වෙබ් ලිපිනය:

Showing posts with label රාජ්‍ය ආදායම. Show all posts
Showing posts with label රාජ්‍ය ආදායම. Show all posts

Wednesday, September 7, 2022

IMF වැඩසටහන


කලින් ලිපියක විස්තීර්ණ ණය පහසුකම ගැන විස්තර කළා. මේ ලිපිය IMF වැඩසටහන ගැන.  IMF වැඩසටහන කියා කිවුවට ලංකාව සහ IMF එක එකඟ වී තිබෙන වැඩසටහන ගැන මම දන්නේ නැහැ. ලිපිය ලියන්නේ එවැනි වැඩ සටහනක් කියන්නේ මොන වගේ එකක්ද කියන එක ගැන.

ඉතා කෙටියෙන් කිවුවොත් IMF වැඩසටහනක් කියා කියන්නේ ඉදිරි වසර දහයක පමණ කාලය සඳහා හදන සාර්ව ආර්ථික සැලසුමක්. එයින් මුල් වසර හතරක පමණ කාලයට වැඩි අවධානයක් ලැබෙනවා.

IMF වැඩසටහනක හිටියත් නැතත් ඕනෑම රටක් මේ වගේ සැලසුම් හදනවා. හැම වසරකම ඒ සැලසුම් යාවත්කාලීන කරනවා. IMF වැඩසටහනක් මෙවැනි සාමාන්‍ය වැඩ සටහනකින් වෙනස් වෙන්නේ කරුණු දෙකක් නිසා. පළමුවැන්න මේ කාලය තුළ IMF එකෙන් ණය මුදලක් ලැබීම. දෙවැන්න අදාළ සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ සමඟ IMF එක එකඟ වීම. ඔය කරුණු දෙක හැරුණු විට මෙතැන තියෙන්නේ රටක් කොහොමටත් කරන දෙයක්.

සාර්ව ආර්ථික සැලසුමක් කියා කියන්නේ කුමක්ද?

කිසියම් රටක ප්‍රධාන සාර්ව ආර්ථික විචල්‍යයන් ගණනාවක් තියෙනවනේ. උදාහරණ විදිහට දළ ජාතික නිෂ්පාදිතය, විරැකියා අනුපාතය, උද්ධමනය, විණිමය අනුපාතය, ආනයන, අපනයන, ශ්‍රමික ප්‍රේෂණ වගේ ජංගම ගිණුමට එන යන විදේශ විණිමය ප්‍රවාහ, ඒ විදිහටම ප්‍රාග්ධන ගිණුමට යන එන විදේශ විණිමය ප්‍රවාහ, මුදල් සැපයුම, පොලී අනුපාතික, දේශීය ඉතිරි කිරීම්, රාජ්‍ය ආදායම්, රාජ්‍ය වියදම්, දේශීය හා විදේශීය රාජ්‍ය ණය, පෞද්ගලික අංශයේ ණය ආදිය. ලැයිස්තුව තව දිගයි. 

පෙර වසරක ඔය වගේ සාර්ව ආර්ථික විචල්‍යයන් හැසිරුණු ආකාරය පිළිබඳ සංඛ්‍යාලේඛණ හදන එක සාපේක්ෂව ගොඩක්ම අමාරු වැඩක් නෙමෙයි. නමුත්, මේ විචල්‍යයන් අනාගතයේ හැසිරෙනු ඇති ආකාරය පුරෝකථනය කරන එක ඉතාම අසීරු වැඩක්. සාර්ව-ආර්ථික සැලසුමක පළමු පියවර ඉදිරි වසර ගණනාවක් සඳහා හැකි තරම් නිවැරදි පුරෝකථනයක් හදන එක.

මේ විදිහට හදන පුරෝකථනයන් හරියටම හරි කියලා කාටවත් සහතික වෙන්න බැහැ. නමුත්, වැරදියි කියලා නිගමනය කරන එක ඊට වඩා පහසුයි. මොකද මේ එක් එක් විචල්‍යය අතර තිබිය යුතු සංකීර්ණ සම්බන්ධතා ඒ විදිහට පේන්න නැත්නම් පුරෝකථන වැරදි බව ඉතාම පැහැදිලියි. 

- මුදල් සැපයුම වැඩි කළාම ඉදිරි වසර වලදී උද්ධමනය ඉහළ යනවා

- පොලී අනුපාතික වැඩි කළාම ආර්ථික වර්ධනය අඩු වෙනවා 

- ආර්ථික වර්ධනය අඩු වුණාම විරැකියා අනුපාතය ඉහළ යනවා 

- ආර්ථික වර්ධනය අඩු වුණාම රාජ්‍ය ආදායම් අඩු වෙනවා 

- උද්ධමනය වැඩි වෙද්දී (යම් මට්ටමක් දක්වා) රාජ්‍ය ආදායම් වැඩි වෙනවා 

- විණිමය අනුපාතය වෙනස් වෙද්දී ආනයන අපනයන වෙනස් වෙනවා 

ඔය වගේ සාමාන්‍යයෙන් "විය යුතු" දේවල් ගණනාවක් තිබෙනවා. මූලික පුරෝකථන නිවැරදිනම් එම පුරෝකථන වලින් මේ විය යුතු දේවල් නිරූපණය වෙන්න ඕනෑ. සාර්ව ආර්ථික වැඩ සටහනක් හදන එකේ පළමු පියවර දැනට තිබෙන තත්ත්වයන් මත පදනම්ව නිවැරදි කෙසේ වුවත් වැරදි පැහැදිලිව පේන්න නැති අනාගත පුරෝකථනයක් හදා ගන්න එකයි. සාර්ව ආර්ථික විචල්‍යයන් අතර සම්බන්ධතා වල තිබෙන සංකීර්ණ ස්වභාවය නිසා මෙය ලේසි වැඩක් නෙමෙයි. IMF වැඩ සටහනක් හදද්දී IMF එකේ නිලධාරීන් විසින්ද මෙවැනි මූලික පුරෝකථන (baseline predictions) පරීක්ෂා කරලා වැරදි පෙනෙන්න ඇත්නම් නිවැරදි කරනවා.

