වෙබ් ලිපිනය:

Showing posts with label බලශක්තිය. Show all posts
Showing posts with label බලශක්තිය. Show all posts

Tuesday, August 18, 2020

කළුවරේ ජරමරේ...

නලින් ද සිල්වාගේ කාලය ලිපිය අද පටන් අරගෙන තිබුණේ මේ විදිහටයි. 

"ඊයේ ලිපිය වෙනදා තරම් පිරිසක් කියවා නැහැ. එහි මාතෘකාව බොහෝ දෙනාට එතරම් ආකර්ෂණීය වී නැහැ. මා හිතුවාට එහි සාහිත්‍ය රසයක් නොතිබෙන්න ඇති. ඔවුන් හරිනි වැදගත් නැහැ කියලත් හිතන්න ඇති."

මේ පාඨයෙන් ව්‍යංගයෙන් අදහස් වෙන්නේ තමන්ගේ ලිපිය වෙනදා තරම් පිරිසක් කියෙවුවානම් නලින් ද සිල්වා සතුටු වන බවයි. නලින් ද සිල්වා වැනි අයෙක් වගේම මා වැනි වෙනත් කෙනෙක් යමක් ලියා පොදු අවකාශයක පළ කරන්නේ කිසියම් පිරිසක් එය කියවනු ඇතැයි යන බලාපොරොත්තුවෙන්. එය අවිඥානික බලාපොරොත්තුවක් වෙන්න පුළුවන්.

මේ වගේ බලාපොරොත්තුවක් ඇති වන්නේ අහඹු පසුබිමක නෙමෙයි. බොහෝ විට මෙවැනි අපේක්ෂාවක පදනම වන්නේ වෙනත් "සාමාන්‍ය දිනක" ලිපිය කියවන පිරිසයි. එය එක්තරා ආකාරයක ඇබ්බැහියක්. 

අද මා මේ ලිපිය මේ ආකාරයෙන්ම ලිවීම වගේම ලිපියේ මාතෘකාවද අහම්බයක්. ඒ අහම්බයට එක් හේතුවක් වුනේ නලින් ද සිල්වාගේ ලිපියේ ඉහත කොටසයි. එහෙත්, එය පමණක්ම නොවෙයි. තවත් අහම්බයන් ගණනාවකම සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය මේ ලිපිය මේ ආකාරයෙන් ලොවට බිහිවීමට හේතුවක්. ඒ අතරින් වඩාත්ම බලපෑමක් කළ අහම්බය ඊයේ ලංකාව පුරා විදුලිය ඇණ හිටීමයි. ඔය වගේ හදිසි විදුලිය බිඳ වැටීමක් නිසා අහම්බයන් ගණනාවක් ලොවට බිහි වෙන්න පුළුවන්. 

මේ අර්ථයෙන් ගත් විට අද මා පළ කරන මේ ලිපිය අහම්බයක්ම නෙමෙයි. එය මේ ආකාරයෙන් බිහිවීම සඳහා හේතු වූ නිශ්චිත සාධක ගණනාවක් තිබෙනවා. 

ගැඹුරෙන් හිතා බැලුවොත් අද ලිපියේ තේමාව හා කරුණු තෝරා ගැනීම සඳහා හේතු වූ නිශ්චිත සාධක මොනවාද කියා ලැයිස්තුගත කරන්න පුළුවන්. බැලූ බැල්මටම පෙනෙන පරිදි ඒවා අහඹු සිද්ධි. එහෙත්, ඒ එක් එක් සිද්ධිය ගත්තත් ඒවා ඒ විදිහට සිදු වීමට හේතු වූ වෙනත් සිද්ධි හොයාගෙන ලැයිස්තුගත කරන්න පුළුවන් වෙයි.

මේ අර්ථයෙන් ගත්තහම අප මේ ලෝකයට උපදින්නේත් අහම්බෙන් නෙමෙයි. මැරෙන්නෙත් අහම්බෙන් නෙමෙයි. මේ දේවල් සිදු වෙන්න ලෝකය යම් ආකාරයකට සකස් වී තිබිය යුතුයි. අහඹු ලෙස පෙනෙන දේ සිදු වන්නේ අහඹු පසුබිමක නෙමෙයි. සිදු වීමටකට එය සිදුවන පසුබිම බලපානවා. 

මේ ලිපිය කියවන පාඨකයින් ගණන අහඹු ගණනක් විය හැකි වුවත් ඒ අහඹු ගණන සාමාන්‍යයෙන් මේ බ්ලොග් එක කියවන සාමාන්‍ය පාඨකයින් ප්‍රමාණය මත තීරණය වන්නක්. අනෙක් අතට මෙවැනි පසුබිම් සකස් වන්නේ හුදෙකලා සිදුවීම් වලින් ස්වායත්තව නෙමෙයි. අද මා ලියන මේ ලිපියේ තිබෙන කරුණු අනුව මේ ලිපිය කියවන පාඨකයින් ප්‍රමාණය වගේම මේ බ්ලොග් එක කියවන සාමාන්‍ය පාඨකයින් ප්‍රමාණයද තීරණය වෙනවා.

නලින් ද සිල්වා ලිපි ලියා පළ කරන්නේ ඔහුගේ සතුට වෙනුවෙන් වුවත් එම ලිපි කියවන අය එසේ කරන්නේ ලිපි කියවීමෙන් ඔවුන් සතුටු වන නිසයි. ඒ නිසා, වැඩි දෙනෙක් තමන්ගේ ලිපි කියවීම තුළින් සතුටක් ලබන්නනම් පාඨකයින් සතුටු කිරීම ගැනත් නලින් ද සිල්වාට හිතන්න වෙනවා. හිතාමතා කරන දෙයක් නොවිය හැකි වුවත්, නලින් ද සිල්වා විසින් අවිඥානිකව හෝ මෙය කරනවා. තමන්ගේ පාඨකයින් වෙනදා තරම් සතුටු නොවුනේ ඇයි කියන එක විශ්ලේෂණය කරන්න ඔහු පෙළැඹී තිබෙන්නේ ඒ නිසයි. 

අපට අපේ එදිනෙදා ජීවිතය ඇතුළේ වැඩියෙන් සතුටු වෙන්න අවශ්‍යනම්, අසතුටෙන් දුරු වෙන්න අවශ්‍යනම් නිරන්තරයෙන්ම මෙවැනි විශ්ලේෂණ කරන්න වෙනවා. ඒ සඳහා, ආර්ථික විද්‍යාව හෝ වෙනත් විද්‍යාවක් හදාරා තිබීම අත්‍යාවශ්‍ය කරුණක් නෙමෙයි. අප එදිනෙදා කරන කියන දේවල් ඇතුළේ කොහොමටත් මේ වගේ විශ්ලේෂණය කිරීම් තිබෙනවා. බොහෝ විට ඒ බව අපිවත් දන්නේ නැහැ. ආර්ථික විද්‍යාවෙන් කරන්නේ මිනිසුන්ගේ බාහිර හැසිරීම් අනුසාරයෙන් ඒ හැසිරීම් වලට පාදක වන ක්‍රියාවලිය ආකෘතිගත කිරීමයි. 

ඊයේ නලින් ද සිල්වාගේ ලිපිය කියවූ පිරිස අඩු වීමට ඔහු විසින් හඳුනාගෙන තිබෙන සාධක හේතු වූවා වෙන්න පුළුවන්. නමුත්, බොහෝ විට කියවූ පිරිස අඩු වෙන්න ප්‍රධාන හේතුව වෙන්න ඇත්තේ ඊයේ ලංකාව පුරා සිදු වූ විදුලිය බිඳ වැටීමයි. එය අහම්බයක්. එහෙත් මෙවැනි අහම්බයන් සිදුවන පසුබිම අහම්බයක් නෙමෙයි. 

වසර කිහිපයකට කලින් මේ ආකාරයේ විදුලි බල පද්ධති බිඳවැටීමක් සිදු වූ අවස්ථාවක ලියූ ලිපියක් පහත තිබෙනවා.


Wednesday, March 30, 2016

නෙළුම් පතක රැඳි තෙල් බිඳුවක් සේ...


තෙල් හා වතුර කලවම් නොවේ. ඒ වගේම නෙළුම් කොළේ දිය රැඳෙන්නේත් නැත. ඒ අනුව, තෙල් සහ නෙළුම් දෙකටම වතුර ඇලජික්ය. තෙල් සහ නෙළුම් අතර වෙනත් සම්බන්ධතාවයක් ගැනනම් මතකයට එන්නේම නැත.

ඉකොනොමැට්ටා විසින් ලියා පළ කළ තෙල් ගැන ලිපියකට නෙළුම් සම්මානයක් ලැබී තිබේ. "ඇමෙරිකානු බොරතෙල් තහනම ඉවතට" නම් වූ මේ ලිපිය පළකළේ පසුගිය දෙසැම්බර් මස 21 වෙනිදාය. ඒ ලිපියෙන් කතා කළේ ඊට දින තුනකට පෙර සිදුවූ ඇමරිකානු බොරතෙල් අපනයන තහනම ඉවත් කිරීම, ඒ සඳහා හේතු වූ කරුණු හා වසර හතළිහකට පෙර එම තහනම පැනවීමට හේතු වූ පසුබිම ගැනය.

ඉහත ලිපිය පළ කිරීමෙන් පසු මතු වූ අදහසක් වූයේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහතයාම ඇමරිකාව හා සවුදි අරාබිය එකතු වී කෘතිමව ඇති කළ තත්ත්වයක් බවයි. දින දෙකකට පසු දෙසැම්බර් මස 23 වන දින "තෙල් මිල ඉහළ යයිද?" යන මාතෘකාව යටතේ ඉකොනොමැට්ටාගේ අඩවියේ පළ කළ තවත් ලිපියක් මඟින් පැහැදිලි කළේ එය එසේ නොවන බවයි. තෙල්මිල පහළ යාමට හේතු වූ දීර්ඝකාලීන හා ආසන්න හේතු එහිදී සාකච්ඡා කෙරිණි. මේ ලිපිය පලවී තෙමසක් ඉක්මගොස් ඇති මේ මොහොතේ සාකච්ඡා කෙරෙන්නේ ලෝක තෙල් වෙළඳපොළ හා අදාළව ඉන්පසුව සිදුවූ වර්ධනයන් ගැනය.


එම ලිපියේ මම මෙසේ සඳහන් කළෙමි.

"මේ අවස්ථාවේ ඇමරිකාව සහ සවුදි අරාබිය අතර ඇත්තේ ගල උඩ සටනකි."

"...මිල මට්ටම පහත තබා ගැනීමෙන් සවුදි අරාබිය අපේක්ෂා කරන්නේ ඇමරිකාවේ ශල්ක තෙල් නිෂ්පාදකයින් වෙළඳපොළෙන් ඉවත් කිරීමටය. මේ වන විට සවුදි අරාබිය ඔවුන්ගේ අරමුණ වෙත සෑහෙන දුරකට ලඟා වී සිටී. පසුගිය මාස කිහිපය තුළ ඇමරිකාවේ අළුත් ශල්ක තෙල් කැනීම් අට්ටාල ඉදිවීම විශාල ලෙස අඩුවී තිබේ. එහෙත්, මේ සඳහා සවුදි අරාබියටද විශාල වන්දියක් ගෙවීමට සිදුවේ...තෙල් මිල පහළ යද්දී සවුදි අරාබියේ අයවැය හිඟය ඉහළ යයි. ඒ නිසා මේ ක්‍රීඩාවෙන් අන්තිමේදී සවුදි අරාබිය පැරදෙන්නටත් බැරි නැත."

