වෙබ් ලිපිනය:

Showing posts with label ඒකාධිකාර. Show all posts
Showing posts with label ඒකාධිකාර. Show all posts

Saturday, May 29, 2021

ධනවාදී පරමාදර්ශය සහ දෘශ්‍යමාන ලෝකය

මම හිතන්නේ මේ වෙද්දී ධනවාදී පරමාදර්ශය කුමක්ද කියන එක ලිපි ගණනාවකින් ඉතා පැහැදිලිව විස්තර කර අවසන් කරලා තිබෙනවා. ඒ වගේම සමාජවාදී විකල්පය ඊට වඩා පසුගාමී වන්නේ ඇයි කියන එකත් පැහැදිලි කරලා තිබෙනවා. අප සමඟ දිගටම සාකච්ඡාවක රැඳී සිටි පාඨකයෙකු විසින් පෙර ලිපියකට ප්‍රතිචාර ලෙස අහපු වැදගත් ප්‍රශ්නයක් වුනේ මේ කියන දේවල් ඔය විදිහටම සැබෑ ලෝකයේ සිදු වෙනවද කියන එකයි. ඒ ප්‍රශ්නයට මම ඒ වෙලාවේ කෙටි පිළිතුරක් දුන්නා. එහෙත්, මේ ප්‍රශ්නය විස්තරාත්මක පිළිතුරක් අවශ්‍ය ප්‍රශ්නයක්.

ඉතා පැහැදිලිවම ධනවාදී පරමාදර්ශය සහ දෘශ්‍යමාන ලෝකය අතර සෑහෙන තරමක පරතරයක් තිබෙනවා. ඇත්තටම පුදුමය විය යුත්තේ එය එසේ නොවනවානම්. ධනවාදී පරමාදර්ශයත් මාක්ස්වාදය වගේම තවත් එක් වියුක්ත අදහසක් පමණයි. වියුක්ත ආකෘති හා සැබෑ ලෝකය අතර පරතරයක් තිබීම සාමාන්‍ය දෙයක්. මා එම පෙර ප්‍රතිචාරයට පිළිතුරක් සේ ලියූ විදිහට, මට අනුව, මේ මොහොතේ දේශපාලනය විය යුත්තේ මේ පරතරය හැකි තරම් අවම කිරීමයි.

පරමාදර්ශී තත්ත්වයන් යටතේ වගේම ප්‍රායෝගික තත්ත්වයන් යටතේද ධනවාදයට විසඳුම් දිය නොහැකි, මාක්ස්වාදයට විසඳුම් දිය හැකි ප්‍රශ්න මොනවාද කියන එකට තවමත් කිසිවකු විසින් පිළිගත හැකි පිළිතුරක් ඉදිරිපත් කර නැහැ. යම් කිසිවකු විසින් එවැනි පිළිතුරක් ලබා දෙන තුරු අපි සමාජවාදය පැත්තකින් තියලා ධනවාදී පරමාදර්ශය ඔස්සේ ඉදිරියට යමු. 

සමාජවාදය හොඳ පිළිතුරක් නොවන බව පැහැදිලි වුවත්, ධනවාදී පරමාදර්ශය සහ දෘශ්‍යමාන ලෝකය අතර පරතරයක් ඇති විට එම පරතරය පියවෙන පිළිතුරක් අවශ්‍යයි. ධනවාදී පරමාදර්ශය අනුව, ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායිතාවය ප්‍රාග්ධන හිමියාටත් ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ශ්‍රමිකයාටත් හිමි විය යුතුයි. මේ බෙදීම සාධාරණ වන්නේ ඇයි කියන එක මම විස්තර කරලා තියෙනවා. සැබෑ ප්‍රශ්නය තියෙන්නේ එයින් ඔබ්බටයි. මේ පරමාදර්ශී බෙදීම ඒ විදිහටම සිදු වන බවට තිබෙන සහතිකය කුමක්ද?

ලිපි ගණනාවකදී යොදාගත් කොබ්-ඩග්ලස් ආකෘතිය උපයෝගී කර ගැනීමේ අරමුණ වුනේ ආන්තික ඵලදායීතාවය කියන සංකල්පය පැහැදිලි කිරීම හා සමාජවාදී විකල්පය සමඟ සංසන්දය කිරීම පමණයි. එම ආකෘතිය නිෂ්පාදන ආකෘතියක් මිසක් නිෂ්පාදනය බෙදී යන ආකාරය විස්තර කරන ආකෘතියක් නෙමෙයි. ධනවාදී පරමාදර්ශය කුමක්ද කියා පැහැදිලි කරන නමුත් ඒ කරා යා හැකි යාන්ත්‍රනය එම ආකෘතියෙන් විස්තර කෙරෙන්නේ නැහැ. 

එහෙමනම්, ධනවාදී පරමාදර්ශය කරා යා හැකි යාන්ත්‍රනය කුමක්ද? මේ යාන්ත්‍රනය වෙළඳපොළ යාන්ත්‍රනයයි. "අන්දරේ සීනි කෑ හැටි" ලිපි මාලාවේ මුල් කොටස් වල ඉල්ලුම් සැපයුම් යාන්ත්‍රනය විස්තර කර තිබෙනවා. 

වෙළඳපොළ තර්කනය තේරුම් ගන්න අමාරු නැහැ. ශ්‍රමිකයෙකුට ලැබෙන වැටුප් හා ඇයගේ ආන්තික ඵලදායිතාවය අතර පරතරයක් ඇති හැම විටෙකම ඇයට තමන්ගේ රැකියාව මාරු කළ හැකියි. ඒ සඳහා ඕනෑ තරම් අවස්ථා තිබෙනවා. එහෙත් එවැනි පරතරයක් නැති විටෙක කොහේ ගියත් වැඩි වැටුපක් ලැබෙන්නේ නැහැ. මේ හැම විටම ශ්‍රමිකයෙකුට ලැබෙන වැටුප් හා ඇයගේ ආන්තික ඵලදායිතාවය අතර ගතික සමතුලිතතාවයක් නඩත්තු වෙනවා. 

මෙහිදී එක දෙයක් පැහැදිලි විය යුතුයි. මේ වැඩේ මේ විදිහට සිදු වෙන්නේ වෙළඳපොළ තරඟයක් තිබීම තුළ මිසක් වෙළඳපොළක් තිබීම තුළ නෙමෙයි. වෙළඳපොළෙහි තිබෙන්නේ ඒකාධිකාරයක්නම්, ප්‍රමාණවත් තරඟයක් නැත්නම්, මේ වැඩේ මේ විදිහට සිදු වෙන්නේ නැහැ.

මෙය පැහැදිලි කර ගැනීම සඳහා අපි නැවතත් පෙර ලිපියක් සමඟ ඉදිරිපත් කළ වගු දෙකක් කරා යමු.


උඩ වගුවෙන් පෙන්වන්නේ K හෝ/සහ L වෙනස් වෙද්දී Y වෙනස් වන ආකාරය. පහළ වගුවෙන් පෙන්වන්නේ මෙය මෙසේ සිදු වෙද්දී ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය වෙනස් වන ආකාරය.

ආන්තික ඵලදායීතාවය කියන්නේ නිෂ්පාදන සාධකයක් එක් ඒකකයකින් වැඩි කළ විට නිෂ්පාදිතය ඉහළ යන ප්‍රමාණය බව අපි ඉගෙන ගත්තා. නමුත්, මේ ප්‍රකාශයේ අඩුවක් තිබෙනවා. ප්‍රශ්නයක් සේ එකවර නොතේරුණත්, මෙහි "එක් ඒකකයක්" කියා කියන්නේ කුමක්ද? 

අපි ප්‍රාග්ධනය ගනිමු. එක් ඒකකයක් කියා කියන්නේ ඇමරිකන් ඩොලරයක්ද? චීන යුවාන් එකක්ද? බංග්ලාදේශ ටාකා එකක්ද? නැත්නම් ශ්‍රී ලංකා රුපියලක්ද? ශ්‍රී ලංකා සතයක්ද? 

ශ්‍රමය ගත්තත් ඔය ප්‍රශ්නයම එනවා. එක් ඒකකයක් කියා කියන්නේ මාසයක ශ්‍රමයද? දවසක ශ්‍රමයද? පැයක ශ්‍රමයද? නැත්නම් මිනිත්තුවක ශ්‍රමයද? 

ගණිතයේ එන අවකලන සංකල්පය අනුව මේ ඒකකයේ ප්‍රමාණය ශුන්‍යය කරා ළඟා විය යුතුයි. ප්‍රාග්ධනය සතයක් ගත්තත්, ශ්‍රමය තප්පරයක් ගත්තත්, මේ ඒකක ශුන්‍යයට වඩා ගොඩක් ලොකුයි. මීට වඩා ගොඩක් කුඩා ඒකක ගැන වුවත් අපට වියුක්ත ලෙස සිතන්න පුළුවන්. නමුත්, එවැනි කුඩා ඒකක වලින් සැබෑ ලෝකයේදී ගනුදෙනු සිදු වන්නේ නැහැ. 

තමන්ගේ මාසික වැටුප සතයකින් වැඩි වෙන නිසා රැකියාව මාරු කරන කෙනෙක් ඉන්නවද? තමන්ගේ ප්‍රතිලාභ සතයකින් වැඩි වෙන නිසා ප්‍රාග්ධන ආයෝජන වෙනත් තැනකට ගෙන යන කෙනෙක් ඉන්නවද? කවුරුවත් එහෙම කරන්නේ නැහැ. 

මෙයට හේතුව ශ්‍රමය හෝ ප්‍රාග්ධනය පිරිවැයකින් තොරව "සුමට ලෙස" විතැන් කළ නොහැකි වීමයි. නිෂ්පාදන සාධක විතැන් කිරීමද පිරිවැයක් අවශ්‍ය වන කටයුත්තක්. සැබෑ ලෝකය සුමට නැහැ. එහි "ඝර්ෂණ" තිබෙනවා. ඒ නිසා, "පොඩි පාඩුවක්" වුනා කියලා කවුරුවත් එය ගණන් ගන්නේ නැහැ. 

මේ හේතුව නිසා ශ්‍රමිකයෙකුට ඇත්තටම ලැබෙන වැටුප ඇයගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවයට වඩා ටිකක් අඩු වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේම එහි අනෙක් පැත්ත වෙන්නත් පුළුවන්. ශ්‍රමිකයෙකුගේ ආන්තික ඵලදායීතාවය ඇයට ගෙවිය යුතු වැටුපට වඩා පොඩ්ඩක් අඩු වුනා කියලා සමාගමක් ඇයව එකවරම ඉවත් කරන්නේ නැහැ. මොකද එහෙම කරලා අලුත් ශ්‍රමිකයෙක්ව අලුතින් බඳවා ගන්න එකත් පිරිවැයක් අවශ්‍ය කටයුත්තක්. ඒ නිසා, ඝර්ෂණ තිබීම සාමාන්‍යයක් ලෙස ගත් විට ශ්‍රමයේ හෝ ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ එලෙසම ලැබෙන එක වළක්වන්නේ නැහැ.

කෙසේ වුවත්, ශ්‍රම වෙළඳපොළේ හා ප්‍රාග්ධන වෙළඳපොළේ මෙවැනි ඝර්ෂණ වල අසමමිතියක් ඇත්නම් ඉහත කී සාමාන්‍ය අගයයන් වුවත් විකෘති විය හැකියි. උදාහරණයක් විදිහට ශ්‍රමිකයන්ට වෙනත් ප්‍රායෝගික විකල්ප කිසිවක් නැහැ. එහෙත් ප්‍රාග්ධන හිමියාට එවැනි විකල්ප ඕනෑ තරමක් තිබෙනවා. ඒ වගේ තත්ත්වයක් යටතේදී සමස්තයක් ලෙස වුවත් ශ්‍රමිකයන්ට ඔවුන්ගේ ආන්තික ප්‍රතිලාභ හිමි නොවෙන්න පුළුවන්. කාල් මාක්ස් දුටු යුරෝපයේ තිබුණේ මෙවැනි තත්ත්වයක් කියා හිතන්න පුළුවන්. අදට වුවත් බොහෝ තැන් වලදී ශ්‍රමිකයන් මේ ප්‍රශ්නයට මුහුණ දෙනවා. මාක්ස්වාදය ගොඩ නැගෙන්නේ මේ ප්‍රශ්නයට පිළියමක් ලෙසයි. 

