වෙබ් ලිපිනය:

Showing posts with label ඵලදායීතාවය. Show all posts
Showing posts with label ඵලදායීතාවය. Show all posts

Thursday, October 15, 2020

බැල ගෙඩියටත් කෙලවන මිල පාලනය


ලංකාවට නිදහස් අධ්‍යාපනය හඳුන්වා දෙද්දී "ඔය වැඩෙන් වෙන්නේ ගමක පොල් ගෙඩියක් කඩා ගන්නවත් මනුස්සයෙක් නැති වෙන එක" කියලා සමහර අය විරුද්ධ වුනා කියනවනේ. ඔය පොල් කඩන වැඩේ කාලයක් ලංකාවේ විශාල පිරිසක් නිරතව හිටපු වෙන කරන්න දෙයක් නැති අයට කළ හැකි වූ රැකියාවක්. අපි පොඩි කාලේ විභාගයකදී ලකුණු ටිකක් අඩු වුනොත් වැඩිහිටියෝ කියන්නේ "ඔහොම කරලනම් කවද හරි පොල් කඩන්න තමයි වෙන්නේ" කියලා. මම හිතන විදිහට මේ රස්සාව අද සමාන කරන්න පුළුවන් වෙන්නේ ත්‍රිරෝද රථ රස්සාව වගේ එකකටයි.

ඒ දවස් වල පොල් කඩන රස්සාව කරපු අයට අපි සල්ලි දුන්නේ නැහැ. නගින ගහකට ගෙඩිය ගානේ දෙන එකයි කළේ. ඔයාකාරයට පොල් කැඩීමේ කුලිය විදිහට දුන් ගෙඩියට බැල ගෙඩිය කියලයි කිවුවේ. දැන් කල්පනා කරලා බැලුවහම වචනයේ තේරුම බැලයාගේ එහෙම නැත්නම් සේවකයාගේ පංගුව වගේ එකක් බව පේනවා. ඔය වචනය ගූගල් එකේවත් නැත්තේ සමහර විට අපේ පැත්තේ ප්‍රාදේශීය යෙදුමක් නිසාද දන්නේ නැහැ.

මේ "අපේ පැත්ත" තිබුණේ පොල් ත්‍රිකෝණය ඇතුළේ හෝ මුහුදක් අයිනේ නෙමෙයි. ඒ නිසා අපේ පොල් ගස් වල සාර සොබාවට ගෙඩි හැදුනේ නැහැ. එහෙම හැදුනේ ගේ කිට්ටුව තිබුණු වැඩි සාත්තු සප්පායම් ලැබූ ගස් කිහිපයක පමණයි. වත්තේ ගෙදරින් ඈතට වෙන්න තිබුණු, ඔහේ හැදෙනවට හැදුණු සමහර ගස් වල වල්ලක ගෙඩි දෙක තුනකට වඩා තිබුණේ නැහැ. ඔය වගේ ගෙඩි දෙක තුනක් තියෙන ගහක පොල් කඩවලා බැල ගෙඩිය දීලා ගෙඩියක් හෝ දෙකක් ගන්න එකේ තේරුමක් නැති නිසා ඒ වගේ ගස් වල තියෙන ගෙඩි කීපය කඩවන්නේ නැතුව වේලිලා වැටෙන්න අරින එකයි කළේ. 

සමහර හවුල් ඉඩම් වලට අයිතිකාරයෝ විශාල ගණනක් හිටියා. කඩන පොල් අයිතිකාරයින් අතර බෙදෙනවා. ඒ ඇතැම් අයිතිකාරයින්ගේ පංගුවේ තරමට වාරයකට පොල් ගෙඩියකට දෙකකට වඩා ලැබෙන්නේ නැහැ. සමහර ඉඩම් වල පොල් මුර ක්‍රමයක් තිබුණා. ඉඩමේ පළමු පහෙන් පංගුවේ කොටස් අයිතිකාරයින්ට එක අවුරුද්දක පොල් ලැබෙනවා. ඉන් පසු දෙවන පහෙන් පංගුවේ අයිතිකාරයින්ට. සිංහල අවුරුද්දට පස්සේ පොල් මුරේ මාරු වෙනවා. මුරේ ඉවර වුනාට පස්සේ ආයේ මුරයක් ඉන්නේ අවුරුදු පහකට පස්සේ. ඔය එක පහෙන් පංගුවකටත් අයිතිකාරයෝ සෑහෙන ගණනක් හිටියා. ඉතිං පොල් ටික කඩලා බෙදුවට පස්සේ ලොකුම පොල් ගොඩ අයිතිවෙන්නේ පොල් කඩපු මනුස්සයාටයි.

