වෙබ් ලිපිනය:

Showing posts with label ආනයන පාලනය. Show all posts
Showing posts with label ආනයන පාලනය. Show all posts

Friday, August 26, 2022

අනවශ්‍ය භාණ්ඩ මොනවාද?



පහත තියෙන්නේ මේ දවස් වල වත්පොතේ සංසරණය වන ප්‍රචාරක පුවරු (meme) දෙකක්. සමහර අයගේ බිත්ති වල ඔය දෙකම තියෙනවා. 

පළමුවැන්න හිරු ප්‍රවෘත්ති වලින් ගත්ත එකක්. මේ ගැනම 2022 අගෝස්තු 20 දින පළව ඇති ලංකාදීප පුවතකත් තිබෙනවා. 

"රටේ විදේශ මුදල් අර්බුදයක් පවතින බව දැන දැනත් 2020 වර්ෂයේදී විවිධ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ (තොරම්බල් බඩු) ගෙන්වීම සඳහා ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 63477ක පමණක් මුදලක් වැය කර ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශය කළ අධ්‍යයනයකදී තොරතුරු හෙළිවූ බව එහි මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.

මෙම භාණ්ඩවලින් වැඩි හරියක් අත්‍යවශ්‍ය නොවන සහ මෙරටදී නිෂ්පාදනය කළ හැකි ඒවා බව පැවසූ මහාචාර්යවරයා මෙම අනවශ්‍ය භාණ්ඩ ගෙන්වීමට වැයවූ මුදලින් තෙල් නැව් 100 කට ආසන්න සංඛ්‍යාවක් ගෙන්වීමට හැකියාව තිබූ බවද ප්‍රකාශ කළේය."

කරුණු විකෘති කර වාර්තා කර නැත්නම්, මේක ඉතාම වැදගත් අධ්‍යයනයක්. දත්ත සංචිතයකින් ඔය වගේ සංඛ්‍යාලේඛණ ටිකක් ඇදලා ගන්න එකනම් සරල වැඩක්. අපෙන් කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවහම අපි ප්‍රතිචාරයක් දමන්නේත් ඔය වගේ දත්ත දිහා බලලා. ඒ වැඩේට විනාඩි කිහිපයකට වඩා යන්නේ නැහැ. ලොකු පුහුණුවක් අවශ්‍යත් නැහැ. නමුත්, පැන්සල්, පෑන්, මකන, තීන්ත, රිබන්, ඔලුව පීරන පනා, කොහු, ඉදල්, වතුර බෝතල්, සපත්තු, කුඩ, හිස් වැසුම්, සබන් ඇතුළු පවිත්‍රකාරක ද්‍රව්‍ය, සුවඳ විලවුන්, ක්‍රීම්වර්ග වගේ දේවල් ශ්‍රී ලාංකිකයින්ට අනවශ්‍ය දේවල් කියලා හොයා ගන්න එක ඊට වඩා ගොඩක් අමාරු, සංකීර්ණ වැඩක්. 

ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මැදි වී ඉන්න වෙලාවක රටේ ප්‍රධාන විශ්ව විද්‍යාලයක් විසින් මෙවැනි වටිනා අධ්‍යයනයක් කිරීම අගය කළ යුතු දෙයක්. ඒ වෙනුවෙන් විශාල කාලයක් හා මුදලක් වැය කළා විය යුතුයි. මම හිතන්නේ මේ වැඩේ කරන්න ඇත්තේ විශාල ශ්‍රී ලාංකිකයින් පිරිසක් අයත් වන නියැදියක් තෝරා ගෙන කරපු සමීක්ෂණයකින් විය යුතුයි. ලැයිස්තුවේ තියෙන දේවල් අනවශ්‍ය දේවල් බව ඒ ගොඩක් අය කියන්න ඇති. එහෙම නැත්නම් ඔය වගේ නිගමනයකට එන්න අමාරුයිනේ. අවාසනාවට අදාළ අධ්‍යයනය මගින් ශ්‍රී ලාංකිකයින්ට අනවශ්‍ය භාණ්ඩ ලැයිස්තුව සොයාගත් ක්‍රමවේදය ගැන ලංකාදීප වාර්තාවේ නැහැ. ඒ ගැන දැනගන්න පර්යේෂණ පත්‍රිකාව කොහේ හෝ පළ වෙනකම් ඉන්න වෙනවා. 

අදාළ පර්යේෂණ වාර්තාව මට කියවන්න නොලැබුනත් ආණ්ඩුවට සම්බන්ධ කවුරු හෝ කෙනෙක් හෝ පිරිසක් විසින් කියවා තිබෙන බව පේනවා. එහෙම නැත්නම් එවැනි වෙනත් අධ්‍යයනයක් කරලා හෝ පරිශීලනය කරලා තිබෙනවා. ඒ අනුව, තවත් ආනයනික භාණ්ඩ 300ක් රටට ආනයනය කරන එක තහනම් කරලා. අදාළ පර්යේෂණ මගින් කරපු සොයාගැනීම් නිවැරදිනම් එහෙම කරපු එකේ වරදක් නැහැ.

හැබැයි දෙවන ප්‍රචාරක පුවරුවේ තියෙන්නේනම් වෙන කතාවක්. ඒ අනුව, "රජයට අත්‍යාවශ්‍ය නොවන මිනිසුන්ට අත්‍යාවශ්‍ය වන භාණ්ඩ 300ක්" තහනම් කරලා. ඒ කියන්නේ, පේරාදෙණියෙන් කරපු අධ්‍යයනය වැරදිද?

ඔය ලැයිස්තුව මමත් දැක්කා. මුල සිට අගටම කියෙවුවේනම් නැහැ. ඔය ලැයිස්තුවේ තිබෙන ගොඩක් දේවල් මටනම් පෞද්ගලිකව අත්‍යාවශ්‍යම දේවල්. එක උදාහරණයක් ටූත් ෆ්ලොස්. සාමාන්‍යයෙන් මම ලංකාවට එනකොට අනිවාර්යයෙන්ම වගේ ඇති වෙන්න ටූත් ෆ්ලොස් අරගෙන එනවා. ඒ වගේ තවත් දේවල් ගණනාවක් තිබෙනවා. නමුත් මේ ගොඩක් දේවල් ශ්‍රී ලාංකිකයින් බහුතරයකට අනවශ්‍ය දේවල් වෙන්න ඇති. ඕනෑම සංකීර්ණ ගණනක් මනෝමයෙන් හදන්න පුළුවන්නම්  කැල්කියුලේටර මොකටද?

කොහොම වුනත්, අර පේරාදෙණියේ අධ්‍යයනයෙන් හොයා ගත් ශ්‍රී ලාංකිකයින්ට අනවශ්‍ය තොරොම්බල් බඩු ඇත්තටම ශ්‍රී ලාංකිකයින්ට අනවශ්‍ය බඩුනම් 2020දී ආනයනය කරපු බඩු තවමත් නොවිකිණී තිබිය යුතුයි. "රටේ විදේශ මුදල් අර්බුදයක් පවතින බව දැන දැනත්" කියා කිවුවට එහෙම එකක් ගැන 2020දී ලොකු කතාබහක් තිබුණේ නැහැනේ. ආණ්ඩුව, මහ බැංකුව ඇතුළු ගොඩක් පාර්ශ්ව විසින් කිවුවේ එහෙම ප්‍රශ්නයක් නැහැ කියලයි. ඒ නිසා, ඔය අනවශ්‍ය බඩු ගෙන්වීම ගැන ආනයනකරුවන්ට චෝදනා කරන්න බැහැ. 

කියන කතාව ඇත්තනම් ඔය බඩු ගෙන්වපු ආනයනකරුවෝ ලොකු අමාරුවක වැටෙන්න ඇති. අනවශ්‍ය බඩු ගෙන්වලා විකුණන්නේ කොහොමද? විකුණුනේ නැති නිසා ඔය ගෙන්වපු බඩු තවමත් රට ඇතුළේ ඇති. ඒ නිසා, තව තවත් ඔය බඩුම ගෙන්වන එකේ කිසිම තේරුමක් නැහැ. අනෙක් අතට ඔය අනවශ්‍ය බඩු ගේන එක තහනම් කළා කියලා කිසිම බලපෑමක් වෙන එකකුත් නැහැ. ගෙනාපු බඩුත් විකුණාගන්න බැරිනම් කොහොමටත් කවුරුවත් ඔය දේවල් දැනටම වුනත් ගේන්නේ නැතුව ඇති. කවුරු වුනත් ව්‍යාපාරයක් කරන්නේ ලාබයක් ගන්නනේ. 

පේරාදෙණියේ පර්යේෂකයින් විසින් සමීක්ෂණයක් කර හෝ වෙන ක්‍රමයකින් හොයාගෙන තිබුණත්, අනවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවක් හදන එක ඉතාම අසීරු, සංකීර්ණ වැඩක්. මොකද එක් අයෙකුට අනවශ්‍ය දෙයක් තවත් අයෙකුට අත්‍යවශ්‍ය දෙයක් වෙන්න පුළුවන්. ඒකෙම අනෙක් පැත්ත වෙන්නත් පුළුවන්. මම එක පාරක් ලංකාවට එද්දී බැටරි වලින් ක්‍රියා කරන විදුලි දත් බුරුසු ටිකක් ගෙනත් අසල්වැසියන්ට හා ඥාතීන්ට බෙදා දුන්නා. මොනවා හෝ පොඩි දෙයක් බලාපොරොත්තුවෙන් එන එය ඉන්නවනේ. පස්සෙයි දන්නේ ඒ එක් අයෙකුගේ කටේ එක දතක්වත් නැති බව!

කොයි තරම් හොඳ සැලසුම්කරුවෙකුට වුනත් මිනිසුන්ට අත්‍යාවශ්‍ය දේවල් හා අනවශ්‍ය දේවල් කියලා පාරිභෝගික භාණ්ඩ වර්ග කරන්න අමාරුයි. නමුත්, වෙළඳපොළ විසින් මේ වැඩේ ඉතාම සාර්ථක ලෙස කරනවා. විශේෂයෙන්ම උද්ධමනය ඉහළ මට්ටමක තිබෙන වෙලාවක ඕනෑම කෙනෙකුට තමන්ගේ අතේ තිබෙන සල්ලි වලින් කලින් මිල දී ගත් හැම දෙයක්ම මිල දී ගන්න බැරි වෙනවා. ඒ නිසා, ඕනෑම කෙනෙක් තමන්ට අත්‍යාවශ්‍ය දේවල් පමණක් මිල දී ගන්න පෙළඹෙනවා. හැබැයි ඒ අත්‍යාවශ්‍ය දේවල් එක් එක් පුද්ගලයාට සාපේක්ෂයි.

මේ විදිහට ගොඩක් අය තමන්ගේ මිල දී ගැනීම් තමන්ට අත්‍යාවශ්‍ය දේවල් වලට සීමා කරද්දී, අනවශ්‍ය කෙසේ වුවත්, අඩුවෙන් අවශ්‍ය දේවල් විකිණෙන එක අඩු වෙනවා. අනවශ්‍ය දේවල්නම් ඉතිං කොහොමටත් විකිණෙන්න විදිහක් නැහැනේ.  

මේ වගේ වෙලාවක ලංකාවේ මිනිස්සු කොහොමටත් තමන්ට අඩුවෙන් අවශ්‍ය දේවල් මිල දී ගැනීම සීමා කරන නිසා එවැනි දේවල් ආනයනය කිරීම තහනම් නොකළත් ආනයන ඉල්ලුම විශාල ලෙස අඩු වෙනවා. ඒ වගේම, තමන්ට අවශ්‍යම දේවල් වලට පමණක් පරිභෝජනය සීමා කරන්න කියලා කවුරුත් නොකිවුවත් ඒ වැඩේ නිකම්ම වෙනවා. හැබැයි කිසිම දෙයක් සඳහා ඉල්ලුම නැත්තටම නැති නොවෙන්න පුළුවන්. මොකද රටේ විශාල පිරිසකට එතරම් අවශ්‍ය නොවන දෙයක් සුළු පිරිසකට අත්‍යාවශ්‍ය දෙයක් වෙන්න පුලුවන්. ඒ වගේ දෙයක් ආනයනය තහනම් කරනවා කියන්නේ බහුතරයේ රුචිකත්වය මත පදනම්ව සුළුතරයකට වෙනස් ලෙස සැලකීමක්. 