ඉහත වගු වෙත අපි නැවත අවධානය යොමු කරමු. පළමු වගුව ඇසුරෙන් අප විසින් දෙවන වගුව පිළියෙළ කළේ වරෙකදී නිෂ්පාදන සාධක වල එක් ඒකකයක් පමණක් වෙනස් වන්නේය යන පදනමින්. (K,L) = (10,10) සිට (K,L) = (10,9) කරා යද්දී Y ඒකක 6කින් අඩු වෙනවා. ඒ කියන්නේ එක් ශ්‍රම ඒකකයක් අඩු කළොත් නිෂ්පාදනය ඒකක 6කින් අඩු වෙනවා. ඒ නිසා, ශ්‍රමිකයෙක්ට වැටුප් සේ ඒකක 6ක් හිමි නොවෙනවානම් සහ ඇයට වෙනත් විකල්ප තිබෙනවානම් සමාගමට ඇගේ වැටුප් ලෙස ඒකක 6ක් දී ඇය වෙනත් තැනකට යන එක වලක්වා ගන්න සිදු වෙනවා. අනෙක් අතට ඇය ඊට වඩා වැඩි වැටුපක් ඉල්ලා සිටිනවානම් එය කළ නොහැකියි. ඇයට අස් වී යන්න ඉඩ අරින්න වෙනවා. පසුව ඒ වෙනුවට වෙනත් ශ්‍රමිකයෙක් හොයා ගන්න එක ගොඩක් අමාරු වැඩක් නෙමෙයි.

ප්‍රාග්ධනය සම්බන්ධ තත්ත්වයත් මෙවැන්නක්. (K,L) = (10,10) සිට (K,L) = (9,10) කරා යද්දී Y ඒකක 4කින් අඩු වෙනවා. ඒ නිසා, ප්‍රාග්ධන හිමියා විසින් ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ ලෙස ඒකක 4කට වඩා ඉල්ලා සිටිනවානම් ඔහුට තමන්ගේ ප්‍රාග්ධනය අරගෙන කැමති තැනකට යන්න ඉඩ දී වෙනත් ප්‍රාග්ධන හිමියෙක් හොයා ගන්න පුළුවන්. නමුත් එසේ කළ හැක්කේ වෙනත් ප්‍රාග්ධන හිමියන් ඕනෑ තරම් සිටින පසුබිමකදී පමණක් බවද පැහැදිලි විය යුතුයි.

ඉහත අවස්ථා වලදී අප විසින් උපකල්පනය කළේ ශ්‍රම ඒකක 10 අයිති ස්වාධීන හා එකිනෙකාගෙන් ස්වායත්ත ශ්‍රමිකයන් 10 දෙනෙකුට කියලයි. ඒ නිසා, වරකදී ශ්‍රමිකයන් දෙදෙනෙකු ඉවත්ව යන්න එතරම් ඉඩක් නැහැ. මේ අයුරින්ම, ප්‍රාග්ධනය සම්බන්ධව අපේ උපකල්පනය වුනේද ප්‍රාග්ධන ඒකක 10 අයිති ස්වාධීන හා එකිනෙකාගෙන් ස්වායත්ත ප්‍රාග්ධන හිමියන් 10 දෙනෙකුට කියලයි. ඒ නිසා, ප්‍රාග්ධන හිමියන් දෙදෙනෙකු එක් වර ඉවත්ව යන්න එතරම් ඉඩක් නැහැ. නමුත් සැබෑ ලෝකයේ තත්ත්වය බොහෝ විට මෙසේ නොවන බව අප අත්දැකීමෙන් දන්නවා.

අපි හිතමු ප්‍රාග්ධන ඒකක 10න් 9ක්ම අයිති එක් පුද්ගලයෙක්ට කියා. දැන් මේ පුද්ගලයාට එක වර තමන්ගේ ප්‍රාග්ධන ඒකක 9ම ඉවත් කර ගත හැකියි. අඩු වශයෙන් එසේ කරන බවට තර්ජනය කළ හැකියි. වගුවෙන් පෙනෙන පරිදි (K,L) = (10,10) සිට (K,L) = (1,10) කරා යද්දී Y ඒකක 60කින් අඩු වෙනවා. එවිට ශ්‍රම ඒකක 10 හා ඉතිරි ප්‍රාග්ධන ඒකකය වෙනුවෙන් ඉතිරි වන්නේ ඒකක 40ක නිෂ්පාදිතයක් පමණයි. ඒ නිසා, ප්‍රාග්ධනය ආකර්ශනය කර ගත හැකි වෙනත් විකල්පයක් නැත්නම්, ප්‍රාග්ධන හිමියාව රඳවා ගැනීම සඳහා ඔහුට ඒකක 60කට නොවැඩි ප්‍රතිලාභ ලබා ගන්න ඉඩ ඇරීමෙන් අනෙක් අයට පාඩුවක් වෙන්නේ නැහැ. 

මේ අවස්ථාවේදී වෙළඳපොළ යාන්ත්‍රනය තුළම ප්‍රාග්ධන ඒකක 10න් 9ක්ම අයිති පුද්ගලයාගේ ප්‍රතිලාභ ඒකක 40 සිට 60 දක්වා වැඩි විය හැකියි. එහිදී ශ්‍රමිකයන්ට ඔවුන්ගේ ආන්තික ප්‍රතිලාභ නොලැබී යන බව පැහැදිලියි. ශ්‍රමිකයන්ට වෙනත් විකල්පයක් නැත්නම්, ඔවුන්ට තමන්ගේ ශ්‍රමයේ ආන්තික ප්‍රතිලාභ වලට වඩා අඩු වැටුපකට සේවය සලසන්න සිදු වෙන්න පුළුවන්. මාක්ස්වාදය තුළ ශ්‍රමය සූරාකෑම සේ හඳුනා ගැනෙන්නේ මීට ආසන්න දෙයක්.

මෙහිදී එක දෙයක් පැහැදිලි විය යුතුයි. ඒ වෙළඳපොළ තරඟයට ඉඩ ලැබීම මත මිස වෙළඳපොළට ඉඩ ලැබීම මත ශ්‍රමිකයාගේ තත්ත්වය යහපත් නොවන බවයි. ධනවාදී පරමාදර්ශය විසින් යෝජනා කරන්නේ වෙළඳපොළ තරඟයට අවස්ථාව සැලසීම මිස වෙළඳපොළට අවස්ථාව සැලසීම නෙමෙයි. වෙළඳපොළට අවස්ථාව සැලසීම එහි අනිවාර්ය පූර්ව කොන්දේසියක් වුවත් එය අතරමැදි ඉලක්කයක් මිසක් පරමාදර්ශී තත්ත්වයක් නෙමෙයි. ලංකාව වැනි රටවල් විසින්ද වෙළඳපොළට ඉඩ දී ඇතත්, ඇමරිකාව වැනි රටකට සාපේක්ෂව ශ්‍රමිකයන්ගේ තත්ත්වය යහපත් නොවීමට හේතුව මේ වෙනසයි. 

ශ්‍රමයේ ආන්තික ප්‍රතිලාභ ශ්‍රමිකයාට නොලැබෙන තත්ත්වයන් යටතේ එම ප්‍රතිලාභ හිමි කර ගැනීමේ ක්‍රමයක් ලෙස මාක්ස්වාදී හා මාක්ස්වාදී නොවන සමාජවාදය තුළ යෝජනා වී තිබෙන ජනප්‍රිය විකල්පයක් වන්නේ ශ්‍රමිකයන් සංවිධානය වීමයි. වෘත්තීය සමිති හරහා සිදු වන්නේ මෙයයි. වෘත්තීය සමිතියක් තුළ ශ්‍රමිකයන් ඒකරාශී වූ විට සිදු වන්නේ කුමක්ද?

නැවත අපි ඉහත උදාහරණයටම එමු. ප්‍රාග්ධනයේ ඒකාධිකාරී බලය උපයෝගී කර ගනිමින් ප්‍රාග්ධනයේ කොටස ලෙස 40ක් නොව 60ක් ලබා ගන්නේයැයි අපි සිතමු. මෙයට ප්‍රතිරෝධය දක්වමින් ශ්‍රමිකයින් සංවිධානය වී ශ්‍රම ඒකක 9ක් එකවර ඉවත් කර ගන්නා බවට තර්ජනය කළේයැයි සිතමු. වගුවෙන් පෙනෙන පරිදි (K,L) = (10,10) සිට (K,L) = (10,1) කරා යද්දී Y ඒකක 75කින් අඩු වෙනවා. එවිට ප්‍රාග්ධන ඒකක 10 හා ඉතිරි ශ්‍රම ඒකකය වෙනුවෙන් ඉතිරි වන්නේ ඒකක 25ක නිෂ්පාදිතයක් පමණයි. ඒ කියන්නේ ප්‍රාග්ධන හිමියාට තමන්ගේ ප්‍රතිලාභ ලෙස ඒකක 25ක් වුවත් භාර ගන්න සිදු වෙනවා. මෙය ඔහුගේ ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ සේ ලැබිය යුතු ඒකක 40ටත් වඩා අඩුයි.

මාක්ස්වාදයේ අවසාන ඉලක්කය ශ්‍රමිකයන් සංවිධානය වී රාජ්‍ය බලය ලබා ගැනීම හරහා ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ නැත්තටම නැති කිරීමයි. මෙය අසාර්ථක ඉලක්කයක් බව මා පැහැදිලි කර අවසන්. එහෙත්, ප්‍රාග්ධනයේ ඒකාධිකාර හමුවේ ශ්‍රමය වෙනුවෙන් එහි ආන්තික ප්‍රතිලාභ ලබා ගැනීම වෙනුවෙන් ශ්‍රමිකයින් සංවිධානය වීම අසාර්ථක දෙයක් බව එයින් අදහස් වන්නේ නැහැ.

කෙසේ වුවත්, මේ අයුරින් ශ්‍රමිකයින් සංවිධානය වී තමන්ගේ ශ්‍රමයේ ආන්තික ප්‍රතිලාභ ලබා ගැනීම කෙටිකාලීන අතරමැදි විසඳුමක් මිසක් ස්ථිර විසඳුමක් නෙමෙයි. ඒ ඇයි?

මෙහිදී ප්‍රතිඵලය තීරණය වන්නේ හෙට්ටු කිරීම් මත. හෙට්ටු කිරීම් වල වාසි තීරණය වන්නේ සංවිධාන ශක්තිය මත. ශ්‍රමිකයින් සංවිධානය වූ තරමට ඔවුන්ට තමන්ගේ ශ්‍රමයේ ආන්තික ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව වැඩි වනවා වගේම ඊට වඩා වැඩි ප්‍රතිලාභ ලබා ගැනීමේ අවස්ථාවද ලැබෙනවා. එහෙත්, මෙහි අනිවාර්ය ප්‍රතිඵලයක් ලෙස ප්‍රාග්ධන හිමියන්ද සංවිධානය වෙනවා. ප්‍රායෝගික තත්ත්වයන් යටතේ ශ්‍රමිකයන්ට වඩා ප්‍රාග්ධන හිමියන්ට සංවිධානය වෙන්න ලේසියි. 

ශ්‍රමිකයන් සංවිධානය වෙලා මොන තරම් දේවල් ලබා ගත්තත් ඒ දේවල් වැඩි කල් එලෙසම තියා ගන්න බැරි බව තේරුම් ගන්න ලංකාවෙන්ම වුනත් ඕනෑ තරම් උදාහරණ තිබෙනවා. ශ්‍රමිකයන්ගේ එකමුතු ඉතා ඉක්මණින් බිඳෙනවා. ප්‍රාග්ධන හිමියෝ නැවතත් තමන්ගේ කොටස ලබා ගන්නවා. මෙය දිගටම චක්‍රයක් ලෙස සිදු වෙනවා. වෘත්තීය සමිති නායකයින් බිලී බා ගැනීම වගේ දේවල් වෙන්නෙත් මේ වගේ පසුබිමක.

