උද්ධමනය බිස්කට් මිල කෙරෙහි බලපාන්නේ කොහොමද? මේ ප්‍රශ්නයට දිය හැකි පිළිතුරේ කාට වුනත් තේරෙන ඉතා පැහැදිලි කොටසක් තිබෙනවා. උද්ධමනය වැඩි වෙනවා කියා කියන්නේ බිස්කට් හදන්න ගන්න පිටි, සීනි, තෙල්, කිරි, බිත්තර වගේ දේවල් වල මිල වැඩි වෙනවා කියන එක. එතකොට බිස්කට් එකක් හදලා කලින් ගාණට විකුණන්න බැහැ. ඔය ටික කාට වුනත් තේරෙනවා. හැබැයි ඔය කතාවේ ගොඩක් අයට එක පාරට නොපෙනෙන පැත්තකුත් තිබෙනවා. මේ සටහන ඒ නොපෙනෙන පැත්ත ගැනයි.
වෙනත් බොහෝ දේවල් වගේම බිස්කට් හදන්නත් පිටි, සීනි, තෙල්, කිරි, බිත්තර වගේ අමුද්‍රව්‍ය අවශ්‍යයි. බිස්කට් ඔතන්න ඇසුරුම් අවශ්‍යයි. එතකොට යන්ත්‍ර ක්‍රියා කරවන්න විදුලි බලය අවශ්‍යයි. ඔය හැම දෙයක් සඳහාම අවශ්‍ය පිරිවැය වලට පොදුවේ විචල්‍ය පිරිවැය කියා කියන්න පුළුවන්.
අපි හිතමු මේ විදිහට බිස්කට් පැකට් එකක් හදන්න යන විචල්‍ය පිරිවැය රුපියල් 100ක් කියලා. ඒ කියන්නේ පැකට් දෙකක් හදන්න වියදම රුපියල් දෙසීයයි. දාහක් හදන්න රුපියල් ලක්ෂයයි. බිස්කට් පැකට් මිලියනයක් හදන්න වියදම රුපියල් මිලියන සීයයි. පැහැදිලියිනේ.
හැබැයි ඔය වගේ නිෂ්පාදනයක් කරන්න යන්නේ විචල්‍ය පිරිවැයක් පමණක් නෙමෙයි. ඊට අමතරව ස්ථිර පිරිවැයකුත් තිබෙනවා. ඒ කියන්නේ සේවක වැටුප්, යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි, වාහන ආදිය වෙනුවෙන් යන මුදල. එයිනුත් සේවක වැටුප් මාස්පතා ගෙවිය යුතු බව කාටත් පැහැදිලියිනේ. බිස්කට් හදනවද නැද්ද කියන එක අදාළ නැහැ. යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි, වාහන ආදිය වෙනුවෙන් මුදල් ගෙවිය යුත්තේ එකවර වුනත්, පැහැදිලි කිරීමේ පහසුවට මේ වියදම් දරා තිබෙන්නේ බැංකු ණයක් අරගෙන කියා අපි හිතමු. සෑම මාසයකදීම ඔය බැංකු ණය වෙනුවෙන් පොලිය හා ණය වාරික ගෙවිය යුතුයි. බිස්කට් හැදුවත් නැතත් ඒ වියදමත් යනවා. මේ සමස්ත වියදම මාසයකට රුපියල් මිලියන 50ක් කියලා අපි හිතමු.
දැන් බිස්කට් හැදුවත් නැතත් මාසයකට රුපියල් මිලියන 50ක වියදමක් යනවා. මාසයකට හදන බිස්කට් ප්‍රමාණය පැකට් මිලියනයක් කියා අපි හිතමු. එතකොට එකකට රුපියල් 100 බැගින් තව රුපියල් මිලියන 100ක වියදමක් යනවා. මුළු වියදම රුපියල් මිලියන 150යි. ඒ නිසා, පාඩු නොවෙන්නනම් බිස්කට් පැකට් එකක් අඩු වශයෙන් රුපියල් 150කට විකුණන්න වෙනවා.
දැන් ඔහොම තියෙද්දී උද්ධමනය නිසා පිටි, සීනි, තෙල්, කිරි, බිත්තර වගේ අමුද්‍රව්‍ය හැම එකකම මිල දෙගුණ වෙලා විචල්‍ය පිරිවැය රුපියල් 200ක් වෙනවා. එහෙම වුණාම, කලින් විකුණපු රුපියල් 150 මිලට බිස්කට් පැකට් එකක් විකුණන්න බැරි බව කාට වුනත් තේරෙනවනේ. අඩුම වශයෙන් රුපියල් 100කින්, ඒ කියන්නේ රුපියල් 250 දක්වා, මිල වැඩි කරන්න වෙනවා.
