වෙබ් ලිපිනය:

Showing posts with label සංක්‍රමණය. Show all posts
Showing posts with label සංක්‍රමණය. Show all posts

Wednesday, February 23, 2022

ඇමරිකාවට ආවහම ඉංග්‍රීසි පුළුවන් වෙනවද?

ඇමරිකානුවෙක් කිවුවහම බොහෝ දෙනෙකුගේ හිතේ මැවෙන්නේ ඇමරිකානු උච්ඡාරණයෙන් චතුර ලෙස ඉංග්‍රීසි කතා කරන, ක්‍රිස්තියානි ආගමක් අදහන, සුදු ජාතිකයෙක්. ගොඩක් ඇමරිකානුවෝ ඔය වගේ අය වුනත් හැම ඇමරිකානුවෙක්ම ඔය වගේ අය නෙමෙයි. ඇමරිකානුවන් කියා කියන්නේ සුදු ජාතිකයින් පමණක් නොවන බවත්, විවිධ ආගම් අදහන අය බවත් පෙන්වන්න ඇමරිකානු රජය වගේම ඇමරිකානු මාධ්‍ය විසින්ද සැලකිය යුතු උනන්දුවක් දක්වනවා. හැබැයි භාෂාව සම්බන්ධව ඔය උනන්දුව ඒ තරම් පෙනෙන්න නැහැ. 

සමහර විට ඇමරිකාව කියන වියමන එකලස්ව තියා ගන්න ආගම, හමේ පැහැය වගේ දේවල් වැදගත් නොවුනත් භාෂාව වැදගත් කියා ඇමරිකානු රජය ඇතුළු ඇමරිකාවට මග පෙන්වන්නන් විසින් හිතනවා වෙන්න පුළුවන්. ඇමරිකානු ඉතිහාසය දිහා බැලුවොත් ඇමරිකාවට සංක්‍රමණය වූ විවිධ භාෂා කතා කළ අයගෙන් පැවත එන්නන් ක්‍රමයෙන් ඉංග්‍රීසි කතා කරන්නන් බවට පත් වී ඇති බව පේනවා. මේ වැඩේ දැනුත් වෙනවා.

කොහොම වුනත් ඇමරිකාවේ හැම ගෙදරක්ම ඉංග්‍රීසි කතා කරන ගෙදරක් නෙමෙයි. අවුරුදු පහට වැඩි සෑම ඇමරිකානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු ගෙදරදී කතා කරන්නේ වෙනත් භාෂාවක්. 


ඇමරිකාවේ දෙවන ප්‍රධාන භාෂාව ස්පාඤ්ඤ භාෂාවයි. 2018 වසරේදී නිවසේදී ඉංග්‍රීසි හැර වෙනත් භාෂාවක් කතා කළ ඇමරිකානුවන් 67,268,668 දෙනෙකු අතරින් (ජනගහණයෙන් 21.9%ක්), 41,460,427 දෙනෙකු විසින් කතා කළ භාෂාව වූයේ ස්පාඤ්ඤ භාෂාවයි. 

ඇමරිකාවේ චීන හා ඉන්දියානු භාෂා කතා කරන පිරිස ඉතා වේගයෙන් වර්ධනය වෙනවා. 2018 වසරේදී මැන්ඩරින් බස කතා කළ ඇමරිකානුවන් ප්‍රමාණය 3,471,604ක්. මීට අමතරව තගලොග් (පිලිපීන), වියට්නාම්, අරාබි, ප්‍රංශ, කොරියන් යන එක් එක් භාෂා කතා කරන ඇමරිකානුවන් ප්‍රමාණයද මිලියනයකට වඩා වැඩියි. ඉන්දියානු භාෂා අතරින් 874,314 දෙනෙකු හින්දි බසත්, 485,373 දෙනෙකු උර්දු බසත්, 419,164 දෙනෙකු ගුජරාටි බසත්, 400,186 දෙනෙකු තෙලිඟු බසත්, 375,143 දෙනෙකු බෙංගාලි බසත්, 315,987 දෙනෙකු පන්ජාබි බසත්, 308,857 දෙනෙකු දෙමළ බසත් ගෙදරදී කතා කරනවා. 

වසර විස්සකට පමණ පෙර මිලියනයකට වඩා වැඩි ඇමරිකානුවන් පිරිසක් විසින් කතා කළ ඉතාලි හා ජර්මන් භාෂා භාවිතය මෙන්ම ප්‍රංශ භාෂාව කතා කරන ඇමරිකානුවන් ප්‍රමාණයද ක්‍රමයෙන් අඩු වෙමින් යන නමුත් ආසියානු භාෂා කතා කරන ප්‍රමාණයනම් වැඩි වනු මිස අඩුවන බවක් පෙනෙන්න නැහැ.

ඇමරිකානුවන් 39,538,223ක් (11.91%ක්) ජීවත් වන කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ජනගහණයෙන් 45%ක්ම ගෙදරදී කතා කරන්නේ ඉංග්‍රීසි නොවන භාෂාවක්. ඇමරිකානුවන් 29,145,505ක් (8.74%ක්) ජීවත් වන ටෙක්සාස් ප්‍රාන්තයේ ජනගහණයෙන් 36%කුත්, ඇමරිකානුවන් 21,538,187ක් (6.47%ක්) ජීවත් වන ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ජනගහණයෙන් 30%කුත්, ඇමරිකානුවන් 20,201,249ක් (5.86%ක්) ජීවත් වන නිවුයෝර්ක් ප්‍රාන්තයේ ජනගහණයෙන් 31%කුත් ගෙදරදී ඉංග්‍රීසි කතා කරන්නේ නැහැ. ඇමරිකානු ජනගහණයෙන් තුනෙන් එකක් ජීවත් වෙන්නේ ඔය ප්‍රාන්ත හතරෙන් එකක. 

ලංකාවෙන් පැමිණෙන සංක්‍රමණිකයින්ගෙන් වැඩි පිරිසක් පැලපදියම් වන්නේත් ජනගහණය වැඩි කැලිෆෝර්නියා, ටෙක්සාස්, ෆ්ලොරිඩා, නිවුයෝර්ක් වැනි ප්‍රාන්ත වලයි. එම ප්‍රාන්ත වල වුවද ප්‍රධාන නගර සංක්‍රමණිකයින්ගෙන් වැඩි පිරිසක් ආකර්ෂණය කර ගන්නවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාවේ විශාලම නගර වන ලොස් ඇන්ජලීස්හි ජනගහණයෙන් 59%ක්, නිවු යෝර්ක් නගරයේ ජනගහණයෙන් 49%ක් හා හූස්ටන් ජනගහණයෙන් 50%ක් ගෙදරදී ඉංග්‍රීසි කතා කරන්නේ නැහැ. 

ගෙදරදී ඉංග්‍රීසි කතා නොකරන ඇමරිකානුවන් අතරින් මිලියන 25.6කටම (38%කටම), ඔවුන් සිතන පරිදි, හොඳින් ඉංග්‍රීසි කතා කළ නොහැකියි. මීට අමතරව තමන්ට හොඳින් ඉංග්‍රීසි කතා කළ හැකියැයි සිතාගෙන සිටින තවත් සැලකිය යුතු පිරිසකටද ඇත්තටම හොඳින් ඉංග්‍රීසි කතා කළ නොහැකි විය හැකියි.

ලංකාව වැනි රටකින් ඇමරිකාවට සංක්‍රමණය වන අයෙකුට මුල් කාලයේදී ඇමරිකානු උච්ඡාරණය තේරුම් ගැනීම සැලකිය යුතු අභියෝගයක්. ලංකාවේ සිටියදී ඉතා හොඳින් හා නිතර ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කළ අයට පවා මේ අභියෝගයට මුහුණ දෙන්න සිදු වෙනවා. ඇමරිකානුවන්ට තේරෙන සේ කතා කිරීම තවත් අභියෝගයක්.

ඇමරිකාවට පැමිණීමෙන් පසුව, ඇමරිකානු උච්ඡාරණයට කණ හුරු වෙන්න වැඩි කලක් යන්නේ නැහැ. එහෙත්, ජීවිත කාලයම ඇමරිකාවේ සිටියත්, බොහෝ සංක්‍රමණිකයන්ට තමන්ගේ ඉංග්‍රීසි උච්ඡාරණයනම් වෙනස් කර ගන්න අමාරුයි. ලංකාවේදී ඉංග්‍රීසි භාවිතයක් එතරම් නොතිබුණු කෙනෙකුට මේ වැඩේ සාපේක්ෂව පහසුයි. එවැනි අය ඉංග්‍රීසි කතා කරන්න පුරුදු වෙන්නේම ඇමරිකානු උච්ඡාරණය සමඟයි. දෙමවුපියන් සමඟ කුඩා වයසෙන් ඇමරිකාවට සංක්‍රමණය වන දරුවන්ටත් මේ වාසිය තිබෙනවා.

රස්සාවක් කරගෙන ඇමරිකාවේ ජීවත් වීම සඳහා ඇමරිකානුවෙක් තරමට හොඳින් ඉංග්‍රීසි කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉංග්‍රීසි වලට වඩා වැදගත් කරන රස්සාව හරියට කරන එකයි. ඒ වැඩේට අවශ්‍ය තරමට ඉංග්‍රීසි පුළුවන් වීම හොඳටම ප්‍රමාණවත්. ඒ නිසා, ඇමරිකාවට ඇවිත් ස්ථාවර වුනාට පස්සේ සංක්‍රමණිකයෙක් තමන්ගේ භාෂා දැනුම ගැන එතරම් වද වෙන්නේ නැහැ. ජීවත් වෙන්නේ සංක්‍රමණිකයින් වැඩි පැත්තකනම් මේක කොහොමටවත්ම ප්‍රශ්නයක් නෙමෙයි.

හැබැයි සංක්‍රමණිකයින් වැඩි පැත්තක ජීවත් වෙද්දී වෙන විදිහක භාෂා ප්‍රශ්නයක් මතු වෙනවා. ලංකාවෙන් එන අය ඇමරිකානුවන් මෙන් ඉංග්‍රීසි කතා කරන්නේ නැතුවාක් මෙන්ම වෙනත් රටවල් වලින් එන අය ඉංග්‍රීසි කතා කරන්නෙත් ඔවුන්ටම ආවේණික උච්ඡාරණයකින්. ඉන්දියානුවන්ගේ "ර්" ගැනනම් ගොඩක් අය දන්නවා ඇතිනේ. චීන්නුන්ට, රුසියානුවන්ට, යුදෙවුවන්ට ආදී වෙනස් භාෂාවක් මවු බස කරගත් අයටත් ඔය වගේ අමුතු උච්ඡාරණ තියෙනවා. ඇමරිකාවේ සංක්‍රමණිකයින් වැඩි පැත්තක මිනිස්සු එක්ක නිතර සම්බන්ධ වෙන රැකියාවක් කරන කෙනෙකුට ඔය හැම ජාතියේම අය එක්ක ගනුදෙනු කරන්න වෙන නිසා ඒ අයගේ ඉංග්‍රීසිත් තේරුම් ගන්න බැරිනම් ප්‍රශ්නයක්. ටික කලක් ඇමරිකාවේ ජීවත් වුනාට පස්සේනම් දුරකථන ඇමතුමක් ආ විට වුවත් මේ කතා කරන්නේ සුද්දෙක්ද, කල්ලෙක්ද, චීනෙක්ද නැත්නම් ඉන්දියානුවෙක්ද කියා හිතා ගන්න පුළුවන්. 

ඇමරිකාවේදී රස්සාවකට බඳවා ගැනීමේදී වුවත් ඉංග්‍රීසි දැනුම ගැන හොයා බලන්නේ අදාළ රස්සාව කරගෙන යන්න අවශ්‍ය වන අවම ඉංග්‍රීසි දැනුමට සාපේක්ෂව පමණයි. ඇමරිකාව නියෝජනය කරන රාජ්‍ය තාන්ත්‍රිකයින් වැනි අයටනම් හොඳ ඉංග්‍රීසි භාෂා දැනුමක් නැතුවම බැරුවාක් මෙන්ම වෙනත් භාෂා දැන සිටීමද විශේෂ සුදුසුකමක් වෙනවා.


ඇමරිකාවේ නව ශ්‍රී ලංකා තානාපතිනිය සේ පත්ව ඇවිත් සිටින ජුලී ජියූන් චුංට ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවයට අමතරව ස්පාඤ්ඤ, ජපන්, කොරියන් හා කමියර් (කාම්බෝජයේ භාෂාව) යන භාෂාද කතා කළ හැකියි. ජුලී ජියූන් චුං කොරියාවේ සියෝල් නුවර ඉපිද කුඩා කාලයේදී ඇගේ දෙමවුපියන් සමඟ ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයට සංක්‍රමණය වූ තැනැත්තියක්. 

ජුලී ජියූන් චුංව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති සේ පත් කිරීමට යෝජනා කරන්නේ ජනාධිපති බයිඩන් විසින් වුවත්, ඒ ඇය බයිඩන්ගේ ඥාතියෙකු හෝ බයිඩන්ට කඩේ ගිය කෙනෙකු නිසා නෙමෙයි. ජුලී ජියූන් චුං ඇමරිකානු විදේශ සේවයෙහි අත්දැකීම් ඇති නිලධාරිනියක්. මෙවැනි තනතුරක් සඳහා ඇමරිකානු ජනාධිපති වරයාට නාම යෝජනා සිදු කළ හැකි වුවත්, එම නාම යෝජනා සෙනෙට් සභාවේ නාම යෝජනා කමිටුව විසින් අනුමත කළ යුතුයි. එසේ නැතුව තමන්ට අවශ්‍ය අයෙකු හිතුමනාපයට ලංකාව වැනි රටක තානාපති සේ පත් කර එවීමට හෝ බලයක් ඇමරිකානු ජනාධිපතිවරයාට නැහැ.

Friday, December 10, 2021

ඩොලරයක මිලෙන් නොවැසෙන ආර්ථිකයේ හෙළුව


ඇමරිකාවේ ශීත සෘතුව හා වසරාන්ත නිවාඩු කාලය එළැඹෙමින් තිබෙනවා. මේ නිවාඩු සමයේ දන්නා කියන කීප දෙනෙක්ම ලංකාවට යන්න සූදානමින් ඉන්නවා. වසංගත තත්ත්වය නිසා බොහෝ දෙනෙකුට පෙර දෙවසර තුළ ලංකාවට යන්න ලැබුණේ නැහැ. ඔමික්‍රෝන් නිසා අනාගතය පිළිබඳව තිබෙන්නේද අවිනිශ්චිත තත්ත්වයක්. ග්‍රීක හෝඩියේ අකුරු ඉවර වෙනකම් කෝවිඩ් ප්‍රභේද අලුතෙන් එන එක ඉවර වෙන එකක් නැහැ. 

ඇමරිකාවේ ඉන්න ගොඩක් අය ලංකාවට යන්න මේ කාලය තෝරා ගැනීම තේරුම් ගත හැකියි. ගුවන් ගමන්පත් මිල වුවත් සාමාන්‍ය වසරකදී තරම් වැඩි නැහැ. එහෙත්, සංචාරය කරන්නෙකු විසින් අනුගමනය කළ යුතු නියාමන රෙගුලාසි ගණනාවක් තිබෙනවා. පෞද්ගලිකව සංචාරයට කොයි තරම් ලැදි කෙනෙක් වුවත්, සංචාරය කිරීමේදී සැපිරිය යුතු විවිධ කොන්දේසි එක්ක රටින් එළියට යන එක ගැන මටනම් තවමත් හිතන්න අමාරුයි. රට ඇතුළේ වුවත් ගුවනින් යන ගමනකින් සතුටක් ලැබිය හැකි තත්ත්වයක් තවමත් නැහැ.

ඇමරිකාවේ සිට ලංකාවට යන අයට කොහොමටත් ලංකාවෙන් විවිධ ඉල්ලීම් එනවා. ගොඩක් වෙලාවට මේ වගේ ඉල්ලීම් එන්නේ සාමාන්‍යයෙන් ලංකාවෙන් පිට සංචාරය නොකරන, බොහෝ විට රටින් එළියට ගිහින්ම නැති, නෑදෑයන් වගේ අයගෙන්. පෙනෙන විදිහට දැන් මේ තත්ත්වයේ වෙනසක් වෙලා. ලංකාවට යන ගොඩක් අයට මෙවර විවිධ ඉල්ලීම් කර තිබෙන බව පෙනෙන්නේ සාමාන්‍යයෙන් නිතර රටින් පිට සංචාරයෙහි යෙදෙන ඉහළ මධ්‍යම පාංතික යහළු යෙහෙළියන් විසින්. ගොඩක් අයට අවශ්‍ය මිල අධික සුඛෝපභෝගී භාණ්ඩ. විශේෂයෙන්ම විවිධ සන්නාම වල සුවඳ විලවුන්, චර්මාලේප වගේ දේවල් හා පරිගණක උපාංග, ඉලෙක්ට්‍රොනික උපකරණ ආදිය. 

ගොඩක් අය කියන්නේ "සල්ලි ප්‍රශ්නයක් නැහැ. ඔය බ්‍රෑන්ඩ් එකම ගේන්න. ලංකාවට ආවහම සල්ලි දෙන්නම්" කියලා ලංකාවේ යාලුවෝ කියනවා කියලයි. ටික දවසකට ලංකාවට යන මේ ගොඩක් අයට දැන් තිබෙන ප්‍රශ්නය ලංකාවේදී ලැබෙන රුපියල් වලට කරන්නේ මොකක්ද කියන එකයි. සාමාන්‍යයෙන් ලංකාවට යන අය සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක් ලංකාවේදී රුපියල් වලට මාරු කරන නමුත් මෙවර මේ ගොඩක් අය එහෙම කරන එකක් නැහැ. ඉලෙක්ට්‍රොනික බඩු, රූපලාවන්‍යය සඳහා අවශ්‍ය දේ පමණක් නෙමෙයි. ඉස්සර ලංකාවෙන් ඇමරිකාවට එද්දී කහ කුඩු අරගෙන ආපු අය දැන් ලංකාවට කහ අරගෙන යනවා. මම හිතන්නේ කොළඹ අවට ඉන්න දෙමළ අයට එහෙම කහ නැතුවම බැරි දෙයක්. 

මේ යන අයට ඒ අයගේ ලංකාවේ යාලුවෝ රුපියල් දෙද්දී ඩොලර් එකකට කීය ගානේ රුපියල් දෙයිද? හොඳ ප්‍රශ්නයක් වුනත් පෞද්ගලික කරුණක් නිසා ආපසු ආවට පස්සේ ඔය වගේ දේවල් හාරා අවුස්සා අහන්න බැහැ. සමහර විට නිල අනුපාතය වන රුපියල් 200 බැගින් හෝ පොඩ්ඩක් වැඩියෙන් දෙයි. 

ලංකාවේ ඩොලර් සංචිත පිළිබඳ අලුත්ම තත්ත්වය ගැන කිහිප දෙනෙක් විසින්ම දැනුවත් කිරීම් කර තිබුණා. නොවැම්බර් අවසානය වෙද්දී නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 1,587 දක්වා පහත වැටිලා. මේ ගණනට රන් සංචිත සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇති වත්කම් ආදියත් ඇතුළත්. නොවැම්බර් මාසය තුළ පමණක් මහ බැංකුව විසින් ඩොලරයේ මිල තිබෙන මට්ටමේ තියා ගැනීම සඳහා ඩොලර් මිලියන 311ක් විකුණා තිබෙනවා. 

ඔක්තෝබර් මාසය අවසාන වෙද්දී මහ බැංකුවේ ශුද්ධ විදේශ බැරකම් ඩොලර් මිලියන 1,260ක් පමණ දක්වා ඉහළ ගිහින්. බැංකු පද්ධතියම ගත්තොත් ඩොලර් බිලියන 4,180ක පමණ හිඟයක් තිබෙනවා. නොවැම්බර් මාසය තුළ මේ තත්ත්වය තවත් දරුණු වී තිබිය යුතු බව පැහැදිලියි.

විණිමය අනුපාතය පාලනය කිරීම නිසා ශ්‍රමික ප්‍රේෂණ ලෙස ලැබෙන ඩොලර්ද විශාල ලෙස පහළ යමින් තිබෙනවා. මහ බැංකුව හදන්නේ මුදල් හුවමාරු කරන්නන් බය කර ඩොලරයේ කළු කඩ මිල පාලනය කරන්නයි. එයින් සිදු විය හැක්කේ කළුකඩය හරහා එන ඩොලර් වලින් කොටසක් අඩුවන එක පමණයි. ඩොලර් ඇති අය ඩොලර් රුපියල් නොකරන්නේ මිල සාධාරණ නැති නිසා. කළුකඩ විකල්පය නැති වුනා කියා මේ සල්ලි බැංකු පද්ධතියට එන්නේ නැහැ. යම් ප්‍රමාණයක් පමණක් එයි. බොහෝ විට එහි වාසියට වඩා ශුද්ධ ලෙස රටට ඩොලර් නොපැමිණීමේ පාඩුව වැඩියි. 

සංඛ්‍යාලේඛණ පිරික්සා නැතත් ලංකාවට එන සංචාරකයින්ගෙන් සැලකිය යුතු පිරිසක් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අය. විදේශයක පුරවැසිභාවය ලබාගත් අයෙක් සංචාරක වීසා මත රටට පැමිණෙන විට සංඛ්‍යාලේඛණ වල ඔවුන් පෙනෙන්නේ අදාළ රටෙන් පැමිණි සංචාරකයන් ලෙසයි. ඔවුන් වගේම ද්විත්ව පුරවැසියන්ද ලංකාවේ සංචාරය කරද්දී ඩොලර්, පවුම්, යුරෝ ආදිය අරගෙන ඇවිත් මාරු කරනවා. සංචාරක ඉපැයීම් වල මෙවැනි ලැබීම්ද සැලකිය යුතු කොටසක් තිබෙනවා. මා ලිපිය මුලින්ම විස්තර කළ තත්ත්වයන් යටතේ වෙන්නේ මෙවැනි ලැබීම් අහිමිව යාමයි. 

ඩොලරයේ මිල ස්ථිරව තියා ගන්න යාම නිසා ලංකාව විශාල වන්දියක් ගෙවා තිබෙනවා. වත්මන් අර්බුදයට පාදක හේතුව රජයේ අයවැය හිඟය වුවත් ආසන්නම හේතුව විදේශ ණය යොදවා ඩොලරයේ මිල පාලනය කිරීමයි. අයවැය හිඟය 1947 සිට පවතින ප්‍රශ්නයක් වුවත්, වත්මන් ඩොලර් හිඟයට හේතු වී තිබෙන අවුලේ ලංකාව පැටලුනේ 2010 වසරේදී. ඩොලරය 200 මට්ටමේ තියා ගන්නා තුරු සිදුවන්නේ විනාශය තවතවත් දරුණු වීම හා ඉක්මන් වීම පමණයි.

දැන්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ගොඩ දාගන්නවත් කාලයක් නැහැ. ලංකාවට ඉතා ඉක්මණින් ඉන්දියාවෙන්, චීනයෙන් හෝ බටහිර රටකින් ලොකු ඩොලර් ණයක් ගන්නම වෙනවා. ඉතිරිව තිබෙන සොච්චම් ඩොලර් ප්‍රමාණයෙන් ආර්ථිකයේ හෙළුව වහගෙන ඉන්න කොයි තරම් හැදුවත්, ඔය සොච්චම් ඩොලර් ටික පොඩ්ඩක් එහාමෙහා වූ විට කාලයක් තිස්සේ වහගෙන ඉන්න අවලස්සන දේවල් ඔක්කොම එළියේ!

(Image: https://cartoonmovement.com/cartoon/fistful-dollars-0)

Friday, October 22, 2021

ධනවාදයේ හා සුබසාධනවාදයේ දරුවා


පසුගිය ලිපි ගණනාවකම අවධානය යොමු කෙරුණේ ලංකාවේ ආර්ථිකය වෙතයි. ලංකාව ගැන එක දිගට කතා කරන්න යාම නිසා කතා කරමින් සිටි ඇතැම් මාතෘකා තරමක් දුරට මග හැරුණා. මෙම වියුණුවෙහි ලිපි ගණනාවකින් අප ධනවාදය ගැන කතා කළා. ධනවාදයෙහි කාර්යක්ෂමතාවය සමඟ තරඟ කළ හැකි වෙනත් විකල්පයක් නැති බව පැහැදිලි කළා. ධනවාදය තුළ නිෂ්පාදනය සඳහා දායක වන හැම දෙනෙකුටම තමන්ගේ ආන්තික ඵලදායීතාව ලැබෙන ආකාරය විස්තර කළා. 