අතරමැදි විසඳුම් විදිහට ශ්‍රමිකයන්ට සංවිධානය වී වෘත්තීය ක්‍රියාමාර්ග ගත හැකි වුවත් ඒ මගින් ඔවුන්ගේ ප්‍රශ්නයට හේතු වී තිබෙන ආකෘතිමය ගැටළුව විසඳෙන්නේ නැහැ. මේ ප්‍රශ්නයට දිගුකාලීන විසඳුමක් ලෙස යෝජනා වූ මාක්ස්වාදී විකල්පයත්  ප්‍රායෝගිකව අසාර්ථක වෙලා තිබෙනවා. එහෙත් ධනවාදී විකල්පය එලෙසම අසාර්ථක වී නැහැ. ඇස් ඇර බැලුවොත් පැහැදිලිව පෙනෙන පරිදි ශ්‍රමිකයන්ගේ ජිවන තත්ත්වය වඩාත්ම යහපත්ව පවතින්නේ වඩාත්ම ධනවාදී රටවලයි. එම රටවල නිරන්තර ශ්‍රමික අරගල සිදු වන්නේද නැහැ.

හේගලියානු අර්ථයෙන් ගත්තොත් වෙළඳපොළ ක්‍රියාකාරීත්වය තුළ ප්‍රාග්ධන හිමියන් විසින් තමන්ගේ ලාබ වැඩි කරගන්න කරන උත්සාහය තුළම එම ලාබ අහෝසි වී යාමේ යාන්ත්‍රනයද තිබෙනවා. නමුත්, මෙය සිදුවන්නේ ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර ගැටුමෙන් නෙමෙයි. ප්‍රාග්ධන හිමියන් අතරම සිදුවන ගැටුමෙන්. ඒක ඉක්මණින් වෙන්නනම් එක් අදියරකදී ප්‍රාග්ධන හිමියන්ට ශ්‍රමය "සූරාකන්න" ඉඩ දෙන්න වෙනවා. එයට බාධා වන තරමට මේ ක්‍රියාවලිය සිදු වන එක මන්දගාමී වෙනවා. එක පැත්තකින් බැලුවොත් මෙය අවසන් යහපත වෙනුවෙන් "වියදම් අධික" සමාජවාදී විප්ලවයක මිල ගෙවීම වැනිම අදහසක්. 

Monday, May 10, 2021

ශ්‍රමය සූරාකෑම වෙනුවෙන් සමාජවාදය!


ධනවාදයට විසඳුම් දිය නොහැකි, මාක්ස්වාදයට විසඳුම් දිය හැකි ප්‍රශ්න මොනවාද කියන එකට තවමත් කිසිවකුගෙන් කිසිම පිළිතුරක් ඉදිරිපත් වී නැහැ. මෙය විවෘත ප්‍රශ්නයක්. පෞද්ගලික ප්‍රාග්ධනය තිබියදී නොවිසඳෙන එහෙත් පෞද්ගලික ප්‍රාග්ධනයේ අයිතිය නැති කර ප්‍රාග්ධනයේ අයිතිය නිර්ධන පංති ආඥාදායකත්වයක ඒකාධිකාරයකට හෙවත් රාජ්‍ය ඒකාධිකාරයකට යටත් කළ විට විසඳෙන ගැටළුව කුමක්ද? එම ගැටලුව පෞද්ගලික ප්‍රාග්ධනය තිබියදී නොවිසඳන්නේ හා ප්‍රාග්ධනයේ රාජ්‍ය ඒකාධිකාරයක් යටතේ විසඳන්නේ කොහොමද? වැඩිය අවශ්‍ය නැහැ. පුළුවන් කෙනෙක් ඉන්නවානම් පළමුව එක ගැටලුවක් අරගෙන පැහැදිලි කරන්න.

කිසිවෙකු විසින් මේ ප්‍රශ්නයට පිළිතුරක් දෙන තුරු මාක්ස්වාදය පිළිබඳ මගේ විවේචනය දිගින් දිගටම ඇදගෙන යන එකේ තේරුමක් නැතත්, තවදුරටත් පැහැදිලි කළ යුතුම කරුණු කිහිපයක් තිබෙනවා. එයින් පසුව, අනෙක් "වාද" ගැනත් එකින් එක හෙමිහිට කතා කරමු. 

ආර්ථික තලයේදී මාක්ස්වාදය ධනවාදයෙන් වෙනස් වන ප්‍රධානම කරුණ මාක්ස්වාදය විසින් ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රතිලාභ ලැබීමේ අයිතිය ප්‍රතික්ෂේප කිරීමයි. මාක්ස් ජිවත් වූ කාලයේ ඔහු නිරීක්ෂණය කළ දේවල් මත පදනම්ව ඔහු තමන්ගේ න්‍යාය හරහා මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම ඉතාම ස්වභාවික දෙයක්. ඔහු ජිවත් වූ යුගයේ මා ජීවත් වූවානම් "ධනවාදයට විසඳුම් දිය නොහැකි, මාක්ස්වාදයට විසඳුම් දිය හැකි ප්‍රශ්න මොනවාද?" කියා මා අසන එකක් නැහැ. මාක්ස්වාදයට විසඳුම් දිය හැකි, එහෙත් ධනවාදයට විසඳුම් දිය නොහැකි සේ පෙනුණු ප්‍රශ්න ඒ යුගයේදී පෙනෙන්නට තිබුණා. 

එතැන් සිට අද දක්වා කැපී පෙනෙන ලෙස කාලය තුළ වෙනස් වී තිබෙන්නේ නිෂ්පාදන තාක්ෂනය මිස ධනවාදය නෙමෙයි. එයින් කියන්නේ ධනවාදයේ ස්වරූපය වෙනස් වී නැති බව නෙමෙයි. ධනවාදය කියා කියන්නේම නිෂ්පාදන තාක්ෂනය සමග නිරන්තරයෙන් වෙනස් වන දෙයක්. නිෂ්පාදන තාක්ෂනයේ ප්‍රගමනය කෙරෙහි ප්‍රාග්ධන හිමිකාරිත්වයේ සංයුතිය බලපෑමක් කරනවා. ප්‍රාග්ධන හිමිකාරිත්වයේ සංයුතිය කෙරෙහි පවතින ධනවාදයේ ස්වරූපය බලපෑමක් කරනවා. ධනවාදයේ ස්වරූපය නැවත නිෂ්පාදන තාක්ෂනය මත තීරණය වෙනවා. මෙය චක්‍රීය සම්බන්ධයක්. 

මෙයින් වෙනස්ව මාක්ස් ඇතුළු බොහෝ සමාජවාදීන් විසින් දකින්නේ රේඛීය සමාජ ප්‍රගමනයක්. එහි අවසානයේ මනෝරාජික කොමියුනිස්ට් සමාජයක් තිබෙනවා. මේ අදහස මට ප්‍රතික්ෂේප කරන්න බැහැ. එහෙත් මෙය අනිවාර්යතාවක් සේ දකින්න හේතු කිසිවක් මට පෙනෙන්නේ නැහැ. වෙනත් විකල්ප අනාගතයන් ගණනාවක්ද මට පෙනෙනවා. උදාහරණයක් විදිහට රොබෝලා විසින් මිනිසුන්ව මුළුමනින්ම විනාශ කර දමන හෝ සුරතල් සතුන් සේ නඩත්තු කරන අනාගතයක් හැදෙන්න බැරිකමක් නැහැ. අනාගතය නිශ්චිත ලෙස තීරණය වී ඇතැයි මම සිතන්නේ නැහැ. එය තීරණය වනු ඇත්තේ අද අප කරන දේවල් මතයි. ඇතැම් විට ගොඩක් පොඩි, සරල දේවල් නිසා වෙන්න පුළුවන්.

ධනවාදය විසින් යෝජනා කරන්නේ ප්‍රාග්ධන හිමියන්ට ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ හිමිවියයුතු බවයි. මේ හේතුව මත ප්‍රාග්ධන හිමියන් අනිවාර්යයෙන්ම එන්න එන්නම පෝසත් වෙනවාද? පැහැදිලිවම නැහැ.

ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ වලින් ප්‍රාග්ධන හිමියා විසින් පරිභෝජනය කරන කොටස අපි පැත්තකින්ම තියමු. ඒ කියන්නේ එම ප්‍රතිලාභ වලින් කිසිවක්ම පරිභෝජනය නොකරනවා කියා සිතමු. එසේ වුවද, ප්‍රාග්ධන හිමියකු විසින් උපයන ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ හේතුවෙන් ප්‍රාග්ධන හිමියාගේ ප්‍රාග්ධන සංචිත වර්ධනය වන්නේ නැහැ. එයට හේතුව නිෂ්පාදනයේදී ප්‍රාග්ධනය වැය වී අවසන් නොවන නමුත් යම් තරමකින් ක්ෂය වීමයි. කාලයක් මිරිස් අඹරද්දී මිරිස් ගලක් වුවත් ගෙවෙනවා. කාලයක් වී කොටද්දී ගල් වංගෙඩියක් වුනත් හෑරෙනවා. පරිගණක, ගොඩනැගිලි, මහා මාර්ග, රථ වාහන, පාලම්, යන්ත්‍ර සූත්‍ර යම් කාලයක් යද්දී තවදුරටත් ප්‍රයෝජනයට ගත නොහැකි තරමට ක්ෂය වී යනවා. දිගින් දිගටම වගා කරද්දී ඉඩම් නිසරු වෙනවා. 

මෙසේ ක්ෂය වන ප්‍රාග්ධනය ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ වලින් ප්‍රතිපූරණය නොවුනොත් වෙන්නේ ප්‍රාග්ධන හිමියාගේ ප්‍රාග්ධන සංචිත වර්ධනය වීම වෙනුවට ක්ෂය වීමයි. මේ කාරණයේදී ධනවාදය ප්‍රාග්ධන හිමියාගේ පැත්ත ගන්නේ නැහැ. ක්ෂය වී යන තමන්ගේ ප්‍රාග්ධන සංචිත නඩත්තු කළ හැකි හෝ වර්ධනය කරගත හැකි තරම් ප්‍රතිලාභ ලැබෙන තැන් සොයමින් ඒවා ආයෝජනය කිරීම ප්‍රාග්ධන හිමියෙකු විසින් නිරන්තරයෙන් කළ යුතු වැඩක්. එහිදී ප්‍රාග්ධන හිමියෙකුට තරඟ කරන්න වෙන්නේ ප්‍රධාන වශයෙන්ම අනෙකුත් ප්‍රාග්ධන හිමියන් සමඟයි. ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර තරඟයක් ඇති වන්නේත්, හෙට්ටු කිරීම් අවශ්‍ය වන්නේත්, වෙළඳපොළ තරඟය දුර්වල වී ඒකාධිකාර හැදුනු විටයි. 

මෙයින් වෙනස්ව මාක්ස්වාදය විසින් ප්‍රාග්ධනය ක්ෂය වීම කියන කාරණයේදී ඇත්තටම කරන්නේ ප්‍රාග්ධනයේ පැත්ත ගන්න එකයි. මාක්ස්වාදී බෙදීමකදී අතිරික්තය ගණන් බලන්නේම ප්‍රාග්ධනය ක්ෂය වීම ප්‍රතිපූරණය කිරීමෙන් පසුවයි. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය දිගින් දිගටම නඩත්තු කිරීම වැනි අවස්ථා වලදී වෙන්නේ ශ්‍රමයට එරෙහිව ප්‍රාග්ධනයේ පැත්ත ගැනීමක්. ශ්‍රමයේ කොටස අඩු වෙලා ප්‍රාග්ධනයේ කොටස වැඩි වෙනවානම් ප්‍රාග්ධන හිමියා ඒකීය පුද්ගලයෙකු නොවී රජය වුනා කියලා ශ්‍රමිකයාට යහපතක් වෙන්නේ නැහැ.

