුයි. ඉන් පසුව නැවත බලපත්‍රය අලුත් කළ යුතුයි. ඒ සඳහා, ඇතැම් පුහුණු පාඨමාලා නැවත සම්පූර්ණ කළ යුතුයි. මේ දේවල්ද ප්‍රාන්තය අනුව තීරණය වන දේවල්.

ගුරු බලපත්‍රයක් ඇති අයෙකුට එම බලපත්‍රයෙන් ආවරණය වන විෂයයන් හා පංති වල ඉගැන්වීම සඳහා ප්‍රාන්තය තුළ පාසැල් වල තිබෙන පුරප්පාඩු වලට අයැදුම් කළ හැකියි. කිසියම් පාසැලක තිබෙන පුරප්පාඩුවක් සඳහා තෝරා ගනු ලැබුවහොත් රැකියාව භාර ගැනීමට පෙර තමන්ගේ වැටුප සම්බන්ධව හෙට්ටු කළ හැකියි. එසේ හෙට්ටු කිරීම සඳහා පෙන්විය හැකි සුදුසුකම්, කුසලතා හෝ කාර්ය සාධන වාර්තා තිබිය යුතුයි.

යම් හෙයකින් ප්‍රාන්තය මාරු කළහොත් අලුත් ප්‍රාන්තයෙන් බලපත්‍රයක් ලබා ගත යුතුයි. මෙහිදී හැම දෙයක්ම මුල සිටම කළ යුතු නැහැ. බලපත්‍රය ලබා ගැනීම සඳහා කළ යුතු දේ මුල් බලපත්‍රය ලබාගත් ප්‍රාන්තය හා අලුත් ප්‍රාන්තය කුමක්ද යන්න මත තීරණය වෙනවා. ඇතැම් විට මුල් බලපත්‍රය පෙන්වා අලුත් බලපත්‍රය ලබා ගන්න හැකි විය හැකි නමුත් සමහර විට නැවතත් අලුතෙන්ම ඇතැම් පාඨමාලා හදාරන්න සිදු වෙන්නත් පුළුවන්.

විදේශ උපාධි තිබෙන අයටද ගුරු බලපත්‍ර සඳහා අයැදුම් කළ හැකියි. එහිදී විදේශ සුදුසුකම් ඇමරිකානු පාඨමාලා අවශ්‍යතා හා ගැලපේනම් එවැනි පාඨමාලා නැවත හැදෑරිය යුතු නැහැ. ඉතිරි සුදුසුකම් සම්පූර්ණ කළ යුතුයි.

ගුරුවරයෙකු වන අයෙකු සාමාන්‍යයෙන් ආධුනිකයෙකු ලෙස වෘත්තියට පිවිසෙන්නේ වසර පහක පමණ කාලයක්වත් අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කිරීමෙන් පසුවයි. ගුරුවරයෙකු ලෙස ලබන ප්‍රතිලාභ වලින් එම ආයෝජන වල වියදම් ආවරණය විය යුතුයි. වෙළඳපොළ යාන්ත්‍රනය විසින් හැම විටම මෙය සිදුවන බවට වග බලා ගන්නවා. එහෙත්, ගුරුවරයෙකු "නිෂ්පාදනය වීමට" වසර පහ හයක කාලයක් ගත වන නිසා කෙටිකාලීනව වෙළඳපොළ අසමතුලිතතා තිබිය හැකියි. මෙය වෛද්‍ය වෘත්තීය වැනි වෙනත් වෘත්තීන් හා අදාළවද සිදු වන දෙයක්.  මෙවැනි තත්ත්වයන් ඇති විට තාවකාලිකව විදේශිකයින්ට ඇමරිකානු රැකියා වෙළඳපොළ විවෘත වෙනවා.

පහත රූප සටහනේ පෙන්වා ඇති පරිදි ඇමරිකාවේ එක් එක් ප්‍රාන්තයේ සාමාන්‍ය ගුරු වැටුප විශාල ලෙස වෙනස් වෙනවා. ප්‍රාන්තයක් තුළ පාසැල් දිස්ත්‍රික්ක අතරත්, පාසැල් වල ගුරුවරුන් අතරත් මෙවැනිම වෙනස්කම් දැකිය හැකියි. 