සාමාන්‍යයෙන් ගහක ගෙඩි ටික කඩලා එකතු කළ ගමන්ම පොල් කඩන මනුස්සයා බැල ගෙඩිය පැත්තකට කර ගන්නවා. ඒ නිසා, ලොකු හෝ පොඩි ගෙඩි ප්‍රශ්නයක් මතු වෙන්නේ නැහැ. ගහේ පොල් ලොකුනම් බැල ගෙඩියත් ලොකුයි. ගහේ පොල් පොඩිනම් බැල ගෙඩියත් පොඩියි.

පොල් ගහකට නැග්ගට පස්සේ කඩන ගෙඩි ප්‍රමාණය අනුව මහන්සිය ලොකුවට අඩු වැඩි වෙන්නේ නැහැනේ. ගහේ එක පොල් ගෙඩියක් තිබුණත් ගෙඩි විස්සක් තිහක් තිබුණත් ගහට නගින මහන්සිය එකයි. නමුත්, ගහට නැගලා පොල් කැඩීම නිසා නිර්මාණය වන වටිනාකම කඩන පොල් ගෙඩි ගණන අනුව වෙනස් වෙනවා. 

පොල් වත්තේ අයිතිකාරයාට වැදගත් වන්නේ කැඩෙන පොල් ගෙඩි ගණනයි. පොල් ගෙඩි ගණන ඉහළ යන තරමට සමානුපාතිකව ඔහුට හෝ ඇයට ලැබෙන දෙය ඉහළ යනවා. පොල් කඩන ශ්‍රමිකයාගේ පැත්තෙන් බැලුවොත් වැදගත් වන්නේ නගින පොල් ගස් ගණන මිසක් කඩන පොල් ගෙඩි ගණන නෙමෙයි. 

දැන් මේ අනුව බැළුවහම පොල් කැඩීමේ රස්සාව හා අදාළ ශ්‍රම වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම වෙනස් වන ආකාරයේ පැහැදිලි වෙනස්කමක් දෘශ්‍යමාන වෙනවනේ. පොල් කඩන මනුස්සයාට ගහේ තියෙන ගෙඩි ගණන වැදගත් නැහැ. ඒ නිසා ඔහු හදන්නේ ගෙඩි අඩුවෙන් තියෙන ගහකට හරි නැගලා තමන්ගේ ගාස්තුව ගන්නයි. නමුත්, පොල් ගස් අයිතිකාරයාට පොල් කඩන්නාගේ ශ්‍රමය අවශ්‍ය වෙන්නේ ගහේ යම් අවම ගෙඩි ප්‍රමාණයක් තියෙනවානම් පමණයි. ඔය දෙපාර්ශවයේ අවශ්‍යතා සමතුලිත වීම අනුව පොල් කැඩෙන ගස් ගණන තීරණය වෙනවා. 

ඒ කියන්නේ පොල් කඩන මනුස්සයාට ගහේ තියෙන ගෙඩි ගණන වැදගත් නැත්තේත් නැහැ. කවුරු හරි පොල් කඩන්න කිවුවොත් ගහේ ගෙඩි ගණන ගැන වද නොවී ඔහු ගහට නගින බව ඇත්ත. නමුත්, ඔහුට ඒ විදිහට පොල් කඩන්න අවස්ථාවක් ලැබෙන එක ගහේ තිබෙන පොල් ගෙඩි ගණන අනුව තීරණය වෙනවා. ඒ නිසා, වක්‍රව ගහේ තියෙන ගෙඩි ගණන ඔහුට වැදගත්. 

පොල් කඩන්නාගේ දවසක ආදායම තීරණය වෙන්නේ ඔහු දවසකට නගින පොල් ගස් ගණන අනුව. ඒ නිසා, තමන්ගේ මහන්සියෙන් ආදායම වැඩි කර ගැනීමේ අවස්ථාවක් ඔහුට තිබෙනවා. හැබැයි මේ ආකාරයට මහන්සි වී තමන්ගේ ආදායම වැඩි කර ගන්න පුළුවන් සීමාවක් තිබෙනවා. මොකද ඔහුට නගින්න ලැබෙන ගස් ගණන තීරණය කරන්නේ පොල් ගස් අයිතිකාරයා. 

පොල් ගස් අයිතිකාරයාගේ තීරණයට බලපාන්නේ ගහක තිබෙන පොල් ගෙඩි ගණන පමණක් නෙමෙයි. පොල් ගෙඩියක මිලත් එයට බලපානවා. පොල් ගොඩක් ගණන්නම් සාපේක්ෂව අඩු පොල් ගෙඩි ප්‍රමාණයක් තිබෙන ගහක වුවත් ගෙඩි කඩවන්න ඔහු මැලි වෙන්නේ නැහැ. ඒ වගේම පොල් මිල අඩුනම් ඔහු කෙනෙක්ව ගහට යවලා පොල් කඩවන්නේ වැඩි පොල් ප්‍රමාණයක් ගහේ තිබුණොත් පමණයි.  ඒ නිසා, පොල් කඩන්නාට නගින්න ලැබෙන පොල් ගස් ප්‍රමාණය පොල් මිල මතත් තීරණය වෙනවා. ඒ අනුව, ඔහුට ලැබෙන බැල ගෙඩි ප්‍රමාණයත් පොල් මිල මත තීරණය වෙනවා.

