වෙබ් ලිපිනය:

Showing posts with label මනෝරාජික සමාජවාදය. Show all posts
Showing posts with label මනෝරාජික සමාජවාදය. Show all posts

Saturday, March 6, 2021

ෆුරියේගේ සුරංගනා කතා


චාල්ස් ෆුරියේගේ මනෝරාජික සමාජවාදය අනුව ලෝකය හා මිනිස් සමාජය වෙනස් වෙන්නේ අවුරුදු 80,000ක චක්‍රයකට අනුවයි. මෙයින් පළමු වසර 40,000 ආරෝහණ කම්පන සිදුවන කාලයක්. ඉතිරි වසර 40,000 අවරෝහණ කම්පන සිදු වන කාලයක්. මේ වගේ චක්‍ර අනන්ත ප්‍රමාණයක් තිබෙනවා. එක චක්‍රයක් ඇතුළේ අදියර හතරක් තිබෙනවා. ආරෝහණ කම්පන අදියර දෙකක් හා අවරෝහණ කම්පන අදියර දෙකක් ලෙස. ඒ වගේම එක් අසූ අවුරුදු චක්‍රයක කාල පරිච්ඡේද 32ක් තිබෙනවා.

ෆුරියේ තමන්ගේ අදහස් ඉදිරිපත් කරන කාලය වෙද්දී (දහනව වන සියවසේ මුල) භෞතික විද්‍යාව සැලකිය යුතු ප්‍රගතියක් අත් කර ගෙන අවසන්. කාල් මාක්ස් වගේම චාල්ස් ෆුරියේත් තමන්ගේ ප්‍රවාද හදන්නේ භෞතික විද්‍යාව පසුපස නොන්ඩි ගගහා යමින්. හැබැයි ෆුරියේගේ ප්‍රවාද වල පැත්තක පැහැදිලිවම පෙනෙන්න දෙවියන් වහන්සේ ඉන්නවා. ඔහු ඔහුගේ "විශ්වීය චලනයන් පිළිබඳ සාධාරණ න්‍යාය" ඉදිරිපත් කරන්නේ විශ්වීය චලනයන් පිළිබඳ දෙවියන් වහන්සේගේ ගණිතමය නීති පැහැදිලි කරන්නයි.

ෆුරියේගේ චක්‍රීය විශ්වය පිළිබඳ අදහස බෞද්ධ අදහසට සමීප එකක් වනවා වගේම විශ්වීය චලනයන් පිළිබඳ චතුර්විධ න්‍යාය පංච නියාම වලට තරමක් සමානයි. ඔහු දෙවියන් වහන්සේ විසින් මැවූ ලෝකය ක්‍රියාත්මක වන නියාමයන් පැහැදිලි කරන්නේ කොටස් හතරක් යටතේ.

1. ද්‍රව්‍ය වල වෙනස්වීම 

2. පාට, සුවඳ වැනි ද්‍රව්‍ය නොවන ඓන්ද්‍රීය ලක්ෂණ වෙනස් වීම

3. සතුන්ගේ වෙනස් වීම 

4. සමාජයේ වෙනස් වීම

ඔහුට අනුව ඔහුට පෙර සිටි නිවුටන්, කෙප්ලර් වගේ අය ඒ වෙද්දී ද්‍රව්‍ය වල වෙනස්වීම සෑහෙන තරමකින් පැහැදිලි කරලා. ඔහු කරන්නේ අනෙක් කොටස් හා මේ කොටස් අතර අන්තර් සම්බන්ධතාවය පැහැදිලි කරන එකයි. ෆුරියේගේ දර්ශනවාදය අනුව ලෝකයේ මවනු නොලැබූ දේවල් තුනක් තිබෙනවා.

1. දෙවියන් වහන්සේ / ශුද්ධාත්මය (හිතාමතා කරන චලනයන්)

2. ද්‍රව්‍ය (ස්වභාවික චලනයන්)

3. චලනයන් සිදු වන ස්වභාවික නීති 

අවුරුදු 80,000ක චක්‍රය අදියර හතරකට බෙදුවත් මේ අදියර සමාන නැහැ. පළමු හා අවසන් අදියර වසර 5,000කින් ගෙවෙනවා. ඒ එක් එක් අදියරේ කාල පරිච්ඡේද 7 බැගින් තිබෙනවා. දෙවන හා තුන්වන අදියර වල කාල පරිච්ඡේද නවය බැගින් තිබෙනවා. මේ එක් අදියරක් වසර 35,000ක්. මිනිස්සුන්ට දුක් විඳින්න වෙන්නේ පළමු හා අවසන් අදියර වලදී පමණයි. අවුරුදු 10,000ක් දුක් විඳින්න වුනත් සැප විඳින්න අවරුදු 70,000ක් තියෙනවා. දුක් විඳින අදියරකදී හත් වරකුත්, සැප විඳින අදියරකදී නව වරකුත් සමාජය වෙනස් වෙනවා. ඒ වගේම, සත්තු හා භෞතික ලෝකයත් චක්‍රීය ලෙස වෙනස් වෙනවා. 

අටවන හා විසිවස් වන කාල පරිච්ඡේද සංක්‍රාන්ති කාල. හොඳම කාල පරිචේදය දහසය වැන්නයි. එතෙක් හැම දේම හොඳ පැත්තට වෙනස් වුනත් එයින් පසුව අනිත් පැත්තට යනවා. දැන් (1800දී) අප ගෙවන්නේ අට වන කාල පරිච්ඡේදය. එයින් පසුව එන්නේ අවුරුදු 70,000ක සැප විඳින කාලය.

චාල්ස් ෆුරියේ පෙන්වා දෙන විදිහට දෙවියන් වහන්සේ විසින් මිනිස්සු වර්ග 16ක් මවා තිබෙනවා. ඒ වර්ග එකිනෙකාට සමාන නැහැ. පැරණි මහාද්වීපයේ වර්ග නවයක් හා ඇමරිකාවේ වර්ග හතක්. එකිනෙකාගෙන් වෙනස්ව දෙවියන් වහන්සේ විසින් මවපු මේ ප්‍රාථමික මනුෂ්‍ය වර්ග 16න් 4ක් විෂමජාතීය වර්ග ලෙසත් ඉතිරි 12 සමජාතීය වර්ග ලෙසත් ඔහු හඳුන්වනවා. සමජාතීය වර්ග අතර වෙනස්කම් අඩුයි.

