වෙබ් ලිපිනය:

Showing posts with label යුරෝපය. Show all posts
Showing posts with label යුරෝපය. Show all posts

Monday, February 15, 2021

ආනයන පාලනයෙන් ආණ්ඩුව ඇණ ගනියිද?



ලංකාව මුහුණ දී සිටින ගෙවුම් ශේෂ අර්බුදය හමුවේ ආණ්ඩුව ටික කලක සිට විවිධ ආකාර වලින් ආනයන පාලනය කරමින් සිටිනවා. පසුගිය වසර තුළ ලංකාවේ ආනයන වියදම් වල අඩු වීමක් හා එහි ප්‍රතිඵලයක් ලෙස වෙළඳ ශේෂය කුඩා වීමක්ද දැකිය හැකියි. මේ අනුව, මම හිතන විදිහට පළමු වරට, ලංකාවේ වෙළඳ ශේෂය ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් ප්‍රමාණයට වඩා අඩු වී තිබෙනවා. 

තවත් පැහැදිලිව කිවුවොත් ලංකාව හැමදාම කරනවා වගේ ආනයන සඳහා අපනයන ආදායමට වඩා වැඩියෙන් වියදම් කර තිබුණත්, පසුගිය වසර තුළ එසේ වැඩියෙන් වියදම් කර තිබෙන මුදල ශ්‍රමික ප්‍රේෂණ වලින් රටට ලැබුණු මුදලට වඩා අඩු මුදලක්. කාලයක් තිස්සේම සිදු වුනු ආකාරයට ලංකාව ණයට ගත් ඩොලර් වියදම් කර භාණ්ඩ ආනයනය කරලා නැහැ. ඒ නිසා, කලින් ගත් ණය හා පොලී ගෙවන්න මිසක් ඊට අමතරව තවත් විදේශ ණය ගැනීමේ අවශ්‍යතාවයක් මතු වී නැහැ.

පළමු ප්‍රශ්නය මේ විදිහට ආනයන වියදම් පහළ ගියේ කොහොමද කියන එකයි. 2019 වසරට සාපේක්ෂව 2020 වසර තුළ ලංකාවේ ආනයන වියදම් ඩොලර් මිලියන 3,882කින් අඩු වී තිබෙනවා. මෙයින් ඩොලර් මිලියන 1,349ක් අඩු වෙලා තියෙන්නේ ඉන්ධන ආනයන වියදම් වලින්. එය කෝවිඩ් නිසා ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල අඩු වීමේ හා දේශීය ඉන්ධන ඉල්ලුම අඩු වීමේ ප්‍රතිඵලයක්. ආනයන සීමා කිරීමක සෘජු ප්‍රතිඵලයක් නෙමෙයි. තවත් ඩොලර් මිලියන 574ක් අඩු වෙලා තිබෙන්නේ රෙදිපිළි හා ඇඟලුම් කාණ්ඩයෙන්. එයට හේතුව ඇඟලුම් අපනයන ඉල්ලුම පහත වැටීම නිසා එම කර්මාන්තයට අමුද්‍රව්‍ය අඩුවෙන් අවශ්‍ය වීමයි. එයත් වසංගතය නිසා ඇති වූ තත්ත්වයක්. මේ අනුව ආනයන වියදම් අඩු වීමෙන් බාගයකටම, එනම් ඩොලර් මිලියන 1,923කටම හේතුව වසංගත තත්ත්වය මිසක් ආනයන පාලනය කිරීම නෙමෙයි.

තවත් විශාල වශයෙන් පහළ ගොස් තිබෙන ආනයන කාණ්ඩ වන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍යයි. ගොඩනැගිලි ද්‍රව්‍ය අමුද්‍රව්‍ය ආනයන වියදම් ඩොලර් මිලියන 473කින්ද, මූල ලෝහ ආනයනය ඩොලර් මිලියන 103කින්ද, යන්ත්‍රසූත්‍ර හා උපකරණ ආනයනය ඩොලර් මිලියන 317කින්ද අඩු වී තිබෙනවා. මේ අඩුවීම් වලට හේතුව ආනයන තහනමකට වඩා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ක්‍රියාකාරකම් පහත වැටීමයි. 

ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයට රාජ්‍ය අංශයේ බලපෑම ඉතා විශාලයි. පසුගිය දශක එකහමාරක පමණ කාලය තුළ රජය මුල් වී, විදේශ ණය වැය කරමින්, මහා පරිමාණ ඉදිකිරීම් කරද්දී එම කර්මාන්තය සඳහා අවශ්‍ය ආනයනද අනුරූපී ලෙස ඉහළ ගියා. මේ වෙද්දී ලංකාවේ රජයට තවදුරටත් මේ රෝල ගහන්න අමාරු වී තිබෙන නිසා රජය මුල් වී සිදු කළ ඉදිකිරීම් කටයුතු යම් තරමකින් සීමා වී තිබෙනවා. මෙයට වසංගතයේ බලපෑම යම් තරමකින් තිබුනත්, ප්‍රධාන වශයෙන්ම මෙය ව්‍යුහමය හිර වීමක් (structural bottleneck). 

මීට අමතරව පෞද්ගලික රථවාහන ආනයන වියදම් ඩොලර් මිලියන 533කින්ද, ප්‍රවාහන උපකරණ ආනයනය ඩොලර් මිලියන 248කින් අඩු වී තිබෙනවා. ආනයන පාලනයේ වැඩිම බලපෑමක් තිබෙන්නේ මේ කොටසේ. ඒ හැර කහ ආනයන තහනම වගේ සිල්ලර දේවල් ආර්ථිකයට දැනෙන දේවල් නෙමෙයි. මුළු කතාවම සාරාංශ ගත කළොත් ආනයන වියදම් අඩු වීමෙන් තුනෙන් දෙකකට පමණ හේතු වී තිබෙන්නේ වසංගතයේ බලපෑම හා ලංකාවේ රජය මුහුණ දී සිටින රාජ්‍ය මූල්‍ය අර්බුදය මිසක් විදේශ වෙළඳ ප්‍රතිපත්තිය නෙමෙයි. රටේ විදේශ වෙළඳ ප්‍රතිපත්තිය ආනයන සීමා කිරීමට හේතු වී තිබෙනවානම් එම දායකත්වය මුළු අඩු වීමෙන් 30-35% පමණ ප්‍රමාණයක් පමණයි.

අප හැම විටම පෙනී සිටින්නේ නිදහස් වෙළඳාම වෙනුවෙන්. නිදහස් වෙළඳාම වෙනුවෙන් පෙනී සිටින කෙනෙකුට ආනයන පාලනය වෙනුවෙන් පෙනී සිටින්න බැහැ. එසේ වුවත්, යම් සුවිශේෂී තත්ත්වයන් යටතේ ආනයන පාලනය වුවත් හිතකර වෙන්න පුළුවන්. ව්‍යායාම නොකිරීම හෘදයාබාධ හැදීමේ සම්භාවිතාව ඉහළ දමන නමුත් හෘදයාබාධයක් හැදී සිටින අයෙකු ව්‍යායාම කරන්නට යාමෙන් වෙන්නේ මරණය තවත් ඉක්මන් වීම වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් නරක දේවල් වුවත් හොඳ වෙන වෙලාවල් තිබෙනවා.

ජාත්‍යන්තර වෙළඳාම සඳහා බාධා අවම වීම කාර්යක්ෂමයි. එහි ප්‍රතිඵල හැම රටකටම ලැබෙනවා. එහෙත්, හැම රටක්ම බාධා ඉවත් කර තිබියදී එක රටක් පමණක් ආනයන වලට බාධා සිදු කළහොත් අනෙක් රටවලට පාඩුවක් වී එසේ බාධා කළ රටට වාසියක් ලැබෙනවා. ඒ නිසා, එක රටක් ආනයන වලට බාධා කළ විට අනෙක් රටවල්ද ඒ දෙයම කරන්න පෙළඹෙනවා. අවසානයේදී හැමෝම පරදිනවා. රටවල් සාමූහිකව ජාත්‍යන්තර වෙළඳාම සඳහා තිබෙන බාධා ඉවත් කිරීමෙන් හැමෝටම වාසියක් වෙනවා. ඒ හැර තමාගේ දේවල් ලෝකයටම අපනයනය කරමින්, කිසිම දෙයක් ආනයනය නොකර ඉන්න ප්‍රතිපත්තියක් කොයි තරම් වාසිදායක වුවත් දිගටම ක්‍රියාත්මක කළ නොහැකියි.

ලංකාවේ පැත්තෙන් ගත්තොත් අපනයන ප්‍රවර්ධනය කරන අතරම ආනයන පාලනය කිරීම රටට වාසියි. වෙන ඕනෑම රටකට වුවත් එය එහෙමයි. ආරක්ෂණවාදය රටවල් අතර ජනප්‍රිය ඒ නිසයි. එහෙත්, කිසියම් රටක් ආරක්ෂණවාදය කරා යොමු වන විටම අනෙක් පැත්තෙන් ප්‍රතිචාර එනවා. වත්මන් ලෝකයේ බොහෝ රටවල් විසින් අපනයන ප්‍රවර්ධනය කරන අතරම ආනයන පාලනය කිරීම කරන "කපටි" ක්‍රමය විණිමය අනුපාතිකය නියම මට්ටමට වඩා පහළින් තියා ගැනීමයි. චීනය මේ වැඩේට කප් ගසා සිටින රටක්. 