"...ඇමරිකාව සහ සවුදි අරාබිය අතර මේ ක්‍රමෝපායික ක්‍රීඩාවේ ජයග්‍රහණය කාට හිමි වේදැයි කියන්නට තවමත් කල් වැඩිය. "

මේ ලිපි පළ කෙරෙන විට තෙල් බැරලයක මිල ඇමරිකන් ඩොලර් 40 මට්ටමේ පැවතුනු අතර පසුගිය පෙබරවාරි මැද වන විට මේ මිල 2003 සිට පැවති අඩුම මිල වන ඇමරිකන් ඩොලර් 26 මට්ටම දක්වාම අඩු විය. කෙසේවුවද, එතැන් සිට ගතවූ පසුගිය සති හය තුළ ලෝක තෙල්මිල නැවතත් ඇමරිකන් ඩොලර් 40 මට්ටමට පැමිණ ස්ථාවර වී තිබේ. මෙයින් අදහස් වන්නේ කුමක්ද? පෙර ලිපි වලින් කතා කළ ගල උඩ සටනේ දිනුම ලැබුණේ කාටද?

පසුගිය මාස හතරේ දත්ත අනුව පෙනීයන්නේ සවුදි අරාබිය ඔවුන් බලාපොරොත්තු වූ අරමුණ කරා ලඟා වී ඇති බවයි.


2011 වසර ආරම්භයේදී ඇමරිකාවේ සක්‍රිය කැනීම් අට්ටාල 1,220ක් පැවති අතර එම වසර අවසාන වන විට මෙම සංඛ්‍යාව 1,694 දක්වා වැඩි විය. 2013 වසර ඇරඹෙන විට මේ ගණන 2007 දක්වා තවදුරටත් වැඩි විය. මේ වර්ධනයට හේතු වූයේ පැවති ඉහළ තෙල්මිල හේතුවෙන් ශල්ක තෙල් කැණීම් සඳහා වන ආයෝජන දිරිමත් වීමයි.

කෙසේවුවද, 2014 මැද වන විටත් ඇමරිකන් ඩොලර් 100-110 මට්ටමේ පැවති තෙල්මිල එතැන් සිට කඩා වැටෙන්නට පටන් ගැනීමත් සමඟ ආයෝජන ප්‍රවාහ ඇණහිටීම නිසා අළුතින් අළුත් කැණීම් අට්ටාල ඉදිකිරීම සිදුවුණේ ඉතා සෙමිනි. අළුතින් කැණීම් අට්ටාල ඉදිකිරීම නැවතීමෙන් පසු පැරණි කැණීම් අට්ටාල ක්‍රමයෙන් කල් ඉකුත්ව භාවිතයෙන් ඉවත් වෙද්දී ඇමරිකාවේ සක්‍රිය කැණීම් අට්ටාල ගණන ක්‍රමයෙන් අඩුවන්නට විය.

පසුගිය 2015 ආරම්භයේදී සක්‍රියව පැවති කැණීම් අට්ටාල 1,811 වසර අවසානය වන විට 698 දක්වා අඩු විය. එහෙත්, පසුගිය වසර තුළ ඇමරිකාවේ බොරතෙල් නිෂ්පාදනයේ අඩුවක් පෙනෙන්නට නොතිබුණේය. එයට හේතු වූයේ, නිෂ්පාදනයෙන් ඉවත් වූයේ වඩා අකාර්යක්ෂම කැණීම් අට්ටාල වීමත්, දිගටම නිෂ්පාදනයේ යෙදුණු කැණීම් අට්ටාල වල ඵලදායිතාව ඉතා විශාල ලෙස දියුණු කෙරුණු නිසාත්ය. කෙසේවුවද, හැම දෙයකටම සීමාවක් තිබේ.

පසුගිය මාර්තු 24 දින වන විට ඇමරිකාවේ සක්‍රිය කැණීම් අට්ටාල ගණන 464 දක්වා අඩුවී ඇති අතර එය තවදුරටත් අඩු වන ප්‍රවණතාවක් පෙනෙන්නට තිබේ. එමෙන්ම, පෙබරවාරි මාසයේ පමණ සිට ඇමරිකාවේ බොරතෙල් නිෂ්පාදන පරිමාවන්ද අඩුවෙමින් පවතී. මේ අනුව සවුදි අරාබිය විසින් ඇමරිකාවේ දරාගැනීමේ සීමාව සාර්ථක ලෙස පරික්ෂාවට ලක්කර තිබේ. තෙල් මිල ඇමරිකන් ඩොලර් 26 මට්ටමට වැටී නැවතත් ඉහළ යාමෙන් පෙනෙන්නේ මිල පහත වැටිය හැකි අවසාන සීමාව එය බවයි. අළුත් කැණීම් අට්ටාල ඉදිවීම අඩාල වී ඇති නිසා ඉදිරි වසර දෙකක පමණ කාලය තුළ ඇමරිකානු බොරතෙල් නිෂ්පාදනය තවදුරටත් පහත වැටීමෙන් තෙල් මිල තරමක් දුරට ඉහළ යා හැකිය.

අනෙක් අතට ඉදිරියේදී තෙල්මිල විශාල ලෙස ඉහළ යාමේ හැකියාවක්ද නැත. තෙල්මිල ඇමරිකන් ඩොලර් 55-70 මට්ටමට ලඟාවුවහොත් ඇමරිකාවේ ශල්ක තෙල් කැනීම් අට්ටාල රැසක් නැවතත් වහා ඉදිවනු ඇත.

මෑතකාලීන තෙල් මිලේ සිදුවූ වෙනස්කම් නිසා සවුදි අරාබිය ඇතුළු මැද පෙරදිග රටවලටත්, රුසියාවටත් ඇති වූ බලපෑම ගැනත් සවුදි-රුසියානු ගිවිසුමේ අනාගතය ගැනත් පසුව කතා කරමු.


(Image: skycare.unetedu.vn)

Tuesday, March 15, 2016

නැති පැය හා නැති වූ පැය


පසුගිය ඉරිදා පාන්දර උතුරු ඇමරිකාවේ බොහොමයක් පෙදෙස් වල නැති පැයක් ගෙවී ගියේය. ඒ පාන්දර දෙකේ සිට 2:59:59 දක්වා වන පැයයි. මේ පැය නැති  පැයක් වූ බැවින් ඒ කාලය තුල වූ පාන්දර 2.50 වැනි වෙලාවක උතුරු ඇමරිකාවේ පෙදෙස් කිහිපයක හැර වෙනත් තැන් වල කිසියම් දෙයක් සිදුවීයැයි කවුරු හෝ කිවුවොත් එය බොරුවක් බව හොයාගන්නට ෂර්ලොක් හෝම්ස්ම අවශ්‍ය නැත.

ඇමරිකාවේ, කැනඩාවේ සහ බටහිර ඉන්දීය දූපත් රාජ්‍ය ගණනාවක දිවා ආලෝක සුරැකුම් කාලය මේ ඉරිදා ඇරඹුණු නිසා එදින පෙරවරු 1:59:59 පසු වූ පසු එළැඹුණේ දෙකේ කණිසම නොවේ. තුනේ කණිසමයි. මේ නිසා, උතුරු ඇමරිකාවේදී පසුගිය ඉරිදා දිනය පැය විසි තුනකින් ගෙවී ගියේය. කෙසේවුවද, මෙසේ නැති වූ පැය මාස ගණනකින් පසු එළැඹෙන නොවැම්බර් මස හය වනදා නැවත ආපසු ලැබෙනු ඇත. ඒ අනුව, එදින ගෙවී යනු ඇත්තේ පැය විසිපහකට පසුවය. තව දෙසතියකින් යුරෝපයේද, සමකයෙන් ඈත්ව පිහිටි වෙනත් රටවල වෙනත් දිනවලද මීට සමාන දෙයක් සිදුවනු ඇත.

වසර විස්සකට පෙර ලංකාවේත් මෙවැනි නැති පැයක් ගෙවී ගියේය. ඒ, ඒ දිනවල ලංකාව මුහුණ පෑ විදුලි අර්බුදයට එය පිළියමක්යැයි එවකට පැවති රජය විශ්වාස කළ බැවිනි. මේ නැති වූ පැයෙන් බාගයක් මාස කිහිපයකට පසු ආපසු ලැබුණත් ඉතිරි බාගය ආපසු ලබා ගැනීමට අවුරුදු දහයක් බලා ඉන්නට විය. ඊට පෙර දෙවන ලෝක යුද සමයේදීද මෙවැන්නක් ලංකාවේ සිදුවී තිබේ.

ඉරිදා පාන්දර හරියටම දෙකට උතුරු ඇමරිකාවේ බොහෝ පෙදෙස් වල මේ අයුරින් ඔරලෝසු පැයක් ඉදිරියට කරකවනු ලැබුවත් එය සිදුවුණේ එකම මොහොතක නොවේ. ඒ, උතුරු ඇමරිකාවේ පාන්දර දෙක කියන සංකල්පයද තැනින් තැනට වෙනස් වන දෙයක් බැවිනි.  ඇමරිකාවේ බටහිර වෙරළ තීරයේ කැලිෆෝර්නියා වැනි ප්‍රාන්ත වල මේ නැති පැය එළැඹුණේ ලංකාවේ වේලාවෙන් හවස 3.30ටය. නැගෙනහිර වෙරළබද ප්‍රාන්ත වල මෙය සිදුවුනේ ලංකාවේ වේලාවෙන් ඊට පැය තුනකට පෙර පස්වරු 12.30ය.

ඔය කාලය ඇතුළත උතුරු ඇමරිකාවේ තැන් තැන් වල නැති පැය ගෙවෙද්දී ඔරලෝසු වල එවැනි වෙනසක් සිදු නොවී ලංකාවේ පැය නමයක් නැති වී ගොස් තිබේ. ඒ, ඇත්තටම මේ පැය නවය නොගෙවුනු නිසා නොවේ. විදුලි එළිය නැතුව ඉටිපන්දම් හඳුන්කූරු වලින් පමණක් සැනහී ගෙවන පැයක් බොහෝ දෙනෙකුට නැති වූ පැයක් වන බැවිනි. ලංකාවේ ජාතික විදුලිබල සැපයුම් පද්ධතිය බිඳ වැටී ඇති අතර එය යථා තත්ත්වයට පත් කිරීමට පැය නවයක කාලයක් ගත වී තිබේ.


එහෙම වුනේ ඇයි?

දියුණු රටක ජාතික විදුලිබල පද්ධතියේ මේ ආකාරයේ බිඳ වැටීමක් සිදු වන්නේ ඉතා කලාතුරකිනි. එහෙත්, බොහෝ දියුණු වන රටවල මෙය නිතර සිදුවන දෙයකි. ලංකාවේ මෙවැනි බිඳ වැටීම් නිතරම සිදු නොවන නිසා එවැන්නක් සිදුවූ විට විශාල කතාබහක් ඇතිවේ. කෙසේවුවද, රටක ජාතික විදුලිබල පද්ධතිය සාමාන්‍යයෙන් මෙසේ බිඳ නොවැටී පවත්වාගැනීමට හැකිවීමෙන් අදහස් වන්නේ එය සරල කටයුත්තක් බව නොවේ.