මුලින්ම දෙවියන් වහන්සේ මේ එක් එක් මිනිස් වර්ගය මවලා තියෙන්නේ පොළොවේ වෙනස් තැන් වල. ඒ නිසා, මේ වර්ග එකිනෙකාට හමු වන්නේ කාලයක් ගිහින්, විවිධ චලනයන්ගේ ප්‍රතිඵලයක් විදිහට. එක වර්ගයක් පමණක් ඇමරිකාවේ වගේම පැරණි මහාද්වීපයේත් ඉන්නවා. ලංකාවේ වැද්දෝ අයත් වන්නේ මේ වර්ගයට. දෙවියන් වහන්සේ විසින් ලංකාව එය පිහිටි තැන තියන්න හේතුවත් ෆුරියේ විසින් පැහැදිලි කරනවා.

මහාද්වීප හා දිවයින්, මිනිස් වර්ග වගේම සත්ත්ව වර්ගත් දෙවියන් විසින් තෝරාගත් තැන් වලින් තියා තිබෙනවා. නපුරු සත්තු වැඩි හරියක් සමකය ආසන්න වෙන්න. මිනිස්සු, සත්තු, ගස්වැල් වගේම ග්‍රහවස්තුත් "සංසර්ගයේ" යෙදෙනවා. පළමුව තමන්ගේම දක්ෂිණ ධ්‍රැවය හා උත්තර ධ්‍රැවය අතර. පසුව වෙනත් ග්‍රහයින් එක්ක. මිනිස් සමාජය වෙනස් වෙන්නේ ද්‍රව්‍ය, ඓන්ද්‍රීය ලක්ෂණ හා සතුන් වෙනස් වන චක්‍රයට සමාන්තරවයි. 

ද්‍රව්‍ය චලනයේ ප්‍රතිඵලයක් ලෙස කාලයත් එක්ක මුළු පෘථිවියේම දේශගුණය වෙනස් වෙනවා. උෂ්ණ හා ශීත කාලගුණ නැතිවී ලෝකය පුරාම සමශීතෝෂ්ණ කාලගුණයක් ඇති වෙනවා. උත්තර ධ්‍රැවය ඇතුළු හැම තැනකම වගා කළ හැකි වෙනවා. සීබ්‍රාවන් වැනි බොහෝ සතුන් ගෘහස්ථ සතුන් වෙනවා. අනෙක් සතුන් මිනිස්සු එක්ක මිත්‍රශීලී වෙනවා. 

ආහාර ඉතාම සුලබ වෙනවා. කුකුළු කෑම පවා ප්‍රංශයේ රජවරු කන කෑම වලට වඩා හොඳ වෙනවා. අට වන කාල පරිච්ඡේදයේදී මිනිස්සුන්ගේ සාමාන්‍ය උස අඩි 7ක් වෙනවා. පෘථිවිය විසින් වෙස්ටා, ජුනෝ, සීරීස්, පැලස් හා මර්කරි නම් වූ තවත් හඳවල් පහක් ආකර්ශනය කර ගන්නවා. මුහුදු වතුර ලෙමනේඩ් රස වෙනවා. මුහුදේ ජීවත්වන භයානක සතුන් වඳ වී යනවා. අපේක්ෂිත ආයු කාලය අවුරුදු 144ක් වෙනවා. දුප්පත්ම පැලන්ස්ටරියක ඉපදෙන කෙනෙකුට පවා හැම දෙයක්ම ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. වැඩ ලෙස කළ යුත්තේ තමන් කැමති දේවල් පමණයි. 

ඔය ගොඩක් කතා දැන් ජීවත් වන කෙනෙකුට සුරංගනා කතා වගේ පෙනෙයි. එහෙත්, ෆුරියේගේ ප්‍රවාද විශ්වාස කළ මනෝරාජික සමාජවාදීන් විශාල ප්‍රමාණයක් හිටියා. ඒ අය අතරින් දහස් ගණනක් ඔහු යෝජනා කළ ආකාරයට ජීවත් වෙමින් සමාජ ප්‍රගමනය ඉක්මන් කරන්න උත්සාහ කළා. කාල් මාක්ස් ආමන්ත්‍රණය කළේ ඔය වගේ තැනක හිටපු මිනිස්සුන්ට.

ෆුරියේට අනුව සමාජ ප්‍රගමනය සිදු වන යාන්ත්‍රනය කුමක්ද? එය සිදු වන්නේ දෙවියන් වහන්සේගේ සැලසුමට අනුවයි. ෆුරියේගේ සුරංගනා කතා විශ්වාස කරන්න පුළුවන්කම තිබුණු කෙනෙකුට කාල් මාක්ස්ගේ ප්‍රවාද විද්‍යාත්මක සේ පෙනෙන එක අහන්නත් දෙයක් නැහැ. 

එකිනෙකට ගැලපෙන හා ඉතාම විස්තරාත්මක ප්‍රවාදයක් වුවත්, ෆුරියේගේ ප්‍රවාද වලට විශ්වාසනීය පදනමක් නැහැ. හැබැයි ඒ ප්‍රවාද වලින් කාල් මාක්ස් ගේ අදහස් වලින් මෙන් හානියකුත් නැහැ. වෙනත් අයට ඇණයක් නොවන තුරු, දිව්‍ය ලෝක හා දෙවිවරු ගැන මිනිස්සු විශ්වාස කරන ආකාරයෙන්ම, කෙනෙකුට මනෝරාජික අනාගත ලෝකයක් ගැන විශ්වාස කිරීමේ නිදහස තිබිය යුතුයි.

Friday, March 5, 2021

අන්තවාද හා භක්තිවාද


මනෝරාජික සමාජවාදය ගැන දිගින් දිගටම ලියන්න අදහසක් තිබුණේ නැහැ. මම මේ වියුණුව පටන් ගත් තැන සිට සමාජවාදය ලෙස හැඳින්වූවේත්, විවේචනය කළේත් මාක්ස් හා එංගල්ස්ගෙන් පටන් ගත් විද්‍යාත්මක සමාජවාදය ලෙස පොදුවේ හැඳින්වෙන දැනුම් සම්ප්‍රදායයි. මම හිතන විදිහට නිදහසට පෙර හා නිදහසින් පසුව ලංකාවේ කිසියම් දේශපාලන බලයක් තිබුණු, සමාජවාදීන් ලෙස පෙනී සිටි හැම දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක්ම වගේ පෙනී සිටියේ විද්‍යාත්මක සමාජවාදය වෙනුවෙන්.

