වෙබ් ලිපිනය:

Showing posts with label කෙටි ප්‍රබන්ධ. Show all posts
Showing posts with label කෙටි ප්‍රබන්ධ. Show all posts

Monday, February 15, 2016

රතු වයින් සහ දොඩම් යුෂ


"නිරාශා, මම එහෙනං යන්නං කෙල්ලෙ...."

සඳුන් මේ කියන්නේ තුන්වෙනි පාරටය.

"ඕකේ, ගුඩ් නයිට්, සඳුන්!"

නිරාශා දොර වසා ගන්නට අත යවයි.

"නිරාශා, පොඩ්ඩක් ඉන්න! තව පොඩ්ඩෙන් මේක අමතක වෙනවා."

සඳුන් මෝටර් රථයේ දොර විවෘත කර යමක් ගෙන නිරාශාගේ අත තබයි.

"අනේ තවත් මොනාද, සඳුන්! ඔය තරම් නිකම් සල්ලි නාස්ති කරන්න එපා. ඔයා මේ අරන් දීපුවටම කීයක් යන්න ඇද්ද?"

"නිකං නාස්ති කරනව නෙමෙයිනේ නිරාශා. ඔයා වෙනුවෙන් කරන දෙයක් කොහොමද නාස්තියක් වෙන්නේ?"

"ඒ වුනාට...?"

නිරාශා අකමැත්ත පෙන්වමින්, එහෙත් කැමැත්තෙන් කුඩා පාර්සලය අතට ගනී. මෙය කිසියම් රන් ආභරණයක් බව ඇගේ පළපුරුද්ද ඇයට කියයි. අදට ඇයට සඳුන්ගෙන් ලැබෙන අවසන් තිළිණය මෙය විය යුතුය.

"සඳුන් දැන් යන්න. මාධවී බලාගෙන ඇති ඔයත් එක්ක ඩිනර් එකට යන්න."

නිරාශා නැවතත් දොරගුලට අත යවයි. සඳුන්ගේ තරමක් තරබාරු, අඳුරු පැහැ, එහෙත් පියකරු රුව නිරශාගේ ඇනෙක්සියෙන් ඉවතට ඇදෙන්නේ කැමැත්තකින් නොවේ.

"ගුඩ් නයිට්, ලවු යූ!"

"ගුඩ් නයිට්!"

නිරාශා වැසූ දොර නැවතත් විවර කර බලයි.

"මේ යකා ගියාට බයිලයක් කියාගෙන ආපහු එන්නත් බැරි නැහැ..."

සඳුන්ගේ මෝටර් රථය පැයට කිලෝමීටර තිස් හයක වේගයෙන් ඉදිරියට ඇදේ. එය මිලිතත්පර දහතුනකට පෙර තිබුණු තැන නිරාශාට පෙනේ. එය සැබැවින්ම ඇත්තේ පෙනෙන තැනට වඩා සෙන්ටිමීටර දහතුනක් ඉදිරියෙනි.

තමන් පිට වූ වහාම බොරුවට දොර වසාගත්තත්, නිරාශා නැවතත් දොර ඇර බලන බව සඳුන් අත්දැකීමෙන් දනී.

"කෙල්ල මට හොඳටම ආදරෙයි!"

ඔහු මෝටර් රථයේ පැති කණ්ණාඩියෙන් බලා සිටින්නේ නිරාශාගේ දොර නැවතත් ඇරී වැසෙන මොහොතයි. පැති කණ්ණාඩියේ පෙනෙන නිරාශාගේ දොරේ පිළිබිඹුව පැයට කිලෝමීටර 
තිස් හයක වේගයෙන් ඔහුගෙන් ඈත් වේ. එය ඇරී වැසී මිලිතත්පර දහතුනකට පසු සඳුන් ඔහුගේ පැති කණ්ණාඩියෙන් දකී. 

***
ඉර බැස ගොස් හෝරා කිහිපයකි. විදුලි පහන් වල එළියේ තීව්‍රතාවය අවස්ථාවට ගැලපෙන පරිදි අඩු කර ඇත. අවන්හලේ සිහින් සංගීතය රොමැන්තික හැඟීම් මවයි.

"ආදරයක හැඟුමක් සිතෙහී...
නොතිබුණු කාලෙක පෙර දිනෙහි...
මා හට ඔබ හමුවුණු විටදී...
මතකයි හද කිතිකැවුණු හැටි..."

මේ මියුරු සංගීතය ගලා එන්නේ කොහෙන්ද? විදුලි බුබුලෙන් පිට වූ ආලෝක කදම්බ කිහිපයක් මාධවී අසුන්ගෙන සිටින තැනට මීටර 3.4ක් ඈතින් ස්ථානගත කර තිබුණු හඬ විකසනයක වැදී පරාවර්තනය වී පැමිණ නැනෝතත්පර 11කින් ඇගේ දෘෂ්ඨි විතානය මත පතිත වේ. මිලිතත්පර 100කට පෙර හඬ විකසනයෙන් පිටව මාධවීගේ කන්බෙරය කම්පනය කළ හඬ තරංගයක ඇති තොරතුරු විද්‍යුත් චුම්භක තරංගයක ලියවෙද්දී මාධවීගේ ඇස් වල කේතු සෛල හා යෂ්ඨි ශෛල ඇගේ දෘෂ්ඨි විතානය මත පතිත වූ ආලෝක කදම්බයට ලහි ලහියේ ප්‍රතිචාර දක්වයි.

මාධවී ඇයට මීටරයක් ඉදිරියෙන් මේසයේ අනිත් කොන වාඩි වී සිටින සඳුන්ගේ තරුණ මුහුණ දෙස අවධානය යොමු කළේය. නැනෝතත්පර තුනකින් ඇගේ දෘෂ්ඨි විතානය මත උඩුකුරුව ඇඳෙන සඳුන්ගේ රුව තවත් මිලිතත්පර 13කට පසු මාධවීට පෙනේ. ඈ මුලින්ම දුටුවාට වඩා දැන් සඳුන් තරබාරු වී ඇත. එහෙත්, ඔහුගේ තරුණ පෙනුම පවත්වා ගැනීමට ඔහුට තවමත් මාධවීට මෙන් වෙහෙසෙන්නට අවශ්‍ය නැත.

