වෙබ් ලිපිනය:

Showing posts with label ආයෝජනය. Show all posts
Showing posts with label ආයෝජනය. Show all posts

Thursday, April 21, 2022

භාණ්ඩාගාර බිල්පත් වල සල්ලි දාන්නේ කොහොමද?


පසුගිය ලිපියෙන් පසුව ගොඩක් අය භාණ්ඩාගාර බිල්පත් වල සල්ලි දාන්නේ කොහොමද කියලා ඇහුවා. ඒ හා අදාළ තවත් ප්‍රශ්න ගණනාවකුත් ඇහුවා. ලංකාවේ බොහෝ දෙනෙක් භාණ්ඩාගාර බිල්පත් වල සල්ලි දමා වැඩි ප්‍රතිලාභයක් ලැබිය හැකි බව දන්නේ නැහැ. දැනගත්තත් එය කරන හැටි දන්නේ නැහැ. එහි වාසිය සුළු පිරිසක් විසින් ගන්නවා.

භාණ්ඩාගාර බිල්පත් කියා කියන්නේ මොනවාද?

සරලව කිවුවොත් භාණ්ඩාගාර බිල්පත් කියන්නෙත් ස්ථිර තැන්පතුවක් වගේ දෙයක්. වෙනස්කම් තිබෙනවා. ස්ථිර තැන්පතුවක් දමද්දී ඔබ කරන්නේ බැංකුවකට ණය දෙන එක. භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරද්දී කරන්නේ රජයට ණය දෙන එක. 

භාණ්ඩාගාර බිල්පත් වල සල්ලි දමන එක අවදානම්ද?

සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට මුදල් ආයෝජනය කිරීම සඳහා තිබෙන විකල්ප අතරින් අවදානම අඩුම සේ සැලකෙන්නේ භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන එකයි. ස්ථිර තැන්පතු ආදියේ සල්ලි දමන එක ඊට වඩා අවදානම්. බැංකුවක් පහසුවෙන්ම බංකොලොත් විය හැකි නමුත් රජයක් ඒ තරම් පහසුවෙන් බංකොලොත් වෙන්නේ නැහැ. 

එහෙමනම් දැන් වෙලා තියෙන්නේ මොකක්ද?

දැන් වෙලා තියෙන්නේ රජය බංකොලොත් වීමක් නෙමෙයි. එය එක විදිහකින් රට බංකොලොත් වීමක් කියා කියන්න පුළුවන්. ඩොලර් නැති නිසා රජය විදේශ ණය ආපසු ගෙවීම පැහැර හැරලා තිබෙනවා. නමුත්, රජයේ රුපියල් ණය හා අදාළව මෙවැනි අවදානමක් ඇති වෙන්න තිබෙන ඉඩ ඉතාම අඩුයි. රජයකට බදු වැඩි කිරීම, සල්ලි අච්චු ගැසීම වැනි බැංකුවකට හෝ වෙනත් අයෙකුට නැති විකල්ප හරහා සල්ලි හොයා ගෙන ණය ගෙවන්න පුළුවන්. දැන් වුනත් ලංකාවේ රජයට ඩොලර් ණයට දී තිබෙන අයෙකුට රුපියල් වලින් එම ණය හා පොලිය ආපසු ගන්න පුළුවන්.

භාණ්ඩාගාර බිල්පත් ගන්නේ කොහොමද?

මුලින්ම රජය විසින් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ හෝ වෙන්දේසියට පිටින් විකුණන කොට ඒවා කෙළින්ම මිල දී ගන්න පුළුවන් වාණිජ බැංකු, ප්‍රාථමික ගැනුම්කරුවන්, සේවක අර්ථසාධක අරමුදල වැනි ආයතන කිහිපයකට පමණයි. වෙනත් අයෙකුට මිල දී ගන්න අවශ්‍යනම් වාණිජ බැංකුවක් හෝ ප්‍රාථමික ගැනුම්කරුවකු මාර්ගයෙන් මිල දී ගත යුතුයි. මේ විදිහට "ප්‍රාථමික වෙළඳපොළෙන්"  භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්නේ සැලකිය යුතු මුදලක් ආයෝජනය කළ හැකි අයයි. අනෙක් බොහෝ දෙනෙකු කරන්නේ වාණිජ බැංකුවක් හෝ ප්‍රාථමික ගැනුම්කරුවකු විසින් වෙන්දේසියෙන් මිල දී ගත් භාණ්ඩාගාර බිල්පත් ඔවුන්ගෙන් මිල දී ගන්න එකයි. ඒ කියන්නේ "ද්වීතියික වෙළඳපොළෙන්" මිල දී ගන්න එක.

එතකොට මහ බැංකුවේ තිබෙන සම්බන්ධය කුමක්ද?

මේක ටිකක් පැටලිලි සහගත දෙයක්. භාණ්ඩාගාර බිල්පත් කියන්නේ රජයට දෙන ණය මිසක් මහ බැංකුවට දෙන ණය නෙමෙයි. එහෙත්, රජය වෙනුවෙන් වෙන්දේසිකරු ලෙස කටයුතු කරන්නේ මහ බැංකුව. ණයකරුවන්ගේ ගිණුම් නඩත්තු කරන්නෙත් මහ බැංකුව. මේක ලංකාවට සුවිශේෂී තත්ත්වයක්. ඇත්තටම මේ වැඩේ මහ බැංකුවක් විසින් කළ යුතු වැඩක් නෙමෙයි. වෙන රටවල මේ වැඩේ කරන්නේ භාණ්ඩාගාරය.

වෙන්දේසිකරු ලෙස කටයුතු කරන අතරම මහ බැංකුවත් මේ භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්නවා. ඒ කියන්නේ රජයට ණය දෙනවා. මහ බැංකුව සල්ලි අච්චු ගහනවා කියා කියන්නෙත් මේ වැඩේට. (කොහොම වුනත් සල්ලි අච්චු ගැහීම මීට වඩා සංකීර්ණ දෙයක්. කලින් ලිපි බලන්න.)

භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන්න කොපමණ මුදලක් අවශ්‍යද?

අවම වශයෙන් රුපියල් 50,000ක් ආයෝජනය කර ද්වීතියික වෙළඳපොළෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගත හැකියි. (අවම වශයෙන් රුපියල් 10,000ක් ආයෝජනය කළ හැකි ක්‍රමයක්ද තිබෙනවා)

භාණ්ඩාගාර බිල්පත් වල කොපමණ කාලයකට ආයෝජනය කළ යුතුද?

මාස තුනකට, හයකට හෝ වසරකට ආයෝජනය කළ හැකියි. (අවම වශයෙන් මාසයකට ආයෝජනය කළ හැකි ක්‍රමයක්ද තිබෙනවා)

භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන එක අමාරු, සංකීර්ණ වැඩක්ද?

කොහෙත්ම නැහැ. ස්ථිර තැන්පතු දමනවා වගේ තමයි. ලඟම තිබෙන බැංකු ශාඛාවෙන් වැඩේ කරගන්න පුළුවන්.

භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන එක ස්ථිර තැන්පතු දමන එකට වඩා පාඩුද?

කලින් කිවුවා වගේ භාණ්ඩාගාර බිල්පත් වල අවදානම ස්ථිර තැන්පතු දමන එකේ අවදානමට වඩා අඩුයි. හරිනම් ස්ථිර තැන්පතු දමනවැඩි එකට වැඩි ප්‍රතිලාභයක් ලැබිය යුතු වුවත්, ලංකාවේ තිබෙන විකෘති තත්ත්වය නිසා අවදානම අඩු භාණ්ඩාගාර බිල්පත් වලට වැඩි ප්‍රතිලාභයකුත් ලැබෙනවා. පහත තියෙන්නේ අද (අප්‍රේල් 22) සිට බලපාන සම්පත් බැංකුවේ පොලී අනුපාතික. මේ අනුපාතික රුපියල් 50,000 ආයෝජනයකට. ආයෝජනය වැඩි වෙද්දී මේ අනුපාතික තවත් ටිකක් වැඩි වෙනවා.

මාස 3 - 20.80%

මාස 6 - 20.80%

වසර 1- 21.05%

ඉහත පොලී අනුපාතික සම්පත් බැංකුවේම ස්ථිර තැන්පතු පොලී අනුපාතික සමඟ සසඳා බලන්න.

මාස 3 - 6.25%

මාස 6 - 7.00%

වසර 1- 7.50%

අවම වශයෙන් රුපියල් 10,000ක් ආයෝජනය කළ හැකි ක්‍රමයක්ද තිබෙනවා කිවුවා නේද? ඒ මොකක්ද?

භාණ්ඩාගාර බිල්පතක් මිල දී නොගෙන බැංකුවට අයිති බිල්පතක කොටසක් යම් කාලයකට "කුලියට ගන්නවා" වගේ වැඩක් කරන්නත් පුළුවන්. මේ ක්‍රමයට මාසයකට මුදල් ආයෝජනය කරන්න වුනත් පුළුවන්. එහිදී බැංකුවට අයිති බිල්පතකින් කොටසක් යම් කාලයකට ඔබට අයිති වෙනවා. ඒ කාලයට අදාළ පොලිය ලැබෙනවා. 

සල්ලි දැම්මට පස්සේ කල් පිරෙන්න කලින් සල්ලි ආපසු ගන්න බැරිද?

පුළුවන්. එහිදී බිල්පත ඒ වන විට එහි වෙළඳපොළ වටිනාකමට විකුණන්න වෙනවා. එය තීරණය වන්නේ ඒ වන විට තිබෙන පොලී අනුපාතය අනුව. බිල්පත ගත්තට පස්සේ පොලී ඉහළ ගිහින්නම් සාමාන්‍යයෙන් පාඩුවක් හෝ ලාබය අඩු වීමක් වෙනවා. පොලිය අඩු වෙලානම් මුලින් බලාපොරොත්තු වුණාටත් වඩා වැඩි ලාබයක් ලැබෙනවා.

සල්ලි දැම්මට පස්සේ බැංකුව බන්කොලොත් වුනොත් මොකද වෙන්නේ?

කිසි ප්‍රශ්නයක් නැහැ. භාණ්ඩාගාර බිල්පතක් බැංකුවකින් ගත්තත් ඔබේ නමින් එම බැංකුවේ වගේම මහ බැංකුවේත් ගිණුමක් ආරම්භ වෙනවා. ඔබේ බැංකුවෙන් වගේම මහ බැංකුවෙනුත් ඔබට ගිණුම් ප්‍රකාශ ලැබෙනවා. වක්‍ර ලෙස ඔබේ ගිණුම තිබෙන්නේ මහ බැංකුවේ කියන්නත් පුළුවන්.

භාණ්ඩාගාර බිල්පත් ඔය තරම් වාසිදායකනම් හැමෝම භාණ්ඩාගාර බිල්පත් නොගෙන ස්ථිර තැන්පතු දමන්නේ ඇයි?

මේක තමයි වැදගත්ම ප්‍රශ්නය. කෙටි පිළිතුර ලංකාවේ බොහෝ දෙනෙකුට මූල්‍ය සාක්ෂරතාවය නැති වීම. ඇතැම් අය හිතාමතා කියන බොරු වලට වෙනත් ක්ෂේත්‍ර වල විශේෂඥයින් පවා පහසුවෙන් අහුවෙන්නේ ඒකනේ. මිනිස්සු 7% පොලියට බැංකුවේ සල්ලි දානවනම් ඒ සල්ලි අනෙක් පැත්තට 24% පොලියට භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරලා විශාල ලාබයක් ගන්න පුළුවන්කම තියෙද්දී, පොඩි කොමිස් මුදලකට මිනිස්සුන්ට විකුණන්න මහන්සි වෙන්නේ මොකටද? ඒ නිසා, කිසිම බැංකුවක් සක්‍රිය ලෙස භාණ්ඩාගාර බිල්පත් ප්‍රවර්ධනය කරන්නේ නැහැ. කවුරු හරි ගිහින් ඇහුවොත් විතරක් භාණ්ඩාගාර බිල්පත් වල සල්ලි දාලා දෙනවා. නැත්නම් ස්ථිර තැන්පතුවකට ඒ සල්ලි අරගෙන බැංකුවේ නමට භාණ්ඩාගාර බිල්පත් ගන්නවා. 

Monday, April 19, 2021

බිට්කොයින් ගැන මහ බැංකුවෙන් අවවාදයක්!


අවුරුද්ද ඔන්න මෙන්න කියලා තියෙද්දී මහ බැංකුව විසින් ශ්‍රී ලංකාව තුළ බිට්කොයින් ඇතුළු අතථ්‍ය මුදල් වල ආයෝජනය කිරීමේ අවදානම් පිළිබඳව මහජනයා දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කර තිබුණා. මහ බැංකුව විසින් මෙවැනි නිවේදනයක් නිකුත් කරනු මම දැක්කේ මුල් වරටයි. සමහර විට මේ එවැන්නක් කළ මුල් වතාව නොවෙන්න පුළුවන්. කොහොම වුනත් මේ වෙද්දී බිට්කොයින් ඇතුළු අතථ්‍ය මුදල් මහ බැංකුවටත් හිසරදයක් වී තිබෙන බව පැහැදිලියි.

මීට ආසන්න කාලයේ අපේ ඇතැම් පාඨකයින් විසින්ද බිට්කොයින් ගැන ලියන මෙන් ඉල්ලා සිටියා. මේ ඉල්ලීම අලුත් ඉල්ලීමක්ම නෙමෙයි. පාඨකයින් විසින් කාලයක් තිස්සේ කරන ඉල්ලීමක්. 

බිට්කොයින් ගැන මම හොයන්න පටන් අරන් දැන් අවුරුදු දහයකටත් වඩා වැඩියි. ඒ වෙද්දී බිට්කොයින් එකක මිල ඇමරිකන් ඩොලර් සත ගණනක්. මුලින්ම බිට්කොයින් එකක මිල ඇමරිකන් ඩොලරය පහු කරද්දී මේ ගැන සැලකිය යුතු අවධානයක් යොමු වුනා. ඒ 2011 පමණ කාලයේදී. දැන් බිට්කොයින් එකක් ඩොලර් 55,000ක් පමණ වෙනවා. 

මේක ටිකක් තේරෙන විදිහකට පැහැදිලි කළොත්, අවුරුදු දහයකට කලින් කවුරු හරි රුපියල් සීයක් බිට්කොයින් වල ආයෝජනය කළානම් මේ වෙද්දී ඒ තැනැත්තා කෝටිපතියෙක්. මොකද පහුගිය අවුරුදු දහයක කාලය තුළ රුපියල් සීයේ බිට්කොයින් එකක් රුපියල් මිලියන දහයක් හෙවත් රුපියල් කෝටියක් වෙලා.

කොහොම වුනත් බිට්කොයින් සම්බන්ධව පෞද්ගලිකව මට තිබෙන්නේ මිශ්‍ර හැඟීමක්. මේ ගැන ලියන්න කියා ඉල්ලීම් බොහෝ වර ආවත් එසේ කරන්න උනන්දුවක් ඇති නොවුනේ මේ මිශ්‍ර හැඟීම නිසා. එක පැත්තකින් බිට්කොයින් වගේ අතථ්‍ය මුදල් නිසා ලෝකය පුරා මහ බැංකු විසින් කරන "කැත වැඩේ" කරන්න බැරි වෙනවා. අනෙක් පැත්තෙන් එය වෙන්නේ වෙනත් අය විසින්ද ඒ "කැත වැඩේම" කරන එක හරහා.

පෞද්ගලිකව මට මුදල් වලින් සතුටක් ලැබෙන්නේ ඒ මුදල් නිසාම නෙමෙයි. ලැබෙන මුදලක මම කරන මොකක් හෝ දෙයක වටිනාකම පිළිබිඹු වන නිසා. වෙනත් විදිහකින් කිවුවොත් ආතල් එක තියෙන්නේ සල්ලි හොයන්න ගහන ගේම් එක ඇතුළේ මිසක් සල්ලි වල නෙමෙයි. මේ හේතුව නිසා මම කුඩා කාලයේ ඉඳලම ලොතරැයි මිල දී ගන්නේ නැහැ. බිට්කොයින් වල ආයෝජනය කරලා සල්ලි හොයන්න පුළුවන් බව පැහැදිලි වුනත් මට ඒ වැඩේට හිත යන්නේම නැහැ. 

බිට්කොයින් ජනප්‍රිය වෙන්න හේතු දෙකක් තිබෙනවා. පළමුවැන්න එක විදිහක දේශපාලනික හේතුවක්. ලෝකයේ රටවල් වල ජාතික මුදල් ඒකක වල අගය පාලනය කරන රජයයන් හා මහ බැංකු විසින් ඉතා කැත සූරාකෑමක් කරනවා. එය කරන්නේ සල්ලි අච්චු ගැසීම හරහා. ලංකාවේ රුපියල්, ඇමරිකන් ඩොලර් ඇතුළු බොහෝ ව්‍යවහාර මුදල් ඒකක වලට කිසිදු නෛසර්ගික වටිනාකමක් නැහැ. මේ මුදල් වලට අපි කියන්නේ ආඥාප්ති ව්‍යවහාර මුදල් එහෙමත් නැත්නම් ෆියට් මුදල් කියලා. මුදල් වල වටිනාකම තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම මත. මේ ඉල්ලුම යම් ආකාරයක කෘතීම ඉල්ලුමක්.

මහ බැංකුව කියන විදිහට බිට්කොයින් ඇතුළු අතථ්‍ය මුදල් වල ආයෝජනය කිරීම අවදානම් වැඩක්. ඇත්ත. නමුත් ප්‍රශ්නය මහ බැංකුව විසින් නිකුත් කරන රුපියල් නෝට්ටු ළඟ තබා ගැනීමේ අවදානමක් නැද්ද කියන එකයි. රුපියල් නෝට්ටු වලත් ඒ වගේම අවදානමක් තිබෙනවා. බිට්කොයින් ප්‍රවර්ධකයින්ගේ ප්‍රධානම තර්කයක් වන්නේ මහ බැංකු විසින් කරනවාක් මෙන් ඔවුන් විසින් සීමාවක් නැතුව බිට්කොයින් සැපයුම වැඩි කරන්නේ නැහැ කියන එකයි.

අලුතින් සංසරණයට එකතු වන බිට්කොයින් ප්‍රමාණය එන්න එන්නම අඩු වෙනවා. එහෙම අඩු වෙලා ගිහින් 2040 පමණ වෙද්දී බිට්කොයින් "අච්චු ගැසීම" සම්පූර්ණයෙන්ම නවතිනවා. නමුත් වෙනත් ඕනෑම මුදල් ඒකකයක් අලුතෙන් අච්චු ගැසීම එන්න එන්නම වැඩි වෙනවා වගේම එහි කිසිම සීමාවක් නැහැ. ඒ නිසා වෙනත් මුදල් වලට සාපේක්ෂව බිට්කොයින් වලට උද්ධමනයෙන් ආරක්ෂාවක් තිබෙනවා. 

මේ වෙනස හැර බිට්කොයින් වල අනෙක් මුදල් වලට නැති විශේෂ වටිනාකමක් තියෙනවද? එවැන්නක් නැහැ. බිට්කොයින් කියන්නෙත් ෆියට් මුදල් වර්ගයක්. බිට්කොයින් වලත් කිසිම නෛසර්ගික වටිනාකමක් නැහැ. 

ලොව පුරා අරාජිකවාදීන් අතර බිට්කොයින් ජනප්‍රියයි. මම අරාජිකවාදියෙක් නෙමෙයි. ඉතා පැහැදිලිවම රජය කියන්නේ අකාර්යක්ෂම යාන්ත්‍රනයක්. එසේ වුවත් රජයකින් කළ හැකි යම් කාර්යභාරයක්ද තිබෙනවා කියා මම විශ්වාස කරනවා. පෞද්ගලික සමාගමක් කියා කියන්නේ මිනිස්සු එකතු වී සාමූහිකව හදා ගන්නා යාන්ත්‍රණයක්. එවැන්නක් පවතින එක හොඳනම් මිනිස්සු එකතු වී සාමූහිකව හදා ගන්නා තවත් යාන්ත්‍රණයක් වන රජය මුළුමනින්ම අහෝසි වී යා යුතුයි කියා හිතන්න ලොකු හේතුවක් නැහැ. රජය ප්‍රශ්නයක් වන්නේ රජය සතුව ඕනෑවට වඩා වැඩි අධිකාරී බලයක් ගොනු වී එය තවදුරටත් මිනිසුන්ගේ පොදු හා සාමූහික යාන්ත්‍රණයක් නොවූ විටයි.

මේ වගේම තර්කයක් බිට්කොයින් හා අදාළවත් ගේන්න පුළුවන්. මහ බැංකු සල්ලි අච්චු ගහලා මුදල් උපයනවා වගේම බිට්කොයින් නිකුත් කළ මූලික කණ්ඩායම පැත්තක ඉඳලා බිට්කොයින් වලිනුත් සල්ලි හොයනවා. රජයයන් හා මහ බැංකු විසින් සල්ලි අච්චු ගහලා එකතු කර ගන්නා ධනය යන්නේ යම් සීමිත පිරිසක් අතට වුවත් බිට්කොයින් වලින් පෝසත් වෙන්නේ ඊට වඩා ගොඩක් පොඩි, සමහර විට අතේ ඇඟිලි වලින් ගිනිය හැකි, පිරිසක්. 

බිට්කොයින් සැපයුම සීමිතයි කියන එක ආකර්ශනීය "සටන් පාඨයක්". එහෙත් බිට්කොයින් වැනි අතථ්‍ය මුදල් පොදුවේ සැලකුවොත් එවැනි සීමාවක් නැහැ. මේ වැඩේ ඕනෑවට වඩා ව්‍යාප්ත වුනොත් පොදුවේ අතථ්‍ය මුදල් තවත් පිරමිඩ් ක්‍රමයක් වගේ වෙනවා. අනෙක් පැත්තෙන් චීනය මුලිනුත්, ඇමරිකාව ඉන් පසුවත් මේ වැඩේට රජයයන් ලෙසම අත ගහන්න යාමත් එක්ක මේ සමීකරණය වෙනත් පැත්තකට හැරෙන්න පුළුවන්. 

ප්‍රාග්ධනය එක්ක බොහෝ විට බලයත් එකට යනවා. ඉතාම දුරස්ථ කාරණාවක් වුවත් යම් හෙයකින් බිට්කොයින් හෝ වෙනත් යම් නිශ්චිත අතථ්‍ය මුදල් ඒකකයක් ලෝක පරිමාණයෙන් ප්‍රධානම මුදල් ඒකකය බවට පත් වෙනවා කියා අපි හිතමු. සෛද්ධාන්තිකව බිට්කොයින් වලට එවැනි තැනකට එන්න බැරිකමක් නැහැ. එවැන්නක් වෙනවා කියා කියන්නේ බිට්කොයින් හඳුන්වා දුන් මූලික කණ්ඩායම අත ලෝකයේ දේශපාලන බලයද කේන්ද්‍රගත වෙනවා කියන එකයි. 

