වෙබ් ලිපිනය:

Showing posts with label ප්‍රවාද. Show all posts
Showing posts with label ප්‍රවාද. Show all posts

Thursday, August 4, 2022

හොර පාරෙන් රටින් පන්නන සල්ලි


රටකට විදේශ විණිමය එන හා එළියට යන ක්‍රම ගණනාවක් තිබෙනවා. කලින් ඕනෑ තරම් කතා කරලා තිබෙන නිසා නැවත විස්තර කරන්න යන්නේ නැහැ. මේ මාර්ග බොහොමයක් නීත්‍යනුකූල මාර්ග වුනත්, නීති විරෝධී ලෙසත් සැලකිය යුතු විදේශ විණිමය ප්‍රමාණයක් දේශ සීමා හරහා යනවා. එක පැත්තකට නෙමෙයි දෙපැත්තටම. 

නීත්‍යනුකූල මාර්ග වලින් රටට එන හා රටින් යන විදේශ විණිමය ප්‍රවාහ පිළිබඳ තොරතුරු වලින් විශාල කොටසක් මහ බැංකුවට වාර්තා වෙනවා. ගෙවුම් ශේෂ ගිණුම් වල තියෙන්නේ මේ තොරතුරු. මේ විදිහට රටට එන හා රටින් යන විදේශ විණිමය ප්‍රවාහ ගැන තොරතුරු සියල්ලම මහ බැංකුවට වාර්තා වෙනවානම්, කිසිවක්ම මග හැරෙන්නේ නැත්නම්, යන ප්‍රමාණය හා ආ ප්‍රමාණය අතර වෙනස රටේ සංචිත වල වෙනස් වීමට සමාන වෙන්න ඕනෑ. නමුත්, ලෝකයේ කිසිම රටක ඔය සමතුලිත වීම හරියටම වෙන්නේ නැහැ. ඇතැම් විදේශ විණිමය ගලනයන් මහ බැංකුවට වාර්තා වෙන්නේ නැහැ.

සාමාන්‍යයෙන් නීති විරෝධී විදේශ විණිමය ගලනයන් කොහොමටත් මහ බැංකුවට වාර්තා වෙන්නේ නැහැ. නීති විරෝධී නැති ගලනයන් වුවත් හැම එකක්ම වාර්තා වෙන්නේ  නැහැ. උදාහරණයක් විදිහට කවුරු හරි පිටරට සංචාරයක යද්දී ඩොලර් සීයක් බැංකුවකින් අරගෙන ආපහු එද්දී ඉතිරි වුනු ඩොලර් විස්ස ගෙදර ලාච්චුවේ තියා ගත්තොත් ඒ ඩොලර් විස්ස රටට ආපහු ආපු බව වාර්තා වෙන්නේ නැහැ. ඒ වගේම, සංචාරකයෙකු විසින් බැංකුවෙන් ඩොලර් මාරු කරද්දී එය වාර්තා වුනත්, ගයිඩ් කෙනෙක්ගේ අතට දෙන ඩොලර් විස්සක් වාර්තා වෙන්නේ නැහැ. දැන් වෙනත් කෙනෙක් පිටරට යද්දී බැංකුවෙන් ඩොලර් මිල දී නොගෙන ඔය වගේ රටේ තිබෙන ඩොලර් එකතු කරගෙන ගිහින් වියදම් කළොත් ඒකත් වාර්තා වෙන්නේ නැහැ. 

මේ වගේ සිල්ලර ගනුදෙනු සහ අනීතික ගනුදෙනු මහ බැංකුවට වාර්තා වෙන්නේ නැතත් රටට පැමිණි හා රටින් ගිය විදේශ විණිමය ප්‍රමාණ අතර වෙනස සංචිත වෙනස් වීමත් එක්ක සංසන්දනය කළාම "වැරදීම් හා මගහැරීම්" සියල්ලේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය ඇස්තමේන්තු කරන්න පුළුවන්. ඕනෑම රටක ගෙවුම් ශේෂ ගිණුම් වල මේ ප්‍රමාණය සටහන්ව තිබෙනවා. සාමාන්‍යයෙන් සැලකිය විශාල යුතු අගයක්. 

පහත තියෙන්නේ පසුගිය වසර 15 තුළ ලංකාවේ මේ වැරදීම් හා මග හැරීම් ප්‍රමාණය ඩොලර් මිලියන වලින්. වරහන් ඇතුළේ තියෙන්නේ සෘණ අගයන්.

2007- (165)

2008- 728

2009- 346

2010- (881)

2011- (707)

2012 - (412)

2013 - (590)

2013- 393

2015- (308)

2016 - (465)

2017- 175

2018 - (593)

2019 - (640)

2020 - 765

2021 - (711)

ඔය වසර 15 සමස්තයක් ලෙස ගත්තොත්, ධන හා සෘණ අගයයන් දෙවර්ගයම තිබුණත්, වැඩිපුර තියෙන්නේ සෘණ අගයයන් කියන එක පේනවනේ. ඒ කියන්නේ රටට ආපු විදේශ විණිමය ප්‍රමාණයෙන් යම් කොටසකට වෙච්ච දෙයක් නැහැ. ඒ සල්ලි නීති විරෝධී ලෙස රටින් පිටට ගියා කියන එක එයින් අනිවාර්යයෙන් අදහස් වන්නේ නැහැ. එක්කෝ නීති විරෝධී ලෙස රටින් එළියට ගියා. නැත්නම් රට ඇතුළේම කා අතේ හෝ දැනටත් තියෙනවා. එහෙම රට ඇතුළේ තිබුණත් මේ සල්ලි පහසුවෙන් රටින් පන්නන්න පුළුවන් නිසා ඔය දෙකේ වැඩි වෙනසකුත් නැහැ.

මේ විදිහට පසුගිය වසර 15 තුළ අවිධිමත් වෙළඳපොළ හරහා සම්ප්‍රේෂණය වී තිබෙන විදේශ විණිමය ප්‍රමාණයේ ශුද්ධ අගය ඩොලර් බිලියන 3ක් පමණ. ඒ කියන්නේ, ඇස්තමේන්තු නිවැරදිනම්, සාමාන්‍ය වශයෙන් වසරකට ඩොලර් මිලියන 200ක් පමණ අවිධිමත් වෙළඳපොළ හරහා රටින් පිට වී තිබෙනවා. එහෙම නැත්නම් ඇස්තමේන්තු වල එපමණ වරදක් තිබෙනවා.