වසර දහතුනකට පෙර සිය පියාගේ සේවකයෙකු ලෙස සඳුන් පැමිණි කාලය මාධවීට සිහි වේ. උන්නතිකාමී තරුණයෙකු වූ සඳුන්ට ව්‍යාපාරිකයෙකු වූ මාධවීගේ පියාගේ හිත දිනාගන්නට වැඩි කලක් ගියේ නැත. එමෙන්ම, සඳුන්ගේ කඩවසම් පෙනුමට, හිත් ඇදගන්නා කතාවට සහ ආචාරශීලී හැසිරීමට මාධවීගේ හිත ඇදී යන්නටත් වැඩි කලක් ගියේ නැත. කාලයක් තිස්සේ සිදු වූ හොරගල් ඇහිලීම අවසන් කළේ සඳුන් විසිනි.

"ඔයා ඔය ඇත්තම නේද කියන්නේ? එහෙම නැතුව අපේ තාත්තගෙ සල්ලි වලට එහෙම නෙමෙයිනේ?"

මාධවී එදා කෙළින්ම එසේ ඇසුවත් ඇය ඒ වන විටත් සිටියේ සඳුන් වෙලාව ඇහුවත් හා කියන්නට බලාගෙනය.

පසුගිය වසර දහතුන තුළ සඳුන් විසින් මාධවීගේ පියාගේ ව්‍යාපාර විශාල ලෙස දියුණු කර තිබේ. විශේෂයෙන්ම මාධවීගේ පියා මිය යාමෙන් පසු ගතවූ වසර තුන තුල ඔවුන්ගේ ව්‍යාපාරික ජාලය ලබා ඇති ප්‍රගතිය කැපී පෙනේ.

"අපිට ගේන්නකෝ ඉස්සෙල්ලම ඔරේන්ජ් ජූස් දෙකක්..."

සඳුන් ඇණවුම් කරන්නේ මාධවීව විමසීමක් නොකරමිනි. මාධවී තවමත් කැමති දොඩම් යුෂ වලට විය යුතුයැයි සඳුන්ගේ මතක පරිපථ වල ඇති දත්ත විශ්ලේෂණය කරන ඔහුගේ මොළය ඔහුට කියයි.

"ඔයා ඉතින් වයින් වලට කැමති නෑනේ."

මාධවීගේ සිත ආදර හැඟුම් වලින් පිරේ. සඳුන්නම් මේ වසර දහතුනටම වෙනස් වී නැත. ඔහු එදාමෙන්ම අදත් එකසේ මාධවීට ආදරය කරයි. මාධවී මුලින්නම් හිතුවේ සඳුන් ආදරය කරන්නේ ඇගේ මිල මුදල් වලට බවයි. එසේ නොවීනම්, තමන්ට වඩා වසර පහකින් වැඩිමල්, විශේෂයෙන් කියන්නට තරම් ලස්සනක් නොතිබුණු මාධවී වෙත හිත යන්නට මේ කඩවසම් තරුණයාට හේතුවක් තිබුණේ නැත. සල්ලි බලයෙන් හෝ කඩවසම් කොල්ලෙකු අල්ලාගැනීමේ වරදක් නැතැයි මාධවී එදා සිතුවේය.

තමන් වැරදි බව දැන් මාධවීට තේරේ. සඳුන්ට තමන්ගේ කවර හෝ ආකර්ශනීයත්වයක් තිබෙන්නට ඇත. එදාමෙදාතුර වසර දහතුනක් තුළ මාධවීට සඳුන්ගේ ආදරයේ අඩුවක් පෙනී නැත.

එහෙත්, මා එදා සිටි මාධවීමද?

යාබද මේසයේ යුවලක් රතු වයින් තොලගාති. මාධවීටද රතු වයින් වීදුරුවක් බොන්නට දොළදුකක් ඇත. එහෙත්, මෙය කෙළෙස සඳුන්ට කියන්නද?

වසර දහතුනකට පෙර, මාධවී සහ සඳුන් ආදරවන්තයින් වීමෙන් පසුව පළමු ආදරවන්තයින්ගේ දිනය ගෙවුනේද මේ අවන්හලේදීමය. මාධවීගේ සිත ඒ අතීතයට දිව යයි.

"සර්, මොනවද බොන්න ගේන්න ඕනෑ?"

සඳුන් මාධවී දෙස බැලුවේය.
ප්‍රසිද්ධියේ නොපෙන්වූවත්, ඒ වන විට ඔවුන්ගේ සම්බන්ධය මාධවීගේ පවුලේ අය දැන සිටියේය. සිය ව්‍යාපාරික කටයුතු වලට විශාල පිටිවහලක් වූ මේ තරුණ සේවකයාව සිය පවුලට එකතු කරගැනීම මාධවීගේ පියා නරක දෙයක් ලෙස සිතුවේ නැත. දශක කිහිපයකට පෙර ඔහුද මාධවීගේ මවගේ පියාගේ සේවකයෙකි.

"මට ගේන්න ඔරේන්ජ් ජූස් එකක්."

"මට ගේන්නකෝ රෙඩ් වයින් එකක්."

මාධවීගේ සොඳුරු මුහුණ අඳුරු විය. සඳුන්ද තමන් මෙන්ම දොඩම් යුෂ පානය කළ යුතු බවත්, රතු වයින් පානය නොකළ යුතු බවත් එදා ඇයට සිතුනේ ඇයි? එදා මාධවී දෙස අද මාධවී බලන්නේ කිසියම් සෝපහාසාත්මක හැඟීමකිනි. සමහර විට සඳුන්ව මුල ඉඳලම මට ඕනෑ හැටියට හදාගන්න මට ඒ දවස්වල ඕනැ වෙන්න ඇති!

"අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ
එදා සෙනෙහෙන් නොබැඳුනානම් මෙදා වියෝවක් නෑ"

අවන්හලේ සේවකයින් අවස්ථාවට උචිත ගීතයක් තෝරාගන්නට ඇති හැකියාව අතින් සිටින්නේ නිදහස් උත්සවයේ සංවිධායකයින්ටත් පිටුපසිනි. අතීතය යනු මේ මොහොතේ දකින වර්තමානයේ සිට ප්‍රක්ෂේපනය කරන, මොළයේ මතක පරිපථ වල ලියවී ඇති කරුණු ඇසුරින් සකසාගත් මායාවක් පමණි. අපට වර්තමානයේ දැනෙන සුවඳ මතක පරිපථ වල ඒ විදිහටම සටහන් නොවන නිසා මේ අතීත සිහින වල සුවඳ සැබෑ සුවඳක් නොවේ.