විද්‍යාත්මක සමාජවාදය ගොඩ නැගුනේ ඊට පෙර ජීවත් වූ මනෝරාජික සමාජවාදීන්ගේ අදහස් මත පදනම්ව හා මනෝරාජික සමාජවාදය තීරණාත්මක ලෙස ප්‍රතික්ෂේප කරමින්. තමන් සමාජවාදියෙක් ලෙස තේරුමක් ඇතිව හඳුන්වා ගන්නා ඕනෑම කෙනෙක් (88/89 කාලයේ සිටි ගල්කටස් සමාජවාදීන් හා දැන් දැකිය හැකි ඇතැම් ෆේස්බුක් සමාජවාදීන් හැර) ඔය දෙකේ වෙනස පැහැදිලිව දන්නවා කියා හිතන නිසාත්, සමාජවාදයට තේරුමක් ඇතුව හෝ නැතුව විරුද්ධ ගොඩක් අය ඔය වෙනසට එතරම් සංවේදී නැති නිසාත්, අන්තර්ජාලයේ ඕනෑ තරම් තොරතුරු තිබෙන නිසාත් මනෝරාජිකයෙන් විද්‍යාත්මක සමාජවාදයට සිදු වූ පරිණාමය හෝ පිම්ම ගැන විස්තර කරන්න මම වචන නාස්ති කරන්නේ නැහැ.

මනෝරාජික සමාජවාදය විවේචනය නොකර විද්‍යාත්මක සමාජවාදය පමණක් දිගටම විවේචනය කළේ මනෝරාජික සමාජවාදය වඩා සාධනීය ලෙස සැලකූ නිසා නෙමෙයි. මාක්ස්ගෙන් පසුව මනෝරාජික සමාජවාදය තීරණාත්මක ලෙස පරාජය වෙලා අවසන් කියා බොහෝ සමාජවාදීන් විසින් හිතන නිසයි. ඔය ගැන ලියන්න ගියානම් ඕනෑම මාක්ස්වාදියෙක් "ඉතිං ඔය ටික මාක්ස් පැහැදිලි කරලා දැන් කොච්චර කල්ද?" කියලා අනික් අතට අහනවා. කතාවත් ඇත්ත. 

කලින් ලිපියේ සඳහන් කළ පරිදි මනෝරාජික සමාජවාදය වෙත තරමකින් හෝ අවධානය යොමු කළේ අජිත් ධර්මා නිසා. මේ පාරේ වැඩි දුර යන්න හිතා ගෙන නොහිටියත් අජිත්ගේ අලුත් ලිපියකට වැටී තිබුණු කමෙන්ට් එකක් නිසා තව ටිකක් දුරට යන්න තීරණය කළා.  "Who Must Not Be Named" කෙනෙකුගේ කමෙන්ට් එකක් කියා කියන්න අවශ්‍ය නැහැ. අපේ බ්ලොග් හිතවතෙක් වන D.G.M බස්සාගේ කමෙන්ට් එකක්.

"මනෝරාජික සමාජවාදය කියන වචනෙ මුලින්ම ඇහුවෙ ඔබෙන්, ඒත් අපට "ලිබරල් ආට්ස්" උගන්වපු ආචාර්‍යවරයෙක්, වරක් මෙසේ කිව්වා " සමහරවිට මාක්ස්ට වැරදුනේ නැති වෙන්නෙ පුළුවන්, මාක්ස් කිව්වෙ "පූර්ණ සමාජවාදී සමාජයක් බිහිවන්නේ ධනවාදය හරහාය", ලෙනින් "ජම්ප් ද ගන්" කියලාය.

පූර්ණ සමාජවාදය වගේම "දාස් කැප්ටාල්" වන්දනාවත්, "Who Must Not Be Named" ගේ ධනවාදී භක්තිය තරම්ම අන්තවාදීයි කියල හිතෙන්නෙ මට විතරමද? කෙසේ වුනත්, ඇමරිකාවේ මනෝරාජික සමාජවාදී කොලනිවල අසාර්ථකත්වය පිළිබඳව ඔහු ගෙන එන තර්ක ලේසියෙන් අහක දැමිය නොහැකියි."

ඔය කමෙන්ට් එකේ ලියා තිබෙන පරිදි ලෙනින්ට මිස මාක්ස්ට වැරදුනේ නැති බව අජිත් ධර්මා විසින්ද ඉදිරිපත් කර තිබුණු අදහසක්. මම හිතන්නේ මම මෙය ඔහුට පැහැදිලි කළා. 88/89න් පසුව මම හිතාගෙන හිටියේ වැරදුනේ ජවිපෙට මිසක් මාක්ස්ට හෝ ලෙනින්ට නොවන බවයි. වැරැද්ද ජවිපෙ වැරැද්දක් නොව මාක්ස්ගේ ඉඳන්ම එන උරුමයක් කියන එක පැහැදිලි වුනේ ජවිපෙ වැරැද්ද හොයන්න යාමේදීයි. එහෙම නැත්නම් ගිහින් නවතින්නේ විකොස වගේ තැනක.

මේ ගැන විස්තරාත්මක ලිපියක් වෙනම ලියන්න හිටියත් දැන් ඒ වැඩේ කල් දාලා බස්සාගේ ප්‍රතිචාරය ඔස්සේ ඉදිරියට යන්න වෙනවා. මනෝරාජික කියන නමින්ම කියනවා වගේ මනෝරාජික අදහස් කියන්නේ නිශ්චිත තාර්කික පදනමක් නැති මිනිස්සුන්ගේ හිතළු. ගලිවර්ගේ චාරිකා වලදී හමු වුනු රටවල් හෝ ඇලිස්ගේ විස්මලන්තය ඇත්තටම තිබිය හැකියි කියා කවුරුවත් හිතනවායැයි මම හිතන්නේ නැහැ. මනෝරාජික සමාජවාදී අදහස් කියා කියන්නේත් ඔය වගේ හිතළු මත පදනම් වූ විවිධ මිනිසුන්ගේ අදහස් සමූහයකට කියන පොදු නමක්. 

අජිත්ගේ අලුත් ලිපියේ (ගාමන්ට් කෙල්ලන්ගේ විප්ලවය) මෙවැනි අර්ථදැක්වීමක් තිබෙනවා.