නීති විරෝධී ලෙස රටට එන හා රටෙන් යන සල්ලි මහ බැංකුවට වාර්තා නොවුණත්, එවැනි ගනුදෙනු වල ශුද්ධ ප්‍රතිඵලය මේ සංඛ්‍යාව ඇතුළේ තියෙනවා. මේ සංඛ්‍යාලේඛණයට මග හැරෙන වෙනත් ආකාර වලින් සල්ලි රටින් පන්නන්න බැරිද? 

අපි හිතමු කවුරු හෝ බලවතෙක් ඩොලර් නෝට්ටු ගෝනි වල දාලා පෞද්ගලික ජෙට් යානයකින් මොකක් හරි රටකට පැන්නුවා කියලා. ඔය වගේ කතාවක් මට පෞද්ගලිකව විශ්වාස කරන්න අමාරු වුනත් කතාව එක පාරට ප්‍රතික්ෂේප කළ හැකි සෛද්ධාන්තික පදනමක් නැහැ. විය හැකියාවක් ලෙස ඔය කතාව මට භාර ගන්න වෙනවා. 

හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මම හිතන්නේ කියවන අය මාත් එක්ක එකඟ වෙයි. 

ඔය විදිහට හෝ වෙන විදිහකින් රටින් පන්නන්නනම් ඊට කලින් රටට ඔය ඩොලර් ටික ඇවිත් තියෙන්න ඕනෑ. රටට ඩොලර් ආවේ නැත්නම් රටෙන් පන්නන්න විදිහකුත් නැහැනේ. ඒ කියන්නේ මේ පන්නපු ප්‍රමාණය කලින් පෙන්වපු "වැරදීම් හා මගහැරීම්" ගොඩේ තියෙන්න ඕනෑ. රටට ආපු ඩොලර් ප්‍රමාණයෙන් වෙච්ච දෙයක් නැත්තේ ඒ ප්‍රමාණය පමණයි. 

ඒ කියන්නේ ඊට වඩා වැඩි ඩොලර් ප්‍රමාණයක් රටින් පැන්නුවා වෙන්නම බැරිද? 

පුළුවන්. එහෙමනම්, ඒ වැඩි ප්‍රමාණය හොර පාරකින්ම රටට ඇවිත් තියෙන්න ඕනෑ. රටට හොරෙන් ඩොලර් ආවේ නැත්නම්, ඔය ගණනට වඩා වැඩියෙන් රටෙන් ඩොලර් එළියට යන්න විදිහකුත් නැහැ. ඒ කියන්නේ, හොරෙන් ආ ගිය ඩොලර් ගණන් සැලකුවට පස්සෙත්, ශුද්ධ වශයෙන් බැලුවොත් වාර්තා නොවී රටේ ඩොලර් අඩු වෙලා තියෙන්නේ ඔය ප්‍රමාණයම තමයි.

ආනයන අපනයන වෙළඳාමේදී වැරදියට ඉන්වොයිස් දමන එක මේ සංඛ්‍යාලේඛණ වලට බලපාන්නේ කොහොමද? 

ඇමරිකාවේ රාජ්‍ය නොවන සංවිධානයක (GFI) සේවය කරන පර්යේෂකයෙකු (දේව් කර්) විසින්, නෝර්වේ රජයේ ආධාර මත, කනිෂ්ඨ සහායකයෙකුගේ උදවු ඇතිව සකස් කර තිබෙන 2015 වාර්තාවක ඉහත විස්තර කළ ගෙවුම් ශේෂ ගිණුම් වල "වැරදීම් හා මගහැරීම්" වලට ආනයන අපනයන වෙළඳාමේදී වැරදියට ඉන්වොයිස් දැමීම මගින් රටින් පිට කළේයයි ඔවුන් දෙදෙනා විසින් ඇස්තමේන්තු කර තිබෙන සංඛ්‍යාවක්ද එකතු කර එම මුදල නීති විරෝධී ලෙස සංවර්ධනය වන රට වලින් පිට කෙරුණු මුදලක් ලෙස අර්ථ දක්වා තිබෙනවා. මේ ඇස්තමේන්තු සකස් කර තිබෙන ක්‍රමවේදයේ බැලූ බැල්මටම පෙනෙන වැරදි හා අඩුපාඩු ගණනාවක් තිබෙනවා. විමර්ශිත ජර්නලයක පළව ඇති පර්යේෂණ පත්‍රිකාවක් වැන්නක් නොවන මෙවැනි ලියැවිල්ලක එවැනි වැරදි හා අඩුපාඩු තිබීම අනපේක්ෂිත දෙයක් නෙමෙයි. 

දේව් කර් සේවය කළ රාජ්‍ය නොවන සංවිධානය විසින්ම 2021දී තවත් වාර්තාවක් එළි දක්වා තිබෙනවා. පෙර කී වාර්තාවට සාපේක්ෂව දුර්වලතා අඩු එම වාර්තාවේ ඉලක්ක අරමුණ මෙන්ම ක්‍රමවේදයද මුල් වාර්තාවට වඩා වෙනස්. එහි අවධානය යොමු කර තිබෙන්නේ ආනයන අපනයන වෙළඳාමේදී වැරදියට ඉන්වොයිස් දැමීම හරහා සිදු කර තිබෙන නීති විරෝධී ගණුදෙනු පරිමාව පිළිබඳවයි. 

මේ 2021 වාර්තාව ගැන මීට පෙරද කතා කර තිබෙන නිසා අපි 2015 වාර්තාව ගැන දැන් කතා කරමු. 2015 වාර්තාවේ ඇස්තමේන්තු පදනම් වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් හා සංවර්ධිත රටවල් අතර සිදුව ඇති ගනුදෙනු මතයි. 2021 වාර්තාවේ මෙන්ම මේ වාර්තාවේද කරන්නේ දෙපැත්තේ ගණන් සංසන්දනය කිරීමයි. එහිදී දේව් කර් හා ඔහුගේ සහායකයා විසින් සංවර්ධිත රටේ සංඛ්‍යාලේඛණ නිවැරදි සේ සලකනවා. ඉන් පසුව, රක්ෂණ හා නැව් ගාස්තු 10%ක් සේ උපකල්පනය කර සංවර්ධනය වන රටකට භාණ්ඩයක් යන විට හා සංවර්ධනය වන රටකින් භාණ්ඩයක් එන විට පෙන්වා තිබිය යුතු "නියම මිල" ගණනය කරනවා. 

