වෙබ් ලිපිනය:

Showing posts with label පොන්සි ක්‍රීඩා. Show all posts
Showing posts with label පොන්සි ක්‍රීඩා. Show all posts

Monday, January 17, 2022

කඩා වැටෙන්නට නියමිත පොන්සි ක්‍රීඩාව

රුපියල් විස්සක් ගෙවා ක්ෂණික ලොතරැයියක් මිල දී ගන්නා කෙනෙක් එසේ කරන්නේ ඇයි? එවැන්නෙකු මේ ලොතරැයියේ ජයග්‍රාහකයෙකු වී රුපියල් මිලියන ගණනක ත්‍යාගයක් හිමි වීමේ යම් ඉඩක් තිබෙන නිසා. එහෙත්, බොහෝ විට සිදු වන්නේ තමන්ගේ අතේ තිබුණු රුපියල් විස්සත් නැති වෙන එකයි. 

ලොතරැයියක් මිල දී ගන්නා අයෙක් එසේ කරන්නේ මේ බව නොදැන නෙමෙයි. පළමු ලොතරැයියෙන් කිසිදු දිනුමක් නොලබන අයෙකු ඇතැම් විට තවත් ලොතරැයියක් මිල දී ගන්නවා. එයින්ද දිනුමක් නොලැබුණොත් ඇතැම් විට තෙවන ලොතරැයියක්ද මිල දී ගන්නවා. මෙසේ කරන්නේ නොඇදුනු දිනුම දෙවන, තෙවන වර හෝ ඇදෙයි කියා හිතාගෙනයි.

කවුරු හරි අතේ විශාල ධනයක් තිබෙනවානම්, ඔය විදිහට එකින් එක ලොතරැයි සියල්ල සූරා ගෙන ගියොත් අනිවාර්යයෙන්ම දිනුම් සියල්ල ඔහුට හෝ ඇයට ලැබෙනවා. මේ ගැන කිසිදු සැකයක් නැහැ. එහෙමනම්, ධම්මික පෙරේරා වගේ කෙනෙක් වෙළඳපොළේ තිබෙන ලොතරැයි සියල්ල එක වර මිල දී නොගන්නේ ඇයි?

රත්නපුර පැත්තේ ඇතැම් මැණික් ව්‍යාපාරිකයින් ඔය වගේ වැඩ කරන අවස්ථා තිබුණත්, ධම්මික පෙරේරා වගේ කෙනෙක් කවදාවත් ඔය වගේ දෙයක් කරන්නේ නැහැ. මොකද ඔය වැඩේ කළොත්, එසේ කරන තැනැත්තාට දිනුම් සියල්ලම අනිවාර්යයෙන්ම හිමි වන නමුත් ඒ සියලුම දිනුම් මුදල් මෙන් දෙගුණයක හෝ තුන් ගුණයක් ඒ වෙද්දී වැය වෙලා. 

ධම්මික පෙරේරා ව්‍යාපාරික ලෝකයට ඔළුව දාගත්තේ රට පුරා ජැක්පොට් මැෂින් හයි කරමින්. ඒ දවස් වල පිස්සුවෙන් වගේ ජැක්පොට් ගැසූ අය රට පුරාම හිටියා. ජැක්පොට් ක්‍රීඩකයින්ගෙන් දෙකේ කාසි වලට සෑහෙන ඉල්ලුමක් තිබුණා. ජැක්පොට් ක්‍රීඩාවෙන් දිනුම් සේ ලැබෙන්නේ ජැක්පොට් යන්ත්‍රයක් ඇතුළට යන දෙකේ කාසි වලින්ම යම් ප්‍රමාණයක් පමණයි. ඊට අමතරව, යන්ත්‍රය ඇතුළේ දෙකේ කාසි හැදෙන්නේ නැහැ. හැබැයි ඇතුළට යන දෙකේ කාසි සියල්ල නැවත එළියට එන්නේ නැහැ. යන්ත්‍රය ඇතුළේ දෙකේ කාසි පිරෙන්න කලින් ධම්මික පෙරේරා ඇවිදින් යන්ත්‍රය හිස් කරනවා. ඉතිරි වන දෙකේ කාසි ඔහුගේ සාක්කුවට යනවා. 

ජැක්පොට් ක්‍රීඩාවේ යෙදුනු ක්‍රීඩකයෝ මේ බව නොදැන හිටියා නෙමෙයි. ජැක්පොට් ක්‍රීඩාව තහනම් නොකළේනම් මිනිස්සු දිගින් දිගටම ජැක්පොට් ගහනවා. අද ලොතරැයි ගන්න අයත් කරන්නේ මෙයමයි.

සමාගමක කොටස් මිල දී ගන්නා අයෙකු කරන්නෙත් යම් තරමකින් ජැක්පොට් ගහනවා වගේ වැඩක්. මේ ක්‍රීඩාවෙන් දිනන්න හෝ පරදින්න පුළුවන්. එහෙත්, දිගින් දිගටම සමාගමක කොටස් වෙනුවෙන් මුදල් ආයෝජනය කරන අයෙක් බොහෝ විට දිනනවා මිසක් පරදින්නේ නැහැ. මොකද කෙටිකාලීනව සමාගමක කොටස් මිල ඉහළ පහළ යාම අහඹු ලෙස සිදු වුවත්, එය තනිකරම අහඹු ලෙස සිදු වන්නේ නැහැ. දිගුකාලීනව සමාගමක කොටස් මිල ඉහළ පහළ යන්නේනම් එම සමාගම් කොටස් වල වටිනාකම ඇත්තටම අඩු වැඩි වන ආකාරය පිළිබිඹු කරමින්.

සමාගමක කොටස් වල සැබෑ වටිනාකම ඇත්තටම ඉහළ නොගියත්, කවර හෝ හේතුවක් නිසා කෙටිකාලීනව මිල ඉහළ යන අවස්ථා තිබෙනවා. මේ වගේ වෙලාවක එම කොටස් මිල දී ගන්නා අයෙකුට දිගුකාලීනව පාඩුවක් සිදු වෙනවා. ඒ පාඩුව සිදු වන්නේ යම් මොහොතක කොටස් මිල එහි සැබෑ වටිනාකම දක්වා එක වර ක්ෂණිකව පහත වැටීමෙනුයි. එසේ වුවත්, ඒ කඩා වැටීම සිදු වන තුරු යම් කාලයක් කොටස් මිල ඉහළ යා හැකියි. අවදානමක් ගන්න කැමති අයෙකුට මේ කාලය තුළ කොටස් වෙළඳපොළ ගනුදෙනු වලින් සාමාන්‍ය ලාබය ඉක්මවන විශාල ලාබයක් උපයන්න පුළුවන්. හැබැයි මෙය සැබෑ ආයෝජනයකට වඩා සූදුවක්!

කොටස් වෙළඳපොළේ වගේම වෙනත් ඕනෑම වෙළඳපොළක මිල බුබුළු හැදෙන්න පුළුවන්. එය ධනවාදී ක්‍රමයක් ඇතුළේ සිදු වන දුලබ නොවන සිදු වීමක්. බොහෝ විට වගේ මිල බුබුලක් හදන්න දායක වෙන්නේ අතරමැදියෝ. ඒ නිසාම, බොහෝ විට මිල බුබුල කඩා වැටුණු විට පාඩුව විඳින්න වෙන්නේත් ඔවුන්ටයි.

මිල බුබුලක් හැදී ඇති විට එය මිල බුබුලක් බව දන්න, එය කොයි මොහොතක හෝ කඩා වැටෙන බවත් දන්න, බොහෝ දෙනෙක් නොවටිනා මිලක් ගෙවා යම් භාණ්ඩයක් හෝ වත්කමක් මිල දී ගන්නවා. එසේ නොවටිනා මිලක් ගෙවා යම් භාණ්ඩයක් හෝ වත්කමක් මිල දී ගන්නේම මිල බුබුල කඩා වැටෙන්න කලින් වෙනත් අයෙකුට අදාළ භාණ්ඩය හෝ වත්කම විකුණා ලාබයක් ලැබීමේ අරමුණින්. වෙනත් වචන වලින් කිවුවොත් තමන්ට පාඩුවක් වෙන්න කලින් අදාළ භාණ්ඩය හෝ වත්කම කාගේ හෝ ඇඟේ ගැසිය හැකිය යන විශ්වාසයෙන්.

මිල බුබුළු කියන්නේ ධනවාදී වෙළඳපොළක ස්වභාවික ලෙසම බිහි වන පොන්සි ක්‍රීඩාවක් වැනි දෙයක්. බුබුල හැදෙන කාලය තුළ ක්‍රීඩා කරන ඕනෑම කෙනෙකුට ජයග්‍රාහකයෙකු සේ තරඟයෙන් ඉවත් විය හැකියි. පරාජිතයින් නැහැ. එහෙත්, ජැක්පොට් යන්ත්‍රයක් තුළ දෙකේ කාසි හැදෙන්නේ නැතුවාක් මෙන්ම, අදාළ වත්කමේ මිල ඉහළ යාමට සාපේක්ෂව එහි සැබෑ වටිනාකම ඉහළ යන්නේ නැති නිසා යම් මොහොතක මිල බුබුල පුපුරා යනවා. ඒ වන විට තරඟය තුළ රැඳී සිටින සියල්ලන්ම පරාජිතයින් බවට පත් වෙනවා. සාමාන්‍යයෙන් පොන්සි ක්‍රීඩාවක් අවසන් වන්නේත් මේ ක්‍රමයටමයි.

ධනවාදී ක්‍රමයක් තුළ පොන්සි ක්‍රීඩා බිහි වීම ධනවාදී ක්‍රමයට ප්‍රශ්නයක් නෙමෙයි. මොකද මේ විදිහට හැදෙන හෝ හදන පොන්සි ක්‍රීඩාවක් අවසන් වන යාන්ත්‍රනයද ධනවාදය තුළම තිබෙනවා. ආර්ථික අවපාත වලදී බොහෝ විට වෙන්නේත්, ධනවාදී ක්‍රමයක් තුළ බිහි වන පොන්සි ක්‍රීඩා කෙළවර වීමක් වැනි දෙයක්. 

ධනවාදී බටහිර ලෝකයේ ආර්ථික අවපාතයක් ඇති වෙන හැම වෙලාවකම වගේ මෙය ධනවාදයේ කඩා වැටීමක් සේ සලකමින් සතුටු වන පිරිසක් ඉන්නවා. මේ පිරිස අතර සිටින හැමෝම සමාජවාදීන් නොවුනත්, සමාජවාදීන් සාමාන්‍යයෙන් ඉන්නේත් මේ කණ්ඩායමේ. එහෙත්, ආර්ථික අවපාතයක් කියා කියන්නේ ඇත්තටම ධනවාදය ස්ථාවර වෙමින් ඉදිරියට යන ක්‍රියාවලියේම කොටසක්.