ලංකාව කාලයක් තිස්සේ කළේ මෙහි අනෙක් පැත්තයි. එනම් ණයට ගන්නා ඩොලර් වල උදවුවෙන් රුපියල එහි නියම වටිනාකමටත් වඩා උඩින් තබා ගැනීමයි. මෙයට පාදක වී තිබෙන දේශපාලනික හේතු මා සාකච්ඡා කර තිබෙනවා. රටට අහිතකර විදේශ විණිමය ප්‍රතිපත්තිය නිසා කාලයක් තිස්සේ ලංකාවට එන අපනයන වැඩි වී ආනයන අඩු වී තිබෙනවා. ලංකාවේ නිෂ්පාදකයින්ට අසාධාරණ තරඟයකට මුහුණ දෙන්න සිදු වී තිබෙනවා. මෙහි වාසිය ඉන්දියානු හා චීන නිෂ්පාදකයින් විසින් කාලයක් තිස්සේ ලබාගෙන තිබෙනවා.

ලංකාව ආනයන පාලනය සඳහා යොමු වන්නේ මෙවැනි පසුබිමකයි. මේ වැඩේ දිගටම කළොත් ලංකාවට අනෙක් පැත්තෙන් ප්‍රතිරෝධයක් එන එකක් නැද්ද?

මගේ පිළිතුර වන්නේ අඩු වශයෙන් කෙටිකාලීනව මෙවැනි අවදානමක් නැති බවයි. ලංකාව කිසියම් රටකින් එන ආනයන වලට බාධා කරන විට එම රටටත් ලංකාවේ අපනයන වලට බාධා කළ හැකියි. ලංකාවේ අපනයන වැඩිපුරම යන්නේ ඇමරිකාවට හා යුරෝපයටයි. නමුත්, ලංකාව ඒ රටවල් වලින් මහා ලොකු දෙයක් ආනයනය කරන්නේ නැහැ. ඒ නිසා, ලංකාවේ ආනයන පාලන ප්‍රතිපත්ති වලින් ඇමරිකාවට හෝ යුරෝපයට බලපෑමක් වෙන්නේ නැහැ. ඒ නිසා, ඒ රටවල් වලට මේ හේතුව මත පදනම්ව ලංකාවේ අපනයන වලට බාධා කිරීමේ අවශ්‍යතාවයක් ඇති වන්නේ නැහැ. මානව හිම්කම් චෝදනා මත සිදු කළ හැකි බාධා කිරීම් ආදිය මෙයට අදාළ කරුණක් නෙමෙයි. එය මෙයට සම්බන්ධයක් නැති වෙනම කරුණක්.

ලංකාව වැඩිපුරම ආනයන සිදු කරන්නේ චීනයෙන් හා ඉන්දියාවෙන්. ඒ නිසා ලංකාවේ ආනයන සීමා කිරීම් වැඩිපුරම දැනෙන්නේ චීනයට හා ඉන්දියාවටයි. එහෙත්, එහෙම කළා කියලා එකට එක කරන්න තරම් දෙයක් ඉන්දියාව හෝ චීනය ලංකාවෙන් ආනයනය කරන්නේ නැහැ. ඒ නිසා, මේ රටවල් වලට ලංකාවේ අපනයන වලට ප්‍රතිඵලදායක බලපෑමක් කිරීමේ හැකියාවක් නැහැ. මේ සුවිශේෂී තත්ත්වය නිසා, අඩු වශයෙන් කෙටිකාලීනව, ලංකාවට සෘජුව හෝ වක්‍රව ආනයන පාලනය කරන්න වගේම එයින් වාසියක් ලබා ගන්නත් පුළුවන්. එහිදී පවතින තත්ත්වය තේරුම් ගෙන එය මැනවින් කළමණාකරණය කර ගැනීම වැදගත්.

Friday, April 10, 2020

ඇමරිකාවේ කෝවිඩ් හා ලංකාවේ ආර්ථිකය

මේ වන විට ඇමරිකාවේ හා යුරෝපයේ කෝවිඩ්-19 පැතිරීම පාලනය වී තිබෙන බව පැහැදිලියි. එයින් අදහස් වෙන්නේ ඉදිරි දවස් වලදී රෝගීන් හමු නොවන බව හෝ මරණ සිදු නොවන බව නෙමෙයි. ඇමරිකාවේ කෝවිඩ්-19 මරණ ප්‍රමාණය මේ වන විට 18,000ක් පමණ වෙනවා. වොෂින්ටන් සරසවියේ ඇස්තමේන්තු අනුව, මේ මරණ ප්‍රමාණය 60,000 පමණ දක්වා ඉහළ යා හැකියි.


(Grapph: https://covid19.healthdata.org/united-states-of-america)

එහෙමනම්, කෝවිඩ්-19 පැතිරීම පාලනය වී ඇති බව කියන්නේ කොහොමද?

කිසියම් රටක කෝවිඩ්-19 පැතිරීම ආරම්භ වූ අවදියේදී ඝාතීය වර්ධනයක් දකින්න ලැබෙනවා. ඇමරිකාවේ හා යුරෝපීය රටවල් බොහොමයකම මේ තත්ත්වය දකින්න ලැබුණා. රුසියාව, ඉන්දියාව හා බ්‍රසීලය ඇතුළු ලොකු ජනගහණයක් සිටින හා ප්‍රමාද වී කෝවිඩ්-19 තර්ජනයට මුහුණ දුන් රටවල මේ වන විට මේ ඝාතීය වර්ධන තත්ත්වය දැකිය හැකියි. එහෙත්, ඇමරිකාව හා යුරෝපීය රටවල් බොහොමයක් මේ වන විට ඝාතීය වර්ධන අවදිය පසු කර රේඛීය වර්ධන අවදියකට අවතීර්ණ වී තිබෙනවා. ඒ කියන්නේ, තවමත් දිනපතා රෝගීන් වැඩි වන නමුත් දිනකට වැඩිවන රෝගීන් ගණන එන්න එන්නම වැඩි වෙන්නේ නැහැ. ලංකාවේනම් මුල සිටම දැකිය හැකිව තිබුණේ රේඛීය වර්ධනයක්.


(Grapph: https://www.worldometers.info/coronavirus/)

කලින්ම හා වේගයෙන්ම රෝගය පැතිරුණු රටවල් කලින්ම ඝාතීය වර්ධන අවදිය පසු කළා. ඒ නිසා, ඉතාලිය, ස්පාඤ්ඤය, ප්‍රංශය වැනි රටවල සිදු විය හැකි මරණ වලින් විශාල ප්‍රමාණයක් දැනටමත් සිදු වී හමාරයි. නමුත්, ටික දවසකට පෙර ඝාතීය වර්ධන අවදිය පසු කළ ඇමරිකා එක්සත් ජනපදයේ හා එක්සත් රාජධානියේ මරණ ප්‍රමාණය තවත් කිහිප ගුණයකින් වැඩි වෙයි.

තෝරාගත් රටවල් කිහිපයක සිදු විය හැකි මරණ ප්‍රමාණයන් පිළිබඳ දැනට තිබෙන (වෙනස් විය හැකි) ඇස්තමේන්තු හා දැනට වාර්තා වී ඇති මරණ ප්‍රමාණ මේ විදිහයි.

ඇමරිකා එක්සත් ජනපදය 18,000 -> 61,500
ඉතාලිය 19,000 -> 20,500
ස්පාඤ්ඤය 16,000 -> 18,500
ප්‍රංශය 12,000 -> 15,500
එක්සත් රාජධානිය 9,000 -> 37,000
ජර්මනිය 2,600 -> 7,000
නෙදර්ලන්තය 2,500 -> 18,000
බෙල්ජියම 3,000 -> 4,300

මේ ලැයිස්තුවේ තිබෙන රටවල් ලංකාවේ ඇඟලුම් මිල දී ගන්නා ප්‍රධාන රටවල්. 2018 වසරේදී මේ රටවල් ලංකාවෙන් මිල දී ගත් ඇඟළුම් වල වටිනාකම ඩොලර් මිලියන වලින් මෙහෙමයි.

ඇමරිකා එක්සත් ජනපදය 2,269
ඉතාලිය 463
ස්පාඤ්ඤය 23
ප්‍රංශය 64
එක්සත් රාජධානිය 737
ජර්මනිය 265
නෙදර්ලන්තය 130
බෙල්ජියම හා ලක්සම්බර්ග්  214

සමස්තයක් ලෙස ඩොලර් බිලියන 5 කට ආසන්න වූ ලංකාවේ ඇඟලුම් අපනයන ආදායමෙන් 90%ක් පමණම ලැබෙන්නේ ඇමරිකාවෙන්, බ්‍රිතාන්‍යයෙන් සහ යුරෝපීය සංගමයේ රටවලින්. 60%කට වඩා ලැබෙන්නේ එක්සත් රාජධානියෙන් හා ඇමරිකා එක්සත් ජනපදයෙන්.

කෝවිඩ්-19 පැතිරීමත් සමඟම මේ රටවල මිනිස්සු ගෙවල් වලට වී ඉන්නවා. මේ තත්ත්වය හෙමින් මිසක් එකවර වෙනස් වෙන එකක් නැහැ. මේ වගේ වෙලාවක මිනිස්සුන්ට අලුතින් ඇඳුම් මිල දී ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අලුත් ඇඳුම් ඇඳලා කොහේ කියලා යන්නද?