ඊට පස්සේ දෙවන පියවර. ඒ කියන්නේ අනාගතයේ වෙන්න තිබෙන දේවල් සැලසුම් සහගත ලෙස වෙනස් කරන එක. හැබැයි මේ විදිහට වෙනස් කරන්න පුළුවන් විචල්‍ය තිබෙන්නේ සීමිත ප්‍රමාණයක් පමණයි. 

රජයට පුළුවන් රාජ්‍ය ආදායම් (බදු) හා රාජ්‍ය වියදම් වෙනස් කරන්න. ඒ වගේම අයවැය හිඟයක් ඇති විට ණය ගන්නේ කාගෙන්ද කියන එක තීරණය කරන්න. මේවා වැටෙන්නේ රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති යටතට. අනෙක් පැත්තෙන් මහ බැංකුවට පුළුවන් මුදල් හා විණිමය ප්‍රතිපත්ති තීරණය කරන්න. ඒ කියන්නේ පොලී අනුපාතික, මුදල් සැපයුම, විණිමය අනුපාතය වගේ දේවල් පාලනය කරන්න. 

ඔය වගේ වෙනසක් කළ ගමන් ඉදිරි කාලය හා අදාළ අනෙක් හැම විචල්‍යයක්ම වෙනස් වෙනවා. ඒ වෙනස් වූ අනාගත තත්ත්වය පවතින තත්ත්වය සේ සලකලා ලබන වසර තුළ ගන්න අදහස් කරන මුදල් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති තීරණ ගැනත් දැන්ම නිගමනයයකට එන්න පුළුවන්. ඔය ක්‍රමයට ඉදිරි වසර ගණනාවක කාලය තුළ ආර්ථිකය ස්ථාවර කරන ආකාරය සැලසුම් කරන්න පුළුවන්.

පවතින තත්ත්වයන් යටතේ අනාගත පුරෝකථන සියල්ල හරියටම හරි වුනත් විචල්‍යයන්ගේ ඇත්ත හැසිරීම ඒ විදිහටම සිදු වෙන්නේ නැහැ. ඒ, මේ විචල්‍යයන්ගේ හැසිරීම තීරණය කරන්නේ රජය හා මහ බැංකුව විසින් පමණක් නොවන නිසා. රටේ අනෙකුත් අය කරන හැම දෙයක්ම අඩු වැඩි වශයෙන් මේ විචල්‍යයන්ට බලපෑමක් කරනවා. රටෙන් පිට සිදුවන දේවල් ඊට වඩා බලපෑම් කරනවා. රට ඇතුළේ හා රටින් පිට සිදුවන ස්වභාවික වෙනස්කම් වලිනුත් බලපෑම් සිදු වෙනවා. ඒ වගේ දේවල් රජයට හෝ මහ බැංකුවට වෙනස් කරන්න බැහැ. කළ හැක්කේ ඒ වගේ හේතු නිසා සාර්ව ආර්ථික විචල්‍යයන් සැලසුමෙන් පිට යද්දී මුදල් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති මගින්ම එම බලපෑම් නිශේධනය කරමින් කලින් සැලසුම් කළ ගතික සමතුලිතතාවය පවත්වාගෙන යාම පමණයි.

මේ දෙක ගත්තත්, රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති මුදල් ප්‍රතිපත්ති තරම්ම නම්‍යශීලී නැහැ. මුදල් ප්‍රතිපත්ති දිනපතා වුනත් සුළුවෙන් හෝ වෙනස් කරන්න පුළුවන්. නමුත් රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති අඩු වශයෙන් වසරක කාලයක් සඳහා සැලසුම් කෙරෙනවා. ඒ නිසා, සාර්ව ආර්ථික සැලසුමක් සකස් කරද්දී මුදල් හා විණිමය ප්‍රතිපත්ති සැලසුම් කරන්නේ රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති සැලසුම් කළාට පසුවයි. පවතින අනෙකුත් තත්ත්වයන් එසේම පවතිනු ඇතැයි යන පදනම මත මුලින්ම රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති සැලසුම් කරනවා. ඊට පස්සේ එම රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිද පවතින තත්ත්වය ලෙස සලකා මුදල් හා විණිමය ප්‍රතිපත්ති තීරණය කරනවා.

සැලසුම හැදුවට පස්සේ රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිය පොඩ්ඩක් සැලසුමෙන් පිට පැන්නොත් හරි අනෙකුත් තත්ත්වයන් පොඩ්ඩක් වෙනස් වුනොත් හරි මුදල් ප්‍රතිපත්තිය සීරුමාරු කරලා නැවත සැලසුම ඇතුළට එන්න පුළුවන්. හැබැයි ලොකු වෙනසක් වුනොත් මේ වැඩේ කරන්න අමාරුයි.