Thursday, August 5, 2021

ඇමරිකාවේ පාසැල් වල අයවැය


වෙනත් බොහෝ රටවල වගේම ඇමරිකාවේත් දරුවන්ට මූලික අධ්‍යාපනය ලබා දීම අනිවාර්යයි. එහෙත්, එය කළ හැකි ආකාර කිහිපයක් තිබෙනවා. 

දෙමවුපියන්ගේ රුචිකත්වය පරිදි අවශ්‍යනම් දරුවන් පාසැලකට නොයවා ගෙදරදී අධ්‍යාපනය ලබා දිය හැකියි. පසුගිය වසරේදීනම් ඇමරිකානු දරුවන් හැමෝම වගේ අධ්‍යාපනය ලැබුවේ මේ ක්‍රමයට වුවත් සාමාන්‍ය වසරකදී නිවසේ සිට අධ්‍යාපනය ලබන්නේ ඇමරිකානු දරුවන්ගෙන් 3-4% පමණ පිරිසක් පමණයි. ඉතිරි දරුවන් අධ්‍යාපනය ලැබීම සඳහා කවර හෝ පාසැලකට යනවා.

ඇමරිකාවේ පාසැල් වලින් 25%ක් පමණ පෞද්ගලික පාසැල්. එහෙත් එම පාසැල් වල ඉගෙනුම ලබන්නේ පාසැල් යන සිසුන්ගෙන් 10-11% පමණ පිරිසක් පමණයි. ඔවුන් වැඩි දෙනෙක් ඉහළ ආදායම් ලබන පවුල් වල දරුවන්. පාසැල් යන සිසුන්ගෙන් 90%කට ආසන්න පිරිසක් ඉගෙනුම ලබන්නේ පොදු පාසැලකයි.

සාමාන්‍ය පාසැල් සහ වරලත් පාසැල් ලෙස පොදු පාසැල් වර්ග දෙකක් තිබෙනවා. මේ පාසැල් වර්ග දෙකම නඩත්තු වන්නේ බදු මුදල් වලින් වුවත් වරලත් පාසැල් සාමාන්‍ය පාසැල් වලට වඩා ස්වාධීන, රජයෙන් පාලනය නොවන, ඉල්ලුම අනුව සිසුන් බඳවා ගන්නා ආයතනයි. බොහෝ විට අවවරප්‍රසාදිත සිසුන් ඉලක්ක කර හෝ වෙනත් විශේෂ ඉලක්ක ඇතිව පිහිටුවා තිබෙන මෙම පාසැල් වල සමස්ත සිසුගහණයෙන් 5-6% පමණ ප්‍රමාණයක් ඉගෙනුම ලබනවා. රටේ මුළු පාසැල් ප්‍රමාණයෙන්ද ආසන්න වශයෙන් එපමණ ප්‍රමාණයක් වරලත් පාසැල්.

මූල්‍යනය සහ පාලනය සිදුවන ආකාරය අනුව ඇමරිකාවේ පෞද්ගලික පාසැල් ලංකාවේ ජාත්‍යන්තර පාසැල් සමඟත්, වරලත් පාසැල් ශාන්ත තෝමස් විදුහල වැනි සම්ප්‍රදායික පෞද්ගලික පාසැල් සමඟත් සංසන්දනය කළ හැකියි. මේ පාසැල් වලට යම් සිසු පිරිසක් ගියත්, ලංකාවේ මෙන්ම ඇමරිකාවේද සිසුන්ගෙන් බහුතරය ඉගෙනුම ලබන්නේ බදු මුදලින් නඩත්තු වන සාමාන්‍ය පාසැල් වලයි. එහෙත් ලංකාවේ හා ඇමරිකාවේ මෙම පාසැල් ආකෘති අතර සැලකිය යුතු වෙනස්කම් තිබෙනවා.