"මනෝරාජික සමාජවාදීන් යනු දියුණු ධනවාදයෙන් පසු කොමියුනිස්ට්වාදී හෙවත් පූර්ණ  සමාජවාදී සමාජයක් එළඹෙන්නේය යන විශ්වාසයෙන් කටයුතු කරන්නෝ වෙති. ඔවුන් පන්ති අරගලයකින් බලය ලැබීමේ අවශ්‍යතාවයක් නැති බවට ද විශ්වාස කරති."

ඔය අර්ථදැක්වීම ගැන හෝ පොදුවේ අජිත්ගේ ලිපියේ තිබෙන කරුණු ගැන මට එතරම් ප්‍රශ්නයක් නැහැ.

මනෝරාජික සමාජවාදය කියන එක විද්‍යාත්මක සමාජවාදය මෙන් පොදුවේ අරගෙන විවේචනය කරන්න හෝ සාකච්ඡා කරන්න බැහැ. ඒ වගේම දියුණු ධනවාදයෙන් පසු කොමියුනිස්ට්වාදී හෙවත් පූර්ණ සමාජවාදී සමාජයක් බිහිවන්නේ කොහොමද කියන එක පිළිබඳවද විවිධ අදහස් තියෙන්න පුළුවන්.

මේ හේතු නිසා මම අජිත් ධර්මාගෙන් පහත ප්‍රශ්න දෙක ඇහුවා. 

"මනෝරාජික සමාජවාදය පොදුවේ ගත්තහම මිනිස්සුන්ට තිබිය හැකි වෙනස් අදහස් සමූහයක් අතරින් තවත් එක් අදහසක් පමණයි. අජිත්ගේ මනෝරාජික සමාජවාදය තුළ කොමියුනිස්ට් ක්‍රමයක් අවසානයේදී ඇති වන යාන්ත්‍රනය කුමක්ද? අජිත් කවුරු හෝ නිශ්චිත මනෝරාජික සමාජවාදියෙකු කියන දේ විශ්වාස කරනවානම් ඒ කවුද?"

පළමු ප්‍රශ්නයට අජිත් විසින් මෙතෙක් පැහැදිලිව පිළිතුරු දී නැහැ. සමහර විට පිළිතුරක් පසුව දෙන්න ඉන්නවා වෙන්න පුළුවන්. සමහර විට අළුත් ලිපිය ඇතුළේ තියෙන්නේ ඒ පිළිතුර වෙන්න පුළුවන්. 

ඔය ප්‍රශ්නයට මාක්ස් විසින් පැහැදිලි පිළිතුරක් ලබා දී තිබෙනවා. මාක්ස්ගේ පිළිතුර නොපිළිගනිමින් අනාගත පූර්ණ සමාජවාදී සමාජයක් ගැන කතා කරන්නනම් විකල්ප ප්‍රවාදයක් අවශ්‍ය වෙනවා. අජිත්ගේ පිළිතුර කුමක්ද කියා මම තවම දන්නේ නැහැ. එවැනි නිශ්චිත පිළිතුරක් තිබෙනවාද කියා මම දන්නේත් නැහැ. ඉහත අජිත්ගේ අර්ථදැක්වීම අනුවනම් එය විශ්වාසයක් පමණයි. එයත් පිළිගත හැකි පිළිතුරක්. විශ්වාස වලට පැහැදිලි කිරීම් අවශ්‍ය නැහැ. දෙවන ප්‍රශ්නයට අජිත් විසින් පැහැදිලිව පිළිතුරු දී තිබෙනවා.

"එක අදහසක් කියන්නේ ඉතින් එක අවුරුදු ගනනක් තිස්සේ 1700 ගණන් වල සිට ආ අදහස් ගොන්නක්. එක්කෙනක් කියල නැහැ. රොබට් ඔවෙන්, තෝමස් මෝර්, චාල්ස් ෆුරියේ, ක්‍රපොත්කින්, ප්ලෙහනොව් තරමක් දුරට, ටෝල්ස්ටෝයි , ඇලෙක්සැන්ඩර් දුබ්චෙක් වැනි අය තමා."

මෙයින් තෝමස් මෝර් විසින් කළේ ප්‍රබන්ධයක් ප්‍රබන්ධයක් ලෙසම ලියන එක පමණක් නිසා මම ඔහුගේ අදහස් විවේචනය කරන්න යන්නේ නැහැ. එසේ කිරීම ඇලිස් දුටු විස්මලන්තය විවේචනය කරනවා වගේ තේරුමක් නැති වැඩක්. කවුරුවත් ඔහුව බරපතල ගණයේ මනෝරාජික සමාජවාදියෙක් ලෙස සලකනවා කියා මම හිතන්නේ නැහැ. ඔහුගේ ප්‍රබන්ධයෙන් පසුකාලීන මනෝරාජික සමාජවාදීන්ට පෙළඹවීමක් වෙන්න ඇති.

තෝමස් මෝර් මෙන් නොව ඔවෙන් හා ෆුරියේ ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කළේ ප්‍රබන්ධ විදිහට නෙමෙයි. එම අදහස් මත මහ පොළොව මත සමාජවාදී සමාජ ගොඩ නැගුණා. මේ දෙන්නා අතරින්ද වැඩිම බලපෑමක් කළේ ෆුරියේ. ඔහුගේ අදහස් මත ගොඩ නැගුනු පැලන්ස්ටරි 40ක් පමණ ඇමරිකානු භූමිය තුළ පමණක් ගොඩ නැගුනා. බොහෝ ඒවා අවුරුද්දෙන් දෙකෙන් බිඳ වැටුනත් ඇතැම් ඒවා අවුරුදු දහයක් පමණ කාලයක් තිබුණා. ඇමරිකාවෙන් පිටත ෆුරියේගේ මවුරට වූ ප්‍රංශයේ හා යුරෝපයේ තවත් රටවල් ගණනාවකද මේ වගේ පැලන්ස්ටරි විශාල ප්‍රමාණයක් ගොඩ නැගුණා. 

මම දන්නා තරමින් ප්‍රායෝගිකව වැඩිම බලපෑමක් කළ මනෝරාජික සමාජවාදියා ෆුරියේ. ෆුරියේ හෝ ඔවෙන් හැරුණු විට වෙනත් කිසිම මනෝරාජික සමාජවාදියෙකුගේ අදහස් මත ලෝකයේ සමාජවාදී සමාජ බිහි වී නැහැ. ඔවුන් දෙදෙනාගේ අදහස් මත නිදහස් කැමැත්තෙන් බිහි වූ සමාජවාදී සමාජ වසර කිහිපයකට වඩා ස්ථායී ලෙස පැවතී නැහැ.