ධනවාදී ක්‍රමයකදී ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ ලෙස ලැබෙන්නේ ක්ෂය වන ප්‍රාග්ධනය පමණක්ද? ඇතැම් ප්‍රාග්ධන හිමියන්ට ධනවාදී ක්‍රමයකදී ක්ෂය වන ප්‍රාග්ධනය හෝ නොලැබෙන නමුත් සමස්තයක් ලෙස ප්‍රාග්ධන හිමියන්ට බොහෝ විට ක්ෂය වන ප්‍රාග්ධනයට වඩා වැඩි යමක් ලැබෙනවා. ඒ වගේම ධනවාදී ක්‍රමයකදී සාමාන්‍යයෙන් කාලයත් සමඟ රටක ප්‍රාග්ධන සංචිත වර්ධනය වීමක්ද සිදු වෙනවා. ඒ නිසා, ධනවාදී ක්‍රමයකදී ශ්‍රමිකයන්ට සාපේක්ෂ අවාසියක් සිදු වෙනවද?

සමාජවාදී ක්‍රමයකදී වුවත් ප්‍රායෝගිකව අතිරික්තයෙන් ප්‍රාග්ධනය වෙනුවෙන් වෙන් කෙරෙන කොටස ක්ෂය වන ප්‍රාග්ධනයට වඩා වැඩි කොටසක්. ඕනෑම සමාජවාදී රටක් තමන්ගේ ප්‍රාග්ධන සංචිත වැඩි කර ගැනීමටත්, අනාගතය ඉලක්ක කර ආයෝජනය කිරීමටත් පෙළඹෙනවා. මුලින්ම අභ්‍යාවකාශ තරණය වෙනුවෙන් ඇමරිකාවටත් වඩා විශාල ආයෝජන කළේ සෝවියට් දේශයයි. දැන් චීනය ගත්තත් ඔවුන්ගේ ප්‍රාග්ධන ආයෝජන ගොඩක් වැඩියි. සෑම වසරකම චීනය ප්‍රාග්ධනය වෙනුවෙන් වෙන් කරන කොටස ක්ෂය වන ප්‍රාග්ධනයට වඩා වැඩි කොටසක්.

මෙයින් පැහැදිලි වනු ඇත්තේ ධනවාදය හා සමාජවාදය අතර මූලධාර්මික වෙනස්කම් කෙතෙක් වුවත් අවසාන වශයෙන් ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර නිෂ්පාදන අතිරික්තය ප්‍රායෝගිකව බෙදී යන ආකාරය පිළිබඳ වෙනස්කම් ඉතා සියුම් බවයි. ඒ නිසා, ධනවාදය යටතේ ප්‍රාග්ධනයට වාසි සැලසෙන බව හා සමාජවාදය යටතේ ශ්‍රමයට වාසි සැලසෙන බව වැනි කරුණු නිශ්චිතව ප්‍රකාශ කළ හැකි තර්කානුකූල පදනමක් අපට නැහැ. එවැනි වෙනස්කම් ඇත්දැයි අපට පරීක්ෂා කර බැලිය හැක්කේ අනුභූතික කරුණු මත පදනම්වයි.

අපි නැවතත් කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය වෙත යමු. 

Y = F(K,L) = AKαLß 

මෙහි α හා ß පරාමිතීන්ගෙන් පෙන්වන්නේ කිසියම් නිෂ්පාදනයක් සඳහා ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ දායකත්වය. ධනවාදී ක්‍රමයකදී ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර නිෂ්පාදන අතිරික්තය බෙදී යා හැකි සේ සැලකෙන්නේ α හා ß අතර අනුපාතයටයි. එහෙත්, ඇමරිකාව හෝ ජර්මනිය වැනි, සෛද්ධාන්තික පූර්ණ ධනවාදයන් නොවන එහෙත් ධනවාදයට වඩා බර රටක් ගත්තොත්, නිෂ්පාදන අතිරික්තය ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර මේ අනුපාතයටම බෙදී නොයනවා විය හැකියි. විශේෂයෙන්ම ප්‍රාග්ධන හිමියන් සතුව යම් ඒකාධිකාරයක් තිබීම හා ඒ මත පදනම්ව ප්‍රාග්ධනය වෙනුවෙන් එහි ආන්තික ප්‍රතිලාභ වලට වඩා වැඩි යමක් ලබා ගැනීම අපට එකවර බැහැර කරන්න බැහැ. 

මේ α හා ß කර්මාන්තය අනුව වෙනස් වෙනවා. සංචාරක සේවා සැපයීම වැනි කර්මාන්තයකට ශ්‍රමයේ දායකත්වය වැඩියි. දුම්රිය ප්‍රවාහනය වැනි කර්මාන්තයකට ප්‍රාග්ධනයේ දායකත්වය වැඩියි. ස්වයංකරණය වැඩි වන තරමට ශ්‍රමයේ දායකත්වයද අඩු වෙනවා. කෙසේ වුවත්, කිසියම් රටක් හා අදාළව අපට මේ පරාමිතීන්ගේ සාමාන්‍ය අගයක් රටේ එම අගයයන් සේ සලකන්න පුළුවන්. ලෝකයේ රටවල් අතර නිෂ්පාදන තාක්ෂනයන්හි මේ කරුණ හා අදාළ වන විශාල වෙනස්කම් නොමැති නිසා පුළුල් ආර්ථිකයන් ඇති රටවල් අතර α හා ß අගයයන්හි විශාල වෙනස්කම් තිබිය නොහැකියි.   

ඇමරිකාව, චීනය හෝ ඉන්දියාව වැනි රටක් ඉතාම පහසුවෙන් පුළුල් ආර්ථිකයක් ඇති රටක් සේ හඳුනාගත හැකියි. එහෙත්, තෙල් මත රැඳුණු මැද පෙරදිග රටවල් හා සංචාරක කර්මාන්තය මත රැඳුනු ඇතැම් කුඩා දූපත් රාජ්‍ය එසේ සැලකිය නොහැකියි. එවැනි රටවල α හා ß අගයයන් ආර්ථිකයේ ප්‍රමුඛ කර්මාන්තයේ එම අගයයන්ට සමීප වෙනවා. රටක නිෂ්පාදන ශ්‍රිතයේ α හා ß අගයයන් අපට හරියටම නිශ්චිතව මැන ගැනීම අසීරු වුවත්, නිෂ්පාදන අතිරික්තය ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර ඇත්තටම බෙදී යන විදිහ අපිට හරියටම හොයා ගන්න පුළුවන්. ධනවාදී රටවල් සමාජවාදී රටවල් වලට වඩා කොපමණ ශ්‍රමය සූරාකනවද කියා පරික්ෂා කර බලන්න පුළුවන් හොඳම විදිහ මේ සංඛ්‍යාලේඛණ පරීක්ෂා කරන එකයි. මතක තියා ගන්න අපි මේ පරික්ෂා කරන්නේ සමාජවාදීන්ට ගොඩක් වැදගත් දෙයක් මිසක් ධනවාදීන්ට එතරම් වැදගත් දෙයක් නෙමෙයි.

ලෝකයේ එක් එක් රටවල සමස්ත නිෂ්පාදන අතිරික්තය ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර බෙදී යන ආකාරය පහත වගුවේ තිබෙනවා. අවසන් තීරුවේ තිබෙන්නේ ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ අනුපාතිකය.


බොහෝ බටහිර රටවල ශ්‍රමය වෙනුවෙන් වෙන් කෙරෙන පංගුව ජාතික ආදායමෙන් 60%කට ආසන්නයි. ප්‍රාග්ධනය වෙනුවෙන් වෙන් වන කොටස 40%ක් පමණ.

ඇමරිකා එක්සත් ජනපදය - 59.4%

එක්සත් රාජධානිය - 59.1%

ප්‍රංශය - 62.2%

ජර්මනිය - 63.0%

ඕස්ට්‍රේලියාව - 58.2%

කැනඩාව - 65.3%

ඩෙන්මාර්කය - 62.5%

ෆින්ලන්තය - 59.2%

ස්වීඩනය - 54.9%

පෘතුගාලය - 58.8%

නවසීලන්තය - 55.7%


ජාතික ආදායම ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර බෙදී යන ප්‍රතිශතය අනුව බැලුවොත්, අපේ පාඨකයන් අතර සිටින ඇතැම් අයගේ පරමාදර්ශී රාජ්‍ය ආකෘතිය ක්‍රියාත්මක වන ස්කැන්ඩිනේවියන් රටවල් හා අනෙකුත් බටහිර රටවල් අතර වෙනසක් නැහැ. ඒ වගේම, රුසියාව, චීනය වගේ රටවල් වලත් ශ්‍රමය වෙනුවෙන් ලැබෙන කොටස 60%කට ආසන්නයි.

රුසියාව - 56.0%

චීනය - 57.4%


එහෙත්, ලංකාවේ දැකිය හැක්කේ මේ අනුපාතය කණපිට හැරී ඇති තත්ත්වයක්. 

ශ්‍රමය - 38.8%

ප්‍රාග්ධනය - 62.2%

මෙහෙම වෙන්නේ ලංකාවේ නිෂ්පාදන ශ්‍රිතය වෙනස් නිසාද? ප්‍රාග්ධනය වෙනුවෙන් මේ තරම් ඉහළ ප්‍රතිලාභ ලැබෙන වෙනත් රටවල් නැද්ද? 

නැත්තේ නැහැ. එවැනි තවත් රටවල් තිබෙනවා. මේ මැද පෙරදිග රටවල ශ්‍රමයේ පංගුව.

ඉරානය - 32.3%

ඉරාකය - 29.6%

කුවේට් - 24.5%

ඕමාන් - 30.3%

කටාර් - 17.3%

සවුදි අරාබිය - 28.1%

මේ රටවල පුළුල් ආර්ථිකයක් නැහැ. ආර්ථිකය ප්‍රධාන වශයෙන්ම දුවන්නේ තෙල් මත. ශ්‍රමය සපයන බොහෝ දෙනෙක් විදේශිකයෝ. ඒ අයට තමන්ගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය වෙනුවෙන් ප්‍රාග්ධනය සමඟ සටන් කරන්න බැහැ. ඔවුන්ට ලැබෙන්නේ ඔවුන්ගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවයට වඩා අඩු දෙයක් වුවත් තමන්ගේ රටවල රැකියා කර ඔවුන්ට ඒ මුදලවත් උපයන්න බැහැ. ඒ නිසා දෙන දෙයක් බාර ගන්න වෙනවා. සමස්තයක් ලෙස ශ්‍රමය වෙනුවෙන් අඩු කොටසක් වෙන් කෙරුණත් මේ රටවල් වල ස්වදේශිකයන්ට එයින් වාසියක් මිස පාඩුවක් නැහැ.

එහෙත් ලංකාවේ මෙවැනි තත්ත්වයක් නැහැ. ලංකාව ප්‍රාග්ධන මූලික නිෂ්පාදනයක යෙදෙන රටක් නෙමෙයි. එහෙමනම් ලංකාවේ ශ්‍රමයේ පංගුව මෙතරම් අඩු ඇයි? මේ තමයි අවුරුදු 73ක ලංකාවේ සමාජවාදී ප්‍රතිපත්ති වල අවසන් ප්‍රතිඵලය!

මැද පෙරදිග රටවල් තෙල් මත දුවන, පුළුල් පදනමක් නැති ආර්ථිකයන් වනවාට අමතරව බොහෝ දුරට ප්‍රජාතන්ත්‍රවාදී නොවන රාජ්‍ය ඒකාධිකාරයන්ද වෙනවා. මේ රටවල ප්‍රාග්ධන හිමිකාරිත්වය සම්බන්ධව තිබෙන්නේ සමාජවාදයෙන් යෝජනා කරන ආකාරයේ ඒකාධිකාරයක්. මැද පෙරදිග රටවල වගේම කවුරුවත් සමාජවාදී රටක් සේ හඳුන්වන්නේ නැති, එහෙත් සමාජවාදී ආකෘතියේම රටක් වන සිංගප්පූරුවේ ජාතික ආදායම ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර බෙදෙන්නේත් වෙනිසියුලාව වැනි සමාජවාදී රටක ජාතික ආදායම බෙදී යන විදිහටමයි. මේ රටවල් මේ කාරණයෙන් ලංකාවෙන් වෙනස් නැහැ. එම රටවල ශ්‍රමයේ පංගුව පහත දැක්වෙනවා.

වෙනිසියුලාව - 41.7%

සිංගප්පූරුව - 44.0%


විවිධ රටවල ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ අනුපාත දිහා බැලුවත් ලංකාවේදී ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ ගොඩක් වැඩියි කියන කරුණ කැපී පෙනෙනවා.