ලංකාවට සාපේක්ෂව ඇමරිකාවේ පොදු පාසැල් පද්ධතියේ තිබෙන ප්‍රධානම වෙනස්කම වන්නේ ඕනෑම සිසුවෙකුට නියමිත නිශ්චිත පාසැලක් තිබීමයි. නිවසේ සිට ඉගෙනුම ලැබීම, පෞද්ගලික පාසැලකට යාම හා වරලත් පාසැලකට යාම යන විකල්ප තිබුණත්, පොදු පාසැල් පද්ධතිය තුළ ඉගෙනුම ලබන්නේනම් තමන්ට නියමිත පාසල වෙනස් කිරීමේ හැකියාවක් සාමාන්‍යයෙන් නැහැ. එය කළ හැක්කේ පදිංචිය මාරු කිරීමෙන් පමණයි. ඒ වගේම, පෞද්ගලික පාසැල් හා වරලත් පාසැල් බොහෝ විට පිහිටා තිබෙන්නේ නාගරික ප්‍රදේශ වල නිසා බොහෝ තැන් වල ජීවත් වන ඇමරිකානුවන්ට ඔවුන්ගේ දරුවන්ට විධිමත් ආයතන පද්ධතියක් තුළ අධ්‍යාපනය ලබා දීම සඳහා පොදු පාසැල් පද්ධතිය හැර වෙනත් විකල්පයක් නැහැ.

ඇමරිකාවේ පොදු පාසැල් ප්‍රධාන වශයෙන්ම නඩත්තු වෙන්නේ ප්‍රාදේශීය හා ප්‍රාන්ත අරමුදල් වලින්. ඇමරිකානු ෆෙඩරල් රජයෙන්ද යම් ප්‍රමාණයක අරමුදල් ලැබෙනවා. අපේ පාසැල් දිස්ත්‍රික්කයේ පසුගිය වසරේ ආදායම් වලින් 57%ක් උපයාගෙන තිබුණේ ප්‍රාදේශීය බදු හා ගාස්තු වලින්. ප්‍රාන්ත අරමුදල් වලින් 42%ක් ලැබී තිබුණු අතර ෆෙඩරල් අරමුදල් ඇතුළු අනෙකුත් ප්‍රභව වලින් ලැබී තිබුණේ 1%ට අඩු කොටසක්.

ඇමරිකාවේ පාසැල් දිස්ත්‍රික්කයක් ලංකාවේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක් සමඟ සංසන්දනය කළ හැකියි. අපේ පාසැල් දිස්ත්‍රික්කයට පාසැල් 24ක් අයත් වන අතර එම පාසැල් වල සිසුසිසුවියන් 21,500ක් පමණ ඉගෙනුම ලබනවා. ඔවුන්ට උගන්වන ගුරුවරු ප්‍රමාණය 1,400ක් පමණ. මේ පාසැල් පාලනය වන්නේ ඡන්දයෙන් තේරී පත් වන පාලක මණ්ඩලයක් මගින්. ඔවුන්ට පාලක මණ්ඩල රැස්වීමකට සහභාගී වීම වෙනුවෙන් සුළු දීමනාවක් ලබා ගත හැකි වුවත් ඒ හැර වෙනත් වැටුප් හෝ වරප්‍රසාද කිසිවක් ලැබෙන්නේ නැහැ. මෙය සැලකිය හැක්කේ ස්වේච්ඡා සේවාවක් ලෙසයි. 

පාලක මණ්ඩල සාමාජිකයින්ගෙන් කොටසක් මුළු පාසැල් දිස්ත්‍රික්කයම නියෝජනය කරන අතර ඔවුන්ව පාසැල් දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් විසින් තෝරා පත් කර ගන්නවා. ඉතිරි සාමාජිකයින්ව පත් කර ගන්නේ පාසැල් දිස්ත්‍රික්කය තුළ යම් කුඩා ප්‍රදේශයක් නියෝජනය කිරීමටයි. ඔවුන්ව අදාළ ප්‍රදේශයේ ඡන්දදායකයින් විසින් තෝරා පත් කර ගන්නවා. පාලක මණ්ඩල සාමාජිකයෙකු තේරී පත් වන්නේ වසර හතරක කාලයක් සඳහා වුවත් වරකදී අලුතෙන් පත් කර ගන්නේ සාමාජිකයින්ගෙන් අඩක් පමණයි. ඒ නිසා, සෑම දෙවසරකටම වරක් පාලක මණ්ඩලය අලුත් වෙනවා.