ධනවාදයේ පාදක මූලධර්මයක් වන්නේ කිසියම් භාණ්ඩයක හෝ සේවාවක මිල තුළින් එහි සැබෑ වටිනාකම නිරූපණය විය යුතු බවයි. මිල බුබුලක් පවතින විට මෙය සිදු වන්නේ නැහැ. මිල බුබුලක් පිපිරෙද්දී වෙන්නේ අදාළ භාණ්ඩයේ මිල එහි සැබෑ වටිනාකම නිරූපණය වන පරිදි නිවැරදි වීමක්. ආර්ථික අවපාත හරහා වෙන්නේ කිසියම් ආර්ථිකයක සමස්තයක් ලෙස මිල මට්ටමේ තිබෙන වැරැද්දක් නිවැරදි වීමක්. එයට සමාන්තරව සාර්ව-ආර්ථික නිර්ණායක ගණනාවක තිබෙන "වැරදි" ආර්ථික අවපාතයකදී නිවැරදි වෙනවා. ආර්ථිකයක් "කඩා වැටීමේදී" වෙන්නෙත් මේ වගේම දෙයක්. ඒ කියන්නේ වෙළඳපොළ ආර්ථිකයක සැබෑ තත්ත්වය සාර්ව-ආර්ථික නිර්ණායක වලින් පිළිබිඹු වීමක්. 

වරින් වර ආර්ථික අවපාත පැමිණියත් ධනවාදී ආර්ථිකයක් දිගින් දිගටම වර්ධනය වෙනවා. මේ වර්ධනය සිදු වන්නේ විද්‍යාවේ දියුණුවට සමාන්තරව කියා කියන්නත් පුළුවන්. විද්‍යාව කියා කියන්නේ බටහිර විද්‍යාව. ආර්ථිකයක් තුළ බුබුලක් හැදෙද්දී සිදු වෙන්නේ මේ විදිහට විද්‍යාවේ දියුණුවට සමාන්තරව "සැබෑ" වටිනාකම් ඉහළ යාම ඉක්මවා ආර්ථිකය වර්ධනය වීමක්. මේ වගේ දෙයක් සිදු වන අවස්ථාවක වර්ධනය සිදු වන්නේ සැබෑවටම වටිනාකම් ඉහළ යාමක් නිසාද නැත්නම් බුබුලක් හැදීම නිසාද කියන එක ඇතැම් විට ප්‍රායෝගිකව මතු වන ප්‍රශ්නයක්. ඇතැම් අවස්ථා වලදී, සැබෑවටම වටිනාකම් ඉහළ යාමක් ලෙස රජයක් විසින් පෙන්වන තත්ත්වයක් බුබුලක් බව පැහැදිලි වන්නේ බුබුල පිපිරුනාට පසුවයි.

ධනවාදී ආර්ථිකයක බුබුළු ඇති වීම ඉතාම සාමාන්‍ය සංසිද්ධියක් වගේම ධනවාදී ක්‍රමය පිළිබඳව කනස්සළු වීමට කාරණයක් නෙමෙයි. එහෙත්, ධනවාදී ක්‍රමයක් තුළ බොහෝ දෙනෙකු විසින් අපේක්ෂා කරන දිගුකාලීන ආර්ථික වර්ධනය යම් හේතුවක් නිසා නවතිනවානම් හෝ කඩා වැටෙනවානම් එහි කනස්සළු විය යුතු කාරණයක් තිබෙනවා. බටහිර විද්‍යාවේ වර්ධනය යම් හේතුවක් නිසා නැවතුනොත් හෝ කඩා වැටුනොත් එය ධනවාදී ආර්ථිකයන්හි වර්ධනයට සෘජු බලපෑමක් කළ හැකියි. 

බටහිර විද්‍යාව දිගින් දිගටම වර්ධනය වනු ඇති බවට අපට සහතිකයක් තිබේද? මෙය ප්‍රශ්න කරන විවිධ කණ්ඩායම් සිටිනවා. බටහිර විද්‍යාව දිනෙන් දින දියුණු වන බව අප බොහෝ දෙනෙකු විසින් විශ්වාස කරනවා. එහෙත් එය විශ්වාසයක් පමණයි. විද්‍යාව විසින් විසඳන ප්‍රශ්න වලට වඩා ඒ නිසා ඇති කරන ප්‍රශ්න වැඩි බව විශ්වාස කරන කණ්ඩායම්ද සිටිනවා. ඇතැම් පරිසරවාදීන් සිටින්නේ මේ ගොඩේ. මේ දවස් වල ඇතැම් එන්නත් විරෝධීන්ද මේ ගොඩට එකතු වී සිටිනවා.

විද්‍යාව විසින් අප පරම සත්‍යයක් කරා ගෙන යන බවට දාර්ශනික සහතිකයක් නැහැ. ඒ හේතුව නිසාම, ධනවාදය හරහා ලඟා කරගත හැකි දිගුකාලීන සංවර්ධනය සැබෑ ප්‍රගතියක් නොවන බව විශ්වාස කරන අයෙකුගේ එම විශ්වාසයට අභියෝග කළ හැකි දාර්ශනික පදනමක්ද නැහැ. එහෙත්, ඒ තත්ත්වය යටතේ වුවත් ධනවාදය හා සමාජවාදය කියන විකල්ප දෙක අතරින් ධනවාදය පහසු තෝරා ගැනීමක්. මොකද සමාජවාදයේ ඉලක්කය වන්නේද ධනවාදය ඉලක්ක කරන දිගුකාලීන සංවර්ධනයයි. ඒ ඉලක්කය කරා යාමේදී ධනවාදය වඩා කාර්යක්ෂමයි.

ලංකාව වෙත හැරුනොත්, ලංකාවේ ආර්ථිකයේ සිදු විය හැකි කඩා වැටීමකදී සිදු වන්නේ, හදා හෝ හැදී තිබෙන බුබුළු පුපුරා යාමක් පමණයි. එයින් දිගුකාලීනව රටට හෝ රටේ ජීවත් වන මිනිසුන්ට අයහපතක් වෙන්නේ නැහැ. කඩා වැටීමකින් පසුව සිදු විය හැක්කේ රට ඇත්තටම තිබෙන තැන සාර්ව-ආර්ථික නිර්ණායක වලින් නිවැරදිව නිරූපනය වීමක් පමණයි.

පසුගිය කාලයේ ලංකාවේ සාර්ව-ආර්ථික නිර්ණායක වලින් නිරූපණය වූ ප්‍රගතිය සැබෑ ප්‍රගතියක්ද? 

මා මේ ප්‍රශ්නය අසන්නේ ධනවාදය හරහා ලඟා කරගත හැකි දිගුකාලීන සංවර්ධනය සැබෑ ප්‍රගතියක් නොවන්නේය යන සංවර්ධන විරෝධී ආස්ථානයක සිටිමින් නෙමෙයි. මෙය එවැනි සැබෑ ප්‍රගතියක් ධනවාදය හරහා (මෙන්ම අඩු කාර්යක්ෂමතාවයකින් වුවත් සමාජවාදය හරහාද) ලඟා කර ගත හැකිය යන විශ්වාසය මත පදනම්ව අසන ප්‍රශ්නයක්. එසේනම්, මේ ප්‍රගතිය එවැනි සැබෑ ප්‍රගතියක්ද? සැබෑ ප්‍රගතිය ඉක්මවූ මායාවක් පෙන්වන බුබ්බුලයක්ද? එවැනි බුබ්බුලයක් ඇත්නම්, බුබ්බුලයට යටින් සැඟවී තිබෙන සැබෑ ප්‍රගතිය කොපමණද?

පහත පළමු වගුවේ ඔබට දැකිය හැක්කේ ලංකාවේ හා ඇමරිකා එක්සත් ජනපදයේ වසර-1, වසර-5 හා වසර-10 බැඳුම්කර ඵලදා අනුපාතික සංසන්දනයක්. 


සාමාන්‍යයෙන් ලංකාවේ රජය බැඳුම්කර වෙනුවෙන් ගෙවන පොලී අනුපාතික ඇමරිකාවේ එම අනුපාතික වලට වඩා 7-8% පමණ වැඩියි. එසේනම්, ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන බැඳුම්කර ඇමරිකාව විසින් නිකුත් කරන බැඳුම්කර වලට වඩා ආකර්ශනීය විය යුතුයි. එහෙත්, එය එසේ වන්නේ ඩොලරයක මිල ස්ථිරව තිබේනම් පමණයි. ඩොලරයක මිල සාමාන්‍යයෙන් වසරින් වසර ඉහළ යන නිසා ඇත්තටම ලැබෙන්නේ මීට වඩා අඩු ප්‍රතිලාභයක්. දෙවන වගුවෙහි ඔබට එම ඩොලර් ප්‍රතිලාභ දැකගත හැකියි.


විණිමය වෙනස්වීම් සැලකීමෙන් පසුවද ඇමරිකානුවෙකුට ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කිරීමෙන් ඇමරිකාවේදී ලබනවාට වඩා 2-3%ක පමණ ප්‍රතිලාභයක් ලැබිය හැකියි. මෙය ලංකාවේ ආයෝජනය කිරීමේ ඇති වැඩි අවදානම වෙනුවෙන් ඇමරිකානුවෙකු විසින් අපේක්ෂා කරන අධිභාරයයි. එම අවදානමේ කොටස් දෙකක් තිබෙනවා. පළමු කොටස ශ්‍රී ලංකා රජය විසින් ණය පැහැර හැරීමේ අවදානමයි. දෙවැනි කොටස විණිමය අනුපාතය වෙනස් වීමේ අවදානමයි.

දැන් අපි මෙහිදී කතා කරන්නේ ශ්‍රී ලංකා රජයේ රුපියල් ණය ගැන මිසක් ඩොලර් ණය ගැන නෙමෙයි. ඇමරිකාවේ රජයට (ෆෙඩරල් සංචිත බැංකුව හරහා) ඩොලර් අච්චු ගහන්න පුළුවන් වගේම ශ්‍රී ලංකාවේ රජයටත් (මහ බැංකුව හරහා) රුපියල් අච්චු ගහන්න පුලුවන්. ඒ නිසා, ශ්‍රී ලංකා රජය විසින් ගන්න රුපියල් ණය ආපසු නොගෙවීමේ අවදානම ඉතාම අඩුයි. මේ අධිභාරයට තනිකරම වගේ හේතු වෙන්නේ රුපියල් නැවත ඩොලර් කර ගැනීමේදී සිදු විය හැකි පාඩුවයි. 

ලංකාවේ බැඳුම්කර පොලී අනුපාතික කොයි තරම් ඉහළ මට්ටමක තිබුණත්, ඩොලරයේ මිල විශාල ලෙස ඉහළ ගියොත් ඒවායේ ආයෝජනය කරන විදේශිකයෙකුට පාඩුවක් සිදු වෙනවා. උදාහරණයක් විදිහට 2018 වසර තුළ ඩොලරයක මිල 19.56%කින් ඉහළ ගියා. ඒ අවුරුද්දේ වසරක බැඳුම්කරයක පොලිය 11.20%. එය ඇමරිකාවේ එම පොලී අනුපාතය වූ 2.60%ට වඩා ගොඩක් ආකර්ශනීය වුවත් විණිමය අනුපාතය පිරිහීම නිසා ඩොලර් රුපියල් කරලා ලංකාවේ වසරක බැඳුම්කරයක ආයෝජනය කරන විදේශිකයෙකුට අවසාන වශයෙන් වෙන්නේ 10.96%ක පාඩුවක් විඳ දරා ගන්නයි. ඒ නිසා, රුපියල අවප්‍රමාණය වීමේ ඉඩකඩ ඉහළ යද්දී ලංකාවට එන ආයෝජන පහළ යනවා.