කොහොම වුනත්, මේ වන විට රජයේ වගේම මහ බැංකුවේත් ප්‍රතිපත්තිය වී තිබෙන්නේ තීරණ ගන්නා අයගේ රුචිකත්වය මත හෝ වෙනත් ක්‍රමයකට රටේ මිනිස්සුන්ට අවශ්‍ය දේවල් හා අනවශ්‍ය දේවල් වෙන් කර අනවශ්‍ය සේ හඳුනා ගන්නා දේවල් ආනයනය වැළැක්වීමයි. ඊට හේතුව, වෙළඳපොළට ප්‍රශ්නය විසඳන්නට ඉඩ දීම දේශපාලනික ලෙස ශක්‍ය නොවීමයි.

විණිමය අනුපාතය පාලනය කරමින් වුවත්, ඉතිරි ප්‍රශ්න විසඳන එක වෙළඳපොළට ඉඩ දුන්නොත් ඔය හැම දෙයක්ම සමතුලිත වෙනවා. හැබැයි එහිදී සමාජයේ පහළ ස්ථර මත වැඩි බරක් පැටවෙන එක නොවැලැක්විය හැකියි. ඒ හේතුව මත මේ වෙලාවේ ආණ්ඩුව විසින් සමාජවාදී ක්‍රමය තෝරාගෙන තිබෙනවා. 

වෙළඳපොළට ඉඩ දෙනවානම් කීයට ගියත්, මිල ඉහළ යාම භාර ගන්න වෙනවා. එයට කැමති නැත්නම් තෝරා ගන්න වෙන්නේ සමාජවාදී ක්‍රමයයි. ඒ ක්‍රමය තුළ මිනිස්සුන්ට අවශ්‍ය දේවල් සහ අනවශ්‍ය දේවල් වෙන් කර හඳුනා ගන්නේ රජයයි. ක්‍රමය භාර ගන්නවානම් රජයේ තේරීම කට වහගෙන භාර ගන්න වෙනවා. රජයේ තේරීම බහුතර තේරීම නොවන විටක මිනිස්සුන්ගේ කට වහන්න අමාරුයි. නමුත්, රජය විසින් නියෝජනය කරන්නේ බහුතර රුචිකත්වයනම්, වෙනස් රුචිකත්වයන් ඇති සුළුතර කොටස් වලට ලොකු හානියක් වෙන එක නොවැලැක්විය හැකියි. 

Sunday, August 14, 2022

එන ඩොලර් හා යන ඩොලර්

රුපියල් විකුණා ගැනීමේ ප්‍රශ්නය ගැන කලින් ලිපියක විස්තර කළා. එහි විස්තර කළ පරිදි ලංකාව දැනට මුහුණ දෙන ඩොලර් හිඟය රුපියල් අතිරික්තයක් ලෙසද හැඳින්විය හැකියි. විකුණාගත නොහැකි අතිරික්තයක් ඇති විට එයට විසඳුම මිල අඩු කිරීම වුවත්, මේ වෙලාවේ එවැන්නක් කිරීමෙන් ප්‍රශ්නය නොවිසඳෙන්නේ ඇයි කියන එකත් මම පැහැදිලි කළා. කෙසේ වුවත්, වෙනත් කළ යුතු ඇතැම් දේ මුලින් කිරීමෙන් පසුව මේ ඩොලර් අතිරික්තයෙන් නිදහස් වීම පිණිස රුපියලේ මිල අඩු කරන්න වෙනවා. ඒ කියන්නේ ඩොලරයක මිල ඉහළ යන්න ඉඩ දෙන්න වෙනවා.

වැටී සිටින වලෙන් ගොඩ යාමේ මාර්ගය තුළ කළ යුතු පළමු දෙය ණය ප්‍රතිව්‍යුහගත කර ණය හිමියන් විසින් වෙළඳපොළට රුපියල් සැපයීම තාවකාලිකව වැළැක්වීමයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථක ලෙස අවසන් වනවා කියා කියන්නේ තමන්ට ලැබිය යුතු මුදල් අනාගතයේ දිනෙක ඩොලර් වලින් ලැබෙන බවට සහතිකයක් ණය හිමියන්ට ලැබෙනවා කියන එකයි. ඒ සහතිකය ලැබීමෙන් පසුව ඔවුන්ට වෙළඳපොළෙන් ඩොලර් එකතු කර ගැනීමට හදිස්සියක් නැතිව යනවා. 

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථක ලෙස අවසන් කර ගැනීම වුවද දැඩි අභියෝගාත්මක කටයුත්තක් වුවත්, ඒ වැඩේ හොඳ විදිහට අවසන් වුනා කියා අපි හිතමු. මෙහිදී තමන්ගේ ණය හෝ ණයෙන් එකඟ වූ කොටසක් දැන්ම ආපසු නොගෙන යම් කාලයකට පසුව ආපසු ගැනීමට ඔවුන් එකඟ වෙනවා කියා හිතමු. ඉන් පසුව, විණිමය වෙළඳපොළේ රුපියල් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙයිද?

ණය ටික පැත්තකින් තිබ්බත් ලංකාව කාලයක් තිස්සේ නූපයූ ඩොලර් වියදම් කළ රටක්. ඒ වැඩේ තව දුරටත් කිරීමේ හැකියාවක් නැහැ. ඒ කියන්නේ, ඩොලර් වියදම් ඩොලර් ආදායම් වල ප්‍රමාණයට සීමා කර ගන්න එක දිගටම කරන්න වෙනවා. 

ඒ මට්ටමට ඩොලර් වියදම් සීමා කර ගත්තා කියලත් ප්‍රශ්නය කෙළවර වෙන්නේ නැහැ. විදේශ ණය හා අදාළව තව දුරටත් ප්‍රශ්න දෙකක් ඉතිරි වෙනවා. පළමුව, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට යටත් නොවන දැනටත් දිගටම ගෙවාගෙන යන ණය ගෙවන්නත් උපයන ඩොලර් වලින් කොටසක් ඉතිරි කර ගන්න වෙනවා. මෙය කෙටිකාලීන ප්‍රශ්නයක්. ඊළඟට, පහු වෙලා හරි ඉතිරි ණය ටිකත් ගෙවන්න වෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය තුළ එම ණය වලින් කොටසක් කපා හරින්න ණය හිමියන් කැමති වුනත්, ඉතිරි කොටස ගෙවන්න වෙනවා. එය දිගුකාලීන ප්‍රශ්නයක්.

මේ සමස්ත කතාව ඇතුළේ පැහැදිලිව කියවෙන දේ තමයි මෙතෙක් දිගින් දිගටම කරගෙන ආපු අලුත් ණය වලින් පරණ ණය ගෙවමින් පරිභෝජනය කළ සුන්දර අතීතයට නැවත යන්න බැහැ කියන එක. ඒ විතරක් නෙමෙයි. දැනට එකතු වී තිබෙන පරණ ණය ආපසු ගෙවීම සඳහාත් යම් තරමකින් පරිභෝජනය කැප කරන්න වෙනවා කියන එක.

විශාල කාලයකට පස්සේ පසුගිය ජූනි මාසයේදී ලංකාවේ වෙළඳ ශේෂය ධන පැත්තට ගිහින් තිබෙනවා. කියන විදිහට අන්තිමට වෙළඳ ශේෂය ධන පැත්තේ තිබිලා තියෙන්නේ 2002දී. මේ විදිහට වෙළඳ ශේෂය ධන පැත්තට යාම සාමාන්‍ය තත්ත්වයක් යටතේ සිදු වූ දෙයක් නොවන බව කාට වුනත් පැහැදිලියි. ආනයන පාලනයක් නොතිබුනානම් ඔය වැඩේ වෙන්නේ නැහැ. හැබැයි ආනයන පාලනය නිසා හෝ වැඩේ වෙලා තියෙනවා.

ජූනි මාසයේ වෙළඳ ශේෂය ධන පැත්තට යන්නේ එක පැත්තකින් ආනයන පාලනය හා ඩොලර් හිඟය හේතුවෙන් ආනයන වියදම විශාල ලෙස අඩු වෙද්දී අනෙක් පැත්තෙන් අපනයන ආදායමත් සැලකිය යුතු ලෙස ඉහළ යාම නිසා. ඩොලර් මිලියන 21ක අතිරික්තය  විශාල මුදලක් නොවෙන්න පුළුවන්. හැබැයි මේ වගේ අතිරික්තයක් වාර්තා වෙන්නේ ඩොලර් මිලියන සිය ගණනක වෙළඳ හිඟයක් ආවරණය කර ගෙනයි. වෙළඳ හිඟය වැසී යනවා කියන්නේ සංචාරක ඉපැයීම් හා ශ්‍රමික ප්‍රේෂණ ටික අතිරික්තයක් විදිහට ඉතිරි වෙනවා කියන එකයි.

ඩොලර් හිඟයට පිළියමක් විදිහට ඩොලරයක මිල ඉහළ යන්න දීම විකල්පයක්නම් ඒ වැඩෙන් ඉලක්ක කෙරෙන්නේ අපනයන ආදායම් වැඩි කර ගැනීම හා ආනයන වියදම් අඩු කර ගැනීම. වෙන ක්‍රමයකට වුනත් දැන් ඔය දෙකම වෙලා. මම හිතන්නේ අපනයන ආදායම් වල වැඩි වීම තිරසාර එකක් කියලා. ආනයන වියදම් ගැනනම් ඒ කතාව කියන්න බැහැ. නිදහසේ ආනයන කරන්න ඉඩ ඇරියොත් ආනයන වියදම අනිවාර්යයෙන්ම ඉහළ යනවා. හැබැයි එහි යම් තිරසාර අඩු වීමක් තිබිය යුතුයි. ඒ කියන්නේ, වෙළඳ හිඟය පියැවී තියෙන්නේ ඩොලරයක මිල රුපියල් 360 දක්වා ඉහළ යාම නිසා නොවුනත්, ඒ හේතුව නිසා වෙළඳ හිඟයේ පැහැදිලි අඩු වීමක් සිදු වී තිබිය යුතුයි.

අපනයන වියදම් ඩොලර් මිලියන 1,200 මට්ටමට අඩු වීම මම පෞද්ගලිකව අපේක්ෂා නොකළ දෙයක්. මගේ අදහස වුනේ මේ වියදම ඩොලර් මිලියන 1,400 සීමාවෙන් පහළට ගන්න එක කළ නොහැකි තරම් අසීරු වැඩක් කියලයි. මේ අඩුවීම ජූනි මාසයේ ඇති වූ තාවකාලික තත්ත්වයක්ද කියලා බලාගන්න වෙන්නේ ජූලි මාසයේ දත්ත ලැබුණු පසුවයි. 

මොන විදිහකින් හරි ජූනි මාසයේ ඔය වැඩේ වෙලා තියෙනවනේ. ඒ කියන්නේ ආනයන සඳහා වැය වී තිබෙන්නේ අපනයන ආදායම් ටික පමණයි. ඒ අතර අනෙක් පැත්තනේ ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක ඉපැයීම් ලෙස ඩොලර් මිලියන 333කුත් ලැබී තිබෙනවා. ඒ කියන්නේ ආනයන වියදම් වලට වඩා වැඩියෙන් ඩොලර් මිලියන 350ක් පමණ රටට ලැබී තිබෙනවා. මේ ඩොලර් ප්‍රමාණය බොහෝ විට හදිසි ණය ගෙවීම සඳහා වැය වුනා වෙන්න පුළුවන්. 