එසේ වුවත්, ලෝකයේ කිසිම රටක පූර්ණ ධනවාදයක් නැහැ. හැම රටකම වගේ රජය විසින් යම් තරමකින් වෙළඳපොලට මැදිහත් වීමක් කරනවා. එහිදී කාර්යක්ෂමතාවය යම් තරමකින් කැප කරන්න සිදු වෙනවා. මෙය කරන්නේ ධනවාදය තුළ ළඟා කර ගත නොහැකි ඉලක්කයක් වන ආදායම් විෂමතා අවම කරන්නයි. ධනවාදය යටතේ හැම කෙනෙකුටම නිෂ්පාදනය සඳහා තමන්ගේ දායකත්වයට සරිලන ප්‍රතිලාභ ලැබෙන නමුත් එසේ ලැබෙන ප්‍රමාණයෙන් හැම කෙනෙකුගේම ජීවිත "අවශ්‍ය පමණ" සුඛිත මුදිත වන්නේ නැහැ. එවැන්නන් ගැන බලා ගන්න යම් ආකාරයක විකල්ප ක්‍රමයක් අවශ්‍ය වෙනවා.

මිනිස්සුන්ට ස්වභාවිකවම තමන්ගේ යහපත තකා කටයුතු කරන්න පෙළඹීමක් තිබෙනවා. ඊට අමතරව තමන්ගේ "වර්ගයාගේ" යහපත වෙනුවෙන් කටයුතු කිරීමේ පෙළඹීමක්ද තිබෙනවා. මේ දෙකේම පරිණාමීය වාසි තිබෙනවා. තමන්ගේ යහපත ගැන නොසිතීමේ චර්යාවකට පරිණාමීය පැවැත්මක් නැතුවාක් මෙන්ම, අනුන් ගැන කිසිසේත්ම නොහිතා තමන්ගේ යහපත ගැන පමණක් සිතීමද පරිණාමීය ලෙස වාසිදායක චර්යාවක් නෙමෙයි. ඔය දෙක අතර මනා සමතුලනයක් තිබිය යුතුයි.

ධනවාදී රටවල ජීවත් වන මිනිස්සුන්ටත් මේ ස්වභාවික මිනිස් ලක්ෂණය තිබෙනවා. තමන්ගේ ආන්තික ඵලදායීතාවය ලෙස අනෙක් අයට වඩා වැඩි ප්‍රතිලාභ ලබන බොහෝ දෙනෙක් එම ප්‍රතිලාභ වලින් කොටසක් වෙනත් අය සමඟ බෙදා ගන්න පැකිලෙන්නේ නැහැ. හැබැයි එහෙම වුනා කියලා හැම දෙනෙක්ම සතුටු වන්නේ නැහැ. තමන්ගේ ආන්තික ඵලදායීතාවය අඩු, එහෙත් අපේක්ෂාවන් ඊට වඩා වැඩි මිනිස්සු විශාල පිරිසක් ඕනෑම සමාජයක ඉන්නවා. සමහර වෙලාවට ඒ මිනිස්සු ඇති හැකි අය කැමැත්තෙන් තමන්ට දෙන දෙයකට වඩා දෙයක් ඔවුන්ගෙන් ලබා ගැනීම සඳහා සටන් කරනවා. 

මේ ආකාරයේ ඉල්ලීම් වරින් වර මතු වෙන එක නරක දෙයක් නෙමෙයි. හැම කෙනෙකුගේම ජීවිත "අවශ්‍ය පමණ" සුඛිත මුදිත නැති බව සමාජයේ වරප්‍රසාදිත කණ්ඩායම් වලට ඒත්තු යන්න ඉඳහිට හෝ මේ වගේ දේවල් වෙන්නත් ඕනෑ. ඒ වගේ ඉල්ලීමක් සාධාරණ බව කිසියම් සමාජයක බොහෝ දෙනෙකුට ඒත්තු ගිය විට එවැනි සමාජයක බහුතර කැමැත්තෙන් කාර්යක්ෂමතාවය අඩු වෙන යම් ක්‍රියාමාර්ග කරා යොමු වීමක් දැකිය හැකියි. මේ විදිහට කාර්යක්ෂමතාවය කැප කිරීමක් සිදු වෙන්නේ සමාජයක බහුතරය විසින් විශ්වාස කරන යම් ආකාරයක සමාජ සාධාරණත්වයක් වෙනුවෙන්. 

පූර්ණ ධනවාදයකට වඩා ආසන්න හැම රටකම වගේ හොඳ සුබසාධන යාන්ත්‍රණයක්ද ක්‍රියාත්මක වෙනවා. මේ හරහා කෙරෙන්නේ ධනවාදී තරඟය තුළ අසමත් වන කොටස් ගැන බලා ගන්න එකයි. එවැනි විකල්ප යාන්ත්‍රණයක් නැත්නම් ධනවාදී තරඟය තුළ පැරදෙන පිරිස් ක්‍රම විරෝධීන් බවට පත් වෙනවා. හැබැයි මේ ආකාරයේ සුබසාධන යාන්ත්‍රණයක් අදාළ සමාජයට දරාගත හැකි විය යුතුයි. එහි බරපැන දරන්න ප්‍රමාණවත් පිරිසක් නැතිව ගියොත් අවසාන වශයෙන් යහපතක් වෙනුවට සිදු වන්නේ අයහපතක්. ඒ නිසා, විෂමතා අවම කිරීම හා කාර්යක්ෂමතාවය නඩත්තු කිරීම අතර මනා සමතුලනයක් පවත්වා ගන්න වෙනවා. බටහිර රටවල ස්ථාපනය වී තිබෙන ද්වි පක්ෂ ක්‍රමය හරහා වෙන්නේ මේ වැඩේ.

අප කරගෙන ආ සාකච්ඡාව නැවැත්තුවේ මේ කරුණ ගැන විස්තර කරලා. සාකච්ඡාව නැවතුනේ පහත ලිපි වලින්.

ධනවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය

ද්විපක්ෂ ක්‍රමය

ධනවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය හා අතර සිදු වන මේ දෝලනය අස්සේ ජාතිකවාදයේ භූමිකාව මොන වගේ එකක්ද? ඊළඟට අපට කතා කරන්න තිබෙන්නේ මේ කරුණයි. මේ මාතෘකාව සඳහා පහත ලිපියෙන් ප්‍රවේශයක් ගත්තා. 

ජාතිකවාදී විකල්පය

මෙහිදී මම ජාතිකවාදය කියන එකෙන් මූලික වශයෙන්ම අදහස් කළේ ආර්ථික ජාතිකවාදයයි. ලංකාවේ ජාතිකවාදයේද ආර්ථික ජාතිකවාදී සංරචකයක් තිබුණත් එය ආර්ථික ජාතිකවාදය මත පාදක වූවක් නෙමෙයි. මම කතා කරන්න යන්නේ ධනවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය මත ගොඩනැගුනු බටහිර සමාජ වල ජාතිකවාදය පැන නැගුනේ කොහොමද කියන කාරණයයි. එයට වුවද විවිධ සාධක හේතු වන නමුත් මම අවධානය යොමු කරන්නේ ආර්ථික සාධක වෙතයි. 

මම දකින විදිහට මේ ආකාරයෙන් ආර්ථික ජාතිකවාදයක් ඉස්මතු වීම ධනවාදය සමඟ සුබසාධන ආර්ථිකයක් ක්‍රියාත්මක වෙද්දී අනිවාර්යයෙන්ම සිදු විය යුතු පරිණාමීය ප්‍රතිඵලයක්. ඒ ඇයි?

එහිම සෛද්ධාන්තික මූලික ස්වරූපය ගත්තොත් ධනවාදය දේශ සීමා කියා දෙයක් සලකන්නේ නැහැ. ඒ කියන්නේ ධනවාදය නෛසර්ගිකවම ජාත්‍යන්තරවාදීයි. දේශ සීමා කියා දෙයක් පවතිනවා කියා කියන්නේම වෙළඳපොළ කාර්යක්ෂමතාවය අඩු වෙනවා කියන එකයි. ඒ කියන්නේ වෙළඳපොළ දියුණු වීම හරහා අකාර්යක්ෂමතාවයන් අඩු වෙද්දී දේශ සීමා ඉරි මැකී යා යුතුයි.

මෙයින් වෙනස්ව සමාජවාදී ක්‍රමයකට පැවතිය හැක්කේම ජාතික රාජ්‍ය සීමාවන් ඇතුළේ. සමාජවාදයකට නෛසර්ගිකවම ජාත්‍යන්තරවාදී වෙන්න බැහැ. එවැන්නක් සෛද්ධාන්තිකව හෝ තිබිය හැක්කේ වෙළඳපොළ දියුණු වී ඒ හරහා ජාතික රාජ්‍ය වල වලංගු භාවය අහෝසි වී යාමෙන් පසුව ඇති විය හැකි දේශ සීමා නැති, පරිකල්පනීය ලෝකයක පමණයි. ඒ අතින් බැලුවොත් කවදා හරි එකපාරම ලෝක කම්කරු විප්ලවයක් කරන්න බලා ගෙන හිටපු (දැන් වුනත් අන්වීක්ෂයකින් බැලුවොත් අමාරුවෙන් හොයා ගත හැකි) ට්‍රොට්ස්කිවාදීන් හිතපු විදිහ හරි. (මෙයින් අදහස් කළේ ට්‍රොට්ස්කිවාදයේ පාදමේ තිබෙන මාක්ස්වාදයේ මූලික උපකල්පන නිවැරදියි කියන එක නෙමෙයි. එසේ නොවන බව ලිපි මාලාව තුළ කලින්ම පැහැදිලි කළානේ!)

සමාජවාදී ක්‍රමයක් නඩත්තු කරන්න අනෙක් මිනිස්සු වෙනුවෙන් හොඳ දේ තීරණය කළ හැකි "සාමාන්‍යයන් අතර අසාමාන්‍යයන්ගේ" කල්ලියක් අවශ්‍යයි. ජාතික රාජ්‍යයක් ඇතුළේ මේ භූමිකාව කරන්නේ රජය විසින්. රජය නඩත්තු වෙන්නේ අදාළ ජාතික රාජ්‍ය සීමාවේ සිටින මිනිසුන්ගේ ආන්තික ඵලදායීතාවයෙන් කොටසක් බලය යොදා උදුරා ගැනීම හරහා. සුබසාධනය කියා කියන්නේ ඒ උදුරා ගැනීම සාධාරණීකරණය කරන මෙවලමයි. මේ හරහා සමාජවාදී සමාජයක මිනිසුන් අතර සම්පත් බෙදී යාමේ විෂමතා අඩු කෙරෙනවා. සෛද්ධාන්තික ධනවාදයක ඒ වැඩේ වෙන්නේ නැහැ.

හැබැයි මෙවැනි රජයකට බලය යොදා උදුරා ගත හැක්කේ තමන්ගේ ජාතික රාජ්‍ය සීමාව තුළ සිටින මිනිසුන්ගේ  ආන්තික ඵලදායීතාවයෙන් කොටසක් පමණයි. එතැනින් එහා සිටින මිනිසුන්ගේ සම්පත් උදුරා ගැනීමේ හැකියාවක් සමාජවාදී රාජ්‍යයකට නැහැ. මේ හේතුව නිසා සමාජවාදී ජාතික රාජ්‍යයක් කොයි තරම් ජාත්‍යන්තරවාදී වෙන්න උත්සාහ කළත් වැඩි දුරක් යන්න කලින්ම ක්‍රමය තුළම පවතින නෛසර්ගික උගුලක හිර වෙනවා.

මෙය පැහැදිලි කර ගැනීම සඳහා අපි ජාත්‍යන්තරවාදී සමාජවාදයක් වෙනුවෙන් පෙනී සිටි සෝවියට් දේශය ගනිමු. ඔය වගේ ක්‍රමයක් ඇතුළේ සෛද්ධාන්තිකව ගත්තොත් ක්‍රියාත්මක වෙන්නේ යම් ආකාරයක රොබින් හුඩ් ක්‍රමයක්නේ. එය මතුපිටින් එලෙස පෙනීම හෝ නොපෙනීම වැදගත් කරුණක් නෙමෙයි. දැන් මේ ක්‍රමය ඇතුළේ දේශ සීමාව ඇතුළේ සිටින වඩා ඵලදායී මිනිසුන්ගේ වියදමින් අඩු ඵලදායීත්වයක් තිබෙන මිනිසුන්ව සුබසාධනය කෙරෙනවා. එය රටේ බහුතර මිනිසුන්ගේ කැමැත්ත සමඟ සමපාත වන තුරු මේ වැඩේ අවුලක් නැහැ.

දැන් මේ සමාජවාදය ජාත්‍යන්තරවාදී කරන්න ගියාම වෙන්නේ කුමක්ද? අපි හිතමු සෝවියට් රජය හිතන විදිහට සෝවියට් දේශයේ කම්කරුවෙකුට ලැබෙන වරප්‍රසාදම ලංකාවේ කම්කරුවෙකුටත් ලැබිය යුතුයි කියලා. එහෙම හිතනවානම්, සෝවියට් රජයට සෝවියට් කම්කරුවාව වගේම ලංකාවේ කම්කරුවාවත් සුබසාධනය කරන්න වෙනවා. හැබැයි මේ විදිහට සෝවියට් දේශයෙන් පිටත ඉන්න කම්කරුවෙකුව සුබසාධනය කිරීමේ පිරිවැය දරන්න වෙන්නේ සෝවියට් රාජ්‍ය සීමාව ඇතුළේම ඉන්න පිරිසකටයි. ලංකාවේ කාගෙන්වත් එහි වියදම අය කර ගැනීමේ හැකියාවක් සෝවියට් දේශයට නැහැ. ඒ කියන්නේ මෙවැනි ක්‍රමයක් ස්ථායී ක්‍රමයක් නෙමෙයි.

ඔය ක්‍රමය පවතින්නනම් සමාජවාදී රාජ්‍යයකට එකින් එක අනෙක් රටවල් ඈඳා ගන්නම වෙනවා. එසේ නැත්නම් නිල නොවන ලෙස එම සමාජවාදී රාජ්‍යයේම කොටසක් සේ පවතින පරිවාර රාජ්‍යයන් සේ පවත්වා ගන්න වෙනවා.සෝවියට් දේශය යම් දුරකට ඔය වැඩේ කළා. එහෙම කළත්, සමාජවාදී ක්‍රමයක පවතින නෛසර්ගික අකාර්යක්ෂමතාවය නිසා යා හැකි සීමාවක් තිබෙනවා. ඒ සීමාවට ආවට පස්සේ සෝවියට් ක්‍රමයේ සමාජවාදයකට පවතින්න බැහැ. 

ජාතික රාජ්‍ය සීමා තුළ සමාජවාදය ක්‍රියාත්මක කළ චීනය වගේ රටවල් වලට මේ ප්‍රශ්නයට මේ විදිහටම මුහුණ දෙන්න සිදු වුනේ නැහැ. ලෝකයේම සම්පත් බෙදී යාමේ විෂමතා අවම කිරීම ප්‍රායෝගිකව අසීරු වුවත් තමන්ගේ දේශ සීමාව තුළ ඒ වැඩේ කරන එක සාපේක්ෂව ඊට වඩා පහසු දෙයක්. මේ ක්‍රමය ඇතුළේත් සමාජවාදී ක්‍රමයක පවතින නෛසර්ගික අකාර්යක්ෂමතාවය තිබෙනවා. පසුකාලීනව චීනය විසින්නම් ඒ ප්‍රශ්නයටත් විසඳුම් හොයා ගත්තා.

සමාජවාදය තුළ තිබෙන මේ නෛසර්ගික ප්‍රශ්නය ධනවාදය තුළ නැතත්, ධනවාදය තුළ පවා සිදු වෙමින් තිබෙන්නේ ජාතික රාජ්‍යයන් වඩ වඩා ශක්තිමත් වීමක් බව පැහැදිලිව පෙනෙන්න තිබෙන කරුණක්. ඒ ඇයි?

ධනවාදය නෛසර්ගිකවම ජාත්‍යන්තරවාදීයි කියා මම කිවුවනේ. ඇත්තටම එය ඕනෑවට වඩා සරල ප්‍රකාශයක්. සෛද්ධාන්තිකව ධනවාදය කියන්නේ එකක් වුනත්, ධනවාදයකට ක්‍රියාත්මක විය හැක්කේ කිසියම් පොදු එකඟතා රාමුවක් තුළයි. නමුත්, ලෝකයේ හැම මිනිහෙකුටම අවිවාදිතව එකඟ විය හැකි මෙවැනි පොදු එකඟතා රාමුවක් නැහැ. ඒ නිසා, ධනවාදයක් ක්‍රියාත්මක වන නීතිද හැම විටම, හැම තැනම සමාන නැහැ. උදාහරණයක් විදිහට නිදහස් මිනිසෙක් කියන්නේ කවුද? හුවමාරු කළ හැකි භාණ්ඩයක් කියා කියන්නේ කුමක්ද? මේ වගේ දේවල් සම්බන්ධව නිරපේක්ෂ එකඟතාවන් තිබෙන්න අමාරුයි. මේ ප්‍රශ්නය පහත ලිපියේත් තරමක් දුරට සාකච්ඡා කර තිබෙනවා.

අපට නිදහස් කැමැත්තක් තිබේද?

සෛද්ධාන්තික ධනවාදයක් තුළ තිබිය යුතු වෙළඳපොළ කාර්යක්ෂමතාවය එලෙසම දැක ගන්න හැකි වෙන්නේ අදාළ ගනුදෙනු සිදු වන පද්ධතිය තුළ පොදු එකඟතාවයන් පවතින තරමටයි. ගනුදෙනුවක් කරද්දී තමන් මිල දී ගන්නා භාණ්ඩය කුමක්ද කියන එක ගැන මිල දී ගන්නා තැනැත්තාට නිසි අවබෝධයක් නැත්නම් කාර්යක්ෂමතාවය අඩු වෙන එක අහන්න දෙයක් නෙමෙයි. මේ සඳහා ගනුදෙනුවේ අනෙක් පාර්ශ්වය පිළිබඳ යම් විශ්වාසයක් තිබිය යුතුයි. ආගම්, සංස්කෘතිය, සදාචාර රාමු වගේ දේවල් වලින්ද මෙවැනි එකඟතාවන් බොහෝ දුරට ඇති කරන නමුත් නූතන ලෝකය තුළ ධනවාදයට ක්‍රියාත්මක විය හැකි පොදු එකඟතාවන් ඇති කිරීම බොහෝ දුරට සිදු වන්නේ නීති හරහා. මේ නීති ක්‍රියාත්මක වෙන්නේ ජාතික රාජ්‍ය සීමා තුළයි. 

ධනවාදය ක්‍රියාත්මක වන එකඟතාවන් හැම එකක්ම විශ්වීය එකඟතාවන් නොවන නිසා විවිධ ජාතික රාජ්‍ය සීමා ඇතුළේ පවතින මේ එකඟතා රාමුද එකිනෙකින් වෙනස්. ඒ වගේම, කිසියම් නිශ්චිත ජාතික රාජ්‍යයක් ඇතුළේ ක්‍රියාත්මක වන මෙවැනි එකඟතා රාමුවක් අදාළ ජාතික රාජ්‍ය සීමාව ඇතුළේ ජීවත් වන මිනිසුන්ගේ ආගමික විශ්වාස, සංස්කෘතිය, සදාචාර රාමු වැනි දේවල් මත පරායත්තයි. ඒ හේතුව නිසාම ආගමික විශ්වාස, සංස්කෘතිය, සදාචාර රාමු වැනි දේවල් අතින් වඩා සමාන ජාතික රාජ්‍ය අතර ධනවාදය ක්‍රියාත්මක වන එකඟතාවන්ද වඩා සමානයි. එවැනි රටවල් අතර සිදුවන වෙළඳපොළ ගනුදෙනුද වඩා කාර්යක්ෂමයි.

ධනවාදය විසින් නෛසර්ගිකවම ලාබය මිසක් ගනුදෙනුකරුවා කවුද කියන එක සලකන්නේ නැහැ. එහෙත්, ඇතැම් විට ධනවාදය ක්‍රියාත්මක වන නීති රාමුව තුළ එවැනි වෙනසක් තිබෙනවා. මෙයට හේතුව මිනිස්සු ස්වභාවිකවම උන්නතිකාමී හා පරාර්ථකාමී මිනිසුන් වනවාට අමතරව යම් තරමකින් ගෝත්‍රවාදීද වීම විය හැකියි. ගෝත්‍රවාදී වීමේද පරිණාමික වාසි තිබෙනවා. අඩු වශයෙන් යම් සන්දර්භ වල.

මිනිස් ඉතිහාසය දෙස ආපසු හැරී බැලුවොත් එය යම් ආකාරයක සංක්‍රමණිකයන්ගේ ඉතිහාසයක්. තමන්ට වැඩියෙන් කාර්යක්ෂම විය හැකි, වැඩියෙන් ඵලදායී විය හැකි, තැන් හොයා ගෙන ඉතිහාසය පුරාම මිනිස්සු සංචරණය වුනා. මේ වැඩේ මිනිස්සු වගේම අනෙක් සත්තුත් කරන දෙයක්. හැබැයි එයින් අදහස් වෙන්නේ මේ වැඩේ ප්‍රතිරෝධයක් නැතිව සිදු වුනා කියන එක නෙමෙයි. වැට පැනලා වෙනත් පිරිසකගේ ගෝත්‍රික සීමාවට ඇතුළු වූ වහාම ගැටුමක් ඇති වෙන එක බොහෝ විට නොවැලැක්විය හැකියි. නූතන ලෝකයේ ජාතික රාජ්‍යයන් විසින් කරන්නේ මේ ගෝත්‍රික සීමා වඩාත් පැහැදිලි ලෙස සලකුණු කිරීමේ කාර්යය භාරයයි. ඒ අනුව, කලාතුරකින් හැර, මිනිහෙක් ඉපදෙන්නේම කිසියම් ජාතික රාජ්‍යයක පුරවැසියෙක් ලෙසයි.

නූතන ලෝකයේ එක්  ජාතික රාජ්‍යයක පුරවැසියෙකුට, කලාතුරකින් හැර, තමන්ට කැමති වෙලාවක වෙනත් ජාතික රාජ්‍යයක පුරවැසියෙක් වෙන්න බැහැ. බොහෝ වෙලාවට අඩු ගානේ වෙනත් ජාතික රාජ්‍යයක සීමාව ඇතුළට අඩිය තියන්නත් බැහැ. ධනවාදී පරමාදර්ශ අනුව බැලුවොත් මෙය කිසිසේත්ම පැවතිය හැකි හොඳම තත්ත්වය නෙමෙයි. එහෙමනම්, වෙළඳපොළ විසින් මේ ක්‍රමය වෙනස් නොකරන්නේ ඇයි?

ජාතික රාජ්‍යයක පුරවැසියන්ට වඩා ඵලදායී ලෙස නිෂ්පාදන කාර්යයට දායක විය හැකි වෙනත් රටක පුරවැසියෙකුගෙන් එම රටේ පුරවැසියෙකු විස්ථාපනය කරන එක කාර්යක්ෂම වුනත්, මේ වැඩෙන් රටේ පුරවැසියෙකුට රස්සාව නැති වී නිකම්ම නිකමෙකු වෙන්න පුළුවන්. අපි නිකම් හිතමු ලංකාව වගේ රටක ශ්‍රම මූලික රැකියා කරන, අඩු ආදායම්ලාභීන් පිරිසකට නිදහසේ ඇමරිකාවට එන්න අවස්ථාව තිබුණා කියලා. මේ පිරිසට ඇමරිකාවට ආපු ගමන් එක පාරටම ලංකාවේ හිටියාට වඩා ගොඩක් ඵලදායී වෙන්න ඉඩ ලැබෙනවා. ඒ වගේම ඔවුන්ගේ ආන්තික ඵලදායීතාව ලෙස වැඩි ආදායමක් උපයන්න ලැබෙනවා. ඔය වැඩේ මහා පරිමාණයෙන් වුනොත් සාපේක්ෂව අකාර්යක්ෂම ඇමරිකානු ශ්‍රමිකයන් පිරිසකට රස්සා නැති වෙනවා.

ඔය ආකාරයෙන් අකාර්යක්ෂමතාවයට දඬුවම් ලැබීම ධනවාදය තුළ ප්‍රශ්නයක් සේ සැලකෙන්නේ නැහැ. එය ධනවාදී යාන්ත්‍රනයේම කොටසක්. හැබැයි මේ වැඩෙන් යම් පිරිසක් පෞද්ගලිකව ලොකු අමාරුවක වැටෙනවා. ඒ මිනිස්සුන්ට, ජීවත්වීම පිණිස "රට හැර යන්න" වෙනවා. 