මතක තියා ගන්න බිට්කොයින් හඳුන්වා දුන්නේ කවුරුවත් නමක් ගමක් නොදන්නා ඇනෝ කෙනෙක්. මුලින්ම "කණිනු ලැබූ" බිට්කොයින් විශාල ප්‍රමාණයක් තවමත් තිබෙන්නේ ඔහු සතුවයි. අලුතෙන් සංසරණයට එකතු වන බිට්කොයින් ප්‍රමාණය එන්න එන්නම අඩු වෙද්දී බිට්කොයින් සැපයුම තීරණය කිරීමේ බලය මේ පුද්ගලයා අතේ කේන්ද්‍රගත වෙනවා. 

බිට්කොයින් හෝ වෙනත් අතථ්‍ය මුදල් වල ආයෝජනය කරන අති මහත් බහුතරය සමපේක්ෂකයින්. ඔවුන් එසේ කරන්නේ ඉක්මණින් පෝසත් වෙන්නයි. ඉතා ඉක්මණින් මේ සමපේක්ෂකයින්ගේ සිහින බිඳ වැටෙන එකක්නම් නැහැ. ලෝකය පුරා මහ බැංකු විසින් විශාල ලෙස සල්ලි අච්චු ගසමින් අතථ්‍ය මුදල් වල ආයෝජනය කිරීමට මිනිසුන් පොළඹවමින් සිටින අතර ඒ නිසාම තවත් කාලයක් යන තුරු මේ වෙළඳපොළ කඩා වැටෙන එකක් නැහැ.

පළමු වරට පෘථිවියෙන් පිටත වෙනත් ග්‍රහ ලොවක මිනිසුන් විසින් හෙලිකොප්ටරයක් පියාසර කළ අද දින වන විට ඇමරිකාවේ ඕනෑම ප්‍රාන්තයකින් වයස අවුරුදු 16 ඉක්මවූ අය‍ට කෝවිඩ් එන්නතක් ලබා ගත හැකියි. මේ වෙද්දී ඇමරිකාවේ ජන ජීවිතය වේගයෙන් සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් තිබෙනවා. ඒ එක්කම අපටද කාලයක් පැත්තකට දමා සිටි බොහෝ දේවල් ගැන නැවත අවධානය යොමු කරන්න සිදු වෙනවා. බ්ලොග් එක වෙනුවෙන් වැය කළ හැකි කාලය අඩු වෙනවා.

Monday, January 18, 2021

සීයා හා දෙදාස් පන්සීයා


තව දවස් තුනකින් (ජනවාරි 21) කොළඹ සරසවියේ ශාස්ත්‍ර හා විද්‍යා පීඨ වල සියවස සැමරෙනවා. කොළඹ සරසවිය මමත් අවුරුදු හතර පහක් තිස්සේ ගාටපු තැනක්. එහෙත්, මගේ පළමු සම්බන්ධය තිබෙන්නේ පේරාදෙණිය සරසවිය සමඟයි. යම් හෙයකින් මට පේරාදෙණි යාමේ අවස්ථාව නොලැබුනානම් මා බොහෝ විට මුලින්ම යන්නේ කොළඹ සරසවියටයි. මුලින් පේරාදෙණි යන්න අවස්ථාව ලැබුණු නිසා කොළඹ යන්න වුනේ දෙවනුවයි. 

උසස් පෙළ කර සරසවි යාම ගැන හිතද්දී හැම විටම වගේ මගේ හිතේ මැවුණේ පේරාදෙණිය සරසවියයි. පේරාදෙණි ගොස් ඉගෙන ගැනීමේ සිහිනයටත් වඩා උඩින් තිබුණේ පේරාදෙණිය සරසවිය ආශ්‍රිතව වසර හතරක් ගත කිරීමේ සිහිනයයි. මොරටුව සරසවියට යන්නට මගේ කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. යම් හෙයකින් මොරටු යන්න සිදු වීමේ අවදානම වලක්වා ගැනීම සඳහා මම සරසවි පාඨමාලා අයදුම් කරද්දී මොරටුවේ පාඨමාලා කිසිවක් සඳහා අයදුම් කළේම නැහැ. 

අයැදුම්පත්‍රයේ මගේ පළමු කැමැත්ත ලෙස මා සඳහන් කළේ, අපේක්ෂා කළ පරිදිම මට යන්නට අවස්ථාව ලැබුණු, පේරාදෙණි පාඨමාලාවයි. මගේ දෙවන හා තුන්වන මනාප ලැබී තිබුණේ කොළඹ සරසවියේ පීඨ දෙකක පාඨමාලා දෙකකටයි. කැමති පාඨමාලා දහයක් දක්වා සඳහන් කළ හැකිව තිබුණත්, මා ඉල්ලා සිටියේ ඉහත කී පාඨමාලා තුනෙන් එකක් පමණයි.

පේරාදෙණියේ ගත කළ කාලය මගේ ජීවිතයේ හොඳම කාලය කියා කියන්න අසීරු වුනත් හොඳම කාලයක්. එම කාලය ගැන අදටත් සතුටු විය හැකියි. එහෙත් පේරාදෙණියෙන් මා ලබාගත් අධ්‍යාපනය පිළිබඳව මා සතුටු වනවා කියා කියන්න බැහැ. මට ලැබුණු කියා නොකියා මා ලබාගත් කියා කියන්නේ මෙහි යම් වරදක් ඇත්නම් එය බොහෝ දුරට මගේ පැත්තෙන් සිදු වූ වරදක් නිසා.

වෙනත් දේ කෙසේ වෙතත් අධ්‍යාපනය හා අදාළව පේරාදෙණියේදී මගේ ඉලක්කය වුනේ හැකි අවම මහන්සියකින් විභාග සමත් වීමයි. ඒ වන විට අධ්‍යාපනයේ ඉලක්කය ලෙස මා හඳුනාගෙන තිබුණේ අදාළ විභාග සමත් වී ජීවිතය සාර්ථක කර ගැනීමේ ඊළඟ පියවර දක්වා ගමන් කිරීමයි. සරසවි ප්‍රවේශය දක්වාම මේ ඊළඟ පියවර වුනේ තවත් විභාගයක්. පාසැල් සිසුවකු ලෙස මා දැන සිටියේ අධ්‍යාපනය හරහා ජීවිතය සාර්ථක කර ගැනීමේ අවසන් හා පරමාදර්ශී ඉලක්කය වනුයේ, ඒ දින වල සිතා සිටි පරිදි ඉහළ ආදායමක් උපයන්නට ඉඩ සලසන, වෛද්‍යවරයෙකු හෝ ඉංජිනේරුවෙකු වැනි වෘත්තිකයෙකු වීම බවයි. 

සරසවි විභාග සමත් වීම අභියෝගයක් බව වෙනත් බොහෝ දෙනෙකු මෙන්ම මා ද දැන ගත්තේ නවක වද සමයේදීයි. ඒ නිසා, පළමු වසර විභාගයට පෙර ප්‍රතිඵලය පිළිබඳ යම් බියක් නොතිබුණා නෙමෙයි. පළමු වසරේ පුනරීක්ෂණ විභාග අවස්ථාවක් තිබීම හේතුවෙන් මේ බය යම් තරමකින් තුනී වුවත්, ඉදිරි තෙවසර තුළ හදාරන අනු ක්ෂේත්‍රය මෙන්ම ඒ වන විට හිතාගෙන සිටි පරිදි ඉදිරි ජීවිත කාලය තුළම කරන්නට සිදුවන රැකියාවද තෝරා ගැනීමේ අවස්ථාව මේ විභාගයේ ප්‍රතිඵලය මත තීන්දු වන නිසා විභාගය යාන්තමින් සමත් වීම ඒ තරම්ම සතුටු විය හැකි දෙයක්ව තිබුණේ නැහැ. 

පළමු වසරේ විභාග ප්‍රතිඵලය ඒ තරම් නරක එකක් නොවුනාක් මෙන්ම එම ප්‍රතිඵලය මත කැමති ඕනෑම අනු ක්ෂේත්‍රයක් තෝරා ගැනීමේ අවස්ථාවද හිමි වූ නිසා එක පැත්තකින් නරකක්ද සිදු වුනා. ඒ සරසවි විභාග වලට තිබුණු සුළු හෝ බය ඉවත්ව යාමයි. ලැබෙන උපාධිය අවසන් වශයෙන් තීරණය වුනේ අවසන් වසරේ විභාග ප්‍රතිඵලය මත නිසා දෙවන, තුන්වන වසර වල විභාග හොඳින් සමත් වුනා කියා අමුතුවෙන් ලබා ගත හැකි දෙයක් පෙනෙන්නට තිබුණේ නැහැ. ඒ නිසා, දෙවන තුන් වන වසර වලදී මගේ ඉලක්කය වුනේ අඩුම කාලයක් වැය කර යාන්තමින් විභාග ගොඩ දමා ගැනීමයි. අධ්‍යාපනය වෙනුවෙන් "නාස්ති" නොකර ඉතිරි කර ගන්නා කාලය වෙනත් කටයුතු සඳහා යෙදෙවීමට හැකි වුනා. ඇත්තටම කියනවානම් ඒ වෙනත් කටයුතුද සරසවි අධ්‍යාපනයේම කොටස් තමයි.

ඔය හැම දෙයක්ම කරමින් පාඨමාලාවේ කෙළවරට පැමිණෙද්දී අවසන් විභාගය හැකි තරම් හොඳින් සමත් වීමේ උවමනාවක් ඇති වී තිබුණා. ලැබෙන උපාධි සාමාර්ථය කුමක්ද කියා තීරණය වුනේ අවසන් විභාගයේ ප්‍රතිඵලය මත වීම ඊට හේතුවයි. ඒ නිසා, මේ අවසන් විභාගයට පෙර විභාග සඳහා වැය කළාට වඩා වඩා කාලයක් වැය කරමින් සූදානම් වුනා. කෙසේ වුවත්, ලැබුණේ අනපේක්ෂිත ප්‍රතිඵලයක්. අවසන් විභාගයේ ප්‍රතිඵල අනුව මා විභාගය සමත්ව තිබුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස නැවත විභාගයට පෙනී සිටින්නට වසරක කාලයක් බලා ඉන්න සිදු වුනා. අවසන් විභාගයේ සියලුම විෂයයන් එක වර සමත් නොවුවහොත්, පුනරීක්ෂණ විභාගයක ප්‍රතිඵල කෙතරම් හොඳ වුවද කවර හෝ පන්ති සාමාර්ථයක් ලබා ගැනීමේ අවස්ථාවක් නැති නිසා එම අවස්ථාව ද ගිලිහී ගියා.

පාඨමාලාව හැදෑරුවේම විභාගය සමත් වීමේ අරමුණින් මිස ඉගෙන ගැනීමේ අරමුණින් නොවූ නිසා මේ අනපේක්ෂිත විභාග ප්‍රතිපලය විසින් මා තල්ලු කර දමනු ලැබුවේ ගොඩ එන්නට ඉතා අසීරු අගාධයකටයි. ගුරු රස්සාව හා ඊටත් පෙර කළ වෙනත් රස්සා වලින් ඉතිරි කරගත් සැලකිය යුතු මුදලක් පේරාදෙණි යද්දී අතේ තිබුණා. ඒ නිසා, පේරාදෙණි සිටි කාලයේ යම් තරමකින් අත දිග හැර මුදල් වියදම් කළ හැකි වුනා. පාඨමාලාව අවසානයේදී රැකියාවක් ලැබෙන එක ගැන සැකයක් නොතිබුණු නිසා මුල සිටම සැලසුම් කළේ ඉතිරි කරගත් මේ සල්ලි වසර හතර තුළ ක්‍රමානුකූල ලෙස වියදම් කර දමමින් සරසවියේ ගත කරන කාලය වැඩිපුර දුක් නොවිඳ ගෙවන්නටයි. එය එසේම සිදු වුනා. දැන් වසර හතර අවසන් වෙද්දී උපාධියත් නැහැ. රැකියාවකුත් නැහැ. අතේ සතේත් නැහැ. 

පේරාදෙණියේ අවසන් විභාගය ලියා අවසන් කිරීමෙන් පසුව ගත වුනේ මගේ ජීවිතයේ අඳුරුම කාලයක්. මේ වසර මා ගත කළේ ඉතා දැඩි මානසික පීඩනයකින්. විභාගය අවසන් කළ වහාම, වෙනත් රැකියාවක් ලැබෙන තුරු, පීඨයේ විද්‍යාගාර උපදේශකයෙකු (ඉන්ටෙක්) ලෙස සේවය කිරීමේ අවස්ථාව බොහෝ දෙනෙකුට හිමි වන නමුත් එම වසරේ පැවති තරඟය නිසා මට ඒ අවස්ථාව හිමි වුනේ නැහැ. එම වසරේ පැවති සුවිශේෂී ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය නිසා රැකියා වෙළඳපොළේ තිබුණේත් ඉතාම තරඟකාරී තත්ත්වයක්. මෙය පුනරීක්ෂණ විභාගයට ලියන තුරු මුහුණ දෙන්නට සිදුව තිබුණු තාවකාලික තත්ත්වයක් නිසා වෙනත් ස්ථිර රැකියාවකට අයදුම් කරන එකේත් තේරුමක් තිබුණේ නැහැ. 

එකවරම මා කිසිදු මූල්‍ය ප්‍රාග්ධනයක් අතේ නැති, වසර ගණනාවක් තිස්සේ එකතු කරගත් මානව ප්‍රාග්ධනයෙන්ද වහාම ගත හැකි කිසිම ප්‍රයෝජනයක් නැති, අතපය හතර පමණක් තිබෙන සාමාන්‍ය තරුණයෙකු වී සිටියා. කළ හැකිව තිබුණේ අත පය හතර ප්‍රයෝජනයට ගැනීම පමණයි. කැලෑ වී තිබුණු වත්ත එළි පෙහෙළි කර කෙසෙල් හිටෙවුවා. තවත් දේවල් ද වගා කළා. පසුව හතු හදන්නත් පටන් ගත්තා. ඔය දේවල් වලින් අතට මුදලක් ලැබෙන්න කිට්ටු වෙද්දී වසරක් ගෙවුනා. අපේක්ෂා කරමින් සිටි ආකාරයේ රැකියාවක්ද ලැබුණා. කොළඹ එන්න සිදු වුනා. 

පේරාදෙණියේ සිටි කාලය අධ්‍යාපනය වෙනුවෙන් සැලකිය යුතු පෞද්ගලික ආයෝජනයක් ද කළ කාලයක් වුවත් මේ පාඨමාලාව වෙනුවෙන් පාඨමාලා ගාස්තුවක් අතින් ගෙවන්න සිදු වුනේ නැහැ. යම් හෙයකින් එසේ මුදලක් අතින් ගෙවන්න සිදු වුනානම් එම කාලය තුළ හොඳින් අධ්‍යාපනය ලබා ගැනීම කෙරෙහි යොමු වන්නට මීට වඩා පෙළඹවීමක් ඇති වෙනවා.

පේරාදෙණි නොගියානම් මා බොහෝ විට දිගටම ගුරු රස්සාව කරනවා. එසේ කළානම් බොහෝ විට ඉතා ඉක්මණින් අමතර ආදායමක් ඉපැයීම සඳහා පෞද්ගලික උපකාරක පන්තිද ආරම්භ කරන්න ඉඩ තිබුණා. පෞද්ගලික උපකාරක පන්ති පවත්වා මුදල් සෙවීම මා වයස අවුරුදු එකොළහක කාලයේ සිට කළ දෙයක්. ගුරු රස්සාවෙන් හා පෞද්ගලික උපකාරක පන්ති කිරීමෙන් වසර හතරක් පුරා ඉපැයිය හැකිව තිබුණු, පේරාදෙණි යාම නිසා අහිමි වූ මුදලද අදාළ උපාධිය මිල දී ගැනීම වෙනුවෙන් දැරූ ආවස්ථික පිරිවැයක්. අධ්‍යාපනය වෙනුවෙන් මා සිදු කළ පෞද්ගලික ආයෝජනයේ කොටසක්.

කොළඹ සරසවියේ පීඨ දෙකක පශ්චාත් උපාධි පාඨමාලා දෙකක් වෙනුවෙන්ද මා පාඨමාලා ගාස්තු ලෙසම සැලකිය යුතු මුදලක් ගෙවුවා. ඉංජිනේරුවෙකු ලෙස රැකියාව කර උපයා ගත් මුදල් වලින් වැඩි කොටසක් වැය වුනේ මේ ආකාරයෙන් නැවත අධ්‍යාපනය වෙනුවෙන්ම ආයෝජනය කරන්නයි. ඔය වගේ රැකියාවන් කරමින් ඔය වයසේ සිටි වෙනත් බොහෝ දෙනෙකු සේ හැසිරුනානම් මෝටර් රථයක් මිල දී ගැනීමට හෝ නිවසක් හදා ගැනීමට වැය කළ හැකිව තිබුණු මුදලක්. 

මේ වසර හතර පහක පමණ කාලය තුළද පාඨමාලා ගාස්තු සේ ගෙවූ මුදල මා දැරූ සමස්ත පිරිවැය නෙමෙයි. මේ කාලය තුළ මා නීත්‍යානුකූල හා සාධාරණ ලෙස ඉතා ඉක්මණින් මුදල් ඉපැයිය හැකි ව්‍යාපාරික අවස්ථාවක් හඳුනා ගෙන තිබුණා. එම ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා අවම වශයෙන් මාස හයක් පමණවත් සැලසුම් කළා. මේ වැඩේ කල් දමන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. එසේ කළානම් වෙනත් අයෙකු විසින් මේ ව්‍යාපාරික අවස්ථාව හඳුනා ගනු ලබනවා. ඊට පෙර වැඩේට අත ගැසිය යුතුව තිබුණා. වැඩේ පටන් ගත්තානම් මුල් කාලයේ කළ යුතු කැපවීමත් එක්ක අධ්‍යාපන කටයුතු ඉදිරියට කර ගෙන යන්න වෙන්නේ නැහැ. මේ දෙගිඩියාව සමඟ මාස හයක් පමණ දෙපැත්තට වැනි වැනී සිටීමෙන් පසුව අන්තිමේදී වැඩේ අත අරින්න තීරණය කළා.

මේ කාලය තුළ මගේ මේ සැලසුම පිළිබඳව ඒ දවස් වල ලඟින් ඇසුරු කළ මිතුරෙකු සමඟ දිනපතාම වගේ සාකච්ඡා කළා. ඔහු තීක්ෂණ බුද්ධියක් තිබුණු, දක්ෂ හා මහන්සියෙන් කටයුතු කරන තරුණයෙකු වුවත් උසස් පෙළ කඩඉම පැන සරසවි යාමේ වරම ලබා නොතිබුණු නිසා ඒ වෙද්දී විධිමත් අධ්‍යාපන සුදුසුකමක් ලොකුවට තිබුණේ නැහැ. මා වැඩේ අතඅරින බව ස්ථිර ලෙසම පැවසීමෙන් පසුව ඔහු වැඩේට අත ගැසුවා. ඒ වන විට ඔහුට එසේ කිරීම නිසා මට මෙන් නැති වෙන්න දෙයක් තිබුණේ නැහැ. ඔහු සමඟ සම්බන්ධ වන සේ මගෙන් ඉල්ලා සිටියත් මා ඔහුගේ ව්‍යාපාරික හවුල්කරුවෙකු සේ සම්බන්ධ වුනේ නැහැ. එහෙත්, මුල් කාලය තුළ දිගින් දිගටම ඔහුට අවශ්‍යව තිබුණු තාක්ෂනික සහාය ලබා දෙමින් හිර වූ හැම විටකම ගොඩ යන්නට උදවු කළා. ඔහු ඉතා ඉක්මනින් ලංකාවේ ප්‍රමුඛ ධනවතෙක් වුනා වගේම පසුව ඉගෙනීම වෙනුවෙන්ද දිගටම කාලය හා මුදල් වැය කර බටහිර රටක සරසවියකින් ආචාර්ය උපාධියක්ද ලබා ගත්තා.

මා මෙය ලිවුවේ කිසිදු පසුතැවිල්ලකින් නෙමෙයි. ලොකු ධනවතෙකු වීමේ උවමනාවක් මට කවදාවත්ම තිබුණේ නැහැ. දැනුත් නැහැ. මගේ සරල කෙසේ වෙතත් එතරම් සංකීර්ණ නැති ජීවිතය ගෙවන්න ප්‍රමාණවත් ආදායමක් ලැබේනම් මට එය හොඳටම ඇති. පෙර කී ව්‍යාපාරික අවස්ථාව අත ඇරීම මගේ තේරීමක්. ඒ ගැන මා අදටත් සතුටු වෙනවා. කෙසේ වුවත්, එම ව්‍යාපාරය ආරම්භ කර ඉපැයිය හැකිව තිබුණු මුදලද මා අධ්‍යාපනය වෙනුවෙන් සිදු කළ පෞද්ගලික ආයෝජනයේ කොටසක්. 

ප්‍රථම උපාධියේදී මෙන් නොව මේ පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීමේදී මගේ ඉලක්කය වුනේ විභාග සමත් වී ලබා ගන්නා උපාධි සහතිකයම නෙමෙයි. උපාධිය ලබා ගැනීමද එක් ඉලක්කයක් වුවත්, පාඨමාලා සඳහා මුදල් ගෙවුවේ දැනුම හා අධ්‍යාපනය මිල දී ගැනීමටයි. කොළඹ විද්‍යා පීඨයෙන් හැදෑරූ පශ්චාත් උපාධි පාඨමාලාවේ වසර අවසාන විභාග හා ඒ දිනවලම හැදෑරූ නීති විද්‍යාල පාඨමාලාවේ විභාග සමපාත වීම නිසා එම පාඨමාලාවේ අවසන් විභාගයට මුහුණ දීමේ අවස්ථාවද ගිලිහී ගියා. ඉන් පසුව මෙම පාඨමාලාව විද්‍යා පීඨයෙන් ඉවත් වී එහි ස්වරූපයම වෙනස් වීම නිසා අදාළ පශ්චාත් උපාධිය ලබා ගැනීමට අවස්ථාවක් ලැබුණේ නැතත් උගත් දේ යම් තරමකින් හෝ ඉතිරි වුනා. අනෙක් පශ්චාත් උපාධියනම් ලබා ගත්තා.

කොළඹින් වගේම පේරාදෙණියෙන්ද ලැබුණේ බටහිර ආකෘතියේ අධ්‍යාපනයක්. මා කොළඹින් ලබා ගත් හා ලබා නොගත් පශ්චාත් උපාධි දෙකෙන් එකක්වත් පර්යේෂණ උපාධි නෙමෙයි. පර්යේෂණ උපාධියක් ලබා ගන්නා කෙනෙකු එය කරන්නේ උපදේශක වරයෙකුගේ අධීක්ෂණය යටතේ. ආචාර්ය උපාධියක්නම් උපදේශක මණ්ඩලයක් සිටිනවා. එහි ප්‍රධාන උපදේශකයෙකු හෝ ඇතැම් විට දෙදෙනෙකු සිටිනවා. මෙවැනි පර්යේෂණ උපාධියක සෘජු ගුරු ගෝල සම්බන්ධයක් තිබෙනවා. අදාළ වාර්තා තිබේනම් මේ ගුරු ගෝල සම්බන්ධතා පසුපසට හඹා යන්න පුළුවන්. 