ජූලි මාසයේ තත්ත්වයත් ජූනි මාසයේ වගේමද කියා මම හරියටම දන්නේ නැහැ. යම් විදිහකින් අමාරුවෙන් හෝ වෙළඳ ශේෂය සමතුලිතව පවත්වා ගෙන, ශ්‍රමික ප්‍රේෂණ ආදියෙන් ලැබෙන ඩොලර් ටිකෙන් ණය ගෙවාගෙන ගියොත් යම් කාලයක් යද්දී බැංකු පද්ධතියේ ණය වලින් සැලකිය යුතු කොටසක් අඩු කර ගන්න වුනත් පුළුවන්. සෘණ පැත්තේ තියෙන බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් ඉහළ යන බව (සෘණ අගය අඩු වන බව) පැහැදිලිව පෙනෙන්න ගත්තොත් කෙටි කාලයක් තුළ ගොඩක් දේවල් වෙනස් වෙනවා. මේ වෙනස මාස තුන හතරකදී වුනත් වෙන්න පුළුවන්. 

මොන විදිහකින් හෝ මහ බැංකුව ඇතුළු බැංකු පද්ධතියේ විදේශ වත්කම් ධන පැත්තට ගියොත් එතැනින් එහාට රුපියලේ අගය ස්ථාවර කර ගන්න එක අමාරු දෙයක් නෙමෙයි. බැංකු පද්ධතියේ විදේශ වත්කම් ධන පැත්තට නොගියත් යමින් තිබෙන බව පැහැදිලිව පෙනුණු වහාම බැංකු පද්ධතිය හරහා නොඑන ශ්‍රමික ප්‍රේෂණ නැවත බැංකු පද්ධතිය හරහා එන්න පටන් ගන්නවා. ඊටත් වඩා වැදගත්ම දේ කෙටිකාලීන ආයෝජන එන්න පටන් ගන්න එකයි.

මේ වන විට රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපාතික 28% පමණ මට්ටමක තියෙනවා. ඩොලරයක මිලත් ස්ථාවරව තිබෙනවා. ඒ කියන්නේ විදේශ ආයෝජකයෙකුට ඉතාම ආකර්ශනීය තත්ත්වයක්. එහෙම තියෙද්දිත් ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත් වලට විදේශිකයන්ගේ ඉල්ලුමක් පේන්න නැත්තේ රුපියල් කරන ඩොලර් නැවත ඩොලර් කර ගන්න පුළුවන් වීම ගැන සහතිකයක් නැති නිසා. ඒ වගේම, ඩොලරයක මිල රුපියල් 360 මට්ටමේ දිගටම තියා ගත හැකි වෙයි කියන එක ගැන සහතිකයක් නැති නිසා. මොන විදිහකින් හෝ ඔය තත්ත්වය වෙනස් වුනොත් කෙටිකාලීන ආයෝජන විදිහට ඩොලර් ලංකාවට එන්න ගන්නවා. එහෙම එද්දී ඩොලරයක මිල කොහොමටත් ස්ථාවර වෙනවා. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සල්ලි ලැබුණොත් ඔය වැඩේ වෙනවා. එකවර ලැබෙන්නේ ඩොලර් බිලියනයක් වගේ ගාණක් පමණක් වුනත්, එයින් සැලකිය යුතු "මානසික" බලපෑමක් වීමෙන් කෙටිකාලීන ප්‍රාග්ධන ආයෝජන කරාමය ඇරෙන්න පුළුවන්. සංචාරක ඉපැයීම් විශාල ලෙස ඉහළ ගියොත් ඊට කලින්ම වුනත් ඔය කරාමය ඇරෙන්න පුළුවන්. ඔය දෙකෙන් එකක්වත් සිදු නොවුනොත් බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් ඉහළ දමා ගන්න එක ලේසි නැහැ. හැබැයි අඩු වශයෙන් තියෙන මට්ටමේ තියා ගන්න පුළුවන්. 

බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් සැලකිය යුතු ලෙස ඉහළ යන තුරු විණිමය අනුපාතය පා කරන්න අමාරුයි. ඒ කියන්නේ ආනයන සීමා ඉවත් කරන්නත් අමාරුයි. හැබැයි ආනයන සීමා දිගටම පවත්වා ගන්නත් බැහැ. එහෙම කරනවා කියන්නේ රටේ මූර්ත අංශය දවසෙන් දවස පස්සට යනවා කියන එකයි. හැකි මුල් අවස්ථාවේම විණිමය අනුපාතය පා කරන්න වෙනවා. ඒ වගේම, ඒ මොහොතේ සිට දිගුකාලීන විසඳුම් ගැන අවධානය යොමු කරන්න වෙනවා. 

විණිමය අනුපාතය ස්ථාවරව තියාගෙන පොලී අනුපාතික ඉහළින් තියා ගැනීම මගින් විදේශ ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම හොඳ කෙටිකාලීන උපක්‍රමයක්. හැබැයි මේ උගුලේ හිර වුනෙත් ඔය වැඩෙන්ම තමයි. එහෙම කියලා දැන් මේ වැඩේ නොකර ඉන්න බැහැ. ලිං කටෙන්ම ගොඩ යාමේ උත්සාහයක් කියලා හිතලා අවබෝධයෙන් යුතුව වැඩේට අත ගහන්න ඕනෑ. 

ඒ එක්කම අමතක නොකළ යුතු දෙය ආනයන සීමා ඉවත් කරලා රුපියල නිදහස් කළ වහාම ඔය විදිහට එකතු වන කෙටිකාලීන ප්‍රාග්ධනය ආපහු යනවා කියන එක. ඒක මතක තියාගෙන රටට එන ඩොලර් ටික පරිස්සම් කර ගන්න වෙනවා. කලින් දිගින් දිගටම කරපු වැරැද්ද මේ විදිහට රටට එන කෙටිකාලීන ප්‍රාග්ධනය ආනයන වෙනුවෙන් වැය කර නාස්ති කරගත් එකයි. 

වෙනත් විදිහකින් කිවුවොත්, ඩොලරයක මිල දැන් තියෙන මට්ටමේම තියෙද්දී මොන විදිහකින් හෝ රටට එන ඩොලර් ප්‍රමාණය ඉහළ ගියොත්, ඒ ඩොලර් ටික ආනයන වෙනුවෙන් වැය නොකළ යුතුයි. එක්කෝ ණය ආපසු ගෙවන්න යෙදවිය යුතුයි. නැත්නම් බැංකු පද්ධතිය ඇතුළේ සංචිත ලෙස රඳවා තබා ගත යුතුයි. ඒ වගේම, යම් මොහොතක ආනයන සීමා ඉවත් කරන්න තීරණය කරනවානම්, එයට සමාන්තරව ඩොලරයක මිල රිසි සේ ඉහළ යන්න ඉඩ ඇරිය යුතුයි. ඩොලරයේ මිල පාලනය කිරීම සඳහා බැංකු පද්ධතියේ එකතු වී තිබෙන විදේශ සංචිත නොවිකිණිය යුතුයි.

දැන් ඉන්න තැන සිට කෙටිකාලීනව වගේම දිගුකාලීනවත් ගොඩ යා හැකි මාර්ග සිතියම ඕකයි. දිගුකාලීනව ආනයන වෙනුවෙන් වැය කළ යුත්තේ උපයන ඩොලර් පමණයි. එයින්ද යම් කොටසක් පරණ ණය ගෙවන්න වෙන් කරන්න වෙනවා. කෙටිකාලීන ප්‍රාග්ධනය ලෙස ඕනෑවටත් වඩා ඩොලර් රටට ගලාගෙන ආවොත් ඒ ඩොලර් ආනයන වෙනුවෙන් වැය නොකර සංචිත ලෙස තබා ගත යුතුයි. ඔය වැඩේ කළොත් අපනයන ආදායම් ටිකෙන් ටික වැඩි වී ආනයන වියදම් ඒ හා ගැලපෙයි.

නමුත් කෙටිකාලීනව ඔය වැඩේ කරන්න බැරි බව මම කලින් පැහැදිලි කළානේ. ඒ නිසා, දැනට විණිමය අනුපාතය පාලනය කරන්න වෙනවා. එය කරන තුරු ආනයන පාලනයත් කරන්න සිදු වෙනවා. මෙය කළ යුත්තේ මේ කරන්නේ අඩු නරක තෝරා ගැනීමක් බව අමතක නොකරමිනුයි. ලැබෙන ඩොලර් ටික අපනයන කර්මාන්ත වලට අවශ්‍ය අමුද්‍රව්‍ය වෙනුවෙනුත්, සංචාරක කර්මාන්තය වැනි ඩොලර් උපයන කර්මාන්ත වෙනුවෙනුත් වෙන් කරන එක කළ යුතුම දෙයක්. IMF සල්ලි නැතත් රට ගොඩ යන බව පේනවානම් IMF එක ඉතා ඉක්මණින් සල්ලි දෙනවා. IMF සල්ලි දුන්නත් ගොඩ යන පාටක් පේන්න නැත්නම් වෙන්නේ මොනවා හරි කතාවක් කියලා වැඩේ පස්සට දමන එක. 

අනාගතය ගැන කියන්න තවමත් ඉක්මන් වැඩි වුවත්, මහ බැංකු අධිපති මාරුවෙන් පසුව සිදු වූ ප්‍රතිපත්ති වෙනස්කම් වල ප්‍රතිඵල පැහැදිලිව පෙනෙන්න තිබෙනවා. රටේ තත්ත්වය හොඳ අතට හැරී නැතත්, තවත් නරක අතට යන එක නැවතී ඇති බව නිර්ණායක ගණනාවකින්ම පෙන්නුම් කරනවා.

පළමුව, ශ්‍රමික ප්‍රේෂණ වල වැඩි වීමක් නොපෙනුනත් අඩු වීමේ ප්‍රවණතාව නැවතී තිබෙනවා. දෙවනුව, පාලිත තත්ත්වයක් යටතේ වුවත්, වෙළඳ ගිණුම තුලනය වී තිබෙනවා. තෙවනුව, මුදල් සැපයුම වේගයෙන් වැඩි වීම නැවතී ස්ථාවර වී තිබෙනවා. සිවු වනුව, පුළුල් මුදල් සැපයුමේ සංරචක වන රජයට හා පෞද්ගලික අංශයට බැංකු අංශයෙන් දෙන ණය ලොකුවට අඩු වී නැතත් තිබුණු මට්ටමේ ස්ථාවර වී තිබෙනවා. මෙය ආර්ථික වර්ධනය කෙරෙහි හානිකර බලපෑමක් කරන නමුත් දැන් තිබෙන්නේ ආර්ථික වර්ධනය ගැන සිතිය හැකි තත්ත්වයක් නෙමෙයි. පස් වෙනුව, බැංකු අංශයේ ශුද්ධ විදේශ වත්කම් ඉහළ ගොස් නැතත් අඩු වීම නැවතී ස්ථාවර වී තිබෙනවා. 

මේ සියල්ල සාධනීය තත්ත්වයන් වුවත්, අර්බුදයෙන් ගොඩ යාම සඳහා මේ තත්ත්වයන් තවදුරටත් හොඳ අතට හැරිය යුතුයි. එහෙත්, පවතින තත්ත්වය එක දිගට එලෙසම පවත්වා ගැනීම වුවද විශාල අභියෝගයක්. මහ බැංකුවට එය කළ හැකි වනු ඇත්තේ ඉතා ඉක්මණින් අවශ්‍ය ප්‍රතිසංස්කරණ කර රජයේ අයවැය තුලනය කරගන්නේනම් පමණයි.



Thursday, July 28, 2022

ඩොලර් බැලන්ස් කිරීමේ ප්‍රශ්නය


තව දුරටත් ඉතිරිව තිබෙන ණය ගෙවීමේ ප්‍රශ්නය ගැන කලින් ලිපියෙන් කතා කළා. ඒ ප්‍රශ්නය කිසිසේත්ම පැත්තකින් තියන්න පුළුවන්කමක් නැතත්, සාකච්ඡාව ඉදිරියට ගෙන යාමේ අරමුණින්, ණය ප්‍රශ්නය පැත්තකින් තියමු. එක ඩොලරයක්වත් ණය ආපසු ගෙවන්නේ නැහැ කියා හිතුවොත් ඊළඟට ඉතිරි වන ප්‍රශ්නය මොනවා හෝ විදිහකින් රටට ලැබෙන ඩොලර් ටික පිරිමහගෙන කළමනාකරණය කර ගැනීමේ ප්‍රශ්නයයි. එය කළ හැකිද?