සාමාන්‍යයෙන් රටකට IMF එකේ උදවු ගන්න වෙන්නේ මහ බැංකුවට පමණක් තනියම ගොඩ දාන්න බැරි තරමට රටේ ආර්ථිකය අස්ථාවර වුනහමයි. එහෙම වෙන්න පුළුවන් හේතු දෙකක් තිබෙනවා. එකක් අනපේක්ෂිත ස්වභාවික හෝ බාහිර කම්පනයක් ආ විට. වසංගතයක්, ස්වභාවික ආපදාවක්, ජාත්‍යන්තරව සිදු වන තෙල් මිල වැඩි වීම වැනි දෙයක් වෙන්න පුළුවන්. මේ වගේ කම්පනයක බලපෑම ස්වභාවයෙන්ම තාවකාලිකයි. ඒ නිසා, IMF එකෙන් මේ වගේ හදිසි අවස්ථාවක දෙන ණයක් ඉතා පහසුවෙන්ම පසුව ආපසු ගෙවන්න පුළුවන්. 

දෙවන හේතුව රටේ රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිය පිටපොට පැනීම. පොඩි වෙනසක් මහ බැංකුවට කළමනාකරණය කරගත හැකි වුවත් ලොකු වෙනසක් කළමනාකරණය කරගන්න බැහැ. ඒ වගේම, බොහෝ විට මේ වගේ පිටපොට පැනීම් අහම්බයන් නෙමෙයි. සැලසුම්සහගත ලෙස රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිය නිවැරදි කර නොගත්තොත් ආර්ථිකය ස්ථාවර කරන්න බැහැ. 

රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිය අවුල් කරගන්නවා වගේම මහ බැංකුව විසින් මුදල් හා විණිමය ප්‍රතිපත්ති අවුල් කරගෙන වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ඔය දෙවැන්න වෙන්නේ පළමුවැන්න වුනාට පස්සේ. ඒ වගේ වෙලාවක රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිය වගේම මුදල් හා විණිමය ප්‍රතිපත්තිත් නිවැරදි කර ගන්න වෙනවා. එහෙම නැතුව ආර්ථිකය ස්ථාවර කර ගන්න බැහැ. ඒ විතරකුත් මදි. ඒ ප්‍රතිපත්ති වසර ගණනාවක් එක දිගට පවත්වාගෙන නොගියොත් ආර්ථිකය නැවත හරි පාරට වැටෙන්නේ නැහැ. 

ඔය වගේ වෙලාවක IMF එක විසින් ණයක් දෙන විට තත්ත්වය ස්වභාවික හෝ බාහිර කම්පනයක් නිසා ආර්ථිකය අස්ථාවර වීමකදී තත්ත්වයට වඩා වෙනස්. ණය දුන්නා කියලා ආර්ථිකය ඉබේටම ස්ථාවර වෙන්නේ නැහැ. රටේ බලධාරීන් විසින් සක්‍රිය ලෙස මැදිහත් වී ආර්ථිකය ස්ථාවර කර ගත යුතුයි. එහෙම නැත්නම් දුන්න ණය ආපසු ගන්න වෙන්නේ නැහැ. ඒ නිසා, මේ පළමුව මේ වැඩේ කරන විදිහ IMF එකට පෙන්වන්න ඕනෑ. ඒ වැඩ පිළිවෙළ එක්ක IMF එක එකඟ වෙන්න ඕනෑ. ඉන් පසුව, ඒ වැඩ පිළිවෙළ වෙනස් නොකර ක්‍රියාත්මක කරන බවට IMF එකත් එක්ක ගිවිසුම්ගත වෙන්න ඕනෑ.

සාමාන්‍ය තත්ත්වය ඕක. රටේ රාජ්‍යමූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති නිවැරදි කරගත් විට වසර තුන හතරකින් ආර්ථිකය ස්ථාවර කර ගන්න පුළුවන්. ඒ විදිහට ආර්ථිකය ස්ථාවර වන තුරු ඇදගන්න තමයි IMF ණය දෙන්නේ. 

හැබැයි දැන් ලංකාවේ තත්ත්වය මේ සාමාන්‍ය තත්ත්වය නෙමෙයි. රටේ රාජ්‍යමූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති නිවැරදි කරගෙන IMF ණය ගත්තත් රටේ ආර්ථිකය ස්ථාවර කරන්න බැහැ. ඒක කරන්නනම් අනිවාර්යයෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්නම වෙනවා. 

මේ වෙද්දී වසර හතරක කාලයක් තුළ රටේ ආර්ථිකය ස්ථාවර කළ හැකි වැඩ පිළිවෙළක් හදා තියෙනවා. එයට IMF එකේ නිලධාරී මට්ටමේ අනුමැතියද ලැබී තිබෙනවා. වැඩසටහන ගැන ඊට වඩා වැඩි විස්තර කිසිවක් මම දන්නේ නැහැ. හැබැයි එක දෙයක් ස්ථිරවම කියන්න පුළුවන්. මෙවැනි වැඩ සටහනක් හැදිය හැක්කේ ණය ප්‍රතිව්‍යුහගත කරන ආකාරය ගැන උපකල්පනයක් කිරීමෙන් පසුව පමණයි. ඒ කියන්නේ ණය වලින් කොපමණක් කපා හරිනවාද, ඉතිරි කොටස ගෙවන්නේ කවදාද වැනි දේවල් "පවතින තත්ත්වය" ලෙස සලකලා පමණයි.

මේක සාමාන්‍ය IMF වැඩ සටහනකදී මුහුණ දෙන්න සිදු නොවෙන සංකීර්ණ තත්ත්වයක්. ණය ප්‍රතිව්‍යුහගත කරන ආකාරය හරියටම තීරණය වෙන්නේ ණයහිමියන් එක්ක කතා කරලා එකඟතාවයකට ආවට පස්සේ. නමුත්, ණයහිමියන් එක්ක සාකච්ඡාවක් පටන් ගන්න කලින් ඔවුන්ට පෙන්වීම සඳහා ස්ථායීකරණ වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා. ස්ථායීකරණ වැඩපිළිවෙළක් හැදිය හැක්කේ ණය ප්‍රතිව්‍යුහගත කරන ආකාරය ගැන උපකල්පනයක් කිරීමෙන් පසුව පමණයි. සාකච්ඡාවෙන් පසුව ඇතිවන එකඟතාවය ඒ උපකල්පන වලට වඩා ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ හදපු, එකඟ වුනු IMF වැඩසටහන බොහෝ විට නැවත සංශෝධනය කරන්න වෙනවා කියන එකයි.