බොහෝ විට වෙනවා වගේ රුපියල අවප්‍රමාණය නොවී, අධිප්‍රමාණය වුනොත් වෙන්නේ කුමක්ද? දැන් විදේශිකයෙකුට ලංකාවේ භාණ්ඩාගාර බැඳුම්කර වල ආයෝජනය කරලා ශ්‍රී ලාංකිකයෙකු ලබන ප්‍රතිලාභයත් වඩා වැඩි ප්‍රතිලාභයක් ලබන්න පුළුවන්. එක පැත්තකින් ඉහළ පොලී අනුපාතිකය. අනෙක් පැත්තෙන් ඩොලරයේ මිල පහළ යාම නිසා ලැබෙන වාසිය. ඩබල් බෝනස්!

රුපියල අධිප්‍රමාණය වෙද්දී විදේශිකයෙකුට ලැබෙන මේ වාසිය ලැබෙන්නේ රජය විසින් නිකුත් කරන බැඳුම්කර වල ආයෝජනය කළ විට පමණක් නෙමෙයි. කොටස් වෙළඳපොළෙහි ආයෝජනය කළත්, ඉඩමක් ගත්තත්, ලංකාවේ බැංකු ගිණුමක සල්ලි දැම්මත්, ලංකාවේ කාට හෝ ණයක් දුන්නත්, රුපියල් වලින් වෙන මොනවා හෝ ආයෝජනයක් කළත් මේ වාසියම ලැබෙනවා. ඒ නිසා, රුපියල අධිප්‍රමාණය වෙද්දී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළට විදේශ ආයෝජන ගලා එනවා. හැබැයි මේ විදිහට ලංකාවේ මොනවා හෝ වත්කමක ආයෝජනය කරන විදේශිකයෙක් එසේ කරන්නේ ඩොලරයේ මිල පහළ යාමේ වාසිය බලාගෙන මිසක් අදාළ වත්කම් වල සැබෑ වටිනාකම පිළිබඳ විශ්වාසයෙන් නෙමෙයි. මේක සුදූකරුවන් ආකර්ෂණය කර ගනිමින් පොන්සි ක්‍රීඩාවකින් ප්‍රයෝජනය ගැනීමක් වගේ දෙයක්.

රාජපක්ෂ රෙජීමයේ ආර්ථික උපක්‍රමය වුනේ මේ පොන්සි ක්‍රීඩාව හරහා ඩොලර් ණය රටට ආකර්ශනය කර ගැනීමයි. නමුත්, මේ වැඩේ කරන්නනම් රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වෙන එක ආපසු හැරවිය යුතුයි. රුපියල අධිප්‍රමාණය කිරීම හෝ එය කළ නොහැකිනම් අඩු වශයෙන් එක තැන තියා ගැනීම කළ යුතුයි. ඒ වගේම, රුපියල අවප්‍රමාණය වෙන්න නොදෙන බව ලංකාවේ ඩොලර් ආයෝජනය කළ හැකි අයට කෙසේ හෝ සංඥා කළ යුතුයි.

රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා මහ බැංකුව විසින් වෙළඳපොළට අඛණ්ඩව ඩොලර් සැපයිය යුතුයි. එහෙත්, එය කළ හැක්කේ විදේශ සංචිත විශාල ප්‍රමාණයක් අතේ ඇත්නම් පමණයි. ලංකාව සතුව එවැනි විශාල සංචිත ප්‍රමාණයක් තිබුණේ නැහැ. ඒ නිසා, ලංකාව කළේ අවදානම් සහිත සූදුවකට අත ගහන එක. ඒ ස්වෛරිත්ව බැඳුම්කරයක් නිකුත් කර, එකවර විශාල ඩොලර් ප්‍රමාණයක් හොයා ගෙන එම ඩොලර් වල උදවුවෙන් විණිමය අනුපාතය පහළින් තියා ගැනීමයි.

ඩොලර් මිලියන 500ක් කියා කියන්නේ 2007 වන විට ලංකාව අරගෙන තිබූ වෙනත් විදේශ ණය වලට සාපේක්ෂව විශාල මුදලක්. වසර පහක ස්වෛරිත්ව බැඳුම්කරය සඳහා ශ්‍රී ලංකා රජය විසින් ගෙවන්නට පොරොන්දු වූ 8.25%ක කූපන් පොලී අනුපාතිකය එවකට (මෙන්ම දැනටද) ලංකාව විසින් විදේශ ණය සඳහා ගෙවූ පොලී අනුපාතික වලට සාපේක්ෂව ඉතාම පොලී අනුපාතිකයක්. 

ස්වෛරිත්ව බැඳුම්කරයක ආයෝජනය කරන විදේශිකයෙකුට ලංකාවේ රුපියල් බැඳුම්කරයක ආයෝජනය කරද්දී මුහුණ දෙන්න සිදු වන ඩොලරයේ මිල වෙනස් වීමේ අවදානමට මුහුණ දෙන්න සිදු වන්නේ නැහැ. මොකද සල්ලි හා පොලිය ආපසු ලැබෙන්නේ ඩොලර් වලින්මයි. නමුත්, ලංකාවේ රජයට රුපියල් ණය දීමේදී එවැන්නෙකුට මුහුණ දෙන්න සිදු නොවන අවදානමක් මෙහි තිබෙනවා. ශ්‍රී ලංකාවේ රජයට රුපියල් අච්චු ගහන්න පුළුවන් වුනත්, ඩොලර් අච්චු ගහන්න බැහැ. ස්වෛරිත්ව බැඳුම්කර වෙනුවෙන් ගෙවන්න සිදු වූ ඉහළ පොලිය ඒ අවදානම වෙනුවෙන් ගෙවන්න වූ අධිභාරයයි.

ඉතා ඉහළ පොලියකට වුවත් එකවර විශාල ඩොලර් ප්‍රමාණයක් ලබා ගැනීමෙන් පසු ලංකාවට ඩොලරයක මිල ස්ථාවරව තියා ගන්න පුළුවන් වුනා. එහිදී රුපියල් වලින් ලංකාවේ ආයෝජනය කරන විදේශිකයන්ට ලැබෙන ප්‍රතිලාභද විශාල ලෙස ඉහළ ගියා. රටට ඩොලර් ගලා ගෙන එන්න පටන් ගත්තා. ඒ ඩොලර් වල උදවුවෙන් ඩොලරයක මිල දිගටම පහළින් තියා ගන්න පුළුවන් වුනා.

දැන් ක්‍රම දෙකකට රටට ඩොලර් එනවා. එක පැත්තකින් රජය විසින් කෙළින්ම ගන්න ඩොලර් ණය. අනෙක් පැත්තෙන් විදේශිකයෝ ඩොලර් රුපියල් කරලා ලංකාවේ රුපියල් වලින් ආයෝජනය කරනවා. මේ දෙකෙන්ම වෙන්නේ රටේ ඩොලර් සැපයුම ඉහළ යාම. මහ බැංකුව විසින් මේ ඩොලර් මිල දී ගෙන සංචිත වලට එකතු කර ගත්තානම් සැපයුම අඩු වී විණිමය අනුපාතය කලින් වගේම අවප්‍රමාණය වෙනවා. එවිට, පළමු ක්‍රමයට කෙසේ වෙතත් දෙවන ක්‍රමයට රටට එන ඩොලර් ප්‍රවාහ නවතිනවා. රජයේ ආර්ථික උපාය මාර්ගය වුනේම විණිමය අනුපාතය අවප්‍රමාණය වීම වලක්වා ගැනීම නිසා එවැන්නක් සිදු වුනේ නැහැ.

සාමාන්‍ය ක්‍රමයට අපනයන හෝ ප්‍රේෂණ වලින් රටට එන ඩොලර් ප්‍රමාණයට වඩා විශාල ඩොලර් ප්‍රමාණයක් වෙළඳපොළට පැමිණි විට එම ඩොලර් සැපයුම හා ඉල්ලුම සමාන වන පරිදි ඉල්ලුම ඉහළ යනවා. ආනයන විශාල ලෙස ඉහළ යනවා. ආනයන ලාබදායක නිසා අපනයන හා ආනයන ආදේශක කර්මාන්ත බිඳ වැටෙනවා. සාමාන්‍ය ක්‍රමයට රටට එන ඩොලර් ප්‍රවාහ හිඳෙනවා. නමුත්, උද්ධමනය පහළ යනවා. පරිභෝජනය ඉහළ යනවා. ආයෝජනත් ඉහළ යනවා. දේශීය ණය අවශ්‍යතා සීමා වන නිසා පොලී අනුපාතිකත් පාලනය කර ගත හැකියි. සාර්ව-ආර්ථික නිර්ණායක හැම එකක්ම වගේ හොඳ වෙනවා. 

හැබැයි මේ සියල්ල රඳා පවතින්නේ විණිමය අනුපාතය පාලනය කිරීම මත. විණිමය අනුපාතය පාලනය වෙන්නේ දිගින් දිගටම වෙළඳපොළට සපයන හෝ සැපයෙන ඩොලර් නිසා. එය නැවතුනොත් සියල්ල කණපිට හැරෙනවා. කොටි වලිගය අල්ලා ගත්තා වගේ වැඩක්. ඇත්තටම කොටි වලිගය අල්ලා ගත්තාටත් වඩා අවදානම් වැඩක්. මෙය යම් කිසි අවස්ථාවක අත හරින්නම සිදු වන කොටි වලිගයක්. ඒ ඇයි?

අපි හිතමු කවුරු හෝ විදේශිකයෙක් රුපියල් ලක්ෂ 150කට ලංකාවේ ඉඩමක් මිල දී ගත්තා කියලා. ඩොලරයක් රුපියල් 150යි. ඒ කියන්නේ ඩොලර් ලක්ෂයක් රටට ගේනවා. මේ ඩොලර් රුපියල් වලට මාරු කළහම රටේ ඩොලර් සැපයුම ඉහළ යනවා. ඩොලරයේ මිල පහළ යනවා. ආනයනික භාණ්ඩ වල මිල පහළ ගොස් ඉල්ලුම ඉහළ යනවා. ඩොලර් ලක්ෂය රටෙන් එළියට යනවා. මහ බැංකුව ඩොලර් ලක්ෂය මිල දී ගෙන සංචිත වලට එකතු කර ගත්තොත් මේ වැඩේ වෙන්නේ නැහැ. 

අපි හිතමු වසර තුනකට පසුව ඉඩම රුපියල් ලක්ෂ 180ක් වුනා කියලා. මේ වෙද්දී ඩොලරය රුපියල් 180ක් වෙලානම් අර විදේශිකයාට ලැබෙන්නේ වසර තුනකට පෙර රටට ගෙනා ඩොලර් ලක්ෂය පමණයි. රුපියල් ගෙවා ඩොලර් වෙළඳපොළෙන් මිල දී ගනිද්දී ඩොලර් ඉල්ලුම ඉහළ ගොස් ඩොලරයේ මිල ඉහළ යනවා. මහ බැංකුව විසින් රටට කලින් ගෙන ආ ඩොලර් ලක්ෂය සංචිත වලට එකතු කරගෙන තිබුණානම් ඒ ඩොලර් ලක්ෂය විකුණලා විණිමය අනුපාතය පාලනය කර ගන්න පුළුවන්. සංචිත නැත්නම් ඩොලරයේ මිල ඉහළ යාම වලක්වා ගන්න රජයට කොහෙන් හෝ ඩොලර් ලක්ෂයක් ණයට ගෙන වෙළඳපොළට දමන්න වෙනවා. කොහොම වුනත්, ඉඩම් මිල වැඩි වන වේගයට වඩා වේගයෙන් ඩොලර් මිල වැඩි වන බව විදේශිකයා දැන සිටියේනම් ඔහු හෝ ඇය මේ සල්ලි ලංකාවට ගේන්නේ නැහැ.