මෙය කළ නොහැකි තරම් අසීරු කාර්යයයක්. එහෙත්, බාහිර උදවු නොලැබුණොත් වෙන කරන්න කිසිම දෙයක් නැහැ.

අපි සංඛ්‍යාලේඛණ එක්කම ප්‍රශ්නය දිහා බලමු. මේ පසුගිය වසරේ (2021) සංඛ්‍යාලේඛණ.

අපනයන ආදායම - ඩොලර් මිලියන 12,502

ආනයන වියදම - ඩොලර් මිලියන 20,637

වෙළඳ ශේෂ හිඟය - ඩොලර් මිලියන 8,136 

මේ ගාණට ආනයන වියදම් සීමා වී තිබෙන්නේත් නෛසර්ගික ලෙස නෙමෙයි. වාහන ආනයනය ආදිය සම්පූර්ණයෙන්ම නවත්වා තිබියදී. නැවත වාහන ආනයනය වගේ දේවල්නම් දැන් හීන පමණක් නිසා දැන් ඉන්න තැන ඉඳලා කතාව පටන් ගනිමු.

දැන් ඉහත කී පරිදි ඩොලර් මිලියන 8,136ක වෙළඳ ශේෂ හිඟයක් තියෙනවා කියන්නේ ඔය ඩොලර් ප්‍රමාණය වෙන කවර හෝ ආකාරයකින් රටට එන්න ඕනෑ. එහෙම මොන විදිහකින් හෝ ඩොලර් රටට එනවානම් වෙළඳ ශේෂ හිඟයක් තියෙන එක ප්‍රශ්නයක් නෙමෙයි. 

පසුගිය වසර තුළ ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 5,491ක් රටට ආවා. සංචාරක කර්මාන්තයෙන් ඩොලර් මිලියන 261ක් ආවා. නමුත්, ඒ දෙකම එකතු කළත් වෙළඳ ශේෂ හිඟය පියැවෙන්නේ නැහැනේ. ඒ වගේම, ණය ගෙවීම පැත්තකින් තිබ්බත්, ඩොලර් අවශ්‍ය වෙන්නේ භාණ්ඩ ආනයන සඳහා පමණක් නෙමෙයි. අනෙක් ඩොලර් අවශ්‍යතා සඳහා වැය වූ කොටසත් එකතු කලාට පස්සේ සමස්තයක් ලෙස පසුගිය වසරේදී ඩොලර් මිලියන 3,961ක ගෙවුම් ශේෂ හිඟයක් තිබුණා. 

හරි. අපි මුල් ප්‍රශ්නයට එමු. ලංකාවට දැනට දශක ගණනාවක් තිස්සේ පවතින වෙළඳ ශේෂ හිඟය ඉතා ඉක්මණින් පියවා ගැනීමේ හැකියාවක් තියෙනවද?

මෙහි පළමු පියවර ලෙස අපි ආනයන වියදම වූ ඩොලර් මිලියන 20,637 විභේදනය කර බලමු.

පරිභෝජන භාණ්ඩ - ඩොලර් මිලියන 3,848.7 (18.6%)

අතරමැදි භාණ්ඩ - ඩොලර් මිලියන 12,308.9 (59.6%)

ආයෝජන භාණ්ඩ - ඩොලර් මිලියන 4,462.7 (21.6%)

එකතුව  - ඩොලර් මිලියන 20,637.4 (100.0%)

මම හිතන්නේ කියන්න හදන දෙය පැහැදිලි විය යුතුයි. ආනයන භාණ්ඩ පරිභෝජනය ගැන, අධිපරිභෝජනය ගැන ලොකුවට කතා කළත් පරිභෝජන භාණ්ඩ ආනයනය වෙනුවෙන් වැය වෙන්නේ මුළු ආනයන වියදමෙන් 18.6%ක් පමණයි. ඔය ටික මුළුමනින්ම නැවතුනත්, වෙළඳ හිඟය පියැවෙන්නේ නැහැ.

ලංකාවේ ආනයන වියදම් වලින් 80%ක් පමණම යන්නේ අතරමැදි හා ආයෝජන භාණ්ඩ ආනයනයටයි. මොනවද මේ අතරමැදි හා ආයෝජන භාණ්ඩ? 

අතරමැදි හා ආයෝජන භාණ්ඩ කියා කියන්නේ දේශීය නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හා නිෂ්පාදන සාධක. මේවා එන්නේ නැහැ කියා කියන්නේ බොහෝ දුරට රටේ නිෂ්පාදනයක් වෙන්නේ නැහැ කියන එකයි. ඒ කියන්නේ දැනට ලැබෙන අපනයන ආදායමත් නොලැබී යනවා කියන එකයි.

උදාහරණයක් විදිහට පසුගිය වසරේ රෙදිපිළි හා ඇඟලුම් වලින් ලැබුණු අපනයන ආදායම ඩොලර් මිලියන 4,423.1ක්. රටේ අපනයන ආදායමෙන් 35%ක් පමණ. හැබැයි ඔය අපනයන ආදායම ලබා ගන්න රෙදිපිළි ඇතුළු අනෙකුත් අමුද්‍රව්‍ය ආනයනය කරන්න වෙනවා. පසුගිය වසරේ රෙදිපිළි හා ඇඟලුම් ආනයන වියදම ඩොලර් මිලියන 2,335.1ක්. අර ආපු ඩොලර් ටිකෙන් බාගයකටත් වඩා අමුද්‍රව්‍ය වෙනුවෙන් රටෙන් එළියට ගිහින්. 

ඇගලුම් කර්මාන්තය සඳහා ආනයනය කරන්න අවශ්‍ය වන්නේ රෙදිපිළි වැනි දේ පමණක් නෙමෙයිනේ. මහන මැෂින්, අනෙකුත් මැෂින් වගේ නිෂ්පාදන සාධකත් ආනයනය කරන්න වෙනවා. ඒවා තියෙන්නේ ආයෝජන භාණ්ඩ යටතේ. ඒ විතරක්ද? යොදා ගන්න විදුලි බලය හදන්න ඉන්ධන ආනයනය කළ යුතුයි. සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන්න වාහන ආනයනය කළ යුතුයි. ඒ අයට දවල් කෑමට දෙන පරිප්පු ටික ආනයනය කළ යුතුයි. හිතල බැලුවොත් ලැයිස්තුව තව ගොඩක් දිගයි.

ඕනෑම අපනයන කර්මාන්තයක් ගත්තොත් තත්ත්වය ඕකයි. පහුගිය දවස් වල ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් වානේ ආනයනය කළා කියලා ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තිබුණා. වානේ ආනයනය නොකළොත් බයිසිකල් අපනයන කරන්න වෙන්නේ නැහැ. අපනයන වලින් ඩොලර් මිලියන 12,502ක් ලැබුණත් මෙය ශ්‍රමික ප්‍රේෂණ වලින් ලැබෙනවා වගේ ශුද්ධ ඩොලර් ආදායමක් නෙමෙයි. ඔය ඩොලර් ටික උපයා ගැනීම සඳහාම සැලකිය යුතු ආනයන ප්‍රමාණයක් කරන්න වෙනවා. ඒ වෙනුවෙන් ඩොලර් වැය කරන්න වෙනවා.

තේ කර්මාන්තය වගේ කෘෂිකාර්මික කර්මාන්තයක් ගත්තත් මේ තත්ත්වයේ වෙනසක් නැහැ. කර්මාන්තයට අවශ්‍ය පෝර වල ඉඳලා, යන්ත්‍ර සූත්‍ර දක්වා ගොඩක් දේවල් ආනයනය කරන්න වෙනවා. ඒ නිසා, රටට එන ඩොලර් ආදායම ශුද්ධ ආදායමක් නෙමෙයි. ලංකාවේ අපනයන ආදායමෙන් කොපමණ කොටසක් එම අපනයන නිපදවීම සඳහාම ආනයන වෙනුවෙන් වැය කළ යුතුද කියන එක කවුරුවත් ගණන් හදා ඇති බවක් මම දන්නේ නැහැ. මේ ප්‍රමාණය 50% පමණ හෝ ඊටත් වඩා වැඩි විය හැකියි. 

අපි 50%ක් කියලා ගනිමු. ඒ කියන්නේ මාසයකට අපනයන වලින් රටට බිලියනයක් එනවා කියා කිවුවත් ශුද්ධ වශයෙන් එන්නේ මිලියන 500ක් පමණයි. අනෙකුත් හැම දෙයක්ම ආනයනය කරන්න වැය කළ හැක්කේ මේ කොටස පමණයි.

ඔය කිවුවේ අපනයන නිෂ්පාදන සඳහා අවශ්‍ය ආනයන ගැන. ඊට අමතරව දේශීය නිෂ්පාදන සඳහාත් සැලකිය යුතු ආනයනික අමුද්‍රව්‍ය ප්‍රමාණයක් හා නිෂ්පාදන සාධක අවශ්‍යයි. ආනයන නැත්නම් දේශීය නිෂ්පාදනයකුත් නැහැ. වී ගොවිතැන වගේ දෙයක් ගනිමු. පෝර, කෘෂි රසායන, අත්ට්‍රැක්ටර්, ගොයම් කපන යන්ත්‍ර ආදී කර්මාන්තයට අවශ්‍ය බොහෝ දේවල් ආනයනය කරන්න වෙනවා. කෙටියෙන් කිවුවොත්, ආනයන වලින් 60%ක් පමණ වන අතරමැදි භාණ්ඩ සීමා කිරීමේ හැකියාවක් නැහැ. බැරි නැහැ. නමුත් එහෙම කරනවා හෝ කරන්න වෙනවා කියා කියන්නේ රටේ සමස්ත ආර්ථිකය විශාල කඩා වැටීමකට ලක් වී රට ඇතැම් විට සියවස් බාගයකින් පමණ  ආපස්සට යනවා කියන එකයි.

ආයෝජන භාණ්ඩ සීමා කිරීමත් ඔය වගේම අහිතකර වුවත් කෙටිකාලීනව ආයෝජන භාණ්ඩ සීමා කිරීමක් කළ හැකියි. පරිභෝජන භාණ්ඩත් යම් තරමකින් සීමා කළ හැකියි. එහෙත් අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ ආදිය නොගෙන්වා බැහැ.

ඊළඟට කරන්න යන සංසන්දනය සඳහා මම ඉහත 2021 සංඛ්‍යාලේඛණ දොළහෙන් බෙදා මාසික සාමාන්‍ය අගයයන් ඉදිරිපත් කරන්නම්.

පරිභෝජන භාණ්ඩ - ඩොලර් මිලියන 320.7 

අතරමැදි භාණ්ඩ - ඩොලර් මිලියන 1,025.7 

ආයෝජන භාණ්ඩ - ඩොලර් මිලියන 371.9 

එකතුව  - ඩොලර් මිලියන 1,719.8 

අපනයන ආදායම - ඩොලර් මිලියන 1,041.8 

වෙළඳ හිඟය - ඩොලර් මිලියන 678.0


දැන් අපට මෙම ගණන් පසුගිය (2022 මැයි) මාසයේ සංඛ්‍යාලේඛණ සමඟ සැසඳිය හැකියි. 