මීට පෙර අවස්ථා වල IMF වැඩසටහන් කලින් ප්‍රසිද්ධ කළාද කියලා මම දන්නේ නැහැ. බොහෝ විට එවැන්නක් සිදු වී නැතුව ඇති. රටටම බලපාන මේ වගේ දෙයක් පාරදෘශ්‍ය ලෙස කරන එක හොඳයි කියා තර්ක කරන්නත් පුළුවන්. නමුත්, වෙනදා කෙසේ වෙතත් මේ පාරනම් මේ වැඩසටහන ප්‍රසිද්ධ කරන එක කොහොමටවත්ම කරන්න බැහැ. ඒ ඇයි? 

අපි හිතමු වැඩ සටහන හදලා තියෙන්නේ 20%ක ණය කපා හැරීමක් කළ හැකියි කියලා උපකල්පනය කරලා කියලා. ඕක කරන්නනම් ණයහිමියන්ගෙන් ඊට වැඩි ණය කපා හැරීමක් (30%ක් කියමු) ඉල්ලන්න වෙනවා. අන්තිමට 20%කට කැමති කරගන්න පුළුවන් වෙන්නේ 30%කින්වත් පටන් ගත්තොත් පමණයි. දැන් අපි හිතමු 20%ක ණය කපා හැරීමක් භාර ගන්න ලංකාව සූදානම් කියන එක ප්‍රසිද්ධ වුනා කියලා. ඊට පස්සේ ණයකාරයෝ 20%ට කැමති වෙයිද? මේක උදාහරණයක් පමණයි. ඔය සංඛ්‍යා පස්සේ පන්නන්න එපා.

ආණ්ඩුව විසින් ඉදිරිපත් කරපු අයවැය IMF වැඩසටහනේම කොටසක් කියන එක කාට වුනත් පැහැදිලියිනේ. කෙටියෙන් කිවුවොත්, මේ අයවැයෙන් කරන්නේ ණය වෙලා සහන දෙන එක. බදු ආදායම් ටිකක් වැඩි කරගෙන වුනත් වියදම් ඊටත් වඩා වැඩි වෙනවා. කියන විදිහට බැංකු අංශයෙන් ණය ගන්න සූදානමක් නැහැ. ඒ කියන්නේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට හා බැංකු නොවන ව්‍යාපාරිකයන්ට විශාල ලෙස භාණ්ඩාගාර බිල්පත් විකුණන්න වෙනවා. මේ වැඩේ කරන්න පුළුවන් වෙයිද?

ස්ථායීකරන වැඩපිළිවෙළ අනුව දේශීය ණයද ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත බවට රාවයක් පැතිරී තිබෙනවා. මේ කතාවේ ඇත්තක් තියෙනවද කියලා මම දන්නේ නැහැ. කතාව ඇත්තනම් එයින් කියැවෙන්නේ භාණ්ඩාගාර බිල්පත් වල සල්ලි දමන එකේත් අවදානමක් තියෙනවා කියන එකයි. කතාව ඇත්ත වුනත් බොරු වුනත් මේ කතාව නිසා දැනටමත් විශාල බලපෑමක් වී තිබෙන බව පේනවා.

අද වෙන්දේසියට ඉදිරිපත් කළ රුපියල් බිලියන 75ක බිල්පත් ප්‍රමාණයෙන් විකුණා තිබෙන්නේ රුපියල් බිලියන 10.27ක බිල්පත් ප්‍රමාණයක් පමණයි. එය හොඳ ලකුණක් නෙමෙයි.

Tuesday, August 30, 2022

අතුරු අයවැය


අතුරු අයවැයක් ඉදිරිපත් කර තිබෙනවා. කතා කළ යුතු ගොඩක් දේ ඒ තුළ තිබුණත්, අයවැයක වැදගත්ම දෙය අය හා වැයයි. ඒ නිසා, එතැනින් පටන් ගනිමු. 

2022 අපේක්ෂිත ආදායම - රුපියල් බිලියන 2,094යි.

2022 අපේක්ෂිත වියදම - රුපියල් බිලියන 4,427යි 

2020 අපේක්ෂිත අයවැය හිඟය - රුපියල් බිලියන 2,333යි.

සාමාන්‍යයෙන් ලංකාවේ අයවැය ඇස්තමේන්තු කියා කියන්නේ නිකම්ම ඉලක්කම් ටිකක් පමණයි. විශේෂයෙන්ම ආදායම් ඇස්තමේන්තු කියන්නේ බොරුවට වැඩියෙන් පෙන්වන ගණනක්. මෙවර එය එසේ නොවන බවට කිසිසේත්ම සහතික විය නොහැකි වුවත්, මේ ඇස්තමේන්තු පෙර අයවැය ඇස්තමේන්තු වලට සාපේක්ෂව තරමක් යථාර්ථවාදී බව පෙනෙනවා. 

වසර මුල ඉදිරිපත් කළ ඇස්තමේන්තුව අනුව 2022 අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 2,223ක්. බදු වැඩි කිරීමෙන් පසුවත් අලුත් ඇස්තමේන්තුව ඊට වඩා අඩු එකක්. ඉලක්කය රුපියල් බිලියන 2,223ක් වුනත්, පළමු මාස පහ ඇතුළත එකතු වී තිබෙන්නේ රුපියල් බිලියන 813ක් පමණයි. ඇස්තමේන්තුවේ ඉලක්කයට යන්නනම් අවසන් මාස හත තුළ තවත් රුපියල් බිලියන 1,410ක් එකතු කර ගත යුතුයි. එවැනි මුදලක් එකතු වීමේ ඉඩක් කොහොමවත්ම තිබුණේ නැහැ.

