වෙබ් ලිපිනය:

Showing posts with label අපනයන. Show all posts
Showing posts with label අපනයන. Show all posts

Thursday, August 4, 2022

හොර පාරෙන් රටින් පන්නන සල්ලි


රටකට විදේශ විණිමය එන හා එළියට යන ක්‍රම ගණනාවක් තිබෙනවා. කලින් ඕනෑ තරම් කතා කරලා තිබෙන නිසා නැවත විස්තර කරන්න යන්නේ නැහැ. මේ මාර්ග බොහොමයක් නීත්‍යනුකූල මාර්ග වුනත්, නීති විරෝධී ලෙසත් සැලකිය යුතු විදේශ විණිමය ප්‍රමාණයක් දේශ සීමා හරහා යනවා. එක පැත්තකට නෙමෙයි දෙපැත්තටම. 

නීත්‍යනුකූල මාර්ග වලින් රටට එන හා රටින් යන විදේශ විණිමය ප්‍රවාහ පිළිබඳ තොරතුරු වලින් විශාල කොටසක් මහ බැංකුවට වාර්තා වෙනවා. ගෙවුම් ශේෂ ගිණුම් වල තියෙන්නේ මේ තොරතුරු. මේ විදිහට රටට එන හා රටින් යන විදේශ විණිමය ප්‍රවාහ ගැන තොරතුරු සියල්ලම මහ බැංකුවට වාර්තා වෙනවානම්, කිසිවක්ම මග හැරෙන්නේ නැත්නම්, යන ප්‍රමාණය හා ආ ප්‍රමාණය අතර වෙනස රටේ සංචිත වල වෙනස් වීමට සමාන වෙන්න ඕනෑ. නමුත්, ලෝකයේ කිසිම රටක ඔය සමතුලිත වීම හරියටම වෙන්නේ නැහැ. ඇතැම් විදේශ විණිමය ගලනයන් මහ බැංකුවට වාර්තා වෙන්නේ නැහැ.

සාමාන්‍යයෙන් නීති විරෝධී විදේශ විණිමය ගලනයන් කොහොමටත් මහ බැංකුවට වාර්තා වෙන්නේ නැහැ. නීති විරෝධී නැති ගලනයන් වුවත් හැම එකක්ම වාර්තා වෙන්නේ  නැහැ. උදාහරණයක් විදිහට කවුරු හරි පිටරට සංචාරයක යද්දී ඩොලර් සීයක් බැංකුවකින් අරගෙන ආපහු එද්දී ඉතිරි වුනු ඩොලර් විස්ස ගෙදර ලාච්චුවේ තියා ගත්තොත් ඒ ඩොලර් විස්ස රටට ආපහු ආපු බව වාර්තා වෙන්නේ නැහැ. ඒ වගේම, සංචාරකයෙකු විසින් බැංකුවෙන් ඩොලර් මාරු කරද්දී එය වාර්තා වුනත්, ගයිඩ් කෙනෙක්ගේ අතට දෙන ඩොලර් විස්සක් වාර්තා වෙන්නේ නැහැ. දැන් වෙනත් කෙනෙක් පිටරට යද්දී බැංකුවෙන් ඩොලර් මිල දී නොගෙන ඔය වගේ රටේ තිබෙන ඩොලර් එකතු කරගෙන ගිහින් වියදම් කළොත් ඒකත් වාර්තා වෙන්නේ නැහැ. 

මේ වගේ සිල්ලර ගනුදෙනු සහ අනීතික ගනුදෙනු මහ බැංකුවට වාර්තා වෙන්නේ නැතත් රටට පැමිණි හා රටින් ගිය විදේශ විණිමය ප්‍රමාණ අතර වෙනස සංචිත වෙනස් වීමත් එක්ක සංසන්දනය කළාම "වැරදීම් හා මගහැරීම්" සියල්ලේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය ඇස්තමේන්තු කරන්න පුළුවන්. ඕනෑම රටක ගෙවුම් ශේෂ ගිණුම් වල මේ ප්‍රමාණය සටහන්ව තිබෙනවා. සාමාන්‍යයෙන් සැලකිය විශාල යුතු අගයක්. 

පහත තියෙන්නේ පසුගිය වසර 15 තුළ ලංකාවේ මේ වැරදීම් හා මග හැරීම් ප්‍රමාණය ඩොලර් මිලියන වලින්. වරහන් ඇතුළේ තියෙන්නේ සෘණ අගයන්.

2007- (165)

2008- 728

2009- 346

2010- (881)

2011- (707)

2012 - (412)

2013 - (590)

2013- 393

2015- (308)

2016 - (465)

2017- 175

2018 - (593)

2019 - (640)

2020 - 765

2021 - (711)

ඔය වසර 15 සමස්තයක් ලෙස ගත්තොත්, ධන හා සෘණ අගයයන් දෙවර්ගයම තිබුණත්, වැඩිපුර තියෙන්නේ සෘණ අගයයන් කියන එක පේනවනේ. ඒ කියන්නේ රටට ආපු විදේශ විණිමය ප්‍රමාණයෙන් යම් කොටසකට වෙච්ච දෙයක් නැහැ. ඒ සල්ලි නීති විරෝධී ලෙස රටින් පිටට ගියා කියන එක එයින් අනිවාර්යයෙන් අදහස් වන්නේ නැහැ. එක්කෝ නීති විරෝධී ලෙස රටින් එළියට ගියා. නැත්නම් රට ඇතුළේම කා අතේ හෝ දැනටත් තියෙනවා. එහෙම රට ඇතුළේ තිබුණත් මේ සල්ලි පහසුවෙන් රටින් පන්නන්න පුළුවන් නිසා ඔය දෙකේ වැඩි වෙනසකුත් නැහැ.

මේ විදිහට පසුගිය වසර 15 තුළ අවිධිමත් වෙළඳපොළ හරහා සම්ප්‍රේෂණය වී තිබෙන විදේශ විණිමය ප්‍රමාණයේ ශුද්ධ අගය ඩොලර් බිලියන 3ක් පමණ. ඒ කියන්නේ, ඇස්තමේන්තු නිවැරදිනම්, සාමාන්‍ය වශයෙන් වසරකට ඩොලර් මිලියන 200ක් පමණ අවිධිමත් වෙළඳපොළ හරහා රටින් පිට වී තිබෙනවා. එහෙම නැත්නම් ඇස්තමේන්තු වල එපමණ වරදක් තිබෙනවා.

නීති විරෝධී ලෙස රටට එන හා රටෙන් යන සල්ලි මහ බැංකුවට වාර්තා නොවුණත්, එවැනි ගනුදෙනු වල ශුද්ධ ප්‍රතිඵලය මේ සංඛ්‍යාව ඇතුළේ තියෙනවා. මේ සංඛ්‍යාලේඛණයට මග හැරෙන වෙනත් ආකාර වලින් සල්ලි රටින් පන්නන්න බැරිද? 

අපි හිතමු කවුරු හෝ බලවතෙක් ඩොලර් නෝට්ටු ගෝනි වල දාලා පෞද්ගලික ජෙට් යානයකින් මොකක් හරි රටකට පැන්නුවා කියලා. ඔය වගේ කතාවක් මට පෞද්ගලිකව විශ්වාස කරන්න අමාරු වුනත් කතාව එක පාරට ප්‍රතික්ෂේප කළ හැකි සෛද්ධාන්තික පදනමක් නැහැ. විය හැකියාවක් ලෙස ඔය කතාව මට භාර ගන්න වෙනවා. 

හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මම හිතන්නේ කියවන අය මාත් එක්ක එකඟ වෙයි. 

ඔය විදිහට හෝ වෙන විදිහකින් රටින් පන්නන්නනම් ඊට කලින් රටට ඔය ඩොලර් ටික ඇවිත් තියෙන්න ඕනෑ. රටට ඩොලර් ආවේ නැත්නම් රටෙන් පන්නන්න විදිහකුත් නැහැනේ. ඒ කියන්නේ මේ පන්නපු ප්‍රමාණය කලින් පෙන්වපු "වැරදීම් හා මගහැරීම්" ගොඩේ තියෙන්න ඕනෑ. රටට ආපු ඩොලර් ප්‍රමාණයෙන් වෙච්ච දෙයක් නැත්තේ ඒ ප්‍රමාණය පමණයි. 

ඒ කියන්නේ ඊට වඩා වැඩි ඩොලර් ප්‍රමාණයක් රටින් පැන්නුවා වෙන්නම බැරිද? 

පුළුවන්. එහෙමනම්, ඒ වැඩි ප්‍රමාණය හොර පාරකින්ම රටට ඇවිත් තියෙන්න ඕනෑ. රටට හොරෙන් ඩොලර් ආවේ නැත්නම්, ඔය ගණනට වඩා වැඩියෙන් රටෙන් ඩොලර් එළියට යන්න විදිහකුත් නැහැ. ඒ කියන්නේ, හොරෙන් ආ ගිය ඩොලර් ගණන් සැලකුවට පස්සෙත්, ශුද්ධ වශයෙන් බැලුවොත් වාර්තා නොවී රටේ ඩොලර් අඩු වෙලා තියෙන්නේ ඔය ප්‍රමාණයම තමයි.

ආනයන අපනයන වෙළඳාමේදී වැරදියට ඉන්වොයිස් දමන එක මේ සංඛ්‍යාලේඛණ වලට බලපාන්නේ කොහොමද? 

ඇමරිකාවේ රාජ්‍ය නොවන සංවිධානයක (GFI) සේවය කරන පර්යේෂකයෙකු (දේව් කර්) විසින්, නෝර්වේ රජයේ ආධාර මත, කනිෂ්ඨ සහායකයෙකුගේ උදවු ඇතිව සකස් කර තිබෙන 2015 වාර්තාවක ඉහත විස්තර කළ ගෙවුම් ශේෂ ගිණුම් වල "වැරදීම් හා මගහැරීම්" වලට ආනයන අපනයන වෙළඳාමේදී වැරදියට ඉන්වොයිස් දැමීම මගින් රටින් පිට කළේයයි ඔවුන් දෙදෙනා විසින් ඇස්තමේන්තු කර තිබෙන සංඛ්‍යාවක්ද එකතු කර එම මුදල නීති විරෝධී ලෙස සංවර්ධනය වන රට වලින් පිට කෙරුණු මුදලක් ලෙස අර්ථ දක්වා තිබෙනවා. මේ ඇස්තමේන්තු සකස් කර තිබෙන ක්‍රමවේදයේ බැලූ බැල්මටම පෙනෙන වැරදි හා අඩුපාඩු ගණනාවක් තිබෙනවා. විමර්ශිත ජර්නලයක පළව ඇති පර්යේෂණ පත්‍රිකාවක් වැන්නක් නොවන මෙවැනි ලියැවිල්ලක එවැනි වැරදි හා අඩුපාඩු තිබීම අනපේක්ෂිත දෙයක් නෙමෙයි. 

දේව් කර් සේවය කළ රාජ්‍ය නොවන සංවිධානය විසින්ම 2021දී තවත් වාර්තාවක් එළි දක්වා තිබෙනවා. පෙර කී වාර්තාවට සාපේක්ෂව දුර්වලතා අඩු එම වාර්තාවේ ඉලක්ක අරමුණ මෙන්ම ක්‍රමවේදයද මුල් වාර්තාවට වඩා වෙනස්. එහි අවධානය යොමු කර තිබෙන්නේ ආනයන අපනයන වෙළඳාමේදී වැරදියට ඉන්වොයිස් දැමීම හරහා සිදු කර තිබෙන නීති විරෝධී ගණුදෙනු පරිමාව පිළිබඳවයි. 

මේ 2021 වාර්තාව ගැන මීට පෙරද කතා කර තිබෙන නිසා අපි 2015 වාර්තාව ගැන දැන් කතා කරමු. 2015 වාර්තාවේ ඇස්තමේන්තු පදනම් වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් හා සංවර්ධිත රටවල් අතර සිදුව ඇති ගනුදෙනු මතයි. 2021 වාර්තාවේ මෙන්ම මේ වාර්තාවේද කරන්නේ දෙපැත්තේ ගණන් සංසන්දනය කිරීමයි. එහිදී දේව් කර් හා ඔහුගේ සහායකයා විසින් සංවර්ධිත රටේ සංඛ්‍යාලේඛණ නිවැරදි සේ සලකනවා. ඉන් පසුව, රක්ෂණ හා නැව් ගාස්තු 10%ක් සේ උපකල්පනය කර සංවර්ධනය වන රටකට භාණ්ඩයක් යන විට හා සංවර්ධනය වන රටකින් භාණ්ඩයක් එන විට පෙන්වා තිබිය යුතු "නියම මිල" ගණනය කරනවා. 

සංවර්ධනය වන රටකින් සංවර්ධිත රටකට භාණ්ඩයක් අපනයනය කරන විට පෙන්වා ඇති මිල ඉහත ආකාරයෙන් ගණනය කළ "නියම මිලට" වඩා අඩුනම් එය ඔවුන් විදේශ විණිමය ගලනයක් සේ සලකනවා. පෙන්වා ඇති මිල "නියම මිලට" වඩා වැඩිනම් එය නොසලකා හරිනවා.

මේ ආකාරයෙන්ම, සංවර්ධනය වන රටක් සංවර්ධිත රටකින් භාණ්ඩයක් ආනයනය කරන විට පෙන්වා ඇති මිල ඉහත ආකාරයෙන් ගණනය කළ "නියම මිලට" වඩා වැඩිනම් එය ඔවුන් විදේශ විණිමය ගලනයක් සේ සලකනවා. පෙන්වා ඇති මිල "නියම මිලට" වඩා අඩුනම් එය නොසලකා හරිනවා.

මේ පදනම මත, සංවර්ධනය වන රටවල් හා සංවර්ධිත රටවල් අතර ගනුදෙනු වලදී ඔවුන්ගේ ක්‍රමය අනුව රටින් පිටට විදේශ විණිමය ගලනයක් වී ඇතැයි සැක කෙරෙන අවස්ථා සියල්ල හඳුනා ගැනෙන අතර එම පදනම මතම රට තුළට විදේශ විණිමය ගලනයක් වී ඇතැයි සැක කෙරෙන අවස්ථා සියල්ල නොසලකා හරිමින් ඔවුන් විසින් පළමුව මූලික ඇස්තමේන්තුවක් සකස් කරනවා. ඉන් පසුව, සංවර්ධනය වන රටවල් අතරම සිදු වන ගනුදෙනු වලදීද එම අනුපාතයෙන්ම විදේශ විණිමය ගලනයක් වී ඇතැයි උපකල්පනය කරමින් අවසන් ඇස්තමේන්තුවක් හදනවා. 

දේව් කර්ගේ මූලික උපකල්පනයක් වන්නේම සංවර්ධනය වන රටවල් වල සිට සංවර්ධිත රටවල් වලට ප්‍රාග්ධනය විතැන් කිරීමක් මිස එහි අනෙක් පැත්ත සිදු නොවන බවයි. එහෙත්, ඔහු දෙවනුව සංවර්ධනය වන රටවල් අතර සිදු වන ගනුදෙනු වලදීද ප්‍රාග්ධනය විතැන් වන්නේ එක් දිශාවකට පමණක් බව උපකල්පනය කරනවා. ඒ වගේම, අදාළ අනුපාතයද සමාන සේ සලකනවා. 

ඒ කියන්නේ, ලංකාවෙන් ඉන්දියාවට හොරෙන් පන්නපු ගණන ඇස්තමේන්තු කරද්දී ඉන්දියාවෙන් ලංකාවට සල්ලි හොරෙන් පන්නන්න කිසිම හේතුවක් නැහැ කියා උපකල්පනය කරනවා. ඔය විදිහටම ඉන්දියාවෙන් ලංකාවට හොරෙන් පන්නපු ගණන ඇස්තමේන්තු කරද්දී ලංකාවෙන් ඉන්දියාවට සල්ලි හොරෙන් පන්නන්න කිසිම හේතුවක් නැහැ කියා උපකල්පනය කරනවා. 