ස්ථිර පිරිවැය වැඩි නොවී ඒ විදිහටම තිබුණා කියා අපි හිතමු. කලින් රුපියල් 150ට තිබුණු බිස්කට් පැකට් එකක් දැන් රුපියල් 250 වුනා කියලා ගොඩක් අය ඕක ප්‍රශ්නයක් කර ගන්න එකක් නැහැ. උද්ධමනය නිසා අමුද්‍රව්‍ය මිල ඉහළ ගිහින් බව කාට වුනත් තේරෙනවනේ. නමුත්, ඔය මිල රුපියල් 250 නොවී රුපියල් 450ක් වුනොත් ඔන්න ගොඩක් අය අවුල් වෙනවා. මොකද මෙතැන ගොඩක් අයට පැහැදිලිව නොපෙනෙන කතාවකුත් තියෙනවා.
දැන් ඔය විදිහට උද්ධමනය නිසා බඩු මිල ඉහළ යද්දී තවත් දේවල් වෙනවා. ගොඩක් අයට තමන්ගේ ආදායමෙන් කලින් මිල දී ගත් දේවල් සියල්ලම මිල දී ගන්න බැහැ. එහෙමයි කියලා හාල්, පොල් වගේ අත්‍යාවශ්‍ය දේවල් මිල දී නොගෙන ඉන්නත් බැහැ. කපා හරින්න වෙන්නේ අත්‍යවශ්‍ය නොවන වියදම්. බිස්කට් කියා කියන්නේ ගොඩක් අයට අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයිනේ. ඒ නිසා, මිල වැඩි නොවුනත් යම් පිරිසක් බිස්කට් මිල දී ගන්න එක නවත්වනවා. නැත්නම් අඩු කරනවා.
දැන් මෙහි ප්‍රතිඵලයක් විදිහට මාසයකට විකිණෙන බිස්කට් ප්‍රමාණය පැකට් මිලියනයේ සිට මිලියන බාගයට අඩු වුනා කියමු. ඒ කියන්නේ මාසයකට යන විචල්‍ය පිරිවැය (රුපියල් 200 බැගින්) නැවතත් මිලියන 100 දක්වා අඩු වෙනවා. ස්ථිර පිරිවැය තවම වැඩි වෙලා නැති නිසා ඒ මිලියන 50 තවම ඒ විදිහටම තියෙනවා. එතකොට මුළු වියදම රුපියල් මිලියන 150යි. හැබැයි හදන්නේ බිස්කට් පැකට් මිලියන බාගයක් නිසා පැකට් එකක පිරිවැය දැන් රුපියල් 300ක් වෙලා.
නමුත්, ඔය වැඩේ ඔය විදිහටම වෙන්නේ නැහැ. බිස්කට් පැකට් එකක මිල වැඩි වෙද්දී ඒ හේතුව නිසාත් ඉල්ලුම අඩු වෙනවා. ඒකත් කාටත් පැහැදිලියිනේ. අපි හිතමු දැන් මාසයකට විකිණෙන්නේ බිස්කට් පැකට් ලක්ෂ දෙකක් පමණයි කියලා. විචල්‍ය පිරිවැය රුපියල් මිලියන 40ට බහිනවා. හැබැයි ස්ථිර පිරිවැය මිලියන 50 ඒ විදිහටම තියෙනවා. ඒ කියන්නේ මුළු වියදම රුපියල් මිලියන 90යි. බිස්කට් පැකට් ලක්ෂ දෙකයි. පැකට් එකක අවම පිරිවැය රුපියල් 450යි.
බිස්කට් හදන්න ගන්න අමුද්‍රව්‍ය වල මිල, ඒ කියන්නේ විචල්‍ය පිරිවැය, වැඩි වෙලා තියෙන්නේ රුපියල් 100කින් පමණයි. ස්ථිර පිරිවැය වැඩි වෙලාම නැහැ. සමාගමේ ලාබ සතේකින්වත් වැඩි වෙලත් නැහැ. හැබැයි රුපියල් 150ට තිබුණු බිස්කට් පැකට් එක දැන් රුපියල් 450ක් වෙලා.