සංශෝධිත ඇස්තමේන්තු අනුව, ඉතිරි මාස හත ඇතුළත රුපියල් බිලියන 1,281ක් එකතු විය යුතුයි. පළමු මාස පහේ අනුපාතය අනුව බැලුවොත් එකතු වෙන්නේ රුපියල් බිලියන 1,138ක් පමණයි. ඒ ගණන තවත් රුපියල් බිලියන 143කින් වැඩි කර ගන්න එක අසීරු වුවත් ප්‍රායෝගික ඉලක්කයක්. 

මුල් ඇස්තමේන්තුව අනුව වියදම රුපියල් බිලියන 3,851ක්. පළමු මාස පහේ වියදම රුපියල් බිලියන 1,449ක්. ඒ අනුපාතය අනුව බැලුවොත්නම් වියදම රුපියල් බිලියන 3,478කට සීමා විය යුතුව තිබුණා. වර්තන වියදම් අඩු වී නොතිබුණත් ආයෝජන වියදම් විශාල ලෙස සීමා කර තිබීම මේ වෙනසට හේතුවයි. 

සංශෝධිත ඇස්තමේන්තු අනුව, වසරේ වියදම රුපියල් බිලියන 4,427 දක්වා ඉහළ යනවා. මේ වැඩිවීමට ප්‍රධානම හේතුව සහනාධාර ඇස්තමේන්තුව රුපියල් බිලියන 1,021 දක්වා විශාල ලෙස වැඩි කර තිබීමයි. පොලී වියදම්ද ඉහළ ගොස් තිබෙන අතර ආයෝජන වියදම් ඇස්තමේන්තුවත් කලින් ඇස්තමේන්තුවට වඩා වැඩියි. 

ඉදිරිපත් කර තිබෙන සැලසුම අනුවනම් මුළු අයවැය හිඟයම පියවා ගන්න යන්නේ බැංකු අංශයෙන් ණය නොගෙන. බැංකු අංශයෙන් අරගෙන තිබෙන ණය වලින් කොටසක් ආපසු ගෙවීමටද නියමිතයි. 

ඇස්තමේන්තු එසේ වුවත්, අයවැය කතාවේ මෙහෙම කොටසකුත් තිබෙනවා.

"කෙසේ වෙතත්, දුර්වල රාජ්‍ය ආදායම සහ අයවැයේ ශුද්ධ විදේශ මූල්‍යනයේ (Net Foreign Financing) හිඟකම අනුව, බදු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මගින් රජයේ මුදල් ප්‍රවාහය යහපත් වන තුරු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන හරහා අයවැය සඳහා විදේශ මූල්‍යනය විවෘත වන තෙක්, මහ බැංකුවෙන් සීමිත මුදල් ප්‍රමාණයක් ලබා ගැනීම වළක්වන්නට අපහසුයි."

රුපියල් බිලියන 2,333ක් වන වසරේ ඇස්තමේන්තුගත අයවැය හිඟයට අමතරව වසර තුළ රුපියල් බිලියන 1,510ක ණය වාරික ප්‍රමාණයක් ආපසු ගෙවීමටද තිබෙනවා. මේ අනුව වසර තුළ සොයා ගත යුතු මුළු මුදල රුපියල් බිලියන 3,844ක්. 

බැංකු අංශයෙන් ණය නොගෙන හෝ ඉතා අඩුවෙන් ණය ගෙන මේ හිඟය පියවනවා කියන්නේ පොලී අනුපාතික තවත් කාලයක් ඉහළ මට්ටමක තියෙනවා කියන එකයි. උද්ධමනය අඩු වෙන තුරු පොලී අනුපාතික අඩු නොවෙන එක හොඳයි.

අතුරු අයවැයේ හොඳ යෝජනා ගණනාවක්ම තිබෙනවා. වයස අවුරුදු 18ට වැඩි හැම කෙනෙකුටම බදු සඳහා ලියාපදිංචි වීම අනිවාර්ය කිරීම ගොඩක් හොඳ යෝජනාවක්. රාජ්‍ය ණය කළමනාකරණය මහ බැංකුවෙන් ගලවලා වෙනම ආයතනයක් හදන එකත් හොඳ යෝජනාවක්. හැබැයි මේ එක දෙයක්වත් සිදුවෙනකම් විශ්වාස නැහැ. 

අගෝස්තු උද්ධමනය 64.3% මට්ටමේ රැඳී තිබෙනවා. එය හොඳ ලකුණක්. බොහෝ විට සැප්තැම්බර් මාසයෙන් පසුව උද්ධමනය අඩුවෙන්න පටන් ගන්න ඉඩ තිබෙනවා. දැන් තත්ත්වය අනුව උද්ධමනය 70% නොඉක්මවන්න පුළුවන්.

නිල නොවන තොරතුරු අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නිලධාරී මට්ටමේ එකඟතාවක් පිළිබඳ නිවේදනය ඉතා ඉක්මණින් නිකුත් වීමට නියමිතයි. ඒ සමඟම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යාධාරයක් පිළිබඳ බලාපොරොත්තුවක්ද තිබෙනවා. එය එසේනම් නරකම තත්ත්වය මේ වෙද්දී පහුවෙලා. 

Friday, June 24, 2022

ඒක පුද්ගල ණය රුපියල් මිලියනය ඉක්මවයි!


