ලංකාවේ සම්ප්‍රදාය අනුව දෙසතිකින් පසු එළැඹෙන වෙසක් පසළොස්වක පෝය දිනට සම්බුද්ධ පරිනිර්වාණය සිදු වී වසර 2562කි. මේ අනුව, සම්බුද්ධ පරිනිර්වාණය සිදු වී තිබිය යුත්තේ ක්‍රිස්තු පූර්ව 543දීය. අනෙකුත් ථෙරවාද රටවල දින දසුන් අනුවද මෙය වසරකට වඩා එහා මෙහා වන්නේ නැත. එහෙත්, දැනට වඩාත්ම පිළිගත් විද්වත් මතය අනුව සම්බුද්ධ පරිනිර්වාණය සිදුව ඇත්තේ ක්‍රිස්තු පූර්ව 486 හෝ ආසන්න වසරකදීය. මෙයද විවාදිත කරුණක් වන අතර, සම්බුද්ධ පරිනිර්වාණය හා අදාළ විවිධ ඉතිහාසඥයින්ගේ ඇස්තමේන්තු සියවස් කිහිපයක කාල පරාසයක් පුරා පැතිරී ඇත.
සම්බුද්ධ පරිනිර්වාණයේ සිට ධර්මාශෝක රජුගේ අභිෂේකය දක්වා ගත වූ කාලය වර්ෂ 218ක් බව මහාවංශයේ සඳහන් වෙයි. මේ කාලය තුළ ලංකාවේ මෙන්ම මගධ දේශයේද රජවරුන් හා ඔවුන්ගේ රාජ්‍ය කාලයන් ගැන විස්තර මහා වංශයේ දෙවන, සිවුවන හා පස්වන පරිච්ඡේද වල විස්තර වේ.
"අජාසත් රජහට අට වෙනි තථාගතයන් වහන්සේ පිරිනිවී සේක. පරිනිර්වාණයෙන් පසු හෙතෙම සූවිසි හවුරුද්දක් රජ කරවීය." (දෙවන පරිච්ඡේදය)
"අජාසත් රජහු පුත්‍ර මිත්‍රද්‍රෝහී වූ උදායිභද්‍ර රජතෙම ඒ අජාසත් රජහු මරවා සොළොස් හවුරුද්දක් රජය කරවූයේ ය. උදායිභද්‍ර රජහු පුත්‍ර වූ අනුරුද්ධ කුමාර තෙම ඒ උදායිභද්‍ර රජහු මරවාද, අනුරුද්ධ රජහු පුත්‍ර වූ මුණ්ඩ කුමාර තෙම ඒ අනුරුද්ධ රජහු නසා දැයි මිත්‍රද්‍රෝහී දුර්මති වූ ඔවුහුද රාජ්‍යය කරවූහු. ඒ දෙදෙනාගේ රාජ්‍යයන්හිද අට හවුරුද්දක් ඉක්මුණාහ. මුණ්ඩ රජහු පුත්‍ර වූ පවිටු නාගදාසක තෙම පියා මරවා සූවිසි වසක් රජය කරවී. ඉක්බිත්තෙන් “මේ පිතෘ ඝාතක වංශය” යි කිපී නුවර වැස්සෝ සමඟි වූවෝ නාගදාසක රජහු පහකොට සාධුන් විසින් සම්මත කරණ ලද්දා වූ සුසුනාග යයි ප්‍රසිද්ධ වූ අමාත්‍යයකු සියල්ලන්ට හිත සිත් ඇත්තෝ රාජ්‍යයෙහි මොනවට අභිෂේක කළහ. ඒ රජ තෙම අටළොස් වසක් රජය කරවීය. උහු පුත් කාලාශෝක රජ තෙම අට විසි හවුරුද්දක් රජය කරවීය. කාලාශෝක රජහු රාජ්‍යයෙහි දස වෙනි වස ඉක්මුණ කල්හි මෙසේ ගණන් පිළිවෙළින් සර්වඥයින් වහන්සේගේ පිරිනිවී විසින් වර්ෂ සියයක් විය." (සිවුවන පරිච්ඡේදය)
"කාලාශෝක රජහුගේ පුත්‍ර වූ දස බෑ කෙනෙක් වූහ. ඔවුහු දෙවිසි හවුරුද්දක් රාජ්‍යනුශාසනා කළහ. ඒ දස බෑ රජුන්ට අනතුරුව නව නන්ද රජ දරුවෝ පිළිවෙළින් වූහ. ඔවුහුද දෙවිසි හවුරුද්දක් රාජ්‍යනුශාසනා කළහ.