ලැබෙන බැල ගෙඩි ප්‍රමාණය ඉහළ යාම නිසා, පොල් මිල වැඩි වෙද්දී පොල් කඩන්නාගේ ආදායම වක්‍ර ලෙස ඉහළ යනවා. ඒ වගේම, පොල් ගෙඩියක මිල වඩා වැඩි නිසා අර බැල ගෙඩි විකුණා ලැබිය හැකි ආදායම පොල් මිල ඉහළ යද්දී සෘජුවමත් වැඩි වෙනවා. වාසි දෙකයි.

පොල් කඩන්නාට වැඩියෙන් මහන්සි වෙලා වැඩි පොල් ගස් ගණනක් නැගලා ඔහුගේ ආන්තික ඵලදායීතාවය වැඩි කර ගන්න පුළුවන්. ඒ වගේම, මොන විදිහකින් හරි වඩා කාර්යක්ෂම ලෙස පොල් ගස් නැගලා ඔහුගේ ආන්තික ඵලදායීතාවය වැඩි කර ගන්නත් පුළුවන්. ඒ නිසා, පොල් කඩන්නාගේ ආන්තික ඵලදායීතාවය යම් පමණකට ඔහුගේ අතේ තිබෙන දෙයක්. හැබැයි මුළුමනින්ම නෙමෙයි. ඔහුගේ පාලනයට යටත් නැති, වෙනත් බාහිර සාධක මත ඔහුගේ ආන්තික ඵලදායීතාවය වෙනස් වෙනවා. ඒ අනුව, ඔහුගේ ආදායමත් වෙනස් වෙනවා.

පොල් මිල වෙනස් වෙද්දී පොල් කඩන්නාගේ ආන්තික ඵලදායීතාවය වෙනස් වෙනවා. පොල් මිල වෙනස් වෙන්නේ රටේ පොල් වලට තිබෙන ඉල්ලුම හා සැපයුම අනුව. එය පොල් කඩන්නාගේ පාලනයට යටත් නැති කරුණක්.

ඉඩෝර කාලෙකදී පොල් හැදෙන්නේ අඩුවෙන්. ඒ නිසා, පොල් කඩන්නෙකුට පොල් කඩන්න ලැබෙන අවස්ථා ගණනත් අඩු වෙනවා. ගස් වල පොල් නැත්නම් කඩන්නේ මොනවාද? ඒ කියන්නේ ඉඩෝර කාලෙකදී පොල් කඩන්නෙකුගේ ආදායම අඩු වෙනවා.

ඉඩෝර කාලෙකදී පොල් අඩුවෙන් කැඩෙන කොට පොල් සැපයුම පහළ ගිහින් පොල් මිල ඉහළ යනවා. ඒ නිසා, පොල් කඩන්නාට ලැබෙන බැල ගෙඩි වල වෙළඳපොළ වටිනාකමත් ඉහළ ගිහින් ඔහුගේ ආදායම වැඩි වෙනවා. ඒ වගේම, පොල් ගස් අයිතිකාරයාට පොල් අඩු ගස් වලත් ගෙඩි කඩවන්න ඉහළ පොල් මිල නිසා පෙළඹුමක් ඇති වෙනවා. ඒ නිසා, පොල් කඩන්නාට ලැබෙන බැල ගෙඩි ප්‍රමාණයත් යම් තරමකින් ඉහළ යනවා. අවසාන වශයෙන් ඉඩෝරය නිසා පොල් කඩන්නාට වෙන්න ගිය පාඩුව මගහැරෙනවා.

පොල් සරුවට හැදෙන කාල වලදී පොල් කඩන්නෙකුට වැඩ වැඩියි. ලැබෙන බැල ගෙඩි ගණනත් වැඩියි. නමුත්, පොල් මිල අඩු නිසා පොල් කඩන්නාගේ ආදායම මහා ලොකුවට වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා, පොල් වැඩියෙන් හැදුනා කියලා පොල් කඩන්නෙකුට ඔහුගේ ආන්තික ඵලදායීතාවය ඉක්මවන විශාල ආදායමක් ලබා ගන්න වෙළඳපොළ ඉඩ අරින්නෙත් නැහැ. පොල් හොඳට හැදෙන කාල වලදී වගේම, පොල් අඩුවෙන් හැදෙන කාල වලදීත් පොල් කඩන්නෙකුට ලැබෙන ආදායම විශාල ලෙස උච්ඡාවචනය නොවන පරිදි වෙළඳපොළ යාන්ත්‍රනය විසින් ස්වභාවික ලෙසම නියාමනය කරනවා.