පාසැල් ප්‍රධාන වශයෙන්ම නඩත්තු වන්නේ පාසැල් දිස්ත්‍රික්කයේ වැසියන්ගෙන්ම අය කරන දේපොළ බදු වලින් (property tax) සහ විකුණන භාණ්ඩ වලින් අය කරන ප්‍රාදේශීය බදු වලින් (local sales tax). නිවාස වල වාර්ෂික තක්සේරු වටිනාකම වැඩි වන විට සමානුපාතිකව බදු ආදායම්ද ඉහළ යනවා. තවත් ප්‍රාදේශීය බදු වර්ග කිහිපයකින් ලැබෙන ආදායම් හා විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු වැනි ඇතැම් ගාස්තුද යන්නේ අධ්‍යාපන අරමුදලටයි. මේ අනුව, පොදු පාසැල් පද්ධතිය තුළ සියලුම සිසුන්ට නොමිලේ අධ්‍යාපනය ලැබීමේ ඉඩ ප්‍රස්තා හිමිවන නමුත් ඒ වෙනුවෙන් පිරිවැය දරන්න වෙන්නේද බොහෝ දුරට අදාළ ප්‍රදේශයේ වැසියන්ටමයි.

ප්‍රාදේශීය බදු වලට අමතරව ප්‍රාන්තයෙන් අය කරන බදු වලින් කොටසක්ද පාසැල් දිස්ත්‍රික්ක වලට බෙදා දෙනවා. එය කරන්නේ නිශ්චිත සමීකරණ අනුවයි. පාසැල් දිස්ත්‍රික්කයක සිසුන් ගණන වැඩි වෙද්දී වගේම අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැඩිවෙද්දීත්, විශේෂ අවශ්‍යතා ඇති සිසුන්ට සලසන පහසුකම් වැඩි වෙද්දීත් ප්‍රාන්තයෙන් ලැබෙන අරමුදල් ප්‍රමාණය ඉහළ යනවා. ප්‍රාන්ත අරමුදල් වෙන් කිරීමේදී සලකා බලන නිර්ණායක ගණනාවක් තිබෙනවා. අරමුදල් වැඩියෙන් ලබා ගැනීමටනම් අවශ්‍ය ඉලක්ක සපුරාලිය යුතුයි. 

ෆෙඩරල් රජයෙන් ලබා දෙන අරමුදල් වලින් කොටසක් තරඟකාරී පදනමකින් ලබා ගත යුතු ප්‍රදාන. එම අරමුදල් ලබා ගැනීම සඳහා ව්‍යාපෘති යෝජනා (grant proposals) ඉදිරිපත් කළ යුතුයි. ඒ නිසා, එවැනි අරමුදල් හැම පාසැලකටම ලැබෙන්නේ නැහැ. වෙනත් ඇතැම් අරමුදල් හිමි වන්නේ නිශ්චිත කාර්යයන් සඳහා වියදම් කිරීමටයි. 

පාසැල් දිස්ත්‍රික්කයක සියලු වියදම් ඉහත ආකාර වලින් ලැබෙන ආදායම් වලින් පියවා ගත යුතුයි. ඉතිරියක් වේනම් අනාගතයට ඉතිරි කළ හැකියි. ලැබෙන ආදායම් වලින් යම් කොටසක් හදිසියකදී ගැනීම සඳහා ඉතිරි කිරීම ඇමරිකාවේ ඕනෑම ආයතනයක සාමාන්‍ය ක්‍රමයයි. එතරම් විශාල නැතත්, එවැනි ඉතිරි කිරීම් වෙනුවෙන් ලැබෙන පොලී මුදල්ද නිත්‍ය ආදායම් ප්‍රභවයක්. යම් හෙයකින් වියදම් තරමට ආදායම් නැත්නම් ඉතිරි කිරීම් ප්‍රයෝජනයට ගන්න වෙනවා. නැත්නම් ණය ලබා ගන්න සිදු වෙනවා. ගත් ණය ආපසු ගෙවන තුරු පොලිය වියදම් වලට එකතු වෙනවා.