අපි හිතමු ඩොලරය 150 මට්ටමේම තිබුණා කියලා. දැන් ඉඩම විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 180 මාරු වෙන්නේ ඩොලර් 120,000කට. රටින් එළියට යන අමතර ඩොලර් 20,000 කවදාවත්ම රටට ඇවිත් නැහැ. ඒ නිසා, ඒ ඩොලර් 20,000 රටින් ගෙනියන්න වෙන්නේ රටේ කවුරු හෝ විදේශ ණයක් අරගෙන ඩොලර් 20,000ක් රුපියල් කළොත්ම පමණයි. ඉන් පසු, ඒ ණය වෙනුවෙන් ඩොලර් වලින් පොලී ගෙවද්දීත් නැවත ඔය වගේම ප්‍රශ්නයක් මතු වෙනවා. 

විණිමය අනුපාතය අවප්‍රමාණය වෙන්න නොදී තියා ගෙන සිටිමින් විදේශිකයන්ගෙන් රුපියල් ණය ගත් විට වෙන්නේත් ඔය ටිකමයි. රුපියල් ණය වෙනුවෙන් රුපියල් වලින් ගෙවන පොලිය ඩොලර් කරද්දී එළියට යන්නේ රටට කවදාවත් නොආ ඩොලර්. ජැක්පොට් මැෂිමක් ඇතුළේ දෙකේ කාසි පැටවු ගහන්නේ නැතුවාක් වගේම ලංකාව ඇතුළේ ඩොලර් පැටවු ගහන්නේත් නැති නිසා නැති නිසා රටට කවදාවත් නොපැමිණි ඩොලර් රටින් එළියට යනවා කියා කියන්නේ හැම විටම පියවන ණය ප්‍රමාණයට වඩා වැඩි ණය ප්‍රමාණයක් අලුතින් ගන්නම වෙනවා කියන එක. මේක පොන්සි ක්‍රීඩාවක්.

පොන්සි ක්‍රීඩාවක් කවදා හෝ කඩා වැටෙනවා. මේ පොන්සි ක්‍රීඩාව කඩා වැටෙන්නේ තව දුරටත් ණය ගන්න බැරි වූ දවසට. ඒ දවස එන තුරු රටේ හැමෝම ජයග්‍රාහකයෝ. මොකද සාර්ව-ආර්ථික නිර්ණායක හැම එකක්ම හොඳින් තියෙන්නේ විණිමය අනුපාතය අවප්‍රමාණය නොවීම නිසා. විණිමය අනුපාතය අවප්‍රමාණය නොවන්නේ එක්කෝ දිගටම ණය ගන්න නිසා. නැත්නම් දිගටම ණය ලැබෙන නිසා. දිගටම ණය ලැබෙන්නේ විණිමය අනුපාතය අවප්‍රමාණය නොවීම නිසා. 

මේ ක්‍රමය පවත්වා ගන්න හැම වෙලාවේම ණය දෙන්න කැමති අළුත් ගනුදෙනුකරුවෙක්ව අල්ල ගන්න වෙනවා. බැරි වූ දවසට විණිමය අනුපාතය එක වර කඩා වැටෙනවා. උද්ධමනයද එක වර ඉහළ යනවා. හැබැයි විණිමය අනුපාතය වගේම මිල මට්ටමත් නවතින්නේ තිබිය යුතු තැන. 

මේ ක්‍රීඩාව ආරම්භ කළ රාජපක්ෂලා තවමත් උත්සාහ කරන්නේ කවුරු හෝ අලුත් ක්‍රීඩකයින් පිරිසක් බඳවා ගෙන පොන්සි ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න. සමහර විට තවත් ටික කලක් ඔවුන් ඒ වැඩේ කරයි. හැබැයි මේ ක්‍රීඩාව පොන්සි ක්‍රීඩාවක්!

Friday, January 14, 2022

ධනවාදය හා පොන්සි ක්‍රීඩා


ලොතරැයි ගැනීම කියා කියන්නේ නරක දෙයක් නෙමෙයි. ආර්ථික විද්‍යා අර්ථයකින් ගත්තොත් අප එදිනෙදා කරන ගොඩක් දේවල් ආකෘතිමය වශයෙන් ලොතරැයි ගැනීමකට සමානයි. ලැබෙන ප්‍රතිලාභය පිළිබඳ ලොකු අවිනිශ්චිතතාවයක් තිබියදී සැලකිය යුතු ප්‍රතිලාභයක් හිමි වීමේ යම් ඉඩකඩක් වෙනුවෙන් ස්වේච්ඡාවෙන් මිලක් ගෙවන අවස්ථාවක් ආර්ථික විද්‍යා අර්ථයෙන් ලොතරැයියක් ගැනීමක්. රක්ෂණ ගිවිසුම් වල සිට සමාගමක කොටස් මිල දී ගැනීම දක්වා බොහෝ දේවල් වල අඩු වැඩි වශයෙන් මේ ලක්ෂණය තිබෙනවා.

ධනවාදී ක්‍රමයක් ඇතුළේ ලොතරැයි ක්‍රම බිහි වෙනවා වගේම ලොතරැයි ක්‍රම වලින් ඇතැම් ප්‍රශ්න වලට විසඳුම්ද ලැබෙනවා. මෙයින් අදහස් කළේ ලොතරැයි දිනුමකින් තනි පුද්ගලයෙකුගේ යම් යම් ප්‍රශ්න විසඳෙන එක වැනි සරල දෙයක් නෙමෙයි. සමස්තයක් ලෙස ලොතරැයි ක්‍රම හරහා ඇතැම් සමාජයයීය ප්‍රශ්න විසඳෙනවා. සමාජවාදීන් වුවත්, ලොතරැයි නරක දෙයක් සේ සලකන්නේ නැහැ. සෝවියට් දේශය වැනි සමාජවාදී රටවල රජය මුල් වී ලොතරැයි ක්‍රම හඳුන්වා දී තිබෙනවා. ලංකාවට ලොතරැයි හඳුන්වා දී තිබෙන්නේත් රජය විසින්.

පොන්සි ක්‍රීඩාවක් සාමාන්‍ය ලොතරැයි ක්‍රීඩාවකින් වෙනස් වන ප්‍රධාන කරුණක් වන්නේ ක්‍රීඩකයන් අතර තිබෙන අසමමිතියයි. ඊටත් වඩා වැදගත් වෙනස සාමාන්‍ය ලොතරැයි ක්‍රීඩාවක ආකෘතිය ස්ථිතික ආකෘතියක් වුවත් පොන්සි ක්‍රීඩාවක ආකෘතිය ගතික ආකෘතියක් වීමයි. ඇත්තටම පෙර විස්තර කළ ක්‍රීඩකයින් අතර තිබෙන අසමමිතිය ඇති වන්නේම ක්‍රීඩාවේ මේ ගතික ස්වභාවය නිසයි. 

සාමාන්‍ය ලොතරැයි ක්‍රීඩාවකදී ජයග්‍රාහකයා විසින් ප්‍රතිලාභ එකතු කර ගන්නා මොහොතේම ඒ ප්‍රතිලාභ වෙනුවෙන් මිලක් ගෙවන අනෙකුත් තරඟකරුවන් පරාජිතයින් සේ තරඟයෙන් ඉවත් වීමද සිදු වෙනවා. එතැනින් එහාට ක්‍රීඩාව ඉවරයි. පොන්සි ක්‍රීඩාවකදී ඒ වැඩේ වෙන්නේ නැහැ. තරඟයෙන් ඉවත් වෙන්නේ ජයග්‍රාහකයින් පමණයි. පරාජිතයෝ ජයග්‍රහණය ලැබෙන තුරු තව දුරටත් තරඟයේ රැඳී ඉන්නවා. 

කොහොම වුනත්, පොන්සි ක්‍රීඩාවක් කියන්නේත් ශුන්‍ය-ඓක්‍ය ක්‍රීඩාවක් නිසා ජයග්‍රහණ තරමටම පරාජයන්ද තිබිය යුතුයි. පරාජිතයින් ක්‍රීඩාවෙන් ඉවත් නොවන නිසා කාලයත් සමඟ පරාජිතයින් එක්රැස් වීමක් සිදු වෙනවා. මේ බොහෝ දෙනෙකුට සෛද්ධාන්තිකවම කවදාවත් ජයග්‍රාහකයින් වෙන්න බැහැ.

අජිත් ධර්මා ලියලා තිබුණා "ධනවාදය එනකොට ඉස්සෙල්ලම එන්නේ ඔය පිරමිඩ් ස්කීම්" කියලා. ඔහු මේ කියන්නේ සමාජවාදය බිඳ වැටී ධනවාදය ආදේශ වන අවස්ථාවන් ගැන. මේ කතාවේ ඇත්තක් තියෙනවා. රුසියාව නෙමෙයි ලංකාව දිහා බැලුවත් මේ කරුණ පේනවා. ලොතරැයි ක්‍රම වගේම පිරමිඩ් ක්‍රමත් හැදෙන්නේ ධනවාදී ක්‍රමයක් තුළයි. රජය මුල් වී පිරමිඩ් ක්‍රමයක් හඳුන්වා දුන්නොත් මිස, සමාජවාදී ක්‍රමයක් ඇතුළේ පිරමිඩ් ක්‍රම හැදෙන්න විදිහක් නැහැ. හැබැයි රජයයන් මුල් වී පිරමිඩ් හදන අවස්ථානම් සුලභයි.

ධනවාදී ක්‍රමයක් තුළ පිරමිඩ් හැදුනත් ඒ පිරමිඩ් ස්වභාවික ලෙසම කඩා වැටී සමතුලිත වෙනවා. ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් වෙන්නේ කඩා වැටීමට වඩා කඩා නොවැටීමයි. මොකද පිරමිඩයක් කඩා නොවැටී දීර්ඝ කාලයක් වැවුනොත්, එය කොයි වෙලාවක හෝ කඩා වැටෙන්නේ සමාජයීය ප්‍රශ්න රාශියක් ඇති කර ගෙනයි. 

ධනවාදය පිළිබඳ මාක්ස්වාදී දෘෂ්ඨිය ඇතුළේ සමස්ත ධනවාදී ක්‍රමයම පිරමිඩ් ක්‍රමයක් එහෙමත් නැත්නම් පොන්සි ක්‍රීඩාවක් සේ දකින ස්වභාවයක් තිබෙනවා. එයට හේතුව වෙළඳපොළ තුළ සිදුවන අතරමැදි ගනුදෙනු වලද පොන්සි ක්‍රීඩාවක තිබෙන ඇතැම් ලක්ෂණ තිබීමයි. 