මොන හේතුවකින් හරි මාසයකට විකිණෙන බිස්කට් පැකට් ගණන ලක්ෂය දක්වා අඩු වුනොත් මොකද වෙන්නේ? දැන් විචල්‍ය පිරිවැය රුපියල් මිලියන 20ට බහිනවා. ස්ථිර පිරිවැය මිලියන 50 ඒ විදිහටම තියෙනවා. ඒ කියන්නේ මුළු වියදම රුපියල් මිලියන 70යි. බිස්කට් පැකට් එකක් විකුණන්න වෙන්නේ අවම වශයෙන් රුපියල් 700කට. නමුත්, ඔය මිලට ඇතැම් විට බිස්කට් පැකට් ලක්ෂයක් විකුණාගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට වෙන්නේ තරඟකාරී සමාගම් අතරින් අල්ලාගෙන ඉන්න වඩාම අමාරු සමාගම වැහිලා යන එක.
කලින් තිබුණේ සමාගම් දෙකක් පමණක්නම්, දැන් ඒ දෙකෙන් එකක් වැහුණු ගමන් නැවතත් තත්ත්වය වෙනස් වෙනවා. මාසයකට පැකට් ලක්ෂය බැගින් සමාගම් දෙකක් අතර බෙදී ගිහින් තිබුණු ඉල්ලුම එක සමාගමකට යනවා. එතකොට ඉල්ලුම පැකට් ලක්ෂ දෙකක් වෙනවා. ඒ ගාණ විකිණෙනවානම් පැකට් එක රුපියල් 450 බැගින් දීලා වියදම ආවරණය කර ගන්න පුළුවන්. ඒ නිසා, උද්ධමනය දිගටම ඉහළ මට්ටමක තිබුණොත් ඔය වැඩේ වෙලා දැනට ක්‍රියාත්මකව තිබෙන කර්මාන්තත් එකින් එක වැහිලා යන්න පුළුවන්. ඉල්ලුම අඩුවෙන තරමට වැඩේ ඉක්මන් වෙයි.
ලංකාවේ ඇතැම් නිෂ්පාදන අංශ වල සමාගම් සීයක් දෙසීයක් නැතිව දෙක තුනක් පමණක් තියෙන්නේ ඇයි කියන එකත් මේ කතාව ඇසුරෙන්ම පැහැදිලි කරන්න පුළුවන්. ඒක කිසියම් පිරිසකගේ ඒකාධිකාරයක් හෝ මාෆියාවක් නෙමෙයි. ස්ථිර පිරිවැය සැලකිය යුතු දෙස වැඩි කර්මාන්තයකට ක්‍රියාත්මකව පවතින්න කිසියම් අවම ඉල්ලුමක් අවශ්‍යයි. ලංකාව වගේ කුඩා වෙළඳපොළක් තිබෙන රටක බිස්කට් නිපදවන කර්මාන්ත සීයක් පමණ පවතින්න බැහැ. වෙන කර්මාන්තයක් ගත්තත් කතාව ඒකයි. එහෙම පුළුවන් වෙන්නේ අපනයන වෙළඳපොළ ඉලක්ක කළ හැකිනම් පමණයි. නමුත් මේ වගේ කර්මාන්තයකට අපනයන වෙළඳපොළ වෙත පිවිසෙන්න පුළුවන් වෙන්නේත් රට ඇතුළේ පාදක ඉල්ලුමක් තිබේනම් පමණයි.
සාමාන්‍යයෙන් ඕනෑම නිෂ්පාදන කර්මාන්තයක සැලකිය යුතු ස්ථිර පිරිවැයක් තිබෙනවා. සේවා නිෂ්පාදන වලට මේ ප්‍රශ්නය නැහැ. ලංකාව වගේ කුඩා වෙළඳපොළක් තිබෙන රටක දේශීය ඉල්ලුම පමණක් ඉලක්ක කරගෙන නිෂ්පාදන කර්මාන්ත වැඩි දියුණු කරන්න යාමේදී මතු වන අභියෝගය මේකයි. ස්වීඩනය වගේ විශාල ජනගහණයක් නැති, එහෙත් දියුණු, රටවල දැකිය හැක්කේ වොල්වෝ, එරික්සන්, ඊකෙයා වගේ ලෝක වෙළඳපොළේ තරඟ කරන සමාගම් මිසක් දේශීය වෙළඳපොළ අල්ලගන්න එකිනෙකා එක්ක තරඟ කරන සමාගම් නෙමෙයි. එහෙම කරන්න පුළුවන් ලොකු දේශීය ආර්ථිකයක් තිබෙන ඇමරිකාව වගේ රටවල් තුළයි. ජනගහණය අඩු රටකට ගොඩ යන්න ලොකු සමාගම් කිහිපයක් ඇති.