වසර කිහිපයකට පෙර විදේශ රටක, ශ්‍රී ලාංකික පවුල් හත අටක් පමණක් ජීවත් වන කුඩා නගරයක ශ්‍රී ලාංකික අවුරුදු උත්සවයක් පැවැත්වුණේය. පොතේ හැටියට ශීත සෘතුව අවසන් වී තිබුණත් එළිමහනේ පැයක් දෙකක් සිටීමට තරම් උණුසුම් කාලගුණයක් නොතිබුණු නිසා මේ උත්සවය, වඩාත් නිවැරදිව එකතුව, පැවැත්වුණේ (දෙමළ ජාතික) ශ්‍රී ලාංකිකයෙකුගේ නිවසේ පොළෝ මට්ටමට යටින් සාදා තිබුණු හොඳින් ඉඩ කඩ ඇති බිම් මහලේය. මේ සඳහා සුළු මුදලක් ගෙවා වෙන් කරගත හැකි පොදු ස්ථාන තිබුණත්, කුඩා දරුවන්ද ඇතුළුව පිරිස විසිපහකට නොවැඩි වූ නිසා එසේ කිරීම අවශ්‍ය නොවීය.
ශ්‍රී ලාංකිකයින් එකතු වන මෙවැනි අවස්ථා වල සාමාන්‍යයෙන් මෙසේ එක්රැස් වන නිවසේ බතක් ඉදෙන අතර එක් එක් නිවසින් අනෙකුත් එළවළු, මාළු ආදිය රැගෙන ඒම සිරිතයි. එකතුව අවුරුද්ද වෙනුවෙන් නිසා දන්නා හැටියට හදා ගන්නා කැවුම්, කොකිස් ආදියද එකතු වේ. වැඩිහිටියන් සතුටු සාමීචියට හා ආහාරපාන සප්පායමට මුල් තැන දෙන නමුත්, එකතුව නමට හෝ අවුරුදු උත්සවයක් වෙනුවෙන් නිසාත් රටින් බැහැරව සිටින ඔවුන්ට වෙනත් සංස්කෘතියක ලොකු මහත් වන ඔවුන්ගේ හෝමෝ සේපියන් පැටියන්ට තම මුල් සංස්කෘතියේ අංග හැකි පමණින් හෝ දායාද කිරීමට අවශ්‍ය නිසාත් අවුරුදු ක්‍රීඩා කිහිපයක්ද එකතු වේ.
අලියාට ඇහැ තබන්නට කළු ලෑලි නැති නිසා ඒ සඳහා යොදා ගැනෙන්නේ සුදු පුවරුවකි. හුණු වෙනුවට මාර්කර් පෑනකි. දෑස් ආවරණය කරනු ලැබ අඳුරේ පුවරුවේ ඇඳ ඇති අලියා වැනි සතාගේ ඇස සොයන බොහෝ වැඩිහිටි තරඟකරුවන්ට ඉලක්ක වන්නේ අලියාගේ වෙන කුමක් හෝ අවයවයකි. තරඟකරුවන් රැසක් නොමැති නිසා නැවත නැවතත් අවස්ථා ලැබුණත් අලියාගේ ඇස ඉලක්ක නොවේ.
මේ අතර, හොඳින් වටපිටාව අධ්‍යයනය කරන එක් වැඩිහිටි තරඟකාරියකගේ අතේ ඇති මාර්කර් පෑනේ තුඩ අලියාගේ ඇසට ලං වේ. මෙය දකින වෙනත් කිහිප දෙනෙකු වහා ක්‍රියාත්මක වී සුදු පුවරුවේ පිහිටීම වෙනස් කරයි. තරඟකාරියගේ පෑනේ තුඩ අවසානයේදී ඉලක්කවන්නේ අලියාගේ අලිඩොන් වැටෙන තැනට මිස ඇසට නොවේ. තරඟකාරිය මහත් උද්දාමයෙන් දෑස නිරාවරණය කරන විට පුවරුව නැවතත් මුලින් තිබුණු තැනමය. ඇය නැවත නැවතත් උත්සාහ කරන නමුත් සිදු වන්නේ එකම දෙයයි.
කණා මුට්ටිය බිඳීමේ තරඟය පැවැත්වෙන්නේද ඔය තරඟ නීති යටතේමය. මහමත් කන්ද ලඟට යන විට කන්ද තිබූ තැන නැත. දෑස් නිරාවරණය කළ විට නැවතත් කන්ද පෙනෙන්නට තිබේ.