ඇමරිකාව වැනි රටක මේ වැඩේ දිනපතාම වාගේ සිදු වෙනවා. හැබැයි මෙහිදී රට හැර යාම යන්නෙන් ඇමරිකාවේ ජාතික රාජ්‍ය සීමාවෙන් එළියට යාමක් අදහස් වෙන්නේ නැහැ. වඩා හොඳ රැකියා අවස්ථාවන් හොයා ගෙන තමන් උපන් පෙදෙසේ සිට සැතපුම් දහස් ගණන් දුර පෙදෙස් වෙත සිදුවන අභ්‍යන්තර සංක්‍රමණයනුයි බොහෝ විට සිදු වෙන්නේ. වැඩි වශයෙන් සිදු වෙන්නේ ගමෙන් නගරයට යාමක් වුවත්, එහි අනෙක් පැත්තත් දුලබම නැහැ.

ඔය විදිහට රට ඇතුළේම වෙන ප්‍රාන්තයකට හෝ නගරයකට සංක්‍රමණය වෙලා ජීවිතේ ගැට ගහගන්න පුළුවන් වෙන්නෙත් රට ඇතුළේ කොහේ හරි රැකියා අවස්ථාවන් තිබුණොත්නේ. එහෙමත් නැති වුනොත් මොකද වෙන්නේ? බාහිර සංක්‍රමණිකයන්ට සීමාවකින් තොරව රටට එන්න ඉඩ දුන්නොත් කොහොමත් ඔය වැඩේ සිදු විය යුතුයිනේ. 

අඩු ආදායම් රටක ශ්‍රමිකයෙකුට මේ වගේ වෙලාවක, අවස්ථාව ලැබෙනවනම්, ඉහළ ආදායම් රටකට සංක්‍රමණය විය හැකි වුවත්, වැඩි ආදායම් රටක ධනවාදී තරඟයෙන් පරාජය වන ශ්‍රමිකයෙකුට අඩු ආදායම් රටකට සංක්‍රමණය වී ඒ විදිහටම ජාම බේර ගන්න බැහැ. ඒ නිසා, ධනවාදී තරඟය තුළ පරාජය වන අය ගැන සමාජය විසින් බලා නොගත්තොත් විශාල මානුෂීය ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මේ ඉලක්කය වෙනුවෙන් ධනවාදයේ කාර්යක්ෂමතාවය යම් තරමකින් කැප කිරීම බොහෝ දෙනෙකුට එකඟ විය හැකි දේශපාලන ඉලක්කයක්. 

අනෙක් පැත්තෙන් සමාජයේ පහළ ස්ථර අනෙක් අයගේ වියදමින් සුබසාධනය කරද්දී ඒ හේතුව නිසාම යම් පිරිසක් නිෂ්පාදනය සඳහා තමන්ට ලබා දිය හැකි දායකත්වයත් නොදී පැත්තකට වෙනවා. නිකම් ලැබෙද්දී මහන්සි වෙලා වැඩ කරන්නේ මොන ලබ්බකටද?

සමහර වෙලාවට ඔය හේතුව නිසාම ශ්‍රම හිඟයක් ඇති වෙලා ඒ අඩුව පුරවන්න පිටින් සංක්‍රමණිකයන් ගේන්න වෙනවා. එසේ එන සංක්‍රමණිකයින් ප්‍රමාණය වැඩි වීමට සමානුපාතිකව ධනවාදී තරඟයෙන් පරාජය වන ප්‍රමාණයද ඉහළ ගිහින් සුබසාධන වියදම් ඉහළ යනවා. එහි බර දරන්න වෙන්නේ වැඩ කරන පිරිසටයි. මෙහි ප්‍රතිඵලයක් විදිහට, ධනවාදී තරඟය තුළ පරාජය වන අය වැඩි වැඩියෙන් සුබසාධනය කරන තරමට සංක්‍රමණික විරෝධයද ඉහළ යනවා. පහළ ස්ථර සෘජුවම තමන්ගේ රැකියා අවස්ථා අහිමි වීම මත පදනම්ව. ඉහළ ස්ථර ඔවුන්ට විසින් දැරිය යුතු සුබසාධන වියදම් වල බර ඉහළ යාමේ හේතුවෙන්.

මෙයට පිළියමක් ලෙස සුබසාධන වියදම් කප්පාදු කළ විට ඉහළ ස්ථර මුහුණ දෙන ප්‍රශ්නය විසඳෙනවා. එහෙත් පහළ ස්ථර වල ප්‍රශ්න උග්‍ර වෙනවා. පහළ ස්ථර වල ප්‍රශ්න විසඳීම සඳහා සුබසාධන වියදම් වැඩි කළොත් ඉහළ ස්ථර මුහුණ දෙන ප්‍රශ්න වැඩි වෙනවා. ඇතැම් විට සංක්‍රමණික ශ්‍රමය වඩා කාර්යක්ෂම නිසා ඉහළ යන සුබසාධන පිරිවැයෙන් කොටසක් ආවරණය විය හැකි නමුත් යම් සීමාවකින් පසුව දෙපාර්ශ්වයටම සංක්‍රමණිකයන් බරක් සේ පෙනෙන්න පුළුවන්.

ද්වි පක්ෂ ක්‍රමය ඇතුළේ බොහෝ විට පහළ ස්ථර සුබසාධනය කිරීම වෙනුවෙන් වැඩිපුර පෙනී සිටින දේශපාලන ව්‍යාපාර වලට සංක්‍රමණිකයන් සම්බන්ධව තිබෙන්නේ ලිහිල් ප්‍රතිපත්තියක්. මොකද සුබසාධනය සඳහා පාදක කර ගන්නා අදහස හැම මිනිහෙක්ම සමානයි කියන අදහසට කිට්ටු අදහසක්. ඒ එක්කම හැම මිනිහෙක්ම සමානනම් රටේ මිනිස්සු හා විදේශිකයෝ වෙනස් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයත් නිතැතින්ම මතු වෙනවා. ඒ නිසා, දේශපාලනිකව ගොඩක් වෙලාවට සුබසාධනය හා සංක්‍රමණිකයන්ට වැඩි අවස්ථා සැලසීම එකම පැකේජ් එකක කොටස් බවට පත් වෙනවා.

ඔය පැකේජ් එක කාලයක් තිස්සේ බටහිර රටවල ජනප්‍රියම දේශපාලන පැකේජ් එක වී තිබුණා. පැකේජ් එකේ සුබසාධන කොටසෙන් හැම විටම වගේ වෙන්නේ ධනවාදයේ කාර්යක්ෂමතාවය අඩු කරන එක. සංක්‍රමනික පිළිවෙතින්, එය පමණක් තනිව ගත්තොත්, ධනවාදයේ කාර්යක්ෂමතාවය ඉහළ යන නමුත් ඒ හරහා රැකියා අහිමි වන පිරිස් සුබසාධනය කළ යුතු නිසා එක් සීමාවකින් පසුව මේ කාර්යක්ෂමතාවය අඩු වෙන්න පටන් ගන්නවා.

සංක්‍රමණික ප්‍රතිපත්ති පැත්තකින් තිබ්බොත්, ධනවාදය කොහොමටත් නිරන්තරයෙන් ලාබ වැඩි කර ගත හැකි ක්‍රම හොයනවා. එහිදී රැකියා අහිමි වෙනවා. ඇමරිකාව ගත්තොත් කෘෂිකාර්මික අංශයේ ඵලදායීතාවය ඉහළ යනවා කියා කියන්නේ ජනගහණයේ ඉතා සුළු පිරිසක් විසින් රටේ සමස්ත කෘෂිකාර්මික නිෂ්පාදන ඉල්ලුම සපුරනවා කියන එකයි. එය සිදු වෙද්දී කෘෂිකාර්මික අංශයේ රැකියා වල නිරතව සිටි විශාල පිරිසකගේ රැකියා අහිමි වීම නොවැලැක්විය හැකියි. එහෙත්, මෙයට සමාන්තරව කාර්මික අංශයේ රැකියා හැදුනා. ඒ නිසා, ඇමරිකානුවන්ට රැකියා ප්‍රශ්නයක් වුනේ නැහැ. ඇමරිකාව ගැන මේ කියන දේවල් අනෙක් බොහෝ බටහිර රටවලටද අදාළයි.

කොහොම වුනත්, ඇමරිකාවේ කෘෂිකාර්මික අංශයේ ඵලදායීතාවය වැඩි වූ නිසා මිසක් සංක්‍රමනිකයන්ගේ ලාබ ශ්‍රමය නිසා එම අංශයේ රැකියා වල නිරත වූ ඇමරිකානුවන්ට රැකියා අහිමි වුනේ නැහැ. යම් හෙයකින් ඇමරිකාවේ සංක්‍රමනික නීති මීට වඩා ලිහිල්ව පැවතුනානම් කෘෂිකාර්මික ශ්‍රමිකයන් සේ නිරන්තරයෙන් රටට එන සංක්‍රමනිකයන් හේතුවෙන් එම අංශයේ ලාබ අඩු වෙන්න නොදී පවත්වා ගත හැකි වන නිසා වේගවත් ස්වයංකරනයක් සිදු වී මේ තරම් ඉක්මණින් කෘෂිකාර්මික අංශයේ ඵලදායීතාව ඉහළ යන්නේ නැහැ. ශ්‍රමිකයන්ට නිදහසේ ඇමරිකාවට එන්න පුළුවන්කමක් නොතිබුණු නිසාත්, වගා බිම් ශ්‍රමිකයන් සිටින රටවලට උස්සාගෙන යා නොහැකි නිසාත් අවසාන වශයෙන් කෘෂිකාර්මික අංශය වේගයෙන් යාන්ත්‍රීකරණය හා ස්වයංකරනය වුනා. එහි ප්‍රතිඵලය ලෙස සිදු වුනේද ඇමරිකානුවන්ගේ රැකියා නැති වීමම වුවත් එසේ රැකියා නැති වූ අයට කාර්මික හා නිෂ්පාදන අංශ වල රැකියා ලැබුණා. 

කාර්මික හා නිෂ්පාදන අංශ වල සේවය කිරීමට වුවද සංක්‍රමණිකයන්ට නිදහසේ ඇමරිකාවට එන්න පුළුවන්කම තිබුණේ නැහැ. එසේ වුවත්, වගා බිම් වලින් වෙනස්ව කම්හල් ලාබ ශ්‍රමිකයන් සිටින තැන් වලට ගෙන යා හැකි වූ නිසා මේ අංශ වල රැකියාද වැඩි කලක් සුරක්ෂිතව තිබුණේ නැහැ. අවසාන වශයෙන් ඇමරිකානුවන්ගේ (හා තවත් බොහෝ බටහිර රටවල) රැකියා අවස්ථා සැපයීමේ කාර්ය භාරය ඉටු කරන්න වුනේ සේවා අංශයටයි.

හැබැයි ධනවාදයේ ප්‍රගමනය නවතින එකක් නෙමෙයි. වඩා වඩා කාර්යක්ෂම වන ක්‍රම හොයන එක සේවා අංශය ඇතුළේද නිරන්තයෙන් සිදු වෙනවා. සේවා අංශය තව දුරටත් ස්වයංකරණය වෙද්දී මිනිස් ශ්‍රමය තව දුරටත් අනවශ්‍ය දෙයක් බවට (redundant) පත් වෙමින් තිබෙනවා. සේවා අංශය තුළ නැති වෙන රැකියා විස්ථාපනය වෙන්නේ කොහොමද කියන එක පැහැදිලි නැහැ. 

සංක්‍රමණ විරෝධයත් එක්ක මේ ප්‍රශ්නයට තාවකාලික විසඳුමක් ලැබෙනවා. හැබැයි එය තාවකාලික විසඳුමක්ම පමණයි. සංක්‍රමණිකයන් පාලනය කළ විට ශ්‍රම වෙළඳපොළේ ඇතිවන අසමතුලිතතාවය තුළ රටවැසියන්ට යම් රැකියා ප්‍රමාණයක් ලැබෙන නමුත් ඒ හේතුව නිසාම ස්වයංකරණය සඳහා වන උත්සාහයන් වඩාත් වේගවත් වෙනවා. සංක්‍රමණික ශ්‍රමයට ඉල්ලුමක් තියෙන්නේම රටවැසියන්ගේ ශ්‍රමය සාපේක්ෂව අකාර්යක්ෂම නිසා. සංක්‍රමණික ශ්‍රමය පැමිණෙන එක වැළැක්වූ පමණින් රටවැසියන්ගේ ශ්‍රමය කාර්යක්ෂම වෙන්නේ නැහැ. එහි අකාර්යක්ෂමතාවය එලෙසම තිබෙනවා. කලින් තිබුණු විසඳුමත් දැන් නැහැ. ඒ නිසා, අලුත් විසඳුමක් ලෙස ස්වයංකරණය අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ස්වයංකරණය සමඟ රැකියා අහිමි වීමේ ප්‍රශ්නය නැවත වටයකින් මතු වීම නොවැලැක්විය හැකියි.

රැකියා අහිමි වීමේ ප්‍රශ්නය ආකෘතිමය ලෙසම උග්‍ර වෙනවා කියා කියන්නේ ක්‍රමයේ ස්ථාවරත්වය සඳහා සුබසාධනයද හොඳ මට්ටමක පවත්වා ගත යුතු බවයි. එක පැත්තකින් ශ්‍රම හිඟයක් නැති වීමත්, අනෙක් පැත්තෙන් සුබසාධන වියදම් ඉහළ යාමත් විසින් සංක්‍රමණිකයන්ට අවස්ථා සැලසීම වඩාත් "වියදම් අධික" කටයුත්තක් බවට පත් වෙනවා. මම මෙහිදී අදහස් කරන්නේ කුසලතා සහිත තෝරා ගත් සංක්‍රමනිකයින් ගැන නෙමෙයි. එවැනි අයගෙන්නම් ලාබයක් මිසක් පාඩුවක් නැහැ.

ධනවාදයට විකල්පයක් පෙනෙන මානයක නැහැ. ධනවාදී තරඟය තුළ පරාජය වන පිරිස් සුබසාධනය නොකරමින් ධනවාදය පවත්වා ගන්න පුළුවන් බවකුත් පෙනෙන්නේ නැහැ. මේ දෙකේම සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය වන්නේ ජාතික රාජ්‍ය වඩ වඩා ශක්තිමත් වීම සහ ජාතිකවාදය පුළුල් සම්මතයක් බවට පත් වීමයි. එයින් රටවල් තුළ ආදායම් විෂමතාවන්හි හානි අඩු වෙනවා. එහෙත් රටවල් අතර ආදායම් විෂමතා ඉහළ යනවා. 

Friday, October 8, 2021

ග්‍රීන්කාඩ් පෝලිම


පසුගිය දින වල සමාජ මාධ්‍ය වල වාර්තා කරනු ලැබ තිබුණු පරිදි ලංකාවේ ගමන් බලපත්‍ර කාර්යාලය අසල දිගු පෝලිමක් හැදිලා. ගමන් බලපත් ලබා ගැනීම සඳහා වන පෝලිම විවිධ හේතු නිසා දිගු විය හැකියි. විදේශගත වන්නට අවශ්‍ය අයගේ ගමන් බලපත් ඉල්ලුම ඉහළ යාම එක හේතුවක්. ගමන් බලපත් නිකුත් කිරීම සඳහා යොදවා ඇති නිලධාරීන් ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම හෝ ඔවුන් ප්‍රමාණවත් තරම් කාර්යක්ෂම නොවීම තවත් හේතු දෙකක්. 

දැන ගන්නට ලැබුණු විදිහට එකවරම ලංකාවේ "පාස්පෝට් පෝලිම" මේ තරම් දිගු වී තිබෙන්නේ ඇමරිකානු ග්‍රීන්කාඩ් ලොතරැයිය සඳහා අයදුම් කිරීමේ අවස්ථාව එළැඹීමත් සමඟයි. මේ අවස්ථාව පසුගිය බදාදා (2021 ඔක්තෝබර් 6) විවෘත වුනා. වාසනාව මත පදනම්ව ඇමරිකාවට සංක්‍රමණය වීමට කැමති අයට 2021 නොවැම්බර් 9 දක්වා වන කාලය තුළ ග්‍රීන්කාඩ් ලොතරැයිය සඳහා අයදුම් කළ හැකියි. ලොතරැයිය ජයග්‍රහණය කරන අයට හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට අනෙකුත් අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙන් පසුව 2022 ඔක්තෝබර් 1 දින සිට 2023 සැප්තැම්බර් 30 දක්වා වන වසරක කාලය තුළ ඇමරිකාවට සංක්‍රමණය විය හැකියි. 

ග්‍රීන්කාඩ් යන්නෙන් පොදුවේ අදහස් වන්නේ ඇමරිකාවේ ස්ථිර පදිංචිය සඳහා හිමිවන වීසා බලපත්‍රයයි. මෙය කුඩා කාඩ් පතක්. ඇමරිකානු ග්‍රීන්කාඩ් බලපත්‍රය ලබා ගත් අයෙකුට වසර පහකට පසුව (ඇතැම් කාණ්ඩ යටතේ ලබාගත් අයට වසර තුනකට පසුව) ඇමරිකානු පුරවැසි භාවය ලබා ගත හැකියි. ස්ථිර පදිංචිය හිමි අයටද ඇමරිකානු පුරවැසියන්ට හිමි වන වරප්‍රසාද හා අයිතිවාසිකම් වලින් විශාල ප්‍රමාණයක් හිමි වෙනවා. 

ඇමරිකාව කියා කියන්නේ ලෝකයේ වැඩිම සංක්‍රමණිකයින් පිරිසක් සිටින රටයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංඛ්‍යාලේඛණ අනුව 2019 වසරේදී ලෝකය පුරා විසිරී සිටි සංක්‍රමණික ජනගහණය 271,642,105ක්. එම ප්‍රමාණයෙන් 18.6%ක්ම, එනම් 50,661,149ක් සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. ඇමරිකාවේ ජනගහණයෙන් 15.4%ක් සංක්‍රමණිකයින්. ඇමරිකාවේ සිටින සංක්‍රමණික ප්‍රජාවෙන් ලෝකයේ හැම රටක්ම නියෝජනය වෙනවා.

ඇමරිකාවේ සංක්‍රමණිකයන්ගෙන් වැඩිම පිරිසක් මෙක්සිකෝවේ සිට සංක්‍රමණය වූ අයයි. ඊළඟට වැඩිපුරම සිටින්නේ පිලිවෙලින් චීනයෙන්, ඉන්දියාවෙන් හා පිලිපීනයෙන් පැමිණි අයයි. ඇමරිකාවේ සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් ප්‍රමාණය 57,135ක් පමණයි. මෙම ප්‍රමාණය ඇමරිකාවේ සංක්‍රමණික ජනගහනයෙන් 0.11%ක් තරම් සුළු ප්‍රතිශතයක්. සමස්ත ශ්‍රී ලාංකික සංක්‍රමණික ජනගහනය වන 1,775,768න් වුවද 3.22%ක ප්‍රතිශතයක් පමණයි. ලංකාවේ ජනගහනය ලෝක ජනගහනයෙන් 0.27%ක් පමණ බව සැලකූ විට, ඇමරිකානු සංක්‍රමණික ජනගහනය තුළ ලංකාව නියෝජනය වන්නේ අඩුවෙන්.

ආසන්න වශයෙන් වසරකට මිලියනයක පමණ පිරිසක් ඇමරිකාවේ ස්ථිර පදිංචිය සඳහා ලැබෙන ග්‍රීන්කාඩ් බලපත්‍රය ලබා ගන්නවා. ඒ සඳහා, ක්‍රම ගණනාවක් තිබෙනවා. ග්‍රීන්කාඩ් ලොතරැයි ක්‍රමය ඒ අතරින් එක් ක්‍රමයක් පමණයි. 2019 වසරේදී ඇමරිකානු ග්‍රීන්කාඩ් බලපත්‍රය ලබාගත් මිලියනයකට අධික පිරිස එම බලපත්‍රය ලබා ගත්තේ පහත ක්‍රම වලිනුයි.

ඇමරිකානුවන්ගේ ළඟම ඥාතීන් (සහකරු හෝ සහකාරිය හා දරුවන්) - 505,765

අවශේෂ ඥාතීන් (දෙමවුපියන් හා සොහොයුරු සොහොයුරියන්)  - 204,139

රැකියාව මත පදනම්ව - 139,458

සරණාගතයින් - 106,911

ලොතරැයිය ජයග්‍රහණය කිරීමෙන් - 43,463

වෙනත් ක්‍රම වලින් - 32,029

එකතුව - 1,031,765


ඉහත කී ග්‍රීන්කාඩ්ලාභීන් අතරින් ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණය 1,689ක් පමණයි. ඔවුන් ග්‍රීන්කාඩ් බලපත් ලබා ගෙන තිබෙන්නේ පහත ක්‍රම වලිනුයි.

ඇමරිකානුවන්ගේ ළඟම ඥාතීන් (සහකරු හෝ සහකාරිය හා දරුවන්) - 531

අවශේෂ ඥාතීන් (දෙමවුපියන් හා සොහොයුරු සොහොයුරියන්)  - 185

රැකියාව මත පදනම්ව - 466

ලොතරැයිය ජයග්‍රහණය කිරීමෙන් - 370

සරණාගතයින් - 125

වෙනත් ක්‍රම වලින් - 12

එකතුව - 1,689


ලොතරැයිය හරහා ග්‍රීන්කාඩ් බලපත් ලබා ගන්නා ප්‍රමාණය මුළු ප්‍රමාණයෙන් 4.2%ක් පමණක් වුවත්, 2019 වසරේදී ඇමරිකානු ග්‍රීන්කාඩ් බලපත් ලබා ගත් ශ්‍රී ලාංකිකයින් අතරින් 21.9%ක්ම එය ලබාගෙන තිබෙන්නේ ලොතරැයිය හරහා. ඒ වගේම, මෙම ප්‍රමාණය නිකුත් කර තිබෙන මුළු ග්‍රීන්කාඩ් බලපත් ප්‍රමාණයෙන් 0.85%ක් තරම් ඉහළ ප්‍රතිශතයක්. ශ්‍රී ලාංකිකයින්ට ග්‍රීන්කාඩ් ලොතරැයි තරඟයේදී විශේෂ වාසි ගණනාවක් තිබීම එයට හේතුවක්. 

Reference:

United Nations, Department of Economic and Social Affairs. Population Division (2019). International Migrant Stock 2019 (United Nations database, POP/DB/MIG/Stock/Rev.2019).

Thursday, December 31, 2020

Do you love me? සුබ නව වසරක්!



ගෙවුණු වසර මුලදී සුබ නව වසරක් කියා අපි බොහෝ දෙනෙක් විසින් කරපු ප්‍රාර්ථනා ඒ විදිහටම ඉටු වුනා කියා කියන්න අමාරුයි. මම හිතන්නේ ගෙවුණු අවුරුද්ද අපි බොහෝ දෙනෙක්ගේ ජීවිත වල අත්දැකපු නරකම අවුරුද්දක්. ඒ නිසාම, එළැඹෙන අවුරුද්ද ගෙවෙනු වසරට වඩා යහපත් වසරක්විය යුතුමයි. හැම දෙයක්ම හොඳම විදිහට සිදු නොවුනත්, අඩු වශයෙන් එළැඹෙන වසර වඩා යහපත් වසරක් කර ගන්න අපට හැකි පමණින් අපි උත්සාහ කරමු.


වසරක් ගණනක් සිදු තිස්සේ සිදු වූ බ්‍රෙක්සිට් ක්‍රියාවලියේ සමාප්තිය සටහන් කරමින් යුරෝපීය සංගමය හා බ්‍රිතාන්‍යය අතර සංචරණය සඳහා වූ පූර්ණ නිදහස අදින් අවසන් වෙනවා. ඊයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ 521-73 ලෙස විශාල බහුතරයකින් සම්මත වූ වෙළඳ ගිවිසුම අනුව බ්‍රිතාන්‍ය-යුරෝපීය සංගම් දේශ සීමාව හරහා තීරු බදු හෝ කෝටා කිසිවක් රහිතව තව දුරටත් භාණ්ඩ හුවමාරු වනු ඇතත්, භාණ්ඩ හුවමාරුව සඳහා තිබෙන ඒ නිදහස සේවා හුවමාරුවට තවදුරටත් හිමි වන්නේ නැහැ. මේ අනුව, බ්‍රිතාන්‍ය හා යුරෝපීය සරසවි අතර පැවති සිසු හුවමාරු වැඩසටහන් ඇතුළු බොහෝ ගිවිසුම් අවසන් වෙනවා.