ඇමරිකාවේ හා යුරෝපයේ කෝවිඩ්-19 පැතිරීම ලංකාවේ ආර්ථිකයට සෘජුවම බලපානවා. චීනයේ කෝවිඩ්-19 පැතිරී චීන ආර්ථිකය දුර්වල වන විට වෙන්නේ ලංකාවේ ආනයන අඩු වී වියදම් පහළ බහින එකයි. නමුත්, ඇමරිකාවේ හා යුරෝපයේ කෝවිඩ්-19 පැතිරෙන කොට වෙන්නේ ලංකාවේ අපනයන අඩු වී ආදායම් පහළ බහින එකයි. ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ජාත්‍යන්තර බැඳුම්කර වල ආයෝජනය කරන ආයෝජකයෝ ඔය බව හොඳින්ම දන්නවා.

ඇමරිකාවේ හා බ්‍රිතාන්‍යයේ කෝවිඩ්-19 පැතිරෙන්න පටන් ගත්තේ යුරෝපයේ අනෙක් ඇතැම් රටවලට වඩා තරමක් පසුවයි. මේ රටවල් දෙකේ කෝවිඩ්-19 රෝගීන් ප්‍රමාණය ඝාතීය ලෙස වර්ධනය වුනු කාලය තුළ ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කර තිබෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වල පොලී අනුපාතිකයත් ඒ ආකාරයටම ඉහළ ගියා.

පසුගිය සතියේ ඇමරිකාව හා බ්‍රිතාන්‍යය මේ ඝාතීය වර්ධන අවදිය පහු කිරීමත් සමඟම ස්වෛරීත්ව බැඳුම්කර වල පොලී අනුපාතිකයත් ක්ෂණිකව ස්ථාවර වී තිබෙනවා. මේ අනුව, ඇමරිකාවේ හා බ්‍රිතාන්‍යයේ කෝවිඩ් පැතිරීම පාලනය වීම රුපියල ආරක්ෂා කර ගැනීම සඳහා යොදා ගත හැකි විකල්ප බොහොමයක්ම දැනටමත් ප්‍රයෝජනයට ගෙන අවසන්ව දහ අතේ කල්පනා කරමින් ඉන්න ලංකාවට යම් තරමක හෝ අස්වැසිල්ලක් වෙයි.

එහෙත්, මේ නැඹුරුවෙන් පෙන්වන්නේ ඇමරිකාව එක් සටනක් ජයගෙන ඇති බව මිස යුද්ධය දිනා අවසන් බව නෙමෙයි. යුරෝපය හා අදාළව තත්ත්වයත් එසේමයි. කෝවිඩ්-19 පළමු චක්‍රය අපේක්ෂා කර තිබුණු පරිද්දෙන්ම අවසන් වෙමින් ඇති බව පෙනෙන්නට ඇතත්, දෙවන චක්‍රයක් මතු වීමේ අනතුර එසේම තිබෙනවා.

මේ තත්ත්වය ලංකාවේ ජාත්‍යන්තර බැඳුම්කර වල ඵලදා වක්‍රයෙන්ද පිළිබිඹු වෙනවා. කෙටි අන්තයේ පොලී අනුපාතික අඩු වී ඇතත් වක්‍රයේ මැද කොටස ඉහළ ගොස් තිබෙනවා. ඒ කියන්නේ අවදානම පසුපසට තල්ලු වී ඇතුවා මිස පහව ගොස් නැති බවයි.


Friday, September 22, 2017

විරුද්ධ මතධාරීන් විසින් මරා කෑ ගණිතඥයා


පසුගිය ලිපියට ප්‍රතිචාර දමමින් රවී විසින් ඔහු කලකට පෙර කියවා තිබුණු අලික්සන්ද්‍ර දුමාගේ "la tulipe noire" කෘතියේ පරිවර්තනයක් වන "කළු දළ මල" පොත ගැන මතක් කර සිටියේය. මේ පොතේ කතාව ආරම්භ වන්නේ 1672දී සිදුවූ යොහාන් ද විත් හා කොර්නේලිස් ද විත් දෙසොහොයුරන් කැරලිකරුවන් විසින් දෙන් හාහ් (The Hague) නගරයේදී ඝාතනය කිරීමේ සිදුවීමෙනි. අලික්සන්ද්‍ර දුමා විසින් නාට්‍යමය ස්වරූපයකින් විස්තර කර ඇතත්, මේ සිදුවීම සැබෑ ඓතිහාසික සිදුවීමකි.

යොහාන් ද විත් එවකට ජාත්‍යන්තර වෙළඳාම තුළ එංගලන්තයට හා ප්‍රංශයට අභියෝග කළ නෙදර්ලන්තයේ එක්සත් ප්‍රාන්ත වල අගමැති ධුරයට සමාන තනතුරක් සේ සැලකිය හැකි රාද්පෙන්සියනාරස් (raadpensionaris) ලෙස කටයුතු කළ අතර ඔහුගේ වැඩිමල් සොහොයුරු කොර්නේලිස් ද විත් ඔහු ජීවත් වූ ප්‍රදේශයේ මහ ඇමති ධුරය ලෙස සැලකිය හැකි තනතුරක් මෙන්ම නීති, අධිකරණ හා ආරක්ෂක අංශ වල ප්‍රධානියා ලෙස සැලකිය හැකි තනතුරක් ඇතුළු තනතුරු ගණනාවක් දැරුවේය. කොර්නේලිස් යනු නෙදර්ලන්තයේ එක්සත් ප්‍රාන්ත එංගලන්තය හා ප්‍රංශය සමඟ කළ යුද්ධ වලටද නායකත්වය දුන් අයෙකි. 

මෙසේ එවක නෙදර්ලන්ත රජයේ ප්‍රබල තනතුරු දැරූ යොහාන් ද විත් හා කොර්නේලිස් ද විත් සොහොයුරෝ මධ්‍යම රජයේ බලතල සීමා කර ගම් වල ප්‍රධානීන් වූ රීජන්ට්ලාට වැඩි බලයක් ලබා දීම වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටි ජනරජවාදියෝ වූහ. ඔවුන්ගේ ප්‍රතිවාදී ඔරන්යේ පාක්ෂිකයෝ රාජකීය අධිකාරයේ සංකේතය වූ  හෞස් ඔරන්යේ නසෝ (Huis Oranje-Nassau) වෙත වැඩි බලයක් සහිත ශක්තිමත් මධ්‍යම රජයක් වෙනුවෙන් පෙනී සිටි අතර ඒ හේතුවෙන් විත් දෙසොහොයුරෝ ඔවුන්ගේ දැඩි වෛරයට පාත්‍රව සිටියහ. විත් සොහොයුරන්ගේ දැඩි ජනරජවාදී අදහස් නිසා ඔරන්යේ පාක්ෂිකයින් සිටියේ ඔවුන්ව මරාගෙන කන්න තරම් තරහකිනි. 

මුල් කාලයේදී ජනරජවාදීන්ට රටේ වැඩි සහයෝගයක් තිබුණත් 1672දී එංගලන්තය හා ප්‍රංශය විසින් එක්ව එල්ල කළ හමුදා ප්‍රහාරයන්ට එක්සත් ප්‍රාන්ත හමුදාවන්ට සාර්ථකව මුහුණ දෙන්නට නොහැකි වීමෙන් පසු තත්ත්වය වෙනස් විය. යොහාන් ද විත්ට රාද්පෙන්සියනාරස් ධුරයෙන් ඉල්ලා අස්වන්නට සිදු වූ අතර ජනරජවාදීන් අතින් බලය ගිලිහී ඔරන්යේ-නසෝවාදීන් අතට පත් විය.

නියෝජ්‍ය හමුදා ප්‍රධානියාව සිටි කොර්නේලිස් ද විත් දැඩි ඔරන්යේ-නසෝ විරෝධියෙක්ව සිටි අතර ඒ හේතුව නිසා ඔරන්යේ-නසෝවාදීන්ගේ දැඩි වෛරයට විශේෂයෙන්ම ලක්ව සිටියේය. ඔහුව රාජ්‍යද්‍රෝහී චෝදනා මත අත් අඩංගුවට ගෙන වරද පිළිගැනීමට පෙළඹවීම සඳහා දැඩි වධ දුන්නත් අවසානය වන තුරුම කොර්නේලිස් වරද පිළිගත්තේ නැත. එවකට ක්‍රියාත්මක වූ රෝම ලන්දේසි නීතිය අනුව රාජ්‍යද්‍රෝහී වූ බව පිළි ගත්තේනම් ඔහුට මරණ දඬුවම නියම කළ හැකිව තිබුණත්, ඔහු වරද පිළි නොගත් බැවින් ඔහුට නීත්‍යානුකූල ලෙස මරණ දඬුවම ලබා දීමට ඔරන්යේ පාක්ෂිකයින්ට නොහැකි විය. ඒ නිසා, මරණ දඬුවම වෙනුවට කොර්නේලිස් ද විත්ට රටින් පිටුවහල් වීමට නියෝග කෙරුණේය.