මෙයින් වෙනස්ව මාක්ස්ගේ විද්‍යාත්මක සමාජවාදය මත පදනම්ව බිහි වූ සමාජවාදී සමාජ ලෝකයෙන් තුනෙන් එකක බිම් ප්‍රදේශයක් වසාගනිමින් සියවසකට ආසන්න කාලයක් ස්ථායී ලෙස පැවතුනා. උතුරු කොරියාව වැනි රටවල තවමත් තිබෙනවා. (අඩු වශයෙන් තිබෙනවා කියා අපි හිතනවා. ගිහින් බලන්න ලේසි නෑනේ!) විද්‍යාත්මක සමාජවාදය කියා කියන්නේත් ෆුරියේ සමාජවාදය වැනිම සුරංගනා කතාවක් බව අද අපට පෙන්වාදිය හැකි නමුත් ඒ වසර 150කට පමණ පසුවයි. දිගුකාලීනව අසාර්ථක වුනත් විද්‍යාත්මක සමාජවාදය මත පදනම් වූ සමාජ ක්‍රමයක් විශාල කාලයක් ස්ථායී ලෙස පැවතිය හැකියි. එයට හේතුව මනෝරාජික සමාජවාදයේ නැති බලහත්කාරයක් විද්‍යාත්මක සමාජවාදය තුළ තිබීමයි.

මම අජිත්ගේ ලිපියෙන්ම කොටසක් උපුටා දක්වන්නම්.

"සැප්තැම්බරයේදී පෙට්‍රොගාඩ් සෝවියට් සභාවේ  බහුතරය වූයේ බෝල්ෂෙවිකයන්  වන අතර ලෙනින් ගේ නායකත්වයෙන් බලය අල්ලා ගැනීම කෙරුනේ නොවැම්බර් හත් වනදාය. ලෙනින්  මේ සඳහා සැරසුනේ  1905 කැරැල්ලේ සිටය. "කළ යුත්තේ කුමක්ද" නමැති පොතින් අදහස් කළ ලෙසින්ම ඔහු ඉතාමත් විනයගරුක කණ්ඩායමක් පක්ෂයක් ලෙස සංවිධානය  කළ අතර 1917 පෙබරවාරි  සිට ලෙනින් රුසියාවට පැමිණි අප්‍රේල් මාසය දක්වා ලෙනින් ගේ කණ්ඩායමේ මුළු රුසියාවේම සිටියේ පනස්දහසකට  අඩු ප්‍රමාණයකි. මුළු රුසියාවේ ජනගහණය මිලියන 90 කට මදක් අඩුවෙනි.  නමුත් ඔවුන් ලෙනින් සිට ගන්නට කීවිට හිට ගන්නටත්, ඉඳ ගන්නට කීවිට හිඳ ගන්නටත් සැදී පැහැදී සිටි හමුදා විනයක් සහිත කණ්ඩායමක් විය. අහසේ යන බැලුමක් මෙන් 1917 ඔක්තෝබර් වන විට රුසියානු අහසේ පාවෙමින් තිබූ බලය ලබා ගත්තේ මේ කණ්ඩායමයි. නමුත් ඒ වන විට ඔවුන් ලක්ෂයක් දක්වා සාමාජික සංඛ්‍යාවකට වැඩි වූ තිබුණි. ප්‍රතිශතයක් වශයෙන් 0.1 පමණය.  (මේ නිසා කලබල සහිත ආර්ථික අවපාත කාලයක 3% ට හෝ දස දහසකට ඔච්චම් කිරීම අවදානම් සහගත බවද සඳහන් කරමි. අවශ්‍ය වන්නේ තීක්ෂණ නායකයෙකු හා අණට කීකරු වන සාමාජිකයන් සංඛ්‍යාවක් පමණකි.)"

මනෝරාජික සමාජවාදය මතවාදී තලයේදී තීරණාත්මක ලෙස පරාජය කළ විද්‍යාත්මක සමාජවාදීන්ගේ අදහස් මත මෙතෙක් ලෝකයේ ගොඩ නැගී තිබෙන හැම සමාජවාදී සමාජයකම ඉහත විස්තර කෙරෙන තත්ත්වය දැකිය හැකියි. මේ සමාජවාදී සමාජ බොහොමයක් ගොඩ නැගී තිබෙන්නේ සුළු පිරිසක් විසින් බලහත්කාරයෙන් රාජ්‍ය බලය අල්ලා ගෙන එම බලය පවත්වා ගැනීම හරහා. එහෙමත් නැත්නම් මහජන කැමැත්තෙන් ලබාගත් බලය බලහත්කාරයෙන් දිගටම පවත්වා ගැනීම හරහා. හැබැයි මේ වගේ ක්‍රමයකට කාලයක් ස්ථායීව පවතින්න පුළුවන්. මෑතකාලීන ඉතිහාසයේ විශාල කාලයක් පැවතුණේ රාජාණ්ඩු. අවසානයේදී බිඳ වැටුණත් රාජාණ්ඩු කියා කියන්නේත් කාලයක් ස්ථායී ලෙස පැවතිය හැකි ක්‍රමයක්. 

මේ වෙද්දී ලෝකයේ සමාජවාදීන් අතර විශාල බෙදීම් තිබෙනවා. එහෙත් අඩු වශයෙන් ස්ටාලින් වගේ කෙනෙක් වෙනුවෙන් මේ වන විට සමාජවාදීන් කිසිවෙකු පෙනී නොසිටින තරම්. සමහර අය ස්ටාලින්ගෙන් පස්සට ගිහින් ස්ටාලින් වැරදි වුනත් ලෙනින් හරි බව කියනවා. තවත් සමහර අය ලෙනින්ගෙනුත් පස්සට ගිහින් ලෙනින් වරද්දා ගත්තත් මාක්ස් හරි බව කියනවා. විද්‍යාත්මක සමාජවාදය ලෙස වැරදියට හඳුන්වන මතවාදය මාක්ස්ගේ සිටම වැරදියි. දැනටමත් පැහැදිලි කර නැති වැඩි විස්තර අපි පසුවට ඉතිරි කරමු. 