ශ්‍රී ලංකා රජය විසින් විදේශ ණය ගෙවීම පැහැර හරින බව නිවේදනය කිරීමට පෙර ගෙවුණු අවසන් මාසය වූ 2022 මාර්තු මාසය අවසානයේදී මධ්‍යම රජයේ ණය ප්‍රමාණය පිළිබඳ සංඛ්‍යාලේඛණ මේ වන විට ප්‍රකාශිතව තිබෙනවා. එම ප්‍රමාණය රුපියල් බිලියන 21,696.6ක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංඛ්‍යාලේඛණ අනුව මේ වන විට ලංකාවේ ජනගහණය මිලියන 21.59ක්. ඒ අනුව, මධ්‍යම රජයේ ණය ප්‍රමාණය රටේ ජනගහණයෙන් බෙදූ විට එක් අයෙකුට වැටෙන ප්‍රමාණය රුපියල් මිලියනය ඉක්මවනවා. හතර දෙනෙකු සිටින පවුලකටනම් රුපියල් මිලියන හතරක් පමණ.

මේ ආණ්ඩුව බලයට පත් වන විට (2019 අවසානයේදී) ලංකාවේ මධ්‍යම රජයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 13,031.5ක් පමණයි. ඒ අනුව, පසුගිය දෙවසරකට මඳක් වැඩි කාලය තුළ රුපියල් ට්‍රිලියන 8.7කින් පමණ මධ්‍යම රජයේ ණය ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට මෙම ප්‍රමාණය තවත් රුපියල් ට්‍රිලියන 2කින් පමණ ඉහළ ගොස් තිබිය යුතු බව අපේ ඇස්තමේන්තුවයි. මෙම සංඛ්‍යාලේඛණ වලට ඇතුළත් වන්නේ මධ්‍යම රජයේ ණය ප්‍රමාණය පමණයි. ශ්‍රී ලංකන් ගුවන් සේවය, විදුලිබල මණ්ඩලය හා තෙල් සංස්ථාව වැනි රාජ්‍ය ආයතන වල ණය මීට ඇතුළත් නැහැ. 

මීට පෙර ලිපියක සංඛ්‍යාලේඛණ සමඟම පෙන්වා දුන් පරිදි ශ්‍රී ලාංකිකයන්ගෙන් අවම වශයෙන් 90%ක්ම කරන්නේ තමන් සෘජු ලෙස හෝ වක්‍ර ලෙස රජයට ගෙවන බදු ප්‍රමාණයට වඩා වැඩියෙන් රජයෙන් ප්‍රතිලාභ ලබන එකයි. එසේ නොකරන්නේ ඉහළම ආදායම් ලබන 10%කට නොවැඩි පිරිසක් පමණයි. 

රජයේ වාර්ෂික බදු ආදායම රුපියල් ට්‍රිලියන 1.5ක් පමණ. මධ්‍යම රජයේ සමුච්ඡිත ණය ප්‍රමාණය මේ වන විට රුපියල් ට්‍රිලියන 24කට ආසන්න වී තිබිය යුතුයි. විදේශ ණය ආපසු ගෙවීම රජය විසින් මේ වන විටද පැහැර හැර ඇති අතර ඒ හේතුව නිසා අයවැය හිඟය පියැවීමට අලුතෙන් තවත් විදේශ ණය ගැනීම වසර ගණනාවක් යන තුරු කළ නොහැකි දෙයක්. දේශීය ණය ලබා ගැනීම සඳහා අවම වශයෙන් 20%ක පොලියක් ගෙවිය යුතුව තිබෙනවා. 

කොයි තරම් බදු වැඩි කළත් රජයේ බදු ආදායම රුපියල් ට්‍රිලියන 2.4කට වඩා වැඩි කර ගන්න අමාරුයි. මොන විදිහකින් හෝ ආදායම රුපියල් ට්‍රිලියන 2.4 දක්වා වැඩි කරගත්තත් එම ප්‍රමාණය මධ්‍යම රජයේ ණය වලින් 10%ක් පමණයි. ඒ කියන්නේ ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලී වියදම 10% වුනත්, රජයට ලැබෙන ආදායමෙන් තියෙන ණය වල පොලී ගෙවගෙවා ඉන්නවා මිසක් වෙන කිසිම දෙයක් කරන්න බැහැ. ඔන්න ඕකයි දැන් තියෙන තත්ත්වය.

ඔය විදිහට නොකියා තනි පවුල් ඒකකයකට ආදේශ කළාම කතාව වඩා හොඳින් තේරෙයි. හතර දෙනෙක් ඉන්න පවුලක් මොන විදිහෙන් හෝ තමන්ගේ ආදායමෙන් වියදම් පිරිමහගෙන ජීවත් වන අතරම සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කර රජයට ණය ගෙවන්න රුපියල් මිලියන හතරක් එකතු කර දිය යුතුයි. මේ ගොඩක් පවුල් වල මාසික ආදායම රුපියල් පණස් දහස නොඉක්මවන බවත් අමතක කරන්න එපා. ඒ කියන්නේ ඔය වැඩේ මොන විදිහකින්වත් කළ හැකි වැඩක් නෙමෙයි.

පවතින තත්ත්වය යටතේ ලංකාවේ සමස්ත රාජ්‍ය යාන්ත්‍රනයම කඩා වැටීමේ අනතුර බැහැර කළ හැකි එකක් නෙමෙයි. තියෙන්නේ තේරීම් දෙකයි. එකක් හානි අවම කර ගනිමින් සැලසුම් සහගතව කඩා වැටෙන්න ඉඩ දීම. අනෙක් එක ඉබාගාතේ කඩා වැටෙන තුරු බලා සිටීම. පවතින තත්ත්වය තුළ 2019ට හෝ ආපසු යාම ඉතාම දුරස්ථ ඉලක්කයක්!