සංවර්ධනය වන රටකින් සංවර්ධිත රටකට භාණ්ඩයක් අපනයනය කරන විට පෙන්වා ඇති මිල ඉහත ආකාරයෙන් ගණනය කළ "නියම මිලට" වඩා අඩුනම් එය ඔවුන් විදේශ විණිමය ගලනයක් සේ සලකනවා. පෙන්වා ඇති මිල "නියම මිලට" වඩා වැඩිනම් එය නොසලකා හරිනවා.

මේ ආකාරයෙන්ම, සංවර්ධනය වන රටක් සංවර්ධිත රටකින් භාණ්ඩයක් ආනයනය කරන විට පෙන්වා ඇති මිල ඉහත ආකාරයෙන් ගණනය කළ "නියම මිලට" වඩා වැඩිනම් එය ඔවුන් විදේශ විණිමය ගලනයක් සේ සලකනවා. පෙන්වා ඇති මිල "නියම මිලට" වඩා අඩුනම් එය නොසලකා හරිනවා.

මේ පදනම මත, සංවර්ධනය වන රටවල් හා සංවර්ධිත රටවල් අතර ගනුදෙනු වලදී ඔවුන්ගේ ක්‍රමය අනුව රටින් පිටට විදේශ විණිමය ගලනයක් වී ඇතැයි සැක කෙරෙන අවස්ථා සියල්ල හඳුනා ගැනෙන අතර එම පදනම මතම රට තුළට විදේශ විණිමය ගලනයක් වී ඇතැයි සැක කෙරෙන අවස්ථා සියල්ල නොසලකා හරිමින් ඔවුන් විසින් පළමුව මූලික ඇස්තමේන්තුවක් සකස් කරනවා. ඉන් පසුව, සංවර්ධනය වන රටවල් අතරම සිදු වන ගනුදෙනු වලදීද එම අනුපාතයෙන්ම විදේශ විණිමය ගලනයක් වී ඇතැයි උපකල්පනය කරමින් අවසන් ඇස්තමේන්තුවක් හදනවා. 

දේව් කර්ගේ මූලික උපකල්පනයක් වන්නේම සංවර්ධනය වන රටවල් වල සිට සංවර්ධිත රටවල් වලට ප්‍රාග්ධනය විතැන් කිරීමක් මිස එහි අනෙක් පැත්ත සිදු නොවන බවයි. එහෙත්, ඔහු දෙවනුව සංවර්ධනය වන රටවල් අතර සිදු වන ගනුදෙනු වලදීද ප්‍රාග්ධනය විතැන් වන්නේ එක් දිශාවකට පමණක් බව උපකල්පනය කරනවා. ඒ වගේම, අදාළ අනුපාතයද සමාන සේ සලකනවා. 

ඒ කියන්නේ, ලංකාවෙන් ඉන්දියාවට හොරෙන් පන්නපු ගණන ඇස්තමේන්තු කරද්දී ඉන්දියාවෙන් ලංකාවට සල්ලි හොරෙන් පන්නන්න කිසිම හේතුවක් නැහැ කියා උපකල්පනය කරනවා. ඔය විදිහටම ඉන්දියාවෙන් ලංකාවට හොරෙන් පන්නපු ගණන ඇස්තමේන්තු කරද්දී ලංකාවෙන් ඉන්දියාවට සල්ලි හොරෙන් පන්නන්න කිසිම හේතුවක් නැහැ කියා උපකල්පනය කරනවා. 

ඔය දෙකෙන් එකක්වත් ඇස්තමේන්තු කරන්නේ ලංකාව හා ඉන්දියාව අතර ඇත්තටම සිදු වූ ගනුදෙනු මත පදනම්ව නෙමෙයි. ලංකාව සංවර්ධිත රටවල් සමඟ ඩොලර් 1000ක ගනුදෙනු කරද්දී ඩොලර් 200ක් එම රටවලට පන්නලානම්, ලංකාව ඉන්දියාව සමඟ ඩොලර් 1000ක ගනුදෙනු කරද්දීත් ඩොලර් 200ක් ඉන්දියාවට පන්නලා කියලා උපකල්පනය කරලා.  

මේ 2015 වාර්තාවේ ඇස්තමේන්තු කිසිසේත්ම බරපතල ලෙස ගිණිය නොහැකියි. මා හිතන පරිදි, 2021 වාර්තාව සකස් කළ පර්යේෂක කණ්ඩායම විසින් පෙර වාර්තාවේ වැරදි හා අඩුපාඩු බොහොමයක් හඳුනාගෙන තිබෙනවා. එම වාර්තාවේ අනීතික ගනුදෙනු ගැන මිස ප්‍රාග්ධන ගලනයන් ගැන අවධානය යොමු කරවන්නේ නැහැ. 

සාමාන්‍යයෙන් වෙන පරිදි, ලංකාවේ සමහර අය ඔය වාර්තා වල තියෙන දේවල් තමයි උඩින් පල්ලෙන් කියවලා, අදාළ පර්යේෂකයින් විසින් කරලා තියෙන වැරදි ගැන කිසිම අවබෝධයක් නැතුව, අනෙක් පැත්තට වමාරන්නේ. ඒ විතරක් නෙමෙයි. වාර්තා වල වැරදි පැත්තකින් තිබ්බත්, ඒ වාර්තා වල තියෙන දේවල්වත් හරියට ග්‍රහණය කර ගෙන නැහැ. 

ලංකාවේ කට්ටිය වැඩේ අනාගන්න ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ 2015 වාර්තාවේ සහ 2021 වාර්තාවේ තියෙන්නේ එකම දෙයක් ගැන කියලා හිතලා. වෙනස දැන ගන්නනම් එක් එක් වාර්තාවේ ක්‍රමවේද තේරුම් ගන්න ඕනෑනේ! 

ලංකාවේ කට්ටිය 2021 වාර්තාවේ තියෙන සංඛ්‍යාලේඛණ අරගෙන ඒවා අර්ථ දක්වන්නේ 2015 වාර්තාවේ අර්ථ දැක්වීම් අනුවයි. නමුත්, මේ දෙකේ කරලා තියෙන්නේ වගේම කියල තියෙන්නෙත් කරුණු දෙකක් ගැන. ඒ වගේම, 2021 වාර්තාවෙත් වැරදි හා අඩුපාඩු තිබුණත්, 2015 වාර්තාවේ ඇස්තමේන්තු වල වැරදි හා අඩුපාඩු ඉතාම ප්‍රාථමික මට්ටමේ ඒවා.