හිතාමතාව ආරක්ෂාව ඉවත් කරනු ලැබ, නිවසත්, නිවසෙන් පයින් යන දුරක තිබුණු අධිකරණ ශාලාවත් අතර ගමන් කරද්දී සැලසුම්සහගත ලෙස සිදු කෙරුණු නිල නොවන හමුදා වෙඩි පහර වලට ලක්වන්නට යොහාන් හා කොර්නේලිස් ද විත් දෙසොහොයුරන්ට සිදු වූ අතර ඉන්පසු වීදි මැරයන්ගේ පහරදීම් හමුවේ මේ දෙදෙනාම දරුණු වද විඳ මිය ගියෝය. ද විත් දෙසොහොයුරන්ව ප්‍රසිද්ධියේ නිරුවත් කර, දරුණු වධ දී, මරා දැමීමෙන් පසු ඔවුන්ගේ ප්‍රතිවාදී නිල නොවන වීදි මැරයන් විසින් අක්මාව ඇතුළු සිරුරු කොටස් එළියට ගෙන පුළුස්සා ප්‍රසිද්ධියේ ආහාරයට ගත් බවත්, ඇස් බෝල උගුල්ලාගත් බවත් විවිධ වාර්තා වල සඳහන්ය.

අලික්සන්ද්‍ර දුමාගේ ප්‍රබන්ධය අනුව විත් දෙසොහොයුරන්ගේ සිරුරු කොටස් තීරු කර සිහිවටන සේ අලෙවි කර තිබේ. මේ ඇතැම් කරුණු සැබෑ නොවන අතිශයෝක්ති විය හැකි වුවත්, මේ දේවල් සිදුවිය නොහැකිව තිබුණු දේවල් නොවේ. ප්‍රතිවාදී අදහස් දරන්නන් මරාගෙන කන්න වුවත් සූදානම්ව සිටින හා ඇතැම් අවස්ථා වල ක්‍රියාවෙන්ම ඒ බව පෙන්වන වෛරී අදහස් ඇති අය තවමත් සමාජ ජාලා වල සිට බාහිර සමාජය දක්වා විවිධ තැන් වල දකින්නට පුළුවන. ඒ නිසා, සියවස් තුනහමාරකට පමණ පෙර එවැන්නන් සිටීම පුදුමයක් නොවේ.

කළු දල මල කතාව ආරම්භ වන්නේ එවක නෙදර්ලන්ත සමාජය ඉමහත් කම්පාවකට ලක් කළ, 1672 අගෝස්තු 20 දින සිදු වූ  ඉහත විස්තර කළ දේශපාලනික ඝාතන සිදුවීමෙනි. මේ කාලය වන විට ලංකාවේ මුහුදුබඩ පළාත් පාලනය කළේද ලන්දේසීන් විසිනි.

සිය දේශපාලන අදහස් හේතුවෙන් දරුණු මරණයකට මුහුණ දුන් යොහාන් ද විත් යනු තවත් එක් දේශපාලනඥයෙක් පමණක් නොවේ. ඔහු ඒ යුගයේ ජීවත් වූ දක්ෂ ගණිතඥයෙක්, නීති විශාරදයෙක්, මූල්‍යකරණය ගැන විශේෂඥයෙක්, චින්තකයෙක් හා විශිෂ්ඨ බුද්ධිමතෙක්ද විය. සිය සොහොයුරු කොර්නේලිස් මෙන්ම යොහාන්ද ලීඩන් සරසවියේ නීතිය හැදෑරු අතර එහිදී ඉතා දක්ෂ සිසුවෙකු ලෙස යොහාන්ව විශේෂයෙන්ම හඳුනා ගැනුණේය. 

යොහාන් විසින් සරසවියේදී හැදෑරු ප්‍රධාන විෂය වූයේ නීතියයි. දේශපාලනයට පැමිණෙන විට ඔහු කටයුතු කළේද නීතිඥයෙකු ලෙසයි. 1645 වසරේදී ඔහු නීතිය පිළිබඳ ආචාර්ය උපාධියක් (Juris utriusque Doctor) ලබා ගත්තත් ඔහුගේ ප්‍රධාන උපදේශකයා වූයේ එවකට ජීවත් වූ ප්‍රමුඛ ගණිතඥයෙකු වූ ෆ්‍රාන්ස් වැන් ශූටන්ය. ශූටන් යනු බොහෝ දෙනෙක් දන්නා ප්‍රසිද්ධ දාර්ශනිකයෙකු හා ගණිතඥයෙකු වන ඩෙකාට් (René Descartes) විසින් ඉදිරිපත් කළ විශ්ලේෂනාත්මක ජ්‍යාමිතිය පිළිබඳ අදහස් ඉදිරියට ගෙන ගිය අයෙකි. 

යොහාන් සරසවි සිසුවෙකුව සිටියදී ඔහුට ටික කාලයක් ශූටන්ගේ නිවසේ නවාතැන්කරුවෙකුව සිටින්නට ඉඩ ලැබුණු අතර ඒ කාලයේදී ඔහුට ඔහුගෙන් මෙන්ම එම නිවසට ආ වෙනත් ප්‍රධාන පෙළේ ගණිතඥයින්ගෙන්ද ගණිතය විෂයයෙහි අලුත්ම දැනුම ලබා ගන්නට අවස්ථාව ලැබුණේය. මේ කාලය වන විට වීජ ගණිතය හා ජ්‍යාමිතිය විෂයයන් එකතු කිරීමේ කටයුත්ත ඇරඹී තිබුණත් අවසන්ව නොතිබුණේය.

මෙය කියවන අය අතර වීජ ගණිතයේ එන වර්ගජ සමීකරණ ගැනත්, එවැනි සමීකරණයකට අදාළව ප්‍රස්ථාර කොළයක ඇඳිය හැකි ජ්‍යාමිතික රූපයක් වන පරාවලය ගැනත් නොදන්නා කෙනෙක් සිටිය නොහැක. වර්ගජ සමීකරණ වල හා පරාවල වල ලක්ෂණ විස්තර කරමින් යොහාන් ද විත් විසින් ලියූ Elementa curvarum linearum ග්‍රන්ථය අදාළ විෂයට සැලකිය යුතු අලුත් දැනුමක් එකතු කළේය. පරාවලයක් සමමිතික ලෙස බෙදන රේඛාවට ලම්බකව පිහිටි රේඛාවක් (නියාමක අක්ෂය) හඳුන්වන directrix යන වචනය යොහාන්ගේ හඳුන්වා දීමක් ලෙස සැලකේ. 

දේශපාලනයට පැමිණ රටේ වගකිවයුතු තනතුරු ගණනාවක් එකින් එක භාර ගන්නට වීම නිසා යොහාන්ගේ ශාස්ත්‍රාලයීය කටයුතු අතපසු වුවත් ඔහු තමන්ට ගණිතයට වූ ඇල්ම මුළුමනින්ම අතහැර දැම්මේ නැත. ඒ වෙනුවට ඔහු කළේ රාජ්‍ය මූල්‍යකරණයේදී මුහුණ දුන් ගැටළු හමුවේ විසඳුම් සොයමින් රාජ්‍ය යාන්ත්‍රනය වඩා කාර්යක්ෂම කිරීමට සිය ගණිත දැනුම යොදා ගැනීමයි. බැඳුම්කර විකිණීම නිසා දිගින් දිගටම රජයට ගෙවන්නට සිදුවන පොලී මුදල් හේතුවෙන් රාජ්‍ය අයවැය මත ඇති වන පීඩනය හොඳින් තේරුම් ගත් යොහාන් විසින් මේ බැඳුම්කර හා අදාළ මූල්‍යමය කරුණු විශ්ලේෂණය කරමින් ලියූ "The Worth of Life Annuities Compared to Redemption Bonds" ග්‍රන්ථය ආයුගණක විද්‍යාවේ (actuarial science) ප්‍රාරම්භය ලෙස සැලකේ. 

මෙහි විශ්ලේෂණය කෙරෙන ජීව ගෙවීම් (Life Annuities) යනු බැඳුම්කර මෙන්ම ඒ කාලයේදී රාජ්‍ය මූල්‍යනය පිණිස යොදාගත් ක්‍රමයකි. මෙහිදී කිසියම් අයෙකුගේ (උදාහරණයක් ලෙස වැන්දඹුවකගේ) සියලු වත්කම් රජය විසින් පවරා ගත් අතර, ඒ වෙනුවට මිය යන තුරු නිශ්චිත මාසික දීමනාවක් රජය විසින් ආපසු ගෙවුවේය. යොහාන් විසින් පෙන්වා දුන්නේ එවකට ජීව ගෙවීම් සඳහා රජය විසින් ගෙවූ මුදල අනුව ඒවා සමාන කළ හැක්කේ 5% පමණ පොලියක් ගෙවන බැඳුම්කර වලට බවයි. එහෙත්, මේ කාලයේ බැඳුම්කර පොලී අනුපාතිකය 4%ක් පමණක් විය. ඒ නිසා, මේ ජීව ගෙවීම් වලින් රජයට විශාල අලාභයක් සිදු විය. මේ අනුව, ජීව ගෙවීම් සඳහා ගෙවූ මුදල් අඩු කෙරුණු අතර එය යොහාන් ද විත්ගේ ජනප්‍රියත්වය පිරිහීමටද හේතු විය. ඔහුගේ මරණයෙන් පසුව ජීව ගෙවීම් වාරික නැවතත් පෙර මට්ටමට ඉහළ දමනු ලැබුවේය.