අතරමැදියෙකු විසින් අයෙකුගෙන් අඩු මිලකට මිල දී ගන්න භාණ්ඩයක් වෙනත් අයෙකුට වැඩි මිලකට විකුණනවා. මේ වැඩේ අනත්ත වාරයක් කිරීමෙන් අතරමැදියාට ලෝකයේම තිබෙන ධනය තමන් අතට එකතු කර ගන්න පුළුවන්ද? එහෙම බැරි බව අපේ සාමාන්‍ය බුද්ධිය අපට කියනවා. ධනවාදී වෙළඳපොළ තුළ සිදු වන්නේ සරල ආකෘතියකින් පැහැදිලි කළ හැකි ඔය වගේ දෙයක්නම් ධනවාදය කඩා වැටෙන එක අහන්නත් දෙයක් නැහැ.

පොන්සි ක්‍රීඩාවක තිබෙන ඇතැම් ලක්ෂණ තිබෙන හැම ක්‍රියාවලියක්ම පොන්සි ක්‍රීඩාවක් නෙමෙයි. භාණ්ඩයක් එහි බාහිර පෙනුමෙන් සමාන වුවත්, එක් එක් පුද්ගලයා විසින් එයට ලබා දෙන වටිනාකම් වෙනස්. ඒ නිසා, අතරමැදියෙකුට කිසියම් භාණ්ඩයක් එයට අඩු වටිනාකමක් දෙන කෙනෙකු අතේ තිබෙන අවස්ථාවක් හොයලා එය මිල දී ගෙන ඒ භාණ්ඩයටම වැඩි වටිනාකමක් දෙන අයෙකුට විකිණීමෙන් ලාබයක් ලබන්න පුළුවන්. හැබැයි මෙය කළ හැක්කේ අදාළ භාණ්ඩයට වැඩි වටිනාමක් දෙන කෙනෙක් හොයා ගත හැකිනම් පමණයි. එසේ නැතිව අතරමැදියෙකුට ඕනෑම භාණ්ඩයක් ඕනෑම මිලකට විකුණන්න පුළුවන්කමක් නැහැ. 

ධනවාදී ක්‍රමයක් තුළ සිදු ඇතිවන ගතික ක්‍රියාවලියක් ස්ථායී සමතුලිතතාවයක් වීමටනම් එවැන්නක් කාලයත් සමඟ යම් දිශාවකට ගලා යාමේදී ඇති වන අසමතුලිතතාවය නිශේධනය කර දිශානතිය වෙනස් කළ හැකි යාන්ත්‍රනයක්ද පද්ධතිය ඇතුළේම තිබිය යුතුයි. බොහෝ විට මෙවැනි හැරවුමක් අනිවාර්යයෙන්ම සිදුවන ස්වභාවික සීමාවක් තිබෙනවා.

සමහර අය ඉන්නවනේ වීසා කාඩ් එකේ ණය මාස්ටර්කාඩ් එකෙන් ගෙවලා ඊළඟ මාසයේ මාස්ටර්කාඩ් එකේ ණය වීසා කාඩ් එකෙන් ගෙවන. ඔය වගේ දෙයක් දිගින් දිගටම කරන්න බැහැ. එහෙම පුළුවන් කියා හිතලා හදන ආකෘතියක් ස්ථායී ආකෘතියක් නෙමෙයි. කාඩ් දෙකෙන් එකක ණය සීමාවට ආවට පස්සේ ක්‍රියාවලිය නවතිනවා.

රාජ්‍ය අයවැය ගනිමුකෝ. රජයේ ආදායමට වඩා වියදම් අඩුනම් වෙනස ඉතිරි වෙනවා. එසේ එකතු කරගත් අරමුදල් තිබෙන තුරු ආදායම ඉක්මවා වියදම් කරන්න පුළුවන්. ඊට පස්සේ ණය ගන්න වෙනවා. 

රජයකට කොයි තරම් ණය ගන්න පුළුවන්ද? ණය දෙන අය සිටින තුරු ණය ගන්න පුළුවන්. හැබැයි ණය දෙන අයගෙන් ගත හැකි ණය අසීමිත නැහැ. යම් සීමාවක් තිබෙනවා. 

තව අවශ්‍යනම් සල්ලි අච්චු ගහන්නත් පුළුවන්. සල්ලි අච්චු ගැසීමේ සීමාව කොතැනද? උද්ධමනය කියා කියන්නේ සල්ලි අච්චු ගැසීම සීමා කරන යාන්ත්‍රනයයි. ඒ යාන්ත්‍රනය නැත්නම් අසීමිත ලෙස සල්ලි අච්චු ගහන්න පුළුවන්. කිසිම මහන්සියක් නොවී හැමෝටම කැමති තරමකට පරිභෝජනය කරන්න පුළුවන්. 

ඒ වගේ දෙයක් වෙන්න විදිහක් නැහැ කියන එක පැහැදිලියිනේ. ඒ කියන්නේ එහෙම පුළුවන් කියා කිසියම් ආකෘතියකින් පෙන්වනවානම් ආකෘතියේ අඩුපාඩුවක් තිබිය යුතුයි. ගතික සාර්ව ආර්ථික ආකෘතියකට "පොන්සි-නොවන කොන්දේසිය" පිළිබඳ පරීක්ෂාව අවශ්‍ය වෙන්නේ මේ හේතුව නිසා. වැරදි ආකෘතියක් ඇතුළේ පොන්සි ක්‍රීඩාවක් තිබිය හැකි වුවත්, සැබෑ ලෝකයේ කඩා නොවැටෙන පොන්සි ක්‍රීඩා තියෙන්න බැහැ.

Thursday, January 13, 2022

සූදු, ලොතරැයි හා පොන්සි ක්‍රීඩා


අප ලියන ලිපි වලට නිතරම වගේත්, මුලින්මත්, මොනවා හෝ ප්‍රතිචාරයක් දමන නිදි කලින් ලිපියට ප්‍රතිචාරයක් දමමින් මෙසේ සටහන් කර තිබුණා.

"ඉකොනෝ, ප්‍රායෝගික බුද්ධිය නැතිකම නිසා පිරමිඩ් ක්‍රමයට දායක වෙලා අනුන්වත් අමාරුවේ දාලා තමනුත් අමාරුවෙ වැටුණු විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් පවා ඒ කාලෙ හිටියා....ඉතිං සාමාන්‍ය ජනතාව මේ උගුල්වලට අහු වීම පුදුමයක්ද?"

අපි මෙතැනින්ම පටන් ගනිමු. පිරමිඩ් ක්‍රමයකට දායක වෙන කෙනෙක් එසේ කරන්නේ ප්‍රායෝගික බුද්ධිය නැතිකම නිසාමද?

මේ ප්‍රශ්නයම අපට සූදු, ලොතරැයි ආදිය සම්බන්ධවත් අහන්න පුළුවන්. 

“ඉත්ථි දුත්තෝ සුරා ධුත්තෝ

අක්ඛ ධුත්තෝ ච යෝ නරෝ

ලද්ධං ලද්ධං විනාසේති

තං පරාභාවතෝ මුඛං”

“යම් මිනිසෙක් ස්ත්‍රීන් කෙරෙහි ලොල් වූයේද, සුරාවෙහි ලොල් වූයේද, සූදුවෙහි ලොල් වූයේද තමාට ලැබෙන ලැබෙන දේ විනාශ කරයි ද ඔහු පිරිහීමට පත්වෙයි” 

ලංකාවේ ගොඩක් අය දන්න, සූදුව පිළිබඳ බෞද්ධ අදහස ඕකයි. වෙනත් බොහෝ ආගම් වලින්ද සූදුව දිරිමත් කරන්නේ නැහැ. හැබැයි ඔය කියන අනෙක් පරාභව මුඛ දෙකට වගේම සූදුවටත් ලොල් විශාල පිරිසක් ඉන්නවා. 

ලොතරැයියක් කියන්නෙත් එක්තරා ආකාරයක සූදුවක්. ලංකාවේ ජාතික ලොතරැයි මණ්ඩලය කියලා එකකුත් තියෙනවා. ඔය ආයතනයේ උදාන පාඨය "දිනක ජය නියත" කියන එකයි. සංවර්ධන ලොතරැයි මණ්ඩලයක් වෙනම තියෙනවා. ලංකාවේ රාජ්‍ය ආයතන පාඩු ලබන එක සාමාන්‍ය දෙයක් වුවත්, ඔය ආයතනනම් සාමාන්‍යයෙන් දිගින් දිගටම ලාබ ලබන ආයතන. සුරාව වගේම සූදුවත් ලංකාවේ රජයේ වැදගත් ආදායම් මාර්ගයක්. ඔය පරාභව මුඛ දෙකට තුන් වන එකත් එකතු කිරීමේ හැකියාව පිළිබඳ කතිකාවකුත් මේ දවස් වල තියෙනවා. තායිලන්තයත් ගොඩ ගියා කියනවනේ!

ජාතික ලොතරැයි මණ්ඩලය පිහිටුවන්නේ සිරිමාවෝ බණ්ඩාරනායකගේ පළමු ආණ්ඩුවෙන්. ඊට පෙර සිටම ලංකාවේ ආරෝග්‍යශාලා ලොතරැයිය කියා එකක් තිබුණා. එය හඳුන්වා දී තිබෙන්නේ නිදහස් ලංකාවේ පළමු අධ්‍යාපන ඇමති වූ ඇලෙක්සැන්ඩර් නුගවෙල කොතලාවල ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිව සිටි කාලයේ. නිදහසින් පසුව ලංකාවේ රාජ්‍ය අයවැය අතිරික්තයක් දැකිය හැකි වූයේත් ඔය කාලයේ වසර දෙකක් තුළ පමණයි. 

ආරෝග්‍යශාලා ලොතරැයි යුගය මට මතක නැහැ. ඒ කාලයේ මා ඉපදී නැහැ. මට මතක තිබෙන කාලය වෙද්දී ආරෝග්‍යශාලා ලොතරැයිය ජාතික ලොතරැයිය වෙලා. හැබැයි මම ඔය ආරෝග්‍යශාලා ලොතරැයි දැකලා තියෙනවා. 

මට මතක තියෙන කාලයේ මගේ මවගේ පියා සතිපතාම ජාතික ලොතරැයියක් මිල දී ගත්තා. මේ ලොතරැයියක් මුලින් ශත පණහට තිබී හැත්තෑ හතෙන් පසුව රුපියලක් වුනා. "දිනක ජය නියත" කියා කිවුවත් කවදාවත්ම ඔහුට ලොතරැයියක් ඇදුනේනම් නැහැ. ආරෝග්‍යශාලා ලොතරැයිය ආරම්භ වූ කාලයේ සිට සතිපතා මිල දී ගත් ලොතරැයි ලොකු මිටියක් ඔහු එකතු කරගෙන සිටියා.  ඔහු ඉතා දැඩි ලෙස බෞද්ධ වත් පිළිවෙත් අනුගමනය කළ හා ආගම ගැන පුළුල් දැනුමක් තිබුණු කෙනෙක්. ලොතරැයියක් කියන්නෙත් සූදුවක් බව ඔහුට නොතේරුණාද, එසේ නැත්නම් මෙහි ලාභය යහපත් කටයුත්තක් වෙනුවෙන් යෙදවෙන නිසා එයට දායක වීමේ අරමුණින් ලොතරැයි මිල දී ගත්තාද කියා මම දන්නේ නැහැ. දිනක ජය නියත නිසාම ගත්තා වෙන්නත් පුළුවන්.