ඔය දෙකෙන් එකක්වත් ඇස්තමේන්තු කරන්නේ ලංකාව හා ඉන්දියාව අතර ඇත්තටම සිදු වූ ගනුදෙනු මත පදනම්ව නෙමෙයි. ලංකාව සංවර්ධිත රටවල් සමඟ ඩොලර් 1000ක ගනුදෙනු කරද්දී ඩොලර් 200ක් එම රටවලට පන්නලානම්, ලංකාව ඉන්දියාව සමඟ ඩොලර් 1000ක ගනුදෙනු කරද්දීත් ඩොලර් 200ක් ඉන්දියාවට පන්නලා කියලා උපකල්පනය කරලා.  

මේ 2015 වාර්තාවේ ඇස්තමේන්තු කිසිසේත්ම බරපතල ලෙස ගිණිය නොහැකියි. මා හිතන පරිදි, 2021 වාර්තාව සකස් කළ පර්යේෂක කණ්ඩායම විසින් පෙර වාර්තාවේ වැරදි හා අඩුපාඩු බොහොමයක් හඳුනාගෙන තිබෙනවා. එම වාර්තාවේ අනීතික ගනුදෙනු ගැන මිස ප්‍රාග්ධන ගලනයන් ගැන අවධානය යොමු කරවන්නේ නැහැ. 

සාමාන්‍යයෙන් වෙන පරිදි, ලංකාවේ සමහර අය ඔය වාර්තා වල තියෙන දේවල් තමයි උඩින් පල්ලෙන් කියවලා, අදාළ පර්යේෂකයින් විසින් කරලා තියෙන වැරදි ගැන කිසිම අවබෝධයක් නැතුව, අනෙක් පැත්තට වමාරන්නේ. ඒ විතරක් නෙමෙයි. වාර්තා වල වැරදි පැත්තකින් තිබ්බත්, ඒ වාර්තා වල තියෙන දේවල්වත් හරියට ග්‍රහණය කර ගෙන නැහැ. 

ලංකාවේ කට්ටිය වැඩේ අනාගන්න ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ 2015 වාර්තාවේ සහ 2021 වාර්තාවේ තියෙන්නේ එකම දෙයක් ගැන කියලා හිතලා. වෙනස දැන ගන්නනම් එක් එක් වාර්තාවේ ක්‍රමවේද තේරුම් ගන්න ඕනෑනේ! 

ලංකාවේ කට්ටිය 2021 වාර්තාවේ තියෙන සංඛ්‍යාලේඛණ අරගෙන ඒවා අර්ථ දක්වන්නේ 2015 වාර්තාවේ අර්ථ දැක්වීම් අනුවයි. නමුත්, මේ දෙකේ කරලා තියෙන්නේ වගේම කියල තියෙන්නෙත් කරුණු දෙකක් ගැන. ඒ වගේම, 2021 වාර්තාවෙත් වැරදි හා අඩුපාඩු තිබුණත්, 2015 වාර්තාවේ ඇස්තමේන්තු වල වැරදි හා අඩුපාඩු ඉතාම ප්‍රාථමික මට්ටමේ ඒවා.

හරි. අපි දැන් ඔය වාර්තා සහ ඒවායේ තිබෙන ගණන් හිලවු පැත්තකින් තියලා වැරදියට ඉන්වොයිස් කිරීම කියන කාරණාවට එමුකෝ. එහෙම දෙයක් ඇත්තටම වෙනවනේ. ඒක අර මුලින් කී ගෙවුම් ශේෂ ගිණුම් ඇස්තමේන්තු වලට බලපාන්නේ කොහොමද? 

ලංකාවේ කවුරු හෝ කෙනෙක් ඩොලර් 1000ක බඩුවක් ආනයනය කරද්දී ඩොලර් 1500ක් කියලා පෙන්වනවා. දැන් මේ වැඩෙන් නියාමකයින්ගේ ඇස් වහලා ඩොලර් 500ක් රටින් පිටතට ප්‍රේෂණය කරනවා. ඒ ඩොලර් 500 ලංකාවට අපනයනය කරන සමාගමේ ගිනුමට යනවා. පසුව, එම සමාගම හරහා වෙනත් ගිණුමකට විතැන් වෙනවා වෙන්න පුළුවන්. 

හැබැයි මේ විදිහට ඉන්වොයිස් එක වැඩියෙන් පෙන්නුවත් ඩොලර් 1500 යන්නේ විධිමත් ලෙස බැංකු පද්ධතිය හරහා මිසක් හොර පාරකින් නෙමෙයි. ඒ නිසා, ඒ මුළු මුදලම, ඉතා නිවැරදි ලෙස රටින් එළියට ගිය මුදලක් ලෙස ගෙවුම් ශේෂ ගිණුම් වල සටහන් වෙනවා. සිදු වෙන වැරැද්ද ප්‍රේෂණයක් ලෙස (outward remittance) ද්වීතියික ආදායම් ගිණුමේ සටහන් විය යුතු ඩොලර් 500ක් එහි සටහන් නොවී වෙළඳ ගිණුමේ සටහන් වෙන එකයි. ඒ කියන්නේ, මේ වැඩෙන් ජංගම ගිණුමේ ශේෂය වෙනස් වෙන්නේ නැහැ.

අපි හිතමු ඔය විදිහට රටින් එළියට ගෙනයන ඩොලර් 500 රටින් පිට ආයෝජනය කළා කියලා. එහෙමනම්, ඒ මුදල යන්න ඕනෑ මූල්‍ය ගිණුමට. ඒ කියන්නේ, මූල්‍ය ගිණුමට යා යුතු ඩොලර් 500ක් ජංගම ගිණුමේ (වෙළඳ උප ගිණුමේ) සටහන් වෙනවා. නමුත්, මේ ඩොලර් 500 රටින් එළියට ගිය බව නියාමකයින් දන්නවා. ඒ නිසා, එම මුදල "වැරදීම් හා මගහැරීම්" වලට යන කොටසක් නෙමෙයි.

දැන් ඕකෙම අනෙක් පැත්ත වුනා කියා හිතමු. ලංකාවේ කවුරු හෝ කෙනෙක් ඩොලර් 1000ක බඩුවක් ආනයනය කරද්දී ඩොලර් 500ක් කියලා පෙන්වනවා. හැබැයි එහෙම පෙන්නුවත්, අදාල අපනයනකරුවාට මොන ක්‍රමයකින් හෝ ඉතිරි ඩොලර් 500 ගෙවන්න වෙනවා. ඒ මුදල ගෙවන්න වෙන්නේ හොර පාරකින්. 

මේ ඩොලර් 500 ගෙවන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් අවිධිමත් විදිහට ලංකාවෙන්ම සල්ලි යවන එක. එහෙම නැත්නම් දැනටමත් රටින් පිට තිබෙන ගිණුමකින් සල්ලි ගෙවන එක. අවිධිමත් විදිහට ලංකාවෙන්ම සල්ලි යැව්වොත් එය ගෙවුම් ශේෂ ඇස්තමේන්තු වල තිබෙන "වැරදීම් හා මගහැරීම්" වලට අහු වෙනවා. "වැරදීම් හා මගහැරීම්" වල එවැනි මුදලක් රටින් ගිය බවක් පෙනෙන්න නැත්නම් ඒ සල්ලි ගෙවලා තියෙන්නේ කලින් රටින් පිට කළ මුදල් යොදා ගෙන. මොකද කොහෙන් හෝ ඔය ඩොලර් 500 ගෙවන්නම වෙනවා. 

ඊළඟට අපි අපනයන පැත්ත බලමු. ඩොලර් 1000ක බඩු අපනයනය කරද්දී ඩොලර් 500ක් කියා පෙන්නුවොත් ඉතිරි ඩොලර් 500 රටින් එළියේ ගිණුමක තියා ගන්න පුළුවන්. "වැරදීම් හා මගහැරීම්" නැහැ. මොකද රටට ආපු ගණන ඩොලර් 500ක් පමණයි. ඒ ගණන ගිණුම් වල හරියට තිබෙනවා. නැත්තේ රටට නොආ කොටස. ඒ කොටස හොර පාරෙන් රටට ගෙනාවොත් " වැරදීම් හා මගහැරීම්" ගොඩට යනවා. නැත්නම් තවමත් රටින් පිට. 

එතකොට ගණන් වැඩියෙන් පෙන්නුවොත්? ඒ කියන්නේ, ඩොලර් 1000ක බඩු අපනයනය කරද්දී ඩොලර් 1500ක් කියා පෙන්නුවොත්? දැන් අමතර ඩොලර් 500ක් නිල වශයෙන්ම රටට එනවා. ඒ සල්ලි එන්නේ කොහෙන්ද? එහෙම වැරදි ඉන්වොයිස් පෙන්නලා සල්ලි ගෙන්වන්නනම් අපනයනකරු සතු, වාර්තා වී නැති, ධනයක් පිටරටක තියෙන්න ඕනෑ. එහෙම නැත්නම් වෙනත් කෙනෙක් අපනයනකරුගේ නමට ප්‍රේෂණයක් කළා වෙන්න ඕනෑ. ඔය දෙකෙන් කොයි එක වුනත් රට ඇතුළට ප්‍රාග්ධන ගලනයක් වෙලා. 

සරලවම කිවුවොත් ඉන්වොයිස් වල නොගැලපීම් වලට හේතුව ප්‍රාග්ධන ගලනය ලෙස සැලකුවොත් එය දෙපැත්තටම සිදු වන බව සලකා වෙනස දෙස බැලිය යුතුයි. එක පැත්තක් දෙස පමණක් බලන එක වැරදියි. එහෙම බැලුවට පස්සේ ශුද්ධ වශයෙන් යම් විදේශ විණිමය ගලනයක් වී ඇත්නම් එයින් අදහස් වන්නේ ගෙවුම් ශේෂය තව දුරටත් නිවැරදි වුවත්, මූල්‍ය ගිණුම හෝ ජංගම ගිණුමේම වෙනත් උප ගිණුමක් යටතේ සටහන් විය යුතු කොටසක් වෙළඳ ගිණුම යටතේ සටහන් වී තිබෙන බවයි. 

මෙවැන්නක් සිදු වීමේ ප්‍රතිඵලයක් ලෙස රටේ බාහිර වත්කම් (බැරකම්) පිළිබඳව තිබෙන ඇස්තමේන්තුවත් නිවැරදි නොවෙන්න පුළුවන්. ඒක තීරණය වන්නේ අදාළ මුදල් යොදා ගැනුණේ කවර කටයුත්තකටද කියන එක මතයි. රටින් මුදලක් පන්නපු පමණින්ම ඒ මුදල් රටින් පිට තිබෙනවා කියන එක අනිවාර්යයෙන් අදහස් වන්නේ නැහැ. මම මේ කියන්නේ කලින් කියපු නැවත රටට ඒ සල්ලි ආපහු ගෙනත් තිබීමේ හැකියාව ගැන නෙමෙයි. ශුද්ධ වශයෙන්ම රටින් පිට කෙරුණු විදේශ විණිමය ගැන.

මේ වගේ මුදලක් වුනත් අදාළ පුද්ගලයා රටින් බැහැර වූ විටක "එන්ජෝයි කරලා" වැය කර අවසන්ව තියෙන්න පුළුවන්. එහෙමනම් එය ජංගම ගිනුමේම වෙන උප ගිනුමක සටහන් විය යුතු මුදලක්. එහෙම නැතුව කොහේ හෝ ආයෝජනය කරලානම් ඒ සල්ලි රටින් පිට තියෙනවා. ඒ විතරක් නෙමෙයි. එවැනි මුදලක් රටින් පිට ඇත්නම් අදාළ ආයෝජනයේ ප්‍රතිලාභ ගෙවුම් ශේෂ ගිණුමේ සටහන් වෙන්නේ නැති ප්‍රශ්නයත් තියෙනවා. ඒ කියන්නේ මුලින් රටින් සල්ලි යද්දී එය ගෙවුම් ශේෂ ගිණුමේ වැරදි තැනක හෝ සටහන් වෙනවා. හැබැයි ඊට පස්සේ වෙන දේවල් ඒ විදිහට අහු වෙන්නේ නැහැ. 

ඇමරිකාව වගේ රටවල බදු ගොනු කරද්දී ලෝකයේ කොහේ හෝ රටක තිබෙන වත්කම් මත ලැබෙන ප්‍රතිලාභ වෙනුවෙන් බදු ගෙවිය යුතුයි. උදාහරණයක් විදිහට ඇමරිකන් පුරවැසියෙකු සතුව ලංකාවේ තිබෙන ගෙයක් හෝ ඉඩමක් විකිනුවොත් එහි ගැනුම් මිල හා විකුණුම් මිල අතර වෙනස ආදායමක් ලෙස පෙන්වලා ඒ වෙනුවෙන් ඇමරිකාවට බදු ගෙවිය යුතුයි. මම දන්නා තරමින් ලංකාවේ බදු නීතිය අනුවත් එහෙමයි. දැන් මේ විදිහට කා සතුව හෝ රටින් පිට එළිදරවු නොකළ වත්කම් තිබෙනවානම්, එම සල්ලි රටින් පිට කරන විට සිදු වන බදු වංචාවට අමතරව, අදාළ වත්කම් එළි නොකර තිබෙන තුරු දිගින් දිගටම සිදු වන බදු වංචාවක්ද එහි තිබෙනවා.

Wednesday, August 3, 2022

අර්බුදය හා විකල්ප ප්‍රවාද


ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳ විග්‍රහයන් ගණනාවක් තිබෙනවා. ගොඩක්ම ප්‍රචලිත හා ජනප්‍රිය ප්‍රවාදයක් වන්නේ රටේ මිනිස්සු ඔවුන් විසින් උපයන ඩොලර් වලට වඩා වැඩියෙන් ඩොලර් වියදම් කිරීම ප්‍රධාන හේතුව බවයි. මේක බොහෝ දුරට ආණ්ඩුවට හා රජයට හිතවත් අයගේ විග්‍රහයක්. මෙහිදී මිනිස්සු කියා කියන එකෙන් අදහස් කෙරෙන්නේ පාරිභෝගිකයින්. ආණ්ඩුව කියා කිවුවේ අලුත් ආණ්ඩුව ගැන නෙමෙයි. අලුත් ආණ්ඩුව මොන වගේ එකක්ද කියන එක තවමත් අපැහැදිලියි. 

උපයන ඩොලර් වලට වඩා වැඩියෙන් ඩොලර් වියදම් කිරීම ප්‍රශ්නයක් සේ හඳුනා ගන්නා නමුත් මගේ විග්‍රහය මේකම නෙමෙයි. එය මම බොහෝ වර විස්තර කර තිබෙනවා. මේ වෙද්දී කිසියම් සුළුතරයක් අතර හෝ මගේ ප්‍රවාදයටත් යම් පිළිගැනීමක් තිබෙනවා. ඊට අඩු වැඩි වශයෙන් සමාන ප්‍රවාද වෙනත් බොහෝ අය විසින්ද ඉදිරිපත් කර තිබෙනවා. ඔය ප්‍රවාද දෙකටම අමතරව තවත් විකල්ප ප්‍රවාද ගණනාවක් තිබෙනවා. මම මෙවැනි ප්‍රවාද තුනක සරල කරනු ලැබූ වර්ෂන් ඉතා කෙටියෙන් ඉදිරිපත් කරන්නම්.