රාජ්‍ය පාලනයේදී, සම්පත් නාස්ති කරන යුද්ධය වෙනුවට යොහාන්ගේ තෝරාගැනීම වුණේ සම්මුති මත පදනම් වූ සාමයයි. මේ ප්‍රතිපත්තිය හරහා නෙදර්ලන්තය සෞභාග්‍යය කරා ගෙන යන්නට ඔහුට හැකි වුවත්, එංගලන්තය හා ප්‍රංශය ඒ අයුරින්ම නොසිතූ නිසා ඔහුට යුද්ධය මඟ හැර යා නොහැකි විය. මේ ප්‍රබල රටවල් දෙක තමන්ට එරෙහිව එක් වනු ඇතැයි ඔහු ගණනය කර නොතිබුණේය. විත් සොහොයුරන්ව මරා දැමීමෙන් පසු තෙවන විලියම් රජු පිය උරුමයෙන් නෙදර්ලන්තයේ එක්සත් ප්‍රාන්ත වල (Holland, Zeeland, Utrecht, Gelderland, සහ Overijssel ) රාජ්‍ය නායකයා (Stadtholder) වූ අතර, මවු උරුමයෙන් එංගලන්තයේ, අයර්ලන්තයේ හා ස්කොට්ලන්තයේද රජු බවට පත් විය. 

වසර 392කට පෙර සැප්තැම්බර් 24 දිනක උපන් යොහාන් ද විත් කුරිරු මරණයකට ලක්ව මිය යන විට ඔහුගේ වයස අවුරුදු 47ක්වත් වී තිබුණේ නැත. 

(Image: https://www.pinterest.com)

Monday, April 10, 2017

වරාය සමඟ ඉඩම් තොගයක්!

පෙර ලිපියෙන් කතා කළ පරිදි, ඇමරිකා එක්සත් ජනපදය භූමි ප්‍රමාණය අනුව ලෝකයේ පස්වන විශාලතම රට නොවී තෙවන විශාලතම රට වන්නේ 1867 වසරේදී අක්කරය ඩොලර් සත දෙකකටත් අඩුවෙන් ඇලස්කාව මිල දී ගැනීම හේතුවෙනි. රුසියාවෙන් ඇලස්කාව මිල දී ගැනීම ඇමරිකාව විසින් සිදු කළ මේ ආකාරයේ පළමු හෝ එකම ගනුදෙනුව නොවේ.

ඇමරිකා එක්සත් ජනපදය අද වන විට දැකිය හැකි විශාල රට බවට පත් වීමේදී ඇලස්කාව මිලදී ගැනීමට වඩා බොහෝ වැඩි බලපෑමක් සිදුවුණේ 1803 වසරේදී ප්‍රංශයෙන් ලුවිසියානා බිම් පෙදෙස් මිලදී ගැනීමයි. අක්කරයක් ඩොලර් සත තුනකටත් අඩුවෙන් ලංකාව මෙන් 33 ගුණයක් විශාල මේ බිම් පෙදෙස මිල දී ගැනීමට ඇමරිකාව ප්‍රංශයට ඩොලර් මිලියන 15ක් ගෙවුවේය.

මේ මිල අද වටිනාකම අනුව ඩොලර් මිලියන 309ක් පමණ වන අතර ඒ අනුව එක් අක්කරයක් වෙනුවෙන් අද වටිනාකම අනුව ඇමරිකන් සත 58ක් පමණ ගෙවා තිබේ. මේ අනුව, ලුවිසියානා ගනුදෙනුවේදී අක්කරයකට ගෙවා ඇති මිල ඇලස්කාවේ අක්කරයට ගෙවා ඇති මිල මෙන් දෙගුණයක් පමණ වේ. මේ මිලදී ගැනීම නිසා එවකට ඇමරිකාව සතු වූ භූමි ප්‍රමාණය දෙගුණ විය.

ලුවිසියානා ගනුදෙනුව නිසා ඇමරිකාව සතු වූ බිම් පෙදෙස් අද ඇමරිකාවේ ප්‍රාන්ත 15ක හා කැනඩාවේ පළාත් දෙකක විසිරී තිබේ. මේ ගනුදෙනුව මේ ආකාරයෙන් සිදුවීම ඇමරිකාව බලාපොරොත්තු නොවූ, හදිසියේ ලැබුණු වාසියකි.

දාහත්වන සියවසේ අවසානයේ සිට දහඅට වන සියවසේ මැද දක්වා මිසිසිපි නදියේ දෙපස විශාල ප්‍රදේශයක පැතිරුණු වත්මන් ඇමරිකා එක්සත් ජනපදයේ හා කැනඩාවේ විශාල ප්‍රදේශයක් පැවතියේ ප්‍රංශයේ අණසක යටතේය. ඒ වන විට උතුරු ඇමරිකාවේ ප්‍රධානම යුරෝපීය බලය වූයේ ප්‍රංශයයි. මේ බිම්
පෙදෙස ප්‍රංශයේ ලුවී රජු නමින් ලුවිසියානා ලෙස නම් කෙරී තිබුණේය.

බ්‍රිතාන්‍යය හා ප්‍රංශය ඇතුළු රටවල් ගණනාවක් අතර සිදුවුණු හත් අවුරුදු යුද්ධය නිමා කරමින් 1763දී අත්සන් කෙරුණු පැරිස් සම්මුතියේ ප්‍රතිඵලයක් ලෙස කැනඩාවේ හා මිසිසිපි නදියෙන් නැගෙනහිර බිම් පෙදෙස් බ්‍රිතාන්‍යයටත්, මිසිසිපි නදියෙන් බටහිර බිම් පෙදෙස් හා නිව් ඕර්ලියන්ස් නගරය ස්පාඤඤයටත් අයිති විය. ඇමරිකාවේ මුල් ජනපද බ්‍රිතාන්‍යයෙන් නිදහස් වෙද්දී මිසිසිපි නදියෙන් නැගෙනහිර කොටස් බොහොමයක් ඇමරිකාව සතු විය. මිසිසිපි නදිය භාවිතා කර නිදහසේ භාණ්ඩ ප්‍රවාහනය කිරීමට ඇති හැකියාව මෙන්ම එවකට ස්පාඤඤය සතු වූ නිවු ඕර්ලියන්ස් වරාය ඇමරිකාවේ වර්ධනය වෙමින් පැවති වෙළඳ කටයුතු සඳහා ඉතාම වැදගත් විය. මේ වරාය භාවිතා කිරීම අදාළව ඒ වන විටද ප්‍රශ්න මතුවී තිබුණි.

ප්‍රංශ විප්ලවය අවසානය වී 1799දී නැපෝලියන් බලයට පත් වීමෙන් පසුව ස්පාඤඤය හා ප්‍රංශය අතර රහසිගතව අත්සන් කෙරුණු සැන් ඉල්දෙෆොන්සෝ සම්මුතිය අනුව ලුවිසියානා බිම්පෙදෙස් නැවතත් ප්‍රංශය සතු විය. උතුරු ඇමරිකානු භූමිය තුළ නැවතත් ප්‍රංශ බලය ගොඩනැඟීමට නැපෝලියන්ට වූ අපේක්ෂාවන් හා විභවය ඇමරිකාව කනස්සල්ලට පත් කළේය.

ඩොලර් මිලියන දහයක මුදලකට නිවු ඕර්ලියන්ස් නගරය හා උතුරු ෆ්ලොරීඩාවේ ප්‍රංශය සතුවූ බිම් පෙදෙස් මිල දී ගැනීම සඳහා උත්සාහයක් දැරීමට ඇමරිකන් ජනාධිපති තෝමස් ජෙෆර්සන් විසින් (පසුව ඇමරිකන් ජනාධිපති ධුරයට පත් වූ) ජේම්ස් මොන්රෝව ප්‍රංශයට පිටත් කර හැරියේය. මේ වන විට සෙන්ට් ඩොමිනික්හි (වත්මන් හයිටි) පැවති කැරැල්ල මර්දනය කිරීමට අසමත්ව උතුරු ඇමරිකාවේ සිය බලය නැවත ගොඩ නැඟීම පිළිබඳ වූ ප්‍රංශයේ අපේක්ෂා බිඳ වැටී තිබුණේය.

නිවු ඕර්ලියන්ස් නගරය විකිණීමට ප්‍රංශය එකඟ වනු ඇතැයි ඇමරිකාව විශ්වාසයෙන් නොසිටි අතර, අදාළ හෙට්ටු කිරීම් සාර්ථක නොවීනම් ගත යුතු ද්වීතියික ක්‍රියාමාර්ගය ලෙස මේ වන විට ඇමරිකාවේ දිගුකාලීන මිතුරෙකු වූ ප්‍රංශය අතහැර  බ්‍රිතාන්‍යය සමඟ සන්ධානයකට යාම ගැන පවා තීරණය කර තිබුණේය.

කෙසේවුවද, සිදුවුණේ බලාපොරොත්තු නොවූ දෙයකි. ප්‍රංශය මිලියන පහළොවක මුදලකට ඔවුන් සතුව පැවති මුළු ලුවිසියානා බිම්පෙදෙසම ඇමරිකාවට විකිණීමට ඉදිරිපත් විය. ජේම්ස් මොන්රෝව යවා තිබුණේ නිවු ඕර්ලියන්ස් ආශ්‍රිත සාපේක්ෂව කුඩා බිම් පෙදෙසක් මිලදී ගැනීමට පමණක් වුවත්, අදහාගත නොහැකි තරම් වාසිදායක මේ ගනුදෙනුව ගැන නැපෝලියන්ගේ අදහස් වෙනස් වෙන්නට පෙර එය ඉක්මණින්ම අහවර කෙරුණේය.