ඇමරිකා එක්සත් ජනපදය - 7.4%

එක්සත් රාජධානිය - 8.7%

ප්‍රංශය - 4.6%

ජර්මනිය - 5.0%

ඕස්ට්‍රේලියාව - 4.7%

කැනඩාව - 5.0%

ඩෙන්මාර්කය - 5.5%

ෆින්ලන්තය - 6.0%

ස්වීඩනය - 5.9%

පෘතුගාලය - 5.5%

නවසීලන්තය - 8.3%

රුසියාව - 2.3%

චීනය - 8.5%

වෙනිසියුලාව - 5.6%

සිංගප්පූරුව - 15.9%

ඉරානය - 8.0%

ඉරාකය - 12.5%

කුවේට් - 12.8%

ඕමාන් - 11.8%

කටාර් - 20.7%

සවුදි අරාබිය - 11.7%

ලංකාව - 22.7%

ගොඩක් අය හිතාගෙන ඉන්නේ ලංකාවේ මානව ප්‍රාග්ධන සංචිත වැඩි කරන්න කාලයක් තිස්සේ කරපු දේවල් වලින් ශ්‍රමිකයන්ගේ තත්ත්වය යහපත් වී ඇති බවයි. එහෙත් ඇත්තටම එයින් සිදු වී තිබෙන්නේත්, සිදු වෙමින් පවතින්නේත් එහි අනෙක් පැත්තයි. මානව ප්‍රාග්ධනය සුලභ වී ශ්‍රමය අතර තරඟය වැඩි වන තරමට එහි වාසිය ලැබෙන්නේ ප්‍රාග්ධනය හිමි සීමිත පිරිසටයි. ශ්‍රමය "සූරාකෑම" නැති වෙන්නේ ප්‍රාග්ධන හිමියන් වැඩි වී ඔවුන් අතර තරඟය තියුණු වන තරමටයි. 

කොමියුනිස්ට් පක්ෂ පාලනයක් යටතේ වුවත් චීනය මේ පාඩම ඉගෙන ගෙන හොඳින් ක්‍රියාත්මක කරනවා. එහෙත් සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින ලංකාවේ හැම දේශපාලන පක්ෂයක්ම වගේ දැන හෝ නොදැන කාලයක් තිස්සේ කරලා තියෙන්නේත්, තවමත් කරමින් ඉන්නේත්, ශ්‍රමයට එරෙහිව ප්‍රාග්ධනය වෙනුවෙන් සේවය කරන එකයි.

Monday, May 25, 2020

සහල් මාෆියාව හඹා යමු!


මේ දවස් වල ලංකාවේ ආණ්ඩුව ආර්ථික කළමනාකරණය හා අදාළ අවුල් ජාලයක පැටලී ඉන්නවා. එක අවුලක් ලෙහන්න ගිහින් තවත් අවුල් ගණනාවක් හදා ගන්නවා. සහල් වෙළඳපොළ සම්බන්ධව දැනට ආණ්ඩුව පැටලී ඉන්න අවුලත් ඒ අවුල් ජාලයේම කොටසක්.

මතු පිටින් පේන්න තිබෙන පරිදි ඩඩ්ලි සිරිසේන හා ආණ්ඩුව අතර අවුලක් තිබෙනවා. ඒ අවුල ගැන කතා කිරීමට කාලය යොදවන්න මම කැමති නැහැ. එය තේරුමක් නැති දෙයක්. මේ අය කොහොමටත් එකම කණ්ඩායමක සාමාජිකයෝ. එළියට පේන්න තිබෙන අවුල තව ටික දවසකින් ඇතුළෙම විසඳිලා තියෙයි. (ලිපියේ මේ කොටස ලිවුවේ ඊයේ. මේ වන විටත් අවුල ලෙහිලා බව පෙනෙනවා!). නමුත්, අවුලට පාදක වී තිබෙන ලංකාවේ ආර්ථික ව්‍යුහයේ මූලික ආකෘතිමය ප්‍රශ්නය ඒ විදිහටම තියෙයි. මම අවධානය යොමු කරන්න කැමති ඒ මූලික ආකෘතිමය ප්‍රශ්නයටයි.

මේ ගැන කතා කරන්න කලින් පැහැදිලි කළ යුතු වෙනත් අවශේෂ කරුණු රාශියක් තිබෙනවා. ඒ හැම එකක්ම පැහැදිලි කරන්න තව ලිපි විසිපහක් තිහක් ලියන්න වෙයි. ඒ වැඩේට මාසයක් විතර යයි. ඒ නිසා, අපි ටිකක් ෆාස්ට් ෆෝර්වර්ඩ් කරමු. ඔය ෆාස්ට් ෆෝර්වර්ඩ් කියන වචනය අපේ තරුණ කාලයේ කැසට් යුගයේ වචනයක්. කැසට් යුගයට පසුව ඉපදුණු තරුණ අයට වචනය නුහුරු ඇති. හුරු වුනත් සමහර විට ඇඟට දැනෙන්නේ නැතුව ඇති.

කොහොමටත් මේ බ්ලොග් එකේ ලිපි ලියැවෙන්නේ වනකතා ස්ටයිල් එකට. එහෙමත් නැත්නම් කථා සරිත් සාගරයේ ස්ටයිල් එකට. හැබැයි ගොඩක් වෙලාවට අළුතෙන් අරින වරහන් වහන්න වෙන්නේ නැහැ. පරිගණක ක්‍රමලේඛන භාෂාවෙන් කියනවානම් පුනරාවර්තිතව නීඩායානය කරමින් (recursive nesting) යනවා මිසක් එළියට ඒමක් නැහැ. කෘෂිකර්මයට ආවේ කෝවිඩ් හා අදාළ වැදගත් කරුණු ටිකක් කතා කරන්න අවශ්‍ය මූලික ප්‍රවේශයක් විදිහටයි. දැන් යන්නේ වෙනම පැත්තකට. ඒකට කමක් නැහැ. මේ හැම දෙයක්ම වැදගත්නේ.

ප්‍රශ්නයක් ගැන කතා කරන්න කලින් කළ යුතු පළමු දෙය ප්‍රශ්නය නිවැරදිව හඳුනාගන්නා එකයි. ඇතැම් විට ලොකුවට දැඟලුවවාට විසඳුම් හොයන්න අවශ්‍ය ප්‍රශ්නයක් නැති වෙන අවස්ථාත් තිබෙනවා.

දැන් සිදු වෙමින් තිබෙන්නේ ආණ්ඩුව විසින් සහල් වලට පාලන මිලක් නියම කිරීමත්, ඒ මිලට සහල් සපයන්න මෝල් හිමියන් එකඟ නොවීමත් පිළිබඳ ප්‍රශ්නයක්. ප්‍රශ්නය ඇති වෙලා තිබෙන්නේම පාලන මිලක් නියම කිරීම තුළයි. පාලන මිලක් නැත්නම් මෙවැනි ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ. එහෙමනම් ආණ්ඩුව විසින් සහල් වලට පාලන මිලක් නියම කර තිබෙන්නේ ඇයි?

පාලන මිලක් නොතිබුණානම් සහල් මිල වෙළඳපොළ තුළ තීරණය වෙනවා. කවර හෝ හේතුවක් නිසා වෙළඳපොළ සමතුලිත මිල නියම මිල නොවන බව ආණ්ඩුව විසින් තීරණය කර වෙනත් නිශ්චිත මිලක් නියම කර තිබෙනවා. ඒ මිල සමඟ මෝල් හිමියන් එකඟ නැහැ. ඒ නිසා ආණ්ඩුව සහ මෝල් හිමියන් අතර ගැටුමක් ඇති වී තිබෙනවා. වෙළඳපොළේ සහල් හිඟයක් ඇති වී තිබෙනවා.

ඉතා පැහැදිලි ලෙසම වෙළඳපොළේ සහල් හිඟයක් ඇති වීම ප්‍රශ්නයක්. විසඳුමක් අවශ්‍ය ප්‍රශ්නයක්. පාලන මිල ඉවත් කළ වහාම ඒ ප්‍රශ්නය විසඳෙනවා. එහෙත්, පාලන මිලක් දැමීමට ආණ්ඩුව පෙළඹුණු කවර හෝ ප්‍රශ්නය එවිට නැවත ඇති වෙනවා. ඒ ප්‍රශ්නය කුමක්ද?

මෙය ආණ්ඩුව විසින් හඳුනාගෙන තිබෙන ප්‍රශ්නයක්. ආණ්ඩුවට අනුව වී මෝල් හිමියන් විසින් ඒකාධිකාරයක් පවත්වා ගනිමින් සහල් මිලට බලපෑම් කරනවා. ඒ නිසා, වෙළඳපොළ මිල නියම මිල නෙමෙයි. වෙළඳපොළ මිල නියම මිල නොවන නිසා ආණ්ඩුවට අනුව ආණ්ඩුව විසින් වෙළඳපොළ මිලට මැදිහත්වීමක් කළ යුතුයි.

දැන් අපිට ආණ්ඩුව දකින ප්‍රශ්නය විශ්ලේෂණය කරන්න පොටක් පෑදී තිබෙනවා.

- ආණ්ඩුව කියන පරිදි මෝල් හිමියන් විසින් ඒකාධිකාරයක් පවත්වා ගනිමින් සහල් මිලට බලපෑම් කරනවාද?
- එවැන්නක් සිදුවනවානම් එය රජය මැදිහත් වී වෙනස් කළ යුතු තත්ත්වයක්ද?

පළමු ප්‍රශ්නයෙන් පටන් ගනිමු. එහෙම කිවුවත් මේ ප්‍රශ්න දෙක එකිනෙකට ගැට ගැසී ඇති නිසා එකක් වෙනම ගලවලා ගන්නත් අමාරුයි.

සහල් මිල අවසාන වශයෙන් තීරණය කරන්නේ පාරිභෝගිකයා විසින්. ආනයනික සහල් සැපයුම හා වී අලෙවි මණ්ඩලය හරහා රජයේ මැදිහත් වීම පැත්තකින් තිබ්බොත් පාරිභෝගිකයා වෙත සහල් සැපයෙන සැපයුම් දාම ක්‍රියාවලිය මේ විදිහයි.

දේශීය වී නිෂ්පාදකයා -> වී එකතු කරන්නා/තැරැව්කරුවා  ->  මෝල් හිමියා -> තොග වෙළෙන්දා -> සිල්ලර වෙළෙන්දා -> පාරිභෝගිකයා

මෙතැනින් එහාට යන්න කලින් අපිට ඒකාධිකාරයක් කියන්නේ මොකක්ද කියා පැහැදිලි කර ගන්න වෙනවා. ඒ සඳහා, පළමුව තරඟකාරී වෙළඳපොළක් කියන්නේ කුමක්ද කියන තැනින් පටන් ගන්න වෙනවා.

නිදහස් වෙළඳාමට ඉඩ දුන් පමණින් හැම විටම තරඟකාරී වෙළඳපොළක් හැදෙන්නේ නැහැ. එය තීරණය කෙරෙන වෙනත් සාධක ගණනාවක් තිබෙනවා. ඇතැම් තත්ත්වයන් යටතේ ස්වභාවිකවම හැදෙන්නේ ඒකාධිකාරයක් වෙන්න පුළුවන්. ඒකාධිකාරම නැතත් බොහෝ විට ඒකාධිකාරයක් හා තරඟකාරී වෙළඳපොළක් අතර අතරමැදි තත්ත්වයන් හැදෙනවා.

තරඟකාරී වෙළඳපොළක මූලික ලක්ෂණ කිහිපයක් තිබෙනවා.
- කිසිදු තනි මිල දී ගන්නෙකුට (තනි පාරිභෝගිකයෙකුට) වෙළඳපොල මිලට බලපෑම් කිරීමේ හැකියාවක් නැහැ. තිබෙන මිල  වාසිදායකනම් මිල දී ගන්න පුළුවන්. නැත්නම් මිල දී නොගෙන ඉන්න පුළුවන්. එච්චරයි.
- කිසිදු තනි විකුණන්නෙකුටත් (තනි නිෂ්පාදකයෙකුටත්) වෙළඳපොල මිලට බලපෑම් කිරීමේ හැකියාවක් නැහැ. තිබෙන මිල  වාසිදායකනම් විකුණන්න  පුළුවන්. නැත්නම් නොවිකුණා ඉන්න පුළුවන්. එච්චරයි.