පසුගිය සියවස පුරා ලෝකයේ රටවල් අතර භාණ්ඩ වෙළඳාම සඳහා වූ බාධාවන් විශාල සේ අඩු වුනත්, සේවා හුවමාරු හා සංක්‍රමණය හා අදාළව එවැනි තත්ත්වයක් ඇති වුනේ නැහැ. හැම විටම කාර්යක්ෂමතාවය හොයා යන ධනවාදය තුළ වඩා කාර්යක්ෂම ලෙස නිපදවෙන භාණ්ඩ හා සේවා වලට වගේම වඩා කාර්යක්ෂම ලෙස භාණ්ඩ හා සේවා නිපදවන ශ්‍රමිකයන්ටද වැඩි ප්‍රතිලාභ ලබා ගැනීමේ අවස්ථාව හිමිවන නමුත් එය අකාර්යක්ෂම ශ්‍රමිකයින්ගේ රැකියා අහිමි කිරීමද සිදු කරනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස එක පැත්තකින් සුබසාධනවාදය වෙතටත්, අනෙක් පැත්තෙන් ජාතිකවාදය වෙතටත් රටවල් තල්ලු වෙනවා. එහෙත්, ප්‍රශ්නයේ මුල කාර්යක්ෂමතාවය නිසා ජාතිකවාදී විසඳුම් වලින් කළ හැක්කේ ප්‍රශ්නය තාවකාලිකව යටපත් කිරීම පමණයි. 

හැම විටම කාර්යක්ෂමතාවය හොයා යන ධනවාදය තුළ වඩා කාර්යක්ෂම සංක්‍රමණිකයෙකු අකාර්යක්ෂම ස්වදේශිකයෙකු වෙනුවෙන් ආදේශ කළ නොහැකි වූ විට, තාවකාලිකව ස්වදේශිකයෙකුගේ රැකියා අවස්ථා ඉහළ යන නමුත් දිගුකාලීනව සිදු වන්නේ අකාර්යක්ෂම මිනිස් ශ්‍රමය වෙනුවට යාන්ත්‍රික ශ්‍රමය හා ස්වයංකරණය ආදේශ වීමයි. ඔබේ සේවා ආයතනයේ ඔබ සමඟ සේවය කරන සහායකයා මිනිස් මිනිස් ශ්‍රමිකයෙකු නොවී යාන්ත්‍රික ශ්‍රමිකයෙකු වීමට වැඩි කළක් යන එකක් නැහැ. ඒ එක්කම, වේගවත් ලෙස ස්වයංකරණය හඹා යන හා එසේ නොකරන රටවල් අතර පරතරය එන්න එන්නම පුළුල් වෙන එකත් නොවැලැක්විය හැකි දෙයක්.



***
You broke my heart
'Cause I couldn't dance
You didn't even want me around
And now I'm back
To let you know
I can really shake 'em down
Do you love me?
(I can really move)
Do you love me?
(I'm in the groove)
Now do you love me?
(Do you love me)
Now that I can dance
(Dance)
Watch me now, hey
(Work, work)
Ah, work it all baby
(Work, work)
Well, you're drivin' me crazy
(Work, work)
With a little bit of soul now
(Work)
I can mash-potato
(I can mash-potato)
And I can do the twist
(I can do the twist)
Now tell me baby
(Tell me baby)
Do you like it like this
(Do you like it like this)
Tell me
(Tell me)
Tell me
Do you love me?
(Do you love me)
Now, do you love me?
(Do you love me)
Now, do you love me?
(Do you love me)
Now that I can dance
(Dance)
Dance
Watch me now, hey
(Work, work)
Ah, shake


සුබ නව වසරක්!!! Happy New Year!!!


Sunday, September 13, 2020

අපේ අලුත් ජීවිතය

බ්ලොග් එක පැත්තේ ආවේ සති දෙකකටත් පස්සේ. මම හිතන්නේ තිබෙන කාර්ය බහුල තත්ත්වය නොවැම්බර් මැද වන තුරු අවසන් වන එකක් නැහැ. ඒ නිසා, එතෙක් කල් බ්ලොග් එක පණ පිටින් තියා ගන්න ඉඳහිට මේ වගේ යමක් ලියනවා හැර වැඩි දෙයක් කරන්න ලැබෙන එකක් නැහැ. 

පසුගිය වසර පහක පමණ කාලය තුළ වසරකට ලියා තිබෙන සාමාන්‍ය ලිපි ප්‍රමාණය මේ වසරේ දැනටමත් ලියා අවසන් නිසා ඉතිරි මාස කිහිපයේ වැඩිපුර නොලිවුවා කියා අඩුවක් දැනෙන එකක් නැහැ. කියවන්න අවශ්‍ය අයට කියවන්න ලිපි විශාල ප්‍රමාණයක් බ්ලොග් එකේ තිබෙනවා වගේම තවමත් සැලකිය යුතු පිරිසක් දිනපතාම පරණ ලිපි කියවනවා.

සැප්තැම්බර් මාසය කාර්ය බහුල වෙන එක අසාමාන්‍ය දෙයක් නෙමෙයි. පසුගිය සැප්තැම්බර් මාසයේදීත් මෙහි පළ කර තිබෙන්නේ ලිපි තුනක් පමණයි. පෞද්ගලිකව ගත්තහම සැප්තැම්බර් මාසය බොහෝ දේ සැලසුම් කර ගත යුතු අවුරුද්දක ආරම්භය වැනි කාලයක්. මේ අවුරුද්දේ සුවිශේෂී ස්වභාවය නිසා තවත් අමාරුයි.

මේ වෙද්දී ඇමරිකාවේ කෝවිඩ් "දෙවන රැල්ල" මන්දගාමී වෙමින් යන නමුත් තවමත් දවසකට රෝගීන් හතළිස් දහසක් පමණ අලුතෙන් හඳුනා ගැනෙනවා. මරණ දහසකට කිට්ටුව සිදු වෙනවා. මා සහ පවුලේ අනෙකුත් සාමාජිකයින් පසුගිය මාර්තු මාසයේ සිට තවමත් ඉන්නේ නිවස ඇතුළේ. මෙය ස්වේච්ඡාවෙන් සිරගත වීමක්. අපේ රැකියා වල ස්වභාවය නිසා අපට මේ අවස්ථාව හිමි වී තිබෙනවා.

පසුගිය මාසයේ ග්‍රීෂ්ම නිවාඩුවෙන් පසුව නැවතත් පාසැල් වාරය ආරම්භ වුනා. පාසැල් වල වගේම සරසවි වලත් බොහෝ විට සිදු වන්නේ තමන්ගේ රුචිකත්වය පරිදි පන්ති කාමරයට පැමිණ හෝ ගෙදර සිට ඉගෙන ගැනීමට සිසුන්ට අවස්ථාව සලසා දීමයි. අපේ පාසැල් දිස්ත්‍රික්කයේ සිසුන් 22,000ක් වෙනුවෙන් ඔවුන්ගේ දෙමවුපියන්ගේ තේරීම් අනුව සිසුන් 7,000ක් මෙම පාසැල් වාරය අවසන් වන තුරු නිවෙස් වල සිට අධ්‍යයන කටයුතු කරන්නට කැමැත්ත පළ කර තිබෙනවා.

ඉතිරි සිසුන් 15,000 පන්ති කාමරයේ සිට ඉගෙන ගන්නවාට ඔවුන්ගේ දෙමවුපියන් කැමතියි. දරුවන් ගෙවල් වල තබා ගැනීම නිසා ඇති වන අමතර ප්‍රශ්නත් මෙයට හේතුවක්. අප නිවසේ සිට රැකියාව කරන නිසා දරුවන්ද නිවසේ සිටීම අපට ප්‍රශ්නයක් නොවූවත්, රැකියා සඳහා නිවෙසින් බැහැර යා යුතු දෙමවුපියන්ට එය ප්‍රශ්නයක්. තමන්ගේ දරුවන්ගේ අධ්‍යයන කටයුතු නිසි සේ සිදුවන බවට වග බලා ගැනීමේ හැකියාවක් ඔවුන්ට නැහැ. ඒ වගේම, කොහොමටත් ගෙදරින් එළියට යන නිසා දරුවන් බැහැර ගියා කියා ඔවුන්ගේ අවදානම අමුතුවෙන් වැඩි වෙන්න දෙයකුත් නැහැ. 

පාසැල් සිසුන්ගේ (දෙමවුපියන්ගේ) වගේම සරසවි සිසුන්ගේ රුචිකත්වයන් දෙස බැලූ විට පැහැදිලිව පෙනෙන එක් දෙයක් වන්නේ පළමු පරම්පරාවේ සංක්‍රමණික පවුල් වල, විශේෂයෙන්ම ආසියානු සම්භවයක් ඇති පවුල් වල, ජනප්‍රිය තේරීම නිවසේ සිට අධ්‍යාපනය ලැබීම බවයි. මෙයට හේතු ගණනාවක් තිබෙනවා. 

පළමු පරම්පරාවේ සංක්‍රමණික පවුලකට ඇමරිකාව ඇතුළේ ඥාති සම්බන්ධතා ජාලයක් නැහැ. එසේ තිබියදී, පවුලේ අයෙකුට කෝවිඩ් ආසාදනය වී ඉතිරි අයටද බෝ වුනොත් බලන්න කෙනෙක් නැති කමින් අසරණ වෙනවා. ඥාති සම්බන්ධතා ජාලයක් තිබෙන කෙනෙකුට මේ වගේ අවස්ථාවක උදවු ලබා ගත හැකි සුරක්ෂිතතා දැලක් තිබෙනවා. ඒ නිසා, සංක්‍රමණිකයන්ට බය වෙන්න හේතු වැඩියි. 

ඉන්දියාව, චීනය වැනි ආසියානු රට වලින් ඇමරිකාවට සංක්‍රමණය වී සිටින බොහෝ දෙනෙක් තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් මත ඇමරිකාවට සංක්‍රමණය වී සිටින වෘත්තීය රැකියා කරන අයයි. ඒ අයට බොහෝ විට නිවසේ සිට තමන්ගේ රැකියාව කිරීමේ අවස්ථාව තිබෙනවා. ඒ නිසා, දරුවන්ද නිවසේ තබා ගැනීමට තිබෙන නැඹුරුව වැඩියි.

අනෙක් අතට මෙවැනි සංක්‍රමණික පවුල් වල දෙමවුපියන් බොහෝ විට ඉලක්ක කරන්නේ තමන්ගේ දරුවන්ටත් උසස් අධ්‍යාපනයක් ලබා දී හොඳ රැකියාවක් ලබා ගැනීමේ ඉඩකඩ වැඩි කරන්නයි. ඒ වගේම ඇමරිකාවේ ඉපදුනු සංක්‍රමණික පවුල් වල දරුවන් අතර පවා ඔවුන්ගේ දෙමවුපියන්ගෙන් උරුම වූ විභාග ඉලක්ක කළ අධ්‍යාපනය කෙරෙහි යම් නැඹුරුවක් තිබෙනවා. ඉලක්කය විභාගය හෝ ලකුණු වූ විට ඉගෙන ගන්නේ කොහොමද කියන එක එතරම් වැදගත් නැහැ.

හැම විටම නොවූවත්, පරම්පරා ගණනක් ඇමරිකාවේ ජීවත් වන සුදු හෝ කළු ඇමරිකානු පවුල් වල සිසුන්ගේ හා ඔවුන්ගේ දෙමවුපියන්ගේ ඉලක්කය අධ්‍යාපනය මිස විභාග හෝ ලකුණුම නෙමෙයි. ඔවුන් බලාපොරොත්තු වන අධ්‍යාපනය පූර්ණ එකක් වන්නේ සිසුන්ට පංති කාමරය තුළ අනෙක් සිසුන් සමඟ ගැටෙන්නට අවස්ථාව ලැබේනම් පමණයි. 

ඇමරිකාව හැම තැනම තත්ත්වය මා දන්නේ නැතත්, අපේ ප්‍රදේශයේ පාසැල් හා සරසවි විවෘත කර තිබෙන්නේ කෝවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරමිනුයි. සිසුන් හැම විටම මුහුණු ආවරණ නිසි පරිදි පැළඳ සිටිය යුතු අතර අඩි හයක පරතරය පවත්වා ගත යුතුයි. මේ කොන්දේසි යටතේ පන්ති කාමරයක ඉඩ තිබෙන්නේ සීමිත සිසුන් පිරිසකට පමණයි. ඒ නිසා, පාසැල් යාමට කැමති සිසුන් සියලු දෙනාටම ඒ අවස්ථාව ලබා දීමේ හැකියාවක් නැහැ.

අපේ පාසැල් දිස්ත්‍රික්කයේ පංති කාමරයේ සිට ඉගෙන ගැනීමට කැමති සිසුන්ට සතියේ දින පහෙන් දෙකක් එසේ පාසැල් යාමට අවස්ථාව ලැබෙනවා. ඉතිරි දින වල නිවසේ සිට ඉගැන්වීම් කටයුතු වලට සම්බන්ධ විය යුතුයි. වාසගමේ මුල් අකුරු අනුව ගෙදර සිටින දවස් හා පාසැල් යන දවස් තීරණය වෙනවා. 

ගෙදර හතර දෙනෙක් තැන් තැන් වලට වී සාමාන්‍යයෙන් නිවසෙන් පිටත පන්ති කාමරයක හෝ රැකියා ස්ථානයක කරන කටයුතු කිරීමත් පහසු වැඩක් නෙමෙයි. සමහර වෙලාවට එක ගාලගෝට්ටියක්! සංගීතය, සරඹ වගේ විෂයයනුත් තියෙනවනේ!!

(Image: https://www.reddit.com/r/funny/comments/fxgm1p/my_roommates_zoom_meeting_attire/)

Wednesday, June 10, 2020

රට (නො) ගිය ඇත්තෝ


රට ගිය ඇත්තෝ ගැනත් රට ගිය ඇත්තෝ ප්‍රබන්ධය ගැනත් දවස් හතරක් කතා කළා. මේ ප්‍රබන්ධය සමහර විට රචකයා විසින් දවසක් ඇතුළත ලියා පළ කළ බ්ලොග් පෝස්ට් එකක් වෙන්න ඇති. ඔය වගේ බ්ලොග් පෝස්ට් එකක් ලියා පළ කරන්නේ මාස ගාණක් පර්යේෂණ කරලා නෙමෙයි. ලිවුවා. පළ කළා. එච්චරයි. වැදගත් කාරණය මේ වගේ බ්ලොග් පෝස්ට් එකක් මේ තරම් දුර ගියේ කොහොමද කියන එකයි.

කිසියම් ප්‍රබන්ධයක් හෝ වෙනත් නිර්මාණයක් හොඳ නිර්මාණයක් වෙන්නේ කොහොමද? මේ කතාව තාක්ෂණික වැරදි බහුල අභව්‍ය හා අසංගත කතාවක්. හැබැයි ඒ හේතු නිසා මෙය නරක නිර්මාණයක් කියා කියන්න බැහැ. නිර්මාණයක් හොඳද නැද්ද කියන එක තීරණය කරන ලොකුම නිර්ණායකය එයට මිනිසුන්ගේ තිබෙන කැමැත්තයි. ඒ අතින්, රට ගිය ඇත්තෝ සාර්ථක නිර්මාණයක්. වසර නවයකට පස්සෙත් රට ගිය ඇත්තෝ සමාජ මාධ්‍ය ඇතුළේ සංසරණය වෙනවා. ඒ ඇයි?

බොහෝ මිනිස්සු කවර හෝ හේතුවක් නිසා තමන් දැන් ගෙවන ජීවිතය ගැන සතුටු නැහැ. විශේෂයෙන්ම ලංකාවේ මිනිස්සු ගත්තොත්, බොහෝ දෙනෙක් තමන් දැන් ගෙවන ජීවිතය ගැන සතුටු නොවන්නේ ආර්ථික හේතු මතයි. තමන්ගේ පරිභෝජන මට්ටම ඉහළ දමා ගන්න පුළුවන් ක්‍රමයක් ඔවුන් හැම වෙලාවෙම හොයමින් ඉන්නවා.

මේ විදිහට හිතන අය බටහිර රටකට කොහොම හරි යන එක ප්‍රශ්නයට විසඳුමක් කියලා හිතනවා. නමුත්, එක්කෝ ඒ සඳහා අවස්ථාව නැහැ. එහෙම නැත්නම් එහි අවදානම ගන්න සූදානම් නැහැ. ආසයි බයයි.

බෝට්ටු වලින් පනින තැන දක්වා තල්ලු වෙන්නේ ආශාව හොඳටම වැඩි බය අඩු අය. නමුත්, ගොඩක් අය ඒ ගොඩේ නැහැ. හිතලා බැලුවහම තේරෙනවා ලංකාවෙන් යන එකෙන් තත්ත්වය තවත් නරක් වෙන්න පුළුවන් කියලා. අවිධිමත් ලෙස මනසින් කරන විශ්ලේෂණයක් වුවත් සංක්‍රමණය වීමේ ආවස්ථික පිරිවැය එක්ක බැලුවහම ලැබෙන්න ඉඩ තිබෙන ප්‍රතිලාභ අඩුයි වගේ පේනවා. ඒ නිසා, ඒ අදහස අත ඇරලා දමනවා. බොහෝ විට මේ තීරණය ගන්න පුළුවන් හොඳම තීරණයයි.

ලංකාවට වෙලා ඉන්න එක ගන්න පුළුවන් හොඳම තීරණය වුනත් සංක්‍රමනය වීම ගැන අඩු වශයෙන් හිතන්න හෝ පොළඹවපු මූලික ප්‍රශ්න ටික ඒ විදිහටම තියෙනවා. ඒ නිසා, ගත්ත තීරණය වැරදිද කියන එක නිතරම හිතට වද දෙනවා. ඔය අතරේ බටහිර රටකට සංක්‍රමණය වූ යාළුවෙක්, නෑදෑයෙක් නිවාඩුවට ලංකාවට එනවා. අත දිග ඇරලා වියදම් කරනවා. තමන්ගේ ජීවිතය ගැන තොරතුරු රස කරලා කියනවා. හැබැයි කියන්නේ තමන්ට කියන්න අවශ්‍ය කොටස පමණයි. එතකොට ලංකාවේ ඉන්න මනුස්සයාගේ අර අවුල වැඩි වෙනවා.

සමාජ මාධ්‍ය නිසා ප්‍රශ්නය තවත් උග්‍ර වෙලා. ඉස්සර ඔය වගේ අවුලක් ඇති වුනේ කලාතුරකින් යාළුවෙක්, නෑදෑයෙක් නිවාඩුවට ලංකාවට ආපු වෙලාවක විතරයි. දැන් ඒ මිනිස්සු කන බොන විදිහ, යන තැන් ඇතුළු හැම මගුලම හැම වෙලාවෙම පේන්න තියෙනවා. ලංකාවේ ඉන්න මනුස්සයාට පේන්නේ පිට රට ඉන්න මනුස්සයා පෙන්නන්න කැමති කොටස පමණයි. ලංකාවේ ඉන්න මනුස්සයාගේ අවුල වැඩි වෙනවා. තමන් ලංකාවේ ඉන්න ගත්ත තීරණය වැරදිද කියන අදහස හිතට වද දෙනවා.

රට ගිය ඇත්තෝ වගේ කතාවක් කියෙවුවහම ලංකාවේ ඉන්න කෙනෙක්ට තමන් ලංකාවේ දැන් ගෙවන ජීවිතය පිළිබඳව තෘප්තිමත් වෙන්න පුළුවන්. තමන් ගත්ත තීරණය ගැන ආඩම්බර වෙන්න පුළුවන්.

එහෙමනම්, මේ වගේ කතාවක් විදේශගත ලාංකිකයින් විසින් සංසරණය කරන්නේ ඇයි? කුහකකම නිසාද?

මම මේකට කුහකකම කියලම කියන්නේ නැහැ. මම දකින විදිහට මේ කතාව අභව්‍ය එකක් වුනත් එයින් පිළිබිඹු වෙන්නේ බටහිර රටක ජීවත් වන පළමු පරම්පරාවේ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයෙකුගේ සංකීර්ණ මනෝ භාවයේ එක් සැඟවුණු පැතිකඩක්. සිරිල් සපරමාදු චරිතය ඇමරිකාවේ ජීවත් වන සංක්‍රමණිකයෙකුගේ සැබෑ චරිතයක් නෙමෙයි. එහෙත්, ඇමරිකාවේ ජීවත් වන සංක්‍රමණිකයෙකුගේ මනසේ එක අඳුරු මුල්ලක සිරිල් සපරමාදු කෙනෙක් විය හැකියාවක් ලෙස ජීවත් වෙනවා. රට ගිය ඇත්තෝ කතාව තමන්වත් නොදන්න තමන්ගේ මනසේ තිබෙන මේ අඳුරු මුල්ල එක්ක සුසර වෙනවා.

සංක්‍රමිකයින් කියන්නේ හිතා මතා දුෂ්කර හා අවදානම් තීරණයක් ගත් පිරිසක්. මේ අයත් කලකට පෙර කවර හෝ හේතුවක් නිසා ලංකාවේ තමන්ගේ ජීවිතය ගැන අතෘප්තිමත්ව සිටි අය. එහෙම ඉන්න අතර සංක්‍රමණය වීමේ පිරිවැය හා ප්‍රතිලාභ ගැන විශ්ලේෂණයක් කරනවා. කලින් වගේම අවිධිමත් ලෙස මනසින් කරන විශ්ලේෂණයක් වෙන්න පුළුවන්. එහිදී සංක්‍රමණය වීමේ ආවස්ථික පිරිවැය වලට සාපේක්ෂව ලැබෙන්න ඉඩ තිබෙන ප්‍රතිලාභ වැඩියි වගේ පේනවා. ඒ නිසා සංක්‍රමණය වෙනවා. බොහෝ විට මේ තීරණය ගන්න පුළුවන් හොඳම තීරණයයි.

බටහිර රටකට සංක්‍රමණය වන ලාංකිකයා ආරම්භයේදී කට්ටක් කනවා. ඒක බලාපොරොත්තුවෙන් සිටි තත්ත්වයක් මිසක් අනපේක්ෂිත දෙයක් නෙමෙයි. ඔය කට්ට කෑවට පස්සේ සංක්‍රමණිකයෙක්ට තමන්ගේ මුල් ඉලක්කයට යන්න බැරි වෙන එක ඉතාම කලාතුරකින් විය හැකි දෙයක්. ඊට පස්සේ තමන්ගේ දැන් ජීවිතය ගැන සතුටක් ඇති වෙනවා. ඒ සතුට ලබන්නේ තමන් ජීවත්ව සිටි ලංකාව එක්ක සංසන්දනය කරමින්.

ඔය සතුට කඩා වැටෙන්නේ අවුරුදු හත අටකට පස්සේ ලංකාවට ආවහමයි. දැන් ලංකාව තමන් ලංකාවෙන් එන කොට තිබුණු, තමන්ගේ ඔලුවේ තිබුණු ලංකාව නෙමෙයි. සුපර් මාර්කට් එකකට ගියාම තමන් ලංකාවේ ඉන්න කාලයේ දැකලා නොතිබුණු, දැන් ඉන්න රටේදී පරිභෝජනය කරපු හැම දෙයක්ම වගේ ලංකාවේදීත් දකින්න ලැබෙනවා. ලංකාවේ යාලුවෝ නෑදෑයෝ ඒවා පරිභෝජනය කරනවා. කලින් අමාරුවෙන් ජීවත් වූ මිනිස්සු ලොකු ගෙවල් හදාගෙන තමන් දැන් ඉන්න රටේ පාවිච්චි කරනවාට වඩා මිල අධික මෝටර් රථයකින් ගමන් බිමන් යනවා. ජාත්‍යන්තර පාසැල් වල ඉගෙන ගන්න ඔවුන්ගේ දරුවෝ ඉංග්‍රීසියෙන් කතා කරනවා. මේවා දකින කොට තමන් සංක්‍රමණය වෙන්න ගත්ත තීරණය අත්වැරැද්දක්ද කියලා හිතට වද දෙන්න පටන් ගන්නවා.