ඉක්බිත්තෙන් ඒ චාණක්‍ය නම් බ්‍රාහ්මණ තෙම නන්ද රජුන් අතුරෙන් නව වෙනි වූ ධනනන්ද රජහු චණ්ඩ ක්‍රෝධයෙන් මරවා මෞර්ය නම් ක්ෂත්‍රියන්ගේ වංශයෙහි උපන්නා වූ ශ්‍රීධර වූ චන්ද්‍රගුප්ත යයි ප්‍රසිද්ධ වූ රාජ කුමාරයා මුළු දඹදිව රාජ්‍යයෙහි අභිෂේක කෙළේය, ඒ චන්ද්‍රගුප්ත රජතෙම සූවිසි හවුරුද්දක් රජය කෙළේය. ඔහු පිත් බින්දුසාර ක්ෂත්‍රිය තෙම අට විසි හවුරුද්දක් රජය කෙළේය. බින්දුසාර රජහුගේ පුත්‍රයෝ තුමූ ප්‍රසිද්ධ වූ එකසිය එක දෙනෙක් වුහ. ඔවුන් අතුරෙන් ධර්මාශෝක කුමාර තෙම පුණ්‍ය තේජෝ බල සමෘද්ධි සම්පන්න වූයේය. හෙතෙම භින්න මාතෘක වූ එකුන්සියයක් සහෝදරයන් මරවා මුළු දඹදිව එක රාජ්‍යයට පැමිණියේ ය. සර්වඥයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ඒ රජහු අභිෂේකයෙන් පූර්වයෙහි වර්ෂ දෙසිය අටළොස මෙසේ දතයුතු. මහා යසස් ඇත්තේ සිවු වසකින් එක රාජ්‍යයට පැමිණ පාඨලීපුත්‍ර නගරයෙහි තමන් අභිෂේක කෙළේය." (පස්වන පරිච්ඡේදය)
මහා වංශයට අනුව සම්බුද්ධ පරිනිර්වාණයේ සිට ධර්මාශෝක රජුගේ අභිෂේකය දක්වා වසර 218ක කාලය තුළ මගධ දේශයේ රාජ්‍ය පාලනය සිදු වී ඇත්තේ පහත පරිදිය.
අජාසත්ගේ අටවන වර්ෂයේ සිට කාලය වසර 24 යි.
උදායිභද්‍ර වසර 16 යි.
අනුරුද්ධ හා මුණ්ඩ වසර 8 යි.
නාගදාසක වසර 24 යි.
සුසුනාග වසර 18 යි.
කාලාශෝක වසර 28 යි.
කාලාශෝකගේ පුතුන් දසදෙනා වසර 22 යි.
නවනන්ද රජදරුවෝ වසර 22 යි.
චන්ද්‍රගුප්ත වසර 24 යි.
බින්දුසාර වසර 28 යි.
ධර්මාශෝකගේ අභිෂේකය දක්වා කාලය වසර 4 යි.
එකතුව වසර 218 යි.
මේ අනුව, අර්ථශාස්ත්‍ර නම් වූ ග්‍රන්ථයේ කතුවරයාද වන කෞටිල්‍ය හෙවත් චානක්‍යගේ උදවුවෙන් ධනනන්ද රජු මරවා ධර්මාශෝක රජුගේ පියාගේ පියා වූ චන්ද්‍රගුප්ත මෞර්යයන් විසින් මෞර්ය රාජ වංශය අරඹන්නේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 162 කට පසුවය. ධර්මාශෝක රජුගේ පියා වූ බින්දුසාර රාජ්‍යත්වයට පත්වන්නේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 186 කට පසුවය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 214 කට පසුව අශෝක රාජ්‍ය පාලනය අරඹන නමුත් කාලිංග යුද්ධය අවසන් කිරීම සඳහා සිවු වසරක් ගතවන බැවින් අශෝකගේ අභිෂේකය සිදුවන්නේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 214 කට පසුවය.
සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ වසරේ සිට මගධ රාජ්‍යයේ ඉතිහාසයට සමාන්තරව ලංකාවේ ඉතිහාසයද මහාවංශය විස්තර කරයි. ඒ අනුව, මහින්දාගමනය සිදු වී ඇත්තේ ධර්මාශෝක රජුගේ අභිෂේකයෙන් වසර 18කට පසුවය.
පෙර පැවති මූලාශ්‍ර අනුව යමින් වුවත්, මහාවංශය ලියැවී ඇත්තේ මහින්දාගමනයෙන් සියවස් නවයකට පමණ පසුවය. ඒ නිසා, ලංකාවේ මෙන්ම මගධ රාජ්‍යයේද ඉතිහාසය පිළිබඳව මහා වංශයේ ඇති කරුණු සියල්ලම නිවැරදි නොවන්නට පුළුවන. එහෙත්, එහි සඳහන් බොහෝ මූලික කරුණු වෙනත් මූලාශ්‍ර වලින්ද තහවුරු වෙයි.
තමන්ගේ දරුවන් ලංකාවට එවූ බව කිසිදු තැනක සඳහන් නොකරන නමුත් ලංකාව ඇතුළු ප්‍රත්‍යන්ත රටවල් ගණනාවක බුද්ධාගම පැතිරවීම පිණිස අශෝකගේ නියෝජිතයින්ව යවා ඇති බව අශෝක සෙල්ලිපි හා ටැම්ලිපි සාක්ෂි දරයි. කාලයත් සමඟ වෙනස් නොවන නිසා සෙල්ලිපි හා ටැම්ලිපි ඉතිහාසය පිළිබඳ වඩාත්ම විශ්වානීය මූලාශ්‍ර ලෙස සැලකිය හැකිය.
අශෝකගේ සමකාලීනයෙකු බව මහා වංශය ඇතුළු ශ්‍රී ලාංකික මූලාශ්‍ර වලින් තහවුරු කරන දේවානම්පියතිස්ස ගැන හෝ වත්මන් ඉන්දියාවේ පැවති වෙනත් රාජ්‍ය වල එවකට සිටි පාලකයින් පිළිබඳ වැඩි විස්තරයක් අශෝක සෙල්ලිපි වල සඳහන්ව නැතත් මහා ඇලෙක්සැන්ඩර්ගෙන් පසුව ඔහුගේ අධිරාජ්‍යය බෙදාගත් ඇතැම් පාලකයින් ගැන තොරතුරු මේ සෙල්ලිපි වල සඳහන්ව තිබේ. පහතින් ඇත්තේ 13වන අශෝක සෙල්ලිපියේ කොටසකි. මේ සෙල්ලිපියේ මගධ ප්‍රාකෘත පිටපත් වලට අමතරව ග්‍රීක් පිටපතක්ද තිබේ.
"යේ ධම්මවිජයේ සේ ච පුණ ලධේ දේවානම්පියසාහිද ච සවේසු ච අතේසු ආ සාසුපි යෝජන සතේසු අත අතියෝගේ නාම යෝනලාජා පලංච න අන්තියෝගෙන චතාලි ලාජනේ තුලමායේ නාම අන්තෙකිනේ නාම මකාය නාම අලික්යසුදලේ නාම නිචම් චෝල පාණ්ඩිය අවං තම්බපණ්ණිය ඒව මේව."
දෙවියන්ට ප්‍රිය වූවහු ඔහුගේ ධර්ම විජය කර ඇති ප්‍රත්‍යන්ත ජනපද අතර යොදුන් හයසීයක් ඈතින් පිහිටි අන්තියෝග යවන රජුගේ රටද, අන්තියෝගගේ රාජ්‍යයෙන් ඔබ්බෙහි පිහිටි තුලමා, අන්තෙකින, මකා, අලික්සුදල යන රජුන්ගේ රාජ්‍යයන්ද එමෙන්ම චෝල පාණ්ඩය මෙන්ම තම්බපණ්ණිය පවා වේ.
ග්‍රීක හා රෝම මූලාශ්‍ර වලින් මෙහි සඳහන් අන්තියෝග, තුලමා, අන්තෙකින, මකා හා අලික්සුදල හඳුනාගත හැකි අතර ඔවුන්ගේ රාජ්‍ය කාලයන්ද සෑහෙන තරම් නිවැරදිව තහවුරු කරගත හැකිය.