වෙළඳපොළ මිලට කිසිදු නිෂ්පාදකයෙකු හෝ පාරිභෝගිකයෙකු විසින් බලපෑම් කරන්නේ නැත්නම් මිල තීරණය වෙන්නේ කොහොමද?

තනි පුද්ගලයෙකුට මිල තීරණය කරන්න බැරි වුනත් සියලුම නිෂ්පාදකයින් හා පාරිභෝගිකයින් විසින් තනි තනිව සිතා ගන්නා තීරණ වල ප්‍රතිඵලයක් ලෙස වෙළඳපොල මිල තීරණය වෙනවා. මෙය සිදුවන ආකාරය පිළිබඳ වැඩි පැහැදිලි කිරීම් අවශ්‍යනම් එය වෙනම කරන්නම්. දැනට අපි ඉදිරියට යමු.

මේ කියපු විදිහේ තරඟකාරී වෙළඳපොළක් ඇති වෙන්නනම් ඇතැම් මූලික කරුණු කිහිපයක් ඉටු විය යුතුයි. ඒ කරුණු බොහෝ දුරට නිෂ්පාදන තාක්ෂනය හා සම්බන්ධයි.

- විශාල පාරිභෝගිකයින් පිරිසක් සිටිය යුතුයි. එයින් කිසිදු පාරිභෝගිකයෙකුට වෙළඳපොළට බලපෑමක් වන තරම් විශාල මිල දී ගැනීමක් කිරීමේ අවශ්‍යතාවයක් නැති විය යුතුයි.
- විශාල නිෂ්පාදකයින් පිරිසක් සිටිය යුතුයි. එයින් කිසිදු අයෙකු වෙළඳපොළට බලපෑමක් වන තරම් විශාල නිෂ්පාදනයක් නොකරන්නේ විය යුතුයි.
- කැමති ඕනෑම පුද්ගලයෙකුට ඉතා කෙටි කලක් තුළ නිෂ්පාදකයෙක් වීමට නෛසර්ගික බාධාවක් නොතිබිය යුතුයි.
- කැමති ඕනෑම නිෂ්පාදකයෙකුට වහාම නිෂ්පාදනයෙන් ඉවත් වීමට බාධාවක් නොතිබිය යුතුයි.

දැන් මේ වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙන්නේ මේ විදිහටයි. කිසියම් බාහිර හේතුවක් නිසා ඉල්ලුම අඩු වුනොත්, සැපයුම් අතිරික්තයක් ඇති වෙනවා. එවිට අදාළ භාණ්ඩය විකුණා ගැනීම අසීරු වෙද්දී තරඟය නිසා මිල පහත වැටෙනවා. වඩා කාර්යක්ෂම සැපයුම්කරුවන්ට මෙය විශාල ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔවුන්ට ඒ අඩු වූ මිල යටතේත් ලාබ තියෙනවා. එහෙත්, අකාර්යක්ෂම නිෂ්පාදකයින්ට මේ අඩු වූ මිලට භාණ්ඩ සපයා ලාබ ගන්න බැහැ. ඔවුන්ට කර්මාන්තයෙන් ඉවත් වෙන්න වෙනවා. එවිට සැපයුම පහළ ගිහින් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. මිල ස්ථාවර වෙනවා.

කිසියම් බාහිර හේතුවක් නිසා ඉල්ලුම වැඩි වුනොත් මෙහි අනිත් පැත්ත වෙනවා. භාණ්ඩ හිඟයක් ඇති වී මිල ඉහළ යනවා. ඉහළ ගිය මිල යටතේ දැනට ඉන්න නිෂ්පාදකයින් තරමටම කාර්යක්ෂම නැති අයටත් ලාබ ලැබීමේ අවස්ථාව හිමි වෙනවා. ඒ නිසා, අලුත් නිෂ්පාදකයින් බිහි වී සැපයුම ඉහළ යනවා. එවිට ඉල්ලුම හා සැපයුම සමතුලිත වී මිල ස්ථාවර වෙනවා.

නිදහස් වෙළඳාමට බාධාවක් නොතිබුණත් හැම විටම තරඟකාරී වෙළඳපොළක් බිහි නොවන බව මම කිවුවනේ. එයට විවිධ හේතු තිබෙනවා. නිෂ්පාදන තාක්ෂනය ගොඩක් සංකීර්ණ වීම එක් බාධාවක්. ලාබ ලැබීමේ අවස්ථාවක් තිබුණත් තාක්ෂනය ළඟ නැත්නම් අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න විදිහක් නැහැනේ. ඒ නිසා, නිෂ්පාදන තාක්ෂනය සරල වූ තරමට තරඟකාරී වෙළඳපොළක් බිහි වීමට තිබෙන ඉඩකඩ ඉහළ යනවා. නිෂ්පාදනය ආරම්භ කිරීමට විශාල මූලික ප්‍රාග්ධනයක් අවශ්‍ය වීම තවත් බාධාවක්. ඔය වගේ තවත් නෛසර්ගික බාධා තිබෙනවා.

මේ වගේ නෛසර්ගික බාධා ඇති විට, එහෙම නැත්නම් රාජ්‍ය මැදිහත්වීම් වල ප්‍රතිඵලයක් ලෙස ඇති වන කෘතීම බාධා හේතුවෙන්, ඒකාධිකාර හෝ ඒකාධිකාර හා තරඟකාරී වෙළඳපොළක් අතර අතරමැදි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මේ වගේ අවස්ථාවකදී වුවත් ගනුදෙනු සිදු වෙන්නේ නිදහසේ නිසා එහි පාර්ශ්ව දෙකෙන් එකකටවත් පාඩුවක් වෙන්නේ නැහැ. එහෙත්, එක් පාර්ශ්වයට අනෙක් පාර්ශ්වයේ ලාබය අඩු කර තමන්ගේ ලාබය වැඩි කර ගන්න පුලුවන්. මෙය සිදු වන්නේ එක් පාර්ශ්වයකට වෙළඳපොල මිලට බලපෑමක් කිරීමේ හැකියාවක් ලැබීම මතයි.

බොහෝ විට මෙසේ වෙළඳපොළ මිලට බලපෑමක් කිරීමේ හැකියාව ලැබෙන්නේ සැපයුම්කරුටයි. එය තනි පුද්ගලයෙකුට හිමි වූ විට ඒකාධිකාරයක් ලෙස හැඳින්වෙනවා. මෙහි අනෙක් පැත්ත, එනම් තනි පාරිභෝගිකයෙකුට මිල තීරණය කිරීමේ හැකියාවක් ලැබීම ක්‍රයෛකාධිකාරයක් ලෙස හැඳින්වෙනවා.

දැන් අපි නැවත සහල් වෙළෙඳපොළේ සැපයුම් දාම ක්‍රියාවලිය වෙත අවධානය යොමු කළොත් එහි අන්ත දෙකේම ඉන්නේ වෙළඳපොල මිල තීරණය කිරීමේ හැකියාවක් නැති අයයි. ඉතා කලාතුරකින් හැර තනි සහල් පාරිභෝගිකයෙකුට මිල හෙට්ටු කිරීමේ හැකියාවක් නැහැ. වී ගොවියන් බොහෝ දෙනෙකු සම්බන්ධව තත්ත්වයත් එවැන්නක්. ලංකාවේ වී ගොවියන්ගෙන් 95%ක් සතුවම තිබෙන්නේ කුඹුරු අක්කර පහකට අඩු ප්‍රමාණයක්. කුඹුරක සාමාන්‍ය ප්‍රමාණය අක්කර දෙකයි. මේ අයට වෙළඳපොළ මිලට වී විකුණනු මිස මිලට බලපෑම් කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා, අපට අවධානය යොමු කරන්න වෙන්නේ සැපයුම් දාමයේ මැද කොටස් වෙතයි.

සැපයුම් දාමයේ පාරිභෝගිකයාට කලින් ඉන්නේ සිල්ලර වෙළෙන්දා. මේ සිල්ලර වෙළෙන්දා බොහෝ විට සුළු හෝ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෙක්. සමහර වෙලාවට සුපිරි වෙළඳසැල් දාමයක වෙළඳසැලක් වෙන්නත් පුළුවන්. ඒත් සුපිරි වෙළඳසැල් වලට තවමත් ලංකාවේ ඒකාධිකාරී බලයක් නැහැ. එක පැත්තකින් සුපිරි වෙළඳසැල් අතරම පවතින තරඟය. අනෙක් පැත්තෙන් සම්ප්‍රදායික සිල්ලර වෙළෙන්දෝ. ඒ නිසා, පාරිභෝගිකයෙකු විසින් සිල්ලර වෙළෙන්දෙක් එක්ක කරන ගනුදෙනුවේදී පාරිභෝගිකයාට විශාල තේරීමක් තිබෙනවා. සිල්ලර වෙළෙන්දාට හිතු මනාපෙට මිලට බලපෑම් කරන්න බැහැ.

අනෙක් කොනේ දේශීය වී නිෂ්පාදකයාට පසුව හමුවෙන වී එකතු කරන්නා හෝ තැරැව්කරුවා මේ සැපයුම් දාමයේ අනිවාර්ය පුරුකක් නෙමෙයි. ඔහු බොහෝ විට වී මෝල් හිමියෙකුගේ නියෝජිතයෙක්. එහෙම නැත්නම් ඔය වී වවන පැත්තක රැකියාව කරන රජයේ සේවකයෙක් වගේ කෙනෙක්. මේ පුද්ගලයා විසින් කරන්නේ වී ගොවියාගෙන් වී ටික මිල දී ගෙන පසුව කීයක් හෝ තියාගෙන මෝල් හිමියාට විකුණන එකයි. ඇතැම් විට වැඩේට යොදවන්නේ වී මෝල් හිමියාගේම සල්ලි.

සාමාන්‍යයෙන් මේ වී එකතු කරන්නා හෝ තැරැව්කරුවා වී මිල දී ගන්නේ අස්වැන්න කැපෙන්න කලින්. අස්වැන්න කැපෙන කොට අනික් පැත්තට විකුණලා දමනවා. ඒ නිසා වී ගබඩා කර ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම ගබඩා කර ගන්නා අයත් ගොඩක් වෙලාවට තමන්ගේම ගෙදර කොටසක ටික කලකට වී ටික ගබඩා කර ගන්නවා මිසක් ඔය වැඩේට කියලා මුදල් ආයෝජනය කරලා වී ගබඩා හදන්නේ නැහැ.

මේ විදිහට කලින්ම වී ටික විකුණන එකෙන් වී ගොවියාට වාසි දෙකක් ලැබෙනවා. පළමුව කලින් අතට මුදලක් ලැබෙන එක. හැබැයි මේ විදිහට බොහෝ විට ලැබෙන්නේ අත්තිකාරම් මුදලක් පමණයි. දෙවැන්න වී අස්වැන්න ලැබෙන විට මිල පහළ වැටී තිබීමේ අවදානමෙන් ආරක්ෂා වීම. ඒ අතින් මෙය ඉදිරි සුරැකුම් ගිවිසුමක් වගේ. වී එකතු කරන්නා හෝ තැරැව්කරුවා විසින් උපයන ලාබය මේ වෙනුවෙන් වී ගොවියා විසින් ගෙවන මිලක් කියා කියන්න පුළුවන්.

මේ වැඩේ සංකීර්ණ වැඩක් නොවනවාක් මෙන්ම බොහෝ දෙනෙක් විසින් කරන වැඩක්. වැඩේ කරන මිනිස්සු ලොකු ධනවතුන් නෙමෙයි. ඒ වගේම වැඩේ පාඩුනම් වී ගොවියා කෙළින්ම වී මෝල් හිමියා වෙත යනවා මිසක් අතරමැදියෙකු හරහා යන්නේ නැහැ.