පොල් අස්වැන්න අඩු වැඩි වෙද්දී නිදහස් වෙළඳපොලක ඉල්ලුම හා සැපයුම මත වෙනස් වන පොල් මිල නිසා පොල් කඩන්නාගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවයත් අනුරූපී ලෙස වෙනස් වෙලා ඔහුගේ ආදායමත් නිසි සේ සකස් වෙනවා. මේ ස්වභාවික නියාමන යාන්ත්‍රනය නිසා පායනා කාලෙකදී පොල් අඩුවෙන් කැඩුනත්, ඊට සමානුපාතිකව පොල් කඩන්නෙකුගේ ආදායම අඩු වෙන්නේ නැහැ. ඒ නිසා, පොල් කඩන්නෙකුගේ දරුවන්ට පොල් අවාරයේදී හාමතේ ඉන්න වෙන්නේ නැහැ.

පොල් අවාරෙකදී රජය මැදිහත් වෙලා පොල් වලට පාලන මිලක් දැම්මහම මොකද වෙන්නේ? ගස් වල පොල් අඩු නිසා පොල් කඩන්නෙකුට පොල් කඩන්න ලැබෙන්නේ සීමිත ගස් ප්‍රමාණයක පමණයි. මිල අඩු නිසා පොල් ගස් අයිතිකාරයා වැඩි ගස් ප්‍රමාණයක පොල් කඩවන්න උනන්දු වෙන්නේ නැහැ. ඒ නිසා, පොල් කඩන්නෙකුට ලැබෙන්නේ බැල ගෙඩි අඩු ප්‍රමාණයක්. අනෙක් අතට මේ බැල ගෙඩි ටික විකුණන්න වෙන්නේ අඩු මිලකට. පොල් කඩන්නාගේ ආදායම දෙයාකාරයකින්ම අඩු වෙලා. පොල් ගහෙන් වැටිච්ච මිනිහට මිල පාලන ගොනා අනින්නේ ඔය විදිහටයි.

රජය වෙළඳපොළට මැදිහත්වීම නිසා බඩේ පාර වදින්නේ පොල් කඩන රස්සාව කරන අයට විතරක් නෙමෙයි. ශ්‍රමිකයින් බොහෝ දෙනෙකුට රාජ්‍ය මැදිහත්වීම් නිසා බඩේ පාර වදිනවා. ඒ අතරිනුත්, සුවිශේෂී කුසලතා අවශ්‍ය නොවන, පොල් කැඩීම වැනි රැකියා කරන අයට බලපෑම වැඩියි.

Wednesday, October 14, 2020

කැමති තරම් නිවාඩු එක්ක රස්සාවක්!


සමහර රටවල රස්සාවක් කරන ගොඩක් අයට තියෙන ප්‍රධානම ප්‍රශ්නය නිවාඩු ප්‍රශ්නයයි. අවුරුද්දකට තියෙන නිවාඩු ගණන කීයක් වුනත් සමහර අයට ඒ ගණන මදි. නිවාඩු තියෙනවානම් කරන්න වැඩ ඕනෑ තරම්.

එක පැත්තකින් මේක තමන් කරන රැකියාවෙන් සතුටක් නොලැබීම පිළිබඳ ප්‍රශ්නයක්. රස්සාව කරන්නේ කිසිම කැමැත්තකින් නෙමෙයි. මාසෙ අන්තිමට අතට එන පඩිය නිසා. පඩිය ඒ විදිහටම අතට එනවනම් මේ වගේ කෙනෙක් බලන්නේ පුළුවන් තරම් නිවාඩු අරගෙන, පුළුවන් තරම් අඩුවෙන් වැඩ කරන්නයි. ඒත් ඉතිං නිවාඩු තියෙන්නේ නිශ්චිත ගණනක්නේ. ඒ නිසා ඉතිරි දවස් වල අකැමැත්තෙන් වුනත් වැඩ කරන්න වෙනවා.

කිසිම සීමාවක් නැතුව තමන්ට කැමති තරමට නිවාඩු ගන්න පුළුවන් රස්සා නැද්ද? 

ලංකාවේනම් තියෙනවද කියන්න මම දන්නේ නැහැ. හැබැයි ඇමරිකාවේනම් සමාගම් ගණනාවක්ම දැන් අසීමිත නිවාඩු ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. ඉතිරි සමාගම් අතරත් මේ ප්‍රතිපත්තිය වේගයෙන් ව්‍යාප්ත වෙනවා. ඒ කියන්නේ අවුරුද්දකට සේවකයෙකුට අයිති නිවාඩු ප්‍රමාණය කියලා නිශ්චිත ගණනක් නැහැ. නිවාඩු ගන්න පුළුවන් උපරිම සීමාවක් නැහැ.