1. ප්‍රචලිත ප්‍රවාදය - රටේ මිනිස්සු (පාරිභෝගිකයෝ) අපනයන වලින් අවුරුද්දකට උපයන්නේ ඩොලර් බිලියන දහයක් වුනත්, ඩොලර් බිලියන විස්සක ආනයනික භාණ්ඩ පරිභෝජනය කරනවා. ඒ නිසා, රජයට වසරකට ඩොලර් බිලියන දහයක් ණය ගන්න වී තිබෙනවා. වැරැද්ද මිනිස්සුන්ගේ අධිපරිභෝජනය. ප්‍රශ්නය විසඳන්නනම් මිනිස්සු පරිභෝජනය අඩු කරන්න ඕනෑ. ආනයන සීමා කරලා දේශීය නිෂ්පාදන වලට පුරුදු වෙන්න ඕනෑ. ව්‍යාපාරිකයින්ගේ වැරැද්දක් නැහැ. ඔවුන් කරන්නේ මිනිස්සු ඉල්ලන නිසා ඉල්ලන දේ ගෙනත් දෙන එකයි. රජයත් අහිංසකයි. ආණ්ඩුවත් අහිංසකයි. රජය/ආණ්ඩුව විසින් කරන්නේ බොහොම අමාරුවෙන් කොහෙන් හෝ රටකින් ණයට සල්ලි අරගෙන පාරිභෝගිකයන්ට අවශ්‍ය දේ ගෙනත් දීම සඳහා ව්‍යාපාරිකයන්ට සල්ලි හොයලා දෙන එක. ඒ කියන්නේ සාර්ව ආර්ථික ප්‍රතිපත්තියේ වැරැද්දක් නැහැ. වැරැද්ද තනිකරම මිනිස්සුන්ගේ අධිපරිභෝජනය. 

2. මගේ ප්‍රවාදය- රජය ආදායම ඉක්මවා වියදම් කරනවා. හිඟය පියවන්න විදේශ ණය ගන්නවා. සල්ලිත් අච්චු ගහනවා. ණයට ගත්ත ඩොලර් වෙළඳපොළේ විකුණා ලැබෙන රුපියල් ටිකත්, අච්චු ගහපු රුපියල් ටිකත් රට ඇතුළේ වියදම් කරද්දී රුපියල් වැඩි වන නමුත් ඒ තරමට රටේ නිෂ්පාදනය වැඩි වෙලා නැහැ. නමුත් වෙළඳපොළේ ඩොලර් වැඩි වෙනවා. ඩොලර් ලාබ වෙනවා. කිසියම් පිරිසක් මේ ඩොලර් මිල දී ගෙන පිටරටින් බඩු ගෙනත් ලාබෙට විකුණනවා. ඒ බඩු ගන්න අවශ්‍ය රුපියල් ආණ්ඩුව සංසරණයට දැනටමත් එකතු කරලා. ලාබෙට පිටරටින් බඩු එන නිසාත්, ඒ බඩු ගන්න ඇති තරම් රුපියල් අතේ තියෙන නිසාත් කවුරුවත් නිෂ්පාදනය වැඩි කරන්න මහන්සි වෙන්නේ නැහැ. අපනයන වලින් අවුරුද්දකට උපයන්නේ ඩොලර් බිලියන දහයක් වුනත්, ඩොලර් බිලියන විස්සක ආනයනික භාණ්ඩ පරිභෝජනය කරන්න මිනිස්සුන්ට පුළුවන් වෙනවා. මිනිස්සු ආතල් එකේ ඉන්නවා. 

මගේ මේ ප්‍රවාදයේදීත් ප්‍රචලිත ප්‍රවාදයේදී මෙන්ම වෙළඳ හිඟයක් තිබෙනවා. වෙනස එයට හේතුව මොකක්ද කියන එකයි. මගේ ප්‍රවාදය අනුව, මෙය රටේ සාර්ව ආර්ථික ප්‍රතිපත්තියේ වැරැද්දක් මිසක් මිනිස්සුන්ගේ (පාරිභෝගිකයින්ගේ) වැරැද්දක් නෙමෙයි. මිනිස්සුන්ගේ වැරැද්ද ඒ ප්‍රතිපත්තිය අනුමත කිරීම පමණයි. 

3. විකල්ප ප්‍රවාදය - මේ නිශ්චිත විකල්ප ප්‍රවාදය අනුව ඉහත ප්‍රවාද දෙකේම කියන විදිහේ වෙළඳ ශේෂ ප්‍රශ්නයක් රටේ නැහැ. ඇත්ත අපනයන ආදායම ඩොලර් බිලියන 15ක්. ඇත්ත ආනයන වියදමත් ඩොලර් බිලියන 15ක් පමණයි. හැබැයි අපනයනකරුවෝ අඩුවෙන් ගණන් පෙන්වලා ඩොලර් බිලියන 10ක් පමණක් රටට ගෙනත් ඉතිරි ඩොලර් 5 රටින් පන්නනවා. ආනයනකරුවෝ වැඩියෙන් ගණන් පෙන්නලා ඩොලර් බිලියන 15 වෙනුවට ඩොලර් බිලියන 20ක්ම රටින් එළියට ගෙනියනවා. දැන් එතැනත් ඩොලර් බිලියන පහක් රටින් පන්නලා. එතකොට ඔක්කොම ඩොලර් බිලියන 10ක් රටින් පන්නලා. ඒ ප්‍රමාණය තමයි රටට ණය වෙන්න වෙලා තියෙන්නේ. ඒ කියන්නේ වැරැද්ද මේ ආනයන අපනයන කරන වෙළෙන්දන්ගේ. මිනිස්සු අහිංසකයි. රජයත් අහිංසකයි. ආණ්ඩුව කරන වැරැද්ද මේ ව්‍යාපාරිකයින්ට දඬුවම් නොකර හුරතල් කරන එකයි.

මේ ප්‍රවාද තුනම මම ගොඩක් සරල කරලා තියෙන්නේ. සල්ලි පන්නන කතාව කියන අය ගණන ඩොලර් බිලියන දහයක් කියා කියන්නේ නැහැ. හැබැයි අදහස ඔය වගේ. ඔය ප්‍රවාද තුනට අමතරව කිසියම් පිරිසක් විසින් ණයට ගත් ඩොලර් හොරා කා රටින් පැන්නීම වගේ තවත් ප්‍රවාදත් තියෙනවා. 

දැන් මා ඇතුළු ඕනෑම කෙනෙකුට ඔය වගේ ප්‍රවාදයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ප්‍රවාදයක් කියා කියන්නේ නිකම්ම නිකම් හිතලුවක් මිසක් ඇත්ත නෙමෙයි. ඒ වුනත්, ලංකාවේ ආර්ථික අර්බුදයක් තියෙනවා කියන එක කාටත් පේන ඇත්තක්. ඇත්තම කතාව ඒ ආර්ථික අර්බුදයට හේතු වූ කරුණු ඔය ඕනෑම ප්‍රවාදයකට වඩා සංකීර්ණයි. ප්‍රවාදයකින් කරන්නේ ඒ සංකීර්ණ අර්බුදය වඩා පහසුවෙන් තේරුම් ගන්න කරන උත්සාහ කරන එකයි.

යම් කිසි ආකාරයකින් විද්‍යාත්මක ලෙස ප්‍රතික්ෂේප කරන තුරු ඔය වගේ ඕනෑම ප්‍රවාදයකට විය හැකියාවක් ලෙස වලංගු භාවයක් තිබෙනවා. එහෙම ප්‍රතික්ෂේප කළ ප්‍රවාදයකට වුනත් ඇතැම් අය අතර පිළිගැනීමක් තියෙන්න පුළුවන්. 

මේ වගේ ප්‍රවාදයක් ස්ථිර ලෙස ප්‍රතික්ෂේප කරන එක ගොඩක් අසීරු වැඩක්. ඒ නිසා, බොහෝ විට වෙන අය මොනවා කිවුවත් තමන්ගේ ප්‍රවාදය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටින කෙනෙකුට ඒ සඳහා යම් හෝ ඉඩක් ඉතිරි වෙනවා. මේ හේතුව නිසාම, තමන්ගේ ප්‍රවාදය වෙනුවෙන් දැඩි සේ පෙනී සිටින අයෙක් සමඟ තර්ක කරලා දිනන්න අමාරුයි. 

විය හැකියාවක් ලෙස වලංගු භාවයක් තිබෙනවා කියන්නේ ඇත්ත කියා කියන එක නෙමෙයි. බොරු බව ඔප්පු වී නැහැ කියන එකයි. ඒ නිසා, අවංකවම තමන්ගේ ප්‍රවාදය ඇත්තද කියා දැන ගන්න අවශ්‍ය කෙනෙක්නම් කළ යුත්තේ එය හැකි තරම් පරීක්ෂාවට ලක් කරන එකයි. තාර්කික තලයේදීම කළ හැකි මූලික පරීක්ෂාවක් වන්නේ ප්‍රවාදයේ අභ්‍යන්තර පරස්පරතා තියෙනවද කියලා බලන එකයි. එහෙම පරස්පර තියෙනවානම් එතැනින්ම වැඩේ අත ඇරලා දමන්න පුළුවන්. 

ගොඩක් වෙලාවට එවැනි අභ්‍යන්තර පරස්පරතා නැති ප්‍රවාද එකකට වඩා ඉතිරි වෙනවා. එතකොට හරි එක හෝ වඩා ගැලපෙන එක හොයා ගන්න වෙන්නේ අනුභූතික දත්ත දිහා බලලා. මුල් වටයේදී ප්‍රතික්ෂේප නොවන ප්‍රවාද සමහරක් මේ විදිහට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒකත් හරියන්නේ නැත්නම්, අවදානමක් අරගෙන, ඉතිරි වී තිබෙන විකල්ප අතරින් තමන්ට වඩා හොඳයි කියා හිතෙන ප්‍රවාදය තෝරා ගන්න වෙනවා. 

ඉහත තෙවන විකල්ප ප්‍රවාදය කරලියට එන්නේ පළමු ප්‍රචලිත ප්‍රවාදයට එරෙහි ප්‍රවාදයක් ලෙසයි. පළමු ප්‍රවාදයෙන් වැරැද්ද පාරිභෝගිකයින් වෙත දමනවා. දෙවැන්නෙන් වැරැද්ද ව්‍යාපාරිකයින් වෙත දමනවා. මේ දෙකම දේශපාලනිකයි. ඒ විවේචනය මගේ ප්‍රවාදයත් ඒ විදිහටම වලංගුයි. ප්‍රවාදයක ස්වභාවයෙන්ම ඌණිතවාදී ප්‍රවේශයක් තියෙන නිසා එය ප්‍රවාදය හදන පුද්ගලයාගේ දැක්මට සාපේක්ෂ වීම නොවැලැක්විය හැකියි. 

ප්‍රවාදයක් ඇතුළෙන් මේ විදිහට දේශපාලනික ස්වරූපයක් පෙනෙන්න තිබෙන විට සහ පහසුවෙන් බැහැර කළ නොහැකි විකල්ප ප්‍රවාද එකකට වඩා තිබෙන කොට කවුරු හෝ කෙනෙක් තමන්ගේ දේශපාලන අභිරුචියට වඩා ගැලපෙන ප්‍රවාදයක් තෝරා ගෙන ඒ වෙනුවෙන් පෙනී සිටින එකත් වලක්වන්න බැහැ. විශේෂයෙන්ම මේ නිශ්චිත කාරණයේදී ප්‍රශ්නයට විසඳුම් යෝජනා කෙරෙන්නේ ප්‍රවාදයක් ඇතුළේ සිට නිසා.

උදාහරණයක් විදිහට පළමු ප්‍රවාදය පිළිගත් විට පරිභෝජනය සීමා කිරීම සඳහා පාරිභෝගිකයින් මත බදු පැනවීම සාධාරණීකරණය කෙරෙනවා. එයට එරෙහිව තෙවන ප්‍රවාදයෙන් ව්‍යාපාරිකයින්ගේ ලාබ මත බදු පැනවිය යුතුයි කියා යෝජනා කෙරෙනවා. මගේ ප්‍රවාදයට සාපේක්ෂව බැලුවොත්, ඔය කතා දෙකම එකම කාසියේ දෙපැත්ත. මේ දෙකෙන්ම කරන්නේ රජය ආරක්ෂා කරන එක. විශාල රජයක් යුක්තිගරුක කරන එක. වෙළඳපොළට විරුද්ධ වෙන එක. (පාරිභෝගිකයින්ට එරෙහිව ව්‍යාපාරිකයින්ගේ පැත්ත ගැනීම හා වෙළඳපොළ වෙනුවෙන් පෙනී සිටීම කියන්නේ කරුණු දෙකක්. ධනවාදය කියා කියන්නේ වෙළඳපොළ නිදහස වෙනුවෙන් පෙනී සිටීම මිසක් ව්‍යාපාරිකයින්ගේ පැත්ත ගැනීම නෙමෙයි.)

අනුභූතික දත්ත වලින් සහයෝගයක් නොලැබෙන නමුත් අපි මොහොතකට තෙවන ප්‍රවාදය පිළිගනිමු. මේ ප්‍රවාදය අනුව, ඇත්තටම වෙළඳ හිඟයක් නැහැ. ආනයන හා අපනයන කරන ව්‍යාපාරිකයින් විසින් විදේශ විණිමය රටින් පන්නන නිසා තමයි වෙළඳ හිඟයක් තියෙනවා වගේ පේන්නේ. දැන් යම් හෙයකින් මෙහෙම දෙයක් වෙනවානම් එයින් පැහැදිලිව පේන්නේ ඔවුන්ට විදේශ විණිමය රටින් පන්නන්න අවශ්‍යතාවයක් තිබෙනවා කියන එකයි. ඔය වැඩේ ඔය විදිහට සිදු නොවී වෙනත් විදිහකට සිදු වුනා කියා අපි හිතමු. ඒ කියන්නේ අපනයනකරුවෝ ඩොලර් බිලියන 15ම රටට ගේනවා. ඊට පස්සේ එයින් ඩොලර් බිලියන 5ක් රටින් එළියට ගෙනියනවා. ඒ වගේම, ආනයනකරුවෝ ආනයන කරද්දී හරියට ගනන් පෙන්නලා, ඩොලර් බිලියන පහක් විධිමත් ලෙස වෙනම රටෙන් එළියට ගෙනියනවා. ආර්ථික විද්‍යා අර්ථයකින් බැලුවොත් ඔය කතාවේ සහ මුල් කතාවේ විශාල වෙනසක් නැහැ. වෙනස තියෙන්නේ සල්ලි ගෙන යන ආකාරයේ පමණයි.

දැන් මම මෙහි කියපු විදිහට ඔය වැඩේ වුනොත් වෙළඳ ශේෂයක් නැහැ. නමුත් ගෙවුම් ශේෂ හිඟය ඒ විදිහටම තියෙනවා. ඒ කියන්නේ විදේශ විණිමය අර්බුදය හා අදාළව ප්‍රශ්නය මේ ඩොලර් ටික රටෙන් යන එක මිසක් යන ආකාරය නෙමෙයි. හැබැයි හරි පාරේ නොගොස්, නීති විරෝධී ලෙස සල්ලි එළියට යන එකේ රජයේ බදු ආදායම් අහිමි වීම වැනි වෙන ප්‍රශ්න තියෙන්න පුළුවන්.

ප්‍රශ්නය විදේශ විණිමය ගලනය කියා හිතුවොත්, ඇත්තටම වෙන්නේ පළමු ප්‍රවාදයේ කියන කතාව නොවී තෙවන ප්‍රවාදයේ කතාව වුනත් මගේ ප්‍රවාදය අනුව විග්‍රහයේ ලොකු වෙනසක් නැහැ. අපි හිතමු ව්‍යාපාරිකයින් විසින් වසරකට ඩොලර් බිලියන දහයක් රටින් පන්නනවා කියලා. යම් හෙයකින් එය එසේ වුවත්, ඔවුන්ට එහෙම කරන්න හැකි වී තිබෙන්නේ රජය ණය වී ඔය ඩොලර් බිලියන දහය වෙළඳපොළට පොම්ප කරන නිසා. රටේ ඩොලර් නැත්නම් රටෙන් ඩොලර් පන්නන්න බැහැ. අවසාන වශයෙන් මගේ ප්‍රවාදය හරහා හඳුනා ගන්නා ප්‍රශ්නයේ මූලික ස්වරූපය එකයි.