කෙසේවුවද, මාධවී වියෝවේ වේදනාව විඳින්නට තරම්නම් කිසිදා අවාසනාවන්ත වුණේ නැත. සඳුන් දිනෙන් දිනම මාධවීට අවශ්‍ය පරිදි කැමැත්තෙන්ම වෙනස් වුණේ හිතාගන්නවත් බැරි විදිහටය. පසුගිය වසර දහතුන තුළ ඔවුන්ගේ රුචිකත්වයන් පුදුමාකාර ලෙස සමාන වී තිබේ. සඳුන් දැන් කැමති ඇය කැමති කෑම වලටමය. ඔහු අඳින්නේද ඇය කැමති ඇඳුම්ය. චිත්‍රපට සඳහා වන රුචිකත්වයද පුදුමාකාර ලෙස සමානය.


සඳුන් කොහොමටත් කිසිදිනෙක වැඩිපුර මත්පැන් පානය කර නැත. එහෙත්, ඔහු ඉඳහිට බීර වීදුරුවක් හෝ රතු වයින් වීදුරුවක් තොලගා තිබේ. මාධවී වෙනුවෙන් මේ පුරුද්දද අතහරින්නට සඳුන්ට කිසිදු අමාරුවක් තිබුණේ නැත. එය සැබෑ ආදරය විය යුතුය.

රතු වයින් උගුරක් තොල ගාන්නට ඇති ආශාව වෙනුවෙන් සඳුන්ගේ මොළයේ මතක සෛල වල වසර දහතුනක් තිස්සේ සටහන් වී ඇති ප්‍රතිරූපය සංශෝධනය වන්නට ඉඩහැරිය යුතුද?

නැත. මා ඔහු විසින් මුළු හදවතින්ම ආදරය කරනු ලබන ඔහුගේ මාධවිය නොවුවත් මේ මායාවෙන් ඔහුව මිදවිය යුතු නැත.

***


නිරාශා සඳුන්ගෙන් ලැබුණු තිළිණය දෙස මොහොතක් බලා සිට එය අල්මාරියේ ලාච්චුවකට දමා වසා දැමුවාය. ගල් ඇල්ලූ මේ රන් මාලයට ඔහු සෑහෙන මුදලක් වැය කරන්නට ඇත. එහෙත්, නිරාශාට එහි කිසිදු විශේෂත්වයක් නොදැනේ.

නිරාශාගේ හිස බර වේ. මේ හවස පානය කළ රතු වයින් වල බරයි. ඇඳුම් මාරු නොකරම ඇඳේ හාන්සි වන ඇගේ මොළය ඈ පැය කිහිපයකට පෙර වර්තමානය ලෙස හඳුනාගත් දෙය අසම්පූර්ණ ලෙස ප්‍රතිනිර්මාණය කර පෙන්වයි.

සඳුන් ඈ ඉදිරිපිට වාඩි වී සිටී. අවන්හලේ, අඩ අඳුරේ සංගීතය පැතිරේ.

"අතීතයේ මායා රූ කැඩී බිඳී යාවී...
මිලාන වූ මා දෑසේ කතා නිමා වේවී..."

නිරශාගේ කතා නිමා වන්නේ ඇයට කියන්නට දෙයක් හිතාගන්නට කාලය අවශ්‍ය නිසාම නොවේ. දොඩමළු වන සඳුන්ට ඉඩදීම වඩා වාසිදායක බව ඇය අත්දැකීමෙන්ම දන්නා නිසාය.

"දැන්නම් මේ මඟුල එපා වෙලා තියෙන්නේ, නිරාශා...මේ ගෑණි මහ යකින්නියක්. බලන්නකෝ දැන් අවුරුදු දහතුනක්! මමම හින්දා ඉවසගෙන ඉන්නව..."

"කන්න ඕනෑ ඒ ගෑණිට ඕනෑ දේ...බොන්න ඕනෑ ඒ ගෑණිට ඕනෑ දේ...ඒ ගෑණි කැමති චිත්‍රපටියක් ආවහම මමත් පැය තුනක් වාඩිවෙලා බලා ඉන්න ඕනෑ..."

"මම දැනටත් ඩිවෝස් වෙලා ඔයාව මගෙ ලඟට අරන්...කොහෙද අර මනුස්සය හැම කෙහෙම්මලම මේ ගෑණිගේ නමටනේ ලියලා තිබුණේ...දැන්නම් සල්ලි වැඩි ප්‍රමාණයක් මගේ එකවුන්ට් වලට ඇදල ඉවරයි..."

"මැඩම්, තව මොනව හරි ඕනැද?"

"ගේන්න තව රෙඩ් වයින් බෝතලයක්..."


"අනාගතේ සිහිනේ...
නෑ මෙදා සැබෑ වන්නේ..."

අනාගතය අවිනිශ්චිතය. එහෙත්, ඇතැම් විට අපට අනාගතය නිවැරදිව ග්‍රහණය කර ගත හැකිය.

නිරාශා ඇයට මීටරයක් ඉදිරියෙන් මේසයේ අනිත් කොන වාඩි වී සිටින සඳුන්ගේ වියපත් ලකුණු ඇඳුණු මුහුණ දෙස අවධානය යොමු කළේය. නැනෝතත්පර තුනකින් ඇගේ දෘෂ්ඨි විතානය මත උඩුකුරුව ඇඳෙන සඳුන්ගේ රුව තවත් මිලිතත්පර 13කට පසු නිරාශාට පෙනේ. ඈ මුලින්ම දුටු දින සිට ගතවුණු මාස කිහිපය තුළ සඳුන් ඔහුගේ රුව ගැන වඩා සැලකිලිමත් වෙයි. ඔහුගේ තරුණ පෙනුම පවත්වා ගැනීමට ඔහු බොහෝ සේ වෙහෙසෙනවා විය යුතුය.

යාබද මේසයේ තරුණ යුවලක් දොඩම් යුෂ තොලගාති. නිරාශාගේ මොළය ඇගේ මතක සෛල වල ලියැවී ඇති පෙර දිනෙක තොල ගෑ දොඩම් වීදුරුවක රස පිලිබඳ අසම්පූර්ණ දත්ත සැණෙකින් නැවත සැකසුම් කරයි. ඇයට දොඩම් වීදුරුවක් බොන්නට දොළදුකක් ඇතිවේ.