දැන් ඉතිරි වෙලා ඉන්නේ තොග වෙළෙන්දා සහ වී මෝල් හිමියා. මේ තොග වෙළෙන්දා බොහෝ විට අවට කඩ විස්සකට තිහකට තොග සපයන ප්‍රාදේශීය නගරයක තිබෙන වෙළඳසැලක්. බොහෝ විට සෘජුවම සිල්ලර වෙළඳාමේත් යෙදෙනවා. පාරිභෝගිකයා කෙළින්ම සිල්ලර වෙළෙන්දා වෙත නොඑන්නේ සිල්ලර වෙළෙන්දා විකුණන මිල තොග වෙළෙන්දාගේ මිලට වඩා ගොඩක් වැඩි නැති නිසයි. තොග වෙළෙන්දෙකුට තමන්ගේ ප්‍රදේශයේ කිසියම් ඒකාධිකාරී බලයක් තියෙන්න පුළුවන්. එහෙත් ලංකාවම ගත්තහම මේ කියන මට්ටමේ තොග වෙළෙන්දෝ විශාල පිරිසක් ඉන්න නිසා එක් අයෙකුට සමස්ත වෙළඳපොල තුළ කළ හැකි විශාල බලපෑමක් නැහැ. සහල් වෙළඳපොළේ තොග වෙළෙන්දාගේ භූමිකාව එතරම් විවේචනයට ලක් වෙලත් නැහැ. ඒ නිසා අපි එයාවත් පැත්තකින් තියමු.

දැන් ඉතිරි වී ඉන්නේ වී මෝල් හිමියා. වී මෝල් හිමියා විසින් මේ සැපයුම් දාමය ඇතුලෙ කරන කටයුතු කිහිපයක්ම තිබෙනවා. පළමුව, කෙළින්ම ගොවියාගෙන් හෝ අතරමැදියෙකු හරහා වී මිල දී ගැනීම. මේ වෙනුවෙන් සැලකිය යුතු මුදල් ආයෝජනයක් කළ යුතුයි. දෙවනුව, මේ මිල දී ගන්නා වී සුරක්ෂිතව ගබඩා කර තබා ගැනීම. ඒ වෙනුවෙන් සැලකිය යුතු මූලික ආයෝජනයක් කළ යුතුයි. තෙවනුව, වී සහල් බවට පත් කිරීම. මේ වැඩේට සැලකිය යුතු මූලික ප්‍රාග්ධනයක් අවශ්‍ය වනවාක් මෙන්ම සැලකිය යුතු විචල්‍ය පිරිවැයක්ද දරන්න වෙනවා. අවසාන වශයෙන්, සහල් තොග වෙළෙන්දන් වෙත ප්‍රවාහනය කිරීම. බොහෝ දුරට මෙහි තිබෙන්නේ විචල්‍ය පිරිවැයක්.

ඉහත කී කාර්යයන් කරන වී මෝල් හිමියන් විශාල පිරිසක් ලංකාවේ ඉන්නවා. එහෙත්, ඒ අය අතරින් බොහෝ දෙනෙක් සුළු හෝ මධ්‍යම පරිමාණ වී මෝල් හිමියෝ. සහල් මාෆියාවක් පවත්වා ගෙන යන බවට චෝදනා එල්ල වී තිබෙන්නේ වී මෝල් හිමියන් අතර සිටින මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිප දෙනෙකුටයි.

සහල් මෝල් ව්‍යාපාරය තුළ කෙතරම් පිරිසක් සිටියත් ඒ අතරින් හතර පස් දෙනෙක්ගේ පංගුව ගොඩක් විශාලයි. නිශ්චිත සංඛ්‍යලේඛන නැතත් මේ කරුණ පිළිබඳ පොදු එකඟතාවයක් තිබෙනවා. මේ මොහොතේ වත්මන් ආණ්ඩුව සහල් මාෆියාවක් ගැන කතා කරනවා. මීට පෙර වරින් වර දැන් විපක්ෂයේ ඉන්න එජාප හා ජවිපෙ විසින්ද මේ සහල් මාෆියාව ගැන කතා කරලා තිබෙනවා. ඒ නිසා, මේ කරුණ ලංකාවේ පක්ෂ දේශපාලනයට පිටින් තිබෙන දෙයක් කියා නිගමනය කරන්න පුළුවන්.

මා කලින් විස්තර කළ පරිදි, තරඟකාරී වෙළඳපොළකින් වෙනස්ව, ඒකාධිකාරයක් ඇති තැනක සැපයුම්කරුට වෙළඳපොළ මිලට තමන්ගේ අභිමතය පරිදි බලපෑම් කළ හැකියි. එයින් කියන්නේ සැපයුම්කරුට අසීමිත ලෙස මිල ඉහළ දමමින් තමන්ගේ ලාබ වැඩි කර ගත හැකි බව නෙමෙයි. ඒකාධිකාරයක් ඇති විට පවා ඉල්ලුම් සාධක නොසලකා හැර මිල ඉහළ දමන්න බැහැ. එහෙත්, ඒකාධිකාරයක් ඇති සැපයුම්කරුවෙකුට තරඟකාරී වෙළඳපොලක සැපයුම්කරුවෙකු විසින් උපයන "සාමාන්‍ය ලාභය" ඉක්මවන "සුපිරි ලාබයක්" ලැබීමේ හැකියාව තිබෙනවා.

මේ විදිහට සුපිරි ලාබ ලැබීමේ හැකියාවක් ලැබෙන්නේ ඒකාධිකාරයක් ඇති විට පමණයි. ඒ කියන්නේ එකම එක සැපයුම්කරුවෙක් පමණක් සිටින විට. සහල් මෝල් කර්මාන්තයේ එවැනි තත්ත්වයක් නැහැ. කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් ටික පැත්තකින් තිබ්බත් මහා පරිමාණ සහල් මෝල් හිමියන් හතර පස් දෙනෙක්වත් ඉන්නවා. මේ වගේ තත්ත්වයක් කතිපයාධිකාරී වෙළඳපොළ තත්ත්වයක් ලෙස හඳුන්වනවා.

කතිපයාධිකාරී වෙළඳපොළ තත්ත්වයක් ඇති විට අවසන් සමතුලිතතාවය තීරණය වන්නේ මේ සීමිත පිරිස අතර තිබෙන තරඟයේ ප්‍රමාණය අනුවයි. සැපයුම්කරුවන් දෙදෙනෙකු පමණක් සිටියත් ඒ දෙදෙනා ඉතා ආක්‍රමනශීලී ලෙස එකිනෙකා සමඟ තරඟ කළොත් අවසන් ප්‍රතිඵලය තරඟකාරී වෙළඳපොලක සමතුලිතතාවයටම සමානයි. මෙහිදී වෙළඳ තරඟයේ වාසිය පාරිභෝගිකයාට මුළුමනින්ම ලැබෙනවා. විශාල සැපයුම්කරුවන් පිරිසක් නොසිටීම ප්‍රශ්නයක් නෙමෙයි. සැපයුම්කරුවන්ට සාමාන්‍ය ලාභ වලට අමතරව සුපිරි ලාභ කිසිවක් හිමි වන්නේ නැහැ.

මෙහි අනෙක් අන්තය ලෙස සැපයුම්කරුවන් දෙදෙනකු හෝ හත් අට දෙනෙකු තනි කණ්ඩායමක් හෙවත් කාටලයක් ලෙස කටයුතු කරන්න පුළුවන්. එහිදී ඔවුන් තමන්ගේ ගොඩ වැඩි කර ගැනීම සඳහා එකිනෙකා සමඟ තරඟ නොකර තම තමන්ගේ පංගු පිළිබඳ සම්මුතියකට එනවා. මෙය ලිඛිත හෝ වාචික ගිවිසුමක් නැතිව අවබෝධය මත සිදු වන දෙයක් වෙන්න පුළුවන්. එවැනි අවබෝධයක් ඇති වෙන්න හමු වී කතාබහ කරන්න අවශ්‍ය වන්නේත් නැහැ. දැන් ඔය විපක්ෂයේ ඉන්න කොට ආණ්ඩු පක්ෂයේ හොරකම් ගැන කොයි තරම් කතා කළත්, ආණ්ඩු මාරු වුනාට පස්සේ ඒවා පස්සේ පන්නලා දඬුවම් නොදෙන්නේ කතාබහ කරගෙන ඩීල් දමාගෙනම නෙමෙයිනේ. ඔය වගේ දේවල් වැඩිදුර නොගෙනියන එක තමන්ට වාසියි කියන අවබෝධය දෙපැත්තටම තිබෙනවා. මේකත් බොහෝ විට ඒ වගේ දෙයක්.

මේ ආකාරයේ කාටලයක් හැදුනු පසු සැපයුම්කරුවන් සියලු දෙනාම තනි ඒකකයක් ලෙස පාරිභෝගිකයාට එරෙහිව කටයුතු කරමින් තමන්ගේ ලාබ හැකි තරමින් වැඩි කරගන්නවා. අවසාන ප්‍රතිඵලය තනි සැපයුම්කරුවෙකු පමණක් සිටින විට ඇති වන තත්ත්වයට සමානයි.

මේ කතා කළ දෙවන තත්ත්වය වගේම මුලින් කිවූ පළමු තත්ත්වයත් කතිපයාධිකාරී වෙළඳපොලක ඇති විය හැකි නමුත් ඔය අන්ත දෙකෙන් එකකට යන්නේ ඉතා කලාතුරකින්. බොහෝ විට සැපයුම්කරුවන් අතර එකිනෙකා කෙරෙහි පරිපූර්ණ විශ්වාසයක් නැහැ. එවැනි විශ්වාසයක් මත කටයුතු කරගෙන යද්දී එක් අයෙකුට අනෙත් අයට වංචා කර තමන්ගේ ලාබ වැඩි කර ගන්න පුළුවන්. ඒ නිසා, පූර්ණ ඒකාධිකාරයක් ඇති වෙන්න කලින් බොහෝ විට සම්මුතිය බිඳ වැටෙනවා.

අනෙක් පැත්තෙන් බොහෝ විට සැපයුම්කරුවන් අතර පූර්ණ තරඟයක් ඇති වෙන්නේත් නැහැ. ටික දුරක් යද්දී දෙපැත්තම හති වැටෙනවා. අවසානයේදී පාරිභෝගිකයින්ට මිසක් තමන්ට යහපතක් නොසැලසෙන බව දෙපැත්තටම තේරුම් යනවා. එවිට තරඟය නැවතී සම්මුතියක් ඇති වෙනවා.

මෙය පැහැදිලි කරන්න අපි හාල් මෝල් කර්මාන්තයටම එමු. අපි හිතමු සැපයුම්කරුවන් දෙදෙනෙකු සිටියා කියා. මේ එක් අයෙකුට හාල් කිලෝවක් හදන්න යන අවම මිල රුපියල් 80යි කියා කියමු. ඒ කියන්නේ ඊට වඩා අඩු මිලකට ඔහු කොහොමටත් හාල් විකුණන්නේ නැහැ. අනෙක් මෝල් හිමියාගේ තත්ත්වයත් එයමයි.

දැන් පළමු මෝල්හිමියා රුපියල් 10ක ලාබයක් තියාගෙන රුපියල් 90 බැගින් සහල් විකුණනවා. දෙවැන්නාත් එයම කරනවා. පාරිභෝගිකයාට විකල්ප දෙකක් තිබෙනවා. දෙකේදීම මිල සමානයි. ගුණාත්මක භාවයේ කිසිදු වෙනසක් නැත්නම් පාරිභෝගිකයා විසින් අහඹු ලෙස කාගේ හෝ හාල් මිල දී ගන්නවා. හාල් ඉල්ලුම කිලෝ 100ක්නම් එක් අයෙකුගේ හාල් කිලෝ 50 බැගින් විකිණෙනවා. කිලෝවකින් ලාබය රුපියල් 10ක් නිසා රුපියල් 10x50 = 500ක ලාබයක් එක් මෝල් හිමියෙක්ට ලැබෙනවා.

මේ වගේ තත්ත්වයක් කිසියම් අලිඛිත එකඟතාවයක් ලෙස දිගු කාලයක් පවතින්න පුළුවන්. ඒ සඳහා මෝල් හිමියන් දෙන්නා යාලුවෝ වෙන්න අවශ්‍ය නැහැ. සමහර විට පෞද්ගලික ජීවිතයේ මරා ගන්න තරම් තරහක් තිබෙන දෙන්නෙක් අතර වුවත් මෙවැනි ව්‍යාපාරික එකඟතාවයක් ඇති වෙන්න පුළුවන්.