ආනයනකරුවෝ වැරදි ඉන්වොයිස් දමා රටෙන් ඩොලර් පන්නනවානම් ඒ විධිමත් ලෙස හෝ අවිධිමත් ලෙස වෙළඳපොළෙන් මිල දී ගන්න ඩොලර්. ඔවුන් එහෙම කරන්නේ එක පැත්තකින් අතේ රුපියල් තිබෙන නිසා. අනෙක් පැත්තෙන් ඩොලර් ලාබෙට තියෙන නිසා.

අපනයනකරුවන් දිහා බැලුවත් එහෙමයි. ඔවුන් ඩොලර් රටට ගේන්නේ නැත්තේ එක පැත්තකින් මාරු කළාම ලැබෙන රුපියල් ප්‍රමාණය මදි නිසා. අනෙක් පැත්තෙන් ඒ සල්ලි නොගෙනාවත් අතේ ඇති වෙන්න රුපියල් තිබෙන නිසා.

ප්‍රශ්නයට හේතුව ව්‍යාපාරිකයින් විසින් ඩොලර් රටින් පැන්නීම කියන උපකල්පනයේ සිට පටන් ගත්තත්, පාරිභෝගිකයින්ගේ අධිපරිභෝජනය සේ සැලකුවත්,  අවසාන වශයෙන් පාදක හේතුව එකමයි. අච්චු ගහන රුපියල් සහ ලාබෙට විකුණන ණයට ගත් ඩොලර්!

ප්‍රශ්නයට විසඳුම පාරිභෝගිකයින් පාලනය කිරීමට හෝ ව්‍යාපාරිකයින් පාලනය කිරීමට රජයට තව තවත් බලතල දෙන එක නෙමෙයි. රජයේ අයවැය හිඟය පියවා ගන්න බල කරන එක. ඒ වැඩේ වුනොත් සල්ලි අච්චු ගහන එක සහ විදේශ ණය අරගෙන රුපියල් කරන එක නවතිනවා. ඒ එක්කම, ඩොලරය විදේශ ණය පොම්ප කරලා ලාබ කරන එක කරන්න බැරි වෙනවා. රුපියල් පොම්ප කරන එකත් නවතිනවා. ප්‍රශ්නය පාරිභෝගිකයින්ගේ අධිපරිභෝජනයනම් දැන් ඒ වැඩේ සීමා වෙනවා. ප්‍රශ්නය ව්‍යාපාරිකයින් විසින් සල්ලි පන්නන එකනම් ඒකත් නවතිනවා.

Monday, August 1, 2022

රටින් පන්නපු ඩොලර් බිලියන හතළිහ

සුවිශේෂී හේතුවක් නිසා කලින් ලිපිය ලියා පළ කළේ ඉංග්‍රීසි භාෂාවෙන්. එම ලිපිය එසේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියා පළ කිරීමේ අරමුණ ඉටු වූ නිසාත්, එහි වූ දෑ සිංහලෙන් නොලිවීම පිළිබඳව අභියෝගාත්මක විවේචනයක් ආ නිසාත් මේ ලිපිය සිංහලෙන්ම ලියනවා. 

ලිපිය ලිවුවේ මේ දවස් වල සමාජගත කෙරෙන බොරුවක් පිළිබඳ ඇත්ත එළිදරවු කිරීමටයි. අදාළ ප්‍රබන්ධනාත්මක ව්‍යාජයට අනුව, ඇමරිකාවේ පර්යේෂණ ආයතනයක් විසින් පළ කර තිබෙන වාර්තාවකට අනුව 2009-2017 අතර කාලය තුළ වසරකට ඩොලර් බිලියන 4 ඉක්මවන විදේශ විණිමය ප්‍රමාණයක් ආනයන අපනයන වෙළඳාමේ යෙදෙන ව්‍යාපාරිකයින් විසින් රටින් පන්නා තිබෙනවා. මේ වාර්තාව අපි GFI වාර්තාව ලෙස හඳුන්වමු.  

මේ වෙද්දී ලංකාවේ විදේශ ණය පිළිබඳ නිල ඇස්තමේන්තුව ඩොලර් බිලියන 51ක්. ඉහත කතාව ඇත්තනම්, ප්‍රශ්නයට විසඳුම ලෙස පසුගිය වසර 13ක පමණ කාලය තුළ ඉහත ආකාරයෙන් රටින් පැන්නූ ඩොලර් ටික රටට ගෙන්වා ගත්තොත් වැඩේ ගොඩ නේද කියන එක කතාව අහන ඕනෑම කෙනෙකුට හිතෙන දෙයක්.

මේ වන විට ලංකාවේ ජනතාව පෙර නොවූ විරූ දැවැන්ත ආර්ථික අර්බුදයකින් පීඩා විඳිමින් සිටින බව අමුතුවෙන් කිව යුතු නැහැ. අර්බුදයට හේතු නිවැරදිව හඳුනාගෙන පිළියම් යොදනු වෙනුවට, ප්‍රබන්ධනාත්මක හේතු පසුපස පැන්නීමේ අවසන් ප්‍රතිඵලය අර්බුදය තවත් ඔඩු දුවා රටේ ජනතාවටට දිගින් දිගටම පීඩා විඳින්න වෙන එකයි.

මා පෙර ලිපියෙන් එළිදරවු කළ ව්‍යාජය මෙලෙස සාරාංශගත කළ හැකියි.

- අදාළ ඇමරිකන් වාර්තාවේ, එනම් GFI වාර්තාවේ, කිසිදු තැනක  2009-2017 අතර කාලය තුළ රටින් පැන්නූ මුදල් පිළිබඳව කිසිදු ඇස්තමේන්තුවක් නැහැ. එය එම වාර්තාව පෙන්වමින්, ලංකාවේ ඇතැම් අය විසින් ප්‍රබන්ධ කර ඉදිරිපත් කරන අදාළ වාර්තාවේ සඳහන්ව නැති දෙයක්. 

- අදාළ වාර්තාව මත පදනම්ව ඉහත ආකාරයේ නිගමනයකට පැමිණිය හැකි ශක්තිමත් තාර්කික පදනමක්ද නැහැ. 

ඒ හැර පහත පහත සඳහන් කිසිවක් මම කිවුවේ නැහැ.

- අනීතික ලෙස රටින් මුදල් පිට නොවන බව මම කිවුවේ නැහැ.

- ව්‍යාපාරිකයින් විසින් වැරදි ඉන්වොයිස් ඉදිරිපත් නොකරන බව මම කිවුවේ නැහැ.

- එසේ කිරීමෙන් රජයට විශාල බදු ආදායමක් අහිමි වීම නොසලකා හැරිය හැකි කරුණක්යැයි මම කිවුවේ නැහැ.

- ව්‍යාපාරිකයින් විසින් වැරදි ඉන්වොයිස් ඉදිරිපත් කිරීමේදී දේශ සීමා හරහා ප්‍රාග්ධන ගලනයන් සිදු නොවන්නේයැයි මම කිවුවේ නැහැ.

මම කිවුවේ 2009-2017 අතර කාලය තුළ ඩොලර් බිලියන 40කට ආසන්න මුදලක් ව්‍යාපාරිකයින් විසින් වැරදි ඉන්වොයිස් ඉදිරිපත් කිරීම මගින් රටින් පන්නා ඇතැයි යන්න කිසිදු පදනමක් නැති ප්‍රබන්ධනාත්මක ව්‍යාජයක් බව පමණයි. එහෙත්, මීට වඩා බෙහෙවින්ම අඩු යම් මුදලක් මේ විදිහට රටින් පන්නා තිබෙනවා විය හැකි බවයි.

එහෙමනම් ඔය කියන වාර්තාවේ තියෙන්නේ කුමක්ද?

වාර්තාවේ තිබෙන්නේ ආනයන අපනයන වෙළඳාමේ යෙදෙන ව්‍යාපාරිකයින් විසින් වැරදි ඉන්වොයිස් ඉදිරිපත් කිරීම පිළිබඳ අධ්‍යයනයක්. ව්‍යාපාරිකයින් විසින් මෙවැන්නක් කරන්නේ ප්‍රධාන වශයෙන්ම බදු වංචා කිරීමේ අරමුණින්. වාර්තාව ඉදිරිපත් කරන පර්යේෂකයින් විසින් සන්නිවේදනය කරන්න උත්සාහ කරන අදහසත් ඒකයි. එහෙත් විදේශ විණිමය විතැන් කිරීම වැනි අරමුණු වලින් මෙවැන්නක් කරන අවස්ථාද තිබිය හැකියි. මම එය කිසිසේත්ම බැහැර කරන්නේ නැහැ.

යම් කිසිවෙකු ලංකාවේ සිට යම් භාණ්ඩයක් අපනයනය කළ විට ගණුදෙනුව පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා රේගුවේ සටහන් වෙනවා. අදාළ භාණ්ඩය ගමනාන්ත රටට ළඟා වූ පසු අදාළ රටේ රේගුවේද තොරතුරු වාර්තා වෙනවා. මේ ගණන් සැසඳෙන්නේ නැත්නම්, පාර්ශ්ව දෙකෙන් එකක් බොරුවක් කර තිබෙන බව අපට සැක කළ හැකියි. එහෙත්, ඒ කවර පාර්ශ්වයද යන්න හඳුනාගත නොහැකියි. GFI පර්යේෂක කණ්ඩායම විසින් කරන්නේ රටවල් දෙකේ රේගු වාර්තා සංසන්දනය කරමින් මෙවැනි නොගැලපීම් හඳුනා ගැනීමයි. වසරකට බිලියන 4කට ආසන්නව ඇත්තේ ශ්‍රී ලංකාවේ සහ ගනුදෙනුකාර රටවල් වල වාර්තා සැසඳූ විට දැකිය හැකි නොගැලපීම් වල එකතුවයි.

මේ සඳහා උපයෝගී කර ගෙන තිබෙන දත්ත පොදු අවකාශයේ තිබෙන නිසා, අදාළ ක්‍රමවේදය අනුගමනය කරමින් ඇස්තමේන්තුවක් හදන එක අපට වුනත් කරන්න පුළුවන්. කාලය වැය කිරීමේ වියදම මිසක් මහා සංකීර්ණ වැඩක් නෙමෙයි. කැමති අයෙකුට උත්සාහ කර බැලිය හැකියි.

පසුගිය 2021 වසරේ දත්ත තවමත් බොහෝ දුරට අසම්පූර්ණ නිසා අපි 2020 දත්ත දෙස බලමු. එම වසර තුළ, ලංකාව විසින් භාණ්ඩ ආනයනය කළ රටවල් අතරින් රටවල් 106ක් විසින් ඔවුන් ලංකාවට අපනයනය කළ භාණ්ඩ වල විස්තර වාර්තා කර තිබෙනවා. ලෝකයේ රටවල් වලින් බාගයක් පමණම මෙතැන නැති වුනත්, ලංකාවේ ආනයන වලින් 99%ක්ම ඇවිත් තියෙන්නේ දත්ත තිබෙන රටවල් වලින් නිසා ඒ අඩුව නොසලකා හරින්න පුළුවන්. ගැලපිය හැකි අපනයන දත්ත තිබෙන රටවල් ගණන 134ක්. අපි මේ විදිහට ගැලපිය හැකි දත්ත පමණක් අරගෙන අපේ විශ්ලේෂණය කරමු. GFI පර්යේෂක කණ්ඩායම විසින්ද නොගැලපිය හැකි දත්ත ඉවත් කළ බව සටහන් කර තිබෙනවා.

දැන් අපට මේ එක් එක් රටේ සංඛ්‍යාලේඛණ හා ලංකාවේ සංඛ්‍යාලේඛණ සංසන්දනය කර, වෙනස ගණන් බලා එකතු කළ හැකියි. මේ එක් එක් රටේ දත්ත දෙස වෙන වෙනම බැලූ විට කිසිදු රටක සංඛ්‍යාලේඛණ ලංකාවේ සංඛ්‍යාලේඛණ සමඟ හරියටම ගැලපෙන්නේ නැහැ. හේතු ගණනාවක් නිසා මෙවැන්නක් සිදු විය හැකියි. වැරදියට ඉන්වොයිස් කිරීම ඒ අතරින් එක් හේතුවක්. ආනයන දත්ත සැසඳූ විට වෙනස ඩොලර් මිලියන 2,187.4ක් එනවා. අපනයන දත්ත වල නොගැලපීම් එකතුව ඩොලර් මිලියන 2,871.4ක්. ඒ කියන්නේ එකතුව ඩොලර් මිලියන 5,058.8ක්.

මම මේ ඇස්තමේන්තු හැදුවේ රටවල් මට්ටමින් ආනයන හා අපනයන දත්ත සංසන්දනය කරලා වුනත්, GFI පර්යේෂණ කණ්ඩායම විසින් සිදු කර තිබෙන සංසන්දනය මා කළ සංසන්දනයට වඩා පුළුල් එකක්. ඔවුන් එක් එක් රටට ලංකාවෙන් අපනයනය කළ එක් එක් භාණ්ඩය හා අදාළ තොරතුරු එකිනෙක වෙන වෙනම ගෙන සංසන්දනය කර තිබෙනවා. මෙය විශාල කාලයක් යන කටයුත්තක්. මා එවැන්නක් නොකළත්, මගේ සරල විශ්ලේෂණයෙන් ලැබී තිබෙන පිළිතුර ඔවුන්ගේ ඇස්තමේන්තු වලට ආසන්නයි. 

මෙවැනි වෙනසක් දෙආකාරයකින් ඇති විය හැකියි. එක්කෝ ලංකාවේ ගණන් අනෙක් පැත්තේ ගණන් වලට වඩා වැඩි වීමෙන්. එහෙම නැත්නම් අඩු වීමෙන්. GFI වාර්තාවේ මේ කොටස් දෙක වෙන වෙනම පෙන්වන්නේ නැහැ.

මේ ඇස්තමේන්තුව මුළුමනින්ම රටින් සල්ලි පැන්නීමක් පමණක් සේ අර්ථදක්වන අය කියන්නේ අපනයනකරුවන් ගණන් අඩුවෙන් පෙන්වීම මගින් සල්ලි රටෙන් පන්නන බවයි. එය පැහැදිලි ලෙසම සිදු විය හැකි දෙයක්. අපනයන වල ඉන්වොයිස් අගය අඩුවෙන් පෙන්වා වෙනස රටෙන් පිටත තියා ගන්න පුළුවන්. හැබැයි එහෙම කරන්න පුළුවන් කියන එකෙන් එහෙම කළා කියන එක තහවුරු වෙන්නේ නැහැ. 

මේ තර්කයම අනෙක් පැත්තට ඉදිරිපත් කරන්නත් පුළුවන්. යම් හෙයකින් අපනයන වල ඉන්වොයිස් අගය වැඩියෙන් පෙන්වා ඇත්නම් එයින් පෙන්වන්නේ අනීතික ලෙස රටට විදේශ විණිමය පැමිණ ඇති බව විය හැකියි. උදාහරණයක් ලෙස මේ දවස් වල අපනයනකරුවන් විසින් නිශ්චිත කාලයක් තුළ තමන්ගේ අපනයන ආදායම් රටට ගෙන ආ යුතුයි. ගණන් වැඩියෙන් පෙන්නුවා කියන්නේ මොන විදිහකින් හෝ නැති සල්ලිත් රටට ගේන්න වෙනවා කියන එකයි. 