බ්‍රිතාන්‍යය ආක්‍රමණය කර යටත් කරගැනීමේ අරමුණින් විශාල හමුදාවක් හැදීමට හා පුහුණු කිරීමට නැපෝලියන් විසින් මේ මුදල වියදම් කළත් ඒ ආක්‍රමණය කිසිදා සිදුවුණේ නැත. ඇමරිකාවට ඉතා වාසිදායක මිලකට විශාල බිම් පෙදෙසක් ලැබුණත් ප්‍රායෝගිකව ඇමරිකාවට ලැබුණේ ප්‍රංශය සතු වූ 'නිරවුල්' ඉඩමක් නොවේ.

ඉතා සුළු පෙදෙසක ජනපද පිහිටුවාගෙන සිටි යුරෝපීයයන්ගෙන් බදු අයකර ගැනීමේ අයිතිය ඇමරිකාවට ලැබුණත්, ඉතිරි බිම් පෙදෙස් ස්වදේශීය ඉන්දියානුවන් සමඟ සම්මුතියෙන් හෝ බලහත්කාරය යොදවා අයිතිකර ගත යුතු විය. මේ බොහෝ බිම්පෙදෙස් ප්‍රංශයෙන් මිලදී ගැනීමෙන් අනතුරුව, අයිතිවාසිකම් කී ස්වදේශීය ඉන්දියානු ගෝත්‍ර එකකින් හෝ ඇතැම් විට වැඩි ගණනකින් ඇමරිකාවට නැවත නැවතත් මිලදී ගැනීමට සිදුවී තිබේ.


කොහොම වුණත්, නිවු ඕර්ලියන්ස් වරායේ වටිනාකම සලකා එය මිලදී ගැනීමට සැලසුම් කළ ඇමරිකාවට අන්තිමේදී අර කළුහාමිගේ කතාවේදී මෙන් වරායට අමතරව අක්කර මිලියන 530ක්ද ඉතා අඩු මිලකට මිලදී ප්‍රංශයෙන් ගන්නට හැකි වෙද්දී ප්‍රංශය විසින් මේ ඉඩම් විකුණා ලබාගත් මුදල් නිකරුණේ නාස්ති කර දැම්මේය.

Friday, August 5, 2016

යුරෝපීයයන්ගේ ලෝකය හා ඉන්දියානුවන්ගේ ලෝකය


පහළොස්වන සියවසෙහිදී ඉන්දියාව සොයා ගිය ක්‍රිස්ටෝපර් කොලොම්බස් විසින් ඇමරිකානු මහාද්වීපයට ආසන්න බහමාස් දූපතකට ගොඩ බසින විටත්, යුරෝපීයයන් දැන සිටි ලෝකය නිශ්චිත සීමාවන්ගෙන් වටවුණු පැතලි ලෝකයකි. එයින් මා අදහස් කරන්නේ තත්කාලීන යුරෝපය ලෝකය පැතලියැයි සිතා සිටි බව නොවේ. ලෝකය ගෝලාකාර බව ඒ වන විට යුරෝපීය විද්‍යාර්ථීන්ගේ පොදු දැනුමකි. එමෙන්ම, තමන් හොඳින් දැන සිටි සීමාවන්ගෙන් බාහිරව ලෝකයක් නොපැවති බව යුරෝපීයයන් විශ්වාස කළ බවද නොවේ. ඔවුන්ගේ එවකට පැවති සංකල්පීය ලෝකයේ තමන් වඩා හොඳින් දැන සිටි කොටසක්, යාන්තමින් දැන සිටි හෝ අසා සිටි කොටසක් සහ ඇතැයි සිතා සිටි කොටසක් වූ බවය. මේ කාලයේදී යුරෝපීය ලෝක දැක්ම සකස් වුනේ ඔවුන් හොඳින් දැන සිටි ලෝකය පාදකවය.

ඉහත තත්ත්වය පහළොස්වන සියවස දක්වා ලෝකයේ වෙනත් ප්‍රදේශ වල පැවති ලෝකය පිළිබඳ දැනුමට ආකෘතිමය ලෙස සමානය. යුරෝපීයයන් විසින් අළුතින් 'හොයාගත්' ඇමරිකාව, ආසියාව හෝ ඕස්ට්‍රේලියාව ඇතුළු ක්‍රිස්තියානි නොවූ ලෝකය එවකට මිනිසුන්ගෙන්, සංස්කෘතියෙන් හෝ දැනුමින් හිස් බිම් නොවූ බව අමුතුවෙන් කිවයුතු නොවේ. යුරෝපීයයන් මෙන්ම මේ එක් එක් පෙදෙස්වල විසූ මිනිසුන්ද දැන සිටි ලෝක පැවති අතර ඒ ලෝක වලටද සීමා මායිම් තිබුණේය.

පස්වන සියවසේදී වත්මන් ඉන්දියාව දැන සිටි ලෝකයේ මධ්‍යය වූයේ ලංකා දිවයිනයි. මේ ලංකා දිවයින සමකය මත පිහිටියේය. ආර්යභටියේ හා සූර්ය සිද්ධාන්තයේ සියළු ගණනය කිරීම් සඳහා කේන්ද්‍ර කරගන්නේ සමකය මත මේ කියන ලංකා දිවයින පැවති තැනයි. සමකය මත, ලංකා දිවයිනට අංශක 90ක් බටහිරින් රෝමකයත්, අංශක 90ක් නැගෙනහිරින් යවකෝටියත්, අංශක 180ක් දුරින් එනම් ප්‍රතිවිරුද්ධ පැත්තේ, සිද්ධපුරයත් පිහිටියේය. ලංකා දිවයිනට අංශක 22.5ක් උතුරින් උදේනි නුවර පිහිටියේය. එමෙන්ම, උත්තර ධ්‍රැවයෙහි සුරයන් වසන මහා මේරුවත්, දක්ෂිණ ධ්‍රැවයෙහි ප්‍රේතයින් වසන වඩබාමුඛයත් පිහිටියේය. ඔවුන් එවකට දැන සිටි පරිදි, ලෝක ගෝලයේ සමකයෙන් උතුරු අර්ධයේ ගොඩබිම්ද, දකුණු අර්ධයේ සාගරයද පැතිරී තිබුණේය.

සූර්ය සිද්ධාන්තයේ සඳහන් ලංකා දිවයින වත්මන් ලංකාවද යන්න විවාදිත කරුණකි. දැන් අප දන්නා පරිදි, උදේනි නුවර පිහිටා ඇත්තේ උතුරු අක්ෂාංශ 23.3හි හා නැගෙනහිර දේශාංශ 75.5හිය. ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ උතුරු අක්ෂාංශ 5-10 හා නැගෙනහිර දේශාංශ 79-82 අතරය. මේ අනුව, වත්මන් ලංකාවේ කිසිම තැනක් සමකය මත හෝ උදේනි නුවරට සෘජුව දකුණින් පිහිටා නැත. අනෙක් අතට, සූර්ය සිද්ධාන්තය හා ආර්යභටිය අනුව ලංකා දිවයින පිහිටිය යුතු, උදේනි නුවරට සෘජුව දකුණින් සමකය මත ඇත්තේ ඉන්දියානු සාගරයයි. එහි කිසිදු දිවයිනක් නැත. එම ස්ථානයට ආසන්නයේම ඇති මාල දිවයින් සමූහයට අයත් දිවයින් පිහිටා ඇත්තේද මේ ස්ථානයට අංශක දෙකක් පමණ නැගෙනහිරිනි.

කෙසේවුවද, මේ අවුල ඇති වන්නේ අද අපට ඇති භූගෝලීය දැනුම එදා ඉන්දියානුවන්ටද තිබුණේයැයි උපකල්පනය කළ විටය. එය එසේ නොවේ. පහළොස්වෙනි සියවසේ යුරෝපීයයන්ගේ භූගෝලීය දැනුමේ සැලකිය යුතු සීමාවන් පැවතියාක් මෙන්ම, ඊට සහශ්‍රයකට පෙර විසූ ඉන්දියානුවන්ටද තිබෙන්නට ඇතැයි සිතිය හැක්කේ සීමිත භූගෝලීය දැනුමකි. මේ අනුව, මේ වෙනසට හේතුව ලංකා දිවයිනේ නිවැරදි පිහිටීම පිළිබඳව පැවති දැනුමේ අඩුවක් විය හැකිය. (මේ ගැන තවත් අදහසක් තිබේ. ඒ ගැන පසු ලිපියක කතා කරමි.)