සමාගම් වලින් මේ ආකාරයට කැමති තරම් නිවාඩු දෙන්නේ ඒ සමාගම් වල වෘත්තීය සමිති මුල් වී කරපු අරගල නිසාද? සේවකයෝ වැඩ වර්ජන කරලා හාම්පුතුන් දණ ගස්සපු නිසාද? "නිවාඩු සීමා ඉවත් කරනු!" කියලා බෝඩ් අල්ලගෙන හිටපු නිසාද? එහෙමත් නැත්නම් ආණ්ඩුව එහෙම නීතියක් පනවපු නිසාද? 

නෑ. ඔය එකක්වත් නිසා නෙමෙයි. ධනවාදී තරඟය නිසා.

ධනවාදී රටක වැටුප් සේ ලැබෙන්නේ ශ්‍රමිකයෙකුගේ ආන්තික ඵලදායීතාවයට සමාන මුදලක්. අවශ්‍ය වැඩේ කෙරෙනවානම් ඒ වෙනුවෙන් පැය කීයක් ගත වුනාද කියන එක වැදගත් නැහැ. දවස් කීයක් නිවාඩු ගත්තද කියන එකත් වැදගත් නැහැ.

නිවාඩු අසීමිතව තිබුණා කියලා ශ්‍රමිකයෝ හැමදාම නිවාඩු ගන්නේ නැහැ. එහෙම කළොත් වෙන්නේ තමන්ගේ ආන්තික ඵලදායීතාවය අඩු වෙන එක බව ඒ අය දන්නවා. එහි ප්‍රතිඵලය වැටුප් අඩු වෙන එකයි. 

අනෙක් පැත්තෙන් ශ්‍රමිකයෙක් රැකියාවෙන් නිවාඩු ගන්නේ තමන්ට සතුටු විය හැකි වෙනත් කාර්යයක යෙදෙන්නයි. කරන රැකියාවෙන් වෙන දෙයක් කරනවාට වඩා සතුටු වෙන්න පුළුවන්නම් ආයේ නිවාඩු ගන්නේ මොන කෙහෙම්මලකටද?

ඇමරිකාව වගේ ශ්‍රම වෙළඳපොළ පුළුල් වූ රටක ශ්‍රමිකයෙකුට තමන් කැමති ආකාරයේ රස්සාවක් කරන්න වැඩි අවස්ථාවන් ප්‍රමාණයක් තිබෙනවා. පුළුල් වූ වෙළඳපොලක ශ්‍රමිකයෙකු විසින් කරන්න කැමති දේ අගය කරන, ඒ කැමති දෙයට වටිනාකමක් දෙන, විශාල පිරිසක්ද ඉන්න නිසා තමන් සතුටු දේ කරන අතරම ආන්තික ඵලදායීතාවයද ඉහළ මට්ටමක පවත්වා ගන්න පුළුවන්. ඒ නිසා, පඩි තකා තමන් අකැමැති රස්සාවක් කරන්න වෙන්නේ අඩුවෙන්. තමන් කැමති රස්සාවක් කරන කෙනෙක් ඒ රස්සාව කිරීමෙන්ම සතුටු වෙනවා. ඒ නිසා, හැම වෙලාවේම නිවාඩු යන්න දඟලන්නේ නැහැ.

ඇමරිකාවේ තියෙන්නේ සේවකයින් වැඩිපුර නිවාඩු ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. අවශ්‍ය පමණ නිවාඩු නොගැනීම පිළිබඳ ප්‍රශ්නයක්.

ඇමරිකානු ශ්‍රමිකයෙකුට 2018 වසරේදී ලබාගත හැකිව තිබුණු සාමාන්‍ය පඩි සහිත නිවාඩු ප්‍රමාණය දින 24ක් පමණ වෙනවා. එහෙත්, 2018 දත්ත අනුව, ඇමරිකානු ශ්‍රමිකයින්ගෙන් 55%ක්ම තමන්ට ලබා ගත හැකිව තිබුණු පඩි සහිත නිවාඩු සියල්ල ලබා ගෙන නැහැ. මෙසේ ලබා නොගත් සමස්ත නිවාඩු දින ගණන මිලියන 768ක්.

ඇතැම් ඇමරිකානු සමාගම් අසීමිත නිවාඩු ප්‍රතිපත්තියට අමතරව අනිවාර්ය නිවාඩු ප්‍රතිපත්තියක්ද අනුගමනය කරනවා. ලංකාවේද මෘදුකාංග සමාගම්, දැනටමත් මෙවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නැත්නම්, ඉතා ඉක්මණින් මෙවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට ඉඩ තිබෙනවා. අනෙක් අංශ ගැනනම් කියන්න බැහැ.

Tuesday, October 13, 2020

පඩි තකා වැඩ කිරීම


මිනිසා වැඩ කරන්නේ ඇයි කියන එක ගැන කලින් ලිපියෙන් අපි කතා කළා. මිනිස්සු වැඩ කරන්නේ එක්කෝ වැඩ කිරීමෙන් සතුටු  වන නිසා. එහෙම නැත්නම් වැඩ කිරීම අසතුටක් වුනත්, වැඩ කිරීම නිසා ලැබෙන සල්ලි හෝ වෙනත් දෙයකින් ඒ අසතුට ඉක්මවන සතුටක් ලැබෙන නිසා. 