ඔය කාලයේ ලොතරැයියක් දිනනවා කියන එක ඉතා දුලබ දෙයක්. මතක හැටියට ප්‍රධාන තෑගී තුනක් හා සැනසිලි තෑගි කීපයක් පමණයි තිබුණේ. පළමු තෑග්ග දිනන අයෙකුට රුපියල් ලක්ෂයක මුදලක් හෝ එපමණ වටිනා සුඛෝපභෝගී බෙන්ස් මෝටර් රථයක් දිනා ගැනීමට අවස්ථාව තිබුණා. ඒ කාලයේ රුපියල් ලක්ෂයක් කියා කියන්නේ විශාල මුදලක්. ජාතික ලොතරැයියට පසුව මහජන සම්පත ලෙස හැඳින්වුණු (ආරම්භයේදී ජාතික සම්පත) ඒ ආකෘතියේම ලොතරැයියක්ද හඳුන්වා දී තිබුණා. මේ කවර ලොතරැයියක් වුවත් මිල දී ගෙන දිනුම් අදින තුරු බලා සිටිය යුතුයි.

අසූ ගණන් වල මුලදී සංවර්ධන ලොතරැයිය නමින් ක්ෂණික ලොතරැයියක් හඳුන්වා දෙනු ලැබුවා. මතක විදිහට 1983දී පමණ. සම්ප්‍රදායික ලොතරැයි වලට වඩා මිල වැඩියි. ලොතරැයියක් රුපියල් 10ක්. නමුත්, දිනුම් අදින තුරු බලා ඉන්න අවශ්‍ය නැහැ. ඒ වගේම, රුපියල් 10 සිට ඉහළට තෑගි විශාල ප්‍රමාණයක් තිබුණා. ඒ නිසා, සම්ප්‍රදායික ලොතරැයි ආකෘතියේ තිබුණු ජයග්‍රාහකයෙකු වීමේ අපේක්ෂාවට අමතරව, සුළුවෙන් හෝ වාසියක් ලබා ජයග්‍රාහකයෙකු වීමේ තෘප්තියද මේ ලොතරැයියේ තිබුණා. මේ ලොතරැයියේ ලාබ වැය කරනු ලැබුවේ මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට. 

බැලූ බැල්මට පෙනෙන පරිදි ලොතරැයියක් කියා කියන්නේ යහපත් අරමුණක් වෙනුවෙන් අරමුදල් සපයා ගත හැකි පහසු ක්‍රමයක්. හැබැයි මේ වගේ ලොතරැයියක ආකෘතිය ඒ තරම්ම යහපත් නැහැ. වෙනත් ඕනෑම සුදූ ක්‍රීඩාවක් කරන්නෙක් වගේම ලොතරැයි වලට ඇබ්බැහි වූ අයෙකුද දිගුකාලීනව අනිවාර්යයෙන්ම යන්නේ විනාශ මුඛයටයි. එය ගණිතමය සත්‍යයක්. 

සංවර්ධන ලොතරැයිය වැනි ලොතරැයියක තෑගි ලෙස වෙන් කෙරෙන්නේ විකිණුම් මිලෙන් ආසන්න වශයෙන් 30-40%ක පමණ කොටසක් පමණයි. මම මුල් කාලයේදීම මෙය ගණනය කර ගත්තා. ඒ නිසා, කුඩා කාලයේ සිටම සදාචාරාත්මක නොවන හේතුවක් මත මා ලොතරැයි මිල දී ගන්නේ නැහැ. හැබැයි කවදාවත් ලොතරැයි මිල දී ගන්නේ නැහැ කියන්න බැහැ. අව්වේ කර වෙමින් ලොතරැයි විකුණන මගේ මව වැනි අහිංසක කාන්තාවක් ලොතරැයියක් දික් කළාම, ප්‍රතිපත්ති නිසා හෝ විනාශ මුඛයක් වීම නිසා හෝ අහක බලාගෙන ඉන්න බැහැ. ඒ වගේ අවස්ථා තිබෙනවා.

ඇතැම් සුදූ රජය විසින් විකුණන ලොතරැයි තරම් අවාසිදායක නැහැ. මම මුලින්ම ක්‍රීඩා කර තිබෙන සූදුව අවුරුද්දට කැට ගහන එක. බොහෝ අවුරුදු වල කැට ගහන්න කියලා ගෙදරින්ම කීයක් හෝ අත මිට මොළවලා තියෙනවා. ඔය කැට පොළක සබන් කැට, පවුඩර් ටින් වගේ පොඩි පොඩි බඩු තියෙනවා. කැට ගහලා දිනුවොත් ලැබෙන බඩුව බොහෝ විට ගෙදරටයි දෙන්න වෙන්නේ. 

ඕක වෙන්නේ මෙහෙමයි. කැට පොළේ අයිතිකාරයා පවුඩර් ටින් එක උස්සලා පෙන්වනවා. 

"මේ පවුඩර් ටින් එකට පහ ගානේ දාන්න!"

"කෝ තව මදි. හය දෙනෙක් ඕනෑ!"

ඔය විදිහට මුලින්ම කරන්නේ තරඟකරුවන් යම් කිසි ප්‍රමාණයක් එකතු කර ගන්න එක. ගොඩක් වෙලාවට එකතු කර ගන්න මුදල පවුඩර් ටින් එකේ වටිනාකම මෙන් දෙගුණයක් තරම්වත් වැඩියි. හැබැයි දිනන පුද්ගලයාට එහි වටිනාකමට වඩා ගොඩක් අඩුවෙන් බඩුව ලැබෙනවා. 

ඔය වැඩෙන් පාඩු දෙකක් වන බව මටනම් මුලදීම තේරුණා. මේ හරහා වෙන්නේ කැට පොළේ අයිතිකරු විසින් කිසියම් භාණ්ඩයක් නොවටිනා මිලකට අලෙවි කර විශාල ලාබයක් උපයන එක. ඒ නිසා, අතරින් පතර දිනුමක් ලැබුණත් අවසාන වශයෙන් වෙන්නේ පාඩුවක්. පවුඩර් ටින් එක කෙළින්ම කඩෙන් ගන්න එක ඊට වඩා ගොඩක් ලාබයි. 

දෙවන පාඩුව පෞද්ගලික පාඩුවක්. කැට ගහලා ලබන දිනුම බොහෝ විට මට පෞද්ගලිකව අනවශ්‍ය දෙයක්. ඕක ගෙදරට දෙන්න පුළුවන් තමයි. නමුත් සල්ලි අතේ ඉතිරි වී තිබුණොත් එයින් මට අවශ්‍ය දෙයක් මිල දී ගත හැකියි.

හැබැයි ඔය කැට සූදුවටම සම්බන්ධ විය හැකි තවත් ක්‍රමයක් තිබුණා. ඒ පැත්තකට වී ක්‍රීඩකයන් වෙනුවෙන් ඔට්ටු අල්ලන එක. අපි හිතමු අඩු වැඩි ඇල්ලුවා කියලා. මේ වැඩෙන් දිගුකාලීනව පාඩුවක් හෝ වාසියක් වෙන්නේ නැහැ. දිනන්න වගේම පරදින්නත් සමාන ඉඩක් තිබෙනවා. ඊට අමතරව ක්‍රීඩා කිරීමෙන් ලැබෙන තෘප්තියත් තියෙනවා. යම් හෙයකින් අන්තිමට අතේ සල්ලි සියල්ලම නැති කර ගෙන ගෙදර යන්න වුනත්, එතෙක් සෑහෙන වෙලාවක් ක්‍රීඩා කරන්න පුළුවන්. 

ප්‍රතිපත්තියක් විදිහට මම ලොතරැයි ක්‍රීඩා කරන්නේ නැහැ කියා කිවුවනේ. හැබැයි එයට එකම හේතුව එයින් අවසාන වශයෙන් අපේක්ෂා කළ හැක්කේ පාඩුවක්ම වීමයි. මෙය මෙසේ නොවන අවස්ථාවක මම ලොතරැයි ක්‍රීඩාවක් කරන්න පැකිලෙන්නේ නැහැ. පැහැදිලිව ලොතරැයියක් සේ නොපෙනුණත්, අප එදිනෙදා ගන්නා බොහෝ තීරණ වලදී වෙන්නේ ලොතරැයියක් මිල දී ගැනීමේදී සිදු වන දෙයමයි. 

අර කැට ක්‍රීඩාවේදී දිනන්න වගේම පරදින්නත් සමාන ඉඩක් තිබෙන අඩු වැඩි ඇල්ලීම ගැන මම කිවුවනේ. ඔය වගේ "ලොතරැයියකට" ආර්ථික විද්‍යාවේදී කියන්නේ "සාධාරණ ලොතරැයියක්" කියලා. මෙහිදී එක් එක් ක්‍රීඩකයා ක්‍රීඩාව සඳහා යොදවන මුදලත්, එක් එක් ක්‍රීඩකයා විසින් ජයග්‍රහණය කරන මුදලත් සමානයි. රජය හෝ කැටපොළේ අයිතිකරු වැනි තෙවන පාර්ශ්වයක් විසින් පැත්තක සිට ක්‍රීඩකයින් විසින් යොදවන මුදල් වලින් කොටසක් ඩැහැ ගන්නේ නැහැ. 

සාධාරණ ලොතරැයියක් දිගින් දිගටම ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් දිනන්නේ හෝ පරදින්නේ නැහැ. ඇතැම් සාමූහික ක්‍රියාකාරකම් වලද මේ ලක්ෂණය තිබෙනවා. මරණාධාර සමිතියක් වැනි දෙයක් ගැන හිතන්න. 

සාමාජිකයෙකුගේ නිවසක මරණයක් සිදු වුනොත් අනෙක් හැම සාමාජිකයෙක් විසින්ම කිසියම් මුදලක් ඒ සාමාජිකයාට ලබා දෙනවා. මෙහිදී එම මුදල් වලින් කොටසක් කිසිදු තෙවන පාර්ශ්වයක් වෙත යන්නේ නැහැ. එසේ වුවත්, එපමණකින්ම මෙය සාධාරණ ලොතරැයි ක්‍රීඩාවක් වන්නේ නැහැ. ඒ සඳහා, තවත් කොන්දේසියක් සම්පූර්ණ විය යුතුයි. ඒ සමමිතික වීමේ කොන්දේසියයි. 