මාක්ස් වැරදිනම් මාක්ස්ට පෙර සිටි විද්‍යාත්මක සමාජවාදීන් නිවැරදිද? මාක්ස් වැරදි වුනත් මනෝරාජික සමාජවාදය පිළිබඳ මාක්ස්ගේ විවේචන වලට පැහැදිලි පදනමක් තිබෙනවා. මාක්ස්වාදය අඩු වශයෙන් බැලූ බැල්මට සුරංගනා කතාවක් නෙමෙයි. එහෙත්, මාක්ස්ට පෙර තිබුනු මනෝරාජික සමාජවාදය සුරංගනා කතාවක් කියන එක ඕනෑම කෙනෙකුට බැලූ බැල්මටම පේනවා. 

මාක්ස්ට පෙර මනෝරාජික සමාජවාදයේ දියුණුම තත්ත්වය ෆුරියේවාදය කියා කියන්න පුළුවන්. මම අජිත්ගෙන් අහපු "මනෝරාජික සමාජවාදය තුළ කොමියුනිස්ට් ක්‍රමයක් අවසානයේදී ඇති වන යාන්ත්‍රනය කුමක්ද?" කියන ප්‍රශ්නයට ෆුරියේ විසින් පැහැදිලි හා ඉතා විස්තරාත්මක පිළිතුරක් ලබා දුන්නා. ඇමරිකාව හා යුරෝපය පුරා පැලන්ස්ටරි විශාල ප්‍රමාණයක් හැදුනේ එම මතවාදය මත පදනම්වයි. 

මාක්ස් විසින් හේගල්ගේ ද්විඝටනාත්මක තර්කනය මත පදනම්ව සමාජ පරිණාමය පිළිබඳ අලුත් ප්‍රවාදයක් හැදුවේ සමාජ පරිණාමය පිළිබඳ ෆුරියේගේ විස්තරාත්මක ප්‍රවාදයට විකල්පයක් විදිහටයි. ඊට පෙර බටහිර ලෝකයේ සැලකිය යුතු පිරිසක් ෆුරියේගේ මනෝරාජික සමාජවාදය පිළිගත්තා. ෆුරියේවාදය ගැන ලියන්න හිතාගෙන පටන් ගත්තත් ලිපිය දිග වැඩියි. එය පසුවට තියමු.

බස්සා කියන අන්තවාදී ධනවාදී භක්තියක් තිබෙන "Who Must Not Be Named" කවුද කියා හොයා ගන්නනම් බැරි වුනා. කවුරු වුනත් ඔය කියන මනුස්සයාත් ඇමරිකාවේ මනෝරාජික සමාජවාදී කොලනිවල අසාර්ථකත්වය පිළිබඳව විස්තර කර තිබෙන බව පෙනෙනවා. සමහර විට සිංහලෙන් ලියන කෙනෙක් නෙමෙයි වෙන්න ඇති. සිංහලෙන් ලියන අය අතරනම් අන්තවාදී ධනවාදී භක්තියක් තිබෙන අය මට කවදාවත්ම හමු වෙලා නැහැ. ඇමරිකාවේදීනම් එවැනි අය හමු වෙනවා. 

උඩම රූපයේ තිබෙන්නේ රොබට් ඔවෙන් විසින් සැලසුම් කළ, හදා නිම කළ නොහැකි වූ උතෝපියාව.

Tuesday, March 2, 2021

මනෝරාජික සමාජවාදය


අජිත් ධර්මා අප මේ වියුණුව පටන් ගත් කාලයේ සිටම අප සමඟ සංවාද කරන අයෙක්. අප සමඟ වැඩිපුරම සංවාද කර තිබෙන්නේ ඔහු විය හැකියි. මෑතක දී ඔහු තමන්ව මනෝරාජික සමාජවාදියෙකු ලෙස හඳුන්වා ගෙන තිබුණා. බොහෝ විට ඔහුගේ පැත්තෙන් මෙය අලුත් හඳුන්වා ගැනීමක් නොවෙන්න ඇති. එහෙත් මෙවැන්නක් මීට පෙර මගේ අවධානයට යොමු වී තිබුණේ නැහැ.

මනෝරාජික සමාජවාදය ගැන ලොකුවට කතා කරන්න මගේ අදහසක් නැහැ. කාමරයේ අලි ඉඳිද්දී අලින්ගේ ඇඟේ ඉන්න කටුස්සන් ගැන කතා කරන්න කාලය යොදවන එකේ තේරුමක් නැහැ. මෙයින් අදහස් කළේ මනෝරාජික සමාජවාදය කියන්නේ කතා කරන්නවත් නොවටිනා කටුස්සෙක් කියන එක නෙමෙයි. කතා කරන එක වඩා වැදගත් අලි කාමරයේ ඉන්නවා කියන එකයි.

මනෝරාජික සමාජවාදය ගැනත් මේ වෙලාවේ පොඩ්ඩක් කතා කළ යුත්තේ අජිත් ධර්මා නිසා නෙමෙයි. සමහර අය තවමත් සමගි පෙරමුණු මාදිලියේ මනෝරාජික සිහිනයක ඉන්න බව පෙනෙන නිසයි. සමගි පෙරමුණු කාලයේ මමත් කුඩා දරුවෙක්. අද ජීවත් වන වයස අවුරුදු පණහක කෙනෙකු වුවත් හැත්තෑ හතේදී අවුරුදු හයක දරුවෙක්. ගොඩක් අය සමගි පෙරමුණු කාලය ගැන හිතන්නේ පැරකුම් යුගය ගැන හිතන විදිහටමයි.

මිනිස්සුන්ට බොහෝ කලක සිට විවිධ මනෝරාජික අදහස් තිබුණා. ඒ ඇතැමුන්ට මනෝරාජික සමාජවාදී සමාජයක් පිළිබඳ අදහස්ද තිබුණා. මේ අදහස් වල ආරම්භය යම් තරමකින් ආගමිකයි. සංඝ සමාජය එක්තරා ආකාරයක සමාජවාදී සමාජයක්.  "අගත අනගත චතුදිස සගස" කියන එකේ "අගත අනගත" කොටස මම ඉතාම කැමති කොටසක්. මෙහි "අනගත" කොටස සමාජවාදීන්ද ඇතුළු බොහෝ දෙනෙකුට මග ඇරෙනවා. ලංකාවේ වත්මන් ණය අර්බුදයට හේතුවත් එයයි. ඉපදෙන්නට ඉන්න අයගේ අයිතිවාසිකම් ගැන බොහෝ දෙනෙක් සංවේදී නැහැ.