රතු වයින් වලින් වීදුරු පිරවේ. නිරාශා රතු වයින් ඉතා අකැමැත්තෙන් තොල ගායි. වැඩිපුර වයින් බීමෙන් පසු ඇතිවන කැරකිල්ල තවමත් ඇගේ මොළය ඇයට සතුටක් ලෙස නොපෙන්වයි. කාලයත් සමඟ මෙය වෙනස් වනු ඇත.

"ඔයා ආස නැද්ද ඔරේන්ජ් ජූස් වලට? මාධවීටනම් ඔරේන්ජ් ජූස්ම තමයි!"

"අපෝ මම අකැමතිම බීමක්! මම ආසම රෙඩ් වයින් වයින් වලට..."

සඳුන්ගේ මුහුණේ ඇතිවන ප්‍රසන්න හැඟීම දැක ගැනීමට, එහි සිට නිරාශාගේ දෘෂ්ඨි විතානය මත පතිත වෙන ආලෝක කදම්බයට ඇගේ ඇස් වල කේතු සෛල හා යෂ්ඨි සෛල දක්වන ප්‍රතිචාර සටහන් කරගන්නා විද්‍යුත් චුම්භක තරංග ඇගේ මොළය තුළ සැකසුම් වන තුරු බලාසිටින්නට ඇයට අවශ්‍ය නැත. ඇගේ මතක සෛල වල සටහන් වී ඇති අතීත අත්දැකීම් පිලිබඳ අසම්පූර්ණ සටහන් ඊට පෙර නැවත සැකසුම් වනු ඇත.

තත්පර ගණනකට පෙර නිරාශා අනාගතය නිවැරදිව දකී.



***
ශුභ ආදරවන්තයින්ගේ දිනයක්!


(Image: www.dreamstime.com)

Thursday, August 20, 2015

සුළඟට පසු..




ඉස්තෝප්පුවේ වූ හාන්සි පුටුවේ ඇල වී සිටි විමලරත්න ඉස්කෝලෙ මහත්තයා ඉදිරියට නැමී කනප්පුව මත වූ බුලත්අත අතට ගත්තේය. කොළයෙන් කොළය පිරික්සා හොඳින් මේරූ බුලත් කොළයක් තෝරාගත් ඔහු ඉතිරි බුලත් කොළ ටික කනප්පුව උඩටම අතහැරියේය. ඇඟිල්ලේ අගිස්සට ගත් හුණු ටික දෙකොණ කැඩූ බුලත් කොළයේ පිට පැත්තේ තැවරුණි. පැත්තක වූ හෙප්පුවෙන් ගත් පුවක් කෑලි දෙක තුන සීරුවෙන් බුලත් කොළයේ එතූ විමලරත්න ඉස්කෝලෙ මහත්තයා එය කටේ රුවා ගත්තේය.

විටට දුම්කොළ එකතු කිරීම ඔහු නැවැත්තුවේ දැන් අවුරුදු දහයකට පමණ කලිනි. දුම්කොළ පාවිච්චිය මුඛ පිළිකා වලට හේතුවන බව පහදා දී ඔහුව කෙසේ හෝ ඒ සඳහා පොළඹවා ගත්තේ දැන් කොළඹ කිට්ටුව ජීවත් වන දෙවෙනි පුතාය. වෛද්‍යවරයෙකු වන දෙවෙනි පුතාත්, ඉංජිනේරුවකු වන ඕස්ට්‍රේලියාවේ සිටින ලොකු පුතාත් දෙදෙනාම කොතරම් ඇවිටිලි කළත් විමලරත්න ඉස්කෝලෙ මහත්තයාටත්, ලීලාවතී ඉස්කෝලෙ හාමිනේටත් ඔවුන්ගේ මල්කඩුවාවේ නිවෙස හැර යාමට හිත් දෙන්නේම නැත.

විමලරත්න ඉස්කෝලෙ මහත්තයා අත දිගහැර කුඹුරු උදැල්ලට ධන රේඛා මැකී ඇති ඔහුගේ අල්ල වෙත බැල්මක් හෙළුවේය. ඇඟිල්ලේ තවත් හුණු ඉතිරි වී තිබේ. කනප්පුව උඩින් තවත් බුලත් කොළයක් ගත් ඔහු ඇඟිල්ලේ ඉතිරිව තිබූ හුණු ටික එහි අතුල්ලා බුලත් කොළය නැවත කනප්පුව උඩටම අත හැරියේය. හුණු පාරවල් ටික පෙනෙන්නේ හරියටම ඇස් දෙකක් සහ නහයක් වගේය.

විශ්‍රාම සුවය විඳින විමලරත්න ඉස්කෝලෙ මහත්තයාට බුලත් අතක් ලැබුනේ සෑහෙන කාලයකිනි. දරුවෙකුට අකුරු කියවා ගැනීමට පැමිණි අසල්වැසියෙක් බිස්කට් ටින් එකක් සමඟ බුලත් අතක්ද ගෙන ඒමට අමතක කළේ නැත. කුරුණෑගල රෝහලේ ඖෂධවේදියෙකු වන මේ අසල්වැසියා විමලරත්න ඉස්කෝලෙ මහත්තයාගේ පැරණි සිසුවෙක්ද වේ. ඔහුට අකුරු කියෙව්වේත් විමලරත්න ඉස්කෝලෙ මහත්තයාමය. ඒ මැතිණියගේ සමඟි පෙරමුණු ආණ්ඩු කාලයේය. ඒ දවස්වලනම් විමලරත්න ඉස්කෝලෙ මහත්තයාට සතියකට බුලත් අතක් වැරදුනේ නැත.

විමලරත්න ඉස්කෝලෙ මහත්තයා මුල සිටම සිරි ලංකා කාරයෙකි. සිංහල වෙද මහත්තයෙකු වූ විමලරත්නගේ අප්පච්චී පනස් හයේදී වෙලගෙදර උන්නැහේව පරද්දන්නට මොන්නේකුලමට බැහැලා වැඩ කරද්දී ගමේ ශ්‍රී ලංකා තරුණ සමිතියේ සභාපති වුණේ විමරලත්නයි. එදා මෙදා තුර කවදාවත් වෙන පාටියකට කතිරේ ගසා නැතත් පක්ෂයට දැන් විමලරත්නලාගෙන් වැඩක් නැත. අළුත් පරපුරට විමලරත්නලා චමින්දලාය. එහෙම තියෙද්දී කාලයකට පසු ළමයෙකුට අකුරු කියවා ගැනීමට අසල්වැසියෙකු පැමිණීම ඔහුට විශාල සතුටකි. මේ පැරණි සිරිත් දැන් එතරම් අගය කෙරෙන්නේ නැත.