ආචාර්ය උපාධි ලබා දීම ආරම්භ වුනේ යුරෝපයේ. මුලින්ම ආචාර්ය උපාධි ප්‍රදානය කළේ යුරෝපයේ ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය වැනි රටවල්. ඇමරිකාව හා එංගලන්තය වැනි ඉංග්‍රීසි කතා කරන ලෝකයේ ආචාර්ය උපාධි ලබා දීමේ පුරුද්ද ඇති වුනේ පසුකාලීනවයි. එතෙක්, එංගලන්තයේ සරසවි වලින් ප්‍රදානය කළේ මාස්ටර්ස් උපාධි. මේ මාස්ටර්ස් උපාධි සම්ප්‍රදායේත් ගුරු ගෝල සම්බන්ධය තිබුණා. 

අධ්‍යාපනය ගුරු ගෝල සම්බන්ධතා හරහා සම්ප්‍රේෂණය වෙන්න පටන් ගත්තේ අද දැකිය හැකි සම්මත ආකාරයේ විශ්ව විද්‍යාල බිහිවී, එම විශ්ව විද්‍යාල පද්ධතීන් තුළ පර්යේෂණ උපාධි ප්‍රදානය කිරීම් සිදුවෙන්න පටන් ගැනීමෙන් පසුව නෙමෙයි. ගුරු ගෝල සම්බන්ධතා වල අතීතය ඊට වඩා පැරණියි. බටහිර අධ්‍යාපන සම්ප්‍රදාය ආරම්භ වන්නේ ග්‍රීසියෙන් කියා කියන්න පුළුවන්. මහා ඇලෙක්සැන්ඩර් රජුගේ ගුරුවරයා ඇරිස්ටෝටල්. ඇරිස්ටෝටල්ගේ ගුරුවරයා ප්ලේටෝ. තරමක් විවාදිත කරුණක් වුවත් සොක්‍රටීස් ප්ලේටෝගේ ගුරුවරයෙක්. අද ලංකාවේ ලබා දෙන සරසවි අධ්‍යාපනයේ මුල් තිබෙන්නේත් පැරණි ග්‍රීසියේ කියා කිවුවොත් එහි වැරැද්දක් නැහැ. සොක්‍රටීස්ගේ කාලයේ සිට පැවත එන සම්ප්‍රදායකට මේ වෙද්දී වසර දෙදාස් පන්සීයකට ආසන්න ඉතිහාසයක් තිබෙනවා.

අධ්‍යාපනය තුළ ගුරු ගෝල සම්බන්ධතා දාම දැකිය හැක්කේ බටහිර සම්ප්‍රදාය තුළ පමණක් නෙමෙයි. වෙනත් හොඳම උදාහරණයක් වන්නේ ලංකාවේ සංඝ ශාසනයයි. හොරෙන් සිවුරු පොරවා ගත් අයෙක් නොවේනම්, ලංකාවේ ඕනෑම බෞද්ධ භික්ෂුවකට ගුරු හාමුදුරු කෙනෙක් ඉන්නවා. ඒ ගුරු හාමුදුරුවන්ටත් ගුරු හාමුදුරු කෙනෙක් ඉන්නවා. වාර්තා හොයා ගන්න පුළුවන් වුවත්, බැරි වුනත් ඔය දාමය ආරම්භ වන්නේ බුදු හාමුදුරුවන්ගෙන්. ඒ අතර, දාමයේ පුරුක් සියම, බුරුමය වගේ රටවල් වලට ගිහින් ආපහු ඇවිත් ඇති. මගධයේ සිට ලංකාවට ඇවිත් ඇති.

සංඝ ශාසනය ඇතුළේ වගේම වෙනත් ලෞකික කර්මාන්ත හා දැනුම් සම්ප්‍රේෂණය වෙලා තිබෙන්නේත් ගුරු ගෝල සම්බන්ධතා හරහා. උදාහරණ විදිහට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, වෙදකම, රන් හා ලෝහ වැඩ පිළිබඳ දැනුම, නැටුම් වගේ ගොඩක් දේවල්. ගුරු ගෝල සම්බන්ධයක් කියන්නේ ගුරුවරයා උගන්වන දේ ඒ විදිහටම ගෝලයාට කියා දෙන එක නෙමෙයි. ඇරිස්ටෝටල්ගේ ඉගැන්වීම් හා ප්ලේටෝගේ ඉගැන්වීම් අතර විශාල වෙනස්කම් තිබෙනවා. අඛණ්ඩව පහළට යන්නේ දැනුම සම්ප්‍රේෂණය කිරීමේ සම්ප්‍රදාය මිසක් වෙනස් නොවන දැනුමක් නෙමෙයි. එහෙත් ආගමික සම්ප්‍රදායන් ඇතුළේ දැනුම නොවෙනස්ව සම්ප්‍රේෂණය කරන එක අදාළ සම්ප්‍රදායේම මූලික ලක්ෂණයක්. එහිදී සම්ප්‍රේෂකයාගේ කාර්යය වන්නේ පවතින දැනුමට එරෙහිව යන අලුත් දැනුම් නිෂ්පාදනය කරන්නට උත්සාහ නොකර පවතින දැනුම ඇති සැටියෙන් සම්ප්‍රේෂණය කිරීමයි. බටහිර විද්‍යාත්මක සම්ප්‍රදාය මෙයින් වෙනස් වන්නේ පවතින දැනුමට අභියෝග කිරීම සම්ප්‍රදායේම කොටසක් වීම තුළයි.


Sunday, July 26, 2020

ඇමරිකාවෙන් ගත් ඩොලර් බිලියනයේ ණය


ඇමරිකාවේ වගේම සමස්තයක් ලෙස ලෝකයේත් කෝවිඩ් එන්න එන්නම තව දුරටත් ව්‍යාප්ත වෙනවා. ඒ අතින් ලංකාව ව්‍යතිරේඛයක් ලෙස සලකන්න පුළුවන්. කෝවිඩ් ඉවරයක් නැතත් දැන් කෝවිඩ් ඉන්ටවල්නම් ඉවරයි. කෝවිඩ් පැත්තකින් තියලා කලින් කරගෙන ගිය වැඩ ආපහු ඒ විදිහටම කරනවා හැර වෙන විකල්පයක් නැහැ.

හදිසි වැඩ කිහිපයක් ඉවර කරන්න අවශ්‍ය වූ නිසා ටික දවසකින් බ්ලොග් එක පැත්තේ එන්න වුනේ නැහැ. ඒ අතර, ලංකාව ඇමරිකාවෙන් ලබාගත් ඩොලර් බිලියනයක ණයක් ගැන කතාවක් පැතිරිලා හෝ පතුරවලා තියෙනවා දැක්කා. කතාවෙන් කියපු විදිහට දැන් ලංකාව ඇපයක් නොතියා ණයක් ගන්න බැරි තැනට වැටිලා. මේ කතාව ඇත්තද?

ණයක් කියා ප්‍රචාරය වී තිබුණත් ඇත්තටම මේ අරගෙන තිබෙන්නේ ණය ලබා ගැනීමේ පහසුකමක්. මෙය සමාන කරන්න පුළුවන් වෙන්නේ ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තා වගේ දෙයකට. ණය පහසුකමක් ලබා ගත්තාට පස්සේ එහි උපරිම සීමාවට යටත්ව ඕනෑ වෙලාවක පහසුවෙන් ණය ලබා ගන්න පුළුවන්. හරියට ක්‍රෙඩිට් කාඩ් එකේ සීමාව පනින තුරු වියදම් කරන්න පුළුවන් වගේ. ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තා කියලා එය භාවිතා කරන්න අවශ්‍යම නැහැ වගේ ණය පහසුකමක් ගත්තා කියලා ඒ පහසුකම පාවිච්චි කරන්න අවශ්‍යම නැහැ.

ලංකාව විසින් ලබාගත් ණය පහසුකම තවමත් පාවිච්චි කරලා නැහැ. පාවිච්චි කරන තුරු පොලියක් ගෙවන්න අවශ්‍ය වෙන්නේත් නැහැ. ඉදිරි කාලයේදී ණය පහසුකම පාවිච්චි කළොත් ඒ වෙනුවෙන් පොලී ගෙවන්න වෙයි. හැබැයි මේ වෙනුවෙන් ගෙවන්න වෙන්නේ ලංකාවේ විදේශ ණය සඳහා ගෙවන පොලී අනුපාතික වලට සාපේක්ෂව ඉතා අඩු පොලියක්.

මේ ණය පහසුකම ලබා දී තිබෙන්නේ ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව විසින් ණය පහසුකම් ලබා දීමේ අළුත් ක්‍රමවේදයක් යටතේ. ඇමරිකාවේ ෆෙඩරල් විවට වෙළඳපොළ කමිටුව විසින් මේ ණය ක්‍රමය හඳුන්වා දුන්නේ පසුගිය මාර්තු මාසය අවසානයේදී කෝවිඩ් තර්ජනය හමුවේ ගත් ක්‍රියාමාර්ගයක් ලෙසයි. එහි පසුබිම ගැන ටිකක් කතා කරමු.

කෝවිඩ් තර්ජනය නිසා ලෝකයේ රටවල් අතර වෙළඳාම, සංචරණය වගේම ප්‍රාග්ධන ප්‍රවාහ සැලකිය යුතු තරමින් සීමා වී තිබෙන බව කවුරුත් දන්නා දෙයක්නේ. ලංකාව ගත්තොත්, ලංකාවට සංචාරකයින්ගෙන්, ඇඟලුම් ආනයන ආදියෙන් ලැබෙන විදේශ විණිමය දැඩි ලෙස සීමා වී තිබෙනවා. ඒ වගේම එහි අනෙක් පැත්තත් සිදු වෙනවා. උදාහරණයක් විදිහට ලංකාවේ තෙල් ආනයනය සීමා වන විට ලංකාවට තෙල් අපනයනය කරන රටවල විදේශ විණිමය ලැබීම් සීමා වෙනවා. එහි බලපෑම විශාල එකක් නොවෙන්න පුළුවන්. එය වෙනම කරුණක්.

කෝවිඩ් මිනිස්සුන්ගේ මුදල් භාවිතයට බලපාන්නේ කොහොමද? ගෙවල් වලට සීමා වී ඉන්න වූ විට බොහෝ දෙනෙක් තමන්ගේ බැංකු ගිණුම් වල තිබෙන මුදල් ආපසු අරගෙන අතේ තියාගන්න පෙළඹෙනවා. මේ තත්ත්වය ලංකාව ඇතුළු හැම රටකම වගේ දැකිය හැකියි. තාක්ෂනික ලෙස මෙයට රටේ ද්‍රවශීලතා අවශ්‍යතාව ඉහළ යාම කියා කියන්න පුළුවන්. කෝවිඩ් තර්ජනය මුළුමනින්ම තුරන් වන තුරු මේ තත්ත්වයේ ලොකු වෙනසක් වෙන්න ඉඩක් නැහැ.

මේ විදිහට රටක ද්‍රවශීලතා අවශ්‍යතාව ඉහළ යන විට රටේ මුදල් හිඟයක් ඇති නොවීම සඳහා මහ බැංකුවට අලුතින් මුදල් සංසරණයට එකතු කරන්න වෙනවා. සරලව කිවුවොත් සල්ලි අච්චු ගහන්න වෙනවා. ඔය සල්ලි අච්චු ගහන වැඩේ ඒ තරම් හොඳ දෙයක් නොවන බව මම බොහෝ වර පැහැදිලි කරලා තියෙනවනේ. හැබැයි මේක විශේෂ තත්ත්වයක්.

මේ වගේ අවස්ථාවක මිනිස්සුන්ට වැඩියෙන් මුදල් අවශ්‍ය වෙන්නේ පවතින අවිනිශ්චිත තත්ත්වය යටතේ අතේ මුදල් නැති වීමේ අවදානම අඩු කරගන්න මිසක් වැඩි වැඩියෙන් භාණ්ඩ මිල දී ගන්න නෙමෙයිනේ. ඒ නිසා, මේ විදිහට මහ බැංකුව විසින් මුදල් සැපයුම වැඩි කළ පමණින් උද්ධමනය ඉහළ යන්නේ නැහැ. උද්ධමනය ඉහළ යන්නේ රටේ මුදල් ඉල්ලුම ඉක්මවා වඩා වැඩියෙන් අලුත් මුදල් සංසරණයට එකතු කළ විටයි. මම කියන්නේ වැඩි වූ මුදල් ඉල්ලුම වෙනුවෙන් අවශ්‍ය තරමට අලුත් මුදල් සංසරණයට එකතු කිරීමක් ගැනයි.

ඔය විදිහට සංසරණයට එකතු කරන මුදල් වුවත් කෝවිඩ් තර්ජනය පහ වී මිනිසුන්ගේ මුදල් ඉල්ලුම අඩු වන විට ක්‍රමයෙන් නැවත එකතු කර නොගත්තොත් අවසාන ප්‍රතිඵලය උද්ධමනයයි. හැබැයි මේ වෙලාවේ ඕනෑම රටක මහ බැංකුවකට යම් තරමකින් අලුතෙන් සල්ලි අච්චු ගහන්න වෙනවා. ලෝකයේ ගොඩක් මහ බැංකු ඔය වැඩේ කරනවා.

රටක් ඇතුළේ ගනුදෙනු සිදු වෙන්නේ දේශීය ව්‍යවහාර මුදල් යොදාගෙන වුවත්, විදේශ ගනුදෙනු සඳහා විදේශ ව්‍යවහාර මුදල් අවශ්‍ය වෙනවනේ. කෝවිඩ් නිසා හැම රටකම වගේ දේශීය ව්‍යවහාර මුදල් සඳහා වන ඉල්ලුම ඉහළ ගිහින් තිබෙනවා වගේම විදේශ ව්‍යවහාර මුදල් සඳහා ඉල්ලුමත් ඉහළ ගිහින් තිබෙනවා. නමුත්, මේ ප්‍රශ්නය රටක මහ බැංකුවට පහසුවෙන් විසඳිය හැකි ප්‍රශ්නයක් නෙමෙයි. ලංකාව ගත්තොත් මහ බැංකුවට හිතේ හැටියට රුපියල් අච්චු ගහන්න පුළුවන්. නමුත්, ඒ විදිහට ඩොලර් හරි යුරෝ හරි අච්චු ගහන්න බැහැනේ.

ගොඩක් ජාත්‍යන්තර ගනුදෙනු කෙරෙන්නේ ඇමරිකන් ඩොලර් වලින් බව අපි දන්නවනේ. ඒ නිසා, මේ වෙලාවේ ලෝකයේ හැම රටකම වගේ ඇමරිකන් ඩොලර් වලට තිබෙන ඉල්ලුම ඉහළ ගිහින් තිබෙනවා. නමුත්, ඇමරිකන් ඩොලර් එළියට දමන්න පුළුවන්කම තිබෙන්නේ ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුවට විතරයිනේ. ඒ නිසා, මේ වෙලාවේ ගොඩක් රටවල් වලට ඇමරිකන් ඩොලර් හොයා ගන්න ආකාරය ගැන හිතන්න වෙලා.

ඔය තරම්ම බරපතල ලෙස නොවුනත් ඔය වැඩේම අනික් පැත්තටත් වෙනවනේ. අපි හිතමු ඇමරිකානු සමාගමකට ලංකාවේ ඇඟලුම් ආනයනය කරන්න ඕනෑ. ඒ සඳහා ශ්‍රී ලංකා රුපියල් අවශ්‍ය වෙනවා. නමුත්, ෆෙඩරල් සංචිත බැංකුවට ශ්‍රී ලංකා රුපියල් අච්චු ගහන්න බැහැනේ. රුපියල් ගන්න වෙන්නේ ලංකාවෙන්ම තමයි.

හැබැයි ප්‍රායෝගිකව මේ වැඩේ ඒ තරම් ප්‍රශ්නයක් නෙමෙයි. ලංකාවේ අපනයනකරුවන් රුපියල් ඉල්ලන්නේ නැහැ. බොහොම කැමැත්තෙන් ඇමරිකන් ඩොලර් බාර ගන්නවා. ඒ නිසා, ඇමරිකාව ඇතුලේ ශ්‍රී ලංකා රුපියල් හිඟයක් ඇති වෙන්න ඉඩක් නැහැ.

ශ්‍රී ලංකා රුපියල් හා අදාළව තත්ත්වය ඔය වගේ වුනත් යුරෝ, යෙන් වගේ ව්‍යවහාර මුදල් හා අදාළව තත්ත්වය වෙනස්. ඒ වගේ විදේශ ව්‍යවහාර මුදල් සඳහා සැලකිය යුතු ඉල්ලුමක් ඇමරිකාව ඇතුළේ තිබෙනවා. එම ඉල්ලුමට සරිලන සැපයුමක් නැත්නම් එය ඇමරිකාවට ප්‍රශ්නයක් වෙනවා. යම් විදිහකින් මේ වගේ ප්‍රශ්නයක් ඇති වුනොත් එය ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුවට සරලව විසඳිය හැකි ප්‍රශ්නයක් නෙමෙයි.

ඇත්තටම ඇමරිකාවට මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙලාම නැහැ. නමුත්, ඔය වගේ ප්‍රශ්නයක් ඇති වුනොත් හදිසියකට පවුම්, යුරෝ, යෙන් වගේ විදේශ ව්‍යවහාර මුදල් ලබා ගත හැකි පහසුකමක් තිබීම නරක දෙයක් නෙමෙයිනේ. සාමාන්‍යයෙන් ඇමරිකාව වගේ රටවල් ප්‍රශ්න විසඳන්න ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනකල්ම ඉන්නේ නැහැනේ. ඔය ගොඩක් අය කතා කරන ඇක්සා සෝෆා වගේ ගිවිසුම් අත්සන් කරන්නේත් අනාගතයේ යම් අවස්ථාවක ඇති විය හැකි තත්ත්වයන් ගැන සලකලා.

ඇමරිකන් ඩොලර් හැර ලෝකයේ ප්‍රධාන ව්‍යවහාර මුදල් නිකුත් කරන මහ බැංකු එක්ක ඇමරිකාව කළින්ම ගිවිසුම් අත්සන් කර තිබෙනවා. ඒ අනුව, ඇමරිකාවට ඕනෑම වෙලාවක කැනේඩියන් ඩොලර්, බ්‍රිතාන්‍ය පවුම්, ජපන් යෙන්, ස්විස් ෆ්‍රෑන්ක් හා යුරෝ අවශ්‍ය පමණ ණයට ලබා ගන්න පුළුවන්. අදාළ මහ බැංකු වලටත් ඕනෑම වෙලාවක අවශ්‍ය පමණ ඇමරිකන් ඩොලර් ණයට ලබා ගන්න පුළුවන්. ණය ආපසු පියවන විට කලින් එකඟ වී තිබෙන නිශ්චිත පොලියක් ගෙවිය යුතුයි. ඉහත එක් එක් රටවල් අතරත් මෙවැනිම ගිවිසුම් තිබෙනවා. උදාහරණයක් විදිහට බ්‍රිතාන්‍යයට (එංගලන්ත බැංකුවට) ඕනෑම වෙලාවක ජපාන බැංකුවෙන් අවශ්‍ය පමණ ජපන් යෙන් ණයට ලබා ගන්න පුළුවන්.

ඇමරිකාවට මේ පහසුකමින් ප්‍රයෝජනයක් ගන්න අවශ්‍ය නොවුනත්, කෝවිඩ් වලින් පසුව පෙර කී රටවල් මේ ගිවිසුම අනුව සැලකිය යුතු ලෙස ඇමරිකන් ඩොලර් ලබා ගනිමින් සිටිනවා. පසුගිය මාර්තු 19 වෙනිදා සිට ඇමරිකාව විසින් මේ පහසුකම ලෝකයේ තවත් රටවල් ගණනාවකට ලබා දෙනවා. හැබැයි පෙර කී රටවල් පහට වගේ අසීමිත ලෙස නෙමෙයි. උපරිම සීමාවකට යටත්ව.

මේ අනුව, ඕස්ට්‍රේලියාවට, බ්‍රසීලයට, දකුණු කොරියාවට, මෙක්සිකෝවට, සිංගප්පූරුවට හා ස්වීඩනයට ඇමරිකන් ඩොලර් බිලියන 60ක උපරිම සීමාවක් දක්වාත්, ඩෙන්මාර්කය, නෝර්වේ හා නවසීලන්තය යන රටවලට ඇමරිකන් ඩොලර් බිලියන 30ක උපරිම සීමාවක් දක්වාත් ඇමරිකන් ඩොලර් ණය ලබා ගත හැකියි. ඒ වෙනුවෙන්, කිසිවක් ඇප සේ තියන්න අවශ්‍ය නැහැ. දැනට මේ පහසුකම ලබා දී තිබෙන්නේ මාස හයක කාලයක් සඳහායි.

එහෙම කිවුවත් තාක්ෂනික ලෙස මෙහිදී වෙන්නේ ඇප ලෙස තමන්ගේ රටේ මුදල් තියන එක වගේ දෙයක්. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාව ඕස්ට්‍රේලියානු ඩොලර් ඇපයට තියලා ඇමරිකන් ඩොලර් ගන්නවා වගේ වැඩක්. ඕස්ට්‍රේලියානු සංචිත බැංකුවට ඕනෑ තරම් ඕස්ට්‍රේලියානු ඩොලර් මුද්‍රණය කරන්න පුළුවන් නිසා මේක ඕස්ට්‍රේලියාවට බරක් දැනෙන දෙයක් නෙමෙයිනේ. ඒ නිසා ඇපයක් නැහැ වගේ තමයි. අනෙක් රටවල් හා අදාළවත් එය එහෙමයි.

මේ ආකාරයට ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව විසින් මේ වන විට ඉහත මුදල් ඒකක 14 භාවිතා කරන රටවල මහ බැංකු වලට සීමාවකට යටත්ව හෝ අසීමිත ලෙස ඇමරිකන් ඩොලර් ණය ලබා ගැනීමේ පහසුකම ලබා දී තිබෙනවා. ඒ සඳහා ඇප ලෙස කිසිවක් තැන්පත් කළ යුතු නැහැ. යුරෝ මුදල් ඒකකය භාවිතා කරන රටවල් ගණන 19ක් බව සැලකූ විට මේ වැඩෙන් ලෝකයේ රටවල් 32ක ඇමරිකන් ඩොලර් ද්‍රවශීලතා ප්‍රශ්නය තාවකාලිකව විසඳෙනවා.

කෙසේ වුවත්, මේ වෙලාවේ ඇමරිකන් ඩොලර් අවශ්‍ය වී තිබෙන්නේ ඔය රටවල් වලට පමණක් නෙමෙයිනේ. ලංකාව වගේ වෙනත් රටවල් වලටත් ඇමරිකන් ඩොලර් අවශ්‍යයි. පසුගිය මාර්තු 31 වෙනිදා ෆෙඩරල් විවට වෙළඳපොළ කමිටුව විසින් ඉහත ලැයිස්තුවේ නැති රටවල මහ බැංකු වලටත් තාවකාලිකව ඇමරිකන් ඩොලර් ණය ලබා ගැනීම සඳහා ක්‍රමයක් ඇති කළා. හැබැයි මේ ඉතිරි රට වලට ඉහත කී රටවල් වලට මෙන් ඇපයක් නැතිව ණය ලබා ගන්න බැහැ.