දවස අවසානයේදී කුඩා දරුවන් දෙදෙනෙකු අලියා වැනි බලියට ඇස තැබීමත් මුට්ටිය බිඳීමත් හරියටම කර ජයග්‍රාහකයින් වන්නේ මහමත් කන්ද ලඟට නොගියත් කන්ද මහමත් ලඟට එන නිසාය. තරඟ නීති වලට කාගේවත් විරෝධයක් නොමැති නිසා අවුරුදු උත්සවය අවුලක් නැතුව අවසන් වී සභා තොමෝ සතුටින් විසිර යති.
***
ලංකාවේ නීතිඥ වෘත්තියට ඇතුළු වීමට ඇති එකම ක්‍රමය ශ්‍රී ලංකා නීති විද්‍යාලයයේ අවසන් විභාගය සමත් වී පරිවාසික පුහුණුවක් නිමකිරීමයි. මෙය කොළඹ විශ්ව විද්‍යාලයයේ හෝ විවෘත විශ්ව විද්‍යාලයයේ උපාධිධාරීන්ටද එකසේ පොදුය. ජේආර්ගේ සිට මහින්ද රාජපක්ෂ දක්වා සිසුන්ට අධ්‍යාපනය සැලසූ නීති විද්‍යාලයයට සිසුන් ඇතුළත් කරගන්නා විභාගය ඉතා තරඟකාරීය. වසරකට වරක් පැවැත්වෙන මේ තරඟ විභාගයට උසස්පෙළ සමත් අයදුම්කරුවන් දසදහස් ගණනින් ඉදිරිපත් වූවත් නීති විද්‍යාලයට ඇතුළත් වීමේ අවස්ථාව සාමාන්‍යයෙන් ලැබෙන්නේ දෙසිය පණහකට නොවැඩි පිරිසකටය. මේ නිසා වසර දහය දොළහ එක දිගට මේ විභාගයට නැවත නැවතත් පෙනී සිටින අයදුම්කරුවෝද සිටිති.
එකම ලකුණ ලබා ගන්නා අයදුම්කරුවන් රැසක් සිටින නිසා හරියටම දෙසිය පණහක් ඇතුළත් කර ගැනීමට නොහැකි වුවත්, නීති විද්‍යාලයයේ විදුහල්පතිගේ කාමරය වායු සමීකරණය කිරීමට සහ විභාග පැවැත්වීම සඳහා ප්‍රයෝජනයට ගැනීම පටන් ගැනීමට බොහෝ පෙර සිටම, වසරකට ඇතුලත් කරගන්නා සිසුන් ගණන බොහෝ වසර වලදී දෙසිය පණහකට ආසන්න විය.
http://www.sllc.ac.lk/sub_pgs/admission_statistics.html
කෙසේ වුවද, 1990 වසරේදී නීති විද්‍යාලයයට කිසියම් හේතුවක් නිසා සිසුන් 701ක් ඇතුළත් කර ගැනීමට අවශ්‍ය විය. මේ නිසා වසර ගණනක් නැවත නැවතත් විභාගය ලියමින් ඇතුළට රිංගා ගැනීමට දැඟලූ අයදුම්කරුවෝ රැසක්ම ගොඩ ගියහ. නීති විද්‍යාලයයට අදාළ වසර තුළදී වෙනදාට වඩා විශාල සිසුන් ගණනක් ඇතුළත් කර ගැනීමට අවශ්‍ය වූ නිසා ගොඩගිය වාසනාවන්ත සිසු කණ්ඩායමට යාන්තම් ගොඩවීමට එවකට සිටි අධිකරණ අමාත්‍යවරයාගේ පුතෙකුද වාසනාවන්ත විය. ඒ නිසා නීති විද්‍යාලයයේ මේ කණ්ඩායම බොහෝ විට ඒ සිසුවාගේ නමින් හැඳින්වේ. නුදුරේ ඇති මැතිවරණයට මේ කණ්ඩායමේ බොහෝ දෙනෙකු ඉදිරිපත් වී ඇතැයි මා සිතමි.
***
නීති වෘත්තියට මෙන්ම වෛද්‍ය වෘත්තියට ඇතුළත් වීමට පෙරද සීමාවාසික පුහුණුවක් අවසන් කළ යුතුය. සීමාවාසික පුහුණුව සඳහා ලැබෙන රෝහල තීරණය වන්නේ අදාළ වසරේ එක් එක් රෝහලෙහි ඇති පුරප්පාඩු ගණන සහ කුසලතා මට්ටම අනුව එක් එක් සිසුවාගේ ශ්‍රේණිගත කිරීමේ පිළිවෙළ අනුවය. පුරප්පාඩු බොහෝ විට ඇත්තේ දුෂ්කර පළාත් වල ඇති රෝහල් වල නිසා කොළඹ අවට ඇති 'ජනප්‍රිය' රෝහලක සීමාවාසික පුහුණුව සඳහා අවස්ථාව සැලසෙන්නේ ශ්‍රේණිගත කිරීම අනුව ලැයිස්තුවේ උඩින්ම සිටින සිසුන් අතළොස්සකට පමණි.