මා ඉදිරිපත් කළ අදහස වුනේ ඔය දෙකම සිදු වන බවයි. ඒ නිසා, දිගුකාලයක් ගත් විට මේ ආකාරයේ ප්‍රාග්ධන විතැන් වීම් දෙපැත්තටම සිදු වන නිසා බොහෝ දුරට සමතුලිත වන බවයි. මගේ ප්‍රතිවාදීන්ගේ තර්කය වන්නේ මෙය සිදු වන්නේ එක් පැත්තකට පමණක් බවයි. ලංකාවේ සිට නිදහසේ ප්‍රාග්ධනය එළියට ගෙන යන එක අමාරු වැඩක් නිසා, කියන ගණන කෙසේ වුවත්, යම් ප්‍රමාණයක් රටින් එළියට යනවා කියන එකනම් පිළිගන්න පුළුවන්. ඒ කියන්නේ, කොටසක් සමතුලිත වුනත් සම්පූර්ණයෙන්ම සමතුලිත වන්නේ නැහැ කියන එක.

මේ ආකාරයේ ගැටළුවකට තර්කයෙන් පමණක් විසඳුමක් හොයන්න බැහැ. තමන්ගේ මතය නිවැරදියි කියා කියන්න ඕනෑ කෙනෙකුට තර්ක ඉදිරිපත් කරන්න පුළුවන්. මම කලින් ලිපියෙන් පෙන්වා දුන්නේ GFI වාර්තාවේ ඉහත ප්‍රතිවාදී මතය තහවුරු කළ හැකි දත්ත නැති නිසා එම මතය හිතලුවක් පමණක් බවයි. දැන් යමෙකුට ඒ විවේචනය මටත් කරන්න පුළුවන්. ඒ විවේචනයට පිළිතුර පොදු අවකාශයේ තිබෙන සංඛ්‍යාලේඛණයි.

දත්ත පරීක්ෂා කළ විට පැහැදිලිව පෙනෙන පරිදි ලංකාවෙන් ආනයන කළ රටවල් 134න් රටවල් 67ක් හා අදාළව අඩුවෙන් ගණන් පෙන්වීමේ ප්‍රවාදය නිවැරදි නමුත් ඉතිරි රටවල් 67 හා අදාළව දැකිය හැක්කේ එහි අනෙක් පැත්තයි. ඒ අනුව, මුල් රටවල් 67ට ලංකාවෙන් සල්ලි පැන්නූ බව කවුරු හෝ කියනවානම් ඉතිරි රටවල් 67 ලංකාවට සල්ලි පන්නා තිබෙන බවත් කියන්න පුළුවන් (Table 1). ගණන් සියල්ල එකතු කළ විට පෙනෙන්නේ ඔය කියන කතාව ඇත්තනම් 2020 වසර තුළ ඩොලර් මිලියන 351.4ක් මේ ක්‍රමයට ලංකාවෙන් හොරෙන් පන්නා ඇති බවයි. එහෙත්, වැඩිපුර සොයා නොබලා, GFI ඇස්තමේන්තු සල්ලි පැන්නීම් සේ උපකල්පනය කළොත් මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 2,187.4ක්. 

ඩොලර් මිලියන 351.4ක් මේ ක්‍රමයට ලංකාවෙන් හොරෙන් පන්නා ඇත්නම් එයත් ප්‍රශ්නයක් තමයි. නමුත්, මේ ඇස්තමේන්තුව ඩොලර් මිලියන 2,187.4ට වඩා ගොඩක් අඩුයි. 

මෙහිදී හරියටම රටවල් 67ක් සමඟ ධන වෙනසක් හා අනෙක් රටවල් 67 සමඟ සෘණ වෙනසක් තිබීම සාමාන්‍ය තත්ත්වයක් කියා මම කියන්නේ නැහැ. වෙන අවුරුද්දක් ගත්තොත්, එක පැත්තකට බර වැඩි වෙන්න පුළුවන්. හැබැයි දෙපැත්තක් තියෙනවා කියන එක සාමාන්‍ය තත්ත්වයක්.

මෙහිදී කියැවුණු තවත් කතාවක් වුනේ ඉන්වොයිස් අඩුවෙන් දාලා සල්ලි පන්නන්නේ බටහිර රටවලට කියන එකයි. එහෙමනම්, මේ සෘණ ශේෂ තියෙන ගොඩේ තියෙන්නේ බටහිර රටවල්ද? ධන ශේෂ තියෙන්නේ වෙනත් පොඩි පොඩි රටවල් එක්කද?

නැහැ, බටහිර සේ සැලකෙන රටවල් 18ක් අතරින් සෘණ ශේෂ දැකිය හැක්කේත්  රටවල් 9ක පමණයි. ඉතිරි 9 ධන ශේෂ. අදාළ තර්කය ඇත්තනම්, 2020 වසර තුළ ලංකාවෙන් බටහිර රටවලට ඩොලර් මිලියන 30.0ක් පන්නලා තියෙනවා (Table 1A). මෙය එම රටවලට සිදු කර තිබෙන අපනයන වලින් 0.5%ක් පමණයි. නමුත්, ලංකාවේ අපනයන වලින් 55.4%ක්ම ගිහින් තියෙන්නේ එම රටවල් 18ටයි. ඒ කියන්නේ, මේ විදිහට සල්ලි පන්නන්නේ බටහිර රටවලට කියා කියන්න සාක්ෂි නැහැ. ඩොලර් මිලියන 321.4ක්ම ගිහින් තියෙන්නේ අනෙකුත් රට වලට.

ආනයන මෙන් නොව, අපනයන දත්ත දෙස බැලූ විට ධන හා සෘණ අක්‍රමිකතාවන්හි පැහැදිලි අසමමිතියක් පේනවා. රටවල් 82ක ධන ශේෂ තිබුණත්, සෘණ ශේෂ තිබෙන්නේ රටවල් 20ක් සමඟ පමණයි (Table 2). 

මා ලියන දේ දිගටම කියවන අය දන්නා පරිදි මා මෙවැනි හැදෑරීම් කරන්නේ ඇත්ත සොයා ගැනීමේ අරමුණින් මිස "ඇත්ත කලින්ම දැනගෙන" එය තහවුරු කර පෙන්වීමේ අරමුණින් නෙමෙයි. එයින් කියන්නේ කිසිම අදහසක් නැතිව වැඩේට බහිනවා කියන එක නොවුනත්, ලැබිය හැකි ප්‍රතිඵලය පිළිබඳ විශේෂ බලාපොරොත්තුවක් නැතිව වැඩේට බහිනවා කියන එකයි.  

මා තරමක් විමතියට පත් කළ ඉහත ප්‍රතිඵලයෙන් ඉඟි කෙරෙන්නේ සල්ලි පැන්නීමේ අරමුණ  කලින් හිතාගෙන හිටියාට වඩා පැහැදිලි ලෙස පෙනෙන්නට ඇති බවයි. මිල අඩුවෙන් පෙන්වීම මගින් බදු වාසි පිළිබිඹු කෙරෙන නමුත් මිල වැඩියෙන් පෙන්වා ඇත්නම් එයින් ඉඟි කෙරෙන්නේ සල්ලි පැන්නීමේ අරමුණයි. GFI ක්‍රමවේදය අනුව ඇස්තමේන්තු කළ ඩොලර් මිලියන 2,871.4ට වඩා බොහෝ අඩු වුවත්, ඩොලර් මිලියන 723.6ක් කියා කියන්නේත් සැලකිය යුතු මුදලක්.

කල් වේලා ගතවන කටයුත්තක් නිසා මා විසින් විශ්ලේෂණය කළේ එක් වසරක දත්ත පමණයි. ඒ මත පදනම්ව මම බරපතල ප්‍රකාශ කරන්නේ නැහැ. එහෙත්, කලින් ලිපියේ මගේ මූලික තර්කය වූ, ප්‍රාග්ධන ගලනයක් එකම පැත්තකට පමණක් සිදු නොවන බව මේ දත්ත දෙස බැලූ විට පැහැදිලිව සනාථ වෙනවා. ඒ අනුව, GFI වාර්තාව මත පදනම්ව ලංකාවේ ඇතැම් අය පතුරුවන ඩොලර් බිලියන හතළියක් රටින් එළියට ගිය කතාව බොරුවක් බවද පැහැදිලිව පෙනෙනවා. 

කෙසේ වුවත්, ආනයන හා අපනයන වලට අදාළ ඉහත ඇස්තමේන්තු දෙකේ එකතුව ඩොලර් මිලියන 1,075.0ක්. වසරකට ඩොලර් බිලියන හතරක් හෝ පහක් මේ ක්‍රමයට රටින් එළියට යන්න විදිහක් නැතත්, ඩොලර් බිලියනයක් රටින් එළියට යනවානම් එයත් නොසලකා හැරිය හැකි කරුණක් නෙමෙයි. මේ ගැන හරියටම යමක් කිව හැක්කේ අනෙකුත් වර්ෂ වල දත්තද විශ්ලේෂණය කිරීමෙන් පසුවයි. වසංගතය පැවති 2020 සාමාන්‍ය වසරක් නොවූ නිසා, සාමාන්‍ය වසරක තත්වය මීට වඩා වෙනස් විය හැකියි. පරීක්ෂා කර නොබලා කොයි පැත්තටද කියා කිව නොහැකියි.

මුඛ්‍ය තර්කය නිශේධනය නොකරන පොඩි පොඩි අත්වැරදි අප අතින් සිදු වී තියෙන්න පුළුවන්. හැම දෙයක්ම නැවත පරීක්ෂා කරන්න කාලය යොදවන්න අමාරුයි. සමාජවාදීන් නොවන අපි වගේ සාමාන්‍ය මිනිස්සු අතින් අත් වැරදීම් වෙනවා. 

Thursday, July 28, 2022

ඩොලර් බැලන්ස් කිරීමේ ප්‍රශ්නය


තව දුරටත් ඉතිරිව තිබෙන ණය ගෙවීමේ ප්‍රශ්නය ගැන කලින් ලිපියෙන් කතා කළා. ඒ ප්‍රශ්නය කිසිසේත්ම පැත්තකින් තියන්න පුළුවන්කමක් නැතත්, සාකච්ඡාව ඉදිරියට ගෙන යාමේ අරමුණින්, ණය ප්‍රශ්නය පැත්තකින් තියමු. එක ඩොලරයක්වත් ණය ආපසු ගෙවන්නේ නැහැ කියා හිතුවොත් ඊළඟට ඉතිරි වන ප්‍රශ්නය මොනවා හෝ විදිහකින් රටට ලැබෙන ඩොලර් ටික පිරිමහගෙන කළමනාකරණය කර ගැනීමේ ප්‍රශ්නයයි. එය කළ හැකිද?

මෙය කළ නොහැකි තරම් අසීරු කාර්යයයක්. එහෙත්, බාහිර උදවු නොලැබුණොත් වෙන කරන්න කිසිම දෙයක් නැහැ.

අපි සංඛ්‍යාලේඛණ එක්කම ප්‍රශ්නය දිහා බලමු. මේ පසුගිය වසරේ (2021) සංඛ්‍යාලේඛණ.

අපනයන ආදායම - ඩොලර් මිලියන 12,502

ආනයන වියදම - ඩොලර් මිලියන 20,637

වෙළඳ ශේෂ හිඟය - ඩොලර් මිලියන 8,136 

මේ ගාණට ආනයන වියදම් සීමා වී තිබෙන්නේත් නෛසර්ගික ලෙස නෙමෙයි. වාහන ආනයනය ආදිය සම්පූර්ණයෙන්ම නවත්වා තිබියදී. නැවත වාහන ආනයනය වගේ දේවල්නම් දැන් හීන පමණක් නිසා දැන් ඉන්න තැන ඉඳලා කතාව පටන් ගනිමු.

දැන් ඉහත කී පරිදි ඩොලර් මිලියන 8,136ක වෙළඳ ශේෂ හිඟයක් තියෙනවා කියන්නේ ඔය ඩොලර් ප්‍රමාණය වෙන කවර හෝ ආකාරයකින් රටට එන්න ඕනෑ. එහෙම මොන විදිහකින් හෝ ඩොලර් රටට එනවානම් වෙළඳ ශේෂ හිඟයක් තියෙන එක ප්‍රශ්නයක් නෙමෙයි. 

පසුගිය වසර තුළ ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 5,491ක් රටට ආවා. සංචාරක කර්මාන්තයෙන් ඩොලර් මිලියන 261ක් ආවා. නමුත්, ඒ දෙකම එකතු කළත් වෙළඳ ශේෂ හිඟය පියැවෙන්නේ නැහැනේ. ඒ වගේම, ණය ගෙවීම පැත්තකින් තිබ්බත්, ඩොලර් අවශ්‍ය වෙන්නේ භාණ්ඩ ආනයන සඳහා පමණක් නෙමෙයි. අනෙක් ඩොලර් අවශ්‍යතා සඳහා වැය වූ කොටසත් එකතු කලාට පස්සේ සමස්තයක් ලෙස පසුගිය වසරේදී ඩොලර් මිලියන 3,961ක ගෙවුම් ශේෂ හිඟයක් තිබුණා. 

හරි. අපි මුල් ප්‍රශ්නයට එමු. ලංකාවට දැනට දශක ගණනාවක් තිස්සේ පවතින වෙළඳ ශේෂ හිඟය ඉතා ඉක්මණින් පියවා ගැනීමේ හැකියාවක් තියෙනවද?

මෙහි පළමු පියවර ලෙස අපි ආනයන වියදම වූ ඩොලර් මිලියන 20,637 විභේදනය කර බලමු.

පරිභෝජන භාණ්ඩ - ඩොලර් මිලියන 3,848.7 (18.6%)

අතරමැදි භාණ්ඩ - ඩොලර් මිලියන 12,308.9 (59.6%)

ආයෝජන භාණ්ඩ - ඩොලර් මිලියන 4,462.7 (21.6%)

එකතුව  - ඩොලර් මිලියන 20,637.4 (100.0%)

මම හිතන්නේ කියන්න හදන දෙය පැහැදිලි විය යුතුයි. ආනයන භාණ්ඩ පරිභෝජනය ගැන, අධිපරිභෝජනය ගැන ලොකුවට කතා කළත් පරිභෝජන භාණ්ඩ ආනයනය වෙනුවෙන් වැය වෙන්නේ මුළු ආනයන වියදමෙන් 18.6%ක් පමණයි. ඔය ටික මුළුමනින්ම නැවතුනත්, වෙළඳ හිඟය පියැවෙන්නේ නැහැ.

ලංකාවේ ආනයන වියදම් වලින් 80%ක් පමණම යන්නේ අතරමැදි හා ආයෝජන භාණ්ඩ ආනයනයටයි. මොනවද මේ අතරමැදි හා ආයෝජන භාණ්ඩ? 

අතරමැදි හා ආයෝජන භාණ්ඩ කියා කියන්නේ දේශීය නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හා නිෂ්පාදන සාධක. මේවා එන්නේ නැහැ කියා කියන්නේ බොහෝ දුරට රටේ නිෂ්පාදනයක් වෙන්නේ නැහැ කියන එකයි. ඒ කියන්නේ දැනට ලැබෙන අපනයන ආදායමත් නොලැබී යනවා කියන එකයි.

උදාහරණයක් විදිහට පසුගිය වසරේ රෙදිපිළි හා ඇඟලුම් වලින් ලැබුණු අපනයන ආදායම ඩොලර් මිලියන 4,423.1ක්. රටේ අපනයන ආදායමෙන් 35%ක් පමණ. හැබැයි ඔය අපනයන ආදායම ලබා ගන්න රෙදිපිළි ඇතුළු අනෙකුත් අමුද්‍රව්‍ය ආනයනය කරන්න වෙනවා. පසුගිය වසරේ රෙදිපිළි හා ඇඟලුම් ආනයන වියදම ඩොලර් මිලියන 2,335.1ක්. අර ආපු ඩොලර් ටිකෙන් බාගයකටත් වඩා අමුද්‍රව්‍ය වෙනුවෙන් රටෙන් එළියට ගිහින්. 