හේතුව ඉතාම පැහැදිලියිනේ. ශ්‍රී ලංකා රුපියල් වැනි මුදල් ඒකකයක් යුරෝ හෝ යෙන් වැනි ශක්තිමත් මුදල් ඒකකයක් සමඟ සසඳන්න බැහැනේ. ඒ නිසා, ඇමරිකාවට ශ්‍රී ලංකා රුපියල් ඇපයට තියාගෙන ණය දෙන්න බැහැ. ඩොලර් වලින්ම ඇපයක් තියා ගන්න වෙනවා.

මුලටම ගියොත් මේ වෙනසට හේතුව ලංකාවේ ආර්ථිකයේ අවුලක් තමයි. හැබැයි මේ වෙලාවේ සිදු වුනු විශේෂ දෙයක් නෙමෙයි. තවත් විදිහකට කිවුවොත් ලංකාව මේ වෙද්දී ගත් ණය ගෙවාගන්න බැරි තරමට හිර වී ඉන්න බව පැහැදිලි ඇත්තක්. නමුත්, ඇමරිකාව මේ කියන ණය පහසුකම දෙන්න ඇපයක් තියා ගන්නේ ඒ හේතුව නිසා කියා කියන්න බැහැ. ලංකාවේ ආර්ථිකය මීට වඩා තරමක් හොඳ තත්ත්වයේ තිබුණා කියලත් ඔය කතාව වෙනස් වෙන්නේ නැහැ. කලින් කී රටවල් හැර වෙනත් රටවල් එකසිය ගණනකටම ඇමරිකාවෙන් ණය පහසුකමක් ලබා ගන්න වෙන්නේ ඇමරිකන් ඩොලර් වත්කමක් ඇපයට තියලා.

මේ විදිහට ඇපයට තියන්න අවශ්‍ය ඇමරිකන් ඩොලර් වත්කම් මොනවාද?

ලංකාවේ සමස්ත විදේශ බැරකම් ප්‍රමාණය මේ වන විට ඇමරිකන් ඩොලර් බිලියන 58,211ක් බව මම කලින් කියල තියෙනවනේ. ඔය ගණනට අලගු තියන්නවත් මදි වුනත් ලංකාව සතුව ඇමරිකන් ඩොලර් බිලියන 13,277ක වත්කම් තිබෙනවා. එයින් බාගයක් පමණ මහ බැංකුව සතු නිල සංචිත. එයින් 75%ක් පමණම ඇමරිකන් ඩොලර් සංචිත. මේ ඇමරිකන් ඩොලර් සංචිත වලින් සැලකිය යුතු කොටසක් තිබෙන්නේ ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුවේ ගිණුමක. ඔය විදිහටම තවත් ලෝකයේ රටවල් විශාල ගණනක මහ බැංකු විසින් ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුවේ ගිණුම් පවත්වා ගෙන යනවා.

මේ විදිහට ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව ලෝකයේ මහ බැංකු වල බැංකුකරු සේ කටයුතු කරනවා. බැංකුවක මුදල් තැන්පත් කරන කවුරු වුනත් ඒ වෙනුවෙන් පොලියක් බලාපොරොත්තු වෙනවනේ. සාමාන්‍යයෙන් දිගුකාලීන ආයෝජන සඳහා පොලිය වැඩියි. හරියට බැංකුවක ස්ථිර තැන්පතු සඳහා වැඩි පොලී අනුපාතිකයක් ලැබෙනවා වගේ. නමුත්, ප්‍රශ්නය ස්ථිර තැන්පතුවක් දැම්මට පස්සේ කල් පිරෙනකම් ඉන්න වෙන එකයි. හදිස්සියක් වෙලා කලින් සල්ලි ගත්තොත් පොලිය නැති වෙනවා.

ඔය විදිහටම නොවුනත් ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුවේ තිබෙන ලංකාවේ නිල සංචිත පිළිබඳ තත්ත්වයත් ඕකයි. මේ සංචිත වලින් කොටසක් වැඩි ආදායමක් ඉපැයීම සඳහා ඇමරිකාවේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල ආයෝජනය කරලයි තියෙන්නේ. ඇත්තටම කියනවානම් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානම ආදායම් මාර්ගය ඔය නිල සංචිත සඳහා ලැබෙන පොලී ආදායමයි. ලංකාවේ රජයට ණය දීලා ලබා ගන්නා පොලී ආදායම කියන්නේ එක්තරා ඉලක්කම් විජ්ජාවක් පමණයි.

දැන් ලංකාව ඩොලර් නැතුව අවුලෙන් ඉන්න බව රහසක් නෙමෙයිනේ. ඔය වගේ වෙලාවක වෙන කරන්නම දෙයක් නැති වුනොත් කරන්න වෙන්නේ පෙර කී දිගුකාලීන ආයෝජන කලින් මුදල් කරන එකයි. ඒ කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව සතු ඇමරිකන් රාජ්‍ය සුරැකුම්පත් විකුණන එක. දැන් මේ පහසුකම නිසා ඒ වැඩේ කරන්න අවශ්‍ය නැහැ. ශ්‍රී ලංකා මහ බැංකුව සතු ඇමරිකන් රාජ්‍ය සුරැකුම්පත් විකුණන්නේ නැතිව ඒවා ඇපයට තියලා කෙටිකාලීන ණයක් ගන්න පුළුවන්.

මේ ඇමරිකන් රාජ්‍ය සුරැකුම්පත් කොහොමටත් තියෙන්නේ ෆෙඩරල් සංචිත බැංකුවේ ගිණුමකයි. දැන් කරලා තියෙන්නේ ඒ රාජ්‍ය සුරැකුම්පත් වලින් ඇමරිකන් බිලියනයක් ඇපයට තියාගෙන ඒ ප්‍රමාණය දක්වා වන ණය පහසුකමක් ලබා දෙන එකයි. මේ වැඩෙන් ලංකාවට වාසියක් මිසක් කිසිදු පාඩුවක් නැහැ. පහසුකම ලබාගත්තත් ණය ලබා ගන්න අවශ්‍යම නැහැ. ණය ලබා නොගත්තොත් පොලියක් ගෙවන්න අවශ්‍ය නැහැ. ණය ගන්නවානම් පොලිය ගණනය කෙරෙන්නේ දවසින් දවසටයි. ඒ නිසා, හදිසියකට ගත් ණයක් ඉතා ඉක්මණින් පියෙවුවොත් පොලිය ලෙස විශාල මුදලක් ගෙවන්න වෙන්නේ නැහැ. රාජ්‍ය සුරැකුම්පත් වෙනුවෙන් ලැබෙන පොලිය අඩුවක් නැතුව ඒ විදිහටම ලැබෙනවා.

මේ වැඩෙන් ලංකාව ඇතුළු ලෝකයේ අනෙක් රටවලට වාසියක් මිස පාඩුවක් නැති බව පැහැදිලියිනේ. එතකොට ඇමරිකාවට මේ වැඩෙන් තියෙන වාසිය මොකක්ද?

ඇමරිකාව අත ලෙවකන්න මී කඩන්නේ නැති බව ලංකාවේ ගොඩක් අය දන්න දෙයක්නේ. මේ පහසුකම ලබා දෙන්නෙත් ලෝකයේ අනෙක් රටවලට උදවු කිරීමේ අරමුණින් නෙමෙයි. ඇමරිකාවට තිබෙන වාසිය ගැන සලකලා. වැඩෙන් අනෙක් රටවලටත් වාසියක් වෙන එක වෙනම කරුණක්.

ලෝකයේ අනෙක් රටවල ඇමරිකන් ඩොලර් හිඟයක් තියෙන්නේ ඒ රටවල ඇමරිකන් ඩොලර් ඉල්ලුම වැඩි වෙලා නිසානේ. ඒ වැඩි වූ ඉල්ලුමට හරියන්න ඩොලර් සැපයුවේ නැත්නම් මොකද වෙන්නේ? ඩොලරයේ අගය ඉහළ යනවා. එතකොට මොකද වෙන්නේ? ඇමරිකාවෙන් පිටත ඇමරිකන් බඩු මිල අධික වෙනවා. වෙනත් රටවල බඩු ඇමරිකාව ඇතුළේදී මිල අඩු වෙනවා. එහි අවසාන ප්‍රතිඵලය ලෙස ඇමරිකාවේ නිෂ්පාදන වැටෙනවා. මේ විදිහට ඩොලර් ණය පහසුකම් ලබා දෙමින් ඇමරිකාව උත්සාහ කරන්නේ ඒ තත්ත්වය වලක්වා ගන්නයි.

කෙටියෙන් කියනවානම් ඇමරිකාව මේ තරම් දඟලන්නේ ඇමරිකන් ඩොලරය අවප්‍රමාණය කර ගන්නයි. මෙය මම කියන දෙයක් නෙමෙයි. මේ ණය යෝජනා ක්‍රමය ඉදිරිපත් කරමින් ඇමරිකාවේ ෆෙඩරල් විවට වෙළඳපොළ කමිටුව විසින්ම පෙන්වා දුන් ඇමරිකාවට ලැබෙන වාසියයි. මීට පෙර ලිපියක විස්තර කළ විදිහට චීනය හැම විටම උත්සාහ කරන්නේත් යුවානය අවප්‍රමාණය කර ගන්නයි.

හැබැයි ලංකාවේ ඉලක්කය මොන විදිහකින් හරි රුපියල ශක්තිමත්ව තියා ගන්න එකයි. එහෙම කරන ගමන් ගෙවුම් ශේෂ ප්‍රශ්න එනකොට විසඳගන්න ආනයන සීමා කරනවා. ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයෝ ඇමරිකාව, චීනය වගේ රටවල් වල ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින්ට නොතේරෙන තියරි දන්න පට්ට මීටර්ද?

මෙහෙම කරන්නේ ඇයි කියන එක මම කලින් පැහැදිලි කරලා තියෙනවා. වෙලාව ලැබෙන විදිහට නැවත හමුවෙමු!

(Image: http://www.themorning.lk/cartoon-of-the-day-297/)

Monday, June 15, 2020

මිනීමරු සීසර්ලා බිහි වෙන්නේ ඇයි?


ධනවාදය කියා කියන්නේ නිදහස් ගනුදෙනු. නිදහස් ගනුදෙනුවක් සිදු වෙන්නේ භාණ්ඩයකට හෝ සේවාවකට නිශ්චිත නිරපේක්ෂ වටිනාකමක් නැති නිසා. වටිනාකම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. එක් අයෙකුට රුපියල් සීයක් වටින දෙයක් වෙනත් අයෙකුට රුපියල් දෙසීයක් වටින්න පුළුවන්. භාණ්ඩයකට හෝ සේවාවකට රුපියල් සීයක වටිනාකමක් දෙන පුද්ගලයෙක් එයටම රුපියල් දෙසීයක වටිනාකමක් දෙන පුද්ගලයෙක්ට ඒ භාණ්ඩය හෝ සේවාව රුපියල් එකසිය පණහකට විකිණුවහම දෙන්නටම රුපියල් පණහ බැගින් වාසි වෙලා.

නිදහස් ගණුදෙනුවක් සිදු වෙන හැම වෙලාවකම භාණ්ඩයක් එයට අඩු වටිනාකමක් දෙන අයෙකුගේ අතේ ඉඳලා වැඩි වටිනාකමක් දෙන කෙනෙකුගේ අතට මාරු වෙනවා. ඒ නිසා, සමස්තයක් ලෙස අගය එකතු වීමක් සිදු වෙනවා.

රටක ආර්ථිකයට කෘෂිකාර්මික, කාර්මික හා සේවා අංශ වල රැකියා කරන අය විසින් අගය එකතු කරනවා. ලංකාවේ සේවා අංශය ඇතුළේ සිට රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන කණ්ඩායම් දෙකක් ලෙස ත්‍රිරෝද රථ සේවා සපයන්නන් හා කල්බදු පහසුකම් සේවා සපයන්නන් හඳුන්වන්න පුළුවන්. ලංකාවේ ආර්ථිකයට ත්‍රිරෝද රථ සේවා සපයන්නන් විසින් සපයන දායකත්වය ගැන මා මීට පෙර වරින් වර පැහැදිලි කර තිබෙනවා.

ත්‍රිරෝද රථ සේවා සැපයීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න විශාල මානව ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉහළ අධ්‍යාපන මට්ටමක් නැති කෙනෙකුට වුනත් මාස ගණනක පුහුණුවකින් පස්සේ රියදුරු බලපත්‍රයක් ගන්න පුළුවන්. අවශ්‍ය භෞතික ප්‍රාග්ධනයත් වෙනත් කර්මාන්තයක් පටන් ගැනීම හා සැසඳූ විට මහා විශාල මුදලක් නෙමෙයි. එහෙත්, ලංකාවේ බොහෝ දෙනෙක්ට ඒ මුදල විශාල මුදලක්. ගොඩක් අය ත්‍රිරෝද රථයක් මිල දී ගන්න කල්බදු පහසුකම් යටතේ. ත්‍රිරෝද රථ වගේම ලංකාවේ බොහෝ දෙනෙක් බොහෝ විට වෙනත් ලොකු වාහනයක් මිල දී ගන්නේත් කල් බදු පහසුකම් යටතේ.

කල් බදු පහසුකම් යටතේ හෝ වාහන ණයක් අරගෙන වාහනයක් මිල දී ගන්න එක ඇමරිකාවේ වුවත් සාමාන්‍ය තත්ත්වයයි. අලුත් වාහනයක් මිල දී ගන්න අයගෙන් 85%ක් පමණම එය කරන්න මූල්‍ය පහසුකම් ලබා ගෙනයි. ඇමරිකාවේදී කල් බදු යන වචනය යෙදෙන්නේ ලංකාවේ අර්ථයෙන්ම නෙමෙයි. එය සමාන කළ හැක්කේ ලංකාවේදී වාහනයක් දිගුකාලීනව කුලියට ගැනීමටයි. ලංකාවේ කල් බදු පහසුකම් යටතේ වාහන මිල දී ගැනීම සමාන කළ හැක්කේ ඇමරිකාවේ වාහනය ඇපයට තබා වාහන ණයක් ලබා ගැනීමටයි. වැඩි දෙනෙක් වාහන මිල දී ගන්නේ දෙවන ක්‍රමයටයි.

ඇමරිකාවේදී වාහනයක් මිල දී ගන්නා කෙනෙකුට බොහෝ විට මූල්‍ය පහසුකම් සලසන්නේ අදාළ වාහන සමාගමෙන්මයි. ඔවුන් එය සෘජුවම හෝ වෙනත් මූල්‍ය සමාගමක් හා  සම්බන්ධව කරන්න පුළුවන්. එසේ කිරීමෙන් වාහන නිපදවන සමාගමකට වගේම පාරිභෝගිකයින්ටත් වාසි සැලසෙනවා.

වාහන නිපදවීමේ කර්මාන්තය විශාල ස්ථිර පිරිවැයක් අවශ්‍ය කර්මාන්තයක්. ඕනෑම කෙනෙකුට ඕනෑම වෙලාවක වාහන හදන කර්මාන්තයක් ආරම්භ කරන්න බැහැ. ඒ සඳහා විශාල භෞතික ප්‍රාග්ධනයක්, මානව ප්‍රාග්ධනයක් වගේම තාක්ෂනය අවශ්‍යයි. ඒ නිසා, වාහන නිපදවීමේ කර්මාන්තය කතිපයාධිකාරී වෙළඳපොළක් වෙනවා මිස වී වගා කිරීමේ කර්මාන්තය වගේ තරඟකාරී වෙළඳපොළක් වෙන්නේ නැහැ. එය නිෂ්පාදන තාක්ෂණයේ ස්වභාවය හේතුවෙන් සිදු වන දෙයක් මිසක් වැරැද්දක් නෙමෙයි.

විශාල ස්ථිර ප්‍රාග්ධනයක් අවශ්‍ය කර්මාන්තයකට ආදායම් අඩු වුනා කියා ඊට සමානුපාතිකව වියදම් අඩු කරන්න බැහැ. ගෑස් ස්ටේෂන් එකක වගේනම් වෙළඳාම අඩු වෙන විට සේවකයින් අස් කරන්න පුළුවන්. නැවත අවශ්‍ය වෙන කොට බඳවා ගන්නත්  පුළුවන්. වාහන හදන කර්මාන්තයක සේවකයින්ව ඒ විදිහට අස් කළොත් නැවත අවශ්‍ය වෙලාවට සේවකයෝ හොයා ගන්න එක පහසු වැඩක් නෙමෙයි. සේවකයින් අලුතෙන්ම ගත්තොත් ඒ අයව පුහුණු කරන්න කාලයක් යනවා. ඒ නිසා මේ වගේ කර්මාන්තයක සේවකයින් එක්ක දිගුකාලීන ගිවිසුමක් ගහන එක දෙපැත්තටම වාසියි.

සේවකයින් විතරක් නෙමෙයි. අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන සැපයුම්කරුවන් එක්කත් ඔය විදිහට ගිවිසුම් ගහන එක වාසියි. අවදානම් අඩුයි.

මේ විදිහට වාහන හදන සමාගමක සේවකයින්ගේ පඩිනඩි කොහොමටත් ගෙවන්නත් වෙනවානම්, අමුද්‍රව්‍ය කොහොමටත් මිල දී ගන්නත් වෙනවානම් වාහන නොහදා හිටියත් වියදම ලොකුවට අඩු වෙන්නේ නැහැ. නමුත්, මොකක් හෝ තාවකාලික තත්ත්වයක් නිසා හදන වාහන විකුණන්න තරම් ඉල්ලුමක් නැත්නම් මොකද වෙන්නේ.

වාහන නොහදා ඉන්නවාට වඩා ලාබයි වාහන හදලා ගොඩ ගහ ගන්න එක. කොයි වෙලාවක හරි විකුණන්න පුළුවන්. හදපු වාහන ගොඩ ගහගෙන ඉන්නවාට වඩා ලාබයි පස්සේ සල්ලි ගන්න හරි කාට හරි දීලා දාන එක. ඒ නිසා, ඔය වාහන හදන සමාගම් සමහර වෙලාවට අවුරුදු පහ හයකින් ගෙවන්න පොලී රහිත ණය දෙනවා. නමුත්, ඉල්ලුම තිබෙනවානම් පොලී රහිත ණය දෙන්න අවශ්‍ය නැහැ. කිසියම් පොලියකුත් අය කර ගන්න පුළුවන්.

ඔය පොලී අනුපාතය එහා මෙහා කිරීමෙන් ඉල්ලුම වැඩි වෙලාවට හදන වාහන ටික වෙනුවෙන් වැඩි මිලක් අය කර ගන්නත්, ඉල්ලුම අඩු වෙලාවට වාහන ටික කොහොම හරි විකුණ ගන්නත් අවස්ථාව ලැබෙනවා. වාහන ඉල්ලුමේ විචල්‍යතාව නිසා සිදු වන අවාසිය අඩු වෙනවා. වාහන ණයක් හෝ කල්බදු පහසුකමක් දෙන එකෙන් ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ හදන වාහන ටික විකුණාගන්න එක නිසා පොලී අය කිරීමේදී පාරිභෝගිකයාගේ අන්තිම සතේ දක්වා හූරා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ පොලී අනුපාතික වෙනත් මූල්‍ය ආයතනයක් විසින් ලබා දෙන වාහන ණය වල පොලී අනුපාතික වලට වඩා වැඩි වෙන්නේ නැහැ.

වාහනයක් ණයට දුන්නහම තියෙන එක ප්‍රශ්නයක් වෙන්නේ ණය හරියට පියවයිද කියන එක. ක්‍රෙඩිට් ස්කෝර් එක පරික්ෂා කිරීමෙන් ණය ගන්න පුද්ගලයා විසින් ණය ආපසු නොගෙවන්න තිබෙන ඉඩකඩ ගැන අදහසක් ගන්න පුළුවන්. ක්‍රෙඩිට් ස්කෝර් එක ගොඩක් වැඩිනම් පොලියක් අය නොකළත් ප්‍රශ්නයක් නැහැ. ක්‍රෙඩිට් ස්කෝර් එක ගොඩක්ම අඩුනම් ණය දෙන එක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. මැද හරියේනම් අවදානමට සරිලන පොලියක් අය කරන්න පුළුවන්. ක්‍රෙඩිට් ස්කෝර් එකට අමතරව රැකියාව, ආදායම් මට්ටම, අරන් තියෙන වෙනත් ණය වගේ දේවලුත් පරීක්ෂා කරලා බලන්න පුළුවන්.

අපි හිතමු වාහනයක විකිණුම් මිල ඩොලර් විසිපන්දාහක් කියලා. ඕකෙන් ඩොලර් පන්දාහක් වාහනය හදන සමාගමේ ලාබය කියමු. එතකොට වාහනය හදන්න ගිය වියදම ඩොලර් විසිදාහයි. දැන් ඔය වාහනේ මිල දී ගන්න වාහනය හදපු සමාගම විසින්ම කාට හරි ඩොලර් විසිපන්දාහක ණයක් දෙනවා. ණය මුදල ඩොලර් විසිපන්දාහක් වුනත් සමාගම ඇත්තටම ගන්නේ ඩොලර් විසිදාහක අවදානමක් පමණයි. ඒ මුදල ආපසු ලැබුණට පස්සේ ලැබෙන්න තිබෙන්නේ ලාබය. ඒ නිසා, වාහන ණය වෙනුවෙන් අඩු පොලියක් අය කළා කියා පාඩුවක් වෙන්නේ නැහැ. නමුත්, වෙනත් තෙවන පාර්ශ්වයක් විසින් ඩොලර් විසිපන්දාහක ණයක් දුන්නොත් එතැන ඩොලර් විසි පන්දාහකම අවදානමක් තිබෙනවා. ඒ නිසා, එයට සරිලන පොලියක් අය කරන්න වෙනවා. මේ වෙනස නිසා වාහනය හදන සමාගමට වාහන ණය වෙළඳපොළේ වෙනත් සමාගම් වලට නැති සාපේක්ෂව වාසියක් තියෙනවා.

මේ වසරේ පළමු කාර්තුවේදී (2020 Q1) අලුත් වාහනයක් මිල දී ගන්න ණය ලබා දීමේදී ඇමරිකාවේ විවිධ මූල්‍ය ආයතන විසින් අය කළ පොලී අනුපාතික වෙනස් වුනේ මේ විදිහටයි.