අන්තියෝග (Antiochus II Theos of Syria 261–246 BC)
තුලමා (Ptolemy II Philadelphos of Egypt 285–247 BC)
අන්තෙකින (Antigonus II Gonatas of Macedon 278–239 BC)
මකා (Magas of Cyrene 276-250 BC)
අලික්සුදල (Alexander II of Epirus 272–258 BC)
ඉහත කරුණු සඳහන් සෙල්ලිපි ලියා ඇත්තේ මහින්දාගමනයෙන් පසුව බව පැහැදිලිය. අශෝක රජුගේ අභිෂේකයේ සිට මහින්දාගමනය දක්වා ගත වූ කාලය මහා වංශයේ නිවැරදිව සටහන්ව ඇතැයි සැලකූ විට ඉහත සෙල්ල්ලිපියේ සඳහන් රජවරුන් අශෝක රජුගේ සමකාලීනයින් වීමටනම් අශෝක රජුගේ අභිෂේකය ක්‍රිස්තු පූර්ව 268-269 ආසන්න වසරක සිදුව තිබිය යුතුය.
අශෝකගේ සීයා වූ චන්ද්‍රගුප්ත මයුරගේ කාලයේ තානාපතිවරයෙකු ලෙස කටයුතු කර ඇති, ඉන්දිකා ග්‍රන්ථයේ රචකයාද වන, මිගස්තිනීස්ගේ වාර්තා සමඟ මෙන්ම මිගස්තිනීස්ගෙන් පසු අශෝකගේ පියා වූ බින්දුසාරගේ කාලයේ තානාපතිවරයෙකු ලෙස කටයුතු කළේයැයි සැලකෙන දීමකස්ගේ වාර්තා සමඟද ඉහත කාල නිර්ණය ගැලපේ. ඒ අනුව, අශෝකගේ රාජ්‍යාභිෂේකය සිදු වූ කාලය පිළිබඳව සෑහෙන තරමේ එකඟත්වයක් තිබේ.
අශෝකගේ අභිෂේකයේ සිට සම්බුද්ධ පරිනිර්වාණය දක්වා කාලය ගණනය කිරීම සඳහා සාමාන්‍යයෙන් මූලාශ්‍ර කරගන්නේ මහා වංශයයි. මහා වංශයට අනුව මෙම කාලය වසර 218ක් බැවින් සම්බුද්ධ පරිනිර්වාණය ක්‍රිස්තු පූර්ව 486 හෝ ආසන්න වසරක සිදු වූ සේ සැලකේ. ගෞතම බුදුන් වසර අසූවක් ජීවත් වූ බවද අවිවාදිත කරුණකි. මේ අනුව, සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදුව තිබෙන්නේ ක්‍රිස්තු පූර්ව 566 හෝ ආසන්න වසරක විය යුතු අතර බුද්ධත්වය ලැබූ වසර ක්‍රිස්තු පූර්ව 531 හෝ ආසන්න වසරක් විය යුතුය.
ඉහත පදනම මත මුලින්ම විල්හෙල්ම් ගයිගර් විසින් ඇස්තමේන්තු කර ඇති පරිදි සම්බුද්ධ පරිනිර්වාණය සිදු වී තිබෙන්නේ ක්‍රිස්තු පූර්ව 483දී වන අතර හර්මන් ජැකෝබිට අනුව ක්‍රිස්තු පූර්ව 484දීය. මේ කාල නිර්ණය තහවුරු කරන තවත් සාක්ෂියක් වන්නේ චීන තිත් වාර්තාය. බුද්ධඝෝෂ හිමියන් විසින් සිංහලෙන් පාලියට පරිවර්තනය කළ සමන්තපාසාදිකාව පසුව චීන බසට පරිවර්තනය කෙරුණු අතර මේ කටයුත්ත සිදු වන විට සෑම වස් කාලයක් අවසානයේදීම පොතේ අගට තිතක් තැබීමේ පුරුද්දක් තිබී ඇත. මේ පුරුද්දේ ආරම්භය සම්බුද්ධ පරිනිර්වාණය බව විශ්වාස කෙරේ. ෆෙයි චැන්ග් ෆෑන් විසින් ක්‍රිස්තු වර්ෂ 597දී ලි තායි සන් පෝ චි ග්‍රන්ථයෙහි සටහන් කර ඇති පරිදි ක්‍රිස්තු වර්ෂ 489 වන විට මෙහි තිත් 975ක් සටහන්ව තිබී ඇත. ඒ අනුව, සම්බුද්ධ පරිනිර්වාණය සිදුව තිබෙන්නේ ක්‍රිස්තු පූර්ව 486දීය. කෙසේ වුවත්, මේ "පිළිගත්" කතාවේත් ගැටළු සහගත තැන් ගණනාවක්ම තිබේ. (ලිපිය දිග්ගැසෙන නිසා මේ කරුණු සාකච්ඡා කරන්නේ නැත.)