පරිභෝජන භාණ්ඩ - ඩොලර් මිලියන 177.1 (-44.8%)

අතරමැදි භාණ්ඩ - ඩොලර් මිලියන 1,036.1 (1.0%)

ආයෝජන භාණ්ඩ - ඩොලර් මිලියන 238.2 (-36.0%)

එකතුව  - ඩොලර් මිලියන 1,451.5 (-15.6%)

අපනයන ආදායම - ඩොලර් මිලියන 1,047.3 (0.5%)

වෙළඳ හිඟය - ඩොලර් මිලියන 404.2 (-40.4%)

ආනයන සීමා කිරීමේ බලපෑම පේනවනේ. සමස්තයක් ලෙස මැයි මාසයේ ආනයන වියදම පසුගිය වසරේ සාමාන්‍ය මාසික වියදමට සාපේක්ෂව 15.6%කින් අඩු වී තිබෙනවා. අපනයන ආදායම ආසන්න වශයෙන් සමානයි. ඉතා සුළු (0.5%ක) වැඩි වීමක් පමණක් තිබෙනවා. අපනයන ආදායම් අඩු නොවී ආනයන වියදම් අඩු වීම නිසා වෙළද හිඟය 40.4%කින් අඩු වී තිබෙනවා. පවතින තත්ත්වය තුළ මේ හැම දෙයක්ම සාධනීයයි.

අපනයන වියදම් අඩු වෙලා තියෙන්නේ කොහොමද? පරිභෝජන භාණ්ඩ සඳහා යන වියදම් 44.8%කින් අඩු වෙලා. මේ වෙද්දී පරිභෝජන භාණ්ඩ කාණ්ඩය යටතේ ආනයනය කෙරෙන්නේ බොහෝ දුරට අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ වැනි දේ පමණයි. මේ ප්‍රමාණය මීට වඩා අඩු වෙනවා කියා කියන්නේ රටේ මිනිසුන්ගේ මූලික අවශ්‍යතා ටිකවත් සම්පූර්ණ වෙන්නේ නැහැ කියන එකයි. දැනටම වුවත් ඖෂධ ආදිය හිඟයිනේ.

නමුත් අතරමැදි භාණ්ඩ සඳහා යන වියදම් ඒ විදිහටම තියෙනවා. ඇත්තටම සුළු වශයෙන් (1.0%කින්) වැඩි වෙලා. මේ වියදම අඩු කිරීමේ හැකියාවක් නැහැ. එහෙම කළා කියලා අයහපතක් මිස සිදු වන කිසිදු යහපතකුත් නැහැ. මොකද අතරමැදි භාණ්ඩ ආනයනය අඩු වෙනවා කියන්නේ අනෙක් පැත්තෙන් අපනයන ආදායම් අඩු වෙනවා කියන එක සහ දේශීය නිෂ්පාදිත අඩු වී ආනයන අවශ්‍යතා ඉහළ යනවා කියන එකයි. උදාහරණ විදිහට රෙදි ආනයනය කරන්න ඉඩ නුදුන්නොත් ඇඟලුම් අපනයනය කර ලැබෙන ඩොලර් ටික ලැබෙන්නේ නැහැ. පෝර ආනයනය නවත්තලා වී නිෂ්පාදනය පහත වැටුනොත් වෙන්නේ හාල් ආනයනය කරන්න. ඔය දෙකෙන්ම අන්තිමට වෙන්නේ වෙළඳ ශේෂය තවත් ඉහළ යන එකයි.

ආයෝජන භාණ්ඩ ආනයනය අඩු කිරීමෙන් වෙන්නෙත් ඔය ටිකම වුනත් පොඩි වෙනසකට තියෙන්නේ කෙටිකාලීනව මෙහි හානි විශාල නොවීමයි. හැබැයි ඔය වැඩේ වුනත් දිගින් දිගටම කරන්න ගියොත් වෙන්නේ අතරමැදි භාණ්ඩ ආනයන නැවතුනු විට වෙන දේම තමයි. මැයි මාසය වෙද්දී, ආයෝජන භාණ්ඩ ආනයනය 36.0%කින් අඩු වෙලා. ඒ කියන්නේ, මෙයත් අඩු කළ හැකි උපරිම සීමාවකට කිට්ටු වෙලා. 

කෙටියෙන් කිවුවොත් රටේ ජනතාවගේ ජීවන තත්ත්වයේ දැවැන්ත කඩා වැටීමක් සිදු නොවී (දැන් තත්ත්වය මාර හොඳ තත්ත්වයක් කියා හිතෙන තරමේ) ඔයිට වඩා ආනයන පාලනය කරන්න බැහැ. ආනයන වැඩි නොකර අපනයන වැඩි කරන්න හෝ දේශීය නිෂ්පාදිත ඉහළ දමන්නත් බැහැ. 

මෙතැන තියෙන්නේ අපනයන කර්මාන්ත අමතක කර දේශීය නිෂ්පාදන දියුණු කරන්න වැඩි අවධානයක් යොමු කිරීමේ ඓතිහාසික වැරැද්ද. මම කියන්නේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම වැරැද්දක් කියන එක නෙමෙයි. ඕනෑම රටක ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රධාන ඉලක්කයක් විය යුත්තේ එයයි. ප්‍රශ්නය කරලා තියෙන විදිහට ඒ වැඩේ සිදු නොවීමයි.

ලංකාව වගේ රටකට ආනයනික යෙදවුම් නැතිව දේශීය නිෂ්පාදිතය ඉහළ දමන්න බැහැ. කවර කර්මාන්තයක් ගත්තත් තත්ත්වය ඕකයි. රටේ පරිභෝජනය සඳහා වුවත්, ආනයන සඳහා වුවත්, ලංකාවේ හදන ඕනෑම දෙයකට සැලකිය යුතු ආනයනික යෙදවුම් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ ආනයනික යෙදවුම් සඳහා ඩොලර් අවශ්‍ය වෙනවා. මේ ඩොලර් ප්‍රමාණය හොයා ගන්න සැලකිය යුතු අපනයන ප්‍රමාණයක් අවශ්‍යයි. හැබැයි ඒ අපනයන ටික නිපදවන්නත් ආනයනික යෙදවුම් නැතුව බැහැ. ඒ නිසා, ආනයන වලින් රටට ශුද්ධ වශයෙන් ලැබෙන ඩොලර් ප්‍රමාණය සංඛ්‍යාලේඛණ වල පෙනෙන ගණනට වඩා ගොඩක් අඩුයි.

මේ කතාව ලංකාවේ ආනයන වලට අදාළ නැහැ. ලෝකයේ අනෙක් රටවල් වලට ලංකාවේ අපනයන තිබුණත් නැතත් මේ දේවල් හදන්න පුළුවන්. ඒ නිසා, ආනයන වෙනුවෙන් රටෙන් එළියට යන ඩොලර් ප්‍රමාණය සංඛ්‍යාලේඛණ වල තිබෙන ප්‍රමාණයම තමයි. මේ කරුණ සැලකුවහම ලංකාවේ සංඛ්‍යාලේඛණ අනුව ආනයන වියදම අපනයන ආදායම් මෙන් දෙගුණයක් ලෙස පෙනුණත් ඇත්තම අනුපාතය තුන් ගුණයක් හෝ හතර ගුණයක් වෙන්න පුළුවන්.

ලංකාවේ වෙළඳ ශේෂය අඩු කරගන්නනම් කළ යුත්තේ ආනයන වලට හැකි තරම් ඉඩ දෙන එක මිසක් ආනයන පාලනය කරන එක නෙමෙයි. මම මේ කියන්නේ දැන් කළ යුතු දෙයක් ගැන නෙමෙයි. දිගුකාලීනව සිදු විය යුතු දෙය. ලංකාවේ බයිසිකල් හදලා අපනයනය කරන්නේ බයිසිකල් ආනයනය කරන්න දුන් නිසා. මිනිස්සු ඇපල්, මිදි වවන්න උත්සාහ කරන්නේ ඒවා ආනයනය කරන්න ඉඩ දීමෙන් රට ඇතුළේ ඉල්ලුමක් හැදී ඇති නිසා. ආනයන නෑ කියන්නේ අපනයත් නැහැ. දේශීය නිෂ්පාදන වැඩි වෙන්නෙත් නැහැ.

වැරැද්ද ආනයන වලට ඉඩ දීම නෙමෙයි. ඩොලරයක මිල පහළින් තියලා ආනයන ඕනෑවට වඩා ලාබ කිරීම. ඩොලරයක මිල වැඩිනම් ආනයන භාණ්ඩ වෙළඳපොළේ තිබුණත් බොහෝ දෙනෙකුට මිල දී ගන්න බැරි තරමට මිල අධිකයි. අතේ සල්ලි නැති නිසා ගොඩක් අය කඩේ තියෙන බඩු දිහා බල බල යනවා. එතකොට තමයි දේශීය නිෂ්පාදකයෝ වැඩේට බහින්න පෙළඹෙන්නේ. මේ වැඩේ මාසෙකින් වෙන එකක්නම් නැහැ. 

අපි මැයි මාසයට නැවත යමු. ආනයන වියදම ඩොලර් මිලියන 1,451.5ක්, අපනයන ආදායම ඩොලර් මිලියන 1,047.3ක්. වෙළඳ හිඟය ඩොලර් මිලියන 404.2ක්. ලබන මාසයේ හෝ ඊළඟ මාසයේ ඔය වෙළඳ හිඟය නැති කරන්න පුළුවන්ද? කොහෙත්ම බැහැ. දැන් මෙය එහි සීමාවට ඇවිල්ලයි තියෙන්නේ. ඒ කියන්නේ ඔය ඉතිරි ඩොලර් මිලියන 400 වෙන ක්‍රමයකින් හොයා ගන්නම වෙනවා.

අවුරුද්දකට විතර කලින්නම් ඔය ඩොලර් ප්‍රමාණය ශ්‍රමික ප්‍රේෂණ ලෙස රටට ආවා. පසුගිය මැයි මාසයේ ලැබුණු ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 460ක්. නමුත් මේ මැයි මාසයේ ඇවිත් තියෙන්නේ ඩොලර් මිලියන 304ක් පමණයි. ශ්‍රමික ප්‍රේෂණ වැඩිවන ප්‍රවණතාවක් ලොකුවට පේන්න නැහැ. හැබැයි දැනට ලැබෙන මිලියන 300 ඒ විදිහටම ලැබුණත් තව විශාල අඩුවක් නැහැ. මේ කතා කරන්නේ ණය ප්‍රශ්නය පැත්තකින් තියලා. ඒ ප්‍රශ්නය වෙනම තියෙනවා.

සංචාරකයින් යම් ප්‍රමාණයක් ආවත් අඩුපාඩුව හොයා ගන්න අමාරු නැහැ. නමුත්, විදුලිය කැපෙද්දී, ප්‍රවාහනය අඩාල වී තියෙද්දී, ජීවිත ආරක්ෂාව පිළිබඳ ගැටළු පේන්න තියෙද්දී සංචාරකයෝ ගෙන්වන එකත් ලේසි වැඩක් නෙමෙයි. ඔය ඔක්කොම හොඳ විදිහට සිදු වුනත් කෙටිකාලීනව ගෙවිය යුතු ණය පිළිබඳ ප්‍රශ්නය එහෙම්මම තියෙනවා. ඒ නිසා, IMF වැඩේ කෙරෙන තුරු ඉස්සරහට යන්නනම් අසල්වැසි රටකින් කෙටිකාලීන ණය නැතිවම බැහැ. 

Thursday, November 25, 2021

කොඩිය චීනගේ මල්ලි සිංහයත් උගේ!

 


ලංකාව මේ වෙද්දී මුහුණ දෙන ඩොලර් හිඟයට හේතුව ලංකාවේ ඇතැම් ආණ්ඩු විසින් අනුගමනය කළේයැයි කියන නිදහස් වෙළඳ ප්‍රතිපත්තිය කියන මතය මේ වෙද්දී ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් පාර්ශ්ව විසින් ජනගත කරමින් සිටිනවා. මේ අදහසට ආණ්ඩුවට විරුද්ධ ඇතැම් කණ්ඩායම් අතරත් පිළිගැනීමක් තිබෙනවා. අදාළ ප්‍රවාදය මේ වගේ එකක්.

"නිදහස් වෙළඳ ප්‍රතිපත්තිය අනුව ලාබෙට ගේන්න පුලුවන් හැම දෙයක්ම පිටරටින් ගෙන ආ යුතුයි. අපේ ආනයන වියදම් වැඩි වෙලා ඩොලර් හිඟයකට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ මේ නිසා. කොඩියේ සිංහයා අපේ වුනත් කොඩිය හදන්නේ චීනා."