වාහන නිෂ්පාදකයින් - 2.76%
ණය සංගම් (credit union) - 3.22%
ජාතික බැංකු - 4.33%
ප්‍රාදේශීය බැංකු - 4.29%
ප්‍රජා බැංකු හා කුඩා බැංකු - 4.57%

අඩුම පොලියක් ලැබෙන්නේ වාහන නිෂ්පාදකයෙක්ගෙන් බව මෙයින් පැහැදිලි වෙනවා. බැංකුවකින් ණය ගන්නේ වාහන නිෂ්පාදකයෙක්ගෙන් ණය ලබා ගන්න බැරි වූ හෝ අඩු පොලියක් නොලැබුණු අය පමණයි. එහෙත්, පරණ වාහනයක් ගන්න කෙනෙකුට මේ විකල්පය නැහැ. ඔවුන්ට ණය ලබා ගන්න වෙන්නේ බැංකුවකින් හෝ ණය සංගමයකින්. වාහන නිෂ්පාදකයින් තරඟයේ නැති නිසාත්, වෙනත් හේතු නිසාත් පොලිය ටිකක් වැඩියෙන් ගෙවන්න වෙනවා.

මේ වසරේ පළමු කාර්තුවේදී (2020 Q1) පරණ වාහනයක් මිල දී ගන්න ණය ලබා දීමේදී ඇමරිකාවේ විවිධ මූල්‍ය ආයතන විසින් අය කළ පොලී අනුපාතික වෙනස් වුනේ මේ විදිහටයි.

ණය සංගම් (credit union) - 3.45%
ජාතික බැංකු - 5.02%
ප්‍රාදේශීය බැංකු - 5.10%
ප්‍රජා බැංකු හා කුඩා බැංකු - 5.50%

ලංකාවේ නිවාස ඒකක සීයකට වාහන තිබෙන්නේ විස්සක් පමණක් වුනත් ඇමරිකාවේ මේ ගණන 190ක් පමණ වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය වශයෙන් හැම ගෙදරකම වාහන දෙයක් වගේ. දැනටම හැම ගෙදරකම වගේ වාහන තිබෙන නිසා වාහන හදන සමාගම් අළුතෙන් හදන වාහන විකුණ ගන්නනම් අළුත් වාහන වල පරණ වාහන වල නැති මොනවා හෝ අමතර දේවල් ටිකක් තියෙන්න ඕනෑ. හැම අවුද්දකම අළුතින් හදන වාහන වලට අමතර පහසුකම් එකතු වෙනවා. ඒ නිසා, වාහනය වසර කිහිපයක් පරණ වෙන කොට ඇමරිකානුවෙක් බලන්නේ අළුත් වාහනයක් ගන්නයි. ඇමරිකාවේ පරණ වාහනයකට ලොකු ඉල්ලුමක් නැහැ. ඒ නිසා ලොකු වටිනාකමකුත් නැහැ.

වාහනයක් මිල දී ගන්නා ඇමරිකානුවෙකුට වාහනය කාලයක් පාවිච්චි කරලා වැඩි මිලකට විකුණන්න බැහැ. වාහනය පාවිච්චි නොකරම තියා ගත්තත් කාලයක් යද්දී මිල අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා ඇමරිකානුවෙක් හැම විටම වාගේ වාහනයක් ගන්නේ පාවිච්චි කරන්නයි. වාහනයේ මිල එන්න එන්නම අඩු වුනත් ඒ නිසා සිදුවන පාඩුවට වඩා වාහනය පාවිච්චි කිරීමේ වාසිය වැඩි නිසා එහි ප්‍රශ්නයක් නැහැ.

ඇමරිකාවේදී කල් බදු කියන වචනය පාවිච්චි වෙන්නේ ලංකාවේ වාහනයක් දිගුකාලීනව කුලියට ගැනීමේදී සිදු වන ක්‍රියාවලිය වන විටයි. මාස් පතා කල්බදු වාරිකය ගෙවාගෙන ගියත් වාහන අයිති වෙන්නේ නැහැ. ගිවිසුම අවසානයේදී වාහනය ආපසු දෙන්න ඕනෑ. මෙහිදී මාසික වාරිකය ලෙස ගෙවන මුදල අදාළ මාසය තුළ වාහනයේ වටිනාකම අඩුවෙන ප්‍රමාණය ලෙස දළ වශයෙන් සලකන්න පුළුවන්. අවුරුදු තුනකට කල්බදු ක්‍රමයට වාහනයක් ගන්න කෙනෙක්ට අදාළ කාලය ගෙවුනට පස්සේ වාහනේ ආපසු දෙන්න වෙනවා. ගනුදෙනුව එතැනින් ඉවරයි.

බොහෝ විට මේ ආකාරයේ කල්බදු පහසුකම් ලබා දෙන්නේ වාහන නිෂ්පාදකයින් විසින්. මෙහිදී අය කරන පොලී අනුපාතිකය වාහන ණයක් ලබා දීමේදී අය කරන පොලී අනුපාතිකයට වඩා වැඩියි. ණය ආපසු ලබා ගැනීමේ අවදානම වඩා ඉහළ මට්ටමක තිබීම එයට හේතුවයි.

Car Manufacturer Financing APR Q1 2020 Lease APR (inferred interest rate) Q1 2020
Honda 2.90% 8.04%
Toyota 0.90% 3.31%
Volkswagen 1.90% 3.87%
BMW 2.99% 7.23%
Nissan 0.00% 7.27%
Mazda 0.90% 3.10%
Acura 4.39% 7.36%
Audi 3.49% 6.23%
Infiniti 3.99% 5.91%
Subaru 2.99% 3.65%
Lexus 1.90% 5.31%
Mini 3.49% 7.03%
Mercedes 3.49% 9.79%
Ford 3.90% 3.66%
Volvo 2.99% 4.84%
Jaguar 3.99% 7.05%
Average 2.76% 5.85%

Source: https://wallethub.com/edu/cl/auto-financing-report/10131/

වාහන ණයක් ගන්න කෙනෙකුට ගෙවන්න වෙන්නේ අඩු පොලී අනුපාතිකයක් වුවත් (ඇමරිකාවේ ව්‍යවහාරය අනුව) කල් බදු ක්‍රමයට වාහනයක් ගන්න කෙනෙක් මාසයකට ගෙවන වාරිකයට වඩා වැඩි වාරික මුදලක් ගෙවන්න වෙනවා. එය අවාසියක්. එහෙත්, ණය ගෙවා අවසන් වූ පසු වාහනය තමන්ට අයිති වෙනවා. ලංකාවේ කල්බදු ක්‍රමයේදී වගේ. නමුත්, ඒ වෙද්දී වාහනයේ වටිනාකම ගොඩක් වෙලාවට මුල් වටිනාකමෙන් තුනෙන් එකක් පමණ දක්වා අඩු වෙලා තියෙන්න පුළුවන්.

ක්‍රම දෙකෙන් කොයි ක්‍රමයට ගියත් ලොකු වාසියක් හෝ අවාසියක් නැහැ. හැමදාම අළුත් වාහන පාවිච්චි කරන්න කැමති කෙනෙකුට කල්බදු ක්‍රමය ගැලපෙනවා. ගන්න වාහනේ දිගටම පාවිච්චි කරන්න කැමති කෙනෙකුට දෙවන ක්‍රමය ගැලපෙනවා. කොයි විදිහට වාහනයක් ගත්තත් වාරික නිසි පරිදි නොගෙවුවොත් ලංකාවේදී වගේම වාහනය අහිමි වෙනවා. හැබැයි ලංකාවේදී වගේ බලහත්කාරයෙන් වාහනය ගෙනියන්න බැහැ. කල්බදු පහසුකම් හෝ වාහන ණය ලබා දුන් ආයතනයට වාහනය නැවත ලබා ගන්න වෙන්නේ "සාමය කඩ නොකරමින්".

වාහනය ගෙදර ගරාජ් එකේ හෝ වැටකින් තාප්පයකින් වට වූ වත්තේ කොටසක තිබේනම් ගෙනියන්න බැහැ. පාරේ හෝ නිවස ඉදිරිපිට නවත්වා තිබෙන වෙලාවක ගෙනියන්න පුළුවන්. එහෙත්, වාහනය ගෙනියන්න කලින් ඒ බව දැකලා ගෙනියන එකට විරුද්ධත්වය පළ කළොත් වාහනය ගෙනියන්න බැහැ. ගෙනියන්න වෙන්නේ හොරෙන්. එහෙම නැත්නම් උසාවි නියෝගයක් ලබා ගෙන. ලංකාවට සාපේක්ෂව වාහනයක් උස්සන එක නීතිය අනුව වගේම ප්‍රායෝගිකවත් අමාරු වැඩක්.

මෙයින් කියන්නේ ඇමරිකාවේ වාහන උස්සන අවස්ථා වලදී සාමය කඩවීම් සිදු නොවන බව නොවෙයි. එහෙත්, එසේ සිදුවන අවස්ථා වලදී නඩු පවරා වන්දි ලබා ගන්න පුළුවන්.

හැබැයි ක්‍රෙඩිට් ස්කෝර් එක පරීක්ෂා කරලා ක්‍රෙඩිට් හොඳ අයට පමණක් ණය දෙනවානම් මෙය කල්බදු පහසුකම් හෝ වාහන ණය ලබා දෙන ආයතනයකට ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මෙහිදී අදාළ ණය හෝ පහසුකම දෙන්නේ මාසිකව වාරික මුදල් එකතු කර ගන්න මිසක් වාහනය නැවත ආපසු ගන්න බලාගෙන නෙමෙයි. එසේ කරන්න වෙන්නේ කලාතුරකින්.

කල්බදු පහසුකම් පුද්ගලයෙක්ගේ පැත්තෙන් ගත්තොත් ගෙවපු මුදලට හරියන්න වාහනය පාවිච්චි කරලා තියෙනවා. දිගටම ගෙවන්න බැරිනම් වාහනේ දීලා නිදහස් වෙන්නයි තියෙන්නේ. වාහන ණයක් ලබා ගත් පුද්ගලයෙක්ගේ පැත්තෙන් ගත්තොත් යම් මුදලක් වැඩියෙන් ගෙවලා තියෙනවා. බොහෝ විට ගෙවන්න තිබෙන මුදල වාහනයේ වටිනාකමට වඩා අඩුයි. ඔය වගේ වෙලාවක වාහනය විකුණලා ඉතිරි ණය මුදල ගෙවල දාන එක වාසියි.

මේ කියපු කතා බොහොමයක් අදාළ වෙන්නේ හොඳ ක්‍රෙඩිට් ස්කෝර් එකක් ඇති අයට ණය ලබා දෙන්නේනම් පමණයි. බොහෝ විට අපහසුවක් නැතිව වාහන ණයක් හෝ කල්බදු පහසුකමක් ලබා ගත හැක්කේ හොඳ ක්‍රෙඩිට් ස්කෝර් එකක් ඇති අයට පමණයි. ක්‍රෙඩිට් ස්කෝර් එක 300 හා 850 අතර අගයක්. ඉහත වගු වල තිබෙන පොලී අනුපාතික අදාළ වෙන්නේ 720 ඉක්මවන ක්‍රෙඩිට් ස්කෝර් එකක් තිබෙන අයටයි. ක්‍රෙඩිට් ස්කෝර් එක ඊට වඩා අඩු වෙද්දී එක පැත්තකින් ණයක් අනුමත කර ගැනීම එන්න එන්නම අමාරු වෙනවා. අනෙක් පැත්තෙන් කොහොම හරි ණයක් අනුමත කර ගත්තත් ගෙවන්න වෙන පොලී අනුපාතිකය එන්න එන්නම වැඩි වෙනවා.

Credit score category Average loan APR for new car Average loan APR for used car
Super Prime (781 to 850) 3.82% 4.43%
Prime (661 to 780) 4.75% 6.15%
Non-prime (601 to 660) 7.55% 10.85%
Subprime (501 to 600) 11.51% 16.88%
Deep Subprime (300 to 500)  14.25% 19.81%



ක්‍රෙඩිට් ස්කෝර් එක හොඳ කෙනෙකුට වාහන ණයක් දුන්නහම ණය වාරික කලට වෙලාවට නොලැබෙන්න තිබෙන ඉඩකඩ අඩු වුනත්, නරක ක්‍රෙඩිට් ස්කෝර් එකක් තිබෙන අය හා අදාළව ඒ අවදානම වැඩියි. ඒ නිසා, ඇමරිකාවේ වුවත් සැලකිය යුතු වාහන ප්‍රමාණයක් සීස් කරන්න වෙනවා. මේ වැඩේ කරන සමාගම් අඩු වශයෙන් එකොළොස්දාහක් පමණ තිබෙනවා. එය තරඟකාරී කර්මාන්තයක්. ඒ අයට කරන්න වෙන්නේ එක විදිහක රහස් පරීක්ෂක රැකියාවක්. වාහනේ ගෙදරින් එළියට අරගෙන කොහේ හෝ නවත්වා රියදුරු ඉවත්ව ගිහින් සිටින වෙලාවක් බලලා වාහනේ උස්සන්න වෙනවා. මේ වැඩේ අමාරු වැඩක් නිසා, නිසි කලට වාරික නොගෙවූ අය සතුව තබා ගෙන සිටින වාහන වලින් සෑහෙන ප්‍රමාණයක් ලේසියෙන් උස්සන්න ලැබෙන්නේ නැහැ.

තාක්ෂනිකව වැරදි වෙන්න පුළුවන් වුනත් ප්‍රායෝගිකව ලංකාවේ වාහන හදන සමාගම් නැහැ. ඒ නිසා, වාහන මිල දී ගන්න කල්බදු පහසුකම් දෙන්න වෙන්නේ වෙනත් තෙවන පාර්ශ්වයකටයි. මෙහිදී එසේ ණය දෙන සමාගමට ලබා දෙන ණය මුදලේ අවදානමට සරිලන ඉහළ පොලියක් අය කරන්න වෙනවා. ණය ගන්න පුද්ගලයාට වාහනයේ මිලට සාපේක්ෂව දැවැන්ත පොලී මුදලක්ද ගෙවන්න වෙනවා.

එවැනි පොලියක් ගෙවන්න එකඟ වී ණය ගත්තත් ඒ ණය රුපියල් ණය. මිල දී ගන්නේ අළුත් වාහනයක් හෝ අළුතින් රටට ආනයනය කරන පරණ වාහනයක්නම් වාහනය මිල දී ගැනීම සඳහා ගෙවන්න වෙන්නේ ඩොලර් නිසා සෘජුව හෝ වක්‍රව රුපියල් ගෙවා ඩොලර් මිල දී ගන්න වෙනවා. ඒ ඩොලර් කවුරු හෝ විසින් උපයා රට ඇතුළට ඇවිත් තියෙන්න ඕනෑ. නැත්නම් වාහනේ ගන්න වෙන්නේ නැහැ. එහෙත්, ලංකාවට ගෙන්වන වාහන සියල්ල එසේ ගෙන්වන්නේ කවුරු හෝ උපයන ඩොලර් යොදවමින් නෙමෙයි.

නිදහසින් පසු මුල් කාලයේදී ලංකාවේ ආණ්ඩු උත්සාහ කළේ අඩු ආදායම්ලාභීන් සුබසාධනය කරමින් සමාජ සාධාරණත්වය ඇති කරන්නයි. අඩු ආදායම්ලාභීන් සුබසාධනය කිරීමේ වැරැද්දක් නැහැ. නමුත්, එහි වියදම රටේ කවුරු හෝ විසින් දරන්න වෙනවා. සුබසාධන වියදම් පියවා ගන්න රටේ ආදායම් උපදවන අයගේ ආදායමෙන් බදු අය කරන්න වෙනවා.

බදු ඕනෑවට වඩා ඉහළ දැමූ විට පෞද්ගලික අංශය සතු ආයෝජන කිරීමේ හැකියාව පහළ යනවා. ආයෝජන කියන එකට අධ්‍යාපනය, සෞඛ්‍යය වගේ මානව ප්‍රාග්ධනය වෙනුවෙන් කරන ආයෝජනත් අයිතියි. ආයෝජන අඩු වන විට ආදායම් අඩු වෙනවා. බදු අය කර ගත හැකි පිරිස්ද අඩු වෙනවා. සුබසාධනය අවශ්‍ය පිරිස් තවත් වැඩි වෙනවා. ඒ නිසා, රජයට සුබසාධන පහසුකම් පවත්වා ගැනීමට වගේම ආයෝජනය වෙනුවෙනුත් අවධානය යොමු කරන්න වෙනවා.

ඔය දෙකම කරන්න මුදල් නැති වූ විට රජයට ණය ගන්න වෙනවා. ඕනෑවට වඩා දේශීය ණය ගත් විට එක පැත්තකින් සල්ලි තියෙන අය ආයෝජනය කරන්න ඉන්න මුදල් පෞද්ගලික අංශයේ සිට රාජ්‍ය අංශය වෙත විතැන් වී පෞද්ගලික ආයෝජන පහළ බහිනවා. අනිත් පැත්තෙන් පොලී අනුපාතික ඉහළ ගිහින් පෞද්ගලික අංශයේ ඉන්න ණය අරගෙන ආයෝජන කරන අය අධෛර්යමත් වෙනවා. ඒ හේතුව නිසාත් පෞද්ගලික ආයෝජන පහළ බහිනවා. පෞද්ගලික අංශයේ ආදායම් අඩු වෙනවා. රජයට සෘජු බදු අය කරන්න තිබෙන හැකියාව පහළ යනවා. ඒ වෙනුවට වක්‍ර බදු වැඩි වැඩියෙන් අය කරන්න වෙනවා. එහි බර වැටෙන්නේ මුලින් ඉලක්ක කළ සුබසාධනය අවශ්‍ය පිරිසටම නිසා අවසාන වශයෙන් කරන සුබසාධනයෙන් ඒ මිනිස්සුන්ටත් වැඩක් නැහැ. එක සාක්කුවකින් ගන්න සල්ලි අනික් සාක්කුවෙන් ඒ මිනිස්සුන්ටම දෙනවා. ඒ දෙන්නෙත් ගත්ත ගානට වඩා ටිකක් අඩුවෙන්.

දේශීය ණය වැඩි වැඩියෙන් ගනිද්දී එක පැත්තකින් ආයෝජන අඩු වෙනවා. අනෙක් පැත්තෙන් රටේ ආදායම් අඩු වෙලා සුබසාධනය අවශ්‍ය මිනිස්සු ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා ගන්න ණය වලින් කොයි තරම් ආයෝජන කළත්, සුබසාධනය කළත් රට එතැනමයි. මෙයට විසඳුමක් ලෙස ලංකාවේ ආණ්ඩු පෙලැඹී තියෙන්නේ විදේශ ණය ලබා ගන්නයි.

විදේශ ණය ලබාගත් විට රජයට අරමුදල් වගේම විදේශ විණිමයත් ලැබෙනවා. ඒ විදේශ විණිමය වැය කරලා රටේ අපනයන ආදායම ඇතුළු ස්වභාවික විදේශ විණිමය ප්‍රවාහ පමණක් වැය කරලා ආනයනය කරනවාට වඩා වැඩියෙන් භාණ්ඩ ආනයනය කරන්න පුළුවන්. ඒ නිසා, රට බඩු වලට තිබෙන ඉල්ලුම ඉහළ යනවා. ණයට ගන්න ඩොලර් වලින් අවශ්‍ය බඩු පහසුවෙන් ආනයනය කරන්න පුළුවන් නිසා දේශීය කර්මාන්ත අධෛර්යමත් වෙනවා. වාහන වගේ දේවල් ආනයනය කරන්න වැඩි ඉල්ලුමක් හැදෙනවා. වාහන ආනයන ඉහළ යද්දී රජය ආනයන බදු ඉහළ දමනවා. ඒ නිසා, පාරිභෝගිකයින්ට වාහන රටේ නොහදා ආනයනය කිරීමෙන් වාසියක් වෙනවා වෙනුවට තවත් අමතර වියදමක් දරන්න වෙනවා.

විදේශ ණය ගත්තා වගේම ගෙවන්නත් වෙනවා. එවිට විදේශ විණිමය ප්‍රශ්නයක් එනවා. ඩොලර් එක ඉහළ යනවා. ණය ගෙවන්න තව ණය ගන්න වෙනවා. චක්‍රයක් වගේ ඔය වැඩේ වෙද්දී ඩොලරයේ මිල හැමදාම ඉහළ යනවා.

ඩොලරයේ මිල හැමදාම ඉහළ යන නිසා ආනයනික මිල ලොකුවට වෙනස් නොවුනත් ලංකාවේ අලුත් වාහනයක මිල රුපියල් වලින් එන්න එන්නම ඉහළ යනවා. අළුත් වාහන වල මිල ඉහළ යන වේගය අනුව කලින් ආනයනය කළ පරණ වාහන වලට තිබෙන ඉල්ලුම ඉහළ ගිහින් පරණ වාහන වල මිලත් ඉහළ යනවා. බොහෝ විට වාහනය පරණ වෙද්දී හෝ ක්ෂය වීම නිසා එහි මූර්ත වටිනාකම පහළ යනවාට වඩා වේගයෙන් ඩොලරයක මිල ඉහළ නිසා වාහනයක් මිල දී ගෙන කාලයක් තියා ගත්තට පස්සේ වැඩි මිලකට හෝ ගත් මිලටම විකුණන්න වුනත් පුළුවන්.

තිර සාර නැති, ණයෙන් දුවන ලංකාවේ සුබසාධිත ආර්ථිකය නිසා ලංකාවේ ඇති වී තිබෙන මේ තත්ත්වය ඇමරිකාව වැනි රටක දැකිය නොහැකි සුවිශේෂී තත්ත්වයක්. මේ තත්ත්වය නිසා තමන්ට ඇත්තටම වාහනයක් අවශ්‍ය නැතත් ආයෝජනයක් සේ සිතා වාහනයක් වෙනුවෙන් මුදල් වැය කරන එකේ පාඩුවක් නැහැ. වාහනයක් කියන එක පරිභෝජන භාණ්ඩයක් නොවී තමන්ගේ වත්කම් ගබඩා කරන තැනක් බවට පත් වෙද්දී එය තත්ත්ව සංකේතයක් බවටත් පත් වෙනවා. වැඩි පොලී ණයක් හෝ අරගෙන වාහනයක් ගන්න ලංකාවේ ගොඩක් අය පෙළඹෙනවා. කල්බදු සමාගම් වලට ඉල්ලුමක් හැදෙනවා.

වාහනයක් ගන්න කල්බදු සමාගමකින් මූල්‍ය පහසුකම් ලබා ගන්න ගොඩක් අයට අපහසුවක් නැතිව කල්බදු වාරික ගෙවන්න තරම් ආදායමක් නැහැ. ඔය වාරිකය ගෙවන්නේ බොහොම අමාරුවෙන්. කල්බදු සමාගමත් ඒ බව දන්නවා. නමුත්, ඇමරිකාවේදී වගේ වාහනයේ වටිනාකම වේගයෙන් අඩු නොවන බවත් දන්නවා. ඒ නිසා, ලංකාවේ කල්බදු සමාගමක් මූල්‍ය පහසුකම් ලබා දෙන්නේම වාරික මුදල් කලට වෙලාවට නොලැබුණොත් වාහනේ උස්සන්න බලාගෙන. ඒක ඇමරිකාවේදී වගේ දිගින් දිගටම මුදල් ගෙවන්න අවස්ථා ලබා දීලා කරන්න කිසිම දෙයක් නැති වුනාට පස්සේ අවසාන අදියරකදී කරන දෙයක් නෙමෙයි.