මේ වගේ අවස්ථාවක එක් අවිඥානක ප්‍රතිචාරයක් වන්නේ අත දිග ඇරලා වියදම් කරන එකයි. තමන් ජීවත් වන රටේදී නොකරන වියදම් ලංකාවේදී නිකම්ම වගේ කෙරෙනවා. සමහර විට ලංකාවේ ඉන්න මනුස්සයාත් තමන් ලංකාවේ හොඳින් ඉන්න බව පෙන්වන්න ඔය වැඩේම කරන්න පුළුවන්. තමන් වඩා හොඳින් බව දෙන්නාම එකිනෙකාට පෙන්නන්න යනවා. නමුත්, ඇතුළෙන් දෙන්නාගේම අතෘප්තිය ඉහළ යනවා.

සංසන්දනයක් කරන සංක්‍රමණිකයාට ලංකාවේ ජීවත් වූ තමන්ගේ තත්ත්වයේ සිටි අයෙකුට සාපේක්ෂව තමන් ලබාගෙන තිබෙන දේවල් හිතපු තරම්ම විශාල නැති බව පේන්න පටන් ගන්නවා. ඒ එක්කම මේ වෙනුවෙන් තමන්ට අත් හැර දමන්න සිදු වී ඇති දේවල් සිහියට එනවා. විශ්‍රාම දිවියේ සුරක්ෂිතතාවය එයින් ප්‍රධාන එකක්.

ලංකාවේ හිටියානම් මහළු වයසේදී තමන්ගේ දරුවෙක් ලඟ වැටිලා ඉන්න පුළුවන්. එහෙත්, බටහිර රටකදී එය අසාමාන්‍ය දෙයක්. ඒ නැති වුනු දෙයට වඩා තමන් සංක්‍රමණය වීම හරහා හිමි කරගත් දේවල් වටිනවාද? සංක්‍රමණිකයාගේ මනසේ කොනක සැඟවුණු සිරිල් සපරමාදු අවදි වෙන්න පටන් ගන්නවා.

ඇමරිකාව ගත්තොත් පාසැල් අධ්‍යාපනය අවසන් කළාට පස්සේ දරුවන් නිවසින් පිට වී යනවා. ඒ ගියාට පස්සේ නැවත දරුවන් හා දෙමවුපියන් එකට ජීවත් වන එක සාමාන්‍ය තත්ත්වය නෙමෙයි. හැබැයි සුදු ඇමරිකානු පවුල් වල පවා එසේ සිදුවන අවස්ථා විශේෂ අවස්ථා ඕනෑ තරම් තිබෙනවා.

ඇමරිකාවේ බොහෝ දරුවන්ට දෙමවුපියන්ගෙන් ප්‍රාග්ධනයක් ලැබෙන්නේ නැහැ. දෙමවුපියන් කරන්නේ දරුවෙකු වැඩිහිටියෙකු වන තුරු අවශ්‍ය සම්පත් හා රැකවරණය සපයන එකයි. සරසවි අධ්‍යාපනය ලබන බොහෝ දෙනෙක් එය කරන්නේ ශිෂ්‍ය ණය ලබා ගෙනයි. එයින් පසුව, ඒ ණයත් ගෙවමින් ක්‍රමයෙන් ජීවිතය ගොඩ නගා ගන්න වෙනවා. රැකියාවක් කරන්න පටන් ගත් පසු වාහනයක්, ගෙයක් ගන්න මුදල් ඉතිරි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නිවාස ණයක්, වාහන ණයක් අරගෙන හෙමිහිට ගෙවාගෙන යන්න පුළුවන්. බොහෝ ඇමරිකානුවන් ජීවිතය පටන් ගන්නේ මේ ආකාරයට සෘණ ශුද්ධ වත්කම් ඇති පිරිසක් විදිහටයි.

සාමාන්‍ය ඇමරිකානුවෙක් තමන්ගේ ණය ගෙවා අවසන් කරලා ශුද්ධ වත්කම් හිමියෙක් වෙන්නේ මැදි වයස පහු කළාට පසුවයි. එතැන් පටන් කළ යුත්තේ විශ්‍රාම දිවිය සුරක්ෂිත කර ගැනීම ගැන හිතන එකයි. අපේක්ෂිත ඉදිරි ජීවිත කාලය ගත කරන්න අවශ්‍ය තරම් වත්කම් ඉතිරි කරගත් කෙනෙක්ට කලින් විශ්‍රාම යන්න පුළුවන්. එහෙත්, එසේ කළ හැක්කේ කාලයක් තිස්සේ වැඩි ආදායමක් ඉපැයූ කෙනකුටයි.

විශ්‍රාම දිවිය ගැන කලින් හිතා සැලසුම් කළ කෙනෙකුට තමන්ගේ දරුවන්ට බරක් වෙන්න අවශ්‍ය නැහැ. බොහෝ ඇමරිකානුවන් තමන්ගේ අවමංගල්‍ය වියදම් වෙනුවෙන් පවා කලින් මුදල් වෙන් කර තබනවා. සාමාන්‍ය ඇමරිකානුවෙක් තමන්ගේ දරුවන් හෝ මුණුපුරන් වෙනුවෙන් මීට වඩා "අසාමාන්‍ය" දෙයක් කරන්නේ අනුන්ට බරක් නොවී ජීවත් වීමට හැකි බවට වන විශ්වාසය තහවුරු කර ගැනීමෙන් පසුවයි. එසේ නැත්නම් මුලින්ම හිතන්නේ අනුන්ට බරක් නොවී ඉදිරි කාලය ගෙවන ආකාරය සැලසුම් කර ගන්නේ කොහොමද කියලයි.

විශ්‍රාම දිවිය අනුන්ට බරක් නොවී ගෙවිය හැකි බව පිළිබඳව සැකයක් නැති ඇමරිකානුවන් ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වැය කරනවා. මුණුපුරන් බලා ගන්න කාලය යොදවනවා. දරු මුණුපුරන්ගේ වෙනත් වියදම් දරනවා. ඇමරිකානු සංස්කෘතිය ඇතුළේ හැදෙන ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින්ගේ දරුවන් ඇතුළු දරුවන් මේ දේවල් තමන්ට ලැබෙන "බෝනස්" ලෙස මිස දෙමවුපියන් විසින් අනිවාර්යයෙන් කළ යුතු දේ සේ සලකන්නේ නැහැ. එයට සාපේක්ෂව, දෙමවුපියන් වයස්ගත වූ පසු දරුවන්ට බරක් නොවී ජීවත් වීම ගැන හිතන්නේ ඔවුන් විසින් කළ යුතු සාමාන්‍ය දෙයක් ලෙසයි.

සාමාන්‍ය තත්ත්වය මෙසේ වෙද්දී ලංකාව, ඉන්දියාව වැනි රටකින් සංක්‍රමණය වූ අය තමන්ගේ දරුවන්ට සලකන ආකාරයේ වෙනසක් තිබෙනවා. ඔවුන් තමන්ට හැකිනම් හැම විටකම වගේ දරුවන්ගේ උසස් අධ්‍යාපන වියදම් වෙනුවෙන් මුදල් වැය කරනවා. එසේ කිරීමේදී තමන්ගේ විශ්‍රාම දිවියේ සුරක්ෂිතතාවය කියන කරුණ දෙවැනි තැනට දමනවා. මෙහිදී මෙය තමන් දරුවන් වෙනුවෙන් කරන හා කළ යුතු වටිනා දෙයක් ලෙස දෙමවුපියන් හිතුවත්, දරුවන් බොහෝ විට එය තේරුම් ගන්නේ ඔවුන් තමන්ගේ කැමැත්තෙන් තමන්ගේ සතුට සඳහා කරන දෙයක් ලෙසයි. ඒ වෙනුවෙන්, අවසන් කාලයේ දරුවන් ඔවුන්ට සලකනු ඇතැයි බලාපොරොත්තු වන බව ඔවුන් දන්නේ නැහැ.

වයස්ගත දෙමවුපියන් දරුවන්ගේ ජීවිත වලට බරක් වීම ඔවුන්ට විශාල ප්‍රශ්නයක්. එය ඔවුන් අපේක්ෂා කරන දෙයක් නෙමෙයි. දරුවන්ට මේ බර වැටෙන්නේ ඔවුන් සැලසුම් සහගත ලෙස ජීවිතය ගොඩ නගා ගන්න උත්සාහ කරමින් සිටින කාලයේදී. ඇමරිකාවට ලංකාවෙන් සංක්‍රමණය වී සිටින කෙනෙක් සිරිල් සපරමාදු මෙන් දරුවකුගේ සිංගල් බෙඩ් අපාර්ට්මන්ට් එකකට කඩා වැදුනොත් කතාවේ වගේ දෙයක් වෙන්න බැරිකමක් නැහැ. ඒ බව ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් දන්නවා. ඒ එක්කම තමන්  එවැනි තත්ත්වයකට පත් වෙයිද කියන බයකුත් හිතේ තියෙනවා. රට ගිය ඇත්තෝ කතාවේ සිරිල් සපරමාදු විසින් අයිති කර ගන්නේ කතාව වත්පොත හරහා බෙදා හරින සංක්‍රමණිකයෙකුගේ හිතේ කොනක තියෙන මේ බයෙන් කොටසක්.

සංක්‍රමණිකයෙකුගේ මේ බය එක්කම පසුතැවිල්ලක්ද එනවා. ඒ පසුතැවිල්ල එන්නේ ලංකාවේ හිටියානම් මේ වගේ දෙයක් වෙන්නේ නැහැ කියන පූර්ව නිගමනය ඇතුළේ. නමුත්, මෙහිදී සංක්‍රමණිකයා මේ සංසන්දනය කරන්නේ තමන් සංක්‍රමණය වෙද්දී තිබුණු ලංකාවත් එක්කයි. ඒ ලංකාව දැන් නැහැ. ලංකාවේ සිදු වෙලා තිබෙන්නේ භෞතික සම්පත් වඩා සුලභ වීම පමණක් නෙමෙයි. කාලයත් එක්ක සමාජ සම්බන්ධතා වල ස්වභාවයත් වෙනස් වෙලා. තව දුරටත් වේගයෙන් වෙනස් වෙනවා.

ඇමරිකානු දරුවන්ට වයස්ගත දෙමවුපියන් බරක් සේ තේරෙන්නෙත්, ලංකාවේ එසේ නොවෙන්නේත් සංස්කෘතික වෙනසක් නිසාම නෙමෙයි. සංස්කෘතියක් කියන්නේ බාහිර තත්ත්වයන් එක්ක වෙනස් වන දෙයක්. ලංකාවේ මේ තත්ත්වය වේගයෙන් වෙනස් වෙනවා. අද වයස අවුරුදු තිහක් තිස් පහක් පමණ වූ ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙක් ඔවුන්ගේ දරුවන් වැඩිහිටියන් වූ පසු දරුවන් සමඟ ජීවත් වෙන එකක් නැහැ. ඒ නිසා, ඇමරිකාවේ ඉන්න සංක්‍රමණිකයෙක් ලංකාවේ හිටියානම් තත්ත්වය ගැන හිතමින් වද වන එකේ තේරුමක් නැහැ.

මා පෙර ලිපියක පැහැදිලි කර ඇති පරිදි අප බොහෝ විට පරිසිද්ධික තත්ත්වයන් සංසන්දනය කරනවා. එය වැරදි සංසන්දනයක්. ඇමරිකාවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයෙකුගේ ජීවිතය හා සංක්‍රමණය නොවී ලංකාවේ ජීවත් වන අයෙකුගේ ජීවිත අපට සංසන්දනය කරන්න බැහැ. ඒ දෙන්නා දෙන්නෙක්. සංක්‍රමණිකයා ලංකාවේ හිටියානම් බොහෝ විට ඔහුගේ තත්ත්වය වඩා නරක වෙන්න තිබුණා. ඒ වගේම සංක්‍රමණය නොවූ ලාංකිකයා සංක්‍රමණය වුනානම් ඒත් ඔහුගේ තත්ත්වය වඩා නරක වෙන්න තිබුණා. මේ ප්‍රතිපරිසිද්ධික තත්ත්වයන් අපට නිරීක්ෂණය කරන්න ලැබෙන්නේ නැහැ. මිනිස්සුන්ට ඉදිරිය බලා තමන්ට හොඳම තීරණය ගැනීමේ හැකියාවක් තිබෙනවා. එය එසේ නොවන්නේ අඩුවෙන්.

රට ගිය ඇත්තෝ කතාවට නැවත එමු. මේ කතාව මෙරු එනවා වගේ සෑම වසරකම ග්‍රීන්කාඩ් ලොතරැයි ප්‍රතිඵල එන දවසට එක වරම උඩට මතු වෙන්නේ කොහොමද?  උඩින් කතා කළ ලාංකිකයින්ගේ හා සංක්‍රමනිකයින්ගේ මනෝ භාවයන් කතාව ජනප්‍රිය වීම පැහැදිලි කරන නමුත් මේ සංසිද්ධිය විස්තර කරන්නේ නැහැ.

රට ගිය ඇත්තෝ කතාව මූලික වශයෙන් ගත්තොත් ග්‍රීන්කාඩ් වාසනාව ඇත්තටම වාසනාවක් නෙමෙයි අවාසනාවක් කියා හඟවන ඩිස්තෝපියානු කතාවක්. ග්‍රීන්කාඩ් ලොතරැයි ප්‍රතිඵල එන දවසට මේක උඩට මතු වෙන්න හේතු දෙයක් තිබෙනවා. ඒ ගැන කතා කරන්න කලින් අපි මේ ග්‍රීන්කාඩ් ලොතරැයි ලැබෙන ක්‍රියාදාමය ගැන ටිකක් කතා කරමු.

ග්‍රීන්කාඩ් ලොතරැයිය නිකම්ම ඇදෙන්නේ නැහැ. ඒ සඳහා අයදුම් කළ යුතුයි. මේ ලොතරැයිය දිනුවා කියලා සල්ලි හම්බ වෙන්නේ නැහැනේ. ලැබෙන්නේ ඇමරිකාවට යන්න අවස්ථාවක්. ඒ කියන්නේ ග්‍රීන්කාඩ් ලොතරැයිය සඳහා අයදුම් කරන කෙනෙක් එය කරන්නේ ඇමරිකාවට යන්න බලාගෙන මිසක් වෙන දේකට නෙමෙයිනේ.

අවස්ථාවක් ලැබෙනවානම් ඇමරිකාවට යන්න බලාගෙන ඉන්න විශාල පිරිසක් ලංකාවේ ඉන්නවා. ඒ අය තමන්ගේ ලංකාවේ ජීවිතය ගැන අතෘප්තිමත්. ඇමරිකාවේ වඩා හොඳ ජීවිතයක් තිබෙන බව ඒ අය විශ්වාස කරනවා. මේ සමහර අය ප්‍රසිද්ධියේ ඇමරිකාවට පලු යන්න බනිනවා වෙන්න පුළුවන්. හැබැයි අවස්ථාවක් ලැබෙනවානම් යන්න බලාගෙනයි ඉන්නේ.

සංඛ්‍යාලේඛණ අනුව 2008-2018 කාලයේ ග්‍රීන්කාඩ් ලොතරැයිය සඳහා අයදුම් කළ ලාංකිකයින් ප්‍රමාණය 1,147,458ක්. 1995-2007 කාලයේත් 2019දීත් අයැදුම් කළ ප්‍රමාණය එකතු කළ විට අනිවාර්යයෙන්ම ඔය වගේ දෙගුණයකට වඩා වැඩි වෙන්න පුළුවන්. එකම පුද්ගලයාට දිගින් දිගටම අයදුම් කරන්න බාධාවක් නැති නිසා අයදුම්පත් ගණන ඔළු ගෙඩි ගණනට සංසන්දනය කරන එක නිවැරදි නැහැ. ඒ ගැන හිතුවත්, මිලියන 21ක් ජීවත් වෙන ලංකාවේ ග්‍රීන්කාඩ් ලොතරැයිය සඳහා වරක් හෝ අයදුම් කළ ලාංකිකයින් ගණන මිලියනයකට නැත්නම් මිලියන බාගයකටවත් කිට්ටු වෙන්න පුළුවන්. ඔය මිලියන විසි එකෙනුත් විශාල පිරිසකට උසස් පෙළ සුදුසුකම නැහැනේ. ඒ අය අතරින් විශාල පිරිසක් අයදුම් කර නැත්තේ අවශ්‍ය මූලික සුදුසුකම් නැති නිසා මිසක් ඇමරිකාවට යන්න අකැමැති නිසා නෙමෙයි. එහෙම බැලුවහම අවස්ථාවක් ලැබෙනවානම් ඇමරිකාවට යන්න බලාගෙන ඉන්න විශාල පිරිසක් ලංකාවේ ඉන්නවා. හැබැයි ඒ බව අනෙක් අයට පෙන්නන්නේ නැහැ.

අපි 2018 අවුරුද්ද ගනිමුකෝ. එම අවුරුද්දේ පමණක් අයදුම් කළ ලාංකිකයින් ප්‍රමාණය 139,527ක්. සෑම ලාංකිකයින් 155කටම එක් අයෙක්! ග්‍රීන්කාඩ් ලොතරැයිය සඳහා අයදුම් කළ කෙනෙක් අනිවාර්යයෙන්ම ඔබ සමීපයේ ඉන්නවා. හැබැයි බොහෝ විට ඔබට කියන්නේ නැහැ.

මේ විදිහට ග්‍රීන්කාඩ් ලොතරැයිය සඳහා අයදුම් කරන කෙනෙක් ජයග්‍රාහකයෙක් වෙන එක අහඹු සිදු වීමක්. 2008-2018 කාලයේ ජයග්‍රාහකයින් වී තිබෙන ප්‍රමාණය 8,917ක් පමණයි. ඒ කියන්නේ 129 කට එක්කෙනෙක්. එක් අයෙක් ජයග්‍රාහකයෙක් වෙද්දී තව 128 දෙනෙක් පරාජිතයෝ වෙනවා. 2018 අවුරුද්ද ගත්තොත් පරාජිතයින් 138,750ක්. පසුගිය කාලයේ රටාව අනුව මේ අවුරුද්දේ ඔය පරාජිතයින් ප්‍රමාණය 150,000ක් පමණ වෙන්න පුළුවන්.

මේ මිනිස්සු මොන හේතුවක් හෝ නිසා තමන්ගේ ලංකාවේ ජීවිතය ගැන අතෘප්තිමත් මිනිස්සු. ඇමරිකාවට යන්න තිබෙන කුඩා හෝ ඉඩකඩ වෙනුවෙන් ඔට්ටු තියපු මිනිස්සු. දැන් ඔට්ටුව පැරදිලා. හිතට හරිම අමාරුයි! රටේ ජනගහණයෙන් 156 කට එක් අයෙක් මෙතැන ඉන්නවා. රට ගිය ඇත්තෝ වගේ කතාවක් කියවලා වත්පොත හරහා බෙදා හැරියාම තමන්ගේ හිත ටිකක් හෑල්ලු කර ගන්න පුළුවන්. තමන් අර පරාජිතයින් 138,750න් එක් අයෙක් නොවන බව තමන්ගේ යාළුවන්ට නෑදෑයින්ට හඟවන්න පුළුවන්.

ඔය කතාවේ එක පැත්තක්. ඊ ළඟට අර දිනපු පිරිස. 2018දී නම් 777 දෙනෙක්. ග්‍රීන්කාඩ් ලොතරැයිය දිනපු බව දැන ගත්ත ගමන්මනම් මාර සතුටුයි. සතුට නැති වෙන්නේ ටිකක් කරුණු හොයා බැලුවට පස්සේ.

ග්‍රීන්කාඩ් ලොතරැයිය දිනපු බව සඳහන් ලියුම හරි, දැන්නම් ඉලෙක්ට්‍රොනික් රෙකෝඩ් එක හරි, පෙන්නලා ඇමරිකාවට එන්න බැහැ. ඇමරිකාවට සංක්‍රමනිකයෙකු ලෙස ඇතුළු වෙන්න වීසා ගන්න ඕනෑ. ග්‍රීන්කාඩ් ලොතරැයිය ජයග්‍රහණය කිරීම සංක්‍රමනික වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කරන්න ඉඩ සලසන එක් සාධකයක් පමණයි. ඊට පස්සේ තව සෑහෙන්න දේවල් කරන්න වෙනවා. නැත්නම් ඇමරිකාවට යන්නේ ලැබෙන්නේ නැහැ.

- අධ්‍යාපන සුදුසුකම් තහවුරු කරන්න ඕනෑ.
- පවුලේ අයට ඇමරිකාවට ගිහින් අවුරුද්දක් ජීවත් වෙන්න ප්‍රමාණවත් මුදල් තිබෙන බව පෙන්වන්න ඕනෑ. ලංකාවේ හැටියට ලොකු මුදලක්. නැත්නම් ඒ සඳහා වෙනත් විකල්පයක් තියෙන්න ඕනෑ.
- අවශ්‍ය එන්නත් සියල්ල ලබා ගෙන තියෙන්න ඕනෑ. ඇමරිකාවට අවශ්‍ය එන්නත් මිසක් ලංකාවට අවශ්‍ය පොඩි කාලේ ලබාගත් ඒවාම නෙමෙයි. ඒවා වුනත්, ඒවායේ වාර්තා තියෙන්න ඕනෑ. එන්නත් අතර පරතරයක් තිබිය යුතු නිසා මේ වැඩේට කල් යන්න පුළුවන්. නැත්නම් වෛද්‍ය පරීක්ෂණය සමත් වෙන්න බැහැ.
- ජීවත්ව හිටපු හැම තැනක් / කාලයක්ම ආවරණය කරන පොලිස් වාර්තා ඕනෑ.
- ඔය හැම එකම නිශ්චිත අවසන් දිනයකට පෙර කරන්නත් ඕනෑ.

ග්‍රීන්කාඩ් ලොතරැයිය සඳහා අයදුම් කරන්නේ ලංකාවේ ඉන්න ලාංකිකයින් පමණක් නෙමෙයි. ඇමරිකාවේ හෝ ලෝකයේ වෙනත් රටවල ඉන්න ලාංකිකයිනුත් ග්‍රීන්කාඩ් ලොතරැයිය සඳහා අයදුම් කරනවා. ග්‍රීන්කාඩ් ලොතරැයිය සඳහා අයදුම් කරන ඇමරිකාවේ ඉන්න ලාංකිකයෙක් ඉහළ ආදායමක් උපයන, ස්ථිර රැකියාවක් ඇති, කාලයක සිට ඇමරිකාවේ ජීවත් වන අයෙක් වෙන්න පුළුවන්. එවැනි කෙනෙකුට ග්‍රීන්කාඩ් එක ගොඩක් වටිනවා. එහෙම නැත්නම් ඇමරිකාවේ ඉන්න ශිෂ්‍යයෙක් වෙන්න පුළුවන්. මේ වගේ කෙනෙක්ට උඩ කියපු කාරණා ඉටු කරන එක පහසු දෙයක්.

එසේ වුවත්, මේ හැම දෙයක්ම සම්පූර්ණ කරන එක ලොතරැයිය දිනන හැම කෙනෙක්ටම කරන්න බැරි බව ඇමරිකන් රජය දන්නවා. ග්‍රීන්කාඩ් ලොතරැයි ක්‍රමය අනුව 50,000කට හෝ ආසන්න පිරිසකට ඇමරිකාවට එන්න අවස්ථාව දෙන්නත් ඕනෑ. ඒ නිසා, ඇමරිකාව කරන්නේ වඩා වැඩි පිරිසක් ජයග්‍රාහකයින් ලෙස තෝරා ගන්න එකයි. බොහෝ විට 100,000කට ආසන්න පිරිසක්. ඊටත් වඩා වැඩි වෙන්නත් පුළුවන්.

දැන් තව අවුලක් ඇති වෙනවා. 50,000 ඉක්මවන පිරිසක් අවශ්‍ය හැම දෙයක්ම ඉටු කළොත්?

එහෙම වෙන්න ඉඩක් නැහැ. නිකුත් කළ වීසා ප්‍රමාණය පණස් දහසට ආසන්න වෙද්දී තානාපති කාර්යාල විසින් වීසා දෙන එක නවත්තනවා. ඒ නිසා, ග්‍රීන්කාඩ් ලොතරැයිය දිනලා අර උඩින් සඳහන් හැම දෙයක්ම සම්පූර්ණ කරන්න බලාගෙන හිටියත් එහෙම ඉන්න හැම දෙනෙක්ටම අවස්ථාව ලැබෙන්නේ නැහැ. 2008-2018 කාලයේ ග්‍රීන්කාඩ් දිනපු ලාංකිකයින් 8,917 දෙනෙකුගෙන් ඇමරිකාවට යන්න වීසා ලැබිලා තියෙන්නේ 3,584 දෙනෙකුට පමණයි. මේ ප්‍රමාණය 40%ක් වගේ පෙනුනත් ඇත්තටම ඊටත් අඩුයි. මොකද  ග්‍රීන්කාඩ් ජයග්‍රාහකයින්ගේ පවුලේ අයට දෙන වීසා ප්‍රමාණයත් ඔය 3,584ට ඇතුළත්. ඒ නිසා, ඇත්තටම වීසා ලැබුණු ග්‍රීන්කාඩ් ජයග්‍රාහකයින් ප්‍රමාණය 20%ක් තරම් අඩු වෙන්න පුළුවන්. ඉතිරි 80%ටම වීසා ලැබී නැහැ. එක්කෝ ඉහත කාරණා වල අඩුවක් නිසා සම්මුඛ පරීක්ෂණය අසමත් වෙලා. නැත්නම් සම්මුඛ පරීක්ෂණය සඳහා අවස්ථාවක් හෝ හිමි වී නැහැ.