කාලෙකින් එළියට ගත් ගණදෙවි රූපය කනප්පුව උඩින් අතට ගත් විමලරත්න ඒ දෙස මොහොතක් බලා සිට පැත්තක තිබුණු පුටුවක් උඩින් තිබ්බේය. අහස පැහැදිලිය. නිල් පාටින් බැබලේ.

බණ්ඩාරනායක උන්නැහේ හැදූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාටත් නිල්ය. ලකුණ අතයි. පහුකාලෙකදී උන්නැහේගේ දෝණියන්දෑ අත කඩා පුටුවක් හැදුවේය. දැන් පුටුවත් නැත. බණ්ඩාරනායකලාත් නැත. ඇත්තේ බුලත් කොළයකි.

බුලත් කොළයට කතිරය ඉල්ලා ආයෙමත් සටනකි. සිල් ගන්නට ගිය ලීලාවතී ඉස්කෝලෙ හාමිනේට කාගෙන්දෝ මනාප ලකුණු කළ සිල් රෙද්දක්ද ලැබී තිබේ. විමලරත්නටනම් පන්සල පැත්තේ යන්නට තරම්වත් උනන්දුවක් නැත. එහෙව් එකේ අලියාගෙන් ඉල්ලූ වෙලගෙදර උන්නැහේව පරද්දන්නට පනස් හයේදී තිබුණු ඇම්ම දැන් නැති එක අහන්නත් දෙයක් නොවේ.

දැන් නිල් පාටින් ඉල්ලන්නේ විමලරත්න මෙන් මුල සිටම සිරි ලංකා එකේ හිටි අය නොවේ. මේ අය හිතෙන හිතෙන හැටියට පක්ෂ මාරු කරති. ඡන්දය ඉල්ලන සමහර අයගේ කටයුතු ගැන අහන්නත් ඇත්තේ අප්පිරියාවකි. එහෙම කියා, ජීවිත කාලෙටම ඡන්දය නුදුන් පක්ෂයකට කතිරය ගහන්නත් නොහැකිය. මේ සැරේ ඡන්දය නොදා ගෙදරටම වී සිටින්නට විමලරත්න හිත හදා ගත්තේය.

හදිස්සියේම අහස අඳුරු විය. ලොකු හුළඟක් එන්නට වගේය.

ලීලාවතී ඉස්කෝලෙ හාමිනේ මොකක්දෝ වැඩකට විමලරත්නට කතා කරයි. විමලරත්න ඉස්තෝප්පුවෙන් කුස්සිය පැත්තට ඇවිදගෙන ගියේය.

හුළඟක් ටිකක් වෙලා හැමුවත් අහස අඳුරු කළ තරමට මහා ලොකු දෙයක් වුණේ නැත. විමලරත්න ඉස්කෝලෙ මහත්තයා නැවත ඉස්තෝප්පුවට එන විට වැස්සක් නැතුවම හුළඟ ඉවර වෙලාය. කනප්පුව උඩ තිබුණු බුලත්අත විසිරී කොළ හත අටක් බිම වැටී ඇත. රටාවක් මවමින් බිම වැටී ඇති බුලත් කොළ අතර උඩින්ම ඇති කොළයේ විමලරත්නගේ හුණු පාරවල් කිහිපය හොඳින් පෙනේ.

විමලරත්න හුළගට බිම නොවැටී පුටුව උඩම තිබුණු ගණදෙවි පින්තුරය දෙස බැලුවේය. බිම වැටී ඇති බුලත්කොළ වලින් මැවෙන රටාවේත්, ගණදෙවි රූපයේත් ඔහුට සමාන කමක් පෙනෙන්නේ ඇයිදැයි ඔහුටම නොතේරේ.

***
පසුගිය සටහනෙන් පෙන්වා දුන් පරිදි ජනවාරියේ මහින්ද ලබාගත් ඡන්ද වලින් 17%ක් පමණ මෙවර එජනිසය වෙතින් ගිලිහී ඇති නමුත් මෛත්‍රී ලබාගත් ඡන්ද ගොඩ තෙගොඩකට බෙදෙනු හැර සැලකිය යුතු වෙනසක් වී නැත. රටේ සමස්ථ ප්‍රතිඵලය ලෙස බැලූ විට පෙනෙන චිත්‍රය එසේ වුවත්, ඇතැම් දිස්ත්‍රික්ක වල එජනිස ඡන්ද එජාපෙ වෙත යම් තරමකට මාරු වී ඇති අතර, වෙනත් දිස්ත්‍රික්ක වල එජාපෙ ඡන්ද අඩුවීම නිසා මේ වෙනස නොපෙනී ගොස් තිබේ.

එජනිස ඡන්ද ජනවාරි පදනම ඉක්මවා සුළු වශයෙන් හෝ වැඩි වී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයේදී පමණි. දකුණේ නාගරික දිස්ත්‍රික්ක වලදී 14-17% පමණ ප්‍රමාණයක්ද, ග්‍රාමීය දිස්ත්‍රික්ක වලදී 19-24% දක්වාද, නැගෙනහිරදී 22-26% දක්වාද, උතුරේදී 30% ඉක්මවාද එජනිස ඡන්ද අඩුවී තිබේ. මෙහිදී ඊපීඩීපී සහ කම්කරු කොන්ග්‍රසයේ ඡන්දද මා එජනිස ලෙස සලකා තිබේ.

එජනිස ඡන්ද මෙසේ අඩුවෙද්දී, බොහෝ ප්‍රදේශ වල එජාපෙ ඡන්ද සුළු වශයෙන් වුවත් වැඩි වී ඇත. මෙහිදී ඇතැම් දිස්ත්‍රික්ක වලදී වෙනම තරඟ කළ මුස්ලිම් කොන්ග්‍රසයේ සහ රිෂාඩ් බදුර්දීන්ගේ සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ (அகில இலங்கை மக்கள் காங்கிரஸ்) ඡන්දද එජාපෙ ලෙස සලකා ඇති අතර මෛත්‍රීගේ ජනවාරි ඡන්ද වලින් ජවිපෙ, ටීඑන්ඒ සහ ප්‍රපෙ අගෝස්තුවේදී ගත් ඡන්ද අඩුකර ඉතිරිය එජාපෙ ජනවාරි ඡන්ද සේ සලකා තිබේ. කෙසේ වුවද, අම්පාර හැර උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක වලදීත්, නුවරඑළියේදීත්, පුත්තලමේදීත්, පොළොන්නරුවේදීත් එජාපෙ ඡන්ද අඩුවී තිබේ.