හරි. අපි දැන් ඔය වාර්තා සහ ඒවායේ තිබෙන ගණන් හිලවු පැත්තකින් තියලා වැරදියට ඉන්වොයිස් කිරීම කියන කාරණාවට එමුකෝ. එහෙම දෙයක් ඇත්තටම වෙනවනේ. ඒක අර මුලින් කී ගෙවුම් ශේෂ ගිණුම් ඇස්තමේන්තු වලට බලපාන්නේ කොහොමද? 

ලංකාවේ කවුරු හෝ කෙනෙක් ඩොලර් 1000ක බඩුවක් ආනයනය කරද්දී ඩොලර් 1500ක් කියලා පෙන්වනවා. දැන් මේ වැඩෙන් නියාමකයින්ගේ ඇස් වහලා ඩොලර් 500ක් රටින් පිටතට ප්‍රේෂණය කරනවා. ඒ ඩොලර් 500 ලංකාවට අපනයනය කරන සමාගමේ ගිනුමට යනවා. පසුව, එම සමාගම හරහා වෙනත් ගිණුමකට විතැන් වෙනවා වෙන්න පුළුවන්. 

හැබැයි මේ විදිහට ඉන්වොයිස් එක වැඩියෙන් පෙන්නුවත් ඩොලර් 1500 යන්නේ විධිමත් ලෙස බැංකු පද්ධතිය හරහා මිසක් හොර පාරකින් නෙමෙයි. ඒ නිසා, ඒ මුළු මුදලම, ඉතා නිවැරදි ලෙස රටින් එළියට ගිය මුදලක් ලෙස ගෙවුම් ශේෂ ගිණුම් වල සටහන් වෙනවා. සිදු වෙන වැරැද්ද ප්‍රේෂණයක් ලෙස (outward remittance) ද්වීතියික ආදායම් ගිණුමේ සටහන් විය යුතු ඩොලර් 500ක් එහි සටහන් නොවී වෙළඳ ගිණුමේ සටහන් වෙන එකයි. ඒ කියන්නේ, මේ වැඩෙන් ජංගම ගිණුමේ ශේෂය වෙනස් වෙන්නේ නැහැ.

අපි හිතමු ඔය විදිහට රටින් එළියට ගෙනයන ඩොලර් 500 රටින් පිට ආයෝජනය කළා කියලා. එහෙමනම්, ඒ මුදල යන්න ඕනෑ මූල්‍ය ගිණුමට. ඒ කියන්නේ, මූල්‍ය ගිණුමට යා යුතු ඩොලර් 500ක් ජංගම ගිණුමේ (වෙළඳ උප ගිණුමේ) සටහන් වෙනවා. නමුත්, මේ ඩොලර් 500 රටින් එළියට ගිය බව නියාමකයින් දන්නවා. ඒ නිසා, එම මුදල "වැරදීම් හා මගහැරීම්" වලට යන කොටසක් නෙමෙයි.

දැන් ඕකෙම අනෙක් පැත්ත වුනා කියා හිතමු. ලංකාවේ කවුරු හෝ කෙනෙක් ඩොලර් 1000ක බඩුවක් ආනයනය කරද්දී ඩොලර් 500ක් කියලා පෙන්වනවා. හැබැයි එහෙම පෙන්නුවත්, අදාල අපනයනකරුවාට මොන ක්‍රමයකින් හෝ ඉතිරි ඩොලර් 500 ගෙවන්න වෙනවා. ඒ මුදල ගෙවන්න වෙන්නේ හොර පාරකින්. 

මේ ඩොලර් 500 ගෙවන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් අවිධිමත් විදිහට ලංකාවෙන්ම සල්ලි යවන එක. එහෙම නැත්නම් දැනටමත් රටින් පිට තිබෙන ගිණුමකින් සල්ලි ගෙවන එක. අවිධිමත් විදිහට ලංකාවෙන්ම සල්ලි යැව්වොත් එය ගෙවුම් ශේෂ ඇස්තමේන්තු වල තිබෙන "වැරදීම් හා මගහැරීම්" වලට අහු වෙනවා. "වැරදීම් හා මගහැරීම්" වල එවැනි මුදලක් රටින් ගිය බවක් පෙනෙන්න නැත්නම් ඒ සල්ලි ගෙවලා තියෙන්නේ කලින් රටින් පිට කළ මුදල් යොදා ගෙන. මොකද කොහෙන් හෝ ඔය ඩොලර් 500 ගෙවන්නම වෙනවා. 

ඊළඟට අපි අපනයන පැත්ත බලමු. ඩොලර් 1000ක බඩු අපනයනය කරද්දී ඩොලර් 500ක් කියා පෙන්නුවොත් ඉතිරි ඩොලර් 500 රටින් එළියේ ගිණුමක තියා ගන්න පුළුවන්. "වැරදීම් හා මගහැරීම්" නැහැ. මොකද රටට ආපු ගණන ඩොලර් 500ක් පමණයි. ඒ ගණන ගිණුම් වල හරියට තිබෙනවා. නැත්තේ රටට නොආ කොටස. ඒ කොටස හොර පාරෙන් රටට ගෙනාවොත් " වැරදීම් හා මගහැරීම්" ගොඩට යනවා. නැත්නම් තවමත් රටින් පිට. 

එතකොට ගණන් වැඩියෙන් පෙන්නුවොත්? ඒ කියන්නේ, ඩොලර් 1000ක බඩු අපනයනය කරද්දී ඩොලර් 1500ක් කියා පෙන්නුවොත්? දැන් අමතර ඩොලර් 500ක් නිල වශයෙන්ම රටට එනවා. ඒ සල්ලි එන්නේ කොහෙන්ද? එහෙම වැරදි ඉන්වොයිස් පෙන්නලා සල්ලි ගෙන්වන්නනම් අපනයනකරු සතු, වාර්තා වී නැති, ධනයක් පිටරටක තියෙන්න ඕනෑ. එහෙම නැත්නම් වෙනත් කෙනෙක් අපනයනකරුගේ නමට ප්‍රේෂණයක් කළා වෙන්න ඕනෑ. ඔය දෙකෙන් කොයි එක වුනත් රට ඇතුළට ප්‍රාග්ධන ගලනයක් වෙලා. 