(Image: https://www.newindianexpress.com/world/2022/mar/16/sri-lanka-battling-grave-economic-crisis-plans-to-look-beyond-beijing-2430794.html)

Tuesday, June 7, 2022

බදු කැපිල්ලේ වාසිය ගියේ කාටද?

දෙවසරකට පෙර ආණ්ඩුව විසින් සිදු කළ බදු අඩු කිරීම වත්මන් ආර්ථික අර්බුදයට හේතු වූ බව දැන් පොදුවේ පිළිගැනෙන කරුණක්. මේ වන විට එම බදු සංශෝධනය යම් පමණකින් ආපසු හරවා තිබෙනවා. එහෙත්, මුළුමනින්ම නෙමෙයි. බදු වැඩි කිරීම් වලින් පසුවද රජයේ ආදායම් අවශ්‍ය පමණ වැඩි වන එකක් නැහැ. ඒ ගැන අපි පසුව වෙනම කතා කරමු.

පහත තිබෙන්නේ 2020 බදු අඩු කිරීම් එක් එක් ආදායම් කාණ්ඩයට බලපෑ ආකාරයයි. මෙය සකස් කිරීමේදී සියලු වක්‍ර බදු හා රජය අය කරන ගාස්තු පරිභෝජනයට සමානුපාතික සේ සලකා තිබෙනවා. ආදායම් බදු අවම ආදායම් බදු සීමාවෙන් උඩ පිරිස් විසින් ගෙවූ බව උපකල්පනය කර තිබෙනවා. 

ජනප්‍රිය මතය කුමක් වුවත් ඉහළම ආදායම් කාණ්ඩයට බදු කැපිල්ලෙන් ලැබුණු වාසිය අනෙක් අයට ලැබුණු වාසියට වඩා අඩුයි. බදු කැපිල්ලෙන් වැඩිම ප්‍රතිලාභ ලැබුවේ මාසික ආදායම රුපියල් 41,667 සිට රුපියල් 250,000 දක්වා වූ පිරිසයි. කලින් සෘජු බදු ගෙවූ ඔවුන් දැන් ගෙවන්නේ වක්‍ර බදු පමණයි. බදු කැපිල්ල නිසා 2019දී 1,550,000ක් වූ බදු ගෙවන්නන් ප්‍රමාණය 2021 වන විට 412,000 දක්වා අඩු වුනා.

බදු කැපිල්ලට පෙර 2019 වසරේදී රටේ නිවාස ඒකක වලින් 70%ක් රජයෙන් ලබන ප්‍රතිලාභ වලට වඩා අඩුවෙන් බදු ගෙවමින් අනෙක් අයගේ වියදමෙන් සුබසාධනය වුනා. ඉතිරි 30% ශුද්ධ වශයෙන් රජයට බදු ගෙවුවා. බදු කැපිල්ලෙන් පසුව රටේ නිවාස ඒකක වලින් 90%ක්ම රජයෙන් ලබන ප්‍රතිලාභ වලට වඩා අඩුවෙන් බදු ගෙවමින් අනෙක් අයගේ වියදමෙන් සුබසාධනය වෙනවා. ශුද්ධ වශයෙන් රජයට බදු ගෙවන්නේ ඉහළම 10% පමණයි. 



Monday, June 6, 2022

බදු ගෙවන්නේ කවුද?

රටක බදු ප්‍රතිපත්තිය කුමක් විය යුතුද කියන එක දේශපාලනික කරුණක්. දේශපාලනික කරුණු වලට හැමෝටම එකඟ වෙන්න බැහැ. ඒ නිසා, ඒ වගේ දෙයක් ගැන සෘජුව අදහස් ප්‍රකාශ කරන්න මම කැමැති නැහැ. කොහොම වුනත්, මේ වගේ දෙයක් ගැන තමන්ගේ දේශපාලනික මතය හදාගන්න කලින් පවතින බදු ක්‍රමය මොන වගේ එකක්ද කියන එක ගැන හරි අවබෝධයක් අරගෙන ඉන්න ඕනෑ. 

පහත වගුවේ තියෙන්නේ එක් එක් ආදායම් කාණ්ඩය බදු ගෙවන ආකාරය හා ඒ වෙනුවෙන් ප්‍රතිලාභ ලබන ආකාරය පිළිබඳ සාරාංශයක්. මෙහි ආදායම් දශකයක් කියා කියන්නේ ලංකාවේ නිවාස ඒකක වලින් 10%ක්. ලංකාවේ මුළු නිවාස ඒකක ගණන මිලියන 5.7ක්. ඒ අනුව, එක ආදායම් දශකයකට පවුල් 570,000ක් ඇතුළත්. පළමු ආදායම් දශකයට අයත් වන්නේ දුප්පත්ම පවුල් 10%. දෙවැන්න ඊළඟ පවුල් 10%. පැහැදිලියිනේ.


මෙහි එක් එක් ආදායම් දශකයේ මධ්‍යන්‍ය ආදායම 2019දී ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ ආදායම් හා වියදම් සමීක්ෂණය හරහා හොයාගත් ගණන්. එක් එක් ආදායම් කාණ්ඩයේ බදු ගෙවීම් මගේ ඇස්තමේන්තු. මේ ඇස්තමේන්තු සර්ව සම්පූර්ණ නැහැ. අදහසක් ගැනීම සඳහා පමණයි. ගණනය කරපු ක්‍රමය මේකයි. අවම ආදායම් බදු සීමාව අනුව සෘජු බදු සියල්ල ගෙවන්නේ දහවන ආදායම් දශකයේ අය. වක්‍ර බදු හා අනෙකුත් ගාස්තු සියල්ල පරිභෝජනයට සමානුපාතික සේ සලකා ආදායම් කාණ්ඩ අතර බෙදා හැර තිබෙනවා. රජයේ වියදම් වල ප්‍රතිලාභ බෙදා හැරීමේදී සමෘද්ධි වියදම් පහළ 30% අතර බෙදාහැර අනෙකුත් වියදම් සියලු දෙනා අතර සම සේ බෙදා හැර තිබෙනවා. පොලී වියදම් හා ණය ගෙවීම් මෙහි ඇතුළත් නැහැ. මේ බදු වැඩි කරන්න පෙර 2021දී රජයේ ආදායම් හා වියදම්.