එජනිසයෙන් ගිලිහුණු ජනවාරි ඡන්ද බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනේදී එජාපෙ වෙත සම්ප්‍රේෂණය වී ඇත්තේ ඉතාමත්ම සුළුවෙනි. මහනුවර, මාතලේ, අම්පාර, කුරුණෑගල හා අනුරාධපුරදී 1-2% ප්‍රමාණයකුත්, ගාල්ල, මාතර හා රත්නපුරේදී 3-4% ප්‍රමාණයකුත්, කෑගල්ලේදී 5% පමණත් මෙසේ එජාපෙ වෙත සම්ප්‍රේෂණය වී ඇති අතර හම්බන්තොට, මොණරාගල හා බදුල්ල දිස්ත්‍රික්ක වලදී මේ ප්‍රතිශතය 11-12% තරම් ඉහළය. මේ වෙනස්කම් වලට ප්‍රාදේශීය සාධකද යම් තරමකට ඉවහල් වී තිබිය හැකිය. එහෙත්, බොහෝ දුරට මෙහිදී සිදු වී ඇතැයි මා සිතන්නේ ජනවාරි වන විට නාගරික ප්‍රදේශ වල සිදුවී තිබුණු පරිවර්තනය තරමක් පසු වී ග්‍රාමීය පෙදෙස් වලද සිදු වීමයි. මේ නිසා සජිත්ගේ සංවිධාන ශක්තිය හෝ මහින්ද හම්බන්තොටින් ඉවත්වීම වැනි සාධක වලට මා මේ ප්‍රවණතාව ලඝු කරන්නේ නැත.

නුවරඑළියේ වෙනසට හේතුව ලෙස මා දකින්නේ ජනාධිපතිවරණයේදී එතරම් වැදගත් නොවූ ප්‍රාදේශීය සහ ජනවාර්ගික සාධක ඉස්මතු වී ඇති බවයි. කම්කරු කොන්ග්‍රසයේ ඉල්ලීමට මහින්දට ඡන්දය දීමට කඳුකර දෙමළ ඡන්දදායකයින් සූදානම් නොවූවත් ඔවුන් ජනවාරියේදී පෙනුණු තරමටම කම්කරු කොන්ග්‍රසය හැරගොස් නැත. මෙය සාපේක්ෂව පසුගාමී මේ ජන කොටසේද සවිඥානක බව වර්ධනය වී ඇති බව පෙන්වයි. අනෙක් අතට, තමන්ගේ ඡන්ද පදනම ගිලිහෙනු දැක බියට පත් වූ ආරුමුගම් තොන්ඩමන්ගේ කණ්ඩායම මහ මැතිවරණයේදී වඩා ක්‍රියාශීලී වන්නට ඇත.


ඇතැම් දිස්ත්‍රික්ක වලදී එජනිස මෙන්ම එජාපෙ ඡන්දද අඩුවීම විමසිය යුත්තකි. මුලින්ම උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක ගතහොත්, දෙමළ ජාතික සන්ධානයේ ඡන්දද ඉවත් කර ඇති පසුබිමක එජාපෙ මෙන්ම එජනිස ඡන්දදද අඩුවේනම් ඒ සඳහා වෙනත් හේතු තිබිය යුතුය. මෙවැනි එක් සාධකයක් වන්නේ මන්ත්‍රීධුරයක් ලබා නොගත්තත් ඒ ආසන්නයටම ලං වූ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රසය (அகில இலங்கைத் தமிழ்க் காங்கிரஸ்) විසින් ලබා ගත් ඡන්ද ප්‍රමාණයයි. අනෙක් කරුණ, ඉතා විශාල ප්‍රමාණයක් වන ප්‍රතික්ෂේපිත ඡන්දයි. දකුණේ ග්‍රාමීය දිස්ත්‍රික්ක වල පවා ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රතිශතය 2-3% මට්ටම නොඉක්මවද්දී යාපනයේ ඡන්ද වලින් 7.83%ක් සහ වන්නි ඡන්ද වලින් 9.43%ක් ප්‍රතික්ෂේප වී තිබේ. මේ ඡන්ද විරෝධාකල්ප ඡන්ද ලෙස සැලකීම අපහසු වන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රතිශතය වන්නියේදී 1.86% සහ යාපනයේදී 2.86% ලෙස අඩු මට්ටමක පැවති බැවිනි. මෙය මැතිවරණ පළපුරුද්ද පිලිබඳ ප්‍රශ්නයක් විය හැකිය.

මා වැඩි තොරතුරක් නොදනිතත්, පුත්තලමේ ස්වාධීන කණ්ඩායමක් විසින් ලබා ඇති ඡන්ද 9,547 ජනවාරියේදී මෛත්‍රී ලැබූ ඡන්ද ලෙස සැලකිය හැකිනම් පුත්තලම් දිස්ත්‍රික්කයේ එජාපෙ ඡන්ද අටදහස් ගණනක අඩුව පැහැදිලි කළ හැකිය.

මා විශේෂ අවධානයට යොමු කරන්නේ කුරුණෑගල සහ පොළොන්නරු දිස්ත්‍රික් ප්‍රතිඵලයි. කුරුණෑගලින් එජනිසය ජනවාරියේදී ලබාගත් ඡන්ද වලින් 14.86%ක් අඩු වී ඇති අතර මේ අඩුව දකුණේ වෙනත් දිස්ත්‍රික්ක තුළ එජනිස අඩුවට වඩා විශාල ලෙස වෙනස් නැත. උදාහරණයක් ලෙස කළුතරින් එජනිස ඡන්ද අඩුවී ඇත්තේ 14.42%කි. අනෙක් අතට, කුරුණෑගලදී එජනිස ඡන්ද එජාපෙ වෙත මාරුවීමද එවැනි අනෙකුත් දිස්ත්‍රික්ක වලට වඩා විශාල ලෙස වෙනස් නැත. මේ අනුව, ඉතා පැහැදිලිවම කුරුණෑගල මහින්ද රැල්ලක් තිබී නැත. උපරිම තක්සේරුවක් යටතේ වුවත් මහින්දගේ පැමිණීම නිසා එජනිස ඡන්ද වලින් වැඩිපුර රඳවාගෙන ඇත්තේ 2%ක පමණ ප්‍රමාණයකි.