සරලවම කිවුවොත් ඉන්වොයිස් වල නොගැලපීම් වලට හේතුව ප්‍රාග්ධන ගලනය ලෙස සැලකුවොත් එය දෙපැත්තටම සිදු වන බව සලකා වෙනස දෙස බැලිය යුතුයි. එක පැත්තක් දෙස පමණක් බලන එක වැරදියි. එහෙම බැලුවට පස්සේ ශුද්ධ වශයෙන් යම් විදේශ විණිමය ගලනයක් වී ඇත්නම් එයින් අදහස් වන්නේ ගෙවුම් ශේෂය තව දුරටත් නිවැරදි වුවත්, මූල්‍ය ගිණුම හෝ ජංගම ගිණුමේම වෙනත් උප ගිණුමක් යටතේ සටහන් විය යුතු කොටසක් වෙළඳ ගිණුම යටතේ සටහන් වී තිබෙන බවයි. 

මෙවැන්නක් සිදු වීමේ ප්‍රතිඵලයක් ලෙස රටේ බාහිර වත්කම් (බැරකම්) පිළිබඳව තිබෙන ඇස්තමේන්තුවත් නිවැරදි නොවෙන්න පුළුවන්. ඒක තීරණය වන්නේ අදාළ මුදල් යොදා ගැනුණේ කවර කටයුත්තකටද කියන එක මතයි. රටින් මුදලක් පන්නපු පමණින්ම ඒ මුදල් රටින් පිට තිබෙනවා කියන එක අනිවාර්යයෙන් අදහස් වන්නේ නැහැ. මම මේ කියන්නේ කලින් කියපු නැවත රටට ඒ සල්ලි ආපහු ගෙනත් තිබීමේ හැකියාව ගැන නෙමෙයි. ශුද්ධ වශයෙන්ම රටින් පිට කෙරුණු විදේශ විණිමය ගැන.

මේ වගේ මුදලක් වුනත් අදාළ පුද්ගලයා රටින් බැහැර වූ විටක "එන්ජෝයි කරලා" වැය කර අවසන්ව තියෙන්න පුළුවන්. එහෙමනම් එය ජංගම ගිනුමේම වෙන උප ගිනුමක සටහන් විය යුතු මුදලක්. එහෙම නැතුව කොහේ හෝ ආයෝජනය කරලානම් ඒ සල්ලි රටින් පිට තියෙනවා. ඒ විතරක් නෙමෙයි. එවැනි මුදලක් රටින් පිට ඇත්නම් අදාළ ආයෝජනයේ ප්‍රතිලාභ ගෙවුම් ශේෂ ගිණුමේ සටහන් වෙන්නේ නැති ප්‍රශ්නයත් තියෙනවා. ඒ කියන්නේ මුලින් රටින් සල්ලි යද්දී එය ගෙවුම් ශේෂ ගිණුමේ වැරදි තැනක හෝ සටහන් වෙනවා. හැබැයි ඊට පස්සේ වෙන දේවල් ඒ විදිහට අහු වෙන්නේ නැහැ. 

ඇමරිකාව වගේ රටවල බදු ගොනු කරද්දී ලෝකයේ කොහේ හෝ රටක තිබෙන වත්කම් මත ලැබෙන ප්‍රතිලාභ වෙනුවෙන් බදු ගෙවිය යුතුයි. උදාහරණයක් විදිහට ඇමරිකන් පුරවැසියෙකු සතුව ලංකාවේ තිබෙන ගෙයක් හෝ ඉඩමක් විකිනුවොත් එහි ගැනුම් මිල හා විකුණුම් මිල අතර වෙනස ආදායමක් ලෙස පෙන්වලා ඒ වෙනුවෙන් ඇමරිකාවට බදු ගෙවිය යුතුයි. මම දන්නා තරමින් ලංකාවේ බදු නීතිය අනුවත් එහෙමයි. දැන් මේ විදිහට කා සතුව හෝ රටින් පිට එළිදරවු නොකළ වත්කම් තිබෙනවානම්, එම සල්ලි රටින් පිට කරන විට සිදු වන බදු වංචාවට අමතරව, අදාළ වත්කම් එළි නොකර තිබෙන තුරු දිගින් දිගටම සිදු වන බදු වංචාවක්ද එහි තිබෙනවා.

Wednesday, August 3, 2022

අර්බුදය හා විකල්ප ප්‍රවාද


ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳ විග්‍රහයන් ගණනාවක් තිබෙනවා. ගොඩක්ම ප්‍රචලිත හා ජනප්‍රිය ප්‍රවාදයක් වන්නේ රටේ මිනිස්සු ඔවුන් විසින් උපයන ඩොලර් වලට වඩා වැඩියෙන් ඩොලර් වියදම් කිරීම ප්‍රධාන හේතුව බවයි. මේක බොහෝ දුරට ආණ්ඩුවට හා රජයට හිතවත් අයගේ විග්‍රහයක්. මෙහිදී මිනිස්සු කියා කියන එකෙන් අදහස් කෙරෙන්නේ පාරිභෝගිකයින්. ආණ්ඩුව කියා කිවුවේ අලුත් ආණ්ඩුව ගැන නෙමෙයි. අලුත් ආණ්ඩුව මොන වගේ එකක්ද කියන එක තවමත් අපැහැදිලියි. 

උපයන ඩොලර් වලට වඩා වැඩියෙන් ඩොලර් වියදම් කිරීම ප්‍රශ්නයක් සේ හඳුනා ගන්නා නමුත් මගේ විග්‍රහය මේකම නෙමෙයි. එය මම බොහෝ වර විස්තර කර තිබෙනවා. මේ වෙද්දී කිසියම් සුළුතරයක් අතර හෝ මගේ ප්‍රවාදයටත් යම් පිළිගැනීමක් තිබෙනවා. ඊට අඩු වැඩි වශයෙන් සමාන ප්‍රවාද වෙනත් බොහෝ අය විසින්ද ඉදිරිපත් කර තිබෙනවා. ඔය ප්‍රවාද දෙකටම අමතරව තවත් විකල්ප ප්‍රවාද ගණනාවක් තිබෙනවා. මම මෙවැනි ප්‍රවාද තුනක සරල කරනු ලැබූ වර්ෂන් ඉතා කෙටියෙන් ඉදිරිපත් කරන්නම්.