බොහෝ දෙනෙක්ගේ පළමු ඉලක්කය තමන්ට සතුටු විය හැකි වැඩක් කරන එකයි. ඒ නිසා, ජීවත් වෙන්න ප්‍රමාණවත් තරම් සල්ලි තියෙන මිනිස්සු එසේ සල්ලි තිබුණු පලියට වැඩ නොකර ඉන්නේ නැහැ. එවැනි සමහර අය වැඩ කරන්නේ සල්ලි බලාගෙන නෙමෙයි. නමුත්, සල්ලි බලාගෙන වැඩ නොකළත් සල්ලි ලැබෙන වෙලාවල් තියෙනවා. සමහර විට සල්ලි ගලන වෙලාවලුත් තිබෙනවා. එය තීරණය වෙන්නේ එවැන්නෙක් තමන්ගේ සතුට වෙනුවෙන් කරන වැඩ නිසා වෙනත් අය කොයි තරම් සතුටු වෙනවද කියන එක මතයි.

සල්ලි බලාපොරොත්තුවක් නැතිව තමන්ගේ සතුට ගැන පමණක් සිතා වැඩ කරන අයට සමහර වෙලාවට සල්ලිත් ලැබෙනවා වුනත් ඒ ගැන සහතිකයක් නැහැ. එහෙත්, ලැබෙන සතුට වෙනුවෙන් මිනිස්සු සල්ලි නැතුවත් වැඩ කරනවා. මේ වගේ බ්ලොග් ලියන අපි වගේ අය, වත්පොතේ දේශපාලනය කරන අය වගේම වෙනත් විවිධ ස්වේච්ඡා කටයුතු වල නිරත වන අය ඒ දේවල් කරන්නේ තනිකරම තමන්ගේ සතුට වෙනුවෙන්. ඊටත් අමතරව තමන්ගේ සතුට වෙනුවෙන් සල්ලි දීලා වැඩ කරන අයත් ඉන්නවා. දිනපතා ජිම් යන අය ගැන හිතන්න!

තමන් සතුටු වෙන ඇතැම් දේවල් කරන්න මුදලක් වැය වෙනවා. තමන් සතුටු වෙන වෙනත් දේවල් කරලා ඒ මුදල උපයාගන්න බැරිනම්, ඒ සතුටු වන දේවල් කිරීම සඳහා මුදල් හොයා ගන්න අසතුටු දේවලුත් කරන්න වෙන්න පුළුවන්. තමන් සතුටු වන දේවල් කරලා මුදල් උපයන්න පුළුවන්ද කියන එක යම් තරමකට කෙනෙකුගේ "වාසනාව" මත තීරණය වන දෙයක්. මම මෙහිදී වාසනාව කියන වචනය භාවිතා කළේ තමන්ගේ පාලනයට මුළුමනින්ම යටත් නැති බාහිර සාධක මත කියන අදහසින්. 

මහන්සි වූ තරමට මිනිහෙක්ට සාර්ථක වෙන්න පුළුවන් කියන එක අර්ධ සත්‍යයක්. මහන්සි වන මිනිහෙක් එසේ මහන්සි නොවන මිනිහෙක්ට වඩා සාර්ථක වෙන්න ඉඩ තිබෙනවා වුවත් හැම විටම එය එසේම වෙන්නේ නැහැ. එය තීරණය වෙන්නේ මහන්සි වෙන්නේ මොකටද කියන කාරණාව මතයි. මැණික් හම්බ වෙන්න ඉඩක් තියෙන්නේ මැණික් ඉල්ලමක් තියෙන තැනක පතලයක් හෑරුවොත් පමණයි! 

කවුරු හෝ කෙනෙක් කරන වැඩ වලට ලැබෙන මුදල තීරණය වෙන්නේ ඒ වැඩේ ආන්තික ඵලදායීතාවය මතයි. ආන්තික ඵලදායීතාවය තීරණය වෙන්නේ කරන වැඩෙන් සතුටු වන අය මතයි. ඒ නිසා කරන වැඩකින් තමන්ද සතුටු වී සල්ලිත් හොයා ගන්න අවශ්‍යනම් ඒ වැඩෙන් තමන් සතුටු වීම හා අනුන් සතුටු කරවීම අතර සමතුලිතතාවයක් පවත්වා ගන්න වෙනවා. මෙයම වෙනත් විදිහකින් කිවුවොත් තමන් කරන වැඩෙන් ඒ වැඩේ කිරීම නිසාම ලැබෙන සතුට හා වැඩේ කිරීම වෙනුවෙන් ලැබෙන මුදල් නිසා ලැබෙන සතුට අතර සමතුලිතතාවයක් පවත්වා ගන්න වෙනවා.