කුරුණෑගලට සාපේක්ෂව, පොළොන්නරුවේදී මෛත්‍රී සාධකය කැපී පෙනේ. පොළොන්නරුවේ එජනිස ඡන්ද අඩුවී ඇත්තේ 2.34%ක් පමණක් වන අතර කම්කරු කොංග්‍රසයේ බලපෑම පෙන්වන නුවරඑළිය දිස්ත්‍රික්කය හැරුණු විට අනෙකුත් සෑම දිස්ත්‍රික්කයකම, මහින්ද තරඟ කළ කුරුණෑගල (14.86%) සහ ඔහුගේ ගම් ප්‍රදේශය වන හම්බන්තොටද (19.04%) ඇතුළුව, මේ ප්‍රතිශතය 14% ඉක්මවයි. එමෙන්ම, පොළොන්නරුවේදී එජාපෙ ඡන්ද වලින් 11.62%ක් ගිලිහී තිබේ.

රටේ අනෙකුත් ප්‍රදේශ වල පැවති ප්‍රවණතාව අනුව පොළොන්නරුවේදී එජනිස ඡන්ද 17%ක් පමණ අඩුවිය යුතු වුවත් එසේ වී නැත්තේ මෛත්‍රී සාධකය නිසාය. මේ අනුව අවශ්‍ය දිසාවට නොවූවත්, නුවරඑළිය හැර දිවයින පුරාම හමා ගොස් ඇති මහින්ද සුළඟ පොළොන්නරුවේදී මඳ පවනක් වී ඇත.

පොළොන්නරුවේ එජනිස ජනවාරි ඡන්ද වලින් 17% පමණ (බොහෝ විට භාවිතා නොවී) අඩුවෙද්දී මේ අඩුවෙන් සෑහෙන ප්‍රමාණයක් එජාපෙ වෙත ජනවාරියේදී මෛත්‍රී විසින් රැගෙන ගිය ඡන්ද වලින් පිරවී තිබේ. එහෙත්, එජාපෙන් අඩු වූ සියලුම ඡන්ද මෙසේ එජනිසයට ආපසු පැමිණ නැත. මා විසින් පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව කරන ලදුව ජූලි පළවැනිදා පලකළ විශ්ලේෂණය පරිදි, පොළොන්නරුවේ ප්‍රකාශිත ඡන්ද වලින් 12.6%ක් පමණ වූ, ප්‍රමාණාත්මකව තිස්දහසකට මඳක් වැඩි මේ ඡන්ද වලින් අඩක් පමණ එජනිසට මාරු වී ඇතත් ඉතිරි ඡන්ද ප්‍රමාණය මහ මැතිවරණයේදී භාවිතා වී නැත.

රටේ අනෙක් ප්‍රදේශවලදී මහින්දවාදී නොවූ ශ්‍රීලනිප ඡන්ද වලටත් සිදුවූවායැයි මා සිතන්නේ මේ සන්තෑසියමය. ඒ අනුව ජනවාරි එජනිස ඡන්ද වලින් තුනෙන් එකකට ආසන්න විය හැකි මහින්දවාදී නොවන ඡන්ද වලින් අඩක් පමණ පාවිච්චි නොවන්නට ඇත. මේ නිසා කොහොමටත් උඩට එන මහින්දවාදීන්ට මනාප තරඟයේදී තවදුරටත් වාසියක් වූ අතර මහින්දවාදී නොවන අපේක්ෂකයින් රැසකටම ඔවුන්ගේ සීමිත ඉඩ ප්‍රස්තාවන්ද අහිමි වී තිබේ.

Sunday, August 16, 2015

පියවරු, පුත්තු සහ බූරුවෝ


එකෝමත් එක රටක පියෙක් සහ පුතෙක් තමන් දෙදෙනාගේ ශ්‍රමය මාස ගණනාවක් මුළුල්ලේ වැයකොට ලබාගත් අස්වැන්න මුදල් කර ගැනීමට සිදාදියට පැමිණියහ. බලාපොරොත්තු වූ තරම් නොවූවත් සැලකිය යුතු මුදලක් ලබා ගැනීමට ඔවුහු සමත් වූහ.

"අපි මේ මුදල් බුද්ධිමත් විධියට ආයෝජනය කරන්ඩ ඕනෑ" පුතා කිවු වචන තාත්තාට නොතේරුණත් එහි අරුත ඔහුට වැටහිණි.

"අපි ෆිනෑන්ස් කරල ප්‍රයිවෙට් බස් එකක් ගම්මු".

"හරියන්නෙ නෑ. එක ප්‍රයිවෙට් බස් එකක් අරගෙන ලාබ ලබන්න අමාරුයි. අපි කොහොමද බස් පණහක් සීයක් එක පාර ගන්නේ".

"එහෙමනම් අපි ඉඩම් අක්කර හත අටක් අරගෙන..."

"කෙරෙන්නෙ නෑ. මේ තරම් සුළු මුදලකට ඉඩම් අක්කර හත අටක් ගන්ඩ හැමෝටම හැමදාම ලැබෙන්නේ නෑ".

තමන් සතු මුදලින් කළ හැක්කේ ඉතා සුළු දෙයක් පමණක් බව තාත්තාත් පුතාත් තේරුම් ගත්හ. එබැවින් එම මුදලින් බූරුවකු මිලදී ගැනීමට දෙදෙනාම එකඟ වූහ.

තාත්තාත්, පුතාත් බූරුවා දක්කාගෙන ටික දුරක් පැමිණියහ. මුලදී,දෙදෙනා තුළම වූයේ මේ තමන්ගේ මාස ගණනක ශ්‍රමයෙහි ඵලයය යන සිතුවිල්ල පමණි. එහෙත් මඳ දුරක් යද්දී මේ බූරුවෙක්ය යන්න තාත්තාට මතක් විය. බූරුවා මිලදී ගත්තේ පිට උඩ යාමට මිස දක්කාගෙන යාමට නොවේ.