ජයග්‍රාහකයින් අතර ග්‍රීන්කාඩ් හරහා වීසා ලැබෙන ක්‍රියාවලිය ගැන හොඳින් දන්නා ටික දෙනෙක් ඉන්නවා. වීසා ලබා ගැනීම එක පැත්තකින් කාලය එක්ක කරන තරඟයක් බවත්, අනෙක් පැත්තෙන් අනෙක් ජයග්‍රාහකයින් එක්ක කරන තරඟයක් බවත් ඔවුන් දන්නවා. අනෙක් අයගේ වීසා ප්‍රතික්ෂේප වන තරමට තමන්ට වීසා ලැබෙන්න තිබෙන ඉඩකඩ ඉහළ යනවා. අනෙක් අයව අධෛර්යමත් කළ තරමට ඔවුන් අවශ්‍ය කටයුතු කඩිමුඩියේ කර ගන්න එක පරක්කු කරන්න පුළුවන්.

ග්‍රීන්කාඩ් ලොතරැයිය ජයග්‍රහණය කළාට පස්සේ සම්මුඛ පරීක්ෂණ සඳහා යන්න ලැබෙන්නේ තෝරා ගත් අනුපිළිවෙලකටයි. ග්‍රීන්කාඩ් ලොතරැයි ජයග්‍රහණයත් එක්කම මේ අනුපිළිවෙලද අහඹු ලෙස තීරණය කෙරෙනවා. ලැයිස්තුවේ අනුපිළිවෙල අනුව උඩින්ම ඉන්න අයට සම්මුඛ පරීක්ෂණ සඳහා මුලින්ම අවස්ථාව ලැබෙනවා. පහළින්ම ඉන්න අයට බොහෝ විට ඒ අවස්ථාව ලැබෙන්නේම නැහැ. මැද හරියේ ඉන්න කෙනෙක්ට අවස්ථාව ලැබෙනවාද කියන එක තීරණය වෙන්නේ තමන්ට වඩා කලින් සම්මුඛ පරීක්ෂණ අවස්ථාව හිමි වන අයට වීසා ලබා දීම ප්‍රතික්ෂේප වීම මතයි.

කලින් යන එක් අයෙකුගේ වීසා ප්‍රතික්ෂේප වීම ලැයිස්තුවේ පිටුපසින් ඉන්න කෙනෙක්ගේ අනාගත ජීවිතයම වෙනස් කරනවා. ඒ බව දන්නා කවුරු හෝ කෙනෙක් රට ගිය ඇත්තෝ වගේ කතාවක් ග්‍රීන්කාඩ් ලොතරැයි ප්‍රතිඵල එන කාලයට මුදල් ගෙවා ප්‍රචාරය කළා වුවත් එය තමන්ගේ වාසිය පිණිස ගන්නා සදාචාරත්මකව හරි හෝ වැරදි තාර්කික ක්‍රියාමාර්ගයක් මිසක් සරල කුහකකමක් නෙමෙයි.

(Image: https://cz.usembassy.gov/diversity-visa-lottery-registration-period-starts-october-3/)


Tuesday, June 9, 2020

රට ගිය ඇත්තෝ (සිවුවන කොටස)


රට ගිය ඇත්තෝ කතාවේ මූලික ආකෘතිය, චරිත හා සිද්ධි ගැන අපි කලින් කොටස් වලින් කතා කළා. කතාවේ සඳහන් ගොඩක් දේවල් තනි තනිව ගත්තොත් වෙන්න පුළුවන් දේවල්. නමුත්, සමස්තයක් විදිහට ගත්තොත් මේ කතාව සත්‍යයෙන් බොහෝ දුරස් කතාවක්. ඒ කියන්නේ කතාවේ සඳහන් හැම දෙයක්ම එක පෙළට ඒ ආකාරයටම සිදු වෙන එක සිදු විය නොහැකි තරම් ඉතාම අඩු සම්භාවිතාවක් තියෙන දෙයක්.

කතාවේ තිබෙන තාක්ෂණික වැරදි හැම එකක්ම කතාවේ මූලික ආකෘතියට හානිකර නැහැ. සමන් ජයසිංහගේ වීසා බලපත්‍රය අවුරුදු පහකට වලංගු වෙන්න පුළුවන් කමක් නැතත් ඒ කොටස වෙනස් කළත් කතාව ගලාගෙන යනවා. ග්‍රීන්කාඩ් ලොතරැයි ක්‍රමය පටන් ගත්තේ 1995 සිට වුවත්, අපිට කතාව ඇතුළේ මේ කාලය තව අවුරුදු දහයක් පස්සට ගෙනි යන්න පුළුවන්. එවිට කතාව ඓතිහාසික සන්දර්භයේ ස්ථානගත කරන්න බැරි වෙනවා තමයි. ඒක අවුලක්. නමුත්, ඒ අවුල පැත්තකින් තියලා චරිත වෙත එබී බලන්න බැරි කමක් නැහැ. නමුත්, කතාවේ චරිත හා සිද්ධි අතර සංගත බවක් නැති වුණාම කතාවේ ආකෘතියම බිඳ වැටෙනවා. මොකද කතාවේ හරය තියෙන්නේ සපරමාදු පවුලේ සාමාජිකයින් අතර අන්තර්ක්‍රියා ඇතුලෙ නිසා.

රචකයා විසින් කරලා තියෙන්නේ තනි තනිව සිදු විය හැකි සිද්ධි ගණනාවක් එකතු කරලා මනඃකල්පිත කතාවක් ගොඩ නගන එක. මේ වගේ මනඃකල්පිත කතාවක් සිදු විය හැකි දෙයක් බව පෙන්වන්න කතාවේ අමුද්‍රව්‍ය වන තනි සිද්ධි තනි තනිව සිදු විය හැකි දේ වීම ප්‍රමාණවත් නැහැ. ඒ තනි සිද්ධි අතර සම්බන්ධය විශ්වාසනීය ලෙස ගොඩ නගන්න ඕනෑ.

ගොඩක් ප්‍රබන්ධ වල ඔය වැඩේ වෙනවා. ප්‍රබන්ධය කියෙවුවට පස්සේ මේක සැබෑ ලෝකයේ කවදාවත් ඔය විදිහට වෙන්න බැරි දෙයක් කියලා අපට තේරෙනවා. නමුත්, කතාවේ හැම හුදෙකලා සිද්ධියක්ම විය හැකි දේවල් නිසාත්, ඒ හුදෙකලා සිද්ධි විශ්වාසනීය ලෙස සම්බන්ධ කරලා තිබෙන නිසාත් අපිට මේ වගේ ප්‍රබන්ධයක් කවදාවත් වෙන්න බැරි දෙයක් කියලා ප්‍රතික්ෂේප කරන්න බැහැ. හොඳ ප්‍රබන්ධයක මූලික ලක්ෂණය ඒකයි.

ලේඛකයා විසින් කතාව එය ගලා යන ඓතිහාසික සන්දර්භය ඇතුළේ නිවැරදිව ස්ථානගත කර ඇත්නම් මේ විශ්වාසය වඩාත් තහවුරු වෙනවා. විශේෂයෙන්ම ඓතිහාසික සන්දර්භය ගැන දැනුමක් තිබෙන පාඨකයින්ට එය බලපානවා. එහෙම නැතත් විශාල අවුලක් නැහැ.

රට ගිය ඇත්තෝ කතාවේ ඓතිහාසික සන්දර්භය නිවැරදි නැති වීමට අමතරව තනි සිද්ධි අතර විශ්වාසනීය ලෙස සම්බන්ධයක් ගොඩ නගලා නැහැ. ඒ කියන්නේ මේ කතාව අඩු වශයෙන් ප්‍රබන්ධයක් ලෙස වුවත් විශ්වාසනීය එකක් නෙමෙයි. ඒ නිසා, කතාව කතාවක් විදිහට වුවත් අසාර්ථකයි. අසංගතයි.

බාල දුව ඇමරිකාවට එන කොටස අවුරුදු පහයි. ඔය වගේ වයසක ඇමරිකාවට එන සංක්‍රමණික පවුල් වල දරුවන් බොහෝ විට පන්තියක් පහු කර පාසැල් යන බව වැනි දේ අමතක කළත් පාසැල් අධ්‍යාපනය අවසන් කරන්න අවුරුදු දොළහක් යනවා. ප්‍රථම උපාධියට හා පශ්චාත් උපාධියට අවම වශයෙන් අවුරුදු පහක් යනවා. කෙළින්ම කියා නැතත් රචකයා කියන්න හදන්නේ අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසුව දුවලා විවාහ වූ බව කියලයි පෙනෙන්නේ. එහෙත්, කතාවේ තොරතුරු අනුව පොඩි දුව අඩු වයසකින් ගර්භණී වෙලා. එය ලේඛකයාට කියන්න අවශ්‍ය වූ කරුණක් කියා හිතන්න අමාරුයි.

කතාව අන්තිමේ පද්මිණී ගෙදරක දරුවෙක් බලා ගන්නවා. රචකයා පෙන්නන්න හදන්නේ මැද පෙරදිග ගෘහ සේවිකා රැකියාවක් වගේ තත්ත්වයක්. ඇමරිකාවේ ඒ ආකෘතියේ ගෘහ සේවිකාවන් නැහැ. දරුවන් බලා ගැනීම නියමිත කාලය තුළ කරලා හවසට ගෙදර එන වෘත්තීය රැකියාවක්. පද්මිණී කාලයක් මොන්ටිසෝරියක රැකියාවක් කළ කෙනෙක්. ඇමරිකාවේ වඩා ප්‍රචලිත වචනය පෙර පාසැල් කියන එකයි. මොන්ටිසෝරි කියා කියන්නේ පෙර පාසැල් වල උගන්වන එක් ආකෘතියක්. ගොඩක් වෙලාවට පෙර පාසැල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන එකටයි යන්නේ. පද්මිණී මේ වගේ තැනක වැඩ කළානම් ඇයට සේවා පළපුරුද්දක් තිබෙනවා. "බේබි සිටින් කරල පළපුරුද්ද තියෙනව කියල" දුවගෙන් සහතිකයක් ගන්න දෙයක් නැහැ. එහෙම සහතිකයක් කවුරුවත් ගණන් ගන්නෙත් නැහැ. ඔය වගේ විශ්වාසනීය නොවන කරුණු ගණනාවක් මේ කතාවේ මූලික ආකෘතිය ඇතුළෙම තිබෙනවා.

කතාවේ කරුණු අනුව සිරිල් සපරමාදු ඇමරිකාවට එන්නේ අවුරුදු 43ක් පමණ වයසක සිටියදී. ඒ වන විට ඔහු ලංකාවේ වැදගත් රැකියාවක් කරන කෙනෙක්. ඔහුගේ බිරිඳත් රැකියාවක් කරනවා. මේ රැකියා විශ්‍රාම වැටුප් හිමි ස්ථිර රැකියා. ඒ හැම දෙයක්ම දාලා ඇමරිකාවට එන එක විශාල අවදානමක් බව ඔහුට නොතේරෙන්න හේතුවක් නැහැ. ඇමරිකාවට ඇවිත් ගෑස් ස්ටේෂන් එකක රැකියාව කරලා ඔහුට කෙසේවත් තමන්ට ලංකාවේදී තිබුණු ජීවන තත්ත්වය පවත්වා ගන්න බැහැ.

ඇමරිකාවට ලාංකිකයින් සංක්‍රමණය වන ක්‍රම ගණනාවක් තිබෙනවා. සමන් ජයසිංහ මෙන් සංචාරක වීසා වලින් ඇවිත් ගල් වෙන එක එක ක්‍රමයක්. දැන්නම් එහෙම එන කෙනෙකුට ගොඩ යා හැකි කිසිම ක්‍රමයක් නැහැ. සමන් ජයසිංහගේ තත්ත්වය ඇත්ත තත්ත්වයට වඩා ගොඩක් හොඳ තත්ත්වයක්. එහෙම එන එක ගැනනම් කතා කරන එකෙත් තේරුමක් නැහැ. මගේ අදහස එහෙම එන එක දැන්නම් සිදු නොවන තරම් කියලයි. කලින් ඔය විදිහට ආපු ගොඩක් අයත් මේ වෙද්දී ආපසු ලංකාවට ගිහින් හෝ යන්න වෙලා.

තවත් ක්‍රමයක් වෙන්නේ කෙළින්ම රැකියාවක් සඳහා එන එක. මේ අවස්ථාව බොහෝ දෙනෙකුට ලැබෙන එකක් නෙමෙයි. තොරතුරු තාක්ෂණය හා සෞඛ්‍යය වගේ සීමිත ක්ෂේත්‍ර කිහිපයක සීමිත පිරිසක් මේ විදිහට ඇවිත් ඉන්නවා. එවැනි අය ඇමරිකානු ශ්‍රම වෙළඳපොළේ තරඟ කළ හැකි අයයි. ඔවුන්ගේ ආදායම් මට්ටම වගේම ජීවන තත්වයත් ඉතා හොඳයි.

ඇමරිකානු පුරවැසියෙකු සමඟ විවාහ වී පැමිණීම තවත් ක්‍රමයක්. මෙයත් සුලභ ක්‍රමයක් නෙමෙයි. මේ විදිහට පැමිණෙන කෙනෙක්ට රටට එන කොටම සුරක්ෂිතතා දැලක් තිබෙනවා. ඒ නිසා, අනෙක් ක්‍රම වලට එන සංක්‍රමිකයින් මුහුණ දෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්නේ නැහැ.

ලංකාවේ සිට ඇමරිකාවට එන බොහෝ දෙනෙක් එන්නේ ඉතිරි ක්‍රම දෙකෙන් එකකින්. අධ්‍යාපනය සඳහා මුලින්ම පැමිණ ඇමරිකාවේ නැවතීම හෝ ග්‍රීන්කාඩ් ලොතරැයිය දිනා පැමිණීම. ඇමරිකාවේදී අහම්බෙන් හමු වෙන ලාංකිකයින් බොහෝ දෙනෙක් ඔය ක්‍රම දෙකෙන් එකකට ආපු අයයි.

ලංකාවේ සිට ඇමරිකාවට අධ්‍යාපනය සඳහා එන අය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පළමු කොටස ලංකාවේ සරසවියකින් ප්‍රථම උපාධිය ලබා ගැනීමෙන් පසුව ශිෂ්‍යත්වයක් ලබා පශ්චාත් උපාධියක් හදාරන්න එන අය. මේ විදිහට එන්නේ ලංකාවේ සරසවි වල උඩම ස්ථරයේ ඉන්න ඉතාම දක්ෂ අය කියා කියන්න පුළුවන්. දෙවැනි කොටස මුදල් ගෙවා තමන්ගේ දරුවන්ට ඇමරිකාවේ අධ්‍යාපනය හදාරන්න අවස්ථාව ලබා දිය හැකි අයගේ දරුවන්. මේ සඳහා වැය වන මුදල වෙනත් බොහෝ බටහිර රටවලට සාපේක්ෂව වුවත් විශාල මුදලක්. ඉතා කලාතුරකින් දක්ෂකම මත ප්‍රථම උපාධිය හදාරන්න එන සිසුවෙක් වුනත් ඉන්න පුළුවන්. ඒ වගේම, මුදල් ගෙවා එන සිසුන් බොහෝ දෙනෙක්ද මුදල් බලයෙන්ම එන අය නෙමෙයි. බොහෝ විට ලංකාවේ සරසවියකට යන්න වුවත් සුදුසුකම් තිබෙන අය.

ඇමරිකාවට අධ්‍යාපනය සඳහා එන අයට ඇතැම් සීමා වලට යටත්ව මිස රැකියා කරන්න බැහැ. එහෙත්, ඇමරිකාවේ උපාධියක් හදාරන අයෙකුට බොහෝ විට උපාධිය ලබා ගැනීමෙන් පසුව තමන්ගේ කුසලතා මත ඇමරිකාවේ රැකියාවක් හොයා ගන්න පුළුවන්. ඉන් පසුව, රැකියාව සඳහා බඳවා ගන්නා සමාගමේ උදවුවෙන් රැකියා කිරීමේ අවසරය ලබා ගන්නත් පුළුවන්. කාලයක් යද්දී තමන්ගේ කුසලතා මත පදනම්ව ස්ථිර පදිංචිය හෙවත් ග්‍රීන්කාඩ් එක ලබා ගන්නත් පුළුවන්.

ඇමරිකාවට අධ්‍යාපනය සඳහා එන හැම දෙනෙක්ම ඇමරිකාවේ නවතින්නේ නැහැ. පශ්චාත් උපාධියක් ලබාගෙන ආපසු යන කෙනෙකුට ලංකාවේ සරසවියක හෝ වෙනත් තැනක රැකියාවක් හොයා ගන්න අමාරු නැහැ. මුදල් ගෙවා ඉගෙන ගන්න එන කෙනෙක් කියන්නේත් ලංකාවේ ව්‍යාපාර හෝ වත්කම් ඇති කෙනෙක්. ඒ නිසා, ඔය කොයි ක්‍රමයට ආවත් යමෙක් ඇමරිකාවේ නවතින්නේ එහි අවදානමක් නැත්නම් පමණයි. මේ වගේ කෙනෙක් බොහෝ විට අධ්‍යාපනය අවසන් කර ජීවිතය පටන් ගන්නේම හොඳ රැකියාවකින්. ඉන් පසුව, ජීවන තත්ත්වය පහළට වැටෙන එක සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි.

ඇමරිකාවට බොහෝ දෙනෙක් නීත්‍යානුකූල ලෙස පැමිණෙන අනෙක් ප්‍රධාන ක්‍රමය ග්‍රීන්කාඩ් ලොතරැයියයි. සෑම වසරකදීම ලාංකිකයින් සිය ගණනක් මේ ක්‍රමයට ඇමරිකාවට එනවා. අධ්‍යාපනය සඳහා පැමිණ නවතින හා කෙළින්ම රැකියා සඳහා පැමිණෙන අයට රැකියාව හා ආදායම පිළිබඳ ප්‍රශ්නයක් නැතත් ග්‍රීන්කාඩ් එක ගන්න කට්ටක් කන්න වෙනවා. ඒ සඳහා කාලයක් ගත වෙනවා. බොහෝ විට සැලකිය යුතු මුදලක් නීතිඥ ගාස්තු ලෙස ගෙවන්නත් වෙනවා. මේ තත්ත්වයට සාපේක්ෂව ග්‍රීන්කාඩ් ලොතරැයිය දිනා ඇමරිකාවට එන කෙනෙක් රටට ගොඩ බහින්නේම ග්‍රීන්කාඩ් එක අතේ අරගෙනයි. (ග්‍රීන්කාඩ් එක ලෙස හඳුන්වන ප්ලාස්ටික් කාඩ් එක අතට ලැබෙන්නනම් ඇවිත් මාසයක් විතර යන්න පුළුවන්.)

හැබැයි අවුලකට තිබෙන්නේ ග්‍රීන්කාඩ් ලොතරැයිය දිනා ඇමරිකාවට එන කෙනෙකුට ලොතරැයිය නිසා හිමි වෙන්නේ ඇමරිකාවේ ජීවත්වීම සඳහා පැමිණීමේ අවස්ථාව පමණයි. එතැනින් එහාට තමන්ගේ ජීවිතය හා අදාළ කටයුතු සැලසුම් කර ගැනීම එන පුද්ගලයාගේ වැඩක්. ග්‍රීන්කාඩ් ලොතරැයිය නිසා රැකියා කිරීමේ අවසරය මිසක් රැකියාවක් ලැබෙන්නේ නැහැ. වෙළඳපොළේ තරඟ කර රැකියාවක් සොයා ගත යුතුයි.

ග්‍රීන්කාඩ් ලොතරැයිය දිනා වීසා ලබා ගැනීමට අවශ්‍ය අවම අධ්‍යාපන සුදුසුකම අපොස (උපෙ) මට්ටමයි. මේ සුදුසුකම පමණක් තිබෙන කෙනෙක් ලංකාවේ ශ්‍රම වෙළඳපොළේදී මුහුණ දෙන රැකියා තරඟයට ඇමරිකාවේදීත් මුහුණ දෙන්න වෙනවා. බොහෝ විට ඊට වඩා වැඩි තරඟයකට. අපහසුවක් නැතිව ආපු ගමන් සොයා ගත හැක්කේ ගෑස් ස්ටේෂන් මට්ටමේ රැකියා තමයි.

අවම අධ්‍යාපන සුදුසුකම අපොස (උපෙ) වුවත් ග්‍රීන්කාඩ් ලොතරැයිය දිනා ලංකාවෙන් ඇමරිකාවට එන අය අතරේ ඉහළ අධ්‍යාපන සුදුසුකම් තිබෙන අය ඉන්නවා. එහෙත්, ඇමරිකාවේ අධ්‍යාපන සුදුසුකම් වලට ලැබෙන සැලකිල්ල ලංකාවේ අධ්‍යාපන සුදුසුකම් වලට ලැබෙන්නේ නැහැ. ඒ නිසා, ඉහළ අධ්‍යාපන සුදුසුකම් ඇති අයෙකුට වුවත් මුලින්ම ගැලපෙන රැකියාවක් හොයා ගන්න එක අසීරු වැඩක්. තමන්ගේම ක්ෂේත්‍රයේ පහළ මට්ටමේ රැකියාවකින් පටන් ගත්තොත් ඉහළට යන්න අවස්ථාව වැඩියි. එහෙත්, ගෑස් ස්ටේෂන් මට්ටමේ අදාළ නැති රැකියාවකට ගියොත් එතැනම හිර වෙන්න පුළුවන්. ග්‍රීන්කාඩ් ලොතරැයිය දිනා ඇමරිකාවට එන කොට තමන්ගේ අනාගතය ගැන මොකක් හෝ සැලසුමක් තිබිය යුතුයි.

ලංකාවේදී උපාධියක් ලබා නැති, වයස අඩු කෙනෙකුට තිබෙන එක් අවස්ථාවක් වන්නේ ඇමරිකාවට පැමිණීමෙන් පසුව උපාධියක් හැදෑරීමේ අවස්ථාව හිමි වීමයි. අවස්ථාව කියා කියන්නේ නොමිලේ කියන එක නෙමෙයි. ග්‍රීන්කාඩ් ලොතරැයිය දිනා ඇමරිකාවට එන ගොඩක් අය ආවට පස්සේ මේ විදිහට කිසියම් අධ්‍යාපන සුදුසුකමක් උපයාගෙන පසුව හොඳ රැකියාවකට යනවා.

කොහොම වුනත් ග්‍රීන්කාඩ් ලොතරැයිය දිනා ඇමරිකාවට එන එකේ විශාල අවදානමක් තිබෙනවා. සමහර අය මුල් කාලයේ ඇමරිකාවයි ලංකාවයි දෙකම බැලන්ස් කරන්න හදනවා. අන්තිමේ ග්‍රීන්කාඩ් එක අත ඇරලා ලංකාවට යනවා. ඇමරිකාවට ආපු එකෙන් වැඩක් ගන්නනම් අවදානමත් ගන්න වෙනවා.

හරියට සැලසුම් කළානම් ඇමරිකාවට ආවට පස්සේ සිරිල් සපරමාදු පවුලට ගොඩ යන්න තිබුණා. අපි සිරිල් සපරමාදුගේ පරණ මහ බැංකු රස්සාව, අධ්‍යාපන සුදුසුකම් ආදී සියල්ල පැත්තකින් තියමු. මේ පවුලට ගොඩ යන්න අවශ්‍යනම් පද්මිණීගේ දිවා සුරැකුම් රැකියාවෙන් වුවත් ගොඩ යන්න තිබුණා. මේ රැකියාව ලංකාවෙන් ඇමරිකාවට සංක්‍රමණය වන කාන්තා පාර්ශ්වයේ අය අතර ජනප්‍රිය රැකියාවක්. අවුරුද්දක් විතර කොහේ හෝ වැඩ කරලා අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කරගෙන බලපත්‍රය ලබා ගත්තානම් ගෙදරම දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් දමා ගන්න තිබුණා.