ථෙරවාද සම්ප්‍රදාය සැලකුවහොත් සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදුව තිබෙන්නේ ක්‍රිස්තු පූර්ව 623දී වන අතර බුද්ධත්වය ලැබූ වසර ක්‍රිස්තු පූර්ව 588 විය යුතුය. මේ අනුව දැනට වඩා පිළිගත් කාල නිර්ණය හා ථෙරවාද සම්ප්‍රදාය අතර වසර 57ක පමණ වෙනසක් තිබේ. දොන් මාර්ටිනෝ ද සිල්වා වික්‍රමසිංහ විසින් මේ වෙනසට හේතුව එකොළොස්වන සියවසේදී ලංකාවේ බුද්ධ වර්ෂ ගණනයේ සිදු වූ පටලැවිල්ලක් බවට අදහසක් ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව ඊට පෙර භාවිතා වී ඇති බුද්ධ වර්ෂ ආරම්භ වී තිබෙන්නේ ක්‍රිස්තු පූර්ව 483 සිට බව කියා ඇත. එහෙත්, සෙනරත් පරණවිතාන විසින් එම අදහස පිළිගෙන නැති අතර දැනට පවතින සම්ප්‍රදාය වෙනුවෙන් දිගටම පෙනී සිට ඇත.
ඉහත කාල නිර්ණය පිළිබඳව සැක පහළ කරන තවත් ඇතැම් අය පෙන්වා දෙන්නේ චීන තිත් වාර්තා වල සිට තායිලන්ත හා බුරුම සම්ප්‍රදායයන් දක්වා සියලුම මූලාශ්‍ර වල ආරම්භය ලංකාවේ වංශ කතා බවයි. උයි හකුජුට අනුව සම්බුද්ධ පරිනිර්වාණයේ සිට අශෝක අභිෂේකය දක්වා කාලය වසර 218ක් විය නොහැකි අතර එය වසර 116ක් විය යුතුය. මේ අනුව සම්බුද්ධ පරිනිර්වාණය සිදුව ඇත්තේ ක්‍රිස්තු පූර්ව 386දීය. එහෙත් හකුජු විසින් අශෝක අභිෂේකය ක්‍රිස්තු පූර්ව 268දී නොව 271දී සිදුව ඇති බව සලකා ඇති නිසා නකමුරා හජීමේ විසින් මෙය ක්‍රිස්තු පූර්ව 383 ලෙස ගණනය කර ඇත. සම්බුද්ධ පරිනිර්වාණය ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේදී පමණ සිදු වී ඇති බවට වෙනත් බොහෝ විද්වතුන් විසින් පසුකාලීනවද අදහස් දක්වා තිබේ.
රොබට් කනින්හැම් ඇතුළු පිරිසක් විසින් ඉතා මෑතකදී ලුම්බිණියේ කළ කැණීම් වලින් සොයාගත් තොරතුරු අනුව බුද්ධ කාලය පිළිබඳව නැවත සිතා බලන්නට ඉඩ සැලසී තිබේ. මෙහිදී, ක්‍රිස්තු පූර්ව තෙවන සියවසේදී අශෝක විසින් සිදු කළ ඉදිකිරීම් වලට යටින් වඩා පැරණි ඉදිකිරීම් සොයා ගන්නට ඔවුන් සමත්ව තිබෙන අතර කාබන් කාල නිර්ණය අනුව මේ ඉදිකිරීම් අවම වශයෙන් ක්‍රිස්තු පූර්ව හයවන සියවස තරම්වත් පැරණිය. මේ සොයා ගැනීම ගැලපෙන්නේ ථෙරවාද සම්ප්‍රදායයේ එන කාල නිර්ණය සමඟය.
(මතු සම්බන්ධයි)