දැන් මෙතැනදී දැකිය හැක්කේ ආණ්ඩුවේ වැරැද්ද රටේ මිනිස්සු මත පටවලා ආණ්ඩුව අත හෝදා ගන්න දරන උත්සාහයක්. පිටරටකින් ලාබෙට ගේන්න පුළුවන් දෙයක්, කවර හෝ විශේෂ හේතුවක් නැත්නම්, නොගෙනත් ඉන්න කිසිම හේතුවක් නැහැ. එසේ කළා කියලා සිදුවන වාසියක් මිසක් කිසිදු අයහපතක් නැහැ. අඩුවට ගේන්න පුළුවන් හැම දෙයක්ම පිටරටින් ගෙන්නුවා කියලා කිසිසේත්ම රටේ ඩොලර් හිඟයක් ඇති වෙන්නේ නැහැ.

ඉහත ප්‍රකාශයේ පළමු කොටස ඇත්ත. නිදහස් වෙළඳ ප්‍රතිපත්තිය අනුව ලාබෙට ගේන්න පුලුවන් හැම දෙයක්ම පිටරටින් ගෙන ආ යුතුයි. මෙහිදී මුල් කතාව කියන අය නොකියන එහිම අනෙක් පැත්ත වන්නේ වැඩි ගාණකට විකිණිය හැකි හැම දෙයක්ම පිටරටට විකිණිය යුතු වන්නේත් නිදහස් වෙළඳ ප්‍රතිපත්තිය අනුවම බවයි. 

ලාබෙට ගේන්න පුලුවන් හැම දෙයක්ම පිටරටින් ගෙන එන්නට යෝජනා කරන නිදහස් වෙළඳ ප්‍රතිපත්තියට විරුද්ධ අයම අනෙක් පැත්තෙන් වැඩි ගාණකට විකිණිය හැකි හැම දෙයක්ම පිටරටට විකුණන්න මිනිස්සුන්ට උපදෙස් දෙනවා. ලාබෙට ගේන්න පුලුවන් හැම දෙයක්ම පිටරටින් ගෙන එන ප්‍රතිපත්තියට ලංකාව මෙන්ම ලෝකයේ අනෙක් හැම රටක්ම විරුද්ධ වුනොත් මොකද වෙන්නේ?

පාරිභෝගිකයෙක් හැටියට කවුරු හෝ ශ්‍රී ලාංකිකයෙක් තමන්ට අඩුම මිලට මිල දී ගන්නට ලැබෙන තැනින් භාණ්ඩයක් මිල දී ගන්න එකේ කිසිම වැරැද්දක් නැහැ. කොඩිය චීනගේද, ඉන්දියානුවාගේද කියන එක නෙමෙයි වැදගත්. කොඩිය කීයද කියන එකයි. මොකද මේ ශ්‍රී ලාංකිකයා විසින් වියදම් කරන්නේ තමන් අමාරුවෙන් උපයා ගත් රුපියල්. 

ශ්‍රී ලාංකිකයෙක් විසින් කොඩියක් මිල දී ගනිද්දී ඩොලර් හෝ යුවාන් වලින් ගෙවන්නේ නැහැ. ඇය ගෙවන්නේ රුපියල් වලින්. කොඩිය ලංකාවේ හදපු එකක් වුනත්, චීනයේ හදපු එකක් වුනත් ගෙවන්නේ එකම රුපියල්. එහෙමනම් එකම කොඩියට එය ලංකාවේ හැදුවා කියා වැඩිපුර ගෙවන්න අවශ්‍ය නැහැ. 


මේ කොඩිය විකුණන්නේ ශ්‍රී ලාංකිකයෙක්. බොහෝ විට ඔහු ලොකු පෝසතෙක් නෙමෙයි. ඔහු චීනෙට ගිහින් මේ කොඩි අරගෙන එන්නේ නැහැ. කවුරු හෝ තොග වෙළෙන්දෙක්ගෙන් කොඩි මිල දී ගන්න එකයි කරන්නේ. කොඩිය මිල දී ගන්න ගෙවන රුපියල් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ රුපියල්. මේ ගනුදෙනුව අවසන් අදියරේදී තනිකරම ශ්‍රී ලාංකිකයි. ඩොලර් වලට හෝ යුවාන් වලට කිසිම සම්බන්ධයක් නැහැ.


හැබැයි කවුරු හෝ විසින් මේ කොඩි චීනයෙන් ආනයනය කළ යුතුයිනේ. ඒ සඳහා, ඩොලර් වලින් (හෝ යුවාන් වලින්) ගෙවන්න ඕනෑ. එහෙම ගෙවන්නනම් ඩොලර් මිල දී ගන්න වෙනවා. ඩොලර් මිල දී ගන්න වෙන්නේ රුපියල් ගෙවලා. ඒ කියන්නේ අවසාන වශයෙන් ආනයනකරු චීනයෙන් කොඩි ගෙන්වන්න වැය කරන්නේත් රුපියල්ම මිසක් ඩොලර් නෙමෙයි. ඩොලර් හිඟයක් තිබේනම් එයට හේතුව මේ ආනයනකරු වෙන්න බැහැ. ඔහු රුපියල් ගෙවා ඩොලර් මිල දී ගන්නේ රටේ කොහේ හරි ඩොලර් තිබෙන නිසා. 

නිදහස් වෙළඳපොළක් තිබුණා කියා හෝ ලාබෙට ගේන්න පුලුවන් හැම දෙයක්ම පිටරටින් ගෙන ආවා කියලා කිසිසේත්ම රටේ ඩොලර් හිඟයක් ඇති වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා මහ බැංකුවට හෝ ලංකාවේ වෙනත් අයෙකුට ලංකාව ඇතුළේ ඩොලර් අච්චු ගහන්න හෝ ඩොලර් මවන්න බැහැ. මොන විදිහකින් හෝ පිටරටකින්ම ඩොලර් රටට ගේන්න වෙනවා. ඒ සඳහා, එක්කෝ මොනවා හෝ භාණ්ඩයක් හරි සේවාවක් හරි පිටරටකට විකුණන්න වෙනවා. නැත්නම් ශ්‍රමය විකුණන්න වෙනවා. නිදහස් වෙළඳපොළ ක්‍රමයක් යටතේ ආනයන වෙනුවෙන් වැය කළ හැක්කේ ඔය විදිහට රට ඇතුළට එන ඩොලර් පමණයි.

ඉහත කී පරිදි උපයන ඩොලර් වලට වඩා වැඩියෙන් ආනයන වෙනුවෙන් ලංකාව දිගින් දිගටම ඩොලර් වැය කර තිබෙනවානම් එසේ සිදු වී තියෙන්නේ ඩොලර් ණයට ගත් නිසා. මහරගම පදික වේදිකාවෙන් ඔය කොඩිය මිල දී ගන්න සෝමලතා අක්කා හරි, ඒ කොඩි චීනයෙන් ආනයනය කරන නවුෂාඩ් නානා හරි ඩොලර් ණයට ගන්නේ නැහැ. නවුෂාඩ් නානා කරන්නේ රට ඇතුළේ කොහෙන් හරි ඩොලර් මිල දී ගන්න එක. අපනයන ආදායම් වලින් ලැබෙන ඩොලර් වලට වඩා වැඩියෙන් රටට ඩොලර් ආවේ කොහොමද? 

මේ විදිහට රටට වැඩිපුර ඩොලර් ඇවිත් තියෙන්නේ දිගින් දිගටම ලංකාවේ රජය විසින් ඩොලර් ණයට අරගෙන ඒ ඩොලර් රට ඇතුළේ විකුණපු නිසා. මේ විදිහට විකුණන ඩොලර් බැංකු පද්ධතිය ඇතුළට ආවහම බැංකු වල ඩොලර් ඉල්ලුම හා සැපයුම අසමතුලිත වෙනවා. වැඩිපුර තියෙන ඩොලර් ටික බැංකු වලට කීයකට හරි විකුණලා දමන්න වෙනවා. කුණු කොල්ලෙට ඩොලර් මිල දී ගන්න පුළුවන් වුණාම අඩු රුපියල් ගණනක් ගෙවලා භාණ්ඩ ආනයනය කරන්න පුළුවන්. 

නිදහස් වෙළඳ ප්‍රතිපත්තිය අනුව යෝජනා කෙරෙන්නේ ලාබෙට ගේන්න පුලුවන් හැම දෙයක්ම පිටරටින් ගෙන ආ යුතු බව පමණයි. ලාබෙට ගේන්න බැරි දේවල් "ලාබ කර" ගෙන ආ යුතුයැයි එයින් යෝජනා කෙරෙන්නේ නැහැ. රජය විසින් දිගින් දිගටම ඩොලර් ණයට අර ගනිමින් ඒ ඩොලර් ලාබෙට විකුණද්දී වෙන්නේ ලාබෙට ගේන්න බැරි දේවලුත් ලාබ වෙන එකයි. ලංකාවේ විශාල ආනයන අපනයන පරතරයක් හැදී තිබෙන්නේ ඔය විදිහට ලාබෙට ගේන්න බැරි දේවලුත් රජය විසින් ලාබ කර දුන් නිසා මිසක් ලාබෙට ගේන්න පුලුවන් හැම දෙයක්ම පිටරටින් ගෙන ආ නිසා නෙමෙයි.

මේ ක්‍රමය පිරමිඩ් ක්‍රමයක්. කොඩිය විතරක් නෙමෙයි කොඩිය ගේන්න ගෙවන සල්ලිත් අන්තිමට චීනගේ. ලංකාවට කොඩිය එන්නේ කිසිම වියදමක් නැතුව. මේ ක්‍රමය සැප ක්‍රමයක්. ඇයි කිසිම මහන්සියක් නැහැනේ. කුම්බලාවෝ මාළු කෑවානම් දුක් විඳපන් බළලෝ කිවුවා වගේ දැන් ඩොලර් හිඟ වෙලා තියෙන්නේ මේ ගත්ත ණය ගෙවන්න ඩොලර් අවශ්‍ය නිසයි. ගත්ත ඩොලර් විකුණලා රුපියල් කළා වගේ දැන් රුපියල් ගෙවා ඩොලර් මිල දී ගන්න වෙනවා. එසේ කරද්දී කාලයක් තිස්සේම ඩොලර් විකුණද්දී කෘතිමව ටිකෙන් ටික පහළ ගිය ඩොලරයේ මිල තිබිය යුතු මට්ටමට ඉහළ යනවා. ඩොලර් එකකට සැලකිය යුතු තරම් වැඩි මිලක් නොගෙවා අවශ්‍ය පමණ ඩොලර් මිල දී ගන්න බැහැ. 

ඩොලර් දේශීය වෙළඳපොළට ටිකෙන් ටික පොම්ප කරද්දී, ඒ හරහා ඩොලර් කුණු කොල්ලෙට විකිණෙද්දී, ආනයන කෘතීම ලෙස ලාබ වී, දේශීය නිෂ්පාදන ටිකෙන් ටික වැටුණා. මෙය වසර දහයක පහළොවක සිට ක්‍රමක්‍රමයෙන් සිදු වූ දෙයක්. දැන් ඩොලර් එකේ අගය නිවැරදි වුනා කියලා ඒ සියලු කර්මාන්ත වලට එක වර ඔලුව උස්සන්න බැහැ. නැවත අපනයන වෙළඳපොළවල් හොයා ගන්න කාලයක් යනවා. එහෙම හරි ඒ වැඩේ වෙන්නේ ඩොලර් එකේ අගය නිවැරදි වුනොත් පමණයි. ඩොලර් එක හිර කරගෙන අපනයන වැඩි කරන එකනම් කොහොමටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.