සංඝ කියන එකේ අදහසම සාමූහිකත්වයක් කියන එකයි. මේ අදහස බෞද්ධ සම්ප්‍රදායට අනන්‍ය එකක් නෙමෙයි. කතෝලික ඇතුළු අනෙකුත් ආගමික සම්ප්‍රදායයන් ඇතුළේත් ඉතිහාසය පුරා මේ ආකාරයේ සාමූහිකත්වයන් ගොඩ නැගී තිබෙනවා. එවැනි සාමූහිකත්වයන් සියවස් ගණනාවක් පුරා ස්ථායී ලෙස පැවතී තිබෙනවා. මූලධර්මයක් විදිහට මේ ආකාරයේ ආගමික සාමූහිකත්වයක් ඇතුළේ පොදු දේපොළ මිසක් පෞද්ගලික දේපොළ නැහැ. සම්පත් වෙනුවෙන් එකිනෙකා අතර තරඟයක්ද නැහැ.

අජිත්ගේ මනෝරාජික සමාජවාදී ලැයිස්තුවේ මුලින්ම තිබුණු නම් තුන පිළිවෙලින් රොබට් ඔවෙන්, තෝමස් මෝර් හා චාල්ස් ෆුරියේ. මේ තුන් දෙනා විසින්ම නියෝජනය කරන්නේ මාක්ස්ට වඩා පැරණි යුගයක්. මේ අය අතරින් තෝමස් මෝර්ව මම සලකන්නේ ප්‍රබන්ධකරුවෙක් විදිහටයි. ඔහුගේ "යුතෝපියා" යනු මූලික වශයෙන්ම ප්‍රබන්ධයක්. 1516 වසරේදී ප්‍රකාශයට පත් කෙරුණු මේ මේ ප්‍රබන්ධය තුළ "යුතෝපියා" ලෙස නම් කරන්නේ දකුණු ඇමරිකාවට පහළින් පිහිටි මනඃකල්පිත දිවයිනක හැදෙන පරමාදර්ශී සමාජයක්. 

රොබට් ඔවෙන් හා චාල්ස් ෆුරියේ ජීවත් වුනේ තෝමස් මෝර් ජීවත් වූ කාලයෙන් සියවස් කිහිපයකට පසුවයි. මනෝරාජික සමාජවාදීන් ලෙස හැඳින්වුවත් මේ දෙන්නා ඔවුන්ගේ මනෝරාජික සමාජයන් මහ පොළොව මත ඇත්තටම ගොඩ නැගීමට උත්සාහයක් දැරූ අයයි. රොබට් ඔවෙන් විසින් ගොඩ නැගූ සමාජවාදී සමාජය පිහිටි තැනට ඇමරිකාවේ මා ජීවත් වන තැන සිට පැය කිහිපයකින් යා හැකියි. කෝවිඩ් නොවන්නට අප වසරකට කිහිප වරක් මෙම ප්‍රදේශය හරහා යනවා.

සමාජවාදී හෝ වෙනත් අදහස් මත පදනම් වූ මනෝරාජික සමාජ විශාල ප්‍රමාණයක් ඇමරිකාව තුළ වරින් වර ස්ථාපනය කර තිබෙනවා. බොහෝ විට මෙවැනි කාර්යයක් පටන් ගන්නේ ධනවතෙකු විසින් ඉඩම් මිල දී ගැනීමෙන්. වේල්සයේ ධනවත් රෙදි නිෂ්පාදකයෙකු හා මනෝරාජික සමාජවාදියෙකු වූ රොබට් ඔවෙන් විසින්ද මේ ආකාරයෙන් ඔහුගේ ධනය යොදවා ඇමරිකාවේ වත්මන් ඉන්දියානා ප්‍රාන්තයේ කොනක පිහිටි නිවු හාර්මනි නගරය මිල දී ගෙන එහි ඔහුගේ මනෝරාජික සමාජය ඇති කිරීමට උත්සාහ කළා. 

රොබට් ඔවෙන් විසින් මිල දී ගන්න පෙරද නිවු හාර්මනි නගරය යුතෝපියාවක්. එහි සමාරම්භකයා වගේම ඉඩම් මිල දී ගෙන යුතෝපියාවක් පිහිටවූ මුල් අයිතිකරු යොහාන් ජෝජ් රැප්. කණ්ඩායමක් සමඟ ජර්මන් ලුතරන් පල්ලියෙන් කැඩී යන ඔහු හාර්මනි සොසයිටි නමින් අලුත් ආගමික නිකායක් හදනවා. 1814 වසරේදී පෙනිසිල්වේනියාවේ හාර්මනි ප්‍රදේශය හැර යන මේ කණ්ඩායම විසින් ඉන්දියානා ප්‍රාන්තයේ ඉඩම් මිල දී ගෙන නිවු හාර්මනි නමින් ඔවුන්ගේ යුතෝපියාව හදනවා. 1824දී තමන්ගේ ආගමික යුතෝපියාව ලෙස ගොඩ නැගූ නගරය රොබට් ඔවෙන්ට විකුණන හාර්මනි සොසයිටි සාමාජිකයින් නැවත පෙනිසිල්වේනියා ප්‍රාන්තයටම යනවා.

අක්කර 20,000ක් පමණ වූ ඉඩම් හා ගොඩනැගිලි මිල දී ගැනීමට රොබර්ට් ඔවෙන් විසින් ඩොලර් 150,000ක මිලක් ගෙවා තිබෙනවා. ඔහු මේ හරහා අපේක්ෂා කළේ ඔහුගේ න්‍යායාත්මක සමාජවාදය ප්‍රායෝගිකව ගොඩ නැගිය හැකි එකක් බව පෙන්වා දීමයි. ඒ වෙනුවෙන් ඔහු සෑහෙන වැඩ කොටසක් කළත් රොබර්ට් ඔවෙන්ගේ සමාජවාදී පරීක්ෂණය අසාර්ථක වෙන්න අවුරුදු දෙකක්වත් ගියේ නැහැ. අවුරුදු තුනක් යන්නත් කලින් රොබර්ට් ඔවෙන් ඔහු ඇමරිකාවේ හදපු යුතෝපියාව අත ඇරලා ආපහු තමන්ගේ රටටම ගියා.