සාමාන්‍යයෙන් තමන් කැමති රස්සා කරන අයට ඒ වෙනුවෙන් යම් මිලක් ගෙවන්න වෙනවා. ඒක ස්වභාවිකවම වෙන දෙයක්. අපි හිතමු කෙනෙක්ට රැකියා තෝරා ගැනීම් දෙකක් තිබෙනවා. පළමු රැකියාවෙන් මසකට රුපියල් 25,000ක් ලැබෙන නමුත් දෙවැන්නෙන් ලැබෙන්නේ රුපියල් 20,000ක් පමණයි. මේ වගේ වෙලාවක මුදලින් පාඩුවක් වුනත්, දෙවන රැකියාව තෝරා ගන්නා අය ඉන්නවා. එහෙම කරන්නේ දෙවන රැකියාව කිරීමෙන් ලැබෙන සතුට පළමු රැකියාව කිරීමෙන් ලැබෙන සතුටට වඩා වැඩි නිසයි. එපමණක් නෙමෙයි. ඒ වැඩි වන සතුට, එහෙමත් නැත්නම් සතුටු වෙනස, මසකට රුපියල් 5000ක් ලැබීමේ සතුටටත් වඩා වැඩි නිසයි. 

දැන් මේ වගේ අවස්ථාවක කෙනෙක් පළමු රැකියාව තෝරා ගන්නේ මසකට රුපියල් 5000ක් වැඩියෙන් ලැබෙන නිසානේ. ඔය රුපියල් 5000 පස්සේ යන්නේ ඒ සල්ලි වලින් තමන් සතුටු වන දේවල් මිල දී ගන්න පුළුවන් වන නිසයි. ඒ කියන්නේ අවසාන වශයෙන් බැලුවහම පළමු රැකියාව තෝරා ගන්නේ රුපියල් 5000 වැය කර "මිල දී ගත හැකි" සතුට නිසා මිසක් රුපියල් 5000 නිසා නෙමෙයි. දෙවන රැකියාව කිරීමෙන් ඊට වඩා සතුටක් "නොමිලේම" ලැබෙනවානම්, ඔය අමතර රුපියල් පන්දාහෙන් මිල දී ගන්න පුළුවන් අඩු සතුට පස්සේ යන එක තේරුමක් නැහැනේ. ඒ නිසා, තාර්කිකව හිතන මිනිහෙක්ගේ තේරීම වන්නේ දෙවන රැකියාවයි.

දැන් මේ තේරීම සිදු වෙන්නේ ශ්‍රමිකයාගේ පැත්තෙන්. කරන වැඩේ ආන්තික ඵලදායීතාවය මෙයින් බාහිර වෙනම කරුණක්‌. මේ උදාහරණයේදී ශ්‍රමිකයා වඩා සතුටු වෙන්නේ තමන්ගේ ආන්තික ඵලදායීතාවය අඩු රස්සාව කිරීමෙන්. 

මෙය තවත් පැහැදිලි කරන්න අපි කවුරු හෝ පුද්ගලයෙක් ගනිමු. අපි කියමු රවීන් කණිෂ්ක කියලා. රවීන් කණිෂ්කට එක්කෝ රඟපාන්න පුළුවන්. නැත්නම් සිංදු කියන්න පුළුවන්. මේ දෙකෙන් ඔහු වඩා සතුටු වෙන්නේ කොයි වැඩෙන්ද? අපි කියමු ඔහු වඩා සතුටු වෙන්නේ සිංදු කියන එකෙන් කියලා. රඟපාන්න ඔහු සිංදු කියන්න තරම්ම කැමැත්තක් නැහැ. නමුත්, ඔහු සිංදු කියන විට සතුටු වන පිරිසට වඩා රඟපාන විට සතුටු වන පිරිස වැඩියි. ඒ නිසා, නළුවෙක් විදිහට ඔහුගේ ආන්තික ඵලදායීතාවය වැඩියි. ගායකයෙක් විදිහට ඔහුගේ ආන්තික ඵලදායීතාවය අඩුයි. 

පෞද්ගලිකව රවීන් කණිෂ්ක වඩා සතුටු වෙන්නේ සිංදු කියලා. හැබැයි මේ තමන් වඩා සතුටු වන දේ කිරීමෙන් ඔහුට මුදල් වලින් බැලූ විට අවාසියක් වෙනවා. ඒ නිසා, ඔහු වඩා වැඩි මුදලක් උපයන්න පුළුවන් රඟපෑම කරලා ඒ අමතර මුදලින් තමන්ට අඩු වෙන සතුට මිල දී ගන්නවා.