පාසැල් දිස්ත්‍රික්කයක ප්‍රධානම වියදම ගුරු වැටුප්. ගුරුවරයෙකුව බඳවා ගන්නේ කිසියම් නිශ්චිත පාසැලකටයි. එය බොහෝ විට කරන්නේ පාසල් දිස්ත්‍රික් පරිපාලනයේ අනුමැතියට යටත්ව විදුහල්පතිවරයා විසිනුයි. එසේ නැත්නම් පාසල් දිස්ත්‍රික් පරිපාලනය හා විදුහල්පතිවරයා එකතුවයි. ගුරුවරු බඳවා ගැනීම මෙන්ම ඉවත් කිරීමද, ගුරු වැටුප් තීරණය කිරීමද ඔවුන්ට කළ හැකියි. ගුරුවරයෙකු එක් පාසැලකින් අස් වී වැඩි වැටුපක් වෙනුවෙන් වෙනත් පාසැලකට යාම සාමාන්‍ය දෙයක්.

පාසැල් දිස්ත්‍රික්කය තුළ මෙන්ම පාසැල් තුළද ආදායම් හා වියදම් කළමනාකරණය කර ගත යුතු නිසා ගුරු වැටුප් ඕනෑවට වඩා වැඩි කළොත් බඳවා ගත හැකි ගුරුවරු ගණන පහළ යනවා. එය ලබා දෙන අධ්‍යාපනයේ ගුණාත්මක භාවය කෙරෙහි නරක ලෙස බලපාන නිසා විභාග ප්‍රතිඵල වැනි නිර්ණායක මත පදනම්ව ප්‍රාන්තයෙන් ලැබෙන ප්‍රතිපාදන පහළ යාමේ අවදානමක් තිබෙනවා. 

පාසැල් වල වියදම් බොහෝ දුරට අදාළ ප්‍රදේශයෙන්ම එකතු කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස පොහොසතුන් සිටින ප්‍රදේශ වල පාසැල් දිස්ත්‍රික්ක වලට වැඩි බදු ආදායමක් ලැබෙනවා. එහෙයින් එම පාසැල් දිස්ත්‍රික්ක වලට වැඩි වැටුප් ගෙවා හොඳ ගුරුවරුන් බඳවා ගැනීම පහසුයි. එවිට අධ්‍යාපනයේ ගුණාත්මක භාවයද ඉහළ යනවා. දුප්පතුන් වැඩිපුර සිටින පෙදෙස් වල සිසුන්ට මෙයින් යම් අසාධාරණයක් වෙනවා. ප්‍රාන්ත හා ෆෙඩරල් ප්‍රතිපාදන වෙන් කිරීම සිදු වන්නේ මේ විෂමතා අවම වන පරිදියි. අපේ පාසැල් දිස්ත්‍රික්කයට සාපේක්ෂව, ප්‍රමාණවත් තරම් ප්‍රාදේශීය බදු ආදායම් උපයා ගත නොහැකි වෙනත් පාසැල් දිස්ත්‍රික්ක වලට ප්‍රාන්ත අරමුදල් හා ෆෙඩරල් අරමුදල් වැඩිපුර ලැබෙනවා. 