ඕනෑම නිවසක මරණයක් සිදු වීමේ සම්භාවිතාව එක සමානනම් ඉහත ක්‍රීඩාව සාධාරණ ලොතරැයි ක්‍රීඩාවක්. එහෙත්, එය එසේ නොවන බව අප දන්නවා. තරුණ යුවලක් පමණක් සිටින නිවසකින් මරණයක් වාර්තා වීමේ සම්භාවිතාව, රෝගී මහළු යුවලක් සිටින නිවසකින් මරණයක් වාර්තා වීමේ සම්භාවිතාවට වඩා අඩුයි. ඒ නිසා, මේ නිවෙස් දෙකෙන්ම මරණාධාර සමිතියට ලබා දිය යුතු දායකත්වය සමානනම් එවැන්නක් සාධාරණ ලොතරැයි ක්‍රීඩාවක් වන්නේ නැහැ. එහිදී තරුණ යුවලක් පමණක් සිටින නිවස ක්‍රීඩාවෙන් පරාජය වීමේ සම්භාවිතාව වැඩියි. රෝගී මහළු යුවලක් සිටින නිවස ක්‍රීඩාවෙන් ජය ගැනීමේ සම්භාවිතාව වැඩියි. 

මේ වගේ තත්ත්වයක් යටතේදී, ඒ කියන්නේ හුදෙක් සමමිතික කොන්දේසිය සම්පූර්ණ නොවීමේ හේතුව පමණක් මත ලොතරැයි ක්‍රීඩාවක් සාධාරණ ලොතරැයි ක්‍රීඩාවක් නොවන අවස්ථාවක, ක්‍රීඩාවට සම්බන්ධ වන පිරිස් වල සංයුතියේ සිදු වන වෙනසකින් පසුව අදාළ ක්‍රීඩාව වඩා සාධාරණ ලොතරැයි ක්‍රීඩාවක් බවට පත් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ළඟදී මරණයක් සිදු වීමේ ඉඩක් නොපෙනෙන පවුල් මරණාධාර සමිතියේ සාමාජිකත්වය ගැනීමෙන් වැලකී ඉන්නවා. අවසානයේදී සමිතියේ ඉතිරි වෙන්නේ අපි වගේ නාකි මැන්ටල් විතරයි. දැන් මොකද වෙලා තියෙන්නේ?

දැන් මේ ඉතිරිව සිටින සාමාජිකයින් කාගේ ගෙදරක වුනත් යම් මොහොතක මරණයක් වෙන්න සැලකිය යුතු ඉඩක් තිබෙනවා. ඒ නිසා, ඒ කිසිවෙකුට අනෙක් අයට නැති විශේෂ වාසියක් හෝ අවාසියක් නැහැ.

කිසියම් සූදුවක් සාධාරණ ලොතරැයි ක්‍රීඩාවක් වූ පමණින් වුවත් හැමෝම සූදුවට යන්නේ නැහැ. ඒ පරාභව සූත්‍රය අහලා තියෙන නිසාම නෙමෙයි. මෙයට ආර්ථික විද්‍යාත්මක හේතු තිබෙනවා.

ආර්ථික විද්‍යාවේදී කතා කරන්නේ සල්ලි ගැන කියන එක පොදු අදහසක් වුනත් ඇත්තටම ආර්ථික විද්‍යාවේදී කතා කරන්නේ මිනිසුන්ගේ සතුට ගැනයි. සල්ලි කියන්නේ හැම දෙයක්ම නොවුනත්, සල්ලි හා සතුට අතර පැහැදිලි, සෘජු හා ශක්තිමත් සම්බන්ධයක් තිබෙනවා. ඒ නිසා, හරියකට පැහැදිලිව නිරීක්ෂණය කිරීමට හෝ මැන ගැනීමට බැරි සතුට වෙනුවට වඩා පහසුවෙන් මැන ගත හැකි සල්ලි ආදේශකයක් ලෙස යොදා ගන්න එකයි බොහෝ විට ආර්ථික විද්‍යාවේදී වෙන්නේ. එසේ වුවත්, සල්ලි හා සතුට අතර තිබෙන සම්බන්ධයේ ස්වභාවය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බව අපට නොසලකා හරින්න බැහැ. ආර්ථික විද්‍යා ආකෘති වල මේ කරුණත් සැලකිල්ලට ගැනෙනවා.

අපි හිතමු රුපියල් සීයක් ගෙවා දහ දෙනෙකු සහභාගී වන සාධාරණ ලොතරැයියක් ගැන. මෙය දිනන තැනැත්තාට රුපියල් දාහක් ලැබෙනවා. ඔබ මේ ලොතරැයි ක්‍රීඩාවට සහභාගී වනවාද? 

මෙය ඔබේ පුද්ගල ස්වභාවය අනුව තීරණය වන දෙයක්. හරියටම කියනවානම් ඔබේ සතුට හා මුදල් අතර තිබෙන සම්බන්ධයේ ස්වභාවය අනුව. මම ඔබෙන් මේ ප්‍රශ්නය අහන්නම්. ඔබට රුපියල් දාහකින් ලැබෙන සතුට රුපියල් සීයකින් ලැබෙන සතුට මෙන් දහ ගුණයකට වඩා වැඩිද? අඩුද? සමානද?

ඔබට රුපියල් දාහකින් ලැබෙන සතුට රුපියල් සීයකින් ලැබෙන සතුට මෙන් දහ ගුණයකට වඩා වැඩිනම් ඔබ මේ ලොතරැයි ක්‍රීඩාවට සහභාගී වන නමුත් ඒ සතුට ඊට වඩා අඩුනම් ඔබ මේ ලොතරැයි ක්‍රීඩාවට සහභාගී වන්නේ නැහැ. සාමාන්‍යයෙන් ලොතරැයි හා සූදු ලෝලියන් වන්නේ තමන් සතු මුදල් ප්‍රමාණය ඉහළ යද්දී ලැබෙන සතුට මුදල් ඉහළ යන අනුපාතයට වඩා වැඩි වේගයකින් ඉහළ යන පුද්ගලයින්. පෞද්ගලිකව මම ඉන්නේ මෙයින් ප්‍රතිවිරුද්ධ පැත්තේ. 

මට ජීවත් වෙන්න යම් මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වුවත් විශාල මුදල් ප්‍රමාණයක් එකතු කර ගැනීමෙන් එම මුදල් ඉහළ යාමට අනුපාතිකව සතුටක් ලබන්න බැහැ. ලොතරැයි ක්‍රීඩා මට ආකර්ශනීය නොවන්නේ මගේ මේ චරිත ස්වභාවය නිසා විය යුතුයි. හැබැයි කිසියම් ලොතරැයියක් සඳහා ගෙවන මුදලට සාපේක්ෂව අපේක්ෂිත ප්‍රතිලාභය ඉතාම වැඩිනම් ලොතරැයි ක්‍රීඩාවක් මට වුවත් ආකර්ශනීය විය හැකියි. 

උදාහරණයක් විදිහට රුපියල් සීයක් දමලා 50%ක සම්භාවිතාවයෙන් රුපියල් දාහක දිනුමක් ලැබෙනවා කියා හිතමු. රුපියල් දාහේ සතුට රුපියල් සීයේ සතුට මෙන් දහ ගුණයක් නොවුණත් එය සමහර විට තුන් හතර ගුණයක් වෙන්න පුළුවන්. ඒ නිසා, මේ වගේ ලොතරැයියක් මිල දී ගන්න එක මා වැනි අයෙකුට මුදල් මිම්මෙන් වගේම සතුටු මිම්මෙන්ද වාසිදායකයි. හැබැයි ඔය වගේ ගොඩක් වාසිදායක ලොතරැයි ඉතාම දුර්ලභයි. මොකද ඔය වගේ ලොතරැයියක් විකුණන අයෙකුට අනිවාර්යයෙන්ම වාගේ පාඩු වෙනවා. ඒ නිසා, මා වැනි අය ලොතරැයි හා සූදු වලට ආකර්ෂණය වන්නේ ඉතා අඩුවෙන්.

දැන් අපි මේකේම අනෙක් පැත්ත බලමු. ලොතරැයියක් ගන්න රුපියල් සීයක් දැම්මම 5%ක සම්භාවිතාවයෙන් රුපියල් දාහක දිනුමක් ලැබෙනවා. ඔය වගේ ලොතරැයියක් මිල දී ගන්න අයත් විශාල පිරිසක් ඉන්නවා. ඒ ඇයි?

ඇතැම් අය රුපියල් දාහකින් ලබන සතුට රුපියල් සීයකින් ලබන සතුට මෙන් තිස් හතළිස් ගුණයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එවැනි අයෙකුට රුපියල් දාහක් ලැබීමේ සතුට වෙනුවෙන් තිස් හතළිස් වාරයක් වුවත් රුපියල් සීය බැගින් පරදුවට තියන්න පුළුවන්. නමුත්, ලොතරැයියෙන් රුපියල් දාහක් දිනන්න විසි වාරයක් ක්‍රීඩා කිරීම ප්‍රමාණවත්.

ඉහත කී පරිදි, අතට මුදල් ලැබෙද්දී ලැබෙන සතුට මුදල් ඉහළ යන අනුපාතයට වඩා කිහිප ගුණයකින් ඉහළ යන විශාල පිරිසක් සමාජයේ ඉන්නවා. ඒ නිසාම, සාධාරණ නොවන ලොතරැයි හා සූදු ක්‍රීඩා සඳහා වුවත් සැලකිය යුතු ඉල්ලුමක් ඇති වෙනවා. මේ වගේ සාධාරණ නොවන ලොතරැයි හා සූදු ක්‍රීඩා වලින් එවැනි ලොතරැයි හා සූදු ක්‍රීඩා ඉදිරිපත් කරන අයට විශාල ලාබයක් ගන්න පුළුවන් නිසා ඉල්ලුමට සරිලන සැපයුමක්ද නැතුව යන්නේ නැහැ. උදාහරණයක් විදිහට රුපියල් සීයක් දැම්මම 5%ක සම්භාවිතාවයෙන් රුපියල් දාහක දිනුමක් ලැබෙන ලොතරැයියක් විකුණන අයෙකුට ආදායමෙන් බාගයක්ම ලාබ සේ තියා ගන්න පුළුවන්.

දැන් මේ වගේ සාධාරණ හෝ අසාධාරණ සූදුවක්‌ හෝ ලොතරැයියක් හා පොන්සි ක්‍රීඩාවක් අතර තිබෙන සමානකම් හා වෙනස්කම් මොනවද? 

මේ පොන්සි ක්‍රීඩා කියන වචනය සම්මත තාක්ෂණික වචනයක්. එහි වෙන ව්‍යංගාර්ථ නැහැ. ලංකාවේ ප්‍රචලිත පිරමිඩ් ක්‍රම කියන වචනය මහ බැංකුව විසින් ප්‍රචලිත කර තිබෙන වචනයයි. පොන්සි කියා කියූ විට ලංකාවේදී වෙනත් අදහස් ගම්‍ය වීම ඊට හේතුව වෙන්න ඇති.

පෙර ලිපියේ අපි පොන්සි ක්‍රීඩා දෙකක් ගැන විස්තර කතා කළා. දෙවැන්න, හෙළදිව සීට්ටු ක්‍රමය. පළමුවැන්න, විප්ලවයට පෙර රුසියාවේ බයිසිකල් පිරමිඩය. 

දැන් මේ හෙළදිව සීට්ටු ක්‍රමයේදී ක්‍රීඩකයන්ට සමස්තයක් ලෙස ලැබෙන්නේ ඔවුන් වැය කරන මුදලින් හරි අඩක් පමණයි (මුදල් ඇණවුම් හා තැපැල් ගාස්තු නොසලකා හැරලා). ඉතිරි අඩ යන්නේ සීට්ටුකරුට. ඒ නිසා, එය සාධාරණ ලොතරැයියක් නෙමෙයි. නමුත්, රුසියාවේ බයිසිකල් පිරමිඩය ඒ වගේ එකක්ද? 