ඇගලුම් කර්මාන්තය සඳහා ආනයනය කරන්න අවශ්‍ය වන්නේ රෙදිපිළි වැනි දේ පමණක් නෙමෙයිනේ. මහන මැෂින්, අනෙකුත් මැෂින් වගේ නිෂ්පාදන සාධකත් ආනයනය කරන්න වෙනවා. ඒවා තියෙන්නේ ආයෝජන භාණ්ඩ යටතේ. ඒ විතරක්ද? යොදා ගන්න විදුලි බලය හදන්න ඉන්ධන ආනයනය කළ යුතුයි. සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන්න වාහන ආනයනය කළ යුතුයි. ඒ අයට දවල් කෑමට දෙන පරිප්පු ටික ආනයනය කළ යුතුයි. හිතල බැලුවොත් ලැයිස්තුව තව ගොඩක් දිගයි.

ඕනෑම අපනයන කර්මාන්තයක් ගත්තොත් තත්ත්වය ඕකයි. පහුගිය දවස් වල ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් වානේ ආනයනය කළා කියලා ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තිබුණා. වානේ ආනයනය නොකළොත් බයිසිකල් අපනයන කරන්න වෙන්නේ නැහැ. අපනයන වලින් ඩොලර් මිලියන 12,502ක් ලැබුණත් මෙය ශ්‍රමික ප්‍රේෂණ වලින් ලැබෙනවා වගේ ශුද්ධ ඩොලර් ආදායමක් නෙමෙයි. ඔය ඩොලර් ටික උපයා ගැනීම සඳහාම සැලකිය යුතු ආනයන ප්‍රමාණයක් කරන්න වෙනවා. ඒ වෙනුවෙන් ඩොලර් වැය කරන්න වෙනවා.

තේ කර්මාන්තය වගේ කෘෂිකාර්මික කර්මාන්තයක් ගත්තත් මේ තත්ත්වයේ වෙනසක් නැහැ. කර්මාන්තයට අවශ්‍ය පෝර වල ඉඳලා, යන්ත්‍ර සූත්‍ර දක්වා ගොඩක් දේවල් ආනයනය කරන්න වෙනවා. ඒ නිසා, රටට එන ඩොලර් ආදායම ශුද්ධ ආදායමක් නෙමෙයි. ලංකාවේ අපනයන ආදායමෙන් කොපමණ කොටසක් එම අපනයන නිපදවීම සඳහාම ආනයන වෙනුවෙන් වැය කළ යුතුද කියන එක කවුරුවත් ගණන් හදා ඇති බවක් මම දන්නේ නැහැ. මේ ප්‍රමාණය 50% පමණ හෝ ඊටත් වඩා වැඩි විය හැකියි. 

අපි 50%ක් කියලා ගනිමු. ඒ කියන්නේ මාසයකට අපනයන වලින් රටට බිලියනයක් එනවා කියා කිවුවත් ශුද්ධ වශයෙන් එන්නේ මිලියන 500ක් පමණයි. අනෙකුත් හැම දෙයක්ම ආනයනය කරන්න වැය කළ හැක්කේ මේ කොටස පමණයි.

ඔය කිවුවේ අපනයන නිෂ්පාදන සඳහා අවශ්‍ය ආනයන ගැන. ඊට අමතරව දේශීය නිෂ්පාදන සඳහාත් සැලකිය යුතු ආනයනික අමුද්‍රව්‍ය ප්‍රමාණයක් හා නිෂ්පාදන සාධක අවශ්‍යයි. ආනයන නැත්නම් දේශීය නිෂ්පාදනයකුත් නැහැ. වී ගොවිතැන වගේ දෙයක් ගනිමු. පෝර, කෘෂි රසායන, අත්ට්‍රැක්ටර්, ගොයම් කපන යන්ත්‍ර ආදී කර්මාන්තයට අවශ්‍ය බොහෝ දේවල් ආනයනය කරන්න වෙනවා. කෙටියෙන් කිවුවොත්, ආනයන වලින් 60%ක් පමණ වන අතරමැදි භාණ්ඩ සීමා කිරීමේ හැකියාවක් නැහැ. බැරි නැහැ. නමුත් එහෙම කරනවා හෝ කරන්න වෙනවා කියා කියන්නේ රටේ සමස්ත ආර්ථිකය විශාල කඩා වැටීමකට ලක් වී රට ඇතැම් විට සියවස් බාගයකින් පමණ  ආපස්සට යනවා කියන එකයි.

ආයෝජන භාණ්ඩ සීමා කිරීමත් ඔය වගේම අහිතකර වුවත් කෙටිකාලීනව ආයෝජන භාණ්ඩ සීමා කිරීමක් කළ හැකියි. පරිභෝජන භාණ්ඩත් යම් තරමකින් සීමා කළ හැකියි. එහෙත් අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ ආදිය නොගෙන්වා බැහැ.

ඊළඟට කරන්න යන සංසන්දනය සඳහා මම ඉහත 2021 සංඛ්‍යාලේඛණ දොළහෙන් බෙදා මාසික සාමාන්‍ය අගයයන් ඉදිරිපත් කරන්නම්.

පරිභෝජන භාණ්ඩ - ඩොලර් මිලියන 320.7 

අතරමැදි භාණ්ඩ - ඩොලර් මිලියන 1,025.7 

ආයෝජන භාණ්ඩ - ඩොලර් මිලියන 371.9 

එකතුව  - ඩොලර් මිලියන 1,719.8 

අපනයන ආදායම - ඩොලර් මිලියන 1,041.8 

වෙළඳ හිඟය - ඩොලර් මිලියන 678.0


දැන් අපට මෙම ගණන් පසුගිය (2022 මැයි) මාසයේ සංඛ්‍යාලේඛණ සමඟ සැසඳිය හැකියි. 

පරිභෝජන භාණ්ඩ - ඩොලර් මිලියන 177.1 (-44.8%)

අතරමැදි භාණ්ඩ - ඩොලර් මිලියන 1,036.1 (1.0%)

ආයෝජන භාණ්ඩ - ඩොලර් මිලියන 238.2 (-36.0%)

එකතුව  - ඩොලර් මිලියන 1,451.5 (-15.6%)

අපනයන ආදායම - ඩොලර් මිලියන 1,047.3 (0.5%)

වෙළඳ හිඟය - ඩොලර් මිලියන 404.2 (-40.4%)

ආනයන සීමා කිරීමේ බලපෑම පේනවනේ. සමස්තයක් ලෙස මැයි මාසයේ ආනයන වියදම පසුගිය වසරේ සාමාන්‍ය මාසික වියදමට සාපේක්ෂව 15.6%කින් අඩු වී තිබෙනවා. අපනයන ආදායම ආසන්න වශයෙන් සමානයි. ඉතා සුළු (0.5%ක) වැඩි වීමක් පමණක් තිබෙනවා. අපනයන ආදායම් අඩු නොවී ආනයන වියදම් අඩු වීම නිසා වෙළද හිඟය 40.4%කින් අඩු වී තිබෙනවා. පවතින තත්ත්වය තුළ මේ හැම දෙයක්ම සාධනීයයි.

අපනයන වියදම් අඩු වෙලා තියෙන්නේ කොහොමද? පරිභෝජන භාණ්ඩ සඳහා යන වියදම් 44.8%කින් අඩු වෙලා. මේ වෙද්දී පරිභෝජන භාණ්ඩ කාණ්ඩය යටතේ ආනයනය කෙරෙන්නේ බොහෝ දුරට අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ වැනි දේ පමණයි. මේ ප්‍රමාණය මීට වඩා අඩු වෙනවා කියා කියන්නේ රටේ මිනිසුන්ගේ මූලික අවශ්‍යතා ටිකවත් සම්පූර්ණ වෙන්නේ නැහැ කියන එකයි. දැනටම වුවත් ඖෂධ ආදිය හිඟයිනේ.

නමුත් අතරමැදි භාණ්ඩ සඳහා යන වියදම් ඒ විදිහටම තියෙනවා. ඇත්තටම සුළු වශයෙන් (1.0%කින්) වැඩි වෙලා. මේ වියදම අඩු කිරීමේ හැකියාවක් නැහැ. එහෙම කළා කියලා අයහපතක් මිස සිදු වන කිසිදු යහපතකුත් නැහැ. මොකද අතරමැදි භාණ්ඩ ආනයනය අඩු වෙනවා කියන්නේ අනෙක් පැත්තෙන් අපනයන ආදායම් අඩු වෙනවා කියන එක සහ දේශීය නිෂ්පාදිත අඩු වී ආනයන අවශ්‍යතා ඉහළ යනවා කියන එකයි. උදාහරණ විදිහට රෙදි ආනයනය කරන්න ඉඩ නුදුන්නොත් ඇඟලුම් අපනයනය කර ලැබෙන ඩොලර් ටික ලැබෙන්නේ නැහැ. පෝර ආනයනය නවත්තලා වී නිෂ්පාදනය පහත වැටුනොත් වෙන්නේ හාල් ආනයනය කරන්න. ඔය දෙකෙන්ම අන්තිමට වෙන්නේ වෙළඳ ශේෂය තවත් ඉහළ යන එකයි.

ආයෝජන භාණ්ඩ ආනයනය අඩු කිරීමෙන් වෙන්නෙත් ඔය ටිකම වුනත් පොඩි වෙනසකට තියෙන්නේ කෙටිකාලීනව මෙහි හානි විශාල නොවීමයි. හැබැයි ඔය වැඩේ වුනත් දිගින් දිගටම කරන්න ගියොත් වෙන්නේ අතරමැදි භාණ්ඩ ආනයන නැවතුනු විට වෙන දේම තමයි. මැයි මාසය වෙද්දී, ආයෝජන භාණ්ඩ ආනයනය 36.0%කින් අඩු වෙලා. ඒ කියන්නේ, මෙයත් අඩු කළ හැකි උපරිම සීමාවකට කිට්ටු වෙලා. 

කෙටියෙන් කිවුවොත් රටේ ජනතාවගේ ජීවන තත්ත්වයේ දැවැන්ත කඩා වැටීමක් සිදු නොවී (දැන් තත්ත්වය මාර හොඳ තත්ත්වයක් කියා හිතෙන තරමේ) ඔයිට වඩා ආනයන පාලනය කරන්න බැහැ. ආනයන වැඩි නොකර අපනයන වැඩි කරන්න හෝ දේශීය නිෂ්පාදිත ඉහළ දමන්නත් බැහැ. 

මෙතැන තියෙන්නේ අපනයන කර්මාන්ත අමතක කර දේශීය නිෂ්පාදන දියුණු කරන්න වැඩි අවධානයක් යොමු කිරීමේ ඓතිහාසික වැරැද්ද. මම කියන්නේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම වැරැද්දක් කියන එක නෙමෙයි. ඕනෑම රටක ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රධාන ඉලක්කයක් විය යුත්තේ එයයි. ප්‍රශ්නය කරලා තියෙන විදිහට ඒ වැඩේ සිදු නොවීමයි.

ලංකාව වගේ රටකට ආනයනික යෙදවුම් නැතිව දේශීය නිෂ්පාදිතය ඉහළ දමන්න බැහැ. කවර කර්මාන්තයක් ගත්තත් තත්ත්වය ඕකයි. රටේ පරිභෝජනය සඳහා වුවත්, ආනයන සඳහා වුවත්, ලංකාවේ හදන ඕනෑම දෙයකට සැලකිය යුතු ආනයනික යෙදවුම් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ ආනයනික යෙදවුම් සඳහා ඩොලර් අවශ්‍ය වෙනවා. මේ ඩොලර් ප්‍රමාණය හොයා ගන්න සැලකිය යුතු අපනයන ප්‍රමාණයක් අවශ්‍යයි. හැබැයි ඒ අපනයන ටික නිපදවන්නත් ආනයනික යෙදවුම් නැතුව බැහැ. ඒ නිසා, ආනයන වලින් රටට ශුද්ධ වශයෙන් ලැබෙන ඩොලර් ප්‍රමාණය සංඛ්‍යාලේඛණ වල පෙනෙන ගණනට වඩා ගොඩක් අඩුයි.

මේ කතාව ලංකාවේ ආනයන වලට අදාළ නැහැ. ලෝකයේ අනෙක් රටවල් වලට ලංකාවේ අපනයන තිබුණත් නැතත් මේ දේවල් හදන්න පුළුවන්. ඒ නිසා, ආනයන වෙනුවෙන් රටෙන් එළියට යන ඩොලර් ප්‍රමාණය සංඛ්‍යාලේඛණ වල තිබෙන ප්‍රමාණයම තමයි. මේ කරුණ සැලකුවහම ලංකාවේ සංඛ්‍යාලේඛණ අනුව ආනයන වියදම අපනයන ආදායම් මෙන් දෙගුණයක් ලෙස පෙනුණත් ඇත්තම අනුපාතය තුන් ගුණයක් හෝ හතර ගුණයක් වෙන්න පුළුවන්.

ලංකාවේ වෙළඳ ශේෂය අඩු කරගන්නනම් කළ යුත්තේ ආනයන වලට හැකි තරම් ඉඩ දෙන එක මිසක් ආනයන පාලනය කරන එක නෙමෙයි. මම මේ කියන්නේ දැන් කළ යුතු දෙයක් ගැන නෙමෙයි. දිගුකාලීනව සිදු විය යුතු දෙය. ලංකාවේ බයිසිකල් හදලා අපනයනය කරන්නේ බයිසිකල් ආනයනය කරන්න දුන් නිසා. මිනිස්සු ඇපල්, මිදි වවන්න උත්සාහ කරන්නේ ඒවා ආනයනය කරන්න ඉඩ දීමෙන් රට ඇතුළේ ඉල්ලුමක් හැදී ඇති නිසා. ආනයන නෑ කියන්නේ අපනයත් නැහැ. දේශීය නිෂ්පාදන වැඩි වෙන්නෙත් නැහැ.

වැරැද්ද ආනයන වලට ඉඩ දීම නෙමෙයි. ඩොලරයක මිල පහළින් තියලා ආනයන ඕනෑවට වඩා ලාබ කිරීම. ඩොලරයක මිල වැඩිනම් ආනයන භාණ්ඩ වෙළඳපොළේ තිබුණත් බොහෝ දෙනෙකුට මිල දී ගන්න බැරි තරමට මිල අධිකයි. අතේ සල්ලි නැති නිසා ගොඩක් අය කඩේ තියෙන බඩු දිහා බල බල යනවා. එතකොට තමයි දේශීය නිෂ්පාදකයෝ වැඩේට බහින්න පෙළඹෙන්නේ. මේ වැඩේ මාසෙකින් වෙන එකක්නම් නැහැ. 

අපි මැයි මාසයට නැවත යමු. ආනයන වියදම ඩොලර් මිලියන 1,451.5ක්, අපනයන ආදායම ඩොලර් මිලියන 1,047.3ක්. වෙළඳ හිඟය ඩොලර් මිලියන 404.2ක්. ලබන මාසයේ හෝ ඊළඟ මාසයේ ඔය වෙළඳ හිඟය නැති කරන්න පුළුවන්ද? කොහෙත්ම බැහැ. දැන් මෙය එහි සීමාවට ඇවිල්ලයි තියෙන්නේ. ඒ කියන්නේ ඔය ඉතිරි ඩොලර් මිලියන 400 වෙන ක්‍රමයකින් හොයා ගන්නම වෙනවා.