සාමාන්‍යයෙන් සාධාරණත්වය ගැන හිතනවානම් අඩු ආදායම් දශක වල බදු අනුපාතික අඩු විය යුතුයි. වැඩි ආදායම් දශක වල බදු අනුපාතික වැඩි විය යුතුයි. නමුත් මෙහි දැකිය හැක්කේ එහි අනෙක් පැත්ත. හැබැයි ඉහළම ආදායම් දශකය තමන්ගේ ආදායමෙන් 42%ක්ම බදු සේ ගෙවනවා. ඉහළ ධනවත් පංතියෙන් සැලකිය යුතු බදු ආදායමක් රටට එන්නේ නෑ කියන එක බොරුවක්.

ගොඩක් අය කියන්නේ ආණ්ඩුව තමන්ගෙන් හැම දෙයකින්ම බදු අය කරනවා කියලයි. නමුත් ඇත්තටම ශුද්ධ වශයෙන් බදු ගෙවන්නේ ඉහළම ආදායම් ලබන 10% පමණයි. අනෙක් හැමෝම ගෙවන බදු වලට වඩා ප්‍රතිලාභ රජයෙන් ලබාගන්නවා. පහළ ආදායම් ස්ථර වල ඉන්න 40% එහෙම ප්‍රතිලාභ ලබාගත්තට කමක් නැහැ. නමුත්, අතරමැද ඉන්න අයත් ඒ විදිහට ගෙවන බදු වලට වඩා ප්‍රතිලාභ ලැබිය යුතුද? 

Monday, May 2, 2022

වියදම් කැපිය හැක්කේ මොන විදිහටද?

ලංකාවේ රජයේ වියදම් ආදායම් වලට වඩා බොහෝ වැඩි බවත්, වත්මන් අර්බුදයට මූල හේතුව එය බවත් අප ලියන දේ කියවන අය නොදන්නා දෙයක් නෙමෙයි. ඒ කියන්නේ ප්‍රශ්නය විසඳන්නනම් ආදායම් හා වියදම් ගලපන්න වෙනවා කියන එකයි. මේ සඳහා එක්කෝ බදු වැඩි කළ යුතුයි. නැත්නම් වියදම් කැපිය යුතුයි. දැන් තිබෙන තත්ත්වය අනුව ඔය දෙකම කරන්න වෙනවා. කළ යුත්තේ කොහොමද කියන එක දේශපාලනික කරුණක්.

කොහොම කළත්, මුලින්ම කළ යුත්තේ දැන් පවතින තත්ත්වය නිවැරදිව තේරුම් ගැනීමයි. පසුගිය 2021 වසරේදී ලංකාවේ රාජ්‍ය ආදායම වැය කළේ කොහොමද?

පරිපාලන වියදම් - 13.0%

ආරක්ෂක වියදම් -17.7%

නීතිය හා සාමය - 7.8%

අධ්‍යාපනය - 21.3%

සෞඛ්‍යය - 26.6%

අනෙකුත් සුබසාධන වියදම් - 28.5%

ප්‍රජා සේවා - 3.5%

කෘෂිකර්මය හා වාරිමාර්ග - 10.1%

බලශක්ති හා ජල සැපයුම් - 6.7%

ප්‍රවාහන හා සන්නිවේදන - 21.3%

අනෙකුත් ආර්ථික සේවාවන් - 10.0%

පොලී වියදම් (දේශීය ණය) - 54.6%

පොලී වියදම් (විදේශීය ණය) - 17.4%

වෙනත් - 4.2%

එකතුව - 242.8%


ප්‍රශ්නය "පහසු කරගන්න" තවත් විස්තර ටිකක් එකතු කරන්නම්.


2020 අවසානයේදී දින-364 (වසර-1) භාණ්ඩාගාර බිල්පත් පොලිය - 5.03%

2020 අවසානයේදී නිකුත් කර තිබුණු භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්‍රමාණය - රුපියල් බිලියන 6,999.6


2021 අවසානයේදී දින-364 (වසර-1) භාණ්ඩාගාර බිල්පත් පොලිය - 8.24%

2021 අවසානයේදී නිකුත් කර තිබුණු භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්‍රමාණය - රුපියල් බිලියන 9,379.5


2022 අප්‍රේල් අවසානයේදී දින-364 (වසර-1) භාණ්ඩාගාර බිල්පත් පොලිය - 24.09%

2022 අප්‍රේල් අවසානයේදී නිකුත් කර තිබුණු භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්‍රමාණය - රුපියල් බිලියන 10,730.8


මේ අනුව මේ වසරේදී විදේශීය ණය වල පොලිය සතයක්වත් නොගෙවුවත්, දේශීය ණය ප්‍රමාණය හා පොලී අනුපාතික ඉහළ යාම හේතුවෙන් සමස්ත පොලී වියදම පමණක් සමස්ත රාජ්‍ය අදායම ඉක්මවා යා හැකියි.

අයවැය සමතුලිත කළ යුතු ආකාරය යෝජනා කිරීම ඔබට බාරයි!




වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...