1. ප්‍රචලිත ප්‍රවාදය - රටේ මිනිස්සු (පාරිභෝගිකයෝ) අපනයන වලින් අවුරුද්දකට උපයන්නේ ඩොලර් බිලියන දහයක් වුනත්, ඩොලර් බිලියන විස්සක ආනයනික භාණ්ඩ පරිභෝජනය කරනවා. ඒ නිසා, රජයට වසරකට ඩොලර් බිලියන දහයක් ණය ගන්න වී තිබෙනවා. වැරැද්ද මිනිස්සුන්ගේ අධිපරිභෝජනය. ප්‍රශ්නය විසඳන්නනම් මිනිස්සු පරිභෝජනය අඩු කරන්න ඕනෑ. ආනයන සීමා කරලා දේශීය නිෂ්පාදන වලට පුරුදු වෙන්න ඕනෑ. ව්‍යාපාරිකයින්ගේ වැරැද්දක් නැහැ. ඔවුන් කරන්නේ මිනිස්සු ඉල්ලන නිසා ඉල්ලන දේ ගෙනත් දෙන එකයි. රජයත් අහිංසකයි. ආණ්ඩුවත් අහිංසකයි. රජය/ආණ්ඩුව විසින් කරන්නේ බොහොම අමාරුවෙන් කොහෙන් හෝ රටකින් ණයට සල්ලි අරගෙන පාරිභෝගිකයන්ට අවශ්‍ය දේ ගෙනත් දීම සඳහා ව්‍යාපාරිකයන්ට සල්ලි හොයලා දෙන එක. ඒ කියන්නේ සාර්ව ආර්ථික ප්‍රතිපත්තියේ වැරැද්දක් නැහැ. වැරැද්ද තනිකරම මිනිස්සුන්ගේ අධිපරිභෝජනය. 

2. මගේ ප්‍රවාදය- රජය ආදායම ඉක්මවා වියදම් කරනවා. හිඟය පියවන්න විදේශ ණය ගන්නවා. සල්ලිත් අච්චු ගහනවා. ණයට ගත්ත ඩොලර් වෙළඳපොළේ විකුණා ලැබෙන රුපියල් ටිකත්, අච්චු ගහපු රුපියල් ටිකත් රට ඇතුළේ වියදම් කරද්දී රුපියල් වැඩි වන නමුත් ඒ තරමට රටේ නිෂ්පාදනය වැඩි වෙලා නැහැ. නමුත් වෙළඳපොළේ ඩොලර් වැඩි වෙනවා. ඩොලර් ලාබ වෙනවා. කිසියම් පිරිසක් මේ ඩොලර් මිල දී ගෙන පිටරටින් බඩු ගෙනත් ලාබෙට විකුණනවා. ඒ බඩු ගන්න අවශ්‍ය රුපියල් ආණ්ඩුව සංසරණයට දැනටමත් එකතු කරලා. ලාබෙට පිටරටින් බඩු එන නිසාත්, ඒ බඩු ගන්න ඇති තරම් රුපියල් අතේ තියෙන නිසාත් කවුරුවත් නිෂ්පාදනය වැඩි කරන්න මහන්සි වෙන්නේ නැහැ. අපනයන වලින් අවුරුද්දකට උපයන්නේ ඩොලර් බිලියන දහයක් වුනත්, ඩොලර් බිලියන විස්සක ආනයනික භාණ්ඩ පරිභෝජනය කරන්න මිනිස්සුන්ට පුළුවන් වෙනවා. මිනිස්සු ආතල් එකේ ඉන්නවා. 

මගේ මේ ප්‍රවාදයේදීත් ප්‍රචලිත ප්‍රවාදයේදී මෙන්ම වෙළඳ හිඟයක් තිබෙනවා. වෙනස එයට හේතුව මොකක්ද කියන එකයි. මගේ ප්‍රවාදය අනුව, මෙය රටේ සාර්ව ආර්ථික ප්‍රතිපත්තියේ වැරැද්දක් මිසක් මිනිස්සුන්ගේ (පාරිභෝගිකයින්ගේ) වැරැද්දක් නෙමෙයි. මිනිස්සුන්ගේ වැරැද්ද ඒ ප්‍රතිපත්තිය අනුමත කිරීම පමණයි. 

3. විකල්ප ප්‍රවාදය - මේ නිශ්චිත විකල්ප ප්‍රවාදය අනුව ඉහත ප්‍රවාද දෙකේම කියන විදිහේ වෙළඳ ශේෂ ප්‍රශ්නයක් රටේ නැහැ. ඇත්ත අපනයන ආදායම ඩොලර් බිලියන 15ක්. ඇත්ත ආනයන වියදමත් ඩොලර් බිලියන 15ක් පමණයි. හැබැයි අපනයනකරුවෝ අඩුවෙන් ගණන් පෙන්වලා ඩොලර් බිලියන 10ක් පමණක් රටට ගෙනත් ඉතිරි ඩොලර් 5 රටින් පන්නනවා. ආනයනකරුවෝ වැඩියෙන් ගණන් පෙන්නලා ඩොලර් බිලියන 15 වෙනුවට ඩොලර් බිලියන 20ක්ම රටින් එළියට ගෙනියනවා. දැන් එතැනත් ඩොලර් බිලියන පහක් රටින් පන්නලා. එතකොට ඔක්කොම ඩොලර් බිලියන 10ක් රටින් පන්නලා. ඒ ප්‍රමාණය තමයි රටට ණය වෙන්න වෙලා තියෙන්නේ. ඒ කියන්නේ වැරැද්ද මේ ආනයන අපනයන කරන වෙළෙන්දන්ගේ. මිනිස්සු අහිංසකයි. රජයත් අහිංසකයි. ආණ්ඩුව කරන වැරැද්ද මේ ව්‍යාපාරිකයින්ට දඬුවම් නොකර හුරතල් කරන එකයි.

මේ ප්‍රවාද තුනම මම ගොඩක් සරල කරලා තියෙන්නේ. සල්ලි පන්නන කතාව කියන අය ගණන ඩොලර් බිලියන දහයක් කියා කියන්නේ නැහැ. හැබැයි අදහස ඔය වගේ. ඔය ප්‍රවාද තුනට අමතරව කිසියම් පිරිසක් විසින් ණයට ගත් ඩොලර් හොරා කා රටින් පැන්නීම වගේ තවත් ප්‍රවාදත් තියෙනවා. 