ඉතා සීමිත මට්ටමකින් හැර (බැටරි වැනි) විදුලිබල ශක්තිය යනු ගබඩා කර තබාගත හැකි දෙයක් නොවේ. විදුලිබලය පරිභෝජනය කරන අවස්ථාවේදීම නිපදවීමද කළ යුතුය. මූලික වශයෙන් මෙය ඉල්ලුම් සැපයුම් කළමනාකරණය පිලිබඳ ප්‍රශ්නයකි. ඒ ඒ මොහොතේ ඇති ඉල්ලුමට සපයන සැපයුම අඩුත් නැතිව, වැඩිත් නැතුව ක්ෂණිකව නිපදවිය යුතුය.

රටේ විදුලිබල ඉල්ලුම දවස පුරා ඉතා සුමට ලෙස වෙනස් වන්නකි. ඔබ ඔබේ නිවසේ විදුලි බල්බයක් දල්වන විට රටේ සමස්ථ විදුලිබල ඉල්ලුම වොට් 60කින් හෝ වෙනත් ගණනකින් වැඩි වේ. රූපවාහිනිය ක්‍රියාත්මක කළ විටද එයම සිදුවේ. විදුලි බල්බය ක්‍රියා විරහිත කළ විට ඉල්ලුම අඩුවේ. ඉල්ලුම මේ අයුරින් අඩු වැඩි වන විට සැපයුමද ඒ අනුව වෙනස් කළ යුතුය.

කෙසේවුවද, රටේ විදුලි බල සැපයුම වොට් 60ක් වැනි සුළු ගණනකින් වැඩි කළ නොහැකිය. සැපයුම වැඩි කළ හැක්කේ ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීමෙනි. උදාහරණයක් ලෙස රන්දෙණිගල ජලවිදුලි බලාගාරයේ මෙගාවොට් 62ක ධාරිතාවක් ඇති විදුලි ජනක යන්ත්‍ර දෙකක් තිබේ. මේ දෙකෙන් එකක් ක්‍රියාත්මක කළ විට මෙගාවොට් 62ක සැපයුමක් ජාතික විදුලි බල පද්ධතියට එකතු වේ. දෙකම ක්‍රියාත්මක කළහොත් මෙගාවොට් 124ක් එකතු වේ. මේ අනුව, එක් විදුලිජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කළ විට වොට් 60ක විදුලි බල්බ මිලියනයක් දැල්වීමට අවශ්‍ය විදුලි බලය ජනනය වේ.

පෙර කී පරිදි, ලංකාවේ විදුලිබල ඉල්ලුම මොහොතින් මොහොත වෙනස් වේ. වැඩිම ඉල්ලුමක් ඇත්තේ හවස 7-8 අතරය. ඒ කාලය තුළ ඉල්ලුම මෙගාවොට් 2,000 පමණ දක්වා ඉහල යයි. ඉල්ලුම අඩුම පාන්දර 2-3 අතරය. ඒ කාලය තුල ඉල්ලුම මෙගාවොට් 900 පමණ දක්වා අඩුවේ. [ලංකාවේ විදුලිබල පද්ධතිය හා අදාළ නිවැරදිම දත්ත මා සතුව නැත. මෙහිදී මා ගණන් යොදාගන්නේ මා කියන කරුණු පැහැදිලි කිරීම සඳහාය. කෙසේවුවද, මේ ගණන් නිවැරදි ගණන් වලට ආසන්න බව මගේ අදහසයි.] මේ අතර සෑම මොහොතකම  ඉල්ලුම අඩු වැඩි වේ. එමෙන්ම, සතියේ දින අනුවද, නිවාඩු දින, ක්‍රිකට් තරඟ, මැතිවරණ කාල, සිංහල අවුරුදු, වෙසක් හා නත්තල් වැනි උත්සව කාල ආදිය අනුවද වෙනස් වේ. මෙසේ අඩු වැඩි වන විට සැලසුම් සහගතව විදුලිජනක යන්ත්‍ර ක්‍රියාත්මක හා අක්‍රිය කිරීම මඟින් මේ ඉල්ලුම හරියටම ගැලපිය යුතුය. උදාහරණයක් ලෙස මෙගාවොට් 10කින් සැපයුම වැඩිකිරීමට මෙගාවොට් 70ක ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කර ක්‍රියාත්මකව තිබූ මෙගාවොට් 60ක ජනක යන්ත්‍රයක් අක්‍රිය කිරීම වැනි දෙයක් කරන්නට සිදුවිය හැකිය.


ලංකාවේ ලබාදෙන විදුලියේ සංඛ්‍යාතය 50කි. වෝල්ටීයතාව 230කි. රට තුල භාවිතා කරන ගෘහ විදුලි උපකරණ මෙන්ම කර්මාන්ත සඳහා යොදාගන්නා යන්ත්රෝපකරණද සාදා ඇත්තේ මේ සංඛ්‍යාතයට, වෝල්ටීයතාවයට සහ තවත් සංකීර්ණ තාක්ෂණික තත්ත්වයන් සමඟ ගලපමිනි. ඒ නිසා, සපයන විදුලිය සම්මත තත්ත්වයේ නොපැවතුනොත් මේ උපකරණ වලට හානි වීමේ සිට කාර්යක්ෂමතාව අඩුවීම දක්වා අවාසි සිදුවිය හැකිය. පවතින ඉල්ලුමට වඩා සැපයුම වැඩි වූ විට ජනක යන්ත්‍ර ත්වරණය වීම නිසා (සාමාන්‍ය වේගයට වැඩියෙන් කැරකීම නිසා) විදුලියේ සංඛ්‍යාතය 50 ඉක්මවයි. ඉල්ලුම වැඩි වුවිට සංඛ්‍යාතය අඩුවේ. මා දන්නා තරමින් විදුලිබල මණ්ඩලය උත්සාහ කරන්නේ මේ සංඛ්‍යාතය 49.5-50.5 අතර පවත්වා ගැනීමටය. මෙවැනි පරාසයක් ඇත්තේ සැපයුම හරියටම පාලනය කළ නොහැකි නිසාය.

විදුලිබල පද්ධතියක් විශාල වූ තරමට එය ස්ථාවරව තබාගැනීම වඩා පහසු වේ. එවිට, ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කළ විට එක් වර ඇතිවන බලපෑම විශාල ප්‍රදේශයක බෙදීයයි. ඇමරිකාව වැනි ඉතා විශාල ලෙස විදුලිය පරිභෝජනය කරන ලංකාව මෙන් සිය ගුණයකටත් වඩා විශාල රටකද (ඇලස්කාව හා හවායි හැර) ජාතික විදුලි බල පද්ධතිය පළමුව තනි පද්ධති තුනක් ලෙස වෙන වෙනමත්, දෙවනුව එක් පද්ධතියක් ලෙසත් සම්බන්ධ කර ඇත්තේ ඒ නිසාය. ලංකාව වැනි කුඩා රටක විදුලි ජනක යන්ත්‍ර සියල්ල සම්බන්ධ කළද එය සාපේක්ෂව කුඩා පද්ධතියක් බැවින් එහි සමතුලිතතාව රැකගැනීම පහසු කටයුත්තක් නොවේ.


මෙය කරන්නේ එක් තැනකිනි. එහි සේවය කරන ඉංජිනේරුවරු පැය විසි හතර පුරාම එහි රැඳී සිටිමින් අවශ්‍ය පරිදි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට හා අක්‍රිය කිරීමට දිවයින පුරා පිහිටි විදුලි බලාගාරවල සිටින ඉංජිනේරුවන්ට  උපදෙස් දෙති. ඉල්ලුම සැපයුම කළමනාකරණය කරන්නේ ඒ අයුරිනි.

කෙසේවුවද, මේ ඉල්ලුම් සැපයුම් කළමනාකරණය මීට වඩා බොහෝ සංකීර්ණ කටයුත්තකි. ඉල්ලුම සහ සැපයුම පවතින්නේ එකම ප්‍රදේශයේ නොවන නිසා විදුලිය සම්ප්‍රේෂණය කිරීමේදී බලශක්ති හානියක් සිදුවේ. ලංකාවේ මෙසේ සිදුවන තාක්ෂනික හානිය මුළු නිෂ්පාදනයෙන් 10% පමණ වේ. කොළඹට විදුලිය සපයන විට හානිය අඩුය. යාපනයට සපයන විට ඉතා වැඩිය. එමෙන්ම, මෙසේ සම්ප්‍රේෂණය කිරීමේදී වෝල්ටීයතාව අඩුවේ. ජව සාධකය (power factor) වැනි වෙනත් තත්ත්වයන්ද පැවතිය යුතු තත්ත්වයෙන් පිට පනී. ඒ නිසා, රටේ කොතන හෝ ඇති ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කර විදුලිය සැපයිය නොහැකිය. රට පුරා වෝල්ටීයතාවය හා ජව සාධකය අවශ්‍ය මට්ටමේ තබා ගනිමින් එය කළ යුතුය. මෙය පහසු නැත.

ඉහත ආකාරයේ තාක්ෂනික කරුණු වලට අමතරව ආර්ථික සාධක ගැනද සැලකිලිමත් වීමට සිදුවේ. ජල විදුලිය ඒකකයක් නිපදවීමට යන වියදම රුපියල් 1-1.50 පමණ වුවත් ගල් අඟුරු වලින් විදුලි ඒකකයක් නිපදවීමට රුපියල් 9-10 පමණත් ඩීසල් වලින් නිපදවීමට රුපියල් 15 පමණත් (මා සිතන පරිදි දැනට ඇති අඩු ඉන්ධන මිල ගණන් යටතේ) වැය වේ. එමෙන්ම, විදුලිය නිපදවීම සඳහා ජලය ප්‍රයෝජනයට ගැනීමේදී කෘෂිකාර්මික අවශ්‍යතා ගැනද සැලකිලිමත් වීමට සිදුවේ. මහවැලි සංකීර්ණය වැනි සංකීර්ණ වල ඉහල රඳවා ඇති ජලය ක්‍රමයෙන් පහළට ගෙන එමින් කිහිප වරක්ම ප්‍රයෝජනයට ගන්නා බැවින් ඒ රටා ගැනද සැලකිලිමත් විය යුතුය. මේ සියල්ල කිරීම තබා එහි සංකීර්ණත්වය ඒ පිලිබඳ දැනුමක් නැති දේශපාලනඥකුට හෝ සාමාන්‍ය පුද්ගලයෙකුට පහදා දීම වුවද පහසු කටයුත්තක් නොවේ.


කිසියම් හේතුවක් නිසා සමස්ත විදුලිබල ධාරිතාව සමස්ත විදුලිබල ඉල්ලුමට වඩා අඩුවූ විට විදුලිය කප්පාදු කිරීමට සිදුවේ. මෙහිදී කරන්නේ රටේ කිසියම් ප්‍රදේශයක විදුලිය කපා හැරීම මඟින් සමස්ත ඉල්ලුම අඩුකර සැපයුම සමඟ ගැලපීමයි. මුළු රටේම එක් වර විදුලිය නොකපන්නේ එසේ කිරීමෙන් අවශ්‍ය කටයුත්ත සිදු නොවන නිසාය.