ඉරට හා හඳට ඇති දුරත්, පෘථිවියේ පරිධියත් ඉතා ආසන්නව දැන ගෙන සිටි ඉන්දියානුවන්ට, ඉන්දියාවට යොදුන් කිහිපයක් පහළින් පිහිටි ලංකා දිවයිනේ පිහිටීම නිවැරදිව දැන ගත නොහැකි වීම විය හැක්කක්ද? පිළිතුර සරලය. පළමු කී කරුණු පිළිබඳ දැනුමට පාදක වන්නේ උදේනි නුවර සිට හෝ වෙනත් තැනක සිට කළ හැකි තාරකා නිරීක්ෂණ හා එවකට ඉන්දියානුවන් දැන සිටි ගණිතමය සිද්ධාන්තයි. එහෙත්, ලංකාවේ පිහිටීම ගැන දැන ගන්නට වෙන්නේ මේ කාලයේ ලංකාවට යාත්‍රා කර ආපසු පැමිණ සිටි සීමිත නාවිකයින් පිරිසෙන් අයෙකු හෝ කිහිප දෙනෙකු ලබාදුන් තොරතුරු මතය. රෝමකයේ පිහිටීම සම්බන්ධවද මේ අවුලම තිබේ. රෝමකය වත්මන් රෝමයයැයි ඇතැම් අය සිතතත් උදේනි නුවර සිට අංශක 90ක් දුරින් පිහිටා ඇත්තේ අත්ලාන්තික් සාගරයයි. රෝමය පමණක් නොව එවකට පැවති රෝම අධිරාජ්‍යයේ බටහිර මායිමද පිහිටියේ සූර්ය සිද්ධාන්තයේ සඳහන් රෝමකය පිහිටිය යුතු තැනට වඩා කිට්ටුවෙනි.

පස්වන සියවසෙහිදී උදේනි නුවර විසූ විද්‍යාර්ථින් විසින් එවකට සමුද්‍ර ගවේෂණයන්හි යෙදුණු නාවිකයින් හරහා දැන සිටි උදේනි නුවර සිට වඩාත්ම දකුණින් පිහිටි ස්ථානය ලංකා දිවයිනද, වඩාත්ම බටහිරින් පිහිටි ස්ථානය රෝමකයද, වඩාත්ම නැගෙනහිරින් පිහිටි ස්ථානය යමකෝටියද වන්නට ඇතැයි සිතිය හැකිය. මහාමේරුව, වඩබාමුඛය හා සිද්ධපුර යනු මෙසේ දැන හෝ අසා සිටි කරුණු වල දිගුවක් ලෙස ඇති කරගත් උපකල්පන හෝ ප්‍රවාද පමණක් විය යුතුය. 


තත්කාලීන ඉන්දියාව දැන සිටි උතුරුම බිම් පෙදෙස් වූයේ හිමාල කඳු පංතියයි. ක්‍රමයෙන් උස්වන මේ කඳු පංතිය තරමක් දුරට හෝ තරණය කළ අයෙකු හමුවීම එවකට දුලබ කරුණක් වන්නට ඇත. ඒ අනුව, මේ කඳු පංතියෙන් එපිට සුරයන්ගේ වාසස්ථානය වන යොදුනක් උසැති මහාමේරුව ඇතැයි ඔවුන් සලකන්නට ඇත. එමෙන්ම, දකුණු මුහුදේ සංචාරය කළ නාවිකයින් අතරින් ලංකාවෙන් එපිටට ගිය කිසිවකු බොහෝ විට ආපසු නොඑන්නට ඇත. මේ නිසා, ලංකාවෙන් දකුණේ සාගර මධ්‍යයෙහි සියල්ල පොළොව තුළට ඇදගන්නා වඩබාමුඛයක් ඇතැයි ඔවුන් සිතන්නට ඇත. ඉන්දියානු විද්‍යාර්ථින් නාවිකයින් මඟින් දැන සිටි පරිදි, උදේනි නුවරට දකුණින් පිහිටි කෙළින්ම ඉර මුදුන් වන තැනක් වූ ලංකා දිවයින සමකය මත පිහිටි ලෝකයේ මධ්‍යය ලෙස ගිණීමට සුදුසු තැනක් ලෙස සලකන්නට ඇත.

(Image: http://shyamasundaradasa.com/jyotish/resources/articles/non-jyotish_articles/lanka.html)

Thursday, August 4, 2016

බටහිර රටවල්, ටොඩෙසියස් සම්මුතිය හා ලෝකයේ මැද


අපි නිතරම බටහිර සංස්කෘතිය ගැන කතා කරමු. බටහිර සංස්කෘතියක් ගැන කතා කරන්නේ බටහිර රටවල් කියා රටවල් ඇති නිසාය. මේ බටහිර රටවලට එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය හා ඉතාලිය වැනි බටහිර යුරෝපීය රටවල්ද, ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය වැනි යුරෝපයෙන් පිටත පිහිටි යුරෝපීයයන් විසින් සිය සංස්කෘතිය ප්‍රමුඛ සංස්කෘතිය බවට පත් කෙරුණු රටවල්ද අයත් වේ. මේ සම්මතය අනුව ඉන්දියාව, චීනය හා ලංකාව වැනි රටවල් පෙරදිග රටවල් ලෙසත්, පෝලන්තය, හංගේරියාව හා රුමේනියාව වැනි රටවල් නැගෙනහිර යුරෝපීය රටවල් ලෙසත් හැඳින්වේ.

පෘථිවිය මත පිහිටි බොහෝ නිශ්චිත ස්ථාන වලට සාපේක්ෂව අපට නැගෙනහිරක් හා බටහිරක් ගැන කතා කළ හැකිය. එවැනි කිසියම් ස්ථානයකට ඉර නැගෙනු පෙනෙන්නේ පෙරදිගින් හෙවත් නැගෙනහිරිනි. ඉර බසිනු පෙනෙන්නේ අපරදිගින් හෙවත් බටහිරිනි. ඒ අනුව, කිසියම් රටකට බටහිරින් පිහිටි රටක් බටහිර රටක් ලෙසත්, නැගෙනහිරින් පිහිටි රටක් පෙරදිග රටක් ලෙසත් හැඳින්විය හැකිය. ගෝලාකාර පෘථිවියේ නැගෙනහිරට හෝ බටහිරට දිගටම ගියහොත්, එහි ප්‍රතිවිරුද්ධ දිශාවට එසේම ගමන් කිරීමේදී හමුවිය හැකි ඕනෑම රටක් හමුවන නිසා මේ සංකල්පයේද අවුලක් තිබුණත් සීමිත ප්‍රායෝගික තත්ත්වයන් යටතේ මේ සංකල්පයේ අවුලක් නැත.

කෙසේ වුවද, ඉහත අර්ථ දැක්වීම හරියන්නේ පෘථිවිය මත කිසියම් නිශ්චිත තැනකට සාපේක්ෂවය. එසේම, ලෝකයේ කාටත් එකඟ විය හැකි පෙරදිග හා අපරදිග රටවල් පිලිබඳ සම්මුතියක් ඇතිවන්නේ කෙසේද? මෙවැනි බෙදීමක් පැවතිය හැක්කේම කිසියම් නිශ්චිත ස්ථානයකට සාපේක්ෂවය.



බටහිර රටවල් යන වත්මන් සංකල්පය පාදක වී ඇත්තේ වතිකානුව කේන්ද්‍ර වී බව යුරෝපීය සිතියමක් දෙස බැලු විට පැහැදිලි වේ. ඒ අනුව, පැරණි ලෝකයේ වතිකානුවට බටහිරින් පිහිටි එංගලන්තය, ප්‍රංශය, ස්පාඤ්ඤය, පෘතුගාලය වැනි රටවල් බටහිර යුරෝපීය රටවල් වන අතර, වතිකානුවට නැගෙනහිරින් පිහිටි හංගේරියාව, රුමේනියාව වැනි රටවල් නැගෙනහිර යුරෝපීය රටවල්ද, ඉන්දියාව, චීනය, ලංකාව වැනි රටවල් පෙරදිග රටවල්ද ලෙස සම්මත වී තිබේ. ලෝකයේ මැද දෙස සැලකිය හැකි කිසිදු සුවිශේෂී තැනක් නැතත් පහළොස්වන සියවසෙහිදී යුරෝපීයයන් දැනගෙන සිටි ලෝකය වතිකානුව හරහා බටහිර හා නැගෙනහිර ලෙස බෙදී තිබුණු එකකි. අද වන විට ලෝකයේ මැද තවත් ටිකක් බටහිරට තල්ලුකර එංගලන්තයේ ග්‍රිනිච් රේඛාව වෙත ගෙනගොස් තිබුණත් බටහිර රටවල් පිළිබඳ වතිකානු-කේන්ද්‍රීය සම්මතය එසේම පවතී.

පහළොස්වන සියවසේදී, ප්‍රබලම කතෝලික රාජ්‍ය දෙකක් වූ ස්පාඤ්ඤය හා පෘතුගාලය විසින් සාගර තරණය කරමින් සිදු කළ ගවේෂණ හේතුවෙන් එවකට යුරෝපය දැන සිටි ලෝකය පුළුල් විය. ක්‍රිස්ටෝපර් කොලොම්බස්ගේ සාර්ථක මුහුදු ගවේෂණ වලින් අනතුරුව ඔහු විසින් අළුතින් හඳුනාගත් බිම් පෙර පැවති ගිවිසුමකට අනුව පෘතුගාලය සතු විය යුතුයැයි එරට පැවසීම හේතුවෙන් ස්පාඤ්ඤය හා පෘතුගාලය අතර යුද්ධයක් ඇති වීමේ ඉඩකඩක් ඇති වී හතරවන ඇලෙක්සැන්ඩර් පාප්තුමාට මැදිහත් වීමට සිදු වූ අතර 1494 ජූනි 7 දින එම දෙරට අතර අත්සන් කෙරුණු ටොඩෙසියස් සම්මුතිය (Treaty of Tordesillas) එහි අවසන් ප්‍රතිඵලයයි.