අනික් පැත්තෙන් කල්බදු වාරික ගණන් හදන ක්‍රමය නිසාත්, ඉතා අධික පොලී අනුපාතිකය නිසාත් ලංකාවේ කල්බදු පහසුකමක් ලබා ගන්නා පාරිභෝගිකයෙක් විසින් මුල් කාලයේදී තනිකරම වගේ ගෙවන්නේ පොලිය. ණය මුදල එහෙම්මම වගේ තිබෙනවා. ඒ නිසා, අවුරුද්දක් දෙකක් වාරික මුදල් ගෙවුවට පස්සේ වාහනේ ඉස්සුවොත් අර ගෙවපු සල්ලි ඔක්කොම වතුරේ. බොහෝ විට ඒ කාලය ඇතුළත ගෙවපු වාරික වලට හරියන්න ආදායමක් උපයලා නැහැ. වාහනය ගත්ත එකේ සැබෑ ලාබය එන්නේ කල්බදු වාරික ගෙවා අවසන් කළාට පස්සේ. ඒ නිසා,  එතෙක් වාහනේ කොහොම හරි තියා ගන්න ඕනෑ. උස්සන්න දීලා බැහැ.

කල්බදු ක්‍රමයට වාහන ගන්න ලංකාවේ ගොඩක් අයට කලට වෙලාවට වාරික ගෙවන්න බැරි වෙනවා. මම මේ කතා කරන්නේ කෝවිඩ් වගේ විශේෂ අවස්ථා ගැන නෙමෙයි. ඒ ගැන කතා කරන්න ගියොත් ලිපිය තවත් දිග් ගැසෙනවා. සාමාන්‍ය කාලයක වුනත් තත්ත්වය ඔය වගෙයි.

හැබැයි ඇමරිකාවේ පාරිභෝගිකයෙක්ට වගේ වාරික නොගෙවුවා කියලා වාහනේ කල්බදු සමාගමට ආපහු දෙන්නත් බැහැ. එක පැත්තකින් කාලයක් තිස්සේ මුදල් යෙදවූ මුළු ආයෝජනයම වතුරේ. අනික් පැත්තෙන් වාහනේ කියන්නේ තමන්ගේ තත්ත්ව සංකේතය. වාහනේ නැතුව සමාජයට මුහුණ දෙන්න බැහැ.

ඇමරිකාවේ වාහන ණයක් ලබා දීමෙන් පසුව නිසි පරිදි වාරික මුදල් ලැබෙන්නේ නැත්නම් අදාළ සමාගම වාහනය උස්සන්න හදිස්සි වෙනවා වෙනුවට කරන්නේ පුළුවන් තරම් සහන දීලා ලැබෙන්න තිබෙන මුදලෙන් යම් ප්‍රමාණයක් හෝ ලබා ගන්නයි. මොකද ඒ වෙද්දී වාහනයේ වටිනාකම ගොඩක් අඩු වෙලා. ඒ වගේම නීතිය අනුව වාහනේ උස්සන එක අසීරු වැඩක්. නමුත්, ලංකාවේ වාහනයක වටිනාකම ඒ විදිහට අඩු නොවන නිසා අමරුවෙන් හරි වාහනේ ඉස්සුවොත් කල්බදු සමාගම ගොඩ. ලංකාවේ සීසර්ලා බිහි වන්නේ ඔය පසුබිමේ. ඒ අය බොහෝ විට මැරවරයින් හෝ මැරවර කණ්ඩායම්.

මහ බැංකුව විසින් මූල්‍ය සමාගම් නියාමනය කරද්දී නියාමනයේ පීඩනය පොලී අනුපාතික වලටත් බලපානවා. නියාමනයට යටත් නැති "හොර" මූල්‍ය සමාගමකට ඒ පීඩනය නැහැ. ඒ නිසා, නියාමනයට ලක්ව සිටින සමාගම් සමඟ පහසුවෙන් තරඟ කරමින් වැඩි අවදානමක් තිබෙන පාරිභෝගිකයින්ට කල්බදු පහසුකම් ලබා දෙන්න ඔවුන්ට පුළුවන්. බොහෝ දෙනෙක් මේ වගේ "හොර" සමාගම් වලට ආකර්ශනය වෙනවා. මේ වගේ සමාගමක් ණය ලබා දෙන්නේම බලය පාවිච්චි කරලා ණය නැවත අය කර ගන්න බලාගෙනයි. ඒ අයට සීසර්ලා ලෙස මැරවර කණ්ඩායම් නැතුවම බැහැ.

ඔය සීසර්ලා වාහන උස්සන්න යාමේදී "සාමය කඩවීම්" ඕනෑ තරම් සිදු වෙන්න පුළුවන්. ඒ සාමය කඩවීම් බරපතල ප්‍රතිඵල ලබා දෙන්නත් පුළුවන්. ඔය වගේ වෙලාවක මිනිහෙක් මැරුණොත් ඒ මරණයට ලංකාවේ කාලයක් තිස්සේ පවතින ණය මත දුවන සුබසාධිත ආර්ථික ආකෘතියත් වග කිව යුතුයි.

Wednesday, June 3, 2020

අභ්‍යාවකාශයෙන් ආ සීනු හඬ


තරඟකාරී නිදහස් වෙළඳපොළක් ඇති විට කිසිදු තනි පාරිභෝගිකයෙකුට හෝ සැපයුම්කරුවෙකුට මිලට බලපෑම් කරන්න බැහැ.  ඒ වගේ වෙළඳපොලක විකිණෙන භාණ්ඩයේ හෝ සේවාවේ මිල එම භාණ්ඩය නිපදවීම සඳහා වැය වන ආන්තික පිරිවැයට සමානයි. ඒ කියන්නේ, ශ්‍රමය සඳහා හා ප්‍රාග්ධනය සඳහා ප්‍රතිලාභ මිස අමතර ලාභ නැහැ.

නිදහස් වෙළඳාමට ඉඩ ලැබුණා කියලා හැම වෙළඳපොළක්ම තරඟකාරී වෙළඳපොළක් වෙන්නේ නැහැ. විවිධ හේතු නිසා  ස්වභාවිකවම ඒකාධිකාර ගොඩ නැගෙන අවස්ථා තිබෙන්න පුළුවන්. කතිපයාධිකර ඊට වඩා සුලභව දකින්න ලැබෙනවා. බොහෝ වෙළඳපොළවල් වල ප්‍රධාන සමාගම් හතර පහකට නැත්නම් හත අටකට වඩා නැති බව පෙනෙන්නට තිබෙන කරුණක්. මේ වගේ වෙළඳපොලක වුවත් ලාභ අවසාන වශයෙන් බෙදී යන්නේ ප්‍රාග්ධනය යෙදවූ අය හා ශ්‍රමය යෙදවූ අය අතරයි.

හැම දෙනෙකුටම ජීවිතය ආරම්භ කරද්දී ප්‍රාග්ධනයක් උරුමයෙන් ලැබෙන්නේ නැහැ. එවැනි අයෙකුට මුල් කාලයේදී තමන්ගේ ශ්‍රමයේ ප්‍රතිලාභ මිසක් ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ ලබා ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එහෙත්, ශ්‍රමයේ ප්‍රතිලාභ සියල්ල පරිභෝජනය කර අවසන් නොකර යම් කොටසක් ආයෝජනය කිරීමෙන් කාලයක් යද්දී ඕනෑම කෙනෙකුට ප්‍රාග්ධන සංචිතයක් ගොඩ නඟා ගන්න පුළුවන්.

කොටස් වෙළඳපොළ කියන්නේ පුද්ගලයෙකුට තමන්ගේ ප්‍රාග්ධනය ආයෝජනය කරන්න හොඳ තැනක්. කොටස් වෙළඳපොළ සංකල්පයේ අපූර්වත්වය වන්නේ කිසියම් සමාගමක් විසින් අධික ලාභ උපයනවා කියා හිතන කෙනෙකුට ඒ ගැන දුක් වෙනවා හෝ පැමිණිලි කරනවා වෙනුවට අදාළ සමාගමේ කොටස් හිමියෙකු වී ඒ ලාබ වල කොටස්කරුවෙකු වෙන්න අවස්ථාව මේ හරහා ලැබෙන එකයි.

වෙනත් ඕනෑම අයෙකුටත් ඇමසන්, මයික්‍රෝසොෆ්ට් හා ෆේස්බුක් වැනි සමාගමක කොටස් මිල දී ගන්න බාධාවක් නැහැ. කැමතිනම් ගොඩක් ලාබ උපයනවා කියා සමහර අය කියන මොන්සැන්ටෝ වගේ සමාගමක කොටස් වුවත් මිල දී ගන්න පුළුවන්. නියම ජනසතු කිරීමක් කියා කිව හැක්කේ සමාගමක් කොටස් වෙළඳපොළක ලැයිස්තුගත කිරීමටයි. ජනසතු කිරීමේ නාමයෙන් සමාගමක් රජය සතු කළ විට සිදුවන්නේ එය ටික දෙනෙකුගේ බූදලයක් බවට පත් වීම බව පෙන්වන්න දෘශ්‍යමාන උදාහරණ ඕනෑ තරම් තිබෙනවා.

වෙනත් ඕනෑම අයෙකුට මේ කොටස් මිල දී ගන්න බාධාවක් නැහැ. නියම ජනසතු කිරීමක් කියා කිව හැක්කේ සමාගමක් කොටස් වෙළඳපොළක ලැයිස්තුගත කිරීමටයි. ජනසතු කිරීමේ නාමයෙන් සමාගමක් රජය සතු කළ විට සිදුවන්නේ එය ටික දෙනෙකුගේ බූදලයක් වීම බව පෙන්වන්න උදාහරණ ඕනෑ තරම් තිබෙනවා.

කොටස් වෙළඳපොළක් කියා කියන්නේ සමාගම් වල කොටස් ගනුදෙනු වන තැනක්. ලෝකයේ ලොකුම කොටස් වෙළඳපොළ නිවුයෝර්ක් කොටස් වෙළඳපොළයි. එහි ලැයිස්තුගත කර තිබෙන සමාගම් කොටස් වල වටිනාකම ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 25කට වඩා වැඩියි. ඒ කියන්නේ ඇමරිකාවේ ජාතික ආදායමටත් වඩා වැඩියි. නිවුයෝර්ක් කොටස් වෙළඳපොළ ආරම්භ වී වසර දෙසීයකටත් වඩා වැඩියි.

වසර පණහකට ආසන්න ඉතිහාසයක් තිබෙන නැස්ඩෑක් කොටස් වෙළඳපොළ ලෝකයේ දෙවන විශාලතම කොටස් වෙළඳපොළයි. ඇමසන්, මයික්‍රෝසොෆ්ට් හා ෆේස්බුක් වැනි තාක්ෂණික අංශයේ සමාගම් බොහොමයක් ලැයිස්තුගත කර තිබෙන්නේ නැස්ඩෑක් කොටස් වෙළඳපොළේ.

නිවුයෝර්ක් කොටස් වෙළඳපොළේ දෛනික ගනුදෙනු ආරම්භ වීම හා අවසන් වීම සංඥා කරමින් සීනුවක් නාද කිරීම සියවස් එකහමාරක් පමණ සිට සිදුවන දෙයක්. මේ සීනුව නාද කිරීමේ කටයුත්ත පසුකාලිනව කිසියම් නම්බුකාර වැඩක් බවට පත් වී තිබෙනවා. උදාහරණයක් ලෙස ලැයිස්තුගත සමාගමක ස්වර්ණ ජයන්තිය වැනි විශේෂ සැමරුම් අවස්ථාවකදී කොටස් වෙළඳපොළ සීනුව හඬවා එම අවස්ථාව සැමරීමට අදාළ සමාගමේ ප්‍රධානියෙකුට අවස්ථාව ලැබෙනවා. නැස්ඩෑක් කොටස් වෙළඳපොළ හා කොළඹ කොටස් වෙළඳපොල ඇතුළු ලෝකයේ වෙනත් කොටස් වෙළඳපොළවල් වලටද මේ චාරිත්‍රය පැතිරී තිබෙනවා.

සාමාන්‍යයෙන් මේ සීනු චාරිත්‍රය ඉටු කරන අය අදාළ ස්ථානයට පැමිණෙන නමුත් ඊයේ (ජූනි 2) උදේ නැස්ඩෑක් කොටස් වෙළඳපොළේ ගනුදෙනු ආරම්භ කරමින් චාරිත්‍රානුකූල ලෙස සීනුව නාද කළ අය ඒ කටයුත්ත කළේ වෙනත් තැනක සිටයි. මේ වෙනත් තැන නිවුයෝර්ක් නගරයේ, ඇමරිකාවේ හෝ අඩු වශයෙන් පෘථිවිය මත පිහිටි තැනක් නෙමෙයි. සීනු හඬ ආවේ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිටයි.

ස්පේස්-එක්ස් සමාගමේ කෲ ඩ්‍රැගන් අභ්‍යවකාශ යානය ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය කරා ගිය ඓතිහාසික ගමන සමරමින් ගමනට සහභාගී වූ නාසා අභ්‍යාවකාශගාමීන් වන රොබර්ට් බැන්කන් හා ඩග්ලස් හර්ලිත්, ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය භාරව සිටින ක්‍රිස් කැසීඩීත් එකතුව ඊයේ මේ චාරිත්‍රය ඉටු කළා. ඒ සඳහා උපයෝගී කර ගත්තේ මේ දවස් වල ගෙදර සිට වැඩ කරන ගොඩක් අයට පුරුදු සූම් මෘදුකාංගයයි.

සූම් මෘදුකාංගය නිපදවූ සූම් වීඩියෝ කමියුනිකේෂන්ස් සමාගමද නැස්ඩෑක් කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගමක්. එම සමාගමේ කොටස් නැස්ඩෑක් කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කරමින් පොදු සමාගමක් බවට පත් වීම සමරමින් එහි ප්‍රධාන විධායක නිලධාරිනිය විසින්ද පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී නැස්ඩෑක් සීනුව නාද කළා.

(Image: https://www.space.com/spacex-crew-dragon-astronauts-nasdaq-opening-bell.html)

Tuesday, May 19, 2020

වැරදුනේ කොතැනද?


සමගි පෙරමුණු ආණ්ඩුවේ 1972-76 පස් අවුරුදු සැලැස්ම ගැන පෙර ලිපියේ කෙටි සඳහනක් තිබෙනවා. ඇතැම් විට මේ පස් අවුරුදු සැලැස්මේ පසුබිම, අරමුණු, ඉලක්ක හා ප්‍රතිඵල ගැන සමාලෝචනයක් කරන්න මෙය සුදුසුම කාලයක්. සැලැස්ම සාර්ථක නොවූ බවට හොඳම සාක්ෂිය 1977දී ජේආර් ලැබූ හයෙන් පහේ මැතිවරණ ජයග්‍රහණයයි. ඒ සමඟම මධ්‍යගත සැලසුමක් මත පදනම් වූ සංවෘත මිශ්‍ර ආර්ථිකයක් පිළිබඳ අදහස නැවත දශක ගණනාවක් යන තුරු හිස එසැවිය නොහැකි ලෙස ලංකාවෙන් ප්‍රතික්ෂේප වුනා. මේ දැවැන්ත ප්‍රතික්ෂේප වීම හේතුවෙන් අවධානයෙන් ගිලිහී ගිය ඇතැම් සාධනීය කරුණුද ඉහත කී පස් අවුරුදු සැලැස්මේ තිබුණා.

බොහෝ දෙනෙක් සිතා සිටින පරිදි 1977දී ලංකාවේ ධනවාදී ආර්ථික ක්‍රමයක් තහවුරු වුනේ නැහැ. ආර්ථිකයේ යම් විවෘත වීමක් සිදු වුනා. රජය විසින් සිදු කළ ඇතැම් කටයුතු පෞද්ගලික අංශය වෙත විතැන් වුනා. සමගි පෙරමුණු යුගයට සාපේක්ෂව මේ වෙනස්කම් ධනවාදයේ දිශාවට සිදු වූ පරිවර්තන ලෙස හඳුන්වන්න පුළුවන්. එහෙත්, මධ්‍යගත සැලසුම්, මිශ්‍ර ආර්ථිකයක් හා ආරක්ෂණවාදී ප්‍රවේශයක් කියන පැකේජ් එකේ බොහෝ කොටස් අද දක්වාම එලෙසම තිබෙනවා. මේ සීමාකාරී තත්ත්වයන් හා ධනවාදය අතර ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති තවමත් දෝලනය වෙමින් තිබෙනවා.

නිදහසින් පසු ලංකාව මේ වන විට සෑහෙන දුරක් පැමිණ තිබෙනවා. රට තවම තිබෙන්නේ නමසිය හතළිස් අටේ කියා කිසිවෙකුට කියන්න බැහැ. එසේ වුවත්, මේ අවුරුදු 72 ඇතුළත රටවල් ගණනාවක් ලංකාව පසුකර ඉදිරියට ගිහින් තිබෙනවා. ඒ කියන්නේ සාපේක්ෂ පදනමක ලංකාව පසුපසට ගිහින් තිබෙනවා. එහෙමනම්, ලංකාවට වැරදුනු මොනවා හෝ තැන් තිබිය යුතුයි. ඒ තැන් මොනවාද?

අතීතයේ සිදු වූ වැරදි අඩුපාඩු දැන් හඳුනා ගත්තා කියා අතීතය වෙනස් කරන්න බැහැ. නමුත්, අතීතයෙන් පාඩම් ඉගෙනගෙන අනාගතය වෙනස් කර ගත හැකියි. අතීතයේ කළ වැරදි නැවත නැවතත් සිදු කළ යුතු නැහැ.

සංවර්ධනයේ ඉලක්කය මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමයි. ඒ පිළිබඳ කිසිදු විවාදයක් නැහැ. ආදායම් මට්ටම් ඉහළ ගිය පමණින්ම ජීවන තත්ත්වය උසස් වෙන්නේ නැහැ. ඒ සඳහා තවත් බොහෝ දේ සිදු විය යුතුයි. නමුත්, මේ තවත් බොහෝ දේ බොහෝ විට සිදු වන්නේ ආදායම් මට්ටම ප්‍රමාණවත් ලෙස ඉහළ ගොස් ඇත්නම් පමණයි. ඒ නිසා, පුද්ගලයෙකුගේ හෝ රටක ආදායම් මට්ටම යනු ඒ පුද්ගලයින්ගේ හෝ පොදුවේ රටේ ජීවන තත්ත්වය පිළිබඳ සියයට සියයක සහසම්බන්ධයක් නැති වක්‍ර නිර්ණායකයක්ද වෙනවා.

මෙයින් වෙනස්ව පුද්ගලයෙකුගේ අධ්‍යාපනය හා සෞඛ්‍යය ඔහුගේ හෝ ඇයගේ ජීවන තත්ත්වය පිළිබඳ සෘජු නිර්ණායකයක් සේ සලකන්න පුළුවන්. ඒ පදනම මත අධ්‍යාපනය හා සෞඛ්‍යය ආදායම් මට්ටමට වඩා වැදගත්. එහෙත්, කරුණු දෙකක් නිසා ආදායම් මට්ටම අතහැර අධ්‍යාපනය හා සෞඛ්‍යය ගැන කතා කරන්න බැහැ. පළමුව, හොඳ අධ්‍යාපන හා සෞඛ්‍ය මට්ටමක් පවත්වා ගන්නනම් හොඳ ආදායම් මට්ටමක් අවශ්‍ය වෙනවා. දෙවනුව, හොඳ අධ්‍යාපන හා සෞඛ්‍ය මට්ටමක් ඇති විට වැඩි ආදායමක් ඉපැයීමේ ශක්‍යතාවයක් ඇති වෙනවා. මේ හේතු දෙක නිසා අධ්‍යාපනය හා සෞඛ්‍යය දියුණු විය යුත්තේ ආදායම් මට්ටම ඉහළ යාමට සමාන්තරවයි. අධ්‍යාපනය හා සෞඛ්‍යය නොසලකන ආදායම් ඉහළ යාමකට හෝ ආදායම් මට්ටම නොසලකා හරින අධ්‍යාපන හා සෞඛ්‍ය සංවර්ධනයකට දිගුකාලීන පැවැත්මක් නැහැ. එය අකාර්යක්ෂමයි.

ලෝකයේ හැම රටක්ම වාගේ කිසියම් තරමකින් අධ්‍යාපනය හා සෞඛ්‍යය සුබසාධනය කරනවා. එසේ කරන්නට හේතු තිබෙනවා.

දෙදෙනෙකු අතර සිදුවන අන්තර්ක්‍රියා බොහොමයක වාසිය හා අවාසිය තිබෙන්නේ ඒ දෙදෙනාටයි. එහෙත්, ඇතැම් විට පැත්තක සිටින තෙවන පාර්ශ්වයකටද බලපෑමක් වෙනවා. උදාහරණයක් විදිහට ඔබ ඔබේ මුදලින් දුම්වැටියක් මිල දී ගෙන උරනවා. එයින් ඔබට දිගුකාලීන සෞඛ්‍ය හානියක් සිදු වෙනවා. ඔබ ඒ බව දන්නවා. හානියේ ප්‍රමාණය ගැන නිසි තක්සේරුවක් ඔබට තිබෙනවා. ඒ බව දැන දැන ඔබ දුම්වැටිය උරනවානම් එය ඔබේ ස්වාධීන නිදහස් තීරණයක්. මට එයට මැදිහත් වෙන්න අයිතියක් නැහැ. එහෙත්, ඔබ පොදු ස්ථානයක වාතයට එකතු කරන සිගරැට් දුම මට ආශ්වාස වෙනවානම් එය මගේ ප්‍රශ්නයක්. ඔබ වත්තේ පුළුස්සන වියලි කොළ ගොඩක දුම මගේ වත්තට එනවානම් එය මගේ ප්‍රශ්නයක්.

මේ ආකාරයෙන් කිසියම් පුද්ගලයෙකු විසින් කරන කටයුත්තකින් පැත්තක සිටින අයෙකුට බලපෑමක් සිදු වන අවස්ථා බාහිරත්ව ලෙස හඳුන්වනවා. මා මෙලෙස පරිවර්තනය කරන්නේ externalities කියන ඉංග්‍රීසි වචනයයි. ඇතැම් විට නිවැරදි සිංහල වචනය වෙනත් එකක් විය හැකියි.

තෙවන පාර්ශ්වයකට බාහිරත්වයක බලපෑම නරක බලපෑමක් වෙන්න පුළුවන් වගේම හොඳ බලපෑමක් වෙන්නත් පුළුවන්. බලපෑම නරක එකක්නම් එය සෘණාත්මක බාහිරත්වයක් (negative externality) ලෙසත්, බලපෑම හොඳ එකක්නම් එය ධනාත්මක බාහිරත්වයක් ලෙසත් (positive externality) ලෙසත් හැඳින්වෙනවා. ඉහත කී දුම්වැටි උදාහරණය සෘණාත්මක බාහිරත්වයක්. ඔබේ තාප්පයේ ඔබේ වියදමින් ඔබ අඳින ආකර්ශනීය චිත්‍රයකින් ධනාත්මක බාහිරත්වයක් ඇති කරවන්න පුළුවන්.