අවුරුද්දකට විතර කලින්නම් ඔය ඩොලර් ප්‍රමාණය ශ්‍රමික ප්‍රේෂණ ලෙස රටට ආවා. පසුගිය මැයි මාසයේ ලැබුණු ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 460ක්. නමුත් මේ මැයි මාසයේ ඇවිත් තියෙන්නේ ඩොලර් මිලියන 304ක් පමණයි. ශ්‍රමික ප්‍රේෂණ වැඩිවන ප්‍රවණතාවක් ලොකුවට පේන්න නැහැ. හැබැයි දැනට ලැබෙන මිලියන 300 ඒ විදිහටම ලැබුණත් තව විශාල අඩුවක් නැහැ. මේ කතා කරන්නේ ණය ප්‍රශ්නය පැත්තකින් තියලා. ඒ ප්‍රශ්නය වෙනම තියෙනවා.

සංචාරකයින් යම් ප්‍රමාණයක් ආවත් අඩුපාඩුව හොයා ගන්න අමාරු නැහැ. නමුත්, විදුලිය කැපෙද්දී, ප්‍රවාහනය අඩාල වී තියෙද්දී, ජීවිත ආරක්ෂාව පිළිබඳ ගැටළු පේන්න තියෙද්දී සංචාරකයෝ ගෙන්වන එකත් ලේසි වැඩක් නෙමෙයි. ඔය ඔක්කොම හොඳ විදිහට සිදු වුනත් කෙටිකාලීනව ගෙවිය යුතු ණය පිළිබඳ ප්‍රශ්නය එහෙම්මම තියෙනවා. ඒ නිසා, IMF වැඩේ කෙරෙන තුරු ඉස්සරහට යන්නනම් අසල්වැසි රටකින් කෙටිකාලීන ණය නැතිවම බැහැ. 

Monday, May 16, 2022

රනිල්ගේ තත්ත්ව වාර්තාව


රනිල් වික්‍රමසිංහ තත්ත්ව වාර්තාවක් එක්ක ජාතිය අමතනවා. අර හමුදාවේ කියන්නේ සිට්රෙප් එකක් කියලා. මෙහිදී රනිල් ආර්ථිකයේ පවතින තත්ත්වය ගැන ඇත්ත කතා කරනවා. හැබැයි රනිල් නොකිවුවත් දැන් මේ තත්ත්වය කාටවත් රහසක් නෙමෙයි. ඒ වගේම, රට මේ තත්ත්වයට ඇද දැමීමේ වරද රනිල් මත නොපැටවෙන නිසා රනිල්ට මේ ඇත්ත කතා කරන්න අපහසුවක් නැහැ.

ඩොලර් ප්‍රශ්නය ගැන දැන් කවුරුත් දන්න නිසා අපි මෑතකාලීන ප්‍රවණතා ගැන පමණක් බලමු.

අපනයන ආදායම (ඩොලර් මිලියන)

2022 ජනවාරි - 1,001

2022 පෙබරවාරි - 1,092

2022 මාර්තු - 1,057

ඉතා පැහැදිලි ලෙසම ඩොලරයේ මිල ඉහළ ගියා කියලා අපනයන ආදායම් වැඩි වන බවක් පෙනෙන්න නැහැ. එවැන්නක් කොහොමටත් හදිසියෙන් වෙන්නේ නැහැ. 

ආනයන වියදම (ඩොලර් මිලියන)

2022 ජනවාරි - 1,959

2022 පෙබරවාරි - 1,873

2022 මාර්තු - 1,819

ආනයන වියදම් වල යම් අඩු වීමක් පෙනෙන්න තිබෙනවා. මේ අඩුවීම වෙන්නේ වාහන වැනි ඇතැම් ආනයන තහනම්ව ඇති තත්ත්වයක් යටතේ. දැන් තිබෙන්නේ කෙසේවත්ම වාහන වැනි දේ ආනයනය කළ හැකි තත්ත්වයක් නොවන නිසා ඒ තත්ත්වය එලෙසම තවත් කාලයක් තියෙයි කියා හිතමු. ඩොලරයේ මිල ඉහළ යද්දී ආනයන ඉල්ලුමේ අඩුවීමක් අපේක්ෂා කළ හැකියි. හැබැයි මෙය සිදු වෙන්නේ ආනයනික භාණ්ඩ වල දේශීය මිල අවශ්‍ය තරමට ඉහළ යන්න ඉඩ ඇරියොත් පමණයි. ඒ කියන්නේ ගෑස්, ඉන්ධන, විදුලි බිල් වැඩි කළොත් පමණයි. තව දුරටත් දිගින් දිගටම සහන දුන්නොත් ඔය වැඩේ වෙන්නේ නැහැ.

වෙළඳ ශේෂය (ඩොලර් මිලියන)

2022 ජනවාරි - (859)

2022 පෙබරවාරි - (781)

2022 මාර්තු - (762)

අපනයන වියදම් වැඩි නොවෙද්දී වෙළඳ හිඟය අඩු විය හැක්කේ ආනයන වියදම් අඩු වීමෙන් පමණයි. එවැන්නක් සිදු වන බව පෙනුනත් ඒ අවශ්‍ය තරමට වඩා අඩු මට්ටමකින්. වෙළඳ ශේෂය තව දුරටත් අඩු කර ගන්නම් ආනයනික භාණ්ඩ වල මිල තවත් ඉහළ යන්න ඉඩ දෙන්නම වෙනවා. 

සංචාරක ඉපැයීම් (ඩොලර් මිලියන)

2022 ජනවාරි - 148

2022 පෙබරවාරි - 174

2022 මාර්තු - 192

සංචාරක ඉපයීම් මීට වඩා ඉහළ නංවා ගැනීමේ පැහැදිලි විභවයක් තිබෙනවා. එහෙත්, ඒ සඳහා රටේ ආර්ථික, දේශපාලනික හා සමාජයීය ස්ථාවරත්වය අවශ්‍ය වෙනවා. මේ වැඩේ සිදු විය හැක්කේ රජය, මහ බැංකුව, දේශපාලන පක්ෂ හා සාමාන්‍ය මහජනතාව අතර ඇතිවන යම් ආකාරයක සංහිඳියාවකින් පසුව පමණයි. මේ වන විටනම් ඉතිරිව තිබෙන්නේ ප්‍රශ්නාර්ථ ලකුණක්. 

ශ්‍රමික ප්‍රේෂණ (ඩොලර් මිලියන)

2022 ජනවාරි - 259

2022 පෙබරවාරි - 205

2022 මාර්තු - 318

ඩොලරයේ මිල ඉහළ යාමට ඉඩ සැලසීමෙන් පසුව ශ්‍රමික ප්‍රේෂණ වල වැඩිවීමක් පෙනෙන්න තිබෙනවා. මහ බැංකුව විසින් ගන්නා ක්‍රියාමාර්ග වල උදවුවෙන් මෙම ලැබීම් තව දුරටත් ඉහළ යා හැකි වුවත් මෙහිදීද රටේ දේශපාලන තත්ත්වයේ බලපෑමක් තිබෙනවා. දේශපාලනික ඉලක්ක ඇතිව ඇතැම් විදේශගත ශ්‍රී ලාංකිකයින් විසින් රටට මුදල් නොඑවා සිටීමේ ප්‍රවණතාවක්ද දැකිය හැකියි. මේ තත්ත්වය කෙලෙස වෙනස් වේද යන්න පිළිබඳවද තිබෙන්නේ අවිනිශ්චිතතාවයක්.

ඉහත ගණන් වල එකතුව (ඩොලර් මිලියන)

2022 ජනවාරි - (452)

2022 පෙබරවාරි - (402)

2022 මාර්තු - (252)

මෙතෙක් විස්තර කළ සියලු ආකාර වලින් රටට එන හා රටින් යන ඩොලර් ප්‍රමාණ අතර පරතරය අඩුවෙමින් ඇතත් තවමත් එය පියැවී නැහැ. ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක ඉපැයීම් තරමක් ඉහළ ගියොත් මේ ලැබීම් හා යාම් සමතුලිත වන බව ඉතා පැහැදිලියි. ඒ සඳහා, ආර්ථික, දේශපාලනික හා සමාජයීය ස්ථාවරත්වය අවශ්‍ය වෙනවා. එසේ නොවුවහොත්, මේ ලැබීම් හා යාම් සමතුලිත විය හැක්කේ ඩොලරයක මිල තව දුරටත් ඉහළ යාමෙන් පමණයි. ඩොලරයක මිල රුපියල් 450-500ක් පමණ වුවහොත් සහ ඊට අනුරූපව ඉන්ධන, විදුලිබිල් මිල ඉහළ ගියොත් සංචාරක ඉපැයීම් හා ශ්‍රමික ප්‍රේෂණ වැඩි නොවීම ඩොලර් ප්‍රශ්නය විසඳෙයි. 

බිල ගෙවාගත නොහැකි නිසා බොහෝ දෙනෙක් පැය හයක් පමණ ලයිට් නොදමා හිටියොත් වෙන්නෙත් පැය හයක් ලයිට් කැපූ විට ලැබෙන ප්‍රතිඵලයමයි. බොහෝ දෙනෙකුට ගෑස් මිල දරාගත නොහැකි වුවහොත් ගෑස් පෝලිම් අඩු වෙනවා වගේම ගෑස් ආනයනය සඳහා යන ඩොලර් ටිකත් ඉතිරි වෙනවා. වාහන වලට පැට්‍රෝල් ගහන්න සල්ලි නැතිව වාහන පාරට දාන එක නැවතුනොත් ඉන්ධන ආනයන වියදම් අඩු වෙනවා. පැට්‍රෝල් පෝලිමුත් නැති වෙනවා. ඩොලරයක මිල රුපියල් 450-500ක් පමණ වුවහොත් වෙළඳපොළ විසින් ප්‍රශ්නය විසඳන්නේ ඔය විදිහටයි. 

ආර්ථික, දේශපාලනික හා සමාජයීය ස්ථාවරත්වය ඇති වී සංචාරකයෝ රටට ආවොත්, පෙර පරිදිම ශ්‍රමික ප්‍රේෂණ ලැබුනොත් ඩොලරයක මිල ඔය තරම් ඉහළ යන්න ඉඩ අරින්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔය තරමටම ගෑස්, ඉන්ධන, විදුලි බලය පරිභෝජනය සීමා කරන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ. ඩොලරයක මිල දැන් තිබෙන මට්ටම ආසන්නයේම වුවත් ස්ථාවර වෙන්න පුළුවන්. 

සමස්ත ගෙවුම් ශේෂය (ඩොලර් මිලියන)

2022 ජනවාරි හා පෙබරවාරි - (1,697)

2022 මාර්තු - (572)

සමස්ත ගෙවුම් ශේෂ හිඟය ඉහත ගණන් මෙන් දෙගුණයක් පමණ බවද අමතක නොකළ යුතුයි. ඒ, ණය වාරික හා පොලී ලෙස ගෙවිය යුතු ඩොලර් ප්‍රමාණයක්ද තිබෙන නිසා. රජයේ විදේශ ණය හා පොලිය ගෙවීම අත් හිටවීම නිසා මේ ගණන් වල අඩුවක් විය හැකි වුවත්, අවම මට්ටමකින් හෝ රට දුවා ගැනීමට අවසාන වශයෙන් මාසයකට තවත් සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක් සොයා ගත යුතුව තිබෙනවා. රනිල් වික්‍රමසිංහ විසින් උත්සාහ කරමින් සිටින බව පෙනෙන්නේ කොහෙන් හෝ ඒ අවශ්‍ය මුදල හොයා ගන්නයි. 

සල්ලි හොයා ගන්න විදිහ රනිල් නිශ්චිත ලෙස කියා නැති නිසා ඒ ගැන මම දන්නේ නැහැ. කොහොම හරි හොයා ගනියි කියලා අපි සුබවාදී ලෙස හිතමු. බැරි වුනොත් තත්ත්වය ගැන කතා කරන්නවත් දෙයක් නැහැනේ. ඒ සඳහා අවශ්‍ය සහයෝගයත් රටෙන් ලැබුණා කියලා හිතමු. 

මෙවැනි සුබවාදී තත්ත්වයක් යටතේ දැන් තිබෙන අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ, ඉන්ධන හිඟය නැති වෙයි. පෝලිම් නැති වෙයි. හැබැයි බඩු ගණන් යයි. උද්ධමනය තවත් වැඩි වෙයි. 

උද්ධමනය පාලනය කරන එක මහ බැංකුවේ රස්සාවනේ. මේ වැඩේට මහ බැංකුව සතුව තිබෙන ආයුධය පොලී අනුපාතිකයි. මේ වෙලාවේ පොලී අනුපාතික ඉහළ දැමීමෙන් පමණක් වැඩේ ගොඩ දැමිය හැකිද? ඔන්න ඔතැනයි ලොකුම කොස්ස තියෙන්නේ.

රාජ්‍ය මූල්‍යනය සම්බන්ධව රනිල් පැහැදිලි කරන කරුණු එක්ක පහසුවෙන්ම චිත්‍රය සම්පූර්ණ කරගත හැකියි.

"2022 ආරම්භයේ දී පසුගිය රජයේ අයවැයෙන් රුපියල් ට්‍රිලියන 2.3ක ආදායමක් ඇති බවට පෙන්නුම් කළත් මේ වසර සඳහා සැබෑ ආදායම් අනාවැකිය වන්නේ රුපියල් ට්‍රිලියන 1.6 ක්."

ඔය කතාව මම කලින්ම කියලා තියෙනවනේ.

"2022 වසර සඳහා රජයේ වියදම රුපියල් ට්‍රිලියන 3.3 ක්. කෙසේ වෙතත් පසුගිය රජයේ පොලී අනුපාත වැඩිවීම් සහ අතිරේක වියදම් හේතුවෙන් 2022 වසර සඳහා රජයේ සමස්ථ වියදම රුපියල් ට්‍රිලියන 04 කි. වර්ෂය සඳහා අයවැය හිඟය රුපියල් ට්‍රිලියන 2.4 ක් වන අතර එය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 13 කි."

ඔන්න අවුල. දැන් ඔය රුපියල් ට්‍රිලියන 2.4 හොයා ගන්නේ කොහොමද? 

ඩොලර් ප්‍රශ්නය විසඳපු ගමන්ම ඔය රුපියල් ප්‍රශ්නය මතු වෙනවා. දැනට පොලී අනුපාතික 24% මට්ටමට ඉහළ යන්න ඉඩ ඇර තිබුණත් ඒ පොලිය ගෙවා හෝ වෙන්දේසියට දමන භාණ්ඩාගාර බිල්පත් සියල්ල විකුණා ගන්න බැහැ. අඩුව පුරවන්න වෙන්නේ සල්ලි අච්චු ගහලා. විකිණෙන බිල්පත් වැඩිපුරම මිල දී ගන්නෙත් බැංකු. බැංකු විසින් ඒ සඳහා අවශ්‍ය අරමුදල් ලබා ගන්නෙත් මහ බැංකුවෙන්. ඒ කියන්නේ එතැනත් වෙන්නේ වක්‍ර ලෙස සල්ලි අච්චු ගැසීමක්.

විසඳුමක් ලෙස මහ බැංකුව විසින් පොලී අනුපාතික තවත් වැඩි කළා කියා හිතමු. එවිට තවත් යම් බිල්පත් ප්‍රමාණයක් විකිණෙයි. නමුත්, පොලී වියදම් ඉහළ යාම නිසා අයවැය හිඟය ඉහළ ගොස් රජයට විකුණන්න අවශ්‍ය වන බිල්පත් ප්‍රමාණය ඊට වඩා වැඩියෙන් ඉහළ ගියොත් මහ බැංකුව පොලී අනුපාතික වැඩි කළ එකෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ. රජයේ විශාල අයවැය හිඟය එක්ක මහ බැංකුව හමුවේ තිබෙන අභියෝගය ඕකයි. ඒ කියන්නේ තවත් යම් කිසි කාලයක් යන තුරු අනිවාර්යයෙන්ම සල්ලි අච්චු ගහන්න වෙනවා කියන එකයි.