ඩොලර් හිඟයට තාවකාලික විසඳුමක් විදිහට ආනයන පාලනය කරන්න පුළුවන්. එයින් වෙන්නෙත් ඩොලර් එකේ මිල ඉහළ ගිය විට මෙන්ම ආනයන සීමා වන එකයි. හැබැයි එක පැත්තකින් එයින් අපනයන වල වෙනසක් වෙන්නේ නැහැ. අනෙක් පැත්තෙන්, මේ ආනයන පාලන ඉවත් කළ වහාම නැවත ප්‍රශ්නයේ මුලට යනවා. ඊට අමතරව තෙවන ප්‍රශ්නයක්ද තිබෙනවා. ආනයන පාලනයේදී වෙන්නේ කිසියම් පිරිසකට අනෙක් අයට නැති විශේෂ වරප්‍රසාදයක් ලැබෙන එක. ඒ පිරිස තෝරා ගන්නේ ආණ්ඩුව විසින්. මේ හරහා තමන්ගේ ගජ මිතුරන්ට සලකන්න අවස්ථාවක් ලැබෙන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.

ලංකාව මේ වෙද්දී මුහුණ දෙන ඩොලර් හිඟයට හේතුව ලංකාවේ ඇතැම් ආණ්ඩු විසින් අනුගමනය කළේයැයි කියන නිදහස් වෙළඳ ප්‍රතිපත්තියයැයි කියන මතය ජනගත කිරීමේදී වෙන්නේ ඇත්ත වහලා, වැරැද්ද මිනිස්සු මතම පටවලා, ආනයන පාලනය දිගටම ක්‍රියාත්මක කරන්න අවකාශයක් සකස් කර ගන්න එකයි.

Wednesday, September 15, 2021

කහ ගන්නවත් බැරිතැනට වැටුනේ ඇයි?

 

ටික කලකට පෙර ලංකාව කහ ආනයනය තහනම් කළා. රටේ කහ හිඟයක් ඇති වුනා. කහ මිල විශාල ලෙස ඉහළ ගියා. හැබැයි ඉන් පසුව බොහෝ දෙනෙක් කහ වවන්න පෙළඹුනා. දැන් ලංකාවේ කහ නිෂ්පාදනය ඉහළ ගිහින්. එහෙත් මිල පහත වැටී නැහැ. රටේ බොහෝ දෙනෙකුට කහ ගන්නවත් බැරි තරමට කහ මිල ඉහළ ගිහින්. එහෙම වුනේ ඇයි?

වෙනත් ඕනෑම භාණ්ඩයක වගේම කහ වලත් නිෂ්පාදන පිරිවැය නිෂ්පාදකයාගෙන් නිෂ්පාදකයාට වෙනස් වෙනවා. ඇතැම් අය අනෙක් නිෂ්පාදකයන්ට වඩා කාර්යක්ෂමයි. මෙහිදී කාර්යක්ෂමයි කියන එකෙන් අදහස් වන්නේ දක්ෂකම, මහන්සි වී වැඩ කිරීම වගේ දේවල්ම නෙමෙයි. කාලගුණය, දේශගුණය, පසේ ස්වභාවය ආදී විවිධ හේතු මත නිෂ්පාදන පිරිවැය වෙනස් වෙන්න පුළුවන්.

කහ නිෂ්පාදකයින් දහ දෙනෙකුගේ කහ කිලෝවක නිෂ්පාදන පිරිවැය පහත ආකාරයෙන් වෙනස් වෙනවා කියලා අපි හිතමු.

අමල් - රුපියල් 500යි 

බිමල් - රුපියල් 1000යි 

චමල් - රුපියල් 1500යි 

දිලාන් - රුපියල් 2000යි 

එරාන් - රුපියල් 2500යි 

ෆයිසාල් - රුපියල් 3000යි 

ගයාන් - රුපියල් 3500යි 

හෙක්ටර් - රුපියල් 4000යි 

අයිවන් - රුපියල් 4500යි 

ජෙගන් - රුපියල් 5000යි 

මේ එක් එක් නිෂ්පාදකයාගේ නිෂ්පාදන ධාරිතාව හරියටම කිලෝ 1000 බැගින් බවත්, රටේ සමස්ත කහ ඉල්ලුම කිලෝ 8000ක් ලෙසත් අපි සලකමු. මේ අනුව, ඉල්ලුම හා සැපයුම සමතුලිත වන මිල රුපියල් 4000ක්. එම මිලට ලැයිස්තුවේ හෙක්ටර් දක්වා සිටින අය කහ සපයනවා. අන්තිම දෙන්නා කහ සපයන්නේ නැහැ. එසේ කළොත් ඔවුන්ට පාඩුයි. එහෙත් ඔවුන් නැතුව ඉල්ලුම හා සැපයුම සමතුලිතයි.

හැබැයි මේ වැඩේ වෙන්නේ කහ ආනයනය නොකරනවානම්නේ. අපි හිතමු ආනයනික කහ කිලෝවක මිල රුපියල් 1000ක් කියලා. ඒ මිලට ඕනෑ තරම් කහ සපයන්න පුළුවන්. දැන් වෙළඳපොළේ කහ මිල රුපියල් 1000 දක්වා අඩු වෙනවා. ඒ එක්කම අමල් සහ බිමල් හැර අනෙකුත් සියලුම නිෂ්පාදකයින් වෙළඳපොළෙන් ඉවත් වෙනවා. අමල් හා බිමල් පමණක් තව දුරටත් කහ සපයනවා. දේශීය ඉල්ලුමෙන් 25%ක් පමණක් රට ඇතුළේ හැදෙනවා. ඉතිරි 75% ආනයනය කෙරෙනවා.

ඔහොම තියෙද්දී එකවරම ආනයන තහනම් කළාම මොකද වෙන්නේ? දැන් ඉල්ලුම කිලෝ 8000ක් වුනත් සැපයුම කිලෝ 2000ක් පමණයි. රටේ විශාල කහ හිඟයක් ඇති වෙනවා. අමල් හා බිමල් රුපියල් 7000 දක්වා කහ මිල ඉහළ දමනවා. පාරිභෝගිකයන්ගෙන් යම් පිරිසක් ඒ මිලට කහ මිල දී ගන්නවා. අමල් හා බිමල් සතු කහ ප්‍රමාණය විකිණෙනවා. කහ කිලෝවකට රුපියල් 7000ක් ගෙවන්න සූදානම් නැති පාරිභෝගිකයන්ට කහ ගන්න වෙන්නේ නැහැ. එහෙත් ඉල්ලුම හා සැපයුම සමතුලිතයි.

දැන් ඉහළ ගිය කහ මිල නිසා දිරිමත් වන දිලාන්, ෆයිසාල් වැනි අයත් කහ හදන්න පටන් ගන්නවා. කහ සැපයුම ඉහළ යනවා. අවසානයේදී ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. එහෙත් මිල රුපියල් 1000 දක්වා පහත වැටෙන්නේ නැහැ. මිල ස්ථාවර වන්නේ රුපියල් 4000 මට්ටමේ. මොකද හෙක්ටර්ට ඊට වඩා අඩුවෙන් කහ සපයන්න බැහැ. හෙක්ටර් කහ සැපයුවේ නැත්නම් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙන්නේ නැහැ.

මිල අඩු කිරීම සඳහා රජය විසින් සුළු කහ ප්‍රමාණයක් ආනයනය කරන්න ඉඩ දුන්නා කියා කියමු. උදාහරණයක් ලෙස කිලෝ 1000ක්. දැන් වෙන්නේ කුමක්ද?

ආනයනික කහ කිලෝ 1000ක් සැපයෙන නිසා දේශීය ඉල්ලුම කිලෝ 7000 දක්වා අඩු වෙනවා. හෙක්ටර්ට වෙළඳපොළෙන්  ඉවත් වෙන්න සිදු වෙනවා. ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. කහ කිලෝවක මිල රුපියල් 4000 සිට රුපියල් 3500 දක්වා අඩු වෙනවා. ආනයනකරු විසින්ද එම මිලට කහ විකුණා හොඳ ලාබයක් ලබා ගන්නවා. 

රට ඇතුළේ නිපදවිය හැකි ඕනෑම දෙයක් ආනයන වලින් ආරක්ෂා කළ විට වෙන්නේ ඔය වගේ දෙයක්. ආනයන පාලනය තිබෙන තුරු දේශීය නිෂ්පාදනය ඉහළ යනවා. එහෙත් ඒ සමඟම මිලද ඉහළ යනවා. කොයි වෙලාවක හෝ ආනයන පාලනය ඉවත් කළ වහාම දේශීය නිෂ්පාදකයා වෙළඳපොළෙන් ඉවත් වෙනවා. 

ඩොලරයක මිල රුපියල් 200 සිට 400 දක්වා ඉහළ ගියොත් වෙන්නේ කුමක්ද? 

දැන් ආනයනික කහ කිලෝවක මිල රුපියල් 2000 දක්වා ඉහළ යනවා. ඒ එක්කම චමල්ට හා එරාන්ටද වෙළඳපොළ අවස්ථාවන්  හිමි වෙනවා. ආනයන ආවා කියා ඔවුන්ව වෙළඳපොළෙන් ඉවත් කෙරෙන්නේ නැහැ. දැන් දේශීය ඉල්ලුමෙන් 50%ක් රට ඇතුළේ හැදෙනවා. ආනයනය කෙරෙන්නේ 50%ක් පමණයි. එයට අනුරූපව වෙළඳ හිඟය පහළ යනවා. ආනයන පාලනයේදී මෙන් නොව මෙය ස්ථිර තත්ත්වයක්.

Saturday, September 11, 2021

ඩොලරයේ මිල හා බඩු මිල


ඩොලරයේ මිල ඉහළ යාම ගැන ලංකාවේ ගොඩක් අයට තිබෙන්නේ විශාල භීතිකාවක්. මේ අයගේ ප්‍රධානම තර්කය වන්නේ ඩොලරයේ මිල ඉහළ ගියාම බඩු ගණන් යනවා කියන එකයි. කතාව ඇත්ත. ආනයනික බඩු වල මිල අනිවාර්යයෙන්ම ඩොලරය ඉහළ යන අනුපාතයට ගණන් යනවා තමයි. ඊට අමතරව ආනයනික අමුද්‍රව්‍ය අවශ්‍ය වන දේශීය නිෂ්පාදන වල මිලත් ඩොලරයක මිල ඉහළ යද්දී ගණන් යනවා. මේවා න්‍යායාත්මකව පැහැදිලි කළ හැකි, ඒ වගේම ප්‍රායෝගිකව මහ පොළොවේ දැකිය හැකි දේවල්

හැබැයි මේ කතාව කියන අය නොකියන හෝ නොදකින දෙය ඩොලරයක මිල එලෙසම තිබුණත් ලංකාවේ බඩු මිල ඉහළ යනවා කියන එකයි. එහෙම නොවෙනවා කියා කවුරු හෝ හිතනවාද?

ඩොලරයක මිල එලෙසම තිබුණත් ලංකාවේ බඩු මිල ඉහළ යන්නේ ඇයි?

ලංකාවේ රජය ආදායම ඉක්මවා වියදම් කරනවා. ඒ නිසා, හැම විටම වාගේ පියවිය යුතු රාජ්‍ය අයවැය හිඟයක් ඉතිරි වෙනවා. මේ හිඟය පියවන්න සල්ලි අච්චු ගැසීම නිසා රටේ මුදල් සැපයුම ආර්ථික වර්ධනය ඉක්මවා ඉහළ යනවා. එහිදී රටේ තිබෙන භාණ්ඩ සැපයුම ඉක්මවා භාණ්ඩ වලට තිබෙන ඉල්ලුම ඉහළ යනවා. ඇයි මිනිස්සු අතේ වැඩිපුර සල්ලි තියෙනවනේ. 