කිසියම් හේතුවකින් පද්ධති බිඳවැටීමක් සිදුවූ විට ක්ෂණිකවම ඉල්ලුම සැපයුම වෙනස් වේ. මෙවැනි අවස්ථාවකදී සිදුවන හානිය අවම කරගැනීම සඳහා වහාම ජනක යන්ත්‍ර එකක් හෝ කිහිපයක් ස්වයංක්‍රීයව අක්‍රිය වන පරිදි ජාතික විදුලිබල පද්ධතියක් සැලසුම් කෙරේ. බිඳවැටීමේ බලපෑම ඉතා විශාලනම් සමස්ත පද්ධතියම ක්ෂණිකව අක්‍රිය විය හැකිය. 2003 අගෝස්තුවේදී සිදු වූ මෙවැනි පද්ධති බිඳ වැටීමකින් ඊසානදිග ඇමරිකාවේ හා කැනඩාවේ ප්‍රාන්ත ගණනාවක වැසියන්ට පැය ගණනක් අඳුරේ සිටීමට සිදුවිය. 2011 දී
ඇමරිකාවේ බටහිර වෙරළ තීරයේ ප්‍රාන්ත ගණනාවකද මෙවැන්නක් සිදුවිය. 2012 ජූලි මාසයේ ඉන්දියාවේ සිදුවූ මෙවැනි පද්ධති බිඳ වැටීමකින් මුළු උතුරු ඉන්දියාවටම අඳුරේ සිටින්නට සිදුවිය. ලෝක ජනගහණයෙන් 9%ක් අඳුරේ තැබූ මේ පද්ධති බිඳ වැටීම මෙතෙක් ලොව සිදුවූ විශාලම පද්ධති බිඳ වැටීමයි.

ලංකාවේ පද්ධති බිඳ වැටීමට මුල් වූ කරුණ කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද යන්න ගැන සැලකිලිමත් විය යුතුය. කෙසේවුවද, එක් තැනෙක සිදුවූ බිඳ වැටීමක් නිසා රටේම විදුලිය නැතිවීම අසාමාන්‍ය තත්ත්වයක්නම් නොවේ. මෙසේ වූ විට, ජනක යන්ත්‍ර සියල්ලම එක් වර ක්‍රියාත්මක කළ නොහැකිය. පද්ධතියේ සමතුලිතතාව පවත්වාගනිමින් එකින් එක ක්‍රමානුකූලව ක්‍රියාත්මක කළ යුතුය. ඒ සඳහා යම් කාලයක් ගතවන නමුත් පැය නවයක් වැනි විශාල කාලයක් ගතවීමනම් තේරුම් ගැනීමට අපහසුය. 



(Image: http://www.ndtv.com/world-news/sri-lanka-suffers-worst-blackout-in-20-years-1286782)

Thursday, January 14, 2016

ඉරාන තෙල් සහ ඉරාන ඩොලර්

මේ ලිපිය පළවන මොහොත වන විට ඉරානය විසින් අරක් න්‍යෂ්ඨික ප්‍රතිකාරකය ගලවා ඉවත් කර අදාළ ස්ථානය කොන්ක්‍රීට් දමා වසා අවසන් විය යුතුය. මේ බව ජාත්‍යන්තර පරමාණු බලශක්ති අධිකාරිය විසින් තහවුරු කිරීමෙන් පසුව ඉරානයට එරෙහි ආර්ථික සම්බාධක ලිහිල් කිරීම සඳහා අවශ්‍ය අවසන් කටයුත්තද සිදුව ඇති බැවින් ඔවුන්ට නැවතත් ජාත්‍යන්තර බොරතෙල් වෙළඳපොළට ඇතුළු වීමටත්, ඩොලර් බිලියන 100ක් පමණ විය හැකි විදෙස් බැංකු වල ඇති ඔවුන්ගේ සංචිත ප්‍රයෝජනයට ගැනීමටත් අවස්ථාව ලැබෙනු ඇත.

සම්බාධක ඉවත් වුවද ඉරානයට ඇතුළු වීමට ලැබෙන්නේ වසර තුනහමාරකට පෙර ඔවුන්ව ඉවත් කරනු ලැබූ වෙළඳපොළටම නොවේ. ඒ වන විට ඩොලර් 100 ඉක්මවා ඉහළ ගොස් තිබුණු බොරතෙල් බැරලයක මිල මේ ලිපිය ලියන මොහොත වන විට (13 බදාදා) ඩොලර් 30 මට්ටමෙන්ද පහතට වැටී ඇත. මෙවැනි අඩු මිලක් අවසාන වරට පැවතියේ 2004 වසරේදීය.

කෙසේ වුවද, ඉරානය පවසන්නේ සම්බාධක ඉවත් කෙරුණු වහාම බොරතෙල් නිෂ්පාදනය වැඩි කරන බවයි. ප්‍රශ්නය ඇත්තේ මේ වැඩි වන නිෂ්පාදනයට සිදුවන්නේ කුමක්ද යන්නයි.

ඉරානය ජාත්‍යන්තර බොරතෙල් වෙළඳපොළෙන් ඉවත්ව සිටි කාලය තුල ලෝක තෙල් සැපයුම බොහෝ සේ වැඩි විය. මේ වන විට සමස්ත ලෝක තෙල් නිෂ්පාදනය සමස්ත ලෝක තෙල් ඉල්ලුමට වඩා වැඩිය. බොරතෙල් මිල එන්න එන්නම පහළ වැටෙන්නේ මේ නිසාය. මුලින් ඉරානය විසින් තෙල් සැපයූ වෙළඳපොළවල් මේ වන විට වෙනත් රටවල් විසින් අත්පත් කරගෙන හමාරය. මේ නිසා ඉරානය හමුවේ ඇති අභියෝගය සුළුපටු නොවේ. කෙසේ වුවද, තමන්ගේ පෙර පැවති වෙළඳපොළවල් නැවතත් අල්ලාගත හැකි බව ඉරානයේ විශ්වාසයයි.

ඉරානයට සම්බාධක පනවන විට ලංකාවේ බොරතෙල් අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම වාගේ සැපයුනේ ඉරානයෙනි. එයට හේතුවක් තිබුණේය. එය තාක්ෂණික හේතුවකි. ලංකාවට ඇත්තේ එකම එක තෙල් පිරිපහදුවකි. සපුගස්කන්දේ ඇති, දිනකට බොරතෙල් බැරල් 50,000ක් පිරිපහදු කළ හැකි මේ තෙල් පිරිපහදුව සීරුමාරු කර ඇත්තේ ඉරාන තෙල් පිරිපහදු කිරීමටය.

බොරතෙල් කියා කතාවට කිවුවත් හැම බොරතෙලම සමාන නැත. ඒවායේ සංයුතියේ වෙනස්කම් තිබේ. පිරිපහදු සාදා ඇත්තේ යම් නිශ්චිත සංයුතියක් ඇති බොරතෙල් උපරිම කාර්යක්ෂමතාවයකින් පිරිපහදු කළ හැකි ආකාරයෙනි. එනම්, බොරතෙල් පිරිපහදු කිරීමෙන් ලබාගත හැකි පෙට්‍රල්, ඩීසල්, ගෑස් වැනි දේවල අනුපාතය වැඩිම ආර්ථික වටිනාකමක් ලැබෙන අනුපාතය වන ලෙසිනි. එක් බොරතෙල් වර්ගයක් පිරිපහදු කිරීමට සාදා ඇති පිරිපහදුවක් උපයෝගී කරගෙන වෙනත් බොරතෙල් වර්ගයක් පිරිපහදු කළ විට මේ අනුපාත විශාල ලෙස වෙනස් වේ. සමස්තයක් වශයෙන් සිදුවන්නේ ලබාගත හැකි අවසන් නිෂ්පාදන පරිමා විශාල ලෙස අඩුවීමයි.

මෑතකදී ඇමරිකාව විසින් කලක් පැවති බොරතෙල් අපනයන තහනම ඉවත් කිරීමටද මේ කරුණ හේතුවිය. ඇමරිකාවේ පිරිපහදු බොහොමයක් සවුදි ආරාබිය ප්‍රධාන මැදපෙරදිග බොරතෙල් පිරිපහදු කිරීමට සීරුමාරු කර ඇත. ඒ නිසා ඇමරිකාවේ නිපදවන ශල්ක තෙල් පිරිපහදු කිරීමට මේවා සුදුසු නැත. ඒ නිසා, ඇමරිකාවේ කොතරම් ශල්ක තෙල් නිපදවූවත් මැදපෙරදිගින් බොරතෙල් ආනයනය කිරීමට සිදුවේ. එමෙන්ම, ඇමරිකාවේ පිරිපහදු කළ නොහැකි අතිරික්ත බොරතෙල් අපනයනය කිරීම අඩු කාර්යක්ෂමතාවක් යටතේ පිරිපහදු කිරීමට වඩා වාසි සහගතය.

ලංකාව විසින් ඉරානයෙන්ම බොරතෙල් ආනයනය කිරීමට දෙවන හේතුවක්ද තිබුණේය. ඒ ආසියානු නිෂ්කාශන සංගමයේ ක්‍රියාකාරිත්වයයි. ආසියානු නිෂ්කාශන සංගමය යනු සමඟි පෙරමුණු රජය සමයේ ලංකාව ඇතුළු කලාපයේ බොහෝ රටවල් මුහුණ පෑ ගෙවුම් ශේෂ ප්‍රශ්න වලට විසඳුමක් ලෙස ඇති කරගත් යාන්ත්‍රණයකි. මුලින්ම, 1974දී මෙය අරඹන විට දකුණු ආසියානු කලාපයේ ඉන්දියාව, පකිස්ථානය, ලංකාව, නේපාලය හා ඉරානය මෙහි සාමාජික රටවල් විය. පසුව, දකුණු ආසියානු කලාපයේ ඉතිරි රටවල් වූ බංග්ලා දේශය, මියන්මාරය, භූතානය සහ මාල දිවයිනද එක් විය.

මේ යාන්ත්‍රනය අනුව, ආසියානු නිෂ්කාශන සංගමයේ සාමාජික රටවල් ඔවුනොවුන් සමඟ ආනයන අපනයන කිරීමේදී වහාම මුදල් ගෙවිය යුතු නැත. ඒවා ගිණුම් වල සටහන් කර ගෙවීම් සහ ලැබීම් එකිනෙක අවලංගු කිරීමෙන් පසුව මාස දෙකකට වරක් ඉතිරිවන ශුද්ධ ශේෂය පමණක් ගෙවීම මේ යටතේ සිදුවේ. ලංකාව හා ඉරානය ගත් විට ලංකාව ඉරානයෙන් විශාල ලෙස තෙල් ගෙන්වූවද, තේ ටිකක් හැරුණු විට අප විසින් ඉරානයට මහ දෙයක් යැවුවේ නැත. මේ නිසා, ප්‍රායෝගිකව මේ යාන්ත්‍රනය නිසා අපට අප ගෙන්වන බොරතෙල් වලට මාස දෙකක් දක්වා කාලයක් යන තුරු මුදල් නොගෙවා සිටීමේ හැකියාව ලැබුණේය.