බාහිරත්ව ඇති තත්ත්වයක් යටතේ කිසියම් පුද්ගලයෙකු විසින් අවස්ථාව අනුව ගන්නා හොඳම තීරණය පොදුවේ සමාජයක් ලෙස සැලකූ විට හොඳම තීරණය නොවෙන්න පුළුවන්. මේ වගේ වෙලාවක පොදු සමාජය පෞද්ගලික තීරණයකට බලපෑමක් කිරීම එසේ නොකිරීමට වඩා කාර්යක්ෂමයි. උදාහරණයක් විදිහට පොදු තැනක දුම්පානය කරන කෙනෙකුගෙන් දඩ මුදලක් අය කර ඒ මුදල අක්‍රිය දුම්පානය නිසා රෝගී වන අය වෙනුවෙන් යෙදවීම වඩා කාර්යක්ෂමයි වගේම වඩා සාධාරණයි. ඒ වගේම කෙනෙක් පෞද්ගලික ඉඩමක තිබෙන පාරට පෙනෙන තමන්ගේ තාප්පයේ තමන්ගේ වියදමෙන් අඳින චිත්‍රය නිසා සතුටු වන අයගෙන් ඒ සතුට වෙනුවෙන් මුදලක් අය කර චිත්‍රයේ පිරිවැය දැරූ පුද්ගලයාට දෙන එකේත් වැරැද්දක් නැහැ.

හැබැයි මේ වගේ මැදිහත්වීමක් කළ යුත්තේ ඉතාම පරිස්සමෙන්. මොකද කිසියම් කටයුත්තකින් පුද්ගලයෙකු ලබන සතුට හෝ අසතුට සෘජුව නිරීක්ෂණය කළ නොහැකි නිසා බාහිරත්ව ඇති බව පැහැදිලිව පෙනෙන විටෙක පවා එම බාහිරත්වයේ ප්‍රමාණය හරියටම මැන ගැනීම පහසු නැහැ. නිවැරදි කිරීමක් කාර්යක්ෂම වෙන්නනම් බාහිරත්වයේ ප්‍රමාණය හරියටම මැන ගන්න වෙනවා.

උදාහරණයක් විදිහට පොදු අරමුදල් යොදවා හදන පිට්ටනියක් ගැන හිතමු. දැන් මේ පිට්ටනිය හැදූ පසු ඕනෑම කෙනෙක්ට ගිහින් එහි ක්‍රීඩා කරන්න පුළුවන්. පිට්ටනියක් තිබෙනවානම් එහි ක්‍රීඩා කිරීම සඳහා මුදල් ගෙවන්න කැමති විශාල පිරිසක් ඉන්නවා. ක්‍රීඩා කිරීමේ සතුට ගෙවන මුදලට වඩා වැඩියි. නමුත්, පිට්ටනියක් නැති නිසා කිසිවෙකුට ඒ විකල්පය නැහැ. පිට්ටනියක් තිබුණානම් මුදල් ගෙවා එහි ක්‍රීඩා කිරීමට ඉඩ ඇති කිසිවෙකුට අලුතෙන් පිට්ටනියක් හැදීම වෙනුවෙන් ආයෝජනය කිරීමේ හැකියාවක් නැහැ. ඔය වගේ වෙලාවක පොදු අරමුදල් යොදවා පිට්ටනියක් හදන එක නරක දෙයක් නෙමෙයි. මුලදී සියල්ලන්ටම පාඩුවක් සිදු වුනත් පිට්ටනිය හැදුනු පසු මුදල් නොගෙවා ක්‍රීඩා කරන්න ලැබෙන නිසා ඒ පාඩුව සමනය වෙනවා.

සමහර විට ඔය පිට්ටනිය තමන්ට කවදාවත් යන්න නොලැබෙන පිට්ටනියක් වෙන්න පුළුවන්. ඒත් ප්‍රශ්නයක් නැහැ. එහි ක්‍රීඩා කරන කණ්ඩායම් දිහා රූපවාහිනියෙන් හෝ බලා සතුටු වෙන්න පුළුවන්. ඒ නිසා, හැමෝටම යන්න නොලැබෙන පිට්ටනියක්, පාරක් හෝ ස්මාරකයක් වෙනුවෙන් වුවත් පොදු මුදල් යෙදෙවීම වරදක් කියා එකවරම කියන්න බැහැ. ක්ෂණික ගිලන් රථ සේවයක් වගේ දෙයක් වෙනුවෙන් යොදවන මහජන මුදල් වලින් ඕනෑම කෙනෙකුට කොයි වෙලාවක හරි වාසියක් වෙන්න පුළුවන්.

හැබැයි මේ වගේ කටයුත්තක් වෙනුවෙන් මහජන මුදල් වැය කිරීම සාධාරණ හා කාර්යක්ෂම වන සීමාවක් තිබෙනවා. අපි හිතමු ඉකොනොමැට්ටා බ්ලොග් එකේ පස් වන සංවත්සරය සැමරීම සඳහා මහජන මුදල් යොදවා ගාලු මුවදොර පිටියේ ස්මාරකයක් හැදුවා කියා. ඕක දකින සමහර අයට සතුටක් ඇති වෙයි. තවත් සමහර අයට අසතුටක් ඇති වෙයි. අපි හිතමු වැඩි දෙනෙකුට ඇති වෙන්නේ සතුටක් කියලා. ඔබට මේ ස්මාරකය එහි තිබීමෙන් සතුටක් ඇති වෙනවානම් ඒ සතුට වෙනුවෙන් ඔබ වැය කරන්න කැමති නිශ්චිත උපරිම මුදලක්ද තිබෙනවා. ස්මාරකය නිසා රටේ සියල්ලන්ටම ලැබෙන සතුට මුදලින් ඇස්තමේන්තු කිරීමෙන් පසුව, ඒ වෙනුවෙන් වැය කළ මහජන මුදල් බදු ලෙස අය කර ගැනීමේදී ඔවුන්ට අහිමි වන සතුට ඉක්මවනවානම් මේ ස්මාරකය හැදීම මහජන යහපත සඳහා හේතු වෙනවා. ඒ නිසා එය කාර්යක්ෂමයි. එසේ නොවන්නේනම් එය මහජන මුදල් නාස්ති කිරීමක්.

අධ්‍යපනය පොදු අරමුදල් යොදවා සුබසාධනය කිරීමේ ආර්ථික විද්‍යා පදනම වන්නේත් එයින් සැලසෙන පෞද්ගලික යහපතට අමතරව පොදු යහපතක්ද සැලසෙනවා කියන එකයි. ඔබේ අධ්‍යාපන මට්ටම ඉහළ යද්දී ඔබේ ආදායම් ලැබීමේ හැකියාව ඉහළ යනවා. ඒ හරහා හා වෙනත් ආකාර වලින් ඔබට යහපතක් සැලසෙනවා. එයට අමතරව ඔබ දැනුම් තේරුම් ඇති අයෙකුව සිටීමෙන් ඔබ අවට සිටින අනෙකුත් අයටද යහපතක් සැලසෙනවා. ඔබට අකුරු කියවිය හැකිනම් එසේ කළ නොහැකි අයෙකුට පාරක් තොටක් හොයා ගන්න උදවු කිරීමේ අවස්ථාව ඔබට ලැබෙනවා. ඔබ විදේශ භාෂාවක් ඉගෙනගෙන ඇත්නම් විදේශ සංචාරකයෙකුට වුවත් ඔබෙන් පාරක් තොටක් අහගන්න පුළුවන්. විශේෂයෙන්ම සාමූහික නිෂ්පාදන කටයුත්කදී සියළු දෙනාම එක සේ දැනුවත් වූ විට 2 + 2 = 5 තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්.

අධ්‍යාපනය වෙනුවෙන් යමෙක් කළ යුතු ආයෝජනය තනිකරම පෞද්ගලික ආයෝජනයක්නම් ඔබ ආයෝජනය කරන්නේ ඔබට එයින් අනාගතයේදී ලැබෙන පෞද්ගලික ප්‍රතිලාභ දෙස බලාගෙනයි. ලැබෙන අනාගත වාසි අද කරන ආයෝජනයට වඩා වැඩිනම් ඔබ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වැය කරනවා. එසේ නැත්නම් නැහැ. ඔබ ඔබේ අධ්‍යාපනය වෙනුවෙන් අද වැය කරන මුදල් නිසා පැත්තක ඉන්න වෙනත් අයටද වාසි ලැබෙනවා කියන කරුණට මෙහිදී ඔබේ අවධානය යොමු වන්නේ නැහැ. වෙනත් අයට වාසි ලැබෙන්න ඔබ ඔබේ මුදල් වැය කළ යුත්තේ ඇයි?

අපි හිතමු ඔබ මේ ආකාරයට නොසිතා අධ්‍යාපනය වෙනුවෙන් තරමක් වැඩි ආයෝජනයක් කළා කියා. මේ වැඩෙන් ඔබට අනාගතයේදී සිදු වන්නේ අවාසියක්. නමුත්, රටේ හැම කෙනෙක්ම ඔබ විදිහටම සිතා අධ්‍යාපනය වෙනුවෙන් වැඩි ආයෝජනයක් කළොත්? දැන් ඒ අනිත් අය විසින් සිදු කළ අමතර ආයෝජන වල වාසිය ඔබටත් එනවා. ඒ නිසා, අවසානයේදී ඔබට ශුද්ධ ලෙස වාසියක් මිසක් අවාසියක් වෙලා නැහැ. හැබැයි ඔය වාසිය ඔය විදිහට ලැබෙන්නේ හැමෝම අධ්‍යාපනය වෙනුවෙන් වැඩි ආයෝජනයක් කළොත් පමණයි. එසේ නැත්නම් ඔබට වෙන්නේ අවාසියක්. අනිත් අය ගැන ඔබට සහතිකයක් නැති නිසා ඔබ වැඩේට අත ගහන්නේ නැහැ. අනිත් අය හිතන්නෙත් ඒ විදිහටමයි.

අධ්‍යාපන ආයෝජන සිදුවන්නේ තනිකරම පෞද්ගලික තීරණ මතනම් එම ආයෝජන සිදු වන්නේ ප්‍රසස්ථම මට්ටමට වඩා තරමක් අඩුවෙන්. අධ්‍යාපනය වෙනුවෙන් කිසියම් පොදු ආයෝජනයක් කිරීම මේ ප්‍රශ්නයට විසඳුමක්. නමුත්, එය ප්‍රසස්ථ වන නිශ්චිත සීමාවක් තිබෙනවා. එම මට්ටම ඉක්මවා ගියහොත් අධ්‍යාපනය වෙනුවෙන් සිදු කරන පොදු ආයෝජන වලින් එම ආයෝජන වලට සරිලන වාසියක් ලැබෙන්නේ නැහැ.

ලංකාව නිදහස ලබන කාලයේදී එසේ නිදහස ලැබූ වෙනත් රටවල වගේම ලංකාවේද අධිරාජ්‍ය විරෝධය උපරිම මට්ටමක තිබීම පහසුවෙන් තේරුම් ගත හැකි කරුණක්. ඒ කාලයේදී සමාජවාදී රටවල් අධිරාජ්‍ය විරෝධය හා ජාතීන්ගේ නිදහස හා ස්වාධීනත්වය වෙනුවෙන්ද පෙනී සිටි නිසා ලංකාව වැනි රටවල අධිරාජ්‍ය විරෝධී හා ජාතිකවාදී අදහස් ව්‍යාප්ත වීමට සමාන්තරව සමාජවාදී අදහස්ද ව්‍යාප්ත වුනා. අධ්‍යාපන හා සෞඛ්‍ය ආයෝජන සුබසාධනය කිරීම හරහා මානව සංවර්ධනයට වැඩි ප්‍රමුඛතාවයක් දෙන්න නිදහස් ලංකාව යොමු වීම කෙරෙහි මේ සමාජවාදී අදහස් වලින්ද සැලකිය යුතු බලපෑමක් සිදු වෙන්න ඇති.

ලංකාව දිගින් දිගටම වගේ මානව සංවර්ධනය අතින් සමාන ආදායම් මට්ටමක සිටි වෙනත් රටවලට වඩා ඉදිරියෙන් සිටියා. එයට අධ්‍යාපන හා සෞඛ්‍ය ආයෝජන සුබසාධනය කිරීම විශාල පිටිවහලක් වී ඇති බව කිසිදු සැකයක් නැති කරුණක්. එහෙත්, එයින් අදහස් වන්නේ මේ තත්ත්වය පැවතිය හැකිව තිබුණු හොඳම තත්ත්වය බව නෙමෙයි.

ඕනෑම දෙයක නියම මිලක් තිබෙනවා. ඒ මිලට වඩා මිලක් ගෙවන්න වෙනවානම් කොයි තරම් වටිනා දෙයක් වුවත් මිල දී ගන්න එකේ තේරුමක් නැහැ. අධ්‍යාපන හා සෞඛ්‍ය ආයෝජන සුබසාධනය කිරීම වෙනුවෙන් ගෙවන මිලත් එවැන්නක්. මානව සංවර්ධනය වෙනුවෙන් ආයෝජන ඉහළ දමද්දී භෞතික සංවර්ධනය වෙනුවෙන් සිදු කළ හැකි ආයෝජන සීමා වෙනවා. ඒ නිසා, මේ දෙක අතර නිසි සමතුලිතතාවයක් පවත්වාගත යුතුයි. මානව සංවර්ධනය වෙනුවෙන් අඩුවෙන් ආයෝජනය කිරීම වගේම වැඩියෙන් ආයෝජනය කිරීමත් දිගුකාලීනව හානිකරයි.

මානව සංවර්ධනය වෙනුවෙන් නිසි පමණ ආයෝජනය නොකර භෞතික සංවර්ධනය වෙනුවෙන් ඕනෑවට වඩා ආයෝජනය කළ විට දිගුකාලීනව භෞතික සම්පත් වැඩි වුනත්, ඒ භෞතික සම්පත් කාර්යක්ෂම ලෙස භාවිතා කළ හැකි මානව සම්පත් ප්‍රමාණවත් තරම් නැති නිසා නිෂ්පාදිතය අඩු වෙන්න පටන් ගන්නවා. එහි ප්‍රතිඵලයක් ලෙස භෞතික සම්පත් සංචිත තිබෙන මට්ටමේ පවත්වා ගැනීම අසීරු වෙන්න පටන් ගන්නවා.

මෙහි අනිත් පැත්තත් එහෙමයි. භෞතික සංවර්ධනය වෙනුවෙන් නිසි පමණ ආයෝජන සිදු නොකර මානව සංවර්ධනය වෙනුවෙන් ඕනෑවට වඩා ආයෝජනය කළ විට දිගුකාලීනව මානව සම්පත් සංචිත වැඩි වුනත්, ඒ වැඩි වූ මානව සම්පත් කාර්යක්ෂම ලෙස භාවිතා කිරීමට අවශ්‍ය භෞතික සම්පත් හිඟ නිසා නිෂ්පාදිතය අඩු වෙන්න පටන් ගන්නවා. එහි ප්‍රතිඵලයක් ලෙස මානව සම්පත් සංචිත තිබෙන මට්ටමේ පවත්වා ගැනීම අසීරු වෙන්න පටන් ගන්නවා. ලංකාවේ ආර්ථිකය අකාර්යක්ෂම වෙන්න මේ දෙවන හේතුව බොහෝ දුරට දායක වී තිබෙනවා.

සැබෑවක්ද ප්‍රබන්ධයක්ද කියා මා හරියටම නොදන්නා ජනප්‍රිය කතාවකට අනුව ගහකට යවා ගන්නවත් ගමක කොල්ලෙක් නැති වෙයි කියන පදනමින් ලංකාවේ ඇතැම් දේශපාලනඥයින් නිදහස් අධ්‍යාපනය සේ හඳුන්වන, සියල්ලන්ට පොදුවේ ලැබෙන සුබසාධිත අධ්‍යාපනයට එරෙහි වී තිබෙනවා. මේ කතාව මොන අදහසකින් කියපු එකක් වුනත් එහි ආර්ථික විද්‍යා අරුතක් තිබෙනවා. රටට අවශ්‍ය වන්නේ පොල් කඩන්න දන්න මිනිස්සුනම් රටේ සියල්ලන්ටම උපාධි මට්ටමේ අධ්‍යාපනයක් ලබා දෙන එකේ තේරුමක් නැහැ. උපාධි මට්ටමේ අධ්‍යාපනයකින් වැඩක් වෙන්නනම් මානව සංවර්ධනයට සමාන්තර භෞතික සංවර්ධනයක්ද සිදු විය යුතුයි.

ඕනෑවට වඩා කලින් මානව සංවර්ධනය වෙනුවෙන් ඕනෑවට වඩා ආයෝජනය කරමින් සුබසාධිත ආර්ථිකයක් පවත්වා ගැනීම (premature welfarism) ලංකාවේ අනාගත සංවර්ධනයට හානිකර වී ඇති බව සංවර්ධන ආර්ථික විද්‍යාඥයින් කිහිප දෙනෙකු විසින්ම පෙන්වා දී තිබෙන කරුණක්. මෙය දැන් සිදු වී අවසන් නිසා ඒ හානිය ආපසු හරවන්න බැහැ. ඒ නිසා දැන් කළයුත්තේ පවතින තත්ත්වය වාසියට හරවා ගන්න එකයි.

අවසාන ප්‍රතිඵලය කවරක් වුවත් සමගි පෙරමුණු ආණ්ඩුවේ පස් අවුරුදු සැලැස්ම ඉහත අඩුපාඩුව නිවැරදිව හඳුනාගෙන විසඳුම් සෙවීම සඳහා දැරූ අවංක උත්සාහයක්. විසඳුම් සෙවූ ක්‍රමවේදයේ වරදින් හා ක්‍රියාත්මක කිරීමේ අඩුපාඩු නිසා වසර පහ අවසානයේ රටේ ආර්ථිකය කබලෙන් ලිපට වැට්ටවීම හැර වෙනත් දෙයක් සිදු නොකළත්, මේ සැලසුමේ ඉලක්කය වුනේ රටේ මානව සම්පත් සංවර්ධනයට ගැලපෙන පරිදි භෞතික සම්පත් සංචිත වැඩි කර ගැනීම හා එයට සමාන්තරව ආර්ථික වර්ධන වේගය වැඩි කර ගැනීමයි.

සමගි පෙරමුණු උපක්‍රමය අසාර්ථක වීමෙන් පසුව විදේශ ණය වලින් භෞතික සම්පත් හිඟය පුරවා ගැනීමේ විකල්පය වෙත ලංකාව මාරු වුනා. අද දක්වා වසර 43ක් ලංකාව විසින් මේ උපාය මාර්ගය අනුගමනය කරමින් සිටිනවා. එහෙත් මේ උපාය මාර්ගයේද පැහැදිලි නෛසර්ගික අඩුපාඩු තිබෙනවා. ඒ අඩුපාඩු කාලයක් තිස්සේ සමුච්ඡය වී දැන් ලංකාව නැවතත් මේ ක්‍රමයට තවත් ඉදිරියට යා නොහැකි සන්ධිස්ථානයකට පැමිණ තිබෙනවා.

(Image: https://www.agefotostock.com/age/en/Stock-Images/Rights-Managed/GBP-CPA0002087)

Friday, December 6, 2019

ණය වැඩි වීම හා ආදායම් වැඩිවීම

රජයේ ණය ප්‍රමාණය එන්න එන්නම ඉහළ ගියත් ආදායම්ද සමාන්තරව ඉහළ යන්නේනම් ප්‍රශ්නයක් නැතැයි ඇතැම් අය කියනවා. ඒ කතාවේ අඩුපාඩු තිබුණත් කතාවට පදනමක් තිබෙන නිසා අඩුපාඩු ගැන කතා කිරීම පසුවට තබා ආදායම් වැඩි වීම ගැන මුලින් කතා කරමු.

ණය ගැනීම හෝ ණය ප්‍රමාණය ඉහළ යාම හැම විටම නරක දෙයක් නෙමෙයි කියන එක ඇත්ත. ණය ලෙස ලබා ගන්නා මුදල් නිසි සේ ආයෝජනය කර ණය හා පොලිය ආපසු ගෙවා අමතර ලාබයක්ද ලැබිය හැකි අවස්ථා තිබෙනවා. ඒ වගේ වෙලාවක ණය ගැනීමේ වරදක් නැහැ.

ණය නිසා ඔය කියන විදිහට ආදායම් ලැබෙනවානම් ගත් ණය හා පොලී ආපසු ගෙවීම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ලංකාවේ වෙලා තියෙන්නේ එහෙම දෙයක්ද?

අපි කතා කරමින් සිටියේ ලංකාවේ රජයේ ණය ගැනනේ. ණය අරගෙන රජය කරන ආයෝජන වල ලාබ එක්කෝ රජයට සෘජුවම ලැබෙන්න ඕනෑ. එහෙම නැත්නම් රටේ වෙන කාට හෝ ලැබී බදු හරහා වක්‍ර ලෙස රජයට ලැබෙන්න ඕනෑ. ඔය දෙකෙන් කොයි එක වුවත්, රජයේ ආදායම ඉහළ යා යුතුයි. ණය ආයෝජන වල ප්‍රතිඵල ලෙස රටේ මිනිස්සුන්ගේ ආදායම් වැඩි වී ඇති විටක රජයේ බදු ආදායම වැඩි කර ගැනීම සඳහා අමුතුවෙන් බදු වැඩි කරන්න අවශ්‍ය නැහැ. රටේ ආදායම් ඉහළ යන විට බදු අනුපාතික නිශ්චිතව තිබුණත්, රජයේ බදු ආදායම සමාන්තරව ඉහළ යා යුතුයි. ඒ කියන්නේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රජයේ ආදායම කිසියම් ස්ථාවර මට්ටමක දිගටම තිබිය යුතුයි.

නමුත්, ඇත්තටම වෙලා තිබෙන්නේ ඒකද? අඩු වශයෙන් දශක තුන හතරක සිට සිදු වෙමින් තිබෙන්නේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රජයේ ආදායම් වසරින් වසර අඩු වීමයි. පසුගිය යහපාලන ආණ්ඩුව විසින් දිගින් දිගටම රජයේ ආදායම් අඩු වීමේ ප්‍රවණතාව වෙනස් කර ගැනීමට සමත් වුවත් එසේ කළේ බදු අනුපාතික ඉහළ දමලයි. ණය වැඩි වී තිබෙන්නේ ඒ ණය ඵලදායී ලෙස ආයෝජනය කිරීම නිසානම් එහෙම වෙන්නේ කොහොමද?


Saturday, March 9, 2019

දෙකට බෙදෙන්නට යන ලොකුම සල්ලි කන්ද


දෙවසරකට පමණ පෙර ඔක්ස්ෆෑම් ජාත්‍යන්තර සංවිධානය විසින් ප්‍රසිද්ධ කළ වාර්තාවක සඳහන්ව තිබුණු සංඛ්‍යාලේඛණයක් සමහර අය තවමත් දිගින් දිගටම උපුටා දක්වනවා. මේ ගැන මම මීට පෙරත් වරින් වර කතා කර තිබෙනවා. මේ සංඛ්‍යාලේඛණය අනුව, ලෝකයේ ධනවත්ම පුද්ගලයින් අට දෙනෙකුගේ වත්කම් වල එකතුව, ලෝක ජනගහණයෙන් වත්කම් පදනම මත දුප්පත්ම මිනිසුන් බිලියන 3.6කගේ වත්කම් වල එකතුවට සමානයි.