ප්‍රශ්නය ස්ථිරසාර ලෙස විසඳන්නනම් කරන්න වෙන්නේ මිනිස්සු කැමති වන දේවල් නෙමෙයි. බඩු ගණන් යන්න ඉඩ අරින්න වෙනවා. බදු තව වැඩි කරන්න වෙනවා. රජයෙන් දෙන සහන කපන්න වෙනවා. රාජ්‍ය සේවකයින් ඉවත් කරන්න වෙනවා. ඔය කිසිවක් කළ හැකි දේශපාලන වාතාවරණයක් රටේ නැහැ. මිනිස්සු ඉල්ලා සිටින්නේ රජය තවත් සහන දිය යුතු බවයි. රනිල් කරන්න යන්නෙත් ඒකම තමයි. 

"මේ අතර 2022 වසර සඳහා ඉදිරිපත් කළ සංවර්ධන අයවැය වෙනුවට අලුත් අයවැයක් ඉදිරිපත් කරන්න සැලසුම් කරල තිබෙනවා. එය සහන අයවැයක් ලෙස ඉදිරිපත් කරන්නයි මගේ සැලසුම."

Saturday, September 11, 2021

ඩොලරයේ මිල හා බඩු මිල


ඩොලරයේ මිල ඉහළ යාම ගැන ලංකාවේ ගොඩක් අයට තිබෙන්නේ විශාල භීතිකාවක්. මේ අයගේ ප්‍රධානම තර්කය වන්නේ ඩොලරයේ මිල ඉහළ ගියාම බඩු ගණන් යනවා කියන එකයි. කතාව ඇත්ත. ආනයනික බඩු වල මිල අනිවාර්යයෙන්ම ඩොලරය ඉහළ යන අනුපාතයට ගණන් යනවා තමයි. ඊට අමතරව ආනයනික අමුද්‍රව්‍ය අවශ්‍ය වන දේශීය නිෂ්පාදන වල මිලත් ඩොලරයක මිල ඉහළ යද්දී ගණන් යනවා. මේවා න්‍යායාත්මකව පැහැදිලි කළ හැකි, ඒ වගේම ප්‍රායෝගිකව මහ පොළොවේ දැකිය හැකි දේවල්

හැබැයි මේ කතාව කියන අය නොකියන හෝ නොදකින දෙය ඩොලරයක මිල එලෙසම තිබුණත් ලංකාවේ බඩු මිල ඉහළ යනවා කියන එකයි. එහෙම නොවෙනවා කියා කවුරු හෝ හිතනවාද?

ඩොලරයක මිල එලෙසම තිබුණත් ලංකාවේ බඩු මිල ඉහළ යන්නේ ඇයි?

ලංකාවේ රජය ආදායම ඉක්මවා වියදම් කරනවා. ඒ නිසා, හැම විටම වාගේ පියවිය යුතු රාජ්‍ය අයවැය හිඟයක් ඉතිරි වෙනවා. මේ හිඟය පියවන්න සල්ලි අච්චු ගැසීම නිසා රටේ මුදල් සැපයුම ආර්ථික වර්ධනය ඉක්මවා ඉහළ යනවා. එහිදී රටේ තිබෙන භාණ්ඩ සැපයුම ඉක්මවා භාණ්ඩ වලට තිබෙන ඉල්ලුම ඉහළ යනවා. ඇයි මිනිස්සු අතේ වැඩිපුර සල්ලි තියෙනවනේ. 

වැඩි වූ මුදල් අතේ තියෙන මිනිස්සු රටේ නිපදවෙන සීමිත භාණ්ඩ හා සේවා ටික මිල දී ගන්න තරඟ කරද්දී ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙන්නේ දේශීය නිෂ්පාදන වල මිල ඉහළ යාම තුළින්. හැබැයි ඩොලරයේ මිල වෙනස් වෙලා නැති නිසා ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යන්නේ නැහැ. ආනයනික අමුද්‍රව්‍ය අවශ්‍ය වන දේශීය නිෂ්පාදන වල මිලද යම් තරමකින් ඉහළ යනවා. එහෙත්, දේශීය නිෂ්පාදන තරමටම මිල ඉහළ යන්නේ නැහැ. මුදල් අච්චු ගැසීමේ ප්‍රතිඵලයක් ලෙස සමස්තයක් ලෙස මිල මට්ටම ඉහළ ගියත් ආනයනික භාණ්ඩ වල මිල එලෙසමයි.

මේ විදිහට ආනයනික භාණ්ඩ වල මිල එලෙසම තියෙද්දී දේශීය නිපැයුම් වල පමණක් මිල වැඩි වූ විට මොකද වෙන්නේ? රට ඇතුළේ දේශීය නිෂ්පාදන වලට ඉල්ලුම අඩු වෙනවා. ආනයනික භාණ්ඩ වලට ඉල්ලුම වැඩි වෙනවා. ඔය අතර කවුරු හෝ කෙනෙක් දේශීය නිෂ්පාදන වෙනුවට මිල අඩු ආදේශක කොහෙන් හෝ හොයාගෙන ආනයනය කරනවා. දේශීය නිෂ්පාදකයාට ආනයනික භාණ්ඩ එක්ක තරඟ කළ නොහැකි වී වෙළඳපොළෙන් ඉවත් වෙන්න සිදු වෙනවා.

මේ විදිහට දේශීය නිෂ්පාදන වල මිල ඉහළ යද්දී අපනයන වෙළඳපොළ ඉලක්ක කර හදන දේශීය නිෂ්පාදන වල පිරිවැයද ඉහළ යනවා. එහෙත් එම අපනයන විකුණා උපයන ආදායම් වැඩි නොවන නිසා අපනයනකරුවන්ගේ ලාබ අඩුවෙනවා. ඔවුන්ටද වෙළඳපොළෙන් ඉවත් වෙන්න සිදු වෙනවා. 

මේ ආකාරයෙන් ලංකාවේ රජය විසින් දිගින් දිගටම අයවැය හිඟයක් නඩත්තු කරමින් එය පියවීමට මුදල් අච්චු ගැසීමේත්, ඒ අතර විණිමය අනුපාතය ඉහළ යාම පාලනය කිරීමේත් ප්‍රතිඵලය වන්නේ එක පැත්තකින් ආනයන ඉහළ යන අතර අනෙක් පැත්තෙන් අපනයන කඩා වැටෙන එකයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස රටේ ඩොලර් හිඟයක් ඇති වෙනවා. ඩොලර් හිඟය පියවන්න විදේශ ණය අවශ්‍ය වෙනවා. රජය යම් හෙයකින් විදේශ ණය නොගත්තත්, රටේ කාට හෝ විදේශ ණය ගන්නම වෙනවා. ඒ විදිහට කවුරු හෝ ණයට ගන්න ඩොලර් විකුණද්දී ආනයන අපනයන පරතරය නිසා ඇති වී තිබෙන ඩොලර් හිඟය පියවෙන නිසා ඩොලර් එකේ මිල ඉහළ නොගොස් එලෙසම තියෙනවා. දිගින් දිගටම විදේශ ණය ගන්නා තුරු ආනයන අපනයන පරතරයත් එලෙසම තියෙනවා.

විණිමය අනුපාතය එක තැන තියාගෙන සල්ලි අච්චු ගහන තරමට වෙන එකම දෙය ආනයන ඉල්ලුම තව තවත් ඉහළ යන එක පමණයි. මුදල් සැපයුම ඉහළ යාම නිසා ලංකාවේ ආනයන ඉල්ලුම දෙතුන් ගුණයකින් වැඩි වුනත් ලෝක මට්ටමේදී සැපයුමට එය දැනෙන්නේවත් නැති නිසා ලංකාවේ ඉල්ලුම වැඩි වුනා කියා ආනයන භාණ්ඩ වල මිල ඉහළ යන්නේ නැහැ. ඉල්ලන තරමට අපනයන ලංකාවට එනවා. අනෙක් පැත්තෙන් ලංකාවේ අපනයන භාණ්ඩ වල මිල වැඩි වීම නිසා අපනයනකරුවන්ට ලෝකයේ අනෙක් රටවල් එක්ක තරඟ කරන්න අසීරු වී අපනයන ප්‍රමාණය පහළ බසින නිසා මිල වැඩිවීමේ වාසිය අපනයනකරුවන්ට ලොකුවට ලැබෙන්නෙත් නැහැ.

සල්ලි අච්චු ගහන අතරම, විණිමය අනුපාතය "අවශ්‍ය පමණ" ඉහළ යන්න ඉඩ දුන්නහම වෙන්නේ කුමක්ද?

දැන් මිනිස්සු අතේ සල්ලි වැඩිපුර ගැවසෙනවා. නමුත්, ඒ එක්කම කලින් මිල දී ගත් ආනයන භාණ්ඩ ප්‍රමාණය මිල දී ගන්න වැඩි රුපියල් ප්‍රමාණයක් ගෙවන්න වෙන නිසා දේශීය භාණ්ඩ මිල දී ගන්න ලොකු මුදලක් අතේ ඉතිරි වෙන්නේ නැහැ. නමුත්, තව දුරටත් යම් මුදලක් ඉතිරි වෙනවා. ඒ මුදලෙන් දේශීය භාණ්ඩ මිල දී ගනිද්දී දේශීය භාණ්ඩ වල ඉල්ලුමද යම් තරමකින් ඉහළ ගොස් ඒ හේතුව නිසා මිල ඉහළ යනවා. විණිමය අනුපාතය ඉහළ ගිහින් තියෙන්නේ අවශ්‍ය තරමටනම් දේශීය නිෂ්පාදන හා ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යන්නේ එකම තරමින්. එහිදී සල්ලි අච්චු ගැහීමේ ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය ඇති වන නමුත් ආනයන අපනයන පරතරයට බලපෑමක් වෙන්නේ නැහැ. ඩොලර් හිඟයක් ඇති වෙන්නේ නැහැ.

අලුතෙන් අච්චු ගැසූ සල්ලි ප්‍රමාණයට සාපේක්ෂව විණිමය අනුපාතය ඕනෑවට වඩා ඉහළ ගියොත් වෙන්නේ කුමක්ද? මෙහිදී ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යන නිසා ආනයන ආදේශක වලට ඉල්ලුම වැඩි වෙනවා. එහෙත්, ආනයන ආදේශක නැති තෙල් වැනි අත්‍යාවශ්‍ය ආනයන භාණ්ඩ වෙනුවෙන් අතේ තිබෙන සල්ලි ටික වියදම් කළාට පස්සේ අත්‍යාවශ්‍ය නොවන දේශීය නිෂ්පාදන මිල දී ගන්න සල්ලි හිඟ වන නිසා ඒවාට ඉල්ලුම අඩුවී මිල අඩු විය හැකියි. මෙහිදී සමස්තයක් ලෙස මිල මට්ටම ඉහළ යන නිසා අපනයන තරඟකාරිත්වය වැඩි වෙන්නේත් නැහැ. ආර්ථිකයට යම් හානියක් විය හැකියි. මේ වගේ තත්ත්වයක් ඇති වන්නේ විණිමය අනුපාතය පාලනය කරන්න ගිහින් අසමත් වීමෙන් පසුව එකවර ක්ෂණිකව විණිමය අනුපාතය කඩා වැටෙන අවස්ථාවකයි.

සල්ලි අච්චු ගහනවානම් ඊට අනුරූපව අවශ්‍ය පමණ විණිමය අනුපාතයද ඉහළ යන්න ඉඩ දිය යුතුයි. එහිදී සල්ලි අච්චු ගැසීමේ ප්‍රතිඵලයක් ලෙස ඇති වන උද්ධමනය නොවැලැක්විය හැකි නමුත් ගෙවුම් ශේෂයට හානියක් වෙන්නේ නැහැ. හැබැයි සල්ලි අච්චු ගහන අතරම උද්ධමනය පාලනය කරන්න කියලා විණිමය අනුපාතය පාලනය කළ විට සිදු වෙන්නේ ආනයන අපනයන පරතරය ඉහළ ගිහින් ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් ඇති වන එකයි. ආනයනික භාණ්ඩ වල මිල ඉහළ නොගියත් දේශීය නිෂ්පාදන වල මිල ඉහළ යන නිසා උද්ධමනය පාලනය වෙන්නේ නැහැ.

දැන් මේ වැඩේ වෙන්නේ සල්ලි අච්චු ගැසීම නිසා ඉහළ ගිය ඉල්ලුමට හරියන්න ආනයන කිරීමට ඉඩ ඇරියොත්නේ. ආනයන පාලනය කරලා ප්‍රශ්නය විසඳන්න බැරිද? 

මේකත් විසඳුමක් තමයි. දැන් මිනිස්සු අතේ සල්ලි වැඩිපුර ගැවසෙනවා. ආනයනික භාණ්ඩ වල මිල ඉහළ නොයන නිසා ඉල්ලුම වැඩි වුනත් ආනයන සීමා නිසා මිල දී ගන්න බඩු නැහැ. ඒ නිසා, සල්ලි අතේ ඉතිරි වී දේශීය නිෂ්පාදන සඳහා වන ඉල්ලුම වැඩි වෙනවා. එහිදී දේශීය නිෂ්පාදන වල මිල ඉහළ යනවා. එහෙම වුනා කියලා දේශීය නිෂ්පාදන මිල දී නොගෙන ඉන්නත් බැහැ. මොකද මිල අඩු වුනත් ආනයනික බඩු කඩේ නැහැ. 

මුදල් සැපයුම වැඩි වීම නිසා දේශීය නිෂ්පාදන වලට ඉල්ලුම වැඩි වුනත් දේශීය නිෂ්පාදකයෝ නිෂ්පාදනය වැඩි කර ලාබ ලැබීමේ  අවදානම ගන්න බයයි. මොකද ආනයන පාලන කොයි වෙලාවක හෝ ඉවත් කළ වහාම තමන්ගේ නිෂ්පාදන වලට ඉල්ලුමක් නැති බව පැහැදිලි නිසා. කෙටි කලකින් නිපදවා වෙළඳපොළට දැමිය හැකි දේවල් පමණක් වැඩියෙන් රට ඇතුළේ හැදෙනවා. එහෙත් දිගුකාලීනව රටේ නිෂ්පාදනය ඉහළ යන්නේ නැහැ. අනෙක් පැත්තෙන් රටේ උද්ධමනය අපනයන ආදායමට නරක විදිහට බලපානවා. මේ ප්‍රශ්න තිබුණත් ආනයන පාලනය ඩොලර් හිඟයට තාවකාලික පිළියමක්. හැබැයි ආනයන පාලනය ඉවත් කළ වහාම නැවත හිටපු තැනමයි. 

විණිමය අනුපාතය තිබිය යුතු "නියම තැන" කොතැනද? ලෝකයේ අනෙක් රටවල් සල්ලි අච්චු ගහන වේගයෙන්ම ලංකාවත් සල්ලි අච්චු ගහනවානම් විණිමය අනුපාතය එක තැනක තියා ගන්න පුළුවන්. අනෙක් රටවලට වඩා අඩුවෙන් සල්ලි අච්චු ගහනවානම්, සිංගප්පූරුවේ වගේ, විණිමය අනුපාතය ශක්තිමත් වෙන්න අරින්නත් පුළුවන්. එහෙත්, ලෝකයේ අනෙක් රටවලට වඩා වේගයෙන් සල්ලි අච්චු ගහනවානම් විණිමය අනුපාතය දුර්වල වෙන්න අරින්න වෙනවා. නැත්නම් වෙන්නේ ආනයන අපනයන පරතරය ටිකෙන් ටික වැඩි වෙන එකයි.

විණිමය අනුපාතය තියෙන්නේ නියම තැනනම් ආනයන පාලන දමන්න අවශ්‍ය වෙන්නේ නැහැ. 

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...