ඉරානයට සම්බාධක පැනවීමත් සමඟම අපට මේ වාසි දෙකම නැති විය. මුලින්ම මේ සුවිශේෂී තත්ත්වය සලකා අපට තවදුරටත් ඉරානයෙන් තෙල් ගෙන්වීමට ඉඩකඩක් සපයා තිබුණත් පසුව ඒ සහනයද ඉවත් කෙරිණි. ඇත්තටම ඊට පෙරම අපට ඉරානයෙන් තෙල් ප්‍රවාහනයට නැව් සමාගම් අකැමැති වීමේ ප්‍රශ්නයට මුහුණ දෙන්නට සිදු විය. ඒ අනුව, පසුගිය කාලයේදී සවුදි අරාබිය, අබුඩාබි වැනි වෙනත් රටවලින් තෙල් ආනයනය කිරීමට ලංකාවට සිදුවී තිබුණේය. මේ තෙල් පිරිපහදු කිරීමෙන් ලබා ගත හැකි 'ඵලදාව' (yield) 20%කින් පමණ අඩු බව සඳහන් වී තිබුණි.

ඉරාන තෙල් නැවත ලැබීම ලංකාවට හොඳ ප්‍රවෘත්තියකි. අනෙක් අතට, තමන්ගේ පෙර පැවති වෙළඳපොළක් වෙත නැවත ප්‍රතිෂ්ඨ වීමට ලැබීම ඉරානයටද වාසියකි.

මේ අල්ලපනල්ලේ ලංකාව ඉරානය සමඟ තවත් ඩීල් එකක් දාගෙන තිබේ. ඒ අනුව, සපුගස්කන්ද තෙල් පිරිපහදුව විශාල කිරීමට අවශ්‍ය ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක මුදලින් 70%ක් ගෙවන්නට ඉරානය කැමති වී ඇත. පිරිපහදු පහසුකම් පුළුල් කළ පසු දැන් මෙන් දෙගුණයක්, එනම් දිනකට බොරතෙල් බැරල් 100,000ක් දක්වා පිරිපහදු කිරීමට පුළුවන.

පිරිපහදු පහසුකම් පුළුල් කිරීම හොඳ වැඩකි. එහෙත්, ඉරාන සල්ලි වලින් කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඉරාන තෙල්ම පිරිපහදු කළ හැකි අයුරින් මේ පුළුල් කිරීම සිදුකිරීම බව පැහැදිලිය. මෙතැනදීනම් වෙන්නේ බිත්තර සියල්ල එක කූඩයේ දැමීමකි. ඉරාන තෙල් වලටම ලංකාව හිර කර ගැනීම ඉරානයට වාසියකි. 100%ක්ම ඉරාන තෙල් මතම යැපෙන එකම රට ලංකාවයි.

අනෙක් අතට, තර්කානුකුලව බැලූ විට, මේ මුදල් දෙනවා කීවාට ඇත්තටම ප්‍රායෝගිකව වෙන්නේ මේ මුදලට හරියන ප්‍රමාණයට, දිගුකාලීනව මුදල් පියවිය හැකි පරිදි තෙල් ලැබීමයි. මේ අනුව, පැරණි වෙළඳපොළට නැවතත් පහසුවෙන් ඔලුව දමා ගැනීමට හැකි වීමේ වාසියද ඉරානයට ලැබේ. ඉරානය තමන්ට අවාසිදායක තත්ත්වයන් යටතේ වුවත් දෙපැත්තකින්ම වැඩේ ගොඩ දාගෙන තිබේ.

ලංකාව මේ වෙලාවේ සිටින තත්ත්වය අනුව මේ තීරණය තේරුම් ගත හැකිය. බිලියන 1.5කින් 70%ක් යනු ඩොලර් බිලියනයකි. රවී කරුණානායක සඳහන් කළ බව පැවසෙන ඩොලර් බිලියනයේ ආයෝජනය ඇතැම් විට මෙය විය හැකිය. මේ වෙලාවේම මේ බිලියනය හැර වෙනත් බිලියන්ද තිබේනම් එය සැබෑවටම අහඹු සිදුවීමකි. ඩොලර් බිලියනයක් කියන්නේ රුපියල සෑහෙන කලකට ස්ථාවර කර ගත හැකි මුදලකි.

කෙසේවුවද, රුපියල වැටීම මහා ලොකු ආර්ථික ප්‍රශ්නයක් නොවේ. එය අත්‍යවශ්‍ය නිවැරදි වීමකි. සැබෑ ප්‍රශ්නය රුපියල වැටීමට හේතුවන පදනමයි. අපේ ශරීරය වෛරසයක් සමඟ සටන් කරන විට ශරීර උෂ්ණත්වය වැඩි වන්නේ වැඩි උෂ්ණත්වයේදී මේ සටන වඩා කාර්යක්ෂමව සිදුවන නිසාය. ඒ නිසා එවැනි වෙලාවක උණ පොඩ්ඩක් තිබීම අවසාන වශයෙන් හොඳ දෙයකි.

ගෙවුම් ශේෂ ප්‍රශ්නය හා අදාලව පරණ දොස්තරලා වගේම අලුත් දොස්තරලාත් බෙහෙත් හොයන්නේ රෝග ලක්ෂණ වලට මිස රෝග නිධාන වලට නොවේ. බිලියනයකින් හෝ දෙකකින් මේ වෙලාවේ වැඩේ ගොඩ දාගන්නට පුළුවන. එහෙත්, ඉරානයෙන් ණය ගත්තත්, වෙනත් විදේශ ආයෝජකයෙකුගෙන් ගත්තත් අවසානයේදී ගෙවන්නට වෙන්නේ පොලියත් සමඟය.

Wednesday, December 23, 2015

තෙල් මිල ඉහළ යයිද?

ඒ හැත්තෑව දශකයේ මුල් කාලයයි. ඉරානයේ ෂා පාලනයට එරෙහිව සෝවියට් උදවු ලබන වාමාංශික ගරිල්ලා කණ්ඩායම් එක් පසෙකිනුත්, ඉස්ලාම් මුලධර්මවාදී කණ්ඩායම් තවත් පසෙකිනුත් කඳවුරු බඳිති. එවකට ඉරානය පාලනය කළ මොහොමඩ් රෙෂා පාලවී ෂා රජුට මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධවත්, දූෂණ සම්බන්ධවත් චෝදනා ඉදිරිපත් වී ඇත. ඇමරිකාවේ නිවු යෝර්ක් ටයිම්ස් පුවත්පතේ වාර්තාකරුවෙකු රෙෂා ෂා සමඟ සාකච්ඡාවකය.

"ඔබ සිතන පරිදි ඉදිරියේදී ලෝක තෙල් මිල ඉහළ යයිද?"

"පැහැදිලිවම ඉහළ යනවා! අනිවාර්යයෙන්ම!! දැන් ඔබ අපට විකුණන තිරිඟු වල මිල පසුගිය කාලයේ තුන් ගුණයකින් වැඩිකළා. එතකොට සීනි? සිමෙන්ති? ඒවත් එහෙමයි. දැන් ඔබ අපේ බොර තෙල් කුණු කොල්ලෙට මිල දී අරගෙන ඒවා පිරිපහදු කරලා හදන දේවල් අපෙන් ගත් මිල වගේ සිය ගුණයකට නැවත අපටම විකුණනවා. මේ වැඩේ සාධාරණද? දැන් ඉඳලවත් ඔබ අපේ තෙල් වලට වැඩිපුර ගෙවිය යුතුයි. ඔවු, අඩු ගානේ දහ ගුණයක්වත් වැඩියෙන්..."

මේ කාලයේදී ඉරානය ලෝකයේ දෙවන විශාලතම බොරතෙල් අපනයනකරු වූ අතර ඇමරිකාව සමඟ ඉතා යහපත් රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවන් පවත්වාගනිමින් සිටි රටකි. එසේනම්, රෙෂා ෂාගේ මේ බැලූ බැල්මටම ඇමරිකන් විරෝධී ආස්ථානයට හේතුව කුමක්ද?

ඇතැම් විට මෙතෙක් කලක් බටහිර රටවල් විසින් තමන්ව රවටනු ලැබුවායැයි ඔහු සිතුවා විය හැකිය. එසේ නැත්නම්, ඇමරිකාවෙන්ද තමන්ට එල්ල වී ඇති මානව හිමිකම් සහ දූෂණ චෝදනා සම්බන්ධව ඔහුගේ අප්‍රසාදය පළකළා විය හැකිය. මේ දෙකටම වඩා, ඇමරිකන් ගැත්තෙකු ලෙස තමන්ට රට තුළ ඇලවී ඇති ලේබලය ඉවත් කර ගැනීම සඳහා ගැලරියට කතා කළාද විය හැකිය. කෙසේ වුවද, රෙෂා ෂාගේ මේ වචන වලින් පෙන්වන්නේ දේශපාලනයේදී සදාකාලික සතුරන් හෝ මිතුරන් නොමැති බවයි. මෙය අදටද වලංගු කරුණකි.

රෙෂා ෂාගේ ඉහත අදහස් දැක්වීමට හේතුව කවරක් වුවද ඔහුගේ වචන තුළින් එළියට ආවේ අරාබි රටවල් ප්‍රමුඛ තෙල් අපනයනය කරන රටවල් බොහොමයක එවකට පැවති ජනප්‍රිය මතයයි. මේ වචන යතාර්ථයක්  බවට පත්වන්නේ ඊශ්‍රායලය සහ අරාබි රටවල් අතර යොම් කිපූර් යුද්ධය ඇරඹීමත් සමඟය. මේ අවස්ථාවේදී ඇමරිකාව ඇතුළු බටහිර රටවල් රැසකට බොරතෙල් අපනයනය කිරීම සම්පූර්ණයෙන්ම වැළැක්වීමට අමතරව සයදින යුද්ධයේදී විසින් ඊශ්‍රායලය විසින් අත්පත් කරගත් බිම් පෙදෙස් සියල්ල ආපසු ලබාදෙන තුරු සිය තෙල් නිෂ්පාදනය මසකට 5% බැගින් අඩු කිරීමටද ගල්ෆ් කලාපයේ පිහිටි ඔපෙක් රටවල් තීරණය කළේය.

මෙසේ පැනවූ සම්බාධක පස් මසකින් පසු ඉවත් කෙරෙන විට ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකන් ඩොලර් 3 සිට 12 දක්වා සිවු ගුණයකින් ඉහළ ගොස් අවසන්ය. මිල ඉහළ ගියද පෙට්‍රෝලියම් ඉන්ධන සඳහා ඇති ඉල්ලුම ක්ෂණිකව අඩු නොවේ. මේ නිසා මේ කාලය තුළ තෙල් අපනයනය කරන රටවල ආදායමද විශාල ලෙස ඉහළ ගියේය.

තමන්ගේ තෙල් සංචිත වල දේශපාලන අවියක් වශයෙන් ඇති වටිනාකම අරාබි රටවල් විසින් හරියටම තේරුම් ගත්තේ මේ 1973 සම්බාධක වලින් පසුවය. සම්බාධක පැවති කාලය තුළ බොරතෙල් නිෂ්පාදනය 25%කින් අඩු කිරීමට මේ රටවලට හැකි විය. බහුජාතික සමාගම් හරහා ලෝක තෙල් වෙළඳපොළේ බටහිර රටවල් සතු වූ ආධිපත්‍යය කෙමෙන් ගිලිහී අරාබි රටවල් අතට පත් වෙද්දී බටහිර විරෝධය සමඟ එක්ව ඉස්ලාම් මූලධර්මවාදය හිස ඔසවන්නට විය. ඉරානයේ ෂා පාලනය බිඳ වැටුණු අතර අයතොල්ලා කොමෙයිනි විසින් නැවතත් ඉරානය ඉස්ලාමීය රාජ්‍යයක් බවට පත් කළේය.