වැඩි වූ මුදල් අතේ තියෙන මිනිස්සු රටේ නිපදවෙන සීමිත භාණ්ඩ හා සේවා ටික මිල දී ගන්න තරඟ කරද්දී ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙන්නේ දේශීය නිෂ්පාදන වල මිල ඉහළ යාම තුළින්. හැබැයි ඩොලරයේ මිල වෙනස් වෙලා නැති නිසා ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යන්නේ නැහැ. ආනයනික අමුද්‍රව්‍ය අවශ්‍ය වන දේශීය නිෂ්පාදන වල මිලද යම් තරමකින් ඉහළ යනවා. එහෙත්, දේශීය නිෂ්පාදන තරමටම මිල ඉහළ යන්නේ නැහැ. මුදල් අච්චු ගැසීමේ ප්‍රතිඵලයක් ලෙස සමස්තයක් ලෙස මිල මට්ටම ඉහළ ගියත් ආනයනික භාණ්ඩ වල මිල එලෙසමයි.

මේ විදිහට ආනයනික භාණ්ඩ වල මිල එලෙසම තියෙද්දී දේශීය නිපැයුම් වල පමණක් මිල වැඩි වූ විට මොකද වෙන්නේ? රට ඇතුළේ දේශීය නිෂ්පාදන වලට ඉල්ලුම අඩු වෙනවා. ආනයනික භාණ්ඩ වලට ඉල්ලුම වැඩි වෙනවා. ඔය අතර කවුරු හෝ කෙනෙක් දේශීය නිෂ්පාදන වෙනුවට මිල අඩු ආදේශක කොහෙන් හෝ හොයාගෙන ආනයනය කරනවා. දේශීය නිෂ්පාදකයාට ආනයනික භාණ්ඩ එක්ක තරඟ කළ නොහැකි වී වෙළඳපොළෙන් ඉවත් වෙන්න සිදු වෙනවා.

මේ විදිහට දේශීය නිෂ්පාදන වල මිල ඉහළ යද්දී අපනයන වෙළඳපොළ ඉලක්ක කර හදන දේශීය නිෂ්පාදන වල පිරිවැයද ඉහළ යනවා. එහෙත් එම අපනයන විකුණා උපයන ආදායම් වැඩි නොවන නිසා අපනයනකරුවන්ගේ ලාබ අඩුවෙනවා. ඔවුන්ටද වෙළඳපොළෙන් ඉවත් වෙන්න සිදු වෙනවා. 

මේ ආකාරයෙන් ලංකාවේ රජය විසින් දිගින් දිගටම අයවැය හිඟයක් නඩත්තු කරමින් එය පියවීමට මුදල් අච්චු ගැසීමේත්, ඒ අතර විණිමය අනුපාතය ඉහළ යාම පාලනය කිරීමේත් ප්‍රතිඵලය වන්නේ එක පැත්තකින් ආනයන ඉහළ යන අතර අනෙක් පැත්තෙන් අපනයන කඩා වැටෙන එකයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස රටේ ඩොලර් හිඟයක් ඇති වෙනවා. ඩොලර් හිඟය පියවන්න විදේශ ණය අවශ්‍ය වෙනවා. රජය යම් හෙයකින් විදේශ ණය නොගත්තත්, රටේ කාට හෝ විදේශ ණය ගන්නම වෙනවා. ඒ විදිහට කවුරු හෝ ණයට ගන්න ඩොලර් විකුණද්දී ආනයන අපනයන පරතරය නිසා ඇති වී තිබෙන ඩොලර් හිඟය පියවෙන නිසා ඩොලර් එකේ මිල ඉහළ නොගොස් එලෙසම තියෙනවා. දිගින් දිගටම විදේශ ණය ගන්නා තුරු ආනයන අපනයන පරතරයත් එලෙසම තියෙනවා.

විණිමය අනුපාතය එක තැන තියාගෙන සල්ලි අච්චු ගහන තරමට වෙන එකම දෙය ආනයන ඉල්ලුම තව තවත් ඉහළ යන එක පමණයි. මුදල් සැපයුම ඉහළ යාම නිසා ලංකාවේ ආනයන ඉල්ලුම දෙතුන් ගුණයකින් වැඩි වුනත් ලෝක මට්ටමේදී සැපයුමට එය දැනෙන්නේවත් නැති නිසා ලංකාවේ ඉල්ලුම වැඩි වුනා කියා ආනයන භාණ්ඩ වල මිල ඉහළ යන්නේ නැහැ. ඉල්ලන තරමට අපනයන ලංකාවට එනවා. අනෙක් පැත්තෙන් ලංකාවේ අපනයන භාණ්ඩ වල මිල වැඩි වීම නිසා අපනයනකරුවන්ට ලෝකයේ අනෙක් රටවල් එක්ක තරඟ කරන්න අසීරු වී අපනයන ප්‍රමාණය පහළ බසින නිසා මිල වැඩිවීමේ වාසිය අපනයනකරුවන්ට ලොකුවට ලැබෙන්නෙත් නැහැ.

සල්ලි අච්චු ගහන අතරම, විණිමය අනුපාතය "අවශ්‍ය පමණ" ඉහළ යන්න ඉඩ දුන්නහම වෙන්නේ කුමක්ද?

දැන් මිනිස්සු අතේ සල්ලි වැඩිපුර ගැවසෙනවා. නමුත්, ඒ එක්කම කලින් මිල දී ගත් ආනයන භාණ්ඩ ප්‍රමාණය මිල දී ගන්න වැඩි රුපියල් ප්‍රමාණයක් ගෙවන්න වෙන නිසා දේශීය භාණ්ඩ මිල දී ගන්න ලොකු මුදලක් අතේ ඉතිරි වෙන්නේ නැහැ. නමුත්, තව දුරටත් යම් මුදලක් ඉතිරි වෙනවා. ඒ මුදලෙන් දේශීය භාණ්ඩ මිල දී ගනිද්දී දේශීය භාණ්ඩ වල ඉල්ලුමද යම් තරමකින් ඉහළ ගොස් ඒ හේතුව නිසා මිල ඉහළ යනවා. විණිමය අනුපාතය ඉහළ ගිහින් තියෙන්නේ අවශ්‍ය තරමටනම් දේශීය නිෂ්පාදන හා ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යන්නේ එකම තරමින්. එහිදී සල්ලි අච්චු ගැහීමේ ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය ඇති වන නමුත් ආනයන අපනයන පරතරයට බලපෑමක් වෙන්නේ නැහැ. ඩොලර් හිඟයක් ඇති වෙන්නේ නැහැ.

අලුතෙන් අච්චු ගැසූ සල්ලි ප්‍රමාණයට සාපේක්ෂව විණිමය අනුපාතය ඕනෑවට වඩා ඉහළ ගියොත් වෙන්නේ කුමක්ද? මෙහිදී ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යන නිසා ආනයන ආදේශක වලට ඉල්ලුම වැඩි වෙනවා. එහෙත්, ආනයන ආදේශක නැති තෙල් වැනි අත්‍යාවශ්‍ය ආනයන භාණ්ඩ වෙනුවෙන් අතේ තිබෙන සල්ලි ටික වියදම් කළාට පස්සේ අත්‍යාවශ්‍ය නොවන දේශීය නිෂ්පාදන මිල දී ගන්න සල්ලි හිඟ වන නිසා ඒවාට ඉල්ලුම අඩුවී මිල අඩු විය හැකියි. මෙහිදී සමස්තයක් ලෙස මිල මට්ටම ඉහළ යන නිසා අපනයන තරඟකාරිත්වය වැඩි වෙන්නේත් නැහැ. ආර්ථිකයට යම් හානියක් විය හැකියි. මේ වගේ තත්ත්වයක් ඇති වන්නේ විණිමය අනුපාතය පාලනය කරන්න ගිහින් අසමත් වීමෙන් පසුව එකවර ක්ෂණිකව විණිමය අනුපාතය කඩා වැටෙන අවස්ථාවකයි.

සල්ලි අච්චු ගහනවානම් ඊට අනුරූපව අවශ්‍ය පමණ විණිමය අනුපාතයද ඉහළ යන්න ඉඩ දිය යුතුයි. එහිදී සල්ලි අච්චු ගැසීමේ ප්‍රතිඵලයක් ලෙස ඇති වන උද්ධමනය නොවැලැක්විය හැකි නමුත් ගෙවුම් ශේෂයට හානියක් වෙන්නේ නැහැ. හැබැයි සල්ලි අච්චු ගහන අතරම උද්ධමනය පාලනය කරන්න කියලා විණිමය අනුපාතය පාලනය කළ විට සිදු වෙන්නේ ආනයන අපනයන පරතරය ඉහළ ගිහින් ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් ඇති වන එකයි. ආනයනික භාණ්ඩ වල මිල ඉහළ නොගියත් දේශීය නිෂ්පාදන වල මිල ඉහළ යන නිසා උද්ධමනය පාලනය වෙන්නේ නැහැ.

දැන් මේ වැඩේ වෙන්නේ සල්ලි අච්චු ගැසීම නිසා ඉහළ ගිය ඉල්ලුමට හරියන්න ආනයන කිරීමට ඉඩ ඇරියොත්නේ. ආනයන පාලනය කරලා ප්‍රශ්නය විසඳන්න බැරිද? 

මේකත් විසඳුමක් තමයි. දැන් මිනිස්සු අතේ සල්ලි වැඩිපුර ගැවසෙනවා. ආනයනික භාණ්ඩ වල මිල ඉහළ නොයන නිසා ඉල්ලුම වැඩි වුනත් ආනයන සීමා නිසා මිල දී ගන්න බඩු නැහැ. ඒ නිසා, සල්ලි අතේ ඉතිරි වී දේශීය නිෂ්පාදන සඳහා වන ඉල්ලුම වැඩි වෙනවා. එහිදී දේශීය නිෂ්පාදන වල මිල ඉහළ යනවා. එහෙම වුනා කියලා දේශීය නිෂ්පාදන මිල දී නොගෙන ඉන්නත් බැහැ. මොකද මිල අඩු වුනත් ආනයනික බඩු කඩේ නැහැ. 

මුදල් සැපයුම වැඩි වීම නිසා දේශීය නිෂ්පාදන වලට ඉල්ලුම වැඩි වුනත් දේශීය නිෂ්පාදකයෝ නිෂ්පාදනය වැඩි කර ලාබ ලැබීමේ  අවදානම ගන්න බයයි. මොකද ආනයන පාලන කොයි වෙලාවක හෝ ඉවත් කළ වහාම තමන්ගේ නිෂ්පාදන වලට ඉල්ලුමක් නැති බව පැහැදිලි නිසා. කෙටි කලකින් නිපදවා වෙළඳපොළට දැමිය හැකි දේවල් පමණක් වැඩියෙන් රට ඇතුළේ හැදෙනවා. එහෙත් දිගුකාලීනව රටේ නිෂ්පාදනය ඉහළ යන්නේ නැහැ. අනෙක් පැත්තෙන් රටේ උද්ධමනය අපනයන ආදායමට නරක විදිහට බලපානවා. මේ ප්‍රශ්න තිබුණත් ආනයන පාලනය ඩොලර් හිඟයට තාවකාලික පිළියමක්. හැබැයි ආනයන පාලනය ඉවත් කළ වහාම නැවත හිටපු තැනමයි. 

විණිමය අනුපාතය තිබිය යුතු "නියම තැන" කොතැනද? ලෝකයේ අනෙක් රටවල් සල්ලි අච්චු ගහන වේගයෙන්ම ලංකාවත් සල්ලි අච්චු ගහනවානම් විණිමය අනුපාතය එක තැනක තියා ගන්න පුළුවන්. අනෙක් රටවලට වඩා අඩුවෙන් සල්ලි අච්චු ගහනවානම්, සිංගප්පූරුවේ වගේ, විණිමය අනුපාතය ශක්තිමත් වෙන්න අරින්නත් පුළුවන්. එහෙත්, ලෝකයේ අනෙක් රටවලට වඩා වේගයෙන් සල්ලි අච්චු ගහනවානම් විණිමය අනුපාතය දුර්වල වෙන්න අරින්න වෙනවා. නැත්නම් වෙන්නේ ආනයන අපනයන පරතරය ටිකෙන් ටික වැඩි වෙන එකයි.

විණිමය අනුපාතය තියෙන්නේ නියම තැනනම් ආනයන පාලන දමන්න අවශ්‍ය වෙන්නේ නැහැ. 

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...