ටොඩෙසියස් සම්මුතිය මඟින් ලෝක සිතියමෙහි ඉරක් ඇඳ, එවකට පැවති ක්‍රිස්තියානි නොවන ලෝකය ස්පාඤ්ඤය හා පෘතුගාලය යන දෙරට අතර බෙදා දෙනු ලැබීය. මේ ඉර අඳිනු ලැබුවේ පෘතුගාලය විසින් එවකට ලඟා වී සිටි බටහිරින්ම පිහිටි ස්ථානය වූ කේප් වර්ඩ් දිවයින හා කොලොම්බස් විසින් අළුතින් හඳුනාගත් බටහිර ඉන්දීය දිවයින් අතර හරි මැදිනි. කෙසේවුවද, පසුව ස්පාඤ්ඤය හා පෘතුගාලය අතර කෙරුණු හෙට්ටු කිරීම් මඟින් ඉහත රේඛාව වඩාත් බටහිරට තල්ලු කෙරුණු අතර ඒ හේතුවෙන් එවකට හඳුනාගෙන නොතිබුණු වත්මන් බ්‍රසීලයට අයත් බිම් පෙදෙස් ස්පාඤ්ඤයට අයිති නොවී පෘතුගාලයට අයිති විය. ඉතිරි දකුණු ඇමරිකානු බිම් මුළුමනින්ම පාහේ ස්පාඤ්ඤයට අයිති විය.

ඒ වන විට විශ්වාස කෙරුණේ කොලොම්බස් විසින් ලඟා වූ තැන ඉන්දියාවේ නැගෙනහිර කොන බවයි. එහෙත්, ලෝකය පහළොස්වන සියවසෙහිදී යුරෝපීයයන් දැන සිටියාට වඩා බොහෝ විශාල බව වැඩිකල් නොයාම ඔවුන්ට අවබෝධ විය.

ටොඩෙසියස් සම්මුතිය අනුව, දකුණු ඇමරිකාවේ බ්‍රසීලය හැර ඉතිරි පෙදෙස් ස්පාඤ්ඤය සතු වෙද්දී ටොඩෙසියස් රේඛාවට නැගෙනහිරින් පිහිටි අප්‍රිකානු හා ආසියානු රටවල් පෘතුගාලය සතු විය. ලංකාව ස්පාඤ්ඤ යටත් විජිතයක් නොවී පෘතුගීසි කොලනියක් වන්නේ මේ නිසාය.

ලෝකය ස්පාඤ්ඤය හා පෘතුගාලය අතර බෙදා දීම කෙසේ වුවත් ටොඩෙසියස් සම්මුතිය මඟින් ඉටු කෙරුණු වෙනත් සාධනීය දෑ  රැසකි. අද වන විට ජාත්‍යන්තර නීතියේ කොටස් බවට පත්වී ඇති අභ්‍යන්තර ජලාශ හා රටවලට අයත් මුහුදු සීමා පිළිබඳ අදහසේත්, විශේෂයෙන්ම කාටත් නිදහසේ භාවිතා කළ හැකි ජාත්‍යන්තර මුහුදු පිළිබඳ අදහසේත් මුල් මේ ටොඩෙසියස් සම්මුතිය තුළ තිබේ.

මුල සිටම හරියටම ක්‍රියාත්මක නොවුණත්, සෑහෙන මට්ටමකට ක්‍රියාත්මක වූ ටොඩෙසියස් සම්මුතිය මුලින්ම ලොකු අර්බුදයකට ලක්වන්නේ ස්පාඤ්ඤයේ හා පෘතුගාලයේ මුහුදු ගවේෂණ වත්මන් නැගෙනහිර ආසියානු කලාපය කරා පුළුල් වීමේදීය. ඒ, ටොඩෙසියස් රේඛාවේ අනෙක් (නැගෙනහිර) අර්ධය සම්බන්ධයෙනි. මේ වන විට දේශාංශ වල නිවැරදි පිහිටීම කිසිවකු දැන නොසිටි නිසා දෙරට අතර ලෝක ගෝලයෙහි අර්ධය බැගින් බෙදා ගැනීමේදී එහි නැගෙනහිර මායිම නිශ්චය කර ගැනීම ගැටළුකාරී කරුණක් විය.

වත්මන් ඉන්දුනීසියාවට අයත්, කුළුබඩු වෙළඳාම එවකට ජයටම කෙරුණු, මලාකු දිවයිනට ස්පාඤ්ඤය හා පෘතුගාලය යන දෙරටම අයිතිවාසිකම් කීමත් සමඟ ප්‍රශ්නය උග්‍ර වූ අතර දෙරට අතර සංහිඳියාවක් ඇති කර ගැනීම සඳහා දෙරටේ තාරකා විද්‍යාඥයින්, සිතියම් විද්‍යාඥයින් (cartographers), සමුද්‍ර ගවේෂකයින් හා ගණිතඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කෙරුණු අතර 1529 අප්‍රේල් මස 22 දින අත්සන් තැබුණු සරගොසා සම්මුතිය (Treaty of Zaragoza) මෙහි අවසන් ප්‍රතිඵලයයි.

සරගොසා සම්මුතිය මඟින් ලෝකය ස්පාඤ්ඤය හා පෘතුගාලය අතර බෙදාගැනීම සම්පූර්ණ වුවද, දෙරට අතර සිදුවූ හෙට්ටු කිරීම් වලත්, එවකට පැවති සීමිත භූගෝලීය දනුමේත් ප්‍රතිඵලයක් ලෙස මේ බෙදීම සමානව සිදු නොවීය. ඒ අනුව, පෘතුගාලයට 191/360ක 'ලොකු කෑල්ලත්', ස්පාඤ්ඤයට 169/360ක 'පොඩි කෑල්ලත්' හිමි විය. ආසියාවේ නැගෙනහිරින්ම පිහිටි පිලිපීනය ස්පාඤ්ඤ යටත් විජිතයක් බවට පත් වෙද්දී, ලංකාව ඇතුළු ඉතිරි ආසියාතික රටවල් පෘතුගීසි කොලනි බවට පත් විය. දකුණු ඇමරිකාවේ නැගෙනහිරින්ම පිහිටි බ්‍රසීලය පමණක් පෘතුගීසි කොලනියක් වූ අතර ඉතිරි රටවල් ස්පාඤ්ඤ යටත් විජිත බවට පත් විය.

ඉහත කී ලෙස හතරවන ඇලෙක්සැන්ඩර් පාප්තුමා විසින් එවකට ක්‍රිස්තියානි නොවූ ලෝකය ස්පාඤ්ඤය හා පෘතුගාලය අතර බෙදාදීමේ අරමුණ වූයේ ලොව පුරා ක්‍රිස්තියානි ශුභාරංචිය පැතිරවීමයි. මේ අයුරින්, අදාළ රටවලට ඒකාධිකාරයක් ලබා දීම හේතුවෙන් එම රටවලට විශාල ආර්ථික වාසි සැලසුන අතර අනෙකුත් යුරෝපීය රටවලට නැති සුවිශේෂී වාසියක් ලැබුණේය. දහසයවන සියවස පමණ වන විට යුරෝපයේ නැඟී ආ ආර්ථික බලයන් වූ එංගලන්තය හා ඕලන්දය වැනි රටවලට මේ බෙදීම 'දිරෙවුවේ' නැත. කෙසේවුවද, යුරෝපය තුළ වතිකානුවේ ආධිපත්‍යය ස්ථාවරව පැවති පදනම තුළ ටොඩෙසියස් හා සරගොසා සම්මුතීන්ට රාජ්‍යතාන්ත්‍රික හා නීතිමය පදනමකට අමතරව ආධ්‍යාත්මික හා ආචාර ධාර්මීය පදනමක්ද පැවති බැවින් ඒ සම්මුති නොසලකා හැරීම පහසු කරුණක් නොවීය.

එංගලන්තය හා ඕලන්දය වැනි රටවල ප්‍රොතෙස්තන්ත ව්‍යාපාර ඉස්මතු වන්නේ මෙවැනි පසුබිමකය. ඒ සමඟම වතිකානුවේ ලෝක ආධිපත්‍යය තර්ජනයට ලක්වන අතර ටොඩෙසියස් හා සරගොසා සම්මුතීන් රඳවා තිබුණු ආධ්‍යාත්මික හා ආචාර ධාර්මීය පදනම ගිලිහී යයි. එංගලන්තය හා ඕලන්දය වැනි රටවලට වර්ධනය වූ නාවික බලය ශක්තියක් කරගනිමින් රාජ්‍යතාන්ත්‍රික හා නීතිමය පදනමකින් ස්පාඤ්ඤය හා පෘතුගාලය සමඟ හෙට්ටු කර ගිවිසුම් අළුත් කර ගැනීමට ඉඩ සැලසේ. ලෝකයේ මැද වතිකානුවේ සිට එංගලන්තයට විතැන් වේ. පෘතුගීසි කොලනියක්ව පැවති ලංකාව පිළිවෙලින් ඕලන්ද හා ඉංග්‍රීසි ආධිපත්‍යයට නතු වේ. කෙසේ වුවද, ටොඩෙසියස් හා සරගොසා සම්මුතීන්හි බලපෑම් ලෝකය පුරා අදටත් දක්නට හැකිය.


(Image: www.reddit.com)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...