දැන් මා ඇතුළු ඕනෑම කෙනෙකුට ඔය වගේ ප්‍රවාදයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ප්‍රවාදයක් කියා කියන්නේ නිකම්ම නිකම් හිතලුවක් මිසක් ඇත්ත නෙමෙයි. ඒ වුනත්, ලංකාවේ ආර්ථික අර්බුදයක් තියෙනවා කියන එක කාටත් පේන ඇත්තක්. ඇත්තම කතාව ඒ ආර්ථික අර්බුදයට හේතු වූ කරුණු ඔය ඕනෑම ප්‍රවාදයකට වඩා සංකීර්ණයි. ප්‍රවාදයකින් කරන්නේ ඒ සංකීර්ණ අර්බුදය වඩා පහසුවෙන් තේරුම් ගන්න කරන උත්සාහ කරන එකයි.

යම් කිසි ආකාරයකින් විද්‍යාත්මක ලෙස ප්‍රතික්ෂේප කරන තුරු ඔය වගේ ඕනෑම ප්‍රවාදයකට විය හැකියාවක් ලෙස වලංගු භාවයක් තිබෙනවා. එහෙම ප්‍රතික්ෂේප කළ ප්‍රවාදයකට වුනත් ඇතැම් අය අතර පිළිගැනීමක් තියෙන්න පුළුවන්. 

මේ වගේ ප්‍රවාදයක් ස්ථිර ලෙස ප්‍රතික්ෂේප කරන එක ගොඩක් අසීරු වැඩක්. ඒ නිසා, බොහෝ විට වෙන අය මොනවා කිවුවත් තමන්ගේ ප්‍රවාදය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටින කෙනෙකුට ඒ සඳහා යම් හෝ ඉඩක් ඉතිරි වෙනවා. මේ හේතුව නිසාම, තමන්ගේ ප්‍රවාදය වෙනුවෙන් දැඩි සේ පෙනී සිටින අයෙක් සමඟ තර්ක කරලා දිනන්න අමාරුයි. 

විය හැකියාවක් ලෙස වලංගු භාවයක් තිබෙනවා කියන්නේ ඇත්ත කියා කියන එක නෙමෙයි. බොරු බව ඔප්පු වී නැහැ කියන එකයි. ඒ නිසා, අවංකවම තමන්ගේ ප්‍රවාදය ඇත්තද කියා දැන ගන්න අවශ්‍ය කෙනෙක්නම් කළ යුත්තේ එය හැකි තරම් පරීක්ෂාවට ලක් කරන එකයි. තාර්කික තලයේදීම කළ හැකි මූලික පරීක්ෂාවක් වන්නේ ප්‍රවාදයේ අභ්‍යන්තර පරස්පරතා තියෙනවද කියලා බලන එකයි. එහෙම පරස්පර තියෙනවානම් එතැනින්ම වැඩේ අත ඇරලා දමන්න පුළුවන්. 

ගොඩක් වෙලාවට එවැනි අභ්‍යන්තර පරස්පරතා නැති ප්‍රවාද එකකට වඩා ඉතිරි වෙනවා. එතකොට හරි එක හෝ වඩා ගැලපෙන එක හොයා ගන්න වෙන්නේ අනුභූතික දත්ත දිහා බලලා. මුල් වටයේදී ප්‍රතික්ෂේප නොවන ප්‍රවාද සමහරක් මේ විදිහට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒකත් හරියන්නේ නැත්නම්, අවදානමක් අරගෙන, ඉතිරි වී තිබෙන විකල්ප අතරින් තමන්ට වඩා හොඳයි කියා හිතෙන ප්‍රවාදය තෝරා ගන්න වෙනවා. 

ඉහත තෙවන විකල්ප ප්‍රවාදය කරලියට එන්නේ පළමු ප්‍රචලිත ප්‍රවාදයට එරෙහි ප්‍රවාදයක් ලෙසයි. පළමු ප්‍රවාදයෙන් වැරැද්ද පාරිභෝගිකයින් වෙත දමනවා. දෙවැන්නෙන් වැරැද්ද ව්‍යාපාරිකයින් වෙත දමනවා. මේ දෙකම දේශපාලනිකයි. ඒ විවේචනය මගේ ප්‍රවාදයත් ඒ විදිහටම වලංගුයි. ප්‍රවාදයක ස්වභාවයෙන්ම ඌණිතවාදී ප්‍රවේශයක් තියෙන නිසා එය ප්‍රවාදය හදන පුද්ගලයාගේ දැක්මට සාපේක්ෂ වීම නොවැලැක්විය හැකියි. 

ප්‍රවාදයක් ඇතුළෙන් මේ විදිහට දේශපාලනික ස්වරූපයක් පෙනෙන්න තිබෙන විට සහ පහසුවෙන් බැහැර කළ නොහැකි විකල්ප ප්‍රවාද එකකට වඩා තිබෙන කොට කවුරු හෝ කෙනෙක් තමන්ගේ දේශපාලන අභිරුචියට වඩා ගැලපෙන ප්‍රවාදයක් තෝරා ගෙන ඒ වෙනුවෙන් පෙනී සිටින එකත් වලක්වන්න බැහැ. විශේෂයෙන්ම මේ නිශ්චිත කාරණයේදී ප්‍රශ්නයට විසඳුම් යෝජනා කෙරෙන්නේ ප්‍රවාදයක් ඇතුළේ සිට නිසා.

උදාහරණයක් විදිහට පළමු ප්‍රවාදය පිළිගත් විට පරිභෝජනය සීමා කිරීම සඳහා පාරිභෝගිකයින් මත බදු පැනවීම සාධාරණීකරණය කෙරෙනවා. එයට එරෙහිව තෙවන ප්‍රවාදයෙන් ව්‍යාපාරිකයින්ගේ ලාබ මත බදු පැනවිය යුතුයි කියා යෝජනා කෙරෙනවා. මගේ ප්‍රවාදයට සාපේක්ෂව බැලුවොත්, ඔය කතා දෙකම එකම කාසියේ දෙපැත්ත. මේ දෙකෙන්ම කරන්නේ රජය ආරක්ෂා කරන එක. විශාල රජයක් යුක්තිගරුක කරන එක. වෙළඳපොළට විරුද්ධ වෙන එක. (පාරිභෝගිකයින්ට එරෙහිව ව්‍යාපාරිකයින්ගේ පැත්ත ගැනීම හා වෙළඳපොළ වෙනුවෙන් පෙනී සිටීම කියන්නේ කරුණු දෙකක්. ධනවාදය කියා කියන්නේ වෙළඳපොළ නිදහස වෙනුවෙන් පෙනී සිටීම මිසක් ව්‍යාපාරිකයින්ගේ පැත්ත ගැනීම නෙමෙයි.)