ඔය සංඛ්‍යාලේඛණය ප්‍රසිද්ධ කරන කාලයේ ලැයිස්තුවේ ඉහළින්ම හිටියේ බිල් ගේට්ස් වුවත්, දැන් ලෝකයේ ලොකුම ධනවතා ජෙෆ් බෙසෝස්. ඇමසන් සමාගමේ නිර්මාතෘ වන ජෙෆ්ට මේ වන විට එම සමාගමේ කොටස් මිලියන 78.8ක් පමණ අයිතියි. අද (මාර්තු 8) දිනය අවසන් වෙද්දී ඇමසන් කොටසක් විකිණුනේ ඩොලර් 1620.80 බැගිනුයි. මේ කොටස් වල වටිනාකම ඩොලර් බිලියන 127.7ක් පමණ වෙනවා. ඔහු සතු වෙනත් වත්කම්ද ඇතුළුව, අද දිනය අවසන් වන විට ජෙෆ් බෙසෝස් සතු වූ මුළු වත්කම් ප්‍රමාණයේ වටිනාකම ඩොලර් බිලියන 134.4ක්.

ප්‍රින්ස්ටන් සරසවියෙන් පරිගණක විද්‍යා හා විදුලි ඉංජිනේරු උපාධිධරයෙකු සේ පිටවීමෙන් පසුව, 1994දී ඇමසන් සමාගම ආරම්භ කරන්නට පෙර, ජෙෆ් රැකියා කිහිපයක්ම කළා. 1993 වසරේදී මැකෙන්සි ටට්ල් සමඟ විවාහ වන විට ජෙෆ් වගේම මැකෙන්සිත් සේවය කරමින් හිටියේ නිවුයෝර්ක්හි ආයෝජන කළමණාකරණ සමාගමකයි. එම වසරේදී අන්තර්ජාල පරිශීලනයේ සිදුවූ ඇදහිය නොහැකි තරම් ඉහළ වර්ධන වේගය ජෙෆ්ට ඇමසන් වැනි ව්‍යාපාරයක් අරඹන්න පෙළඹුමක් ඇති කර තිබෙනවා.

ජෙෆ් මුලින්ම ඇමසන් සමාගම පටන් ගන්නේ ඔහුගේ නිවසේ ගරාජයේ සිටයි. තමන් ඉතිරි කරගත් ඩොලර් 10,000ක මුදල් යොදවමින් 1994 ජූලි 5 වෙනිදා ජෙෆ් ඔහුගේ බිරිඳ මැකෙන්සිවත් හවුල් කර ගනිමින් මේ ව්‍යාපාරය ආරම්භ කරනවා. ඇමසන් සමාගම කියා ලිවුවත් මුලින්ම මේ සමාගම හැඳින්වුණේ ඇමසන් නමින් නෙමෙයි. කඩබ්‍රා ලෙසයි. ඇමසන් ලෙස නම වෙනස් කරන්නේ 1995දී.

මුලින්ම මේ ව්‍යාපාරය ඉදිරියට ගෙනයාම පිණිස මුදල් ආයෝජනය කළ පිරිස අතරින් ජෙෆ්ගේ දෙමවුපියන් දෙදෙනා කැපී පෙනෙනවා. ඔවුන් විසින් මෙසේ යොදවන්නේ ඔවුන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් එකතු කරගෙන තිබූ ඩොලර් 245,573ක මුදලකුයි. අන්තර්ජාලය කියන්නේ කුමක්ද කියාවත් නොදන්නා ජෙෆ්ගේ දෙමවුපියන් තමන් ජීවිත කාලයක් තිස්සේ එකතු කරගත් මුදල් ජෙෆ්ට දෙන්නේ තමන්ගේ පුතා ගැන තිබෙන විශ්වාසය මතයි. ඒ මුදල් නැති වෙන්න 70%ක පමණ ඉඩක් ඇති බව ජෙෆ් ඔවුන්ට පැවසූ බව සඳහන්.

වසරකට පෙර මිය ගිය මගේ පියා ජීවත්ව සිටියදී රජයේ රැකියාවක් කළ අයෙක්. මට මතක ඇති කාලයේ සිටම ඔහුගේ ජීවිතයේ ප්‍රධානම ඉලක්කයක් වුනේ ඔය රස්සාව පරිස්සම් කර ගැනීමයි. ඔහු බොහෝ වර ඒ බව කෙළින්ම කියා තිබෙනවා. යම් හෙයකින් කරමින් හිටපු රස්සාව නැති වුනානම් රස්සාවෙන් ඉපැයූ පමණ ආදායම් ඉපැයිය හැකි වෙනත් දෙයක් කිරීමේ හැකියාවක් නොතිබුණු බව ඔහු විශ්වාස කරන්න ඇති. ඔහු අකුරටම නීතිය පිළිපැදපු කෙනෙක්. එහෙම කළේත් රස්සාව නැති කරගන්න තිබුණු බය නිසා මිසක් යුක්තිගරුක හෝ ප්‍රතිපත්තිගරුක වූ නිසාම නෙමෙයි. නීතියට වෙට්ටු දැමිය හැකි අවස්ථා වලදී ඔහු ඒ සඳහා පැකිළුනේ නැහැ.

කුඩා කාලයේ මා ඇසුරු කළ බොහෝ වැඩිහිටියන් විශ්‍රාම වැටුප් සහිත ආණ්ඩුවේ රස්සාවක් කරන කෙනෙක් දිහා බැලුවේ ජීවිතය ජයගත් කෙනෙක් විදිහටයි. ලංකාවේ වෙනත් ගොඩක් අය වගේම මුල් කාලයේදී මගේ ඉලක්කය වුණෙත් ඔය ආකාරයේ ස්ථිර රස්සාවක්. විශ්‍රාම වැටුප් වරප්‍රසාද රහිත රැකියාවක් කර ජීවිතයේ අවසන් කාලය ගෙවන්නේ කොහොමද කියන එක ඒ කාලයේ මට විශාල ප්‍රහේලිකාවක්.

ඇමරිකාවේ ආණ්ඩුවේ රස්සා කරන අය වැඩිපුර නැහැ. වෙනත් රැකියා කරන බොහෝ දෙනෙක් විශ්‍රාම දිවිය ගෙවීම සඳහා අවශ්‍ය පමණ මුදලක් රැකියා කරන කාලයේදී ඉතිරි කර ගත යුතුයි. නිදහසේ විශ්‍රාම ගත හැක්කේ මේ විදිහට ප්‍රමාණවත් මුදලක් ඉතිරි කරගෙන ඇත්නම් පමණයි. රැකියා කරන කාලයේදී සමාජ සංරක්ෂණ බදු සේ අයකරගන්නා මුදල් වලින් විශ්‍රාම වැටුපක් ලැබුණත් එය ජීවත් වෙන්න ප්‍රමාණවත් මුදලක් නෙමෙයි.

බොහෝ ඇමරිකානුවන් රැකියා කරන කාලයේදී කිසියම් මුදලක් විශ්‍රාම වැටුප් අරමුදලකට බැර කරනවා. මෙවැනි අරමුදල් කළමනාකරණය කරන සමාගම් ඒ මුදල් මුලදී කොටස් වෙළඳපොළේත්, විශ්‍රාම වයස ආසන්න වෙද්දී බැඳුම්කර වලත් ආයෝජනය කර අවදානම හා ගලපමින් හැකි තරම් ඉහළ ප්‍රතිලාභයක් ලබා දෙන්න උත්සාහ කරනවා. විශ්‍රාම යාමෙන් පසුව මේ විදිහට ඉතිරි කරගත් මුදල් වලින් කිසියම් මුදලක් මාස්පතා ආපසු ගැනීමෙන් රැකියා කරන කාලයේ පවත්වාගත් ජීවන තත්ත්වය ඒ විදිහටම හෝ ආසන්න මට්ටමක පවත්වා ගන්න පුළුවන්.

ඇමරිකානුවන්ගේ විශ්‍රාම ඉතිරි කිරීම් මුල් කාලයේදී කොටස් වෙළඳපොළේ ආයෝජනය කරන්නේ එහි ප්‍රතිලාභ බැඳුම්කර ප්‍රතිලාභ වලට වඩා කිහිප ගුණයකින්ම වැඩි නිසයි. නමුත්, විශ්‍රාම යන්න කිට්ටුව මේ අරමුදල් කොටස් වෙළඳපොළ ආයෝජන වලම රඳවා තැබීම අවදානම අධික කටයුත්තක්. කොටස් වෙළඳපොළ කඩා වැටුණොත් එය විශ්‍රාම ජීවිතයට විශාල සේ බලපානවා.

ජෙෆ් බෙසෝස්ගේ දෙමවුපියන් තමන්ගේ විශ්‍රාම දිවිය ගෙවන්න කාලයක් තිස්සේ එකතු කරගත් අරමුදල් ජෙෆ්ගේ ව්‍යාපාරය වෙනුවෙන් යෙදවීමෙන් විශාල අවදානමක් ගෙන තිබෙනවා. ඔවුන් එසේ කර තිබෙන්නේ විශාල මුදල් ලාභයක් ලැබීමේ අරමුණින්ම නෙමෙයි. ජෙෆ් පටන්ගන්න යන ව්‍යාපාරයේ ස්වභාවය ගැන පමණක් නෙමෙයි අඩු වශයෙන් අන්තර්ජාලය කියන්නේ කුමක්ද කියාවත් ඔවුන් දැන සිට නැහැ. මේ අවදානම ඔවුන් විසින් ගන්නට ඇත්තේ තමන්ගේ පුතා පිළිබඳ වූ විශ්වාසය මත හෝ ඔහුගේ අභිවෘද්ධිය පිණිස දරුවා කෙරෙහි වූ ආදරය මත පදනම්ව විය යුතුයි. එසේ කිරීමෙන් අර අවදානම ඉක්මවන සතුටක් ඔවුන් ලබන්න ඇති.

වසර කිහිපයක් පුද්ගලික සමාගමක් සේ ක්‍රියාත්මක වූ ඇමසන් සමාගම 1997 මැයි 15 වෙනිදා පොදු සමාගමක් බවට පත් වෙනවා. කොටස් වෙළඳපොලේ අළෙවිකරන සමාගම් කොටස් මිලියන 3ක් එක් කොටසක් ඩොලර් 18 බැගින් අලෙවි වෙනවා.

මේ වෙද්දී ඇමසන් සමාගම විසින් කොටස් 23,858,702ක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, ජෙෆ් බෙසෝස් ඇතුළු මුල් අයිතිකරුවන් අතේ කොටස් 20,858,702ක් තිබෙනවා. ඇමසන් සමාගම (හෝ වෙනත් සමාගමක්) පොදු සමාගමක් වන විට ඒ මුල් කොටසක වෙළඳපොළ වටිනාකම කුමක්ද කියා නිශ්චිතව තීරණය වෙනවා. ඒ වගේම සමාගමේම වෙළඳපොළ වටිනාකමත් දැනගන්නට ලැබෙනවා. එක් කොටසක් ඩොලර් 18ක් සේ සැලකූ විට මේ වෙද්දී සමාගමේ වටිනාකම ඩොලර් මිලියන 430ක් පමණ වුණා.

මේ වන විට නිකුත් කර තිබෙන ඇමසන් කොටස් ප්‍රමාණය මිලියන 491.2ක්. ඒ සියළු කොටස් වල වටිනාකම ඩොලර් බිලියන 796ක්. මුළු කොටස් ප්‍රමාණයෙන් 16%ක පමණ හිමිකම තවමත් තිබෙන්නේ ජෙෆ් බෙසෝස්ටයි.

ඇමසන් සමාගම පොදු සමාගමක් බවට පත් වන්නට පෙර සමාගමේ කොටස් වලින් 48.3%ක, එහෙමත් නැත්නම් කොටස් 9,885,000ක හිමිකරු වුනේ ජෙෆ් බෙසෝස්. පොදු සමාගමක් බවට පත් වීමෙන් පසුව මුල් වසර කිහිපය ඇතුළත ඇමසන් කොටසක් 1:2, 1:3 හා 1:2 ලෙස තෙවරක් විභේදනය කරනු ලැබ ඇති නිසා මේ කොටස් ප්‍රමාණය සමාන කළ හැක්කේ වත්මන් ඇමසන් කොටස් මිලියන 118.62කටයි. නමුත්, මේ වන විට ජෙෆ්ගේ ඇමසන් කොටස් හිමිකම කොටස් මිලියන 78.8කට සීමා වන නිසා ඔහු තමන් සතු වූ ඇමසන් කොටස් වලින් තුනෙන් එකක් පමණ වරින් වර විකුණා ඇති බව පැහැදිලියි.

දෙමවුපියන් කියා කිවුවත් ජෙෆ් බෙසෝස්ගේ නීත්‍යානුකූල පියා වන මිගෙල් (මයික්) බෙසෝස් ජෙෆ්ගේ ජීවවිද්‍යාත්මක පියා නෙමෙයි. ඔහුගේ ජීවවිද්‍යාත්මක පියා ටෙඩ් ජෝගන්සන්. ජෙෆ් ඉපදෙන කොට ටෙඩ් ජෝගන්සන් අවුරුදු දහනවයක ගැටවරයෙක්. ජෙෆ්ගේ මව ජැකලයින් (ජැකී) වසර 17ක පාසැල් සිසුවියක්. ජෙෆ් ඉපදෙන විට ඔවුන් විවාහ වී හිටියත් ඒ විවාහය මාස 17කට සීමා වෙනවා. කොහොම වුනත් ජෙෆ්ගේ මුල් නම ජෙෆ් ජෝගන්සන්.

ටෙඩ්ගෙන් දික්කසාද වන ජැකී ඉන්පසුව කියුබාවෙන් පැමිණි සංක්‍රමණිකයෙකු වූ මයික් බෙසෝස් සමඟ විවාහ වෙනවා. මයික් ජෙෆ්ගේ නීත්‍යානුකූල පියා බවට පත් වෙනවා. ඒ අනුව, ජෙෆ් ජෝගන්සන් ජෙෆ් බෙසෝස් වෙනවා. ටෙඩ් ජෝගන්සනුත් වෙනත් කාන්තාවක් විවාහ කරගෙන බයිසිකල් පාට් කඩයක් කරගෙන වෙනම පළාතක ජීවත් වෙනවා. ජෙෆ්ට අවුරුද්දක් පමණ කාලයේදී ජෙෆ්ගෙන් හා ජැකීගෙන් වෙන්වන ඔහුට මිය යන තුරුම අඩු වශයෙන් ජෙෆ්ව හමුවෙන්න හෝ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. කොහොම වුණත් තමන්ගේ එකම දරුවා ලොකු තැනක ඉන්න බව අන්තිම කාලයේදී ඔහුට දැනගන්න ලැබී තිබෙනවා.

ජීව විද්‍යාත්මක පියා නොවුනත් ජෙෆ්ගේ සැබෑ පියා මයික් බෙසෝස්. මයික්ගේ පියා ලොකු උගත්කමක් නොතිබුණු, පොඩි සිල්ලර කඩයක් කරගෙන හිටපු ධෛර්යවන්ත කියුබානුවෙක්. මයික් කුඩා කාලයේදී ඔහුත් පියාගේ මේ කඩේ වැඩ වලට හවුල් වී තිබෙනවා. බැටිස්ටා එළවා දමා පිදෙල් කස්ත්‍රෝ කියුබාවේ බලයට පත් වන්නේ මේ කාලයේදීයි.

බැටිස්ටා කියන්නේ කියුබානු විප්ලවය සිදු වන කාලයේ කියුබානුවන් ප්‍රිය කළ නායකයෙක් නෙමෙයි. මයික් බෙසෝස්ගේ පියාත් වෙනත් බොහෝ කියුබානුවන් වගේම බැටිස්ටා එළවා කස්ත්‍රෝට බලයට එන්න උදවු කළ කෙනෙක්. එහෙත්, කස්ත්‍රෝ බලයට පැමිණි පසු බොහෝ දේවල් වෙන්නේ ඔවුන් මුලින් හිතපු විදිහට නෙමෙයි.

මුලින් කස්ත්‍රෝ මාක්ස් ලෙනින්වාදියෙක් නොවුනත් බලයට පැමිණීමෙන් පසුව ඔහු මාක්ස්වාදය වෙත නැඹුරු වෙනවා. කියුබාවේ මැතිවරණ සිතියම අකුළා දමන ඔහු මුලින්ම විදෙස් සමාගම් ජනසතු කරනවා. ඉන්පසුව දේශීය ව්‍යවසාය සියල්ලත් ජනසතු කරනවා. කියුබානු හමුදාව පැමිණ බෙසෝස් පවුල විසින් කාලයක් තිස්සේ කරගෙන ආ පොඩි සිල්ලර කඩයත් ආණ්ඩුවට ගන්නවා.

කියුබාවේ පාසැල් සියල්ල තාවකාලිකව වසා දැමෙන අතර ඒවා නැවත විවෘත වන්නේ මාක්ස්වාදය උගන්වනු පිණිස විෂය නිර්දේශ සියල්ල වෙනස් කිරීමෙන් පසුවයි. එන පොට තේරුම් ගන්නා මයික් බෙසෝස්ගේ දෙමවුපියන් ඔහුව නැවත පාසැල් නොයවා සරණාගතයෙකු සේ ඇමරිකාවට යවන්න තීරණය කරනවා. කුඩා සූට්කේසයක් පමණක් රැගෙන මයික් බෙසෝස් ගැටවරයා ඇමරිකාවට එනවා.

ඇමරිකාවට පැමිණ මුලින්ම සරණාගත කඳවුරක ජීවිතය ගෙවන මයික් ඉන්පසුව කතෝලික පල්ලියෙන් නඩත්තු කරන ළමා නිවාසයක නැවතී පාසැල් අධ්‍යාපනය අවසන් කරනවා. ඉන්පසුව ඔහු කියුබානු සරණාගතයින් වෙනුවෙන් ලබාදෙන ශිෂ්‍යත්වයක් ලබාගෙන සරසවියකට ඇතුළු වෙනවා. මයික් ජෙෆ්ගේ මව හා විවාහ වන්නේ මේ කාලයේදී. ජෙෆ්ව දරුකමට හදාගන්නා ඔහුට මේ පවුල නඩත්තු කරන්න රැකියාවක් අවශ්‍ය වෙනවා. උපාධිය ලබා ගන්නා මයික් තෙල් සමාගමක රැකියාවක් ලබා ගන්නවා.

මේ තොරතුරු ඉදිරිපත් කළේ ජෙෆ්ගේ මව, ජීව විද්‍යාත්මක පියා හෝ නීත්‍යානුකූල පියා ලොකු ප්‍රාග්ධනයක් එක් රැස් කරගෙන සිටි ධනවතුන් නොවූ බව පෙන්වන්නයි. ජෙෆ්ට ඔහුගේ දෙමවුපියන්ගෙන් ලැබුණු කිසියම් ප්‍රාග්ධනයක් ඇත්නම් ඒ ඔවුන් ජීවිත කාලයක් රැකියා කර විශ්‍රාම දිවිය ගෙවනු පිණිස එකතු කරගත් මුදලින් කොටසක්. එය ඇමරිකානු සම්මත අනුව විශාල මුදලක් නෙමෙයි. ඒ නිසා, දැනට ලෝකයේ ලොකුම ධනවතා ලෙස සැලකෙන ජෙෆ් බෙසෝස් බිංදුවෙන් පටන්ගත් අයෙක් කියා කියන එකේ ලොකු වැරැද්දක් නැහැ.

ජෙෆ් බෙසෝස් හා ඔහුගේ බිරිඳ මැකෙන්සි ඔවුන්ගේ සියවස් කාලක විවාහ ජීවිතය අවසන් කරමින් දික්කසාද වෙන්නට යන බව පසුගිය ජනවාරියේදී දැනුම් දුන්නා. ඇමරිකාවේදී විවාහයක් කියන්නේ නීතිමය ගිවිසුමක් මිසක් මානුෂික සම්බන්ධයක් නෙමෙයි. විවාහයට සමාන්තරව යන මානුෂික සම්බන්ධතාවයක් තිබීම (හෝ නොතිබීම) වෙනම කරුණක්. ගැහැණියක් හා පිරිමියෙකු අතර, එහෙමත් නැත්නම් සමලිංගික යුවලක් අතර අවශ්‍ය ආකාරයක ලිංගික හෝ වෙනත් මානුෂික සම්බන්ධතාවයක් පවත්වා ගැනීම සඳහා ඔවුන් දෙදෙනා විවාහ වීම ඇමරිකාවේදී අත්‍යාවශ්‍ය කරුණක් නෙමෙයි. විවාහය කියන්නේ බොහෝ දුරට දේපොළ අයිතිය හා අදාළ ගිවිසුමක්.

විවාහක යුවලක් දික්කසාද වූ පසු සාමාන්‍යයෙන් සිදුවන්නේ දෙදෙනා සතුව ඇති මුළු වත්කම් දෙදෙනා අතර සමව බෙදී යාමයි. විවාහ වීමට පෙර එක් අයෙකු සතු වූ කිසියම් වත්කමක් ඇත්නම් එය මෙසේ බෙදී යන්නේ නැහැ. මෙහිදී විවාහයෙන් පසුව අත්පත් කරගත් වත්කම් තියෙන්නේ කාගේ නමටද කියන එක එතරම් වැදගත් වන්නේ නැහැ. සමලිංගිකයින්ගේ විවාහ වීමේ අයිතියේ පදනම වන්නේත් දේපොළ අයිතිය හා සම්බන්ධව එක්ව ජීවත්වන (ඇමරිකාවේ) ගැහැණියකට හා පිරිමියෙකුට තිබෙන නීතිමය වරප්‍රසාද සමලිංගික යුවලකටත් තිබිය යුතු වීමයි.

ඇමසන් සමාගම පටන්ගෙන තිබෙන්නේ ජෙෆ් හා මැකෙන්සි විවාහ වීමෙන් පසුවයි. ඒ නිසා, දික්කසාදයෙන් පසුව ජෙෆ් සතු ඇමසන් කොටස් බොහෝ විට ජෙෆ් හා මැකෙන්සි අතර සමසමව බෙදී යන්න ඉඩ තිබෙනවා. එසේ වුවහොත්, මැකෙන්සි ලෝකයේ ධනවත්ම කාන්තාව බවට පත් වීමට නියමිතයි. ලෝකයේ ලොකුම ධනවතා ලෙස ජෙෆ්ට හිමි තැන අහිමි වනු ඇති නමුත් තවදුරටත් ලොකුම ධනවතුන් ලැයිස්තුවෙහි ඉහළ ස්ථානයක ඉන්න ඔහුට නොහැකි වන එකක් නැහැ.

(Image: https://www.eonline.com/news/1003894/inside-jeff-bezos-mysterious-private-world-a-dating-flow-chart-that-booming-laugh-and-more-billions-than-anyone-else)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...