සෞම්‍ය ලියනගේ දක්ෂ නළුවෙක්. නළුවෙක් විදිහට ඔහුගේ ආන්තික ඵලදායීතාවය ගොඩක් වැඩියි. නමුත්, ඔහු පෞද්ගලිකව මේ නළු රස්සාවට වඩා විශ්ව විද්‍යාලයේ රස්සාවට කැමතියි. තමන්ගේ සතුට වෙනුවෙන් සෞම්‍ය ලියනගේ විශ්ව විද්‍යාලයේ රස්සාව තෝරා ගන්නවා. ඒ රස්සාවේදී ඔහුගේ ආන්තික ඵලදායීතාවය සාපේක්ෂව අඩුයි. ඒ නිසා, ලැබෙන මුදලත් අඩුයි. නමුත්, ඒ රස්සාව කිරීමෙන් ඔහුට ලැබෙන අමතර සතුට නළු රස්සාව කරලා ලැබෙන අමතර මුදලින් මිල දී ගන්න බැහැ. ඒ නිසා, සෞම්‍ය ලියනගේගේ තේරීම වන්නේ විශ්ව විද්‍යාලයේ රස්සාවයි. එය තාර්කික තේරීමක්. (රවීන් කණිෂ්ක වගේම සෞම්‍ය ලියනගේවත් උදාහරණ විදිහට ගත්තේ මේ කරුණ පැහැදිලි කිරීම සඳහා පමණයි. ඒ අයගේ සැබෑ පෞද්ගලික රුචි අරුචිකම් මොනවාද කියලා දන්නේ ඒ අයයි.)

තමන් පෞද්ගලිකව කැමති වැඩ කරන්න යාමෙන් මේ විදිහට මූල්‍යමය පාඩුවක් වෙන්නේ තමන් කරන්න වඩා කැමති දෙය හා තමන්ට වඩාත්ම ඵලදායී ලෙස කළ හැකි දෙය, එනම් වෙනත් අය තමන් කරනවාට කැමති දෙය, එකක් නොවී දෙකක් වූ විටයි. එවිට එක්කෝ ලැබෙන මුදල ගැන සතුටු නොවෙමින් තමන් කරන රස්සාව කරන්න වෙනවා. එහෙම නැත්නම්, තමන් කරන රස්සාව ගැන කැමැත්තක් නැතුව සල්ලි වෙනුවෙන් අකැමැත්තෙන් වැඩ කරන්න වෙනවා.

ඉහත කාණ්ඩ දෙකේම ඉන්න අයට කවර හෝ දුක් ගැනවිල්ලක් තිබෙනවා. ලේඛකයෝ, කලාකාරයෝ වගේ අයත්, බොහෝ සරසවි ආචාර්යවරුන් හා ඇතැම් ආණ්ඩුවේ රස්සා කරන අයත් පළමු කාණ්ඩයේ පිරිස් අතර ඉන්නවා. ඒ අය තමන් කැමති රස්සා තෝරාගෙන තිබෙනවා. ඒ රස්සා කිරීමෙන් ඔවුන්ට ලැබෙන ආදායම තීරණය වෙන්නේ ඔවුන්ගේ ආන්තික ඵලදායීතාවය මතයි. බොහෝ විට රස්සාවේ ස්වභාවය අනුව මහන්සි වී වැඩ කලා කියලා ආන්තික ඵලදායීතාවය වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා, ආදායම් වැඩි වෙන්නේත් නැහැ. ඇඟළුම් කර්මාන්තයේ ශ්‍රමිකයින් වගේ අය බොහෝ විට ඉන්නේ දෙවන කාණ්ඩයේ. ඔවුන්ට සාපේක්ෂව හොඳ වැටුපක් ලැබෙනවා. ලැබෙන වැටුප තකා රැකියාව කළත්, ඔවුන් බොහෝ විට කරන රැකියාවෙන් සතුටු වෙන්නේ නැහැ.

මේ ගැටළුව විසඳෙන්නේ තමන් කැමති රස්සාවත්, තමන්ට වඩාත්ම ඵලදායී ලෙස කළ හැකි රස්සාවත් දෙකම එකක් වූ විට පමණයි. වැඩි දෙනෙකුට එවැනි රැකියා කරන්න ඉඩ ලැබෙන්නේ ශ්‍රම වෙළඳපොළ පුළුල් වන තරමටයි. 

ලංකාව වගේ ශ්‍රම වෙළඳපොළ සාපේක්ෂව පුළුල් නැති, ශ්‍රම වෙළඳපොළ සාපේක්ෂව නිදහස් නැති රටක බොහෝ දෙනෙකු හා අදාළව බොහෝ විට මේ දෙක දෙකක්. ඒ නිසා, ගොඩක් අය තමන් කරන රස්සා කරන්නේ කැමැත්තෙන් නෙමෙයි. කැමති රස්සා කරන ගොඩක් අය ලැබෙන වැටුප පිලිබඳව සතුටු නැහැ. ඇමරිකාව වගේ රටක වුනත් තමන් කරන රැකියාව ගැන වගේම ලැබෙන වැටුප ගැනත් සතුටු පිරිස බහුතරය නෙමෙයි. එහෙත්, ඒ පිරිස සාපේක්ෂව වැඩියි.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...