මැද පෙරදිග කලාපයට ගලා ආ තෙල් සල්ලි ආයුධ මිල දී ගැනීම වෙනුවෙන් විශාල ලෙස වැය කෙරුණු අතර පසුකාලීනව කලාපයේ ඇතිවූ ගැටුම් රැසකදී  මේ ආයුධ ප්‍රයෝජනයට ගැනිණි. එමෙන්ම, ඉස්ලාම් ධර්මය පිලිබඳ සවුදි අරාබි අර්ථකථනය ඉදිරිපත් කෙරෙන වහාබ්වාදය ලොව පුරා පැතිරවීම සඳහා එදා මෙදා තුර විශාල මුදලක් වැය කෙරුණු අතර මෙය තවමත් සිදුවෙමින් පවතින්නකි. ආචාර්ය යුසුෆ් බට්ට අනුව වහාබ්වාදය ප්‍රචලිත කිරීම සඳහා සවුදි අරාබිය විසින් පසුගිය දශක තුන තුළ වඩා දුප්පත් මුස්ලිම් රටවල් වෙත පොම්ප කර ඇති මුදල ඇමරිකන් ඩොලර් බිලියන 100 ඉක්මවන අතර ඇතැම් විට එමෙන් දෙගුණයක් වුවද විය හැකිය. මේ මුදල සමඟ සැසඳීමේදී 1921-1991 අතර වසර හැත්තෑවක කාලය තුළ සෝවියට් දේශය විසින් ලොවපුරා කොමියුනිස්ට්වාදය පැතිරවීම සඳහා වැය කර ඇතැයි ඇස්තමේන්තු කර ඇති ඇමරිකන් ඩොලර් බිලියන 7ක පමණ මුදල සොච්චමකි. මේ මුදල් පකිස්ථානය තුළ වැය කෙරෙන ආකාරය විකිලීක්ස් මඟින් එළිදරවු කර ඇති, මෙහි ඇති කේබල් පණිවුඩයේ විස්තර කෙරේ. එහි අවසානය දක්වා කියවුවහොත්  වහාබ්වාදය පැතිරවීමට සවුදි අරාබියට ඉඩ හැරීම සැබෑ ඇමරිකන් අපේක්ෂාව නොවන බව පැහැදිලිය.

ඇමරිකන් දේශපාලනික අපේක්ෂාවන් තුළ බොහෝ විට ඇත්තේ දිගුකාලින ආර්ථික අපේක්ෂාවන්ය. ලොව පුරා  වහාබ්වාදය හෝ බටහිර සංස්කෘතියට තර්ජනයක් විය හැකි වෙනත් මතවාදයක් පැතිරෙනු දැකීම ඇමරිකානු අපේක්ෂාවක් වීම පිළිගත හැකි තර්කයක් නොවේ. එහෙත්, ඇමරිකන් ආර්ථිකය දිවවීමට අවශ්‍ය ඉන්ධන වැඩිපුරම ඇත්තේ සංස්කෘතිකව හෝ දේශපාලනිකව ඇමරිකන් විරෝධී රටවල් සතුවය. මේ නිසා කලින් කලට ඇමරිකාව මෙවැනි ඇතැම් රටවල් සමඟ උපක්‍රමික දේශපාලනයක යෙදේ. මෙසේ කෙටිකාලින වාසි තකා ගන්නා ඇතැම් ක්‍රියාමාර්ග වලින් දිගුකාලිනව සිදුවී ඇති අවාසි පිලිබඳ නිදසුන් ඉතිහාසය තුළ නොඅඩුව දැකිය හැකිය. කවුරුත් දන්නා මේ දේවල් ඇමරිකන් ප්‍රතිපත්ති සම්පාදකයින් නොදන්නවායැයි යමෙක් සිතනවානම් එතරම් මෝඩකමක් තවත් තිබිය නොහැකිය. ඒ නිසා පිළිගත හැකි තර්කයක් වන්නේ මෙවැනි තාවකාලික උපක්‍රමික සංධාන පවත්වාගැනීමට ඇමරිකාවට අවශ්‍ය වන්නේ ඇමරිකාවේ දිගුකාලීන අරමුණු ඉටුකරගන්නා තාක් පමණක් බවයි.

ඇමරිකන් ඉන්ධන අවශ්‍යතා සහ නිෂ්පාදන හැකියාවන් අතර පරතරය දශක ගණනාවක් තිස්සේ ඇමරිකාවට කෙටිකාලීන විසඳුම් සෙවිය නොහැකි වූ ප්‍රශ්නයකි.  එහෙත්, අඩුම වශයෙන් අඩසියවසක පමණ සිට ඇමරිකාව විසින් මේ ජාතික ප්‍රශ්නයට විසඳුම් සොයමින් සිටියේය. උතුරු ඇමරිකාව තුළ ඇති සම්ප්‍රදායික ඛනිජ තෙල් සංචිත මේ වන විට මුළුමනින්ම පාහේ නිරාවරණය කරගෙන අවසන්ය. ඒ නිසා, මේ ගැටළුවට සාම්ප්‍රදායික විසඳුමක් තිබුණේ නැත. දශක ගණනාවක පර්යේෂණ වලින් අනතුරුව මේ වන විට ඇමරිකාව සාර්ථකව ප්‍රයෝජනයට ගන්නා හයිඩ්‍රෝලික් විභේදන තාක්ෂණය (Hydraulic fracturing) සහ එමඟින් නිපදවන ශල්ක තෙල් (shale oil) මේ ප්‍රශ්නයට ඇමරිකාව සොයාගත් විප්ලවීය විසඳුමකි. එක් අතකින් මේ ක්‍රමයට අළුතින් කැණීම් අට්ටාලයක් ඉදිකිරීමට ගතවන කාලය සහ වැයවන පිරිවැය සම්ප්‍රදායික තාක්ෂණයට සාපේක්ෂව ඉතා අඩුය. අනෙක් අතින්, උතුරු ඇමරිකාවේ මේවන විට සොයා නොගත් සම්ප්‍රදායික තෙල් සංචිත නොමැති වුවත් ශල්ක තෙල් සංචිත 'ඕනෑ තරම්' තිබේ. මේ සංචිත තව බොහෝ කලකට ප්‍රමාණවත්ය.

ලෝකයේ බොරතෙල් අපනයනය කරන රටවල් අතර පෙරමුණේම සිටින්නේ සවුදි අරාබිය සහ රුසියාවයි. ඉන්පසුව පිළිවෙලින්, ඉරානය, ඉරාකය, නයිජීරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන මුස්ලිම් රටවල්ද ඇන්ගෝලාව සහ වෙනිසියුලාවද සිටී. මේ රටවල් බොහොමයක ආර්ථිකයන් විශාල ලෙස විවිධාංගීකරණය වී නොමැති අතර බොහෝ දුරට බොරතෙල් අපනයනයෙන් ලැබෙන ආදායම මත රඳා පවතී. තෙල් මිල පහත වැටීම මේ රටවල ආර්ථිකයන්ට මරු පහරකි.

අනෙක් අතට, තෙල් ආනයනය කරන රටවල් අතර පෙරමුණේම සිටින්නේ ඇමරිකාවයි. ඉන් පසුව සිටින්නේ නැගීගෙන එන රටවල් වන චීනය සහ ඉන්දියාව, ජපානය, දකුණු කොරියාව සහ ජර්මනිය, ඉතාලිය, ප්‍රංශය, නෙදර්ලන්තය වැනි බටහිර යුරෝපීය රටවල්ය. මේ රටවල ආර්ථිකයන්ට තෙල්මිල පහත වැටීම විශාල පාරිතෝෂිකයකි. මෝටර්රථ නිෂ්පාදනය වැනි තෙල් මිල අඩුවීමෙන් වාසි ලැබිය හැකි නිෂ්පාදන කර්මාන්ත වලින් ඉදිරියෙන් සිටින්නේද මේ රටවල්ය.

මේ බෙදීම තුළ, තෙල් මිල පහත යාමෙන් බටහිර රටවල් බොහොමයකට සැලසෙන්නේ වාසියකි. සම්ප්‍රදායික බටහිර විරෝධී රටවල් බොහොමයකට සැලසෙන්නේ අවාසියකි. කෙසේ වුවද, කැනඩාව සහ නොර්වේ වැනි ඇතැම් බටහිර රටවලටද තෙල් මිල පහත වැටීම අවාසියකි.

පසුගිය දෙවසර තුළ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල විශාල ලෙස පහත වැටුණේ ඇමරිකාවේ බොරතෙල් නිෂ්පාදනය විශාල ලෙස වැඩි වූ නිසාය. හයිඩ්‍රෝලික් විභේදන තාක්ෂනය උපයෝගී කරගනිමින් ඇමරිකාව විසින් විශාල ලෙස ශල්ක තෙල් නිෂ්පාදනය කිරීමේ හේතුවෙන් මේ වන විට බොරතෙල් නිෂ්පාදනය අතින් සවුදි අරාබිය සහ රුසියාව අභිබවමින් මුල් තැනට පැමිණීමට ඇමරිකාවට හැකි වී තිබේ. ඒ සමඟම ලෝක බොරතෙල් නිෂ්පාදනය සමස්ත ලෝක පරිභෝජනය ඉක්මවීම නිසා නිපදවෙන බොරතෙල් වලින් සංචිත පිරෙමින් පවතී. මේ වන විට බොරතෙල් බැරලයක මිල ඩොලර් 34 මට්ටම දක්වා අඩු වී ඇති අතර මෙය වසර නවයකින් දක්නට නොලැබුණු අඩු මිලකි.

පවතින තත්ත්වය යටතේ තෙල් මිල ඉහළ නැංවීමටනම් සමස්ත ලෝක බොරතෙල් නිෂ්පාදන පරිමාවේ අඩුවක් සිදුවිය යුතුය. හේතු කිහිපයක් නිසා ඇමරිකාව විසින් මෙය කිරීම සිදුවිය නොහැක්කකි. පළමුව, මේ වන විට ලෝකයේ විශාලතම තෙල් නිෂ්පාදකයා බවට පත් වී සිටියද ඇමරිකාව තවමත් තෙල් ආනයනය කරන රටකි. දේශීය තෙල් නිෂ්පාදනය ඉහළ නංවා ගැනීම හැටේ දශකයේ පටන්ම ඇමරිකානු අභිලාෂයකි. දෙවනුව, සමස්තයක් වශයෙන් තෙල්මිල අඩු මට්ටමක පැවතීම ඇමරිකානු ආර්ථිකයට වාසිදායකය. තෙවනුව, ඇමරිකාවේ තෙල් නිෂ්පාදනයට ඇමරිකානු රජයේ සම්බන්ධයක් නැත. ඒ නිසා ඇමරිකානු රජයට අවශ්‍ය වුවද තෙල් නිෂ්පාදනය සීමා කිරීම අසීරු කටයුත්තකි.