රුසියාවේ බයිසිකල් පිරමිඩ ක්‍රමයේදී සමස්තයක් ලෙස ක්‍රීඩකයන් විසින් යොදවන මුළු මුදලම නැවත ක්‍රීඩකයන්ට ලැබෙනවා. සීට්ටුකරු වන බයිසිකල් සමාගම එයින් එක රූබලයක්වත් ගන්නේ නැහැ. සමාගම විසින් කරන්නේ ඔවුන් සාමාන්‍යයෙන් විකුණන මිලටම බයිසිකල් විකුනා ලාබයක් ලැබීම පමණයි. වෙළඳාම ඉහළ යාමේ වාසිය හැර සමාගමට කිසිදු අමතර ලාබයක් ලැබෙන්නේ නැහැ. මෙය සාධාරණ ලොතරැයියක්. සමාගමේ සම්බන්ධයක් නැතුව විකල්ප ආකාරයකික් වුවත් මේ වගේ පිරමිඩ් ක්‍රමයක් ක්‍රියාත්මක වෙන්න පුළුවන්.

අපි හිතමු විප්ලවයට පෙර රුසියාවේ බොල්ෂෙවික් පක්ෂයට පූර්ණකාලීනව වැඩ කරපු බොරිස් කියලා සහෝදරයෙක් හිටියා කියලා. බොරිස් උපන් තේකට රස්සාවක් කරලා නැහැ. එක රූබලයක් උපයලා නැහැ. හැබැයි පක්ෂයේ වැඩත් කරගෙන හොඳින් ජීවත් වෙනවා. 

බොරිස් සහෝදරයාට කොණ්ඩය කපන්න අවශ්‍ය වූ වෙලාවට කරන්නේ පක්ෂයේ සහෝදරයෙක්ගේ සැලූන් එකකට යන එක. බාබර් සහෝදරයා බොරිස් සහෝදරයා වගේ පක්ෂයේ පූර්ණකාලිකයෙක් කිවුවොත් කොණ්ඩය විතරක් නෙමෙයි බෙල්ල වුනත් කපලා අතට දෙනවා. ආපහු යද්දී රූබල් කීපයක් අතේත් තියනවා. එතකොට බොරිස් සහෝදරයාගේ කමිසය පරණ වෙලා බව දැක්කහම තව කවුරු හරි පක්ෂයේ සහෝදරයෙක් කමිසයක් අරන් දෙනවා. අවුලක් නැහැනේ.

දැන් ඔය අතරවාරයේ බොරිස් සහෝදරයාට පක්ෂයේ වැඩට එහේ මෙහේ දුවන්න බයිසිකලයක් අවශ්‍ය වෙනවා. අතේ තියෙන්නේ රූබල් දහයයි. බයිසිකලයක් රූබල් පණහයි. බොරිස් සහෝදරයා සීට්ටු දාන්න කැමති නැහැ. ඒ නිසා, පක්ෂයේ තව සහෝදරවරු හතර දෙනෙකුට අවශ්‍යතාවය ගැන කියනවා. ඒ එක් අයෙක් රූබල් දහය ගානේ දානවා. වැඩේ ගොඩ. දැන් බොරිස් සහෝදරයා විප්ලවය කරා යන්නේ පයින් නෙමෙයි බයිසිකලයෙන්!

දැන් ඔය මානුෂික ගනුදෙනුවේදී වෙන්නෙත් අර පෙරල්මාන් විස්තර කරපු කතාවේ පළමු අදියරේදී සිදු වුනු දෙයයි. පෙරල්මාන්ගේ විස්තරයේදී කූපන් විකුණන්නේ ඒවා මිල දී ගන්නා අයටත් ඒ විදිහටම රූබල් දහයකට බයිසිකලයක් ලබා ගැනීමේ බලාපොරොත්තුවක්ද එක්ක. බොරිස් සහෝදරයාත් ඒ විදිහටම බලාපොරොත්තුවක් විකුණනවා. ඒක රුසියාවේ හැමෝටම බයිසිකලයක හිමිකරු විය හැකි අනාගතයක් හැදීම වගේ වඩා පුළුල් එකක් වෙන්නත් පුළුවන්.

දැන් බොරිස් සහෝදරයාට රූබල් දහය බැගින් දුන් හතර දෙනාටත් බයිසිකල් අවශ්‍ය වුනොත් මොකක්ද කරන්න පුළුවන්? හරිම සරලයි. පක්ෂයේ සහෝදරයෝ පස් දෙනෙකුට තෙල බෙදලා රූබල් දහය බැගින් දෙන්න කැමති කර ගත්තානම් වැඩේ ගොඩ. ඒ අයටත් ඔය වැඩේම කරන්න පුළුවන්. අන්තිමේදී සමාගමේ සෘජු මැදිහත්වීමක් නැතිවම පිරමිඩය වැවෙනවා. එක් එක් ගනුදෙනුව ඇතුළේ තිබෙන සාමූහික මානුෂික ක්‍රියාවලියට බයිසිකල් විකුණන සමාගමේ කිසිම සම්බන්ධයක් නැහැ.

හෙළදිව සීට්ටු ක්‍රමයේදී එය ක්‍රියාත්මක කරන සමාගම විශාල ආදායමක් උපයනවා. එහෙත්, ඉහත නිදර්ශනයේදී මෙන්, සමාගමක් කිසිදු අනිසි ලාබයක් නූපයන තත්ත්වයක් යටතේ වුවත් පිරමිඩයක් වැවෙන්න පුළුවන්. මෙහිදී වෙනත් සාධාරණ ලොතරැයි ක්‍රීඩාවකදී වගේම ක්‍රීඩකයින් විසින් වැය කරන මුළු මුදලම එම ක්‍රීඩකයින් අතරම යම් ආකාරයකින් බෙදී යනවා. එහෙමනම්, මෙහි තිබෙන වෙනස කුමක්ද?

කෙනෙක් කිසියම් සුදූ ක්‍රීඩාවකට ආකර්ෂණය වීම එම පුද්ගලයාගේ සාමාන්‍ය බුද්ධිය, ප්‍රායෝගික බුද්ධිය හෝ උගත්කම වැනි දේ මත පමණක් තීරණය වන දෙයක් නෙමෙයි. ඒවා පුද්ගලයෙකුගේ විශ්ලේෂණ හැකියාව කෙරෙහි බලපාන්න පුළුවන්. වැඩි විශ්ලේෂණ හැකියාවක් තිබෙන අයෙක් සාධාරණ ක්‍රීඩා, වාසිදායක ක්‍රීඩා හා අවාසිදායක ක්‍රීඩා නිවැරදිව වෙන් කර ගන්නත් පුළුවන්. එහෙත්, මෙහිදී මුදල් වලින් පුද්ගලයෙකු ලබන සතුට මුදල් ප්‍රමාණය සමඟ ඉහළ යන්නේ කොහොමද කියන එකත් බලපානවා. එය පෞද්ගලික රුචිය පිළිබඳ කරුණක්. 

සාධාරණ ලොතරැයි ක්‍රීඩාවකට ශුන්‍ය-ඓක්‍ය ක්‍රීඩාවක් කියලත් කියන්න පුළුවන්. ඒ කියන්නේ, කාට හෝ රුපියලක වාසියක් වන හැම විටකම තවත් අයෙකුට රුපියලක පාඩුවක් වෙනවා. ලාබ පාඩු සියල්ලේ එකතුව හැම විටම ශුන්‍යයි. හැබැයි පාඩු විඳින අයෙක් අසතුටු වන බවක් එයින් අදහස් වන්නේ නැහැ. කවුරු හෝ අසරණයෙකුට උදවුවක් කළ විට එසේ කරන පුද්ගලයාට මුදලින් පාඩුවක් වුවත් ඒ තැනැත්තා උදවුව කරන්නේ සතුටින්. අවසානයේදී දෙදෙනාම සතුටු වෙනවා.

පොන්සි ක්‍රීඩාවක් සාමාන්‍ය ලොතරැයි ක්‍රීඩාවකින් වෙනස් වන්නේ එහි ක්‍රීඩකයින් අතර තිබෙන අසමමිතියේ සුවිශේෂී ස්වරූපය නිසයි. දහ දෙනෙකු එකතු වී රුපියල් සීය බැගින් දමා, දිනන එක් පුද්ගලයෙකු විසින් රුපියල් දහසක් ලබා ගන්නා ලොතරැයි ක්‍රීඩාවකදී නව දෙනෙකුම පරදිනවා. දිනන්නේ එක් අයෙකු පමණයි. එහෙත් ඒ එක් පුද්ගලයා දහ දෙනාගෙන් ඕනෑම අයෙකු විය හැකියි. ක්‍රීඩාවට සහභාගී වන අවස්ථාවේදී කිසිවෙකුට විශේෂ වාසියක් නැහැ.

සාමාන්‍ය ලොතරැයි ක්‍රීඩාවකින් වෙනස්ව පොන්සි ක්‍රීඩාවකදී හැම විටම මුලින් තරඟ කරන ක්‍රීඩකයා සිටින්නේ වාසිදායක තැනක. අවසානයට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් අනිවාර්යයෙන්ම පරදිනවා. අතරමැද සිටින අය පමණක් දිනන්න හෝ පරදින්න පුළුවන්. මේ තත්ත්වය තුළ, ප්‍රායෝගික බුද්ධිය තිබෙන කෙනෙක් බොහෝ විට කරන්නේ ක්‍රීඩාව ආරම්භයේදී එයට සම්බන්ධ වීමයි. මෙය අතිශයින්ම තර්කානුකූලයි.

හැබැයි මෙහිදී එවැනි ක්‍රීඩකයෙකුට සදාචාරාත්මක බාධකයකට මුහුණ දෙන්න වෙනවා. එවැන්නෙකු අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්නේ පසුව ක්‍රීඩා කරන ක්‍රීඩකයින් පරාජය වන බව දැන දැනමයි. මෙය හරියට ටයිටැනික් ගිලෙද්දී කලින්ම බෝට්ටු වලට පැන ගැනීම වගේ වැඩක්. එසේ කළ අයට ප්‍රායෝගික බුද්ධිය තිබුණා. එහෙත්, හදවතක් තිබුණේ නැහැ.

මම පෞද්ගලිකව ලොතරැයි මිල දී නොගන්නේ මගේ තර්ක බුද්ධිය අනුව එයින් දිගුකාලීනව පාඩුවක් වන නිසා. එසේ නොවන ලොතරැයියක් හමු වුනොත් මා එය මිල දී ගන්න පැකිලෙන්නේ නැහැ. එහෙත්, පොන්සි ක්‍රීඩා සම්බන්ධව මට තිබෙන්නේ වෙනත් ප්‍රශ්නයක්. එය හෘද සාක්ෂිය පිළිබඳ ප්‍රශ්නයක්. වාසියක් ලැබිය හැකි වුවත්, දැන දැන පිරිසක් අමාරුවේ දමමින් එම වාසිය ලැබිය හැකිද?

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...