අපි හිතමු සිරිල් සපරමාදුට හොඳ රැකියාවක් හොයා ගන්න අවස්ථාවක් තිබුණේ නැහැ කියලා. ඔහුට ගෑස් ස්ටේෂන් එකක වැඩට යන්නේ නැතිව බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ පොඩි රැකියාවකට යන්න තිබුණා. පොඩි රැකියාවක් කියන්නේ අපේ බ්ලොග් එකේ ඇනෝ කෙනෙක් නිතරම දමන ප්‍රතිචාර වල අහන විදිහේ සුළු සේවක නැත්නම් පියන් රස්සාවක් නෙමෙයි.

ඇමරිකාවේ හන්දියකට ගියාම බැංකු හතරක් පහක් තියෙනවා. බැංකු ව්‍යාපාරය ගොඩක් තරඟකාරී එකක්. බැංකු රස්සාවක් හැම විටම ලංකාවේ වගේ පොෂ් රස්සාවක් නෙමෙයි. 2019දී බෑන්ක් ටෙලර් කෙනෙකුගේ මධ්‍යස්ථ වැටුප ඩොලර් 31,230ක් පමණයි. ලංකාවේ වාණිජ බැංකුවක බෑන්ක් එක්සෙකටිව් කියන රස්සාවම තමයි.

අවශ්‍ය කුසලතා අනුව බැලුවොත් ඔය රස්සාවත් ගෑස් ස්ටේෂන් රස්සාවක් මට්ටමේම එකක්. පොඩ්ඩක් උඩින් ඇති. හැබැයි ඔය වගේ රස්සාවක් කළානම් සිරිල් සපරමාදුට මානසික ආතතියක් නැතිව වඩා සතුටෙන් රස්සාව කරන්න තිබුණා. ගොඩක් වෙලාවට පුරප්පාඩුත් තිබෙනවා.

ඔයිට වඩා ආදායමක් හොයන්න අවශ්‍යනම් ණය එකතු කිරීමේ රස්සාවක් වගේ දෙයක් කරන්නත් තිබුණා. වැටුපට අමතරව කොමිස් මුදලක් හෝ පාරිතෝෂිකයක්ද ලැබෙන රැකියාවක්. ඔය වගේ රස්සාවක් කළානම් සම්බන්ධතා ගොඩ නගා ගැනීමෙන් පසුව තමන්ගේ අතීත සුදුසුකම් හා පළපුරුද්ද සමඟ ගැලපෙන හොඳ රස්සාවකට පහසුවෙන් යන්න තිබුණා. එහෙම නොකර සිරිල් සපරමාදු ගෑස් ස්ටේෂන් එකේම හිර වෙලා හිටියේ ඇයි?

මේ කතාවේ අවුල්ම තැන සපරමාදු ජෝඩුව පොඩි දුව ළඟට යන තැන. ඒ වෙද්දී සපරමාදු පවුල ඇමරිකාවට සංක්‍රමණය වෙලා අවුරුදු 20කට කිට්ටුයි. මේ වෙද්දී ඔවුන් සතුව ගෙයක් තිබුණේ නැද්ද? පොඩි දුව ළඟට යද්දී ඒ ගෙට කළේ මොකක්ද?

සපරමාදුලා අවුරුදු 20ක්ම කුලියට හිටියද? ඇමරිකාවේ එහෙම වෙන්න හේතුවක් නැහැ. බොහෝ ඇමරිකානුවන් නිවසක් මිල දී ගන්නේ නිවාස ණයක් අරගෙනයි. අවුරුදු 15-30 අතර කාලයකට නිවාස ණයක් ගන්න පුළුවන්. අවුරුදු 15කට ගත්තත් බොහෝ විට ගෙවන්න වෙන මාසික වාරිකය ඒ වගේම ගෙයක් කුලියට ගත්තොත් මාසයකට ගෙවන්න වෙන මුදලට වඩා වැඩි නැහැ. නගරය මැද්දෙන් බැරි වුනත් මිල අඩු උප නාගරික ප්‍රදේශයකින් ගෙයක් ගන්න අමාරු නැහැ. ඒ නිසා පුළුවන්කමක් තියෙද්දී ගෙයක් මිල දී නොගෙන කුලියට ඉන්නවා කියන්නේ ඇමරිකාවේ කවුරුවත් නොකරන මෝඩ වැඩක්.

ගෙයක් මිල දී ගන්න තිබෙන ප්‍රධානම බාධාව ඩවුන් පේමන්ට් එකක් ගෙවන්න මුදල් අතේ නැති වීම. ග්‍රීන්කාඩ් ලොතරැයිය මත පදනම්ව වීසා ලබාගන්නනම් ඇමරිකාවට ඇවිත් වසරක් ජීවත් වෙන්න ප්‍රමාණවත් මුදලක් අතේ තිබෙන බව පෙන්වන්න ඕනෑ. පස් දෙනෙක් ඉන්න පවුලකට ඩොලර් 30,680ක්. ඩවුන් පේමන්ට් එකක් ගෙවන්න ඔය වගේ මුදලකින් කොටසක් ප්‍රමාණවත්. මහ බැංකුවේ කාලයක් වැඩ කරපු, ලංකාවේ ඉඩකඩම් විකුණලා මුදල් අරන් ආපු සපරමාදු පවුල සතුව ඩවුන් පේමන්ට් ගෙවන්න අවශ්‍ය මුදල නැති වෙන්න හේතුවක් නැහැ. අවුරුදු පහළොවකට හෝ විස්සකට ණයක් ගත්තනම් පොඩි දුවගේ ගෙදරට යන කාලය වෙද්දී ණය ගෙවලත් ඉවරයි. ගෙදර වටිනාකමත් කිහිප ගුණයකින් වැඩි වෙලා. සපරමාදු ජෝඩුව දුව ළඟට ගියේ ගේ විකුණලාද? නැත්නම් කුලියට දීලද?

මේ කාලය වෙද්දී සපරමාදු සමාජ සංරක්ෂණ දීමනා ලබා ගන්නවා. එසේ ලබා ගත්තේ සාමාන්‍ය විශ්‍රාමික වයසට කලින් වයස 62දීද? ඒ ඇයි? සිරිල් සපරමාදු හා පද්මිණී පොඩි දුව ළඟට ගියේ කර කර හිටපු රැකියා අත ඇරලද?

ඇමරිකාවේ සමාජ සංරක්ෂණ දීමනා ලබාගත හැකි සාමාන්‍ය වයස 66-67 අතර වයසක්. අවශ්‍යනම් 62 සිට ලබා ගන්න පුළුවන් වුනත් ලැබෙන මුදල සමානුපාතිකව අඩු වෙනවා. ඇමරිකානුවන් සාමාන්‍යයෙන් මේ වයස වන තුරු වැඩ කරනවා. සංක්‍රමණිකයින් මීටත් වඩා වැඩි කාලයක් මිස අඩු කාලයක් වැඩ කරන්නේ නැහැ. ලැබෙන මුදල තීරණය වෙන්නේ වැඩ කළ කාලය සහ ඉපැයූ ආදායම මතයි. කලින් විශ්‍රාම ගන්නේ සමාජ සංරක්ෂණ දීමනා වලට අමතරව විශ්‍රාම දිවිය සඳහා විශාල මුදලක් ඉතිරි කරගත් අයෙක්. එවැනි මුදලක් ඉතිරි කරගෙන නැත්නම් හැකි තාක් කාලයක් වැඩ කළ යුතුයි. ගෙවල් රස්සා අත හැර සපරමාදු ජෝඩුව පොඩි දුව ළඟට ගියේ ඇයි?

දෙමවුපියන් තමන්ගේ දරුවන්ගේ නිවසේ ස්ථිර පදිංචිය සඳහා යන එක ඇමරිකාවේ ක්‍රමය නෙමෙයි. අවුරුදු විස්සක් ඇමරිකාවේ ජීවත් වීමෙන් පසුව සපරමාදු ජෝඩුව එය නොදැන සිටින්න හේතුවක් නැහැ. දරුවන් වැඩිහිටියන් වූ පසු ඔවුන්ගේ ජීවිත වලට අනවශ්‍ය ලෙස මැදිහත් වීම හෝ ඔවුන්ට බරක් වීම දෙමවුපියන් විසින් නොකළ යුතු දෙයක්. සපරමාදු පවුලේ දරුවන් ඇමරිකානුවන් මිස ලාංකිකයින් නෙමෙයි.

මහ බැංකුවේ රස්සාව කළ සිරිල් සපරමාදුට ඇමරිකාවේ බැංකු ගිණුමක් නොතිබෙන්න හේතුවක් නැහැ. එහෙම තිබුණානම් සමාජ සංරක්ෂණ දීමනා එන්නේ බැංකු ගිණුමටයි. එම දීමනා නොලැබී ගිය ආකාරය පැහැදිලි නැහැ.

පුතා ලඟට යන කොටත් සිරිල් සපරමාදුට සමාජ සංරක්ෂණ දීමනා ලැබුණා විය යුතුයි. ඒ වගේම ඉතිරි කරගත් කිසියම් මුදලක්ද නොතිබෙන්න හේතුවක් නැහැ. පාරට නොවැටී නවතින්න තැනක් හොයා ගන්න පුළුවන්කමක් තිබුණේම නැද්ද? ඇමරිකාවේ රැකියාවක් කරන්න අවසරයක් නැති සමන් ජයසිංහට ඔය කාලයේම ගෑස් ස්ටේෂන් එකක රැකියාවක් හොයාගන්න පුළුවන් වුනානම් ඇමරිකානු පුරවැසියෙකු වන, ඔය රස්සාවම කාලයක් කරලා පළපුරුද්දක් තිබෙන, සිරිල් සපරමාදුට ඒ වගේ රස්සාවක් හොයා ගන්න බැරි වෙන්න විදිහක් නැහැ. සෞඛ්‍ය ප්‍රශ්න තිබුණානම් අර්ධකාලීනව හෝ වැඩ කරන්න තිබුණා. ඒ අතර බිරිඳට කතා කරලා ඇයවත් ගෙන්වා ගන්න තිබුණා.

සමස්තයක් විදිහට මේ කතාවේ රාමුව ගත්තහම මෙතැන තියෙන්නේ සමාජයීය ප්‍රශ්නයක්. සිරිල් සපරමාදුව පාරට වැටෙන්නේ ආර්ථික හේතු මත නෙමෙයි. පෙනෙන්න තිබෙන ආර්ථික හේතු පසුපස තිබෙන්නේ සමාජයීය ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය ඇමරිකාවේ ප්‍රශ්නයක්ද නැත්නම් සපරමාදු පවුලේ ප්‍රශ්නයක්ද?

පවුලේ ලොකු දුව සෘජුවම මුළු පවුලම ප්‍රතික්ෂේප කරනවා. විවාහයෙන් පස්සේ ගිය තැනක්වත් සිරිල් සපරමාදු දන්නේ නැහැ. හැබැයි පියා නොදන්නවා වුනාට පවුලේ අනෙක් අයත් එක්ක ඇය සම්බන්ධතා පවත්වනවාද කියා අපි හරියටම දන්නේ නැහැ. ඇමරිකානු සංස්කෘතිය ඇතුළේ ලොකු මහත් වුනු දරුවන් ගෙදරින් යන එක සාමාන්‍ය දෙයක්. හැබැයි එහෙම ගියා කියලා දෙමවුපියන් සමඟ සම්බන්ධතා බිඳ වැටෙන්නේ නැහැ. ඒ සම්බන්ධතා වල ස්වභාවය වෙනස් වුනත් ශක්තිමත්.

පසුව සිරිල් සපරමාදු පුතා ළඟට යනවා. එතැනදීනම් දැකිය හැක්කේ සංස්කෘතික ගැටුමක්. තරුණ පුතෙක් තනියම ජීවත් වන කාමරයකට තාත්තා පදිංචියට ගියාම ඒක අවුල් බව සිරිල් සපරමාදුට තේරෙන්න ඕනෑ. දවසකට දෙකකට හරි සතියකට දෙකකට හරිනම් කමක් නැහැ. දිගටම ඉන්න. ඇමරිකාවේ නෙමෙයි ලංකාවේ වුනත් මේ වගේ දෙයක් සිදු වෙන එකේ අවුලක් තිබෙනවා. කොළඹ කාමරයක ජීවත්වන අවිවාහක පුතෙක් ළඟට තාත්තා නවතින්න ආවොත් අවුලක් නැද්ද?

මේ කතාවේ තාත්තා තමන්ගේ කාමරේට ආවේ ඇයි කියන කාරණයට පුතා සංවේදී නැහැ. ඔහු කරන්නේ තාත්තාව මග හැර පලා යන එක. ඔහුට එසේ කරන්න ආර්ථික හේතු නැහැ. සමහර විට එතැනදී සංස්කෘතික වෙනස බලපානවා ඇති. කොළඹ කාමරයක නැවතී ඉන්න පුතෙක්ට වුනත් මෙය අවුලක් වුනත් ඔහු බොහෝ විට තාත්තාගේ ප්‍රශ්නයට සංවේදී වෙනවා.

සිරිල් සපරමාදු පුතාගේ සිංගල් බෙඩ් අපාර්ට්මන්ට් එකට යන එකේ අවුලක් තිබෙනවා කියන කරුණට පද්මිණී සංවේදී නොවුනේ ඇයි? ඇයත් මේ වෙද්දී ඇමරිකාවට ඇවිත් අවුරුදු 20ක්. රැකියාවක් කරපු සමාජය ආශ්‍රය කරපු කෙනෙක්. ගෙදරට වෙලා බත් තම්බ තම්බ හිටපු ගෑණියෙක් නෙමෙයි.

ගොඩක්ම අවුලක් පේන්න තිබෙන්නේ පද්මිණී හා සිරිල් සපරමාදු අතර අන්තිම හමුවේ. මේ වෙද්දී මොන විදිහකින් හරි සිරිල් සපරමාදු පාරට වැටිලා. හැබැයි කෙස් ගහක තල්ලුවකින් ඔහුගේ තත්ත්වය වෙනස් කරන්න පුළුවන්. ඒ තල්ලුව දීමේ හැකියාව පද්මිණීට තිබෙනවා.

මේ වෙද්දී පද්මිණීගේ වයස අවුරුදු හැටක් පමණ කියා කියමු. ඇමරිකාවේ හැටියට එය සාපේක්ෂව තරුණ වයසක්.

"දවසක් මම පාක් එකේ බංකුවක ඇලවෙලා හිටියා. මං දැක්ක හැඩ රුව හුරු පුරුදු කෙනෙක් පොඩි බබෙක් කාට් එකක දාගෙන පාක් එකට එනව. ඒ පද්මිනී. දිග කලිසමක් ඇඳල. අඳුරන්නත් අමාරුයි."

පද්මිණී සාපේක්ෂව නිරෝගීව ඉන්නවා. රැකියාවක් කරනවා. සිරිල්ට සාපේක්ෂව විශාල ආර්ථික ප්‍රශ්නයක නැහැ. කොහේ හෝ තැනක, අවම වශයෙන් සිංගල් බෙඩ් අපාර්ට්මන්ට් එකක ජීවත් වනවා විය යුතුයි. සිරිල් සපරමාදු පොඩි දුවගේ ගෙදරින් පිට වී ගියාට පසුව ගත වුනු කෙටි කාලය තුළ පද්මිණී ඇමරිකාවට ගැලපෙන විදිහට ගොඩක් වෙනස් වෙලා. සිරිල් සපරමාදු එක්ක ඉන්නකම් පද්මිණී අවුරුදු ගානක්ම කලිසම් ඇන්දේ නැද්ද? ඒ ඇයි?

වැදගත්ම කාරණය පද්මිණීට සිරිල් සපරමාදුව "බේර ගන්න" පුළුවන්කම තියෙද්දී ඇය ඔහුව මග හැර යන්නේ ඇයි කියන එකයි. ලංකාවේ ඉපදුනත් ළමයි තුන්දෙනා හැදුනේ ඇමරිකාවේ කියමු. නමුත්, පද්මිණී? මේ සිරිල් සපරමාදු එක්ක අවුරුදු විසි අටක් පවුල් කාපු, ඒ කාලය තුළ කවදාවත් වෙන් වෙලා නොහිටපු ගෑණි. ඒ ගෑණි එක පාරටම වෙනස් වුනේ කොහොමද? ඇමරිකාවට ආපු අලුත මේ වගේ දෙයක් වුනානම් තව හිතා ගන්න පුළුවන්.

මේ කතාව සමස්තයක් විදිහට මේ ආකාරයෙන් වෙන්නනම් සිරිල් සපරමාදු චරිතය ඇතුලෙ අපට නොපෙනෙන මොකක් හරි ලොකු අවුලක් තියෙන්න ඕනෑ. පද්මිණී හා දරුවන් ගැටෙන්නේ ඒ අවුල එක්කයි.

සිරිල් කියන්නේ උපයන සල්ලි නාස්ති කරන බේබද්දෙක්ද? ලංකාවෙන් එන්න අවශ්‍ය වුනේ සූදුවට ගිහින් ණය ගොඩ ගැහුණු නිසාද? ඇමරිකාවට ඇවිදිනුත් ඒ පුරුද්ද අත ඇරියේ නැද්ද? එහෙම නැත්නම් වෙන ගෑණු පස්සේ යන්න පුරුදු වී සිටි පුද්ගලයෙක්ද? කාලයක් තිස්සේ බිරිඳට හා දරුවන්ට තඩි බාපු, ඒ හේතුව නිසාම දරුවන්ගේ හා බිරිඳගේ වෛරයට පාත්‍රව හිටි කෙනෙක්ද?

ඉගෙන ගත්ත, ලොකු රැකියා කරන අය අතරත් ඔය වගේ චරිත ඉන්නවා. ඔය වගේ තත්ත්වයක් තිබුණානම් මේ කතාවේ සිද්ධි දාමය පහසුවෙන් ගලපාගන්න පුළුවන්. එවිට එතැන තියෙන්නේ සංක්‍රමණය වීම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ලංකාවේ හිටියත් ඔය වගේ දෙයක් වෙන්න පුළුවන්.

සිරිල් සපරමාදු කියා කියන්නේ පුළුවන් තරම් අඩුවෙන් වැඩ කර පඩිය ගන්න බලාගෙන සිටි සම්ප්‍රදායික රාජ්‍ය සේවකයෙක්ද? ඇමරිකාවට ආවට පස්සේ අසාර්ථක වුනේ ඒ නිසාද?

වෙන්න පුළුවන්. නමුත්, එය පවුලේ සාමාජිකයින්ගේ වෛරයට පාත්‍ර වෙන්න හේතුවක් නෙමෙයි.

ඇමරිකන් උණ හැදිලා ආවත් සිරිල් සපරමාදු එක කකුලක් ලංකාවෙන් ගන්නේ නැහැ.

"Panadol ? are you sri lankan?”

ඇමරිකාවේ ඉන්න ශ්‍රී ලාංකිකයින් අතර දැකිය හැකි පැනඩෝල් මානසිකත්වය අවුරුදු විසි පහකට පස්සේත් සිරිල් සපරමාදුගෙන් දකින්න පුළුවන්. දැන් ලංකාවේ දකින්න නැති ඩිස්ප්‍රින් තිබුණානම් තවත් සතුටු වෙයි.

"ඒව නිකම් "නමට විවාහ" ලාස් වේගාස් වල තියෙනව. ”drive through” කසාද බඳින්න තැනක්."

සිරිල් සපරමාදු කියන්නේ විවාහයක් සාර්ථක වෙන්නනම් හත් දොහක් මගුල් කන්න ඕනෑ කියලා හිතන කෙනෙක්ද?

"දෙන්නම ඇමරිකන් කාරයො දෙන්නෙක් එක්ක විවාහ උනා."

සිරිල් සපරමාදු දුවලා දෙන්නව බන්දලා දෙන්න හිතාගෙන හිටියේ කුල මල පොරොන්දම් ඔක්කොම බලලද?

”තාත්ත බියර් එකක් බොනවද?” පුතා බියර් බෝතලයක් කටේ තියාගෙන බොන ගමන් මගෙන් ඇහුව. මම මගේ තාත්ත ඉස්සරහ වාඩි වෙලාවත් නැහැ. මම මටම සාප කර ගත්ත."

තාත්තා ඉස්සරහ වාඩි වෙලාවත් නැති පුතෙක් කියන්නේ ලංකාවේ සංස්කෘතිය ඇතුළෙම වුනත් කොයි වගේ අවකාශයක ජීවත් වී තිබෙන කෙනෙක්ද?

"මගේ හිතේ තිබූ හීනමානය  නිසා ලංකාවෙ මිනිස්සු ගැවසෙන තැන් වලට නොයා ඉන්න මම පුරුදු උනා."

මහ පාරට වැටෙන්න මේ හීනමානයත් හේතු වුනාද?

"ඒ පද්මිනී. දිග කලිසමක් ඇඳල. අඳුරන්නත් අමාරුයි."

ඇමරිකාවට ආවට පස්සෙත් සිරිල් සපරමාදු තමන්ගේ බිරිඳට කලිසමක් අඳින එකටවත් ඉඩ දුන්නේ නැද්ද? ඒක එහෙමනම්, සිරිල් සපරමාදු ජීවත් වෙලා තියෙන්නේ ලංකාවේ අද සංස්කෘතිය ඇතුළේ නෙමෙයි. අඩු ගානේ අවුරුදු පණහකටවත් කලින් ලංකාවේ තිබුණු සංස්කෘතිය ඇතුළේ. ඔය වගේ මනුස්සයෙක් එක්ක බිරිඳ හා දරුවන් ජීවත් වෙන්න ඇත්තේ මොන තරම් පීඩනයකින් වෙන්න ඇත්ද? ගොඩක් වෙලාවට ඔය වගේ මනුස්සයෙක් බිරිඳට හා දරුවන්ට තඩි බාන එකත් පුරුද්දක් විදිහට කළා වෙන්න පුළුවන්. හොද්ද හැඳි ගාල තියෙන තරම තමයි කතාවෙන් පේන්න තියෙන්නේ.

කාලයක් තිස්සේ තමන්ගේ බිරිඳ හා දරුවන්ව විශාල පීඩනයක් යටතේ තියා ගත් පුද්ගලයෙකුගේ කතාව ලෙස සැලකුවොත්නම් මේ කතාව ගැලපෙනවා. ලොකු දුව හැකි ඉක්මණින් පවුලෙන් අයින් වෙනවා. තමන්ට පවුලට පිටින් හමුවන ආදරය සොයා යනවා. පසුව පුතා කරන්නෙත් පවුලෙන් අයින් වෙන එකයි. ඊට කළින්ම ඔහු තමන්ගේ ආතතිය මත් පැන් හා මත් ද්‍රව්‍ය වල උදවුවෙන් අඩු කරගන්න පුරුදු වෙනවා. ගෙදර එපා වී සිටින පොඩි දුව පෙම්වතෙක් හමු වූ වහාම ඔහු එක්ක යහන්ගත වෙනවා. පසුව විවාහ වෙනවා. අන්තිමට බිරිඳත් ඇගේ නිදහස හොයා ගන්නවා.

ප්‍රශ්නයට හේතුව සිරිල් සපරමාදුනම් දරුවන් හා පද්මිණී අත‍ර සම්බන්ධය දුර්වල වෙන්නේ කොහොමද?

පද්මිණී සිරිල් සපරමාදු ක්‍රියා කරන ආකාරයට එරෙහිව ප්‍රමාණවත් ප්‍රතිරෝධයක් දක්වන්නේ නැහැ. බිරිඳට තඩිබාන එක සැමියෙකුගේ පරම අයිතියක් කියා හිතන සම්ප්‍රදායික ගැහැණියක වගේ සැමියාගේ අකටයුතුකම් හා මෝඩකම් ඉවසා ගෙන ඉන්නවා. මෙයින් ළමයින් පීඩාවට පත් වෙනවා. එහි වැරැද්ද ඔවුන්ට පේන්න පටන් ගන්නේ ටික ටික ලොකු වෙද්දී. ඔවුන් පියා වගේම මවත් ප්‍රතික්ෂේප කරන්න පටන් ගන්නවා. සිදු වුනේ ඔය වගේ දෙයක්ද?