නිවුයෝර්ක් සහ කැලිෆෝර්නියා වැනි නාගරික ජනගහණයක් සිටින ප්‍රාන්ත වල දේපොළ වල වටිනාකම් ඉතා වැඩි නිසා දේපොළ බදු සේ අය කෙරෙන ආදායම්ද ඉහළ මට්ටමක තිබෙනවා. ඒ නිසා, එවැනි ප්‍රදේශ වල ගුරුවරුන්ට වැඩි වැටුපක් ගෙවිය හැකියි. අනෙක් අතට එවැනි නාගරික ප්‍රදේශ වල නිවාස මිල දී ගැනීම හෝ කුලියට ගැනීම සඳහා විශාල පිරිවැයක් දැරිය යුතු නිසා ජීවන වියදම වැඩියි. ඒ නිසා, ගුරුවරුන් ආකර්ශනය කර ගැනීම සඳහා වැඩි වැටුපක් ගෙවන්නම වෙනවා. මිසිසිපි ප්‍රාන්තය වැනි ග්‍රාමීය, කෘෂිකාර්මික ප්‍රාන්තයක තත්ත්වය මෙහි අනෙක් පැත්තයි. 

පසුගිය වසරේදී මිසිසිපි ප්‍රාන්තයේ ගුරුවරයෙකුගේ මධ්‍යන්‍ය වාර්ෂික වැටුප ඩොලර් 45,105ක් පමණක් වුවත්, කැලිෆෝර්නියා ප්‍රාන්තයේ එම අගය ඩොලර් 83,059ක්ද, නිවුයෝර්ක් ප්‍රාන්තයේ ඩොලර් 85,889ක්ද වුනා. ප්‍රාන්ත අතර වගේම ප්‍රාන්ත වල පාසැල් දිස්ත්‍රික් අතරත්, පාසැල් දිස්ත්‍රික්ක වල පාසැල් අතරත්, පාසැල් වල ගුරුවරුන් අතරත් මෙවැනි වෙනස්කම් දැකිය හැකියි. වෙනම පාලනය වන වරලත් පාසැල් වල සහ පෞද්ගලික පාසැල් වල ගුරු වැටුප් කොහොමටත් වෙනස්. පෞද්ගලික පාසැලක උගන්වන ගුරුවරයෙකුගේ සාමාන්‍ය වැටුප පවතින්නේ පොදු පාසැල් පද්ධතියේ ගුරුවරයෙකුගේ සාමාන්‍ය වැටුපෙන් 80%ක පමණ මට්ටමේයි.

ඇමරිකාවේ ගුරුවරු වෙනත් දෙවන රැකියාවක් කිරීමද දුලබ දෙයක් නෙමෙයි. පාසැල් නිවාඩු කාල වල ඔවුන් බොහෝ විට වෙනත් රැකියාවක් කරනවා. ඇතැම් අය පාසැල් වාරය තුළද දෙවන රැකියාවක් කරනවා. දෙවන රැකියාව අදාළ පාසැල් දිස්ත්‍රික්කය වෙනුවෙන්ම සපයන සේවාවක් විය හැකියි. ඇතැම් ප්‍රදේශ වල වැටුපට අමතරව කුසලතා මත පාරිතෝෂික මුදලක්ද ගුරුවරුන්ට හිමි වෙනවා. සිසුන්ගේ විභාග ප්‍රතිඵල හරහා ගුරුවරයෙකුට කුසලතා පෙන්විය හැකියි. මෙවැනි ද්වීතියික ආදායම්ද එකතු වන නිසා ගුරුවරයෙකුගේ වාර්ෂික ආදායම බොහෝ විට ගුරු වැටුපට වඩා තරමක් වැඩියි.

පොදු පාසැල් පද්ධතියේ ගුරුවරු බොහෝ විට වෘත්තීය සමිති ලෙස සංවිධානය වී සිටිනු දැකිය හැකියි. ඒ නිසා, ඇමරිකාවේ ගුරුවරුන් විසින්ද වෘත්තීය අරගල කිරීමත් නිරීක්ෂණය කළ හැකියි. බොහෝ විට මෙවැනි ගුරු අරගල වල ඉලක්කය වන්නේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කෙරෙන ප්‍රාන්ත ප්‍රතිපාදන වැඩි කර ගැනීම හෝ එම ප්‍රතිපාදන කපා හැරීමට ප්‍රතිරෝධය දැක්වීමයි. කවර ආකාරයකින් හෝ පාසැල් දිස්ත්‍රික්කයේ ආදායම් වැඩි කර නොගෙන ගුරු වැටුප් වැඩි කර ගැනීමේ හැකියාවක් නැහැ.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...