"පුතා, නගින්ඩ බූරුවගෙ පිටේ".

"නෑ තාත්තම නගින්ඩ. මම තව ටිකක් දුර පයින් එන්නම්".

ඒ අනුව, තාත්තා බූරුවාගේ පිට නැග්ගේය. එහෙත්, එක් අතකින් තාත්තාට බූරුවන් පිට යාමෙහි වැඩි පළපුරුද්දක් නොවීය. අනෙක් අතට ඌ මහා 'එපා කරපු' හිතුවක්කාර බූරුවෙකු විය. කිසිවෙකු තමාගේ පිට උඩ යාම ඌට රිසි නොවීය.

බූරුවාගේ දැඟලිල්ල තාත්තාට මහත් වදයක් විය. දෙතුන් වරක් නොවැටී හිටියත් අන්තිමේදී බූරුවා තාත්තාව බිම දැම්මේය.

"මූනම් මහා එපාම කරපු බූරුවෙක්. තව පොඩ්ඩෙන් මගෙ කොන්දත් කඩනවා".

"තාත්තා ඉන්ඩ. මම ඌව මෙල්ල කරන්නම්".

පුතා බූරුවා පිට නැග්ගේ ඌ මොන විදියේ බූරුවෙක්දැයි නොදැන නොවේ.

නොසෑහෙන්නට වද දී තාත්තාව බිම දමාගත් බූරුවා පුතාවද බිම දැමීම සඳහා උගේ සුපුරුදු උපාය මාර්ග ක්‍රියාත්මක කළේය. ඒ කෙසේ වුවද කිහිප වරක්ම වැටෙන්නට ගියත්, වැටුනේ පුතා නොවේ. පුතාව බිම දැමීම ලෙහෙසි නොවන බව තේරුම් ගත් බූරුවා දැඟලිල්ල නවතා දැමීය. ඒත් නිතරම ඌ සිටියේ පුතාව බිම දැමීමට සුදුසු අවස්ථාවක් සොයමිනි.

"දැන් ඉතින් මූ තවත් දඟලන එකක් නෑ තාත්තේ.තාත්තත් බය නැතුව පිටිපස්සෙන් නගින්ඩ"

පුතා කෙසේ කීවත් බූරුවාගේ තරම තාත්තා දනී. උගේ පිටට නැගීමට තාත්තා අදිමදි කළේ ඒ නිසාය. එහෙත් අන්තිමේදී තාත්තා පුතා සමඟ එකඟ විය.

බූරුවාට තරු පෙනුනේය. තාත්තාත්, පුතාත් දෙදෙනාම පිට උඩ තබාගෙන යාම ලෙහෙසි නැත. එහෙත් බූරුවා කලබල නොවීය. ඉවසීය.

සිදාදිය පසුවිය. දැන් ඔවුන් ඉදිරියේ ඇත්තේ කැලෑබද පාරකි. බූරුවා වෙහෙස බවක් අඟවා තප්පුලන්නට පටන් ගත්තේය. කැලෑවේදී වැඩි සද්ද-බද්ද හොඳ නැත. මේ බව දත් තාත්තාත් පුතාත් බූරුවා පිටින් බටහ. බූරුවා සැණෙකින් පිම්මක් පැන්නේය. ඌ ලෑස්ති වූයේ ලද අවසරයෙන් ප්‍රයෝජන ගෙන කැලෑ වැදීමටය. එහෙත්, පුතා ඉක්මන් විය. බූරුවාගේ කකුල් බැඳ දමනු ලැබුවේය.

"ඔය කිට්ටුවදි මූ දඟලන්ඩ බැරි නෑ. ඒ නිසා අපි දැනට මූව කුදලාගෙන යමු. ඔය පහු වුනාම ආයෙමත් අපිට මුගේ පිටේ නැගලා නැගලා ගියෑකි"

බූරුවා දැන් තාත්තාගේත් පුතාගේත් කර උඩින් යයි. දාඩිය හලමින්, හති දමමින් බූරුවා කුදලාගෙන යන අතරත් ඔව්හු කල්පනා කළෝ අනාගතයේදී බූරුවාගෙන් ලබා ගන්නා ප්‍රයෝජන ගැනය.

ඔව්හු ඔය අසබඩට පැමිණුනහ. ඔය දෙපස කැලෑවේද බූරුවෝ සිටිති. ඔය මැද පිහිටි දූපත බූරුවන්ගේ රජදහනකි. හදිසියේම ඒ දෙසින් බූරු රංචුවකගේ තප්පුලෑම ඇසිණි.

බූරුවා කලබල විය. ඌට අමුතුම ශක්තියක් ලැබී තිබුණි. බැමි ලෙහෙන තුරුම දඟලා කැලෑවට පැනගත් උගේ වලිගයවත් අල්ලා ගැනීමට එවරනම් තාත්තාටවත් පුතාටවත් නොහැකි විය.

රංචුවට එකතු වුනු බූරුවාගේ ජයග්‍රාහී තප්පුලෑම ඔය මැද පිහිටි දූපත දෙසින් තාත්තාටත්, පුතාටත් පැහැදිලිවම ඇසුණේය.

"අපරාදේ! අපේ මාස ගානක මහන්සිය වතුරේ" තාත්තා දුක් විය.

"මටනම් දුක ඒක හින්දම නෙවෙයි. බූරුවා මේ තරම් දුරක් අපේ කරපිටින් ආපු එක ගැනයි"

කෙසේ හෝ අවසානයේදී, තාත්තලාගේත් පුතාලාගේත් කරපිටින් බූරුවා ඌට අවශ්‍ය තැනට පැමිණුනේය.

***
උඩින් ඇති මැටිකතාව සියවස් කාලකට පමණ පෙර දිවයින ඉරිදා සංග්‍රහයේ පළවූවකි. ඒ කාලයේ තාත්තලා සමඟ බූරුවන් කරේ තබාගෙන ගිය පුතාලා දැන්  තාත්තලා වන අතර ඔවුන්ගේ පුතාලාත් දැන් බූරුවෙකුට කර ගැහීමට තරම්ලොකු මහත් වී ඇත. ඒ ඇරුණු විට කතාවේ අනෙක් කොටස් වෙනස් වී ඇත්තේ කෙසේදැයි තවමත් පැහැදිලි නැත.
 
(සිතුවම් අන්තර්ජාලයෙනි.)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...