අනෙක් අතින් මේ අවස්ථාවේදී සවුදි අරාබිය හෝ රුසියාව බොරතෙල් නිෂ්පාදනය සීමා කළහොත් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම නිසා ඇමරිකාවේ ශල්ක තෙල් නිෂ්පාදනය තවදුරටත් දිරි ගැන්වී දැනට මේ රටවල් විසින් පාලනය කරන තෙල් වෙළඳපළවල් ඇමරිකන් සමාගම් මඟින් අල්ලා ගැනීමේ ඉඩකඩක් පවතී. එසේ වුවහොත් පාඩු දෙකක් සිදුවේ. මේ නිසා සවුදි අරාබිය හෝ රුසියාව තවමත් සිය බොරතෙල් නිෂ්පාදන පරිමා පහත හෙලීමට කටයුතු කර නැත. කෙසේ වුවද, මේ රටවල් දෙක අතරින් සවුදි අරාබියේ බොරතෙල් නිෂ්පාදන පිරිවැය ඉතාම අඩු නිසා ඔවුන්ට මේ අඩු මිල ගණන් යටතේත් තව දුරටත් කිසියම් ලාභයක් ලැබීමට බැරිකමක් නැත. එහෙත්, රුසියාවට ඒ වාසියද නැත. ඒ නිසා නිෂ්පාදන සීමා කිරීමේ හැකියාව ඇත්තටම ඇත්තේ සවුදි අරාබියට පමණි.

ඔපෙක් සංවිධානය මඟින් සාමාජික රටවලට තෙල් නිෂ්පාදන කෝටා නියම කර තිබියදී ඇතැම් රටවල් වංචා සහගත ලෙස මේ සීමාවන් ඉක්මවීම හැමදාමත් සිදුවූ දෙයකි. මෙවැන්නක් සිදුවන විට මෙතෙක් කල් සවුදි අරාබිය විසින් කළේ එසේ වැඩිපුර නිෂ්පාදනය කරන ප්‍රමාණය වෙනුවෙන්ද තමන්ගේ නිෂ්පාදනය අඩු කිරීමෙන් කෙසේ හෝ මිල මට්ටම පවත්වා ගැනීමයි. එහෙත්, මෙවර සවුදි අරාබිය කරන්නේ වෙනත් ක්‍රීඩාවකි.

මේ අවස්ථාවේ ඇමරිකාව සහ සවුදි අරාබිය අතර ඇත්තේ ගල උඩ සටනකි. ශල්ක තෙල් නිෂ්පාදනය කිරීමේ ආන්තික පිරිවැය සාම්ප්‍රදායික ක්‍රම වලින් බොරතෙල් නිෂ්පාදනය කිරීමේදී දැරිය යුතු පිරිවැයට වඩා විශාලය. සම්ප්‍රදායික ක්‍රමයට බොරතෙල් නිෂ්පාදනය කිරීමේදී ආරම්භක ප්‍රාග්ධනය ඉතා විශාල වුවත් මේ ප්‍රාග්ධනය වැය කිරීමෙන් අනතුරුව ඉතා අඩු ආන්තික පිරිවැයක් වැයකරමින් දශක ගණනාවක් පුරා බොරතෙල් නිපදවිය හැකිය. ශල්ක තෙල් කැනීම් අට්ටාලයකින් කාර්යක්ෂම ලෙස බොරතෙල් නිපදවිය හැක්කේ වසර කිහිපයක් පමණි. ඒ නිසා ශල්ක තෙල් නිෂ්පාදකයින්ට දිගුකාලීන ලාභයක් ලැබීමට නිරතුරුවම අළුත් කැණීම් අට්ටාල ඉදිකිරීමට සිදුවන අතර එසේ කිරීම ලාභදායක වීමට බොරතෙල් මිල සැලකියයුතු ඉහළ මට්ටමක තිබිය යුතුය. කෙසේ වුවද, ඇමරිකාවේ ශල්ක තෙල් නිෂ්පාදන තාක්ෂණය තවදුරටත් දියුණු වෙමින් පවතින අතර ඒ සමඟ ශල්ක තෙල් නිෂ්පාදන පිරිවැයද ක්‍රමයෙන් පහත වැටේ.

මිල මට්ටම පහත තබා ගැනීමෙන් සවුදි අරාබිය අපේක්ෂා කරන්නේ ඇමරිකාවේ ශල්ක තෙල් නිෂ්පාදකයින් වෙළඳපොළෙන් ඉවත් කිරීමටය. මේ වන විට සවුදි අරාබිය ඔවුන්ගේ අරමුණ වෙත සෑහෙන දුරකට ලඟා වී සිටී. පසුගිය මාස කිහිපය තුළ ඇමරිකාවේ අළුත් ශල්ක තෙල් කැනීම් අට්ටාල ඉදිවීම විශාල ලෙස අඩුවී තිබේ. එහෙත්, මේ සඳහා සවුදි අරාබියටද විශාල වන්දියක් ගෙවීමට සිදුවේ. ඔවුන්ගේ බොරතෙල් නිෂ්පාදන පිරිවැය අඩු නිසා තවදුරටත් තෙල් වෙළඳාමෙන් ලාභ ලැබිය හැකි වුවත් මේ ලාභය සාමාන්‍යයෙන් ඔවුන් ලබන ලාභයට වඩා බොහෝ සේ අඩුය. අත දිග හැර තෙල් සල්ලි වියදම් කිරීමට පුරුදු වී සිටින සවුදි අරාබියට ඔවුන්ගේ වියදම් පිරිමසා ගැනීමට මේ අඩු ලාභය ප්‍රමාණවත් නැත. තෙල් මිල පහළ යද්දී සවුදි අරාබියේ අයවැය හිඟය ඉහළ යයි. ඒ නිසා මේ ක්‍රීඩාවෙන් අන්තිමේදී සවුදි අරාබිය පැරදෙන්නටත් බැරි නැත.

ඇමරිකාව සහ සවුදි අරාබිය අතර මේ ක්‍රමෝපායික ක්‍රීඩාවේ ජයග්‍රහණය කාට හිමි වේදැයි කියන්නට තවමත් කල් වැඩිය. ඒ කවුරු වුවද, තරඟයේ ජයග්‍රහකයා තීරණය වීමට පෙර රුසියාව ඇතුළු තෙල් අපනයනය කරන වෙනත් රටවල් රැසකටම පැරදෙන්නට වන බවනම් සහතිකය.

(Image: www.uncommonwisdomdaily.com)

Monday, December 21, 2015

ඇමරිකාවේ බොරතෙල් අපනයන තහනම ඉවතට!


ඇමරිකානු මුදල් ප්‍රතිපත්තියේ සුවිශේෂී හැරුම් ලක්ෂ්‍යයක් සටහන් කරමින්, පසුගිය බදාදා ෆෙඩරල් සංචිත බැංකුව දශකයකට පමණ පසු නැවතත් දැඩි මුදල් ප්‍රතිපත්තියක් කරා මාරුවිය. අනපේක්ෂිත එකක් නොවූ මේ ප්‍රතිපත්ති තීරණය ඉදිරි වසර තුළ ලෝකයේ බොහෝ රටවල විණිමය අනුපාතික, ප්‍රාග්ධන ප්‍රවාහ, බැඳුම්කර පොලී අනුපාතික, ගෙවුම් ශේෂ යනාදිය කෙරෙහි බලපෑමක් සිදු කරනු ඇත.

කෙසේ වුවද, මේ ප්‍රතිපත්ති තීරණය පසුගිය සතිය තුළ ඇමරිකාව විසින් ගත්, ලෝක ආර්ථිකයට දැනෙන තරමේ බලපෑමක් කළ හැකි, එකම ප්‍රතිපත්ති තීරණය නොවේ. පසුගිය සිකුරාදා (දෙසැම්බර් 18) හැන්දෑ වරුවේ ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා තවත් වැදගත් ලියවිල්ලකට සිය අත්සන යෙදුවේය. මේ සමඟ වසර හතළිහක පමණ කාලයක් පුරා ඇමරිකාවේ පැවති බොරතෙල් අපනයන තහනම ඉවත් කෙරිණි. මේ තීරණය මඟින් දිගුකාලීනව ලෝක තෙල් වෙළඳපොළ කෙරෙහි සිදුකරන බලපෑමට අමතරව අදාල තීරණයේ දේශපාලනික වැදගත්කමද නොසලකා හළ නොහැකිය.

ඇමරිකානු බොර තෙල් අපනයන තහනමේ පසුබිම් කතාව හැටේ දශකයේ මැද භාගය දක්වා දිව යයි. ලංකාව ඉංග්‍රීසින්ගෙන් නිදහස ලැබීමෙන් තෙමසකින් පමණ පසුව ඊශ්‍රායලයේ ස්වාධීනත්වය ප්‍රකාශයට පත් කෙරුණද බොහෝ රටවල් ඊශ්‍රායලයේ ස්වාධීනත්වය සෑහෙන කලක් යන තුරු පිළිගත්තේ නැත. විශේෂයෙන්ම, මැදපෙරදිග මුස්ලිම් රටවල් අතර රෝපණය කෙරුණු මේ එකම මුස්ලිම් නොවන රාජ්‍යය කිසිදා මුස්ලිමුන්ගේ ප්‍රසාදයට හේතු නොවීය.

හැටේ දශකයේ මැද භාගයේදී ජෝර්දාන් නදියේ ජල සම්පත් අරභයා ඊශ්‍රායලය සහ යාබද අරාබි රටවල් අතර ඇති වූ නොසන්සුන්තාවන් අවසානයේදී ඊජිප්තු ජනාධිපති ගමාල් අබ්දුල් නසාර් විසින් ඊශ්‍රායලයට එරෙහිව යුද ප්‍රකාශ කිරීමක් දක්වා දුරදිග ගියේය. මෙය අඬන්නට බලාසිටි ඊශ්‍රායලයට ඇහැට ඇඟිල්ලට ඇනීමක් වූ අතර, ඊජිප්තුව ප්‍රහාරයකට පිට පොට ගසද්දී, 1967 ජූනි 5 වන දින ඊශ්‍රායලය විසින් ක්ෂණිකව ඊජිප්තුවට ප්‍රහාරයක් එල්ල කලේ ඔවුන්ගේ සංග්‍රාමික ක්‍රමෝපායයන් අරාබි ජාතීන්ට වඩා ගවු ගණනක් දුරින් බව ලෝකයාට පෙන්වා දෙමිනි.

මේ සමඟම, අසල්වැසි ජෝර්දානය, සිරියාව සහ ඉරාකයද ඊජිප්තුවේ සහයට එක් වුණේ ඊශ්‍රායලය නැත්තටම නැති කර දැමීමේ අරමුණිනි. කෙසේ වුවද, වැඩි කල් නොඇදුණු 'සය දින සටන' ලෙස ප්‍රචලිත මේ සංග්‍රාමය 1967 ජූනි 10 දින සටන් විරාමයකින් නිමාවට පත් වූයේ ජෝර්දානය සතුව පැවති බටහිර ඉවුරත්, ඊජිප්තුව සතුව පැවති ගාසා තීරය සහ සීනායි අර්ධද්වීපයත්, සිරියාව සතුව තිබූ ගෝලාන් කඳුකර ප්‍රදේශයත් ඊශ්‍රායලය විසින් අත්පත් කරගනු ලැබීමෙනි. අරාබි ජාතීන්ට විශාල සංග්‍රාමික සහ දේශපාලනික පරාජයක් අත්කරදුන් මේ දින හයේ සටන අවසානයේ ඊශ්‍රායලය සතුව සටනට පෙර පැවති භුමි ප්‍රමාණය තුන් ගුණයකින් විශාල විය.