අනූව දශකයේ මැද භාගයේ එක්තරා වසරකදී මෙසේ සකස් කෙරුණු පුරප්පාඩු ලේඛණයේ දුෂ්කර පළාත් වල පිහිටි රෝහල්වල තිබුණු පුරප්පාඩු ප්‍රමාණය යම්කිසි අහම්බයකින් ඊට පෙර හා පසු වසර වලදී පැවති දුෂ්කර පුරප්පාඩු ගණනට වඩා බොහෝ අඩු වූ අතර කොළඹ අවට සහ වෙනත් පහසුකම් සහිත නගර වල පිහිටි රෝහල් වල පුරප්පාඩු ප්‍රමාණය වෙනදාට වඩා වැඩි විය. (සමාවෙන්න, තහවුරු කිරීමට සාධකනම් මට ඉදිරිපත් කළ නොහැකිය.) මේ නිසා, වෛද්‍ය අධ්‍යාපනය අවසන් කළ බොහෝ සිසුන්ට සීමාවාසික පුහුණුව සඳහා ඔවුන්ට පෙර හා පසු කණ්ඩායම් වල සිසුන්ට වඩා 'හොඳ' රෝහල් ලැබුණේය. දැන් දේශපාලනඥයකු වන එවකට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමතිවරයාගේ පුතාද මේ වාසනාවන්ත සිසුන් අතර විය.
***
වසර මුලදී පැවති බැඳුම්කර වෙන්දේසියකදී බැඳුම්කර සඳහා වූ ඉල්ලුම හදිසියේම ඉහළ ගියේය. මේ නිසා බැඳුම්කර මිල දී ගැනීම සඳහා ඉල්ලුම්කර තිබූ ඇතැම් ප්‍රාථමික ගණුදෙනුකරුවන්ට අපේක්ෂා නොකළ ආර්ථික වාසියක් සැලසුණේය. අහම්බයෙන් මේ වාසනාවන්තයින් අතර මහ බැංකු අධිපතිගේ බෑනාද සිටියේය.
***
දෘශ්‍යාබාධිතයෙකු වන ඉන්දික තොටවත්තයන් ඔහුගේ ඡන්දය කිසිවෙකු වෙනුවෙන් භාවිතා නොකිරීමට තීරණය කර ඇති අතර ඒ සඳහා මුල් වූ එක් හේතුවක් පැහැදිලි කරයි. වත්මන් මැතිවරණ නීතිය අනුව දෘශ්‍යාබාධිතයෙකුගේ ඡන්දය භාවිතා කිරීම සඳහා ඔහුගේ පවුලේ කෙනෙකුට උදවු කිරීමේ හැකියාවක් නැති අතර නීතිමය ප්‍රතිපාදන අනුව ඔහුගේ ඡන්දය ලකුණු කළ යුත්තේ ඡන්ද රාජකාරි වල නියුතු නිලධාරීන්ය. ඉන්දික තොටවත්තට ඔවුන් ගැන විශ්වාසයක් නැත.
***
දෘශ්‍යාබාධිතයන් නොවන අප බොහෝ දෙනෙකුගේ දෑස් හොඳින් පෙනෙන නිසා වරද්දා නොගෙන ඡන්දය ලකුණු කිරීමට අපිට පුළුවන. ඡන්ද පත්‍රිකාව හොඳින් පෙනුණත් ඡන්දය නිවැරදිව ලකුණු කර නොමැති බව අප බොහෝ දෙනෙකුට වැටහෙන්නේ ඡන්ද ප්‍රතිඵල නිකුත් වන විටය. ඇස් හොඳින් පෙනෙන අපට තරඟ නීති අනුව ඇතැම් විට දෑස් ආවරණය කරගෙන ක්‍රීඩා කිරීමට සිදු වන අතර ඉන් පසු වසර පහ හයක්ම දෑස් මෙන්ම මුවද නිරාවරණය කරගෙන ඡන්ද ප්‍රතිඵල බලා සිටීමට සිදු වේ.
***
අපේ කැමැත්ත නොවිමසා සාදා ඇති තරඟ කොන්දේසි අනුව දෑස් බැඳගෙන හිස් මුට්ටි බිඳ දැමීමටත් ඇස් නැති අලියන්ට ඇස් තැබීමටත් අපට සිදුවී ඇති අතර තරඟ නීති ක්‍රියාත්මක වී ඇති ආකාරය වුවද බොහෝ විට අපට දැනගන්නට ලැබෙන්නේ තරඟය අවසන් වූ පසුවය.