අපි හිතමු ඔහොම කාලයක් යද්දී පළමු සැපයුම්කරුගේ ව්‍යාපාරයේ පාලනය ඔහුගේ පුතාට යනවා. පුතා හොයා බලනවා ලාබ වැඩි කරගත හැකි ක්‍රමයක්. එක පාරටම මිල රුපියල් 89 දක්වා අඩු කළොත් මුළු වෙළඳපොළම තමන්ගේ බව ඔහුට තේරෙනවා. ඊට අමතරව මිල අඩු වෙද්දී ඉල්ලුමත් තරමක් ඉහළ යනවා. දැන් කිලෝවකින් ලාබය රුපියල් 9ක් පමණයි. කිලෝ 105ක් විකිණෙනවා. ඒ කියන්නේ රුපියල් 9x105 = 945ක ලාබයක්. කලින් ලාබය රුපියල් 500ක් පමණයි. තාත්තා අවුරුදු ගාණක් තිස්සේ මොනාද කරලා තියෙන්නේ?

මේ වැඩෙන් පළමු සැපයුම්කරුගේ ලාබය විශාල ලෙස ඉහළ ගියත් දෙවන සැපයුම්කරු නැත්තටම නැති වෙනවා. ඔහුට සතයක්වත් නැහැ. ඊළඟ වටයේදී ඔහු රිටර්න් එක දෙනවා. මිල රුපියල් 88 දක්වා අඩු කරනවා. හාල් කිලෝ 110ක් විකිණෙනවා. ලාබය රුපියල් 8x110 = 880ක්. දැන් පළමුවැන්නා හාන්සි. පළමු වටයේදී රුපියල් 445ක් වැඩියෙන් ලැබුණත් දෙවන වටයේදී තිබුණු 500ත් නැති වෙලා. එහෙමයි කියලා වැඩේ අතාරින්නත් බැහැ. ඔහු මිල තවත් අඩු කරනවා.

ඔය වැඩේ දිගින් දිගටම වෙනවා. දෙන්නාම දැඩි ආක්‍රමණශීලී ස්ථාවරයක හිටියොත් අන්තිමට තරඟය නවතින්නේ මිල රුපියල් 80 මට්ටමට වැටුණු පසුවයි. ඊටත් වඩා අඩුවෙන් හාල් විකුණන එක කොහොමටත් පාඩු නිසා කලින් වැඩේ නැවතුනේ නැත්නම් තරඟය එතනදී අනිවාර්යයෙන්ම නවතිනවා. අන්තිමට දෙන්නාටම ඉතිරි වෙන්නේ වෙළඳපොළේ මුලින් තිබුණු 50% පංගුවමයි. නමුත්, ආරම්භයේදී තිබුණු රුපියල් 10ක සුපිරි ලාබය දැන් නැහැ. දැන් තිබෙන්නේ පිරිවැය ආවරණය වන සාමාන්‍ය ලාබයක් පමණයි. තරඟකාරී වෙළඳපොළක තත්ත්වය.

අපි හිතමු ඔය වැඩේ වෙන විදිහකට වුනා කියලා. පළමු සැපයුම්කරුගේ පුතා ව්‍යාපාරයේ පාලනය බාර ගත් වහාම දෙවන සැපයුම්කරු හමු වී ඩීල් එකක් දමනවා. ඩීල් එක අනුව දෙන්නාම වෙළඳපොළට නිකුත් කරන සහල් ප්‍රමාණය කිලෝ 50 සිට 45 දක්වා අඩු කරනවා. දැන් වෙළඳපොළට එන්නේ සහල් කිලෝ 90ක් පමණයි. ඒ නිසා රුපියල් 90 සිට 92 දක්වා හාල් මිල ඉහළ යනවා. හාල් කිලෝවකින් ලාබය රුපියල් 12 දක්වා වැඩි වන නිසා විකිණෙන හාල් ප්‍රමාණය අඩු වුනා කියා පාඩුවක් නැහැ. දැන් එක් අයෙකුගේ ලාබය රුපියල් 12x45 = 540යි. දෙන්නාගේම ලාබ ඉහළ ගිහින්.

ඔය වැඩේ තවත් එහාට ගෙනියන්න පුළුවන්. අපි හිතමු සැපයුම කිලෝ 10කින් අඩු කළාම මිල රුපියල් 2කින් වැඩි වෙනවා කියලා. ඒ අනුව, සැපයුම කිලෝ 40x2 = 80ක් වූ විට මිල රුපියල් 94 වී කිලෝවකින් ලාබය රුපියල් 14 දක්වා ඉහළ යනවා. දැන් එක් අයෙකුගේ ලාබය රුපියල් 14x40 = රුපියල් 560ක්.

නමුත් ඔය වැඩේ දිගින් දිගටම කරන්න බැහැ. අපි හිතමු සැපයුම කිලෝ 30x2 = 60ක් දක්වා අඩු කළා කියා. සැපයුම කිලෝ 10කින් අඩු කරද්දී මිල රුපියල් 2 බැගින් වැඩි වී රුපියල් 8 කින්, ඒ කියන්නේ රුපියල් 98 දක්වා ඉහළ ගිහින්. හාල් කිලෝවකින් ලාබය රුපියල් 18ක්. එහෙත්, එක් අයෙකුගේ සමස්ත ලාබය රුපියල් 18x30 = 540ක් පමණයි. ඒ නිසා, මේ විදිහට එකඟතාවයක් ඇති වුනත් මිල යම් නිශ්චිත මට්ටමක් දක්වා වැඩි වී වැඩේ නවතිනවා. ඊටත් වඩා මිල වැඩි කරන එක සැපයුම්කරුවන්ට පාඩුයි. හැබැයි ඒ වෙද්දී පාරිභෝගිකයන්ගේ පැත්තෙන් බැලුවහම මිල ගොඩක් ඉහළ ගිහින්. සැපයුමත් ගොඩක් අඩු වෙලා.

ඔය ආකාරයේ වෙළඳපොල සම්මුති මගින් සැපයුම්කරුවන්ට විශාල සුපිරි ලාබ උපයන්න පුළුවන්. නමුත්, සැපයුම්කරුවන් එකිනෙකා අතර ඔය මට්ටමේ සම්මුතියක් පවත්වා ගත හැකි තරමට එකඟතාවයක් ගොඩ නැගෙන්නේ නැහැ. සැපයුම්කරුවන් වැඩි වන තරමට ඒ අයගෙන් එක්කෙනෙක් සම්මුතිය කඩන්න තිබෙන ඉඩ ඉහළ යනවා.

උදාහරණයක් විදිහට අපි හිතමු රුපියල් 90 මිලට කිලෝ 100ක ඉල්ලුම සැපයුම්කරුවන් පස් දෙනෙක් අතර බෙදී ගිහින් තිබුණා කියලා. එක් අයෙක් කිලෝ 20ක් සපයන නිසා එක් අයෙකුගේ ලාබය රුපියල් 10x20 = 200යි. කිලෝවක ලාබය රුපියල් 12 දක්වා වැඩි කර ගන්නනම් සැපයුම කිලෝ 90 මට්ටමට සීමා කළ යුතුයි. ඒ කියන්නේ එක් අයෙක් සැපයිය යුත්තේ කිලෝ 18ක් පමණයි. එවිට එක් අයෙකුගේ ලාබය රුපියල් 12x18 = 216 දක්වා ඉහළ යනවා.

හතර දෙනෙක්ම එකඟ වූ පරිදි කිලෝ 9 බැගින් වෙළඳපොළට දමද්දී පස් වැන්නා ඒ අඩුව හරියන්න කිලෝ 28ක්ම දැම්මොත් මොකද වෙන්නේ?

දැන් වෙළඳපොළට එන හාල් සැපයුම කිලෝ 18x4 + 28 = 100යි. ඒ කියන්නේ මුල් ප්‍රමාණයමයි. ඒ නිසා මිල රුපියල් 90මයි. කිලෝවකින් ලාබය කලින් ලැබුණු රුපියල් 10මයි. එකඟතාවය අනුව කටයුතු කළ එක් අයෙකුට දැන් ලැබෙන්නේ රුපියල් 180ක් පමණයි. රුපියල් 20ක් පාඩුයි. නමුත්, එකඟතාවය කඩපු සැපයුම්කරුගේ ලාබය රුපියල් 280ක් වෙලා. කලින් ලැබූ රුපියල් 200ක ලාබයට වඩා රුපියල් 80ක් ලාබයි. එකඟතාවය තුළ සිටියානම් ලැබෙන ලාබය වන රුපියල් 216ට වඩා රුපියල් 64ක් ලාබයි.

ගොඩක් වෙලාවට එක් සැපයුම්කරුවෙකු මිල එකඟතාවයකින් බැහැර වෙද්දී එය පහසුවෙන් නිරීක්ෂණය කරන්න පුළුවන් වුනත් සැපයුම සීමා කිරීමේ එකඟතාවයක් පිළිපදිනවාද නැද්ද කියන එක පහසුවෙන් නිරීක්ෂණය කරන්න අමාරුයි. කවුරු හෝ හොර කරලා බව තේරෙන්නේ හිතපු විදිහට මිල ඉහළ නොගිය විටයි. එයින් පසුවත් හොර කරපු කෙනා කවුද කියලා හරියටම දැන ගන්න අමාරුයි. මේ බව සියලු දෙනාම දන්නා නිසා කණ්ඩායමේ හැමෝම උත්සාහ කරන්නේ හොර කරන්නයි. ඒ නිසා, මේ ආකාරයේ සැපයුම කෘතීම ලෙස සීමා කර මිල ඉහළ යන්න ඇරීමෙන් ලාබ ලබන සම්මුති වලට වැඩි දුරක් යන්න බැහැ.

අනෙක් පැත්තෙන් සැපයුම්කරුවන් එකිනෙකා අතර ඇති වන තරඟත් අවසානය දක්වා යන්නේ නැහැ. වැඩෙන් හැමෝම අමාරුවේ වැටෙන බව කාටත් තේරෙන අවස්ථාවක් එනවා. එවිට සැපයුම්කරුවන් අතර තරඟය නවතිනවා.

මේ හේතු නිසා ලංකාවේ සහල් මෝල් ව්‍යපාරය වගේ කතිපයාධිකාරී වෙළඳපොලක සමතුලිතතාවය තරඟකාරී වෙළඳපොල අන්තය හා ඒකාධිකාර අන්තය අතර යම් තැනක නවතිනවා. ඒ කියන්නේ, මෝල් හිමියන්ට යම් ප්‍රමාණයක සුපිරි ලාබ උපයන්න අවස්ථාවක් සැලසෙනවා. නමුත්, ඒ සුපිරි ලාබ ඒකාධිකාරයක මට්ටමටම යන්නේ නැහැ.

ඊළඟ ප්‍රශ්නය රජය මැදිහත් වී මේ තත්ත්වය වෙනස් කළ යුතුද කියන එකයි. ඒ සඳහා, අපට කතිපයාධිකාරී වෙළඳපොලක් ඇති වී තිබෙන්නේත්, පවතින්නේත් ඇයි කියන එක විග්‍රහ කරගන්න වෙනවා. ඇතැම් විට කතිපයාධිකාරී වෙළඳපොලක් පවතින්නේ තිබිය හැකි වඩාත්ම කාර්යක්ෂම තත්ත්වය එය නිසා වෙන්න පුළුවන්. එහෙමනම්, එය වෙනස් කරන්න අවශ්‍ය වන්නේ නැහැ. එහෙත්, බොහෝ විට එය එසේ නොවන්න පුළුවන්.

මෙය නිගමනය කිරීමට හොඳ ප්‍රවේශයක් වන්නේ ලංකාවේ සහල් වෙළඳපොළ හා එහි සැපයුම් දාමයේ පුරුක් ඓතිහාසිකව විකාශනය වී ඇති ආකාරය අධ්‍යයනය කිරීමයි. දැනටමත් ලිපිය ගොඩක් දිග නිසා අපි එය වෙනත් ලිපියකට ඉතිරි කරමු.

(Image: https://wallhere.com/en/wallpaper/742926)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...