සය දින යුද්ධය අරඹා දිනකට පසු 1967 ජූනි 6 දින අරාබි ජාතීන් තවත් සුවිශේෂී තීරණයකට එළඹුනේය. ඒ ඊශ්‍රායලයට බාහිර උදවු ලැබීමට තිබුණු ඉඩකඩ වැළැක්වීමේ අපේක්ෂාවෙන් තෙල් අපනයනය කිරීම සීමා කිරීමයි. මෙහිදී ඇතැම් අරාබි රටවල් ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය වෙත තෙල් අපනයන සම්බාධක පැනවූ අතර තවත් රටවල් තෙල් අපනයනය කිරීම මුළුමනින්ම නැවැත්වීය. මේ සම්බාධක සෑම රටක් විසින්ම ඒකාකාරීව ක්‍රියාත්මක නොකළ බැවින් එයින් ඇමරිකාවට හෝ බ්‍රිතාන්‍යයට සැලකිය යුතු බලපෑමක් වූයේ නැත. මේ සම්බාධක අරාබි රටවල් විසින්ම තෙමසකට පසුව ඉවත් කෙරිණි.

කෙසේ වුවද, අරාබි රටවල් විසින් මෙසේ තෙල් අපනයන සම්බාධක පැනවීමට ගත් තීරණය ඇමරිකාව විසින් නොසලකා හැරියේ නැත. ලෝකයේ වැඩියෙන්ම ඉන්ධන පරිභෝජනය කරන, සිය ඉන්ධන අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් වෙනත් රටවලින් ආනයනය කරන ඇමරිකාවට ජාතික ඉන්ධන සංචිතයක් පවත්වා ගැනීමේ වැදගත්කම ගැන සිතන්නට මේ සිද්ධිය මඟින් පෙළඹවීමක් කළේය.

මේ අතර, විය යුතු පරිද්දෙන්ම, ඊජිප්තුව සහ සිරියාව ඇතුළු අරාබි රටවල් සිටියේ තමන්ට අහිමි වූ භුමි ප්‍රදේශ නැවත අත්පත්කරගැනීම සඳහා කල් මරමිනි. යුද අවි සපයන බටහිර රටවලට ඉන්ධන සම්බාධක පනවන බවට අරාබි රටවල් තර්ජනය කරන්නට විය. 1970 සැප්තැම්බරයේදී ගමාල් අබ්දුල් නසාර් මිය ගියේය. අන්වර් සදාත් ඊජිප්තු ජනාධිපති ධුරයට පත් විය. ඇමරිකාවේ ඉන්ධන අවශ්‍යතාවන් සීග්‍රයෙන් ඉහළ යමින් පැවතෙද්දී ඇමරිකානු තෙල් නිෂ්පාදනය පහත වැටෙමින් පැවතිණි. ලෝක තෙල් ඉල්ලුම ප්‍රධාන වශයෙන්ම සැපයුනේ අරාබි රටවලින් බැවින් තෙල් වෙළඳපොළ ස්ථාවරත්වය සඳහා අරාබි කලාපයේ සාමය වැදගත් විය. අරාබි රටවලට එරෙහිව පළමු ප්‍රහාරයක් ඇරඹීමෙන් වැළකෙන ලෙස ඇමරිකාව ඊශ්‍රායලයට තරයේ අවවාද කරන්නේ මේ පසුබිමේය.

මේ කාලය දක්වා පැවති අරාබි-ඊශ්‍රායෙල් සටන් සියල්ලම අවසන්ව තිබුණේ ඊශ්‍රායලයට ජයග්‍රහණය හිමි කර දෙමිනි. අරාබි හමුදා ශක්තියට සාපේක්ෂව අඩු හමුදා ශක්තියක් තිබුණු ඊශ්‍රායලයට මේ ජයග්‍රහණ අත්පත් කර ගැනීමට ප්‍රධාන වශයෙන්ම ඉවහල් වූයේ ඔවුන්ගේ සතුරාට වඩා ඉක්මන් වීමේ යුධ න්‍යායයි. මෙතෙක් පැවති සෑම අරාබි-ඊශ්‍රායෙල් යුද්ධයකට පෙරම ඊශ්‍රායෙල් මොසාඩ් රහස් ඔත්තු සේවයට සතුරාගේ මීළඟ පියවර අනුමාන කළ හැකි වූ අතර, ඒ අනුව හැම විටම සතුරාට පෙර ඉක්මන් වීමට ඊශ්‍රායලය පියවර ගත්තේය.

යොම් කිපුර් දිනය යුදෙව්වන්ගේ වැදගත්ම ආගමික උත්සවයකි. මෙය සබත් වල සබත ලෙස හැඳින්වේ. යුදෙවු දින දසුනේ සත්වෙනි මස දහවන දිනට යෙදෙන මේ ආගමික දිනයේදී යුදෙව්වෝ පැය විසිපහක කාලයක් උපවාස කරමින් යාඥා කරති. යුදෙව්වන්ගේ උපක්‍රම ඔවුන්ටම එරෙහිව ප්‍රයෝජනයට ගනිමින් ඊශ්‍රායලයට එරෙහිව ප්‍රහාරයක් එල්ල කිරීමට ඊජිප්තු ජනාධිපති අන්වර් සදාත්, සිරියානු ජනාධිපති හෆීස් අල්-අසාද් ඇතුළු අරාබි නායකයින් විසින් මෙවර තෝරා ගත්තේ 1973 වසරේ යුදෙව්වන්ගේ මේ ශුද්ධ වූ දිනයයි. මෙය මුස්ලිමුන්ගේ රාමසාන් මාසයේ දහවන දිනයද විය.

සිදුවීමට නියමිත මීළඟ යුද්ධයේදී තමන්ට ඇමරිකානු උදවු අවශ්‍ය වන බව ඊශ්‍රායලය දැන සිටියේය. මේ නිසා ඇමරිකාව නොසලකා හරිමින්, අරාබීන්ට පෙර  මුලින්ම ප්‍රහාරයක් එල්ල කිරීම මෙවර ඊශ්‍රායලය විසින් සිදු නොකළේය. අනෙක් අතින් මේ ප්‍රහාරය පිලිබඳ තොරතුරු මොසාඩ් ඔත්තු සේවය අතට පත්වීම වලක්වා ගැනීමට මෙවර අරාබි ජාතීන්ට හැකි විය. ඒ අනුව, යොම් කිපුර් යුද්ධය ලෙස හැඳින්වෙන, 1973 ඔක්තෝබර් මස සති තුනකට ආසන්න කාලයක් පුරා පැවති, අරාබි-ඊශ්‍රායෙල් යුද්ධයේ මුල් දින කිහිපය ඇතුළත ඊශ්‍රායලය පසුබස්වමින් සය දින යුද්ධයේදී තමන්ගෙන් ගිලිහුණු බිම්පෙදෙස් වලින් කොටසක් නැවත අත්පත් කරගැනීමට අරාබි රටවලට හැකි විය.

දින කිහිපයක් ඇතුළත ඊශ්‍රායලයට නැවතත් අරාබි හමුදා පසුපසට තල්ලු කිරීමට හැකි වුවත් මෙවර ඔවුන්ට අරාබීන්ව තීරණාත්මක ලෙස පරාජය කිරීමේ හැකියාවක් පෙනෙන්නේට නොතිබුණේය. කෙසේ වුවද, සිරියා-ඊජිප්තු හමුදා වලට සෝවියට් ආධාර ලැබෙද්දී, ඇමරිකාව ඊශ්‍රායලයේ උදවුවට ඉදිරිපත් විය. යොම් කිපුර් යුද්ධය එක්සත් ජාතීන් මුල් වූ යුද විරාමයකින් අවසන් වූ අතර මේ යුද විරාමය ඊශ්‍රායලය සහ අරාබි රටවල් අතර එකඟතාවයකට වඩා ඇමරිකාව සහ සෝවියට් දේශය අතර එකඟතාවක් වීයැයි කීම වඩා නිවැරදි විය යුතුය.

යොම් කිපුර් යුද්ධයේදී ඊශ්‍රායලය වෙත ආයුධ ලබාදෙමින් ඇමරිකාව විසින් සිදු කළ මැදිහත්වීමට විරෝධයක් ලෙසින් සහ පසුව පැවති සාම සාකච්ඡා වලදී වාසියක් ගැනීමේ අරමුණින් 1973 මැදදී ඔපෙක් රටවල් විසින් තෙල් මිල 70%කින් පමණ ඉහළ දැමීමත්, ඇමරිකාව ඇතුළු බටහිර රටවල් රැසකට තෙල් අපනයනය කිරීම වළක්වමින් සම්බාධක පැනවීමත් එකවර සිදු කළේය. 1974 මාර්තු මාසයේදී මේ සම්බාධක ඉවත් කෙරෙන තුරු ගත වුනු මාස පහක පමණ කාලය ඇමරිකාවට පසු කිරීමට සිදුවූ අමාරුම කාලයකි.

මේ කාලය වන විටත් විශාල ලෙස පෙට්‍රෝලියම් ඉන්ධන පරිභෝජනයට හුරු වී සිටි ඇමරිකානුවන්ට ඔපෙක් සංවිධානයේ රටවල් විසින් පැනවූ මේ බොරතෙල් අපනයන සම්බාධකය නිසා සිදු වූයේ පෙර නොවූ විරූ පීඩාවකි. ඉන්ධන මිල කිහිප ගුණයකින් ඉහළ යාමේ අවාසියට අමතරව, ඔවුන්ට සාමාන්‍යයෙන් නුපුරුදු, සලාක ක්‍රම, පෝලිම් සහ භාණ්ඩ හිඟයන් ඉන්ධන වෙළඳපොළ හා අදාලව ඇමරිකානුවන්ට මේ කාලය තුළ අත්දකින්නට සිදුවිය.

මේ අළුත් තත්ත්වය හමුවේ, ඇමරිකාව විසින් සිය ඉන්ධන සුරක්ෂිතතාව තහවුරු කරගැනීම උදෙසා වැදගත් ප්‍රතිපත්ති තීරණ රැසක් කරා යොමු විය. දශක හතරකට පෙර ඇමරිකානු කොන්ග්‍රසය විසින් සම්මත කර, 1975 දෙසැම්බර් 22 දින ජනාධිපති ජෙරල්ඩ් ෆෝඩ් විසින් සිය අත්සන යෙදීමෙන් සක්‍රිය වූ, බලශක්ති ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා පණත මඟින් මෙවැනි තීරණ රැසක් ක්‍රියාත්මක කිරීම ඇරඹුණේය. ඇමරිකාවේ නිෂ්පාදනය කෙරෙන බොර තෙල් අපනයනය කිරීම තහනම් කෙරුණේද මේ පණත මඟිනි.

පසුගිය සිකුරාදා ජනාධිපති ඔබාමා විසින් සිය අත්සන යෙදීමෙන් පසුව ඉවත් කෙරුණේ වසර හතළිහක් පුරා පැවති ඉහත කී තහංචියයි. ඒ සඳහා හේතු වූ කරුණු සහ එයින් ලෝක ආර්ථිකයට සහ දේශපාලනයට විය හැකි බලපෑම ගැන පසුව සාකච්ඡා කරමු.

(Image: www.economist.com)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...