අනුභූතික දත්ත වලින් සහයෝගයක් නොලැබෙන නමුත් අපි මොහොතකට තෙවන ප්‍රවාදය පිළිගනිමු. මේ ප්‍රවාදය අනුව, ඇත්තටම වෙළඳ හිඟයක් නැහැ. ආනයන හා අපනයන කරන ව්‍යාපාරිකයින් විසින් විදේශ විණිමය රටින් පන්නන නිසා තමයි වෙළඳ හිඟයක් තියෙනවා වගේ පේන්නේ. දැන් යම් හෙයකින් මෙහෙම දෙයක් වෙනවානම් එයින් පැහැදිලිව පේන්නේ ඔවුන්ට විදේශ විණිමය රටින් පන්නන්න අවශ්‍යතාවයක් තිබෙනවා කියන එකයි. ඔය වැඩේ ඔය විදිහට සිදු නොවී වෙනත් විදිහකට සිදු වුනා කියා අපි හිතමු. ඒ කියන්නේ අපනයනකරුවෝ ඩොලර් බිලියන 15ම රටට ගේනවා. ඊට පස්සේ එයින් ඩොලර් බිලියන 5ක් රටින් එළියට ගෙනියනවා. ඒ වගේම, ආනයනකරුවෝ ආනයන කරද්දී හරියට ගනන් පෙන්නලා, ඩොලර් බිලියන පහක් විධිමත් ලෙස වෙනම රටෙන් එළියට ගෙනියනවා. ආර්ථික විද්‍යා අර්ථයකින් බැලුවොත් ඔය කතාවේ සහ මුල් කතාවේ විශාල වෙනසක් නැහැ. වෙනස තියෙන්නේ සල්ලි ගෙන යන ආකාරයේ පමණයි.

දැන් මම මෙහි කියපු විදිහට ඔය වැඩේ වුනොත් වෙළඳ ශේෂයක් නැහැ. නමුත් ගෙවුම් ශේෂ හිඟය ඒ විදිහටම තියෙනවා. ඒ කියන්නේ විදේශ විණිමය අර්බුදය හා අදාළව ප්‍රශ්නය මේ ඩොලර් ටික රටෙන් යන එක මිසක් යන ආකාරය නෙමෙයි. හැබැයි හරි පාරේ නොගොස්, නීති විරෝධී ලෙස සල්ලි එළියට යන එකේ රජයේ බදු ආදායම් අහිමි වීම වැනි වෙන ප්‍රශ්න තියෙන්න පුළුවන්.

ප්‍රශ්නය විදේශ විණිමය ගලනය කියා හිතුවොත්, ඇත්තටම වෙන්නේ පළමු ප්‍රවාදයේ කියන කතාව නොවී තෙවන ප්‍රවාදයේ කතාව වුනත් මගේ ප්‍රවාදය අනුව විග්‍රහයේ ලොකු වෙනසක් නැහැ. අපි හිතමු ව්‍යාපාරිකයින් විසින් වසරකට ඩොලර් බිලියන දහයක් රටින් පන්නනවා කියලා. යම් හෙයකින් එය එසේ වුවත්, ඔවුන්ට එහෙම කරන්න හැකි වී තිබෙන්නේ රජය ණය වී ඔය ඩොලර් බිලියන දහය වෙළඳපොළට පොම්ප කරන නිසා. රටේ ඩොලර් නැත්නම් රටෙන් ඩොලර් පන්නන්න බැහැ. අවසාන වශයෙන් මගේ ප්‍රවාදය හරහා හඳුනා ගන්නා ප්‍රශ්නයේ මූලික ස්වරූපය එකයි.

ආනයනකරුවෝ වැරදි ඉන්වොයිස් දමා රටෙන් ඩොලර් පන්නනවානම් ඒ විධිමත් ලෙස හෝ අවිධිමත් ලෙස වෙළඳපොළෙන් මිල දී ගන්න ඩොලර්. ඔවුන් එහෙම කරන්නේ එක පැත්තකින් අතේ රුපියල් තිබෙන නිසා. අනෙක් පැත්තෙන් ඩොලර් ලාබෙට තියෙන නිසා.

අපනයනකරුවන් දිහා බැලුවත් එහෙමයි. ඔවුන් ඩොලර් රටට ගේන්නේ නැත්තේ එක පැත්තකින් මාරු කළාම ලැබෙන රුපියල් ප්‍රමාණය මදි නිසා. අනෙක් පැත්තෙන් ඒ සල්ලි නොගෙනාවත් අතේ ඇති වෙන්න රුපියල් තිබෙන නිසා.

ප්‍රශ්නයට හේතුව ව්‍යාපාරිකයින් විසින් ඩොලර් රටින් පැන්නීම කියන උපකල්පනයේ සිට පටන් ගත්තත්, පාරිභෝගිකයින්ගේ අධිපරිභෝජනය සේ සැලකුවත්,  අවසාන වශයෙන් පාදක හේතුව එකමයි. අච්චු ගහන රුපියල් සහ ලාබෙට විකුණන ණයට ගත් ඩොලර්!

ප්‍රශ්නයට විසඳුම පාරිභෝගිකයින් පාලනය කිරීමට හෝ ව්‍යාපාරිකයින් පාලනය කිරීමට රජයට තව තවත් බලතල දෙන එක නෙමෙයි. රජයේ අයවැය හිඟය පියවා ගන්න බල කරන එක. ඒ වැඩේ වුනොත් සල්ලි අච්චු ගහන එක සහ විදේශ ණය අරගෙන රුපියල් කරන එක නවතිනවා. ඒ එක්කම, ඩොලරය විදේශ ණය පොම්ප කරලා ලාබ කරන එක කරන්න බැරි වෙනවා. රුපියල් පොම්ප කරන එකත් නවතිනවා. ප්‍රශ්නය පාරිභෝගිකයින්ගේ අධිපරිභෝජනයනම් දැන් ඒ වැඩේ සීමා වෙනවා. ප්‍රශ්නය ව්‍යාපාරිකයින් විසින් සල්ලි පන්නන එකනම් ඒකත් නවතිනවා.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...