චාල්ස් ෆුරියේගේ අදහස් මත පදනම්ව ෆුරියේ ව්‍යාපාරය හරහා ඒකරාශි වී සිටි ඔහුගේ අනුගාමිකයන් විසින්ද අසාර්ථක වූ ඔවෙන්ගේ නිවු හාර්මනි පරීක්ෂණයෙන් දශක කිහිපයකට පස්සේ යුතෝපියානු සමාජවාදී සමාජ ගණනාවක් ස්ථාපනය කළා. වත්මන් ටෙක්සාස් ප්‍රාන්තයේ ලා රියුනියන් එවැන්නක්. 

සමාජවාදී වේවා ආගමික වේවා මනෝරාජික අදහස් තිබෙන ගොඩක් අයගේ තේරීම වෙන්නේ ඇමරිකාව වගේ නිදහස් රටක්. මෑතකාලීනව ඕෂෝගේ අනුගාමිකයින් විසින් ඔවුන්ගේ යුතෝපියාව හදන්න තෝරා ගත්තේත් ඇමරිකාව. ඉන්දියාව හෝ ලංකාව වගේ රටක ඔය වගේ දෙයක් ගැන හිතන්නවත් බැහැ. ඇමරිකාවේ තවමත් යුතෝපියාවන් තුළ ජීවත් වන ප්‍රජාවන් ඉන්නවා.

සමාජවාදී වේවා ආගමික වේවා මනෝරාජික අදහස් තිබෙන ගොඩක් අයගේ තේරීම වෙන්නේ ඇමරිකාව වගේ නිදහස් රටක්. මෑතකාලීනව ඕෂෝගේ අනුගාමිකයින් විසින් ඔවුන්ගේ යුතෝපියාව හදන්න තෝරා ගත්තේත් ඇමරිකාව. ඉන්දියාව හෝ ලංකාව වගේ රටක ඔය වගේ දෙයක් ගැන හිතන්නවත් බැහැ. ඇමරිකාවේ තවමත් යුතෝපියාවන් තුළ ජීවත් වන ප්‍රජාවන් ඉන්නවා.

ෆුරියේවාදීන් විසින් 1840 දශකයේදී ඇමරිකාව තුළ ලා රියුනියන් වැනි ඔවුන්ගේ පැලන්ස්ටරි (phalansteries/phalanxes) හතළිහක් පමණ හදා තිබෙනවා. මේවායින් බොහොමයක්ම වසර දෙක තුනක් යද්දී බිඳ වැටී තිබෙනවා. 1850 වන විට සියල්ලම බිඳ වැටී අවසන්. 

බෞද්ධ සංඝ සමාජය වැනි සාමූහිකත්වයන් සාර්ථක ලෙස සියවස් ගණනාවක් තිස්සේ පැවතී තිබෙනවා. එහෙත්, සමාජවාදය හෝ වෙනත් මනෝරාජික න්‍යායයන් මත පදනම් වූ සාමූහිකත්වයන් එසේ ස්ථායී ලෙස වැඩි කලක් පැවතී නැහැ. බෞද්ධ සංඝ සමාජයේ සාමූහිකත්වය ඔවෙන්වාදීන්ගේ හෝ ෆුරියේවාදීන්ගේ සාමූහිකත්වයන් මෙන් සංවෘත පද්ධතියක් නෙමෙයි. එවැන්නක් ස්ථායී ලෙස පවතින්නේ බාහිර සමාජය සමඟ පවත්වාගන්නා සහජීවනය තුළයි. සංඝ සමාජයට අයිති භෞතික සම්පත් කිසිවක් එම සමාජය තුළ නිර්මාණය කර ගත් දේවල් නොවන නිසා සාමූහිකයේ කිසිදු සාමාජිකයෙකුට එම භෞතික සම්පත් වල පෞද්ගලික අයිතියක් නොතිබීම ඉතාම තර්කානුකූලයි.

මෙයින් වෙනස්ව ඔවෙනියානු හා ෆුරියේවාදී සාමූහිකයක් සංවෘත පද්ධතියක්. සාමූහිකය සඳහා අවශ්‍ය සම්පත් එම සාමූහිකය තුළම නිර්මාණය කර ගත යුතුයි. ඔවෙන්ගේ හා ෆුරියේගේ අනුගාමිකයින්ගේ (ෆුරියේවාදීන් විසින් පැලන්ස්ටරි හදන විට ෆුරියේ මිය ගිහින්) පරීක්ෂණ වලින් පෙනී ගියේ පොදු දේපොළ ක්‍රමය මත පදනම් වූ සංවෘත සාමූහිකත්වයක් ස්ථායී ලෙස පවත්වා ගැනීම අසීරු බවයි. 

ෆුරියේට ඔහුගේම න්‍යායික පදනමක් තිබුණා. එය පසුකාලීන මාක්ස්වාදයට වඩා ගොඩක් වෙනස්. ෆුරියේවාදය මත පදනම් වූ පැලන්ස්ටරි වල අතිරික්තය බෙදුවේ නිශ්චිත අනුපාතයකටයි (pp. 77).

ශ්‍රමය වෙනුවෙන් 5/12ක්  

ප්‍රාග්ධනය වෙනුවෙන් 4/12ක් 

කුසලතා වෙනුවෙන් 3/12ක් 

ප්‍රාග්ධනය වෙනුවෙන් 4/12ක් කියන එකෙන් අදහස් වෙන්නේ මා විසින් පෙර විස්තර කර තිබෙන කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතයේ α = 1/3 ලෙස ඔහු විසින් සලකා ඇති බවයි. 

මනෝරාජික සමාජවාදී අදහස් දරුණුවටම විවේචනය කළේ මාක්ස් හා පසුකාලීන මාක්ස්වාදීන් විසිනුයි. මාක්ස්වාදීන්ගේ මූලිකම ලියවිල්ලක් වන කොමියුනිස්ට් ප්‍රකාශනයේද රොබට් ඔවෙන්ගේ හා චාල්ස් ෆුරියේගේ මනෝරාජික සමාජවාදී අදහස් සෘජුවම විවේචනයට ලක් වෙනවා. දැනට ඇති. ඉදිරි ලිපියකින් වැඩි විස්තර කතා කරමු.

Reference:

Hillquit, M. (1910). History of socialism in the United States. Funk & Wagnalls Company.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...