සපරමාදු පවුල ඇමරිකාවට සංක්‍රමනය නොවී ලංකාවේම හිටියානම් මේ වගේ තත්ත්වයකදී විස්තෘත පවුල විසින් මැදිහත් වීමක් කරනවා. යාලුවෝ සහ අසල්වැසියෝ මැදිහත් වෙනවා. ඇමරිකාවට පැමිණි නිසා ඒ කොටස සිදු වන්නේ නැහැ. ඒ හැර, මේ ආකාරයට සපරමාදු පවුලේ පවුල් සම්බන්ධතා බිඳ වැටෙන්න හේතුව ඔවුන් ඇමරිකාවට සංක්‍රමණය වීම කියා කියන්න බැහැ.

රට ගිය ඇත්තෝ සටහන් පෙළ මෙතැනින් ඉවරයි. හැබැයි මෙයටම අදාළ තවත් ලිපියක් එන්න තියෙනවා. ඒක රට (නො) ගිය ඇත්තෝ.


රට ගිය ඇත්තෝ (තෙවන කොටස)


මහ බැංකුවේ මාණ්ඩලික නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිටි සිරිල් සපරමාදු, ඔහුගේ බිරිඳ පද්මිණී සහ දරුවන් තිදෙනා ග්‍රීන්කාඩ් ලොතරැයිය ඇදී ඇමරිකාවට එනවා. ඔහු අවම වශයෙන් උපාධියක් ලබා තිබෙන, මහ බැංකුවේ වසර පහළොවකට නොඅඩු පළපුරුද්දක් තිබෙන කෙනෙක්. එහෙත්, ඔවුන්ට ඇමරිකාවේදී තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් වලට ගැලපෙන රැකියා ලැබෙන්නේ නැහැ.

"මාත් ඔයා වගේ ගෑස් ස්ටේෂන් එකක වැඩ කළා. වයිෆ්ට මොන්ටිසෝරියක රස්සාව ලැබුණා. අපි දෙන්නාගෙ පඩියෙන් පවුලක් නඩත්තු කරන්න අමාරු නිසා මම ජොබ් දෙකක් කළා."

සිරිල් සපරමාදුගේ බිරිඳ පද්මිණීට මොන්ටිසෝරියක රැකියාව ලැබුණේ ලංකාවෙන් එන්න කලින් අදාළ පාඨමාලාවක් හදාරා පෙර සූදානමක් ඇතිව පැමිණි නිසා වෙන්න පුළුවන්. 2019 දී ඇමරිකාවේ පෙර පාසැල් ගුරුවරියකගේ මධ්‍යස්ථ වැටුප ඩොලර් 30,520ක්. ඇතැම් විට ඇයට පටන් ගන්න වුනේ සහකාර ගුරුවරියක ලෙස වෙන්න පුළුවන්. එසේ වුවත්, වසර දෙකක් පමණ යද්දී ගුරුවරියක් සේ උසස් වෙන්න පුළුවන්. කලින් පාඨමාලාවක් හදාරා අවසන් කර නොතිබුණානම් ඒ කාලය ඇතුළත අවශ්‍ය වෘත්තීය සුදුසුකම් සම්පූර්ණ කර ගන්න එකත් අමාරු දෙයක් නෙමෙයි. ලංකාවේ පාසැල් ගුරුවරියකව සිටි පද්මිණීට ආපු ගමන්ම මොන්ටිසෝරි ආකෘතියේ හෝ වෙනත් පෙර පාසැලක රැකියාවක් ලැබුනානම් එය නරක තත්ත්වයක් නෙමෙයි.

පොඩි අවුලකට තියෙන්නේ සපරමාදු ජෝඩුවට 5, 6, 7 වයස් වල දරුවන් තිදෙනෙකු සිටීමයි. ඒ නිසා, පද්මිණීට පූර්ණකාලීන රැකියාවක් කරන්නනම් පාසැල් ඇරුණු පසුව පැය කිහිපයකට දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට යවන්න වෙනවා. ඇතැම් විට ඇය සේවය කළ තැනටම ගෙන්න ගන්න වුනත් පුළුවන්. හැබැයි දරුවන් තිදෙනෙකුගේ දිවා සුරැකුම් වියදම් ගෙවනවාට වඩා අඩු පැය ගණනක් වැඩ කර ගෙදර එන එක වාසි වෙන්න පුළුවන්. අපි හිතමු පද්මිණී මුලදී වැඩ කළේ අර්ධකාලීනව කියලා. බාලම දරුවාගේ වයස අවුරුදු දහයක් පමණ වන තුරු අවුරුදු පහක් හවස තුන වගේ වෙද්දී ගෙදර ආවා කියමු. එහෙම හිතලා ඒ අවුරුදු පහේ ඇගේ වාර්ෂික ආදායම ඩොලර් 15,000ක් දාමු.

අවුරුදු විසි පහකට කලින් තත්ත්වය දැන් තත්ත්වය එක්ක සසඳන එක නිවැරදි නැහැ. ඒ කාලයේ වැටුප් අඩුයි. නමුත්, ඒ කාලයේ ජීවන වියදම ඇතුළු අනෙක් දේවලුත් අඩු නිසා දැන් ජීවන තත්ත්වය එක්ක දැන් වැටුප් සංසන්දය කිරීමත්, ඒ කාලේ වැටුප් සමඟ ඒ කාලේ ජීවන තත්ත්වය සංසන්දනය කිරීමත් ආසන්න ලෙස සමානයි. සපරමාදුලා ලංකාවට පැමිණි අවුරුද්ද දන්නේත් නැති නිසා අපි උද්ධමනයේ බලපෑම අත ඇරලා අද තත්ත්වයට සාපේක්ෂව හැම දෙයක්ම සංසන්දනය කරමු. ඒ කියන්නේ අපි කතා කරන්නේ සපරමාදුලා ඇමරිකාවට පැමිණි කාලයේ ඩොලර් වල අද අගයයන් ගැනයි.

ගෑස් ස්ටේෂන් එකක රැකියාවක් කියා කියන්නේ මීට වඩා අඩු වැටුපක් ලැබෙන රැකියාවක්. බොහෝ විට ලැබෙන්නේ අවම වැටුපයි. 2019 වසරේදී ඔය වගේ රැකියාවක් කළ කෙනෙකුගේ මධ්‍යස්ථ වැටුප ඩොලර් 23,650ක්. පූර්ණකාලීන රැකියාව කරන තැන පැය 40ක් වැඩ කරලා තව තැනක පැය 15ක් වැඩ කළා කියමු. ඩොලර් 30,000ක් වගේ හම්බ වෙයි. අවුරුදු 15-20ක් මහ බැංකුවේ මාණ්ඩලික ශ්‍රේණියක රැකියාවක් කරපු කෙනෙක්ට ඔය වගේ රැකියාවක් සතියකට පැය 55ක් විතර කරන එක ලේසි දෙයක් නෙමෙයි.

"ඒක හරිම අමාරු වැඩක්. හිතේ වේගෙට කළාට මම නිතර නිතර ලෙඩ වුනා."

සිරිල් සපරමාදු ගෙදර වැඩ සහ ළමයින්ව බලාගෙන බිරිඳට මොන්ටිසෝරියේ පූර්ණකාලීනව වැඩ කරන්න කිවුවනම් අඩු ගානේ ඩොලර් 25,000ක් විතර හොයා ගන්න තිබුණා. ළමයි පාසැල් යන වෙලාවේ හා සති අන්තයේ අර්ධකාලීනව වැඩ කරලා සිරිල්ටත් තව ඩොලර් 10,000ක් විතර හොයා ගන්න තිබුණා. එහෙම කරන ගමන් වඩා හොඳ රැකියාවක් හොයන්න තිබුණා. ලොකු දේවල් කරන්න බැරි වුනත් ඩොලර් 25,000ක් වගේ ගාණකින් වුනත් පවුලකට ජීවත් වෙන්න බැරි නැහැ. පවුලේ පස් දෙනෙක් ඉන්න නිසාත්, ග්‍රීන්කාඩ් එක තියෙන නිසාත්, ආහාර මුද්දර එහෙමත් ගන්න පුළුවන්.

කතාවේ පිළිවෙලට සිරිල් සපරමාදු බිරිඳට සේවය කරන්න අවස්ථාව දී ගෙදර ළමයි බලා ගන්න ජාතියේ පිරිමියෙක් නෙමෙයි. ඔහුට ඇමරිකන් උණ හැදී ඇමරිකාවට ආවා කියා කිවුවත් ඔහු ජීවත් වෙන්නේ ඇමරිකන් ජීවිතයට දුරස්ථවයි. ඔහුගේ දූ වරුන් දෙන්නා ඇමරිකානුවන් සමඟ විවාහ වීම ගැන ඔහු පසුව කතා කරන්නේ එතරම් ප්‍රසාදයකින් බව පෙනෙන්නේ නැහැ. ඇමරිකන් උණ තියෙන කෙනෙක් හරිනම් ඒ ගැන සතුටු වෙන්න ඕනෑ.

සිරිල් සපරමාදුට වඩා හොඳ රැකියාවක් හොයා ගන්නම බැරි වුනානම් තව මොනවා හෝ අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකමක් හදා ගන්න තිබුණා. මහ බැංකුවේ මාණ්ඩලික නිලධාරියෙක් විදිහට වයස අවුරුදු 43ක් වෙනකම් වැඩ කරලා ඉතිරි කරගත් මුදල් හා ලංකාවේ තිබුණු දේපොළ විකුණා ලැබූ මුදල් අරගෙන ආවානම් අතේ සැලකිය යුතු මුදලක් තියෙන්න ඕනෑ. ඒ නැතත් ශිෂ්‍ය ණය ගන්න පුළුවන්. ලංකාවෙන් එද්දී උපාධියක් නොතිබුණු, ග්‍රීන්කාඩ් ලොතරැයියෙන් ඇමරිකාවට ආපු මම දන්න කිහිප දෙනෙක්ම ඇමරිකාවට ආවට පස්සේ උපාධි පාඨමාලා සම්පූර්ණ කරලා හොඳ රැකියා කරනවා. උපාධියක් කරන්න වයස ප්‍රශ්නයක් නෙමෙයි. වයස පණහ පැනපු කෙනෙක් ඉගෙන ගන්න එක ඇමරිකාවේ සාමාන්‍ය දෙයක්. එහෙම දෙයක් නොකර ගෑස් ස්ටේෂන් වගේ තැන් වල දිගටම වැඩ කර කර හිටියනම් කතාවේ කියනවා වගේ දෙයක් වෙන එක පුදුමයක් නෙමෙයි.

අනෙක් අතට ඔය ගෑස් ස්ටේෂන් වගේ තැන් වලම වැඩ කරපු ග්‍රීන්කාඩ් ලොතරැයියෙන් ඇමරිකාවට ආපු මම දන්නා ලංකාවේ අය ඉන්නවා. හැබැයි එහෙම අයත් දිගින් දිගටම එකම තැන ඉන්නේ නැහැ. අවුරුද්දක් දෙකක් යද්දී සහකාර කළමනාකාර, කළමනාකාර ආදී ලෙස ඉහළට යනවා. ඉර හඳ අල්ලන එක කොහොම වුනත්, උනන්දුවෙන් හා අවංකව වැඩ කරන කෙනෙක්ට මොන රස්සාව කළත් ඉහළට යන්න පුළුවන්. හැබැයි සමන් ජයසිංහ වගේ තමන් කරන රැකියාවට අවංක නැති අයටනම් වැඩේ අමාරුයි.

"මට මහන්සියි. නිදිමතයි. අපි පස්සෙ හමුවෙමු කියල, රෑ ෂිෆ්ට් එකෙන් මාටියා ගහපු ඩොලර් කීපයක් මම මිනිහගේ අතේ තියල නවාතැනට ගියා."

සමහර විට සිරිල් සපරමාදුගේ ඉලක්කය වෙන්න ඇත්තේ දරුවන්ට හොඳට උගන්නන එක වෙන්න ඇති.

"පුතා නම් ඉගෙනීමට වැඩි උනන්දුවක් පෙන්නුවෙ නෑ. දූල දෙන්නම ”මාස්ටර්ස්” දක්වා ඉගෙනගෙන දෙන්නම ඇමරිකන් කාරයො දෙන්නෙක් එක්ක විවාහ උනා."

"පුතා මෝටර් මෙකැනික් කෝස් එකක් කරල මෝටර් රථ හදන කොම්පැනියකට බැඳුනා."

සපරමාදු පවුලේ දරුවන් තුන් දෙනාම ඉහළට ඉගෙනගෙන තිබෙනවා. සපරමාදුලාගේ ආදායම් මට්ටම අනුව දරුවන් ඉගෙන ගන්න ඇත්තේ ශිෂ්‍ය ණය අරගෙන විය යුතුයි. ඔවුන්ට ගෙවන්න සැලකිය යුතු ශිෂ්‍ය ණය ප්‍රමාණයක් ඇති. ඇමරිකාවේ සරසවියකින් මාස්ටර්ස් උපාධියක් ගත් අයෙකුට හොඳ වැටුපක් ලැබෙන රැකියාවක් කළ හැකියි. මෝටර් රථ හදන කොම්පැනියක මෝටර් මෙකැනික් කෙනෙක් කියන්නෙත් හොඳ ආදායමක් උපයන කෙනෙක්. එහෙම බැලුවොත් සිරිල් සපරමාදු ඇමරිකාවට ආපු එකෙන් දරුවන්ට නරකක් වෙලා නැහැ. හැබැයි මේ පවුලේ විශාල අවුල් ගොඩක් තිබෙනවා.

"ලොකු දුව වෙන ස්ටේට් එකකට ගියා පදිංචියට. ඉන්න තැනක් අපි කාටවත් කීවෙ නැහැ."

මේක ඉතාම අසාමාන්‍ය හැසිරීමක්. මේ වගේ හැසිරීමක් සාමාන්‍ය ඇමරිකානු පවුලකින් දකින්න ලැබෙන්නේ නැහැ. ඇමරිකාවේ ඉන්න ලාංකික සම්භවයක් ඇති පවුලකින් දකින්න ලැබෙන්නේත් නැහැ. මෙහෙම දෙයක් වෙන්නනම් සපරමාදු පවුලේ ලොකු දුවට කුමක් හෝ හේතුවක් නිසා තමන්ගේ පවුල එක්ක විශාල වෛරයක් තියෙන්න ඕනෑ. ඒ මොකක්ද කියලා රචකයා කියන්නේ නැහැ.

"පොඩි දුවට බබා ලැබිල අවුරුදු 5 කට පස්සෙ අපිව එක්ක ගියා එයාලගෙ ගෙදරට."

හැම දෙයම කණපිට හැරෙන්නේ සිරිල් සපරමාදු හා පද්මිණී තමන්ගේ පොඩි දුවගේ ගෙදර පදිංචියට යාමෙන් පසුවයි. සපරමාදුට පොඩි දුවගේ ගෙදරින් පිට වී පුතා ලඟට යන්න වෙන්නේත්, පාරට වැටෙන්නෙත් එයින් පසුවයි. අපි හිතමු මේ ටික වුනේ අවුරුද්දක් ඇතුළත කියලා. සපරමාදුට සමන් ජයසිංහව හමු වෙන්නේ පාරට වැටිලා අවුරුදු පහකින් පස්සේ. ලංකාවෙන් ඇවිත් අවුරුදු 25කට පස්සේ. ඒ කියන්නේ සපරමාදු ජෝඩුව පොඩි දුව ළඟට යන්නේ ලංකාවෙන් ඇවිත් අවුරුදු 19කට පස්සේ. ඒ වෙද්දී පොඩි දුවගේ බබාට අවුරුදු පහක් වෙලා.

සපරමාදුලා ඇමරිකාවට එනකොට පොඩි දුවගේ වයස අවුරුදු පහයි. ඒ කියන්නේ අවුරුදු දහ නවයකට පස්සේ වයස 24යි. එහෙමනම් බබා ලැබිලා තිබෙන්නේ වයස දහ නමයේදී. ගර්භණී වෙලා තියෙන්නේ වයස දහ අටේදී. ඒ කියන්නේ යාන්තම් පාසැල් අධ්‍යපනය ඉවර කරන වයසේදී. ටීන් ප්‍රෙග්නන්සි එකක් හෙවත් බාල වයස්කාර ගැබ් ගැනීමක්. ඇමරිකාවේදී වයස 21ක් වන තුරු කඩේකින් මත්පැන් දුම්වැටි ආදිය මිල දී ගන්නවත් බැහැ. හැබැයි වයස දහ අටක් වුනාට පස්සේ විවාහ වෙන්න බාධාවක් නැහැ. ගර්භණී වෙද්දී පොඩි දුව විවාහ වෙලාද හිටියේ?

"ඒව නිකම් ”නමට විවාහ” ලාස් වේගාස් වල තියෙනව ”drive through” කසාද බඳින්න තැනක්."

ගර්භණී වුණාට පස්සේ පොඩි දුවට හදිසියේම ”drive through” කසාද බඳින්න වුණාද?

කොහොම වුනත් පොඩි දුව දරුවාවත් හදාගෙන ප්‍රථම උපාධිය කරලා තව මාස්ටර්ස් උපාධියකුත් කරලා තියෙනවා. ඒ අතින්නම් මාරයි!

පොඩි දුව වයස දහ අටෙන් ගර්භණී වෙද්දී ලොකු දුවට දහනමයයි. පුතාට විස්සයි. ඒ වෙද්දීත් සපරමාදු පවුලේ පුතා මත්පැන් දුම්වැටි ආදිය මිල දී ගත හැකි වයසක නැහැ.  ලොකු දුව ප්‍රථම උපාධිය හා මාස්ටර්ස් උපාධිය කරලා තියෙන්නෙත් මේ සිද්ධියෙන් පස්සේ. පොඩි දුවගේ දරුවාගේ වයස අවුරුදු පහක් වන තුරු කාලය පවුලේ කාටත් වගේ හොඳ කාලයක්.

"මිනිහට හොඳයි. හැබැයි නාස්ති කාරයා. බීමට ඇබ්බැහි උනා. ඉතිරියක්, අනාගතයක් ගැන හිතුවෙ නැහැ"

ඔය කිවුවට ඔය වෙද්දී පුතාගේ වයස අවුරුදු 26ක් පමණයිනේ. මත්පැන් මිල දී ගත හැකි වයස සම්පූර්ණ කරලා අවුරුදු පහයි. ඔය වයසට ඔහොම නැත්තේ කවුද? ඉතිරියක්, අනාගතයක් ගැන හිතන්න තව කොච්චර කල් තියෙනවද? ඔක්කෝටම වඩා, ඔහොම කියන්නේ ඉතිරියක්, අනාගතයක් නැතිව හෝම්ලස් වෙලා පාරට වැටිලා ඉන්න මනුස්සයෙක්!

"දවසක් අපේ බෑණා – මයික් පියර්සන්- අහනව මගෙ දුවගෙන් what the hell that old man doing here කියල."

බෑණා හිටපු ගමන්ම මෙහෙම ඇහුවේ ඇයි? සපරමාදු මොකක් හරි හොඳටම අවුල් වැඩක් කළාද?

"Don’t talk like that. He is may dad. ඒ මගෙ දුව.

But this is my house– ඒ බෑණා."

ගොඩක් වෙලාවක විවාහක යුවලක් ගෙයක් ගන්නේ හවුලේ. මාස්ටර්ස් උපාධියක් තිබුණු පොඩි දුවට හොඳ රැකියාවක් නොතිබුණා වෙන්න බැහැ. එහෙම නොතිබුණත් ගොඩක් වෙලාවට ගෙයක් ගන්නේ හවුලේ. හදිසියේ දික්කසාද වුනත් ඇමරිකාවේ නීතිය අනුව දේපොළ දෙන්නාට සමානව බෙදෙනවා මිස එයාගේ ගේ මගේ ගේ කියලා එකක් නැහැ. ඒ ලංකාවේ. "This is my house" වගේ කතා ඇමරිකාවේ සුද්දන්ගේ සාමාන්‍ය කතා නෙමෙයි. තාත්තා හිටියත් නැතත් ඔය වගේ කතාවක් මනුස්සයෙක් කිවුවට පස්සේ ගෑණියෙක්ට තවත් ඒ ගෙදර ඉන්න පුළුවන්ද? ඔය වගේ කතාවක්ම ඇති දික්කසාද වෙන්න. පොඩි දුව දෙමවුපියන් ගෙන්න ගත්තේ මයික් එක්ක කතා නොකරද? දෙමවුපියන් ගෙන්න ගැනීම වගේ අසාමාන්‍ය දෙයක් එහෙම කළානම් ඒකත් ඇති දික්කසාද වෙන්න. නැත්නම් මයික් හොඳටම චාටර් කේස් එකක්ද?

ඔය සිද්ධියෙන් පස්සේ සිරිල් සපරමාදු පොඩි දුවගේ ගෙදරින් පිට වෙලා පුතා ළඟට යනවා. පාරට වැටෙන සිද්ධිය වෙන්නේ ඊට පස්සෙයි.

”තාත්තෙ මම යනව නිව්යෝර්ක් වලට. ට්‍රේනින් එකකට. සති දෙකකට.” එයා ඇඳුම් බෑග් එක, ලැප්ටොප් එක එහෙම අරගෙන පිටත් උනා."

තාත්තා ඇවිත් ටික දවසකින් පුතා තාත්තාට බොරුවක් කියලා හොරෙන්ම මාරු වෙනවා. පුතාට තාත්තාව එච්චරටම අවුල්ද? මුලින්ම ලොකු දුව නොකියා මාරු. දැන් පුතා නොකියා මාරු. පොඩි දුවගේ සැමියාටත් සපරමාදුව අවුල්. එහෙම වෙන්නේ කොහොමද? මේක අනෙක් හැමෝගෙම අවුලක්ද නැත්නම් සපරමාදුගේ අවුලක්ද?

අන්තිමට පද්මිණිට පවා සපරමාදුව එපා වෙනවා.

” මට ඉන්න නියම තැනක් නෑ. හුඟක් වෙලාවට ෆ්‍රී වේ එක යට තමයි නිදා ගන්නෙ”

” ඔයා කෞන්ටි හොස්පිටල් එකකට ගිහින් ඔය තුවාල වලට බෙහෙත් දාගන්න” 

ඉස්සර මට ලෙඩක් හැදුනම වැඩියෙන් කලබල වෙන්නෙ පද්මිනී. මාව බලෙන්ම දොස්තර ගාවට ඇදගෙන යනව. ලෙඩේ කියන්නෙත් එයාමයි. හැමදේම වෙනස් වෙලා.

” මට පරක්කු වෙනව. 5.30 වෙන කොට මේ බබාගෙ අම්ම එනව”

ලොකු දුවට පවුලම එපා වෙනවා. පුතා බොරුවක් කියලා පිට වෙලා ගිහින් තාත්තාගෙන් ගැලවෙනවා. පොඩි දුවගේ ගෙදරින්නම් එළවන්න කලින් හිතලම සිරිල් සපරමාදු පිට වෙලා යනවා. සපරමාදු එයට හේතු වුනු සිද්ධිය හරියටම කියන්නේ නැහැ. අන්තිමට වැඩ කළ හැකි වයසේ සිටින, රැකියාවක් කරන සිරිල් සපරමාදුගේ බිරිඳත් ඔහුව හමු වූ වහාම මග හැර හිමිහිට මාරු වෙනවා.

තමන්ට පළපුරුද්දක් හා බොහෝ විට වෘත්තීය සුදුසුකම්ද තිබෙන දරුවන් බලා ගන්න රැකියාවක් කරන පද්මිණී ජීවත් වන්නේ තනි කාමරයක් ඇති අපාර්ට්මන්ට් එකක වුවත් ඇයට සිරිල් සපරමාදුව එහි ගෙනියන්න පුළුවන්. ඉන් පසුව, ලිපිනයක් නැති ප්‍රශ්නයක් නැහැ. මොන හේතුවක් නිසා හෝ මාසිකව ලබා නොගත් සිරිල් සපරමාදුගේ මාසික සමාජ සංරක්ෂණ දීමනා ලොකු ඇරියස් එකක් එක්ක ගන්නත් පුළුවන්. වයස 65 පහු කර සිටින සිරිල් සපරමාදුට නොමිලේ සෞඛ්‍ය රක්ෂණයක්ද ලැබෙනවා. නමට හරි තව කෙනෙක් ගෙදර ඉන්න එක පද්මිණීට විශාල හයියක්.

එහෙමනම් පද්මිණී සිරිල් සපරමාදුව හමු වුනාට පස්සේ හිමිහිට මග ඇරලා ගියේ ඇයි? මෙතැන තියෙන්නේ ඇමරිකාවේ ප්‍රශ්නයක්ද නැත්නම් සිරිල් සපරමාදුගේ හෝ සපරමාදු පවුලේ ප්‍රශ්නයක්ද?

මේ කරුණු අපි හතරවන කොටසින් කතා කරමු.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...