(ඡායාරූපය archives.dailynews.lk වෙබ් අඩවියෙනි.)
Tuesday, July 14, 2015
කණා මුට්ටිය බිඳ අලියාට ඇස් තැබීම
Labels:
අතීත මතක,
ආර්ථික විද්‍යාව,
දේශපාලනය,
නීතිය,
ප්රජාතන්ත්රවාදය
Subscribe to:
Post Comments (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...
ලිපියේ මුඛ්‍ය අදහස ගැන නොලියා වෙනත් අදාල කතාවක් දෙකක් ලියන්නම්.
ReplyDeleteමා අසා ඇති පරදි 1960 දශකයේ එක් වසරක කොළඹ විශ්ව විද්‍යාලටබඳවා ගත් සිසුන් පිරිස විශාල ලෙස වැඩි කළා ලු. ඒ සිසුන් අතර අග්‍රාණ්ඩුකාරයා ගේ පුතා හෝ එැවනි පින්වත් කුමාරයින් හිටිය එක අහම්බයක් පමණයි. විශ්ව විද්‍යාලයේ දේශන සඳහා ඉඩ කඩ නොමැති වූ නිසා, එවකට අත හැර දමා තිබුණු තුරඟ තරග පිටියේ තාවකාලිකව ටකරන් මඩු ගසන්නට සිදු වුණා ලු.
ඒ සමගම එවකට පාර්ලිමේන්තුවේ සිටි සාමාන්‍ය පෙළ පමණක් සමත් මන්ත්‍රීවරුන්ට ඔය තරග විභගයෙන් තොරව නීති විද්‍යාලයට යන්නට විශේෂ පණතක් මගින් ෆුලිකස් ඩයස් බණ්ඩාරණායක ඉඩ දී තියෙනවා. ඒ කණ්ඩායමේ කෙනෙක් තමයි පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ. ඔහු වෙනුවෙන් නීති විද්‍යාලය ඇතුලේ විභාග ලිව්වේ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ බව සරත් නන්ද සිල්වා කී බව වෙබ් අඩවියක පලවී තිබෙනු දුටුවා ද?
මුල් කරුණු දෙක හරියටම දැනගෙන නොසිටි යාන්තම් අසා පුරුදු ලෙස මතක දේවල්. බලාගෙන ගියාම මේක තමයි අපේ ඉතිහාසය. අන්තිම කරුණනම් කලින් කියවා තිබුණු බව හොඳට මතකයි.
Deleteගුරුවරුන්ගේ වැටුප් වැඩිවීමකුත් තිබුන ඔය ජාතියෙ. නෝනගෙ වැටුප (අධ්‍යාපන ඇමති) මහත්තය වැඩි කලා. එයාලගෙ පුත්‍ර රත්නයක් මෙදා ඡන්දෙටත් ඉල්ලනවද කොහෙද
Deleteඇයි නාවික හමුදා නිලධාරීන් බඳවාගැනීමේ සුදුසුකම් අඩුකරපු අවුරුද්දකදී අහම්බයෙන් ජනපති පුතෙකුටත් අවස්ථාව ලැබුනලුනෙ.
ReplyDeleteඑහෙමද ඒක වුනේ, හරී? සුදුසුකම් අඩු කරපු එක ගැනනම් දැනගෙන හිටියේ නෑ.
DeleteMinimum Al required. But yoshitha is AL failed.
Deleteඒ තමයි හැටි නේහ්.
ReplyDeleteඅර කතාවක් තියෙන්නෙ
ඇත්තෝ කති බොති ****
නැත්තෝ **** කට ඇරගෙන බලා හිදිති කියල
පොඩි මනුස්සයන්ට ඔහොම කරයිද නැද්ද. පිංවත්තු තමයි
අපි තමයි ඇස් ඇරගෙනත් සෙල්ලං කරල ඇදං නාන්නෙ
අපි පවු නේද? වැඩේ කියන්නේ ඔය පින්වත්තුන්ට පින් අනුමෝදනා කරන්නෙත් අපිම තමයි. නැත්නම් පාට අඩු වෙලා දිව්‍යලෝකෙන් චුත වෙනවා.
Deleteදෙවරක් කියවා දෙවරක් රස වින්දෙමි
ReplyDeleteමරැ
ගොඩක් වෙලාවට අර අලියට ඇහැ තැබීමේ සිද්ධිය තමා වෙන්නේ
දෙවරක් කියවා දෙවරක් රස වින්දෙමි
Deleteමරු*2